Showing posts with label පිටස්තරයෙකුගේ වර්තා. Show all posts
Showing posts with label පිටස්තරයෙකුගේ වර්තා. Show all posts

Sunday, October 2, 2022

පිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස


මගේ පහුගිය වාර්තාවක සඳහන් වුණු හැටියට මේ ග්‍රහලෝකයේ ඉන්නා බුද්ධිමත් ජීවීන්ගේ චර්යාවන් එකිනෙක සියුම් ව පරීක්ෂා කර වාර්තා කරන්නැයි උපදෙස් ලැබී තිබුණි. ඒ අනුව, මේ වාර්තාවෙන් මේ කියන බුද්ධිමත් ජීවීන් ගේ විශ්වාස ගැන වාර්තා කරමි.

මේ ජීවීන් විශ්වාස කරන බොහෝ දේ තිබෙන අතර, ඒවා හැම එකක් ම වාගේ ඇත්තට ම නොපවතින, එහෙමත් නැත්නම් පවතින බව තහවුරු කරගන්නට බැරි කාරණා වේ. ඒ වගේ ම ඒවා කීපයක් එකට පටළැවී, එකට ක්‍රියාත්මක වෙන දේවල් ය.

එයින් ලොකු ම එක වන්නේ, අයිතිවාසිකම් ය. මේ ජීවීන් විශ්වාස කරන්නේ, හැම ජීවියෙකුට ම මේ ග්‍රහලෝකය මත ජීවත් වෙන්නට අයිතියක් තියෙනවා කියා ය. එහෙම උනත්, බුද්ධිමත් ජීවීහු උන්ගේ උවමනා එපාකම් අනුව අනික් ජීවීන් උපද්දවීම, පවත්වාගෙන යාම සහ මරා දැමීම කරති. ඒ වගේ ම නීති සහ ආගම් නමින් හඳුන්වන විශ්වාසයක් මගින් ඒ චර්යාවන් පාලනය කරන්නේ නැති නම්, බුද්ධිමත් ජීවීහු ම තම තමන් ම මරා දැමීම කරති. 

මේ විශ්වාසයේ තවත් පැත්තක් වන්නේ, හැම බුද්ධිමත් ජීවියෙකුට ම මේ ග්‍රහලෝකය මත තියෙන දේවල් සමානව අයිති බව ය.

අයිතිවාසිකම් කියන විශ්වාසයේ භාවිතය මේ කාරණාවේ දී වැදගත් වේ. මේ විශ්වාසය භාවිත කරන්නේ පාලකයන් කියනා කොටස ය. අනික් බුද්ධිමත් ජීවීන් සමූහයක්, දහස් ගණනකටත් වඩා වැඩි පිරිසක් එකමුතු , තමන් ගේ නායකත්වය යටතේ එක ඉළක්කයක් කරා මෙහෙයවන්නට පාලකයන්ට මේ විශ්වාසය උපයෝගී වේ. ජීවීන්ගේ අයිතිවාසිකම් රැක ගන්නට සහ දියුණු කරන්නට ඇති උවමනාවක් පෙන්වමින් පාලකයන් බවට තමන් පත් කරවීමට මේ නායකයෝ අනික් ජීවීන් මෙහෙයවති.

එහෙම පත්වන නායකයන්, අනික් බුද්ධිමත් ජීවීන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන නමුත්, වඩා උනන්දු වන්නේ පාලකයන් හැටියට තමන්ගේ සැප පහසුව සහ පරිභෝජනය මනාව පවත්වාගෙන යාම ගැන ය.

ඒ වගේ ම මෙතනට සම්බන්ධ වෙන තවත් විශ්වාසයක් වන්නේ සීමා ය.

මේ ග්‍රහලෝකයේ බුද්ධිමත් ජීවීන් වාසය කරන්නේ ගොඩබිම ප්‍රදේශවල පමණි. ඒ ගොඩබිම ප්‍රදේශ බුද්ධිමත් ජීවීන් විසින් රටවල් යැයි මායිම් නියම කරගෙන වෙන් කර ඇත. ඒ රටවල් පාලනය කරන්නට රාජ්‍ය කියා ජාතියක් ඇති අතර, ඒ රාජ්‍යවල ඉන්නා බුද්ධිමත් ජීවීන් කාලෙන් කාලෙට තම තමන් දරණ විශ්වාස අනුව තම තමන්ගේ නායකයන් පත් කර ගනිති.

