Showing posts with label හිතුනට හිතුනා. Show all posts
Showing posts with label හිතුනට හිතුනා. Show all posts

Saturday, November 22, 2025

යුද්දේ...



එක ජාතියක් ඉහළිනුත්, තව එකක් පහළිනුත්

තියන දර්ශනය

අන්තිමේ දී සහ සම්පූර්ණයෙන් ම අර්ථ දක්වා, අත්හැර දමන තුරු

හැම තැන ම යුද්දේ, මං කියන්නෙ යුද්දේ...


තවදුරටත් හැම ජාතියක ම 

පළමු පංතියක් සහ දෙවෙනි පංතියක් නැති වෙන තුරු

මිනිසුන්ගේ හමේ පැහැය

ඔහුගේ ඇසේ පැහැය වගේ ම සැළකිලිමත් විය යුතු නැති දෙයක් වන තුරු

මං කියන්නෙ, යුද්දේ...


මූලික මිනිස් අයිතිවාසිකම් සමානව

ජාතිය ගැන නොවිමසා හැමෝට ම ලබා දෙන තුරු, 

යුද්දේ...


ඒ දවස උදා වන තුරු,

සදාකාලික සාමය ගැන, ගෝලීය පුරවැසිභාවය ගැන,

ජාත්‍යන්තර සදාචාරයක පාලනය ගැන සිහිනය

ළුහුබැඳ යා යුතු ව, නමුත් කවදාවත් ලබා ගන්න බැරි...

තාවකාලික මායාවක් හැටියට පවතින 

දැන් හැමතැන ම යුද්දේ, යුද්දේ.


විවිධ රටවල අපේ සහෝදරයන් 

අමානුෂික බන්ධනයෙන් පාලනය කරන

අනාර්ය සහ නොසතුටු රාජ්‍ය පාලනයන්

පෙරළා දමා, මුළුමනින් ම විනාශ කරන තුරු

හැම තැන ම යුද්දේ, මං කියන්නෙ යුද්දේ...


නැගෙනහිරත් යුද්දේ, බටහිරත් යුද්දේ

උතුරෙත් යුද්දේ, දකුණෙත් යුද්දේ

යුද්දේ, යුද්දේ, යුද්ධය ගැන කට කතා.


ඒ දිනය වෙන තුරු, මහ පොළොව

සාමය ගැන නොදැන සිටිනු ඇත, අපි සටන් කරාවි

එය අත්‍යවශ්‍ය බව අපට දැනේ වි, අපි දිනන බව අපි දනීවි

අපට ජයග්‍රහණය ගැන නිසැක නිසා.


හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි. 

*    *    *

බොබ් මාලේ ගේ WAR ගීතය ඇසුරින් දළ පරිවර්තනයක්... 


මේකෙ අදහස හිතට වැදුණේ පහත ෆේස්බුක් සටහන කියවීමට ලැබීමෙන්.

https://www.facebook.com/share/p/16QfVMzQ2b/



Tuesday, June 4, 2024

විපතක දී මුලින් ම පළා යන්නේ...

https://qph.cf2.quoracdn.net/main-qimg-b6079f9fdff8f57e2c36bb9c61241ff9-lq

පවතින දැඩි අයහපත් කාලගුණය ගැන මුහුණුපොතේ පළවෙන විස්තර, පින්තූර සහ විවිධ පෝස්ට් දැක්ක ම මතක් වුණේ බුදුගුණාලංකාරයෙ තිබුණු කවි පෙළක්. මේකත් පරණ පාසල් පෙළ පොතකින් තමයි මම ඉස්සෙල්ල ම කියෙව්වෙ.


ඊට කලින් මාතෘකාවෙ හිස්තැන පුරවන්න තියෙනව. මේ කියමනත් මම දැක්කෙ මුහුණුපොතෙන් ම තමයි.

"විපතක දී මුලින් ම පළා යන්නේ දෙවියන් ය. විද්‍යාව සහ තාක්ෂණය පැමිණ මිනිසා බේරා ගත් පසු, පෙරලා ‌ පැමිණෙන දෙවියන් සහ කපුවන් නැවත මිනිසා සූරා කෑමට පටන් ගනිති."

එහෙනම් මෙන්න උඩ කී කවි පෙළ...

146. 
බරණැසැ පෙර කලෙක 
බමුණු මහසල් කුලයෙක 
ගුණ නැණ යුත් නිසැක 
උපන් පින් සර බමුණූ උතුමෙක


147. 

සව් සතර සමුදුර 
දැකැ නැණ නැවින් පර තෙර 
පසිදු වැ ලොවැ පතර 
තමා බිහි වන දිනෙහි ගුරුවර


148. 

නො නිවා තබා රැක 
දුන් ගිනි රැගෙනැ වනයෙක 
වැසැ අවුරුදු නොයෙක 
පුදත ගිනි දෙවියාට දවසෙක


149. 

සිඟා ගිය තැනැ ලද 
ගොනකු ගෙන‘වුත් ගසැ බැඳ 
කෙරෙමි මසින් පුද 
සිතා ගිනි දෙවිය හට මහ පුද


150. 

‘ලුණු නැති මස් පුදට 
නපුරැ” යි සිතා ගමකට 
යා දී ඔහු ලුණට 
අවුත් වලැ වැදි දනන් එ තැනට


151. 

එ ගොන‍ා මරා මස් 
පලහා කමින් නොසරස් 
උන් ගිය සඳැ ඒ ගොස් 
බලා ගොන් නඟුට කුර ඇට රැස්


152. 

‘‘අප රකිනා ත බා 
තොප සතු ගොන‍ා නො ත බා 
කන තෙක් වෙතැ ත බා 
බලා උන් කෙනෙකි තෙපි අත බා


153. 

‘‘ එයින් ගිනි දෙවි නැත 
උන් නැත පුදෙන් පල නැත 
බොරු බස් ලොව පැවැත කරන 
පුදයෙකැ නුවණ නැති සත


154. 

‘‘ගොන් මස් නොලදිනී 
මෙ පමණ කව යි ඉතිනී” 
කියමින් වල‘ගිනී 
ගසා දියවර නිවි යැ එ ගිනී


මේ බුදු ගුණාලංකාරයෙ ශිව දෙවියන් ගැන තියෙන වර්ණනාව... (බෝනස්)

https://blogger.googleusercontent.com/

159. 

තිසුලවි ගත් කරින් 
කළු පැහැ රැගත් උගුරින් 
හන් සළු ගත‘ඹරින් 
අඩක් උමයඟන ගත් සිරුරින්


160. 

දළැ අඩ සඳ බඳින 
ගොර සප් හරක් පලඳින 
රඟ කරන දිනැ දින 
මහලු ගොන් වාහනෙන් ඇවිදින


161. 

ලත් මහ පදවියා 
සිර සුර ගගින් දෙවියා 
අනඟ රුව දැවියා 
යෙහෙකැ පුද කරන මහ දෙවියා


162. 

එ මැ මහ දෙවිඳු හෝ 
නොහොත් සිව ලිංගය හෝ 
වැඳැ පිදුවොත් බොහෝ 
එතී කී ‘ලොවට සෙත ඇම හෝ


163. 

එ මැතිඳු බස් අසා 
මැති‍ඳෙක් කියයි මෙ ලෙසා 
ඇති දුක් මඳ නිසා 
තවත් දුක් ගෙනැ ලයි ද එ වසා


164. 

දෙවියෝ නම් සඟය 
පැලැඹෙන අයෙකි ස සඟය 
උන් රූ මනරඟය 
විසුළු වෙස් ඇති නො වෙයි මේ රඟය


165. 

උතුමෝ ලියන් වෙත 
නො ඉඳිති විළින් දැකැ සත 
මෙහෙසුරු උමා කත 
තබා රකිතී කියයි සිය ගත


166. 

පවතින මෙ ලොව රැක 
නැති කලැ හිරි ඔතප් දෙක 
ඔහු වැඳැ පුද නොයෙක 
කළෙ යි වැඩ සිදු වේ ද කිකලෙක


167. 

අවි අන් වැනැසුමට 
නැත වෙයි තමා රැකුමට 
එයින් තිසුලවි හට 
ඇතැ යි රා දොස් දැනෙයි මොනොවට


168. 

රා දොස් පව් මිදී 
නිසි උතුමනට නොබැඳී 
සිටි බවයෙන් බැඳී 
ඔහුට පුද කොටැ කිම් ද පැහැදී


169. 

සසරෙහි සබව දත් 
සිල්වත් දනෝ නැණවත් 
තුමූ රඟ නො කෙරෙත් 
අනුන් රඟන රඟකුත් නො බලත්


170. 

නළු වෙස් ගෙනැ එ සේ 
නටන කලැ හැම දවසේ 
උන් පිදුව යි කෙසේ 
වැඩක් සිදු වෙද ලොවට සිත සේ


171. 

දද දන බස් අසා 
කරන පුද ඔහු උදෙසා 
දිඹුලෙහි මල් නිසා 
දියැදැ දුක් විඳින වැනි නොලසා


172. 

අයකු පිළිකුල් වන 
අයකු සිත රා වඩවන 
ලිඟු සටහන් රැගෙන 
කළැ යි පුද පල කිම් ද ඉන් වන


173. 

සිත දුසිරී කිලුට 
පින් කෙත් නොවන මෙ ලොවට 
පුද කරනු ඉසුරුට 
ගලෙක වපුරන වැන්නැ බිජුවට


Tuesday, December 19, 2023

යුද්ධ කතා සහ ප්‍රේම කතා

අපේ හිතවත් ඩී ජී ඇම් බස්සා මහතාගේ බ්ලොග් එකේ නොබෝ දා පළවුණු මෙන්න මේ කමෙන්ටුව කියවද්දි කාලෙකට කලින් කියවන්න සහ අහන්න ලැබුණු කතා කීපයක් මතක් වුණා. මෙන්න මෙහෙමයි ඒ කතා:

ට්‍රැෆල්ගාර් චතුරස්‍රය


මේක දෙවෙනි ලෝක යුද්ධ කාලෙ. අනිවාර්ය යුධ සේවයට බැඳෙන්න අකමැති වෙච්ච එංගලන්තයේ තරුණයෙක්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයෙ දි තමන්ට ඇස් පෙනීම හොඳ නැති බව අඟවලා බේරෙන්න කල්පනා කළා. ඉතින් සම්මුඛ පරීක්ෂණේ දි එයා ට මේසෙ උඩ තියෙන වාර්තාව කියවන්න කිව්ව ම, “මොන වාර්තාව ද?” කියලා ඇහුවා. පැන්සලක් දික් කරලා වාර්තාව පෙන්නුවහම, “කොසු මිටක් දික් කරන්නෙ ඇයි?” කියලා ඇහුවා. ඔය වගේ කොමිටල් උත්තර දීලා උන්දැ කොහොම හරි සම්මුඛ පරීක්ෂණේ ෆේල් වුණා.

පහුවදා නමියා අර තරුණයා ගියා ෆිල්ම් එකක් බලන්න. ගිහින් සීට් එකක් හොයාගෙන වාඩි වෙලා වටපිට බලද්දි තමයි දැක්කෙ, තමන්ව ඉන්ටවිව් කරපු එක් කෙනෙක් ඉන්නව පිටිපස්සෙ සීට් එකේ. “මළ කෙලියයි. මගෙ වැඩේ මාට්ටු නේ ද?” කියල ටික වෙලාවක් කල්පනා කරපු තරුණයා, එක පාරට ම පිටිපස්සට හැරිලා ඇහුවා, “සර්, මේ බස් එක ට්‍රැෆල්ගාර් චතුරස්‍රයෙ නවත්තනව ද?” කියලා.

මීටරේ ට බොරු කිරීම

මේක ටිකක් අවරයි. ඒ නිසා කියවන්න එපා.


උඩ කතාවෙ වගේ ම තරුණයෙක් අනිවාර්ය හමුදා සේවයට බඳවා ගන්න ඉන්ටවිව් එකේ දි, ඇස් පේන් නෑ කියලා බොරු කරන්න ට්‍රයි කළා. නමුත් ඉන්ටවිව් කරපු හමුදා ලොක්කා ඌට වඩා ටිකක් කපටි කමින් වැඩියි. ඉතින් එයා කරපු වැඩේ, අර තරුණයාට ඒ කාමරේට වෙලා ඉන්න කියලා, එළියට ගිහින්, හැඩ වැඩ ඇති හමුදා සෙබළියක් ඊට යාබද කාමරේට එව්වා. ඒ කාමර දෙක අතර දොර අඩවන් කරලා, අර සෙබළිය එකින් එක එයාගෙ ඇඳුම් අයින් කරන්න ගත්තා, බොහොම හෙමින්. අන්තිමේ පෑන්ටියයි බ්‍රා එකයි විතරක් ඉතරු වෙද්දි හමුදා ලොක්කා ආපහු කාමරේට ඇවිත්, නමියගෙ අර තරුණයගෙ කළිසමේ උඩ හරිය දිහා හොඳ ට බලලා, කිව්වා:

“මල්ලි මේ... මට බොරු කළාට, උඹෙ මීටරේට බොරු කරන්න බෑ. කට්ට උඩ ගිහින් තියෙන්නෙ හොඳට ම” කියලා.

සුහද නිවාඩු

මේ කතාව මම මීට පෙර කොතනක හරි ලියලා තියෙනවා. මට කියවන්න ලැබුණ විදිහට, ඊශ්‍රායල් පලස්තීන සීමාවෙ වෙච්ච කතාවක්...

ඊශ්‍රායෙල් කාලතුවක්කු හමුදාවට අලුතින් බැඳුනු කොල්ලෙක් ට ගමේ යන්න නිවාඩුවක් ගන්න ඕනෙ වුණා. ඒත් හමුදාවට බැඳුන අලුත නිසාත්, යුද්ධෙත් ගණ සැරට යන නිසාත්, ඌට නිවාඩු ලැබුණෙ නෑ. 

ඔහොම ඉද්දි එක දවසක් මූ උදේ පාන්දර ම යුධ පෙරමුණේ ඉඳන් තමන්ගෙ කඳවුරට ආවා, පලස්තීන යුද්ධ ටැංකියක් අල්ලගෙන.

ඌ කරපු වීර කමට, පදක්කමක් රෙකමන්ඩ් කරලා, මාසයකට නිවාඩුවකුත් ලැබුණා. එදා හවස මෙස් එකේ මූ වෙනුවෙන් පාටියකුත් තිබුණා. 

පාටියෙ දි උගෙ යාලුවෙක් ඇහුවා, “උඹ කොහොම ද බං ඔය ටැංකිය අල්ලගත්තෙ?” කියලා.

මූ කියනව, හොඳට ම වෙරි පිට...

“මෙහෙමයි මචං. මං අපේ ටැංකියක් එලවගෙන යුද්ද පෙරමුණ හරියට ගියා. ඒ හරියට, පලස්තීන ටැංකියකුත් ආව. මං ටැංකියෙන් බැස්සා. අරුත් උගෙ ටැංකියෙන් බැස්සා. මං උගෙන් ඇහුවා, ‘උඹට නිවාඩුවක් ගන්න ආස  නැද්ද?’ කියලා. ඌ ඒකට එකඟ වුණා.

