කයි කතන්දර ගැන මගෙ පරණ පෝස්ට් එකක දි සඳහන් කළා මට මතකයි. එතන දි සඳහන් කරපු බොරළැස්ගමුවේ ජී. එච්. පෙරේරා ගේ කයිකතන්දර පොතේ තිබිලා මට මතක හිටපු කයි කතන්දර ගැන වෙන ම ලියන්න හිතාගෙන හිටියා. මේ ඒකෙ පළවෙනි ලිපිය. මෙතන මම කියන්න යන්නෙ දෙමළ භාෂාව මවුබස කරගත්ත ලාංකිකයො කීපදෙනෙක් හැදුවා කියා කියවෙන කවි කීපයක් ගැන.
දවසක් මරක්කල මනුස්සයෙකුත් ගියා බණක් අහන්න. හාමුදුරුවො සාමාන්‍යයෙන් බණ කියන්න කලිං කියනවනෙ ගාථාවක්. ඒ කල්ල හිටං තමුන්වහන්සේ වදාරණ බණ ඒ ගාථාව ආශ්‍රයෙන් තමයි පැහැදිළි කරන්නෙ. ආන්න ඒ වගේ මේ අවස්ථාවෙදිත් හාමුදුරුවො මුලින් ම දේශනා කළ ගාථාවක්...
ගංගාය වාලුකා ඛියෙ - උදකං ඛියෙ මහණ්ණවෙ
මහියා මත්තිකා ඛියෙ -ලක්ඛෙන මම බුද්ධියා
පහුවදා කඩපිලේ දි කවුරුත් කතා වෙනව කලින් දා රෑ අහපු බණ ගැන. ඔතන අර මරක්කල මනුස්සයත් හිටියා. එයාටත් නළියනව තමුං අහපු බණ ගැන මොනව ම හරි කියන්න. ඉති උන්දැත් කිව්වා,
"අප්පුආමිලට කියන්ඩ, ඊයෙ රා වණ ඩිංග නං බෝම ඔන්දයි තමා. මාත් ඒක ඔක්කොම එල්ලි වෙනකාං තමා ආගෙන ඉටියා..."
"අනේ පලයං තම්බි යන්ඩ." කඩේ උන්න ගැටයෙක් සමච්ඡලේට කිව්වා. "උඹල දන්න බණ..."
"ඒම කියන එක අරි නෑ මල්ලි. ඒම කියන්න යෙපා. මට ඒ වණ කවිය ෂේරම පාඩම් ඉටියා."
"හා කියහං බලන්ඩ කටපාඩං හිටපු ටික..."
තම්බිත් උගුර එහෙම පාදලා, බොහොම ආඩම්බරෙන් කිව්වා අර ගාථාව...
ගඟිය කියේ වලිය කියේ - උදය කියේ මාණවියේ
මයිය කියේ මතිය කියේ - ලකියා මම බුදියා
* * *
මජීදු නානා කියලා මනුස්සයෙක් උන්නා ඔය විදිහෙ. එයත් නිතරම අල්ලපු ගමේ තිබුණු පිරිවෙනට යනව එනව. ඒ පිරිවෙනේ උන්න පණ්ඩිත හාමුදුරුවො අනික් ගෝලයන්ට සිංහල කවි ප්‍රබන්ධ කරන හැටි කියා දෙනවා බලා ඉන්න එයා හරි ම කැමතියි.
දවසක් හාමුදුරුවො ඇහුවා,
"තම්බි උපාසක, දැන් උන්නැහෙත් කාලෙයක් තිස්සේ මේ පිරිවෙනට යනවා, එනවා. කවි උගන්නන හැටිත් බලාගෙන ඉන්නවා. තාම බැරි උනා ද, තමුන්නැහැට කවියක් හදන්ඩ?"
"මක්කද ආමුදුරුවනේ බැරි? මටත් පුළුවන් තමා කයියක් දෙකක් අදන්ඩ..."
"ආ, එහෙනම් හදල කියමු බලන්ඩ..."
ටිකක් කල්පනා කර කර හිටපු මජීදු නානා, මේ කවිය කිව්වා...
මම උපන්න ගම නං පට්ටිපොල ගම
මම ඇදිච්ච ගම නං අකුරණ ළඟ කුරුගොඩ ගම
මම කෂාද වන්ද ගම නං රම්බඩ ගඟ වත්ත ගම
මම දෙනට පදිංචි ගම නං මාඳිපොල ගම
* * *
නගරබද ගෙදරක තොවිලයක් නැටුවා. ඒ ළග ගෙදරක උන්නා ලංසි පවුලක්. එහෙ වැඩට උන්නෙ දෙමළ කොල්ලෙක්. ඔය ළමයටත් ආසා හිතුණා තොවිලෙ බලන්න යන්න. ඉතිං එයා ගිහිං ගෙදර නෝනගෙන් ඇහුවා "මාත් යන්ඩද නෝනා නැටුම් බලන්න?" කියලා.
නෝනටත් හරි කුතුහලයි තොවිලෙ ගැන. ඒත් ඉතිං යන්නත් බෑ. සාමාන්‍යයෙන් ටිකක් ස්ටේටස් තියාගෙන ඉන්න ගෙවල්වල නෝනලා එහෙම යන්නෑනෙ... ඉතිං එයා කිව්වා, "හා හොඳයි. ගිහිං වරෙං. හැබැයි උඹ බලපු නැටුංවල හැම විස්තරයක් ම මට ඇවිත් කියන්ඩ ඕනෙ." කියලා.
ඉතිං අර කොලුවත් හරි සන්තෝසෙන් ගිහින් එළි වෙනකම්ම නැටුම් බලලා සතුටු වුණා.
ආපහු එද්දිත්, තොවිල් නැටුමයි එතනදි කියන දිග කවිවල රිද්මෙයි කොල්ලගෙ හිතේ... ඉතිං ආපහු ගෙදර ඇවිත් නෝනට තොවිලෙ නැටුම් විස්තර කිව්වෙත් තොවිලෙදි අහන්ඩ ලැබුණු කවිවල ශෛලියට තමන් හදාගත්ත කවියකින්...
යෙක මිනියෙක් මා දඬු කඳ කර බැඳගෙන දිඩි බිඩි බිඩි දිඩි බිඩි බිඩි යේක යෙකයි යෙක නැටුමයි නෝනේ
යෙක මිනියෙක් කාෂි මල්ල පය බැඳගෙන ගඩි ගිජි ගිජි ගිඩි ගිජි ගිජි යේක යෙකයි යෙක නැටුමයි නෝනේ
යෙක මිනියෙක් අඟුරු කබල අතට අරං දුම් ගෂ ගෂ දුම් ගෂ ගෂ යේක යෙකයි යෙක නැටුමයි නෝනේ
යෙක මිනියෙක් සුදු රෙද්දක් පොරවාගෙන බුදි බුදි බුදි බුදි බුදි බුදි යේක යෙකයි යෙක නැටුමයි නෝනේ
* * *
ඉස්සර හිටියානේ ගෙයින් ගෙට පයින් ගිහින් වෙළඳාම් කරන මුස්ලිම් වෙළෙන්දො. ඒ අයට ඉස්සර මිනිස්සු කිව්වා මරක්කල වෙළෙන්දො කියලා. රෙදි පොට්ටනියක් හරි තොරෙම්බල් කූඩයක් හරි නැත්තං වෙන මොකක් හරි ඔලුව උඩ තියාගෙන ගමකට ඇවිදින්, දවසක් හරි දවස් කීපයක් හරි ඒ ගමේ ගෙයින් ගෙට ගිහින්, ආගන්තුක සත්කාරයක් විඳිමින්, ප්‍රවෘත්ති රැස් කරමින් සහ බෙදා හරිමින් මේ මරක්කල මිනිස්සු වෙළඳාමකුත් කරගෙන හොඳ ආදායමකුත් රැස් කරගත්තා.
මේ විදිහෙ මරක්කල පොට්ටණි වෙළෙන්දෙක් උන්නා, එයා එක ගමකට ආවම, නතර වෙනවා දවසක් දෙකක් එක ගමරාළ කෙනෙක්ගෙ ගෙදර. දවසක් උන්නැහැ ආව වෙලාවෙ දැක්කා ගම හාමිනේ කස කස ඉන්නව. ඒ මොකද කියල අහපුවාම දැනගන්න ලැබුණෙ, හොරි හැදිලා කියලා.
පරණ මිනිස්සු මොනව හ ලෙඩක් හැදුනම ගමේ වෙද මහත්තයගෙන් බෙහෙත් ගන්නව. ඒ අතරෙ ගොඩ වෙදකමුත් කරනව. හරි යන් නෑ වගේ නං වෙලාවකුත් බලලා, සාත්තරේකුත් අහනව.
එහෙම අහපු සාත්තරෙකට කියල තියෙනව, හොරි හැදුණෙ අපලෙකටය, තොවිලෙයක් නටන්ඩ වෙනවය කියලා. ඒත් ඉතිං ගමරාළ හරි දුප්පත්. තොවිලෙ නටවන්ඩ සල්ලි බාගෙ නෑ.
ඔය ටික අහගෙන හිටපු මරක්කල මුදලාලිට හිත උණු උනා. එයා කිව්වා,
"ආ... මට සල්ලි එපා. මං නටන්නං තොවිලෙ. මට මේ මේ කළමනා ටික හොයල දෙන්ඩ" කියලා. ගමරාළත් කල්පනා කළා, මේකත් කරල බලමු කියලා. ඒ අනුව අර කියපු අඩුම කුඩුම ටික හොයල එදා රෑ ම තොවිලෙ පටං ගත්තා.
මරක්කල මුදලාලිත් දන්න දන්න විදිහට සිංහලෙන් තොවිල් කවි හද හදා කිය කියා නැටුවා. එහෙම කියපු එක කවියක් මේ...
පනියාරුන් කියන කැවුම් ගෙනත් පුදන්නේ
එ අනුඅසින් මේ ඇත්තිගෙ හොරි ඔඳ වෙන්නේ
වාලෛප්පලම් කියන කෙෂෙල් ගෙඩිත් පුදන්නේ
එ අනුඅසින් මේ ඇත්තිගෙ හොරි ඔඳ වෙන්නේ
* * *
ඔය වගේ තවත් මරක්කල වෙළෙන්දෙක් හිටියා, හොඳ ලස්සනට ගළපලා කවි හදලා කියන. දවසක් එයා එළගොන්දෙණියේ පොඩි අප්පුහාමිගෙ ගෙදරට ගොඩ වුණා. කොහිලකොටුවෙ ලොකු අප්පුහාමිගෙ දෝණියන් කරකාර බැඳගත්තු මේ කියන පොඩි අප්පුහාමි ඉතාම හොඳ රසවතෙක්. ඉතින් එයා ඔය මරක්කල වෙළෙන්දට යන්න දෙන්නෙ නෑ, කවියක් දෙකක් කියනකම්. ඒ පරක්කුව වෙනුවෙන් ආගන්තුක සත්කාරයට අමතරව, පොඩි අප්පුහාමි තමුන්ට උවමනා නැති වුණත් අරයගෙන් මොනවා හරි බඩුවක් දෙකකුත් ගන්නවා මයි. ඒ නිසා මරක්කල උන්නැහැත් බොහොම කැමැත්තෙන් තමයි පොඩි අප්පුහාමි ගෙ ගෙදරට ගොඩ වෙන්නෙ.
ඉතින් දවසක් මරක්කල උන්නැහැ ඔය ගෙදරට ගොඩ වෙනකොට ම ඇතුල් කාමරේක පොඩි කසුකුසුවකුත් එක්ක බොහොම කෞතුක දෙයක් දකින්න ලැබුණා. ඒ වගක් නොපෙන්නා උන්නැහැ උගුර පාදලා ගෙදර උස් පිලේ ඉඳගෙන ඔලුව උඩ තිබුණු බරත් පැත්තකින් තිබ්බා.
ඒ වෙලාවෙ පොඩි අප්පුහාමි ගෙදර උන්නෙ නෑ. ඒ බව වචනෙන් දෙකෙන් කියපු පොඩි අප්පුහාමිගෙ , ඉක්මණට ඉක්මණට ගේ ඇතුලට වුණා. ආන්න එහෙමයි ඒ කාලෙ වැදගත් හැදිච්ච සීලාචාර කාන්තාවො.
ටික වෙලාවකින් පොඩි අප්පුහාමිත් ආව. මරක්කල උන්නැහැ දැක්ක විතරයි උන්නැහැගෙ මහන්සියත් නැති වුණා. ඉතිං පෙරැත්තෙ කවියක් කියන්න කියලා...
මරක්කල වෙළෙන්දා කැමති වුණේ නෑ එදා කවි කියන්න. මනුස්සයගෙ හිතට හරි මදි. නමුත් පොඩි අප්පුහාමි සෑහෙන්න පෙරැත්ත කරනව.
"බෑ අප්පුආමි. අද බෑ. අද නං මං කවි කිව්වොත් මහ විනාසයක් තමා වෙනවා..."
"එහෙම වෙන්නෙ කොහොමද තම්බි? කවියක් කිව්වට මොකද්ද වෙන විනාසෙ? ඔන්නොහෙ අද කවියක් කියලම තමයි යන්නෙ..." පොඩි අප්පුහාමිත් අර මනුස්සයට නිදහසක් දෙන්නෙම නෑ.
බැරිම තැන මරක්කල මුදලාලි කිව්ව කවියක්... ඒක තමයි ඔය පහළ තියෙන්නෙ.
කොයිලකොටුවෙ ලොකු අප්පුආමිකෙ දෝණියන්
එළගොන්දෙණියෙ පොඩි අප්පුආමිට කෙනාවයි
පංශලේ ඉටපු මාණ අප්පුආමිත් ආවයි
ශිවුරු පොදිය පොතු මල්ලේ හංගාලයි