Showing posts with label ප්‍රබන්ධ. Show all posts
Showing posts with label ප්‍රබන්ධ. Show all posts

Sunday, May 5, 2024

පැන්ඩිස් මී වදය බේරා ගත් හැටි


*    *    *


*    *    *

බඹර කැලේකියලා ලස්සන කැලෑවක් තිබුණා. ඒ කැලෑවේ තිබුණු ගල් ගුහාවක පුංචි වලස් පැටියෙක් ජීවත් වුණා. එයාගේ මූණයි, බඩ පැත්තයි රෝස පාට බූල්වලිනුත්, අනික් කොටස් රතු පාට බූල්වලිනුත් වැහිලා තිබුණා. එයාට හැමෝම කිව්වේ පැන්ඩිස් කියලයි.

දවසක් උදෑසන පැන්ඩිස් කම්මැළිකමට කැලේ මැදින් ඇවිදගෙන ගියා. එහෙම යනකොට එයා දැක්කා ගහක උස අත්තක තිබුණ මී වදයක්.

පැන්ඩිස්ට මී පැණි කන්න ආසා හිතුණා. එයා මී වදය කඩාගන්න උඩ පැන්නා. එයා කොයි තරම් උඩ පැන්නත් මී වදය කඩා ගන්න බැරි වුණා. අන්තිමේදී එයා දුවගෙන දුවගෙන ඇවිත් එයාට පුළුවන් තරම් වේගයෙන් උඩ පැන්නා. ඒ වාරයේ එයා ඔළුව පහතට හිටින්න බිම වැටුණා.

ඒක දැකපු මී මැස්සො කිවුවා, "අන්න බලන්න රතු පාට පුංචි ගහක්" කියලා.

එතකොටම ඉහළ අහසේ ඉඳන් වේගයෙන් පාත් වුණු උකුස්සෙක් මී වදය කඩාගෙන ඉගිල්ලුණා.


"අපේ මී වදය බේරගන්නෝ...!" මී මැස්සො ටික කෑ ගැහුවා.

ඒක ඇහුණ පුංචි වලස් පැටියට දුක හිතුණා. "ඔයාල භය වෙන්න එපා. මම මී වදය බේරගන්නම්." කියලා එයා උකුස්සගේ පස්සෙන් දුවන්න පටන් ගත්තා.

අතරමඟ දි එයාට හම්බවුණා, තවත් පුංචි වලස් පැටියෙක්. එයා සුදුම සුදුයි. එයාගේ නම පෝලාරිස්.

පැන්ඩිස් එයාට සිද්ධ වෙච්ච දේ කීවා. "මමත් එන්නම් මී වදය බේරගන්න" පෝලාරිස් එහෙම කියලා එයාගේ බයිසිකලයට නැග්ගා.

පැන්ඩිස්වත් පිටිපස්සෙන් නග්ගවගෙන, එයා වේගයෙන් බයිසිකලය පැද්දා.

ඒ වලස් පැටවු යන පාරේ, ගලක් උඩ ගහක් වැටිලා පල්ලමක් වගේ හැදිලා තිබුණා.

උකුස්සා දිහා බලාගෙන බයිසිකලය පැදපු පෝලාරිස් ඒක දැක්කේ නෑ. බයිසිකලය ගහ දිගේ වේගයෙන් ගිහින් උඩට විසි වුණා. 

පෝලාරිස්ගේ ඔළුවට උඩින් ගිය පැන්ඩිස්, උකුස්සාගේ කකුළක එල්ලුණා.

ඒකට උකුස්සා භය වෙලා මී වදය අත ඇරලා උඩ ඉගිල්ලුණා. පැන්ඩිස් මී වදය අල්ලාගෙන බිමට වැටුණා.

බිම වැටෙන විට පැන්ඩිස්ට රිදුණා. ඒත් මී වදය බේරගත්ත සතුට ඊට වැඩියි.

පෝලාරිස් එතනට දුවගෙන ආවා.

"අපිට දැන් බඩ පිරෙන්න මී පැණි කන්න පුළුවන්" එයා කිව්වා.

ඒත් පැන්ඩිස් ඒකට කැමති වුණේ නෑ. "මම මී වදය බේරගන්නම් කියලා මී මැස්සන්ට කීවනේ. ඒ නිසා අපි මේ මී වදය ආපහු මී මැස්සන්ට ම ගිහින් දෙන්න ඕන."

ඊට පස්සේ පෝලාරිස් එක්ක පැන්ඩිස් මී වදය අරගෙන, මී මැස්සො හිටිය තැනට ආවා. වලස් පැටවු දෙන්නා මී වදය, ගහේ අතු දෙබළක පරිස්සමට තිබ්බා.

ඒ දෙන්නා කරපු උදවුවට, මී මැස්සන්ගේ රැජින ඒ දෙන්නට බඩ පිරෙන්න මී පැණි දුන්නා.

"ඔයාලා හරිම වීරයෝ. අපි හැමදාටම ඔයාලත් එක්ක යාළුයි" මී මැසි රැජින කීවා.


*    *    *

වීර පැන්ඩිස් සහ සූර පෝලාරිස්

Sunday, October 1, 2023

පැන්ඩීසියානු පුරාවෘත්ත - හතරවැනි මහා පැන්ඩිස්

තුන්වැනි මහා පැන්ඩිස් රජතුමා පැන්ඩීසියාවේ රජකම් කරන කාලය... 

පැන්ඩීසියාව ලස්සන ගහ කොල, කඳු, දිය ඇලි, ගංගාවලින් පිරුණු රටක්. මල් පැණි එකතු කරන කඩිසර මී මැස්සො, බඹරු නිතර ම තමන්ගෙ වදවල පැණි පුරවන්න මහන්සි ගත්තා. ඒ, මේ රටේ පාලකයන් වෙච්ච පැන්ඩීසියානුවන්ට රසවත් ම ආහාරය වුණේ පැණි නිසා. 

තුන්වැනි මහා පැන්ඩිස් රජතුමා බොහො ම කරුණාවන්ත රජ කෙනෙක්. එතුමා අනෙක් පැන්ඩීසියානුවන්ට වගේ ම, ගහ කොළ, මල්, අනෙක් සත්තු හැම දෙනාට ම බොහො ම යහපත් විදිහට සළකමින් ආරක්ෂා කරගත්තා.


මහා පැන්ඩිස් රජතුමාගේ රැජිණ අසනීප වුණේ ඔය අතරෙ. රාජකීය වෛද්‍ය කොන්ඩිස් තමන් දැනගෙන හිටපු සෑම වෙදකමක් ම කරලත්, රැජිණ සනීප කරන්න බැරි වුණා. 

ඔය අතරෙ දවසක් දා රජතුමාගෙ පුස්තකාලය භාර ඇපෙන්ඩික්ස් හති දාගෙන දුවගෙන දුවගෙන රජ මාළිගාවට ආවා "රජතුමා!... රජතුමා !!" කියලා කෑ ගහගෙන. එයාගෙ අතේ තිබුණෙ රෝල් කරපු පාච්මන්ට් එකක්.

"මම හිතන්නෙ මේක හොඳ විසඳුමක් වෙයි අපේ රැජිණ සනීප කරන්න..." ඇපෙන්ඩික්ස් පාච්මන්ට් කඩදාසිය දිග අරින ගමන් රජතුමාට කිව්වා. 

මායා ස්ට්‍රෝබෙරි පඳුරක් ගැන තමයි ඒ පාච්මන්ට් එකේ ලියලා තිබුණෙ. ඒ ස්ට්‍රෝබෙරි පඳුර හැදුණෙ බඹරකැලේ කියන ඝන වනාන්තරේ මැද. එතැනට යන පාර ගැන යන්තම් සඳහන් කරලා තිබුණා අර පාච්මන්ට් කඩදාසියෙ.

ඉතින් මහා පැන්ඩිස් රජතුමා තමන්ගෙ දක්ෂම ‌සෙන්පතියා වුණු වන්ඩිස් ට කිව්වා මායා ස්ට්‍රෝබෙරි පඳුරෙන් ස්ට්‍රෝබෙරි එක ගෙඩියක් හරි අරගෙන එන්න යන්න ලෑස්ති වෙන්න කියලා. වන්ඩිස් කියන්නෙ බොහො ම උස මහත, වළහෙක් වගේ රළු පෙනුමක් තියෙන, සටන් ශිල්ප ඔක්කොමට ම දක්ෂ කෙනෙක්. ඒ වගේ ම එයා හරිම යහපත් කෙනෙක්.

ඉතින් පහුවදා උදේ පාන්දර ම වන්ඩිස් එයාගෙ කඩුවත්, දුන්නත්, පළිහත් අරගෙන රජතුමා එක්ක පිටත් වුණා බඹරකැලේ යන්න. වෙන රජ කෙනෙක් නම් සෙන්පතියා පිටත් කරලා තමන් මාළිගාවේ නතර වෙනවා. නමුත් තමන්ගෙ රැජිණට තිබුණු ආදරේ නිසා රජතුමාත් මේ ගමන යන්න තීරණය කළා.


සෑහෙන දුරක් ගිහින් ගිහින් රජතුමයි සෙන්පතිතුමයි බඹරකැලේ ළඟට ආවා. පාච්මන්ට් කඩදාසිය ආපහු දිග ඇරලා බලපු රජතුමා, ස්ට්‍රෝබෙරි පඳුර තිබුණෙ බඹරකැලේ මැද දිය ඇල්ලක් පාමුළ තිබුණු ගල් ගුහාවක් ළඟ කියලා දැන ගත්තා. 

පාච්මන්ට් එකේ තිබුණු මග සළකුණු බල බලා ඉස්සරහට ම ගිය මහා පැන්ඩිස් රජුයි වන්ඩිස් සෙන්පතියයි අන්තිමේ දි දිය ඇල්ල ළඟ ගල් ගුහාව පේන තරමට ළඟට ආවා. ඒත් එතන දැවැන්ත මකරෙක් නිදාගෙන උන්නා.

"මකරා අවදි ‌වෙන්න කලින් අපි ගිහින් ස්ට්‍රෝබෙරි කඩා ගම්මු" වන්ඩිස්, රජතුමාගෙ කණට කරලා කිව්වා. ඒත් රහසින් කියපු ඒ කතාව මකරට ඇහුණා. මකරා නැගිටලා සෙන්පතියාට පහර දෙන්න ඉස්සරහට පැන්නා.


වන්ඩිස් බය වුණේ නැහැ. එයා ඔහුගේ දැවැන්ත කඩුව දෑතින් ම අරගෙන මකරාට පහරක් දුන්නා. මකරාට කේන්ති ගිහින් ලොකු හුස්මක් ගත්තා, ගින්දර පිඹින්න හිතාගෙන. 

මහා පැන්ඩිස් රජතුමා ඉස්සරහට පැන්නා. රජවරු ඒ විදිහයි. එහෙම නැතුව වෙන කෙනෙක් ඉස්සරහට දාලා තමන් බේරෙන්න හිතන්නෙ නෑ.

මකරා ගින්දර පිඹින්න කට ඇරපුවාම තමයි රජතුමා දැක්කෙ, මකරගෙ ඉස්සරහ දත් දෙකක් අස්සෙ ලොකු කෝටු කෑල්ලක් හිර වෙලා තියෙන හැටි. එයා වන්ඩිස් ගෙ දුන්න අරගෙන ‍ඊතලයක් විද්දා කෙලින් ම මකරාගෙ ඉස්සරහ දත් දෙක අතරට.

ඊතලය වැදිලා දත් දෙක අස්සෙ හිර වෙලා තිබුණු කෝටු කෑල්ල ගැළවිලා විසි වුණා. 

එක පාරට ම දැනෙන්න පටන් ගත්ත සනීප දායක හැඟීම එක්ක මකරාගෙ තිබුණු කේන්තිය නැති වුණා. මකරා තමන්ගෙ ඔලුව බිමට පාත් කරලා, පැන්ඩිස් රජතුමාටයි සෙන්පතියාටයි ආචාර කළා.

තමන්ට උදව් කරපු නිසා ඒකට කළ ගුණ සැළකීමක් විදිහට තමන්ගෙ ගුහාවෙ තිබුණු ස්ට්‍රෝබෙරි ගොඩක් කඩලා, මකරා රජතුමාට තෑගි කළා.

රජතුමායි සෙන්පතියයි ආපහු නුවරට ආවේ ලොකු සතුටකින්.

ඒ දෙන්නා මීට පෙර ගියපු වීර චාරිකාවල දි කවුරු හරි සතෙක්ව මරන්න සිද්ධ වුණා ම මේ වගේ සතුටකින් ආපහු එන්න ලැබෙන්නෙ නෑ. මකරව මරන්නෙත් නැතුව ගිය වැඩේ කරගෙන එන්නත් ලැබුණු නිසා තමයි ඒ තරම් සතුටක් දැනුණෙ.

ඒ ගෙනාපු මායා ස්ට්‍රෝබෙරිවලින් එක එක විදිහෙ කෑම ජාති හදලා පැන්ඩිස් රජතුමා තමන්ගෙ රැජිණට දුන්නා. ස්ට්‍රෝබෙරි යුෂ, අයිස් ක්‍රීම්, ජෑම්... එක එක විදිහෙ කෑම.

ඒවා කාලා බීලා රැජිණ ඉක්මණට ම සනීප වුණා. ඊට පස්සෙ ටික කාලයකින් පැන්ඩිස් රජතුමාටයි රැජිණටයි පුත් කුමාරයෙක් ඉපදුණා.

එයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ රතු පාටයි, බඩ පැත්තයි, මූණයි, අතුල් පතුල් හතරයි විතරක් රෝස පාටයි.

ඒ කුමාරයාට හැමෝම කිව්වෙ, හතරවන පැන්ඩිස් කියලා.

ඒත් එයාට පැන්ඩීසියාවෙ රජවෙන්න බැරි වුණා. ඒ වෙනුවට එයා මිනිස් ලෝකෙට ඇවිත්...

ඒක වෙන ම කතාවක්. ඒ ගැන අපි වෙන දවසක කියවමු.

හතරවැනි මහා පැන්ඩිස් සහ හුටංබරස්

*    *    *

බ්ලොග් ලෝකයට ආපහු එන්න සෑහෙන දවසක් ගියා. මේ පහුවුණු කාලය තුළ මගෙ ජීවිතය සහ ජීවන රටාව සෑහෙන ව්‍යාකූල තත්ත්වයක පැවතුණේ. "ඇයි?" කියලා මට කතා කරලා අහපු සහෝදර බ්ලොග් වැසියන්ට යම් තාක් දුරකට ඒ ගැන කියන්න ලැබුණා.

ඇත්තට ම කාර්යබහුල වුණා. ඒ වගේ ම රෑ අවදියෙන් ඉඳීම - ශරීර සෞඛ්‍යය වෙනුවෙන් කැප කරන්න වුණා. ඒ එක්ක මම මීට කලින් ගොඩ වැදුණු බ්ලොග්වලට ඇවිදින් කියවීමත් දිරිමත් කිරීමත් කරන්න වෙලාව නැති වුණා.

නමුත් මින් පස්සෙ ආපහු ඒ දේවලට වෙලාව හදාගන්නයි බලාපොරොත්තුව.

ඉතින්, එහෙනම්, මට වෙල්කම් බැක්!

Sunday, April 30, 2023

උතුරුකරයන් සමඟ පළමු හමුවීම



උතුරුකරයේ වැසියන්  ඔවුන්ගේ වෙළෙඳ බඩු ද සමඟ පැමිණ වොල්ගා ගඟ අසබඩ වාඩි ලා ගන්නා ආකාරය මම මගේ ඇස් දෙකෙන් ම දුටුවෙමි. එතරම් යෝධ මිනිසුන් මම ඊට පෙර දැක නැත්තෙමි. ඔවුහු තල් ගස් සා උස් වූ අතර, රත් පැහැයට හුරු සමකින් යුක්ත වූහ. ඔවුහු යට ඇඳුම් හෝ කෆ්තාන් ඇන්දේ නැති අතර, ඔවුන’තර වූ පිරිමි රළු රෙද්දක් උරහිස හරහා ඒකාංශ කොට දමා ගෙන සිටියේ එක් අතක් නිදහස් වන පරිදි ය.

සෑම උතුරු වැසියෙක් ම පොරොවක්, කිණිස්සක් සහ කඩුවක් රැගෙන ගිය හ. මේ ආයුධ නොමැතිව ඔවුහු කිසිම විටෙක දකින්නට හැකි නො වූහ. ෆ්‍රෑන්ක්  හුරුවට තනන ලද ඔවුන්ගේ කඩුපත් පුළුල් වූ අතර, එහි රැළි සහිත රේඛා වැටී තිබුණි. ඔවුන්ගේ සෑම මිනිසෙක් ම ඇඟිලි තුඩුවල සිට ගෙල දක්වා, ගස්, සතුන් සහ වෙනත් දේවල පින්තූර පච්ච කොටා ගෙන සිටිය හ. 

ගැහැණුන් ඔවුන්ගේ පපුව මත සවි කර ගත් මංජුසාවක් පැලඳ සිටිහය. මෙය ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් සතු ධනය හෝ සම්පත් අනුව, යකඩෙන්, තඹෙන්, රිදියෙන් හෝ රනින් තනන ලද්දක් විය. මෙම මංජුසාවට සවි කරන ලද මුද්දක් සහ ඒ මත කිණිස්සක් විය. ඔවුහු ගෙළෙහි රන් සහ රිදී දම්වැල් පැලැන්ද හ. 

ඔවුහු දෙවියන් විසින් නිර්මාණය කළ පිළිකුල් සහගත ම ජාතිය වූහ. ඔවුහු මළ පහ කිරීමෙන් පසු පිස දා ගත්තේ නැත, රාත්‍රියේ අපවිත්‍ර වීමෙන්  පසු සෝදා ගත්තේ ද නැත. මෙයින් ඔවුහු වල් බූරුවන්ට වඩා උසස් නො වූහ.

ඔවුහු සිය රට සිට පැමිණ, ඔවුන්ගේ යාත්‍රා වොල්ගා නම් මහා නදියේ නැංගුරම් ලා, එහි ඉවුරුවල විශාල දැව මය නිවාස තනති. ඒ එක් එක් නිවාසයක අඩු හෝ වැඩි වශයෙන් දහ දෙනෙක් හෝ විසි දෙනෙක් හෝ වාසය කරති. සෑම මිනිසෙකුට ම කවිච්චියක් ඇති අතර, ඔහු එහි තමන් විකිණීමට තබා ගෙන සිටින රූමත් තරුණියන් සමඟ වාඩි වී සිටීයි. ඔහු, තම මිතුරෙකු බලා සිටිය දී එම තරුණියකගේ පහස ලැබීමට නො සිතනු ඇත. ඇතැම් විට ඔවුන් කිහිප දෙනෙකු, එකම වෙලාවේ ඔවුනො’වුන් බලා සිටිය දී, මෙසේ හැසිරෙන අවස්ථා ද ඇත.

විටින් විට වෙළෙන්දෙක් තරුණියක් මිල දී ගැනීමට මෙම නිවසක් තුළට යන විට, ඇගේ ස්වාමියා ඇය වැළඳ ගනිමින් සිටියේ නම්, ඔහු තම කැමැත්ත සම්පූර්ණ කර ගන්නා තුරු ඇය වෙළෙන්දා ට දීමට අදහස් නො කළ ද, එය ඔවුන’තර එතරම් සැලකිය යුත්තක් නොවේ.

සෑම උදෑසනක ම වහල් කෙල්ලක් වතුර බඳුනක් ගෙන’වුත් ඇගේ ස්වාමියා ඉදිරිපිට තබයි. ඔහු එයින් තම මුහුණ ද, අත් ද, හිස ද සෝදා, බඳුනට ඉහළින් හිස පීරා ගනියි. ඉන් පසු ඔහු තම නාසය පිරිසිදු කර, බඳුනට කෙළ ගසයි. මෙසේ තමා මත ඇති කුණු සියල්ල ඔහු වතුරට එක් කරයි. ඔහු තම කාර්යය අවසන් කළ විට වහල් කෙල්ල එම බඳුන ඊ ළඟට සිටින මිනිසා වෙත ට ගෙන යයි. ඔහු ද ඉහත කී සියල්ල සිදු කරයි. එසේ ඇය නිවසේ සිටින සියලු දෙනා ම තම නාසය පිරිසිදු කර, බඳුනට කෙළ ගසා, තම මුහුණ සහ හිස සෝදා ගන්නා පිණිස වතුර බඳුන එකිනෙකා වෙත ගෙන යයි. 

මම මගේ ම දෑසින් දැක ඇති අන්දමට මෙය උතුරු වාසීන් අතර පවතින සාමාන්‍ය හැසිරීමයි. නමුත් අප ඔවුන් අතරට ගිය කාල වකවානුව මේ යෝධ මිනිසුන් අතර අසතුටුදායක බවක් පැවතුණි. එහි ස්වභාවය මේ ලෙස ය:

ඔවුන්ගේ ප්‍රධාන නායකයා වූ විග්ලිෆ් නමැත්තා රෝගාතුර වී තිබුණි. ඔහු රඳවා තිබුණේ වාඩි බිමෙහි ඈතින් පිහිටි ගිලන් කූඩාරමක ය. ඔහුට පාන් සහ වතුර සපයා තිබුණි. මේ සම්පූර්ණ කාලය තුළ කිසිවෙක් ඔහු බලන්නට හෝ ඔහුට කතා කිරීමට අසලට ගියේ නැත. ඔහු රැක බලා ගැනීමට වහලෙක්වත් සිටියේ නැත. මිනිසෙක් තම ශක්තියෙන් ම රෝගාබාධයන්ගෙන් සුව පත් විය යුතු බව උතුරු මිනිසුන් විශ්වාස කිරීම මීට හේතුවයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කළේ විග්ලිෆ් නැවත තමන් හා එක් වීමට වාඩි බිමට නො පැමිණෙනු ඇති බවත්, ඒ වෙනුවට ඔහු මියයනු ඇති බවත් ය.

ඔවුන් අතරින් වංශවත් තරුණයෙකු වූ බුලිවයිෆ් ඔවුන්ගේ නායකයා හැටියට තෝරා ගෙන තිබුණි. නමුත් රෝගාතුර වූ ප්‍රධානියා තවමත් පණ පිටින් සිටි හෙයින් නව නායකයා නිල වශයෙන් පිළිගැනීමට හැකි වූ යේ නැත. අප ඔවුන් වෙත පැමිණි වකවානුවේ ඔවුන් අතර පැවති අපහසුතාවට හේතුව වූයේ එය යි. එසේ වුවත්, වොල්ගා අසබඩ වාඩි ලා සිටි මිනිසුන් අතර ශෝක වීමක් හෝ හඬා වැලපීමක් දක්නට නො ලැබුණි. 

ආගන්තුකයන්ට අනුග්‍රහ දැක්වීමේ කාර්යය කෙරෙහි උතුරු වැසියෝ ඉහළ වැදගත්කමක් ලබා දෙති. ඔවුහු සෑම ආගන්තුකයෙකුට ම උණුසුම්ව ආචාර කරති, ආගන්තුක සත්කාර කරති, යෙන් ද, නොසෑහෙන තරම් ආහාර සහ ඇඳුම් ද සපයති. අධිපතියෝ සහ වංශවත්තු ඉතා උසස් ලෙස ආගන්තුක සත්කාර කිරීමේ ගෞරවය වෙනුවෙන් තරග කරති. අපගේ තවලම් කණ්ඩායම බුලිවයිෆ් වෙතට පමුණුවන ලද අතර, අප වෙනුවෙන් මහා භෝජන සංග්‍රහයක් පවත්වන ලදි. එහි ප්‍රධානත්ව බුලිවයිෆ් විසින් ම හොබවන ලද අතර, ඔහු උස, ශක්තිමත් මිනිසෙකු බව ද, ඔහුගේ සමත්, කෙස් සහ රවුළත් පිරිසිදු සුදු පැහැ වූ බව ද, මම දුටුවෙමි. ඔහුගේ ඉරියව්වලින් නායකයෙකුගේ ලක්ෂණ පෙනෙන්නට තිබුණි.

භෝජන සංග්‍රහයේ අරමුණ ගෞරව කිරීම වූ බව හඳුනාගත් අපි කණ්ඩායම ආහාර රස විඳින බව පෙන්වූයෙමු. එහෙත් එහි වූ කෑම රළු වූ අතර, භෝජන සංග්‍රහය පවත්වන ලද්දේ කෑම සහ බීම විසි කර ගනිමින්, මහ හඬින් සිනාසෙමින් සහ විනෝද වෙමිනි. මේ රළු භෝජනය අතර’තුර වංශවතෙකු තම සහචරයන් ඉදිරිපිට ම වහල් කෙල්ලක සමඟ සිමාවකින් තෙරව විනෝද වීම ද සාමාන්‍ය දෙයක් විය.

මෙය දුටු මම ඉවතට හැරී “දෙවියන්ගේ සමාව අයදිමි” යි කීමි. මගේ චකිතය ගැන උතුරු වැසියෝ මහ හඬින් සිනාසුණ හ. ඔවුන්ගෙන් කෙනෙකු මට පරිවර්තනය කර දෙමින්, එසේ විවෘතව විනෝද වන අවස්ථා පිළිබඳ දෙවියන් සතුටු වන බව කීවේ ය. “අරාබිකාරයන් වන නුඹලා නාකි ගෑණු වගෙයි. සජීවී බව දකින විට නුඹලා වෙවුලනවා.” යි ඔහු මට කීවේ ය.

මම පිළිතුරු දෙමින්, “මම නුඹලා අතර ආගන්තුකයෙක්. අල්ලාහ් මට ධාර්මිකව ජීවත් වීමට මග පෙන්වාවි” යි කීවෙමි.

එය ඔවුන්ගේ සිනාව වැඩි කිරීමට හේතු විය. එහෙත් ඔවුන්ට එහි විහිළුවක් පෙනුණේ කොතැන දැයි මට තේරුම් ගත නො හැකි විය.

උතුරු වැසියන්ගේ සම්ප්‍රදාය යුධ ජීවිතය කෙරෙහි ගරු කරන්නක් විය. ඇත්තෙන් ම මේ විශාල මිනිස්සු අනවරතයෙන් සටන් කරති. ඔවුන් කවදා වත් ඔවුනො’වුන් අතර හෝ ඔවුන් වැනි වෙනත් ගෝත්‍ර අතර හෝ  සාමයෙන් සිටියේ නැත. ඔවුන්ගේ යුද්ධ සහ නිර්භීත බව ගැන ගීත ගායනා කරන ඔවුහු, රණ ශූරයෙකු ලෙස මියයාම ඉහළ ම ගෞරවය ලෙස සලකති.

බුලිවයිෆ්ගේ භෝජන සංග්‍රහයේ දී ඔවුන්ගේ සාමාජිකයෙක් ගායනා කළ නිර්භීත බව සහ සටන් පිළිබඳ ගීතයක් ඔවුහු බොහෝ සේ රස වින්ද හ. එහෙත් ඊට සහභාගි වූයේ කීප දෙනෙකි. උතුරු මිනිසුන්ගේ සැර බීම ඔවුන් තිරිසනුන් සහ ගාල කඩා ගත් බූරුවන් බවට පත් කළේ ය. ගීතය මැද හරියේ දී යමෙක් සුරතාන්තයට පත් වූ අතර, රණශූරයන් දෙදෙනෙකු මත් වී ඇත කර ගත් කලහයක් මාරාන්තික සටනක් බවට පත් විය. ගායකයා  මේ කිසිම අවස්ථාවක් ඔහුගේ ගායනයට බාධාවක් කර ගත්තේ නැත. ඇත්තෙන් ම විසි වී ආ ලේ පහරක් ඔහුගේ මුහුණට වැටෙනු මම දුටුවෙමි. එහෙත් ඔහු එය පිස දැම්මේ, ගායනය මොහොතකට වත් නතර නො කරමිනි.

මෙය මම ඉමහත් සේ අගය කළෙමි.

සෙසු පිරිස සේ ම බීමත් වූ බුලිවයිෆ්, මා ඔවුන් වෙනුවෙන් ගීයක් ගැයිය යුතු යැයි අණ කළේ ය. ඔහු එය උදක් ම බල කර සිටියේ ය. ඔහු කුපිත කිරීමට අකමැති වූ මම කෝරානයෙන් පද කීපයක් ගායනා කළෙමි. පරිවර්තකයෙක් එය පදයෙන් පදය නෝර්ස් භාෂාවට පරිවර්තනය කරන ලදි. ඒ සඳහා මට ලැබුණේ, ඔවුන්ගේ කවටයා ලබන ප්‍රශංසාවට නො වැඩි සැලකිල්ලකි. පසුව මම අල්ලාහ් වෙතින්, ශුද්ධ වූ වචන එසේ භාවිත කිරීම ගැනත්, පරිවර්තනය වෙනුවෙනුත්  ක්ෂමාව අයැදීමි. පරිවර්තනය අරුත් සුන් වූවක් බව මට දැනුණි. ඒ පරිවර්තකයා ද බීමත් ව සිටි හෙයිනි.

අපි උතුරු වැසියන් සමඟ දින දෙකක් ගත කළෙමු. අපි පිට ව යාමට සිතා සිටි උදෑසන, ප්‍රධානියා වූ විග්ලීෆ් මිය ගිය බව පරිවර්තකයා අපට දැන්වීය. ඉන් පසු සිදු වන දේ කුමක්දැයි දැක ගැනීමට මම අදහස් කළෙමි.

පළමුවෙන්, ඔවුහු ඔහු දෙණක තැන්පත් කළහ. ඒ මත්තෙහි වහලයක් ඉදි කෙරුණි. ඒ දින දහයක්  පුරාවට මළහු වෙනුවෙන් ඇඳුම් කපා මැසීම සඳහා ය. ඔවුහු මළ තැනැත්තා සතු වූ භාණ්ඩ ද ගෙනැවිත්, ඒවා කොටස් තුනකට බෙදූ හ. එයින් පළමු කොටස ඔහුගේ පවුලට ය; දෙවැනි කොටස, ඔහු වෙනුවෙන් සකස් කළ ඇඳුම් පැලඳුම් සඳහා විය; තරුණියක් ස්වේච්ඡාවෙන් මිය යාමට සහ ඇගේ ස්වාමියා සමග ආදාහනය කරනු ලැබීමට ඉදිරිපත් වන දිනය සඳහා, ඔවුහු තෙවැනි කොටසින් සැර පානයන් මිලට ගත් හ. 

ඔවුන් වයින් භාවිත කළේ උමතුවෙන් මෙනි.  මම දැනට මත් කියා ඇති පරිදි ඔවුහු දිවා රෑ දෙකෙහි ම බීමත් වූහ. යමකු අතෙහි වූ කුසලානයක් සහිත ව මිය ගියේ කලාතුරකින් නොවේ.

විග්ලීෆ් ගේ පවුලේ අය ඔහුගේ කෙල්ලන් සහ වහලුන්ගෙන්, “ඔහු සමඟ මැරෙන්නේ නුඹලා අතරින් කවුදැ” යි ඇසූහ. ඔවුන් ගෙන් එකියක් “මම” යි කීවාය. ඒ වචනය පිට වූ වේලාවේ සිට ඇය තව දුරටත් නිදහස් තැනැත්තියක නො වීය. ඒ වචනය ආපසු ගැනීමට, ඇයට අවසර නැත. 

එසේ ඉදිරිපත් වූ කෙල්ල, එතැන් සිට තවත් කෙල්ලන් දෙදෙනෙකු භාරයට පත් කෙරුණි. මොවුන්ට ඇය බලා ගන්නට සිදු වූ අතර, ඇය පසුපස යාමටත්, අවස්ථානුකූලව ඇගේ පා සේදිමටත් සිදු විය. අනික් අය මිය ගිය තැනැත්තාගේ කටයුතුවල හෙවත් ඔහුට ඇඳුම් කැපීමෙහිත්, වෙනත් අවශ්‍ය දේ පිළියෙල කිරීමෙහිත් නිරත වූ හ. මේ කාල සීමාව පුරා ම අර කෙල්ල බොමින් සහ ගී කියමින් ප්‍රීතිමත්ව සහ සැහැල්ලුවෙන් ගත කළා ය.

මේ කාලය තුළ, මී ළඟ රජු හෙවත් නායකයා වීමට සිටි බුලිවයිෆ් නම් වංශවත් තරුණයා හට තෝර්කල් නම් එදිරිවාදියෙක් ඉදිරිපත් විය. මා ඔහු දැන සිටියේ නැත. ඔහු කැත, කලහකාරී අයෙක් මෙන් ම, මේ රතු වන් පැහැපත් ජාතිය තුළ සිටි අඳුරු වන් මිනිසෙක් විය. ඔහු නායකයා වීමට රහසින් තැත් කළේ ය. මේ සියල්ල මා දැන ගත්තේ පරිවර්තකයා වෙතිනි. මන්ද යත්, අවමංගල උත්සවයට සූදානම් වෙමින් සිටි මිනිසුන් අතර සම්ප්‍රදායට පිටින් කිසිවක් සිදු වන බවට පෙන්නුම් කෙරුණු කිසිදු සලකුණක් නො වූ හෙයිනි.

බුලිවයිෆ් මිය ගිය තැනැත්තාගේ පවුලේ සාමාජිකයෙක් නොවූ හෙයින්, ඔහු අවමඟුල මෙහෙයවූයේ නැත. පවුලේ අය පමණක් අවමඟුල් කටයුතු සූදානම් කිරීම නීතියක් විය. බුලිවයිෆ් සැමරීම් සහ සාමාන්‍ය විනෝදවීම් සඳහා පමණක් සහභාගී විය. රාත්‍රි භෝජන සංග්‍රහයේ දී හැරුණු විට ඔහු රජු වශයෙන් හැසිරුණේ නැත. භෝජන සංග්‍රහයේ දී පමණක් ඔහු රජු වෙනුවෙන් වෙන් කෙරුණු උස් ආසනයේ වාඩි විය.

ඔහු අසුන් ගත්තේ මේ ආකාරයෙනි: උතුරු වැසියෙක් සැබැවින් ම රජු බවට පත් වූ විට, ඔහු භෝජන මේසයේ මුල ම පිහිටුවන ලද, ගලින් තනන ලද අත් ඇඳි සහිත විශාල ගල් ආසනයේ වාඩි වෙයි. විග්ලිෆ්ගේ ආසනය ද එවැන්නක් විය. එහෙත් බුලිවයිෆ් එහි වාඩි වූයේ සාමාන්‍යයෙන් මිනිසෙකු වාඩි වන ආකාරයට නොවේ. ඒ වෙනුවට ඔහු වාඩි වූයේ එහි අත් ඇන්දක් මත ය. ඔහු පමණට වඩා බීමත් වූ විට හෝ මහ හඬින් සිනා සුණු විට එතැනින් බිමට ඇද වැටුණි. විග්ලීෆ් භූමදානය කරන තෙක් ඔහු එම ආසනයේ වාඩි නො වීම සම්ප්‍රදාය විය. 

මේ සියලු කාලය තුළ තෝර්කල් රහසින් යමක් සැලසුම් කළ අතර, අනිකුත් අධිපතියන් සමඟ මන්ත්‍රණය කළේ ය. මා මන්ත්‍රකාරයෙකු හෝ මායා කාරයෙකු වූ බවට ඔවුන් සැක කරන බව දැන ගන්නට ලැබී මම මහත් අපහසුතාවට පත් වීමි. මේ කතා විශ්වාස නො කළ පරිවර්තකයා, විග්ලීෆ් මියයාමට සැලැස්වූයේ මා බවත්, බුලිවයිෆ් මී ළඟ නායකයා වීමට ද කරුණු සැලැස්වූයේ මා බවත්, තෝර්කල් කියූ බව මට කීවේ ය. එහෙත් ඇත්තෙන් ම, ඒ කිසිවකට මම කොටස් කාරයෙක් නො වූයෙමි.

දින කීපයකට පසුව, ඉබ්න්-බස්තු ද, ටාකින් සහ බාර්ස් ද ඇතුළු මගේ කණ්ඩායමට පිටත් වී යාමට මම අවසර ඉල්ලුවෙමි. නමුත් උතුරුකර වාසීන් අපට පිට වී යාමට අවසර නො දෙමින්, අපි අවමඟුල් උත්සවය වෙනුවෙන් නතර වී සිටිය යුතු බව කියමින්, ඔවුන් නිතර ම රැගෙන යන කිණිසි උරුක් කර ගෙන තර්ජනය කළ හ. එහෙයින් අපි නතර වීමු.

විග්ලීෆ් සහ කෙල්ල ගින්දරට බිලි දෙන දිනය උදා වූ විට, ඔහු ගේ යාත්‍රාව ගං ඉවුර මතට අදින ලදි. බර්ච් සහ වෙනත් ලීවලින් තනන ලද මුලුවලට තබන අඩ සහ මිනිසුන් නිරූපණය කිරීමට තනන ලද දැව පිළිරු ද, එය වටා තබන ලදි.

ඒ අතරතුර මිනිසුන්, මට තේරුම් ගත නොහැකි වූ වචන කියමින් ඒ මේ අත යන්නට වූහ. උතුරු වැසියන්ගේ භාෂාව සවනට අප්‍රිය සහ තේරුම් ගැනීමට දුෂ්කර එකකි. මියගිය නායකයා ඒ වන විටත් ඈතින් පිහිටි ඔහුගේ දෙණෙහි සතපා තිබුණි. ඊ ළඟට ඔවුහු කවිච්චියක් ගෙනවුත්, යාත්‍රාව තුළ තබා, ග්‍රීක රන් රෙද්දකින් ආවරණය කළ හ. ඒ රෙද්දෙන් ම කරන ලද කොට්ට ද එහි තබන ලදි. ඉන් පසු එතැනට ආවේ කැත මහළු ස්ත්‍රියකි. ඔවුහු ඇය, මරණයේ දේව දූතිකාව යැයි හැඳින්වූහ. ඇය එහි පැමිණ කවිච්චිය මත පෞද්ගලික භාණ්ඩ විසුරුවා හැරියා ය. මළ ඇඳුම් මැසීමට සහ අනෙක් සියලු කළමනා පිළියෙල කිරීමට ඇය සහභාගී වූ අතර, කෙල්ල මැරීමට නියමිත ව තිබුණේ ද ඇය වෙත ය. මම ඈ මගේ දෑසින් දුටුවෙමි. ඇය අඳුරු පැහැ, මිටි තරබාරු, කුදු ගැසුණු තැනැත්තියක් වූවා ය.

ඔවුහු දෙන වෙත පැමිණි විට, එහි වහලය ගළවා, මළ මිනිසා පිටතට ඇද ගත් හ. එවිට ඔහු සෑහෙන තරම් කළු පැහැයට හැරී ඇති බව මම දුටුවෙමි. එරට පැවති අධික ශීතල ඊට හේතු විය. ඔවුහු දෙණ තුළ ඔහු අසලින් සැර බීම, පලතුරු සහ ලූට්  නම් වීණාවක් තබා තිබුණි. ඒවා ද එළියට ගන්නා ලදි. සමේ පැහැය හැරුණු කොට, විග්ලීෆ් ගේ පෙනුම වෙනස් නො තිබුණි.

බුලිවයිෆ් සහ තෝර්කල් එක ළඟින් පෙළට සිට ගෙන සිටි අතර, අවමඟුල් උත්සවය පුරා ඔවුන් මිතුරන් බව ප්‍රදර්ශනය කරනු මම දුටුවෙමි. නමුත් ඔවුන්ගේ ඒ පෙනුමෙහි කිසිදු සත්‍යතාවක් තිබුණේ නැති බව පැහැදිලි ව පෙනුණි.

විග්ලීෆ් නම් මියගිය රජු හට මේ වෙලාවේ දී යට ඇඳුම්, කලිසමක්, බූට් සහ රන් රෙද්දෙන් කළ කෆ්තානයක් අන්දවා ඔහුගේ හිස මත රන් රෙද්දෙන් සාදා සේබල්  ලොමින් සැරසූ හිස්වැස්මක් පලඳවන ලදි. ඉන්පසු ඔහු ඔහුගේ යාත්‍රාවෙහි තනා තිබුණු කූඩාරම තුළට රැගෙන ගොස්, ඇතිරිලි දමා තිබූ කවිච්චියේ වාඩි කරවා, නොවැටෙන පරිදි කොට්ටවලින් වට කරන ලදි. එසේ ම ඔවුහු සැර බීම, පලතුරු, සුවඳ තලා හෙවත් බේසිල් ගෙන’වුත් ඔහු අසලින් තැන්පත් කළ හ.

