''expr:dir='data:blog.languageDirection' xmlns='http://www.w3.org/1999/xhtml' xmlns:b='http://www.google.com/2005/gml/b' xmlns:data='http://www.google.com/2005/gml/data' xmlns:expr='http://www.google.com/2005/gml/expr' ඩ්‍රැකීගේ අඩවිය: ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර

Thursday, October 13, 2016

ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර

ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක, අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය ගැන රස කතා ටිකක් කියන්න පුළුවං උනා.

මේ ලිපියෙන් මං අහල මතක තියෙන ඉස්කෝලෙ මහත්තුරු කතා සහ වෙනත් කතා ටිකක් කියන්න තමයි හදන්නෙ. ඕං එහෙනං අහගන්ට...

දවසක් ඉස්කෝලෙ මහත්තේක් මගදි හම්බු වෙච්ච අපේ මේ අටම වගේ කෙනෙක්  හොඳට බොන කන පොරක්, ආගිය කතා කතා කරල, ඇහුවලු,

ඉස්කෝලෙ මහත්තෙය, යංද පොඩි අඩියක් ගහන්ඩ?” කියල.

ඉස්කෝලෙ මහත්තෙය කාරණා කාරණා සහිතව උන්නැහැට තේරුං කරල දුන්නලු ඒ ගැන.

උන්නැහැ, කාරණා තුනක් මත මම ඔය යෝජනාවට බෑ කියනව...

එක. මම ගුරුවරයෙක්. මගෙන් ඉගෙන ගත්ත ළමයි බොහොමයක් දෙනා මේ සමාජයෙ ඉන්නව. මං බිව්වොත් ඒක ඒ අයට කරන අගෞරවයක්. ඒ වගේම මගෙ කීර්තියට ලොකු හාණියක්. ඒ වගේම සමාජයට වැරදි ආදර්ශයක්.

දෙක. මම ලොකු මහත්වෙච්ච දරුවො තුන් දෙනෙක්ගෙ තාත්ත. මං කරන දුරාචාර දේවල් වලින් ඒ අයට සමාජයට මූණ දෙන්ඩ බැරුව යනව.

තුන තමයි...

“...උන්නැහැට කිව්වට මොකද, මං දැනටමත්  ටිකක් බීලයි ඉන්නෙ. තව බිව්වොත් මට ගෙදර යන්ඩ බැරුව යනව. කාණුපල්ලෙ තමා ඉන්ඩ වෙන්නෙ...”


කන බොන එක ගැන කතා කරද්දි මට වෙන කතාවක් මතක් උනා.

ඔය අටම වගේ හොඳට කන බොන පොරක් ගියාලු දවසක් (ඔය කියන්නෙ ග්‍රාමසේකර මහත්තුරු එන්ඩ කලිං ආරච්චි, ගම්මුලාදෑණි වරු ගම පාලනය කරන කාලෙ) ආරච්චි මහත්තයෙක් මුණගැහෙන්ඩ. ගිහිං මිදුලෙ ඉන්නවලු ආරච්චි එළියට එනකං, උගුරු පාද පාද.

සාමාන්‍යයෙං වැදගත් උදවිය ගාවදි සාමාන්‍ය හුදී ජනයා උස් හඬිං කතා කරන් නෑනෙ. කොහෙ හරි ගිහිං ගෙදර කවුද?” වගේ දේවල් අහනව වෙනුවට කරන්නෙ ටිකක් උස් හඬිං උගුර පාදන එකයි. ඔහොම සිද්ධියක් රොමාගෙ වාසනාව පොතේ තිබුණ මට මතකයි. නෝරා හාමු රොමාව එක්කරගෙන ඇවිත්, දිසානායක වලව්වෙ මහත්තෙයගෙ කාමරේ දොර ගාව තියල, “ඔය දොරට ගහපිය.” කියල යනව යන්ඩ. දොරට තට්ටු කරන්ඩ අකමැති කමට රොමා වරක් දෙකක් කහිනව. එතකොට වලව්වෙ මහත්තෙය කියනව ඇතුළට වරෙං.” කියල.

ඒ වගේ අටම අර මනුස්සය උගුර පාදනව ඇහිච්ච ආරච්චි මහත්තෙය කවි පදේකුත් කියාගෙන එළියට එන්ඩ ආවලු.

කන දෑ අඳින දෑ...” කියාගෙන.

අර මනුස්සයත් ගත් කටටම කිව්වලු,

බොන දෑ විතර හොඳ දෑ...?” කියල.

ඒ ගමන ආරච්චි ඇහුවලු, (තාම එළියට ඇවිත් නෑ.)

කවුද ඒ උන්දෑ...?” කියල.

එතකොට අරූ කියනවලු,

මොකද, හිරයක් දෙන්ටවත් දෑ?” කියල.

ඕං එතකොට තමයි ආරච්චි මහත්තෙය එළියට ආවෙ. ඇවිත් අරූ දිහා බලල ඇහුවලු කවියෙම්ම,
දෙන්නගෙ කවි සංවාදෙ කෙලිම්ම දානව මගෙ විස්තර නැතුව. ආරච්චි මහත්තෙය රතු පාටයි, අනික් මනුස්සය නිල් පාටයි. (ඒ පාට සංකල්පය උපුට ගත්තෙ සුරං‍ගගෙං)

තා කොයිබ මිනිසා?”
නායිමන නම් පියසා
ආවේ මක් නිසා?”
ආමි සමිඳුන් දකිනු පිණිසා...”

මේ කතාවෙං මට තව කතාවක් මතක් උනා බරණ ගණිතය ගැන. ගොඩක් අය මේක නං අහල ඇති.

දවසක් බරණ ගණිතය ගිහිං ඔය වගේ මුලාදෑණියෙක් හම්බ වෙන්ඩ. ඒ යනකොට මුලාදෑණිය යාළුවො ටිකක් එක්ක මිදුලෙ මේසයක් තියාගෙන, රා කළගෙඩියක් හිස් කරනව. ඒ අය කිව්වලු, බරණ ගණිතය කවියට ප්‍රසිද්ධ හින්දා, “අපි ගැනත් කයියක් කියහංකියල. උන්දැ ගත් කටටම, නැකැත් සාස්තරෙත් අල්ලල කිව්වලු මේ කවිය.

පෙර රැස නගා පළහා අන්තිම රාසී
නොමරැස සිටි ගහන් දස එක්වන රාසී
යුග රැස වන් දනෝ එකතුව කර පෑසී
පහ රැස ලෙසින් සතුටින් බස් දෙති වාසී

මේ කවිය රාශි චක්‍රය යොදාගෙන කියල තියෙන්නෙ. තේරුම කියන්ඩ පුළුවං හපනෙකුට මං දෙනව මේ රටේ හොයාගන්ඩ නැති දෙයක්.

තව පාරක් ඔය බරණ ගණිතය ගමනක් යද්දි හවස් වෙලා, අම්මන කියන ගමේදි. එදා රෑට නවතින්ඩ ගියාලු පන්සලට. පන්සලේ හාමුදුරුවො එයාට කාමරයක් දුන්නලු. ඒ කාමරේ තිබ්බෙ මේසයක් විතරයි. හාමුදුරුවො ගණිතයට තරයේම කිව්වලු වේලාසන දොර ජනෙල් වහගෙන නිදාගන්ඩ කියල. ඒ කියපු විදිහටම උන්දැත් දොර ජනෙල් වහගෙන මේසෙ උඩට නැගල නිදාගත්තලු.

වේලාසන නිදාගෙන පුරුදු නැති හින්ද ගණිතයට නින්ද ගිහිං නෑ. ඉතිං ඕනෙ එකක් කියල, නැගිටල ජනේලෙ ඇරල බැලුවහම හරිම කෞතුක සිදුවීමක් තමයි දකින්ඩ ලැබිල තියෙන්නෙ.

ඉතිං ඒක මතක තියාගෙන ඉඳලා, පහුවදා යන ගමං කඩමණ්ඩියෙදි මෙන්න මේ කවිය කියාගෙන ගියාලු.

බක්මස මුදුනේ සයනය කරලා මඳක් නැගිට බැලු කල ඉවතා
නවම් මසක් සුරතින් අරගෙන සකි බිනරක් එනවා දැක දෙනෙතා
වෙසක් මසට සරි එකෙක් ඇවිල්ලා බිනරේ අල්ලාගෙන දුවතා
අසන්න මහතුනි අම්මන ගමදී පොසොන් මසක් සිදුවී කියතා

මේ කවිය කලිං එකටත් වඩා ඇඩ්වාන්ස්ඩ්.

කවි ගැන කියනකොට... මට මතකයි කලිං ඉස්කෝළෙ මහත්තුරු ගැන පෝස්ටුවෙ කෙනෙක් කමෙන්ට් එකක් දාල තිබ්බ අර ඒ දණ්ඩකිං හතර දෙනෙක් එ‍ගොඩ වෙච්ච කවිය. අපේ තාත්ත තමයි මට ඔය කවිය ඉස්සෙල්ලම කියා දුන්නෙ. මෙහෙමයි ඒ කතාව:

දවසක් යාළුවො හතර දෙනෙක් ගමනක් යනවලු. එයිං එක යාළුවෙක් කකුලක් කොර ඇන ඇන තමයි යන්නෙ. මගදි ඒ දණ්ඩක් තිබිල. අර හතර දෙනා එකා පස්සෙ එකා එගොඩ වෙද්දි අර කකුලක ආබාධයක් තිබ්බ හාදෙය ඒ දණ්ඩෙං ගඟට වැටිල. ඒ ගමන අනික් තුං දෙනා කොහොම හරි මෙයාව ආපහු ගොඩට අරං ආපහු ගමන පටං ගත්තලු.

ඔහොම යන ගමං එකෙක් පටං ගත්තලු කවියක් කියන්ඩ.

ඒ දණ්ඩෙං කොටා...”

තව එකෙක් කියනවලු,

යන කලටා...”

තුං වෙනියත් පදෙයක් සම්පූර්ණ කළාලු,

වැටුණි ගඟටා...”

අර ආබාධිතයට එකපාරටම කියවුනාලු,

හුටා...” කියල.

අපේ තාත්ත මං පොඩිකාලෙ කියපු තව එකක් අමතක වෙන්ඩ කලිං මෙතනම දානව.

ඔන්න ගමක හිටියලු පොරක්. එයා හෙණ සංස්කෘත පාලි පණ්ඩිතය කියල පෙන්නගෙන හිටපු කෙනෙක්ලු ඉතිං. එයාගෙ රංගනය ට ගමේ හැමෝම යන යන තැන එයාට ප්‍රමුඛත්වය දුන්න.

ඒ වගේ පණ්ඩිතයෙක් තමයි අපේ ගමේ අපි පොඩි කාලෙ හිටිය සාන්ති මාම. නිකටෙ තිබ්බ තඩි ලපයක් නිසා ගමේ උදවිය පොරට ලප සාන්ති කියන්නෙ. අපේ බාප්ප පොර ගෙ නමට තේරවිල්ලක් හදල තිබ්බ. “ඉන්දිරා ගාන්ධිගෙ මැරිච්ච පුතා” (ඒකාලෙ රජීව් ගාන්ධි තමයි ඉන්දියාවෙ අගමැති) තේරවිල්ල විසඳන්නෙ මෙහෙමයි. ඉන්දිරා ගාන්ධිගෙ මැරිච්ච පුතා - සන්ජේ ගාන්ධි. සාන්ජේ ගාන්ධි - අනිප්පැත්ත ගැහුවම ගංජ සාන්ති. තාත්ත දවසක් කියනව, සාන්ති මාම පණ්ඩිත විශාරද පලප්ප සේන කියන ගෞරව නාමය ලබා ගත්ත කෙනෙක් ලු. එහෙම කියල මේ කතාව කිව්ව.

දවසක් සාන්ති මාමගෙ අම්ම, එයාට කවුරුත් කිව්වෙ අයියම්ම. (අර ගෝවින්දයි කරිෂ්මයි උන්න ෆිල්ම් එකක තිබ්බ ඔය  අයියම්මගෙ නම ඇතුළත් සිංදුවක්. “අයියම්මා අයියම්මා - ක්‍යා කර්තාහේකියල.) අයියම්ම දවසක් සාන්ති මාමට බණිනව කටකමිසිරියාවක් නැතුව. සාන්ති මාම එයාට ඉංග්‍රීසියෙං දෙකයි කිව්වෙ, කට වැහුණ.

ෂටප් !”
ගෙටවුට්!”

ඔතන හිටිය කෙනෙක් සාන්ති මාමගෙං ඇහුවලු මොකද්ද ඒ කිව්වෙ කියල. සාන්ති මාම කිව්වලු,

ෂටප් කියන්නෙ කටවහපං - ගෙටවුට් කියන්නෙ ගෙට පළෙයං

ඔන්න ඉතිං අර කලිං පටං ගත්තු සංස්කෘත පණ්ඩිතයගෙ කතාව. පොර හැමදාම හවසට නාල කරල, තේ එකක් කාරිය බීල, ගමේ එක තැනක තිබුණ ගහක් යටට ගිහිං එතන තිබ්බ ආසනයක් උඩ වාඩිවෙලා සැඳෑ සුවය විඳිමිං අළස කල්පනාවක ගිළී ඉන්න පුරුදු වෙලා හිටියලු.

දවසක් එයා එතනට යනකොට, අඳුනන්නැති ටිකක් උස මහත පොරක් එයාගෙ ආසනේ වාඩිවෙලා බොහොම සැපපහසුවට හරි බරි ගැහිල ඉන්නවලු. පණ්ඩිතයට ටිකක් බයත් හිතුනලු. ඉතිං පොර කිව්වලු මේ ශ්ලෝකය...

රුක්ඛමූලේ මහා හබ්භා - ඌ කෙරේ මා භය කෙරේ
ඌ මේකට සාධු කිව්වොත් - ඌට නං මං භය නොවේ
(මේක ලිව්වෙ තාත්ත කියපු විදිහ මට මතක තිබ්බ හැටියටයි)

ඕක ඇහිච්ච ගමං අර උසමහත පොර නැගිටල සාධුකාර‍යක් දුන්නලු. ඒ ගමන අරූ ගිහිං උගෙ බෙල්ලෙං අල්ලල තල්ලු කරල ආසනේ ඉඳ ගත්තලු.                                                                                                                                                                                                                                           
පරණ සමාජයෙ තිබුණ එක ලක්ෂණයක් තමයි, කතාවකට කවියක් එකතු කරන එක. ඒක ඔය කුඹුරෙ, කමතෙ, අත්තම් වලදි කෑම කන වෙලාවෙ විවේක ගන්න හදාගත්ත රසවත් ක්‍රමයක් කියල හිතෙනව. ඔව්වට තමා කයි කතන්දරකියල කියන්නෙ. බොරළැස්ගමුවෙ ජී. එච්. පෙරේරා පොතකුත් ලියල තියෙනව ඔය කයි කතන්දර සෑහෙන ප්‍රමාණයක් එකතු කරල. ඒකෙ නමත් කයිකතන්දර මයි.

ඒ වගේ කයිකතන්දරයක් මට මතකයි එක පොතක හරි පත්තරේක හරි තිබිල කියෙව්ව,

ගමක හිටියලු කැවුං බදින්ඩ දක්ෂ ගෑණු කෙනෙක්. එයා හැබැයි ඊට වඩා දක්ෂයිලු හොරා කන්ඩ. ඉතිං ගෙදර කට්ටිය කරපු දේ, කැවුං බදින්ඩ ගෙනා පැණි මුට්ටියෙ ඉතුරු ටික ඇඳ යට හැංගුවලු මෙයා කයි කියල. මෙයා කැවුං බැද බැද ඉද්දි ගෙදර කට්ටිය පොඩ්ඩක් එහා මෙහා වෙනකං ඉඳල, මේ ගෑණු කෙනා ඇඳ යටට අත දාල, මුට්ටියක් හොයාගෙන, ඒකට අත දාල දෙපාරක්ම අරං කටේ දාගත්තලු. ගෙදර හාමිනේ එනකොට ඉන්නවලු, යකා මූණෙ දැලිගාගත්ත වගේ කට වටේට කලුපාට ගාගෙන.

වෙලා තියෙන්නෙ, ඇඳ යට තාර මුට්ටියකුත් තිබිල. හෙර ට මුට්ටි දෙක පැටලිලා, කාල තියෙන්නෙ තාර. ඒකට හදපු කවිය තමයි,

රට රට වල හොරකම් කර අත නෑර
පටළවමින් දෙවිටක් කාපිය තාර
තිට වැහුණද මහසෝනගෙ අවතාර
මොට කෑවද පර වේසියෙ කලු තාර

කලිං හුටා කවිය වගේ කීප දෙනෙක් එකතු වෙලා හදපු තව කවියක් තමා අර ආප්ප කන්ඩ ගිය හතර දෙනාගෙ කවිය. කවිය විතරක් මෙතන දැම්මත් ඇති කියල හිතෙනව. මේ කවියත් එක්කෙනෙක් එක පදේ ගානෙ දාල හදපු කවියක්.

ආප්ප ගොඩක් මේසය මත තියෙන්නා
පැණි ටිකකුත් ‍ඒ අසළම තියෙන්නා
මැස්සො රැළක් ඒ වට කරකැවෙන්නා
ගොං තිදෙනෙක් ඒකට කවි කියන්නා

ඇයි තව දවසක් තල මලක් බලන්ඩ ගියපු යාළුවො දෙන්නෙකුත් කවියක් හැදුවලු ඔය වගේ, හැමෝම තල මල් ගැන කවි හදන එකේ අපි දෙන්නත් එකක් හදමු කියල. කොහොම හරි මහන්සි වෙලා පද දෙකක් ගැටගහගත්තලු.

එගොඩ ගොඩේ තල මලකුත් පිපිජ්ජා
මෙගොඩ ගොඩේ තල මලකුත් පිපිජ්ජා

ඊළඟ පද දෙක හදාගන්ඩ දෙන්නත් එක්ක කොච්චර මහන්සි උනත් බැරි වුනාලු. ඒ ගමන ප්‍රසිද්ධ කවියෙක් හොයාගෙන ගියාලු ඉතුරු පද දෙක පුරවගන්ඩ.

කවියා ඇහුවලු දෙන්නගෙ නම් දෙක. එකෙක් කල්ලු අජ්ජා, අනික පිල්ලු අජ්ජා. ඒ ගමන කවියා ඉතුරු පද දෙක ලේසියෙන්ම පිරෙව්වලු:

එක පදයක් කිව්වේ කල්ලු අජ්ජා
අනික් පදේ කිව්වේ පිල්ලු අජ්ජා
කියල.


ඉස්කෝලෙ මහත්තුරුංගෙ කතා කියල ඉවර කරන්ඩ බැරි වෙයි වගේ මේ යන විදිහට. ඉතුරු ටික ඊළඟ කොටසින් දාන්නං...

68 comments:

  1. පළවෙනි එකේ ගුරාට තව ෂොට් එකක් අමාරුවෙන් හරි දාගන්න තිබ්බෙ. අපරාදෙ.

    ReplyDelete
    Replies
    1. සුරාවෙහි අගයත්
      එහි ඇති මිහිරි රසයත්
      බොන සුදනෝ මිසක්
      නොබොන අනුවණ දනෝ නොදනිත්

      Delete
  2. අටම විතරද කන්නෙ බොන්නෙ. වෙන කවුරුවත්ම‍ උඹට මතකෙට ආවෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසා ගැන අමතක උනා නෙමෙයි. ලියන්ඩ තිබුණ. ඒත් ප්‍රසා කනවැයි? බොනව විතරනෙ...

      Delete
  3. //තේරුම කියන්ඩ පුළුවං හපනෙකුට මං දෙනව මේ රටේ හොයාගන්ඩ නැති දෙයක්.//
    දැං අපි කොහොමද මේ කතාව විස්වාස කරන්නෙ. පුළුවන්නං උඹ දෙන එකේ ෆොටෝ එකක් දාහං.

    ReplyDelete
    Replies
    1. ඕං දැම්ම ෆොටෝ එකක්...


      Delete
  4. ඉස්කෝලෙ මහත්තුරු ගැන තියෙන ඉතුරු කතා ටිකත් කියහං

    ReplyDelete
  5. මගේ යාළුවෙක් තල මල් ගැන කවි හදන්න ගිහිල්ල මළා

    ReplyDelete
    Replies
    1. කවිකම මාරාන්තිකයි.

      Delete
  6. පෙර රැස - මේෂ රාශිය - මේසය
    අන්තිම රාසී - මීන රාශිය - මාළු
    නොම රැස - රාහු - රා
    දස එක්වන රාසි - කුම්භ රාශිය - කළය
    යුග රැස - වෘෂභ රාශිය - ගොනා
    පස රැස - සිංහ රාශිය - සිංහයා

    (මාළු පුළුස්සා මේසේ උඩ තබාගෙන කළයක රා පුරවාගෙන, කකා බිබී ගොනුන් වැනි මිනිසුන් පිරිසක් සිංහයන් මෙන් උදාරම්ව කතා කර කර සිටිති)

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. මින් හරියටම හරි. අනිකෙත් තේරුම දාමු?

      Delete
  7. අනිත් කවියේත් තේරුම ඕනෙද?

    ReplyDelete
    Replies
    1. එපා. මෙයා ඔය ලොවෙත් නැති තෑගි දෙනවයි කිවුවට අපිටනං විස්වාස නෑ.

      Delete
    2. මින් ලියන්ඩ. අර පාට-ලී කිව්ව වගේ, රස්තියාදුකාර විරෝධතා ගණං ගන්ඩ එපා...

      ප්‍රසෝ, මං දෙනව කියල මොකද්ද දුන් නැත්තෙ? සෙදෝනගෙ බිබික්කම මතක නැද්ද?

      Delete
  8. මොකක්ද බං මේකෙ එක එක මළ ඉලවු වලට රීඩිරෙක්ට් වෙන්නෙ.

    -னයා-

    ReplyDelete
    Replies
    1. මමත් බලෙන් වගේ නතර කරගත්තේ මුව...

      Delete
    2. ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ. මං නැති ටිකට බහිරවෙයෙක් රිංගගෙන. උදව්වක් කරන්ඩ පුළුවං කෙනෙක් ඉන්නවද?

      Delete
  9. මටනම් අර කවි දෙක තෙරුනේම නැහැ...
    මට එක පාර හිතුනේ අජ්ජල දෙන්නගේ කවියේ කොතැනකට හරි බියන්නක් සෙට් වෙයිද කියල...

    ReplyDelete
    Replies
    1. බියන්න නේද? හුකෑස්...! අජ්ජ බූ! අජ්ජ බිල්ලා!

      Delete
  10. “...උන්නැහැට කිව්වට මොකද, මං දැනටමත් ටිකක් බීලයි ඉන්නෙ. තව බිව්වොත් මට ගෙදර යන්ඩ බැරුව යනව. කාණුපල්ලෙ තමා ඉන්ඩ වෙන්නෙ...”/////// ha ha h

    ReplyDelete
  11. ඇත්තම කීවොත් මේ අඩවියට එන්න හරිම අමාරු වුනා අද. අපිව ගෙනියනවා වෙන කොහෙද තැන්වලට. ඔය කියන ගුරුවරු ඉන්න කවි කියන තැන්වලටද දන්නේ නෑ.

    අර කානුවේ වැටිලා හිටිය ගුරුතුමාගේ කතාව තමා ලස්සනම. කවි නම් වැඩිය තේරුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. මයෙ බ්ලොගට ගෙවලයෙක් රිංගගෙන වගේ. මාත් දැක්කෙ පත්තරෙං.

      තව සෝක් කතා ටිකක් තියෙනව, කොහෙද? මේකෙ දිග වැඩි උනානෙ...

      Delete
  12. ඔය භරණ ගණිතය කියන්නෙ එයාටම වස් කවියක් කියාගෙන සුයිසයිඩ් කරගත්ත එක්කෙනා නේද?

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මං දන් නෑනෙ. පීස්, මෙතන කියහං. එතකොට මේ පෝස්ටුව සම්පූර්ණයි.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. දිස් රිප්ලයි ඉස් රිමූව්ඩ් ඕල්සෝ කිව්ව එහෙනං...

      Delete
    2. රිප්ලයි ටු අබව් රි‍ප්ලයි ඊස් රිමූව්ඩ් ඕල්සෝ......

      Delete
    3. ඕල්සෝ රිමූව්ඩ් දිස් වන්...

      Delete
  14. //
    බක්මස මුදුනේ සයනය කරලා මඳක් නැගිට බැලු කල ඉවතා
    නවම් මසක් සුරතින් අරගෙන සකි බිනරක් එනවා දැක දෙනෙතා
    වෙසක් මසට සරි එකෙක් ඇවිල්ලා බිනරේ අල්ලාගෙන දුවතා
    අසන්න මහතුනි අම්මන ගමදී පොසොන් මසක් සිදුවී කියතා
    //

    මෙහි ඒ ඒ මාසයට අයිති රාශි යොදාගෙන ඇත

    බක් - මේෂ රාශිය - මේසය
    නවම් - කුම්භ රාශිය - කළය
    බිනර - කන්‍යා රාශිය - තරුණිය
    වෙසක් - වෘෂභ රාශිය - ගොනා (මෙම සිදුවීම අනුව දුස්සීල පැවිදේදෙකු හැඳින්වීමට යොදා ඇත)
    පොසොන් - මිථුන රාශිය - මෛථුනය

    මේසය උඩ නිදාසිට මදකට ඇහැරී පිටත බැලූවිට කළයක් අතින් ගත් තරුණියක් එනවා දුටිමි. එවිට දුස්සීල පැවිදේදෙකු පැමිණ ඇය අල්ලාගෙන/ඇය සමග ගොස් #$%&#@#$%...

    (ඉතිරි ටික හිතාගනිල්ලා. හැම දේම බබාලට වගේ කියා දෙන්න ඕනෙයැ....)

    ReplyDelete
    Replies
    1. අන්න මචං...! නියමයි.

      උම නං මටම හරියන කලෙක්ටරෙයෙක් වගෙයි.

      Delete
  15. ඔන්න කාලෙකින් මේ පැත්තේ ආව.. උඹේ බ්ලොග් එක නම් තාමත් පෙර පරිදිම අපිව වටේ යවනවා ඉවරයක් නෑ.. හැබෑටම මොකෝ බන් ඒ ..එක වතාවක් හැදුව නේද..

    ReplyDelete
    Replies
    1. ආාා. අම්බලේ, නෑ මේ මොකද්ද හූනියමක් වෙලා තිබුණ ආපහු. ගූගල් ගෙං කෝඩ් එකක් එකතුකළා ටෙම්ප්ලේට් එකට. ඒකෙං හරි ගියා.

      Delete
  16. ඔන්න පන්සලක උත්සවයක් තිබිනලු. ප්‍රසිද්ධ කවියෝ ඇවිත් කවි කිව්වලු. එක කවියෙකුගේ අවස්ථාව ආවම මිනිහ පටන් ගත්තලු මෙහෙම
    අංගම්පොල සුමන අංගම්පොල සුමන
    දෙවැනි පදේ කල්පනා කල්ලු ඔලුවට මොකුත් එන්නේම නෑලු. දෙවැනි පදේටත් කිව්වලු
    අංගම්පොල සුමන අංගම්පොල සුමන
    තුන්වැනි පදේටත් සෑහෙන්න කල්පනා කලාලු එන්නේ නෑලු අයිඩියා එකක්. ඒකටත් කිව්වලු
    අංගම්පොල සුමන අංගම්පොල සුමන
    පද තුනම එකම විදිහට කිව්ව නිසා නායක හාමුදුරුවන්ට මල පැන්නලු. නායක හාමුදුරුවොත් සිවුරත් උස්සගෙනම නැගිටලා කිව්වලා
    අංගම්පොල සුමන තොගේ අම්මට ..කන

    ReplyDelete
    Replies
    1. හනේ මල් මලේ. මං ඕක අහල තිබ්බෙ “අංගම්මන සුමන“ කියල.

      ඒං එහෙනං සමාන කතාවක්,

      දවසක් කළුකොඳයාවෙ ලොකුහාමුදුරුවො දවල් දානෙ අහවර වෙලා, කාමරේ පොඩ්ඩ් සැතපිලා ඉද්දි, අල්ලපු කාමරේ උන්න ඇබිත්තයො හතර දෙනෙක් එකතු වෙලා පදේ පදේ දාල කවියක් හදල කිව්වලු.

      1 ඇබිත්තයා : “කළුකොඳයගෙ *ක“
      2 ඇබිත්තයා : “මැදිං ටිකක් වක“
      3 ඇබිත්තයා : “කොල්ලො මරණ *ක“
      අල්ලපු කාමරෙන් නැඟුන ගැඹුරු කටහඬිං : “තොගෙ අම්මට *ක“

      Delete
    2. ෂා ඒක එල කවියක්. මම අහලා තිබුනේ නැති එකක්

      Delete
    3. මල් මල්ලිත් දන් නැති එව්ව මං දන්නවනෙ... මට පුදුමයි.

      Delete
  17. පෝස්ට් එක කියෙව්වෙ පුදුම අමාරුවකින්. ඊයෙ ඉඳන් කියවන්න ට්‍රයි කළා ඒ උනාට එක එක තැන්වල යනවා. තාමත් පෝස්ට් එක තියෙද්දීම ඇඩ් එකකුත් යනවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමා හැලපයියෙ. මාර චාටරෙයක් මාත් කෑවෙ. ඕං දැන්නං හරි වගේ පේනව.

      Delete
    2. තාම හරි නෑ බං. මේ හතරවෙනි වතාවට ට්‍රයි කරල කියවගත්තෙ

      Delete
  18. මම නම් අර ඉස්කෝලෙ මහත්තයගෙ ප්‍රතිපත්තියට බොහොම මනාපයි. තුන්වෙනි කාරනාවෙන් මුල් කාරනා දෙකම බලරහිත වෙනවනෙ බං.

    ගෙටවුට් කියන්නෙ ගෙට පලයං තමා. එලියට පලයං කියන්නෙ එලියට අවුට්.

    ReplyDelete
    Replies
    1. අරක හරියට නිව්ටන් අයියගෙ නියම තුන වගෙයි නේද?

      එලියට අවුට්? ඔව්ව කියාදීල වෙන්ඩැති අර ගුරු දිනේ අච්චර උපහාර ලැබුවෙ. හනේ වාසනාවන් මාලදිවයින... හැක් හැක්

      Delete
  19. දැන් නම් ලෙඩේ හරිගිහින් වගේ. කවුද බූතයෙක් මේ අඩවියට රිංගලා හිටියා අපිට එන්ඩ බැරිවෙන්ඩ.

    මේකත් කොළඹ යුගයේ කවියක්. ගමේ නාන ළිඳට නාන්න ගිය හාමිනේ කෙනෙකුගේ යමක් නැතිවෙලා ළිඳ ලඟදි. එක ආපහු බාරදෙන්ඩ කියලා ළිඳ ළඟ පොඩි කවියක් ලියලා තිබුණා මෙහෙම.

    හාමිනේගෙ කෑරැල්ලා
    කවුද කෙනෙක් ගෙනිහිල්ලා
    අතට දෙන්ඩ ලැජ්ජා නම්
    කඩුල්ල මුල තියපල්ලා

    ReplyDelete
    Replies
    1. ලෙඩේ හරි වගේ තමා විචාස්... උදේ පාන්දරිම්ම කෝල් කරල දැන්නුවට ගොඩක් ඉස්තූතියි.

      අරක මරු කවිය. සමාන කවියක් දාන්ඩ මතක් වෙන් නෑනෙ අෆ්ෆා...

      කාරල්ලා - ලාග්ගා ... තව මොන මොනව එළියට එයිද දන්නෑ ඉස්සරහට...

      Delete
  20. කවි කතා ඔක්කොම පට්ට !
    මින් ට ස්තූතිය අර දෙකේ තේරුම් දැම්මට .

    ReplyDelete
    Replies
    1. මාර බ්ලොග් අයිඩී එකනෙ... :-)

      Delete
  21. Replies
    1. ගොඩක් ස්තූතියි මිථිල...

      Delete
  22. තොගෙ මගුල් කියව කියව කෝච්චියෙ ගිහින් තව ටිකෙන් මාව පිස්සන් කොටු යවනවා මුන්. ඩ්‍රැකියො මරු මචෝ...

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි...! දිලා. දැක්ක කල්...!

      Delete
    2. මටනම් මු ලගදිත් සෙට් උනා හිස් අහසේදී

      Delete
  23. දවස් ගානක් ට්‍රයි කරලා අදයි පෝස්ට් එක කියෙව්වෙ. අපොයි මේක පුරුෂාධිපත්තිය රජ කොරන ඉසව්වක් වෙලා නෙව. මං යනවා. හැබැයි ඉතිං කතාව මරු.

    ReplyDelete
    Replies
    1. පුරුස මොකක්? එහෙම එව්ව මෙහෙ නෑ නගා... ඕනෙ එකෙක් වෙල්කම්. ගොඩක් ඉස්තූතියි බයි ද වේ... දිගටම අප සමග රැදී සිටීම ලොකු හයියක්.

      Delete
  24. ගමේ එකෙකුට නයෙක් ගහලා දේවාලෙට ගෙනල්ලා
    කපුවා - "කොයි පුර කොයි දෙස්?
    (කොයි දෙසේද?/ ගමේද )
    ගමේ එවුන් - "පහල කරබවෙස්
    (පහල කරබවේ )
    කපුවා -" කිං කාරනා දෙස්?
    (කරනවා මොක්කක්ද?
    ගමේ එවුන්- "පුංචි අප්පුට පුස්"
    පුංචි අප්පුට නයෙක් ගහලා

    ReplyDelete
  25. කවි ටික නම් පංකාදුයි...කොහෙන්ද බොලා මේ කරුණු කාරණා හොයාගන්නෙ...

    ReplyDelete
  26. ේ අංගම්මන සුමන කියන්නෙ ඇත්තටම කවුද ?

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. කෝ යකෝ උත්තර ?
    ඇයි බන් හිටපු ගමන් ලෝර්ඩ් වෙන්නේ නැතුව මේක ලෙඩ දෙන්නේ

    ReplyDelete
  29. ඩ්‍රැකී. ඉතුරු කතා ටිකත් ලියමුද?

    ReplyDelete
  30. ඇති යන්තං ...
    නිවන් යන එක ලේසයි මුගේ බ්ලොග් එකට එනවට වඩා ..
    උත්තර කෝ

    ReplyDelete
  31. අඩෝ මේවට උත්තර දීපන් ...
    උබට වැඩ වැඩි කියලා අපිට පාන්ද

    ReplyDelete
  32. තෝ මළා ද????
    ලෙඩේ නං තාම එහෙමමයි.

    -னයා-

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...