Showing posts with label ළමා කථා. Show all posts
Showing posts with label ළමා කථා. Show all posts

Saturday, December 7, 2024

කන්දේ සුරඟන සහ වීදුරු ශිල්පියා

පීටර් නම් වීදුරු ශිල්පියා දිළින්දෙක්. ඔහුට සිටි එක ම පුතා අන්ධයි. දරුවා උදෙන් ම “තාත්තා... තාත්තා...“ කියමින් දුවගෙන එද්දී වැටුණ හැටි දුටු පීටර් ගොඩක් ම දුකට පත් වුණා. ඔහු බිරිඳත් එක්ක කතා කළේ මේ ගැන කරන්න පුළුවන් දේ ගැන.

ස්පෘට්ස්ලන්ඩ් නම් නගරයේ ඇස් වෙද කෙනෙක් ඉන්නවා. ඔහු ගේ වෙදකම් ගැන මුළු පළාතේ ම ප්‍රසිද්ධයි. නමුත් ගැටළුව තමයි මුදල් නැති කම. දැනටමත් පීටර්, පොහොසත් මෝල් හිමියාට සෑහෙන මුදලක් ණයයි. 

කඳුකරයෙන් එහා පැත්තේ ගමක වීදුරු සවිකරන වැඩක් තිබෙන බව පීටර්ට ආරංචියි. ඔහු එහි යන්න ලෑස්තිය. නමුත් බිරිඳ ඔහුට අනතුරු ඇඟවූවා.

“දන්නව නේ ද, ඔය කඳුකරයේ ඉන්නවා සුරංගනාවක්? එයා දකින දකින අයට කරදර කරමින් සතුටු වෙනවා.“

“ඇත්ත. ඒත් ඒ වගේ කෙනෙක්, පොහොසත් මෝල් හිමියා තරම් ම නරක වෙන එකක් නෑ“ පීටර් තමන්ගෙ දරුවා සුවපත් කිරීම වෙනුවෙන් අවදානම භාර ගන්නවා. නමුත් වීදුරු ගන්න උවමනා මුදලවත් ඔහු ළඟ නෑ. 

ඒ අතර, මසුරු මෝල්හිමියා උදෑසන තමන්ගේ කෙත් යාය බලන්නට ගියා. රසැති සහ ගුණැති උදේ ආහාරයෙන් බඩ පිරී සතුටින් සිටි ඔහු දුටු දර්ශනය ඔහුට එතරම් සතුටුදායක වුණේ නෑ. ඔහුගේ දාසයන් වැඩ කරන්නේ කම්මැලි කමින්.

මෝල් හිමියා ඔහුගේ ගණන් තබන සේවකයාට කතා කළේ කෝපයෙන්.

“ටොම්, ටොම්, මෙහෙ එනවා.“

ටොම් දුවගෙන ආවා...

“අර බලනවා. අර දාසයො ඔක්කොම මහ කම්මැලියො. උන් කතා කර කර විවේක ගන්නව. උන්ට කඩිසරව වැඩ කරන්න කියනවා. නැත්තං මං උන්ට ගෙවන පඩියෙන් හොඳ ගාණක් කපල දානව.“

ටොම් ආපහු කෙත් යාය දෙසට දුවගෙන ගියා. 

“වැඩ කරපල්ලා... වැඩ කරපල්ලා“ මෝල් හිමියා කෑගැසුවා.

ටොම් ආපහු දුවගෙන ආවා.

“සර්, වෙළෙන්දො ටිකක් ඇවිල්ලා“

“එක්කරගෙන එනවා බලන්න“

ටොම් වෙළෙන්දන් තුන් දෙනෙක් එක්කරගෙන ආවා.

“මා ළඟ තියෙනවා, ඉස්තරම් තිරිඟු. ගෝණියක් ඩොලර් පහයි සර්...“ එක වෙළෙන්දෙක් කීවා.

ගෝණියක් ඇරලා තිරිඟු අහුරක් අරන් කටේ දාගත්ත මෝල් හිමියා, අප්‍රසන්න විදිහට ආපිට කෙළ ගැහුවා. ඒ තිරිඟු ඇත්තට ම ඉතා ම හොඳයි. නමුත් ඒවාට නියම වටිනාකම ගෙවන්න මෝල් හිමියා සතුටු වුණේ නෑ. “මේ තිරිඟු නීරසයි, ගඳයි, ඒ මදිවට තෙතයි. මට ඕන්නෑ මේව...“

“අනේ නෑ සර්. මේ තිරිඟු හොඳයි. මට කන්න දෙන්න පවුලක් ඉන්නවා. මේවා ගන්න සර්...“ වෙළෙන්දා බැගෑපත් වුනා.

“හොඳයි හොඳයි... කමක් නෑ. මං දෙන්නම් ඩොලර් තුන ගාණෙ“

“ඒකත් ලොකු උදව්වක් සර්.“ වෙළෙන්දා සල්ලි අරගෙන ස්තූති කරලා පිටවෙලා ගියා.

