Tuesday, November 14, 2023

අංගොනෝනගෙ දේශනාව

"හනේ දෙයියනේ-මේ දහසක් බුදුන්ගෙ පාන්දර මේ වගෙ පාදඩ වැඩ කරන එවුන්ට නං හොඳක් සිද්ධ වෙන්න එපා! අතීසාරෙ-කොලරාව-හැදිලා මුංගෙ පවුල් පිටින්ම තැම්බිලා-හැඳිගෑවිලා-මකබෑවිලා යන්ඩ ඕනේ-දෙයියනේ අරහෙන්පායනව-මෙහෙන් බහිනව දෙයියනේ... ..."

ආවේශවූ කපුවෙකු-දේවාලයක තේවාව පටන්ගන්නාක් මෙන් වටින්-පිටින් හිරු එලිය වැටෙත්ම උඩකන්දලමේ ගෙදර අංගොනෝනා, දේශනාවක් පටන් ගත්තාය.

".... හනේ දෙයියනේ-! සමන් දෙයියනේ-විෂ්ණු දෙයියනේ-කතරගම දෙයියනේ-දැඩිමුංඩ දෙයියනේ-මගේ දුක බලාල හනේ මුංට හොඳ හැටි අච්චු කරන්ඩ ඕනෙ ....."

තාමත් ඇය දිගටම දේශනාව ගෙනයන්නීය. ඇගේ දේශනාව අසා තෙපානිස් ගොයියාද නිදාහුන් කබල් බූරු ඇඳෙන් නැගිට, දෑත දිගහැර-කසට පිරි දත් කුට්ටම සහිත මුව හොඳහැටි අයා බරපතල ඈනුමක් ඇර-දෑසේ පිරි කබ දෑතින්ම පිසදමා මිදුලට බැස්සේය. අංගො නෝනා තම දේශනාව නොනවත්වාම ගෙනයන්නීය.

"හොඳයි-මං කොරඤ්ඤං මුංට වැඩෙ! අම්මපා අදමයනව කොළඹ, ගොහින් ගානව හුණු දවටගහ පල්ලියෙ, මුංගෙ හැත්තවරිගෙම හැඳිගෑවිල යන්න ....."

තෙපානිස් ගොයියා උඩ බිම බලන්නට විය. අංගො නෝනාගේ තොරතෝංචියක් නැති බැනුම් කාටද? මොකටද? යනු ඔහුට ප්‍රහේලිකාවකි. එහෙත් අංගොනෝනාගේ හෑල්ලේනම් කෙලවරක් නැති.

ඇය වරක උඩ පනිිියි-දෑතින්ම පපුවට ගසා ගනියි-පොළොවෙන් වැලි අහුරක් ගෙන අහසට වීසිකරයි-තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේම නම් කියා ඔවුනට තම දුක කියා පායි.

දැන්නම් තෙපානිස් ගොයියාට ඉස්පාසුවක් නැත. අහළ පහළ ගෙවළ, නාකි-තරුණ-බාල, ගැහැනු-පිරිමි කව්රුත් වත්තේ වැටට හේත්තුවී අංගොනෝනා දෙස බලා සිටිති.

"ඒකිට යකෙක්ද කොහෙද වැහිල වෙන්නැති."

දෙල්ගහ ගෙදර මිසිලින් නැන්දා කීවාය.

"නෑ බොල ඒකිට මොකක්දෝ වස වැරැද්දක් වෙලා තියෙනවා. නැත්තං ඕකි ඔහොම බෙරිහන් දෙන්නෑ!"

සේපාලිකා ගහ ගෙදර ජොසපින් අක්කා එයට හරස් කැපුවාය.

"ඒ ගැන කියාල වැඩක්නෑ-මොකක් හරි පොඩ්ඩක් ඇත්තං, උන්දැටඒක ඇති මුළු දවසෙම කෑගහන්න."

කන්දෙ ගෙදර මැංචි අක්කාද ඔවුනට හවුල් වූවාය.

අංගො නෝනා තවමත් බෙරිහන් දෙයි. උඩපනියි-ඒ මේ අත දඟලයි-සිංහල භාෂාවේ වත් නැති අමු කුණු හරුප දෙසා බායි. ඇගේ මේ කෑගෑම කාගේත් කුතුහලයට තුඩු දෙන්නට විය. අවට රොක් වූ පිරිස කව්රුත් කසු කුසු ගාන්නට වූහ.

