Showing posts with label ජනකථා. Show all posts
Showing posts with label ජනකථා. Show all posts

Saturday, February 14, 2026

පතුලක් නොපෙණෙන ආවාට...?

එකෝමත් එක කාලෙක...

ගම්බද පාරක යමින් සිටි බෙරවායෙකුට දකින්න ලැබුණේ කවදාවත් අහලවත් නැති දර්ශනයක්. 

රත්තරන් කොතක්... පළාත ම දිළිසවමින් එකපාරට ම පොළොවෙන් මතු වුණා. කීප මොහොතකින් ආපසු පොළොවට ම ගිළුණා. ආපහු තවත් තැනකින් මතුවුණා. ආපසු ගිළුණා. මේ විදියට කීප විටක් ම මතුවුණු රන් කොත, පොළොව දිගේ පහතට ඇදී ගෙන ගිහින්, පහතින් තිබුණු ඔයට වැටුණා. 

මේ ආශ්චර්යය දැකපු බෙරවායා, මේ සිදුවීම නම් දේව හාස්කමක් බව හිතලා, ඊට කරන ආචාරයක් වගේ ම ඒ ගැන අවට සිටි ගම්වැසියන් ට දැන ගැනීමට හේවිසි ගහන්න පටන් ගත්තා.

මේ සිදුවීම කටින් කට ගියා. මේ කොත මතුවුණු විවර හැටියට හඳුනාගන්න පුළුවන් - පතුලක් නොපෙනෙන විවර තුනක් මේ කියන ප්‍රදේශයේ තියෙන ආකාරය පසුව සොයාගන්න පුළුවන් වුණා. බෙරවායාගේ කතාවේ කොත පහළට ඇදී ගිය මාර්ගය විදිහට සළකාගන්න පුළුවන් පුළුල් සහ ගැඹුරු ඇලක් වගේ ගල්වලින් හැදුණු මාර්ගයක් ඒ කියන ආවාට තුන අසළින් පටන් ගෙන ඔය දිහාවට පහළට සකස් වෙලා තිබුණා.

කටින් කට ගිය ජනප්‍රවාදය අනුව මේ ප්‍රදේශය කොත්තුනුගොඩ හැටියට හැඳින්වුණා. ඒ සමස්ත ප්‍රදේශය ම කොතක් මතුවුණු මලය (හෙවත් කඳුකරය) යන අර්ථයෙන් පසුකාලීනව කොත්මලේ නමින් හැඳින්වුණා.

*    *    *

ඇත්තට ම කොත්තුනුගොඩ මේ දක්වාත් ඔය කියන පත්ළක් නොපෙණෙන ආවාට තුන තිබෙණවා. ඒ අතරින් විශාල ම ආවාටය අසළින් පහළට ඇදෙන ගල් බිත්ති සහිත ඇළ මාර්ගය දැනටත් ගම්වැසියන් හඳුන්වන්නේ දෝව කියලා. දෝවේ ගල් බිත්තිවල සටහන් වෙලා තියෙනවා, උණු ලාවා පහතට ගළාගිය ආකාරය. ආවාටවල ස්වභාවය වගේ ම ඉහතින් තිබුණු ජනප්‍රවාදයෙන් ඇඟවෙන ආකාරයට, මේ කියන්නේ සක්‍රිය වුණු කුඩා ගිණිකන්දක් ගැන...

සමහරවිට අර කියන බෙරවායා ඇත්තට ම ගිණිකන්දක් දැක්කා ද? එහෙමත් නැත්නම්, මේ ආවාට සහ දෝව දැකපු පසුකාලීන ජනාවාස ඇතිකරගත් ගැමියන් මේ සියල්ල එකතු කරලා ජන කතාවක් නිර්මාණය කළා ද? 

ඔය ඕනෑම දෙයක් වෙන්න පුළුවන්.

අපට පසුගිය දෙසැම්බර් 13 වැනිදා මේ ස්ථාන ඇස් දෙකෙන් ම දැකගන්න හැකි වුණා. පහතින් තියෙන්නේ ඒ ගැන සවිදු සත්සර විජේවර්ධන උන්නැහැ කළ යූටියුබ් විඩියෝව. ඔබත් දැකගන්න... 


අපි තවත් කුතුහලාත්මක වීඩියෝ මේ චැනල් එකට එකතු කරලා තියෙනවා. ඉදිරියටත් තවත් වැඩිය දකින්න නොලැබෙන දේවල් ගැන, එහෙමත් නැත්නම් අපි හොඳට දන්න දේවල නොදන්න විස්තර ඇතුළත් විඩියෝ එකතු කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අනික් අයටත් මේ ගැන කියන්න. ඔබ ලබා දෙන නොමිලේ ප්‍රචාරණය අපට ලොකු තල්ලුවක් සහ උනන්දු කිරීමක්. (මොනටයිස් කරලා, තවදුරටත් ගුණාත්මක විඩියෝ කිරීම සඳහා අවශ්‍ය වියදම් ආවරණය කරගන්න පොඩි පහේ ආදායමක් ලබා ගන්නත්...)

විඩියෝව පටිගත කරගැනීමට සහ ප්‍රදේශය ගවේෂණය කිරීමට උපකාර කළා:

නුවරඑළියේ එච්. ඒ. කණිශ්ක අභිෂේක මහතා

කොත්තුනුගොඩ

කේ. ඩබ්ලිව්. ප්‍රියන්ත මහතා (ආවාට පිහිටා තියෙන්නේ මෙතුමාගේ තේ වත්තේ)
කේ. ඩබ්ලිව්. සුරවීර වෙද මහතා
කේ. එම්. නිවන්ක මහතා සහ ඔහුගේ පුතා වන,
කේ. එම්. හංස හේෂාන් පුතා

Saturday, July 12, 2025

සොබා දහමින් ශාපවැදුණු දඩයක්කාරයා


අද අපි කියවන්න යන්නේ මේජර් රොජර්ස් ගැන.

ලංකාවේ වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් දඩයම් කළ තැනැත්තා වන මේජර් තෝමස් විලියම් රොජර්ස්, 19 වන සියවසේ මෙහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ස්ටෝරි (1907) සඳහන් කරන හැටියට 1400 කට වැඩි ගණනකුත්, ග්‍රිල්ස් (1848) සඳහන් කරන හැටියට 2000 කුත්, ඔහු මරා දැමූ අලි ඇතුන් ගණන හැටියට සඳහන් වෙනවා.


1804 දී උපන් තෝමස් විලියම් රොජර්ස් ලංකාවට ආවේ 1824 දී කියා වාර්තා වෙනවා. ඔහු ලංකාවේ යුධ හමුදාවේ රයිෆල් රෙජිමේන්තුවට බැඳෙන්නේ 1824 ජනවාරි 7, දෙවන ලුතිනන් වරයෙකු හැටියට. 1826 දී ඇජුටන්ට්වරයෙකු වන ඔහු, 1827 දී කපිතාන් තනතුරට පත්වුණා. අලුපොත අණ දෙන නිලධාරි හැටියට 1828 සිට 1833 දක්වා සේවය කළ ඔහු, 1834 දී බදුල්ල උප දිසාපති සහ දිස්ත්‍රික් මහේස්ත්‍රාත් තනතුරට පත්වුණා. දක්ෂ පරිපාලකයෙකු වූ මේජර් රොජර්ස්, බදුල්ලේ තිබෙන බොහොමයක් තානායම් ද, බොහොමයක් මං මාවත් ද තැනවූවා. ඌව පළාතේ තිබෙන අනෙක් මං මාවත් සළකුණු කළේ ඔහු යි. මේ අතර නුවරඑළිය - බදුල්ල මාර්ගය ද ඔහු විසින් තැනවූණක්.


වෙල්ලස්සේ කැරැල්ළ, මාෂල් ලෝ මඟින් කෲර ලෙස මර්ධනය කළ පසු, බොහෝමයක් ගම්මාන පාළු වුණා. කැළෑව විසින් ගිළ ගැනුණු පිටිසර ප්‍රදේශවලට අලි ඇතුන්ගෙන් හානි වීම නිතර අසන්නට ලැබුණු පුවතක් වුණා. මේ වගේ පසුබිමක යුරෝපීය කෝපි වවන්නන්, හමුදා සහ සිවිල් නිලධරයන් අලි ඇතුන් දඩයම් කිරීම, ත්‍රාසජනක ක්‍රීඩාවක් වුණා. ඒ වගේ ම, මහජනතාවට කරන සේවයක් විදිහට පිටිසර ජනතාව සැළකුවා.

ඒ අනුව ලංකාවේ අලි ඇතුන් දඩයම් කළ දක්ෂතම දඩයක්කාරයා වුණේ මේජර් රොජර්ස්. ඌව ට සංක්‍රමණය වීමෙන් පසු ගත කළ අවුරුදු 11 තුළ ඔහු දඩයම් කළ අලි ඇතුන් ගනන 1400 කට වැඩියි. ඉන් 60කට වැඩි ගණනක් දළ ඇතුන්. 1840 ගණන්වල ඔහු හමුවීමට වෝල්ඩමර් කුමරු සමඟ පැමිණි වෛද්‍ය හොෆ්මයිස්ටර් වාර්තා කරන විදිහට, "ඔහුගේ මුළු නිවස ම පිරී තිබුණේ ඇත් දළවලින්. ඒ, ඔහු මැරූ සතුන් අතරින් හැටකට වඩා දල ඇතුන් වූ බැවින්. ඔහුගේ බරාඳයේ සෑම දොරක ම සිටුවන ලද දැවැන්ත ඇත් දළ තිබූ අතර, ඔහුගේ කෑම කාමරයේ සෑම මුල්ලක ම ඊට සමාන ජයග්‍රාහී සංකේත තිබුණා..."

මේජර් තෝමස් විලියම් රොජර්ස්


ඔහු ගේ අවසාන අවුරුදු දෙකේ දී, කෝපි වවන්නන් අතර ඔහු හැඳින්වුනේ ක්‍රීඩකයෙකු ලෙස නොව දරුණු ඝාතකයෙකු ලෙසයි. ලංකාවේ සිටි සිංහල බෞද්ධයන් මේ දැවැන්ත සත්ත්ව ඝාතන හෙලා දුටු නිසා, ඔහුට සේවය කිරීම පිළිකෙව් කළා. ඔහුගේ පෞද්ගලික සේවක, කෝකි අප්පු, තුවක්කුව රැගෙන යන්නා ආදී  සියලු ම සේවකයන් මැලේ හෝ දෙමළ ජාතිකයන් වුණා.

1845 ජනවාරි මාසයේ දී තවත් දඩයමක් සඳහා මොරවල කෝරළේ කෝපි වැවිලිකරුවන් කීප දෙනෙකු සමඟ, ඔහුගේ නිල නිවාසය පැවති බදුල්ල පැරණි ගම්මානයේ සිට, මින්නේරි පාරේ ගමන් කරමින් සිටින විට, ඔවුන් ට බෞද්ධ භික්ෂුවක් මුණ ගැසුනා. ඒ, මාර්ගය අසළ බෝ ගස් ගොන්නක් මැද පැවති පුරාණ දාගැබක් අසළ දී.

භික්ෂුව සන්සුන් ලෙස තම අත මේජර් රෝජර්ස් වෙත දිගු කොට මෙසේ කීවා, "සුදු මහත්තයෝ, තමුන්නාන්සෙගෙ වෙලාව බොහොම ළඟයි. තමුන්නාන්සෙ අපේ සහෝදරයන් මරා දමමින්, ඔවුන්ගේ ආත්මවල සැනසීම විනාශ කර දමමින් යන්නෙ. තමුන්ගෙ පවු මල්ල දැන් පිරිලා තියෙන්නෙ, හොඳට ම. ආපහු ඒ වගේ දරුණු වැඩකට තමුන්නාන්සෙ ගෙ ආවුදේ ඔසවන්න කලින්, තමුන්නාන්සෙ ට හෙණ ගහණව!"

බොහො ම ශාන්ත විදිහට ඒ වචන කියා, භික්ෂුව ආපසු ගියත්, අවට සිටි වැවිලිකරුවන් තුළ ඒ වචනවලින් ඇති කළ බලපෑම අති මහත්. මේජර් රොජර්ස් සෑහෙන වෙලාවක් ගත වන තුරු අශ්වයා පිට නොසෙල්වී සිටි අතර, ඔහුගේ දෑස් භික්ෂුව සිටි ස්ථානය වෙත එල්ල වී තිබුණා.

මේ කතාව සෑම තැනක ම පැතිරී ගියා. ඔහු ගිය සෑම තැනකදී ම පාහේ ඒ ගැන විහිළු කතා ඔහුට එල්ල වුණා. උදාහරණයක් හැටියට, ඔහු කොළඹ නාවුක සහ යුධ හමුදා සමාජ ශාලාවල දී ඔහු පිළිගැනුණේ මේ විදිහට, "හෙලෝ රොජර්ස්, තවමත් පණපිටින් නේ? අකුණ තාම වැදුනෙ නෑ නේ? අනතුරු ඇඟවුණු මිනිස්සු දිග කාලයක් ජීවත් වෙනවා..."

නමුත් මේජර් රොජර්ස් වෙනස් වුණා. ඔහු අලි දඩයම ගැන සඳහන් වුණු සෑම අවස්ථාවක දී ම වේදනාත්මක මුහුණකින් ඊට මුහුණ දුන්නේ.

නමුත් මාස කීපයකින්, බදුල්ලට ආසන්න ස්ථානයක, තනි අලියෙකු පහර දී කරත්තකාරයන් දෙදෙනෙකු මරා දැමුණා. උප දිසාපති හැටියට ඔහු ඒ තනි අලියා ගේ උවදුර අවසන් කිරීම සඳහා දඩයම් පාටියක් සංවිධානය කළා. ඊට ඇතුළත් වුණා, මධ්‍යම පළාතේ දිසාපතිවරයාත්, ඔහුගේ බිරිඳත්. ඔවුන් බදුල්ලෙන් පිටත් වී දවල් කෑමට හපුතලේ තානායමට ආවා. එතන දී හදිසියේ ඇදහැළුණු ඝර්ම කළාපයට පොදු අකුණු සහිත වැස්සකට ඔවුන් කොටු වුණා.

වැස්ස නැවතුණු පසු, වැස්ස හොඳට ම නතර වුණා දැයි බලන්න මේජර් රොජර්ස් තානායමින් එළියට අඩිය තිබ්බා. එවිට එකපාරට ම  වැදුණු අකුණකින් පිළිස්සී ඔහු එතැන ම මිය ගියා. ඒ 1845 ජූනි 7...

මිය යන විට ඔහු ගේ වයස අවුරුදු 41 ක් පමණයි. ඔහුගේ දේහය භූමදාන කළේ, නුවරඑළියේ කුඩා දේවස්ථානයක සුසාන භූමියේ. අපි මේ සුසානය බලන්න ගිය විට එහි සිටි ආරක්ෂකයෙකු මට කීවා, එය බැලීමට ආ තවත් කෙනෙකු කී හැටියට, මුලින් ම ඔහු භූමදාන කළේ බදුල්ලේ වූ අතර, එතැනට අකුණු ගසන නිසා පසුව හපුතලේටත්, අවසානයේ නුවරඑළියටත් දේහය ගෙනැවිත් තිබෙන බව. කොහොම නමුත් වාර්තාවල සඳහන් වන ආකාරයට මෙහි සොහොන මත තබා තිබෙන සොහොන් ගළට සිය වතාවක් පමණ අකුණු ගසා තිබෙනවා. අදටත් ඒ සොහොන් ගල කැබලිවලට කැඩී ගොස් තිබෙනවා දැකගන්නට පුලුවන්.


මේ සොහොන තිබෙන්නේ, නුවරඑළිය ගෝල්ෆ් පිටියට අයත් භූමියේ. ඊට ප්‍රවේශ වන්නට පුළුවන්, සම්පත් බැංකුව සහ අගමැති නිල නිවාසය පිහිටි හතරමං හංදියෙන් ග්‍රෑන්ඩ් හෝටලය පාරට හැරී අඩි විස්සක් පමණ ගිය තැන ඇති ට්‍රාන්ස්ෆෝමරය අසළින් වමට හැරී, පඩිපෙල දිගේ ඇවිද යාමෙන්. ගොල්ෆ් පිටියේ කාර්ය මණ්ඩලය ඉතා ම මිත්‍රශීලී මිනිසුන්. ඔවුන් අදාළ ස්ථානය පෙන්වීමටත්, ඒ ගැන කරුණු කියා දීමටත් ඉතා කැමැත්තෙන් මැදිහත් වනවා.

මේ තියෙන්නේ ඒ ගැන ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා කළ විඩියෝව...


පහතින් තියෙන්නේ අපේ හුටංබරස් මහතා කළ විඩියෝව...


හොඳයි - වටියි කියලා හිතනවා නං, Eco with Savidu යූ ටියුබ් චැනල් එක බලන්න... මේක හැදුවෙ, පාසලේ පරිසර කමිටුවේ අමතර වැඩක් හැටියට.

මූලාශ්‍ර

https://amazinglanka.com/wp/major-rogers-en/

https://www.greenholidaytravels.com/cemetery-of-major-thomas-william-rogers/

Saturday, February 15, 2025

වේතාල කතා - 9 තරංගය

8 තරංගය

"වේතාලය, භවතා කී හෙතු දෙක ම පිවිතුරු චරිත ඇති අගමැතිහුගේ ලය පැළීමට හෙතු නො වී ය. හුදක්, 'මේ රජ සාමාන්‍යස්ත්‍රීන් කෙරෙහි ආලය කිරීමෙන් ම රාජ්‍ය පාලනය නො සලකා සිටියේ ය. දැන් වනාහි දෙවඟන කෙරෙහි ඇලුනු මොහු ගැණ කියනු ම කිම? එහෙයින් මා විසින් අපවාදයෙන් බේරීමට කෂ්ට (අමාරු) ක්‍රියාවක් කළ නමුදු දොෂ ම අධික වී ය'යි සිත‌ා තමන්ගේ අවස්ථාව ගැණ ම ශොකයට පැමිණීමෙන් මන්ත්‍රිහු ගේ පපුව පැළුනේ ය යි හඟිමි"යි රජ තෙමේ පිළිවදන් දින.

වේතාලතෙමේ පෙර මෙන් රජු කෙරෙන් පලා ගියේ ය.

9 තරංගය

1

නැවත ද වේතාලතෙමේ රජුගේ කර පිට යන්නේ "රජ්ජුරුවෙනි, අපූර්‍ව එක් කථාවක් කියමි. අසව" යි කියා තවත් කථාවක් ඇරඹී.

ජිමුතවාහන චරිතය

"රජතුමනි, හිමාලයපර්‍වතය ලොකයෙහි ඉතා ප්‍රකට ය. එතැන් සිට උත්තරමෙරුව (උත්තරධ්‍රැවය) තෙක් ලොකයෙහි තිබෙන සියලු දෙශගුණත් වැවෙන සියලුගස්වැල්ජාතිත් එක් තැන් කොට නිමවන ලද්දාක් වැනි වූ ඒ කන්දෙහි මුදුන නිතර ම හිමෙන් ගැවසී ගත්තේ ය. එය සාමාන්‍ය මිනිසෙකු තබා හිරු විසිනුදු මේ තාක් නො දක්නා ලද්දේ ය. සියලු රුවනුන්ට ආකරයක් වූ එහි තැනිතලාවෙක්හි කාංචන පුර නම් පුරයක් හිරු විසින් එක් තැන් කොට තැබූ රැස් පිඩක් මෙන් බබලයි. මහමෙරමුදුනෙහි සක්දෙව් රජු මෙන් ඒ නුවර ජිමුතකෙතු නම් විද්‍යාධරරාජයෙක් විසී ය. ඔහුගේ ගෙවුයනෙහි පරපුරෙන් පැවත එන කප්රුකෙක් පිහිටියේ ය. ඒ රජ තෙමේ ඒ කප්රුකෙහි බෙලෙන් පෙර උපන් කඳපිළිවෙළ (පංචස්කන්ධපරිපාටිය - මදැයි පාද සටහනෙන් තේරුම හෙව්වා...) සිහි කරණ, දානපති වූ, සියලුසතුන් කෙරෙහි පතළ කුළුණු ඇති, ගුරුන්ගේ වචනයන්ට නිතර අවනත වූ, බොධිසත්ව චරිත ඇති, ජිමුතවාහන නම් පුතෙකු ලැබී ය.

රජතෙමේ සියපුතුගේ යහපත්ගුණයන් හා ගුණවත් ඇමැතියන් ද විසින් මෙහෙයනලද්දේ සුදුසුකල්හි යොවුන් වයසට පත් ඒ කුමරා යුවරජකම්හි අභිෂික්ත කෙළේ ය. එක්දිනක්හි එතුමා යුවරජඅසුනෙහි වැඩහුන් කල්හි පියරජුගේ ඇමැතියෝ එතුමන් වෙත අවුත් "යුවරජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේගේ උයනෙහි තිබෙන, කැමැති හැම දෙය දෙන, සියලුසතුන් විසිනුදු නො මැඬිය හැකි, මේ කප්රුක ඔබවහන්සේ විසින් හැමදා පිදිය යුතු ය. මේ කප්රුක අපට අනුකූල ව සිටිකල්හි ශක්‍රතෙමේ ද අප මැඬ පවතින්ට සමත‍්ථර්‍ නො වේ. අන් කෙනෙකුන් ගැණ කවර කථා ද? එහෙවින් මේ දිව්‍යවෘක‍්ෂයට ඔබ විසින් බුහුමන් කළ යුතු ය"යි සැළ කළහ.

ජිමුතවාහන යුවරජ තෙමේ එබස් අසා "අඳෝ ම ය! (අඳෝමය! යනු 'අනේ පුදුමයි' (Alas!) යන අත්ථර්‍ ඇති නිපාතයකි.) මෙබඳු කාමදායක වූ කප්රුකක් ලැබ ගෙණත් අපගේ පූර්‍ව පුරුෂයන් විසින් කිසි ම මහත්ඵලයක් නො ලබන ලදි. හුදෙක් ඒ සමහර දිළින්දන් විසින් ස්වල්පමාත්‍ර ධනයෙක් ම ලබන ලදි. එයින් ඔවුන් විසින් තුමූ ද මේ මහත්ආනුභාව ඇති වෘක්ෂරාජයා ද යන දෙ පක්ෂය ම සැහැල්ලුබවට පමුණුවන ලදහ. එහෙත් මම මේ දිව්‍යවෘක්ෂයාගෙන් මහත් ඵල ලබන්නෙමි" යි සනිටුහන් කොට ගෙණ පියරජු වෙත ගොස් වැඳ එකත්පස් ව සිට මෙසේ සැළ කෙළේ ය:-

"පියානන් වහන්ස, මේ සසරසයුරෙහි සියලු ධන සම්පත්තිය ස්ථිර නො වෙයි. ශ්‍රී තොමෝ නො බෝ කල් සිටිනා, දුටු කෙණෙහි ම නැති වන, සැන්දෑවිදුලියක් මෙන් අස්ථිර ය. කිසි කලෙක්හි කිසිතැනෙක රඳා නො සිටියි. මේ සංසාරයෙහි එක ම පරොපකාරය නො නස්නාසුලු වූයේ යුග සියගණන් පවත්නේ පින් හා යශස් උපදවයි. පියානන් වහන්ස, එහෙයින් නැසෙනසුලු වූ මේ ධනසම්පත්තිය උදෙසා අප විසින් කවර හෙයින් කප්රුක රකිනු ලැබේ ද? 'මගේ කප්රුක ය, මගේ කප්රුක ය' යනාදීන් තෘෂ්ණා උපදවමින් මේ රුක රැකි අපේ මුතුන්මිත්තෝ කොහි ගියෝ ද? එයින් ඔහු කුමක් කළෝ ද? ඔවුනතුරෙන් කාහට මේ රුක අයිති ද? මේ රුකට ඔහු කවරහු ද? එහෙයින් ඔබ වහන්සේ අවසර දෙතොත් මේ කල්පවෘක්ෂයෙන් පරොපකාර නැමැති උතුම් ඵලය සිද්ධ කරන්ට කැමැත්තෙමි."

ඉක්බිති පියරජහු විසින් අනුදන්නා ලද්දේ (යහපතැයි පිළිගන්නා ලද්දේ) කප්රුක වෙත ගොස් "දෙවය, ඔබ විසින් අපගේ පුරාතනයන්ට සිතූ පැතූ සැපත් දෙන ලදි. මවිසින් ද පතනු ලබන එක ම කැමැත්තක් සිද්ධ කෙරේවා. යම් සේ මුලුපොළොව නො දිළිඳු වේ නම්, දෙවය, ඔබ එසේ කරණු මැනව. එහෙයින් මම දිළිඳු ලොකයාට ඔබ දෙන්නෙමි. පොහොසත් වූ අපට ඔබෙන් කම් නැත. එහෙයින් ලොව සුවපත් කරන්ට යනු මැනව. ඔබට යහපතක් වේවා" යි පැතී ය. "මම එසේ කරන්නෙමි"යි වචනයක් කප්රුකින් පහළ වී ය. එකෙණෙහි ම ඒ කප්රුක අහසට නැඟ මුලුලොවට ධනය වස්වා දෙව්ලොවට ම ගියේ ය. එයින් ජිමුතවාහනයුවරජහුගේ කීර්‍තතිය ද මුළුලොව පතළේ ය.

ඉක්බිති ඔහුගේ ගොත්‍රයෙහි වූවෝ මසුරුකමින් හා ජිමුතවාහනගේ රාජ්‍යයට ලොභ කිරීමෙන්ත ද නො ඉවසන්නාහු කප්රුක රහිත ඒ ජිමුතවාහන හා ඔහු පියරජ ද පහසුවෙන්  පැරදවිය හැකිකැයි සිතා යුද සඳහා ආහ. ජිමුතවාහන තෙමේ පියරජු වෙත ගොස් "පියානන් වහන්ස, අවි දැරූ ඔබවහන්සේ හා යුද කරන්ට කවරෙකුට ශක්තිය ඇද් ද? එහෙත් කවරෙක් මේ වැනසෙනසුලු සිරුර පිණිස නෑයන් මරා රාජයය රැකගන්ට සතුටු වේ ද? එහෙයින් අපට රාජ්‍යයෙන් කිම? අන් තැනකට ගොස් දෙලෙව්හි ම යහපත සිද්ධ කරණ පින්දහම් කරමු. රාජ්‍යලොභී වූ මේ දීන බන්ධූහු තුටු වෙත්වා"යි සැළ කෙළේ ය.

පියරජ තෙමේ ද "මම නුඹ උදෙසා ම රාජ්‍යය රැක ගන්ට කැමැති වෙමි. ඉදින් නුඹ විසින් නෑයන් කෙරෙහි කරුණාවෙන් එය අත්හරිණු ලැබේ නම්, මේ මහලු මට ද එයින් පලක් නැත. එහෙයින් නුඹේ අදහසට මම ද සතුටු වෙමි"යි කියා බිසොව හා පුත්‍ර වූ ජිමුතවාහන ද සමග වින්ධ්‍යපර්‍වතයට ගොස් එහි විසී ය. එහි දී ජිමුතවාහනයුවරජ එහි වසන සිද්ධ රාජයෙකුගේ පුත් වූ මිත්‍රාවසු නම් කුමරෙකු දැක කථා කොට මිත්‍ර වීය.

2

ලොවට මිහිරි වූ වසන්තකාලය සම්ප්‍රාප්ත වී ය. දකුණු දිගින් හෙමින් හෙමින් පවන් හමන්ට පටන් ගත. මීඅඹ, නික, රත්හෝපලු, කෑල ඈ රුක් මල්බරින් නැමීගත. බිඟූහු ගුමුගුමුනද කරමින් මලින් මලට පියාඹමින් මුවරද රොන් රැස් කළහ. කොවුලෝ පලරස විඳ මිහිරිනදින් ගයන්ට වන්හ. තරුණතරුණියෝ ලඟ දී පැමිණෙන අවුරුදුඋලෙළ සඳහා අළුත්රෙදිපිළි ආදිය පිළියෙල කළහ.

මේ මනරම් වූ වසන්තකාලයෙහි එක්දිනෙක්හි යුවරජ තෙමේ එහි වූ උමාදෙවොලකට ගියේ දෙව්පුදට වෙණ වයමින් සිටි මනරම්රූසිරින් සිරිකත දිනූ කිසියම් කාන්තාවක දැක්කේ ය. එකෙණෙහි ජිමුතවාහනතෙමේ ඇස් නැමැති දොරටුවෙන් ඇතුල් වූ ඒ කාන්තාව විසින් පැහැරගන්නාලද සිත් ඇත්තේ වී ය. ඕතොමෝ ද ඒ උයනට අබරණක් වූ, මෙහෙසුරා විසින් අනඞ්ගයා දැවීමෙන් හටගත් ශොකයෙන් තපස් රකිනු පිණිස වනයට පැමිණි අනංගමිත්‍ර වූ මධූහු (වසන්තකාලය) වැනි ලලනාවන්ගේ නෙත්‍රයන්ට මිහිරක් වූ, ඒ යුවරජු දැක කලබල සහිත වූවා.

ජිමුතවාහනතෙමේ ඇගේ යෙහෙළිය ලඟට ගොස් "භද්‍රාව, ඔබගේ යෙහෙළියගේ නමෙහි ඇතුළත් වීමෙන් කවර අක්ෂරයෝ පින්වත් වෙත් ද? මෑ විසින් කවර වංශයෙක් අලඞ්කාර කරණු ලැබේ ද? මෑගේ මුවසඳමඬලින් කවර දෙසක්හි භාග්‍යවත්තරුණයන්ගේ නෙත්‍රචකාරයෝ (නෙත් නමැති ඇටිකූලෝ) සැනසෙත් දැ"යි විචාළේ ය.

"මෝ තොමෝ වින්ධ්‍යවතී නමු. මෙතුමියගේ පියානෝ විශ්වාවසු නම් සිද්ධරාජයන් වහන්සේ ය. මිත්‍රාවසු කුමර තෙමේ මෑගේ සහෝදරයා ය"යි පිළිවදන් දී "ඔබතුමානන්ගේ භාග්‍යවත් නාමය කුමක් ද? කවර දෙසක් ඔබගේ උත්පත්තියෙන් පවිත්‍ර වූයේ ද? කවරහෙයින් මෙහි පැමිණීම වී දැ?"යි ඕ තොමෝ ද විචාළා ය. යුවරජ තමන් පිළිබඳ පුවත් සැකෙවින් දැන්වී ය.

ඉක්බිත්තෙන් ඒ යෙහෙළිතොමෝ වින්ධ්‍යවතියඅමතා "යෙහෙළිය, මේ විධ්‍යාධරරාජකුමාරයෙකි. අප විසින් අතිථි (ආගන්තුක) සත්කාරයෙන් පුදන්ට වටී. මෙතුමා මුළුලෝවැසියා විසින් ම පුදනු ලැබේ ය"යි කීවා.

වින්ධ්‍යවතිතොමෝ ද ලැජ්ජාවෙන් අවනත වූ මුඛ ඇත්තී 'මාගෙන් පූජා ගණු ලැබේවා'යි කියමින් යුවරජුහට මල්මාලාවක් පිළිගැන්වූ ය. ජිමුතවාහනතෙමේ ද ප්‍රෙමභාරයෙන් නැමුනේ මාලාව පිළිගෙණ ඇගේ ගෙලෙහි ම පැලඳවී ය. ඕතොමෝ ද සිනිඳු කටාක්ෂනිරීක්ෂණ (ඇස්කොණින් බැලීම්) නමැති නිල්මහනෙල්මල්දම් ඔහුගේ සිරුරෙහි පැලඳවූ.

මෙසේ ඔවුන් දෙදෙනා ස්වයංවරය කොට සිටි කල්හි එක්තරා වේටිකාවක් අවුත් සිද්ධරාජදුහිතෘවට "රජකුමරිය, මවුමෙහෙසිය ඔබ කැඳවයි. වහා වඩිනු මැනවැ"යි සැළකළා.

ඕතොමෝ සියගෙට ගියා, ප්‍රියවරහයෙන් පීඩිත වූවා, මවුබිසොව දැක, යහනට ගොස් සැතපුනා ය. මෙසේ ආතුර වූ ඒ රජකුමරියගේ නෙත් කැලඹුනේ ය. උණුසුමින් ගත දැවුනේ ය. කඳුලු වැගුරුණේ ය. යෙහෙළියන්ගේ චන්දන විලේපනයෙන් (ඇඟ ගානා සඳුන් කල්කයෙන්) හා පියුම්පතින් ගැසූ පවනින් ද මඳක් සැනසුම් ලද්දී කොතැනක වත් සැපතක් නො දැක්කා ය. ඉක්බිති සුදුවන්දහවල්දවස රත්වන්සැන්දෑවත් සමග කිසියම් තැනක ගියකල්හි, සඳ ද සිනාසෙන පෙරදිගඟනගේ (නැගෙනහිර දෙස නැමැති කාන්තාවගේ) මුව සිඹිනාකල්හි, ඒ කාන්තාතොමෝ ජීවිතාශාවක් නැත්තී ලජ්ජාවෙන් ස්වකීය මනොරථය සම්පූර්‍ණ කිරීමට උපා යෙදීමෙහි අසමත්ථර්‍ වූවා, ඒ රැය දුක සේ ගෙවා අලුයම ඒ උමාදෙව්මැඳුරට ම ගියා ය.

ජිමුතවාහන ද එහි ගොස් සැඟවී සිටියේ ය. ඒ අතර රාජදුහිතෘව ද එහි පැමිණ උමාදෛවිය පිදූ. පුදා මෙසේ පැතූ. "මෑනියන් වහන්ස, මේ අසරණ මට පැහැදෙනු මැනව. මේ ජාතියෙහි ම ජිමුතවාහන මාගේ ස්වාමියා වන සේ කරුණා කරණ සේක්වා! එසේ නො හැකි නම් අනතුරු (ඊලඟ) ජාතියෙහි වත් එසේ වන ලෙස අනුකම්පා කරණ සේක්වා!"

"දුව, විද්‍යාධරචක්‍රවර්‍තති වන ජිමුතවාහන මේ ජාතියෙහි ම නුඹගේ ස්වාමියා වන්නේ ය! යන ශබ්දයෙක් අහසින් ඇසින. ජිමුතවාහන තෙමේ ද එකෙණෙහි ම එහි පැමිණියේ ප්‍රියාව සැනසී ය.

එකෙණෙහි ම එක් යෙහෙළියක් කුමරිය වෙත පැමිණ මෙසේ සැළ කළා ය: "පින්වතිය, කැමැත්ත සිද්ධ වන හෙයින් භාග්‍යයෙන් වැඩෙන්නෙහි ය. අපේ මිත්‍රාවසු කුමාරයා අපේ දෙවයන් වහන්සේ වෙත ගොස්, මාත් අසා සිටිය දී "පියානන් වහන්ස, සියකප්රුක පරොපකාරය පීණිස පරිත්‍යාග කළ, තුන්ලෝවැසියා විසින් බුහුමන් කරණු ලබන, යම් ඒ ජිමුතවාහන නම් විද්‍යාධරයුවරාජයෙක් වේ නම්, හෙතෙමේ මෙහි පැමිණ සිටියි. එතුමා අප විසින් ද පිදිය යුතු ය. භාර්‍ය්‍යාවකට එතුමා වැනි හිමියෙක් ලොව කොතැනක වත් නැත. එහෙයින් එතුමාට කාන්තාරත්නයක් වූ වින්ධ්‍යවතිය පුදමු" යි සැළ කෙළේ ය. අපේ දෙවයන් වහන්සේ ද ඒ අදහස අනුමත කළ සේක. දැන් ඔබගේ සොහොයුරු ඒ මිත්‍රාවසු කුමාරතෙමේ ජිමුතවාහන යුවරජ්ජුරුවන් වහන්සේගේ නිවාසස්ථානයට ගියේ ය. ඔබගේ විවාහය වහා ම සිද්ධ වන්නේ ය යි සිතමි. එහෙයින් මෙහි නො සිට වහා රජමැඳුරට ම යනු මැනව."

යුවරජතෙමේ ද මේ කථාව අසා මිත්‍රාවසුකුමරා පිළිගැණීමට සියනිවෙසට ම ගියේ ය. මිත්‍රාවසු ද අවුත් සිය අදහස දැන්වී ය. යුවරජු හා එතුමාගේ මව්පිය දෙදෙන ද මිත්‍රාවසුගේ යොජනාව පිළිගත්හ.

සුබදවසෙක්හි ඒ තරුණයුවලගේ විවාහමඞ්ගලය මහොත්සවයෙන් සිද්ධ කරණ ලදි.

3

එක් දිනෙක්හි කෞතුකදර්‍ශනයෙහි (පුදුම දේවල් දැකීමෙහි) ලොල් වූ යුවරජ තෙමේ මිත්‍රාවසු සමග තන්හි තන්හි හැසිරෙන්නේ මුහුදු තෙරට පැමිණියේ එහි වැටී තුබුනු ඇටසැකිලි රැසක් දැක්කේ ය. "මේ ඇටසැකිලි කාගේ දැ?"යි විචාළේ ය. මිත්‍රාවසු ඒ පිළිබඳ වෘත්තාන්තය සැකෙවින් කී ය:-

"පෙර නාගමාතෘ වූ කද්‍රැ තොමෝ ගරුඬ ('ගරුඬ' යනු මහාපක්ෂිජාතියකි) මාතෘ වූ විනතාව සූදුවෙන් පරදවා සිය දැස්සක කළා ය. විනතාපුත්‍ර ගරුඬරාජ තෙමේ ඒ නිමිති කොට වෛර බැඳ, සියමව දාසභාවයෙන් මුදා, බලාත්කාරයෙන් පාතාලලොකයට වැද නයින් මරා කන්ට පටන් ගත්තේ ය. මෙසේ කල් යන අතර නාගයෝ පිරිහෙන්නට වන්හ. னாගරාජ වූ වාසුකී තෙමේ මෙය දැක ගුරුළු රජු වෙත ගොස් සියනයින් නො මරණ ලෙස අයැද සිටියේ ය.දිනපතා ගුරුළුරජුට අහර පිණිස එක් නයෙකු දකුණුදිග මුහුදුවැල්ලට එවන ලෙසට ද පොරොන්දු වූයේ ය. ගුරුළුරජ ද 'එකවිට බොහෝ නයින් මැරුණු කල්හි මගේ භොජනාගාරය වහා පිරිහෙයි. මෙසේ වූ කල මගේ කිසි වෙහෙසක් නැති ව ම මගේ ආහාරය මා වෙත ම පැමිණේ ය'යි සිතා නා රජුගේ ඉල්ලීම පිළිගත. එදා පටන් ගුරුළුරජ දින පතා එක එක නයා බැනිග් මේ වැලිතෙලෙහි දී කා දමයි. මේ පර්‍වතශිඛරයක් වැනි ඇට රැස කනලද ඒ නයින්ගේ ය."

ජිමුතවාහන මේ කථාව අසා ශොකයට පත් වූයේ "තමන්ගේ ප්‍රජාවන් සියඅතින් ම සියසතුරු වූ ගුරුළුරජුට බිලි දෙන ඒ නාරජ දීනයෙකි. ඔහුට ඇතැයි කවීන් විසින් කියනු ලබන මුව දහස අතුරෙන් එක් මුවෙකින් වත් 'එම්බල ගුරුළ, මා පළමු කොට කව'යි කියන්නට නො හැකි වූ හෙතෙමේ පිරිමියෙක් නො වේ. කෙසේ නම් ඒ නපුංසකයා සියකුලනෑයන් නසන ගුරුළාට යටත් වූයේ ද? ඒ වීර වූ ගුරුළුරජ මෙබඳු නිහීන ක්‍රියාවක් කෙසේ නම් කෙරේ ද? අහෝ! මොහයක මහතැ!"යි කියා "තමන්ගේ නිසරුසිරුස පුද කිරීමෙන් එක් නයෙකුගේවත් දිවි රැක දුන හොත් යෙහෙකැ"යි සිතී ය.

එකෙණෙහි ම පියරජුගේ පනිවුඩයක් ගෙණ දූතයෙත් මිත්‍රාවසු වෙත පැමිණියේ ය. මිත්‍රාවසු පියරජුගේ අණ අසා යන්නට සැරසින. ජිමුතවාහන ඔහු පළමු කොට යවා තෙමේ නැවැත්තේ අදහස් කළ ක්‍රියාව සිදු කරන්ට කැමැත්තෙන් ඔබ මොබ හැසුරුණේ ය. එකෙණෙහි ම මඳක් ඈත උස් ගලක් වෙත රාජපුරුෂයෙකු විසින් ගෙණවුත් නවත්වන ලද මනහරඅයුරු ඇති දුඃඛිත වූ එක් තරුණපුරුෂයෙකු හා ඔහු විසින් සියගෙට වහා යන මෙන් ඉල්ලනු ලබන, කඳුළින් තෙත් මුහුණු ඇති ව වැලපෙමින් සිටි, මැහැල්ලක ද දැක්කේ ය.

ජිමුතවාහන ඒ දෙදෙනා ගැණ දැනගන්නා අටියෙන් ලං ව සැඟවී සිටියේ ය. මැහැල්ල ද "අනේ! මගේ එක ම පුතේ, ශංඛවුඩ, උඹේ පෙම්වත් මුහුණ දැකීම අදින් ඉවරයි! අහෝ! උඹ හැදුවේ කොපමණ දුක් ගෙණ ද? ඉතින් උඹ කවදා දකින්ට ද? අය්යෝ! උඹ නැති වුනා ම උඹේ මහලු පියා කෙසේ ජීවත් වේ ද?" යනාදිය කියමින් අඬමින් සිටියා ය. තරුණයා ද "අම්මේ, දුකින් පීඩිත වූ මට උඹේ වැලපීම ඉතා දුක් දෙයි. මට ආදරය ඇත් නම්, මට තවත් දුක් නො දී ගෙදර යන්න. මේ නුඹගේ අවසාන දැක්මයි. අන්තිමප්‍රණාමය යි. (වැඳීම) ගුරුළා එන්නට ලඟයි. ඉක්මනින් ගෙදර යන්නැ"යි කී ය. මැහැලිතොමෝ ඒ අසා "අනේ මගේ රත්තරන් පුතා රැකගන්ට කවුරු වත් නැත් දෝ"යි කියමින් වටපිට බැලුවා ය.

ජිමුතවාහන මේ සියල්ල දැක ද අසා ද "අඳෝ ම ය! මේ ශංඛවුඩ නම්, වාසුකි විසින් ගුරුළාට අහර පිණිස එවන ලද්දෙකි. මේ මැහැල්ල මොහුගේ මවු ය. එක ම පුතු නැති වීමේ දුකින් වැලපෙන්නී ය. මෙසේ සොවින් පෙළුනු මැහැල්ල නො සැනසුවොත් මගේ උත්පත්තිය නිෂ්ඵල ය! එසේ නො කළොත් පරහිතකරණයෙහි නිරතුරු බද්ධපක්ෂ වූ (අනුන්ට උපකාර කිරීමෙහි නිතර ම ලෑස්ති වූ.) මට නින්දා වේවා!" යි සිතා මැහැල්ල ලඟට ගොස් "මෑනියෙනි, මම නුඹගේ පුතා රැක දෙන්නෙමි. අඬන්නට එපා. මගේ මේ නිසරුසිරුර ගුරුළාට දී සරු වූ පරොපකාරය කර ගන්නෙමි"යි කී ය.

මැහැල්ල එය අසා ඒ අමුත්තා ගුරුළා ම ය යි සිතා තැති ගෙණ "ගුරුළුරජතුමනි, මා කා මගේ මේ එක ම පුතා හරිණු මැනවැ"යි යාච්ඤා කළා ය. ශංඛවුඩතෙමේ එය දැක "මෑනියන්වහන්ස, මේ උතුමා ගුරුළා නොවේ. මෙතුමා සඳ සේ සෞම්‍ය මුඛයක් ඇත්තේ කෙසේ නම් ඒ කුරිරු ගුරුළා හා සම වේ ද? එහෙයින් තැති නො ගත මැනවැ"යි සැනසී ය.

"මම විද්‍යාධරයෙක්මි. නුඹගේ පුතා රැක දෙනු පිණිස පැමිණියෙමි. මේ සිරුර වස්ත්‍රයෙන් මුවහ කොට කෂුධිත (බඩගිනි ඇති) වූ ගුරුළාට දෙමි. නුඹ පුතා සමග ගෙදර යනු මැනව. මම පරොපකාරය උදෙසා දිවි පුදා පින් සිදු කර ගන්නෙමි"යි ජිමුතවාහනතෙමේ මැහැල්ලගෙන් ඉල්ලා සිටියේ ය.

