Showing posts with label ඩ්‍රැකී කියන්නෙ ඇයි?. Show all posts
Showing posts with label ඩ්‍රැකී කියන්නෙ ඇයි?. Show all posts

Friday, April 1, 2022

අවසානයේ අතුරු කතා... 1


ෆයර්මවුන්ට් කොළණිය ලෙසින් ඉංග්‍රීසි පාලකයන් විසින් නම් කෙරුණු, ගිණිමලේ ඉපැරණි ජනාවාසය වසරේ වැඩි හරියක් ම මීදුම සහ වළාකුළු නිසා අඳුරු වී පැවතුණේ ය. නිතර වැටෙන කුඩු වැස්ස, කඳු මුඳුන් ඉහළින් ගළා යන සුළඟ විසින් ඒ මේ අත විසුරුවන්නේ හිතු මතේ ය. රවුම් ගල් ගෙඩිවලින් ආකූල වුණු, සිඳී යමින් පැවති දියපාරවල් වංගු ගැසෙමින් පුරන් වූ කුඹුරු මැදින් ගලාගෙන යද්දී හිරිමල් කෙල්ලන් හෙමින් සිනාසෙන්නා මෙන් මුණු මුණු හඬ නැඟුනි. හේන් කෙටීමෙන් ම ලඳු කැලෑ බවට පත් ව තිබූ, කඳු මුහුණත් බොහොමයක් අලුතින් වල් කෙටී, කෝපි පැල ඉන්දවීමට යටත් වී තිබුණේ ය. කඳු මුදුන දක්වා ඒකාකාරීව පැතිරුණු කෝපි වගාව ඔස්සේ නෙත් හෙළූ ටිකිරි බණ්ඩා ගේ දෑස් හැකිළුණේ කඳු මුදුනේ සිටි අසරුවාගේ අඳුරු සේයාවෙනි.

"තුඃ...!" බිමට කෙළ ගැසූ ටිකිරි බණ්ඩා ආපිට හැරුණේ ය.

පුරන් වූ හෙල්මලු කුඹුරේ නියර පිටින් ලියද්දට බට ඔහු, අඩ දණින් වැටී, වියළි පස් හා දිරා ගිය පිදුරු අතගෑවේ ශෝකයෙනි.

"අප්පච්චී..." 

ටිකිරි බණ්ඩා නැගිට්ටේ ඇසිල්ලකිනි. තම අඩ දියණියගේ කටහඬ ඇසුණු දෙසට ඔහු දිවගියේ ය. යන්තමින් නවයොවුන් වියට එළඹෙමින් සිටි දැරිය ගොවි රාළගේ ගෙපැලේ මිදුලේ පසෙක වූ ගල්තලාව මත නැග, සිය කැපකරු පියා දිව එන දෙස බලා සිටියා ය.

"හා හා... මේ ගොම්මං වෙලාවෙ එලි පහලියට එන්ට එපා, මයෙ පුතේ..."

"ඉතිං අප්පච්චි ගියෙ...?" 

"හා හා... ඒ පණ්ඩිතකං තියාගමු. යමු පුතේ ගෙට." ඔහු දැරියගේ සුරතින් අල්ලාගෙන ගෙයි එළිපත්තට ගොඩ විය.

"මොකද අප්පච්චි? හැන්දෑවෙත් තියෙන්නෙ දවාලෙ තියෙන දේවල් ම තමා. මොන එහෙකට ද බය වෙන්නෙ?"

"උඹ නං කියයි ඉතිං..." ටිකිරි බණ්ඩා එළිපත්තේ වූ උස් පිළේ වාඩි වී, කරේ වූ ලේන්සුව දිගහැර, උරහිස් මතින් පොරවා ගත්තේ ය.

"අදත් අර වතුකාර හාම්පුතා අස්සයගෙ පිටේ නැගලා උන්නා කවුඩං ගල මුදුනෙ." ටිකිරි බණ්ඩා කීවේ ලොකු මැණිකේ හෙවත් සිය වැඩිමහල් දියණිය ගෙනැවිත් දුන් අඩි වළඳ අතට ගනිමිනි. "උන්දැල කන්දෙ කැලේ කැපුවට පස්සෙ තමා අපේ කුඹුරු වේළිලා ගියෙ. බඩ්ඩිංගක් කාගන්ට නෑ මේ සුදු හැතිකරේ හින්දා..." ඔහු අඩි වළඳේ වූ තලපයෙන් කඩා ගත් ‌බිඳක්, එහි ම වූ මිරිස් හොදි ආනම සමඟ දවටා මුවෙහි ලා ගත්තේ ය. 

"කොයි කාලෙත් එකයි." කීවේ බාල දියණිය ය. "සුද්දො නැත්තං රටේ රාළලා, නිළමෙලා... ඔය කොයි ඇත්තොත් කෙරුවේ තමුං සැප සුවන්දිරං විඳින එක මිසක්, ගම්මුයි ගොවිතැනුයි බලා හදාගන්න එක නෙමෙයි..." 

"මේ බලන්ටකො අප්පච්චි" ලොකු මැණිකේ පිළ මත කකුල් නවා වාඩි වුණා ය. "මේකිගෙ පැහිච්චකම! උඹ සුද්දට කලිං උන්නු ඔය කියන රටේ රාළලා, නිළමෙලා දැකල තියෙනවද මුතූ?"

"ඒ කාලෙ විතරක්යැ? ඔය දැනුත් ඉන්නෙ අපේ නල්ලමලේ ආරච්චිලා, විදානෙලා..." ඈ පිල මත සිටි ටිකිරි බණ්ඩා අසල දණ ගසාගෙන කට ඇරියේ, සුළු පියාගෙන් තලප කටක් කවා ගැනීමට ය.

*    *    *

ගිණිමලේ නියම්ගම පිහිටියේ කහටගස්තලාවේ ය. කඳු වළල්ලෙන් වටවූ තැනිතලා ප්‍රදේශය වෙත වැටුණු අඩිපාරවල් කඳු වටා ඇදුණු දැවැන්ත සර්පයන් වැනි ය. අනාගතයේ දී ජනාකීර්ණ වීමේ ඉරණම සැඟවී තිබූ කන්දෙ වැව ජලාශය සුළඟින් රැළි නඟමින් පැවතිණ. ඒ අසළින් පටන් ගන්නා කුඩා මඩු දහයක් දොළහක් පමණ වූ නියම් ගම කඩ මණ්ඩියට ඉදිරිපිටින් සති පොලේ තාවකාලික ඇටවුම් සවිකර තිබුණි. බඩු විකුණන්නන්ගේත් ගැනුම් කරුවන්ගේත් නිරන්තර ඝෝෂාවෙන් ආකූල වූවකි, කහටගස්තලාවේ ‌සති පොළ.

ටිකිරි බණ්ඩාත්, ලොකු මැණිකේත් තමන්ගේ ගෙවත්තෙන් නෙලාගෙන ඇවිත් තිබූ එළවලු හා පළතුරු ටික විකුණා ඉවර වෙන්නට ආසන්න ය. දැන් දැන් බඩුවල මිල කියන්නේ ඉතා ම අඩුවෙනි. ගැනුම් කරුවන් විසින් මුලින් මුලින් තෝරා, දැන් ඉතිරිව ඇත්තේ ද වටිනාකම කිව නොහැකි සිඟිති, අඩුපාඩු සහිත භෝග ස්වල්පයක් පමණකි.

එක්වරම වෙළෙන්දියන්ගේ කෑ කොස්සම මොහොතකට නතර විය. එසැණින් දකින්නට ලැබුණේ යටිගිරියෙන් කෑගසමින් ඒ මේ අත දුවන මිනිසුන්, ගැහැණුන් හා ළමයින් රැසකි. අසු කුර ගැටෙන හඬ ඒ හඬ ද මැඩගෙන පැතිර යන්නට විය. අසු කුරවල ගැටී ඒ මේ අත විසි වන ගල් කැට ඊතල මෙන් වේගයෙන් විසිරෙයි.

මිනිසුන්ගේ ඝෝෂාවෙන් සහ කලබැගෑනියෙන් කුළප්පු වූ අශ්වයෝ දෙදෙනෙක් ඉදිරි ගාත් ඔසවා හේෂාරවය කළහ. උන්ගේ පිටේ නැග සිටි අඳුරු කබා කාරයෝ දෙදෙනා අසුන් මෙල්ල කර ගැනීමට අසීරු තැතක් දැරූ හ. පිමි දෙක තුනක් පැන ආ එක් අශ්වයෙක් නතර වුනේ ටිකිරි බණ්ඩාගේ එළවලු පඩංගුව අසළ ය. නැවත නැවතත් ඉදිරි ගාත් ඔසවමින් බිම ගසමින් වටේ කැරකැවුණු අශ්වයාගේ කුරවලට හසුවූ පඩංගුව ඉවතට විසි වෙද්දී, දවසේ වෙළෙඳාම මඟින් ටිකිරි බණ්ඩා රැස්කරගෙන තිබූ දුම්කොළ, ලුණු, තුනපහ, රෙදි පිළි වැනි හුවමාරු භාණ්ඩ සියල්ල සීසීකඩ ගියේ ය.

අවට විසිරුණු බඩු බාහිරාදිය රැක ගැනීමට පියා දිව යාම වළක්වා ගැනීම, දියණියන් දෙ දෙනාට කළ හැක්කක් නොවීය. සමහර හදිසි අවස්ථාවන් හි දී කෙතරම් පැසුණු මිනිසෙකු වූව ද කටයුතු කරන්නේ ප්‍රකෘති බුද්ධිය විසින් නොව දෛවය විසින් මෙහෙයවීමෙනි. භයානක අත්දැකීමේ කම්පණයෙන් තැති ගැනුණු ලොකු මැණිකේ, සිය අඩ නැගණිය තදින් බදාගෙන කඩ මැස්සේ කොණක ගුළි ගැසී සිටියා, සිය දෑස් ඉදිරිපිට අශ්වයාගේ කුර පහරට සිය පියා හසුවෙනු දුටුවා ය. නැවත නැවතත් ඉහළ පහළ ගිය අස් කුර... බැස යන හිරු කිරණ වැදී රිදී පැහැයෙන් බැබළුණු ලාඩම්... ඊළඟ වාරයේ නැවතත් ඉහළට එසවෙද්දී ලාඩමේ වැකී තිබුණු ලේ...


Wednesday, October 27, 2021

අවසානයක් වේ

ශාම් ගේ දුරකථනය නාද වුණෙන් සංවාදය එතෙකින් ඇණ හිටියේ ය. සිය සුරතේ වූ දුරකථනය දෙස වරක් බැලූ ඔහු කෑ ගැසී ය. 

"ඒ නිර්මලී... යං! යං!"

42 කොටස...

ඇන්ඩර්සන් ග්‍රේන්ජ් මැඳුරේ ප්‍රධාන දොරපියන් පැරණි වූ නමුත් තවමත් සවිමත් බව රැකගෙන නැඟී සිටියේ ය. එහෙත් බලැති ලැන්ඩ්රෝවරයේ වේගය සහ සවි ගන්වන ලද ඉදිරිපස බෆරයේ ශක්තිය ඊට වැඩි විය. කැඩී බිඳී විසිරී ගිය ලී පතුරු ශාලාව පුරා විසුරුවමින් ඇතුල් වූ වාහනය ගළක් ගැසුවාක් මෙන් නතර විය. සැර ආලෝකයක් විහිදූ එහි ප්‍රධාන ලාම්පුවලින් ඒකාලෝක නොවූයේ මැඳුරෙහි සුවිසල් ශාලාවේ ‌මුලු හතර පමණි. රේන්ජ් රෝවරයේ දොරවල් එක්වර විවර කරගනිමින්, එළියට පැන්නේ පිරිමින් ති දෙනෙකි. 


ඉදිරි වම්පස දොරින් බිමට බට ශාම් ‌බිඳුනු දොර දෙසට දිව ගියේ ය. ඔහු ගේ දෑත් අතරට දිව ආවේ බියපත් කන්‍යා සොයුරියයි. ඇගේ පියවුණු දෑස් සිපගත් ශාම් හෙවත් සුමන, ඇය මෘදුව කැඳවාගෙන ගොස්, ලෑන්ඩ් රෝවරයේ පසුපස අසුනේ හිඳුවා දොර වැසී ය.

ලෑන්ඩ් රෝවරය දෙස සිය රතු පැහැ දෑස් ඔරවාගෙන යමක් මුමුණමින් මොහොතක් උන් මහල්ලා, නැඟී සිටියේ වේගයෙනි. කලින් දැක්වූ දුබලකමෙහි ලකුණක්වත් ඔහුගෙන් දිස් වූයේ නැත. ඇසිල්ලක් ගසන පමාවෙන් ඔහු තරප්පු පෙළ දෙසට දිව ගියේ ය. මිත්‍ර හා ඉන්ද්‍ර ඔහු ළුහුබැඳ ගිය ද, ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් නම් නෝර්ඩික් වැම්පයරයා ගේ වේගයට සම වන්නට ඔවුන් හට නොහැකි විය.

උඩු මහලේ අඳුර ට මුසුව ගිය ඩ්‍රේක් ගේ පසුපස ළුහුබඳිමින් තරප්පු පෙළ දිගේ ඉහළට දුවමින් සිටි මිත්‍ර හා ඉන්ද්‍ර පසුපසට වැටුණේ එක්වර ම ය. උඩු මහලේ සිට ඔවුන් මත ට අඳුරු පොදියක් කඩා වැටුණු බව සුමන දුටුවේ ය. මිත්‍ර හා ඉන්ද්‍ර තරප්පු පෙළ දිගේ පහළට කරනම් ගසද්දී, අඳුරු පොදිය කෙළින් සිටගත්තේ ය. ඒ උස් මහත් පුරුෂයෙක් විය. එළියට නෙරා ආ, ගෝලාකාර ඇස් ගෙඩි, නාගයන් මෙන් ප්‍රාණවත් කෙස්, මුවින් පිටතට දික් වූ උල් දත්, අඳුරුවන් සම...

ශාලාව තුළ පැවති උණුසුම හේතුවෙන් රතුපැහැ මස්ටෑං මැක් රථයේ ජවසම්පන්න එන්ජිමේ හඬ කිසිවෙකුටත් කණට නොවැටිණ. ඇන්ඩර්සන් ග්‍රේන්ජයේ පෝටිකෝව යට නතර කෙරුණු එයින් බට, කලු පැහැ ජීන්සයකින් හා රතුවන් ටී ෂර්ටයකින් සැරසීගත් තරුණිය පඩි දෙක තුන වේගයෙන් පසුකොට, බිඳුනු දොරින් ඇතුල් වූවා ය.

රේන්ජ් රෝවරය අසල උන් ශාම්, තම අතෙහි වූ සැහැල්ලු තුවක්කුව ගරා යකා වෙත එල්ල කළේ ය. ඒ තුවක්කුව, සතුන් සිහිසුන් කිරීමට යොදාගන්නා ට්‍රැන්ක්විලයිසරයක් ලෙස තනා ගත්තක් වූ බව පෙනුණි. 

"ඒක මූට නෙමෙයි..." තාරා කෑ ගෑවා ය.

මොහොතකින් ගරා යකා ශාම් අසළ විය. ට්‍රැන්ක්විලයිසරය ඈතට විසි වන සේ පා පහරක් දුන් යක්ෂයා, නැවතත් පහර දෙන්නට සූදානම් වද්දී, වාතය කපාගෙන කරකැවෙමින් ඇදී ආ ළා නිල් පැහැති සිහින් තලයකින් යුත් කිණිස්සක් ඔහුගේ ගෙළ මුලින් කිඳී ගියේ ය. තවත් පහරකට සූදානමින් මොහොතක් සිටි තාරා, රෝල් කරන ලද පතාකයක් සේ අහසට පැන, කරණමක් ගසා ගරා යකා බිම හෙළාගෙන ඔහු මතට පතිත වූවා ය. 

ගරා යකා සුමන හෙවත් ශාම් හා තාරා සමඟ තත්පර වද්දී, මිත්‍ර හා ඉන්ද්‍ර උඩුමහලට නැඟ ගත් හ. 

මිත්‍ර ග්ලෝ ස්ටික් එකක් ගෙන දල්වා ගත්තේ ය. අඩ අඳුර දුරු වී යත් ම, තමන් වෙත එල්ල වූ රත් පැහැ දෑසක් ද, දිළිසෙන සිහින් කඩුුුුුපතක් ද ඔවුහු දුට හ. ස්වකීය මිත්‍රයා පසෙකට තල්ලු කළ ඉන්ද්‍ර අනෙක් පස ට පැන ගත්තේ, එකලාව සිටි සතුරාහට අපහසු හා එකවර මුහුණ පෑ යුතු ඉළක්ක දෙකක් ඇති කිරීමට ය.

එහෙත් ඒ වන විටත් ඩ්‍රේක් වඩා ප්‍රබල ඉළක්කය තෝරා ගෙන තිබුණි.

අද්මිරාල් ධූරයේ සම්මානිත අසිපත මිත්‍ර සිටි දෙසට එල්ල කරගත්වන ම, ඉන්ද්‍ර වෙත කඩා පිනූ ඇඩම් වමතින් ඔහුගේ ගෙළ තරයේ අල්ලා ගත්තේ ය. මොහොතින් ‌මොහොත සිය බොටුව මිරිකී යනු දැනෙද්දී ඉන්ද්‍ර සුරතින් නෝර්ඩිකයාගේ මහපටැඟිල්ල අල්ලාගෙන අනෙක් පසට නැවී ය. "ටකස්" යන හඬින් වැම්පයරයාගේ මහපටැඟිල්ල කැඩී යත් ම, අනෙක් ඇඟිලිවල ග්‍රහණය ලිහී ඉන්ද්‍රගේ ගෙළ නිදහස් විය. 

මොහොතක ට පසුුුබට වූ ඩ්‍රේක් වමත පසුපසට කරගෙන, සුරතින් ගත් අසිපත කරකවමින් සිය ප්‍රතිමල්ලවයන් දෙස මාරුවෙන් මාරුවට බැලීය. ඉන්ද්‍ර මිත්‍ර වෙත ඇස් කොණින් දැක්වූ ඉඟිය අනුව දෙ දෙනා ම තමන් වෙත කඩා පනිනු දකිමින් ඇසිල්ලක් තප්පර වූ වැම්පයරයා,දකුණු පය පසුපසට තබා, ගැම්මක් ගෙන, මිට මොළවාගත් දෑතින්  එකවර  සිය සතුරන් දෙ දෙනාගේ ම උරස් පෙදෙස්වලට බරැති මුෂ්ඨි ප්‍රහාරයක් දුන්නේ ය. කඩා පිනූ වේගය ද සමඟ වැදුණු පහරින් මිත්‍ර හා ඉන්ද්‍ර, වෙව්ලුම් කෑහ. තත්පරයෙන් සීයෙන් පංගුවකටත් වඩා අඩු කාලයක් තුළ, ඔවුන්ගේ පපු පෙදෙසින් ඇරඹි රැළි මාලාවක් සිරුරු පුරා දිව ගියේ ය. එසැණින් නැවත පිටුපස ට ගුවන් ගත වූ ඔවුහු, උඩු මහලේ ලී ගරාදිය කඩාගෙන පහත මාලයේ වූ රිදීපැහැ රේන්ජ් රෝවරයේ බොනටය මතට ඇද වැටුණහ. 

ඒ වන විට ශාම් සහ අග්නි, ගරා යකාගේ අඩපණ ව තිබූ සිරුර, ලෝහමය යොතකින් වෙලා අවසන් වූවා පමණකි. එක්වර ම රේන්ජ් රෝවරයේ වහලය මතට වැටුණු බරැති යමක් නිසා, එහි කම්පණ අවශෝෂක පහත ට ම එබී යාමෙන්, රථය පහත් වී නැවත මඳක් එසවුණු බව, රිය තුළ සිටි නිර්මලී ට දැනිණ. ඒ සමඟින් ම වාහනයේ ප්‍රධාන ලාම්පු නිවී ගියෙන්, ශාලාවේ ඉතිරි වූයේ ගිණි අඳුනින් නැඟුනු කහපාට මන්දාලෝකය පමණි. එවිගස රේන්ජ් රෝවරයේ වහළය මතින් බිමට පැන ගත්තේ උස් මහත් සිරුරැති දිගු කළු කෙසින් යුත් ජවසම්පන්න මිනිසෙකි. ඔහුගේ සිරුර ආවරණය වී තිබූ කළුවන් දිගු කබායේ කොන්, පිම්මේ වේගයෙන් උඩ විසිවී නැවත පහතට ආවේ, දැවැන්ත වවුලෙකු තටු සළන්නාක් මෙනි. 

රථයේ බොනටය මත මොහොතක් වැටුණු ආකාරයෙන් ම ගත කළ මිත්‍ර හා ඉන්ද්‍ර, බිමට පැන්නෝ ය. ඔවුන්ගේ ඇසට ලක් වූයේ ‌ඉතිහාසගතවන මට්ටමේ දසුනකි. රූගර් එස් ආර් 40 සී පිස්තෝලයක් සුරතින් ගත් අග්නි හෙවත් තාරා ගිණි උඳුන ට මඳක් ඉදිරිපසින්, මීළඟ පියවරට සූදානම්ව... ඈ වෙත මුහුණ පා, සම්මානිත කඩුපත අමෝරාගත් ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්... කඩුපතෙහි තලය මත වූ ෆ්ලර් දෙ'ලී කැටයම ගිණි උඳුනේ ආලෝකයෙන් රන්වන් පැහැයෙන් දිළිසුණි.

ශාම් රේන්ජ් රෝවරයේ පසුපස දොර අසළ සිටියේ ඊට රැකවරණය සළසන්නට සූදානමිනි. ඉන්ද්‍ර ඇඩම් වෙත කඩා පනින්නට අඩිය ඔසවත් ම, මිත්‍ර ඔහුගේ අතින් අල්ලා වැළැක්වී ය.

ගිණි උඳුනින් නැඟුනු වෙවුලන ආලෝකය, අග්නි ගේ සිරුරේ ලාලිත්‍යවත් හැඩය රන්වන් පැහැයෙන් මතු කර දැක්වී ය. බිඳුනු දොරෙන් කඩා පනින තෙත්බර සුළං රැළි ඇගේ දිගු කෙස් විහිදුවමින් හා නටවමින්... 

ඇඩම් ගේ පපුව මැද ට එල්ල කළ පිස්තෝලය සහිත දකුණත පහතට හෙලූ අග්නි, පියවර කිහිපයක් ඉදිරියට තබා නෝර්ඩිකයා වෙත සමීප වූවා ය. ඉතිරි පියවර දෙක තුන ඉදිරියට තැබූ ඩ්‍රේක්, ඈ වෙත ළංව දෑත් විහිදා ඈ වැළඳ ගත්තේ ය.

ඇගේ ඉඟ දෙපසින් නෝර්ඩිකයාගේ දෑත් පැටළිණ. බරැති කළුවන් කබායටත්, රතුවන් නයිලෝන් ටී ෂර්ටයටත් යටින් හදවත් දෙකෙහි ස්පන්දනය එකිනෙකාට දැනුණේ ඉතා දුර්වලව ය. අග්නිගේ වමත ඩ්‍රේක් ගේ ‌උරහිස් මතින් ගෙළ වටා ඇදිණ. ඇගේ නළලත ඔහුගේ දෙතොල තෙරපිණ. හිස ඔසවා ලා රත්පැහැ දෑස් දෙස බැලූ තාරා, සුරත ඔහුගේ ඉඟ වටා යවමින්, වමතින් ඇඩම් ගේ හිස මඳක් පහත් කරවා ගෙන, ඔහුගේ දෙතොල් සිපගත්තා ය.

සිපගැනීම ට කෙළවරක් නොවී ය. අග්නි ඩ්‍රේක් ගේ ඉඟ වටා යැවූ සුරතෙහි වැලමිට නවා පිස්තෝලය ඔහුගේ පිට මැඳ ට ආසන්නයෙන් තබා එහි ලිවරය තෙරපත් ම, "ටස්ස්..." හඬ නඟමින් ඉන් පිට වූ ජාතිවානේ උණ්ඩය ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් ගේ පිට සිදුරු කරගෙන ඇතුල් වී හදවත විනිවිද, දකුණු පෙනහැල්ලේ ගෑවී නොගෑවී ගොස්, දකුණු පස ඉළඇට දෙකක් අතරින් පිටතට විත්, අග්නිගේ හදවත පසා කරගෙන ගොස් ඇගේ පිට මැදින් නික්මිණ...


තවත් කොටසක් තියෙන එකක් නෑ මට හිතෙන විදිහට. නමුත් විකල්ප අවසානයක් ගැන ඔබගේ අදහස් දැනගන්න කැමතියි...

Monday, October 11, 2021

අවසානයක් නොවේ - 42

රුහිරෙන් පුදමි අවසාන කොටස

1 කොටස...

2 කොටස... 

41 කොටස...

2004 වර්ෂයේ අග භාගය...

ෆයර්මවුන්ට් නගරය පැවතියේ බදුල්ල නගරයට සෑහෙන තරම් ඈතිනි. නිරන්තර කුඩු වැස්ස සහ එය ගසාගෙන යන සුළඟ පැවතිය ද, මිනිසුන් සෑහෙන තරම් නිදහසකින් නගරයේ වීදි පුරා සැරිසරන බව පෙනුණි. ඝන මීදුම හා අඳුරු වළාවන්ගෙන් පිරි අහස දුක්මුසු මහල්ලෙකු වැනි ස්වරූපයක් නගරයට ආරෝපණය කළේ ය. හාත්පස වූ ගොඩනැඟිලිවල තීව්‍ර බෑවුමින් යුතු හතර පලයට ගැසූ වහළවල්, ඇතුළත පැවති මඳ හෝ උණුසුම රඳවාගන්නටත්, ගස්වල අතු පතර තුළින් හූ හඩ නඟමින් ගළා බස්නා තෙත්බර සුළඟින් ජනේල රැකගන්නටත් අසීරු උත්සායහක් ගනිමින්...


ෆයර්මවුන්ට් දුම්රිපොළ වේදිකා දෙකකිනුත්, එක් කුඩා ගොඩනැගිල්ලකිනුත් සමන්විත විය. කේතුධර ගස් වැවුණු කන්දත්, හෙළත් අතරින් ඉහළට නැඟී ආ දුම්රිය මාර්ගය, අඳුරු බිංගෙයක් තුළින් ඇදී, අතු කිහිපයකට බෙදී දුම්රියපොළ හරහා පැතිර ගොස් තිබුණි. කාලයකට ඉහත දී ගල් අඟුරු දුම්රියන්ට වතුර සැපයූ සිළින්ඩරාකාර ලෝහමය ටැංකිය තනි කකුලකින් සිටගෙන බුම්මාගත්වනම මළකමින් පැවතිණ. 

දුම්රිය ස්ථානාධිපතිගේ කාර්යාල තුළ සිට එළියට ආ සනත් දෑස් සිහින් කර බැලුවේය. ඔහුගේ අතෙහි ගල් අඟුරු පාර්සලයක් වූ අතර, ඔහුගේ දෑසට ලක් වූයේ එක් කාන්තාවක් සහ ගැටවරයෙකි. අඳුරුපැහැ උණුසුම් ඇඳුමක් ඇඟලාගෙන දිගු සායක් ඇඳ, දිගු මේස් පයේ ලා ගෙන සිටි කාන්තාව මැදිවියට යාන්තමින් එළඹ සිටි බව හිස් වැසුමට යටින් එළියට ආ සුදු කෙස් ගසක් හෝ  දෙකක් කියා පෑවේය. ඈ අසළ දැවටෙමින් සිටියේ, වයසට නොගැළපෙන තරමින් සංවර ව හැසිරුණු සිහින් පැහැපත් තරුණයෙකි.

දුම්රිය නළා හඬ ඇසෙත් ම, වේදිකාවේ සිටි මඟියන් හතර පස් දෙනා එතෙක් ගැළී සිටි ආලස්‍යය තුරන් විය. කුඩා දරුවන් වඩා ගනිමින්, බිම හා අසුන් මත වූ ගමන් මලු ඔසවාගනිමින් ඔවුහු දුම්රියට නැඟ ගැනීමට සූදානම් වූහ. එහෙත් ඒ කළබලය ඉන්දිරාටත් ඇගේ භාරයේ උන් ගැටවරයාටත් බලපෑවේ නැත.

රෝදවලට යෙදූ තිරිංගවලින් ලෝහමය හඬක් නඟමින් ආ දුම්රිය වේගය අඩු කරගනිමින් විත් නතර කෙරිණි. ලහි ලහියේ ඒ වෙත දිව ගිය මඟියන් නැගගන්නට උත්සුක වෙද්දී, ඉන්දිරාත් ඇගේ භාරයේ උන් ගැටවරයාත් ගෙල දිගු කරමින් බැලුවේ දුම්රියෙන් බැස යන මඟීන් දෙස ය.

දුම්රියෙන් බැසගත් නව යොවුන් දැරියක් තම උරහිසේ එල්ලාගෙන සිටි බරැති ගමන් මල්ල සකසා ගනිමින් වට පිට බැලුවාය. ඇගේ නෙත් ඉන්දිරා දෙසට ‌යොමුවද්දී දෙතොල් කොන් මඳ සිනාවකින් ඉහළට නැවුණි. ඈ කඩිසරව ඉදිරයට එද්දී, ශාම් ගේ අතින් අල්ලාගත් කාන්තාව පෙරගමන් කළා ය.

මේ සිදුවීම දෙස සනත් බලා සිටියේ විස්මයෙනි. දැරිය ඉන්දිරා සහ ශාම් ට ළං වී, සිය ගමන් බෑගය බිම තබා, සිය නැන්දණිය වැළඳ ගනිද්දී ඇගේ හිස වසා සිටි උණුසුම් ඇඳුමේ හිස් ආවරණය පසුපසට වැටුණි. ඇගේ හිසකේ අකීකරුව සුළඟ හා එක්ව කරකැවෙමින් නැටුුුවේය. ඇගේ නළලත, කුඩා නාසය, කාන්තිමත් දෑස්, හුරුබුහුටි දෙතොල් හා මුහුණේ හැඩය... සනත් හට යමක් මතක් කරවන්නාක් මෙන් විය. ඔහුගේ මතකය ඉතා වේගයෙන් අතීතයට ඇදී ගියේ වීඩියෝ පටයක් වේගයෙන් ආපස්සට ධාවනය කරවූ විටෙක මෙනි. 

මතක පටය නතර වූයේ වසර තුන්සිය තිහක් ආපස්සට ගිය විට ය. වළව්වක රඳවා සිටි සිටි රැඳවියා, තරුණියක මුහුණ පා සිටි අද්භූත මරණයෙන් මුදවා ගන්නට දිවිය කැප කොට සටන් කළ මිනිසෙක්... අවසානයේ තම ජීව රුධිරය කැප කොට ජීවත් කරවූ තරුණියක්...

සනත් නැවත නැවතත් බැලීය. දෑස් පිසදමා බැලීය... ඉන්දිරා තවමත් වැළඳගෙන සිටි තරුණිය සිරුරේ ප්‍රමාණයෙන්, අඟ පසඟින්, පෙනුමින් පමණක් නොව ඉරියවු හා කටහඬින් ද ටිකිරි මැණිකේ ධනසේකර කුමාරිහාමිය ම විය. වෙනසකට තිබුණේ ඇඳුම පමණකි.

කුඩු වැස්ස තුනී වෙමින් යද්දී, දුම්රියපොළට පිටුපසින් වූ පයිනස් කැළයට ඉහළින් අහස හරහා යාන්තමින් ඇඳුනු දේදුන්නක සේයාවක් මතු වෙමින් තිබුණි. ශාම් අත දිගු කර ඒ දෙසට සිය නැන්දණියගේ හා අමුත්තියගේ අවධානය යොමු කළේ ය. දේදුන්නේ වඩාත්ම පැහැදිලිව තිබුණේ රතු සහ තැඹිලි පාට බව සනත් තෙත්  වූ දෙනෙතින් දුටුවේ ය. 

*    *    *

මිත්‍ර, තාරා දෙස හෙලුවේ තියුණු බැල්මකි.

"කෝ කොල්ලා...?"

"උඩ කාමරේ. වොෂ් එකක් දාගෙන පහළට එන්න කිව්වා මං."

"සැකයක් ඇති නොවෙන්න කරන්න ඕනෙ."

"ඉන්ද්‍ර එන්න කලින් කරන්න පුළුවන්. මම ශක්තිට පණිවිඩේ දුන්නා."

එවිගස ම මිත්‍ර ඇලවී සිටි සෙටියෙන් නැගිට්ටේ ය. ඇඳ සිටි කළිසමේ සාක්කුවට අත යැවූ ඔහු ඉන් එළියට ගත් ස්මාට් ෆෝන් එකේ තිරය දෙස නෙත් හෙලුවේ එක් වරකි.

"කියන කොට ම එනව." ඔහු දොරින් පිටතට ඇවිද ගියේ වේගයෙනි. 

විවර කෙරුණු ගේට්ටුවෙන් ඇතුළට ආවේ ගිලන් රථයකි. එය ගල් ඇල්ලූ පෙත් මඟ ඔස්සේ අවුත් පෝටිකෝව අසළ රතුපැහැ මස්ටෑං කාරය ට පිටුපසින් නතර කෙරුණි.

ගිලන් රථයේ රියදුරා ඇන්ජිම නතර කරද්දී, වම්පස ඉදිරි දොර ඇරගෙන බැස්සේ සුදුවන් නිළඇඳුමින් සැරසුණු හෙදියකි. 

දොරකඩ සිටි තාරා, හෙදිය පිළිගත්තේ උණුසුම් ලෙසිනි. 

"ශක්ති මේ ඇඳුමට ලස්සනයි නේද මිත්‍ර?"

"ඒක අහන්න රුද්‍රගෙන්." ගිලන් රියේ රියදුරා දෙසට ඇඟිල්ල දික් කළ මිත්‍ර කීවේ ය.

*    *    *

සුභාෂ් බණ්ඩාර ධනසේකර ගෙන් ගත් රුධිර සාම්පලය අඩංගු පරීක්ෂණ නල දෙක ඇබ ගසා, ඉතා ප්‍රවේසමෙන් ශීත ඇසුරුමෙහි තැන්පත් කළ ශක්ති සියලු දෙනාටම ආචාර කොට නැවතත් ගිලන් රථයට නැඟ ගත්තා ය. ගිලන් රථය ගේට්ටුවෙන් පිටත් වන සැටි බලා උන් තාරා, සුභාෂ් නැවත උඩුමහලේ කාමරයට පිටත් කර හැරියා ය.

"ඔයා ට මෙතන ආරක්ෂාවයි. මේජර් ඔයාව හොඳට බලා ගනී. මම ආපහු එන්නම් හෙට..."

"අපේ අම්මිටයි අප්පච්චිටයි කරදරයක් වෙයිද?"

"නෑ. ඔයා බයවෙන්න එපා, මල්ලි. සීක්‍රට් සර්විස් එක ඒ ගැන බලාගන්නව."

*    *    *

දුක්මුසු රාවයක් නඟමින් පටු පාර දෙපස වැවුණු ගස්වල අතු පතර කැරකැවෙමින් පැවති සුළඟ, වැසි බිඳු ඒ මේ අත විසිරවීය. අයිස් බඳු සීතල... ගුලි ගැසුණු අඳුර අතරින් පාර අයිනේ නතර කර තිබූ වාහනයක ෆොග් ලයිට්වලින් නැඟුනු මන්දාලෝකය ඈතට පෙනුනේ නැත.

පොද වැස්ස කෙමෙන් කෙමෙන් වැඩි වෙමින්, රිදී පැහැ ලෑන්ඩ් රෝවරයේ වහළය හා වින්ඩ් ෂීල්ඩය මතට පතිත වෙමින්... සිගරැට් ලයිටරය එහි කෙවෙණියට ඔබා, පැති වීදුරුව යාන්තමින් පහත් කළ ශාම් හෙවත් සුමන, සීතල සුළඟට හිත යටින් ශාප කරමින් නැවතත් එය ඉහළට ම ඔසවා ගත්තේ ය.

"මේක හරි නොගියොත්..." ශාම් පහත් හඬින් කීය. "අර කෙල්ලට අනතුරක් උනොත්... "

"නෑ සුමන..." පසුපස අසුනේ උන් මිත්‍ර උත්තර දුන්නේ එක වරම ය. "අපි ළඟ ප්ලෑන් කීපයක් ම තියෙනවනෙ"

"කවුද දන්නෙ, ඇන්ටිඩෝට් එක වැඩකරයිද කියල?"

රියදුරු අසුනේ උන් ඉන්ද්‍ර ඔහු වෙත හැරුණේ ය. "දැන් මට කියපන්... මම උඹව රිකවරි කළේ නැද්ද?" 

"ටිකක් හිතපන් ඉන්ද්‍ර, ඩ්‍රේක් ගෙ ඇඟේ තියෙනව මුලිම්ම ලෝකී දුන්න රසායනිකය..." ශාම් සිය වමතේ දබරැඟිල්ලෙන් සුරතේ ඇඟිලි එකින් එක නවන්නට විය. "ඊට පස්සෙ රීරි යකාගෙ ජාන... ධනසේකර පරම්පරාවෙ ලේ... උඹ දන්නවද ඌ අමෘතය බිව්වද නැද්ද කියලා?" 

"ඒක නිසා තමයි ඔය හැම එකම මික්ස් කරලා මේ ඇන්ටිඩෝට් එක හැදුවෙ." ඉන්ද්‍ර කීවේ නුරුස්නා හඩිනි. "ඒ මොනව නැතත් හළාහල විෂ තියෙනව. ඇන්ටිඩෝට් එක වැරදුනත් බැරිවෙලා හරි, යූවී රේ වලින්, ජාති වානේ වලින්, ඌට හාණි වෙන බව අපි දන්නව."

ශාම් ගේ දුරකථනය නාද වුණෙන් සංවාදය එතෙකින් ඇණ හිටියේ ය. සිය සුරතේ වූ දුරකථනය දෙස වරක් බැලූ ඔහු කෑ ගැසී ය. 

"ඒ නිර්මලී... යං! යං!"


මීළඟ කොටස... 

Saturday, September 25, 2021

අවසානයක් නොවේ - 41

 40 කොටස...

1989 මැයි මස එක් දිනක...

ලෙෆ්ටිනන්ට් මිත්‍ර උඩුගම නතර වී ආපසු හැරී බැලුවේ අප්‍රසාදය මුසු වූ බැල්මෙනි. 

"මම කලින් ම කිව්වා, මිලිටරි සෙල්ලම එක්ක අපට අපේ වැඩේ සාර්ථක කරගන්න බැරි බව..." ඔහු පහත් හඬින් කීවේ ය.

මඳ අඳුර හාත්පස හෙවුණු දැවැන්ත පළතුරු ගස් වල අතු පතර සිට පහතට පැතිරෙමින් පැවතුණි. සිය කැදලි කරා යුහු යුහුව පියාසර කරන කුරුල්ලන් ගේ කළබලය හිස්වලට ඉහළින් ඉඳ හිට නැඟුනි. වඳුරු රංචුවක කළ කෝළහාලයක් ඈතින් ඇසෙන්නට වූයේ එකවරම ය.

"ඒ කතාව මම මීට කලින් ඇහුවෙ 71 කැරැල්ල වෙලාවෙදි." ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් සමන් ගලගොඩ තම සගයාට සමච්ඡල් කළේ ය. 

"බයවෙන්න එපා. තාරා හරි ඇවිදින් අන්තිමේ අපි බේරගනියි. තව ටික දුරයි, යං යං...!" කැප්ටන් අමරේන්ද්‍ර , මිත්‍ර ගේ උරහිසට තට්ටු කර දිරි ගැන්වීය.

"නුඹලට බරක් පතළක් නෑ." මිත්‍ර මැසිවිලි කීවේ ය. "එක අතකට තාරා කියපු දේ හරි. අපට මේක ඒ කාලෙදි ම විනාශ කරල දාන්න තිබුණෙ, ‌ඉතිහාසගත වටිනාකම මොකක් වුණත්..."

"මේක විනාශ කරල දාන්න, මේක අපේ දෙයක් ද මිත්‍ර?" අමරේන්ද්‍ර විමසූයේ නොරිස්සුමකිනි. "මේක අයිති ලෝකයට. සුදුසු පුද්ගලයන්ට උරුම කර දෙන්න, ආරක්ෂා කරන එක අපේ යුතුකම"

උරහිස් ගස්සා සිය නො එකඟතාව පළ කළ මිත්‍ර ඉදිරිය බලා පය ඉක්මන් කළේ ය.

දිවා ගුහාවේ බිහි දොර තිබුණේ ඔවුන්ට පියවර විස්සක් පමණ නොදුරින් එළිමහන් ‌කොටසක ය. බැස යමින් පැවති මළාණික රත් පැහැ හිරු රැස් හා අඩ අඳුර මැද එහි විවරය දිස් වුණේ දැවැන්ත සිංහ මුඛයක් ලෙසිනි. 

තමන් පැමිණි දිශාවට විරුද්ධ පැත්තෙන් කැළෑව මැදින් තවත් කවුරුන්දෝ පැමිණෙමින් සිටි බවට සළකුණු ඉදිරියෙන් ම ගිය මිත්‍ර දුටුවේ ය. වමතේ දබරැඟිල්ල හා මැදැඟිල්ල වී හැඩයට සකසා, සිය දෑස් වෙත යොමු කොට, නැවතත් ඉදිරිපසට යොමු කරමින් ඔහු සිය සගයන්ට සංඥා කළේ ය. මිත්‍ර සිය දකුණු උරහිසේ වූ ඒකේ 47 තුවක්කුව දකුණතට ගනිද්දී අනෙක් දෙදෙනා ද විමසිලිමත් වූ හ.

අත් ඉහළට ඔසවාගත් දෙ දෙනෙක් කැළෑවේ ප්‍රති විරුද්ධ පැත්තෙන්, එළිමහන් බිමට පිවිසිය හ. ඒ අඳුරුවන් සමැති උස් තරුණයෙක් හා බර්ගර් පෙනුමක් ඇති ආරෝහ පරිණාහ දේහ ධාරියෙක් බව හමුදා භටයෝ දුට හ.

තුවක්කු පහතට දැමූ මිත්‍ර ඔවුන් ඉදිරියට පිය නැගුවේ උනන්දුවෙනි. "ටිරෙල් ඕඩින්සනුත් දැන් රෝ ඔත්තුසේවයට ද වැඩ?" ඔහු රුද්‍ර වෙත යන්තමින් බලමින් ඇසී ය.

"රෝ එකේ වැඩ නුඹලට තව මාස දෙක තුනකින් බලා ගන්න පුළුවන් වෙයි." අඳුරුවන් තරුණයා සෙමෙන් කීය. "ආ වැඩේ කෙළවරක් කරමු දැන්..."

පස් දෙනා ගුහාවට ඇතුළු වූයේ සීරුවෙනි. නායකත්වය දුන් ජ්‍යෙෂ්ඨයා වූ කැප්ටන් අමරේන්ද්‍ර ඉදිරියෙන් යමින්...

ගුහා අභ්‍යන්තරයට යත්ම, ගෞතම නම් පුරාණ දාර්ශනිකයා මැවූ ඉන්ද්‍රජාලම අනුව නැඟුනු ධර්ම දේශනාවේ හඬ කෙමෙන් කෙමෙන් ඇසෙන්නට පටන් ගත්තේ ය. ඊට පසුබිම් වෙමින් දියත්තක් කැළඹෙන හඬක් වරක් හෝ දෙවරක් ඇසුණු බව මිත්‍ර ට දැනුණි. රම්බෝ පිහියක් සිය කෙණ්ඩාවේ ගැට ගසා තිබුණු පටි තද කරගනු වස් ඔහු මඳක් පමා විය. ඊට සියවස් තුනකට පමණ පෙර ලෝකී විසින් මවන ලද සෙවනැලි පිටපත, ගුහාවේ බිත්තියක අඳුරු මුල්ලක සිට එළියට ආවේ ද ඒ මො‌හොත‌ේ ය. ඒ වන විට ද, රුද්‍ර, ඉන්ද්‍ර, ටිරෙල් සහ සුමන අමෘත උල්පත තිබුණු අභ්‍යන්තර ගුහාවට ඇතුළු වෙමින් සිටියහ.

ගුහාවේ මැද වූ උල්පත අසළ දණ ගසාගත් දළ කුමාර, ඔහු අසළින් ම බොඩි බෑගයක බහා තිබූ රූමත් තරුණියකගේ ප්‍රාණය නිරුද්ධ සිරුර, සහ ඔවුන් අසළ සිටගෙන සිටි පැරණි නෝර්ඩික් අද්මිරාල් වරයා...

"තොපේ රහස් ඔත්තු සේවය ප්‍රමාද වැඩියි!" දළ කුමාර ගුගුළේ ය. "මගෙ පණ ගියත්, මගෙ ගිරි දේවි ආපහු නැගිටිනවා."

එකෙණෙහි ම රුද්‍ර හා ටිරෙල් කපා හෙළූ කඳන් මෙන් බිම පතිත විය. ඔවුන් වැටුණේ මිත්‍ර නිල බලා දුන් මුෂ්ටි ප්‍රහාර දෙකකින් බව ඉන්ද්‍ර හා සුමන හට තේරුම් යන පමාවෙන්, ඩ්‍රේක් ඔවුන් අසළ ය...

සිය පැති අවිය වූ 9mm ස්වයංක්‍රීය පිස්තෝලය ඇදගත් සුමන එය එල්ල කරන්නට පමා නොවී, එයින් ඩ්‍රේක් ගේ හිසට පහර දුන්නේ ය. ඇසිල්ලකින් හිස ඇල කොට එම පහර වළක්වාගත් නෝර්ඩිකයාගේ මිට මෙළවූ සුරත වේගයෙන් තම නාසය වෙත ඇදී එනු ගලෙගාඩගේ දෑසට ලක් වීමත්, එම මුෂ්ටිය සමඟ ඇදී ආ සුළං රැල්ල ඔහුගේ ඇසිපිය මත වැටීමත් සිදු වූයේ එක්වරම ය. මුෂ්ටි පහර වැළැක්වීමට කාලය මඳ වූයෙන් එය සිය නිකට කොණක වැදෙන්නට ඉඩ හැරි සුමන, එම පහරත් සමඟ සිය හිස මඳක් පිටුපසට යාමට ඉඩ දී, දකුණු පසට පිටුපසට නැවී වම් පය සිය හිසට සමාන්තරව ඔසවා වැරෙන් පහරක් එල්ල කළේ ය. එය අපේක්ෂා නොකළ ද, ඩ්‍රේක් හට පසෙකට පැන එයින් බේරෙන්නට හැකි වූයේ, රීරි යකාගෙන් ලැබී තිබූ අමානුෂික ශක්තිය හා වේගය උපකාරයෙනි.

ඒ අතර, මිත්‍ර හා දළ කුමාර එක්ව කැප්ටන් අමරේන්ද්‍ර අඩපණ කොට බිම වැතිරවා තිබූ බව සුමන ඇස් කොණකින් දුටුවේ ය. ඒ අවසරයෙන් අඩියක් පමණ උඩපැන ඩ්‍රේක් දුන් සමනළ පා පහරින් සුමන ගේ සමබරතාව බිඳී, විසිවී ගොස් උල්පතට වැටුණේ ය.

තප්පර කිහිපයක් යන තුරු ඇසුණේ, ජයග්‍රාහකයන් ගේ හුස්ම පිටකිරීමේ ශබ්දය පමණකි. මිත්‍ර කෙමෙන් කෙමෙන් අප්‍රාණික ව වැටෙණු, කැප්ටන් අමරේන්ද්‍ර ගේ අඩවන් දෑසට ලක් විය. මිත්‍ර වැටෙද්දී ඔහුගේ සිරුරින් ඉහළට නැඟුනු රැස් දහරක් මිනිස් රූපයකට හැරෙන්නට පටන් ගත්තේ ය. ගුහාවේ අඳුරු බිත්තියක සිට ඒ දෙසට ඇදී ආ සෙවනැල්ලක් ද ඊට මුසු ‌වෙමින්, සමච්ඡල් සහගත සිනාවකින් සැරසුණු ලෝකී ගේ මුහුණ හා ශරීරය නැවත නිර්මාණය විය. 

උල්පත වෙත හැරුණු ලෝකී ගේ දෑසට ලක් වුණේ එහි වැටී සිටි අලුත උපන් බිළිඳෙකි. ගිරි දේවිය කෙමෙන් කෙමෙන් ප්‍රාණවත් වන ආකාරය බලා සිටි දළ කුමාරට අත වැනූ ලෝකී, උල්පත වෙත නැඹුරු වත් ම, ඔහුගේ හිස ට අකුණු දහසක් එක විට වැදුණාක් මෙන් බලැති මිටි පහරක් වැදුණේ ය. එකෙණෙහි ම නෝර්ඩික් දුෂ්ට දෙවියා මැරී වැටුණේ ය. සිය අතෙහි වූ මිටිය නැවතත් ටිරෙල් අසළට විසි කර දැමූ ඇඩම් උල්පතෙහි වූ අමා දිය දෝතින් රැගෙන බීවේ ය. 

දළ කුමාරත්, ගිරි දේවියත්, නැවත ඔවුනොවුන් හමුවීමෙන් ප්‍රමුදිතව සිටියදී, උල්පතට වැටී උන් ළදරුවා මෘදුව වඩා ගත් නෝර්ඩික් වැම්පයරයා ගුහාවෙන් පිටව ගියේ ය.

*    *    *

ඉන්දිරා පල්ලියේ සිට නිවසට ඇවිදගෙන ආවේ බිමට බරවූ හිසිනි. ෆයර්මවුන්ට් නගරයේ වැසියන්ට, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නමට බැරවූ තවත් එක් පොලිස් නිලධරයෙකුගේ මරණයක් වූව ද, ඇගේ සැමියා ‌ගේ වියෝව තවමත් පපුවට ඇණුනු කටුවක් සෙයින් වේදනා දෙමින් පැවතිණ. 

අබලන්ව දෙපසට පැද්දෙමින්, ඩක ඩක ගාමින් ඇදී ගිය බර බාගයක් විසින් ගුරු පාරේ නොමඳ ව පැවති දුහුවිල්ල ඇවිස්සී ය. උඩුකය නිරුවත් කොල්ලන් තුන් දෙනෙක් ගේ පාවහන් රහිත පතුල් පාරේ ගැටෙන හඬින්, ඉන්දිරා පාරේ අයිනට ම තල්ලු විය. මළ හිරු ගේ අවසන් රැස් දහර ද ගිළී ගිය ඉක්බිති, හාත්පස මඳින් මඳ අඳුර පැතිර යමින්...

පැරණි ගේට්ටු පියන් විවර කර, සිය ගෙවත්තට ඇතුල් වූ ඉන්දිරා, නිවසේ එළිපත තිබූ පොදිය දැක විමසිලිමත් විය. "ඔබ අසල ඇති පාර්සලය බෝම්බයක් විය හැකියි!" නිතර දෙවේලේ රූපවාහිනියේ හා රේඩියෝවේ පළ කෙරුණු දැන්වීම් නිසා ඈ බියපත් වූවා ය. 

එකෙණෙහි ඇගේ දෙසවණට ඇසුණේ කුඩා ළදරුවෙකු ගේ දුර්වල කෙඳිරියකි. අතෙහි වූ යාඥා පොත හා අත් බෑගය බිම තැබූ ඈ කුඩා පොදිය ප්‍රවේසමින් වඩාගත්තා ය. ඔතා තිබූ මෘදු රෙදි කඩ මෑත් කර බැලූ ඈ උදා වෙමින් පැවති පුර හඳේ එළියෙන් දුටුවේ සුරතල් දරුවෙකු ගේ මුහුණකි.

"ශාම්..." ඇගේ මියගිය සැමියා ඇමතූ සුරතල් නම එය විය. "ඔයා ආයෙමත් මා ළඟට ආවද?" 

කුඩා දරුවා දත් නැති කුඩා රෝස පැහැ විදුරු මස් පෙන්වා, සිනා සෙන්නාක් මෙන් සිඟිති දෙත‌ොල් සකස් කර ගත්තේ ය. 



*    *    *

තව කොටසක්...

Wednesday, September 15, 2021

අවසානයක් නොවේ - 40


තෙත්බර පාංශුමය බවකින් වාතස්කන්ධය ඝන වී තිබුණේ ය. ගොම්මන් වෙලාවේ ගන්නොරුව තොටුපොළ අවට පැවතියේ මහා පාළු ස්වභාවයකි. මූකලන් බස්සෙකු ‌ඉඳහිට නැඟූ රාවයකට ප්‍රතිචාර වශයෙන් දෝ තනි වූ නරියෙකු නැඟූ උඩු බිරුලෑමක් විටින් විට නැඟුනේ ය. 

මහනුවර නගරයේ සිට දිවෙන මැද ඇළ මහවැලි ගඟ හමුවන ‌තොටමුණ සහ ගන්නොරුව තොටුපළ රජතුමා විසින් මනාව ආරක්ෂා කරන ලද්දේ ය. ඒ කන්ද උඩරට රාජ්‍යයට පිවිසෙන ප්‍රධාන කඩවතක් ඒ ආශ්‍රිතව පැවතීම නිසා ය. මුරකාවලටත් වඩා සාමාන්‍ය මිනිසුන් ඒ පෙදෙස වර්ජනය කිරීමට තවත් හේතුවක් පැවතිණ. අමනුෂ්‍යයෙක් ගොම්මන් වෙලාවෙන් පසු එහි ගැවසෙමින් නරබිලි ගන්නා බවට වූ විශ්වාසය ඊට මුල් විය. එහෙයින් ම ගං ඉවුරේ රඳවන ලද මුරභටයෝද අඳුර වැටීමෙන් පසු තොටුපොළෙන් ඔබ්බට අඩියක් වත් එසවීමට බිය වූ හ.

මහ ඇළ, ගඟට වැටෙන තොටමූණට ආසන්න හරියක, අන්තර් භෞම උම්මග්ගයේ ගඩොලින් තැනුණු පාර්ශ්වික කුටීරය තුළ කිහිප දෙනෙකුට සුවපහසුවට වාඩිවන්නට ඉඩ කඩ පැවතුණි. බිත්ති හතක් මඟින් සප්තාස්‍රාකාර ව සැදී තිබූ කුටියේ වහළය, උඩට යන්න යන්න ම ගඩොල් එළියට පන්නමින් ආරුක්කුමය හැඩයකින් නිර්මිත විය. කුටිය මැද වූ විශාල ගල් පාත්‍රයට පිරවුණු දරින් ඇවිළුණු ගිණි මැළයක් වූ අතර, ඒ අසළින්ම වාගේ කුඩා කනප්පුවක් බඳු දැවමය ඇටවුමක් මත කළ ගෙඩි දෙකක් ද, පළහන ලදුව දුම් දමමින් පැවති වල් ඌරෙකුගේ කොටස් ද, මනාව සුද්ධ කළ පොල් කටු දෙකක් ද විය. පළහන ලද ඌරාගෙන් නැඟුනු පුළුටු සුවඳ සමඟ මුසු වූ ගිණිමැළයෙන් නැඟුණු දුම අර්ධ ගෝලාකාර පියස්සේ වූ සිදුරකින් පිටතට නික්මිණ.

කනප්පුව වටා සකස් කරන ලද ගල් ආසන කිහිපයෙන් දෙකක් මත විචිත්‍රවත් ව වියන ලද නියඳ පැදුරු එළා තිබුණි. ඉන් එකක වාඩි වූ දළ කුමාර හෙවත් වීරබාහු, වමත දිගු කර කුඩා කළයේ කරින් අල්ලා එසවීය. ඔහු සුරත දිගු කර තමා ඉදිරියේ වූ පොල්කටුව අතට ගන්නවාත් සමඟම ඩ්‍රේක් ඔහු වැලැක්වීමට දකුණත දිගු කළේ ය.

"මට තෙලිදිය බොන්න පිරියක් නෑ..."

දළ කුමාර මඳ සිනහවක් නඟන විට ගිණිමැළයේ එළියෙන් ඔහුගේ දත් කහපැහැයෙන් දිළිසුණි. ඔහු ඩ්‍රේක් ගේ විරෝධය නොසළකා කලය ඇල කොට සිය ආගන්තුකයාගේ පොල්කටුවට වත් කළේ ය. ඒ රා නොවූ බව දුටු ඩ්‍රේක් මවිත විය.
 
"තෙලිදිය බොන්නෙ නෑ, පිපාසයට..." දළ කුමාර පැවසී ය. "අනික, මම දන්නවා නුඹ ඉන්නා තත්ත්වය. මේ තියෙන්නෙ මේ වල් ඌරා පුළුස්සන්න කලින් ඉවත් කරගත්ත නැවුම් ලේ. බීපන්..."

පොල් කටුව දෑතින් ම ඩැහැගත් නෝර්ඩික් අද්මිරාල්, නාසයට ළං කොට එයින් නැඟුනු ප්‍රෝටීනමය සුවඳ වින්දේ ය. එම සුවඳින් සිය සිරුරෙහි රුධිර නාල හා ස්නායු ප්‍රබෝධවත් වී එනු හැඟෙත් ම ඔහුගේ දෑස් අඩවන් වී ගියේ ය.

තොල් අතර පොල් කටුවේ සියුම් තද බව දැනෙද්දී, දෙතොල්, දත් අතරින් දිව මතින් උකු රුධිරය පොදින් පොද ගළාගෙන උගුර තුලින් ගළනාලය ට ඇදී යද්දී, එහි ජීවමය සුවඳින් හා රසයෙන් ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් නම් නෝර්ඩිකයා මුසපත් වී ගියේ ය.

"මේ දිවයින ප්‍රසිද්ධයි, සප්ත මහා සාගරයේ ලැබිය හැකි හොඳම ආගන්තුක සත්කාරයට..." දළ කුමාර ගේ වචන නැවතත් ඩ්‍රේක් ගේ කණට ඇසෙන්නට පටන් ගත්තේ ය. 

පෙරේත කමකින් මඳින් මඳ පොල්කටුව හිස් කළ ඇඩම් පියවි සිහියට නැවතත් එමින් සිටියේ ය.

"ඒ වගේම, ලොව ඉහළ ම දෙපිටකාට්ටුවන්ට, ස්ත්‍රී ධූර්තයන්ට සහ කපටි ආරක්ෂකයින්ටත් ඒ වගේ ම ප්‍රසිද්ධයි. නුඹ රහස් දූරයේ උන්නා නෙව? දැකලා ඇති ඉන්ද්‍ර හෙවත් මීමුරේ නිළමෙ?" ඩ්‍රේක් හිස සිරස් අතට දෙවරක් - තුන් වරක් වනා ඊට එකඟ විය. 

දළකුමාර නැවතත් පොල්කටු දෙක පිරවීය. "ආන්න ඒ ඉන්ද්‍ර තමයි මේ දිවයින සතුරු බලවේගවලින් ආරක්ෂා කරගෙන ඉන්නවාය කියන හතර වරම් රජවරුන්ගෙ නායකයා. ඒ වගේ ම මේ දිවයිනේ ඉන්නා අංක එකේ සල්ලාලයා..." ඩ්‍රේක් මවිතයෙන් දෑස් උඩුකුරු කොට තමා ඉදිරියේ ඉන්නා සංග්‍රාහකයා දෙස බැලී ය.

"ඔක්කෝටම කලින් ඉඩදීපන් මට, මාව අඳුන්වා දෙන්න. මගේ සීයා තමයි වංග දේශයේ සිංහබා. ඔහු සරණපාවා ගත්තේ ඔහුගේ ම නැගණිය. ඒක තමයි රාජකීය ලේ ඉදිරියට පවත්වාගෙන යාමේ මාර්ගය. ඔහු ගේ වැඩිමල් පුතා සිංහල හෙවත් සිංහ කුමාර මේ දූපතට ගොඩබැහැලා, මේ දිවයිනේ ගම්මාන රාශියක් එකතු කරලා, පුරයක් හැටියට පාලනය කළ පළමු රජු. ඔහු ක්ෂිත්‍රිය ධර්මය අනුව යටපත් කරගෙන සරණපාවා ගත්තා බම්බා නම් පාලකයා ගේ දියණිය. ඇගේ නම කුවණ්නා. වැද්දන් ඉඳිගොල්ලේ කිරි අම්මා කියා කියන්නේ ඇයට. ඔවුන්ට දරුවන් දෙදෙනෙක් උපන්නා. ජීවහත්ථ හෙවත් වීරබාහු, ඒ කියන්නේ මම සහ දිසාලා නම් මගේ නැගණිය. 

"අපේ අම්මා අපි කුඩා කාලෙදිම මැරුණා. තාත්තා මට විල්බා දනව්ව හෙවත් මලය රට පාලනය කරන්න දුන්නා. මගේ වීරබාහු යන නමින් තමයි විල්බාවට නම ලැබුණේ. 

"ඔන්න ඔතනදී තමයි ඇන්ඩර්සන්, වැදගත් ම කොටස මතු වෙන්නේ..." 

ඩ්‍රේක් සිය පොල්කටුව කණප්පුව මත තබා සාවධාන වූයේ ය.

"මගේ රාජධානියේ තියෙනවා සුමන කූටය කියා කඳු පංතියක්. කිසිම විදිහකින් මනුෂ්‍යයෙකුට ජනාවාසයක් හදාගන්න බැරි, පාරක් හෝ මං හසරක් හොයාගන්න බැරි මීදුමින්, කැලෑවෙන්, කුරු අලින් හා දිවියන්ගෙන්, ඊටත් වඩා අමුතු ම මායාවකින් ආකූල වුණු කොටසකයි ඔය කඳු පංතිය තියෙන්නේ. මම දවසක් දඩයමේ යද්දී අතරමං වී ඔය කියන වනාන්තරයේ ඇතුළට ඇතුළට ම යැවුණා. අන්තිමේ මට හම්බවුණා අද්භූත ගල් ගුහාවක්. ඒක ඇතුළේ තිබුණා කොළ පැහැයට හුරු නිල්වන් දියෙන් පිරුණු උල්පතක්. මම පිපාසය වැඩි කමට එයින් දිය දෝතක් අරන් බීවා. ඒ දිය මගේ උගුර හරහා යද්දී ම මට දැණුනා, මගේ සිරුරට ඒක උරාගන්නා බවත්, මගේ ශරීරයේ සැම කුඩා කොටසක් ම වෙනස් වීගෙන, ප්‍රකෘතිමත් වීගෙන යන බවත්.

"මට බොන්න හැකි වුණේ උගුරු දෙකයි. මම හිස ඔසවද්දී දුටුවේ මා දෙසට කඩුවක් අමෝරාගෙන ඉන්නා සුමන හෙවත් වෛශ්‍රවණ..."

"සුමන?" ඩ්‍රේක් සපමින් සිටි වල් ඌරු මස් කැබැල්ල ස්වාසනාලය දිගේ නොගොස් බේරුණේ යාන්තමිනි.

"ඔව්. සුමන... නැත්නම් දැන් ඉන්නා මිනිස්සු කියන විදිහට, දැඩිමුණ්ඩ නැත්නම් උපුල්වන් ඒත් නැත්නම් නාථ හෙවත් ගලගොඩ නිළමේ. ඔහු වමත ඔසවා යමක් මුමුණමින් කවාකාරව කරකැව්වා මට මතකයි. ඉන්පසු මට ඇස් ඇරුණේ ගිලී මලයේ මගේ උප වාසස්ථානයේ දී.

"මම ඒ ගුහාව හොයාගන්න, මට මතක තිබුණු හැම විදිහකින් ම ගිහින් බැලුවත්, ඊට පස්සේ කිසිම විදිහකින් මට ඒ තැන හොයාගන්න බැරි වුණා. මොකද, ඒ දිය බීව දා ඉඳන්, මම වයසට ගියේ නෑ. මට සිදුවුණු හැම අනතුරක් ම වේදනා රහිත වුණා විතරක් නෙවෙයි, ඇඟට වුණු හාණිය එවේලේම ආපහු ප්‍රකෘතිමත් වුණා. මට කෑම, බීම, වෙන දෙයක් තියා හුස්ම වත් උවමනා වුනේ නෑ ජීවත් වෙන්න."

"ඉතින් නුඹට ඔය කියනා විදිහේ වාසියක් වුණා නම්, මොකටද ඒ ගුහාව හොයන්නේ?"

"ඒක තමයි මේ කතාවේ දුක්බර කොටස ‌ඇන්ඩර්සන්..." ගරා යකා ගේ මුහුණ ශෝකයෙන් හා කෝපයෙන් මැළවී ගියේ ය. "නුඹට හිතාගන්න ම පුළුවන් විදිහට, මගේ නැඟණිය තමයි මම සරණපාවා ගත්තේ. මගේ සීයා වගේ ම, රාජකීය ලේ උරුම ඉදිරියට ගෙනයන්න තිබුණු ක්ෂිත්‍රිය ධර්මානුකූල ක්‍රමය ඒ. නමුත් ඒ විවාහය කල් පැවතුණේ නෑ.

"මගේ නංගී දිසාලා, මම සරණපාවාගත්තාට පස්සේ ගිරි ශිඛරවලින් ගහන විල්බා රටේ දේවිය යන තේරුමින් හැඳින්වුණේ ගිරි දේවිය නමින්. මේ දිවයිනේ ම හිටි සුන්දර ම ගැහැණිය තමයි ඇය. ඉන්ද්‍ර බොහෝම ප්‍රසිද්ධයි සුන්දර විවාහක ගැහැණුන් ට දක්වන ලැදියාවට." ද්වේෂයේ ලකුණු පැතිරී ගිය දළ කුමාර ගේ මුහුණ විරූපී විය.


"ඉන්ද්‍ර ට සහසැස් කියන්නේ ත් ගෞතම සෘෂි ගේ බිරිඳ අහල්‍යා සමඟ පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධය අසුවී ගෞතම සෘෂි ගේ ශාපයකට ලක් වීමෙන්. ලැජ්ජා නැති ඉන්ද්‍ර මගේ ගිරි දේවියටත් වරක් අග්‍රා ඔය අසබඩ දී නින්දිත යෝජනාවක් කළා. ඉන් කෝපයටත් ලැජ්ජාවටත් පත් වුණු ඇය අග්‍රා ඔයේ ගිළී දිවි නසා ගත්තා." 

ඩ්‍රේක් ගේ සුරත මිට මෙළවී, එහි නහර වැල් ඉල්පී අවුත් තිබිණ. කෝපයෙන් සහ අපේක්ෂා භංගත්වයෙන් බැරෑඬි වුණු හඬින් දළ කුමාර දිගටම සිය කතාව කියාගෙන ගියේ ය. 

"නමුත් ඇය දැක්වූ ආත්ම ගරුත්වයෙන් ඉන්ද්‍ර ලැජ්ජාවට පත් වුණා. මම එතනට යන විටත් ඔහු ගිරි දේවියගේ සිරුර ගොඩ ට අරගෙන. ඉන්ද්‍රගේ නියමය අනුව සේවකයෙක් ඔහු ට දිය බඳුනක් ගෙනත් දුන්නා. මගේ කෝපය පාලනය කරගන්න බැරි වුණා, ඉන්ද්‍ර මේ කර තිබෙන විනාශය දුටු විට. ඔවුන් විශ්වාස කළ නොහැකි නිසා මම ඒ දිය බඳුන උදුරාගෙන පොඩ්ඩක් බීලා බැලුවා. ඇත්තටම හොඳ වෙලාවට මම ඒක පානය කළේ. මොකද, ඒකෙන් මගේ මුළු සිරුරම විකෘති වුණා. මේ බලපන්..."

දළ කුමාරගේ මුහුණ දෙස හිස ඔසවා බැලූ ඩ්‍රේක් දුටුවේ, භයංකර දසුනකි. ඉදිරියට නෙරා ආ ඇස් ගෝල, ළියට නෙරා ආ දිගු දත් අතරින් එල්ලා වැටෙණ දිව, විශාල රවුම් කන් පෙති නාගයන් ගේ හැඩය ගත් ඉහළට එසවුණු හිස කෙස්...



එම භයංකර ගරා යක් මුහුණ තප්පර කිහිපයක් තුළ නැවතත් සාමාන්‍ය රූමත් තරුණ මුහුණට හැරුණේ ය.

"ඒ දිය බීවට පස්සෙ මට ලැබුණෙ ඔන්න ඔය මූණ තමයි. ඉන්ද්‍ර කරන්නට සැරසුණේ, ඔහුගේ නින්දිත යෝජනාවට නැමුණේ නැති මගේ ගිරි දේවියගේ මළ සිරුරෙනුත් පළි ගන්න."

තප්පර කිහිපයක් දෙ දෙනාම කිසිවක් කතා කළේ නැත. බුර බුරා ඇවිළෙන ගිණිමැළයෙන් නැඟෙන පට පටස් හඬ පමණක් නිහැඬියාව මඳක් තුනී කළේ ය.

"හරි. මට පැහැදිලියි." නෝර්ඩිකයා සෙමෙන් කීවේ ය. "ඒත් සියවස් ගාණකට කලින් සිද්ධ වෙච්ච ඔය දේ හැටියට, දැන් නුඹට අමෘත වතුර ලබාගෙන ඇති පලය මොකද්ද?"

පොල්කටුව හඬ නඟා කනප්පුව මත තැබූ දළ කුමාර නැගිට්ටේ ය. ‌"වරෙන් යන්න... මං උඹට පෙන්නන්නම්..."

ගිණි මැළය අසල වූ පන්දමක් ගෙන අවුලාගත් සංග්‍රාහකයා අනුව නැඟිට ගත් ඇඩම් ඔහුගේ පසුපසින් ගොස් සප්තාස්‍රාකාර කුටියෙන් එළියට ආවේ ය. උමඟට අයත් නොවූ පටු කොරිඩෝරයක් දිගේ ‌ඇවිද ගිය ඔවුහු පිවිසුනේ තවත් අභ්‍යන්තර කුටියකට ය. එහි පියස්සේ සිට පහළට එල්ලුණු සිහින් පිත්තල දම්වැලකින් රැඳවුණු පිත්තල පහණක් මළාණික ළියක් පැතිරවීය. එම පහණ යට නීල ගරුඬ පාෂාණයෙන් සැදුණු බෙහෙත් ඔරුවක් විය. එහි පිරී තිබූ අඳුරුවන් තෛලමය දියරය අතරින් ඇඩම් දුටුවේ මෙතෙක් ඔහු දැක තිබූ සුන්දරතම තරුණියගේ රූපයයි.

ඉඟ තෙක් දිගු වූ ඝන වරළස ඇගේ සිරුරට යටවී තිබුණේ ය. අඩ සඳ වැනි පටු වටකුරු නළලත, දිගු ඇසිපියෙන් වැසුණු දෑස්, හුරුබුහුටි නාසය, නාදල්ලක් බඳු අඳුරු රත් පැහැ දෙතොල්, රන්වන් සළු පටකින් බැඳුනු තිඹිරි ගෙඩි තරම් වූ පියයුරු, ඇත් දත් පැහැ සිරුර... 

*    *    *

“මේජර් (විශ්‍රාමික) මිත්‍ර උඩුමුල්ල“ නම සඳහන් වූ පිත්තල පුවරුව සවිකර තිබුණේ කළුගලින් බැඳ තිබූ ගේට්ටු කණුවක ය. අමානෝ තහඩුවලින් ශක්තිමත්ව තනා තිබුණු ගේට්ටුව අඩි අටක් පමණ උස් විය. කළු ගල් තාප්පය ද එපමණ උස් වූ අතර, එල් අයන්වලින් තැනුණු උල් තාප්පයේ උඩ අඟල් තුනෙන් තුනට සවි කර තිබුණේ හොරෙන් කඩා පනින්නන් වැළැක්වීමට ය. 

අමානෝ තහඩු ගේට්ටුව ඇරුණේ රතු පැහැ මස්ටෑං කාරය පැමිණි වේගය අඩු නොකර ම ඇතුළට යා හැකි වන්නට ය. ගේට්ටුව එවිගසම ආපසු වසන ලදි. කාරය වේගය අඩු කරගනිමින් ග්‍රැනයිට් ගල් පතුරු ඇල්ලූ පටු පාර දිගේ ඇදී ගොස් පැරණි දෙමහල් නිවසේ පෝටිකෝව යට නැවතුණේ ය. 

තාරා, කාරයේ එන්ජිම නවතා. දොර ඇරගනිමින් වම්පසට හිස හරවා “බහිමු“ යි කීවා ය. ඈ අනුව කාරයෙන් එළියට බට සුභාෂ්, තමන් ආ මඟ ආපිට හැරී බැලුවේය. ගේට්ටුව අසළ සිට බුහුටි පා ගමනින් ඔවුන් වෙත ආ මැදිවියේ පුරුෂයා නිවසට ඇතුල් වන ලෙස අතින් සන් කරමින් ඔවුන්ට ඉස්සර විය.


Thursday, September 2, 2021

අවසානයක් නොවේ - 39

38 කොටස...

යම් කිසි වෙනසක් දැනී ඩ්‍රේක් හිස ඔසවා බැලුනේ නොරුස්නා හැඟීමෙනි. ඔහු ඉදිරියෙහි වූයේ සුදුවන්  ධෝතියක් හැඳ, රනින් හා මිනි මුතුවලින් අලංකාරවත් වූ මාල, උදර බන්ධන, හා අත් වළලුවලින් සැරසුණු, තෙදවත් පෙනුමක් සහිත රූමත් තරුණයෙකි. 

"නුඹ කවුද?" ඔහු ගේ කටහ‌ඬෙහි මෘදු නමුත් රාජකීය බවක් ගැබ් විය. "උත්තර දෙනු!"

නාවුකයාගේ අවුල් වූ සිතෙහි කෝපය අකුණු කුණාටුවක් සෙයින් නැගී ආයේ ය. "මම කවුරු උනහම නුඹට මොකද ෆාඅන්? (Faen නෝර්ඩික්) (= යකෝ) චිස් මයි ඉ රෙවා!" (Kyss meg i ræva නෝර්ඩික්) (= kiss my rear) යි පහත් තාරතාවකින් මුමුණමින් ඩ්‍රේක් සුරත මිට මොළවා බිමට ගසා වාරු ගෙන නැගී සිටියේ ය.

"චිස් මයි ඉ රෙවා?" තරුණයා පුනරුච්ඡාරණය කළේ ය. "ඒකද නුඹේ නම? මේ උමග ඇතුලේ නුඹ මොනවද කරන්නෙ?" ඔහුගේ කටහඬේ සියුම් සරදමක් ගැබ්ව ඇති බව නෝර්ඩිකයා හට වැටහිණ. 

"ඇයි? මේ උමඟ උඹේ ද? පාඩුවෙ ඉන්න දීලා පලයන් යන්න!"

තරුණයා සුරත දිගු කළේ කෝපයෙන් දිළිහෙමිනි. ඩ්‍රේක් වමතින් ඔහුගේ අත වැරෙන් අල්ලා, ඔහු වෙතට ම නවා, මිටමෙළවූ සුරත ඔහුගේ මුහුණ මතට පතිත කළේ ය. රාජකීය අමුත්තා අඩි කිහිපයක් පිටුපසට විසි කර දැමීමට තම මුෂ්ටි පහර සමත් වූ බව දුටු නාවුකයා මවිතයට පත් විය. එතරම් ශක්තියක් සිය සුරතේ වූ බව...

ඇසිපිය හෙලන පමණින් දෑත් බිම ගසා නැගී සිටි තරුණයා නැවතත් ඇඩම් වෙත පැන්නේ ය. මෙවර ඔහුගේ ඉළක්කය නිවැරදි විය. සිය ගෙළ වට‌ා සතුරාගේ දෑතේ ඇඟිලි වෙලී සිර වෙද්දී, දෑස් එළියට මතුවන්නට යත්න දරනු නෝර්ඩිකයාට දැණින. ඔහු තරුණයාගේ දෑත් සිය දෑතින් තදින් අල්ලා, සිය බෙල්ල මුදවා ගැනීමට තැත් කළේ ය. ඒ අතරම, දකුණු පාදය ඔසවා වැරෙන් පහරක් සතුරාගේ යටිබඩ පෙදෙසට එල්ල කළේ ය. අඩියක් පමණ පිටුපසට විසිවුණ ද, තෙදවත් අමුත්තා සිය දෑතේ ග්‍රහණය ලිහිල් කළේ නැත. එහෙයින් ඇඩම් ගේ සමබරතාව ද ගිළිහිණ. 

දෙ දෙනා බිම වැටී පෙරළී ගිය ඉක්බිති, එකිනෙකාගේ ග්‍රහණයෙන් මිදී, දනි පනි ගා නැගිටගත්හ. 

"මෙහෙම සළකන්න වීම ගැන ලැජ්ජයි මිත්‍රයා..."  ආගන්තුක තරුණයා ආචාරශීලිව එහෙත්, එළඹෙන ඕනෑ ම අවස්ථාවකට මුහුණ දීමේ බුහුටි බවින් යුතුව කතා කළේ ය.

"ම්හ්...!" ඩ්‍රේක් හිස පහත් කරගත්වන ම දෑස් උඩුකුරු කොට තරුණයාගේ දෑස් දෙස එක එල්ලේ බැලී ය.

"නුඹ මෙතෙක් අයිතිවෙලා හිටපු සමාජ කොටසින් දුරස් කෙරිලා තියෙන වග මට පේනවා... තේරුම් ගනින්... මේ උමඟ ඇතුලෙ ඉන්න හැමෝම එක ම උප සමාජයකට අයිති උදවිය වග."

"මම ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්..." නිහඬව ගතවූ මිනිත්තු කිහිපයකට පසු නෝර්ඩිකයා සෙමෙන් කීවේ ය. "මම අශ්වාරෝහක සෙබ‌ළෙක් වෙලා හිටියා. දඩයක්කාරයෙක්, යුධ සෙබළෙක්, ගවේෂකයෙක්, මුහුදු කොල්ලකාරයෙක්, අද්මිරාල් කෙනෙක්..."

තරුණයා සාවධානව අසා සිටියේ ය. 

"අන්තිමේ කන්ද උඩරට රජු ගේ රැඳවියෙක් වෙලා ඉඳලා, රාජකාරියටත් බඳවාගෙන, දූරය විසින් ම මාව ද්‍රෝහියෙක් විදිහට නිගමනය කරලා..."

තරුණයා සුරත එසවීය... "නුඹ කීවේ රහස් දූරය කියල ද?"

"මම එහෙම කීවේ නෑ."

"නුඹ භයාණක විදිහට සුදුමැළියි. නුඹේ කර මුල මා දැක්කා දත් පාරවල්... ඒ වගේ ම නුඹට යකෙකුට වාගේ හයිය තියෙනවා... ඒ හැම හෝඩුවාවක් ම යොමු වෙන්නේ එක පැත්තකට..."

තරුණයා මඳකට නිහඬව සිතිවිල්ලට වැටුණේ ය. 

"මට මුලින් ම කිව්වෙ, ජීවහත්ථ හෙවත් වීරබාහු. මම මේ දිවයිනේ කොටසක් පාලනය කළා, පිය උරුමයෙන්. වැද්දො මට සළකන්නෙ උන්ගේ ආදි පියා හැටියට. මාව දේවත්වයෙන් සළකපු පසුකාලීනයො මට කිව්වේ දළ කුමාර. නමුත් දැන්..." ඔහු ඩ්‍රේක් ගේ දෑස් දෙස කෙලින් බැලුවේ ය. "දැන් මම ගරා යකා...!"

ජීවහත්ථ හෙවත් දළ, සිය සුරත ඇඩම් ගේ උරහිස මත තැබීය.

"මටත් තියෙනවා රහස් දූරය එක්ක ගනුදෙනුවක්... මාත් එක්ක වරෙන්."

මාව දේවත්වයෙන් සළකපු පසුකාලීනයො මට කිව්වේ දළ කුමාර. නමුත් දැන්...
https://www.srilankanartgallery.com/artworks/painting/raksha-warrior

*    *    *

ලක්දිව වියලි කළාපයේ පිහිටි සුවිශේෂී හුදෙකලා කන්දක් වේ. දිවයිනේ පවතින සියලුම දේශගුණික තත්ත්වයන් මෙම කඳුවැටියේ එක් එක් උස් මට්ටම්වල දී හමුවීමේ වාසිය උපයෝගී කරගෙන, සෑම ඉසව්වක ම වැවෙන ඔසු පැළ එක ම ස්ථානයක රෝපණය කර මහා ඔසු වනයක් සකස් කළේ ජයසේන ය.කාලය ගත වත් ම, කෙමෙන් කෙමෙන් ප්‍රකෘතිය අමතක වී ගොස්, ජනප්‍රවාදයට එක් වී ගිය ජයසේන, සිය ඔසු වනයේ පධානඝර භික්ෂූ ආරාමය ඉදි වී, දියුණු වී, නැවත කැළැවට ම යට වී යනු ද, මිනිසා විසින් ඉමහත් ප්‍රයත්නයෙන් ඉදි කෙරුණු දැවැන්ත ශිලා නිර්මාණ ගස් මුල් විසින් ආකූල කර දමනු ද දකිමින්, ස්වභාව ධර්මයේ ම කොටසක් වී හුදු නිරීක්ෂකයෙකු ලෙස දැනුම පමණක් රැස්කරමින් කාලය ගත කෙළේ ය. ගාමණී අභය මහරජුගේ රහස් දූරයේ සාමාජිකයෙකු අතින් පරාජයට පත් වූ පසු හෙතෙම සිය කාලය වැඩිපුර ම ගත කළේ මෙකී ඖෂධ කන්ද තුළ පිහිටි රහසිගත ගල් ලෙණක ය. 

තමන් දෑතින් ගොඩනැගූ අරිට්ඨගාමය, කාලිංග මාඝගේ ආක්‍රමණයට ද මුහුණ පා, සමෘද්ධිමත් නියම්ගමක සිට දිළිඳු පැල්පත් කිහිපයකට සීමා වෙමින් පිරිහෙද්දී, හුදෙක් දිරිමත් මිනිසුන් ගැන ලැදියාවෙන් පහතට බට ජයසේන, ගමට නායකත්වය දුන්න ද, කාලය සහ මිනිසාගේ ඉරණම වෙනස් කළ නොහැකි බව පසක් කළේ, තමා රැස් කරගත් දැනුම සමස්ත මානව සංහතිය ම සුවපත් කිරීමට කැප කරමින් ලක්දිව පුරා සැරි සැරුවේ ය. වෙසෙසින් ම, තමන් කුමනාකාරයේ යහපතක් මානව වර්ගයා වෙත පැතිරුව ද, ඊට පෙරටුව වේගයෙන් පැතිර ගිය, ජයග්‍රාහකයා ට ආවඩා පරාජිතයා හෙළා දමන අන්දමේ මහසෝන් පුරාවෘතය ඔහු නොසැළකීය, ඇත්තට ම ඔහු මහසෝන් ප්‍රතිරූපයේ ප්‍රතිලාභ රසවිඳි අවස්ථා ද වූයේ ය.

ලෝකී උදුරාගත් ප්‍රකෘති සිහිය නැවත කැඳවන තෙක් මිත්‍රගේ සිරුර ආරක්ෂිතව පවත්වාගත්තේ මෙකී හුදෙකලා කන්ද මුදුනේ පිහිටි ජයසේන ගේ රහසිගත ගල් ලෙණ තුළ ය. සැඩ සුළඟ සමඟ කඩා වැදුණු සියුම් වැලිකැට, ඝන හිරු රෂ්මිය සහ සීතල වැස්ස මඟින් සාරන ලද ආගනේය පාෂාණය තුළ වූ බාහිර ලෙණට පිටුපසින්, තවත් ඇතුල් ලෙණක් විය. පෘථිවියේ තරුණ කාලයේ දී ඉහළට නැඟුනු උණු ලාවා ගුළියක් පස් අතර වූ කුහරයක පිරී ගොස් නිර්මාණය කෙරුණු මෙම පාෂාණය මධ්‍යයේ, උපතින් ම හටගත් ගෝලාකාර කුහරයක් විය. ජයසේන ගේ වාසය හා අධ්‍යයනාගාරය වූයේ මෙම ඇතුල් ලෙණ ය. 

ලෙණ මැද ගලින් ම සාරා සකස් කරන ලද බෙහෙත් ඔරුවෙහි පුරවන ලද, අඳුරුවන් තද කොළ පැහැ කල්කයක බහා තිබුණේ මිත්‍ර ගේ ශරීරය ය. සුමන හා ඉන්ද්‍ර තම නෝර්ඩික් සිරකරුවා එම ගල් ඔරුව අසළ බිම වැතිරවූහ. ජයසේන ඔවුන් ගේ හිස්වලට ඉහළින් බිම වීරාසනයෙන් වාඩි වී, වමත ලෝකී ගේ හිස මත ද, සුරත මිත්‍රගේ හිස මත ද තබාගෙන, ප්‍රාකෘත බසින් පබැඳුනු දීර්ඝ සැහැල්ලක් ගායනා කිරීම ඇරඹී ය. ඔහුගේ පූර්ව උපදෙස් පරිදි, සුමන හා ඉන්ද්‍ර විටින් විට සිය මිත්‍රයාගේ හිසෙහි තෙල් ගෑමත්, ගල් බිත්තිවල රැඳවුණු පන්දම්වල ආලෝකය වැඩිවන පරිද්දෙන් හා හාත්පස වාතයට ඖෂධීය දුම් එකතුවන පරිද්දෙන් දුම්මල කුඩු ගැසීමත් සිදු කළහ.

කාලය හෙමින් හෙමින් ගතවී යද්දී, මිත්‍රගේ සමෙහි පැහැය නැවතත් ප්‍රකෘතිමත් වී එනු දැකගත හැකි විය. අබිරහස් මඳහසක් යාන්තමින් පෙන්නුම් කළ ලෝකී ගේ මුහුණ කෙමෙන් කෙමෙන් සුදුමැළි වී හැකිළී ගියේ ය. අවසානයේ මිත්‍ර දෑස් විවර කර සිය මිතුරන් දෙස බලා මඳ සිනහවක් පාද්දී, ලෝකී ගේ සිරුරෙහි වූ අවසන් ප්‍රාණ වායු බිඳ ද, වාතලයට මුසුවී ගියේ ය.


40 කොටස...

Tuesday, August 24, 2021

අවසානයක් නොවේ - 38

එක මොහොතකදී සිදුවීම් තුනක් සිදුවිය. පහත සිට ඉහළට විසි කෙරුණු වානේ යොත් දෙකක් ලෝකී සහ අංග්ර්බෝදා ගේ සිරුරු වටා එතුනේ සිතුවිල්ලක බඳු වේගයෙනි. ඇතෙකුගේ සොඬට හසුව ඔවුන් වාඩි වී සිටි දැවැන්ත අත්ත බිඳී ගියේ ද එවිට ම ය.

බිම පතිත වූ යෝටුනයෝ දෙ දෙනා සිහි එළවා ගනිද්දී අග්නි සහ ශක්ති සිය වානේ පාෂයන් ඔවුන්ගේ සිරුරු වටා තද කරමින් සිටි අතර, තරබාරු සිරුරැති අයියනායක හෙවත් පුල්ලෙයාර්, ඕනෑම අවස්ථාවකට සූදානම් ව ඔවුන් පිටුපස සිටගෙන සිටිනු දැකිය හැකි විය. 