“ඊට පස්සෙ අපි දෙන්නා ටැංකි මාරු කරගෙන ආපිට තම තමන්ගෙ කෑම්ප්වලට ගියා. මයෙ හිතේ දැන් උගෙ කෑම්ප් එකෙත් ඌට මේ වගේ ම පාටියක් දෙනව ඇති.”


කැමති ද?

ප්‍රසන්ன චූටි කාලෙ එක වතාවක්, සෑහෙන්න කල්පනා කරලා කරලා, යාලුවොත් එක්ක කතා කරලා, හිතට හොඳට ගට් එක අරගෙන, ගිහිං කෙල්ලෙක්ගෙන් ඇහුවලු. කරුමෙ කියන්නෙ, මුගෙ කලබලේට මූ අදාළ ප්‍රශ්නෙ ඇහුවෙ පැත්ත මාරු කරල.

ඒ කියන්නෙ? ඒ කියන්නෙ මූ ඇහුවෙ: “මේ... නංගි, ඔයා මට කැමතියි, මං ඒ ගැන මොක ද කියන්නෙ?” කියල.

“මං කොහොම ද දන්නෙ?” කියල කෙල්ලත් ගස්සගෙන යන්ඩ ගියා ලු.


කෝලං

දවසක් මහේෂ් කියල කොල්ලෙක් හෙණ අප්සට් එකේ ගියාලු පොරගෙ යාළුවෙක් ගාවට. ඒ යාලුවට කොල්ලො සෙට් එකේ ම කියන්නෙ, “ලව් ඩොක්ටර්” කියල. එච්චරට ඌට එක්ස්පීරියන්ස්, කෙල්ලො ටෝක් කරන විදිහ ගැන.

“මොක ද බං? උඹ නිකං ගොනා පයිං ගහපු ලන්තෑරුම වගේ?” ලව් ඩොක්ටර් ඇහුවා.

“නෑ බං... මං කෙල්ලෙක්ගෙන් ඇහුවා.”

“හා හා හරි හරි...” අරූ ඉතුරු ටික හිතා ගත්තා. “උඹ ඔව්ව ගණං ගන්ඩෙපා බං. ඔය ඕනෙ ම කෙල්ලෙක් දා ගන්ඩ සිම්පල් ටැක්ටික් ටිකක් තියෙන්නෙ.”

“උඹ නං කියයි. උඹ දන් නෑනෙ ඒකි මට කියපු දේවල්...” මහේෂය අඬනව ඉතිං.

“හරි හරි බං. ඔය කොයි කෙල්ලත් එකපාර ම කැමතියි කියන්නෙ නෑ. එතකොට උන් ගැන කොල්ලො හිතන්නෙ උන් බඩු කියලා. ඉතිං ඔය කොයි කෙල්ලත් ඉස්සෙල්ලා බෑ කියනව. උන්, ‘බෑ’ කියන්නෙ, පස්සෙ ‘හා’ කියන එකට ම තමයි බං.”

“ඉතිං ඒකි බෑ කිව්වෙ නෑනෙ බං.”

“එහෙනං? මොකද්ද කිව්වෙ?”

“ ‘මල කෝලං. පළයං යන්ඩ’ කියලනෙ කිව්වෙ බං...”


Sunday, November 26, 2023

වැඩ පහසු කරන, කාලය ඉතිරි කරන...

මේ ගැන ලියන්න පටන් ගන්න කොට ම කතාවක් මතක් වුණා.

සිගරැට් බොන ‌මල්ලිට, අයියා උපදෙස් දෙනව...

"දැන් මට කියහං දවසකට සිගරැට් කීයක් බොනවද උඹ?"

"දවසකට අඩුම දහයක්වත් බොනව. ඇයි?"

"ඉතිං බලහංකො. දැන් සිගරුට් එකක් රුපියල් 125යි. දවසකට උඹට යනව වියදම, රුපියල් 1,250/- ක්. මාසෙකට යනව, 37,500 ක්. ඒ කියන්නෙ අවුරුද්දකට... 450,000 ක්. අවුරුදු දහයක් උඹ ඔය සල්ලි ඉතුරු කළා නං, ලක්ෂ 45ක්. බොට ඔය සල්ලිවලින් බංගලාවක් හදාගන්ඩ තිබුණ."

මල්ලි අහනව අයියගෙං:

"දැං උඹ සිගරැට් බොන්නෙ නෑනෙ. දැං කෝ ඔය විදිහට ඉතුරු කරල උඹ හදාගත්තු බංගලාව?"

දැන් යමු අපේ මාතෘකාවට. මගෙ ගැටළුව තියෙන්නෙ, අපි අපේ වැඩ පහසු කරගන්න නොයෙක් තාක්ෂණයන් යොදා ගන්නවා. වට්සැප්, ඊමේල් වගේ. අපට හොඳ පාරවල් සහ හොඳ වාහන භාවිත කරන්න ලැබෙනව. ගෙදරදොරේ වැඩ පහසු කරගන්න නොයෙක් උපකරණ තියෙනව. 

ඒ විදිහට අපි ඉතිරි කරගත්ත කාලය කෝ?


අපි මුල ඉඳල පටන් ගත්තොත් මෙහෙමයි...

ඔන්න ඉස්සර කාලේ උන්නා, මානව කණ්ඩායම්, ගෝත්‍ර. ඒ අය කළේ දඩයම් කිරීමත්, පල වැල අල ආදිය එක් රැස් කිරීමත්. 

ඔය අතරෙ උන්න ටිකක් වැඩිපුර හිතන කට්ටියක් පටන් ගත්තා, කැලේ ගිහින් දඩයම් කරනව වෙනුවට සත්තු අල්ලගෙන ඇවිත් ගේ ගාව කොටුවකට දාගෙන ඇති කරන්න. පලවැල රැස් කරනව වෙනුවට පැල උදුරගෙන ඇවිත් ගේ වටේ හිටෝ ගන්න. පේන විදිහට ලේසියි.

නමුත් දඩයක්කාරයට / පලවැල රැස් කරන්නට වඩ‌ා ගොපල්ලට / ගොවියට ජීවිතය ලේසි වුණේ නෑ.

දඩයක්කාරයන්ට ලොකු දඩයමක් ලැබුණම, බඩ පිරෙන්න කාලා, ඉතිරි ටික මී පැණිවල  හෝ වේලාගැනීමෙන් ඉතිරි කරගන්නවා. ඒ කියන්නෙ දවස් ගාණකට බර වැඩ නෑ.

ගොපල්ලා සත්තු බලා ගන්න ඕනෙ, කොටි වගේ විලෝපිකයන්ගෙන්, හොරුන්ගෙන් බේර ගන්න ඕනෙ. තණකොල කවන්න ගෙනියන්න ඕනෙ. පායන කාලෙට වතුර හොයල දෙන්න ඕනෙ. ලෙඩට දුකට බලන්න ඕනෙ. මුළු දවස ම කරන්න වැඩ තියෙනව.

ගොවියා, ගොවිපොල සකස් කරන්න ඕනෙ. පොලොව සකස් කරලා, ඇල වේලි හදලා, පායන කාලෙට වතුර දාලා, අස්වැන්න කන්න එන සත්තුන්ගෙන් පරිස්සම් කරගෙන, අන්තිමේ අස්වැන්න නෙලාගෙන, ගබඩා කරගෙන, පරිස්සම් කරගන්න ඕනෙ ඊළඟ කන්නයෙ අස්වැන්න නෙලනකම්. 

පේන විදිහට, වැඩ පහසු කරගත්තා කියලා කරගෙන තියෙන්නෙ, වැඩ වැඩි කරගැනීම සහ සංකීර්ණ කර ගැනීම.

ආපහු වර්තමානයට ආවොත්, අපි රස්සා කරන්න පටන් ගත්ත කාලෙ, ලියකියවිලි අපට ලැබෙන්නෙ තැපෑලෙන් සහ ෆැක්ස් මඟින්. එහෙම ලැබෙන වැඩ ඉවර කරන්න අපට සාධාරණ කාලයක් ලැබෙනව. ඒ කියන්නෙ, තැපෑලට යන කාලයත් එක්ක. නමුත් දැන් අපට ලියවිලි සහ තොරතුරු ඊට වඩා ඉක්මණට ලැබෙනව. ඒ වගේ ම ඒ තොරතුරු ආපිට අපෙන් බලාපොරොත්තු වෙන්නෙත්, දිනක් හෝ දෙකක් ඇතුළත.

ෆෝන් එකේ වට්සැප් ඔන් කළහම, ඒකෙ රාජකාරිවලට අදාළ වට්සැප් සමූහ තියෙනව විස්සක් විතර. එක එක විෂයයන්වලට අදාළව. ඊට අමතරව, දරුවගෙ ඉස්කෝලෙට අදාළවත් තියෙනව වට්සැප් සමූහ පහක් - හයක්. රාජකාරි ඊමේල් ගිණුම වෙන ම.

ඔය හැම එකක් ම අප්ඩේට් වෙන වාරයක් ගානෙ බලන්න බැරි වෙන නිසා වෙන ම නිලධාරියෙක් පත් කරල තියෙනව, ඔෆිස් එකේ. ඒත් මගෙ වගකීම ඔහුට යන්නෙ නැති නිසා, මමත් නිතරම ඔය දේවල් ගැන බලන්න ඕනෙ. ඒ අතරෙ මහජන පැමිණිලි, පළාත් පාලන ආයතනවල වැඩ හරියට නියම වෙලාවට නීතියට අනුව සිදු වෙනව ද කියලා අධීක්ෂණය කිරීම...

අන්තිමේ අපේ රාජකාරි පහසු කරගන්න යොදාගන්න නවීන තාක්ෂණය එක්ක අපි යන්ත්‍ර බවට පත් වෙමින් ඉන්නව.

ඉතින්, වැඩ පහසු කරන, කාලය ඉතිරි කරන නවීන තාක්ෂණය එක්ක, ඉතිරි කරගත්ත කාලය කෝ?

(පහල සිංදුව මේකට අදාළ වෙන්නෙ යන්තමින්. නමුත් ප්‍රශ්නය එක ම යි.)


මේකෙ ජෝන් ‌ලොගී බෙයාඩ් ට ඉන්න නළුවා, මාත් එක්ක ධීවර අමාත්‍යාංශයෙ වැඩ කරපු යාළුවෙක්. එයා ගොඩක් ටෙලි නාට්‍යවල ඉන්නවා.

Saturday, October 7, 2023

විශ්වීය සංගීතය (ශනිදා දහයට!)

"සංගීත ශිල්පියෙක් වෙන්න බැරි නම්, හොඳ රස විඳින්නෙක් වෙන්න" 

අපේ තාත්තා ගලහිටියාව සෙන්ට්‍රල් එකේ ඉගෙන ගන්නා කාලයේ, දවසක් ඒකෙ සංගීත ගුරුතුමා තාත්තට කිව්වලු, ඉස්කෝලෙන් පස්සෙ පැය දෙකක් සංගීතය උගන්නන්නම් කියලා.

ඉතින් තාත්තත්, ඉස්කෝලෙන් පස්සෙ නතර වෙලා.

පළවෙනි දවසෙ, මාස්ටර් තාත්තට කියල දුන්නලු, තබ්ලාව ළඟ වාඩි වෙලා, දකුණු අතේ දබරැඟිල්ලෙන් දකුණු පැත්තෙ වාද්‍ය භාණ්ඩය (මං හිතන්නෙ චල් එක) ට තට්ටු කරන්න. ඉතින් තාත්තත්, එදා පැය දෙක ම දබරැඟිල්ලෙන් තට්ටු කර කර හිටියලු.

ඒ අතරෙ මාස්ටර් ඇඳුම් මාරු කරලා, නාලා, කාලා, පත්තරෙත් බලලා... පැය දෙක ගත වුණාට පස්සෙ ඇවිත් තාත්තට යන්න දුන්නලු.

දෙවෙනි දවසෙ තාත්තාට කියා දුන්නලු දබරැඟිල්ලයි මැදැඟිල්ලයි දෙකෙන් තබ්ලාවට තට්ටු කරන්න.

තාත්තා ඒ කාලෙ, කටුවාලමුල්ලෙ ඉඳන් කිලෝ මීටර් හතරක් විතර පයින් යන්නෙ ඉස්කෝලෙට. ආප්ප දෙකක් කාලා, සෙරෙප්පු දෙක ගෙවෙනවට අතට අරං...

දවල්ට කන්න වෙන්නෙ ගෙදර ආවට පස්සෙ. ඉතිං හවස හතර විතර වෙනකං බඩගින්නෙ ඉන්න බැරි නිසා තාත්තගෙ සංගීත පංතිය ටික කාලෙකින් ම නතර වුණා ලු.

අර උඩින් මම සඳහන් කරපු කියමන, ඔන්න ඔය සංගීත මාස්ටර් අපේ තාත්තට කියපු එකක්.

පංති නොගියට, තාත්තා ඉතා ම දක්ෂ විදියට ඩෝලැක් ගහන්න පුළුවන්, ඒ වගේ ම ‌ඔලුව අතගානවා වගේ දැනෙන කටහඬකින් සිංදු කියන්න පුළුවන් සංගීත කාරයෙක්.

මගෙ හෝම් කමින් එකේ සෙල්ලම් කළෙත් තාත්තගෙ බෑන්ඩ් එක. (ඒ වෙනකොට තාත්තා මිය ගිහින්. තාත්තට කරන සැළකීමක් විදිහට එයාගෙ යාළුවො ටික නොමිලේ සංගීතය සැපයුවා හෝම් කමින් එකට)

අසූව දශකයේ අපේ ගමේ තිබ්බ වෙඩිමක සංගීතය සපයන තාත්තගෙ බෑන්ඩ් එක
සුදු ෂර්ට් එකක් ඇඳගෙන නැගිටලා සිංදු කියමින් ඉන්නෙ අපේ තාත්තා.

තාත්තගෙ ආභාෂයෙන් මටත් විවිධ භාෂාවල සංගීතය රස විඳින්න පොඩි කාලෙ ඉඳන් ම පුළුවන් වුණා.

මෙලෝ මළදානයක් පදමාලාවෙ නොතේරුණත් තනුව සහ සංගීතය නිසා මම හොඳින් ම රසවින්ද ටිකක් මෙතැන් සිට...

පළමුවෙන් ම එනිග්මා වෙතින් දුක...


මී ළඟට ජේම්ස් ලාස්ට් ගේ හුදෙකළා වූ එඬේරා...


මේ මියුසික් එක ඉස්සර කාලේ ගෝයා ඇඩ් එකෙන් ඇහුණු නාකි උදවිය මේ කොණට... 

මේ ඒක ම නෑනා මුස්කුරි වෙතින්...


මේ ඒක ම ලියෝ රෝහාස් වෙතින්...


ලියෝ රෝහාස් කියන්නෙ පැය ගාණක් එක දිගට අහං ඉන්න පුළුවන් සංගීත සයුරක්... මේ එයා lion king ‌ෆිල්ම් එකේ circle of life කරන හැටි.


 යොන්නා යින්ටොන් ගෙන් නෝර්ඩික් දරු නැළවිල්ලක්...


මේ තවත් එකක්. වෘකයාගේ ගීතය...


මෙයා තමයි අර... මගෙ කලින් කතාවෙ ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් අවුරුදු හාරසීයක් විතර අතීතයට ගිහින් ඇහැරෙනකොට ක්‍යුනිං ගායනා කරමින් හිටපු එඬේර කෙල්ල ගැන ලියන්න මට අනුභූතිය සැපයුවේ...


සෙල්ටික් කාන්තාවෝ මී ළඟට...


ෆාඅන් හෙවත් යක්සයෝ මේ...


අදට අවසාන වශයෙන් මේ ක්ලැනැඩ්...


උඩ මියුසික් ඇහෙනකොට, මේක මතක් වෙන්න ම ඕනෙ...


තට්ටයියගේ සිහිල් සුළං රැල්ලට සමාන්තර ලිවීමක් වශයෙනි...

Monday, March 6, 2023

අයින්ස්ටයින් ප්‍රහේලිකාව

ළඟක දී මට කියවන්න ලැබුණා ෆේස්බුක් එකේ උඩ තියෙන මාතෘකාවෙන් පළ කරලා තිබුණු තර්ක ගැටළුවක්. බුද්ධි පරීක්ෂණවල තර්ක රාමු කියලා පොදුවේ හැඳින්වෙන ගැටලුවක් මේක.

මේකට ගොඩක් තැන්වල අයින්ස්ටයින් ගේ ප්‍රහෙලිකාව කියා හැඳින්වෙනවා. බහුතරයක් දෙනා විශ්වාස කරනවා, මේ ගැටළුව හදලා තියෙන්නේ, අයින්ස්ටයින් තරුණ කාලයේ දී විනෝදයට කියලා. සමහරුන් කියනවා, තමන්ගෙ ගෝළයන් තෝරාගන්න අයින්ස්ටයින් භාවිත කරපු ගැටළුවක් බව.

තවත් තැන්වල සඳහන් වෙන්නේ, මේ ගැටළුව නිර්මාණය කළේ ඇලිස් සහ විස්මලන්තය ලියපු, ලුවිස් කැරොල් කියලා.

මෙන්න ගැටළුව...

එක පෙළ ට ගෙවල් පහක් තිබෙනවා. මේ ගෙවල් වර්ණ ගන්වලා තියෙන්නෙ වෙනස් වර්ණ පහකින්. මේ ගෙවල අයිතිකාරයො වෙනස් ජාතිකත්ව පහකට අයිති අතර, ඔවුන් වෙනස් බීම වර්ග පහක් බොන, වෙනස් දුම්වැටි වර්ග පහක් උරන සහ වෙනස් වර්ගවල සුරතලුන් ඇතිකරන උදවිය. ඒ ගැන අපට ලබා දී තිබෙන තොරතුරු පහතින් දැක්වෙනවා.

  • බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට ගෙදර,
  • ස්වීඩන් ජාතිකයා බල්ලො ඇති කරනවා,
  • ඩෙන්මාර්ක් ජාතිකයා තේ බොන්නෙ,
  • කොල පාට ගෙදර සුදු පාට ගෙදරට වම් පැත්තෙන් පිහිටා ඇත,
  • පෝල්මෝල් සිගරැට් උරන කෙනා කුරුල්ලො ඇතිකරනවා,
  • කහ පාට ගෙදර ඉන්න තැනැත්තා ඩන්හිල් උරනවා,
  • කොල පාට ගෙදර අයිති කරු කෝපි බොන්නෙ,
  • මැද ගෙදර ඉන්නා තැනැත්තා කිරි බොනවා,
  • නෝවීජියානුවා ජීවත් වෙන්නේ වම් පැත්තේ පළමුවැනි ගෙදර,
  • බ්ලෙන්ඩ්ස් දුම්වැටි උරන්නා, පූසන් ඇති කරන්නාගේ ගෙදරට ළඟ ම ගෙදර ඉන්නෙ,
  • අශ්වයන් ඇති කරන්නා, ඩන්හිල් උරන්නාගේ අසල්වැසියා,
  • බ්ලූමාස්ටර් දුම්වැටි උරන්නා බියර් පානය කරයි,
  • ජර්මානුවා ප්‍රින්සස් දුම්වැටි උරනවා,
  • නෝවීජියානුවා පදිංචි නිල් පාට ගෙදරට යාබද ගෙදර,
  • බ්ලෙන්ඩ්ස් දුම්වැටි උරන්නාගේ අසල්වැසියා වතුර ‌බොන්නෙ.

මේ ඉඟි අනුව, මාලු හදන ගෙදර කුමක්දැ යි තෝරා කියන්න ඕනෑ.


මේ විදිහෙ තර්ක රාමුවක් යොදා ගන්නත් පුළුවන්.


නමුත් මම භාවිත කළේ එක්සෙල් ශීට් එකක්, මෙන්න මේ විදිහෙ...


ඊට පස්සෙ, ඉඟි එකින් එක කියවමින්, අදාළ කොටස්වලට වෙනස් වෙනස් වර්ණ දැම්මා. දෙ තුන් වරක් ඉඟි කියවද්දී, ගැටළුව නිරාකරණය කරගන්න හැකි වුණා.

ගැටළුව විසඳපු විදිහ මී ළඟ පෝස්ටුවෙන්...

Saturday, January 28, 2023

සිරිබිරිසාගමනය

එක් සමයෙක්හි අලගෙඩියට අධිපතියාණ වූ ද, සකල පුරාණ පුස්තකයනට බහිරවයෙක් වූ ද, මිතිකලයට කාන්දමක් වූ ද, වීර අලකේෂ්වර වූ මහා ඩ්‍රැකියාණන් සිය මහා කරුණා නම් වර්ෂායෙන් නුවරඑළිය පුර ප්‍රවරය තෙමා නහවමින් ද, ස්ට්‍රැටජික නම් යුද්ධායුධයෙන් සභාවන් හා රදොළුන් ද ටැකලයට නතු කරවමින් ද, දැහැමෙන් සෙමෙන් දිස්තිරික්කය භොජනය කෙරෙමින් වැඩ වාසය කරන සමයේ, මහා සිරිබිරිසාගමනය නම් කුණ්ඩාවාඩයක් කඩා පාත් වී වදාළ ආකාරය කෙසේ වී ද යත්...

සිරිබිරිසානෝ වනාහි, මහා රසිකයාන කෙනෙක. ඕසයක් ට්‍රේලයන් ඇති සප්ත මහා සාගරයෙන් වට මහා දේශයක වාසය කරන්නේ, අන්තරජාලයෙන් සකල මහා බ්ලෝග නම් ක්ෂීර සාගරය කළතමින් පඨනය කරන්නෝ ය. මූ ඊටත් වඩා මහා පර්සනල් වැලියුවන් සහිතව හිතවතුන් වෙත අමුතු අබුතු තිළිණයන් පිරිනැමීමෙහි ලොල් බවින් ලෝකයේ පරසිදුවැ වෙසෙන්නෝය.

එක් දවසෙක මහා ඩ්‍රැකියානෝ අළුයම දහයේ කණිසම හා සමග අවදිවැ, මහා කරුණා සමාපත්තියට සම වදින්නට යන්නා හාම නිදියා නම් කෙළෙඹි පුත්‍රයාගෙන් ටැලිපෝන කෝලයක් සම්ප්‍රාප්තවැ වදාළේ ය. නිදිකෝලයෙන් ඩ්‍රැකියාණන්ට වදාළේ, සිරිබිරිසාණන් දිවයිනට සම්ප්‍රාප්තවැ බ්ලොගයෝ සොයා ඇවිදින්නේ, තට්ටවර්ධන නම් ඇඩ්වෙන්චරාධිපතියාගේ ටීපී කෑම්ප සයිටයේ මහා ගෙට්ටුවක් කැඳවාපී බවයැ.

සිරිබිරිස යන හුදු වචන මාත්‍රය කණ වැකීමෙන් සියොළඟ රෝමෝද්ගමනයවැ තක්කු මුක්කු භාවයට පත්වූ ඩ්‍රැකියාණන්ට නිදියා කියාපී නිවුසය වනාහී, රවි නම් වූ වීර සිංහයාණන් ද, සකල දැනුමට ආකරයක් බඳු වූ ප්‍රා ජේයාණන් ද, සකල සියොළඟ ම නාඹ තල් කඳින් උපුටා ගත් ටූත්පිකයක් බඳු වූ නමියාණන් ද, අරුණශ්‍රීයෙන් පොබයනා නෙවිලාණන් ද, ඉවෝන් ප්‍රේම බිළාලයාණන් ද, නාවුක අසංග නම් පිහිපහරධාරියාණන් ද, මෙකී නොකී තවත් අක්ෂෞහිණියක් ‌බ්ලොගරයන් ද  ඒ මහා ගෙට්ටුවට කැඳවනා ලද බවයැ.

ඉදින් මේ මහා ගෙට්ටුව හට පළමුයෙන් තට්ටවර්ධනයෝ මහා ඩ්‍රැකියාණන්ට කෝලයක් දුන්නේ, රවියාණන් ද, ඩ්‍රැකියාණන් ද සමඟින් හුදෙකලා අඩියක් ගැසීමේ පරම පිවිතුරු චේතනායෙන්, ගෙට්ටුවට පූර්ව රාත්‍රියේ සිය කයෑක් ජොයින්ටයට සෙටමෝල් වන පරිද්දෙන් ආරාධනා කර සිටියෝයැ.

ඊට මහා මනාපයෙන් උන්න ද, මහා පළාත් පාලන ඡන්දයේ රාජකාරිය ද, රාජකාරිමය ඩබල්කැබයට රෙපෙයාරයක් උද්ගත වීම ද, ඩ්‍රැකි ජූනියරයා වෛරසීය හුණ වැළඳීමෙන් දැයි යන මාර පුත්‍රයෝ තිදෙන උන්දෑට හරස් කපාපීය.

ඉදින් ගෙට්ටු දවසේ සූර්ය දිවිය රාජයන් පරදවමින් මහා පාන්දරින් අවදිවූ ඩ්‍රැකියාණෝ සිය කළ්‍යාණ මිත්‍රයෙකු වූ සමීරයන්ගේ ත්‍රී වීලරයෙන් නුවරේළි මහා බස් රථ නැවතුමට වැඩ වදාළ හ. එතෙකුදු උන්දෑ චෛතසික වැට උඩ වැඩ වදාළේ, ඩ්‍රැකි ජූනියරයා ගේ හුණ රෝග පීඩායෙන් දෙගිඩියාවෙහි උන් බව සිහි කට යුතු යැ.

එකී දෙගිඩි දෙවාරණයේ බලපෑමෙන් ද, ඊට පෙර දාක නානුඔය නම් ෂෝට්කටයේ උද්ගත වැ තිබුණාවූ මහා ඇක්සිඩන්ටයේ නාමයෙන් එකී ෂෝට්කටය මහා යානයන් ට වසා පී හෙයින් ද, ඩ්‍රැකියානුවන් හැටන් නම් මහා පුරයට සම්ප්‍රාප්ත වූ කලී ප්‍රමාදයක් හට ගත්තේයැ. ඉදින් නුවරේළි බසයේ සාරථී තෙම මඟින් තම බසය නවතා, කොළොම්පුර බසයකට ඩ්‍රැකියාණන් නැංගවූ හෙයින්, තලවාකැලයේ සිට උන් පෙළමින් ආ පම්ප් ටයිඩයෙන් මිදීමේ මඟ මහා හක්බෙල්ලාවක දක්වා කල් දමන්නට වීර අලකේශ්වරයන්ට සිදු වූ බව මෙයින් දත යුතුයැ.

මහා ගූගල් නැන්දණිය විමසා හක්බෙල්ලාවකට යන මං හසර විමසූ මහා ඩ්‍රැකි තෙම, ගූගලාවිය කියූ පරිද්දෙන් මැ තමන් අළුයම නවයේ කණිසම පසු කොටැ තත් ක්ෂේත්‍රයට එළැඹෙනු ඇති බව සිරිබිරිසාණන්ට දන්වාපීය.

එතෙක් මහා කොළොම්පුරයේ සිට දුරු කතර ගෙවා ගෙන පැමිණැ උන් සහ - බ්ලොග් කාරයෝ තමන් ගේ පැමිණීම වන තෙක් උන් උන් කරැ කොක් කරෙක් මෙන් උස් වන තෙක් මඟ බලාගෙන ඉදිනා වග සිහි වී ඩ්‍රැකියානෝ මහත් චිත්ත පීඩාවට පත්වීමෝ යැ.

තට්ටවර්ධන කෙළෙඹි පුත් මඟින් මඟට කෝලයන් දෙමින්, විසි හයේ කිලෝ මීටර කණුව අසබඩ දියෙස් නම් වූ මහා ලැවරියා කඩය ළඟ දී බසයෙන් බසිනා ලෙද අනුශාසනා කළෙන්, බසයේ උන් රථාචාරී ද, කොන් හතරටම වෙදැදුරු ද, ඩ්‍රැකියාණන් අදාළ තැනින් ම බස්සවාලීමට උදක් මැ වෙහසුුුණු බව කෘතඥතාවෙන් සිහිපත් කළ යුත්තේම යැ.

බසයෙන් බැසැ දිව ගොස් දුටු දුටුවන් මුව පියුම් මුකුළිත කරවමින් ගුඩ් මෝනිමයකැ යි දෙසා වදාළ ඩ්‍රැකියාණන් ලැවරියා කඩය පිටුපසැ පිහිටි මහා වච්ඡකුටියේ නතර වූයේ සිය පම්ප් ටයිඩයෙන් මිදීම පිණිස යැ. 

එතැන් පටන් තට්ටවර්ධනයන්ගේ ඕෆ්රෝඩයේ නැගී අයෝමය කඳින් තැනූ කොළොම්බුවේ හිඳගෙන, වාරි මාර්ගයක් බඳු වූ මඟෙක යොදුන් හතක් ගිය තැන ටීපී නම් වූ කෑම්ප සයිටයට ගොඩ බට හැකි වූයේ යැ. ඒ කෙබඳු සයිටයක්ද යත්, ලේ බොන මිනුම්දෝරුවන් හෙවත් කූඬැල්ලන් දෙතුන් දෙනෙකු හැරුණු කල, එකදු වන සත්ත්වයෙක් පය තබන්නට පැකිළෙන, වනගත එළිමහනෙක තැනුණු අට්ටාලයෙකැ, වච්ඡකුටියෙකැ යි දෙකෙකි. අට්ටාලෙහි පහළින් මුණු මුණුවෙකින් ගළා බසිනා, වට ගලින් හා අඩියේ වාලුකායෙන් ද, දණ්ඩීන් බඳු කුඩමසුන්ගෙන් ද පරික්ෂිත දොළ පහරෙකැ. හුදෙකලායෙන් ආතලයක් ගන්නන්ට ස්වර්ගයෙකැ.

එනික්බිත්තෙන් උදයට අර්ථාපලයන් දැමූ උළුහාල් හොද්දක් ද, පොල්, මිරිස් හා ලුණු දැමූ දෙහි සම්බෝලෙයක්ද ද සමඟින් ඉඳියාප්පයෙන් සප්පායම් වූ අප මහා කෂ්ඨිය, අට්ටාලය මත්තේ මහත් වූ කථා බහෙක් ඇති කළෝ ය. ඒ අන්තරයේ, රවියාණන් සුද්දාගේ සයිසය පෙන්වූ සැටි ද, පෝල් බටය පහත් කරවීමට චන්ද්‍රිකාවුන් නොපැමිණි ආකාරය ද, මහත් සෙයින් රසවින්දමෝ යැ.

උළුහාල් හොද්ද රත් වෙමින් පවතින අතර පිඟන් සෝදන නිදි ගේ පින්තූරයට කඤ්ජිපානි ඉම්රාන් යැයි කැප්ෂන් යෙදූ අය සොයා රහස් පොලිසියෙන් පුළුල් පරීක්ෂණ...

රවි අයියා: "මෙන්න සයිස් සුද්දා..."
මම: "මුන්දැ ඒ පාර මගෙ ගජබින්නාලංකාරෙටත් තර්ජනයක් වේගෙන එන්නෙ"

ඉක්බිති උදා වූයේ සංගීතවේදියන් අනුභවයේ අවස්ථාවයැ. විකටරයෝ ද, සනත් නන්දසිරියෝ ද පළමුවෙන් භක්ෂණයට පාත්‍ර වූ ගායකයෝ වූහ. ඩ්‍රැකියාණන්ගේ උදක් ම ඉල්ලීම ප්‍රකාරවැ අමරදේවයන්ගේ මින්දද හීසර නම් වූ මියුරු ගායනය රවියාණන් විසින් භක්ෂණය කරන ලද්දේ අවසාන භාගය වන විට යැ.

අපරභාග හතර වන විට ඩ්‍රැකියාණන් සමු දීමට ඉටා ගෙන උන්නේ හැටනයෙන් නුවරේලි නම් ‌මහා පුරවරයට නික්මෙන අවසාන බසය වූයේ අපරභාග හයේ කණිසමට වූ බැවිනි. හේ සිය සිත තුළ ශෛලතලායෙක කොටන ලද ලේඛනයක් සෙයින් රඳවාගෙන උන් නිදියාණෝ, කල් වේලා ඇතිවැ දොළට බැස ස්නානය නම් වූ ඇඟ සේදීමට ද, සංගීත වේදියන් අනුභවයෙන් නොපිරුණු කුස නැවත බතින් මාළුවෙන් පුරවාගැනීමට ද වේලාවන් යොදා ගැනීමේ තත්පර වූහ.

ඉදින් ඩ්‍රැකියාණන්හට මහත් චිත්ත පීඩාවෙක් වූයේ, අනෙකුන් සියල්ලන්ගේ මැ ආතලයට තමන්ගේ වේලා සටහන බාධකයක්වැ සිටි හෙයිනි.

කෙසේ වතුදු, සහෘදයන්ගේ කතිකාවෙන් ද, මියුරු ගායනයෙන් ද, දොළ පහරේ ගිළී නෑමෙන් ද, ගත්තා වූ ආස්වාදය මියයන තුරුමැ අමතක නොවන අත්දැකීමක් වූයේ යැ.

වන්නාටය, අපරබාග තුනයි හතළිහ පමණ වන විටැ දහවල් බත ද කා පී ඩ්‍රැකියාණෝ, පෙරළා යෑමට බසයක් එන තුරු සිරිබිරිසාණන් දුන් මහා ‌පුස්තක එකොළොස බදාගත් බහිරවයෙක් සෙයින් උන්නමෝ ය. එකී පුස්තකයන් වටිනාකම අතින් කෙළ ලක්ෂයකට ද වඩා පුස්නේ, අති දුර්ලභ ලිහිණි පොත් දසයෙක් ද සමඟැ, රාජ්‍ය සේවකයාගේ මනා ආකල්ප වර්ධනයේ සමර්ථ ගුණසේකරයාණන්ගේ ඩීආරෝ පුස්තකය ඩ්‍රැකියාණන්ට ම අමතා ගුණසේකරයාණන් යෙදූ අත්සන ද සහිතවැ ගෙනැවුත් දුන් හෙයිනි.

මහා ඔළ මොට්ටල වූ ඩ්‍රැකියාණන් ඒ තිලිණ පිළිබඳවැ සිරිබිරිසාණන්ට පිදිය යුතු වූ කෘතඥතාව ද පිදූයේ නොවේ. උන්ගේ හිතේ මුවවිට දක්වාමැ පිරී තිබුණේ හැටන් බසයත්, ඩ්‍රැකී ජූනියරාගේ හුණ රෝගයත්, පමණෙකැ.

පල්ලමෙක බසයක් පහළට යද්දී වේගයෙන් ගිය මුත්, නැවත මුඳුනතට යද්දී ධාවනය වන්නේ සෙමෙන් බව අමතක කිරීම ද, ඩ්‍රැකියානුවන්ගේ තවත් ඔළමොට්ටල කමෙක් වූයෙන්, කල් වේලා ඇතිවැ බසය ග්‍රහණය කරගත්ත ද, හැටන් සිට නුවරේළි බලා දිවෙන බසය අල්ලා ගත නුහුණු වූවෝ ය. මස්කෙළිය බසයෙන් ගිනිගත් සේණට ද, ඉන් හැටනයට ද ගිය මුත් නුවරේළි බසයක් අල්ලාගත නුහුණුවෝ, මොබයිලයේ අන්තරජාලයෙන් හැටනයෙන් පිටත්වන්නට නියමිතව තුබූ ධූමරථයක් බැලූ මුත්, ඒ ද නොමැත්තෙන් හැටනයේ සිට තලවාකැලය බලා යන බසයක නැගී තලවා කැලයට ළඟා වී නමුත්, තලවාකැලයෙන් නුවරේළිය හරහා පුත්තලම කරා යන අන්තිම බසයද පිටත්ව ගිය බව දැනගත්තෙන් අනාථ - නාථ බිම්බිසාර වී තලවාකැලයේ විනාඩියෙන් හතළිස්පහක් මැ තපින්නට වූයෙම්මෝ යැ. 

එකල්හි රෙපෙයාරය කර ගත්තාවූ මහා කණිෂ්කයෝ, නිල ඩබල්කැබය ද රැගෙන නුවරේලි සැපත් වූ වග ඩ්‍රැකියාණන්ට සැළ කරා පීහ. උන් තලවාකැලයට ගෙන්වාගන්නාලද ඩ්‍රැකියානුවෝ සිය ක්වාටසයට සැපත් වූ කල අපරභාග නවය හමාරේ කණිසම වූය. මහා කණිෂ්ක නම් සාරථී තෙම තලවාකැලයට එන තෙක් වූ විනාඩි හතළිස්පහ කෙවුලන් හැරපියා ගොස් මනුෂ්‍ය වාසයෙන් තෙර වූව තොටමුණක් බඳු වූ තලවාකැලයේ පීපලයන්ගේ බැංකුවේ ඒ ටී එමයට වැදී සිරිබිරිසාණන් දුන්නාවූ පොතක් කියවමින් ගත කළෙම්මෝ ය.

එකල්හි සිරිබිරිසාණන් මෙ කල අමිල නාමධාරී සහෘදයාණන් වන අතර, තට්ටාධිපතියන් මෙකල මඤ්ජුල නාම ධාරී ඇඩ්වෙන්චරයාණන් බව ද, පිහිපහරධාරී අසංග වූ කලී මෙකල කොළොම්පුරයා වන බව ද, නිදියා වූ කලී නිමල දිසාවන්ට නායකයා වූ පඤ්ච තන්ත්‍රයෙකැයි චීත්ත වාහිනියක් ලියනා කෙළෙඹි පුත්‍රයා වන බව ද, වීර සිංහයෙකු බඳු වූ රවියාණන්, නිදහස් සිතුවිලි බ්ලොගයේ ඉස්තෝප්පු කාමරයට වැදී සකල බ්ලොගයම තමන් සතු කරගත්තා වූ කටාරයේ අධිපතියාණන් වූ බව ද, නමියා වූ කලී, නමියාගේ වීදියේ අවේලාවේ වීදි සඤ්චාරය කරන ඉඳිකටු පැංචා වූ බවද, ප්‍රා ජේ වූ කලී, මෙකල ප්‍රසන්னයා ගේ වෑනයේ දොරට ඝට්ඨනය වූ ‌පූර්වයේ-කදෝරු මහතැන් වූ බව ද, මහා ඩ්‍රැකියාණන් වූ කලී මෙකල සර්වඥ පණ්ඩිත වූ මම් ම වේ දැයි පූර්වාපර සන්ධි ගළපා දැනගත යුතු වන්නේ යැ.

Tuesday, December 6, 2022

පෙරකොදෝරු සහ දේශපාලු කතා

හිටපු ජනාධිපති/අගමැති/පා.ම. ගරු මැතිතුමෙක් මිය ගියා. මිය ගිහින් එයාගෙ ආත්මය ගියා චිත්‍රගුප්ත ගාවට. කවුද චිත්‍රගුප්ත? එයා තමයි යම රජුගේ ලේකම්.

//උපුටා ගැනීම //

//ඉන්දියානු පුරාවෘත්තයට අනුව චිත්‍රගුප්ත යනු මිනිසුන්ගේ ක්‍රියාවන් පිළිබඳ සම්පූර්ණ වාර්තා තබා ඔවුන්ගේ කර්මයට අනුව ඔවුන්ට විපාක දීමේ කාර්යය පැවරී ඇති හින්දු දෙවියෙකි’ චිත්‍රගුප්තට පැවරී ඇත්තේ මිනිසුන්ගේ ක්‍රියාවන් මත පදනම්ව ඔවුන්ගේ මරණයෙන් පසු ස්වර්ගයට හෝ නිරයට යනවාද යන්න තීරණය කිරීමයි’ චිත්‍රගුප්ත යනු බ්‍රහ්මයාගේ දහහත්වැනි මානසපුත්‍ර වේ’ ඔහු බ්‍රහ්මගේ ආත්මයෙන් සහ මනසින් මවා ඇති බව විශ්වාස කෙරෙන අතර ඒ අනුව බ්‍රාහ්මණයකු මෙන් වේද ලිවීමේ අයිතිය ඔහුට ලබා දී ඇති අතර ක්ෂත්‍රියකුගේ රාජකාරිය ද පැවරී තිබේ’//

චිත්‍රගුප්ත කිව්වා දේශපාලු තුමාට, "අපේ සිස්ටම් එක පොඩ්ඩක් අප්ඩේට් කරල තියෙන්නෙ, දේශපාලනඥයන් වෙනුවෙන්. දැන් අපි පැය විසි හතරක් එතුමාලට අපායෙ ගත කරන්න අවස්ථාව දෙනවා. ඊට පස්සෙ ඔබතුමාට තෝරාගන්න අවස්ථාව ලැබෙනවා, අපායට යනවද, දිව්‍ය ලෝකයට යනවද කියලා"

දේශපාලු තුමාට පුදුමයි. නමුත් එතුමා ඒකට කැමති වුණා. එක පාරට ම හාත්පස අඳුරු වෙලා, ආපහු අවදි වෙනකොට එතුමාගෙ ඇඟට දැනුනේ විල්ලුද වගේ සුවපහසු බවක්. එයා ඇස් දෙක තදින් පියා ගත්තා, මිනිස්සු වේදනාවෙන් කෑ ගහන සද්ද අහන්න අපේක්ෂාවෙන්, නමුත් ඇහුණේ බොහොම මෘදු සංගීතයක් විතරයි. මස් පිච්චෙන ගඳ අපේක්ෂා කළාට, දැනුණේ බාබකිව් එකකින් නැඟෙන, සෝස් මිශ්‍ර මස් රෝස්ට් වෙන සුවඳ.

"නැඟිටින්න හිටපු ජනාධිපතිතුමනි." ඉතා මිහිරි කටහඬක් ඇහිලා දේශපාලු තුමා ඇස් ඇරලා බැලුවා. සුරංගනාවියන් වගේ පෙනුම තිබුණු ගෑණු ළමයි දෙන්නෙක් අත දික් කරලා එතුමා ව නැඟිට්ටෙව්වා. එතුමා මෙතෙක් ඉඳලා තිබුණේ පිහාටු වගේ මෘදු ඇඳක. ඔහු දැක්කේ තරු හතේ හෝටල් කාමරයක්. 

"මම මේ කොහෙද?"

"අපායෙ" ගෑණු ළමයින්ට පිටුපසින් හිටපු උස මහත පිරිමියෙක් උත්තර දුන්නා බොහොම ගැඹුරු කටහඬකින්. "මම තමයි යම රජු. වෙල්කම්..."

එතන ඉඳන් දේශපාලු තුමාට ඉතාම ඉහළ මට්ටමේ සැළකිල්ලක් ලැබුණා. උසස් වර්ගවල ඇල්කොහොල්. විශිෂ්ඨ විදිහට පිස තිබූ කෑම බීම. ඇසුරට ලස්සන තරුණ ගෑණු ළමයි...

ඔහු සිටි හෝටල් කාමරයට ඉහළ මහලේ තිබුණ‌ෙ අපාය ක්ලබ් එක. අවසානයේ ඔහු නින්දට වටෙද්දී සිටියේ ඒ ක්ලබ් එකේ.

ඇහැරෙනකොට නැවතත් ඔහු චිත්‍රගුප්ත ගාව.

"ඉතින්... මොකද හිතන්නෙ?" චිත්‍රගුප්ත ඇසුවා. "ඔබ දිව්‍යලෝකයට යනවද? එතැන මෝසාට් ගේ සංගීතය. පළතුරු සහ නැවුම් එළවළු. කෙලි දෙලෙන් ගතකරන සාවුන්, බැටළුවන් සහ මුවන්..."

"හා පෝ...! හරිම බෝරිං... නෑ. නෑ. මම කැමතියි අපායට"

කටකොණකින් හිනාවුණු චිත්‍රගුප්ත, තමන් අතේ තිබුණු මහ පොතේ සටහනක් යෙදුවා. ඒ විගස හාත්පස අඳුරු වෙලා, දේශපාලු තුමා ආපහු ඇහැරුණේ ඉවසන්න බැරි තරමේ උණුසුමක් තිබූ පරිසරයකට.

