Showing posts with label IQ. Show all posts
Showing posts with label IQ. Show all posts

Sunday, May 25, 2025

භෝජනාගාරයේ ප්‍රහේලිකාව - විසඳුම

පොඩි කාලයක් ගියා ආපහු බ්ලොග් එකට එන්න. ඒ ගැන සමාව ඉල්ලන ගමං, පහුගිය බ්ලොග් ලිපියට 137ක් කමෙන්ට් ලබා දෙන්න දායක වුණු හැමෝට ම හෘදයංගම ස්තූතිය පළ කරනවා. මෙන්න කලින් ලිපියෙන් කිව්ව වගේ ම ප්‍රහේලිකා දෙකට උත්තර.

මුලින් ම, අර වැලි ග්‍රෑම් 500 ගැටළුව.

කීප දෙනෙක් ම හරියට උත්තර දුන්නා වගේ ම, මුලින් ම වැලි ග්‍රෑම් 500 තරාදියේ එක පැත්තකටත්, අනික් පැත්තට බර මැන ගන්න තියෙන ද්‍රව්‍යයත් දාලා, ග්‍රෑම් පන්සීයක් කිරා ගන්නවා. ඊට පස්සෙ ඒ ටික අයින් කරලා, වැලි ග්‍රෑම් 500 ඇස් මට්ටමින් දෙකට බෙදලා, තරාදියේ දෙපැත්තට දාලා, පොඩ්ඩ පොඩ්ඩ දෙපැත්තෙන් මාරු කරමින් හරියට ම දෙකට බෙදා ගන්නවා. එතකොට එක පැත්තක ග්‍රෑම් 250 යි. ඒ වැලි ටිකෙන් තවත් අර ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් කිරා ගන්නවා. ඊට පස්සෙ තමයි අමාරු ම හරිය. කිලෝ එකේ පඩිය දාලා අර ද්‍රව්‍යයෙන් කිලෝ ග්‍රෑම් එකක් කිරා ගැනීම. ඒ ටික කතු කළා ම කිලෝ ග්‍රෑම් 1කුත් ග්‍රෑම් 750 ක් ලැබෙනවා.

නිවැරදි පිළිතුරු දුන් අය...

1. අජිත් ආගාර්කාර්

2. ඇනෝ @ මැයි 24, 2025 11:44 ප. ව. මේ පිළිතුර වඩාත් නිර්මාණාත්මකයි - වැලි ඕනේ ම නෑ)

ඒක කිව්ව ම මට මතක් වුණේ ශික්ෂා රසය පොතේ (නැත්නම් කුමාරෙදයක?) තිබුණු කතාවක්...

බළල්ලු දෙන්නෙකුට කේක් කෑල්ලක් හම්බවුණා. ඒ දෙන්නට සමාදානයෙන් ඒක බෙදා ගන්න බැරි වුණා. එතනින් යන්න ගියපු නරියෙකුට ඒ දෙන්නා කිව්වා, මේ කේක් කෑල්ල හරියට ම දෙකට බෙදලා දෙන්න කියලා.

අඩේ! ඒකෙ ස්ට්‍රෝබෙරිත් තියෙනව...

ඉතිං බකුසු නරියා ඇහැකුත් පුංචි කරලා දිවත් හපාගෙන, හරියට ම දෙකට කඩනවා වගේ කේක් කෑල්ල දෙකට කැඩුවා. ඊට පස්සෙ ඒ දෙක සංසන්දනය කරලා බලනකොට, එක කෑල්ලක් පොඩ්ඩක් ලොකුයි. ඒක පොඩි කරන්න නරියා ඒ කෑල්ලෙන් පොඩ්ඩක් කෑවා. ඒ ගමන අනික් කෑල්ල ලොකුයි. ඉතිං ඒකෙනුත් පොඩ්ඩක් කෑවා. ඔහොම කාලා කාලා, අන්තිමේ බළල්ලු දෙන්නට යාන්තං දත් අස්සෙ යන්න තරම් පොඩි කෑලි දෙකක් ඉතුරු වුණා.

ඔන්න ඉතිං දෙවැනි ප්‍රහේලිකාව හෙවත් තර්ක රාමු ගැටළුව...

මේක විසඳන්න මම පුද්ගලයන් හතර දෙනාගෙ වෘත්තීන් සහ ඇණවුම් කළ බීම දෙපැත්තට දාලා හදා ගත්තා කොටු රාමුවක්. මේ වගේ...


ඊට පස්සෙ මෙහෙම සටහනක් ගැහුවා, වාඩි වෙලා ඉන්න තැන සළකුණු කර ගන්න.



රායිට්... දැන් තියෙන්නෙ, එකිනෙක ඉඟි අනුව මේ සටහන් පුරව ගන්න.

1. කෝපි ඇනවුම් කළ තැනැත්තා, කවිච්චියේ සිටි ගුරුවරයා සමග කතාවට වැටුණා...

ඒ කියන්නේ ගුරුවරයා කෝපි ඇනවුම් කළේ නෑ. ඒ වගේ ම ඔහු මැද ආසන දෙකෙන් එකක ඉන්නෙ.


2. වෛද්‍යවරයා පළතුරු යුෂ ඇණවුම් කළා... (කැෆේන්වලට කැමතිත් නැත්තං වතුර බොන්ඩ තිබුණෙ.)

ඒක සටහන් කළාට පස්සෙ මෙහෙමයි. අර වම්පැත්තෙන් වාඩි වෙලා උන්න තේ බොන්නා ගැන පස්සෙ සළකා බලමු. නැත්නම්, මේක සංකීර්ණ වෙනවා.


3. ඉංජිනේරුවරයා කෝපි ඇණවුම් කළ තැනැත්තා ගේ සහෝදරිය 
විවාහ කරගන්න හිටියා. එහෙනම්, ඉංජිනේරුවරයා කෝපි බොන්නේ නෑ.


ඒ කියන්නේ කෝපි බොන්නේ පුවත්පත් කලාවේදියා. 


දැන් අපට මේ තොරතුරු එක්ක ඉඟි ටික නැවත කියවමින්, ආසන සටහනට යන්න පුළුවන්. 

කෝපි ඇණවුම් කළ තැනැත්තා (වන පුවත්පත් කලාවේදියා), අසල කවිච්චියේ වාඩි වී සිටියේ ගුරුවරයා. ඔහුගේ වම්පසින් වාඩි වී සිටියේ ඉංජිනේරුවරයා. ඒ කියන්නේ, පුවත්පත් කලාවේදියා අනිවාර්යයෙන් ම දෙපැත්තෙන් දෙන්නෙක් සිටින විදිහට, කවිච්චියේ තැනක සිටිය යුතුයි. ඒ වගේ ම කවිච්චියේ ම ඔහුගේ දකුණු පසින් ගුරුවරයා සිටිය යුතුයි.  ඒ කියන්නේ මේ විදියට.


ඒ වගේ ම පුවත්පත් කලාවේදියාගේ වම් පසින් ඉංජිනේරුවරයා ඉන්න නිසා, ගුරුවරයා අසල පුටුවේ සිටින්නේ වෛද්‍යවරයා විය යුතුයි.


එතකොට, වෛද්‍යවරයාට වම්පසින් උන් තැනැත්තා තේ ඇණවුම් කළ නිසා, තේ බොන්නේ ගුරුවරයායි. ඉංජිනේරුවරයා තමයි වතුර බොන්නේ. අවසාන පිළිතුර මෙහෙමයි.


නිවැරදි පිළිතුරු දුන් අය...

1. කෞ-ශල්‍ය

2. අජිත් ගවස්කාර් (නැත්තං තෙන්දුල්කාර්, එහෙමත් නැත්තං මංජ්‍රේකාර්, එහෙමත් නැත්තං මංගේෂ්කාර්, නැත්තං ඩීසල් කාර් වෙන්ඩත් පුළුවන්.)

3. නිහඬපාල

4. ලෝටස් නෝනා

ඉතින් හිතවත් මිතුරු මිතුරියනි, මාගේ බ්ලොග් පෝස්ටුව මෙතෙකින් අවසානයි. හමුවෙමු තවත් හරවත් පෝස්ටුවක් සමගින්, පණ තිබුණොත් ලබන මාසෙ දිහා විතර. එතෙක් ආයුබෝවන්! වාසනාවන්!!

ප. ලි.
මේකට කමෙන්ට් සීයක් ඕනෙ නෑ ඈ...

Monday, May 5, 2025

භෝජනාගාරයේ ප්‍රහේලිකාව

මේකත් මම දාන්නෙ බුරතීනෝ පවරපු කොන්තරාත්තුව ඉවර කරන්න සෑහෙන කල් ගත වෙන නිසා, එතෙක් මේ බ්ලොග් එකේ පාලුව යන්නත්, ඒ වගේ ම මම තාම මැරිලා නැති වග මට හීනෙන් පෙනී "බොලා බ්ලොග් එක ලියන් නැද්ද?" කියා අහන උදවියට දන්වා, හුදී ජනයාගේ ටෝච් සංවේගය නැංවීම උදෙසා ය.

මම මුළින් ම ගණිත ගැටලුවක් කියල එකක් විසඳුවේ විදුසර පත්තරේ පිටුවක් පුරා තිබුණු භෝජනාගාරයේ ගැටළුව යි. ඒකෙ තිබුණු ඉඟි මොකක්වත් මතක නැතුව ඉද්දි, පුතාගෙ ශිෂ්‍යත්ව පංතියේ කරපු ප්‍රශ්න පත්තරයක තිබුණු ගැටළුවක් මම ChatGPT එක්ක සාකච්ඡා කළා. 

ඒ ගැටළුව මෙන්න මෙහෙමයි.

ඔබ සතුව 1Kg තරාදි පඩියක් සහ, 500g බරැති වැලි ප්‍රමාණයක් තිබෙනවා. එයින් යම්කිසි ද්‍රව්‍යයක, 1Kg 750g ක බරැති කොටසක් මැන ගත හැකි ද?