"ඇයි හත්වලාමේ! මොකද අංගො තොට දෙයියන්නෙ හාල්වත් කැවිලාද"

මේ අතර, වැටේ කඩුලුපොලු දෙක උඩින් පැනගෙන මිදුලට ඇතුළුවුණු, ඉස්සරහ ගෙදර ලැසි අක්කා ඇසුවාය.


අංගොට-අනූනවයටම නැංගේය. ඇඳහුන් කිලිටි චීත්ත රෙද්දේ කොණක්ද දණහිස දක්වා ඔසවා ගත්තාය.

“තෝ ආවද මගෙන් පුරස්සන අහන්න? මා දන්නෙ නැතිව වගේ හරියට. මේ මගෙ කට අවුස්ස ගන්නෙ නැතිව හොඳ හිතින් යන අතක තොලොංජි වෙලා පලයන්! හ්ම්- මං දන්නව කව්ද ඕක ගත්තෙ කියලා. ඊයෙ හවස මෙහේ ඇවිත් කයියාරුවට වැටිලා යන ගමන් හිමිහිට ඒකත් ඔඩොක්කුවේ ගහගෙන ගිහින් තියෙනවා."

ලැසි අක්කා දෙසට හැරුණු අංගො නෝනා බැන වදින්නට වූවාය. “කැලේ හිටි කොටි අවුස්සගත්තාක් මෙන්“ ලුසි අක්කාටද යකා ඇවිස්සුණි. අංගො නෝනා මෙතෙක් බැන වැදුණේ තමාට බව ඇය දැන ගත්තාය. 


“තෝ හිතුවද බොල, මං මේ ගිය-ගිය ැතන හොරකං කරන එකියක් කියාලා?“

ලුසි අක්කා ඇසුවාය.

“හාපෝ නෑ! හෙරකං කොරන්නෙමනෑ - කාටත් නොකියාම හංගගෙන යනවා.“

අංගො නෝනා කීවාය.

“ඔව්-මං හොරකං කොළා තොගේ......!

“දෙනව මං තොට ඒක හොරකං කරන්න.“

“නෑ-නෑ තෝ ඒක හොරෙං දීලාම නෑ. අපි පොඩි බබ්බු නොවැ-මේ අහළ-පහළ ලස්සන ගැටයෙකුටවත් ඉන්න දෙන්නෙ නැති ... !“

“පේනවද මේකිගෙ කතාව-හරියට ඇහෙන් දැක්කවගේ කියන හැටී! තෝ වගේ පිළීකනු ගානෙ, රෑ තිස්සෙ සවරං ගහන්නෑ බොල මං!“

“පිළිකනු ගානෙ රස්තියාදු ගහල නෙමෙයි නොවැ-තෝ තෙපානිසුත් එක්ක හොරා පැනල ගියෙ-නම්බුකාර හාමිනේ !“

එකලඟ ගෙවල් දෙකේ මේ ගෑණු “කුල-මල“ කියමින් බැන ගනිති. කොල්ලො කුරුට්ටෝ ඉඳහිට ගල්-මුල් එවති කුරුම්බා කෝම්බ එවති හූ කියති; මුස්ලිම් කුරානයේ වත් නැති විධියට, ශුද්ධ ලෙස ඔවුන්“ආගිය-මුලගිය“ සෑම රහසක්ම ප්‍රසිද්ධියේම ගෙනහැර පාති.

උළුහස්සට පිටදී-එලිපත්ත උඩ සිටි තෙපානිස් ගොයියාට දැන්නම් ඉවසුම් නැති. මේ ගැහැණුන් දෙදෙන ඔවුන්ගේ බැනුම් වලට තමාවද ගාවාගනු ඇසුණු තෙපානිස් ගොයියාද ආවේශවිය.

“මොකක්ද බොල ........ මේ තෝ කොරන වැඩේ-මේ දහසක් බුදුන්නෙ පාන්දර?“ ගැහැණුන් දෙදෙන අතරට වන් තෙපානිස් ගොයියා, අංගොනෝනාගේ කෙස් වැටියෙන් අල්ලා ගත්තේය.

