Showing posts with label ඒ කාලෙ කතා. Show all posts
Showing posts with label ඒ කාලෙ කතා. Show all posts

Monday, May 5, 2025

භෝජනාගාරයේ ප්‍රහේලිකාව

මේකත් මම දාන්නෙ බුරතීනෝ පවරපු කොන්තරාත්තුව ඉවර කරන්න සෑහෙන කල් ගත වෙන නිසා, එතෙක් මේ බ්ලොග් එකේ පාලුව යන්නත්, ඒ වගේ ම මම තාම මැරිලා නැති වග මට හීනෙන් පෙනී "බොලා බ්ලොග් එක ලියන් නැද්ද?" කියා අහන උදවියට දන්වා, හුදී ජනයාගේ ටෝච් සංවේගය නැංවීම උදෙසා ය.

මම මුළින් ම ගණිත ගැටලුවක් කියල එකක් විසඳුවේ විදුසර පත්තරේ පිටුවක් පුරා තිබුණු භෝජනාගාරයේ ගැටළුව යි. ඒකෙ තිබුණු ඉඟි මොකක්වත් මතක නැතුව ඉද්දි, පුතාගෙ ශිෂ්‍යත්ව පංතියේ කරපු ප්‍රශ්න පත්තරයක තිබුණු ගැටළුවක් මම ChatGPT එක්ක සාකච්ඡා කළා. 

ඒ ගැටළුව මෙන්න මෙහෙමයි.

ඔබ සතුව 1Kg තරාදි පඩියක් සහ, 500g බරැති වැලි ප්‍රමාණයක් තිබෙනවා. එයින් යම්කිසි ද්‍රව්‍යයක, 1Kg 750g ක බරැති කොටසක් මැන ගත හැකි ද?

ඒකට උත්තරය ChatGpt මට පැහැදිලි කළාට පස්සෙ, (ඔබට පුළුවන් උත්තරය අනුමාන කරලා, කමෙන්ට් කරන්න. මම මීළඟ පෝස්ට් එකෙන් ඒකට උත්තරයත් කියන්නම්.) මායි පුතයි ChatGPT එක්ක IQ ගැටළු ගැන පොඩ්ඩක් වෙලා කතා කළා. 

ඒ අතරෙ මට මතක් වුණා අර උඩ මම කියල තියෙන, විදුසර පත්තරේ ගණිත ගැටළුව. ඒ විදිහෙ ගැටළුවලට කියන්නෙ සිංහලෙන් "තර්කරාමු" ඉංග්‍රීසියෙන් Logic Grid (ඉංග්‍රීසි නම කිව්වෙත් ChatGPT ම යි.) ඉතින් මම අර උඩ කියපු ගැටළුවෙ මට මතක ටික කිව්වහම, ChatGPT මට ගොඩනගල දුන්න ප්‍රහේලිකාව මම මෙතන පහතින් දානවා. මේකෙ ඉඟි ටික සාහිත්‍යමය බවක් එක් කරමින් මම වැඩිදියුණු කළා.

පුළුවන්නම් විසඳුමත්, විසඳුමට එළඹුනු පියවරත්  එක්ක කමෙන්ට් කරන්න.

වැරදීමකින් මේ පොටෝ එක මෙතන වැටිල තියෙන්නෙ. ගැටළුවට අදාළ නියම පින්තූරය ගැටළුවට පහතින් තිබෙන බව කරුණාවෙන් අලකන්ඩ!

විවිධ වෘත්තීන්වල නිරත වී සිටින හතර දෙනෙක් භෝජනාගාරයක ඇඳි පුටු දෙකක් සහ ඒ අතර තිබුණු කවිච්චියක වාඩි වෙලා වෙනස් වෙනස් බීම වර්ග හතරක් ඇණවුම් කළා. ඒ හතර දෙනා: ගුරුවරයෙක්, පුවත්පත් කලාවේදියෙක්, ඉංජිනේරුවෙක් සහ වෛද්‍යවරයෙකි. ඔවුන් ඇණවුම් කළේ: තේ, කෝපි, පළතුරු යුෂ සහ වතුර.

කෝපි ඇණවුම් කළ තැනැත්තා ඔවුන් ඉදිරියේ තිබුණු ගිණි උදුනට ඉහළින් ඇති කණ්නාඩියෙන්, වේටර් වරයා ආපසු යන හැටි බලාගෙන සිටියා. ඉන්පසු ඔහු තමන් අසල කවිච්චියේ වාඩි වී සිටි ගුරුවරයා සමග කතාවට වැටුණා. වෛද්‍යවරයා පළතුරු යුෂ ඇණවුම් කළේ, තේ සහ කෝපිවල තිබුණු කැෆේන්වලට අකමැති නිසා ය. ඔහු තමන්ට වම් පසින් වාඩි වී සිටි තැනැත්තා තේ ඇණවුම් කළාට පසුව කැෆේන්වල ආදීනව ගැන දීර්ඝ දේශනයක් කළා.  පුවත්පත් කලාවේදියාගේ වම්පසින් වාඩි වී සිටි ඉංජිනේරුවරයා කෝපි ඇණවුම් කළ තැනැත්තාගේ සහෝදරිය විවාහ කරගන්නට අදහස් කර සිටි නමුත් එය පසුව අත්හැරී ගියා.

ඉහත තොරතුරු ඇසුරින් මේ හතර දෙනා වාඩි වී සිටි පිළිවෙලත්, ඔවුන්ගේ වෘත්තීන් සහ ඇණවුම් කළ බීම වර්ගත් නිර්ණය කරන්න.


මේ ගැටළුවට උත්තර වශයෙන් කමෙන්ට් සීයක් වැටුන් නැත්තම්...

...එකෙක්වත්

මේ පින්තූරෙ ChatGPT ට කියලා කියලා කියලා කියලා වදෙන් පොරෙන් පස් වෙනි වතාවට වගේ හදාගත්ත පින්තූරය. මෙතන දාන්නෙ, අජිත් අයියා ගේ මරණීය තර්ජනයට පිළිතුරු වශෙයෙන්...


මේක බෝනස්...


Sunday, March 16, 2025

කොස්මස් යානය ආච්චිගේ කොන්දට


පහුගිය පෝස්ට් එකට කමෙන්ට් කරපු රුසියානු ලී බෝණික්කා මරාල කොන්ත්‍රාත්තුවක් පංගනාර්තු කරපු අතර, ඒ කොන්ත්‍රාත්තුව මේ වන තුරුත් ඉවර කරගන්න බැරි උනේ ය. ඒ උනත් බ්ලොග් එක පාලුවට අරින්න බැරි කැසීමක් තිබෙන නිසා, සුනන්ද කෝදාගොඩ මහතාගේ විනෝද රසාංග පොතෙන් උපුටා ගත්ත කතාවක්, හුදී ජන රසවින්දනය උදෙසා මෙහි පල කර සිටිනවා ඇත. මීට පෙරත් ඒ පොතෙන් ම කතා දෙකක් මං පල කර ඇති අතර, ඒවාට ලිංක් පහළින් දක්වා ඇත.

1. පවු(ල්)කාරයින්ගේ සංගමය මෙහෙයවන අවුරුදු සැණකෙලිය

2. බඩුපෙට්ටියක කොළඹට ගිය ගමනක් 

*    *    *

"දඩාස්..."

"බුදු අම්මෝ..."

ආච්චිගේ ලතෝනියෙන් මම මුසපත් උනෙමි. අහළ පහළ සියලු දෙනාම ඒ දෙසට දුවගෙන එන්නට විය. ආච්චි කෙඳිරි ගාමින් සිටී.

"ඇයි...? ඇයි...?"

අල්ලපු ගෙදර පොඩි එකා ආච්චිට ළංවිය.

"කොස්... මස්... වැටුණා" උන්දෑට කියා ගන්නට ලැබුනේ එපමණකි. සිහිසන් නොමැතිව ගිය ඇය ළඟට කිට්ටු වන්නට කිසිවෙක් ඉදිරිපත් නොවීය.

"එක්කෙනක්වත් අල්ලන්න එපා..." "අයින් වෙන්න. අයින් වෙන්න." "කෝ කෑලි එහෙමත් තියෙනවද?" ගත වූයේ තත්පර කීපයකි. දහසකට අධික සංඛ්‍යාවක් අපේ ගෙවත්තට එකතු වී සිටිති. ඒ සියලු දෙනාම කොස්මස් යානය ලංකාවට කඩා වැටෙන තුරු බලාගෙන සිටි අයය.

"ඕකුන්ට ඕක උන්ගෙ රට වටේ කරකවන්න තිබුනනේ... අහවල් මගුලකට ලංකාවට එව්වද? ඕක අපේ වත්තට වැටිල මගේ පොඩි එකෙකුට තුවාලයක් උනානං එහෙම ඕකුන්ගෙ..." ඇමෙරිකාවට එදා සිටම විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමින් සිටින ඒබරංමාමා ද අඩියක් ගසා ගෙන එතැනට පැමිණ දත්මිටි කෑවේය.

සෙනඟ හැසිරවීම සඳහා පොලීසියෙන් පැමිණි මහත්තැන්ලා බයිනෙත්තු, රයිපල් මානාගෙන අවට විපරම් කරන අයුරු මම දුටුවෙමි. රස පරීක්ෂකයන් යැයි සිතිය හැකි පිරිසක් ඒ අවට ගල්, වැලි බොරළු, අළු දූලි ආදිය එකතු කරන්නට විය. පුවත්පත් නියෝජිතයෝ හතර වටින්ම කැමරා මානාගෙන ප්‍රදේශය දෙවනත් කරමින් තොරතුරු සෙවූහ.

"කවුද මේක ඉස්සෙල්ලම දැක්කෙ...?"

"මම... මම දැක්කෙ" පුංචි කොළු ගැටයෙක් ඉදිරිපත් විය. ඌ දැක්ක කෙංගෙඩියක් නැත. සිදු වූ සියල්ල දුටුවේ මමය. එහෙත් මට ඔවුන් ඉදිරියට යා ගත නොහැකිය.

"කියන්න බලන්න මොකද්ද උනේ කියල..." කැමරා එකින් එක ළමයා වෙත උළුක් වන්නට විය. විදුලි වරුසාවක් ලෙසින් පොටෝ ගණනාවක්ම වැදුණි.

"දඩාස් ගාලා සද්දයක් ඇහිල මං කක්කුස්සියෙ ඉඳල දුවගෙන ඇවිත් බැලුව."

වාර්තා කාරයෝ නාස් තද කර ගන්නට වූහ. ළමයාට මේ වෙනස දැනුණි.

"නෑ මං හෝදගෙන ආවෙ..." එකෙනෙහිම ඇඟිලි තුඩුවලින් නාස් පොලු නිදහස් විය.

"ඉතිං ඉතිං..." පුවත් පත් වාර්තා කරුවෝ සියලු දෙනාම තවත් ළංවී කරුණු විපරම් කරන්නට වූහ.

"ඊට පස්සේ මේ ආච්චි මෙතන වැටිල ඉන්නව මම දැක්ක..."

"ඉතිං ඔය ළමට ළඟට ආව...?"

"ඔව්"

"ආච්චි ඇල්ලුවද?"

"නෑ..."

"කතා කළාද?"

"ඔව්"

"මොනවද කිව්වෙ...?"

"හරියට කතා කරගන්නවත් බෑ!" ඔව්හු සියලු දෙනාම එකම නිගමනයකට එළඹුනහ.

"කාගෙද ඔය සරම?"

"ඒකත් මේ ආච්චිගෙ ඇඟට වැටිල තිබුණෙ."

"ඉතිං මොකටද ඕක අතට ගත්තෙ. බිම දාන්න. බිම දාන්න."

කීප දෙනෙක්ම කෑගසන්නට විය. ළමයා සරම විසි කරනවාත් සමගම පොටෝ කීපයක්ම වැදුණි. රසපරීක්ෂකයින් එක්වී කිසියම් උපකරණයකින් සරම ගෙන රස පරීක්ෂණාගාරයට ගෙන යෑම සඳහා වීදුරු පෙට්ටියකට දමා ගත්තේ ය.

කිසි දිනක පිජාමා සරමක් නොදුටු එවුන් සේ හැමදෙනාම ඒ සරම නරඹන්නට විය. වෙනදා මා දෙස හොරැහින්වත් නොබලන අහළ පහළ තරුණියන් සියලුදෙනාම ඇස් කරකව කවා ඒ සරම දෙස ඉතා ආසාවෙන් බැලීම මාගේ අධිකතර චිත්ත ප්‍රීතියට හේතු විය.

"තව කවුද මේ සිද්ධිය ඇහින් දැක්කෙ...?" පොලෝසියේ මහත්තැන් කෙනෙක් මහ හඬින් මුරගාන්නට විය. එහෙත් වෙනත් කිසිවෙකු ඉදිරිපත් වෙන පාටක් නොවීය.

"බය වෙන්න එපා... තව කවුරුහරි මේ සිද්ධිය දැක්ක කෙනෙක් ඉන්නව නම් කියන්න..."

පත්තා වාර්තාකරුවෙක් පිරිසගෙන් විමසන්නට විය.

"මමත් දැක්ක..." රූමත් තරුණියක් ඉදිරියට පැමිණියාය. මගේ ඇස් මටම අදහා ගැනීමට නොහැකි විය. මම විළි ලැජ්ජාවෙන් හතර අතට ඇඹරුනෙමි. මේ සියලු විනාශයට මුල ඇය බව ඇයවත් නො දන්නවා විය හැකිය. ඒ මැගිලින් නැන්දාගේ දුවය.

"ඉතිං...? ඉතිං... මොනවද දැක්කෙ නංගී...? කියන්න බලන්න..." පුවත්පත් වාර්තාකරුවෙක් ඇගේ ඔළුව අතගාන්නට විය. මට යකා නැග්ගේය. මහසෝනා මෙන් ගහ උඩින් බිමට පැන බෙල්ල අනිත් පැත්තට කරකැවීමට සිතුනද, මා පත්ව ඇති අසරණ තත්ත්වය නිසා එම අදහස අකැමැත්තෙන් නමුත් යටකර දැමීමට සිදුවිය.

"උදේ නාන්න යන කොට මම දැක්ක... මේ ගෙදර මහත්තයයි මේ ආච්චියි මෙතන ඉන්නව."

"මොනව කර කරද හිටියෙ...?"

"උඩ බලාගෙන හිටියෙ. ඒත් එයා මං දැකලා හිනාවෙලා ආච්චිට හොරෙන් මට ඇහැකුත් ගැහුව."

"කවුද ඒ...?"

"මේ ගෙදර ඉන්න මහත්තය..."

"කවුද මේ ගෙදර ඉන්නෙ...?"

"අර නරනාටක එහෙම ලියන එක්කෙනා..."

"නෑ...! ඒ හාදයත් මෙතන හිටියද...? කෝ... ඉතිං?"

ඉන්පසුව සියලු දෙනාම මා ගැන සොයන්නට වූහ.

මා අතුරුදහන් වී ඇතැයි සමහරෙක් සැක කළහ.

"මේ තියෙන්නෙ... මේ තියෙන්නෙ..."

කවුදෝ කෙනෙක් අළු ගොඩක් පෙන්නුවේය. ඒ ඊයේ රාත්‍රී මා විසින් මරා පුච්චා දමන ලද කුණකටුවාගේ අළු ගොඩය. සියලු දෙනාම එතැනට එකතු විය. "මිනිහත් ඉවරයි එහෙනං" හිතවත් පත්‍ර කලාවේදීහූත්, රැස්ව සිටි සියලුදෙනාත් සංවේගාත්මක සුසුම් රැල්ලක් පිටකරන අයුරු මම අසා සිටියෙමි.

පරීක්ෂණය සඳහා එතැන තිබූ අළු ගොඩ එකතු කර ගන්නා විට මා පිළිබඳව දන්නා නොදන්නා හැම දෙනම මහ හඬින් හඬා වැළපෙන්නට විය.

"අයියෝ අහිංසකය..." සෙලෝ ආච්චි කම්මුලේ අත ගසා ගත්තාය.

"කාටවත් හිරිහැරයක් නැති මනුස්සය..." මැගිලින් නැන්දා කිඹුල් කඳුලු හෙලන්නට වූවාය.

"කොහේ හරි හොඳ තැනක උපදින්න ඇති." මා දුටු තැන "තුඃ!" ගා කෙළ ගසා අහක බලාගන්නා ජුසේ සීයා කොඳුරා කුරුසය ලකුණු කළේය.

දැන් ඔවුන් සිතා සිටින්නේ "කොස්මස්" යානය හිස මත පතිත වී මා අළුදූලි වන්නට ඇතැයි කියාය.

එහෙත් මම සුවසේ හිඳිමි. එනමුදු වෙනස්කම් කීපයක් සිදුවී තිබේ. මා ඉස්සර සිටියේ බිමය. දැන් උඩය. එනම් කොස් ගහ මුදුනේය. ඉස්සර සියලු සම්පත් තිබුණේය. දැන් ඇඳි වතත් අහිමි වී ඇත.

ඔබ සැමගේ දැන ගැනීම පිණිස කොස්ගස මුදුනේ අසරණව සිටගෙන වුවද ඇත්ත හෙළිකිරීම මගේ යුතුකම යැයි සිතමි.

දිවා ආහාරය සඳහා තම්බා ගෙන කෑමට කොස් ගෙඩියක් කඩා ගැනීමට අපේ වත්ත පහළ කොස් ගස ළඟට ආච්චි සමග ගිය මම ආච්චි ගහ යට තබා කොස්ගහට නැග්ගෙමි.

කොස් ගහ මුදුනේ සිට අවට සිරිනැරඹූ මට මැගිලින් නැන්දාගේ රූබර දියණිය දිය නාමින් සිටින මනස්කාන්ත විලාසය අපූරුවට දර්ශනය විය. ඒ චමත්කාර ජනක දර්ශනයෙන් මන්මත් වූ මම ගහ මුදුනේ සිටම කරණමක් ගසා ඇයට අත්පුඩියක් ගැසුවෙමි.

උඩබිම නොබලා ගැසූ කරණම නිසා කොස් අත්තක තිබූ දිමි ගොටුවක් මා හිස මතට වැටී දිමියන් මට වද දෙන්නට විය. දැවැන්ත කොස් අත්තක් අල්ලා ගත් මා බිම නොවැටී බේරී සිටියද ඇසිල්ලකින් මා හැඳ සිටි සරම ආච්චිගේ ඔළුවට වැටුණි.

සිදුවූ අකරතැබ්බයෙන් හතර විලි ලැජ්ජාවෙන් ඇඹරෙමින්, ඒ කුරිරු දිමියන්ගෙන් බේරීම සඳහා අත්තෙන් අත්තට පැන යද්දී මාගේ වම් පාදය වැදී කඩා වැටුණු කොස් ගෙඩියක් ආච්චිගේ පිට කොන්දට වැටී විසිවී ගොස් පහළ ළඳට වැටෙනවා මා බලාගෙනය.

මෙම සිද්ධියේ ආරම්භය එතැනය. එහෙත් ආච්චි සිතන්නට ඇත්තේ ද හිටිහැටියේ "කොස්මස්" යානය කඩා වැටුනා කියා විය යුතුය. සිද්ධිය පිළිබඳ සැලවූ රෝහල් නිලධාරීහු ඇම්බියුලන්ස් එකක දමාගෙන ප්‍රතිකාර සඳහා ආච්චි රෝහලට ගෙන ගියාය.

පරීක්ෂණ කටයුතු අවසන් වී පත්තර වාර්තා කරුවෙන්, රසපරීක්ෂකයන්, විද්‍යාඥයන් හා අසල්වැසියන් බොහෝ දෙනෙක් විසිර ගියද, ඒ දූෂමාන ආරංචිය ඇසූ හැම දෙනාම "කොස්මස්" යානය වැටුණු ස්ථානය හා මා මියගිය ස්ථානය නැරඹීමට වැල නොකැඩී පැමිණෙන්නට විය. ඒ අතර මා ළඟින් ඇසුරු කළ කාන්තාවෝ සහ තරුණියෝ මා මියගිය බව අසා මහ හඬින් වැළපෙන්නට වූහ.

දැවැන්ත කොස් අත්තකට මුවා වී රාහු අසුරේන්ද්‍රයා සේ දිවැසින් මෙන් මේ සියල්ල බලාගෙන සිටිය ද, සරමක් නෙමැති කමින් ගසින් බිමට බැස මට ඔවුන් සනසාලිය නොහැකි ය. ඒ නිසාම හතර වටින්ම ඝණාන්ධකාරය ගලා එනතුරු හතර විළි ලැජ්ජාවෙන් ඇඹරෙමින් මා කොස්ගහ මුදුනට වී සිටිමි.

Friday, October 18, 2024

විරෝධාකල්ප ගී

පවතින සමාජ ක්‍රමයේ හෝ පාලන තන්ත්‍රයේ ඇත්ත ස්වරූපය දකින්නත් යම් කිසි ලැබීමක් තිබෙන්න ඕනේ කියා සිතෙනවා. බහුතරයක් මනුෂ්‍යයන්ට තමන් සමාජක්‍රමය විසින් හැඩගස්වා තිබෙන තරමේ හැටියට, ඒක තුළ තිබෙන දැති රෝද කරකැවෙන බලවේගයන් සහ අරමුණු පේන්නෙ නැතුව යනවා. ඒ වගේ ම තමන් අයිති සමාජය තමයි ලෝකෙන් ම උතුම් ම ක්‍රමය කියන ස්වෝත්තමවාදී අදහසත් ළමා කාලයේ සිට ම ගිල්ලවන බවකුත් පේන්න තියෙනවා.

නමුත් තමන් අයත් සමාජයේ සහ පාලන තන්ත්‍රයේ අප්සට් බව හෙවත්, අර්බුධයට යාම දකින සුළු ප්‍රතිශතය, තමන් දකින දේ අනික් අයට පැහැදිලි කර දීම තම යුතුකම ලෙස සළකමින්, යම් යම් ආකාරවලින් තම සහෝදර ජනතාව දැනුවත් කරන්න උත්සාහ කරනවා. ඒ අය පළ කරන අදහස් විප්ලවීය අදහස් විදිහට පේන්නෙ, පවතින සමාජක්‍රමය විවේචනය කිරීම සහ එහි අර්බුධය විග්‍රහ කිරීමත්, වඩා යහපත් සමාජ ක්‍රමයක් මේ ආකාරයේ විය යුතු යැයි ඇදහීමත් නිසා. කලින් කලට මතුවන එවැනි උදවිය සමාජයට මතක හිටින යමක් ප්‍රකාශ කරලා, සමාජය යම් තරමකින් වෙනස් කරලා තිබෙන බවත් පේනවා. බුදුන්, සොක්‍රටීස්, ජේසු, කොන්ෆියුසියස් ආදී පුද්ගලයන් මේ විදිහේ විප්ලවකාරීන් හැටියට හඳුනාගන්න පුළුවන්.


මෙවැනි ප්‍රකාශන සංගීත ශිල්පීන් සහ පද්‍ය රචකයන් අතින් කෙරෙනකොට, වඩා තහවුරු ලෙස සමාජය ඇතුළට ඒ අදහස් කාවද්දන්න හැකියාවක් ලැබෙනවා. වික්ටර් හාරා, බොබ් මාලේ වැනි ජාත්‍යන්තර සංගීත ශිල්පීන් වගේ ම ලංකාව තුළත් එවැනි ම කර්ත්‍රව්‍යයක් සිදු කළ කලා කරුවන් අපට දකින්න පුළුවන්. 

මේ මම ඉහතින් සඳහන් කරපු, සමාජ තන්ත්‍රයට අනුගත වීමෙන් මස්තිෂ්ක නිර්වින්දනය වීමේ අර්බුධය ගැන තැනුණු එක් නිර්මාණයක්.


ඈත ඉඳන් කණකොකා හඩනවා
අපට ඇහෙන්නේ නෑ
දෝංකාර දී කැසට් පටයකින්
ගී හඬ පැතිරෙනවා
කිට්ටු වෙවී කණ කොකා හඬනවා
අපට ඇහෙන්නේ නෑ
නිලංකාර වී දෑසම 
විතකින් රහමෙර උතුරනවා

බැලූ බැලූ තැන උත්සවයක සිරි
විලාසිතාවන් ඇස පිණවනවා
තිරේ පිටුපසින් නූල් ඇදෙද්දී
රූකඩ සෙල්ලම ජයට නටනවා
උස්සාපන් අත - අපි උස්සනවා
ගහපන් කරණම් - අපිත් ගහනවා
ඇඳිවත නොදැනි ම ගිළිහී ගිය දෙන්
ගහන පදේකට අපිත් නටනවා

ඈත ඉඳන් කණකොකා හඩනවා
අපට ඇහෙන්නේ නෑ
දෝංකාර දී කැසට් පටයකින්
ගී හඬ පැතිරෙනවා
කිට්ටු වෙවී කණ කොකා හඬනවා
අපට ඇහෙන්නේ නෑ
නිලංකාර වී දෑසම 
විතකින් රහමෙර උතුරනවා

සිංදු ඇහෙනවා පිරිත් ඇහෙනවා
වෙලාවකට මේ දෙක පැටළෙනවා
බුද්ධාලම්බන ප්‍රීතිය උතුරා
සාදු කිය කියා අපිත් නටනවා
බෝ මළුවේ බයිලා ලෙලදෙනවා
බාර් එකේ මුණි වදන් ඇහෙනවා
පුවත් නොදැන අපි බමන මතින්
වග වළසුන් කොටි සමග නටනවා

ඈත ඉඳන් කණකොකා හඩනවා
අපට ඇහෙන්නේ නෑ
දෝංකාර දී කැසට් පටයකින්
ගී හඬ පැතිරෙනවා
කිට්ටු වෙවී කණ කොකා හඬනවා
අපට ඇහෙන්නේ නෑ
නිලංකාර වී දෑසම 
විතකින් රහමෙර උතුරනවා

පද රචනය - උපාලි අත්තනායක

සංගීතය - රංජිත් යාපා ද අල්විස්

ජවිපෙ විසින් නිර්මාණය කෙරුණු විමුක්ති ගී මට දැනෙන හැටියට ලංකාවේ බිහි කෙරුණු පළමු නූතන විරෝධාකල්ප ගී. ඊට පෙර වෙල්ලස්සේ කැරැල්ල ආශ්‍රිතව තැනුණු කවි ගැනත් මතක් කිරීම වටී...


අපේ රටේ භීෂණ සමය එක්ක විරෝධාකල්ප ගී රැල්ලක් ද නිර්මාණය වුණා. එයින් ප්‍රකට ම වුණේ නන්දා මාලනීගේ පවන සහ කපුගේ ගේ කම්පන. මේ මට දැනුණු හොඳ ම නිර්මාණයක්, නන්දා සහ සුනිල් ආරියරත්න සංයෝගයෙන් තැනුණු...


මියෙන්න පුතුනේ මියෙන්න වධ විඳ...
හෙලන්න පුතුනේ හෙලන්න ලේ කඳ...
කකියන දඬු කුරුසේ...
වාවා ගන්නම් මගෙ හද ඉකිබිඳ
මිරිකා කඳුළු ඇසේ...

“ඔවුන් මගේ පුත්‍රයාට කටු ඔටුනු පලන්දා
කස පහර දී මුහුණට කෙළ ගසා
කුරුස ගසේ තබා ඇණගසලා…”

ගලවා සළුපිලි අධර්මයේ 
ගලවා අභරණ අයුක්තියේ ..
පෙන්වූයේ පුත නුඹමයැ නිරුවත
පාලක ඝාතක ජඩයන්ගේ...
පාහර පූජක ගවයන්ගේ...

“ඔහු කළ මහා පාප කර්මය එයයි..
අධර්මයේ නිරුවත අයුක්තියේ නිරුවත
පෙන්වා දීමයි..”

ඉපදී පොඩි ගව මඩුවේ 
හැදී වැඩී වඩු මඩුවේ…
මාළිග මන්දිර මණ්ඩප පුපුරා නැගූ කෙසර හඬ
අයෝමයයි පුතුනේ...
අභීත මැයි පුතුනේ...

“මං දුක් වෙන්නේ නැහැ පුතේ නුඹ ගැන...”

සෙබළුනි මන්ද විරාමය හෙල්ලට
අනිව් අනිව් මගෙ පුතුගේ ඇලයට
සෙළවෙන්නේ පුතු සිරුරේ ලේ පමණයි...
සැඟවෙන්නේ මා පුතු පණ නළ පමණයි...

“කිසා ගෝතමිය සිද්ධාර්ථට කියූ
නිබ්බුත පදමැයි පුතේ මේ අහිංසක මරියා
කුරුස ගහ යට අඬ අඬා කියන්නේ...”
නිබ්බුතා නූන සා මාතා...
නිබ්බුතා නූන සෝ පිතා...
නිබ්බුතා නූන සා නාරී..
යස්සායං ඊදිසෝ පතී...

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.

සංගීතය - ස්ටැන්ලි පීරිස්.


මේ මා කැමති ම තවත් ගීයක්...


දඟගෙයි දඬුවම්‌ සියුමැලි වැඩිනම්‌
අළුගෝසුවනේ එල්ලාපන්‌..
අළුගෝසුවනේ එල්ලාපන්‌
කටු ඉඹුලේ අප එල්ලාපන්‌

යුක්තිය උදෙසා.. කෑමොර දීමයි
යුත්තිය උදෙසා කෑමොර දීමයි
දඟගෙයි ලෑමට අප සැම කළ පව
මුකවාඩම්‌ බැඳ  එකෙකු නසන කල
දනිවු සුවහසක්‌ තව උපදින බව

වරදට එරෙහිව.. අවි ඔසවන්නේ
වරදට එරෙහිව අවි ඔසවන්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්‌
ශාන්තිවාදී තපස්‌ රකින්නේ
පිට කොඳු බිඳ ගත්‌ ඔල මොල නිවටුන්‌

දඟගෙයි දඬුවම්‌ සියුමැලි වැඩිනම්‌
අළුගෝසුවනේ එල්ලාපන්‌..
අළුගෝසුවනේ එල්ලාපන්‌..
කටු ඉඹුලේ අප එල්ලාපන්‌..

ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය: ගුණදාස කපුගේ

ගායනය - විජය කුමාරණතුංග

රටට වෙලා තියෙන දේ ගැන මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කළ මේ ගීයත්, නන්දා මාලනියගේ පවන ඇල්බම් එකෙන්...


අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ...
ලේකිරි දුන් උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ...
දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ...
දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ...

උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්...
මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්...
තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී...
ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී...

උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී...
මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන්  මරතී...
අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී...
මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී…

පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය:-  ස්ටැන්ලි පීරිස්

ඒ වාගේ ම විය යුතු දේ ගැන, ජයතිලක බණ්ඩාරයන්ගේ මේ ගීයත් අමතක කරන්ඩ ම බැරි නිර්මාණයක්... 

ජනතාවට අන්තිමේ දි ජය අත් වෙනවා.


ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා

මොහොමඩ් එර්ෂාඩ් කලක් බංග්ලාදේශේ
මහ ලොකු ජාතියෙන් නේද කෙරුවේ වාසේ
අන් අයගෙන කුලියට ලියවාගෙන ගැදි පැදි
චින්තන උල්පතක් වාගෙ පෙනුණා කලකදි
ගහගෙන තම කයිවාරුව තම පුර වරුණේ
යුග පුරුෂය පහල වුණා කියලය පෙනුණේ‍
ධර්මය රැක ගන්න පහළ වුණු ලෙස පෙන්නා‍
මර්දනයෙන් බොරුවෙන් රජ කරගෙන උන්නා
එක්සත්වී මහජන බලවේගය නැග්ගා‍
තක්කඩි ඒ පාලකයා හිරගෙයි ලැග්ගා

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා

කලක් සියා උල්හක් නැග බලස්ථානෙට
සයිස් දමාගෙන හිටියා පකිස්ථානෙට
මිනීමරු පාලන ගඳ පිහිටුවා වටපිටේ
තනි මතයට රජ කරගෙන  හිටියෙ ඒ රටේ
එක් දවසක් හක් අහසට නැගල යනකොට
ඩොග් ගෑවා කෑලි තමයි වැටුණෙ පොළවට

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා

ෂා කෑවේ ඉරානයම එයාගෙ වාගේ
සාර්ථකද කටයුතු අන්තිමට එයාගේ
ඉරාන ජන මතය නැගුණි ගම්බිම් පාසා
පරාණ කූඩුව අරගෙන පැන දිවූවා ෂා

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා

ඉඩි අමින්ගෙ හැඩි දැඩි පාලනය කොහොමද
දැඩි මහජන මතය හමුවෙ කෙළින් හිටියද

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා

මාකොස් පීලිපීනයෙ බලවතා හැටියට
පෑ පිස්සුව ඇල්ලුවෙ නෑ එරට වැසියට
පෙන්නාගෙන බොරු සාධාරණය තමුන්නේ
ඡන්ද මගඩි වලිනුයි ඔහු බලයෙහි උන්නේ
තම රූපය මහජනයා හමුවෙ ඇටෙව්වා
සමනල ගල වැනි මහ උස ගලක කෙටෙව්වා
අරන් මහා ජන මුදලින් විදුලි බල එලී
තොරන් බැදන් රට පුරාම කෙළියෙ සැණකෙළී
ගඳ ගහද්දි මාකොස්ගේ මිනීමරුකම
ළඳ සෝබන මොඩ් බඩුවක් වුණා රටටම
ජනමතයක් මුලු පිලිපීනයේ මතුවුණා
හොනලොලුවට යන්නට මාකොස්ට සිදුවුණා‍

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා

මාකොස්ටත් පිලිපීනෙන් යන්න සිදුවුණේ
මේ බොස්ටත් ඒ පාඩම ගන්න බැරි වුණේ
සෙනේවන්තයෝම රටේ බලයට එත්වා
අනේ වනේ වන හතුරොත් ජීවත්වෙත්වා

ගීත රචනය: සිරිලාල් කොඩිකාර

සංගිතය : විශාරද ගුණදාස කපුගේ

*    *    *

විරෝධාකල්ප ගී ගැන අපේ සහෘදයෙකු වන දයානන්ද රත්නායකයන්ගේ සටහන මෙතැනින්...

Sunday, September 8, 2024

ඡන්ද ආශ්‍රිත විහිලු කතා


මේ දවස්වල ඡන්ද උණුසුමත් එක්ක වෙන මොනවත් ලියන්න බැරි තත්ත්වයක් තිබේ. ඒත් අපට දේශපාලන මතවාද ගැන ප්‍රසිද්ධියේ අදහස් පළ කරන්න තහනම් නිසා, සීමාව තුළ ඉඳගෙන ලියන්න හැකියාව ඇත්තේ, පොඩි පොඩි කතා ටිකක් විතරකි. එයින් මුලින් ම මට මතක් වෙන්නේ අසූ ගණංවල මුල භාගයේ තිබුණු ලංකාවේ පළවෙනි ජනාධිපතිවරණයයි. ඒ 1982 දී ය. මට මතක එක ම සිදුවීම නම්, අපේ නාන ළිඳ ළඟ දී අපේ මහප්පා, (උග්‍ර යූඇන්පී කාරයෙකි...) "කොබ්බෑකඩුවගෙ ඡන්දෙත් හොරට දාලලු නේ?" යි හිනා වෙමින් කියූ හැටි ය.

මට මතක ඇති කාලයක ඉඳං අපේ තාත්තා මුල් කොටගෙන අපේ මුළු පවුල ම, පවතින ආණ්ඩුවට විරුද්ධ පැත්තේ ය. මට මතක මුල් ම කාලයේ, අපි ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව පිළිකුල් කළෙමු. අම්මා කියන හැටියට, ඊට කලින් පැවති මැතිණිගෙ ආණ්ඩුව ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණු අපේ තාත්තා, ජේ ආර් විසින් ආර්ථිකය විවෘත කළාට පසු, "අපේ ඡන්දෙන් තොපිත් කාපියව්" යි කඩමණ්ඩියේ දී මහ හඬින් කියා තිබුණි.

1989 තිබූ ජනාධිපතිවරණයේ දී යූඇන්පී ආණ්ඩුවට එරෙහි ව ඡන්දය ප්‍රකාශකිරීමට අවස්ථාව ලැබීමෙන් උද්දාමයට පත් වූ අපේ ගමේ ශ්‍රී ලංකා කාරයන් ඡන්දය දා හවස ගමේ මහ පාර දිගේ පෙළපාලියක් ද ගියෝ ය.

1994 දී බහුතරයගේ ආශීර්වාදයෙන් පළාත් සභා මැතිවරණය සහ පාර්ලිමේන්තු මහ මැතිවරණය දිනමින් ඉතා වේගවත් ගමනක් ගිය චන්ද්‍රිකා මැතිණිය, වූවත් අපේ පවුලේ අප්‍රසාදයට ලක් වීමට වැඩි කාලයක් ගත වුණේ නැත.

ලංකාවේ මා දන්නා දේශපාලනික ඉතිහාසය ඔය විදිහ ය. එතනින් ඉදිරියට යමක් කීමට මගේ වෘත්තීමය සීමාවන් අනුව මේ අවස්ථාවේ දී බැරි ය. පහතින් මා ලියන්නේ මාතෘකාවේ හැටියට ම මා අසා ඇති ඡන්ද හා දේශපාලනය පසුබිම් කරගත් කතා ටිකකි...


පළවෙනි කතාව මම ඇහුවේ අරේ සහ මරේ නම් සීයලාගේ රේඩියෝ වැඩසටහනෙනි.

කොල්ලෙක් බයිසිකලෙන් ඇවිත් බැහැලා, දේශපාලන පක්ෂ මැතිවරණ කාර්යාලයක් ළඟ. ඇහුවලු, 

"චණ්ඩි ඉන්නව ද?" කියලා.

ඇහැට ඇඟිල්ලෙන් අණින ‌තුරු බලාගෙන හිටියා වගේ, දහ දෙනෙක් විතර එළියට පැනලා, අර කොල්ලට වැලේ වැල් නැතිව යන්ඩ තඩි බෑවලු.

පැයක් විතර උඩ දාගෙන ගහලා ගහලා, අන්ති‍මේ කට්ටිය හති දාන්ඩ ගත්තට පස්සෙ අර කොල්ල කිව්වලු, 

"අනේ අයියෙ... මේ ගෙදර උන්නා චන්දි කියල ගෑල්ලමයෙක්. මං මේ එයා ඉන්නව ද කියල ඇහුවෙ." කියලා.

ඒක කිව්වම සමාන කතාවක් මතක් වුණා...

දවසක් පිස්සංකොටුවෙ හිටපු සුපුං කියල එකෙක් තාප්පෙන් පැනලා ගමට ගිහිං ගමේ එකෙකුට ගහල ආපහු ඇවිත්.

පහුවදා, ගමේ ම ඉන්න කොල්ලො සෙට් එක ආවලු පිස්සං කොටුවට. ඇවිත් සුපුං ව හොයනවලු. අන්තිමේ  "මං තමයි සුපුං" කියල එකෙක් පිළිගත්තලු. ඉතිං අර කොල්ලො සෙට් එක අරූට වඩාගෙන ගැහුවලු කුඩු සම්බෝල වෙන්ඩ. ගහල ගහල අරුං සෙට් එක යන්ඩ යනකොට, ගුටිකාපු එකා කියනවලු...

"අඩෝ! හූ! මං සුපුං නෙමෙයි, ප්‍රසක්ඥ" කියල.

අඹගෙඩියක් වගේ රටක ජනාධිපති කෙනෙක් වරක් ඔස්ට්‍රියාවට සංචාරයක් ගියා. එහෙ එයා‌පෝට් එකේ දි එයාව පිළිගත්තෙ ඔස්ට්‍රියාවෙ අගමැති. ඉතිං අඹගෙඩි ජනාධිපති එයාගෙ කස්ටිය අඳුන්වලා දුන්නා, 

"මේ අපේ ආර්ථික සංවර්ධන ඇමති, අධ්‍යාපන ඇමති, විද්‍යා හා තාක්ෂණ ඇමති, නීතිය හා සාමය පිළිබඳ ඇමති..."

ඉතිං ඔස්ට්‍රියාවෙ අගමැතිත් එයා එක්ක හිටපු පිරිස අඳුන්වලා දුන්නා...

"මේ අපේ ආර්ථික කටයුතු ඇමති, අධ්‍යාපන ඇමති, අධිකරණ ඇමති, වරාය සහ නාවුක කටයුතු ඇමති."

ඒක කියනකොට අර අඹ රටේ ජනාධිපතිට හිනා. ඔස්ට්‍රියාවෙ අගමැති ඇහුව ඇයි හිනා වෙන්නෙ කියලා.

"බොලාට මුහුදු තීරයක් තියෙනවයැ? හතර වටින් ම ගොඩබිමින් වට වෙච්ච රටක්නෙ ඔස්ට්‍රියාව. ඉතිං වරාය හා නාවුක කටයුතු ඇමති කියල කිව්වම මට හිනා ගියා." අඹ ජනාධිපති කිව්වා. ඒ ගමන ඔස්ට්‍රියාවෙ අගමැති අප්සට් එකේ අහනව...

"ඉතිං මම හිනා වුණායැ ඔයාලගෙ අධ්‍යාපන ඇමති, ආර්ථික සංවර්ධන ඇමති, නීතිය හා සාමය පිළිබඳ ඇමති, විද්‍යා හා තාක්ෂණ ඇමති කියල කියනකොට? හරි නං මං හතර ගුණයක් හිනා වෙන්ඩ එපැයි..."

ඔය අඹගෙඩි රටේ ජනාධිපති කෙනෙක් වරක් ඊශ්‍රායෙල් ගිහිං, එහෙ දි මළා. ඊශ්‍රායෙල් රජයෙන් ඇහුවා, අපි මෙතුම ව මෙහෙ මිහිදන් කරන්නං කියලා. නමුත් අඹ රටේ කට්ටිය ඒකට කැමති වුණේ නෑ. ඒකට හේතුව හැටියට කිව්වෙ,

"එක සැරයක් ඔයාලගෙ රටේ කුරුසෙට තියල ඇණ ගහල මරපු කෙනෙක්, වළලලා, දවස් තුනකින් ආපහු නැගිට්ටා. අපට බෑ ඒ වගේ රිස්ක් එකක් ගන්න. ඒ නිසා අපි මෙතුමගෙ මෘත දේහය ගෙනිහිං අපේ රටට, රාජ්‍ය ගෞරව ඇතුව ආදාහණය කරනව."

දවසක් අඹගෙඩිය වගේ රටේ මනුස්සයෙක්, "බලු ආණ්ඩුව" කියල බැණල... එදා රෑම ඌව උස්සලා ගෙනිහිං ප්‍රශ්න කළාලු, නිල නොලත් පොලිසිය විසින්...

එතන දි අරූ කිව්වලු, "මං බලු ආණ්ඩුව කිව්වෙ මේ රටේ ආණ්ඩුව ගැන නෙමෙයි, වෙන රටක ආණ්ඩුවක් ගැන" කියල. 

ඒ වුණාට නිල නොලත් පොලිස් කාරයන්ගෙ නායකය, රැවටුනේ නෑලු.

"තෝ කෙහෙ ද බොල මාව තම්බන්නෙ?" පොර ඇහුවලු කේන්තියෙන්... "වෙන කොයි රටේ ද බොල බලු ආණ්ඩුවක් තියෙන්නෙ?"

ඒ කිව්ව ම තව කතාවක් මතක් වුණා. 

දවසක් හිටපු ජනාධිපති කෙනෙක්ට "පිස්සා" කියල. (ඔව්. අර අඹගෙඩි රටේ තමයි) ඒ මනුස්සයට විරුද්ධව නඩුවක් විභාග කළා ලු. අන්තිමේ නඩු කාරය තීන්දුව ප්‍රකාශ කරද්දි කිව්වලු, "යුෂ්මතාට විරුද්ධව තියෙන චෝදනා දෙක ම ඔප්පු වුණා. එකක් තමයි රටේ ජනාධිපති ට අපහාස කිරීම. අනික තමයි, රටේ වැදගත් රාජ්‍ය රහසක් ප්‍රසිද්ධියේ හෙළි කිරීම." කියලා

තව කතාවක් කියන්ඩ ද? එපා? හා එහෙනං යන්නං. කියවලා කමෙන්ටුවක් දානවනං, වෙරි නයිස්...!

Wednesday, September 4, 2024

මී හරක් සංදේශය



සැරද මී හරකා කළු කුමරාට සුමිතුරු
පෙර සමතෙක් තරඟෙට රජුට කවි බැඳ
ලැබිය ගමක් නුඹ සන්දා මිතුරු සඳ
එකවිය කීම ම සෑහේ නුඹ වැනීමට

කර ගල ගගා එනවා මම් නොදනිම් ද
කර ගල ගගා එනවා මම් නොදනිම් ද
කර ගල ගගා එනවා මම් නොදනිම් ද
කර ගල ගගා එනවා මම් නොදනිම් ද

මෙප මණ වැණුම් ලද සුමිතුරු මීහර    ක
කොප මණ මෙදින නෑවද නුඹ මඩවල    ක
තොප එන අතරමග ආවෙද නොවී දු    ක
සැප තකි ඉන්ට ඇත්නම් මෙ නුඹ දැක දැ    ක

නොමදින් තද දුකට පත් වී සිටින ම    ට
වෙන අන් කෙනෙකුගෙන් නොලැබේ ම ය පිහි    ට
එබැවින් ලොවට වැඩ වන පණිවිඩයක     
සැරසෙන් අළුත් නුවරට අද යන ලෙස     ට

දනවත් දන හොඳට කාබී සැප ලෙසි    
සිටිතත් මෙරට නොතකති අප දුගී ද    න
එහෙමත් සිටින උන් හට දැන් පත් මගි    න
පසසත් උතුමන් ය කියමින් යුතු සුගු    න

තමන් ගේ පාඩුවේ සැප විඳින ද    න
උතුම් බවට පැමිණෙන්නේ කොයි ලෙසි    න
මෙවන් කරුණු දැන දැන කුහක ගතියෙ    න
ඔවුන් හට කරති පැසසුම් අමන ද    න

එබැවින් මිතුරු මී හරකෝ ගුණ නැණැ     ති
තගොසින් අළුත් නුවරට විගස නො නැව    ති
දකිමින් කළු කුමරු නම් යක්ෂ සෙන්ප    ති
පවසන් මේ අවනඩුව මුළු ලොවට වැඩ වෙ    ති

ඉතින් නුඹ කොළඹ මරදානෙන් ගොසි    නි
දකින් කැළණිය ද පෑලියගොඩ හොඳි    නි
එයින් පසු ව හුණුපිටිය ද රාගමි    නි
හොරෙන් හොරෙන් යව මඩ වගුරු අතරෙ    නි

ගනේමුල්ල හෙනරත්ගොඩ බෙම්මු    ල්
පත්තල ගෙදර වේයන්ගොඩ සිරි දු    ල්ල
පල්ලේවෙල මීරිගම පොල් තුරු නි    ල්ල
පසු කර අඹේපුස්සට යව නොව මැ    ල්ල

අලව්වේ වලව්වල නොම නැවතී    ලා
වලකුඹුරේ කුඹුරකට බැස දිය බී    ලා
පොල්ගහවෙල රඹුක්කන ගම් පසුකර    ලා
කඩුගන්නාවෙ කන්දට නගිනු සැරසී    ලා

බලනේ විලස සිහලුන් දක්වා පො    රණ
බලනේ පරංගින් වැනසුව පැමිණි    රණ
බලනේ කන්ද නැග සුමිතුරු නොව උ    රණ
බලනේ නම් යෙහෙකි ඒ ලේ වැකි දෙ    රණ

එතනින් ගොසින් අනතුරු නොව කඳු උඩි    නි
පලයන් අළුත් නුවරට ගරු සරු සිති    නි
පසෙකින් දැඩිමුණ්ඩ දෙවියන් සිට බැති    නි
නමදින් සතර ගාතෙන් බිම පෙරලෙමි    නි

පුරා තන පටන් සිරිලක රැක ග    ත්තු
විරා ජිත පවර එසුරිඳු සිරිම    ත්තු
සුරා වනසන්ට වීරිය පෙර ග    ත්තු
හැරා සිටිනු කිම දැයි විමසිය යු    ත්තු

අළු කර තෙද නලින් දුදනන් දුරු ව    න්ඩ
ඇළු මිය කරණ සුදනන් සැප සලස    න්ඩ
දිළු යස විකුම් දෙවිඳන් වැඳ දැඩිමු    ණ්ඩ
කූළ කුමරා සිටින දෙවොලට රිංග    න්ඩ

නැග මී හරකෙකුගෙ පිට රුදු යකා ලෙ    
සිටිනා කළු කුමරු සඳ දැක වඩා තො    ස
වැඳ ලා හතර ගාතෙන් නුඹ නො වී ල    ස
මෙලෙසින් තුති කරන් ඒ යකුට නිසි ලෙ    ස

රීරා මහසොහොන් දහ අට එ සමය    මේ 
ගෝරා අබිමාන යකු මහ සූනිය    මේ
නෑරා මෙ සැම සහ වසනා මිතුරුව    මේ
තෝරා ගතැකි පහනා කළු කුමරු ය    මේ

තුම්මන් සලේ රැක ඉඳ ලෙඩ කරන     යකා
ගොම්මන් වෙලාවට දිස්ටිය හෙලන     යකා
යන්තම් රුවැති ලියටත් බැල්ම ලන    යකා
පන්දම් එළිය දැක නටනා රුදුරු     යකා

මෙලෙසින් තෙද විකුම් යුත් කළු කමරු හ    ට
මබසින් සතර ගාතෙන් නමැඳ තුති කො    ට
පෙරවුන් උතුම් සිංහලයන් ගේ නම    ට
සතුටින් සවන් දෙන්නට කිය මේ බස    ට

දැනට සිරි ලකේ සිටිනා බොහෝ දෙ    න
සුරා පෙරා විකුණාලා විදි ලෙසි    න
මුදල් බොහොම සපයා ගෙන සුරන් මෙ    න
කන්නන් අඳින්නන් බොන්නන් රිසි ලෙසි     න

තවත් සමහරෙක් ඉංග්‍රිසි සත ඉගෙන    න
ලොකු නිලතල ලබා මුදලුත් සපය ගෙ    න
ලොකු ලොකු වලව්වල ඉන්නන් සුරන් මෙ    න
මෙලෙසින් දැන් ඉන්න අයගේ නැත ගණ    න

මොවුන් මෙලෙස ඉන්නා මුත් සිරි සැපෙ    න
සුරා බිබී වැනසෙති කොටසක් අම    න
සිප් සතරක් ඉගෙන ගැනුමට නැති කමි    න
යකුන් ලෙසට ලොකු වෙති දරුවෝ දුකි    න

කරන්නට රැකී රක්සා නැති බැවි    න
හිඟන්නන් වෙලා තව කොටසක් සිටි    න
වෙළෙඳම් සියළු වෙන රට අයට අත් වු    න
හිඟා නොකා අපි හිඟමනට පත් වු    න

අනුරාපුර කුඹුරු තැනුමට ඇතත් ඉ    ඩ
නොතකති දනවතුන් හට ඒ නොවේ වැ    ඩ
සියළු ම ලක් දනට සැපසේ ඉන්ට ඉ    ඩ
තිබෙතත් දනවතුන් නොතකති රටේ වැ    ඩ

බිබී ජින් බ්‍රැන්ඩි ෂැම්පින් මත් කර    න
කකා මස් පාන් ආදිය රස වැහෙ    න
මොටෝ කාර්වල යන එන සිතු ලෙසි න
වලව්වල දෙවෙනි මාලෙහි සැප විඳි    න

මිනිසුන් උතුමන් ය කියමින් කපටි ද    න
උතුමන් හටත් ගරහති සුනක ගතියෙ    න
එබැවින් කළු යකානෙනි තද තෙදැති ව    න
බලමින් ඔබෙ කුරිරු ඇස් දෙක නෙරවමි    න

වැඩක් රටට නොකරන ලොකු ලොකු අය     
ඔවුන් උතුමන් ය කියනා කපටින්     ද
නරඹා කළු කුමරු මරු අවතාර ල    ද
කළ මැන සුදුස්සක් ලෝ වැඩ වැඩෙන ලෙ    ද

කියා ලා මෙවග කළු යකුට නම ක    ර
අයා මුව රටේ සතුරන්ට දෙස් ක    ර
සොයා ගෙන ගොසින් නුඹෙ වනගත කුඹු    
දයා වෙන් වසනු මැනවී ගොන් මිතු    ර

- පියදාස සිරිසේන

(විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය පොතෙනි)

https://archive.roar.media/sinhala/main/health-lifestyle/scary-black-prince-who-looks-at-ladies

Saturday, June 15, 2024

වර තුනක් සහ කෙටි යෙදුම්

වර තුනක් ලබා දීම ගැන විවිධ ආකාර කතා මේ ලෝකය පුරා ම තියෙනවා. එයින් මේ කතාව මම ගොඩක් පොඩි කාලෙ කියවපු කතාවක්.

දුප්පත් මහළු යුවළක් හිටියා. ඒ දෙන්නා බොහොම දුකින් වාසය කළේ, සමහර වෙලාවට බඩගින්න නිවාගන්නවත් හැටියක් නැතුව. ඒ වගේ ගෙවුණු එක දවසක, සීයා හාමත් වෙමින් ඉන්න අතරෙ, එතනට ආවා සුරංගනාවියක්. ඇය මහලු යුවල අමතලා කිව්වා, "මම ඔයාලට වර තුනක් දෙනවා. දැන් ඔයාලා ඉල්ලන, ප්‍රාර්ථනා කරන පළමු ආශාවල් තුන එවෙලෙම ඉෂ්ට වෙනවා." කියලා.

ඉතින් ඒ දෙන්නා සාකච්ඡා කරන්න පටන් ගත්තා. වර තුනයි ලැබෙන්නෙ. එයින් ලබා ගන්න පුළුවන් හොඳ ම සහ උපරිම අවස්ථාව ලබා ගන්න ඕනෙ.

කල්පනා කරලා, සාකච්ඡා කරලා, වාද කරලා අන්තිමේ බැරිම තැන සීයා ට කියවුණා, "මට බොහොම බඩගිනියි. සොසේජ් එකක්වත් තියෙනවනම් මම කැමතියි." කියලා.

එහෙම කියලා මොහොතක්වත් ගත වෙන්න කලින් ඔහුගෙ ඉදිරිපිට සොසේජ් එකක් මැවුණා.


ආච්චිට බොහො ම කේන්තියි. ඇයි, වර තුනෙන් එකක් නිකම් ම සොසේජ් එකකට නාස්ති වුණා නෙ. එයා කේන්තියෙන් සීයට බණින්ඩ ගත්තා, කරපු මෝඩ වැඩේ ට. සීයා අහගෙන ඉඳලා ඉඳලා බැරිම තැන කිව්වා, "ඔය කෙහෙම්මල් සොසේජ් එක තමුසෙගෙ නහයෙ ඇලෙන්ඩ ඕනෙ". කියලා.

ඒ ආශාවත් ඔන්න එවෙලෙ ම ඉෂ්ට වුණා. සොසේජ් එක උඩ පැනලා ආච්චිගෙ නහය අගිස්සෙ ඇලුණා.

ඒ ගමන ආච්චියි සීයයි ඔක්කොම වැඩ පැත්තක තියලා, ‌අර සො‌සේජ් එක ආච්චිගෙ නහයෙන් ගළවගන්න මහන්සි ගත්තා. ඒ දෙන්නා කොයිතරම් තදින් සොසේජ් එකෙන් අල්ලලා ඇද්දත්, ඒක නම් ආච්චිගෙ නහයෙන් ගැළවුණේ ම නෑ.

අන්තිමේ හති අරිමින් සීය‌ා කිව්වා, "ඔය සොසේජ් එක තමුසෙගෙ නහයෙන් ගැළවෙන්නයි ඕනෙ, කොහොම හරි." කියලා.

ආන්න ඒ වෙලාවෙ සීයගෙ තුන්වෙනි වරයත් ඉෂ්ට වුණා.

*    *    *

වර තුනක් ගැන නූතන කතාවක් මේ...

