Showing posts with label නත්තල් කළාපය. Show all posts
Showing posts with label නත්තල් කළාපය. Show all posts

Saturday, December 24, 2022

උපමා කතා තුනක් - නත්තල් කළාපය 2022

අද උදේ (මේක ලීවේ 18 වෙනිදා සෙනසුරාදා) මමත්, බිරිඳත්, පුතාත් අවදි වුණේ එක ම වෙලාවක. නිවාඩු දවසත් නිසා, අපි ටිකක් කතා කරමින් හිටියා ඇඳට වෙලා. අපි පොඩි කාලෙ දි වගේ ම, පුතාට හරිම ආසයි ළඟ ළඟ ම එන නත්තල ගැන. ඉතින් එතනදි අපි අතර කතා බහට ලක් වුණේ නත්තල් දිනය හෙවත් දෙසැම්බර් 25 ජේසු ගේ උපන් දිනය නොවන බව. 

එතන දී මම කිව්වේ බයිබලයේ සුභාරංචිවල සඳහන් වන විදිහට ජේසු තුමාගේ උපත ගැන දේව දූතයෝ ගිහින් එළිමහනේ බැටළුවන් බලාගනිමින් හිටපු එඬේරුන්ට කියුවා කියා තිබෙන සඳහන. එහෙම එළිමහනේ ඉන්න බෑ දෙසැම්බර් මැද හරියේ තිබෙන අති දුෂ්කර සීතලත් එක්ක.

එතකොට පුතා මට තවත් කරුණක් පෙන්නුවා. ඒ තමයි ඒ දුෂ්කර සීතල නිසා ජේසු බබා නිකම්ම රෙදි කඩක ඔතලා ගව ඔරුවක තිබ්බා නම්, සීතලේ මියයන්නට ‌ඉඩ තිබුණු බව.

දිගින් දිගට ම කතා කරද්දී මම පුතාට ජේසු තුමා දේශනා කළ උපමා කතා කීපයක් කීවා. පහතින් ලියා තියෙන්නේ ඒවා.

නැතිවූ බැටළුවා:

ඔබට බැටළුවන් සීයක් සිටියා යැයි හිතන්න. එයින් එක බැටළුවෙක් නැති වුණා නම්, ඔබ අනික් බැටළුවන් අනූ නම දෙනා ම පිට්ටනියේ ඉදිද්දී, අත හැර දමා, නැතිවූ බැටළුවා සොයනවා නේද? ඌ හමු වූ විට ඔබ අතිශයින් ම සතුටට පත් වෙනවා නේද? 

අන්න ඒ වගේ, යහපත් මිනිසුන් අනූ නම දෙනෙකුට වඩා, නොමග ගිහින් සිට, ආපසු යහ මඟට හැරුණු එක් මිනිසෙක් උතුම්.


ණය කාරයෝ:

එක් අධිපතියෙක් ට කාසි දහසක් ණය වී සිටි සේවකයෙක් සිටියා. අධිපතියා ඔහුට ණය ගෙවන ලෙස කී වෙලාවේ, ඔහු අත මුදල් තිබුණේ නැහැ. ඉතින් ඔහු බැගෑපත් වෙලා, ණය ගෙවන්නට තවත් කාලය ඉල්ලා සිටියා. එවිට අධිපතියා ඔහු ගැන අනුකම්පා කර, ණය මුදලෙන් ඔහු නිදහස් කළා.

ඒ සේවකයා ට කාසි සීයක් ණය වූ තවත් සේවකයෙක් සිටියා. පළමුවැන්නා අනෙකාට ඒ ණය ගෙවන්නට බල කළා. ඒ වෙලාවේ දෙවැන්නා අතත් මුදල් තිබුණේ නැහැ. ඉතින් ඔහුත් සමාව ඉල්ලා, ණය ගෙවන්නට තවත් කාලය ඉල්ලා සිටියා.

නමුත් පළමුවැනි සේවකයා දෙවැන්නා ගැන අනුකම්පා කළේ නැහැ. ඔහු ණය ගෙවන තුරු සිර කළා.

මේ සිදුවීම අනෙක් අය විසින් අධිපතියාට සැළ වුණා. ඒ අධිපතියා පළමුවැනි සේවකයා ගෙන්වා මෙසේ කීවා.

"මම නුඹට අනුකම්පා කළා වගේ ම, නුඹත් අනෙකාට අනුකම්පා කරන්නට තිබුණා නේද? දැන් නුඹ මා හට ගෙවන්නට ඇති කාසි දහස ගෙවන තුරු මමත් නුඹ සිර භාරයට ගනිමි"

අපි වරදකට පසුතැවෙමින් සමාව අපේක්ෂා කරනවා නම්, අපට අනෙක් අය කරන වැරදි ගැනත් අපි සමාව දිය යුතුයි.


මේක විශේෂයෙන් ලීවේ මගේ ඉතා හිතවත් මිත්‍රයෙක් සහ සහෘදයෙක් වන අසංග රණසිංහ ආරච්චිට ම‌ගේ කලින් පෝස්ට් එකෙන් කරපු විහිලුවට යම්කිසි සිත් රිදීමක් වුණා නම්, මට සමාව දීමට ආදර්ශයක් වශයෙන්...

ටැලන්ට්:

හාම්පුතෙක් තමන්ගේ වෙළෙඳාම් කටයුතුවලට විදේශයකට ගියා. ඒ යන්න කලින් ඔහු තමන්ගේ සේවකයන් තුන්දෙනාට කතා කොට, ඔවුන්ට ටැලන්ට් (රන්කාසි විශේෂයක්) එක බැගින් දුන්නා.

කාලයකට පසු ආපිට ආ හාම්පුතා, සේවකයන් තුන්දෙනා කැඳවා, තමන් දුන් ටැලන්ට්වලට කළේ කුමක්දැයි ඇසුවා.

පළමුවෙනි සේවකයා, තමන් ඒ ටැලන්ට් කාසියෙන් කා බී විනෝද වුණු බව කීවා.

දෙවෙනි සේවකයා හනික මිදුලට දුව ගොස්, ගළක් යට ප්‍රවේසමෙන් තබා තිබූ ටැලන්ට් කාසිය රැගෙන ඇවිත් හාම්පුතා ට පෙන්නුවා.

තුන්වෙනි සේවකයා, තමන්ට දුන් ටැලන්ට් එකෙන් වෙළඳාමක් පටන් ගෙන දියුණු කර, එයින් උපයාගත් ටැලන්ට් මල්ලක් හාම්පුතාට දුන්නා.

මේ ලෝකයේ මිනිස්සුත් ඔය තුන් විදිහට අයත්. තමන්ට සහජයෙන් ලැබෙන කුසලතා නාස්ති කර විනාශ කරගන්නා අයත්, ඒ කුසලතාවන් හංගාගෙන තබාගෙන ඉන්නා අයත්, කුසලතාවන් ක්‍රියාවේ යොදවා දියුණු කරගන්නා අයත් වශයෙන්.


උපමා කතා තුනක් ලියන්නට ඉඳගත්තත්, බෝනස් හැටියට පහත කතාවත් කියවන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ, මේ උපමා කතා ලියද්දී මතක් වුණු විහිලු කතාවකුත් ලියා තියන්නට හිතුණු නිසා.

අකීකරු පුත්‍රයා:

එක් පොහොසත් මිනිසෙකුට අකීකරු පුතෙක් උන්නා. ඔහු තමන්ගේ පියාගේ ගොවිපළේ වැඩ කරනවා වෙනුවට, සල්ලි ටිකකුත් අරන් වෙනත් ප්‍රදේශයකට පැන ගියා.

තමන් ගෙනා සල්ලි ඉවර වෙන තුරු කා බී විනෝද වුණු ඔහු, මුදල් ඉවර වුණු පසු වෙනත් මිනිසෙකු ගේ ගොවිපොළක වැඩට ගියා.

ඔය අතර දුර්භික්ෂයක් ඇති වුණා. අර පුත්‍රයාට කන්නට සුදුසු දෙයක් ලබා ගන්න බැරි වුණා. ඔහුට කන්නට ලැබුණේ ඔහු වැඩ කළ ගොවිපොලේ ඌරන්ට කන්නට දමන ආහාර. 

ටික දවසක් ගත වෙද්දී ඔහු කල්පනා කළා, තමන්ගේ පියා ළඟ සිටිය කාලයේ හොඳින් කන්න බොන්න ලැබුණා. නමුත් පියාට අකීකරු වී පැනලා ඇවිත් සේවකයෙක් හැටියට සත්ත්ව ආහාර කමින් දුක් විඳිනවා. ඊට වඩා හොඳයි ආපසු පියා ළඟට ගිහින් සමාව ඉල්ලන එක.

එහෙම හිතා ඔහු ආපහු පියා ළඟට ගියා. ගිහින් කීවා, "තාත්තේ, මට සේවකයෙක් හැටියට සළකන්න. මම ඔබට විරුද්ධ වුණු නිසා..." කියා.

නමුත් තාත්තා ඔහු දැකලා ඉතා ම සතුටට පත් වුණා. ඔහු අනික් මිනිස්සුන්ට කෑ ගසා කීවා, "මෙන්න, මම මැරුණා කියා හිතාගෙන හිටි පුතා ආපිට ඇවිත්. මෙයා පිළිගන්න උත්සවයක් පවත්වමු. මම භෝජන සංග්‍රහයකට කියා තර කළ වස්සා දැන් මරන්න." 

ඒ ඇසුණු ඔහුගේ වැඩිමල් පුතා අමනාපයෙන් තාත්තා ගෙන් මෙහෙ ම ඇහුවා. "තාත්තේ, මම ඔබට අකීකරු නොවී, ඉතා ම කීකරු විදිහට වැඩ කරනවා. නමුත් මේ අකීකරු වෙලා පැනලා ගිය මල්ලි ආපසු ආවම ඔබ ඔහු පිළිගන්න හරකෙකුත් මරලා උත්සව පවත්වනවා..."

තාත්තා කීවා, "ඔව් පුතේ. හොඳ මිනිසුන් දාහකට වඩා, නරකට හැරී සිට, වැරදි තේරුම් ගෙන පසුතැවිලි වී ආපිට හොඳ අතට හැරෙන එක පවුකාරයෙක් උතුම්..."


ඔය කතාව ඉස්කෝලෙ දී කියා දුන්නු ටීචර් කෙනෙක් ඇහුවා "අකීකරු පුතා ආපහු ගෙදර ආ එක ගැන අමනාප වෙන්නේ කවුද?" කියලා.

එක ගෑණු ළමයෙක් අත උස්සගෙන නැඟිටලා කීවා...

"ටීච ටීච... තරකළ වස්සා" කියලා.


ඔබ සැමට සාමය සහ සමාදානය උදාවන සුභ නත්තලක් වේවා!

