Showing posts with label ඔපිස් කතා. Show all posts
Showing posts with label ඔපිස් කතා. Show all posts

Sunday, November 6, 2022

මා නායකයෙකු සහ කළමනාකරුවෙකු කළ අරවින්දි මහත්මිය

රාජ්‍ය සේවයට මා එක් වූයේ තුන්වන පංතියේ සාමාන්‍ය ලිපිකරුවෙකු වශයෙන්, පළාත් පාලන අමාත්‍යාංශයට ය. මා පත්වීම භාර ගැනීමට ගිය දවසේ මා එහි කැටිව ‌ගොස්, එහි ප්‍රධානීන්ට හඳුන්වා දුන් සෝමදාස මහතා, රාජ්‍ය සේවයට අවශ්‍ය දැනුම ලබා ගැනීමට ඉතා ම හොඳ අංශය වන්නේ ගිණුම් අංශය බව මට පෙන්වා දුන්නේ ය. සෝමදාස මහතා කලින් පළාත් පාලන අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ  ප්‍රධානී ලෙස සේවය කර, ඉන් පසු අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට ස්ථාන මාරු වී සිටියේ ය.

පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙස කටයුතු කළ ඇලෝසියස් මහතාත්, ගණකාධිකාරී රම්‍යා මහත්මියත්, මුදල් සහකාර මදරසිංහ අයියාත් ගෙන් රාජ්‍ය සේවයේ රෙගුලාසි සහ ආයතනික ක්‍රම ගැන මූලික දැනීම අහුලා ගන්නට මාත්, සමකාලිනව රාජ්‍ය සේවයට එක් වූ අනෙක් අයත් සමත් වූයෙමු.

ඇලෝසියස් මහතා ස්ථාන මාරුවක් ගෙන මුදල් අමාත්‍යාංශයට ගිය පසු, අපට ලැබුණේ ඉතා රම්‍ය ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු වූ අතර, ඔහු ගැන යම් තාක් දුරක තොරතුරු මාගේ ඔපිස් කතා සහ ඔපිස් පුරාවෘත්ත පෝස්ට්වල සඳහන් කෙරුනි. ඔහුගේ තිබූ ඉතා ම කැපී පෙනෙන ලක්ෂණය වූයේ පිරිමි පාර්ශ්වය පිළිබඳව දැක්වූ අසාත්මිකතාව ය. එවක දේශීය ණය සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ රණවීර මහතා හට මා හදිසි රාජකාරියක් ඉටු කර දුන් වතාවක, මා ද ඉදිරිපිට, රණවීර මහතා, ප්‍රධාන ගණකාධිකාරීවරයා ට මා පෙන්වා, "He's an asset to you" යැයි කියූ බව ද මා හට මතක ඇත. අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ විදේශාධාර ව්‍යාපෘති පිළිබද රාජකාරි ඉටු කිරීමට, ඇලෝසියස් මහතා මා අනුයුක්ත කළේ මා හට ඉංග්‍රීසි මාධ්‍යයෙන් සහ පරිගණක ආශ්‍රයෙන් වැඩ කිරීමට පැවති හුරුව නිසා ය. එහෙත් පසුව ආ ප්‍රධාන ගණකාධිකාරීවරයා මා හට පැවසූයේ "ඔය ඉංග්‍රීසි ටිකක් කටේ ගාගත්තට, කම්පියුටර් ටිකක් අත පත ගෑවට ඇති වැඩක් නෑ" යන වග ය. 

කෙසේ වෙතත්, පැවති හිරිහැර හා නොසළකා හැරීම් අතර, මාගේ සමකාලීනයෙකු වූ වසන්තා කුමාරි (දැන් ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරිණියකි) රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලිපිකරුවන් ස්ථාන මාරු කරවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවට වූ දැන්වීම මා වෙත පෙන්වීම මා හට මහඟු අවස්ථාවක් විය. ඒ සඳහා අයදුම් කිරීමෙන් පසු, මා ද තවත් කිහිප දෙනෙක් ද තෝරා ගනු ලැබුණේ ය. ඒ අනුව, අප රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත මුදා හරින ලෙස එවන ලද දැන්වීමට ප්‍රධාන ගණකාධිකාරීවරයාගේ ප්‍රතිචාරය වූයේ, මා වෙනුවට අනුප්‍රාප්තිකයෙකු නොමැතිව මුදා හළ නොහැකි බව ය.

මීට පිළීයමක් අපේක්ෂාවෙන් මා කිහිප දෙනෙකුගේ පිහිට පැතූ නමුත්, මා හට පිහිට වූයේ, එවක පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වවරයෙකු ලෙස කටයුතු කළ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු වූ සුනිල් ප්‍රනාන්දු මහතා ය. ඔහු ප්‍රධාන ගණකාධිකාරීවරයා දුරකථනයෙන් අමතා, "රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ ඝට්ටණ ඇති කර නොගන්නැයි" උපදෙස් දුන්නේ ය. එතුමා මා හට ලබා දුන් සහයෝගය, අමාත්‍යාංශ ලේකම්වරයාවත් ඉටු කර ‌දීමට මැළි වූ සහයක් විය.

එසේ මා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ස්ථාන මාරු වී රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ සේවයට වාර්තා කල පසු දැනගන්නට ලැබුණේ, මා අනුයුක්ත කරන්නට යන්නේ ගිණුම් අංශය වෙත බව ය. ඒ වන විට මාහට ගිණුම් අංශයන් සහ ගණකාධිකාරීවරුන් තිත්ත වී තිබුණි. මා මේ තාක් සේවය කළේ ගිණුම් අංශයේ වන බැවින් මා වෙනත් අංශයකට අනුයුක්ත කරන මෙන් මා ඉල්ලූ අතර, එය දැනගත් ගණකාධිකාරීතුමිය (නියෝජ්‍ය ලේකම් - මුදල්) වූ අරවින්දි ද සිල්වා මහත්මිය මා තමන් වෙත ම අනුයුක්ත කරන මෙන් පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හට දැන්වූ බව, පසුව මා හට කීවේ එම ගණකාධිකාරීතුමිය ම ය.

කෙසේ වුවත්, මා හට හිතා හදා ගන්නට සිදු විය. කොහේ ගියත්, පලාත් පාලන අමාත්‍යාංශයේ සිටි ප්‍රධාන ගණකාධිකාරීවරයා වැනි තවත් මනුෂ්‍යයෙකු මේ ලොව සිටීමට ඉඩ අල්ප බව සිතා යම් තාක් දුරකට හිත හදා ගත් මම ගිණුම් අංශයට ගියෙමි. ඒ ද, අප රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සේවයට වාර්තා කර සතියකට පමණ පසුව ය. අප අංශවලට අනුයුක්ත කිරීම ප්‍රමාද වන බව දුටු ගණකාධිකාරීතුමිය මාගේ විස්තර අසා ගෙන, තම අංශයේ නිලධාරිණියන් ලවා මා අනුයුක්ත කරන ලිපිය ටයිප් කරවා යවා, මා ඇගේ අංශයට අනුයුක්ත කරවා ගත් බව දැනගත්තේ, මා ඒ අංශයට ගිය පසුව ය.

ගිණුම් අංශයේ සේවය කළේ කළමනාකරණ සේවා නිලධාරීන් (ලිපිකරු සේවය දැන් හඳුන්වන නම) මා ද ඇතුළත් ව හත් දෙනෙකි. ශාඛා ප්‍රධානී වූ සනත් සිල්වා මහතාත්, මැන්ඩිස් මහතාත්, මල්ලිකා මහත්මියත්, පුෂ්පා මහත්මියත් ඉතා ම දීර්ඝ සේවා කාලයක් සහිත පළවෙනි පංතියේ ලිපිකරු / කළමනාකරණ සේවා නිලධාරීන් වූ අතර, මාත් තවත් නිලධාරිනියන් දෙදෙනෙකුත් තුන්වන සහ දෙවන පංතියේ ලිපිකරුවන් වූයෙමු.

එසේ තිබිය දී, ගණකාධිකාරීතුමිය මා වෙත පැවරූ ප්‍රථම රාජකාරිය වූයේ ගබඩා භාරකරු රාජකාරියයි. රජයේ දේපළ පිළිබඳව භාරකාරත්වය දැරීම වගකීමක් සහිත රාජකාරියකි. ඕනෑ ම අවස්ථාවක විගණනය කිරීම සඳහා ගබඩාවේ ලේඛන සමඟ සමානව තොගය පවත්වාගත යුතු වේ. ගබඩාවට බඩු භාර ගැනීමත්, එක් එක් අංශවල ඉල්ලීම් අනුව බඩු නිකුත් කිරීමත්, ඒ සියල්ල ලේඛනගත කිරීමත් දෛනික රාජකාරියක් වූ අතර, භාණ්ඩ නිකුත් වීමේ ප්‍රවණතා හඳුනාගෙන යළි ඇනවුම් මට්ටම් තීරණය කරමින්, භාණ්ඩ අවසන් වීමට පෙර නැවත ඇනවුම් කිරීම ඉතා වැදගත් කටයුත්තක් ද විය.

මම ගබඩාවේ කටයුතුවලට හුරු වූ පසුව අරවින්දි මහත්මිය මා හට මැන්ඩිස් මහතා සමඟ ගොස් භාණ්ඩ සැපයුම් කටයුතු ද හුරු වන්නට අවස්ථාව ලබා දුන්නා ය. මැන්ඩිස් මහතා විශ්‍රාම ගිය පසු සැපයුම් කටයුතු ද මා වෙත පවරන ලදි. ප්‍රසම්පාදන හෙවත් සැපයුම් කටයුතු, ප්‍රසම්පාදන ලියවිලි සකස් කිරීම, ලංසු කැඳවීම, ලංසු විවෘත කිරීමේ කටයුතු, ලංසු සුරක්ෂණ සහ කාර්යසාධන සුරක්ෂණ පවත්වාගැනීම ආදී වශයෙන් ප්‍රසම්පාදනයේ කාර්ය පරාසය විවිධ සහ විස්තීර්ණ මට්ටමක පවතී. රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය කුඩා කාර්ය මණ්ඩලයක් සහිත ආයතනයක් වූ බැවින්, ඉහත කටයුතු තිබුණේ සාපේක්ෂව අඩු ප්‍රමාණයක් වූ බැවින්, මා හට එම කටයුතු මනාව ඉගෙන ගැනීමට හැකි විය.

විටින් විට අරවින්දි මහත්මිය මා හට ගිණුම් අංශයක පවතින රාජකාරි සියල්ලක් ම පාහේ පවරමින් සියලු දේ ඉගෙන ගැනීමට මා හට අවස්ථාව ලබා දුන්නාය. ඒ අනුව, ගබඩාව, ප්‍රසම්පාදන, රාජ්‍ය ගිණුම් පවත්වාගෙන යාමේ මෘදුකාංගය සමඟ වැය ලෙජර, මුදල් පොත, වැටුප් ලේඛන, විගණන විමසුම්, වාර්ෂික පාලන වාර්තාව, මාසික ගිණුම් සාරාංශ සකස් කිරීම, බැංකු සැසඳුම් ප්‍රකාශය ආදී උගත යුතු සියල්ල පාහේ මා හට උගෙනීමට අවස්ථාව ලැබුණේ ය.

2008 වර්ෂයේ රාජ්‍ය සේවා කොමිසමෙහි කාලය අවසන් වූ අතර, එවක පැවති රජය, කොමිසමේ සාමාජිකයන් නැවත පත් කළේ නැත. 17 වන සංශෝධනය අනුව, කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කළ යුතු වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අනුව ය. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එක් සාමාජිකයෙකු පත් කරන්නේ ජනාධිපති විසිනි. එම සාමාජිකයා පත් නොකළ නිසා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අක්‍රිය මට්ටමක පැවතිණ. (19 වන සංශෝධනයෙන් මේ දුර්වලතාව ඉවත් කෙරුණු අතර, සාමාජිකයෙකු හෝ කිහිප දෙනෙකු පත් නොකළ ද, සිටිනා සාමාජිකයන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක වන තත්ත්වයක් පැවතිණ.) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නොමැතිව වෙනත් කොමිෂන් සභා මෙන් ම, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ද පත් කළ නොහැකි විය. එම සාමාජිකයන් නැවත පත් කෙරුණේ 2010 වර්ෂයේ (මතක ඇති ආකාරයට) 18 වන සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුවය.

ඉතින් කොමිෂන් සභාව අක්‍රියව පැවති කාලයේ අප කාර්යාලයේ ආයතන, විනය, හා අභියාචනා අංශවල රාජකාරි ඉතා අල්ප විය. එය අවස්ථාව කරගත් එවක සිටි වැඩ බලන ලේකම්වරයා කාර්යාලයේ සියලු දෙනා පුහුණු වැඩසටහන්වලට යොමු කළේ ය. එසේ පැවැත්වුණු එක් පුහුණු වැඩසටහනක් ආවරණය කළේ "කාර්යාල ක්‍රම" ය. සියලු ලිපිකරුවන් ඊට සහභාගී විය යුතු බව ට වැඩබලන ලේකම්වරයා නියෝග කළේ ය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සිටි ලිපිකරුවන්ගෙන් ඉතා බහුතරය පළමුවෙනි පංතියේ නිලධාරීන් වූ අතර, අවුරුදු විස්සකට වඩා පළපුරුද්ද තිබූ නිලධාරීන් ය. ලේකම් වරයාගේ නියෝගය අනුව ඔවුන් සියලු දෙනා ට රැස්වීම් ශාලාවට ගොස්, දේශකයා වෙතින්, ගොනුවලට ලිපි අමුණන ආකාරය, සටහන් ලියන ආකාරය, ලිපි සකස් කරන විට කළ යුතු පිරිවිතර ආදී කරුණු අසාගෙන සිටීමට සිදු විය.

ඉහත කී පුහුණු වැඩසටහනක අවසාන දිනයේ දී දේශක වරයා වෙත කළ යුතු ගෙවීම වෙනුවෙන් චෙක්පත නිකුත් කරන්නට ගිණුම් අංශයට සිදු විය. ලිපිකරුවන් සියලු දෙනා දේශනයට සහභාගී වීම ද අනිවාර්ය විය. එහිදී අරවින්දි මහත්මිය ගෙවීම සම්බන්ධ සියලු කටයුතු ඉටු කරවා ගත්තේ අප අංශයේ සිටි නවක කාර්යාල කාර්ය සහායකවරිය ලවා ය. වවුචරය පරීක්ෂා කිරීම, වැය ලෙජරයේ සටහන් කර, ප්‍රතිපාදනවලින් අඩු කිරීම, මුදල් පොතේ සටහන් කිරීම, චෙක්පත ලිවීම යන සියලු කටයුතු, ඉහත කී කාර්යාල කාර්ය සහායකවරියට කියා දුන් අරවින්දි මහත්මිය, නියමිත‌ වේලාව වන විට චෙක්පත දේශකවරයා වෙත නිකුත් කළා ය. ඉහත කටයුත්ත ඉටු කළ කාර්යාල කාර්ය සහායකවරිය පසුකාලීනව උසස්වීම් ලබා මේ වන විට ගණකාධිකාරීවරියකි.

වැඩ බලන ලේකම්වරයා විසින්, කාර්යාලයේ දියුණුවට අංශ භාර නිලධාරීන් වෙතින් අදහස් කැඳවූ අවස්ථාවක දී අරවින්දි මහත්මිය මා ගෙන් ද අදහස් විමසුවා ය. අප ඉදිරිපත් කළ එක් යෝජනාවක් වූයේ එස් පහ සහ ඵලදායිතා කව ක්‍රියාත්මක කරවීම ය. එය වැඩබලන ලේකම් වරයාගේ නියෝගයක් ලෙස නැවත අප වෙත ලැබුණු අවස්ථාවේ, අප අංශයේ ඵලදායිතා කව නායකයා ලෙස අරවින්දි මහත්මිය මා යෝජනා කළා ය. අප ගේ කවයේ නම ලෙස ඇය යෝජනා කළේ "ශිත්සුකෙ" ය. අනෙක් අංශයන් "ගගන", "සඳ" වැනි නම් යොදා ගනිද්දී, අපගේ ඵලදායිතා කවය මුල් පියවරින් ම ජාත්‍යන්තර මට්ටමට සමීප විය.

අරවින්දි මහත්මිය හරිත ඵලදායිතා කටයුතු අතර...

අරවින්දි මහත්මිය ගේ කළමනාකරණය යටතේ අප සියලු දෙනා ම ඉතා ම ඉහළින් අභිප්‍රේරණය වී කටයුතු කළෙමු. රියදුරන් වූ බන්දුල සහ චමින්ද ද ඒ අතර වූ අතර, නිර්මාණශීලී කලාකරුවෙකු වූ චමින්ද ඉතා සරළ සහ බහුවිධ භාවිතයක් සහිත පෑන් රඳවනයක් තැනීම සහ ඉවත දමන ඇස්බැස්ටෝස් පුවරු මත ඇඳි චිත්‍ර මඟින් අප ඵලදායිතා කවයේ තත්ත්වය උසස් කළේ ය. බන්දුල රියදුරු මහතා ඵලදායිතා කව ක්‍රියාකාරකම්වලට අවශ්‍ය සහ සුදුසු ලිපිද්‍රව්‍ය සහ වෙනත් දේ අඩුමිලට ගැනීමට හැකි තැන් සහ ක්‍රමවේදයන් දැන සිටියේ ය. කුරුඳුපොලු වලින් අප සකස් කළ රාමුවක් බිත්තියේ රඳවා දැන්වීම් පුවරුවක් සකස් කළෙමු. අපගේ කාර්යාලයේ පාටිෂන් සකස් කර තිබුණේ ලෝහ තහඩු වලිනි. එහෙයින් වෙනත් කිසිවක් නොමැතිව ලිපි රැඳවීමට චුම්බක සහිත ක්ලිප්වලට හැකිවිය. පරිගණකවලට භාවිත වන ස්පීකර්වල වයර් කපා දිගු වයර් යොදා, අංශයේ සිවිලිමට ආසන්නයෙන් සවිකළේ බන්දුල ය. ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිලධාරීන් අපගේ ප්‍රගතිය පරීක්ෂා කර, ලකුණු දීමට පැමිණෙද්දී ඒ ස්පීකර් මඟින් මෝසාට් ගේ සිම්ෆනි වාදනය කරවීමට අපි කටයුතු කළෙමු.

චමින්දගේ චිත්‍ර සහ බන්දුල සැපයූ මාළු ටැංකිය

අපේ දැන්වීම් පුවරුව


ගබඩාව සහ ‌ගිණුම් අංශයේ පැරණි ලේඛන සහිත ලේඛනාගාරය විධිමත් කිරීම ද අප විසින් විධිමත් පරිදි ඉටු කළ අතර, පෙර පැවති තත්ත්වය ඡායාරූප මඟින් ඒ ඒ තැන්වල ප්‍රදර්ශනය ද කළෙමු.


චමින්ද හැදූ පෑන් රඳවනය

සමාජ සුභසාධන කටයුතු දෙකක් ද ඒ ආශ්‍රිත කාලයේ දී අපගේ ඵලදායිතා කවය මඟින් සිදු කිරීමට අපට හැකි විය. ඊට මඟ පෙන්වූයේ සහ අප මෙහෙයවූයේ අරවින්දි මහත්මියයි.

මැන්ඩිස් මහතා අප අංශයේ සිටි ජ්‍යෙෂ්ඨතම ලිපිකරුවා විය. ඔහු විශ්‍රාම යාමට මත්තෙන්, ඔහු සතුව මුදල් රෙගුලාසි සහ රාජ්‍ය ගිණුම් පටිපාටිය පිළිබඳ දැනුම සියලු දෙනාට පරිශීලනය කළ හැකි වන සේ පොතක් ලියන්නැයි, අරවින්දි මහත්මිය සහ ශාඛා ප්‍රධානී සනත් සිල්වා මහතා ඔහුගෙන් ඉල්ලූහ. ඒ අනුව අප ඵලදායිතා කවයේ වැඩක් වශයෙන් රාජ්‍ය ගිණුම් ක්‍රියාවලිය පිළිබඳ සරළව දැනුම ලබා ගත හැකි වන පොතක් ද මුද්‍රණය කරන්නට හැකි විය.

එවක අන්තර්ජාල සම්බන්ධතා ලබා දී තිබුණේ විධායක මට්ටමේ නිලධාරීන් හට ලබා දී තිබූ පරිගණක සඳහා පමණකි. එසේ වී නමුත්, අරවින්දි මහත්මිය ඇගේ රාජකාරි පරිගණකයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වීමට මා හට ඉඩ ලබා දුන්නා ය. සිටිනා තනතුරේ ම නොරැඳී, බැංකු තරග විභාග ආදිය ලියන්නට උනන්දු වන ලෙසට මා ද ඇතුළත්ව, තරුණ වයසේ සිටි සියලු ලිපිකරුවන්ට ඇය උපදෙස් දුන්නේ වරක් දෙකක් නොවේ.

මාගේ පියා මියයන විට මා සිටියේ ආර්ථික දුෂ්කරතා ගොඩක ය. අලුතින් ගෙයක් තැනීමට පටන් ගෙන සිටි මා, පංචායුධ කුමාරයා සිලේසලෝම රකුසා සමඟ සටන් කළ පරිදි ම, මා සතුව පැවති සෑම මුදල් ප්‍රභවයක් ම ඊට යොදවා තිබුණි. අවමංගල්‍ය කටයුතුවලින් පසුව, අම්මාගේ උපදෙස් අනුව මම මාසික වැටුපින් අත්‍යවශ්‍ය ම වියදම් පමණක් කරමින් මුදල් ඉතුරු කිරීමට උත්සාහ ගත්තේ තුන් මාසයේ දානයට වියදම් කිරීමට ය. 

මා ලිපිකරු (කළමනාකරණ සහකාර) සේවයේ දෙවන පංතියට සමත් වූූූයේ ඒ අතර ය. ඒ සම්බන්ධව මගෙන් පාටියක් ඉල්ලමින්, අප කාර්යාලයේ නිලධාරිණියන් විටින් විට වද කළේ මා අසීරු තත්ත්වයක සිටියදී ය. ඔවුන් ගේ  ඉල්ලීම ඉටු කරන්නට තරම් මුදල් මා අත නොතිබූ බව දැන සිටි, අරවින්දි මහත්මිය ‌ඇගේ වියදමින් කෙටි කෑම ගෙනවුත් කාර්යාලයේ නිලධාරීන් අතර බෙදා දෙන්නට කටයුතු සැළසුවාය.

මා අද රාජ්‍ය සේවයේ සිටින තැනට මා හට ඒමට උපස්තම්භක වූයේ අරවින්දි මහත්මිය ය. රාජ්‍ය සේවයේ රාජකාරි කටයුතුවලින් අතිශය බහුතරය ප්‍රායෝගිකව අත්දකින්නට සළස්වා ඒවායේ රෙගුලාසි තත්ත්වය සහ භාවිතය මා හට හුරු කරවීම, රාජ්‍ය සේවයේ උසස්වීම් සඳහා පැවති විභාගවලදී ඉතා පහසුවක් විය. පාඩම් කර විභාගය ලියනවාට වඩා හොඳින්, අත්දැකීමෙන් ලිවීම කළ හැකි විය. එසේ ම, රාජ්‍ය සේවයේ පවතින වර්තමාන විභාග ආකෘතියේ වැඩි කොටස, සිද්ධි අධ්‍යයනයන් ආශ්‍රයෙන් දැනුම මැන බැලීම ට සකස් වී ඇත. එය කටපාඩමෙන් ලිවීම අසාර්ථක ය.

අනෙක් අතට, තමන්ට පැවරෙන සියලු වගකීම් නියමිත කාලයට ඉටු කිරීම, කාලය කළමනාකරණය කර ගැනීම, කණ්ඩායමකට නායකත්වය දීම, පහළට වගකීම් පවරා අධීක්ෂණය කරමින් කටයුතු කඩිනමින් නිම කරවා ගැනීම, මිනිසුන් අභිප්‍රේරණය කරවීම, රාජකාරිවල නව්‍යතා හඳුන්වා දීම, ආරම්භක ශක්තිය ‌ගොඩනඟා ගැනීම මෙන් ම, ගැටෙනවා නම් ඒ පහළ සමඟ නොව ඉහළ සමඟ බව තේරුම්ගැනීම ආදී ගුණාංග අරවින්දි මහත්මිය වෙතින් මා හට ලැබුණු ආදර්ශයන්ය.

ඉතා ධනාත්මක නායකයෙකු වූ අරවින්දි මහත්මිය, අභියෝගයන් භාරගෙන, සාමාන්‍ය ප්‍රමිතියට වඩා ඉහළින්  ඒවා සම්පූර්ණ කිරීමේ සහජ හැකියාවක් දැක්වූවා ය. වර්තමානයේ ගන්නා තීරණයන් අනුව අවුරුදු ගණනාවක් ඉදිරියේ දී සිදුවිය හැක්කේ කුමක්දැයි පුරෝකථනය කර, සිදුවිය හැකි සියලු විකල්පයන්ට අවශ්‍යවන ක්‍රියාමාර්ග ගැනීමට උපායමාර්ගික කුසලතාව ඈ සතු විය. තමන් දරන ස්ථාවරය නිවැරදි වන විට එල්ලවන තර්ජන, ඒවා කුමන තරම් ඉහළින් එල්ල වූව ද නොබිය ව මුහුණ දීම අරවින්දි මහත්මියගේ මා දුටු තවත් එක් ගුණාංගයක් විය.

පසුගිය දාක නුවරඑළියට පැමිණි අරවින්දි මහත්මිය මා දැකීමට පැමිණියෙන්, සුලුවෙන් හෝ මගේ කෘතඥතාව ඇයට පුද කිරීමට හැකි විය. අප ඉතා ප්‍රසන්න සහ ප්‍රීතිමත් වරුවක් ගත කළෙමු. ඇගේ නිහතමානීත්වය සහ සුහදත්වය මේ ලියන මොහොතේ ද මාගේ හදවත තුළ උණුසම් බවක් ඇති කරවයි. රාජ්‍ය සේවය තුළ කළකිරීමට සහ අවතක්සේරුවට ලක්ව අයාලේ යාමට නියමිත ව තිබූ මගේ ඉදිරි ගමන නිසි මාර්ගය වෙත යොමු කර, ඊට අවශ්‍ය ගුණාංග මා තුළ වර්ධනය කරවීම ගැන මා තුළ පවතින ණයගැතිභාවය පැවසීමට මේ සටහන සුලු වශයෙන් හෝ ප්‍රමාණවත් නොවන බව නිසැක ය.

පිදුරුතලාගල...
(වමේ සිට - මං, මගේ ආදරබර භාර්යාව, අරවින්දි මහත්මියගේ සැමියා වන වෛද්‍ය විජේසූරිය මහතා සහ අරවින්දි මහත්මිය)

ග්‍රෙගරි වැව ළඟදි...
මැද ඉන්නෙ අපේ හුටංබරස් පුංචිරාළ මහත්මයා


චමින්ද ඇඳපු පින්තූර පහතින්...








Tuesday, September 13, 2022

මා ලේඛකයෙකු කළ කුමාරසිංහ මහතා

සුනිල් කුමාරසිංහ අතුකෝරල සහෘදයාණන් මාහට මුණ ගැසුණේ රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේදී ය. 

ඔහු සමඟ කතා බහ කරද්දී මා දුටු ඉතා නිහතමානී සහ සරල මනුස්සකම සාමාන්‍යයෙන් රජයේ සේවකයෙකු තුළ දකින්නට නොමැති තරම් විය. පැය ගණනක් වුව ද එකදිගට වෙහෙසක් නොමැතිව ශාස්ත්‍රීය දේ පිළිබඳ කතා කරන්නට ඔහු සතුව මහා දැනුම් සම්භාරයක් විය. මානව විද්‍යා, පුරාවිද්‍යා, ඉතිහාස මෙන්ම සාහිත්‍යය පැත්තෙන් ද ඔහු සතුව මහා දැනුම් උල්පතක් විය. ඔහු පොත් ගණනාවක කතු වරයා වන අතර, ඔහුගේ ශාස්ත්‍රීය ලිපි මාසයකට දෙකක් තුනක් වත්, දිවයින බදාදා අතිිිරේකයේ පළ වේ.

කුමාරසිංහ මහතා වන්නිලැත්තන්ගේ රුකුල් පොජ්ජට මං‌ගච්ඡා ගත් පින්තූර පොජ්ජකි

කුමාරසිංහ මහතා සමග මාගේ ඇසුර තවත් දැඩි වූයේ මගේ පියාගේ අභාවයත් සමඟිනි. මාගේ පියා සමග මා බෙදා හදාගත් සාහිත්‍ය, දේශපාලන සහ සාමාජීය කතිකාව නොනැවත ගෙනයාමෙන් ඔහු නොදැනුවත්වම පියාගේ අභාවයෙන් මා තුළ ඇතිවූ රික්තකය පිරවූයේ ය.

වයසින් ඔහු හා මා අතර තරමක පරතරයක් පැවතිය ද, මාගේ ජීවිතයේ ඉදිරි කඩඉම්වලදී කුමාරසිංහ මහතා යහළුවෙකු මෙන් මා සමග සිටියේය. පියාගේ දානමය කටයුතු, ගෙට ගෙවදීම, මාගේ විවාහය, ආදී මාගේ ජීවිතයේ සියලු කඩඉම්වලදී ඔහු මා සමග සමීපව කටයුතු කළේ ය. 

උපේක්ෂාව, මානව දයාව මෙන් ම, සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් නොපැකිළව පෙනී සිටීම යන ගුණාංග සම්බන්ධව ඔහු මා හට ජීවන ආදර්ශයක් විය. බුදුන් උපන්නේ ලංකාවේ ය යන ප්‍රපංචය සමාජගත වූ අලුත, මාත් යහළුවන් පිරසකුත් හිරිවඩුන්න බෝධිය බලන්නට ගිය බව ඔහු වෙත කී විට, ඔහු තනිව ම එහි ගොස් කරුණු රැස් කළේ ය. එහි ඇති ඇත්ත නැත්ත ගැන ගැඹුරින් සොයා බැලූ හෙතෙම, හිරිවඩුන්න පන්සලේ හාමුදුරුවන් මෙන් ම ග වැසියන් සමග ද සාකච්ඡා කර, ඉහත කී මතවාදයේ සවිඥානික මගඩියක් මිස සත්‍යයක් නැති බව හෙළි කර ගත්තේ ය.

වන්නිලැත්තෙක් සමඟ...

මා සිය පවුලේ හිතවතෙකු කරගත් කුමාරසිංහ මහතා, අප කැටිව සුහද චාරිකාවන් ද කිහිපයක් ගිය බව මතක ය. තමන් පදිංචිව සිටි ප්‍රදේශයට කිට්ටු වාරණ පුරාණ විහාරය, අලවල, ඇතා උඩ කන්ද ආදී ප්‍රදේශයන්හි පුරවත,  සහ පුරාවිද්‍යාත්මක උරුමයන් පිළිබඳ දැක්වූ නොමඳ ඇල්ම හා කුතුහලය ඔහුට විශේෂත්වයක් විය. 

දිවයිනේ ප්‍රකට ලේඛකයින් රැසක් සමග සමීප සබඳතා පැවැත්වූ ඔහු සිය ලේඛන කාර්යයේ දී ඒ සබඳතා බුහුටිව යොදවා ගත්තේ ය.

සේනාරත්න වීරසිංහ සහ සුනිල් ගුණවර්ධන (ලේඛකයෙක් සහ කවියෙක් සමඟ)

මා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සේවය කරන කාලයේ කුමාරසිංහ මහතාගේ තවත් එක් සුවිශේෂී මිතුරෙකු වූ රන්ජිත් ප්‍රේමරත්න මහතා තම පෞද්ගලික ධනයෙන් සහ උත්සාහයෙන් "රන්බිම" නමින් පුවත්පතක් පටන් ගත්තේ ය. ඊට උපකාර කරනු වස් මෙන් ම, තම මිතුරන්ට හැකියාවන් එළිදක්වන්නට මඟක් වශයෙන් ද කුමාරසිංහ මහතා කාර්යාලයේ මිතුරන් කිහිප දෙනෙකුට ම "මොනවා හරි ලියන්නැ"යි ආරාධනා කළේ ය. ඒ ආරාධනය ලැබුවන්ගෙන් කෙනෙකු මම ද වීමි. ඒ අනුව මා මුලින්ම ලීවේ "තිසා වැවේ ඉවුරේ සක්වල චක්‍රය" ය.

මා එය ලියා කුමාරසිංහ මහතා හරහා රන්බිම ට යැවූ පසු, ඔහු මා සමග අපූරු කතාවක් කීවේ ය.

ආධුනිකයෙක් පුවත්පතකට ලිපියක් යැවූ පසු, එය ඊළඟ කළාපයේ පළ කෙරෙන්නේ නැත. අපගේ ඉවසීම පරීක්ෂා කරන්නට මෙන් එය පළ වීම තරමක් කාලයකට පසු කරන පුරුද්දක් ඒ ක්ෂේත්‍රයේ ඇත. ඔහු ඒ පිළිබඳව මා හට පහදා දී, මා හට ද එවැනි අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වුවහොත්, ඇතිවන්නට ඉඩ ඇති කළකිරීම වැළැක්වීම සඳහා ඒ ගැන පැයක් පමණ මා සමග කතා කළේ ය.

කෙසේ නමුත්, සක්වල චක්‍රය ඊ ළඟ කළාපයේ ම පළ වූ අතර, කල් යාමේ දී මම රන්බිම පත්තරයේ නිරන්තර ලියන්නෙක් බවට පත් වීමි. ඒ ලිවීමේ පරිචය ම මා හට බ්ලොග් පිටුවක් ආරම්භ කිරීමට ද පසුව ඉවහල් වූ අතර, මා මුල්කාලයේ බ්ලොග් පිටුවේ පළකළ ලිපි අතරින් බහුතරය, රන්බිම පත්තරයේ පළ වූ ලිපි ම විය. මා සහ ඔහුගේ තවත් මිතුරෙකු වූ දයානන්ද රත්නායකයන් අනුව කුමාරසිංහ මහතා ද බ්ලොග් පිටුවක් ආරම්භ කළේ ය. ඒ සරු බීජ යි.

රන්බිම පුවත්පතේ, "කවි - පැන - පිළිතුරු" තීරුවක් ආරම්භ වූ අවස්ථාවේ ඔහු ඒ සඳහා විකට කවි පැන කීපයක් සකස් කර යැව්වේ ය. ඒවා, ඔහු  හිටිවන කියද්දී, ටයිප් කර ගත්තේ මා ය. ඉන් මට දැනටමතක ඇත්තේ එකකි...

උදයට කෑවෙ මැද බෙරි වුණ ආප්ප ද?

ජූජක බමුණ ‌උඹෙ මාම ද බාප්ප ද?

තවත් කාලයක් යද්දී, කුමාරසිංහ මහතා මා අමතා කීවේ, මාධ්‍යවේදී හැඳුනුම්පත ගැනීම වැදගත් වන බව ය. ඔහු සතුව එවැන්නක් තිබූ අතර, ඕනෑම තැනකට ප්‍රවේශ වීමට ඒ හැඳුනුම්පත ඉවහල් විය. ඔහුගේ උත්සාහය අනුව, රන්ජිත් ප්‍රේමරත්න මහතා මා වෙත රන්බිම පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස හැඳුනුම්පතක් ලබා දුන් අතර, හදිසියේ පුවත්පත නැවතුණු නිසා මිස, මා හට මාධ්‍යවේදී හැඳුනුම්පත ද ලබා ගන්නට හැකි වන්නට තිබුණි.

කුමාරසිංහ මහතා ඉතා කරුණාවන්ත සහ මානව දයාවෙන් හෙබි කාන්තාවකගේ දයාබර සැමියා වූ අතර, ඉතා දක්ෂ සහ නිහතමානී දියණියකගේ පියා ද වෙයි. මා ඔහුගේ නිවස වන "මෙත්සහනි"යට ගොඩවැදුණු සෑම අවස්ථාවක ම ඔහුගේ මව ද, බිරිඳ ද, දියණිය ද අප වෙත ලබා දුන්නේ තමන්ගේ නිවසේ දී පවා නොලැබෙන, ගෘහීය හැඟීමකි.

කුමාරසිංහවරු...

මා රාජ්‍ය සේවයේ උසස්වීම් ලබා කාර්යබහුල වීමත් සමග, කුමාරසිංහ මහතාගේ කිට්ටු ඇසුරින් මෑත් වූ නමුත්, ඔහු හා සබඳතාව තබා ගත්තෙමි. ඒ අතර, කොවිඩ් රෝගය වැළඳීම, බිරිඳ අසනීප වීම, මව මියයාම යන අභාග්‍ය සම්පන්න අවස්ථාවන්හි දී කුමාරසිංහ මහතා සමඟ සිටීමට මා හට නොහැකි වීම ගැන අදටත් ඇත්තේ පසුතැවීමකි.

අවසානයේ එතුමාගේ පිය බිරිඳගේ අකල් වියෝව ආරංචි වූ පසු මා හට හැකියාව තිබුණේ ඔහුට දුරකථනයෙන් ඇමතීමට පමණකි. මනුෂ්‍යයෙකුහට පවුල යනු කෙතරම් ශක්තියක් ද යන්න මා හට පසක් කළේ ඔහු සමග කතා කරමින් ගත කළ ඒ විනාඩි කිහිපයයි. කොවිඩ් රෝගයෙන් ඔත්පළව සිටි ඔහු ඉතා දුර්වල ලෙස කතා කළ අතර, අවශ්‍ය ම අවස්ථාවේ කිසිවක් ඔහු වෙනුවෙන් නොකළ මා කතා කළේ පසුතැවීමකින් පෙළෙමිනි.

මේ නොබෝ දිනක මා හට තැපෑලෙන් ලැබුණු තෑග්ගකින් මෙම ලිපිය ලිවීමට මා හට සිත් පහළ විය. ඒ, කුමාරසිංහ මහතාගේ ආදරණීය භාර්යාව වූ තක්ෂිලා රණවීර මහත්මිය ලියූ කවි එකතු කර පළ කෙරුණු පොතකි. ඒ පොත මෙන් ම, ඒ පොත බහා එවූ ලිපි කවරය ද, මාගේ පොත් එකතුවේ වැදගත් තැනක් හිමි කරගන්නේ ය.

අන්තිමේ දී... තමන්ගේ ප්‍රිය භාර්යාව වෙනුවෙන් ජීවන සහකරුවාහට කළ හැකි දේ වලින් කුමක් නම්, මීට වඩා උසස් වේ ද?


මේ පොත ගන්නට ඇත්තේ කොහේ දැයි මා දන්නේ නැත. නමුත් හැකිනම් අනිවාර්යයෙන් මිලදී ගෙන කියවා බලන ලෙස ඔබට ආරාධනා කරමි. එහි අඩංගු කවි එතරම් ම උසස් වන අතර, අපගේ හදවතේ යම් තැනක නිදන් ව ඇති භාවයන් ට ආමන්ත්‍රණය කරන නිර්මාණ වේ.

Saturday, March 5, 2022

තේ කෝප්පය


"අද අරුමැක්කෙ අබේපාල මහත්තයත් එනවා. හොඳ උදැල්ලක් තෝරල තියන්ඩ ඕනැ," කී වෙද මහතා පසෙක වූ උදලු ගොඩෙන් එකක් අතට ගෙන තලය බිමට තබා තද කොට බලා පසෙකින් තැබුවේය.

"මටත් හිතුණා වෙද මහත්තයලගෙ ශ්‍රමදානෙ බලන්ඩ එන්ඩ, අද නිවාඩු දවසෙ," වෙද මහතා දුටු අබේපාල මහතා ඈත තියාම කීවේය.

"කොච්චර ‌හොඳ ද? හැබැයි වැඩ කරන්ඩ ඕනෑ. ඔන්න මම හොඳ උදැල්ලකුත් තෝරලා තිබ්බා," කී වෙද මහතා කොක්හඬ ලා සිනාසුණේය.

"ගිය සැරෙත් එන්ඩ හිතාගෙන හිටිය. ඒත් බැරිවුණා මොකක් ද හදිසි ගමනක් යෙදිලා."

"ඒකට කමක් නැහැ, ආද ආවා හොඳට ම ඇති," කියමින් උදැල්ලක් ද රැගෙන කණ්ඩියෙන් පහළට බැස්ස වෙද මහතා පාර මායිම් කිරීම සඳහා ඇද තිබුණු කොහු ලුණු පොට දිගේ බඹ හත අටක් දුරට කොටාගෙන කොටාගෙන ගියේය. අනතුරු ව ළඟ සිටි තරුණයා අතට උදැල්ල දී "කොටාගෙන යනව ඔහොම දිගට ම," යි කීවේය.

මිනිත්තු දෙක තුනක දී බඹ පනහක් පමණ දුරට පාර මායිම් කර අවසන් විය. කවුරුත් අතට අහුවුණු උදැල්ලක්, යකඩ ඉන්නක් හෝ ගල් කටුවක් ගෙන පාර කැපීමේ වැඩ පටන් ගත්හ.

උදලු බිම වදින හඬ මිනිසුන්ගේ කටහඬ මැඩගෙන පැතිර ගියේය. කුහුඹුවන් රැළක් මෙන් කඩිසර ව වැඩෙහි යෙදී සිටි මිනිසුන්ගේ උද්‍යා්‌ෙගය දුටු අබේපාල මහතාගේ සිත නව හැඟුමකින් පණ ගැන්විණි. ළමයින් මෙන් ම මහල්ලන් ද තරුණයන් සමග උරෙනුර ගැටී වැඩ කළේ තරඟයට මෙනි. අබේපාල මහතාගේ දෑත් නලියන්නට විය. වැඩ නොකර බලා සිටීම ගැන සිය යටි සිත තමාට දොස් නගන්නාක් මෙන් අබේපාල මහතාට දැනුණි.

පාර මැදට අසුවුණු පොල් ගස වට කරගත් කීප දෙනා ඒ වටේ කණින්නට වූහ. තරුණයෙක් කඹයක් රැගෙන ගසට නැග එහි කෙළවරක් මුදුනේ ගැට ගැසුවේය.

අබේපාල මහතා කමිසය ලිහා අසල වූ ගල් පොත්ත මත තබා සරම කැහැපට ගසා ගත්තේය. අබේපාල මහතාට උදැල්ලක් ඉතිරි වී නොතිබුණි. වෙද මහතා තෝරා තබන ලද උදැල්ල ද වෙනත් කෙනෙකු අතෙහි විය. පොල් ගස වටේ කණිමින් සිටි අයෙකුගෙන් යකඩ ඉන්නක් ඉල්ලා ගත් අබේපාල මහතා ද අනෙක් අය සමග හරි හරියට වැඩ කරන්නට විය.

දිනපතා කන්තෝරුවට යන අතරමගදී අබේපාල මහතාට මුණගැහෙන කම්කරුවන් කීප දෙනෙකුගේ මුහුණු ඔහු එහිදී දුටුවේය. වෙන දා නුදුටු චිත්තාකර්ෂණීය භාවයක් ඒ මුහුණුවල ගැබ් ව ඇතැයි අබේපාල මහතාට සිතුණි.

පොල්ගස මුල කණිමින් සි‌ටි එක් අයෙක් "දැන් ඇති, අදිනවා බලන්ඩ," කීවේය. තරුණයෝ දෙදෙනෙනක් උදලු අතහැර ගොස් කඹයේ කෙළවර අල්ලා ගත්හ. අබේපාල මහතා ද දිව ගොස් ඔවුන් සමග එක් විය.

"හා ඕං"එක් අයෙකු නැගූ හඬත් සමග කඹය ඇදුණේය. පොල් ගස මදක් නැවී අවුත් යළිත් ආපසු ඇදුණේය. කිට්ටුව වැඩ කරමින් සිටි වෙද මහතා ද උදැල්ල අත හැර අවුත් කඹය අල්ලා ගත්තේය. හා ඕං යයි නැවතත් හඬ නැගුණි. ගස මදකත් ඇල විය. හා ඕං යයි තුන් වැනි වරට නැගුණු හඬත් සමග ම පොල් ගස බිම ඇද වැටිණි.

වැඩ කරමින් සිටි කොලු රැළ දිව අවුත් එහෙ මෙහෙ විසිරී ගිය කුරුම්බා ගෙඩි අහුලා ගත්හ. කීප දෙනෙක් ජයග්‍රාහී ලීලාවෙන් පොල් කඳ මත වාඩි වී බුලත් සපන්නට වූහ. ඔවුන් සමග වාඩි වී සිටි අබේපාල මහතා නළලින් වැගිරෙන ඩහදිය දකුණු අත දබරැඟිල්ලෙන් සූරා දැමුවේය.

වැඩ කිරීමේ ආසාවෙන් පිබිදුණු කම්කරුවන්ගේ මුහුණු දකින අබේපාල මහතාට තමා දිනපතා කන්තෝරුවට යන අතරමගදී දක්නට ලැබෙන කම්හල සිහි විය. තැනින් තැන ඉදි කරන ලද ගොඩනැගිලිවලට ඉහළින් නැගෙන කළු දුම් වළලු ඔහුට පෙනෙන්නාක් මෙන් විය. කම්හල ඉදිරිපිට කුඩා තේ කඩය ළඟ රැස්වී තේ බීමට පොරකන කම්කරුවන් නිසා තමාට කීප දිනක් ම මොටෝරිය හසුරුවා ගැන්ම අපහසු වූ සැටි ද සිහියට නැගුණි. 

"තේ වතුර, තේ වතුර" පාරේ ඈත කෙළවරේ වැඩ කරමින් සිටි කවුදෝ කෑගැසුවේය. කවුරුත් තමන් අත වූ ආයුධ බිම තබා එදෙසට ඇදෙන්නට වූහ.

"තේ ගෙනාවෙනං හොඳ වෙලාවට," අබේපාල මහතා ගේ යටි සිත කොඳුළේය.

"යමු මහත්තය තේ වතුර ටිකක් බොන්ඩ," වෙද මහතා කීවේය.

"යමු, මාත් හිටියෙ දිව ගිලෙන්ඩ තරං පිපාසෙනුයි."

තේ බාල්දිය වට කරගෙන සිටි වැඩි දෙනා කම්කරුවෝය. විහිළු තහළුවෙන් යුතු ව තේ බීමේ යෙදී සිටි ඔවුන්ගේ ප්‍රසන්ன මුහුණු අබේපාල මහතාගේ සිත ඇදගත්තේය.

"කම්කරුවො, වැඩපළ, දාඩිය-කොයි තරං වටිනව ද" අබේපාල මහතාට සිතුණි.

වෙද මහතා ගෙනැවිත් දුන් තේ කෝප්ප්පය දෙතොළට ළං කළ අබේපාල මහතාට අමුතු සුවඳක් හා රහක් දැනුණේය. එවැනි සුවඳක් හා රසක් මින් පෙර කිසි විටෙක ඔහුට දැනී නැත.

කම්හල ළඟ කඩේ තේ ගැන පැතිර ගිය ආරංචිය ඔහුට සිහි විය. ‌ඒ කඩේ තේ පමණ රස තේ වෙනත් තැනක නැතැයි යන ආරංචිය ඇසූ තමා දිනක් තේ බීමට ඒ කඩයට ගිය සැටි සිහි විය. එක් උගුරක් පමණක් කටට ගෙන තේ රස නැතැයි මුදලාලිට කී සැටිත්, ඔහු එයට දුන් පිළිතුරත් සිහියට නැගුණි.

"දාඩිය මහන්සියෙන් වැඩ කරන අයට පමණයි මේ තේවල රස දැනෙන්නේ," එදා මුදලාලි කීවේ සැබෑවකි.

ඩහදිය හෙළන අයට ඒ කඩේ තේ පමනක් නොව, කොහේ තේත් රසයයි ඔහුට සිතුණි.

හිස් කෝප්පය රැගෙන තේ බාල්දිය ළඟට ගිය ඔහු තවත් තේ කෝප්පයක් ඉල්ලා ගත්තේය.



පරණ කියවීම් පොතකිනි.

Saturday, September 23, 2017

ඔපිස් පුරාවෘත්ත - Legends in Govt. Service

http://worldclassbenchmarking.com/wp-content/uploads/2016/02/Screen-Shot-2016-02-11-at-6.49.13-AM.png

ඔපිස් කතා කියල එකක් ලිව්වනෙව... මේ ඒකෙ දෙවෙනි කොටස වගේ එකක්. මෙතන මං කියන්න යන්නෙ ගහපු කාඩ් වගේ කතා සහ මං අහල තියෙන රජයේ සේවයෙ පුරාවෘත්ත ටිකක්.

කලිං කතාවෙදි අර ප්‍රසිඩන්ට් මහින්ද රාජපක්ෂ කෙලිම්ම කතා කරපු තීෆ් එකවුන්ටන් විමලසේන ඉන්නවනෙ... පොර අපේ අමාත්‍යාංශෙට ඇවිත් අවුරුදු දෙකක් යනකල්ම, වර්ෂාවසාන ගිණුම් පියවීමට හිටියෙ නෑ. මං හිතුවෙ පොර ඒකෙ වගකීමට බයේ කියල. ඉතිං අනික් එකවුන්ටන්ල දෙන්නත් එක්ක අපි (මං එතකොට රජයේ සේවයට නවක... පොඩි කොල්ලෙක්) එළකිරි වගේ එකවුන්ට් ක්ලෝස් කරල, මහා භාණ්ඩාගාරෙට යැව්ව ඉතුරු අග්‍රිම ටික. (රජයෙ සේවයෙ නොවෙන උදවිය ඔය මං උඩ ලියල තියෙන ග්‍රීක් වචන වල තේරුං එච්චර හිතන්ඩ එපාල)

ඉතිං අර අපේ තීෆ් එකවුන්ටන් වර්ෂාවසාන ගිණුම් පියවීමට නොහිටියෙ පොර ඒ දවස් වල ගියා ඕස්ට්‍රේලියාවෙ සංචාරෙකට. ඒ සංචාරෙ ගැන ඔපිස්සෙකේ පැතිරිච්ච කතා ටික තමයි පහළ තියෙන්නෙ. (මෙයිං ගොඩක් එව්ව ඔයගොල්ල අහලත් ඇති... මේ කතා ටික විමලෙට පටබඳිංන්ඩ හේතු උනේ, පොර නිතරම මට කියන්ඩ පුරුදු වෙලා හිටිය, “ඔය ඉංග්‍රීසි ටිකක් කට ගාගත්තට, කොම්පියුටර් අතගෑවට ඕක මහලොකු දෙයක් නෙමෙයි... කියල.)

අපේ ලොක්ක, ෆ්ලයිට් එක ඕස්ට්‍රේලියාවෙ කටුනායකට ඇවිත් නවත්තපු ගමං සීට් එකෙං නැගිටල ගියාලු දොර ගාවට. (බස්සෙහෙක උනත් නවත්තපු ගමං බැහැගත්තෙ නැත්තං ඒකෙ ඉන්න ඉබ්බො, ගොලුබෙල්ලො, කැස්බෑවො ඔක්කොම බහිනකං බලං ඉන්ඩ වෙනවනෙ...) ඒකෙ හිටපු සෝබමාන ගුවන් ඇටෙංඩොං කෙනෙක් කෑගැහුවලු, “සර්... ප්ලීස්ස්ස්... වේට්...“ කියල. ලොක්කත්, “සික්ස්ටි ටූ කිලෝස්“ කියාගෙන දොර අැරගෙන එලියට වැටුණලු. 

වැටිල කකුලක් ඇමැට්ටි වෙලා පොර ගෙනිච්චලු ඕස්ට්‍රේලියාවෙ මහ රෝහලට.. ගෙනිහිං ට්‍රොලියක ඉන්නවලු ඉමර්ජන්සි ට්‍රීට්මන්ට් කෑල්ලෙ. ඉද්දි අල්ලපු ට්‍රොලියෙ ඉන්නවලු පොරක් කැහැකැහැ. ඉතිං අපෙ ලොක්කත් මනුස්සකමට අරූ දිහා බලල හිනාඋනාලු.

ඒ ගමන අර කැහි ලෙඩා කියනවලු, “අයිම් සෆරිං ෆ්‍රොම් නිව්මෝනියා“ කියල.

ඉතිං ලොක්කත් කිව්වලු මනුස්සකමට, “අයිම් විමලසේන ෆ්‍රොම් ශ්‍රී ලංකා“ කියල.

සෆරිං කාරයට තේරුණාලු මූට මං කියපු එක තේරුන්නෑ කියල. ඒගමන පොර කිව්වලු, “නෝ මෑන්... නිව්මෝනියා... කේම් ෆ්‍රොම් කැටා...“ කියල.

ඒගමන අපේ විමලෙත් කිව්වලු, “ඕ යේස්... අයි කේම් ෆ්‍රොම් පෙටා“ කියල.

කොහොමිං කොහොමිං හරි යන්තං පය බිමගහගන්ඩ පුුළුවං වෙච්ච ගමං විමලෙ ගියාලු ඉස්පිරිතාලෙ කැන්ටිමට. යනකොට සුද්දෙක් ෆැන්ට බෝතලයක් බොනවලු. ඌ ඒක බීල ඉවර වෙලා, කිව්වලු “ෆැන්ටෑස්ටික්“ කියල. ඉතිං විමලෙත් ගත්තලු කෝක් එකක්. ඒක බීල විමලෙ කිව්වලු “කොකෑස්ටික්“ කියල.

ප්‍රා ලේ කාර්යාලෙක, ලේඛනාගාරෙ භාර හාදයයි, එකවුන්ටනුයි පුරුදු වෙලා හිටියලු හැම සිකුරාදම හවස සෙට් වෙලා බඹර පදම හොයං යන්ඩ. ඔය වැඩේට ඉතිං සල්ලිත් එපැයි. ඒකට අර එකවුන්ටන්ගෙ උපදෙස් පරිදි ලේඛනාගාර භාරකරු දැම්මලු ලියුමක් ප්‍රා ලේ ට. ලේඛනාගාරෙ මීයො ඉන්නව, බළලෙක් ඇති කරන්ඩ සහ ඒ බළලට රජයේ වියදමිං කෑම දෙන්ඩ අනුමැතිය ඉල්ලල. දාල අනුමත කරගත්තලු. ඉතිං හැමදාම සිකුරාද උදෙම්ම ලොඛනාගාර භාරකරු දානවලු වවුචරයක්, “බළලාගේ සතිපතා කෑම වියදම අතින් වියදම් කළ මුදල ප්‍රතිපූර්ණය කරගැනීම සඳහා...“ එකවුන්ටනුත්, මෙහෙම බලල - මෙහෙම බලනකොට ඒක වෝට් ලෙජර් දාල සහතික කරල, මුදල් පොතේ දාල, කෑෂ් චෙක්එකට දාල, සරප් (=රජයේ කාර්යාල වල ඉන්න කැෂියර්) බැංකුවට යවල මාරු කරවගෙන, හවස තුන වෙන්ඩ කලිං ලේඛනාගාර කාරෙයට ගෙවලත් ඉවරයි.

දවසක් ඔඩිට් කරද්දි ඔය වවුචර ටික අහුවෙලා, ඔඩිට් එකෙං ඇහුවලු, කෝ ඔය බළල? කියල. ඉතිං ලේඛනාගාර භාරකරුට පණිවිඩේ යවල, පැය බාගෙකිං විතර අරූ එනවලු, කොහෙංදෝ හොයාගත්ත කැහැටු ගැහිච්ච බළල් දණ්ඩෙක් උස්සගෙන...බළලත් එනවලු හරි සුවිනීත විදිහට වලිගෙ පුම්බගෙන, ඇඟිලි නියපොතු විහිද ගෙන, ඇස් ලොකු කරගෙන, යටිගිරියෙං මරහඬ දීගෙන...

ඔඩිට් කෂ්ටිය ඇහුවලු, “ඈ යකඩො? මෙච්චර වියදං කරල කන්ඩ දෙන බළල ද මේ කැහැටු ගැහිල ඉන්නෙ?“ කියල.

ලේඛනාගාර භාරකරු කිව්වලු ගත් කටටම, “නෑ සර්. ඒ බළල අද නිවාඩු. මේ උගෙ  ඇක්ටිං බළල...“ කියල.

රජයේ සේවයෙ දේශීය නිවාඩු (මෙරට ගතකරන නිවාඩු) ඉල්ලුම්පත්‍රයක් තියෙනව. පොදු 125 කියල ආකෘතියක්. ඕකෙ තියෙනව පුරවන්ඩ, නිවාඩු ඉල්ලුම්කිරීමට හේතුව. ඕකට ගොඩක්ම දෙනා ලියන්නෙ “පෞද්ගලික“ කියලයි. එක ඔපිස්සෙහෙක ලොක්කෙක් සැරෙයක් නීතියක් දාල තිබ්බ, ඔය වචනෙ ලියන්ඩ එපා, ඇත්තම හේතුව ලියන්ඩ ඕනෙ කියල. 

ඉතිං එකසැරෙයක් පොරට අනුමත කරන්ඩ දාපු නිවාඩු ඉල්ලුම්පත්‍රයක හේතුව ලියල තිබ්බලු, “අනියම් භාර්යාව සමඟ සංසර්ගයේ යෙදීම සඳහා මහනුවර යාමට“ කියල

මං ප්‍රෙස් එකේ ඉන්න කාලෙ...

ඒ කිව්වහම මතක් උනේ, ඕකෙ තිබුණ වැද්දුම් අංශය කියල බ්‍රාන්ච් එකක්. ප්‍රෙස් එක ස්වයංපෝෂිත කාර්යාලයක්. ඒකට ඕනෙ කරන ගොඩක්ම දේවල් ඒක තුලිම්ම තමයි කරගන්නෙ. ඔය වැද්දුම් අංශයෙන් තමයි ගොඩනැගිලි නවීකරණය සහ අලුත්වැඩියාව, මාකට් එකේ නැති යන්ත්‍ර කොටස් හදල සවිකිරීම, මැෂින් අලුත්වැඩියාව... ආදී නොයෙක් යාන්ත්‍රික වැඩ කළේ. ඔය අංශෙ හිටිය ප්‍රධානියා, වැඩබලන සුපරින්ටැන්ඩන්ට්. (ඒ දවස් වල ප්‍රෙස් එකේ හිටපු තරමක් ලොක්කො හිටියෙ - රජයේ මුද්‍රණාලයාධිපතිගෙ ඉඳං පහලට - වැඩබලන පදනමිං...) අර කියපු සුපරින්ටැන්ඩන්ට්ගෙ නම මෙන්ඩිස්... එයාගෙ අංශෙ හිටපු තරමක් උන්නෙ පෘතුගීසි කාරෙයො... කොස්තා, රුබේරු, ලිවේරා, සිල්වා, පේදුරු... ආදී වශයෙන්.

තව ඔය ප්‍රෙස් එකේ උන්න G. A. ලෙස්ලි පෙරේරා කියල ඒඕ කෙනෙක්. හරිම හොඳ මනුස්සයා. ඒ උනාට කවුරුත් එයාට කිව්වෙ ගල් පෙරේරා කියල (නමේ මුල් අකුරු ටික අගට තියෙන තිත් ටිකයි ස්පේස් ටිකයි අහක් කරල. ඇයි තව හිටිය W. A. L. කරුණාරත්න කියල කෙනෙකුත්...

ප්‍රෙස් එකේ හිටිය ගොඩක් අය රෑට උන්නෙත් ඔපිස්සෙකේමයි. ඒක පැය විසිහතර වැඩකරන කාර්යාලයක්. සතියකට නයිට් තුනක් කරල ඕටී පාරක් දාගන්ඩ පුළුවං. ඒ කාලෙ ඕක අයත් වුනේ ජඩමාධ්‍ය අමාත්‍යාංශෙට. ගරු ජඩමාධ්‍ය ඇමති හිටියෙ කෙහෙළිය රඹුක්වැල්ල කියල කෙනෙක්. ඉතිං හිටපු නවක පියන්ලා ඔක්කොම ගම්පොළ සහ නුවර අවට. උං ගෙදර යන්නෙ සිකුරාද හවස. ආපහු එන්නෙ සඳුද උදේ. ඉතිං උං කියනව, ගෙදර ගිහිං ඇඳේ නින්ද යන්නෑලු, ඔපිස්සෙකේ මේස උඩ නිදාගෙන පුරුදු වෙලා.

අර ඉහළිං කියපු කොස්තා දවසක් රාජකාරි වැඩකට වාහනයක් අරං ගියා. එයත් එක්ක ගිය ඩ්‍රයිවර් ගිහිං ආවට පස්සෙ ගිය ගමනයි, මීටරෙයි ලියද්දි රනිං චාට් එකේ, (එහෙම එකක් තියෙනව. සිංහලෙං කියන්නෙ ධාවන සටහන් පොත. හැම වාහනයක්ම ආ ගිය ගමං සහ මීටර් රීඩිං ඒකෙ ලියන්ඩ ඕනෙ.) ගියපු නිලධාරියගෙ නම අමතක වෙලා. ලිව්වලු “වඩිග පටුන මහතා සමඟ ජිනසේන ආයතනයට ගොස් අාපසු ආමි.“ කියල. කොස්තගෙ පොටෝ එක ඕං පහල තියෙනව. හිතාගන්න එකයි ඇත්තෙ ඇයි එහෙම ලිව්වෙ කියල.

ලොකු කරල බලන්ඩ ඕන්නං ක්ලික් කරන්ඩ කොස්තගෙ නහය
දවසක් ප්‍රෙස් එකේ තැපැල් අංශෙට ලියුමක් ආව. ඒකෙ ඇඩ්‍රස්කරල තිබ්බෙ “ලෝකෙ ලොකුම පොල් බූරුවට“ කියල. ඉතිං තැපැල් කාරය හිතල තියෙනව, එයා ඉන්නෙ ප්‍රෙස් එකේම තමයි කියල. මං ගියා තැපැල් අංශෙට ලියුං වගෙයක් රෙජිස්ටර් කරන්ඩ බාර දෙන්ඩ. එතකොට තමයි ඔය ලියුම දැක්කෙ. 

මං ඇහුව ඉතිං තැපෑල කරපු සීසී නෝනගෙං “මොකද කරන්නෙ ඔය ලියුමට? “ කියල.

“වෙන මොනව කරන්ඩද?“ එයා ඇහුව. “මේක අපි කඩන්නැතුව යවනව රජයේ මුද්‍රණාලාධිපතිට. නමට එවන ලියුං කඩන් නෑනෙ...“ කියල.

ප්‍රෙස් එකේ කාර්යාල නවීකරණය කරන්ඩ පටංගත්ත ඕං සැරයක්. පටංගත්තෙ ලක්ෂ ගාණක් වියදං කරල පිරිමි ටොයිලට් එක හදල. ඒක හදල විවෘත කරන කාලෙ තමයි, අර ජනාධිපති සිරිසේනගෙ මල්ලි, වැලිරාජු පොරෝපාරක් කාල මැරුණෙ. ඉතිං අපි එයාට කරන ගෞරවයක් විදිහට ටොයිලට් එකේ දොරට උඩිං එයාගෙ පොටෝ එකක් ගැහුව... ඒකෙ පොටෝ එකක් මං අරගෙන තිබුණ. දැං ඒක හොයාගන්ඩ නෑ. ඒක මේ වගේ එකක්... 

දවසක් ජේපී කෙනෙක් ගාවට ගිහිං කොල්ලෙක් දිවුරුම් පෙස්සමක් ලියාගන්ඩ, ඒ ජේපී ඔය දේශපාලනේ පදනමට ජේපී කම ලැබුණ කෙනෙක්... ලියල දුන්නලු දිවුරුම් ප්‍රකාශය මේං මෙහෙම:

“දෙය්යම්පා... බුදුම්පා... අම්මාපල්ල... මේ සුන‍ෙත් කුමාර කියන ළමයා හරිම හොඳයි. මං ඒක ඕනෙම දේවාලෙක දිවුරල කියන්ඩ ලෑස්තියි...!“

මයෙ හිතේ දැනට ඔය ඇති කියල. දැංවත් පාඩං කරන්ඩ නැගිට්න්න ඕනෙ ඒ හිංදා නවත්තන්නං. ආයෙ මතක් උනොත් තව කොටසක් ලියන්නං...

මේ ඉන්නෙ මං ප්‍රෙස් එකට ගිය මුල්ම දවස්වල දැකගන්ඩ ලැබුණ, ඒකෙ හිටපු පිළිගැනීමේ නිලධාරී වගේ හාදය.