ඉන් පසුව ඔවුහු බල්ලෙකු රැගෙන’විත්, දෙකඩ වන සේ කපා යාත්‍රාව තුළට විසි කළ හ. ඔවුහු මළහුගේ ආයුධ සියල්ල ඔහු අසලින් තැබූ හ. අශ්වයන් දෙන්නෙක් දක්කා ගෙන ආ ඔවුහු, උන් දෙදෙනා දහදිය ගලන තුරු පසු පසින් එලවූහ. ඉන් පසු බුලිවයිෆ් ඉන් එකෙක් තම කඩුවෙන් පහර දී මැරූ අතර, තෝර්කල් අනෙකා මැරී ය. ඔවුහු තම කඩුවලින් අශ්වයන් කෑලිවලට කපමින්, එම කැබලි යාත්‍රාව තුලට විසි කළ හ. බුලිවයිෆ් තම අශ්වයා මැරුවේ වඩා අඩු වේගවත් බවකිනි. එය බලා සිටියවුන්ට සංකේතාත්මක දෙයක් වූ බව පෙනුණ ද, එහි තේරුම මට වැටහුණේ නැත.

 හීලෑ හරකුන් දෙදෙනෙකු ඉදිරියට ගෙනැවිත්, කෑලිවලට කපා, යාත්‍රාව තුලට වීසි කරන ලදි. අවසානයේ ඔවුහු කුකුළෙකු සහ කිකිලියක ගෙනැවිත්, මරා, ඔවුන් ද යාත්‍රාවට විසි කළ හ. 

මිය ගිය තැනැත්තා සමඟ මිය යාමට කැප වූ තරුණිය මේ අතර, එතැන වූ කූඩාරම් එකිනෙකට ඇතුල් වී පිට වූවා ය. ඒ එක් එක් කූඩාරමේ සිටියවුන් ඇය සමඟ සැතපී, “ඔබේ ස්වාමියාට කියන්න, මම මේ දෙය සිදු කළේ ඔහුට ඇති ආදරය නිසා පමණක් බව” යි කීවෝ ය.

මේ වන විට සවස් කාලය ළඟා වෙමින් පැවතුණි. ඔවුහු, දොරක රාමුවක් වැනි හැඩයකින් යුත්, ඔවුන් කලින් තනා තිබූ දෙයක් මතට ඒ තරුණිය නැංවූවෝ ය. ඇය එහි සිට, මිනිසුන් ඉහළට එසවූ අත් මත තම පාද තැබුවා ය. එසේ මිනිසුන් ඇය, රාමුවට ඉහළින් එසවූහ. ඇය ඇගේ බසින් යමක් කීවා ය. එවිට ඔවුහු ඇය පහළට ගත් හ. නැවතත් ඔවුහු ඇය එසවූහ. ඇය පෙර පරිදි ම යමක් කීවා ය. නැවතත් ඔවුහු තෙ වැනි වතාවටත් ඇය එසවූහ. ඉන් පසු ඔවුහු කිකිළියක ඇගේ අතට දුන් හ. ඇය උගේ බෙල්ල කපා, ඌ ඉවතට විසි කළා හ.

ඇය කළේ කුමක්දැ යි මම පරිවර්තකයාගෙන් ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, “පළවෙනි වර ඇය කීවේ, ‘අහන්න, මට පේනවා මගේ තාත්තා සහ අම්මා’ කියා; දෙවෙනි වර කීවේ, ‘අහන්න, දැන් මට පේනවා මගේ මියගිය නෑදෑයන් සියලු දෙනා ම අසුන් ගෙන සිටිනවා’ කියා; තුන් වෙනි වර ඇය, ‘අහන්න, එතන මගේ ස්වාමියා ඉන්නවා, පාරාදීසයේ අසුන් ගෙන. පාරාදීසය හරිම ලස්සනයි, හරිම කොළ පැහැතියි. ඔහු සමග ඔහුගේ මිනිසුන් සහ කොල්ලන් ඉන්නවා. ඔහු මට අඬ ගහනවා, මා ඔහු වෙත ගෙන යන්න.’ කීවා” යි කීවේ ය.

ඉන් පසු ඔවුහු ඇය යාත්‍රාව වෙත කැඳවා ගෙන ගිය හ. එතැන දී ඇය තම වළලු දෙක ගළවා මරණයේ දේව දූතිය නම් වූ, තමා මරණයට පත් කරන්නට නියමිත මහලු කාන්තාවට දුන්නා ය. ඇය තමන්ගේ දෙපයේ දමා ගෙන සිටි ආභරණ දෙක ද ගළවා සේවක කෙල්ලන් දෙ දෙනා වෙත යැවුවා ය. ඒ දෙදෙනා මරණයේ දේව දූතිය ගේ දූවරු වූ හ. ඉන් පසු ඔවුහු ඇය යාත්‍රාවට ඔසවා තැබූ හ. නමුත් එහි වූ කූඩාරම වෙත රැගෙන නො ගිය හ. 

මෙ’විට පලිහ සහ යෂ්ටි අතින් ගත් මිනිසුන් පැමිණ ඇයට සැර බීම කුසලානයක් දුන් හ. ඈ එය රැගෙන, යමක් ගායනා කොට, එය හිස් කළා ය. ඈ කීවේ, “මෙයත් සමඟ මම මගේ ආදරණීයයන් අත හැර පිටවී යන්නෙමි” යි යන්න බව පරිවර්තකයා මට කීවේ ය. ඉන් පසු තවත් කුසලානයක් ඇගේ අත තබන ලදි. ඇය එය රැගෙන දීර්ඝ ගායනයක් ආරම්භ කළා ය. කැත මැහැල්ල ඇයට තරවටු කරමින්, පමා නො කර කුසලානය හිස් කොට, ඇගේ ස්වාමියා වැතිර සිටින කූඩාරම තුළට යන ලෙස කීවා ය.

මේ වෙලාව වන විට තරුණිය විසඥ වන්නට ආසන්න ව  සිටි බව පෙනුණි. ඇය කූඩාරමට ඇතුල් වන්නට යන බවක් පෙන්වූවාය. එවිට ම මායාකාරිය අගේ හිසෙන් අල්ලා කූඩාරම තුළට ඇද ගෙන ගියා ය. මෙ’විට මිනිස්සු තමන් අතේ වූ යෂ්ටිවලින්, පළිස්මතට පහර දෙන්නට පටන් ගත්හ. ඒ හඬින් තරුණියගේ විළාප හඬ යටපත් විය. විලාප හඬ අනික් කෙල්ලන්ට ඇසුණේ නම්, ඔවුන් අනාගතයේ දී තම ස්වාමියන් වෙනුවෙන් මිය යන්නට ඉදිරිපත් වීම අධෛර්යවත් වන්නට ඉඩ තිබුණි.

මිනිසුන් හය දෙනෙක් ඇය පසුපසින් කූඩාරම තුළට ගිය අතර, ඒ සියලු දෙනා ම ඇය සමග කායික සම්බන්ධතා පැවැත්වූහ. ඉන් පසු ඔවුහු ඇය ඇගේ ස්වාමියා ගේ පසෙකින් වැතිරවූහ. මිනිසුන් දෙදෙනෙකු ඇගේ දෙපා අල්ලාගත් අතර, තවත් දෙදෙනෙක් ඇගේ දෑත් අල්ලා ගත්හ. මරණයේ දේව දූතිය නම් වූ මැහැල්ල ඇගේ ගෙල වටා ලණුවක් ගැට ගසා, එහි දෙකෙළවර අනික් මිනිසුන් දෙදෙනාට අදින්නට දුන්නා ය. ඉක්බිති, පළල් තලයක් සහිත කිණිස්සක් ගත් ඇය තරුණියගේ ඉළ ඇට අතරින් ඇන, ඉදිරියට ඇද්දා ය. ඒ අතර, මිනිස්සු දෙදෙනා ඇගේ ගෙල වටා ගැට ගසන ලද කඹයෙන් ගෙල සිර කර ඇය මිය යන තුරු ඇද ගෙන සිටිය හ.

මියගිය විග්ලි‌ෆ්ගේ නෑදෑයන් මෙ’විට ඒ අසලට ආහ. ඔවුහු නිරුවත් ව, දැල්වෙන ලී පන්දමක් බැගින් අතට ගෙන, යාත්‍රාව දෙසට පිටුපස හරවා ආ පස්සට ඇවිද ගොස්, ඒ දෙස බැලීමකින් තොර ව, ඊට ගිනි තැබූහ. චිතකය ඉක්මණින් ම ගිනි දැල්ලෙන් වැසී ගියේ ය. යාත්‍රාවත්, කූඩාරමත්, මිනිසා සහ තරුනියත්, අනෙක් සියල්ල මත්, පුපුරමින් නැගෙන ගිනි ජාලාව විසින් ගිල ගත්තේය.

මගේ පසෙකින් සිටි උතුරු වැසියෙක් පරිවර්තකයා වෙත යම් අදහසක් පැවසීය. ඔහු කීවේ කුමක්දැ යි මම පරිවර්තකයාගෙන් ඇසීමි. ඊට ලද පිළිතුර වූයේ මෙය විය. “අරාබි කාර නුඹලා,” ඔහු කීවා, “මෝඩයන් රැළක් වෙන්න ඇති. නුඹලා බොහෝ ආදරය කළ සහ ගරු කළ මිනිසා, නුඹලා පොළොව තුලට විසි කර දමනවා, බඩ ගාන සතුන්ටත්, පනුවන්ටත්, කා දමන්නට. අපි අනෙක් අතට, හණික ඔහු පුළුස්සනවා. එවිට ක්ෂණයකින්, මොහොතක්වත් පමා නොවී, ඔහු පාරාදීසයට ඇතුල් වෙනවා.” 

ඇත්තට ම, පැයක් ගතවන්නටත් පෙර, යාත්‍රාවත්, එහි වූ දැවත්, කෙල්ල සහ මිනිසාත්, අලු බවට පත් විය.



මේ දවස්වල ගජරාමෙට පරිවර්තන වැඩක් කරමින් ඉන්නෙ. ඒ නිසා දීර්ඝ බ්ලොග් ලිපි කියවන්න එන්න බැරි වීම ගැන කණගාටුයි. ඉහතින් තියෙන්නෙ පරිවර්තනය කරපු තුන් වෙනි පරිච්චේදය. මේක අමුවෙන් තියෙන්නෙ, තවත් කීප වරක් සංස්කරණය කරන්න ඕනෙ. එහෙම උනත් මම හිතුවා ඔයගොල්ලන් මේක කියවන්න කැමති වෙයි කියලා.

Friday, April 1, 2022

අවසානයේ අතුරු කතා... 1


ෆයර්මවුන්ට් කොළණිය ලෙසින් ඉංග්‍රීසි පාලකයන් විසින් නම් කෙරුණු, ගිණිමලේ ඉපැරණි ජනාවාසය වසරේ වැඩි හරියක් ම මීදුම සහ වළාකුළු නිසා අඳුරු වී පැවතුණේ ය. නිතර වැටෙන කුඩු වැස්ස, කඳු මුඳුන් ඉහළින් ගළා යන සුළඟ විසින් ඒ මේ අත විසුරුවන්නේ හිතු මතේ ය. රවුම් ගල් ගෙඩිවලින් ආකූල වුණු, සිඳී යමින් පැවති දියපාරවල් වංගු ගැසෙමින් පුරන් වූ කුඹුරු මැදින් ගලාගෙන යද්දී හිරිමල් කෙල්ලන් හෙමින් සිනාසෙන්නා මෙන් මුණු මුණු හඬ නැඟුනි. හේන් කෙටීමෙන් ම ලඳු කැලෑ බවට පත් ව තිබූ, කඳු මුහුණත් බොහොමයක් අලුතින් වල් කෙටී, කෝපි පැල ඉන්දවීමට යටත් වී තිබුණේ ය. කඳු මුදුන දක්වා ඒකාකාරීව පැතිරුණු කෝපි වගාව ඔස්සේ නෙත් හෙළූ ටිකිරි බණ්ඩා ගේ දෑස් හැකිළුණේ කඳු මුදුනේ සිටි අසරුවාගේ අඳුරු සේයාවෙනි.

"තුඃ...!" බිමට කෙළ ගැසූ ටිකිරි බණ්ඩා ආපිට හැරුණේ ය.

පුරන් වූ හෙල්මලු කුඹුරේ නියර පිටින් ලියද්දට බට ඔහු, අඩ දණින් වැටී, වියළි පස් හා දිරා ගිය පිදුරු අතගෑවේ ශෝකයෙනි.

"අප්පච්චී..." 

ටිකිරි බණ්ඩා නැගිට්ටේ ඇසිල්ලකිනි. තම අඩ දියණියගේ කටහඬ ඇසුණු දෙසට ඔහු දිවගියේ ය. යන්තමින් නවයොවුන් වියට එළඹෙමින් සිටි දැරිය ගොවි රාළගේ ගෙපැලේ මිදුලේ පසෙක වූ ගල්තලාව මත නැග, සිය කැපකරු පියා දිව එන දෙස බලා සිටියා ය.

"හා හා... මේ ගොම්මං වෙලාවෙ එලි පහලියට එන්ට එපා, මයෙ පුතේ..."

"ඉතිං අප්පච්චි ගියෙ...?" 

"හා හා... ඒ පණ්ඩිතකං තියාගමු. යමු පුතේ ගෙට." ඔහු දැරියගේ සුරතින් අල්ලාගෙන ගෙයි එළිපත්තට ගොඩ විය.

"මොකද අප්පච්චි? හැන්දෑවෙත් තියෙන්නෙ දවාලෙ තියෙන දේවල් ම තමා. මොන එහෙකට ද බය වෙන්නෙ?"

"උඹ නං කියයි ඉතිං..." ටිකිරි බණ්ඩා එළිපත්තේ වූ උස් පිළේ වාඩි වී, කරේ වූ ලේන්සුව දිගහැර, උරහිස් මතින් පොරවා ගත්තේ ය.

"අදත් අර වතුකාර හාම්පුතා අස්සයගෙ පිටේ නැගලා උන්නා කවුඩං ගල මුදුනෙ." ටිකිරි බණ්ඩා කීවේ ලොකු මැණිකේ හෙවත් සිය වැඩිමහල් දියණිය ගෙනැවිත් දුන් අඩි වළඳ අතට ගනිමිනි. "උන්දැල කන්දෙ කැලේ කැපුවට පස්සෙ තමා අපේ කුඹුරු වේළිලා ගියෙ. බඩ්ඩිංගක් කාගන්ට නෑ මේ සුදු හැතිකරේ හින්දා..." ඔහු අඩි වළඳේ වූ තලපයෙන් කඩා ගත් ‌බිඳක්, එහි ම වූ මිරිස් හොදි ආනම සමඟ දවටා මුවෙහි ලා ගත්තේ ය. 

"කොයි කාලෙත් එකයි." කීවේ බාල දියණිය ය. "සුද්දො නැත්තං රටේ රාළලා, නිළමෙලා... ඔය කොයි ඇත්තොත් කෙරුවේ තමුං සැප සුවන්දිරං විඳින එක මිසක්, ගම්මුයි ගොවිතැනුයි බලා හදාගන්න එක නෙමෙයි..." 

"මේ බලන්ටකො අප්පච්චි" ලොකු මැණිකේ පිළ මත කකුල් නවා වාඩි වුණා ය. "මේකිගෙ පැහිච්චකම! උඹ සුද්දට කලිං උන්නු ඔය කියන රටේ රාළලා, නිළමෙලා දැකල තියෙනවද මුතූ?"

"ඒ කාලෙ විතරක්යැ? ඔය දැනුත් ඉන්නෙ අපේ නල්ලමලේ ආරච්චිලා, විදානෙලා..." ඈ පිල මත සිටි ටිකිරි බණ්ඩා අසල දණ ගසාගෙන කට ඇරියේ, සුළු පියාගෙන් තලප කටක් කවා ගැනීමට ය.

*    *    *

ගිණිමලේ නියම්ගම පිහිටියේ කහටගස්තලාවේ ය. කඳු වළල්ලෙන් වටවූ තැනිතලා ප්‍රදේශය වෙත වැටුණු අඩිපාරවල් කඳු වටා ඇදුණු දැවැන්ත සර්පයන් වැනි ය. අනාගතයේ දී ජනාකීර්ණ වීමේ ඉරණම සැඟවී තිබූ කන්දෙ වැව ජලාශය සුළඟින් රැළි නඟමින් පැවතිණ. ඒ අසළින් පටන් ගන්නා කුඩා මඩු දහයක් දොළහක් පමණ වූ නියම් ගම කඩ මණ්ඩියට ඉදිරිපිටින් සති පොලේ තාවකාලික ඇටවුම් සවිකර තිබුණි. බඩු විකුණන්නන්ගේත් ගැනුම් කරුවන්ගේත් නිරන්තර ඝෝෂාවෙන් ආකූල වූවකි, කහටගස්තලාවේ ‌සති පොළ.

ටිකිරි බණ්ඩාත්, ලොකු මැණිකේත් තමන්ගේ ගෙවත්තෙන් නෙලාගෙන ඇවිත් තිබූ එළවලු හා පළතුරු ටික විකුණා ඉවර වෙන්නට ආසන්න ය. දැන් දැන් බඩුවල මිල කියන්නේ ඉතා ම අඩුවෙනි. ගැනුම් කරුවන් විසින් මුලින් මුලින් තෝරා, දැන් ඉතිරිව ඇත්තේ ද වටිනාකම කිව නොහැකි සිඟිති, අඩුපාඩු සහිත භෝග ස්වල්පයක් පමණකි.

එක්වරම වෙළෙන්දියන්ගේ කෑ කොස්සම මොහොතකට නතර විය. එසැණින් දකින්නට ලැබුණේ යටිගිරියෙන් කෑගසමින් ඒ මේ අත දුවන මිනිසුන්, ගැහැණුන් හා ළමයින් රැසකි. අසු කුර ගැටෙන හඬ ඒ හඬ ද මැඩගෙන පැතිර යන්නට විය. අසු කුරවල ගැටී ඒ මේ අත විසි වන ගල් කැට ඊතල මෙන් වේගයෙන් විසිරෙයි.

මිනිසුන්ගේ ඝෝෂාවෙන් සහ කලබැගෑනියෙන් කුළප්පු වූ අශ්වයෝ දෙදෙනෙක් ඉදිරි ගාත් ඔසවා හේෂාරවය කළහ. උන්ගේ පිටේ නැග සිටි අඳුරු කබා කාරයෝ දෙදෙනා අසුන් මෙල්ල කර ගැනීමට අසීරු තැතක් දැරූ හ. පිමි දෙක තුනක් පැන ආ එක් අශ්වයෙක් නතර වුනේ ටිකිරි බණ්ඩාගේ එළවලු පඩංගුව අසළ ය. නැවත නැවතත් ඉදිරි ගාත් ඔසවමින් බිම ගසමින් වටේ කැරකැවුණු අශ්වයාගේ කුරවලට හසුවූ පඩංගුව ඉවතට විසි වෙද්දී, දවසේ වෙළෙඳාම මඟින් ටිකිරි බණ්ඩා රැස්කරගෙන තිබූ දුම්කොළ, ලුණු, තුනපහ, රෙදි පිළි වැනි හුවමාරු භාණ්ඩ සියල්ල සීසීකඩ ගියේ ය.

අවට විසිරුණු බඩු බාහිරාදිය රැක ගැනීමට පියා දිව යාම වළක්වා ගැනීම, දියණියන් දෙ දෙනාට කළ හැක්කක් නොවීය. සමහර හදිසි අවස්ථාවන් හි දී කෙතරම් පැසුණු මිනිසෙකු වූව ද කටයුතු කරන්නේ ප්‍රකෘති බුද්ධිය විසින් නොව දෛවය විසින් මෙහෙයවීමෙනි. භයානක අත්දැකීමේ කම්පණයෙන් තැති ගැනුණු ලොකු මැණිකේ, සිය අඩ නැගණිය තදින් බදාගෙන කඩ මැස්සේ කොණක ගුළි ගැසී සිටියා, සිය දෑස් ඉදිරිපිට අශ්වයාගේ කුර පහරට සිය පියා හසුවෙනු දුටුවා ය. නැවත නැවතත් ඉහළ පහළ ගිය අස් කුර... බැස යන හිරු කිරණ වැදී රිදී පැහැයෙන් බැබළුණු ලාඩම්... ඊළඟ වාරයේ නැවතත් ඉහළට එසවෙද්දී ලාඩමේ වැකී තිබුණු ලේ...


Saturday, December 18, 2021

අන්ධ මරණය - අවසාන කොටස

3 වන කොටස...

අපට දවසකට වඩා නිවාඩු ගන්නට හැකි නො වීය. සවස හයට පමණ පිටත් වූ අපි රෑ වන විට කොළඹ ට ළඟා වුණෙමු. 

මේ තාක් මට, අප යන්නේ කොයිබට දැ යි දැන ගැනීමට අවස්ථාවක් නො ලැබිණ. එහෙත් අපගේ ගමනාන්තය ශ්‍රී පුර යැයි ප්‍රාන් කියූ විට මම විස්මයෙන් යුතුව ඊට එරෙහි වීමි.

