Saturday, November 22, 2025

යුද්දේ...



එක ජාතියක් ඉහළිනුත්, තව එකක් පහළිනුත්

තියන දර්ශනය

අන්තිමේ දී සහ සම්පූර්ණයෙන් ම අර්ථ දක්වා, අත්හැර දමන තුරු

හැම තැන ම යුද්දේ, මං කියන්නෙ යුද්දේ...


තවදුරටත් හැම ජාතියක ම 

පළමු පංතියක් සහ දෙවෙනි පංතියක් නැති වෙන තුරු

මිනිසුන්ගේ හමේ පැහැය

ඔහුගේ ඇසේ පැහැය වගේ ම සැළකිලිමත් විය යුතු නැති දෙයක් වන තුරු

මං කියන්නෙ, යුද්දේ...


මූලික මිනිස් අයිතිවාසිකම් සමානව

ජාතිය ගැන නොවිමසා හැමෝට ම ලබා දෙන තුරු, 

යුද්දේ...


ඒ දවස උදා වන තුරු,

සදාකාලික සාමය ගැන, ගෝලීය පුරවැසිභාවය ගැන,

ජාත්‍යන්තර සදාචාරයක පාලනය ගැන සිහිනය

ළුහුබැඳ යා යුතු ව, නමුත් කවදාවත් ලබා ගන්න බැරි...

තාවකාලික මායාවක් හැටියට පවතින 

දැන් හැමතැන ම යුද්දේ, යුද්දේ.


විවිධ රටවල අපේ සහෝදරයන් 

අමානුෂික බන්ධනයෙන් පාලනය කරන

අනාර්ය සහ නොසතුටු රාජ්‍ය පාලනයන්

පෙරළා දමා, මුළුමනින් ම විනාශ කරන තුරු

හැම තැන ම යුද්දේ, මං කියන්නෙ යුද්දේ...


නැගෙනහිරත් යුද්දේ, බටහිරත් යුද්දේ

උතුරෙත් යුද්දේ, දකුණෙත් යුද්දේ

යුද්දේ, යුද්දේ, යුද්ධය ගැන කට කතා.


ඒ දිනය වෙන තුරු, මහ පොළොව

සාමය ගැන නොදැන සිටිනු ඇත, අපි සටන් කරාවි

එය අත්‍යවශ්‍ය බව අපට දැනේ වි, අපි දිනන බව අපි දනීවි

අපට ජයග්‍රහණය ගැන නිසැක නිසා.


හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි. 

*    *    *

බොබ් මාලේ ගේ WAR ගීතය ඇසුරින් දළ පරිවර්තනයක්... 


මේකෙ අදහස හිතට වැදුණේ පහත ෆේස්බුක් සටහන කියවීමට ලැබීමෙන්.

https://www.facebook.com/share/p/16QfVMzQ2b/



Saturday, November 15, 2025

ශනිදා 10ට - විනතා සහ කද්‍රැ ගේ කතාව - னாගයන් සහ ගුරුළා 01

මීට කලින් වේතාල කතාවේ කමෙන්ට් කරපු රුසියානු ලී බෝණික්කා විනතා සහ කද්‍රැගේ ඔට්ටුව ගැන ලියන්න යෝජනා කළා. ඒ කතාව මහාභාරතයේ තිබුණු තැනින් (මේක තියෙන්නෙ අස්ථික පර්ව කියන කොටසෙ) හොයාගෙන, මගෙ ක්‍රමයට පරිවර්තනය කරලා පහතින් පළ කරනු ලැබේ. විශේෂ ස්තූතිය බුරතීනෝ ට...

ස්වර්ණමය යුගයේ දී දක්ෂ ප්‍රජාපතීන් හට දියණියන් දෙ‌ දෙනෙක් වූහ. මේ සොහොයුරියන් ‌දෙ දෙනා විස්මය දනවන සුන්දරත්වයෙන් යුක්ත වූවෝ ය. විනතා සහ කද්‍රැ නම් වූ ඔවුන් දෙ දෙනා ම කාශ්‍යප සෘෂි විසින් විවාහ කර ගන්නා ලදහ. තම භාර්යාවන් නිසා ඉමහත් සතුටට පත් වූ කාශ්‍යපයෝ, ඔවුන් එකිනෙකාට වරයක් බැගින් ප්‍රදානය කළෝ ය. එය  ඇසූ කාන්තාවෝ දෙ දෙනා ද මහත් සතුටට පත් වූහ. කද්‍රැ ප්‍රාර්ථනා කළේ පුතුන් ලෙස, සමාන ශ්‍රේෂ්ඨත්වයෙන් යුත් දහසක් සර්පයන් ලැබීමට ය. විනතා, ශක්තියෙන්, බලයෙන්, ශරීර ප්‍රමාණයෙන් සහ පරාක්‍රමයෙන් ඔවුන් දහස ඉක්මවා යන, පුතුන් දෙ දෙනෙකු ලැබීමට පැතුවා ය. කද්‍රැ වෙත ඔවුන්ගේ ස්වාමියා බහු පුත්‍ර වරය ප්‍රදානය කළ අතර, විනතාවට ද, "පැතුම ඉටු වේවා!"යි කීවේ ය. "බීජයන් (දරුවන්) ප්‍රවේසමෙන් දැරිය යුතු ය"යි කාශ්‍යප වරයන් ලැබීමෙන් ප්‍රීතියට පත් සිය භාර්යාවන්ට කියා, වන ගත විය.

කාලය ගත වී යද්දී, කද්‍රැ බිජු දහසක් බිහි කළ අතර, විනතා බිජු දෙකක් බිහි කළා ය. ඔවුන්ගේ පරිවාර ස්ත්‍රීන් එම බිජුවටයන් වෙන වෙන ම උණුසුම් කුටීර තුළ තැන්පත් කර තැබූ හ. අවුරුදු පන්සියයක් ගත වූ ගිය පසු කද්‍රැ බිහි කළ බිත්තර පුපුරා දරුවන් පිටතට ආහ. එහෙත් විනතා ගේ නිඹුලුන් බිහි වූයේ නැත. ඊර්ෂ්‍යා සහගත වූ විනතා එක් බිජුවටයක් බිඳ බැලුවා ය. එතුළ වූ දරුවා ගේ උඩුකය වර්ධනය වී තිබුණ ද, යට කොටස වැඩී තිබුණේ නැත. මෙයින්, බිජුව තුළ සිටි දරුවා කෝපයට පත් වී, සිය මවට ශාප කළේ ය. "නුඹ මෙම බිජුවටය නිසි කලට පෙර බිඳි හෙයින්, නුඹ වහලියක් වේවා! තවත් අවුරුදු පන්සියයක් යනතුරු, සම්පූර්ණයෙන් වැඩී නොමැති අනෙක් බිජුව විනාශ කිරීමට හෝ නොඉවසිල්ලෙන් බිඳීමට තැත් නොකළහොත්, එහි වැඩෙන කීර්තිමත් දරුවා නුඹ වහල්බවින් මුදවනවා ඇත! ඒ දරුවා ශක්තිමත් වීමට නම්, මේ සියලු කාලය තුළ නුඹ එම බිජුව ඉතා සැළකිල්ලෙන් රැක බලා ගත යුතු ය." මෙසේ ශාප කළ දරුවා අහසට නැංගේ ය. ඔහු සූර්යයාගේ රථාචාර්ය බවට පත් වූ අතර, උදෑසණ අහසේ දැක ගත හැකි අරුණ නම් වූයේ ඔහු ය.

අවුරුදු පන්සියයක් ගිය තැන අනෙක් බිජුව ද පුපුරා විවර වී නාගයන් බුදින්නා වූ ගුරුළා පිටතට ආයේ ය. ඔහු ආලෝකය දුටු මොහොතේ ම, සිය මව හැර ගියේ ය. සියලු පක්ෂීන්ට නායකයා වන හෙතෙම, සාගිනි දැනී, තමන්ට නියම කර ඇති ආහාරය සොයා පියාසර කළේ ය.

මේ කාලයේ එක් දිනක, සොහොයුරියන් දෙ දෙනා මනස්කාන්ත, දෙවියන් විසින් ද වන්දනය කෙරුණු, අශ්වයින් අතර අග්‍ර මාණික්‍යය වූ, අමෘතය පිණිස කලඹන ලද සමුද්‍රයෙන් මතු වූ උච්ඡායිඃශ්‍රවා නම් අශ්වයා දුටහ.

