Sunday, July 16, 2017

කාලිදාස ගෙ කතාවක්

පින්තූරෙ යාහූ සර්ච් එකකිං ගත්තෙ...

අපේ ආදරණීය හිස්ටෝරියන් මිථිල ප්‍රනාන්දු ලියපු පෝස්ටුවක් දැකල මට කතාවක් ලියන්න හිතුන. බොහොම කෙටියෙන් තමා මේක ලියන්න වෙන්නෙ. මං කාලෙකට කලින් මේ කතාව අහල තිබුණට, හරියටම මතක තිබුන් නෑ. ඉතිං මේක ටිකක් පමා වුනා, මොකද හරියටම ශ්ලෝක දෙක හොයාගන්න සිද්ධ වුන නිසා.

කාලිදාස භෝජ රජ්ජුරුවන්ගෙ රාජසභාවෙ හිටපු කවියෙක් නෙව... එයාගෙ කතා කීපයක් මං ලියල තියෙනව කියල මතකයි. මේ එව්ව.

1. “භ“ යන්න
2. කාලිදාසගෙ මරණය සහ ඉඳුවර දෙනෙත්

භෝජ රජු ගැන හොයද්දි විකියෙ එතුමා ගැන තිබුණ ලිපියක් කියවන්න ලැබුණා. ඒ අනුව එයා රජකළේ, ව්‍යවහාර වර්ෂ ක්‍රමයෙන් හෙවත් ක්‍රිස්තු වර්ෂයෙන් 1010 ත් 1055 ත් අතරෙ, මධ්‍ය ඉන්දියාවෙ මාල්ව රාජධානියෙ. එතුමාගේ අගනුවර “ධාරා“ නමින් හැඳින්වුනා. භෝජ රජුගෙ මරණින් පස්සෙ එතුමා වටා බැඳුනු ප්‍රවාද අනුව එයා ජනප්‍රවාදයේ එන වික්‍රමාදිත්‍ය රජුට සමාන වෙනව.

භෝජ රාජසභාවෙ හිටියා නවරත්නයක්... ඒ කියන්නෙ වටිනා මිනිස්සු නව දෙනෙක්. ඒ අය තමයි:

අමරසිම්හ (සංස්කෘත ව්‍යාකරණ වේදියෙක් සහ කවියෙක්)
ධනවන්තරී (ආයුර්වේද වෛද්‍යවරයෙක්)
ඝටකාරපර
කාලිදාස
ක්ෂපනක
ශන්කු
වරාහමිහිර (තාරකා ශාස්ත්‍රඥයෙක්)
වරරුචි (වාග්වේදියෙක් සහ ව්‍යාකරණ වේදියෙක්)
වේතාල-භට්ට (නීති විශාරදයෙක් සහ දේශපාලන වේදියෙක්)

කියන අය. (ඔය වගේ නවරත්නයක් මහා අක්බර් අධිරාජයාගෙ රාජසභාවෙත් හිටිය කියනව.)

ඔයිං කාලිදාස තමයි ලොවෙත් කවියා.

දවසක් භෝජ රජ්ජුරුවන්ට හිතුණ මෙච්චර කවි කියන කාලිදාස මං මළහම මොන වගේ කවියක් කියයිද කියල. එහෙම හිතිල, එක සැරයක් කාලිදාසට අණ කළා,

“දැං කියහං මං මළහම කියන කවිය“ කියල.

කාලිදාස කිව්ව,

“ඒක එහෙම කියන්ඩ බෑ, රජතුමා. නියම හැඟීම පහළ වෙන්නැතුව ඒ වගේ කවියක් කියන්ඩ බෑ“ කියල.

ඒ කිව්වට මොකද කාලිදාසගෙ හිතට හරි මදි. මොකද, රජතුමා කියපු දෙයක් බෑ කියන්ඩ වෙච්ච නිසා. ඒ හින්දා එයා එදාම තමන්ගෙ ගෙදරින් පිටවෙලා, නගරය අතඇරල යන්ඩ ගියා.

දැං ඔන්න දවස් ගාණක් වෙනව, රාජ සභාවට කාලිදාස එන් නැතුව. රජතුමාටත් බොහොම කණගාටුයි. අන්තිමේ රජතුමා වෙස්වළාගෙන ගියා කාලිදාස හොයාගෙන. ඔහොම ගිහිං දවසක් දා රජතුමාට කාලිදාස හම්බුණා අම්බලමක ඉන්නව. රජතුමා වෙස්වළාගෙන ගියාට කාලිදාස වෙස්වළාගෙන ගියෙ නෑනෙ. ඉතිං භෝජ රජතුමා එකෙම්ම අඳුනගත්ත තමංගෙ ප්‍රියතම කවියව. අඳුනගෙන ආගිය කතා එහෙම කතා කරන්න ගත්ත.

කාලිදාස ඇහුව එයාගෙං, ඔයා කොහෙ කෙනෙක්ද කියල.

රජතුමා කිව්ව “මං ධාරා නගරෙං එන්නෙ“ කියල.

“ඇත්තට?“ කාලිදාස බොහොම සතුටු උනා. “දැං කොහොමද අපේ භෝජ රජතුමා එහෙම? හොඳිං ඉන්නවද?“

“අනේ බොහොම කණගාටුයි.“ කපටි රජා උත්තර දුන්න. “රජතුමා මැරුණනෙ...“

කිව්ව විතරයි කාලිදාස ගෙ මූණ මැළවෙලා ගියා.

“අධ්‍ය ධාරා නිරාධාරා - නිරාලම්බා සරස්වතී
පණ්ඩිතා ඛණ්ඩිතා සර්වේ - භෝජ රාජා දිවංගතේ...“

හිටිවනම කාලිදාසට කියවුනා.

ඒකෙ තේරුම තමයි:

ධාරාව (ධාරා නගරය) වියළී ගියා - සරස්වතීට එල්ලෙන්න වැල් නැති උනා - සියළුම පණ්ඩිතයන් කැඩී විසිරී ගියා - භෝජ රජතුමා මියගිය නිසා...

රජතුමා ට උන්හිටි තැන් මතක නැති උනා මේ කවිය අහල. ඇයි? එයා අහගන්න ආසාවෙන් හිටපු කවිය නෙ. ඉතිං එතුමා පැනපු ගමං කාලිදාස බදාගෙන කිව්ව,

“කාලිදාස, උඹ නං දෙයියෙක්. මම තමයි භෝජ රජු. මං අහගන්න ආසාවෙන් හිටපු කවිය තමයි දැං උඹ කිව්වෙ...“

කාලිදාස ගත් කටටම මෙහෙම කිව්ව.