විළාප හඬ හැම තැනම. බැලූ බැලූ අත දකින්න තිබුණේ ගින්නෙන් පිළිස්සෙන, යකඩ කියත්වලින් කැපෙන, ගිණියම් කටුවල ඇමිණෙන, මිනිස් සිරුරු.

"මේ මොකද්ද මේ?" දේශපාලු තුමා පුදුම වෙලා කෑ ගැහුවා. "කෝ මට ඊයෙ පෙන්නපු හෝටල් කාමරය? කෝ ක්ලබ් එක?"

"ආ... ඒ අපේ ප්‍රචාරක ව්‍යාපාරය." යම රජු කීවා. "දේශපාලු පවුකාරයෙක් තෝරා පත් කරගන්න තිබුණු කැම්පේන් එක ඉවරයි. අපි ඔබ තෝරා පත් කරගත්තා."

*    *    *

දවසක් මිනිහෙක් වෑන් එකක් පදවගෙන යනවා, ගමනක්. (ගමනක් නැතුව නින්දක් යනවෑ වෑන් එකක් එළවගෙන?) එහෙම යද්දි එයා දකිනවා, ලෝයර් කෙනෙක් පාර අයිනෙ හිටගෙන ඉන්නවා. ඉතින් සමාජයට මෙහෙවරක් කරන්න කියලා හිතාගෙන අර මනුස්සයා වාහනේ ඇඟට කපලා අර ලෝයර්ව යටකරගෙන යනවා. තව ටික දුරක් යද්දි මේ මනුස්සයා දකිනවා තවත් කළු කබා කාරයෙක්. ඉතින් තවත් සමාජ මෙහෙවරක් කරන්න කියලා ඇඟට කපන්න යද්දි ම තමයි එයා දකින්නෙ, ඒ ෆාදර් කෙනෙක් කියලා. ඉතින් පොඩ්ඩක් නතර කරලා ෆාදර්වත් වාහනේට නග්ග ගන්නව, ලිෆ්ට් එකක් දෙන්න.

ඔන්න ඉතින් ඔය විදිහට ඒ දෙන්නා යන්න පටන් ගන්නව ආපහු. ඒ යද්දි ප්‍රසා දකිනව පාර අයිනෙ ඉන්න තවත් කළු කෝට් කාරයෙක්ව. ‍මේ පාර හොඳට ම බලලා සැක ඇර ගන්න මිනිහා, තවත් සමාජ සත්කාරයක් කරන්න හිතාගෙන අරූ ගෙ ඇඟට කපනව. එතකොට ම තමා ප්‍රසා ට මතක් වෙන්නෙ "යකෝ! වාහනේ ෆාදර් කෙනෙක් ඉන්නව නේද" කියලා. 

ඉතිං අරූ යට වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ප්‍රසා ආපහු හරව ගන්නව වෑන් එක. ඒ උන්දැට ඇහෙනව "තඩ්" ගාලා සද්දයක්. පස්ස බලන කණ්ණාඩියෙන් බලනකොට, ප්‍රා ඉන්නව පදික වේදිකාවෙ වැටිලා ඇද වෙලා. ඉතිං ප්‍රසා කියනව වම් පැත්තට ඔලුව හරවලා, 

"අනේ සොරි ෆාදර්. මට එක මොහොතකට පොඩි මිස් එකක් වුණා. ඒත් මං හිතුවා අර ලෝයර් මහත්තයා වාහනේ හැප්පෙන එකක් නෑ කියලා."

"ඔව්. ඔව් මහත්තයා." ෆාදර් හිනා වෙලා කියනවා. "මාත් හිතුවා එයා බේරෙයි කියලා. ඉතිං මං එකපාරටම දොර ඇරලා වැහුවා, අඩුගානෙ දොරේවත් හැප්පෙන්න කියලා."

*    *    *

ප්‍රාදේශීය  සභාවෙ සභාපතිතුමා පන්සලට ගියා. පන්සල් ගිහිං හිටපු අසංගට කෝල් එකක් ආවා. කෝල් කළේ අජිත් කියලා, අසංගගෙ හොඳ ම යාළුවෙක්.

"අහවල් සභාපතිතුමා ආව නේද පංසලට?"

"ඔව් මචං" අසංග කිව්වා. 

"මචං මං සභාපතිතුමාගෙ වයිෆ් ඉස්සුවා රූම් එහෙකට. උඹ පුළුවන් තරං වෙලාවක් ඔය යකා පන්සලේ ම තියාගනිං." අජිත් කෝල් එක කට් කළා.

ඉතිං අසංගත් සභාපතිතුමාගෙ පස්සෙන් වැටුණා. සභාපතිතුමා වතාවත් කරලා, ලොකු හාමුදුරුවොත් හම්බුවෙලා, ආවාස ගෙයිං එළියට එද්දි, අසංගත් අරූ එක්ක හොඳටම ෆිට් වෙලා. 

ඉතිං දෙන්නා කතාවට වැටුණා. ගෑස්, විදුලිය, ටීචර්ලට සාරි ඇන්දවීම, අයියෝ හාමිනේ, එක්ලක්ෂ හැටදාහක අවයව පරිත්‍යාගය ආදී ට්‍රෙන්ඩ් වෙච්ච හැම මාතෘකාවක් ම කතා කළා.

සභාපතිතුමා එක පාරටම ඇහුවා, "අසංග මහත්තය මාත් එක්ක හොඳට දන්න අඳුනන උදවිය වගේ සෑහෙන වෙලාවක් කතා කළානෙ?" කියල.

අසංග හෙණ අවංකය නෙ. උන්දැට එකපාරටම බොරුවක් ගොතාගන්ඩ බැරි උනා. ඉතිං ඌ ඇත්ත ම කිව්වා. 

"සභාපතිතුමා, මගෙ යාළුවෙක් ඔබතුමාගෙ වයිෆ් ඇදලා රූම් එහෙකට. මට කිව්වා පුළුවන් තරං වෙලා ඔබතුමා පන්සලේ පරක්කු කරගන්ඩ කියලා."

සභාපතිතුමා හිනා වුණා. පස්සෙ අසංගගෙ කරට අතත් දාගත්තා.

"අනේ බං. උඹ පොඩ්ඩක් හොයල බලහං ඔය යාළුව ඉන්න තැනයි, උඹේ වයිෆ් ගෙදර ඉන්නවද කියන එකයි... මගෙ වයිෆ් ගිය අවුරුද්දෙ මැරුණෙ."

---------//---------

ඉහත සඳහන් එකෙක්ගෙන්වත් පිහි පාරක් නොකෑවොත් කමෙන්ට් කියවන්ඩ එන්නං.

Sunday, October 2, 2022

පිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස


මගේ පහුගිය වාර්තාවක සඳහන් වුණු හැටියට මේ ග්‍රහලෝකයේ ඉන්නා බුද්ධිමත් ජීවීන්ගේ චර්යාවන් එකිනෙක සියුම් ව පරීක්ෂා කර වාර්තා කරන්නැයි උපදෙස් ලැබී තිබුණි. ඒ අනුව, මේ වාර්තාවෙන් මේ කියන බුද්ධිමත් ජීවීන් ගේ විශ්වාස ගැන වාර්තා කරමි.

මේ ජීවීන් විශ්වාස කරන බොහෝ දේ තිබෙන අතර, ඒවා හැම එකක් ම වාගේ ඇත්තට ම නොපවතින, එහෙමත් නැත්නම් පවතින බව තහවුරු කරගන්නට බැරි කාරණා වේ. ඒ වගේ ම ඒවා කීපයක් එකට පටළැවී, එකට ක්‍රියාත්මක වෙන දේවල් ය.

එයින් ලොකු ම එක වන්නේ, අයිතිවාසිකම් ය. මේ ජීවීන් විශ්වාස කරන්නේ, හැම ජීවියෙකුට ම මේ ග්‍රහලෝකය මත ජීවත් වෙන්නට අයිතියක් තියෙනවා කියා ය. එහෙම උනත්, බුද්ධිමත් ජීවීහු උන්ගේ උවමනා එපාකම් අනුව අනික් ජීවීන් උපද්දවීම, පවත්වාගෙන යාම සහ මරා දැමීම කරති. ඒ වගේ ම නීති සහ ආගම් නමින් හඳුන්වන විශ්වාසයක් මගින් ඒ චර්යාවන් පාලනය කරන්නේ නැති නම්, බුද්ධිමත් ජීවීහු ම තම තමන් ම මරා දැමීම කරති. 

මේ විශ්වාසයේ තවත් පැත්තක් වන්නේ, හැම බුද්ධිමත් ජීවියෙකුට ම මේ ග්‍රහලෝකය මත තියෙන දේවල් සමානව අයිති බව ය.

අයිතිවාසිකම් කියන විශ්වාසයේ භාවිතය මේ කාරණාවේ දී වැදගත් වේ. මේ විශ්වාසය භාවිත කරන්නේ පාලකයන් කියනා කොටස ය. අනික් බුද්ධිමත් ජීවීන් සමූහයක්, දහස් ගණනකටත් වඩා වැඩි පිරිසක් එකමුතු , තමන් ගේ නායකත්වය යටතේ එක ඉළක්කයක් කරා මෙහෙයවන්නට පාලකයන්ට මේ විශ්වාසය උපයෝගී වේ. ජීවීන්ගේ අයිතිවාසිකම් රැක ගන්නට සහ දියුණු කරන්නට ඇති උවමනාවක් පෙන්වමින් පාලකයන් බවට තමන් පත් කරවීමට මේ නායකයෝ අනික් ජීවීන් මෙහෙයවති.

එහෙම පත්වන නායකයන්, අනික් බුද්ධිමත් ජීවීන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන නමුත්, වඩා උනන්දු වන්නේ පාලකයන් හැටියට තමන්ගේ සැප පහසුව සහ පරිභෝජනය මනාව පවත්වාගෙන යාම ගැන ය.

ඒ වගේ ම මෙතනට සම්බන්ධ වෙන තවත් විශ්වාසයක් වන්නේ සීමා ය.

මේ ග්‍රහලෝකයේ බුද්ධිමත් ජීවීන් වාසය කරන්නේ ගොඩබිම ප්‍රදේශවල පමණි. ඒ ගොඩබිම ප්‍රදේශ බුද්ධිමත් ජීවීන් විසින් රටවල් යැයි මායිම් නියම කරගෙන වෙන් කර ඇත. ඒ රටවල් පාලනය කරන්නට රාජ්‍ය කියා ජාතියක් ඇති අතර, ඒ රාජ්‍යවල ඉන්නා බුද්ධිමත් ජීවීන් කාලෙන් කාලෙට තම තමන් දරණ විශ්වාස අනුව තම තමන්ගේ නායකයන් පත් කර ගනිති.

ඒ වගේ ම අසල්වැසි රටවල් සමග විටින් විට යුද්ධ කියා ජාතියක් කරති. එතන දී අර මුලින් සඳහන් කරන ලද අයිතිවාසිකම් ගැන කිසිදු තැකීමක් නොකර, එකිනෙකා මරා ගනිති. ඒ විදිහට මරා ගන්නට පවා බුද්ධිමත් ජීවීන් පොළඹවන්නට අර කියන ලද විශ්වාසයන් ඉවහල් වේ. ව්‍යාප්තවාදය, බෙදුම්වාදය, ජාතිකත්වය, වාගේ විශ්වාසයන් මෙසේ කණ්ඩායම් මෙහෙයවීමට භාවිත වෙන අතර, මේවාත් අර මුලින් කී අයිතිවාසිකම් නම් විශ්වාසයේ ම අතුරු කොටස් වේ. 

ජන වර්ග කියා විශ්වාසයක් ද පවතින අතර, එය මුල් කරගෙන අර ඉහත කී ජාතිකත්වය, ව්‍යාප්තවාදය හා බෙදුම්වාදය කියනා විශ්වාසයන් ක්‍රියාත්මක වෙයි. මේ ජන වර්ග කියන්නේ, බුද්ධිමත් ජීවීන් විවිධ කොටස්වලට බෙදනා ක්‍රමයකි. හැම බුද්ධිමත් ජීවියෙක් ම උපතින් ම එකිනෙකාට සමාන වන අතර, ඔවුන්ගේ වැඩිහිටියන් විසින් ඉහත කී විශ්වාසයන් අනුව තම තමන් වර්ගවලට බෙදා ගනිති. 

මේ කියන වර්ග බෙදෙන්නේ තර්කානුකූල ලක්ෂණ අනුවය. ඔවුන් කතා කරන භාෂාවල ඇති වෙනස්කම්, ආගම් කියනා විශ්වාසයන්ගේ වෙනස්කම්, සිරිත් හා පුරුදුවල වෙනස්කම් ආදී ලක්ෂණ අනුව ඔවුහු තම තමන් වර්ග වලට බෙදා ගනිති. බොහෝ විට මෙසේ බෙදීමට යොදාගැනෙන්නේ ඉතා ‌සුළු විශ්වාසයන් ය. උදාහරණයක් ලෙස, සමහරෙක් සත්ත්ව මළ සිරුරු ආහාරයට ගන්නේ, එම මළ සිරුරුවල ලේ ඉවත් කිරීමෙන් පසුව වන අතර, තවත් සමහර ජන වර්ගයන් සත්ත්ව මළ සිරුරු ආහාරයට ගන්නේ ම නැත. 

එහෙම වුණත්, ජන වර්ගයක සියලුම සාමාජිකයන් මේ හැම සිරිතක් ම පුරුද්දක් ම අනුගමනය නොකරති. හැම ජන වර්ගයකම වාගේ, ඊට අදාළ රීති හා සිරිත් අනුගමනය නොකරන සාමාජිකයන් දැකිය හැකි වේ.

ධනවාදය, සමාජවාදය වගේ විශ්වාසයන් ද රාජ්‍යයන් පාලනය කරද්දී භාවිත වෙන නමුත්, ඇත්තට ම ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ පාලකයන් තමන්ගේ පැවැත්ම ස්ථාවර කර ගැනීම විතරකි. තමන් මෙහෙයවන කණ්ඩායමේ පැවැත්ම හෝ අර මුලින් කියන ලද අයිතිවාසිකම් ගැන තැකීමක් පාලකයන් හට නැත.

ආගම සහ නීතිය කියා විශ්වාසයන් වර්ග දෙකක් ද ඇත. මගේ පහුගිය වාර්තාවේ කියූ අර කාකි ඇඳුම් අඳින රක්ෂා කරන්නෝ මෙයින් නීතිය කියනා විශ්වාසය පවත්වාගෙන යන උදවිය ය. කහ, තැඹිලි හෝ ගුරු පාට නැත්නම් සුදුපාට නිල ඇඳුම් අඳින රක්ෂා කරන උදවිය ආගම් කියනා විශ්වාසය අනික් ජීවීන් අතරේ පවත්වාගෙන යති. මේ දෙකෙන් ම අර ඉහත කී පාලනය කරන ජීවීන් ගේ කාර්යය පහසු කරවන්නේ ය.

ආගම සහ නීතිය කියන්නේ බුද්ධිමත් ජීවීන් සෙසු බුද්ධිමත් ජීවීන් අතරේ හැසිරිය යුතු ආකාරය ගැන ය. ඒත් ඒ ආකාරයට පාලනය කරන උදවිය හැසිරෙන්නේ නැත. ඔවුන්ට තම තමන්ට උවමනා හැටියට හැසිරීමට හැකි අතර, ඒක ප්‍රශ්න කරනවා වෙනුවට බොහොමයක් බුද්ධිමත් ජීවීන් කරන්නේ ඒ හැසිරීම් සාධාරණීකරණය කිරීමය. පාලකයන් හට පාලනය කිරීමට පහසුවන ආකාරයට බුද්ධිමත් ජීවීන් හසුරවීම සහ හික්මවීම නීති මඟින් සිදු වේ. ඒ වාගේ ම පාලකයන්ට එරෙහිව නැගී සිටින බුද්ධිමත් ජීවීන් මෙල්ල කිරීම සහ මර්ධනය කිරීම ද එහි තවත් කාර්යයකි.

ආගම්වලින් මීට අමතරව බුද්ධිමත් ජීවීන්ට එළඹෙන හිරිහැර සහ දුක්ඛිත ජීවිත ගැන ඔවුන්ගේ හිත හැදීම සහ ඉවසීම ඇති කරවා දී පාලනයට එරෙහිව ඔවුන් නැගී සිටීම අධෛර්යවත් කරමින්, පාලකයන් ගේ කටයුතු පහසු කර දීම ඉටු කරයි.

ඇත්ත කියා විශ්වාසයක් ද මේ ජීවීන් අතර ඇත. ඔවුන් එය තදින් විශ්වාස කරන අතර, එම ඇත්ත ඔවුන්ට ලැබෙන්නේ බෝහෝ විට වෙනත් කෙනෙක් ලබා දෙන තොරතුරක් හැටියට ය. මාධ්‍ය කියා දෙයක් ඇත. එය කඩදාසි මත අච්චු ගහන ලද්දක් හෝ විද්‍යුත් සන්නිවේදන ක්‍රමයකින් හෝ තොරතුරු ලබා දෙන ක්‍රමයකි. මේ මාධ්‍ය තමන් දෙන තොරතුර තමන්ගේ විශ්වාසයේ හෝ අරමුණේ හැටියට සකස් කර ලබා දුන්නත්, බුද්ධිමත් ජීවීන් විශ්වාස කරන්නේ ඒ තොරතුරු ඇත්ත කියා ය.

මේ හැටියට බලන කොට මේ බුද්ධිමත් ජීවීන් ජීවත් වෙන්නේ විශ්වාස ගොඩක් අනුව හැඩ ගස්සවන ලද ජීවිතයකි. ඉපදීම, පරිභෝජනය, පැවතීම, බෝ කිරීම සහ මිය යාම කියනා කාරණාවලින් ඔබ්බට ගියපු යම් කිසි තේරුමක් මේ ජීවිතයට ඇතැයි කියා ද ඔවුහු විශ්වාස කරති. ඉතා ම බහුතරයක් මේ විශ්වාසවලින් ම මෙහෙයවෙන අතර, ඉතා ම සුළුතරයක් මේ විදිහට ජීවීන් තුල තියෙන විශ්වාසවල වාසිය රැගෙන තමන්ගේ ජීවිත සැප පහසු කරගනිති.


පසුගිය වාර්තා.

වාර්තා අංක 01 - ජීවීන්

වාර්තා අංක 02 - රැකී රක්ෂා

Thursday, March 31, 2022

Monday, February 7, 2022

නිදහස? සහ ජාතික වීරවරු?

ජාතික වීරයන් සහ නිදහස් දිනය ගැන කණට ඇහෙන හැම වාරයකම වාගේ අපේ තාත්තා කියපු දෙයක් තමයි, "ඔය කියන නිදහස හැබෑ නිදහසක් නෙවෙයි. ඔය කියන ජාතික වීරයො අපේ හැබෑ වීරයො නෙවෙයි" කියන එක. පහුගියදාක අසංග ලියපු මෙන්න මේ පෝස්ට් එක කියවද්දි මට මතක් වුනේ තාත්තතගෙ ඒ වචන. 

ඇත්ත. ජාතික වීරයන් කියලා අපට පාසල්වල උගන්නන්නෙ ඩී ඇස්, බණ්ඩාරනායක, බාරොන් ජයතිලක, ආරුමුග නාවලර්, සිද්දි ලෙබ්බෙ, ගුණානන්ද හාමුදුරුවො, සුමංගල හාමුදුරුවො, ධර්මපාලතුමා, පොන්නම්බලම් වරු දෙන්නා, හෙන්රි පේද්‍රිස් වගේ උදවිය ගැන. නමුත් අපි දන්නෙ නෑ ඇත්තට ම බ්‍රිතාන්‍ය පාලනය එක්ක හැප්පිලා යම් යම් දේ ලේ දහඩිය මතින් දිනාගෙන, සුදු ආණ්ඩුවට හිසරදයක් වුණු ඇත්ත වීරයන් ගැන.

බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පොපිමල් විකුණද්දි එකට එක වශයෙන් සූරියමල් විකුණලා, එයින් ලංකාවෙ දරිද්‍රතාව  සහ කම්කරු අරගලයන්ට අරමුදලක් පිහිටුවපු සමසමාජ පක්ෂය තමයි, ලංකාවෙ පළවෙනි දේශපාලන පක්ෂය. ඒකත් එක්ක ම පැතිරුණු මැලේරියා වසංගතයෙදි පීඩිත මිනිස්සුන්ට උදව් කරන්න කොළඹින් මහපොළොවට බැහැපු එකම මහජන නියෝජිතයන් වුණේ ඔවුන්.

රදළවරු සහ වතුකාරයන් පාරෙ යනකොට කරේ තියෙන ලේන්සුව දෑතට අරං කාණුවට බහින්න පුරුදු වෙලා උන්න මිනිස්සුන්ගෙ කොන්දට කෙලින් කරන්න සමසමාජ කතාවලින් යම් තාක් දුරකට හැකි වුණා. (යම්තාක් දුරකට කියලා මම කියන්නෙ, ඒ පුරුද්ද වෙන වෙන මුහුණූවරින් තාමත් අපේ මිනිස්සු අතරෙ තියෙන නිසා.) ගමේ කෙල්ලන් දූෂණය කරමින්, ගම් වැසියන් පාගාගෙන ජීවිත ගෙවපු වතුකාර හාම්පුතුන් ගේ ජඩකම් එළිපිට කතා කරමින් මිනිසුන්ගේ ජීවිත නගා හිටවන්න වැඩ කළේ සමසමාජ කාරයන්. 

වැඩ මුරය පැය අටකට සීමා කරන්න, නිවාඩු සහ වැඩට සරිලන වැටුප් ලබාගන්න, සමසමාජය, වරාය කම්කරුවන් සහ වතු කම්කරුවන් එක්ක කරපු අරගල ඉතිහාසයේ සඳහන් වෙන්නේ නෑ. හොඳින් කියවලා බැලුවොත් අපේ මහාවංශයෙ ලියල තියෙන හැටියට, ඒ කාල සීමාවෙ සිද්ධ වෙලා තියෙන්නෙ සිංහල ශබ්දකෝෂය ලියාපු එක විතරයි.

සුදු ආණ්ඩුවට විරුද්ධව වැඩ කළ බ්‍රේස්ගර්ඩල් හට වෙච්ච නස්පැත්තිය සහ සමසමාජ නායකයන් ඔහු වෙනුවෙන් පෙනී සිටීම ඉතා ම ආන්දෝලනාත්මක සිදුවීමක් වුණාට, එයට සම්බන්ධ පෙරකදෝරු කොල්වින් ආර්. ද සිල්වා වඩා ප්‍රසිද්ධ ගොයං කොළේ නඩුව ගැන.

ඉදිරිපස - බ්‍රේස්ගර්ඩල් සහ කොල්වින් ආර්. ද සිල්වා


අවසානයේ ඊනියා නිදහස දීලා යන්ඩ කලින් සමසමාජ නායකයන් සිරභාරයට ගත් හැටි, දෙවෙනි ලෝකයුද්ධය එක්ක ඔවුන් හිරගෙදරින් පැන ගිහින් ඉන්දියාවේ සැඟවී කටයුතු කරපු හැටි දන්නෙ ඉතාම ටික දෙනෙක්.

ජාතියේ පියවරු සහ පුත්තු ජාතික නායකයන් තමයි. නමුත් සැබෑ සටනක් කරපු සැබෑ ජාතික වීරයන් ගැන කිසිම සඳහනක් නැතිව ඉතිහාසය ඉගැන්වෙන්නේ.



අනික් අතට, ඩොමේනියන් තත්ත්වය හැබෑ නිදහසක් නෙමෙයි. නිදහස සහ ස්වෛරීත්වය කියන්නෙ ස්වයං පාලනයක්. නමුත් 1948 දි අපට දීල ගියෙ රෝයල් නේවියක්, රෝයල් මේල් සිස්ටම් එකක්, ප්‍රිවි කවුන්සිලේ උපරිම අධිකරණ බලය වෙච්ච අධිකරණ පද්ධතියක්,  අග්‍රාණ්ඩුකාරවරයෙක් ගෙන් නියෝජනය වන රැජිණ රාජ්‍ය නායකයා වෙච්ච මහ අමුතු "නිදහසක්".

ඔන්න ඔය යටත්විජිත පෙකණිවැල කඩා ගත්තෙ අර උඩින් කියපු මහපොලොවේ සටන් කරපු ජාතික වීරයන්ගෙන් සමහර අය දායක වුණු මැතිණිගෙ ආණ්ඩුව විසින්. ඒකෙ ක්‍රෙඩිට් ඒක මැතිණි ට ගියාට, මගෙ දැනුමෙ හැටියට මූලික වුණේ සමසමාජය.

ඉතින්... අපි සමරන්නෙ සැබෑ නිදහසද? සැබෑ ජාතික වීරයන්ද?


වැඩිදුර පරිශීලනයට:

ඇන් ඇම් පෙරේරාගේ දේශපාලන දිවියේ මතක සටහන්

ඇන්. ඇම්. - චරිත කතාව.

නාඳුනන පුත්තු - ටෙලි නාට්‍යය

Wednesday, November 17, 2021

මී පැණි වන් ගි තනු - 1 3/4 කොටස

මේ ගැන මම ලියපු 1 1/2 කොටස ට මගේ හිතවත් මිත්‍රයෙක්, රසවතෙක් සහ දිවා රෑ නැතුව මා එක්ක කතා කරමින් මගෙ පරණ කතාව හැඩ ගස්සවන්නට දායක වුණු ඒ කතාවේ සැබෑ ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් ද වුණු නෙක්ස්ට් කමෙන්ට් කරමින්, මතු කරපු කාරණයක් තමයි, සුළු සමාජයකින් උපරි ව්‍යුහයට කොපි කරගන්නා සංගීතය ගැන. ඔහු දුන්න උදාහරණය මෙන්න...


මේ වක්කා වක්කා පොර් සංගලේවා. කැමරූන් හි ගෝල්ඩන් වොයිස් යන අරුතින් යුතු සංගලේවා යන නමින් යුත් සංගීත කණ්ඩායමක් 1986 දී නිර්මාණය කළ ගීතයක්. මේ ගීතයෙන් ප්‍රති නිර්මාණය කරන ලද වක්කා වක්කා ෆෝ ඇප්‍රිකා ගීතයෙන් ශකීරා සහ ප්‍රති නිර්මාපකයන් උපයාගත් විශාල මුදල හැරුණු කොට, මුල් නිර්මාණකරුවන් ගැන කිසිදු සඳහනක් කෙරුණේ නෑ අප දන්නා තරමින්.

මේ තිබෙන්නේ තවත් එවැනි ගීතයක්. 


මේ ඒ ගීතයෙන් දකුණු ඉන්දියාවට ඇති වුණු ආභාෂය...



මෙයින් කෙරුණු මෙන්න මේ ප්‍රතිනිර්මාණය නම් විරෝධාභාෂ ගීතයක් වුණා. 


මේ තියෙන්නෙ තවත් ලාංකීය කුඩා සමාජ පරාසයක නිපන් ගීතයක්...


හෙන්රි රෙජිනල්ඩ් පීරිස් තැනූ මේ ගීතය මෙතැන ගායනා කරන්නෙ මැජික් සීයා හෙවත් රන්ජිත් පීරිස්...

මේ ගීතයේ පදමාලාව සහ සංගීතය තවත් වැඩි දියුණු කර ජිප්සීස් තැනූ ගීතය ලංකාවේ මහා සමාජය පුරා ජනප්‍රිය වුණා.

මේ නෙවිල් ප්‍රනාන්දු ගේ මාස්ටර් සර්...


මේ නීලා වික්‍රමසිංහ...


නීලා වික්‍රමසිංහ මේ ගීතය ගැයුවා පමණක් නොව, "මාස්ටර් සර්" යන පාඨයෙන් නම තබා සංගීත ප්‍රසංගයක් ද කළා.

මේ භාතිය සංතුෂ් ගේ මාස්ටර් සර්...


භාතිය සංතුෂ් දෙපළ, මේ පෝස්ටුවට අදාළ වන්නේ, මාස්ටර් සර් නිසා නෙවෙයි. සිරිසඟබොධි මාළිගාව නිසා... 

ජෝන් ද සිල්වා ලියූ මේ ගීතය රොම්ලස් සිල්වා මුලින් ගැයූ අතර, ප්‍රසිද්ධතම පසුකාලීන  ගායකයා, මර්වින් ජයතුංග. මං හිතන්නේ මෙතැන එය ගායනා කරන්නේ නිශ්ශංක දිද්දෙණිය...


නමුත් අර අපි කඩපිලේ දී කතා කරන විදිහෙන් කිව්වොත්, නැගල යන්නේ භාතිය සංතුෂ් වර්ෂන් එක බව කියනුම කවරේද?


මට මතකයි රංජිත් එදිරිසිංහ වරක් කියනවා, ශෛලේන්ද්‍ර සිං (හෝ ශංකර් ජායිකිෂන්) ලංකාවට පැමිණි වතාවකදී, රේඩියෝ සිලොන් ආයතනයට ද පැමිණියාලු. අපි කුඩා කාලෙදිත් රේඩියෝවෙ ගිය වැඩසටහනක් තමයි විරිදු. ස්ටූඩියෝවට රබානකුත් රැගෙන එන විරිදු ගායකයා, රබාන උරහිසේ තබාගෙන වාදනය කරමින් විරිදු කියනවා දුටු ශෛලේන්ද්‍ර (හෝ ශංකර් ජායිකිෂන් දෙදෙනා) ඒ ගැන විමසා විස්තර දැනගත්තාලු. නැවත ඉන්දියාවට ගිය ඔවුහු, රාජ් කපූර් සමඟ මේ ගැන කතා කරලා, එහි ප්‍රතිඵලයක් ලෙසට මේ ගීතය නිර්මාණය කළා ලු. මේ මන්නා ඩේ. ගීතය ලියුවේ ශෛලේ්න්ද්‍ර, සංගීත නිර්මාණය ශංකර් ජායිකිෂන්.



