Monday, March 6, 2023

අයින්ස්ටයින් ප්‍රහේලිකාව

ළඟක දී මට කියවන්න ලැබුණා ෆේස්බුක් එකේ උඩ තියෙන මාතෘකාවෙන් පළ කරලා තිබුණු තර්ක ගැටළුවක්. බුද්ධි පරීක්ෂණවල තර්ක රාමු කියලා පොදුවේ හැඳින්වෙන ගැටලුවක් මේක.

මේකට ගොඩක් තැන්වල අයින්ස්ටයින් ගේ ප්‍රහෙලිකාව කියා හැඳින්වෙනවා. බහුතරයක් දෙනා විශ්වාස කරනවා, මේ ගැටළුව හදලා තියෙන්නේ, අයින්ස්ටයින් තරුණ කාලයේ දී විනෝදයට කියලා. සමහරුන් කියනවා, තමන්ගෙ ගෝළයන් තෝරාගන්න අයින්ස්ටයින් භාවිත කරපු ගැටළුවක් බව.

තවත් තැන්වල සඳහන් වෙන්නේ, මේ ගැටළුව නිර්මාණය කළේ ඇලිස් සහ විස්මලන්තය ලියපු, ලුවිස් කැරොල් කියලා.

මෙන්න ගැටළුව...

එක පෙළ ට ගෙවල් පහක් තිබෙනවා. මේ ගෙවල් වර්ණ ගන්වලා තියෙන්නෙ වෙනස් වර්ණ පහකින්. මේ ගෙවල අයිතිකාරයො වෙනස් ජාතිකත්ව පහකට අයිති අතර, ඔවුන් වෙනස් බීම වර්ග පහක් බොන, වෙනස් දුම්වැටි වර්ග පහක් උරන සහ වෙනස් වර්ගවල සුරතලුන් ඇතිකරන උදවිය. ඒ ගැන අපට ලබා දී තිබෙන තොරතුරු පහතින් දැක්වෙනවා.

  • බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට ගෙදර,
  • ස්වීඩන් ජාතිකයා බල්ලො ඇති කරනවා,
  • ඩෙන්මාර්ක් ජාතිකයා තේ බොන්නෙ,
  • කොල පාට ගෙදර සුදු පාට ගෙදරට වම් පැත්තෙන් පිහිටා ඇත,
  • පෝල්මෝල් සිගරැට් උරන කෙනා කුරුල්ලො ඇතිකරනවා,
  • කහ පාට ගෙදර ඉන්න තැනැත්තා ඩන්හිල් උරනවා,
  • කොල පාට ගෙදර අයිති කරු කෝපි බොන්නෙ,
  • මැද ගෙදර ඉන්නා තැනැත්තා කිරි බොනවා,
  • නෝවීජියානුවා ජීවත් වෙන්නේ වම් පැත්තේ පළමුවැනි ගෙදර,
  • බ්ලෙන්ඩ්ස් දුම්වැටි උරන්නා, පූසන් ඇති කරන්නාගේ ගෙදරට ළඟ ම ගෙදර ඉන්නෙ,
  • අශ්වයන් ඇති කරන්නා, ඩන්හිල් උරන්නාගේ අසල්වැසියා,
  • බ්ලූමාස්ටර් දුම්වැටි උරන්නා බියර් පානය කරයි,
  • ජර්මානුවා ප්‍රින්සස් දුම්වැටි උරනවා,
  • නෝවීජියානුවා පදිංචි නිල් පාට ගෙදරට යාබද ගෙදර,
  • බ්ලෙන්ඩ්ස් දුම්වැටි උරන්නාගේ අසල්වැසියා වතුර ‌බොන්නෙ.

මේ ඉඟි අනුව, මාලු හදන ගෙදර කුමක්දැ යි තෝරා කියන්න ඕනෑ.


මේ විදිහෙ තර්ක රාමුවක් යොදා ගන්නත් පුළුවන්.


නමුත් මම භාවිත කළේ එක්සෙල් ශීට් එකක්, මෙන්න මේ විදිහෙ...


ඊට පස්සෙ, ඉඟි එකින් එක කියවමින්, අදාළ කොටස්වලට වෙනස් වෙනස් වර්ණ දැම්මා. දෙ තුන් වරක් ඉඟි කියවද්දී, ගැටළුව නිරාකරණය කරගන්න හැකි වුණා.

ගැටළුව විසඳපු විදිහ මී ළඟ පෝස්ටුවෙන්...

