1
රජුගේ වීරභාවයෙන් සතුටු වූ ශවාධිෂ්ඨිත (මිනිකුණට අරක් ගෙණ සිටි) වෙතාලයා එතුමන් අමතා "රජ්ජුරුවෙනි, ගමන්වෙහෙස දුරු වනු පිණිස කථාවක් කියන්නෙමි. අසව"යි කියා මෙ කථාව ඇරඹී ය.
මෙහෙසුරුහට නිවෙස් වූ කෙලෙස්කුළෙහි තැනිතලා පෙදෙස් මෙන් පින්වත්දනන් විසින් ගැවසුනු බරණැස් නම් නුවරෙක් ඇත. එහි සියතෙදින් සතුරුරජුන් වනසා ලූ ප්‍රතාපමුකුට නම් රජෙක් වි ය. ඒ රජුට රූ සිරින් මල්සරා දප් හළ (අනංගයාගේ ආඩම්බර දුරු කළ) සුරු බැවින් හා තෙදවිකුමින් ද කඳ කුමරුන් මන් බුන් (මානය බින්දා වූ), වජ්‍රමුකුට නම් පුත්කුමරෙක් උපන. ඒ කුමරුගේ යහළු වූ මහනැණැති කිසියම් ඇමැති කුමරෙක් සිටියේ ය. ඒ තරුණකුමරු දෙදෙන එක් දිනෙක්හි කෙළිදෙළෙන් දඩයම් පිණිස බොහෝ ඈත ගොස් ශූරභාවය නැමැති ශ්‍රීකාන්තාවගේ චාමර වැනි සිංහ ග්‍රීවාවන්හි කෙසුරුරැස් තියුණු අවිපහරින් සිඳිමින් එක්තරා මහවනයකට පැමිණියහ. වෙහෙසට පත් එදෙදෙන එහි මනා විලක් දැක එයින් දිය බී අත්පා සෝදාගෙණ ගසක් මුල හිඳ ගෙණ ඉසුඹු ලන්නට වන්හ.
මේ අතර ඔහුතුමූ රූපශ්‍රී නමැති හැල්ලෙන් (ඇල්ලෙන්) ඒ විල පුරමින් මෙන් ද, මනහර බැලුම් හෙලුමෙන් එහි අමුතු නිලුපුල්වනයන් මවමින් මෙන් ද, සඳ පැරදවූ මුහුණින් පියුම් ගෙණ ඇර පාමින් මෙන් ද, පිරිවර සහිතව එහි සැපත් කාන්තාවක දුටහ. ඒ කාන්තාතොමෝ එකෙණෙහි ම ඒ රජකුමරුගේ සිත පැහැරගත්තා ය. කුමරතෙමේ ද ඇයගේ දෙනෙත් අත්පත් කර ගත. ඒ කාන්තාතොමෝ කුමරු දැක්මෙන් හටගත් විකාර ඇත්තී ලජ්ජාවෙන් කිසිවක් නො කිය හැකි ව හිතෙහි අදහස් සලකුණුවලින් දක්වන්නී උත්පලයක් ගෙණ කණෙහි පැලැන්දා ය. දත් මැද්දා ය. පද්මයක් හිසෙහි ගැසුවා ය. හදවත මතුවෙහි අත තැබුවා ය.
රජකුමරතෙමේ ඇගේ ඒ සලකුණු එකකුදු නො දත්තේ ය. නැණැති ඇමැතිපුත් තෙමේ ම සියල්ල තේරුම් ගත්තේ ය. ඇසිල්ලකින් ඕතොමෝ එහි නොසිට පිරිවර සමඟ පිටත් ව ගියා ය. ඇය සියගෙට ගිය නමුත් ඇගේ සිත කුමරා කෙරෙහි ම විය. කුමරතෙරේ ද සිය නුවරට ගියේ ඒ අඟන ගැණ සිතමින් දිනෙන් දින කෘශත්වයට (කෙට්ටුබවට) පැමිණියේ ය. වෑරුණු සිරුරු ඇති ව නිතර සිතිවිල්ලෙන් හුන් ඒ කුමරා දැක මන්ත්‍රිපුත්‍රතෙමේ ඔහු අස්වසමින් ඊට හෙතු විචාළේ ය. කුමරතෙමේ "යහළුව, නුඹට නොකියන රහසෙක් ඇද්ද? මේ රහස නුඹට කියමි. එහෙත් නුඹ මට පිහිට වීමට සමර්‍තථ ය යි නො සිතමි. එදා අර විල ලඟ දී දුටු කත සුරඟනක් ද? නරඟනක් ද?ගදඹඟනක් ද? නාඅඟනක් ද? අහෝ! කියන්නට නො දනිමි. ඕතොමෝ බැල්මෙන් ම මගේ සිත පැහැර ගත්තී ය. සිත නැතිව කෙසේ ජීවත් වන්නෙම් ද? මෙ තෙක් දවස් වත් මා ජීවත් වීම මට මහත් පුදුමයකි! යහළුව, ඇගේ ගම නො දනිමි. නම නො දනිමි. කුලය නො දනිමි. ඉතින් මම ඇය වෙත කෙසේ නම් පැමිණෙම් ද? එහෙයින් මා අස් වැසීමෙන් කම් නැතැ"යි ගොත ගසමින් කී ය.
"දේවයන් වහන්ස, ඒ ගැණ නො සිතනු මැනැව. ඔබගේ සිත පැහැර ගත් ඇය වෙත ඔබ පැමිණවීමට මම සමර්‍තථයෙමි. ඇය විසින් කළ සලකුණු ඔබවහන්සේ නුදුටු සේක් ද? එයින් ඇඟවූ අදහස් නො දත් සේක් ද? කර්‍ණයෙහි උත්පලය ගැසීමෙන් ඇය විසින් අඟවනලද්දේ ඈ කර්‍ණොත්පලරජුගේ රාජ්‍යයෙහි වසනබවය. දත් මැදීමෙන් අඟවන ලද්දේ දන්තඝාටක නැමැත්තෙකුගේ දුවක බවයි. ඇගේ නම පද්මාවතී ය යි පියුම හිසෙහි ගැසීමෙන් අඟවනලදි. දෙවයන් වහන්ස, ඇගේ නම ගම දැන ගැණීමට මේ මදි ද? හදවත මත අත තැබීමෙන් අඟවන ලද්දේ ඇගේ ජීවිතය ඔබ කෙරෙහි පිහිටි බවයි. ඉතින්, ඇය ලබාගැණීම දුෂ්කර ය යි කවරහෙයින් සිතන සේක් ද? කාලිඞ්ගදෙශයෙහි කර්‍ණොත්පල නම් රජෙකු වසන බවත්, එතුමාගේ අමාත්‍ය වූ දන්කඝාටක නැමැත්තහුට පද්මාවතී නම් දුහිතෘරත්නයක් සිටින බවත් වෙළෙඳුන් ගෙන් අසා දැන සිටිමි. එහෙයින් ඈ කළ සංඥා මම පහසුවෙන් ම තේරුම් ගතිමි"යි කියමින් ඇමැතිපුත් තෙමේ කුමරා තුටු කෙළේ ය. කුමරතෙමේ අදහස සිද්ධ කර ගැණීමට උපා ලද්දේ සන්තොෂයට පැමිණියේ ය.