මේ ගීතය කොයිතරම් රාජ් කපූර් ට හිතට ඇල්ලුවාද කියතොත්, රාජ් ගේ ජිස් දේස් මේ ගංගා බෙහෙති හේ චිත්‍රපටයේ කථා නායකයා ගේ බාහිර චරිතය තනිකර ම, රබානක් ගත් විරිදු කාරයෙකුගේ හැටියට ගොඩ නැගුවා.

වැඩේ තියෙන්නෙ, මේ ගිතයේ මුල ලංකාවේ වුණා ට, මේ ගීතය ආපිට මෙහෙ එන්නේ කොපියක් විදිහට...


පරිධියෙන් හෙවත් කුඩා සමාජයෙන් මහා සමාජයට හෙවත් උපරි ව්‍යුහයට යන කොපිත් තිබෙන අතර, බොහෝ විට ඉහළින් පහළට ලැබිය යුතු ගෞරවය යන්නේ නැති බව පේනවා. මම කලිනුත් කීවා වගේ, 100% සත්‍යය සහ සාධාරණත්වය කියන සංකල්පවල තිබිය යුතු යැයි සාම්ප්‍රදායිකව විශ්වාස කෙරුණු වටිනාකම තවදුරටත් නොමැති අතර, ඒ සංකල්ප හුදෙක් සංස්කෘතිය විසින් නිර්මාණය කෙරුණු දේ බව තේරුම් යාමත් සමඟ, ඔය ඕනෑම දෙයක් ඉවසීමට හා තිබෙන රසයක් විඳ ගැනීමට හැකි වනු නොඅනුමානයි.

මේ මාතෘකාව ගැන තවත් කියවීමට...

Sunday, November 14, 2021

මී පැණි වන් ගී තනු - 1 1/2 කොටස

 මී පැණි වන් ගී තනු 1 කොටස...

1 කොටස කියවද්දි මට හිතුණු දෙයින් සාරාංශයක් මම 1 කොටසට යටින් කමෙන්ට් කළා. නමුත් ඒ ගැන දිගට කතා කරන්න දෙයක් තියෙන නිසාත්, ඒ වගෙම, මේ ගැන මී ළඟ ‌කොටස ලියන්න කියා තට්ට අයියා වද කරන නිසාත්, වැඩ දහසක් මැද්දේ මේක ලියන්න ඉඳ ගත්තෙ. 

ඔක්කොට ම කලින් මේ ගැන අනික් උදවිය ලියපු සටහනුත් මෙතනින් දාන්නම්

ලිකියා ගේ කොප්ප

කොප්පට ගැහූ තට්ට පිළිතුර

නිදි අවදි වීම

මුල් ගී තනු ඇසුරින් හැදෙන නව ගීත ගැන අපි මුල් කාලෙ හිතුවේ, නිර්මාණ සොරකමක් විදිහට කියා මට මතකයි. අපි පොඩි කාලේ ජෝතිපාල හෙළා දකින්න යොදාගත්ත සුලභ තර්කයක් වුණේ ඒක. මට මතක හැටියට මුහම්මද් රෆී, කිෂෝර් කුමාර්, මන්නා ඩේ, තලාත් මෙහෙමුද්, මුකේෂ් වැනි ගායකයන්ගේ ජනප්‍රිය වුණු හැම තනුවකට ම ගීතයක් පෝරණුවෙන් පාන් බානවා වාගේ ජෝති ගායනා කරපු නිසා. මේ වැඩේ මුහුදේන් ගෙම් බෙග් මාස්ටරුත් ටිකක් විතර කළා.

පසු  හැම දෙයක් ම රස විඳින්න හුරු වෙද්දි තමයි මට පෙනුනෙ, මුල් නිර්මාණය වැඩිදියුණු කිරීමක්, වෙනස් රසයක් උත්පාදනය කිරීමක් හෝ ඒ ආශ්‍රයෙන් අලුත් නිර්මාණයක් කිරීමක් සිද්ධ වෙන බව.

මේ ඊට හොඳ උදාහරණයක්. 

(හිස් කඩදාසියේ උදාහරණය)


මේ ඒ තනුව හා සංගීතය ඇසුරින් නිර්මාණය වුණු සිංහල ගීතය...


මම කැමති ම සංගීත පරාසයෙන්, පොදුවේ රසවිඳින්න පුළුවන් බටහිර සංගීතයේ එක් පැත්තක් හමුවෙන්නෙ එල්විස් ප්‍රෙස්ලිගේ හවායි මුල් කරගත් සංගීත ඛන්ඩ වලින්. මේ ඊට ඉතා ම හොඳ උදාහරණයක්...


බලන්න, එල්විස් ගේ මාගරීටා කොයි තරම් දුර ගිහින් තියෙනවාද කියලා...


මෙක්සිකානු පුරුෂාත්මක සංගීතයට ගැයෙන මාර්ගරීටා ට වඩා මේ ගීතය කොයිතරම් අහන්න ප්‍රිය ද කියා බලන්න. මේ මුහම්මද් රෆි. ශංකර් සහ ජායිකිශන් මේ ගීතයේ සංගීතය ඉතා ම ලගන්නාසුළු විදිහට ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා.


එතකොට මේ, රාජ් කුමාර් චිත්‍රපටියේ එන ගීතයක්, "පායල් මෙරී"...


උදිත් නාරායන් සහ අල්කා යග්නික් ගයන මේ ප්‍රේම ගීතය ට මුල් වෙන්නෙ, ජෝජ් මයිකල් ගෙ ෆේත්... නමුත් ගීත දෙකේ ඇති වෙනස. මේ අනුවර්තනයෙදි හිංදි ගීතයට ලබා ගෙන ඇත්තේ මෙලඩියේ ඡායාවක් පමණයි.


ඒ අතරෙ මේ වගේ ගීතත් දකින්න ලැබෙනව. මේ ගීතයෙ නම් ආභාෂය ඇවිත් ඇත්තෙ කොතනින්ද කියන එක පැහැදිලියි.


මුල් ගීතය සංවර්ධනය කරලා මාාාර විරහ රසයක් ඇති කරපු, මගෙ දෙවෙනි නම ම තියෙන ලාංකික ගායකයෙකුගේ ගීතයක් මී ළඟ ට... 


මේකෙ මම කැමති ම කොටස තමයි:

"...මීවිත සිඳිලා

ගී පද මැකිලා

සිත ගොලු වුණු යාමයේ

ලොව සැතපෙන මේ පැයේ

ඒ දිනේදී බැඳි ආදරේ බිඳිලා

බිඳිලා

ළඳුනේ කිමදෝ

වෙන්වූයේ..."

මේ ගීතය පුරාවට ම ලීඩ් ගිටාර් එක ඉතාම ලයාන්විතව සහ දුක්බරව වැළපෙනවා.

ඒ ගීතයට මුල් වුණු තනුව සහ මෙලඩිය පෝල් සයිමන් සහ ආට් ගාෆන්කල් ගේ සවුන්ඩ් ඔෆ් සයිලන්ස්. නමුත් ක්ලැරන්ස් ගෙ ප්‍රති නිර්මාණය අද්විතීයයි වගේම, සංගීතයෙන් සහ භාවයන් අතින් ඉතා ම පොහොසත්.


තට්ට අයිය පිළිතුරු ලිපියෙ සඳහන් කරන ගීතයක්, සුපිරි නළු ඇන්ටෝනියෝ බැන්ඩෙරාස් ගයන ඩෙස්පෙරාඩෝ චිත්‍රපටියේ තේමා ගීතය. සුපිරි පන්ච් එකක් සහ ගැම්මක් ඇති ගිතයක්...


මේ ගීතය කාලයක් අපේ රටේ සංගීත ප්‍රසංගවල ගැයුණු අතර, කේ. සුජීවා අරවින්ද යාය ගැයුවේ පසුකාලීනව. ඇගේ අරවින්ද යායත් සෑහෙන කලක් අංක එකට හිට් වුණු ගීතයක් වුනේ, ප්‍රති නිර්මාණයක් වීම සහ මුල් ගීතය ජනප්‍රිය එකක් වීම යන කාරණා නොසැළෙකමින්...


මේ ඇගේ ම අනෙක් ජනප්‍රිය ගීතයේ මුල් ගීතය...


එමිනෙම් පවා අපේ ලාංකික ගීත ප්‍රතිනිර්මාණයෙන් ගැළවෙන්නෙ නෑ. මේ බලන්න එමිනෙම් ගෙ ස්ටෑන්.


ස්ටෑන් ගෙ තනුව ටිකක් වේගවත් කරලා, සංගීතය තවත් පෝෂණය කරලා, ඒ වගේ ම ගැංග්ස්ටා රැප් එකක්  නමුත් ලස්සන එකක් හැදුවෙ 6th Lane.


අවසානයට, නමුත් අවමය නොවන්නට, ඉතා ම සුන්දර ඇරබික් තනුවක් සහ මෙලඩියක් දෙන්නම්. මේ ඛාලිඩ්...


නමුත් ඛාලිඩ් ගෙ සුන්දර ගීතය සහ මේ හින්දි ප්‍රේම ගීතය එකිනෙක තරග නොකරන, අනන්‍ය රසයන් මවන නිර්මාණ...


බප්පි ලහිරි ඛාලිඩ්ගෙන් ණයට ගන්නා සීනි අහුර දාලා, කිරිපැණි හදල තියෙන බවක් තමයි මට දැනෙන්නෙ. 

බොහොමයක් තැන්වලදි  මට දැනෙන්නෙ, කොපිය මුල් නිර්මාණය ට සාධාරණත්වයක් ඉටු කරලා, එහෙමත් නැත්නම් අතිජාත පුත්‍රයෙක් තාත්තා ඉතිරි කර ගිය දේ වැඩි වර්ධනය කරන්නා වගේ රසය වැඩි දියුණු කරලා අපට ආපහු දීලා තියෙනවා කියන එකයි. ඇත්තට ම රසය වැඩි දියුණු කරන්න හෝ විචිත්‍රවත් කරන්න බැරි නම් මොකටද, ප්‍රති නිර්මාණය කරලා?

Monday, October 4, 2021

බ්ලොග් අඩවියක් නිර්මාණය කරගන්නේ කෙසේද (ස්ක්‍රීන් ෂොට් සහිතයි)


මේ ලිපිය ලියන්නේ අපේ ආදරණීය තට්ටයා අයියා ගේ යෝජනාව අනුව...

තමන්ට ම කියා බ්ලොග් අඩවියක් හෝ විවිධ විෂයයන් සඳහා බ්ලොග් කිහිපයක් තිබීම වැදගත්. ඒ ගැන මම වෙන ම කියන්න යන්නේ නෑ. ඒක මේ ලිපියේ අරමුණ නෙවෙයි. කොහොම හරි, "මාත් බ්ලොග් එකක් අටවගන්න ඕනෙ" කියා අදහස් කරන කෙනෙක් නෙව මේක කියවනවා ඇත්තෙ. ඒ නිසා පියවරෙන් පියවර ඒ ගැන කියා දෙන්න (ඒ කියන්නෙ මං දන්න තරම කියා දෙන්න) පටං ගන්නව ඕං.

බ්ලොග් එකක් අටව ගන්න අනුග්‍රහය දක්වන සයිට් මහ ගොඩක් තියෙනව මං දන්න තරමින්. මෙයින් මම දන්න හැටියට පරණ ම එක වර්ඩ්ප්‍රෙස් (wordpress.com) වන අතර, වැඩිම ජනප්‍රියතාවක් ඇති එක ගූගල් විසින් හදා තියෙන බ්ලොගර් (blogger.com) ය.

මං කියවා තියෙන සුවිශේෂී වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකකට සහ බ්ලොගර් බ්ලොග් එකකට ලිංක් මෙතන උදාහරණ විදිහට පළ කරනවා.

ඔය අතරින් බ්ලොගර් මඟින් බ්ලොග් සයිට් එකක් හදා ගැනීම සහ පවත්වාගැනීම ගැන උපදෙස් මම දන්න විදිහට මෙතන තමුන්නාන්සෙලාට සඳහන් කොරන්ඩ කැමතියි...

මුලින් ම යන්ඩ, https://blogger.com සයිට් එකට. මම දන්න හැටියට එයිට කලිං තමුන්ට ගූගල් එකවුන්ට් එකක් හෙවත් ජීමේල් ගිණුමක් තිබීම අවශ්‍යයි. 


ඔය කියපු වෙබ් පිටුවට ගියාම දකින්න පුළුවන්, දකුණු පැත්තෙ ඉහළම කොනේ තියෙනව, "අස්සං කරල ඇතුල් වෙන්ඩ" හෙවත් "sign in" කියල එකක්. මැද තියෙනව "පබිලිස්, ඔයාගෙ පැෂන් ගෙඩි පාරෙ" කියල ගහල. එයිට පහළින් තියෙනව "ඔයාගෙ බ්ලොග් එක හදන්ඩ" කියල තැඹිලි පාට බටන් එකක්, තමන් කරන්ඩ යන දෙයින් යහපතක් ම වෙන්ඩ ය කියල අධිෂ්ඨාන කරගෙන, දෙයියන් බුදුන් සිහිකරගෙන ඒ බටන් එක එබීම තමයි කරන්ඩ තියෙන්නෙ. 

දෙයියනේ කියල ඒ බටන් එක එබුවාම, යනව "අස්සං කරල ඇතුල් වෙන්ඩ" සංවාද කොටුව හෙවත් සුද්ධ සිංහලෙන් කියනව නං, "sign in ඩයලොග් බොක්ස් එකට. එතන තමුංගෙ ජීමේල් ඇඩ්‍රස් එක ඇතුල් කරලා, ඊළඟට එන ඩයලොග් බොක්ස් එකට, ඒ ජීමේල් එකේ පාස්වර්ඩ් එක හෙවත් තරු කීපය ඇතුල් කරලා, නමෝ විත්තියෙන් ඔන්න බ්ලොගර් සයිට් එකට ඇතුල් වෙන්ඩ පුළුවං.

ඔන්න එතකොට විවෘත වෙනවා, බ්ලොගර් ඩෑෂ්බෝඩ් එක. එතන ඩිෆෝල්ට් පෙන්නන්නෙ, රීඩිං ලිස්ට් හෙවත් අපි කියෝන, එහෙමත් නැත්තං, අපි ෆලෝ කරන බ්ලොග් ලැයිස්තුව. ඒ බ්ලොග්වල අලුත් පෝස්ට් ටික එතන පෙන්නනව. 


ඩෑෂ් බෝඩ් එකේ වම් පැත්තෙ ඉහළ හරියට වෙන්න තියෙනව, "බ්ලොගය තනන්න" එහෙමත් නැත්තං create blog  කියල එකක්. පිංතූරෙ මම රතු පාටට රවුං කරල තියෙන්නෙ ඒක.