එක කාන්තාවකට, මුහුදු වෙරළේ තිබිලා බෝතලයක් හම්බවුණා. ඇය ඒක ඇරලා බැලුව ම, බෝතලය තුලින් නිල් පාට දුමාරයක් ගළාගෙන ඇවිත්, බූතයෙක් මැවුණා. එයා කිව්වා, "බොහොම ස්තූතියි මගෙන් ප්‍රයෝජනයක් ගන්නවට. මම ඔයාට වර තුනක් දෙනවා. ඔයා කැමති ඕනෙම දෙයක් ඉල්ලන්න. හැබැයි, ඔයාට ලැබෙනවා වගේ දහ ගුණයක් ඔයාගෙ හස්බන්ඩ් ට ලැබෙනවා."

"හොඳයි." කාන්තාව කල්පනාවට වැටුණා. "මාව මේ ලෝකෙ ඉන්න ධනවත්ම තැනැත්තා කරන්න"

"මට ඔයා ධනවත් කරන්න පුළුවන්. නමුත්..." බූතයා කිව්වා. "...ඔයා ධනවත්ම තැනැත්තා වෙන්නෙ නෑ, මොක ද, ඔයාගෙ හස්බන්ඩ් ඔයා වගේ දහ ගුණයක් ධනවත් වෙනවා."

"ඒකට කමක් නෑ..." කාන්තාව හිනාවෙලා කිව්වා.

"ඔන්න ඒ ඉල්ලීම ඉෂ්ට කළා..." බූතයා කිව්වා. මොකද්ද ඊළඟ වරය?"

"මාව මේ ලෝකෙ ඉන්න ආකර්ෂණීය ම තැනැත්තා කරන්න."

"හරි. ඒකත් ඉෂ්ට කළා." බූතයා කිව්වා. ඒ වෙනකොට අර කාන්තාව බොහො ම ලස්සන, සුන්දර ගැහැණියක් බවට පත් වෙලා. "ඊළඟට ?"

"ඊ ළඟට" සොඳුරු සඳවතිය පොඩි හිනාවක් නැඟුනු මහුණින් යුක්ත ව කිව්වා, "මට දෙන්න ලාාාවට හාට් ඇටෑක් එකක්."

*    *    *

වර තුනක් ගැන තවත් අවර කතාවක් තිබුණා, ඒක පොඩි වෙනස්  කමක් කරමින් සිඩ්නි, ගජමෑන් සමග සමයං පත්තරේ පළ කළා. මේ ඒක.




ඔරිජිනල් කතාවෙ ඔය පුද්ගලයා ඉල්ලන්නෙ, "ඕනෙ රෙද්දක්" නෙවෙයි, "ඕනෙ පුකක්...!"

*    *    *

"ඕ පු" කිව්ව ම මතක් වුණේ අතුරු කතාවක්.

රජයේ සේවයේ, ඕනෙ ම වැඩක් වාර්තා වෙන්න ඕනෙ නිසා, ගොනුවකින් තමයි පවත්වාගෙන යන්නෙ. වැඩ හැම එකක් ම අදාළ ගොනුවල වාර්තා වෙනව. නුවෙ දකුණු පැත්තෙ ලිපි අමුණලා, වම් පැත්තෙ සටහන් පත්‍ර කියන, හිස් කඩදාසි අමුණනවා. ලිපි අංක කරලා, ඒ අදාළ ලිපියෙ අංකය ගැන සඳහන් කරමින්, සටහන් පත්‍රයෙ ඒ ගැන සටහනක් යොදලා ඉහළ නිලධාරියාගෙ මේසය මතට දැම්ම ම, එයා එයාගෙ නිරීක්ෂණ, නිර්දේශ, නියෝග ආදිය, සටහන් පත්‍රයේ ම සටහන් කරනවා. ඉතින් ගොනුවක සටහන් පත්‍ර බැලීමෙන්, වැඩේ වෙලා තියෙන්නෙ කොහොම ද, මොන දවස්වල ද ඒක වෙලා තියෙන්නෙ, කියන විස්තර හොයාගන්න පුළුවන්. ඔය සටහන් පත්‍රවල, සහ ලිපිවල සටහන් තබනකොට කෙටි යෙදුම් භාවිත වෙනව. "දැ. ගැ. ස." කියන්නෙ දැනගැනීම සඳහා. "කරු" කියන්නෙ කරුණාකර...

ඒක කිව්ව ම මතක් වුණේ. මං වැඩට ගිය මුල් ම කන්තෝරුවෙ, ගබඩා භාර කරු හිටියෙ "කරුණාරත්න" කියල අයිය කෙනෙක්. (ගබඩා භාර-කරු-කරු) ඒ දවස්වල, ගබඩාවෙන් මොනව හරි නිකුත් කරන්න සටහන් තබන්නෙ, "කරු. නිකුත් කරන්න." කියලා, හරියට කරුණාරත්න ට ආමන්ත්‍රණය කරලා වගේ...

ඔය වගේ දවසක් අලුතෙන් පත්වෙලා ආව ලොක්කෙකුට ෆයිල් එකක් දාලා, ඒකෙ සටහන් පත්‍රයෙ ලියල තිබුණ ලු, "කරු. අත්. ඉ. කරමි" කියල. උන්දැ ඒ කෙටි යෙදුම අඳුනගන්න බැරුව, යටින් සටහනක් දැම්මලු, "ඕ. පු." කියල.

ඒක දැකපු, සීසී හෙවත් ප්‍රධාන ලිපිකරු, ගොනුවත් අරගෙන අර ලොක්ක ගාවට ගිහිං ඇහුවලු, "මොකද්ද සර්, මේ සටහන?"  කියල.

ලොක්ක ඇහුවලු, "ඊට කලින් කියනවකො, "කරු. අත්. ඉ." කියන්නෙ මොකද්ද කියල..." 

"ඒ කියන්නෙ, "කරුණාකර, අත්සනට ඉදිරිපත් කරමි" කියන එකනෙ සර්..." කියල සීසී කිව්වලු.

"ආ... ඒක ද? "ලොක්ක හිනාවෙලා කිව්වලු, "ඔය "ඕ. පු." කියන්නෙ එහෙනං ඕනෙ පුකක් කියන එකයි" කියල.

*    *    *

ඒ වගේ කෙටි යෙදුම් ගැන තව කතාවක් කියල ම වර තුනට ආපහු සම්බන්ධ වෙමු.

සෑහෙන ඉස්සර කාලෙ, ලොකු ප්‍රොජෙක්ට් එකක් තිබුණා පිටිසර ගමක් ආශ්‍රිතව. ඔය ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන උදවිය නිතර ම ගමේ තේ කඩේට ගොඩ වෙලා, උදේට දවල් ට කන්නත්, තේ බොන්නත්ත් පුරුදු වෙලා උන්නා. 

ඔය දවස්වල, ප්‍රොජෙක්ට් එකේ ගේට්ටුවෙ දැන්වීමක් ගහල තිබුණා, "කම්කරු ඇබෑර්තු ඇත - ප්‍ර.වැ.දෙ. ප්‍ර. ඉ." කියලා.

ඔය කඩේට ආව ප්‍රොජෙක්ට් එකේ ලියන මහත්තයෙකුගෙන්, දවසක් කඩේ මුදලාලි ඇහුවා, "මොකද්ද අර බෝඩ් එකේ තියෙන කෙටි යෙදුම?" කියලා.

ලියන මහත්තයා ඉතිං මුදලාලිට කියා දුන්නා, ඒ තියෙන්නෙ, "ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව, ප්‍රධාන ඉංජිනේරු" කියන එකයි කියලා.

පහුවදා කඩෙත් බෝඩ් එකක් ගහලා තිබුණා.

"මෙහි නිකරුණේ රස්තියාදු ගැසීම තහනම් - පු. සි. මු." කියලා.

මේක අර ප්‍රොජෙක්ට් එකේ හැමෝට ම ගැටළුවක් උනා. අර ලියන මහත්තය ම ඊළඟ දවසෙ මුදලාලිගෙන් ඇහුවා, ඒ බෝඩ් එකේ තියෙන කෙටි යෙදුම මොකද්ද කියලා.

"ඇයි මහත්තයො හිතා ගන්න බැරිද?" මුදලාලිත් හිනාවෙලා ඇහුවා. "ඒ තියෙන්නෙ මගෙ නම. පුංචි සිඤ්ඤො ‌මුදලාලි කියන එකනෙ..."

ඒක කිව්වම පච්ච කතාවක් මතක් වුණ උදවිය මේ කොණට...

*    *    *

ඔය වගේ ප්‍රොජෙක්ට් එකක වැඩ කරපු උපදේශක වරයෙක් උන්නා,  පාෂාණ පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන. හැමෝ ම එයාට ඩොක්ටර් කියල තමයි කතා කළේ. ටික දවසක් යන්න කලින්, ගමේ උදවිය එක එක ලෙඩවලට බෙහෙත් ගන්න එයා ළඟට එන්න ගත්ත. 

බැරිම තැන එයා ගමේ උදවියට කියා දුන්නා, තමුං ‌වෛද්‍ය වරයෙක් නෙවෙයි, ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක් කියලා. ඒත් ඒක ගමේ උදවියට තේරුණේ නෑ. අන්තිමේ එයා කිව්වා...

"මං මිනිස් ඩොක්ටර් කෙනෙක් නෙවෙයි, ගල් ඩොක්ටර් කෙනෙක්" කියලා.

ඊට පස්සෙත් අසංගයි ප්‍රසන්නයි කියල දෙන්නෙක් ඩොක්ටර් පස්සෙන් කැරකුණාලු, ඒ ඇයි දන්නෑ?

*    *    *

ඔය වගේ වර තුනක් දුන්න නෙ, වලහෙකුටයි හාවෙකුටයි... මේ ඒක.

Tuesday, June 4, 2024

විපතක දී මුලින් ම පළා යන්නේ...

https://qph.cf2.quoracdn.net/main-qimg-b6079f9fdff8f57e2c36bb9c61241ff9-lq

පවතින දැඩි අයහපත් කාලගුණය ගැන මුහුණුපොතේ පළවෙන විස්තර, පින්තූර සහ විවිධ පෝස්ට් දැක්ක ම මතක් වුණේ බුදුගුණාලංකාරයෙ තිබුණු කවි පෙළක්. මේකත් පරණ පාසල් පෙළ පොතකින් තමයි මම ඉස්සෙල්ල ම කියෙව්වෙ.


ඊට කලින් මාතෘකාවෙ හිස්තැන පුරවන්න තියෙනව. මේ කියමනත් මම දැක්කෙ මුහුණුපොතෙන් ම තමයි.

"විපතක දී මුලින් ම පළා යන්නේ දෙවියන් ය. විද්‍යාව සහ තාක්ෂණය පැමිණ මිනිසා බේරා ගත් පසු, පෙරලා ‌ පැමිණෙන දෙවියන් සහ කපුවන් නැවත මිනිසා සූරා කෑමට පටන් ගනිති."

එහෙනම් මෙන්න උඩ කී කවි පෙළ...

146. 
බරණැසැ පෙර කලෙක 
බමුණු මහසල් කුලයෙක 
ගුණ නැණ යුත් නිසැක 
උපන් පින් සර බමුණූ උතුමෙක


147. 

සව් සතර සමුදුර 
දැකැ නැණ නැවින් පර තෙර 
පසිදු වැ ලොවැ පතර 
තමා බිහි වන දිනෙහි ගුරුවර


148. 

නො නිවා තබා රැක 
දුන් ගිනි රැගෙනැ වනයෙක 
වැසැ අවුරුදු නොයෙක 
පුදත ගිනි දෙවියාට දවසෙක


149. 

සිඟා ගිය තැනැ ලද 
ගොනකු ගෙන‘වුත් ගසැ බැඳ 
කෙරෙමි මසින් පුද 
සිතා ගිනි දෙවිය හට මහ පුද


150. 

‘ලුණු නැති මස් පුදට 
නපුරැ” යි සිතා ගමකට 
යා දී ඔහු ලුණට 
අවුත් වලැ වැදි දනන් එ තැනට


151. 

එ ගොන‍ා මරා මස් 
පලහා කමින් නොසරස් 
උන් ගිය සඳැ ඒ ගොස් 
බලා ගොන් නඟුට කුර ඇට රැස්


152. 

‘‘අප රකිනා ත බා 
තොප සතු ගොන‍ා නො ත බා 
කන තෙක් වෙතැ ත බා 
බලා උන් කෙනෙකි තෙපි අත බා


153. 

‘‘ එයින් ගිනි දෙවි නැත 
උන් නැත පුදෙන් පල නැත 
බොරු බස් ලොව පැවැත කරන 
පුදයෙකැ නුවණ නැති සත


154. 

‘‘ගොන් මස් නොලදිනී 
මෙ පමණ කව යි ඉතිනී” 
කියමින් වල‘ගිනී 
ගසා දියවර නිවි යැ එ ගිනී


මේ බුදු ගුණාලංකාරයෙ ශිව දෙවියන් ගැන තියෙන වර්ණනාව... (බෝනස්)

https://blogger.googleusercontent.com/

159. 

තිසුලවි ගත් කරින් 
කළු පැහැ රැගත් උගුරින් 
හන් සළු ගත‘ඹරින් 
අඩක් උමයඟන ගත් සිරුරින්


160. 

දළැ අඩ සඳ බඳින 
ගොර සප් හරක් පලඳින 
රඟ කරන දිනැ දින 
මහලු ගොන් වාහනෙන් ඇවිදින


161. 

ලත් මහ පදවියා 
සිර සුර ගගින් දෙවියා 
අනඟ රුව දැවියා 
යෙහෙකැ පුද කරන මහ දෙවියා


162. 

එ මැ මහ දෙවිඳු හෝ 
නොහොත් සිව ලිංගය හෝ 
වැඳැ පිදුවොත් බොහෝ 
එතී කී ‘ලොවට සෙත ඇම හෝ


163. 

එ මැතිඳු බස් අසා 
මැති‍ඳෙක් කියයි මෙ ලෙසා 
ඇති දුක් මඳ නිසා 
තවත් දුක් ගෙනැ ලයි ද එ වසා


164. 

දෙවියෝ නම් සඟය 
පැලැඹෙන අයෙකි ස සඟය 
උන් රූ මනරඟය 
විසුළු වෙස් ඇති නො වෙයි මේ රඟය


165. 

උතුමෝ ලියන් වෙත 
නො ඉඳිති විළින් දැකැ සත 
මෙහෙසුරු උමා කත 
තබා රකිතී කියයි සිය ගත


166. 