ඒ වගේ ම අසල්වැසි රටවල් සමග විටින් විට යුද්ධ කියා ජාතියක් කරති. එතන දී අර මුලින් සඳහන් කරන ලද අයිතිවාසිකම් ගැන කිසිදු තැකීමක් නොකර, එකිනෙකා මරා ගනිති. ඒ විදිහට මරා ගන්නට පවා බුද්ධිමත් ජීවීන් පොළඹවන්නට අර කියන ලද විශ්වාසයන් ඉවහල් වේ. ව්‍යාප්තවාදය, බෙදුම්වාදය, ජාතිකත්වය, වාගේ විශ්වාසයන් මෙසේ කණ්ඩායම් මෙහෙයවීමට භාවිත වෙන අතර, මේවාත් අර මුලින් කී අයිතිවාසිකම් නම් විශ්වාසයේ ම අතුරු කොටස් වේ. 

ජන වර්ග කියා විශ්වාසයක් ද පවතින අතර, එය මුල් කරගෙන අර ඉහත කී ජාතිකත්වය, ව්‍යාප්තවාදය හා බෙදුම්වාදය කියනා විශ්වාසයන් ක්‍රියාත්මක වෙයි. මේ ජන වර්ග කියන්නේ, බුද්ධිමත් ජීවීන් විවිධ කොටස්වලට බෙදනා ක්‍රමයකි. හැම බුද්ධිමත් ජීවියෙක් ම උපතින් ම එකිනෙකාට සමාන වන අතර, ඔවුන්ගේ වැඩිහිටියන් විසින් ඉහත කී විශ්වාසයන් අනුව තම තමන් වර්ගවලට බෙදා ගනිති. 

මේ කියන වර්ග බෙදෙන්නේ තර්කානුකූල ලක්ෂණ අනුවය. ඔවුන් කතා කරන භාෂාවල ඇති වෙනස්කම්, ආගම් කියනා විශ්වාසයන්ගේ වෙනස්කම්, සිරිත් හා පුරුදුවල වෙනස්කම් ආදී ලක්ෂණ අනුව ඔවුහු තම තමන් වර්ග වලට බෙදා ගනිති. බොහෝ විට මෙසේ බෙදීමට යොදාගැනෙන්නේ ඉතා ‌සුළු විශ්වාසයන් ය. උදාහරණයක් ලෙස, සමහරෙක් සත්ත්ව මළ සිරුරු ආහාරයට ගන්නේ, එම මළ සිරුරුවල ලේ ඉවත් කිරීමෙන් පසුව වන අතර, තවත් සමහර ජන වර්ගයන් සත්ත්ව මළ සිරුරු ආහාරයට ගන්නේ ම නැත. 

එහෙම වුණත්, ජන වර්ගයක සියලුම සාමාජිකයන් මේ හැම සිරිතක් ම පුරුද්දක් ම අනුගමනය නොකරති. හැම ජන වර්ගයකම වාගේ, ඊට අදාළ රීති හා සිරිත් අනුගමනය නොකරන සාමාජිකයන් දැකිය හැකි වේ.

ධනවාදය, සමාජවාදය වගේ විශ්වාසයන් ද රාජ්‍යයන් පාලනය කරද්දී භාවිත වෙන නමුත්, ඇත්තට ම ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ පාලකයන් තමන්ගේ පැවැත්ම ස්ථාවර කර ගැනීම විතරකි. තමන් මෙහෙයවන කණ්ඩායමේ පැවැත්ම හෝ අර මුලින් කියන ලද අයිතිවාසිකම් ගැන තැකීමක් පාලකයන් හට නැත.