මහා සුන්දරත්වයෙන් සහ බල පරාක්‍රමයෙන් හෙබි උච්ඡායිඃශ්‍රවා ගැන කද්‍රැ, විනතාවගෙන් මෙසේ ඇසුවා ය: "කියන්න ප්‍රිය සොයුරිය, උච්ඡායිඃශ්‍රවා කුමන පැහැයකින් යුක්ත ද?" ඊට විනතා පිළිතුරු දුන්නී: "ඒ අශ්වයින්ගේ අග්‍ර කුමාර තෙමේ නිසැකව ම ශ්වේත වර්ණ වෙයි. නුඹ කුමක් සිතයි ද? උහු කුමන වර්ණ ද? ඒ ගැන පරදුවක් තබමු."  කද්‍රැ පිළිතුරු දෙමින්: "ප්‍රසන්න සිනාවෙන් යුක්ත තැනැත්තිය, මට සිතෙන්නේ මේ අසුගේ වලගය කළු පැහැ බවයි. සුන්දරිය, මා සමග ඔට්ටු තබන්න, පරදින්නී අනෙකාගේ වහලිය වේ වා!.

මෙසේ තම තමන් අතර, වහලියක මෙන් දාසකම් කිරීමට පරදු තබා සොහොයුරියෝ නිවස වෙත ගියේ, ඊ ළඟ දිනයේ දී අශ්වයා පරීක්ෂා කර බලා නිගමනයකට එළඹීමට තීරණය කර ගෙන ය. කද්‍රැ වඤ්චාවක් කිරීමට අදිටන් කර ගත්තී, ඇගේ පුත්‍රයින් දහසට, කාල වර්ණ කෙස් ගස් බවට පරිවර්තනය වී අශ්වයාගේ වලිගය වසා ගන්නට නියෝග කළා ය. එහෙත් ඇගේ පුත්‍රයින් වූ සර්පයන් ඇගේ අණ පිළිපැදීම ප්‍රතික්ෂෙප කළෙන්, ඈ ඔවුනට ශාප කළා ය. ඒ, "පාණ්ඩව පරපුරේ ප්‍රඥාවන්ත ජනමෙජය රජුගේ සර්ප යාගයේ දී තොප සියලු දෙන අග්නි ට බිලි වේවා!"යි යනුවෙනි. මෙම අතිශය ක්‍රෑර සහ ඉරණම විසින් පොළඹවන ලද ශාපය මහාත්මයන් හෙවත් බ්‍රහ්ම  වෙත ශ්‍රවණය විය. සර්පයන් ශීඝ්‍ර ලෙස බෝවී ඇති බව දුටු බ්‍රහ්මයෝ, තම මැවිල්ල ගැන කරුණාවෙන් යුක්ත ව, සියලු දෙවියන් සමඟ මෙකී ශාපය ගැන සාකච්ඡා කළෝ ය. ඇත්තෙන් ම, සර්පයෝ උග්‍ර විෂ සහිත ද, මහා පරාක්‍රමවත් ද, අතිශය ශක්තිමත් ද වූවෝ සේ ම, අනෙක් සත්ත්වයන් දෂ්ඨණය කිරීමෙහි ද යෙදුනෝ වෙති. සියලු සත්ත්වයන්ගේ වධකයෝ වූ උන්ගේ, මවු ඔවුන් කෙරෙහි පැවතුණු විධිය සියලු සත්ත්වයන්ගේ යහපතට හේතු වන්නේ ය. අනෙක් සතුන්ගේ මරණය අපේක්ෂා කරන්නවුන්ට, දෛවය හැම කල්හි ම මරණ දඬුවම පනවයි. එසේ තම මතය එකිනෙකා අතර හුවමාරු කරගත් දෙවියෝ කද්‍රැගේ ක්‍රියාව අනුමත කර නික්මුණෝ ය. එකල බ්‍රහ්ම තෙමේ කාශ්‍යපයන් තමන් වෙත කැඳවා මෙසේ කීවේ ය: "සියළු සතුරන් පිටුදැක සිටි ශුද්ධවූ තැනැත්ත, මේ උග්‍ර විෂ සහ විශාල සිරුරු ඇති, අනෙක් සතුන් දෂ්ඨ කිරීමෙහි අරමුණු ඇති, දැන් සිය මවු විසින් ශාප කරන ලද්දා වූ මේ සර්පයෝ තොප විසින් උපදවන ලද්දහු ය. පුත්‍රය, මේ ගැන ස්වල්පයකුදු කණගාටු නො වෙව. බිලි යාගයේ දී සර්පයෙන් වැනසීම දීර්ඝ කාලයකට පෙර ම නියම වූවකි." මෙසේ කියා විශ්වයේ නිර්මාතෘ වූ දිව්‍යමය ආත්මයෝ, කාශ්‍යපයන් සැනසූ අතර, විෂහරණය (සර්පයන් වැනසීම) පිළිබඳ දැනුම ඒ සිරිමතුන් සමග බෙදාගත්තෝ ය. 


ඉන්පසු, රාත්‍රිය පහව ගොස් උදෑසන හිරු නැග ආ විට, පරදු තැබූ දෙ සොහොයුරියෝ, විනතා සහ කද්‍රැ, උච්ඡායිඃශ්‍රවා නම් අශ්වයා ආසන්නයට ගොස් පිරික්සීමට නො ඉවසිල්ලෙන් ගියෝ ය. ඔවුන් යන මාර්ගයේ, සාගර නම් ජල නිධාන වූ, පුළුල් හා ගැඹුරැති, බොහෝ සේ රෞද්‍ර හඬ නගන, තල්මසෙකු වුවත් ගිලීමට තරම් විශාල මසුන් ගෙන් පිරුණු, මකරුන් සහ  තවත් බොහෝ ස්වරූප ඇති සත්ත්වයන් දහස් ගණනින් වෙසෙන, තවත් භයංකර රාක්ෂසයන් වැනි දරුණු ජලජ සතුන් හේතුවෙන් තරණය කිරිම උගහට, ඉදිබුවන් සහ කිඹුලන්ගෙන් සැදි, සෑම ආකාරයක ම රත්නයට ආකර වූ, වරුණ හෙවත් සමුද්‍ර දේවයාට නිවාස වූ, නාගයන්ගේ විශිෂ්ඨ හා දැකුම්කලු නිවහන වූ, සියලු ගංගාවන්ගේ හිමියා වූ, අන්තර්භෞම අග්නියේ විමාන වූ, අසුරයන්ගේ අභයස්ථාන වූ, සියලු සත්ත්වයන්ට බිය උපදවන, කිසිදා වෙනස් නො වන, මහා ජලස්කන්ධය වූයේ ය. එය ශුද්ධ ද, දෙවියන්ට කාම දායී ද, අමෘතයේ උත්පත්ති ස්ථානය ද, අසීමිත ද, අචින්ත්‍ය ද, පූජ්‍ය ද, අතිශය විස්මයාවහ ද වූයේ ය. එය අන්ධකාර ද, සමුද්‍ර ජීවීන්ගේ කෝලහාලයෙන් භයංකර ද, අතිශයින් ම රෞද්‍ර ශබ්දයෙන් පිරුණේ ද, ගැඹුරු දිය සුලියෙන් ගහන ද, විය. එය සියලු සතුන්ට ත්‍රාසය උපදවන්නකි. වෙරළ සිට හමන සුළඟින් මෙහෙයවී, රළ උස්ව නැඟුනු, වික්ෂෝභයට පත් වූ, කැළඹුණු, එහි දියවැල් නමැති අත් ඉහළට ඔසවමින් නටන්නාක් මෙන් විය. චන්ද්‍රයාගේ පුර පස හා අව පස හැරීම් මඟින් ඇති කළ, රළ පංති නැඟීමෙන් පිරුණු එය, වාසුදේවයන්ගේ පංචජන්‍ය නම් වූ මහා ශංඛය බිහි කළාහු ද, සියලු රත්නයන්ට නිධිය ද, වූයේ, මිනිය නොහැකි පරික්‍රමයෙන් යුත් ගෝවින්ද වල් ඌරු ස්වරූප ගෙන පෘථිවිය සමුදුරු පතුලෙන් ඉහළට ඔසවාලන විට මුලින් ම කැළඹුණේ විය...

(ඔය විදිහට පත හෑල්ලක් තියෙනව මේ ඡේදයෙ සහ ඊළඟ ඡේදයෙ..)

 නාගයෝ සමූහ සාකච්ඡාවකින් පසු අවසන් තීරණයකට එළඹුණෝ, සිය මාතාවගේ නියෝගය ඉටු කළ යුතු බවත්, එසේ නො කළ හොත්, ඇය තම මාතෘ ප්‍රේමය ඉවත ලා සියලු දෙනා ම දවනු ඇති බවත් සිතූ හ. අනෙක් අතට, ඇය කාරුණික වුවහොත් ඈ ඔවුන් ශාපයෙන් මුදවනු ඇත. ඔවුහු "අපි නිසැකව ම අශ්වයාගේ වලිගය කළු පැහැ ගන්වමු" යි කියා, එහි ගොස් අශ්වයාගේ වලිගයේ කෙඳි බවට හැරුණා හ.

දක්ෂගේ දියණියන් වූ විනතා සහ කද්‍රැ නම් සොහොයුරියන් දෙ දෙනා ආකාශය දිගේ අතිශය සොම්නසින් යුතුව සාගරයේ එහා කෙළවරට යන සේ ගමන් ගත්හ. එසේ යන අතර ඔවුහු සාගරය දුටහ. (එතන ඉඳං ආපහු අර උඩ වගේ පත හෑල්ලක් තියෙනව, සාගරය ගැන...)

