Showing posts with label ලේබල් නෑ. Show all posts
Showing posts with label ලේබල් නෑ. Show all posts

Saturday, November 22, 2025

යුද්දේ...



එක ජාතියක් ඉහළිනුත්, තව එකක් පහළිනුත්

තියන දර්ශනය

අන්තිමේ දී සහ සම්පූර්ණයෙන් ම අර්ථ දක්වා, අත්හැර දමන තුරු

හැම තැන ම යුද්දේ, මං කියන්නෙ යුද්දේ...


තවදුරටත් හැම ජාතියක ම 

පළමු පංතියක් සහ දෙවෙනි පංතියක් නැති වෙන තුරු

මිනිසුන්ගේ හමේ පැහැය

ඔහුගේ ඇසේ පැහැය වගේ ම සැළකිලිමත් විය යුතු නැති දෙයක් වන තුරු

මං කියන්නෙ, යුද්දේ...


මූලික මිනිස් අයිතිවාසිකම් සමානව

ජාතිය ගැන නොවිමසා හැමෝට ම ලබා දෙන තුරු, 

යුද්දේ...


ඒ දවස උදා වන තුරු,

සදාකාලික සාමය ගැන, ගෝලීය පුරවැසිභාවය ගැන,

ජාත්‍යන්තර සදාචාරයක පාලනය ගැන සිහිනය

ළුහුබැඳ යා යුතු ව, නමුත් කවදාවත් ලබා ගන්න බැරි...

තාවකාලික මායාවක් හැටියට පවතින 

දැන් හැමතැන ම යුද්දේ, යුද්දේ.


විවිධ රටවල අපේ සහෝදරයන් 

අමානුෂික බන්ධනයෙන් පාලනය කරන

අනාර්ය සහ නොසතුටු රාජ්‍ය පාලනයන්

පෙරළා දමා, මුළුමනින් ම විනාශ කරන තුරු

හැම තැන ම යුද්දේ, මං කියන්නෙ යුද්දේ...


නැගෙනහිරත් යුද්දේ, බටහිරත් යුද්දේ

උතුරෙත් යුද්දේ, දකුණෙත් යුද්දේ

යුද්දේ, යුද්දේ, යුද්ධය ගැන කට කතා.


ඒ දිනය වෙන තුරු, මහ පොළොව

සාමය ගැන නොදැන සිටිනු ඇත, අපි සටන් කරාවි

එය අත්‍යවශ්‍ය බව අපට දැනේ වි, අපි දිනන බව අපි දනීවි

අපට ජයග්‍රහණය ගැන නිසැක නිසා.


හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි. 

*    *    *

බොබ් මාලේ ගේ WAR ගීතය ඇසුරින් දළ පරිවර්තනයක්... 


මේකෙ අදහස හිතට වැදුණේ පහත ෆේස්බුක් සටහන කියවීමට ලැබීමෙන්.

https://www.facebook.com/share/p/16QfVMzQ2b/



Monday, May 5, 2025

භෝජනාගාරයේ ප්‍රහේලිකාව

මේකත් මම දාන්නෙ බුරතීනෝ පවරපු කොන්තරාත්තුව ඉවර කරන්න සෑහෙන කල් ගත වෙන නිසා, එතෙක් මේ බ්ලොග් එකේ පාලුව යන්නත්, ඒ වගේ ම මම තාම මැරිලා නැති වග මට හීනෙන් පෙනී "බොලා බ්ලොග් එක ලියන් නැද්ද?" කියා අහන උදවියට දන්වා, හුදී ජනයාගේ ටෝච් සංවේගය නැංවීම උදෙසා ය.

මම මුළින් ම ගණිත ගැටලුවක් කියල එකක් විසඳුවේ විදුසර පත්තරේ පිටුවක් පුරා තිබුණු භෝජනාගාරයේ ගැටළුව යි. ඒකෙ තිබුණු ඉඟි මොකක්වත් මතක නැතුව ඉද්දි, පුතාගෙ ශිෂ්‍යත්ව පංතියේ කරපු ප්‍රශ්න පත්තරයක තිබුණු ගැටළුවක් මම ChatGPT එක්ක සාකච්ඡා කළා. 

ඒ ගැටළුව මෙන්න මෙහෙමයි.

ඔබ සතුව 1Kg තරාදි පඩියක් සහ, 500g බරැති වැලි ප්‍රමාණයක් තිබෙනවා. එයින් යම්කිසි ද්‍රව්‍යයක, 1Kg 750g ක බරැති කොටසක් මැන ගත හැකි ද?

ඒකට උත්තරය ChatGpt මට පැහැදිලි කළාට පස්සෙ, (ඔබට පුළුවන් උත්තරය අනුමාන කරලා, කමෙන්ට් කරන්න. මම මීළඟ පෝස්ට් එකෙන් ඒකට උත්තරයත් කියන්නම්.) මායි පුතයි ChatGPT එක්ක IQ ගැටළු ගැන පොඩ්ඩක් වෙලා කතා කළා. 

ඒ අතරෙ මට මතක් වුණා අර උඩ මම කියල තියෙන, විදුසර පත්තරේ ගණිත ගැටළුව. ඒ විදිහෙ ගැටළුවලට කියන්නෙ සිංහලෙන් "තර්කරාමු" ඉංග්‍රීසියෙන් Logic Grid (ඉංග්‍රීසි නම කිව්වෙත් ChatGPT ම යි.) ඉතින් මම අර උඩ කියපු ගැටළුවෙ මට මතක ටික කිව්වහම, ChatGPT මට ගොඩනගල දුන්න ප්‍රහේලිකාව මම මෙතන පහතින් දානවා. මේකෙ ඉඟි ටික සාහිත්‍යමය බවක් එක් කරමින් මම වැඩිදියුණු කළා.

පුළුවන්නම් විසඳුමත්, විසඳුමට එළඹුනු පියවරත්  එක්ක කමෙන්ට් කරන්න.

වැරදීමකින් මේ පොටෝ එක මෙතන වැටිල තියෙන්නෙ. ගැටළුවට අදාළ නියම පින්තූරය ගැටළුවට පහතින් තිබෙන බව කරුණාවෙන් අලකන්ඩ!

විවිධ වෘත්තීන්වල නිරත වී සිටින හතර දෙනෙක් භෝජනාගාරයක ඇඳි පුටු දෙකක් සහ ඒ අතර තිබුණු කවිච්චියක වාඩි වෙලා වෙනස් වෙනස් බීම වර්ග හතරක් ඇණවුම් කළා. ඒ හතර දෙනා: ගුරුවරයෙක්, පුවත්පත් කලාවේදියෙක්, ඉංජිනේරුවෙක් සහ වෛද්‍යවරයෙකි. ඔවුන් ඇණවුම් කළේ: තේ, කෝපි, පළතුරු යුෂ සහ වතුර.

කෝපි ඇණවුම් කළ තැනැත්තා ඔවුන් ඉදිරියේ තිබුණු ගිණි උදුනට ඉහළින් ඇති කණ්නාඩියෙන්, වේටර් වරයා ආපසු යන හැටි බලාගෙන සිටියා. ඉන්පසු ඔහු තමන් අසල කවිච්චියේ වාඩි වී සිටි ගුරුවරයා සමග කතාවට වැටුණා. වෛද්‍යවරයා පළතුරු යුෂ ඇණවුම් කළේ, තේ සහ කෝපිවල තිබුණු කැෆේන්වලට අකමැති නිසා ය. ඔහු තමන්ට වම් පසින් වාඩි වී සිටි තැනැත්තා තේ ඇණවුම් කළාට පසුව කැෆේන්වල ආදීනව ගැන දීර්ඝ දේශනයක් කළා.  පුවත්පත් කලාවේදියාගේ වම්පසින් වාඩි වී සිටි ඉංජිනේරුවරයා කෝපි ඇණවුම් කළ තැනැත්තාගේ සහෝදරිය විවාහ කරගන්නට අදහස් කර සිටි නමුත් එය පසුව අත්හැරී ගියා.

ඉහත තොරතුරු ඇසුරින් මේ හතර දෙනා වාඩි වී සිටි පිළිවෙලත්, ඔවුන්ගේ වෘත්තීන් සහ ඇණවුම් කළ බීම වර්ගත් නිර්ණය කරන්න.


මේ ගැටළුවට උත්තර වශයෙන් කමෙන්ට් සීයක් වැටුන් නැත්තම්...

...එකෙක්වත්

මේ පින්තූරෙ ChatGPT ට කියලා කියලා කියලා කියලා වදෙන් පොරෙන් පස් වෙනි වතාවට වගේ හදාගත්ත පින්තූරය. මෙතන දාන්නෙ, අජිත් අයියා ගේ මරණීය තර්ජනයට පිළිතුරු වශෙයෙන්...


මේක බෝනස්...


Sunday, March 16, 2025

කොස්මස් යානය ආච්චිගේ කොන්දට


පහුගිය පෝස්ට් එකට කමෙන්ට් කරපු රුසියානු ලී බෝණික්කා මරාල කොන්ත්‍රාත්තුවක් පංගනාර්තු කරපු අතර, ඒ කොන්ත්‍රාත්තුව මේ වන තුරුත් ඉවර කරගන්න බැරි උනේ ය. ඒ උනත් බ්ලොග් එක පාලුවට අරින්න බැරි කැසීමක් තිබෙන නිසා, සුනන්ද කෝදාගොඩ මහතාගේ විනෝද රසාංග පොතෙන් උපුටා ගත්ත කතාවක්, හුදී ජන රසවින්දනය උදෙසා මෙහි පල කර සිටිනවා ඇත. මීට පෙරත් ඒ පොතෙන් ම කතා දෙකක් මං පල කර ඇති අතර, ඒවාට ලිංක් පහළින් දක්වා ඇත.

1. පවු(ල්)කාරයින්ගේ සංගමය මෙහෙයවන අවුරුදු සැණකෙලිය

2. බඩුපෙට්ටියක කොළඹට ගිය ගමනක් 

*    *    *

"දඩාස්..."

"බුදු අම්මෝ..."

ආච්චිගේ ලතෝනියෙන් මම මුසපත් උනෙමි. අහළ පහළ සියලු දෙනාම ඒ දෙසට දුවගෙන එන්නට විය. ආච්චි කෙඳිරි ගාමින් සිටී.

"ඇයි...? ඇයි...?"

අල්ලපු ගෙදර පොඩි එකා ආච්චිට ළංවිය.

"කොස්... මස්... වැටුණා" උන්දෑට කියා ගන්නට ලැබුනේ එපමණකි. සිහිසන් නොමැතිව ගිය ඇය ළඟට කිට්ටු වන්නට කිසිවෙක් ඉදිරිපත් නොවීය.

"එක්කෙනක්වත් අල්ලන්න එපා..." "අයින් වෙන්න. අයින් වෙන්න." "කෝ කෑලි එහෙමත් තියෙනවද?" ගත වූයේ තත්පර කීපයකි. දහසකට අධික සංඛ්‍යාවක් අපේ ගෙවත්තට එකතු වී සිටිති. ඒ සියලු දෙනාම කොස්මස් යානය ලංකාවට කඩා වැටෙන තුරු බලාගෙන සිටි අයය.

"ඕකුන්ට ඕක උන්ගෙ රට වටේ කරකවන්න තිබුනනේ... අහවල් මගුලකට ලංකාවට එව්වද? ඕක අපේ වත්තට වැටිල මගේ පොඩි එකෙකුට තුවාලයක් උනානං එහෙම ඕකුන්ගෙ..." ඇමෙරිකාවට එදා සිටම විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමින් සිටින ඒබරංමාමා ද අඩියක් ගසා ගෙන එතැනට පැමිණ දත්මිටි කෑවේය.

සෙනඟ හැසිරවීම සඳහා පොලීසියෙන් පැමිණි මහත්තැන්ලා බයිනෙත්තු, රයිපල් මානාගෙන අවට විපරම් කරන අයුරු මම දුටුවෙමි. රස පරීක්ෂකයන් යැයි සිතිය හැකි පිරිසක් ඒ අවට ගල්, වැලි බොරළු, අළු දූලි ආදිය එකතු කරන්නට විය. පුවත්පත් නියෝජිතයෝ හතර වටින්ම කැමරා මානාගෙන ප්‍රදේශය දෙවනත් කරමින් තොරතුරු සෙවූහ.

"කවුද මේක ඉස්සෙල්ලම දැක්කෙ...?"

"මම... මම දැක්කෙ" පුංචි කොළු ගැටයෙක් ඉදිරිපත් විය. ඌ දැක්ක කෙංගෙඩියක් නැත. සිදු වූ සියල්ල දුටුවේ මමය. එහෙත් මට ඔවුන් ඉදිරියට යා ගත නොහැකිය.

"කියන්න බලන්න මොකද්ද උනේ කියල..." කැමරා එකින් එක ළමයා වෙත උළුක් වන්නට විය. විදුලි වරුසාවක් ලෙසින් පොටෝ ගණනාවක්ම වැදුණි.

"දඩාස් ගාලා සද්දයක් ඇහිල මං කක්කුස්සියෙ ඉඳල දුවගෙන ඇවිත් බැලුව."

වාර්තා කාරයෝ නාස් තද කර ගන්නට වූහ. ළමයාට මේ වෙනස දැනුණි.

"නෑ මං හෝදගෙන ආවෙ..." එකෙනෙහිම ඇඟිලි තුඩුවලින් නාස් පොලු නිදහස් විය.

"ඉතිං ඉතිං..." පුවත් පත් වාර්තා කරුවෝ සියලු දෙනාම තවත් ළංවී කරුණු විපරම් කරන්නට වූහ.

"ඊට පස්සේ මේ ආච්චි මෙතන වැටිල ඉන්නව මම දැක්ක..."

"ඉතිං ඔය ළමට ළඟට ආව...?"

"ඔව්"

"ආච්චි ඇල්ලුවද?"

"නෑ..."

"කතා කළාද?"

"ඔව්"

"මොනවද කිව්වෙ...?"

"හරියට කතා කරගන්නවත් බෑ!" ඔව්හු සියලු දෙනාම එකම නිගමනයකට එළඹුනහ.

"කාගෙද ඔය සරම?"

"ඒකත් මේ ආච්චිගෙ ඇඟට වැටිල තිබුණෙ."

"ඉතිං මොකටද ඕක අතට ගත්තෙ. බිම දාන්න. බිම දාන්න."

කීප දෙනෙක්ම කෑගසන්නට විය. ළමයා සරම විසි කරනවාත් සමගම පොටෝ කීපයක්ම වැදුණි. රසපරීක්ෂකයින් එක්වී කිසියම් උපකරණයකින් සරම ගෙන රස පරීක්ෂණාගාරයට ගෙන යෑම සඳහා වීදුරු පෙට්ටියකට දමා ගත්තේ ය.

කිසි දිනක පිජාමා සරමක් නොදුටු එවුන් සේ හැමදෙනාම ඒ සරම නරඹන්නට විය. වෙනදා මා දෙස හොරැහින්වත් නොබලන අහළ පහළ තරුණියන් සියලුදෙනාම ඇස් කරකව කවා ඒ සරම දෙස ඉතා ආසාවෙන් බැලීම මාගේ අධිකතර චිත්ත ප්‍රීතියට හේතු විය.