“නිකං යනව ඕයි තමුසෙ යන අතක, මට යකා නග්ගන්නෙනැතිව!“ අංගො නෝනා-තෙපානිස් ගොයියාට බැන වැදුනාය.

“පේනවද තෙපානිස් මේකිගෙ සැර? හ්ම්! මේකි එනව මාව බයකර ගන්න“

ලුසි අක්කා කීවාය.

“ඒ වැයින් වැඩක් නෑ-තෝත් පල ගෙදර!“

තෙපානිස් ගොයියා-ලුසි අක්කාවද එලවා ගත්තේය.

“ඔව් ඉතින් ඔඹට ගෑණි මොනවා කළත් හොඳයි. උඹත් පිරිමියෙක් නෙවැ බාන් ... “

තරමක කෝපයකින් ලුසි අක්කා කීවාය. විෂ කටුවක් තම පපුව හරහා වැදුනාක් මෙන් තෙපානිස් ගොයියාට අමාරුවක් දැනුනේය.

“යකෝ ලුසී-මංකිව්වෙ තොට යන්නයි. නැත්තං කඩනව තොගෙ අඬු !“

තරහෙන් පිපිරෙමින් තෙපානිස් ගොයියා කීවේය.

“හොඳා එහෙනං කඩල බලමු!“යි කියමින් මෙවිට වත්තට ඇතුළුවූ සිව් වැන්නෙකි.හේ ලුසි අක්කාගේ සැමියාය.

“මොකෝ කරෝලිස්-උඹත් එනවද? හොඳයි එහෙනං වරෙං බලන්න.“

තෙපානිස් ගොයියා ගෙටවැදී තඩි පොල්ලක් ගත්තේය. කරෝලිස් වැට ලඟට ගොස් ගැට සහිත පොලු කැබැල්ලක් උදුරා ගත්තේය.

“හොඳා එහෙනං වරෙන් බලන්න බොට අද මම පෙන්නඤ්ඤං කරෝලිසා කව්ද කියල.“

පොලු කැබැල්ල අමෝරාගත් කරෝලිස් ඉදිරියට පැන්නේය.

“තෙපානිසාගෙ හැටි බලන්න එහෙනං වර මෙහාට!“යි කියමින් ඒ හාම තෙපානිස්ද පැන්නේය.

තෙපානිස්ලේ තඩි පොල්ලත්, කරෝලිස්ගේ ගැට සහිත පොල්ලත් එකට ගැටුණි. පිරිස කව්රුත් “මීයට පිම්බාක් මෙන්“ බලා සිටිති. අංගොනෝනා-තෙපානිස්ගේ බෙල්ල බදාගෙනය ලුසි අක්කා-කරෝලිස්ගේ බඳ වටා දෑත් යවාගෙනය.

පිරිමින් දෙදෙන මේ කිසිවක් නොතකා, පොරට මාන බලති. වරෙක-එකෙක් පහර දෙයි අනෙකා එය වළකයි. නැවතත් පළමු වැන්නා පහරක් දෙයි. පළමු පරිදිම දෙවන්නා එය වළකයි අහම්බෙන් දෙදෙනාටම වැරදෙයි ඉන් දෙදෙනාම පහර කති.

අසල ගස් මුදුන්වල නැගගත් කොල්ලෝ පොර කුකුළු පිටියේදී මෙන් හූ කියත්. අතු කඩා ඒ වායින් පහර දෙත්.

දැන්නම් පොරය ගං සැරේටම කෙරීගෙන යයි, එකෙකුට එකෙක් නොපරදින සේ එකගොඩේ පොරකති උන් දෙදෙනාගේම අත පය සීරී ලේ ගලයි.

තෙපානිස්ගේ කටේ උඩු ඇන්දේ දත් සියල්ලම ගැලවියාය කරෝලිස්ගේ දකුණු කණේ කෑල්ලක් නැති.

එන්න-එන්නම අහල-පහල ගම්මු තව තත් රොක් ‍වන්නට වූහ. එහෙත් ඔවුන්ගේ පොරය බේරීමට කව්රුත් බිය වූහ.