29 comments:

  1. මොලයට හොඳ වැඩක් ... මට නම් දැන් හිතන්න තියෙන දෙයක් දැක්ක ගමන් මතක් වෙන්නේ chatGPT ... හෙහ් හෙහ් ..

    ReplyDelete
    Replies
    1. මදැයි...! හැම එකට ම ඒ අයි. මෙහෙ ම ගිහිං මනුස්ස වරිගයා වඳ වී යන දවස අපට දකින්න පුළුවන් වෙයි ද පැත්තො?

      Delete
    2. මම දාන්න හිතපු කොමෙන්ටුව දැම්ම උඹට සාපවේවා

      Delete
    3. එහෙම වඳ වෙන්නේ නැහැ .. AI නිසා වෙන්නෙත් අනිත් හැම තාක්ෂණික දේ නිසා වුනා වගේම මිනිස්සු තවත් දියුණු වෙන එක ..
      තොරතුරු වඩා ඉක්මනින් විශ්ලේෂණය කරලා අවශ්‍ය උත්තරය ක්ෂණිකව ලබා ගන්න පුළුවන් වීම කියන්නේ හොඳ දෙයක් නේ ..

      Delete
    4. උපුටා ගැනීම...
      //...කාලෙයක් තිබුණා, මා කොලු කාලෙ,‌ මේ කම්මලේ ම මගෙ අප්පොච්චාත් එක්ක යකඩ තැළුවා. ඒ කාලෙ එක මාසෙයක් නෑ වැද්දකු ඊ තනා ගන්ට අප ළඟට ආපු නැති. ගල්මැදේ, බිංගොඩ, හේනෙබැද්දෙ විතරක් නෙමෙයි දාහිගල හිටන් වැද්දො ආවා. පස්සෙ කාලෙ ඒ ඊතල තනාගන්ට මා ළඟට ආවෙ මේ පොරමොලා ම විතර යි. ඔය කොල්ලන් දෙන්නාටත් හොඳට විදින්ට පුරුදු කරලා තියනවා. ඔය ගෝනගාතෙ දිහා බලමු. ඔය තරම විසාල සීපාවකු ඊ තලේකින් එළාගන්ට මිනිහකුගෙ දුනුලීයෙ කොයිතරම් හයියක් තියෙන්ඩ ඔ්නෑ ද? අර ගහේ ගැටේ, අර කුරුල්ලා, කොයි තරම දක්ෂකමක් ඔ්නැ ද ඒ ඉලක්ක අල්ලන්ඩ. දැන් ඉතින් ගමරාළ අද ඒ ඔක්කොම නැහුවා..."//

      Delete
    5. ජගත්,
      සාප කරන කොට කරන්ඩ තියෙන්නෙ, ඇස්ටරික්ස් පොත්වල තියෙන විදිහට...
      https://lh6.googleusercontent.com/k1YOWttLUoUVIIpsuPUyaO5ju-R_jVjiK9zQtytQnEU_l116s7orEUDn9SsJavdNPhM25qkuBKwMfywzfcyVA5mTvpLbq67eCg2q0APiotK9IH6zv-uTDhT-_F32hhEvZVBtF2kQ

      Delete
  2. කාලෙන් කාලෙට වෙනස් දේ ලියන ඔබේ මේ සටහන නියමයි.

    ReplyDelete
    Replies
    1. ඔයිං එකක් නං සහතික ඇත්ත. කාලෙන් කාලෙට තමයි ලියන්නෙ මේ දවස්වල. :-D

      Delete
  3. කම්මැලියි. ඔයා උත්තරේ දානකන් ඉන්නම්. 😀 ජර්මනියට ගිහිල්ල එනකොට මම හදපු මාළු දෙන්නම මළා නේ.

    ReplyDelete
  4. ඇතුළත පිටත හැම තැන පිරිලා ගැටලු
    විසඳිය යුතු වුණත් ඉක්මනකුත් නැතිලු
    සමහර ගැටලු කාලය විසඳනවාලු
    නිසි කල් එන්නෙ කාලය ගත වුණාමලු!

    ReplyDelete
    Replies
    1. අන්තෝනියා බහියි ජටාව හිසේ බැඳං
      කළ යුතු දේ නොවෙයි මවලා දෙන විසඳුං
      පය බරවාය හැදුනම බඳිනා වෙදකං
      නිසිකල එළඹෙද්දි අපි මිහි පිට උන් දෙං

      Delete
  5. னයෙක් ඇතිකරන, ගල් බොන ගෙදරට එහා පැත්තෙ ගෙදර තමයි ඔය මාළුකාරය ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. දුම් වැටි ජාතිය මොකද්ද?

