Showing posts with label එදා අප දුටු චිත්‍රපටයකින්. Show all posts
Showing posts with label එදා අප දුටු චිත්‍රපටයකින්. Show all posts

Sunday, July 27, 2025

ජීවිතය සුන්දරයි

පහුගිය පෝස්ට් එකට කමෙන්ට් කරමින් බකුසුහාමි උපාසක මහතා, සිලිලාරේ පෝස්ට් එකක ලිංක් එක සටහන් කරලා තිබුණා. තාත්තලා ගැන කම්පනයක් ඇති කරවන ලිපියක් ඒ. 

ඒ ලිපිය කියවනවිට අපේ තාත්තාත්, මම දැකලා තිබෙණ තවත් තාත්තලා ගණනාවකුත් ගැන දිග කල්පනා රැසක් ඔලුවට ආවත්, එතැන ලියන්නට තිබෙණ හොඳ ම කමෙන්ටුව, තවත් පෝස්ටුවක් ම වෙන එක වඩා හොඳයි කියලා හිතුවා.

මේ මම දැකපු තවත් මාර ම තාත්තෙක්.

ගුයිදෝ... 1930 ගණංවල ඉතාලියේ වෙසෙන යුදෙව්වෙක්. සැහැල්ලු ජීවිතයක් ගත කරන තරුණයෙක් වන ඔහු ගේ සිත ඇදී යනවා, ඩෝරා නම් තරුණ ගුරුවරියක් වෙත. 


ඩෝරා ට විවා ගිවිසගත් තවත් අයෙක් සිටිනවා. නමුත් ඇය කැමති වන්නේත් ගුයිඩෝට. ඔහු ඇය දිනාගන්නේ සුරංගනා කතාවක බඳු වික්‍රමයක් කරමින්...


ඔවුන්ට පුතෙකු ලැබෙනවා. ඔහුගේ නම ජොෂුවා. ඔවුන්ගේ ජීවිත මැදට ෆැසිස්ට් වාදීන්ගේ බලපෑම එන්නේ ඒ අතර...

ගුයිඩෝ සහ ඔහුගේ පුතා ෆැසිස්ට් වද කඳවුරකට රැගෙන යනවා. ඩෝරා යුදෙවු ජාතිකයෙකු නොවන නමුත්, ඇයත් කැමැත්තෙන් ඔවුන් සමග යනවා. කුඩා දරුවෙකුගේ මනසට ෆැසිස්ට් වාදය - යුදෙවු - වධ දීම්, යුද්ධ ආදිය අනවශ්‍ය ලෙස ඇතුල් නොකිරීමට තැත් කරන ගුයිඩෝ, පුතාට කියන්නේ මේ සෙල්ලමක් විදිහටයි. හැංගිමුත්තං වැනි දිගුකාලීන සෙල්ලමක්. ඔවුන් හොඳින් සෙල්ලම අවසන් කළහොත් තෑග්ග විදිහට ඇත්ත යුද්ධ ටැංකියක් ලැබෙනු ඇති. 

කඳවුරේ දී ඩෝරා කාන්තා කොටසට යැවෙන නිසා, ඔවුන්ට එකිනෙකා දකින්නවත් ලැබෙන්නේ නැහැ. නමුත් තමන් හොඳින් සිටින බව වත් ඇයට දැනගන්නට සැළැස්වීමට ගුයිඩෝ විවිධ උපක්‍රම භාවිත කරනවා.


අවසානයේ, යුද්ධය නිමාවෙමින් තිබිය දී, ගුයිඩෝ මරා දැමෙනවා. ඔහු මරා දමන්නට කැටුව යන විට, ඔහුගේ පුතා දකිනවා. නමුත් තම අවසාන මොහොත් කීපයත් ඔහු පුතාට සෙල්ලමේ ම කොටසක් බව ඒත්තු ගන්වන්න සමත් වෙනවා.

තාත්තලා සහ ඔවුන්ගේ කැපකිරීම් ගැන මතකයේ පිහි පාරක් විදිහට ඇනී තිබෙන මේ චිත්‍රපටිය La vita è bella හෙවත් ඉංග්‍රීසියෙන් Life is Beautiful. 1997 දී තිරගත වුණු මෙය අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය වුණු ගුයිඩෝ හැටියට රඟ පෑවේ රොබෙර්තෝ බෙනිඥි. 1999 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය භාෂාවකට අයත් චිත්‍රපටිය, හොඳ ම සංගීතය සහ හොඳ ම නළුවාට හිමි සම්මාන දිනාගත්තා. 1999 ඇකඩමි සම්මාමාන උළෙලේ දී ත්  ඉහත කී සම්මාන තුන ම ඔවුහු දිනාගත්තා. කෑන්ස් සම්මාන දෙකක් ද ඇතුළුව ලොවපුරා සිනමා සම්මාන මහත් රාශියක් දිනාගත් මේ චිත්‍රපටිය, මේතාක් නිමැවුණු හොඳම චිත්‍රපට ලැයිස්තුවේ 27වැනි ස්ථානයේ තිබෙනවා.

මෙන්න එය බාගත කිරීමට ටොරන්ට් සබැඳිය...

Saturday, January 18, 2025

පිය සමර හෙවත් භාරත ගී

මට භාරතීය සිනමාව සමීප කළේ අපේ තාත්තා. ඔහු පුදුමාකාර සංගීත රසවිඳින්නෙක්. මගේ ගැටවර වියේ දී තාත්තත් එක්ක රසවිඳපු භාරතීය සංගීත කොටස් ටිකක් මට මතක් වුණා, මේ ළඟ දි මට අහම්බෙන් වගේ මීනා කුමාරි ගැන කියවන්න ලැබුණු ෆේස්බුක් ලිපියකින්... 

මේ ඒ ගැන කෙටි ලියවිල්ලක්.

පළමුවෙන් ම, "හදවත තමන්ගේ වුණත් ප්‍රීතිය අනුන්ගේ..."

දිල් අප්නා ඕර් ප්‍රීත් පරායී රංජිත් එදිරිසිංහ ගේ වචනවලින් කියනවා නම් 1960 දී භාරත රිදී තිරය ර්ණත් කළ කළු සුදු චිත්‍රපටයක්. එහි නිරූපණය වුනේ සුශීල් නම් වෛද්‍යවරයා (රාජ් කුමාර්) සහ කරුණා නම් හෙදිය (මීනා කුමාරි) අතර ඇතිවන ප්‍රේමය. ඊට මැද්දට එන්නේ, සුශීල් ගේ පියාගේ මරණාසන්න කැමැත්ත (මට මතක හැටියට). පියාගේ කැමැත්ත අනුව සුශීල්ට සිද්ධ වෙනවා, ඔවුන්ගේ පවුලේ මිතුරෙකුගේ දියණිය වන කුසුම් (නදීරා) විවාහ කරගන්නට. ඒ ආරංචිය කරුණා දැනගන්නේ දීපාවලී උත්සවය දවසේ රෑ. 

මේ චිත්‍රපටයේ මම දකින අසාමාන්‍ය සහ දක්ෂ භාවිතයක් තමයි, ඉතා ම සතුටුදායක අවස්ථාවන් - ඉතා ම දුක්බර අවස්ථාවන් සමග සංකලනය කිරීමෙන් දුක තීව්‍ර ලෙස ඉස්මතු කර දැක්වීම. ඒක සංගීතයෙනුත් (ශංකර් සහ ජායිකිෂන්) ඉතා ම දක්ෂ විදිහට නිරූපණය කරනවා.

ඉතින් ඒ වගේ අවස්ථාවක් තමයි කරුණා පත්වන දුක්බර තත්ත්වය, දීපාවලී උත්සවයේ මල් වෙඩි සහ ආලෝකවත් සැමරීම් එක්ක නිරූපණය කිරීම. මේ ඒ අවස්ථාවේ සංගීතමය නිරූපණය. පොඩ්ඩකට විඳින්න, ආරම්භයේ දී අහන්නට ලැබෙන පියානෝ වාදනය...


චිත්‍රපටියේ දිගට ම නිරූපණය වෙනවා, සුශීල් තම පියාගේ කැමැත්ත ඉටු කිරීමට හිත හදා ගත් පසුවත්, කරුණා සමග ඇති කරගත් ප්‍රේමය මරා දමන්නට බැරි කමින් දුක් විඳන ආකාරය. ඒ වගේ ම කරුණා ඔහුගේ හැඟීම් තේරුම් ගෙන ඒ නිසා ම මුහුණ පාන දුක්ඛිත තත්ත්වය. එක් තැනක දී කරුණා, කැමැත්තෙන් ම තමන් ගැන කිසි ම තොරතුරක් සොයා ගන්නට බැරි වන ආකාරයට අතුරුදහන් වෙනවා. ඒ අවස්ථාවේ දී සුශීල් ශෝකයෙන් සහ අපේක්ෂාභංගත්වයෙන් පෙළෙමින් මුහුදු වෙරළට යනවා. එතැන වීදි ගායකයෙක් වේග රිද්ම ගීයක් ගායනා කරනවා. එහි අදහස තමයි, "කොහේ ගියා ද දන්නේ නෑ - කොහේ ගියා ද දන්නේ නෑ - මගේ හදවතත් අරගෙනයි ඈ ගියේ..."


මේ මම රස විඳි වෙනත් චමත්කාරජනක සංගීත කොටසක්. මෙහිත් රඟපාන්නේ රාජ් කුමාර් සමඟ මීනා කුමාරී. චිත්‍රපටය පාකීසා. මේ අවස්ථාව මට මතක හැටියට, අලුතින් එක් වූ යුවළක් අත් දකින චමත්කාරය. එය නිරූපණය කරන්නේ සුවිශේෂී සංගීත නාද සහ එහි දෝංකාරමය නිරූපණය සමගින්... සඳ එළියෙන් ආලෝකවත් වූ තෙත්බර රාත්‍රියක හැඟීමක් ඇති කරනවා...


මෙහි සංගීතය ගුලාම් මොහොමඩ් විසින්.

මී ළඟට පපුවේ ඇනුණු පිහිපාරක් වගේ දැනෙන "ආජාරේ... පර්දේසී..." (එන්න... පිට ගං කාරයෝ...) 


බිමල් රෝයිගේ මධුමති ඉතා ම සුන්දර කවියක් වාගේ නිර්මාණයක්. එය පුරා ම පැතිරී තිබෙන ඉතාම සරළ, සුන්දර, සැහැල්ලු සංගීතය සලීල් චෞද්රි විසින්.

මධුමති චිත්‍රපටය ගැන සඳහන් වුණු අතරේ, මම දැකපු එක් සුවිශේෂී දෙයක් තමයි, දිලිප් කුමාර්ගේ රංගන ශෛලිය. වැඩි ඔප දැමීම් නැතුව, ඉතා ම සාමාන්‍ය සහ තාත්වික රංගනයක් තමයි ඔහු ඉදිරිපත් කරන්නෙ. ටෝනි රණසිංහගේ රඟපෑමත් ඊට සමානයි කියා මම හිතනවා. එයට පරිබාහිරව, දිලිප් ඉතා ම විචිත්‍ර සහ දඟකාර චරිතයක් නිරූපණය කරනවා, ගංගා ජම්නා චිත්‍රපටියේ දී. මේ එයට කදිම උදාහරණයක්... 


මෙහි සංගීතය නෞෂාද් අලි විසින්...

දිලිප් සහ වෛජයන්තිමාලා ඉතා අපූරු ජන කලාත්මක රංගනයක් ඉදිරිපත් කරන තවත් අවස්ථාවක් මේ. මේ ගීතයේ තනුව ශ්‍රී ලංකාවටත් ඉතා ම හුරු පුරුදු වුණේ, මෙහි අනුකරණයක් විදිහට සිංහල විකට යුග ගීතයක් බිහි වුණු නිසා. 


ඉහත ගීත සියල්ල ගායනා කළේ මොහම්මද් රෆි සමඟ ලතා මංගේෂ්කර්. නමුත් මෙය ගායනා කරන්නේ ලතා ගේ නැඟනිය වුණු, ආශා භෝංස්ලේ. ගිතය ඇතුළත් වුණේ නයා දෝර් චිත්‍රපටියට. සංගීතය ඕ. පී. නයියාර් විසින්.

දිලිප් ගේ දක්ෂ නිරූපණයක් සහිත ගීතයක් කොහිනූර් චිත්‍රපටයෙන් උපුටා දක්වන්න කැමතියි, පෝස්ටුව අවසාන කිරීම විදිහට. මෙහි අන්තිම හරියේ ඔහු ඉතා ම හුරු බුහුටි ලෙස සිතාරය වාදනය කරනවා...


මෙහි සංගීතය නෞෂාද් අලි, ගී පද ශකීල් බදායුනි, ගායනය මොහම්මද් රෆි.

Sunday, June 30, 2024

කැත වැඩ

ඔබට කාගෙ හරි පාට් එකක් බලන්න සිද්ධ වුණොත්, කාගෙන් හරි අසාධාරණයක් සිද්ධ වෙනව නම්... පළිගන්න තියෙන හොඳ ම විදිහ ගැන තමයි මේ කියන්න යන්නෙ.


මිච් වීවර්... රස්සාවක එක දිගට වැඩි කාලයක් ඉන්න බැරි කෙනෙක්. යන යන හැම රස්සාවකින් ම වගේ දොට්ට දානවා.

තමන්ගෙ පෙම්වතිය එක්ක සබඳතාව තියාගන්න දන්නැති කෙනෙක්.

හැබැයි, ඔහු හැම තිස්සෙ ම ලැබෙන අත්දැකීම් ගැන තමන්ට ම සටහන් තියාගෙන ඒවයින් ඉගෙන ගන්න මහන්සි වෙන තැනැත්තෙක්.

ඔහු මුළුමනින් ම අසමත් චරිතයක් නෙවෙයි. තමන්ට වැරැද්දක් කරපු, තමන්ට පාට් එකක් දාපු ඕනෙම කෙනෙක්ගෙන් මොන විදිහකින් හරි පළිගන්න ඔහු ඉතා ම නිර්මාණශීලීයි.

දවසක් බාර් එකක දි ඔහුගේ හොඳ ම යාළුවා සෑම් මැකෙනා දාගන්න ලෙඩක් නිසා කොල්ලො සෙට් එකකින් මිච්ට තමන්ගෙ යාළුවත් එක්ක බෙදාගෙන කන්න අම්බානක පෝරියල් එකක් ලැබෙනව. මේ ඔහු ඒකට එකට එක කරපු හැටි.


සෑම්ගෙ තාත්තට හදවත් සැත්කමක් කරන්න සල්ලි හොයාගන්න, මේ දෙන්නා පටන් ගන්නවා, ස්වයං රැකියාවක්. ඒ තමයි "කැත වැඩ" කිරීම. කාට හරි කෙනෙක්ගෙන් පළිගන්න ඕනෙ නම්, ඔහු වෙනුවෙන් ඒ කැත වැඩේ කරන්න මිච් සහ සෑම් භාර ගන්නවා, සාධාරණ අයකිරීමක් සහිතව.

තමන්ගෙ හැකියාවට රැකියාවක්...


1998 දී තිර ගත වුණු Dirty Work චිත්‍රපටිය නිර්දය විදිහට ම විනෝදාත්මකයි. නෝම් මැක්ඩොනල්ඩ්, ආටි ලෑන්ජ්, ෂෙවි චේස් සහ ක්‍රිස්ටෝෆර් මැක්ඩොනල්ඩ් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙය, කාලයක් AFV ඉදිරිපත් කළ, බොබ් සැගට් ගේ අධ්‍යක්ෂණයක්.

ටොරන්ඩ් ලිංක් එක මෙතනින්...

මේ ක්ලිප් එක බෝනස්... හිරේ වැටුණම මොක ද වෙන්නෙ...?


යූටියුබ් එකේ තියෙන විදිහට, ෆිල්ම් එකේ හොඳ ම කෑල්ල මේක...

Saturday, May 11, 2024

නීලකළපුව

 


වික්ටෝරියානු යුගයේ දී...

 දකුණු පැසිෆික් සාගරයේ යාත්‍රා කරමින් තිබුණු රුවල් නැවක හදිසියේ ම ගින්නක් හට ගත්තා. කළබල වූ යාත්‍රිකයන් පැනගනිද්දී, පැඩී බටන් නම් වැඩිහිටියා, අවූදු හතක් පමණ වයසැති ළමයින් දෙදෙනෙකු වූ රිචර්ඩ් සහ එමලින් බෝට්ටුවකට නංවාගෙන යාත්‍රාවෙන් පැන ගත්තා. ඔවුන්ට සුන්දර ඝර්ම කළාපීය දිවයිනකට ගොඩ බසින්නට හැකි වුණා. එහි දී පැඩී දරුවන් දෙදෙනා රැක බලා ගනිමින් තමන් බේරා ගන්නට නැවක් පැමිණෙන තෙක් බලා සිටියා. පරිසරයට හුරු වෙමින් සහ නොනැසී ආරක්ෂා වෙමින්...


එහෙත් වැඩි කාලයක් යන්නට පෙර පැඩී මිය ගියා. ඉන් පසු දරුවන් දෙදෙනා මුහුදු වෙරළේ, කළපුවේ කර දියේ සහ වනයේ ජීවත් වන්නටත්, සොබා දහම රස විඳින්නටත් ඉගෙන ගත්තේ තනිවම. එය නැවුම් අත්දැකීමක්. 

එහෙත් නොදන්නා දේ සිදුවෙමින් තිබුණා. දිවයිනේ අනෙක් පැත්තේ ප්‍රචණ්ඩ ප්‍රාථමික මිනිසුන් නිතර ගැවසුනා. ඔවුන් ආගමික චාරිත්‍ර ඉටුකළ ස්ථානයක් එහි තිබුණා.

අනෙක් නොදන්නා දේ තිබුණේ දරුවන් තුළ ම යි. ඔවුන් වැඩිවිය පැමිණෙමින් තිබුණා. ඔවුන් තුළ හටගත් වෙනස්වීම් ඔවුන් තේරුම් ගන්නට වෑයම් කළා. ඒ වගේ ම, ඔවුන් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය වීම ඔවුන්ට වටහා ගන්නට අසීරු වුණා. නමුත් ක්‍රම ක්‍රමයෙන් ඔවුන් ඒ තුළ වූ සුන්දරත්වය විඳගන්නටත් සහජයෙන් ඇති වන ආකර්ෂණයට නතු වන්නටත් පටන් ගත්තා.

මම මීට වඩා කිසිවක් කියන්නේ නෑ.

1908 දී පළ කෙරුණු හෙන්රි ඩි වියේර් ස්ටැක්පූල් විසින් ලියා පළ කෙරුණු නවකතාවක් ඇසුරින් 1981 දී තිර ගත කෙරුණු The Blue Lagoon චිත්‍රපටය මම මුල්වරට නැරඹුවේ ටීඑන්එල් නාලිකාවෙන් බව මතක, 1998 දී. ඉතා ම චමත්කාරජනක මතකයක් ඉතිරි කළ සිනමා නිමැවුමක් එය.

එය සැළකියයුතු බලපෑමක් ඇති කළ බව පැහැදිලි වෙන්නේ, 1991 දී එහි ඉතිරි කොටසක් ලෙසට The Return to the Blue Lagoon නමිනුත්, 2012 දී The Blue Lagoon Awakening නමින් නවතම චිත්‍රපටයකුත් බිහි වීම මගින්. මේ චිත්‍රපටියේ කතාව යම්තාක් දුරකින් මම මීට පෙර සඳහන් කළ Top Secret චිත්‍රපටිය තුළත් සඳහන් කරනවා. 


බෲක් ෂීල්ඩ්ස් සහ ක්‍රිස්ටෝෆර් ඇට්කින්ස් ප්‍රධාන චරිත නිරූපණය කළ මෙම සුන්දර චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ රැන්ඩෝල් ක්ලේසර්. මෙහි ප්‍රචාරක පටය පහතින්...


බාගන්නට ටොරන්ට් සබැඳිය මෙතනින්...

Sunday, December 24, 2023

බ්‍රයන්ගේ ජීවිතය...

අවුරුදු දෙදාහකට පමණ පෙර...

අමුත්තන් තුන් දෙනෙක් යමක් සොයමින් යති. ඔවුන් එළැඹෙන්නේ මවක සහ එදින ම උපන් බිළිඳෙකු වෙත ය. ඔවුන් දකින මව බියපත් වෙයි. නමුත් පසුව ඇය ඔවුන් ගෙන් ප්‍රශ්න කර, ඔවුන් එළවා දමයි. එහිදී ඔවුන් කියන්නේ, තමන් යුදෙව්වන්ට බිහි වූ අලුත් රජු බැහැ දකින්නට තෑගි ද රැගෙන ආ වගයි. "තෑගි" යන වචනය නිසා තරුණ මව ඇගේ බිළිඳා, බ්‍රයන් දකින්නට අමුත්තන්ට ඉඩ සළසයි. 


බ්‍රයන් තරුණ වියට පත් වූ පසු, ජුදයාව රෝමයේ පාලනයෙන් මුදවා ගැනීමේ අරමුණින් පිහිටුවා ගත් ජුදයාවේ මහජන පෙරමුණ නම් සංවිධානයට එක් වෙයි. ඊට එකතු වීමේ දී ඔහුගේ සුදුසුකම් සහ කැපවීම පරීක්ෂා කිරීමට ඔහුට ලැබෙන මුල් ම මෙහෙයුම වන්නේ, "රෝමකයනි, ජුදයාවෙන් පිටවෙයව්!" යන්න, නගරයේ ප්‍රධාන තැනක බිත්තියේ ලිවීමට ය. නිතර රාත්‍රී මුර සංචාර යන ලීජන්වරුන්ගෙන් බේරී මෙය ඉටු කිරීම අති දුෂ්කර කාර්යයකි. නමුත් එය සිතුවාටත් වඩා "සිය ගුණයකින්" ඉටු කිරීමට බ්‍රයන් සමත් වන්නේ මෙසේ ය.


රෝමක සෙබළුන්ට අහුවෙන බ්‍රයන්, ජුදයාවේ රෝමක පාලකයා වන පොන්ටියුස් පිලාත් වෙත අරගෙන යන තැන. පිලාත් ට "ර" යන්න කියවෙන්නෙ නෑනෙ. ඒ වෙනුවට කියවෙන්නෙ "ව" යන්න. ඉතිං බ්‍රයන්ගෙ තාත්තා "රෝමන්" කෙනෙක් කිව්ව ම, පිලාත් ගෙ මුවින් ඔහු "කාන්තාවක්" වෙනව.


ඒ කාලේ තිබුණු යුදෙව් මූලධර්මවාදී සමාජය. දස පනතේ එක් පනතක් වන, "දෙවියන් වහන්සේ ගේ නාමයෙන් බොරුවට දිවුරීම" ට හසු වුණු තැනැත්තෙක්ට ගල් ගැසීම...


අවසානයේ බ්‍රයන් ද, කුරුසියේ තබා ඇණ ගසනවා. 

සෑහෙන ආන්දෝලනයට ලක් වුණු, මොන්ටි පයිතන් කණ්ඩායමේ නිර්මාණයක් වන මේ චිත්‍රපටිය, ඇතැම් රටවල තහනමට පවා ලක් වුණා. ඊට සමගාමීව, "නොට් ද නයින් ඔ'ක්ලොක් නිවුස්" හි කතා බහට ලක් වුණා. මොන්ටි පයිතන් බැතිමතුන්ට අපහසුතාවක් ඇති වුණු, ජේසුස් ක්‍රිස්තුස් ගේ කතාව... 


චිත්‍රපටිය යූ ටියුබ් හි තිබෙනවා. ටොරන්ට් බාගත කරගන්නවානම්, මෙන්න...

Saturday, October 14, 2023

තුන් සොල්දාදුවෝ 1973 - ශනිදා දහයට!

අලිසන්දිරී දූමා නමැත්තාණෝ මහා පබඳුවාණ කෙනෙකි...

කළු දළ මල හෙවත් The Black Tulip පොතේ සිංහල පරිවර්තනයේ හැඳින්වීම පටන් ගන්නේ උඩ තියෙන වාක්‍යයෙන්.

ඇලෙක්සාන්ද්‍ර දියුමා ගේ ඉතා ම ප්‍රසිද්ධ නවකතාවක් වන තුන් සොල්දාදුවෝ කතාවෙන් හදපු චිත්‍රපටි ගණනාවක් තියෙනවා. එයින් මම කැමති ම චිත්‍රපටිය ආවෙ 1973 දි. A Hard Day's Night, The Beatles Help!, Supperman II ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ රිචර්ඩ් ලෙස්ටර් ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි සිනමා තිර පිටපත ජෝජ් මැක්ඩොනල්ඩ් ලීවේ.


කූඹියෝ ටෙලි නාට්‍යයෙ කුඩා චරිතවලට ප්‍රසිද්ධ නළුවො අරගෙන තිබුණා වගේ, මේකෙත් ඉන්නව සහය චරිතවලට ක්‍රිස්ටෝෆර් ලී, චාල්ටන් හෙස්ටන්, රිචඩ් චේම්බර්ලේන්, ඔලිවර් රීඩ්, රාකේල් වෙල්ච්, ජෙරල්ඩීන් චැප්ලින් (ඔව්, අරයගෙ දුව...) ආදී උදවිය.

මේකෙ මම දකින හොඳ ම දේ තමයි, කතාවට යටින් දිවෙන සරළ හාසයය. හාස්‍යය මතු කරන්නෙ එදිනෙදා යථාර්ථවාදී අවස්ථාවලින්. මේ ඊට හොඳ උදාහරණයක්...

බේබද්දෙකුත් ඇතුළත් වුණු මස්කිටීයර් තුන් දෙනා, ලේසියෙන් කෑම ටිකක් එකතු කරගන්න රෙස්ටොරන්ට් එකේ දාගන්න වලිය ඒ වගේ තවත් තැනක්...


ඉතින්... සුප්‍රකට කතාවක් නිසා තිර පිටපතේ සාරංශයක් මෙතන ලිවීම වැඩක් නෑ. ඒ වගේ ම, කාඩිනල් රිෂලියු හැටියට චාල්ටන් හෙස්ටනුත්, රොෂ්ෆෝ හැටියට ක්‍රිස්ටෝෆර් ලීත් කැපී පෙනෙන "සුළු" රඟපෑමක් කරන බව පැවසීම ප්‍රමාණවත්.

මේ චිත්‍රපටිය 1975 වර්ෂයේ බ්‍රිතාන්‍ය ඊවිනින් ස්ටෑන්ඩර්ඩ් සිනමා සම්මානවලින් හොඳ ම විකට චිත්‍රපටිය හැටියටත්, ගෝල්ඩන් ග්ලෝබ් සිනමා උළෙලේ හොඳම විකට හෝ සංගීතමය නිළිය සම්මානයත් දිනාගත්තා. ඒ වගේ ම මෙහි තිර පිටපත, මහා බ්‍රිතාන්‍යයේ රයිටර්ස් ගිල්ඩ් සම්මානවලින් 1975 බ්‍රිතාන්‍යයේ හොඳ ම විකට තිරපිටපත හැටියටත් තේරුණා.

චිත්‍රපටිය බාගත කරගන්න ටොර්න්ට් සබැඳිය මෙතනින්...

Thursday, November 24, 2022

හොඳ, නරක, කැත මිනිස්සු


ඇමරිකාවේ 1860 ගණන්වල සිවිල් යුද්ධය පැවති කාලය...

ටූකෝ බෙනඩික්ටෝ පැසිෆිකෝ හුවන් මරිය රමීරස්: එක්සත් ජනපදයේ කවුන්ටි දා හතරකින් උවමනා කර තිබෙණ; මිනී මැරුම්, මිනිසුන්ගෙන්, බැංකුවලින් සහ තැපැල් කන්තෝරුවලින් ආයුධ සහිතව සොරකම් කිරීම්, පූජනීය දේ සොරකම් කිරීම්, රජයේ බන්ධනාගාරයක් ගිණි තැබීම, බොරුවට දිවුරුම් දීම, බහු විවාහ කර ගැනීම්, භාර්යාව සහ දරුවන් අත්හැර යාම, ගණිකා වෘත්තියට පෙළඹවීම හෝ බල කිරීම, පුද්ගලයන් පැහැරගෙන යාම, දේපළ පැහැරගැනීම, සොර බඩු භාර ගැනීම, සොර බඩු විකිණීම, ව්‍යාජ මුදල් හුවමාරුව, සළකුණු කළ කාඩ්වලින් සෙල්ලම් කිරීම... ආදී විෂමාචාර රාශියකට වැරදි කරු වන, මරා හෝ පණ පිටින් අල්ලා දෙන්නෙකුට තෑගි මුදල් නියම කර තිබෙන, ඒ වගේම ඉතා ම දරුණු සහ දක්ෂ වෙඩික්කරුවෙක්.


ඔහු කිසිම විශ්වාසයක් තැබිය නොහැකි, තමන්ගේ සගයන් බිලි දී හෝ තමන්ගේ අභිප්‍රාය ඉෂ්ට කරගන්නා කැත මිනිහෙක්. ටූකෝ කැත මිනිහෙක් වුණේ කොහොමද?

ටූකෝ ගේ මල්ලි පැබ්ලෝ රමීරස් හාත්පසින් ම වෙනස්. ඔහු කතෝලික හෝ ක්‍රිස්තියානි සහෝදරතුමෙක්. ඔවුන් දෙදෙනා හමු වුණු අවස්ථාවක මේ ගැන කතා බහක් ඇති වුණා. රමීරස් සහෝදරතුමා තමන්ගේ අයියගේ විෂමාචාරී ජීවිතය ගැන ගර්හාවට ලක් කළ විට අයියා කීවේ මේ වගේ දෙයක්...

"උඹ හිතනවද, උඹ මට වඩා හොඳයි කියලා? අපි ආපු දිහාවේ, කාට හරි දුප්පත්කමෙන් මැරෙන් නැතුව ඉන්ඩ නං, එක්කො පූජකයෙක් වෙන්ඩෝනෙ, නැත්තං ‌අපරාධකාරයෙක් වෙන්ඩෝනෙ. උඹ උඹේ පාර තෝර ගත්තා, මං මගේ පාර තෝරගත්තා. මගෙ පාර තමයි අමාරු. උඹ කතා කරනවනෙ අම්මයි තාත්තයි ගැන... උඹට මතක නෑ උඹ පූජකයෙක් වෙන්ඩ පිටත් වුණාම, මම ගෙදර නතර වුණා. මට වයස අවුරුදු දහයක්, දොළහක්... මට මතක නෑ, නමුත් මම නතර වුණා. මං උත්සාහ කළා, ඒත් ඒකෙන් වැඩක් වුණේ නෑ. මං දැන් උඹට දෙයක් කියනවා... උඹ පූජකයෙක් වුණේ, මං කරන දේ කරන්න බයගුල්ලෙක් වුණ හින්දා..."


සෙන්ටෙන්සා හෙවත් ඒන්ජල් අයිස් ඉතාම දක්ෂ සහ නපුරු වෙඩික්කාරයෙක්. ඔහු කුළියට මිනී මරන්නෙක් හැටියටත් කටයුතු කළා. 

පුද්ගලයන් කීප දෙනෙක්, සොරකම් කරගත් ඩොලර් ලක්ෂ දෙකක මුදලක් යම් තැනක සඟවා තිබෙණවා. ඒ සඟවා ඇති තැන දන්නේ ජැක්සන් නම් ඒ කණ්ඩායමේ සාමාජිකයෙක්. බේකර් නම් තැනැත්තා ඒන්ජල් අයිස් ට කොන්ත්‍රාත්තුවක් දෙනවා, ජැක්සන් සොයාගන්න. ඒ සඳහා ඔහු ඩොලර් පන්සීයක් ගෙවන්නට පොරොන්දු වෙනවා. නමුත් ඒන්ජල් අයිස් ට ඔහු සොයාගන්න හැකි වන්නේ නෑ. ඒ ජැක්සන් තම නම වෙනස් කරගෙන සැඟවී සිටින නිසා. 

ඒන්ජල් අයිස් හොයාගන්නවා, ජැක්සන් ඔහුගේ මිතුරෙකු වන ස්ටීවන්ස් ගේ ගෙදරට ඇවිත් ගිය බව.

ඒන්ජල් අයිස්, ස්ටීවන්ස් ගේ ගෙදර ගිහින්, ඔහු කෑමට සූදානම් කරගත් සුප් එකෙන් කොටසකුත් බීලා, ජැක්සන් ගේ අලුත් නම අහනවා. ස්ටීවන්ස් අහනවා, මේ සඳහා බේකර් ඒන්ජල් අයිස් ට කීයක් ගෙවනවා ද කියා. "පන්සීයයි" ඒන්ජල් අයිස් කීවා ම, "එහෙනම් බේකර් මරා දමන්න මම දාහක් දෙන්නම්" කියා ස්ටීවන්ස් ඔහුට මුදල් ‌දෙනවා. ස්ටීවන්ස් කියන දේවලින් ඒන්ජල් අයිස් දැනගන්නවා සැඟවූ මුදල් ගැන. නමුත් ජැක්සන් ගේ නම දැන ගන්න ලැබෙන්නේ නැහැ. ඒන්ජල් අයිස් ස්ටීවන්ස්ට සහ ඔහුගේ පුතුන් දෙන්නාටත් වෙඩි තියලා ආපහු එනවා. 

තම කොන්ත්‍රාත්තුව අකුරට ම ඉටු කරන ඒන්ජල් අයිස්, පළමුව ස්ටීවන්ස් මරණවා. ඉන්පසු බේකර් වෙත ගිහින් තොරතුරු ලබා දී, බේකර්වත් මරණවා.

ජැක්සන්ගේ පෙම්වතියක් ගෙන් ඒන්ජල් අයිස් දැනගන්නවා, ජැක්සන් දැන් භාවිත කරන්නේ බිල් කාසන් යන නම බව. 

ඉතින් බිල් කාසන් සොයාගැනීමට ඒන්ජල් අයිස් ඇමරිකානු රාජ්‍ය හමුදාවට එකතු වෙනවා.

රන්වන් කෙස් ඇත්තා හෙවත් බ්ලොන්ඩි නමින් හඳුන්වන නමක් ගමක් නැති මිනිසා, තමන්ගේ දක්ෂතාවන් භාවිත කරලා ඩොලර් කීපයක් උපයා ගන්න තැත් කරන්නෙක්. ඔහු ටූකෝ අල්ලාගෙන, ෂෙරීෆ්වරයෙකුට භාර දී මුදල් තෑග්ග ගන්නවා. නඩු විභාගයෙන් පසුව, ටූකෝ දෑත් පිටිපස්සට තබා බැඳ, අශ්වයෙකු පිට හිඳුවා, ගසක අත්තක ගැට ගසන ලද තොණ්ඩුවක් ඔහුගේ බෙල්ලට දමා, ඔහු වරදකරු බවට ඔප්පු වූ චෝදනා ප්‍රකාශ කර, අශ්වයාට කෝටුවෙන් පහර දෙනවා. එතැන දී බ්ලොන්ඩි ටූකෝ ගේ ගෙළට දමා ඇති ලණුවට වෙඩි තබා, එය කපා හැර, රැස්ව සිටින පිරිමින්ගේ තොප්පිවලටත් වෙඩි තබා, ටූකෝ බේරාගෙන පළා යනවා. පසුව තෑගි මුදල ඔවුන් දෙකට බෙදා ගන්නවා.

නමුත් ටූකෝ ඒ ගනුදෙනුවේ තමන්ට අයිති කොටස අමාරු නිසා, තෑගි මුදලින් වැඩි කොටසක් අවශ්‍ය බව කියනවා. එයින් මේ දෙන්නා අතර විරසකයක් ඇති වෙනවා.


මේ කතාවට අදාළ වන කාලය, ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමාගේ පාලන කාලයේ පැවති සිවිල් යුද්ධ කාලය. වහල් මෙහෙයට පක්ෂ දකුණේ ජනපද සහ රජයට පක්ෂ උතුරේ ජනපද අතර යුද්ධයක් පැවතුනා. නිල් කබා කාරයන් සහ අළු කබා කාරයන් ලෙස දෙපාර්ශ්වයේ හමුදා හැඳින්වුණේ.

ටූකෝ සහ බ්ලොන්ඩි දෙන්නාට මේ අතර හමුවෙනවා, මරණාසන්නව සිටින බිල් කාසන් හෙවත් ජැක්සන්. ඔහු ඩොලර් දෙලක්ෂය සඟවා ඇති ස්ථානය ටූකෝට කියනවා. එය සොහොන් පිටියක්. ටූකෝ, ඔහුගෙන් වැඩි විස්තර ලබා ගන්නට, ඔහු ප්‍රකෘතිමත් කරන්නට වතුර ගෙන ඒමට ගිය අතරේ, මුදල් සඟවා ඇති මිනී වල කුමක්ද කියා බිල් කාසන් බ්ලොන්ඩි ට කියනවා.

ටූකෝ වතුර ගෙන ඒමට කලින් බිල් කාසන් මිය යනවා. ටූකෝ ඔහුගේ ඇඳුම් ඇඳගෙන, ඔහුගේ නම යටතේ පෙනී හිටින්නට පටන් ගන්නා අතර, මේ දෙන්නා ඒන්ජල් අයිස් ට හමුවෙනවා. බිල් කාසන් අළු කබා හමුදාවේ සිටි අයෙක් වෙද්දී, ඒන්ජල් අයිස් නිල් කබා කාරයන් ගේ හමුදාවේ මායිමක් මුරකරන හමුදා අණු ඛණ්ඩයක සිටියේ.

ටූකෝ පෙනී සිටින බිල් කාසන් යන නම අනුව, මේ දෙන්නා රහස දන්නා බව ඒන්ජල් අයිස් දැනගන්නවා. ඒ රහස දැනගන්නට ඔවුන් සංගීත පෙරෙට්ටුවක් පවත්වනවා. එය මානව දයාව සහ සහකම්පනය දනවන ජවණිකාවක්. 

එහෙම වෙන්නෙ කොහොමද? 

හමුදා කඳවුරේ ප්‍රධානියා ආබාධිතයෙක්. ඔහු සිරකරුවන්ට වධ දීම පිළිබඳව දැඩි විරෝධයක් දක්වනවා. ඒ නිසා සිරකරුවන්ට පහර දෙනවිට ඔවුන් නඟන විළාප නෑසෙන්නට හමුදා කණ්ඩයේ සංගීත කණ්ඩායම පුහුණු කිරීම් ඊට සමගාමීව ම පවත්වනවා. එතැනදී වෙන්නේ මොකක් දැයි හොඳින් දන්නා වයලින් වාදකයෙකුගේ මුහුණින්, ඉතා සංකීර්ණ හැඟීම් මාළාවක් නිරූපණය කරවන්නට අධ්‍යක්ෂවරයා සමත් වෙනවා.


වධ දී, ටූකෝ ගෙන් සුසානභූමියේ නම දැනගන්නා ඒන්ජල් අයිස්, බ්ලොන්ඩි ද කැටුව සඟවා ඇති මුදල් සොයාගන්නට පිටත් වෙනවා. ටූකෝ ත් තමන් සිටින රැඳවුමෙන් පළා එනවා. මේ තුන් දෙනාගෙන් කාට මුදල් සොයාගන්නට හැකි වේවි ද?

හොඳ නරක කැත මිනිස්සු, 1966 දී සර්ජියෝ ලියොන් අධ්‍යක්ෂණය කළ විශිෂ්ඨ නිර්මාණයක්. මේ චිත්‍රපටියට පසුබිම් වන්නේ, චිත්‍රපටය හැදූ කාලයෙන් හරියට ම අවුරුදු සීයකට පෙර කාලය. මිනිසුන්ගේ ඇති සංකීර්ණ චරිත ස්වභාවයන් වගේ ම, යුද්ධයේ ඇති නිරර්ථක සහ බිහිසුණු බව මේ චිත්‍රපටියෙන් ඉතා ම කදිමට නිරූපණය වෙනවා.

ඒ වගේ ම ප්‍රසිද්ධ කියමන් රාශියකුත් මේ චිත්‍රපටියෙන් බිහි වුණා. “මේ ලෝකේ ආකාර දෙකක මිනිස්සු ඉන්නවා...“ “නුඹ වැඩ කරන්නේ ජීවිකාව සඳහා නම්, ඇයි වැඩ කරමින් නහින්න හදන්නේ?“ “සෑම තුවක්කුවක් ම, ඊට ආවේණික හඬක් නඟයි...“ “උඹ වෙඩිතියන්න ආවනං, වෙඩිතියපං. කතා කර කර ඉන්ඩ එපා.“ “ඩොලර් ලක්ෂ දෙකක් කියන්නේ ලොකු මුදලක්. අපිට ඒක උපයගන්න වෙනවා.“ “කාට හරි වැඩි ම ප්‍රමාණයක් මත් පැන් තිබේනවාද? ඔහු සෙබළුන් බීමත් කරවා, මැරෙන්නට පිටත් කරනවා ද? ඔහු තමයි ජයග්‍රාහකයා“ මේ අතරින් කීපයක්.

මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් මේ චිත්‍රපටිය බලා ඇතුවාට සැක නැහැ. (බලා නැත්නම් බාගත කරන්නට සබැඳිය මෙතනින්.) ඒ නමුත් මෙහි ඇති සංකීර්ණත්වය සහ විචිත්‍රත්වය නිසා මේ ලිපිය ලියන්නට ම උවමනා වුණා.

මේ චිත්‍රපටියේ තිර රචනය ඇසුරින් ඩීමන් ආනන්ද පොත් තුනක් නිකුත් කළා. “මිනීමරු ටූකෝ“, “අඩියෝස් සෙන්ටෙන්ෂා“ සහ “හොඳ නරක කැත මිනිස්සු“ මේ පොත් තුන. පසුකාලීනව 2008 දී විතර මේ පොත් තුන එකතු කරලා හොඳ නරක කැත මිනිස්සු නමින් තනි පොතකුත් නිකුත් වුණා. 

Tuesday, October 18, 2022

යුරෝ සංචාරය

ස්කොට් තෝමස් හෙවත් ස්කොටී, හයිස්කූල් හෙවත් උසස් විදුහලෙන් එළියට එන කොල්ලෙක්. ඔහු මොන අවස්ථාවක, මොන විදිහෙ දෙයක් කරයි ද කියලා වේලාසන කාටත් හිතාගන්න පුළුවන් විදිහෙ, අහිංසක සාමාන්‍ය කොල්ලෙක්.

ඒක ඔහුගෙ පෙම්වතිය ෆියෝනාට ගැළපෙන්නෙ නෑ. ඔවුන් ගේ උපාධි ප්‍රදානෝත්සව දිනයේ දී ඇය ඔහුගෙන් වෙන් වන බව ඔහුට කියනවා. ඇය කියන්නේ, තවදුරටත් වංචා කරමින් ප්‍රේම කරන්නට නොහැකි බව.

එදා උත්සවයේ දී ෆියෝනාගේ අනික් පෙම්වතා රොක් ගීතයක් ගයනවා. ඔහු එය පුද කරන්නේ ෆියෝනාට. ගීතයෙන් කියවෙනවා, "...ස්කොටී දන්නෙ නෑ. ෆියෝනාත් මාත් හැම සති අන්තයක ම හමු වී ජිඟිරි බිරිස් (මෙයට යෙදිය යුතු, චිත්‍රපටයට ගැළපෙන වචනය මෙතනට යොදා ගන්න හිතෙන්නෙ නෑ.) කරනවා..." ආදී විස්තර වගයක්.

හදවත බිඳුණු, උපහාසයට සහ නිග්‍රහයට ලක් වුණු ස්කොටී ඔහුගේ හොඳ ම යාළුවා කූපර් හැරිස් එක්ක එදා හවස කතා කරමින් ඉද්දි කියනවා, ඔහුගේ දුරස්ථ ජර්මන් මිතුරෙක් ගැන. ඔවුන් හමුවන්නේ අන්තර්ජාලයේ චැට් මඟින්. ජර්මන් මිතුරා ගේ නම මයික් (Mieke) ලෙසින් ස්කොටී උච්ඡාරණය කරගන්නේ. 

එතන දී කූපර් කියනවා, ගොඩක් ම යුරෝපීය පිරිමින් සමලිංගිකයන් බව. තව දිගට චැට් කරගෙන යද්දි, මයික් කියාවි "මම ඔබ හමුවෙන්න එන්නම්, " කියලා. ආන්න එතනදි පරිස්සම් වෙන්න ‌වෙනවා.

එදා රෑ ස්කොටී, මයික් එක්ක චැට් කරද්දී ඔහු සහ ෆියෝනා අතර සිදු වුණු දේ කියනවා. එතන දී ඔහුගේ දුක ගැන සංවේදී වන මයික් කියනවා, "මට ඔයා ගැන දුකයි. මම ඔයා හමුවෙන්න එන්නම්..." කියලා.

කූපර් ගේ අනතුරු ඇඟවීම මතක තිබුණු ස්කොටී මයික් ට බැණ වැදී, "ආපහු ඔබ එක්ක සබඳතා තියාගන්න කැමති නැති" බව කියමින් චැට් එක අවසන් කරනවා.

ස්කොටී ගේ මල්ලි ඔහුට පහුවදා උදේ පැහැදිළි කරනවා, ජර්මන් නම් උච්ඡාරණය කරන නිවැරදි විදිහ. ඔහුට අනුව, ස්කොටී චැට් කර තියෙන්නේ මයික් සමඟ නොවේ මීකා නම් සුරූපී කෙල්ලක් සමඟ.

නමුත් ස්කොටී ප්‍රමාද වැඩියි. මීකා ඔහු සමඟ චැට් කිරීම නතර කරලා. 

ඉතින් ස්කොටී ත් කූපර් ත් ඇමරිකාවේ ඉඳන් ජර්මනියට යන්න පිටත් වෙනවා, මීකා හමු වෙන්න. ඔවුන්ගේ තවත් මිතුරන් දෙන්නෙක් වන ජෙනී සහ ජේමී නම් නිවුන්නුත් ඔවුන් සමඟ මේ ගමන යනවා. ඒක සෘජු ගමනක් නෙවෙයි. එංගලන්තය, ප්‍රංශය, නෙදර්ලන්තය, ස්ලොවැකියාව හරහා ඔවුන් ජර්මනියට එනවා.

ඒ අතර යුරෝ සංචාර ගැන විශේෂඥ දැනුමක් ඇති ජේමී ළඟ ඇති ඔවුන්ගේ මුදල් සහ ටිකට් පත් නෙදර්ලන්තයේ දී සොරකම් කෙරෙනවා.

සංචාරකයෙකුට ලැබිය හැති හැම නරක අත්දැකීමක් ම ලබන මේ සිවු දෙනා ස්ලොවැකියාවට එද්දී අතේ ඉතිරි වන්නේ සත කිහිපයක් පමණයි.

ජර්මනියට ආ පසු ඔවුන් ට මීකා හමු වන්නේ නැහැ. ඇය සිත් තැවුලෙන් වතිකානුවට පිටත් වී ගිය බව ඇගේ පියා දන්වනවා.

ඇය සොයාගෙන වතිකානුවට යන ස්කොටී සහ මිතුරන් ට ඇය හමු වන්නට කලින් තවත් අනපේක්ෂිත හාස්‍යජනක සිදුවීම් ගණනාවකට මුහුණ දෙන්නට සිදු වෙනවා.

මේ කියා ඇත්තේ මිහිරි පළතුරු ගෙඩියක ලෙල්ල වැනි පිටස්තර නීරස විස්තර ටිකක්. හැබෑ රසය ගැන පොඩි හෝඩුවාවක් ට්‍රේලරයෙන් බලා ගන්නට පුළුවන්.


යුරෝ ට්‍රිප් 2004 දී එළි දැක්වුණු හාස්‍ය රසයෙන් පිරුණු ලිංගිකත්වයත් ස්පර්ෂ කරන තරුණ චිත්‍රපටයක්. රසවිඳින්න ටොරන්ට් එක මෙතනින්

Friday, September 2, 2022

ප්‍රාතිහාර්යයක ඇනටොමිය - තර්ටීන් ලයිව්ස් සිනමා පටය හැදූ හැටි.

හදවතට දැනෙන ඒ සිනමා පටය කෙරුණු හැටි ගැන අංග සම්පූර්ණ විස්තරයක්, ගබඩාවක් තුළ දැවැන්ත ටැංකි ඉදිකිරීමේ සිට, පැය හාරසීයකට කිට්ටු ධාවන කාලයක එකතුවක් සහිත වීඩියෝ පට පීරමින් සංස්කරණය කිරීම දක්වා...

2022 අගෝස්තු 05 - ඩේවිඩ් කෑන්ෆීල්ඩ් ගේ ලිපියකි.

මුදවාගැනීමේ මෙහෙයුමක් සම්බන්ධයෙන් වූ කල, තමන් කළ යුත්තේ මොකක්දැයි රොන් හාවඩ් හොඳට ම දනියි. ඔහු 1995 දී නිර්මාණය කළ ඇපොලෝ 13 කලාත්මක චිත්‍රපටියේදී වගේ ම නවතම සිනමා නිර්මාණය වන තර්ටීන් ලයිව්ස් හි දීත්, ස්වසනය සහ ගුරුත්වය සම්බන්ධ නියමයන්ට අනුකූළ නොවන පරිසරයක දී අනතුරට ලක්වීම ගැන සංකල්පය දැක ගන්නට ලැබේ. මෙවර එය අපට දකින්නට ලැබෙන්නේ, කලින් වතාවේ දී මෙන් අභ්‍යවකාශයේ නොවේ, රොන් මේ වතාවේ දී එම අත්දැකීම අපට ලබා දෙන්නේ දිය යට දී ය.

හුස්ම හිර කරවන තරම් ආතතියක් ජනනය කරන මේ තර්ටීන් ලයිව්ස් චිත්‍රපටයෙන් නිරූපණය කරන්නේ 2018 ගිම්හානයේ තම් ලුවාං ගුහාවේ සිර වී සිටි තායි පාපන්දු ක්‍රීඩකයන් බේරා ගැනීමේ සත්‍ය සිදුවීමයි. වයස අවුරුදු 11 සිට 16 දක්වා වූ පාපන්දු ක්‍රීඩකයන් දොළොස් දෙනෙක් තම් ලුවාං ගුහාව තුළ සිර වුනේ, ජලයෙන් යටවීමත්, අදාළ ගුහා පද්ධතියේ වංකගිරියක් බඳු විස්තීර්ණ පිහිටීමත් හේතුවෙනි. මිනිසුන් දහ දාහකට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් දියත් වුණු, ඉතාමත් ප්‍රවේසම් සහගත සහ උපාය මාර්ගික ලෙස සැළසුම් කරන ලද, අන්තර්ජාතික මට්ටමේ මුදාගැනීමේ ප්‍රයත්නයන් ගේ ප්‍රතිඵලයක් හැටියට ඒ සියලු ම දෙනා එක ජීවිතයක් වත් අහිමි නොවී බේරා ගැනීමට හැකි වුණත්, ඒ සඳහා සති දෙකකට වැඩි කාලයක් ගත විය.

මේ සත්‍ය කතාව සිනමාවට නැගෙන්නට කලින් ඇමරිකානු මහජන විකාශන සේවාව හෙවත් පීබීඑස් මඟින් වාර්තා වැඩසටහන් මාලාවකටත්, ද රෙස්ක්‍යු නම් වාර්තාමය වැඩසටහනකටත් නැගී තිබේ. මේ වතාවේ රොන් හාවඩ් ගේ සුපුරුදු සිනමාත්මක කුසලතාවන් මඟින් මේ කතන්දරය අංග සම්පූර්ණ හොලිවුඩ් පෝෂණයෙන් යුක්තව ඉදිරිපත් වී තිබේ. වීරත්වය සහ පරිත්‍යාගය අනූන කතන්දර කීමට හාවඩ් සතු නැඹුරුවත්, දක්ෂ ලෙස ආතතිය කැවීමේ හැකියාවත් මෙහි දී කැපී පෙනේ. 

මුදවාගැනීමේ මෙහෙයුමේ සැබෑ වීරයෝ
වමේ සිට: රික් ස්ටැන්ටන්, ‌ජෝන් වොලන්තන් සහ රොබට් චාල්ස් හාපර් තම් ලුවාං ගුහා සංකීර්ණය අසළ

සත්‍ය කතාවට කරන ලද මේ අනුවාදයේ දී බ්‍රිතාන්‍ය ජාතික කිමිදෙන්නෙක් වන ජෝන් වොලන්තන් (කොලින් ෆැරෙල් විසින් නිරූපිතයි) සහ රිචඩ් “රික්” ස්ටැන්ටන් (විගෝ මෝටෙන්සන් විසින් නිරූපිතයි) සිරවූ දරුවන් සහ ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනීම සඳහා අතිශයින්ම අවදානම් සහගත එසේ ම අත්‍යවශ්‍ය ක්‍රමවේදයන් සැළසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම, ලොමු දැහැ ගැන්වෙන ජවනිකා මඟින් නිරූපණය වේ. ඒ වගේ ම, ගුහාවේ පිටත ප්‍රදේශවාසීන්, සිර වී සිටි අයගේ පවුලේ උදවිය සහ රජයේ නිලධාරීන් ගේ උත්සාහයන් ද මෙහෙයුමේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වූ බව පැහැදිලි වන සිදුවීම්වලටත් සමාන ධාවන කාලයන් ලබා දී තිබේ.

සමස්තයක් ලෙස ගත් විට, රොන් හාවඩ් සහ කණ්ඩායම, ගෝලීය අවධානයට පාත්‍ර වූ මේ සත්‍ය කතාව ඇසුරින් හද ගැස්ම වැඩි කරවන තරම් හැඟීම් දනවන, ඇදහිය නොහැකි තරම් සියුම් විස්තර සහිත ප්‍රතිනිර්මාණයක් තැනීමට සමත් වී තිබේ. ඔවුන් මේ විස්මිත නිර්මාණය කළේ කොහොමද, සහ ඒ ඒ දේ සිදු කළේ ඇයි ද, යන්න ගැඹුරින් විමසීමට දැන් අපි සූදානම්.