"මගෙ කුඹුරුවලයි මෝලෙයි වැඩ කරන්න බූරුවෙකුයි, දාසයොයි තව ඕනෙ. ඔයාටත් ඕනෙ නං වැඩ කරන්න එන්න." මෝල් හිමියා වෙළෙන්දාට කිව්වා.

තවත් වෙළෙන්දියන් දෙන්නෙක් එළවලු සහ පලතුරු කූඩ දෙකක් ගෙනත්.

මෝල් හිමියා ඒවාත් පරීක්ෂා කරලා බැලුවා. ඒවා නැවුම් බව දුටුවත්, මෝල් හිමියා ඒ බව පෙන්නුවෙ නෑ. ඩොලර් දහයක් සහ අටක් ඒ කූඩ දෙකට වෙළෙන්දියන් ඉල්ලුවේ. 

“මොනවා?“ මෝල් හිමියා පුදුම වුණා. “ඔයාලා විකුණන්නෙ, එලුවො, හරක් ද? ගාණ බොහොම වැඩියි “ 

ඔයාලා විකුණන්නෙ, එලුවො, හරක් ද?

“අනේ සර්“ වෙළෙන්දියො බැගෑපත් වුණා. මේවා හොඳ එළවලු, පළතුරු. අපි මේව විකුණලා අපේ දරු පවුල්වලට කන්න දෙන්නෙ...“

“හොඳයි හොඳයි. මං ඔයාට දෙන්නං ඩොලර් හයක්, ඔයාට දෙන්නං ඩොලර් පහක්“ මෝල් හිමියා තමන්ගෙ පසුම්බියෙන් සල්ලි එලියට ඇද්දා. නමුත් ඒ සල්ලි දෙන්න ම වගේ ගිහින් ආපහු ගත්තා. “ඔයා මට කොච්චරක් ණයයි ද?“

වෙළෙන්දියගේ මූණ දුකෙන් ඇඹුල් වුණා. “ඩොලර් පහළොවයි සර්.“

“ටොම්... ණය පොත ගේන්න මෙහෙට“

ටොම් ලොකු ලෙජරයක් උස්සගෙන දුවගෙන ආවා.

“බලන්න මෙයා කොච්චර ණයයි ද කියලා.“

“ඩොලර් දහ අටයි සර්...“


වෙළ‍ෙන්දිය පුදුම වුණා. “එහෙම වෙන්නෙ කොහොම ද? මාස පහකට කලින් කිව්වෙ පහළොවයි නෙ.“

“ඒක එහෙම තමයි.“ මෝල් හිමියා උත්තර දුන්නා. “මාස පහකට කලින් පහළොවයි, දැන් ඒක දහ අටයි. ලබන මාසෙ වෙද්දි විස්සක් වෙයි. මං මේ ඩොලර් හය ණයෙන් අඩු කරගන්නම්.“

වෙළෙන්දියො දෙන්නා ආපහු යන ගමන් මෝල් හිමියාගේ මසුරු කම සහ කපටි කම ගැන ශාප කළා.

ඒ අතරෙ වීදුරු ශිල්පියා තමන්ගෙ බිරිඳත් පුතාත් එක්ක එන හැටි දුටු මෝල් හිමියා ගේ මුහුණේ සිනාවක් මතුවුණා.

“සුභ උදෑසනක් පීටර්... ඔයා ආවෙ මගෙන් ණයට ගත්ත සල්ලි ගෙවන්න ද?“

“නෑ සර්... මං ආවෙ තව සල්ලි ටිකක් ණයට ඉල්ල ගන්න“ මෝල් හිමියාගේ සිනා මූණ අඳුරු වෙන හැටි දුටු පීටර් මෙහෙමත් කීවා. “කන්දෙන් එහා ගමේ වැඩක් තියෙනවා. මම ඒක ඉවර කරලා, වැඩියෙනුත් එක්ක ගෙවන්නම්.“

“හ්ම්...“ මෝල් හිමියා ටිකක් වෙලා කල්පනා කළා. “හොඳයි. හැබැයි මට වැඩිපුර ආපිට ගෙවන්න වෙනවා.“ මසුරා පීටර් ඉල්ලපු මුදල දුන්නා.

“පොඩ්ඩක් ඉන්න“ පීටර් තමන්ගෙ පවුලෙ අයත් එක්ක ආපිට යන්න හැරෙද්දි ම මෝල් හිමියා ඔවුන් නැවැත්තුවා. “මට තමුසෙ ව විශ්වාස නෑ. ඔය සල්ලි ආපහු ගෙවනකම්, ඔයාගෙ බිරිඳත් දරුවත් මා ළඟ හිටියාවෙ“

“හෑ...!“ පීටර් ට කියවුණා.

"ඔයාට සල්ලි ඕනෙ  ද, නැද් ද?"  මෝල් හිමියා ඇහුවා.

නමුත් බිරිඳ ඔහු අස්වැසුවා. “කමක් නෑ. ඔයා ගිහින් පරිස්සමට ආපහු එනකම් අපි මෙහෙ ඉන්නම්.“

පීටර් දුකෙන් පිටවෙලා ගියා. 

“තාත්තා... අපිව දාල යන්න එපා.“ පුතා කෑ ගැහුවා.

තාත්තා...! යන්ඩ එපා!

“ටොම්...“ මෝල් හිමියා තමන්ගෙ සේවකයාට කතා කළා. “මේ ගැහැණියට කරන්න වැඩ බාර දෙන්න.“

“පීටර්... තමුසෙට බූරුවෙක් එහෙම හම්බුණොත් මට ගේනවා. මං මගෙ මෝලෙ වැඩට බූරුවෙක් හොයනවා.“ මෝල් හිමියා ඈත යමින් හිටපු පීටර්ට කීවා.

*    *    *

ඈතින් බර වීදුරු පොදියක් උස්සගත්ත මනුස්සයෙක් එනවා, කඳුකර සුරංගනාවි දැක්කා. ඇයට විනෝද වෙන්න කාව හරි ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. ඉතින් එයා හිතා ගත්තා ඔහුට විහිළුවක් කරන්න. ඇය විශාල ගසක් විදිහට වෙස් මාරු කරගත්තා.

පීටර්ට වීදුරු ටික උස්සගෙන කැලේ මැදින් ගොඩක් දුර ඇවිත්, හොඳට ම මහන්සියි. ගිමන් හරින්න හොඳ සෙවණක් තියෙන විශාල ගසක් දුටුවෙ ඒ අතරෙ දියි. ඔහු වීදුරු ටික ගසට හේත්තු කරලා, බිම වාඩිවෙලා ගසට හේත්තු වුණා. දන්නෙ ම නැතුව ඔහුට නින්ද ගියා.

අයි ඈම් ගෲට් (ලු)

පීටර් ට නින්ද ගිය බව දුටු ගස, හිනා වුණා. “මං ඔහු හොඳට ම පුදුම කරන්නම්...“ කියපු ගස, අතු දෙකකින් ඔහුගෙ ඔලුවට තට්ටු කරලා, අතුරුදහන් වුණා. පීටර් බිම වැටුණා. විශාල හඬක් නගමින් වීදුරු ටික බිම වැටිලා බිඳුනා.

දැන් මොකද කරන්නේ? වීදුරු ටික කෑලි කෑලි වලට බිඳිලා. දැන් කොහොම ද, වීදුරු වැඩ නිම කරලා, සල්ලි හොයා ගන්නේ? දරුවයි බිරිඳයි නපුරු මෝල් හිමියාගෙන් බේර ගන්නේ, දරුවගේ ඇස් සනීප කරගන්නේ, මේ මොනවත් කර ගන්නේ කොහොම ද?

මේ ගැන හිතද්දි පීටර්ට දැනුණේ පුදුමාකාර දුකක්. ඔහු විලාප තියමින් අඬන්න පටන් ගත්තා.

කඳුකර සුරංගනාවිට පුදුමයි. ඇයි මේ මිනිහා බිඳිච්ච වීදුරුවක් ගැන මේ තරම් අඬන්නේ? “ඒ ඇයි කියලා මං හොයා ගන්න ඕනෙ.“ එහෙම හිතපු සුරඟන, සංචාරකයෙක් විදිහට වෙස් මාරු කරගත්තා.

“මොක ද ඔයාට වුණේ? ඇයි ඔයා අඬන්නේ?“ සංචාරකයා පීටර් ළඟට ඇවිත් ඇහුවා.


“ඔයා කවුද මහත්තෙය? මම මේ අඬන්නෙ, මේ වීදුරු ටික බිඳුනු නිසා. මේ වීදුරු ටික එහා ගමේ ගෙදරකට සවි කරන්න මම අරං ගියෙ. ඒ වැඩෙන් මට ගොඩක් මුදල් ලැබෙනවා. මගෙ පුතාගෙ ඇස් පේන්නෙත් නෑ. ඒ මුදල් වලින් මගෙ දරුවගෙ ඇස් සනීප කරගන්නත්, මෝල් හිමියාට තියෙන ණය ගෙවන්නත් තිබුණා.“

“ඉතින් අඬන්නෙ? තව වීදුරුවක් ගන්න පුළුවන්නෙ.“

“මම හරි දුප්පත්. මේ වීදුරු ටිකත් ගත්තෙ, මෝල් හිමියගෙන් ණයට සල්ලි අරගෙන. ඒ සල්ලි ආපිට ගෙවනකං එයා මගෙ බිරිඳයි දරුවයි එයා ළඟ තියා ගත්තා. මෝල් හිමියා හරිම නපුරුයි, කපටියි.“

“අඬන්න එපා දැන්. මං ඔයාට උදවු කරන්නම්.“

“ඔයා කොහොම ද මට උදවු කරන්නෙ? “

“ඔයා දන්නෑනෙ මම කවුද කියලා. ඔන්න බලා ගන්න.“

එහෙම කියපු සංචාරකයා, එක්වරම කඳුකර සුරංගනාවි බවට පත් වුණා.