විනතා සමඟ සමුද්‍රය තරණය කළ, ශීඝ්‍ර වේග ඇති කද්‍රැ, නොබෝ වේලාවකින් ම අශ්වයා සමීපයෙන් අහසින් බටහ. ඔවුහු දෙදෙනා ම, මහා වේග ඇති අශ්වයන් අතරින් ශ්‍රේෂ්ඨතමයා චන්ද්‍ර රශ්මිය සේ සුදුපැහැ ශරීරයක් ඇත්තේතෙක් වුව ද, (වලගයේ) කළු පැහැ රෝම ඇත්තෙක් වූ බව දුටුවෝය. වලගයේ බොහෝ කළු පැහැ ලෝම දුටු කද්‍රැ, දුර්මුඛ වූ විනතාව වහල් භාවයට පත් කළා ය. පරදුව පැරදුණු විනතාව ද, වහල් බවට පැමිණියේ, මහත් සේ ශෝක වූවා ය. මේ අතරවාරයේ සිය කාලය එළඹි විට, විශ්වයේ බලය පිළිබඳ වූ සියලු ම අංශවලින් හෙබි, සිතූ විට කැමති ස්වරූප ගත හැකි පක්ෂියා වූ, සිතූ ඇසිල්ලෙකින් කැමති ස්ථානයකට යා හැකි වූ,  අවැසි විට තම සහායට සෑම ආකාරයක ම ශක්තීන් කැඳවා ගත හැකි වූ, තෙදින් පිරුණු ගුරුළා සිය මව (ගේ උපකාර) නොමැතිව බිජුව පුපුරා බිහි වූයේ ය. ගිණි කඳක් මෙන් උද්දීප්ත ව ඔහු භයංකර ලෙස දිළිසුණේ ය. යුගාන්ත අග්නිය ට සම දීප්තියකින් හෙබි ඔහුගේ දෑස් අකුණු මෙන් දිප්තිමත් විය. ඉපදී නොබෝ වේලාවකින් ම ඒ පක්ෂියා වැඩී වර්ධනය වී, අහසට පැන නැංගේ ය. බිහිසුණු ද, ප්‍රචණ්ඩ ලෙස ගුගුරමින් ද, ඔහු දෙ වන සමුද්‍රාග්නියක් තරම් භයංකර ලෙස පෙනුණේ ය. ඔහු දුටු සෑම දෙවිවරයෙක් ම, විභවාසු (අග්නි) ගේ රැකවරණය පැතුවෝ ය. ඔවුහු ඒ බහුවිධ ස්වරූප ඇතිව සිය ආසනයේ වැඩ හුන් දේවයා වෙත නමස්කාර කරමින් මෙසේ කීහ. "අහෝ අග්නි, ඔබේ ශරීරය අප වෙත දිගු නොකරනු මැනව. ඔබ අප ගිල ගන්නට සැරසෙන්නෙහි ද? බලන්න, ඔබේ මේ දැවැන්ත ගිනි දලු පුළුල්ව පැතිරී යමින් ඇත." අග්නි පිළිතුරු දුන්නේ ය. "අසුර නාශකයනි, එය නුඹ සිතාගත් දෙය නොවේ. මේ මහා ශක්තිමත් වූ ද, විභූතියෙන් මා හට  සම වූ ද, මහා බලයක් පැවරුණාවූ ද, විනතාවගේ ප්‍රීතිය වර්ධනය කරන්නට උපන්නා වූ ද, ගරුඩයා වෙයි. ඔහුගේ කාන්ති ප්‍රවාහය දැකීමෙන් පමණක් ම නුඹ තුල මේ මුළාව ඇති විය. ඔහු කාශ්‍යපගේ බලැති පුත්‍රයා ය, නාගයන් වනසන්නා ය, දෙවියන්ගේ සුභ සිද්ධියට කැප වූයේ ය, දෛත්‍යයන්ගේ හා රාක්ෂසයන්ගේ සතුරා ය. දැං බුරා කියයි ද දන්නෑ දිති හා අදිති ගේ පළහිලව්වත් ලියන්ඩ කියලා... උහු ගැන අල්පයකට ද තෙපි බිය නොවවු. මා සමග අවුත් බලනු." මෙසේ ඈත සිටි දෙවියන් වෙත කීවේ ය.

------------------------------------------------

සමුද්‍රාග්නියක් = a bioluminescent glow produced by phosphorescent marine organisms. (https://www.collinsdictionary.com/dictionary/english/sea-fire#:~:text=a%20bioluminescent%20glow%20produced%20by%20phosphorescent%20marine%20organisms)

------------------------------------------------

දෙවියෝ මෙසේ කීහ. "ඔබ සෘෂිවරයෙකි. යාගවල දී විශාලම කොටස ඔබට පුදනු ලැබේ, ඔබ සදා උජ්වලිත වූයේ ය." සෘෂිවරයා සමග ගරුඩයා වෙත ගිය ඔවුහු, සජීවී සහ අජීවී විශ්වයෙහි මුල්තැන ගත් ඒ පක්ෂියාට පූජා කළහ. "තොප සියල්ල විනාශ කරන්නා ද වන්නාහු ය, සියල්ලේ මැවුම්කාරයා ද වන්නෙහි ය; තොප හිරණ්‍යගර්භයෝ ම වන්නාහු ය; තොප දක්ෂ සහ අනෙක් ප්‍රජාපතීන්ගේ වේශයෙන් පැමිණි ආදීතමයන්ගෙන් කෙනෙකි; තොප ඉන්ද්‍ර ය; තොප විෂ්ණුහුගේ පුනරාවතාරයට ගෙළ දුන් හයග්‍රිව නම් උතුම් අශ්වයාහු ය; තොප ඊශර ය. (ත්‍රිපුර ගිනි තැබීමේ දී මහදෙවියන් අත ඊ තළ බවට පත් වූ විෂ්ණු තෙමේ ම ය.) තොප විශ්වයේ හිමියාහු ය; තොප විෂ්ණු ගේ මුඛය ය; තොප මුහුණු සතරකින් යුත් පද්මජ ය; තොප බ්‍රාහ්මණයෙකි; තොප අග්නි ය, පවන ය; (මෙසේ විශ්වයේ ඇති සියලු ම වස්තූන්ට අධිපති දේවාත්මයන්ගේ නම් කියමින් පුද කරති.) තොප ශාස්ත්‍රය ය. තොප අප සියලු දෙනා ම මෝහණය කරන මායාව ය; සෑම තැන ම පැතිරි ආත්මය තොප ය; 

// මෙහෙ ම ගරුඩාව මුරුංග අත්තෙ තියලා කතා කරන දෙවියෝ සහ සෘෂිවරු, ඒ අතරෙ ම ගරුඩාගෙ තේජස සහ කාන්තිය නිසා උන්දැලට වෙලා තියෙන පීඩාව අඩු කරලා දෙන්ඩ කියලා ඉල්ලනවා. - ඒ හෑල්ල ලස්සන නිසා පහළින් දාලා තියෙනවා. කම්මැලි අය ඒක මගෑරලා යන්න...//