"තව කවුද මේ සිද්ධිය ඇහින් දැක්කෙ...?" පොලෝසියේ මහත්තැන් කෙනෙක් මහ හඬින් මුරගාන්නට විය. එහෙත් වෙනත් කිසිවෙකු ඉදිරිපත් වෙන පාටක් නොවීය.

"බය වෙන්න එපා... තව කවුරුහරි මේ සිද්ධිය දැක්ක කෙනෙක් ඉන්නව නම් කියන්න..."

පත්තා වාර්තාකරුවෙක් පිරිසගෙන් විමසන්නට විය.

"මමත් දැක්ක..." රූමත් තරුණියක් ඉදිරියට පැමිණියාය. මගේ ඇස් මටම අදහා ගැනීමට නොහැකි විය. මම විළි ලැජ්ජාවෙන් හතර අතට ඇඹරුනෙමි. මේ සියලු විනාශයට මුල ඇය බව ඇයවත් නො දන්නවා විය හැකිය. ඒ මැගිලින් නැන්දාගේ දුවය.

"ඉතිං...? ඉතිං... මොනවද දැක්කෙ නංගී...? කියන්න බලන්න..." පුවත්පත් වාර්තාකරුවෙක් ඇගේ ඔළුව අතගාන්නට විය. මට යකා නැග්ගේය. මහසෝනා මෙන් ගහ උඩින් බිමට පැන බෙල්ල අනිත් පැත්තට කරකැවීමට සිතුනද, මා පත්ව ඇති අසරණ තත්ත්වය නිසා එම අදහස අකැමැත්තෙන් නමුත් යටකර දැමීමට සිදුවිය.

"උදේ නාන්න යන කොට මම දැක්ක... මේ ගෙදර මහත්තයයි මේ ආච්චියි මෙතන ඉන්නව."

"මොනව කර කරද හිටියෙ...?"

"උඩ බලාගෙන හිටියෙ. ඒත් එයා මං දැකලා හිනාවෙලා ආච්චිට හොරෙන් මට ඇහැකුත් ගැහුව."

"කවුද ඒ...?"

"මේ ගෙදර ඉන්න මහත්තය..."

"කවුද මේ ගෙදර ඉන්නෙ...?"

"අර නරනාටක එහෙම ලියන එක්කෙනා..."

"නෑ...! ඒ හාදයත් මෙතන හිටියද...? කෝ... ඉතිං?"

ඉන්පසුව සියලු දෙනාම මා ගැන සොයන්නට වූහ.

මා අතුරුදහන් වී ඇතැයි සමහරෙක් සැක කළහ.

"මේ තියෙන්නෙ... මේ තියෙන්නෙ..."

කවුදෝ කෙනෙක් අළු ගොඩක් පෙන්නුවේය. ඒ ඊයේ රාත්‍රී මා විසින් මරා පුච්චා දමන ලද කුණකටුවාගේ අළු ගොඩය. සියලු දෙනාම එතැනට එකතු විය. "මිනිහත් ඉවරයි එහෙනං" හිතවත් පත්‍ර කලාවේදීහූත්, රැස්ව සිටි සියලුදෙනාත් සංවේගාත්මක සුසුම් රැල්ලක් පිටකරන අයුරු මම අසා සිටියෙමි.

පරීක්ෂණය සඳහා එතැන තිබූ අළු ගොඩ එකතු කර ගන්නා විට මා පිළිබඳව දන්නා නොදන්නා හැම දෙනම මහ හඬින් හඬා වැළපෙන්නට විය.

"අයියෝ අහිංසකය..." සෙලෝ ආච්චි කම්මුලේ අත ගසා ගත්තාය.

"කාටවත් හිරිහැරයක් නැති මනුස්සය..." මැගිලින් නැන්දා කිඹුල් කඳුලු හෙලන්නට වූවාය.

"කොහේ හරි හොඳ තැනක උපදින්න ඇති." මා දුටු තැන "තුඃ!" ගා කෙළ ගසා අහක බලාගන්නා ජුසේ සීයා කොඳුරා කුරුසය ලකුණු කළේය.

දැන් ඔවුන් සිතා සිටින්නේ "කොස්මස්" යානය හිස මත පතිත වී මා අළුදූලි වන්නට ඇතැයි කියාය.

එහෙත් මම සුවසේ හිඳිමි. එනමුදු වෙනස්කම් කීපයක් සිදුවී තිබේ. මා ඉස්සර සිටියේ බිමය. දැන් උඩය. එනම් කොස් ගහ මුදුනේය. ඉස්සර සියලු සම්පත් තිබුණේය. දැන් ඇඳි වතත් අහිමි වී ඇත.

ඔබ සැමගේ දැන ගැනීම පිණිස කොස්ගස මුදුනේ අසරණව සිටගෙන වුවද ඇත්ත හෙළිකිරීම මගේ යුතුකම යැයි සිතමි.

දිවා ආහාරය සඳහා තම්බා ගෙන කෑමට කොස් ගෙඩියක් කඩා ගැනීමට අපේ වත්ත පහළ කොස් ගස ළඟට ආච්චි සමග ගිය මම ආච්චි ගහ යට තබා කොස්ගහට නැග්ගෙමි.

කොස් ගහ මුදුනේ සිට අවට සිරිනැරඹූ මට මැගිලින් නැන්දාගේ රූබර දියණිය දිය නාමින් සිටින මනස්කාන්ත විලාසය අපූරුවට දර්ශනය විය. ඒ චමත්කාර ජනක දර්ශනයෙන් මන්මත් වූ මම ගහ මුදුනේ සිටම කරණමක් ගසා ඇයට අත්පුඩියක් ගැසුවෙමි.

උඩබිම නොබලා ගැසූ කරණම නිසා කොස් අත්තක තිබූ දිමි ගොටුවක් මා හිස මතට වැටී දිමියන් මට වද දෙන්නට විය. දැවැන්ත කොස් අත්තක් අල්ලා ගත් මා බිම නොවැටී බේරී සිටියද ඇසිල්ලකින් මා හැඳ සිටි සරම ආච්චිගේ ඔළුවට වැටුණි.

සිදුවූ අකරතැබ්බයෙන් හතර විලි ලැජ්ජාවෙන් ඇඹරෙමින්, ඒ කුරිරු දිමියන්ගෙන් බේරීම සඳහා අත්තෙන් අත්තට පැන යද්දී මාගේ වම් පාදය වැදී කඩා වැටුණු කොස් ගෙඩියක් ආච්චිගේ පිට කොන්දට වැටී විසිවී ගොස් පහළ ළඳට වැටෙනවා මා බලාගෙනය.

මෙම සිද්ධියේ ආරම්භය එතැනය. එහෙත් ආච්චි සිතන්නට ඇත්තේ ද හිටිහැටියේ "කොස්මස්" යානය කඩා වැටුනා කියා විය යුතුය. සිද්ධිය පිළිබඳ සැලවූ රෝහල් නිලධාරීහු ඇම්බියුලන්ස් එකක දමාගෙන ප්‍රතිකාර සඳහා ආච්චි රෝහලට ගෙන ගියාය.

පරීක්ෂණ කටයුතු අවසන් වී පත්තර වාර්තා කරුවෙන්, රසපරීක්ෂකයන්, විද්‍යාඥයන් හා අසල්වැසියන් බොහෝ දෙනෙක් විසිර ගියද, ඒ දූෂමාන ආරංචිය ඇසූ හැම දෙනාම "කොස්මස්" යානය වැටුණු ස්ථානය හා මා මියගිය ස්ථානය නැරඹීමට වැල නොකැඩී පැමිණෙන්නට විය. ඒ අතර මා ළඟින් ඇසුරු කළ කාන්තාවෝ සහ තරුණියෝ මා මියගිය බව අසා මහ හඬින් වැළපෙන්නට වූහ.

දැවැන්ත කොස් අත්තකට මුවා වී රාහු අසුරේන්ද්‍රයා සේ දිවැසින් මෙන් මේ සියල්ල බලාගෙන සිටිය ද, සරමක් නෙමැති කමින් ගසින් බිමට බැස මට ඔවුන් සනසාලිය නොහැකි ය. ඒ නිසාම හතර වටින්ම ඝණාන්ධකාරය ගලා එනතුරු හතර විළි ලැජ්ජාවෙන් ඇඹරෙමින් මා කොස්ගහ මුදුනට වී සිටිමි.

Saturday, June 1, 2024

ශනිදා දහයට කලින්... පොලිස් කතා සහ තවත් කතා

පහුගිය මාර්තු අප්‍රේල් මාසවල ලියන්න කියවන්න විවේකයක් නැතුව ඉද්දි, කතා කරලා දුක සැප අහපු තට්ටයියා වෙනුවෙන් මේ ලියමන ලියන්ඩ පටන් ගත්තෙ. නමුත් ඒක මාතෘකාවට සහ පළවෙනි වාක්‍යයට සීමා වෙලා ඩ්‍රාෆ්ට් අතරෙ රැඳිලා තිබුණා. 

පොලීසිය ගැන අපේ සමාජයේ තියෙන්නෙ ඒ තරම් හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. ඒ නිසා ම උන්දැලට පහර දෙන්න විහිලු කතා ගණනාවක් ගෙතිලා තියෙනව. මං ගැටවර කාලෙ මළගෙවල්වල දි අහපු කතාවකින් පටන් ගන්නම්.


සුජාතභාවයේ ගැටළුව

දවසක් පොලිස් කාරයෙකුයි, ආමි කාරයෙකුයි බස් හෝල්ට් එකක ඉන්නව. ඔය කියන්නෙ උතුරෙ යුද්ධයේ අවසාන කාලෙ. ඒ දවස්වල ආමි එකේ මොරාල් හොඳටම අප් කරලා තිබුණෙ. කොටින් ම හිටියෙ හමුදා භටයො නෙමෙයි, රණවිරුවො. ඒ උනාට පොලිසියට ඒ තරම් සැළකිල්ලක් නෑ. ඉතින් පොලිස් කාරයට ආමි කාරයව මඩවන්න ආස හිතුණා. පොර නිකං ම අරූ එක්ක කතාවක් පටන් ගත්තා.

"නිවාඩුවට ආව නේ?"

"ඔව්" ආමි කාරයත් හිනාවෙලා කිව්ව.

"දැන් නිවාඩු එහෙමත් ඔයාලට අඩු ඇති නේ?"

"ඔව්. අවුරුද්දකටවත් සැරයක් එන්න නෑනෙ."

"ඒකනෙ..." පොලිස් කාරය දුක්මුසු මුහුණින් කිව්ව. "ඔය අතරෙ ඔයාලගෙ පවුල්වල දරුවොත් ඉපදෙනව නේ...?"

ආමිකාරය ඔලුව ඉහළ පහළ අතරට වැනුවා, "ඔව්" කියන්න.

"ඉතිං ඒ අවජාතකයන්ට මොක ද කරන්නෙ?" පොලිස් කාරයා තැනේට ඇණේ ගැහුවා, මහ කාළකන්ණි අවලං හිනාවකුත් එක්ක.

"ආ... උන් ද?" ආමිකාරයා ඇහුවා. "ඒ අවජාතකයො ලොකු වෙලා පොලිසියට බැඳෙනව."



බෝම්බ තුනේ කතාව

(මේක නම් මම මීට කලින් කොතනක හරි කියලා තියෙනවා කියලා මතකයි)

දවසක් පොලිස් කාරයො දෙන්නෙකුට බෝම්බ තුනක් හම්බුණා, පාරක් අයිනෙ හංගලා තිබිලා. දැන් ඒ බෝම්බ තුන මේ දෙන්නා අරගෙන යනව, පොලිසියට.

එහෙම යන ගමං කොස්තාපල් ට ගැටලුවක් මතුවුණා. 

"මේ සාජන් මහත්තෙය... දැං මේ බෝම්බ තුනෙන් එකක් පිපිරුවොත් ‌එහෙම අපි මොක ද කරන්නෙ?"

"වෙන මොනව කරන්ඩ ද?" සාජන් ඇහුවා. "අපි කියමු දෙකයි හම්බුණේ කියල..."



බීමතින් රිය පැදවීම

දඩයක් බා ගන්ඩ බලං හිටපු පොලිස් කාරයෙක් මහ රෑ බාර් එකක් ළඟ රැකලා හිටියා. ටික වෙලාවකිං නකතං වෙන්ඩ ගහපු මනුස්සයෙක් බාර් එකෙන් එළියට ආව. පොර ට හිටගෙන ඉන්ඩ පණ නෑ. ‌උන්දැ ඇද වෙවී වැනි වැනී කාර් පාක් එකට ඇවිත් කාර් එකක දොරට යතුර දැම්ම. ඇරුනෙ නෑ. ඊට පස්සෙ ඌ තව කාර් එකකට ගියා. ඒකත් ඇරුණෙ නෑ.

දැන් පොලිස් කරයට බඩු ෂුවර්, මේ වතාවෙදි නං දඩකොලයක් හරි නඩුවක් හරි ලැබෙනව ම තමයි. 

ඔය විදිහට කාර් හතරක් විතර පහු කරපු ඉවානයා, අන්තිමේ තමන්ගෙ කාර් එක හොයාගෙන නැග්ගා. ඊට පස්සෙ ලයිට් දැම්මා, ඩිම් කළා... ෂටර්ස් පාත් කළා, ඉස්සුවා... වයිපර්ස් ඔන් කළා, අන්තිමේ යන්තම් ස්ටාට් කරගත්තා. ස්ටාට් කරපු ගමං ඉස්සරහට ගිහිං තණකොල තීරුව උඩට ආවා.

ඔය අතරෙ පාක් එකේ තිබුණු කාර් ඔක්කොම ගියා. බාර් එකත් වැහුවා.

අන්තිමේ ඉවානයා කාර් එක පස්සට රිවස් කරලා, පාරට දාගත්තා. දාගෙන ටිකක් ඉස්සරහට යද්දි ම, පොලිස් කාරයා මූව නතර කළා. නතර කරලා, බැලුම දුන්න පුම්බන්ඩ.

හරි වැඩේ කියන්නෙ, බැලුමෙ ප්‍රතිඵලය බින්දුවයි. ඉවානයා බීලා කියල ඒකෙන් ඔප්පු වෙන් නෑ.

"මේක කැඩිලවත් ද?" පොලිස් කාරයා ට කියවුණා.

ඉවානයා හිනාවෙලා කිව්වා. "නෑ නෑ... බීපු උන් ටික ඔක්කොම ගියා. මං උන්ට බේරිලා යන්ඩ සපෝට් එකට පොඩ්ඩක් රඟපෑවා"



හිටගන්ඩ පණ නෑ

පොරක් බාර් එකට වෙලා මුළු හවස්වරුවම බිව්වා. අන්තිමේ දැන් ඇති කියලා හිතලා යන්ඩ නැගිට්ටා විතරයි, මූ මුණිං අතට වැටුණා. 

"සැහ්... මෙච්චර බොන්ඩ නරකයි ආයෙ" කියල තමන්ට කියාගෙන නමියා ආපහු නැගිට්ටා. ඒ පාරත් දඩීං ගාල වැටුණා.

ඒ ගමන මොනව කරන්ඩ ද, පොර බඩගාගෙන දොර ගාවට ගියා. ගිහිං දොර අල්ලගෙන නැගිට්ටා. ඊට පස්සෙ දොරං එළියට අඩියක් තිබ්බ විතරයි, පතෑං ගාල ආපහු වැටුණා මුණිං අතට.

ඒ ගමන නමියා හිත හදාගෙන පාර දිගේ පේමන්ට් දිගේ බඩගාගෙන ගිහිං කොහොම හරි ගෙදර ළඟට ආවා. ඇවිත් යාන්තං දොර් එල්ලිලා හිට ගත්තා. හිටගෙන, දොර බදාගෙන දොරේ අගුල ඇරගත්තා. දොර ඇරුණා විතරයි මූ ආපහු මුණිං වැටුණා. ඒ ගමන දොර අල්ලගෙන ආපහු නැගිටලා දොර වැහුවා. වහල දොර අත ඇරියා විතරයි, ආයෙ මෙකට ද මං කියන්නෙ? රවි අයියා තට්ටයගෙ කෑම්ප් එකේ දි වැටුණා වගේ උජාරුවට අරූ ආපහු වැටුණා.

ඒ ගමන බඩගාගෙන ඇඳට ගියා. ගිහිං අවසාන වතාවට කෙළිං හිටගත්තා. ඒ ගමන උගෙ වාසනාවට උන්දැ වැටුණෙ ඇඳ උඩට. එහෙම්ම නින්ද ගියා.

පහුවදා ඇහැරුණා ම වෛෆ් මුගෙන් අහපු පළවෙනි ප්‍රශ්නෙ තමයි, "තමුසෙ ඊයෙ සිහි නැතිවෙන්ඩ බිව්ව නේද?"

මිනිහත් වෙන උදවිය දෙන උත්තරේම තමයි දුන්නෙ. 

"පිස්සු ද, ඩාලිං? මං බිව්වෙ නෑ..."

"එහෙනං අර බාර් එකෙං අද උදේ ම කෝල් කළේ..." වෛෆ් කිව්වා. "තමුසෙ ඊයෙත් රෝද පුටුව එහෙ දාල ඇවිල්ලා"


ප්‍රොක්ටර්

මගෙ සුපුරුදු පෙරකොදෝරු කතාවක් නැති වුණොත් පෝස්ට් එකෙන් වැඩක් නෑ. ඒ් නිසා මේකත් කියවන්න. හැබැයි ඔයාල කියවලා හිනා වුණාට අපේ ප්‍රාජේ ට එහෙම මේක ගැන කියන්ඩ එපා.

ටවුමක තිබුණා පුණ්‍යාධාර සමිතියක්. ඒකට ටවුමෙ උන්න හැම පෝසතා ම ආධාර කළා. ඉතින් දවසක් මේ සමිතියෙ ගරු භාණ්ඩාගාරික ආධාර පොත අරගෙන කියවලා බලද්දි දැක්කා, ටවුමෙ ඉන්න ප්‍රසිද්ධම නීතිඥවරයා විතරයි මේ සමිතියට ආධාර කරලා නැත්තෙ කියලා.

ඔය භාණ්ඩාගාරිකකමට පත් කරන්නෙත් නීතීඥයො වගේ ම සූරගන්ඩ දක්ෂ මිනිස්සු. ඉතිං නිමල් අයියත් හිතාගත්තා, මං කොහොම හරි ප්‍රාජේගෙන් දතක් ගළවනවා සමිතියෙ අරමුදල වෙනුවෙන් කියලා. එහෙම හිතාගෙන ගියා අර නීතිඥවරයා හම්බවෙන්න.

ගිහින් කිව්වා "මේ බලන්න මහත්තයා. අර කඩේ මුදලාලිත් අපට ආධාර කළා. අර ෆිල්ම් ඩිරෙක්ටරුත් අපට මාස්පතා ගාණක් එවනවා. මෙහෙම බැලුවම ඔබතුමා විතරයි අපට ආධාර වශයෙන් සතයක්වත් දීලා නැත්තෙ..."

කියාගෙනනකොට ම නීතිඥ මහත්තයා අතක් උස්සලා නිමල් අයියව නැවැත්තුවා.

"දැන් ඔයා දන්නව ද, මගෙ අම්මා කාලෙයක් තිස්සෙ ලෙඩ වෙලා මැරෙන්න වැටිලා ඉන්නවා කියලා? එයාගෙ පෙන්ෂන් එක වගේ කීප ගුණයක් සල්ලි වියදම් වෙනව එයාගෙ බෙහෙත්වලට... ඔයා දන්නවද ඒක?"

ගරු භාණ්ඩාගාරිකට කටේ කෙලත් හිඳුණා. "න්න්න් නෑනෙ..." එයා යාන්තමින් කියාගත්තා.

"... ඊළඟ ට... මගෙ මල්ලි හමුදාවෙ ඉඳලා, බට්ටෙක් පෑගිලා කකුලක් කපලා රෝදපුටුවට ම සීමා වෙලා ඉන්නව කියල ඔයා දන්නව ද? ඒ මදිවට එයාගෙ ඇහැකුත් අන්ධයි..."

භාණ්ඩාගාරිකට කට උත්තර නෑ...

"තුන්වෙනුව..." ලෝයර් කියාගෙන යනවා... "මගෙ නංගිගෙ හස්බන්ඩ් මැරුණා ඇක්සිඩන්ට් එකකින්. එයාගෙ දරුවො තුන්දෙනාට උගන්නගන්ඩ එයාට සතයක්වත් ඉතුරු කරලා තිබුණෙ නෑ මස්සිනා..."

"මං ඔය කිසිම දයෙක් දැනගෙන උන්නෙ නෑ..." අන්තිමේ නිමල් අයියා කෙඳිරි ගෑවා.

"අන්න ඒකනෙ..." ප්‍රා ජේ අවසාන වචනයත් කිව්වා. "ඔය එකෙකුටවත් සතයක්වත් වියදම් කරන්නෙ නැති මං, තමුසෙලට ආධාර කරයි කියල හිතනවද මනුස්සයො?"


------------

හුටංබරස් මහතා, ඊයෙයි අදයි උදේ ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන අතරෙ හදපු "බස්සා මාමා" පහතින්...



"පොටෝ දෙකක් ගම්මු. එතකොට, මේකෙ කට අරින්නයි වහන්නයි පුළුවන් කියල පේනව. ඊට පස්සෙ බස්ස මාමට යවමු. බ්ලොග් එකෙත් දාමු" කියල උන්දැ ම තමයි කිව්වෙ...

Sunday, November 26, 2023

වැඩ පහසු කරන, කාලය ඉතිරි කරන...

මේ ගැන ලියන්න පටන් ගන්න කොට ම කතාවක් මතක් වුණා.

සිගරැට් බොන ‌මල්ලිට, අයියා උපදෙස් දෙනව...

"දැන් මට කියහං දවසකට සිගරැට් කීයක් බොනවද උඹ?"

"දවසකට අඩුම දහයක්වත් බොනව. ඇයි?"

"ඉතිං බලහංකො. දැන් සිගරුට් එකක් රුපියල් 125යි. දවසකට උඹට යනව වියදම, රුපියල් 1,250/- ක්. මාසෙකට යනව, 37,500 ක්. ඒ කියන්නෙ අවුරුද්දකට... 450,000 ක්. අවුරුදු දහයක් උඹ ඔය සල්ලි ඉතුරු කළා නං, ලක්ෂ 45ක්. බොට ඔය සල්ලිවලින් බංගලාවක් හදාගන්ඩ තිබුණ."

මල්ලි අහනව අයියගෙං:

"දැං උඹ සිගරැට් බොන්නෙ නෑනෙ. දැං කෝ ඔය විදිහට ඉතුරු කරල උඹ හදාගත්තු බංගලාව?"

දැන් යමු අපේ මාතෘකාවට. මගෙ ගැටළුව තියෙන්නෙ, අපි අපේ වැඩ පහසු කරගන්න නොයෙක් තාක්ෂණයන් යොදා ගන්නවා. වට්සැප්, ඊමේල් වගේ. අපට හොඳ පාරවල් සහ හොඳ වාහන භාවිත කරන්න ලැබෙනව. ගෙදරදොරේ වැඩ පහසු කරගන්න නොයෙක් උපකරණ තියෙනව. 

ඒ විදිහට අපි ඉතිරි කරගත්ත කාලය කෝ?


අපි මුල ඉඳල පටන් ගත්තොත් මෙහෙමයි...

ඔන්න ඉස්සර කාලේ උන්නා, මානව කණ්ඩායම්, ගෝත්‍ර. ඒ අය කළේ දඩයම් කිරීමත්, පල වැල අල ආදිය එක් රැස් කිරීමත්. 

ඔය අතරෙ උන්න ටිකක් වැඩිපුර හිතන කට්ටියක් පටන් ගත්තා, කැලේ ගිහින් දඩයම් කරනව වෙනුවට සත්තු අල්ලගෙන ඇවිත් ගේ ගාව කොටුවකට දාගෙන ඇති කරන්න. පලවැල රැස් කරනව වෙනුවට පැල උදුරගෙන ඇවිත් ගේ වටේ හිටෝ ගන්න. පේන විදිහට ලේසියි.

නමුත් දඩයක්කාරයට / පලවැල රැස් කරන්නට වඩ‌ා ගොපල්ලට / ගොවියට ජීවිතය ලේසි වුණේ නෑ.

දඩයක්කාරයන්ට ලොකු දඩයමක් ලැබුණම, බඩ පිරෙන්න කාලා, ඉතිරි ටික මී පැණිවල  හෝ වේලාගැනීමෙන් ඉතිරි කරගන්නවා. ඒ කියන්නෙ දවස් ගාණකට බර වැඩ නෑ.

ගොපල්ලා සත්තු බලා ගන්න ඕනෙ, කොටි වගේ විලෝපිකයන්ගෙන්, හොරුන්ගෙන් බේර ගන්න ඕනෙ. තණකොල කවන්න ගෙනියන්න ඕනෙ. පායන කාලෙට වතුර හොයල දෙන්න ඕනෙ. ලෙඩට දුකට බලන්න ඕනෙ. මුළු දවස ම කරන්න වැඩ තියෙනව.

ගොවියා, ගොවිපොල සකස් කරන්න ඕනෙ. පොලොව සකස් කරලා, ඇල වේලි හදලා, පායන කාලෙට වතුර දාලා, අස්වැන්න කන්න එන සත්තුන්ගෙන් පරිස්සම් කරගෙන, අන්තිමේ අස්වැන්න නෙලාගෙන, ගබඩා කරගෙන, පරිස්සම් කරගන්න ඕනෙ ඊළඟ කන්නයෙ අස්වැන්න නෙලනකම්. 

පේන විදිහට, වැඩ පහසු කරගත්තා කියලා කරගෙන තියෙන්නෙ, වැඩ වැඩි කරගැනීම සහ සංකීර්ණ කර ගැනීම.

ආපහු වර්තමානයට ආවොත්, අපි රස්සා කරන්න පටන් ගත්ත කාලෙ, ලියකියවිලි අපට ලැබෙන්නෙ තැපෑලෙන් සහ ෆැක්ස් මඟින්. එහෙම ලැබෙන වැඩ ඉවර කරන්න අපට සාධාරණ කාලයක් ලැබෙනව. ඒ කියන්නෙ, තැපෑලට යන කාලයත් එක්ක. නමුත් දැන් අපට ලියවිලි සහ තොරතුරු ඊට වඩා ඉක්මණට ලැබෙනව. ඒ වගේ ම ඒ තොරතුරු ආපිට අපෙන් බලාපොරොත්තු වෙන්නෙත්, දිනක් හෝ දෙකක් ඇතුළත.

ෆෝන් එකේ වට්සැප් ඔන් කළහම, ඒකෙ රාජකාරිවලට අදාළ වට්සැප් සමූහ තියෙනව විස්සක් විතර. එක එක විෂයයන්වලට අදාළව. ඊට අමතරව, දරුවගෙ ඉස්කෝලෙට අදාළවත් තියෙනව වට්සැප් සමූහ පහක් - හයක්. රාජකාරි ඊමේල් ගිණුම වෙන ම.

ඔය හැම එකක් ම අප්ඩේට් වෙන වාරයක් ගානෙ බලන්න බැරි වෙන නිසා වෙන ම නිලධාරියෙක් පත් කරල තියෙනව, ඔෆිස් එකේ. ඒත් මගෙ වගකීම ඔහුට යන්නෙ නැති නිසා, මමත් නිතරම ඔය දේවල් ගැන බලන්න ඕනෙ. ඒ අතරෙ මහජන පැමිණිලි, පළාත් පාලන ආයතනවල වැඩ හරියට නියම වෙලාවට නීතියට අනුව සිදු වෙනව ද කියලා අධීක්ෂණය කිරීම...

අන්තිමේ අපේ රාජකාරි පහසු කරගන්න යොදාගන්න නවීන තාක්ෂණය එක්ක අපි යන්ත්‍ර බවට පත් වෙමින් ඉන්නව.

ඉතින්, වැඩ පහසු කරන, කාලය ඉතිරි කරන නවීන තාක්ෂණය එක්ක, ඉතිරි කරගත්ත කාලය කෝ?

(පහල සිංදුව මේකට අදාළ වෙන්නෙ යන්තමින්. නමුත් ප්‍රශ්නය එක ම යි.)


මේකෙ ජෝන් ‌ලොගී බෙයාඩ් ට ඉන්න නළුවා, මාත් එක්ක ධීවර අමාත්‍යාංශයෙ වැඩ කරපු යාළුවෙක්. එයා ගොඩක් ටෙලි නාට්‍යවල ඉන්නවා.

Saturday, April 8, 2023

බක් පෝදා ගෙට්ටුව


බක් පෝදා සුහද හමුවට මම ආවේ නැතක් බාධක මැද. ලොකු ම බාධාව තිබුණේ රාජකාරිවලින්. පළාත්පාලන ආයතනවල සභාවන් විසුරුවා හැරුණේ මාර්තු 19. එතෙක් ගරු සභිකයන්, ගරු නගරාධිපති සහ ගරු සභාපතිවරුන් වෙත පැවරී තිබුණු තීරණ ගැනීම සභා ලේකම්වරුන්ට සහ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වෙත පැවරුණා. එයින් අපේ කාර්යාලයටත් රාජකාරිවල බැරෑරුම්කම සහ ප්‍රමාණය වැඩි වුණා. 

ඒත් එක්ක ම මාර්තු 31 මම තවත් තනතුරක වැඩ භාරගත්තා. දැන් ඉතින් කාර්යාල දෙකක වැඩ කරන්න සිද්ද වෙලා තියෙනවා.

කාර්යබහුල වීම මත අපේ අසංගගේ සහ මඤ්ජුලගේ දුරකථන ඇමතුම්වලට උත්තර දෙන්නත් මට බොහෝ වෙලාවට පුළුවන්කමක් තිබුණෙ නෑ.