      Delete
    2. සැහ්! ගෝලිටිප් බොන්නෙ දෙක වසරෙ කෙල්ලො නෙ. ගහපම් අයිස්!

      Delete
    3. ලාලන බීඩි නෙමේ ද?

      Delete
  6. ඒකට උත්තරේ... දන්නෙ නෑ 😂
    වගකීමෙන් කියනවා දන්නෙ නෑ 😂

    ReplyDelete
  7. මොළේ උඩිකුරින්ඥං ගහපු වෙලාහක... මේම පස්න අහපුහාම උත්තරේ දෙන්ඤ බෑ බොල

    ReplyDelete
    Replies
    1. උඩුකුරිඤ්ඤං වෙච්ච මොළේ යථා තත්ත්වයට පත් වෙනව මේ වගේ එකක ට මහන්සි උනහම. ට්‍රයි කරල බලහම්

      Delete
  8. මට ඔය ජාතියෙ ප්‍රහෙලිකා කරන්න මොලේ මදි , කම්මැලිකම වැඩියි.

    ඉතිහාසය ගැන ප්‍රහෙලිකා මම කැමතියි.

    මට තියන ප්‍රහෙලිකාව:-

    ඩන්හිල් සිගරට් ආවෙ 1907,
    Blue Master 1937,
    Pall Mall 1899,
    Blend (ස්වීඩිශ් බ්‍රෑන්ඩ් එකක්, බ්ලෙන්ඩ්ස් නෙමෙයි ) 1971
    Prince (ඩේනිශ් බ්‍රෑන්ඩ් එකක්, ප්‍රින්සස් නෙමෙයි) 1957

    ප්‍රෙහේලිකාව හැදුවෙ ලුවිස් කැරොල් නම්, සිගරට් ඔය මම කියපු ඒවා නම් ,1898 මැරුන කැරොල් කොහොමද ඕක හැදුවෙ?

    ප්‍රෙහේලිකාව හැදුවෙ අයින්ස්ටයින් නම්, "බ්ලෙන්ඩ්" සිගරට් ඔය මම කියපු එක නම්, 1955 මැරුන අයින්ස්ටයින් කොහොමද ඕක හැදුවෙ?

    (ඕක ප්‍රසිද්ධ එකක් නිසා, මට ඔතන මොකක් හරි වැරැද්දක් වෙලාද දන්නෙත් නෑ. )

    ReplyDelete
    Replies
    1. //ගැටළුව විසඳපු විදිහ මී ළඟ පෝස්ටුවෙන්...//
      මගෙ ගැටළුවටත්?

      Delete
    2. ස්තූතියි ලොකු අයියෙ. මං උඩ කියල තියෙන්නෙ මේ පසල් එක ගැන මට කියවන්න තිබුණ දේවල්. ඔය තරමට ගැඹුරට හොයන්න වෙලාව තිබුණෙ නෑ. හිතුණෙත් නෑ.
      කොහොමත් ඔය අයින්ස්ටයින් සහ කැරොල් ගැන කියන දේවල් පසුකාලීනව ඇඩි වුණු එව්වා කියල හිතීම වඩා ප්‍රායෝගිකයි.
      නියම කතුවරයාගේ නම හොයාගන්න පුළුවන් වෙයි තව හෙව්වොත්.

      ඒකියද්දි මතක් වුනේ..." සීගිරි ගලේ ගී ලීවේ ඩෝල්ටන් " කියන රංචාගො ඛ ළමයගෙ කවිය

      Delete
  9. ඕක කලින් මම විසඳලා තියෙනවා.. මම කරෙත් උඹ එක්සෙල් එකේ කරපු විදියටම නිකන් කොළෙක.. මේක දැක්කේ දැන්. පහුගිය ටිකේ බිසී උනානේ. දැන් ගිහින් බලන්න ඕනි උඹ කොහොමද විසඳුවේ කියල තමයි. 😁🤓

    ReplyDelete
    Replies
    1. ආාාහ්... අඩුගානෙ අපි තුන් දෙනෙක්වත් ඉන්නවනෙ, මේ වගෙ එකක් විසඳන්න මහන්සි වෙන.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි