Showing posts with label දේශපාලනය. Show all posts
Showing posts with label දේශපාලනය. Show all posts

Saturday, November 22, 2025

යුද්දේ...



එක ජාතියක් ඉහළිනුත්, තව එකක් පහළිනුත්

තියන දර්ශනය

අන්තිමේ දී සහ සම්පූර්ණයෙන් ම අර්ථ දක්වා, අත්හැර දමන තුරු

හැම තැන ම යුද්දේ, මං කියන්නෙ යුද්දේ...


තවදුරටත් හැම ජාතියක ම 

පළමු පංතියක් සහ දෙවෙනි පංතියක් නැති වෙන තුරු

මිනිසුන්ගේ හමේ පැහැය

ඔහුගේ ඇසේ පැහැය වගේ ම සැළකිලිමත් විය යුතු නැති දෙයක් වන තුරු

මං කියන්නෙ, යුද්දේ...


මූලික මිනිස් අයිතිවාසිකම් සමානව

ජාතිය ගැන නොවිමසා හැමෝට ම ලබා දෙන තුරු, 

යුද්දේ...


ඒ දවස උදා වන තුරු,

සදාකාලික සාමය ගැන, ගෝලීය පුරවැසිභාවය ගැන,

ජාත්‍යන්තර සදාචාරයක පාලනය ගැන සිහිනය

ළුහුබැඳ යා යුතු ව, නමුත් කවදාවත් ලබා ගන්න බැරි...

තාවකාලික මායාවක් හැටියට පවතින 

දැන් හැමතැන ම යුද්දේ, යුද්දේ.


විවිධ රටවල අපේ සහෝදරයන් 

අමානුෂික බන්ධනයෙන් පාලනය කරන

අනාර්ය සහ නොසතුටු රාජ්‍ය පාලනයන්

පෙරළා දමා, මුළුමනින් ම විනාශ කරන තුරු

හැම තැන ම යුද්දේ, මං කියන්නෙ යුද්දේ...


නැගෙනහිරත් යුද්දේ, බටහිරත් යුද්දේ

උතුරෙත් යුද්දේ, දකුණෙත් යුද්දේ

යුද්දේ, යුද්දේ, යුද්ධය ගැන කට කතා.


ඒ දිනය වෙන තුරු, මහ පොළොව

සාමය ගැන නොදැන සිටිනු ඇත, අපි සටන් කරාවි

එය අත්‍යවශ්‍ය බව අපට දැනේ වි, අපි දිනන බව අපි දනීවි

අපට ජයග්‍රහණය ගැන නිසැක නිසා.


හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි. 

*    *    *

බොබ් මාලේ ගේ WAR ගීතය ඇසුරින් දළ පරිවර්තනයක්... 


මේකෙ අදහස හිතට වැදුණේ පහත ෆේස්බුක් සටහන කියවීමට ලැබීමෙන්.

https://www.facebook.com/share/p/16QfVMzQ2b/



Sunday, September 8, 2024

ඡන්ද ආශ්‍රිත විහිලු කතා


මේ දවස්වල ඡන්ද උණුසුමත් එක්ක වෙන මොනවත් ලියන්න බැරි තත්ත්වයක් තිබේ. ඒත් අපට දේශපාලන මතවාද ගැන ප්‍රසිද්ධියේ අදහස් පළ කරන්න තහනම් නිසා, සීමාව තුළ ඉඳගෙන ලියන්න හැකියාව ඇත්තේ, පොඩි පොඩි කතා ටිකක් විතරකි. එයින් මුලින් ම මට මතක් වෙන්නේ අසූ ගණංවල මුල භාගයේ තිබුණු ලංකාවේ පළවෙනි ජනාධිපතිවරණයයි. ඒ 1982 දී ය. මට මතක එක ම සිදුවීම නම්, අපේ නාන ළිඳ ළඟ දී අපේ මහප්පා, (උග්‍ර යූඇන්පී කාරයෙකි...) "කොබ්බෑකඩුවගෙ ඡන්දෙත් හොරට දාලලු නේ?" යි හිනා වෙමින් කියූ හැටි ය.

මට මතක ඇති කාලයක ඉඳං අපේ තාත්තා මුල් කොටගෙන අපේ මුළු පවුල ම, පවතින ආණ්ඩුවට විරුද්ධ පැත්තේ ය. මට මතක මුල් ම කාලයේ, අපි ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව පිළිකුල් කළෙමු. අම්මා කියන හැටියට, ඊට කලින් පැවති මැතිණිගෙ ආණ්ඩුව ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණු අපේ තාත්තා, ජේ ආර් විසින් ආර්ථිකය විවෘත කළාට පසු, "අපේ ඡන්දෙන් තොපිත් කාපියව්" යි කඩමණ්ඩියේ දී මහ හඬින් කියා තිබුණි.

1989 තිබූ ජනාධිපතිවරණයේ දී යූඇන්පී ආණ්ඩුවට එරෙහි ව ඡන්දය ප්‍රකාශකිරීමට අවස්ථාව ලැබීමෙන් උද්දාමයට පත් වූ අපේ ගමේ ශ්‍රී ලංකා කාරයන් ඡන්දය දා හවස ගමේ මහ පාර දිගේ පෙළපාලියක් ද ගියෝ ය.

1994 දී බහුතරයගේ ආශීර්වාදයෙන් පළාත් සභා මැතිවරණය සහ පාර්ලිමේන්තු මහ මැතිවරණය දිනමින් ඉතා වේගවත් ගමනක් ගිය චන්ද්‍රිකා මැතිණිය, වූවත් අපේ පවුලේ අප්‍රසාදයට ලක් වීමට වැඩි කාලයක් ගත වුණේ නැත.

ලංකාවේ මා දන්නා දේශපාලනික ඉතිහාසය ඔය විදිහ ය. එතනින් ඉදිරියට යමක් කීමට මගේ වෘත්තීමය සීමාවන් අනුව මේ අවස්ථාවේ දී බැරි ය. පහතින් මා ලියන්නේ මාතෘකාවේ හැටියට ම මා අසා ඇති ඡන්ද හා දේශපාලනය පසුබිම් කරගත් කතා ටිකකි...


පළවෙනි කතාව මම ඇහුවේ අරේ සහ මරේ නම් සීයලාගේ රේඩියෝ වැඩසටහනෙනි.

කොල්ලෙක් බයිසිකලෙන් ඇවිත් බැහැලා, දේශපාලන පක්ෂ මැතිවරණ කාර්යාලයක් ළඟ. ඇහුවලු, 

"චණ්ඩි ඉන්නව ද?" කියලා.

ඇහැට ඇඟිල්ලෙන් අණින ‌තුරු බලාගෙන හිටියා වගේ, දහ දෙනෙක් විතර එළියට පැනලා, අර කොල්ලට වැලේ වැල් නැතිව යන්ඩ තඩි බෑවලු.

පැයක් විතර උඩ දාගෙන ගහලා ගහලා, අන්ති‍මේ කට්ටිය හති දාන්ඩ ගත්තට පස්සෙ අර කොල්ල කිව්වලු, 

"අනේ අයියෙ... මේ ගෙදර උන්නා චන්දි කියල ගෑල්ලමයෙක්. මං මේ එයා ඉන්නව ද කියල ඇහුවෙ." කියලා.

ඒක කිව්වම සමාන කතාවක් මතක් වුණා...

දවසක් පිස්සංකොටුවෙ හිටපු සුපුං කියල එකෙක් තාප්පෙන් පැනලා ගමට ගිහිං ගමේ එකෙකුට ගහල ආපහු ඇවිත්.

පහුවදා, ගමේ ම ඉන්න කොල්ලො සෙට් එක ආවලු පිස්සං කොටුවට. ඇවිත් සුපුං ව හොයනවලු. අන්තිමේ  "මං තමයි සුපුං" කියල එකෙක් පිළිගත්තලු. ඉතිං අර කොල්ලො සෙට් එක අරූට වඩාගෙන ගැහුවලු කුඩු සම්බෝල වෙන්ඩ. ගහල ගහල අරුං සෙට් එක යන්ඩ යනකොට, ගුටිකාපු එකා කියනවලු...

"අඩෝ! හූ! මං සුපුං නෙමෙයි, ප්‍රසක්ඥ" කියල.

අඹගෙඩියක් වගේ රටක ජනාධිපති කෙනෙක් වරක් ඔස්ට්‍රියාවට සංචාරයක් ගියා. එහෙ එයා‌පෝට් එකේ දි එයාව පිළිගත්තෙ ඔස්ට්‍රියාවෙ අගමැති. ඉතිං අඹගෙඩි ජනාධිපති එයාගෙ කස්ටිය අඳුන්වලා දුන්නා, 

"මේ අපේ ආර්ථික සංවර්ධන ඇමති, අධ්‍යාපන ඇමති, විද්‍යා හා තාක්ෂණ ඇමති, නීතිය හා සාමය පිළිබඳ ඇමති..."

ඉතිං ඔස්ට්‍රියාවෙ අගමැතිත් එයා එක්ක හිටපු පිරිස අඳුන්වලා දුන්නා...

"මේ අපේ ආර්ථික කටයුතු ඇමති, අධ්‍යාපන ඇමති, අධිකරණ ඇමති, වරාය සහ නාවුක කටයුතු ඇමති."

ඒක කියනකොට අර අඹ රටේ ජනාධිපතිට හිනා. ඔස්ට්‍රියාවෙ අගමැති ඇහුව ඇයි හිනා වෙන්නෙ කියලා.

"බොලාට මුහුදු තීරයක් තියෙනවයැ? හතර වටින් ම ගොඩබිමින් වට වෙච්ච රටක්නෙ ඔස්ට්‍රියාව. ඉතිං වරාය හා නාවුක කටයුතු ඇමති කියල කිව්වම මට හිනා ගියා." අඹ ජනාධිපති කිව්වා. ඒ ගමන ඔස්ට්‍රියාවෙ අගමැති අප්සට් එකේ අහනව...

"ඉතිං මම හිනා වුණායැ ඔයාලගෙ අධ්‍යාපන ඇමති, ආර්ථික සංවර්ධන ඇමති, නීතිය හා සාමය පිළිබඳ ඇමති, විද්‍යා හා තාක්ෂණ ඇමති කියල කියනකොට? හරි නං මං හතර ගුණයක් හිනා වෙන්ඩ එපැයි..."

ඔය අඹගෙඩි රටේ ජනාධිපති කෙනෙක් වරක් ඊශ්‍රායෙල් ගිහිං, එහෙ දි මළා. ඊශ්‍රායෙල් රජයෙන් ඇහුවා, අපි මෙතුම ව මෙහෙ මිහිදන් කරන්නං කියලා. නමුත් අඹ රටේ කට්ටිය ඒකට කැමති වුණේ නෑ. ඒකට හේතුව හැටියට කිව්වෙ,

"එක සැරයක් ඔයාලගෙ රටේ කුරුසෙට තියල ඇණ ගහල මරපු කෙනෙක්, වළලලා, දවස් තුනකින් ආපහු නැගිට්ටා. අපට බෑ ඒ වගේ රිස්ක් එකක් ගන්න. ඒ නිසා අපි මෙතුමගෙ මෘත දේහය ගෙනිහිං අපේ රටට, රාජ්‍ය ගෞරව ඇතුව ආදාහණය කරනව."

දවසක් අඹගෙඩිය වගේ රටේ මනුස්සයෙක්, "බලු ආණ්ඩුව" කියල බැණල... එදා රෑම ඌව උස්සලා ගෙනිහිං ප්‍රශ්න කළාලු, නිල නොලත් පොලිසිය විසින්...

එතන දි අරූ කිව්වලු, "මං බලු ආණ්ඩුව කිව්වෙ මේ රටේ ආණ්ඩුව ගැන නෙමෙයි, වෙන රටක ආණ්ඩුවක් ගැන" කියල. 