කොහොමින් හරි, අපෙ උන්දැයි පුතණ්ඩියයි මායි ඇඳගෙන පහළට එද්දි තමයි මට සුරංග කෝල් කළේ. 

"අපි නං මෙහෙන් පිටත් උනා. ඔහෙ තත්ත්වෙ මොක ද?"

"මං දැනුයි නැගිට්ට‌ෙ මල්ලි." මං කිව්වා. එතන ඉඳං වැල නොකැඩී සුරංගයා බැණපු තරම, ඒ වචන නැවකට පැටෙව්වනං, කෙලිම්ම වරායෙන් දියත් කරද්දි ම නැව මූදු පතුළට ගිළෙනව. ඒ තරම් බර වචන...

"නයියා දාගත්ත ද?" යන්තම් බැණුම් වැස්ස තුනී වෙද්දි මං ඇහුවා. (ප්‍රසන්නව රත්නපුරෙන් ගන්නම් කියලා සුරංග කලින් දවසෙ මට කිව්වා.) 

"ආ ඔව්. පටෝලා තියෙන්නෙ" ඒක අහපු ගමන මට කැස්ස ඉස්මොල්ලෙ ගියා.

කොහොමිං හරි අපි තුන් කට්ටුව පාර අයිනෙ ටීපීයට යනකොට, සුරංගලාගේ සොටියත්, අසංගලාගේ ඇල්ටෙත් එතන ය. සුපුරුදු පරිදි රවි අයියා ආවේ ඊට කලින් දවසේ ය. ආචාර සමාචාර කර ආගිය කතා කතා කළෑයින් පස්සේ මං අපේ උන්දැත්, පුංචිරාලත් එක්කරගෙන තට්ටයාගේ කැළණි ගඟ පෙන්නන්නට ගියෙමි ය. ටික වෙලාවකින් නමියා දියෙස් බ්‍රෑන්ඩ් ලැවරියා පිඟානත් අරගෙන ඇස්වහක් කටවහක් නෑ සීදේවි ගුණ යහපත් ඉළංදාරියා අපටත් ලැවරියා බෙදන්නට ගඟ ගාවට ම පල්ලං බැස්සේ ය.

වත්සලා, එයාගෙ නංගි සහ චූටි වත්සල පැංචා

නයි හාමි, චූටි මැණිකෙ සහ සුරංග

ගෘහ මූලික වීරසිංහ

තිලකසිත අයියා අභය මුද්‍රාව සහිතව

අසංගලා සහ නමියා

ලැවරියා කා උඩහට එද්දී වත්සලා කෝ විජේරත්නත්, අපේ ප්‍රධාන ආරාධිතයාවිය වූ ශාන්ති දිසානායක ලේඛිකාවත් එතනට සැපත් වෙලා ය. අපේ තිලකසිත අයියා ආවෙත් ඒ වෙලාවෙම වගේ ය.

උදේ කෑම වැරදී තිබුණු උදවියට තට්ටයියා සිය දෑතින් උයා තිබූ බත් කන්නට තිබුණා. වැඩි වෙලාවක් මිඩංගු නොකර අවශ්‍ය අඩුම කුඩුම (එව්වා අඩු සහ කුඩු වෙන්නෙ ආපහු එද්දි) තට්ටයියගෙ කහපාට සිංගල් කැබ් එකට පටවාගෙන,  අපේ නඩයේ උදවියත් පටවාගෙන කැලේ මැද ටීපියට යන්නට පිටත් උණා.

කොහොම හරි අණ්ඩක් කඩා ගන්නෙ නැතුව සිංගල් කැබ් එකේ පිටිපස්සෙ ඉඳගෙන ගියපු අපි, කැලේ මැද ටීපියෙන් බැහැලත් පැයක් තරම යන තුරු ඒ මේ අත ගැස්සි ගැස්සි උන්නෙ.

මද්‍යප උදවිය මද්‍යපාන සහ ධූමායනයත්, අනික් උදවිය වත්සලා, චූටිමැණිකෙ (සුරංග ගෙ නෝනා පොඩ්ඩ) සහ අවශේෂ අඟනුන් හදා දුන්න තේ පානයත් කරමින් සුහද කතාවකට යොමු වුණා. ආන්න ඒ වෙලාවෙදි තමයි මට පසක් වුණේ ශාන්ති දිසානායක නම් ලේඛිකාව කොයි තරම් සරළ, නිහතමානී සහ අව්‍යාජ තැනැත්තියක් ද යන වග.රටේ දේශපාලන තත්ත්වය, සමාජ ගැටළු ආදී දේ ගැන අපට එකග වෙන්න පුළුවන් වුණු තැන් ගොඩක් තිබුණා.  

නමියාගේ සිට වත්සලාගේ පුතා දක්වා විවිධ වයස්වල දරුවන්ටත් නිදහසේ ස්වභාවිකත්වය සහ පරිසරය රසවිඳින්න අවස්ථාව ලැබුණු අතර, ඩ්‍රැකියානිගේ පයේ ඇඟිල්ලක් රසවිඳින්න කූඬැල්ලෙකුටත් අවස්ථාව ලැබිලා තිබුණා.

ටීපිය අසළින් ගළාගෙන යන දොළ පාර හරිම නිස්කාන්සුයි. ඒ වගේ ම නිදහසේ ගිළිලා ඉන්න හැකි විදිහට ගල්වලින් වටවුණු පොකුණු වගේ කොටස් කිපයකුත් තිබුණා. ශාන්ති අක්කලා, අසංගලා, වත්සලාලා සහ සුරංගලා මේ දොළ පාරට බැහැගෙන "නානවා" කියා යමක් කරන්නට පටන් ගත්තා. ඒ වචනෙ තේරුම උපන්තේකට අහලා නොතිබුණු මාත්, ප්‍රසන්නත් ගොඩට වෙලා උන්නේ, නොදන්නා දේට ගොහිං වරිගෙ නැහෙයි යන සාධාරණ බයෙන්.

පස්සෙන් පහු තට්ටයියගේ බල කිරීම මත අපේ හුටංබරස් ආදිපාදතුමාටත් දොළ පාරට බහින්න අවස්ථාව ලැබුණා. 

අපි ඔක්කොම දොළෙන් ගොඩට ආවත්, සුරංග, චූටිමැණිකෙ සහ වත්සලාගේ නංගි නෙවෙයි ගොඩට ආවේ. ඒ තුන් දෙනා ට වෙලා තිබුණේ අනිකක්... මොකද්ද, දොළේ බැහැගෙන පොඩ්ඩක් ඇඟ අතුල්ලමින් ඉන්නවිට දැනට අවුරුදු දහයකට විතර උඩදි ඇඳපු ඇඳුම් මතු වෙන්න පටන් ගෙන. ඉතින් ඒ එකිනෙක ඇඳුම්වල විස්තර කතා කරමින් ඉද්දි ඒ අයට වෙලාව යනව දැනුනේ නෑ.

වරක් ඩ්‍රැකියානි දොළ අයිනට ගිහින් ඇවිත් මට කිව්වා, කොහෙන්දෝ ගහගෙන ආව මළ සිරුරක් දොළේ පාවෙනව කියලා. මං ගිහුං බලද්දි යන්තං "ඒ අපේ සුරංග මල්ලිනෙ" බව අඳුනගන්න පුළුවන් වුණා.

අන්තිමේ ඩ්‍රැකියානි තමයි මටත් මතක් කරලා දුන්නේ, මේ උදවිය නාන විදිහට තට්ටයියට ලොකු වතුර බිලක් ගෙවන්ඩ සිද්ධ වෙන විත්තිය. ඒක මතක් කළහම ඔන්න යන්තං සුරංගලා දොළෙන් ගොඩට ආවා. ඒ එද්දි, ඒ තුන් දෙනා කොයිතරම් කුණු අතුල්ලලා ද කියතොත්, සුරංගගෙ රැවුළත් සුදු වෙලා තිබුණා.

මං ගොහිං අපේ පුංචිරාළ ගෙ ඇඟ පිහලා ඇඳුං අන්දවගෙන එද්දි සුදුපාට ප්‍රාඩෝ එකක් පිඹගෙන ටීපී වාඩිය පැත්තට ආවා. ඒකෙ ආවේ ප්‍රාජේ සහ ඉයන් ය. ඉයන් ට ටුබැකෝ නිෂ්පාදන එක්ක පුදුම තරහක් තියෙන බව මම දැක්කේ එදා ය. එහෙම උනත් ඩ්‍රැකියානි ට නං ඉයන් ගැන ඇත්තේ ලොකු පැහැදීමකි. ඒ මේ හේතුවටය... 

ඉයන් මාමා ට එදා කන්නාඩි කුට්ටම අමතක වෙලා ඇවිදින් ය. ඉතින් එයා හිතාගෙන ඉඳලා තියෙන්නේ ඩ්‍රැකියානි මගේ දුව කියලා ය. ඒක කියාපු වෙලේ ඉඳන් ඩ්‍රැකියානිගේ ඉහේ මලක් පිපුණේ ය.

එදා දවල් කෑමත් පංකාදු පහය. මොලොක් වෙන්නට මිරිසට උයා තිබුණු චිකන්, මියනදලුත් කොස්ඇටත් දාලා හදා තිබුණු කෙහෙම්මලක්, නයිමිරිස් දාලා හදපු කොස්, යන විශේෂාංගවලට අමතරව, බැදපු කොච්චි, බැදපු මිරිස්, බැදපු පපඩම්, සමඟින් පරිප්පුත් බෝංචිත් එක්ක බත් (ඔව් බතුත් තිබුණා) බඩ පැලෙන්නට කන්නට තිබුණේ ය. 

අන්තිම හරියේ දී, ගෙට්ටුවට ආව උදවියට සිහිවටනයක් විදිහට ශාන්ති අක්කාගේ පොතක්, ශාන්ති අක්කාගේ අත්සනත් එක්ක ලබා දුන්නා. ඒ අවස්ථාව පොටෝ ගැහුවේ අපේ ප්‍රවීණ සිරිසඟබෝ ස්ටයිල් ඡායාරූප ශිල්පී නමියා. නමුත් ඒක නමියාට විඩින් විඩේ මතක් කරන්න සිද්ධ වීම තමයි අවුල. ඉතින් මටත් රවි අයියටත්, පොටෝ ගහන්නට උවමනා වෙලාවෙ දි "ගහපිය !" කියමින් නමියගේ පිටට තට්ටු කරන්නට සිද්ධ උනා. නමියා පහුවදාම කැඩුං බිඳුං වෙදෙක් ගාව ඇඩ්මිට් උනා කියලා ආරංචියි.

පතෑංංං ඡායාරූප ශිල්පියෝ
ඉයනුත් ප්‍රාජේත් ශාන්ති අක්කත් පිටත් වුණාට පස්සෙ අපි පටන් ගත්තා කාඩ් සෙල්ලම. කාඩ් විසිපහක් තිබුණා.  කට්ටිය රවුමට හිටියා. කාඩ්වලින් උඩම තියෙන කාඩ් එකේ සඳහන් වැඩේ රවුමෙ මුලින් ම ඉන්න තැනැත්තා කරන්න ඕනෙ. ඊළඟට ඊට යටින් තියෙන කාඩ් එකට සහ රවුමෙ ඊළඟට ඉන්න තැනැත්තට අවස්ථාව ලැබෙනව.

ඔය ගේමෙ දි, කැමති ම පොත් දහය කියන්න කියලා නමියට අවස්ථාව ලැබුණා. ඒ හොර තක්කඩියා කළේ, එක වසරේ ඉඳං දහය වසර දක්වා සිංහල කියවීම් පොත්වල නම් කියාපු එක.

ජිරාෆ් කෑ ගහන හැටි කරන්න අසං‌ගගෙ පුතාට ලැබුණා, මාළුවෙක් කෑ ගහන හැටි කරන්න අසංගට ලැබුණා. නයෙක්ට ටෝච් එකෙන් ගහන්න වත්සලාට ලැබුණා, වත්සලාගෙන් ගුටි කන්න ප්‍රසන්නට ලැබුණා.

ඒ ටිකත් ඉවර වෙලා, පරක්කුත් වෙන හින්දා ආපහු එන්න හැරුණා. කහ පාට සිංගල් කැබ් එක හරවා ගනිද්දි වැරදිලා, කෑම මේසයත් එළාගෙන, බත් වලින් මල් වෙඩිල්ලකුත් පත්තු කරගෙන, රවි අයියවත් ‌පෙරලාගෙන යන්නට ගිය වාහනේ තට්ටයගෙ දක්සතාව හෝ එහෙමත් නැත්නම්, ලක් බයි චාන්ස් එක නිසා යන්තම් නතර කරගන්න පුළුවන් වුණා.

නමුත් ඒ විදිහෙ ආරම්භයකුත් එක්ක ආපු නිසා, කැලේ මැද ඉඳන් මහ පාර අයිනට එද්දි අපේ බහුතරයකට තප්පරෙන් තප්පරේ දෙවියන් සිහිපත් වුණා. බලන්ඩ ඒක ම කොයිතරම් ලොකු පිනක් ද කියලා. 

කොහොමින් හරි අපි දරු පවුලුත් එක්ක ඉතා ම සුන්දර සහ අමතක නොවන දවසක් ගත කළා. වියදම ගියෙත් උදේ සහ දවල් කෑම බීමට විතරයි. විසේසෙන් ම කියන්ට උවමනයි, තිලකසිරි අයියා ඉතාම හිතවත් සහ සුන්දර මනුස්සයෙක් බව මම තේරුම් ගත්තෙ එදා. ඒ වගේ ම අපේ ගෙට්ටුවට ඇවිත්, අපිත් එක්ක 100%ක් ම මුහු වෙලා අපට ගෞරවයක් ලබා දුන්න ශාන්ති අක්කටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම මධ්‍යපාන ගඳ, දුම්කොළ ගඳ වගේ ම අවුවෙ දඟලලා අපේ හඩු ගඳ ඉවසගෙන අපි ළඟ උන්න එක මත් ලොකු දෙයක්. (එයා ළඟදි ම බ්ලොග් එකක් ලියන්න පටන් ගන්නව කිව්වා.) ඒ වගේ ම ගෙට්ටුවේ සංවිධානය කිරීමේ මහ මොලකරු (මොල සහ තට්ටකරු) ටත්, ස්වයංව පත්වුණු ගරු භාණ්ඩාගාරික රවි අයියටත් ස්තූතියි... නුඹලා ගේ ප්‍රයත්නය සහ වෙහෙස ‌නොතිබෙන්නට වැඩේ අල සහ දෙල් බවට පත් වෙන්නට ඉඩ තිබුණා. ඉතාාාම සාර්ථකයි වැඩේ. මට කෝටි තිහක ලොතරැයිය ඇදුණහම මීළඟ ගෙට්ටුව සීතල නත්තලේ නුවරඑළියේ දී පවත්වන්නට අධිෂ්ඨාණ කරගෙන ඉන්න බවත් අවසාන වශයෙන් දැනුම් දෙනවා.

වැඩිදුර කියවීමට...