“මම ඔයාට උදවු කරන්නම්, ඔය කපටි මෝල් හිමියට හොඳ පාඩමක් උගන්නන්න. මම බූරුවෙක් විදිහට වෙස් මාරු කරගන්නම්. ඔයා ගිහින් බූරුවා මෝල් හිමියාට විකුණලා, ණයත් බේරගෙන, දරු පවුලත් නිදහස් කරගන්න.“

පීටර් එකඟ වුණා.

*    *    *

පීටර් බොහෙම කඩවසම් බූරුවෙකුත් අරගෙන මෝල් හිමියා ගේ ගෙදර ආවා. බූරුවා දැකපු මසුරා බොහොම සතුටු වුණා. නමුත් ඒ බව පිටතට නොපෙන්වන්න මෝල් හිමියා පරිස්සම් වුණා.

“කොහෙන් ද පීටර් මේ බූරුවා?“

“මේ බූරුවා මගෙ සීයගෙත් සීයගේ...“ පීටර් කීවා. “මම එහා ගමට යද්දි එයා මට මුණ ගැහිලා මේ බූරුවා දුන්නෙ. ඩොලර් දෙ දාහකට දෙන්නම් සර්.“

“ඩොලර් දෙ දාහක් හොඳට ම වැඩියි. මූ මහ කම්මැලි පෙනුමයි. ඒ මදිවට කකුලකුත් කොරයි...“ කියනකොට ම බූරුවා මෝල් හිමියගෙ කකුලට පයින් ගහලා, දුවන්න තියා ගත්තා.

“ඔය බූරුවව අල්ලපන්“ කකුල අල්ලගෙන උඩපනිමින් මෝල් හිමියා කෑගැහුවා. 

කකුල කකුල කකුල ආ...!

ටොම් බූරුවා පස්සෙන් දුවන්න ගත්තා. කොයිතරම් වේගයෙන් දිව්වත් ටොම්ට බූරුවා අල්ලගන්න බැරි වුණා. ටොම් අන්තිමේ බිම වැටුණා.

“ඔය බූරුව අල්ලපන්, මං ඩොලර් දාහක් දෙන්නම්.“ මසුරා පීටර්ට කිව්වා. 

“සර් කිව්ව නේ ද, බූරුවා කම්මැලියි, කොර ගහනවයි කියලා. මට දාහක් මදි.“

“හරි හරි, මං එක්දාස් පන්සීයක් දෙන්නං. බූරුව අල්ලල දෙන්න“

පීටර් වැඩේට බැස්සා. “ඔයාගෙ දාසයන්ටත් එන්න කියන්න.“

“මේ බූරුව අල්ලන්න වරෙල්ලා...“ මෝල් හිමියා දාසයන්ට කෑගැහුවා.

“අපිට වැඩියෙන් පඩි ගෙවනව නම් අපි බූරුවා අල්ලන්නම්.“ දාසයොත් එක හඬින් කියා හිටියා.

“හරි හරි. මං පඩි ගෙවන්නම්. බූරුවා අල්ලලා දීපල්ලා.“ මසුරා එකඟ වුණා.

ඒ ගමන ඒ සියලු දෙනාම එකතු වෙලා බූරුවා පස්සෙන් එලවලා, අල්ලා ගත්තා. 


“ටොම්, මේ අයගෙ පඩි ගෙවපන්.“ මෝල් හිමියා මුදල් පසුම්බිය ටොම්ට දුන්නා. පීටර්ටත් ඉල්ලපු ගාණ ලැබුණා. බිරිඳටත් පුතාටත් පීටර් දකින්න ලැබීම ලොකු සතුටක් වුණා. 

ඔහු ආපසු යන්න කලින්, බිරිඳත් පුතාත් බූරුවා ළඟට එක්ක ඇවිත් රහසක් කිව්වා. ඒ තුන් දෙනාම බූරුවාට ආදරෙන් සමු දීලා ගෙදර ගියා.

ටැංකිව් ඩොංකී

මෝල් හිමියාටත් හරි ම සතුටුයි. “ඩොලර් දෙදාස් පන්සීයක් විතර වටින, බොහොම ශක්තිමත් බූරුවෙක් මට බොහොම අඩු ගාණකට ගන්න ලැබුණා. ටොම්, මූට පිදුරු ටිකක් දීහං.“

ටොම් පිදුරු ගේන්න ගියා. 