නිර්මාණයේ පසුතල ලෝකය

හාවඩ් සහ ඔහුගේ පළමු සහාය අධ්‍යක්ෂ විලියම් එම්. කොනර් ගේ මුල් අදහස වූයේ තායිලන්තයට ගොස් මෙම සිදුවීම ට පසුබිම වූ ගුහාවලදී ම තම චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කිරීමට වුවත්, කොවිඩ් 19 වසංගතය ලොව පුරා අරක් ගනිමින් ඒ සැළසුම අවුල් කර දැම්මේ ය. සිනමාකරු ඒ වන විටත් මේ නිර්මාණයට නැතිවම බැරි ශිල්පීන් සම්බන්ධ කරගෙන සිටියේ ය. ඒ අතර නිෂ්පාදන සැළසුම්කාරිනී මොලී හියුස් (හිල්බිලී එලිජි - 2020 සිනමා පටයට හවුල් වූ අතර හැරී පොටර් චිත්‍රපට කිහිපයක ම කලා අධ්‍යක්ෂවරිය ද විය), සහ කීර්තිමත් තායි සිනමාකරු සයොම්භූ මුක්දීප්‍රොම් (කෝල් මී බයි යුව’ නේම් සහ සස්පිරියා චිත්‍රපටවල සිනමැටෝග්‍රැෆර් වේ. ඔවුන්ට සිදු වූයේ මේ චිත්‍රපටය වෙනත් තැනක රූගත කරන්නට ය. ඒ සඳහා ලබාගත හැකි විස්තර පදනම් කරගෙන ගුහාවේ වැඩි හරිය නැවත නිර්මාණය කරන්නට සිදු විය.

ඇසි දිසි මැවුම්කරු
සොයම්භූ මුක්දීප්‍රොම් - සිනෙමැටොග්‍රැෆර්

මුක්දීප්‍රොම් සහ තවත් මුල් ස්ථානය ගැන දන්නා උදවිය සමඟ වැඩ කරන්නට හාවඩ් ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් වෙත ගියේය. “එහි භූ විෂමතාව ඇත්තෙන් ම උතුරු තායිලන්තයට නෑකම් කියනවා” යැයි හාවඩ් කියයි. චිත්‍රපටියෙන් සහ එහි පිටුපසින් සිටි අයගේ ප්‍රයත්නයෙන්, රොන් හාවඩ් හට උවමනා කළේ මේ සංස්කෘතිකමය වශයෙන් සංවේදී සහ වැදගත් කතාන්තරය සත්‍ය වශයෙන් ම සිදු වූ හැටි කියා පෑමටය.  

එහෙයින්, මුක්දීප්‍රොම්, හාවඩ් සමග මේ සිනමා පටය තැනීමේ කාර්යයේ මුල් කාලයේ සිට ම කටයුතු කළ අත්‍යවශ්‍ය සාධකයක් විය. “එය ඇත්ත සිදුවීමක්. ඊටත් වඩා, එය ප්‍රසිද්ධියට පත් වූ එකක්. - මෙය සිදුවීමත් එක්ක ම මම ඉතා සමීපව එය හඹා ගියා. ඒ වගේ ම සිදුවීම මාව ඇද බැඳ ගත්තා. ඒ කාලයේ දී ම මම කල්පනා කරන්නට පටන් ගත්තා, මේ සිදුවීම චිත්‍රපටයකට නඟන ආකාරය ගැන,” යි මුක්දීප්‍රොම් කියයි. “රොන් මා වෙත තිර පිටපත එවූ විට, මම අතිශයින් ම උද්දාමයට පත් වුණා. මොකද, මම සිතා සිටි ආකාරයෙන් ම ඒ තිරරචනය සිදු කර තිබුණා. ඇත්තට ම මේ සිදුවීම ගැන තනන්නට යන තවත් චිත්‍රපටයකට සහභාගි වන ලෙස මට ආරාධනා කර තිබුණා, නමුත් මේ තිරපිටපත තරම්, ඒ තිරරචනය මට හිතට වැදුණේ නෑ.” 

කඳුකරයේ වෝටර් මෑන්
තනෙට් නටිස්‍රි

ගුහාව ඇතුළත තිබූ දැඩිතර කාර්යබහුල භාවයත්, එළියේ පැවති නිහඬ මනුෂ්‍යත්වයේ උපේක්ෂාවත් යන දෙපැත්ත ම මේ චිත්‍රපටියේ ආකෘති ගත කර තිබෙන්නේ සම සමව ය. ගුහාවෙන් එළියේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ දහස් ගණනක් ජනතාව, සහ ලොව දස දෙසින් පැමිණි මාධ්‍යවේදීහු එක්රැස්වූහ. ඔවුන් එකිනෙකාට සහය වෙමින්, අලුත් ම තත්ත්වය දැන ගැනීමට නොසන්සුන්ව බලා සිටියහ. මේ දෙලොව අතර තිබූ වෙනස, මුල සිටන් ම හාවඩ් ග්‍රහණය කරගත් මූලික සංකල්පය විය. විශේෂයෙන් ම චිත්‍රපටියේ පසු භාගයේ සිට නිරූපණය වන තායි වැසියන් ගේ - උදාහරණයක් ලෙස මුදා ගැනීමේ කණ්ඩායමට ගුහා සංකීර්ණය අභ්‍යන්තරයේ මඟ සොයා ගැනීමට පහසු වන ලෙස, ආසන්නයේ කඳුකරයේ පැවති දිය කඳුරුවල දිශාව වෙනස් කරන්නට තැත් කරන තනෙට් නටිස්‍රි (නොෆෑන්ඩ් බූන්යායි විසින් නිරූපිතයි) සහ බොජුන්හල් හිමියාගේ - ක්‍රියා කලාපය කැපී පෙනෙන ලෙස නිරූපිත ය. 

මේ චිත්‍රපටිය ඉහත කී උපකතාව ඉතා සමීපව ග්‍රහණය කරයි. ඒ සඳහා හියුස් ක්වීන්ස්ලන්ඩ් හි කඳුකරයේ විචිත්‍ර තැනක ඇත්තෙන් ම මිනිස් අතින් තැනූ වේල්ලක් ප්‍රති නිර්මාණය කළා ය. “අපිට පුළුවන් වුනා ඇත්ත ම තනෙට් සමඟ කතා කරන්න. ඔහු ළඟ ගොඩක් රූප සටහන් සහ සැළසුම් තිබුණා. ඔහු ඒවා සමග අපිත් එක්ක සෑහෙන වෙලාවක් ගත කළා.” හියුස් කියන්නේ, එම වේලි පද්ධතිය ඇය සැළසුම් කළ ආකාරය විස්තර කරමිනි. “අපි එය කැමරාවට පහසු වන විදිහට සරල කරලා තැනුවා. ඇත්තටම අපි උකහා ගත් දෙයට වඩා, බොහෝ සංකීර්ණ වැඩ කොටසක් තනෙට් ගේ පැත්තෙන් කර තිබුණා. මූලික කරුණුවලට බැස්සොත්, අපි අපට පුළුවන් තරම් සරල ලෙස වැසිජලය ගුහාවට කාන්දුවන තැන් වසා දැමීම, වැලි කොට්ට ඇහිරීම් සහ දිය පහර හැරවීම්වලින් සමන්විත මේ කතාව නිරූපණය කළා.”

විස්මිත පසුතල ඉදිකෙරූ මොලී හියුස්

අතරමංවූවන්ගේ පවුල්වල අය, ස්වේච්ඡා සේවකයන් සහ මාධ්‍යවේදීන් එක් රැස් වී සිටි, ගුහාවෙන් පිටත කඳවුරු බිම සිනමාකාරයන්හට නිරන්තරයෙන් සිනමාත්මක සොයාගැනීම්වලට ඉඩ සැළසුවේ ය. හියුස් පවසන්නේ, “මම මීට පෙර කවදාවත් මේ වගේ ව්‍යාපෘතියක වැඩ කරලා නෑ. අපිට බලන්නට සහ වැඩ කරන්නට ඉතා විශාල ප්‍රමාණයක් ඡායාරූප තිබුණා, අපි කැමති සහ පසුතලයට සුදුසු වන පරිදි තෝරාගන්න...” කලා අධ්‍යක්ෂ ලෙක් චයියන් චන්සුට්ටිවට් ද ඇතුළත් වුණු තායි සැළසුම් කණ්ඩායමක සහාය ඇයට ලැබුණේ ය. අධ්‍යයනය කරන්නට ලැබුණු දේ අතර තිබූ සියුම් විස්තර (බෞද්ධ භික්ෂූන්ගේ අත් පළඳනා වැනි දේ පවා) ඇය පසුතලයට එකතු කර විචිත්‍රවත් කළා ය. 

කූඩාරම් සහ වාහන ආදී සුවිශේෂී උපාංග සහ ආකෘති ප්‍රතිනිර්මාණය කරනවාට වඩා, ඒවා ආනයනය කරවන්නට ඇය බල කළා ය. “තායි නළුවන් සිනමා පසුතලයට පැමිණි පසු, ඔවුන් දුටු දේ ඔවුන්ට විශ්වාස කරන්නට පවා බැරි තරම් වුණා” ඔවුන් සවිස්තරාත්මකව තනා තිබූ පසුතලය නළුවන් දුටු හැටි හාවඩ් ආවර්ජනය කරමින් කියයි. “ඔවුන් එය දැකලා ප්‍රසන්න වුණා. ඒ අය කීවා, ‘අපිට හිතාගන්නවත් බැරි වුණා, විදේශිකයන් වන ඔබ මේවා එතරම් නිවැරදි ලෙස ග්‍රහණය කරගෙන ඇත්තේ කෙසේ ද කියා.’ ”

සාමාන්‍ය, එදිනෙදා දකින්නට තිබෙන මනුෂ්‍ය හැසිරීම් සහ හැඟීම් ප්‍රකාශන ග්‍රහණය කරගන්නේ, චිත්‍රපටියේ මේ කොටසිනි. හාවඩ් ගේ කණ්ඩායම, නළුවන්ට විවිධාකාර කටයුතු ඉටු කරන හැටි පුහුණු කළහ. යන්ත්‍ර සූත්‍ර සහ පොම්ප ක්‍රියා කරවීම, වතුරබට රෝල් කිරීමට සහ දිග ඇරීම, ටැංකි පිරවීම, ආහාර පිසීම, බර යන්ත්‍ර පැදවීම, මෙන්ම යාඥා කිරීම පවා... වාර්තා වැඩසටහන් සහ පීබීඑස් වැඩසටහන් මාලාවේ දැක්වුණු ආකාරයන් පදනම් කරගනිමින් ඔවුහු ඒවා නැවත නැවතත් පෙරහුරු කළහ. “මට දැනුණා ඒවා පසුබිමින් නිරූපණය වෙනවා කියා. නමුත් ඒවායින් බොහොමයක් කොයි තරම් විශිෂ්ට ද කියතොත්, මම ඒ කොටස් ඉදිරිපසට අරගෙන දෙබස් සහිත කොටස් එක්ක ගැලතුවා.”යි හාවඩ් කියයි. “එය නිර්මාණයට යම්කිසි ආකාරයක ශක්තියක්, සජීවී යතාර්ථවත් බවක් එකතු කළා.”

ගුහාව

“පටන් ගැන්මේ දී මට දැනුණේ ගොඩක් ම පීඩනයක් යටතේ වැඩ කරනවා වගේ.” ගුහාවේ දර්ශන රූ ගත කිරීම ගැන කතා කරමින් මුක්දීප්‍රොම් කියයි. “පස්සෙ මට එළඹුනු සියලු දේ හසුරුවාගන්න සිදුවීමත් එක්ක, මට පීඩනය අමතක වුණා, විය යුතු දේ සහ කළ යුතු දේ ගැන විතරක් අවධානය යොමු කළා.” හියුස් පවසන්නේ ද ඊට සමාන ම කතාවකි. “අපි ප්‍රවේශය ගත්ත ආකාරය විශේෂයි, එයින් අපට කිසිම විටක දේවල් මහා පරිමාණයෙන් දැනුණේ නෑ. පස්සෙ අපි තැනූ නිර්මාණය නරඹද්දී අපි මූණෙන් මූණ බලාගත්තා, ‘අපි මේක කළා කියා අදහන්නත් බෑ. අපි ඒක හරියට ම කරලා තිබෙනවා’ යි කියන්නාක් වගේ.”

නිෂ්පාදකයෝ ගුහාවට එළඹුනේ පියවරින් පියවර ය. වර්ණ සංයෝජනය මූලික ම අංගයක් විය. පීබීඑස් වැඩසටහන් මාලාවේ රූපරාමු අධ්‍යයනය කරමින් හියුස් සහ මුක්දීප්‍රොම් වර්ණවලට වැඩි බරක් දීමට එකඟ වූහ. “තායිලන්තයට ආවේණික විදිහට ම වර්ණ ඉතා ම විස්තීර්ණයි, ඒ වගේ ම වර්ෂාව සහ නිරන්තරයෙන් වෙනස්වන කාලගුණික රටාවන් සමග යෙදෙන අඳුරු අළු පැහැයන් එක්ක එය ප්‍රතිලෝමව සමබරවී යෙදී තිබෙනවා.” යි හාවඩ් කියයි. 

නියම තම් ලුවාං ගුහාවල සංයෝජන දත්ත ඔවුන්ට ලැබුණේ ඉන් පසුවය. එය හාවඩ් සහ හියුස් සියුම් විස්තර සහිතව අධ්‍යයනය කළහ. “ගුහාවල තිබුණු ගල් පස් කුට්ටි; ඒවා ඉතා තදින් සවි වී තිබුණා ද, ඒවා ගිරි ලඹ ද, ඒවා දියපාරවලින් හැඩගැසුණු ඒවාද ආදී විස්තර හියුස් තේරුම්ගත්තාට පස්සේ - ඇය මගේ තිර රචනා සටහන් බලාගෙන, තමන්ගේ කණ්ඩායමත් එක්ක සිනමා පසුතල ආකෘති නිර්මාණය කරන්නට පටන් ගත්තා” යි හාවඩ් කියයි.

“මම වැඩකරන අතර විවිධ අවස්ථාවල රික් හෝ ජෝන් ගෙන් ඇසුවා, “ඔයා හිතනවද මේක ඇත්තටම මේ විදිහට සිදුවෙයි කියලා?’ ” සත්‍ය කතාවේ සිටි කිමිදුම් කරුවන්ගේ සහාය ලබා ගත් හැටි හියුස් විස්තර කරමින් කියයි. 

පසුතල සකස් කරමින්

හියුස් සහ ඇගේ කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ ගබඩා කාමරයක් තුළ අඩි සියයක් දිග ටැංකි හතරක් ඉදි කළ හ. මේ ටැංකි අධි තාක්ෂණික ජල පොම්ප සහ පිරිසිදුකාරක පද්ධතියකින් ද සමන්විත විය. ඊ ළඟට ඔවුහු බිම මත උමං ජල මාර්ග පද්ධතියක් නිපදවූ අතර, පසුව ඒවා ඔසවා, ටැංකිවලට සවිකර, ටැංකි පිරවීමට යොදා ගත්හ. මේ ටැංකිවලට වතුර පුරවන ලද්දේ, ගුහාවන් තුළ තිබුණු විවිධ ප්‍රදේශවලට අනුරූපීව, වෙනස් වෙනස් දර්ශන අටක් පමණ නිරූපණය කරන්නට හැකි වන ආකාරවලිනි. ඒ මුදවාගැනීමේ කණ්ඩායම ගුහා පද්ධතිය තුළට ගමන් කරද්දී පැවති වෙනස් වෙනස් පසුබිම් ප්‍රති නිර්මාණය කිරීමට ය. 

ගබඩාව තුළ ඉදිකළ ටැංකියක මැවූ ගුහාවේ ‌උමං මඟක්

ඒ වගේ ම දිය යට දර්ශනවල අපැහැදිලිබව, චිත්‍රපට කණ්ඩායමට වඩා නිදහසේ තම පරිකල්පනය භාවිත කිරීමට ඉඩ ලබා දුන්නේ ය. “සොයම්භූ සහ ඔහුගේ කණ්ඩායම සොයාගත්තා ඉතා ම ස්වාභාවික ආකාරයකට ආලෝකකරණය කරන්නට හැකි ක්‍රමවේද, එයින් කිමිදුම්කරුවන්ගේ හිස්මත වූ පන්දම්වල ආලෝකයෙන් ඔබ්බේ ඇතිවන කෘත්‍රිම දිළිසීම් වාගේ අනවශ්‍ය ආලෝකයන් මග හරවා ගන්න පුළුවන් වුණා.”යි හාවඩ් විස්තර කරයි. ඊට වැඩිමනත් වශයෙන් මුක්දීප්‍රොම් විස්තර කරන්නේ ඔහු දිය යට ඡායාරූපකරණය ගැන පරීක්ෂණ කිහිපයක් කළ බවයි. “ඒ, අපට පෙනෙන දෙය එලෙසින් ම පටිගත කරන්නට හැකි සුහුරු ක්‍රමයක් හමුවන තෙක්...”

හාවඩ්, නිරන්තරයෙන් කිමිදුම් යන්ත්‍රවලට විඩියෝ මොනිටර සවිකළ අතර, සිනමා පසුතලයේ කැමරා කෝණ කිහිපයකින්ම විඩියෝ කරන්නට කටයුතු කළේ ය. “ගුහා ඇත්ත ඒවා ලෙස නිරූපණය කිරීම අමාරුයි. සමහර ඒවා ආලෝකමත් කරන්නට සිදුවන අතර, එතන දී පසුබිම් වර්ණ සහ රටා සංයෝජනය ගැනත් වද වෙන්නට වෙනවා.” හියුස් ගේ නිර්මාණ ගැන කියද්දී හාවඩ් සඳහන් කරයි. “ඒ වගේ ම ඒවා කාලයක් පවතින්නත් සෑදිය යුතුයි. මොකද, අපි එකිනෙක පසුතලවල සති ගණන්... දවස් නොවෙයි, සති ගණන් රූ ගත කිරීම් කළා. ඒ නිසා පසුතල වෙනස් නොවී කාලයක් පැවතිය යුතුව තිබුණා.” එලෙසින් ම, ඒ පසුතල කාලයක් නොනැසී පැවතුණේ ය. හාවඩ් ස්තූතිවන්ත වන්නේ, ස්ටුවර්ට් ක්‍රේග් යටතේ හැරී පොටර් චිත්‍රපටවල විචිත්‍රවත් පසුතල නිර්මාණය කරමින් හියුස් ලබා තිබූ පළ පුරුද්ද ගැන ය.

තවත් ටැංකියක් සහිත පසුතලයක් - දරුවන් සිරවී සිටි ස්ථානය ලෙස තනන ලද...

නමුත් මෙයින් කියැවෙන්නේ ඔවුන් සැබෑ පසුබිමට හැම අතින් ම සමාන පසුතල නිර්මාණය කළ බව නොවේ. හියුස් ඇගේ නිර්මාණයන් ගැන විස්තර කරමින් එක් නිදසුනක් විස්තර කරයි. ගුහාව ඇතුළේ සිට පිටත කඳවුරට ආරංචියක් ලැබෙන ආකාරය චිත්‍රපටියේ වඩා ඉස්මතු වන සේ නිරූපණය කරයි. හියුස් මෙය සකස් කළේ, අලුත් ආරංචියක් ලැබෙන තුරු ‌ගුහාවේ අන්තරාලයේ ගරාදි වැට අසළ, ඉහළ සිට පහත බලාගෙන සිටින චරිතවලිනි. “මම ඇත්තටම ආසයි, ‘ප්‍රවෘත්ති ගමන් කරන හැටි’ වචනයේ හුදු අර්ථයෙන් දකින්නට සැළැස්වීමේ අදහසට...” හියුස් කියයි. “මම ඒ නිසා ගුහාවේ දොරකඩ සිට කඳවුරේ දොරටුව දක්වා වන සම්බන්ධතාවය ගොඩ නැගුවේ ඒ විදිහට. හැම නිතර ම කෙනෙකු ඉහළ ඉඳන් පහළ බලාගෙන අලුත් තොරතුරු එනතුරු බලා ගෙන ඉන්නා හැටියට.” 

සැළසුම් නිර්මාණ සහ සිනමා නිෂ්පාදනය ඉතාමත් අංග සම්පූර්ණ ලෙස අවසන් වූයේ, එම මුදාගැනීමේ මෙහෙයුම ප්‍රතිනිර්මාණය කිරීමේ ඩිජිටල් අංශයේ කටයුතු ඉතාම සුළු වශයෙන් යොදාගනිමිනි. “මම හිතුව ප්‍රමාණයටත් වඩා අඩුවෙන්, උවමනා වුණේ ” හාවඩ් කියයි... “මොලී ඉතා විශාල කොටසක් ඉටු කළා.” 

සංස්කරණය

ගුහා දර්ශන සැළසුම් කිරීම සහ රූගත කිරීම්වලින් පසු - පසු නිමැවුම් කටයුතු දක්වා කොටස් වුවත් පහසුවෙන් නිම කරන්නට හැකි වුණේ නැත.

ඔලිවර් ටානි - ශබ්ද සංස්කාරක

මේ ලිපියට පාදක වුණු හාවඩ් සමග පැවති සම්මුඛ සාකච්ඡාවේ දී, මෙම චිත්‍රපටියේ අධීක්ෂක ශබ්ද සංස්කාරක වුණු, පස් වතාවක් ඔස්කා සම්මානවලට නම යෝජනා වුණු ඔලිවර් ටානී (කැප්ටන් ෆිලිප්ස් සහ 1917 චිත්‍රපටවල දක්ෂ ශබ්ද සංස්කරණයන් ඉටු කළ) තේරුම් කර දුන්නේ, ඔහුට වඩා ඉස්මතු කරන්නට උවමනා වුණේ ගුහාවෙන් පිටත සහ ගුහාව ඇතුළත ශබ්ද පරිසරයේ ඇති වෙනස බවයි. “උමතුබවට ආසන්න ශක්තියක් ගැබ්වුණු ශබ්දමය පරිසරයක් ගුහාවෙන් බැහැර පැවතුණු අතර, එය ඉතාමත් වෙනස් වුණා, ගුහාව තුළ සිරවූ දරුවන් සහ කිමිදුම්කරුවන් හට අත්විඳින්නට සිදුවූ හුදෙකලාබව සහ අහිතකර පාරිසරික තත්ත්වයන් එක්ක බලන කොට...” යි ඔහු කියයි.

කඳවුරේ පැවතුනේ එදිනෙදා අත්විඳින කණට හුරුපුරුදු ව්‍යාකූලත්වයක්. - දිය යට පරිසරය, එය ඊට හාත්පසින්ම වෙනස්. “වාතය තුලින් ශබ්දය ගමන්ගන්නවාට වඩා හතර හෝ පස් ගුණයක් වේගයෙන් ශබ්දය දිය යටින් ගමන් කරනවා. ඒ වගේ ම මිනිසුන් දිය යට දී කණ් බෙරය ඇත්තට ම යොදා ගන්නේ නෑ ශබ්දය ග්‍රහණය කරගන්නට. ඒ නිසා දිය යට දී ශබ්දය ඇසෙන පුද්ගලයාට සාපේක්ෂව, එය නිකුත් වෙන ස්ථානය හඳුනාගන්නට ඉතාමත් අසීරුයි.” යැයි ටානි විස්තර කරයි. “අපි ඒ සංකල්පය යොදා ගන්නවා, දිය යට දර්ශනවල ශබ්ද ප්‍රතිනිර්මාණය කරන්නට. අපි හිතා මතා ම හැම ශබ්දයක් ම විසිරී යන ලෙස සහ අපසාරීව විහිදෙන විදිහට පටිගත කළා. එයින් ඒ ශබ්ද හට ගත් තැන හඳුනාගන්නට අපහසු තත්ත්වයක් නිර්මාණය වුණා. ප්‍රේක්ෂකයන්ට ඒ ශබ්ද ඇසෙන්නේ දිය යට සිටින කිමිදුම්කරුවෙකුට ඇසෙන විදිහටමයි. එයින් ප්‍රේක්ෂකයන්ට ඉතා ම සජීවී අත්දැකීමක් ලැබෙනවා.”

එය දිය යට රූගත කරන ලද දර්ශනවලට අසමාන නොවේ. හාවඩ් එය විස්තර කරන හැටියට; “එය හරියට ඔබ නිරන්තරයෙන් වළාකුළු පද්ධතියක ගැටෙමින් උස් කඳු කපොල්ලක වාහනයක් ධාවනය කරනවා වගෙයි.” ඒ ශබ්ද දිශාවනතියෙන් තොරයි, අපැහැදිලියි -  ඒ වගේම, ශබ්දයෙන් පිරුණු පොකුණක ගිලෙන්නාක් මෙන් ප්‍රේක්ෂකයාහට දැනේ. 

චිත්‍රපටයේ හදවතට දැනෙන ජවනිකාව වන, කිමිදුම්කරුවන්, දරුවන් මුදවාගන්නා අවස්ථාවේ දී ශබ්දය විශාල දායකත්වයක් සපයයි. දරුවන් ආපසු ආරක්ෂිතව පිටතට ගෙන ඒමට නම්, ඔවුන් ඒ සඳහා හසුරුවාගැනීමට විශාල ප්‍රයත්නයක් දැරිය යුතු වන බව කිමිදුම්කරුවන් තේරුම් ගන්නේ ඒ අවස්ථාවේ දී ය. නරඹන්නන්ට පෙනෙන්නේ දරුවන්  සිහියෙන් නොසිටින බව පමණක් වුවත්, ඔවුන් තවමත් පණපිටින් සිටින බව දැනෙන්නේ ඇසෙන ශබ්දවලිනි. 

සිනමා ප්‍රතිනිර්මාණයේ අවසාන හරියේ දී, කිමිදුම්කරු ජෝන් වොලන්තන් ශබ්ද පරිපාලක කණ්ඩායම සමඟ දිය යට පිහිටි ගුහා ප්‍රදේශයක ශබ්ද පටිගත කිරීමක් සිදු කළේ ය. එහිදී දිය යට හයිඩ්‍රොෆෝන් භාවිත කළ අතර, සැබැවින් ම ඇසුනේ කුමක්දැයි දැනගැනීම සඳහා දිය තලයට ඉහළින් මයික්‍රොෆෝන් යොදවා තිබුණි. “දිය යට ශබ්ද සකස් කරද්දී, හුස්ම ගන්නා ශබ්දයේ රිද්මය අපි බොහෝ විට භාවිත කළා, එය වරකදී සම අන්තරයන්ගෙන් යුක්ත වත්, එහෙම නැතුවත් භාවිත වුණා.”යැයි ටානි කියයි. “අපට සිදු වුණා ප්‍රේක්ෂකයන් නිතරම දරුවන්ගේ ක්‍රමානුකූල හුස්ම ගැනීම් ශබ්ද ගැන සාවධානව තබා ගන්න. ඒ අවස්ථාවෙදි ඔවුන්ට දැනෙනවා කිමිදුම්කරුවන්ට ඇසෙන දෙය ම ඔවුන්ටත් ඇසෙන බව. ඒ වගේ ම දරුවන් තවමත් ජීවත්ව සිටින බව ඒත්තු යනවා.”

ජේම්ස් විල්කොක්ස් - දීර්ඝ වීඩියෝ ඇසුරින් අඩිය අඟලට සකස් කළ විශිෂ්ඨයා

අන්තිමේදී, සමස්ත චිත්‍රපටියම එකලස් කර සම්පූර්ණ කිරීමේ කටයුත්ත තවදුරටත් ඉතිරි වේ. හාවඩ් ගේ ජීනියස් රූපවාහිනී මාලා වැඩසටහනේ මුල් කොටස මෙන්ම, හිල්බිලි එලිජි ද කපා සකස් කළ සංස්කාරක ජේම්ස් විල්කොක්ස්හට මේ අසීරු ඉළක්කය ජය ගැනීම පැවරුණි. එය අසීරුයැයි අදහස් කළේ, ඔහු මෙම සංස්කරණ කාර්යය පටන් ගනිද්දී, පැය 382 ක විඩියෝ දර්ශන පීරා සකස් කරන්නට ඔහුට පැවරුණු හෙයිනි. “අවංකවම කියතොත්, සමහර දවස්වල මට හිතුණා, මේ ඔක්කොම බලල ඉවර කරන්න මට පුළුවන් වෙයි ද, මම ම දන්නෙ නෑ කියලා.”යි ඔහු කියයි.

විල්කොක්ස් තම කටයුත්ත පටන් ගත්තේ චිත්‍රපටය පුළුල්ව අවබෝධ කරනිමිනි. අනතුරට ලක්වීම, අපේක්ෂාව, අන්තිමේ දී ගළවා ගැනීම, ඒ සමස්ත ප්‍රවාහය තුලින් දිව යන ආධ්‍යාත්මික මූලිකාංග ඔහු අධ්‍යයනය කළේ ය. “රොන් නිතරම කතා කරපු දෙයක් තමයි, ‘ප්‍රාතිහාර්යයක ඇනටොමිය’ කියන දේ.” විල්කොක්ස් සිහිපත් කරයි. “මම හිතන්නෙ ඒ බොහොම දක්ෂ ක්‍රමයක්, මේ චිත්‍රපටිය මොන විදිහෙ දෙයක් විය යුතු ද කියලා පුළුල් ප්‍රවේශයක් හඳුනා ගන්න එක...” එයින් හැඟවුනේ, තායි සංස්කෘතිය සහ ඔවුන්ගේ ආධ්‍යාත්මික හරය ගැන සමීප අවධානය යොමු කිරීම මගින් ‘ප්‍රාතිහාර්යය’ යන සංකල්පයට අනුරූපීව ස්පර්ශ කළ හැකි, ගැළපෙන සන්දර්භයක් නිර්මාණය කිරීම සහ ලබා දුන් විඩියෝ කොටස් සිය ගාණක්  අතර සක්මන් කරමින් ආත්මීය වශයෙන් ප්‍රමුඛතාවය ලබා දිය යුතු කොටස් හඳුනා ගැනීම යි. 

චිත්‍රපටියේ මුල් විනාඩි 10 හෝ 15 සහමුලින්ම පැවතුනේ තායි භාෂාවෙන් බව විල්කොක්ස් පෙන්වා දෙයි. “මම කල්පනා කළේ මේක හරියට පරිවර්තනය කරගන්නේ කොහොමද කියායි. මම කොහොමද මේ භාෂාවේ අන්තර්ගත සංස්කෘතික අංග හරියට අල්ලා ගන්නේ? මම කොහොමද දෙබසක් නිවැරදිව ග්‍රහණය කරගන්නේ?” යි විල්කොක්ස් කියයි. “අසීරුතාවට හේතුව වුණේ මේ දරුවන් තායිලන්තයේ අය වීම පමණක් නොවේ, ඔවුන් උතුරු තායිලන්ත ජාතිකයන්. එයිනුත් සමහරු මියන්මාර් දේශසීමාවේ වැසියන්. ඔවුන්ගේ කතා බහ බැංකොක් වාසීන්ගේ ව්‍යවහාරයත් එක්ක ඉතාම වෙනස්.” 

ඉතින් ඔහු විඩියෝ දර්ශන කාණ්ඩ වශයෙන් තෝරා, සංස්කරණය කර, සංස්කරණ මැදිරියට ගෙන්වාගත් භාෂණ පරිවර්තිකාවකට යාබද කාමරයේ සිට ඒවා නැරඹීමට ඉඩ හැරියේ ය. ඒ කොටස් ධාවනය කරවන කාලය, ධාවනය නවත්වන තැන් සහ චරිත ප්‍රාණවත්ව නිරූපණය කිරීම්, ඔහු සකස් කළේ ය. “ඒ වන විට මට දැනෙන්නට පටන් ගත්තා, ‘ඔව් මට දරුවෙකුගේ මව ගේ හැඟීම දැනෙනවා. ඔව්, මට තේරෙනවා කිමිදුම්කරුවන් ඔවුන්ගේ දරුවන් සොයාගන්නට ප්‍රමාද වන විට ඇයට දැනෙන කළකිරීම. ඔව්, මට තේරෙනවා ආණ්ඩුකාරවරයා සහ දේශපාලනය මේ තත්ත්වය සමග මැදිහත් වන හැටි.’ ආදී වශයෙන්...”

විල්කොක්ස් ගේ මේ සමීප සංස්කරණ ප්‍රවේශය, ගුහාව ඇතුළත දර්ශන වලදී ද දක්නට හැක. රික් සහ ජෝන් පළමුවරට දිය යට කිමිදෙන දර්ශන ඉතාමත් උවමනාවෙන් සිදුකළ සංස්කරණයක් හැටියට ඔහු පෙන්වා දෙයි. “මම අදහස් කළා මේ වෙනම ලෝකයක බඳු පරිසරයක සිදු වූ බේරා ගැනීමේ මෙහෙයුම ප්‍රේක්ෂකයන්ට අත්දැකීමක් තරමට සමීප කළ යුතුයි කියා. ඒක ඇත්තෙන් ම පෘථිවිය මත දකින්නට තිබෙන සාමාන්‍ය පරිසරයක් නෙවෙයි. එය අතිශයින් ම කැතයි, අප්‍රසන්නයි, ඒ වගේ ම මඩෙන් පිරිලා. ගුහාවල දියේ කිමිදීම් ගණනාවක් මේ කතාන්දරයේ තියෙනවා. ගිරිලඹවලින් ගහණ පරිසරයක්. බේරා ගැනීමට යන අය මග දිගට හූරාගෙන, තුවාල කරගෙන යායුතු ගමනක්.” ඔහු කියයි. “මාර්ගය හරියට පේන්නෙත් නැහැ. නමුත් මට තෝරාගැනීමක් කරන්න අවස්ථාව ලැබෙනවා නම්, මම කැමතියි තෝරාගන්න කිමිදුම්කරුවන් ගුහාව තුළට යන අවස්ථාවේ ඔවුන් දුටු දේ අත් දකින්න.”

ඔබට මේ අත්දැකීම, කිමිදුම්කරුවන් සහ සිරවූ දරුවන් සමඟ සමීපව විඳින්න සළස්වන්නේ නිෂ්පාදන සැළසුම්, සිනමා නිමැවුම, ශබ්ද සහ අනිකුත් අංග රාශියත් සමඟ, ප්‍රධාන වශයෙන් ම සංස්කරණය විසිනි. “එය තවත් එක් චිත්‍රපටයක්, කුසලතා පූර්ණ මිනිසුන් රාශියක් එකතු වී, ඔවුන් සතු සියල්ල වැය කරමින්, ඔවුන් ගේ එක් එක් අංශයන් විසින් ඉටු කළ යුතු වූ සියල්ල නොපිරිහෙළා ඉටු කරමින් දායාද කළ තවත් එක් චිත්‍රපටියක්” හාවඩ් පවසයි. “එය ඔවුන්ගේ උසස්තම ජයග්‍රහණය යි.”

*    *    *

නිදි හෙවත් නිමල් අයියාගෙන් දුරකථන ඇමතුමක් ලැබීම වූ කල, දාර සයිස් මරාලයක් ඉහ මත කඩා වැටෙන්නට ආසන්න වීමක් බව නිමල් අයියාගේ යාලුවෝ හොඳින් ම දනිති. එහෙම එකක් පසු ගිය දා මගේ හිස මතත් කඩා වැටුණ අතර, ඒක හොඳටම රස විඳින්නට ද අවස්ථාව ලැබුණේ ය.

