Showing posts with label ගුටි කෑමට නියමිතයි. Show all posts
Showing posts with label ගුටි කෑමට නියමිතයි. Show all posts

Monday, November 10, 2025

ශනිදා දහයට චුට්ටක් පසුවී... තවත් හෙදියක් අතුරුදන් වෙයි

මෙන්න සුවහසක් පාඨක දෙතුන් දෙනාගේ ඉල්ලීම පරිදි සුනන්ද කෝදාගොඩගේ විනෝද රසාංග පොතේ තවත් එක් කොටසක්...

*    *    *

හෙදියන් තුන්සිය ගණනක් හිටි හැටියේ අතුරුදහන් වීම පිළිබඳ පුවත දැනගන්නට ලැබුණු මොහොතේ මගේ පපුවේ ඇවිලුණු ගින්දර මූදගොඩ ගැලුවත් නිවා දැමිය නොහැකි තරම් විය.

ඉතා ඉක්මණින් මේ පිළිබඳව සොයා බලා වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වා නර දූපතේ සමස්ථ රෝගීන්ගේ සංගමය ගිය ඉරිදා එවන ලද විදුලි පුවත මට ලැබුනේ අද අලුයම කුකුළා හඬලන්නටත් පෙරදීය.

මේ සිද්ධිය ගැන සොයා බැලීමට පත් කරන ලද ඒක පුද්ගල කොමිටියේ සර්ව බලධාරී එකම පුද්ගලයා වශයෙන් හෙදියන් කෙරෙහි කරුණාවෙන් උපන් හදවතක් ඇති මාවම පත් කරගනු ලැබුවේ සදාකාලික රෝගියෙකු වූ රෝහල බදා ගත් හැලිවලංගොඩ මහතාය.

මහ පාරේ තිබී අහුලාගත් පනාවකින් රෝහල් හෙදි විදුහල් පීරමින් හෙදියන් විශාල පිරිසක් මෙම පරීක්ෂණය සඳහා තෝරා ගැනීමට මට හැකි විය.

හෙදියෝ සියලු දෙනාම මා වටකර සිට ගත්හ. හංසයන් මැද්දට වන් උරුලෑවෙක් මෙන් මා වෙව්ලන්නට විය. එකෙණෙහිම හෙදියන් දෙදෙනෙක් පැමිණ මගේ අත් දෙකින් අල්ලා ගත්හ. 

'මොකටද තමුසෙ මෙහාට මකබෑවුනේ,...?'

'මං ආවේ ඔයාල ගැන පරීක්ෂණයක් කරන්න.'

'ඇයි තමුසෙට පරීක්ෂණ කරන්න වෙන දේවල් නැද්ද?'

'නෑ... නෑ... අර හෙදියන් තුන්සිය ගානක් අතරුදහන් වෙලා කියල පත්තරේ පළවුනාට පස්සේ අපේ සංගමයෙන් මාව පත්කළා ඒ ගැන පරීක්ෂා කරන්න.'

එය සිහි කළ විටම හෙදියන් කීප දෙනෙක්ම අඬන්නට පටන් ගත්හ.

එක් හෙදියක් දෑතට ගෙන සිප සැනසූ පසු අනෙක් සියලු දෙනාම සන්සුන් වූහ.

'මේ අතුරුදහන් වුන හෙදියන් රට ගිහිල්ල කියලනෙ පත්තරේ තිබුනේ'

'ඒක අමූලික බොරුවක්'

'වෙන්න බෑ... පත්තර වල බොරු දාන්නේ නැහැනේ'

'ඒක ඇත්තද බොරුද කියලා තමුසෙට වඩා හොඳට අපි දන්නවා.'

එක් හෙදියක් ඉන්ජෙක්සන් කටුවක් ද රැගෙන මා ඉදිරියට පැන්නාය. ක්ෂණයකින් ඇය වෙත හෙලන ලද ප්‍රේමාන්විත බැල්මකින් ඇය වසඟ කරගත් මම මේ පිළිබඳව තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කළෙමි.

'හොඳයි මේ අතරුදහන් වීමට හේතුව මොකක්ද කියල කියන්න පුළුවන්ද?'

'පුළුවන්... පුළුවන්... පුළුවන්...' හෙදියන් සියලු දෙනාම එක හඬින් කෑගසන්නට වූහ.

'ඉතින් කියන්නකො අනේ... මට යන්න පරක්කු වෙනව.'

'කිව්වොත් මට මොනවද දෙන්නේ...' මෙතෙක් වෙලා මගේ ඇකයෙහි උන් හෙදිය මගේ නිකටෙන් අල්ලා සොලවමින් ඇසුවාය.

'ඔයා ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නම්.' දෙන්න තරම් දෙයක් මා ළඟ නැති නිසා මම නිර්භයවම කීවෙමි.

"අපිට අවුරුදු පහක් යනකම් බඳින්න තහනම්." මගේ ඇකයෙහි සිටි හෙදිය කඳුළු සලන්නට වූවාය.

'නෑ...! මම විමතිය පළ කළෙමි.'

'ඔව් අනේ'

"බරපතල අසාධාරණයක් නේ. මේ නීතිය නැතිකරන්න ඕනෑ... මං ඒක නැති කරනවා කරනවාමයි."

ප්‍රීතිය දරාගත නොහැකිව එක් හෙදියක් මගේ කරට පැන ගත්තාය.

'මට පත්වීම ලැබෙන කොට අවුරුදු තිස් පහයි. තව අවුරුදු පහක් යනකොට මං නාකි වෙනවා. ඔයාට බැරිද අනේ මේ දුකින් මාව බොර ගන්න.'

'ඔයා විතරක් නෙවෙයි. මං ඔයාලා ඔක්කොම මේ කරදරෙන් නිදහස් කරනවා.'

හෙදියන් සියලු දෙනාම මා බිම පෙරළා ගෙන ජය ඝෝෂා කරන්නට පටන් ගත්හ.

'ඉතින් ඔයාලගෙන් තුන්සිය ගාණක් නැති වෙන්න හේතුව ඕකද?'

'ඔව් අනේ, ලෙ‌ඩෙක් සනීප වෙලා යනකොට අපේ එක්කෙනක් එක්ක යනවා.'

'ඒකත් නැති කරන්න ඕනෑ.' මම කීවෙමි.

'එපා අනේ.' කරුණාවෙන් උතුරන සිතක් ඇත්තියක් මට ටොක්කක් ඇන්නාය.

'හොඳයි කසාද බැඳපු නැති පිරිමි රෝහල් වල නතර කිරීම තහනම් කෙරුවාම ඔයාලගෙන් කවුරුවත් අතුරුදහන් වෙන්නේ නැහැනේ.'

'තෝ හදන්නේ අපේ කටේ පස් දාන්නද යකෝ.' හෙදියන් සියලු දෙනාම මා වට කරගෙන තඩි බාන්නට පටන් ගත්හ. මම පණ බේරාගෙන දිව්වෙමි. ආපසු හැරී බැලුවේ එක හුස්මට කිලෝ මීටර් පහක් දුවගෙන ඇවිත්ය.

'දෙවියන්ට ස්තූති වේවා.' හෙදියන් එක්කෙනෙක්වත් පෙනෙන්නට නැත. මට පියවි සිහිය ආවේ දැන්ය.

'ඔයාට මහන්සිද ඩාලිං...?'

'දෙයියෝ සාක්කි.' මා මෙපමණ දුරක් දුවගෙන ඇවිත් තියෙන්නේ මගේ කර උඩ සිටි හෙදියත් සමගය. ඉතා අමාරුවෙන් ඈ බිමට බස්සවා ගත් මම කරගත් ගොන්කම ගැන ළතැවෙමින් ඈ සමග ගෙදර ආවෙමි. අත් වැරැද්දකින් සිදු වූවත් තවත් හෙදියක් අතුරුදහන් වීමේ පුවත හෙට පත්තර වල පළවනු ඇත. එනිසා මා කෙරෙහි අනුකම්පාවෙන් හෙට පත්තර ගැනීමෙන් වලකින මෙන් මෙය කියවන සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිමි.



මීට පෙර පළ කළ කොටස්...

1. පවුල්කාරයන්ගේ අවුරුදු උත්සවය

2. බඩු පෙට්ටියක කොළඹට ගමනක්

3. කොස් මස් යානය ආච්චිගෙ කොන්දට

4. කරලැයින් ආච්චි සමග බැල්කනියේ

5. පොහොය දා ආච්චි සමග සිල් ගනී.

Wednesday, November 5, 2025

පසළොස්වක පොහොයදා ආච්චි සමඟ සිල් ගනී

කරලැයින් ආච්චි සමග චිත්‍රපටියක් බැලීමට ගිය කතාවේ මුලින් සඳහන් කර ඇති සිල් ගැනීමේ කතාව, සුනන්ද කෝදාගොඩ ගේ විනෝද රසාංග පොතෙන් උපුටාගෙන පසළොස්වක පොහොය දින පළ කිරීම සුදුසු බව සිතුවෙමි...

"නැගිටපන්"

පසළොස්වක පොහෝදා හිමිදිරි පාන්දර කොඳු නාරටිය තුනට හතරට නමාගෙන කුම්භකර්ණ සෙයියාවෙන් නිද්‍රෝපගතව සිටි මට ආත්තම්මාගෙන් හැරමිටි පාරක් වැදුණි.

"මට බැහැ"

අනපේක්ෂිත අයුරින් ලද ඒ හැරමිටි පහරින් මුචලින්ද නාගරාජයා මෙන් කිපුණු මම අනෙක් ඇලයට හැරී නැවතත් නින්දට වැටුනෙමි.

"නැගිටපන් යකෝ... උඹ සිල් ගන්න යන්නේ නැද්ද...?"

හතර පෝයටම සිල් ගන්නා අපේ ආච්චි මාවද සිල් ගැනීමට එකතු කරගෙන යාමට නොගත් උත්සාහයක් නැත. එහෙත් මම ඒ හැම වාරයකම කට්ටි පැන ඇගෙන් බේරුනේ ගැහැණු ළමයෙකුගේ ග්‍රහණයෙන් බේරෙන තරුණ කොලු ගැටයෙකු මෙන්ය.

මෙදා සැරේ නම් ඇගෙන් ගැලවීමක් නැත. ඊයේ උදේ සිට මට කිසිම ආහාරයක් නොදී නිරාහාරව තැබූ ඇය මා මීමින්නෙකු සේ පොළොව බදාගෙන ඇඬූ පසු රාත්‍රී කෑම වේල පවා දුන්නේ මෙම පෝයදා සිල් ගැනීමට යන බවට මා පොරොන්දු කර ගැනීමෙන් පසුවය. සිල් ගැනීමට වඩා දැන් මට ඕනෑ කරන්නේ නිදා ගැනීමයි.

"මට බැහැ සිල් ගන්න යන්න..."

"නිදි කුම්භයා...! මෝඩයා...! බූරුවා... වසවර්තියා...!"

"මතක නැද්ද ඊයේ රෑ කිව්වා අද උදේ සිල් ගන්න එනව කියල" ආච්චි කනෙන් අල්ලා මා පැදුරෙන් නැගිට්ටෙව්වාය.

"ඒ වුනාට දැන් මට බැහැ..." මම උට්ඨාන වීර්යයෙන් යුක්තව නැවතත් පැදුරේ ඇලවුනෙමි. 

උපන්දා සිට අද වනතුරු මා සිල් අරගෙන නැත. නොදන්නා දෙමළෙට ගොස් වරිගේ නහගන්නවාට වඩා දන්නා සිංහලෙන් නිදා ගැනීම යහපත්ය. ගමරාළ හා හා පුරා කියා සිල් ගැනීමට ගොස් සිදුවූ අකරතැබ්බය මා ඉස්කෝලේ යන කාලයේ අසා ඇත.

ආච්චි හදන්නේ ගහ දන්නා මට කොළ කඩා පෑමටය. ඇය කොතෙක් හිරිහැර කළත් අද නම් මම සිල් ගන්නට යන්නේම නැත.

"නැගිටපන් කාළකණ්ණියා... දැන් මට පරක්කු වෙනවා. බලපන් අද කොච්චර හොඳ දවසක්ද...?"

අද පසළොස්වක පෝය. බෞද්ධයෙකුට තියෙන වැදගත්ම දවස..." ආච්චි මා සම්‍යක්දෘෂ්ටිකයෙකු කිරීමට උත්සාහ කරයි.

"මට බැහැ...! මට බැහැ...! මට බැහැ...!" දෝමනස්ස සහගත පටිඝසම්පයුක්ත චිත්තයෙන් නැගිටගත් මම පොළොවේ අඩි හප්පා කෑ ගැසුවෙමි. වසවර්ති මාරයා දුටු කලෙක මෙන් ආච්චී කිලෝ ග්‍රෑමයක් පස්සට පැන්නාය.

"හෙමින් කතා කරපන් ළමයෝ..." සෝමනස්ස සහගත ඥානසම්පයුක්ත චිත්තයෙන් ආච්චි මගේ ඔලුව අත ගෑවාය.

"බලපන් අර අල්ලපු ගෙදර සීලවතී ළමයත් අද සිල් ගන්නව. ගමේ ගැහැණු ළමයි ඔක්කොම අද පන්සලේ" අහෝ දෙවියනි; උතුම් වූ පසළොස්වක පොහොය දවසේ සිදුවන්නට යන දුර්භාගයයක මහත! ගමේ ගැහැණු ළමයින් සියලු දෙනාම අද පන්සල ආක්‍රමණය කරන්නේ නම් මා මෙසේ වකුටු වී නිදා ගැනීමෙන් කුමණ ප්‍රයෝජනයක්ද? අල්ලපු ගෙදර සීලවතී නංගී අද සිල් ගන්නේ නම්, අපායට ගියත් මමත් සිල් ගත යුතුය.

"යං ආච්චි යං..." ඇස් දෙක පිහදා කබ කඩාගත් මම සිල් රෙදි පොරවාගෙන සම්මා සංකල්පයෙන් යුක්තව ආච්චි සමග ඉස්සර වුනෙමි.

සීලවතී නංගිට පින්සිදු වන්නට මමද පන්සලට පැමිණියෙමි. අද පන්සලට නොපැමිණියේ නම් මා ජීවිතයේ කර ගන්නා ලද ලොකුම ගොන්කම එය වන්නට ඉඩ තිබුණි. තුන්සිය හැටපස් දවසේම බොරු කියා මා රවටන ආච්චි අද මෙම පොහොය දවසේ කියා ඇත්තේ පරම සත්‍යයකි. ගමේ ගැහැණු ළමයින් පන්සල ආක්‍රමණය කර ඇත.

පොලිස් කාරයෙක් හොර අරක්කු තිප්පලක් සොයාගන්නාක් මෙන් මම සෙනඟ පීරා ගෙන ගොස් සීලවතී නංගී සොයා ගත්තෙමි. ආච්චිද හැරමිටි වාරුවෙන් එන මාර දිව්‍ය පුත්‍රයෙකු මෙන් මා පසුපස පැමිණියාය.

"අපි මල් ගෙනාවෙ නැහැ නේද ආච්චියේ..." සීලවතී නංගී අත තිබුණු මල් වට්ටියට පෙරේත බැල්මක් හෙලූ මම තව ටිකක් ඈට ළංවුනෙමි.

"ඇත්තමයි; මල් ටිකක් ගේන්න අමතක උනානේ..." දැන් මාගේ සම්මා ආජීවය කෙරෙහි ආච්චි පැහැදීමකින් සිටී.

"මල් ටිකක් දෙන්නද...?" සංගීත ප්‍රසංගයකදී ඇහෙන ඉමිහිරි සංගීත රාවයක් බඳු සීලවතී නංගිගේ කටහඬ කන් දෙක පසා කරගෙන ගොස් හද පතුලටම කිඳා බැස්සේය. පාද යුග්මය 'සට - සට' යන අනුකරණයෙන් වෙව්ලා ගිය නමුදු මම උට්ඨාන වීර්යයෙන් යුක්තව අනිමිසලෝචන පූජාවෙහි යෙදුනෙමි.

"මල් නැතුවට කමක් නැහැ. යමං සිල් ගන්න..." ආච්චි මට හැරමිටියෙන් ඇන්නාය.

"කමක් නැහැ ආච්චි අම්මේ; මල් ටිකක් අරගෙන යමු. පව්නේ පසළොස්වක පෝය දවසේ මල් නැතිව බුදුන් වඳින එක" හැරමිටි පාරද කාගෙන මම ඇයට අත පෑවෙමි. ඇය මල් අහුරක් මා අතේ තැබුවාය. මම මල් ටිකක් ගන්නා ගමන් ඇගේ ඇඟිල්ලක් ද මිරිකුවෙමි. ආච්චි තරහෙන් පුපුරමින් නවගුණවැල අතට ගත්තාය.

"පරක්කු වෙලා නේද ආවේ...?" ඒබරන් සීයා ආච්චිගේ කනට කර ඇසුවේය.

"ඔව් ටිකක් පරක්කු වුණා" ආච්චි නවගුණවැලේ ඇටයක් පහතට දැම්මාය. "ඊයේ රෑ ගබං ලොක්කගේ දුව පැනල ගිහින්ලුනේ...?"

"ඒක නේන්නම්. අබුද්දස්සකාලෙට වෙන වැඩ. අර වසවර්තිය ඒ කෙලීව රවට්ට ගන්න ඇති. නොදකින් වනචර හැත්ත."

"ඒ හාදය බැඳපු එකෙක් නේද?"

"බැඳල ළමයි දෙන්නෙකුත් ඉන්නවලු."

"අනේ අනිච්චං සංසාරේ" ආච්චිත් සීයත් මෙලොව සිහියක් නොමැතිව සතර සතිපට්ඨානය කියවන අතරේ මම සීලවතී නංගී සමග බුදුන් වැඳ සම්‍යක් වචනයෙහි යෙදුනෙමි.

"ඔයා හැමදාම සිල් ගන්නවද...?" මම ඇයට ළං වී ඇසුවෙමි.

"නෑ පෝයට විතරයි... ඔයා?"

"මම ඉස්සෙල්ලාම අද තමයි සිල් ගන්න ආවේ."

"මීට පස්සේ හැමදාම සිල් ගන්න එනවද...?"

"ඔයා එනවනම් එන්නම්..."

සතිපට්ඨානය කියවීම මඳකට නැවැත්තූ කරලැයින් ආච්චි අප අතරින් හැරමිටිය තිව්වේ සිල් කවලන් වෙන නිසා වෙන්නට ඇත. එහෙත් ඒ හැරමිටියට තබා වසවර්ති මාරයාටවත් අද අපගේ සීලයට බාධා කළ නොහැක.

"අල පන්සීයක් කීයද... රුපියල් හතයි.

"රතුලූණු තිහයි."

"නොදකින් කාලකන්නි කලුකඩකාරයො තමයි රට කන්නේ... මුන්ට හෙණවත් පහත් වෙන්නේ නැහැනේ"

ආච්චි අම්මලා ටික එකතුවී ගජරාමෙට කර්මස්ථාන කියවති. සීලවතීත්, මමත්, ඊට වඩා වැදගත් නවීන පන්නයේ ආදර භාවනාවක යෙදුනෙමු.

"යමං ගෙදර..."

භාවනාව අවසන් කළ ආත්තම්මා මට හැරමිටි පාරක් ගැසුවාය. සීලවතීගේ අත අතහැර මම නවගුණවැල අතට ගත්තෙමි.

"මට බෑ... මං හෙටත් සිල් ගන්නවා..."

"ඔහොමද යකෝ සිල් ගන්නේ...?" ආච්චි සීලවතී දෙස රවා බැලුවාය.

"කෙළෙස් මාරයෝ හැම තැනම. කොල්ලෙකුට පන්සලටවත් එන්න විධියක් නෑ...

යමං ගෙදර...!" ආච්චි මගේ අතින් ඇද්දය.

මම නාහෙන් අඬන්නට පටන් ගත්තෙමි.

"ඔන්න ඔහේ හිටපුවාවේ. සිල් ගත්තත් කොල්ලො කෙල්ලොනේ... අපිත් තව ටිකක් වෙලා භාවනා කරමු..." ඒබරං සීයා ආච්චිගේ අතින් අල්ලාගෙන ධර්ම ශාලාවේ කෙළවරට ගියේය. 

අපි ආච්චිටත් හොරෙන් බෝමලුවට ගොස් අලුත් භාවනාවක් පටන් ගත්තෙමු.

"අට්ඨි... මස්මිං... කායේ... කේසා..." කරලැයින් ආච්චිත්, ඒබරං සීයත් භාවනා කරන හඩ අපට ඇසේ.

"ඔයා මට ආදරේද...?" සීලවතීගේ කරේ තිබුණු නවගුණවැල ගලවා මම ඒ වෙනුවට මගේ අත ඇගේ කරවටා දැමුවෙමි.

"ඔව්..." සීලවතී නවගුණවැල වෙනුවට මගේ අතේ ඇඟිලි, ඇටපුරුක් ගැන්නාය.

"ඇයි ඔයා සිල් ගන්න ආවේ...?"

"ඔයා එන බව දැනගත්තු හින්දා..."

"කොහොමද දන්නේ මම එන බව...?"

"ආච්චි කීවා මාත් එක්ක. ඔයත් අද සිල් ගන්නව කියලා..."

"හෙටත් එනවද සිල් ගන්න..."

"හෙට පෝයක් නැහැනේ...?"

"පෝයක් නැතිවුනාට කමක් නැහැ අපි සිල් ගමු..."

"අපෝ එතකොට හොඳ නැහැ. අනිත් අය සැක හිතයිනේ. අපි දෙන්න විතරක් සිල් අරගෙන ඉන්නකොට."

"ඇයි ඔයා බයද?"

"ම්... හු..." ඇය ඔලුව වැනුවාය.

"කෝ... කෝ... මේ වසවර්තියා..." ආච්චිත්, ඒබරං සීයාත් භාවනාව අවසන් කොට අප සොයන්නට පටන් ගෙන ඇත.

"රහත් වුනාද දන්නෙ නැහැ. නවගුණවැලත් අතේ තියාගෙන නේද හිටියේ"

ඒබරං සීයා පුදුමයෙන් වටපිට බලයි.

"රහත් වෙලා තියෙන්නෙ අරකිත් එක්ක..." ආච්චි දත්මිටි කමින් පිළිකුල් භාවනාවේ යෙදෙයි.

"අර ඉන්නේ... අර ඉන්නේ..." ඒබරං සීයා අප දුටුවේය.

"වසවර්තියා...! කාලකණ්ණියා...! දේවදත්තයා, හිටු තොට මං..."

ආච්චි හැරමිටියද උස්සාගෙන දුවගෙන එන්නේ මෛත්‍රී භාවනාවද කණපිට පෙරලාගෙනය.

එනපොට එතරම් හොඳ නැත. සීලවතී‌ගේ අත අල්ලාගත් මම උට්ඨාන වීර්යයෙන් හා සතර සම්‍යක් ප්‍රධාන චිත්තයෙන් දුවන්නට පටන් ගත්තෙමි. ආච්චිත් ඒබරං සීයාත් අප ලුහුබඳිමින් සිටී.

"මට නම් දැන් ගෙදර යන්න බෑ. ගෙදර ගියොත් ආච්චි මාව මරාවි..."

මම හති ලමින් නැවතුනෙමි.

"එහෙනං යං අපේ ගෙදර..." සීලවතී නංගී මගේ අතින් ඇදගෙන නැවතත් දුවන්නට පටන් ගත්තාතා. මම සීලවතී සමග ඇගේ ගෙදරට රිංගා ගත්තෙමි. ඉතින් නම් මට ගෙදර යාමට ලැබෙන්නේ නැත. කවදා හෝ මා ගෙදර එන බව දන්නා කරලැයිං ආච්චි හැරමිටිය ද උස්සාගෙන මඟ බලා සිටිනු ඇත. හැරමිටි පූජාවේ බරපතලකම දන්නා මම සීලවතීගේ ගෙදරම නැවතුනෙමි.

පසළොස්වක පොහොය දවසේ සිල් ගැනීමෙන් මා කර ගන්නා ලද කුසල කර්මයේ විපාක දිට්ඨධම්මවේදනීය වශයෙන් ලැබෙ අපරාපරිය වේදනීය ත්ත්ත්වයටද පැමිණ ඇත. ආච්චි තියා මහා බ්‍රහ්මයා ඇවිත් කතා කළත්, ඉතින් නම් මා සිල් ගන්නට යන්නේ නැත.

Saturday, September 20, 2025

කරලැයින් ආච්චි සමග බැල්කනියේ

පසුගිය පුර පසලොස්වක් පොහොය දිනයේ මා සිල් ගැනීමට කැන්දාගෙන යාමෙන් කරලැයින් ආච්චි විසින් කරන ලද ශ්‍රේෂ්ඨ කර්තව්‍යයට ප්‍රත්‍යුපකාර වශයෙන් යමක් කරන්නට මගේ සිත මට බල කරයි. එවිට එදා සිදුවූ සියලු ආනන්තරීය කර්මයන් අමතක කර දමා ඇය මට අභය දානය දෙනු නො අනුමානය.

'ආච්චියේ...' එක් රැයක් ගෙදර පැමිණීමට අමතක වූ විට නැන්දම්මා කෙනෙකු ඉදිරියේ බැගෑපත් වන සුවච කීකරු බෑනා කෙනෙකු මෙන් මම තුනට හතරට නැමී ආච්චි ලඟට පැමිණියෙමි.

'තුඃ නොදකිං කාලකණ්ණිය...' ඊශ්‍රායෙල් යුද භටයෙකු මෙන් කිපුණු ආච්චි හැරමිටිය අතට ගත්තාය. බෲස්ලි මෙන් අට ඉස්බක් උඩට පැන කරණමක් ගැසූ මම හැරමිටියද උදුරා ගෙන එකත් පසෙකට වීමි.

'මෙහෙ දියං මගේ හැරමිටිය...'

'පොඩ්ඩක් ඉවසන්නකො ආච්චියෙ... ආච්චි මෛත්‍රී භාවනාව කරනවා නේද...?'

'නොදකිං කැස්වටුව... තෝ එනවද බොල ඒ පාර මට මෛත්‍රී භාවනාව උගන්නන්න...'

'නෑ ආච්චියෙ මං ආවේ කළගුණ සලකන්න...'

'කළගුණ සලකන්න...'

'ඔව්... ආච්චි මාව සිල්ගන්න එක්ක ගියානෙ... ඒ හින්ද මං ආච්චිව එක්කං යනව අංගුලිමාල පෙන්නන්න...'

'අංගුලිමාල... කොහේද බොල දැන් අංගුලිමාලයෙක් ඉන්නේ... තෝ එනවද මාව ගොනාට අන්දන්න...' ආච්චි ඉදිරියට පැන මා අත තිබූ හැරමිටියද උදුරා ගත්තාය.

'නෑ ආච්චියේ, අංගුලිමාල චිත්‍රපටිය. ඉන්දියාවේ ෆිල්ම් කරල තියෙන්නෙ...

බුද්ධගයාව ලුම්බිණිය, ඉසිපතනෙ, ගිජුකුළු පව්ව, ඔක්කොම පෙන්නනවලු'

'අනේ පුත‌ේ... කොහේද ඔය පිංතූරේ පෙන්නන්නේ...' ආච්චි අහිගුණ්ඨිකයෙකු දුටු නයෙකු මෙන් දැපනෙ වැටුනාය.

'මෙහේ හෝල් එකේ...'

'පුතාට සියළු දෙවි හාමුදුරුවන්ගෙ පිහිටාරක්ෂාව ලැබෙන්න ඕන... ඒකෙ අංගුලිමාල බුදුහාමුදුරුවන්ගෙ පස්සෙන් එලවනවත් පෙන්නනවද පුතේ...'

'ඔව් ආච්චියේ බුදුහාමුදුරුවෝ පණපිටින් වගේ...' මේ ගමනට ආච්චි කැන්දාගෙන යා යුතුම නිසා මම බේගලයක් ඇද බෑවෙමි.

'අනේ සාදු... බුදුරැස් විහිදෙනවත් පේනවද පුතේ...?'

'ඔව්...'

'සාදු! සාදු! කීයටද පුතේ පිංතූරෙ පටන් ගන්නෙ...?'

'හයහමාරට... ආච්චි ලෑස්ති වෙන්නකො ඉක්මනට... තව පැයයි තියෙන්නෙ...'

'ඔය හැටි ලේසිතිවෙන්නේ මොනවටද පුතේ, ඉක්මණට යං. සෙනගත් ඇතිනේ...'

'ආච්චියේ...'

'ඇයි පුතේ...'

'මේ... මේ...' වැස්සට මතු වූ ගැඩවිල්ලකු මෙන් මම ඇඹරෙන්නට උනෙමි.

'ඇයි සල්ලි එහෙම මදිද පුතේ...?'

'නෑ ආච්චියේ.'

'එහෙනං...?'

'ආච්චිට තනියි නේද, තනිමය යනකොට...?'

'ඇයි පුතා යන්නේ නැද්ද...?'

'නෑ... මමත් යනව...'

'එහෙනං...?'

'තවත් ගෑණු කෙනෙක් එක්කරං ගියානං නේද හොඳ...?'

'කවුද ඉතිං එක්කරං යන්නේ...?'

'ඇයි සී... ල... ව... තී නංගි...' ආච්චි අදත් මුචලින්ද නම් නාග රාජයා මෙන් කිපෙනු ඇතැයි මම සිතුවෙමි. එහෙත් අංගුලිමාලට පින්සිදු වන්නට එය එසේ වූවේ නැත.

'අනේ කොච්චර එකක්ද පිං අයිති වෙන වැඩක් නේ... මෙහෙම දෙයක් පෙන්නන එක...'

ඒකච්ඡන්දයෙන් පනත සම්මත කරගත් මම ආච්චිගේ පූර්ණ අනුමැතිය ඇතිව ඓරාවන හස්ති රාජයා මෙන් එක පිම්මෙන් කඩුල්ල පැනගොස් සීලවතී නංගී කැන්දාගෙන ආවෙමි.

'යමු නේද ආච්චියෙ...'

ආච්චි ඉස්සර කරගත් මා සීලවතී නංගී සමග සිනමා හල කරා ගියේ අතුරු මැතිවරණයකින් ජයගත් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව කරා යන තේජාන්විත විලාසයෙනි. පෝලිමේ සෙනඟ පොර කනු දුටු ආච්චි කෙලින්ම ගොස් මැනේජර්ගෙන් ටිකට් තුනක් ඉල්ලුවාය.

'මොනවයින්ද ඕන...?'

'බැල්කනි...' මම ඉස්සරහට පැන්නෙමි.

'රුපියල් තිහයි...'

සාක්කුවේ සතයක්වත් නැති බව හොඳාකාරව දන්නා නමුදු මම බොරුවට සාක්කු තුන හතරටම අත දැමුවෙමි. එහෙත් ඒ අවසරයෙන් අංගුලිමාලට පිං සිදු වන්නට සර්ධාවෙන් පිරීගිය ආච්චිගේ හැඹිලිය ඉස්සරහට පැන්නේය.

බැල්කනියට ගොස් සීලවතී නංගී ලඟින්ම මා වාඩිවීමට සැරසෙන විට විදුලියක් මෙන් මැද්දට පැනගත් කරලැයින් ආච්චී අප දෙදෙනා දෙපැත්තට කර මැදින් වාඩි වූවේ මට කොනිත්තා සීලවතී නංගීටද රවාගෙනය.

අතක්පි‌ට අතක් තබාගත් ආච්චි නොයිවසිල්ලෙන් තිරය දෙස බලා නිහඬව සිටියේ අංගුලිමාල පෙන්වන තුරුය. එහෙත් ඇගේ නිහඬ බව වැඩි වේලාවක් පැවතුනේ නැත. තරුණ යුවලක් අත්වැල් බැඳගෙන පැමිණ ආච්චි ඉස්සරහින් වාඩිවිය.

'නොදකින් වනචරයෝ...' ආච්චි ඔවුන් දෙස රවා බලා කෙළ පහරක් ද ගැසුවාය.

'ඉන්නකො ආච්චියේ කෑ ගහන්නේ නැතුව...' කිසි දිනෙක බැල්කනියට පැමිණ චිත්‍රපටියක් නොබැලූ ආච්චි බැල්කනියට කැන්දාගෙන ඒමෙන් මා කරගත් ගොන්කමේ බරපතලකම මට වැටහුනෛ් දැන්ය. එහෙත් මෙය මෙතනින් කෙළවර නොවන බව මම දනිමි.



විනාඩියෙන් විනාඩිය තවත් තරුණ තරුණියෝ අත්වැල් අල්ලාගෙන පැමිණ ඔවුනොවුන් තුරුළු වී පෙම්බස් තෙපලන්නට වූහ.

'මෙව්ව පෙන්නන්නද යකෝ මාව එක්කරගෙන ආවේ. අර බලපං අරකි ඉන්න ලස්සන... අරූට තුරුල්වෙලා... මුංගෙ මහ එවුන් මොනවට මුං හැදුවද මං අහන්නේ... වනචර හැත්ත...'

'සද්ද නැතුව ඉන්නකෝ ආච්චි...'

'සද්ද නැතුව ඉන්න... මොනවටද මං කියන්නේ අර... අර බලපං අරකි අරූට තුරුල්වෙලා ඉන්න හැටි... මුන්ට විළිසංගෙ නැද්ද මං අහන්නේ...'

'ඔහොම තමයි ආච්චි බැල්කනිය...'

'තෝ මේව පෙන්නන්ද බොල මං මේකට එක්කං ආවේ... මේව බලල තමයි උඹත් නරක්වෙලා තියෙන්නෙ... මුන්ට ගෙවල් නැද්ද මං අහන්නෙ මඟුල් නටන්න මේ වගේ වැදගත් තැන්වලටම එන්නේ... යමං යන්න ඒ චිත්තර පටියෙන් කමක් නෑ...'

ආච්චි සීලවතී නංගිත් ඇදගෙන ඉස්සර වූවාය.

'අර අර... පේනවද අරුන්ගෙ අත් එහෙම තියෙන තැන්... තුඃ නොදකින්...'

ආච්චි එලියට එන ගමනුත් තරුණ යුවලක් දෙස රවා බැලුවාය. ඔවුන් තුබූ තැන්වලින් අත් ඉවතට ගත්තේ විදුලි වේගයෙනි.

'ඇයි යන්නේ චිත්‍රපටිය බලන්නෙ නැද්ද...?' මැනේජර් සීලවතී නංගීත් ඇදගෙන යන කරලැයින් ආච්චිගෙන් ඇසුවේය.

'නෑ... නෑ... මහත්තයාට පිං අයිති වෙච්චාවේ ඊට වඩා හොඳ චිත්තර පටියක් අපි බැලුව...'

කරලැයින් ආච්චී සමග බැල්කනියට යාමෙන් මා කරගත් බ්‍රහ්ම ගොන්කම නිසා සීලවතී නංගී සමග නිවී සැනසිල්ලේ චිත්‍රපටියක් බැලීමට තිබූ භාග්‍යයද අහිමි වීමෙන් මන්ත්‍රීවරයෙකුට චිට් එක දුන් ගමන්ම පාර්ලිමේන්තුවට යාමටත් කලින් චිට් එක උදුරා ගැනීමේදී ඇතිවන තරමේ දුකක් කණගාටුවක් මට ඇති විය.

ඉතින් නම් මේ සම්ම ජාතියේ චිත්‍රපටියක් බැලීමට යාමට මට ආච්චීගෙන් අවසර ලබා ගැනීමට නොහැකි වනු ඇත.

සුනන්ද කෝදාගොඩගේ විනෝද රසාංග පොතෙනි. මේ කතාවේ මුලින් ම සඳහන් වන සිල් ගැනීමේ කතාව ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

වැඩිදුර රසවින්දනය සඳහා... මේ විඩියෝ එක නැරඹීමෙන් ඔබට "පිංගුත්තර විස්ථාපන කැකිරි වල් පෙරේතයෙකු" යනු කවරෙක්දැයි තේරුම් ගත හැකි වනු ඇත.

මේ දවස්වල කකුලෙ සුළැඟිල්ල ටීපෝ එකේ කකුලෙ වැදුනත් රිද්ම් ඔෆ් ගිටාර් වන බැවින්...


Tuesday, July 8, 2025

ක්ලැරන්ස් - ගිටාරයේ රිද්මය 01

 මේ මම ෆේස්බුක් හි දී කියවූ ලිපියක්. ලියා ඇත්තේ අමිරු ජයමහ නම් මහත්මයෙක්


විද්යුත් ගිටාරය දේශීයකරණය කරපු පළමු වගේම එකම සංගීතඥයා කියලා කිව්වොත් ඒක හරි කියලා මට හිතෙනවා. මොකද ඒ කාලේ විද්යුත් ගිටාරය බොහොමයක් (ඔක්කෝම) සංගීත කණ්ඩායම් පාවිච්චි කලේ බටහිර ගීත වලට. ලංකාවේ කවුරුත් ඒ වන විට විද්යුත් ගිටාරයට කැමති වුනෙත් නෑ. කොහොමත් ලංකාවේ මිනිස්සු අදටත් එහෙමනේ. අලුත් දෙයක්/සංකල්පයක් දුටු සැණින් හොයන්නේ බලන්නේ නැතුව ඒක හොඳ නෑ කියනවා. නමුත් acoustic ගිටාරයෙන් පටන්ගෙන සරල පදවැල් වලට තනු නිර්මාණය කරලා ඒ ගීත අපේ මතකයේ රැඳෙන විදිහට ගායනා කරපු ගායකයෙක්, පද රචකයෙක්, තනු නිර්මාපකයෙක්, වගේම වාදකයෙක් ක්ලැරන්ස් විජේවර්ධන.

ඔහුගේ ගීත ගත්තොත් ඒවා වල අදහස් හරිම සරලයි. ඔහු අවට වටපිටාවේ දුටු දේවල්, අත්විඳපු අත්දැකීම්, ඔහුගේ හිතට ආපු දේවල් තමයි ඒ ගීත වල පදවැල් වල තියෙන්නේ. ඔහු රත්නපුරේ ඉන්න කාලේ ඔහුට ඔහුගේ සහෝදරියගෙන් පැමිණි ලියුමක් ආශ්රයෙන් තමයි "ගමෙන් ලියුමක්" කියන ගීතය ඔහු නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේමයි "රන් සමනලයින්" කියන ගීතයත්. ක්ලැරන්ස්ගේ සිතිවිලි ආශ්රයෙන් සෑදුණු ගීත විදිහට "දෙවියන් වහන්සේ", "අලුත් ලොවක්" යන ගීත ගන්න පුළුවන්. ඒ වගේම අත්දැකීම් පාදක කරගෙන නිර්මාණය කරපු ගීත විදිහට "මගෙ පැල්පතේ", "සඳක් බැසගියා" ගීත ගන්නත් පුළුවන්.
ඔහුගේ පද රචනය වගේම තනු නිර්මාණයත් ඔහුටම ආවේණික වූ දෙයක්. බටහිර සංගීතයේ වේග රිද්මය ඔහු ඔහුගේ ගීත වලට යොදාගත්තා. ඒක වැඩියෙන්ම කැපිලා පෙනුනේ ඔහුගේ සංගීත ජීවිතයේ මුල් කාලේ. ඒ කියන්නේ moonstones කාලේදී. ගිටාරයේ 6/8 strumming pattern එක සිංහල ගීත වලට භාවිතා කරලා ඒ කාලේ තරුණ තරුණියන්ගේ ඇඟ නැටවෙන "උඩරට නිළිය", "මංගෝ නැන්දා", "රුවන්පුරය", "දුන්හිඳ මනමාලි" වගේ ගීත ඔහු අතින් නිමැවුණා.
ඒ 6/8 pattern එකට අමතරව ඔහු විද්යුත් ගිටාරය, දේශීය සංගීත භාණ්ඩ සමග විවිධ melodies හදන ගමන් සංගීතයත් එක්ක experiments කරන්න පටන් ගත්තා. මේක වෙන්නේ ඔහු golden chimes ඉන්න කාලේ. ඒකේ ප්රතිඵලයක් විදිහට තමයි "සුරඟන වෙස් වලා" කියන ගීතය හැදෙන්නේ. උඩරට බෙර පද තාලයේ ආරයට විද්යුත් ගිටාරයේ නාදය සමග නිර්මාණය වුණ ගීතයක් මේක. ඒ වගේම "උඩරට නිළිය" ගීතයේ ආරම්භයේදී පහතරට බෙර පද තාලය ගිටාරයෙන් අනුකරණය කරලා ඒ melody එක ගන්න ක්ලැරන්ස්ට පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම ගිටාරය සමග සර්පිනාව, ඉන්දියානු සිතාරය භාවිත කරලා නිර්මාණය කරපු "මමයි මගේ ගිටාරයයි", "මාවතේ අපි" වගේ ගීත වලින් ක්ලැරන්ස්ගේ ඒ experimental පැත්ත අපට පෙනී යනවා.
ක්ලැරන්ස්ගේ සංගීතයේ technical පැත්ත ගත්තොත් ඒකත් කතා කරන්න ඕනෑම දෙයක්. බොහෝ දෙනෙක් "ක්ලැරන්ස් විද්යුත් ගිටාරය සිංහල සංගීතයට භාවිතා කළා" යැයි කිවහොත් ඔවුන් සිතන්නේ ඔහු යම් විද්යුත් ගිටාරයක් කිසියම් amplifier එකකට සම්බන්ධ කර වාදනය කළ බව පමණක් ය. නමුත් විද්යුත් ගිටාරයේ අනෙක් අර්ධය වන effect pedals භාවිතයෙන් ද ඔහු විවිධ අත්හදා බැලීම් කරමින් සංගීතය නිර්මාණය කළා. ගිටාරයේ clean tone එක භාවිතයෙන් ඔහුගේ ගීත වල lead parts නිර්මාණය කළා මෙන්ම distortion, delay වැනි effects භාවිත කරමින් සෑදූ ගීත බොහෝමයක් තියෙනවා. "පෙම් කතාව", "අපි රාග වයනවා" වැනි ගීත වලට WAH pedal එක වගේම "වියරු වැලි තීරයේ" ගීතයට distortion effect එක මද වශයෙන් යොදාගෙන නිර්මාණය කර තිබෙනවා. ක්ලැරන්ස් ඔහුගේ ගීත විශාල ප්රමාණයකට lead parts හා counter parts වාදනය කරන්න තෝරාගත්ත වාද්ය ශිල්පියා තමයි ඩික්සන් ගුණරත්න. මොකද ඩික්සන්ගේ lead ගිටාරය ගැන තිබූ අවබෝධය ක්ලැරන්ස්ට ඔහුගේ සංගීත ඛණ්ඩ වලට උපයෝගී කරගන්න පුළුවන් වුණ එක. ඊට අමතරව ක්ලැරන්ස් සෑම විටම lead වලට භාවිතා කලේ එක්කෝ fender stratocaster ගිටාරය නැත්නම් squire stratocaster ගිටාරය කියලා ඔහුගේ ප්රසංග නරඹලා තියෙන තියුණු ඇසක් හා ගිටාර් පිළිබඳව අවබෝධයක් තියෙන ඕනෑම රසිකයෙකුට කියන්න පුළුවන්. සිංහල ගීත වලට බටහිර සංගීතයේ තිබෙන guitar solo හඳුන්වා දුන්නේ ද ක්ලැරන්ස් විජේවර්ධනයන්. මේ විදියට ඔහු නිර්මාණය කරපු ශෛලිය "සිංහල පොප් සංගීතය" ලෙස පසු කලෙක ජනප්රිය වුණා.
Moonstones, Golden Chimes ගැන කතා කරනකොට කණ්ඩායම් සංගීතයට ක්ලැරන්ස් කරපු දේවල් හුඟක් තියෙනවා. රත්නපුරයේදී moonstones කණ්ඩායමෙන් පටන් අරන් සංගීත කණ්ඩායම් 4කට නායකත්වය දීලා generations 2ක ගායක ගායිකාවන් හුඟක් දෙනෙකුට ගුරුහරුකම් දුන්න කෙනෙක් ක්ලැරන්ස්. Moonstones වලින් ඇනස්ලි මාලේවන, ඉන්ද්රානි පෙරේරා, golden chimesලා ගෙන් අනිල් භාරතී, ලාංකිකා පෙරේරා, 'මදාරා' band එකෙන් මරියසෙල් ගුණතිලක, රූකාන්ත ගුණතිලක වගේ ගායක ගායිකාවන් වගේම super golden chimesලා ගෙන් ඩික්සන් ගුණරත්න, කොන්රඩ් ගුණරත්න, ශ්රීකාන්ත දසනායක, රුක්ෂාන් පෙරේරා වගේ දක්ෂ වාදකයන්ටද ඔහු මග පෙන්වා දුන්නා.
ඔහු තමන්ට වගේම ඔහුගේ යාලුවන්ටත් ගීත නිර්මාණය කරලා තියෙනවා. ඒ ගැන හැමෝම දන්න උදාහරණය තමයි මිල්ටන් මල්ලවාරච්චි. ක්ලැරන්ස්ගේ හොඳම යාලුවන්ගෙන් එක්කෙනෙක් එයා. "අවසර නැත මට", "සඳෙන් එහා", "මගතොට දී", "මට මෙන් ඔහුටද" වගේ ගීත වලට තනු නිර්මාණය කරලා සංගීතය සැපයුවා වගේම "තනිවී සිටින්නයි මා", "කුමාරිකාවට", "මා හා සෙනෙහස පාලා", "මට ඔබ ලියූ ගී" ක්ලැරන්ස් ම පද රචනය හා තනු නිර්මාණය කරලා දුන්න ගීත යි. මිල්ටන් විතරක් නෙවෙයි, H.R. ජෝතිපාල (සොඳුරු ලොවට මල් වැහැලා, මල් පිබිදෙන එක වසන්ත සමයක, දුරකථනයකින්), අනිල් භාරතී (බෙත්ලෙහෙම්පුරේ, අද වෙයි ඉරුදින, ටිකිරිමලී), මර්වින් මිහිඳුකුල (මට මතකයි මන බැන්දූ සිනා ඔබේ, කුඹුකේ ළිඳ ළඟදී, මා ගැයූ මේ ගී), ඉන්ද්රානි පෙරේරා (දිල්හානි, වසන්තයේ මල් කැකුලයි, මතකය ඇසුරින්), අතුල අධිකාරි (මේ වේදිකාව ජීවිතේ අපේ), චාන්දනී හෙට්ටිආරච්චි (ලස්සන සමනලයෝ), W.D. අමරදේව (සසර ගෙවා යන දිවි ගමනේ) වගේ ගායක ගායිකාවන් රැසකට ඔහු තනු නිර්මාණය කර තිබෙනවා.
එමෙන්ම, ඔහුට ගීත නිර්මාණය කර දුන් අය ද බොහොමයි. ක්ලැරන්ස්ගේ ගීත වලට පද රචනය කළ අයගෙන් කැපී පෙනෙන්නේ කරුණාරත්න අබේසේකර යි. ක්ලැරන්ස්ගේ සදාකාලික ජනප්රිය ගීතය වන "දිලීප පොඩි පුතු" මෙයට හොඳම උදාහරණය යි. නමුත් මෙම ගීතයේ මුල් පටිගත කිරීමේදී කොටස් 5ක් තිබූ බව බොහෝ දෙනා නොදන්නා අතර ක්ලැරන්ස්ගේ සංගීත ලෝලීන්හට එම කොටස් 5ම කටපාඩම් ය. කරුණාරත්න අබේසේකර පමණක් නොව K.D.K. ධර්මවර්ධන (සුරඟන වෙස් වලා), අජන්තා රණසිංහ (හින්දි වදන්), රූකාන්ත ගුණතිලක ( රෑ තාරකාවෝ) වැනි අයද ඔහුට ගීත රචනා කල අයගෙන් කීප දෙනෙක්.
මම ක්ලැරන්ස් විජේවර්ධන ගැන දැනගන්නේ මට වයස අවුරුදු 8 දී. ඒ කාලේ "කිරි මුහුද කළඹාලා" ගීතයෙන් පටන්ගත්ත ආසාව පොඩ්ඩ පොඩ්ඩ වැඩිවෙලා "සැණකෙළියේ" කියන ගීතයෙන් ඒක පිස්සුවකට හැරුණා.එදා ඉඳන් ක්ලැරන්ස්ගේ "දිනෙක මේ නදීතීරේ" වගේ ජනප්රිය ගීත වගේම "හන්තානේ මන්ද මාරුතේ" වගේ ජනප්රිය නොවුණු ඒත් කණට සුවදායක ගීත ලැබුණු හැම අවස්ථාවකදීම අහන්න මම පුරුදු වෙලා හිටියා. දැන් මට අවුරුදු 18යි. ඒත් තාමත් මම එයාගේ නෑසුන ගීත හොයනවා. මොකද මට ක්ලැරන්ස් තරම් සංගීතය උපරිමයෙන් රස විඳින්න පුරුදු කරපු කෙනෙක් තවත් නෑ. ක්ලැරන්ස්ගේ melodies අහන අතරේ ඒවා follow කරලා තමයි මම මිල්ටන් මල්ලවාරච්චි, ඇනස්ලි මාලේවන, ඉන්ද්රානි පෙරේරා, අනිල් භාරතී, මරියසෙල් ගුණතිලක, රූකාන්ත ගුණතිලක වගේ ගායක ගායිකාවන්ගේ ගීත අහන්න පුරුදු වුණේ. මොකද ඒ අයගේ ගීත වල ක්ලැරන්ස්ගේ music style එකේ පොඩි හරි hint එකක් තිබුන නිසා.
මේ දෙසැම්බරයට ක්ලැරන්ස් විජේවර්ධනයන් අපි අතරෙන් වෙන්වෙලා අවුරුදු 25ක් වෙනවා. ඉතින් මේ දෙසැම්බරයට කලින් මට මේක ලියන්න ඕනේ කියලා හිතුණා. දශක හතරකට ආසන්න කාලයක් ශ්රී ලංකාවේ සංගීත පෙරළියක් ඇති කරපු, සිංහල පොප් සංගීතය බිහිකරපු, බටහිර විද්යුත් ගිටාරය ශ්රී ලාංකේය ජන සංගීතය සමග මුසු කරපු නව සංගීත ආරක පෙරගමන්කරුවෙක් ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ. ඔහුගේ ගීත අදටත් අපේ ජන සමාජය තුල පවතිනවා. කිසියම් උත්සවයකදී හෝ ප්රිය සම්භාෂණයකදී අපට ඔහුගේ ගීත කීපයක් හෝ ඇසෙනවාමයි. ඒ තරම්ම අපේ හිත් වලට ඒ ගීත කාවැදිලා තියෙන්නේ. ක්ලැරන්ස්ගේ රසිකයෙක් විදිහට මම ඒ ගීත අහන හැම වෙලාවකදීම හිතේ පොඩි දුකක් තියෙනවා 'මට කවමදාවත් ඇස් දෙකටම ක්ලැරන්ස්ව දකින්න හම්බ වුණේ නෑනේ' කියලා. ඒත් එක්කම හිතේ එක හීනයක් තියෙනවා 'ක්ලැරන්ස්ව ආශ්රය කරපු, එයත් එක්ක එකට වැඩ කරපු කෙනෙකු හම්බ වෙලා එයාගේ ගීත ගැන, එයාගේ සංගීත හැකියාව ගැන, එයා කොයි වගේ මිනිසෙක් ද ගැන ගොඩාක් වෙලා කතා කරන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද' කියලා. ඒත් ඒක හීනයක්. මොකද මට හිතෙන විදිහට, ක්ලැරන්ස්ගෙන් පස්සේ එයාගේ ගීත අනාගත පරපුරට ගෙනියන්න හිටියේ ඇනස්ලි විතරයි. ඒත් රූකාන්ත ඒ ක්ලැරන්ස්ගේ ආරය අලුත් විදිහකට භාවිතා කරමින් ගීත නිර්මාණය කළා. එහෙම බැලුවත් රූකාන්තගෙන් පස්සේ ඒ "ක්ලැරන්සියානු සංගීතය" ඉස්සරහට අරගෙන යන්න කවුරුත් නෑ. ඒක තමයි මෙතැන ඇතිවෙලා තියෙන දුක්ඛිත තත්වය.
ඉතින්, මෙතැනින් මම ශ්රී ලාංකේය සංගීතය නවමු මාවතකට යොමුකල සංගීතඥයා ගැන මගේ හිතට ආපු අදහස් කිහිපය ලියා නිම කරනවා. මගේ සමහර කරුණු නිවැරදි නොවෙන්න පුලුවන්. එසේ නම් ඒවා පෙන්වා දෙන මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා.
සටහන :- අමිරු ජයමහ
2021.08.03 දී ය.



Saturday, June 15, 2024

වර තුනක් සහ කෙටි යෙදුම්

වර තුනක් ලබා දීම ගැන විවිධ ආකාර කතා මේ ලෝකය පුරා ම තියෙනවා. එයින් මේ කතාව මම ගොඩක් පොඩි කාලෙ කියවපු කතාවක්.

දුප්පත් මහළු යුවළක් හිටියා. ඒ දෙන්නා බොහොම දුකින් වාසය කළේ, සමහර වෙලාවට බඩගින්න නිවාගන්නවත් හැටියක් නැතුව. ඒ වගේ ගෙවුණු එක දවසක, සීයා හාමත් වෙමින් ඉන්න අතරෙ, එතනට ආවා සුරංගනාවියක්. ඇය මහලු යුවල අමතලා කිව්වා, "මම ඔයාලට වර තුනක් දෙනවා. දැන් ඔයාලා ඉල්ලන, ප්‍රාර්ථනා කරන පළමු ආශාවල් තුන එවෙලෙම ඉෂ්ට වෙනවා." කියලා.

ඉතින් ඒ දෙන්නා සාකච්ඡා කරන්න පටන් ගත්තා. වර තුනයි ලැබෙන්නෙ. එයින් ලබා ගන්න පුළුවන් හොඳ ම සහ උපරිම අවස්ථාව ලබා ගන්න ඕනෙ.

කල්පනා කරලා, සාකච්ඡා කරලා, වාද කරලා අන්තිමේ බැරිම තැන සීයා ට කියවුණා, "මට බොහොම බඩගිනියි. සොසේජ් එකක්වත් තියෙනවනම් මම කැමතියි." කියලා.

එහෙම කියලා මොහොතක්වත් ගත වෙන්න කලින් ඔහුගෙ ඉදිරිපිට සොසේජ් එකක් මැවුණා.


ආච්චිට බොහො ම කේන්තියි. ඇයි, වර තුනෙන් එකක් නිකම් ම සොසේජ් එකකට නාස්ති වුණා නෙ. එයා කේන්තියෙන් සීයට බණින්ඩ ගත්තා, කරපු මෝඩ වැඩේ ට. සීයා අහගෙන ඉඳලා ඉඳලා බැරිම තැන කිව්වා, "ඔය කෙහෙම්මල් සොසේජ් එක තමුසෙගෙ නහයෙ ඇලෙන්ඩ ඕනෙ". කියලා.

ඒ ආශාවත් ඔන්න එවෙලෙ ම ඉෂ්ට වුණා. සොසේජ් එක උඩ පැනලා ආච්චිගෙ නහය අගිස්සෙ ඇලුණා.

ඒ ගමන ආච්චියි සීයයි ඔක්කොම වැඩ පැත්තක තියලා, ‌අර සො‌සේජ් එක ආච්චිගෙ නහයෙන් ගළවගන්න මහන්සි ගත්තා. ඒ දෙන්නා කොයිතරම් තදින් සොසේජ් එකෙන් අල්ලලා ඇද්දත්, ඒක නම් ආච්චිගෙ නහයෙන් ගැළවුණේ ම නෑ.

අන්තිමේ හති අරිමින් සීය‌ා කිව්වා, "ඔය සොසේජ් එක තමුසෙගෙ නහයෙන් ගැළවෙන්නයි ඕනෙ, කොහොම හරි." කියලා.

ආන්න ඒ වෙලාවෙ සීයගෙ තුන්වෙනි වරයත් ඉෂ්ට වුණා.

*    *    *

වර තුනක් ගැන නූතන කතාවක් මේ...

එක කාන්තාවකට, මුහුදු වෙරළේ තිබිලා බෝතලයක් හම්බවුණා. ඇය ඒක ඇරලා බැලුව ම, බෝතලය තුලින් නිල් පාට දුමාරයක් ගළාගෙන ඇවිත්, බූතයෙක් මැවුණා. එයා කිව්වා, "බොහොම ස්තූතියි මගෙන් ප්‍රයෝජනයක් ගන්නවට. මම ඔයාට වර තුනක් දෙනවා. ඔයා කැමති ඕනෙම දෙයක් ඉල්ලන්න. හැබැයි, ඔයාට ලැබෙනවා වගේ දහ ගුණයක් ඔයාගෙ හස්බන්ඩ් ට ලැබෙනවා."

"හොඳයි." කාන්තාව කල්පනාවට වැටුණා. "මාව මේ ලෝකෙ ඉන්න ධනවත්ම තැනැත්තා කරන්න"

"මට ඔයා ධනවත් කරන්න පුළුවන්. නමුත්..." බූතයා කිව්වා. "...ඔයා ධනවත්ම තැනැත්තා වෙන්නෙ නෑ, මොක ද, ඔයාගෙ හස්බන්ඩ් ඔයා වගේ දහ ගුණයක් ධනවත් වෙනවා."

"ඒකට කමක් නෑ..." කාන්තාව හිනාවෙලා කිව්වා.

"ඔන්න ඒ ඉල්ලීම ඉෂ්ට කළා..." බූතයා කිව්වා. මොකද්ද ඊළඟ වරය?"

"මාව මේ ලෝකෙ ඉන්න ආකර්ෂණීය ම තැනැත්තා කරන්න."

"හරි. ඒකත් ඉෂ්ට කළා." බූතයා කිව්වා. ඒ වෙනකොට අර කාන්තාව බොහො ම ලස්සන, සුන්දර ගැහැණියක් බවට පත් වෙලා. "ඊළඟට ?"

"ඊ ළඟට" සොඳුරු සඳවතිය පොඩි හිනාවක් නැඟුනු මහුණින් යුක්ත ව කිව්වා, "මට දෙන්න ලාාාවට හාට් ඇටෑක් එකක්."

*    *    *

වර තුනක් ගැන තවත් අවර කතාවක් තිබුණා, ඒක පොඩි වෙනස්  කමක් කරමින් සිඩ්නි, ගජමෑන් සමග සමයං පත්තරේ පළ කළා. මේ ඒක.




ඔරිජිනල් කතාවෙ ඔය පුද්ගලයා ඉල්ලන්නෙ, "ඕනෙ රෙද්දක්" නෙවෙයි, "ඕනෙ පුකක්...!"

*    *    *

"ඕ පු" කිව්ව ම මතක් වුණේ අතුරු කතාවක්.

රජයේ සේවයේ, ඕනෙ ම වැඩක් වාර්තා වෙන්න ඕනෙ නිසා, ගොනුවකින් තමයි පවත්වාගෙන යන්නෙ. වැඩ හැම එකක් ම අදාළ ගොනුවල වාර්තා වෙනව. නුවෙ දකුණු පැත්තෙ ලිපි අමුණලා, වම් පැත්තෙ සටහන් පත්‍ර කියන, හිස් කඩදාසි අමුණනවා. ලිපි අංක කරලා, ඒ අදාළ ලිපියෙ අංකය ගැන සඳහන් කරමින්, සටහන් පත්‍රයෙ ඒ ගැන සටහනක් යොදලා ඉහළ නිලධාරියාගෙ මේසය මතට දැම්ම ම, එයා එයාගෙ නිරීක්ෂණ, නිර්දේශ, නියෝග ආදිය, සටහන් පත්‍රයේ ම සටහන් කරනවා. ඉතින් ගොනුවක සටහන් පත්‍ර බැලීමෙන්, වැඩේ වෙලා තියෙන්නෙ කොහොම ද, මොන දවස්වල ද ඒක වෙලා තියෙන්නෙ, කියන විස්තර හොයාගන්න පුළුවන්. ඔය සටහන් පත්‍රවල, සහ ලිපිවල සටහන් තබනකොට කෙටි යෙදුම් භාවිත වෙනව. "දැ. ගැ. ස." කියන්නෙ දැනගැනීම සඳහා. "කරු" කියන්නෙ කරුණාකර...

ඒක කිව්ව ම මතක් වුණේ. මං වැඩට ගිය මුල් ම කන්තෝරුවෙ, ගබඩා භාර කරු හිටියෙ "කරුණාරත්න" කියල අයිය කෙනෙක්. (ගබඩා භාර-කරු-කරු) ඒ දවස්වල, ගබඩාවෙන් මොනව හරි නිකුත් කරන්න සටහන් තබන්නෙ, "කරු. නිකුත් කරන්න." කියලා, හරියට කරුණාරත්න ට ආමන්ත්‍රණය කරලා වගේ...

ඔය වගේ දවසක් අලුතෙන් පත්වෙලා ආව ලොක්කෙකුට ෆයිල් එකක් දාලා, ඒකෙ සටහන් පත්‍රයෙ ලියල තිබුණ ලු, "කරු. අත්. ඉ. කරමි" කියල. උන්දැ ඒ කෙටි යෙදුම අඳුනගන්න බැරුව, යටින් සටහනක් දැම්මලු, "ඕ. පු." කියල.

ඒක දැකපු, සීසී හෙවත් ප්‍රධාන ලිපිකරු, ගොනුවත් අරගෙන අර ලොක්ක ගාවට ගිහිං ඇහුවලු, "මොකද්ද සර්, මේ සටහන?"  කියල.

ලොක්ක ඇහුවලු, "ඊට කලින් කියනවකො, "කරු. අත්. ඉ." කියන්නෙ මොකද්ද කියල..." 

"ඒ කියන්නෙ, "කරුණාකර, අත්සනට ඉදිරිපත් කරමි" කියන එකනෙ සර්..." කියල සීසී කිව්වලු.

"ආ... ඒක ද? "ලොක්ක හිනාවෙලා කිව්වලු, "ඔය "ඕ. පු." කියන්නෙ එහෙනං ඕනෙ පුකක් කියන එකයි" කියල.

*    *    *

ඒ වගේ කෙටි යෙදුම් ගැන තව කතාවක් කියල ම වර තුනට ආපහු සම්බන්ධ වෙමු.

සෑහෙන ඉස්සර කාලෙ, ලොකු ප්‍රොජෙක්ට් එකක් තිබුණා පිටිසර ගමක් ආශ්‍රිතව. ඔය ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන උදවිය නිතර ම ගමේ තේ කඩේට ගොඩ වෙලා, උදේට දවල් ට කන්නත්, තේ බොන්නත්ත් පුරුදු වෙලා උන්නා. 

ඔය දවස්වල, ප්‍රොජෙක්ට් එකේ ගේට්ටුවෙ දැන්වීමක් ගහල තිබුණා, "කම්කරු ඇබෑර්තු ඇත - ප්‍ර.වැ.දෙ. ප්‍ර. ඉ." කියලා.

ඔය කඩේට ආව ප්‍රොජෙක්ට් එකේ ලියන මහත්තයෙකුගෙන්, දවසක් කඩේ මුදලාලි ඇහුවා, "මොකද්ද අර බෝඩ් එකේ තියෙන කෙටි යෙදුම?" කියලා.

ලියන මහත්තයා ඉතිං මුදලාලිට කියා දුන්නා, ඒ තියෙන්නෙ, "ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව, ප්‍රධාන ඉංජිනේරු" කියන එකයි කියලා.

පහුවදා කඩෙත් බෝඩ් එකක් ගහලා තිබුණා.

"මෙහි නිකරුණේ රස්තියාදු ගැසීම තහනම් - පු. සි. මු." කියලා.

මේක අර ප්‍රොජෙක්ට් එකේ හැමෝට ම ගැටළුවක් උනා. අර ලියන මහත්තය ම ඊළඟ දවසෙ මුදලාලිගෙන් ඇහුවා, ඒ බෝඩ් එකේ තියෙන කෙටි යෙදුම මොකද්ද කියලා.

"ඇයි මහත්තයො හිතා ගන්න බැරිද?" මුදලාලිත් හිනාවෙලා ඇහුවා. "ඒ තියෙන්නෙ මගෙ නම. පුංචි සිඤ්ඤො ‌මුදලාලි කියන එකනෙ..."

ඒක කිව්වම පච්ච කතාවක් මතක් වුණ උදවිය මේ කොණට...

*    *    *

ඔය වගේ ප්‍රොජෙක්ට් එකක වැඩ කරපු උපදේශක වරයෙක් උන්නා,  පාෂාණ පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන. හැමෝ ම එයාට ඩොක්ටර් කියල තමයි කතා කළේ. ටික දවසක් යන්න කලින්, ගමේ උදවිය එක එක ලෙඩවලට බෙහෙත් ගන්න එයා ළඟට එන්න ගත්ත. 

බැරිම තැන එයා ගමේ උදවියට කියා දුන්නා, තමුං ‌වෛද්‍ය වරයෙක් නෙවෙයි, ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක් කියලා. ඒත් ඒක ගමේ උදවියට තේරුණේ නෑ. අන්තිමේ එයා කිව්වා...

"මං මිනිස් ඩොක්ටර් කෙනෙක් නෙවෙයි, ගල් ඩොක්ටර් කෙනෙක්" කියලා.

ඊට පස්සෙත් අසංගයි ප්‍රසන්නයි කියල දෙන්නෙක් ඩොක්ටර් පස්සෙන් කැරකුණාලු, ඒ ඇයි දන්නෑ?

*    *    *

ඔය වගේ වර තුනක් දුන්න නෙ, වලහෙකුටයි හාවෙකුටයි... මේ ඒක.

Saturday, June 1, 2024

ශනිදා දහයට කලින්... පොලිස් කතා සහ තවත් කතා

පහුගිය මාර්තු අප්‍රේල් මාසවල ලියන්න කියවන්න විවේකයක් නැතුව ඉද්දි, කතා කරලා දුක සැප අහපු තට්ටයියා වෙනුවෙන් මේ ලියමන ලියන්ඩ පටන් ගත්තෙ. නමුත් ඒක මාතෘකාවට සහ පළවෙනි වාක්‍යයට සීමා වෙලා ඩ්‍රාෆ්ට් අතරෙ රැඳිලා තිබුණා. 

පොලීසිය ගැන අපේ සමාජයේ තියෙන්නෙ ඒ තරම් හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. ඒ නිසා ම උන්දැලට පහර දෙන්න විහිලු කතා ගණනාවක් ගෙතිලා තියෙනව. මං ගැටවර කාලෙ මළගෙවල්වල දි අහපු කතාවකින් පටන් ගන්නම්.


සුජාතභාවයේ ගැටළුව

දවසක් පොලිස් කාරයෙකුයි, ආමි කාරයෙකුයි බස් හෝල්ට් එකක ඉන්නව. ඔය කියන්නෙ උතුරෙ යුද්ධයේ අවසාන කාලෙ. ඒ දවස්වල ආමි එකේ මොරාල් හොඳටම අප් කරලා තිබුණෙ. කොටින් ම හිටියෙ හමුදා භටයො නෙමෙයි, රණවිරුවො. ඒ උනාට පොලිසියට ඒ තරම් සැළකිල්ලක් නෑ. ඉතින් පොලිස් කාරයට ආමි කාරයව මඩවන්න ආස හිතුණා. පොර නිකං ම අරූ එක්ක කතාවක් පටන් ගත්තා.

"නිවාඩුවට ආව නේ?"

"ඔව්" ආමි කාරයත් හිනාවෙලා කිව්ව.

"දැන් නිවාඩු එහෙමත් ඔයාලට අඩු ඇති නේ?"

"ඔව්. අවුරුද්දකටවත් සැරයක් එන්න නෑනෙ."

"ඒකනෙ..." පොලිස් කාරය දුක්මුසු මුහුණින් කිව්ව. "ඔය අතරෙ ඔයාලගෙ පවුල්වල දරුවොත් ඉපදෙනව නේ...?"

ආමිකාරය ඔලුව ඉහළ පහළ අතරට වැනුවා, "ඔව්" කියන්න.

"ඉතිං ඒ අවජාතකයන්ට මොක ද කරන්නෙ?" පොලිස් කාරයා තැනේට ඇණේ ගැහුවා, මහ කාළකන්ණි අවලං හිනාවකුත් එක්ක.

"ආ... උන් ද?" ආමිකාරයා ඇහුවා. "ඒ අවජාතකයො ලොකු වෙලා පොලිසියට බැඳෙනව."



බෝම්බ තුනේ කතාව

(මේක නම් මම මීට කලින් කොතනක හරි කියලා තියෙනවා කියලා මතකයි)

දවසක් පොලිස් කාරයො දෙන්නෙකුට බෝම්බ තුනක් හම්බුණා, පාරක් අයිනෙ හංගලා තිබිලා. දැන් ඒ බෝම්බ තුන මේ දෙන්නා අරගෙන යනව, පොලිසියට.

එහෙම යන ගමං කොස්තාපල් ට ගැටලුවක් මතුවුණා. 

"මේ සාජන් මහත්තෙය... දැං මේ බෝම්බ තුනෙන් එකක් පිපිරුවොත් ‌එහෙම අපි මොක ද කරන්නෙ?"

"වෙන මොනව කරන්ඩ ද?" සාජන් ඇහුවා. "අපි කියමු දෙකයි හම්බුණේ කියල..."



බීමතින් රිය පැදවීම

දඩයක් බා ගන්ඩ බලං හිටපු පොලිස් කාරයෙක් මහ රෑ බාර් එකක් ළඟ රැකලා හිටියා. ටික වෙලාවකිං නකතං වෙන්ඩ ගහපු මනුස්සයෙක් බාර් එකෙන් එළියට ආව. පොර ට හිටගෙන ඉන්ඩ පණ නෑ. ‌උන්දැ ඇද වෙවී වැනි වැනී කාර් පාක් එකට ඇවිත් කාර් එකක දොරට යතුර දැම්ම. ඇරුනෙ නෑ. ඊට පස්සෙ ඌ තව කාර් එකකට ගියා. ඒකත් ඇරුණෙ නෑ.

දැන් පොලිස් කරයට බඩු ෂුවර්, මේ වතාවෙදි නං දඩකොලයක් හරි නඩුවක් හරි ලැබෙනව ම තමයි. 

ඔය විදිහට කාර් හතරක් විතර පහු කරපු ඉවානයා, අන්තිමේ තමන්ගෙ කාර් එක හොයාගෙන නැග්ගා. ඊට පස්සෙ ලයිට් දැම්මා, ඩිම් කළා... ෂටර්ස් පාත් කළා, ඉස්සුවා... වයිපර්ස් ඔන් කළා, අන්තිමේ යන්තම් ස්ටාට් කරගත්තා. ස්ටාට් කරපු ගමං ඉස්සරහට ගිහිං තණකොල තීරුව උඩට ආවා.

ඔය අතරෙ පාක් එකේ තිබුණු කාර් ඔක්කොම ගියා. බාර් එකත් වැහුවා.

අන්තිමේ ඉවානයා කාර් එක පස්සට රිවස් කරලා, පාරට දාගත්තා. දාගෙන ටිකක් ඉස්සරහට යද්දි ම, පොලිස් කාරයා මූව නතර කළා. නතර කරලා, බැලුම දුන්න පුම්බන්ඩ.

හරි වැඩේ කියන්නෙ, බැලුමෙ ප්‍රතිඵලය බින්දුවයි. ඉවානයා බීලා කියල ඒකෙන් ඔප්පු වෙන් නෑ.

"මේක කැඩිලවත් ද?" පොලිස් කාරයා ට කියවුණා.

ඉවානයා හිනාවෙලා කිව්වා. "නෑ නෑ... බීපු උන් ටික ඔක්කොම ගියා. මං උන්ට බේරිලා යන්ඩ සපෝට් එකට පොඩ්ඩක් රඟපෑවා"



හිටගන්ඩ පණ නෑ

පොරක් බාර් එකට වෙලා මුළු හවස්වරුවම බිව්වා. අන්තිමේ දැන් ඇති කියලා හිතලා යන්ඩ නැගිට්ටා විතරයි, මූ මුණිං අතට වැටුණා. 

"සැහ්... මෙච්චර බොන්ඩ නරකයි ආයෙ" කියල තමන්ට කියාගෙන නමියා ආපහු නැගිට්ටා. ඒ පාරත් දඩීං ගාල වැටුණා.

ඒ ගමන මොනව කරන්ඩ ද, පොර බඩගාගෙන දොර ගාවට ගියා. ගිහිං දොර අල්ලගෙන නැගිට්ටා. ඊට පස්සෙ දොරං එළියට අඩියක් තිබ්බ විතරයි, පතෑං ගාල ආපහු වැටුණා මුණිං අතට.

ඒ ගමන නමියා හිත හදාගෙන පාර දිගේ පේමන්ට් දිගේ බඩගාගෙන ගිහිං කොහොම හරි ගෙදර ළඟට ආවා. ඇවිත් යාන්තං දොර් එල්ලිලා හිට ගත්තා. හිටගෙන, දොර බදාගෙන දොරේ අගුල ඇරගත්තා. දොර ඇරුණා විතරයි මූ ආපහු මුණිං වැටුණා. ඒ ගමන දොර අල්ලගෙන ආපහු නැගිටලා දොර වැහුවා. වහල දොර අත ඇරියා විතරයි, ආයෙ මෙකට ද මං කියන්නෙ? රවි අයියා තට්ටයගෙ කෑම්ප් එකේ දි වැටුණා වගේ උජාරුවට අරූ ආපහු වැටුණා.

ඒ ගමන බඩගාගෙන ඇඳට ගියා. ගිහිං අවසාන වතාවට කෙළිං හිටගත්තා. ඒ ගමන උගෙ වාසනාවට උන්දැ වැටුණෙ ඇඳ උඩට. එහෙම්ම නින්ද ගියා.

පහුවදා ඇහැරුණා ම වෛෆ් මුගෙන් අහපු පළවෙනි ප්‍රශ්නෙ තමයි, "තමුසෙ ඊයෙ සිහි නැතිවෙන්ඩ බිව්ව නේද?"

මිනිහත් වෙන උදවිය දෙන උත්තරේම තමයි දුන්නෙ. 

"පිස්සු ද, ඩාලිං? මං බිව්වෙ නෑ..."

"එහෙනං අර බාර් එකෙං අද උදේ ම කෝල් කළේ..." වෛෆ් කිව්වා. "තමුසෙ ඊයෙත් රෝද පුටුව එහෙ දාල ඇවිල්ලා"


ප්‍රොක්ටර්

මගෙ සුපුරුදු පෙරකොදෝරු කතාවක් නැති වුණොත් පෝස්ට් එකෙන් වැඩක් නෑ. ඒ් නිසා මේකත් කියවන්න. හැබැයි ඔයාල කියවලා හිනා වුණාට අපේ ප්‍රාජේ ට එහෙම මේක ගැන කියන්ඩ එපා.

ටවුමක තිබුණා පුණ්‍යාධාර සමිතියක්. ඒකට ටවුමෙ උන්න හැම පෝසතා ම ආධාර කළා. ඉතින් දවසක් මේ සමිතියෙ ගරු භාණ්ඩාගාරික ආධාර පොත අරගෙන කියවලා බලද්දි දැක්කා, ටවුමෙ ඉන්න ප්‍රසිද්ධම නීතිඥවරයා විතරයි මේ සමිතියට ආධාර කරලා නැත්තෙ කියලා.

ඔය භාණ්ඩාගාරිකකමට පත් කරන්නෙත් නීතීඥයො වගේ ම සූරගන්ඩ දක්ෂ මිනිස්සු. ඉතිං නිමල් අයියත් හිතාගත්තා, මං කොහොම හරි ප්‍රාජේගෙන් දතක් ගළවනවා සමිතියෙ අරමුදල වෙනුවෙන් කියලා. එහෙම හිතාගෙන ගියා අර නීතිඥවරයා හම්බවෙන්න.

ගිහින් කිව්වා "මේ බලන්න මහත්තයා. අර කඩේ මුදලාලිත් අපට ආධාර කළා. අර ෆිල්ම් ඩිරෙක්ටරුත් අපට මාස්පතා ගාණක් එවනවා. මෙහෙම බැලුවම ඔබතුමා විතරයි අපට ආධාර වශයෙන් සතයක්වත් දීලා නැත්තෙ..."

කියාගෙනනකොට ම නීතිඥ මහත්තයා අතක් උස්සලා නිමල් අයියව නැවැත්තුවා.

"දැන් ඔයා දන්නව ද, මගෙ අම්මා කාලෙයක් තිස්සෙ ලෙඩ වෙලා මැරෙන්න වැටිලා ඉන්නවා කියලා? එයාගෙ පෙන්ෂන් එක වගේ කීප ගුණයක් සල්ලි වියදම් වෙනව එයාගෙ බෙහෙත්වලට... ඔයා දන්නවද ඒක?"

ගරු භාණ්ඩාගාරිකට කටේ කෙලත් හිඳුණා. "න්න්න් නෑනෙ..." එයා යාන්තමින් කියාගත්තා.

"... ඊළඟ ට... මගෙ මල්ලි හමුදාවෙ ඉඳලා, බට්ටෙක් පෑගිලා කකුලක් කපලා රෝදපුටුවට ම සීමා වෙලා ඉන්නව කියල ඔයා දන්නව ද? ඒ මදිවට එයාගෙ ඇහැකුත් අන්ධයි..."

භාණ්ඩාගාරිකට කට උත්තර නෑ...

"තුන්වෙනුව..." ලෝයර් කියාගෙන යනවා... "මගෙ නංගිගෙ හස්බන්ඩ් මැරුණා ඇක්සිඩන්ට් එකකින්. එයාගෙ දරුවො තුන්දෙනාට උගන්නගන්ඩ එයාට සතයක්වත් ඉතුරු කරලා තිබුණෙ නෑ මස්සිනා..."

"මං ඔය කිසිම දයෙක් දැනගෙන උන්නෙ නෑ..." අන්තිමේ නිමල් අයියා කෙඳිරි ගෑවා.

"අන්න ඒකනෙ..." ප්‍රා ජේ අවසාන වචනයත් කිව්වා. "ඔය එකෙකුටවත් සතයක්වත් වියදම් කරන්නෙ නැති මං, තමුසෙලට ආධාර කරයි කියල හිතනවද මනුස්සයො?"


------------

හුටංබරස් මහතා, ඊයෙයි අදයි උදේ ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන අතරෙ හදපු "බස්සා මාමා" පහතින්...



"පොටෝ දෙකක් ගම්මු. එතකොට, මේකෙ කට අරින්නයි වහන්නයි පුළුවන් කියල පේනව. ඊට පස්සෙ බස්ස මාමට යවමු. බ්ලොග් එකෙත් දාමු" කියල උන්දැ ම තමයි කිව්වෙ...

Saturday, May 11, 2024

නීලකළපුව

 


වික්ටෝරියානු යුගයේ දී...

 දකුණු පැසිෆික් සාගරයේ යාත්‍රා කරමින් තිබුණු රුවල් නැවක හදිසියේ ම ගින්නක් හට ගත්තා. කළබල වූ යාත්‍රිකයන් පැනගනිද්දී, පැඩී බටන් නම් වැඩිහිටියා, අවූදු හතක් පමණ වයසැති ළමයින් දෙදෙනෙකු වූ රිචර්ඩ් සහ එමලින් බෝට්ටුවකට නංවාගෙන යාත්‍රාවෙන් පැන ගත්තා. ඔවුන්ට සුන්දර ඝර්ම කළාපීය දිවයිනකට ගොඩ බසින්නට හැකි වුණා. එහි දී පැඩී දරුවන් දෙදෙනා රැක බලා ගනිමින් තමන් බේරා ගන්නට නැවක් පැමිණෙන තෙක් බලා සිටියා. පරිසරයට හුරු වෙමින් සහ නොනැසී ආරක්ෂා වෙමින්...


එහෙත් වැඩි කාලයක් යන්නට පෙර පැඩී මිය ගියා. ඉන් පසු දරුවන් දෙදෙනා මුහුදු වෙරළේ, කළපුවේ කර දියේ සහ වනයේ ජීවත් වන්නටත්, සොබා දහම රස විඳින්නටත් ඉගෙන ගත්තේ තනිවම. එය නැවුම් අත්දැකීමක්. 

එහෙත් නොදන්නා දේ සිදුවෙමින් තිබුණා. දිවයිනේ අනෙක් පැත්තේ ප්‍රචණ්ඩ ප්‍රාථමික මිනිසුන් නිතර ගැවසුනා. ඔවුන් ආගමික චාරිත්‍ර ඉටුකළ ස්ථානයක් එහි තිබුණා.

අනෙක් නොදන්නා දේ තිබුණේ දරුවන් තුළ ම යි. ඔවුන් වැඩිවිය පැමිණෙමින් තිබුණා. ඔවුන් තුළ හටගත් වෙනස්වීම් ඔවුන් තේරුම් ගන්නට වෑයම් කළා. ඒ වගේ ම, ඔවුන් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය වීම ඔවුන්ට වටහා ගන්නට අසීරු වුණා. නමුත් ක්‍රම ක්‍රමයෙන් ඔවුන් ඒ තුළ වූ සුන්දරත්වය විඳගන්නටත් සහජයෙන් ඇති වන ආකර්ෂණයට නතු වන්නටත් පටන් ගත්තා.

මම මීට වඩා කිසිවක් කියන්නේ නෑ.

1908 දී පළ කෙරුණු හෙන්රි ඩි වියේර් ස්ටැක්පූල් විසින් ලියා පළ කෙරුණු නවකතාවක් ඇසුරින් 1981 දී තිර ගත කෙරුණු The Blue Lagoon චිත්‍රපටය මම මුල්වරට නැරඹුවේ ටීඑන්එල් නාලිකාවෙන් බව මතක, 1998 දී. ඉතා ම චමත්කාරජනක මතකයක් ඉතිරි කළ සිනමා නිමැවුමක් එය.

එය සැළකියයුතු බලපෑමක් ඇති කළ බව පැහැදිලි වෙන්නේ, 1991 දී එහි ඉතිරි කොටසක් ලෙසට The Return to the Blue Lagoon නමිනුත්, 2012 දී The Blue Lagoon Awakening නමින් නවතම චිත්‍රපටයකුත් බිහි වීම මගින්. මේ චිත්‍රපටියේ කතාව යම්තාක් දුරකින් මම මීට පෙර සඳහන් කළ Top Secret චිත්‍රපටිය තුළත් සඳහන් කරනවා. 


බෲක් ෂීල්ඩ්ස් සහ ක්‍රිස්ටෝෆර් ඇට්කින්ස් ප්‍රධාන චරිත නිරූපණය කළ මෙම සුන්දර චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ රැන්ඩෝල් ක්ලේසර්. මෙහි ප්‍රචාරක පටය පහතින්...


බාගන්නට ටොරන්ට් සබැඳිය මෙතනින්...

Sunday, December 24, 2023

බ්‍රයන්ගේ ජීවිතය...

අවුරුදු දෙදාහකට පමණ පෙර...

අමුත්තන් තුන් දෙනෙක් යමක් සොයමින් යති. ඔවුන් එළැඹෙන්නේ මවක සහ එදින ම උපන් බිළිඳෙකු වෙත ය. ඔවුන් දකින මව බියපත් වෙයි. නමුත් පසුව ඇය ඔවුන් ගෙන් ප්‍රශ්න කර, ඔවුන් එළවා දමයි. එහිදී ඔවුන් කියන්නේ, තමන් යුදෙව්වන්ට බිහි වූ අලුත් රජු බැහැ දකින්නට තෑගි ද රැගෙන ආ වගයි. "තෑගි" යන වචනය නිසා තරුණ මව ඇගේ බිළිඳා, බ්‍රයන් දකින්නට අමුත්තන්ට ඉඩ සළසයි. 


බ්‍රයන් තරුණ වියට පත් වූ පසු, ජුදයාව රෝමයේ පාලනයෙන් මුදවා ගැනීමේ අරමුණින් පිහිටුවා ගත් ජුදයාවේ මහජන පෙරමුණ නම් සංවිධානයට එක් වෙයි. ඊට එකතු වීමේ දී ඔහුගේ සුදුසුකම් සහ කැපවීම පරීක්ෂා කිරීමට ඔහුට ලැබෙන මුල් ම මෙහෙයුම වන්නේ, "රෝමකයනි, ජුදයාවෙන් පිටවෙයව්!" යන්න, නගරයේ ප්‍රධාන තැනක බිත්තියේ ලිවීමට ය. නිතර රාත්‍රී මුර සංචාර යන ලීජන්වරුන්ගෙන් බේරී මෙය ඉටු කිරීම අති දුෂ්කර කාර්යයකි. නමුත් එය සිතුවාටත් වඩා "සිය ගුණයකින්" ඉටු කිරීමට බ්‍රයන් සමත් වන්නේ මෙසේ ය.


රෝමක සෙබළුන්ට අහුවෙන බ්‍රයන්, ජුදයාවේ රෝමක පාලකයා වන පොන්ටියුස් පිලාත් වෙත අරගෙන යන තැන. පිලාත් ට "ර" යන්න කියවෙන්නෙ නෑනෙ. ඒ වෙනුවට කියවෙන්නෙ "ව" යන්න. ඉතිං බ්‍රයන්ගෙ තාත්තා "රෝමන්" කෙනෙක් කිව්ව ම, පිලාත් ගෙ මුවින් ඔහු "කාන්තාවක්" වෙනව.


ඒ කාලේ තිබුණු යුදෙව් මූලධර්මවාදී සමාජය. දස පනතේ එක් පනතක් වන, "දෙවියන් වහන්සේ ගේ නාමයෙන් බොරුවට දිවුරීම" ට හසු වුණු තැනැත්තෙක්ට ගල් ගැසීම...


අවසානයේ බ්‍රයන් ද, කුරුසියේ තබා ඇණ ගසනවා. 

සෑහෙන ආන්දෝලනයට ලක් වුණු, මොන්ටි පයිතන් කණ්ඩායමේ නිර්මාණයක් වන මේ චිත්‍රපටිය, ඇතැම් රටවල තහනමට පවා ලක් වුණා. ඊට සමගාමීව, "නොට් ද නයින් ඔ'ක්ලොක් නිවුස්" හි කතා බහට ලක් වුණා. මොන්ටි පයිතන් බැතිමතුන්ට අපහසුතාවක් ඇති වුණු, ජේසුස් ක්‍රිස්තුස් ගේ කතාව... 


චිත්‍රපටිය යූ ටියුබ් හි තිබෙනවා. ටොරන්ට් බාගත කරගන්නවානම්, මෙන්න...

Tuesday, December 19, 2023

යුද්ධ කතා සහ ප්‍රේම කතා

අපේ හිතවත් ඩී ජී ඇම් බස්සා මහතාගේ බ්ලොග් එකේ නොබෝ දා පළවුණු මෙන්න මේ කමෙන්ටුව කියවද්දි කාලෙකට කලින් කියවන්න සහ අහන්න ලැබුණු කතා කීපයක් මතක් වුණා. මෙන්න මෙහෙමයි ඒ කතා:

ට්‍රැෆල්ගාර් චතුරස්‍රය


මේක දෙවෙනි ලෝක යුද්ධ කාලෙ. අනිවාර්ය යුධ සේවයට බැඳෙන්න අකමැති වෙච්ච එංගලන්තයේ තරුණයෙක්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයෙ දි තමන්ට ඇස් පෙනීම හොඳ නැති බව අඟවලා බේරෙන්න කල්පනා කළා. ඉතින් සම්මුඛ පරීක්ෂණේ දි එයා ට මේසෙ උඩ තියෙන වාර්තාව කියවන්න කිව්ව ම, “මොන වාර්තාව ද?” කියලා ඇහුවා. පැන්සලක් දික් කරලා වාර්තාව පෙන්නුවහම, “කොසු මිටක් දික් කරන්නෙ ඇයි?” කියලා ඇහුවා. ඔය වගේ කොමිටල් උත්තර දීලා උන්දැ කොහොම හරි සම්මුඛ පරීක්ෂණේ ෆේල් වුණා.

පහුවදා නමියා අර තරුණයා ගියා ෆිල්ම් එකක් බලන්න. ගිහින් සීට් එකක් හොයාගෙන වාඩි වෙලා වටපිට බලද්දි තමයි දැක්කෙ, තමන්ව ඉන්ටවිව් කරපු එක් කෙනෙක් ඉන්නව පිටිපස්සෙ සීට් එකේ. “මළ කෙලියයි. මගෙ වැඩේ මාට්ටු නේ ද?” කියල ටික වෙලාවක් කල්පනා කරපු තරුණයා, එක පාරට ම පිටිපස්සට හැරිලා ඇහුවා, “සර්, මේ බස් එක ට්‍රැෆල්ගාර් චතුරස්‍රයෙ නවත්තනව ද?” කියලා.

මීටරේ ට බොරු කිරීම

මේක ටිකක් අවරයි. ඒ නිසා කියවන්න එපා.


උඩ කතාවෙ වගේ ම තරුණයෙක් අනිවාර්ය හමුදා සේවයට බඳවා ගන්න ඉන්ටවිව් එකේ දි, ඇස් පේන් නෑ කියලා බොරු කරන්න ට්‍රයි කළා. නමුත් ඉන්ටවිව් කරපු හමුදා ලොක්කා ඌට වඩා ටිකක් කපටි කමින් වැඩියි. ඉතින් එයා කරපු වැඩේ, අර තරුණයාට ඒ කාමරේට වෙලා ඉන්න කියලා, එළියට ගිහින්, හැඩ වැඩ ඇති හමුදා සෙබළියක් ඊට යාබද කාමරේට එව්වා. ඒ කාමර දෙක අතර දොර අඩවන් කරලා, අර සෙබළිය එකින් එක එයාගෙ ඇඳුම් අයින් කරන්න ගත්තා, බොහොම හෙමින්. අන්තිමේ පෑන්ටියයි බ්‍රා එකයි විතරක් ඉතරු වෙද්දි හමුදා ලොක්කා ආපහු කාමරේට ඇවිත්, නමියගෙ අර තරුණයගෙ කළිසමේ උඩ හරිය දිහා හොඳ ට බලලා, කිව්වා:

“මල්ලි මේ... මට බොරු කළාට, උඹෙ මීටරේට බොරු කරන්න බෑ. කට්ට උඩ ගිහින් තියෙන්නෙ හොඳට ම” කියලා.

සුහද නිවාඩු

මේ කතාව මම මීට පෙර කොතනක හරි ලියලා තියෙනවා. මට කියවන්න ලැබුණ විදිහට, ඊශ්‍රායල් පලස්තීන සීමාවෙ වෙච්ච කතාවක්...

ඊශ්‍රායෙල් කාලතුවක්කු හමුදාවට අලුතින් බැඳුනු කොල්ලෙක් ට ගමේ යන්න නිවාඩුවක් ගන්න ඕනෙ වුණා. ඒත් හමුදාවට බැඳුන අලුත නිසාත්, යුද්ධෙත් ගණ සැරට යන නිසාත්, ඌට නිවාඩු ලැබුණෙ නෑ. 

ඔහොම ඉද්දි එක දවසක් මූ උදේ පාන්දර ම යුධ පෙරමුණේ ඉඳන් තමන්ගෙ කඳවුරට ආවා, පලස්තීන යුද්ධ ටැංකියක් අල්ලගෙන.

ඌ කරපු වීර කමට, පදක්කමක් රෙකමන්ඩ් කරලා, මාසයකට නිවාඩුවකුත් ලැබුණා. එදා හවස මෙස් එකේ මූ වෙනුවෙන් පාටියකුත් තිබුණා. 

පාටියෙ දි උගෙ යාලුවෙක් ඇහුවා, “උඹ කොහොම ද බං ඔය ටැංකිය අල්ලගත්තෙ?” කියලා.

මූ කියනව, හොඳට ම වෙරි පිට...

“මෙහෙමයි මචං. මං අපේ ටැංකියක් එලවගෙන යුද්ද පෙරමුණ හරියට ගියා. ඒ හරියට, පලස්තීන ටැංකියකුත් ආව. මං ටැංකියෙන් බැස්සා. අරුත් උගෙ ටැංකියෙන් බැස්සා. මං උගෙන් ඇහුවා, ‘උඹට නිවාඩුවක් ගන්න ආස  නැද්ද?’ කියලා. ඌ ඒකට එකඟ වුණා.

“ඊට පස්සෙ අපි දෙන්නා ටැංකි මාරු කරගෙන ආපිට තම තමන්ගෙ කෑම්ප්වලට ගියා. මයෙ හිතේ දැන් උගෙ කෑම්ප් එකෙත් ඌට මේ වගේ ම පාටියක් දෙනව ඇති.”


කැමති ද?

ප්‍රසන්ன චූටි කාලෙ එක වතාවක්, සෑහෙන්න කල්පනා කරලා කරලා, යාලුවොත් එක්ක කතා කරලා, හිතට හොඳට ගට් එක අරගෙන, ගිහිං කෙල්ලෙක්ගෙන් ඇහුවලු. කරුමෙ කියන්නෙ, මුගෙ කලබලේට මූ අදාළ ප්‍රශ්නෙ ඇහුවෙ පැත්ත මාරු කරල.

ඒ කියන්නෙ? ඒ කියන්නෙ මූ ඇහුවෙ: “මේ... නංගි, ඔයා මට කැමතියි, මං ඒ ගැන මොක ද කියන්නෙ?” කියල.

“මං කොහොම ද දන්නෙ?” කියල කෙල්ලත් ගස්සගෙන යන්ඩ ගියා ලු.


කෝලං

දවසක් මහේෂ් කියල කොල්ලෙක් හෙණ අප්සට් එකේ ගියාලු පොරගෙ යාළුවෙක් ගාවට. ඒ යාලුවට කොල්ලො සෙට් එකේ ම කියන්නෙ, “ලව් ඩොක්ටර්” කියල. එච්චරට ඌට එක්ස්පීරියන්ස්, කෙල්ලො ටෝක් කරන විදිහ ගැන.

“මොක ද බං? උඹ නිකං ගොනා පයිං ගහපු ලන්තෑරුම වගේ?” ලව් ඩොක්ටර් ඇහුවා.

“නෑ බං... මං කෙල්ලෙක්ගෙන් ඇහුවා.”

“හා හා හරි හරි...” අරූ ඉතුරු ටික හිතා ගත්තා. “උඹ ඔව්ව ගණං ගන්ඩෙපා බං. ඔය ඕනෙ ම කෙල්ලෙක් දා ගන්ඩ සිම්පල් ටැක්ටික් ටිකක් තියෙන්නෙ.”

“උඹ නං කියයි. උඹ දන් නෑනෙ ඒකි මට කියපු දේවල්...” මහේෂය අඬනව ඉතිං.

“හරි හරි බං. ඔය කොයි කෙල්ලත් එකපාර ම කැමතියි කියන්නෙ නෑ. එතකොට උන් ගැන කොල්ලො හිතන්නෙ උන් බඩු කියලා. ඉතිං ඔය කොයි කෙල්ලත් ඉස්සෙල්ලා බෑ කියනව. උන්, ‘බෑ’ කියන්නෙ, පස්සෙ ‘හා’ කියන එකට ම තමයි බං.”

“ඉතිං ඒකි බෑ කිව්වෙ නෑනෙ බං.”

“එහෙනං? මොකද්ද කිව්වෙ?”

“ ‘මල කෝලං. පළයං යන්ඩ’ කියලනෙ කිව්වෙ බං...”


Saturday, April 8, 2023

බක් පෝදා ගෙට්ටුව


බක් පෝදා සුහද හමුවට මම ආවේ නැතක් බාධක මැද. ලොකු ම බාධාව තිබුණේ රාජකාරිවලින්. පළාත්පාලන ආයතනවල සභාවන් විසුරුවා හැරුණේ මාර්තු 19. එතෙක් ගරු සභිකයන්, ගරු නගරාධිපති සහ ගරු සභාපතිවරුන් වෙත පැවරී තිබුණු තීරණ ගැනීම සභා ලේකම්වරුන්ට සහ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වෙත පැවරුණා. එයින් අපේ කාර්යාලයටත් රාජකාරිවල බැරෑරුම්කම සහ ප්‍රමාණය වැඩි වුණා. 

ඒත් එක්ක ම මාර්තු 31 මම තවත් තනතුරක වැඩ භාරගත්තා. දැන් ඉතින් කාර්යාල දෙකක වැඩ කරන්න සිද්ද වෙලා තියෙනවා.

කාර්යබහුල වීම මත අපේ අසංගගේ සහ මඤ්ජුලගේ දුරකථන ඇමතුම්වලට උත්තර දෙන්නත් මට බොහෝ වෙලාවට පුළුවන්කමක් තිබුණෙ නෑ.

කොහොමින් හරි, අපෙ උන්දැයි පුතණ්ඩියයි මායි ඇඳගෙන පහළට එද්දි තමයි මට සුරංග කෝල් කළේ. 

"අපි නං මෙහෙන් පිටත් උනා. ඔහෙ තත්ත්වෙ මොක ද?"

"මං දැනුයි නැගිට්ට‌ෙ මල්ලි." මං කිව්වා. එතන ඉඳං වැල නොකැඩී සුරංගයා බැණපු තරම, ඒ වචන නැවකට පැටෙව්වනං, කෙලිම්ම වරායෙන් දියත් කරද්දි ම නැව මූදු පතුළට ගිළෙනව. ඒ තරම් බර වචන...

"නයියා දාගත්ත ද?" යන්තම් බැණුම් වැස්ස තුනී වෙද්දි මං ඇහුවා. (ප්‍රසන්නව රත්නපුරෙන් ගන්නම් කියලා සුරංග කලින් දවසෙ මට කිව්වා.) 

"ආ ඔව්. පටෝලා තියෙන්නෙ" ඒක අහපු ගමන මට කැස්ස ඉස්මොල්ලෙ ගියා.

කොහොමිං හරි අපි තුන් කට්ටුව පාර අයිනෙ ටීපීයට යනකොට, සුරංගලාගේ සොටියත්, අසංගලාගේ ඇල්ටෙත් එතන ය. සුපුරුදු පරිදි රවි අයියා ආවේ ඊට කලින් දවසේ ය. ආචාර සමාචාර කර ආගිය කතා කතා කළෑයින් පස්සේ මං අපේ උන්දැත්, පුංචිරාලත් එක්කරගෙන තට්ටයාගේ කැළණි ගඟ පෙන්නන්නට ගියෙමි ය. ටික වෙලාවකින් නමියා දියෙස් බ්‍රෑන්ඩ් ලැවරියා පිඟානත් අරගෙන ඇස්වහක් කටවහක් නෑ සීදේවි ගුණ යහපත් ඉළංදාරියා අපටත් ලැවරියා බෙදන්නට ගඟ ගාවට ම පල්ලං බැස්සේ ය.

වත්සලා, එයාගෙ නංගි සහ චූටි වත්සල පැංචා

නයි හාමි, චූටි මැණිකෙ සහ සුරංග

ගෘහ මූලික වීරසිංහ

තිලකසිත අයියා අභය මුද්‍රාව සහිතව

අසංගලා සහ නමියා

ලැවරියා කා උඩහට එද්දී වත්සලා කෝ විජේරත්නත්, අපේ ප්‍රධාන ආරාධිතයාවිය වූ ශාන්ති දිසානායක ලේඛිකාවත් එතනට සැපත් වෙලා ය. අපේ තිලකසිත අයියා ආවෙත් ඒ වෙලාවෙම වගේ ය.

උදේ කෑම වැරදී තිබුණු උදවියට තට්ටයියා සිය දෑතින් උයා තිබූ බත් කන්නට තිබුණා. වැඩි වෙලාවක් මිඩංගු නොකර අවශ්‍ය අඩුම කුඩුම (එව්වා අඩු සහ කුඩු වෙන්නෙ ආපහු එද්දි) තට්ටයියගෙ කහපාට සිංගල් කැබ් එකට පටවාගෙන,  අපේ නඩයේ උදවියත් පටවාගෙන කැලේ මැද ටීපියට යන්නට පිටත් උණා.

කොහොම හරි අණ්ඩක් කඩා ගන්නෙ නැතුව සිංගල් කැබ් එකේ පිටිපස්සෙ ඉඳගෙන ගියපු අපි, කැලේ මැද ටීපියෙන් බැහැලත් පැයක් තරම යන තුරු ඒ මේ අත ගැස්සි ගැස්සි උන්නෙ.

මද්‍යප උදවිය මද්‍යපාන සහ ධූමායනයත්, අනික් උදවිය වත්සලා, චූටිමැණිකෙ (සුරංග ගෙ නෝනා පොඩ්ඩ) සහ අවශේෂ අඟනුන් හදා දුන්න තේ පානයත් කරමින් සුහද කතාවකට යොමු වුණා. ආන්න ඒ වෙලාවෙදි තමයි මට පසක් වුණේ ශාන්ති දිසානායක නම් ලේඛිකාව කොයි තරම් සරළ, නිහතමානී සහ අව්‍යාජ තැනැත්තියක් ද යන වග.රටේ දේශපාලන තත්ත්වය, සමාජ ගැටළු ආදී දේ ගැන අපට එකග වෙන්න පුළුවන් වුණු තැන් ගොඩක් තිබුණා.  

නමියාගේ සිට වත්සලාගේ පුතා දක්වා විවිධ වයස්වල දරුවන්ටත් නිදහසේ ස්වභාවිකත්වය සහ පරිසරය රසවිඳින්න අවස්ථාව ලැබුණු අතර, ඩ්‍රැකියානිගේ පයේ ඇඟිල්ලක් රසවිඳින්න කූඬැල්ලෙකුටත් අවස්ථාව ලැබිලා තිබුණා.

ටීපිය අසළින් ගළාගෙන යන දොළ පාර හරිම නිස්කාන්සුයි. ඒ වගේ ම නිදහසේ ගිළිලා ඉන්න හැකි විදිහට ගල්වලින් වටවුණු පොකුණු වගේ කොටස් කිපයකුත් තිබුණා. ශාන්ති අක්කලා, අසංගලා, වත්සලාලා සහ සුරංගලා මේ දොළ පාරට බැහැගෙන "නානවා" කියා යමක් කරන්නට පටන් ගත්තා. ඒ වචනෙ තේරුම උපන්තේකට අහලා නොතිබුණු මාත්, ප්‍රසන්නත් ගොඩට වෙලා උන්නේ, නොදන්නා දේට ගොහිං වරිගෙ නැහෙයි යන සාධාරණ බයෙන්.

පස්සෙන් පහු තට්ටයියගේ බල කිරීම මත අපේ හුටංබරස් ආදිපාදතුමාටත් දොළ පාරට බහින්න අවස්ථාව ලැබුණා. 

අපි ඔක්කොම දොළෙන් ගොඩට ආවත්, සුරංග, චූටිමැණිකෙ සහ වත්සලාගේ නංගි නෙවෙයි ගොඩට ආවේ. ඒ තුන් දෙනා ට වෙලා තිබුණේ අනිකක්... මොකද්ද, දොළේ බැහැගෙන පොඩ්ඩක් ඇඟ අතුල්ලමින් ඉන්නවිට දැනට අවුරුදු දහයකට විතර උඩදි ඇඳපු ඇඳුම් මතු වෙන්න පටන් ගෙන. ඉතින් ඒ එකිනෙක ඇඳුම්වල විස්තර කතා කරමින් ඉද්දි ඒ අයට වෙලාව යනව දැනුනේ නෑ.

වරක් ඩ්‍රැකියානි දොළ අයිනට ගිහින් ඇවිත් මට කිව්වා, කොහෙන්දෝ ගහගෙන ආව මළ සිරුරක් දොළේ පාවෙනව කියලා. මං ගිහුං බලද්දි යන්තං "ඒ අපේ සුරංග මල්ලිනෙ" බව අඳුනගන්න පුළුවන් වුණා.

අන්තිමේ ඩ්‍රැකියානි තමයි මටත් මතක් කරලා දුන්නේ, මේ උදවිය නාන විදිහට තට්ටයියට ලොකු වතුර බිලක් ගෙවන්ඩ සිද්ධ වෙන විත්තිය. ඒක මතක් කළහම ඔන්න යන්තං සුරංගලා දොළෙන් ගොඩට ආවා. ඒ එද්දි, ඒ තුන් දෙනා කොයිතරම් කුණු අතුල්ලලා ද කියතොත්, සුරංගගෙ රැවුළත් සුදු වෙලා තිබුණා.

මං ගොහිං අපේ පුංචිරාළ ගෙ ඇඟ පිහලා ඇඳුං අන්දවගෙන එද්දි සුදුපාට ප්‍රාඩෝ එකක් පිඹගෙන ටීපී වාඩිය පැත්තට ආවා. ඒකෙ ආවේ ප්‍රාජේ සහ ඉයන් ය. ඉයන් ට ටුබැකෝ නිෂ්පාදන එක්ක පුදුම තරහක් තියෙන බව මම දැක්කේ එදා ය. එහෙම උනත් ඩ්‍රැකියානි ට නං ඉයන් ගැන ඇත්තේ ලොකු පැහැදීමකි. ඒ මේ හේතුවටය... 

ඉයන් මාමා ට එදා කන්නාඩි කුට්ටම අමතක වෙලා ඇවිදින් ය. ඉතින් එයා හිතාගෙන ඉඳලා තියෙන්නේ ඩ්‍රැකියානි මගේ දුව කියලා ය. ඒක කියාපු වෙලේ ඉඳන් ඩ්‍රැකියානිගේ ඉහේ මලක් පිපුණේ ය.

එදා දවල් කෑමත් පංකාදු පහය. මොලොක් වෙන්නට මිරිසට උයා තිබුණු චිකන්, මියනදලුත් කොස්ඇටත් දාලා හදා තිබුණු කෙහෙම්මලක්, නයිමිරිස් දාලා හදපු කොස්, යන විශේෂාංගවලට අමතරව, බැදපු කොච්චි, බැදපු මිරිස්, බැදපු පපඩම්, සමඟින් පරිප්පුත් බෝංචිත් එක්ක බත් (ඔව් බතුත් තිබුණා) බඩ පැලෙන්නට කන්නට තිබුණේ ය. 

අන්තිම හරියේ දී, ගෙට්ටුවට ආව උදවියට සිහිවටනයක් විදිහට ශාන්ති අක්කාගේ පොතක්, ශාන්ති අක්කාගේ අත්සනත් එක්ක ලබා දුන්නා. ඒ අවස්ථාව පොටෝ ගැහුවේ අපේ ප්‍රවීණ සිරිසඟබෝ ස්ටයිල් ඡායාරූප ශිල්පී නමියා. නමුත් ඒක නමියාට විඩින් විඩේ මතක් කරන්න සිද්ධ වීම තමයි අවුල. ඉතින් මටත් රවි අයියටත්, පොටෝ ගහන්නට උවමනා වෙලාවෙ දි "ගහපිය !" කියමින් නමියගේ පිටට තට්ටු කරන්නට සිද්ධ උනා. නමියා පහුවදාම කැඩුං බිඳුං වෙදෙක් ගාව ඇඩ්මිට් උනා කියලා ආරංචියි.

පතෑංංං ඡායාරූප ශිල්පියෝ
ඉයනුත් ප්‍රාජේත් ශාන්ති අක්කත් පිටත් වුණාට පස්සෙ අපි පටන් ගත්තා කාඩ් සෙල්ලම. කාඩ් විසිපහක් තිබුණා.  කට්ටිය රවුමට හිටියා. කාඩ්වලින් උඩම තියෙන කාඩ් එකේ සඳහන් වැඩේ රවුමෙ මුලින් ම ඉන්න තැනැත්තා කරන්න ඕනෙ. ඊළඟට ඊට යටින් තියෙන කාඩ් එකට සහ රවුමෙ ඊළඟට ඉන්න තැනැත්තට අවස්ථාව ලැබෙනව.

ඔය ගේමෙ දි, කැමති ම පොත් දහය කියන්න කියලා නමියට අවස්ථාව ලැබුණා. ඒ හොර තක්කඩියා කළේ, එක වසරේ ඉඳං දහය වසර දක්වා සිංහල කියවීම් පොත්වල නම් කියාපු එක.

ජිරාෆ් කෑ ගහන හැටි කරන්න අසං‌ගගෙ පුතාට ලැබුණා, මාළුවෙක් කෑ ගහන හැටි කරන්න අසංගට ලැබුණා. නයෙක්ට ටෝච් එකෙන් ගහන්න වත්සලාට ලැබුණා, වත්සලාගෙන් ගුටි කන්න ප්‍රසන්නට ලැබුණා.

ඒ ටිකත් ඉවර වෙලා, පරක්කුත් වෙන හින්දා ආපහු එන්න හැරුණා. කහ පාට සිංගල් කැබ් එක හරවා ගනිද්දි වැරදිලා, කෑම මේසයත් එළාගෙන, බත් වලින් මල් වෙඩිල්ලකුත් පත්තු කරගෙන, රවි අයියවත් ‌පෙරලාගෙන යන්නට ගිය වාහනේ තට්ටයගෙ දක්සතාව හෝ එහෙමත් නැත්නම්, ලක් බයි චාන්ස් එක නිසා යන්තම් නතර කරගන්න පුළුවන් වුණා.

නමුත් ඒ විදිහෙ ආරම්භයකුත් එක්ක ආපු නිසා, කැලේ මැද ඉඳන් මහ පාර අයිනට එද්දි අපේ බහුතරයකට තප්පරෙන් තප්පරේ දෙවියන් සිහිපත් වුණා. බලන්ඩ ඒක ම කොයිතරම් ලොකු පිනක් ද කියලා. 

කොහොමින් හරි අපි දරු පවුලුත් එක්ක ඉතා ම සුන්දර සහ අමතක නොවන දවසක් ගත කළා. වියදම ගියෙත් උදේ සහ දවල් කෑම බීමට විතරයි. විසේසෙන් ම කියන්ට උවමනයි, තිලකසිරි අයියා ඉතාම හිතවත් සහ සුන්දර මනුස්සයෙක් බව මම තේරුම් ගත්තෙ එදා. ඒ වගේ ම අපේ ගෙට්ටුවට ඇවිත්, අපිත් එක්ක 100%ක් ම මුහු වෙලා අපට ගෞරවයක් ලබා දුන්න ශාන්ති අක්කටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම මධ්‍යපාන ගඳ, දුම්කොළ ගඳ වගේ ම අවුවෙ දඟලලා අපේ හඩු ගඳ ඉවසගෙන අපි ළඟ උන්න එක මත් ලොකු දෙයක්. (එයා ළඟදි ම බ්ලොග් එකක් ලියන්න පටන් ගන්නව කිව්වා.) ඒ වගේ ම ගෙට්ටුවේ සංවිධානය කිරීමේ මහ මොලකරු (මොල සහ තට්ටකරු) ටත්, ස්වයංව පත්වුණු ගරු භාණ්ඩාගාරික රවි අයියටත් ස්තූතියි... නුඹලා ගේ ප්‍රයත්නය සහ වෙහෙස ‌නොතිබෙන්නට වැඩේ අල සහ දෙල් බවට පත් වෙන්නට ඉඩ තිබුණා. ඉතාාාම සාර්ථකයි වැඩේ. මට කෝටි තිහක ලොතරැයිය ඇදුණහම මීළඟ ගෙට්ටුව සීතල නත්තලේ නුවරඑළියේ දී පවත්වන්නට අධිෂ්ඨාණ කරගෙන ඉන්න බවත් අවසාන වශයෙන් දැනුම් දෙනවා.

වැඩිදුර කියවීමට...

නමියා ගිය ගෙට්ටුව

ශාන්ති අක්කාගේ බ්ලොග් සම්ප්‍රාප්තිය

සුරංග නාන්ඩ ගිය හැටි

රවි අයිය ගිය ගෙට්ටුව

Saturday, January 28, 2023

සිරිබිරිසාගමනය

එක් සමයෙක්හි අලගෙඩියට අධිපතියාණ වූ ද, සකල පුරාණ පුස්තකයනට බහිරවයෙක් වූ ද, මිතිකලයට කාන්දමක් වූ ද, වීර අලකේෂ්වර වූ මහා ඩ්‍රැකියාණන් සිය මහා කරුණා නම් වර්ෂායෙන් නුවරඑළිය පුර ප්‍රවරය තෙමා නහවමින් ද, ස්ට්‍රැටජික නම් යුද්ධායුධයෙන් සභාවන් හා රදොළුන් ද ටැකලයට නතු කරවමින් ද, දැහැමෙන් සෙමෙන් දිස්තිරික්කය භොජනය කෙරෙමින් වැඩ වාසය කරන සමයේ, මහා සිරිබිරිසාගමනය නම් කුණ්ඩාවාඩයක් කඩා පාත් වී වදාළ ආකාරය කෙසේ වී ද යත්...

සිරිබිරිසානෝ වනාහි, මහා රසිකයාන කෙනෙක. ඕසයක් ට්‍රේලයන් ඇති සප්ත මහා සාගරයෙන් වට මහා දේශයක වාසය කරන්නේ, අන්තරජාලයෙන් සකල මහා බ්ලෝග නම් ක්ෂීර සාගරය කළතමින් පඨනය කරන්නෝ ය. මූ ඊටත් වඩා මහා පර්සනල් වැලියුවන් සහිතව හිතවතුන් වෙත අමුතු අබුතු තිළිණයන් පිරිනැමීමෙහි ලොල් බවින් ලෝකයේ පරසිදුවැ වෙසෙන්නෝය.

එක් දවසෙක මහා ඩ්‍රැකියානෝ අළුයම දහයේ කණිසම හා සමග අවදිවැ, මහා කරුණා සමාපත්තියට සම වදින්නට යන්නා හාම නිදියා නම් කෙළෙඹි පුත්‍රයාගෙන් ටැලිපෝන කෝලයක් සම්ප්‍රාප්තවැ වදාළේ ය. නිදිකෝලයෙන් ඩ්‍රැකියාණන්ට වදාළේ, සිරිබිරිසාණන් දිවයිනට සම්ප්‍රාප්තවැ බ්ලොගයෝ සොයා ඇවිදින්නේ, තට්ටවර්ධන නම් ඇඩ්වෙන්චරාධිපතියාගේ ටීපී කෑම්ප සයිටයේ මහා ගෙට්ටුවක් කැඳවාපී බවයැ.

සිරිබිරිස යන හුදු වචන මාත්‍රය කණ වැකීමෙන් සියොළඟ රෝමෝද්ගමනයවැ තක්කු මුක්කු භාවයට පත්වූ ඩ්‍රැකියාණන්ට නිදියා කියාපී නිවුසය වනාහී, රවි නම් වූ වීර සිංහයාණන් ද, සකල දැනුමට ආකරයක් බඳු වූ ප්‍රා ජේයාණන් ද, සකල සියොළඟ ම නාඹ තල් කඳින් උපුටා ගත් ටූත්පිකයක් බඳු වූ නමියාණන් ද, අරුණශ්‍රීයෙන් පොබයනා නෙවිලාණන් ද, ඉවෝන් ප්‍රේම බිළාලයාණන් ද, නාවුක අසංග නම් පිහිපහරධාරියාණන් ද, මෙකී නොකී තවත් අක්ෂෞහිණියක් ‌බ්ලොගරයන් ද  ඒ මහා ගෙට්ටුවට කැඳවනා ලද බවයැ.

ඉදින් මේ මහා ගෙට්ටුව හට පළමුයෙන් තට්ටවර්ධනයෝ මහා ඩ්‍රැකියාණන්ට කෝලයක් දුන්නේ, රවියාණන් ද, ඩ්‍රැකියාණන් ද සමඟින් හුදෙකලා අඩියක් ගැසීමේ පරම පිවිතුරු චේතනායෙන්, ගෙට්ටුවට පූර්ව රාත්‍රියේ සිය කයෑක් ජොයින්ටයට සෙටමෝල් වන පරිද්දෙන් ආරාධනා කර සිටියෝයැ.

ඊට මහා මනාපයෙන් උන්න ද, මහා පළාත් පාලන ඡන්දයේ රාජකාරිය ද, රාජකාරිමය ඩබල්කැබයට රෙපෙයාරයක් උද්ගත වීම ද, ඩ්‍රැකි ජූනියරයා වෛරසීය හුණ වැළඳීමෙන් දැයි යන මාර පුත්‍රයෝ තිදෙන උන්දෑට හරස් කපාපීය.

ඉදින් ගෙට්ටු දවසේ සූර්ය දිවිය රාජයන් පරදවමින් මහා පාන්දරින් අවදිවූ ඩ්‍රැකියාණෝ සිය කළ්‍යාණ මිත්‍රයෙකු වූ සමීරයන්ගේ ත්‍රී වීලරයෙන් නුවරේළි මහා බස් රථ නැවතුමට වැඩ වදාළ හ. එතෙකුදු උන්දෑ චෛතසික වැට උඩ වැඩ වදාළේ, ඩ්‍රැකි ජූනියරයා ගේ හුණ රෝග පීඩායෙන් දෙගිඩියාවෙහි උන් බව සිහි කට යුතු යැ.

එකී දෙගිඩි දෙවාරණයේ බලපෑමෙන් ද, ඊට පෙර දාක නානුඔය නම් ෂෝට්කටයේ උද්ගත වැ තිබුණාවූ මහා ඇක්සිඩන්ටයේ නාමයෙන් එකී ෂෝට්කටය මහා යානයන් ට වසා පී හෙයින් ද, ඩ්‍රැකියානුවන් හැටන් නම් මහා පුරයට සම්ප්‍රාප්ත වූ කලී ප්‍රමාදයක් හට ගත්තේයැ. ඉදින් නුවරේළි බසයේ සාරථී තෙම මඟින් තම බසය නවතා, කොළොම්පුර බසයකට ඩ්‍රැකියාණන් නැංගවූ හෙයින්, තලවාකැලයේ සිට උන් පෙළමින් ආ පම්ප් ටයිඩයෙන් මිදීමේ මඟ මහා හක්බෙල්ලාවක දක්වා කල් දමන්නට වීර අලකේශ්වරයන්ට සිදු වූ බව මෙයින් දත යුතුයැ.

මහා ගූගල් නැන්දණිය විමසා හක්බෙල්ලාවකට යන මං හසර විමසූ මහා ඩ්‍රැකි තෙම, ගූගලාවිය කියූ පරිද්දෙන් මැ තමන් අළුයම නවයේ කණිසම පසු කොටැ තත් ක්ෂේත්‍රයට එළැඹෙනු ඇති බව සිරිබිරිසාණන්ට දන්වාපීය.

එතෙක් මහා කොළොම්පුරයේ සිට දුරු කතර ගෙවා ගෙන පැමිණැ උන් සහ - බ්ලොග් කාරයෝ තමන් ගේ පැමිණීම වන තෙක් උන් උන් කරැ කොක් කරෙක් මෙන් උස් වන තෙක් මඟ බලාගෙන ඉදිනා වග සිහි වී ඩ්‍රැකියානෝ මහත් චිත්ත පීඩාවට පත්වීමෝ යැ.

තට්ටවර්ධන කෙළෙඹි පුත් මඟින් මඟට කෝලයන් දෙමින්, විසි හයේ කිලෝ මීටර කණුව අසබඩ දියෙස් නම් වූ මහා ලැවරියා කඩය ළඟ දී බසයෙන් බසිනා ලෙද අනුශාසනා කළෙන්, බසයේ උන් රථාචාරී ද, කොන් හතරටම වෙදැදුරු ද, ඩ්‍රැකියාණන් අදාළ තැනින් ම බස්සවාලීමට උදක් මැ වෙහසුුුණු බව කෘතඥතාවෙන් සිහිපත් කළ යුත්තේම යැ.

බසයෙන් බැසැ දිව ගොස් දුටු දුටුවන් මුව පියුම් මුකුළිත කරවමින් ගුඩ් මෝනිමයකැ යි දෙසා වදාළ ඩ්‍රැකියාණන් ලැවරියා කඩය පිටුපසැ පිහිටි මහා වච්ඡකුටියේ නතර වූයේ සිය පම්ප් ටයිඩයෙන් මිදීම පිණිස යැ. 

එතැන් පටන් තට්ටවර්ධනයන්ගේ ඕෆ්රෝඩයේ නැගී අයෝමය කඳින් තැනූ කොළොම්බුවේ හිඳගෙන, වාරි මාර්ගයක් බඳු වූ මඟෙක යොදුන් හතක් ගිය තැන ටීපී නම් වූ කෑම්ප සයිටයට ගොඩ බට හැකි වූයේ යැ. ඒ කෙබඳු සයිටයක්ද යත්, ලේ බොන මිනුම්දෝරුවන් හෙවත් කූඬැල්ලන් දෙතුන් දෙනෙකු හැරුණු කල, එකදු වන සත්ත්වයෙක් පය තබන්නට පැකිළෙන, වනගත එළිමහනෙක තැනුණු අට්ටාලයෙකැ, වච්ඡකුටියෙකැ යි දෙකෙකි. අට්ටාලෙහි පහළින් මුණු මුණුවෙකින් ගළා බසිනා, වට ගලින් හා අඩියේ වාලුකායෙන් ද, දණ්ඩීන් බඳු කුඩමසුන්ගෙන් ද පරික්ෂිත දොළ පහරෙකැ. හුදෙකලායෙන් ආතලයක් ගන්නන්ට ස්වර්ගයෙකැ.

එනික්බිත්තෙන් උදයට අර්ථාපලයන් දැමූ උළුහාල් හොද්දක් ද, පොල්, මිරිස් හා ලුණු දැමූ දෙහි සම්බෝලෙයක්ද ද සමඟින් ඉඳියාප්පයෙන් සප්පායම් වූ අප මහා කෂ්ඨිය, අට්ටාලය මත්තේ මහත් වූ කථා බහෙක් ඇති කළෝ ය. ඒ අන්තරයේ, රවියාණන් සුද්දාගේ සයිසය පෙන්වූ සැටි ද, පෝල් බටය පහත් කරවීමට චන්ද්‍රිකාවුන් නොපැමිණි ආකාරය ද, මහත් සෙයින් රසවින්දමෝ යැ.

උළුහාල් හොද්ද රත් වෙමින් පවතින අතර පිඟන් සෝදන නිදි ගේ පින්තූරයට කඤ්ජිපානි ඉම්රාන් යැයි කැප්ෂන් යෙදූ අය සොයා රහස් පොලිසියෙන් පුළුල් පරීක්ෂණ...

රවි අයියා: "මෙන්න සයිස් සුද්දා..."
මම: "මුන්දැ ඒ පාර මගෙ ගජබින්නාලංකාරෙටත් තර්ජනයක් වේගෙන එන්නෙ"

ඉක්බිති උදා වූයේ සංගීතවේදියන් අනුභවයේ අවස්ථාවයැ. විකටරයෝ ද, සනත් නන්දසිරියෝ ද පළමුවෙන් භක්ෂණයට පාත්‍ර වූ ගායකයෝ වූහ. ඩ්‍රැකියාණන්ගේ උදක් ම ඉල්ලීම ප්‍රකාරවැ අමරදේවයන්ගේ මින්දද හීසර නම් වූ මියුරු ගායනය රවියාණන් විසින් භක්ෂණය කරන ලද්දේ අවසාන භාගය වන විට යැ.

අපරභාග හතර වන විට ඩ්‍රැකියාණන් සමු දීමට ඉටා ගෙන උන්නේ හැටනයෙන් නුවරේලි නම් ‌මහා පුරවරයට නික්මෙන අවසාන බසය වූයේ අපරභාග හයේ කණිසමට වූ බැවිනි. හේ සිය සිත තුළ ශෛලතලායෙක කොටන ලද ලේඛනයක් සෙයින් රඳවාගෙන උන් නිදියාණෝ, කල් වේලා ඇතිවැ දොළට බැස ස්නානය නම් වූ ඇඟ සේදීමට ද, සංගීත වේදියන් අනුභවයෙන් නොපිරුණු කුස නැවත බතින් මාළුවෙන් පුරවාගැනීමට ද වේලාවන් යොදා ගැනීමේ තත්පර වූහ.

ඉදින් ඩ්‍රැකියාණන්හට මහත් චිත්ත පීඩාවෙක් වූයේ, අනෙකුන් සියල්ලන්ගේ මැ ආතලයට තමන්ගේ වේලා සටහන බාධකයක්වැ සිටි හෙයිනි.

කෙසේ වතුදු, සහෘදයන්ගේ කතිකාවෙන් ද, මියුරු ගායනයෙන් ද, දොළ පහරේ ගිළී නෑමෙන් ද, ගත්තා වූ ආස්වාදය මියයන තුරුමැ අමතක නොවන අත්දැකීමක් වූයේ යැ.

වන්නාටය, අපරබාග තුනයි හතළිහ පමණ වන විටැ දහවල් බත ද කා පී ඩ්‍රැකියාණෝ, පෙරළා යෑමට බසයක් එන තුරු සිරිබිරිසාණන් දුන් මහා ‌පුස්තක එකොළොස බදාගත් බහිරවයෙක් සෙයින් උන්නමෝ ය. එකී පුස්තකයන් වටිනාකම අතින් කෙළ ලක්ෂයකට ද වඩා පුස්නේ, අති දුර්ලභ ලිහිණි පොත් දසයෙක් ද සමඟැ, රාජ්‍ය සේවකයාගේ මනා ආකල්ප වර්ධනයේ සමර්ථ ගුණසේකරයාණන්ගේ ඩීආරෝ පුස්තකය ඩ්‍රැකියාණන්ට ම අමතා ගුණසේකරයාණන් යෙදූ අත්සන ද සහිතවැ ගෙනැවුත් දුන් හෙයිනි.

මහා ඔළ මොට්ටල වූ ඩ්‍රැකියාණන් ඒ තිලිණ පිළිබඳවැ සිරිබිරිසාණන්ට පිදිය යුතු වූ කෘතඥතාව ද පිදූයේ නොවේ. උන්ගේ හිතේ මුවවිට දක්වාමැ පිරී තිබුණේ හැටන් බසයත්, ඩ්‍රැකී ජූනියරාගේ හුණ රෝගයත්, පමණෙකැ.

පල්ලමෙක බසයක් පහළට යද්දී වේගයෙන් ගිය මුත්, නැවත මුඳුනතට යද්දී ධාවනය වන්නේ සෙමෙන් බව අමතක කිරීම ද, ඩ්‍රැකියානුවන්ගේ තවත් ඔළමොට්ටල කමෙක් වූයෙන්, කල් වේලා ඇතිවැ බසය ග්‍රහණය කරගත්ත ද, හැටන් සිට නුවරේළි බලා දිවෙන බසය අල්ලා ගත නුහුණු වූවෝ ය. මස්කෙළිය බසයෙන් ගිනිගත් සේණට ද, ඉන් හැටනයට ද ගිය මුත් නුවරේළි බසයක් අල්ලාගත නුහුණුවෝ, මොබයිලයේ අන්තරජාලයෙන් හැටනයෙන් පිටත්වන්නට නියමිතව තුබූ ධූමරථයක් බැලූ මුත්, ඒ ද නොමැත්තෙන් හැටනයේ සිට තලවාකැලය බලා යන බසයක නැගී තලවා කැලයට ළඟා වී නමුත්, තලවාකැලයෙන් නුවරේළිය හරහා පුත්තලම කරා යන අන්තිම බසයද පිටත්ව ගිය බව දැනගත්තෙන් අනාථ - නාථ බිම්බිසාර වී තලවාකැලයේ විනාඩියෙන් හතළිස්පහක් මැ තපින්නට වූයෙම්මෝ යැ. 

එකල්හි රෙපෙයාරය කර ගත්තාවූ මහා කණිෂ්කයෝ, නිල ඩබල්කැබය ද රැගෙන නුවරේලි සැපත් වූ වග ඩ්‍රැකියාණන්ට සැළ කරා පීහ. උන් තලවාකැලයට ගෙන්වාගන්නාලද ඩ්‍රැකියානුවෝ සිය ක්වාටසයට සැපත් වූ කල අපරභාග නවය හමාරේ කණිසම වූය. මහා කණිෂ්ක නම් සාරථී තෙම තලවාකැලයට එන තෙක් වූ විනාඩි හතළිස්පහ කෙවුලන් හැරපියා ගොස් මනුෂ්‍ය වාසයෙන් තෙර වූව තොටමුණක් බඳු වූ තලවාකැලයේ පීපලයන්ගේ බැංකුවේ ඒ ටී එමයට වැදී සිරිබිරිසාණන් දුන්නාවූ පොතක් කියවමින් ගත කළෙම්මෝ ය.

එකල්හි සිරිබිරිසාණන් මෙ කල අමිල නාමධාරී සහෘදයාණන් වන අතර, තට්ටාධිපතියන් මෙකල මඤ්ජුල නාම ධාරී ඇඩ්වෙන්චරයාණන් බව ද, පිහිපහරධාරී අසංග වූ කලී මෙකල කොළොම්පුරයා වන බව ද, නිදියා වූ කලී නිමල දිසාවන්ට නායකයා වූ පඤ්ච තන්ත්‍රයෙකැයි චීත්ත වාහිනියක් ලියනා කෙළෙඹි පුත්‍රයා වන බව ද, වීර සිංහයෙකු බඳු වූ රවියාණන්, නිදහස් සිතුවිලි බ්ලොගයේ ඉස්තෝප්පු කාමරයට වැදී සකල බ්ලොගයම තමන් සතු කරගත්තා වූ කටාරයේ අධිපතියාණන් වූ බව ද, නමියා වූ කලී, නමියාගේ වීදියේ අවේලාවේ වීදි සඤ්චාරය කරන ඉඳිකටු පැංචා වූ බවද, ප්‍රා ජේ වූ කලී, මෙකල ප්‍රසන්னයා ගේ වෑනයේ දොරට ඝට්ඨනය වූ ‌පූර්වයේ-කදෝරු මහතැන් වූ බව ද, මහා ඩ්‍රැකියාණන් වූ කලී මෙකල සර්වඥ පණ්ඩිත වූ මම් ම වේ දැයි පූර්වාපර සන්ධි ගළපා දැනගත යුතු වන්නේ යැ.

වැඩිපුර බලපු ලිපි