Thursday, December 24, 2020

නත්තල් සැමරුමේ පේගන් මුල්

ජේසුතුමන් ඉපදුනා යැයි සැළකෙන කාලයට බොහෝම කාලයකට පෙර ඉඳන් ම දෙසැම්බර් මාසයේ අග උත්සවයක් පැවැත්වීම නෝර්ඩික් සහ පේගන් සංස්කෘතියේ පැවතුණු බව පේනවා. උතුරු යුරෝපයේ ශීත සෘතුව ඉතාම කටුකයි, ශීතාධිකයි, ඒ වගේම දවල් දවස බොහොම කෙටියි. ඒ ලක්ෂණ අනික් පිට හැරෙන්න පටන් ගන්නෙ වර්තමාන කැළැන්ඩරයේ දෙසැම්බර් මාසෙ අග සතිය වෙනකොටයි. ශීතල අඩුවෙන්නත්, දවල් දවස දිගු වෙන්නත් පටන් ගන්නේ ඒ දවස් වන කොට. 

ශීත සෘතුවේ ගෙවල්වවලට කොටුවෙලා ගත කරන කටුක කාල සීමාව ප්‍රීතියෙන් ගත කරන්න නෝර්ඩික් මිනිස්සු පුරුදු වෙලා හිටියා. තාත්තලා සහ පුත්තු දැවැන්ත ලී කොට ගෙදරට ගෙනැවිත් මහ ගිණි මැළයක් ගහනවා. ඒ ගිණි මැළය නිවෙන තුරු (සාමාන්‍යයෙන් දවස් දොළහක් විතර යනව...) ඔවුන් කමින් බොමින් විනෝද වෙනවා. ඒ මහා කොට දැවෙමින් නඟින ගිණි පුපුරුවල ගාණටම, මීළඟ වසන්තයේ දී තමන්ගේ සත්ත්ව කොටුවල ඌරන් සහ වෙනත් සතුන් පැටවු ගහනු ඇති බව ඔවුන් විශ්වාස කළා. 

යුරෝපයේ බොහොම පැතිවල දෙසැම්බර් අග උත්සව පවත්වන කාලයක් වුණා. ඒ කාලෙ පවතින ශිත දේශගුණයත් එක්ක, හරකුන්ට කෑම සපයන්න තියෙන අසීරුව නිසා අලුත් හරක් මස් කෑමට හැකිවුණු, අවුරුද්දේ එකම කාලයත් මේ ශීත කාලය ම වුණා. අනික් අතට, අවුරුද්ද පුරා පෙරපු බියර් සහ වයින් බොහොමයක් පානය ට සුදුසු මට්ටමට පදම් වුනේ ශීත කාලයෙදි...

ඒ වගේම කොළපාටට ඉතුරු වුණු එකම ගස් වර්ගය වුණු සයිප්‍රස් ගහ, ශීත කාලය ගෙවිලා ගිහිං ආපහු ආලෝකය සහ ජීවය උදාවෙන බව ට තිබුණු සංකේතයක් වුණා. ඒ ගස් වල රතු ඇපල් ගෙඩි සහ ඉටිපන්දම් එල්ලලා සැරසීමෙන් වෝඩන් ‌හෙවත් ඕඩින් සමරන්න පර්මානු ගෝත්‍රවල මිනිස්සු පුරුදු වෙලා හිටියා..

ජර්මනියේ මිනිස්සු ඇදහූ වෝඩන් හෙවත් ඕඩින් (නෝර්ඩික් ඇස්ගාඩ් නායක දෙවියන් ගෙම පේගන් මුහුණත කියමුකො) ගැන සිහිපත් කරන කාලයකුත් වුණා මේ ශීත සෘතුව. ශීත සෘතුවේ දී ඕඩින් අහසින් ගමන් කරමින් මිනිස්සුන්ව නිරීක්ෂණය කළ බවත්, ඒ මිනිස්සු අතරින් අනාගතයේදී සෞභාග්‍යය උදා කරවන්නේත්, විපතට හෙළන්නේත් කවුද කියා තීරනය කල බවත් ජර්මානුවෝ විශ්වාස කළා. මේ නිසා මිනිස්සු ගේ ඇතුළටම වෙලා ඉන්න පෙළඹුනා. ඕඩින් අහසේ ගියේ ස්ලෙප්නීර් නම් කකුල් අටක් ඇති අශ්වයෙක්ගේ පිටේ. ළමයි තමන්ගෙ බූට්වලට කැරට්, පිදුරු වගේ දේවල් පුරවලා ගිණි උඳුන ළඟ එල්ලලා තිබ්බා, අර අශ්වයාට කන්න. ඕඩින් ඒ බූට්වලට පොඩි පොඩි තෑගි දාල යනවා කියා විශ්වාස කෙරුණා. (හරියටම නත්තල් සීයා අහසින් යමින්, හොඳ ළමයින්ට තෑගි දීම වගේ ම තමයි. දෙන්නාම රතු ඇඳපු බවත්, දෙන්නාටම දිග සුදු රැවුළක් තිබුණු බවත් තව සමානකම්.) 

https://www.les2peresnoel.com/images/mythe-pere-noel/Odin.png
ඕඩින්

යුරෝපයේ පැවතුණු තවත් සම්ප්‍රදායක් තමයි වැසේලින්... ඒ නම එන්නෙ ඇංග්ලෝ සැක්සන් පදයක් වුණු "වේස් හේල්" හෙවත් යහපත් සෞඛ්‍යය කියන නමින්. ඔවුන් අවුරුද්දකට වරක් කුඩා කණ්ඩායම් විදිහට ගම පුරා  යමින් හඬ නගා ගායනා කරන පුරුද්දක් ඒක. ඒ ගීත හඬ නගා ගායනා කිරීමෙන් නපුරු ආත්ම පළවා හැරීමත්, යහපත් සෞඛ්‍යය ප්‍රාර්ථනා කිරීමත් අපේක්ෂා කෙරුණා. දහතුන්වන සියවසේ දී ශාන්ත ෆ්‍රැන්සිස් තුමා මේ පුරුද්ද ආශ්‍රයෙන් නත්තල් කැරොල් ගායනා ආරම්භ කළා.

රෝමයේ දී ශීත සෘතුව උතුරු යුරෝපයේ තරම් ම කටුක වුණේ නෑ. රෝමකයෝ ශීත සෘතුව පටන් ගන්නට සතියකට කලින් සැටර්නේලියා උත්සවය පටන් ගන්නවා. කෘෂිකර්මාන්තයට අධිපති සැටර්න් දෙවියන් සමරන්න. එය මාසයක් පුරා පැවැත්වෙනවා. එතනදි රෝම සමාජය කණපිට හැරෙනවා. වහලුන් අධිපතියන් වෙනවා, සාමාන්‍ය දිළිඳු ජනතාව නගරය පාලනය කරනවා. ව්‍යාපාර සහ පාසල් වහන නිසා හැමෝටම විනෝද වෙන්න අවස්ථාව ලැබෙනවා. මේ උත්සවයේ දී හැමෝම හැමෝටම සෞභාග්‍යය පතුරුවා හැරීමේ ආකල්පයෙන් සුළු තෑගි දෙන පුරුද්දක් තිබුණා. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ හොඳ අස්වැන්නක් ගෙට ගෙන ඒමට හැකිවේවා කියන අරමුණින්.

මේ ශීත සෘතුවේදීම රෝමකයෝ ජුවිනේලියා හෙවත් රෝමයේ දරුවන් සමරන භෝජන සංග්‍රහය පවත්වනවා. ඒ වගේම, (වඩා වැදගත්) ඉහළ පංතියේ මිනිස්සු මිත්‍ර හෙවත් යටත් කළ නොහැකි හිරු දෙවියන්ගේ උපන් දිනය සැමරුවා. ඒ දෙසැම්බර් 25 දින. ගළකින් උපන් ළදරු දෙවියෙක් වුණු මිත්‍ර ගේ උපන් දිනය සමහර රෝමකයන්ට අනුව අවුරුද්දේ වැදගත්ම දිනය වුණා.

https://hellenicfaithcom.files.wordpress.com/2017/09/mithras-rock-born-trio.jpg
මිත්‍ර

රෝමකයෝ තමන්ගෙ ගේ අවට ගස්වල එක එක ලෝහමය සංකේත එල්ලලා සැරසීමත් කළා, සැටර්නේලියා කාලයේ දී. මේ සංකේත වලින් හැඳින්වුනේ සැටර්න් දෙවියන් හෝ තමන්ගේ පවුලේ දෙවියන්. මේ සම්ප්‍රදායත්, ජර්මානුවන්ගේ ගස් රතු ගෙඩි සහ ඉටිපන්දම්වලින් සැරසීමත් එකතු වීමක් නත්තල් ගහේ දකින්න තියෙනවා.

හෝලි කියන්නේ කටු වගේ දැති තියෙන තද කොළ පාට කුඩා කොල සහ තද රතු පාට ගෙඩි සහිත ගස් විශේෂයක්. ඒ ගස් සැටර්න් දෙවියන්ට පූජනීයයි. ඉතින් සැටර්නේලියා උත්සවයේ දී රෝමකයෝ තෑගි දෙනකොට ඒ හෝලි ඉති වලින් තෑගි ඔතන්න පුරුදු වෙලා හිටියා. පස්සෙ ක්‍රිස්තියානිය යුරෝපයේ පැතිරෙනවත් එක්කම, ආණ්ඩු මේ නව ආගම අදහන්නන් දඩයම් කරද්දි, ක්‍රිස්තියානි ආගමිකයෝ තෑගි හුවමාරු කරගනිද්දි, ඒ අය සැටර්නේලියා සමරනවා වගේ පේන්න හෝලි ඉති වලින් තෑගි දැවටීම කරගෙන ගියා දිගටම.

https://pixers.uk/posters/holly-leaves-and-berries-57328225

ක්‍රිස්තියානි ආගම ආරම්භ වුණු මුල් කාලයේ අවුරුද්දේ වැදගත්ම දිනය වුනේ පාස්කුව. හතර වෙනි සියවසේ දී තමයි පල්ලිය තීරණය කළේ ජේසු තුමාගේ උපත සමරන්න. ඒත් බෛබලයේ ඒ දිනය ගැන කිසිම සඳහනක් වුණේ නෑ. ජේසු උපන් දිනයේ දේව දූතයන්, බැටළුවන් බළා ගනිමින් එළිමහනේ හිටපු එඬේරුන් ට ජේසු තුමා ඉපදුනු බව කිව්වා. ඒ කියන්නේ ජේසු තුමා උපදුනු දිනය ශීත සෘතුවේ නම් වෙන්න ම බෑ. ශීත සෘතුවේ එඬේරුන්ට පුළුවන් කමක් නෑ එළිමහනේ රෑ ගත කරන්න. ඒ නිසා ජේසු ඉපදුනේ වසන්ත කාලයේ වෙන්න පුළුවන්. 

පළමුවෙනි ජූලියස් පාප් තුමා තමයි දෙසැම්බර් 25 දිනය තෝරාගත්තේ. ඒ සැටර්නේලියා උත්සවය යටපත් කරලා කතෝලිකාගමට උපාර්ජනය කරගන්න කියලා සැළකෙනවා. එයින් ක්‍රිස්තියානිය හැමෝටම වැළඳගන්න පුළුවන් දෙයක් කරන්න උත්සාහ කළා වෙන්න පුළුවන්. මේ සම්ප්‍රදාය ඊජිප්තුවට 432 දීත්,  එංගලන්තයට හයවෙනි සියවසේ දීත් පැතිරුණා.