ආගම සහ නීතිය කියා විශ්වාසයන් වර්ග දෙකක් ද ඇත. මගේ පහුගිය වාර්තාවේ කියූ අර කාකි ඇඳුම් අඳින රක්ෂා කරන්නෝ මෙයින් නීතිය කියනා විශ්වාසය පවත්වාගෙන යන උදවිය ය. කහ, තැඹිලි හෝ ගුරු පාට නැත්නම් සුදුපාට නිල ඇඳුම් අඳින රක්ෂා කරන උදවිය ආගම් කියනා විශ්වාසය අනික් ජීවීන් අතරේ පවත්වාගෙන යති. මේ දෙකෙන් ම අර ඉහත කී පාලනය කරන ජීවීන් ගේ කාර්යය පහසු කරවන්නේ ය.

ආගම සහ නීතිය කියන්නේ බුද්ධිමත් ජීවීන් සෙසු බුද්ධිමත් ජීවීන් අතරේ හැසිරිය යුතු ආකාරය ගැන ය. ඒත් ඒ ආකාරයට පාලනය කරන උදවිය හැසිරෙන්නේ නැත. ඔවුන්ට තම තමන්ට උවමනා හැටියට හැසිරීමට හැකි අතර, ඒක ප්‍රශ්න කරනවා වෙනුවට බොහොමයක් බුද්ධිමත් ජීවීන් කරන්නේ ඒ හැසිරීම් සාධාරණීකරණය කිරීමය. පාලකයන් හට පාලනය කිරීමට පහසුවන ආකාරයට බුද්ධිමත් ජීවීන් හසුරවීම සහ හික්මවීම නීති මඟින් සිදු වේ. ඒ වාගේ ම පාලකයන්ට එරෙහිව නැගී සිටින බුද්ධිමත් ජීවීන් මෙල්ල කිරීම සහ මර්ධනය කිරීම ද එහි තවත් කාර්යයකි.

ආගම්වලින් මීට අමතරව බුද්ධිමත් ජීවීන්ට එළඹෙන හිරිහැර සහ දුක්ඛිත ජීවිත ගැන ඔවුන්ගේ හිත හැදීම සහ ඉවසීම ඇති කරවා දී පාලනයට එරෙහිව ඔවුන් නැගී සිටීම අධෛර්යවත් කරමින්, පාලකයන් ගේ කටයුතු පහසු කර දීම ඉටු කරයි.

ඇත්ත කියා විශ්වාසයක් ද මේ ජීවීන් අතර ඇත. ඔවුන් එය තදින් විශ්වාස කරන අතර, එම ඇත්ත ඔවුන්ට ලැබෙන්නේ බෝහෝ විට වෙනත් කෙනෙක් ලබා දෙන තොරතුරක් හැටියට ය. මාධ්‍ය කියා දෙයක් ඇත. එය කඩදාසි මත අච්චු ගහන ලද්දක් හෝ විද්‍යුත් සන්නිවේදන ක්‍රමයකින් හෝ තොරතුරු ලබා දෙන ක්‍රමයකි. මේ මාධ්‍ය තමන් දෙන තොරතුර තමන්ගේ විශ්වාසයේ හෝ අරමුණේ හැටියට සකස් කර ලබා දුන්නත්, බුද්ධිමත් ජීවීන් විශ්වාස කරන්නේ ඒ තොරතුරු ඇත්ත කියා ය.

මේ හැටියට බලන කොට මේ බුද්ධිමත් ජීවීන් ජීවත් වෙන්නේ විශ්වාස ගොඩක් අනුව හැඩ ගස්සවන ලද ජීවිතයකි. ඉපදීම, පරිභෝජනය, පැවතීම, බෝ කිරීම සහ මිය යාම කියනා කාරණාවලින් ඔබ්බට ගියපු යම් කිසි තේරුමක් මේ ජීවිතයට ඇතැයි කියා ද ඔවුහු විශ්වාස කරති. ඉතා ම බහුතරයක් මේ විශ්වාසවලින් ම මෙහෙයවෙන අතර, ඉතා ම සුළුතරයක් මේ විදිහට ජීවීන් තුල තියෙන විශ්වාසවල වාසිය රැගෙන තමන්ගේ ජීවිත සැප පහසු කරගනිති.


පසුගිය වාර්තා.