“පිදුරු? කවු ද පිදුරු කන්නෙ?“ බූරුවා කිව්වා. “රෝස්ට් කරපු හරි තම්බපු හරි ටර්නිප් අලයක් නම් මං ආසයි.“ එහෙම කියලා, බූරුවා අතුරුදන් වුණා.

පිදුරු අරං ආපු ටොම්, බූරුවා හැම තැනම හෙව්වා. අන්තිමේ ඔහු ගිහින් මසුරාට කිව්වා බූරුවා නැති බව. 

“අයියෝ! මගෙ සල්ලී...“ මසුරාට කියවුණා.

අයියෝ සල්ලී!

(ඉහත දැක්වුණේ මධ්‍යම පළාත් පාසල් අතර ඉංග්‍රීසි මාධ්‍ය වේදිකා නාට්‍ය තරගයෙන් දෙවෙනි ස්ථානය ගත් අපේ හුටංබරස් සහ යාළුවන් රංගනයෙන් දායක වුණු වේදිකා නාට්‍යයේ කතාව යි.)

කතාව සහ තිර පිටපත: මේරි ටීචර්
පුහුණු කිරීම සහ සම්බන්ධීකරණය: සශිකලා ටීචර් සහ පවිත්‍රා ටීචර්

රංගනයෙන් දායක වුණේ:

කඳුකර සුරඟන - ආන්‍යා
පීටර් - අභීත
මෝල් හිමියා - ගනිඳු
ටොම් - මැක්
පීටර් ගේ බිරිඳ - තීෂ්‍යා
පීටර් ගේ පුතා - විබෝධ
සංචාරකයා - ලියම්
ගස සහ බූරුවාගේ පිටුපස - සවිදු (හුටංබරස්)
බූරුවාගේ ඉදිරිපස - ශෙනෝන්
වෙළෙන්දෝ - දිස්ම, තුක්ෂතා, සශ්විකා


වමේ සිට - ශෙනෝන්, සවිදු, ලියම්, ගනිඳු, ආන්‍යා, අභීත, විබෝධ, තීෂ්‍යා, දිස්ම, තුක්ෂතා, සශ්විකා, මෑක්


Saturday, May 25, 2024

විජය පත්තර මතක

මා ළඟ තිබුණා, විජය පත්තර ටිකක්, 1983 විතර ඉඳලා ඉදිරියට. මේ ළඟ දි ඒ එකක තිබුණු කැලේ කතාවක කතාවක් මතක් වෙලා මං හුටංබරස් ට කිව්වා. ඊට පස්සෙ මට ඒ ටික හොයන්න ඕනෙ වුණා. මේ පෝස්ට් එක ඒ සෙවීමේ ප්‍රතිඵලය.

පරහකට තියෙන්නෙ, 2010 දි විතර මගෙ පොත් අල්මාරියට වේයො ගිහිං සෑහෙන ප්‍රමාණයක් රස විඳලා තිබුණු එක. ඉතිං පත්තර කොටස් ටිකක් අපට රස විඳින්න අමාරුයි.

මෙන්න මුලින් ම සිබිල් නැන්දා කරපු කවරයක්. මං ආස ම ඒකෙ කවියෙ තියෙන සරල බවට යි, පින්තූරවල තියෙන ජීවමාන ඉරියව් වලටයි.


මේ කවරය තිබුණු පත්තරේ ම තමයි "මකාගෙ යලක්" පළවෙනි කොටස තිබුණෙ. මේ ඒක...


මී ළඟට සූත්තර පුංචා කොටස් කීපයක්...





ගෝවින්ද ලියපු "මට මතකයි" ආටිකල් එකත්, අතීත රස වෑහෙන ලියමනක්. මේ එයින් එකක්...


අන්තිමට... අපේ බකමූන්ස් අමතක කරන්ඩ පුළුවනෑ...? මේ උන්දැගෙ ලියමන් දෙකක්, විජය පත්තරෙන්.



මේ ටික ලියලා ඉවර වෙද්දි, කැලේ කතාව පීඩීඑෆ් වෙලා ඉවරයි. ඒක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

Sunday, May 5, 2024

පැන්ඩිස් මී වදය බේරා ගත් හැටි


*    *    *


*    *    *

බඹර කැලේකියලා ලස්සන කැලෑවක් තිබුණා. ඒ කැලෑවේ තිබුණු ගල් ගුහාවක පුංචි වලස් පැටියෙක් ජීවත් වුණා. එයාගේ මූණයි, බඩ පැත්තයි රෝස පාට බූල්වලිනුත්, අනික් කොටස් රතු පාට බූල්වලිනුත් වැහිලා තිබුණා. එයාට හැමෝම කිව්වේ පැන්ඩිස් කියලයි.

දවසක් උදෑසන පැන්ඩිස් කම්මැළිකමට කැලේ මැදින් ඇවිදගෙන ගියා. එහෙම යනකොට එයා දැක්කා ගහක උස අත්තක තිබුණ මී වදයක්.