තායිලන්තයේ ‌කොහෙදෝ ගුහාවක් ඇතුලේ ෆුට් බෝල් කණ්ඩායමක් හිර වී සිටි බවත්, ඒ අය බේරා ගත්ත බවත් හොඳාකාරව ම මතක තිබුණේ ය. නමුත් මේ චිත්‍රපටිය ගැන මොකවත් ම දෙයක් මගේ ඔලුවේ තිබුණේ නැත. මුන්දෑ ඒ චිත්‍රපටිය හොඳටම රස විඳ, ඒ ගැන බ්ලොග් පෝස්ට් එකක් ඩ්‍රාෆ්ට් කර, ඒ සඳහා තොරතුරු හොයද්දී කියවන්නට ලැබුණු "මේකින් ‌ඔෆ්" වර්ගයේ ලිපියක් මට එවා වදාළ සේක. මං වහන්සේ ගෙන් එතුමෝ අපේක්ෂා කළෝ කුමක්ද යත්, ඒක පරිවර්තනය කරලා, බ්ලොග් පෝස්ට් එකක් මාත් ලියා, අපි දෙන්නාම එකම දවසේ පළ කිරීම ය. (ලියන්ඩ දෙයක් හෝ ඉස්පාසුවක් නැතුව උන්න මටත් ඒක මාර වාසියක් විය)

නිමල් අයියාගේ ආරාධනයෙන්, උන්දැ මට එවා තිබුණු ලිංක් එකේ තිබුණු ඉහත කී ලිපිය කොපි කර, (ඔරිජිනල් ලිපියට ලිංක් එක) චූටි ළාමක වදන් පිටු අටක ලියවිල්ලක් හැටියට ‌අලවා ගත්තෙමි. ඉන් පස්සේ අතරින් පතර තිබුණු ඇඩ් අයින් කළ විට ඒක පිටු හයක ලියවිල්ලක් බවට පත් විය. ඒ ලියවිල්ල පරිවර්තනය කරන්නට පටන් ගත් විට, අර එක්තරා යුරෝපීය සුරංගනා කතාවක දී මෙන් වැඩේ අතර මග නවත්තන්නට බැරි මොකක් හරි සාපයක් ද ඒ ලියවිල්ලේ තිබුණු බව මට පසක් විය.

පරිවර්තනය කරගෙන යන අස්සේ, එක වෙලාවක, තව කොච්චරක් තියෙනවාදැයි බලන්නට පොඩ්ඩක් ලියවිල්ල උඩට කළ විට පෙනුනේ, තව තියෙන්නේ ඡේද දෙකක් විතරක් බවය. ඒ පාර දැනුණු ආතලය කොයිතරම් ද කියතොත්, එවේලේ ම නිදි අයියාට මැසෙන්ජර් එකේ පණිවිඩයක් යවා, "තව ඡේද දෙකයි තියෙන්නේ" බවත්, "හෙට උදෙන් ම සංස්කරණය නොකළ පරිවර්තනය එවන්නං" බවත් ලියා තැබුවෙමි. ඒක සෙන්ඩ් වෙන අස්සේ වෙලාව බැලුවිට පාන්දර එක හමාරට විතර වී තිබුණි. මට කොන්ත්‍රාත්තුව බාර දී තමුන්නැහැ බුදි දැයි අහන්නට කෝල් එකකුත් දී බලන්නට හිතුණු නමුත්, ඒ වගේ විනම්බෑසි කරන්නට සුදුසු වයස අපි දෙන්නා ම මේ ‌වන විට පහු කර ඉන්නෙමු.

පරිවර්තනය කියා කීවාට, මම කර ඇත්තේ අනුවාදයක් බව කිව්වේ ද නිදි ම ය. වචනෙට වචනය පරිවර්තනය කළා නං මේ මුල් ලිපියේ තියෙන දිග වාක්‍ය ශෛලියේ හැටියට සිංහලෙන් ලියවෙන්නේ තේරුම් ගන්න බැරුව අන්ද මන්ද වෙන අන්දමේ කුණුහබ්බ පරිවර්තනයකි. ඒ නිසා මම කෙරුවේ වාක්‍ය කියවා තේරුම්ගෙන ඒක පැහැදිලි වෙන විදිහේ වාක්‍ය කීපයක් ලියන එක ය. ඒ වගේ ම අන්තිම මොහොතේ දී මගෙ ෆයිනල් ඩ්‍රාෆ්ට් එක කියවා එඩිට් කරන්නට ද නිදි අයියා උපකාර කළේ ය.

පරිවර්තනය කළාට පස්සේ, සමහර තැන් මම ලියා ඇත්තේ චිත්‍රපටියේ තිබෙන කොටස් ගැනම ද කියා තහවුරු කරගන්නට උවමනා විය. මොකද කියතොත්, සමහර විට මේක කියවන උදවිය මේ වෙන කොටත් මේ චිත්‍රපටිය බලලා තියෙන සහ, මේක කියෙව්වාට පස්සෙවත් බලන්නට ඉඩ ඇති නිසා ය. ඒ හින්දා ම පහුගිය ඉරිදා උදෙම්ම නැගිට (උදේ පාන්දර හතට විතර) නයිට් ටයිම් ඩේටා මඟින් මේ චිත්‍රපටියත් බාගත කරගෙන බලන්නට පටං ගත්තෙමි. ටොරන්ට් ලිංක් එක මෙතනින්.

මේ පරිවර්තනයෙන් මට ලැබුණු වාසි ‌හෙණ ගොඩකි. ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ඨ නිර්මාණයක් බලන්නට මට උත්තේජනය, පෙළඹවීම සහ අවස්ථාව ලැබුණේ ය. ප්‍රාණවත් සහ සජීවී විදිහට ලිපියක් ලියන්නේ කොහොමදැයි ආදර්ශයක් ලැබුණේ ය. පරිවර්තනය කිරීමෙන් පස්සෙ චිත්‍රපටිය බැලූ නිසා, චිත්‍රපටිය ඉතාම සියුම් ලෙස රසවිඳින්නට ද ඉඩ ප්‍රස්ථාව ලැබුණේ ය. විශේෂයෙන් ම ශබ්ද සංයෝජනය, ඉතා ම තියුණු සංස්කරණයන්, සංගීතය මුසු කිරීම සහ විශිෂ්ට පසුතල නිර්මාණයන් ගැන විස්මයට පත් වීමට ලැබුණේ ය.

ඒ සියල්ලට නිදි රාළට ස්තූතිවන්ත වෙන අතර, නිදි මේ ගැන ලියපු මුල් ලිපිය, මෙතනින් ගොහින් කියවා ගන්නා ලෙස ආරාධනා කරමින්, මගේ වචන සුවල්පය මෙයින් හමාර කරන්නට අදහස් කරමි.

Wednesday, August 10, 2022

ඇත්ත බොරු

ඔමේගා යනු ඇමරිකානු ආණ්ඩුවේ රහස් ඔත්තු සංවිධානයක්. ඒකේ සිටින දක්ෂ ම සහ කැපවීමෙන් කටයුතු කරන නියෝජිතයෙක් හැරී ටස්කර්. ඔහු ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකි, ක්ෂණික තීරණ මත ක්‍රියා කරන තැනැත්තෙක්. වරක් ඔහු තමන්ට පහර දෙන්නට ඇවිත් මෝටර් බයික් එකක් පැහැරගෙන පළා යන ත්‍රස්තවාදියෙකු පස්සෙන් ළුහුබඳින්නේ පොලිස් අශ්වයෙකු පිටින්. ත්‍රස්තවාදියා බයික් එක හෝටලයකට ඇතුල් කරගෙන, ලිෆ්ට් එකට නඟිනවිට, හැරීත් තමන්ගේ අශ්වයා පිට සිටිමින් ම අනිත් ලිෆ්ට් එකට නඟිනවා.


ආණ්ඩුවේ රහස් තමන්ගේ පවුලේ උදවිය සමඟවත් බෙදා ගත නොහැකියි. ඉතින්... හෙලන් ටස්කර් හෙවත්, හැරී ගේ බිරිඳ දන්නෙත් හැරී යම්කිසි පරිගණක අලෙවි සමාගමක නියෝජිතයෙක් බවයි. 

හැරී ගේ රාජකාරි දවසක් සාමාන්‍යයෙන් අනතුරුදායක සහ වික්‍රමාන්විත ක්‍රියාවන්ගෙන් බහුලයි. ඒ අවස්ථාවන්ට හැරී මුහුණ දෙන්නෙත් ඉතාම සාමාන්‍ය සහ එදිනෙදා හුරුපුරුදු දේවලට මුහුණ දෙන්නා වාගේ.


හැරී ගේ බිරිඳ හෙලන් පුරුද්දට වාගේ ඔහුගෙන් අහනවා, අද දවස මොන විදිහට ද ගත වුණේ කියලා. ඔහු ඉතා ම සාමාන්‍ය විදිහට ඊට උත්තර දෙනවා. ඔහුට කියන්නට බැහැ ඇත්ත සිදුවීම ගැන. ඉතින් ඔහු කියන බොරු විස්තර හෙලන් ට ඉතා ම නීරසයි. ඇය කැමතියි යම් කිසි වික්‍රමාන්විත සිදුවීම් ගැන අහන්න, කතා කරන්න, නැත්නම් තමන්ගේ ජීවිතයට යම් කිසි ත්‍රාසයක් එකතු කරගන්න.

ඔවුන් දෙදෙනාගේ දුව, ගැටවර වයසේ. සාමාන්‍ය පවුලක දරුවෙක් වාගේ ම ඇයත් දෙමාපියන්ගෙන් දුරස්තරයි. තාත්තා ගේ රාජකාරි සහ ජීවිත රටාව ඇයට අල්ලන්නේ නෑ.

ඔය අතරේ තමයි හෙලන් ට හමු වෙන්නේ සයිමන්. ඔහු හෙලන් ට පෙන්වන්නේ, රාජ්‍ය රහස් ඔත්තු සේවාවක නියෝජිතයෙක් හැටියට. 

ඒ සම්බන්ධය ගැන දැනගන්නා හැරී ටස්කර් මොකද කරන්නෙ? ඒ අතරෙ ඔහු පිටුපසින් පන්නන ක්‍රිම්සන් ජිහාඩ් ත්‍රස්තවාදියන් එක්ක ඔහු ගනුදෙනු කරලා බේරාගන්නේ කොහොමද?

බලන්න චිත්‍රපටිය... (ටොරන්ට් එක)


ටයිටැනික් සහ ටර්මිනේටර් 2 ෆිල්ම් හදපු ජේම්ස් කැමරන් ගේ ඒ කාලෙට ම අයත් නිර්මාණයක්‌ මේක. ටර්මිනේටර් 2 ෆිල්ම් එකට පස්සෙ සහ ටයිටැනික් ට කලින් වැඩිම වියදමක් දරා නිපදවපු, ඒ වගේ ම ආදායම් වාර්තා තබපු ෆිල්ම් එකක්. බලල නැත්නම් බැලුවට පාඩුවක් නෑ.

අවසාන ෆයිට් එක තමයි හොඳ ම. හැරී ටස්කර් ගෙ දුව පැහැර ගන්නා ත්‍රස්තවාදීන් එක්ක සටන් කරන්නට හැරී යන්නේ මැරීන් හමුදාවේ මිග් ප්‍රහාරක යානයකින්.

අඃ... තව ඩිංගෙන් අමතක වෙනවා. ඉතා ම ලස්සන ටැංගෝ ඩාන්ස් දෙකක් ඇතුළත් මේ චිත්‍රපටියට.


තවත් වරක් අමතක උනා කියන්ඩ... හැරියගෙ බොස් හැටියට රඟපාන්නෙ මං දේවත්වයෙන් වගේ සළකන, එල් සිඩ් ෆිල්ම් එකේ සිඩ්... චාල්ටන් හෙස්ටන්.

Thursday, May 12, 2022

කෘමියෙකුගේ ජීවිතය


කූඹි ජනපදයක්... 

ඔවුන් ඉතා මහන්සි වී කෑම රැස් කරනවා. නමුත් ඒ කෑම උන්ගේ ගුලට ගෙනියන්නේ නෑ. ගුලේ කට ඇති තැන උස් මුදුනක තියෙන කොලයක් මත ගොඩ ගහනවා... ඒ උන්ව බයකරගෙන පාලනය කරන තණකොල පෙත්තන් රංචුවක් උදෙසා.

ෆ්ලික් ඒ කූඹි රැලේ එක කූඹියෙක්. ඔහු නව නිපැයුම් කරන්නෙක්. නමුත් ඔහුගේ නව නිපැයුමක් මිස් ෆයර් වෙලා, තණකොල පෙත්තන් එන දවසේ ම, කූඹි රැළ දවස් ගාණක් තිස්සේ එකතු කරපු කෑම කන්දරාව, ඇලට වැටෙනවා.

තණකොල පෙත්තන් කූඹියන්ට තර්ජනය කරනවා. කොළ වැටෙන කාලය ඉවර වෙද්දී ආපහු කැම හොයලා තිබ්බේ නැත්නම් ඔවුන් විනාශ කරන බව කියමින්.

ෆ්ලික් නගරයට යනවා, තමන්ට උදව් කරන්න සූදානම් ලොකු කෘමියන් හොයාගෙන එන අදහසින්. ඔහුට හම්බ වෙන්නේ, සර්කස් කාරයන් රැළක්. ෆ්ලික් හිතන්නේ ඔවුන් වීරයන් කියලා. නමුත් ඔවුන් කරන සර්කස් එකවත් හරියට කරගන්න බැරුව නරඹන්නන් හිනස්සවන විදිහේ ෆේල් චරිත ටිකක්.

සර්කස් කාරයන් ෆ්ලික් එක්ක ආපහු කූඹි ගුලට එනවා. ඔවුන් එතනදි කූඹියන්ට පොරොන්දු වෙනවා තණකොල පෙත්තන් පරාද කරලා කූඹි රැළ බේරගන්න බවට.

මෙතන තියෙන්නේ එක සරළ සිද්ධාන්තයක්. ඒක තණකොල පෙත්තන් රැළට, ඔවුන්ගේ නායකයා වන හොපර් කදිමට විස්තර කරලා දෙනවා...


මේක වඩා පැහැදිළියි. නමුත් ඉහළ ක්ලිප් එක වඩා සවිස්තරාත්මකයි...



කූඹි රැළේ දහස් ගාණක් කූඹි ඉන්නවා. නමුත් තණකොලපෙත්තන් ඉන්නේ ටික දෙනයි. කූඹි රැළ එකා වන් ව එක ම අදහසකින් ක්‍රියා කළොත්, ඔවුන්ට පරදවන්න බැරි සතුරෙක් හෝ පාලකයෙක් නෑ... එය තේරුම් ‌නොගන්නා තාක්, කූඹි රැළ පාලනය කර මර්ධනය කර තබා ගන්න පුළුවන්. ඒ වගේ ම තණකොල පෙත්තන්ට තමන්ගෙ ජීවිකාව කරගන්න පුළුවන්.

ඒ වගේ ම තාවකාලික සුළු සුළු ජයග්‍රහණවලින් එහෙමත් නැත්තම් තණකොළ පෙත්තන්ගේ රැවටීම්වලින් නොනැවතී, තම අරමුණ සම්පූර්ණයෙන් ම ඉටු වන තෙක් සටන් කිරීම වැදගත්. (ඒක මම කිව්වෙ මේ ෆිල්ම් එක ගැන විතරක් නෙමෙයි...)

1998 දී ආපු ඉතාම වැදගත් සහ ලස්සන ෆිල්ම් එකක්, A Bug's Life. ඩිස්නි නිෂ්පාදනයක්. මෙතනින් බලන්න...

Tuesday, May 3, 2022

දොන් කිහෝටේ


ස්පාඤ්ඤයේ විසූ වංශවත් වයසක මනුස්සයෙක්, අලෙන්සෝ කිහැනෝ. ඔහු‌ මධ්‍යතන යුගය පසුබිම් වුණු කතා සෑහෙන ප්‍රමාණයක් කියවා තියෙනවා. අන්තිමේ ඔහුගේ සිහිය පොඩ්ඩක් සීරු මාරු වී, ඔහු විශ්වාස කරන්න පටන් ගන්නවා, තමන් නිර්භීත නයිට් වරයෙක් වුණු මන්චා හි දොන් කිහෝටේ බව. යකඩ ඇඳුමක් ඇඳගන්නා ඔහු අශ්වයෙකු පිට නැගී, තම වීර චාරිකාව පටන් ගන්නවා.

ඔහු අඳුනන කිහිප දෙනා ඔහුට හරි සිහිය ලබා දෙන්නට තැත් කළත් එය සාර්ථක වන්නේ නෑ. අවසානයේ දී ඔහුගේ උමතුවට ඉඩ දෙමින් ඔහු ආරක්ෂා කරගන්නට ඔවුන් කීප දෙනා තැත් කරනවා.

කිහැනෝ තමන්ගේ මිතුරෙකු වන සන්චෝ පන්තා තමන්ගේ ගමන් සගයා ලෙස තෝරාගන්නවා. ඔවුන් ඉදිරියට යන විට හමුවන සුළං මෝලක්, යෝධයෙක් හැටියට සළකා ගන්නා දොන් කිහෝටේ, එය සමග සටන් කරනවා. තවත් වරක හමුවන බැටළුවන් රැළක් සතුරාගේ හමුදාව හැටියට සළකා ගන්නවා.

ගම්බද තානායමක් බළකොටුවක් හැටියට හිතා ගන්නා දොන් කිහෝටේ, එහි වැඩ කරන තරුණියකට ආලය කරන්නට පෙළඹෙනවා.

ඔහුගේ උමතු ගමන 2000 දී තිරගත කෙරුණු දොන් කිහෝටේ නම් චිත්‍රපටියෙන් නිරූපණය වෙනවා. එහි මුල් කෘතිය වන මිගෙල් සර්වාන්තෙස් ගේ දොන් කිහෝටේ නමින් ම යුත් ලෝක ප්‍රසිද්ධ නවකතාව ඇසුරින් නිර්මාණය කෙරුණක්.

මෙතන තියෙනව ට්‍රේලර් එක...


අලෙන්සෝ කිහැනෝ හෙවත් දොන් කිහෝටේ ලෙස රඟපාන්නේ, ශ්‍රෙක් චිත්‍රපටියේ වංශාධිපති ෆාක්වාඩ් ලෙස හඬකැවූ ජෝන් ලිත්ගෝ. ඔහුට අමතරව තවත් ප්‍රසිද්ධ නලු නිළියන් රැසක් මෙහි පෙනී සිටිනවා.

මෙතන ඔබ නලයේ (පරිවර්තන අයිතිය යාන්හෑල්ලේ සුරංග සතුයි) 2000 දී තිරගත වුණු සම්පූර්ණ චිත්‍රපටිය තිබෙනවා. එය සොයද්දී 1991 - 92 කාලයේ හැදුණු සම්පූර්ණ රූපවාහිනී වෘතාත්නතයකුත්, ඕසන් වේල්ස් හදපු චිත්‍රපටියකුත් හම්බවුණා.

ඉතින් ලොකු දෙයක් නෑ මේ චිත්‍රපටිය ගැන අමුතුවෙන් කියන්නට. මේ දවස්වල යමක් නිර්මාණය කර ලියන්නට තරම් යහපත් මානසිකත්වයක් නෑ. රටේ සිද්ධවෙන පෙරළි වගේ ම, මාස්ටර් පාඨමාලාවේ අවසන් අංගය වන ස්වාධීන පර්යේෂණයේ වැඩවලින් ඔලුව ආකූල වී තියෙන්නේ.

ඒ වගේ ම සහෘදයන්ගේ බ්ලොග් ලිපි ගණනාවක් මග ඇරුණා. ඒ ගැන අවංක කණගාටුව පළ කරනවා.

Friday, April 8, 2022

LXG

සුප්‍රකට දඩයක්කාරයෙක් සහ ගවේෂකයෙක් වුණු ඇලන් ක්වාටමේන්, ලෝකයේ පළමුවන වරට තැනුණු සබ්මැරිනයෙන් මුහුද යටින් ලීග විසිදාහක් ගියපු කැප්ටන් නීමෝ, ටොම් සෝයර්, ඩ්‍රැක්‍යුලා පොතේ මීනා හාකර්, රොඩ්නි ස්කිනර් හෙවත් නොපෙනෙන මිනිසා, කිසි දිනක වයසට නොයන ඩෝරියන් ග්‍රේ, ඩොක්ටර් හෙන්රි ජෙකිල් සහ එඩ්වඩ් හයිඩ් එකතු වී සාදාගත් සමූහයක්... අසාමාන්‍ය මහත්වරුන්ගේ ලීගය. (league of extraordinary gentlemen) 

ඇලන් ක්වාටමේන් කොයිතරම් දක්ෂ සහ පරිණත ඉළක්කකරුවෙක්ද කියන වග මේ කොටසින් පේනවා...


ඇලන් ක්වාටමේන් චරිතයට සුදුස්සා ෂෝන් කොනරි මිස වෙන කවුරුද, කියා හිතෙන තරමට මේ චරිතය ඔහු නිරූපණය කරනවා. ඒ වගේම නෝටිලස් සබ්මැරිනය නිර්මාණය කළ කැප්ටන් නීමෝ හැටියට රඟපාන්නේ අසූව දශකයේ ඉන්දියාවේ සුප්‍රකට නළුවෙක් වුණු නසීරුද්දීන් ශා. 


කතාවට පසුබිම් වන්නේ වික්ටෝරියානු යුගය. ඒ වන විට මීනා හාකර් වැම්පයර් වරියක්. ටොම් සෝයර් ඇමරිකානු රහස් ඔත්තු සේවාවේ නිලධාරියෙක්.

ඔවුන්ට තියෙන අභියෝගය ෆැන්ටම්. කවුද මේ ෆැන්ටම්, කොහොමද ඔහු පරදවන්නේ, ඒ අතර සිදුවන සිදුවීම්වලට මේ අසාමාන්‍ය මහත්වරු මුහුණ දෙන්නේ කොයි විදිහටද යන්න 2003 දී එළිදැක්වුණු මේ චිත්‍රපටය නැරඹීමෙන් දැනගන්න.

මෙන්න පූර්ව ප්‍රචාරක පටය...



Thursday, March 3, 2022

යුද්ධ කතාවක්...

දහ අට වන සියවසේ අග. හේතුඵලවාදයේ යුගය...

මකර මුහුණු කැටයම් කළ කාලතුවක්කුවලින් පහර දෙන දර්ශන. ඉතා අපූරු කැමරා කෝණ දෙක තුනකින් යුද්ධයේ බිහිසුණු බව සහ වින්දිතයන් පීඩා විඳින හැටි නිරූපණය වෙයි.

කඩං වැටුණු ලෝහමය අශ්වයෙකුගේ හිස සහ උරහිස් ‌කොටසක ඇතුලේ කුහරය තුළ පවුලක් යම් කිසි කෑමක් උයාගන්නා හැටි කැමරාවට හසු වෙයි. ඉහළට යොමුවෙන කැමරාවට හසුවන්නේ ඒ හිස කඩා වැටුණු ප්‍රතිමාවයි. එහි කඩුව ඇදගත් වීරයෙක් අශ්වයෙක් පිට නැගී සිටියි. අශ්වයා ඉදිරි දෙපා ඔසවාගෙන වේගයෙන් පනින සෙයක් නිරූපණය කරයි.

ප්‍රතිමාවේ පාදමේ දැන්වීම් කීපයක් ම අලවා ඇත. එයින් එකක්...

ජන රජයේ ආරක්ෂාව උදෙසා

අපගේ ආහාර තොග හිගයි

ආහාර ඉතිරි කිරීම සඳහා

අඩුවෙන් කන්න

- - -

සැබෑ පුරවැසියෝ, දේශමාමක 

පිරිමි සහ ගැහැණු නගරය පරාජය වීමට ඉඩ නොහරිති,

මේ අවශ්‍යම මොහොතේදී

- - -

පුරවැසි කමිටුව

949 වන ආඥාව

ඊටත් පහළින් ඇති වේදිකා නාට්‍යයක දැන්වීමකි. රාජකීය තියටරයේ හෙන්රි සෝල්ට් සහ පුත්‍රයා අවුරුදු තිහකට පසුව රඟදක්වන, ඇදහිය නොහැකි සත්‍යයන් පිළිබඳ කතාවක්...

"බැරන් මුන්චෝසන් ගේ වික්‍රම"

කුඩා ගෑණු ළමයෙක් ඇවිත්, නාට්‍ය දැන්වීමේ ඇති හෙන්රි සෝල්ට් සහ පුත්‍රයා යන වගන්තියේ පුත්‍රයා යන වචනය කටුගා දමයි. ඉහළට ඇදෙන කැමරාවට නගරයේ ඇති "මරණයේ" ප්‍රතිමාවේ මුහුණ ලක් වෙන අතර, ඒ ප්‍රතිමාවේ සෙවනැල්ලෙන් කුඩා ගෑණු ළමයා වැසී යයි.

කඩා වැටුණු රඟ හලේ සුන් බුන් මත නගර වැසියෝ සහ හමුදා සෙබලු වාඩි වී සිටිති. මුන්චෝසන් බැරන්වරයාගේ මුහුදු වික්‍රමයක් වේදිකාවේ රඟ දැක්වෙයි. නුපුහුණු වේදිකා කම්කරුවෝ බැරන්වරයා ගේ නැව සහ මුහුදු රැළි ක්‍රියාත්මක කරද්දී ප්‍රේක්ෂකයෝ සිනා ගැන්වෙන්නේ කතාවටත් වඩා, සිදුවන අත්වැරදීම්වලිනි. කුඩා දරුවෙක් වඩාගත් මවක් ද වේදිකා සේවකයන් අතර සිටියි.

දෙවැනි ජවණිකාව දිගහැරෙන්නේ කොන්ස්තන්තිනෝපලයේ අධිරාජ්‍යයාගේ මන්දිරයෙනි. එහෙත් නාට්‍යය ඉදිරියට යා නොදෙන්නේ හිටි හැටියේ ම නාට්‍ය ශාලාවට කඩාවදින මහළු මිනිසෙකි. හිටපු යුධ වීරයෙකු සේ ඇද පැළඳ සිටින ඔහු නරඹන්නන් අතරින් ඉදිරියට විත් වේදිකාවට කඩා වැදී සියල්ලන්ටම කෑගසයි. 

"මමයි බැරන් මුන්චෝසන්. නුඹලා මගේ ඇත්ත කතාව විකෘති කරලා නාට්‍යයක් හැටියට පෙන්වනවා."

කඩුව ඇදගෙන වනද්දී මුන්චෝසන් ලෙස රඟපාන ශිල්පියා පැළඳ සිටින කෘත්‍රිම නාසය කැපී වැටෙයි.

මුලින් නාට්‍ය දැන්වීමේ වචනයක් කටු ගෑ සැලී නම් කුඩා ගෑණු ළමයා හැර කිසිවෙකුත් ඔහු විශ්වාස නොකරති. එතනින් ආරම්භ වන්නේ ඒ මහළු මිනිහා, හයිරොනිමස් කාල් ‌ෆ්‍රෙඩ්රික් වොන් මුන්චෝසන් බැරන්වරයා ගැන තිබෙන කට කතා සියල්ල ගැන ඇත්ත විස්තර රංගශාලාවේදී විස්තර කිරීම. ඒත් සමඟම, ඔහු කියන කතාව අප ඉදිරියේ නිරූපණය වෙනවා.

අවශ්‍ය වෙලාවට අධික වේගයකින් දිවිය හැකි, වෙනත් වෙලාවල බරැති යකඩ බෝල දෙකක් කකුල් දෙකේ ගැට ගසාගෙන සිටින බර්තෝල්ඩ්, ඉතාම සූක්ෂ්ම ‌දෑසක් හිමි දක්ෂ වෙඩික්කාරයෙකු වූ ඇඩොල්ෆස්, ඈත දෙයක් පවා ඇසෙන, කටින් පිඹීමෙන් හමුදාවක් වුණත් ගසාගෙන යන්නට සැළසිය හැකි ගුස්ටාවුස් සහ අදහිය නොහැකි ශක්තියක් ඇති ඇල්බ්‍රෙක්ට්; මුන්චෝසන් බැරන්වරයාගේ සගයන්.

මැංචෝසන් චාරිකා පොතේ සඳහන් සමහරක් වික්‍රම ‌මේ කතාවේ ඉතාම විචිත්‍රවත්ව නිරූපණය වෙනවා. කාලතුවක්කු උණ්ඩයක නැගී සතුරු බළකොටුවට ගිය හැටි පෙන්වන මේ දර්ශනය ඊට උදාහරණයක්. ආපිට එද්දී ඔහුට මරණයේ දේවතාවාත් මුණ ගැහෙනවා.

මුන්චෝසන් බැරන්වරයා වරක්, රෝම දෙවියෙක් වන වල්කන් මුණ ගැහෙනවා. වල්කන් ඔහුට පෙන්වනවා, න්‍යෂ්ඨික බලය අවියක් ලෙස යොදාගන්නා හැටි. එතැනදී ඇතිවන දෙබස හාස්‍යය ඉක්මවා යනවා.

මුන්චෝසන් බැරන්: මොකද්ද මේ?

වල්කන්:    ආ, මේ අපේ මූලාකෘතියක්. අන්තර් මහද්වීපික, රේඩාර්වලට හසු නොවන, බහු ශීර්ෂක, න්‍යාෂ්ඨික මිසයිලය.

මුන්චෝසන් බැරන්: අහ්! මොකද්ද ඒකෙන් කරන්නෙ?

වල්කන්:    කරන්නෙ? සතුරන් මරණ එක.

මුන්චෝසන් බැරන්: සතුරන් ඔක්කොමද?

වල්කන්:    ඔව්. උං ඔක්කොම. උන්ගෙ භාර්යාවන්, උංගෙ දරුවන්, උන්ගෙ බැටළුවො, උංගෙ හරක්, උංගෙ බළල්ලුයි බල්ලොයි, ඔක්කොම විනාශ වෙනව.

සැලී:    ඒක බිහිසුණුයි නෙ.

වල්කන්:    ආා, ඉතිං... ඒකෙ තියෙන වාසිය තමයි, ඒ කිසිම එකෙක් මැරෙන හැටි අපට දකින්න වෙන්නෙ නැති එක. අපි මයිල දාස් ගාණක් ඈත තැනක සැප පහසුවට වාඩිවෙලා ඉන්න ගමං, සරළවම බොත්තමක් ඔබන එක විතරයි කරන්න තියෙන්නෙ.

බර්තෝල්ඩ්:    ඉතිං, මොකද්ද ඒකෙ තියෙන වින්දනය?

වල්කන් ගේ භාර්යාව වන වීනස් දෙවඟන හැටියට රඟපාන්නෙ සුරූපී උමා තර්මන්. මේ චිත්‍රපටියේ බොතිචෙල්ලීගේ "වීනස් උපත" චිත්‍රය ඉතාම සුන්දර ලෙස නිරූපණය කරනවා.


මීට කලින් චිත්‍රපට ගැන ලීවාට වඩා වෙනස් ලෙස සහ මඳක් ගැඹුරට යමින් මේ විස්තරය ලිව්වේ නිදියා ගේ සිහිකැඳවීමට විශේෂයක් කරන්නට උවමනා නිසයි. නමුත් මම වඩා කැමති, මම කියන දේට වඩා වැඩි යමක් චිත්‍රපටය නරඹා රසවිඳින්නට ඉතුරු කරන්නටයි. ඒ නිසා බැරන් මුන්චෝසන් උණුසුම් වායු බැලූනයකින් හඳට ගිය හැටිත්, ආපිට ඇවිදින් විශාල මාළුවෙකු විසින් ගිල දැමුණු හැටිත්, අවසානයේ තුර්කි හමුදාව පරදවා නගරය බේරාගත් හැටිත් විස්තර කරන්නට අදහස් කරන්නේ නෑ. මම චිත්‍රපටය බාගත්තේ ටොරන්ට් එකකින්. සමහර කොටස් ඔබේ බටේ තිබුණත්, මුළු ෆිල්ම් එක ම එතනින් බලන්න නෑ. මෙතන තියෙනවා YTS ටොරන්ට් එකක්. ඉතින් අර ජේසු තුමා කිව්වා වගේ, "බලන්න - ස්පර්ෂ කරන්න"

Tuesday, February 22, 2022

එදා අප දුටු චිත්‍රපටයකින් - මී ධාවන තරගය (Rat Race)

ඩොනල්ඩ් සින්ක්ලෙයා ලාස් වේගාස්වල කැසිනෝ හලක් අයිති කෝටිපතියෙක්. ඔහුට අවශ්‍ය, තමන්ගෙ කෝටිපති මිතුරන්ගේ සූදුවට ඇති ආශාව දිගටම පවත්වාගැනීම සඳහා අලුත් අලුත් සෙල්ලම් හඳුන්වාදෙන්න. 

ඉතින් ඔහු තමන්ගෙ කැසිනෝ හෝටලයට ආ පුද්ගලයන් හය දෙනෙක් තෝරාගන්නවා, අහඹු ලෙස. ඒ හය දෙනාට යතුරු හයක් දෙනවා. ලාස් වේගාස්වල සිට සැතපුම් 563ක් දුරින් නිව් මෙක්සිකෝ හි සිල්වර් සිටි දුම්රිය ස්ථානයේ ලොකර් එකක තියෙනවා, ඩොලර් මිලියන දෙකක්. ඒ ලොකර් එකට යතුර තමයි අර හය දෙනාට දෙන්නේ. මොන විදිහකින් හරි ඉස්සෙල්ලාම එතනට යන කෙනෙකුට ගන්න පුළුවන්. ඉතින්, සින්ක්ලෙයාගේ සූදුකාර යාළුවන් අර හය දෙනා ගැන ඔට්ටු අල්ලනවා.


තක්කඩි සහෝදරයො දෙන්නෙක්, තමන්ගෙ ජීවිතය ඉතාම අහිංසක විදිහට ගෙනියන තරුණයෙක්, යුදෙව් පවුලක්, මහ අමුතු ඉතාලි කාරයෙක්, තරගයක් පාවාදුන්න අපකිර්තිමත් ෆුට්බෝල් විනිසුරුවරයෙක්, තමන් තරුණ කාලෙ දි හදාගන්න දීපු දුව මුල්වතාවට ආපහු මුණ ගැහුණු වයසක මවක් යන අය තමයි අර සූදුවට අහුවෙන පාර්ශ්ව හය. ඒ අය නිරූපණය කරන්නෙ ප්‍රසිද්ධ ප්‍රහසන නළු නිළියො සෙට් එකක්. රෝවන් ඇට්කින්සන් හෙවත් බීන්, වූපි ගෝල්ඩ්බර්ග්, බ්‍රෙකින් මේයර්, ජෝන් ලොවිට්ස්, ඒමි ස්මාර්ට්, කූබා ගූඩිං ජූනියර්, සෙත් ග්‍රීන්, කැතී නැජිමි... ඩොනල්ඩ් සින්ක්ලෙයාගෙ  නිරූපණය කරන්නෙ ප්‍රසිද්ධ ජෝන් ක්ලීස්. ඒ වගේම තමයි මේ කතාවෙ, මේ හය දෙනා දුවන රේස් එක අතරෙදි සිද්ධ වෙන සිදුවීම් සෙට් එක.

තක්කඩි සොහොයුරන් දෙන්නා රේස් එක පටන් ගන්නෙ ම, ලාස් වේගාස්වල ගුවන් තොටුපළේ රේඩාර් එක කඩලා. ඉතින් කාටවත් නිව් මෙක්සිකෝවට ගුවනින් යන්න බැරි වෙනවා. ඒ අතරෙ අර අහිංසක තරුණයාට හමුවෙනවා හෙලිකොප්ටර් පයිලට් කෙනෙක් වුණු හරිම ආකර්ෂණීය සහ මුරණ්ඩු තරුණියක්. මුලින් මේ තරගයට එකතු නොවන්නට තීරණය කළත්, යතුර ඩස්ට් බින් එකට දැම්මත්, ඔහු ආපහු යතුරත් අරගෙන අර තරුණිය එක්ක නිව් මෙක්සිකෝවට යනවා.

