I
දම්පිල්ලෑව තව මත් අලුත් පන්නයට වඩා පරණ පන්නයට සමාන පිටිසර ගමෙකි. සේතන් හාමි මුළු ගමේ ම වැඩි හිටියා ය. අනූ අවුරුද්දක් පමණ වයසැති සේතන් හාමි ගමේ කා ගේත් ආදරය දිනා ගත්තේ ය. ආ ගිය කො තැන දීත් ගැමියෝ ඔහු හරසරින් ම පිළිගත් හ. ගමේ කවුරුනුත් පාහේ ඔහු ඇමැතූයේ "සේතන් සීයා" කියා ය.
වයස තරමට අබල දුබල නො වූ ඔහු ගේ කය කඳ දකින්නන් හට ඔහු තරුණ අවදියේ දී කළැයි ඔහු ම කියන සපන්කම්වලින් වැඩි හරියක් විශ්වාස කරන්නට අමාරුවෙක් නැති. කඩපිලට ගිය ද, අනෙක් තැනකට ගිය ද ඔහුට අසන්නන් ගෙන් හිඟයෙක් නො වී. ඔහු ගේ කතාවට කන් දීම මිස හරස් කැපීමක් කැරුණේ ඉතා කලාතුරෙකිනි. කියන කවර කතාවත් තමා ගේ අත්දැකීමක් ලෙස කීම ඔහු ගේ පුරුද්ද ය. ඒ හැම අත්දැකීමක් ම ඔහුට කන් දෙන්නන් ගේ මතක සීමාවෙන් එහා වීම ඔහුට ලොකු වාසියෙකි.
දිනක් සේතන් හාමි, සවස් මානයේ සිරිත් පරිදි පුංචිනා ගේ කෝපි කඩේට එද්දී එහි වෙන දා නැති කලබල ගතියෙක් වී. නොඑක් තරාතිරමේ ගෑනු, පිරිමි, ළමයි තිස් දෙනෙක් පමණ එහි රැස් ව සිටිය හ. සේතන් හාමි විමැසිලිමත් ව වට පිට බලද්දී එහි වූ ගැට වරයෙක්, "සේතන් සීයේ, අද අප වන්දනාවේ යන්නයි. සීයාත් එනවා ද අප එක්ක යන්නටැ" යි කියමින් ඔහු ගේ කුකුස දුරු කෙළේ ය. "කොහි ද යන්නට කල්පනාව? මා නොගිය දිහාවෙක නම් බලමු; මටත් තව ම බැරි නෑ එහෙම ගමනක් බිමනක්" යනුයෙන් සේතන් හාමි කීයේ මේ සිංහලේ යා යුතු හැම තැනක ම තමා ගොස් ඇති බව අඟවමිනි. "අප පොළොන්නරු..........." යි පිරිසේ එකකු යමක් කියන්නට කට ගත්තා විතරයි සේතන් හාමි යළි දෙඩී ය.
"අපෝයි; පොළොන්නරු ද? ඉස්සර ඔය හිරියාලේ පළාතේ දුම්කොළ වේළීමේ ගියා ම අප උදේ ගිහින් හවස එනවා නොවැ? ගණන් කළොත් මගේ මේ ඉසේ කෙස් ගණනේ ගිහින් නැතෑ පොළොන්නරු. කලක් මා එහි කුඹුරු කෑල්ලකුත් වැඩ කළා.
එ හැම ගමනකට ම වඩා අගේ ඇති විදියකටත් මා වතාවක් නොමිලේ ම නිකම් ම පොළොන්නරු ගියා. එහෙම ගමනක් නම් මා බණ පොතේ වත් අහලා නෑ. දැන් මිනිසුන් නම් ඇහුවත් විස්වාස කරන්නේත් නැති, හරි වැඩක් ඒක."
"ආ එහෙ නම් ඒක බොහොම රහ කතාවක් වෙන්න ඇති. සේතන් සීයාත් ගුවනින් වත් ගියා දැ" යි කියමින් එහි වූවෙක් සේතන් හාමිට කතාවට පට පෑදී ය.
"ගුවනින් නම් තමා. ඒ වුණාට ඔය දැන් මිනිසුන් වාගේ දඬුමොනරෙන් නො වේ."
"හා, හරි, හරි, මා දන්නවා. සේතන් සීයා ඒ කාලේ හරි කුරුල්ලා නොවැ"යි කීයේ එහි වූ කටකාර ගැටවරයෙකි.
"මේ, ළමයි විහිළු කරන්න එපා. හා, සීයා කියන්න අපට ඒ කතාව. අපේ වාහනය එන්නත් තව ටිකක් පමයි. පුංචිනා හාමි, සේතන් සීයාට දමන්න හොඳට සැරට කෝපි කෝප්යක් මා ගණනේ. ඔන්න අපි සේරම නිස්සද්දයි. දැන් ඉතින් කියන්නැ"යි ආරාධනා කෙළේ මැදි වියේ ගැමියෙකි.
"හා, ඔන්න එහෙ නම් හරස් නො කපා අහ ගන්නවා. මට පමා නො වී යන්නත් ඕනෑ"
"නෑ, නෑ, හරස් කැපිලි නෑ. අහනවා ම පමණයි. සේතන් සීයා කියන්න."
සේතන් හාමි රැල් බුරුල් හැර, උගුර පාදා, දකුණ'තේ මාපටැඟිල්ලෙන් හා මැදැඟිල්ලෙන් හා රවුළ දෑතට පීරා හොඳට හරි ගැහී ඉඳ ගත්තේ ය.
පුංචිනා කඩිමුඩියේ පිළියෙල කළ කෝපි කෝප්පය මහ හරසරින් උන් දෑට පිළිගැන්වූ.
පළමු වන කෝපි උගුරේ රස විමසා පුංචිනා දෙස කරුණාවෙන් බලා තලුමරා හේ කතාව ඇරැඹී.
II
"මේක ළමයිනේ, අපේ විදානෙ මාමාත් ඉන්න කාලෙ වැඩක්.
ඔව්, මා සලෝ කාලෙටත් ඉස්සර.
දවසක් මාත් ගියා උන් දෑ ගේ ගොයම් කයියකට. ඒ කාලේ විදානෙ මාමා ගේ ගොයම් කයියක් කීවා ම හරියට මේ කාලේ මහ මඟුල් ගෙදරක් වාගෙයි. වැඩ කරන කාටත් හිතේ හැටියට කෑම, බීම, සැලකිලි. උන්දෑට හිතේ හැටියට දෙන්නටත් ඕනෑ තරම් තුබුණා නොවැ?
මට තව ම මතකයි එ දා උදේ ඇඹුලට ගෙනත් තුබුණු ඉඹුල් කිරිබත් ගෙඩියක් අද නම් තුන් දෙනෙකුට කා ලාත් ඉවර කරන්න බෑ. මාත් ගෙදරින් හිස් බඩ ම ගියේ. ඉඹුල් ගෙඩි දෙකකට වග කියලා අනෙක් අය එක්ක බැස්සා කුඹුරට. අපි ඔක්කෝම පිරිමි හතළිහයි ගොයම් කැපිල්ල්ලට; කොළ එකතු කරන්න අදින්න ගෑනු විස්සයි; කෑම් බීම් බුලත් ආදිය සපයන්න තව ගැටවරයෝ හත් අට දෙනෙක්. ඔක්කෝම හැත්තෑ පහක් විතර වුණා.
ඒ කාලේ ගොයම් කැපිල්ලත් දැන් වගේ යැ?
කවි කියන අය ද, අඩි තාලමට කපන අය ද,
මාලක්කමින් කපන අය ද,
බලන්න හැඩ වැඩේ.
එපමණ යැ, පැයෙන් පැයට කපන තැනට ගෙනත් නොවැ තේ කෝපි කෑම බීම් අල්ලන්නේ. වැඩේ හැටි තමා. ඉර හැරිලා සිංහල පෑ බාගයක් යන්නත් ඉස්සර වෙලා විදානෙ මාමා ගේ දෑමුණක යාය ම කැපී හමාරයි.
වැඩේ හමාර වෙන්නත් කලින් ම ඇඹුලත් කමතට ම ආවා. හැම දෙන ම එ තැනින් ම ගඟට බැහැලා අත කට සෝදා ගෙන හිත බඩ පුරා ඇඹුල සප්පායම් වුණා. වැඩේ හමාරයි; පිරිස යන්න හැරුණා. මායි තව දෙතුන් දෙනෙකුයි නැවතිලා කමතට ඇද දමා තුබුණු ගොයම්, කොළ ගැහුවා.ඉර බහින්න ඔන්න මෙන්න කියන වේලාව වන විට ඒ වැඩෙත් හමාරයි; මාත් ගියා ගෙදර ගොංමං වේලාවෙ.
ගෙදර ගියාට මගේ හිත එ දා මට ගෙදර ඉන්නට ඉඩ දෙන්නේ ම නෑ. දවල් ඇඹුලෙ බර එතෙකුත් ඇරිලා නෑ. ටික වේලාවක් නිහොල්මනේ ඉඳ ලා හොඳට පහේ ඇති ව විටක් සප්පායම් වුණා; තුවක්කුවට තරමක ඩෙිල්ලක් කොටා ගෙන-ඇයි ඉතින් දැන් කාලේ වගේ පතරොම් තුවක්කු යැ ඒ කාලේ අපට තුබුණේ-ගියා ගල්ලේ කැලේ පැත්තේ හාවුන් හේම පනීවි දැයි බලන්න.
ඒ වැඩේට කියා පූ තැන තමා අර හිඹුටු ගොල්ලේ තුබුණු මහ කහට ගහ. කහට ගහට නැඟලා හොඳ දෙබළෙක ඉඳ ගත්තා. පොඩි වැහි පොදකුත් ගහලා ගියා. හඳත්, පායා ආවා. "හොඳ පදම" කියා මට ඉබේ ම කියවුණා.
පැයක් හමාරක් ගියා. හාවකු තියා හා පුලුටක් වත් නෑ. වෙන දා නම් පැයක් යන කොට හා ගෙඩියන් දෙ දෙනෙකු වත් කහට ගහට නංවනවා. මෙ දා නෑ හෝඩුවාවක් වත්. මේ වන විට මගේ ඔළුව කැරකැවෙනවා වාගේ දැනුණා. බුලත් විට හිතුවාට වඩා සැරට වැදුණා. දිය තිබහා වාගේ දැනෙන්නටත් පටන් ගත්තා. කීප විටක් ම ගෙදර යන්නත් හිතුණා. ඒත් හිස් අතින් යන්නත් හිතට මඳි. මා තව ටිකක් පොරොත්තු වුණා.
අනේ මෙහෙ ම ඉන්න අතරෙ දී මට පෙනෙන්න වුණා හොඳට හතර අතට වලු බර වුණු නාම්බං පොල් ගහක් ඇවිත් මේ කහට ගහේ ගැටෙනවා. මට පුදුමයි; මගේ මතට පෙනෙනවා ද? මට හීනයක් පෙනෙනවා ද කියා තෝරා බේරා ගන්න බැරි වුණා.
පොල් අතු, හඳ එළියේ දිලි දිලී හීන් හුළඟෙ සැලි සැලී මගේ ඇඟේ ගැටෙනවා. කොයි එක වුණත් කමක් නෑ කියා එක හිත් හිතා ගෙන තුවක්කුවත් ඇර ගෙන මා මාරු වුණා පොල් කරටියට. හොඳට හරි ගැහී ඉඳ ගෙන වෑවර ගෙඩියක් කඩා, ඉණේ තුබුණු දුනු පිහියෙන් ම ඇස්ස ගසා ගෙන බීවා. නිඳිමත ගතියයි, ඇල් සුළඟයි, ගහේ පැද්දිල්ලයි, අර මතයි ඔක්කෝ ම එකටඑකතු වෙලා මට නිකම් පවන් සලන්නා වාගේ දැනුණා. මට මතක් වුණා පන්සලේ ලොකු හාමුදුරුවන් දවසක් සවස පරණ කවි පොතක් කියවද්දී කීවා ඔන්න ඔය කොහේ දෝ තැනෙක ගහකට නැඟලා ඇල් සුළං විඳ විඳ රැයක් ගෙවන එක රජ සැප* විඳින්නා වාගේ කියා. මට කවිය මතක නෑ. ඒත් කතාව නම් ඇත්ත බව මටත් තේරුණා. රජ නො වී මා රජ සැප වින්දා පොල් කරටියේ.
හඳ එළියයි
ඇල් සුළඟයි
විටේ සැරයි
ඔළුවෙ බරයි
මා අමුතු ලොවකට ගෙන යනවා වාගේ දැනුණා. ඇසි පියවුණා මට දැනුණේ ම නෑ. පාන්දර කුරුලු අඬට තමා ඇහැ ඇරුණේ. අවදි වෙලා බලන කොට වටින් ගොඩින් එළි වේ ගෙන එනවා. බලන බලන පැත්තේ මහ අමුතු. අර කහට ගහත් නෑ; හිඹුටු ගොල්ලත් නෑ; කොටින් ම කියනවා නම් ගල්ලේ කැලේ පැත්තේ හැන්දෑවේ තුබුණු එකක් වත් නෑ.
කුරුලු අඬත් අමුතුයි;
වට පිට ගහ කොළත් අමුතුයි;
හුළඟත් අමුතුයි;
මේ කුමන විලම්බීතයක් ද කියා හොඳට ඇහැ පිහ දමා බැලුවා. ඔය තියෙන්නෙ මා ළඟ ම වට දහයක තරමේ මහ පලු ගහක්; අනෙක් අතින් ඊට කුඩා නැති වල් මිල්ල ගහක්.
කාට කියන්න ද?
දෙවියන් ගේ පිහිටයි.
මා ඉන්නේ මේ හද්දා වන්නි මූකළානෙක නොවැ?
කොයි දේ වුණත් මට නොවැ? කමෙක් නෑ කියා සිතමින් බැලුවා තුවක්කුව. කතරගම හාමුදුරුවන් ගෙ බැල්ම. තුවක්කුව පයට හිරවුණු ගමන් ම තියෙනවා.
තුවක්කුව අතට ගෙන
අර මා හිටි පොල් ගහින් බැස්සා.
බැස්සේ කොහෙට ද කියා ඇහුවා ම නොවැ වැඩේ.
වට හයක් තරම මහත බඹ ගණනක් දිග දැවැන්ත පිඹුරු තඩියකු ගේ පිටට නොවැ පා තිබ්බේ. ඒකා දැක්කා ම මගේ හතර හන්දි හිරි වැටුණා. මේ දැනුත් මතක් වෙද්දී ඇඟේ හී ගඩු පිපෙනවා.
හුළං පන්දුවක් වාගේ, ඒ මහ වනේ, බඹ ගණනක් ඈතට මා විසි කෙළේ කවර දෙවියා ද කියා මා තව ම වත් දන්නේ නෑ.
මා පණ බියේ වෙවුලුවාට අනේ ඒ පිඹුරු රජා මා දිහෑ බැලුවේ වත් නෑ. මහ ඉඩෝර කාලෙක මාඔය ගලන්නා වාගේ බොහෝ ම සාන්ත දාන්ත විදියට ඔහේ ඇදී ගියා.
III
පිඹුරා එක්ක ම මා ආ පොල් ගහත් යනවා. ඒකයි ලොකු ම පුදුමෙ. හිත තද කැර ගෙන මා ටිකක් ළං වෙලා බැලුවා. එත කොටයි වැඩේ හැටි තේරුණේ.
ඔන්න මේ පිඹුරා තරමක් පුංචි කාලේ ගිලපු ගෝණ තඩියකු ගේ අං පඳුරේ එක කරුවක් උගේ පිට හිල් කැර ගෙන උඩට ඇවිත්; මෙහෙම තියෙද්දී වේළී වැටුණු පොල් ගෙඩියක් ඒකේ ඇවිණී තිබී එ තැන පැළ වෙලා;
පිඹුරු කඳට මුල් ඇද ලා;
ලොකු වෙලා වැවිලා පීදිලා, දැන් මහ ගහක්.
පිඹුරාට මේක නිකම් කුළු මීමකු ගේ අඟේ පැටලුණු මකුළු දැලක් වාගෙ. ඇයි මූ ආඳාගල වාගේ නොවැ දිග මහත. ඉතින් අනේ පිඹූරා නොපෙනෙන දුරට ඇදෙන තුරු බලා සිටි මා උස ගහකට නැඟලා බැලුවා ගම්මානයක් පෙනෙන හරියෙක තියෙනවා ද කියා.
ඈත කඩපෙළක ගෙවල් රැස මට පෙනුණ හරියට අහිගුණ්ඨික වාඩියක් වාගේ. ගිහින් බැහැ ලා ඒ අතට මූණ ලා කැලේ යටින් හීන් හීන් සැරේ මාත් ඇදුණා.
ගිහින් ගිහින් මතු වුණේ කො තැනින් ද? හරියට ම දෙමළ මහ සෑ මළුවෙන්. ඔව්, පොළොන්නරුවේ තමා.
කාට කියන්න ද?
මටත් බියයි; බියට වැඩියි පුදුමෙ; පුදුමෙට වැඩියි විළි ලජ්ජාව; ඇයි අම්මේ අර පරණ අඳුනන එකකු හේම බැරි වෙලාවත් හමු වුණා නම් ලජ්ජාවේ පණ යන වැඩේ. ඇයි මා තව මත් පෙර දා ගොයම් කයියට යද්දී ඇඳ ගෙන ගිය ඇඳුමෙන් නොවැ? කෝකටත් කියා, මළුවටත් ඇවිත් නිකම් යන එක මගෙ හිතට හරි නැති නිසා දෙමළ මහ සෑයට ඒ වේලාවේ මතක් වුණු ගාතා දෙක තුනක් කියා වැඳ, හීන් සීරුවේ කැලේට ම ආපසු ඇදුණා.
පෙර දා කෑ ඇඹුලේ රහත් දැන් ඉවරයි. කුස පණුවන් පෝය හේවිසිය පටන් ගන්නත් ළඟයි. මා වට පිට බැලුවා. අනේ, අයියනායක දෙවියන් ගේ පිහිටයි. බැලූ බැලූ අතින් එක එක ජාතියේ ගඩා ගෙඩි ඉබේට. ඕවා කකා මා කැලයේ ම ගත කළා මුළු දහවල් දවස ම, රෑ වුණා ම වත් යන විදියක් බලන්න හිතා ගෙන. ඉරත් බැහැ ගෙන යනවා. ඒත් හැම එකට ම එක වෙඩිල්ල නොවැ තියෙන්නෙ. ඒක ඉවර කැර ගෙන පුළුවනෑ. උහුලා ගෙන හිටියා ඔහේ පලයන් කියා. ඔයින් මෙයින් ඇඳිරි වුණා; මා තව මත් කැලේ මැද ම දහ දිවැස් බලනවා. ටික වේලාවක් කල්පනා කරමින් හිටිද්දී මට ඇහුණා කැලේ බිඳ ගෙන එන අඬක්. අඬින් ම දැනුණා වැඩේ. සූදානම් සැරීරේ කියා මා නැංගා ළඟ ම තුබුණ රූස්ස බුරුත ගහකට. නැඟලා අඬ ආ අත බැලුවා ම මට පෙනෙනවා හරියට පෙරහර වාගේ එනවා එක එක තරමේ අලි රංචුවක්. මොවුන් ඇවිත් එක තැනෙක හොඳට සංවර වෙලා ඉස්කෝල ළමයින් ගේ පඞ්ක්තියක් වාගේ කවයට හිටියා මූණ ඇතුළු අතට හරවා ගෙන, ඒ කවයට අහු වුණා උදැලු මිටක් තරම කඳ ඇති, බඹ එක හමාරක් තරම උස, අතු ටික හරියට වාත්තු කළා වාගේ එක මට්ටමට කුඩේ හැඩේට වැවුණු පොඩි ගහක්. මේ අලි රළ දණ නමා හොඬ දිග හැර බිම තමා ඔය පැළෑටියට වැන්දා. වටේ ඇවිද ඇවිද හරියට උපාසක පිරිසක් කැලැණි වෙහෙර වටේ පාන් පවත්වන්නා වාගේ, මේ ගහට ආචාර කළා පෑ බාගයක් පමණ. මේ වන්දනාව කැර ලා ඔවුන් ගියා ඈත පෙනුණු වෑපිට දෙසට.
මට මතක් වුණා, මේ අලි වැඳුම් කරන්නේ මදාරා ගහට බව. ආ ගමනින් වැඩක් ගන්න හිතා ගෙන මාත් ගියා අර පුදුම ගස ළගට. ළං වෙන කොට ම දැනුණා ගහේ රඟ. මේ ලෝකෙ ආයෙ තැනෙක එහෙම සුවඳක් මා අහලා නෑ මේ වයසට. මලුත් නැති ව මේ තරම් සුවඳ කොට, මල් වාරේ නම් කොහොමට ඇති ද කියා මට හිතුණා. ආසාවේ බැරිකමට ම ආරස්සාවටත් එක්ක කියා මිටි රියනක් තරම් දිග පොඩි කෑල්ලක්, දෙවියන් ගේ පිහිටයි කියා මාත් කපා ගත්තා. ඒකත් අතේ තියා ගෙන මා ආයේ කල්පනා වට වැටුණේ ආපසු ගෙදර යෑම ගැනයි; ඇයි අම්මේ අතේ තඹයක් නැති ව ගවු ගණනක් යන හැටි හිතමුකො; පාරේ බැහැලා හිඟා කකා එන්නයැ? වැඩක් පළක් කරන්න ඒ හදිසියේ හොයන එකත් ලේසි නෑ; ඒ කොයි එකටත් මිනිහකුට මූණ දෙන්න තරම් ඇඳුමක් බැඳුමක් වත් තුබුණයැ. මා නම දන්නා එක ම දෙවියකු වත් බඹකු වත් නෑර මතක් කළා. එ තෙක් සංසාරේ කළ තාක් හැම පින් ම ඒ ඇත්තන් ඇතුළු තිස් තුන් කෝටියක් දෙවියන්ට පවරා කැලේ ගිගුම් දී ගෙන යන්න"ආකසට්ඨාච භුම්මට්ඨා" ගාතාව තුන් සැරයක් කීවා.
අනේ ඇත්තට ඒ කියා කට ගන්න ලැබුණේ නෑ "තව ටිකකින් ආ හැටියට පල" කියා ඊට අවුරුදු ගණනකට ඉහත මළ අපේ ලොකු සීයා කියනවා ඇහුණා.