37 කොටස

නෝර්ඩික් දුෂ්ඨයන්ගේ සිරුරු වටා වානේ යොත එතී තිබුණේ දෑත් ද සිරුරට තබා වෙළමිනි. එසේ සිටිවන ම, ලෝකී සුරතේ මැදැඟිල්ල හා මහපටැඟිල්ල ගටා, අසුරක් ගැසී ය. එකෙණෙහි ඔහුගේ සිරුර සිහින් හැඩයක් ගත්තේ ය. එහෙත්, වානේ මද්ද ඔහුගේ සිරුරේ ප්‍රමාණයට ම හැකිළුණා මිස, ඔහු ට කෙසගක හෝ ගැළවීමක් නොලැබුුුණි. 

"මේක නවත්තපන් ලෝකී" අග්නි ඇගේ සුරතේ වූ වක් කඩුපත නෝර්ඩික් දෙවියාගේ ගෙළට පහත් කළා ය. "නුඹේ හමුදාව ආපහු යවපන්..."

"ඔවුන් මගෙ පාලනයෙන් තොරයි." ලෝකී ගේ මුහුණේ පැවති සමච්ඡල් සහගත සිනහව පහවුනේ නැත. ඔහු ඒ අසළම සිට මහා හිම යෝධයෙකු මෙල්ල කිරීමට උත්සාහ ගන්නා සිය අඩ සොහොවුරා හෙවත් තෝර් දෙස යටැසින් බලා, හඬ උස් කළේ ය. "නුඹලට තේරෙන් නැද්ද? මම මේ උත්සාහ ගන්නේ, රැග්නරොක් යුද්ධය වළක්වන්න. නුඹලා මහා ආත්මාර්ථකාමී විදිහට අමෘතය හංගාගෙන ඉන්නවා. මම උත්සාහ කරන්නෙ ඒක සුදුසු සියලු දෙනාට ලැබෙන විදිහට බෙදා හරින්න..."

"නෑ... නුඹ වැරදියි..." කෑ ගසමින් තෝර් උඩ පනිමින්, සුරත කරකවා, හිම යෝධයාගේ නිකටට බරැති මිටි පහරක් එල්ල කළෙන්, යෝධයා ආපසු ආවාටයට ම වැටුණි.

"මේ ලෝකයේ සදාතනික ‌කිසි ම දෙයක් නෑ ලෝකී..." තෝර් අග්නි හා ශක්ති අසළට පැන්නේ ය. "අමෘතය ලබාගත් උදවිය මේ ලෝකයේ සමතුළිතයට අස්වාභාවික බාධාවක් විතරයි. ඒක තවත් වැඩි කරන්න කිසිම උවමනාවක් නෑ. රැග්නරොක් සටනින් පස්සෙ අලුත් වුණු පොලොවේ ජීවිය නැවතත් පැතිරෙනවා, ඊග්ඩ්‍රසීල් ගහ පාමුළ හැංගිලා හිටපු මිනිස්සු සහ අනෙක් අයගෙන්..."

ලෝකී හඬ නඟා සිනාසුණේ ය. "ඉස්සරහට වෙනවය කියලා කියන දේවල් විශ්වාස කරන්න උඹ සාම්ප්‍රදායික වුණාට, මම උත්සාහ කරන්නේ තියෙන දේ රැක ගන්න. බලපන් නුඹලට වෙන දේ..."

ඔහු හිස හරවා පෙන්වූ දෙස බැලූ ටිරෙල්, අග්නි හා ශක්ති දුටුවේ හිම යෝධයන් හා ඕගරයන් ගණනින් වැඩි වෙමින් පවතින ආකාරයයි. මහසෝනා ගේ පපුවේ වූ තුවාල දෙකකින් භයානක ලෙස ලේ වැගිරෙමින් තිබිණ. ඔහු නැවත නැවතත් ඉදරියට පනිමින් දෑතින් සටන් කළ ද, එන්න එන්න ම ඔහුගේ ඔද පිරිහී යනු පෙනුණි. රුද්‍ර, ඉන්ද්‍ර, ස්කන්ධ, සුමන හා ඇත්කඳ ළිහිණියා තවමත් ප්‍රකෘතිමත්ව සිටිය ද, දහසක පමණ අමනුෂ්‍ය හමුදාවක් මෙල්ල කර පළවා හැරීම අපේක්ෂා කළ නොහැකි ඉළක්කයක් වූ බව පැහැදිළි විය.

තෝර් හිස දෙපසට වනා, සිය සුරත වට දෙකක් කරකවා, මිටියෙන් දමා ගැසී ය. කරණම් ගසමින් ඉහළින් ඇදී ගිය මෙයොල්නීර් නම් මහා මිටිය, සචේතනික වස්තුවක් මෙන් ඉහළ යමින් නැවතත් පහතට වැටෙමින්, එහි වූ හිම යෝධයන් දහ දෙනෙකුගේ පමණ හිස් මත වැරෙන් වදිමින්, ගුවනේ රවුමක් කැරකී ආපිට තෝර් ගේ ම අතට ආයේ ය. එසැණින් හිස් පාත් කරගෙන දිව ආ ඕගරයෝ රෑනක් තෝර් ගේ දෙපා බදාගත් හ. විඩක් දෙකක් වැනුණු ටිරෙල් කපා හෙළූ ගසක් මෙන් ඇද වැටුණි. ශක්ති සහ අග්නි සිය දෑතේ ම වූ මුවහත් ආයුධ වලින් පහර දී තෝර් ගළවා ගන්නට යත්න දැරූ හ. 

සුමන ගේ මෙහෙයීමෙන් ‌ඇත්කඳළිහිණියා ඕගරයන් හතර පස් දෙනා බැගින් සිය දැවැන්ත නිය පහුරුවලින් අල්ලා මිරිකා දමමින් යුධ පිටියේ ඒ මේ අතර පියාසර කරනු දැකිය හැකි විය.

හාත්පස වූ අඳුර පහව ගියේ, මිහිදුම තුනී වී සීතල දුරු වී ගියේ, එක් වරම ය. හිම යෝධයන් සහ ඕගරයන් ආපිට ආවාටයට ම පසුබැස්සහ. අන්තිම ඕගරයාත් ආපිට හැරුණු විගස, ආවාටය වැසී යන්නට පටන් ගත්තේ ය. 

මවිතයට පත් වූ අග්නි හා ශක්ති එකවරටම හැරුණේ ලෝකී සහ අංග්ර්බෝදා වානේ පාෂයෙන් වෙළා දමා සිටි ගස පාමුළ වෙත ය. එහි සිරකරුවෝ දෙදෙනා තබා ආ විලසින් ම බිම පෙරළී සිටි අතර, අයියනායක ඔවුන් ගේ හිස් අසළ බිම වීරාසනයෙන් වාඩි වී සිටියේ මඳ සිනහවක් නැඟුනු මුහුණින් යුතුව ය. 

ස්කන්ධ මයුරයාගේ පිටින් බිමට බැස්සේ නෝක්කාඩුවක් කියමිනි. "අර බලන්න. අපි දාඩිය හෙළාගෙන, ලේ වගුරුවාගෙන සටන් කරනව. නමුත් අන්තිම පියවරේ දි අයියා ලකුණු දාගන්නවා."

ශක්ති සිය කඩවසම් පුත්‍රයා වැළඳ ගත්තී ය. රුද්‍ර ඔහුගේ උරහිස වටා අත යවා තමන් වෙතට ඇදගෙන පුත්‍රයාගේ  හිස ට වමතින් තට්ටු කළේ ය. "අයියා එයාට පුළුවන් දෙය හොඳට ම කරනව. මොකද, එයා ට පුළුවන් ද යුද්ධ කරන්න? නුඹ හැදිලා තියෙන්නේ ම රණ වික්‍රම වලට. කාටවත් බැහැ නුඹ ගේ මහන්සිය සහ කැපවීම ප්‍රශ්න කරන්න..."


*    *    *

මහනුවර මහා නගරය වූ කලී, සෙන්කඩ නම් මහ බලැති උග්‍ර තවුස් දම් ඇති තාපසයෙකුගේ වාසය බවට පත් ව තිබී, පසුව ජනාවාසයක් බවට පත්ව, කෝට්ටේ රාජධාණි කාලයේ පටන් නගරයක්, යුධ බළකොටුවක් සහ පරිපාලන මධ්‍යස්ථානයක් බවට සංවර්ධනය කෙරුණු පුරයක් විය. කඳුවළල්ලින් වට වූ බේසමක් වැනි නගරයට නිරන්තර වැස්සෙන් රැස්වන වැසිදිය කඳ බැහැර කෙරුණේ, පුරාතන ලාංකික දැනුමින් ඉදිකෙරුණු මහා උමං පද්ධතියකිනි. අඩි දහයක් පමණ උස්, ඕවලාකාර හරස්කඩ හැඩයක් ඇති වන පරිදි පොළොව සාරා, පිළිස්සු මැටි ගඩොලින් බිත්ති සකස් කර තැනුණු මේ මහා උමං, නගරයේ සෑම විථියක් ම යටින් මහා ජාලයක් මෙන් දිව ගියේ ය. අවසානයේ ඩ්‍රේක් හට ද රැකවරණ ස්ථානය වූයේ මේ මහා උම්මග්ග ජල මාතිකාවයි.

හිරු රැසින් දැවුණු සම සහ ඇසිපිය, නැවත ප්‍රකෘතිමත් වී එද්දී, උමං මාර්ග දෙකක් හමුවන හංදියක ඇණ තබා ඉඳගත් ඇඩම් කල්පනාවට වැටුණේ ය. සිය සිරුරේ සෑහෙන වෙනස්කම් තොගයක් සිදුවී ඇති බව, නොයෙක් සංවේදනවලින් ඔහුට දැනෙමින් තිබුණේ ය. දෑස එයින් ප්‍රධාන විය. මඳ හෝ හිරු එළිය පොදක් වැටුණු ස්ථානයක් දෙස දෑස් රිදවා නොගෙන බැලිය නොහැකි බව... අවුවට පිළිස්සුණු සම නැවත ලියලා ආව ද, මෙතෙක් කල් ඔහු සතුව තිබූ දුඹුරු පැහැය වෙනුවට සුදුමැළි බවට හැරුණු සමක්... රන්වන් හිසකේ කලු පැහැ ගැන්වී තිබූණි. භයංකර ම දෙය වූයේ සිරුර අභ්‍යන්තරයෙන් නැඟී ආ පිපාසිත බවය. 


තවත් කොටසක් ළඟදීම...

Thursday, August 19, 2021

අවසානයක් නොවේ 37

 36 කොටස...

හිරු ගේ රෂ්මිය එන්න එන්න ම දැඩි වෙමින් යද්දී, සම පිළිස්සෙන සියුම් සුවඳ නාවුකයා හට දැනිණ. වෙද මුදලි වළව්වේ ඉඩම කෙළවර ඔසු උයන ට පිවිසෙත් ම ඔහුට දැනුණේ සහනයකි. හිසට ඉහළින් වූ තුරු වියනින් හිරු රැස් වැළැක්වුණෙන්, පිළිස්සීම නතර වූව ද, හිරු එළියෙන් දෑස් දැවීම නැවතුණේ නැත.

කායික පීඩාවත් දැවෙන දෑසින් දර්ශන පථය ට වූ බාධාවත් හේතුවෙන් ඉදිරිය නොපැහැදිළි වූව ද, ඩ්‍රේක් දිව යන වේගය අඩු කළේ නැත.

*    *    *

ලෝකී තම සෙවනැල්ලෙන් නිපන් අනෙකා දෙස බලා, වමත දිගුකොට, වම් පසට වැටුණු මාර්ගය දැක්වී ය. වචනයකුදු නොතෙපළා ඒ දෙදෙනා දෙ පසට විහිදුනු පාෂාණමය කොරිඩෝ දෙක ඔස්සේ යන්නට වූ හ. ඉතා ම ප්‍රවේසමෙන් පියවරක් පියවරක් පාසා හොඳින් සැළකිලිමත් වෙමින් ඉදිරියට ගිය ඡායා ලෝකී, එක්වර ම සිය වම් පය ට පෑගුණු රවුම් ගළක් ඉතා සෙමෙන් පහළට එබී යනු හැඟී හිටිවන ම නතර විය. එ සැණින් ඔහු ගේ දෑස් අසළින් ම කොරිඩෝවේ හරස් අතට කෙටි ඊ තළ පොකුරක් ඇදී ගියේ ය. එතැන් සිට වම් පස බිත්තියෙන් මතු වී දකුණු පස බිත්තිය දෙස ට විදෙන්නට ආරම්භ වූ ඊ සර වැස්සක් කොරිඩෝවේ ඉදිරි කොටසේ අඩි විස්සක පමණ කොටසක් පුරා, පැතිරී ගියේ ය. 

ඊ සර විදෙන හඬ ඇසෙන තරම් ආසන්නයේ සිටිය ද, දකුණු පස මග ඔස්සේ ගිය ලෝකී නතර වූයේ නැත. මුලින් ඉතා සෙමෙන් ඇසෙමින් පැවති මිහිරි ලයාන්විත පිරිමි කටහඬ දැන් දැන් ආසන්න වෙමින් පවතී. එන්න එන්න ම තමන් පසුකර යන ගල් ගුහාවේ බිත්ති ග්‍රැනයිට් පාෂාණයෙන් කිරිගරුඬයට හැරෙන බව නෝර්ඩික් යෝටුන්වරයා නිරික්ෂණය කළේ ය. තවත් පියවර විස්සක් හෝ තිහක් යද්දී, කොරිඩෝවේ නැම්මක් හමුවිය. දැන් දැන් නාඳුනන ප්‍රාථමික බසකින් නැගෙන ඒකාකාරී පුරුෂ කටහඬ ඉතා ම ආසන්නයෙන් ඇසෙයි. ලෝකී ගේ අතෙහි වූ කුඩා පන්දමෙහි එළියෙන් කොරිඩෝවේ පාෂාණමය බිත්ති රෝස - රත්පැහැයෙන් බබළයි. 

කොරිඩෝවේ වංගුවට පිවිසි නෝර්ඩික් දෙවියා හට සිය දෑස් අදහාගත නොහැකි විය. වංගුවට අඩි දහයක් පමණ ඔබ්බෙන් වූයේ ප්‍රාථමික පෙනුමැති ගල් ලෙණකි. එහි බිත්ති හා පියසි ඉතා රළු වූව ද, එය තැනී තිබූ පාෂාණයේ යම් කිසි අපූර්වත්වයක් විය. එම පාෂාණය මහ පොළොවේ වෙන කිසිම තැනක දක්නට නොලැබෙන, විවිධ වර්ණයන්ගෙන් සැදි කිරිගරුඬයක් වූ බව ලෝකී දුටුවේ ය. ගුහාවේ පියස්සේ කෙළවරක වූ සිදුරකින් ඇතුළට වන් හිරු එළිය තීරුවක්, ගුහාවේ ඔපමට්ටම් නැති පොළොවින් විවිධ පැතිවලට පරාවර්තනය වී තිබුණි. එම එළිය තිරු වැටුණු විවිධ පාෂාණ කොටස් විවිධාකාරයේ වර්ණවත් ආලෝකයන් පරාවර්තනය කළේ ය. ලා නිල්, සුදු, ලා කහ, රෝස, ලා තැඹිලි...

ලෙණෙහි මැද කොටසේ කුඩා පොකුණක් විය. එහි පිරී තිබූ පැහැදිලි දිය ගුහා බිත්තිවලින් පරාවර්තිත ආලෝකයෙන් විවිධ පැහැ ගැන්විණ. පොකුණ ට ඔබ්බෙන් ඊට පිටුපා වීරාසනයෙන් වාඩි වූ පුරුෂයන් ති දෙනෙක් සහ ස්ත්‍රියක වූ හ. ඔවුන් ඉදිරිපිට වූ ගල් ආසනයක යෝගී ඉරියව්වකින් වාඩි වී සිටි, කසාවන් වස්ත්‍රයක් පොරවාගත්, හිස සහ මුහුණ මුඬුකළ මැදි වියේ පුරුෂයෙක්, ඉතා පෞරාණික ආසියාතික භාෂාවකින් යමක් දේශනා කරමින් සිටි හඬ ය, මෙතෙක් ලෝකී හට ඇසෙමින් තිබුණේ.

යෝගාවචරයා හා අනුගාමිකයින් දෙස ට යෝටුන්වරයා හට තැබීමට හැකි වූයේ පියවර දෙකක් පමණි. ඔහුට පිටුපසින් හඬක් නොනඟා ළං වූ සුමන හෙවත් ගලගොඩ නිළමේ, සිය වමතින් ලෝකී ගේ ගෙළ තදින් ග්‍රහණය කළේ ය. ඇසිල්ලකින් සතුරා පිටුපසට අඩි කිහිපයක් ඇද ගත් ගලගොඩ, ඔහුගේ ඉළ පෙදෙස එල්ල කළ බරැති පා පහරින් විසිවූ නෝර්ඩිකයා නතර වූයේ ගල් කොරිඩෝව දෙකට බෙදුණු ස්ථානයේ ය. බිම පතිත වූ ලෝකී නැඟිට්ටුවේ එහි සිටි උසැති දිවි සමින් සැරසීගත් යෝගී පෙනුමැති තරුණයා ය. රුද්‍ර ගේ සුරතෙහි ඇඟිලි සිය ගෙළ වටා අයෝමය ශක්තියකින් වෙළෙනු හැඟෙනවාත් සමඟ ම වැදුණු තවත් පා පහරකින් ලෝකී ගල් ගුහාවෙන් එළිමහනට ම විසි වී ගියේ ය. 

විසි වී අවුත් වැටෙණවාත් සමඟම කරණමක් ගැසූ ලෝකී තණ බිම මත දෙපයින් සිට ගත්තේ එළැඹෙන ඕනෑ ම දෙයකට සූදානමිනි. හිස ඔසවා බලන ඔහුගේ ඇස ගැටුණේ ස්ත්‍රීන් දෙ දෙනෙකු සහ පුරුෂයන් හතර දෙනෙකු ඔහු වටකර සිටගෙන සිටින බව ය.

හිස පහත් කරගෙන යන්තමින් දත් පෙන්වා සිනාසුණු යෝටුන්වරයා, වමතෙහි ඇඟිලි දෙකක් මුවතුලට රුවා, දිව නවා සිවුරුහන් ලෑමක් කළේ ය. එසැණින් කළු වළාකුලු රොක් වී හාත්පස අන්ධකාරය පැතිරුණි. අහසේ පිරුණු වළාකුළු වේගයෙන් පහතට ඇදී එනු ලෝකී වටකරගෙන සිටි රහස් දූරයේ වීරයෝ දුට හ. ඒවා තව තවත් පහතට එත් ම, දැවැන්ත අඳුරු නිල්වන් වෘකයන් බවට පත් වනු දුටු සුමන හෙවත් යම, සිය ඉණතුරේ තිබූ කුඩා පිත්තල නලාවක් ගෙන පිම්බේ ය. 

වෘකයන් දහ දෙනෙක් පමණ බිම පතිත වූයේ හාත්පස වූ දැවැන්ත ගස් සොළවාගෙන දැවැන්ත වළසෙක් එතැනට කඩා පනිනවාත් සමඟිනි. 

"ෆෙන්රීර්...! ෆෙන්රීර්...! පියාගේ සතුරන් මරපන්..."

“ෆෙන්රීර්...! ෆෙන්රීර්...! පියාගේ සතුරන් මරපන්...!” යි ලෝකී මුරගෑවේ ය. කලු නිල්වන් වෘකයෝ දිළිසෙන රත් පැහැ ඇස් සහ කෙළ වෑස්සෙන විරිත්තා ගත් දත් ඇතිව යෝටුන්වරයා ගේ එදිරිකාරයන් වෙත කඩා පැන්නෝ ය.  කඩු ඇදගත් මීමුරේ හෙවත් ඉන්ද්‍ර සහ ගලගොඩ ඉදිරියට පැන තමන් වෙත දිව ආ දැවැන්ත වෘකයන් හට හර දුන්හ. ඉස්බක් පමණ අහසට පැන්න රුද්‍ර, සිය සුරතින් ගත් දැවැන්ත ත්‍රිශූලය කරකවමින්, තමාගේ දෙපසින් පහර දීමට ආ වෘකයන් සිවු දෙනෙකු සමඟ එකවිට සටන් කළේ, නර්තන ශිල්පියෙකු ගේ බඳු බුහුටි බවක් පෑවේ ය. ශක්ති හා අග්නි ද දෑතින් ම වකුටු කඩුපත් හසුරුවමින් වෘකයන් මඟ හැර ලෝකී කොටු කරගන්නට උත්සාහ කළ හ. දැවැන්ත වළසා දෙපයින් සිටගෙන තමන් වෙත කඩා පිණූ, එතැන සිටි විශාලතම වෘකයා දෑතින් අල්ලා දෙකට ඉරා දැම්මේ ය. ඌ නැඟූ වේදනාත්මක උඩුබිරුමත් සමඟ ම අනෙක් වෘකයෝ කැළැව තුළට පළා ගිය හ. 

දැවැන්ත වළහා හතර පයින් දිව අවුත් සුමන අසළ නැවතුණි. ඔහු දෙපයින් සිටගනිත් දී අඩි හයකටත් වඩා උස් වූ මනුෂ්‍ය ශරීරයකට හැරුණේ ය. හැඩි දැඩි මස්පිඩුවලින් ගැවසි අත පය ද, දළ කළුවන් ලෝමයෙන් වැසුණු ළය හා උදරයෙන් හෙබි ඔහුගේ හිස වෙනුවට තිබුණේ වළස් හිසකි. ජයසේන සුරතින් ගත් ෆෙන්රීර් නම් දැවැන්ත වෘකයා ගේ හිස සුමනගේ දෙපා අසළට අතහැරියේ ය.


රුද්‍ර සිය සුරත හිසට උඩින් ඔසවා පිටුපසට ඇද, ත්‍රිශූලය ලෝකී වෙත දමා ගැසුවේ කිසිවෙකුටත් කිසිවක් සිතා ගැනීමට ඉඩක් නොතබා ය. “ඒකා පණපිටින් අල්ලා ගත යුතුයි. මිත්‍ර ගේ සිහිය ආපිට ගන්න ඔහු උවමනයි” සුමන සංස්කෘත බසින් කෑ ගසද්දී ද, බරැති ලෝකඩ ත්‍රිශූලය ලෝකී ගේ සිරුර පසාකරගෙන ගොසිනි. 

නැවතත් ගිණි පුපුරුවලට වෙන්වී විසිරුණු ලෝකී ගේ සිරුර වාතයට මුසු වෙද්දී, ඔහු නැඟූ වියරු සිනා හඬ හාත්පස රැව් නැඟුණේ ය. 

එකෙණෙහි ගල් ලෙණ ඉදිරිපිට විවෘත බිම මැද ගිලා බසිමින් දැවැන්ත වළක් මැවුණේ ය. එම වළ වැසී තිබුණේ දැඩි මිහිදුමකිනි. ඒ මිදුම දුමාරයක් මෙන් හාත්පස පැතිර යද්දී ලේ කැටි ගැසෙන තරම් සීතලෙන් සියල්ලෝ ම වෙවුලන්නට පටන් ගත්හ. 

වළෙන් එළියට බඩගා එන සතුන් මුලින් ම දුටුවේ අග්නි ය. මුලින් ම ආවේ අලුවන් ලෝමයෙන් වැසුනු කුරු වූ විකෘති මනුෂ්‍යයන් බඳු වූ ට්‍රොල් වරු ය. ගල්ගෙඩි පෙරළෙමින් එන්නාක් මෙන් බිම පෙරළෙමින් ආ ඔවුහු එකා එකා සුමන හෙවත් ගලගොඩ ගේ ද, ඉන්ද්‍ර ගේ ද, ජයසේන ගේ ද පහර කාගෙන වැටුණහ. එහෙත් ඔවුන්ගේ සංඛ්‍යාව සිය ගණනින් වැඩි වී එත් ම, දෙවියන්ට සහ යක්ෂයා ට ඔවුන් මැඩළීම අසීරු වී එන බවක් පෙනෙන්නට විය. 

කණ් බිහිරි කරවන හඬක් නඟමින් අහසින් බැස්සේ ඇත් කඳ ළිහිණියා ය. ඊට පිටුපසින් මොණර හිසක් හා දැවැන්ත පියාපත් සහිත තුරඟ සිරුරකින් යුත් මයුරයෙක් බිමට බැස ගත්තේ ය. මයුරයා ගේ පිට මත වූයේ රූමත් හැඩි දැඩි තරුණයෙකි. ඔහු සිය දෑතින් ම කඩුවක් සහ මුගුරක් ගෙන වේගයෙන් වනමින් ට්‍රොල් සතුන් හට අකුණු ගසන්නාක් මෙන් පහර දෙන්නට පටන් ගත්තේ ය. මයුරයා, මයුර වළල්ලක් සේ පෙනෙන ලෙස වේගයෙන් මෙහෙයවමින් සටන් කළ ඔහු ගේ වේගය කෙතරම් වීද යත් ඔහු එකවර අත් දොළසකින් පහර දෙන්නාක් මෙන් පෙනුනේ ය. 



ඇත් කඳ ළිහිණියාගේ ගොදුරු බවට පත් නොවී බේරුණු ට්‍රොල්වරුන් පහර කාගෙන වැටෙද්දී වළෙන් මතු වූයේ තද කොළ පැහැති කැත බකළයන් වූ ඕගරයන් ය. බිම වැටි තිබූ ත්‍රිශූලය මයුර හොටින් ඩැහැගෙන අතට ගත් ස්කන්ධ, එය රුද්‍ර ‌ගේ අතට විසි කළේ ය. තමන් මෙතෙක් සටන් කළ වක් අසිපත ශක්ති දෙසට විසි කළ රුද්‍ර බරැති ත්‍රිශූලය ගෙන සිය සිරුර ඉදිරිපසින් කරකැවුයේ ගිණි වළල්ලක් ආකාරයෙනි. ගුහාව තුළ සිට එළියට දිව ආ සුදු හා අළු පැහැති ඉරි වැටුණු හිම ව්‍යාඝ්‍රයෙක් ශක්ති අසළින් නැවතුණේ ය. උගේ පිටට පැන්න තරුණිය, වක් කඩුපත වනමින් ඕගරයන්ට පහර දුන්නා ය. අග්නි සිය වමතෙහි වූ රැහැණකින් සතුරන් එකා බැගින් ඇද, සුරතේ වූ වකුටු අසිපතකින් දෙපළු කළා ය. ඇඟ ලේ සීතල කරවන සුළු මාරාත්මක හූ හඬ නඟමින් දෑතින් සටන් කළ ජයසේන, විටෙක වළසෙකු ලෙසින් ද, විටෙක මනුෂ්‍ය රූපයෙන් ද සතුරන්ට පහර දුන්නේ ය.


ඕගරයන් පසුපසින් ගොඩට ආවේ සුදුවන් හිම යෝධයන් රංචුවකි. හාත්පස වාතාශ්‍රයේ වූ ජල වාෂ්ප සියල්ල සැණෙකින් සිතලෙන් මිදී ගියේ ය. නිවර්තන කළාපයේ වීරයන් වූ දේව මණ්ඩලය ට මිදුණු පිනි මත ලෙස්සා වැටෙමින්, ගැහෙන සිරුරින් යුතු ව සටන් කරන්නට සිදු වූ අතර, හිම යෝධයන්ගේ ඉමහත් ශක්තියට මුහුණ පෑම එන්න එන්න ම අසිරු බව පෙනී ගියේ ය. 

එක්වරම කරකැවෙමින් අහසට විසි වී ගිය දැවැන්ත මිටියක්... එහි වෙළුනු විදුලි ආරෝපණය, ලා නිල් වන් විදුලි ඉරි අහසේ ඒ මේ අත විහිදුවද්දී, හාත්පස පිරී තිබූ අඳුරු වළා සී සී කඩ ඉරී ගියේ ය. හිරු ගේ උනුසුම නැවතත් හාත්පස පැතිර යද්දී, ආපිට බිමට වැටෙන මිටිය අල්ලා ගැනීමට පිම්මක් පැන්න ටිරෙල් හෙවත් තෝර්, නැවත බිමට බැස්සේ හිම යෝධයෙකුගේ හිසට මිටි පහරක් දී එය සුණු කරමිනි. 

දැවැන්ත වළසෙකු බවට රූපාන්තරණය වූ ජයසේන, යටි උගුරින් කෑ ගසමින් ඉහළට පැන, ඉදිරියෙන් ම සිටි හිම යෝධයාගේ හිසෙහි වූ අං දෙක අල්ලාගෙන, තමන් බිම පතිත වන වේගය හා බර යොදාගෙන ඔහු බිම හෙළා ගත්තේ ය. එසැණින් එහි ළඟා වූ ස්කන්ධ, සිය කඩුවෙන් හෙණ ගසන්නාක් මෙන් පහර දෙකක් දී හිම යෝධයා නිසල කළේ ය. ආපිට හැරුණු ජයසේන, මහසොහොන් වෙස් ගනිමින් ඊළඟ හිම යෝධයා වෙත ද කඩා පැන්නේ ය. තමන් වෙත එන අනතුරට සූදානම් ව සිටි යෝටුනයා, හිස ඉදිරියට නමා ජයසේනගේ පිම්ම සිය අං දෙකෙන් පිළිගත්තෙන්, දෙ දෙනා එකා පිට එකා වැටුණි. 

සටන අතර ම, ඉදිරියට එන සතුරන්ට පහර දෙමින් පිටුපසට පියවර කිහිපයක් තැබූ අග්නි, මිහිදුම අතරින් සිය තියුණු ඇස් බැල්ම යොමු කර යමක් සෙව්වා ය. අවසානයේ, මිහිදුම සහ හිම ගළන ආවාටයට ඔබ්බෙන් දැවැන්ත ගසක අත්තක් මත හිඳ සටන රසවිඳින ලෝකී සහ අංග්ර්බෝදා හඳුනාගැනීමට ඈ සමත් විය.

තමා වෙත කඩා පිනූ ඕගරයා ගේ දෑත් වක් කඩුපතින් කපා දැමූ තාරා, අඩියට දෙකට ශක්ති වෙතට ළං වූවා ය. සිය හිම ව්‍යාඝ්‍රයා ඉදිරියට මෙහෙයවූ තරුණිය බිමට පැන, සිය මිතුරිය ගේ කෙටි සැළැස්ම අසා සිටියා ය. 

එක මොහොතකදී සිදුවීම් තුනක් සිදුවිය. පහත සිට ඉහළට විසි කෙරුණු වානේ යොත් දෙකක් ලෝකී සහ අංග්ර්බෝදා ගේ සිරුරු වටා එතුනේ සිතුවිල්ලක බඳු වේගයෙනි. ඇතෙකුගේ සොඬට හසුව ඔවුන් වාඩි වී සිටි දැවැන්ත අත්ත බිඳී ගියේ ද එවිට ම ය.

බිම පතිත වූ යෝටුනයෝ දෙ දෙනා සිහි එළවා ගනිද්දී අග්නි සහ ශක්ති සිය වානේ පාෂයන් ඔවුන්ගේ සිරුරු වටා තද කරමින් සිටි අතර, තරබාරු සිරුරැති අයියනායක හෙවත් පුල්ලෙයාර්, ඕනෑම අවස්ථාවකට සූදානම් ව ඔවුන් පිටුපස සිටගෙන සිටිනු දැකිය හැකි විය. 

*    *    *

සටන තව ම අවසන් නෑ. මීළඟ කොටස ඉතාම ළඟ දී...

Friday, August 6, 2021

අවසානයක් නොවේ - 36

1 කොටස

3 කොටස

35 කොටස

රුහිරෙන් පුදමි 14 කොටස

අඳුර වැටෙමින් තිබුණද, තාර පාර තවමත් මඳක් උණුසුම් විය. පාර දෙපස වැවුණු වියළි පඳුරු දුහුවිල්ලෙන් නැහැවී ගොස් තිබිණ. කන් පාරවන තහඩුමය හඬක් නංවමින් ට‍්‍රක් රථයක් ඇදී ගියේය. එය ඈත නොපෙනී යද්දී පාර අයින දිගේ අකිල ගැහෙමින්, වැනෙන සුළු පියවරින් ආයේය. පාරේ විරුද්ධ දිශාවේ ඈත සිට වේගයෙන් ඇදී ආ ඩබල් කැබ් රථයක් මහ හඬින් බ්‍රේක් ගසා නතර විය.

විකුම් කඩිමුඩියේ ඉදිරිපස දොරින් බිමට බැස අකිල වෙත දිව ගියේය.

‘‘මොකද වුණේ...? කෝ ඇඩම්...?’’

අකිල මළාණික දෑසින් ඔහු වෙත බැලීය.

‘‘එයාට යන්න සිද්ධ වුණා...’’ ඔහු කිවේ එපමණකි. හෙතෙම සිය මිතුරාගේ දෑත් මත ඇද වැටිණ.

විකුම් ඔහු දෑතින් වාරු කරගනිමින් රිය වෙත රැගෙන ගියේය. පිටුපස දොරින් බැසගත් ආකර්ෂා, අකිල පිටුපස අසුනට ගොඩ කිරීමට ඔහුට උදව් කළාය.

‘‘ආපහු යමු මචං,’’ විකුම් රියදුරාට කීයේය. ‘‘අපි පරක්කු වුණා වැඩියි...’’

‘‘ඔයගොල්ලො යන්න.’’ තරුණිය පිටුපස දොර වසා, විකුම් වෙත ඇවිද ආවාය. ‘‘මම නවතිනවා.’’

*    *    *

ආකර්ෂා සිය අත බැඳි ඔරළෝසුව දෙස බැලුවේ අවසන් වරට ය. ඩිජිටල් ඔරළෝසු මුහුණතේ, කළු පැහැ පසුබිමෙහි තද කොල පැහැ තිතක් නිවෙමින් දැල්වෙමින් පැවතිණ. හිස එසවූ ඈ දුටුවේ ඇයී විවර වී තිබූ සුදු පැහැ ලී ගේට්ටුවකි. ගේට්ටුවෙන් ඇතුල්වන්නට හැකි වූ ගෙඋයනෙහි, කාලයක් තිස්සේ වැවී තිබූ ආකූල පඳුරු සහ පැළෑටි සියල්ල සුද්ද කර, තැන් තැන් වල ගොඩ ගසා තිබුණි. පුපුරා ගිය සායම ඉවත් කරන ලදුව, තීන්ත ගාමින් පැවති බිත්ති සහිත නිවසක්, කුඩා මල් සහිත පාත්තිවලට ඔබ්බෙන් නැඟී සිටියේ දරුණු අපරාධයකට සාක්ෂි කියන මහල්ලෙකු සේ ය.

ගෙ මිදුලෙහි, කපන ලද කුඩා තණපතින් සැදි බිම, තරුණයෙක් සහ තරුණියක් වැටී සිටියහ. 

ආකර්ෂා ගෙඋයන වෙත දිව යද්දී, සම් පාවහනින් වැසුණු ඇගේ දෙපයින් කිසිදු හඬක් නැඟුනේ නැත. එහි  වූ දර්ශනය ඈ අපේක්ෂා කළ එකක් වුව ද, තරුණයාගේ ලෙයින් වැසුණු පපුව ත්, රත් පැහැ ගැන්වී ඉදිමී තිබූ දෑසත්, වේදනාවෙන් ඇඹරුණු අත පයත්, දකිද්දී සිය දෙපා අවසඟ වී යන්නා සේ ඇයට දැනුණි.

බිම වැටී සිටි තරුණිය වෙත ආකර්ෂා ළං වෙද්දී, මහා සුළි සුළඟකින් මෙන් ‌හාත්පස ගස් කොළන් කරකැවෙන්නට විය. පට පට හඬ නඟමින් වේගයෙන් පහත් වූ EC120 හෙළිකොප්ටරයක් තරුණයින්ගේ සිරුරු වැතිර තිබූ තැනට කෙළින්ම ඉහළින්, පැරණි නිවසේ වහලය මට්ටමට පමණ පහත් කොට එක තැන නතර විය. එහි දකුණු පැත්තේ දොර ඇරී, කේබල් ඉණිමඟක් දඟර ගැහෙමින් දිගහැරෙමින් පහතට වැටුණේ ය. එය දිගේ ඉතා වේගයෙන් පහතට රූටා ආවේ ශක්තිමත් පුරුෂයෙකි. තරුණයා ගේ සිරුර අසළින් ම බිමට බට ඔහු තමන්ගේ පිටේ සවිකර තිබූ බරැති බෑගය ගළවා ගනිමින්, ආකර්ෂා දෙස බැලුවේ ය.


"කෙල්ලට කොහොමද අග්නි?"

"සිහි නැති වෙලා විතරයි, මිත්‍ර" බිම දණගසාගත් ආකර්ෂා, නිර්මලී ගේ උරහිස් වටා දකුණත යවා සිය සිරුරට වාරු කරගෙන වත්තන් කරගත්තා ය.

සිය බෑගය දිගහැර, එහි වූ ඇලුමිනියම් දඬු සහ රෙක්සින් කොටස් කඩිනමින් එකළස් කර, සැහැල්ලු ගිලන් මැස්සක් සකස් කරගැනීමට පුරුෂයා ට ගත වූයේ ඉතා සුළු මොහොතකි. 

"ශා... ම්... ම්... ම්..." සිහින් කෙඳිරිය නැඟුනේ අඩ සිහියෙන් අවදි වෙමින් සිටි නිර්මලී ගේ වියළි දෙතොල් අතරිනි.

මිත්‍ර ඒ වන විට සිටියේ බිමට තබා ඇණ ගැසුවාක් මෙන් වූ ශාම් ගේ සිරුර මතට නැඹුරු වී ය. සිය වමතෙහි වූ අඳුරු කොළ පැහැති තෙත් බර පොදියක් ශාම් ගේ පපුව විනිවිද ගිය ලී උල වටා සිටින සේ තබා තදකර, දකුණතින් ලී උල තදින් ග්‍රහණය කළ ඔහු, එක් වරම එය ඉහළට ඇද්දේ ය. කළුවට හුරු රතුවන් කැටි ගැසුණු ලෙයින් නැහැවුණු ලී උල තරුණයාගේ බිඳුණු ඉළ ඇට අතරින් ඉවතට ඇදුණේ අපහසුවෙනි. 

කළුවන් කොළ පැහැ ඖෂධ පොදිය තරුණයාගේ පපුවෙහි වූ මාරක තුවාලයට ඉතා සැළකිල්ලෙන් ගැල්වූ මිත්‍ර, පහසුවෙන් ම ශාම් ගේ අප්‍රාණික සිරුර දෑතින් ඔසවා තමන් සකස් කළ ගිලන් මැස්ස මතින් වැතිරවා, රෙක්සින් පටි රැසකින් නොසෙල්වෙන සේ බැඳ දැමී ය. 

මිත්‍ර, ගිලන් මැස්ස කෙලින් සිටින සේ සිටුවා, එහි පිටුපස වූ පටි ‌කිහිපයක උපකාරයෙන්, සිය පිටෙහි එල්ලා ගත්තේ ය. හෙලිකොප්ටරයේ රොටරවලින් පහතට හමන, කරකැවෙන සුළං දහරට හසුව වැනෙමින් දඟර ගැසෙමින් පැවති කේබල් ඉණිමඟ අල්ලා ගත් ඔහු එහි පළමු පඩියට පය තබමින් නැවතත් තරුණියන් දෙ දෙනා දෙස බැලුවේ ය. 

අග්නි ඔහු වෙත අත වැනුවේ, සමුදීමට ය. 

*    *    *

කෙමෙන් කෙමෙන් සිය සිරුර පුරා ලේ දහරා ගළා යන ඉතා ම සියුම් දැනීම පවා, ඇඩම් හට සමට යටින් දැනෙමින් පැවතිණ. දෑසේ වූ අන්ධකාරය කෙමෙන් පහව යද්දී, මීට පෙර දහස් වතාවකටත් වඩා සිදු වී ඇති පරිදි ම, මරණයට ඉතා ම ආසන්නයේ සිට, තමන් පියවි ‌ලොවට අවදි වී එන බව ඔහුට දැනෙමින් පැවතිණ.

"තාරා... තාාා රා..." ඔහුගේ හිස තුළ දෝංකාර දෙමින් පැවති එකම හඬ ඒ විය.

දෑස් හැර බැලූ ඩ්‍රේක්, වෙද මුදලි වළව්වේ තමා රඳවා සිටි කුටියේ වහළය හඳුනා ගත්තේ ය. රවුම් ලී දඬු වලින් සැදුණු සැකිල්ලට පසුබිම් වූ වියන ලද අළුවන් පොල් අතු...

රත් පැහැ රම් බිඳක සුවඳ මුසු රසය සිහිපත් වී හෙතෙම, දිවගින් දෙතොල තෙමද්දී, දැනුණේ වියළී ඉරි තැළුණු තොල් වලින් නැඟෙන සියුම් වේදනාවය. හිස ඔසවා බැලූ නාවුකයා, විස්මයට පත් වූයේ ගොම මැටි පිරිබඩ ගෙ බිමෙහි දෙපා දණහිසින් නවාගෙන වාඩි වී, තමා වැතිර සිටි මැස්සට හිස තබාගෙන අඩපණව සිටි කුලීන තරුණිය දැකීමෙනි.

වෙදහලේ සිටි සාත්තු සේවකයෝ උදෑසණින් පිබිද, පිරිසිදු කිරීම්වල නිරතව සිටියෝ ය. ටිකිරි මැණිකේ ගේ දුර්වල සිරුර දෑතින් ඔසවාගෙන දිව එන යුරෝපීයයාගේ විලාසයෙන් ඔවුහු උණු අළු වැටුණු කඩියන් සේ කුළප්පු වූ හ. 

ලෙඩුන් පිරික්සන ලණු මැස්ස මත පිරිසිදු පන් පැදුරක් එළා, ඒ මත තරුණියගේ සිරුර වැතිරවද්දී, ඇඩම් ගේ දෑස් තෙත් වෙමින් පැවතිණ. යාන්තමින් දෙතොල් විවර කළ කුමාරිහාමි, දැඩි වෙහෙසක් ගෙන, වමත ඔසවා, නෝර්ඩික් නාවුකයාගේ අතැඟිලි අල්ලා ගත්තා ය. යාන්තමින් විවර වූ දෑසින් ඔහු ගේ දෑස් වෙත බැලූ ඈ සිනා සෙන්නට වෑයම් කරනු ඔහු දුටුවේ ය.

"කස්තුරි..."

"දෙළුම්..."

"...බඹර පැණි"

"...කස්තුරි"

"විගහට විගහට"

"අත ඉක්මන් කරහල්ලා..."

පසුබිමින් ‌නැඟෙමින් පැවති උපස්ථායකයන්ගේ හඬවල් ඩ්‍රේක් හට ඇසුණේ යාන්තමිනි. කළ යුතු, කළ හැකි වෙදකම් සියල්ල ඉටු කෙරෙන බව ඔහු දැන සිටියෙන්, තම ජීවිතය වෙනුවෙන් සිය ලේ දහර කැපකළ තරුණිය තනිකර එක මොහොතකට හෝ ඉවත්ව යාමට හෙතෙම නොසිතුවේ ය.

ලබා දීමට හැකි වූ ඉහල ම ප්‍රතිකර්ම සහ අත් බෙහෙත් සියල්ල නිරර්ථක කරමින්... ඒ දයාවන්ත තරුණිය දෑස් පියාගත්තේ, සිය අවසන් බැල්ම ද නෝර්ඩික් නාවුකයා ගේ දෑස් වෙත හෙළමිනි...

වෙදහලේ ඇතුළත වූ උණුසුම් වාතස්කන්ධය සිය හුස්ම හිර කරන්නාක් මෙන් ඇඩම් හට දැනෙමින් පැවතිණ. ප්‍රවේසමින් සිය අතැඟිලි අතර වූ තරුණියගේ ඇඟිලි මුදවාගත් ඔහු දෑතින් ම ඇගේ දෑත් එක්කොට ඇගේ ළය මතින් තබා සකස් කළේ ය. තවත් එක් මොහොතක් හෝ ඇගේ පියකරු මුහුණ දෙස බලා සිටිය නොහැකි වූ හෙයින්, ඔහු වෙදහලින් බැහැර විය. හිරු එළියට නිරාවරණය වත් ම, දෙ උරහිසින් පටන් ගෙන මුළු සිරුර පුරා පැතිර යන්නට ගත් දැවෙන්නාක් මෙන් දැනෙන හැඟීම, ඔහු තුළ පැවති චිත්ත පීඩාව තව තවත් උත්සන්න කරවී ය. එය හැඟීමක් පමණක් නොවන බව දැනෙන්නට එතරම් වේලාවක් ගත වූයේ නැත. අවුවට පිළිස්සීමෙන් බේරීමට ඩ්‍රේක් දුවන්නට පටන් ගත්තේ, තමන් දුවන්නේ කොහේ දැයි පවා නොසිතමිනි. තමන්ට පිටුපා ඔසු උයන දෙසට දිව යන යුරෝපීයයාගේ පිට මැද, පිළිස්සුණු තුවාල හරියට ම, දැවැන්ත අත්ලක... විහිදුනු ඇඟිලි පහක් පැහැදිලිව නිරූපණය වූ අත්ලක හැඩය ගත් බව, වෙද හලෙහි සිටියෝ දුට හ.


තවත් කොටසක් තියෙයි ද?

Thursday, July 1, 2021

අවසානයක් නොවේ - 35

රීරි යකා ට හිසින් සංඥා කරමින් ඉන්ද්‍ර නැඟී සිටියේ ය. ඔහු අනුව ටිරෙල් ද, අග්නි ද, රුද්‍ර ද, ගුහාවෙන් පිට වූ හ.

 34 කොටස...

"අග්නි තමන්ට පැවරුණු කොටස ඉතා ම කදිමට ඉටු කළා..." ඉන්ද්‍ර කීවේ ය. 

රුද්‍ර ඉන්ද්‍රගේ දෑස් දෙස තියුණු ලෙස බලා, හිස සලා එකඟ විය. අග්නි ඉවත බලා ගත්තා ය. ඇගේ දෑසේ කලින් පැවති කෝපය තවත් නොවීය. ඒ වෙනුවට එහි පැවතියේ පාලු අඳුරු බවකි.

"දැන් අපි ඉක්මන් විය යුතුයි." රුද්‍ර කීය. "අපට හැම කෙනාගෙ ම ශක්තිය මේ වෙලාවෙ අවශ්‍යයි..." ඔහු අග්නි ගේ දෑස් දෙස කෙලින් බැලී ය. 

කිහිපවරක් තදින් ඇසිපිය ගැසූ අග්නි ඇසි බැම වකුටු කොට ඔරවා බැලුවා ය. "මට මොනවත් වෙලා නෑ." ඈ තමාගේ අතින් අල්ලාගන්නට ගිය ශක්ති ගේ ඇඟිලි ගසා දැමුවා ය. "මේක ඉවර කරමු. ලෝකී හැම දෙයක්ම ඉවර කරන්න කලින්..."

ශක්ති තෙත්වූ දෑසින් රුද්‍ර දෙස බැලුවා ය.

*        *        *

ලක්දිව යක්ෂයන් යහමඟට ගැනීම ට, යම හෙවත් සුමන සමග පැමිණි ගෞතම නම් දාර්ශනිකයා එතෙක් දිවයිනේ පැවති විනාශකාරී යුද්ධ මාලාව අහිංසාවෙන් සංසිඳුවී ය. අමරණීය රණශූරයන්ගෙන් සැදුණු දේවමණ්ඩලය තමන් මෙතෙක් නොදුටු විරූ දර්ශනයකින් සිදු කෙරුණු ප්‍රාතිහාර්යය කෙරෙහි පැහැදුණහ. තමන් දන්නා හොඳම සහ උසස්තම දෙයින් ගෞතම නම් බුද්ධිමතා පිදීමට සැරසුණු ඔවුන්, ඊට තෝරා ගත්තේ දිවයිනේ මධ්‍ය මණ්ඩලයේ සුන්දරතම ස්ථානයයි. 

ලක්දිව ඕනෑම උස් තැනක බැලූ විට දැකිය හැකි සුවිශේෂී කන්දක් පිහිටියේ ය. දිවයිනේ සිට දින දෙකක් යාත්‍රා කළ විට මුහුද ට ද එය දිස්වේ. මානවයන් දියුණු සමාජ ජීවීන් වන්නට පෙර අතහැර දමා තිබූ ලෙණක් එහි පැවති බව දැන සිටියේ දේව මණ්ඩලය පමණකි. ඔවුන්ගේ මගපෙන්වීමකින් තොරව එහි යන්නෙකු මංමුලා කර, දින ගණනාවක් තිස්සේ හිස හැරුණු අත ඇවිද්දවීමෙහි සමත් උපක්‍රම, ගුහාවේ සිට යොදුන් කිපයක වටප්‍රමාණයේ යොදවා තිබේ. එහෙයින් ම එහි හාත්පස පැවති නිර්මලත්වය මානවයන්ගේ අතින් කිසි දිනක කිළිටි නොවී ය.

හිරු අවර දෙසට හැරෙන්නට පෙර, ගෞතම තුමන් මියුරු ආහාරයෙන් පිදූ දෙවි වරු, අවසන, තමන් හට පිදිය හැකි උසස්තම දෙය ඒ ශ්‍රේෂ්ඨ අහිංසාවාදියා වෙත පිළිගැන්වූ හ.

ඉන්ද්‍ර, අග්නි, වරුණ සහ යම ගේ දෑස් දෙස මාරුවෙන් මාරුවට මොහොතක් නිහඬ ව බලා සිටි ගෞතමයෝ, සිය උපස්ථායකවරයා ඇමතූ හ.

"ආනන්ද,"

"ගුරුතුමනි,"

"ගෞතමයන්හට ගිණිය නොහැකි තරමේ කාලයක් ජීවත් වීමෙහි අවස්ථාව උදා වී තිබෙනවා."

සිය ගුරුතුමා උදෑසන යක්ෂයන්හට සිදුකළ දේශනාව නැවත නැවත මෙනෙහි කරමින්, සිතෙහි ධාරණය කරගනිමින් සිටි ගෝල නම, ‌සුළු වේලාවකට විපිලිසර විය. එම මොහොත් කිහිපය තුළ සිය තීරණය ගත් දාර්ශනිකයා හිස එසවී ය.

"යහපත් දෙවියනි... ඔබ දුන් ආහාර මා පිළිගත්තේ ඒ කෙරෙහි ඇලීමකින් හෝ කැමැත්තකින් නොවේ. හුදෙක් ඒ මාගේ දිවිය පවත්වාගැනීම උදෙසා ය. මන්ද, දින කිහිපයකට වඩා කුසගින්නේ සිටීම අත්ථකිලමථානුයෝගය නම් අන්තය වන නිසාත්, ඉන් මාගේ දිවිය කෙළවර වන බව මා දන්නා නිසා ත්... එහෙත් දැන් ඔබ මේ පිළිගන්වන දෙය පිළිගැනීම මා හට උචිත නොවේ. එයින් මාගේ දිවිය ඉතාම දීර්ඝ කාලයක් පවත්වාගැනීමේ ඇල්ම සහ තෘෂ්ණාව මා තුළ හට ගත හැකි වන හෙයින්... ඒ නිසා..." උන්වහන්සේ ගේ දෑස් දයාවෙන් සහ ආදරයෙන් පිරී ගොස් ඇති බව අග්නි දුටුවා ය. "...ඒ නිසා, මා ඉතාම කරුණාවෙන් මෙය ආපසු ඔබට ම පවරනවා. ඔබ මේ ලබාගෙන ඇති අමරණීයත්වය සියලුම ලෝකවාසීන් ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට ඔබට ලැබී ඇති තෑග්ගක් ලෙස දකින්න."

භාරතයේ සිට පැමිණීමෙන් ද, උදෑසන කරන ලද මහා යුධ සංසිඳුවීමෙන් ද විඩාපත්ව සිටි දාර්ශනිකයා දිවා ආහාරයෙන් පසු මඳක් සැතපුණ හ. උන්වහන්සේ අසල වාඩි වූ උපස්ථායක, එතුමන්ට පවන් සළමින් ම නිදි කිරා වැටෙන්නට විය. තම සිත් තුළ පිරී පැවති භක්තියෙන් මෙහෙයුනු දෙවිවරු සතර දෙන, ගෞතමයන්හට නමස්කාර කරන ඉරියව්වෙන් සිටින තමන්ගේ රූප එහි මවා තබා, දිවා ගුහාවෙන් පිටවූ හ. 

https://www.flickr.com/photos/udaraseneviratne/6153560690/

සවස් කල නින්දෙන් අවදිවූ ගෞතමයෝ දෙවිවරුන් කර ඇති මායාව දැක සිනා පහල කළහ. කුමාර අවදියේ පටන් තමන් තුළ පැවති විනෝදශීලීත්වය මෙනෙහි කළ එතුමා, නමස්කාර කර සිටින දේව රූපයන් හට දහම් දෙසන ලීලාවෙන් සිය රූපය මවා තබා, ආනන්දයන් ද කැටිව ලෙණෙන් බැහරව, කඳු මුඳුන දෙසට ගමන් කළහ.

*        *        *

මිත්‍ර හෙවත් උඩුමුල්ලේ රාළගේ මනසේ පැවති මතකයන් සියල්ල උකහාගැනීමට ලෝකී හට කාලය මඳ වූව ද, දිවා ගුහාවේ පිහිටීම සම්බන්ධ තොරතුරු සියල්ල ලබාගැනීමට ඔහු සමත් විය. ගංතලාවේ දිසානායක රටේ මහතාගේ වළව්වේ මිදුලේ සිට අතුරුදන් වූ ඔහු නැවත මතු වූයේ එම ගුහාවේ පිවිසුම අසළිනි. 

සුන්දර මලින් ගැවසි නා, පුවඟු, සල්, සපු ආදී තුරුවැලින් ගැවසි හාත්පස මල් සුවඳින් පිරුණි. සාවුන්, මීවින්නන් හා මුවන් නොබියව අවට තණපත් බුදිමින් ගැවසුණ හ. බටිති, කොවුල් ආදී කුරුල්ලන්ගේ නාදයන් විටින් විට නැඟුනේ ගස්වල පාත් අතුපතරිනි.

ලෝකී ඒ වන විට සිය නියම වෙසට පෙරැළී සිටියේ ය. මොහොතක් දෙකක් ගුහාවේ මුවවිට අසළ පොරොත්තු වූ හෙතෙම, දිගු හුස්මක් ගෙන ලය පුරවා ගත්තේ, සෙමෙන් සෙමෙන් ‌ගුහාව තුළට පිය නැඟුවේ ජයග්‍රාහී මඳහසකින් අලංකාර වූ මුහුණකිනි.

ගුහාවේ අභ්‍යන්තරයට මඳ දුරක් යත්ම, නෝර්ඩික් දෙවියා ගේ සවණට වැකුණේ ශාන්ත, සන්සුන් පිරිමි කටහඬකි. මාධූර්යයෙන් සහ පෞරුෂයෙන් පිරි භාෂාවකින් කියැවුණු එහි එක් වචනයක්වත් ලෝකී හට තේරුණේ නැතත්, ගුහාව තුළ තමන් තනි නැති බව නම් පහසුවෙන් සළකාගත්තේ ය. එතැන් සිට ඔහු ඉදිරියට ගියේ තබන තබන සෑම පියවරක් පාසා ම සැළකිලිමත් වෙමිනි.

අඩි කිහිපයක් ඉදිරියට යද්දී, ලෙණ ඇතුලට පැවති මාර්ගයේ නැම්මක් ලෝකී දුටුවේ ය. ඒ දෙසට ළං වෙද්දී වංගුවත් සමඟ පාර දෙකට බෙදෙන බව දැකිය හැකි විය. 

නෝර්ඩික් දෙවියා සිය අතෙහි වූ කුඩා යෂ්ඨියෙන් ගල් ගුහාවේ බිත්තියට තට්ටු කළේ ය. එසෙැණින් එම දණ්ඩ අග ගිණි දල්ලක් හට ගත්තේ, ගුහා අභ්‍යන්තරය එළිය කරවමිනි.  එයින් ලෝකී හට පිටුපස බිත්තියේ, ඔහුගේ ඡායාව පිළිබිඹු වී ගිණි දල්ලේ සෙලවීමට අනුරූපව නළියන්නට විය. ලෝකී ඒ දෙස බලා අත්ල මුහුණට ළං කොට පිම්බේ ය. මොහොතකින් ගල් බිත්තිය මත වූ ඡායාව, බිත්තියෙන් ගැළවී මානවයෙකු මෙන් සිට ගත්තේ ය. එහි දෙපතුලේ සිට ඉහළට වර්ණ ගැන්වී ගෙන ගොස්, අවසානයේ තවත් ලෝකී කෙනෙක් මැවිණ.


තව කොටසක් එනවා...

Sunday, June 6, 2021

අවසානයක් නොවේ 34

33 කොටස...


ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් දෑස් හැර බැලුවේ තමන් සිටින්නේ කොතනකදැයි දැන ගැනීමට ය. ලී කඳන් දෙකක් එක මත එක සවිකර තැනුණු ඇටවුමකට සිය දෙපයේ වළලුකර සිර කර ඇති බව ඔහුට දැනුණි. දෙපය හිරි වැටී තිබුණෙන්, එම ඇටවුම පැය ගණනක් තිස්සේ තමන් සිර කර තිබූ බව සිතා ගන්නට වැඩි වේලාවක් නොගියේ ය. අවසාදිත පාෂාණයකින් තැනුණු ගුහාවක එළන ලද රළු ලොම් සහිත සත්ත්ව හමක් මත තමන් උඩුකුරුව වැතිරී සිටින බව ඔහුගේ මොළයට ගිය දෙ වන සංඥාව විය. දෑත දෙපසට ඇද බරැති දම්වැල්වලින් ගැට ගසා තිබුණු බව ද එවිගස ම දැනුණේ, දෙපය නිදහස් කර ගැනීමට තැත් කරද්දී ය. දෑස අඩ අඳුර ට හුරුවීගෙන එත් ම, ගුහාව තුළ තමා වටකරගෙන සිටි ඉන්ද්‍ර, අග්නි සහ රීරි යක්ෂයා හඳුනාගැනීමට ඩ්‍රේක් සමත් විය. 

ගිණිගලක් තවත් ගලක ගසන හඬ හා එයින් ගිණි පුපුරු නඟින හඬ සමඟින්, මන්දාලෝකයක් පැතිර ගියේ ය. දැල්වුණු පිත්තල පහනක් අතින් ගත් අග්නි ඇඩම් ගේ මුහුණ අසළින් ගල් තලාව මත දණගසා ගත්තා ය. තම මුහුණ වෙත නැඹුරු වුණු තරුණියගේ විමසිලිමත් තීක්ෂණ දෑස් දෙස බැලූ ඇඩම්, එහි අඟලක් පාසා ලියැවුණු අනනුකම්ප්‍ය හැඟීම දැක මවිත විය.

"හ්ම්..." ඈ දිගු සුස්මක් හෙළමින් නැඟිට්ටා ය. "දැන් ඔහු හොඳ සිහියෙන්..."

"එහෙනම් අපට ප්‍රශ්න කළ හැකියි." ඉන්ද්‍ර කීවේ සංස්කෘත බසිනි.

ඉන්ද්‍ර සහ වානර රූපී අමනුෂ්‍යයා ඇඩම් ගේ හිස දෙපසින් ඇණතබාගත්හ. 

"නුඹ ලෝකී වෙනුවෙන් කළ මෙහෙවර මොකක්ද?" ඉන්ද්‍ර ඇසී ය. 

"මට ලෝකී එක්ක ගනුදෙනුවක් නෑ." ඩ්‍රේක් කීවේ කෝපයෙනි.

"එහෙනම් ලෝකී මිත්‍ර ගේ හිසට අත තියාලා, ඔහුගේ සිහිය අවුල් කරලා, නැගිටිද්දී නුඹට ස්තූති කළේ මොකට ද?" යටි උගුරෙන් නැඟුණු කඨෝර හඬින් ප්‍රශන කළේ ‌රීරි යක්ෂයා ය.

"ලෝකී?" ඩ්‍රේක් මඳකට නිහඬවී නැවත මතකය ආවර්ජනය කළේ ය. "එතකොට ලෙව්කේ නිළමෙ හැටියට හිටියෙ ලෝකී ද?"

"අපට නුඹ හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ." ඉන්ද්‍ර කීවේ නොමනාපයෙනි. නුඹගෙ සහචරයා හැටියට හිටියෙ තෝර් බව අපි දැනගත්තෙ ටික කාලෙකට කලින්. ඒත් ලෝකි කරපු මගඩිය අපට තේරුම් ගන්න බැරිවුණා. මිත්‍ර ගෙ අවාසනාවට..."

"මම ඒ කිසි දෙයක් දැනගෙන උන්නෙ නෑ." ඇඩම් කීවේ නොඉවසිල්ලෙනි. සිය සිරුරේ ශක්තිය නැවත එක්රැස් කරගත් ‌නෝර්ඩිකයා, දෑත් දෙපා මුදවාගැනීමට නිරර්ථක උත්සාහයක යෙදුනේ ය.

"තවත් අපට හංගන්න හදන්න එපා ඩ්‍රේක්..." අග්නි සිය තියුණු කටහඬින් කියමින්, සුරතේ වූ පිත්තල පහන දිගු කොට ගුහාවේ එක් කෙළවරක් දැක්වූවා ය. ඒ අනුව හිස ඔසවා බැලූ ඇඩම් දුටුවේ විශාල වානේ කූඩුවක සිරකර සිටි ස්ට්‍රිජ් පක්ෂියා ය. ඒ කූඩුව අසළ සිටි අඳුරුවන් සමකින් සහ දිගු හිසකෙසින් යුතු දිවිසමක් ඇඟලාගත් යෝගී තරුණයාගේ තියුණු බැල්ම ඔහුට දරාගත නොහැකි තරම් විය. 

"නුඹ ඉන්දියාවේ නෝර්ඩික් මිනිස්සු එක්ක පණිවිඩ හුවමාරු කරගන්න බව රුද්‍ර අපට කීවේ නුඹ රහස් දූරයට එකතු කරගන්නවාත් එක්ක ම යි." අග්නි නැවතත් කීවා ය. "නුඹලා මේ රටේ යමක් හොයන බව අප දැනගත් නමුත්, ඒ මොකද්දැයි නුඹ මටවත් හෙළි කළේ නෑ. ෆාහියන් භික්ෂුව එක්ක ආපු වානර රජුත්, ජලජ පැළෑටියක් හොයාගෙන ආපු ගිල්ගමේෂුත්, ආත්මන් ගේ පා සටහන වඳින්න ආපු අලිසන්දිරිත්, මාර්කෝ පෝලෝත්, ඉබ්න් බතුතාත්, හොයාපු අමරණීයත්වය ම නුඹත් හොයන බව අපට වැටහුණත්... ඒ කොන්ත්‍රාත්තුව නුඹට පැවරුවේ ලෝකී බව දැනගත්තත්... නුඹ අපට කිසිම දෙයක් එළිදරව් නොවන හැටියට ප්‍රවේසම් වුණා..."

https://travelatelier.com/blog/gilgamesh-quest-for-immortality-found-in-turkey/
...ජලජ පැළෑටියක් හොයාගෙන ආපු ගිල්ගමේෂුත්...

"මගෙ කණ්ඩායමේ හිටපු නිර්භීතම දෙන්නා පණපිටින් ගිණිතියාපු නුඹ ට..." අග්නිගේ දෑසේ දැල්වුණු කෝපය දුටු ඩ්‍රේක් මොහොතකට සිය දිව පාලනය කරගත්තේ ය.

"නුඹගෙ පණ වගේ ම කටත් හයියයි." ඒ ගැඹුරු කටහඬ තමන්ට හුරු බව ඇඩම් ට වැටහුණි. ඉන්ද්‍ර ගේ පිටුපසින් මෙතෙක් මුවා වී සිටි ටිරෙල් හිස එසවී ය. "ඒත් නුඹ ඇස්ගාඩ්වරයෙක් නෙවෙයි. ලෝකී ගේ සැළැස්මේ නුඹ පොඩි ‌කොටසක් පැවරුණු ඉත්තෙක් විතරයි. එයින් නුඹට ලැබෙන ඉටිගෙඩියක් නෑ. වඩා හොඳයි නුඹ දන්නා තරම අපට කියලා, ලෝකී ගේ විනාශකාරී සැළැස්ම පරදවන්න දායක වෙන එක."

ඩ්‍රේක් සිය පහත් හඬින් ශාන්තව කතා කළේ ය. "මම දන්න තරම ම නුඹත් දන්නවා ටිරෙල්..." 

ඔහු තවත් වචනයක් හෝ කතා කරන තුරු සියල්ලෝ ම නිහඬ වූ හ. එහෙත් ඊළඟ මිනිත්තු කිහිපය රැහැයියන්ට ඉඩ දී ඇඩම් දෑස් පියාගත්තේ ය.

"නුඹලා ට උවමනා විදිහකට මගේ අවසානය තිරණය වුනාවේ. මම ඔයිට වඩා දෙයක් දන්නෙ නෑ..."

රීරි යකා ට හිසින් සංඥා කරමින් ඉන්ද්‍ර නැඟී සිටියේ ය. ඔහු අනුව ටිරෙල් ද, අග්නි ද, රුද්‍ර ද, ගුහාවෙන් පිට වූ හ.

ඇඩම් ගේ වමත බැඳ තිබූ වානේ දම්වැලෙහි අනෙක් කොන ඔතා තිබූ ගල් කුට්ටියෙන් මුදවා ගත් රීරි යකා, වමත  නවා ඔහුගේ පපුව මත තබා, එම දම්වැල සීරුවට නෝර්ඩික් නාවිකයා ගේ සිරුර වටා එතී ය. ඊළඟට දකුණත... ඉන්පසුව හිරිවැටී තිබූ දෙපය දඬුකඳෙන් මුදවා, පහසුවෙන් ම යුරෝපීයයාගේ උසැති සිරුර ඔසවා සිය උරහිස් මතින් තබාගෙන, ගල් ලෙනෙන් පිටතට පිය නැඟී ය.