2
ඉක්බිති ඒ කුමාරයා ප්‍රියාව ලබන අටියෙන් නැවත යහළුවා සමග මන්ත්‍රණය කොට ගෙණ පහසුවෙන් ගෙණ යා හැකි ධනය ද ගෙණ දඩයමෙහි යනබව අඟවා ඒ විල වෙත යනු පිණිස නික්මුනේ මඳක් දුර ගොස් වාතාශ්වවෙගයෙන් සෙනඟ පසු කොට යහළුවාත් සමග කලිඟුදෙස බලා ගියේ ය. එසේ සෙනඟින් වෙන් වූ ඒ දෙදෙන කර්‍ණොත්පල රජහුගේ නුවරට පැමිණ දන්තඝාටකයාගේ මන්දිරය සොයා දැන ගෙණ ඊට නුදුරින් වූ කිසියම් මැහැල්ලකගේ ගෘහයට නවාතැන් ගණු පිණිස පිවිසියහ. මැහැල්ල ඔවුන්ට නවාතැන් දුන්නා ය. ඔහු ද අගනා මැණිකක් මැහැල්ල අතට දී එය විකුණා මිල ගෙණ ආහාරපාන සම්පාදනය කරන්නට කීහ. චක්‍රරත්නය උදෙසා පෙහෙ ව (සූදානම් ව නොහොත් අටසිල් සමාදන් ව) හොත් රජෙකු සක්රුවන දැක පිණා යන්නාක් මෙන් මැහැල්ල ද තමාගේ ජීවිතයෙහි නො ලද තරම් ධනයක් ලැබ සන්තුෂ්ට වූවා ඒ මිණිරුවන මහත් මුදලකට විකුණා වුව මනා ද්‍රව්‍ය ගෙණ අවුත් රසමුසුබොජුන් පිස ආගන්තුකයන් දෙදෙනා වැළඳවූ ය. බොජුන් වළඳා අවසන්හි මන්ත්‍රිපුත්‍රතෙමේ ධනය ලැබීමෙන් තමන්ට කීකරු වූ මැහැල්ලගෙන් තොරතුරු විචාළේ ය: "මෑනියෙනි, කිම, මෙනුවර දන්තඝාටක නම් කෙනෙකුන් අඳුනන්නෙහි ද?"
"ඔවු, පුතේ, හොඳින් ම අඳුනමි. මම ඔහුගේ කිරිමවයි. ඔහු විසින් මම ඔහුගේ දුව රැක බලාගැණීමට යොදන ලදිමි. එහෙත් දැන් මම එහි නො යමි. ඇඳ ගෙණ යන්ට මට දැන් වතක් (රෙද්දක්) නැත. අර කාලක්ණ්ණියා, අනේ! උන්දැට දෙවියන්ගේ පිහිටයි! මගේ හොර තක්කඩි කොල්ලා, මගේ හොඳ රෙද්ද, පද්මාවතිය දුන් රෙද්ද, හොරකම් කරගෙණ ගොස් විකුණලා සූදු කෙළියා. තවත් රෙද්දක් තිබෙනවා දැක්කොත් ඒකත් හොරකම් කරාවි. ඒ නිසා අළුත් රෙද්දක් ගන්ටත් බැහැ" මැහැල්ල කීවා.
මන්ත්‍රිපුත්‍රතෙමේ එ අසා වස්ත්‍ර ගැණීමට මැහැල්ලට ධනය දුන්නේ ය. මැහැල්ලගේ පුතා කැඳවා අවවාද හා මුදල් ද දී තමන්ගේ ප්‍රයොජනයට සලසා ගත්තේ ය.
ආගන්තුකයන්ගේ නිර්‍ලොභපරිත්‍යාගයෙන් සන්තුෂ්ට වූ මැහැල්ල "දන්තඝාටකයාගෙන් කවර ප්‍රයොජනයක් දැ?"යි විචාළා ය.
ඔහුගෙන් අපට වැඩක් නැත. එහෙත් ඔහුගේ දුව, පද්මාවතිය, හමු වීම අපට අවශ්‍ය ය. මේ රහස නුඹ කිසිවෙකු සමග කියන්ට එපා. මේ මගේ යහළුවා බරණැස් රජ්ජුරුවන්ගේ දෙටුපුතා ය. මෙතුමා එක්දිනෙක්හි අසවල් විල්තෙර දී පද්මාවතිය දුටුවේ ය. ඕතොමෝ ද මෙතුමාට ආලය කරණබව සලකුණුවලින් ඇඟවූවා ය. එහෙයින් ඇය කැඳවා ගෙණ යනු පිණිස මෙහි ආවෙමු. නුඹ ඈ වෙත ගොස් අප මෙහි අවුත් සිටිනබව රහසින් කියන්ට ඕනෑ. අප විසින් කරණ කියන සියල්ලක් ම රහසේ ම තබාගත යුතු"යි තරුණයා මැහැල්ලට කී ය.
මැහැල්ල පද්මාවතිය වෙත ගියා. ගොස් සුදුසු අවසරයක් ලැබ "දරුව, ඒ රාජපුත්‍රමන්ත්‍රිපුත්‍ර දෙදෙන ඔබ උදෙසා මෙහි පැමිණ මාගේ ගෘහයෙහි සිටිත්. දැන් කුමක් කටයුතුදැ?යි කියව"යි කීවා.
පද්මාවතී තොමෝ එබස් අසා මැහැල්ලට බැන්නා ය. බැණ දෑතෙහි කපුරු තවරා මැහැල්ලගේ දෙකොපුලට ගැසුවා ය. ඉක්බිති පරිභවයෙන් දුඃඛිත වූ මැහැල්ල අඬමින් ගෙට අවුත් "දරුවෙනි, නුඹලාගේ බස් නිසා මට වූ විපත් බලනු. මෙ වැනි අන්තරායදායක වැඩ මීට පසු ව මට නම් කියන්ට එපා ය"යි කීවා.
3
තරුණකුමරතෙමේ මැහැල්ලගේ බස් අසා බලාපොරොත්තු සුන් කර ගත්තේ ය. එහෙත් මහනැණැති ඇමැතිපුත්තෙමේ ඔහුගේ ශොකය දුරු කෙළේ ය:- "යහළුව, ශොකී නො වනු මැනැව. රහස රකිනු කැමැති ඕ තොමෝ මැහැල්ලට තර්ජනය කළා ය. ඒ තර්ජනය සැබෑ සිතින් කරණ ලද්දක් නො වේ. කපුරුවලට චන්ද්‍රපර්‍ය්‍යාය නාම (චන්‍ද්‍ර්‍රයාට කියන නම) ව්‍යවහාර කරණ බව නො දන්නෙහි ද? කපුරු තැවරූ දසැඟිල්ලෙන් මැහැල්ලගේ දුර්‍වණී මුඛයට ගැසීමෙන් ඇය විසින් අඟවන ලද්දේ, දාවල්හි ඔබතුමා හමුව කථා කරණු දුටුවොත් ඇගේ මවුපියන් කිපෙන බවත්, හමු වීමට සුදුසු කාලය රාත්‍රිය බවත්, සඳඑලිය ඇති රාත්‍රිය දහවලට වඩා වැඩි වෙනසක් නැති බවත්, මේ ශුක්‍ලපක්‍ෂයෙහි සඳඑලිය ඇති දශරාත්‍රියක් ඉතිරි ව තිබෙන බවත්. එහෙයින් එකල්හි නො පැමිණිය යුතු බව හා සුදුසුකල් එනතුරු බලාපොරොත්තු විය යුතු බවත් ය."
කුමාරයා සිය යහළුවාගේ ප්‍රඥාපාටවයට (ප්‍රඥාව පිළිබඳ දක්‍ෂකමට) සන්‍තුෂ්ට වූයේ දසදවස දසවසක් මෙන් ගෙවී ය. ඇමැතිපුත් තෙමේ නැවත ද මැහැල්ල තුටු කෙළේ ය. සිය මනදොළ සපුරා දුන හොත් මැහැල්ල රන්රුවනින් වසන බවට ගිවිස්සේ ය. ධනලොභී වූ මැහැල්ල නැවත ද පද්මාවතිය ලඟට ගියා මඳකලක් නිශ්ශබ්ද ව සිටියා ය. යුවතිතොමෝ එදින මැහැල්ල කුමරුන් ගැණ කථා කරන්නට මත්තෙන් ම ඇය විසින් පෙර කී කථාව කියා ඒ වැරැද්දට දඬුවම් වශයෙන් රත්නෙළුම්මල්පසකින් මැහැල්ලගේ මුහුණට ගැසුවා ය. අවමන් ද කළා ය. මැහැලිතොමෝ පෙරළා අවුත් තමන්ට වූ සියලු ගැහැට පැවසුවා ය. පෙරට ද වඩා කිපුනු බව දැන්වූවා ය. ඇඬුවා ය.
තරුණ මන්ත්‍රිපුත්‍රයා මැහැල්ල සනසා කුමරා එක් පසකට කැඳවාගෙණ ගොස් "කුමාරයන්වහන්ස, සැක නො කළ මැනව. පද්මාවතී මේ දවස්හි ඔත්පල ව සිටිනී ය. තව දවස් පසක් බලනු මැනව. රත්නෙළුම්මල්පසින් මැහැල්ලට ගැසීමෙන් ඇඟවූයේ එයයි. ඔබට තව කීප දිනකින් ඇය හමු විය හැකි"යි කියා ඔහු ද සැනසී ය.
කීපදිනක් ගෙවුනු පසු මන්ත්‍රිපුත්‍රයා නැවත ද මැහැල්ල පද්මාවතිය වෙත යැවී ය. පද්මාවතී එදින පෙර මෙන් රළු නො වූවා. මැහැල්ල ආදරයෙන් පිළිගත්තා. රසමුසු අහර වැළඳවූවා. මිදිරස බොමින් එදින මැහැල්ල සමග සතුටින් ගත කළා. මැහැල්ල ද තර්ජනය කරණ බියෙන් කුමරුන් ගැණ කිසිවක් ඇයට නො කීවාය. සවස්කල්හි මැහැල්ල සියගෙට යනු සඳහා සැරසෙනවිට ම බැහැරින් මහත් කලබල ශබ්දයක් ඇසින: "ඔන්න, ඔන්න! මත් ඇතෙකු දම් (දම්වැල්) බිඳගෙණ එනවා! අසුඅසු වුනු දෙය සුණුවිසුණු කරණවා! මිනිසුන් මරණවා!"
ඒ ඇසූ පද්මාවතී මැහැල්ලගේ ගමන වැළහූ. "අම්මෙ, දැන් මේ ඇතු විසින් අවුල් කළ මඟින් යන්ට එපා. මම නුඹ පෙට්ටියක දමා රැහැනින් වාකවුළුවෙන් පිටත බිමට බාවන්නම්. එතැනින් උයනට පලයන්. උයනෙහි පවුර ලඟ මහගහකට නැඟී එයින් ප්‍රාකාරයට පැන එයින් ද පිටත සිටි ගහකට නැග බැස පරිස්සම් සහිත ව ගෙදර පලයන්"යි මාර්‍ගය කියා දාසියන් ලවා මැහැල්ල කවුළුවෙන් පිටතට බෑවුවා ය. මැහැල්ල ද කී මඟින් ගෙට ගොස් සිදු වූ දෙය නො වළහා කුමරුන්ට කීවා.
"කුමරුනි, ඔබගේ මනොරථය පල ගන්නා දවස අද යි. පද්මාවතිය විසින් යුක්තියෙන් ඔබ යා යුතු මඟ පෙන්වන ලදි. ඒ මගින් ඇද ඔබ එහි යා යුතු"යි අමාත්‍යපුත්‍රයා පද්මාවතියගේ අදහස නිවැරදි ලෙස තේරුවේ ය. ඉක්බිති කුමරතෙමේ ජනසඤ්චාරය අඩු වූ කල්හි රජ කුමරෙකුට සුදුසු වූ ම අබරණ පැලඳ ඒ මතුවෙහි මැහැල්ගේ ඇඳුම් ඇඳ මැහැල්ලගේ වෙස් ගෙණ මිතුරාත් සමග මැහැල්ල ආ මගින් ම උයනට වැද පද්මාවතියගේ මැඳුර සමීපයට ගියේ කවුළුවෙන් පිටත එල්ලෙමින් තුබුනු පෙට්ටිය හා එය බැඳි රැහැන අල්ලා ගෙණ මතුමහලෙහි මඟ බලමින් සිටි දැස්සනුත් දැක්කේ ය. හෙතෙමේ මිතුරා එහි ම නවතා ගොස් පේටිකාවට නැංගේ ය. දාසියෝ පෙට්ටිය රැහැනින් ඇද කුමරා උඩට ගත්හ. මැහැල්ලට මෙන් සිරිත් පරිදි විහිළු කළහ. පද්මාවතිය ද 'ඒ මැහැල්ල දෝ!'යි සැක කළා. කුමර තෙමේ මැහැල්ගේ වෙස් හැර සිය තෙද සහිත සොඳුරු තරුණරූසපුව පද්මාවතියට පෑයේ ය. පද්මාවතිය කුමාරයාගේ රෑපශ්‍රීයෙන් පුදුමයට පත් වූවා ආහාරපානාදිය දීමෙන් සංග්‍රහ කළා ය.