ඉතින්... මං පහුගිය නත්තල් කළාපයක ශාන්ත නිකලස් තුමා ගැන ලිව්වා. එතනදි  ජගත් පතිරණ කියා හිටියා මේ නත්තල් සීයා සම්ප්‍රදාය ඊටත් වඩා ඈතට යන බව. හොයාගෙන යද්දි තමයි මේ විස්තර හම්බුණේ. මේක අවස්ථාවක් කරගන්නවා ජගත් ට ස්තූති කරන්න, මගේ කුතුහලය අවුස්සලා, මට දැනුවත් වෙන්න අවස්ථාව සලස්සලා දුන්නට.

සැප්‍රීතිත්ත්ක් වේවා!!!

https://www.qwaym.com/wp-content/uploads/2017/11/norse-god-odin.jpg

මූූූූූලාශ්‍ර

https://www.history.com/topics/christmas/history-of-christmas

https://chefin.com.au/blog/these-6-christmas-traditions-are-actually-pagan-customs/

https://www.cbsnews.com/news/the-unexpected-pagan-origins-of-popular-christmas-traditions/#:~:text=Though%20December%2025%20is%20the,traditions%20celebrating%20the%20winter%20solstice.&text=%22In%20ancient%20Rome%20there%20was,Saturnalia%20that%20celebrated%20the%20solstice.

https://holidappy.com/holidays/twelve-christmas-traditions-with-pagan-origins


Wednesday, December 25, 2019

නීතිය, යුක්තිය සහ ආදරය - නත්තල් කළාපය 2019

ඉෆිජියානා බිළීදීම - ‌ලෙයොනාර්ට් බ්‍රැමර් ‌ගේ චිත්‍රයක්
උපුටාගැනීම - (https://commons.wikimedia.org/wiki/
File:Bramer,_Leonaert_-_The_Sacrifice_of_Iphigenia_-_c._1623.jpg
)

ට්‍රෝයි යුද්ධයට යන ක්‍රීටයේ අගමෙන්නෝන් රජු, එහි සාර්ථකත්වය ‌වෙනුවෙන් පූජකයන්ගේ ඉගැන්වීම් අනුව තමන්ගෙ දුව බිලි දුන්නා. ඒක සමූහයක් ‌වෙනුවෙන් තමන්ගේ ‌පෞද්ගලිික බැඳීම කැප කිරීමක් වගේම, පවුලට සහ පුද්ගලයෙකුට එරෙහිව කරපු අපරාධයක්.

අපරාධයට එරෙහිව යුක්තිය ක්‍රියාත්මක වුණේ, යුද්ධය දිනා ආපිට තම ‌ගෙදරට ආ අගමෙම්නෝන් රජු, ඔහුගේ භාර්යාව ‌මෙන්ම අර බිළි‌දෙනලද දැරියගේ මව, සිය ‌පෙම්වතා ‌සමග එක්වී මරා දැමීමෙන්.

https://cdn.britannica.com/15/12115-004-DE1A8ABB/Electra-Orestes-Clytemnestra-presence-detail-Aegisthus-vase.jpg

ඒ අපරාධයට යුක්තිය ඉටු වුණේ අගමෙම්නෝන් රජු ‌ගේ ඖරස පුත්‍රයා වූ ඔරේෂස් තමන්ගේ පියා මැරූ තැනැත්තා මරා දැමීමෙන්.

ශිෂ්ඨාචාරයේ මුල් කාලයේ යුක්තිය ඉටු වුණේ පළිගැනීමේ ස්වරූපයෙන්. ඒක සමාජ සාරධර්මයක් ‌ලෙස පිළිගැණුනා.

හමුරාබි රජු "ඇසට ඇස, දත ට දත" නීතිය ‌ලේඛන ගත කරන්නෙ ඒ වගේ සමාජයක. පසුකාලීනව තව තවත් මානව සමාජය ශිෂ්ඨ සම්පන්න ‌වෙද්දී, මධ්‍යස්ථ පුද්ගලයෙක් විසින් ‌දෙපැත්තේම කරුණු විමසා ස්වාධීන තීරණයක් දීම වඩා යහපත් සහ සාධාරණ බව පිළිගැණුනා.

තව්රාත්, ‌බෛබලයේ පරණ ගිවිසුම සහ ෂාරියා හි අඩංගු වූ තද නීතිය, සමාජය විසින් තහවුරු කරගත්‌තේ සමාජය හික්මවීම මඟින් සමාජ විරෝධී ක්‍රියා තුරන් කිරීමට. "...දරුවෙක් අකීකරු වුණොත්, ඔහු නගරය මැදට ‌ගෙනැවිත්, ඔහු අකීකරු බව ප්‍රසිද්ධියේ කියා, ගල් ගසා මැරිය යුතුයි..." ඒ ප්‍රකාශය තියෙන්නෙ ‌බෛබලයේ පැරණි ගිවිසුමේ.

කාමයේ වරදවා හැසිරෙද්දීම අල්ලාගත් ගණිකාවක් ‌ජේසුතුමා ‌වෙත ‌අරගෙන ආවා. ඒ අරගෙන ආවේ ආගමික ඉගැන්වීම් අකුරටම පිළිපැද්ද අය සහ විනයධරයන් ‌ලෙස ප්‍රසිද්ධ අය. ‌

"මේ ගණිකාවක්. පවු කරද්දිම අල්ලාගත්තා. ‌මෝසෙස් උගන්වා තියෙන්නේ ගල් ගසා මරා දැමිය යුතුයි කියා. ඔබ ‌මේ ගැන කියන්නේ ‌මොකද්ද?" ඔවුන් ඇසුවා. එසේ ඇසුවේ ‌ජේසු තුමාගෙන් කොණක් අල්ලා ‌ගෙන ඔහු  වැරදි ‌දේ උගන්වන බව ‌පෙන්වා ‌දෙන්නයි.

ජේසු තුමා ඇඟිල්ලෙන් බිම ලියන්නට පටන් ගත්තා. ඒත් අර උදවියගේ කෑ ගැසීම් නැවතුණේ නෑ.

"ඔබ අතරින් පවු කර නැති තැනැත්තා ඇයට පළමු ගල ගසන්න" ‌ජේසු තුමා කීවේ ඔවුන්ගේ ‌ඉල්ලීම ‌කෙළවරක් නැති තැනට ආ පසුයි. එසේ කියා එතුමා ආපහු බිම ලියන්න ගත්තා.

වැඩිහිටියන්ගෙන් පටන් ‌ගෙන අර රැස්ව සිටි අය ‌එකා ‌දෙන්නා යන්න ගියා. අන්තිමේ එතැන ඉතිරි වුණේ අර ස්ත්‍රිය විතරයි.

අවසානයේ ‌ජේසු තුමා ඔලුව උස්සා බැලුවා.

"ඒ අය ‌කෝ? කවුරුවත් ඔබට වැරදි තැබු‌වේ නැද්ද?"

"නෑ. කවුරුවත් මට වැරදි තැබුවේ නෑ." ස්ත්‍රිය කිව්වා.

"එහෙනම් මමත් ඔබට වැරදි තියන්නේ නෑ. යන්න. ගිහින් පවු ‌නොකර ඉන්න" ‌ජේසු තුමා කිව්වා.
(ශු. ජුවාම්‌ 8: 1-11)

https://joequatronejr.files.wordpress.com/2011/07/mary-magdalene-stoned-jesus.jpg

නැතිවූ බැටළුවාගේ උපමාව, අකීකරු පුත්‍රයාගේ උපමාව ආදී ඉගැන්වීම්වලදී එතුමා පැහැදිළි කරන්නේ, ආගමික ජීවිත ගත කරන්නන් සියයකට වඩා, තමන්ගේ වරද අවංකව ‌තේරුම්ගෙන පසුතැවිලි වන එක පවුකාරයෙක් නිසා ‌දෙවියන් වහන්සේ සතුටු වන බව.

ඒක වෙනත් පැත්තකින් දැක්කොත්, අපරාධකාරයෙක් තමන් වැරදි මග යන බව ‌තේරුම් ගත්තොත්, ඒ ගැන අවංකව පසුතැවුනොත්, ඔහුට සමාජයට යහපත් මිනිහෙක් බවට පත්වෙන්න අවස්ථාව දීම හරිම වැදගත්. ඒ වගේම ඒ ගැන සමාජය සතුටු විය යුතුයි.

හොඳ මිනිසුන් වගේම, වැරදි කරමින් සිට ඒ වැරදි අවබෝධ කරගෙන ඒවා නිවැරදි කරගන්න උවමනාව දක්වන උදවියත්, ආදරය කරනු ලැබීමට සුදුසුුයි.

ඒ එක්ක බලනකොට, යුක්තිය කියන්නෙත් අශිෂ්ඨ සමාජයකට අවශ්‍ය වූ පළිගැනීමේ සංකල්පයක් මිසක්, වඩා මානුෂික සමාජයක තිබිය යුතු ‌දෙයක් ‌නොවේ.

අපරාධයක් ‌වෙනුවෙන් යුක්තිය ඉටු කරන තැනැත්තා, අර අපරාධකාරයාගෙන් ‌වෙනස් වන්නේ ඔහු පිටුපසින් සිට ඔහුට ශක්තිය ‌දෙන සමාජ සම්මතය නම් ආධාරකයෙන් විතරයි. අපරාධයකින් යම් කිසි මිනිසෙකුට ‌හෝ කණ්ඩායමකට හාණියක් පැමිණෙනවා. ඒක ‌වෙනුවෙන් ඉටු කරන යුක්තියෙන් සිදු ‌වෙන්නේ අපරාධකරුට හාණියක් සිදු කරන එකයි. ක්‍රියාව ගැන විතරක් හිතුවොත්, අපරාධකරුත්, යුක්තිය ඉටු කරන්නාත් යන ‌‌දෙන්නාම කරන්නේ එකම ක්‍රියාව. අපරාධකරු හදිසි ‌කෝපය ‌හෝ ද්වේෂය ‌හෝ අපරාධ සිතුවිල්ල නිසා කරන ක්‍රියාවම, යුක්තිය ඉටු කරන්නා, යුක්තිය නම් සංකල්පය නිසා කරනවා.

ජේසුතුමා ‌රෝම ශිෂ්ඨාචාරයේ යකඩ සපත්තුවට පෑගුණු දිළිඳු මසුන් මරන්නන් ‌හෝ සංචාරක ‌එඬේරුන් අතරින් මතුවෙලා අපට උගන්වන ‌දේ වර්තමාන සමාජයේ සාරධර්මවලටත් වඩා මට්ටම් ගණනාවකින් උසස්...