පවතින මෙ ලොව රැක 
නැති කලැ හිරි ඔතප් දෙක 
ඔහු වැඳැ පුද නොයෙක 
කළෙ යි වැඩ සිදු වේ ද කිකලෙක


167. 

අවි අන් වැනැසුමට 
නැත වෙයි තමා රැකුමට 
එයින් තිසුලවි හට 
ඇතැ යි රා දොස් දැනෙයි මොනොවට


168. 

රා දොස් පව් මිදී 
නිසි උතුමනට නොබැඳී 
සිටි බවයෙන් බැඳී 
ඔහුට පුද කොටැ කිම් ද පැහැදී


169. 

සසරෙහි සබව දත් 
සිල්වත් දනෝ නැණවත් 
තුමූ රඟ නො කෙරෙත් 
අනුන් රඟන රඟකුත් නො බලත්


170. 

නළු වෙස් ගෙනැ එ සේ 
නටන කලැ හැම දවසේ 
උන් පිදුව යි කෙසේ 
වැඩක් සිදු වෙද ලොවට සිත සේ


171. 

දද දන බස් අසා 
කරන පුද ඔහු උදෙසා 
දිඹුලෙහි මල් නිසා 
දියැදැ දුක් විඳින වැනි නොලසා


172. 

අයකු පිළිකුල් වන 
අයකු සිත රා වඩවන 
ලිඟු සටහන් රැගෙන 
කළැ යි පුද පල කිම් ද ඉන් වන


173. 

සිත දුසිරී කිලුට 
පින් කෙත් නොවන මෙ ලොවට 
පුද කරනු ඉසුරුට 
ගලෙක වපුරන වැන්නැ බිජුවට


Saturday, June 1, 2024

ශනිදා දහයට කලින්... පොලිස් කතා සහ තවත් කතා

පහුගිය මාර්තු අප්‍රේල් මාසවල ලියන්න කියවන්න විවේකයක් නැතුව ඉද්දි, කතා කරලා දුක සැප අහපු තට්ටයියා වෙනුවෙන් මේ ලියමන ලියන්ඩ පටන් ගත්තෙ. නමුත් ඒක මාතෘකාවට සහ පළවෙනි වාක්‍යයට සීමා වෙලා ඩ්‍රාෆ්ට් අතරෙ රැඳිලා තිබුණා. 

පොලීසිය ගැන අපේ සමාජයේ තියෙන්නෙ ඒ තරම් හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. ඒ නිසා ම උන්දැලට පහර දෙන්න විහිලු කතා ගණනාවක් ගෙතිලා තියෙනව. මං ගැටවර කාලෙ මළගෙවල්වල දි අහපු කතාවකින් පටන් ගන්නම්.


සුජාතභාවයේ ගැටළුව

දවසක් පොලිස් කාරයෙකුයි, ආමි කාරයෙකුයි බස් හෝල්ට් එකක ඉන්නව. ඔය කියන්නෙ උතුරෙ යුද්ධයේ අවසාන කාලෙ. ඒ දවස්වල ආමි එකේ මොරාල් හොඳටම අප් කරලා තිබුණෙ. කොටින් ම හිටියෙ හමුදා භටයො නෙමෙයි, රණවිරුවො. ඒ උනාට පොලිසියට ඒ තරම් සැළකිල්ලක් නෑ. ඉතින් පොලිස් කාරයට ආමි කාරයව මඩවන්න ආස හිතුණා. පොර නිකං ම අරූ එක්ක කතාවක් පටන් ගත්තා.

"නිවාඩුවට ආව නේ?"

"ඔව්" ආමි කාරයත් හිනාවෙලා කිව්ව.

"දැන් නිවාඩු එහෙමත් ඔයාලට අඩු ඇති නේ?"

"ඔව්. අවුරුද්දකටවත් සැරයක් එන්න නෑනෙ."

"ඒකනෙ..." පොලිස් කාරය දුක්මුසු මුහුණින් කිව්ව. "ඔය අතරෙ ඔයාලගෙ පවුල්වල දරුවොත් ඉපදෙනව නේ...?"

ආමිකාරය ඔලුව ඉහළ පහළ අතරට වැනුවා, "ඔව්" කියන්න.

"ඉතිං ඒ අවජාතකයන්ට මොක ද කරන්නෙ?" පොලිස් කාරයා තැනේට ඇණේ ගැහුවා, මහ කාළකන්ණි අවලං හිනාවකුත් එක්ක.

"ආ... උන් ද?" ආමිකාරයා ඇහුවා. "ඒ අවජාතකයො ලොකු වෙලා පොලිසියට බැඳෙනව."



බෝම්බ තුනේ කතාව

(මේක නම් මම මීට කලින් කොතනක හරි කියලා තියෙනවා කියලා මතකයි)

දවසක් පොලිස් කාරයො දෙන්නෙකුට බෝම්බ තුනක් හම්බුණා, පාරක් අයිනෙ හංගලා තිබිලා. දැන් ඒ බෝම්බ තුන මේ දෙන්නා අරගෙන යනව, පොලිසියට.

එහෙම යන ගමං කොස්තාපල් ට ගැටලුවක් මතුවුණා. 

"මේ සාජන් මහත්තෙය... දැං මේ බෝම්බ තුනෙන් එකක් පිපිරුවොත් ‌එහෙම අපි මොක ද කරන්නෙ?"

"වෙන මොනව කරන්ඩ ද?" සාජන් ඇහුවා. "අපි කියමු දෙකයි හම්බුණේ කියල..."



බීමතින් රිය පැදවීම

දඩයක් බා ගන්ඩ බලං හිටපු පොලිස් කාරයෙක් මහ රෑ බාර් එකක් ළඟ රැකලා හිටියා. ටික වෙලාවකිං නකතං වෙන්ඩ ගහපු මනුස්සයෙක් බාර් එකෙන් එළියට ආව. පොර ට හිටගෙන ඉන්ඩ පණ නෑ. ‌උන්දැ ඇද වෙවී වැනි වැනී කාර් පාක් එකට ඇවිත් කාර් එකක දොරට යතුර දැම්ම. ඇරුනෙ නෑ. ඊට පස්සෙ ඌ තව කාර් එකකට ගියා. ඒකත් ඇරුණෙ නෑ.

දැන් පොලිස් කරයට බඩු ෂුවර්, මේ වතාවෙදි නං දඩකොලයක් හරි නඩුවක් හරි ලැබෙනව ම තමයි. 

ඔය විදිහට කාර් හතරක් විතර පහු කරපු ඉවානයා, අන්තිමේ තමන්ගෙ කාර් එක හොයාගෙන නැග්ගා. ඊට පස්සෙ ලයිට් දැම්මා, ඩිම් කළා... ෂටර්ස් පාත් කළා, ඉස්සුවා... වයිපර්ස් ඔන් කළා, අන්තිමේ යන්තම් ස්ටාට් කරගත්තා. ස්ටාට් කරපු ගමං ඉස්සරහට ගිහිං තණකොල තීරුව උඩට ආවා.

ඔය අතරෙ පාක් එකේ තිබුණු කාර් ඔක්කොම ගියා. බාර් එකත් වැහුවා.

අන්තිමේ ඉවානයා කාර් එක පස්සට රිවස් කරලා, පාරට දාගත්තා. දාගෙන ටිකක් ඉස්සරහට යද්දි ම, පොලිස් කාරයා මූව නතර කළා. නතර කරලා, බැලුම දුන්න පුම්බන්ඩ.

හරි වැඩේ කියන්නෙ, බැලුමෙ ප්‍රතිඵලය බින්දුවයි. ඉවානයා බීලා කියල ඒකෙන් ඔප්පු වෙන් නෑ.

"මේක කැඩිලවත් ද?" පොලිස් කාරයා ට කියවුණා.

ඉවානයා හිනාවෙලා කිව්වා. "නෑ නෑ... බීපු උන් ටික ඔක්කොම ගියා. මං උන්ට බේරිලා යන්ඩ සපෝට් එකට පොඩ්ඩක් රඟපෑවා"



හිටගන්ඩ පණ නෑ

පොරක් බාර් එකට වෙලා මුළු හවස්වරුවම බිව්වා. අන්තිමේ දැන් ඇති කියලා හිතලා යන්ඩ නැගිට්ටා විතරයි, මූ මුණිං අතට වැටුණා. 

"සැහ්... මෙච්චර බොන්ඩ නරකයි ආයෙ" කියල තමන්ට කියාගෙන නමියා ආපහු නැගිට්ටා. ඒ පාරත් දඩීං ගාල වැටුණා.

ඒ ගමන මොනව කරන්ඩ ද, පොර බඩගාගෙන දොර ගාවට ගියා. ගිහිං දොර අල්ලගෙන නැගිට්ටා. ඊට පස්සෙ දොරං එළියට අඩියක් තිබ්බ විතරයි, පතෑං ගාල ආපහු වැටුණා මුණිං අතට.

ඒ ගමන නමියා හිත හදාගෙන පාර දිගේ පේමන්ට් දිගේ බඩගාගෙන ගිහිං කොහොම හරි ගෙදර ළඟට ආවා. ඇවිත් යාන්තං දොර් එල්ලිලා හිට ගත්තා. හිටගෙන, දොර බදාගෙන දොරේ අගුල ඇරගත්තා. දොර ඇරුණා විතරයි මූ ආපහු මුණිං වැටුණා. ඒ ගමන දොර අල්ලගෙන ආපහු නැගිටලා දොර වැහුවා. වහල දොර අත ඇරියා විතරයි, ආයෙ මෙකට ද මං කියන්නෙ? රවි අයියා තට්ටයගෙ කෑම්ප් එකේ දි වැටුණා වගේ උජාරුවට අරූ ආපහු වැටුණා.

ඒ ගමන බඩගාගෙන ඇඳට ගියා. ගිහිං අවසාන වතාවට කෙළිං හිටගත්තා. ඒ ගමන උගෙ වාසනාවට උන්දැ වැටුණෙ ඇඳ උඩට. එහෙම්ම නින්ද ගියා.

පහුවදා ඇහැරුණා ම වෛෆ් මුගෙන් අහපු පළවෙනි ප්‍රශ්නෙ තමයි, "තමුසෙ ඊයෙ සිහි නැතිවෙන්ඩ බිව්ව නේද?"

මිනිහත් වෙන උදවිය දෙන උත්තරේම තමයි දුන්නෙ. 

"පිස්සු ද, ඩාලිං? මං බිව්වෙ නෑ..."

"එහෙනං අර බාර් එකෙං අද උදේ ම කෝල් කළේ..." වෛෆ් කිව්වා. "තමුසෙ ඊයෙත් රෝද පුටුව එහෙ දාල ඇවිල්ලා"


ප්‍රොක්ටර්

මගෙ සුපුරුදු පෙරකොදෝරු කතාවක් නැති වුණොත් පෝස්ට් එකෙන් වැඩක් නෑ. ඒ් නිසා මේකත් කියවන්න. හැබැයි ඔයාල කියවලා හිනා වුණාට අපේ ප්‍රාජේ ට එහෙම මේක ගැන කියන්ඩ එපා.

ටවුමක තිබුණා පුණ්‍යාධාර සමිතියක්. ඒකට ටවුමෙ උන්න හැම පෝසතා ම ආධාර කළා. ඉතින් දවසක් මේ සමිතියෙ ගරු භාණ්ඩාගාරික ආධාර පොත අරගෙන කියවලා බලද්දි දැක්කා, ටවුමෙ ඉන්න ප්‍රසිද්ධම නීතිඥවරයා විතරයි මේ සමිතියට ආධාර කරලා නැත්තෙ කියලා.

ඔය භාණ්ඩාගාරිකකමට පත් කරන්නෙත් නීතීඥයො වගේ ම සූරගන්ඩ දක්ෂ මිනිස්සු. ඉතිං නිමල් අයියත් හිතාගත්තා, මං කොහොම හරි ප්‍රාජේගෙන් දතක් ගළවනවා සමිතියෙ අරමුදල වෙනුවෙන් කියලා. එහෙම හිතාගෙන ගියා අර නීතිඥවරයා හම්බවෙන්න.

ගිහින් කිව්වා "මේ බලන්න මහත්තයා. අර කඩේ මුදලාලිත් අපට ආධාර කළා. අර ෆිල්ම් ඩිරෙක්ටරුත් අපට මාස්පතා ගාණක් එවනවා. මෙහෙම බැලුවම ඔබතුමා විතරයි අපට ආධාර වශයෙන් සතයක්වත් දීලා නැත්තෙ..."

කියාගෙනනකොට ම නීතිඥ මහත්තයා අතක් උස්සලා නිමල් අයියව නැවැත්තුවා.

"දැන් ඔයා දන්නව ද, මගෙ අම්මා කාලෙයක් තිස්සෙ ලෙඩ වෙලා මැරෙන්න වැටිලා ඉන්නවා කියලා? එයාගෙ පෙන්ෂන් එක වගේ කීප ගුණයක් සල්ලි වියදම් වෙනව එයාගෙ බෙහෙත්වලට... ඔයා දන්නවද ඒක?"

ගරු භාණ්ඩාගාරිකට කටේ කෙලත් හිඳුණා. "න්න්න් නෑනෙ..." එයා යාන්තමින් කියාගත්තා.

"... ඊළඟ ට... මගෙ මල්ලි හමුදාවෙ ඉඳලා, බට්ටෙක් පෑගිලා කකුලක් කපලා රෝදපුටුවට ම සීමා වෙලා ඉන්නව කියල ඔයා දන්නව ද? ඒ මදිවට එයාගෙ ඇහැකුත් අන්ධයි..."

භාණ්ඩාගාරිකට කට උත්තර නෑ...

"තුන්වෙනුව..." ලෝයර් කියාගෙන යනවා... "මගෙ නංගිගෙ හස්බන්ඩ් මැරුණා ඇක්සිඩන්ට් එකකින්. එයාගෙ දරුවො තුන්දෙනාට උගන්නගන්ඩ එයාට සතයක්වත් ඉතුරු කරලා තිබුණෙ නෑ මස්සිනා..."

"මං ඔය කිසිම දයෙක් දැනගෙන උන්නෙ නෑ..." අන්තිමේ නිමල් අයියා කෙඳිරි ගෑවා.