ඒ හඬ ඇහිලා වට පිට බලන මට පෙනුණෙ අර පොල් ගහ කැලේ අතරින් ඇදෙනවා. එ තැන ම තුබුණු වීර ගහට බඩ ගාලා බලා හිටියා. ඔය එන්නේ පිඹුරු වාහනේ. මට ම පුදුමයි. ඇඳිරිය නිසා පිඹුරු කඳ හොඳට පෙනුණේ නෑ. ඇස් දෙක තමා බලන්න වැඩේ. ආයේ නෑ පසළොස්වක දාට පායා ගෙන එන හඳ වාගේ මදටිය පාට; තරමත් ඊට කුඩා නෑ; අමුත්තකට තුබුණෙ ළඟ ළඟ දෙකක් තිබීම විතරයි. ඉතින් අනේ දෙවියන් බුදුන් සිහි කැර ගෙන තුවක්කුවත් මිරිකා ගෙන බලා උන්නා. මේ ඇවිත් හිටියේ මා හිටි වීර ගහ ළඟ හරියට පුස් රතේ ආවා වගේ.
මාත් "නමෝ බුද්දාය" කියා ගෙන මාරු වුණා පොල් කරටියට. කවර දෙවියන් ගේ වුණත් අර කුරුම්බා බල බලා ඒ වේලාවේත් හිටියැකෑ පණ ඇති මිනිහකුට. මා කලින් දා වාගේ ම වෑවරයක් බීවා. අනේ ඒක බීවා විතරයි. හරියට නිදි බේතක් ගිල්ලා වාගේ මගේ ඇස් දෙක බර වුණා.
උදේ කපුටු අඬින් අවදි වෙද්දී මා උන් පොල් ගහ අර කහට ගහේ වදිනවා. කහට ගහින් බහින්නට පෙර ම මට පෙනුණ අපේ යාළුවන් එ දා මා හොයන්නට මුළු ගල්ලේ කැලේ ම පීරා තුබුණු බව. ගහින් බැස්සා විතරයි ආයේ වට පිට බැලුවේ නෑ මා හැල්මේ ම ගියා ගෙදර යන්න. පන්සල හරියේ යන කොට මට ඈත වෙලේ මහ නියර ඔස්‌සේ අපේ මායියයි නැන්දම්මයි බාගෙට මැරුණු ගණනට වැනි වැනී යනවා පෙනුණා. යන හැඩෙන් ම මා දැන ගත්තා එකත් එකට මේ දෙන්නා අංජනං එළියක් බලවන්න මේ වයිතාලේ ම පොඩි කපුරාල හම්බ වෙන්න යන බව. මා හූවක් කියා ලා මේ දෙන්නා නතර කළා; හූව ඇඳිනලා දෙන්නා ම හැරී බැලුවා. ඉර එක්ක ම හඳක් පායනවා වාගේ මට පෙනුණා."
සේතන් හාමි ඊළඟ වැකිය පටන් ගන්නට පෙර ම වන්දනා බසය එන අඬ ඇසිණි.
"හා, දැන් ඇති. අනෙක් හරිය ආයේ දාකැ"යි කියමින් සේතන් හාමි පුංචිනා ගේ කාටත් පොදු බලත් තටුව අතට ගත්තේ ය.
---------------------
* මයුර සන්දේශයේ ඒන
නඳව සයුරු ළෙල එන රල සළු සලන්නේ
සොඳව සුපිපි තුරු සේසත් සෙ වන්නේ
රදව ලබන සැප එතෙකින් ලබන්නේ
රදව මියුර සයුර සැ මිරි පැන්නේ
යන කවිය සඳහා කියැවිණි.
හැත්තෑව දශකයේ භාවිත වුණු පස්වන ප්‍රමාණයේ කියවීම් පොතේ තිබූ මේ කතාව සොයා දීම සහ නිර්ලෝභීව එය අප සමඟ බෙදා ගැනීම ගැන ජයන්ති බෝප ගම්මන සහ සාරා ගුණසේකර දෙපළ ට මුළු හදවතින් ම ස්තූති කරමි.