කුමරතෙමේ මඳ වේලාවක් කථා කරමින් සිට ආ මගින් ම උයනට ගොස් යහළුවාත් සමග සියනිවෙසට ගියේ සෙනෙහෙවචනයෙන් මිතුරාගේ සිත ද, ධනයෙන් මැහැල්ලගේ සිත ද තුටු කෙළේ ය.
4
තරුණ ඇමැතිපුත්තෙමේ මතු බලාපොරොත්තුවෙන් එදින ම මහතවුසෙකුගේ වෙස් ගත. මැහැල්ලගේ කපටි පුතා ද වෙස් මාරු කරවා ඔහුගේ අභියුක්තයා (ඇබිත්තයා) කෙළේ ය. තමන්ට පමණක් දෙවෙනි වූ කපටි කොලුවා ලවා තමන්ගේ යශොඝොෂය මිනිසුන් අතර පැතිරවී ය.
කුමරතෙමේ මෙසේ කීපදිනක් ම පද්මාවතිය වෙත ගියේ ය. එක්දිනෙක්හි දෙදෙනා කථා කරමින් සිටින අතර "කුමරතුමනි, මා විසින් කළ සළකුණු ඔබතුමා දැනගත්තේ කෙසේ දැ?"යි පද්මාවතිය කුමරාගෙන් ඇසුවා. කුමාරයා ද උත්තර දෙමින් "ප්‍රියාව, ම විසින් එය නො දන්නා ලදි. මගේ මිතුරෙක් වූ ඇමැතිපුතෙක් මා සමග අවුත් මෙහි සිටී. හෙතෙම නැණින් සුරගුරු වැන්න. මන්‍ත්‍රණයෙහි අසුරගුරු වැන්න. දිව්‍යඥාන ඇති ඔහු විසින් ම ඒ සියල්ල දැන ගන්නාලදි"යි කී ය.
මෙය අසා ඒ කපටකාන්තාතොමෝ ඇසිල්ලක් නිශ්ශබ්ද ව සිටියා ය. ඇතුළින් චඤ්චල වූ නමුදු පිටතින් ඒ බව සඟවන්නට වෑයම් කළා ය. කුමරාගේ ප්‍රඥාවත් යහළුවා නිසා කමන්ට විපතක් විය හැක්කැයි සිතුවා ය. ඔහුට ක්‍රොධ කළා ය. ඔහු මැරිය යුතු ය යි නිශ්චය කරගත්තා ය. අවසන්හි මෙසේ කීවා: "ස්වාමිනි, එසේ නම් ඔහු ගැණ මට මේ තාක් නො කීමෙන් ඔබ විසින් වැරැද්දක් කරණ ලදි. ඔබගේ යහළුවෝ මාගේ භාතෘහු (සහෝදරයෝ) ය. මා විසින් මාගේ භාතෘ වූ ඔහුට ම පළමු කොට බත්බුලත් දීමෙන් බුහුමන් කටයුතු වි ය. වේවා! දැන් කුමක් කරන්ට ද? හෙට උදාසන්හි ඔහුට ද පඬුරු යවන්මෙි."
රජකුමර ඇගේ අනුමැතිය ලැබ ගෙට අවුත් මිතුරා හමු වී ඈ කී සියල්ල කී ය. බුද්ධිමත් මන්ත්‍රිපුත්‍රයා ඇයගේ සංග්‍රහ තමන් විසින් පිළිගැන්ම නො ම සුදුසු යයි ද, එය ආදරයෙන් කරණු නො ලබන්නකැ යි ද සනිටුහන් කෙළේ ය.
උදෑසන ඔවුන් කථා කරමින් සිටින අතර පද්මාවතියගේ යෙහෙළියක් කිරිබත් හා බුලත් ද ගෙණ එහි පැමිණ මන්ත්‍රිපුත්‍රයාගේ සුවදුක් විචාළා, ඔහුට බුහුමන් කළා ය. පද්මාවතියගේ පඬුරු ද පිළිගැන්නුවා, "කුමාරයන් වහන්ස, ඔබගේ ප්‍රියාව වූ පද්මාවතිය අද එහි දී ම ඔබ වළඳවන්නට කැමැත්තෙන් සිටී. එහෙයින් වහා එනු මැනැවැ"යි කුමරාට ආරාදනා ද කළා ය.
"මේ කිරිබත් මට ම පමණක් සෑහේ. අප දෙදෙනාට ප්‍රමාණ වන සේ නො එවන ලද්දේ අපේ කුමාරයන් වහන්සේට එහි ම භොජන පිළියෙල වී ඇති හෙයින් විය යුතු ය. දිය නා අවුත් මම මෙය වළඳමි. කුමාරයන් වහන්සේ ද තව ම ජලස්නානය නො කළ සේක. උන්වහන්සේ දිය නා තව ටිකකින් එහි වඩින සේක. ඒ තාක් තෙපි යව"යි ඇමැතිපුත්තෙම ඇය යවා "යහළුතුමනි, එක් පුදුමයක් බලනු මැනැව. මම දැන් එය ඔබට පෙන්වමි"යි කියා එක් කිරිබත්කැටියක් ගෙන එහි සිටි බල්ලෙකුට දුන්නේ ය. බල්ලා එය කා එකෙණෙහි ම විසංඥව වැටුනේ ය. කරුණාවන්ත වූ තරුණයා එක් බෙහෙතකින් බල්ලා සුවපත් කෙළේ ය. ඒ දුටු රජකුමරා "මේ ආශ්චය්‍යර් කිමෙක්දැ?"යි පිළිවිසියේ ය.
කුමරතුමනි, පද්මාවතිය ඔබ කෙරෙහි ඉතා අනුරක්ත ය. ඇගේ අදහස්ප්‍රකටනයෙන් (ප්‍රකට කිරීමෙන්) මා ධූර්‍තයෙකු (කපටියෙකු) කොට ඕතොමෝ සැලකුවා. මා ජීවමාන ව සිටියොත් ඔබතුමා ඇය කෙරෙහි වඩා ඇලුම් නො කරතැයි ද, මගේ උවදෙසින් ඇය හැර දමා සිය නුවරට යතැ යි ද, සිතා මා මරන්නට මේ කරණලද උපක්‍රමය යි. මා නැත් නම් ඔබතුමාගේ ජීවිතය ද අන්තරායසහිත ය. එහෙයින් ඔබතුමා අත්හැර යෑම ද නො කට හැකි ය. මේ කපටගැහැණි තවත් කෙ බඳු උපක්‍රම කරා දැ යි නො දනිමි. මැහැල්ලගේ උපකාරයෙන් මට තව වරක් විෂ දෙන්ට ද පුළුවන. හැම වේලෙහි ම සිහියෙන් හා පරීක්‍ෂාවෙන් සිටිය හැක්කෝ කවු ද? යම් ලෙසකින් මට විෂවර්‍ගයක් කැවී විසංඥ වූවොත් මේ බෙහෙත ඔබතුමා මගේ මුව තුළ දැමිය යුතු යි. තව ද මෙහි වැඩිකල් සිටීම නුවණට හුරු නො වේ. වහා සිය රටට යා යුතු ය. පද්මාවතිය ද කෙසේ වුවත් ගෙණ යන්ට වුව මනා ය. ඊට මම උපායක් සිතන්නෙමි"යි අමාත්‍යපුත්‍රයා කී ය. කුමාරයා ඔහුගේ චාතුර්‍ය්‍යය දැක වඩා පහන් වූයේ ඔහුගේ ආරක්‍ෂාව සඳහා තමන් විසින් කළ හැකි සියල්ල කිරීමට ඉටා ගත්තේ ය.
5
එදින ම 'රජුගේ බාලපුතා, මළේය'යි ප්‍රසිද්ධ වි ය. මන්ත්‍රිපුත්‍රතෙමේ මේ මරණය තමන්ගේ කාර්‍ය්‍යසිද්ධියට උපකාරයක් කර ගන්ට සිතා කුමරා අමතා "කුමරුනි, ඔබ පද්මාවතිය ලඟට ගොස් ඇයට මේ බෙහෙත දෙනු මැනැව. මෙයින් ඕතොමෝ දෙපැයක් යන තුරු මළාක් මෙන් විසංඥ වන්නී ය. එවිට ඔබතුමා මේ ත්‍රිශූලයෙන් ඇන ඇගේ උකුළ තුවාළ කොට ඇය පලන් ඉතා මහඟු ආභරණයක් ද පැහැර ගෙණ වහා එනු මැනැව. ඊට පසු කට යුතු දෙය මම දන්නෙමි"යි කියා කුමරා යැවී ය.
කුමරා තිසුලවිය ගෙණ පද්මාවතියගේ මැඳුරට ගියේ ය. පද්මාවතිය සියමිතුරා පිළිබඳ තොරතුරු අසන්ට මත්තෙන් ම භක්තිමත් බුද්ධිමත් හිතවත් මන්ත්‍රීන්ගේ වචන ප්‍රභූන් විසින් නො ම විමසිය යුතුය'යි සිතා සියයහළුවා දුන් බෙහෙත උපායකින් පද්මාවතියට කැවී ය. එයින් ඕතොමෝ මුසපත් ව නිදන්නට වන. රජකුමරතෙමේ යහළුවා කී සේ සියල්ල සම්පූර්‍ණ කර වහා යහළුවා ලඟට ගොස් පද්මාවතියගේ ලක්‍ෂයක් අගනා මුතුහර ඔහු අත තැබී ය.
තවුස්වෙස් ගත් ඇමැතිපුත්තෙමේ එය රැගෙණ තමන්ගේ ඇබිත්තයාත් සමග අමුසොහොනට ගොස් "මේ මුත්හර විකුණා මුදල් ගෙණෙව. කිසිවෙකු මෙය නුඹට කොයින් ලැබුනේ දැ යි ඇසුවොත්, මා විසින් දුන් බව කියා ඔහු ද මා ලඟට කැඳවා ගෙණ එව"යි කියා ඒ කපටි කොලුවා යැවී ය.
මේ අතර 'පද්මාවතියගේ ගෙට හොරෙක් ඇතුල් ව ඈ පලන් මුත්හර පැහැරගෙන ගියේ ය'යි නගරයෙහි පැතිර ගියේ ය. තරුණියගේ පියතෙම සොරුන් ඇල්ලීමට රාජ පුරුෂයන්ට විධාන කෙළේ ය.
අභියුක්තයා මුත්හර විකුණනු පිණිස අබරණවෙළෙඳ සැලකට ගොස් එය පෙන්වී ය. වෙළෙන්දෝ ඒ බව රාජ පුරුෂයන්ට දැන්වූහ. රාජපුරුෂයෝ අවුත් මුත්හර හා තාපසයාගේ අභියුක්තයාත් අල්ලා ගෙණ දන්තඝාටකයා වෙත ගොස් සැළ කළහ. හෙතෙම මුත්හර ඇඳින එය ලත් පරිදි ඇසීය. අභියුක්තයා "මහතුනි, මම මේ ගැණ කිසිවක් නො දනිමි. මගේ ගුරු වූ මහතෙදබල ඇති තවුස්තෙමේ මෙය විකුණා මුදල් ගෙණඑන්ට මට නියම කෙළේය. ඒ නිසා මම මෙ ගෙන ආමි. ඔබතුමන්ට මේ පිළිබඳ තොරතුරු දැන ගන්ට වුව මනා නම්, මා සමග ඒ තාපසයන් වහන්සේ ලඟට එනු මැනව. එතුමා සියල්ල නොවළහා කිය"යි කී ය.
රාජපුරුෂයෝ කොලුවාත් සමග තවුසා ලඟට ගියහ. ගොස් මුත්හර ලත් පරිදි විචාළහ. ධූර්‍ත වූ මන්ත්‍රිපුත්‍රතෙමේ එය ලද පරිදි කී ය:- "මහතුනි, මම තවුසෙක්මි. මට ඉන්ට නියමිත් තැනක් නැත. තැනින් තැන ඇවිදින්නෙමි. මම මේ සොහොනෙහි කීපදිනක පටන් සිටිමි. ගත වූ රාත්‍රියෙහි මෙහි පැමිණි යකින්නන් පෙළක් දිටිමි. එයින් එක් යකින්නක් ලදරු රජකුමරෙකු ගෙණ අවුත් මරා භෛරවයාට බිලිදෙන්ට සැරසුනා ය. ඒ රජකුමරා කෙරෙහි අනුකම්පාවෙන් මම යකින්නන් එලවා ලීමට මන්ත්‍ර ජප කරන්ට පටන් ගතිමි. එයින් කිපුනු ඒ යකින්න මාගේ අක්‍ෂමාලාව (මන්ත්‍ර ජප කිරීමෙහි දී වාර ගණන මතක තබාගණු පිණිස ගන්නා ඇටවැල (Rosary)) උදුරාගන්ට නොයෙක් විකාර වෙස් ගණිමින් නොයෙක් මායා දක්වමින් මා ලඟට ආවා ය. මම ද එකෙණෙහි මගේ මේ මන්ත්‍රපුතත්‍රිශූලයෙන් (මන්ත්‍රයෙන් පවිත්‍ර කළ තිසුලවියෙන්) ඇගේ උකුලට ඇන්නෙමි. ඇගේ කණ්ඨයෙන් මේ මුත්හර ද උදුරාගතිමි. මෙබඳු මුත්හරකින් අප වැනි තවුසන්ට කවර ප්‍රයෝජනයක් ද? එහෙයින් එය විකුණා මුදල් ගෙණ එයින් හෝමද්‍රව්‍ය ගෙණ එන්ට මගේ අභියුක්තයාට දුන්නෙමි."
රාජපුරුෂයෝ මුත්හර ගෙණ රජ්ජුරුවන් වෙත ගොස් තවුසාගේ කථාව දැන්වූහ. රජ ද ආප්තවනිතාවන් (විශ්වාස කට හැකි ස්ත්‍රීන්) ලවා පද්මාවතියගේ ශරීරය පරීක්‍ෂා කරවී ය. තවුසා කී පරිදි උකුළෙහි ත්‍රිශූලයකින් ලත් තුවාළයෙක් ද වී ය. වැඩි දුරට පරීක්‍ෂා කිරීමෙන් එය තවුසාගේ තිසුලවියෙන් වූවක් බව ම ප්‍රකට වි ය. පද්මාවතිය ද මෙය මන්ත්‍රිපුත්‍රයාගේ උපක්‍රමයෙකැයි සිතා නිශ්ශබ්ද ව සිටියා ය. ඇයගේ දැස්සෝ ද සත්‍යප්‍රවෘත්තිය එලි කිරීමට බිය වූහ.
6
"මුත්හර පැහැර ගැන්ම සොරෙකුගේ වැඩක් විය නො හැක්ක. මගේ ප්‍රධානඅමාත්‍යයෙකුගේ ගෙයින් සොරාගත් දෙයක්, ඊට පසු දින ම, විකුණනු පිණිස මේ නුවරට ම සොරෙක් නම් නො එවයි. පද්මාවතියගේ උකුළ තුවාළ කිරීමෙන් සොරෙකුට ඇති ප්‍රයෝජනය කිම? තවුසාගේ ත්‍රිශූලය සොරාට කොයින් ද? තවුසා සොරෙක් ද? සොරෙක් නම් මුත්හර විකිණීම අන්අයුරකින් කරන්නේ ය. රැකවල් සහිත තැනකට ඇතුල් ව තවත් මහඟු අබරණ තිබිය දී මුත්හරක් පමණක් හැරගෙණ සුලු තුවාළයක් පමණක් කොට කාට වත් නො දැනෙන ලෙස පැන ගියේ කෙසේ ද?" යනාදීන් රජතුමා තර්‍ක කෙළේ ය. පද්මාවතිය යකින්නකැයි ද, ඇය විසින් තමන්ගේ පුත් කුමරා මරණලදැයි ද, නිශ්චයට පැමිණියේ තවුසා වෙත එළඹ, ඈට කටයුතු නිග්‍රහ (දඬුවම) කිමෙක් දැ යි විචාරා ඔහුගේ කියමන ලෙස ඇය නුවරින් බැහැර කරවී ය. ඇගේ මවුපියන්ගේ ඇඬුම්වැලපුම් සියල්ල නිෂ්ඵල වි ය.
ඇගේ යහළු රජකුමරතෙමේ ද සාමාන්‍යනාගරිකයෙකු මෙන් පිරිස සමග ගොස් වනයෙහි සැඟවුනේ රාජ පුරුෂයන් පෙරළා නගරයට ගියකල්හි ඇය වෙත ගොස් සැනසී ය. අමාත්‍යපුත්‍රතෙමේ තවුස්පිරිකර සොහොනෙහි ම දමා සිය ඇබිත්තයාත් සමග නුවරට ගොස් ඉතා ජව සම්පන්න අශ්වයන් සිවුදෙනෙකුන් මිලට ගෙණ මැහැල්ලත් කැඳවා ගෙණ කුමරා සිටිතැනට ගොස් පද්මාවතියත් රැගෙණ සිය නුවරට ම ගියේ ය. පද්මාවතියගේ මවුපියෝ සියදුව ගැණ ශොක කිරීමෙන් මළහ.
වේතාලතෙමේ මේ කථාව කියා, "රජ්ජුරුවෙනි, මේ ගුණවත් අඹුසැමි දෙදෙනාගේ මරණයෙන් පව් වන්නේ රාජපුත්‍රයාට ද? මන්ත්‍රිපුත්‍රයාට ද? නැතහොත් පද්මාවතියට ද? මගේ සිතෙහි මේ ගැණ මහත් සැකයක් පවතී. යුෂ්මතා නුවණඇතියන් අතුරෙන් ශ්‍රෙෂ්ඨයෙකු මෙන් පෙණෙන්නෙහි ය. එහෙයින් මගේ සැකය දුරු කරව. ඉදින් දැන දැන ද මට උත්තර නො දෙන්නෙහි නම්, එකාන්තයෙන් ම නුඹගේ හිස සියක් කඩකට පැළෙන්නේ ය. යහපත් පිළිතුරක් දුන් කෙණෙහි ම මම නැවත ද මගේ ඇට්ටේරියගසට යන්නෙමි"යි පැන විචාරා සිය අදහස ද දැන්වී ය.
"යක්‍ෂාධිපතිය, ඔබ විසින් නො දත්තේ කිමෙක් ද? එසේ ද වුවත් කියන්නෙමි"යි රජතෙමේ පැන විසඳන්ට පටන් ගත්තේ ය...
* * *
කුමක් වන්නට ඇත් ද, රජුගේ පිළිතුර?
මීළඟ කොටස වෙන තෙක් ඔබේ පිළිතුරු පහතින් කමෙන්ට් කරන්න.
හා දැන් ඉතිං හිටපල්ලකො ඊළඟ සුමානෙ වෙනකන් පිළිතුර බලන්න. 😡💢
ReplyDeleteඒකනෙ ඉතිං... උත්තරේ ගෙස් කරන්ඩ සතියක් ම දීලත්, තියෙන කම්මැලිකම. හරියට මගෙ හුටංබරස් පුංචිරාළ වගේ. මහන්සි වෙන්න කැමති ම නෑ.
Deleteකව්ද ඩෝ මේ බරණැස් නුවර ප්‍රතාපමුකුට?
ReplyDelete- බ්‍රහ්මදත්ත-
කව්ද ඩෝ හොර අස්සං ගහන්නෙ?
Delete"ශනිදා දොළහට" පෝස්ටුවක් පල කල ඔබට මගේ මෙව්ව එක!
ReplyDeleteහරි හරි ඔය කථා සෙට් එක තමයි ඒකාලේ "අම්බිලි මාමා" කියලා සඟරාවක් ලෙසින් අපේ කාලයේ ආවේ!
මොනවා නැතත් මේක මෙහෙම ටයිප් කරණ එකටනම් ඔබට ත්‍යාගයක් දෙන්න වටිනවා.
මා ගානේ සිරිල් ස්පැෂල් බෝතලයක් ලබන හමුවේදී!
සිරීඊඊඊල්...!
Deleteසිරීඊඊඊල්...!!
මේහ්! ඒක නෙමෙයි, අම්බිලි මාම සඟරාවෙත් භාෂාව මේ වගේ ම ද?
අම්බිලි මාමා සඟරාවේ 1980 මැයි කලාපයේ තියෙන 'වේතාල කතාවේ' පිටු දෙකක foto හෙට එවන්නම් සසඳා බලන්නට.
Deleteලැබුණා ලැබුණා. මම කියවලා නැති කතාවක්. ඉතුරු ටිකත් එවන්ඩ පුලුවන් ද? එහෙම නැත්තං ඔයාගෙ බ්ලොග් එකේ දාන්ඩ, අර මැංචෝසන් චාරිකාව වගේ.
Deleteඉතිරි පිටුවල ෆොටෝත් එවන්නං.
Deleteආාා... ගොඩක් ස්තූතියි ලොකු අයියෙ.
Deleteපොඩි ප්‍රශ්නයක් , තට්ටයගේ කොළමට හා මේ වේතාලයට , හැම සෙනසුරාදාම නැතිව සති දෙකෙන් දෙකට දැම්මොත් හොඳ නැත්ද? දාන හැම එකටම යන්න වෙලාවක් නැහැ. මග ඇරෙනවා බ්ලොග් රෝලෙන්. මට තව අඟහරු අඩවියට, දුමීගේ එකටත් යන්න තියනව. අනිත් හැමෝටම සතියක් ඇතුළත බ්ලොග් වලට යන්න වෙලාව තියෙනවද
Deleteඒකත් ඇත්ත. මටත් ගොඩක් බ්ලොග් මගඇරුණ. මං හිතුවෙ ඒක මට විතරක් තියෙන ගැටළුවක් කියල.
DeleteHarima pankadu kathawa.Bohoma sthuthiyi. In passe mokada une kiyala danaganna asawen innawa.
ReplyDeleteඉතිං සරත් අයිය කියන්ඩකො මොකද්ද ප්‍රශ්නෙට උත්තරේ කියල.
DeleteBella gahala yana prashnane oyath ahanne.E prashne ahala angath hiri watuna.
Deleteඇඟ හිරි වැටෙන්නෙ සීතලට. ඒකට හොඳයි බ්‍රැන්ඩි
Deleteඔක්කොමත් හරි, කියන භාෂාවට තමා ඔළුව කැරකෙන්නේ.
ReplyDeleteඇත්ත... පරණ භාෂාව.
Deleteඅනේ මංදා කියවන අපිටත් ඔලුව කුරුවල් වෙන එකේ කම්මැලි නැට්ජුව මේ වචන ටයිප් කරනවට වෙනම තෑග්ගක් දෙන්න ඕනේ.
ReplyDeleteදෙන්ඩ දෙන්ඩ!
Deleteඒක නෙමෙයි, කවුද කම්මැලි නැට්ටුවා?
එව්ව ප්‍රින්ටිං මිස්ටේක් නොවැ 😜
Deleteඑහෙනං එහෙනං... මට පේන්නෙ ම මිස්ටේක් ම තමයි, ටිපිකල් සිලොනීස්.
Deleteඅර්ධයයි කියෙව්වෙ. ඉතුරු ටික හවසට කියවල කොමෙන්ට් කරන්නං.
ReplyDeleteදැනට කියන්න තියෙන්නෙ අත්ටැට්ටර් පැද්දට කෙට්ටුවෙන්නෙ නෑ කියන එක විතරයි. හැක්..
අර්ධයෝ! පුරුෂ ලිංගයෝ!
Deleteකොහෙද බොල මේකෙ අත්ටැක්ටර් කතාවක් තියෙන්නෙ?
//කුමරතෙරේ ද සිය නුවරට ගියේ ඒ අඟන ගැණ සිතමින් දිනෙන් දින කෘශත්වයට (කෙට්ටුබවට) පැමිණියේ ය.// අනේ ඉතිං ඌ නිකංම ඉන්න ඇති නේද ඉඳගෙන. හැක්..
Deleteඒක නෙමෙයි අර බොලැයි තැපැල් කන්තෝරුව මට දෙන්න බැරිද?
Delete//අනේ ඉතිං ඌ නිකංම ඉන්න ඇති නේද ඉඳගෙන. හැක්..//
DeletePraසන්ன
//ආප්තවනිතාවන්// හොපර් ලේඩීස් හිටපු නිසා ගෑණුන්ටනම් එහෙමට ප්‍රස්නයක් වෙලා නෑ
@Praසන්ன
Deleteහොපර් ලේඩීස් //ආප්තවනිතාවන් // හිටපු නිසා කාන්තාවන්ට ප්‍රස්නයක් වෙලා නෑ
හැක්.. ආප්ප වනිතාවන් නෙමෙයිද ඒ.
Deleteඉස්සර සම්බාව්ය බාසාවෙන්
Deleteආප්ත = හොපර්,
ක්ශීර ආප්ත =මිල්ක් හොපර්
බීජ ආප්ත = එග් හොපර්
ප්‍රසෝ,
Deleteහනේ බොලං, මට ඒ කෑල්ල මගෑරුණනෙ. හැබැයි, අපි ලව් කරන කාලෙ එහෙම නෑ අපෙ හාන්දුරුවනේ. අතිං අල්ලපු එකත් ඇති සතියක් විතර මනෝපාර ගහන්න. උතුම් ප්‍රේමය අත් ටැක්ටරෙන් කිළිටි කරගත්තෙ නෑ ඒ කාලෙ අපි.
ආයි ප්‍රසෝ,
තැපැල්පති වෙන රස්සාවක් හොයාගන්නව කිව්ව.
ප්‍රාජේ සහ ප්‍රසන්න,
බොලා යවන්ඩ වටිනව සිංහල ශබ්ද කෝෂ කාර්යාලෙ ටීකා ටිප්පණි හදන්ඩ.
එතකොට හනී හොපර්?
ඉඳල හිටලවත් සිංහල කථාවකුත් ලියපන්
ReplyDeleteඑතකොට මේක ඉංග්‍රීසි කතාවක් ද?
Delete@ ඉයන් :-)) +++++++++
Deleteමං හිතන්නෙ ඒඅයි
//අභියුක්තයා//
හරි හරි... බදාදට සිංහල කතාවක් දාන්නං (සුද්ද සිංහල සහිතව)
Deleteසිරාවට .. මේකම සිංහලෙන් ලිව්වනම් මෙච්චර දුකක් විඳින්න වෙන්නේ නැහැනේ කියවන්න
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකවිය වැරදිලා වගේ?
Deleteමාත්‍රා ගණන වෙනස් වෙලා තිබ්බා. ඒකයි හදල දැම්මේ.
Deleteඑව්ව ඇහෙනකොට දැන් ම පෙන්ෂන් යන්න හිතෙනව. කවියත් ලියල, මාත්‍රා ගාණත් චෙක් කරන්න වෙලාව තියෙනව කියන්නෙ ඉතිං...
Deleteපරණ වෙන්න වෙන්න චීස් තව තව රසවත් වෙනවා
ReplyDeleteමේකත් ඒ වගෙම තමයි අමුතුම රසයක් දෙනවා
වැඩිය පරණ වුනොත් හැබැයි චීසුත් පුස් කනවා
Deleteවේතාලයො, වවුලො තාම ගස් වල එල්ලෙනවා
නිදි,
Deleteපරණ පොතුත් වයිනුත් මිතුරනුත් අගෙයි
කියා කිමනක් මතකෙට මගේ නැගෙයි
බකුස්,
වවුලන් වගෙම බකමූණන් කම්මැලියෝ
දවල් තරගෙ මග ඇර රෑ ඉගිළෙනවෝ
අපූරු කතාවක්. දැන් ඊළග කොටස බලන්න ලබන සෙනසුරාදා වෙනකම් ඉන්න වෙනවා.
ReplyDeleteඔව්... ඒ වෙනතුරු ප්‍රශ්නෙට පිළිතුර අනුමාන කරන්න.
Deleteශ්‍රීකාන්තාවගේ චාමර මිනින්දෝරුවෙක්ද?
ReplyDeleteඔව් ඔව්... රිවස් සමපෝෂයෙක්.
Delete//කර්‍ණොත්පල නම් රජෙකු //
ReplyDeleteඒකාලෙත් ලවුඩ්සිපීකර් කටින තිබිලනෙ !
කඨිනයක් ගැන නෙමේ නෙ කියන්නෙ. අගමැතිට කණ පැලෙන්ඩ ගැහුව කියන එකනෙ, ඔය නමේ තේරුම. ඒ ගහපු පාරට දතක් බඩට ගිය නිසා තමයි අගමැතිට දන්තඝාටක කියන්නෙ.
Deleteඔය ප්‍රාජේ ලවුඩ්සිපීකර් එක්ක ජම්මන්තයි.😉
Deleteසිහිමොලේ තියෙන මිනිස්සු කොහොමත් ලවුඩ්ස්පීකර් එක්ක ජන්මාන්තරයි තමයි, ලංකාවෙ...
Deleteපෂ්ෂෙ එන්ටං
ReplyDeleteහා
Deleteමේකෙ නිකං මහින්ද මහරජාණෝගෙ කතාවක් වගේ.
ReplyDeleteරජකුමරුගේ සිත් පැහැරගත් කාන්තාව, මැණික් සහ මහළු කාන්තාව.
ජයවේවා!
Myself Hattor
මදැයි බොටත් පේන එව්ව. තාප්පෙක හැප්පිලා කුඩු වෙලා ගිනිගන්ඩ විතරයි තව ඉතුරු.
Deleteඅඩේ මං මේ කතාවලට මාර ආසයි 💎💘
ReplyDeleteඒ වගේම ලියවිලා තියෙන ඉට්ටයිල් එකටත් කැමතියි. ඒකයි නිවිහැනහිල්ලෙ කියවන්ට ආවෙ!
පද හරියට බෙදල දාන්ටකො. අර දෙවැනි පොටෝ එකත්, මේකට ගැලපෙන්ටෑ බොල.
ඒක හැබැයි. මේ පරණ ලියවිලි ශෛලියෙ තියෙනව, මාර අලංකාර, උපමා වගෙ දේවල්. ඒකට ඇබ්බැහි උනහම ඒක වෙන ම රසයක් ඈ...
Deleteපද බෙදිල්ල මම දැම්මෙ පොතේ තියෙන ඔරිජිනල් විදිහට.
දෙවෙනි පොටෝ එක, අර ඇමති පුතා තවුස් වෙස් ගත්ත විදිහ ගැන මගෙ හිතට ආපු උදාහරණෙ.
සප්ත රතනය ෆුල් උනහම තමයි ලු චක්‍රවර්ති රජ කියල ඒ රජා හඳුන්වනවයි කියන්නෙ.
ReplyDeleteරත්න 7 -
චක්‍ර රත්නය
මාණික්‍යය රත්නය
ස්ත්‍රී රත්නය
ගෘහපති රත්නය
පුත්‍ර රත්නය
හස්ති රත්නය
අශ්ව රත්නය
මට මතකයි මොන්තක්‍රිස්තෝ සිටුවරයා 2 වෙළුමෙ (මට මතක හැටියට) අග කොටසෙ තියෙනවා, ටැක්සි කාරයෙක්, හෝටලේක ඉන්න ෆ්‍රාන්ස් දෙ'පිනේ ට කෑගහනව, මිදුලෙ ඉඳං...
Delete"උතුමාණනි, චක්‍ර රත්නය මාළිගාව ළඟට ගේන්න ද?" කියලා...
ශනිදා දහයට කලින් බදාදා දහය වගේ අතුරු නැකතක් ගේන්න බැරිවෙයිද ඩ්‍රැකි අයියෙ
ReplyDeleteබදාදා දහයට වෙන ම කතාවක් දාන්න හැදුවෙ.
Deleteදැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරි - සින්දුව ලීවේ මෙයාටද ? මව් පියන් මරා ගත්තේ එයා තම ඉතින් සැක කරන්න ගිහින් මන්තිරි පුතාව
ReplyDeleteපද්මාවතී ටීටර් එකක් නේ? ලංකාවෙ රජ කෙනෙක්ගෙ බිසවක්. වෙළෙන්දෙක් ඇගේ ලස්සන ගැන අහලා, ගිහින් තමන්ගෙ රටේ රජ්ජුරුවන්ට කියනව. පස්සෙ ඒ රජා ඇවිත් මේ රජා මරල බිසව අල්ලගෙන යනව... ඔය වගේ කතාවක්.
Deletehttps://www.youtube.com/watch?v=5fIvXwEjOEE
පහුගිය ශනිදා පෝස්ට් වලට තවම comment කරන්න වලි කනවා, මොනවා හෝ ප්‍රශ්ණයක් නිසා error එනවා. මේ ටික comment කරන්න කීවතාවක් ටයිප් කරාද මන්දා?
ReplyDeleteමේසා දිග පෝස්ට් කියවද්දි මතක් වෙන්නේ සිංහල බ්ලොග් පීක් කාලේ පල වූ මාගල් සයිස් පෝස්ට්. මං හිතනවා ශනිදා දහයට! සාර්ථක උත්සාහයක් වේවි කියලා. හැමෝටම ජය!
ඇත්ත. අපෙ බ්ලොග් ප්‍රොෆයිල්වල මොකක් හරි අවුලක් තියෙනව, සමහර බ්ලොග්වලත්. ඒක නිකං හරියට පාලුවට අත්ඇරල තියෙන ගේකට ගියාම මුල ඉඳං හදාගන්ඩ දේවල් තියෙනව වගේ, අනික පරණ හොල්මං අවතාරත් සක්‍රිය වෙනව...
Deleteමාගල් සදිසි පෝස්ට් අපි දැම්මෙ අවිවාහකව වගකීම් අඩුව ඉඳපු කාලෙ. මයෙ හිතේ ඒකයි දැන් ඒ විදිහෙ එව්ව වැටෙන්නැත්තෙ.
ශනිදා දහය මොකක් වුනත්, ආපහු බ්ලොග් සක්‍රිය කරගන්න ලැබේවා! සාර්ථක වේවා!
👌👌
ReplyDelete👍🙏🔦🏃
Deleteපට්ට කතාවක් නේ .. මහන්සිවෙලා කියෙව්වට පාඩු නෑ
ReplyDelete