"ඒක භයානකයි." මම කීවෙමි. "කොහොමටත් රෑ එහෙ යන එක... රෑට පාර දෙපැත්තෙ ම කොටි."

"මම දන්නවා." ප්‍රාන් කීය. "ඒත් මම ඒ අවදානම දරන්නෙ, මේ කේස් දෙක ම විසඳගන්ඩ තියෙන උනන්දුව එයිට වඩා වැඩි නිසා."

දිගු විස්තරයක් කෙටියෙන් කියන්නේ නම්, අපි කොළඹින් රෑ නවයට පිටත් වූ නගරාන්තර බස් රථයක් අල්ලා ගන්නට සමත් වූයෙමු. බසයේ ආසන ගණනට සෙනඟ සිටියේ නැත. ඉදිරි ක්‍රියාමාර්ග ගැන සිතේ කිසිදු කළබලයක් නොමැතිව ප්‍රාන් නින්දට වැටු‌ණේ ය. මහ රෑ කළුවර හේතුවෙන් අප පසුකර යන මාර්ගයේ දැකීමට කිසිවක් නොවී ය. පැය බාගයකට පමණ වරක් යන්තම් ආලෝකවත් වූ, ඇතැම්විට ටවුමකැයි කීම පවා නොවටින ස්ථානවල බසය මඳ වේලාවකට නතර කෙරුණි. මා පමණක් කාන්සියෙන් ඇැහරගෙන සිටින්නේ මන්දැයි සිතූ මම ද නින්දට වැටුණෙමි.

හදිසියේ යමෙකු මගේ උරහිසින් අ්ලලා සෙමෙන් සොලවනු දැනී මම අවදි වීමි. 

"ඇයි? කොටිද? අපි කොහෙද?"

"කොටි නෙමෙයි, අපි දැන් ශ්‍රී පුර ට කිට්ටු කරල ඉන්නෙ. තමුසෙට මතකයි නේද ලෙයාන් ගෙ ගෙදරට යන පාර?"

"ඔව්."

ප්‍රාන් නැවත නිහඬව කල්පනාවට වැටුණේ ය. සිතිවිල්ලෙන් බරවූ වන ම, ඔහු උඩ සාක්කුවෙන් සිගරැට් පැකැට්ටුවක් ගෙන, මා වෙත දිගු කළේ ය. ඒ වන විට අප බෝගස් හන්දිය පසුකර සිටියෙමු. ශ්‍රීපුර ට තව පැය බාගයයි.

අපි පදවි ශ්‍රීපුර බස් නැවතුමෙන් බසින විට වේලාව පාන්දර හයට පමණ විය. අපි බස් නැවතුම සමඟ ම වූ කඩ මණ්ඩිය දිගේ ඇවිද ගියෙමු. සිවිල් යුද්ධය ට මැදිවූ දිළිඳු නගරයක් වූ මෙහි, පාරෙන් අනෙක් පස ඇඹරුම් හලක් ද, පොල් අතු සෙවුණු සැලුන් එකක් ද විය. තවමත් උදා නොවූ හිරු ඉහළට යොමු කළ රැස් දහරින් කඩමණ්ඩිය යාන්තමින් ආලෝකවත් වෙමින් පැවතුණි.

පාර පැන අපි සැලුන් එකට වම් පැත්තෙන් වැටුණු අතුරු පාරට හැරුණෙමු. ප්‍රාන් කළිසමේ සාක්කුවෙන් බබල්ගම් දෙකක් එළියට ගත්තේ ය.

"ඕනෙ වෙලාවක බබල්ගම් තියෙනවද සාක්කුවෙ?" මම ඔහු දික් කළ බබල්ගම් එක ගනිමින් ඇසීමි.

"මේක පුරුද්දකට ගිහින්. හිත එක දේකට යොමු කරගන්න..."

අපි කිලෝ මීටර් දෙකක් පමණ ඉදිරියට ඇවිද ගියෙමු. අප පසුකරගිය ප්‍රදේශයේ පැවතුණේ අඳුරු කැටිති සේ දිස් වූ කුඩා පඳුරු හා කොළ හැලුණු ගස් පමණි. කුකුළෙකු හෝ දෙ දෙනෙකු හඬළනු ඉඳහිට ඇසුණි. පොළොව බදාගත් තුනී මීදුම, හාත්පස පැතිරි මඳ අඳුර ට හවුල් විය. ගෙයක් දොරක් දකින්නට ලැබුණේ ඉඳ හිට ය.

මම එකවර ම නැවතුණෙමි. එතැන පාරේ වම් පස වූයේ හොඳින් ඉදි කරන ලද සරුසාර ගෙයකි. පාර අයිනේ ම වූ කුඩා ළිඳක් ද, එතැනින් ඈතට පැතිර ගිය ගල් තලාවක් ද විය. 

"හරි..." මම පාරේ දකුණු පසට හැරුණෙමි. "මෙතන තමයි. මේ තියෙන්නෙ ලෙයාන් ගේ ගෙදර." දකුණු පස වූ කුඩා නිවස මම ප්‍රාන් ට පෙන්වූයෙමි. එය බ්ලොක් ගල්වලින් බැඳි කපරාරු නොකළ, උළු සෙවිලි කළ ගෙයක් විය. 

"එහෙනම්..." ප්‍රාන් පහත් හඬින් කීය "මං ගෙදර පිටිපස්සෙ දොර ගාවට යනව. තමුසෙ ඉස්සරහින් කතා කරනවා."

ප්‍රාන් පිළිකන්නට ගියේ ය. මම දොරට තට්ටු කළෙමි. නමුත් හැල හොල්මනක් නොවීය.

"ගෙදර කවුද?"

එහෙත් පිළිතුරක් නැත. මම තවත් උස් හඬින් කතා කළෙමි.

"ගෙදර කවුද?"

ගේ ඇතුළෙන් කසු කුසුවක් ඇසිණ. කීප මොහොතකින් දොර ඇරුණේ ය. 

"ඇයි?" ඉදිරියට ආ ලෙයාන් ම‌ා හඳුනාගත්තේ නැත. 

"මම ගන්කන්දෙන්. වික්‍රම ගැන හොයන්න ආවෙ."

එක්වනම ඔහුගේ මුහුණ වෙනස් විය. එසැණින් පිටුපස දොර වේගයෙන් ඇරෙන හඬ ඇසුණි. ඉන්පසුව ඇසුණේ පොර බදන හඬකි. මම අඩ අඳුරේ ම පිළිකන්නට දිව ගියෙමි. එතැන දෙදෙනෙක් වූහ. එකෙකු යට කරගෙන බෙල්ල මිරිකාගෙන උන්නේ ප්‍රාන් නම් නොවී ය.

"නැගිටපන්, වෙඩි තියන්ඩ කලින්!" මම නිරායුධ දකුණත දිගු කරගෙන කෑ ගැසීමි. ඔහු අනෙකාගේ බෙල්ල අතහැර හිස ඔසවා මා දෙස බැලීය. 

ඒ මුහුණ දැකීමෙන් මම ගල් ගැසුණෙමි.

"වික්‍රම!" මට කියැවුණේ නිතැතිනි. 

අපැහැදිලි ලෙස කෑ ගැසූ වික්‍රම පැන දුවන්නට ගත්තේ ය. ඔහු දිව ගියේ ගෙය පිටුපසින් ඇරඹි ලඳු කැළෑව තුළට ය. ඒ අතර ප්‍රාන් කඩිසර ලෙස නැගිටගත්තේ ය. 

"එහෙන් කොහෙටද දුවන්න පුළුවන්?" ඔහු වික්‍රම දිව ගිය දිසාව දක්වමින් ඇසී ය.

"දිගට ම ගියොත් කුඹුරු යාය. ඊට පස්සෙ මඩ වගුරක් තියෙනව. සමහරවිට මිනිහ දෙපැත්තෙ තියෙන පාරවල් දෙකෙන් එකකට වැටෙන්න දුවනව ඇති."

"පාරවල්වලට ගියොත්?" 

"දකුණු පැත්තෙ පාරෙන් මිනිහට ටවුමට ආහැකි. අනිකෙන් බෝගස් හන්දියට හරි වැලිකන්ද පැත්තට හරි ගියෑකි."

"එහෙනම් ඉක්මන් කරමු." කියමින් ප්‍රාන්, වික්‍රම දිව ගිය දෙසට දුවන්නට විය. මම ද ඔහු අනුගමනය කළෙමි.

කටු පඳුරුවල පැටළෙමින් අපි හැකි පමණ වේගයෙන් දිව්වෙමු. ඈත සැලෙන කුඩා අඳුරු ඡායාවක් අපට ඉළක්කය විය. නාගොඩ පොලිස් විද්‍යාලයේදී ලද ‌විධිමත් පුහුණුවෙහි ප්‍රතිඵල ලැබෙන්නට ගත වූයේ තත්පර කිහිපයක් පමණි. අරුනළු නැගෙමින් හාත්පස යාන්තමින් ආලෝකවත් වෙද්දී අපි අඩියෙන් අඩිය වික්‍රම ට කිට්ටු කළෙමු. තැන තැන දිගු කෘෂ ඇඟිලි අහසට දිගු කරගත් අඳුරු මායාකාරියන් බඳු කොළ හැළුණු ගස්, ඒ අතර ඝනව වැඩුණු කුඩා පඳුරු අතරින් අපට දිවීමට සිදු වූයේ අසීරුවෙනි. නින්දකින් පසු ප්‍රබෝධමත්ව සිටි අප කෙතරම් වේගවත් වූව ද, මර බියෙන් දුවන දිවීමට එරෙහිව එය ප්‍රමාණවත් නොවීය. 

අපි කිලෝ මීටරයක් පමණ වික්‍රම ලුහුබැන්දෙමු. අඩියෙන් අඩිය අසීරුවෙන් අපි පළායන්නාට කිට්ටු වීමු. ක්‍රම ක්‍රමයෙන් ඔහු දුර්වල ව යන බව පෙනුණි. දහඩියෙන් නැහැවුණු මගේ සිරුර උණුසුම් විය. ම‌ගේ හදවත පපුවෙන් එළියට එන්නට තරම් තදින් ගැහෙමින් පැවතිණ. 

"ඒයි! අර බලනවා..." ප්‍රාන් ගේ හඬින් මම නැවතුණෙමි. අප ඉදිරියේ වූයේ මීදුමින් වැසුණු, පළාතක් වසාගෙන පැතිරුණු කුඹුරු යායයි. පළා යන්නා නොනැවතී කුඹූරට පැන නියරවල් දිගේ දිව යන්නට විය. 

"තමුසෙ අර පාර දිගේ එනව." ප්‍රාන් හතිළමින් කීවේය. "වික්‍රම අනික් පාර දිගේ ටවුම පැත්තට යන්ඩ ආවොත් මම බලා ගන්නම්." 

මම නිහඬව වම් පැත්තේ වූ පාර දෙසට දිව ගියෙමි. කෙලින් විහිදුණු එම පාර කිලෝ මීටරයක් පමණ ඈතින් පිහිටි දැවැන්ත වැව අයිනෙන් වම් පසට හැරී වැලිකන්ද දෙසට විහිදිණ. මම පාර දිගේ කුඹුර අයිනෙන් දිව ගියෙමි. කුඹුර මැද වික්‍රම වැටෙමින්, නැවතත් නැගිටිමින් දුවමින් සිටියේ ය. හිමිදිරි පාන්දර පින්න හා සීතල මැඩ ගෙන වැගිරුණු දහදියෙන් නෑවීගෙන මම ඉදිරියට ම දිව ගියෙමි. වික්‍රම කුඹුරු යායෙන් එගොඩ වී මඩ වගුර අසළට ළඟා විය. එතැනින් වෑකන්ද මතට ගොඩ වූ ඔහු හැරුණේ මා දුවගෙන ගිය පාර දෙසට ය. එය දුටු විගසින් මම කෑගැසුවෙමි.

"ඔහොම නැවතියන්!"

මම කෑගසමින් ම දිව ගියෙමි. වෑකන්දට තවත් තිබුණේ අඩි කීපයක් පමණි. 

"ඔහොම හිටපන් වික්‍රම"යි කෑ ගසමින් මම වෑකන්ද දිගේ වික්‍රම සිටි දෙස ට දිව්වෙමි. කිසි කතාවක් නොමැති ව පළා යන්නා ආපසු හැරී වෑකන්ද දිගේ දකුණු පැත්තට දුවන්නට පටන් ගත්තේ ය. මා ඉදිරියට දිවූ නමුත් වික්‍රම සහ මා අතර පරතරය මීටර දෙසීයකට ද වැඩි විය. කඩතොලු වූ වෑ කන්දේ පස් කණ්ඩි අතර දිවීම දහවලක පවා අසීරු කාර්යයක් විය. කෙසේ හෝ අපි පය පැකිළෙමින්  දිව්‌වෙමු. 

මට හති වැටෙන විට වික්‍රම මහ පාරට කිට්ටු කර සිටියේ ය. ඔහු පාර අසළ නැවතී දෙ පස බැලුවේ ය. වම්පස වංගුවට එපිටින් වූ හමුදා මුරපොළ ඔහු සිටි තැන ට නොපෙණුනි. එහෙත් අවසානයේ ඔහු හැරුණේ දකුණු දෙසට ය. ඉන්පසු මහ පාර අයිනේ වැවී තිබූ ඇකේෂියා හා කුඹුක් ගස් ගොන්නෙන් වික්‍රම වැසී ගියේ ය.

මම හතිළමින් දිව ආවෙමි. මහපාරට ගොඩ වූ මම වික්‍රම දිව ගිය පැත්තට හැරුණෙමි. මහ පාර අයිනේ දණගසාගත් වික්‍රම අත් ඉහළට ඔසවාගෙන සිටියේ ය. ඔහු ඉදිරියට පිය නගමින් සිටියේ රිවෝල්වරයක් අතින් ගත් ප්‍රාන් ය. 

අපි නැවතත් ලෙයාන් ගේ ගෙදරට ළඟා වීමු. නිවස පරීක්ෂා කිරීමට වැඩි වේලාවක් ගත නොවූවා සේ ම, කිසිවක් සොයාගැනීමට ද ‌හැකි වූයේ නැත. 

අපට උදෑසන දහයේ බසයට ගොඩ විය හැකි විය. අපි පසුපස ආසනයේ වාඩි වීමු. අපේ සිරකරු නිහඬව ම අප දෙදෙනා අතරින් වාඩි විය. 

"ප්‍රාන්," මම කතා කළේ බසය පිටත් වූ පසු ය. "වික්‍රම මෙතන නම්, කවුද මැරුණෙ?"

"කණිෂ්ක..." ප්‍රාන් ගේ මුවින් එය පිටවනවාත් සමඟ ම වික්‍රම ගේ දෑසින් කඳුලු හැලෙන්නට විය.

"මම හිතුවෙ නෑ එහෙම වෙයි කියල. මං මල්ලිට මහන්සි වෙලා ඉගැන්නුවෙ, රස්සාවකට දැම්මෙ, ඔය ටික බලාගෙන නෙවෙයි."

"මට‌ තේරෙනව වික්‍රම" ප්‍රාන් කීය. "මේ සිද්ධිය තමුසෙ අතින් සිද්ධ වුණා. එක්කො හදිසි කෝපය. නැත්තම් බීමතින්, නැත්තම් ඔය ‌දෙකම. දැන් කරන්ඩ දෙයක් නෑ. අපිත් කරන්නෙ රාජකාරිය, කණගාටුවෙන් වුණත්..."

"අරක්කු තමයි ඔක්කොට ම මුල. තමුසෙල දන්නවනං වෙච්ච දේ..." 

"මම දන්නව පසුබිම. ‌ඒ වෙලාවෙ තමුසෙට වෙන විකල්පයක් තියෙන්ඩ නැතුව ඇති." 

ආපසු කොළඹට එන තුරුම, අප අතර එතරම් කතා බහක් ඇති නොවීය. වික්‍රමගේ සිතෙහි වූ පසුතැවීම හා කළකිරීම අපට ද බලපෑවා මෙන් ම, මග දෙපස වියළී ගිය පරිසරය, තැනිතළාව හා කණාටු ගස් ඒ හැඟීම තීව්‍ර කළේ ය.

*    *    *

"ඉතින් ආනන්ද," ප්‍රාන් මා ඇමතීය. අපි බ්‍රිස්ටල් වීදියේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආපන ශාලාවේ මේසයක් දෙ පස, බියර් බෝතල් දෙකක් ඉදිරියේ වාඩි වී සිටියෙමු. 

"තමුසෙ පුදුම වුණා නේද වික්‍රම දැක්කහම?"

"ඇත්තටම මට හිතාගන්ඩ බෑ කොහොමද මේ ඔක්කොම වුනේ කියලා..."

"හරිම සරළයි නේ, ආනන්ද. තමුසෙ දැකපු දේවල් ම තමයි මාත් දැක්කෙ. දැන් බලනව මේ මිනී මැරුම. මිනිය විකෘති කරල තිබුණු විදිහට ඒක පේන්නෙ පළිගැනීමක් විදිහට. ඒත් මූණටයි දකුණු අතටයි ඇර වෙන කිසිම තැනකට හාණි කරල තිබුණෙ නෑ. පළිගන්ඩ වික්‍රම මරපු කෙනෙක් ඇයි එහෙම කරන්නෙ?

"අනික් අතට, සපත්තු. තමුසෙ හිතනවද, මිනිහෙක් මරලා, ඒ මිනිහගෙ සපත්තු ගළවලා විසි කරන්ඩ කාටවත් හේතුවක් හරි වෙලාව හරි තියෙනවද කියලා?

"අනික් කාරණේ මුද්ද."

"මුද්ද?"

"ඔව්. තමුසෙ දකින්ඩ ඇති වික්‍රම ගෙ මුද්ද තිබුණෙ මිනියෙ ඇඟිල්ලෙ මැදක් හරියෙ. ඒ කියන්නෙ තිබුණු තැනින් උඩ. එහෙම වෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නෙ. එක්කො මුද්ද ගළවගන්ඩ ගිහිල්ල. සුදු යකඩ මුද්දක් ගළවගන්නෙ මොන විදිහෙ හොරෙක් ද? එතකොට හිතන්ඩ වෙන්නෙ මුද්ද හදිසියෙ ඇඟිල්ලට දාල කියන එක."

"‌පොර බදද්දි මුද්ද උඩට ඇවිත් වෙන්ඩ බැරිද?"

"නෑ නෙ ආනන්ද. ඒක ‌හරිම තද මුද්දක්. මහන්සි වෙලා ගැළෙව්වොත් මිසක් ඒක එහා මෙහා වෙන්නෙ නෑ."

"හරි. ඉතින්?"

"වික්‍රමගෙ මුද්ද මිනී මරුවා මිනියේ ඇඟිිිල්ලට දාල නම්, මිනිය වික්‍රමගෙ නෙමෙයි, වික්‍රම තමයි මිනීමරුවා. ඒක සරළ සමීකරණයක් වගේ. මං කලින් කියපු හැම දෙයක් ම ඒකට ගැළපෙනවා.

"තමුසෙ දන්නවද, මිනියක මූණ විකෘති වෙලා හරි නරක් වෙලා හරි නිසා අඳුනගන්න බැරි නම්, මැරුණු බවට සැක කරන තැනැත්තගෙ පින්තූරෙකුයි, ඒ ප්‍රමාණෙම මිනියෙ මූණෙ පින්තූරෙකුයි අරන් සංසන්දනය කරනවා. එතනදි සැළකිලිමත් වෙන්නෙ නහයෙ මුළ, හක්කෙ නෙරුම්, ඉස්සරහ දත් කියන කොටස්වලට. ඒත් මේ මිනියෙ ඒ හැම තැනක් ම කැඩෙන්ඩ පහර දීලා තිබුණා. ඒ තැන් ඇරෙන්ඩ වෙන කිසිම තැනකට මොනවත් කරලා තිබුණෙ නෑ. ඒකෙන් පැහැදිළියි මිනිය අඳුනගන්නවටයි මේක කරල තියෙන්නෙ කියලා.

"හැබැයි තව දෙයක්, මූණට මේ තරම් හාණි කරලා තිබුණත් මරණ පරීක්ෂණයෙදි මේ වික්‍රම නෙමෙයි කියලා සැකයක් ඇති වුණේ නෑ. ඒකෙන් මොකද්ද දැනෙන්නෙ?"

"වික්‍රම ට ගොඩක් ම සමාන හැඩ හුරුකම් තියෙන කෙනෙක්"

"ඔව්. මැරුණ කෙනා ගැන අපි තව දෙයක් දන්නව. ඒ එයාට කළු ඇස් නොතිබුණු බව."

"මට තේරෙනවා. මිණීයෙ ඇස් කළුපාට වුණා නම්, මිනීමරුවා ඒ ඇස් එහෙම ම තියෙන්න අරිනවා. මොකද වික්‍රමගෙ ඇසුත් කළු පාට නිසා."

"ඔව්. එතකොට මේ මැරිලා තියෙන්නෙ, බළල් ඇස් තියෙන. ගොඩක් දුරට වික්‍රමට සමාන කෙනෙක්. ඒ එක්කම කණිෂ්ක අතුරුදහන් වෙනවා. ඒ දෙන්නා සෑහෙන දුරට එක වගෙයි. ඒ වගේ ම කණිෂ්ක ගෙ බළල් ඇස් තිබුණෙ කියලා තමුසෙ මයි මට කිව්වෙ. අනික මිනීමැරුමට කලින් වික්‍රම අන්තිමට දකින වෙලාවෙ දෙන්නා එකට හිටියෙ."

"මොකද්ද ඉතින් වික්‍රම ට කණිෂ්ක මරන්න තියෙන හේතුව?"

"ආ... ඒක තමයි මගෙ අනිත් කේස් එක. බලන්ඩ, අපි කුඩු විකුණපු කොල්ලො දෙන්නෙක් ඇල්ලුවා. ඊට පස්සෙ කණිෂ්කට වික්‍රම එක්ක කතා කරන්න උවමනා උනා. කණිෂ්ක අතුරුදහන් උනාට පස්සෙ සිහි විකල් වුණු කොල්ලො දහ දොළොස් දෙනෙක් හම්බ වුණා. ඒ ඔක්කොම මොකක් හරි ඩ්‍රග් එකකට ඇබ්බැහිවෙලා ඉඳලා, හිටි හැටියෙ ඒක නොලැබීම නිසා තමයි ඒ තත්ත්වෙට පත් වෙලා තිබුණෙ.

"අනික් අතට කණිෂ්ක බොහොම වියදම්කාර, සෙල්ලක්කාර ජීවිතයක් ගත කළේ. පබ් එකක ගිණුම් කටයුතු කරන කෙනෙකුට ඒ තරම් පඩියක් ලැබෙන් නෑ. නමුත් මිනිහ කාටවත් ණය වෙලත් නෑ. මේ ඔක්කොම ගත්තම මොකද්ද හිතෙන්නෙ?"

"ඒ කියන්නෙ කණිෂ්ක තමයි මේ ටවුමෙ ඩ්‍රග් ඩීලර්?"

"ඔව්"

"එතකොට එදා කණිෂ්ක, වික්‍රම ට කියන්න ඇති එදා දවල් අල්ලපු කොල්ලො දෙන්න නිදහස් කරල දෙන්න කියල?"

"එහෙම නැත්තං නඩු භාණ්ඩ උස්සන්ඩ වෙන්ඩත් පුළුවන්..."

"වික්‍රම මල්ලි නිසාවත් තමන්ගෙ රාජකාරිය පැහැර හැරලා නෑ එතකොට?"

"ඔව්. මිනී මැරුමෙන් පස්සෙ වික්‍රම තමන්ගෙ ඇඳුම් මල්ලිට අන්දලා තියෙනවා. සපත්තුවලටත් ඒකම කරන්න කරදර හින්දා ඒව විසිකරල යන්ඩ ඇති."

"එතකොට ඇයි දකුණු අතේ හම අයින් කරල තිබුණෙ?"

"අතේ තිබුණු මොකක් හරි ලකුණක් අයින් කරන්ඩ නේද?"

"ඉතින් කණිෂ්කගෙ දකුණු අතේ මොකවත් එහෙම ලකුණක් තිබුණෙ නෑනෙ."

"ඔව්. ඒ උනාට වික්‍රමගෙ අතේ පච්ච කොටල තිබුණා පොලිසියෙ ලාංචනය."

"මං හිතුවෙ මිනියෙ තිබුණු ලකුණක් අයිං කරල කියලා."

ප්‍රාන් සිනාසුණේ ය. "ඒකෙ අනික් පැත්ත.

"වික්‍රම මිනීමරුව නම්, එයා පැනල යන්නෙ කොහෙට ද? කාත් කවුරුවත් උදව්වට නැති තැනකට පැනල යන එක අවදානම්. මොකද, මිනී මැරුම ගැන හොඳ ප්‍රසිද්ධියක් දුන්න ‌ටීවී, පත්තර වලින්. අනික, මිනිහගෙ හැම සම්බන්ධතාවක් ම තිබුණෙ, මේ ටවුම ඇතුලෙ විතරයි, ශ්‍රීපුර ලෙයාන් ඇරුණම."

*    *    *


වික්‍රම ට එල්ලුම් ගස නියම වූයේ නැත. රිමාන්ඩ් භාරයට පත්වූ දිනට පසු දින උදෑසන, ලේ නහරයක් සිදුරු කරගැනීමෙන් වූ අධික රුධිර වහනයෙන් ඔහු මිය ගොස් සිටිනු හමුවිය.

ඒ අතර, මම පසුවදා ගන්කන්ද පොලිස් ස්ථානයට වාර්තා කළෙමි. මා එක දිනකට නිවාඩු ගෙන දින තුනක් සේවයට වාර්තා නොකර තිබුණි. මා සිතූ දෙය ම සිදු විය. දෝෂාරෝපණ වර්ෂාවකට පසු, සාජන්ට් දැල්කඳුර තනතුර හැරයාමේ නිවේදනය මා වෙත දමා ගැසී ය.



Monday, December 13, 2021

අන්ධ මරණය - 3 කොටස

උදෑසණින් ම මා සමඟ ප්‍රාන් එළියට බැස්සේ රම්බෝ හමුවීමට යාම සඳහා ය. අපට පාරට බැස යාමට හැකි වූයේ ටික දුරක් පමණි. අප ඉදිරියට වේගයෙන් ඇදී ආ තද නිල් පැහැ කොරොල්ලා 141 රථයක් අප පසුකර අඩි පහක් - හයක් පමණ ගොස් නතර කෙරිණ. එවිගස ම එහි වම් පස ඉදිරි දොර ඇරී සිවිල් ඇඳුමින් සැරසුණු උසැති අයෙක් එළියට ආයේ ය.

2 කොටස...

"පොඩ්ඩක් ඉන්න"යි මට කී ප්‍රාන් අඩියට දෙකට ඔහු අසළට ගියේ ය. ඔවුන් අතර පහත් හඬින් වූ කතා බහක් ඇති විය. පසුව උස මිනිසා තම වොලට්ටුව ගෙන යම් මුදලක් සහ ලියවිල්ලක් ප්‍රාන් අත පත් කළේ ය. ප්‍රාන් එය තම වොලට්ටුවේ රුවා ගනිද්දී, ඔහුගේ උරහිස ට තට්ටු කළ අමුත්තා මෝටර් රථයට ගොඩ විය. ඒ වන තුරුත් පණ ගැන්වූ ගමන් ම පැවති මෝටර් රථය ඒතැනින් ම යූ හැරවුමක් කර ආ වේගයෙන් ම අප පසු කරගෙන ඇදී ගියේ ය.

"ඒ කවුද?" මා දෙසට එන ප්‍රාන් ගෙන් මම ඇසී මි.

"ආනන්ද, තමුසෙට ඒ ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා."

ඔහු ඒ වන තුරුත් වොලට්ටුව සාක්කුවේ දමා ගෙන නොතිබුණි. මා සමඟ තවත් පියවර කීපයක් ඉදිරියට ගිය ඔහු, ගස් සෙවණක නතර වී එය දිග හැරියේ ය. එහි එක් සාක්කුවක වූ තද නිල් පැහැ කාඩ් පතක් එළියට ගත් ඔහු;

"පොඩ්ඩක් මේක බලන්න..."යි කියමින් මා වෙතට දිගු කළේ ය. 

මුලින් ම මගේ දෑසට ලක් වූයේ එහි  මුද්‍රණය කර තිබූ ඡායා රූපයයි. එක් වරට ම නොවූවත් එය ප්‍රාන් ගේ රුව බව මට හඳුනා ගත හැකි විය. ඉහළින් ම සටහන් වූ CID අකුරු තුන මා දුටුවේ දෙවැනි වර බැලීමේ දී ය. ඡායා රූපයට යටින් "පොලිස් පරීක්ෂක ප්‍රාන් අරණගන්විල M.A. Criminology and Criminal Justice, LLB" යන්න  සඳහන් විය. 

මම ප්‍රාන් දෙස බැලුවෙමි.

"ආනන්ද, මම කොස්තාපල් කෙනෙක් නෙවෙයි. සීඅයිඩී එකේ සීනියර් ඉන්ස්පෙක්ටර් කෙනෙක්. මම මෙහෙට ආවෙ, මේ ටවුමෙන් මුළු දිස්ත්‍රික්කෙට ම කුඩු බෙදා හරින ස්මග්ලර් ගැන හොයන්න. ඒකට පොලිසිය  ඇතුලෙන් සපෝට් එක ලැබෙන බවට සැකයක් තිබුණා. 

"දැන් මේ ඇවිත් කිව්වෙ වික්‍රමගෙ හොමිසයිඩ් කේස් එකත් බලන්න කියලා"

"එතකොට මේ ආවෙ සීඅයිඩී එකේ ඔෆිසර් කෙනෙක් ද?" මා වැටී සිටි වික්ෂිප්ත බවින් ඒ වන විටත් මම සම්පූර්ණයෙන් මිදී නොසිටියෙමි.

"ඔව්. මේ ගැන දන්නෙ තමුසෙ විතරයි. තමුසෙ මට උදව් කරනවද?"

"ඕනෙ දෙයක්..." මම එකඟ වීමි.

"මගෙ මෙහෙ වැඩ කටයුතු ඉවර වේගෙන එන්නෙ. තව පොඩි දෙයක් දැනගන්න තියෙනවා. ඊට පස්සෙ මිනී මරුවා අල්ලගන්න මට තමු‌සෙ ගෙ උදව්ව ඕනෙ වෙනව..."

"මිනීමරුව කවුද කියල හිතාගෙන ද ඉන්නෙ දැනට ම?"

"ඔව්."

කෙරීගෙන යන දෙබසක් එක් වරම නතර කොට, සියල්ල පෙට්ටගමක ලා වසා දමන අන්ද‌මේ වචන සහ ඒ වචන පිට කරන තානයන් ඇත. ඉහත කී "ඔව්" යන්න ද එවැන්නක් විය. මස්කඩයට යන තුරු ම මෙම සිදු වීම් පිළිබඳ කල්පනා ජාලයෙන්මමගේ හිස බර වී තිබුණි. අපට එවර නම් රම්බෝ සුජීව කොටු කර ගත හැකි විය.


කාකි පාට දැකීමෙන් ම රම්බෝ සුජීව කලබලයට පත් වූ බව පැහැදිළි ව පෙනුණි. නිරුවත් තරබාරු උඩුකය පුරා දහදිය ගළන්නට වූයෙන් ඔහු ගේ නොසන්සුන් බව මොනවට පෙනිණ. නමුත් අපට මුහුණ දීමට ඔහු ට සිදුවිය. අපි කෙලින් ම කාරණයට බැස්සෙමු.

"අපට කියනවා, පෙරේදට කලින් දා රෑ එකොළහට විතර තමුසෙ කොහෙ ද හිටියෙ කියලා..."

"එදා සර්, අපි කඩේ වැහුවට පස්සෙ මම කෙලිම්ම ගෙදර ගියෙ සර්..."

"කීයට විතර ද?" ප්‍රාන් ඇසී ය.

"අටහමාරට විතර සර්..."

"ගෙදර තව කවුද ඉන්නෙ?"

"මගෙ අම්මයි නෝනයි ඉන්නව සර්..."

"තමුසෙ ඒ වෙලාවෙ ගෙදර යනව තව කවුද දැක්කෙ?"

රම්බෝ සුජීව චකිතයෙන් මෙන් වට පිට බැලී ය.

"සෑර්..." මගේ පිටුපසින් සිටි යමෙක් කතා කළේ ය. මම ඒ දෙස හැරුනෙන්, එහි සිටි වයසක පාහේ මිනිසා දුටුවෙ මි. "සෑර්... රම්බෝ මුදලාලි මාත් එක්ක තමයි එදා ගෙදර ගියෙ සෑර්. පහුවදා වත්තෙ පොල් වලවල් කපන්ඩ තියෙනව කියල එදා රෑ ම මාත් එක්කරගෙන ගියා සෑර්..."

"එහෙම ද?" ප්‍රාන් මඳක් කල්පනා කළේ ය. "තමුසෙල දෙන්න දැන් එනව අපි එක්ක පොලිසියට. මේ කියපු දේවල් අපි කොළේක ලියල දෙනව තමුසෙලට අස්සං කරන්ඩ..."

රම්බෝ සුජිව ගෝලයාට කඩය බලා ගන්නට කියා, කමිසයක් ගෙන නිරුවත් උඩුකයට ලාගෙන බොත්තම් දමමින් ම මගට බැස්සේ ය. ඒ අතර ම ප්‍රාන් සාක්කුවෙන් ගත් බබල්ගම් එක් මා වෙත දිගු කළේ ය. මම නිහඩව ම එය ගත්තෙමි. පොලිසියට ළඟා වන තුරු ම අප දෙදෙනාගේ ප්‍රමුඛ කාර්යය වූයේ බබල්ගම් සැපීම ය. 

මෙතෙක් සිදුවූ සිදුවීම්වල තිබූ එක පිට එක කඩා වැටීමේ ස්වභාවය හේතුවෙන්, ප්‍රධාන භූමිකාව බවට මේ වන විට පත්ව සිටි ප්‍රාන් පිළිබඳව යමක් සඳහන් කිරීම අතපසු වී ගියේ ය. කෙසේ වුව ද මම ඔහු දෙස සැළකිල්ලෙන් බලන්නට වූයේ ද මේ අවස්ථාවේ දී ය. 

මා කලින් ද සඳහන් කළාක් මෙන් ම, ප්‍රාන් ‌කිසිදු අයුරකින් එදිනෙදා දකින්නට ලැබෙන පොලිස් කාරයෙකුගේ ස්වරූපය පෙන්නුම් කළේ නැත. අඩි පහ-මාරක් පමණ උසැති වූ හෙතෙම ඊට සරිලන සාමාන්‍ය මහතකින් ද යුතු විය. පොලිසියට හුරු හැඟීම් විරහිත, තැළුණු - පොඩිවුණු තෙල්පැහැගත් මුහුණ වෙනුවට ඔහු සතු වූයේ ගණිතඥයෙකු හෝ දාර්ශනිකයෙකුගේ යැයි කිව හැකි සුමුදු බැල්මක් සහිත, ගැඹුරු කල්පනාවන්ගෙන් හැඩගැසුණු දිගැති මුහුණකි. නිතරම සිතිවිල්ලෙන් පසුවන අන්දමේ බැල්මක් ඔහුගේ මළාණික දෑසේ විය. එඒහත් උවමනා විට එය තියුණු වීමට ද හුරු බව සැළකිල්ලෙන් බලන්නෙකුට ප්‍රකට විය.

ඕනෑ ම දරුණු තත්ත්වයකට හෝ අභියෝගයකට හැඩ ගැසිය හැකි බව පෙනුණු ශක්තිමත් සිරුරක් ඔහු සතු විය. ඒ දෑත් දෙපා සෑම විටක ම ක්‍රියාත්මක වූයේ ඒවා ට ස්වාධීන බුද්ධියක් තිබුණාක් මෙනි.

ප්‍රාන් වෙතින් ම මා පසුකාලයක දී උගත් විමර්ශනාත්මක උපක්‍රම ඒ වන විට මා සතුව නොතිබුණෙන්, ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක ප්‍රාන් අරණගන්විල ගැන මා හට නිරීක්ෂණය වූයේ එපමණකි. මා සතුව තිබුණේ, ‌කලුතර පොලිස් විද්‍යාලයෙන් උගත් විමර්ශන උපක්‍රම හා එහිදී ලබාගත් කුසලතාවන් පමණකි. වසර හයක් වූ මාගේ රාජකාරි දිවියෙන් සහ වයස්ගත මව සමඟ ගත කළ හුදෙකලා ජීවිතයෙන් ද තනිව තීරණ ගැනීමේ සහ ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ යම් පන්නරයක් මා ලබාගෙන තිබුණි. උපන් ගමෙහි වූ පොලිස් ස්ථානයේ ම මාගේ අනාගතය විසඳා ගැනීමට අපේක්ෂා කළ මම යම් ස්ථාවර ජීවිතයක් ගොඩනගා ගනිමින් සිටියෙමි.

සාජන්ට් දැල්කඳුර ද රම්බෝ සුජීව ගෙන් ඇසුවේ නොවැදගත් ප්‍රශ්න කීපයක් පමණකි. එය මට එතරම් ඇල්ලුවේ නැත. රම්බෝ රෑ අට හමාරට ගෙදර ගිය ද, රෑ එකොළහ වවන විට නිවසේ ම රැඳී සිටිය බව තහවූරු වන සාධක හෙලි වූයේ නැත. 'සමහර විට...' මට සිතුණේ ය. '...සමහර විට මෙහෙ ම කරන්නෙ රම්බෝ ගෙ බය නැති කරල වැඩි විස්තර හොයාගන්න වෙන්නත් පුළුවන්...?'

"ආනන්ද, තමුසෙ මොකද හිතන්නෙ මේ ගැන?" රම්බෝ සුජීව කට උත්තරයට අත්සන් තබා පිටව ගිය පසු ප්‍රාන් මගෙන් ඇසී ය.

"මම හිතන්නෙ රම්බෝ ගෙදර ගිහින් දහයට විතර ආපහු එන්න ඇති, කණිෂ්ක අල්ලගන්න හිතාගෙන. නමුත් එතකොට කණිෂ්ක හිටියෙ තනියම නෙවෙයි."

"එතකොට මිනිහ තනියම මිනිස්සු දෙන්නෙක් ම මරල තියෙනවා?"

"..."

"හොඳයි, අපි එහෙම හිතමු. එතකොට කෝ කණිෂ්කගෙ බොඩි එක?"

"සමහරවිට වික්‍රම තනියම ආපහු එද්දි, පබ් එක ගාව පාලු වත්ත හරියෙදි කලුවරේ... කණිෂ්ක කියල හිතල මැරුවද දන්නෑ? දෙන්න ම ගොඩක් දුරට එක වගේ නෙ. වෙනසකට තිබුණෙ කණිෂ්කගෙ බළල් ඇස් දෙකයි, වික්‍රමගෙ දකුණු අතේ තිබුණු පච්චෙයි විතරයි."

"ඒත් වික්‍රම හිටියෙ යුනිෆෝම් එකෙන් නෙ. ඒකත් අඳුනගන්න බැරි වෙලා ද, මස්කඩ කාරයට?"

ඒ තර්කයට මම දුර්මුඛ වීමි.

"ඒක නෙවෙයි ආනන්ද. අර පබ් එකේ අයිතිකාරය එදා කියපු ලෙයාන් කොහෙද ඉන්නෙ?"

"ආ... මිනිහ ශ්‍රී පුර නෙ ඉන්නෙ. මායි වික්‍රමයි කීප සැරයක් එහෙ ගිහිං ඉඳල තියෙනව."

"එහෙමද? ඒ කියන්නෙ තමුසෙයි වික්‍රමයි අතරෙ හිතවත්කමක් තිබිල තියෙනව?"

"ඔව් ඉතිං. අපේ නෑදෑ වෙන නංගි කෙනෙක් එක්ක වික්‍රමගෙ පොඩි පළහිලව්වක් තිබුණ. පස්සෙ ඒ නංගි වෙන කෙනෙක් බැන්දා පවුලෙ අයගෙ බළ කිරීමට. ඇත්තම කිව්වොත් නංගි බැන්දෙ පබ් එකේ අයිතිකාරය, ගමිත්. වික්‍රම බැන්දෙ නැත්තෙ ඒක නිසා කියලත් සමහරු කියනව."

එතැනින් අපේ සංවාදය අවසන් විය. මට මේ සිද්ධිය ගැන නිවීහැනේ සිතන්නට කල් වේලා ලැබෙන්නට කලින් නගරයේ අවසිහියෙන් හැසිරී අත්අඩංගුවට පත් තරුණයන් ගැන වෛද්‍ය වාර්තාව දකින්නට ලැබුණේ ය. මා දකින විට එය තිබුණේ ප්‍රාන් ගේ අතේ ය. මම ද එයට කරපොවා බැලූයෙමි. 

ප්‍රාන් නොසැළකිල්ලෙන් එය මා අතට දුන්නේ ය. එහි වැඩි යමක් සඳහන් නොවී ය. කොළයේ වැඩි කොටසක් වෙන් ව තිබුණේ එම තරුණයන් ගේ රුධිර හා මුත්‍ර සාම්පල සම්බන්ධයෙන් සිදු කළ විවිධාකාර රසායනාගාර පර්යේෂණ හා ඒවාගේ ප්‍රතිඵල ගැන ය. ඔවුන් සියලු දෙනා යම් කිසි ඇබ්බැහිවන සුළු මත්ද්‍රව්‍යයකට හුරු ව සිට එය නොලැබීමෙන් විවිධාකාරයේ ශාරීරික හා මානසික බිඳවැටීම්වලට පත්ව ඇතැයි යන්න එහි අවසන් නිගමනය විය. ඒ හෙරොයින්, නැතහොත් මෙතැම්ෆිටමින් වැනි දෙයක් විය හැකැ යි එහි සඳහන් විය.

සවස ප්‍රාන් මා සොයාගෙන ආයේ ය. මම සිටියේ පැමිණිලි පොත සම්බන්ධ රාජකාරියකට සහය වෙමිනි. 

"ආනන්ද, පොඩ්ඩක් මෙහාට එනවකො." යි ඔහු මා පසෙකට කැඳවාගෙන ගියේ ය. "තමුසෙට පුළුවන් ද හෙට  පාන්දර මාත් එක්ක ගමනක් යන්ඩ එන්ඩ?"

"පුළුවන්" මට තිබුණේ සවස අම්මාගෙන් සමුගැනීම පමණකි. 

"හැබැයි දවස් ‌තුන හතරක් යන්න පුළුවන් මේ ගමනට. සිවිල් ඇඳුමෙන් යන්න තියෙන්නෙ. සල්ලි ගැන ප්‍රශ්නයක් කරගන්න ඕනෙ නෑ"

"දවස් හතරක් නේද?"

"ඇයි ප්‍රශ්නයක් ද?"

"නෑ නෑ..."

"එහෙනං, හෙට උදේ පාන්දර හතරෙ බස්එකෙන් පිටත් වෙමු. හරිනෙ එහෙනම්?"

"නිවාඩු ගන්න එක තමයි ප්‍රශ්නෙ..."

"අපි දවසකට නිවාඩු ගම්මු. ඊට වඩා දෙන්නෑනෙ සාජන්ට්. ඉතුරු හරිය මං බලා ගන්නම්. එහෙනම් එනවනෙ?"

"ඔව්... හරි... යමු." මගේ වචන මට ම කන්නට සිත් විය. 'දවස් හතරක්...' මම කල්පනාවට වැටුණෙමි. සාජන්ට් දැල්කඳුරත්, ඕඅයිසී ගොඩගමත් දැඩි සිත් ඇති නිලධාරීන් ය. එකි දිනකට නිවාඩු දමා ගොස් දින තුන හතරක් සේවයට නොපැමිණීමෙන් ඇති වන්නේ ඉතා අප්‍රසන්න තත්ත්වයකි. ප්‍රාන් එය විසඳන්නේ කෙසේ ද?

කෙසේ වෙතත්, මම මගේ වචනය දී හමාරය. ප්‍රාන් ඒ යෝජනාව කළේ පැහැර හැරිය නොහැකි තරම් ස්වරයකින් හා වචනවලිනි. මා යා යුතු ම ය!


අවසාන කොටස...


Monday, December 6, 2021

අන්ධ මරණය - 2 කොටස

1 කොටසට...

එසේ කණිෂ්ක ද අතුරුදන් විය...

මිනීමරුවා කණිෂ්ක ද? නැතහොත් ඔහු එහි හවුල් කරුවෙක් ද? කණිෂ්කගේ අතුරුදන් වීම වික්‍රම‌ ගේ මරණය හා සම්බන්ධ වන්නේ කෙසේ ද? නැත්නම් පිටස්තර ඝාතකයෙකු සහෝදරයන් දෙදෙනාගේ ම ඉරණම ගැන වගකිවයුතු ද? වික්‍රම මරා දැමීමට කිසිවෙකුට අවශ්‍ය වන්නේ ඇයි? අප ඉදිරියේ ප්‍රශ්න ජාලයක් විය. යම් ආලෝකයක් ලැබීම උදෙසා ය මම ෂැංහයි පබ් එකට ගොඩ වැදුණේ. වික්‍රම ගේ මිනී මැරුමට දින දෙකක් ගත වී තිබුණි. 


සාජන්ට් දැල්කඳුරට මගේ අදහස දැනුම් දී එළියට බසිද්දී ප්‍රාන් ද ගමනට එකතු විය. 

පබ්එකේ දී අපට කණිෂ්කගේ සේවා යෝජකයා හමු විය. මා ඔහු සමඟ කතා කරමින් කෙටි සටහන් තබා ගනිද්දී, සිගරැට්ටුවක් දල්වා ගත් ප්‍රාන් නොසැළකිල්ලෙන් බියර්හල පුරා ඇවිදින්නට විය. සමහරෙක් නම් අනාගතයේ කිසිම දාක රාජකාරියට බැඳුණු ප්‍රායෝගික පොලිස් පරීක්ෂකවරයෙකු නොවනු ඇති බව මා සිතුවේ කෝපයෙනි.

අප ආපසු එද්දී ප්‍රාන් මා හා දොඩමළු විය.

"මොනවද ධනුෂ්ක ගැන දැනගන්න ලැබුණෙ?" ඔහු ඈණුමක් අරිමින් ඇසී ය.

"ධනුෂ්ක නෙමෙයි, කණිෂ්ක! කණිෂ්ක...!"

"සොරි සොරි ආනන්ද. මං මෙහෙට මාරු වෙලා ඇවිත් මාස දෙකයි නෙ. ඔය නම් ගම් මට පැටළෙනව තව කාලයක් යනකං. ඉතිං මොනවත් දැනගන්න ලැබුණද?" 

මම පිළිතුරු දුන්නේ නැඟී එන කෝපය මැඩගනිමිනි. "කණිෂ්ක එතන ගිණුම් කටයුතු, පොත් භාරව වැඩකරල තියෙනව. බොහොම දක්ෂ, හොඳට ඉගෙනගත්ත කෙනෙක්..."

"ආ..."

"එයා පොඩි කාලෙදි ම අම්මයි තාත්තයි මැරුණා. මිනිහගෙ අයිය වික්‍රම තමයි මිනිහ මේ තත්ත්වෙට ගෙනාාවෙ.

"කණිෂ්ක වැඩිය අතීතය ගැන කතා කරන්න කැමති කෙනෙක් නෙවෙයි ලු. පොඩි රස්සාවක් කළා උනත්, කාටවත් ණය වෙලත් නෑ."

"ඔය වගේ තරුණයො ගොඩක් දෙනා ඔහොම තමයි. ඉතින්?"

"ඉතිං..." මම කීවෙමි. "ම්... කණිෂ්ක හැබැයි සෙල්ලක්කාරයෙක් කියලයි කියන්නෙ. මිනිහට නිවාඩු තියෙන හැම වෙලාවක ම එක්කො බාර් එකේ. නැත්තම් පබ් එකේ තියෙන පූල් ටේබල් එකේ. ස්පා දෙක තුනක් ම එක්කත් කිට්ටු ආශ්‍රයක් තිබිල තියෙනව.

"කණිෂ්කගෙ බොස් ට මේ සිද්ධිය ටිකක් සැකයි. මොකද කියනවනං, මේ ළඟදි මිනිහ බාර් එකේ දි වලියක් දාගෙන තියෙනව, මස්කඩේ මුදලාලිත් එක්ක. දන්නවනෙ ස්ටේෂන් එක ගාව මස්කඩේ? ඒක කරන්නෙ රම්බෝ සුජීව කියල කෙනෙක්. මිනිහ කියල තියෙනව ළඟදි ම කණිෂ්ක ව මරණවයි කියල. එදා ඉඳන් කණිෂ්ක හැම තිස්සෙ ම දිග කිණිස්සක් ඉණේ ගහගෙනයි ඉඳල තියෙන්නෙ. ඒ උනාට තමන්ගෙ ගමන් බිමන් එහෙම නවත්තලා නෑ. ඒවා පුරුදු විදිහට ම කරගෙන ගිහින් තියෙනව."

"දැන් එතකොට මොකද්ද අපේ ඊළඟ පියවර?" ප්‍රාන් ඇසීය. "මස් කඩේටත් යනවද?"

මට ඒ පිළිබඳ කිසිදු අදහසක් නොවී ය. නමුත් අලුතින් අපේ පොලිස් ස්ථානයට ස්ථාන මාරු වී ආ මේ අලසයා මට වඩා දක්ෂයෙකු ලෙස පිළිගැනීමට මට අවශ්‍ය වූයේ නැත. 

"යමු! අපට අහුවෙන කිසිම හෝඩුවාවක් අතාරින්ඩ නරකයි. අනික රම්බෝ සුජීව වගේ මිනිස්සු එක්ක කරන ගනුදෙනු ඉක්මන් කරන්න ඕනෙ."

"එහෙනම් යමු." ප්‍රාන් කළිසම් සාක්කුවට අත යැවී ය. ඉන් එළියට ගත් බබල්ගම් එකක් මා වෙත දිගුකළෙන්, මම එය මැඩගත් කෝපයෙන් යුතුව ප්‍රතික්ෂේප කළෙමි.

"නෑ එපා. තමුසෙ ම කනව." 

ඔහු එහි දවටනය ඉරා විසි කර, කටේ දමාගෙන සෙමෙන් සපන්නට විය.

ඉනික්බිති මස් කඩයට යන තුරු අප අතර වචන කිසිවක් හුවමාරු වූයේ නැත.

අප යන විට රම්බෝ සුජීව මස් කඩයේ සිටියේ නැත.

"එයා ‌මේ දැන් හිටිය." කඩේ වැඩට සිටි කොලුවා බියපත් ලිලාවෙන් කීයේ ය. "කොහෙ ගියා ද දන්නෑ"

"දන්නෑ?" මම තරමක වේගයෙන් ඇසීමි. "වෙනදත් මෙහෙම යනතැනක් දන්නැතුව මුදලාලි අතුරුදහන් වෙනවද?"

"ඒ්කනම් සර් මේ... ‌කවදත් මුදලාලි යන එන තැන් අපට කියන්නෑ."

"අපට දැනගන්න ඔ්නෙ, පෙරේදා රෑ රම්බෝ සුජීව කොහෙද හිටියෙ කියලා... "

"පෙරේදා..." කොලුවා මඳක් කල්පනා කළේ ය. "පෙරේදා අපි අටට විතර කඩේ වැහුවා. ඊට පස්සෙ මුදලාලි ගෙදර යනව කියල ගියා."

"තමුසෙ හරියටම දන්නෑ?"

"නෑ සර්..."

"මිනිහා වෙනදටත් කඩේ වහල කෙළිම්ම ගෙදර ද යන්නෙ?"

"ගොඩක් වෙලාවට සර්... සමහර දවස්වල බාර් එකටත් ගිහින් පැයක් දෙකක් පරක්කු වෙලා තමයි ගෙදර යන්නෙ."

"හොඳයි..." මෙතෙක් නිෂ්ප්‍රයෝජනව හුන් ප්‍රාන් කට ඇරියේ ය. "රම්බෝ සුජීව ආපු ගමන් පොලිසියට එන්න කියනව, කට උත්තරයක් ගන්ඩ"

අපි ආපසු හැරුණෙමු. පියවර දහයක්වත් යන්නට ලැබුණේ නැත. 

"පර බල්ලො! තොපි කණිෂ්කට මොකද කළේ...?"

අවුරුදු දහ අටක පමණ සුදුමැළි කෙසඟ තරුණයෙක් උල් පිහියක් අමෝරාගෙන අප වෙතට කඩා පැන්නේ ය. ඔහු සිටියේ හොඳ සිහියෙන් නොවූ බව පැහැදිලිව පෙනුණි. 

"තොපි... තොපි කණිෂ්කට මොකද කළේ? පොලිස් බල්ලො..." තරුණයා වමතින් මගේ කොළරයෙන් අල්ලා සොළවමින් කෑගැසුවේ ය. ඉහළට එසවුණු උල් පිහිය මගේ මුහුණ ඉදිරියෙන් දිළිසුම් දෙමින් වැනෙන්නට විය.

මෙතෙක් ගැලී සිටි ආලස්‍යයෙන් එක්වරම මිදුනු ප්‍රාන්, තරුණයා වෙත පැන, පූර්ණ නෙල්සන් ග්‍රහණයෙන් හෙවත් පොලිස් ගැටයෙන් ඔහු හසු කරගත්තේ ය.

"අතෑරපියව්ව්ව් තොපි පොලිස් බල්ලො..." ඔහු කැගසමින් දඟලන්නට උත්සාහ කළේ ය. මම ඔහුගේ දකුණත අඹරවා එහි වූ පිහිය උදුරා ගත්තෙමි. එය සාමාන්‍ය එළවලු කැපීමට ගන්නා කුඩා පිහියක් විය. ඉන්පසු අවට රැස්වූ පිරිස මැදින් අපි ඔහු පොලිස් ස්ථානය වෙත දක්කාගෙන ගියෙමු. එම මුළු ගමනේ දී ම කතා කළේ අපේ සිරකරුවා පමණි. "මිනී මරුවො" "පරයො..." වැනි වදන්වලට තම ප්‍රියතම වදන වූ "බල්ලො" යන්න ඔහු නොමසුරුව මුසු කළේ ය.

අපි පොලිස් ස්ථානයට ළග වන විට කණිෂ්කගේ සේවා යෝජකයා වූ පබ් එකේ භාරකරු එහි විත් සිටියේ ය. ඔහුගේ අත්සන ගැනීමට කටඋත්තරය ලියාගත්තේ මා විසිනි. ඒ අතර ප්‍රාන් අපේ සිරකරුවා ඇතුළට ගෙන ගියේ ය. ඔහු කණිෂ්ක මැරූ බව කියමින් කෑ ගසන්නට විය. ඒ ඇසූ කණිෂ්කගේ සේවා යෝජකයා සිනාසුණි.

"මැරිල ඉන්නෙ කණිෂ්ක නෙවෙයි නෙ"

"මොකද්ද ඒකෙ තේරුම?" මම ඇසීමි.

"නෑ සර්... අපි දන්නෑනෙ හරියට ම. සමහරවිට මිනිහා කොහෙ හරි හැංගිල ඉන්නවද දන්නෑනෙ. අනික... කොහොමත් කණිෂ්ක එහෙම ලේසියෙන් මරාදාන්න පුළුවං පුතෙක් නෙමෙයි"

"හැංගිලා නං කොහෙද කණිෂ්ක ඉන්න ඉඩ තියෙන්නෙ?"

"වික්‍රම ගෙ හොඳ ම යාළුවෙක් ඉන්නව අනුරාධපුරේ පැත්තෙ. අයියයි මල්ලියි මීට කලිනුත් එහෙ ගිහිල්ල තියෙනව."

"අනුරාධපුරේ කොහෙද?"

"අනුරාධපුරේ ට එහා. පදවිය ශ්‍රී පුර... ශ්‍රී පුර ලෙයාන් කිව්වම පදවිය ටවුමෙ ම ප්‍රසිද්ධයි" 

"ඒ් උනාට පත්තරවල ගියානෙ වික්‍රම මරා දාල ය, කණිෂ්ක අතුරුදහන් ය කියලා. එතන ඉන්නෙ වික්‍රමගෙ හොද ම යාළුවෙක් නම්, කණිෂ්ක එහෙ ගියා නං එහෙදි බෙල්ල මුලිම්ම අහු වෙනවනෙ." එතැනට එමින් ම අපගේ කතා බහට කන් දීගෙන සිටි ප්‍රාන් කීවේ ය.

"ඒකත් ඇත්ත..." මම කට උත්තරය ලියා අවසන් කරමින් කීවෙමි. "හොඳයි, තව කොහෙද ඒ වගේ කණිෂ්කට යන්න පුළුවන් තැන් තියෙන්නෙ?"

"වෙන නම් කොහෙවත් නෑ සර්. අයියයි මල්ලියි දෙන්නගෙම සම්බන්ධකම් ඔක්කොම තිබුණෙ ටවුම ඇතුලෙ ම තමයි. ඔය ලෙයානුත් උපන්දා ඉඳං මෙහෙ ඉඳලා, පස්සෙ එයාගෙ මාම කෙනෙක් ගාවට ගියා ගැරෙජ් එකක් දාගන්න, ශ්‍රී පුර."

"ආ... ලෙයාන්." මට මතක් විය. "ජපන් ටෙක් ගිය හාදයා..."

"ආන්න හරි සර්. එයා තමයි.

"ලක් එකක් තියෙනවද ළමයි?" කට උත්තරකරු පිටව යනවාත් සමඟ ම සාජන්ට් දැල්කඳුර අප වෙත ආයේ ය. මම අප විසින් ලබා ගත් කටඋත්තරය ඔහු අත පත් කළෙමි. ඔහු එය ඉතා ම ඉක්මණින් කියවා අවසන් කළේ ය.

"මේ මස්කඩේ මුදලාලි බලන්ඩ ගියෙ නෑ?"

"අපි ගියා සර්..." මම කීවෙමි.

"ඉතින්?"

"මිනිහ හිටියෙ නෑ. ඒ පාර අපි කිව්ව මිනිහට පොලිසියට එන්න කියන්න කියලා"

"මේක හරිම අවුල් කේස් එකක්, අයිසෙ. අපි ළඟ මිනීමරුවගෙ ෆිංගර් ප්‍රින්ට් එකත් තියෙනව. ඒත් ඒවයිනුත් කිසිම වැඩක් නෑ."

"හෙඩ්කෝටර්ස් යැව්වද සර්?"

"මොකද නැතුව. අද කියල එව්ව ඒ කිසිම එකක් මැච් වෙන්නෑ කියල. ඒ ගමන ඔඅයිසී ඇහුවලු මේක සීඅයිඩියට දෙන්ඩ."

"ඉතින් සර්...?" ප්‍රාන් ඇසී ය.

"ඉතින් හෙඩ්කෝටර්ස් කියල තියෙනව, සීඅයිඩියටත් දෙනවා, හැබැයි මෙහෙන් කරන ඉන්වෙස්ටිගේෂන් දිගටම කරන්න කියල."

එදින හවස් වන තුරුම විශේෂ යමක් සිදු වූයේ නැත. මස්කඩයේ රම්බෝ සුජිව අප කියූ පරිදි පොලිස් සථානයට ආවේ ද නැත. සිදු වූ එක ම දෙය වූයේ, අවසිහියෙන් නගරය පුරා විප්‍රකාර  කළ තරුණයින් දහ දෙනෙක් පමණ අත් අඩංගුවට ගෙන කූඩුවේ ලෑම පමණි. සවස් වන විට ඔවුන් සියළු දෙනා ම අප අධිකරණ වෛද්‍ය නිලධරයාට ඉදිරිපත් කළෙමු.

පසුදා උදෑසන වන තෙක්වත්, රම්බෝ සුජීව ඉදිරිපත් වූයේ නැත.

උදෑසණින් ම මා සමඟ ප්‍රාන් එළියට බැස්සේ රම්බෝ හමුවීමට යාම සඳහා ය. අපට පාරට බැස යාමට හැකි වූයේ ටික දුරක් පමණි. අප ඉදිරියට වේගයෙන් ඇදී ආ තද නිල් පැහැ කොරොල්ලා 141 රථයක් අප පසුකර අඩි පහක් - හයක් පමණ ගොස් නතර කෙරිණ. එවිගස ම එහි වම් පස ඉදිරි දොර ඇරී සිවිල් ඇඳුමින් සැරසුණු උසැති අයෙක් එළියට ආයේ ය.


මී ළඟ කොටසට...

Monday, November 29, 2021

අන්ධ මරණය - 1 කොටස

මළාණික ලා සඳ එළිය... බකමූණෙකු නඟන්නට වූ ඒකාකාර තාරතාවකින් යුත් මූසළ හඬ අවට පරිසරයට කාළකන්ණි බවක් එක් කළේය.

කටු පඳුරින් ගහන වූ තැනිතලා භූමිය කෙළවර මිනිසුන් දෙදෙනෙකුගේ අඳුරු ඡායාවන් දක්නට ලැබිණ. උස මහතින් සම වූ ඔවුන් උණුසුම් ලෙස කතා කළ බව ඔවුන්ගේ අත් පාවල වේගවත් චලනයෙන් පැහැදිළි විය. 


ඔවුන්ගේ දෙබස තව දුරටත් සුහද නොවූ බව පෙණින. ඒ සැණින් එකෙකුගේ මිට මෙළවූ දකුණත වේගවත්ව අනෙකා ගේ මුහුණ හරහා එල්ල විය. එය අනෙකා බලාපොරොත්තු වූවක් බව පෙනුනේ, ඔහුගේ ඉණට යැවුණු දකුණත ආපසු ඇදී ආවේ දිගු උල් යමක් සමඟ වූ හෙයිනි. වළා රැසකින් ආවරණය වන්නට වූ සඳින් ගැළූ අවසන් රැස් දහරින් එම දිගු උල් දෙය මොහොතකට රන්වනින් දිළිසුණි.

එසැණින් සඳ වැසී ගියේ ය. අඳුර අතරින් ඇසුනේ වේගවත් මුෂ්ටි ප්‍රහාර හ ය. කටු පඳුරු මත බරැති සිරුරු වැටෙන හඩ නැවත නැවතත් ඇසුණි.

අවසන, හුස්ම හිර වූ බිළිඳෙකු ඔක්සිජන් බිඳකට දරණ වෙහෙස බඳු සුසුම් ළෑම් සහ දැඟලිලි ශබ්දයන් නැඟී, දීර්ඝ කෙඳිරිල්ලකින් අවසන් විය. ඉන්පසු සියල්ල නිහඬ විය.

කළුවලාවන් අතරින් සඳ මෑත් වන විට සියල්ල නිසල වී තිබුණි. බිම වැටී තිබූ සිරුරේ ඇඟිල්ලකුදු සෙළවුනේ නැත. 

ඒ අතර අනෙකා...

අනෙකා වැටී තිබූ සිරුරේ හිස අසළ උක්කුටියෙන් වාඩි වී සිටියේ ය.

දිගු උල් ආයුධය සහිත ඔහුගේ දකුණත නිසලව වැටී තිබූ සිරුරේ මුහුණ මත නැවත නැවතත් වැරෙන් පතිත විය.

සිරි සිරි හඬින් පොද වැස්ස ඇද හැළෙන්නට ගති.

*    *    *

නො ඉවසිල්ල... මා පෙළමින් තිබිණ. වචනයෙන් කිව ‌නොහැකි හැඟීමක් හාත්පස පැතිර තිබූ අඳුර මා තුළ ඇති කළේ ය.

"පී සී ආනන්ද," ඒ ගැඹුරු කටහඬ මම ඇඳින්නෙමි. සාජන්ට් දැල්කඳුර... මා ඒ දෙසට හැරුණේ නිරායාසයෙනි.

"නම්බර් වන් නයිට් පැට්‍රෝල් ගිය දෙන්න තාම ආවෙ නෑ නේද? "

"ඒක තමයි සර්, මාත් මේ බැලුවෙ."

"ඊළඟට යන්න ඉන්නෙ තමුසෙයි ජනකයි නේද?"

සාජන් මා අසළ නැවතී අඳුර විනිවිදීමට මෙන් මහපාර දෙස බලා සිටියේ ය.

මා සිටි තත්ත්වය ගැන මා තුළ වූයේ නුරුස්නා හැඟීමකි. ඒ, සාජන්ට් නිසා මා තවදුරටත් හුදෙකළා නොවූ නිසා ද, නැතහොත් පරිසරයේ වූ මූසල ගතිය නිසාදැයි වෙන්කර ගැනීම අසීරු කරුණක් විය. 

රාත්‍රිය බියකරු විය. ඒ අඳුර නිසා ම නොවීය. චිරි චිරි හඬින් වට වැස්ස නිසාදෝ හාත්පස රජැයූ ලේ දක්වා කාවදින සීතල, මහපාරේ අනාරක්ෂිත වූවන් ගැන මා තුළ සානුකම්පිත හැඟීමක් ඇති කළේ ය.

"අර මොකද්ද?" සාජන්ට් මා යොමු කළ දෙසට මගේ හිස එක්වනම ‌හැරිණ.

උස් අඳුරු සේයාවක් අප දෙසට උස්පහත් වෙමින් ඇදී ආයේ ය. එයට තරමක වේගයක් තිබූ බව පෙනිණ.

සැණින් පිපිරූ අකුණක ආලෝකයෙන් ඔහුගේ ඇඳුමේ කාකි පැහැය මොහොතකට දිස් විය.

"ප්‍රාන්!" මා ඔහු හැඳින්නේ ළඟට ම ආ පසුය.

"මොකද අයිසෙ පරක්කු? කෝ තමුසෙ එක්ක ගිය වික්‍රම?" සැජන්ට් ඇසුවේ ප්‍රාන් ආලින්දයට ගොඩවීමටත් පෙර ය.

"වික්‍රම?" ඔහුගේ විදැහුණු දෑසේ වූයේ අවංක විස්මය යැයි මට පෙනිණ.

"වික්‍රම තමයි! තමුසෙ එක්කනෙ ගියෙ?"

"දැන්... ඒ කියන්නෙ, වික්‍රම ආවෙ නැද්ද මට කලින්?"

"තමුසෙට කලින්? කුණුහරුප කතා කරනවද අයිසෙ? දෙන්න එකට නෙමෙයිද ආවෙ?" සාජන්ට් ගේ තැන්පත් ස්වරයේ කෝපයක සේයාවකුදු නොවී ය. එහෙත් එය කුණාටුවකට පෙර මුහුද මතුපිට ඇතිවන නිසලතාව වැනි නිහඬ අන්තරායක හැඟීමක් අප තුළ ඇති කළේ ය.

"එකට තමයි ආවෙ ෂැංහයි පබ්එක ළඟට එනකම්..."

"එතෙන්දි...?"

"එතෙන්දි අපට වික්‍රමගෙ මල්ලි හම්බුණා."

"කණිෂ්ක..." මට කියැවිණ.

"අන්න හරි. කණිෂ්ක!"

"මිනිහ මොකද මේ මහ රෑ එතන?"

"මිනිහ ඒකෙ වැඩ කරනවලු සර්"

"ඉතින්...?"

"කණිෂ්ක, වික්‍රම ව පැත්තකට අඬගහගෙන ගිහින් මොන මොනවද කිව්වා. පස්සෙ වික්‍රම මා ළඟට ආවා. 'කණිෂ්ක ට මොනවද තියෙනවලු මට කියන්ඩ.' මිනිහ කිව්වා. 'තමුසෙ වෙපන් එකත් අරගෙන හිමිං හිමිං යනවා. මම ෂෝට්කට් එහෙකින් එන්නම්' කියලා, වික්‍රම මට ටී 56 ත් දීලා. ආපහු හදිස්සියෙන් කණිෂ්ක ළඟට ගියා. ඒ දෙන්නා පබ් එක ඇතුළට යනවා මම දැක්කා..."

"ඉතින්...?"

"ඉතින් මම හෙමින් හෙමින් එන්න ආවා. බස්ටෑන්ඩ් එක ගාව දි මට හිතුණා වික්‍රම එනකල් පොඩඩ්ක් බලන්න. මම එතන තිබ්බ පෙට්ටි කඩේකට ගිහින්, සිගරැට් එකක් පත්තු කරගෙන පාර දිහෑ බලාගෙන හිටියා. සෑහෙන වෙලාවක්... ඒත් වික්‍රමගෙ ලකුණක්වත් නෑ. 

"ඒ පාර මට හිතුණා වික්‍රම සමහර විට වෙන ළඟ පාරකින් ඇවිත් ඇති කියලා. මිනිහ මෙහෙ ටවුමෙ  ම හාදයෙක් නෙ... ඉතින් මම එන්ඩ ආවා."

"හ්ම්!" කියමින් සාජන්ට් තම නිල කාමරය තුළට ගියේ ය. එම හ්ම් ශබ්දයේ ස්වරය මට ඇල්ලුවේ නැත. එනිසා ම අපේ සගයා ඉක්මණින් එතැයි මම ප්‍රාර්ථනා කළෙමි.

නමුත් එය හිස් සිතුවිල්ලක් පමණක් ම විය.

*    *    *

වික්‍රම ගැන තොරතුරක් ලැබුණේ පසුදා ද සවස ය. ඒ ෂැංහයි පබ් එකට යාබද පාලු බිම් තීරුවෙනි.

"පොලිස් රාළහාමි කෙනෙක් මරා දාලා...!"

එසැණින් මුළු පොලිසිය ම කඩි ගුළක් සේ ඇවිස්සුණි. මිනිත්තු කිහිපයක් යද්දී, දෙදෙනෙකු හැර සෙසු සියළු දෙනා ම වූයේ පබ් එකට යාබද වත්තේ ය. පොලිසියේ රැඳුණු කොස්තාපල්වරුන් දෙදෙනා ද රැඳුනේ කැමැත්තකින් නොවේ. නමුත් කලින් දින හෙරොයින් කිලෝ ග්‍රෑමයක් සමඟ අත්අඩංගුවට ගැනුණු තරුණයන් දෙ දෙනා ගේ ආරක්ෂාවට ඔවුන් ගේ රැඳී සිටීම අත්‍යවශ්‍ය විය.

දසුන බියකරු විය...

නිල ඇඳුම ඉරී බොත්තම් කැඩී ගිය මිනිසා කළු පැහැගත් මිදුණු ලේ විලක වැටී සිටියේ ය. ඔහුගේ දකුණතේ වැළමිට සිට මැණික් කටුව දක්වා වූ ප්‍රදේශය මුළුමණින් ම තියුණු ආයුධයකින් හම ගසා තිබුණි. කැටි ගැසුණු ලේ ගුළි නිසා නොවන්නට එය හරියට ම හම ගැසූ මස් ගාතයක් ලෙස පෙනෙන්නට තිබුණි. 

ඔහුගේ ඇසිපිය විවර වී විදැහී තිබුණි. නමුත් ඔහුගේ ඇස් එහි නොවී ය. ඒ වෙනුවට තිබුණේ පිරී කැටි ගැසුණු කළු පැහැ රුධිරයයි. එම මුහුණ වික්‍රමගේ යැයි හඳුනාගත හැකි වූයේ යාන්තමිනි. 

දැඩි පහර දීමකින් නාස්පොල්ල මුළුමණින් ම බිඳ දමා තිබුණි. පොඩි වී ගිය නාස් කුහරයන්ගෙන් දෙපසට ගළා ගොස් කම්මුල් මත මිදී ගිය ලේ දහරා දෙකක් විය. ඉදිරිපස දත් කඩා දමා, හකු දෙකට ද මිනීමරුවා විසින් සමානව සළකනු ලැබ තිබුණෙන් එම පෙදෙස ඉදිමී, ගල් ගැසී, පළින් පල කැඩුණු ඇටකුටු තුඩු පේෂීන් සිදුරු කරගෙන උඩට මතු වී තිබෙනු දක්නට  හැකි විය. 

වික්‍රමගේ කාකි කමිසයේ උඩ බොත්තම් විවරවී තිබුණි. හදවත පසා කළ මාරාත්මක තුවාල දෙකක් මේස් බැනියම මත මිදුණු ලේ කැටි දෙකකින් සළකුණු විය. වැනි ම තවත් තැනක දක්නට තිබුණේ හදවතට ගිළී ගිය දිගු කිණිස්සක කැටයම් කළ ලෝහමය මිටකි. තුවාලවලින් ගැළූ රුධිරය ඔහුගේ මේස් බැනියම මුළුමනින් ම පොඟවා වියළී ගොස් තිබිණ.

මළ සිරුරේ පාදවල සපත්තු හෝ මේස් තිබුණේ නැත. වික්‍රම වමතේ මැදැඟිල්ලේ පළඳාගෙන සිටි සුදු යකඩ මුද්ද තරමක් උඩට විත් තිබෙනු ද, කමිසයේ ඇතුළත ලේ තැවරී ඇති බව ද දක්නට තිබුණි.අවට අඩි දහයක දොළහක පමණ අරයකින් යුතු ප්‍රදේශයේ පඳුරු තැලී පොඩිවී තිබුණේ දරුණු පොර බැදීමක් පිළිබඳව ඉඟි කරමිනි.

වික්‍රමගේ සපත්තු දෙක ද කොස්තාපල් ප්‍රාන් හා ජනක විසින් ඒ අතර ම සොයාගන්නා ලදි. එකක් මළ සිරුරට වම් පසින් වූ අතර, අනෙක තිබුණේ හි හිස කෙළිනි. සපත්තු දෙක ම මළ සිරුරේ සිට අඩි විස්සකට වඩා දුරින් තිබුණි. 

අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කඩිමුඩියේ කෙරෙන අතර, වික්‍රමගේ මරණය පිළිබඳ ව කණිෂ්ක ට දැනුම් දීමට තරුණ ග්‍රාමාරක්ෂක නිලධාරියෙකු සමඟ ‌කොස්තාපල් ප්‍රාන් පිටත් කරන ලදි. කණිෂ්ක, අවාසනාවන්ත පොලිස් නිලධරයා ට සිටි එකම ඤාතියා විය. නමුත් ප්‍රාන් සහ සගයා ඔහු සොයා ගිය කිසිම තැනක ඔවුනට ඔහු හමු වූයේ නැත. ගත වූ රාත්‍රියේ වික්‍රම සමඟ සිටි වේලාවේ සිට කණිෂ්ක පිළිබඳව කිසිම තොරතුරක් දත් කෙනෙකු නගරයේ නොවී ය.

එසේ කණිෂ්ක ද අතුරුදන් විය...

මී ළඟ කොටසට...

Wednesday, October 27, 2021

අවසානයක් වේ

ශාම් ගේ දුරකථනය නාද වුණෙන් සංවාදය එතෙකින් ඇණ හිටියේ ය. සිය සුරතේ වූ දුරකථනය දෙස වරක් බැලූ ඔහු කෑ ගැසී ය. 

"ඒ නිර්මලී... යං! යං!"

42 කොටස...

ඇන්ඩර්සන් ග්‍රේන්ජ් මැඳුරේ ප්‍රධාන දොරපියන් පැරණි වූ නමුත් තවමත් සවිමත් බව රැකගෙන නැඟී සිටියේ ය. එහෙත් බලැති ලැන්ඩ්රෝවරයේ වේගය සහ සවි ගන්වන ලද ඉදිරිපස බෆරයේ ශක්තිය ඊට වැඩි විය. කැඩී බිඳී විසිරී ගිය ලී පතුරු ශාලාව පුරා විසුරුවමින් ඇතුල් වූ වාහනය ගළක් ගැසුවාක් මෙන් නතර විය. සැර ආලෝකයක් විහිදූ එහි ප්‍රධාන ලාම්පුවලින් ඒකාලෝක නොවූයේ මැඳුරෙහි සුවිසල් ශාලාවේ ‌මුලු හතර පමණි. රේන්ජ් රෝවරයේ දොරවල් එක්වර විවර කරගනිමින්, එළියට පැන්නේ පිරිමින් ති දෙනෙකි. 


ඉදිරි වම්පස දොරින් බිමට බට ශාම් ‌බිඳුනු දොර දෙසට දිව ගියේ ය. ඔහු ගේ දෑත් අතරට දිව ආවේ බියපත් කන්‍යා සොයුරියයි. ඇගේ පියවුණු දෑස් සිපගත් ශාම් හෙවත් සුමන, ඇය මෘදුව කැඳවාගෙන ගොස්, ලෑන්ඩ් රෝවරයේ පසුපස අසුනේ හිඳුවා දොර වැසී ය.

ලෑන්ඩ් රෝවරය දෙස සිය රතු පැහැ දෑස් ඔරවාගෙන යමක් මුමුණමින් මොහොතක් උන් මහල්ලා, නැඟී සිටියේ වේගයෙනි. කලින් දැක්වූ දුබලකමෙහි ලකුණක්වත් ඔහුගෙන් දිස් වූයේ නැත. ඇසිල්ලක් ගසන පමාවෙන් ඔහු තරප්පු පෙළ දෙසට දිව ගියේ ය. මිත්‍ර හා ඉන්ද්‍ර ඔහු ළුහුබැඳ ගිය ද, ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් නම් නෝර්ඩික් වැම්පයරයා ගේ වේගයට සම වන්නට ඔවුන් හට නොහැකි විය.

උඩු මහලේ අඳුර ට මුසුව ගිය ඩ්‍රේක් ගේ පසුපස ළුහුබඳිමින් තරප්පු පෙළ දිගේ ඉහළට දුවමින් සිටි මිත්‍ර හා ඉන්ද්‍ර පසුපසට වැටුණේ එක්වර ම ය. උඩු මහලේ සිට ඔවුන් මත ට අඳුරු පොදියක් කඩා වැටුණු බව සුමන දුටුවේ ය. මිත්‍ර හා ඉන්ද්‍ර තරප්පු පෙළ දිගේ පහළට කරනම් ගසද්දී, අඳුරු පොදිය කෙළින් සිටගත්තේ ය. ඒ උස් මහත් පුරුෂයෙක් විය. එළියට නෙරා ආ, ගෝලාකාර ඇස් ගෙඩි, නාගයන් මෙන් ප්‍රාණවත් කෙස්, මුවින් පිටතට දික් වූ උල් දත්, අඳුරුවන් සම...

ශාලාව තුළ පැවති උණුසුම හේතුවෙන් රතුපැහැ මස්ටෑං මැක් රථයේ ජවසම්පන්න එන්ජිමේ හඬ කිසිවෙකුටත් කණට නොවැටිණ. ඇන්ඩර්සන් ග්‍රේන්ජයේ පෝටිකෝව යට නතර කෙරුණු එයින් බට, කලු පැහැ ජීන්සයකින් හා රතුවන් ටී ෂර්ටයකින් සැරසීගත් තරුණිය පඩි දෙක තුන වේගයෙන් පසුකොට, බිඳුනු දොරින් ඇතුල් වූවා ය.

රේන්ජ් රෝවරය අසල උන් ශාම්, තම අතෙහි වූ සැහැල්ලු තුවක්කුව ගරා යකා වෙත එල්ල කළේ ය. ඒ තුවක්කුව, සතුන් සිහිසුන් කිරීමට යොදාගන්නා ට්‍රැන්ක්විලයිසරයක් ලෙස තනා ගත්තක් වූ බව පෙනුණි. 

"ඒක මූට නෙමෙයි..." තාරා කෑ ගෑවා ය.

මොහොතකින් ගරා යකා ශාම් අසළ විය. ට්‍රැන්ක්විලයිසරය ඈතට විසි වන සේ පා පහරක් දුන් යක්ෂයා, නැවතත් පහර දෙන්නට සූදානම් වද්දී, වාතය කපාගෙන කරකැවෙමින් ඇදී ආ ළා නිල් පැහැති සිහින් තලයකින් යුත් කිණිස්සක් ඔහුගේ ගෙළ මුලින් කිඳී ගියේ ය. තවත් පහරකට සූදානමින් මොහොතක් සිටි තාරා, රෝල් කරන ලද පතාකයක් සේ අහසට පැන, කරණමක් ගසා ගරා යකා බිම හෙළාගෙන ඔහු මතට පතිත වූවා ය. 

ගරා යකා සුමන හෙවත් ශාම් හා තාරා සමඟ තත්පර වද්දී, මිත්‍ර හා ඉන්ද්‍ර උඩුමහලට නැඟ ගත් හ. 

මිත්‍ර ග්ලෝ ස්ටික් එකක් ගෙන දල්වා ගත්තේ ය. අඩ අඳුර දුරු වී යත් ම, තමන් වෙත එල්ල වූ රත් පැහැ දෑසක් ද, දිළිසෙන සිහින් කඩුුුුුපතක් ද ඔවුහු දුට හ. ස්වකීය මිත්‍රයා පසෙකට තල්ලු කළ ඉන්ද්‍ර අනෙක් පස ට පැන ගත්තේ, එකලාව සිටි සතුරාහට අපහසු හා එකවර මුහුණ පෑ යුතු ඉළක්ක දෙකක් ඇති කිරීමට ය.

එහෙත් ඒ වන විටත් ඩ්‍රේක් වඩා ප්‍රබල ඉළක්කය තෝරා ගෙන තිබුණි.

අද්මිරාල් ධූරයේ සම්මානිත අසිපත මිත්‍ර සිටි දෙසට එල්ල කරගත්වන ම, ඉන්ද්‍ර වෙත කඩා පිනූ ඇඩම් වමතින් ඔහුගේ ගෙළ තරයේ අල්ලා ගත්තේ ය. මොහොතින් ‌මොහොත සිය බොටුව මිරිකී යනු දැනෙද්දී ඉන්ද්‍ර සුරතින් නෝර්ඩිකයාගේ මහපටැඟිල්ල අල්ලාගෙන අනෙක් පසට නැවී ය. "ටකස්" යන හඬින් වැම්පයරයාගේ මහපටැඟිල්ල කැඩී යත් ම, අනෙක් ඇඟිලිවල ග්‍රහණය ලිහී ඉන්ද්‍රගේ ගෙළ නිදහස් විය. 