යුදෙව් පවුල අතරමගදි, දුවගෙ ආසාවට සහ බිරිඳගෙ කන්දොස්කිරියාවට ඉඩ දීමක් විදිහට යනව, බාබි කෞතුකාගාරයක් බලන්න. ගියාට පසුවයි දන්නෙ, හිට්ලර්ගෙ පාර්ශ්වකරුවෙක් වන බාබි නම් ෆැසිස්ට්වාදියෙක් සමරන්න පිහිටුවපු කෞතුකාගාරයක් මිස බාබි බෝනික්කන් පිළිබඳ කටුගෙයක් නොවන බව. එතනින් පැනල එද්දි ඔවුන්ට හිට්ලර්ගෙ කාර්එක පැහැරගෙන යන්න වෙනව. මේ තියෙන්නෙ ඒ සිදුවීම...


තක්කඩි සොහොයුරන් දෙන්නා තමන්ට ලැබුණු යතුරෙන් තවත් පිටපතක් ගහගෙන, දෙන්නා බෙදිලා යන්න තීරණය කරනවා. නමුත් ඔවුන් යන යතුරු කඩේදි, ඔවුන් ගෙ කතාබහ අහගෙන ඉන්න යතුරු කපන්නා, ඒ දෙන්නට හිස් යතුරු දෙකක් දීලා, ඔරිජිනල් යතුර අරගෙන සිල්ව සිටි වෙත යනවා. ඔහු අල්ලගෙන නියම යතුර ගන්න අර සහෝදරයන් දෙන්නට සිද්ධ වෙනවා උණුසුම් වායු බැලුනයක් අරගෙන යන්න.

මේ ඒ තක්කඩි දෙන්නට සිධවෙන තව සිදුවීමක්...


සම්පූරණ ෆිල්ම් එක මෙතනින් බලන්න පුළුවන්...


කලින් වතාවල ‌වගේ මම මෙතනදිත් කියලා තියෙන්නෙ කතාවෙන් බොහොම පොඩ්ඩයි.

Friday, December 31, 2021

එදා අප දුටු චිත්‍රපටයකින් - සෝහාන් එක්ක සෙල්ලං එපා - you don't mess with Zohan

ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදාවේ හිටපු ලොව දක්ෂතම ත්‍රස්ත විරෝධී සොල්දාදුවා සෝහාන්. ඔහු තරමට ම දක්ෂයෙකු ට හිටියේ පලස්තීන ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා වුණු ෆැන්ටම් හක්බාරා පමණයි.

සෝහාන්ට තිබුණා සිහිනයක්. ඒ කේෂ අලංකරණ ශිල්පියෙක්, නැත්තං සිංහලෙන් කිව්වොත් හෙයා ඩ්‍රෙසර් කෙනෙක් වෙන්න. ඔහු නිවසේ සිටින ඉතා කෙටි විවේක කාලවල හැත්තෑ ගණංවල සඟරාවක් බලමින් හෙයා ඩ්‍රෙසින් කරන හැටි ගැන සිහින මැවුවා.

දවසක් ඔහු ත්‍රස්ත විරෝධී මිෂන් එකක දී, ෆැන්ටම් හක්බාරා සමඟ ද්වන්ද සටනක් කළා. එතැනදී ඔහු මිය ගිය බව හඟවා නිව් යෝක් වෙත පැනගත්තා.

නිව්යෝක් නගරයේ දී ඔහු දකින්නේ ඔහු සඟරාවෙන් දුටු හැත්තෑ ගණංවල බටහිර සමාජයට වඩා වෙනස් සමාජයක්. නමුත් ඔහු අවසානයේ දී තමන්ගේ සිහිනය ජය ගන්නවා. ඔහු කේෂ අලංකරණය ඔහුට ම ආවේණික විලාසිතාවන්ට අනුව සිදු කරනවා. ඒ වගේ ම ඔහු ගෙන් කොණ්ඩය සකස් කරගන්නට එන සේවා ලාභිනියන්ට අමතර සේවාවකුත් සපයනවා. එයින් ඔහු ප්‍රසිද්ධියට පත් වෙනවා. ඒ වගේ ම ඔහු තරුණියකගේ ආදරයටත් ඉළක්ක වෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි, ඔහු වැඩ කරන සැලුන් එකේ හිමිකාරිය.

නමුත් එක් පලස්තීනුවෙක් ඔහු හඳුනා ගන්නවා. අවසානයේ ඔහුට තම විරුද්ධවාදියා වුණු ෆැන්ටම් සමඟ සැබෑ සටනක් කරන්නට සිදු වෙනවා.

මේ ගැනත් මම මෙතන ලියා ඇත්තේ පොල් කුඩු වැනි සාරයෙන් තොර කෙටි විස්තරයක් පමණයි. සැබෑ සාරවත් සහ රසවත් කොටස් ගැන ඉඟියක් ‌පහත ට්‍රේලරයෙන් බලාගත හැකියි.

ඇඩම් සෑන්ඩ්ලර් හොලිවුඩ් රිදී තිරය ඒකාලෝක කළ, සුපිරි වීර, ක්‍රියාදාම සහ කොමඩි කැටගරිවලට වැටෙන මේ චිත්‍රපටය බාගන්න මෙන්න සබැඳිය.


ඉතිං තවත් අවුරුද්දක් ඉවරයි. ලබන්නාවූ අලුත් අවුරුද්ද හැමෝටම අත ගහන ගහන වැඩේ හිතුවටත් වඩා හරියන, ජයග්‍රාහී අවුරුද්දක් වේවා!

Thursday, December 9, 2021

එදා අප දුටු චිත්‍රපටයකින් - අවසාන ක්‍රියාදාම වීරයා (Last Action Hero)


වැන්දඹු මවක් ගෙ එක ම පුතා ජේමි. ඔවුන් දුප්පත්. කොයිතරම් දුප්පත් ද කියතොත් ගෙට පැනපු හොරාත්, ජේමි ට බැණලා හිස් අතින් ම යන්ඩ යනව. 

ජේමි ට ඉන්න එක ම යාළුවා සිඩ්, බංකොලොත් මහළු සිනමා ශාලා කරුවෙක්. ඔහුටත් ඉන්න එකම පාරිභෝගිකයා  ජේමි විතරයි. ජේමි ගෙ හිතේ තාත්තා ගැන තියෙන හැඟීම ට පණ දෙන්නෙ, දැනටමත් චිත්‍රපට තුනකින් ම සාර්ථකව නිරූපණය කෙරුණු ජැක් ස්ලේටර් නම් ප්‍රබන්ධගත පොලිස් රහස් පරීක්ෂකයා.

ජැක් ස්ලේටර් හතර වන කොටස පළමුවරට තිරගත කරන්නට පෙර, එහි පිටපතක් ජේමිගේ යාළුවාට ලැබෙනවා. එය ඔහු උත්සවාකාරයෙන් ජේමි වෙනුවෙන් තිරගත කරනවා. එතනදී, ඔහු ජේමිට දෙනවා රන්වන් ටිකට් එකක්. එය ඔහුට දිලා තිබෙන්නේ සුප්‍රකට මැජික් ශිල්පී හැරී හුඩීනී.

ඒ ටිකට්පතේ බලයෙන් ජේමී චිත්‍රපටය ඇතුළට යනවා. මෙන්න මෙහෙම...


ආාා... කියන්න අමතක වුණා. ජැක් ‌ස්ලේටර් චරිතය කරන්නෙ ආනෝල්ඩ් ෂ්වෝට්සෙනෙගර්.

ෆැන්ටසි කතාවක් වුණත්, මේකෙ මාර යථාර්ථවාදයක් නිරූපණය කරනවා. ෆිල්ම්වලදි පෙන්නන බොරු, ඒ කියන්නෙ, දුෂ්ඨයා අවසානයෙදි පරදිනවා, වීරයා හැම විට ම දිනනවා. කොයිතරම් අමාරු වුණත්, වීරයා ට මහන්සි දැනෙන්නෙ නෑ, ෆිල්ම්වල හැම තැන ම ඉන්නෙ සුරූපී නිළියො... වගේ දේවල තියෙන ඇත්ත මේකෙ එළිපිට කතා කරනවා.

ජේමි ඇතුළට ගිය විදිහට ම එළියට එන දුෂ්ඨයා, සැබෑ ලෝකයේ දි දුෂ්ටයින්ට වරදින්නේ නැති බව දැකලා පුදුම වෙනවා. ජැක් ස්ලේටර් 3 චිත්‍රපටියේ දුෂ්ටයා ත් එළියට අරගන්න ඔහු ඇත්ත ජීවිතයෙදි ආනෝල්ඩ් ෂ්වෝට්සෙනෙගර් මරන්න තැත් කරනවා. ඒ ජැක් ස්ලේටර් 4 චිත්‍රපටය මංගල දැක්මෙ දි. එතනට ආනෝල්ඩ් ගෙ මිතුරු සුප්‍රකට නලුවො කිහිප දෙනෙක් ම පෙනී හිටිනවා, ආනෝල්ඩ් ගෙ බිරිඳත් සමඟින්.

මම චිත්‍රපටවල දැකපු එක විහිළු දෙයක් තමයි, නළුවෙක් සාර්ථක වෙනකොට, ඔහු ධනවතෙක් වෙනකොට, ඔහු වෙනුවෙන් ම චිත්‍රපට හැදෙනවා, ඔහු නිෂ්පාදනය හෝ අධ්‍යක්ෂණය කරමින්... ශාරුක් ඛාන් ගෙ රාවන්, හෝව් ශාන්ති හෝව්, ඒ වගේ චිත්‍රපට. 

ඒ විදිහට ම ලාස්ට් ඇක්ෂන් හීරෝත්, හදන්නෙ ආනෝල්ඩ් අර මං ඉහත කියපු අවධියට ආවට පස්සෙ. නමුත් ‌මේකෙ තියෙන විශේෂත්වය වෙන්නෙ, ආනෝල්ඩ්ව කොයිතරම් උත්කර්ෂයට නැඟුවත්, ඒ සියල්ලේ ම තියෙන හිස් බව මේකෙ නිරූපණය කරන එක.

ඉතින්, ජේමි ජැක් ස්ලේටර් එක්ක දුෂ්ටයා අල්ලන්නෙ කොහොමද? දුෂ්ටයාගෙන් ජේමි බේරෙන්නෙ කොහොමද? ජැක් ස්ලේටර් ට ආනෝල්ඩ් ගෙ ජීවිතය බේරන්න පුළුවන් වුණා ද? ඔය වගේ ප්‍රශ්න ගණනාවකට පිළිතුරු මෙන්න මෙතනින් බාගත කරගන්න මේ චිත්‍රපටිය බැලීමෙන් හොයාගන්න පුළුවන්.

අවසානයට... අපි කලින් කියවපු, හැම්ලට් කතාවේ මෙන්න මේ කොටසත් බලන්න... මේ පැරඩි කොටස තියෙන්නෙ ලාස්ට් ඇක්ෂන් හිරෝ චිත්‍රපටියෙ ම තමයි.


Friday, December 3, 2021

එදා අප දුටු චිත්‍රපටයකින් - අතිශයින් ම රහසිගතයි (Top Secret!)


50 දශකය...

ජනප්‍රිය පොප් ගායක නික් රිවර්ස්, ප්‍රසංගයක් පැවැත්වීමට නැගෙනහිර ජර්මනියට යනවා. එහිදී ඔහුට මුණ ගැහෙනවා සුරූපී තරුණියක්, හිලරි ෆ්ලැමන්ඩ්.  ජර්මානු බසින් ඒ නමෙහි තේරුම, ගුරුත්වාකර්ෂණයට එරෙහි පියයුරු. ඇගේ පියා රජය විසින් පැහැර ගන්නා ලද විද්‍යාඥයෙක්. ඔහු බේරා ගැනීම සඳහා නික් රිවර්ස් සහ හිලරි, ප්‍රංශ විප්ලවකාරී සංවිධානයකට එකතු වෙනවා. ඒ සංවිධානයේ එක් කඳවුරක් පිහිටා ති‌බෙන්නේ පොටෑටෝ ෆාම් නම් ගොවිපළේ. එහිදී හිලරි ට මුණගැහෙනවා, ඇගේ පරණ පෙම්වතා. 

ඇය සහ ඔහු ඉතා කුඩා කාලයේ දී තනියම දූපතක අතරමං වෙලා. දෙදෙනා එකට ලොකු මහත් වෙලා, අවසානයේ පෙම්වතුන් බවට පත් වෙලා. නමුත් දිනක් තරුණයා තමන් තනා ගත් බෝට්ටුවකින් මුහුදේ ගොස් අතුරුදන් වෙලා. පසුව හිලරි නැවකින් බේරා ගෙන.

අවසානයේ ප්‍රංශ විප්ලවකාරීන් හිලරි ගේ පියා බේරා ගැනීමට ජර්මානු රජයේ බලකොටුවකට පහර දෙන්නට යනවා, වෙස් වළාගෙන...

මේ මොන මගුලක් ද කියා හිතුණා ද? මේ බලන්න මේ චිත්‍රපටියේ ට්‍රේලරය...


එල්විස් ප්‍රෙස්ලි ගේ චිත්‍රපටි සහ දෙවන ලෝක යුධ සමය පසුබිම් කරගත් රහස් ඔත්තුකාර චිත්‍රපටිවලට පැරඩියක් විදිහට සකර්, ඒ්බ්‍රහැම්ස් සහ සකර් හදා තිබෙන මේ චිත්‍රපටිය ඉතා ම කුරිරු විනෝදාස්වාදයක් ගෙන දෙනවා. පටන් ගත් තැන සිට අවසාන වන තුරු හුස්ම නොගෙන හිනාවෙන්නට පුළුවන් නියම නිර්මාණයක් මේක. 

මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ වැල් කිල්මර්. ඉතා ම අලංකාර ලෙස ඔහු එල්විස්ගේ ගීත කීපයක් ම ගායනා කරනවා. සංගීතය සහ ක්‍රියාදාම වගේ ම, අවසානයේ ඉතා දීර්ඝ වෙලාවක් පවතින දිය යට සටන් ජවනිකාවකින් ද මෙය පොහොසත්.

ටොරන්ට් සබැඳිය මෙතනින්

අයිඑම්ඩීබී දත්ත මෙතනින්


Friday, November 26, 2021

එදා අප දුටු චිත්‍රපටයකින් - හිච් - Hitch

මූලික සිද්ධාන්ත...

ගෑණු ළමයෙක් උදේ නැඟිටිනකොට, අධිෂ්ඨාන කරගන්නෙ නෑ "අද කොල්ලෙක් මගෙන් අහන්න නම් එපා" කියලා. නමුත්, කොල්ලෙක් ඇහුවොත්, එයා කියාවි:

"‌ඒකට මේ වෙලාව ඉතා ම නරකයි"

"චුට්ටක් ඈත් වෙලා, මට පොඩ්ඩක් ඉඩ දෙන්න..."

"මම මේ දවස්වල රස්සාවත් එක්ක ගොඩක් බිසී"

 මේ කතා විශ්වාස කරනවද? ඒ ගෑණු ළමයත් විශ්වාස කරන්නෑ ඒ කියන දේවල්.

ඇයි?

එයා කියන්නෙ බොරු.

ඔව්. බොරු. මොකද, ගෑණු ළමයෙක් කියන්නෙ හරිම සුහද කෙනෙක්. එයාට උවමනා නෑ ඔයා ගෙ හිත රිද්දන්න. ඒකයි...

ඇත්තටම එයා කියන්නෙ මෙන්න මේ වගේ දෙයක්...

"යනව යන්ඩ මෙතනිං...!"

එහෙමත් නැත්තං වඩාත් ම වෙන්න පුළුවන් ප්‍රතිචාරය...

"ඔයිට වඩා හොඳට උත්සාහ කරන්න"

ඕනෙ ම ගෑණු ළමයෙක් යාළු කරගන්න පුළුවන්. ඒකට නියම උපක්‍රමය හොයාගන්න වෙනව. 

අන්න එතනදි තමයි ප්‍රේම දොස්තර අවශ්‍ය වෙන්නෙ.


ඇන්ඩි ටෙනන්ට් හදපු චිත්‍රපටයක් - හිච්... මේකෙ රඟපාන්නෙ නාරද බක්මීවැව විල් ස්මිත් සහ ඊවා මෙන්ඩෙස්.

ඇලෙක්ස් හිචන්ස් හෙවත් හිච් (විල් ස්මිත්) ව්‍යාපාරයක් විදිහට කරන්නෙ, ගෑණු ළමයෙක් යාළු කරගන්න පිරිමි උදවියට උපදෙස් දෙන එක. ඔහු නියම විදිහට අදාළ ගෑණු ළමයා ගැන රිසර්ච් කරල, ඇයගෙ හිතට වදින දේවල් ගැන පිරිමියට උපදෙස් දෙනව. මෙය කරන්නෙ ඉතා ම රහසිගතව. 

චිත්‍රපටියේ මුල දි ම ඔහුටත් ගෑණු ළමයෙක් ගැන හිතෙනව. නමුත් ඔහු ගේ වෘත්තිය හෙළිදරව් වීම නිසා, ඒ ප්‍රේම සබඳතාව බිඳෙනව. ඒ අතරෙ, ඔහු කෝටිපති කාන්තාවක් සමඟ ප්‍රේමයක් පටන් ගන්න, ඇගේ උපදේශක මණ්ඩලයේ ඉන්න තරුණයෙකුට උදව් කරනව. ඒ තරුණයා හිච් කියන දේවල් කරන්නේ ම වැරදි විදිහට. නමුත් අර කාන්තාව ඒ වරදින තැන්වලට කැමති වීම නිසා, අර තරුණයාට ආදරය කරන්න පටන් ගන්නව.

අවසානයේ හිච් ට තේරෙනව, ආදරය ගැන ඇත්ත ම ඇත්ත සිද්ධාන්තය මොකක්ද කියලා...

ඒ මොකද්ද කියලා බලන්න, මෙන්න ටොරන්ට් එක,

මෙන්න අයිඑම්ඩීබී දත්ත.

මේ චිත්‍රපටිය ඇසුරින් තමයි, සල්මාන් ඛාන් රඟපෑ, පාට්නර් චිත්‍රපටිය හැදුවෙ...

වැඩිපුර බලපු ලිපි