ඒකට උත්තරය ChatGpt මට පැහැදිලි කළාට පස්සෙ, (ඔබට පුළුවන් උත්තරය අනුමාන කරලා, කමෙන්ට් කරන්න. මම මීළඟ පෝස්ට් එකෙන් ඒකට උත්තරයත් කියන්නම්.) මායි පුතයි ChatGPT එක්ක IQ ගැටළු ගැන පොඩ්ඩක් වෙලා කතා කළා. 

ඒ අතරෙ මට මතක් වුණා අර උඩ මම කියල තියෙන, විදුසර පත්තරේ ගණිත ගැටළුව. ඒ විදිහෙ ගැටළුවලට කියන්නෙ සිංහලෙන් "තර්කරාමු" ඉංග්‍රීසියෙන් Logic Grid (ඉංග්‍රීසි නම කිව්වෙත් ChatGPT ම යි.) ඉතින් මම අර උඩ කියපු ගැටළුවෙ මට මතක ටික කිව්වහම, ChatGPT මට ගොඩනගල දුන්න ප්‍රහේලිකාව මම මෙතන පහතින් දානවා. මේකෙ ඉඟි ටික සාහිත්‍යමය බවක් එක් කරමින් මම වැඩිදියුණු කළා.

පුළුවන්නම් විසඳුමත්, විසඳුමට එළඹුනු පියවරත්  එක්ක කමෙන්ට් කරන්න.

වැරදීමකින් මේ පොටෝ එක මෙතන වැටිල තියෙන්නෙ. ගැටළුවට අදාළ නියම පින්තූරය ගැටළුවට පහතින් තිබෙන බව කරුණාවෙන් අලකන්ඩ!

විවිධ වෘත්තීන්වල නිරත වී සිටින හතර දෙනෙක් භෝජනාගාරයක ඇඳි පුටු දෙකක් සහ ඒ අතර තිබුණු කවිච්චියක වාඩි වෙලා වෙනස් වෙනස් බීම වර්ග හතරක් ඇණවුම් කළා. ඒ හතර දෙනා: ගුරුවරයෙක්, පුවත්පත් කලාවේදියෙක්, ඉංජිනේරුවෙක් සහ වෛද්‍යවරයෙකි. ඔවුන් ඇණවුම් කළේ: තේ, කෝපි, පළතුරු යුෂ සහ වතුර.

කෝපි ඇණවුම් කළ තැනැත්තා ඔවුන් ඉදිරියේ තිබුණු ගිණි උදුනට ඉහළින් ඇති කණ්නාඩියෙන්, වේටර් වරයා ආපසු යන හැටි බලාගෙන සිටියා. ඉන්පසු ඔහු තමන් අසල කවිච්චියේ වාඩි වී සිටි ගුරුවරයා සමග කතාවට වැටුණා. වෛද්‍යවරයා පළතුරු යුෂ ඇණවුම් කළේ, තේ සහ කෝපිවල තිබුණු කැෆේන්වලට අකමැති නිසා ය. ඔහු තමන්ට වම් පසින් වාඩි වී සිටි තැනැත්තා තේ ඇණවුම් කළාට පසුව කැෆේන්වල ආදීනව ගැන දීර්ඝ දේශනයක් කළා.  පුවත්පත් කලාවේදියාගේ වම්පසින් වාඩි වී සිටි ඉංජිනේරුවරයා කෝපි ඇණවුම් කළ තැනැත්තාගේ සහෝදරිය විවාහ කරගන්නට අදහස් කර සිටි නමුත් එය පසුව අත්හැරී ගියා.

ඉහත තොරතුරු ඇසුරින් මේ හතර දෙනා වාඩි වී සිටි පිළිවෙලත්, ඔවුන්ගේ වෘත්තීන් සහ ඇණවුම් කළ බීම වර්ගත් නිර්ණය කරන්න.


මේ ගැටළුවට උත්තර වශයෙන් කමෙන්ට් සීයක් වැටුන් නැත්තම්...

...එකෙක්වත්

මේ පින්තූරෙ ChatGPT ට කියලා කියලා කියලා කියලා වදෙන් පොරෙන් පස් වෙනි වතාවට වගේ හදාගත්ත පින්තූරය. මෙතන දාන්නෙ, අජිත් අයියා ගේ මරණීය තර්ජනයට පිළිතුරු වශෙයෙන්...


මේක බෝනස්...


Thursday, March 9, 2023

අයින්ස්ටයින් ප්‍රහෙලිකාව විසඳපු හැටි

ඒ ගැන කියන්න කලින්, විසේසෙන් ම කියන්ට උවමනයි, මේ වගේ තර්ක රාමු විසඳන ක්‍රම හතරක් මේ වෙනකොට මට හම්බ වෙලා තියෙනව. 

1. සමහර සරළ තර්ක රාමු තියෙනව, ඉඟි දෙක තුනක් දීලා සරළ ප්‍රශ්නයක් අහන. ඒ ‌වගෙ එව්ව මනෝමයෙන් ම විසඳන්න පුළුවන්.

2. තව ගැටළු තියෙනව, නෙගෙටිව් ඉඟි තියෙන. ඒ කියන්නෙ, "අහවලා, අහවලෙක් නොවේ..." වගේ ඉඟි. ඒ වගේ එව්වට අර කතිර ගහන ටේබල් එකකින් විසඳන්න පුළුවන්. ඒ කියන්නෙ, වෙන්න පුළුවන් විකල්ප ඔක්කොම දෙපැත්තට දාගෙන, කොටු ගහගෙන, ඉඟි අනුව කතිර ගහමින් හරියන තැන්වලට හරි දමමින් පුරවන තර්ක වගු.

3. තවත් ගැටළු තියෙනව, අර උඩ කියපු විදිහට නැතුව පොසිටිව් ඉඟි තියෙන. ඒ වගෙ ඒවා විසඳන්න පුළුවන් මාතෘකා ටික වගුවෙ දෙපැත්තට දාලා, ඉඟි අනුව, කොටු ඇතුලට උත්තර ලියමින්.

4. හතර වෙනි වර්ගය තමයි අයින්ස්ටයින් ගැටළුව වගේ එව්ව. ඒ කියන්නෙ, ඒව විසඳන්න පොඩ්ඩක් සංකීර්ණ විදිහට වගුව පුරවන්න වෙනව.

මං අර කිව්ව තර්ක වගු ගැටළුවලට උදාහරණ පස්සෙ දවසක තවත් ලිපියකින් ඉදිරිපත් කරන්න අපේක්ෂා කරනව. ඒ අතරෙ, කලින් පෝස්ටුවෙ ගැටළුව විසඳපු හැටි පහතින් දානව.

ඔන්න ඉතින් කලින් පෝස්ට් එකේ මම කියපු විදිහට, මම හදාගත්ත වගුව...


දැන් ඉඟි එකින් එක කියවන ගමන්, වගුව පාට කරනව.

1. බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට ගෙදර,

එතන තියෙන්නෙ වර්ග දෙකක විකල්ප දෙකක් ඒකාබද්ධ කරලා. ඒ නිසා, බ්‍රිතාන්‍ය ජාතිකයයි, රතු පාටයි, රතු පාටින් පාට කළා.


2. ස්වීඩන් ජාතිකයා බල්ලො ඇති කරනවා,

උඩ එක වගේ ම ස්වීඩන් ජාතිකයයි, බල්ලයි ලා දුඹුරු පාට කළා.


3. ඩෙන්මාර්ක් ජාතිකයා තේ බොන්නෙ,

අර වගේම ඩෙන්මාර්ක් ජාතියයි, තේයි මෙරූන් පාට කළා.


4. කොල පාට ගෙදර සුදු පාට ගෙදරට වම් පැත්තෙන් පිහිටා ඇත,

මේ නිසා පළවෙනි ගෙදර සුදුපාට වෙන්නෙ නෑ. මොක ද ඊට වම් පැත්තෙන් ගෙදරක් නැති නිසා.

ඒ වගේ ම, දකුණු පැත්තෙ අවසාන ගෙදර කොළ පාට වෙන්නෙත් නෑ. 



5. පෝල්මෝල් සිගරැට් උරන කෙනා කුරුල්ලො ඇතිකරනවා,

කලින් වගේම පෝල්මෝල් සහ කුරුල්ලා ලා කොළ පාට කළා.



6. කහ පාට ගෙදර ඉන්න තැනැත්තා ඩන්හිල් උරනවා,

කහපාට සහ ඩන්හිල් කහපාට කළා.



7. කොල පාට ගෙදර අයිති කරු කෝපි බොන්නෙ,

කොළපාට සහ කෝපි තද කොළ පාට කළා. මේ අනුව දකුණු පැත්තෙ කොනේ ගෙදර කෝපි බොන්නෙත් නෑ.



8. මැද ගෙදර ඉන්නා තැනැත්තා කිරි බොනවා,

මේ ඉඟියෙ දි, අපට පුළුවන් කෙලින් ම මැද ගෙදර හැර අනික් ගෙවල්වලින් කිරි අයින් කරන්න. 

ඒ වගේ ම, කොළ පාට සහ කෝපි සම්බන්ධ නිසා, කොළ පාටත් මැද ගෙදරින් අයින් කළා.

ඩෙන්මාර්ක් සහ තේ සම්බන්ධ නිසා, ඩෙන්මාර්ක් ජාතිකයත් මැද ගෙදරින් අයින් කළා.

ඒ වගේ ම බියර් සහ වතුරත් මැද ගෙදරින් අයින් කළා.



9. නෝවීජියානුවා ජීවත් වෙන්නේ වම් පැත්තේ පළමුවැනි ගෙදර,

මේකත් අර අට වන ඉඟිය වගේ ම සහ ඊටත් වඩා ප්‍රබල සෘජු ඉඟියක්. කෙලින් ම, පළවෙනි ගෙදර නෝවීජියානුවා ඉතිරි කරලා අනික් ජාතීන් මකල දැම්මා. 

ඒ වගේ ම, බ්‍රිතාන්‍ය සහ රතුපාට සම්බන්ධ නිසා, පළවෙනි ගෙදර රතුපාට වෙන්නෙත් නෑ.