පාඩං වැඩ හංද කාගෙවත් බ්ලොග්වලට යන්ඩ බැරි උනා... ඒ ගැන සමාවෙන්ඩල. විභාගෙ ඊළඟ මාසෙ අනිවා තියනව කියල විභාග කොමසාරිස් ජනරාල් දහ අතේ දිවුරල කියල තියෙනව. ඒ හංද ඔක්තෝබර් මැද ඉඳං ආයෙම මට පියාපත් දිගාරින්ඩ පුළුවං වෙයි...

Thursday, August 10, 2017

ඩ්‍රැකියා ගේ ඔපිස් කතා...

පාලුවටත් එක්ක වැඩිය හිතන් නැතුව ලියන්ඩ පුළුවං දෙයක් ගැන  ලියන්ඩ හිතුවා.

කලිං බොහොම උද්යෝගිමත්ව ලියපු කීප දෙනෙක් දැං ලියන් නැතුව ඉන්න බව දකින්ඩ ලැබුණා. අැත්තටම බොහොම කණගාටුදායක දෙයක් ඒ්ක නං... මොකද මාත් අැතුළුව බොහොම දෙනෙක් අඩු ගාන‍ෙ අකුරක් හරි උකහා ගත්තෙ ඔයගොල්ලං ලියපු බ්ලොග් වලිං...

https://s3.amazonaws.com/lowres.cartoonstock.com/
social-issues-social_service-budget_cut-government_
spending-unrealistic-targets-forn2560_low.jpg

ගොඩක් දෙනා දන්න හැටියට මං රජයේ සේවකය‍ෙක්... ඒ්ක සුද්දා අැති කරපු සේවයක් නිසා මං කැමතියි ඒ්කෙ ඉංගිරිස් නම ට. මොකද, ඉංගිරිසි නමේ හැටියට නං මං රජයේ සේවකයෙක් නෙමෙයි, "මහජන  සේවකයෙක්" (පබ්ලික් සර්වන්ට් කියන්නෙ මහජන සේවකයට)

මං අාණ්ඩුවෙ රස්සාවට ගියපු පළවෙනිම කන්තෝරුවට ටික කාලෙකිං මාරු වෙලා අාව ආරක්ෂක අමාත්‍යාංශෙ ඉඳං, තීෆ් චීෆ් එකවුන්ටන්ට් කෙනෙක්. උන්දැ ගැන නං කියන්ඩ කතා එමටයි. එකක් කියන්නං අෑ...

දවසක් ලිවුමක් අාව ජරාධිපති ජනාධිපති (මහින්ද රාජපක්ෂ හිටියෙ ඒ කාලෙ) එක්ක රැස්වීමකට එන්ඩය කියල අමාත්‍යාංශ ලේකම්ට... උන්නැහැ තනියම යන්ඩ අදි මදි කරල, තීෆ් චීෆ් එකවුන්ටන්ට් ටත් යං කිව්ව. ඉතිං උන්දැ ආපහු බ්‍රාන්ච් එකට ඇවිත්, ඩෙඟා නටන්ඩ ගත්ත, “ප්‍රසිඩන්ට් එක්ක මීටිං එකක්“ කියල... තියෙන තරං ෆයිල් ගෙන්නගෙන එව්ව ගැන ක්ලාක්ල ගෙං ප්‍රශ්න අහන්ඩයි... එව්වයෙ පිටු කොඩි කරන්ඩයි... පරණ වෙච්ච කැත ෆයිල් ආපහු හදන්ඩයි... කොහොම හරි සතියක් යනකං අපිට සාමාන්‍ය රාජකාරි කරන්ඩ හම්බුනේ නෑ...

ඉතිං කොහොම හරි ගිහිං ආවයි කියමුකො අර මීටිමට... ඊට පස්සෙ දවස් දෙකක් විතර යනකං අර මීටිමේ උජාරුව අහං ඉන්ඩ සිද්ධ උනා අපේ ඉහළ නිලධාරින්ට.

ඒ අතරෙ මෙහෙම කතාවක් පැතිරුණා...

තීෆ් එකවුන්ටන්ට් කිව්වලු අනික් එකවුන්ටන්ට්ල එක්ක දවල් කන ගමං...,

“මං ගියානෙ ප්‍රසිඩන්ට් එක්ක මීටින්ට එකකට... එතන හැම අමාත්‍යාංශෙකම ලේකම් වරු ඇවිත් හිටිය... සීයකට වැඩියි සෙනඟ. ඒ ඔක්කොම අතරිං මාව අඳුරගත්ත ප්‍රසිඩන්ට්... මං ඉඳගන්ඩත් කලිම්ම ප්‍රසිඩන්ට් මට අතදික්කරල, කෙලිම්ම මට කතා කළා...“

“අනේ ඇත්තද? ප්‍රසිඩන්ට් ඔයාට කතා කළා...? මොකද්ද කිව්වෙ ඉතිං...?“ එකවුන්ටන්ට් මැඩම් කෙනෙක් අහනව ඉතිං...

“කිව්වෙ ද? එතුමා කිව්ව... “විමලසේන, තෝ මෙතෙන්ටත් ආවද? ඩිෆෙන්ස් එකේ ඉද්දිත් මට කිසිම වැඩක් කරගන්ඩ දුන් නෑ තෝ... පලයන්ඩ මයෙ දෑහැට නොපෙනි...! පල ඉතිං කිව්වහම...!! පල යන්ඩ යකෝ...!!!“ කියල එතන තිබ්බ පේපර් වේට් එකෙං මට දමල ගැහුව...“

මං ඊළඟට ගියපු කන්තෝරුවෙ උන්න සිරාම බුලට් එකක්... ලක්ෂ්මන් අයිය... එයා පියන් කෙනෙක්... ඕනෙම කෙනෙක්ට හරියන නම පටබඳින්ඩ දක්ෂය... අපි ගිය අලුතම එතන හිටපු පරිපාලන නිලධාරිය, බ්‍රාන්ච් එකට එනකොටම අරූ ටිකක් හයියෙං කියනව,

“අං පිල්ලෙයාන් එනව...“ කියල.

තව කාලෙකදි සහකාර ලේකම් පාලන සර් කෙනෙක් ආව, ටිකක් මහතයි, ටිකක් තට්ටෙ තියෙන, ගිරා හොට වගේ නහයක් තියෙන ඩයල් එකක්. ඇවිත් සතියක් යන්ඩ කලිං “ලබු ගිරව“ කියල කාඩ් එකක් ගැහුව.

ඊට පස්සෙ ආව දැං ඉන්න පරිපාලන නිලධාරිය. උන්දැ ආව ගමං වෙනස්කං ගොඩක් කළා. ඒකෙං කණ්ෂ්ඨ කාර්යමණ්ඩලයෙ ද්වේෂයට ලක්උනා. ඉතිං කිසිම කණගාටුවක් නැතුව උන්දැට දැම්ම “ජෝන් සීනා“ කියල. ඒ නම කොච්චර දිරෙව්වද කියනව නං, මං පරිපාලන නිලධාරී විභාගෙ පාස් උනාම කීප දෙනෙක් මගෙං ඇහුව, “ඔයත් ජෝන් සීනා විභාගෙ පාස්ලු නේද?“ කියල...

සැරෙයක් අපිට එස්පහ පෙන්නන්ඩ ජෝන් සීනා අපිව එක්කං ගියා දොම්පෙ ප්‍රාදේශීය සභාව බලන්ඩ. ඔපිස්සෙකේ වෑන් එකේ ගියෙ. යන කං සැරිං සැරේ ජෝන කියනව,

“සිංදුවක්වත් කියමු නේද? නිකං මළගෙදරක යනව වගේනෙ නැත්තං...“

ඒ කියල කට ගන්ඩ කලිං කෂ්ටිය පටං ගන්නව,

“...ජෝ...න් සීනා... අපෙ පොඩිඑකාට ගහලා....“ සිංදුව.

ඔයකාලෙ හිටපු අතිරේක ලේකම් පාලන පොඩියි, කෙට්ටුයි, අඟුර වගේ කළුයි. උන්දැට දාපු කාඩ් එක තමා “ග්‍රීස් යකා“

පස්සෙ ග්‍රීස් යකයි ජෝනයි එක්කහුවෙලා බොහොම පොඩි චෝදනාවකට නිදහසට කරුණු අහල, ලක්ෂ්මන් අයියව අමාත්‍යාංශෙකට මාරු කළා...

ඔය ලක්ෂ්මන් අයියට පොඩි ලෙඩක් තිබ්බ... කවුරු හරි ප්‍රශ්නයක් අහන ගමං උන්දැගෙ ඉළේකට ඇඟිල්ලෙං ඇන්නොත් උන්දැ ඇත්තම කියනව...

ගොඩක්ම වෙලාවට එහෙම අහන ප්‍රශ්න තමයි,

“ගෙදර ඉන්නකොට මොකද කරන්නෙ?“

“උදේට කෑවෙ මොනවද?“

“වයිෆ් මොනවද දෑවැද්දට ගෙනාවෙ?“

“අද බතට මොනවද එළවළු?“

“හවස ගෙදර යද්දි මාකට් එකෙං මොනවද ගෙනියන්නෙ?“

ලක්ෂ්මන් අයියත් ජොලි පොර කියන්නෙ, ඔය ප්‍රශ්න වලට හයියෙම්ම උත්තර දෙන්නෙ ගෑණු උදවිය ගොඩක් මැද්දෙ ඇහුවොත්...

දැනට ඇති වගේ... තව ලියන්ඩ කතා මතක් උනොත් තව කොටසක් ලියන්නං ඈ...

වැඩිපුර බලපු ලිපි