Showing posts with label ගජබින්නාලංකාරය. Show all posts
Showing posts with label ගජබින්නාලංකාරය. Show all posts

Thursday, March 19, 2026

පාර අයිනෙන් ගත්ත ටයරය - අපේ බාප්පා ගැන කතාවකි

ඒ කාලෙ අපේ ගමේ පාරවල් දැන් කාලෙ වගේ නෙවෙයි. මම කියන්නෙ හැත්තෑවේ දශකයෙ මුල. ගුරු පාරවල් තිබුණෙ. පළල් පාරවලට කිව්වෙ කරත්ත පාර කියලයි. ගමේ ප්‍රධාන ම පාර තිබුණෙ කරත්ත පාරක්.

අපේ තාත්තා ස්ථිර රස්සාවකට ගියෙ හැත්තෑ දෙකේ. මම හිතන්නෙ එයා මුලින් ම රැලේ බයිසිකලයක් ගත්තෙ ඒ කාලෙ, මාස කීපයක පඩියෙන් ඉතුරු කරගත්ත මුදලින්. ඒ බයිසිකලේ පවුලෙ හැමෝට ම වටින එකක් වුණා. හොඳට තෙල් දාලා, රැකගෙන, වටින දෙයක් වගේ තමයි තාත්තා පාවිච්චි කළේ.

දවසක් අපේ බාප්පා මේ බයිසිකලේ ඉල්ලුවා එහා ගමට ගිහිං එන්න. තාත්තා තමන්ගෙ මල්ලිගෙ පරිස්සම ගැන හොඳට දන්න නිසා, බයිසිකලේ දුන්නෙ එච්චර කැමැත්තකින් නෙවෙයි.

මේ බයිසිකල් ගමන තමයි හැම දෙයක් ම වෙනස් කළේ.

බාප්පා ගමන පිටත් වුණේ හවස හතරට විතර. ගියෙ අපේ ගමේ වෙල් යායට එහා පැත්තෙ තිබුණු පරකන්දෙණියට. ගුරු පාර දිගේ ජැන්ඩි පහට බයිසිකලේ පැදගෙන, බෙල් එකත් ඉද හිට නාද කරගෙන යද්දි, ලාවට ඇඳිරි වැටෙමින් තිබුණා. ලා ඇඳිරියට බාප්පා දැක්කෙ නෑ, පාර අයිනෙ නයෙක්  මුවහත් ගල් කෑල්ලක් තිබුණා පාරෙ. ඒක ඇනිලා එක පාරට ම බයිසිකලේ ඉස්සරහ රෝදෙ ටයර් එක පිපුරුවා...

දැන් මොක ද කරන්නෙ? අපේ ගම අවට පරිසරය දන්න අය දන්නවත් ඇති, සුනිල් මාමගෙ කඩේ ගාවින් පහලට තියෙනව නාගහදෙණිය පාර, ඔන්න ඔය පාරෙ අතරමැද හරියෙ තමයි මේක සිද්ධ වුණේ. ඒ කාලෙ ඔය හරිය හද්ද කැලේ. ගෙවල් තිබුණෙත් පාර අයිනෙ නෙවයි, ඒ වගේ ම ගෙවල් අතරත් සෑහෙන පරතරයක් තබුණා, ඉඩම් විශාල වීම නිසා.

ටයර් එක නැතුව රිම් එකෙන් විතරක් බයිසිකලේ තල්ලු කරගෙන ආපහු ගෙදර යන්න තමයි සිද්ධ වෙන්නෙ. ඔය අතරෙ තමයි, බාප්පට පාර අයිනෙ සර සරයක් ඇහුණෙ. හොඳට බලපුවා ම මෙන්න සයිස් නයා. අඩියක් විතර ඇති පෙනේ විතරක්. පෙනේ කොච්චර ලොකු ද කියනව නං ඒකෙ "ප"යන්න විතරක් නෙවෙයි අනික් අකුරු දෙකත් තිබුණා.

බාප්පා එක පාරට ම අත දිග ඇරලා අල්ල ගත්තා අර නයාගෙ ඔලුවෙන්. ඒ කරලා හිටං, ඌව එතුවා බයිසිකලේ රිම් එක දිගට. ඔලුව දෙපැත්තෙන් මාපටඇඟිල්ලෙනුයි දබරැඟිල්ලෙනුයි තද කරපුවාම උගෙ කට ඇරුණා. ඒ කටේ ගැහුවා උගෙ ම නැට්ට.

ඒ කරලා හිටං බාප්පා ආපහු බයිසිකලේ නැගලා පදින්ඩ ගත්තා. ටික වෙලාවක් යනකොට තමයි බාප්පට තේරුණේ, අලුත් ටයර් එක රබර් ටයර්වලට වඩා හොඳයි කියලා. සාමාන්‍යයෙන් ගුරු පාරක බයිසිකලේ යද්දි, ඉස්සරහ රෝදෙ හුළං අඩු කරන්ඩ වෙනව, මොක ද, වලවල්වල වැටෙන කොට හුළං හොඳට ම පිරුණු ටයර්වලින් ටෙන්ෂන් එක බයිසිකල් හැඬල් එකට ම දැනෙනව. එතකොට අත් දෙදරනව වගේ දැනෙනව. නමුත් මේ ප්‍රසන්න ටයර් එක එහෙම නෑ. ඒක වලවල්වල වැටෙනකොට පොඩ්ඩක් බුරුල් වෙලා සාමාන්‍ය පාරෙදි ආපහු තද වෙනව.

බාප්ප ඉතිං ගමනත් ගිහිං, වෙන්ඩ පුංචිත් බලාගෙන, ආපහු ඇවිත්, ගමේ ඒ කාලෙ තිබුණු කඩ කීපයෙන් එකක් වුණු ඇල්බොට් ආතගෙ කඩේ ගාවට ආව. ඇවිත් බයිසිකලේ නවත්තනකොට ම, මුදලාලි දැක්කා ඉස්සරහ ටයර් එක පොඩ්ඩක් දඟලනව. 

"මේ මොකද්ද මේ අමුතු ජාතියෙ ටයර් එක?" කඩේ මුදලාලි ඇහුව.


"මේක නයා ලකුණ ටයර් එකක්." බාප්ප කිව්ව. "මං මේ පාර අයිනෙන් ගත්තෙ. නැද්ද හොඳ ඩන්ලොප් වගේ ටයර් එකක් ගන්ඩ? මේක මාරු කරගන්ඩ ඕනෙ."

ඔය විදිහට අලුත් ටයර් එකකුත් අරගෙන බාප්ප ගෙදර ඇවිත්, අපේ තාත්තට බයිසිකලෙයි ටයර් එකයි දුන්නා. 

පහුවදා තාත්තා විංකල් පියදාස හොයාගෙන ගියා ටයර් එක මාරු කරගන්ඩ. වැඩේ තියෙන්නෙ, පියදාස මාමා, ටයර් එක පන්නන්ඩ හදනකොට නයා තව ටිකක් තද කරගන්නව. මාරු කරන්ඩ දෙන්නෙ ම නෑ. ඒ ගමන තාත්තට තේරුණා, නයා අලුත් ජොබ් එකට ආසයි කියලා. 

ඉතින් තාත්තත් අවුරුදු ගාණක් ම නයා ලකුණ ටයර් එක දාගෙන බයිසිකලේ පැද්දා.

මේ විදිහෙ පරණ කතාවලට පටුනක්...

 1. බාප්පගෙ මිරිස් වගාව












Saturday, November 1, 2025

ශනිදා දහය වෙනුවෙන් - රා සහ තවත් කතා


පහුගිය සතියේ අපේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට මහනුවර ගිහිං එන අතරේ, මගෙ විමර්ශන නිලධාරි ජනක කියපු කතා ටිකක් මේ.

ජනකගෙ ගමේ උන්නා එක්තරා මාමෙක්. එයා දවසක් නිකං කට්ටිය එක්ක කතා කර කර ඉන්න කොට කියනවා, 

"අපේ වත්තෙ කැපුව නෙව මලක්. (ඒ කියන්නෙ කිතුල් මලක්) ඒකෙ දවසක් දෙකක් තමයි හැර දිගේ නැගල මල කැපුවෙ. ඊට පස්සෙ එක සීරුවට ටැප් එක ඇරියා වගේ ගලන්න ගත්ත නෙව තෙලිදිය.

"ඉතිං මං මොකද කළේ, පුනීලෙයයි රබර් හෝස් එකයි අරං නැග්ගා හැර දිගේ. නැගල හිටං මල එබුවා පුනීලෙට. ඒකෙ අගට හෝස් එක ගහලා, පහළට බැහැලා, අර හෝස් එකේ අනික් අග කෙලිම්ම ගත්තා ලිප උඩ තියෙන තාච්චියට.

"ඇස්වහක් නෑ, ආයෙ සති ගාණක් යනකං එක දිගට පැණි උණුකරන්ට සිද්ධ උනා අපෙ ගෙදර උන්දැට."

තව දවසක් උන්දැට ම වෙච්ච වැඩක් මේ.

උන්දැගෙ ගෙදර කිරි හරක් ඇති කළා. දවස ගානෙ උදෙම් ම මුන්දැ කිරි බෝතල් ගෙනිහිං විකුණනව ගෙවල්වලට. දවසක් මේ එක කිරි බෝතලේක ඉස් ගෙඩියෙක් ඉඳලා. ඊ ළඟ දවසෙ අර ගෙදර උදවිය මෙයාගෙන් ඇහුව ඒ ගැන.

"ඈ...! ඉස්ගෙඩියෙක් හිටියා? ආ ඒක තමයි. අපේ වැස්සි පහළ ඇලෙං වතුර බීල නෙ ඔය. ඒ ඇලේ ඉස්ගෙඩියො වකාරෙ." කිව්ව මුන්දැත් ඇඟට නොදැනී.

ඔය කතා ගැන මායි මගෙ මාතලියයි කිව්ව, මගෙ හිටපු සීසී ඩයස් මහත්තෙයට. මාතලියා කියන විදිහට සීසී කියන කෙටි යෙදුමේ තේරුම, කපටි ක්ලාක් කියන එකයි. ඒ ගමන ඩයස් මහත්තෙය කියනව, උන්දැත් උපදෙස් දුන්නලු දවසක් මල් කපන මාමෙකුට, කිතුල් මලට කෙලිම්ම බට ලයින් එකක් ගහල ලිප ළඟට ඇදල ගන්ඩ කියලා. එතකොට හැම දාම ගස් නගින්න වෙන්නෙ නෑ කියලා.

"ඒක හරි කියමුකො. හැම දාම උදේට මල හෝදන්ඩ එපැයි. ඒකට ගහට නගින්ට වෙනවනෙ." කියල අර මාම කිව්ව ම, ඩයස් කිව්වලු, 

"ඒකට තව බට ලයින් එකක් ගහමු" කියල.

අපේ තාත්තා ඉන්න කාලෙ, අපේ වත්තෙ පොල් රා මදින්න අතුරක් බැන්දා. ගම්පොළ පැත්තෙන් ආව කට්ටියක් අපේ ගස් විස්සක් බද්දට අරගෙන තමයි මේ අතුර බැන්දෙ.

පස්සෙ අතුරු තහනම් නියෝගයක් ඇවිත් ඒක අයින් කරගන්ඩ සිද්ධ වුණා.

ඔය අතුර ට පොල් ගස් විස්සක් අපේ එක ඉඩමක තිබුණෙ නෑ. ඉතින් තාත්ලගෙ මහගෙදර වත්ත පුරා ම මේ අතුර දිගට බඳින්න වුණා. ඔය පොල් මල් තලන රා මාමා, අතුරට නගින්නෙ අපේ ගේ ගාව ගහකිං. ඊට පස්සෙ අතුර දිගේ ගිහිං ගිහිං අන්තිමේ විසි වෙනි ගහෙන් බහින්නෙ අපේ බාප්පගෙ ගේ ළඟින්. (ඔව් ඔව් අර ගජබිං බාප්ප තමා.)

ඔය රා මාමා හැමදා ම උදේ තමයි රා බාන්නෙ. හැමදාම හවසටත් අතුරට නැගලා හැම මලක් ම තලාගෙන තලාගෙන යනවා. ඒ ගමං ඔය හැම මලක ම එකතු වෙච්ච රා මුට්ටියකට අරගෙන, අන්තිම ගහේ එල්ලලා බහිනවා, රෑ තිස්සෙ පැහෙන්ඩ.

දවසක් රා මාමා එන්ඩ කලිං අන්තිම ගහේ නැගපු අපේ බාප්පා, අර රා මුට්ටියට ෂොට් එක දීලා, රා මාමා එනකොට කියනවලු, "ඊයෙ රෑ උගුඩුවො ඇවිත් මේ ගහේ දඟලනවා දඟලනවා ඉවරයක් නෑ. මයෙ හිතේ රා මුට්ටිය ම බීල වගේ."

 

මේ අපේ සුරංග මල්ලි සා ගැන ලියපු පෝස්ටුව.

Thursday, October 5, 2023

අලියා ගිණි ගැනීම - (ගජ බින්න? ඒ මොනවද?)

අපෙ බාප්පා කන්තලේ වැඩ කරන කාලේ... 

මේ වෙන කොට මගේ ආදරබර පාඨක (නයි පාඨක ද ඇතුළත් ව) කැලට අමතකත් වෙලා ඇති අපේ අන්දිරිස් කිත්තා, සුවාතා, විලියොං ආතා සහ බාප්පගේ හපංකම්. ඒ ගැන පටුනක් පල්ලෙහයින් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ මේ කතාවත් කියවලා ඉම්මු.

ඔන්න ඉතිං අපේ බාප්පා කන්තලේ ගස් කපන වාඩියේ වැඩ කරන කාලේ, එක වංගියක් සරුවට වැවුණු අක්කර දෙතුන් සීයක බටකොල ගාලක් කපන්න සෙට් වුණා.

ඔහොම වැඩ කරගෙන ඉන්න අතරෙ, බාප්පා බට කොල පඳුරකට ගහපු පොරෝ පාරක් වැදුණා, අලියෙකුගෙ පුංචි කකුලට. බටකොල ගාලෙ සනීපට සිනීඳුවට බටකොල කකා හිටපු අලිය අංදුංකුංදුං වෙලා මේ මෙකද වුණේ කියල බලද්දි දැක්කෙ බාප්පව. "අද දෙන්නං තොගෙ පුංචි කකුල කල්ක චූර්ණ වෙලා යන්ඩ" කියලා හිතාගෙන අලියා බාප්පගෙ පස්සෙං එලෝගෙන ආවා.

බාප්පත් හෙණ දීර වීර එඩිතර මිනිහා. උන්දැ කළේ මොකද, අලියට ආ වේගෙන් ම දුවන්න සැලැස්සුවා. ඒ කොහොම ද, උන්දැ ඉස්සර වෙලා දිව්වා. අලියා උන්දැගෙ පස්සෙන් දිව්වා.

අලියා දැන් හොඬවැලත් උස්සගෙන වලිගෙත් උස්සගෙන දුවගෙන එනව පස්සෙන්. බාප්පා මෙහෙම මෙහෙම දුවනව...

ඔහොම යද්දි බාප්ප වැටෙන්ඩ ම ගියා. අත්දෙක බිම තියලා වාරුවක් ගත්තා. එහෙම වාරු ගන්නකොට, බිම තිබුණු ගල් කෑලි දෙකක් අතට අහුවුණා. 

බාප්පා දුවන ගමං ම හැරිලා අලියට ගැහුවා ගලකිං. 

හොඬවැල උස්සගෙන හති දාගෙන දුවගෙන එන අලියගෙ කටට තමයි අර ගල වැටුණෙ. අලියා ගුඩුස් ගාල ඒක ගිල්ලා.

බාප්ප ආපහු අනික් ගලෙනුත් ගැහුවා. 

ඒකත් වැටුණෙ අලියගෙ කටට. අලියා ඒකත් ගුඩුස් ගාල ගිල්ල විතරයි, අලියගෙ බුරියෙන් ගිණි දල්ලක් මතු වුණා. අලියා දුවන වේගෙට හුළං වැදිලා අර ගිණි දල්ල ටිකෙන් ටික ලොකු වෙලා මහ ගිණි ජාලාවක් වුණා.

ආන්න එතකොටයි අලියා නතර වුණේ.


ඉතිං එදා ගස් කපන වාඩියෙ රෑ කෑමට රෝස්ට් කරපු අලි මස් තිබුණා.

කොහොම ද ගිණි ගත්තෙ ඇහුවා? රවි අයියගෙ මාමණ්ඩි කියනව වගේ ආාාන්න ඒක තමයි මේකෙ තියෙන අවයවය.

අලිය කාල හිටියෙ බඩ පිරෙන්ඩ බටකොළ. ගල් දෙක බඩට වැටුණ ගමං, ඒ ගල් දෙක එකට වැදිලා, ගිණි පුපුරක් හට ගත්තා. ඒ ගිණි පුපුරෙන් බඩේ තිබුණු බට කොළ ටික, බට කැලේ ගිණි ගත්තා වගේ ගිණි ගත්තා.

මෙතෙක් ලියපු ඇත්ත කතාවලට පටුණ...