මේ අතර කව්දෝ කෙනෙක් /ගමේ රාළහාමි කරා දිව යන්නට විය. ස්වල්ප වේලාවකින් ගමේ රාළහාමි පැමිණීයේය ඔහු ආයේ, මඩකලොපු සරම ඉනවටා ඔතමිනි. ඔහු අත තඩි පොලු කැබැල්ලක්ද විය.

“ඔහෙහිටු-ඔහෙහිටු-තොපි දෙන්නවම මරාල දැන්නැ!“යි කියමින් රාළහාමි පොරය මැදට පැන්නේය. ගෝරි කාරයෝ තරමක් මෙල්ලවී දෙපසට වූහ. ඓහෙත් උනු‘නගේ ගැහැණු නැවතත් බැනුම පටන් ගනී.

“නවත්තාපියව් යකෝ-ඔය ගෝරනාඩුව!“

මෙවිටද රාළහාමි කෑගැසුවේය. ගැහැණුද දෙපසට වූහ.

“හා-කියාපියව්-කියාපියව් මොකක්ද කෛ තේරුම?“ රාළහාමි ඇසුවේය.

“අනේ බුදු රාළහාමි! මං හාන්කාවිසියක් දන්නෙනෑ, මේකි මට හොඳටෝම බැන්නා“

ලුසි අක්කා පිං සෙංඩු වූවාය.

“ඔව්-රාළහාමි! එලිවුනු හැටියෙම මේන් මේකි පටන් ගත්තා දේශනාව. ඒ පාර මං අහගෙනයි මේකි අපේ එකීටත් බනිනවා, ඉතින් එහෙමනං බැරියැ රාළහාමි! අර අරූ තෙපානිසා! ඌත් ආවානෙවැ අපේ එකීට ගහන්න.“

ඉහින්-කනින් ලේ ගලමින් කරෝලිස් අයියා කීවේය.

“හැබෑද තෙපානිස් මොකක්ද මේකෙ තේරුම!“

තෙපානිස් දෙසට හැරුණු රාළහාමි ඇසුවේය.

“අනේ මන්ද රාළහාමි: මේ අපේ එකීගෙ මොකක්ද නැති වුනැයි කියල ඒකි කෑ ගැහුව, ඒකට මෙන්න අරකියි-ඒකිගෙ මිනිහයි ආපි, අපිට ගහන්ඩ“

ලෙයින් පිරුණු, දත් කැඩුනු කටින්-බොල්හඬ නංවමින් තෙපානිස් ගොයියා පිලිතුරු දුනි. රාළහාමි අංගොනෝනා දෙසට හැරුනේය.

“මොකක්ද බොල අංගො තොගෙ නැතිවුනේ!“ ඔහු ඇසීය.

“හානේ රාළහාමි මගෙ හැඹිලිය!“ මහත් දුකෙකින් මෙන් හති දම-දමා අංගො කීවාය.

“ඉතින් යකෝ තොගෙ හැඹීලිය නැති වුනානං, ඒක තෝ දාපු තැනක හොයන්න එපායැ;“ රාළහාමි සැරවිය.

“පුලුවන් තරං හෙව්ව රාළහාමි-ඊටත් මට සිහිය නැතිවයැ දාපු තැන අමතක වෙන්න. අනේ රාළහාමි මමනං හොඳටෝම දන්නව ඕක ගත්තෙ අරකි තමයි.“

“කොහොමද බොල තෝ ඒකිම ගත්තැයි කියන්නෙ ?“

“ඕකි ඊයෙ රෑ ජාමෙයක් වෙනකං මෙහෙ පච දෙස බබා හිටියා එත.කොටත් තිබුන හැඹිලිය.“

“ඉතින් ඒකෙ සල්ලි කොච්චර තිබුනද?“

“හානේ රාළහාමි - ශත හැටයි!“ අංගො නෝනාගෙ කටින් ඒ වචන ටික පිටවුනා පමණි. රැස්ව සිටි කවුරුත් හිනැහෙන්නට පටන් ගත්හ. කොල්ලෝ හූ ! කීහ. රාළහාමිට ද නැග ආ සිනාව නතර කරගන්නට පවා බැරිව, හප හපා සිටි බුලත් විට ඉස්මොල්ලේ ගියේය.