ඒ වුණාට නිල නොලත් පොලිස් කාරයන්ගෙ නායකය, රැවටුනේ නෑලු.

"තෝ කෙහෙ ද බොල මාව තම්බන්නෙ?" පොර ඇහුවලු කේන්තියෙන්... "වෙන කොයි රටේ ද බොල බලු ආණ්ඩුවක් තියෙන්නෙ?"

ඒ කිව්ව ම තව කතාවක් මතක් වුණා. 

දවසක් හිටපු ජනාධිපති කෙනෙක්ට "පිස්සා" කියල. (ඔව්. අර අඹගෙඩි රටේ තමයි) ඒ මනුස්සයට විරුද්ධව නඩුවක් විභාග කළා ලු. අන්තිමේ නඩු කාරය තීන්දුව ප්‍රකාශ කරද්දි කිව්වලු, "යුෂ්මතාට විරුද්ධව තියෙන චෝදනා දෙක ම ඔප්පු වුණා. එකක් තමයි රටේ ජනාධිපති ට අපහාස කිරීම. අනික තමයි, රටේ වැදගත් රාජ්‍ය රහසක් ප්‍රසිද්ධියේ හෙළි කිරීම." කියලා

තව කතාවක් කියන්ඩ ද? එපා? හා එහෙනං යන්නං. කියවලා කමෙන්ටුවක් දානවනං, වෙරි නයිස්...!

Thursday, May 12, 2022

කෘමියෙකුගේ ජීවිතය


කූඹි ජනපදයක්... 

ඔවුන් ඉතා මහන්සි වී කෑම රැස් කරනවා. නමුත් ඒ කෑම උන්ගේ ගුලට ගෙනියන්නේ නෑ. ගුලේ කට ඇති තැන උස් මුදුනක තියෙන කොලයක් මත ගොඩ ගහනවා... ඒ උන්ව බයකරගෙන පාලනය කරන තණකොල පෙත්තන් රංචුවක් උදෙසා.

ෆ්ලික් ඒ කූඹි රැලේ එක කූඹියෙක්. ඔහු නව නිපැයුම් කරන්නෙක්. නමුත් ඔහුගේ නව නිපැයුමක් මිස් ෆයර් වෙලා, තණකොල පෙත්තන් එන දවසේ ම, කූඹි රැළ දවස් ගාණක් තිස්සේ එකතු කරපු කෑම කන්දරාව, ඇලට වැටෙනවා.

තණකොල පෙත්තන් කූඹියන්ට තර්ජනය කරනවා. කොළ වැටෙන කාලය ඉවර වෙද්දී ආපහු කැම හොයලා තිබ්බේ නැත්නම් ඔවුන් විනාශ කරන බව කියමින්.

ෆ්ලික් නගරයට යනවා, තමන්ට උදව් කරන්න සූදානම් ලොකු කෘමියන් හොයාගෙන එන අදහසින්. ඔහුට හම්බ වෙන්නේ, සර්කස් කාරයන් රැළක්. ෆ්ලික් හිතන්නේ ඔවුන් වීරයන් කියලා. නමුත් ඔවුන් කරන සර්කස් එකවත් හරියට කරගන්න බැරුව නරඹන්නන් හිනස්සවන විදිහේ ෆේල් චරිත ටිකක්.

සර්කස් කාරයන් ෆ්ලික් එක්ක ආපහු කූඹි ගුලට එනවා. ඔවුන් එතනදි කූඹියන්ට පොරොන්දු වෙනවා තණකොල පෙත්තන් පරාද කරලා කූඹි රැළ බේරගන්න බවට.

මෙතන තියෙන්නේ එක සරළ සිද්ධාන්තයක්. ඒක තණකොල පෙත්තන් රැළට, ඔවුන්ගේ නායකයා වන හොපර් කදිමට විස්තර කරලා දෙනවා...


මේක වඩා පැහැදිළියි. නමුත් ඉහළ ක්ලිප් එක වඩා සවිස්තරාත්මකයි...



කූඹි රැළේ දහස් ගාණක් කූඹි ඉන්නවා. නමුත් තණකොලපෙත්තන් ඉන්නේ ටික දෙනයි. කූඹි රැළ එකා වන් ව එක ම අදහසකින් ක්‍රියා කළොත්, ඔවුන්ට පරදවන්න බැරි සතුරෙක් හෝ පාලකයෙක් නෑ... එය තේරුම් ‌නොගන්නා තාක්, කූඹි රැළ පාලනය කර මර්ධනය කර තබා ගන්න පුළුවන්. ඒ වගේ ම තණකොල පෙත්තන්ට තමන්ගෙ ජීවිකාව කරගන්න පුළුවන්.

ඒ වගේ ම තාවකාලික සුළු සුළු ජයග්‍රහණවලින් එහෙමත් නැත්තම් තණකොළ පෙත්තන්ගේ රැවටීම්වලින් නොනැවතී, තම අරමුණ සම්පූර්ණයෙන් ම ඉටු වන තෙක් සටන් කිරීම වැදගත්. (ඒක මම කිව්වෙ මේ ෆිල්ම් එක ගැන විතරක් නෙමෙයි...)

1998 දී ආපු ඉතාම වැදගත් සහ ලස්සන ෆිල්ම් එකක්, A Bug's Life. ඩිස්නි නිෂ්පාදනයක්. මෙතනින් බලන්න...

Wednesday, November 11, 2020

පුනරාගමනික රාවණ...

වවුල් දොර පියන් දෑතින් තල්ලු කරමින් ජයලංකාර ඇතුල් වූයේ ය. නිදහස් මාවතේ පිහිටි පුරාවිද්‍යාඥයන්ගේ සමාජ ශාලාව මඳ අඳුරින් සහ දුමින් පිරුණු හුදෙකලාබව රජැයූ තැනක් විය. වසර ගණනාවක් තිස්සසේ සමාජ ශාලාව පවත්වාගෙන යන නිලධාරි මඬුල්ල, එහි පැවති පෞරාණික පෙනුම සහ අංගෝපාංග කිසිදු වෙනසක් නොකොට පවත්වාගෙන යාමට වගබලා ගත් හෙයින්: දුහුවිලි සහ සිගරැට් අලු වලින් පිරුණු අඳුරු මුලු, ඇදුම රෝගය ගැන බියෙන් තොරව ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුත් එඩිතර නොවූ පැරණි විදුලි පංකා, වාර්නිෂ් මැකී යමින් පැවති රවුම් මේස, මැද හරියට වන්නට තිබූ බාර් මේසය හා ස්ටූල්, ආදිය ඉතා කෞතුක චිත්‍රයක් මැවී ය.

ජයලංකාර කෙළින්ම ගියේ බාර් එක වෙතට ය. ඔහු දොරින් ඇතුලු වන විට ම බාර් කරු සීත කළ කොළ පැහැ බියර් බෝතලයක් සහ උසැති ජෝගුවක් ද, පෝක් ඩෙවල් පීරිසියක් ද, රන්වන් පැහැ සිගරැට් පැකට්ටුවක් ද බාර් මේසය මතින් තැබී ය.

සිගරැට්ටුවක් ගෙන මුවෙහි රඳවාගත් ජයා, කළිසම් සාක්කුවෙන් ගත් ඊයම් පැහැ ලයිටරයෙන් එය දල්වා ගනිමින් හාත්පස විමසිලිමත් බැල්මක් හෙළී ය. එක් මඳ අඳුරු මුල්ලක වූ මේසයක තනිවම හිඳගෙන සිටි උසැති කෙට්ටු මිනිසා ඔහුගේ නෙත ගැටුණේ එක් වරම ය. දිග කමිස අත් අගින් දෙතුන් විටක් නවන ලද, පොඩිවුණු දුඹුරුවන් කමිසයත්, මුහුණ පුරා වැවුණු අලුපැහැති රැවුළත්, මේසය මත තබා තිබූ පැරණි තොප්පියත් කෙට්ටු මිනිසා ට ලබා දුන්නේ පරිණත පෙනුමකි.

සිගරැට් පැකට්ටුව ගෙන කමිස සාක්කුවෙහි රුවාගත් ජයලංකාර, බාර් කරු වෙත නියමිත මුදල ගෙවී ය. බියර් බෝතලය වම් කිහිල්ලේ ගසා ගෙන, ජෝගුවත් කටගැස්ම පීරිසියත් දෑතින් ගෙන ඔහු අවට පිහිටි මේස අතරින් කෙලින්ම ගියේ කෙට්ටු මිනිසා වෙත ය.

"මම මෙතන වාඩිවුණාට ඔබතුමාගෙ විරුද්ධත්වයක් නෑ නේ?"

හිස ඔසවා එක් නෙත් බැල්මක් අමුත්තා දෙස හෙලූ කෙට්ටු මිනිසා හිස දෙපසට වැනී ය. 

ජයා හට සිය අඩුම කුඩුම මේසය මත තබාගෙන වාඩිවෙන්නට කාලය ලබා දුන් හෙතෙම, හඬ අවදි කළේ ය.

"මට හිතාගන්න පුළුවන් ඔහේ මේ මේසෙටම ආවෙ ඇයි කියලා... ජයලංකාර ඔබේසූරිය..."

ජයා මවිත විය. "ඔබතුමා මාව අඳුනගත්තා?"

"ඔව්. පහුගිය කාලෙ සිද්ධ වෙච්ච දේවල් එක්ක මට තමුසෙගෙ විස්තර හොඳට මතකයි."

"මම ඔබතුමා සම්බන්ධ මොනවත් පත්තරේට ලිව්වෙ නෑනෙ."

"නෑ නෑ... ඔහේ ලියන්නෙ අපි ගැනවත්, අපේ ප්‍රායෝගික පර්යේෂණ ගැනවත් නෙවෙයි නෙ. හිතට එන එන විගඩං හැම එකම ලියනවනෙ රාවණ ගැන. තමුසෙ වගේ උදවිය නිසා දැං ලංකාවෙන් බාගෙකට වැඩිය දන්නව රාවණ රජතුමා කුරුම්බ මද කන්ඩ කැමතියි වගේ චූටි චූටි විස්තර පවා..." කෙට්ටු මිනිසාගේ ඇදී ගිය මූණේ වූයේ උපහාසාත්මක සිනාරැළ්ලකි.

"මහාචාර්යතුමා, මම කරන්නෙ ඉල්ලුමක් ඇති නිෂ්පාදනයක්. පත්තරවලින් සමාජ මාධ්‍යවලින්, දේශපාලන වේදිකාවලින් පවා ඉල්ලුමක් තියෙන්නෙ අපේ රටේ පෞරාණික ශ්‍රී විභූතිය ගැන දේශානුරාගය ඇති කරවීම... ඉතින් මම පුරවන්නෙ ඒ අඩුව."

"බම්බුව..!" මහාචාර්ය ඔක්කාක පාෂාණිභූත සෙමෙන් සිය වීදුරුව ඔසවා ඒතුලින් ජයලංකාර දෙස බැලී ය. තප්පර කිහිපයක් බලා සිටි ඔහු තීරණයක් ගත්තේ ය. "හොඳයි. මං දෙන්නං තමුසෙට පත්තරේට ලියන්න හොඳ කාරණා කිපයක්...

"අපි මාස ගාණකට කලින් පටන් ගත්තා ලකේගල කන්දෙ මූල ඓතිහාසික කැණීමක්. ඒ වෙනුවෙන් අපි අවුරුදු පහක විතර ඉඳන් ලේඛන, සහ ක්ෂේත්‍ර ගවේෂණ කීපයක් කළා. කණිංහැම් ජූනියර් පවා මාත් එක්ක ඔන්ලයින් සම්බන්ධ වුණා මේ වැඩේ ට. ඒකෙන් පේනව ඇති මේ වැඩේ කොයිතරම් පුළුල් එකක්ද කියලා.