ස්වීඩන් සහ බල්ලන් සම්බන්ධ නිසා, පළවෙනි ගෙදර බල්ලෙකුත් නෑ.

ඩෙන්මාර්ක් සහ තේ සම්බන්ධ නිසා පළවෙනි ගෙදර මනුස්සයා තේ බොන්නෙත් නෑ.



10. බ්ලෙන්ඩ්ස් දුම්වැටි උරන්නා, පූසන් ඇති කරන්නාගේ ගෙදරට ළඟ ම ගෙදර ඉන්නෙ,

11. අශ්වයන් ඇති කරන්නා, ඩන්හිල් උරන්නාගේ අසල්වැසියා,

මේ අසල්වැසි ඉඟි අපට ප්‍ර‌යෝජනයට ගන්න වෙන්නෙ දෙවන වටයේ දී.

12. බ්ලූමාස්ටර් දුම්වැටි උරන්නා බියර් පානය කරයි,

අර වගේ ම, බ්ලූමාස්ටර් සහ බියර් නිල් පාට කළා. මැද ගෙදර මනුස්සයා බියර් බොන් නැති නිසා බ්ලූ මාස්ටරුත් අයින් කළා.



13. ජර්මානුවා ප්‍රින්සස් දුම්වැටි උරනවා,

උඩ විදිහට ම ජර්මන් සහ ප්‍රින්සස් රෝසපාට කළා. ඒ වගෙ ම පළවෙනි ගෙදරින් ප්‍රින්සස් අයින් කළා, ඒකෙ ඉන්නෙ ජර්මානුවා නෙවෙයි, නෝවිජියානුවා නිසා.



14. නෝවීජියානුවා පදිංචි නිල් පාට ගෙදරට යාබද ගෙදර,

මේ අනුව දෙවෙනි ගෙදර නිල් පාටයි.

ඒ වගෙ ම පළවෙනි ගෙදර කොළ පාට නෑ. මොක ද, සුදුපාට ගෙදරට වමෙන් කොළ පාට ගෙදර තිබිය යුතු නිසා.

කොළ  පාට ගෙදර කෝපි බොන නිසා එතකොට පළවෙනි සහ දෙවෙනි ගෙවල්වල කෝපි බොන්නෙ නෑ.

රතු පාට ගෙදර බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්න නිසා, ඔහු දෙවෙනි ගෙදර නෙවෙයි ඉන්නෙ.

කහ පාට ගෙදර ඩන්හිල් උරන නිසා, ඒකත් දෙවෙනි ගෙදර නෙවෙයි.

වගුවේ කොළපාට සහ සුදුපාට යාබදව ඉතුරු වෙලා තියෙන්නෙ හතර වෙනි සහ පස් වෙනි ගෙවල්වල විතරයි. ඒ නිසා හතර වෙනි ගෙදර කොළ පාටයි, පස් වෙනි ගෙදර ‌සුදු පාටයි.

ඒ අනුව, හතරවෙනි සහ පස්වෙනි ගෙවල් රතු සහ බ්‍රිතාන්‍ය ජාතිකයා ගේ ගෙදර නෙවෙයි, කහපාට සහ ඩන්හිල් උරන ගෙදරත් නෙවෙයි.

එතකොට බ්‍රිතාන්‍ය ජාතිකයා සහ රතු පාට ඉතුරු වෙන්නෙ මැද ගෙදර විතරයි.

ඒ අනුව, මැද ගෙදර ජර්මානුවා සහ ප්‍රින්සස් දුම්වැටි උරන ගෙදරත් නෙවෙයි, ස්වීඩන් සහ බල්ලො හදන ගෙදරත් නෙවෙයි, කහපාට සහ ඩන්හිල් උරන ගෙදරත් නෙවෙයි.

එතකොට කහපාට සහ ඩන්හිල් ඉතුරු වෙන්නෙ පළවෙනි ගෙදර විතරයි.

ඒ අනුව, පෝල්මෝල් සහ කුරුල්ලොත්, බ්ලෙන්ඩ්ස්සුත්, බ්ලූ මාස්ටර් සහ බියරුත් පළවෙනි ගෙදරින් ඉවත් කළා.

එතකොට පළවෙනි ගෙදර බොන්න ඉතුරු වෙන්නෙ වතුර විතරයි.

හතර වෙනි ගෙදර කොළ පාට නිසා ඒ ගෙදර බොන්නෙ කෝපි. ඒ අනුව බියර් සහ බ්ලූ මාස්ටරුත්, තේ සහ ඩෙන්මාර්ක් ජාතිකයත් හතර වෙනි ගෙදරින් ඉවත් කළා.

11 ඉඟිය අනුව, අශ්වයන් ඇති කරන්නා ඩන්හිල් උරන්නාගේ අසල්වැසියා වන නිසා, අශ්වයන් ඇති කරන්නේ දෙවෙනි ගෙදරයි. ඒ අනුව, කුරුල්ලන් සහ පෝල් මෝලුත්, බල්ලන් සහ ස්වීඩන් ජාතිකයාත් දෙවෙනි ගෙදරින් අයින් කළා.



15. බ්ලෙන්ඩ්ස් දුම්වැටි උරන්නාගේ අසල්වැසියා වතුර ‌බොන්නෙ.

වතුර බොන්නා ඉන්නෙ පළවෙනි ගෙදර නිසා, බ්ලෙන්ඩ්ස් උරන්නෙ දෙවෙනි ගෙදර විය යුතුයි. ඒ අනුව ප්‍රින්සස් සහ ජර්මානුවාත්, පෝල් මෝල් සහ කුරුල්ලනුත්, බ්ලූ මාස්ටර් සහ බියරුත් දෙවෙනි ගෙදරින් ඉවත් කළා. එතකොට දෙවෙනි ගෙදර ඉතුරු වුණේ ඩෙන්මාර්ක් ජාතිකයාත් තේ පානයත් විතරයි. ඒ අනුව පස් වෙනි ගෙදරින් තේ සහ ඩේන් ජාතිකයා ඉවත් කළා. බ්ලෙන්ඩ්ස් උරන්නාගේ අසල්වැසියා පූසන් ඇති කරන බව 10 වෙනි ඉඟියෙ කියන නිසා, පූසන් ඉන්නේ පළවෙනි හෝ තුන්වෙනි ගෙවල්වලින් එකක. ඒ අනුව අනික් ගෙවල්වලින් පූසන් ඉවත් කළා.

බියර් සහ බ්ලූ මාස්ටර් ඉතුරු වුණේ පස්වෙනි ගෙදර විතරයි. ඒ අනුව ප්‍රින්සස් සහ ජර්මානුවාත්, පෝල් මෝල් සමඟ කුරුල්ලනුත්, පස් වෙනි ගෙදරින් ඉවත් කළා. එතකොට ප්‍රින්සස් උරන ජර්මානුවා ඉතුරු වුණේ හතර වෙනි ගෙදර විතරයි. ඒ අනුව පෝල් මෝල් සහ කුරුල්ලනුත්, ස්වීඩන් ජාතිකයා සහ බල්ලත් හතර වෙනි ගෙදරින් ඉවත් කළා.

ඒ අනුව දෙවෙනි ගෙදර පූසන් ඇති කරන නිසා අශ්වයන්, මාළු සහ බල්ලන් එතනින් ඉවත් කළා. බල්ලනුත් එක්ක ස්වීඩන් කාරයත් දෙවෙනි ගෙදරින් අයින් වුණා. එතකොට දෙවෙනි ගෙදර ඉතුරු ඩේන් ජාතිකයා සහ තේ විතරක් නිසා, තේ සහ ඩේන්වරයා පස්වෙනි ගෙදරිනුත් ඉවත් වුණා.   ඒ අනුව  ස්වීඩන් ජාතිකයා සහ බල්ලාත් හතර වෙනි ගෙදරින් ඉවත් කළා.

එතකොට ස්වීඩන් කාරයා සහ බල්ලා ඉතුරු වුණේ පස්වෙනි ගෙදර. ඒ අනුව, මාලුවන් පස්වෙනි ගෙදරින් ඉවත් කළා. පෝල් මෝල් සහ කුරුල්ලන් ඉතුරු වුණේ තුන්වෙනි ගෙදර නිසා, මාලු සහ බළලුන් තුන් වෙනි ගෙදරින් ඉවත් කළා. එවිට බළලුන් ඉතුරු වුනේ පළවෙනි ගෙදර වන අතර, මාලු ඉතුරු වුනේ හතර වෙනි ගෙදර

ඔරලෝසු කණුව හදපු එක නෙවෙයි පුදුමෙ, ඒක කෙළින් කරලා හිටවපු එකයි කිව්වා වගේ. මේ වගේ ගැටලුවක් විසඳන එක නෙවෙයි වැඩේ, ඒ විදිහෙ ගැටළු නිර්මාණය කරන එකයි.

Monday, March 6, 2023

අයින්ස්ටයින් ප්‍රහේලිකාව

ළඟක දී මට කියවන්න ලැබුණා ෆේස්බුක් එකේ උඩ තියෙන මාතෘකාවෙන් පළ කරලා තිබුණු තර්ක ගැටළුවක්. බුද්ධි පරීක්ෂණවල තර්ක රාමු කියලා පොදුවේ හැඳින්වෙන ගැටලුවක් මේක.

මේකට ගොඩක් තැන්වල අයින්ස්ටයින් ගේ ප්‍රහෙලිකාව කියා හැඳින්වෙනවා. බහුතරයක් දෙනා විශ්වාස කරනවා, මේ ගැටළුව හදලා තියෙන්නේ, අයින්ස්ටයින් තරුණ කාලයේ දී විනෝදයට කියලා. සමහරුන් කියනවා, තමන්ගෙ ගෝළයන් තෝරාගන්න අයින්ස්ටයින් භාවිත කරපු ගැටළුවක් බව.

තවත් තැන්වල සඳහන් වෙන්නේ, මේ ගැටළුව නිර්මාණය කළේ ඇලිස් සහ විස්මලන්තය ලියපු, ලුවිස් කැරොල් කියලා.

මෙන්න ගැටළුව...

එක පෙළ ට ගෙවල් පහක් තිබෙනවා. මේ ගෙවල් වර්ණ ගන්වලා තියෙන්නෙ වෙනස් වර්ණ පහකින්. මේ ගෙවල අයිතිකාරයො වෙනස් ජාතිකත්ව පහකට අයිති අතර, ඔවුන් වෙනස් බීම වර්ග පහක් බොන, වෙනස් දුම්වැටි වර්ග පහක් උරන සහ වෙනස් වර්ගවල සුරතලුන් ඇතිකරන උදවිය. ඒ ගැන අපට ලබා දී තිබෙන තොරතුරු පහතින් දැක්වෙනවා.

  • බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට ගෙදර,
  • ස්වීඩන් ජාතිකයා බල්ලො ඇති කරනවා,
  • ඩෙන්මාර්ක් ජාතිකයා තේ බොන්නෙ,
  • කොල පාට ගෙදර සුදු පාට ගෙදරට වම් පැත්තෙන් පිහිටා ඇත,
  • පෝල්මෝල් සිගරැට් උරන කෙනා කුරුල්ලො ඇතිකරනවා,
  • කහ පාට ගෙදර ඉන්න තැනැත්තා ඩන්හිල් උරනවා,
  • කොල පාට ගෙදර අයිති කරු කෝපි බොන්නෙ,
  • මැද ගෙදර ඉන්නා තැනැත්තා කිරි බොනවා,
  • නෝවීජියානුවා ජීවත් වෙන්නේ වම් පැත්තේ පළමුවැනි ගෙදර,
  • බ්ලෙන්ඩ්ස් දුම්වැටි උරන්නා, පූසන් ඇති කරන්නාගේ ගෙදරට ළඟ ම ගෙදර ඉන්නෙ,
  • අශ්වයන් ඇති කරන්නා, ඩන්හිල් උරන්නාගේ අසල්වැසියා,
  • බ්ලූමාස්ටර් දුම්වැටි උරන්නා බියර් පානය කරයි,
  • ජර්මානුවා ප්‍රින්සස් දුම්වැටි උරනවා,
  • නෝවීජියානුවා පදිංචි නිල් පාට ගෙදරට යාබද ගෙදර,
  • බ්ලෙන්ඩ්ස් දුම්වැටි උරන්නාගේ අසල්වැසියා වතුර ‌බොන්නෙ.

මේ ඉඟි අනුව, මාලු හදන ගෙදර කුමක්දැ යි තෝරා කියන්න ඕනෑ.


මේ විදිහෙ තර්ක රාමුවක් යොදා ගන්නත් පුළුවන්.


නමුත් මම භාවිත කළේ එක්සෙල් ශීට් එකක්, මෙන්න මේ විදිහෙ...


ඊට පස්සෙ, ඉඟි එකින් එක කියවමින්, අදාළ කොටස්වලට වෙනස් වෙනස් වර්ණ දැම්මා. දෙ තුන් වරක් ඉඟි කියවද්දී, ගැටළුව නිරාකරණය කරගන්න හැකි වුණා.

ගැටළුව විසඳපු විදිහ මී ළඟ පෝස්ටුවෙන්...

Thursday, November 5, 2015

අලි ප්‍රහේලිකා අංක - 3 පිළිතුරු සහ ජයග්‍රාහකයෝ...

මීට කලින් පළ කෙරුණ සත්තු ප්‍රහේලිකා අංක 3 ට උත්තර දීම වෙනුවෙන් මෙන්ඩා සහ ප්‍රසන්න ප්‍රමුඛව සොහොයුරු කමෙන්ට් කරුවන් දක්වපු ඉමහත් උද්යෝගය ඉතා ඕනෑකමින් අගය කරන අතර, ඒ උදවිය නිසා මේ බ්ලොග් එකේ මෙතෙක් වැටුණු වැඩිම කමෙන්ට් ප්‍රමාණය වාර්තා වුණ බව හදපිරි ආතලයෙන් යුක්තව වාර්තා කරමි.

කලින් පෝස්ටුවේ පොරොන්දු වූ පරිදි ඒ ඒ පුරස්න වලටත් ඒ ඒ උත්තර පහතින් දක්වා ඇත.

මෙන්ඩයි සඳුවයි පොඩි මෙන්ඩයි
http://images.stockfreeimages.com/
593/sfi/free_5933272.jpg

1. ප්‍රශ්නය

ඒ ප්‍රශ්නයේ ඉන්නේ ගිරව් ය. උං කවුරු නමුත් කියන කියන දේ ම ඒ විදිහටම කියනවා මිසක් ඒකෙ ඇත්ත නැත්ත හොයන්නේ නැත.

නිවැරදි උත්තර දුන්නේ -

විදානෙ සහ රාජ්

2. ප්‍රශ්නය

කොකා උදේ පිට් එකේ පියාඹලා ආවට, අාපහු යන්නේ මහ දවල් ගිණී අව්වේය. "තමන් හිසට තම අතමය සෙවනැල්ල" කියා ඌ එක තට්ටක් හිසට උඩිං අල්ලාගෙන පියාඹයි. උදේ තටු දෙකෙන්ම පියාඹද්දී පැය දෙකක් ගියාට, දවල් එක තට්ටකින් පියාඹද්දී කාර්යක්ෂමතාවය බාගෙට බහියි. එ් නිසා පැය හතරක් ගතවෙයි.

නිවැරදි උත්තර දුන්නේ -

ඩබ්ලිව් මනෝජ් නිශ්ශංක ඩයස් විතරයි

3. ප්‍රශ්නය

කොකා අහස ග‍ොරවනවාට හෙණ බයය. අකුණක් ගහද්දී ඌ දෑතේ ඇඟිලි කණේ ගහගනියි. එතකොට පියාඹන්න බැරිවී එළකිරි වගේ පහතට වැටෙන්නේය.

මේකටත් නිවැරදි උත්තර දුන්නේ -

ඩබ්ලිව් මනෝජ් නිශ්ශංක ඩයස් විතරයි

4. ප්‍රශ්නය

පනු පුතා මොන්ටිසෝරි වයසේය. ඌ ගණන් කරන්නට දන්නේ නැත.

නිවැරදි උත්තර දුන්නේ - මෙන්ඩා ය සමහර විට ඌ පනුපුතා ගැන අනිත් උදවියට වඩා දන්නවා ඇති ය.

5. ප්‍රශ්නය

පනු පුතා ශිෂ්‍යත්වෙ පාස් බැවින් දැන් ගණන් කරන්නට දන්නවාය. ඌ හතරයි කියා ඇත්තේ බොරුවට ය.

කාටවත් නිවැරදි උත්තර දෙන්න පුළුවං වී නැත.

6. ප්‍රශ්නය

සත්තු කන දේ අනුව උන්ට නම් තියන්නේ නැත. උදාහරණ ලෙස, "අඹ බොන මෙන්ඩා", "පාං කන ප්‍රසන්න" ආදී ලෙස නම් තැබීමක් සිද්ධ නොවේ. ඒ නිසා මේ පනුවාගේ නම "පනුවා" ය.

ඒකටත් කවුරුවත් නිවැරදි උත්තර දුන්නේ නැත.

7. ප්‍රශ්නය

මුහුද මැද්දේ ලවණ ගතිය වැඩි නිසා යකඩ බල්ලා කන්නේ මළකඩය.

නිවැරදි උත්තර දුන්නේ -

මෙන්ඩා, විදානෙ, "වල්" මදාවියා, ඩබ්ලිව්. මනෝජ් නිශ්ශංක ඩයස්,  රාජ් සහ කුරුට්ටා

8. ප්‍රශ්නය

ජෙට් එකේ එක තට්ටක් උඩ කිලෝ හැත්තෑවක් බර වොෂිං මැෂීන් එක තබා, අනික් තට්ට උඩට කිලෝ හැත්තෑවක් බර මිනිහා නැග්ග විට දෙකෙළවර ස්කන්ධය සමබර වී, ස්කන්ධ දෙකේ මධ්‍යන්‍යය ජෙට් එකේ ගුරුත්ව කේන්ද්‍රයට සමපාත වේ. මිනිහාට අතක් දික්කර, වොෂිං මැෂින් එක අල්ලා ගත හැකි අතර, අනික් අතින් ජෙට් එක පාලනය කළ හැකිය.

කාටවත් නං මේකට නිවැරදි උත්තරේ දෙන්න පුළුවං උනේ නෑ.

9. ප්‍රශ්නය

හරකා තාප්පයට උඩිං බලන්නේ තාප්පයකට යටින් බලන්නට නොහැකි නිසාය.

නිවැරදි උත්තර දුන්නේ -

මහේෂ් රත්නායක, අවංක වඩුරියං සහ කුරුට්ටා

10. ප්‍රශ්නය

6 ප්‍රශ්නයේ සඳහන් වන, පොළොව මැද්දේ වසන පනුවා ඇමරිකන් කා‍රයො දාපු ගල් ඔක්කොම කාලා ය.

නිවැරදි උත්තර දුන්නේ -

බ්‍රාධිපති මෙන්ඩා, ප්‍රසන්න ගුරුන්නාන්සෙ, අවංක (මොකට කියනවද ඒ ගැන) ආරි, විදානෙ, රාජ්, මදාවියා සහ ඩබ්ලිව් මනෝජ් නිශ්ශංක ඩයස්

(තව දෙකයි. ඔහෙම යං)

11. ප්‍රශ්නය

8 ප්‍රශ්නයේ පරිදි ජෙට් එකේ පටවගෙන ගිය වොෂිං මැෂින් එක කෙල්ලගේ ඔළුවට වැටිලා කෙල්ල එතනම ඔන් ද ස්පොට් වී චකබ්ලාස් වෙලා ඇත.

නිවැරදි උත්තර දුන්නේ මෙන්ඩා විතරයි (දාපිය පහක් මයෙ බොක්කෝ...)

12. ප්‍රශ්නය

සිරිපාදේ ගියේ සීයයි තාත්තයි පුතයි ය. සීයත් තාත්තත් තාත්තලා දෙන්නා වන අතර, තාත්තත් පුතත් පුත්තු දෙන්නාය.

නිවැරදි උත්තර දුන්නේ -

විචාරක මාමා, මහේෂ් රත්නායක, අවංක ආරියා, විදානෙ, ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව්. මනෝජ් නිශ්ශංක ඩයස් සමඟින් ආදර බර කුරුට්ටා තුමා.

ඒ අනුව අපේ පොරවල් දී ඇති නිවැරදි පිළිතුරු මේ විදිහය...

ප්‍රසන්න - 1/12
විචාරක - 1/12
මදාවියා - 2/12
මහේෂ් රත්නායක - 2/12
මෙන්ඩා - 3/12
රාජ් - 3/12
කුරුටු - 3/12
අවංක 4රියං - 3/12
විදානෙ - 4/12
ඩබ්ලිව් මනෝජ් නිශ්ශංක ඩයස් - 5/12

ඒ අනුව මගේ කර්ණ රසායන ගායන ඇසීමේ වාසනාව කිසිවෙකුටත් හිමි නොවන අතර. බ්ලොග් එකට පැමිණි සියළුම දෙනාට කහට කෝප්පයක් සහ "හකුරු" යන සාඩම්බර නම දරන හුඹස් මැටි කෑල්ලක් බැගින් තෑගි හිමිවෙනවා ඇත.

ප/ලි

ඩ්‍රැක්‍යුලාගේ ඉතිහාස කතාවේ අවසාන කොටස මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු වන්න...

Wednesday, October 28, 2015

උතුං ලඞ්කාංඩුවට ගෞරව බහුමානයෙන් යුක්තව දන්වා සිටින වගනම් - සහ අලි ප්‍ර‍‍හ‍ේලිකා අංක 3

"බිසී වීම මනුෂ්‍ය ගතියකි. ඇරියස් කවර් කිරීම දේව ගතියකි."
ආදර්ශ පාඨයකිං ලියවිල්ල ආරම්භ කිරීම ක්ලැසික් ගතියකි

මේ අපි කවුරුත් හොඳින් දන්න අඳුනන වල් මදාවියා හෙවත් විසිටරයා විසින් මා අරභයා දේශනා කරන ලද ආදුරුස පාටයකි.

මේ ආදුරුස පාටය දේශනා කරන්නට යෙදුන නිමිත්ත වූයේ මා පහුගිය දෙසතියේ අම්බානකට බිසී වීම නිසා බ්ලොග් ලෝකයේ වූ දේවල් (තියා නිවුස් මොනවක්වත් පවා) කිසිම දෙයක් නොදන්නා තත්ත්වයකට පත්වීමය.

ඩ්‍රැකියානිත් මාත් අවුරුදු තුනක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි අපේ කිරුළ හිමි ඩ්‍රැකී කුමාරයා මේ ලෝකයට බිහි වූයේ පහුගිය සතියේය.



ඉතිං මාර ආතල් ය. පාන්ද හතරට නැගිට, මෑණි පාර්ශවයත් එක්ක සෙටමෝල් වී උයාගෙන (ඒ කියන්නෙ අම්මට පොල් මිරිකා දී එයා උයා දෙන කෑම එක බැඳගෙන.) ඩ්‍රැකියානිට තේත් හදාගෙන හොස්පිටලය බලා පිටත් වන්නෙමි. ඊට පස්සෙ ගෙදර ආ වෙලේ ඉඳං, "හනේ දෝනිට මේ කෑමම දවල්ටත් දෙන්නෙ කෙ‍ාහොමදැ?" යි විස්සෝප වෙන අම්මා එක්ක තවත් මොකක් හරි වෑඤ්ජනයක් දෙකක් උයා, ඩ්‍රැකියානිගේ සහ පසුකාලීනව ඩ්‍රැකි පැටියාගේ කිලිටි රෙදි ගොන්න සෝදා දමා, අම්මාද කිහිල්ලේ ගසාගෙන දවල්ට ඩ්‍රැකියානි බලන්නට යන්නෙමි. ඒ කොල්ලා ගෙදර ඇවිත් පැය බාගෙයක් නිදාගෙන ඉන්නා මම ඊට පස්සෙ අවදි වෙන්නේ, ගේ දොර මිදුළ අතු පතු ගා, ඩ්‍රැකී පැටියා වෙනුවෙන් විශේෂ පිරිසිදු කිරීම් කොර, හවස විසිට් එක සඳහා අවශ්‍ය කළමනා ලෑස්ති කරන්ටය. හවස හොස්පිටලයෙන් ගෙදර ආ වෙලේ ඉඳන් පහුවදාට උයන්ට කළමනා ලෑස්ති කිරීම, කිළීටි රෙදි සේදීම, වේළුනු නැප්කින් අයන් කිරීම ආදී කප්පරක් කරුමාන්ත නිමවා මධ්‍යාහ්න දොළහට කිට්ටු කර (පැය එකහමාරක් විතර කිට්ටු කර) නිදාගන්නට යන්නෙමි.

මෙසේ කරන ලද දුෂ්කර කිරියාව දැන් ඩ්‍රැකී පැටියා සමඟ නයිට් ඩියුටි කිරීම දක්වා වෙනස් වී ඇත්තේය. මොකද ඩ්‍රැකියානි කියනාකාරයට ‍මූ නම් ගිය ආත්මයේ මුරකාරයෙකි. මුන්දෑ දවාලට බබා වගේ නිදාගෙන ඉඳ, රෑ තිස්සේ ගෙදර දෙවනත් කිරීමේ කාර්යයේ නිරත වෙන නිසාය.

කෙසේ වෙතත් කුළුඳුලේ පුතෙක් ලැබීම රටක් රාජ්ජයක් ලැබුණා වගේය. වැඩියත්ම වැදගත් වන්නේ අපි බලාපොරොත්තු වුනේ එක දරුවෙක් විතරක් හදන්ට නිසාය. (සිංහල ජාතිය ගැන හිතා දරුවන් පඩිපෙළක් හදන්නට කියන උන්ට මට කියන්නට ඇත්තේ, ඊට පෙර වනචර දොස්තරයන් ගේ මානසික රෝග සුවකර, නර්ස් ලා සහ මිඩ්වයිෆ්ලා ට මිනිස්සුන්ට කතා කරන්නට උගන්වන ලෙසය... අම්මප...!!!)

අවසානයේ, මෙතෙක් කලක් ඩ්‍රැකී ජූනියර් ලෙසින් හඳුන්වාගන්නා ලද මා, ගිය සතියේ සිට ඩ්‍රැකී සීනියර් ලෙස මාගේ ඊ්මේලය, සහ මූණු පොතේ එකවුන්ටය වෙනස් කරනා බවට උතුං වූ බ්ලොග් අවකාශයටත්, එහි සැරිසරනා සියල්ලන්ටමත් ‍ගෞරව බහුමානයෙන් යුක්තව දන්වා සිටින වගයි...

-------------------------

උඩිං කියන්නට යෙදුන කාරණේත් එක්ක, ඩ්‍රැක්‍යුලාගේ ඉතිහාසය ලියාගන්නට මේ සතිය වන විටත් බැරි වීම නිසා, කලිං පෝස්ටුවේ පහතින් ලියා පොරොන්දු වූ විදිහට, අලි ප්‍රහේලිකා අංක තුන, ඉදිරිපත් කරනු ලැබේ...

(චර චර චර චර... හුරේ...! ජය වේවා...!!!)

1. 
ගිරව් තුන් දෙනෙක් එකා පස්සෙ එකා සරළ රේඛාවක් විදිහට පියාඹාගෙන යනවා. ඉස්සෙල්ලම ගිය ගිරවා පිටිපස්ස හැරිලා බලලා කියනවා, "මගෙ පස්සෙං තව ගිරව් දෙන්නෙක් එනවා" කියලා. දෙවෙනි ගිරවත් පස්ස හැරිලා බලලා කියනවා,  "මගෙ පස්සෙං තව ගිරව් දෙන්නෙක් එනවා" කියලා. අන්තිම ගිරවත් පස්ස හැරිලා බලලා කියනවා,  "මගෙ පස්සෙං තව ගිරව් දෙන්නෙක් එනවා" කියලා. කොහොමද එහෙම උනේ?

2. 
මත්තල හිටපු කොකෙක් හිටියා. උගේ කෙකි කෑල්ල වැඩකළේ කොළඹ බෝඩ් වෙලා. ඉතිං හැම සෙනසුරාදම කොක‍ා උදේ හයට මත්තලිං පිටත් වෙලා පියාඹගෙන එනවා කොළඹට. ඌ කොළඹට එද්දි උදේ 8 යි. ඊට පස්සෙ කොක් ජෝඩුව වික්ටෝරියා පාක් ගිහිං, ගෝල් පේස් ගිහිං, තව තව තැං ඔල ගිහිං එහෙම, දෙන්නා සමුගන්නෙ දවල් දොළහට. දවල් දොළහට කොළඹින් පිටත් වෙන කොක‍ා, මත්තලට ළඟ වෙද්දි හවස හතරයි.
කෙටියෙං කිව්වොත්, උදේ කොක‍ාට කොළඹ එන්න පැය දෙකක් ගියාට, හවස යද්දි පැය හතරක් ගතවෙනවා. ඇයි ඒ?

3. මේ කොකාම වැහි දවසක පියාඹාගෙන යනවා. අකුණක් ගහනකොට ඌ එකපාරටම පහළට වැටෙනවා. ආපහු උඩට ඉගිළෙනවා. ආයෙ අකුණක් ගහනකොට ආයෙම පහළට වැටෙනවා. ඇයි ඒ?

4.
මෙන්ඩයි, සඳුවයි, පොඩි මෙන්ඩයි පනු තාත්තයි, පනු අම්මයි, පනු පුතයි පාරට බැස්සා. පනු පුතාව මොන්ටිසෝරියට බාර දෙන්න යන්න. පාරෙ අයිනෙන් එද්දි තඩි කන්ටේනරයක් වේගෙන් ඇවිත් ඒ අය පාස් කර‍ගනෙ ගියා. බයවෙච්ච පාර පනු පුතා කිව්වා, "තව ඩිංගෙං අපි හතර දෙනාම ඉවරයි" කියලා. කොහොමද හතර දෙනෙක් උනේ?

5.
පනු අම්මයි, පනු තාත්තයි, පනු පුතයි, පනු පුතා ශිෂ්‍යත්වෙන් පාස් වෙච්ච සතුටට ඩිනර් එකකට එළියට ගියා. හෝටලේට ඇතුල් වෙච්ච ගමං පනු පුතා කිව්වා, "අර ටේබල් එකේ නම් අපි හතර දෙනාටම ඉඩ තියෙනවා" කියලා. කොහොමද හතරක් උනේ? (උඩ ප්‍රශ්නෙට උත්තරේ මේ ප්‍රශ්නෙට භාරනොගන්නා බැවින් කරුණාවෙන් අලකන්න.)

6.
පොළොව මැද්දෙ ගල් කන පණුවෙක් ඉන්නවා. උගෙ නම මොකද්ද?

7.
මුහුද මැද්දෙ යකඩ බල්ලෙක් ඉන්නවා. ඌ කන්නෙ මොනවද?

8.
පොරක් විදේශ ගත වෙන්න හිතලා, හදිසියෙන් තමන්ගෙ දේපළ ඔක්කොම විකුණලා ගත්තා ප්‍රයිවට් ජෙට් එකක්. පොරට විකුණගන්න බැරි උනේ වොෂිං මැෂීන් එක විතරයි. ජෙට් එකට පටවන්න පුළුවන් කිලෝ සීයයි. පොර බරයි කිලෝ හැත්තෑවක්. වොෂිං මැෂින් එකත් කිලෝ හැත්තෑවක් බරයි. කොහොමද පොර වොෂිං මැෂින් එකත් අරගෙන පිටරට ගියේ?

9.
හරකෙක් තාප්පයක් අයිනෙ ගැටගහලා ඉන්නවා. ඌ විඩිං විඩේ තාප්පෙට උඩිං බලනවා. උෟ ඇයි තාප්පෙට උඩිං බලන්නෙ?

10.
ඇමරිකාවෙන් වළක් හාරගෙන හාරගෙන ගිහිං, පොළොවෙ අනිත් පැත්තෙං මතු උනා. ඒ වැඩේ හරියට වුනාද කියලා බලන්න, ඇමරිකාව පැත්තෙං ගල් කීපයක් දැම්මා වළට. ඒත් ඒවා අනිත් පැත්තෙං එළියට ආවෙ නෑ. ඇයි ඒ?

11.
කෙල්ලෙකුයි කොල්ලෙකුයි මුහුදු වෙරළට ගියා. කෙල්ල කිව්වා කොල්ලට "මට මුතු ගොඩක් ගෙනත් දෙන්න" කියලා. කොල්ලා ජබුක් ගාලා පැන්නා වතුරට. පැනල බැලින්නං පැනපු තැන මුතු බෙල්ලො විමානයයි. පොර ඔළුව වතුරෙ ඔබාගෙන බෙල්ලො අහුරු අහුරු අරං වෙරළට විසි කරන්න ගත්තා. මහ වෙලාවකට පස්සෙ කොල්ලා ආපහු ගොඩට ඇවිත් බලනකොට, කෙල්ල සුන්බුන් ගොඩක් මැද මැරිලා හිටියා. කොහොමද කෙල්ල මැරුණෙ?

12.
තාත්තල දෙන්නෙකුයි පුත්තු දෙන්නෙකුයි සිරීපාදෙ ගියා. ආපහු ආවෙ තුන් දෙනයි. ඒ ගැන ගෙදර කවුරුවත් කළබල උනෙත් නෑ. ඇයි ඒ?

මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වුන කාට උනත්, තෑග්ග විදිහට මම කණට කරලා කර්ණ රසායන සිංදුවක් කියනවා...

ප/ලි
මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න පුළුවන් උනොත් රවි ට හෝ ඩූඩ්ට, උන් දෙන්නාගේ ඉල්ලීම පරිදි මේ බ්ලොග් එක උන් දෙන්නාටම පවරා දෙන්නට අදහස් කරමි.

Tuesday, October 13, 2015

අලි කූඹි කතා - පිළීතුරු සහ ජයග්‍රාහකයෝ...

http://1.bp.blogspot.com/-MNZ57sVr-SM/U8-xw41y5ZI/
AAAAAAAABdQ/SBMtYXBynNg/s1600/
Marriage+Problems.jpeg

පසුගියදා මම ඉදිරිපත් කළ අලි කූඹි කතා නවයට පිළිතුරු සපයන්න සහ අදහස් දක්වන්න ඉදිරිපත් වුනු හැමෝටමත්, තවත් අලි කූඹි කතා දෙකක් එකතු කරපු මනෝ මන්දිර සහෝදරයටත් ගොඩක් ඉස්තූතියි.

මෙන්න එහ‍ෙනම් හරි පිළීතුරු සහ ජයග්‍රාහක බවතුන් ගේ ලේඛනය -

1. ප්‍රශ්නය.
අර අලියට හෙම්බිරිස්සාව නිසා කුරුම්බා බිව්වෙ නෑ.

අපේ දොස්තර මාම නං කියන්නෙ, ඒක හරි මැටි අදහසක් බවයි. කුරුම්බා තැඹිලි වගේ දේවල තියෙන්නෙ සේලයින් දියරයෙම සංයුතිය ඇති දියරයක්. එතකොට සෙම, උණ ආදී ලෙඩ හැදිලා අමාරු වෙලා ඉස්පිරිතාලෙ නෙියන ලෙඩ්ඩුන්ට සේලයින් දෙන්නත් එපා කියනවද කියලා උන්නැහැ අහනවා.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි, මනෝ මන්දිර, යක්‍ෂ්‍යන්ත ශ්‍රීනාත් හෙවත් කැමා, ඉවෝන් ලව්පූසා, බණ්ඩා, ගබා, නිදහසේ නවාතැන

2. ප්‍රශ්නය.
අනික් අලියට සීසන් එකක් තිබුණා.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි, මනෝ මන්දිර, කැමා, ලව්පූසා, බණ්ඩා, ගබා, කුරුට්ටා

3. ප්‍රශ්නය.
අනික් අලියා වෙන ආගමක (මුස්ලිම් හරි කතෝලික හරි නිඝණ්ඨ හරි ඔය මොකක් හරි...)

නිවැරදි පිළිතුරු දුන්න‍ෙ 
නිදහසේ නවාතැන විතරයි

4. ප්‍රශ්නය.
කූඹියා පිළීමගෙට ඇතුල් වෙද්දි ගළවලා ගියපු සෙරෙප්පු දෙක දොරටුවෙ තිබුණා. අලියා දැනගත්තෙ ඒකෙන්.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි, මනෝ මන්දිර, කැමා, ලව්පූසා, බණ්ඩා, ගබා, නිදහසේ ගල්ආඳි

5. ප්‍රශ්නය.
කූඹියා ගොඩ හිටියෙ අලිය නෑවට පස්සෙ උගෙ ෂෝට ඉල්ලගන්න.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි (දෙවන උත්සාහය), මනෝ මන්දිර, කැමා, ඉවෝන් ලව්පූසා, ඇංගුලිෆෝමසියා

6. ප්‍රශ්නය.
අලියට ලයිසන් තිබුණෙ නෑ. කූඹියට විතරයි තිබුණෙ.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි (දෙවන උත්සාහය), මනෝ මන්දිර, කැමා, ඉවෝන් ලව්පූසා, බණ්ඩා, ගබා, නිදහසේ නවාතැන, මලියා

7. ප්‍රශ්නය.
කූඹියා හෙල්මට් එකක් දාගෙන හිටියා. අලියා හෙල්මට් එක අතේ දාගෙන හිටියෙ, පොලිසියෙං හිටියොත් ඔළුවෙ දාගන්න හිතාගෙන...

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි, මනෝ මන්දිර, කැමා, ඉවෝන් ලව්පූසා, බණ්ඩා, ගබා, නිදහසේ නවාතැන

8. ප්‍රශ්නය.
කූඹියා අලියට ලේ දීලා.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි, මනෝ මන්දිර, කැමා, ඉවෝන් ලව්පූසා, බණ්ඩා, ගබා, නිදහසේ නවාතැන

9. ප්‍රශ්නය.
අලියගෙ කූඹි භාර්යාව අලිපැටියෙක් වඩාගෙන ඇවිත් හිටියා.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
මනෝ මන්දිර, කැමා, ඉවෝන් ලව්පූසා

අපේ ආදර බර තරඟකාරයන් ඒ අනුව ලකුණු ලබාගන්නේ මෙහෙමයි -

බස්සි - 07/09
මනෝ මන්දිර - 08/09
කැමා - 08/09
ඉවෝන් ලව්පූසා - 08/09
බණ්ඩා - 06/09
ගබා - 06/09
නිදහසේ නවාතැන - 07/09
කුරුට්ටා - 01/09
මලියා - 01/09
ප්‍රසන්න - 100/09

ඒ අනුව තරඟකාරයන් සියලු දෙනාට (මං කියල තිබ්බෙ නිවැරදි උත්තර දෙන දහදෙනාට කියල නේ...) කොටදෙණියාවේ පොලිසියේ නිරීක්ෂණ චාරිකාවක් සහ දින තුනක නිවාඩුවක් ද, කොටදෙණියාවේ ඕඅයිසී අනුග්‍රහයෙන් නිරෝගී දිවියකතට ආයුර්වේදීය සම්බාහනයක්ද හිමිවනවා ඇත. කරුණාකර වැල පිරවූ ලැප්ටොප් එකක් මේසය මත තබාගෙන සූදානමින් ඉන්න, ඔබට නිවසේසිටම ප්‍රවාහන පහසුකම් පොලිස් ප්‍රවාහන කොට්ඨාෂයෙන් ලැබෙනවා ඇති. අපෙන් සුභපැතුම්!!!

වැරදි උත්තර දුන්න සහ ලිස්සා ගිය උදවිය මේ අයයි -

කම්මල කම්මල,
මහේෂ් රත්නායක,
නලීන් දිල්රුක්ෂ,
අටං,
මෙන්ඩා,
අපනයනකරු,
හැලපේනියා ඔතේනියා, 
අහස් කූරා,
ලොකු පුතණ්ඩියා,
අවංක ආරියරත්න,
විචාරක හැළිවළංගොඩ,
ට්‍රාන්ස් සිල්වෙස්ටර්,
පොඩි (ඒ කාලෙ වෙන්නැති) කුමාරිහාමි,
රවිරාජ,
ඩූඩ් බෝට්ටු පුහුණුකරු,
මනෝජ් ප්‍රනාන්දු,
අඟහරුවාදා,
මළදානෙ මහතා, 
(හම්මේ... යකෝ මේ ලිස්ට් එකේ දිග...)

මේ දිග ලිස්ට් එකේ ඉන්න උදවිට සැනසිලි තෑගි ලෙසට, ගිය සිංහල අවුරුද්දට සුරංගගේ ආච්චම්මා විසින් සාදන ලද හැඳි කැවුම් එක බැගින් ඉදිරිකාලයේදී ලැබෙනු ඇත.

ප/ලි
ඩ්‍රැක්‍යුලාගේ කතාවේ අන්තිම කොටස මේ සතියෙවත් ලියාගන්න බැරි උනොත් හෙම, මේ ප්‍රෙහෙලිකාවේ තවත් කොටසක් ලෙස, ගිරා පනු සහ තවත් සත්තු කතා බලාපොරොත්තු වන්න...





Monday, October 5, 2015

අලි ප්‍රහේලිකා අංක 2 - අලි කූඹි කතා...


මෙන්න ඔබ පුල පුලා - තල තලා බලා සිටි, අලි ප්‍රහේලිකා අංක දෙක අරන් අදත් ඔබේ නිවහනට ගොඩවදින්නේ ඔබේ සුමිතුරු ඩ්‍රැකියා. සමහර උදවිය දැනටමත් හොඳින් දන්නා පෞරාණික කතන්දර කීපයක් අරගෙනයි මේ ආවේ. ඔන්න එහෙනං පුරස්න...

01.
අලි දෙන්නෙක් කැලයක් මැදින් ගමනක් ගියා. ඉන් එක අලියෙක් කුරුම්බ ගහකට නැගලා, කුරුම්බා ගෙඩි හතඅටක් කඩලා, කීපයක් බීලා, අනිකටත් බොන්න කිව්වා. ඒත් අනික් අලියා බිව්වෙ නෑ. ඇයි ඒ?

02.
අලි දෙන්නා කැළෙන් එළියට ඇවිත්, පාරටම ඇවිල්ලා බස් එකකට නැග්ගා. එක අලියෙක් ටිකට් එකක් ගත්තා. අනිකා ටිකට් එකක් ගත්තෙ නෑ. ඇයි ඒ?

03.
අලි දෙන්නා බස් එකෙන් බැහැලා පන්සලකට ගියා. එක අලියෙක්ගෙ ගජ මිතුරා වුන, කූඹියා හිටියෙ ඒ පන්ස‍ලේ. පන්සලේ හාමුදුරුවො දැකපු එක අලියෙක් ඒ හාමුදුරුවන්ට දණ ගහලා වැන්දා. අනික් අලියා වැන්දෙ නෑ. ඇයි ඒ?

04.
අලි දෙන්නා කූඹියත් එක්ක හැංගිමුත්තං සෙල්ලං කරන්න පටන් ගත්තා. අලි දෙන්නා මුලිම්ම හැංගුනා. කූඹියා ලේසියෙන්ම උන් දෙන්නව හොයාගත්තා. හැබැයි කූඹියා හැංගුනහම අලින්ට ඌව හොයාගන්න ගොඩක් අමාරු උනා. අන්තිමේ එක අලියෙක් පිළීම ගේ ළඟට ඇවිත් දැනගත්තා කූඹියා ඒක ඇතුලෙ ඉන්නෙ කියලා. අලියා කොහොමද ඒක දැනගත්තෙ?

05.
දවසක් කූඹියයි අලියයි නාන්න වැවට ගියා. දෙන්නම නාන්නයි ගියේ. ඒත් අලියා වැවට බැහැලා නාද්දි කූඹියා ගහකට හේත්තු වෙලා ඉන්නවා. ඇයි ඒ?

06.
කූඹියා අලියත් එක්ක මෝට බයික් එකකිං ගමනක් ගියා. කූඹියා තමයි බයික් එක පදින්නෙ, අලිය පිටිපස්සෙ සීට් එකේ. ඇයි කූඹියා අලියට පදින්න දුන් නැත්තෙ?

07.
ඔහෙම බයික් එකේ පල්ලමක් එක්ක වංගුවක් ගන්න ගිහිං බයික් එක පෙරළුනා. සෑහෙන්න ඩැමේජ්. අලියට හොඳටම තුවාලයි. කූඹියා හීරිලාවත් නෑ. ඇයි ඒ?

08.
අර ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ අලියට සිහිය ආවෙ ඉස්පිරිතාලෙ ඇඳක් උඩ. ඌ බලනකොට කූඹියත් අනික් ඇ‍‍ඳේ ඉන්නවා වැතිරිලා. ඇයි ඒ?

09. අලියා බැන්දා කූඹියගෙ නංගිව. බැඳලා මාස තුනයි, සංගීතයක් බලන්න ගිහිං වලියක් දාගෙන අලියා දහඅටමාසෙකට හිරේ ගියා. ඌ හිරෙන් නිදහස් වෙලා එද්දි, හිරගෙදර ඉස්සරහට කූඹි ගුලේ හැම කූඹියෙක්ම ඇවිත් තිබුණා ඌව පිළිගන්න. ඒ කූඹි රෑන අතරින්, අලියා ඈත තියාම තමන් බැඳපු කූඹිච්චිව අඳුනගත්තා. කොහොමද ඒ?
http://www.teluguone.com/tonecmsuserfiles
/Elephant%20Ant%20Joke(1).jpg

වඩැත්ම නිවැරදි උත්තර දෙන දහදෙනාට කොටදෙණියාව පොලිසියට නිරීක්ෂණ චාරිකාවක් සහ කොටදෙනියාව පොලිස් ක්වාටස් වල ඇති සම්බාහන ආයතනයේ දින තුනක පොලිස් සත්කාර සහිත නිවාඩුවක් ලබා දෙනු ලැබේ.


Wednesday, September 16, 2015

අලි ප්‍රහ්‍ෙලිකා අංක 1 - පිළිතුරු සහ ජයග්‍රාහකයෝ

පහු ගිය සතියේ කල් ගැනීමක් විදිහට දාපු අලි ප්‍රශ්න අට ට ඉතා උනන්දුවෙන් උත්තර බැඳපු සහ කමෙන්ට් කරපු හැමෝටම පුළුවං උනා, මේ බ්ලොග් එකේ මෙතෙක් වැටුණ වැඩිම කමෙන්ට් ගාණ ස්කෝර් කරන්න. ඒ ගැන මුලිම්ම ස්තූති පූර්වක කුරුතඤ්ඤ (උපුටා ගැනීම - රොමාගේ වාසනාව - අනුවාදක කර්තෘ ඒ. ආර්. එරත්න) බාවය ප්‍රකාශ කරනවාය.

කලිං පෝස්ටුවේ උත්තර, කලිං පෝස්ටුවේ ම පහතින් කමෙන්ට් එකක් හැටියට දාන්න හිටියත්, සුධීන් දැක්වූ උනන්දුව හේතුවෙන් ඒකත තවත් පෝස්ටුවක් විදිහටම පළ කරන්නට අදහස් කරන්නට යෙදුනා ඇත.

එහෙනං ඕං උත්තර.

http://www.funnyjokester.com/j/elephant-joke.png

අංක 01.

1 පියවර - ෆ්‍රිජ් එක ඇරියා
2 පියවර - අලිය ෆ්‍රිජ් එකට දැම්මා
3 පියවර - ෆ්‍රිජ් එක වැහුවා

සාර්ථක උත්තර සැපයූවෝ -

කම්මල, කම්මල (කමෙන්ට් ඩබල් කිරීම තහනම් උත්තේජක භාවිතා කිරීමට සමාන ය), ඩූඩ්, කැමා (යෂ්‍යන්ත), මනෝ මන්දිර, මදාවියා, කුරුට්ටා, අන්තිම පේළියෙ ගල-පාත

අංක 02.

1 පියවර - ෆ්‍රිජ් එක ඇරියා
2 පියවර - අලිය එලියට ගත්තා
3 පියවර - ජිරාෆෙය ඇතුළට දැම්මා
4 පියවර - ෆ්‍රිජ් එක වැහුවා

සාර්ථක උත්තර සැපයූවෝ -

කම්මල, ඩූඩ්, කැමා, මනෝ මන්දිර, මදාවියා, කුරුට්ටා, ගලපාත

අංක 03.

පාටියට ආවේ නැත්තේ ජිරාෆයා ය. ඒ ඌ ෆ්‍රිජ් එකෙන් එලියට අරං තිබුණේ නැති නිසාය.

සාර්ථක උත්තර සැපයූවෝ -

කම්මල, ඩූඩ්, කැමා, මනෝ මන්දිර, ගලපාතගෙ දෙවෙනි උත්සාහය

අංක 04.

ඕනෑම පාටියකට ගිහිං දාලා එන්නේ කබරයා ය.

සාර්ථක උත්තරයක් දුන්නේ ගල්පාත විතරකි.

අංක 05.

නිධානය ගත් මිනිහා, සිංහයාගේ පාටිය තිබුණ දවස බලං ඉඳලා, හරියටම ඒ දවසේ ගිහිං නිධානය ගත්තේය. මොකද කියනවානම්, ඒ පාටියට හැම සතෙක්ම යන එකේ, කිඹුලත් නොවැරදීම යන නිසාය. ඒ හිතුවා වගේම කිඹුලා ගිහිං තිබුණේය.

ඒකට උත්තර දීලා දිනුවේ කම්මලා විතරය.

අංක 06.

ෆොක්ස්වැගන් බීට්ල් රථයට ඇත්තේ දොරවල් දෙකක් පමණි. ඒ නිසා පියවර වෙන්නේ පහත පරිද්දෙන් ය.

1 පියවර - දොර දෙක ඇරියා
2 පියවර - ඉස්සරහ සීට් එක නැමුවා
3 පියවර - පිටිපස්සෙ සීට් එකට අලි දෙන්නෙක් දැම්මා
4 පියවර - ඉස්සරහ සීට් එක දිගඇරියා
5 පියවර - ඉස්සරහ සීට් දෙකට අලි දෙන්නෙක් දැම්මා
6 පියවර - දොරවල් වැහුවා

සාර්ථක උත්තර දුන්න අය,

ලොකු පුතා සහ කැමා

අංක 07.

ගමරාළට මගදි හම්බුණ එකෙක් ඇහුවා, “ආ... ගමරාළ අයියා, ෆොක්ස්වැගන් එකක් අරං නේද? කීයක් උනාද?“

ගමයට මළ පැන්නා. “මොන ෆොක්ස්වැගන්ද බොල මේ වී ටිකත් විකුණගන්න බැරුව ඉන්න අපිට?“

“බොරු කියන්ඩ එපා. එහෙනං අර මිදුලෙ තියෙන්නෙ බැබළි බැබළි.“

“හුටා! මළ කෙළියයි. අලි ඇවිත් ගෙදෙට්ට...!!!“ ගමෙය ලවක් දෙවක් නැතුව ගෙදෙට්ට දුවන්න ගත්තා.

සාර්ථක / ළඟින් යන උත්තර දුන් අය,

ලොකු පුතා සහ මදාවියා

අංක 08.

1 පියවර - දොර දෙක ඇරීම
2 පියවර - ඉස්සරහ සීට් එකේ අලි දෙන්නා එළියට දැමීම
3 පියවර - ඉස්සරහ සීට් එකක් නැමීම
4 පියවර - පිටිපස්සෙ සීට් එකේ ඉන්න අලි දෙන්නා එළියට ගැනීම
5 පියවර - ඉස්සරහ සීට් එක දිග ඇරීම
6 පියවර - ෆ්‍රිජ් එක ඇරීම (ජිරාෆයා තාම ඒක ඇතුලෙ නෙ. කවුරුවත් ඌව එළියට දැම්මෙ නෑ තාම)
7 පියවර - ජිරාෆයා එළියට ගැනීම
8 පියවර - ෆ්‍රිජ් එක වැසීම
9 පියවර - ජිරාෆයා ෆොක්ස්වැගන් එකේ ඩ්‍රයිවින් සීට් එකේ ඉන්දවීම
10 පියවර - දොර දෙක වැසීම

මේ ප්‍රශ්නෙට නං කවුරුවත් උත්තර දුන්නෙ නැත. හුරේ...!!!

ඒ අනුව මගේ ආදර බර පාඨකයන් ලබා ගෙන ඇති ලකුණු ප්‍රමාණය

කම්මල - 4/8
කැමා - 4/8
අන්තිම පේළියෙ ගල-පාත - 4/8
මනෝ මන්දිර - 3/8
කම්මැලි ඩූඩ් - 3/8
මදාවියා - 3/8
ලොකු පුතා - 2/8
කුරුට්ටා - 2/8

මේ උදවියට කිඹුලනැටුවගම සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත, පෝෂ්‍ය ගුණයෙන් අනූන පුස්ලෝඩං එක බැගින් යථා කාලයේදී හිමි වනු ඇත. එතෙක් කට ඇරගෙන උඩ බලං සිටීම හොඳය...

නිර්මාණාත්මක උත්තර දුන්න අය (තරා ගත කර නැත.)

මදාවියා
ප්‍රසන්න
පොඩි කුමාරිහාමි
විචාරක
නලීන්
ඉයන්

මේ අයට සෙදෝනා ගේ බිබික්කම් ලබා ගැනීම සඳහා, ළඟම ඇති සිල්ලර කඩේ මුදලාලිගේ චරිත සහතිකයක් අමුණා, මෑතකදී කොට ෂෝටක් ඇඳ ලබා ගත් ඡායාරූපයක් ද සමඟ අදම අයදුම් කරන්න.

උත්තරයක් නොදුන්නත් කමෙන්ට් කරපු උදවිය වන, 

මෙන්ඩයි, බණ්ඩයි - සී ජෙ විදානෙයි
ඉවානෙයා කියනා ලව් පූසයි
අඟහරු පැටියයි - ලබ්බයි, මනොවයි
පැතුමයි, ප්‍රා ජෙයි - පත්තර මල්ලියි

වෙනුවෙන් අමාරුවෙන් ගැටගහගත් කවියක් මා විසින්ම ප්‍රකාශයට පත් කරනු ලැබේ.

Wednesday, September 9, 2015

අලි ප්‍රහේලිකා... පළවෙනි කොටස

https://www.offthemark.com/image
/data/cartoons/2008-03-01B.gif

ඩ්‍රැක්‍යුලාගේ කතාවෙ ඉතුරු කොටස ගජරාමෙට ලියාගෙන යන නමුත්, ඒකට බොහොම කාලයක් යන බව පෙනේ. ඒ අතරේ බ්ලොග් එකේ පාලුව මැකීම සහ හුදී ජන බලුප් සංවේගය උදෙසා අලි ප්‍රහේලිකා පළවෙනි කොටස මේ විදිහට ලියා දක්වන්නට ඕනෑය කියා හිතුනෙමි.

අලි ප්‍රධාන කොට ගත් සත්තු ගැන තියෙන ප්‍රශ්න පහතින් දක්වන අතර, මෙයිං බොහොමයක් ප්‍රශ්න සහ උත්තර බොහෝමයක් දෙනා දන්නවා ඇත. ඒ අය කරුණාකර කමෙන්ට් විදිහට දන්න දන්න උත්තර ලියා දක්වන්ටය කියා බොහොම ඕනෑකමෙන් ඉල්ලනවාය. උත්තර ටික සති එකහමාරකින් විතර මේ පෝස්ටුවේම පහතින් කමෙන්ට් එකක් විදිහට දක්වන්නට බලාපොරොත්තු වෙන අතර, වැඩියෙන්ම නිවැරදි උත්තර දුන්න උදවිය දහ දෙනාට කිඹුලනැටුවගමේ (කොපිරයිට් සුරංග) සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත පුස්ලෝඩං එක බැගිනුත්, ඊළඟ දහ දෙනාට බිබික්කම් එක බැගිනුත් දෙන්නට කටයුතු යොදා ඇත.

එහෙනං ඕං පුරස්න:

1. අලියෙක් ශීතකරණයක් ඇතුළට පියවර තුනකින් දැමිය හැක. ඒ පියවර තුන මොනවාද?

2. අලියෙක් පියවර තුනකින් දැම්මාට, ජිරාෆයෙක් ෆ්‍රිජ් එක ඇතුලට දාන්න පියවර හතරක් ඕනෑ වෙයි. ඒ පියවර මොනවාද?

http://www.crmlearning.com/
assets/siteimages/notrailer/
giraffe_trailer.jpg


3. කැලේ රජා වූ සිංහයාගේ උපන්දින පාටියට කැලේ සත්තු හැමෝටම ආරාධනා කරන ලදි. හැම සතෙක්ම ඊට ආව නමුත් එක සතෙක් විතරක් ආවේ නැත. ඒ මොකාද?

4. සිංහයාගේ උපන්දින පාටියට ආ සත්තු හැම එකෙක්ටම ආපහු යන්නට ලැබුණ නමුත්, උං ආපහු යද්දී, එක සතෙක් දාලා ගියෝය. ඒ මොන සතාද?

5. ගඟක් මැද දූපතක් තිබේ. ඒ දූපතේ නිධානයක්ද ඇත. ඒක ගන්නට හැබැයි කාටවත් බැරිය. , මොන ක්‍රමයකින් ගියත් දූපතේ ඉන්නා කිඹුලා කන නිසාය. නමුත් දවසක් මිනිහෙක් පීනාගෙන ගිහිං දූපතේ තිබ්බ නිධානය ගත්තේය. පොර නිධානයත් අරගෙන ආපහු යහතිං ගෙදර ආවේය. ඒ කොහොමද?

6. ෆොක්ස්වැගන් කණේ මයිල් මාදිලියේ කාර් එකකට අලි හතරදෙනෙක් දැමිය යුතුව ඇත. පියවර හයකින් ඒක කරන්නේ කොහොමද?

https://s-media-cache-ak0.pinimg.com
/236x/e0/12/62/
e0126211809f0395c3d9567bab57a430.jpg


7. ගමරාළ රෑ පැල් රැකලා, පැල් කවි කියලා, නිදි නැති දෙනෙතින් ගෙදරට එන්නට පිටත් විය. එයා ගෙදර එද්දී, ගෙදර පේන නොපෙනන මානයේදී ම, ගෙදරට අලි ඇවිත් බව දැනගත්තේය. ඒ කොහොමද?

8. ෆොක්ස්වැගන් කණේමයිල් කාර් එකක ඩ්‍රයිවර් සීට් එකට ජිරාෆයෙක් දැමිය යුතුය. ඊට පියවර දහයක් උවමනා වේ. ඒ පියවර මොනවාද?

මේ ප්‍රශ්න අටට ම සාර්ථක පිළිතුරු දෙන්නට පුළුවං නම් මගේ drackey@gmail.com ලිපිනයට ලියා එවන්නය. ඒ අනිත් අයගේ පහන් සංවේගය උදෙසාය.


ඩ්‍රැක්‍යුලාගේ ඉතිහාසය ළඟදීම පළ කරනු ලැ‍බේය. බලාපොරොත්තුවෙන් ඉන්නය...

වැඩිපුර බලපු ලිපි