“අධ්‍ය ධාරා සදාධාරා - සදාධාරා සරස්වතී
පණ්ඩිතා මණ්ඩිතා සර්වේ - භෝජ රාජා භුවංගතේ...“

ඒකෙ තේරුම මෙහෙමයි :

“... ධාරාව සදහට ගළයි - සරස්වතිය සසරණ ව සිටියි
පණ්ඩිතයන් සියල්ලම මඩවන - භෝජ රජු තාම පණපිටිං...“

පහළ තියෙන්නෙ භෝජ රජුගෙ ප්‍රතිමාව - ඒක තියෙන්නෙ භෝපාල් නගරයෙ.

පින්තූරෙ විකිපීඩියාවෙන් ගත්තෙ

Sunday, June 25, 2017

ලෝකෙට ලොක්කා

ලෝකෙ ලොකුම බලවතා කවුද කියන එක ගැන ගම කතා කීපයක් තියෙනව. ලංකාවෙත් එකක් තියෙනව, ඒක මට හරියටම නිවැරදිව ලියන්ඩ මතක නෑ. ඒකට ගොඩක් සමානයි බුරුම ජනකතාව. ඒක තමයි ඔය පහලිං තියෙන්නෙ.

මී පවුලක හරිම හැඩ වැඩ මී කෙල්ලෙක් උන්න. ඈට කල වයස හරි ගිය තැන, ඇගෙ දෙමව්පියො කල්පනා කළා ලේකෙ ඉන්න බලවත්ම කෙනාට ඈ කසාද බන්දල දෙන්ඩ. කල්පනා කරල ගියා ඉර හම්බෙන්ඩ.

ඉර කැමති උනා මී පැටික්කි කසාද බඳින්ඩ.

“ඔහේ නේද ලෝකෙ ලොකුම බලවතා?“ මී අම්ම ඇහුව.

ඉර ඔළුව දෙපැත්තට වැනුව.

“වැහි වළාකුළ මටත් වඩා බලවත්. එයා ඉන්නකොට අහසෙ, මාව වැහිල යනව“ ඉර කිව්ව.

ඒ ගමන මී දෙමව්පියො ගියා වැහි වළාකුළ හොයාගෙන

“මාත් නෙමෙයි බලවත්ම“ වැහි වළාකුළත් කිව්ව. “හුළඟ ආවම මාව ගහගෙන යනව“

ඒගමන මී පවුල හුළඟ ගාවට ගියා.

“කණ්ඩිය මගෙ ගමන වළක්වනව.“ හුළඟ කිව්ව “මං කොච්චර සැරට හැමුවත් කණ්ඩිය පෙරළන්ඩ බෑ. ඉතිං කණ්ඩිය තමා බලවත්ම“

කණ්ඩියත් කිව්වනෙ එයා නෙමෙයි බලවත් කියල.

“හරක අඟ අතුල්ලනකොට මාව කැඩෙනවනෙ. පේන විදිහට හරක තමා ලෝකෙ බලවත්ම“

http://www.washingtonindependentreviewofbooks.com
/assets/uploads/trump_1.jpg

ඉතිං මී ජෝඩුව දුවත් ඉස්සර කොරං ගියා හරක හොයාගෙන. 

හරකත් කියන විදිහට එයා නෙමෙයි බලවතා. නාස්ලණුවලු. ඒකට ඕනෙ විදිහටලු හරක වැඩ කරන්නෙ.

ඉතිං මී දෙමාල්ලො නාස් ලණුවෙං ඇහුව දුව බඳින්ඩ කැමතිද කියල.

“මාත් නෙමෙයි බලවතා“ නාස්ලණුවත් කිව්ව. “මී තඩියෙක් ඉන්නව මාව කපල දාන්ඩ බලාගෙන.“

ඒ ගමන මී දෙමාල්ලො අර නාස්ලණුව කපල දාන්ඩ එන මී තඩිය ලෝකෙ ලොකුම බලවතා කියල තේරුං අරං, තමුංගෙ මී පැටික්කි ඌට බන්දල දුන්න.

ලොකෙ බලවතා ගැන බෙලරුස් කතාවක් තියෙනව. මට මතකයි එකපාරක් අපි පොඩි කාලෙ ටීවී එකේ ගියා මේ කතාව.

https://images-na.ssl-images-amazon.com
/images/I/61D6Ai34y6L.jpg

දවසක් ගල් කඩන්නෙක් ගලක් කඩ කඩ ඉන්නකොට (ගල් කඩන්න වෙන මොනව කඩන්ඩද ගලක් මිසක්) මිනිස්සු වගෙයක් වැඩ අතඅැරල දුවනව දැක්ක. ගල්කඩන්නත් ගියා මොකද්ද බලන්ඩ. බැලින්නං, රටේ රජතුමා යනව ඇතෙක් පිටේ. පාර අයිනෙ ඉන්න මිනිස්සු ඇතාට ඉඩ දීල කාණුවට බහිනව. පාත් වෙලා වඳිනව, පාවඩ එළන්ඩත් ලෑස්තිය...

ගල් කඩන්නටත් හිතුණ “මං අර ඇතා උනානං... මාත් මිනිස්සුංගෙං ගරු සත්කාර ලබනවනෙ“ කියල.

ඒ හිතනවත් එක්කම ගල් කඩන්න රජුගෙ ඇතා උනා. මිනිස්සු එයාට ගරු කළා. ඒත් එකපාරටම, රජා ඇතා පිටේ ඉඳං තේ එකක් බොන්ඩ ගිහිං උණු තේ හැළුන ඇතා පිටේ.

“ඇතෙක් උනාට වැඩක් ඇතෑ...“ ගල් කඩන්නට හිතුණ. “ඊට හොඳයි ඇතා පිටේ යන රජා උනානං.“

එතකොටම ගල්කඩන්නා රජ්ජුරුවො උනා. ගල් රජ්ජුරුවො ඉතිං ඔහොම ඇතා පිටේ දිගටම ගියා. යනකොට ඉර තදිං පායන්ඩ ගත්තා. රජ්ජුරුවන්ට ඉහිං කණිං දාඩිය වැක්කෙරෙන්ඩ ගත්තා.

“ඉර රජාට වඩා බලවත්නෙ“ ගල්කඩන්නට හිතුණා “මීට හොඳයි මං ඉර උනානං“

ඉතිං ගල් කඩන්නා ඉර උනා. ගල් ඉර තදේට පායන්ඩ ගත්ත, තමුංගෙ බලය පෙන්නන්ඩ. අන්තිමේ තද කළු වැහි වළාකුළක් එනකංම ගල් ඉර දන් නෑ මොකද වෙන්නෙ කියල.

වැහි වළාකුළෙං ඉර වහගත්ත. “ඉර වෙලා වැඩක් නෑ නෙ“ ගල් කඩන්නට තේරුණා. “වැහි වළාකුළ ඊට වඩා බලවත්නෙ. වෙනවනං වැහිවළාකුළ තමයි වෙන්ඩ ඕනෙ“

එහෙම හිතෙනවත් එක්කම ගල් කඩන්නා වැහිවළාකුළක් උනා. එයා වැහැල වැහැල වැහැල, ගංවතුරක් එන්ඩම වැස්සා.

එතකොටම කොහෙද ඉඳං ආපු තද හුළඟකට වළාකුළ ගහගෙන යන්ඩ ගත්ත.

“හුළඟ තමයි බලවත්ම. හුළඟ වෙන්ඩ ඇත්තං මට...“ ගල් කඩන්න එහෙම හිතුව. ඒත් එක්කම ගල් කඩන්නා හුළඟක් වෙලා ශිහාන් මිහිරංග වගේ තදේට හමන්ඩ ගත්තා.

ඒ හුළඟට අහුවෙච්ච හැම එකක්ම උඩ ගිහිං කැරකිලා, ඈතට විසි උනා. එකක් ඇරෙන්ඩ. 

ඒ තමයි ගල් කන්ද.

හුළඟ කොච්චර සැර දැම්මත් ගල් කන්ද නෙමෙයි එක අඟලක් හෙල්ලුනේ.

“යකෝ... හුළඟ වෙලා වැඩක් නෑනෙ. ගල්කන්දනෙ වැඩ්ඩා... මාත් ගල් කන්ද වෙන්ඩ ඕනෙ.“ ගල් කඩන්නා එහෙම හිතුව විතරයි එයා මහ ගල් පරුවතයක් උනා.

උනා විතරයි මිනිහෙක් ඇවිත් ගල කඩන්ඩ ගත්ත.

“මේක මාර වැඩක්නෙ. එතකොට ගල්කඩන්නද ලෝකෙ ඉන්න බලවත්ම මිනිහ? මාත් ගල් කඩන්නෙක් වෙන්ඩ ඕනෙ“

ඉතිං ගල් කඩන්නා අයෙම ගල් කඩන්නා බවට පත් වුනා. එයා තේරුං ගත්ත, ලෝකෙ ඉන්න බලවත්ම කෙනා තමයි, වෙහෙසිලා වැඩකරන මනුස්සයා කියල.

ඒ ඔක්කොමත් හරි. යථාර්ථවාදීම කතාව තියෙන්නෙ අප්‍රිකානු ජනකතා අතරෙ.

බළලා කොහොමද ගෙදරට හීලෑ උනේ කියන එක තමයි ඒකෙං පැහැදිලි කරන්නෙ.

කැලේ හිටපු බළලා දවසක් තීරණය කළා, බලවත්ම සතා එක්ක යාළු වෙන්ඩ. එහෙම හිතල සිංහයා ගාවට ගිහිං, එයත් එක්ක යාළු උනා. දැං ඉතිං දඩයමේ එහෙම යන්නෙ බළලා, සිංහයත් එක්කමයි.

දවසක් සිංහයා ඇතෙක්ගෙ පිටට පැන්නා. ඇතා සිංහය පනිනවත් එක්කම දළ දෙක දික් කළා. සිංහය ඒ දළදෙකේ ඇනිලා මළා.

දැං ඉතිං බළලා ඇතා එක්කමයි ගමන බිමන. ඇයි ඉතිං ඇතා සිංහයටත් වඩා බලවත් නෙ.

අනේ ඉතිං වැඩි දවසක් යන්ඩ උනේ නෑ, දඩයක්කාරයෙක් ඇවිත් වෙඩිතියල ඇතා මැරුවා.

ඉතිං මිනිහා තමයි ලෝකෙ බලවතා කියල හිතල බළලා දඩයක්කාරයත් එක්ක ගෙදර ආව. 

ඒ එනකොට දඩයක්කාරයගෙ මායිය හොඳටම ආවේස වෙලා. දඩයක්කාරයට බැණල බැණල, උන්දැව එළියට දාල දොර වැහුව.

“අඩේ බැලින්නං මිනිහ නෙමෙයිනෙ ලෝකෙ බලවතා, ගෑණිනෙ“ කියල තේරුං ගත්ත බළලා, එදා ඉඳං ගෙදර ගෑණු මනුස්සය පස්සෙංම වැටුණ...

http://pet.nifty.com/cms_image/pet/column
/140105000054/139019546915558_1s.jpg

Friday, June 9, 2017

ඉස්කෝලෙ මහත්තුරු සහ බටගම

ඉස්කෝලෙ මහත්තුරුංගෙ සමාජ පසුබිම සහ රසකතා ටිකකුත් ඒ ලිපිය ලියද්දි මතුවෙච්ච කයිකතන්දර ගැනත් මුල් ලිපි දෙකක සඳහන්. එව්ව ලියල හිටං සෑහෙන කාලෙයක් යනකං මොකවත් ලියන්ඩ බැරි උනා. ඒකට හේතු කීපයක්: මයෙ බ්ලොග් එක ඕපන් කරල තප්පර ගානකිං පස්සෙ වෙන කොහෙද මංද පිටුවකට රීඩිරෙක්ට් වෙන්ඩ පටං අරං තිබ්බ. ඒක හදාගන්ඩ මං විදේශාධාරත් පැතුව. හරි ගියෙ නෑ. මේ ඊයෙ පෙරේද හදිස්සියෙ අපේ ගෙදර කඩා වැදුන සිරිබිරිස් එක්ක අටම. අටං මට කියපු ක්‍රමයක් අත්හදා බලන්ඩ ගිහිං ඕං කොහොම හරි දැනට නං බ්ලොග් එක ස්ථාවර මට්ටමක තියෙනව.

අටමව ඇදං අපේ ගේ හොයාගෙන ආව සිරිබිරිස් මට මසුරං කෝටියකටත් වඩා වටින පොත් දෙකක් තෑගි කරල, “දිගටම ලියපං...!“ කියල කිව්ව. ඉතිං ඒකෙං බ්ලොග් එක ලියන්ඩ මගඇරිච්ච තවත් හේතුවක් නැති වෙලා ගියා.

නොලියන්ඩ තව හේතුවක් උනේ, අපේ කන්තෝරු කාමර ටික කඩල අලුතිං පාටිෂන් කරන එක. ඒ වැඩේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙ ඉබ්බන්ට බාර දීල නිසා, මාස ගාණක් තිස්සෙ කම්පියුටරයක් නැති පාලු කාමරේක, බෝනික්කෙක් වගේ මැඩම් කෙනෙක් එක්ක රාජකාරි කරන්ඩ වෙලා තිබීම. අනික් හේතුව තමයි, මගෙ රාජකාරි ජීවිතේ ලොකුම ටාගට් එක වුන එක්තරා විභාගෙකට ලෑස්ති වීම. ඉතිං තියෙන එක තප්පරේ උනත් ඒ විභාගෙට පාඩං කරන්ඩ වැය කරන තත්ත්වයක් තමා මේ දවස් වල තියෙන්නෙ.

කොහොම හරි, ඕං ආපහු ඉස්කෝලෙ මහත්තුරුංගෙ කතා...

දවසක් ඉස්කෝලෙ මහත්තේක්, පොල් ගෙඩ්ඩක් කඩාගන්ඩ කියල, වත්ත පහලට ගියා. ගිහිං පොල් ගහ යටට ගිහාමයි මතක් උනේ ගහට නගින්ඩ වලල්ලක් ඕනෙ නේද කියල. ඉතිං ආපහු ගෙදර යන්ඩයැ? වටපිට බලද්දි, ළග ගහක දිගේලි කරල ඉන්නව එළදෙන. ඉස්කෝලෙ මහත්තැන්ට ආව මරු අයිඩියා එකක්. උන්දැ ටක් ගාල එළදෙනගෙ කඹේ ලෙහා ගත්ත. ඒකෙන් හදාගත්ත වළල්ලක්. අනික් කොනේ එළදෙන ඉද්දිම උන්දැ වළල්ල දෙපයෙ දාගෙන නැග්ග ගහට. 

ගහට නැගල කඩන්ඩ උනේ එක පොල් ගෙඩියයි. ඒ ගෙඩිය වැටිච්ච සද්දෙට එළදෙන බය උනා.

එක පොල් ගෙඩියක් වැටෙන සද්දෙ නං කුස්සියෙ හිටිය හාමිනේට ඇහුන. ඊට පස්සෙ පොල් වල්ලම වැටෙන සද්දෙ තමා ඇහුනෙ. උන්දැ පොල් ටික දාගෙන එන්ඩ ගෝණියකුත් අරං යනකොට, පොල් ගහ ගාව තිබ්බෙ එක පොල් ගෙඩියයි. තව ටිකක් විපරං කරනකොට දැක්කෙ, වත්තෙ කෙරෝලෙ වැතිරිල ඉන්නව ඉස්කෝලෙ මහත්තෙය පිටයි බඩයි බරු ගහගෙන, එළදෙනගෙ ලණුවෙ කෙරෝල තාමත් උන්දැගෙ දෙපයෙ වෙළාගෙන...

තව දවසක් ඉස්කෝලෙ මහත්තේක්ගෙ කුඹුරෙ ගොයං පෑගිල්ල තිබ්බ. ඒ කාලෙ ඉතිං උදේ වරුවෙ ගොයං කපනව, හවස් වරුවෙ ගොයං ටික එක් - එක්කෙනා ඔළුව උඩ තියාගෙන කමතට අදිනව, ඒකට කියන්නෙ උප්පිඩි අදිනව කියල. රෑ තිස්සෙ හරකුන්ගෙන් කොළ මඩවනව. ඔය වැඩේට හොඳ පාළොස්වක කිට්ටු කරල. මොකද හඳපානෙ කරන්ඩ ඇහැකි. ඒත් මෙදා පොටේ අමාවක කිට්ටු කරල තිබ්බෙ.

ඉස්කෝල මහත්තෙය ගෙනාව හරිකේන් ලන්තෑරුමක්. ඒක කමත අයිනෙ තිබ්බ උණ ගහක (fever tree) මුදුනෙ ගැට ගහන්ඩයි උන්නැහැගෙ අදහස. එතකොට මුළු කමතම එළිය වෙයි...

http://2.bp.blogspot.com/_2vTmvABMLcY/
TJtuAvbSE_I/AAAAAAAAAYU/JwHkPN42zDU/
s1600/Lantern_Part3_22X15_100dpi.jpg
ඉතිං එයාගෙ උපදෙස් පරිදි, ඉළංදාරි ටික ගල් මාට්ටුවක් දැම්ම උසම උණගහේ මුදුනට. දාල, කට්ටියම එකතු වෙලා ගල් මාට්ටුවෙ ලණුවෙං ඇදල ඇදල, උණ ගහ පාත් කරගත්ත. ඉස්කෝලෙ මහත්තය, තමුංම එල්ලුව ලන්තෑරුම උණ ගහේ කරටියෙ. 

“හා දැං අතෑරපල්ල ළමයිනේ...“ කිව්ව විතරයි,

උණ ගහ එක පාරටම කෙළිං උනා, සීංංංංංංංං ගාගෙන ලන්තෑරුම උඩිං ගියා...

“මළ කෙළියයි...“ ඉස්කෝලෙ මහත්තෙයට කියවුනා. දැං කොහොමද කළුවරේ ලන්තෑරුම වැටිච්ච තැන හොයාගන්නෙ?

කල්පනා කරනකොට ඉස්කෝලෙ මහත්තෙයට තව මසුරං අයිඩියා එකක් ආව.

“ඔය උණ ගහ ආපහු පාත් කරපල්ල...“

ඉළංදාරි ටික ආපහු අර ළණුවෙ කොණෙං අල්ලල ඇදල උණ ගහ පාත් කළා. ඉස්කෝලෙ මහත්තෙය ගියා උණ ගහේ කරටිය ගාවට. ගිහිං කිව්ව,

“මං දැං මයෙ ගිරේ, මේ උණ කරටියෙං තියනව. මං අතැරපල්ල කියනකොට, අර ඉස්සෙල්ල වගේම එකපාරට උණ ගහ අතෑරපල්ල, එතකොට, මේ ගිරේ ගිහිං වැටෙන්නෙ අර ලන්තෑරුම වැටිච්ච තැනටමයි. ගිරේ ළන්තෑරුමේ වැදෙන සද්දෙං අපිට දෙකම හොයාගන්ඩැහැකි....“

කලිං වගේම, ගිරෙත් සීංංංංංංංං ගාගෙන උඩිං ගියා විතරයි කවුරුත් දැක්කෙ.

“ඊට පස්සෙ ගුරාවත් උණගහේ නග්ගල ඇරියද දන්නෑ, ගිහිං ලන්තෑරුමයි ගිරෙයි දෙකම හොයාගෙන වරෙං කියල...“ කියල, ඔය කතාව අපිට කියපු එකාට සෝබනෙය (මයෙ අතිජාත යාළුවෙකි - අර සිරිමහත්තෙයට පහක් දැම්මෙ, ආං ඌ...) කිව්ව.

මේ ලන්තෑරුමේ කතාව සිද්ද උනේ බටගමයි කියල, මගෙ බටගම යාළුවෙක් කිව්ව. ඌ මතක් උන වෙලේ බටගම ගැනත් කතා ටිකක් ඔළුවට ආව.

දවසක් බටගම පවුලක්, කකුළුවො ටිකක් ගෙනත් උයන්ඩ. උං ටික උයන්ඩ ගන්නකොටම, අල්ලපු ගෙදර වලියක් ගිහිං. ඉතිං මුං ටික, කකුළුවො ටික පෙට්ටියකට දාල, වලිය නරඹන්ඩ ගිහිං. ආපහු ඇවිත් බලනකොට කකුළුවො ටික නෑ. උං ටික පෙට්ටියෙං බැහැල යන්ඩ ගිහිං.

ඉතිං ගෙදර මනුස්සයයි, පුතයි ගිහිං ඉන්නවලු බටගම හංදියෙ. 

“කොහෙං ගියත්, ආපහු මීගමුවට යන්ඩ, හංදිය හරහ යන්ඩ එපැයි. ආදෙංකො ඔය කකුලුවො ටික...!“ කිය කියා ඉන්නවලු දෙන්නත් එක්ක.

තව දවසක් බටගම පල්ලියෙ කොඩි ගහ ඉස්සුවලු කට්ටිය එකතු වෙලා, හතර අතිං ලනු දාල නෙ ඔය කොඩි ගහ උස්සන්නෙ...

කොහොම හරි මිනිස්සු ටික සෑහෙන්ඩ මහන්සි වෙලා අන්තිමේ කොඩි ගහ කෙළිං වෙච්ච ගමංම, සන්තෝසෙ වැඩි කමට කෂ්ඨිය ලණු ටික අතෑරල අප්පුඩි ගහන්ඩයි විසිල් ගහන්ඩයි ගත්තලු.

බටගම උදවිය පොල් කඩන්නෙ කෙක්කෙං. හැබැයි බිම ඉඳල පැහිච්ච පොල් වල්ල තෝරගන්ඩ දන් නෑ. ඉතිං කරන්නෙ, එකෙක් ලොකු රෙදි පටියක් අරං ගහට නගිනව. නැගල, පොල් ගෙඩි හොල්ලල බලල, පැහිච්ච වල්ල තොරගන්නව. පැහිච්ච වල්ලෙ බූ නැට්ටෙ රෙදි පටිය ගැටගහනව, පහළට පේන්ඩ. ඊට පස්සෙ ගහෙං බහිනව. දැං බිම ඉඳං නියම පොල් වල්ල කෙක්කෙං කැඩුවහැකි.

පුවක් කඩන්නෙ නං එහෙම නෙමෙයි. එකෙක් දිග ලණුවක් අරං ගහට නගිනව. ලණුව ගහේ කරටියට ආසන්නයෙ ගැට ගහනව. පස්සෙ බිමට බැහැල, කට්ටිය එකතු වෙලා ඇදල ඇදල, පුවක් ගහ බිමට නමා ගන්නව. ඊට පස්සෙ බිම ඉඳං අතිං පුවක් ටික කඩා ගන්නව. ඊට පස්සෙ ලණුව ලෙහා ගන්නව. එතකොට සිරිංංං ගාල කෙළිං වෙන පුවක් ගහේ තියෙන ලපටි පුවක් වලු ඔක්කොම සීසීකඩ...

තව දවසක් ගහක් කපද්දි, ගහ කපල කරත්තෙට පටෝ ගන්ඩ කම්මැළිකමට, ගහ මුලට කරත්තෙ රිවස් කරල, කරත්තෙ උඩට ගහ කැපුවයි කියලත් කියනව. 

ඕනෙම ගමක මෝඩ කං කරන මිනිස්සු ඉන්නව. මේ කතා ලිව්වෙ ව්‍යවහාරෙ තියෙන විදිහටයි. නැතුව මගෙ තුං හිතකවත් නෑ මේ ගම විශේෂ කරල අපහාස කරන්වඩත් උපහාසයට ලක්කරන්ඩවත් අදහසක්. එහෙනං ඉස්කෝල මහත්තුරු ගැන මයෙ මුල්ම කතාවෙ මං ලියල තියෙන්නෙ අපේ ගමේ උන්න කීප දෙනෙක් ගැන?

මේ අර මං පළවෙනි කොටසෙ කිව්වෙ,
මං ඇඳපු බෝඩ් එක.
මේක තමයි අර එවරස්ට් කන්ද මුදුනෙ
වැටක ගහන්ඩ හොඳයි කියල
ජිනදාස මහත්තෙය කවියෙං ලියල දුන්න එක. 
පහුගිය පෝස්ට් දෙකට ලිංක් මෙන්න:

ඉස්කෝල‍ෙ මහත්තුරු සහ තවත් කතා
ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර

මේකෙං පස්සෙ ආයෙම ලියන්ඩ වෙන්නෙ ගොඩක් වෙලාවට අර විභාගෙං පස්සෙය. ඒනිසා එතෙක් මට සමු දෙන්ඩ ය. තව මාස දෙක තුනයි ය. වැඩිම උනොත් සැත්තැම්බර් වෙයි... ඊට පස්සෙ මං ආයෙම ෆුලි ලෝඩඩ් ය. කොහෙම හරි ඒ අතරෙ කමෙන්ට් වලට උත්තර දෙඤ්ඤං ය...

Thursday, October 13, 2016

ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර

ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක, අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය ගැන රස කතා ටිකක් කියන්න පුළුවං උනා.

මේ ලිපියෙන් මං අහල මතක තියෙන ඉස්කෝලෙ මහත්තුරු කතා සහ වෙනත් කතා ටිකක් කියන්න තමයි හදන්නෙ. ඕං එහෙනං අහගන්ට...

දවසක් ඉස්කෝලෙ මහත්තේක් මගදි හම්බු වෙච්ච අපේ මේ අටම වගේ කෙනෙක්  හොඳට බොන කන පොරක්, ආගිය කතා කතා කරල, ඇහුවලු,

ඉස්කෝලෙ මහත්තෙය, යංද පොඩි අඩියක් ගහන්ඩ?” කියල.

ඉස්කෝලෙ මහත්තෙය කාරණා කාරණා සහිතව උන්නැහැට තේරුං කරල දුන්නලු ඒ ගැන.

උන්නැහැ, කාරණා තුනක් මත මම ඔය යෝජනාවට බෑ කියනව...

එක. මම ගුරුවරයෙක්. මගෙන් ඉගෙන ගත්ත ළමයි බොහොමයක් දෙනා මේ සමාජයෙ ඉන්නව. මං බිව්වොත් ඒක ඒ අයට කරන අගෞරවයක්. ඒ වගේම මගෙ කීර්තියට ලොකු හාණියක්. ඒ වගේම සමාජයට වැරදි ආදර්ශයක්.

දෙක. මම ලොකු මහත්වෙච්ච දරුවො තුන් දෙනෙක්ගෙ තාත්ත. මං කරන දුරාචාර දේවල් වලින් ඒ අයට සමාජයට මූණ දෙන්ඩ බැරුව යනව.

තුන තමයි...

“...උන්නැහැට කිව්වට මොකද, මං දැනටමත්  ටිකක් බීලයි ඉන්නෙ. තව බිව්වොත් මට ගෙදර යන්ඩ බැරුව යනව. කාණුපල්ලෙ තමා ඉන්ඩ වෙන්නෙ...”


කන බොන එක ගැන කතා කරද්දි මට වෙන කතාවක් මතක් උනා.

ඔය අටම වගේ හොඳට කන බොන පොරක් ගියාලු දවසක් (ඔය කියන්නෙ ග්‍රාමසේකර මහත්තුරු එන්ඩ කලිං ආරච්චි, ගම්මුලාදෑණි වරු ගම පාලනය කරන කාලෙ) ආරච්චි මහත්තයෙක් මුණගැහෙන්ඩ. ගිහිං මිදුලෙ ඉන්නවලු ආරච්චි එළියට එනකං, උගුරු පාද පාද.

සාමාන්‍යයෙං වැදගත් උදවිය ගාවදි සාමාන්‍ය හුදී ජනයා උස් හඬිං කතා කරන් නෑනෙ. කොහෙ හරි ගිහිං ගෙදර කවුද?” වගේ දේවල් අහනව වෙනුවට කරන්නෙ ටිකක් උස් හඬිං උගුර පාදන එකයි. ඔහොම සිද්ධියක් රොමාගෙ වාසනාව පොතේ තිබුණ මට මතකයි. නෝරා හාමු රොමාව එක්කරගෙන ඇවිත්, දිසානායක වලව්වෙ මහත්තෙයගෙ කාමරේ දොර ගාව තියල, “ඔය දොරට ගහපිය.” කියල යනව යන්ඩ. දොරට තට්ටු කරන්ඩ අකමැති කමට රොමා වරක් දෙකක් කහිනව. එතකොට වලව්වෙ මහත්තෙය කියනව ඇතුළට වරෙං.” කියල.

ඒ වගේ අටම අර මනුස්සය උගුර පාදනව ඇහිච්ච ආරච්චි මහත්තෙය කවි පදේකුත් කියාගෙන එළියට එන්ඩ ආවලු.

කන දෑ අඳින දෑ...” කියාගෙන.

අර මනුස්සයත් ගත් කටටම කිව්වලු,

බොන දෑ විතර හොඳ දෑ...?” කියල.

ඒ ගමන ආරච්චි ඇහුවලු, (තාම එළියට ඇවිත් නෑ.)

කවුද ඒ උන්දෑ...?” කියල.

එතකොට අරූ කියනවලු,

මොකද, හිරයක් දෙන්ටවත් දෑ?” කියල.

ඕං එතකොට තමයි ආරච්චි මහත්තෙය එළියට ආවෙ. ඇවිත් අරූ දිහා බලල ඇහුවලු කවියෙම්ම,
දෙන්නගෙ කවි සංවාදෙ කෙලිම්ම දානව මගෙ විස්තර නැතුව. ආරච්චි මහත්තෙය රතු පාටයි, අනික් මනුස්සය නිල් පාටයි. (ඒ පාට සංකල්පය උපුට ගත්තෙ සුරං‍ගගෙං)

තා කොයිබ මිනිසා?”
නායිමන නම් පියසා
ආවේ මක් නිසා?”
ආමි සමිඳුන් දකිනු පිණිසා...”

මේ කතාවෙං මට තව කතාවක් මතක් උනා බරණ ගණිතය ගැන. ගොඩක් අය මේක නං අහල ඇති.

දවසක් බරණ ගණිතය ගිහිං ඔය වගේ මුලාදෑණියෙක් හම්බ වෙන්ඩ. ඒ යනකොට මුලාදෑණිය යාළුවො ටිකක් එක්ක මිදුලෙ මේසයක් තියාගෙන, රා කළගෙඩියක් හිස් කරනව. ඒ අය කිව්වලු, බරණ ගණිතය කවියට ප්‍රසිද්ධ හින්දා, “අපි ගැනත් කයියක් කියහංකියල. උන්දැ ගත් කටටම, නැකැත් සාස්තරෙත් අල්ලල කිව්වලු මේ කවිය.

පෙර රැස නගා පළහා අන්තිම රාසී
නොමරැස සිටි ගහන් දස එක්වන රාසී
යුග රැස වන් දනෝ එකතුව කර පෑසී
පහ රැස ලෙසින් සතුටින් බස් දෙති වාසී

මේ කවිය රාශි චක්‍රය යොදාගෙන කියල තියෙන්නෙ. තේරුම කියන්ඩ පුළුවං හපනෙකුට මං දෙනව මේ රටේ හොයාගන්ඩ නැති දෙයක්.

තව පාරක් ඔය බරණ ගණිතය ගමනක් යද්දි හවස් වෙලා, අම්මන කියන ගමේදි. එදා රෑට නවතින්ඩ ගියාලු පන්සලට. පන්සලේ හාමුදුරුවො එයාට කාමරයක් දුන්නලු. ඒ කාමරේ තිබ්බෙ මේසයක් විතරයි. හාමුදුරුවො ගණිතයට තරයේම කිව්වලු වේලාසන දොර ජනෙල් වහගෙන නිදාගන්ඩ කියල. ඒ කියපු විදිහටම උන්දැත් දොර ජනෙල් වහගෙන මේසෙ උඩට නැගල නිදාගත්තලු.

වේලාසන නිදාගෙන පුරුදු නැති හින්ද ගණිතයට නින්ද ගිහිං නෑ. ඉතිං ඕනෙ එකක් කියල, නැගිටල ජනේලෙ ඇරල බැලුවහම හරිම කෞතුක සිදුවීමක් තමයි දකින්ඩ ලැබිල තියෙන්නෙ.

ඉතිං ඒක මතක තියාගෙන ඉඳලා, පහුවදා යන ගමං කඩමණ්ඩියෙදි මෙන්න මේ කවිය කියාගෙන ගියාලු.

බක්මස මුදුනේ සයනය කරලා මඳක් නැගිට බැලු කල ඉවතා
නවම් මසක් සුරතින් අරගෙන සකි බිනරක් එනවා දැක දෙනෙතා
වෙසක් මසට සරි එකෙක් ඇවිල්ලා බිනරේ අල්ලාගෙන දුවතා
අසන්න මහතුනි අම්මන ගමදී පොසොන් මසක් සිදුවී කියතා

මේ කවිය කලිං එකටත් වඩා ඇඩ්වාන්ස්ඩ්.

කවි ගැන කියනකොට... මට මතකයි කලිං ඉස්කෝළෙ මහත්තුරු ගැන පෝස්ටුවෙ කෙනෙක් කමෙන්ට් එකක් දාල තිබ්බ අර ඒ දණ්ඩකිං හතර දෙනෙක් එ‍ගොඩ වෙච්ච කවිය. අපේ තාත්ත තමයි මට ඔය කවිය ඉස්සෙල්ලම කියා දුන්නෙ. මෙහෙමයි ඒ කතාව:

දවසක් යාළුවො හතර දෙනෙක් ගමනක් යනවලු. එයිං එක යාළුවෙක් කකුලක් කොර ඇන ඇන තමයි යන්නෙ. මගදි ඒ දණ්ඩක් තිබිල. අර හතර දෙනා එකා පස්සෙ එකා එගොඩ වෙද්දි අර කකුලක ආබාධයක් තිබ්බ හාදෙය ඒ දණ්ඩෙං ගඟට වැටිල. ඒ ගමන අනික් තුං දෙනා කොහොම හරි මෙයාව ආපහු ගොඩට අරං ආපහු ගමන පටං ගත්තලු.

ඔහොම යන ගමං එකෙක් පටං ගත්තලු කවියක් කියන්ඩ.

ඒ දණ්ඩෙං කොටා...”

තව එකෙක් කියනවලු,

යන කලටා...”

තුං වෙනියත් පදෙයක් සම්පූර්ණ කළාලු,

වැටුණි ගඟටා...”

අර ආබාධිතයට එකපාරටම කියවුනාලු,

හුටා...” කියල.

අපේ තාත්ත මං පොඩිකාලෙ කියපු තව එකක් අමතක වෙන්ඩ කලිං මෙතනම දානව.

ඔන්න ගමක හිටියලු පොරක්. එයා හෙණ සංස්කෘත පාලි පණ්ඩිතය කියල පෙන්නගෙන හිටපු කෙනෙක්ලු ඉතිං. එයාගෙ රංගනය ට ගමේ හැමෝම යන යන තැන එයාට ප්‍රමුඛත්වය දුන්න.

ඒ වගේ පණ්ඩිතයෙක් තමයි අපේ ගමේ අපි පොඩි කාලෙ හිටිය සාන්ති මාම. නිකටෙ තිබ්බ තඩි ලපයක් නිසා ගමේ උදවිය පොරට ලප සාන්ති කියන්නෙ. අපේ බාප්ප පොර ගෙ නමට තේරවිල්ලක් හදල තිබ්බ. “ඉන්දිරා ගාන්ධිගෙ මැරිච්ච පුතා” (ඒකාලෙ රජීව් ගාන්ධි තමයි ඉන්දියාවෙ අගමැති) තේරවිල්ල විසඳන්නෙ මෙහෙමයි. ඉන්දිරා ගාන්ධිගෙ මැරිච්ච පුතා - සන්ජේ ගාන්ධි. සාන්ජේ ගාන්ධි - අනිප්පැත්ත ගැහුවම ගංජ සාන්ති. තාත්ත දවසක් කියනව, සාන්ති මාම පණ්ඩිත විශාරද පලප්ප සේන කියන ගෞරව නාමය ලබා ගත්ත කෙනෙක් ලු. එහෙම කියල මේ කතාව කිව්ව.

දවසක් සාන්ති මාමගෙ අම්ම, එයාට කවුරුත් කිව්වෙ අයියම්ම. (අර ගෝවින්දයි කරිෂ්මයි උන්න ෆිල්ම් එකක තිබ්බ ඔය  අයියම්මගෙ නම ඇතුළත් සිංදුවක්. “අයියම්මා අයියම්මා - ක්‍යා කර්තාහේකියල.) අයියම්ම දවසක් සාන්ති මාමට බණිනව කටකමිසිරියාවක් නැතුව. සාන්ති මාම එයාට ඉංග්‍රීසියෙං දෙකයි කිව්වෙ, කට වැහුණ.

ෂටප් !”
ගෙටවුට්!”

ඔතන හිටිය කෙනෙක් සාන්ති මාමගෙං ඇහුවලු මොකද්ද ඒ කිව්වෙ කියල. සාන්ති මාම කිව්වලු,

ෂටප් කියන්නෙ කටවහපං - ගෙටවුට් කියන්නෙ ගෙට පළෙයං

ඔන්න ඉතිං අර කලිං පටං ගත්තු සංස්කෘත පණ්ඩිතයගෙ කතාව. පොර හැමදාම හවසට නාල කරල, තේ එකක් කාරිය බීල, ගමේ එක තැනක තිබුණ ගහක් යටට ගිහිං එතන තිබ්බ ආසනයක් උඩ වාඩිවෙලා සැඳෑ සුවය විඳිමිං අළස කල්පනාවක ගිළී ඉන්න පුරුදු වෙලා හිටියලු.

දවසක් එයා එතනට යනකොට, අඳුනන්නැති ටිකක් උස මහත පොරක් එයාගෙ ආසනේ වාඩිවෙලා බොහොම සැපපහසුවට හරි බරි ගැහිල ඉන්නවලු. පණ්ඩිතයට ටිකක් බයත් හිතුනලු. ඉතිං පොර කිව්වලු මේ ශ්ලෝකය...

රුක්ඛමූලේ මහා හබ්භා - ඌ කෙරේ මා භය කෙරේ
ඌ මේකට සාධු කිව්වොත් - ඌට නං මං භය නොවේ
(මේක ලිව්වෙ තාත්ත කියපු විදිහ මට මතක තිබ්බ හැටියටයි)

ඕක ඇහිච්ච ගමං අර උසමහත පොර නැගිටල සාධුකාර‍යක් දුන්නලු. ඒ ගමන අරූ ගිහිං උගෙ බෙල්ලෙං අල්ලල තල්ලු කරල ආසනේ ඉඳ ගත්තලු.                                                                                                                                                                                                                                           
පරණ සමාජයෙ තිබුණ එක ලක්ෂණයක් තමයි, කතාවකට කවියක් එකතු කරන එක. ඒක ඔය කුඹුරෙ, කමතෙ, අත්තම් වලදි කෑම කන වෙලාවෙ විවේක ගන්න හදාගත්ත රසවත් ක්‍රමයක් කියල හිතෙනව. ඔව්වට තමා කයි කතන්දරකියල කියන්නෙ. බොරළැස්ගමුවෙ ජී. එච්. පෙරේරා පොතකුත් ලියල තියෙනව ඔය කයි කතන්දර සෑහෙන ප්‍රමාණයක් එකතු කරල. ඒකෙ නමත් කයිකතන්දර මයි.

ඒ වගේ කයිකතන්දරයක් මට මතකයි එක පොතක හරි පත්තරේක හරි තිබිල කියෙව්ව,

ගමක හිටියලු කැවුං බදින්ඩ දක්ෂ ගෑණු කෙනෙක්. එයා හැබැයි ඊට වඩා දක්ෂයිලු හොරා කන්ඩ. ඉතිං ගෙදර කට්ටිය කරපු දේ, කැවුං බදින්ඩ ගෙනා පැණි මුට්ටියෙ ඉතුරු ටික ඇඳ යට හැංගුවලු මෙයා කයි කියල. මෙයා කැවුං බැද බැද ඉද්දි ගෙදර කට්ටිය පොඩ්ඩක් එහා මෙහා වෙනකං ඉඳල, මේ ගෑණු කෙනා ඇඳ යටට අත දාල, මුට්ටියක් හොයාගෙන, ඒකට අත දාල දෙපාරක්ම අරං කටේ දාගත්තලු. ගෙදර හාමිනේ එනකොට ඉන්නවලු, යකා මූණෙ දැලිගාගත්ත වගේ කට වටේට කලුපාට ගාගෙන.

වෙලා තියෙන්නෙ, ඇඳ යට තාර මුට්ටියකුත් තිබිල. හෙර ට මුට්ටි දෙක පැටලිලා, කාල තියෙන්නෙ තාර. ඒකට හදපු කවිය තමයි,

රට රට වල හොරකම් කර අත නෑර
පටළවමින් දෙවිටක් කාපිය තාර
තිට වැහුණද මහසෝනගෙ අවතාර
මොට කෑවද පර වේසියෙ කලු තාර

කලිං හුටා කවිය වගේ කීප දෙනෙක් එකතු වෙලා හදපු තව කවියක් තමා අර ආප්ප කන්ඩ ගිය හතර දෙනාගෙ කවිය. කවිය විතරක් මෙතන දැම්මත් ඇති කියල හිතෙනව. මේ කවියත් එක්කෙනෙක් එක පදේ ගානෙ දාල හදපු කවියක්.

ආප්ප ගොඩක් මේසය මත තියෙන්නා
පැණි ටිකකුත් ‍ඒ අසළම තියෙන්නා
මැස්සො රැළක් ඒ වට කරකැවෙන්නා
ගොං තිදෙනෙක් ඒකට කවි කියන්නා

ඇයි තව දවසක් තල මලක් බලන්ඩ ගියපු යාළුවො දෙන්නෙකුත් කවියක් හැදුවලු ඔය වගේ, හැමෝම තල මල් ගැන කවි හදන එකේ අපි දෙන්නත් එකක් හදමු කියල. කොහොම හරි මහන්සි වෙලා පද දෙකක් ගැටගහගත්තලු.

එගොඩ ගොඩේ තල මලකුත් පිපිජ්ජා
මෙගොඩ ගොඩේ තල මලකුත් පිපිජ්ජා

ඊළඟ පද දෙක හදාගන්ඩ දෙන්නත් එක්ක කොච්චර මහන්සි උනත් බැරි වුනාලු. ඒ ගමන ප්‍රසිද්ධ කවියෙක් හොයාගෙන ගියාලු ඉතුරු පද දෙක පුරවගන්ඩ.

කවියා ඇහුවලු දෙන්නගෙ නම් දෙක. එකෙක් කල්ලු අජ්ජා, අනික පිල්ලු අජ්ජා. ඒ ගමන කවියා ඉතුරු පද දෙක ලේසියෙන්ම පිරෙව්වලු:

එක පදයක් කිව්වේ කල්ලු අජ්ජා
අනික් පදේ කිව්වේ පිල්ලු අජ්ජා
කියල.


ඉස්කෝලෙ මහත්තුරුංගෙ කතා කියල ඉවර කරන්ඩ බැරි වෙයි වගේ මේ යන විදිහට. ඉතුරු ටික ඊළඟ කොටසින් දාන්නං...

වැඩිපුර බලපු ලිපි