“මොකද, රටේ ආව රැල්ලත් එක්ක, ආණ්ඩුවෙ සමහර ආයතන පවා රාවණ කාලෙ ගැන හොයන්න පටං ගෙන තිබුණා. අපිට උවමනා වුනේ ඒ ගැන තියෙන ලිඛිත සාධක අනුව සාක්ෂි පුළුවන් තරම් හොයාගෙන මේක ඇත්ත නැත්ත එළිදරව් කරගෙන, තමුසෙලා අපට පටවලා තියෙන මේ හිස රදේ ඉවරයක් කරන්න.

“ලේඛන ගත සාක්ෂි සේරම පෙන්නුම් කළේ රාම රාවණ සටනෙ අවසන් අදියර ක්‍රියාත්මක වුණු ස්ථානය ගැන තියෙන ස්ථානීය ලක්ෂණ වලට සමපාත වෙන්නෙ දුම්බර මිටියාවත තමයි කියලා.

සිය ජංගම දුරකථනය ඇදගත් ජයා, එහි වොයිස් රෙකෝඩරය පනගන්වන ආකාරය මහාචාර්ය පාෂාණිභූත බලා සිටියේ ය.

“ඔව්ව රෙකෝඩ් කරගන්න එක හොඳයි. තමුසෙලාගෙ වැඩ වල ප්‍රතිඵල තමුසෙලාට ම දැනගන්න...”

“ඉතිං මහාචාර්ය තුමා, කැණීමෙන් මොනවද හොයාගන්න පුළුවන් වුනේ?”

“එක මොහොතකට තමුසෙලා කියවපු විකාරයක් හරි ගියා අයිසේ... අපට හම්බ වුණා රාවණ ගෙ දේහය...!”

ජයා ගේ මුහුණ අසල කරකැවෙමින් සිටි මැස්සෙක්, රවුමට ඇරුණු කට තුලින් ඇතුලට ගියේ පුවත්පත් ලේඛකයාට කැස්සක් ඇතිකරමිනි.

“ඇත්තට!”

“පේනව නේද තමුසෙලා ලියන දේවල් තමුසෙලාටවත් විශ්වාස නැති හැටි?” පාෂාණිභූත සමච්ඡල් කළේ ය.

“ඉතින් මොකද වුනේ? කොහොමද ඒ රාවණ මයි කියලා තහවුරු කරගත්තෙ?”

“මම මුල ඉඳං කියන්නං... ලකේගල කන්දෙ තිබුණු ගල් ලෙණක අපි කැණීම් කළේ. ඒකෙන් අපට මුලිම්ම හම්බුණේ බෙලි කටු, ඊතළ වගේ දේවල්. ඒත් පහළට කැණිම් වලක් බැස්සට පස්සෙ, අපට හම්බුනා මෙන්න මේ සළකුණ.”

https://www.tlc.lk/wp-content/uploads/2018/09/43657067_m-800x600.jpg


මහාචාර්ය වරයා තම ජංගම දුරකථනයෙන් ගත් ඡායාරූපයක් පෙන්වී ය. එහි වූයේ, කැණීම් වළක බිත්තියක් බවට පත් ව තිබූ ගල් බිත්තියකි. එහි අඩි හතක් පමණ උසැති සෘජුකෝණාස්‍රයක් ඉතාම නිවැරදි සෘජු රේඛාවලින් ගලෙහි කොටා තිබූ අතර, එහි ඇස් මට්ටමේ බ්‍රාහ්මී අක්ෂරවලින් ලියූ වගන්තියක් විය.

“ඔය ලියල තියෙන්නෙ ‘මහ රඣ රවන මල සයන’ කියලා. ඊට යටින් මන්තරයක් තියෙනව. ඒක මම මෙතන කියලා මොන මොන විජ්ජුම්බර වෙයිද දන්නෑ. මම එතනදි වැඩිය හිතන් නැතුව ඒක කියෙව්වා. කියෙව්වා විතරයි මගෙ දකුණු පැත්තෙ උන්න කම්කරුවා මැරිලා වැටුණා. ඔය සෘජුකෝණාස්‍රය අඟලක් විතර ඇතුලට ගිහිං, දොරක් වගේ ඇරුණා.

“අපි ටික වෙලාවක් ගත්තා පොඩ්ඩක් සිහි කල්පනාව හරි යන කං. මොකද එහෙම දොරවල් ඇරෙන තාක්ෂණයක් අපි දැනගෙන උන්නෙ නෑ. පස්සෙ මායි තව දෙන්නෙකුයි ගියා ඇතුලට. යනකොට ඒ වෙනකොටත් පහන් දෙකක් ඇවිලෙනව ඇතුලෙ. ඒ පහන් දෙක මැද්දෙන් ගල් ඔරුවක් තිබුණා. ඒ ඔරුවෙ, කොළ පාට තෙල් වගේ දියරයක ගිල්ලලා තිබුණා අඩි පහක් විතර උස මනුස්සයෙක් ගෙ සිරුරක්.

“ඒ මනුස්සයා හරියටම, ගෝරිල්ලෙකුත්, මනුස්සයෙකුත් අතර මැද අවස්ථාව තමයි මට සිහිපත් කළේ. මට පස්සෙයි තේරුණේ. රාවණ ඒ තරම් පරණ කාලෙකට අයිති කෙනෙක් නම්, ඒ කාලෙ මානව පරිණාමය අනුව, ඒ රූපය හරියටම හරි.

https://media.istockphoto.com/photos/homo-erectus-picture-id466243352?k=6&m=466243352&s=170667a&w=0&h=CMu4xdAZOk4Kkp_GQ_gxcaU1LJirG0PvJOd9E6I6nBk=

“ඒ ගල් ඔරුවෙ පාමුළ කොටල තිබුණා බ්‍රාහ්මී අක්ෂර වලින් තවත් වගන්තියක්. මම ෆෝන් එකේ ටෝච් එළියෙන් ලැජ්ජාවක් නැතුව ඒකත් කියෙව්වා.

“කියෙව්වා විතරයි, මගෙ දෙපැත්තෙ උන්න මගෙ පර්යේෂණ සහකාරයො දෙන්නා මැරිලා වැටුණා. මම උන් දෙන්නා දිහා බලලා ආපහු ඉස්සරහ බලනකොට අර ඔරුව ඇතුලෙ උන්න මානවයා නැගිට්ටා.”

“ඔන්න ඔහොමයි රාවණ රජ්ජුරුවන්ගෙ දේහය අපට හම්බුණේ. එයා ඇත්තටම ඉතාම දක්ෂ, වේගයෙන් ඉගෙන ගන්න කෙනෙක්. දවසක් දෙකක් මාත් එක්ක ලකේගල කූඩාරමේ ඉඳං, එයා නූතන සිංහල භාෂාව ඉගෙන ගත්තා. පොරට අමාරු උනේ, සිංහල භාෂාවට මැදට යෙදෙන ඉංග්‍රීසි දෙමල වචන තමා. ඒවා අල්ලගන්න සතියක් දෙකක් ගියා. මාසයක් විතර යද්දි එයා පත්තරේ බලන්න පුළුවන් මට්ටමට ආවා. ෆේස්බුක්, ඉන්ස්ටා එහෙමත් අතපත ගාන්න පටං ගත්තා.

“එයා ගෙ අදහස තිබුණෙ ම ලංකාව ආපහු දියුණු කරන්න. එයාගෙ තිබුණා රාජ්‍ය කළමනාකරණය ගැන මාර සරළ, දියුණු අදහස්. එව්වා ටික ක්‍රියාත්මක කළා නං අපි මේ ලෝකෙ වෙන කිසිම රටකට වඩා සංවර්ධනය වෙන්න තිබුණා.

“වෙන්න තිබුණා කිව්වෙ? මොකද වුණේ?”

“මොකද වුණේ?... වුණේ තමා! වුණේ උන්දැ ලකේගල පහලට පැනලා දිවි නහ ගත්ත එක.” 

“ඒ මොකද?”

“ඒ මොකද කියන්නෙ අයිසෙ... මිනිහා මාර උවමනාවෙන් කියෙව්වා තමුසෙලා රංචුව උන්දැ ගැන පත්තරේට ලියපු ලිපි. අන්තිමේ හැම දෙයක්ම එපා වෙච්ච මිනිහෙක් විදිහට මට කියපු අවසාන වචන තමයි... 

ඈ යකෝ!... මං වත් දන්නැති මේ වැල්වටාරං අටෝරාසියක් කොහොමද අයිසෙ මිනිහෙක් ලියන්නෙ? මුං නං එසේ මෙසේ මිනිස්සු වෙන්න බෑ. මේ වගේ පට්ට කෙබර විශ්වාස කරන, ඒ වෙනුවෙන් කුණුහරුපෙං බැණගන්න ඔළමොට්ටලයො රැළක් ඉන්න රටක් මං තියා සැක්කරය ආවත් හදන්ඩ බෑ..

-----------------------------------------

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රැයක් වෙනුවට මාසයක් ගත කළ කොළඹ ගමයා හෙවත් අජිත් ධර්මකීර්ති සහෘදයාගේ ලිපියකින් ආ උද්යෝගය අනුව ය...

කට්ටකාඩුවෙ ලොකු මල්ලි අජිත් අයියාගේ කතාවේ ඉතුරු ටික ලියා තිබුණා. ඒක මෙතනින් ගොස් කියවා ගන්න හැක...

පැතුම් හේරත් බිත්තියේ ලියල තිබුණු, අජිත් අයියට වෙච්ච ඇත්තම සිදුවීම මෙතනින් ගොස් කියවාගන්න ඇහක...

පුරාවිද්‍යාඥ ඔක්කාක පාෂාණිභූත සහ රාවණ රජුගේ දේහය සොයාගැනීමේ වස්තුබීජයේ මුල් අයිතිය මා හිත මිතුරු අශෝක රත්නායක කුමාර හෙවත් H’MARK සතුය.


Thursday, August 16, 2018

පිටස්තරයාගේ වාර්තාව අංක 02 - රැකී රක්ෂා

http://2.bp.blogspot.com/-Z-jCBqHeaR0/TrVtBam2zoI/AAAAAAAAAAc/
BOK3Z7FluRw/s1600/1844152drawn2.jpg

මේ ග්‍රහ ලෝකයේ බුද්ධිමත් සත්ත්වයින් කොටසක් ද සිටිති.

ඔවුහු අනෙකුත් සත්ත්වයින් වගේම ආහාර ගනිති, ආශ්වාස ප්‍රශ්වාස කරති, තම වර්ගයා බෝකරති, උපදිති, මියයති... ඒත් ඔවුන්ගේ චර්යාවෙන් වැඩි හරිය අනිකුත් සත්ත්වයින්ට වඩා විහිළු උපදවන තරම් වෙනස් ය. "රැකී රක්ෂා" යනු එයින් එක් චර්යාවකි.

මොවුහු දිනපතා "රස්සාව" යැයි හඳුන්වන දේකට යති.

වෙනත් සත්ත්වයින් සේම ආහාර සොයා යාම එක් කොටසකගේ රස්සාවය. සොයා යාමටත් වඩා ඔවුන් කරන්නේ ආහාර නිපදවීම යැයි කියනු ලැබේ. වෙනත් ජීවී විශේෂ අමුතුවෙන් රෝපණය කරන ඔවුහු, තවත් ජීවී විශේෂ අල්ලාගෙන මරති. තමුන්ට දිනපතා උවමනා ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් වැඩි ප්‍රමාණ වලින් ඔවුහු මේ වැඩය කරති.