එතුමා කියන්නේ අපරාධකාරයාට දඬුවම් කිරීම කියන්නේ අපේම සහෝදර මනුෂ්‍යයෙකුට එරෙහිව සංවිධානාත්මක සමාජයක් විසින් තවත් අපරාධයක් කිරීමක්. කළ යුත්තේ එය ‌නොව, අපරාධකාරයාට ඔහුගේ වරද ‌තේරුම් ‌ගෙන ඒ ගැන පසුතැවීමට සහ නිවැරදි මගට පිවිසීමට උපකාර කිරීම සහ ඉඩ හැරීමයි. එසේ හරි මඟට හැරෙන තැනැත්තා ආදරයෙන් පිළිගැනීමයි...

ලෙයට ‌ලෙය ඉල්ලා සිටීම තිරිසන් කමක්.

එකල පේදුරු උන් වහන්සේ වෙතට අවුත්, ”ස්වාමීනි, මට විරුද්ධ ව පව් කරන මාගේ සහෝදරයාට මා කී වාරයක් කමා විය යුතු ද? සත් වාරයක් දක්වා දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ”සත් වාරයක් නොව, සත් වාර සැත්තෑවකි.
”මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය: සිය දාසයන් සමඟ ගණන් හිලව් බැලීමට තීරණය කරගත් රජෙක් විය. ඔහු එසේ කරන්න පටන්ගත් කල රුපියල් දෙකෝටියක් පමණ ණය වූ කෙනෙක් ඔහු වෙත ගෙනෙන ලද්දේ ය. ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ස්වාමියා ඔහු ද ඔහුගේ බිරිඳ හා දරුවන් ද ඔහු සන්තක සියල්ල ද විකුණා ණය ගෙවන්න අණ කෙළේ ය. එවිට ඒ දාසයා දණින් වැටී, ‘මා ගැන ඉවසන්න, මුළු ණය ගෙවන්නෙමි’යි කී ය. ඒ දාසයාගේ ස්වාමියා ඔහු ගැන අනුකම්පාවෙන් පිරී, ඔහු ණයෙන් නිදහස් කොට කමාව දුන්නේ ය.
එහෙත්, ඒ දාසයා නික්ම ගොස්, තම සහකාර දාසයන්ගෙන් තමාට රුපියල් දෙසීයක් පමණ ණය ව සිටි කෙනෙකු දැක, ඔහුගේ බෙල්ල මිරිකා ඔහු අල්ලාගෙන, ‘මගේ ණය ගෙවාපන්නැ’යි කී ය. එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටී, ‘මා ගැන ඉවසන්න, ණය ගෙවන්නෙමි’යි කන්නලව් කරමින් කී ය. එහෙත්, ඔහු නොඉවසා ණය ගෙවන තෙක් ඔහු හිර අඩස්සි කෙළේ ය.
ඔහුගේ සහකාර දාසයෝ සිදුවූ දේ දැක, අතිශයින් ශෝක වී, අවුත් සිදුවූ සියල්ල තම ස්වාමියාට දැන්වූ හ. එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට, ‘දුෂ්ට දාසය, නුඹේ ඉල්ලීම නිසා මම ඒ ණය සියල්ල නුඹට කමා කෙළෙමි. මා නුඹට අනුකම්පා කළාක් මෙන් ම, නුඹත් නුඹේ සහකාර දාසයාට අනුකම්පා කළ යුතුව තිබුණා නොවේ දැ’යි ඇසී ය. ඔහුගේ ස්වාමියා කෝප ව ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තෙක් ඔහු වධකයන්ට භාර දුන්නේ ය. ඔබත් එකිනෙකා තමාගේ සහෝදරයාට මුළු සිතින් කමා නොකරන්නහු නම්, ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ද, එසේ ම ඔබටත් කමා නොකරනු ඇත.”
(ශු. මතෙව් 18:21-35)

අපි ‌කෙනෙකුට සමාව ‌දෙන්නේ නැත්නම්, අපේ වරදට සමාව බලාපොරොත්තු ‌වෙන්න අපට බෑ. වරද කරන අයට සමාව දීමට වාර ගණනක සීමාවක් නෑ. ඔහු වරද හදාගනීවි යන අපේක්ෂාවෙන් අසීමිතව සමාව දීම අවශ්‍යයි. ඒ වගේම වරද ‌තේරුම්ගෙන ආපිට හැරෙන තැනැත්තා ආදරයෙන් පිළිගැනීම වැදගත්.

බුදුන් ළඟ පැවිිදි වී රහත් භාවයට පත්වූ අංගුලිමාල ‌තෙරුන්ගේ කතාවෙනුුුුත් අපට ‌තේරුම්ගන්න පුළුවන් සත්‍යය ඒකයි.

නහී වේරේන වේරානී, සම්මන්තීධ කුදාචනං.
අවේරේනච සම්මන්තී, ඒස ධම්මෝ සනන්තනෝ....

(වෛරයෙන් වෛරය නොසංසිඳේ, අවෛරයෙන්ම වෛරය සංසිඳේ. මෙය සනාතන ධර්මතාවයකි.)

--------------------------------------------------
කලින් ලියූ නත්තල් කළාප

දන්න කියන ‌කෙනෙක්
ජේසු කුහක සදාචාරවාදයට එරෙහිව
මෝසස්ගේ ‌දෙවියන් සහ ‌ජේසුස්ගේ ‌දෙවියන්

බෛබලය සිංහලෙන් ඔන්ලයින් කියවන්න ‌මෙතනින්...

Friday, December 14, 2018

දන්න කියන කෙනෙක්...

රෝම අධිරාජ්‍යය පැවතුනු කාලයේ, සුළු ආසියාවේ ලයිසියා එ පම්ෆයිලියා ප්‍රදේශයේ පටාරා නමින් මධ්‍යධරණි මුහුදේ තොටුපොළ නගරයක් තිබුණා. එහි පදිංචි වෙලා හිටිය ධනවත් ග්‍රීක ක්‍රිස්තියානි පවුලක නිකොලස් නම් දරුවෙක් උන්නා. සමහර උදවිය කියන හැටියට මෙයාගෙ මාමා තමයි මෛරා නගරයේ බිෂොප් වරයා. එයා අනුව මේ දරුවත් ක්‍රිස්තියානි පූජකවරයෙක් බවට පත් වුණා.

දෙමාපියන් මියගියාට පස්සේ නිකොලස් පූජකවරයා තමන්ට උරුම වුණු ධනය දුප්පතුන් උදෙසා වැය කරන්න ගත්තා.

දවසක් එතුමාට දැනගන්න ලැබුණා, කලින් පොහොසත් වෙලා හිටියත් පසුකාලීනව අන්ත දිළින්දෙක් බවට පත් වුණු මනුස්සයෙක් ගැන. එයාට දූවරු තුන් දෙනෙක් හිටියා. ඒ අයට සුදුසු දායාදයක් දෙන්න බැරි වූ නිසා නිසි වයසෙදි විවාහ කර දෙන්න බැරිවෙන තත්ත්වයක් තිබුණා. ඒ කාලෙ හැටියට, විවාහ වෙන්න බැරි වුණු, ගැහැණු කෙනෙකුට කරන්න රස්සාවක් තිබුණෙත් නැති සමාජයක ඒ ගෑණු දරුවන්ගෙ ඉරණම වුනේ ගණිකාවන් බවට පත් වීම.

නිකොලස් තුමා මේ පවුලට පිහිට වෙන්න හිතා ගත්තා. නමුත් ප්‍රසිද්ධියේ කෙනෙකුට උදව් කිරීමට එයා අකමැති වුනා, එක්කෝ නිහතමානිකම නිසා, නැතිනම් ආධාර පිළිගැනීම නිසා ඒ පවුල සමාජයෙන් ගැරහීමට ලක්වෙයි කියලා. 

ඉතින් එතුමා දවසක් රෑ මේ පවුල ජීවත් වුණූ ගෙදර ඇරල තිබුණු ජනේලයකින් රන්කාසි පිරුණු පසුම්බියක් ගේ ඇතුලට විසි කළා. ඒ විදිහට ඊළඟ දවස් දෙකෙත් කළා. ඒ මුදල් පසුම්බි තුන අර දුප්පත් තාත්තට තමන්ගෙ දුවලා තුන් දෙනා සඳහා දෑවැද්ද විදිහට දෙන්න පුළුවන් වුනා.

9වන සියවසේ නායක පූජකවරයෙකු වූ මයිකල් පියතුමා කියන විදිහට, තුන්වෙනි දවසෙදි දුප්පත් තාත්තට තම පවුලට උපකාර කරන්නේ කවුද කියන එක දැනගන්න ලැබුණා. රෑ අවදියෙන් රැක ඉඳලා. එයා නිකොලස් පූජකතුමා ඉදිරියේ දණින් වැටිලා ස්තූති කළා. නිකොලස් තුමා "මේ ගැන කාටවත් කියන්න එපා" යැයි අර දුප්පතා පොරොන්දු කර ගත්තා.

නිකොලස් තුමා වරක් ශුද්ධවූ දේශය (ඊශ්‍රායෙලයට සහ පලස්තිනයට අයිති ප්‍රදේශය) ට ගියා. එතුමා ගමන් කළ නැව දරුණු කුණාටුවකට අසුවෙලා විනාශ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි, එතුමා සැඩ රළ ට තරවටු කරලා කුණාටුව සංසිඳෙව්වාලු. මේ සිද්ධිය නිසා එතුමා නාවුකයන්ගේ ශාන්තුවරයා ලෙස සැළකෙන්න පටන්ගත්තා.

එතුමා ශුද්ධවූ දේශයේ සිට ආපිට එනවිට, එතුමාගේ මාමා ගෙන් පසු මෛරාහි බිෂොප් තනතුරට පත් වුණු පුජකතුමා මියගිහින් තිබුණා. නගරයේ පූජකවරුන් තීරණය කර තිිබුණා නගරයේ පල්ලියට එදා උදේ මුලින්ම ඇතුල්වන පූජකවරයා බිෂොප් තනතුරට පත් කළ යුතු බව. නිකොලස්තුමා එදා යාඥා කිරීමට පල්ලියට යද්දි කවුරුවත් ඇවිත් තිබුණේ නෑ. ඒ අනුව එතුමා මෛරා නගරයේ බිෂොප් තනතුරට පත්වුණා.

රෝමානු අධිරාජ්‍යයෙක් වුණු ඩයොක්ලේෂියන් (284 - 305) යටතේ ක්‍රියාත්මක වුණු මහා වධ සංහාරය යටතේ මෙතුමාත් සිරගත වුණු බවත්, වධ හිංසාවලට ලක් වුණු බවත් සමහරු කියනවා. නමුත් පසුව මහා කොන්ස්ටැන්ටීන් (306 - 337) අධිරාජ්‍යයාගේ නියෝග මත නිදහස් කෙරුණු බවයි කියවෙන්නේ.