තොප දෙවියන්ගේ අධිපති ය; තොප මහා සත්‍යය ද වන්නාහු ය; තොප අභීත ය; තොප සදා නො වෙනස් ය; තොප උපලක්ෂණයන්ගෙන් තොර බ්‍රහ්ම ය; තොප සූර්යයා ගේ ශක්තිය ය; තොප බුද්ධිමත් කර්ත්‍රව්‍යයන් ය; තොප අපගේ මහා ආරක්ෂකයාහු ය; තොප ශුද්ධාත්මයේ සාගරය ය; තොප පවිත්‍ර ය; තොප අන්ධකාරයේ ලක්ෂණයන් තුරන් කරන්නෙහි ය; තොප සය මහා ලක්ෂණයන්ගෙන් හෙබියාහු ය; තොප හා තරග කර සම විය හැක්කෙක් නැත; සියල්ල උපන්නේ තොපගෙනි; තොප විශිෂ්ට කාර්යයන්ගෙන් යුක්ත ය; පැවති හා නොපැවති සියල්ල තොප ය; තොප පිරිසිදු දැනුම ය; තොප අපට දර්ශනය වන්නේ සජීවී හා අජීවී විශ්වය පුරා පැතිරි සූර්යයාගේ රශ්මිය සේ ය; සෑම මොහොතක ම තොප සූර්යයාගේ කාන්තිය අඳුරු කරවන්නෙහි ය; තොප සියල්ල විනාශ කරන්නා ය; තොප විනාශ වන හා විනාශ නො වන සියල්ල ය; අහෝ තොප අග්නි මෙන් කාන්තිමත් ය; සූර්යයා කුපිතව සියලු මැවීම දවන්නා මෙන් තොප ද දවන්නෙහි ය; භයංකරයාණනි, තොප ලෝකාවසානයෙහි සියල්ල වනසා දමන ගින්න මෙන් විරෝධය පාන්නෙහි ය; ආකාශචාරී ගරුඩය, අපි තොපගේ ආරක්ෂාව පතමු. පක්ෂීන්ගේ අධිපතිය, තොපගේ ශක්තිය අසාමාන්‍ය ය; තොපගේ කාන්තිය ගින්නට සමානය; තොපගේ දීප්තිය කිසි අන්ධකාරයකට ළං විය නොහැකි විදුලිය බඳු ය; තොප වළාකුළු කරා ළඟා වන්නාහු ය; එසේ ම හේතුව ද ඵලය ද තොප ම වන්නෙහි ය; ප්‍රසාද දායකයා ද, පරාක්‍රමයෙන් අපරාජිත ද වන්නෙහි ය; ස්වාමීනි, තොපගේ කාන්තියෙන් මුළු විශ්වය ම උණු වී ද, උණු කළ රනෙහි දිස්නය මෙන් ප්‍රභාමත් වී ද, ඇත්තේ ය. තොප විසින් අතික්‍රමණය කරන ලද්දා වූ ද, බියපත් කරන ලද්දාවූ ද, තම දිව්‍යමය වාහනයන්හි නැගී ඒ මේ අත දිවෙන, මේ මහාත්ම ඇති දෙවියන් ආරක්ෂා කළ මැනව. උත්තම පක්ෂියාණනි, සියල්ලේ ම අධිපතියාණනි, තොප කාශ්‍යප නම් මෛත්‍රි සහගත, මහෝත්තම සෘෂිවරයාගේ පුත්‍රයා ය. එහෙයින් කුපිත නොව, සක්වල කෙරෙහි සානුකම්ප්‍ය වෙ ව. තොප උත්තරීතර ය. අහෝ, තොපගේ කෝපය සංසිඳුවා, අප රැකගනු ව. හෙණ ගුගුරන්නාක් මෙන් මහ හඬ ඇති තොපගේ නාදය දශ දිගෙහි, අහසෙහි, ස්වර්ගයෙහි, පොළොවෙහි සහ අපගේ හදවත්හි පැතිරෙයි. පක්ෂියාණනි, තොප අතොරක් නො මැති ව කම්පිත ය. අහෝ, අග්නිය සම වූ තොපගේ ශරීරය හීන කර ගනු මැනව. කුපිත වූ යම ට සම වූ තොපගේ කාන්තියෙන් අපගේ හදවත් තුලින් ශාන්තබව සහ කම්පිත බව දුරු ව ගියේ ය. පක්ෂීන්ගේ අධිපතිය, තොපගේ අනුකම්පාව අයැද සිටින අප කෙරෙහි කාරුණික වෙ ව. අප වෙත වාසනාව සහ ප්‍රීතිය උදා කර දෙනු මැනව."

මෙසේ දෙවියන් සහ විවිධාකාර වූ සෘෂිවරුන් විසින් පුදනු ලැබූ පැහැපත් පියාපතින් සැදි පක්ෂියා තම බලය සහ කාන්තිය මඳක් අඩු කර ගත්තේ ය. තම ශරීරය ගැන ඇසීමෙන් සහ දැකීමෙන්, සුන්දර පියාපතින් හෙබි පක්ෂියා තම ශරීරය ද කුඩා කර ගත්තේ ය.

ඉන්පසු ගුරුළා මෙසේ කීය, "කිසිදු සත්ත්වයෙක් භය පත් නො වේවා! තොප මාගේ භයංකර ස්වරූප දැකීමෙන් භීත වූ හෙයින් මම මාගේ ශක්තිය හීන කර ගන්නෙමි." 

සිතූ සිතූ තැනට ඇසිල්ලකින් යාමට හැකි, තම උපකාරයට ඕනෑම ආකාරයක බලවේගයන් කැඳවීමෙහි සමත්, පක්ෂි තෙම, අරුණ සිය පිටෙහි හිඳුවාගෙන සිය පියාගේ නිවෙසින් පිටත් ව, මහා සාගරයෙන් ඔබ්බෙහි පිහිටි, තම මවගේ පාර්ශ්වයට ගියේ ය. සූර්යයා සිය සැඩ රැසින් ලෝකය දවන්නට තීරණය කළ වේලාවේ ම, ඔහු මහා කාන්තියෙන් යුත් අරුණ, නැඟෙනහිර පෙදෙසේ තැබී ය. 

ක්ෂීර සාගරය කළඹා ලබාගත් අමෘතය, දෙවියන් අතරට වී හිඳ රාහු විසින් පානය කරන ලද විට, සූර්ය සහ සෝම දෙවිවරුන් විසින් ඒ බව පෙන්වා දෙන ලදි. ඒ අවස්ථාවේ සිට ඔහු එම දෙවිවරුන් සමඟ ක්‍රොධය ඇති කර ගත්තේ ය. මෙයින්, රාහු තම හිංසකයා (සූර්ය) ගිළ දැමීමට ඉටා ගත්තෙන්, කුපිත වූ සූර්ය, "මා කෙරහි මේ රාහු ක්‍රොධ උපදවා ගත්තේ දෙවියන්ට යහපත කිරීමට මා තුළ වූ ආශාව හේතුවෙනි. මේ ඝෝර ප්‍රතිවිපාකය මා හුදෙකලාව දැරිය යුතු ය. ඒකාන්තයෙන් ම, මේ ගැන මා හට උපකාර නොලැබේ. සුරලොව වැසියන්ගේ දෑස් ඉදිරිපට ම මා ගිළ දැමෙන අතර, ඔවුහු නිහඬව ම එයට ඉඩ හරිති. එහෙයින් ලෝක විනාශයට මා කටයුතු කළ යුතු යැ" යි සිතී ය. මේ තීරණයත් සමග ඔහු අපර දිග පර්වතයට ගියේ ය. 

එම තැනෙහි සිට ඔහු ලෝකය විනාශ කරනු වස්, තම තාප තරංගයන් විහිදුවන්නට විය. මහා සෘෂිවරු සුරයන් කරා එළඹ, ඔවුනට කතා කරන්නට වූහ, "බලන්න, රෑ මැද සියලු හදවත් බියපත් කරමින් තුන් ‌ලෝකය ම වනසා දමමින් මහා තාපයක් හට ගෙන ඇත." සෘෂින් ද කැටිව සුරයෝ සිය පූර්වතමයා (බ්‍රහ්ම) වෙත ගොස් මෙසේ කීහ. "මේ සා කළබලයක් ඇති කළ මහත් තාපය කුමක් ද? සූර්ය තෙමේ තවමත් උදා වී නැත. එහෙත් (ලෝක) විනාශය නියත ය. ස්වාමීනි, හිරු උදා වූ විට කුමක් නම් සිදු වේ ද?" පූර්වතමයා පිළිතුර දුන්නේ ය: "ඇත්තෙන් ම සූර්යයා අද ලෝකය විනාශ කරමින් උදාවන්නට සූදානම් ය. ඔහු දෘෂ්‍යමාන වූ විගස ඔහු සියල්ල අළු කන්දක් වන සේ දවාලන්නේ ය. එහෙත් මා විසින් කල් තබා ප්‍රතිකර්මය සළසා ඇත්තේ ය. කාශ්‍යපයන්ගේ නුවණැති පුත්‍රයා සියල්ලන් විසින් අරුණ නමින් දන්නා ලද්දේ ය. ඔහු ශරීරයෙන් අති මහත් ද, මහා කාන්තියෙන් යුක්ත ද වේ. ඔහු සූර්යයා ට ඉදිරියෙන් සිටිමින් රථාචාර්ය රාජකාරිය ඉටු කරමින් හිරුගේ ශක්තිය වළකාලනු ඇත. මෙය ලෝකයන්ගේ ද, සෘෂිවරුන්ගේ ද, සුර ලොව වැසියන්ගේ ද, යහපත තහවුරු කරනු ඇත.

අරුණ පූර්වතමයාගේ ආඥාව අනුව ඔහුට අණ කරන ලද දේ මුළුමනින් ම ඉටු කෙළේ ය. සූර්යයා අරුණගෙන් මුවා ව, උදා වන්නට විය.

ඉක්බිති ඒ මහා බල සම්පන්න, සිතූ ක්ෂණයකින් සෑම තැනකට ම යා හැකි පක්ෂියා, මහා සමුද්‍රයේ අනෙක් කෙළවරේ දී සිය මව හා එක් විය. එහි විනතා විසූයේ, පරදුවෙන් පරාජයට පත් කොට, වහල් භාවයට පත් කිරීමෙන් පීඩිත ව ය. වරක් කද්‍රැ, තමන් ඉදිරියේ දුර්වලව බිම බෑවී හුන් විනතාව, ඇගේ පුත්‍රයා ඉදිරිපිට ම අමතා මෙසේ කීවා ය: "සියුමැලි විනතාව, සමුද්‍රය මධ්‍යයේ ඈත දුර කොණක, නාගයන් වාසය කරන, අහ්ලාදජනක සහ සුන්දර ප්‍රදේශයක් වෙයි. මා එහි උසුලාගෙන යනු." මෙයින්, ඒ පැහැපත් පියාපත් ඇති පක්ෂියාගේ මව, (සිය උරහිසින්) සර්පයන්ගේ මව උසුලාගත්තා ය. ගරුඬයා ද ඔහුගේ මවගේ මෙහෙයවීමෙන්, සර්පයන් සිය පිටෙහි තබාගෙන රැගෙන ගියේ ය. විනතා පුත්‍ර ආකාශ පාලක තෙමේ සූර්යයා දෙසට නැඟුනේ ය. ඔහු පිට හුන් සර්පයෝ සූර්ය රශ්මියෙන් තැවුුුණෝ, ක්ලාන්තවූ හ. සිය පුතුන් හට වූ ගැහැට දුටු කද්‍රැ තොමෝ ඉන්ද්‍ර වෙත යාඥා කළා; "සියලු සුරයන්ට අධිපතිය, තොපට නමස්කාර කරමි! වෘත්‍ර නාශකය, තොපට නමස්කාර කරමි, නමුචි නාශක වූ තොපට නමස්කාර කරමි, සහසැසිය, සචියගේ සහකරුව, තොපගේ වර්ෂාව වගුරා, සූර්ය තාපයට හසු වූ සර්පයන්ගේ ආරක්ෂකයා වුව මැනව. සියලු දිව්‍යාත්මයන් අතරින් යහපත් ම තැනැත්තවු වූ පුරන්දරය, ජලස්කන්ධයන් සේ වර්ෂණයට තොප සමත් ය. වායුව ද, වළාව ද, අග්නිය ද, ආකාශයේ විදුලිය ද, තොපය. වළාවන් බමවන්නෙන්, යුගන්ධර මහා වළාව නම් ලද්දේ තොප ය. බිහිසුණු, අසම සම අකුණ ද, මේඝ ගිගුරුම ද තොප ය. ලෝකය නිමැවූවේ ද, එය විනාශ කරන්නේ ද තොපය. තොප යටත් කළ නොහැක්කේ ය. සියලු සතුන්ගේ ද, ආදිත්‍යගේ ද, විභවාසුගේ ද, අපූර්ව මූලද්‍රව්‍යයන්ගේ ද, ආලෝකය තොප ය. සියලු සුරයන්ගේ පාලකයා තොප ය. තොප විෂ්ණු ය. තොපට දහසක් නෙත් ඇත. සුරයෙකු වූ තොප පරම අපේක්ෂාව ය. තොප අහෝ දෙවියනි, සකල අමෘතය ද, උතුම් සෝමය ද වන්නහු ය. තොප තත්පරය ද, චන්ද්‍ර දිනය ද, බලය (මිනිත්තුව) ද, ක්ෂණය (මිනිත්තු 4) ද, වන්නෙහි ය. තොප පුර පක්ෂය ද, අව පක්ෂය ද වන්නෙහි ය. තොප කලාව ද, කෂ්තය ද, (විෂ්ණු පුරාණය අනුව: ඇසිපිය 16 (10) = කෂ්ත 1, කෂ්ත 30 (35) = කලා 1, කලා 30 (20) = මුහුර්ත 1) තෘතිය ද, වර්ෂය ද, සෘතුව ද, මාසය ද, රැය ද, දහවල ද වන්නෙහි. තොප සෞම්‍ය පෘථිවිය ය - එහි ඇති කඳුවැටි හා වනාන්තර ද සමඟ, තොප අන්තරීක්ෂය ය - සූර්යයාගෙන් උජ්වලිත, තොප නඟින බසින මහ රැළි ඇති, තල්මසුන්ගෙන්, තල්මසුන් බුදින්නන්ගෙන්, මකරුන් හා අනේක විඳ මත්ස්‍ය ගණයෙන් පිරුණු මහ සාගරය ය. තොප, ධ්‍යානයෙන් නිග්මිත සිත් ඇති සෘෂිවරුන්ගේ සහ ප්‍රඥාවන්තයන්ගේ වන්දනයට පත් මහා කීර්තිය ය. තොප සියලු සත්ත්වයන්ගේ යහපත උදෙසා පූජා කරන ලද සෝම පානය ද, ශුද්ධවූ යාතිකාවන් සමඟ පුදන පිරිසිදු වෙඬරු ද, බුදින්නෙහි ය. ඵලය අපේක්ෂාවෙන් බ්‍රාහ්මණයෝ තොප පූජා කරමින් වන්දනා කෙරෙති. තොප අසම සම බලයෙන් යුක්තය හ, තොප වේදයෙහි සහ වේදාන්තයෙහි ගැයුම ය. ශික්ෂිත බ්‍රාහ්මණයන් ප්‍රවේසමින් වේදය උගනිමින්, තොප වෙත පූජා කරමින් නමස්කාර කරන්නේ එහෙයිනි. 

------------------------------

මේ පරිවර්තනය මේ තරමක් හරි කරගන්න මෙච්චර කාලයක් ගියේ ඇයි කියා ඔබට හිතා ගන්න හැකි වෙනු ඇත. දිගට ම මේ විදිහට ගියොත්, තව කොටස් දෙකකින් විතර කතාව කියා ඉවර කරන්ඩ පුළුවං වනු ඇති. නමුත් එහෙම නැතුව මේකේ සාරාංශය දානවට කවු ද කැමති? ඔබේ අදහස කියන්න...

Monday, November 10, 2025

ශනිදා දහයට චුට්ටක් පසුවී... තවත් හෙදියක් අතුරුදන් වෙයි

මෙන්න සුවහසක් පාඨක දෙතුන් දෙනාගේ ඉල්ලීම පරිදි සුනන්ද කෝදාගොඩගේ විනෝද රසාංග පොතේ තවත් එක් කොටසක්...

*    *    *

හෙදියන් තුන්සිය ගණනක් හිටි හැටියේ අතුරුදහන් වීම පිළිබඳ පුවත දැනගන්නට ලැබුණු මොහොතේ මගේ පපුවේ ඇවිලුණු ගින්දර මූදගොඩ ගැලුවත් නිවා දැමිය නොහැකි තරම් විය.

ඉතා ඉක්මණින් මේ පිළිබඳව සොයා බලා වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වා නර දූපතේ සමස්ථ රෝගීන්ගේ සංගමය ගිය ඉරිදා එවන ලද විදුලි පුවත මට ලැබුනේ අද අලුයම කුකුළා හඬලන්නටත් පෙරදීය.

මේ සිද්ධිය ගැන සොයා බැලීමට පත් කරන ලද ඒක පුද්ගල කොමිටියේ සර්ව බලධාරී එකම පුද්ගලයා වශයෙන් හෙදියන් කෙරෙහි කරුණාවෙන් උපන් හදවතක් ඇති මාවම පත් කරගනු ලැබුවේ සදාකාලික රෝගියෙකු වූ රෝහල බදා ගත් හැලිවලංගොඩ මහතාය.

මහ පාරේ තිබී අහුලාගත් පනාවකින් රෝහල් හෙදි විදුහල් පීරමින් හෙදියන් විශාල පිරිසක් මෙම පරීක්ෂණය සඳහා තෝරා ගැනීමට මට හැකි විය.

හෙදියෝ සියලු දෙනාම මා වටකර සිට ගත්හ. හංසයන් මැද්දට වන් උරුලෑවෙක් මෙන් මා වෙව්ලන්නට විය. එකෙණෙහිම හෙදියන් දෙදෙනෙක් පැමිණ මගේ අත් දෙකින් අල්ලා ගත්හ. 

'මොකටද තමුසෙ මෙහාට මකබෑවුනේ,...?'

'මං ආවේ ඔයාල ගැන පරීක්ෂණයක් කරන්න.'

'ඇයි තමුසෙට පරීක්ෂණ කරන්න වෙන දේවල් නැද්ද?'

'නෑ... නෑ... අර හෙදියන් තුන්සිය ගානක් අතරුදහන් වෙලා කියල පත්තරේ පළවුනාට පස්සේ අපේ සංගමයෙන් මාව පත්කළා ඒ ගැන පරීක්ෂා කරන්න.'

එය සිහි කළ විටම හෙදියන් කීප දෙනෙක්ම අඬන්නට පටන් ගත්හ.

එක් හෙදියක් දෑතට ගෙන සිප සැනසූ පසු අනෙක් සියලු දෙනාම සන්සුන් වූහ.

'මේ අතුරුදහන් වුන හෙදියන් රට ගිහිල්ල කියලනෙ පත්තරේ තිබුනේ'

'ඒක අමූලික බොරුවක්'

'වෙන්න බෑ... පත්තර වල බොරු දාන්නේ නැහැනේ'

'ඒක ඇත්තද බොරුද කියලා තමුසෙට වඩා හොඳට අපි දන්නවා.'

එක් හෙදියක් ඉන්ජෙක්සන් කටුවක් ද රැගෙන මා ඉදිරියට පැන්නාය. ක්ෂණයකින් ඇය වෙත හෙලන ලද ප්‍රේමාන්විත බැල්මකින් ඇය වසඟ කරගත් මම මේ පිළිබඳව තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කළෙමි.

'හොඳයි මේ අතරුදහන් වීමට හේතුව මොකක්ද කියල කියන්න පුළුවන්ද?'

'පුළුවන්... පුළුවන්... පුළුවන්...' හෙදියන් සියලු දෙනාම එක හඬින් කෑගසන්නට වූහ.

'ඉතින් කියන්නකො අනේ... මට යන්න පරක්කු වෙනව.'

'කිව්වොත් මට මොනවද දෙන්නේ...' මෙතෙක් වෙලා මගේ ඇකයෙහි උන් හෙදිය මගේ නිකටෙන් අල්ලා සොලවමින් ඇසුවාය.

'ඔයා ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නම්.' දෙන්න තරම් දෙයක් මා ළඟ නැති නිසා මම නිර්භයවම කීවෙමි.

"අපිට අවුරුදු පහක් යනකම් බඳින්න තහනම්." මගේ ඇකයෙහි සිටි හෙදිය කඳුළු සලන්නට වූවාය.

'නෑ...! මම විමතිය පළ කළෙමි.'

'ඔව් අනේ'

"බරපතල අසාධාරණයක් නේ. මේ නීතිය නැතිකරන්න ඕනෑ... මං ඒක නැති කරනවා කරනවාමයි."

ප්‍රීතිය දරාගත නොහැකිව එක් හෙදියක් මගේ කරට පැන ගත්තාය.

'මට පත්වීම ලැබෙන කොට අවුරුදු තිස් පහයි. තව අවුරුදු පහක් යනකොට මං නාකි වෙනවා. ඔයාට බැරිද අනේ මේ දුකින් මාව බොර ගන්න.'

'ඔයා විතරක් නෙවෙයි. මං ඔයාලා ඔක්කොම මේ කරදරෙන් නිදහස් කරනවා.'

හෙදියන් සියලු දෙනාම මා බිම පෙරළා ගෙන ජය ඝෝෂා කරන්නට පටන් ගත්හ.

'ඉතින් ඔයාලගෙන් තුන්සිය ගාණක් නැති වෙන්න හේතුව ඕකද?'

'ඔව් අනේ, ලෙ‌ඩෙක් සනීප වෙලා යනකොට අපේ එක්කෙනක් එක්ක යනවා.'

'ඒකත් නැති කරන්න ඕනෑ.' මම කීවෙමි.

'එපා අනේ.' කරුණාවෙන් උතුරන සිතක් ඇත්තියක් මට ටොක්කක් ඇන්නාය.

'හොඳයි කසාද බැඳපු නැති පිරිමි රෝහල් වල නතර කිරීම තහනම් කෙරුවාම ඔයාලගෙන් කවුරුවත් අතුරුදහන් වෙන්නේ නැහැනේ.'

'තෝ හදන්නේ අපේ කටේ පස් දාන්නද යකෝ.' හෙදියන් සියලු දෙනාම මා වට කරගෙන තඩි බාන්නට පටන් ගත්හ. මම පණ බේරාගෙන දිව්වෙමි. ආපසු හැරී බැලුවේ එක හුස්මට කිලෝ මීටර් පහක් දුවගෙන ඇවිත්ය.

'දෙවියන්ට ස්තූති වේවා.' හෙදියන් එක්කෙනෙක්වත් පෙනෙන්නට නැත. මට පියවි සිහිය ආවේ දැන්ය.

'ඔයාට මහන්සිද ඩාලිං...?'

'දෙයියෝ සාක්කි.' මා මෙපමණ දුරක් දුවගෙන ඇවිත් තියෙන්නේ මගේ කර උඩ සිටි හෙදියත් සමගය. ඉතා අමාරුවෙන් ඈ බිමට බස්සවා ගත් මම කරගත් ගොන්කම ගැන ළතැවෙමින් ඈ සමග ගෙදර ආවෙමි. අත් වැරැද්දකින් සිදු වූවත් තවත් හෙදියක් අතුරුදහන් වීමේ පුවත හෙට පත්තර වල පළවනු ඇත. එනිසා මා කෙරෙහි අනුකම්පාවෙන් හෙට පත්තර ගැනීමෙන් වලකින මෙන් මෙය කියවන සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිමි.



මීට පෙර පළ කළ කොටස්...

1. පවුල්කාරයන්ගේ අවුරුදු උත්සවය

2. බඩු පෙට්ටියක කොළඹට ගමනක්

3. කොස් මස් යානය ආච්චිගෙ කොන්දට

4. කරලැයින් ආච්චි සමග බැල්කනියේ

5. පොහොය දා ආච්චි සමග සිල් ගනී.

Wednesday, November 5, 2025

පසළොස්වක පොහොයදා ආච්චි සමඟ සිල් ගනී

කරලැයින් ආච්චි සමග චිත්‍රපටියක් බැලීමට ගිය කතාවේ මුලින් සඳහන් කර ඇති සිල් ගැනීමේ කතාව, සුනන්ද කෝදාගොඩ ගේ විනෝද රසාංග පොතෙන් උපුටාගෙන පසළොස්වක පොහොය දින පළ කිරීම සුදුසු බව සිතුවෙමි...

"නැගිටපන්"

පසළොස්වක පොහෝදා හිමිදිරි පාන්දර කොඳු නාරටිය තුනට හතරට නමාගෙන කුම්භකර්ණ සෙයියාවෙන් නිද්‍රෝපගතව සිටි මට ආත්තම්මාගෙන් හැරමිටි පාරක් වැදුණි.

"මට බැහැ"

අනපේක්ෂිත අයුරින් ලද ඒ හැරමිටි පහරින් මුචලින්ද නාගරාජයා මෙන් කිපුණු මම අනෙක් ඇලයට හැරී නැවතත් නින්දට වැටුනෙමි.

"නැගිටපන් යකෝ... උඹ සිල් ගන්න යන්නේ නැද්ද...?"

හතර පෝයටම සිල් ගන්නා අපේ ආච්චි මාවද සිල් ගැනීමට එකතු කරගෙන යාමට නොගත් උත්සාහයක් නැත. එහෙත් මම ඒ හැම වාරයකම කට්ටි පැන ඇගෙන් බේරුනේ ගැහැණු ළමයෙකුගේ ග්‍රහණයෙන් බේරෙන තරුණ කොලු ගැටයෙකු මෙන්ය.

මෙදා සැරේ නම් ඇගෙන් ගැලවීමක් නැත. ඊයේ උදේ සිට මට කිසිම ආහාරයක් නොදී නිරාහාරව තැබූ ඇය මා මීමින්නෙකු සේ පොළොව බදාගෙන ඇඬූ පසු රාත්‍රී කෑම වේල පවා දුන්නේ මෙම පෝයදා සිල් ගැනීමට යන බවට මා පොරොන්දු කර ගැනීමෙන් පසුවය. සිල් ගැනීමට වඩා දැන් මට ඕනෑ කරන්නේ නිදා ගැනීමයි.

"මට බැහැ සිල් ගන්න යන්න..."

"නිදි කුම්භයා...! මෝඩයා...! බූරුවා... වසවර්තියා...!"

"මතක නැද්ද ඊයේ රෑ කිව්වා අද උදේ සිල් ගන්න එනව කියල" ආච්චි කනෙන් අල්ලා මා පැදුරෙන් නැගිට්ටෙව්වාය.

"ඒ වුනාට දැන් මට බැහැ..." මම උට්ඨාන වීර්යයෙන් යුක්තව නැවතත් පැදුරේ ඇලවුනෙමි. 

උපන්දා සිට අද වනතුරු මා සිල් අරගෙන නැත. නොදන්නා දෙමළෙට ගොස් වරිගේ නහගන්නවාට වඩා දන්නා සිංහලෙන් නිදා ගැනීම යහපත්ය. ගමරාළ හා හා පුරා කියා සිල් ගැනීමට ගොස් සිදුවූ අකරතැබ්බය මා ඉස්කෝලේ යන කාලයේ අසා ඇත.

ආච්චි හදන්නේ ගහ දන්නා මට කොළ කඩා පෑමටය. ඇය කොතෙක් හිරිහැර කළත් අද නම් මම සිල් ගන්නට යන්නේම නැත.

"නැගිටපන් කාළකණ්ණියා... දැන් මට පරක්කු වෙනවා. බලපන් අද කොච්චර හොඳ දවසක්ද...?"

අද පසළොස්වක පෝය. බෞද්ධයෙකුට තියෙන වැදගත්ම දවස..." ආච්චි මා සම්‍යක්දෘෂ්ටිකයෙකු කිරීමට උත්සාහ කරයි.