තවත් කොටසක් අනික් උදවියගේ චර්යාව පාලනය කරති. ඔවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණය නම් නිල ඇඳුමක් ඇඳීමය. එය එක්කෝ කාකි පාටැති කළිසමක්, කමිසයක් හා තොප්පියකි. නැතිනම් කහ හෝ තැඹිලි හෝ ගුරු පාට රෙද්දක් ගෙන ඇඟ වටා දවටා ගැනීමකි. මොවුන්ගේ උපදෙස් හෝ නියෝග අනික් උදවිය පිළිපදින්නේ ද හරිම විකට අන්දමකට ය. මේ අය ඇති තැන ඔවුන්ගේ උපදෙස් පිළිපදින බව ඉතාම මැනවින් පෙන්වන සහ ඊට ඉතා කැමැත්තෙන් කීකරු වන බව පෙන්වන උදවියම, ඉහත කී පාලනය කරන්නෝ නැති තැන එම උපදෙස් පසෙක ලා තමන්ට උවමනා පරිදි හැසිරෙති. හැබැයි එසේ නිදහසේ හැසිරෙන යමෙක්ගෙන් තමන්ට හිරිහැරයක් වූ තැන හිරිහැරයට ලක් වූ තැනැත්තාට, අර උඩින් කී උදවියගේ උපදෙස් හා නියෝග නිතැතින් මතක් වේ.

ඉහත කී කහ, තැඹිලි හෝ ගුරු පාට රෙදි පෙරවන්නන්ගේ රක්ෂාව ඉතා පහසුය. සෙසු සත්ත්වයින්ට තේරුම් ගත නොහැකි පටළැවිල්ලක් කියාපෑමට ඔවුන් කුඩා කළ සිටම පුහුණු කර තිබේ. ඒ පටළැවිලි සහගත දේට දෝත් මුදුන් තියා වඳින සෙසු සත්ත්වයා, තම තමන් සතු ඕනෑම දෙයක් මේ රක්ෂාව කරන උදවියට නිකම්ම දෙති. ඒ වෙනුවට ඔවුන්ට යමක් ලැබෙන අතර, එය ලැබෙන්නේ ඔවුන්ගේ ජීවිත කාලයෙන් පසුව වන්නේය.

මෙම රැකියාවම කරන තවත් අය සිටින අතර, එයින් සමහරෙක් උඩුකය නිරුවත්ව රත්තරන් නම් ලෝහය පොරවාගෙන සිටින අතර, තවත් උදවිය සුදු ලෝගු හෝ වස්ත්‍ර හඳිති.

"මුදල්" යැයි සම්මත යමක් වේ. එය මේ ලෝකයේ බුද්ධිමත් සත්ත්ව වර්ගයාගේ ඉහළම ආශාව, සංතුෂ්ටිය සහ වන්දනීය දෙය වේ. මේ කියන මුදල් සකස් කරන්නේ "ආණ්ඩුව" යැයි කියන සමූහයක් මඟිනි. ආණ්ඩුව කියන්නේ මෙම සත්ත්ව වර්ගයේ බහුතරයකගේ කැමැත්ත අනුව පත් කරගන්නා, එම වර්ගයේම එක් කොටසකි. සත්ත්වයින් කෝටි දෙකකගේ කැමැත්තෙන් දෙසීය විසි පස් දෙන‍ෙක් තෝරා ගනිති. උන් හැඳින්වෙන්නේ "පාර්ලිමේන්තුව" යන නමිනි.

ඒ දෙසීය විසි පහට අර කෝටි දෙකේම ගෞරවය ලැබේ. ඒ වගේම උන් හට අර උඩ කී පාලනය කරන්නන්ගේ උපදෙස් හෝ නියෝග අදාළ වන්නේම නැත. උන්ට රිසි රිසි සේ සම්පත් භුක්ති විඳිමින් ජීවත් වන්නට ඉඩ සැළසී තිබේ. ඒ වෙනුවට ඔවුන් රට "පාලනය" කිරීම, "ප්‍රතිපත්ති" සකස් කිරීම සහ "සංවර්ධනය" කිරීම යන කාර්යයන් කරති. ඒ නම් වලින් හැඳින්වෙන්නේ රටේ මුදල් සහ රටට ලැබෙන මුදල් මහාපරිමාණයෙන් යොදවා යම් යම් දේවල් කරවමින් ඉන් වැඩි හරියක් මුදල් තමන්ගේ සහ පවුලේ උදවියගේ සන්තකයේ තබා ගැනීම ය.

මෙකී දෙසීය විසිපහෙන් කොටසක් "ඇමති" හා තවත් එකෙක් "අගමැති" ලෙස හැඳින්වෙන අතර, අර කී දෙකෝටියෙන්ම තෝරාගන්නා තවත් එකෙක් "ජනාධිපති"ලෙස හැඳින්වේ. උන් ඉතාම වාසනාවන්ත කොටස ය. මොවුන් හට තම පෞද්ගලික කටයුතු කරගැනීමට අවශ්‍ය සියලු දේ නොමිලේ ලැබේ. වාසයට නිවසක්, පරිහරණයට වාහන, ඒවාට ඉන්දන, විවිධාකාර පරිහරණයට අතවැසියන්, යම් යම් දේ එතීමට, අත පිසදමා විසිකිරීමට සහ රටේ සිදුවෙන දේවල් දැනගැනීමට පත්තර, "බැංකු ගිණුම්" යන දේට තැන්පත් කිරීමට "වැටුප්", යම් යම් කටයුතු කරදීම වෙනුවෙන් සෙසු උදවියගෙන් ලැබෙන "අල්ලස්" සහ "කොමිස්", ඇමති විදිහට ඉන්නා කාලසීමාව අවසානයේ බැංකුවල තැන්පත් කිරීමට විශ්‍රාම වැටුප්, දරුවන්ගේ රැකී රක්ෂා සඳහා අනාගත ඇමතිකම්, හිත මිතුරන්ගේ ජීවිකාව සඳහා "රජයේ රක්ෂා" හෝ "කොන්ත්‍රාත්" ආදී දේ මොවුන් හට සැපයේ.

තවත් කොටසක් රක්ෂා වශයෙන් විවිධාකාර දේ කරති. ඔවුන් එම රක්ෂා වලින් මුදල් ද උපයාගනිති. ඒ මුදල් වලින් කොටසක් අර උඩින් කී ආණ්ඩුවට විවිධ අවස්ථාවලදී ගෙවිය යුතු වන්නේය. ඒ ගෙවන මුදල් වෙනුවෙන් ආණ්ඩුවෙන් ඔවුන්ට මොනම දෙයක්වත් සෘජුව ලැබෙන්නේ නැත. මෙම රක්ෂා කරන අය තමන්ගේ ආහාරය පිණිස යම් කිසි දෙයක් මුදලට ගන්නා විවිධ අවස්ථා වලදී, ඒ භාණ්ඩයේ වටිනාකමට අමතරව යම් මුදලක් ආණ්ඩුවට ගෙවිය යුතු වන්නේය. ඒත් ඒ භාණ්ඩය තැනීමටවත්, එය මිලදීගන්නා තැනැත්තා වෙත ගෙනත් දීමටවත් ආණ්ඩුව කිසිදු වියදමක් කර නැත. යමෙක් තමන්ගේ භාවිතයට වාහනයක් ගන්නා විට එම වාහනයේ වටිනාකම මෙන් කීප ගුණයක මුදලක් ආණ්ඩුව මොවුන්ගෙන් අයකර ගනිති. ඒ ද, ඒ වාහනය වෙනුවෙන් ආණ්ඩුව කිසිම මුදලක් වැය කිරීමෙන් තොරවය.

එසේ ආණ්ඩුව එකතු කරගන්නා මුදල් වලින් "පාර්ලිමේන්තුව", "ඇමති" ආදීන් සහ "රජයේ සේවක"යන් ගේ වැටුප්, වරප්‍රසාද ආදිය සළසා දනෙු ලැබේ. ඉහත කී වාහන ගැනීමේදී ද පාර්ලිමේන්තුවට සහ ඉහළ යැයි සම්මත රජයේ සේවයේ උදවියට ඉහත කී පරිදි ආණ්ඩුවට විශාල මුදලක් ගෙවීමට සිදු වන්නේ නැත.

මා මෙතක් කාලයකට තේරුම් ගත් දේ මේ විදිහය. මේ ලෝකයේ බුද්ධිමත් සත්ත්වයින්ගේ රැකී රක්ෂා හරිම සංකීර්ණ බවින් යුක්තය. දැනටමත් මට පිස්සු වගේය. ඔබහටත් එසේම වේවා!

http://www.sangam.org/2008/07/images/Collettecartooncirca1956.JPG

Sunday, May 20, 2018

යුද්ධයේ ජයග්‍රහණ?

http://cache.boston.com/universal/site_graphics/blogs/bigpicture/srilanka_03_11/s08_18084047.jpg

ළමයි
අත් අහසට දික්කරන්
කඳුළු ඒ අයගෙ මුහුණු මත වියළී යමින්
ඔහු මෙහෙ ඇවිත් ගොහින්

සොහොයුරෝ නිදති නොගැඹුරු මිනී වළවල්වල
පියවරු සළකුණක්වත් ඉතිරි නොකර අතුරුදහන් වී
ඔවුන්ගෙ අයස ගැන ජාතියක්ම නොදුටු ඇසින්
ඇයි? ඔහු මෙහෙ ඇවිත් ගොහින්

මට නිර්භීතකමක් පේන්නෙ නෑ
මට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයි
මට නිර්භීතකමක් පේන්නෙ නෑ
මට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයි
ශෝකය විතරයි

ගෙවල් ආයෙ හදන්න බැරි තරමට අළුවී ගිහින්
මරණයේ ගඳ සුළඟේ පැතිරී ගිහින්
අපේක්ෂා බිඳුනු ගැහැණියක් හඬමින් කියයි,
“ඔහු මෙහෙ ඇවිත් ගොහින්“

අහසේ යන පරීක්ෂක යානයක එළියක් වැටෙයි
තවත් පවුලකට මැරෙන්න වෙලාව ඇවිත්
කෑගහන්ඩවත් බය ළමයෙක් කියයි
“ඔහු මෙහෙ ඇවිත් ගොහින්“

මට නිර්භීතකමක් පේන්නෙ නෑ
මට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයි
මට නිර්භීතකමක් පේන්නෙ නෑ
මට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයි
ශෝකය විතරයි

ළමයි
අත් අහසට දික්කරන්
ඒත් කවුරුවත් අහන්නෙ නෑ ඒ ඇයි කියා
ඔහු මෙහෙ ඇවිත් ගොහින්

මහල්ලෝ දණගසා තම දෛවය බාරගනිති
භාර්යාවන් දූවරුන් කපා කොටා දූෂණය කර දමලා
වෛරයෙන් පෙඟී ගිය පරපුරක් කියයි
“ඔහු මෙහෙ ඇවිත් ගොහින්“

මට නිර්භීතකමක් පේන්නෙ නෑ
මට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයි
මට නිර්භීතකමක් පේන්නෙ නෑ
මට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයි
ශෝකය විතරයි

මුල් පදරචනය -  ජේම්ස් බ්ලන්ට් සහ සාෂා ස්කාර්බෙක්
ගායනය, සංගීතය - ජේම්ස් බ්ලන්ට්


Sunday, April 29, 2018

ඇතිවන උපද්‍රව සහ උපද්‍රව ඇතිවේයැයි ඇතිවන භය නැති කරගන්නේ කොහොමද? - 2018 වෙසක් කළාපයෙන්

ඇතිවන උපද්‍රව සහ උපද්‍රව ඇතිවේයැයි ඇතිවන භය නැති කරගන්න බුදුන් වහන්සේ ම ආයුධයක් සපයලා දිලා තියෙනව. මේපාර වෙසක් කළාපයෙන් සඳහන් කරන්නෙ ඒ ගැන. සිංහල බෞද්ධයන්ට මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනව...

http://srilankabudhisttours.com/images/services/service-md-02.jpg
බුදුන් යටතේ පැවිදි වුණු භික්ෂූන් කණ්ඩායමක්, තමන්ට කමටහන් වඩන්න සුදුසු තැනක් එතුමාගෙන් විමසුවා. ආරණ්‍යයක, ගසක් මුල හෝ ශූන්‍යාගාරයක (මිනිසුන් ගැවසීම අඩු තැනක) සිට කමටහන් වැඩීම සුදුසුයි, එතුමා පිළිතුරු දුන්නා.

ඒ අනුව අර භික්ෂූන් පිටිසර ගමක් ආසන්නයේ තිබුණු වන රොදක් තෝරාගත්තා, තමන්ගේ වාසයට.

ඔය වනයේ සිටි රුක් දෙවිවරු (කතාවෙ තියෙන්නෙ රුක් දෙවිවරු කියල... සමහර විට වනයේ වාසය කරපු මනුෂ්‍යයන් විය හැකියි.) මේ භික්ෂූන් ගැවසීමෙන් තමන්ගෙ වැඩ වලට බාධා වෙන නිසා, ඔවුන් බය කර එළවාගන්නට එක එක දේවල් කළා. මළකඳන්, අමනුෂ්‍ය රූප ආදිය වනයේ තැන් තැන් වල පෙනෙන්නට සැළැස්සුවා. ඉවසන්න බැරි භයානක ශබ්ද, පිළිකුල් සහගත දුගඳ, වනයේ පැතිරෙව්වා.

මේවා ඉවසන්න බැරි වුනු හාමුදුරුවරු, ආපහු බුදුන් ළඟට ඇවිත්, තමන්ට වුනු උපද්‍රවය එතුමා එක්ක කතා කළා.

බුදුන් ඒ අයට කිව්වා: 

මෙන්න ඔබට ආයුධයක්... මේ විදිහෙ ගති පැවතුම් සහ සිතුවිලි ඇති කරගන්න...
යහපත (අර්ථය) සළසා ගන්නට කරන්නට ඇති දේ, මේ කියන කුසලතා අත්කර ගැනීමයි.
ඒ ශාන්ත පදය (නිවන) අත් කරගැනීමට නම්,
හැකියාව ඇති (දක්ෂ)
සෘජු හෙවත් අවංක, 
තව තවත් අවංක,
සුවච (ආලවක දමනයේදි බුදුන් භාවිත කළ හැකියාව), 
මෘදු සහ නිහතමානී  
ලද දෙයින් සතුටු වන, 
පහසුවෙන් රැකිය හැකි (අල්පේච්ඡ),
අල්ප වූ කටයුතු ඇති, 
සැහැල්ලු පැවතුම් ඇති
සන්සුන් ඉඳුරන් ඇති
ඥානවන්ත
සාහසික හෝ රළු නොවන (ප්‍රගල්භ නොවන)
කුලයට හෙවත් පවුල්වලට (දායකයන්ගේ පවුල්වලට) නොඇලුණු
අනෙක් නුවණැත්තන්ගේ ගැරහීමට ලක් විය හැකි අන්දමේ සමාචාරයක් සුළුවෙන් හෝ නැති
කායිකව මානසිකව සුවෙන් සිටින
බිය නැති
යන ගති ඇති කරගැනීම මැනවි...

සියලු සත්ත්වයෝ සුවපත් වේවා!
පණ ඇතියවුන් කොයි තරමක් සිටීද, ඒ තාක් දෙනා,
තැතිගැනීමක් ඇති හෝ
ස්ථාවර හෙවත් තැතිගැනීමක් නැති (රහතුන් වැනි) අය
කිසිවෙක් අවශේෂ නොවී
උස් හෝ මහත් හෝ මධ්‍යම ප්‍රමාණයේ හෝ කෙටි හෝ ඉතා සියුම් ප්‍රමාණයේ හෝ ස්ථූල හෝ වන සත්ත්වයන්,
ඇසට පෙනෙන හෝ නොපෙනෙන  හෝ
දුර හෝ නුදුරේ වසන
දැනට හටගෙන සිටින හෝ හටගන්නට සිටින හෝ, 
සියලු සත්ත්වයෝ සුවපත් වේවා!

එකෙක් තවෙකෙකුට වංචා නොකෙරේවා!
හෙළා නොදකීවා! (පහත් කොට සැළකීමක් නොකෙරේවා!)
කොතැනක හෝ සිටින කිසිවෙක් රෝෂය (කෝපය) ඇති කරගෙන
ගැටීමක් ඇති කරගන්නා අදහසින් 
එකෙක් අනෙකෙකු දුකට පත් වීම අරමුණු නොකිරීම මැනවි

පුතෙකු ඇති යම් මවක් තම පණ මෙන් එම පුතා ආරක්ෂා කරයිද,
ඒ ආකාරයෙන්ම සියලු සත්ත්වයන්ට
අපරිමිත (සීමාවක් නැති) මනසක් ඇති කරගන්න
ඉහළටද, පහළටද, තිරස් අතට ද බාධාවකින් තොරව
වෛරෙයන් තොරව, සතුරු බවකින් තොරව
සකල ලෝකය වෙත මෛත්‍රිය පතුරවා
සීමාවක් නැති මනසක් ඇති කරගන්න

සිටගෙන සිටින විටදී ද, යන එන විටදී ද, හිඳගෙන සිටින විටදී ද, සයනය කරන විටදී ද,
අවදියෙන් සිටින සෑම විටකම 
මෙසේ සිහිය අධිෂ්ඨාන කරගන්න
මෙසේ ජීවත් වීම උතුම් විහරණයක් යැයි කියනු ලැබේ

මම ය මාගේ ය යනුවෙන් ආත්මයක් ගැන දෘෂ්ඨියකට නොගොස්
සිල්වත් වන තැනැත්තා 
නිවැරදි ආකාරයෙන් දකියි
කාමයන්හි ඇලීම දුරු කරගනියි
නැවත මවු ගැබක සැතපීමක් ඔහුට නැත

මේ දේශනාව තිබුණෙ අපි කවුරුත් වගේ කටපාඩමින් දන්න සූත්‍රයක... ඒ තමයි කරණීය මෙත්ත සූත්‍රය.

මේ සූත්‍රය කියවල තේරුම්ගත්තහම තේරෙන එක දෙයක් තමයි, මම කලිනුත් කීපවිටක්ම කියල තියෙනව වගේ, මේ සූත්‍රයත් තේරුමක් නැතුව පාලි පෙළ සජ්ඣායනා කිරීමෙන් නෙවෙයි, තේරුම දැනගෙන ඒකෙ කියන විදිහට තමන්ගෙ ගති, පැවතුම් සහ ආකල්ප සකස් කරගැනීමෙන් බයක් නැතුව ඕනෑම තැනක ජීවත් වෙන්න පුළුවන් ය කියන ඒක

සිංහල බෞද්ධයන්ට පහුගිය කාලය පුරාමත් දැනටත් ලොකු බයක් ඇති වෙලා තියෙනව කියල පේනව ෆේස්බුක් ප්‍රධාන කොටගෙන සමාජය පුරා පැතිරී තියෙන මතවාද දකින කොට. බෞද්ධයන් වීම ගැන කාර් එකේ, වෑන් එකේ, ත්‍රී වීල් එකේ පිටිපස්සෙ ආඩම්බර වෙන උදවියට, වඩා හොඳයි බුදුන් දෙසා ඇති ක්‍රමවේද අනුගමනය කිරීම.
නැද්ද?

http://i.imgur.com/Y0oYJfS.jpg

ආශ්‍රිත තැන්:
http://bodudam.blogspot.com/2014/12/blog-post_18.html
bududhahama.blogspot.com/2012/08/blog-post_5912.html
https://www.facebook.com/methmaga/posts/1427046727309840:0

Tuesday, October 31, 2017

බෙදුම්වාදය - ඩ්‍රැකියාවෙලී විග්‍රහයක්



http://www.salem-news.com/stimg/april252014/tamil-elam-logo.jpg
එක ආණ්ඩුවක් ඇති රටක් ඇතුලත තවත් රජයක් ඇති කරගන්න හිතෙන්නෙ ඒ රජයෙන් තමන්ගෙ අයිතිවාසිකම් රැකලා දෙන්නෙ නැත්නම්, එහෙම නැත්තං තමංගෙ අවශ්‍යතා ඉෂ්ට කරගන්ඩ බැරිනං, එහෙමත් නැත්තං තමන්ගෙ දක්ෂතාවලට සාධාරණ අවස්ථා ලැබෙන්නැත්තං. එහෙම නැතුව රටකින් කෑල්ලක් කඩාගෙන තමංගෙම පාලනයක් ඇති කරගන්න මිනිස්සු පෙළඹෙන්නෑ. මොකද, මහ ආණ්ඩුව අන්තිමේ හමුදා බලය හරි යොදවලා බෙදුම්වාදය පරාජය කරනව. එතකොට වෙනම රාජ්‍යයක් ඉල්ලන කණ්ඩායමේ ජීවිත තමයි අවදානමට ලක් වෙන්නෙ. කවුද කැමති තමංගෙ ජීවිත, තමංගෙ ළමයිංගෙ ජීවිත ඒ වගේ අවදානමකට ලක්කරන්න. අනික තමයි ස්වයං පාලනයක් කියන්නෙ, වෙනම ආණ්ඩුක්‍රමයක්, වෙනම පාර්ලිමේන්තුවක්, වෙනම පොලිසියක්, වෙනම රාජ්‍ය සේවයක්, වෙනම හමුදා, වෙනම දෙපාර්තමේන්තු - අමාත්‍යාංශ... පවතින රජයකින් වැඩ කෙරෙනවනං කාටවත් ඕනෙ කරන් නෑ ඔය විදිහෙ ආයතනික ව්‍යුහයක් ඇති කරගෙන වෙනම පාලනයක බරක් කරට ගන්න.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙනම රාජ්‍යයක් ඇති කරන්න පුළුවන් ව්‍යවස්ථා ඇති කරන්නෙ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවටත් වෙනම රාජ්‍යයක් ඇති කිරීමට කෙලින්ම හෝ අන්‍යාකාරයකින් අනුබල දීම, අනුග්‍රහය දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්යය දීම හෝ දේශනා කිරීම නොකරන බවටත් ජනාධිපති ධූරයට, අගමැති තනතුරට, පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට සහ  රාජ්‍ය සේවයට පත් වන හැම කෙනෙක්ම දිවුරුම් දිය යුතු බව දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 32, 53, 61, 107, 157, 161 සහ 165  ව්‍යවස්ථාවලින් ප්‍රකාශ වෙනව. එහෙම දිවුරුම් දීලා පත්වෙන උදවිය එයිට පිටිං වැඩ කරනවනං ඒ ගැන නඩු පවරන්න පුළුවං.

අනික තමයි රටක් දෙකට කැඩීමෙන් දේශපාලනඥයන්ට ඇති වාසිය. ලංකාවෙ බහුතර ඡන්දෙන් පත්වුණු ජනාධිපතිටත්, කොළඹ දිස්ත්‍රික්කයෙ බහුතර මනාපෙන් පත්වුණු අගමැතිටත්, උතුරු නැගෙනහිර පළාත් ස්වයං පාලන ප්‍රදේශයක්තු කිරීම හෝ දේශනා කිරීම නොකරන බවට බවට පත්වීමෙන් ලැබෙන වාසියක් නෑ. සල්ලිද? මයෙ හිතේ ඔයිට වඩා පෞද්ගලික ආර්ථික වාසි තියෙනව ඔය පෝට් සිටි වගේ ප්‍රොජෙක්ට් වලින්. එහෙම එක්තරා ප්‍රදේශයකට ස්වයං පාලන අයිතිය ලබා දීල, මේ අය ඒ පළාත් වල ජනාධිපති / අගමැති වෙන්නද? බෑනෙ.

තේ කෝප්පයෙ කිඹුලා වෙන ෆෙඩරල් ක්‍රමය තමයි අනික් කාරණේ. දැනට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙනව මේ රට ඒකීය රටක් කියල. ඒකීය රටක් කියන්නෙ එක රජයක් යටතට පාලන බලතල සියල්ල එක් රැස් වුණු ක්‍රමයක්. ඒකට කියනව මධ්‍යගත පාලනය කියල. ඒකෙ විරුද්ධාර්ථය තමයි විමධ්‍යගත පාලනය. 87දි පළාත් සභා ගෙනල්ල දැනටමත් අපේ රට යම් දුරකට විමධ්‍යගත පාලනයක් ඇති රටක් බවට පත් වෙලා අවසන්.

විමධ්‍යගත පාලනය කියන්නෙ, මධ්‍යම රජයක් තියෙනව, ප්‍රාන්ත හෝ වෙනත් ක්‍රමයක ප්‍රාදේශීය ඒකක වලටත් පාලන බලතල තියෙනව. ඔය බලතල නිශ්චිතව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් මධ්‍යම රජයටත්, ප්‍රාදේශීය පාලන ඒකකවලටත් වෙන් කරල දීල තියෙනව. මෙහෙ පළාත් සභාවල ප්‍රධාන පරිපාලකයා වන ආණ්ඩුකාරයා පත් කරන්නෙ ජනාධිපති. එහෙම පළාත් සභාවෙ බලතල මධ්‍යම ආණ්ඩුවට වක්‍රව යටත් කරල තියෙනව.

යම්කිසි ප්‍රාදේශීය පාලන ඒකකයකට ස්වයං පාලන ඒකකයක් වශයෙන් ප්‍රකාශයට පත් වෙන්න ඕනෙ නම්, ඒක යෝජනාවක් විදිහට ප්‍රාන්ත ආණ්ඩුවට (හෝ ලංකාවෙ විදිහට නං පළාත් සභාවට) ඉදිරිපත් කරල සම්මත කරගන්න ඕනෙ. ඒ යෝජනාව සම්මත උනහම ඒ ගැන මධ්‍යම රජයටත් ජාත්‍යන්තරයටත් දන්වන්න වෙනව. එතකොට මධ්‍යම රජය මොකද කරන්නෙ කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ සඳහන් වෙලා තියෙනව. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 154 ව්‍යවස්ථාවෙ හැටියට එහෙම වෙලාවක පළාත් සභාවක බලතල, පාර්ලිමේන්තුවෙ යෝජනා සම්මතයක් මඟින් ජනාධිපතිවරයාට පවරා ගන්න හෝ පාර්ලිමේන්තුවට පවරා දෙන්න පුළුවන්. ස්පාඤ්ඤයෙ මේ ළඟදි සිදු වුණු මේ සමාන අවස්ථාවෙදි, ස්පාඤ්ඤ රජයට හමුදා බලය යොදවන්න පවා අවසර තිබුණා. ඒ විදිහට ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවට ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙනවනම් ප්‍රාන්ත ආණ්ඩු (හරි මෙහෙ විදිහට නම් පළාත් සභා) වල බලය මධ්‍යම ආණ්ඩුවෙන් පාලනය වෙන හැටි, එතන බෙදුම්වාදයට නීතිමය ඉඩක් නෑ. ඒ නිසා ෆෙඩරල් කියන වචනෙ අර එක කාලෙක ජිනීවා කියන වචනෙ වගේ බය කරන්න යොදාගත්තට ෆෙඩරල් කියන වචනෙ විතරකින් රටක් බෙදෙන් නෑ.

තව දෙයක් තමයි, සිංහලෙන් “ඒකීය රාජ්‍යය“ කියල තියෙන තැන දෙමළෙන් “ඔරුමිත්ත නාඩු“ කියල තියෙනවලු කියන ප්‍රශ්නෙ. ඒ දෙමළ වචන දෙකේ තේරුම “ඒකීය රාජ්‍ය්‍යක්“ ම තමයි කියන එකයි මගෙ වැටහීම. ඔච්චර ඒක ප්‍රශ්නයක් වෙනවනම්, “සිංහල සහ දෙමළ පෙළ අතර තේරුම් වල වෙනසක් පවතින විට සියලු පරිවර්තන අභිබවා සිංහල පෙළ බල පැවැත්වෙන“ බව ඕනෙම නීතියක අර්ථ නිරූපණවල සඳහන් කරන බව මතක් කරගන්න එක හොඳයි. එතකොට දෙමළ වචන වලට බය වෙන්න ඕනෙත් නෑ.

අනික, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මොන විදිහ තිබුණත්, සන්නද්ධ අරගලයකින් ආණ්ඩුවක් පරාජය කරල වෙනම ආණ්ඩුවක් හෝ කීපයක් පිහිටුවාගන්න පුරවැසියන්ට හෝ ජාත්‍යන්තර බලවේගවලට පුළුවන්. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය ද ෆෙඩරල් ද කියන වෙනස අදාළ වෙන් නෑ. වඩා වැදගත් වෙන්නෙ රටේ පුරවැසියන්ගෙන් කොටසක් ඒ වගේ අරගලයකට තල්ලු කරන හෝ පොළඹවන සාධක රටේ පාලනයෙන් සහ සමාජ වාතාවරණයෙන් ඉවත් කරල, හැම රටවැසියෙකුටම සමාන අයිතිවාසිකම් සහ අවස්ථා ලැබෙන තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන එකයි.


අනික් අතට, කාට හරි වෙන් වෙලා යන්ඩ ඕන්නං, ඒ අයට යන්ඩ දෙන් නැතුව අල්ල ගෙන ඉඳීමෙ තේරුම මොකද්ද කියන එකත් මට ගැටළුවක්.



හරිනම් මේ දේවල් ජනතාවට පැහැදිලි කරන්න ඕනෙ ආණ්ඩුව මිසක්, අපි නෙවෙයි. අපිට ඒ වැඩෙත් කරන්න වෙලා තියෙන්නෙ මේ ආණ්ඩුවෙ ඉන්නෙත් තමංගෙ ඡන්ද පදනම සහ පෞද්ගලික වාසිය විතරක් තකන බිස්නස්කාරයො හින්දයි. ඒ නිසා කොහොමත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන මැතිවරණ ක්‍රමය ඇතුළු බොහොමයක් විධිවිධාන වෙනස් කිරීම උවමනයි.

Wednesday, October 25, 2017

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කළ යුතු දේවල් - ඩ්‍රැකියාවෙලී විග්‍රහයක්

http://res.cloudinary.com/www-virgin-com/virgin-com-prod
/sites/virgin.com/files/Articles/Getty/getty_darwin_evolution.jpg

ලංකාවෙ දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැනට දහනම පාරක් සංශෝධනය කරල තියෙන්නෙ, ඒකෙ ඔරිජිනල් ෆෝම් එක රටේ පාලකයන්ට හරි යන්නැති හින්දනෙ. ඉස්සෙල්ලම බලමු මොකද්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නෙ කියල...

රටක් පාලනය වෙන මූලික නීතිය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒකෙන් තමයි කියන්නෙ:

01.  නීති හදන්නෙ කොහොමද?
02. නීති ක්‍රියාත්මක කරන්නෙ කවුද / කොහොමද?
03. නීති කඩන අය ගැන යුක්තිය පසිඳලන්නෙ කොහොමද?
04. රට පාලනය කරන්නෙ කවුද / කොහොමද?
05. රට ගැන තීරණ ගන්නෙ කවුද / කොහොමද?

වගේ රටක පාලනයට පදනම් වෙන සියලු කාරණා.

ලංකාවෙ දැං තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ මේ දේවල් ගැන තියෙන්නෙ මොනවද කියල බැලුවොත්, අපිට තව මොනවද ඕනෙ කියල හිතාගන්ඩ පුලුවන් වෙයි. මං පහළ කියන දේවල් කියන්නෙ බොහොම මතුපිටිං. මොකද, විස්තරාත්මකව කියන්ඩ ගියොත් එක එක කාරණා ගැන වෙන වෙනම පෝස්ට්  වැලක් ලියන්ඩ වෙන නිසා. උදාහරණයක් විදිහට, අපිට 78 ව්‍යවස්ථාවෙන් සහතික කරල තියෙන මූලික අයිතිවාසිකම් ගැන කිව්වොත් එක එකක් විස්තර කරන්ඩ පුළුවන් වෙන වෙනම පෝස්ට් එක බැගින් ලියල. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ගැන විතරක් පෝස්ට් දහයක් විතර ලියන්ඩ වෙනව.

හරි... ඕං පටං ගත්ත. (ඇති යාන්තං)

ශ්‍රී ලංකාව පාලනය කරන්නෙ ඡන්ද බලය හිමි මහජනතාව. ඕකට කියන්නෙ පරමාධිපත්‍යය. (නූතන ජාතික රාජ්‍යයක අංග තමයි, 1. භූමිය 2. ජනතාව 3. පරමාධිපත්‍යය) ජනතාව මේ රට පාලනය කරන්නෙ ඔවුන්ගෙ නියෝජිතයන් මගින්. මහජන නියෝජිතයන් කලින් කලට මහජනතාව විසින් පත් කෙරෙනව. (ඕක බහුතරයක් මහජනතාව හරියට දන්නෑ. දන්නවනං තමුංගෙ රාජකාරිය කරන්ඩ පත්කරල යවන, අපේ බදු මුදල් වලිං පඩි ගෙවන උංට දෙයියන්ඩ වගේ සළකන්ඩ ඕන් නෑනෙ.)

ඒ මහජන නියෝජිතයො රැළට කියනව පාර්ලිමේන්තුව කියල. ඒකට කියනව ව්‍යවස්ථාදායකය කියල. ඒ කියන්නෙ ඒ අය තමා නීති හදන්නෙ. එතන බෙදිම් තියෙනවනෙ, පක්ෂ විදිහට. ඒ පක්ෂ  වලින් සරළ බහුතරය හෙවත් 50% ට වැඩි එකතුවකට ආණ්ඩුවක් පිහිටුවන්ඩ පුළුවං. ඒ කියන්නෙ පාර්ලිමේන්තුවෙ තීරණ ගන්නෙ ඒ අය. ඒ වගේම හදන නීති ක්‍රියාත්මක කරන්නෙ ඒ අය. (ඒ ගැන මතුවට...)

පාර්ලිමේන්තුවට තියෙන බලතල...

1. රටේ මුදල් පාලනය
වෙන වැඩකට නිතියෙන් වෙන් නොකළ මුදල් වලට කියනව ඒකාබද්ධ අරමුදල කියල. ඒකට එන ආදායම් නියම කරන්නෙ, ඒකෙන් වියදම් කරන්ඩ මුල් අනුමැතිය දෙන්නෙ පාර්ලිමේන්තුව. (අයවැය සම්මත කිරිමෙන්, අතුරු සම්මත ගිණුම් සහ පරිපූරක යෝජනා අනුමත කිරීමෙන්, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ කෝප් කමිටුවෙන්, විගණකාධිපති මඟින් ආදී වශයෙන්)

2. නීති සම්පාදනය

3. ඊට අමතරව විශ්වාසභංග නැත්තං දොෂාභියෝග ආදිය ගෙනත් විධායකයෙ සහ අධිකරණයෙ සාමාජිකයො අයිං කරන්ඩ පුලුවං.

4. පාර්ලිමේන්තුවෙ එක එක කාරකසභා මගින් කරන එක එක කාර්යයන් තියෙනව. (උදාහරණයක් විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් තමයි එක එක ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කරන්ඩ ජනාධිපතිට නම් නිර්දේශ කරන්නෙ)

පාරිලිමේන්තු සාමාජිකයෙක්ට අවුරුදු පහක් උන්නහම පෙන්ෂන් එක හම්බෙනව.

සමහර රටවල ව්‍යවස්ථාදයකය මණ්ඩල දෙකයි. එංගලන්තෙ, ඉන්දියාවෙ එහෙම ඒ වගේ දෙකක් තියෙනව. එකක් ජනතාවගෙ ඡන්දෙං පත්වෙන අතරෙ, සමාජයෙ ඉන්න සම්භාවණීය පුද්ගලයන්ගෙං හෝ රදළයන්ගෙන් සැදුනු තව මණ්ඩලයක් තියෙනව. (මට පේන විදිහට ලංකාවටත් එහෙම ක්‍රමයක් හඳුන්වාදෙන්ඩ රනිල්ගෙ අදහසක් තියෙන බවට බළලෙක් මල්ලෙං එබිකං කරනව. කලිනුත් තිබුණ එහෙම එකක් සෙනෙට් සභාව කියල. 47 සෝල්බරි ව්‍යවස්ථාවෙ එහ‍ෙම...)

ලංකාවෙ තියෙන්නෙ ජනාධිපති සහ කැබිනට් ක්‍රමයක් නෙ. ඕකට කියනව විධායකය කියල. විධායකයෙන් කරන්නෙ අර පාර්ලිමේන්තුවෙන් හදන නීති ක්‍රියාත්මක කරන එක. ඒක ජනාධිපති කරනව. ඒ වගේම අගමැති සහ කැබිනට් මණ්ඩලය කරනව. ගොඩක් අවස්ථා වල කැබිනට් මණ්ඩලයට ඇතුළත් නැති ඇමති වරුත් ඉන්නව. (දැං ඉන්නෙ රාජ්‍ය ඇමති වරු... ඒ වගේ) කැබිනට් මණ්ඩලයට සීමාවක් නෑ. ඒ වගේම ස්ථාවර විධායකය විදිහට වැඩකරන රාජ්‍ය සේවයත් නීති ක්‍රියාත්මක කරනව. රට පාලනය කරන්නෙ ඔය උදවිය.

ලංකාවෙ ජනාධිපති තනතුර හැදුවෙ ස්ත්‍රීපුරුෂ භේදය වෙනස් කරන්ඩ විතරක් බැරි - අනික් හැමදේම පුළුවං විදිහෙ බලවත් කමක් දීල. ඒ ජනාධිපති පත්කරන්නෙත් ජනතාව සෘජු ඡන්දෙං. (සමහර රටවල එහෙම සෘජු ඡන්දෙන් පත්වෙන්නෑ. වෙන ක්‍රමයක් තියෙනව) එතකොට, එතනත් ජනතාවගේ පාලන බලය තමයි ජනාධිපතිට අවුරුදු පහකට (19 වෙනි සංශෝධනයෙන් පහක් කළා) උන්දැට දෙන්නෙ.

ජනාධිපතිට තියෙන බලතල...

එයා කැබිනට් මණ්ඩලයෙ ප්‍රධානියා.

එයා තමයි අගමැති පත් කරන්නෙ (පාර්ලිමේන්තුවෙ බහුතරයකගෙ විශ්වාසය දිනාගන්න කෙනාව තමයි එහෙම පත්කරන්නෙ)

එයා ආණ්ඩුවෙ ප්‍රධානියා

එයා ත්‍රිවිධ හමුදාවෙ සේනාධිනායකය

එයා ඇමතිවරු පත් කරන්නෙ (අගමැතිගෙ උපදෙස් විමසා)

එයා අමාත්‍යාංශ ලේකම් වරු පත් කරන්නෙ

එයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කරන්නෙ. (නිලබලයෙන් තුන්දෙනයි, ඒ තුන්දෙනා, ජනාධිපති සහ පාර්ලිමේන්තුවෙ අනික් පක්ෂ නම්කරන හත් දෙනයි)

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙ නිර්දේශ මත ස්වාධින කොමිෂන් සභා වලට සාමාජිකයන් පත්කරන්නෙත් එයාමයි.

පාර්ලිමේන්තුවක් පත් වෙලා අවුරුදු හතරකට පස්සෙ එයාට ඕනෙ වෙලාවක ඒක විසුරුවාහැරල මහමැතිවරණෙයක් තියන්ඩ පුළුවං

පාරිලිමේන්තුව විසුරුවා තියෙන විට ක්‍රම දෙකකට රටේ ඒකාබද්ධ අරමුදලෙ සල්ලි වියදම් කරන්ඩ පුළුවං

යුද්ධය - සාමය ප්‍රකාශයට පත් කරන්ඩ, හිරකාරයන්ට සමාව දෙන්ඩ පුළුවං

ජනාධිපති තනතුරේ ඉන්නකල් කරන ඕනෙම අලුගුත්තේරු වැඩකට නඩු දාන්ඩ බෑ.
ගෙදර ගියාම පෙන්ෂන් එක, නිල නිවාසයක්, සහ අනික් වරප්‍රසාද (ස්කොඩ් එක වගේ) හම්බෙනව මැරෙනකං ඒ වගේම මළාට පස්සෙ කලත්‍රයට පෙන්ෂන් එක ලැබෙනව එයා මැරෙනකං.

රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද ලැබෙනව (පිටරට වලදි එහෙම මේක හරි ආෂික්)

තව තියෙනව...

කැබිනට් මණ්ඩලයට තියෙන බලතල...

හැම නීතියක්ම අලුතින් පිහිටුවද්දි හරි, තියෙන නිතියක් සංශෝධනය කරද්දි හරි, පාර්ලිමේන්තුවට කෙලිම්ම ඉදිරිපත් කරන්ඩ බෑ. කලිං කැබිනට් මණ්ඩලේ අනුමැතිය ඕනෙ.

මේ අය තමයි අමාත්‍යාංශ වල විෂයපථය පාලනය කරන්නෙ.

රාජ්‍ය සේවය ගැන ප්‍රතිපත්තිමය තිරණ ගන්නෙ මේ අය. (17 වන සංශෝධනයෙන් මේ බලය රාජ්‍ය සේවා කොමිසමට දිල තිබුණ. 18 න් ආපහු කැබිනට් මණ්ඩලේට ගත්ත. 19න් ආපහු දුන්නෑ.) මේකෙ එක සරළ තේරුමක් තමයි, රාජ්‍ය සේවයෙ තිරණාත්මක පුටු වලට යන්ඩ නං දේශපාලන හයියක් ඕනෙ කියන එක. අනික තමයි, රාජ්‍ය සේවයෙ හැම කෙනෙක්ම කන්ඩ ඕනෙ මොන වෙලාවටද, වැඩට එන්ඩ යන්ඩ ඕනෙ මොනවෙලාවටද වගේ දේවල් වල ඉඳල, රාජ්‍ය සේවය මෙහෙයවන හැම නීති රීති රෙගුළාසියක්ම ගැන තීරණ ගන්නෙ මේ අය.

රජයෙ විශාල පරිමාණයෙ වැඩ, සැපයීම්, සේවා සපයාගැනීම් ගැන තීරණගන්නෙ කැබිනට් එක පත්කරන ප්‍රසම්පාදන මණ්ඩලය

රාජ්‍ය සේවයට තියෙන බලතල?

එකයි තියෙන්නෙ. තමන්ට පැවරිල තියෙන තනතුරේ ස්වභාවය අනුව තමංගෙ පරාසයෙ පාලනය සහ කටයුතු ඉටු කිරීම.

මේ අයට පෙන්ෂන් එක හම්බෙන්නෙ වයස 55 හෝ 60 සම්පූර්ණ කළහමයි.

රාජ්‍ය සේවයෙ පත්කිරීම්, මාරු කිරීම්, උසස්කිරීම්, අස්කිරීම්, විනය පාලනය කරන්නෙ රාජ්‍ය සේවා කොමිසම. ඒක පත් කරන්නෙ ජනාධිපති - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙ නිර්දේශ අරගෙන.

තව අංශයක් තමයි, නීති කඩවෙනවද කියල බලල දඬුවම් නියම කිරීම සහ චර්යාවන් නිවැරදි කරන්ඩ තියෙන ආයතන. ඒකට කියනව අධිකරණය කියල.

ලංකාවෙ ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය. 

ඒක අභියාචනා ගැන තීරණ දෙන්ඩ තියෙන ඉහළම එක

මූලික අයිතිවාසිකම් කඩවිම ගැන නඩු ගොනු කරන්ඩ පුළුවං එතන

ඊට අමතරව ලංකාවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සැක සහිත තැන් තියෙනව නං ඒක ගැන තේරුම් සපයන එකත් එක රාජකාරියක්

අනික තමයි ඡන්ද පෙස්සම් විභාග කරල, අවුරුදු දහයකට විතර පස්සෙ ඒ ඡන්දෙ වැරදියට තියල තියෙන්නෙ කියල තීන්දුව දෙන එක.

ඊට පහලිං තියෙනව අභියාචනාධිකරණය

ඒකෙ අනික් අධිකරණ කටයුතු වලට වඩා විශේෂයකට තියෙන්නෙ රිට් ආඥා නිකුත් කරන එකයි

රජයෙ නිලධාරියෙක් රාජකාරිය පැහැර හරිනවනං
ඉහළ තනතුරකට සුදුසුකම් නැතුව කෙනෙක් පත් වෙලා ඉන්නවනං
කාව හරි නීතියට පිටිං හංගගෙන ඉන්නවනං
මොකක් හරි අහිතකර ක්‍රියාවක් තහනම් කරවගන්ඩ ඕන්නං
කවුරු හරි දෙන නීති විරෝධී තීන්දුවක් අහෝසි කරගන්ඩ ඕන්නං
       මේ වගේ කාරණා වලදි අභියාචනාධිකරණයට පැමිණිලි කරල රිට් ආඥාවක් ගන්ඩ පුළුවං

ඊට පහලිං පළාත්බද මහාධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණ ආදිය තියෙනව.

ඔය ටික තමා ලංකාවෙ පාලන ව්‍යුහය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවං සළසල තියෙන.

ලංකාවෙ තව තියෙනව පළාත් සභා

13 වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේක ඇති කළේ. ඒ අනුව කාර්යයන් ලැයිස්තු තුනක් තියෙනව. එක ලැයිස්තුවක් (සංවෘත ලැයිස්තුව) රජයට අයිතියි. අනික පළාත් සභා වලට අයිතියි. අන්තිම එක (සමගාමී ලැයිස්තුව) දෙකටම අයිතියි. ඒ අන්තිම එකේ කාර්යයක් ගැන රජය නීතියක් හදනවනං පළාත් සභා ඔක්කොටම ඉදිරිපත් කරල අනුමත කරව ගන්ඩ ඕනෙ. පළාත් සභාවක් නීතියක් හදනවනං රජයට ඉදිරිපත් කරල අනුමැතිය ගන්ඩ ඕනෙ.

පළාතෙ ප්‍රධානිය ආණ්ඩුකාරය. එයා පත් කරන්නෙ ජනාධිපති. එතනිං පළාතෙ පාලනය ජනාධිපති අතේ රඳව ගන්නව. ඒකෙ ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වන පළාත් මහලේකම් පත් කරන්නෙත් ජනාධිපති. පළාතෙ රාජ්‍ය සේවය පාලනය වෙන්නෙ පළාත් රාජ්‍ය සේවා කොමිසමෙං. ඒක පත් කරන්නෙ ආණ්ඩුකාරය. පළාත් සභාව විසුරුවන්ඩ ආණ්ඩුකාරයට බලය තියෙනව. ඔය විදිහට පළාත් සභාවල ඉහළ කොටස තනිකර දේශපාලනයට යටත්.

පළාත් සභාවෙ අැමතිවරු (මහ ඇමතිත් එක්ක) පහයි. (ලොකු හයියක්)

ඔයිට අමතරව තියෙනව පළාත් පාලන ආයතන. එව්වයෙ ඉන්නෙ පළාත් රාජ්‍ය සේවයෙ උදවිය, මහජන නියෝජිතයො සහ මහජන නියෝජිතයන් අතිරං තෝරගත්ත සභාපතිවරු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙනව මූලික අයිතිවාසිකම්:

1. සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස
2. වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත්  නොවී සිටිමේ නිදහස
3. නීතිය පසිඳලීම සහ ක‍්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ වීම සහ ජනවර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවීම
4. අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඬුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම
5. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය
6. සාමකාමීව රැස්වීමේ නිදහස
7. තමන් කැමති සමාගමකට, සමිතියකට, දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට බැඳීමේ සහ එහි කටයුතු කිරීමේ නිදහස
8. වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහස
9. ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ, වැඩි දියුණු කිරීමේ සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහස
10. නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහස
11. ශ‍්‍රී ලංකාව තුළ යාම් ඊම් නිදහස, අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස සහ ශ‍්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහස
12. තොරතුරු වෙත ප‍්‍රවේශ වීමේ අයිතිවාසිකම

මූලික අයිතිවාසිකම් වලට සීමා තියෙනව. 1, 2, 3, 4, 12 හැර අනික් එව්ව භුක්ති විඳිද්දි, ජනවාර්ගික සහජීවනයට සහ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට හාණි නොවන විදිහට, අධිකරණයට අපහාස නොවන විදිහට භුක්ති විඳිය යුතුයි.

අනික මේ අයිතිවාසිකම් ලැබෙන්නෙ ලංකාවෙ පුරවැසියන්ට විතරයි.

මූලික අයිතිවාසිකම් කඩ වෙද්දි හෝ වෙන්ඩ ආසන්න මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණයෙ නඩුවක් දාන්ඩ හරි මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරන්ඩ හරි පුලුවං. (එච්චරයි ඉතිං... ඒ පැමිණිලි වලට වෙන දේවල් කියල නෑ. ඒක ශක්තිමත් කරන්ඩ ඕනෙ අලුත් සංශෝධනයකදි.)

විගණකාධිපති ගැන, ස්වාධීන කොමිෂන් සභා ගැන කියනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තව පරිච්ඡේද කිපයකිං.

අපේ අයියල ලොකුවටම අල්ලගෙන ඉන්න දේවල් කිපයකුත් මේකෙ තියෙනව.

1. ඒකීය බව

ඒකීයයි කියන්නෙ පාලන බලය බෙදා හැරල නෑ. රජය යටතෙ තියෙන්නෙ කියන එකයි. ලංකාව ප්‍රායෝගිකව බැලුවොත් දැනටමත් යම් පමණකට ඒකීය නෑ. මොකද සමහර බලතල දැනටමත් පළාත් සභා වලින් ක්‍රියාත්මක කෙරෙනව.

ඕකෙ විරුද්ධාර්ථය තමයි සන්ධිය බව (ඉංග්‍රීසි වචනෙ ෆෙඩරල්. මේ වචනෙ ඇහෙන්ඩ කියන්ඩවත් හොඳ නෑ - රට කෑලි වලට කැඩෙනව.) සන්ධීය කියන්නෙ ප්‍රාදේශීය පාලන ඒකක තියෙනව. මධ්‍යම රජයකුත් තියෙනව. ඒ දෙකෙම්ම රටේ පාලනය කෙරෙනව. උදාහරණ තමයි ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටවල් (ඉන්දියාව 1947 ඉඳං සන්ධීයයි. මේ කියන විදිහට ඒක 1950 විතර වෙද්දි කැලි කෑලි වලට කැඩිල තියෙන්ඩ ඕනෙ.)

2. බුද්ධාගමට ප්‍රමුඛත්වය දිල සුරක්ෂිත කරල පෝෂණය කරන බව

ඕක නං මයෙ හිතේ 1818 ගිවිසුමට දාපු වගන්තියක්. මගෙ පෞද්ගලික මතය නං රාජ්‍යයක් එක ආගමකට ප්‍රමුඛතාවය දීම වැරදියි. රජය එක්කෝ රටේ පවතින හැම ආගමක්ම ආරක්ෂා කළ යුතුයි. නැත්තං එකක්වත් පෝෂණය නොකළ යුතුයි. මොකද කිසිම ආගමකට පවතින්ඩ රාජ්‍ය අනුග්‍රහය ඕන් නෑ. ඕනෙ භක්තිමත් අනුගාමිකයොයි, සිල්වත් පූජකයොයි විතරයි.

ඊට අමතරව ජාතික කොඩියයි, ජාතික ගීයයි, දිස්ත්‍රික්ක විසිපහයි, රටේ පුරවැසියංගෙ ප්‍රමුඛතා ලැයිස්තුවයි එහෙමත් මේකෙ සඳහන් වෙනව.

------------------------------------

හරි... දැං අපි බලමු මොනවද මේකෙ සංශෝධනය වෙනවනං හොඳ - ඒ කියන්නෙ රටේ යහපැවැත්මට සහ හොඳ රාජ්‍ය කළමනාකරණයක් ඇති කරගන්ඩ ඕනෙ මොනවද?

1. මැතිවරණ ක්‍රමය

දැං තියෙන්නෙ අපේක්ෂකයො රැළක් එකිනෙකා විශාල ප්‍රදේශයක් ආවරණය කරන ක්‍රමයක්. (මහමැතිවරණෙකදි දිස්ත්‍රික්කයක් ආවරණය කරන්ඩ වෙනව එක්කෙනෙකුට.) එතකොට ඡන්දෙට ඉදිරිපත් වෙන්ඩ පුළුවං ඔය විශාල ප්‍රදේශයටම වියදම් කරන්ඩ පුළුවං අයට විතරයි. එතකොට සමාජයෙ සම්මානනීය පුරවැසියො නෙමෙයි ඉදිරිපත් වෙන්නෙ, හොඳටම සල්ලි හම්බකරගත්තු මනුස්සයෙක්. ඒ කියන්නෙ එයා පත් උනාටපස්සෙ බලන්නෙ සමාජයෙ සම්භාවනීය විදිහට ඉන්ඩ නෙමෙයි, වියදං කරපු සල්ලි වගේ කීප ගුණයක් උපය ගන්න මාර්ගය.

ඒ නිසා මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්ඩ ඕනෙ.

ඒක ආපහු තිබුණු කේවල ක්‍රමයට යනවනං හොඳයි. එතකොට එක ආසනේකට එකයි පත්වෙන්නෙ. ඒකෙං සුළු පක්ෂවලට හම්බ කරගන්ඩ රස්සාවක් නැතුව යනව. (මුං බහුතරයක් නං පාර්ලිමේන්තුවට ආවත් වැඩක් නෑ. කරන වැඩක් නැති නිසා.) අනික සුලු ජනවර්ග නියෝජනයට ඉඩක් නැතුව යයි කියලත් පේනව.

2. ජනාධිපති ක්‍රමය

අපි හරිම බයයි නෙ ජනාධිපති නැති කරනවට. හැබැයි 94 ඉඳං ජනාධිපති තනතුරට ඉල්ලපු හැම එක්කෙනාම කිව්වෙ මං බලයට ඇවිත් ඕක නැති කරනවය කියලයි. අනික 78 වෙනකං තිබ්බෙ කැබිනට් ක්‍රමය. ඒ කාලෙ තමයි පළවෙනි ජවිපෙ කැරැල්ල ආවෙ. කැබිනට් කියල ඒකට මූණ දෙන්ඩ බැරි උනාද? අනික ජනාධිපති ක්‍රමය තිබ්බ කියල සිවිල් යුද්ධය මගඇරගන්ඩ අපිට පුළුවං උනාද? නෑනෙ. ඒක අවුරුදු 30ක් ඇදුණනෙ. අනික, ඉන්දියාවෙ තියෙන්නෙ කැබිනට් ක්‍රමය. එංගලන්තෙ තියෙන්නෙත් කැබිනට් ක්‍රමය. එව්වට මොකද වෙලා තියෙන්නෙ? ඔය යහතිං තියෙන්නෙ.

කොහොමත් බලතල මහ රාසියක් එක පුද්ගලයෙකුට දෙන්ඩ හොඳ නෑ. ප්ලේටෝ කියල තියෙන්නෙ මට මතක විදිහට “බලය දූෂණය කරයි“ කියල. උඩ මං පෙන්නල තියෙනව, හමුදාවට අණ දෙන්ඩ, මුදල් පාලනය කරන්ඩ, නිති හදන ආයතනය විසුරුවන්ඩ, හැමතැනම ඉන්න ප්‍රධානීන් පත් කරන්ඩ ආදී වශයෙන් ජනාධිපතිට ලැබිල තියෙන බලතල වැඩියි.

අනික තමයි එයා කාටවත් වගකියන්නෑ. අගමැති පාර්ලිමේන්තුවට වගකියනව. කැබිනට් මණ්ඩලයත් එහෙමයි. කොමිෂන් සභාත් පාර්ලිමේන්තුවට වගකියන්ඩ ඕනෙ. ජනාධිපති කාටවත් වගකියන්නෑ. (දුවටයි ආර්යාවටයි ඇරෙන්ඩ)

වැඩිය හොඳයි පාර්ලිමේන්තුවට වගකියන විධායක ක්‍රමයක්. කැබිනට් ක්‍රමය හොඳා.

3. රාජ්‍ය සේවය

රාජ්‍ය සේවයෙ ප්‍රතිපත්තිමය තීරණ ගන්න බලය කැබිනට් මන්ඩලයට දෙන්ඩ ඕනෙ නෑ.

දැං ඉන්න ඇමති වරු අතරෙ ඒ ලෙවල්වත් නැති අය පවා ඉන්නව. පැහැදිලිවම ඒ අයට රට දියුණු කරන පරමාර්ථයට වඩා තියෙන්නෙ දේපළ අත්පත් කරගැනීම, හම්බ කරගැනීම වගේ පරමාර්ථ.

ඒත් රාජ්‍ය සේවයෙ ඉහළ නිලධාරීන් එන්නෙ එක්කො අවුරුදු දහයක පළපුරුද්දෙන්, නැත්නං උපාධියෙන්, නැත්තං දෙකම ඕනෙ. ඒ අය කටයුතු කළයුතු විදිහ ගැන තීරණ ගන්ඩ ඒ අය අතරින්ම කිර්තියක් අත්කරගන්න අයගෙන් සැදුණු කොමිෂන් සභාවකට පුළුවන්.

අනික තමයි අමාත්‍යාංශ ලේකම් වරු.

ඒ අය ජනාධිපති පත්කරන්නෙ. අනික ඇමති මාරු වෙනකොට ලේකමුත් මාරු වෙනව. එහෙම උනාම, ඇමතිට ජනාධිපතිට ගැති අය තමයි ඒ තනතුරු වලට පත්වෙන්නෙ. එහෙම ඕන් නෑ. 78 ට කලිං හිටිය වගේ ස්ථිර ලේකම් වරු පත් කළ යුතුයි. එතකොට කෙලිං වැඩ කරන්ඩ පුළුවන් නිලධාරින්ට ඒ තැන්වලට එන්ඩ පුළුවන් වෙනව.

තව ලියන්ඩ තියෙනව. ඒ ටික අනික් කොටසින් ලියන්නම්...

වැඩිපුර බලපු ලිපි