*    *    *

හිමිදිරි හිරු ගේ අරුණුවන් රැස් තුරු මුදුන් ස්පර්ෂ කරන්නට පටන් ගත්තා පමණි. උසැති ගස් දෙකක් අතර සවිමත් ලණු පොටවලින් එල්ලී තිබූ කුකුල් කොටුවේ සිටි මහළු රතු කුකුලා සුපුදු පරිදි පළමු හිරු රැසින් ම අවදි විය. මාස කිහිපයක පටන්, ඌට අභියෝග කරමින් උදෑසන හඬලන්නට පුරුදු වී සිටි කලුවන් කුකුල් නාම්බා අද හැඬලුවේ නැත. එයින් හටගත් සතුටින් ප්‍රබෝධමත්ව හිස ඉහළට ඔසවා, අත්තටු ගැසූ රතු කුකුළා දවසේ පළමු නාදය නැඟුවේ ය. තම නායකත්වය එසේ තහවුරු කළ පක්ෂියා කිකිළියන් රෑණ සිසාරා සිය නෙත් පහර යවද්දී දුටුවේ, කලු කුකුලු නාම්බා කුකුල් කොටුව යට බිම වැටී සිටි ආකාරයයි. උගේ බෙල්ල කැඩී තිබුණු අතර, එයින් ගැලූ ලේ දහරක සේයාවක් වත් නොවී ය.

කුකුළන් ගේ හැඬළීමත් සමඟ අවදි වුණු  වෙද මුදලි වළව්වේ ටිකිරි මැණිකේ සිය පසෙකින් නිදා සිටි මෑණියන් පොරවා සිටි රෙදි කඩ නැවත සකස් කර ඇඳෙන් බිමට බැස්සා ය. ටිකිරි බණ්ඩාර සහ වෙද මුදලි තුමා කලින් දා රැය ගත කළේ රජ වාසලේ වූ බැවින්, එදින උදෑසන ගෘහ පාලනය තරුණ කුමාරිහාමි අත විය. සිය වරලස පීරා ගුළියක් සේ හිස පිටුපසින් සකස් සරගත් ඈ, වළව්වේ පිටුපස බරාඳය වෙත පැමිණ මෙහෙකාරියන් කිරි දෙවීම ට පිටත් කර හැරියා ය. 

ඩ්‍රේක් රහස් දූරයේ රාජකාරියට පිටත් ව ගිය දා සිට ම ඇගේ දිනචර්යාවේ පළමු කොටස වී තිබුණේ, නෝර්ඩික් රැඳවියා සිටි කුටිය දෙස බැලීම ය. වෙනදා මෙන් නොව, එම කුටියේ දොර ඇර තිබූ බව දුටු තරුණියගේ මුහුණේ මඳ සිනාවක් නැඟුනි. 

"මේන්න කුකුලෙක් වැටිලා..." කිරි දෙවීමට ගිය මෙහෙකාරියක් කෑගැසුවේ එවිට ම ය. ඒ දෙස බැලූ තරුණ කුමාරිහාමි දුටුවේ රැඳවියාගේ කුටිය පිටුපස වූ කොස් ගහේ දැවැන්ත අත්තක් කැඩී වැටී ඇති බව ය.

කුකුල් කොටුව දෙසට යන ගමන්, රැඳවියාගේ කුටිය වෙත පියනැඟූ ටිකිරි මැණිකේ මඳක් විපිලිසර ව, විවර වී තිබූ දොරෙන් එබී බැලුවා ය. නාවිකයාගේ උසැති සිරුර කුටිය තුළ වූ ලී මැස්ස මත වැතිරී තිබුණි. ය අප්‍රාණික බව පෙනුණු හෙයින් කුමාරිහාමි යන ගමන නවතා, කුටිය තුළට පියවර නැඟුවා ය. අසාමාන්‍ය ලෙස ‌සුදුමැළි වූ ඩ්‍රේක්, ආයාසයෙන් දෑස් විවර කොට ඈ දෙස බැලී ය. ඔහුගේ නහර ලෙයින් තොර වූ බවක් පෙනුණි. දෑස් වටා වූ කලු පැහැයත්, නිල්වන් වූ නියපොතුත් ඇගේ දෑසට ලක්වූයේ එක්වරම ය. 

"රීරි යකා?" මුමුණමින් තරුණිය ඇඩම් ගේ සිරුර ට නැඹුරු ව පිරික්සුවා ය. දෑස් පියාගෙන සිතිවිල්ලට වැටුණු ඈ, එක්වනම ආපසු හැරුණා ය.

පියාගේ වෙදපොත් තිබූ පෙට්ටගමේ රහස් කොටසක සඟවා තිබූ සැත්කම් උපකරණ සහ පුස්කොල පොතක් සොයාගත් ඈ තම දෙපයට හැකි වූ උපරිම වේගයෙන් ආපසු රැඳවියාගේ කුටියට දිව ආවා ය. තමන් රැගෙන ආ සැත්කම් උපකරණ, කහ දියරෙන් සහ, වාෂ්ප නඟින උණු දියෙන් සේදූ තරුණිය, ඇඩම් ගේ වම් අතෙහි වැලමිට හරියේ ඇතුල් පැත්තෙන් සියුම් කැපුමක් කර, නහරයක් මතු කර ගත්තා ය. හම් පටියකින් සිය වමතෙහි උරහිසට පහළින් වෙලා සිරකරගත් ඈ, එහි ගැටයක් ගසා, හම් පටියේ පොටවල් සිය දතින් තදකරගත්තේ, උපකාරයට කිසිවෙකුත් නොසිටි බැවිනි. ඇගේ සැත්කම් පිහියෙන් සීරුවට ඇගේ උඩු බාහුවෙහි ශිරාවක් කැපී යත් ම, දැනුණු වේදනාව ඈ සම් පටිය සපා ගනිමින් දරා ගත්තා ය. යම් රහස් ඖෂධ කල්කයක් ඇතුල් කරන ලද, උණු දියෙන් තැම්බුණු,  පස්ලෝ බටයක් ශිරාව කැපුණු තැනට ප්‍රවේසමින් තබා තද කරගත් ඈ, එම බටයේ අනෙක් කොන ඇඩම් ගේ වමතෙහි කැපුණු නහරයට තද කර, සෙමෙන් සෙමෙන් සිය දතින් තද කර ගත් සම් පටිය බුරුල් කළා ය.

කාලාන්තරයක් සේ දැනුණු වේලාවක් තිස්සේ තරුණියගේ ලේ, නෝර්ඩික් යාත්‍රිකයාගේ නහර වැල් පුරවමින් ගළා ගිය‌ේ ය. තමන්ට මඳ ක්ලාන්ත ගතියක් දැනෙණ විට ය, ඈ සිය සැත්කම කෙළවර කරන්නට සිතුවේ. ලේ නවතන බෙහෙත් තුවාල දෙකෙහි ගල්වා වෙලන්නට පමණක් ඇගේ දෑතට ශක්තිය තිබුණි. දෑස් අඳුරු වී එත්ම, බිම වාඩිවුණු ටිකිරි මැණිකේ ලී මැස්සේ කණුවකට හේත්තු වූවා ය.


ඊට පස්සෙ මොකද වුණේ... අපි බලාගෙන ඉමු.

Saturday, May 15, 2021

අවසානයක් නොවේ 33

32 කොටස...

තිත්ත කලුවර... හාත්පස මිදී තිබුණේ, වළාකුළු වලින් අහසේ තරු එළිය ද ආවරණය කර තිබුණු හෙයිනි. අඳුරටත් වඩා, පරිසරය අරක්ගෙන තිබූ සීතල මැද ගල් ගැසුණු දැවැන්ත ගස් කිහිපය ගංතලාවේ රටේ මහතාගේ නිවස වටකරගෙන සිටගත් යෝධයන් සේ පෙනුණි. වළව්වේ උස් පිළේ වූ දැවැන්ත ලී කණු, පරාළවලින් පහතට එල්ලුණු පිත්තල පහන් කිහිපයෙන් නැඟුණු මළාණික ආලෝකයෙන් දිළිසුණි. පිල මත ඇණ තබාගත් මුරකරුවෝ සිවුදෙනෙක් නිදි කිරමින් සිටියහ. ඔවුන්ගේ හිස් පහතට නැඹුරුව තිබුණේ යම් රහසක් අසාගෙන සිටින්නාක් මෙනි.

බකුසෙකුගේ දුර්වල හඬක් නැගුනේ වළව්ව දොරකඩ වූ ගසෙනි. ඊට පිළිතුරු සේ අසළ වූ මහ නුගයෙහි එල්ලී සිටි වවුලෝ රැළක් සට සට හඬින් අහසට නැඟ හාත්පස විසිර ගියහ. මහ නුගයේ පහත අත්තකින් ඇදුණු නුග අරළු වැලක් දිගේ උසැති සිහින් මානව රූපී සිරුරක් සීරුවෙන් පහතට ඇදී ආයේ ය. බිමට අඩිය ගැසූ හෙතෙම, මොහොතක් ගුළිගැසී හාත්පස සෑම පැත්තක් ම හොඳින් නිරීක්ෂණය කළේ ය. එකෙණෙහි ඉණතුරින් ඇදගත් සිරියක් දකුණතෙහි රඳවාගෙන, ඔහු ගස මුල තද අඳුරට මුවා විය.  

මී ළඟට නුග ගසෙන් බිමට රූරා ආවේ උසැති, උසට සරිලන මහතින් යුත් පුරුෂයෙකි. දිගු කෙස්වැටිය දෑසට නොවැටෙන සේ හිස වටා පටියක් බැඳගෙන සිටි ඔහු ඉණෙහි රඳවාගෙන සිටි කෙටේරිය, ඒ අසළින් පියා හඹා ගිය කණාමැදිරියෙකුගේ එලියකින් යන්තම් දිළිසුණේ ය.

ඔහු බිමට පහත් වෙමින් නුග ගස මුලට ඇදෙද්දී, තවත් නූස් නොමිටි පුරුෂයෙක් නුග අරලුව දිගේ පොළොවට පහත් විය. ඔහු එක් වරක් පමණක් ඉහළ බලා, දිගු හුස්මකින් ළය පුරවාගෙන, හිටිවන ම අහසට පැන, පතාකයක් මෙන් දෙවිටක් කරකැවිණ. ඔහු අනුව පළමු පුරුෂයා ද කරණමක් ගැසූවෙන් එක් මොහ‌ොතකින් දෙ දෙනා ම වූයේ වළව්වේ පිල මත සිටි මුරකරුවන් අසළ ය.

"මහා පුදුමයක් නේ..." ඒ ඇඩම් ගේ සරදම් ස්වරය විය. ඒ වචන තුන පිට වූයේ මුරකරුවන් අතරිනි. විදුලියක් කොටන්නා සේ සැනෙකින් නැඟිටගත් මුරකරුවෝ තිදෙනෙක්, කරණම් කරුවන් ආපිට මිදුලට වැටෙන සේ මුෂ්ටි පහර දෙන්නට සමත් වූහ. ඇඩම් මිඳුලට පැන, බිම වැටී සිටි මිත්‍ර හෙවත් වරුණ පූර්ණ නෙල්සන් ග්‍රහණයකින් අල්ලා ගනිද්දී, ලේ රතු පැහැති දැවැන්ත ‌වානරයෙක් බඳු අමනුෂ්‍යයෙක්, උස් පිලෙහි සිට කඩා පැන්නේ ය. ඔහුගේ ඉළක්කය වූයේ මිදුලේ උඩුකුරුව වැටී සිටි සුමන හෙවත් ගලගොඩ නිළමේ ය. ක්ෂණයකින් පිට කොන්දට වැර ගෙන, දේදුණු පිම්මක් ඉදිරියට පැන දෙපයින් සිටගත් ගලගොඩ, රීරි හනුමාගේ භයංකර ග්‍රහණය මඟහැර පසෙකට පැන්නේ ය, පනින ගමන් ම දෑත් කරකවා දුන් මුෂ්ටි පහර දෙකින් යක්ෂයා බිම වැටුණේ ය. ඒ ඇසිල්ලේ ම මිත්‍ර දෙස බැලූ ඔහු දුටුවේ ඇඩම් හා අග්නි එකතුව, සිය මිත්‍රයා වානේ දම්වැලකින් වෙළන ආකාරයයි. 

සිය නාස‌යෙන් රූරා ආ ලේ දහර පිස දැමූ පිටි අල්ල මුවට ළං කළ රීරි යක්ෂයා, දිගු දිව එළියට දිගු කොට එය ලෙව කෑවේ ය. සිය අත මුහුණෙන් ඉවත්ව යත් ම ඔහු ගේ දෑසට ලක් වුණේ ඉතාම ආසන්නයෙන්, ඉතා ම වේගයෙන් ඇදී ආ මිට මෙළවූ වමතකි. එය වානර මුහුණේ නිකට ට මඳක් ඉහළින් වැදුණෙන්, යක්ෂයා වෙවුලුම් කෑවේ ය. සිය සමබරතාව රැකගන්නට තැත් කළ අමනුෂ්‍යයා, පියවර කිහිපයක් පසුබැස නැවතත් දෙපය ස්ථාවර ව තබා ගත්තා පමණි. 

https://s3.amazonaws.com/sicg/wp-content/uploads/sites/3/2015/12/06004300/Evil-Eyes-e1483217061816.gif


ගලගොඩ නිළමේ ගේ වේගවත් බව ට සම වන්නට යක්ෂයාට අසීරු වූ බව ඩ්‍රේක් දුටුවේ ය. තමන් සුමන හා සටන් කළේ නම්, ලේසියෙන් මඟහරින්නට හැකිව තිබූ පහරවලට වානරරූපී අමනුෂ්‍යයා හසු වූ බවත්, ප්‍රති ප්‍රහාර එල්ල කරන්නට හැකි වූ අවස්ථා මඟ හැරී ගිය බවත්, දුටු නාවුකයා දෑත් මිට මොළවා ගත්තේ ය. වේගවත් වන්නට වූ හද ගැස්ම සමඟ නොඉවසිළිමත් නළියෑමක් ඔහුගේ පපුව මැදින් පටන් ගෙන දෙවුර හරහා දෑත් දිගේ පැතිර ගිය නමුත්, ඇඟිලිතුඩු මත තෙරපී ගිය සීතල ස්ත්‍රී ඇඟිලිතුඩු වලින් එය සංසිඳී නිවී යන්නට වූ බව දැනුණේ ය.

යටිගිරියෙන් හූ හඬක් නැඟූ රීරි යක්ෂයා, දත් විළිස්සාගෙන, මිට මෙළවූ දෑතින් තමන්ගේ ම පපුවට ගසා ගත්තේ වියරු මානසික ශක්තිය හා ධෛර්යය එක්රැස් කර ගැනීමට ය. එවිගස ම සිය හිස ඉළක්ක කරගෙන කරකැවී ආ සුමන ගේ පා පහර, හිස මඳක් ඇළ කොට වළක්වාගත් ඔහු, වමත ඔසවා තමන් හට පහර දුන් පය, වළලුකර අසළින් අල්ලා ගත්තේ ය. ගලගොඩ ගේ පා පහරේ ශක්තිය ම යොදාගනිමින් ඒ පාදය තමන්ගේ වම්පසින් පිටුපසට ඇදදමන්නට රීරි යකා සමත් විය. ඒ සමඟ ම තමන් අසළින් පිටුපසට විසි වුණු සුමනගේ දේහය ට දකුණු වැලමිටෙන් දරුණු පහරක් දී බිම වැට්ටවීමට ඔහුට හැකි විය.

වමතේ දබරැඟිල්ල හා මහපටැඟිල්ල එකතුකර මුව තුලට රුවා සිවුරුහන් රාවයක් නිකුත් කිරීමට පමණක් සුමන හෙවත් යම ට කාලය ප්‍රමාණවත් විය. රීරි යක්ෂයා හිටි පියවර අහසට පැන, පනින සැණින් ඉණතුරෙහි වූ කුඩා තිසුලවියක් ඇද, සුමන වෙත දමා ගැසුවේ ය. තුන් උල් අවිය සුමන ගේ ඇලපත සිදුරු කරගෙන කිඳී යනවාත් සමඟ ම බිමට පතිත වූ යක්ෂයා සිය දිගු දෑතින් ඔහු අල්ලාගෙන හිසට උඩින් ඔසවා ගත්තේ බිම ගැසීමට ය. 

භයංකර හේෂාරවයක් නංවමින් පහත් වූ ඇත්කඳ ළිහිණියාගේ පියාපතින් නැඟුනු මහා සුළඟින් රීරි යකා ගේ සමබරතාව බිඳුනි. දැවැන්ත අත් පසුරු විහිදාගත් ‌ඓරාවණ, ගලගොඩ නිළමේ ගේ සිරුර රීරි හනුමාගේ අතින් ඩැහැගෙන අහසට නැඟුනේ ය.

මෙතෙක් සටනට හවුල් නොවී පිල මත ඇණ තබාගෙන සිටි සිවුවෙනි මුරකරුවා නැඟිට්ටේ ඒ සියල්ලට ම පසුව ය. පොල්තෙල් පහන් ආලෝකයෙන් ඔහුගේ සම රන්වන් පැහැයෙන් දිළිසිණ. යටිකය වැසුනු ධෝතියෙන් සහ උරය හරහා ගිය නූලකින් සැරසුණු ඔහුගේ, ඉරියව්වෙහි අපූර්ව තේජසක් නිසගව ගැබ්ව තිබිණ. 

ජයග්‍රාහී උඩඟු ලීලාවක් පාමින් ඔහු සෙමෙන් පිය ඔසවා මිදුල ට බැස්සේ ය. දම්වැලින් වෙළා මිදුලේ උඩුකුරුව වැතිරවා සිටි පුරුෂයා අසළට ආ හෙතෙම, එක් දණක් බිම ගසා ඔහු වෙත නැඹුරු විය. මිත්‍ර, තමන් වෙත නැඹුරු වූ නිළමක්කාරයාගේ මුහුණ හඳුනාගත්තේ ය.

“ලෙව්කේ...“ ඔහුට කීමට හැකි වූයේ එපමණකි. 

වමතේ මැදැඟිල්ල සහ මහපටැඟිල්ල එක් කර, සිය හිස ට ඉහළින් දෙවරක් ගසා දැමූ ලෙව්කේ නිළමේ, ඇඟිලි තුඩු දිගුකර, මිත්‍ර ගේ නළල මත තබා තෙරපී ය. දම්වැලින් වෙලා තිබූ ස්වදේශිකයාගේ සිරුර වෙවුලන්නට විය. එසැණකින්, මිත්‍ර හෙවත් වරුණගේ නළලින් සියුම් රැස් දහරක් නැඟ එමින්, ඒ මත වූ තේජ්ස්වි පුරුෂයාගේ වමත වටා වෙළෙමින් ඉහළට නැ‍ඟෙන්නට විය.

සිදුවන දෙය වටහා ගත නොහැකිව මොහොතක් විපිලිසර වූ අග්නි සහ ඇඩම්, සිහි එළවාගත්තේ මහ නුගයේ පාමුළින් නැඟුනු සියුම් සර සරයෙනි. 

නුග ගස යට පැතිරි ගණ අඳුර ඉරාගෙන, නිහඬව එහෙත් වේගයෙන් ඉදිරියට දිව ආවේ, උස් මහත් පුරුෂයා ය. ඔහුගේ දිගු ලිහිල් හිසකෙස් සුළඟේ පාවෙමින්... ඔහු දකුණතින් අමෝරාගෙන සිටි කෙටේරිය, පොල්තෙල් පහන් ආලෝකයෙන් එක් වරක් දිළිසුණේ ය. එකෙණෙහි ම එය හතරැස් ලෝහමය කුට්ටියකින් සැදුණු යෝධ කුළුගෙඩියක් බවට පත් විය.

වළාකුළින් බර වූ අහස ඉරාගෙන, දැවැන්ත අකුණක් පතිත විය. එය ඇදී ආවේ උසැති මානවයාගේ සුරතේ වූ මිටිය වෙතය. අකුණෙහි විදුලිය මිටියේ ලෝහමය හිස වටා කිහිප වරක් එතුණාක් මෙන් ඇඩම් දුටුවේ ය. ඒ විදුලියේ එළියෙන් ඔහු සිය කැබින් බෝයි ව සිටි ටිරෙල් ඕඩින්සන් හඳුනාගත්තේ, විමතියට පත් විය. සිදුවන අනපේක්ෂිත සිදුවීම් වැලින් වික්ෂිප්තව මොහොතක් හිටිපියවර සිටි ඔහු, ටිරෙල් ද, අග්නි ද, අනුව මිත්‍ර ගේ සිරුර ට නැඹුරුව සිටි පුරුෂයා වෙත කඩා පැන්නේ ය. 

ටිරෙල්, සිය සුරතේ වූ කුළුගෙඩිය හිස වටා කරකවා, ලෙව්කේ නිළමේ වෙත දමා ගැසීමට ගත වූයේ තප්පරයටත් අඩු කාලයකි. විදුලියෙන් එතුණු දැවැන්ත මිටිය සිහින් සිවුරුලන් හඬක් නඟමින් ඇඩම් ගේ නාසය අසලින් වේගයෙන් ඇදී යද්දී, ඔහුගේ දෑස් නිළංකාර විය.

හිස ඔසවා බැලූ ලෙව්කේ, “මංඑ ටක්ක් ඇඩම්... ගොඩක් ස්තූතියි“ කියනවාත් සමඟ, ඔහුගේ සිරුර ගිණි පුපුරු වැනි සියුම් අංශවලට විසිරී, අඳුරු වාතස්කන්ධයට මුසුවී නොපෙනී ගියේ ය.


මීළඟට මොනව වෙයිද? දෙයියොත් දන්නෙ නෑ...


සටහන: 

මංඒ ටක්ක් - Mange takk = බොහොම ස්තූතියි (නෝවීජියන්)

වැඩිපුර බලපු ලිපි