වෘද්ධාව (මැහැල්ල) එය අසා "මගේ මෙබඳු දුකක් බලා මට පිහිට වන්ට ආ භවත්තෙමේ මගේ මේ කුසින් වැදූ පුතුට ද වඩා ආදරවන්තදරුවෙකි. ඉතින් නුඹ බඳු කරුණාවන්ත පින්වත් දරුවෙකු කුරිරුගුරුළාට කෙසේ දෙම් දැ?" යි ජිමුතවාහනගේ යාච්ඤාව ප්‍රතික්ෂෙප කළා ය.

ජිමුතවාහන ද නැවතත් බොහෝ කරුණු කියා සිය මනදොළ පුරාගන්නට අවකාශ ඉල්ලී ය. ශංඛවුඩතෙමේ ජිමුතවාහනගේ ඉල්ලීමට විරුද්ධ වූයේ ය. "උතුමානෙනි, ඔබ විසින් සැබවින් ම කරුණාව දක්වන ලදි. මම වනාහි ඔබගේ සිරුර දී මගේ පණ රැක ගන්ට කැමති නො වෙමි. රුවන් නසා කලුගල්කැබැල්ලක් රැකගන්නේ කවරෙක් ද? මුළුලෝවැසියන්ට ම අනුකම්පා කරණ ඔබ වැනි උතුමෝ විරලයහ. පින්වතානන් වහන්ස, මම අකටයුත්තක් කොට සක්පල් නාරජකුලයට කැලලක් ඇති කරන්ට සතුටු නො වෙමි"යි කියා මවට ද ගෙදර යන්ට අවවාද කොට දෙවියන් පුදනු පිණිස මුහුදුබඩ පිහිටි එක් දෙවොලකට ගියේ ය.

"මේ වේලෙහි ගුරුළා ආවොත් මාගේ මනදොළ පිරෙන්නේ ය"යි ජිමුතවාහන සිතී ය. සිතනු සමග ම ගුරුළා ද අවුත් ඔහු ඩැහැගෙණ ගොස් එක් ගල්කුළකට බැස කන්නට වන. "උපනුපන් ජාතියක් පාසා මෙ පරිද්දෙන් ම මාගේ දෙහය පරොපකාරය පිණිස වේවා!. පරොපකාරය රහිත වූ සවර්‍ගමොක්ෂයෝ පවා නො වෙත්වා!"යි ජිමුතවාහන තෙමේ ගුරුළා සියසිරුරෙහි මස් උදුර උදුරා කද්දීත්, ප්‍රාර්‍තථනා කෙළේ ය. එකෙණෙහි ඔහු මත අහසින් මල් වැසි වට. දෙවියෝ අහස පුරා සිට සාධුකාර දුන්හ.

ගුරුළා ජිමුතවාහන ඩැහැ ගෙණ යන අතර ඔහුගේ සිළුමිණ (ඔටුන්න මුදුනෙහි බැඳි මැණික) වින්ධ්‍යවතියගේ ඉදිරියෙහි වැටින. ඕ තොමෝ ලෙයින් වැකුනු එය දැක ඉතා කැලඹුනී නැඳිමයිලන්ට දැක්වූවා ය. ඔහු ද එය දැක "මේ කිමෙක්දැ?"යි භ්‍රාන්ත වූහ. ඉක්බිති ඔහු තුමූ ස්වකීයවිද්‍යාබලයෙන් සියලු තොරතුරු දැන වින්ධ්‍යවතිය ද සමග වහා එහි යන්ට පිටත් වූහ. ශංඛවුඩතෙමේ ද දෙව්පුද කොට පූර්‍වස්ථානයට ආයේ ලෙයින් වැකුනු ගල්පව්ව දැක "අහෝ! පවිටු මම නැසුනෙමි. ඒ කරුණාවන්ත උතුමා මා උදෙසා සියසිරුර ගුරුළාට පුද කළ බව පෙණේ. හතුරා විසින් ඒ උතුමා කොහි ගෙණ යන ලද දැ යි සෙවිය යුතු ය. ඉදින් එතුමා ජීවත් ව සිටියොත් අපවාද නමැති මඩෙහි නො ගිලෙන්ට හැකි වෙමි" යි සිතා වැටුනු ලේදහර අනු ව වහවහා ගියේ ය.

4

මේ අතර ඒ ජිමුතවාහන කමින් සිටි ගුරුළුතෙමේ කිසි දුකක් නො පෙන්වා හුදක් සතුටු වෙමින් සිටි ඔහු දැක "අහෝ, මෙතෙමේ කිසියම් ආශ්වය්‍ය ර්‍ මහාසත්වයෙකි. මවිසින් කනු ලබන්නේ ද සතුටු වෙයි. නො මැරෙයි. මා උපකාරිකයෙකු කොට සිතන බව පෙණේ. තව දුරටත් මොහු නො කමි. කරුණු විචාරමි"යි සිතන්නට වන.

ජිමුතවාහනතෙමේ ඔහුගේ ප්‍රමාදය බලා "පක්ෂිරාජය, කවර හෙයින් නැවැත්තෙහි ද? තව ද මාගේ දෙහයෙහි ලේමස් තිබේ. ඔබ තෘප්තියට පැමිණි බවකුදු නො පෙණේ. එහෙයින් තවත් කව"යි පක්ෂියා මෙහෙයී.

ගුරුළා ඉතා පුදුම වූ මෙබස් අසා "මහතානෙනි, මම රැවටුනෙමි. ඔබ නාගයෙකු විය නො හැකි ය. භවත්තෙමේ කවරෙක් ද? කියනු මැනැවැ"යි ප්‍රශ්න කෙළේය.

"මා னයෙකු වීමෙන් හෝ නො වීමෙන් නුඹට කම් කිම? නුඹේ මේ ප්‍රශ්නය කුමක් ද? පටන් ගත් ක්‍රියාව කරව. පටන් ගත් ක්‍රියාවට විරුද්ධ දෙය කරන්නේ කවර මෝඩයෙක් දැ?"යි ජිමුතවාහන කියන කෙණෙහි ම "ගුරුළුරජානෙනි, මහපව් නො කරව. මේ තාගේ කිනම් මොහයෙක් ද? තා විසින් කනු ලබන්නේ නාගයෙක් නො වේ. තට ආහාර පිණිස එවන ලද නාගයා නම් මම"යි කෑ ගා කියමින් ශංඛවුඩතෙමේ ද එහි පැමිණියේ ය. ගුරුළුතෙමේ ඒ දෙදෙනාගේ බස් අසා ඉතා කැලඹුනේ ය.

ශංඛවුඩ ගුරුළාගේ සැකය දුරු කරණු පිණිස තව දුරටත් කථා කෙළේ ය:- "ගුරුළානෙනි, නුඹේ මේ මෝහය කුමක් ද? මාගේ පෙණය හා දිව් දෙකත් නො දක්නෙහි ද? තා විසින් කනු ලබන උතුමාගේ සෞම්‍යාකාරය නො දක්නෙහි ද? එහෙයින් එතුමා හැර වහා මා කා දමව. දැන දැන මේ ගුණවත් උතුමා තව දුරටත් කෑවොත් තාගේ උදරය එකාන්තයෙන් ම පැළෙන්නේ ය. මට අනුකම්පා කරව. මගේ කිත්සිරුරෙහි (කීර්තිශරිරයෙහි) කළු ලප නො උපදව."

එකෙණෙහි ම ජිමුතවාහනගේ මවුපිය දෙදෙනා හා භාර්‍ය්‍යාවත් එහි පැමිණියාහු, "අහෝ! ජිමුතවාහන, කවර හෙයින් අපට නො දන්වා මෙසේ සැහැසිකමක් කෙළෙහි දැ?"යි වැළපෙන්නට වන්හ.

ගුරුළා ද තමන් විසින් කනලද්දේ ලොව පතළ යශස් ඇති ජිමුතවාහනයුවරජතුමා ය යි දැන පසුතැවෙන්නට වන. "අහෝ! මා විසින් කුමක් කරණ ලද ද? මෙතුමා මළ කල මා ජීවත් ව සිටීමෙන් පලක් නැත. ගිනි වැද මිය යෑම සුදුසු ය. අධර්‍ම නමැති විෂවෘක්ෂයෙහි මිහිරි ඵලයෙක් කෙසේ හටගණී ද?" යනාදීන් සිතමින් ගුරුළා සිතිවිලි අවුලෙන් වෙළී සිටින අතර ජිමුතවාහනතෙමේ ව්‍රණපීඩාවෙන් (තුවාලවල වේදනාවෙන්) මළේ ය.

ඒ දැක සියල්ලෝ අඬන්ට වන්හ. ශොකය නිසා 'කටයුතු කුමක් දැ'යි නිශ්චය කිරීමෙහි අසමර්‍ථ වූහ. ගුරුළා හා ශංඛවුඩ ද තමන්ට ම නින්දා කරගත්හ. වින්ධ්‍යවතීතොමෝ පෙර වර (තපස් රැකීමාදියෙන් දෙවියන් ආදීන්ගෙන් බලාපොරොත්තු වන දෙය) දුන් උමාදෙවියට දොස් කියන්ට වූවා ය:- "උමා දේවියනි, 'විද්‍යාධරචක්‍රවර්‍තති වන ජිමුතවාහන නුඹගේ ස්වාමියා වන්නේ ය'යි ඔබ විසින් කියන ලදි. එහෙයින් දැන් මාගේ අභාග්‍යයෙන් ඔබවහන්සේ මිථ්‍යාවාදී (බොරු කියන කෙනෙක්) වූ සේක."

එකෙණෙහි ම උමාව පහළ වූවා. "පුත්‍රිය, (දුව) මාගේ වචනය බොරු නො වන්නේ ය"යි කියා කෙණ්ඩියෙන් අමා පැන් ගෙණ ජිමුතවාහනගේ, ඇට පමණක් ඉතිරි වූ, සිරැරට ඉස්සේ ය. එයින් ජිමුතවාහන පෙරට ද වඩා ශොභාසම්පන්න රූපයෙන් යුක්ත ව සියල්ලන්ගේ හර්‍ෂයත් සමග නැගී සිටියේ ය.

උමාදේවිය ද, "පුත්‍රය, ජිමුතවාහන, නුඹගේ මේ පරොපකාරයෙන් මම නුඹ කෙරෙහි පැහැදුනෙමි. මම දැන් නුඹ විද්‍යාධරචක්‍රවර්‍තතිපදවියෙහි අභිෂෙක කරන්නෙමි"යි කියා ඔහු මත අමාපැන් වක්කර අතුරුදහන් වූවා ය. අහසින් මල්වැසි වැස්සේ ය. දිව්‍යභෙරීහු ගුගුළහ.

ගුරුළුරජ විද්‍යාධරචක්‍රවර්‍තතිරජු වැඳ සිටියේ "සක්විති රජතුමනි, උදාර අදහස් ඇති ඔබ විසින් මුළුතුන්ලොව ම පුදුමයට පත් කරණ විසිතුරක් කරණ ලදි. ඔබගේ මේ අධික වීර්‍ය්‍යයෙන් පැහැදුනෙමි. එහෙයින් මට අණ දෙනු මැනව. මගෙන් ද අභිමතවරයක් ගණු මැනවැ"යි වර ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය.

"තෝ මා කෙරෙහි Praසන්ன වූයෙහි නම්, මට අනික් වරයකින් කම් නැත. මම එක ම වරයක් ඉල්ලමි. මෙතැන් සි‌ට මේ නයින් නො කව. පෙර කෑ නයින් ද ජීවත් වන ලෙස සලසව"යි සක්විතිතෙමේ ගුරුළාට අණ දින. ගුරුළුතෙමේ 'එසේ කෙරෙමැ'යි ගිවිස දෙව්ලොවට ගොස් අමා පැන් ගෙණ අවුත් තමන් විසින් කන ලද නයින්ගේ ඇට රැස මතුවෙහි ඉස්සේ ය. මළා වූ සියලු නාගයෝ පෙර මෙන් ම නො බුන් (නො කැඩුනු) සිරුරු ඇති ව නැගී සිටියහ.

*    *    *    *

වේතාලතෙමේ මේ කථාව කියා, "රජතුමනි, ශංඛවුඩ, ජිමුතවාහන යන දෙදෙනා අතුරෙන් කවරෙක් වීර්‍ය්‍යයෙන් අධික තර වේ දැ?" විචාරා පෙර මෙන් ශාපය ද සිහි කරවී ය.

-------------------------------------------

මේ මට අලුතෙන් හම්බ වුණු බ්ලොග් එකක්. නම අන්ධකාරය. තියෙන්නෙ ම කෙටියෙන් ලියපු අන්ධකාර කතා. ගිහින් ධෛර්යවත් කරල එන්න...

Sunday, December 29, 2024

වේතාල කථා - 8 තරංගය

වෙතාලයා මේ කථාව කියා, "රජතුමනි, ඔවුන් දෙදෙනා අතුරෙන් කවරෙක් සමුද්‍රපතනයෙහි (මුහුදට පැනීමෙහි) දී අධිකවීර්‍ය්‍ය ඇත්තේ වී ද? නො වළහා කියව. නැත් නම් පෙර කළ ශාපය ම වන්නේ ය"යි කී ය. 

7 තරංගය

රජ තෙමේ ප්‍රශ්නය විසඳී- "වේතාලාධිපතිය, ඒ දෙදෙනා අතුරෙන් සත‍්වශීල ම වඩා අධිකවීය්‍යර්‍ ඇත්තේ යයි මාගේ හැඟීම යි. හෙතෙමේ පළමු කොට කිසි හසරක් (පාරක්) නො දැන ජීවිතයෙහි ආශා නැති ව ම මුහුදට පැන්නේ ය. චණ‍්ඩසිංහ රජ සත්වශීලගෙන් තොරතුරු දැන ගෙණ ම මතු බලාපොරොත්තු සහිත ව මුහුදට පැන්නේ ය."

ප්‍රශ්නවිසර්ජනාවසානයෙහි (ප්‍රශ්න විසඳීමේ අවසන්හි) වේතාලයා පෙර මෙන් ස්වස්ථානයට ගියේ ය.

8 තරංගය

රජතෙමේ පෙර මෙන් ම ශිංශපාවෘක‍්ෂමූලයට ගොස් ඒ වේතාලයා උසුලා ගෙණ එන්නට වන. වේතාලයා ද "රජ්ජුරුවෙනි, මෙසේ ගමනාගමනයෙන් නො කලකිරෙණ යුෂ්මතා මට වඩවඩා ප්‍රිය වෙහි ය. එහෙයින් නුමේ මහන්සිය දුරු වන පිණිස ඉතා සිත්කලු ආඛ්‍යායිකාවක් (කථාවක්) කියමි. එය අසව"යි කියා තවත් කථාවක් පටන් ගත්තේ ය.

විදුදරඟන (විද්‍යාධරකාන්තාව) ලැබූ පරිදි

පෙර අඟුරට රුවින් අනඞ‍්ගයා පැරදවූ යශොවර්‍ධන නම් රජකේ වී ය. බාහුබලයෙන් සියලු සතුරන් දිනූ ඒ රජ තුමා එක් කලෙක්හි තාරුණ්‍යමදයෙන් ('තරුණයෙක්මි'යි සිතීමෙන් වන මත් වීම) හා රූපමදයෙන් ද මත් වූයේ ස්වකීය රාජ්‍යභාරය දීර්‍ඝදර්ශි නම් මහනැණැති අහ ඇමතියාට දී තෙමේ අන්තඃපුරයට වී කම්මැළි ජීවිතයක් ගත කෙළේ ය. හෙතෙම නළඟනන්ගේ මිහිරි ගී මිස හිතෛෂීන්ගේ ඔවදන් නො ම ඇසී ය.ඇත්පුරලියන්ගේ (අන්තඃපුර ස්ත්‍රීන්ගේ) නැටුම් මිස රාජ්‍යයෙහි කටයුතු නො ම බැලී ය. පස්කම් සුව විඳුම ම ජීවිතයෙහි එක ම ඵලය යි සිතා ධර්‍මමාර්‍ගයෙන් පහ වී ය. සියතෙදමහිමෙන් ම සතුරන් පහ වෙතැයි සලකා රට රැකුම පිළිබඳ කාර්‍ය්‍යන්හි උද්‍යුක්ත (උත්සාහවත්) නො වී ය. දීර්‍ඝදර්ශිතෙමේ රාජ්‍යය පිළිබඳ කර්‍ය්‍යයන් කරමින් නිතර ප්‍රමාදරහිත ව විසී ය.

"අපගේ රජතුමා ව්‍යසනයෙහි ලා මහඇමැතිතෙමේ රාජ්‍යශ්‍රීය වළඳන්නේ ය"යි නාගරිකයන් අතර අපවාදයෙක් පැන නැංගේ ය. එය මහඇමැතියාගේ කණට ද පැමිණියේ ය. හෙතෙමේ නුවණැති ස්වගෘහණිය (ස්වකීය භාර්‍ය්‍යාව) ඒ ගැණ මන්ත්‍රණය කෙළේ ය: "සොඳුර, රජතුමා කම්සුව විඳීමෙහි ඇලී වසන කල්හි ඔහු විසින් ඉසිලිය යුතු රාජ්‍ය භාරය ඔහුගේ ම අනුදැනීමෙන් ධර්‍මනීති නො ඉක්මවා උසුලන්නා වූ මට ද 'මොහු විසින් රාජයය නසනලදැ'යි මහත් අපකීර්තියක් ඉපදී තිබේ. ලෝකාපවාදය මහතුන්ට ද දොස් එළවයි. රාමකුමාරතෙමේ ද ජනයන්ගේ අපවාදයෛන් සීතාදේවිය නො හළේ ද? හළේ ම ය. එහෙයින් දැන් මවිසින් කුමක් කට යුතු ද?"

"ස්වාමිනී, ඔබ රජතුමන් වෙත ගොස් තීර්ථයාත්‍රාව පිණිස අවසර ඉල්ලනු මැනව. ඔබ තීර්ථථයාත්‍රාවෙහි යෙදුනු කල්හි ඒ අපවාදය නවත්නේ ය. ඔබ පැමිණි කල්හි අගමැතිපදවිය නින‍්දාව ක් නැති ව ම ලැබිය හැකි ද වන්නේ ය"යි ඕතොමෝ  කීවා.

ඇමැතිතෙමේ රජු වෙත ගියේ ය. රජතුමා සිරිත් වූ ලෙස එතුමා පිළිගත්තේ ය. බොහෝ වේලා බොහෝ දේ ගැණ සාකච්ඡා කෙළේ ය. අවසන්හි ඇමැති තෙමේ "දේවයන් වහන්සැ"යි රජු ඇමතී ය. "මම දැන් මහල්ලෙමි. මම යොවුන්වියෙහි දී රාජකාය්‍යර්‍ කෙළෙමි. ශිෂ්ටධර්‍මය නො ඉක්මමවා පස්කම්සුව වින්දෙමි. මෙතෙක් කල් ඇමැතිකම්හි මිස පරලොව සුව එළවන පින්කම්හි නො යෙදුනෙමි. දෙවයිනි, මෙ සසර නිසරු ය. රොග කව දා පැමිණේදැ යි නො දනිමි. මරුවා කෙස්වැටිය ගෙණ අදින බව හැඟේ. ඔහුගේ යටතට කවර මොහොතක යන්ට වේ දැ යි කීමට කවරෙක් සමර්ථ වේ ද? මනුෂ්‍යජීවිතයෙන් ගතයුතු එක ම ඵලය නම් සසර ලුහුඬු කරණ කුසල් කිරීමයි. එහෙයින් පූජනීය ස්ථාන වඳින්නට යනු පිණිස අවසර දෙනු මැනවැ"යි අවසර ඉල්ලී ය.

රජතෙමේ එය'සා "ඇමැතිතුමනි, මෙසේ නො කළ මැනව. පින් වනුයේ පූජනීයස්ථාන වැඳීමෙන් ද? දානාදීයෙන් පින් සිදු නො වේ ද? සියගෙහි සිට ම දානාදියෙන් ස්වර්‍ගමොක‍්ෂසාධන නො කට හැකි ද? මම ධනය දෙමි. එයින් සියගෙිහි සිට ම පින් කරන්නැ"යි කී ය.

"දෙවයන් වහන්ස, දේශාටනය වනාහී මිනිකෙු ගේ දියුණුුවට ඉතා අවශ්‍ය වූවකි. ලදරු සිතෙහි දෙශාටනයට ඇල්මක් ස්වභාවයෙන් ම ඇකි වන නමුදු මවුපියන්ගේ විරුද්ධත්වය නිසා ලදරුකල්හි ඊට ඉඩ නො ලැබේ. තරුණ බවට පත් වන විට ම ජීවිකාව පිළිබඳ අදහස්වලින් මිනිසා ගේ සිත පිරෙන්නේ ය. එයින් දේශාටනය පිළිබද අදහස් නසා දමනු ලැබේ. ඊළඟට, එබඳු උතුම් අදහස් ඇති වන්නේ මහලුකල්හි ය. මහලුකලත් ගත වූවොත් මේ සිරුරෙන් සිට ගෙණ දේශාටනය කිරීමට ඉඩ නො ලැබේ. අප වැනි රාජකාර්‍ය්‍යයන්හි නියුක්තයන්ට විශේෂයෙන් ම දේශ සඤ්චාරය ඉතා ප්‍රයෝජනවත් වේ. එයින් අපේ දුර්‍වල තැන් සොයා ගත හැකි ය. නොතර තැන් තර කරන අයුරු ඉගෙණ ගත හැකි ය. පිටරැටියන්ගේ අදහස් දත හැකි ය. ඔවුන්ට අපේ රටෙන් වුව මනා දෙය දැන එය සැපයීමෙන් රටෙහි වෙළෙඳාම හා ඔබතුමන්ගේ ආදායමත් වැඩිදියුණු කළ හැකි ය. මෙසේ කරුණු පවත්නා හෙයින් මගේ මේ දේශාටනයෙන් ඔබවහන්සේට මහත් ප්‍රයෝජන වන්නේ ය. තවද, දේවයන්වහන්ස, වන්දනීයස්ථාන වනාහි නිත්‍යයෙන් ශුද්ධ ය. නුවණැතියන් විසින් ඇවිදීමෙහි ශක්තිය තිබෙන කල්හි ම ඒ ස්ථානයන්ට ‌ගොස් වැඳිය පිදිය යුතු ය. එසේ නො වූයේ නම් විශ්වාස නො කට හැකි මේ සිරුර ඒ වන්දනීයස්ථාන හා කෙසේ එක් වේ ද? එහෙයින් ද මවිසින් යා යුතු ම ය."යි අමාත්‍යතෙමේ කී ය.