1. බාප්පගෙ මිරිස් වගාව

2. ඉඩෝරෙට වෙළේ ළිඳක්

3. අලිමාලය

4. සුවාරිස් මුත්තගෙ දඩයම්

5. ඉර හඳ පල්ලා බොරු නෙමේ

6. අන්දිරිස් කිත්තගෙ මුහුදු වික්‍රම

7. වට්ටක්කා සහ පතෝල

8. ලබ්බෙ කානිවල් එක

9. කන්තලේ මහ වන මැද

10 බාප්පගෙ සත්ත්ව පාලනය හෙවත් හුංගා සහ එළුවා

11 බාප්පයි පුතයි

12. විලියොං ආතගෙ කාලෙ ගජබින්නයක්

13. ඩොක්ටර් වන් ෂොට් සහ ඉලෙක්ට්‍රොනික්ස්

14. බාප්පගෙ හේනෙ විත්ති

15. අනද කිත්තගෙ බිලී බෑම

16. ලබ්බෙ මගුල

17. කෙටි කලබල ගජබින්න. 

18. අනද කිත්තා කටුවාලමුල්ලට ආ හැටි 

19. අන්දිරිස් අප්පු සහ ගොරක යකා

20. විකුම්ගෙ වික්‍රම

21. නුවරඑළියෙ වග

22. අරුම ගමන

23. කළුවර

24. කකුල් තුනේ බීරි මුවා

විශේෂ ස්තූතිය - රොමයියගෙ කයිය පොත මට දුන්න ප්‍රා ජේ ට...

Monday, April 25, 2022

සුවාතගේ තවත් වික්‍රමයක් - කකුල් තුනේ බීරි මුවා

ඔන්න ළමයි මේ ළඟදි ප්‍රවෘත්ති බල බලා ඉන්නකොට මට මතක් වුණා සුවතා ගේ තවත් වික්‍රමයක්. මේක ගොඩක් කෙටියෙන් ලියවෙන්න පුළුවන්. කමක් නෑ ඉතිං කියවමුකො...

සුවාතගේ අයියා තමයි විජයාතා. එයාගෙ පුතා නෙව අර ප්‍රසිද්ධ කලා භූෂණ කටුවාලමුල්ලේ වයි. ජිනදාස නම් කවියා. ඔන්න දවසක් ඔය කියන විජයාතට ලෝකෙ නැති ලෙඩක් හැදුණා. ඒක වුණේ හඳ සලබයා කියන මහා විසාල සලබයා...

පොඩ්ඩක් නැවතිලා හඳ සලබයා ගැන ඉගෙන ගෙන ඉම්මු. ගොඩක් අය දන්නැති කෘමි සතෙක් තමයි හඳ සලබයා. ඔය සතා ඒ තරම් ලොකු සතෙක් නෙමෙයි. වැඩිම උනොත් අප්‍රිකානු අලියෙක්ගෙ කන් දෙක විතර ඇති උගෙ පියාපත්. වරක් නං එයිට වඩා තුන් ගුණයක් විතර ලොකු හඳ සලබයෙක් ගැන දොස්තර ඩූලිට්ල් වාර්තා කරලා තිබුණා. ඒත් ඒ ගැන කිසිම සාධකයක් ඉදිරිපත් කරලා තිබුණෙ නෑ.

ඔය හඳ සලබයා මහ රෑ දොළහ - පාන්දර දෙක අතර කාලයෙ මහ පොළොවෙ ඉඳං, හඳට පියාඹනව. සලබයො කොහොමත් ආලෝකයට ඇදිලා යනවනෙ. උගෙ සයිස් එකට ඌ ආකර්ෂණය වෙන්නෙ හඳට ම විතරයි. 

ඔය ළමයි දැකල ඇති අපි රෑට පාරෙ බැහැල යනකොට හඳත් අපිත් එක්ක යනව. ඒ විදිහට රෑ හඳ එහෙ මෙහෙ යන නිසා සලබයට එක ඉළක්කයක් තියාගෙන පියාඹන්න අමාරුයි. ඒක නිසා තමයි හඳ සලබයා මිනිස්සු ඔක්කොම නින්දට ගියාට පස්සෙ හඳට පියාඹන්නෙ.

ඔය හඳ සලබයා දවසක් ඔහොම පියාඹද්දි උගෙ පියාපතකින් වැටිච්ච කුඩු ටිකක් අපේ විජයාත‌ගෙ ඇහැකට වැටිලා පොඩ්ඩක් රතු උනා. ඒකට බෙහෙත් විදිහට අපේ පැත්තෙ උන්නා වෙද මහත්තයෙක්, මට නම මතක නෑ. එයා කිව්වා කන් දෙක ම බීරි, කකුල් තුනේ මුවෙක් ගෙ ‌මොළේ අරං එන්න කියලා.

ඉතිං කොහොම ද ඔය විදිහෙ මුවෙක් හොයාගන්නෙ? 

ඔය වැඩේට ඉදිරිපත් වුණේ අපේ සුවාතා. කස්ටිය දැනට ම කියවල තියෙනවනෙ සුවාතගෙ දඩයම් විස්තර...

සුවාත ගෙදර ඇති කළා ඉබ්බෙක්. මූ එසේ මෙසේ ඉබ්බෙක් නෙමෙයි. ඌට සෑහෙන තරං වේගෙන් දුවන්න පුළුවන්. සුවාතා උගෙ පිටට නැගගත්තහම ඌ කොයිතරම් වේගෙන් දුවනවද කියතොත්, ඉබ්බව පේන්නෙ නැති තරම්...

ඉතින් සුවාතා අර ඉබ්බවත් අරගෙන ගියා මුව දඩයමේ. ගිහින් මුවො ඉන්න තැනිතලාවට ගොඩ වුණා විතරයි, සුවාතා දැක්කා හැතැම්ම තුනක් හතරක් ඈත ඉන්න මුවෙක්. උන්දැ මොකද කළේ... ඇහැට කන්ණාඩියත් දාගෙන, හොඳට ඉළක්කෙ අරං, වෙඩි තිබ්බා මුවාගෙ වං කණට. තියපු ගමං පැන්නා ඉබ්බගෙ පිටට. ඉබ්බා දිව්වා මුවා ගාවට. සුවාතා මුවා ගාවට ආපු ගමං, ඉබ්බගෙ පිටෙන් පැනලා, තුත්තිරි ගහක් අරං ගැහුවා මුවාගෙ දකුණු කණේ. මුවා පස්සගාතෙන් කණ කහන්ඩ පටං ගත්තා.

ආං එතකොට තමයි අර වෙඩි තියාපු වෙඩිල්ල ඇවිත්, මුවාගෙ වං කණෙං ඇතුල් වෙලා, දකුණු කණෙං පිට වුණේ, කණ කහ කහ හිටපු දකුණු කකුලත් කඩාගෙන.

මුවා ‌මැරෙද්දි, කන් දෙකම බීරියි, කකුල් තුනයි...


මේක කියවද්දි කාටහරි මොන මොනව හරි මතක් වෙනවනං ඒ ගැන මගේ කිසිම වගකීමක් නැත.


කලින් ලියපු ගජබින්න...

1. බාප්පගෙ මිරිස් වගාව

2. ඉඩෝරෙට වෙළේ ළිඳක්

3. අලිමාලය

4. සුවාරිස් මුත්තගෙ දඩයම්

5. ඉර හඳ පල්ලා බොරු නෙමේ

6. අන්දිරිස් කිත්තගෙ මුහුදු වික්‍රම

7. වට්ටක්කා සහ පතෝල

8. ලබ්බෙ කානිවල් එක

9. කන්තලේ මහ වන මැද

10 බාප්පගෙ සත්ත්ව පාලනය හෙවත් හුංගා සහ එළුවා

11 බාප්පයි පුතයි

12. විලියොං ආතගෙ කාලෙ ගජබින්නයක්

13. ඩොක්ටර් වන් ෂොට් සහ ඉලෙක්ට්‍රොනික්ස්

14. බාප්පගෙ හේනෙ විත්ති

15. අනද කිත්තගෙ බිලී බෑම

16. ලබ්බෙ මගුල

17. කෙටි කලබල ගජබින්න. 

18. අනද කිත්තා කටුවාලමුල්ලට ආ හැටි 

19. අන්දිරිස් අප්පු සහ ගොරක යකා

20. විකුම්ගෙ වික්‍රම

21. නුවරඑළියෙ වග

22. අරුම ගමන

23. කළුවර


Thursday, February 3, 2022

කළුවර... (ගජබින්න නෙමෙයි යකො!)

 මුලිම්ම කියවන්ඩ ආපු කතාව කියවල ඉමුකො...

ඔන්න එකෝමත් එක රටක තිබුණා ගම්පහ කියල ප්‍රදේශයක්. ඒකෙ තිබුණා ගණේමුල්ල කියල හරියක්. මම ඔය කියන කතාව ට පසුබිම් වෙන කාලෙ ගණේමුල්ල කියන්නෙ නිකම්ම නිකං කඩ මණ්ඩියක් විතරයි. ඔය ගණේමුල්ල කඩමණ්ඩියෙ ඉඳල හැතැම්ම දෙක හමාරක් විතර දකුණු පැත්තට වෙන්ඩ තිබුණා, අන්දිරිස් අප්පු කියලා සූර වීර වඩු රාළ කෙනෙකුට රජ්ජුරුවො නීන්දෙ පවරලා දුන්නු ගොරකගහවත්ත කියල ඉඩමක්...

ඔන්න ඔහොම කියනකොට අපේ අනික් කතා කියවල තියෙන උදවියට මතක් වෙන්ඩ ගන්නව සුල මුල.

ඔය අන්දිරිස් අප්පුගෙ මුණුපුරා වෙච්ච විලියොං සිංඥො වාසය කළේ, අන්දිරිස් අප්පු, උන්දැගෙ මස්සිනා වෙච්ච ගොරක යකා එක්ක ගොඩ නගාපු මහ විසාල සොල්දර ගෙදර. විලියොං ආතා, ජීවිකාව හැටියට කළේ කවිමඩු පවත්වපු එක. (එයිට අමතරව කඩයක් කරපු එක, වත්ත පිටිය වගා කරපු එක සහ වඩු කර්මාන්තය කළේ විනෝදාංශ වශයෙන්...) උන්දැ බොහොම දක්ස විනෝදකාමී කවියෙක්. 

"...කවි රස බෙදා අප හැම දෙන සතුටු කළ

කවි යන් හැමට මම පුද දෙමි කෙහෙම්මල..." 

කියල ස්තූති කවියකින් උන්දැ එක කවි මඩුවක් ඉවර කරපු බව, මගෙ අර ඉස්කෝලෙ මහත්තුරු පෝස්ට් එකේ සඳහන් කරපු පොද්දල්ගොඩ මහත්තෙයගෙ නෝන මහත්තෙයට මතක තිබුණා. (මම දවසක් පොද්දල්ගොඩ මහත්තයගෙන් සාම විනිසුරු අස්සනක් ගන්ඩ ගිය වෙලාවක මාත් එක්ක කිව්වෙ...)

විලියොං ආත දවසක් මන්නෙ මුවහත් තියන්ඩ ගත්ත. උන්දැගෙ වඩු මඩුවෙ තිබ්බ, අර පණ්ඩුවාසුදේව කුමාරය සරණපාවාගත්තු භද්දකච්ඡායනා කුමරිය එක්ක ආව කුළ දහ අටෙං එකක් නෙව වඩු කුළේ. ආං ඒ වඩු කුළේ කාෂ්ඨවාහන කුමාරය දඹදිවින් ගෙනාපු ඇමරි ගල. (හෑ...! මයෙ තුං හිතකවත් තිබ්බ එව්වද බොලේ මේ ටයිප් වෙන්නෙ? මේ කී බෝඩ් එක හදාපු කොම්පැනියෙ වැට දිගට ගංජ පැල වත් ඉන්දල තිබ්බද?) ආං ඒ ඇමරි ගලේ උලල තමයි උන්දැ මන්නෙ මුවහත් තිබ්බෙ. හරි ගාණට ගණං කරලා වාර දෙකක් උලල ගත්ත නං, මන්නෙ අවුරුදු පහක් තිස්සෙ කිසි වෙනසක් නැතුව බටර් කපනව වගේ කැපෙන්ඩ ගන්නව. කොහෙ? විලියොං ආත වෙන කල්පනාවක් පිට මන්නෙ තව එක පාරක් වැඩිපුර ඇමරි ගලේ උලලා. 


තමන්ට ගාණ වැරදුනු බව දැනගෙන විලියොං ආතා බොහොම පරිස්සමට මන්නෙ මිට දෑතින් ම අල්ලලා, බොහෝම පරිස්සමට (දෙවරක් පරිස්සමට...)‌ අරං තියන්ඩ උස්සලා ගන්න කොට, ඒකෙ හෙවනැල්ල වැටිලා ඉස්තෝප්පුවෙ තිබ්බ හාංසි පුටුවෙ කකුල් හතරම කැපිලා ගියා.

දැං ඉතිං මොකද කරන්නෙ? උන්දැ පරිස්සමට කොළපත් දහ තුනක ඔතලා, මන්න පිහිය වී පෙට්ටිය යටින් තිබ්බා. ඒ කල්ලා හිටං ඇමරි ගල ගන්ඩ පාත් වෙන කොට, අත බැරිවෙලා, ඇමරි ගල බිම පෙරළි පෙරලි ගිහිං ඉස්තෝප්පුවෙන් මිදුලට වැටුණා.

ආතා, ඒ පස්සෙං ගියා ඇමරි ගල අල්ලගන්ඩ. උන්දැගෙ කකුල ලෙසටම කැපිලා ලේ ගලන්ඩ ගත්තා. ඒ කොහොම ද ඇහුවා? ඇයි අර ඇමරි ගල පෙරලි පෙරලි ගියපු ගොම මැටි පොළොව, ඇමරි ගල ඇතිල්ලිච්ච පාරට මුවහත් වෙලා.

හපෝ වෙච්ච දෙයක්! විලියොං ආතා කකුලට බෙහෙත් දාගෙන ඇවිදිං කරාපු පළවෙනි ම වැඩේ තමා ගොම මැටි පොලොවට ටයිල්... නෑ නෑ ඒ කාලෙ ටයිල් තිබ්බෙ නෑ. රෝස තිරුවාණ ගල් පතුරු අල්ලපු එක.

පස්සෙ මොකද කරන්නෙ, අර ඇමරි ගලත් පරිස්සමට අරගෙන, සුරුට්ටු පෙට්ටියක දාලා, වළ දැම්මා. තව මොක මොකවත් වෙන්ඩ කලිං.

කාලයක් ගත වෙද්දි, අර ඇමරි ගළ වළලපු තැනිං පොඩි පැලයක් පැල වුණා. ඒ පැලේ ටිකෙන් ටික ලොකු වෙලා ආව. ඒකෙ කොළ තනිකර ම කිණිසි වගේ මුවහත්. ඒ ගහ යටිං දුවපු වරත්තු බල්ලෙක්, උගෙ කරුමෙට ඒ වෙලාවෙ ම, වේලිච්ච කොළයක් උගෙ පිටට වැටිලා, බල්ලා දෙකට කැපිලා වැටුණා. 

ආං ඒ වෙලාලෙ තමා කාට කාටත් ඒ ගහේ තිබුණු අනතුරුදායක බව පෙනුණෙ. විලියොං ආතා ගස් කැපිල්ලට දක්ස තමංගෙ බාල පුතා (ඒ කියන්නෙ අපේ බාප්පා - ගුණරත්න) ට අඬ ගහලා කිව්වා, පරිස්සමට අර පැලේ කපල දාහං කියල. 

බාප්පත් මීටර් සීයක් විතර දිග මිටක් ගහපු කැත්ත අරං ගියා ගහ කපන්ඩ. ඇයි ඉතිං ඈතට වෙලා එපැයි ගහ කපන්ඩ. කැත්තෙං ගහේ කඳට එකයි ගැහුවෙ, කැත්තෙ වානේ තලේ දෙකට කැපුණා. ඔය වානේ කැත්ත හදල තිබ්බෙ රේල් පීල්ලක් තලල අරගෙන. එච්චරට හයියයි.

ඒ පාර බාප්පා කරපු වැඩේ තමං කවද හරි කන්තලේ මහ ගස් කපන්ඩ ගෙනියන්ඩ කියල තියාගෙන හිටපු මහ පොරොව ගෙනත් කෙටුවා. දෙකක් කොටන කොට අර ගහේ පතුරක් ගැළවුණා.

පස්සෙ ඒ පතුරෙන් හදාගත්ත කැති තලේකින් තමා ගහ කපල බිම දැම්මෙ. ඔය කියන ගහේ ඇටවලින් හැදිච්ච පැල තමා ඔන්න කැපුංකීරිය කියන්නෙ. අදටත් බලන්ඩ ඇස්වහක් කටවහක් නෑ... කැපුංකීරිය ගහේ කොලේ අගිසි කිණිසි වගේ උල්...

ඔය ගහ වත්ත පහලට ඇදං ගිහිං ගිණි තියල දාන්ඩ කියලා විලියොං ආත තමන්ගෙ පුත්තු තුන් දෙනාට කිව්වා. අපේ තාත්තයි මහප්පයි ගහ පරිස්සමට ඇදගෙන ගියා පහලට. ඒ අතරෙ දර කෝටු, හණසු, පොල් අතු අගිස්, එකතු කරපු බාප්පා හුළු අත්තක් හදාගත්තා. ඒ හුළු අත්ත පත්තු කළා විතරයි පළාතක් ම අන්ධකාර උනා. ඒ කොහොමද? හුළු අත්ත නිවපු බාප්පා ඒක ලෙහල බලද්දි තමයි දැක්කෙ, හුළු අත්ත මැදට වෙන්ඩ තිබුණා කළුවර ගහක කෝට්ටක්.

පස්සෙ පස්සෙ ගමේ ‌ගෙවල්වලට හොරෙක් පනින්ඩ පටං ගත්තා, මහ දවල්. උන්දැ එන්නෙ හුළු අත්තක් අරගෙන. ඒක පත්තු කරපුහාම තිත්ත කළුවරයි. ඉතිං කවදාවත්, කාටවත් හොරාව අල්ලගන්ඩ බැරි වුණා.


ඔන්න ඉතිං දෙවෙනි සෙමෙස්ටරේ අසයින්මන්ට් නං ඉවර උනා. තව සති දෙහෙකිං විතර විභාග පටං ගන්නව. ඒ අතරෙ බ්ලොග්වලට එන්ඩ පුළුවං වෙයි කියල හිතනව. අර මං උඩිම්ම කියන්ඩ ගියෙ ඒක.


Wednesday, November 24, 2021

අරුම ගමන

I

දම්පිල්ලෑව තව මත් අලුත් පන්නයට වඩා පරණ පන්නයට සමාන පිටිසර ගමෙකි. සේතන් හාමි මුළු ගමේ ම වැඩි හිටියා ය. අනූ අවුරුද්දක් පමණ වයසැති සේතන් හාමි ගමේ කා ගේත් ආදරය දිනා ගත්තේ ය. ආ ගිය කො තැන දීත් ගැමියෝ ඔහු හරසරින් ම පිළිගත් හ. ගමේ කවුරුනුත් පාහේ ඔහු ඇමැතූයේ "සේතන් සීයා" කියා ය. 

වයස තරමට අබල දුබල නො වූ ඔහු ගේ කය කඳ දකින්නන් හට ඔහු තරුණ අවදියේ දී කළැයි ඔහු ම කියන සපන්කම්වලින් වැඩි හරියක් විශ්වාස කරන්නට අමාරුවෙක් නැති. කඩපිලට ගිය ද, අනෙක් තැනකට ගිය ද ඔහුට අසන්නන් ගෙන් හිඟයෙක් නො වී. ඔහු ගේ කතාවට කන් දීම මිස හරස් කැපීමක් කැරුණේ ඉතා කලාතුරෙකිනි. කියන කවර කතාවත් තමා ගේ අත්දැකීමක් ලෙස කීම ඔහු ගේ පුරුද්ද ය. ඒ හැම අත්දැකීමක් ම ඔහුට කන් දෙන්නන් ගේ මතක සීමාවෙන් එහා වීම ඔහුට ‌ලොකු වාසියෙකි.


දිනක් සේතන් හාමි, සවස් මානයේ සිරිත් පරිදි පුංචිනා ගේ කෝපි කඩේට එද්දී එහි වෙන දා නැති කලබල ගතියෙක් වී. නොඑක් තරාතිරමේ ගෑනු, පිරිමි, ළමයි තිස් දෙනෙක් පමණ එහි රැස් ව සිටිය හ. සේතන් හාමි විමැසිලිමත් ව වට පිට බලද්දී එහි වූ ගැට වරයෙක්, "සේතන් සීයේ, අද අප වන්දනාවේ යන්නයි. සීයාත් එනවා ද අප එක්ක යන්නටැ" යි කියමින් ඔහු ගේ කුකුස දුරු කෙළේ ය. "කොහි ද යන්නට කල්පනාව? මා නොගිය දිහාවෙක නම් බලමු; මටත් තව ම බැරි නෑ එහෙම ගමනක් බිමනක්" යනුයෙන් සේතන් හාමි කීයේ මේ සිංහලේ යා යුතු හැම තැනක ම තමා ගොස් ඇති බව අඟවමිනි. "අප පොළොන්නරු..........." යි පිරිසේ එකකු යමක් කියන්නට කට ගත්තා විතරයි සේතන් හාමි යළි දෙඩී ය.

"අපෝයි; පොළොන්නරු ද? ඉස්සර ඔය හිරියාලේ පළාතේ දුම්කොළ වේළීමේ ගියා ම අප උදේ ගිහින් හවස එනවා නොවැ? ගණන් කළොත් මගේ මේ ඉසේ කෙස් ගණනේ ගිහින් නැතෑ පොළොන්නරු. කලක් මා එහි කුඹුරු කෑල්ලකුත් වැඩ කළා.

එ හැම ගමනකට ම වඩා අගේ ඇති විදියකටත් මා වතාවක් නොමිලේ ම නිකම් ම පොළොන්නරු ගියා. එහෙම ගමනක් නම් මා බණ පොතේ වත් අහලා නෑ. දැන් මිනිසුන් නම් ඇහුවත් විස්වාස කරන්නේත් නැති, හරි වැඩක් ඒක."

"ආ එහෙ නම් ඒක බොහොම රහ කතාවක් වෙන්න ඇති. සේතන් සීයාත් ගුවනින් වත් ගියා දැ" යි කියමින් එහි වූවෙක් සේතන් හාමිට කතාවට පට පෑදී ය.

"ගුවනින් නම් තමා. ඒ වුණාට ඔය දැන් මිනිසුන් වාගේ දඬුමොනරෙන් නො වේ."

"හා, හරි, හරි, මා දන්නවා. සේතන් සීයා ඒ කාලේ හරි කුරුල්ලා නොවැ"යි කීයේ එහි වූ කටකාර ගැටවරයෙකි.

"මේ, ළමයි විහිළු කරන්න එපා. හා, සීයා කියන්න අපට ඒ කතාව. අපේ වාහනය එන්නත් තව ටිකක් පමයි. පුංචිනා හාමි, සේතන් සීයාට දමන්න හොඳට සැරට කෝපි කෝප්යක් මා ගණනේ. ඔන්න අපි සේරම නිස්සද්දයි. දැන් ඉතින් කියන්නැ"යි ආරාධනා කෙළේ මැදි වියේ ගැමියෙකි.

"හා, ඔන්න එහෙ නම් හරස් නො කපා අහ ගන්නවා. මට පමා නො වී යන්නත් ඕනෑ"

"නෑ, නෑ, හරස් කැපිලි නෑ. අහනවා ම පමණයි. සේතන් සීයා කියන්න."

සේතන් හාමි රැල් බුරුල් හැර, උගුර පාදා, දකුණ'තේ මාපටැඟිල්ලෙන් හා මැදැඟිල්ලෙන් හා රවුළ දෑතට පීරා හොඳට හරි ගැහී ඉඳ ගත්තේ ය.

පුංචිනා කඩිමුඩියේ පිළියෙල කළ කෝපි කෝප්පය මහ හරසරින් උන් දෑට පිළිගැන්වූ.

පළමු වන කෝපි උගුරේ රස විමසා පුංචිනා දෙස කරුණාවෙන් බලා තලුමරා හේ කතාව ඇරැඹී.

II

"මේක ළමයිනේ, අපේ විදානෙ මාමාත් ඉන්න කාලෙ වැඩක්.

ඔව්, මා සලෝ කාලෙටත් ඉස්සර.

දවසක් මාත් ගියා උන් දෑ ගේ ගොයම් කයියකට. ඒ කාලේ විදානෙ මාමා ගේ ගොයම් කයියක් කීවා ම හරියට මේ කාලේ මහ මඟුල් ගෙදරක් වාගෙයි. වැඩ කරන කාටත් හිතේ හැටියට කෑම, බීම, සැලකිලි. උන්දෑට හිතේ හැටියට දෙන්නටත් ඕනෑ තරම් තුබුණා නොවැ?

මට තව ම මතකයි එ දා උදේ ඇඹුලට ගෙනත් තුබුණු ඉඹුල් කිරිබත් ගෙඩියක් අද නම් තුන් දෙනෙකුට කා ලාත් ඉවර කරන්න බෑ. මාත් ගෙදරින් හිස් බඩ ම ගියේ. ඉඹුල් ගෙඩි දෙකකට වග කියලා අනෙක් අය එක්ක බැස්සා කුඹුරට. අපි ඔක්කෝම පිරිමි හතළිහයි ගොයම් කැපිල්ල්ලට; කොළ එකතු කරන්න අදින්න ගෑනු විස්සයි; කෑම් බීම් බුලත් ආදිය සපයන්න තව ගැටවරයෝ හත් අට දෙනෙක්. ඔක්කෝම හැත්තෑ පහක් විතර වුණා.

ඒ කාලේ ‌ගොයම් කැපිල්ලත් දැන් වගේ යැ?

කවි කියන අය ද, අඩි තාලමට කපන අය ද,

මාලක්කමින් කපන අය ද,

බලන්න හැඩ වැඩේ.

එපමණ යැ, පැයෙන් පැයට කපන තැනට ගෙනත් නොවැ තේ කෝපි කෑම බීම් අල්ලන්නේ. වැඩේ හැටි තමා. ඉර හැරිලා සිංහල පෑ බාගයක් යන්නත් ඉස්සර වෙලා විදානෙ මාමා ගේ දෑමුණක යාය ම කැපී හමාරයි.

වැඩේ හමාර වෙන්නත් කලින් ම ඇඹුලත් කමතට ම ආවා. හැම දෙන ම එ තැනින් ම ගඟට බැහැලා අත කට සෝදා ගෙන හිත බඩ පුරා ඇඹුල සප්පායම් වුණා. වැඩේ හමාරයි; පිරිස යන්න හැරුණා. මායි තව දෙතුන් දෙනෙකුයි නැවතිලා කමතට ඇද දමා තුබුණු ගොයම්, කොළ ගැහුවා.ඉර බහින්න ඔන්න මෙන්න කියන වේලාව වන විට ඒ වැඩෙත් හමාරයි; මාත් ගියා ගෙදර ගොංමං ‌වේලාවෙ.

ගෙදර ගියාට මගේ හිත එ දා මට ගෙදර ඉන්නට ඉඩ දෙන්නේ ම නෑ. දවල් ඇඹුලෙ බර එතෙකුත් ඇරිලා නෑ. ටික වේලාවක් නිහොල්මනේ ඉඳ ලා හොඳට පහේ ඇති ව විටක් සප්පායම් වුණා; තුවක්කුවට තරමක ඩෙිල්ලක් කොටා ගෙන-ඇයි ඉතින් දැන් කාලේ වගේ පතරොම් තුවක්කු යැ ඒ කාලේ අපට තුබුණේ-ගියා ගල්ලේ කැලේ පැත්තේ හාවුන් හේම පනීවි දැයි බලන්න.

ඒ වැඩේට කියා පූ තැන තමා අර හිඹුටු ගොල්ලේ තුබුණු මහ කහට ගහ. කහට ගහට නැඟලා හොඳ දෙබළෙක ඉඳ ගත්තා. පොඩි වැහි පොදකුත් ගහලා ගියා. හඳත්, පායා ආවා. "හොඳ පදම" කියා මට ඉබේ ම කියවුණා.

පැයක් හමාරක් ගියා. හාවකු තියා හා පුලුටක් වත් නෑ. වෙන දා නම් පැයක් යන කොට හා ගෙඩියන් දෙ දෙනෙකු වත් කහට ගහට නංවනවා. මෙ දා නෑ හෝඩුවාවක් වත්. මේ වන විට මගේ ඔළුව කැරකැවෙනවා වාගේ දැනුණා. බුලත් විට හිතුවාට වඩා සැරට වැදුණා. දිය තිබහා වාගේ දැනෙන්නටත් පටන් ගත්තා. කීප විටක් ම ගෙදර යන්නත් හිතුණා. ඒත් හිස් අතින් යන්නත් හිතට මඳි. මා තව ටිකක් පොරොත්තු වුණා.

අනේ ‌මෙහෙ ම ඉන්න අතරෙ දී මට පෙනෙන්න වුණා හොඳට හතර අතට වලු බර වුණු නාම්බං පොල් ගහක් ඇවිත් මේ කහට ගහේ ගැටෙනවා. මට පුදුමයි; මගේ මතට පෙනෙනවා ද? මට හීනයක් පෙනෙනවා ද කියා තෝරා බේරා ගන්න බැරි වුණා.

පොල් අතු, හඳ එළියේ දිලි දිලී හීන් හුළඟෙ සැලි සැලී මගේ ඇඟේ ගැටෙනවා. කොයි එක වුණත් කමක් නෑ කියා එක හිත් හිතා ගෙන තුවක්කුවත් ඇර ගෙන මා මාරු වුණා පොල් කරටියට. හොඳට හරි ගැහී ඉඳ ගෙන වෑවර ගෙඩියක් කඩා, ඉණේ තුබුණු දුනු පිහියෙන් ම ඇස්ස ගසා ගෙන බීවා. නිඳිමත ගතියයි, ඇල් සුළඟයි, ගහේ පැද්දිල්ලයි, අර මතයි ඔක්කෝ ම එකටඑකතු වෙලා මට නිකම් පවන් සලන්නා වාගේ දැනුණා. මට මතක් වුණා පන්සලේ ලොකු හාමුදුරුවන් දවසක් සවස පරණ කවි පොතක් කියවද්දී කීවා ඔන්න ඔය කොහේ දෝ තැනෙක ගහකට නැඟලා ඇල් සුළං විඳ විඳ රැයක් ගෙවන එක රජ සැප* විඳින්නා වාගේ කියා. මට කවිය මතක නෑ. ඒත් කතාව නම් ඇත්ත බව මටත් තේරුණා. රජ නො වී මා රජ සැප වින්දා පොල් කරටියේ.

හඳ එළියයි

ඇල් සුළඟයි

විටේ සැරයි

ඔළුවෙ බරයි

මා අමුතු ලොවකට ගෙන යනවා වාගේ දැනුණා. ඇසි පියවුණා මට දැනුණේ ම නෑ. පාන්දර කුරුලු අඬට තමා ඇහැ ඇරුණේ. අවදි වෙලා බලන කොට වටින් ගොඩින් එළි වේ ගෙන එනවා. බලන බලන පැත්තේ මහ අමුතු. අර කහට ගහත් නෑ; හිඹුටු ගොල්ලත් නෑ; කොටින් ම කියනවා නම් ගල්ලේ කැලේ පැත්තේ හැන්දෑවේ තුබුණු එකක් වත් නෑ.

කුරුලු අඬත් අමුතුයි;

වට පිට ගහ කොළත් අමුතුයි;

හුළඟත් අමුතුයි;

මේ කුමන විලම්බීතයක් ද කියා හොඳට ඇහැ පිහ දමා බැලුවා. ඔය තියෙන්නෙ මා ළඟ ම වට දහයක තරමේ මහ පලු ගහක්; අනෙක් අතින් ඊට කුඩා නැති වල් මිල්ල ගහක්.

කාට කියන්න ද?

දෙවියන් ගේ පිහිටයි.

මා ඉන්නේ මේ හද්දා වන්නි මූකළානෙක නොවැ?

කොයි දේ වුණත් මට නොවැ? කමෙක් නෑ කියා සිතමින් බැලුවා තුවක්කුව. කතරගම හාමුදුරුවන් ගෙ බැල්ම. තුවක්කුව පයට හිරවුණු ගමන් ම තියෙනවා.

තුවක්කුව අතට ගෙන

අර මා හිටි පොල් ගහින් බැස්සා.

බැස්සේ කොහෙට ද කියා ඇහුවා ම නොවැ වැඩේ.

වට හයක් තරම මහත බඹ ගණනක් දිග දැවැන්ත පිඹුරු තඩියකු ගේ පිටට නොවැ පා තිබ්බේ. ඒකා දැක්කා ම මගේ හතර හන්දි හිරි වැටුණා. මේ දැනුත් මතක් වෙද්දී ඇඟේ හී ගඩු පිපෙනවා.

හුළං පන්දුවක් වාගේ, ඒ මහ වනේ, බඹ ගණනක් ඈතට මා විසි කෙළේ කවර දෙවියා ද කියා මා තව ම වත් දන්නේ නෑ.

මා පණ බියේ වෙවුලුවාට අනේ ඒ පිඹුරු රජා මා දිහෑ බැලුවේ වත් නෑ. මහ ඉඩෝර කාලෙක මාඔය ගලන්නා වාගේ බොහෝ ම සාන්ත දාන්ත විදියට ඔහේ ඇදී ගියා.

III

පිඹුරා එක්ක ම මා ආ පොල් ගහත් යනවා. ඒකයි ලොකු ම පුදුමෙ. හිත තද කැ‌ර ගෙන මා ටිකක් ළං වෙලා බැලුවා. එත කොටයි වැඩේ හැටි තේරුණේ.

ඔන්න මේ පිඹුරා තරමක් පුංචි කාලේ ගිලපු ගෝණ තඩියකු ගේ අං පඳුරේ එක කරුවක් උගේ පිට හිල් කැර ගෙන උඩට ඇවිත්; මෙහෙම තියෙද්දී වේළී වැටුණු පොල් ගෙඩියක් ඒකේ ඇවිණී තිබී එ තැන පැළ වෙලා;

පිඹුරු කඳට මුල් ඇද ලා;

ලොකු වෙලා වැවිලා පීදිලා, දැන් මහ ගහක්.

පිඹුරාට මේක නිකම් කුළු මීමකු ගේ අඟේ පැටලුණු මකුළු දැලක් වාගෙ. ඇයි මූ ආඳාගල වාගේ නොවැ දිග මහත. ඉතින් අනේ පිඹූරා නොපෙනෙන දුරට ඇදෙන තුරු බලා සිටි මා උස ගහකට නැඟලා බැලුවා ගම්මානයක් පෙනෙ‌න හරියෙක තියෙනවා ද කියා.

ඈත කඩපෙළක ගෙවල් රැස මට පෙනුණ හරියට අහිගුණ්ඨික වාඩියක් වාගේ. ගිහින් බැහැ ලා ඒ අතට මූණ ලා කැලේ යටින් හීන් හීන් සැරේ මාත් ඇදුණා.

ගිහින් ගිහින් මතු වුණේ කො තැනින් ද? හරියට ම දෙමළ මහ සෑ මළුවෙන්. ඔව්, පොළොන්නරුවේ තමා.

කාට කියන්න ද?

මටත් බියයි; බියට වැඩියි පුදුමෙ; පුදුමෙට වැඩියි විළි ලජ්ජාව; ඇයි අම්මේ අර පරණ අඳුනන එකකු හේම බැරි වෙලාවත් හමු වුණා නම් ලජ්ජාවේ පණ යන වැඩේ. ඇයි මා තව මත් පෙර දා ගොයම් කයියට යද්දී ඇඳ ගෙන ගිය ඇඳුමෙන් නොවැ? කෝකටත් කියා, මළුවටත් ඇවිත් නිකම් යන එක මගෙ හිතට හරි නැති නිසා දෙමළ මහ සෑයට ඒ වේලාවේ මතක් වුණු ගාතා දෙක තුනක් කියා වැඳ, හීන් සීරුවේ කැලේට ම ආපසු ඇදුණා.

පෙර දා කෑ ඇඹුලේ රහත් දැන් ඉවරයි. කුස පණුවන් පෝය හේවිසිය පටන් ගන්නත් ළඟයි. මා වට පිට බැලුවා. අනේ, අයියනායක දෙවියන් ගේ පිහිටයි. බැලූ බැලූ අතින් එක එක ජාතියේ ගඩා ගෙඩි ඉබේට. ඕවා කකා මා කැලයේ ම ගත කළා මුළු දහවල් දවස ම, රෑ වුණා ම වත් යන විදියක් බලන්න හිතා ගෙන. ඉරත් බැහැ ගෙන යනවා. ඒත් හැම එකට ම එක වෙඩිල්ල නොවැ තියෙන්නෙ. ඒක ඉවර කැර ගෙන පුළුවනෑ. උහුලා ගෙන හිටියා ඔහේ පලයන් කියා. ඔයින් මෙයින් ඇඳිරි වුණා; මා තව මත් කැලේ මැද ම දහ දිවැස් බලනවා. ටික වේලාවක් කල්පනා කරමින් හිටිද්දී මට ඇහුණා කැලේ බිඳ ගෙන එන අඬක්. අඬින් ම දැනුණා වැඩේ. සූදානම් සැරීරේ කියා මා නැංගා ළඟ ම තුබුණ රූස්ස බුරුත ගහකට. නැඟලා අඬ ආ අත බැලුවා ම මට පෙනෙනවා හරියට පෙරහර වාගේ එනවා එක එක තරමේ අලි රංචුවක්. මොවුන් ඇවිත් එක තැනෙක හොඳට සංවර වෙලා ඉස්කෝල ළමයින් ගේ පඞ්ක්තියක් වාගේ කවයට හිටියා මූණ ඇතුළු අතට හරවා ගෙන, ඒ කවයට අහු වුණා උදැලු මිටක් තරම කඳ ඇති, බඹ එක හමාරක් තරම උස, අතු ටික හරියට වාත්තු කළා වාගේ එක මට්ටමට කුඩේ හැඩේට වැවුණු පොඩි ගහක්. මේ අලි රළ දණ නමා හොඬ දිග හැර බිම තමා ඔය පැළෑටියට වැන්දා. වටේ ඇවිද ඇවිද හරියට උපාසක පිරිසක් කැලැණි වෙහෙර වටේ පාන් පවත්වන්නා වාගේ, මේ ගහට ආචාර කළා පෑ බාගයක් පමණ. මේ වන්දනාව කැර ලා ඔවුන් ගියා ඈත පෙනුණු වෑපිට දෙසට.

මට මතක් වුණා, මේ අලි වැඳුම් කරන්නේ මදාරා ගහට බව. ආ ගමනින් වැඩක් ගන්න හිතා ගෙන මාත් ගියා අර පුදුම ගස ළගට. ළං වෙන කොට ම දැනුණා ගහේ රඟ. මේ ලෝකෙ ආයෙ තැනෙක එහෙම සුවඳක් මා අහලා නෑ මේ වයසට. මලුත් නැති ව මේ තරම් සුවඳ කොට, මල් වාරේ නම් කොහොමට ඇති ද කියා මට හිතුණා. ආසාවේ බැරිකමට ම ආරස්සාවටත් එක්ක කියා මිටි රියනක් තරම් දිග පොඩි කෑල්ලක්, දෙවියන් ගේ පිහිටයි කියා මාත් කපා ගත්තා. ඒකත් අතේ තියා ගෙන මා ආයේ කල්පනා වට වැටුණේ ආපසු ගෙදර යෑම ගැනයි; ඇයි අම්මේ අතේ තඹයක් නැති ව ගවු ගණනක් යන හැටි හිතමුකො; පාරේ බැහැලා හිඟා කකා එන්නයැ? වැඩක් පළක් කරන්න ඒ හදිසියේ හොයන එකත් ලේසි නෑ; ඒ කොයි එකටත් මිනිහකුට මූණ දෙන්න තරම් ඇඳුමක් බැඳුමක් වත් තුබුණයැ. මා නම දන්නා එක ම දෙවියකු වත් බඹකු වත් නෑර මතක් කළා. එ තෙක් සංසාරේ කළ තාක් හැම පින් ම ඒ ඇත්තන් ඇතුළු තිස් තුන් කෝටියක් දෙවියන්ට පවරා කැලේ ගිගුම් දී ගෙන යන්න"ආකසට්ඨාච භුම්මට්ඨා" ගාතාව තුන් සැරයක් කීවා.

අනේ ඇත්තට ඒ කියා කට ගන්න ලැබුණේ නෑ "තව ටිකකින් ආ හැටියට පල" කියා ඊට අවුරුදු ගණනකට ඉහත මළ අපේ ලොකු සීයා කියනවා ඇහුණා.

ඒ හඬ ඇහිලා වට පිට බලන මට පෙනුණෙ අර පොල් ගහ කැලේ අතරින් ඇදෙනවා. එ තැන ම තුබුණු වීර ගහට ‌බඩ ගාලා බලා හිටියා. ඔය එන්නේ පිඹුරු වාහනේ. මට ම පුදුමයි. ඇඳිරිය නිසා පිඹුරු කඳ හොඳට පෙනුණේ නෑ. ඇස් දෙක තමා බලන්න වැඩේ. ආයේ නෑ පසළොස්වක දාට පායා ගෙන එන හඳ වාගේ මදටිය පාට; තරමත් ඊට කුඩා නෑ; අමුත්තකට තුබුණෙ ළඟ ළඟ දෙකක් තිබීම විතරයි. ඉතින් අනේ දෙවියන් බුදුන් සිහි කැර ගෙන තුවක්කුවත් මිරිකා ගෙන බලා උන්නා. මේ ඇවිත් හිටියේ මා හිටි වීර ගහ ළඟ හරියට පුස් රතේ ආවා වගේ.

මාත් "නමෝ බුද්දාය" කියා ගෙන මාරු වුණා පොල් කරටියට. කවර දෙවියන් ගේ වුණත් අර කුරුම්බා බල බලා ඒ වේලාවේත් හිටියැකෑ පණ ඇති මිනිහකුට. මා කලින් දා වාගේ ම වෑවරයක් බීවා. අනේ ඒක බීවා විතරයි. හරියට නිදි බේතක් ගිල්ලා වාගේ මගේ ඇස් දෙක බර වුණා.

උදේ කපුටු අඬින් අවදි වෙද්දී මා උන් පොල් ගහ අර කහට ගහේ වදිනවා. කහට ගහින් බහින්නට පෙර ම මට පෙනුණ අපේ යාළුවන් එ දා මා හොයන්නට මුළු ගල්ලේ කැලේ ම පීරා තුබුණු බව. ගහින් බැස්සා විතරයි ආයේ වට පිට බැලුවේ නෑ මා හැල්මේ ම ගියා ගෙදර යන්න. පන්සල හරියේ යන කොට මට ඈත වෙලේ මහ නියර ඔස්‌සේ අපේ මායියයි නැන්දම්මයි බාගෙට මැරුණු ගණනට වැනි වැනී යනවා පෙනුණා. යන හැඩෙන් ම මා දැන ගත්තා එකත් එකට මේ දෙන්නා අංජනං එළියක් බලවන්න මේ වයිතාලේ ම පොඩි කපුරාල හම්බ වෙන්න යන බව. මා හූවක් කියා ලා මේ දෙන්නා නතර කළා; හූව ඇඳිනලා දෙන්නා ම හැරී බැලුවා. ඉර එක්ක ම හඳක් පායනවා වාගේ මට පෙනුණා."

සේතන් හාමි ඊළඟ වැකිය පටන් ගන්නට පෙර ම වන්දනා බසය එන අඬ ඇසිණි.

"හා, දැන් ඇති. අනෙක් හරිය ආයේ දාකැ"යි කියමින් සේතන් හාමි පුංචිනා ගේ කාටත් පොදු බලත් තටුව අතට ගත්තේ ය.

---------------------

* මයුර සන්දේශයේ ඒන

නඳව  සයුරු ළෙල එන රල සළු සලන්නේ

සොඳව  සුපිපි තුරු සේසත් සෙ      වන්නේ

රදව  ලබන සැප එතෙකින්     ලබන්නේ

රදව  මියුර සයුර සැ             මිරි පැන්නේ

යන කවිය සඳහා කියැවිණි.


හැත්තෑව දශක‌යේ භාවිත වුණු පස්වන ප්‍රමාණයේ කියවීම් පොතේ තිබූ මේ කතාව සොයා දීම සහ නිර්ලෝභීව එය අප සමඟ බෙදා ගැනීම ගැන ජයන්ති බෝප ගම්මන සහ සාරා ගුණසේකර දෙපළ ට මුළු හදවතින් ම ස්තූති කරමි.

Wednesday, June 9, 2021

නුවරඑළියෙ ආවෙමු - ගජබින්න නෙවෙයි

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-vJvcZHBIqF4vUMO-5j6tMUw6owUaRu0gVUKNFDSYXQny8exemzd2EFTXCSVSE9QQCNPN0e2Yco2uqZZvRUJ_S1AgH8pFfmAI-9oMDIsIm0dwcLBXOGw1ty2YYjT6zRRVmxteQCQK4Avw/w1200-h630-p-k-no-nu/DSC04092.JPG

ඒ ලෙවල් කරන කාලෙදි අනාගතය ගැන ඉළක්ක කරන්න පටං ගත්තෙමුය. ඒ් ඉළක්කවලින් ඒකක් තමයි නුවරඑළියෙ ජීවත් වෙන එකය. මක් නිසාද යත්, ඒ් කාලේ දැනගෙන හිටපු ෆැන්ටසි ම පළාත නුවරඑළිය වීමය. අපි නිකං මෙහෙ මල්වැටක් දැක්කත් ඒකත් මාර සුන්දර ය.

ඉතිං අපි මෙහෙ ආවා ය. බලන්ට යන්ට නං සෑහෙන තැන් ඇත. ඒ උනාට කොවිඩ් නිසා යන්ඩ බෑ ය. අපි ඇවිත් දවස් ගාණකිං මෙහෙ වස්සාන සෘතුව ආරම්භ විය. චුරු චුරු වැස්ස එක්ක මහ සැරේට හුළඟ ය. එයිට කලිං "යාස්" සුළි කුණාටුවත් ආවෙමු. ඒ් සුළි කුණාටුවට අපේ නිල නිවාසයේ වහළෙ ගළෝගෙන ගිහිං, දැං මේ නිල නිවාසෙ තියෙන්නෙ උඩහ ගෙදර වහළය ය. මේ පළාතෙ ඔය විදිහට වස්සාන කාලෙට ගෙවල්වල වහළ හුවමාරු වෙන එක සාමාන්‍ය දෙයකි. ඒ නිසා හැම ගෙදරකම වහළෙ හදන්නෙ එකම දිග පළලට ය.

මෙහෙ හුළඟ කොයිතරං සැරද කිව්වොත්, අව්ව වැටෙන්නෙ නැත. මෙහෙට පායන ඉරු රැස් හුළඟට ගහගෙන ගිහිං පායන්නේ පේරාදෙණිය දිහාට ය. සමහර දවස්වල ගිණිගත්හේන දිහාටත් නුවරඑළියට වැටෙන්න නියමිත අව්ව වැටෙයි. වැස්ස ගැනත් කියන්ඩ වෙන්නේ ඒ් ටිකමය. හොඳ වෙලාවට දියතලාව පැත්තට වැටෙන වැස්ස හුළඟේ ඇවිත් ග්‍රෙගරි වැවට වැටෙන්නේ ය. නැත්තං ඒ්කත් හිඳෙනවා ය.

නිල නිවාසයේ ගිණි උදුනක් ද ඇත. මේ වැස්ස කාලේ සීතල කොයි තරං ද කිව්වොත්, ඒකට අතට අහුවෙන අහුවෙන තරමෙ දර දාලා ගිණි තිබ්බෙමු. ඊට පස්සෙ එකතු වෙන කාඩ්බෝඩ්, පොලිතින්, පත්තර, පොල්කටු යනාදියත් ගිණි තිබ්බෙමු. දැන් ගිණි තියන්නේ මල් පාත්ති වල තියෙන ගඩොල් ය. ගිණි උදුනේ ඉතා විශිෂ්ඨ වෙන්ටිලේෂණයට පිං සිද්ද වෙන්ඩ ගඩොල් කැට, උලු කැට, දිරාපු යකඩ කෑලි, තහඩු කෑලි, පරණ හට්ටි මුටිට්, පරණ බැට්‍රි, පරණ ෆ්‍රිජ්, පරණ වොෂින් මැෂින්, කැඩිච්ච බයිසිකල්... පවා ගිණි ගන්නේය.

හතර වටෙන් ම කොරෝනා ලෙඩ්ඩුත් වාර්තා වෙන්නේ ය. වාතයෙන් පවා බෝවෙන ලෙඩක් වෙච්ච කල, වැස්සත් එක්ක හමන තද සුළඟ හිංදා, අපි එළකිරි වගේ ඉන්නෙමු. ඒ කියන්නේ එළකිරි බෝතලේට දාලා තියෙනවා වගේ, අපි ගේ ඇතුලට වෙලා ම ඉන්නෙමු ය. කොරෝනා වයිරසය අපේ ඔලුවලට උඩිං හුළඟේ ගහගෙන යන හැටි අපේ උන්දා හෙවත් ආදර බර ඩ්‍රැකියානිය මේ ළඟකදි දවසක් දැක්කෙමු. පස්සෙ බැලු කොට ඒ් රඹුටං ගෙඩි වගෙයකි. උඩහ ගෙදර පොඩ්ඩා කෑමට ගෙනත් තියාගෙන උන්න රඹුටං වගෙයක් ඒ්වා දාලා තිබ්බ මල්ලෙං එළියට ගන්න කොටම හුළඟට අහු වෙලා ය. පස්සෙ අපට දුක හිතී ගෙදර අයිස් පෙට්ටියේ තිබ්බ ඇපල්, පෙයාස්, බ්ලූ බෙරි, මල්බෙරි, බිලැක් කරන්ට්, ප්‍රත්‍යාවර්ත කරන්ට්, ආදී ගෙඩි ටිකක් දීලා පොඩි එකාගේ හිත හැදුවෙමු.

අයිස් පෙට්ටිය කිව්වාට, මෙහෙ ගෙවල්වල අනික් පළාත්වල වගේ ෆ්‍රිජ් එක කියා එකක් නැත. කොහොමත් මෙහෙ තියෙන සීතලට එළවලු නරක් වෙන්නේ නැත. තියෙන්නේ රස්නෙ පෙට්ටිය කියා එකකි. තද ශීතලෙන් එළවලු බේරා ගන්නට ඒක උපකාරී වෙන්නේ ය.

මෙහෙ තියෙන ස්ට්‍රෝබෙරි හරි ලකේ ය. දුසිමකට තුනක් විතර අල්ලන තරං ලොකුයි ය. ඒවගෙ තියෙන රතුපාට වගේ පාටක් මං නං මීට කලිං දැක නැත. කොයි තරං තද රතුද කියතොත්, ඒ්ක නිල් පාටට හුරු රතකි. මෙහෙ මිදුලේ තියෙන එක පඳුරෙන් දවසකට ස්ට්‍රෝබොරි දාහක් විතර කඩා ගන්නවාය. ආපු දවස්වල අපට ඒක හරි ඉහළ කෑමක් වුනාට, (ඒ් දවස්වල ස්ට්‍රෝබෙරි කාල බඩේ ඉඩ තිබුණොත් විතරක් බත් කන්නෙමු.) දැන් නං ගෙදර මිදුලට එන බල්ලන්ට ගහන්නෙත් ස්ට්‍රෝබෙරිවලිනි. 

අල්ලපු ගෙදර පොන්ඩ් එකක් ඇත. ඒකෙ මාලු පොඩ්ඩක් හරි බලාගන්නට පුළුවං මහ දවල්ට විතරය. ඒ් තරමට මෙහෙ වතුර සීතලය. ඒ ගෙදර ඉන්නා අයියා මාලුන්ට ජර්සි අන්දවා ඇත. ඒ උනාට ඒ ඇට්ටර මාලු උන්ගේ ජර්සි නිතරම තෙමාගන්නවා ය. ඉතිං අර අල්ලපු ගෙදර උදවියට මාලුංගේ ජර්සි මාරු කරනවා ඇරෙන්ඩ වෙන වැඩක් නැත. ඒ් වැඩේට වෙනම කුළියක් ගෙවා මිනිස්සු කීපදෙනෙක් තියාගෙන ඉන්නවා ය.

වතුරෙ සීතල කියන්නේ, පොඩ්ඩක් හරි ටැප් එකක් ඇරලා කෝප්පෙකට වතුර ගන්ඩ පුළුවං වන්නේ කුස්සියේ දී විතරය. අනික් හැම තැනම ටැප් එක ඇරියහම එන්නේ අයිස් කැට ය. පොල්තෙල් ඊට හතයි ය. මෙහෙ කඩවල පොල්තෙල් විකුණන්නේ කුට්ටි වශයෙනි. අපි ගිහිං ‌පොල්තෙල් කිලෝවක් ඉල්ලුවහම, මුදලාලි නූලෙං සබන් කැටේ කපනවා වගේ, පොල් තෙල් කුට්ටියක් කපා, කිරා, කඩදාසියක ඔතා, ගෝණි ලණුවෙන් බැඳලා දෙන්නෙමු.

කියන්නට නං දේ එමට ය. ලියාගන්නට වෙලාවක් ඇත්තේ ම නැත. එහෙං කොරෝනා මර්දන කටයුතු ය, වැක්සිනේෂන් ය, පළාත්පාලන ආයතන වල රාජකාරි අත්‍යවශ්‍ය සේවා කර ඇත්තෙමු. තව අසයින්මන්ට් දෙකක් මේ මාසය තුල ලියන්නට ද ඇත්තෙමු. ඒ් අස්සේ විභාගෙට පාඩං කොරන්නට ද ඇත්තෙමු. එහෙයින් මෙතනිං නවතිනවා ය.

මේ ටික ලිව්වෙත් කලිං පෝස්ටුවේ අගට සරත් ලංකාප්‍රිය අයියා දාපු කමෙන්ට් එකට ඇපෙන් බේරෙන්නට ය. එහෙනං ටටා වේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

Wednesday, December 18, 2019

විකුම්ගෙ වික්‍රම - ගජබින්න නං නෙවෙයි ම නෙවෙයි :)

මගෙ කිට්ටුවර යාළුවො දන්නවා, මට රාජ්‍ය සේවයෙදි හම්බුණු හොඳම යාළුවන් කීපදෙනාගෙන් කෙනෙක්, එහෙමත් නැත්තම් එක් කුසේ නූපන් සහෝදරයෙක් තමයි විකුම් ජයසිංහ කියන්නෙ... අද කියන්න යන්නෙ විකුම් ගෙ එක්තරා වික්‍රමයක්. ඕං එහෙනං අහගන්ඩ කියෝගන්ඩ.

විකුම් ජයසිංහ මහතා එකවර දුර ඇමතුම් තුනකට පිළිතුරු දෙමින්...

විකුම් ඉතාම ආසාවෙන් ජර්මන් ටෙක් එකේ මෝටර් මිකෑනික් ඉගෙන ගනිමින් ඉද්දි, එයාගෙ අම්මාගෙ බලපෑමට රජයේ සේවයට එකතු වුණේ. ඉතිං විකුමගෙ ලේවල දුවන්නෙ පෙට්‍රල් - ඩීසල්... හදවත වෙනුවට තියෙන්නෙ ෆියුල් පොම්පයක්, නාඩි වැටෙන්නෙ හෙඩ් එකේ වෑල්වල රිද්මයට. කොටිම්ම කිව්වොත් මෝට මිකෑනික් ලෝකයක්...

ඒ වගේම මේ මනුස්සයා මේ තාක් කාලෙකට හම්බකළේ මිනිස්සු... සල්ලි නෙවෙයි. ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් තමන්ගෙ සෞඛ්‍ය තත්ත්වය පවා කැප කරගෙන ඒක කරල දෙන්ඩ උපරිම කැපවීම කරනවා. ඒ වගේම එයාට ඉතාම හොඳ සහ ඕනෙම ක්ෂේත්‍රයකට අයිති යාලුවො සෙට් එකක් ඉන්නව.

ඉතිං ඔය කියපු යාලුවො සෙට් එකෙන් එකෙක් තමයි මාලුවා හෙවත් කුමාර. පොර කරන්නෙ ඇක්වේරියම් බිස්නස් එක. 

ඔය කුමාරගෙ එක ෂොප් එකකදි මම දැක්කා රුපියල් පහක් විතර සයිස් ඉබ්බො ජාතියක්. උන් මාලු ටැංකියක හදන්න පුළුවන්. ඔය ඉබ්බන්ගෙ පොටෝ එකක් ගහගෙන ගිහිං අපේ ඔපිස් එකේ වැඩකරපු අයිය කෙනෙකුට පෙන්නපුහාම, එයා උන්ගෙ නම "ලබි ඉබ්බා" බව අපිට කියා දුන්නා.

https://i.ytimg.com/vi/oGTg4OTZXSY/maxresdefault.jpg

ඉතිං එකපාරක් ඔය කුමාරගෙ ට්‍රින්කො පැත්තෙ තිබුණ ෂොප් එකක් වහලා බඩු ටික දාගෙන එන්න, විකුමා ලොරියක් අරං ත්‍රිකුණාමලේ ගියා... ඒ යද්දි හරියටම හබරණ කැලේ හරියෙදි ලොරියෙ පිටිපස්සෙ රෝදෙක පැච් එකක් ගියා.

ඉතිං මොකදැයි කරන්නෙ... විකුමා ලොරිය අයින් කරල නවත්තලා, වීල් බ්‍රෂ් එක අරන් රෝදෙ ඇණ බුරුල් කළා. ඒ කල්ලා හිටං ජැක්එක ගහන්ඩ බැලුවා. ගහන්ඩ බෑ... ඇයි කියලා බලනකොට, ලොරියෙ ජැක් එක ගෙනත් නෑ...


https://c8.alamy.com/comp/2A3P0RX/young-mechanic-changing-tire-character-2A3P0RX.jpg
දැං මොකදැයි කරන්නේ කියලා කල්පනා කර කර ඉන්නකොට තමයි වඳින්ඩ ගිය දේවාලෙ කුපාඩි කපුවෙක් උන්නා වගේ එයාකන්ඩිෂන් කරලා තිබුණා වගේ, තනි අලියෙක් ඒ පැත්තට කඩාගෙන බිඳගෙන එනව දැක්කෙ...

ඔන්න ඉතිං ඈත වලිගය රිටක් මෙන් කෙලින් කරගෙන පැයට හැටේ / අසූවෙ විතර වේගයෙන් දුවගෙන එන අලියා ය - මෑත තව පොඩ්ඩෙන් සුළුදිය පහවෙන සයිස් එකේ සිටිනා විකුම් ජයසිංහයන්ය. ඈත එබු එබූ පයින් මිහිකත සනහ සනහා දුවනගෙන එන අලියා ය - මෑත අත ගැසූ, ගැසූ වැඩේ කෙළවී සිටින විකුමා ය. ඈත හොඬයෙන් ගස් අතු කඩා උඩ විසිකරමින් ගුගුරවාගෙන දුවගෙන එන අලියාය - මෑත රෝදයේ නට් එකක් හණි හණික ගළවන විකුමාය... ඈත, ඈත කිව්වට දැන් ළඟ ළඟම දුවගෙන එන අලියාය - මෑත, එක නට් එකකුයි විල් බ්‍රෂ් එකයි අරං යාන්තමින් තඩි ගහකට මුවා වුණ විකුමාය...

අලියා දුවගෙන ආව වේගයට බ්‍රේක් ගහගන්ඩ බැරුව විකුමා මුවාවෙච්ච ගහේ හැප්පිලා තමයි නතර වුණේ. ඒ ආව වේගෙට උගෙ දළක් ගහ පසා කරගෙන ඇවිත් විකුමගෙ පැත්තෙන් අඩි තුනක් විතර එලියට ආව. අපේ යාලුවා බේරුනේ කෙස්ගහෙන්... පොර ඉක්මණිටම අර නට් එක දලේ තුඩට දාලා වීල් බ්‍රෂ් එකෙන් පොට දොළහක් කැරකුවා. ඒ නට් එකත් ඇත් දලේ පොට කපාගෙන ගිහිං හයි වුණා. 

විකුමගෙ සිරිතක් තමයි ඕනෙම වාහනයක් දෙවෙනි පාර පේන්ට් කරද්දි, ඇණේ දක්වා ගළවලා, ඇණ සහ නට් සියල්ල නිකල් බාත් දාන එක. ඒ නිකල් බාත් එකේ කොලිටිය නිසා තමයි ඇත් දළේ පොට කපාගෙන යන්ඩ තරම් නට් එක ශක්තිමත් වුණේ.

ඉතිං අලියත් මොකද වුණේ කියල හිතාගන්ඩ බැරිවෙලා, අඤ්ඤකොරෝෂණයට ලක්වෙලා ඉද්දි, විකුමා "දිරි...!" කිව්වා. අලියත් වැඩිදුර හිතන්නැතුව කණට ඇහුණු වොයිස් කමාන්ඩ් එකට අනුව ඉස්සරහ කකුල නවල ඉස්සුවා, ඇත්ගොව්වෙක් උන්නනං උන්දැට පිටට නගින්න. ඒ කකුල තිබුණෙ ලොරියෙ බඳට තෙරපිලා නිසා, ලොරියත් සෑහෙන තරම ඉස්සුණා.

විකුම් සුටුස් ගාල, රෝදෙ අනිත් නට් හතර ගළවල, ස්පෙයා වීල් එක දාගෙන, ඒකට ඇණ හතරක් විතරක් හයිකරගෙන, මෙහෙම බලලා මෙහෙම බලන පරක්කුවට ඔක්කොම උපකරණ ටිකයි ගළවපු රෝදෙයි ලොරියෙ පිටිපස්සට පටවගෙන, ලොරියට නැගගත්තා. 

විකුම් "පුරු...!" කිව්වා විතරයි අලියා අර උස්සගෙන හිටිය කකුල හිමිහිට බිමින් තිබ්බා. ඒත් එක්කම ලොරියත් බිමට පාත් වුණා. විකුමා දෙයියන්ට පිං දීගෙන ආපහු ගමන පටං ගත්තා.

ඔහොම පැය කාලක් යන්ඩ හම්බුණේ නෑ, ලොරියෙ පිටිපස්සෙන් සෑහෙනතරම ඈතින් කුඤ්චනාදයක් ඇහුණා. විකුම් සයිට් කණ්නාඩියෙන් බලද්දි අර අලියා... ඌ හොඬවැලත් උස්සගෙන සැළකියයුතු වේගයකින් එනව. 

ලොරිය යන්ඩ පුළුවන් හතළිහට - හැටට වගේ උපරිම වේගෙකට විතරයි. අලියා බොහොම සුවසේ අසූවට විතර දුවගෙන එනව. උගෙ දළේ ගහට තියල නට් එකක් දැම්මට ඌට කන්ඩ කේන්ති ඇති. විකුම්ව අහුවුණොත් හොඬෙන් අල්ලල පොළොවෙ ගහල ඒ උඩ ලම්බාඩා නටන්ඩ තරම් ආවේගයකින් අලියා එන බව විකුමට පෙනුනා. 

විකුමත් මොකද කළේ... බොහොම ඉස්සර දවසක් රයිනෝසිරස් කෙනෙක් අපේ අන්දිරිස් කිත්තගෙ තිරික්කලේ පස්සෙන් පන්නගෙන ආව වෙලාවක උන්දැ කරපු දේම තමයි. ඉස්සරහ හතරමං හන්දියෙන් වමට සිග්නල් දාලා දකුණට හැරෙව්වා. අලියත් අර පරණ කතාවෙ රයිනෝසිරස් වගේ සිග්නල්එක බලාගෙන වමට හැරිලා සෑහෙන දුරක් දුවලයි නතර වුණේ. ඒ තරමට වේගෙන් ඌ එළවගෙන ඇවිත්. මොකෝ, ඌට ABS බ්‍රේක් තියෙනවයැ? 

අලියා වමට දුවනවා සයිට් කණ්නාඩියෙන් දැකපු විකුම් යාන්තම් සැනසුම් සුසුමක් හෙලුවා. ඊට පස්සෙ ගමනට ලොකු බාධාවක් වුනේ නෑ. ඒත් හබරණ හන්දියට කිට්ටු වෙලා කඩමණ්ඩියෙ නතර කළාට පස්සෙ තමයි ආපහු අපේ යාලුවට දෙවෙනි කුඤ්චනාදය ඇහුනෙ. ඒ කඩමණ්ඩිය පිටිපස්සෙන්. කොහෙ ගියත් ඕනෙම වාහනයක් හබරණ හන්දියෙ කඩමණ්ඩිය හරහා යන බව දන්න අලියා ෂෝට් කට් එකකින් ඇවිත් හැංගිලා ඉඳලා.

ඌ බොහොම තේජාන්විතව කඩ පේළිය පිටිපස්සෙ ඉඳලා ඉස්සරහට ආවා. විකුම්ට කරකියාගන්න දෙයක් නෑ. පොර බිමට පාත්වෙලා වැලි අහුරක් ගත්තා. හීනි වැලි මිටකට ඉතිපිසෝ ගාතාව හත් වරක් මතුරලා ඒක හරියටම අලියගෙ ඇස් දෙකට ගැහුවහම අලියට ටික වෙලාවකට පේන් නැතුව යනව. ඒක කෙමක්...

විකුම් වෙවුලන කටහඬින් ඉතිපිසෝ ගාතාව කියද්දි අලියා ළඟටම ආවා. ඇවිත් හොඬ වැල ඉස්සුවා. උස්සලා ආපහු පාතට ගන්න ගමං ඒකෙන් අල්ලගෙන හිටපු යමක් විකුමගෙ දෙපා මුලට අතෑරියා. අතෑරලා ආපහු හැරිලා කැලේට ගියා. 

කඩේ හිටපු හැමෙ කෙනෙක්ගෙම ඇස් විකුම් දිහාට යොමුවෙලා තියෙද්දි විකුමා බැලුවෙ අර අලියා දාල ගියපු දේ මොකද්ද කියලා. එතන තිබුණෙ විකුමගෙ වීල් බ්‍රෂ් එකයි ඇත් දලේට හයි කරපු නට් එකයි. ලොරියෙ රෝදෙ මාරු කරලා, ආපහු උපකරණ ටික ලොරියට දාගද්දි වීල් බ්‍රෂ් එක අමතක වෙලා ඇවිත්. අලියා ඒකෙන් අර නට් එක ගළවගෙන ඒක ආපහු දෙන්ඩ තමයි මෙච්චර දුරක් පස්සෙන් එළවගෙන ඇවිත් තියෙන්නෙ. බලන්ඩ අලියගෙ තියෙන හැදියාව විතරක්...!


කලිං ලියපු ගජබින්න වලට පටුනක්.

Sunday, November 18, 2018

අන්දිරිස් අප්පු සහ ගොරක යකා - ගජබින්නාලංකාරයෙන්...


අන්දිරිස් අප්පු බෙන්තර යාත්‍රාමුල්ලෙ ඉඳල ගම්පහ කටුවාලමුල්ල ගමට ආ හැටි අපි එක තැනකදි කිය‍ෙව්වනෙ. මේ ඒකෙ ඉතිරි ටික හැටියට කියවන්ඩ පුළුවන් තව කතාවක්...

අන්දිරිස් කිත්තා පස්සෙන් පන්නගෙන ආව පරංගි ටික රජ්ජුරුවන්ගෙ හමුදාවට කොටු වුණ භූමි භාගය රජ්ජුරුවො අන්දිරිස් කිත්තට නීන්දෙ පවරල දුන්නා. ඒ ලොකු ඉඩමෙ අන්දිරිස් කිත්තා පදිංචි වෙන්න ගෙපැළක් අටෝගන්න තොරගත්තෙ, ගොරක ගස් සීයක් විතර සරුවට හැදිල තිබුනු කොටස. (අපේ විලියොං ආත - ඒ කියන්නෙ අන්දිරිස් කිත්තගෙ මුණුපුරා - පදිංචි වෙලා උන්නෙ ඔය කියන කොටසෙ. අක්කර දෙකහමාරක් වෙච්ච ඒ ඉඩමට දැනටත් කියන්නෙ ගොරකගහවත්ත.) ඒ කොටසෙ පසත් හරිම සරුසාරයි කියල එයාට පෙනුනා. කොයිතරම් සරුසාරද කියතොත්; ඒ ඉඩමෙ ගත කරපු පළමුවෙනි රෑ කිත්තා ගතකළේ ගහක් උඩ. ඒකට හොඳ උස ශක්තිමත් අතු බෙදුනු ගහක් තෝරගත්තා. ඒ ගහේ, බිම ඉඳන් අඩි පණහක් විතර උඩින් ලොකු අතු තුනක් තුන්පැත්තට බෙදිලා තිබුණා. එතනට නැගලා බලපුවම තමයි කිත්තා දැක්කෙ ඒ වම්බටු ගහක් කියල. ළඟ ළඟ තිබුණු අතු අගිස් වල ලොකු වම්බටු ගෙඩි හැදිල තිබ්බ නිසා.

අන්දිරිස් කිත්තා ඒ ගහට ගිහිං තිබුණු කරවිල වැල් දෙකක් කපාගෙන, ඒකෙන් වැල් ඉණිමගක් හදාගත්තා. හවස් වේගෙන එද්දි කිරිඅල පඳුරක් ගළවලා, කිරිඅල පිති එකට ගොඩගහල ගිණි තියලා, (කොහොමද ගිණි තිබ්බෙ? අර පරංගි වෙඩිබේත් කූඩාරම ගිණිතියපු ගිණිකූරු වලින්ම තමා) ගිණිගොඩක් ගහලා, ඒකෙ අලු පල්ලෙ දාලා කිරි අල තම්බගෙන බඩ පුරා කාලා, අර වැල් ඉණිමග දිගේ වම්බටු ගහට නැගලා, වැල් ඉණිමග උඩට ඇදගෙන, හොඳ හැටි නිදා ගත්තා.

අන්දිරිස් කිත්තා කරන දේවල් දිහා බොහොම කේන්තියෙන් බලාගෙන උන්නා එක්කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි, ඒ භූමියට අරක්ගත්තු ගොරක යකා.

http://decibel.lk/assets/2015/
02/yaka-500x500_c.png

පහුවදා උදෙම්ම නැගිට්ට කිත්තා, ගෙයක් හදාගන්න පටන්ගත්තා. දැනට වැටිලා නොතෙමී ඉන්න, සතා සීපාවගෙන් බේරිලා ඉන්න පොඩි ගෙපැළක් අටවගන්න තමයි එයා මුලින්ම හිතාගත්තෙ.

ගේ හදන්න තෝරගත්ත හරිය සමතල කරද්දි ඒකෙ අඩි එකහමාරක් විතර යටට හාරද්දි බොහොම තද කබොකක් මතු වුනා. ඉතිං එයා හතරැස් අඩි සීයක් විතර ඉතුරු කළා පස්සෙ එක එක හැඩේ කබොක් ගල් කපන්න.

මුලිම්ම කිත්තා අදහස් කළේ කණු හයක් හිටවලා, වහළයක් හදාගන්න. ඒකට එයා වත්තෙ වැටිච්ච පොල් අතු එකතු කරලා, ගාණට කපලා, වැල්පටවල් අඹරලා හදාගත්ත තේඩා වලින් ගැටගහලා. වත්ත පල්ලෙහා ගඟේ ඔබලා, බර තිබ්බා. ඉන්පස්සෙ එයා ගියා කැලේ වැවිල තිබ්බ හරියට, වැරණිය ගස් කපං එන්න. ඇද කුද නැති වැරණිය ගස් දෙකක් කපල බිම දාන්න අන්දිරිස් කිත්තට ගියේ වරුවයි. ගස් දෙක කපලා, බිම දාලා. අතු පෑහැලා දාපු එයා, දිය බහින්න ගස් දෙක එතනම දාලා ආපහු අර කලින්දා රෑ නැවතුනු වම්බටු ගහ ගාවට ආවා.

ඒ එනකොට කිත්තට ඇහුනා, “අන්දිරිසා එනෝ...” කියල බොහොම ගොරෝසු කටහඬකින් කෑගහනව.

වටපිට බලනකොට, ඒ කිඹුලෙක්. ගොරකයකා කිඹුලෙක් තියලා ඔත්තු බලන්න.

කිත්තා එකපාරම වම් අතින් කිඹුලගෙ බෙල්ල මුලින් අල්ලගත්තා. කිඹුලා ආයෙම කැගහන්න කට අරිනකොටම, එයා දකුණු අත කිඹුලගෙ කට ඇතුලට දැම්මා. අත පුළුවන්තරම් කිඹුලගෙ ඇතුලටම යවපු කිත්තට උගෙ වලිගෙ අග හරියෙන් අල්ලගන්න පුලුවන් උනා. හයියෙන් අල්ලගෙන ආපහු අත කටින් එලියට ඇදල ගත්ත පාර කිඹුලා කණපිට හැරවුණා.

කිඹුලා අන්දිරිස් කිත්තට කැරකි කැරකි වඳින්න ගත්තා. පරාණ බය ඉතිං කිඹුලටත් පොදුයි. ඒ ගමන කිත්තා කිව්වා,

“මං උඹ මරන්නෑ. උඹ ඇයි මං එනව කියල කෑ ගැහුවෙ? කාට ඇහෙන්ඩද? කවුද උඹට ඔත්තු බලන්ඩ කිව්වෙ?” කියල ඇහුවා.

“යරක ගොකා... යරක ගොකා...” කිඹුලා කිව්වා.

“ඒ මොකාද බොල?” කිත්තා ඇහුවා.

“මමුසෙ තාව හැණපිට කරෙව්වනෙ. කිම මයන ඉව්වත් එතිං හැණපිට කරෙනව...”

කිත්තට තේරුණා. කණපිට හැරුණ කිඹුලා, කියන කියන වචනත් කණපිට හැරෙනව...

ඒ ගැන හිත හිතා කිත්තා ඔලුව කහන්න ගත්තා. යන්තං කිත්තගෙ අතිං අතෑරුණ ගමං කණපිට කිඹුලා පැනලා දිව්වා...

කිඹුලගෙ කතාවෙන් පස්සෙ අන්දිරිස් කිත්තට තේරුණා ගොරක යකා එක්ක දෙකෙන් එකක් බේරගන්නෙ නැතුව මේ භූමියෙ වසන්න අමාරු වෙන බව. එයා දෙවෙනි දවසෙ කපන්න තෝරගත්තෙ වත්තෙ තිබුණු ලොකුම ගොරක ගහ. පොරවකුත් අරං ගහවටේ එක වටයයි කැරකුණේ, මහා ඇඹුල් ගඳක් පැතිරිලා ගියා. ගොරක ගහ සුළි සුළඟකින් වගේ කැරකෙන්න පටන් ගත්තා. 

කිත්තා දෑත බදලා පොරව උස්සලා, ගොරක ගහට කෙටුවා. ගොරක අතු හොල්ලගෙන, දඩි බිඩි ගාගෙන ගහෙන් බැහැලා ආවා නිල් පාටට හුරු කලු පාට මවිල් වලින් වැහුණු, මහත දෙහත, සද්දන්ත සරීරයක්. හැඩපලු ගෙතුණු කොණ්ඩෙ, රවුම් රතුපාට ඇස් ගෙඩි, බාගෙට ඇරුණු කටෙන් පෙනුනු උල් දත්... ඔය ඔක්කොම එක්ක මහා භයානක යකෙක් ගහෙං බැස්සා.

කිත්තා වගේ වගක් නැතුව තව පොරෝ පාරක් කෙටුවා.

"තෝ කවුද බොල මගෙ විමානෙ කපන්ඩ තනන්නෙ?" යකා සැර වැර ඇතුව ඇහුවා.

"තෝ කවුද මගෙං ප්‍රශ්න අහන්ඩ?" කිත්තා ඊට වඩා සැරෙන් ඇහුවා.අහලා තව පාරක් ගහට කෙටුවා.

"මේ... එහෙම නෙවෙයි මල්ලි..." යකා දැන් යාප්පු වෙනවා. "... මේ ගහම කපන්ඩ ඕනෙ නෑනෙ. වෙන ඕනෙ තරං ගස් තියෙන්නෙ."

"නෑ. මේ ගහම තමා මට කපා ගන්ඩ ඕනෙ..." කිත්තා තව පාරක් කෙටුවා.

"මේ එහෙම කරන්ඩ එපා මල්ලි. මං තමුසෙට හැම ගොරක වාරෙටම ගොරක ගෝණියක් දෙන්නං. මේ ගහ කපන්ඩ එපා මල්ලි. මොකද්ද මෙයා..."

කිත්තා පොරව බිමින් තියලා, වාඩිවුණා.

"මට තමුසෙ උදව් කරන්ඩ ඕනෙ මගෙ වැඩ වලට" කිත්තා ටික වෙලාවක් කල්පනා කරලා කිව්වා.

යකා ඒකටත් ඔලුව නැමුවා.

"හා හොඳයි." කිත්තා කිව්වා. "හැබැයි ඔය පොරොන්දුව කැඩුවොත් මං නරක මිනිහා කියන්ඩ එපා හරිය?"

යකා ආපහු ගියෙ කිත්තට වැඳල...

ඊටපස්සෙ ඉතින් සතියක් විතර යද්දි කිත්තා කවද හරි මේ ඉඩමෙ හදනවය කියල මුලින්ම හිතාගත්ත මහගෙදර හදල ඉවර කරගත්තා. ඒකට උනෙ කරපු එක එක හැඩේ, එක එක තරමේ කබොක් ගල් ඔක්කොම ගොරක යකා එක වරුවෙන් කපල දුන්නා. කබොක්ගල් කපාපු වළ වහන්න වත්ත පහල නාන ළිඳකුයි, ඊට තරමක් උඩින් බොන ළිඳකුයි කැපුවා. ගෙයි අත්තිවාරම දාලා, පස් දාලා, යකා ඇත්තු දෙන්නෙක් දම්මලා බිම පාගලා දුන්නා. යකා බිත්ති නැග්ගුවෙ බලං ඉද්දි. අන්දිරිස් ආතා යකාට වඩුවැඩ කියා දුන්නා. කැලෙන් කපාගත්ත ලී, යකාම පට්ටලේ දාලා ඉරලා, සොල්දරේකුත් ගැහුවා. වහලෙ ගැහුවෙත් ගොරක යකයි කිත්තයි දෙන්නා. සිංහල උලු විතරයි කිත්තට හාඩ්වෙයා එකෙන් ගන්න වුනේ.

කිත්තගෙ වැඩ කරල දෙන ගොරක යකා දිහෑ උන්දැගෙ සහෝදරයො වුනු සියඹලා යකයි, බිලිං යකයි බැලුවෙ හිතේ පිරුණු කේන්තියෙන්. තමංගෙ මුලු යක්ස පරම්පරාවටම නින්දාකරමින් තමුංගෙ මල්ලි නරයෙකුට උදව් කිරීම ඒ අයගෙ උදහසට හේතු වුණා.
ගෙට ගෙවදුනු දවසට පහුවෙනිදා, කිත්තා පටන් ගත්තා ඉඩමෙ වල් කොටලා මොනව හරි ඉන්දන්න. කැලේට වැවුණු වම්බටු, බණ්ඩක්කා, කරවිල, පතෝල ආදිය කකා හිටපු උන්දැට හිතුණා කැරට්, බෝංචි, ගංජා ටිකක් හිටවන්න.

උදේ ඉඳං එකසීරුවට වැඩ කරලා මහන්සි වෙච්ච කිත්තා, වත්ත පහළ ගඟෙන් නාගෙන, ගෙට ආවෙ හොඳටම බඩගිනි වෙලා. ඒ එනකොට එයා පිළිගන්න ගෙයි ඇඳ යට හැංගිලා හිටියා සියඹලා යකා... 

“යකෙක් කන්ඩ බඩගිනියි යකෝ...!” තමන්ටම කියාගෙන කිත්තා ගෙට ගොඩ වුනා. සියඹලා යකාගෙ හිත ටිකක් ගැස්සුණා.

උදේ වත්තෙන් නෙලාගත්ත ඇපල්, පෙයාස් ටිකක් ඇඳ යට තිබුණු බව කිත්තට මතකයි. “රජ බඩුවක් තියෙන්නෙ ඇඳ යට...” කියාගෙන ඉණේ තිබ්බ උල් පිහිය ඇදල ගත්ත කිත්තා, ඇඳ ගාවට කිට්ටු කළා. යකා වෙවුලන්න පටං ගත්තා.

කිත්තා ඇඳ යටට එබුණා. යකා කිත්ත දැකල වැඳ වැටුණා. “අනේ ආයිබොවං මාව මරං කන්ඩ එපා...”

“තෝ මොකද ඇඳ යට කරන්නෙ?” කිත්තා ඇහුවා.

“මං... මං... ගොක්... ගොක්... ගොරක යකාගෙ අයියා. සියඹලා යකා.” යකා එලියට බඩගෑවා. “මං ආවෙ අපේ නගා ඔහෙට කරකාර දෙන්ඩ අහන්ඩ...”

කිත්තගෙ ඇස් උඩ ගියා...

ඕං ඔහොමයි අන්දිරිස් කිත්තා, යක්ෂ භයෙන් මිදිලා කටුවාලමුල්ල ගමේ ගොරකගහවත්ත ඉඩමෙ පදිංචි වුනේ. කිත්තගෙ උරුමක්කාරයො වෙන අපි, යකාටවත් බය නෑ. අනික අපි මොන වැඩක් කළත් ඒක... “යකාගෙ වැඩක්නෙ!” කියල අනික් උදවිය කියන්නෙ ඔන්න ඔය කිත්තගෙයි, ගොරක යකාගෙ නගා වෙච්ච දෙහි ඇඹුල් යකින්නගෙයි ලේ අපේ ඇඟේ දුවන හින්දයි...

කලිං ලියපු ගජබින්න වලට පටුනක්.

Saturday, October 14, 2017

අන්දිරිස් කිත්තා, පරංගි සහ ගමට නමක්

https://ewedit.files.wordpress.com/2015/01/hobbit-the-desolation-of-smaug.jpg?w=612

අපේ කිත්තා අන්දිරිස් අප්පු ය. උන්දැගෙ වික්‍රම ගැන මෙයිට කලිං පෝස්ටු දෙකක ලියා ඇත.


අද මං කියන්ට යන්නේ අන්දිරිස් කිත්තා උපං ගම වූ බෙන්තර යාත්‍රාමුල්ලේ සිට ගම්පහ ගණේමුල්ලේ කටුවාලමුල්ලට ආ හැටි ය. (මේක මං වැඩ්ඩ වගේ ලියන්ඩ ඉඳගත්තට, ඉවර වෙනකං මොනව ලියවෙයිද මොන විදිහට ඉවර වෙයිද කියා හිතාගන්ට බැරි ය.)

අනද කිත්ත, වඩු පරම්පරාවකිං පැවතෙන්නෙක් කියල තමා මං හිතං ඉන්නෙ. මොකද, මේ ගමේ පරණ මිනිස්සු අන්දිරිස් කිත්තයි එයාගෙ පුතා වුන සුවාතයි දෙන්නම වඩු වැඩ කරපු බව කියන නිසා. ඒ වගේම සුදික ස්ථිර කළා යාත්‍රාමුල්ලෙ තාම ඉන්නව කියල අර ශ්‍රී මහ බෝධිය එක්ක ලංකාවට ආව වඩු පරම්පරාවක්.

කොහොමිං හරි අන්දිරිස් කිත්ත කොල්ල කාලෙ පරංගි හමුදාවෙ සිවිල් අංශෙ වැඩ කළා නෙව. මයෙ හිතේ ඒකෙත් වඩු වැඩ තමා කරන්ඩ ඇත්තෙ. ඔය ලස්කිරිඤ්ඤ හමුදාවෙ හෙල්ල වල මිට ගහන්ඩ, අත් පොරෝ වල මිට හදන්ඩ, ඒ වගේ වැඩ වෙන්ඩැති. ඉතිං එක සැරෙයක් ඔය පරංගි හමුදාවක් උඩරට අල්ලන්ඩ යද්දි අන්දිරිස් කිත්තත් ඒ එක්ක ඇවිත් තියෙනව. 

අන්දිරිස් කිත්ත ආවට මොකද යටි හිතිං පරංගිංගෙ ක්‍රියා කළාපය ගැන එච්චර හොඳිං නෙමේ හිටියෙ. යන යන තැන, දකින දකින දේ කොල්ලකන්ඩයි, දකින දකින ගෑණු දැරිවියන්ට හදි කරන්ඩයි, හවස කඳවුරු ගහගෙන බීල නටන්ඩයි පුරුදු වෙච්ච පරංගි, ස්වදේශිකයන්ට සැළකුවෙ තමංගෙ අතපල්ලෙං වැටිච්ච ගානට.

ඉතිං කොළඹ කොටුවෙ ඉඳං ඇවිදින්, කැළණි ගඟෙං එගොඩ වෙන්න ආව පරංගි හමුදාව, ගඟෙං එගොඩ වෙන්න නං ගඟ නිදාගන්ඩ ඕනෙ නිසා රෑ වෙනකං ගං ඉවුරෙ වාඩි ලාගත්ත. මොකද, ගඟක් උනත් නිදාගන්නෙ රෑටනෙ.

ඔය අතරෙ අන්දිරිස් කිත්තට පුළුවං උනා චීස් කෑල්ලකුයි කේජු කෑල්ලකුයි හයි කරපු උගුලක් මාර්ගෙන් තඩි මීයෙක් අල්ලගන්ඩ.

https://thumb9.shutterstock.com/display_pic_with_logo/
1058333/178340966/stock-vector-vector-illustration-of-a-rat-is-trying-to-
steal-a-piece-of-cheese-178340966.jpg
අන්දිරිස් කිත්ත ඔය මීයගෙ නැට්ටෙ ගිණිකූරක් ගැටගැහුව. ගැටගහල, තඩි චීස් කුට්ටියක් විසික් කළා පරංගි වෙඩිබෙහෙත් තියල තිබ්බ කූඩාරම ඇතුළට. මීයව අතෑරපු ගමං ඌ දිව්වෙ වෙඩි බෙහෙත් කූඩාරමට. ඌ දුවද්දි ගිණිකූර බිම ඇතිල්ලිල ගිණි ගත්ත. තප්පර ගාණකිං වෙඩිබෙහෙත් කූඩාරමයි ඒ ළඟ හිටපු පරංගි හෙණ සෙට්එකකුයි කෑලි කෑලි...

කිත්ත ඒ වෙනකොට හිමිං සැරේ ගඟ හරහ පීනල ගිහිං එගොඩ උනා. එගොඩ වෙලා බැලින්නං,පරංගි හමුදාවෙ කපිතානුයි අනික් නිලකාරයො ටිකයි එගොඩ. අර කූඩාරම පුපුරද්දි ඒකෙ පීඩනේට එගොඩට විසික් වෙලා. ඒ එකෙක් දැකල තිබ්බ අන්දිරිස් කිත්ත චීස් කුට්ටියක් වෙඩිබේත් කූඩාරම දිහාට විසිකරනව. ඌ ඒක කිව්ව විතරයි, පරංගි රැළම අන්දිරිස් කිත්ත පස්සෙං පන්නන්ඩ ගත්ත බල්ලො රැළ වගේ.

අන්දිරිස් ආතත් ලේ පිපාසෙං වියරු වැටිච්ච පරංගි හමුදාවම පසු නොබලා දුවන්ඩ සැළැස්සුව, හරිම ලේසියෙන් - ඉස්සෙල්ල එයා දිව්ව. පරංගි හමුදාව එයා පස්සෙං දිව්ව.

ඔහොම දුවගෙන දුවගෙන යද්දි පංසලක චෛත්‍යයකට හුනු ගාන්ඩ හුණු වැරටි වගෙයක් ගෙනියන කට්ටියක් හම්බුනා. අන්දිරිස් කිත්ත දුවගෙන ආව වේගෙට අර මිනිස්සුංගෙ ඇඟේ හැප්පුනා හරියට කාලතුවක්කු උණ්ඩෙයක් වගේ. හැප්පිල අන්දිරිස් කිත්ත වැටුණ. අර උදවියගෙ හුණු වැරටි ගෝණි ටිකත් සීසීකඩ.

කිත්තගෙ අතේ තිබ්බ දුන්නක්. ඒත් එයා ගාව තිබුණෙ එක ඊතලෙයයි. එයා කල්පනා කරල බැලුව මොකද කරන්නෙ කියල. අර පරංගි ටික එකා පස්සෙ එකා වත් ආවනං, එක ඊතලෙං මුලු හමුදාවම බණ්ඩක්ක කරල් ඉරට්ටෙ ඇමුණුව වගේ අමුණගන්ඩ තිබුණ. ඒත් එහෙම නෙමෙයිනෙ ලේ පිපාසිත හමුදාව ආවෙ. ඉතිං කිත්ත ඊතලේ මෑනුව එයාට යන්ඩ ඕනෙ පැත්තට. මානල විද්ද. විද්ද ගමං උඩ පැනල ඊතලේ එල්ලුනා.

ඔන්න ඊතලේ එල්ලිල අන්දිරිස් කිත්ත උඩිං යනව. ඒ දිහා බලාගෙන උඩ බලාගෙන ආව පරංගි හමුදාව අර බිම වැටිල තිබ්බ හුණු වැරටි ටික පාගගෙන දිව්ව. ඒ ගොල්ලංගෙ දිවිල්ලෙ සැරට අර පෑගුණු හුණු ඔක්කොම පිටි වගේ වෙනකං කුඩු උනා. එහෙම හුණු පිටි වෙච්ච තැන තමයි මේ දක්වාම හැඳින්වෙන්නෙ, හුණුපිටිය කියල.

අන්දිරිස් කිත්තගෙ විදමනේ සැර කොච්චර ද කියනවනං, එයා සෑහෙන දුරක් උඩිං ගියා. එයාගෙ පස්සෙං උඩ බලාගෙන එලෝගෙන ආව හමුදාවත් ඒ එක්කම දුවනව. අතරමගදි හරක් බලාගත්ත එඬේරෙක් බයවෙලා මුල්ලක හැංගුනා. එතනට තවමත් කියන්නෙ එඬේරමුල්ල කියල. තව තැනකදි අර පරංගි රැළ දැකපු සීය කෙනෙක් කිව්ව එයාගෙ මුණුපුරාට, “යකෝ! ඒරොප්පෙවත් නැතුව ඇති මෙහෙම යක්කු වගේ හැසිරෙන පරංගි“ කියල. ඒ කියපු තැන “ඒරොප්පෙ“ කියල නම වැටිල, පස්සෙ භාවිතාවෙන් හොරපෙ බවට පත් වෙලා තියෙනව.ඔහොම ගිහිං රාගම ත් පහුවෙලා තමයි කිත්ත විදපු ඊතලේ කිත්තත් එක්කම බිම වැටුණෙ. ඒ වැටුනෙත් මනුස්සයෙක් රාගම පොලට වෙළඳං කරන්ඩ අරං ගියපු කදක් උඩට. ඒ කදේ පුරෝල තිබුණෙ නාරං. අර මනුස්සයට එක පාරම කියවුනා, “අයියෝ! මගෙ නාරං ගොඩම පාලුයි!“ කියල. එදා ඉඳං ඒ හරියට කියන්නෙ නාරංගොඩපාළුව කියල.

කිත්ත කිව්ව නාරං වෙළන්දට, “මයෙ පස්සෙං එනව ටුවරිස්ල වගෙයක්. මං ඒගොල්ලංගෙ ගයිඩ්. ඒගොල්ලො තමුසෙගෙ අලාබෙ ගෙවයි“ කියල. ඒහෙම කියල කිත්ත ළඟම තිබ්බ හෙණ උස පුවක් ගහකට නැග්ග.

පරංගි ටික එතෙන්ට එන්ඩ වැඩි වෙලාවක් ගියෙ නෑ. අර වෙළ‍ෙන්ද පරංගි හමුදාවෙං ගේම ඉල්ලුව. “ගෙවනවල මගෙ නාරංගොඩේ පාඩුව. තමුසෙලගෙ ගයිඩ් තමා මේ නාරංගොඩ පාලු කළේ“ කියල.

පරංගි ටික එකා එක ගානෙ ටොකු ඇනල අර වෙළ‍ෙන්දව උස්සල වීසි කළා. වෙළෙන්ද කැරකි කැරකි ගිහිං වැටුන හාඩ්වෙයා එහෙකට. ඒ හාඩ්වෙයා එකෙත් එයා වැටුනෙ එස්ලෝන් බට ගොඩක් උඩට. බට ඔක්කොම කීතු කීතු උනා අර  වැටිච්ච වැටිල්ලට. එදා ඉඳං ඒ හරියට කියන්නෙ බටවල පාළුව කියල.

ඊටපස්සෙ පරංගි එකා එකා නගින්ඩ ගත් අර පුවක්ගහට අන්දිරිස් ආතව අල්ලගන්ඩ. ඔහෙම දෙසීයක් විතර නැගගෙන නැගගෙන එද්දි පුවක් ගහ බිමට ඇලවෙන්ඩ ගත්ත. ඒ ගමන බිම ඉඳං මූව අල්ලගන්ඩ ලේසියි කියල හිතපු පරංගි ටික එකපාරටම බිමට පැන්න. උන්ටික බිමට පැන්න විතරයි අර පුවක්ගහ එකපාරටම කෙලිං උනා. ඒ වේගෙට අන්දිරිස් කිත්ත ට අත-අතෑරිල ටොයිංංංංංං ගාගෙන උඩිං ගිහිං වැටුන ලියද්දකට. ඒ ලියද්දෙ අයිනෙ තිබුණ විසාල කැන්ද ගහක්.

අනද කිත්තට කලන්තෙ වගේ ආව වේගෙට උන්දැ එහෙම්ම ටික වෙලාවක් වැටිල උන්න. ඉඳල යන්තං නැගිටල ලියද්දෙං නියරට ගොඩ වෙලා, වක්කඩෙං මඩ ටික හෝදගත්ත. එතෙන්ට ආව ඇතෙක් අන්දිරිස් කිත්තට දණ ගහල වැන්ද. කිත්ත ඇහුව “ඇයි?“ කියල. ඇතා කියනව, එහෙමලු රොබට් නොක්ස් ලියල තියෙන්නෙ. ඕනෙම ගොයියෙක් මඩ හෝදගත්තහම රජකමට හොඳයිලු මේ රටේ.

“මේ... පිස්සු නැතුව පුලුවන්නං මාව අර පරංගි රැළගෙං බේරගනිං“ කිව්වහම ඇතා කිත්තවත් පිටේ තියාගෙන දුවන්ඩ ගත්ත. (සමහරු නං කියනව කිත්ත ඇතාගෙ නැට්ටෙ එල්ලුනා, ඇතා ඉගිල්ලුනා කියලත්.) ඇතයි කිත්තයි පස්සෙං දුවං ආව පරංගි හමුදාව නිසා ලියද්දෙ තිබ්බ සරුසාර ගොයං වගාව එහ‍ෙම පිටිම්ම පාලු උනා. එදා ඉඳං තමයි ඒ ගමට කැන්දලියද්දපාලුව කියල කියන්නෙ.

ඇතා අනද කිත්තව අරං දුවගෙන දුවගෙන ගිහිං මහවිසාල ගඟක් ගාව නතර උනා.පරංගි හමුදාවත් හති ඇර ඇර දුවගෙන දුවගෙන ඇවිත් අනද කිත්තට කිට්ටු උනා විතරයි, හතර වටින් පැන්න සිංහල හමුදාවට කොටු උනා. ඔන්න ඔය “කොටු වුන මුල්ල“ කියන නම තමයි දැන් “කටුවාලමුල්ල“ කියල ව්‍යවහාරයත් එක්ක වෙනස් වෙලා තියෙන්නෙ. (ඒක නං ඇත්තම කියමනක්. විදේශික හමුදාවක් ස්වදේශික හමුදාවකට කොටුවුන නිසා මේ ගමට ඔය නම ව්‍යවහාර වෙන බව තමයි පැරැන්නො කියන්නෙ)

ඉතිං විසාල හමුදාවක් කොටුකරල අල්ලගන්ඩ අවස්ථාව සැලැස්සුවට රජතුමා අනද කිත්තට ඒ භූමිය නීන්දෙ පවරල දුන්න. රජතුමා පවරල දුන්නට, ඒ ඉඩමෙ අරක්ගෙන හිටපු ගොරක යකා ඒකට කැමති උනේ නෑ.

- ඒත් ඒක වෙනම ලියන්ඩ ඕනෙ කතාවක්...

බයි ද වේ, පරංගි හමුදාව අල්ලගෙන යන අතරමග, කඩවතට කිට්ටුව, සූරියමල් විකුණ විකුණ ආව සමසමාජ තරුණයො කණ්ඩායමක් පරංගින්ටත් සූරියමල් විකුණන්ඩ කතා කළා. රජ්ජුරුවන්ගෙ අතට අහුවෙලා හිරකාරෙයො වෙච්ච එකටයි, අනද කිත්තගෙ මාලු කන්ඩ බැරි වෙච්ච එකටයි කේන්තියෙ හිටපු පරංගි ටික අර සූරියමල් ටික උදුරගෙන පොළොවෙ ගැහුව. පොළොවෙ ගහල ඒක උඩ නටල, සුන්නද්දූලි කරල දැම්ම.

ආං එතන තමයි දැං සූරියපාලුව කියල කියන්නෙ.

කාට හරි මේ නම් ගම් ගැන සැකයක් තියේ නං ගූගල් මැප් එකෙං බලන්ඩ පුළුවං කැළණියෙ ඉඳං රාගමටත්, රාගම ඉඳං කැන්දලියද්දපාලුවටත් තියෙන ග්‍රාම නාම ටික. එතකොට අනද කිත්ත මොනවගේ දිවිල්ලක් දුවල ඇද්ද කියලත් හිතාගන්ඩ පුළුවං වෙයි.

කලිං ලියපු ගජබින්න වලට පටුනක්.

Tuesday, March 1, 2016

කලබලේට විසුරුවපු කෙටි සරළ ගජබින්න (-:

බහුතරය‍කගේ ඉල්ලීම සහ මරණ තර්ජන හේතුවෙන් ඉතාම සරළ ගජබින්න දෙකක් මෙහි ලියා දක්වනවා ඇත.

දවසක් මං පොල් වත්තක් මැදිං යනව... අපේ ගමේ තිබුණ ලොකු පොල් වතු දෙකක්. එකක් නිළමෙගෙ වත්ත, අනික මුර වත්ත. මුර වත්ත මැදිං තමා මං ගියෙ. අපේ වත්ත පල්ලැහැං වෙළට පැනල, වෙළෙං එගොඩ වෙලා මුරවත්ත මැදිං ගියාම පරකන්දෙණියට යාගත්තෑකි කෙටි පාරක් තිබ්බ.

ඉතිං මං දවසක් පොල් වත්තක් මැදිං යනව. යද්දිං මට ඇහෙනව බොහොම හීනි කටහඬිං මොනවද කියනව. කවුරුවත් පේන්නත් නෑ. පේළිියට වවපු පොල් ගස්, අතරිං පතර වැවුණ කුරුඳු, ගොරක, කජු වගේ ගස් කීපයක් විතරයි තිබුණෙ. මං කන්දීල බැලුව... ඇහෙනව තමා... 

“මෙන්න.“ 
“මේකත් ගනිං.“ 
“කෝ මෙහෙ දියං.“ 
“ඉඳා ගනිං“ 
“අල්ල ගනිං“ 
“දීපං ඉතිං“ 
“ඕං“
"කෝ බං ටිකක් අත ඉක්මං කරහං"
"දීපිය හු$#"
"ආ ගනිං ප#$"

වගේ වචන තමා ඇහෙන්නෙ. ඒ වුනාට කවුරුවත් නෑ පේන මානෙක. මං තවත් අවධානයෙන් කන් දීගෙන ඒ සද්දෙ එන පැත්ත හොයාගත්ත. එතන තිබ්බෙ තඩි කුරුඳු ගහක්. ඒකෙ පාත අත්තක දිමියො සෙට් එකක් කොළ එක එක වකුටු කර කර දිමි ගොට්ටක් හදනව. උං වැඩකරද්දි උං අතරෙ වෙන කතා බහ තමා මට අර ඇහිල තියෙන්නෙ....

-----------####----------

තව දවසක් මං පොඩි කාලෙ. අපේ ගමේ තිබ්බ බේකරි කඩයක්. ඕකට මං යනව රෑ හතට අටට විතර ටෝච් එකකුත් අරං. යනකොට පාර අයිනෙ රිදී පාටට බැබළි බැබලි ඉන්නව - කවුද? නයිහාමි. මේං මේ සයිස් පත නයා. මං මොකද කළේ? කෙලල ඇරිය ටෝච් එකෙං නයාට. ඌට වැදුනද කියල බලන්නවත් උන්නෙ නෑ, දුවන්ඩ ගත්ත දෙපයට වැර දීලා.

දුවගෙන දුවගෙන යද්දි, මේං බොලේ පස්සෙං ටෝච් එළියක් වැදුන. තව කවුරු හරි වැඩිහිටියෙක් බේකරිය පැත්තට යනව ඇති. මටත් උන්දැත් එක්ක යන්න පුළුවං. කියල හිතල මං පස්ස හැරිල බලද්දි...

මේං බොලේ නයා ටෝච් එක ගහ ගහ මාව හොයාගෙන එනව පාර දිගේ...

http://freedesignfile.com/upload
/2012/05/0021a7f2_medium23.jpg


කලිං ලියපු ගජබින්න වලට පටුනක්.

10 බාප්පගෙ සත්ත්ව පාලනය හෙවත් හුංගා සහ එළුවා

Monday, February 8, 2016

ලබ්බෙ මගුල

මේ වගන්තිය බාගදා මට මේ පෝස්ටුව අන්තිමට කියා දක්වන්නට බැරි වෙන්නට පුළුවන. එහෙයින්, මුලිම්ම:

මේ පෝස්ටුවේ කියවෙන වෙඩිමේ බැඳපු දෙදෙනාට සුභ මගුලක් වේවා!
කිරි පැණි සේ එකට වාසය කරන්නට හැකි වේවා!!
සාලිය - අශෝකමාලා, රෝමියෝ - ජුලියට්, ඩ්‍රැකියා - ඩ්‍රැකියානි වාගේ ඉතිහාසගත ප්‍රේමයකින් දිවි ගෙවන්නට හැකිවේවා!!!

කියා ප්‍රාර්ථනා කරන්නේ හදවතිම්මය...

එකෝමත් එක දවසක මට නොදන්නා නම්බරේකිං කෝල් එකක් ආවේය. ඒ ආවේ මේ සම්මජ්ජාතියෙ මං අහලා නැති විදිහේ පණිවිඩයක්ය. බ්ලොග් ලෝකයේ පණ දෙන්ට ඉන්නා මිත්තරයන් කිසිම කෙනෙක් මේ දක්වා, තමුං  දැකලා අහලා නැති අන්තර්ජංජාල යාළුවන්ට වෙඩිං කියන රටක් මං අහලා තිබ්බේ නැත. ඒත් මේ ආව පණිවුඩෙං කියැවුනේ අපේ ආදරබර ගස්ලබ්බ ලියන අකලංකලංකලං කොළු ගැටයා යුවතිපතියෙක් වන්නට යන බවය.

ඒකත් හොඳ ප්‍රවණතාවයකි. මං කිව්වේ කොල්ලන් බඳින එක ගැන නෙවේය. බ්ලොග් ලියන එකෙක් බඳිනකොට අනික් බ්ලොග් ලියන උන්ට ආරාධනා කරන එකය. ගස්ලබු ගැටයා කියන හැටියත්, ඒක හරියට ගෙට්ටුගෙදර් එකක් වාගේ එකක් වන්නට ඉඩ ඇති නිසාය.

ඉතිං ලබ්බා කතා කරපු වෙලාවේ සිට තොරතෝංචියක් නැතුව මට කෝල් දිදී, තමංගෙ මුළු සේසතම මොබිටෙල් කොම්පැනියට වියදං කරපු මනෝමන්දිරයා වෙඩිමට යන උං පෙළගස්සවන්නට ඇප කැපවී උනන්දු වී වැඩ කළේය. උගේ උනන්දුව නිසාම අපේ ගමනට මාත්, මනෝමන්දිරයාත්, අටමාත්, කසුනාත් යන බරපතළ නඩය එකතු උනේය.

ගස්ලබ්බාට බදාදා දිනයක වෙඩිං කොරන්නට නැකැත් හදාදුන් ජ්‍යෝතීර්වේදියාණන් වෙත, රජයේ සේවකයන්ට බදාදා දින හෙවත් මහජන දිනයේ නිවාඩු දාන්නට බැරි බවට නිකුත් කර ඇති චක්‍රලේඛය ලැ‍බී නැතුවාට කිසි සැකයක් නැත. මා වෙනුවට වැඩ ආවරණය කරන්නට හිටි එකාටත්, එදාටම උසාවි යන්නට සිද්ධ වී තිබුණේ "බීමත්ව අන්තරායදායක ලෙස රියපැදවීම" ගැන වග උත්තර බඳින්නටය. එහෙයින් යන්ටම බැරි තත්ත්වයක් උදාවී තිබුණත්, මං බෙල්ල කඩාගෙන හරි එද් උදේ රැයින් බස්එකේ නැගගෙන ගනේමුල්ල ධූමරථපොළට ළඟාවුනෙමිය.

එතන ඉඳං සීසන් එක ගන්ට පෝළිමේ ඉන්නා විට බොහොම අහිංසක සුනීත විනීත ස්වරයකින් එනවුන්ස් කෙරුනේ ඇ‍ඟේ මයිල් ඉස්මයිල් වෙන වගවාසගමකි.

"කරුකාරුමික දෝෂයක් හේතුවෙන් අද දින සියළුම දුම්රියන් නියමිත වේලාවටම ධාවනය වන බව මඟීන් කරුණාවෙන් සළකන්න..."

ඉතිං බඩු සුවර් නිසා කෝකටත් මං නැගගත්ත ‍කෝච්චියෙන් ගොහිං රාගම ස්ටේෂමෙන් බැසගත්තෙමිය. ඉන් පසු මං මනොවාට කෝල් කළෙමිය. ආකාස කසුන් කොටුවෙං දුම්රියට නඟින බැවින් ඌට උදව් වීමට මනොවා බස් එකේ නැඟී, (සතියේ දවසක - කාර්යාල වෙලාව තුළ - කඩවත සිට කොටුවට - බස් එකෙන්) කොටුව යන ගමන් යැයි දැනගන්නට ලැබුණේය. පස්සේ ඒ ගමනේ ආදීනව දැනී, ඌ බස් එකෙන් බැස ආපහු යන බස් එහෙකට නැගී පොල්ගහවෙල බලා යන බවද ඊට පැයකට විතර පසු  මනොවා ම අප්ඩේට් කළේ ය. පරංගියා කෝට්ටේ රජවාසල ට එක්කරගෙන ගියේ ද මනොවාගේම පරම්පරාවේ කිරි අත්තෙක් ලු ය.

මං රාගම සිට අටමාට කතා කරන විට ඌ ඇ‍ඳෙං නැගිට්ටවන්නට අටමී ගහපු වතුර බාල්දියේ සද්දයද ටැලිපෝනයෙන් ඇහුනේය.

කොහොමින් හරි නැගගන්නට බැරි වෙතැයි, මනොවා අම්බානක බයෙන් සිටි ආකාස කසුවා, කෝච්චියද හොයාගෙන, නැගගෙන, උන්දෑ නැගගත් පෙට්ටිය මොකද්දැයි මට ද ටැලිපෝනයෙන් දැනුවත් කළේය. ඒ කෝච්චිය රාගමට එන්නට විනාඩි විස්සකට විතර කලිං අටමා ද රාගමට ආවේ ය.

අපි ඒ පරිදි පොල්ගහවෙල ස්ටේසමට සැටමෝල් උනෙමුය. කැමා ද එතනට ඇවිත් හිටියේය. ඊටපසු අපට තිබුණේ එතනිං මල්පිටිය හංදියට ගොහිං විචාරක මාමාට කෝල් එකක් දීම පමණිය.

මල්පිටිය හංදියට යන තුරු කැමාගෙන් බේරිමක් නැත. ඒ වෙඩිමෙං පසු උන්ගේ ගම බලාගෙන එන්නට යන්න අපට ආරාධනා කරන නිසාය. කැමා කියන විදිහට, පැය දෙකෙන් දෙකට තියෙනා තට්ටු ලොරියක හෝ බක්කි කරත්තයක නැගී හැතැම්ම බාගයක් ගිය තැන ඇති වැලක එල්ලී පැද්දී ගොහිං සංගිලි පාළමකින්ද එගොඩ වී කන්දක් නැග්ග පසු උන්ගේ ගමට ළඟා විය හැක. උන්ගේ මිදුලේ ඇති පුවක් ගහේ කරටියට නැගගත්තොත්, පුවක් වලු අස්සෙන් මුළු වයඹ පළාතම බලා ගත හැක ලු ය.

මල්පිටිය හංදියට ගිහිං විචා මාමාට කෝල් කර පැයක් යන්නට මත්තෙන්, T55 යුද්ධ ටැංකියක් පිඹගෙන ආවේය. එයිං එළීයට ඔලුව දැමු විචා මාමා "නැගපල්ලා වියකල් එක පාරෙ නතර කරං ඉන්න අමාරුයි" කිව්වේය.

රජයේ උසස් නිලතල දරණ උදවියට, පැන්ෂන් යන විට තමන් පාවිච්චි කළ වාහනය සුළු ගාණක් ගෙවා ගෙදර ගෙනයා හැකිය. විචා මාමා යුද්ධ ටැංකිය අරං ඇත්තේ එහෙමය. ඒ විදිහටම මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩකළ උන්දැගේ මස්සිනෙක් ගල් රෝලක් ගෙදර ගෙනිහිං තිබුණේය.

"අපරාදෙ ගල්රෝලක් ගෙනිච්චෙ" කතාව කියමින් විචා මාමා අපට කීවේය. "බැකෝ එකක් ගෙනිච්චනං කුළීයට දෙන්න තිබ්බ. අන්තිමේ අපේ මහගෙදර වත්තෙ තිබ්බ, උල්කාපාතයක් වැටිල හැදිච්ච වළක් වහන්න අර ගල්රෝල ඒ වලට දැම්ම..."

කතා කරමින්ම විචා මාමා මල්පිටිය හන්දියෙන් මහපාරට යුද්ධ ටැංකිය දමා ගයනුකිත්තානුසාරී හැරවුමක් කළේය. (ඒකට යූ ටර්න් එකක් යැයි කියන්නට බැරිය)

අපි වෙඩිං හෝල් එකට එන අතර මග වෙන වෙන සිද්ධී සිද්ධ වුනේ නැත. උනත් ඒ ගැන කියන්නට ගොහිං මේ පෝස්ටුව දික් කරගන්නට බැරිය.

ලබ්බා ඉතා අසරණ ආකාරයෙනුත්, අභීනව ලබුපතිනිය ජයග්‍රාහී ආකාරයෙනුත් ඉන්නා හැටි අපට සැලියුට් හෝල් එකට ආ විට දැකගන්නට හැකි විය. ඒ හෝල් එක තිබුණේ දැවැන්ත ‍ පොල් වත්තක් ඇතුලේය. ඒක කොච්චර දැවැන්තද කියතොත්, සිරිමාවෝ ගේ රජයෙන් වතු ජනසතු කරද්දී ඒ වත්ත බේරාගෙන තියෙ‍න්නේ වත්තේ අයිතිකාරයා අල්මාරිය දාලා අස්සේ හංගගෙනය. ඒ හෝල් එකේ පැත්තකින් වැවක් තිබුණේය. ඒකේ රැල්ලත් ගහනවාය. වැව පුරා නෙළුං පිපී තිබුණ අතර, ඒ නෙළුං නෙලන ගැටිස්සියන් දහ දෙනෙක් විතර ඔරු වල නැ‍ගී නෙලුං කවි කියමින් සිටියෝය. ගස්ලබ්බාට දෑවැද්දට ලැබෙන අලි දෙන්නා ඒ ගෝල් එකේ කණු දෙහෙක ගැට ගසා සිටියෝය.

අපි හත් අට දෙනා (මම, අටං, ආකාස කසුන්, මනෝ, කැමා සහ විචා) ඒ වැව අයිනේ තිබුන කොටසේ ඈඳිගත්තෙමු. එහෙයින් අපට වෙඩිං කේක් වෙනුවට දුන් දැවැන්ත චොකලට් එකත්, කරපු වල්කම් වෙනුවෙන් දෙන වෙල්කම් ඩ්‍රින්ක් එකත් මගෑරුනේය. ඒ උනාට ටිකකිං පීප්ප හතරක් පෙරලාගෙන පෙරලාගෙන ආව වේටර් ලා හතරදෙනෙක් අපිට වෙනම වෙල්කම් ඩ්‍රින්ක් එකක් දෙන්නට පටං ගත්තෝය. පීප්ප වල තිබුණේ කිතුල් රා, බ්‍රැන්ඩි, විස්කි සහ පොල් අරක්කු ය. බයිට් වලට සෙක්සි පෝක්, ගෝන මාලු, මුව මස්, කචල් ෆිෂ් ඩෙවල්, සහ බැදපු කකුළුවන් තිබුණේය.

මේ පිංතූරෙ මගෙ ෆෝන් එකෙං කැමා ගත්තට, මෙතන දැම්මෙ විචාරක මාම
 එයාගෙ බ්ලොග් එකේ පළ කරපු තැනිං උස්සලා බව කරුණාවෙන් සළකන්න ය
දෙවෙනි පාර අපි බාර් එක වෙත ගිහිං එන අතරෙ අටමාට බෝතලේක මූඩියක් පෑගුණේය. ඒ උනාට ඌ හෙන හොඳය. අටමා කසුන් ගේ සියලු වගකීම් කරට ගත් අතර, කන්නට බත්පතක් ද කොත ගසා බෙදා දී, ඉන්පසු ආපහු ගිහිං හැම ජාතියකම ඩෙසට් වලිං පීරිසියක් පුරෝගෙන විත් කසුවා ගාවින් තියා, ඊට ඇඟල්ලක් වත් ගැහුවොත් අපිට කරනා දේත් කීවේය. ඒ කියපු වචන, මේ වගේ තැනකවත් කියන්නට බැරි තරං සුනීත විනීතය. වෙන එකක් තියා අර වැවේ හිටපු ගැටිස්සියන්ට කසුනා වෙනුවට ටෝක් ද කළේ අටමා ම ය.

අන්තිමේ සියල්ල හමාර වී ලබු යුවළ පිටත් වුනු පසුව අපි හතර දෙනා (මම, කසුවා, අටං, මනෝ) පොතුහැර ඉස්ටේසම වෙත ගෙනත් දැම්මේ විචාමාමා තනියම ය. ඒ තරං උන්දැ හෙන ෆිට් ය. ගෝන මස් හා වල් ඌරු මස් හැර වෙන කිසිම දෙයක් නොකන වෙජිටේරියන් ය.

පොතුහැර හැර ඉන්නා විට රේල් බස් දෙකක් එකට ඈඳුන මොකද්දෝ එකක් ආවේය. ඒකට නැගගෙන ඉන්නා විට අටමා ෆුට්බෝඩ් එකට බැස කැමාට ගෙදරට කියන නම කියා කෑගැසුවේය.

"ඒයි මෝඩයා මෙහෙ වරෙං..."

ඉතිං කැමා ගෙත්, වෙන්ට කැමී ගෙත් රෙදි නැත. අටමගෙත් නැත. එ් උනාට ඌට වගේ වගක් නැත.

කැමාත්, වෙන්ට කැමීත් දුවගෙන ඇවිත් අපි හිටපු බස් එකටම නැග්ගෝය. වෙන්ට කැමී ට ඇහෙන්නට අටමා, මගේ බෙල්ල මිරිකා තර්ජනය කර, ලස්සන වගන්තියක් කියවා ගත්තේය.

"මේ වගේ අහිංසක, හුරතල්, සුකුමාල, සුවිනීත, සාන්ත දාන්ත, කෙල්ලෙක් - මේ වගේ ගටිකන මූණක් ඇති, මල් පොන්නයෙකුට ගැළපෙන් නෑ"

ඉතිං අපි හැමෝගෙම රෙදි නැත. කැමාට පොන්නයෙක් කිව්වත් කමක් නැත. ඒකට එකතු කරපු මල් මල් විශේෂණය තමා ය හරි නැත්තේ.

අටමාගේ අදහස නම්, නර්ස් කෙනෙක් කවදාවත් හරි හමං මිනිහෙක් බඳින්නේ නැති බවය. ඌ ඊට උදාහරණ විදිහට දක්වපු නම් ලැයිස්තුව මෙතන කිව්වොත් මට අනිවා, ගෙට්ටුවකදී බඩ කට පුරා කන්නට ලැබෙනවා සහතික ය.

පොල්ගහවෙලිං අපි හරිහමං කෝච්චියකට නැග්ගෙමු ය.  එතෙන්දී අටමා දුවගෙන ගොහිං වතුර බෝතලයක් අරං ආවේය. ඒකත් අපි හතර දෙනා උගුරු දෙක දෙක බීවාට පසු, ඉවර වුනේය. උගේ කරුමෙට ඌ ගිය කඩේ සිගරැට් තිබී නැත. ඉතිං ඌ හෙන අමාරුවෙං ඇඹරි ඇඹරී යන්තම් ගණේමුල්ලට ආවේය. ගනේමුල්ලෙං මං බහිද්දී ඌ මගේ බෙල්ල බදාගෙන තව පොඩ්ඩෙං තොත්තුවකුත් දී කඩේකට දුවගොස් සිගරැට් දෙකක් ගෙනත් දෙන ලෙස ඉල්ලුවේය.

මාත් ඉතිං ගමේ අවුරුදු උත්සවේ මීටර් සීය දුවනාකාරයෙන් දුවගෙන ගොහිං සිගරැට් දෙකක් අරං ආපහු හැරෙනකොට, කෝච්චිය අද්දලාය. එතනම ඉඳං අටමාට කෝල් කළ විට,

"දැං ඉතිං මොනව කරන්නද, උඹ ඕක ගෙදර ගෙනිහිං ඩ්‍රැකියානිගෙං ගුටි කාපන්" යැයි අටමා මට කීවේය.

මට හෙන දුකය. ඒ,

අටමා පොල්ගහවෙල ඉඳං ම සිගරැට්ටුවක් නැතුව දුකසේ ඇවිදිං, මගේ හෝම් ටවුමෙන් ඌට සිගරැට් අරං දෙන්න බැරි වීම නිසා නෙවේය.

අර සිගරැට් දෙක ගෙදර ගෙනිහිං ගුටි කන්නට වෙන නිසාත් නෙවේය.

එයිං බේරෙන්න ඒ සිගරැට් දෙක විසික්කා කරන්න වෙන නිසාත් නෙවේය.

ගනේමුල්ලෙං මං බහිද්දී අටමාගේ ලයිටරය ඉල්ලාගෙන බහින්න බැරිවීම නිසාය.

ඉතිං බස් එකේ ගෙදර යන ගමං බස් එකේ ජනේලෙං සිංගරැට් දෙක විසික් කරපු මං, ඒ විසික් කරපු තැන බස් එකේ ජනේලේ තීන්ත නියපොත්තෙං හූරා මාක් කළේ, පහුවදා වැඩට එන ගමං එතනිම්ම අහුල ගන්නට හිතාගෙන ය.

වැඩිපුර බලපු ලිපි