පැන්ඩිස්ට මී පැණි කන්න ආසා හිතුණා. එයා මී වදය කඩාගන්න උඩ පැන්නා. එයා කොයි තරම් උඩ පැන්නත් මී වදය කඩා ගන්න බැරි වුණා. අන්තිමේදී එයා දුවගෙන දුවගෙන ඇවිත් එයාට පුළුවන් තරම් වේගයෙන් උඩ පැන්නා. ඒ වාරයේ එයා ඔළුව පහතට හිටින්න බිම වැටුණා.

ඒක දැකපු මී මැස්සො කිවුවා, "අන්න බලන්න රතු පාට පුංචි ගහක්" කියලා.

එතකොටම ඉහළ අහසේ ඉඳන් වේගයෙන් පාත් වුණු උකුස්සෙක් මී වදය කඩාගෙන ඉගිල්ලුණා.


"අපේ මී වදය බේරගන්නෝ...!" මී මැස්සො ටික කෑ ගැහුවා.

ඒක ඇහුණ පුංචි වලස් පැටියට දුක හිතුණා. "ඔයාල භය වෙන්න එපා. මම මී වදය බේරගන්නම්." කියලා එයා උකුස්සගේ පස්සෙන් දුවන්න පටන් ගත්තා.

අතරමඟ දි එයාට හම්බවුණා, තවත් පුංචි වලස් පැටියෙක්. එයා සුදුම සුදුයි. එයාගේ නම පෝලාරිස්.

පැන්ඩිස් එයාට සිද්ධ වෙච්ච දේ කීවා. "මමත් එන්නම් මී වදය බේරගන්න" පෝලාරිස් එහෙම කියලා එයාගේ බයිසිකලයට නැග්ගා.

පැන්ඩිස්වත් පිටිපස්සෙන් නග්ගවගෙන, එයා වේගයෙන් බයිසිකලය පැද්දා.

ඒ වලස් පැටවු යන පාරේ, ගලක් උඩ ගහක් වැටිලා පල්ලමක් වගේ හැදිලා තිබුණා.

උකුස්සා දිහා බලාගෙන බයිසිකලය පැදපු පෝලාරිස් ඒක දැක්කේ නෑ. බයිසිකලය ගහ දිගේ වේගයෙන් ගිහින් උඩට විසි වුණා. 

පෝලාරිස්ගේ ඔළුවට උඩින් ගිය පැන්ඩිස්, උකුස්සාගේ කකුළක එල්ලුණා.

ඒකට උකුස්සා භය වෙලා මී වදය අත ඇරලා උඩ ඉගිල්ලුණා. පැන්ඩිස් මී වදය අල්ලාගෙන බිමට වැටුණා.

බිම වැටෙන විට පැන්ඩිස්ට රිදුණා. ඒත් මී වදය බේරගත්ත සතුට ඊට වැඩියි.

පෝලාරිස් එතනට දුවගෙන ආවා.

"අපිට දැන් බඩ පිරෙන්න මී පැණි කන්න පුළුවන්" එයා කිව්වා.

ඒත් පැන්ඩිස් ඒකට කැමති වුණේ නෑ. "මම මී වදය බේරගන්නම් කියලා මී මැස්සන්ට කීවනේ. ඒ නිසා අපි මේ මී වදය ආපහු මී මැස්සන්ට ම ගිහින් දෙන්න ඕන."

ඊට පස්සේ පෝලාරිස් එක්ක පැන්ඩිස් මී වදය අරගෙන, මී මැස්සො හිටිය තැනට ආවා. වලස් පැටවු දෙන්නා මී වදය, ගහේ අතු දෙබළක පරිස්සමට තිබ්බා.

ඒ දෙන්නා කරපු උදවුවට, මී මැස්සන්ගේ රැජින ඒ දෙන්නට බඩ පිරෙන්න මී පැණි දුන්නා.

"ඔයාලා හරිම වීරයෝ. අපි හැමදාටම ඔයාලත් එක්ක යාළුයි" මී මැසි රැජින කීවා.


*    *    *

වීර පැන්ඩිස් සහ සූර පෝලාරිස්

Sunday, October 1, 2023

පැන්ඩීසියානු පුරාවෘත්ත - හතරවැනි මහා පැන්ඩිස්

තුන්වැනි මහා පැන්ඩිස් රජතුමා පැන්ඩීසියාවේ රජකම් කරන කාලය... 

පැන්ඩීසියාව ලස්සන ගහ කොල, කඳු, දිය ඇලි, ගංගාවලින් පිරුණු රටක්. මල් පැණි එකතු කරන කඩිසර මී මැස්සො, බඹරු නිතර ම තමන්ගෙ වදවල පැණි පුරවන්න මහන්සි ගත්තා. ඒ, මේ රටේ පාලකයන් වෙච්ච පැන්ඩීසියානුවන්ට රසවත් ම ආහාරය වුණේ පැණි නිසා. 

තුන්වැනි මහා පැන්ඩිස් රජතුමා බොහො ම කරුණාවන්ත රජ කෙනෙක්. එතුමා අනෙක් පැන්ඩීසියානුවන්ට වගේ ම, ගහ කොළ, මල්, අනෙක් සත්තු හැම දෙනාට ම බොහො ම යහපත් විදිහට සළකමින් ආරක්ෂා කරගත්තා.


මහා පැන්ඩිස් රජතුමාගේ රැජිණ අසනීප වුණේ ඔය අතරෙ. රාජකීය වෛද්‍ය කොන්ඩිස් තමන් දැනගෙන හිටපු සෑම වෙදකමක් ම කරලත්, රැජිණ සනීප කරන්න බැරි වුණා. 

ඔය අතරෙ දවසක් දා රජතුමාගෙ පුස්තකාලය භාර ඇපෙන්ඩික්ස් හති දාගෙන දුවගෙන දුවගෙන රජ මාළිගාවට ආවා "රජතුමා!... රජතුමා !!" කියලා කෑ ගහගෙන. එයාගෙ අතේ තිබුණෙ රෝල් කරපු පාච්මන්ට් එකක්.

"මම හිතන්නෙ මේක හොඳ විසඳුමක් වෙයි අපේ රැජිණ සනීප කරන්න..." ඇපෙන්ඩික්ස් පාච්මන්ට් කඩදාසිය දිග අරින ගමන් රජතුමාට කිව්වා. 

මායා ස්ට්‍රෝබෙරි පඳුරක් ගැන තමයි ඒ පාච්මන්ට් එකේ ලියලා තිබුණෙ. ඒ ස්ට්‍රෝබෙරි පඳුර හැදුණෙ බඹරකැලේ කියන ඝන වනාන්තරේ මැද. එතැනට යන පාර ගැන යන්තම් සඳහන් කරලා තිබුණා අර පාච්මන්ට් කඩදාසියෙ.

ඉතින් මහා පැන්ඩිස් රජතුමා තමන්ගෙ දක්ෂම ‌සෙන්පතියා වුණු වන්ඩිස් ට කිව්වා මායා ස්ට්‍රෝබෙරි පඳුරෙන් ස්ට්‍රෝබෙරි එක ගෙඩියක් හරි අරගෙන එන්න යන්න ලෑස්ති වෙන්න කියලා. වන්ඩිස් කියන්නෙ බොහො ම උස මහත, වළහෙක් වගේ රළු පෙනුමක් තියෙන, සටන් ශිල්ප ඔක්කොමට ම දක්ෂ කෙනෙක්. ඒ වගේ ම එයා හරිම යහපත් කෙනෙක්.

ඉතින් පහුවදා උදේ පාන්දර ම වන්ඩිස් එයාගෙ කඩුවත්, දුන්නත්, පළිහත් අරගෙන රජතුමා එක්ක පිටත් වුණා බඹරකැලේ යන්න. වෙන රජ කෙනෙක් නම් සෙන්පතියා පිටත් කරලා තමන් මාළිගාවේ නතර වෙනවා. නමුත් තමන්ගෙ රැජිණට තිබුණු ආදරේ නිසා රජතුමාත් මේ ගමන යන්න තීරණය කළා.


සෑහෙන දුරක් ගිහින් ගිහින් රජතුමයි සෙන්පතිතුමයි බඹරකැලේ ළඟට ආවා. පාච්මන්ට් කඩදාසිය ආපහු දිග ඇරලා බලපු රජතුමා, ස්ට්‍රෝබෙරි පඳුර තිබුණෙ බඹරකැලේ මැද දිය ඇල්ලක් පාමුළ තිබුණු ගල් ගුහාවක් ළඟ කියලා දැන ගත්තා. 

පාච්මන්ට් එකේ තිබුණු මග සළකුණු බල බලා ඉස්සරහට ම ගිය මහා පැන්ඩිස් රජුයි වන්ඩිස් සෙන්පතියයි අන්තිමේ දි දිය ඇල්ල ළඟ ගල් ගුහාව පේන තරමට ළඟට ආවා. ඒත් එතන දැවැන්ත මකරෙක් නිදාගෙන උන්නා.

"මකරා අවදි ‌වෙන්න කලින් අපි ගිහින් ස්ට්‍රෝබෙරි කඩා ගම්මු" වන්ඩිස්, රජතුමාගෙ කණට කරලා කිව්වා. ඒත් රහසින් කියපු ඒ කතාව මකරට ඇහුණා. මකරා නැගිටලා සෙන්පතියාට පහර දෙන්න ඉස්සරහට පැන්නා.


වන්ඩිස් බය වුණේ නැහැ. එයා ඔහුගේ දැවැන්ත කඩුව දෑතින් ම අරගෙන මකරාට පහරක් දුන්නා. මකරාට කේන්ති ගිහින් ලොකු හුස්මක් ගත්තා, ගින්දර පිඹින්න හිතාගෙන. 

මහා පැන්ඩිස් රජතුමා ඉස්සරහට පැන්නා. රජවරු ඒ විදිහයි. එහෙම නැතුව වෙන කෙනෙක් ඉස්සරහට දාලා තමන් බේරෙන්න හිතන්නෙ නෑ.

මකරා ගින්දර පිඹින්න කට ඇරපුවාම තමයි රජතුමා දැක්කෙ, මකරගෙ ඉස්සරහ දත් දෙකක් අස්සෙ ලොකු කෝටු කෑල්ලක් හිර වෙලා තියෙන හැටි. එයා වන්ඩිස් ගෙ දුන්න අරගෙන ‍ඊතලයක් විද්දා කෙලින් ම මකරාගෙ ඉස්සරහ දත් දෙක අතරට.

ඊතලය වැදිලා දත් දෙක අස්සෙ හිර වෙලා තිබුණු කෝටු කෑල්ල ගැළවිලා විසි වුණා. 

එක පාරට ම දැනෙන්න පටන් ගත්ත සනීප දායක හැඟීම එක්ක මකරාගෙ තිබුණු කේන්තිය නැති වුණා. මකරා තමන්ගෙ ඔලුව බිමට පාත් කරලා, පැන්ඩිස් රජතුමාටයි සෙන්පතියාටයි ආචාර කළා.

තමන්ට උදව් කරපු නිසා ඒකට කළ ගුණ සැළකීමක් විදිහට තමන්ගෙ ගුහාවෙ තිබුණු ස්ට්‍රෝබෙරි ගොඩක් කඩලා, මකරා රජතුමාට තෑගි කළා.

රජතුමායි සෙන්පතියයි ආපහු නුවරට ආවේ ලොකු සතුටකින්.

ඒ දෙන්නා මීට පෙර ගියපු වීර චාරිකාවල දි කවුරු හරි සතෙක්ව මරන්න සිද්ධ වුණා ම මේ වගේ සතුටකින් ආපහු එන්න ලැබෙන්නෙ නෑ. මකරව මරන්නෙත් නැතුව ගිය වැඩේ කරගෙන එන්නත් ලැබුණු නිසා තමයි ඒ තරම් සතුටක් දැනුණෙ.

ඒ ගෙනාපු මායා ස්ට්‍රෝබෙරිවලින් එක එක විදිහෙ කෑම ජාති හදලා පැන්ඩිස් රජතුමා තමන්ගෙ රැජිණට දුන්නා. ස්ට්‍රෝබෙරි යුෂ, අයිස් ක්‍රීම්, ජෑම්... එක එක විදිහෙ කෑම.

ඒවා කාලා බීලා රැජිණ ඉක්මණට ම සනීප වුණා. ඊට පස්සෙ ටික කාලයකින් පැන්ඩිස් රජතුමාටයි රැජිණටයි පුත් කුමාරයෙක් ඉපදුණා.

එයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ රතු පාටයි, බඩ පැත්තයි, මූණයි, අතුල් පතුල් හතරයි විතරක් රෝස පාටයි.

ඒ කුමාරයාට හැමෝම කිව්වෙ, හතරවන පැන්ඩිස් කියලා.

ඒත් එයාට පැන්ඩීසියාවෙ රජවෙන්න බැරි වුණා. ඒ වෙනුවට එයා මිනිස් ලෝකෙට ඇවිත්...

ඒක වෙන ම කතාවක්. ඒ ගැන අපි වෙන දවසක කියවමු.

හතරවැනි මහා පැන්ඩිස් සහ හුටංබරස්

*    *    *

බ්ලොග් ලෝකයට ආපහු එන්න සෑහෙන දවසක් ගියා. මේ පහුවුණු කාලය තුළ මගෙ ජීවිතය සහ ජීවන රටාව සෑහෙන ව්‍යාකූල තත්ත්වයක පැවතුණේ. "ඇයි?" කියලා මට කතා කරලා අහපු සහෝදර බ්ලොග් වැසියන්ට යම් තාක් දුරකට ඒ ගැන කියන්න ලැබුණා.

ඇත්තට ම කාර්යබහුල වුණා. ඒ වගේ ම රෑ අවදියෙන් ඉඳීම - ශරීර සෞඛ්‍යය වෙනුවෙන් කැප කරන්න වුණා. ඒ එක්ක මම මීට කලින් ගොඩ වැදුණු බ්ලොග්වලට ඇවිදින් කියවීමත් දිරිමත් කිරීමත් කරන්න වෙලාව නැති වුණා.

නමුත් මින් පස්සෙ ආපහු ඒ දේවලට වෙලාව හදාගන්නයි බලාපොරොත්තුව.

ඉතින්, එහෙනම්, මට වෙල්කම් බැක්!

වැඩිපුර බලපු ලිපි