"මට බැහැ...! මට බැහැ...! මට බැහැ...!" දෝමනස්ස සහගත පටිඝසම්පයුක්ත චිත්තයෙන් නැගිටගත් මම පොළොවේ අඩි හප්පා කෑ ගැසුවෙමි. වසවර්ති මාරයා දුටු කලෙක මෙන් ආච්චී කිලෝ ග්‍රෑමයක් පස්සට පැන්නාය.

"හෙමින් කතා කරපන් ළමයෝ..." සෝමනස්ස සහගත ඥානසම්පයුක්ත චිත්තයෙන් ආච්චි මගේ ඔලුව අත ගෑවාය.

"බලපන් අර අල්ලපු ගෙදර සීලවතී ළමයත් අද සිල් ගන්නව. ගමේ ගැහැණු ළමයි ඔක්කොම අද පන්සලේ" අහෝ දෙවියනි; උතුම් වූ පසළොස්වක පොහොය දවසේ සිදුවන්නට යන දුර්භාගයයක මහත! ගමේ ගැහැණු ළමයින් සියලු දෙනාම අද පන්සල ආක්‍රමණය කරන්නේ නම් මා මෙසේ වකුටු වී නිදා ගැනීමෙන් කුමණ ප්‍රයෝජනයක්ද? අල්ලපු ගෙදර සීලවතී නංගී අද සිල් ගන්නේ නම්, අපායට ගියත් මමත් සිල් ගත යුතුය.

"යං ආච්චි යං..." ඇස් දෙක පිහදා කබ කඩාගත් මම සිල් රෙදි පොරවාගෙන සම්මා සංකල්පයෙන් යුක්තව ආච්චි සමග ඉස්සර වුනෙමි.

සීලවතී නංගිට පින්සිදු වන්නට මමද පන්සලට පැමිණියෙමි. අද පන්සලට නොපැමිණියේ නම් මා ජීවිතයේ කර ගන්නා ලද ලොකුම ගොන්කම එය වන්නට ඉඩ තිබුණි. තුන්සිය හැටපස් දවසේම බොරු කියා මා රවටන ආච්චි අද මෙම පොහොය දවසේ කියා ඇත්තේ පරම සත්‍යයකි. ගමේ ගැහැණු ළමයින් පන්සල ආක්‍රමණය කර ඇත.

පොලිස් කාරයෙක් හොර අරක්කු තිප්පලක් සොයාගන්නාක් මෙන් මම සෙනඟ පීරා ගෙන ගොස් සීලවතී නංගී සොයා ගත්තෙමි. ආච්චිද හැරමිටි වාරුවෙන් එන මාර දිව්‍ය පුත්‍රයෙකු මෙන් මා පසුපස පැමිණියාය.

"අපි මල් ගෙනාවෙ නැහැ නේද ආච්චියේ..." සීලවතී නංගී අත තිබුණු මල් වට්ටියට පෙරේත බැල්මක් හෙලූ මම තව ටිකක් ඈට ළංවුනෙමි.

"ඇත්තමයි; මල් ටිකක් ගේන්න අමතක උනානේ..." දැන් මාගේ සම්මා ආජීවය කෙරෙහි ආච්චි පැහැදීමකින් සිටී.

"මල් ටිකක් දෙන්නද...?" සංගීත ප්‍රසංගයකදී ඇහෙන ඉමිහිරි සංගීත රාවයක් බඳු සීලවතී නංගිගේ කටහඬ කන් දෙක පසා කරගෙන ගොස් හද පතුලටම කිඳා බැස්සේය. පාද යුග්මය 'සට - සට' යන අනුකරණයෙන් වෙව්ලා ගිය නමුදු මම උට්ඨාන වීර්යයෙන් යුක්තව අනිමිසලෝචන පූජාවෙහි යෙදුනෙමි.

"මල් නැතුවට කමක් නැහැ. යමං සිල් ගන්න..." ආච්චි මට හැරමිටියෙන් ඇන්නාය.

"කමක් නැහැ ආච්චි අම්මේ; මල් ටිකක් අරගෙන යමු. පව්නේ පසළොස්වක පෝය දවසේ මල් නැතිව බුදුන් වඳින එක" හැරමිටි පාරද කාගෙන මම ඇයට අත පෑවෙමි. ඇය මල් අහුරක් මා අතේ තැබුවාය. මම මල් ටිකක් ගන්නා ගමන් ඇගේ ඇඟිල්ලක් ද මිරිකුවෙමි. ආච්චි තරහෙන් පුපුරමින් නවගුණවැල අතට ගත්තාය.

"පරක්කු වෙලා නේද ආවේ...?" ඒබරන් සීයා ආච්චිගේ කනට කර ඇසුවේය.

"ඔව් ටිකක් පරක්කු වුණා" ආච්චි නවගුණවැලේ ඇටයක් පහතට දැම්මාය. "ඊයේ රෑ ගබං ලොක්කගේ දුව පැනල ගිහින්ලුනේ...?"

"ඒක නේන්නම්. අබුද්දස්සකාලෙට වෙන වැඩ. අර වසවර්තිය ඒ කෙලීව රවට්ට ගන්න ඇති. නොදකින් වනචර හැත්ත."

"ඒ හාදය බැඳපු එකෙක් නේද?"

"බැඳල ළමයි දෙන්නෙකුත් ඉන්නවලු."

"අනේ අනිච්චං සංසාරේ" ආච්චිත් සීයත් මෙලොව සිහියක් නොමැතිව සතර සතිපට්ඨානය කියවන අතරේ මම සීලවතී නංගී සමග බුදුන් වැඳ සම්‍යක් වචනයෙහි යෙදුනෙමි.

"ඔයා හැමදාම සිල් ගන්නවද...?" මම ඇයට ළං වී ඇසුවෙමි.

"නෑ පෝයට විතරයි... ඔයා?"

"මම ඉස්සෙල්ලාම අද තමයි සිල් ගන්න ආවේ."

"මීට පස්සේ හැමදාම සිල් ගන්න එනවද...?"

"ඔයා එනවනම් එන්නම්..."

සතිපට්ඨානය කියවීම මඳකට නැවැත්තූ කරලැයින් ආච්චි අප අතරින් හැරමිටිය තිව්වේ සිල් කවලන් වෙන නිසා වෙන්නට ඇත. එහෙත් ඒ හැරමිටියට තබා වසවර්ති මාරයාටවත් අද අපගේ සීලයට බාධා කළ නොහැක.

"අල පන්සීයක් කීයද... රුපියල් හතයි.

"රතුලූණු තිහයි."

"නොදකින් කාලකන්නි කලුකඩකාරයො තමයි රට කන්නේ... මුන්ට හෙණවත් පහත් වෙන්නේ නැහැනේ"

ආච්චි අම්මලා ටික එකතුවී ගජරාමෙට කර්මස්ථාන කියවති. සීලවතීත්, මමත්, ඊට වඩා වැදගත් නවීන පන්නයේ ආදර භාවනාවක යෙදුනෙමු.

"යමං ගෙදර..."

භාවනාව අවසන් කළ ආත්තම්මා මට හැරමිටි පාරක් ගැසුවාය. සීලවතීගේ අත අතහැර මම නවගුණවැල අතට ගත්තෙමි.

"මට බෑ... මං හෙටත් සිල් ගන්නවා..."

"ඔහොමද යකෝ සිල් ගන්නේ...?" ආච්චි සීලවතී දෙස රවා බැලුවාය.

"කෙළෙස් මාරයෝ හැම තැනම. කොල්ලෙකුට පන්සලටවත් එන්න විධියක් නෑ...

යමං ගෙදර...!" ආච්චි මගේ අතින් ඇද්දය.

මම නාහෙන් අඬන්නට පටන් ගත්තෙමි.

"ඔන්න ඔහේ හිටපුවාවේ. සිල් ගත්තත් කොල්ලො කෙල්ලොනේ... අපිත් තව ටිකක් වෙලා භාවනා කරමු..." ඒබරං සීයා ආච්චිගේ අතින් අල්ලාගෙන ධර්ම ශාලාවේ කෙළවරට ගියේය. 

අපි ආච්චිටත් හොරෙන් බෝමලුවට ගොස් අලුත් භාවනාවක් පටන් ගත්තෙමු.

"අට්ඨි... මස්මිං... කායේ... කේසා..." කරලැයින් ආච්චිත්, ඒබරං සීයත් භාවනා කරන හඩ අපට ඇසේ.

"ඔයා මට ආදරේද...?" සීලවතීගේ කරේ තිබුණු නවගුණවැල ගලවා මම ඒ වෙනුවට මගේ අත ඇගේ කරවටා දැමුවෙමි.

"ඔව්..." සීලවතී නවගුණවැල වෙනුවට මගේ අතේ ඇඟිලි, ඇටපුරුක් ගැන්නාය.

"ඇයි ඔයා සිල් ගන්න ආවේ...?"

"ඔයා එන බව දැනගත්තු හින්දා..."

"කොහොමද දන්නේ මම එන බව...?"

"ආච්චි කීවා මාත් එක්ක. ඔයත් අද සිල් ගන්නව කියලා..."

"හෙටත් එනවද සිල් ගන්න..."

"හෙට පෝයක් නැහැනේ...?"

"පෝයක් නැතිවුනාට කමක් නැහැ අපි සිල් ගමු..."

"අපෝ එතකොට හොඳ නැහැ. අනිත් අය සැක හිතයිනේ. අපි දෙන්න විතරක් සිල් අරගෙන ඉන්නකොට."

"ඇයි ඔයා බයද?"

"ම්... හු..." ඇය ඔලුව වැනුවාය.

"කෝ... කෝ... මේ වසවර්තියා..." ආච්චිත්, ඒබරං සීයාත් භාවනාව අවසන් කොට අප සොයන්නට පටන් ගෙන ඇත.

"රහත් වුනාද දන්නෙ නැහැ. නවගුණවැලත් අතේ තියාගෙන නේද හිටියේ"

ඒබරං සීයා පුදුමයෙන් වටපිට බලයි.

"රහත් වෙලා තියෙන්නෙ අරකිත් එක්ක..." ආච්චි දත්මිටි කමින් පිළිකුල් භාවනාවේ යෙදෙයි.

"අර ඉන්නේ... අර ඉන්නේ..." ඒබරං සීයා අප දුටුවේය.

"වසවර්තියා...! කාලකණ්ණියා...! දේවදත්තයා, හිටු තොට මං..."

ආච්චි හැරමිටියද උස්සාගෙන දුවගෙන එන්නේ මෛත්‍රී භාවනාවද කණපිට පෙරලාගෙනය.

එනපොට එතරම් හොඳ නැත. සීලවතී‌ගේ අත අල්ලාගත් මම උට්ඨාන වීර්යයෙන් හා සතර සම්‍යක් ප්‍රධාන චිත්තයෙන් දුවන්නට පටන් ගත්තෙමි. ආච්චිත් ඒබරං සීයාත් අප ලුහුබඳිමින් සිටී.

"මට නම් දැන් ගෙදර යන්න බෑ. ගෙදර ගියොත් ආච්චි මාව මරාවි..."

මම හති ලමින් නැවතුනෙමි.

"එහෙනං යං අපේ ගෙදර..." සීලවතී නංගී මගේ අතින් ඇදගෙන නැවතත් දුවන්නට පටන් ගත්තාතා. මම සීලවතී සමග ඇගේ ගෙදරට රිංගා ගත්තෙමි. ඉතින් නම් මට ගෙදර යාමට ලැබෙන්නේ නැත. කවදා හෝ මා ගෙදර එන බව දන්නා කරලැයිං ආච්චි හැරමිටිය ද උස්සාගෙන මඟ බලා සිටිනු ඇත. හැරමිටි පූජාවේ බරපතලකම දන්නා මම සීලවතීගේ ගෙදරම නැවතුනෙමි.

පසළොස්වක පොහොය දවසේ සිල් ගැනීමෙන් මා කර ගන්නා ලද කුසල කර්මයේ විපාක දිට්ඨධම්මවේදනීය වශයෙන් ලැබෙ අපරාපරිය වේදනීය ත්ත්ත්වයටද පැමිණ ඇත. ආච්චි තියා මහා බ්‍රහ්මයා ඇවිත් කතා කළත්, ඉතින් නම් මා සිල් ගන්නට යන්නේ නැත.

Saturday, November 1, 2025

ශනිදා දහය වෙනුවෙන් - රා සහ තවත් කතා


පහුගිය සතියේ අපේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට මහනුවර ගිහිං එන අතරේ, මගෙ විමර්ශන නිලධාරි ජනක කියපු කතා ටිකක් මේ.

ජනකගෙ ගමේ උන්නා එක්තරා මාමෙක්. එයා දවසක් නිකං කට්ටිය එක්ක කතා කර කර ඉන්න කොට කියනවා, 

"අපේ වත්තෙ කැපුව නෙව මලක්. (ඒ කියන්නෙ කිතුල් මලක්) ඒකෙ දවසක් දෙකක් තමයි හැර දිගේ නැගල මල කැපුවෙ. ඊට පස්සෙ එක සීරුවට ටැප් එක ඇරියා වගේ ගලන්න ගත්ත නෙව තෙලිදිය.

"ඉතිං මං මොකද කළේ, පුනීලෙයයි රබර් හෝස් එකයි අරං නැග්ගා හැර දිගේ. නැගල හිටං මල එබුවා පුනීලෙට. ඒකෙ අගට හෝස් එක ගහලා, පහළට බැහැලා, අර හෝස් එකේ අනික් අග කෙලිම්ම ගත්තා ලිප උඩ තියෙන තාච්චියට.

"ඇස්වහක් නෑ, ආයෙ සති ගාණක් යනකං එක දිගට පැණි උණුකරන්ට සිද්ධ උනා අපෙ ගෙදර උන්දැට."

තව දවසක් උන්දැට ම වෙච්ච වැඩක් මේ.

උන්දැගෙ ගෙදර කිරි හරක් ඇති කළා. දවස ගානෙ උදෙම් ම මුන්දැ කිරි බෝතල් ගෙනිහිං විකුණනව ගෙවල්වලට. දවසක් මේ එක කිරි බෝතලේක ඉස් ගෙඩියෙක් ඉඳලා. ඊ ළඟ දවසෙ අර ගෙදර උදවිය මෙයාගෙන් ඇහුව ඒ ගැන.

"ඈ...! ඉස්ගෙඩියෙක් හිටියා? ආ ඒක තමයි. අපේ වැස්සි පහළ ඇලෙං වතුර බීල නෙ ඔය. ඒ ඇලේ ඉස්ගෙඩියො වකාරෙ." කිව්ව මුන්දැත් ඇඟට නොදැනී.

ඔය කතා ගැන මායි මගෙ මාතලියයි කිව්ව, මගෙ හිටපු සීසී ඩයස් මහත්තෙයට. මාතලියා කියන විදිහට සීසී කියන කෙටි යෙදුමේ තේරුම, කපටි ක්ලාක් කියන එකයි. ඒ ගමන ඩයස් මහත්තෙය කියනව, උන්දැත් උපදෙස් දුන්නලු දවසක් මල් කපන මාමෙකුට, කිතුල් මලට කෙලිම්ම බට ලයින් එකක් ගහල ලිප ළඟට ඇදල ගන්ඩ කියලා. එතකොට හැම දාම ගස් නගින්න වෙන්නෙ නෑ කියලා.

"ඒක හරි කියමුකො. හැම දාම උදේට මල හෝදන්ඩ එපැයි. ඒකට ගහට නගින්ට වෙනවනෙ." කියල අර මාම කිව්ව ම, ඩයස් කිව්වලු, 

"ඒකට තව බට ලයින් එකක් ගහමු" කියල.

අපේ තාත්තා ඉන්න කාලෙ, අපේ වත්තෙ පොල් රා මදින්න අතුරක් බැන්දා. ගම්පොළ පැත්තෙන් ආව කට්ටියක් අපේ ගස් විස්සක් බද්දට අරගෙන තමයි මේ අතුර බැන්දෙ.

පස්සෙ අතුරු තහනම් නියෝගයක් ඇවිත් ඒක අයින් කරගන්ඩ සිද්ධ වුණා.

ඔය අතුර ට පොල් ගස් විස්සක් අපේ එක ඉඩමක තිබුණෙ නෑ. ඉතින් තාත්ලගෙ මහගෙදර වත්ත පුරා ම මේ අතුර දිගට බඳින්න වුණා. ඔය පොල් මල් තලන රා මාමා, අතුරට නගින්නෙ අපේ ගේ ගාව ගහකිං. ඊට පස්සෙ අතුර දිගේ ගිහිං ගිහිං අන්තිමේ විසි වෙනි ගහෙන් බහින්නෙ අපේ බාප්පගෙ ගේ ළඟින්. (ඔව් ඔව් අර ගජබිං බාප්ප තමා.)

ඔය රා මාමා හැමදා ම උදේ තමයි රා බාන්නෙ. හැමදාම හවසටත් අතුරට නැගලා හැම මලක් ම තලාගෙන තලාගෙන යනවා. ඒ ගමං ඔය හැම මලක ම එකතු වෙච්ච රා මුට්ටියකට අරගෙන, අන්තිම ගහේ එල්ලලා බහිනවා, රෑ තිස්සෙ පැහෙන්ඩ.

දවසක් රා මාමා එන්ඩ කලිං අන්තිම ගහේ නැගපු අපේ බාප්පා, අර රා මුට්ටියට ෂොට් එක දීලා, රා මාමා එනකොට කියනවලු, "ඊයෙ රෑ උගුඩුවො ඇවිත් මේ ගහේ දඟලනවා දඟලනවා ඉවරයක් නෑ. මයෙ හිතේ රා මුට්ටිය ම බීල වගේ."

 

මේ අපේ සුරංග මල්ලි සා ගැන ලියපු පෝස්ටුව.

වැඩිපුර බලපු ලිපි