“අනේ-බලන්න රාළහාමි, පණ තියෙන මනුස්පයෙක් ඕවගෙ හොරකමක් කරයිද? ඕකිගෙ ශත හැට අරන් අපට ඇති වැඩේ මොකක්ද, රාළහාමි?“

මෙතෙක් පසෙකටවී බලාහුන් ලුසි අක්කා මැදට පැන්නාය.

“හා-හා ඒවැයින්-මේ වැයින් වැඩක් නෑ-වරෙල්ලා බොලා ඔක්කොම යන්න මාත් එක්ක පොලීසි!“

රාළහාමි අණ කෙළේය. කව්රුත් පොලීසි යාමට සූදානම්ව මගට බැස්සෝය. අංගො නෝනා හදිසියේම නැවතුණාය.

“හානේ රාළහාමි! පොඩීයක් ඉන්ඩ රාළහාමි-මේ මගේ රෙද්ද ඉරිලා-මේක ඇඳන් පාරෙ බැහැල යන්ඩ ලැජ්ජයි! මං වෙනින් එකක් ඇඳගෙන එන්නං“යි කියමින් ඇය පිටුපස සහමුලින්ම ඉරීගිය රෙද්ද පෙන්නමින් වහා ගෙතුලට දිව ගියාය. ගතවූයේ මොහොතෙකි. අංගො නෝනා ඉරුණු රෙද්ද ඉනවටා ඔතමින්ම යළි එතැනට දිව ආවාය.

“හනේ රාළහාමි! අපියි වැරදිකාරයෝ හනේ ලුසී-හනේ කරෝලිස්, අපට සමාවෙයන්, අපියි වැරදි කාරයෝ“යි කියමින් ලුසී අක්කාගේත්-කරෝලිස් අයියාගේත් කකුල් අල්ලා පිංසෙංඩු වන්නට වූවාය. කවුරුත් විස්ම ප්‍රාප්තව බලා හුන්නෝය.

“මොකද බොල මේ-තොට යකා වැහිලද?“ පුදුමයට පත් රාළහාමි-ඇසීය. “අනේ රාළහාමි අපිටයි වැරදුනේ හැඹිලිය තිබුනා“ අංගො නෝනා කීවාය.

තෙපානිස් ගොයියාට අංශක නවයකුත් දශම නවයටම නැංගේය. ලුසීත්-කරෝලිසුත් ජයග්‍රාහී ලීලායෙන් අවට සිටි කාගේත් මුහුණු බලා සිනාසෙන්නට වූහ.

“කොහෙද පට්ටියෙ-තොගෙ හැඹීලිය තිබුනෙ?“

තෙපානිස් පැන ඇගේ කෙස් වැටියෙන් අල්ලා ගනිමින් ඇසුවේය.

“හනේ ඕයි ටිකක් ඉන්නවකො කියනකන්“.......

“ඉතින් කියාපිය යකෝ-කියාපිය“

ඒක තිවුනෙ මගේ රෙද්ද අස්සෙ! මේ යටට ඇඳගෙන උන්නු රෙද්ද අස්සෙ පටලැවිලයි තිබුනෙ!“

තෙපානිස් ගොයියාගේ දෙනෙත් උඩුකුරුවී ගියේය. කාගේත් කටවල් මහා හයියෙන් ඇරුණේය; කොලු රැළ අතරින් දිග හූවක්! නැගුණේය.

“අනේ බොල අංගො-තොට වලිගයක් තිබුන නං තෝව මරාගෙනත් කාවි“ යනුවෙන් සිනා ඉවසනු බැරි රාළහාමිගේ මුවින් ඉබේටම පිටවිය.

*    *    *

පිට කවරයත් මුල් හා අග පිටුත් නැති පරණ පොතක් අපේ තාත්තාගේ පොත් එකතුවේ ඇත. තද දුඹුරුපාට බ්‍රවුන් පේපර් කවරයක් දමා තිබුණු මෙහි මුල් පිටුවේ “අංගොනෝනගෙ දේශනාව“ යැයි ලියා තිබුණි. එහි මුල්ම කෙටිකතාව වන මේ කතාව කවුරු ලියපු එකක් දැයි මම දන්නේ නැත. දන්න කෙනෙක් ඇත්නම් කියන සේක්වා! 

37 comments:

  1. ඇර මාටින්, දැන් සට-සට ගාලා( වවුල්ලු තටු ගහන්නැහෙ) ප්ප්ස්ට් වැටෙනවා.😁👌💕

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං... 🫣 අනුං ලියපුවා කොපි කරල දාන්ඩ කාට බැරිද?