"අන්න ඒකනෙ..." ප්‍රා ජේ අවසාන වචනයත් කිව්වා. "ඔය එකෙකුටවත් සතයක්වත් වියදම් කරන්නෙ නැති මං, තමුසෙලට ආධාර කරයි කියල හිතනවද මනුස්සයො?"


------------

හුටංබරස් මහතා, ඊයෙයි අදයි උදේ ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන අතරෙ හදපු "බස්සා මාමා" පහතින්...



"පොටෝ දෙකක් ගම්මු. එතකොට, මේකෙ කට අරින්නයි වහන්නයි පුළුවන් කියල පේනව. ඊට පස්සෙ බස්ස මාමට යවමු. බ්ලොග් එකෙත් දාමු" කියල උන්දැ ම තමයි කිව්වෙ...

Saturday, May 25, 2024

විජය පත්තර මතක

මා ළඟ තිබුණා, විජය පත්තර ටිකක්, 1983 විතර ඉඳලා ඉදිරියට. මේ ළඟ දි ඒ එකක තිබුණු කැලේ කතාවක කතාවක් මතක් වෙලා මං හුටංබරස් ට කිව්වා. ඊට පස්සෙ මට ඒ ටික හොයන්න ඕනෙ වුණා. මේ පෝස්ට් එක ඒ සෙවීමේ ප්‍රතිඵලය.

පරහකට තියෙන්නෙ, 2010 දි විතර මගෙ පොත් අල්මාරියට වේයො ගිහිං සෑහෙන ප්‍රමාණයක් රස විඳලා තිබුණු එක. ඉතිං පත්තර කොටස් ටිකක් අපට රස විඳින්න අමාරුයි.

මෙන්න මුලින් ම සිබිල් නැන්දා කරපු කවරයක්. මං ආස ම ඒකෙ කවියෙ තියෙන සරල බවට යි, පින්තූරවල තියෙන ජීවමාන ඉරියව් වලටයි.


මේ කවරය තිබුණු පත්තරේ ම තමයි "මකාගෙ යලක්" පළවෙනි කොටස තිබුණෙ. මේ ඒක...


මී ළඟට සූත්තර පුංචා කොටස් කීපයක්...





ගෝවින්ද ලියපු "මට මතකයි" ආටිකල් එකත්, අතීත රස වෑහෙන ලියමනක්. මේ එයින් එකක්...


අන්තිමට... අපේ බකමූන්ස් අමතක කරන්ඩ පුළුවනෑ...? මේ උන්දැගෙ ලියමන් දෙකක්, විජය පත්තරෙන්.



මේ ටික ලියලා ඉවර වෙද්දි, කැලේ කතාව පීඩීඑෆ් වෙලා ඉවරයි. ඒක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

Sunday, April 28, 2024

ශතයක අගය!


අද සමාජය දෙස බලන විට, කට්ට කමක් නොමැතිව දිවි ගෙවීම අසීරු කරුණෙකි. මා මේ කට්ට කම යැයි හඳුන්වනුයේ අනිකෙකු තලා-පෙලා නැතහොත් අනුන් අමාරුවේ දමා තමන් පමණක් යහතින් සිටීම වැනි ආත්මාත‍ර්‍ථකාමී වැඩක් නොවේ. මින් මා අදහස් කරනුයේ තැනට සුදුසුලෙස නුවණින් ක්‍රියා කිරීමයි. නැතහොත් ස්ථානෝචිත ප්‍රඥාවයි. අපේ ව්‍යවහාර භාෂාවෙන් කියන්නේ නම් "තැනේ හැටියට ඇනේ ගැසීමයි"

බුදු රජුන් පවා බෝධිසත‍්ව කාලයේදී මෙවැනි කට්ට කම් කර ඇති බව ‌බෞද්ධ කථා වස්තූන් සමහරෙක සඳහන්ව තිබේ. උමංදා කථාව එයට කදිම නිදසුනෙකි. ඉතිහාසය මෙන්ම නූතන ලොකය දෙස බලන කලද, එවැනි කට්ට කම් කර ඇති කිහිප දෙනෙකුම හමුවේ. රෝමයේ වතිකානු මාලිගයේ, සිතුවම් කරමින් සිටි මයිකල් ඇන්ජිලෝ නම් ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියාගේ අගනා ජීවිතය බේරූ ඔහුගේ ශිෂ්‍යයාද එවැන්නෙන් අතුරෙන් කෙනෙකි.

මේ අනුව බලන විට අපේ මේ කතාවේ එන විජේදාස ද එවැන්නෙක් ලෙස මම හඳුන්වමි.

විජේදාස ජ්‍යෙෂ්ඨය සමත් කළේ මීට සිව් වසරකට පමණ උඩදීය. එහෙත් ඔහුට රැකියාවකට යෑමේ වාසනාවක් නොවීය. සිය මහළු මව එළවළු විකුනා ඉන් ලැබගන්නා සුළු ආදායමෙන් ඔහුද යාන්තම් කල් ගෙවන්නේය.

රැකියාවක් සඳහා කීප පොළකටම ඔහු අයැදුම් පත් ඉදිරිපත් කළද, ඒ එකකින් වත් සතුටුදායක පිළිතුරක් ඔහු වෙත ලැබුණේ නැති. බැරිම තැන ඔහු ගියේ, කොළඹ රැකී රක‍ෂා කාර්‍ය්‍යාලය වෙතය. ඔහු ඒ ගියේ කුමන වර්ගයේ හෝ රැකියාවක් සඳහා ලියා පදිංචි වීමටය. එහිදී ඔහු, ලිපිකරු තනතුරක් සඳහා ලියා පදිංචි කරන ලෙස, කාර්‍ය්‍යාලිය ලිපිකරුවෙකුට කීය.

"යාලුවා! ක්ලාක්ල වෙන්න දැන් දහස් ගණනක් රෙජිස්ටර් වෙලා ඉන්නවා-ඒ නිසා, මම හිතන්නෑ තමුසෙට දැන්ම ක්ලාක් ජොබ් එකක් හම්බ වෙයි කියල"

කාර්‍ය්‍යාලීය ලිපිකරුවා කීය.

"ඉතින් මම මොනවා කරන්නද සර්! දැන් බලන්න මම සීනියර් පාස් කරල ඉන්න කෙනෙක්නෙ." විජේදාස කීයේ සුන්වුනු බලාපොරොත්තුවෙන් යුතුවය.

"කොහොම වුනත් මම තමුසෙට කියන්නෙ හොඳටයි තමුසෙගෙ දුප්පත් කම මටත් පේනවා.

ඉතින් තමුසෙට වෙන්නෙ, ක්ලාක් ජොබ් එකක් බලාපොරොත්තුවෙන් තව අවුරුදු ගානක් ඉන්නයි."

"එහෙනම් සර් මට මොනවද කරන්න කියන්නෙ?"

"මම කියන්නෙ ක්ලාක් කෙනෙක් වශයෙන් නෙමෙයි, වෙනින් රස්සාවකට රෙජිස්ටර් වෙන්නයි."

"එහෙනම් සර්! පියුන් කෙනෙක් වශයෙන් වත් මාව ලියා පදිංචි කරන්න."

"පියුන් ජොබ් එකත් එහෙමම තමයි යාලුවා! ඒ රස්සාවෙටත් ඉන්නවා බර ගණනක් රෙජිස්ටර් වෙලා."

"එහෙනම් කම්කරුවෙක් වශයෙන් වත්?"

"හා-ඒක හොඳයි! එහෙනම් මම රෙජිස්ටර් කරන්නම්."

ඒ වතාවේ විජේදාස රැකියාවකට ලියාපදිංචි වුනේය. ඒ වුනේද, කම්කරුවෙකු වශයෙනි. ජ්‍යෙෂ්ඨය සමත් කොට තිබිය දීත්, කම්කරුවෙකු වශයෙන් ලියාපදිංචි වීම ගැන ඔහු දුක් වුනේය. එහෙත් ඔහුගේ ඒ දුකට වැඩි ආයුෂක් තිබුනේ නැති.

තම මව උපයන දෙයින්, ජීවත් වෙනවාට වඩා, කුළී වැඩක් හෝ කර දිවි ගෙවීමට හැකි ‌වූවොත් එයද සැපයෙකැයි ඔහු සිතුවේය. එයටත් වඩා ඔහු නිතර සිතන්නට වූයේ, අහළ-පහළ උදවියගේ කයිකතන්දර වලින් බේරීමට වත් මගක් පෑදෙනු ඇතැයි යනුවෙනි.

තමාට රැකියාවක් නැතිව සිටියද, මයව නම් ඔහුට ඒ ගැන දොසක් කියන්නේ නැත.

"මොනව කරන්නද පුතේ! ඔය අපල කාලෙ ගෙවිල ගියාම, බොට ‌මොකක් හරි රස්සාවක් ලැබෙයි" කියමින් ඇය නිතර පුතුගේ සිත සනසන්නට වෙර දරන්නීය. එසේ වුව, අහළ-පහළ ගැහැණුන්ගෙන් තමා වෙත ඉලක්කවන පිංගොනා-නිකමා යන නම් ඔහුට සිත් දෙන්නේ නැති. ඔවුන් පමණක් නොව; තමා හා පෙම් බැඳ සිටි තරුණියක්ද කියා ඇත්තේ;

"රස්සාවක් නැතිව මා ගැන බලාපොරොත්තු වන්න එපා!" යනුවෙනුයි.

තමාට තරම වත් අධ්‍යාපනයක් නැති, ගමේ අනෙක් තරුණයින් රැකියාවල් සඳහා උදෙන්ම පිටත්ව යන සැටිත්, සවසට යලි නිවෙස් කරා ඇදෙන සැටිත්, විජේදාස බලා සිටින්නේ සුසුම් ලමිනි. මේ ආදී දුක්-කරදර මධ්‍යයේය, ඔහු කම්කරුවෙකු වශයෙන් ලියා පදිංචි වූයේ.

කාලය ගෙවුණි. දැන් ඔහුගේ "ලියා පදිංචි පත" මත වැදී ඇති ලකුණු (සීල්) ගණන දහයද ඉක්මවා තිබේ. එහෙත් ඔහුට රැකියාවකට කැඳවුමක් නම් තාමත් නොලැබුනේය. තෙමසකට වරක් නියම දිනයට ලියා පදිංචි පතද රැගෙන රැකී රක‍‍්ෂා කාර්‍ය්‍යාලයට ගොස්, එහි දිනය ලකුණු කරගෙන එනු විනා, ඔහුට ඉන් පලක් නම් නොවන්නේය.

මේ නිසාම ඔහු දිනක් රැකී රක්ෂා කාර්‍ය්‍යාලයට ගියේය.

"මොකද සර්! දැන් සීල් දහතුනක් වැදිලත් රස්සාවක් නෑ නෙව?" ඔහු එහිදී ලිපිකරුවෙකු හමුව කීවේය.

"එහෙම තමයි යාළුවා! තමුසෙට ඔය සීල් දහතුනයි. නමුත් මෙතනට එන සමහර උදවියට සීල් පහළොවත් පැනලා මොනව කරන්නද ඉතින් රස්සාවල් නැති කරුමෙ තමයි!" යනු ලිපිකරුවාගේ පිළිතුර විය.

ලිපිකරුවාගේ පිළිතුරෙන් රජයේ කම්කරු සේවය පිළිබඳව ඔහු සිත තුළ පැවති ආශාව තුරන් වී ගියේය. මේ රැකියාව සඳහා තවත් කොපමන කලක් මෙසේ බලාසිටින්නට  සිදුවේදැයි සිතූ ඔහු ලිපිකරුවා ඉදිරිපිටදීම, ලියා පදිංචි පත තූ-තූ කොට ඉරා දැම්මේය.

"ඇයි ඕ ජ්‍යෙෂ්ඨ පාස්කරලත්, ආංඩුවෙ කුලී වැඩක් ගන්න අවුරුදු දහයක් විතර පෙරුම් පුරන්ඩ එපායැ හරියට කොකෙක් දිය හිඳෙන තුරු බලා ඉන්නවා වගේ."ය කියමින් ඉරා දැමූ කඩදාසි කැබලි බිම දමා, පයින් පාගා කෙළපහරක්ද ගැසුවේය. ආපසු හැරුනේය. පයින්ම ගෙදර ඒමට මගට බැස්සේය.

"මිනිස්සු හිතාගෙන ඇති, අපි මෙහේ රස්සාවල් ගබඩා කොරගෙන ඇති කියලා. ඇයි දෙයියනේ! රස්සාවල් වල පුරප්පාඩු තියෙන්න එපැයි, අපි මිනිස්සුන්ට රස්සාවල් දෙන්ඩ." යනුවෙන් ඈත යන විජේදාස නොපෙනී යන තුරුම බලා සිටි ලිපිකරුවා කීයේ, අමුතු තාලේ ඔලොක්කු සිනාවක් පා, එතැන රැස්ව සිටි අනෙක් මිනිසුන් දෙස බලා, පපුවද ඉදිරියට යවමිනි.

මෙසේ පැමිණි විජේදාස, අසල කඩයක්තුළට රිංගා ගත්තේ තම කුස ගිනි නිවා ගැනීමට, වතුර වීදුරුවක් වත් බීම සඳහාය. කඩය තුළට ගිය ඔහු වතුර වීදුරු කීපයක්ම බී සුසුමක් හෙළා ලය සැහැල්ලු කර ගෙන මිදුලට බැස්සේය. ඒ අතර ඔහු දුටුවේ කඩය ඉදිරිපිට එදා පුවත් පත බලන මිනිසෙකි. විජේදාසද නිකමට මෙන් පුවත් පතට එබිකම් කර බැලුවේය. එහිදී ඔහුගේ මුහුණ ප්‍රීතියෙන් බබලන්නට විය. ඔහු තව-තවත් එබිකම් කර පුවත් පතේ තිබී එක්තරා දැන්වීමක් හොඳහැටි කියවා සිහියේ තබාගෙන නිවෙසට ආවේය. ආ ඒ ඔහු පළමුව කළේ තත් දැන්වීම අනුව ලිපියක් ලිවීමය.

හිඟුරක්ගොඩ එක්තරා වෙළෙඳ සැලකට සේවකයෙක් අවශ්‍ය බැව් දන්වා පළකොට තිබි දැන්වීම අනුව ලිපිය ලිවූ ඔහු, සවස් යාමයේ පැමිණි මවගෙන් ශත දහයක් ඉල්ලාගෙන ලිපිය තැපැල් කෙළේය.

දින දෙකකට පසු ඊට පිළිතුරක් ලැබුණි. වෙළෙඳ සැලේ රැකියාව සඳහා තමා තෝරා පත්කරගන්නට තීරණය කරගත් බව සඳහන්, ඒ පිළිතුරු ලිපියේ පසුවදාම පැමිණ තත් රැකියාව භාරගන්නා ලෙසද වැඩිදුරටත් සඳහන්ව තිබිණ.

ලිපිය කියැවූ විජේදාස වහා දුම්රිය පොල බලා දිව්වේය. "හිඟුරක්ගොඩට යාමට දුම්රියක් ඇත්තේ කීයටදැ"යි ඔහු එහි සේවකයෙකුගෙන් විචාලේය. සවස අටට කොටුවෙන් දුම්රියක් පිටත්වන බව එහිදී දැනගත් ඔහු වහා නිවෙසට පැමිණ තමා සතු කිලිටි කලිසම් දෙකත්-කමිස තුනත් හෝදා, අව්වේ වනා, තෙමේද නාගත්තේය.

වෙළෙඳාමේ ගිය මව ඇඳිරි වැටෙද්දීගෙදර ආවාය.

"අම්මේ මම අද යන්න!" ඔහු ගත් කටටම කීවේය.

"කොහෙද පුතේ?"

හිස පිට තිබි හිස් වට්ටිය බිම තබමින් අම්මා ඇසුවාය.

"රස්සාවකට!"

"කොහෙද?"

"හිඟුරක්ගොඩ"

"ඉතින් මේ දැන්?"

"ඔව් අම්මේ! මට දවල් ලියුමක් ලැබුනා, හෙට ඇවිත් රස්සාව භාරගන්නෙයි කියල-ඒ නිසා දැන් රෑ අටේ කෝච්චියෙ යන්ඩ ඕනෙ."

ඔහුගේ ඒ කීමෙන් මව  ශෝකවූවාය. තම පුතා රැකියාවකට ගිය විට, තමාගේ තනි-නොතනියටවත් කවුරුත් නැතැයි සිතමින් ඇය හැඬුවාය. එයටත් වඩා ඇගේ ශෝකය වූයේ, ඔහුගේ ගමන් ගාස්තුවට වත් සරිලන මුදලක් ඇය අත නොමැති හෙයිනි.

"අනේ පුතේ! මා ළඟ සල්ලිත්නෑ බං මොනව කොරන්නද-ඔහොම හිටින් කැටේවත් කඩලා බලන්නැ"යි කියමින් ගෙයි මුල්ලක වලලා තිබි කැටයක් ගොඩ ගෙන එය කඩා බැලූ ඇය, මුහුණ ඇඹුල් කරගත්තාය.

"අනේ රත්තරන් පුතේ මේකෙ තියෙන්නෙ රුපියල් දෙහෙකුත් ශත දහයයි නෙවැ!"

අනතුරුව-ඒ ඇඹුල් කරගත් මුහුණින්ම එසේ කීවාය.

"ඉතින් අම්මේ! ඒකෙන් පුළුවනෑ මට යන්න?"

ඔහු ඇසුවේ දුක්බරවය.

"මොනව කොරන්නද බාං? ඔහොම හිටින්, මේ හෙට එලවළු ගන්න තිබෙන සල්ලි වලින් වත් මොකුත් දෙන්නැ"යි කියමින්; ඇය තවත් රුපියල් පහක් පුතා අත තැබුවාය.

දැන් වෙලාව හතට කිට්ටුය. විජේදාස යාමට හැඳ ගත්තේය. ගෙයි බිත්තියේ ගසා තිබී බුදු රුවට පානක්ද පත්තුකර, තෙරුවන් වැඳ දෙවියන්ටද පින් දුන්නේය. මවද රිදී කාසියක් ගෙන සුදුරෙදි කැබැල්ලක දවටා කතරගම දෙවියන්ට බාරයක් වුනාය.

හරියට හයකුත් විනාඩි හයට, පුතා මිදුලට බසින විට, මව දිය පිරවූ කළයක්ද අතැතිව මිදුලේ සිට ගෙට ඇතුළු වූවාය. අනතුරුව ඈත යන පුතා දෙස බැලූ ඇය "උඹට තුණුරුවන්ගෙ සරණයි!" කියමින් දෑසින් ගලා ආ කඳුළු පිසදැම්මාය.

හන්දියට පැමිණි ඔහු බසයකින් බොරැල්ලට ගියේය. එහිදී ඉන‍්දියානු "සයිවර් හෝටලයකට" ඇතුළු වී බඩ-කට පුරා තෝසේ කෑවේය. සිගරැට් දෙකක් ද ගත්තේය. දවාලටත් කෑමක් නැතිව සිටි නිසා ඔහුට වැඩිපුර ආහාර ගතහැකි විය. කෑම අවසන් වූ විට වේටර දෙමළ කොළුවා බිල ගෙනැවිත් දුන්නේය. බිලට ගෙවිය යුතු ශත හැත්තෑ එක ගෙවූ ඔහු සිගරැට්ටුවක්ද දල්වාගෙන මිදුලට බැස්සේය. කොටුව බලා දිවෙ යන ට්‍රොලි බස් නැවතුම් පොළ කරා ගියේය. එහි ගිය විජේදාසට දෙලෝ රත්විය! ඔහුගේ ඇඟ ගැහෙන්නට පටන් ගත්තේය. ට්‍රොලියෙන් යෑමට තරම් මුදලක් ඔහු ලඟ නැති. කොටුවේ සිට හිඟුරක්ගොඩට යාමට ගත යුතු ටිකිත්තට පමණක් මුදල් ඔහු ලඟ තිබේ. ඒ හැර ඔහුට ඉතිරිව අත්තේ ශත දහහතරකි.

බොරැල්ලේ සිට කොටුවට යාමට ශත 15 ක ටිකිත්තක් ගත යුතුය. එහෙත් ඒ මුදල පියවීමට තව ශතයක් අඩුය. අම්මා ඔහුට දුන්නේ රුපියල් හතකුත් ශත දහයකි. ඉන් ඔහු බොරැල්ලට බසයෙන් ඒමට ශත දහයක් වියදම් කෙලේය. ඉතිරිවායින් ශත හැත්තෑ එකක කෑවේය. දැන් තවත් ඔහු අත ඉතිරිව ඇත්තේ රුපියල් හයකුත් ශත විසි නවයකි. එයිනුත් දුම්රිය ගාස්තුව වශයෙන් රුපියල් හයකුත් ශත පහළොවක් ගෙවිය යුතුය. ඒ හැර දැන් ඔහු අත ශත දහ හතරක් තිබේ.

කිසිම වටිනාකමක් නැතැයි සිතා සිටින "ශතයක අගය" ඔහුට වැටහුනේ මෙවිටය. කුඩාවට ඇති කොයිදේත් විශාල අගයක් ඇති බැව් ඔහුට ඉන් මනාව පැහැදිලි වුනේය.

දැන්නම් ඔහුට කරන්නට කිසිවක් නැති. වේලාවද හත හමාර වී තිබිණ. දුම්රිය පිටත් වන්නේ අටටය. යම් ලෙසකින් මේ දුම්රිය වැරදුනහොත් ඔහුට යාගන්නට වෙන ක්‍රමයක් නැති; එසේ වූකල හෙට භාරගත යුතු රැකියාවටද පහර වදින්නේය. එවිට වන්නේ ගෙදර සිට තව තවත් දුක් විඳීමටය.

මෙසේ දහසක් සිතුවිලි මධ්‍යයේ කරනම් ගසමින්සිටි ඔහු-අසල කඩයකින් ‌වේලාව බලා ගත්තේය. වේලාව හතයි තිස් පහයි! දැන් ඔහුගේ අදහස කොටුවට පයින්ම යාමටය. එහෙත් එයටද කලක් නොමැති බව ඔහුට සිතුණි. බොරැල්ලේ සිට කොටුවට පයින්ම යාමට, අඩුම ගණනේ පැය භාගයක් වත් ගතවන බව ඔහු දනී.

කළයුතු දෙයක් නොමැති නිසා ඔහු බලා ගත්වනම සිටියේය. ඒ අතර ඔහු දුටුවේ බස් පෝලිමේ හුන් තරුණයෙකි. පෙනුමෙන් නිහතමානී ගති ඇත්තෙකු බව දැනගත් ඔහු තවත් තරුණයා දෙසම බලාගෙන සිටියේය. තමා ලඟ එක සිගරැට්ටුවක් ඉතිරිවී ඇති බව, හදිසියේම ඔහුට සිහිවිය. ඔහු වහා කමිස සාක්කුවේ බහා තිබි සිගරැට්ටුව අතට ගත්තේය. එය තරමක් තැලී-පොඩිවී තිබිණ.

"යුද්දෙට නැති කඩුව කොස්කොටන්ටද කිව්වලු-ඒ වගේ මෙහෙම තැනකදී නැති කට්ටකම් මොකටදැ?"යි සිතූ ඔහු-යළි සිගරැට්ටුව කමිස සාක්කුවේ බහා ගෙන බස් පෝලිමට ගියේය.

දැන් ඔහු තරුණයාට පිටුපසටය. තරුණයාද වරක් ඔහු දෙස හැරී බැළුවේය. ඒ හාම ඔහු මුව පුරා සිනාවක් යැව්වේය. තරුණයාගෙන්ද එයට පිළිතුරක් ලැබුණි. දැන් ඔහුට ඕනෑ කරණයේ, තරුණයා; හා කථාවට බැසීමටය. ඔහු එයට මගක් සෙව්වේය.

"කීයද මහත්තය වෙලාව?"

තරුණයා හා කථාවට මුල පුරමින්, ඔහු ඇසුවේය.

"අටට විස්සයි!" යනු තරුණයාගේ පිලිතුර විය.

"හප්පො-මට අට වෙනකොට කොටුවට යන්නට තියෙනවා!"

ඔහු කීවේය.

"අපොයි පුළුවන්! අර බස් එකක් එන්නෙ!"

තරුණයාද ඛීය.

දැන් දෙදෙනම කථාවට වැටී ඇත. මේ අතර ඔහු සාක්කුවට අත යටා, සිගරැට්ටුව ගත්තේය. එය ගෙන තරුණාට පිළිගත්වා සිටියේය.

"ආ-බොන්න මහත්තයා! ඕකමට අර කඩේදි යාලුවෙක් දුන්නා......... මම ඕව බොන්නෙත් නෑ! ඒ උනත් බැහැයි කියන්න බැරි හින්දයි ගත්තෙ!"

තරුණයාට සිගරැට්ටුව දෙන ගමන්ම ඔහු කීවේය. තරුණයාද එය ගෙන අසල සිටි අයෙකුගේ සිගරැට් කොටයකින් දල්වා ගත්තේ ඔහුට සිතූති කරමිනි.

බසයක් ආවේය. දැන් ඔහුගේ සිත නැටැවෙන්නේය. ඇඟ ගැහෙන්නේය. තමාගේ කට්ට කම හරි නොගිය හොත් තමාට වන්නේ මහ අකරතැබ්බයකැයි ඔහු සිතන්නට විය.

"ඒත් කමක් නෑ! වැඩේ හරි නොගියොත් ශත දහයක් දිල මරදානෙන් බැහැල පයින්වත් දුවනවා!"යි අවසන ඔහු සිතසනසා ගත්තේය.


තරුණයා බසයට ගොඩවිය: ඔහුද ඒ හාම ගොඩවුනේය. දැන් ඔහුගේ ගතේ වෙව්ලුම පෙරට වඩා සිය ගුණෙයෙකින් පමණ වැඩිය. කොන්දොස්තර තැන අසලට ගිය තරුණයා මුදල් පසුම්බිය අදිනු ඔහු බලා සිටියේද; ඒ වෙව්ලන ගතින් යුතුවය.

"කොටුවට දෙකක්!" යනුවෙන් තරුණයාගේ මුවින් පිට විය. ඔහුගේ දෙනෙත් ලොකුවී, කට කොනකට සිනාවක්ද නැගුණි. ඔහුගේ ගතට ලේ ඉනුවේද එවිටය. මෙතෙක් වෙව්ලමින් අඩපණව තිබි ගතද ප්‍රාණවත් වී ගියේය.

"ආ-මම ගන්නම්!" ඒ අතර බොරුවටම ඔහු ඉදිරියට පැන්නේය. එහෙත් එයට පෙර තරුණයා ඔහුටත් සමගම ටිකිති දෙකක් ගෙන තිබුණි.

කොටුවෙන් බට ඔහු-තරුණයාටද ආචාර කොට වහා දුම්රිය පොළට ගියේය. හිඟුරක්ගොඩට ටිකිත්තක් ලබාගත්තේය දුම්රිය දෙසට දිව්වේය. ඔහු දුම්රිය පාපුවරුවට පය තබනවාත් සමගම දුම්රිය ඇදෙන්නට විය.

රියට ගොඩවුනු ඔහු-සුවපහසු ලෙස අසුනක දිග ඇදී කල්පනාකරන්නටවූයේ ශතයක අඩුව නිසා තමා සිතින් විඳි දුකත්, සිගරැට්ටුවේ බලේට තමා කළ කට්ට කමත් ගැනය.

එදා ඔහු අතර සිගරැට්ටුව නොතිබෙන්නට ඔහුට හා-හා පුරා යැයි කියා ලැබුණු රැකියාවද නැතව යන්නට තිබුණේය. සිගරැට්ටුව තිබුණද ඒ අහිංසක කට්ට කම නොකරන්නට, ඔහුට මේ ගමන යාමට නොලැබෙන්නේය.

කෙසේ වෙතත්-එදා සිට විජේදාස අමුතු මිනිහෙක් වුනේය. ලොකු වටිනාකමක් ඇති මුදල් වලට වඩා දැඩි උනන‍‍‍්දුවෙකින් ඔහු ශතයේ කාසි එකතු කරන්නට පටන් ගත්තේය.

"ශතයක අගය" ඔහුට ඒ තරමට වැටහිලාය.

--------------------

අංගොනෝනගෙ දේශනාව තිබුණු පොතේ ම තිබුණු තවත් කතාවකි.

වැඩිපුර බලපු ලිපි