නමියා ගිය ගෙට්ටුව

ශාන්ති අක්කාගේ බ්ලොග් සම්ප්‍රාප්තිය

සුරංග නාන්ඩ ගිය හැටි

රවි අයිය ගිය ගෙට්ටුව

Thursday, March 9, 2023

අයින්ස්ටයින් ප්‍රහෙලිකාව විසඳපු හැටි

ඒ ගැන කියන්න කලින්, විසේසෙන් ම කියන්ට උවමනයි, මේ වගේ තර්ක රාමු විසඳන ක්‍රම හතරක් මේ වෙනකොට මට හම්බ වෙලා තියෙනව. 

1. සමහර සරළ තර්ක රාමු තියෙනව, ඉඟි දෙක තුනක් දීලා සරළ ප්‍රශ්නයක් අහන. ඒ ‌වගෙ එව්ව මනෝමයෙන් ම විසඳන්න පුළුවන්.

2. තව ගැටළු තියෙනව, නෙගෙටිව් ඉඟි තියෙන. ඒ කියන්නෙ, "අහවලා, අහවලෙක් නොවේ..." වගේ ඉඟි. ඒ වගේ එව්වට අර කතිර ගහන ටේබල් එකකින් විසඳන්න පුළුවන්. ඒ කියන්නෙ, වෙන්න පුළුවන් විකල්ප ඔක්කොම දෙපැත්තට දාගෙන, කොටු ගහගෙන, ඉඟි අනුව කතිර ගහමින් හරියන තැන්වලට හරි දමමින් පුරවන තර්ක වගු.

3. තවත් ගැටළු තියෙනව, අර උඩ කියපු විදිහට නැතුව පොසිටිව් ඉඟි තියෙන. ඒ වගෙ ඒවා විසඳන්න පුළුවන් මාතෘකා ටික වගුවෙ දෙපැත්තට දාලා, ඉඟි අනුව, කොටු ඇතුලට උත්තර ලියමින්.

4. හතර වෙනි වර්ගය තමයි අයින්ස්ටයින් ගැටළුව වගේ එව්ව. ඒ කියන්නෙ, ඒව විසඳන්න පොඩ්ඩක් සංකීර්ණ විදිහට වගුව පුරවන්න වෙනව.

මං අර කිව්ව තර්ක වගු ගැටළුවලට උදාහරණ පස්සෙ දවසක තවත් ලිපියකින් ඉදිරිපත් කරන්න අපේක්ෂා කරනව. ඒ අතරෙ, කලින් පෝස්ටුවෙ ගැටළුව විසඳපු හැටි පහතින් දානව.

ඔන්න ඉතින් කලින් පෝස්ට් එකේ මම කියපු විදිහට, මම හදාගත්ත වගුව...


දැන් ඉඟි එකින් එක කියවන ගමන්, වගුව පාට කරනව.

1. බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට ගෙදර,

එතන තියෙන්නෙ වර්ග දෙකක විකල්ප දෙකක් ඒකාබද්ධ කරලා. ඒ නිසා, බ්‍රිතාන්‍ය ජාතිකයයි, රතු පාටයි, රතු පාටින් පාට කළා.


2. ස්වීඩන් ජාතිකයා බල්ලො ඇති කරනවා,

උඩ එක වගේ ම ස්වීඩන් ජාතිකයයි, බල්ලයි ලා දුඹුරු පාට කළා.


3. ඩෙන්මාර්ක් ජාතිකයා තේ බොන්නෙ,

අර වගේම ඩෙන්මාර්ක් ජාතියයි, තේයි මෙරූන් පාට කළා.


4. කොල පාට ගෙදර සුදු පාට ගෙදරට වම් පැත්තෙන් පිහිටා ඇත,

මේ නිසා පළවෙනි ගෙදර සුදුපාට වෙන්නෙ නෑ. මොක ද ඊට වම් පැත්තෙන් ගෙදරක් නැති නිසා.

ඒ වගේ ම, දකුණු පැත්තෙ අවසාන ගෙදර කොළ පාට වෙන්නෙත් නෑ. 



5. පෝල්මෝල් සිගරැට් උරන කෙනා කුරුල්ලො ඇතිකරනවා,

කලින් වගේම පෝල්මෝල් සහ කුරුල්ලා ලා කොළ පාට කළා.



6. කහ පාට ගෙදර ඉන්න තැනැත්තා ඩන්හිල් උරනවා,

කහපාට සහ ඩන්හිල් කහපාට කළා.



7. කොල පාට ගෙදර අයිති කරු කෝපි බොන්නෙ,

කොළපාට සහ කෝපි තද කොළ පාට කළා. මේ අනුව දකුණු පැත්තෙ කොනේ ගෙදර කෝපි බොන්නෙත් නෑ.



8. මැද ගෙදර ඉන්නා තැනැත්තා කිරි බොනවා,

මේ ඉඟියෙ දි, අපට පුළුවන් කෙලින් ම මැද ගෙදර හැර අනික් ගෙවල්වලින් කිරි අයින් කරන්න. 

ඒ වගේ ම, කොළ පාට සහ කෝපි සම්බන්ධ නිසා, කොළ පාටත් මැද ගෙදරින් අයින් කළා.

ඩෙන්මාර්ක් සහ තේ සම්බන්ධ නිසා, ඩෙන්මාර්ක් ජාතිකයත් මැද ගෙදරින් අයින් කළා.

ඒ වගේ ම බියර් සහ වතුරත් මැද ගෙදරින් අයින් කළා.



9. නෝවීජියානුවා ජීවත් වෙන්නේ වම් පැත්තේ පළමුවැනි ගෙදර,

මේකත් අර අට වන ඉඟිය වගේ ම සහ ඊටත් වඩා ප්‍රබල සෘජු ඉඟියක්. කෙලින් ම, පළවෙනි ගෙදර නෝවීජියානුවා ඉතිරි කරලා අනික් ජාතීන් මකල දැම්මා. 

ඒ වගේ ම, බ්‍රිතාන්‍ය සහ රතුපාට සම්බන්ධ නිසා, පළවෙනි ගෙදර රතුපාට වෙන්නෙත් නෑ.

ස්වීඩන් සහ බල්ලන් සම්බන්ධ නිසා, පළවෙනි ගෙදර බල්ලෙකුත් නෑ.

ඩෙන්මාර්ක් සහ තේ සම්බන්ධ නිසා පළවෙනි ගෙදර මනුස්සයා තේ බොන්නෙත් නෑ.



10. බ්ලෙන්ඩ්ස් දුම්වැටි උරන්නා, පූසන් ඇති කරන්නාගේ ගෙදරට ළඟ ම ගෙදර ඉන්නෙ,

11. අශ්වයන් ඇති කරන්නා, ඩන්හිල් උරන්නාගේ අසල්වැසියා,

මේ අසල්වැසි ඉඟි අපට ප්‍ර‌යෝජනයට ගන්න වෙන්නෙ දෙවන වටයේ දී.

12. බ්ලූමාස්ටර් දුම්වැටි උරන්නා බියර් පානය කරයි,

අර වගේ ම, බ්ලූමාස්ටර් සහ බියර් නිල් පාට කළා. මැද ගෙදර මනුස්සයා බියර් බොන් නැති නිසා බ්ලූ මාස්ටරුත් අයින් කළා.



13. ජර්මානුවා ප්‍රින්සස් දුම්වැටි උරනවා,

උඩ විදිහට ම ජර්මන් සහ ප්‍රින්සස් රෝසපාට කළා. ඒ වගෙ ම පළවෙනි ගෙදරින් ප්‍රින්සස් අයින් කළා, ඒකෙ ඉන්නෙ ජර්මානුවා නෙවෙයි, නෝවිජියානුවා නිසා.



14. නෝවීජියානුවා පදිංචි නිල් පාට ගෙදරට යාබද ගෙදර,

මේ අනුව දෙවෙනි ගෙදර නිල් පාටයි.

ඒ වගෙ ම පළවෙනි ගෙදර කොළ පාට නෑ. මොක ද, සුදුපාට ගෙදරට වමෙන් කොළ පාට ගෙදර තිබිය යුතු නිසා.

කොළ  පාට ගෙදර කෝපි බොන නිසා එතකොට පළවෙනි සහ දෙවෙනි ගෙවල්වල කෝපි බොන්නෙ නෑ.

රතු පාට ගෙදර බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්න නිසා, ඔහු දෙවෙනි ගෙදර නෙවෙයි ඉන්නෙ.

කහ පාට ගෙදර ඩන්හිල් උරන නිසා, ඒකත් දෙවෙනි ගෙදර නෙවෙයි.

වගුවේ කොළපාට සහ සුදුපාට යාබදව ඉතුරු වෙලා තියෙන්නෙ හතර වෙනි සහ පස් වෙනි ගෙවල්වල විතරයි. ඒ නිසා හතර වෙනි ගෙදර කොළ පාටයි, පස් වෙනි ගෙදර ‌සුදු පාටයි.

ඒ අනුව, හතරවෙනි සහ පස්වෙනි ගෙවල් රතු සහ බ්‍රිතාන්‍ය ජාතිකයා ගේ ගෙදර නෙවෙයි, කහපාට සහ ඩන්හිල් උරන ගෙදරත් නෙවෙයි.

එතකොට බ්‍රිතාන්‍ය ජාතිකයා සහ රතු පාට ඉතුරු වෙන්නෙ මැද ගෙදර විතරයි.

ඒ අනුව, මැද ගෙදර ජර්මානුවා සහ ප්‍රින්සස් දුම්වැටි උරන ගෙදරත් නෙවෙයි, ස්වීඩන් සහ බල්ලො හදන ගෙදරත් නෙවෙයි, කහපාට සහ ඩන්හිල් උරන ගෙදරත් නෙවෙයි.

එතකොට කහපාට සහ ඩන්හිල් ඉතුරු වෙන්නෙ පළවෙනි ගෙදර විතරයි.

ඒ අනුව, පෝල්මෝල් සහ කුරුල්ලොත්, බ්ලෙන්ඩ්ස්සුත්, බ්ලූ මාස්ටර් සහ බියරුත් පළවෙනි ගෙදරින් ඉවත් කළා.

එතකොට පළවෙනි ගෙදර බොන්න ඉතුරු වෙන්නෙ වතුර විතරයි.

හතර වෙනි ගෙදර කොළ පාට නිසා ඒ ගෙදර බොන්නෙ කෝපි. ඒ අනුව බියර් සහ බ්ලූ මාස්ටරුත්, තේ සහ ඩෙන්මාර්ක් ජාතිකයත් හතර වෙනි ගෙදරින් ඉවත් කළා.

11 ඉඟිය අනුව, අශ්වයන් ඇති කරන්නා ඩන්හිල් උරන්නාගේ අසල්වැසියා වන නිසා, අශ්වයන් ඇති කරන්නේ දෙවෙනි ගෙදරයි. ඒ අනුව, කුරුල්ලන් සහ පෝල් මෝලුත්, බල්ලන් සහ ස්වීඩන් ජාතිකයාත් දෙවෙනි ගෙදරින් අයින් කළා.



15. බ්ලෙන්ඩ්ස් දුම්වැටි උරන්නාගේ අසල්වැසියා වතුර ‌බොන්නෙ.

වතුර බොන්නා ඉන්නෙ පළවෙනි ගෙදර නිසා, බ්ලෙන්ඩ්ස් උරන්නෙ දෙවෙනි ගෙදර විය යුතුයි. ඒ අනුව ප්‍රින්සස් සහ ජර්මානුවාත්, පෝල් මෝල් සහ කුරුල්ලනුත්, බ්ලූ මාස්ටර් සහ බියරුත් දෙවෙනි ගෙදරින් ඉවත් කළා. එතකොට දෙවෙනි ගෙදර ඉතුරු වුණේ ඩෙන්මාර්ක් ජාතිකයාත් තේ පානයත් විතරයි. ඒ අනුව පස් වෙනි ගෙදරින් තේ සහ ඩේන් ජාතිකයා ඉවත් කළා. බ්ලෙන්ඩ්ස් උරන්නාගේ අසල්වැසියා පූසන් ඇති කරන බව 10 වෙනි ඉඟියෙ කියන නිසා, පූසන් ඉන්නේ පළවෙනි හෝ තුන්වෙනි ගෙවල්වලින් එකක. ඒ අනුව අනික් ගෙවල්වලින් පූසන් ඉවත් කළා.

බියර් සහ බ්ලූ මාස්ටර් ඉතුරු වුණේ පස්වෙනි ගෙදර විතරයි. ඒ අනුව ප්‍රින්සස් සහ ජර්මානුවාත්, පෝල් මෝල් සමඟ කුරුල්ලනුත්, පස් වෙනි ගෙදරින් ඉවත් කළා. එතකොට ප්‍රින්සස් උරන ජර්මානුවා ඉතුරු වුණේ හතර වෙනි ගෙදර විතරයි. ඒ අනුව පෝල් මෝල් සහ කුරුල්ලනුත්, ස්වීඩන් ජාතිකයා සහ බල්ලත් හතර වෙනි ගෙදරින් ඉවත් කළා.

ඒ අනුව දෙවෙනි ගෙදර පූසන් ඇති කරන නිසා අශ්වයන්, මාළු සහ බල්ලන් එතනින් ඉවත් කළා. බල්ලනුත් එක්ක ස්වීඩන් කාරයත් දෙවෙනි ගෙදරින් අයින් වුණා. එතකොට දෙවෙනි ගෙදර ඉතුරු ඩේන් ජාතිකයා සහ තේ විතරක් නිසා, තේ සහ ඩේන්වරයා පස්වෙනි ගෙදරිනුත් ඉවත් වුණා.   ඒ අනුව  ස්වීඩන් ජාතිකයා සහ බල්ලාත් හතර වෙනි ගෙදරින් ඉවත් කළා.

එතකොට ස්වීඩන් කාරයා සහ බල්ලා ඉතුරු වුණේ පස්වෙනි ගෙදර. ඒ අනුව, මාලුවන් පස්වෙනි ගෙදරින් ඉවත් කළා. පෝල් මෝල් සහ කුරුල්ලන් ඉතුරු වුණේ තුන්වෙනි ගෙදර නිසා, මාලු සහ බළලුන් තුන් වෙනි ගෙදරින් ඉවත් කළා. එවිට බළලුන් ඉතුරු වුනේ පළවෙනි ගෙදර වන අතර, මාලු ඉතුරු වුනේ හතර වෙනි ගෙදර

ඔරලෝසු කණුව හදපු එක නෙවෙයි පුදුමෙ, ඒක කෙළින් කරලා හිටවපු එකයි කිව්වා වගේ. මේ වගේ ගැටලුවක් විසඳන එක නෙවෙයි වැඩේ, ඒ විදිහෙ ගැටළු නිර්මාණය කරන එකයි.

Saturday, January 28, 2023

සිරිබිරිසාගමනය

එක් සමයෙක්හි අලගෙඩියට අධිපතියාණ වූ ද, සකල පුරාණ පුස්තකයනට බහිරවයෙක් වූ ද, මිතිකලයට කාන්දමක් වූ ද, වීර අලකේෂ්වර වූ මහා ඩ්‍රැකියාණන් සිය මහා කරුණා නම් වර්ෂායෙන් නුවරඑළිය පුර ප්‍රවරය තෙමා නහවමින් ද, ස්ට්‍රැටජික නම් යුද්ධායුධයෙන් සභාවන් හා රදොළුන් ද ටැකලයට නතු කරවමින් ද, දැහැමෙන් සෙමෙන් දිස්තිරික්කය භොජනය කෙරෙමින් වැඩ වාසය කරන සමයේ, මහා සිරිබිරිසාගමනය නම් කුණ්ඩාවාඩයක් කඩා පාත් වී වදාළ ආකාරය කෙසේ වී ද යත්...

සිරිබිරිසානෝ වනාහි, මහා රසිකයාන කෙනෙක. ඕසයක් ට්‍රේලයන් ඇති සප්ත මහා සාගරයෙන් වට මහා දේශයක වාසය කරන්නේ, අන්තරජාලයෙන් සකල මහා බ්ලෝග නම් ක්ෂීර සාගරය කළතමින් පඨනය කරන්නෝ ය. මූ ඊටත් වඩා මහා පර්සනල් වැලියුවන් සහිතව හිතවතුන් වෙත අමුතු අබුතු තිළිණයන් පිරිනැමීමෙහි ලොල් බවින් ලෝකයේ පරසිදුවැ වෙසෙන්නෝය.

එක් දවසෙක මහා ඩ්‍රැකියානෝ අළුයම දහයේ කණිසම හා සමග අවදිවැ, මහා කරුණා සමාපත්තියට සම වදින්නට යන්නා හාම නිදියා නම් කෙළෙඹි පුත්‍රයාගෙන් ටැලිපෝන කෝලයක් සම්ප්‍රාප්තවැ වදාළේ ය. නිදිකෝලයෙන් ඩ්‍රැකියාණන්ට වදාළේ, සිරිබිරිසාණන් දිවයිනට සම්ප්‍රාප්තවැ බ්ලොගයෝ සොයා ඇවිදින්නේ, තට්ටවර්ධන නම් ඇඩ්වෙන්චරාධිපතියාගේ ටීපී කෑම්ප සයිටයේ මහා ගෙට්ටුවක් කැඳවාපී බවයැ.

සිරිබිරිස යන හුදු වචන මාත්‍රය කණ වැකීමෙන් සියොළඟ රෝමෝද්ගමනයවැ තක්කු මුක්කු භාවයට පත්වූ ඩ්‍රැකියාණන්ට නිදියා කියාපී නිවුසය වනාහී, රවි නම් වූ වීර සිංහයාණන් ද, සකල දැනුමට ආකරයක් බඳු වූ ප්‍රා ජේයාණන් ද, සකල සියොළඟ ම නාඹ තල් කඳින් උපුටා ගත් ටූත්පිකයක් බඳු වූ නමියාණන් ද, අරුණශ්‍රීයෙන් පොබයනා නෙවිලාණන් ද, ඉවෝන් ප්‍රේම බිළාලයාණන් ද, නාවුක අසංග නම් පිහිපහරධාරියාණන් ද, මෙකී නොකී තවත් අක්ෂෞහිණියක් ‌බ්ලොගරයන් ද  ඒ මහා ගෙට්ටුවට කැඳවනා ලද බවයැ.

ඉදින් මේ මහා ගෙට්ටුව හට පළමුයෙන් තට්ටවර්ධනයෝ මහා ඩ්‍රැකියාණන්ට කෝලයක් දුන්නේ, රවියාණන් ද, ඩ්‍රැකියාණන් ද සමඟින් හුදෙකලා අඩියක් ගැසීමේ පරම පිවිතුරු චේතනායෙන්, ගෙට්ටුවට පූර්ව රාත්‍රියේ සිය කයෑක් ජොයින්ටයට සෙටමෝල් වන පරිද්දෙන් ආරාධනා කර සිටියෝයැ.

ඊට මහා මනාපයෙන් උන්න ද, මහා පළාත් පාලන ඡන්දයේ රාජකාරිය ද, රාජකාරිමය ඩබල්කැබයට රෙපෙයාරයක් උද්ගත වීම ද, ඩ්‍රැකි ජූනියරයා වෛරසීය හුණ වැළඳීමෙන් දැයි යන මාර පුත්‍රයෝ තිදෙන උන්දෑට හරස් කපාපීය.

ඉදින් ගෙට්ටු දවසේ සූර්ය දිවිය රාජයන් පරදවමින් මහා පාන්දරින් අවදිවූ ඩ්‍රැකියාණෝ සිය කළ්‍යාණ මිත්‍රයෙකු වූ සමීරයන්ගේ ත්‍රී වීලරයෙන් නුවරේළි මහා බස් රථ නැවතුමට වැඩ වදාළ හ. එතෙකුදු උන්දෑ චෛතසික වැට උඩ වැඩ වදාළේ, ඩ්‍රැකි ජූනියරයා ගේ හුණ රෝග පීඩායෙන් දෙගිඩියාවෙහි උන් බව සිහි කට යුතු යැ.

එකී දෙගිඩි දෙවාරණයේ බලපෑමෙන් ද, ඊට පෙර දාක නානුඔය නම් ෂෝට්කටයේ උද්ගත වැ තිබුණාවූ මහා ඇක්සිඩන්ටයේ නාමයෙන් එකී ෂෝට්කටය මහා යානයන් ට වසා පී හෙයින් ද, ඩ්‍රැකියානුවන් හැටන් නම් මහා පුරයට සම්ප්‍රාප්ත වූ කලී ප්‍රමාදයක් හට ගත්තේයැ. ඉදින් නුවරේළි බසයේ සාරථී තෙම මඟින් තම බසය නවතා, කොළොම්පුර බසයකට ඩ්‍රැකියාණන් නැංගවූ හෙයින්, තලවාකැලයේ සිට උන් පෙළමින් ආ පම්ප් ටයිඩයෙන් මිදීමේ මඟ මහා හක්බෙල්ලාවක දක්වා කල් දමන්නට වීර අලකේශ්වරයන්ට සිදු වූ බව මෙයින් දත යුතුයැ.

මහා ගූගල් නැන්දණිය විමසා හක්බෙල්ලාවකට යන මං හසර විමසූ මහා ඩ්‍රැකි තෙම, ගූගලාවිය කියූ පරිද්දෙන් මැ තමන් අළුයම නවයේ කණිසම පසු කොටැ තත් ක්ෂේත්‍රයට එළැඹෙනු ඇති බව සිරිබිරිසාණන්ට දන්වාපීය.

එතෙක් මහා කොළොම්පුරයේ සිට දුරු කතර ගෙවා ගෙන පැමිණැ උන් සහ - බ්ලොග් කාරයෝ තමන් ගේ පැමිණීම වන තෙක් උන් උන් කරැ කොක් කරෙක් මෙන් උස් වන තෙක් මඟ බලාගෙන ඉදිනා වග සිහි වී ඩ්‍රැකියානෝ මහත් චිත්ත පීඩාවට පත්වීමෝ යැ.

තට්ටවර්ධන කෙළෙඹි පුත් මඟින් මඟට කෝලයන් දෙමින්, විසි හයේ කිලෝ මීටර කණුව අසබඩ දියෙස් නම් වූ මහා ලැවරියා කඩය ළඟ දී බසයෙන් බසිනා ලෙද අනුශාසනා කළෙන්, බසයේ උන් රථාචාරී ද, කොන් හතරටම වෙදැදුරු ද, ඩ්‍රැකියාණන් අදාළ තැනින් ම බස්සවාලීමට උදක් මැ වෙහසුුුණු බව කෘතඥතාවෙන් සිහිපත් කළ යුත්තේම යැ.

බසයෙන් බැසැ දිව ගොස් දුටු දුටුවන් මුව පියුම් මුකුළිත කරවමින් ගුඩ් මෝනිමයකැ යි දෙසා වදාළ ඩ්‍රැකියාණන් ලැවරියා කඩය පිටුපසැ පිහිටි මහා වච්ඡකුටියේ නතර වූයේ සිය පම්ප් ටයිඩයෙන් මිදීම පිණිස යැ. 

එතැන් පටන් තට්ටවර්ධනයන්ගේ ඕෆ්රෝඩයේ නැගී අයෝමය කඳින් තැනූ කොළොම්බුවේ හිඳගෙන, වාරි මාර්ගයක් බඳු වූ මඟෙක යොදුන් හතක් ගිය තැන ටීපී නම් වූ කෑම්ප සයිටයට ගොඩ බට හැකි වූයේ යැ. ඒ කෙබඳු සයිටයක්ද යත්, ලේ බොන මිනුම්දෝරුවන් හෙවත් කූඬැල්ලන් දෙතුන් දෙනෙකු හැරුණු කල, එකදු වන සත්ත්වයෙක් පය තබන්නට පැකිළෙන, වනගත එළිමහනෙක තැනුණු අට්ටාලයෙකැ, වච්ඡකුටියෙකැ යි දෙකෙකි. අට්ටාලෙහි පහළින් මුණු මුණුවෙකින් ගළා බසිනා, වට ගලින් හා අඩියේ වාලුකායෙන් ද, දණ්ඩීන් බඳු කුඩමසුන්ගෙන් ද පරික්ෂිත දොළ පහරෙකැ. හුදෙකලායෙන් ආතලයක් ගන්නන්ට ස්වර්ගයෙකැ.

එනික්බිත්තෙන් උදයට අර්ථාපලයන් දැමූ උළුහාල් හොද්දක් ද, පොල්, මිරිස් හා ලුණු දැමූ දෙහි සම්බෝලෙයක්ද ද සමඟින් ඉඳියාප්පයෙන් සප්පායම් වූ අප මහා කෂ්ඨිය, අට්ටාලය මත්තේ මහත් වූ කථා බහෙක් ඇති කළෝ ය. ඒ අන්තරයේ, රවියාණන් සුද්දාගේ සයිසය පෙන්වූ සැටි ද, පෝල් බටය පහත් කරවීමට චන්ද්‍රිකාවුන් නොපැමිණි ආකාරය ද, මහත් සෙයින් රසවින්දමෝ යැ.

උළුහාල් හොද්ද රත් වෙමින් පවතින අතර පිඟන් සෝදන නිදි ගේ පින්තූරයට කඤ්ජිපානි ඉම්රාන් යැයි කැප්ෂන් යෙදූ අය සොයා රහස් පොලිසියෙන් පුළුල් පරීක්ෂණ...

රවි අයියා: "මෙන්න සයිස් සුද්දා..."
මම: "මුන්දැ ඒ පාර මගෙ ගජබින්නාලංකාරෙටත් තර්ජනයක් වේගෙන එන්නෙ"

ඉක්බිති උදා වූයේ සංගීතවේදියන් අනුභවයේ අවස්ථාවයැ. විකටරයෝ ද, සනත් නන්දසිරියෝ ද පළමුවෙන් භක්ෂණයට පාත්‍ර වූ ගායකයෝ වූහ. ඩ්‍රැකියාණන්ගේ උදක් ම ඉල්ලීම ප්‍රකාරවැ අමරදේවයන්ගේ මින්දද හීසර නම් වූ මියුරු ගායනය රවියාණන් විසින් භක්ෂණය කරන ලද්දේ අවසාන භාගය වන විට යැ.

අපරභාග හතර වන විට ඩ්‍රැකියාණන් සමු දීමට ඉටා ගෙන උන්නේ හැටනයෙන් නුවරේලි නම් ‌මහා පුරවරයට නික්මෙන අවසාන බසය වූයේ අපරභාග හයේ කණිසමට වූ බැවිනි. හේ සිය සිත තුළ ශෛලතලායෙක කොටන ලද ලේඛනයක් සෙයින් රඳවාගෙන උන් නිදියාණෝ, කල් වේලා ඇතිවැ දොළට බැස ස්නානය නම් වූ ඇඟ සේදීමට ද, සංගීත වේදියන් අනුභවයෙන් නොපිරුණු කුස නැවත බතින් මාළුවෙන් පුරවාගැනීමට ද වේලාවන් යොදා ගැනීමේ තත්පර වූහ.

ඉදින් ඩ්‍රැකියාණන්හට මහත් චිත්ත පීඩාවෙක් වූයේ, අනෙකුන් සියල්ලන්ගේ මැ ආතලයට තමන්ගේ වේලා සටහන බාධකයක්වැ සිටි හෙයිනි.

කෙසේ වතුදු, සහෘදයන්ගේ කතිකාවෙන් ද, මියුරු ගායනයෙන් ද, දොළ පහරේ ගිළී නෑමෙන් ද, ගත්තා වූ ආස්වාදය මියයන තුරුමැ අමතක නොවන අත්දැකීමක් වූයේ යැ.

වන්නාටය, අපරබාග තුනයි හතළිහ පමණ වන විටැ දහවල් බත ද කා පී ඩ්‍රැකියාණෝ, පෙරළා යෑමට බසයක් එන තුරු සිරිබිරිසාණන් දුන් මහා ‌පුස්තක එකොළොස බදාගත් බහිරවයෙක් සෙයින් උන්නමෝ ය. එකී පුස්තකයන් වටිනාකම අතින් කෙළ ලක්ෂයකට ද වඩා පුස්නේ, අති දුර්ලභ ලිහිණි පොත් දසයෙක් ද සමඟැ, රාජ්‍ය සේවකයාගේ මනා ආකල්ප වර්ධනයේ සමර්ථ ගුණසේකරයාණන්ගේ ඩීආරෝ පුස්තකය ඩ්‍රැකියාණන්ට ම අමතා ගුණසේකරයාණන් යෙදූ අත්සන ද සහිතවැ ගෙනැවුත් දුන් හෙයිනි.

මහා ඔළ මොට්ටල වූ ඩ්‍රැකියාණන් ඒ තිලිණ පිළිබඳවැ සිරිබිරිසාණන්ට පිදිය යුතු වූ කෘතඥතාව ද පිදූයේ නොවේ. උන්ගේ හිතේ මුවවිට දක්වාමැ පිරී තිබුණේ හැටන් බසයත්, ඩ්‍රැකී ජූනියරාගේ හුණ රෝගයත්, පමණෙකැ.

පල්ලමෙක බසයක් පහළට යද්දී වේගයෙන් ගිය මුත්, නැවත මුඳුනතට යද්දී ධාවනය වන්නේ සෙමෙන් බව අමතක කිරීම ද, ඩ්‍රැකියානුවන්ගේ තවත් ඔළමොට්ටල කමෙක් වූයෙන්, කල් වේලා ඇතිවැ බසය ග්‍රහණය කරගත්ත ද, හැටන් සිට නුවරේළි බලා දිවෙන බසය අල්ලා ගත නුහුණු වූවෝ ය. මස්කෙළිය බසයෙන් ගිනිගත් සේණට ද, ඉන් හැටනයට ද ගිය මුත් නුවරේළි බසයක් අල්ලාගත නුහුණුවෝ, මොබයිලයේ අන්තරජාලයෙන් හැටනයෙන් පිටත්වන්නට නියමිතව තුබූ ධූමරථයක් බැලූ මුත්, ඒ ද නොමැත්තෙන් හැටනයේ සිට තලවාකැලය බලා යන බසයක නැගී තලවා කැලයට ළඟා වී නමුත්, තලවාකැලයෙන් නුවරේළිය හරහා පුත්තලම කරා යන අන්තිම බසයද පිටත්ව ගිය බව දැනගත්තෙන් අනාථ - නාථ බිම්බිසාර වී තලවාකැලයේ විනාඩියෙන් හතළිස්පහක් මැ තපින්නට වූයෙම්මෝ යැ. 

එකල්හි රෙපෙයාරය කර ගත්තාවූ මහා කණිෂ්කයෝ, නිල ඩබල්කැබය ද රැගෙන නුවරේලි සැපත් වූ වග ඩ්‍රැකියාණන්ට සැළ කරා පීහ. උන් තලවාකැලයට ගෙන්වාගන්නාලද ඩ්‍රැකියානුවෝ සිය ක්වාටසයට සැපත් වූ කල අපරභාග නවය හමාරේ කණිසම වූය. මහා කණිෂ්ක නම් සාරථී තෙම තලවාකැලයට එන තෙක් වූ විනාඩි හතළිස්පහ කෙවුලන් හැරපියා ගොස් මනුෂ්‍ය වාසයෙන් තෙර වූව තොටමුණක් බඳු වූ තලවාකැලයේ පීපලයන්ගේ බැංකුවේ ඒ ටී එමයට වැදී සිරිබිරිසාණන් දුන්නාවූ පොතක් කියවමින් ගත කළෙම්මෝ ය.

එකල්හි සිරිබිරිසාණන් මෙ කල අමිල නාමධාරී සහෘදයාණන් වන අතර, තට්ටාධිපතියන් මෙකල මඤ්ජුල නාම ධාරී ඇඩ්වෙන්චරයාණන් බව ද, පිහිපහරධාරී අසංග වූ කලී මෙකල කොළොම්පුරයා වන බව ද, නිදියා වූ කලී නිමල දිසාවන්ට නායකයා වූ පඤ්ච තන්ත්‍රයෙකැයි චීත්ත වාහිනියක් ලියනා කෙළෙඹි පුත්‍රයා වන බව ද, වීර සිංහයෙකු බඳු වූ රවියාණන්, නිදහස් සිතුවිලි බ්ලොගයේ ඉස්තෝප්පු කාමරයට වැදී සකල බ්ලොගයම තමන් සතු කරගත්තා වූ කටාරයේ අධිපතියාණන් වූ බව ද, නමියා වූ කලී, නමියාගේ වීදියේ අවේලාවේ වීදි සඤ්චාරය කරන ඉඳිකටු පැංචා වූ බවද, ප්‍රා ජේ වූ කලී, මෙකල ප්‍රසන්னයා ගේ වෑනයේ දොරට ඝට්ඨනය වූ ‌පූර්වයේ-කදෝරු මහතැන් වූ බව ද, මහා ඩ්‍රැකියාණන් වූ කලී මෙකල සර්වඥ පණ්ඩිත වූ මම් ම වේ දැයි පූර්වාපර සන්ධි ගළපා දැනගත යුතු වන්නේ යැ.

Sunday, November 6, 2022

මා නායකයෙකු සහ කළමනාකරුවෙකු කළ අරවින්දි මහත්මිය

රාජ්‍ය සේවයට මා එක් වූයේ තුන්වන පංතියේ සාමාන්‍ය ලිපිකරුවෙකු වශයෙන්, පළාත් පාලන අමාත්‍යාංශයට ය. මා පත්වීම භාර ගැනීමට ගිය දවසේ මා එහි කැටිව ‌ගොස්, එහි ප්‍රධානීන්ට හඳුන්වා දුන් සෝමදාස මහතා, රාජ්‍ය සේවයට අවශ්‍ය දැනුම ලබා ගැනීමට ඉතා ම හොඳ අංශය වන්නේ ගිණුම් අංශය බව මට පෙන්වා දුන්නේ ය. සෝමදාස මහතා කලින් පළාත් පාලන අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ  ප්‍රධානී ලෙස සේවය කර, ඉන් පසු අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට ස්ථාන මාරු වී සිටියේ ය.

පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙස කටයුතු කළ ඇලෝසියස් මහතාත්, ගණකාධිකාරී රම්‍යා මහත්මියත්, මුදල් සහකාර මදරසිංහ අයියාත් ගෙන් රාජ්‍ය සේවයේ රෙගුලාසි සහ ආයතනික ක්‍රම ගැන මූලික දැනීම අහුලා ගන්නට මාත්, සමකාලිනව රාජ්‍ය සේවයට එක් වූ අනෙක් අයත් සමත් වූයෙමු.

ඇලෝසියස් මහතා ස්ථාන මාරුවක් ගෙන මුදල් අමාත්‍යාංශයට ගිය පසු, අපට ලැබුණේ ඉතා රම්‍ය ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු වූ අතර, ඔහු ගැන යම් තාක් දුරක තොරතුරු මාගේ ඔපිස් කතා සහ ඔපිස් පුරාවෘත්ත පෝස්ට්වල සඳහන් කෙරුනි. ඔහුගේ තිබූ ඉතා ම කැපී පෙනෙන ලක්ෂණය වූයේ පිරිමි පාර්ශ්වය පිළිබඳව දැක්වූ අසාත්මිකතාව ය. එවක දේශීය ණය සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ රණවීර මහතා හට මා හදිසි රාජකාරියක් ඉටු කර දුන් වතාවක, මා ද ඉදිරිපිට, රණවීර මහතා, ප්‍රධාන ගණකාධිකාරීවරයා ට මා පෙන්වා, "He's an asset to you" යැයි කියූ බව ද මා හට මතක ඇත. අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ විදේශාධාර ව්‍යාපෘති පිළිබද රාජකාරි ඉටු කිරීමට, ඇලෝසියස් මහතා මා අනුයුක්ත කළේ මා හට ඉංග්‍රීසි මාධ්‍යයෙන් සහ පරිගණක ආශ්‍රයෙන් වැඩ කිරීමට පැවති හුරුව නිසා ය. එහෙත් පසුව ආ ප්‍රධාන ගණකාධිකාරීවරයා මා හට පැවසූයේ "ඔය ඉංග්‍රීසි ටිකක් කටේ ගාගත්තට, කම්පියුටර් ටිකක් අත පත ගෑවට ඇති වැඩක් නෑ" යන වග ය. 

කෙසේ වෙතත්, පැවති හිරිහැර හා නොසළකා හැරීම් අතර, මාගේ සමකාලීනයෙකු වූ වසන්තා කුමාරි (දැන් ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරිණියකි) රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලිපිකරුවන් ස්ථාන මාරු කරවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවට වූ දැන්වීම මා වෙත පෙන්වීම මා හට මහඟු අවස්ථාවක් විය. ඒ සඳහා අයදුම් කිරීමෙන් පසු, මා ද තවත් කිහිප දෙනෙක් ද තෝරා ගනු ලැබුණේ ය. ඒ අනුව, අප රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත මුදා හරින ලෙස එවන ලද දැන්වීමට ප්‍රධාන ගණකාධිකාරීවරයාගේ ප්‍රතිචාරය වූයේ, මා වෙනුවට අනුප්‍රාප්තිකයෙකු නොමැතිව මුදා හළ නොහැකි බව ය.

මීට පිළීයමක් අපේක්ෂාවෙන් මා කිහිප දෙනෙකුගේ පිහිට පැතූ නමුත්, මා හට පිහිට වූයේ, එවක පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වවරයෙකු ලෙස කටයුතු කළ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු වූ සුනිල් ප්‍රනාන්දු මහතා ය. ඔහු ප්‍රධාන ගණකාධිකාරීවරයා දුරකථනයෙන් අමතා, "රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ ඝට්ටණ ඇති කර නොගන්නැයි" උපදෙස් දුන්නේ ය. එතුමා මා හට ලබා දුන් සහයෝගය, අමාත්‍යාංශ ලේකම්වරයාවත් ඉටු කර ‌දීමට මැළි වූ සහයක් විය.

එසේ මා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ස්ථාන මාරු වී රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ සේවයට වාර්තා කල පසු දැනගන්නට ලැබුණේ, මා අනුයුක්ත කරන්නට යන්නේ ගිණුම් අංශය වෙත බව ය. ඒ වන විට මාහට ගිණුම් අංශයන් සහ ගණකාධිකාරීවරුන් තිත්ත වී තිබුණි. මා මේ තාක් සේවය කළේ ගිණුම් අංශයේ වන බැවින් මා වෙනත් අංශයකට අනුයුක්ත කරන මෙන් මා ඉල්ලූ අතර, එය දැනගත් ගණකාධිකාරීතුමිය (නියෝජ්‍ය ලේකම් - මුදල්) වූ අරවින්දි ද සිල්වා මහත්මිය මා තමන් වෙත ම අනුයුක්ත කරන මෙන් පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හට දැන්වූ බව, පසුව මා හට කීවේ එම ගණකාධිකාරීතුමිය ම ය.

කෙසේ වුවත්, මා හට හිතා හදා ගන්නට සිදු විය. කොහේ ගියත්, පලාත් පාලන අමාත්‍යාංශයේ සිටි ප්‍රධාන ගණකාධිකාරීවරයා වැනි තවත් මනුෂ්‍යයෙකු මේ ලොව සිටීමට ඉඩ අල්ප බව සිතා යම් තාක් දුරකට හිත හදා ගත් මම ගිණුම් අංශයට ගියෙමි. ඒ ද, අප රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සේවයට වාර්තා කර සතියකට පමණ පසුව ය. අප අංශවලට අනුයුක්ත කිරීම ප්‍රමාද වන බව දුටු ගණකාධිකාරීතුමිය මාගේ විස්තර අසා ගෙන, තම අංශයේ නිලධාරිණියන් ලවා මා අනුයුක්ත කරන ලිපිය ටයිප් කරවා යවා, මා ඇගේ අංශයට අනුයුක්ත කරවා ගත් බව දැනගත්තේ, මා ඒ අංශයට ගිය පසුව ය.

ගිණුම් අංශයේ සේවය කළේ කළමනාකරණ සේවා නිලධාරීන් (ලිපිකරු සේවය දැන් හඳුන්වන නම) මා ද ඇතුළත් ව හත් දෙනෙකි. ශාඛා ප්‍රධානී වූ සනත් සිල්වා මහතාත්, මැන්ඩිස් මහතාත්, මල්ලිකා මහත්මියත්, පුෂ්පා මහත්මියත් ඉතා ම දීර්ඝ සේවා කාලයක් සහිත පළවෙනි පංතියේ ලිපිකරු / කළමනාකරණ සේවා නිලධාරීන් වූ අතර, මාත් තවත් නිලධාරිනියන් දෙදෙනෙකුත් තුන්වන සහ දෙවන පංතියේ ලිපිකරුවන් වූයෙමු.

එසේ තිබිය දී, ගණකාධිකාරීතුමිය මා වෙත පැවරූ ප්‍රථම රාජකාරිය වූයේ ගබඩා භාරකරු රාජකාරියයි. රජයේ දේපළ පිළිබඳව භාරකාරත්වය දැරීම වගකීමක් සහිත රාජකාරියකි. ඕනෑ ම අවස්ථාවක විගණනය කිරීම සඳහා ගබඩාවේ ලේඛන සමඟ සමානව තොගය පවත්වාගත යුතු වේ. ගබඩාවට බඩු භාර ගැනීමත්, එක් එක් අංශවල ඉල්ලීම් අනුව බඩු නිකුත් කිරීමත්, ඒ සියල්ල ලේඛනගත කිරීමත් දෛනික රාජකාරියක් වූ අතර, භාණ්ඩ නිකුත් වීමේ ප්‍රවණතා හඳුනාගෙන යළි ඇනවුම් මට්ටම් තීරණය කරමින්, භාණ්ඩ අවසන් වීමට පෙර නැවත ඇනවුම් කිරීම ඉතා වැදගත් කටයුත්තක් ද විය.

මම ගබඩාවේ කටයුතුවලට හුරු වූ පසුව අරවින්දි මහත්මිය මා හට මැන්ඩිස් මහතා සමඟ ගොස් භාණ්ඩ සැපයුම් කටයුතු ද හුරු වන්නට අවස්ථාව ලබා දුන්නා ය. මැන්ඩිස් මහතා විශ්‍රාම ගිය පසු සැපයුම් කටයුතු ද මා වෙත පවරන ලදි. ප්‍රසම්පාදන හෙවත් සැපයුම් කටයුතු, ප්‍රසම්පාදන ලියවිලි සකස් කිරීම, ලංසු කැඳවීම, ලංසු විවෘත කිරීමේ කටයුතු, ලංසු සුරක්ෂණ සහ කාර්යසාධන සුරක්ෂණ පවත්වාගැනීම ආදී වශයෙන් ප්‍රසම්පාදනයේ කාර්ය පරාසය විවිධ සහ විස්තීර්ණ මට්ටමක පවතී. රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය කුඩා කාර්ය මණ්ඩලයක් සහිත ආයතනයක් වූ බැවින්, ඉහත කටයුතු තිබුණේ සාපේක්ෂව අඩු ප්‍රමාණයක් වූ බැවින්, මා හට එම කටයුතු මනාව ඉගෙන ගැනීමට හැකි විය.

විටින් විට අරවින්දි මහත්මිය මා හට ගිණුම් අංශයක පවතින රාජකාරි සියල්ලක් ම පාහේ පවරමින් සියලු දේ ඉගෙන ගැනීමට මා හට අවස්ථාව ලබා දුන්නාය. ඒ අනුව, ගබඩාව, ප්‍රසම්පාදන, රාජ්‍ය ගිණුම් පවත්වාගෙන යාමේ මෘදුකාංගය සමඟ වැය ලෙජර, මුදල් පොත, වැටුප් ලේඛන, විගණන විමසුම්, වාර්ෂික පාලන වාර්තාව, මාසික ගිණුම් සාරාංශ සකස් කිරීම, බැංකු සැසඳුම් ප්‍රකාශය ආදී උගත යුතු සියල්ල පාහේ මා හට උගෙනීමට අවස්ථාව ලැබුණේ ය.

2008 වර්ෂයේ රාජ්‍ය සේවා කොමිසමෙහි කාලය අවසන් වූ අතර, එවක පැවති රජය, කොමිසමේ සාමාජිකයන් නැවත පත් කළේ නැත. 17 වන සංශෝධනය අනුව, කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කළ යුතු වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අනුව ය. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එක් සාමාජිකයෙකු පත් කරන්නේ ජනාධිපති විසිනි. එම සාමාජිකයා පත් නොකළ නිසා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අක්‍රිය මට්ටමක පැවතිණ. (19 වන සංශෝධනයෙන් මේ දුර්වලතාව ඉවත් කෙරුණු අතර, සාමාජිකයෙකු හෝ කිහිප දෙනෙකු පත් නොකළ ද, සිටිනා සාමාජිකයන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක වන තත්ත්වයක් පැවතිණ.) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නොමැතිව වෙනත් කොමිෂන් සභා මෙන් ම, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ද පත් කළ නොහැකි විය. එම සාමාජිකයන් නැවත පත් කෙරුණේ 2010 වර්ෂයේ (මතක ඇති ආකාරයට) 18 වන සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුවය.

ඉතින් කොමිෂන් සභාව අක්‍රියව පැවති කාලයේ අප කාර්යාලයේ ආයතන, විනය, හා අභියාචනා අංශවල රාජකාරි ඉතා අල්ප විය. එය අවස්ථාව කරගත් එවක සිටි වැඩ බලන ලේකම්වරයා කාර්යාලයේ සියලු දෙනා පුහුණු වැඩසටහන්වලට යොමු කළේ ය. එසේ පැවැත්වුණු එක් පුහුණු වැඩසටහනක් ආවරණය කළේ "කාර්යාල ක්‍රම" ය. සියලු ලිපිකරුවන් ඊට සහභාගී විය යුතු බව ට වැඩබලන ලේකම්වරයා නියෝග කළේ ය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සිටි ලිපිකරුවන්ගෙන් ඉතා බහුතරය පළමුවෙනි පංතියේ නිලධාරීන් වූ අතර, අවුරුදු විස්සකට වඩා පළපුරුද්ද තිබූ නිලධාරීන් ය. ලේකම් වරයාගේ නියෝගය අනුව ඔවුන් සියලු දෙනා ට රැස්වීම් ශාලාවට ගොස්, දේශකයා වෙතින්, ගොනුවලට ලිපි අමුණන ආකාරය, සටහන් ලියන ආකාරය, ලිපි සකස් කරන විට කළ යුතු පිරිවිතර ආදී කරුණු අසාගෙන සිටීමට සිදු විය.

ඉහත කී පුහුණු වැඩසටහනක අවසාන දිනයේ දී දේශක වරයා වෙත කළ යුතු ගෙවීම වෙනුවෙන් චෙක්පත නිකුත් කරන්නට ගිණුම් අංශයට සිදු විය. ලිපිකරුවන් සියලු දෙනා දේශනයට සහභාගී වීම ද අනිවාර්ය විය. එහිදී අරවින්දි මහත්මිය ගෙවීම සම්බන්ධ සියලු කටයුතු ඉටු කරවා ගත්තේ අප අංශයේ සිටි නවක කාර්යාල කාර්ය සහායකවරිය ලවා ය. වවුචරය පරීක්ෂා කිරීම, වැය ලෙජරයේ සටහන් කර, ප්‍රතිපාදනවලින් අඩු කිරීම, මුදල් පොතේ සටහන් කිරීම, චෙක්පත ලිවීම යන සියලු කටයුතු, ඉහත කී කාර්යාල කාර්ය සහායකවරියට කියා දුන් අරවින්දි මහත්මිය, නියමිත‌ වේලාව වන විට චෙක්පත දේශකවරයා වෙත නිකුත් කළා ය. ඉහත කටයුත්ත ඉටු කළ කාර්යාල කාර්ය සහායකවරිය පසුකාලීනව උසස්වීම් ලබා මේ වන විට ගණකාධිකාරීවරියකි.

වැඩ බලන ලේකම්වරයා විසින්, කාර්යාලයේ දියුණුවට අංශ භාර නිලධාරීන් වෙතින් අදහස් කැඳවූ අවස්ථාවක දී අරවින්දි මහත්මිය මා ගෙන් ද අදහස් විමසුවා ය. අප ඉදිරිපත් කළ එක් යෝජනාවක් වූයේ එස් පහ සහ ඵලදායිතා කව ක්‍රියාත්මක කරවීම ය. එය වැඩබලන ලේකම් වරයාගේ නියෝගයක් ලෙස නැවත අප වෙත ලැබුණු අවස්ථාවේ, අප අංශයේ ඵලදායිතා කව නායකයා ලෙස අරවින්දි මහත්මිය මා යෝජනා කළා ය. අප ගේ කවයේ නම ලෙස ඇය යෝජනා කළේ "ශිත්සුකෙ" ය. අනෙක් අංශයන් "ගගන", "සඳ" වැනි නම් යොදා ගනිද්දී, අපගේ ඵලදායිතා කවය මුල් පියවරින් ම ජාත්‍යන්තර මට්ටමට සමීප විය.

අරවින්දි මහත්මිය හරිත ඵලදායිතා කටයුතු අතර...

අරවින්දි මහත්මිය ගේ කළමනාකරණය යටතේ අප සියලු දෙනා ම ඉතා ම ඉහළින් අභිප්‍රේරණය වී කටයුතු කළෙමු. රියදුරන් වූ බන්දුල සහ චමින්ද ද ඒ අතර වූ අතර, නිර්මාණශීලී කලාකරුවෙකු වූ චමින්ද ඉතා සරළ සහ බහුවිධ භාවිතයක් සහිත පෑන් රඳවනයක් තැනීම සහ ඉවත දමන ඇස්බැස්ටෝස් පුවරු මත ඇඳි චිත්‍ර මඟින් අප ඵලදායිතා කවයේ තත්ත්වය උසස් කළේ ය. බන්දුල රියදුරු මහතා ඵලදායිතා කව ක්‍රියාකාරකම්වලට අවශ්‍ය සහ සුදුසු ලිපිද්‍රව්‍ය සහ වෙනත් දේ අඩුමිලට ගැනීමට හැකි තැන් සහ ක්‍රමවේදයන් දැන සිටියේ ය. කුරුඳුපොලු වලින් අප සකස් කළ රාමුවක් බිත්තියේ රඳවා දැන්වීම් පුවරුවක් සකස් කළෙමු. අපගේ කාර්යාලයේ පාටිෂන් සකස් කර තිබුණේ ලෝහ තහඩු වලිනි. එහෙයින් වෙනත් කිසිවක් නොමැතිව ලිපි රැඳවීමට චුම්බක සහිත ක්ලිප්වලට හැකිවිය. පරිගණකවලට භාවිත වන ස්පීකර්වල වයර් කපා දිගු වයර් යොදා, අංශයේ සිවිලිමට ආසන්නයෙන් සවිකළේ බන්දුල ය. ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිලධාරීන් අපගේ ප්‍රගතිය පරීක්ෂා කර, ලකුණු දීමට පැමිණෙද්දී ඒ ස්පීකර් මඟින් මෝසාට් ගේ සිම්ෆනි වාදනය කරවීමට අපි කටයුතු කළෙමු.

චමින්දගේ චිත්‍ර සහ බන්දුල සැපයූ මාළු ටැංකිය

අපේ දැන්වීම් පුවරුව


ගබඩාව සහ ‌ගිණුම් අංශයේ පැරණි ලේඛන සහිත ලේඛනාගාරය විධිමත් කිරීම ද අප විසින් විධිමත් පරිදි ඉටු කළ අතර, පෙර පැවති තත්ත්වය ඡායාරූප මඟින් ඒ ඒ තැන්වල ප්‍රදර්ශනය ද කළෙමු.


චමින්ද හැදූ පෑන් රඳවනය

සමාජ සුභසාධන කටයුතු දෙකක් ද ඒ ආශ්‍රිත කාලයේ දී අපගේ ඵලදායිතා කවය මඟින් සිදු කිරීමට අපට හැකි විය. ඊට මඟ පෙන්වූයේ සහ අප මෙහෙයවූයේ අරවින්දි මහත්මියයි.

මැන්ඩිස් මහතා අප අංශයේ සිටි ජ්‍යෙෂ්ඨතම ලිපිකරුවා විය. ඔහු විශ්‍රාම යාමට මත්තෙන්, ඔහු සතුව මුදල් රෙගුලාසි සහ රාජ්‍ය ගිණුම් පටිපාටිය පිළිබඳ දැනුම සියලු දෙනාට පරිශීලනය කළ හැකි වන සේ පොතක් ලියන්නැයි, අරවින්දි මහත්මිය සහ ශාඛා ප්‍රධානී සනත් සිල්වා මහතා ඔහුගෙන් ඉල්ලූහ. ඒ අනුව අප ඵලදායිතා කවයේ වැඩක් වශයෙන් රාජ්‍ය ගිණුම් ක්‍රියාවලිය පිළිබඳ සරළව දැනුම ලබා ගත හැකි වන පොතක් ද මුද්‍රණය කරන්නට හැකි විය.

එවක අන්තර්ජාල සම්බන්ධතා ලබා දී තිබුණේ විධායක මට්ටමේ නිලධාරීන් හට ලබා දී තිබූ පරිගණක සඳහා පමණකි. එසේ වී නමුත්, අරවින්දි මහත්මිය ඇගේ රාජකාරි පරිගණකයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වීමට මා හට ඉඩ ලබා දුන්නා ය. සිටිනා තනතුරේ ම නොරැඳී, බැංකු තරග විභාග ආදිය ලියන්නට උනන්දු වන ලෙසට මා ද ඇතුළත්ව, තරුණ වයසේ සිටි සියලු ලිපිකරුවන්ට ඇය උපදෙස් දුන්නේ වරක් දෙකක් නොවේ.

මාගේ පියා මියයන විට මා සිටියේ ආර්ථික දුෂ්කරතා ගොඩක ය. අලුතින් ගෙයක් තැනීමට පටන් ගෙන සිටි මා, පංචායුධ කුමාරයා සිලේසලෝම රකුසා සමඟ සටන් කළ පරිදි ම, මා සතුව පැවති සෑම මුදල් ප්‍රභවයක් ම ඊට යොදවා තිබුණි. අවමංගල්‍ය කටයුතුවලින් පසුව, අම්මාගේ උපදෙස් අනුව මම මාසික වැටුපින් අත්‍යවශ්‍ය ම වියදම් පමණක් කරමින් මුදල් ඉතුරු කිරීමට උත්සාහ ගත්තේ තුන් මාසයේ දානයට වියදම් කිරීමට ය. 

මා ලිපිකරු (කළමනාකරණ සහකාර) සේවයේ දෙවන පංතියට සමත් වූූූයේ ඒ අතර ය. ඒ සම්බන්ධව මගෙන් පාටියක් ඉල්ලමින්, අප කාර්යාලයේ නිලධාරිණියන් විටින් විට වද කළේ මා අසීරු තත්ත්වයක සිටියදී ය. ඔවුන් ගේ  ඉල්ලීම ඉටු කරන්නට තරම් මුදල් මා අත නොතිබූ බව දැන සිටි, අරවින්දි මහත්මිය ‌ඇගේ වියදමින් කෙටි කෑම ගෙනවුත් කාර්යාලයේ නිලධාරීන් අතර බෙදා දෙන්නට කටයුතු සැළසුවාය.

මා අද රාජ්‍ය සේවයේ සිටින තැනට මා හට ඒමට උපස්තම්භක වූයේ අරවින්දි මහත්මිය ය. රාජ්‍ය සේවයේ රාජකාරි කටයුතුවලින් අතිශය බහුතරය ප්‍රායෝගිකව අත්දකින්නට සළස්වා ඒවායේ රෙගුලාසි තත්ත්වය සහ භාවිතය මා හට හුරු කරවීම, රාජ්‍ය සේවයේ උසස්වීම් සඳහා පැවති විභාගවලදී ඉතා පහසුවක් විය. පාඩම් කර විභාගය ලියනවාට වඩා හොඳින්, අත්දැකීමෙන් ලිවීම කළ හැකි විය. එසේ ම, රාජ්‍ය සේවයේ පවතින වර්තමාන විභාග ආකෘතියේ වැඩි කොටස, සිද්ධි අධ්‍යයනයන් ආශ්‍රයෙන් දැනුම මැන බැලීම ට සකස් වී ඇත. එය කටපාඩමෙන් ලිවීම අසාර්ථක ය.

අනෙක් අතට, තමන්ට පැවරෙන සියලු වගකීම් නියමිත කාලයට ඉටු කිරීම, කාලය කළමනාකරණය කර ගැනීම, කණ්ඩායමකට නායකත්වය දීම, පහළට වගකීම් පවරා අධීක්ෂණය කරමින් කටයුතු කඩිනමින් නිම කරවා ගැනීම, මිනිසුන් අභිප්‍රේරණය කරවීම, රාජකාරිවල නව්‍යතා හඳුන්වා දීම, ආරම්භක ශක්තිය ‌ගොඩනඟා ගැනීම මෙන් ම, ගැටෙනවා නම් ඒ පහළ සමඟ නොව ඉහළ සමඟ බව තේරුම්ගැනීම ආදී ගුණාංග අරවින්දි මහත්මිය වෙතින් මා හට ලැබුණු ආදර්ශයන්ය.

ඉතා ධනාත්මක නායකයෙකු වූ අරවින්දි මහත්මිය, අභියෝගයන් භාරගෙන, සාමාන්‍ය ප්‍රමිතියට වඩා ඉහළින්  ඒවා සම්පූර්ණ කිරීමේ සහජ හැකියාවක් දැක්වූවා ය. වර්තමානයේ ගන්නා තීරණයන් අනුව අවුරුදු ගණනාවක් ඉදිරියේ දී සිදුවිය හැක්කේ කුමක්දැයි පුරෝකථනය කර, සිදුවිය හැකි සියලු විකල්පයන්ට අවශ්‍යවන ක්‍රියාමාර්ග ගැනීමට උපායමාර්ගික කුසලතාව ඈ සතු විය. තමන් දරන ස්ථාවරය නිවැරදි වන විට එල්ලවන තර්ජන, ඒවා කුමන තරම් ඉහළින් එල්ල වූව ද නොබිය ව මුහුණ දීම අරවින්දි මහත්මියගේ මා දුටු තවත් එක් ගුණාංගයක් විය.

පසුගිය දාක නුවරඑළියට පැමිණි අරවින්දි මහත්මිය මා දැකීමට පැමිණියෙන්, සුලුවෙන් හෝ මගේ කෘතඥතාව ඇයට පුද කිරීමට හැකි විය. අප ඉතා ප්‍රසන්න සහ ප්‍රීතිමත් වරුවක් ගත කළෙමු. ඇගේ නිහතමානීත්වය සහ සුහදත්වය මේ ලියන මොහොතේ ද මාගේ හදවත තුළ උණුසම් බවක් ඇති කරවයි. රාජ්‍ය සේවය තුළ කළකිරීමට සහ අවතක්සේරුවට ලක්ව අයාලේ යාමට නියමිත ව තිබූ මගේ ඉදිරි ගමන නිසි මාර්ගය වෙත යොමු කර, ඊට අවශ්‍ය ගුණාංග මා තුළ වර්ධනය කරවීම ගැන මා තුළ පවතින ණයගැතිභාවය පැවසීමට මේ සටහන සුලු වශයෙන් හෝ ප්‍රමාණවත් නොවන බව නිසැක ය.

පිදුරුතලාගල...
(වමේ සිට - මං, මගේ ආදරබර භාර්යාව, අරවින්දි මහත්මියගේ සැමියා වන වෛද්‍ය විජේසූරිය මහතා සහ අරවින්දි මහත්මිය)

ග්‍රෙගරි වැව ළඟදි...
මැද ඉන්නෙ අපේ හුටංබරස් පුංචිරාළ මහත්මයා


චමින්ද ඇඳපු පින්තූර පහතින්...








වැඩිපුර බලපු ලිපි