මොහොතක ට පසුුුබට වූ ඩ්‍රේක් වමත පසුපසට කරගෙන, සුරතින් ගත් අසිපත කරකවමින් සිය ප්‍රතිමල්ලවයන් දෙස මාරුවෙන් මාරුවට බැලීය. ඉන්ද්‍ර මිත්‍ර වෙත ඇස් කොණින් දැක්වූ ඉඟිය අනුව දෙ දෙනා ම තමන් වෙත කඩා පනිනු දකිමින් ඇසිල්ලක් තප්පර වූ වැම්පයරයා,දකුණු පය පසුපසට තබා, ගැම්මක් ගෙන, මිට මොළවාගත් දෑතින්  එකවර  සිය සතුරන් දෙ දෙනාගේ ම උරස් පෙදෙස්වලට බරැති මුෂ්ඨි ප්‍රහාරයක් දුන්නේ ය. කඩා පිනූ වේගය ද සමඟ වැදුණු පහරින් මිත්‍ර හා ඉන්ද්‍ර, වෙව්ලුම් කෑහ. තත්පරයෙන් සීයෙන් පංගුවකටත් වඩා අඩු කාලයක් තුළ, ඔවුන්ගේ පපු පෙදෙසින් ඇරඹි රැළි මාලාවක් සිරුරු පුරා දිව ගියේ ය. එසැණින් නැවත පිටුපස ට ගුවන් ගත වූ ඔවුහු, උඩු මහලේ ලී ගරාදිය කඩාගෙන පහත මාලයේ වූ රිදීපැහැ රේන්ජ් රෝවරයේ බොනටය මතට ඇද වැටුණහ. 

ඒ වන විට ශාම් සහ අග්නි, ගරා යකාගේ අඩපණ ව තිබූ සිරුර, ලෝහමය යොතකින් වෙලා අවසන් වූවා පමණකි. එක්වර ම රේන්ජ් රෝවරයේ වහලය මතට වැටුණු බරැති යමක් නිසා, එහි කම්පණ අවශෝෂක පහත ට ම එබී යාමෙන්, රථය පහත් වී නැවත මඳක් එසවුණු බව, රිය තුළ සිටි නිර්මලී ට දැනිණ. ඒ සමඟින් ම වාහනයේ ප්‍රධාන ලාම්පු නිවී ගියෙන්, ශාලාවේ ඉතිරි වූයේ ගිණි අඳුනින් නැඟුනු කහපාට මන්දාලෝකය පමණි. එවිගස රේන්ජ් රෝවරයේ වහළය මතින් බිමට පැන ගත්තේ උස් මහත් සිරුරැති දිගු කළු කෙසින් යුත් ජවසම්පන්න මිනිසෙකි. ඔහුගේ සිරුර ආවරණය වී තිබූ කළුවන් දිගු කබායේ කොන්, පිම්මේ වේගයෙන් උඩ විසිවී නැවත පහතට ආවේ, දැවැන්ත වවුලෙකු තටු සළන්නාක් මෙනි. 

රථයේ බොනටය මත මොහොතක් වැටුණු ආකාරයෙන් ම ගත කළ මිත්‍ර හා ඉන්ද්‍ර, බිමට පැන්නෝ ය. ඔවුන්ගේ ඇසට ලක් වූයේ ‌ඉතිහාසගතවන මට්ටමේ දසුනකි. රූගර් එස් ආර් 40 සී පිස්තෝලයක් සුරතින් ගත් අග්නි හෙවත් තාරා ගිණි උඳුන ට මඳක් ඉදිරිපසින්, මීළඟ පියවරට සූදානම්ව... ඈ වෙත මුහුණ පා, සම්මානිත කඩුපත අමෝරාගත් ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්... කඩුපතෙහි තලය මත වූ ෆ්ලර් දෙ'ලී කැටයම ගිණි උඳුනේ ආලෝකයෙන් රන්වන් පැහැයෙන් දිළිසුණි.

ශාම් රේන්ජ් රෝවරයේ පසුපස දොර අසළ සිටියේ ඊට රැකවරණය සළසන්නට සූදානමිනි. ඉන්ද්‍ර ඇඩම් වෙත කඩා පනින්නට අඩිය ඔසවත් ම, මිත්‍ර ඔහුගේ අතින් අල්ලා වැළැක්වී ය.

ගිණි උඳුනින් නැඟුනු වෙවුලන ආලෝකය, අග්නි ගේ සිරුරේ ලාලිත්‍යවත් හැඩය රන්වන් පැහැයෙන් මතු කර දැක්වී ය. බිඳුනු දොරෙන් කඩා පනින තෙත්බර සුළං රැළි ඇගේ දිගු කෙස් විහිදුවමින් හා නටවමින්... 

ඇඩම් ගේ පපුව මැද ට එල්ල කළ පිස්තෝලය සහිත දකුණත පහතට හෙලූ අග්නි, පියවර කිහිපයක් ඉදිරියට තබා නෝර්ඩිකයා වෙත සමීප වූවා ය. ඉතිරි පියවර දෙක තුන ඉදිරියට තැබූ ඩ්‍රේක්, ඈ වෙත ළංව දෑත් විහිදා ඈ වැළඳ ගත්තේ ය.

ඇගේ ඉඟ දෙපසින් නෝර්ඩිකයාගේ දෑත් පැටළිණ. බරැති කළුවන් කබායටත්, රතුවන් නයිලෝන් ටී ෂර්ටයටත් යටින් හදවත් දෙකෙහි ස්පන්දනය එකිනෙකාට දැනුණේ ඉතා දුර්වලව ය. අග්නිගේ වමත ඩ්‍රේක් ගේ ‌උරහිස් මතින් ගෙළ වටා ඇදිණ. ඇගේ නළලත ඔහුගේ දෙතොල තෙරපිණ. හිස ඔසවා ලා රත්පැහැ දෑස් දෙස බැලූ තාරා, සුරත ඔහුගේ ඉඟ වටා යවමින්, වමතින් ඇඩම් ගේ හිස මඳක් පහත් කරවා ගෙන, ඔහුගේ දෙතොල් සිපගත්තා ය.

සිපගැනීම ට කෙළවරක් නොවී ය. අග්නි ඩ්‍රේක් ගේ ඉඟ වටා යැවූ සුරතෙහි වැලමිට නවා පිස්තෝලය ඔහුගේ පිට මැඳ ට ආසන්නයෙන් තබා එහි ලිවරය තෙරපත් ම, "ටස්ස්..." හඬ නඟමින් ඉන් පිට වූ ජාතිවානේ උණ්ඩය ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් ගේ පිට සිදුරු කරගෙන ඇතුල් වී හදවත විනිවිද, දකුණු පෙනහැල්ලේ ගෑවී නොගෑවී ගොස්, දකුණු පස ඉළඇට දෙකක් අතරින් පිටතට විත්, අග්නිගේ හදවත පසා කරගෙන ගොස් ඇගේ පිට මැදින් නික්මිණ...


තවත් කොටසක් තියෙන එකක් නෑ මට හිතෙන විදිහට. නමුත් විකල්ප අවසානයක් ගැන ඔබගේ අදහස් දැනගන්න කැමතියි...

Monday, October 11, 2021

අවසානයක් නොවේ - 42

රුහිරෙන් පුදමි අවසාන කොටස

1 කොටස...

2 කොටස... 

41 කොටස...

2004 වර්ෂයේ අග භාගය...

ෆයර්මවුන්ට් නගරය පැවතියේ බදුල්ල නගරයට සෑහෙන තරම් ඈතිනි. නිරන්තර කුඩු වැස්ස සහ එය ගසාගෙන යන සුළඟ පැවතිය ද, මිනිසුන් සෑහෙන තරම් නිදහසකින් නගරයේ වීදි පුරා සැරිසරන බව පෙනුණි. ඝන මීදුම හා අඳුරු වළාවන්ගෙන් පිරි අහස දුක්මුසු මහල්ලෙකු වැනි ස්වරූපයක් නගරයට ආරෝපණය කළේ ය. හාත්පස වූ ගොඩනැඟිලිවල තීව්‍ර බෑවුමින් යුතු හතර පලයට ගැසූ වහළවල්, ඇතුළත පැවති මඳ හෝ උණුසුම රඳවාගන්නටත්, ගස්වල අතු පතර තුළින් හූ හඩ නඟමින් ගළා බස්නා තෙත්බර සුළඟින් ජනේල රැකගන්නටත් අසීරු උත්සායහක් ගනිමින්...


ෆයර්මවුන්ට් දුම්රිපොළ වේදිකා දෙකකිනුත්, එක් කුඩා ගොඩනැගිල්ලකිනුත් සමන්විත විය. කේතුධර ගස් වැවුණු කන්දත්, හෙළත් අතරින් ඉහළට නැඟී ආ දුම්රිය මාර්ගය, අඳුරු බිංගෙයක් තුළින් ඇදී, අතු කිහිපයකට බෙදී දුම්රියපොළ හරහා පැතිර ගොස් තිබුණි. කාලයකට ඉහත දී ගල් අඟුරු දුම්රියන්ට වතුර සැපයූ සිළින්ඩරාකාර ලෝහමය ටැංකිය තනි කකුලකින් සිටගෙන බුම්මාගත්වනම මළකමින් පැවතිණ. 

දුම්රිය ස්ථානාධිපතිගේ කාර්යාල තුළ සිට එළියට ආ සනත් දෑස් සිහින් කර බැලුවේය. ඔහුගේ අතෙහි ගල් අඟුරු පාර්සලයක් වූ අතර, ඔහුගේ දෑසට ලක් වූයේ එක් කාන්තාවක් සහ ගැටවරයෙකි. අඳුරුපැහැ උණුසුම් ඇඳුමක් ඇඟලාගෙන දිගු සායක් ඇඳ, දිගු මේස් පයේ ලා ගෙන සිටි කාන්තාව මැදිවියට යාන්තමින් එළඹ සිටි බව හිස් වැසුමට යටින් එළියට ආ සුදු කෙස් ගසක් හෝ  දෙකක් කියා පෑවේය. ඈ අසළ දැවටෙමින් සිටියේ, වයසට නොගැළපෙන තරමින් සංවර ව හැසිරුණු සිහින් පැහැපත් තරුණයෙකි.

දුම්රිය නළා හඬ ඇසෙත් ම, වේදිකාවේ සිටි මඟියන් හතර පස් දෙනා එතෙක් ගැළී සිටි ආලස්‍යය තුරන් විය. කුඩා දරුවන් වඩා ගනිමින්, බිම හා අසුන් මත වූ ගමන් මලු ඔසවාගනිමින් ඔවුහු දුම්රියට නැඟ ගැනීමට සූදානම් වූහ. එහෙත් ඒ කළබලය ඉන්දිරාටත් ඇගේ භාරයේ උන් ගැටවරයාටත් බලපෑවේ නැත.

රෝදවලට යෙදූ තිරිංගවලින් ලෝහමය හඬක් නඟමින් ආ දුම්රිය වේගය අඩු කරගනිමින් විත් නතර කෙරිණි. ලහි ලහියේ ඒ වෙත දිව ගිය මඟියන් නැගගන්නට උත්සුක වෙද්දී, ඉන්දිරාත් ඇගේ භාරයේ උන් ගැටවරයාත් ගෙල දිගු කරමින් බැලුවේ දුම්රියෙන් බැස යන මඟීන් දෙස ය.

දුම්රියෙන් බැසගත් නව යොවුන් දැරියක් තම උරහිසේ එල්ලාගෙන සිටි බරැති ගමන් මල්ල සකසා ගනිමින් වට පිට බැලුවාය. ඇගේ නෙත් ඉන්දිරා දෙසට ‌යොමුවද්දී දෙතොල් කොන් මඳ සිනාවකින් ඉහළට නැවුණි. ඈ කඩිසරව ඉදිරයට එද්දී, ශාම් ගේ අතින් අල්ලාගත් කාන්තාව පෙරගමන් කළා ය.

මේ සිදුවීම දෙස සනත් බලා සිටියේ විස්මයෙනි. දැරිය ඉන්දිරා සහ ශාම් ට ළං වී, සිය ගමන් බෑගය බිම තබා, සිය නැන්දණිය වැළඳ ගනිද්දී ඇගේ හිස වසා සිටි උණුසුම් ඇඳුමේ හිස් ආවරණය පසුපසට වැටුණි. ඇගේ හිසකේ අකීකරුව සුළඟ හා එක්ව කරකැවෙමින් නැටුුුවේය. ඇගේ නළලත, කුඩා නාසය, කාන්තිමත් දෑස්, හුරුබුහුටි දෙතොල් හා මුහුණේ හැඩය... සනත් හට යමක් මතක් කරවන්නාක් මෙන් විය. ඔහුගේ මතකය ඉතා වේගයෙන් අතීතයට ඇදී ගියේ වීඩියෝ පටයක් වේගයෙන් ආපස්සට ධාවනය කරවූ විටෙක මෙනි. 

මතක පටය නතර වූයේ වසර තුන්සිය තිහක් ආපස්සට ගිය විට ය. වළව්වක රඳවා සිටි සිටි රැඳවියා, තරුණියක මුහුණ පා සිටි අද්භූත මරණයෙන් මුදවා ගන්නට දිවිය කැප කොට සටන් කළ මිනිසෙක්... අවසානයේ තම ජීව රුධිරය කැප කොට ජීවත් කරවූ තරුණියක්...

සනත් නැවත නැවතත් බැලීය. දෑස් පිසදමා බැලීය... ඉන්දිරා තවමත් වැළඳගෙන සිටි තරුණිය සිරුරේ ප්‍රමාණයෙන්, අඟ පසඟින්, පෙනුමින් පමණක් නොව ඉරියවු හා කටහඬින් ද ටිකිරි මැණිකේ ධනසේකර කුමාරිහාමිය ම විය. වෙනසකට තිබුණේ ඇඳුම පමණකි.

කුඩු වැස්ස තුනී වෙමින් යද්දී, දුම්රියපොළට පිටුපසින් වූ පයිනස් කැළයට ඉහළින් අහස හරහා යාන්තමින් ඇඳුනු දේදුන්නක සේයාවක් මතු වෙමින් තිබුණි. ශාම් අත දිගු කර ඒ දෙසට සිය නැන්දණියගේ හා අමුත්තියගේ අවධානය යොමු කළේ ය. දේදුන්නේ වඩාත්ම පැහැදිලිව තිබුණේ රතු සහ තැඹිලි පාට බව සනත් තෙත්  වූ දෙනෙතින් දුටුවේ ය. 

*    *    *

මිත්‍ර, තාරා දෙස හෙලුවේ තියුණු බැල්මකි.

"කෝ කොල්ලා...?"

"උඩ කාමරේ. වොෂ් එකක් දාගෙන පහළට එන්න කිව්වා මං."

"සැකයක් ඇති නොවෙන්න කරන්න ඕනෙ."

"ඉන්ද්‍ර එන්න කලින් කරන්න පුළුවන්. මම ශක්තිට පණිවිඩේ දුන්නා."

එවිගස ම මිත්‍ර ඇලවී සිටි සෙටියෙන් නැගිට්ටේ ය. ඇඳ සිටි කළිසමේ සාක්කුවට අත යැවූ ඔහු ඉන් එළියට ගත් ස්මාට් ෆෝන් එකේ තිරය දෙස නෙත් හෙලුවේ එක් වරකි.

"කියන කොට ම එනව." ඔහු දොරින් පිටතට ඇවිද ගියේ වේගයෙනි. 

විවර කෙරුණු ගේට්ටුවෙන් ඇතුළට ආවේ ගිලන් රථයකි. එය ගල් ඇල්ලූ පෙත් මඟ ඔස්සේ අවුත් පෝටිකෝව අසළ රතුපැහැ මස්ටෑං කාරය ට පිටුපසින් නතර කෙරුණි.

ගිලන් රථයේ රියදුරා ඇන්ජිම නතර කරද්දී, වම්පස ඉදිරි දොර ඇරගෙන බැස්සේ සුදුවන් නිළඇඳුමින් සැරසුණු හෙදියකි. 

දොරකඩ සිටි තාරා, හෙදිය පිළිගත්තේ උණුසුම් ලෙසිනි. 

"ශක්ති මේ ඇඳුමට ලස්සනයි නේද මිත්‍ර?"

"ඒක අහන්න රුද්‍රගෙන්." ගිලන් රියේ රියදුරා දෙසට ඇඟිල්ල දික් කළ මිත්‍ර කීවේ ය.

*    *    *

සුභාෂ් බණ්ඩාර ධනසේකර ගෙන් ගත් රුධිර සාම්පලය අඩංගු පරීක්ෂණ නල දෙක ඇබ ගසා, ඉතා ප්‍රවේසමෙන් ශීත ඇසුරුමෙහි තැන්පත් කළ ශක්ති සියලු දෙනාටම ආචාර කොට නැවතත් ගිලන් රථයට නැඟ ගත්තා ය. ගිලන් රථය ගේට්ටුවෙන් පිටත් වන සැටි බලා උන් තාරා, සුභාෂ් නැවත උඩුමහලේ කාමරයට පිටත් කර හැරියා ය.

"ඔයා ට මෙතන ආරක්ෂාවයි. මේජර් ඔයාව හොඳට බලා ගනී. මම ආපහු එන්නම් හෙට..."

"අපේ අම්මිටයි අප්පච්චිටයි කරදරයක් වෙයිද?"

"නෑ. ඔයා බයවෙන්න එපා, මල්ලි. සීක්‍රට් සර්විස් එක ඒ ගැන බලාගන්නව."

*    *    *

දුක්මුසු රාවයක් නඟමින් පටු පාර දෙපස වැවුණු ගස්වල අතු පතර කැරකැවෙමින් පැවති සුළඟ, වැසි බිඳු ඒ මේ අත විසිරවීය. අයිස් බඳු සීතල... ගුලි ගැසුණු අඳුර අතරින් පාර අයිනේ නතර කර තිබූ වාහනයක ෆොග් ලයිට්වලින් නැඟුනු මන්දාලෝකය ඈතට පෙනුනේ නැත.

පොද වැස්ස කෙමෙන් කෙමෙන් වැඩි වෙමින්, රිදී පැහැ ලෑන්ඩ් රෝවරයේ වහළය හා වින්ඩ් ෂීල්ඩය මතට පතිත වෙමින්... සිගරැට් ලයිටරය එහි කෙවෙණියට ඔබා, පැති වීදුරුව යාන්තමින් පහත් කළ ශාම් හෙවත් සුමන, සීතල සුළඟට හිත යටින් ශාප කරමින් නැවතත් එය ඉහළට ම ඔසවා ගත්තේ ය.

"මේක හරි නොගියොත්..." ශාම් පහත් හඬින් කීය. "අර කෙල්ලට අනතුරක් උනොත්... "

"නෑ සුමන..." පසුපස අසුනේ උන් මිත්‍ර උත්තර දුන්නේ එක වරම ය. "අපි ළඟ ප්ලෑන් කීපයක් ම තියෙනවනෙ"

"කවුද දන්නෙ, ඇන්ටිඩෝට් එක වැඩකරයිද කියල?"

රියදුරු අසුනේ උන් ඉන්ද්‍ර ඔහු වෙත හැරුණේ ය. "දැන් මට කියපන්... මම උඹව රිකවරි කළේ නැද්ද?" 

"ටිකක් හිතපන් ඉන්ද්‍ර, ඩ්‍රේක් ගෙ ඇඟේ තියෙනව මුලිම්ම ලෝකී දුන්න රසායනිකය..." ශාම් සිය වමතේ දබරැඟිල්ලෙන් සුරතේ ඇඟිලි එකින් එක නවන්නට විය. "ඊට පස්සෙ රීරි යකාගෙ ජාන... ධනසේකර පරම්පරාවෙ ලේ... උඹ දන්නවද ඌ අමෘතය බිව්වද නැද්ද කියලා?" 

"ඒක නිසා තමයි ඔය හැම එකම මික්ස් කරලා මේ ඇන්ටිඩෝට් එක හැදුවෙ." ඉන්ද්‍ර කීවේ නුරුස්නා හඩිනි. "ඒ මොනව නැතත් හළාහල විෂ තියෙනව. ඇන්ටිඩෝට් එක වැරදුනත් බැරිවෙලා හරි, යූවී රේ වලින්, ජාති වානේ වලින්, ඌට හාණි වෙන බව අපි දන්නව."

ශාම් ගේ දුරකථනය නාද වුණෙන් සංවාදය එතෙකින් ඇණ හිටියේ ය. සිය සුරතේ වූ දුරකථනය දෙස වරක් බැලූ ඔහු කෑ ගැසී ය. 

"ඒ නිර්මලී... යං! යං!"


මීළඟ කොටස... 

වැඩිපුර බලපු ලිපි