වාර්තා අංක 01 - ජීවීන්

වාර්තා අංක 02 - රැකී රක්ෂා

Thursday, August 16, 2018

පිටස්තරයාගේ වාර්තාව අංක 02 - රැකී රක්ෂා

http://2.bp.blogspot.com/-Z-jCBqHeaR0/TrVtBam2zoI/AAAAAAAAAAc/
BOK3Z7FluRw/s1600/1844152drawn2.jpg

මේ ග්‍රහ ලෝකයේ බුද්ධිමත් සත්ත්වයින් කොටසක් ද සිටිති.

ඔවුහු අනෙකුත් සත්ත්වයින් වගේම ආහාර ගනිති, ආශ්වාස ප්‍රශ්වාස කරති, තම වර්ගයා බෝකරති, උපදිති, මියයති... ඒත් ඔවුන්ගේ චර්යාවෙන් වැඩි හරිය අනිකුත් සත්ත්වයින්ට වඩා විහිළු උපදවන තරම් වෙනස් ය. "රැකී රක්ෂා" යනු එයින් එක් චර්යාවකි.

මොවුහු දිනපතා "රස්සාව" යැයි හඳුන්වන දේකට යති.

වෙනත් සත්ත්වයින් සේම ආහාර සොයා යාම එක් කොටසකගේ රස්සාවය. සොයා යාමටත් වඩා ඔවුන් කරන්නේ ආහාර නිපදවීම යැයි කියනු ලැබේ. වෙනත් ජීවී විශේෂ අමුතුවෙන් රෝපණය කරන ඔවුහු, තවත් ජීවී විශේෂ අල්ලාගෙන මරති. තමුන්ට දිනපතා උවමනා ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් වැඩි ප්‍රමාණ වලින් ඔවුහු මේ වැඩය කරති.

තවත් කොටසක් අනික් උදවියගේ චර්යාව පාලනය කරති. ඔවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණය නම් නිල ඇඳුමක් ඇඳීමය. එය එක්කෝ කාකි පාටැති කළිසමක්, කමිසයක් හා තොප්පියකි. නැතිනම් කහ හෝ තැඹිලි හෝ ගුරු පාට රෙද්දක් ගෙන ඇඟ වටා දවටා ගැනීමකි. මොවුන්ගේ උපදෙස් හෝ නියෝග අනික් උදවිය පිළිපදින්නේ ද හරිම විකට අන්දමකට ය. මේ අය ඇති තැන ඔවුන්ගේ උපදෙස් පිළිපදින බව ඉතාම මැනවින් පෙන්වන සහ ඊට ඉතා කැමැත්තෙන් කීකරු වන බව පෙන්වන උදවියම, ඉහත කී පාලනය කරන්නෝ නැති තැන එම උපදෙස් පසෙක ලා තමන්ට උවමනා පරිදි හැසිරෙති. හැබැයි එසේ නිදහසේ හැසිරෙන යමෙක්ගෙන් තමන්ට හිරිහැරයක් වූ තැන හිරිහැරයට ලක් වූ තැනැත්තාට, අර උඩින් කී උදවියගේ උපදෙස් හා නියෝග නිතැතින් මතක් වේ.

ඉහත කී කහ, තැඹිලි හෝ ගුරු පාට රෙදි පෙරවන්නන්ගේ රක්ෂාව ඉතා පහසුය. සෙසු සත්ත්වයින්ට තේරුම් ගත නොහැකි පටළැවිල්ලක් කියාපෑමට ඔවුන් කුඩා කළ සිටම පුහුණු කර තිබේ. ඒ පටළැවිලි සහගත දේට දෝත් මුදුන් තියා වඳින සෙසු සත්ත්වයා, තම තමන් සතු ඕනෑම දෙයක් මේ රක්ෂාව කරන උදවියට නිකම්ම දෙති. ඒ වෙනුවට ඔවුන්ට යමක් ලැබෙන අතර, එය ලැබෙන්නේ ඔවුන්ගේ ජීවිත කාලයෙන් පසුව වන්නේය.

මෙම රැකියාවම කරන තවත් අය සිටින අතර, එයින් සමහරෙක් උඩුකය නිරුවත්ව රත්තරන් නම් ලෝහය පොරවාගෙන සිටින අතර, තවත් උදවිය සුදු ලෝගු හෝ වස්ත්‍ර හඳිති.

"මුදල්" යැයි සම්මත යමක් වේ. එය මේ ලෝකයේ බුද්ධිමත් සත්ත්ව වර්ගයාගේ ඉහළම ආශාව, සංතුෂ්ටිය සහ වන්දනීය දෙය වේ. මේ කියන මුදල් සකස් කරන්නේ "ආණ්ඩුව" යැයි කියන සමූහයක් මඟිනි. ආණ්ඩුව කියන්නේ මෙම සත්ත්ව වර්ගයේ බහුතරයකගේ කැමැත්ත අනුව පත් කරගන්නා, එම වර්ගයේම එක් කොටසකි. සත්ත්වයින් කෝටි දෙකකගේ කැමැත්තෙන් දෙසීය විසි පස් දෙන‍ෙක් තෝරා ගනිති. උන් හැඳින්වෙන්නේ "පාර්ලිමේන්තුව" යන නමිනි.

ඒ දෙසීය විසි පහට අර කෝටි දෙකේම ගෞරවය ලැබේ. ඒ වගේම උන් හට අර උඩ කී පාලනය කරන්නන්ගේ උපදෙස් හෝ නියෝග අදාළ වන්නේම නැත. උන්ට රිසි රිසි සේ සම්පත් භුක්ති විඳිමින් ජීවත් වන්නට ඉඩ සැළසී තිබේ. ඒ වෙනුවට ඔවුන් රට "පාලනය" කිරීම, "ප්‍රතිපත්ති" සකස් කිරීම සහ "සංවර්ධනය" කිරීම යන කාර්යයන් කරති. ඒ නම් වලින් හැඳින්වෙන්නේ රටේ මුදල් සහ රටට ලැබෙන මුදල් මහාපරිමාණයෙන් යොදවා යම් යම් දේවල් කරවමින් ඉන් වැඩි හරියක් මුදල් තමන්ගේ සහ පවුලේ උදවියගේ සන්තකයේ තබා ගැනීම ය.

මෙකී දෙසීය විසිපහෙන් කොටසක් "ඇමති" හා තවත් එකෙක් "අගමැති" ලෙස හැඳින්වෙන අතර, අර කී දෙකෝටියෙන්ම තෝරාගන්නා තවත් එකෙක් "ජනාධිපති"ලෙස හැඳින්වේ. උන් ඉතාම වාසනාවන්ත කොටස ය. මොවුන් හට තම පෞද්ගලික කටයුතු කරගැනීමට අවශ්‍ය සියලු දේ නොමිලේ ලැබේ. වාසයට නිවසක්, පරිහරණයට වාහන, ඒවාට ඉන්දන, විවිධාකාර පරිහරණයට අතවැසියන්, යම් යම් දේ එතීමට, අත පිසදමා විසිකිරීමට සහ රටේ සිදුවෙන දේවල් දැනගැනීමට පත්තර, "බැංකු ගිණුම්" යන දේට තැන්පත් කිරීමට "වැටුප්", යම් යම් කටයුතු කරදීම වෙනුවෙන් සෙසු උදවියගෙන් ලැබෙන "අල්ලස්" සහ "කොමිස්", ඇමති විදිහට ඉන්නා කාලසීමාව අවසානයේ බැංකුවල තැන්පත් කිරීමට විශ්‍රාම වැටුප්, දරුවන්ගේ රැකී රක්ෂා සඳහා අනාගත ඇමතිකම්, හිත මිතුරන්ගේ ජීවිකාව සඳහා "රජයේ රක්ෂා" හෝ "කොන්ත්‍රාත්" ආදී දේ මොවුන් හට සැපයේ.

තවත් කොටසක් රක්ෂා වශයෙන් විවිධාකාර දේ කරති. ඔවුන් එම රක්ෂා වලින් මුදල් ද උපයාගනිති. ඒ මුදල් වලින් කොටසක් අර උඩින් කී ආණ්ඩුවට විවිධ අවස්ථාවලදී ගෙවිය යුතු වන්නේය. ඒ ගෙවන මුදල් වෙනුවෙන් ආණ්ඩුවෙන් ඔවුන්ට මොනම දෙයක්වත් සෘජුව ලැබෙන්නේ නැත. මෙම රක්ෂා කරන අය තමන්ගේ ආහාරය පිණිස යම් කිසි දෙයක් මුදලට ගන්නා විවිධ අවස්ථා වලදී, ඒ භාණ්ඩයේ වටිනාකමට අමතරව යම් මුදලක් ආණ්ඩුවට ගෙවිය යුතු වන්නේය. ඒත් ඒ භාණ්ඩය තැනීමටවත්, එය මිලදීගන්නා තැනැත්තා වෙත ගෙනත් දීමටවත් ආණ්ඩුව කිසිදු වියදමක් කර නැත. යමෙක් තමන්ගේ භාවිතයට වාහනයක් ගන්නා විට එම වාහනයේ වටිනාකම මෙන් කීප ගුණයක මුදලක් ආණ්ඩුව මොවුන්ගෙන් අයකර ගනිති. ඒ ද, ඒ වාහනය වෙනුවෙන් ආණ්ඩුව කිසිම මුදලක් වැය කිරීමෙන් තොරවය.

එසේ ආණ්ඩුව එකතු කරගන්නා මුදල් වලින් "පාර්ලිමේන්තුව", "ඇමති" ආදීන් සහ "රජයේ සේවක"යන් ගේ වැටුප්, වරප්‍රසාද ආදිය සළසා දනෙු ලැබේ. ඉහත කී වාහන ගැනීමේදී ද පාර්ලිමේන්තුවට සහ ඉහළ යැයි සම්මත රජයේ සේවයේ උදවියට ඉහත කී පරිදි ආණ්ඩුවට විශාල මුදලක් ගෙවීමට සිදු වන්නේ නැත.

මා මෙතක් කාලයකට තේරුම් ගත් දේ මේ විදිහය. මේ ලෝකයේ බුද්ධිමත් සත්ත්වයින්ගේ රැකී රක්ෂා හරිම සංකීර්ණ බවින් යුක්තය. දැනටමත් මට පිස්සු වගේය. ඔබහටත් එසේම වේවා!

http://www.sangam.org/2008/07/images/Collettecartooncirca1956.JPG

Monday, May 16, 2016

පිටස්තරයෙකුගේ වාර්තාවක්...

"...ප්‍රධාන මෙහෙයුම් අංශය,

මා අද වාර්තාවෙන් මගේ සමීක්ෂණයට ලක්වන ග්‍රහලෝකයේ ජීවීන් ගැන වාර්තා කරමි.

මේ ග්‍රහලෝකයේ ජීවීන් වර්ග  දහස් ගණනක් වාසය කළද, ඔවුන් සියල්ල එක් ප්‍රධාන වර්ග දෙකකට බෙදීමට අදහස් කරමි. ඒ ආහාර නමැති මූලික සාධකය මුල්කරගෙන ය. ඒ අනුව, ආහාර නිපදවන්නන් සහ ආහාර නිපදවීමේ හැකියාව නොමැති ජීවීන් ලෙස මොවුන් වර්ග දෙකකට බෙදේ.

ආහාර නිපදවන්නන්...

මොවුහු සූර්යයාගේ ආ‍ලෝක ශක්තිය උපයෝගී කරගනිමින්, තම ශරීරයේ අග කොටස් වලදී ආහාර නිපදවති.

එම ආහාර තම ශරීරයේ විවිධ කොටස් වල ගබඩා කරන අතර, සිය වර්ගයා බෝ කිරීමට නිපදවන කොටස් වලද මෙම ආහාර තැන්පත් කරති.

මොවුහු ඉතාම වැඩි වශයෙන් මෙන්ම, අනෙක් ජීවී වර්ගයා සමඟ සැසඳීමේදී, සංචරණය නොකරති. උපන් තැනට සීමා වෙති. එහෙත් තම අනාගත පරපුර ඉපදීමට පෙර විවිධ ස්ථාන කරා පතුරුවා හැරීමට විවිධ උපක්‍රම යොදාගනිති.

දියුණු ක්‍රමවේදයක් මඟින් තම වර්ගයා අතර හැඟීම් සන්නිවේදනය කරති.

මෙම ග්‍රහලෝකය මත අනෙකුත් ජීවීන් හට පැවතීමට සිදුසු පාරිසරික හා දේශගුණික තත්ත්වයන් පවත්වාගැනීමට සක්‍රිය ව දායක වෙති.

අවසාන කරුණ සහ ආහාර නිපදවීමේ හැකියාව නිසාම, මෙම වර්ගය මෙම ග්‍රහලෝකය මත සිටින උසස්ම ජීවී වර්ගය ලෙස හැඳන්විය හැක.

ආහාර නිපදවීමේ හැකියාව නැත්තන්...

මොවුන් ආහාර නිපදවීමේ හැකියාව නොමැති නිසාම අනෙක් ජීවීන් මත යැපෙති. ආහාර නිපදවන්නන් ගේ ශරීර කොටස් මෙන්ම, අනෙක් ජීවීන්ගේ ශරීර කොටස්ද ආහාරයට ගැනීම මොවුන්ගේ පැවැත්මට ඉවහල් වේ.

සංචරණ හැකියාව ඇත.

ආහාර යන සාධකය සහ වෙනත් සාධක ද මත ඉහතින් කී ආහාර නිපදවන ජීවී වර්ගයා ගේ පරපුර බෝ කිරීමට දායක වෙති.

සන්නිවේදනයට ශබ්දය නම් වායු තරංගය භාවිතා කරති.

මොවුන් අතරින් ඉතා වේගයෙන් බෝවී ඇති, මුළු ග්‍රහලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් එහි සහ අනෙකුත් ජීවීන් ගේ පැවැත්මට බලපෑම් එල්ල කරමින්, සියල්ල වෙනස් කිරීමේ හැකියාව ඇති එක් ජීවී වර්ගයක් වෙති. ඔවුන්,

දෙපයින් මෙන්ම, ඔවුන් විසින් නිපදවන ලද යාන්ත්‍රික සිරුරු වලින් සංචරණය කරති.

අනෙකුත් සියළුම ජීවී වර්ගයන් බෝකරති, පාලනය කරති, ඔවුන්ගේ සිරුරු වල ව්‍යුහය පවා සිය අභිමතයට වෙනස් කරති.

එහි අතුරුඵලයක් ලෙස තම වර්ගයාට අහිතකර ජීවීන් පවා  අනතුරුදායක ලෙස විකෘති කරති.

ඔවුන්ගේ ආහාරයට ලක් නොවන ජීවී වර්ගයක් මෙම ග්‍රහලෝකයෙහි නැත.

‍මොවුන්, ආහාර නිපදවීමේ හැකියාව නැති ජීවීන් ආහාරයට ගන්නේ ඔවුන් ඝාතනය කිරීමෙන් පසුව හෙවත් ඔවුන්ගේ මළසිරුරු කොටස් වශයෙනි.

එහෙත් මොවුන් අතින් භයානකම වධයට ලක්වන්නේ ආහාර නිපදවන්නන් ය. ඔවුන් ගේ ශරීර කොටස් කපා හෝ කඩා ගන්නේ මරණයට පත් කිරීමෙන් තොරවය. මෙම ජීවීන්ගේ ග්‍රහණයට ලක් නොවන කොටසක් නැත. ආහාර නිපදවන කොටස්, ආහාර බඩා කරන කොටස් පමණක් නොව, නව පරපුරක් බිහිකිරීමට සකස් වී ඇති කොටස් පවා මොවුහු ආහාරයට ගනිති. සමහර විට මොවුන් ගේ වර්ගයා බෝකරන බීජ වර්ග යන්තම් සක්‍රිය වීමට ඉඩහැර, ඇතිවන ළපටි ජීවීන් ආහාරයට ගනිති. මෙම බොහෝ ශරීර කොටස් නටන ජලයෙහි තම්බන අතර, සමහර විට බැදීම සහ පිළීස්සීම කරති. බහුතරයක් අවස්ථාවන්හිදී මෙම ජීවී කොටස් මියයන්නේ මෙසේ සකස් කරන අවස්ථාවේ දීය. සමහර විට ජීවය සහිත කොටස් සිහින්ව ලියා, ජීවය තිබියදීම ආහාරයට ගන්නා අවස්ථා ද ඇත.

මොවුන්, අනෙක් ජීවී විශේෂයන් බහුතරයක් කෘතිමව බෝ කර සිය ආහාරයට ගනිති.

ආහාරය සඳහා පමණක් නොව වෙනත් බොහෝ උවමනාවන් සඳහා මොවුහු ජීවී විශේෂ බෝකරති.

මොවුන් මුළු ග්‍රහලෝකයම කොටස් වලට බෙදාගෙන එම බිම් කොටස් වල වෙසෙන අනෙකුත් ජීවී ‍වර්ග පාලනය කරති. ඔවුන්ට අවශ්‍ය නැති තැන් වල සිටින ජීවීන් ඉවත් කරන අතර, අවශ්‍ය අවශ්‍ය ස්ථානයන්හි ජීවීන් රෝපණය කරති.


https://s-media-cache-ak0.pinimg.com/736x/da/62/17/da621715efec807827eb9a98b340e058.jpg

ඔවුන් බෙදා වෙන්කරගෙන ඇති භූමි කොටස් වල අයිතිය වෙනුවෙන් ඔවුන් සිය ජීවී වර්ගය්ම සාමාජිකයන් සමඟද ඇණ කොටාගැනීම ද විශේෂත්වයකි..."

-------------------------

http://1.bp.blogspot.com/__6X6hqq7nro/S9CYK5K7VfI
/AAAAAAAAEaI/67gu9e7KMIQ/s1600/earth-day.gif


"ඔයා මොකද මේ දවල් තිස්සෙ ඇහැරගෙන කරන්නෙ?" ඩ්‍රැකියානිගේ හඬ නැගුනේ මා පිටුපසිනි.

"මං හැදුව රේඩියෝ රිසීවර් එකක්. බලන්නකො මේ අහුවෙච්ච එක..." මම නැවත පටිගත වූ දෙය ප්‍රතිවාදනය කළෙමි.

ඇගේ මුව ඇපල්ගෙඩියක හැඩයට විවර වීමට වැඩි වේලාවක් ගතවූයේ නැත.

"මේ කියන්නෙ... මේ කියන්නෙ... "





















ප/ලි

මා මෙතෙක් සේවය කළ සේවාස්ථානයට සමුදීම තව ඇත්තේ එක් දිනකි. 18 වන දා සිට සේවයේ ශ්‍රේණිගත උසස්වීමක් සඳහා ආරම්භ වන දෙසතියක පුහුණුවකට යාමට සිදු‍වී තිබේ. මා මීළඟට අනුයුක්ත කෙරෙන්නේ කුමන ආයතනයකටදැයි තවම නොදනිමි. එතැනට ගොස් නැවතත් ජාලගත වීමට පහසුකම් සකසා ගැනීමට තවත් ටික කලක් ගතවනු ඇත.

පසුගිය සති කීපයේ මා හට සුහද බ්ලොග් කරුවන් හමුවීමට, ඔවුන් හා සංවාද ගොඩනගා ගැනීමට තිබූ ඉඩකඩ අඩු විය. ඒ මා කාරණා කීපයක් උදෙසා කාර්ය බහුල වීම නිසා ය. (මා බ්ලොග් ලොවට එන්නේ කාර්යාලීය ජාලයෙනි.)

එසේම, ඉදිරි සති කීපයේදී බ්ලොග් ලෝකය විසිට් කිරීමට මට හිමිවනුයේ ඉතාම අල්ප අවකාශයකි.

ටිකදිනකින් මා නැවත එනතුරු, මගේ සහෘදයන්, මගේ පරමාදර්ශයන් සහ මගේ සගයන් වන ඔබ සැමට කෙටිකාලීනව සමුදෙමි. ඔබ ඇසුරින් මා පෝෂණය වූ අතර, භාව විශෝධනයටද ඔබ සමඟ කළ සංවාදය ඉවහල් විය... ඒ සියල්ලට ඔබට මාගේ ප්‍රණාමය !

https://media0.giphy.com/media/l0NwC1UnHzAHfC50c/200.gif


http://sd.keepcalm-o-matic.co.uk/i/
keep-calm-and-i-ll-see-you-later.png

වැඩිපුර බලපු ලිපි