යුස්ටේතියස් නම් ආණ්ඩුකාරයාගේ නියෝගයක් අනුව එක් අවස්ථාවක නිවැරදිකාර මිනිසුන් තුන් දෙනෙක් මරණ දඬුවමට යටත් කෙරුණා. ඔවුන් මරණයට පත්කරන අවස්ථාවේ නිකොලස් තුමා එතැනට ඇවිත්, වධකයාගේ කඩුව ඉවතට තල්ලු කරලා, අර අහිංසකයන් තුන් දෙනා දම්වැල්වලින් මුදවලා ඔවුන් බේරා හැරියා. එම නඩුවේදී අල්ලස් ගෙන වැරදි තීන්දුව දුන් ජූරි සභිකයෙකුට එතුමා කෝපයෙන් දඬුවම් කළා.

https://en.wikipedia.org/wiki/Saint_Nicholas#/media/File:Ilja_Jefimowitsch_Repin_-
_Saint_Nicholas_of_Myra_saves_three_innocents_from_death.jpg
නායක පූජක මයිකල් තුමා කියන කතාවකට අනුව, ඇබ්ලේබියස් නම් කොන්සල් තැන අල්ලස් ගෙන කීර්තිමත් ජෙනරල්වරු තුන්දෙනෙකුට නිවැරැද්දේ මරණ දඩුවම නියම කළා. එහිදී නිකොලස් තුමා අධිරාජ කොන්ටැන්ටීන්ට සිහිනයෙන් පෙනී සිට, සත්‍යය පැහැදිලි කර දුන්නා. ඇබ්ලේබියස් හට සිහිනෙන් පෙනී නිරය ගැන කියා බය කළා. ඒ මඟින් එතුමා අර වැරදිකාර ජෙනරල්වරු තුන් දෙනා බේරා ගත්තා.

එක අවදියක, දරුණු දුර්භික්ෂයක් ඇතිවුණා. එක් මස්කඩකාරයෙක් දරුවන් තුන්දෙනෙකු රවටාගෙන තමන්ගෙ ගෙදරට කැඳවා, මරණයට පත් කළා. ඒ දරුවන් කොටස්වලට කපලා ලුණුවතුර දැමූ බැරල් එකකට පිරවූ ඒ දරුණු මිනිසා පසුව ඒ මස් හැම් විදිහට සකස් කර විකුණන්නට කල්පනා කළා.

නිකොලස් තුමා ඒ ප්‍රදේශයට ගියා සාගතයට පත් උදවියට උදව් කිරීමට. මේ මස්කඩකරුගේ නපුරු ක්‍රියාව දැනගත් එතුමා, කුරුසය සළකුණු කර ඒ දරුවන්හට නැවත පණ දුන්නා. (මේ කතාව පසුකාලිනව නිර්මාණය කළ එකක් ලෙස සැළකෙනවා)

මේ කතාව නිසා ළමයින්ගේ ශාන්තුවරයා ලෙස නිකොලස් තුමා සැළකෙන්නට පටන්ගත්තා.

වඩාම හාස්‍යාත්මක දේ තමයි; මේ කතාව නිරූපණය කෙරුණු චිත්‍ර වල තියෙනවා, සාන්තුවරයා, ළමයින් තුන්දෙනා සහ බැරල් එක නිරූපණය කරලා. ඒ අනුව මුල් කතාවට එතරම් අවධානයක් නොදක්වපු පසුකාලින මිනිසුන් පින්තූරයේ සඳහන් බැරල් එක නිසා නිකොලස්තුමා මත්පැන් පෙරන්නන්ගේ ශාන්තුවරයා විදිහටත් සළකන්න පටන් ගෙන තියෙනවා.

https://en.wikipedia.org/wiki/Saint_Nicholas#/media/
File:Saint_Nicolas_Heures_d%27Anne_de_Bretagne.jpg
311 - 312 වර්ෂ වල මෛරා ප්‍රදේශයට බලපෑ එක් දරුණු සාගතයේදී කොන්ස්තන්තිනෝපලයට අධිරාජ්‍යයා සඳහා ගෙන යමින් තිබූ තිරිඟු පිරවූ නැවක් මෛරා හි වරායේ නැංගුරම් දැම්මා. නිකොලස්තුමා ඒ නැවේ යාත්‍රිකයන්ගෙන් ඉල්ලුවා, ඒ තිරිඟු වලින් කොටසක් සාගතයෙන් පෙළෙන මිනිසුන් සඳහා දෙන්න කියා. තිරිඟු ප්‍රවේශමෙන් කිරා අධිරාජ්‍යයාට භාර දිමට සිදුවන නිසා යාත්‍රිකයින් මේ අදහසට කැමති වුණේ නෑ. නමුත් නිකොලස් තුමා ඔවුන්ට පොරොන්දු වුණා තිරිඟුවල බරට කිසිදු හාණියක් සිදුවන්නේ නැති බවට. ඒ අනුව නැවෙන් තිරිඟු කොටසක් ලබාගන්න හැකි වුණා.

නැව පසුව කොන්ස්තන්තිනෝපලයට ළඟා වූ විට පුදුමයකට වගේ නැවට මුලින්ම පටවපු තිරිඟු තොගයේ බර වෙනස් වෙලා තිබුණේ නෑ. ඒත් ඔවුන් මෛරාවල දී අවුරුදු දෙකක් පරිභෝජනය කර, පසුව වගා කරගන්නත් ප්‍රමාණවත් වන තරමේ තිරිඟු තොගයක් නැවෙන් ගොඩබාලා තිබුණා.

නිකොලස්තුමා  වසර 73ක් ජීවත් වී 343 අවුරුද්දේ දෙසැම්බර් 6 වනදා මෛරාවලදී මියගිය බව විශ්වාස කරනවා. එතුමාට නම් කෙරුණු ප්‍රධාන දේවස්ථානය ඉතාලියේ බාරි හි පිහිටුවා ඇති අතර, එතුමා මුලින්ම භූමදාන කරන ලද මෛරාහි දේවස්ථානයෙන් අරගත් ප්‍රධාන අස්ථි කොටස් බාරි දේවස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

රෝමානු කතෝලික පල්ලිය විසින් ශාන්තුවරයින් නම්කිරීම පටන්ගන්නට පෙර සිටන්ම මෙතුමා ශාන්තුවරයෙක් ලෙස සැළකුනා.

ලංකාවේදී ශාන්ත නිකුලා තුමා ලෙස හැදින්වෙන මෙතුමා වෙනුවෙන් නම් කෙරුණු දේවස්ථානයක් බෝපිටියේ තිබෙනවා. දහස් ගණනින් කතෝලික මෙන්ම වෙනත් ආගමිකයන්ද දරුඵල සඳහා, දරුවන්ගේ යහ පැවැත්ම සඳහා භාර වීමට සහ පූජාවන් පැවැත්වීමට මෙතැනට ඇදී එනවා.

මෙතුමාගේ ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණ වුණු දරුවන් වෙනුවෙන් කටයුතු කිරීම, ත්‍යාගිවන්තකම සහ පරාර්ථකාමීබව නත්තල් සීයා හෙවත් සැන්ටක්ලෝස් සංකල්පය බිහිකිරිමට මුල්වුණා.

https://en.wikipedia.org/wiki/Saint_Nicholas#
/media/File:Jaroslav_%C4%8Cerm%C3%A1k_
(1831_-_1878)_-_Sv._Mikul%C3%A1%C5%A1.jpg

මූලාශ්‍ර - 
https://en.wikipedia.org/wiki/Saint_Nicholas

Saturday, December 23, 2017

ජේසු කුහක සදාචාරවාදයට එරෙහිව...

http://www.bevscountrycottage.com/images/loveoneanother.jpg
මම ලියන දෙවෙනි නත්තල් කළාපයෙන්, ජේසු තමන්ගෙ අනුගාමිකයන්ගෙන් අපේක්ෂා කළ චර්යාව මොන විදිහද කියල කතා කිරිම සුුදුසුයි කියල හිතුණ. බෛබලයෙ අලුත් ගිවිසුමේ පළවෙනි පොත් හතරෙන් විස්තර කෙරෙන එතුමාගෙ ජීවිත කතාවෙන් එතුමා දේශනා කරපු සාරය යම් තරමකට දැකගන්න පුළුවන්. මම එයින් යම් කොටසක් විස්තර කරන්න හිතුව.

ජේසුතුමා, සමාජයෙ යහපත් යැයි සම්මත වුනු දේවල තිබුණු කුහක පැත්ත වඩා සියුම් විදිහට දැකලා, ඒ දේවල් වඩා හොඳ පැත්තට හරවන්න දේශනා කළ බවත්, ඒ වගෙම ආදර්ශයෙන් පෙන්නපු බවත් පෙනෙන්න තියෙනව.

මම මෙතනදි උපුටා දක්වන්නෙ අලුත් ගිවිසුමේ පළවෙනි පොත වෙන මතෙව් ගෙ සුභාරංචියෙන්. බෛබලයෙ තියෙන විදිහට මතෙව් කියන්නෙ ජේසු තුමාගෙ ගෝලයන් දොළහෙන් එක් අයෙක්. ඒ නිසා මතෙව්ගෙ පොතේ තියෙන විස්තර වඩාත් ඇත්තට සමීපයි කියල සළකන්න පුළුවන්.

ජේසු තුමා ආශ්‍රය කරන්න වඩාත් කැමති වුනේ සමාජයේ නරක යැයි සම්මත උදවිය. ඇයි ඒ?

9 ජේසුස් වහන්සේ එතැනින් යද්දී රේගු පොළේ හුන් මතෙව් නම් මිනිසෙකු දැක, ”මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය.
10 තවද, ජේසුස් වහන්සේ ඔහුගේ නිවෙසහි වැඩහුන් කල, බොහෝ අයකැමියෝ ද පව්කාරයෝ ද අවුත් උන් වහන්සේ සහ ශ්‍රාවකයන් සමඟ හිඳගත්හ. 11 පරිසිවරු ඒ දැක, ”ඔබේ ඇදුරු තුමා අයකැමියන් ද පව්කාරයන් ද සමඟ කෑම කන්නේ මන්දැ”යි උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් ඇසූ හ. 12 උන් වහන්සේ ඒ අසා ඔවුන්ට කතා කොට, ”රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත. 13 ‘මම යාග පූජාවට නොව, දයාවට කැමැත්තෙමි’යි යන කීමේ අර්ථය ඔබ ගොස් තේරුම්ගන්න. මා ආයේ දමිටුන් නොව පවිටුන් කැඳවීමට ය”යි වදාළ සේක.
(මතෙව් 9: 9 - 13 / මාක් 2:13-17 / ලූක් 5:27-32)

පුතුන් දෙදෙනා පිළිබඳ උපමාව
28 තවදුරටත් ජේසුස් වහන්සේ කතා කරමින්, ”ඔබ මේ ගැන කුමක් සිතන්නහු ද? එක් මිනිසෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියහ; ඔහු වැඩිමලා ළඟට ගොස්, ‘දරුවා යන්න; අද මිදි වත්තේ වැඩ කරන්නැ’යි කී ය. 29 ඔහු උත්තර දෙමින්, ‘නොයමි’යි කී ය. එහෙත්, පසුව පසුතැවිලි වී වැඩට ගියේ ය. 30 පියා දෙවැන්නා ළඟට ගොස් ඔහුටත් මුලින් කී දේ ම කී ය. ඔහු උත්තර දෙමින්, ‘ස්වාමීනි, යමි’යි කී ය, එහෙත් නොගියේ ය. 31 ඒ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත ඉටු කෙළේ කවරෙක් දැ”යි ඇසූ සේක. ”වැඩිමලා”යි ඔව්හු කී හ. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”සැබැවින් ම මම ඔබට කියමි, අයකැමියෝත්, වෙසඟනෝත් ඔබට පළමුවෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පැමිණෙති. 32 මන්ද, ජුවාම් ධර්මිෂ්ඨ මාර්ගය පෙන්වන පිණිස ඔබ වෙත ආවේ ය. ඔබ ඔහු විශ්වාස කෙළේ නැත. එහෙත්, අයකැමියෝත් වෙසඟනෝත් ඔහු විශ්වාස කළහ. ඔබ එය දැක ඉන්පසුව වත් ඔහු කෙරෙහි විශ්වාස කරන පිණිස පසුතැවී සිත් හරවා නොගත්තහු ය”යි වදාළ සේක.
(මතෙව් 21: 28-32)

ලෝකය වඩා යහපත් වෙන්නෙ, සමාජයට පේන්න යහපත් විදිහට ඉන්න මිනිස්සුන්ගෙන් නෙවෙයි. තමන්ගෙ වැරදි හැසිරීම් තේරුම් අරගෙන යහපත් අතට වෙනස් වෙන්න කැමැත්තක් ඇති කරගන්න මිනිස්සුන්ගෙන්. ජේසුතුමා ගොඩක්ම වැඩ කළේ අන්න ඒ පාර්ශවය වෙනුවෙන් කියල පේනව.

ජේසු තුමාගෙ ගෝළයන් අත් සෝදන් නැතුව ආහාර ගන්නව කියල, සමාජයෙ හොඳ යැයි සම්මත පාර්ශවය (පරිසි වරු) ඒක හෙලා දකින්න පටන් ගත්ත. ඒ අයට දුන්න උත්තරේ:

10 උන් වහන්සේ සමූහයා කැඳවා ඔවුන්ට කතා කොට, ”ඔබ සවන් දී හොඳින් තේරුම්ගන්න. 11 මිනිසා කෙලෙසනු ලැබීමට හේතු වන්නේ කටට ඇතුළු වන දේ නොව, කටින් නික්මෙන දේ ය”යි වදාළ සේක. 12 එවිට ශ්‍රාවකයෝ අවුත්, ”ඔබගේ ඒ කීම අසා, පරිසිවරුන් තදින් අමනාප වූ බව ඔබ වහන්සේ දන්නා සේක් දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ. 13 උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”මාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ විසින් රෝපණය නොකරන ලද සියලු පැළෑටි උදුරා දමනු ලබන්නේ ය. 14 පරිසිවරුන්ගෙන් අපට කමක් නැත. ඔව්හු අන්ධයන්ගේ අන්ධ මාර්ගෝපදේශකයෝ ය. අන්ධයෙකු තව අන්ධයෙකුට මඟ පෙන්වන්නට ගියොත්, දෙදෙන ම වළක වැටෙනු ඇතැ”යි වදාළ සේක. 15 එවිට පේදුරු කතා කොට, ”මේ උපමාව අපට පහදා දුන මැනවැ”යි උන් වහන්සේට කී ය. 16 උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: ”ඔබට තවමත් තේරෙන්නේ නැද් ද? 17 කටට ඇතුළු වන සියල්ල උදරයට බැස, වැසිකිළියට යන බව ඔබට වැටහෙන්නේ නැද් ද? 18 එහෙත්, කටින් පිටවන දේ නික්මෙන්නේ සිතින් ය; මිනිසා කෙලෙසනු ලබන්නේ එයින් ය. 19 නපුරු චේතනා, මිනීමැරුම්, කාමරාග, සල්ලාලකම්, සොරකම්, බොරු සාක්ෂි සහ අපහාස නික්මෙන්නේ හදවතින් ය. 20 මිනිසා කෙලෙසනු ලබන්නේ මෙකී දේවලින්. එහෙත්, අත් නොසෝදා කෑමෙන් මිනිසා කෙලෙසනු නොලබන්නේ ය.”
(මතෙව් 15:10-20 / මාක් 7:14-23)

හැසිරීමෙන් සහ යහපත් යැයි සම්මත සිරිත් විරිත් වලින් මිනිහෙක් හරිද වැරදිද කියල විනිශ්චය කරනවට වඩා, එයා කියන කරන දේවල තියෙන අරමුණ සහ චේතනාව අනුව තේරුම් ගැනීම වැදගත්. ඒ වගේම, මිනිසෙක් කිළිටි වෙන්නෙ සිතෙන් සහ හදවතින් නික්මෙන දේ වලින්. එයා බාහිර සමාජයට පේන්න කරන කියන දේවලින් නෙවෙයි. 

ආගමක නාමයෙන් ව්‍යාපාර කරන උදවියට ජේසු තුමා සළකපු විදිහ මීළඟට... 

12 ජේසුස් වහන්සේ දේව මාලිගාවට ඇතුළු ව, එහි වෙළහෙළඳාම් කරමින් සිටි සියල්ලන් පිටතට පලවා හැර, මුදල් මාරු කරන්නන්ගේ මේස ද පරෙවි වෙළෙඳුන්ගේ ආසන ද පෙරළා දමා, 13 ” ‘මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහය කැ යි කියනු ලබන්නේ ය’යි ලියා ඇත. එහෙත්, ඔබ එය සොරුන්ගේ ගුහාවක් කරන්නහු ය”යි ඔවුන්ට වදාළ සේක.
(මතෙව් 21: 12-13 / මාක් 11:15-17 / ලූක් 19:45-48 / ජොහන් 2:13-22)

මෙයිට අදාළ කතාවක් අම්බලන්ගොඩයා කියල තිබුණ. ඒ දැකල මේ කොටස ආපහු මතක් උනා. දකින දකින බහුතරයක් සිද්ධස්ථාන වල, ආගමික සංකල්ප මුදල් හම්බ කිරීමේ මාර්ග බවට පත් කරගෙන තියෙන බව පේනව. ජොහාන් ගෙ සුභාරංචියෙ තියෙන විස්තරයෙ හැටියට ජේසු තුමා මෙතනදි ලණු වලින් තැනූ කසයක් භාවිත කළ බව කියවෙනව. ඒ කතාවෙ විශ්වසනීයත්වය ගැන මට සහතික වෙන්න බෑ. ඒත් තමන් අනුගමනය කරන ශාස්තෘවරයාගේ දර්ශනයට ඇති ලැදියාවකින් සිද්ධස්ථානයකට යන කෙනෙකුට, එහෙම කසයක් අරගෙන තලන්න හිතෙන් නැත්නම් තමයි පුදුම.  


මේ කොටස බෝනස්...

මම ගොඩක්ම දන්න දෙයක් තමයි (විශ්වාස කරන නෙවෙයි - අත්දැකීමෙන්ම දන්න) අපි අපේ යටිහිතට තේරුම් කරනව නම් යම් දෙයක් තමන්ට උවමනයි කියල, ඒ දේ ඉෂ්ට වෙනව කියන එක. මට ඕනෙනම් කාර් එකක් ගන්න, මම ඒ ගැන උදේ හවා හිතනව. කාර් එකේ නැගල ධාවනය කරන හැටි ගැන දවල් හීන දකිනව. එහෙම ටික දවසක් කරනකොට, මොකක් හරි පොටක් පෑදෙනව කාර් එකක් ගන්න. මම හිතෙන් මවාගත්ත විදිහෙම එකක්...

ඒ සංකල්පය ගැන ජේසුතුමා කියල තියෙන දේ මීළඟට. ඒක වඩාත්ම විස්තර වෙන්නෙ මාක් ගෙ සුභාරංචියෙ...

12 පසු දා ඔවුන් බෙතානියෙන් නික්ම ගිය කල උන් වහන්සේට බඩගිනි විය. 13 උන් වහන්සේ කොළ ඇති අත්තික්කා ගසක් දුර දී දැක, ඉන් යමක් ලැබේ දෝ යි සිතමින් එහි වැඩිය සේක. ගස ළඟට පැමිණි කල, කොළ මිස අන් කිසිවක් සම්බ නො වී ය. ඒ අත්තික්කා වාරය නුවූ බැවිනි. 14 උන් වහන්සේ, ”මෙවක් පටන් සදහට ම කිසිවෙක් කිසි කලෙක තාගෙන් පල අනුභව නොකරත්වා”යි ගසට වදාළ සේක. එය උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඇසිණි.
(මාක් 11:12-14 / මතෙව් 21:18-19)

20 ඔව්හු පසු දා උදේ යද්දී, අත්තික්කා ගස; මුල පටන් වියළී තිබෙනු දුටුවෝ ය. 21 ඒ සිද්ධිය මතක් වී, පේදුරු කතා කරමින්, ”බලන්න ගුරුදේවයෙනි, ඔබ සාප කළ අත්තික්කා ගස වියළී තිබේ ය”යි කී ය. 22 ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: ”දෙවියන් වහන්සේ අදහාගන්න. 23 සැබැවින් ම මම ඔබට කියමි, කවරෙක් නමුත් මේ කන්දට, ‘ඉදිරීගොස්, මුහුදෙහි පතිත වේ වා’යි කියා, තමා කියන ඒ දේ සිදු වන්නේ ම යයි නිසැක සිතින් අදහන්නේ නම් එය සිදු වන්නේ ම ය. 24 එබැවින් මම ඔබට කියමි, ඔබ යාච්ඤාවෙන් අයැදින කවර දෙයක් වුව ද, එය ඔබට ලැබුණේ යයි අදහන්න. එවිට එය ඔබට ලැබෙන්නේ ම ය.
(මාක් 11:20-24 / මතෙව් 21:20-22)

පහුගිය නත්තල් කළාපය - මෝසෙස්ගේ දෙවියන් සහ ජේසුස්ගේ දෙවියන්

Wednesday, December 30, 2015

මෝසෙස් ගේ දෙවියන් සහ ජේසුස් ගේ දෙවියන්...

ඊජිප්තුවේ වහලුන් වී සිටි ගෝත්‍ර 12 කට අයත් ඊශ්‍රායෙල් ජාතිය පාරාවෝ වරුන්ගේ පාලනයෙන් මුදවාගෙන, ඊශ්‍රායල් භූමිය වෙත කැටුව ආ මෝසෙස්, ඒ එන අතර මඟ සීනායි කඳු ප්‍රදේශයේදී, සිය ජනතාවට ජීවත් වීමේදී පිළීපැදිය යුතු ව්‍යවස්ථාවලියක් ලබා දුන්නේය. එය බෛබලයේ නික්මයාම පොතේ 20 පරිච්ඡේදයේ සඳහන් වන්නේ මෙසේය.

THE TEN COMMANDMENTS චිත්‍රපටයේ 
මෝසස් ගේ චරිතය නිරූපණය කරන චාල්ටන් හෙස්ටන්
http://i.dailymail.co.uk/i/pix/2008/03_01/
mosesHeston2703_468x611.jpg

දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළ සේක: 

''වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය. "මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.''

''නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. එහෙත්, මට ප්‍රේම කරමින් මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.

''නුඹ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට මම දඬුවම් කරමි.''

''සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න. දවස් හයක් තුළ නුඹ වෙහෙස වී නුඹේ සියලු වැඩ කළ යුතු ය. එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතු වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ සතෙකු වත්, නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකු වත් කිසි වැඩක් නොකළ යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද සාදා, සත් වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළ සේක.

''නුඹේ පියාට ද, මවට ද ගෞරව කරව. එවිට නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කාලයක් ජීවත් වන්නෙහි ය.

''මිනී නොමරව.

''කාමමිථ්‍යාචාරය නොකරව.

''සොරකම් නොකරව.

''නුඹේ අසල්වැසියාට විරුද්ධ ව බොරු සාක්ෂි නොකියව.

''නුඹේ අසල්වැසියාගේ ගෘහයට නුඹ ඇළුම් නොකරව. තවද, නුඹේ අසල්වැසියාගේ භාර්යාවට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට හෝ කොටළුවාට හෝ නුඹේ අසල්වැසියා සතු වෙනත් කිසිවකට හෝ ඇළුම් නොකරව.''

(නික්මයාම - 20 පරිච්ඡේදය - 01 සිට 17 දක්වා වගන්ති)

දසපණතින් පසුව, නික්මයාම - 21 සිට 23 දක්වා පරිච්ඡේද වලින්, සමාජ හැසිරීම් වල විවිධ විවිධ අවස්ථාවලදී යුක්තිය ඉටු කළ යුතු ආකාර වෙන් වෙන් වශයෙන් විස්තර කෙරේ. එසේ විස්තර කරමින් එක් තැනක හමුරාබි නීතියේදී අපට හමුවන වගන්තියක් ද නැවත කියා තිබේ.

"එහෙත්, අනතුරක් වුවහොත් පණට පණ ද, ඇසට ඇස ද, දතට දත ද, අතට අත ද, පයට පය ද, දැවීමට දැවීම ද, තුවාළයට තුවාළය ද, පහරට පහර ද, දිය යුතුය."

අදින් වසර තුන්දහසකට පමණ පෙර සම්පාදනය කරන ලද මේ නියාමයන්, කාන්තාර ප්‍රදේශයක වාසය කළ ප්‍රාථමික ගෝත්‍ර සමාජයක සදාචාරාත්මක මට්ටමින් මැනීම සුදුසු ය. වර්තමාන සදාචාරය සමඟ මෙම නීති සැසඳීම ප්‍රායෝගික නොවේ.

ඉන් වසර දහසකට පමණ පසු බිහිවූ ජේසු තුමන් සිය අනුගාමිකයන් අමතා දේශනා කළ ධර්මය මෙයට වඩා මටසිළුටු බවින් හා මානව දයාවෙන් පිරුණකි.

එතුමා කන්ද උඩ දේශනාවේ මෙසේ කියයි:

ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැඟුණු සේක. උන් වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ. 

එවිට උන් වහන්සේ ඔවුන්ට උගන්වමින් මෙසේ වදාළ සේක:

බැගෑ සිතින් දෙවි සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය;
ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.

ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු සැනසීම ලබන්නෝ ය.

නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු දේශය උරුම කර ගන්නෝ ය.

යුක්තියට සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු තෘප්තිමත් වන්නෝ ය;

දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු දයාව ලබන්නෝ ය.

නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝ ය.

සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝ ය.

යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය;
ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය;

මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට, නානා විධ අසත්‍ය චෝදනා නඟන කල ඔබ භාග්‍යවන්තයෝ ය;

ප්‍රීති ප්‍රමෝද වන්න;
මන්ද, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය.
ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ.

ඔබ පොළොවේ ලුණු ය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නට ද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නට ද මිස, අන් කිසිවකට සුදුසු නැත.

ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකි ය. 

මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති; එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. 

එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.

පැරණි ව්‍යවස්ථාවලිය පිළිබඳ ඉගැන්වීම් 

මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ, ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමට ය. 

සැබැවින් ම මම ඔබට කියමි, අහස හා පොළොව පහ ව ගියත්, සියල්ල පරිපූර්ණ වන තුරු, ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් වත් පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය. 

එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි කියනු ලබන්නේ ය. එහෙත්, ඒවා පිළිපදින, ඒවා උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් ය යි කියනු ලබන්නේ ය. 

මන්ද, ඔබ ධර්මිෂ්ඨකමින් විනයධරයන් ද පරිසිවරුන් ද ඉක්මවා නොගියොත්, ඔබ කිසි සේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නහු ය යි ඔබට කියමි.

(මෙතැන් සිට, මෝසෙස් ගේ ව්‍යවස්ථා එකින් එක ජේසුතුමන් විසින් විග්‍රහ කරනු ලැබේ.)

කෝපය ගැන

” ‘මිනී නොමරන්න; මිනී මරන කවරෙකු වුව ද විනිශ්චයට යටත් වනු ඇතැයි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, තමාගේ සහෝදරයා සමඟ කෝප වන කවරෙකු වුව ද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට ‘මෝඩයාකියා ගරහන කවරෙකු වුව ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත; ‘ජඩයාකියා ගරහන කවරෙකු වුව ද ඔහු නිරා ගින්නට ගොදුරු වනු ඇත. 

එබැවින් ඔබ පූජාසනය වෙත පඬුරක් ගෙනෙන කල, ඔබේ සහෝදරයා ඔබට විරුද්ධ ව යම් කිසි අමනාපයක් ඇති ව සිටින බව එහි දී සිහි වී නම්

පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට සහෝදරයා හා සමගි වී, පසුව අවුත් පඬුර පුදන්න.

ඔබේ විරුද්ධකාරයා සමඟ උසාවියට යන කල, මඟ දී ම ඉක්මනින් ඔහු හා සමගි වන්න; නැත්නම් විරුද්ධකාරයා ඔබ නඩුකාරයාට භාර දෙන්නේ ය; නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේ ය; ඔබ ද හිරගෙයි දමනු ලබන්නෙහි ය. 

සැබැවින් ම මම ඔබට කියමි, අන්තිම සතයට ම දඩය ගෙවන තෙක් ඔබ කිසි සේත් එයින් පිට වී නොයන්නෙහි ය.

කාමමිථ්‍යාචාරය ගැන

” ‘ කාමමිථ්‍යාචාරය නොකරන්නැයි කී බව ඔබ අසා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, යමෙකු ස්ත්‍රියක දෙස කාමරාගයෙන් බැලූ කෙණෙහි ම ඔහු ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කර ඇත. 

වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත ලන්න; මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.

වරදට වැටීමට හේතුව ඔබේ දකුණත නම්, එය කපා දමන්න; මුළු ශරීරය නිරාගත වීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.

දික්කසාදය ගැන

තවද, ‘තමාගේ භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු යයි කියා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, වේශ්‍යාකම හැර අන් කරුණක් නිසා සිය භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඔහු ඇය කාමමිථ්‍යාචාරයට පමුණු වන්නේ ය. එසේ දික්කසාද කරනු ලැබූ ඇය විවාහ කරගන්න යමෙක් වේ ද, ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය.

දිවුරුම් ගැන

” ‘ දිවුරුම් කඩ නොකරන්න, සමිඳාණන් වහන්සේට නුඹ දුන් දිවුරුම ඉටු කරන්නැයි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, කොහෙත් ම නොදිවුරන්න. ස්වර්ගය දෙවියන් වහන්සේගේ සිංහාසනය බැවින් ඒ නමින් වත්

පොළොව දෙවියන් වහන්සේගේ පා පුටුව බැවින් ඒ නමින් වත්, ජෙරුසලම මහ රජුගේ රාජධානිය බැවින් ඒ නමින් වත් නොදිවුරන්න. 

එක හිස කෙසක් සුදු කරගන්න හෝ කළු කරගන්න හෝ ඔබට නුපුළුවන් බැවින් හිස නමින් වත් නොදිවුරන්න. 

ඔබේ අදහස එසේ යකීම නම්, ‘එසේ යකියා ද, ‘නැතකීම නම්, ‘නැතකියා ද වේ වා. ඊට වැඩිමනත් යමක් ඇද්ද, එය එන්නේ නපුරාගෙන් ය.

පළිගැනීම ගැන

” ‘ඇසට ඇස ය, දතට දත යයන කීම ඔබ අසා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න. 

යමෙකු නඩු කියා ඔබේ කමිසය ගන්න කැමැති වුවොත්, ඔහුට ඔබේ කබායත් ගන්න අවසර දෙන්න.

හේවා නිලධාරියෙකු තම බඩු පොදිය එක කිලෝමීටරයක් දුර උසුලාගෙන යන්න ඔබට බල කළොත්, ඔහු සමඟ එය කිලෝමීටර් දෙකක් උසුලාගෙන යන්න. 

ඔබෙන් ඉල්ලන්නාට දෙන්න; ඔබෙන් ණයට ගන්න කැමැති අයට පිටු නොපාන්න.

සතුරන් කෙරෙහි මෙත් සිත් වැඩීම

” ‘නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න, සතුරාට වෛර කරන්නැයි කී බව ඔබ අසා ඇත. 

එහෙත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න. 

මෙසේ ඔබ ස්වර්ගයෙහි වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නහු ය. කුමක් නිසා ද, උන් වහන්සේ දුදනන් හට හා සුදනන් හට තම හිරු එළිය උදා කරවන සේක; දමිටුන් හට හා අදමිටුන් හට වැසි වස්වන සේක. 

ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, එයින් ඇති විපාකය කුමක් ද? අයකැමියෝ පවා එසේ නොකරත් ද

ඔබේ සහෝදරයන්ට පමණක් ඔබ ආචාර කරන්නහු නම්, එහි ඇති විශේෂය කුමක් ද? විජාතිකයෝ පවා එසේ නොකරත් ද

එබැවින් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ ව සිටින්නාක් මෙන් ඔබ ද සර්ව සම්පූර්ණ වන්න.

දන් දීම ගැන

මිනිසුන්ට පෙනෙන පිණිස ලෝකයා ඉදිරියෙහි ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්න බලාගන්න. එසේ කළහොත්, ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේ ය.

එබැවින් ඔබ දන් දෙන කල, මිනිසුන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස ධර්මශාලාවල දීත්, වීථිවල දීත් කෛරාටිකයන් කරන්නාක් මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑ නොපිඹින්න. සැබැවින් ම, මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය ඔවුන්ට දැනට ම ලැබී ඇත. 

එහෙත්, ඔබ දන් දෙන කල, දකුණත කරන දෙය වමතට නොදැනේ වා. 

ඒ දන් දීම රහසක් ව තිබිය යුතු ය. එවිට රහසින් එය දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.

යාච්ඤාව ගැන

ඔබ යාච්ඤා කරන කල කෛරාටිකයන් කරන්නාක් මෙන් නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු ධර්මශාලාවලත්, මංසන්ධිවලත් සිටගෙන යාච්ඤා කිරීමට ප්‍රිය වෙති. සැබැවින් ම මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය දැනට ම ඔවුන්ට ලැබී ඇත. 

එහෙත්, ඔබ යාච්ඤා කරන කල ඔබේ ම ඇතුළු කාමරයට වැද, දොර වසාගෙන, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.

තවද, යාච්ඤා කිරීමේ දී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා, දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැ යි ඔව්හු සිතති. 

ඔවුන් හා සමාන නොවන්න. ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේ දැ යි පියාණන් වහන්සේ දන්නා සේක. 
එහෙයින් මෙසේ යාච්ඤා කරන්න:

ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා,
ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා, ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේ වා, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේ ම වේ වා.

අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව.
අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනව.
අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප මිදුව මැනව.

ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක. එහෙත්, ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරදට කමා නොකරන්නහු නම්, පියාණන් වහන්සේ ඔබේ වරදටත් කමා නොකරන සේක.

උපවාසය ගැන

ඔබ උපවාස කරන කල කෛරාටිකයන් මෙන් දොම්නස් මුහුණු ඇති ව නොසිටින්න. තමන් උපවාස කරන බව මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු මුහුණු විරූප කරගනිති. සැබැවින් ම මම ඔබට කියමි; ඔවුන්ගේ පල විපාක දැනට ම ඔවුන්ට ලැබී ඇත. 

එහෙත්, ඔබ උපවාස කරන කල, හිස තෙල් ගල්වා, මුහුණ සෝදාගන්න. 

මෙසේ, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට මිස, ඔබ උපවාස කරන බව මිනිසුන්ට නොපෙනෙයි. එවිට රහසින් කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.

ස්වර්ග සම්පත් (තෘෂ්ණාව හා ලෞකිකත්වය ගැන)

මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මලකඩ ද කාවෝ ද ඒවා කාදමති. සොරු ද උමං කැණ ඒවා සොරාගනිති. 

එහෙත්, ස්වර්ගයෙහි ඔබට වස්තු රැස්කරගන්න. එහි දී මලකඩ වත් කාවෝ වත් ඒවා නාස්ති නොකරති. සොරු ද උමං කැණ ඒවා සොරා නොගනිති. 

ඔබේ වස්තුව කොතැන ද ඔබේ සිතත් එතැන ය.

නිවැරදි දැක්ම 

සිරුරට පහන ඇස ය. එහෙයින් ඔබේ ඇස නීරෝගි නම්, ඔබේ මුළු සිරුර ආලෝකවත් වේ. ඔබේ ඇස රෝගී නම්, ඔබේ මුළු සිරුර ම අඳුරු වේ. ඔබ තුළ ඇති ආලෝකය අඳුරු වී ගියහොත්, එය කෙතරම් ඝන අන්ධකාරයක් ද?

දෙවිඳුන් ද? වස්තුව ද?

ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නුපුළුවන. මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේ ය. නැතහොත්, එක් කෙනෙකුට ළැදි වී, අනික් අය හෙළා දක්නේ ය. දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න ඔබට නොහැකි ය.

කරදර වීම ගැන

එහෙයින් මම ඔබට කියමි: කුමක් කමු ද, කුමක් බොමු ද කියා ජීවිතය ගැන වත්, කුමක් අඳිමු ද කියා ශරීරය ගැන වත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතය ද, ඇඳුමට වඩා ශරීරය ද අගනේ නොවේ ද

අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේ වත්, කපන්නේ වත්, අටුවල රැස්කරන්නේ වත් නැත. එහෙත්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ ඔවුන්ට වඩා බොහෝ වටිනවා නොවේ ද

කරදර වීම‍ෙන් තමාගේ ආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද?

ඔබ ඇඳුම් ගැන කරදර වන්නේ කුමට ද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේ වත්, නූල් කටින්නේ වත් නැත. 

එහෙත්, සියලු රාජ තේජසින් විරාජ මාන වූ සලමොන් වුව ද, මේ මල්වලින් එකක් සේ සැරසී නොසිටියේ යයි ඔබට කියමි. 

ඇදහිල්ල හීන තැනැත්තෙනි! අද තිබී හෙට උදුනේ දැවීයන කෙතේ තණ කොළ දෙවියන් වහන්සේ එසේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් උන් වහන්සේ ඔබ නොසරසන සේක් ද

එහෙයින් කුමක් කමු ද, කුමක් බොමු ද, කුමක් අඳිමු ද කියමින් කරදර නොවන්න. 

විජාතීන් සෑම විට ම සොයන්නේත් මේවා ම ය; මේවා ඔබට ඕනෑ බව ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නා සේක. 

එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ. 

එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තව කරදර එකතු නොකරන්න.

අනුන් විනිශ්චය කිරීම

විනිශ්චය නොකරන්න; එවිට ඔබ ද විනිශ්චය කරනු නොලබන්නෙහි ය. 

ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ. 

ඔබේ ම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන් ද

නොහොත් ඔබේ ම ඇසෙහි ලී කොටය තිබිය දී, සහෝදරයාට කතා කොට, ‘ඔබේ ඇසේ තිබෙන ලී කුඩ පහ කරන්න ඉඩ දෙන්නැයි ඔහුට කියන්නේ කොහොම ද

කෛරාටිකයනි, පළමු කොට ඔබේ ඇසෙන් ලී කොටය පහ කරන්න; එවිට සහෝදරයාගේ ඇසෙන් ලී කුඩ පහ කරන්න ඔබට හොඳින් පෙනෙනු ඇත.

පූජනීය දේ බල්ලන්ට නොදෙන්න. ඔබේ මුතු ඇට ඌරන් ඉදිරියෙහි නොදමන්න. එසේ කළොත්, උන් ඒවා පයින් පාගාදමා හැරී අවුත් ඔබ කැබලි කොට ඉරාදමනු ඇත.

අධිෂ්ඨානය සහ මනසේ ශක්තිය ගැන

ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ. 

මන්ද, ඉල්ලන්නාට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට දොර අරිනු ලැබේ. 

ඔබ අතරෙන් කවර මනුෂ්‍යයෙක් හෝ තමාගේ පුත්‍රයා පාන් ගෙඩියක් ඉල්ලුවොත් ඔහුට ගල් ගෙඩියක් දෙයි ද

මාළුවෙකු ඉල්ලුවොත්, සර්පයෙකු දෙයි ද

මෙසේ අයහපත් ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නහු නම්, ස්වර්ගයෙහි සිටින, ඔබේ පියාණන් වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ ඊටත් වැඩියෙන් නොදෙන සේක් ද?”

ස්වර්ණමය අණ

අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැති ද, ඔබත් ඒ දේ ම ඔවුන්ටත් කරන්න. ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ හරය එය වේ.

පටු දොරටුව

පටු දොරටුවෙන් ඇතුළු වන්න. විනාශයට යන දොරටුව විශාල ය, පාරත් පළල් ය. එයින් ඇතුළු වන්නෝ ද බොහෝ ය. 

එහෙත්, ජීවනයට යන දොරටුව පටු ය; පාර ද අවහිර ය; එය සොයාගන්නෝ ස්වල්ප දෙනෙක් පමණකි.

බොරු ඇදුරන් ගැන

බොරු දිවැසිවරයන්ගෙන් පරෙස්සම් වන්න. පිටතින් බැටළු වෙස් ගෙන පැමිණියත්, ඔව්හු ඇතුළතින් රෞද්‍ර වෘකයෝ ය. 

ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් හඳුනාගත හැකි ය. මනුෂ්‍යයෝ කටු ගස්වලින් මිදි වත්, ගොකටුවලින් අත්තික්කා වත් නෙළා ගනිත් ද

හොඳ ගස හොඳ පල දරයි; නරක ගස නරක පල දරයි. 

හොඳ ගසේ නරක පල වත්, නරක ගසේ හොඳ පල වත් හටගන්නේ නැත. 

හොඳ පල නොදරන සියලු ගස් කපා ගින්නට දමනු ලැබේ. 

මෙලෙස, ඔවුන්ගේ පලවලින් නුඹලා ඔවුන් හැඳින ගන්නහු ය.

කීම සහ කිරීම

ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට, ‘ස්වාමීනි, ස්වාමීනියි කියන සියල්ලෝ ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝ ය. 

ඒ දවසේ දී බොහෝ දෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් දිවැස් වැකි නොකීවෙමු ද? ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකෙළෙමු ද? ඔබේ නාමයෙන් නොයෙක් ප්‍රබල ක්‍රියා නොකෙළෙමු දැයි මට කියනු ඇත. 

එවිට මම, ‘කිසි කලක ඔබ නොහැඳින්නෙමි; දුදනෙනි, මා වෙතින් අහක් ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.

අත්තිවාරම් දෙක

එහෙයින් යමෙක් මාගේ වචන අසා, ඒවා පිළිපදී ද, ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැණවතෙකුට සමාන ය. 
වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය පර්වතය මත පිහිටි බැවින් බිඳ නොවැටිණි. 

තවද, යමෙක් මාගේ මේ වචන අසා, ඒවා නොපිළිපදී ද, ඔහු වැලි මත ගෙය තනාගත් අනුවණ මනුෂ්‍යයෙකුට සමාන ය. 

වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය බිඳ වැටිණි. එහි වැටීම ද භයංකර විය.


ජේසුස් වහන්සේ මේ වචන කියා නිම කළ කල්හි, සමූහයෝ උන් වහන්සේගේ අනුශාසනා ගැන විස්මිත වූ හ. 

මන්ද, උන් වහන්සේ ඔවුන්ගේ විනයධරයන් මෙන් නොව, ආධිපත්‍යය ඇත්තෙකු මෙන් ඔවුන්ට අනුශාසනා කළ හෙයිනි.

(මැතිව් 5, 6, 7 පරිච්ඡේද)

BEN HUR චිත්‍රපටයේ නිරූපිත කන්ද උඩ දේශනාව
http://2.bp.blogspot.com/-ffcVOVvAqZc/UZ-kGcZcLuI/
AAAAAAAAHPw/8wb4jXqEtyE/s1600/jesus.bmp

පරණ යුදෙව් ආගමේ ව්‍යවස්ථා, ජේසුතුමා කෙතරම් මට සිළුටු සහ මානවවාදී බවට හරවා ඇත්ද යන්න විස්මය ජනකය. විශේෂයෙන්ම, ඒ අදින් වසර දෙදහසකට පමණ පෙර කාලයකදී, කර්කෂ පරිසරයකදී, අයෝමය රෝම අධිරාජ්‍යයේ පාලනය යටතේ යන වාතාවරණය සැළකිමේදී ය.

බෛබලය සිංහලෙන් ඔන්ලයින් කියවන්න ලිංක් එකක් මෙන්න.

වැඩිපුර බලපු ලිපි