ඒක ක්ලික් කළහම එනව සංවාද කොටුවක්, එතන ඇතුළත් කරන්න ඕනෙ, තමුංගෙ බ්ලොග් එකට දාන්න හිතාගෙන ඉන්න නම. ඒ නම තමයි හැම තැනදි ම තමුං‌ගෙ බ්ලොග් එක හඳුන්වන්න යෙදෙන්නෙ. ගොඩක් අය මහ අමුතු විකාර නං දානව. "කාමරයක් කුළියට දීමට තිබේ", "නිදි ගෙ පංචතන්තරේ", "හොක්කියාව", "විසිරි සිහින", "නයාගෙ ලටපට", "කොළොම්පුරේ", "කරාබුනැට්ට", "තට්ටයගෙ කෝළම", "යාංහෑල්ල" ඔය විදිහෙ විකාර නම් වලින් කීපයක්. 


ඔන්න ඉතිං නමක් දීලා, "ඊළඟ" හෙවත් next ක්ලික් කළහම එනව, තමුංගෙ බ්ලොග් එකට යූආර්එල් එකක් ඇතුල් කරන්න. මෙතනදි, අපට කැමති නමක් ඉංග්‍රීසියෙන් දෙන්න ඇහැකි අතර, ඒ නම වෙන කෙනෙක් දාගෙන නැත්තං අපට හිමි වෙනව. ඒ නමට පස්සෙං ".blogspot.com" කොටස එකතු වෙලා, අපේ බ්ලොග් එකේ යූආර්එල් එක හැදෙනව. ඒක තමයි පසු කාලෙකදි, අපේ බ්ලොග් එකේ ලිංක් එක කාට හරි දෙනවනං, හරි වෙන තැනක ලිංක් කරනවනං හරි යොදාගන්න ඕනෙ.


ස්ක්‍රීන් ෂොට් දැමීම සඳහා පියවරෙන් පියවර මේ බ්ලොග් එක තනමින් සිටිද්දී, මේ පියවරේදි බ්ලොගර් මුත්තා මට එරර් එකක් දුන්නා. "ෆීල්ඩ් එකට දුන් වැල්‍යූ එක වැරදියි" කියලා. මොන දේ කරල බැලුවත් හරි ගියෙ ම නෑ. නමුත් මේ ස්ටෙප් එක හරියට කරගත්තොත් මේ විදිහෙ තැනකට එනව.


බ්ලොග් එකක් හදපු ගමං ම ඔය මැද තියෙන පෝස්ට් ටික එන්නෙ නැති බව කරුණාවෙන් සළකන්ඩය. එතන ඒ තියෙන්නෙ මං මෙච්චර කාලෙයක් දුක් මහන්සියෙං දාඩිය මුගුරු දාගෙන, ඉණට වස්තරෙයක් නැතුව, බඩට කන්ඩ නැතුව ලියාගත්තු පෝස්ට් ඩිංගය. 

ඔතන මම රතු පාටින් මාක් කරල තියෙන ටූල් ටික මහ බැංකුවෙ ටූල් තරම්ම වටින අතර, වැදගත් ම වෙන්නෙ, "තීම්", "ලේයවුට්", "සෙටිංස්" සහ "නිව් පෝස්ට්" කියන අයිටම් ටිකය.

තීම් කියන ටූල් එකට ගියාම බ්ලොගර් මෙච්චර කාලෙයක් හදල තියෙන තීම් ටික අපට පෙන්නනවය. එයිං  තමුන්ට ලස්සනයි කියා හිතෙන තීම් එකක් දාගත්තම, ඒක කස්ටමයිස් කරලා, පසුබිම් පින්තූරය, අකුරු සයිස්, අකුරුවල පාට, එක එක කොලම්වල දිග ආදිය තමුන්ට හොඳ විදිහට හදා ගන්ඩ පුළුවං ය. මං නං වැඩිය ම කරන්නේ හැම කෙනෙකුටම බලන්න පහසු වෙන විදිහට, කුඩා ම මොනිටරේ ගාණට හැම එකක ම දිග පළල ‌හදා ගන්න එක සහ, හැම දෙනාටම අපහසුවකින් තොරව කියව ගන්න ඇහැක් වෙන විදිහට අකුරු සයිස් ටිකක් ලොකු කරලා, හයි කන්ට්‍රාස් නොකර තියන එක ය.



ඉතාම වැදගත් දේ වෙන්නෙ, අපි එතන කරන හැම වැදගත් ඇජස්මන්ට් එකක් ම, පහල දකුණු පැත්තෙ තියෙන පුංචි ඩිස්කට් එක ක්ලික් කරලා සේව් කරගන්න එක ය. 

තීම් එක කස්ටමයිස් කරන තැන ම, ලේයවුට් ද තියෙනවා ය. එතනිං කරන්න පුළුවන් වෙන්නේ දැනට තමුංගෙ බ්ලොග් පිටුවේ තියෙන ගැජට් හෙවත් අංගෝපාංග වෙනස් කරගන්න එක විතරය. අලුතින් ගැජට් එකතු කරගන්න පුළුවන් වෙන්නේ ඉහළ පිංතූරේ හෙවත්, බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකේ මුල තියෙන ලේයවුට් අයිකන් එක ක්ලික් කිරීමෙනි. ඔතනින් බ්ලොග් කියවන උදවියට වඩාත් ම වැදගත් වෙන්නේ, ෆලොවර්ස් ගැජට් එක ය. 

තමුන්ට ගැජට් එකක්  ඕනෙ තැනට ගිහිං, "ඇඩ් අ ගැජට්" කියන එක ක්ලික් කළහම එනව මේං මේ ලිස්ට් එක. ෆලොවර්ස් ගැජට් එක මං රතු පාටිං රවුං කරල තියෙනව.


අපි කාගෙ හරි බ්ලොග් එකකට ගියොත්, ආපහු සැරයක් එතනට ගිහිං කියවන්න තරම් දේ තියෙනවයි, වටියි, හොඳයි, කියල හිතෙනවනං, අපට ඒ බ්ලොග් එක ෆලෝ කරල එන්ඩ පුළුවං. එතකොට බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකේ පෙන්නනව ඒ බ්ලොග් එකේ අලුතිං ලිපියක් වැටුණු ගමං. 

අත්ථානං උපමං ඛත්වා කිව්වා වගේ, අපේ බ්ලොග් එක ගැනත්, ඒක කියවන්න එන උදවියට ඒ පහසුව ලබා දෙන්න තමයි, ෆලොවර්ස් ගැජට් එක එල්ලන්නෙ.

තව වැදගත් ගැජට් එකක් තමයි, බ්ලොග් රෝල කියා සිංහලෙන් හඳුන්වන, blog list ගැජට් එක. එතන, අපි ෆලෝ කරන බ්ලොග්වල ලැයිස්තුවක් පෙන්නනවා. එමඟින් අපට පුළුවන් අපි ෆලෝ කරන බ්ලොග්වලට අලුතින් ලිපි පළ වුණු වහාම දැනගන්න. ඒ වගේ ම තමන් ෆලෝකරන බ්ලොග් ගැන, තමන්ගෙ බ්ලොග් එක කියවන්න එන හැමෝම අතරේ නොමිලේ පබ්ලිසිටියක් ලබා දෙන්නත් මේක වැදගත්.


ලේයවුට් එකේ තියෙන ප්‍රයෝජනවත් ගැජට් ගැන හොඳ අවබෝධයක් ගන්න හොඳ ම විදිහ තමයි, පරණ බ්ලොග් එකකට ගිහිං නිරීක්ෂණය කරන එක.

නරි හාමිගෙ බලවත් ඉල්ලීම මත බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකේ තියෙන සෙටිංස්වව පින්තූර මෙහි පහතින් පළ කරනවා. ඔයින් වැඩිහරියක් මම කරල බැලුවෙ නැති සහ දන්නැති දේවල් තියෙන්නෙ. එතනත් මට පේන විදිහට වැදගත්ම දේ තමයි යූසර් ප්‍රොෆයිල් එක. එතනින් තමන්ගෙ ප්‍රොෆයිල් නම සහ පින්තූරය ඇඩ් කරගන්න පුළුවන්, තව තව විස්තරත් එක්ක. ඒ ප්‍රොෆයිල් එක තමයි, වෙන බ්ලොග් එකකට ගිහින් කමෙන්ට් කරද්දි පෙන්නන්නෙ. සමහරු නම් සමහර වෙලාවට ඇනොනිමස් කමෙන්ට්ටුත් දානව.













හොඳයි... ඔය විදිහට බ්ලොග් එකක් හදාගත්තට පස්සේ තියෙන වැදගත් ම දේ තමයි, පෝස්ට් එකක් හෙවත් ලිපියක් ලියන එක. ඒක කරන්නෙ, අර බ්ලොග් ඩෑෂ් බෝඩ් එකේ වම් පැත්තෙ උඩ තියෙන new post කියන තැන ක්ලික් කිරීමෙන්.

ඒක ක්ලික් කළහම එනවා, පෝස්ට් එඩිටර් එක. ‌ඒකෙ ටයිටල් කියන තැන ලිපියෙ මාතෘකාව ලියලා, පහළ ‌හිස් ඉඩේ ලිපිය ලියනවා. ඒකෙ අකුරුවලට එක එක දේවල් කරන්න උවමනා ටූල්, ටූල් බාර් එකේ තියෙනවා.

ඉතාම වැදගත්, ලිපියට පින්තූරයක් ඇඩ් කරනවා නම්, කොපි පේස්ට් නොකර, ඉහළ තියෙන චූටි කඳු දෙකක් තියෙන ටූල් එක ක්ලික් කරලා පින්තූරය ඇඩ් කරන එක. ඒ ළඟ ම දකුණු පැත්තෙ තියෙනවා වීඩියෝ එකක් ඇඩ් කරන ටූල් එක, වම් පැත්තෙ ටූල් එකෙන් පුළුවන් ලිංක් එකක් ඇඩ් කරගන්න. ඒ ටූල් ටික මම පහළ පිංතූරෙ කහ පාටින් රවුම් කරලා තියෙනවා. 


වඩා සුදුසුයි, බ්ලොග් පෝස්ට් එකක් ලියලා, ඒක ප්‍රිවීව් කරලා බලලා, අවශ්‍ය සංශෝධන කරලා, පබිලිස් කරන එක. උවමනානම් පුළුවන් එකදිගට පෝස්ට් දෙක තුනක් ලියලා තියාගෙන, පස්සෙන් පහු එකින් එක පළ කරන්නත්. උවමනා නං, පබිලිස් කරන එක ෂෙඩූල් කරල තියන්නත් පුළුවන් පස්සෙ නියමිත දවසක නියමිත වෙලාවකට පබිලිස් වෙන්න. ඒ ෂෙඩූල් කිරීම කරන්න ටූල් එක තියෙනව, පෝස්ට් එඩිටරේ දකුණු පැත්තෙ.

ඉතාම වැදගත්, පෝස්ට් එඩිටරේ දකුණු පැත්තේ තියෙන "ලේබල්" කියන කොටස. තමන් විවිධ විෂයයන් ගැන ලියනව නං, තමන්ගෙ පෝස්ට් එකට දාන්න පුළුවන් ලේබල් එකක් හෝ කීපයක් මෙතන ටයිප් කරන්න පුළුවන්. පස්සෙ ඒ ලේබල්වලට ම ගැළපෙන තවත් ලිපි ලියනවානම්, ඒ ලිපිවලටත් ඒ ලේබල් ම තෝරලා ඇඩ් කරන්න පුළුවන්. එතකොට අපට එක ම ලේබලේ යටතෙ වර්ග කරන්න පුළුවන් ලිපි මාලාවක් ලැබෙනව. 

අර මං උඩිං කිව්ව ලේයවුට් එක යටතේ, ලේබල් ගැජට් එක බ්ලොග් පිටුවට දාල තිබ්බනං, කියවන කෙනා ට, තමං කැමති ලේබලයක් යටතේ තියෙන ඔක්කොම ලිපි එක දිගට කියවන්න පහසුව ලැබෙනව.

බ්ලොග් එකක් හදන හැටි සහ ලිපි ලියන හැටි ගැන ඔය. ලියනවා වගේ ම, කියවීමත් බ්ලොගර් කෙනෙකුගේ ජීවිතයේ අංගයක් නෙව. එහෙම කියවන්න ගිහිං, ඒ කියවන දේ ගැන තමන්ට කියන්න තියෙන දේ කමෙන්ට් හැටියට එතන ටයිප් කරලා එන්න පුළුවන්. පස්සෙ වෙලාවක ගිහිං, ඒ කමෙන්ට් එකට ලැබුණු පිළිතුරුත් කියවලා සංවාදයක් ඇති කරගන්න පුළුවන්. ඔය විදිහෙ කමෙන්ට් සංවාදවලට ඉතාම ප්‍රසිද්ධ, මදුමදාවියගෙ රසසරණිය, ගිහිං බලන්න...

ඔය විදිහට කමෙන්ට් කරද්දි තමන්ගෙ බ්ලොග් එක හඳුන්වාදීමත් වැදගත්. තමන් මුලින්ම නම් ඒ බ්ලොග් එකට කමෙන්ට් කරන්නෙ, "මම අහවලා, මගෙ බ්ලොග් එක මේකයි" කියලා හැඳින්වීමක් කරන එක හොඳයි. එතකොට ඒ බ්ලොග් එක කියවන්න එන අනික් උදවියත් දැනගන්නවා මේ විදිහෙ බ්ලොග් එකක් තියෙනව කියලා. ඒ විදිහට තමන්ගෙ පාඨක පිරිස වැඩිකරගන්න පුළුවන්. 

ඒ වගේ ම තමනුත් අනික් බ්ලොගර්ස්ලා ධෛර්යමත් කරන්න කමෙන්ට් කිරීම වැදගත්. මොකද, කියවන්න එන කට්ටිය අඩු වෙනවිට සහ තමන්ගෙ ලිවීම කවුරුවත් අගය කරන්නෑ වගේ දැනෙනකොට ලිවීම අධෛර්යවත් වෙන එක ස්වාභාවිකයි.

ඒ වගේම තමන්ගෙ ලිවීම ගැන ප්‍රසිද්ධ කරන්න පුළුවන් බ්ලොග් පෝස්ට් එකේ ලිංක් එක ෆේස් බුක් වැනි සමාජ මාධ්‍යවල පළ කිරීමෙන්...

ඔන්න එහෙනං, ආධුනික බ්ලොග් කරුවෙකුට මං දන්න දේ කියා දීම මෙතනින් අවසානයි. තව දුරටත් ටෙක්නිකල් ප්‍රශ්න ආවොත් කරුණාකර අර දොරකඩ ගහේ මූකලන් බස්සා හෝ බුරතීනෝ අමතා නිරාකරණය කරගන්නා ලෙස කාරුණිකව දන්වමින්, මගේ වචන සුවල්පය මින් අවසන් කරනවා.

වැඩිපුර බලපු ලිපි