      Delete
    2. එහෙම කියන්න එපා. මේකෙ ආයෙ කොටපු එකටම, වෙනම අල ගෙඩියක් දෙන්න වටිනවා. දැන් බලහං, බස්සෙකුත් කතාසරිත් සාගරේ පීනනවා කිව්වම, සෙල්ලංද?😁

      Delete
    3. හ්ම්ම් හ්ම්ම්...
      එහෙනං ඉතිං සතුටුයි.

      Delete
  2. කවුරු ලිව්වත් මොකද ඇත්තට, රහට ලියවිල තියෙනවා නං
    දුරාතීතේ ගංගොඩක ඉන්නවා වාගෙයි දැනුණෙ මට නං

    ReplyDelete
    Replies
    1. මා බාල කාලේ
      මෙවැනි සීන් එමට රාලේ
      කියවද්දි ආයේ
      මාත් පොඩි සන්දියට යැවුණේ

      Delete
  3. "මුස්ලිම් කුරානයේ වත් නැති විධියට" පරිස්සමින්! අර PCCR ද මොකද්ද පනතට අහු උනොත් ආගමික සංහිදියාව නැති කරා කියලා ඇප නැතිව හිරේ!

    ReplyDelete
    Replies
    1. "ඔතන කියන්නෙ, මුස්ලිම් කුරාණයේවත් නැති තරම් ශුද්ධ ලෙස" කියලනෙ. අනියමින් කියන්නෙ කුරානය බොහො ම ශුද්ධ වූ දෙයක් කියල...

      Delete
  4. අංගො හාමිගේ කතාව බලාගන්න කියලා
    මං ආවා පාන්දරම මේ පැත්තට දුවලා
    සිංහලයගෙ රස බර ඒ කෙටි කතාව දැකලා
    දැංනම් මට යන්නට බෑ මේ කවියත් තියලා...

    ලස්සනයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. දුමිගෙ කවි යලි ඇහැර එන බව
      දකින්නට මට බොහොම සතුටුයි
      නැවත බ්ලොග් ලොව පණ ගසා එන
      බවයි මේකෙන් පෙනෙන්නේ

      Delete
  5. මරු තමා.. මම හිතුවෙ ආයෙ කොනකින් වලිය පටන් ගනියි කියලා වෙන කොනක් අල්ලන්...හැක්..අර දාලා තියන චිත්තරේ තමා ගැලපෙනම එක..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... ගම්බද වලි නං ඔතනිං කෙළවර වෙන්නෙ නෑ සාමාන්‍යයෙන්. හවස කරෝලිසා ආපහු බීල එන ගමං ගේම ඉල්ලලා සතියක්වත් ඇදෙන වලියක් ආපහු පටං ගන්නව.

      Delete
  6. හැම එකම රෙද්ද අස්සෙ ගහගන්න එපා කියන්නෙ ඕක තමයි බොල.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.

      දවසක් උපාසකම්ම කෙනෙක් හවස බණ අහන්න පන්සල් ගිහිං. උන්දැගෙ පොඩි පුතා දුන්නලු ටෝච් එකක්. මේ කියන්නෙ හැට ගණංවල. ටෝච් එක පත්තු කරල දුන්නලු. නිවන හැටිත් පෙන්නලා දීලා.

      උපාසකම්මා පන්සලට ගියාට පස්සෙ, ටෝච් එක නිවාගන්න හැටි අමතක වෙලා. ඒක ඉණේ ගහගත්තලු.

      බණ මඩුවෙ වාඩිවෙලා ඉද්දි, උන්දැට පිටි පස්සෙං උන්න තව උපාසකම්මෙක් ඇහුවලු, මොකද්ද ඔය එළිය කියලා. එතකොට ටෝච් උපාසකම්ම කිව්වලු:

      "එහෙම තමයි බොල, සර්ධාව වැඩි උනහම, රැස් විහිදෙනවා" කියලා.

      Delete
  7. දවටගහ පල්ලියෙ හුණු ගාන්න?
    ටවුන්හෝල් ලග මුස්ලිම් පල්ලියෙ?