එකෙණෙහි ම දියවඩනනිලමේ පැමිණියේ ය. "දෙවයිනි, සූර්‍ය්‍යයා අහස්මැදට පැමිණියේ ය. නානුමුර ද සූදානම් ය. එහෙයින් වඩිනු මැනව. නානවේලාව ඉකුත් ව යන්නේ ය"යි සැළ කෙළේ ය. රජතෙමේ ඒ අසා නාන පිණිස එතැනින් නැගිට ගියේ ය. මන්ත්‍රිතෙමේ ද රජු වැඳ ගෙට ගියේ තමා අනු ව යන්නට සැරසුනු භාර්‍ය්‍යාව නවතා සියමෙහෙකරුවන්ට ද නො දැනෙන සේ යාත්‍රාරම්භ කෙළේ ය.

2

ඇමැතිතෙමේ පිළිවෙළින් නොයෙක් දනව්හි සරමින් තීර්ථ‍ස්ථාන වැඳගෙණ කඳුහෙල් පැන ගෙණ ඔඩ්ඩිරටට පැමිණියේ මුහුදුතෙර පිහිටි එක් පටුනක මෙහෙසුරු දෙවොලකට ගොස් එහි මිදුලෙහි එක් පසෙක්හි හිඳ ගත.  දෙව්පුද සඳහා එහි පැමිණි එක්තරා වෙළෙඳෙක් හිරු රැසින් තැවුනු සිරුරු ඇති, දුරුකතර ඊමෙන් වෑරුණු, ඔහු දැක පුනනූලින් හා ශරීරලක‍්ෂණයෙන් ද දුර සිට පැමිණි ද්විජ (බ්‍රාහ්මණ) ශ්‍රෙෂ්ඨයෙකැයි සලකා සියගෙට කැඳවා ගෙණ ගොස් සත්කාර කොට තොරතුරු විචාළේ ය. ඇමැතියා තමන් පිළිබඳ තමන් පිළිබඳ තොරතුරු කීය. වෙළෙඳ තෙමේ "මම වෙළෙඳාම් පිණිස ස්වර්‍ණද්වීපයට යන්නට බලාපොරොත්තුව සිටිමි. භවත් ‌තෙමේ බොහෝ දුර ගමන් කිරීමෙන් වෙහෙසුනේ ය. එහෙයින් මා එන තෙක් මෙහි නැවතී විශ්‍රාම ගණු මැනෑව"යි නිමන්ත්‍රණය  (ආරාධනා) කෙළේ ය.

"මා මෙහි සිටීමෙන් කම් නැත. ඔබ සමග මම ද එහි යනු කැමැත්තෙමි"යි ඇමැතියා කී හෙයින් වෙළෙඳතෙමේ ඔහුත් සමග නැව් නැංගේ ය. ඔහු චණ්ඩ වූ මෝරුන් ආදි මහමසුන්ගෙන් ගහන, කුදුමහත් රළපෙළින් අතරක් නැති, රත්නයන්ට කෙසේ වෙතත් ලුනට ආකර වූ, ජලට නිධාන වූ, මහසයුර තරණය කොට ස්වර්‍ණද්වීපයට පැමිණ මඳ කලක් එහි වැස පෙරළා එන්නාහු මුහුද මැද දඹරන්මුවා කඳ ඇති ඉඳුනිල්මිණිමුවා කොළ ඇති මිණිමුවා පල ඇති මනහර මලින් හෙබුනු කප්රුකක් ද, එහි වෙළෙපෙහි (අතු බෙදී ගිය තැන) රත්නමයපර්‍ය්‍යඞ්කයෙක්හි (රුවන් පුටුවෙක්හි) හුන් මනරම් රුවින් සිරිකත පැරයූ කිසියම් කාන්තාවක ද දුටහ. ඕතොමෝ වෙණ වයමින් ගීයක් කැයූ. "පෙර කළ කම් පරිදි සත‍්වතෙමේ විපාක විඳියි. සත්වයා විසින් පෙර කළ කම් මහබඹහු විසිනුදු වෙනස් කළ නො හැක්ක. යම් කෙනෙකුන්ට යමක් විය යුතු නම්, හෙතෙමේ ඒ විය යුත්ත විසින් ම යටත් කරණු ලැබ සුදුසු ස්ථානයට පමුණුවනු ලැබේ" යනු ඒ ගීයෙහි අර්‍ථය යි.

ඒ අඞ්ගනාව ඒ ගීය ගයා එහි ම ගිලුනා. "අද මවිසින් දුටු මේ ආශ්චර්‍ය්‍යය කුමක් ද? මහමුහුද කොහි ද? දුටු පමණින් නැතු වූ දෙවඟන සහිත කල්පවෘක්ෂය කොහි ද? (මුහුද හා දෙවඟන සහිත කල්පවෘක්ෂය එකිනෙකට බොහෝ ඈත ය. මුහුදෙහි දෙවඟනන් සහිත කප්රුක් විය නො හැක්කැයි කී අයුරුයි.) ඉදින් මුහුද හැමදා මෙබඳු නම්, සිරිකත සඳ කප්රුක යනාදිය මේ සමුදුරෙන් පහළ වීමෙහි කිනම් සැකයෙක් දැ?"යි ඇමැති තෙමේ සිතමින් විස්මිත ව බලා සිටියේ ය.

ඔහුගේ විලස දුටු කර්‍ණධාරාදීහු "මහතානෙනි, අපට මෙහි පුදුමයෙක් නැත. මේ උත්තමාඞ්ගනාව හැම කල්හි මෙහි පෙණේ. දුටු කෙණෙහි ම දියෙහි ගිලේ. ඔබට වනාහි මෙය අළුත් දර්‍ශනයෙකැ"යි කීහ.

මන්ත්‍රී තෙමේ වෙළෙඳා සමග කීප දිනකින් සමුදුර තරණය කොට වෙළෙඳාගේ ගෙට ම ගොස් බොහෝ දවස් එහි ම වැස පහසු ගෙණ වෙළෙඳාට ආශිර්‍වාද කොට පිටත් ව සියදෙසට ගියේ ය.

අඟුරට රජහු විසින් සියඅගමැතියා වූ ඔහු සොයනු පිණිස යොදන ලද චරපුරුෂයෝ ඔහු දුර දී ම දැක අවුත් රජු හට සැළකළහ. රජතුමා නගරය සරසවා මහපෙරහැරින් ගොස් අගමැතිහු පිළිගෙණ රජමැඳුරට ම කැඳවා ගෙණ ආයේය. බොහෝ සත්කාර සම්මානයෙන් අගමැතිහු පිදී ය. "ඇමැතිතුමනි, අප හැර ගොස් කවර හෙයින් මේ දුක් වින්දෙහි ද? එසේ වේවා. කිසි හෙතුවක් නැති ව තීත්ර්‍ථාදීභ්‍රමණයෙහි (පූජනීයස්ථානාදියෙහි ඇවිදීමෙහි)ඔබගේ සිත හැරවූ සර්‍වබලපරාක්‍රම භවිතව්‍යයා (විය යුත්ත) ගේ විසිතුරුගතිය කවරෙක් දනී ද? දැන් කියනු මැනව:- කවර කවර දෙශයෝ ඔබ විසින් යන ලදහු ද? කිනම් අභිනව වස්තු දක්වාලද දැ?"යි විචාළේ ය.

අගමැතිතෙමේ සියගමන් පිළිබඳ සියලු වාර්‍තා සැළ කෙළේ ය. රජතෙමේ දෙවඟන ගැණ අසා ඇය නැති රාජ්‍යයත් නිෂ්ඵල ය යි සිතී ය. "අමාත්‍යශ්‍රෙෂ්ඨයානෙනි, ම විසින් ඕතොමෝ අවශ්‍යයෙන් ම දැක්ක යුත්තී ය. නො එසේ වී නම්, මාගේ දිවි තිබෙතැයි නො සලකනු මැනව. භවිතව්‍යතාවට ම ගරු කොට ඔබ කී මගින් යමි. ඔබ මා නො වළක්වනු මැනව. අනුගමනය ද නොකට යුතු ය. මා එන තෙක් මගේ මේ රාජ්‍යය රකිනු මැනව. ඔබගේ රජ වූ මාගේ මේ අණ වෙනස් නො කළ යුතු ය"යි සිය අදහස රහසින් අගමැතියාට දැන්වී ය.

ඇමැතිතෙමේ ද රජුගේ අධිෂ්ඨානය අසා මහත් උලෙළෙහි (උත්සවයෙහි) ද දොම්නස් සහිත වී ය. ස්වාමියා මහත් වූ ව්‍යසනයෙක් හි වැටුනුකල්හි සන්මන්ත්‍රීන්ට සැපයක් කොයින් ද? හේ නොයෙක් සුභාෂිතයන්ගෙන් රජුගේ අදහස වෙනස් කරන්නට යත්න කෙළේ ය. සර්‍වබලපරාක්‍රම භවිතව්‍යතාව කවදා කුමකින් පැරදේ ය?

ඉක්බිති ඒ රජතෙම රාජ්‍යය අගමැතිහට භාර කර තවුස්වෙස් ගෙණ රාත්‍රියෙහි නුවරින් පිටත් වී ය. පිළිවෙළින් ගම් නියම්ගම් දනවුමඬුලු (ජනපදසමූහ) ගෙවා යන්නේ මඟ දී දිවැස් ඇති එක් තවුසෙකු දැක්කේ ය. රජතෙමේ තවුසා වෙත ගොස් වැඳ සිටියේ ය. "දරුව, මෙනම් වෙළෙඳා සමග නැවු නැග ගොස් අභීෂ්ට (බලාපොරොත්තු වන) කාන්තාව ලබන්නෙහි ය"යි තවුසා විසින් කී තෙපුල් අසා ඉතා පිණා ගියේ වහා එයින් නික්ම ගොස් ඒ වෙළෙඳා සමග නැව් නැංගේ ය. මහමුහුද මැද දී අගමැති කී පරිදි දෙවඟන සහිත කල්පවෘක්ෂය පහළ වී ය. රජ එය දැක ඇසිල්ලක් නිශ්චල ව සිටියේ ය.


3

"පින්වත් රත්නාකරය, (සමුද්‍රය) ඔබට නමස්කාර වේවා. යම්බඳු තොප විසින් මේ දෙවඟන සඟවා ගෙණ සිරිකතගෙන් විෂ්ණුතෙමේ රවටන ලද ද, ඒ ඔබ ශරණ කොට පැමිණියෙමි. ඔබ මාගේ කැමැත්ත සිද්ධ කරණු මැනව. දෙවියන් ඔබ කලඹා ඔබගේ හස්තසාර ධන සියල්ල ම පැහැර ගතැයි අඥයෝ කියති. දෙවියන් පැහැර ගත් අමෘතය කුමක් ද? මේ කාන්තාවගේ දර්‍ශනය ම අමෘතය නො වේ ද? දෙවියන් මෙන් මම ඔබ නො කලඹමි. එබඳු බලයක් නරයෙකු වූ මට කොයින් ද? මම ඔබට මගේ දිවි පුදමි. මා කෙරෙහි පැහැදෙනු මැනව" යනාදීන් රජ තෙමේ මුහුදට ස්තූති කරන්නට පටන් ගත. එකෙණෛහි ම කප්රුක සහිත ඒ දෙවඟන මුහුදෙහි ගිලෙන්නට වන. රජ ද එය දැක ඒ අනුව මුහුදට පැන්නේ ය. මුහුදෙහි ගිලුනු රජතෙමේ හදිසියෙන් ම කිසියම් දෙව්පුරයක් දැක්කේ ය. විස්මයසහිත වූයේ මිණිමුවාටැඹින් හා රන්මුවාබිතුපෙළින් ද, ලෙලදෙන මුතුලැලින් (මුතුවැලින්) යුත් පලඟින් ද මනරම් මැඳුරු සියගණනින් බබලන, තන්හි තන්හි නන්වන් මිණිරුවනින් බැඳි පියගැටපෙළින් විසිතුරු පොකුණුවලින් හා සිතු පැතූ දෙය දෙන කප්රුක්වලින් ද සමෘද්ධ උද්‍යානයන් ගෙන් හොබනා එනුවර දැක, අනෙක සම්පත්තියෙන් පිරිපුන් වුව ද ජනයන් නැති එහි ඒ කාන්තාව සොයනු වස් ගෙයක් පාසා ගියේ ය. අවසන්හි එක් මිණිමුවාමහපහයෙක්හි අගනා ඇඳෙක්හි හිස සිට දෙපතුලට පොරවා ගෙණ හෝනා (නිදන) ඇය දැක්කේ ය. ඕතොමෝ ද මනාවිලස් ඇති රජහු දැක වහා යහනින් නැඟී සිටියා, අතිථිසත්කාර කළාය. තොරතුරු ද විචාළා ය:- "පින්වතානෙනි, භවත් තෙමේ කවරෙක් ද? කෙසේ මේ රසාතලයට (පාතාල ලෝකයට) පැමිණියේ ද? රාජලක්ෂණයෙන් පිරිපුන් ඔබගේ මේ සිරුරෙහි තවුස්පිරිකර කිම් ද?

රජතෙමේ සියල්ල විස්තර කොට ඈ පිළිබඳ තොරතුරු විචාළේ ය:- "පින්වත් යුවතිය, භවතිය කවරක් ද? කවර හෙයින් ශූන්‍ය (හිස්, පාලු) වූ මේ ස්ථානයෙහි තනි ව වසන්නී ද? මට මෙය මහත් පුදුමයකි. ප්‍රහේලිකාවකි. භවතියගේ මවුපියෝ කවුරු ද? නම කුමක් ද? ඔබට පැමිණ තිබෙන විපත කුමක් ද? කියනු මැනව. මගේ මේ අගනා ජීවිතය පුදා වත් අසරණ වූ නුඹ විපතින් ගලවා ගන්නට උත්සාහ කරමි. මම ඔබගේ දැක්මෙන් ම බැඳ දාසභාවයට පත් කරණ ලද්දෙමි. එහෙයින් මට නො වළහා කියනු මැනව."

"මහතානෙනි, මෘගාඞ්කෙස්න නම් ශ්‍රීමත් විද්‍යාධරාධිපතියෙක් ඇත. මම ඔහුගේ දූ වූ මෘගාඞ්කවතී වෙමි. මගේ ඒ පියතෙමේ මා මේ නුවර තනි කර දමා පුරවැසියන් හා කොහි කවර හෙයින් ගියේ දැ යි නො දනිමි. එහෙයින් මම මේ ශූන්‍යස්ථානයෙන් නික්ම මුහුදෙන් මතු වී කප්රුකට නැඟී ගායනා කරමි"යි ඕතොමෝ තමන් පිළිබඳ පුවත් විස්තර කළා ය.

රජතෙමේ නානාවිධමෘදුවචනයන්ගෙන් ඇය සිත් ගත්තේ ය. ඕතොමෝ ද ඔහුගේ භාර්‍ය්‍යාව වන්නට ගිවිසියා ය. "ආර්‍ය්‍යපුත්‍රය, මසක් පාසා පුර අව දෙපස්හි තුදුස්වක්හි ද අටවක්හි දැ යි යන සිවුදිනයන්හි මම ඔබට අයත් නො වෙමි. යම්කිසි තැනකට යන මම ඔබ විසින් නො වැළැක්විය යුතුද නො සෙවිය යුතු ද වෙමි. ඊට හෙතුව ද නො විචාළ යුතු ය"යි පොරොන්දුවක් ද ඉල්ලී ය. රජතෙමේ සතුටින් ම "එසේ ‌වේවා"යි ඇගේ ඉල්ලීම පිළිගෙණ ඇය විවාහ කොට ගෙණ එහි ම විසී ය.

කළුවරරැයින් සැරසුනු අවතුදුස්වක (කළුවර පක්ෂයෙහි 14 වැනි දිනය) පැමිණියේය. ඒ අංගනාතොමෝ දිව්‍යසම්පත්තියෙන් පිණමින් සිටි රජු වෙත ගියා. ගොස් ඉකි බිඳිමින් ඇඬුවා:- "අහෝ! මගේ පවක මහත! අද ඔබගෙන් වෙන් විය යුතු දවසෙකි. නො වැළැක්විය හැකි කිසියම් කටයුත්තක් සඳහා මම පිටත යමි. හෙට නො වරදවා එන්නෙමි. එතෙක් ඔබ මෙහි සැප සේ සිටිනු මැනව. තෙල (අර) පෙණෙන පළිඟුමුවා ගෙට නො යනු මැනව. එහි වූ වැවට නොබසිනු මැනව. එහි බැස්සොත් නිසැකයෙන් මිනිස්ලොවට යන්නෙහි ය! මා එන තෙක් පරිස්සමින් සිටිනු මැනවැ"යි කීවා ය. රජ ඇයගේ කඳුළින් තෙත් මුවපියුම් සියඋතුරුසළුපටින් පිසදැම්මේ ය. හද පැළී යන තරම් සොවින් ඇගේ ඉල්ලීමට අවසර දුන්නේ ය. ඕතොමෝ ද පිටත්ව ගියා ය.

රජතෙමේ ද 'විය යුත්තක් වේවා'යි සිත දැඩි කොට ගෙණ ඒ ගමන ගැණ දැනගණු පිණිස කඩුව හා දුනුහී ද රැගෙණ ඇය පසුපසින් ම ඇයට නො පෙණී ගියේ ය. ඇය නුවරින් පිට වූ කෙණෙහි ම බිහිසුණු රකුසෙක් ගොරනාද කරමින් ඉදිරියට පැන ඇය අල්ලා නරාවළක් වැනි මුවතුළ බහා ගිල්ලේ ය. රජ එය දැක අතිශයින් කිපුනේ එකෙණෙහි ම මහ අසිපත ඇද ගෙණ දිවගොස් ඒ රකුසාගේ හිස සිඳ ලී ය. කඩුසිළින් (කඩුවේ උලෙන්) රකුසාගේ උදරය පැළී ය. එකෙණෙහි ම මෘගාඞ්කවතී තොමෝ එයින් නික්ම ආවා ය. රජතෙමේ ඇය දැක පිණා ගියේ ඇය සතුටින් ආලිඞ්ගනය කෙළේ ය. "ප්‍රියාව, මේ කිම? සිහිනයක් ද? නොහොත් මායාවක් දැ?" යි විචාළේ ය.

4

ඒ විද්‍යාධරකාන්තා තොමෝ ද තමන් පිළිබඳ තතු සිහි කොට රජුට ඒ සියල්ල කීවා ය:- "උතුමානෙනි, අසනු මැනව. මෙය ස්වප්නයක් නො වේ. මායාවක් ද නො වේ. මෙය විද්‍යාධරරාජ වූ මාගේ පියා විසින් කරණ ලද ශාපයක විපාකයකි. මගේ ඒ පියානන් වහන්සේ බොහෝ දරුවන් ඇති ව මෙහි විසූ සේක. මා කෙරෙහි වැඩි ආදරයක් දැක්වූ සේක. මා නැති ව කිසිවිටෙක අහරක් නො ගත් සේක. මම ද මෙහෙසුරුපුදෙහි (පූජාවෙහි)  ඇලුනෙම් හැම තුදුස්වක්හි හා අටවක්හි මෙහෙසුරුදෙවොලට ගියෙමි. එක් දිනෙක්හි දෙව්පුද සඳහා ආ මම මුළු දවස ම දෙවොලෙහි ගත කෙළෙමි. ඒදිනෙහි ද පියතෙමේ මා එන තෙක් බලාපොරොත්තු වූයේ ආහාරපානයක් නො ගත්තේ ය. රාත්‍රියෙහි ආ සාපරාධ මා කෙරෙහි කිපුනු පියතෙමේ ශාප කෙළේ ය:-

'තී බඩසාදුකින් පෙළුනු මා මුළුදවසෙහි ම සිහි නො කෙළෙහි ය! එහෙයින් කෘතාන්ත නම් බිහිසුණු රකුසෙක් මසක් පාසා අටවක්හි හා තුදුස්වක්හි ද ඉසුරුපුදට නගරයෙන් බැහැර යන තී ගිල දමාවා! ඉක්බිති තී ඔහුගේ ලය බිඳගෙණ පිටත එව! මේ ශාපය ද රකුසා ගිලීමෙන් වූ දුක ද සිහි නැති වේවා! තනිව ම මෙහි හිඳුව!'

"ඉක්බිත්තෙන් බිය පත් වූ මා විසින් දීන (බැගෑපත්) වචනයන්ගෙන් සනහන ලද හෙතෙමේ ශාපයාගේ අවසානයක් දැක්වී ය:-

'කුරිරු තැනැත්තිය, මගේ වචන නිෂ්ඵල නො වන්නේ ය. එහෙයින් කලක් තී මේ ශාපය වින්ද යුතු ය. යම් කලෙක්හි අඟුරට රජ මෙහි පැමිණ තීගේ ස්වාමියා වී රකුසා විසින් තී ගිලිනු දැක ඒ රකුසා මරන්නේ ද, එකල්හි තිගේ ශාපය ගෙවෙන්නේ ය. එවිට ම ස්වකීය විද්‍යාවෝ නැවතත් සිහියට එන්නාහු ය.'

"මෙසේ ශාපාවසානකාලය කියා මා මෙහි තනි කර දමා පිරිවර සහිත ව හිමාලයපර්‍වතයට ගියේ ය. මම එතුමාගේ නියමයෙන් ශාපබලයෙන් කිසිවක් නො දැන මෙහි සිටියෙමි. දැන් ඔබගේ අනුග්‍රහයෙන් ශාපය ගෙවින. හැම දෙය පිළිබඳව මගේ ස්මෘතිය ද උපන්නේ ය. එහෙයින් අද පියානන් වහන්සේ වෙත යන්නෙමි. 'ශාපාවසානයෙහි සියගතියට පැමිණෙන්නේ ය' යනු නියමය යි. ඔබතුමා මෙහි ම සිටිනු මැනව. නැතහොත් සිය රටට යනු මැනව. ඒ කරුණෙහි ඔබගේ ම කැමැත්තක් වේවා."

රජ තෙමේ ඇයගේ බස් අසා දුඃඛිත වූයේ "සුන්දරිය, නුඹ තවත් සත්දවසක් මා සමග මෙහි ම සිටිය යුතුය. කිසිවක් නො කියා ... මේ උයනෙහි නුඹ සමග සත්දවස මුළුල්ලෙහි ක්‍රීඩා කරමින් ... කනගාටුව දුරු කරන්ට උත්සාහ කරමි. ඉන්පසු නුඹට නුඹගේ පියා සිටින තැනට ද, මට මගේ රටට ද යා හැකි"ය ඈහට කී ය. ඕතොමෝ ද ... පිළිගත්තා ය.

රජ සත්වැනි දවසෙහි ප්‍රයොගයෙන් ඇයත් සමග මිනිස්ලොවට පැමිණෙන දොරටුව වූ පොකුණ ඇති පළිඟුමුවා ගෙට ගියේ වහා ඇගේ අත දැඩි සේ අල්ලා ගෙන පොකුණට පැන්නේ සියපුරයෙහි උයනෙහි පොකුණින් මතු වී ය! උයන්පල්ලෝ මිනිස් ඇසට උත්සවයක් බඳු ඒ කාන්තාව සමග පැමිණි රජු දැක අගමැතිහට ඒ බව සැල කළහ. මන්ත්‍රිතෙමේ පුරවැසියන්ට දන්වා මහොත්සව කොට පෙරහරින් ගොස් ඒ කාන්තාව සහිත රජතුමා කැඳවා ගෙණ ආයේ ය.

"අහෝ! අහසෙහි විදුලියක් මෙන් ඇසිල්ලක් පමණ කල් පෙණුනු මේ දෙවඟන මේ රජතෙමේ කෙසේ ලබා ගත්තේ ද? බඹහු විසින් යමෙකුගේ ලලාටයෙහි යමක් කොටන ලද නම් එය කොතරම් දුෂ්කර වූවත් එකාන්තයෙන් ම සිද්ධ වන්නේ ය"යි අමාත්‍යතෙමේ සිතී.

මෘගාඞ්කවතිය ද රජු සියදෙසට පැමිණ සිටින බව හා සත්දවස පිරුණු බවත් දැක සිය පියා වෙත යන්ට සිතුවා, එහෙත් එවිට උත්පතනවිද්‍යාව (අහසට නැඟීමට උපකාර වන මන්ත්‍රය) සිහියට නො ආයේ ය. ඕතොමෝ එයින් අතිශයශොකයට පැමිණියා ය. "ප්‍රියාව, කවර හෙයින් මෙසේ ශොක කරන්නෙහි ද? කියව"යි රජු විසින් විචාරණ ලද්දී "රජතුමනි, මම ශාපයෙන් මිදුනු නමුත් මෙපමණ කල් ඔබගේ ස්නෙහබන්ධනයෙන් බැඳී සිටියෙමි. එයින් මගේ විද්‍යාවෝත් දිව්‍යගතිත් නටහ. ආලය, තෘෂ්ණාව, ක්‍රොධය, ඊර්‍ෂ ්‍යාව යනාදී ක්ලෙශයෝ සියල්ලන්ගේ ම ප්‍රඥාව හා මනශ්ශක්තියත් නසන්නාහ"යි පිළිතුරු දුන්නා ය.

රජතෙමේ "මේ දෙවඟන දැන් මට අයත් වූයේ ය යි සතුටට පැමිණියේ මහත් උත්සව පැවැත්වී ය. අගමැතිතෙමේ එය බලා ගෙට ගොස් ශයනගත වූයේ වහා ලය පැළීමෙන් මළේ ය. රජතෙමේ ද ඒ මෘගාඞ්කවතිය සමග යෙහෙන් රාජ්‍යපාලනය කරමින් ස්වර්‍ගසම්පත්ති වැනි සැප විමින් බොහො කල් සිටියේ ය.

වේතාලයා මේ කථාව කියා "රජතුමනි, මේ කරුණ පිළිබඳ ව මා තුළ මහත් සැකයක් තිබේ. ස්වාමි වූ රජතුමාට එතරම් අභිවෘද්ධියක් වූ කල්හි ද ඔහුගේ අගමැතිහුගේ හෘදය ස්ඵුටිත (පැළින) වී ය. ඊට හෙතුව කුමක් ද? 'මවිසින් දෙවඟන නො ලබන ලදැ'යි සිතීමෙන් වූ ශොකය ද? නැතහොත් රජු නැවත පැමිණිබව දැක්මෙන් රාජ්‍යය අයත් කර ගැන්මෙහි අපෙක්ෂාවෙන් සිටි ඔහු තුළ ඇති වූ ඊර්‍ෂ ්‍යාව ද? මේ මාගේ සැකය සිඳුව. දැන දැන මෙය මට නො කීයෙහි නම්, නුඹගේ හිස සියක් කඩකට පුපුරන්නේ ය"යි තර්ජනාන්ත ප්‍රශ්න විචාළේ ය.

මීළඟ කොටස ළඟ දී ම...

පරණ පොතේ පිටුවක් ඉරී තිබීම නිසා සමහර තැන් හිස් තැන් වශයෙන් ම තැබීමට සිදු වූ බව කරුණාවෙන් සළකන්න.

Saturday, June 15, 2024

වර තුනක් සහ කෙටි යෙදුම්

වර තුනක් ලබා දීම ගැන විවිධ ආකාර කතා මේ ලෝකය පුරා ම තියෙනවා. එයින් මේ කතාව මම ගොඩක් පොඩි කාලෙ කියවපු කතාවක්.

දුප්පත් මහළු යුවළක් හිටියා. ඒ දෙන්නා බොහොම දුකින් වාසය කළේ, සමහර වෙලාවට බඩගින්න නිවාගන්නවත් හැටියක් නැතුව. ඒ වගේ ගෙවුණු එක දවසක, සීයා හාමත් වෙමින් ඉන්න අතරෙ, එතනට ආවා සුරංගනාවියක්. ඇය මහලු යුවල අමතලා කිව්වා, "මම ඔයාලට වර තුනක් දෙනවා. දැන් ඔයාලා ඉල්ලන, ප්‍රාර්ථනා කරන පළමු ආශාවල් තුන එවෙලෙම ඉෂ්ට වෙනවා." කියලා.

ඉතින් ඒ දෙන්නා සාකච්ඡා කරන්න පටන් ගත්තා. වර තුනයි ලැබෙන්නෙ. එයින් ලබා ගන්න පුළුවන් හොඳ ම සහ උපරිම අවස්ථාව ලබා ගන්න ඕනෙ.

කල්පනා කරලා, සාකච්ඡා කරලා, වාද කරලා අන්තිමේ බැරිම තැන සීයා ට කියවුණා, "මට බොහොම බඩගිනියි. සොසේජ් එකක්වත් තියෙනවනම් මම කැමතියි." කියලා.

එහෙම කියලා මොහොතක්වත් ගත වෙන්න කලින් ඔහුගෙ ඉදිරිපිට සොසේජ් එකක් මැවුණා.


ආච්චිට බොහො ම කේන්තියි. ඇයි, වර තුනෙන් එකක් නිකම් ම සොසේජ් එකකට නාස්ති වුණා නෙ. එයා කේන්තියෙන් සීයට බණින්ඩ ගත්තා, කරපු මෝඩ වැඩේ ට. සීයා අහගෙන ඉඳලා ඉඳලා බැරිම තැන කිව්වා, "ඔය කෙහෙම්මල් සොසේජ් එක තමුසෙගෙ නහයෙ ඇලෙන්ඩ ඕනෙ". කියලා.

ඒ ආශාවත් ඔන්න එවෙලෙ ම ඉෂ්ට වුණා. සොසේජ් එක උඩ පැනලා ආච්චිගෙ නහය අගිස්සෙ ඇලුණා.

ඒ ගමන ආච්චියි සීයයි ඔක්කොම වැඩ පැත්තක තියලා, ‌අර සො‌සේජ් එක ආච්චිගෙ නහයෙන් ගළවගන්න මහන්සි ගත්තා. ඒ දෙන්නා කොයිතරම් තදින් සොසේජ් එකෙන් අල්ලලා ඇද්දත්, ඒක නම් ආච්චිගෙ නහයෙන් ගැළවුණේ ම නෑ.

අන්තිමේ හති අරිමින් සීය‌ා කිව්වා, "ඔය සොසේජ් එක තමුසෙගෙ නහයෙන් ගැළවෙන්නයි ඕනෙ, කොහොම හරි." කියලා.

ආන්න ඒ වෙලාවෙ සීයගෙ තුන්වෙනි වරයත් ඉෂ්ට වුණා.

*    *    *

වර තුනක් ගැන නූතන කතාවක් මේ...

එක කාන්තාවකට, මුහුදු වෙරළේ තිබිලා බෝතලයක් හම්බවුණා. ඇය ඒක ඇරලා බැලුව ම, බෝතලය තුලින් නිල් පාට දුමාරයක් ගළාගෙන ඇවිත්, බූතයෙක් මැවුණා. එයා කිව්වා, "බොහොම ස්තූතියි මගෙන් ප්‍රයෝජනයක් ගන්නවට. මම ඔයාට වර තුනක් දෙනවා. ඔයා කැමති ඕනෙම දෙයක් ඉල්ලන්න. හැබැයි, ඔයාට ලැබෙනවා වගේ දහ ගුණයක් ඔයාගෙ හස්බන්ඩ් ට ලැබෙනවා."

"හොඳයි." කාන්තාව කල්පනාවට වැටුණා. "මාව මේ ලෝකෙ ඉන්න ධනවත්ම තැනැත්තා කරන්න"

"මට ඔයා ධනවත් කරන්න පුළුවන්. නමුත්..." බූතයා කිව්වා. "...ඔයා ධනවත්ම තැනැත්තා වෙන්නෙ නෑ, මොක ද, ඔයාගෙ හස්බන්ඩ් ඔයා වගේ දහ ගුණයක් ධනවත් වෙනවා."

"ඒකට කමක් නෑ..." කාන්තාව හිනාවෙලා කිව්වා.

"ඔන්න ඒ ඉල්ලීම ඉෂ්ට කළා..." බූතයා කිව්වා. මොකද්ද ඊළඟ වරය?"

"මාව මේ ලෝකෙ ඉන්න ආකර්ෂණීය ම තැනැත්තා කරන්න."

"හරි. ඒකත් ඉෂ්ට කළා." බූතයා කිව්වා. ඒ වෙනකොට අර කාන්තාව බොහො ම ලස්සන, සුන්දර ගැහැණියක් බවට පත් වෙලා. "ඊළඟට ?"

"ඊ ළඟට" සොඳුරු සඳවතිය පොඩි හිනාවක් නැඟුනු මහුණින් යුක්ත ව කිව්වා, "මට දෙන්න ලාාාවට හාට් ඇටෑක් එකක්."

*    *    *

වර තුනක් ගැන තවත් අවර කතාවක් තිබුණා, ඒක පොඩි වෙනස්  කමක් කරමින් සිඩ්නි, ගජමෑන් සමග සමයං පත්තරේ පළ කළා. මේ ඒක.




ඔරිජිනල් කතාවෙ ඔය පුද්ගලයා ඉල්ලන්නෙ, "ඕනෙ රෙද්දක්" නෙවෙයි, "ඕනෙ පුකක්...!"

*    *    *

"ඕ පු" කිව්ව ම මතක් වුණේ අතුරු කතාවක්.

රජයේ සේවයේ, ඕනෙ ම වැඩක් වාර්තා වෙන්න ඕනෙ නිසා, ගොනුවකින් තමයි පවත්වාගෙන යන්නෙ. වැඩ හැම එකක් ම අදාළ ගොනුවල වාර්තා වෙනව. නුවෙ දකුණු පැත්තෙ ලිපි අමුණලා, වම් පැත්තෙ සටහන් පත්‍ර කියන, හිස් කඩදාසි අමුණනවා. ලිපි අංක කරලා, ඒ අදාළ ලිපියෙ අංකය ගැන සඳහන් කරමින්, සටහන් පත්‍රයෙ ඒ ගැන සටහනක් යොදලා ඉහළ නිලධාරියාගෙ මේසය මතට දැම්ම ම, එයා එයාගෙ නිරීක්ෂණ, නිර්දේශ, නියෝග ආදිය, සටහන් පත්‍රයේ ම සටහන් කරනවා. ඉතින් ගොනුවක සටහන් පත්‍ර බැලීමෙන්, වැඩේ වෙලා තියෙන්නෙ කොහොම ද, මොන දවස්වල ද ඒක වෙලා තියෙන්නෙ, කියන විස්තර හොයාගන්න පුළුවන්. ඔය සටහන් පත්‍රවල, සහ ලිපිවල සටහන් තබනකොට කෙටි යෙදුම් භාවිත වෙනව. "දැ. ගැ. ස." කියන්නෙ දැනගැනීම සඳහා. "කරු" කියන්නෙ කරුණාකර...

ඒක කිව්ව ම මතක් වුණේ. මං වැඩට ගිය මුල් ම කන්තෝරුවෙ, ගබඩා භාර කරු හිටියෙ "කරුණාරත්න" කියල අයිය කෙනෙක්. (ගබඩා භාර-කරු-කරු) ඒ දවස්වල, ගබඩාවෙන් මොනව හරි නිකුත් කරන්න සටහන් තබන්නෙ, "කරු. නිකුත් කරන්න." කියලා, හරියට කරුණාරත්න ට ආමන්ත්‍රණය කරලා වගේ...

ඔය වගේ දවසක් අලුතෙන් පත්වෙලා ආව ලොක්කෙකුට ෆයිල් එකක් දාලා, ඒකෙ සටහන් පත්‍රයෙ ලියල තිබුණ ලු, "කරු. අත්. ඉ. කරමි" කියල. උන්දැ ඒ කෙටි යෙදුම අඳුනගන්න බැරුව, යටින් සටහනක් දැම්මලු, "ඕ. පු." කියල.

ඒක දැකපු, සීසී හෙවත් ප්‍රධාන ලිපිකරු, ගොනුවත් අරගෙන අර ලොක්ක ගාවට ගිහිං ඇහුවලු, "මොකද්ද සර්, මේ සටහන?"  කියල.

ලොක්ක ඇහුවලු, "ඊට කලින් කියනවකො, "කරු. අත්. ඉ." කියන්නෙ මොකද්ද කියල..." 

"ඒ කියන්නෙ, "කරුණාකර, අත්සනට ඉදිරිපත් කරමි" කියන එකනෙ සර්..." කියල සීසී කිව්වලු.

"ආ... ඒක ද? "ලොක්ක හිනාවෙලා කිව්වලු, "ඔය "ඕ. පු." කියන්නෙ එහෙනං ඕනෙ පුකක් කියන එකයි" කියල.

*    *    *

ඒ වගේ කෙටි යෙදුම් ගැන තව කතාවක් කියල ම වර තුනට ආපහු සම්බන්ධ වෙමු.

සෑහෙන ඉස්සර කාලෙ, ලොකු ප්‍රොජෙක්ට් එකක් තිබුණා පිටිසර ගමක් ආශ්‍රිතව. ඔය ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන උදවිය නිතර ම ගමේ තේ කඩේට ගොඩ වෙලා, උදේට දවල් ට කන්නත්, තේ බොන්නත්ත් පුරුදු වෙලා උන්නා. 

ඔය දවස්වල, ප්‍රොජෙක්ට් එකේ ගේට්ටුවෙ දැන්වීමක් ගහල තිබුණා, "කම්කරු ඇබෑර්තු ඇත - ප්‍ර.වැ.දෙ. ප්‍ර. ඉ." කියලා.

ඔය කඩේට ආව ප්‍රොජෙක්ට් එකේ ලියන මහත්තයෙකුගෙන්, දවසක් කඩේ මුදලාලි ඇහුවා, "මොකද්ද අර බෝඩ් එකේ තියෙන කෙටි යෙදුම?" කියලා.

ලියන මහත්තයා ඉතිං මුදලාලිට කියා දුන්නා, ඒ තියෙන්නෙ, "ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව, ප්‍රධාන ඉංජිනේරු" කියන එකයි කියලා.

පහුවදා කඩෙත් බෝඩ් එකක් ගහලා තිබුණා.

"මෙහි නිකරුණේ රස්තියාදු ගැසීම තහනම් - පු. සි. මු." කියලා.

මේක අර ප්‍රොජෙක්ට් එකේ හැමෝට ම ගැටළුවක් උනා. අර ලියන මහත්තය ම ඊළඟ දවසෙ මුදලාලිගෙන් ඇහුවා, ඒ බෝඩ් එකේ තියෙන කෙටි යෙදුම මොකද්ද කියලා.

"ඇයි මහත්තයො හිතා ගන්න බැරිද?" මුදලාලිත් හිනාවෙලා ඇහුවා. "ඒ තියෙන්නෙ මගෙ නම. පුංචි සිඤ්ඤො ‌මුදලාලි කියන එකනෙ..."

ඒක කිව්වම පච්ච කතාවක් මතක් වුණ උදවිය මේ කොණට...

*    *    *

ඔය වගේ ප්‍රොජෙක්ට් එකක වැඩ කරපු උපදේශක වරයෙක් උන්නා,  පාෂාණ පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන. හැමෝ ම එයාට ඩොක්ටර් කියල තමයි කතා කළේ. ටික දවසක් යන්න කලින්, ගමේ උදවිය එක එක ලෙඩවලට බෙහෙත් ගන්න එයා ළඟට එන්න ගත්ත. 

බැරිම තැන එයා ගමේ උදවියට කියා දුන්නා, තමුං ‌වෛද්‍ය වරයෙක් නෙවෙයි, ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක් කියලා. ඒත් ඒක ගමේ උදවියට තේරුණේ නෑ. අන්තිමේ එයා කිව්වා...

"මං මිනිස් ඩොක්ටර් කෙනෙක් නෙවෙයි, ගල් ඩොක්ටර් කෙනෙක්" කියලා.

ඊට පස්සෙත් අසංගයි ප්‍රසන්නයි කියල දෙන්නෙක් ඩොක්ටර් පස්සෙන් කැරකුණාලු, ඒ ඇයි දන්නෑ?

*    *    *

ඔය වගේ වර තුනක් දුන්න නෙ, වලහෙකුටයි හාවෙකුටයි... මේ ඒක.

Sunday, December 31, 2023

වෙතාල කථා - 7 තරඞ්ගය

6 තරඞ්ගය

ශූරයාට ඕතොමෝ දිය යුත්තී ය. හෙතෙමේ සියසිරුරත් සියපණත් නො තකා බාබෙලෙන් (අතෙහි ශක්තියෙන්) රකුසා පරදවා කාන්තාව ලබා ගත්තේ ය. ඥානි විඥානි දෙදෙන ඔහුට උපකාරී වූහ. එපමණකින් ඒ කාන්තාව ඔවුන්ට අයත් නො වේ. නැකැත්තන් හා වඩුවෝත් අන්‍යයන්ට උපකාර නො වෙත් දැයි සලකනු මැනවැ"යි රජතෙමේ සිය පිළිතුර අවසන් කෙළේ ය. වේතාලයා අතුරුදහන් වී ය.

7. තරඞ්ගය

1

රජතෙමේ නැවත ද ඇට්ටේරියගස මුලට ගොස් වේතාලාධිෂ්ඨිතශවය (වේතාලයා වැහුනු මිනිය) කර තබා ගෙණ ගමනාරම්භ කෙළේ ය. නැවත ද වේතාලයා කථාරම්භ කෙළේ ය.

සත්‍වශීලචරිතය

නැගෙනහිරදිග වෙරලෙහි තාම්‍රලිප්ති නම් නගරයක් ඇත. එහි චණ්ඩසිංහ නම් රජෙක් රාජ්‍යය කෙළේ ය. හේ ධීර ය. වීර ය. ත්‍යාගි ය. වැසියන්හට පියෙකු වැන්න. එක් දිනෙක්හි දකුණුදෙස්වැසි සත්‍වශිල නම් එක්තරා දිළිඳු කැත් කුමරෙක් එතුමන් වෙත පැමිණ සේවයට බැඳුනේ ය. බොහෝකල් රාජසේවය ද කෙළේ ය. එසේ ද වූවත් කැත්කුමරා හිතූ තරම් වැටුප් ඒ රජුගෙන් නො ලැබින. "මමම රජකුලයෙහි උපන්මි. එහෙත් මෙතරම් නිර්‍ධන වූයේ කවර හෙයින් ද? දිළිඳු නමුදු, කවර හෙයින් මහබඹහු විසින් මම මහෙච්ඡයෙක් (බොහෝ ආශා ඇත්තෙක්) කරණ ලද්දෙම් ද? මේ රජතෙමේ බොහෝකලක පටන් මෙසේ වෙහෙස ගෙණ සේවාකම් කරණ, කිලිටි වූ ගත් ඇත්, බඩසාදුකින් පෙළෙන මා දෙස අද වත් නො බලයි. අහෝ! රජුන්ගේ ක්‍රෑරගතියක හැටි! මෙහෙකරුවන්ගේ සුවදුක් නො සොයන අධිපතීන්ට නින්‍දා වේවා! නැහැ. නැහැ. අපේ රජතුමා එබඳු අධිපතියෙක් නො වේ. එතුමා යහපත් සේවකයන්ට කප්රුකකි. එතුමා නරක ය යි සිතන මට ම නින්‍දා වේවා! මම අයහපත් සේවකයෙක් ද? නැත. ඉතින් එසේ නම් මට පමණක් මෙබන්දක් වීමට හෙතුව කිම? හෙතුව තමයි, අභාග්‍ය ය. අහෝ! ම‌ගේ අභාග්‍යයක මහතැ!"යි සිතමින් කල් ගෙවී ය.

එක් දවසෙක්හි රජ මුවදඩ යනු පිණිස මහසෙන් පිරිවරා නික්මින. භාග්‍යයට ලං ව සිටි සත්‍වශිල ද ඒ සමග ගොස් රජු වෙත ම සිට නොයෙක් වික්‍රම පෑ ය. වාතාශ්වරූඪ වූ රජ සහ සත්‍වශිල ද මුවන් ලුහුබැඳ වනයෙහි බොහෝ දුර ගියහ. රජතෙමේ, සියසෙනඟින් වෙන් වූයේ, ආ මග තෘණපර්‍ණාදියෙන් (තණකොළ ආදියෙන්) වැසුනු හෙයින් දත නො හී, තමන් පසු පස්සෙන් පයින් ම දුවමින් සිටි සත්‍වශීලයා දැක "යහපත් පුරුෂය, කිම, ආ මග දන්නෙහි දැ?"යි පිළිවිත. (ඇසී ය.) හේ බදැඳිලි ව (අත් දෙක එක් කොට ගෙණ) "එහෙයි, දේවයන් වහන්ස, එය දනිමි. ඔබ වහන්සේ බොහෝ වෙහෙසුනු සේක. එහෙයින් මෙහි මඳක් කල් නැවතී විශ්‍රාම ගන්නා සේක්වා. දෙවයන්වහන්ස, මේ මිහිකතගේ මෙවුල්දමෙහි මැදිමිණිරුවන වැනි වූ පැතිරෙණ රශ්මිමාලා ඇති පද්මබන්‍දු (සූර්‍ය්‍යා) තෙමේ අහස් මැද අතිශයින් බබලා ය"යි සැළ කෙළේ ය. රජතෙමේ ඔහුගේ බස් පිළිගෙණ පැන් ටිකක් සොයා ගෙණ එනු පිණිස ඔහු මෙහෙයී.

සත්‍වශිල ද රජු අණ මුදුනෙන් පිළිගෙණ ඉතා උස් රුකක් මුදුනට නැඟ හාත්පස බැලී. වනමැද අතුළ රිදී පටක් මෙන් ගලා බස්නා මනරම් මහගඟක් දැක, සතර මහානිධානය දුටු මහදුගියෙකු මෙන් සතුටින් ඉපිළ ගියේ, ගසින් බැස අවුත් ඒ බව රජුට සැළ කෙළේ ය. රජතෙමේ ද ඔහු සමග එහි ගොස් දිය නා වෙහෙස සන්සිඳවී ය. රජු නාන අතර සත්‍වශිල ද අසුට තණපැන් දී විඩා දුරු කෙළේ ය. රජු නා අවසන්හි සත්‍වශිල සියඔඩොක්කුවෙන් ඇඹුලු (නෙල්ලි) ගෙඩි ගෙණ සෝදා රජුට පිළිගැන්වී ය. රජ "ඒ කොයින් ලබන ලද දැ"යි විචාළේ ය. "දෙවයන් වහන්ස! ගත වූ අවුරුදු දසයෙහි මම බෙහෙවින් ඇඹුලු කමින් ඔබ වහන්සේට සේවය කරමින් හැසිරෙමි. එහෙයින් මා අතෙහි ඇඹුලුපල නිතර ම තිබේ ය"යි පිළිවදන් දුන්නේ ය.

රජ ඔහුගේ බැගෑ තෙපුල් අසා ලජ්ජිත වූයේ "සේවකයන්ගේ සුවදුක් නො දන්නා වූ රජුන්ට නින්‍දා වේවා. රජ්ජුරුවන්ට සේවකයන්ගේ අවස්ථා නො දන්වන රජ පිරිවරට ද ‌නින්‍දා වේවා!"යි සිතා සත්‍වශිලගේ බලවත් ඉල්ලීම නිසා ‌නෙල්ලිගෙඩි දෙකක් ගෙණ වළඳා දිය බී මඳක් කල් විශ්‍රාම ද ගත්තේ ය. ඉක්බිත්තෙන් සත්‍වශිල විසින් පෙන්වන ලද මගින් නුවරට ගොස් බොහෝ ධනධාන්‍යයන්ගෙන් සත්‍වශිලගේ ගෘහය පිරවී. එතෙකුදු වුවත් නෙල්ලිගෙඩි දෙකෙහි නය නො ගෙවිනැයි සිතී ය. සත්‍වශිල ද එදා පටන් රජ්ජුරුවන් සමග ම හැසිරෙන්නේ සමාන සුවදුක් ඇත්තේ සතුටින් කල් ගෙවී ය.

2

එකල්හි "ලක්දිව සිංහලනරපතීහුගේ දූකුමරියක් දෙවඟනන් පරයන රූසිරින් බබලන්නී ය"යි චණ්ඩසිංහ රජ දැනගත්තේ තමන්ගේ අගමෙහෙසුන් තනතුරට ඇය ඉල්ලා නොයෙක් පඬුරුපාක්කුඩම් ද දී සත්‍වශිලයන් ප්‍රධාන කොට ඇති දූතපිරිසක් ලක්දිවට එවී ය. ඒ පිරිස ඉටුදෙවියන් පුදා සුබමොහ‌ොතින් නැවු නැංගහ. ඔවුන් නැගි නැව අනුකූල (පක්‍ෂපාතී-තමන්ට වුවමනා දෙසට හමන) වාතයෙන් මුහුද මැද යාත්‍රා කරන්නට වන. ඔවුන් අවට ක්‍ෂිතිජය තෙක් මහදියකඳ මිස අන් කිසිවක් නො වී ය. මුහුදුගමනෙහි මුල් දින කීපය ගොඩබිම දිගේ ඈත පෙණෙන කඳුමුදුන් බලමින් වෙරල දිගට පිහිටි නොයෙක් මනහර දර්‍ශනයන් කරා නෙත් යවමින් සිත් පිණවූ පිරිසට මුහුදෙන් ම පායා බැස යන සඳ සහ තාරකාත්, තමන්ගේ මහත්කම නො සලකා නිගරු කොට තමන් මතුවෙහි යාත්‍රා කරණ නැව ගිල්වා දැමීමට තර්‍ජනය කරමින් මෙන්, මුහුද විසින් මෙහෙයන ලද්දාක් වැනි, එදෙසට පෙරළිපෙරළී එන මහරළපෙළත් මිස අන් කිසිවක් නො පෙණින. වරක් කරකැවී දියෙන් උඩ පනින මහමසෙකු හා සමහර විටෙක අසහට නැග මඳක් දුර පියාඹා මුහුදට බස්නා කුඩා මසුන් රැළක් ද පෙයාවෙන් (සුළිසුළඟින්) අහසට නඟන ලද මහකණු වැනි දියකඳන් ද දැක්ම ඔවුන්ගේ පුදුමයට කරුණු වි ය. ඔවුන්ට ඊට පෙර නුපුරුදු, නැවියන්ගේ ශපථ (දිව්රීම්) හා තර්‍ජන අධික කථාවත්, පුදුම සින්දුත් ඇසීම ප්‍රීතියට නො කරුණු නො වී ය. කරදියෙන් සෝදා මිරිදය වක්කර පිසින ලද සහලේ බත සම්බල් සමග කෑම ද අමිහිරි නො වී ය. මුල දී ඔවුන්ට මඳ මඳ අසනීප ඇති වූ නමුත් මුහුදට පුරුදු වත් වත් ම ඒ අසනීප ක්‍රමයෙන් නැති වි ය. ඔවුන්ගේ යාත්‍රාව සන්තොෂදායක විය. මෙසේ ගමන් කර කීප දිනක් ගත වූ පසු ඈත ක්‍ෂිතිජයෙහි තරුවක් වැනි යම් කිසිවක් පෙණෙන්නට වන. නියමුවා නැව් තල්ල එදෙසට ම එල්ල කොට පදවන්ට විය. ඉදිරියට ගමන් කරත් කරත් ම ඒ තරුව වැනි ද්‍රව්‍යය ටිකින් ටික මහත් වි ය. ඊට යටින් ක්‍රමයෙන් සිහින් ව උඩට නෙරාගිය හිම මෙන් සුදු වූ කොටසක් ද පෙණෙන්ට වන. මේ අන් කිසිවක් නො ව ගොඩ බිමෙහි ඈත ගස් උඩින් පෙණුනු මහ සෑයක රන්කොතින් සැරසුනු මුදුන ය. අවසන්හි, ගමනේ කෙළවර, ලක්දිව නැගෙනහිර වෙරලෙහි වූ ඉතා මනහර වරායෙක්හි දී වි ය.

ගොඩ බිමට නෙරාගිය මුහුදුබොක්කකි. මහනැව් යාත්‍රා නො කරණ නමුත්, මහගඟක් දිවයිනෙහි මැද දකුණු දෙසින් පිහිටි මහකන්දකින් පටන් ගෙණ බොහෝ ගම් නියම්ගම් පසු කර යොදුන් විස්සක් පමණ දිග මඟ ගෙවා අවුත් මේ මුහුදුබොක්කට වැදී විශ්‍රාම ගණී. ගොඩබිම සිට මුහුදෙහි බොහෝ දුරට විහිද ගිය බිම්පටි දෙකකින් හා ඒ මැද කුඩා දූපතකින් ද මේ මුහුදුබොක්කෙහි මුවදොර සෑදුනු හෙයින් මුහුදුබොක්ක බොහෝ සෙයින් රැළපතරින් වෙන් වූයේ ය. එහි සිට උතුරු දෙසට ගොඩබිම කා ගෙණ ගිය තවත් අත්තකි. එය මුහුද පසින් (පැත්තෙන්) කඳුගැටයකින් වැසුනේ වෙයි. බස්නාහිරදෙස සමතලා පොළොවෙන් සැදුනේ ය. මේ වරාය දිවයිනෙහි නැඟෙනහිර වෙරලට ස්වභාවධර්‍මය විසින් දෙනලද වටිනා තෑග්ගකි. දූතපිරිසෙහි සමුද්‍රයාත්‍රාව අවසන් වූයේ මේ වරායෙහි දී ය.

3


නැවියෝ මහහඬ නඟමින් නැංගුරම් ලූහ. රුවල් එකිනෙක ඇකිළූහ. වෙරලෙහි ගස්මතුවෙහිබලා සිටි කවුඩෝ, එබඳු හඬ නිතර අසන්ට ලැබෙන හෙයින් ඒ හඬින් බිය නො ගෙණ, නැව වෙත පියාඹා ආහ. අළුත් එලවළු පලතුරු ආදී වෙළෙඳබඩුවලින් පිරුණු ඔරුවල නැඟි වෙරලෙහි සිට ආ මිනිස්සු ගණු දෙනුව පටන් ගත්හ. නොබෝ වේලාවකින් නැවියෝ නැවෙන් ඔරුවක් මුහුදට බෑහ. දූතපිරිස ඊපිට නැගි කෙණෙහි ම එය වෙරලට ගමන් ගත. සෙසු මගීහු ද ගොඩ බටහ. රාජදූතයෝ නගරයෙහි ඉඩ පහසු ඇති මැඳුරක් කුලියට ගෙණ නැවතුනහ. ඉකිබිති ඔවුන් විසින් තමන්ගේ පැමිණීමෙහි අභිප්‍රාය නැවුතොට භාර නිලමේට දන්වන ලදි. නිලමේ ද දිවයින මැද පිහිටි අගනුවර වසන රජ්ජුරුවන්ට විදෙශරාජදූතයන්ගේ ආගමනය පැයක් ඇතුළත දී දැනගන්ට සැලැස්වී ය.

විදුලිපනිවුඩ යැවීමේ ක්‍රමයක් නො තුබුනු නමුත් පුරාතනයෝ ද ස්වදේශයේ තොරතුරු හා පණිවුඩත් ඉක්මනින් හුවමාරු කර ගත්හ. එකල්හි හැම උස් ඉඩම්වල ම සංඥාදායක (සංඥාවන් දෙන) ස්ථානයෝ වූහ. එක් එක් තැන එක් එක් කොඩිගසකි. විදෙශයකින් මිතුරුපිරිසක් පැමිණි කෙණෙහි නැව්තොට අසල පිහිටි කොඩිගසෙහි සුදු කොඩියක් ලෙලදෙන්ට පටන් ගණී. ඒ කොඩිය ගස මුදුනට පැමිණෙනු සමග ම නිතර එබන්දක් ගැණ පරීක්‍ෂාවෙන් සිටින ඊලඟ කොඩිගස භාරකාරයා ද එබඳු ම කොඩියක් ඔසොවයි. මේ ක්‍රමයෙන් පනිවුඩය නොබෝවේලාවකින් රාජධානිය කරා පැමිණෙයි. හතුරුසෙනක් ආබව දන්වන්නේ ඒ නියමිත ස්ථානයන්හි ගිනිමැළ දැල්වීමෙනි.

නැව්තොටෙහි පටන් මහත් පෙරහැරකි. ආයුධයන් ගෙන් සැරසුනු සෙබළමුළක් අසුන් පිට නැගී පළමු ව ගමන් ගත්හ. ඉක්බිති කුඩ කොඩි සේසත් අතින් ගත් සුදු ඇඳුමින් සැරසුනු මිනිස්සු ගමන් කළහ. උදාරදර්‍ශනයෙන් යුත් අධිපතිපිරිසක් විනිතහස්තීන් අරා (හික්මුනු ඇතුන් පිට නැගී) උන්හ. තූර්‍ය්‍ය වාදකයෝ ගමනට සුදුසු තාලයන් වයමින් තාලයට අඩිය තැබූහ. ඊලඟට ගායකයෝ රජ්ජුරුවන්ට හා සියදෙසටත් ආගන්තුකපිරිසටත් ආශිර්‍වාද සහිත කොට බඳනා ලද ගී ගයමින් වෘත්තයට හොබනා සේ අත්පා ආදී අඟපසඟින් රැඟුම් දක්වමින් පිළිවෙළට ගමන් කළහ. ඊලඟට චණ්ඩසිංහ රජුගේ අගනා පඬුරු ගත් අත් ඇති උදාරවෙශයෙන් සැරසුනු පිරිස ද, ඒ එක්ක ම සුදුසළු ඇඳගත් සුදු තලප්පාවෙන් හිස වෙළාගත් ශක්තිමත් මිනිසුන් විසින් උසුලාගෙණ යනුලබන රන්සිවිගෙවල්හි නැගි සත්‍වශිලයන් ප්‍රධානකොට ඇති දූතපිරිස ද වූහ. පෙරහැරෙහි පසුකොටස පාබළසෙනගින් අරක් ගන්නා ලද්දේ වි ය.

නිතර මෙ වැනි පෙරහැරවල් දැක පුරුදු වූ මඟ දෙපස පිහිටි ගම්හි වැසියන්ට මෙය එතරම් පුදුමයක් නො වූ නමුත් මහාදෙශයක සිට මහසයුර තරණය කොට කුඩා දිවයිනකට පැමිණි ඒ කුඩා පිරිසට අළුත් කුඩා රටෙහි සමෘධිය දැක්ම පුදුමයට හෙතු වි ය. පෙරහැර ගමන් ගත් මග බොහෝ සෙයින් සෘජු වි ය. තාර දමා කලු ගස්වා නො තුබුනු නමුත් වැසි කාලයේ දී මඬ විය හැකි හැම තැන් ම ගල් අතුරා සම කරණ ලද්දේ ය. දෙපස සිටුවනලද සියඹලා ගස් පෙළින් සෙවන කරණ ලද්දේ ය. පසු කළ යුතු සියලු ගඞ්ගාවන්හි ම මහගල්කණු සිටුවා, ඒ හා ගලින් ම කළ තලාන් (බල්ක) සවි කොට, ඒ මතුවෙහි ගල්ලෑලි අතුරා ශක්තිමත් ලෙස කළ පාලම් වි ය. මඟ දෙපස හිස් ඉඩමක් හෝ වල් වූ ඉඩමක් ඔවුන්ගේ දෙනෙතට හසු නො වී ය. ගව්වෙන් ගව්වෙහි දෙවෙනි මුහුදක් වැනි මහවැවකි. ඒ අතර මහ වැව් හා සම්බන්‍ධ වූ කුඩා වැව් සියගණනකි. මේ වැවුවල දියෙන් වැඩෙන ගොයමින් විසිතුරු කුඹුරු යාය ක්‍ෂිතිජය තෙක් පැතිර ගියේ ය. ගොයම්කුඹුරු අතර නිල්වන් ව පෙණෙන අඹඋයන් ය. නොහොත් පොල් වතු ය. නැතහොත් නොයෙක් පලතුරුවලින් ගැවසුනු ගෙවතු ය. අමාවක්පොහෝදිනක වලාකුළු නැති සිය දහස් ගණන් තරු ඇති පිරිසිදු අහස්තලයක් මෙන් පෙණෙන පිපුපු කපුගෙඩිවලින් යුත් කපුහේන් ආගන්තුකයන්ට ඈත දී මායාවක් වි ය. ඊට ලං ලං වත් ම තව වරක් එසේ නො රැවටෙන්නට ඉටාගත්හ. තණබිමක ලැග සිටින බැටෙළුපැටවුන් මෙන් පෙණන, පැසුණු මෙනේරි කුරක්කන් ආදී තෘණ ධාන්‍ය අතර වැතර තිබෙන, නන්පැහැයෙන් සිත්කලු, ලබු පුසුල් තියඹරා කොමඬු කැකිරි ආදී ගෙඩි ජාති දුටු කලකින් එබඳු දෙයක් නුදුටු, අමුත්තන්ගේ කටෙහි කෙළ ඉනුවේ ය. මග දෙපස සුදුහුණු ගානාලද බිත්තිවලින් හා උළු සෙවිලි කළ වහලින් ද යුත් ගෙවල් සියල්ල ම එක සේ විශාල නුවූ නමුත් පිරිසිදුකමින් එක සමාන වි ය.

සියලු ම ගෙවල් අසල ගෙයි කඩවසමට ගැළපෙන මල් වත්තක් හා පලතුරුවත්තකි. ගමින් ගමෙහි දිග පළල ඇති තණබිමකි. සියදහස්ගණන් ගවයෝ තණ කමින් නිදහසේ එහි ඇවිද්දහ. ඒ අතර ගොපලුලමයි එක් ව පන්දු ගැසූහ. ලී කෙළියහ. තවත් නොයෙක් සෙල්ලම් කළහ.

4

පිටරටින් පැමිණි දූතයෝ මඟ දෙපස විසිතුරු බලමින් ක්‍රමයෙන් බස්නාහිරදෙසට මහපෙරහරින් ගමන් කොට ඒක් පසකින් මහවැවකින් ද ඉතිරි පසින් ගොයම් කෙත්වලින් හා පලතුරුඋයන්වලිනුත් වට වූ පර්‍වතයක් වෙත පැමිණියහ. ඒ පර්‍වතය වනාහී දඹදිව සිට එහි පැමිණී උතුමෙකුගේ නමට ගෞරව කිරීමට ඒ නමින් ම හඳුන්වනු ලැබේ. පාමුල සිට මුදුන තෙක් ම ආනුභාව සම්පන්න පෙණීමෙන් යුත් මන්‍දිරාදියෙන් වැසුනේ ය. අඟල් තුදුසක් (දහහතරක්) පමණ පළලැති දික් කළුගල් ලෑලි වලින් කළ සොපාන පංක්තීන්ගෙන් හා වංගු සහිත කොට තනනලද අඩිපාරවලින් ද ගමන් පහසුව සලසන ලද්දේ ය. අතරින් පතර නිමල්සිහිල්දියෙන් පිරිපුන් පොකුණු ය. නෙළුම්, මානෙල් ආදී මල්ජාතිවලින් පොකුණු දිය ද, දෑසමන් ඉද්ද සේවන්දි (රෝස) ආදී මල්පැලෑටිවලින් පොකුණුඉවුරු ද සැදුම් ලද්දේ ය. හිස මුඩු කොට කසාවන් සිවුරු පෙරෙවි, දමනය කරණලද ඉඳුරන් ඇති මහ තෙරහු තන්හි තන්හි ධර්‍මශාලාවන්හි වැඩ හිඳ මිනිසුන්ගේ සුචරිතවර්‍ධනයට ඉවහල් වන අවවාදානුශාසනා කළහ. ඇතැම්හු ජනසඤ්චාරයෙන් තොර වූ ගල්ගුහාවලට වී අරමිණිය ගොතා වැඩහිඳ, සිරුරු කෙළින් තබාගෙණ එක් ක්‍රමයකට ආශ්‍වාසප්‍රශ්වාස කරමින්, ලෞකිකසුඛ සම්පත්තියෙහි නිසරුබව හා ජීවිතයෙහි අස්ථිරභාවයත් සලකමින්, සිත එකඟ කරගෙණ භාවනා කළහ. ඇතැම් භික්‍ෂූහු ශිෂ්‍යයන්ට භාෂාධර්‍මශාස්ත්‍ර ඉගැන්වූහ.

රජදූතපිරිස පර්‍වතයෙහි, ඇස් ඇදගන්නා ශොභාව බලමින් ඔබ මොබ ගමන් කළහ. මහතෙරුන් වහන්සේ වෙත එළඹ ධර්‍මසාකච්ඡා කළහ. පාඨශාලාවන්ට ගොස් අධ්‍යාපනක්‍රම පරීක්‍ෂා කළහ. ගුරුවරයන්ගෙන් ඒ පිළිබඳ තොරතුරු විචාළහ. එක් තැනෙක මොර, වීර ඇදී ඇටවර්‍ග රාශියක් වි ය. සත්‍වශිල ඒ දැක එහි එළඹ උගන්වමින් සිටි තරුණභික්‍ෂූණ් වහන්සේ හා කථාව පටන් ගත්තේ ය.

"ස්වාමිනි, මේ කුඩා දරුවෝ මොක ද?"

"මහතානෙනි, මේ ලමයි පැවිදි වීමට බලාපොරොත්තු වන්නො"

"මේ හැම දෙන ම?"

"නැහැ. මෙයින් වැඩි දෙනෙක්."

"අනික් අය?"

"ඔවුහු ඉගෙණීමට මෙහි පැමිණ සිටින්නො"

"මොවුන්ගේ වියදම කොහොම ද?"

"ඔවුන්ගේ මවුපියන්ගෙන්; නැත් නම් මහවාසලින්"

"කුමට ද, ස්වාමිනි, අර ඇටගොඩක්?"

"ගණන් උගන්වන්න"

සියරටෙහි දී එබඳු ඉගැන්වීමක් නුදුටු සත්‍වශිලහට භික්‍ෂූන් වහන්සේගේ පිළීතුර සතුටුදායක නො වී ය.

"ඇයි, ස්වාමිනි, ගණන් උගන්වන්ට වැලිපිලෙහි ඉලක්කම් ලිවීමෙන් බැරිදැ?"යි සත්‍වශිල තවදුරටත් ප්‍රශ්ණ කෙළේ ය. තරුණභික්‍ෂූන් වහන්සේ කරුණ පැහැදිලි කෙළේ ය. "මහතානෙනි, අපි ගණන් ඉගැන්වීමට වැලිපිලි පමණක් නො ව තල්කොළය ද පාවිච්චි කරන්නෙමු. එහෙත් ඒවා ගන්නේ ඒ ඒ අවස්ථාවට සුදුසු පරිද්දෙනි. පටන් ගැන්මෙහි දී නුවණ නො මේරූ කුඩා දරුවන්ට ඉලක්කම්වලින් ගණන් ඉගැන්වීම පහසු නො වේ. දෙකත් හතරත් කීය දැ යි කියන්ට නො හැකි දරුවා අඹගෙඩි දෙකකුත් තවත් අඹගෙඩි හතරකුත් එකට එකතු වුනා ම කීය දැයි ඇසුවොත් අඹගෙඩි හයකැයි කියන්ට දනී. එයින් පෙණෙන්නේ කුඩා දරුවන්ගේ සිත සඞ්ඛ්‍යාවන්ට වඩා සඞ්ඛෙය්‍යයන්ට (ගණන්වලින් පෙන්වනු ලබන දේවලට) ඇදෙන බවයි. ඒසේ ම ගුණ ගැණ අවබොධයක් නැති ලදරුවා ගුණවතුන් ගැණ දනී. ආදරය ගැණ හැඟීමක් ලදරුවාට නොමැති යි. එහෙත් පියා නොහොත් මවු තමාට ආදරවන්ත ය යි ඒ ලදරුවා දනියි. මෙසේ බලන කල ලදරුවන්ට ගුණයන්ට වඩා ගුණීන් (ගුණ ඇත්තන්) ගැණ අවබොධ කිරීම පහසු ය. ලදරුවන්ගේ ගතිය මෙබඳු හෙයින් අඩු කිරීම් එකතු කිරීම් ආදී ගණන් ඔවුන්ට උගන්වන්ට අපි මේ ඇට ජාති ගන්නෙමු. අකුරු උගන්වන්ට මත්තෙන් ම මෙසේ ගණන් උගන්වනබව ද කියන්ට සතුටු ඇත්තෙමු. මෙසේ ද්‍රව්‍ය පෙන්වීමෙන් සංඛ්‍යාවන් උගන්වා ඊලඟට අකුරු ලියන්ට කියන්ට උගන්වන්නෙමු. වැලිපිල ව්‍යවහාරයට ගන්නේ එකල්හි ය. තල්කොළය ගන්නේ ත්‍රෛරාශිකාදී ගණන් ඉගැන්වීමට ය."

දූතපිරිස භික්‍ෂූන්වහන්සේගේ විස්තරය අසා සන්තුෂ්ට ව, තවත් නොයෙක් තන්හි ඇවිද, ස්වභාවධර්‍මය හා මනුෂ්‍ය ඥානයෙහි බලයත් එකතු වීමෙන් ඒ කන්දෙහි පහළ ව තුබුනු විසිතුරු බැලූහ. ගෞරවාන්විත නමස්කාරයකින් පසු ඒ පුදුමකන්දෙන් නික්මුනහ. පැය කීපයක ගමනින් පසු මහපවුරකින් ආරක්‍ෂා කරණලද, වලාකුළු පැහැර සිටි මහාමන්‍දිරයන්ගෙන් හා මහාචෛත්‍යයන්ගෙන් ද ඉතා පිරි සුදු සෘජු වීථීන්ගෙන් ද ගහන වූ, නොයෙක් දෙසින් පැමිණි නොයෙක් භාෂා කථා කරණ මිනිසුන් ගැවසුනු, නැගෙනහිර දෙස හා බස්නාහිරදෙසත් එකතු කරණ මධ්‍යස්ථානය වූ, සියලු රටවල ම සාදන ලද බඩුමුට්ටුවලින් පිරුණු මහසල්පිල්වලින් සිත්කලු වූ මහානගරයකට පැමිණියහ. සිරිත් පරිදි රජමැදුරට ගොස් ඇමතිමඬුලු පිරිවරා වැඩ සිටි මහානුභාවසම්පන්න රජතුමන් දුටහ. සියරජතුමන් විසින් එවූ පඬුරු ඔප්පු කළහ. සන්‍දෙශය ද පිළිගැන්වූහ.

මෙසේ ඔහු තුමූ කීපදවසෙකින් ම තමන් ගිය කටයුතු නිමවා දිවයිනෙහි බැලිය යුතු තැන් බලා සිංහලරජහු විසින් දුන් සතුටුපඬුරු ගෙණ සිංහලරජුගේ දූතයන් ද සමග සියදෙසට එනු පිණිස නැව් නැංගහ.

5

වාතය අනුකූල වූ හෙයින් කර්‍ණධාර (කප්පිත්තා) තෙමේ ආ මගින් නො ගොස් ලං වූ මඟකින් නැව යාත්‍රා කරවී ය. සමුදුර මැදට පත් කල්හි ඒ සමුදුරෙන් ඉතා උස් වූ ද, මහත් වූ ද දඹරණින් කළ විසිතුරු පැහැ ඇති සැලෙන කොඩියක් සහිත ධ්වජයක් දුටුවන් විස්ම පත් කෙරෙමින් පහළ වී ය. එකෙණෙහි ම මහවැස්සක් වසින්ටත් තද කුණාටුවක් හමන්ටත් වන්නේ ය. ඒ සමග ම හදිසියෙන් පහළ වූ ඒ ධ්වජය නැවෙහි කුඹගසෙහි පටලැවුනේ ය. එයින් නැව පෙරළෙන්නට මෙන් පටන් ගත. ඒ දුටු බමුණෝ 'තමන් මුහුදුබත් වෙතැ'යි මරබියෙන් බෙරිසන් දෙන්ට වන්හ. වීර වූ සත්‍වශිල තෙමේ කච්චිය තර කොට ඇඳ කඩුව අතින් ගෙණ ධ්වජය දෙසට පැන්නේ ය. ධ්වජය එකෙණෙහි ම නැවෙහි කුඹගසෙන් මිදී මුහුදෙහි ගිලුනේ ය. සත්‍වශිල ද ධ්වජය අනු ව ම ගිලුනේ ය. නැව ද ධවජය හා ගැටීමෙන් වූ වේගයෙන් යම්තම් නො පෙරළී බේරුණේ ය. ධවජය අනුව ගිලුනු සත්‍වශිලතෙමේ මහත් වූ දිව්‍යනගරයකට පැමිණියේ මිණිමුවාටැඹින් බබලන රන්මුවාමැඳුරු ඇති ඒ පුරයෙහි යහපත් රුවනින් බඳිනාලද පැයගැටපෙළ ඇති පොකුණු සියගණනින් මනරම්, නොයෙක් විසිතුරු මල්පලලියතුරුපෙළින් විසිතුරු, අඹ දඹ ඈ පලරස බී මත් වූ ලිහිණිගණා විසින් නිති කුල්නාලද (නිතර හඬ නැඟූ) උයනෙක්හි කරවන ලද නන්මිණියෙන් විසිතුරු රදුබිතු (මහබිත්ති) පෙළින් යුත් උමාදෙව්රැඳුරක් දැක පිවිස උමාදේවිය වැඳ පිදී ය.

සත්‍වශිල දෙවියන් වැඳ පුදා 'මේ සිහිනයක් ද? නැතහොත් ඉන්‍ද්‍රජාලයක් දැ'යි සිතමින් සිටින අතර, ඉඳුවරන් (මහනෙල් මල්) වැනි ඇස් ඇති, සඳ වැනි මුහුණින් මනහර, සුපිපි සුදුකුසුම් බඳු සිනාවෙන් දුටුදුටුවන් සිත් ඇදගන්නා මහරිකුසුම් (මාරා මල්) සේ මොළොක් සිරුරු ඇති දෙවඟනක් තමන් වැනි ලලනාවන් දහසක් විසින් පිරිවරණ ලදු ව එහි පැමිණ දොර හැර දෙව්මැඳුරට ද සත්‍වශිලගේ සිතට ද එකවිට පිවිස දෙවියන් පුදා දෙවොලින් පිට වූ නමුත් සත්‍වශිලගේ සිතින් නම් බැහැර නො ගියා ය. සත්‍වශිල ද ඇය අනු ව ගියේ හැම සැප පුරා ලූ නිධානයක් වැනි අනික් පහයකට වනි. කාන්තාතොමෝ ද පෙරටු ව ගොස් මිණි පලඟෙක්හි හුන්නා ය. සත්‍වශිල ඇය දැක ලං වූයේ සිතියම්රුවක් මෙන් නිසල ව සිටියේ ය.

දිව්‍යකාන්තාවගේ අදහස් දත් එක් මිඩියක් (දාසියක්) එසේ හුන් සත්‍වශිලයා දැක ලං ව "මහතානෙනි, ඔබතුමා මෙහි පත් අමුත්තෙකි. එහෙයින් අපගේ ස්වාමිදුව විසින් කරණු ලබන ආගන්තුකසත්කාර විඳිනු මැනව. මා සමග එනු මැනව. පළමු කොට දිය නා වළඳනු මැනැවැ"යි කියා ඔහු කැඳවා ගෙණ එක් ගෙදිගුවිලක් (ගේ අසල කරණ ලද දික් පොකුණක්) වෙත ගොස් එහි බැස නාන්ට කීවා. සත්‍වශිල ද විමසුම් නැති ව එහි බැස්සේ ය. බට කෙණෙහි ම තාම්‍රලිප්තිනගරයෙහි චණ්ඩසිංහ රජුගේ උයනෙහි වැව මැදින් මතු වි ය! එහි හදිසියෙන් පැමිණි තමා දැක විස්ම පත් වූයේ "මේ කිමෙක් ද? මොහොතකට පළමු ව මා සිටි උයන කොහි ද? ඒ දෙවඟනගේ අමාරස වැනි දැකුම කොහි ද? ක්‍ෂණයකින් ම ඇගෙන් වෙන් වීම නමැති මේ මහාවිෂ කෙසේ වී ද? මෙය ස්වප්නයක් නො වේ. මම අවදි ව ම සිටියෙමි. එකැතින් (ඒකාන්තයෙන්) ඒ මිඩිය විසින් මම රවටන ලද්දෙමි. මූඪ වූයෙමි"යි සිතමින් ඒ දෙවඟන නැති දුකින්, උමතු වූවෙකු මෙන්, වැලපෙමින් එ උයනෙහි ඔබ මොබ ඇවිද්දේ ය.

වියෝදුක් ගිනිදැල් වැනි රන්වන්මල්රේණුයෙන් වැසුනු ගතැති ඔහු දැක උයන්පල්තෙමේ ගොස් රජුහට සැළ කෙළේය. රජ, තෙමේ ම අවුත් විචාරා සියලු තොරතුරු දැන "මෙතෙම මපින්බෙලෙන් අනඞ්ගගයා විසින් විඩම්බනය (විහිළු) කරණ ලද්දේ ය. මොහුට වූ නය ගෙවන්ට සුදුසු අවස්ථාවක් පැමිණියේ ය"යි සතුටු ව "යහළුව, ශොක නො කරව. මම නුඹ ඒ මගින් ම එහි පමුණුවා ඒ අසුරඟන ලබා දෙන්නෙමි"යි කියා ඔහු සැනසී ය.

එක් දිනෙක්හි රජතෙමේ රාජ්‍යය ඇමතියන්ට භාර කොට සත්‍වශිලත් සමග නැවු නැග ඔහු කී මගින් මුහුදෙහි යන්නේ මුහුද මැද පැන නැගි ධ්වජය දැක්කේ ය. සත්‍වශිල ද එය බලා "දෙවයන් වහන්ස, ම විසින් පෙර දක්නා ලද්දේ ද මේ ධ්වජය මැ යි. මා එය අනු ව ගිලුනුකල්හි දෙවයන් වහන්සේ ද ධ්වජය අනුව දියෙහි ගිලිය යුතු"යි කියා මුහුදට පැන්නේ ය. රජ ද ඒ සමග ම මුහුදට පැන්නේ ය.

මුහුදුදියෙහි ගිලුනු ඒ දෙදෙන දිව්‍යමය පුරයට පැමිණියහ. එය දැක විස්මයප්‍රාප්ත රජතෙමේ උමාදෙව්මැඳුරට ගොස් උමාව වැඳ සත්‍වශිල හා එක් පසෙක්හි හිඳ ‌ගත. එකෙණෙහි පෙර සත්‍වශිල විසින් දුටු කාන්තාව පිරිවර සහිත ව දෙව්පුද පිණිස එහි පැමිණියා රජ සහ සත්‍වශිල ද දුටුවා. සත්‍වශිල සතුටින් කුල්මත් වූයේ "දෙවයන් වහන්ස, අර අඟනන් මැද බබලන කාන්තාරත්නය ගැණයි සැළ කෙළේ. මගේ සිත සොරා ගත්තේ ඒ කාන්තාව විසිනුයි. ඇය නැති ව ජීවත් වීමෙහි ඵලය කුමක් දැ?"යි කියමින් ඇය රජුට පෙන්වී ය. රජ ඇය දැක 'මේ කාන්තාව කෙරෙහි ‌මොහුගේ ආලය අයුක්ත නො වේ ය'යි සිතී. ඕතොමෝ ද දිව්‍යලක්‍ෂණ සමන්විත රජහු දැක "මේ උත්තමපුරුෂයා කවරෙක් ද? කවර හෙයින් මෙහි පැමිණියේ දැ"යි සිතූ. රජතෙමේ ද ඇය ගැණ නො සැලකූවෙකු මෙන් ඈ කෙරෙහි අවඥාව (පහත් කොට සැලකීම) පෙන්වමින් සත්‍වශිල සමග උයනට ගියේ ය. ඒ කාන්තාව දෙවොලින් නිකුත් ව එක් යෙහෙළියක අමතා "අප මෙහි එද්දී සිටි මහාත්මයා කොහි ද? නුඹ විසින් එතුමා සොයා අපගේ මැදුරට පැමිණ ආගන්තුක සත්කාර විඳින්නට ආරාධනා කළ යුතුයි. එතුමා පිදිය යුතු ශ්‍රෙෂ්ඨයෙකැ"යි කියා පිටත් කළා ය.

6

ඕතොමෝ ද රජු වෙත ගියා. කාන්තාවගේ පනිවුඩය දැන්වූවා. රජ එය අසා ආරාධනය නො පිළිගත් බව පෙන්වමින් "සොඳුර, වචනයෙන් ම අතිථිසත්කාරය කරණ ලදි. අපට අන් කිසිවක් නුවුව මනා ය"යි කී ය. දූතිය ගොස් ස්වාමිදුවට රජුගේ වචන සැළ කළා. ඕතොමෝ 'අසාමාන්‍ය වූ කිසි යම් උදාර පුරුෂයෙකැ'යි සිතා, මිනිසෙකු විසින් නො ලැබිය හැකි වූ ද සත්කාර විඳීමෙහි ආසා නැති ඒ රජුගේ ධෛර්‍ය්‍යපාශයෙන් ආකර්‍ෂණය කරණු ලබන්නී තොමෝ ම උයනට අවුත්, සියමැඳුරට පැමිණ සංග්‍රහ විඳින ලෙස අවිටිලිබස් කියූ.

රජතෙමේ ඇගේ ඇරයුම නො පිළිගත් ලෙසක් දක්වමින්, "භද්‍රාව, (යහපත් ස්ත්‍රිය) මම තොපගේ අතිථිසත්කාර විඳින්නට මෙහි නො පැමිණියෙමි. මගේ මේ මිත්‍රයා විසින් කියන ලද උමාරුව දැක වඳිනු පිණිස මුහුද මැද ධ්වජමාර්‍ගයෙන් මෙහි පැමිණියෙමි. එහෙයින් නුඹ ද දිටිමි"යි කී ය.

කාන්තාතොමෝ එය අසා "එසේ නම්, මේ තාක් ඔබ නුදුටු ඉතා ආශ්චර්‍ය්‍ය වූ මාගේ පුරය බලන්නට එනු මැන වැ"යි ඇරයූ. රජ ද එය අසා සිනාසී "ඔව්! 'නහන වැව!' තිබෙන ඒ නුවර ගැණ ද මාගේ මේ යහළුවා මට කීයේ ය"යි කී ය. "දෙවයන් වහන්ස, එසේ නො කියනු මැනව. මම විහිළු කරණසුලු අඟනක් නො වෙමි. පිදිය යුත්තන්ට කවරෙක් විඩම්බනා (විහිළු) කෙරේ ද? මම වනාහි වෙසෙසින් ඔබ ගේ අධිකධෛර්‍ය්‍යය විසින් දැස්සක් කරණ ලදිමි. දැන් ඔබගේ මිඩියක වූ මාගේ පැතුම නො බිඳිනු මැනැවැ"යි ඕතොමෝ ඇවිටිලිබස් කීවා.

රජ එබස් අසා සත්‍වශිල හා ඇය ද සමග මැඳුරට ගොස් ශක්‍රපුරයට විඩම්බනා කරමින් මෙන් තුබුනු ඒ මනහර පුරයෙහි සිරි බැලී ය. ඒ අඞ්ගනා තොමෝ එහි දී රජතුමා රුවන් පලඟෙක්හි වඩා හිඳුවා දෙවොචිත (දෙවියන්ට සුදුසු) සත්කාරයෙන් රජහු පිණවා "මහපිණැත්ත, මම වනාහි කාලනෙමි නම් අසුර රජුගේ දුවකිමි. මගේ පියතෙමේ විෂ්ණුහු විසින් සුරලොවට ගන්නා ලදි. (යුද්ධයෙන් මිය යන අය සුරලොව උපදින බවට ඇති විශ්වාසය ගැන මෙතැන සඳහන් වේ. එහි තේරුම, කාලනෙමි අසුරයා විෂ්ණූ විසින් යුද්ධයක දී මරන ලද බව ය.) ම‌ගේ පියාට අයත් මේ දෙනුවර විස්සම්හු විසින් නිමවන ලදි. හැම සැපත් ඇති මෙහි ජරාවෙහි නමකුදු නැත. මරණය දුලබ ය. දැන් ඔබතුමා මාගේ පියා සේ සලකමි. එහෙයින් මෙහි යෙහෙන් වැස සැප විඳිනු මැනව. මා ද ආරක්‍ෂා කර ගණු මැනවැ"යි කියූ.


"මම ද නුඹ දුවක ලෙස පිළිගණිමි. පියාගේ අවවාදයෙහි සිටීම දරුවන්ගේ යුතුකමකි. එහෙයින් දැන් මා කියන්නක් කළ යුතු ය. මේ සත්‍වශිල මගේ සුහෘදයෙකි. (යහළුවෙකි) නෑයෙකි. අසාමාන්‍යවීරයෙකි. ඔහුට මගේ දුව වූ නුඹ භාර්‍ය්‍යාව කොට දෙමි. ඔහු සමග යෙහෙන් මෙහි වැස සැප විඳුව"යි කියා රජතෙමේ අසුරාඞ්ගනාව සත්‍වශිලහට පාවා දුන්නේ ය. කාන්තාතොමෝ ද සත්‍වශිල උමාදෙවියගේ ප්‍රසාදයෙන් ලද වල්ලභයා යි සිතා ආදරගෞරවයෙන් පිළිගත්තා ය.

රජ සත්‍වශිල අමතා "යහළුව, මවිසින් වැළඳූ නුඹගේ ඇඹුලුගෙඩි දෙකින් එකක නය දැන් ගෙවන ලදි. අනික් ගෙඩිය පිළිබඳ නය තව මත් නො ගෙවන ලදි. සුදුසු අවස්ථාවෙක්හි එය ද ගෙවන්නට උත්සාහ කරන්නෙමි"යි කියා අවිලම්බ ව (පරක්කු නො වී) සිය දෙස යායුතු බව ද දැන්වී ය. අසුර කාන්තාව මාහැඟි පුද පඬුරු රජුහට පිළීගැන්වූ. රජතෙමේ ඔවුන් දැක්වූ මගින් මිනිස්ලොවට පැමිණ බොහෝ කලක් යෙහෙන් රාජ්‍යය කෙළේ ය.

වෙතාලයා මේ කථාව කියා, "රජතුමනි, ඔවුන් දෙදෙනා අතුරෙන් කවරෙක් සමුද්‍රපතනයෙහි (මුහුදට පැනීමෙහි) දී අධිකවීර්‍ය්‍ය ඇත්තේ වී ද? නො වළහා කියව. නැත් නම් පෙර කළ ශාපය ම වන්නේ ය"යි කී ය.

Saturday, December 16, 2023

 වෙතාල කථා - 6 තරඞ්ගය

5. තරඞ්ගය

"දෙවජාති ඇත්ත, ඒ සියල්ලන් අතුරෙන් ශුද්‍රකරජ තෙමේ ම ශ්‍රෙෂ්‍ඨවීරයා ය"යි රජ පිළිවදන් දින.

"නරපතිය, ලෝකයෙහි අන් කිසිවකු විසිනුදු නො කට හැකි දුෂ්කරක්‍රියාවක් කළ ඒ වීරවරයා කෙසේ නම් වීරශ්‍රෙෂ්ඨ නො වන්නේ ද? සියදූපුතුන් බිලි දෙනු ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැක ද ධෛර්‍ය්‍යයෙන් නො ගිලිහුනු ඒ ධර්‍මවතිය කවර හෙයින් වීරශ්‍රෙෂ්ඨ නො වන්නී ද? බාලවියෙහි සිටිය ද එබඳු අධිකධෛර්‍ය්‍ය ඇති ඒ සත්‍යවරයා කවර හෙයින් වීරශ්‍රෙෂ්ඨ නො වන්නේ ද? එසේ තිබිය දී ඒ එක ම ශුද්‍රකරජ ප්‍රවර ය යි කවර හෙයින් කියයි දැ?"යි වේතාලයා නැවත ද ප්‍රශ්න කෙළේ ය.

"යක්‍ෂෙශවරය, වීරවර, ධර්‍මවතී, සත්‍යවර යන තිදෙනා වීරශ්‍රෙෂ්ඨ නො වෙතැයි මම නො කියමි. ඔහු ද වීරශ්‍රෙෂ්ඨයෝ ය. එහෙත් ශුද්‍රකරජ ඒ තිදෙනාට ම වඩා වීරශ්‍රෙෂ්ඨයා යයි කියමි. කවර හෙයින් ද යත්:- කුලපුත්‍ර වූ ඒ වීරවරයා ශුද්‍රකරජ වැනි නො වේ. ඔහුට අයත් හැම දෙය ම වියදම් කොට හිමියා රැක ගැන්ම ඔහුගේ යුතුකමකි. ඔහුගේ භාර්‍ය්‍යාව වූ ධර්‍මවතී ද හිමියා ගත් මග ගත්තී ධර්‍මය ම රැක්කා ය. ඒ දෙදෙනාගෙන් උපන් සත්‍යවර තෙමේ ද එබඳු ම ය. හූ (නූල්) යම්බඳු ද, එයින් වියූ පිළිය ද එබඳු ය. රජුවිසින් යම්බඳු මෙහෙකරුවන්ගේ දිවි පුදා සිය දිවි රකිනු ලැබේ ද, එබඳු මෙහෙකරුවන් උදෙසා දිවි පිදූ ශුද්‍රක රජ කෙසේ නම් ඒ මෙහෙකරු වූ වීරවරයන්ට වඩා ශ්‍රෙෂ්ඨවීරයෙක් නො වන්නේ ද?"

රජුගේ බස් අසා වේතාලතෙම පෙර මෙන් ම අතුරුදන් වී ය.

6. තරඞ්ගය

1

රජ තෙමේ ශිංශපා (ඇට්ටේරිය) වෘක්‍ෂමූලයට ගොස් පෙර සේ එල්බෙමින් තිබුණු මළසිරුර බා ගෙණ එන්නට වන. වේතාල තෙමේ ද අනික් කථාවක් ආරම්භ කෙළේ ය.

සොමප්‍රභාකථාව

උදේනි නුවර පුණ්‍යසේන නම් රජුගේ හරිස්වාමි නම් ඇමැතියෙක් වී ය. ඔහුට දෙවස්වාමි නම් පුතෙක් ද සොමප්‍රභා නම් දුවක් දැ යි දරු දෙදෙනෙක් වූහ. වැඩිවිය පත් දූ තොමෝ රූපශ්‍රීයෙන් ද අගතැන් පැමිණියා ය. ස්ත්‍රීන් විසින් දතයුතු සියලු ශිල්ප ශාස්ත්‍ර උගත්තා ය. සියලු ස්ත්‍රී ගුණයන්ගෙන් යුක්ත වූවා. නොයෙක්දෙසින් බොහෝ දෙන ඇය සරණ අසා මඟුල්කපුවන් එවූහ. ඕතොමෝ ඒ සියල්ල ප්‍රතික්‍ෂෙප කොට ස්වකීය නිශ්චය මවට දැන්වූ: "මෑනියෙනි, මම ශූරයෙකු හෝ ඥානියෙකු (ජ්‍යොතිශ්ශාසත්‍රඥයෙකු) නැතහොත් විඥානියෙකු (වඩුවැඩ ආදී ශිල්පයන්හි දක්‍ෂයෙකු) කැමැති වෙමි. එබන්දෙකුට මා විවාහ කොට දිය යුතුය. නො එසේ වූවෙකුට දුන හොත් මම මැරෙන්නෙමි"යි කීවා ය. මවුතොමෝ දුවගේ අභිප්‍රාය සියහිමියාට හා පුතුට ද දැන්වූවා.

එක්දිනෙක්හි හරිස්වාමීහු වෙත තරුණ බමුණෙක් එළඹ මෙසේ කී ය:- "මම ඔබ දුවගේ රූපසෞන්‍දර්‍ය්‍යය අසා ඇය ලබාගණු පිණිස පැමිණියෙමි. මම ඔබගේ කුලයට සුදුසු උතුම් බමුණුකුලයෙක්හි උපන්මි. ධනවත්මි. මට නැත්තේ ගුණවත් බිරින්දක පමණයි,"

"පින්වත් තරුණය, මාගේ දුව ඥානි. විඥානි, ශූරයන් මිස අන් කෙනෙකුන් නො පතයි. ඔවුන් අතුරෙන් පින්වතා කවරෙක් දැ?"යි හරිස්වාමි විචාළේ ය.

"මම විඥානියෙක්මි. මා සමාන විඥානියෙක් අන් තැනෙක නැත්තේ ය"යි තරුණයාගේ පිළිතුර වී ය.

"එසේ නම්, භවත්හුගේ විඥානය දක්වනු මැනවැ"යි හරිස්වාමි නියම කෙළේ ය.

තරුණතෙමේ කීප දිනකින් ගගනයාත්‍රාවක් සාදා හරිස්වාමි එහි නංවා ගෙණ අහසට නැංගේ ලෝකයෙහි නොයෙක් තැන ගොස් රමණීයස්ථාන පෙන්වී ය. එයින් තුටු වූ හරිස්වාමිතෙමේ ඔහුට එයින් සත්වැනි දිනයෙහි සියදුව දෙන්නට ගිවිස්සේ ය.

මේ ගිවිසුම කළ දිනයෙහි ම, එය දැනගන්නට මත්තෙන් එක් තරුණයෙක් තරුණියගේ සොහොයුරා වෙත ද, තව එකෙක් මව වෙත ද අවුත් තරුණිය ප්‍රාර්‍ත්‍ථනා කළහ. හරිස්වාමි මෙන් ම ඔහුගේ පුතා ද තමන් වෙත ආ තරුණයාගෙන් හෙතෙම ශූරාදීන් අතුරෙන් කවරෙක්දැ'යි විචාළේ ය. හෙතෙම "මම ශූරයෙක්මි"යි පිළිණ (ප්‍රතිඥා , පිළිගැණීම) කොට අන්කෙනෙකුන් විසින් නො දත් බොහෝ අවිසරඹ දක්වා දෙවස්වාමි සතුටු කෙළේ ය. දෙවස්වාමි ද එයින් සත්වැනි දිනයෙහි සිය සොහොයුරිය ඔහුට දෙන්නට ප්‍රතිඥා කෙළේ ය.

මව වෙත පැමිණි තරුණ තෙමේ ද, 'ශූරාදීන් අතුරෙන් කවරෙක් දැ'යි විචාරණලද්දේ 'ඥානියෙක්මි'යි කී ය. නැණැති ඒ මවු තොමෝ ද ඔහු අතින් අතීතානාගතකාලයන් පිළිබඳ බොහෝ කරුණු ගැණ ප්‍රශ්න විචාළා ය. සුදුසු පිළිතුරු ද ලැබුවා ය. ඕතොමෝ ඒ තරුණයා ශ්‍රෙෂ්ඨ වූ ඥානියෙකැ යි නිශ්චය කළා ය. එයින් සත්වැනි දිනයෙහි සිය හිමියා හා පුතාත් ගෙට ආ කල්හි සියදුව ඔහුට දෙන්නට ගිවිස්සා ය.

සත්වැනි දිනයෙහි සියල්ලෝ හරිස්වාමිහුගේ ගෙට රැස් වූහ. මවුපියපුත්හු තමන් විසින් වෙන වෙන ම කළ ගිවිසුම් ඔවුනොවුන්ට කීහ. එක ම තරුණිය සඳහා තුන්දෙනා වරයන් තිදෙනෙකුන් කැඳවීමෙන් හරිස්වාමි තෙමේ බෙහෙවින් ව්‍යාකූල වූයේ ය. 'කුමක් කට යුතු දැ?'යි නිශ්චය කළ නො හැකි වී ය.

2

අහෝ, පුදුමයකි! එකල්හි ම ඒ සොමප්‍රභාතොමෝ පෙණෙන්ට නො සිටියා ය. සියල්ලෝ ව්‍යාකූල වූහ. එහෙත් ඥානිතෙමේ ශ්‍රාස්ත්‍ර බලන්ට පටන් ගත. කාන්තාව රකුසෙකු විසින් පැහැර ගෙණ ගොස් වින්‍ධ්‍යවනයෙහි සඟවන ලද බව ඔහුගේ ශාස්ත්‍රයෙන් දත හැකි වි ය. එ තෙමේ ඒ බව අන්‍යයන්ට ද කී ය. විඥානිතෙමේ එකෙණෙහි ම ගගනයාත්‍රාවක් සාදා ඥානියා හා ශූරයාත් කැටි ව වින්‍ධ්‍යවනයෙහි කාන්තාව සඟවනලද තැනට ගියේ ය.


ගල්ලෙන දොරකඩ රකුසා එක් අතකින් මහයගදාවක් ගෙණ අනෙක් අතින් දැළිරැවුලු ඇද ඇද සියලු ම සිරුරින් විසුළු දක්වමින් රැකවල් ගෙණ සිටියේ ය. අඳුන්කුළක් වැනි උස්ගතින් හා මල බැඳුනු යකඩකෙඳි වැනි කෙසින් වැසුනු හිසින් ද, දැලි බැඳුනු මහකොරහක් පමණැති රුදුරු මුහුණ මතුයෙහි පිහිටි කප්කෙළ රිවිමඬුලු (කල්පාන්තයෙහි සූර්‍ය්‍ය මණ්ඩල) දෙකක් වැනි රතැස්යුවලින් හා දික් වුව ද මිටි වූ, මැදින් බුන් නඟුලිසක් වැනි, නැහැයෙන් ද, පුරදියවක් හි ලසඳයුවලක් (පුරපක්‍ෂයෙහි (මාසේපෝය ගිය) දෙවෙනි දින අළුත් සඳවල් දෙකක්) වැනි නැමි දළයුවලින් ද, ඌරුකරක් වැනි කරින් හා සිරුරුබර දැරිය නො හැකිව මෙන් පෙරට නැමීගිය දන යුවලින් ද බිහිසුණු රකුසා ඔවුන් දැක කිපී ඔවුන් හා සටනට පැමිණියේ ය. ශූරතෙමේ දිවි නො තකා ඔහු හා යුදට වැද ඔහු මරා තරුණිය නිදහස් කර ගෙණ ඇයත් සමග ගගන යාත්‍රාවෙන් ම තරුණියගේ ගෘහයට පැමිණියේ ය. එහි දී ඒ තිදෙනා අතර තරුණිය උදෙසා වාක්සංග්‍රාමයක් වී ය.

"මම මගේ ශාස්ත්‍රබලයෙන් මැය සිටිතැන දැන නො කීයෙම් නම්, කිසිවෙක් මෑ ලබා ගැණීමෙහි සමත්‍ථර්‍ නො වේ. එහෙයින් මට ම මේ කාන්තාව අයිතිය"යි ඥානිතෙමේ කී ය.

විඥානිතෙමේ "මම ගගනයාත්‍රාව නො නිමවූයෙම් නම්, තෙපි ඒ දුර්‍ගස්ථානයට එතරම් ශීඝ්‍ර ව කෙසේ යන්නහු ද? අහසෙහි සිට යුද කළ ඒ රකුසා සමග ශූරතෙමේ කෙසේ නම් යුද කරන්නේ ද? මගේ යාත්‍රාව නිසා ම ඒ සියල්ල පහසු වී ය. එහෙයින් කාන්තාවගේ ස්වාමිභාවයට මම ම සුදුසුසෙමි"යි කී ය.

"මම ඒ රකුසා යුද කොට නො මැරීම් නම්, තෙපි දෙදෙන කොතරම් යත්න කළත් මේ කාන්තාව නො ලබන්නහු ය. මාගේ බාහුබලය නිසා ම කාන්තාව ලදිමු. එහෙයින් කාන්තාව මට ම දිය යුතු ය"යි ශූරතෙමේ කී ය.

"රජතුමනි, ඒ තිදෙනාගෙන් කවරෙකුට ඒ කාන්තාව දිය යුතු ද? පෙර මවිසින් කළ ශාපය ද සිහි කරව"යි වේතාලතෙමේ තූෂ්ණීම්භූත ව ගමන් කළ රජුහට කී ය.

Saturday, December 9, 2023

පුදුම පහුරු ගමන

ලොකු නැවකින් තරණය කළ යුතු මහා සාගරයක් ‘බල්සා’ කඳන්වලින් තැනූ පහුරකින් තරණය කළායයි යමෙකු ඔබට කීවොත් ඔබ පුදුම වනු ඇත.

යුරෝපීයයෝ ශාන්තිකර සාගර තරණයේදී ලෝකයේ අනෙක් ගොඩබිම්වලට බොහෝ ඈතින් පිහිටියාවූ ද, එකිනෙකින් ඈත්වූ ද කුඩා දූපත් හා පැතලි හිරිගල් පර සමූහයක් සොයා ගත්හ. මේ මහ සයුර මැද දූපත් ඇතැයි ඔවුහු නොසිතූහ. මේ දූපත් ජනාවාස ව ඇතැයි ඔවුහු කිසිසේත් ම බලාපොරොත්තු නොවූහ. හැඩ රුව ඇති, උස මනුෂ්‍ය වර්ගයක් මේ දූපත්වල වාසය කළහ. හැම දූපතක ම ගම්බිම් හා පැල්පත් ද, වගා කරන ලද කෙත්වතු හා පූජනීය ස්‍ථාන ද තිබිණ. සමහර දූපතක පිරමීඩ ද, ගල් අතුළ මංමාවත් ද, සිවු මහල් ගෙයක් තරම් උස ගල් පිළිම ද විය. මේ අද්භූත දර්ශනය තේරුම් ගැනීමට යුරෝපීයයෝ අපොහොසත් වූහ.

විශේෂඥයෝ නොයෙක් මත පළ කළහ. අන්‍ය විශාරදයෝ මේ මත නිෂ්ප්‍රභ කළහ. මේ දූපත් වාසීන් කිනම් රටකින් පැමිණි අය ද කියා ඔවුන්ට තීරණය කළ නොහැකි විය. විද්‍යාඥයන්ට මේ ප්‍රහේලිකාව විසඳා ගත නොහැකි වූ විට විද්‍යාඥයන් නොවන අය වෙනත් මත පළ කළෝය. එක සමාන නටබුන් තිබුණු සියලු ම දූපත් ඉතා ඈත කාලයකදී දකුණු අමෙරිකාව වැනි මහා ද්වීපයකට ගොඩ බිමකින් සම්බන්ධ ව තිබෙන්ට ඇතැයි ඇතැමෙක් කීහ. භූවිද්‍යාඥයෝ මේ අදහස නොපිළිගත්හ. මේ දිවයින්වල ක්ෂුද්‍ර ජීවීන්, ගොලුබෙල්ලන් වැනි සතුන් ගැන හදාළ සත්ව විද්‍යාඥයෝ මේ දිවයින් එකිනෙකින් ද, අවට මහාද්වීපයන්ගෙන් ද, මිනිස් ඉතිහාසයේ ආරම්භයේ සිට ම සම්පූර්ණයෙන් ම වෙන් ව තිබුණු බව ඔප්පු කළහ.

නොයෙක් දෙනා පළ කළ මනඃකල්පිත මතාන්තර ද විද්‍යාඥයන්ගේ සියලු මත ද සලකා බැලූ නෝර්වීජියානු ජාතික මානව විද්‍යාඥයෙකු වූ තෝර්හෙයර්ඩාල් මේ දිවයින්වල වැසියන් පෙර කවර අවස්ථාවකදී හෝ දකුණු අමෙරිකාවේ සිට මෙහි පැමිණෙන්නට ඇතැයි අදහසක් පළ කෙළේය.

ඒ අදහස පහළ වූයේ මෙසේය. ඔහුට ඇහුම් කන් දෙමු.


“වෙනත් බොහෝ දිනවල මෙන් හඳපානේ මුහුදට මුහුණ ලා අපි වෙරළේ ඉඳ ගතිමු. විශාල රළ පෙළ මුහුදෙන් නැගී අවුත් වෙරළේ ගල්පරවල හැපී බිඳෙන ඝෝෂාව සියලු ශබ්ද මැඩගෙන නැගිණි.

“හරි පුදුමයි නේ, මේ වගේ රළ දූපතේ අනිත් පැත්තේ කවදාවත් නැහැ.” මගේ බිරිඳ කීවාය.

“මේ සුළං මූණත නේ, ඒක නෙ හැමදා ම රළ මේ පැත්තෙන් ගහන්නේ” මම කීමි.

තෝර් සහ ඔහුගේ බිරිඳ ලිව්

මුහුදු රළ පෙළ දිගට ම පෙරළී ආවේ නැගෙනහිරින් ය. මුහුද මතුපිට කැළඹුණේ මේ සදාතන නැගෙනහිර වෙළඳ සුළඟිනි. නැගෙනහිර ක්ෂිතිජයේ සිට මේ දෙසට මුහුදු රළ පෙළ පෙරළීගෙන ආවේය. නොනැවතී ඉදිරියට ආ රළ පෙළ වෙරළේ ගල්කුළුවල හා හිරිගල් පරවල හැපී බිඳිණි. සුළඟ වෙරළින් ද, වන හිසින් ද, කඳු මුදුනින් ද, ඉහළට නැග බාධා නොමැති ව බටහිර දෙස දූපත් හරහා හමා ගියේය. ඈත නැගෙනහිර ක්ෂිතිජයෙන් නැග ආ සුළඟ හා මුහුදු රළ, කාලයාගේ ආරම්භයේ පටන් නැගෙනහිර සිට බටහිරට ආවේය.

නැගෙනහිර දෙස, දකුණු අමෙරිකාව පිහිටි බව අපි දැන සිටියෙමු. ඒ සැතපුම් 4,300ක් ඔබ්බෙනි. එතෙක් දුර සාගරය විනා අන් කිසිවක් නොවීය.

ඉදිරියේ සිටි මහල්ලාට අපි කන් දීගෙන සිටියෙමු.

“ටිකී දෙවියෙක් වාගේ ම නායකයෙක්. අද අපි ඉන්න මේ දූපත්වලට අපේ මුතුන් මිත්තන් එක්කරං ආවෙ ටිකී. ඊට ඉස්සර අපි හිටියෙ මූදෙං එතර ලොකු රටක.” යනුවෙන් මහල්ලා ඔහුගේ කතාව කියාගෙන ගියේය.

අපි වාඩි වී සිටි මාර්තියස් කොදෙව් වැලේ පාතිහිවා දූපතේ නැගෙනහිර වෙරළේ විසූ ගෝත්‍රිකයන්ගෙන් ඉතිරි ව සිටි අයගෙන් මේ මහලු ටෙයිටෙටුවා ද කෙනෙකි. පොලිනීෂීයානුවරුන් විසින් සූර්යයාගේ පුත්‍රයා ලෙස සැලකුණු ශ්‍රේෂ්ඨ නායක දෙවියා වූ ටිකී ගැන තම පියාත්, ඊට පෙර තම පියාගේ පියාත් කියූ කථා තවමත් විශ්වාස කරන්නා වූ ද, ඒවා බොහොමයක් මතකයෙහි රඳවාගෙන සිටින්නා වූ ද අය අතුරෙන් ටෙටුවා ද කෙනෙකි.

අප එදින නිදන්නට පැල්පතට රිංගා ගත් විට මේ දූපත් වාසීන්ගේ මුල් බිම හා ටිකී පිළිබඳ මහලු ටෙයිටෙටුවාගේ කතාන්තරය මගේ සිතේ රැව් දෙන්නට විය. මට නින්ද ගියේ නැත. මම බිරිඳ ඇමතීමි. 

“මේ අහන්නකෝ, අර වනාන්තරේ තියෙන ටිකීගෙ ලොකු ගල් රූප අපි දකුණු අමෙරිකාවේදී දැක්ක ගල් ටැම් වගේ නේ ද?” මගේ සිතිවිල්ල අනුමත කරන්නාක් මෙන් මුහුද හඬ නංවනු මට ඇසිණ. ටිකෙන් ටික මට නින්ද ගියේය.



පාතිහිවා දූපතේදී දුටු දෙයින් හා මහලු ටෙයි ටෙටුවාගේ කතාව ඇසීමෙන් පහළ වූ අදහස ඔස්සේ වැඩිදුර කරුණු සෙවීමට හෙයර්ඩාල් දකුණු අමෙරිකාවට ගියේය. පොලිනීෂීයානු ගෝත්‍රිකයන්ගේ දෙවියා වූ ටිකී පිළිබඳ ඉන්කාවරුන්ගේ ප්‍රවාද පීරු රටේදී ඔහුට අසන්නට ලැබිණ.

ඉන්කාවරුන් අතර ප්‍රචාරය වී තිබී කටින් කට ආ ජනප්‍රවාදයක් මෙසේය:

“ඉන්කාවරුන් පීරු රට ආක්‍රමණය කරන අවධියේ ටිටිකාකා විල බඩ දියුණු ශිෂ්ටාචාරයක නටබුන් ඉතිරි කර අතුරුදහන් වූ සුදු මිනිසුන්ගේ ප්‍රධාන පූජකයා ‘විරකෝචා’ නමැත්තෙකි. කොකියුම්බා නිම්නයේ සිට පැමිණි කාරි නමැත්තෙක් විරකෝචාගේ ගෝත්‍රිකයන්ට පහර දුන්නේය. මේ සටන වූයේ ටිටිකාකා විල් මැද දූපතකය. මේ සටනින් දිගු රැවුල් ඇති සුදු මිනිස්සු වැඩි දෙනා ඝාතනයට ගොදුරු වූහ. නායක විරකෝචා සහ ඔහුගේ කුලුපග මිත්‍රයෝ අතලොස්සක් මරණයෙන් ගැළවී ශාන්තිකර වෙරළට ආහ. ඊට පසු ඔවුහු අභිරහස් ලෙස අතුරුදහන් වූහ.”

විරකෝචා යනු ඉන්කාවරුන් විසින් දෙන ලද නමක් බව හෙයර්ඩාල්ට පැහැදිලි විය. මොහු ආදී ම කාලවල වැඩි වශයෙන් හැඳින් වුණේ සූර්යටිකි යන අරුත් ඇති කොන්ටිකි හෝ අග්නිටිකි යන අරුත් ඇති ඉලාටිකි යනුවෙනි. පීරු රටෙන් ලබා ගත් තොරතුරු අනුව ද අවුරුදු දහයකට පෙර පාතිහිවා දූපතේ දී ලබා ගත් තොරතුරු අනුව ද ටෙයිටෙටුවා සඳහන් කළ ටිකී සහ පීරු ප්‍රවාදයේ විරකෝචා නැත්නම් කොන්ටිකි එක් අයෙක් ම යයි හෙයර්ඩාල් නිගමනය කළේය.

ස්ථිර ව මේ නිගමනයට බැස ගත් හෙයර්ඩාල්, කොන්ටිකි යන්නට ඇතැයි සිතූ පරිදි බල්සා ලීයෙන් පහුරක් තනා තම මිත්‍රයන් ද කැටුව ශාන්තිකරය තරණය කළේය. නැගෙනහිර වෙළඳ සුළ‌ඟේ ආධාරයෙන් ඔවුහු පොලිනීෂියානු කොදෙව්වලට ගොඩ බැස්සෝය. කොන්ටිකි ද පහුරුවලින් සාගරය තරණය කළ බවට කිසිම සැකයකුදු නැති විය. ආදී ම මිනිසුන් පහුරකින් සාගරය තරණය කළා යයි කීවොත් දැන් ඔබ පුදුම වන්නේ නෑ නේ ද?

ධෛර්යය ඇත්නම් සාගරය තරණයට පහුරක් වූවත් ඇති.




ඉහත ලිපිය උපුටා ගත්තේ හැත්තෑව - අසූව දශකයේ සිංහල කියවීම් පොතකින්. රවි අයිය කියන විදිහට ඒ හතේ නැත්තං අටේ පන්තියෙ පාඩම් පොත.

තෝර් හෙයර්ඩාල්ගේ කොන්ටිකි ගවේෂණය ගැන, එයා ම හදපු වාර්තා චිත්‍රපටියක් තිබෙන අතර, එයා ම ලියපු පොතකුත් තිබෙනවා. 2012 දී ඒ ගැන වික්‍රමාන්විත චිත්‍රපටියකුත් හැදුණා.




කොන්ටිකි ගවේෂණය ගැන අපේ අංග සම්පූර්ණ බ්ලොග් කරුවෙකුව සිටි විචාරක ලියා තිබෙන ලිපි පහතින්.

පළමු කොටස

දෙවන කොටස

තෙවන කොටස

අවසාන කොටස

වැඩිපුර බලපු ලිපි