    ReplyDelete
    Replies
    1. කේස් එකක් ෆයිල් කරන්නෝන වැඩක් තමයි ඒක.

      Delete
    2. ප්‍රා,
      පොතේ තිබුණු අනික් කතාවලත් හැටියට, කතුවරයා කොළඹ අවට පිටිහර සම්භවයක් ඇති මනුස්සයෙක්, පත්තරේට ලියපු. ඉතිං පේන විදිහට ඔය කියන්නෙ ලිප්ටන් වටරවුම ළඟ තියෙන මුස්ලිම් පල්ලිය තමයි. මොකද්ද දන්නෑ, හුණු ගාන අභිචාරය.

      ප්‍රසෝ,
      වෑන් එක ස්ටාට් කරල ගං, ගං ගං ගං...

      Delete
  8. රන්ඩු වෙන එක නම් පෙන්නන්න බැරි දෙයක්

    ReplyDelete
    Replies
    1. ඒකෙත් යම්කිසි සුන්දරත්වයක් තියෙනව නවීන්, සමාජ සංස්කෘතියෙ අංගයක් නෙ.

      Delete
  9. රහට ලියලා තියෙනවා - මයියා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මයියා. ප්‍රශංසාව යා යුත්තේ මුල් ලේඛකයට

      Delete
  10. උපහාසාත්මක කතාවක්!
    බොහොම අරැත්බර විදිහට නැතුවට... කතාවෙ දෙයක් තියෙනව.

    වහා ඇවිලෙන හා කිසි විපරමක් නැති මිනිස්සු සමාජෙට අවැඩදායක වන තරමක්!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. හැබැයි මේ කතාව ලියල තියෙන්නෙනං ඔ්පාදූප ටයිප් එකෙන්.

      Delete
  11. හම්මො එහෙම වලියක්...මං මවාගෙන කියෙව්වා 😀

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං... ඔයත් පටං ගන්න දවසක උදේ පාන්දරින් ම හස්බන් එක්ක ඔය වගේ

      Delete
  12. මරු කතාවක් නෙව ඒක......

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ. පොතේ තව තියෙනව මරු කතා කීපයක්. වෙලාවක දාන්නං

      Delete
  13. ගමේ වලි කතාවක් නිසා, කල් දම,දමා ඉඳලා අද කියෙව්වා. හා, හා ඊළඟ....👌😁

    ReplyDelete
    Replies
    1. අනිවා නිවා නිවා... මේ දැන් ලියන්න පටන් ගත්තා, සෙනසුරාදා දාන කොටස.

      Delete
  14. අදමයි මේ පැත්තෙ ආවෙ. මගෙන් හැංගිච්ච පට්ට ප්ලේස් එකක්නෙ මේක. ජය!

    ReplyDelete
    Replies
    1. ජයවේවා! ජයවේවා! පට්ට රහට කවි කියවන්න නම්, අකනිටාව - http://akanitawa.blogspot.com/

      Delete
  15. කාලෙකට පස්සේ සිරා වලියක් .. හෙහ් හෙහ් .. ඉස්සර අපේ ගෙදර ඉස්සරහ තිබ්බ ගෙවල් දෙකේ ඔහොම ආතල් දුන්න ..

    ReplyDelete
    Replies
    1. ඔව්වෝයි...! මේ වගෙ කෑ ගැහිලි ටිකක් පෙරළූ නැවුම් පස පොතේ තිබුණා...

      "මුළු ජීවිත කාලෙට ම ආපස්සට ඇවිදින්න වෙන විදිහට, ඇස් දෙක අනිප්පැත්තෙන් මතු වෙන්ඩ ගහන්නෙ බොට!"

      "සාය කටේ ඔබාගෙන කටවහගනිං..."

      ඔය මට මතක තිබුණු දෙකක්.

      Delete
  16. අංගෝ නම් හරි ජනප්‍රියයි නේ. කාලෙකට කලින් මෙහෙමෙ එකක් බැලුව. https://www.youtube.com/watch?v=_U_VZ-wsn2s

    ReplyDelete
    Replies
    1. ආාාහ්...! අංගො, මංගො වගේ නම් අසූව දශකෙ සිංදු කීපයක ම තිබුණා.

      ස්තූතියි ලිංක් එකට. පරණ සිංදුවක්ලු නේ?

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි