Wednesday, May 8, 2013
සුවාතාගේ දඩයම් - ගජබින්නාලංකාරයේ සිව් වන දිගහැරුම
අලිමාලයෙන් ජනප්‍රය වෙච්ච අපේ සුවාතා ගේ දඩයම් හැකියාව ඔප් නංවපු කතා කීපයක්ම මේ කොටසින් කියන්න බලාපොරොත්තු වෙනවා. ගජබින්නාලංකාරයේ මුල් කොටස් කියවපු නැති අයට ඒවා කියලවා ම එන්න පුළුවන් පහළ තියෙන ලිංක් වලින්.
ගජබින්නාලංකාරයේ පළමු කතා වස්තුව හෙවත් බාප්පාගේ මිරිස් වගාව
ගජබින්නාලංකාරයේ දෙවන කතා වස්තුව හෙවත් ළිඳක කතාව
ගජබින්නාලංකාරයේ තෙවන කතා වස්තුව හෙවත් අලිමාලය
මේ කතාව මතක් කෙරුවේ අපේ පර්යේෂක මහත්තයා. උන්නැහැ සරු බීජ කියලා බ්ලොගක් පටන් ගත්තා මේ මෑතක.
ඕං දවසක් අපේ සුවාතා දඩයමේ යනවා, උන්නැහැ ගාව තිබ්බ පතරොම් තුවක්කුවයි දඩයමට හුරුකරගත්ත උණහපුළුවයි අරං. (උණහපුළුවෙක්? ඒ මොකටද? කියලා අහන්න එපා. ඒ ගැන පස්සෙ සඳහන් වෙනවා) එහෙම යනකොට උන්දැට හම්බවුණා එකම තැනිතලාවක දෙපොළෙ තණකොල කකා ඉන්න මුවෙකුයි ගෝණෙකුයි. සුවාතා කල්පනා කළා කොහොමද දෙන්නම මරා ගන්නෙ කියලා. තුවක්කුවෙන් එකෙකුට වෙඩි තිබ්බොත් අනික පැනල දුවනවනෙ. සුවාතත් මාර මීටරයක් තමයි. උන්දැ කරපු වැඩේ හිමීට ගහකට මුවා වුණා. ඒ ගහේ තිබ්බා අඩි තුනක් විතර උඩින් පොළොවට සමාන්තරව නැමුණු අත්තක්. හිමීට උන්දැ උණහපුළුවව අත්ත උඩින් තියලා, ඉණේ තිබ්බ උල් පිහිය අරන් අත්තෙ ගැහුවා, පිහි තලේ මුවහත් පැත්ත තමන්ගෙ දිහාවට හිටින්න. ඊටපස්සෙ තුවක්කුව අරන්, ටිකක් පිටිපස්සට වෙලා. පිහි තලේට වෙඩි තිබ්බා. පතරොම පිහිතලේ වැදිලා දෙකට කැපිලා, දෙපැත්තට ගිහිං එකම වෙලාවට මුවාටයි ගෝණටයි දෙන්නටම වැදුණා. එදා සුවාතා ගෙදර ආවෙ, ඒ සත්තු දෙන්න දෙපැත්තට හිටින්න ගැට ගහපු කදකුත් කරේ තියාගෙනයි.
අපේ සුවාතා බැඳපු තුවක්කුවෙනුත් දඩයම් කොළා නෙව. උන්දෑ ගෙ හේන ගාව එක ළඟ තිබ්බ ගල් දෙකක් අතරෙ තමයි තුවක්කුව බඳින්නෙ. සුවාත වඩ්ඩෙක් නෙ. ඉතින් තුවක්කුවට දාන පතරොම, ඇමරිගලෙන් තව ටිකක් මුවහත් කරල තමයි දාන්නෙ. හේනෙ බෝග විනාස කරන්න ආව සත්තු යන්න ඕනෙ ඒ දෙබොක්කාව මැදින්. පළවෙනියටම සතෙක් ඇවිත් උට මරුවැල පෑගුනාම, තුවක්කුව පත්තු වෙලා උණ්ඩෙ ඌව පසා කරගෙන ගිහිං එහා පැත්තෙ ගලේ වැදෙනව. ඒක ඒ ගලෙන් පරාවර්තනය වෙලා ඇවිත් අනික් ගලේ වදිනව. ඔහොම ගල් දෙක අතරෙ ටං ටං ගගා වැදි වැදී තියෙනව සුවාත ආපහු උදේ එනකම්. ඔය විදිහට එකම උන්ඩෙන් හේන පාළු කරන්න ආව ඔක්කොම සත්තු ටික මැරෙනව. සුවාත ඇවිත් හරියට ඉළක්කෙ බලලා, තුවක්කුව අර ගල් දෙකෙන් එක ගළක ට හේත්තු කරලා මාණලා තිබ්බහම අර උණ්ඩෙ ඇවිත් තුවක්කුවෙ කටට වැටිලා නවතිනවා.
සුවාතා හාවො අල්ලන්න අටවපු උගුල ගැන කිව්වෙ අපේ බාප්පා. ඒක හරිම සරළ ස්වයංක්‍රීය උගුළක්. ඕනෙ කරන්නෙ:
මඤ්ඤොක්ක කොළ ටිකකුයි,
තරමක කලුගලකුයි,
නහයට උරන දුංකුඩු ටිකකුයි විතරයි.
හා උගුළ සකස් කරන ආකාරය:
කලු ගළ බිම තියලා, මඤ්ඤොක්කා කොළ ටික ඒක වටේට තියනවා. ඒ උඩින් දුංකුඩු ඉහිනවා. එච්චරයි.
හාවෙක් ඇවිත් මඤ්ඤොක්කා කොළ කන්න ඔළුව පාත් කරන කොට, දුංකුඩු නහයට යනවා. ඌ ට කිවිසුම් යන එක නවත්තගන්න බැරි වෙනවා. කිවිසුම් යනකොට ඔලුව ගලේ වදිනවා. ගලේ වැදිලා හාවා එතනම ඔන්ද ස්පොට් වෙනවා. ඔය විදිහට එක රෑකට හාවො දුසිම් ගාණක් අල්ලගන්න පුළුවන්. (බාප්පා කියන විදිහට ඒ කාලෙ හිටිය හාවො කොච්චර ලොකුද කියනව නම්, දුසිමකට අල්ලන්නෙත් හාවො දෙන්නෙක් තුන්දෙනෙක් විතර.)
මොනරු අල්ලන්න තමයි සුවාතා පුරුදු කරගෙන හිටිය උණහපුළුවා ගොඩක් ම වැදගත් වුනේ. මොනරා කියන්නෙ ගස් උඩ ඉන්න, හරිම පරීක්ෂාකාරී, වේගෙන් ඉගිල්ලෙන කුරුල්ලෙක්නේ. ඒ වුනත් අපේ සුවාතා හරිම ලේසියෙන් මොනරුන්ව පණපිටින් අල්ලන්න දක්ෂයෙක්. ඒක කරන්නෙ මෙහෙමයි. හිමිදිරි පාන්දරම, බටර් ටිකකුයි උණහපුළුවයි අරන් යනවා කැළේට. ගිහිං මොනරෙක් ලැගලා ඉන්න ගහක් හොයාගෙන, උණහපුළුවා අතේ බටර් ටික තියලා ඌව ගහට යවනවා. උනහපුළුවා මොනරට නොදැනෙන්න ගස් නගින්න හරිම දක්ෂයි කියනවනෙ. ඌ නගිද්දි ගහේ පොත්තක් ගැළවුනත්, ඒක අතට අරං ආපහු බිමට බැහැලා, පොත්ත බිමින් තියලා ආයෙත් නගිනවලු. ඒ විදිහට උණහපුළුවා බොහොම පරිස්සමින් නැගලා, මොනරගෙ ඔළුව ගාවටම යනවා, අත්ත දිගේ. ගිහිං අර බටර් ටික මොනරගෙ ඇස් පිහාටු උඩින් තියනවා. තියලා, ආපහු සීරුවට බිමට බහිනවා.
ඉර ටිකෙන් ටික පායාගෙන එද්දි, අර බටර් ටික දියවෙලා, මොනරගෙ ඇස් වැහෙනවා. එතකොට මොනරට අත්තෙන් බිමට පනින්න පේන්නෙ නෑනෙ. ඉතින් ඌ වැටෙනවා. එතකොටම සුවාතා දුවගෙන ගිහින් ඌව අල්ලගන්නවා.
සුවාතගෙයි බාප්පගෙයි හපන්කම් නම් කෙළවරක් නෑ. ඒ වුනාට ඒ හැම එකක් ම මේ පෝස්ට් එකට දාන්න බෑ. මේ වෙලාවෙ වැස්සකුත් පටන් ගත්තා. අකුණුත් ගහයි වගේ. ඒ නිසා දැනට මෙතනින් නවත්තමු.
හමුවෙමු ගජබින්නාලංකාරයේ තවත් හරවත් කොටසක් සමඟින්. එතෙක් ඔබගෙන් සමුගන්නා මම, සත්‍යවාදී ඩ්‍රැකියා.
පොටෝ එක ඉස්සුවෙ - http://www.probertencyclopaedia.com/photolib/people/Big%20Game%20Hunter%20-%20Ceylon%20c1936.jpg
ප/ලි
මේ විදිහෙම ඇත්ත කතා ටිකක් මට දකින්න ලැබුණා චන්දනගේ සටහන් බ්ලොගෙන්
Friday, May 3, 2013
බදුලූ ටැම් ලිපියෙන් හෙළිවන දහවන සියවසේ මෙරට සමාජය (ද්විතීය මූලාශ‍්‍ර ඇසුරිනි)
මේකත් අවුරුදු දෙකකට විතර කලින් සඟරාවකට ලියපු එකක්. ශෛලිය ගැන කමත්වා
පුරාණ සමාජයේ පැවති නෛතික පරිසරය සහ එහි සංවිධානය පිළිබඳ භෞතික මූලාශ‍්‍ර සෑහෙන
තරම මෙතෙක් හමු වී නැත. දැනට හමු වී ඇති වඩාම ප‍්‍රකට සාධකය ක‍්‍රි. පූ. 1727 දී පමණ ලියැවුණා සේ සැළකෙන බැබිලෝනීය හමුරාබි නීති සංග‍්‍රහය
යි. එය දස පණතට ද වඩා වසර පන්සියයක් පමණ පැරණි බව සැළකේ. එහෙත් පුරාණ ඊජිප්තුවේ ක‍්‍රි.
පූ. 3000 තරම් ඈතදී සම්පාදනය කෙරී ඇති වෙළුම් දොළහකින් යුත් සිවිල්
නීති සංග‍්‍රහය මෙම කරුණ සම්බන්ධව ඇති පැරණිතම සාධකයයි.
පුරාතණ ආසියාවේ සහ චීනයේ සමාජ පරිපාලන නීති, සම්ප‍්‍රදාය හා සමඟ බද්ධ වූවක් ලෙස සැළකුණ අතර, ඒවා සම්පාදනය හා න්‍යාය සහ ව්‍යවහාරය පිළිබඳ ගුරුකුළ පැවති
බව ප‍්‍රකට ය. ක‍්‍රි. පූ. 400 දී පමණ සම්පාදනය කෙරුණු කෞටිල්‍ය අර්ථ ශාස්ත‍්‍රය සහ ක‍්‍රි. ව. 100 දී පමණ සැකසුණු මනුස්මෘති ඉන්දියාවේ දේශපාලනය සහ රාජ්‍ය
පරිපාලනය පිළිබඳ උපදේශාත්මක ග‍්‍රන්ථ ලෙස සැකසුණු ශික්ෂණයන් වේ.
බදුලූ ටැම් ලිපිය පුරාණ ලංකාවේ නීති ක‍්‍රමය පිළිබඳ සාධක සොයා යන්නන්ට වැදගත්
වන ඓතිහාසික ලියවිල්ලකි. මෙම ලේඛනය, අඩි පහයි අඟල් පහක් උසැති හතරැස් ගල් ටැඹක හතර පැත්තේම කුඩා අකුරින් කොටා ඇත.
ක‍්‍රි. ව. 937 දී පිහිටුවන ලදැයි සඳහන් වන මෙය, එතෙක් සම්ප‍්‍රදායේ පැවති ව්‍යවස්ථා ව්‍යුහය උල්ලංඝනය නොකිරිම
අරමුණු කොට ගෙන පිහිටුවන ලද්දකි. මෙය දැනට බදුල්ල සෙනරත් පරණවිතාන මහජන පුස්තකාල භූමියේ
සෑහෙන ආවරණයක් ද සහිතව පිහිටුවා තිබේ.
මෙම ගල් ටැඹ මුලින්ම තිබී ඇත්තේ මහියංගන චෛත්‍යයට කිලෝ මීටර පහක් පමණ ඊසාන දෙසින්
පිහිටි සොරබොර වැව අසළ ය. 1857 දී බදුල්ල උප ඒජන්ත වරයා ලෙස කටයුතු කළ ජෝන් බේලි මහතා මෙම ටැම් ලිපිය සොයාගෙන, එම ස්ථානයේ සිට එවක ඌවේ පරිපාලන කේන්ද්‍රස්ථානය වූ බදුල්ලට
ගෙනැවිත්,
තානායම අසළ වටරවුමේ මැද පිහිටුවන ලද බව සඳහන් වේ. පසුකාලීනව
බදුල්ල දිසාපතිව සිටි පිහිල්ලෙගෙදර මහතාගේ යෝජනාවක් අනුව මෙය ඉහත සඳහන් වූ පරිදි මහජන
පුස්තකාල භූමියේ සිටුවා තිබේ. මෙම ඓතිහාසික අභිලේඛනය නැවත සොරබොර වැව අසළ ස්ථානයක පිහටුවීම
මැනවැ යි 2010 මැයි මස ඌව පළාත් සභාවේ යෝජනාවක් සම්මත විය. කෙසේ වෙතත්, මෙම ලිපිය ලියන අවස්ථාව වන විට ද, එය බදුල්ල මහජන පුස්තකාල භූමියේම පවතින බව නිරීක්ෂණය විය.
බදුලූ ටැම් ලිපියේ පෙළ
1
1. සිරිබර කැත් කු
2. ල කොත් උකාවස්
3. රද් පරපුරෙන් බ
4. ට් ලක්දිව් පොළො
5. යොන් පරපුරෙන් හි
6. මිවු එමකුලෙන් බ
7. ට් සමිදිගොන් බිසො
8. තු (මා) කුසැ උපැදැ ඈපා ම
9. හයා සිරි විදැ පිළිවෙල
10. සෙ රැදැ පැමිණැ රැදැ ක
11. ළ සිරිසඟ්බෝ උදාම
12. හරදහු තුමා සත් ලැ
13. ඟු දෙවන හවුරුදු
14. යෙහි නිකින්නිස (න්ද)
15. යෙහි අවවිසෙනියි සොර
16. බොරහි ආවු හොපිටි
17. ගමුපදියැ වැපාර (ය)
18. න් කුඩින් වත්හිමිය (න්)
19. වහන්සේ මියගුණ් මහ
20. වේර් වැඩි කලැ ගි
21. දවසැ පදිලද් ද
22. ඩනායකයන් ගැත්ත
23. න් සතළොසැ පිරිනිවි
24. යන් වහන්සෙ දවසැ
25. කළ වැවස්ථා ඉක්මැ අ
26. න් නෑයෙන් දඩගත්හ
27. නොසිරිත් පඬුරු ග
28. ත්හ ගමිනි වියෙයි
29. සි වැඩිතැනැ දැන්වූ
30. තැනින් සතළොස (ව)
31. (හන්සෙ) දවසැ කළ සිරි
32. තක් මිසැ අන්නෑයෙන්
33. කරන දැයක් නොකර
34. නා සැටියට් වැවස් (ථා)
35. වක් ලියවා තබ (න්න)
36. ට් වදාළෙන් සභායෙ
37. ලේකම්ගෙයි සමිද (රු)
38. වන් හි (න්දැ) සිට් වූ වැව
39. ස්ථා සිරිති මෙහොපිටිග
40. මු (පදිලද්) කෙනෙකුන්
41. ගැත්තන් ගමට් ආ
42. (කලැ) මණ්ඩිරඩින් වණිග‍්‍රාම
43. න් මහා ග‍්‍රාමයන් හින්දැ
44. සතළොස පිරිනිවිය
45. න් වහන්සෙයි දවසැ
46. වැවස්ථා සෙ පෙර සිරි
47. ත් දඩ ගනුත් මිසැ අනි
2
1. (යා) නොකරනු ඉසා
2. ගම් ලද්දන් ගැත්ත
3. න් මණ්ඩිරණ්ඩින් හින්දැ (වි)
4. තාරකොට් පිරිකපා ද
5. ක්වා දුන් දඩ ගනුත්
6. මිසැ ගම්වටාගෙනැ
7. ගෙතිරැ ගෙනැ දඩ
8. නොඉල්ලනු ඉසා
9. දඩ ගැමැ හින්දැ එ (ල්)
10. වත් මිසැ කුඩින්
11. ගැමින් පිටත් කොටැ
12. නොගෙනැ යනු ඉසා
13. නොපිරිකැපු දඩට්
14. වැලැක්මෙ නොගන්
15. නා කොට් ඉසා ලි
16. දඩට් ස්වාමි ගිනු
17. ත් මිසැ අබුදරු
18. වන් වැලැක්මෙ නො
19. ගන්නා ඉසා ගම
20. ට් ආ රදොලන් රහ
21. මස් දී ගිතෙල් නො
22. ගන්නා ඉසා වතු
23. පෙත් වෙත් වැදැ රහ
24. නොගන්නා ඉසා
25. සොර වෙළෙඳම් (නො)
26. කරනු ඉසා පොහො
27. දා සල් කුළාකුගෙ
28. න් වැපුදයට් තෙ
29. ල් පද්දක් ගන්නා
30. ඉසා මියුගුන් ම
31. හ වෙහෙරැ වැපුද
32. පවත්වනු ඉසා වැ
33. පුදයට් නොලැබුණා
34. කුගෙන් පෙරෙ සිරිත්
35. දඩ වැපුදයට් ග
36. න්නා ඉසා බ
37. ඩු ගෙන ගම් වන්
38. ගෙණිගොන් නොග
39. න්නා ඉසා මෙගැමැ සි
40. ටැ රට් දග් නොගන්නා
41. ඉසා වැළැතැ වන
42. උළ්වාඩුකකණක්
43. රුන් ගමට් ආකු
44. ල නොකරනු ඉසා
45. මෙකුන් ගැත්තන් ග
46. මට් වද්නා රහ ම
47. ස් දී ගිතෙල් පැහැ
48. රැ නොගන්නා ඉ
49. සා පදිවදනා බ
3
1. ඩු පෙරමගට
2. ගොස් නොගන්නා
3. (ඉසා) (වාගවා) ළහි
4. ..... ට් කුසලාන් ක (ැ)
5. (රැ) ගෙනැදී තමාගෙ
6. (කැරැ) ගිනුත් මිසැ නොසිරි
7. තක් නොකරනු ඉසා
8. (ගණ) ලහස්සෙන් මි
9. සැ සෙසු ලහසියෙ
10. න් නොමනනු ඉසා ග
11. ම් වන් බඩු ගැමැ වික්
12. කැ මිසැ ගෙනැයෙත් සුත්
13. වත් නොගන්නා ඉසා (නො)
14. පෑ විකි බඞ්යෙහි දිණ
15. සුත්වත් ගනුත් මිසැ
16. ආකුල නොකරනු ඉසා
17. නොපැටු මදඩියෙන් (නො)
18. (යෙන්) නොකිරනු ඉසා සු
19. ත් බඩු නොතැනැ හින්දැ
20. නොවිකුණනු ඉසා ස
21. ල් නොකළමනා තැනැ නො
22. කිරනු ඉසා සල් නො
23. කළමනවුන් නොකිරනු
24. ඉසා කළමසු පුරවත්
25. වී මිසැ වැටෙන මසු
26. උනුකොටැ නොගන්නා
27. කොට් ඉසා බුලත් පු
28. වක් මඬපයෙ තබා
29. විකුණනු කොට් ඉසා නො
30. තැනැ තබා වික්ක දු
31. ටුවා රදොලන් හරවා ග
32. න්නා ඉසා දෙමුළැ බද්
33. වල්වලැ දඬුපත් නො
34. කපනු කොට් ඉසා මෙ
35. හෙකරුවනට් ආකුල
36. නොරනු ඉසා මෙග
37. ම්හි අටදෙනාගෙ නවතැ
38. නොගන්නා ඉසා
39. වත්හිමියන් වහන්
40. සෙ වැඩියැ ඈපාරද්
41. දරුවන් වැඩියැ පෙරෙ
42. සිරිත් පඬුරු දෙනු ඉ
43. සා ගම්ලත් නායක කෙ
44. ණෙකුන් පදී ආකලැ ස
45. තළොසැ පිරිනිවියන්
46. වහන්සෙ දවසැ
47. පෙරෙසිරිත් පඬුරු ප
48. ස්විස්ස නොගෙනැ
49. අන්නෑයෙන් පන්
4
1. සිය ගනිති කු
2. ඩින් ගිගිරි කොට
3. වැඩි තැනැ දැන්
4. වූ තනි පෙරෙ
5. සිරිත් පස්වි
6. ස්ස ගන්නෙයයි
7. වදාළ තැනින් පඬුර
8. ට් පස්විස්ස ග
9. න්නා කොට් ඉසා
10. මෙගම්හිලා මිනී කො
11. ටායෙත් රදොලනට් (ලැ)
12. (බී) නවත්නා සෙ (යි)
13. න් නවතනු ඉසා
14. දෙමළන් (ට රටනා)
15. තැන් දරු අවා
16. නොදෙනු ඉසා ම ....
17. වුටියෙන් නෙර
18. පි (න්) කිරවු අ(ණ)
19. වියොහා කර (යව)
20. නු .... ඉසා කුඩින්ගෙ
21. කැරුණු ආකුලය
22. ට් සම්දරුවන් ලැබී
23. ආකුල හරවනු ඉසා
24. සම්දරුවනට් නොලැ
25. බුණු කුඩියක් ඇත
26. ලහසු හොල්දඬු නොසි
27. රිත් කරනු (පර) කපා
28. .... බත් නොදෙ
29. නු ඉසා වෙළඳාම් ගො
30. විකම් .... .... අගැමින්
31. පිටත් ක .... .... ....
32. නොවැදැ ....
33. .... වරද නොවෙත් ග (ම්)
34. අඩවිය අටදෙනා
35. .... ම (නිගහ) ලැබුවන්
36. (රද්දඩ) අටදෙනා පිරිවහ
37. න්නා හින්ද්වා ඉල්ලනු ඉ
38. සා මෙවරදට් වැදැ
39. .... .... නො (න) ගනු ඉසා
40. මෙ වැවස්ථා ඉක්මැ ග
41. මට් රදොලන් අනි
42. යා කළ සභායෙ ලේක
43. ම්ගෙයි දරුවන්ට කියා
44. (අ) වුල් හරවා .... .... ....
45. දුන් .... යුක්ති ....
46. (මෙපහණ් හින්දුවන්නට් ආ)
47. සභායෙ හින්ද්නා තලින්
48. නරු උදහි ඉසා මුල (වස)
49. සෙන් ඉසා ....
50. ලාවරැු මෙකාප්පර් මනි (ති)
51. ලාකිලියෙම් ඉසා .... ල
52. .... ගොලොබාගම නි
53. ලාදෙවු ඉසා මඟුල් ම
54. හලෙ සමන්නා අරක්සම
55. ණන් වරු කුඩසලාවත්
56. කැමි දෙවු ඇතුළ්වැ මෙතුවා
57. ක් සම්දරුවන් අවුද් (මෙස)
58. (ම්) වතා පහණ් හි (න්ද්වනු ලදි)
අර්ථය
සිරි බර ක්ෂිත‍්‍රිය වංශයට කොතක් වැනි ඔක්කාක රජ පරපුරෙන් පැවතෙන, ප‍්‍රවේණියෙන් ලක්දිව පොළොව නම් තරුණ කාන්තාවගේ ස්වාමියා
වූ,
එම කුළයෙන් පැවතෙන සමිදිගොන් නම් උතුම් බිසොවගේ කුසයෙන් ඉපදී, ආදිපාද, මහාදිපාද තනතුරු විඳ, පිළිවෙල පරිදි රජ පැමිණ රජ කළ, සිරිසඟබෝ උදය මහ රජ තුමා (ක‍්‍රි. ව. 935 - 938) සේසත් නැගූ දෙවන වසරෙහි නිකිණි මස අව විසෙනිය දින සොරබොර
හි පිහිටි හෝපිටිගමු වෙළෙඳ නගරයෙහි ව්‍යාපාරිකයන් සහ ගෘහපතියන්, රජතුමා මහියංගන මහා විහාරයට වැඩි අවස්ථාවෙහි, පසුගිය කාලයේ වෙළෙඳ නගරය ලබා පාලනය කරන හමුදා නායකයාගේ සේවකයෝ, සිය සතළොස්වැනි රාජ්‍ය වර්ෂයේ දී අභාවයට පත් රජතුමාගේ (iv කාශ්‍යප
රජ / ක‍්‍රි. ව. 898
- 915) කාලයෙහි කරන ලද ව්‍යවස්ථා ඉක්මවා අයුතු ලෙස බදු ගත්හයි සහ
සම්ප‍්‍රදායට අනුකූල නොවන පඬුරු ගත්හයි, ගමෙන් පෙත්සමක් රජු පැමිණි කල දැන්වූ හෙයින්, සිය සතළොස්වැනි රාජ්‍ය වර්ෂයේ දී අභාවයට පත් රජතුමාගේ කාලයෙහි
කරන ලද සම්ප‍්‍රදාය විනා අයුත්තක් නොකරන ලෙසට ව්‍යවස්ථාවක් ලියවා තබන්නට නියම කළෙන්, රාජ සභාවේ ලේකම්ගෙයි නිලධාරින් රැුස්ව සිටුවන ලද ව්‍යවස්ථා
සිරිතයි.
මේ හෝපිටිගම වෙළෙඳ නගරය ලද සෙනෙවියා ගේ සේවකයන් ගමට ආ කල, උපදේශකයන්, වෙළෙඳ සංගමයේ සාමාජිකයන් සහ ගම් ප‍්‍රධානීන් රැුස්ව, සතළොස්වැනි රාජ්‍ය වර්ෂයේ දී අභාවයට පත් රජතුමාගේ කාලයේ ව්‍යවස්ථා
පරිදි සම්ප‍්‍රදායානුකූල අයබදු ගනු මිස අයුත්තක් නොකිරීමද,
ගම් ලද්දන් ගේ සේවකයන් හා උපදේශකයන් රැුස්ව විමසා නියම කළ බදු අය කරනු මිස, ගම් වටළා ගෙන, නිවාස අඩස්සියේ තබා ගෙන බදු අය නොකිරීමද, බදු, ගමේ ම සිට අයකරනු මිස, ගෙහිමියන් ගමෙන් පිටතට ගෙන නොයෑම ද, සපුරා තීරණය නොකරන ලද බදු වැළැක්මේ අය නොකිරීම ද, නියම කරන ලද බදු ගෙහිමියාගෙන් අයකරනු මිස, අඹු දරුවන්ගෙන් වැළැක්මේ අය නොකිරීම ද,
ගමට ආ රජයේ නිලධාරීන් රා, මස්,
දී කිරි හා ගිතෙල් නොගැනීම ද, වතු පිටි වලට වැද රා නොගැනීම ද,
හොර වෙළෙඳාම් නොකිරීම ද, පොහෝ දින වල වෙළෙඳාම් කළ අයෙකුගෙන් පහන් පූජාව සඳහා තෙල් පතක් අයකිරීම ද, මහියංගන මහා විහාරයෙහි පහන් පූජාව පැවැත්වීම ද, පහන් පූජාවට ආධාර නොලැබුණ අයෙකුගෙන් පෙර සිරිත් අනුකූල බදු
ගැනීම ද,
බඩු රැුගෙන ගමට ඇතුල් වූ තවලම් ගොනුන් වෙනුවෙන් බදු අය නොකිරීම ද, මේ ගමෙහි සිට පිට ප‍්‍රදේශ වල අය ගේ සංඛ්‍යාලේඛන නොගැනීම
ද,
අසල වනයෙහි සිටින වරදකරුවන් අල්ලන නිලධාරීන් සහ ගණකයන් ගමට
අවුල් නොකිරීම ද,
මොවුන්ගේ සේවකයන්, ගමට ගෙනෙන රා, මස්, දී කිරි, ගිතෙල් පැහැර නොගැනීම ද,
වෙළෙඳ නගරයට ගෙනෙන බඩු මඟට ගොස් නොගැනීම ද, පින් තකා දෙන ලද ඉඩම්, කට්ටි කර, ගොවීන් හට බදු දී, තමාගේ කර
බදු අය කරනවා මිස,
පෙර සම්ප‍්‍රදාය බිඳෙන සේ කටයුතු නොකිරීම ද, ගණ ලාහෙන් මිස වෙනත් ලාහකින් නොමැණීම ද, ගමට ගෙනා බඩු ගමේ දී විකුණුවහොත් මිස, ගෙනයන්නේ නම් බදු අය නොකිරීම ද, නොපෙන්වා විකුණන බඩු සඳහා දෙගුණයක් බදු අය කරනවා විනා ආරවුල්
නොකිරීම ද,
අනුමත නොකරන ලද කිරුම් පඩි වලින් නොකිරීම ද, බද්දට යටත් භාණ්ඩ නුසුදුසු තැන්වල හිඳ නොවිකිණීම ද, වෙළෙඳාමට නුසුදුසු ස්ථාන වලදී නොකිරීම ද, නොවිකිණිය යුතු භාණ්ඩ නොකිරීම ද, කළු මුදල් (හෝ අඩු වටිනාකමින් යුත් මුදල්) පිරවීමට මිස, ව්‍යවහාර මුදල් අඩු කොට නොගැනීම ද, බුලත් හා පුවක් මණ්ඩපයේ තබා විකිණීම ද, නුසුදුසු තැන් වල තබා විකිණනු දුටු විට රජ වාසල සේවකයන් ලවා
ඉවත් කිරීම ද,
මූලායතන දෙකට අයිති කැළෑ වල ලී දඬු නොකැපීම ද, ඒවායෙහි මෙහෙකරුවන් ට ආකූල නොකිරීම ද,
මෙම ගමෙහි ප‍්‍රධානීන් අටදෙනාගේ ගෙවල් වල නවාතැන් නොගැනීම ද, රජතුමා පැමිණි කල හා ආදිපාද වරුන් පැමිණි කල, සම්ප‍්‍රදාය නොඉක්මවා පඬුරු දීමද, ගම් ලත් ප‍්‍රධානියා වෙළෙඳ නගරයට ආ විට, සම්ප‍්‍රදාය වන පඬුරු වශයෙන් විසි පහක් නොගෙන අයුතු ලෙස පන්සීයක්
ගනිති යි,
ගම් වැසියෝ උද්ඝෝෂණය කොට රජු පැමිණි කල දැන්වූ කල, පෙර සිරිත් පරිදි විසි පහක් ගත යුතු යැයි නියම කළ හෙයින්, පඬුරු ලෙස විසි පහක් ගැනීම ද,
මේ ගම තුළ මිනි මරා පැන යත් නම් රජවාසළ සේවකයන් විසින් අල්ලා ගත හැකි වන පරිදි
රඳවා ගැනීම ද,
ද්‍රවිඩයන් හට රටනායක වරුන්ගේ දරුවන් ආවාහ කර නොදීම ද, මාතොටින් නෙරපීම පිණිස ආඥාව පැහැදිළි කොට දී යැවීම ද,
ගම්වැසියන් ට ඇති වූ ආරාවුල් රාජ්‍ය නිලධාරීන් හමු වී විසඳා ගැනීම ද, එසේ නිලධාරීන්ට හසු නොවූ සාපරාධී ගම් වැසියෙකු ඇතොත්, මුද්‍රාව සහිත සෝළු ලීය නොදීමේ අයුතු ක‍්‍රියාව නොකොට, ..... බත් නොදීම ද, වෙළෙඳාම,
ගොවිකම, ........ පිටගම්කාරයන් පිටත් කර, ........ ඇතුල් නොවී, ........
වරදක් නැති විට (නිවරදකරුවෙකු ට දඬුවම් කළේ නම්) ගමේ වන ආරක්ෂකයන් අට දෙනා ද, නිග‍්‍රහ ලද්දන්ට අඬුවම් නියම කරන අටදෙනා ද, පිරිවහන්නා ද, රැස් කොට අභියාචනා කිරීම ද, මෙම අපරාධය කෙරෙහි මෙම ව්‍යවස්ථාව ඉක්මවා රජයේ නිලධාරීන් ගමට අයුතු කම් කළ හොත්, රාජ සභාවේ ලේකම්ගෙයි නිලධාරීන් හට දන්වා ආරවුල් විසඳා
........ දෙන ලද විනිශ්චය .......
මෙම සෙල් ටැඹ පිහිටුවන්නට පැමිණි. රාජ සභාවෙහි සිටින (තලින්) නරු උදහි ද, මූල වස සේන ද, උතුම් අංගාරක්ෂක මනිතිලාකිළියෙම් ද, ගොලොබාගම නීල දේව ද, මඟුල් මහලේ නියුක්තයා ද, ආරක්ෂක නිලධාරී තුමන් ද, කුඩසලා වත්කැමි දේව ද, ඇතුළුව මේ තාක් නිලධාරීන් පැමිණ, මේ සම්මත ගල් ටැඹ පිහිටුවන ලදි.
එසේ,
ක‍්‍රි. ව. දහවන සියවසේ ලක්දිව දේශීය වෙළඳාම, වෙළඳ නගරයක සිවිල් පරිපාලන සංවිධාන ව්‍යුහය සකස් ව පැවති
සහ පැවතිය යුතු යැයි සමාජ සම්මතය ඇතුළත්ව ලක්දිව සිවිල් හා අපරාධ නීතිය පිළිබඳ බොහෝ
කරුණු සවිස්තරාත්මකව මෙම ටැම් ලිපියේ සටහන් වේ. එය හුදෙක් පරිශීලනය කිරිමෙන් පමණක්
එවක සමාජයේ ක‍්‍රියාකාරීත්වය වටහා ගත හැක. ඒ අනුව සමාජ සංස්ථාවේ නිරවුල් සහ යහපත් පැවැත්ම, වෙළෙඳ නගරයේ කටයුතු වල විධිමත් බව, නීතියේ මනා පාලනය සහ සමාජයට අහිතකර ක‍්‍රියාකාරීත්වයන් මර්දනය
මෙම ව්‍යවස්ථාවේ අරමුණූ වන අතර, රාජ්‍ය නිලධාරී ව්‍යුහය, සමාජ පරිපාලන ඒකක, අධිකරණ පද්ධතිය, සමාජ අපයෝජන හා වෙළෙඳාම වැනි පැතිකඩ පිළිබඳ මෙයින් අධ්‍යයනය
කළ හැකි වේ.
වෙළෙඳ නගරයේ පරිපාලනය
මෙහි පදිය යන පදයෙන් හඳුන්වා ඇති හෝපිටිගමු වෙළෙඳ නගරය, දණ්ඩනායකයෙකු හෙවත් සෙනෙවියෙකු යටතේ පාලනය විය. රජු හට විවිධ
සේවාවන් ඉටු කළ නායකයන් ට භුක්තිය හා පැවැත්ම උදෙසා නින්දගම් පැවරීමේ ක‍්‍රමය යටතේ
මෙය සිදු වූ බව අදහස් කළ හැක. නගරයේ වෙළෙඳාම් කරන අය මෙම සෙනෙවියා හට බද්දක් ගෙවූ අතර, මහියංගන විහාරයේ පහන් පූජාවට ද දායක වූහ. රටේ පැවති අපරාධ
නීතිය සම්බන්ධයෙන් මිස වෙනත් කරුණක් උදෙසා රජයේ නිලධාරීන් මෙවැනි නගරයක පාලනයට අත නොපෙවූ
බව පෙනේ. එසේ වුවද,
මහරජු පනවන ව්‍යවස්ථාවන් සහ තහවුරු කරන සම්ප‍්‍රදායයන් සියළු
පරිපාලන ව්‍යුහයන් ට ඉහළින් පැවතින.
නියමය එසේ වුවද, මෙම ටැම්
ලිපිය පිහිටුවීමට පෙර, සමාජයේ ව්‍යවහාර
ව පැවති අපයෝජන පිළිබඳව ද මෙම ලිපියේ සඳහන් වේ. අල්ලස් ගැනීම හා දීම, සම්ප‍්‍රදායට වඩා විසි ගුණයකින් පමණ ඉහළ බදු අය කිරීම, ගම් වටළා, නිවාස අඩස්සියේ තබා, බදු අය කිරීම, ගෙහිමියා
වෙනුවට අඹු දරුවන් ගෙන් බදු ගැනීම වැනි දේ මීට උදාහරණ ලෙස දැක්විය හැක. වෙළෙඳාමේදී
කළු මුදල් සහ කූට මිනුම් (තරාදි පඩි සහ ලාස්) භාවිත වූ බව ට අමතරව, නුසුදුසු ස්ථාන වල තබා වෙළඳාම් කිරීම ද අපයෝජනයක් ලෙස සළකා
තිබේ.
බදු අයකිරීම සම්බන්ධ පිළිවෙතක් වූ වැළැක්ම එවක ද ක‍්‍රියාත්මක වූ බව මෙහි සඳහන්
වේ. බදු නොගෙවන අයෙක් වටා බිම රවුමක් ඇඳීම මගින් රාජ නියෝගය බව දැන්වීම වැළැක්ම යි.
බදු මුදල් ගෙවන තෙක් ඔහුට එම කවය පැන යා නොහැක. එසේ කළ හොත් ඔහු සමාජ සම්මතය ඉක්මවා
යන්නෙක් බවට පත් වේ. එම ක‍්‍රමය ට බදු ගෙවන්නා ගේ අඹුදරුවන් ඇතුළත් නොකරගත යුතු බව
මෙම ටැම් ලිපියෙහි සඳහන් වේ.
පුරාණ වෙළෙඳ ගමක පාලනය අට දෙනෙකුගෙන් සමන්විත ඒකක මගින් ඉටු විය. ගමේ ප‍්‍රධානීන්
අටදෙනා,
අඩවි නිලධාරීන් අට දෙනා සහ වරදකරුවන්ට දඬුවම් නියම කරන අටදෙනා
ලෙස බදුලූ ටැම් ලිපියේ මෙම පාලන ඒකක නම් කර තිබේ. මෙයින් විනිශ්චය සහ පාලනය සාමූහික
තීරණයන් මඟින් ඉටු වූ බව හෙවත් මහරජුගේ ඒකාධිපති පාලනය යටතේ වුවද යම් තරමක ප‍්‍රජාතන්ත‍්‍රවාදී
පාලනයක ලක්ෂණ එවක පැවති බව පැහැදිළි වේ. ගමක නීතිය හා සාමය පිළිබඳව වගකිව යුතු පිරිවහන්නා
නම් නිලධාරියෙකු ගැනද මෙහි සඳහන් වන අතර, ඔහු ද අභියාචනා විනිශ්චය කිරීමේ දී සාමූහික තීරණයට දායක වූ
බව පෙනේ.
යුක්තිය පසිඳලීම
මූලික වශයෙන් මෙහි සඳහන් වන්නේ බදු අයකිරීම පිළිබඳ නීතිමය තත්ත්වය යි. ඊට අමතරව, සිවිල් හා අපරාධ නීති සම්බන්ධව ද යමක් මෙහි කියැවේ. ඉහත ද
සඳහන් වූ පරිදි විනිශ්චය දීම සාමූහිකව සිදු කෙරුණු අතර, එකී විනිශ්චයන් අභියෝගයට ලක් කරමින් අභියාචනා ඉදිරිපත් කළ
හැකි ආකාරය මෙම අභිලේඛනයේ පැහැදිළි කර තිබේ. මීට අමතරව, නගරයේ වෙළෙඳ කටයුතු වලට බලපාන අපරාධ සම්බන්ධයෙන් ක‍්‍රියා
කළ යුතු ආකාරය මෙහි පැහැදිළි කර තිබේ. ඒ අනුව, රාජ සේවකයන් (රදොළුන්) හැර සෙසු අය නීතිය අතට ගැනීම පැහැදිළි
ලෙස ම වළක්වා ඇත.
සමාජ තෙරතුරු
මූලායතන දෙකට අයත් වනයෙහි ලී දඬු කැපීම තහනම් බවට ඇති ප‍්‍රකාශයෙන් කාරණා දෙකක්
ඉස්මතු වේ. මිහින්තලා පුවරු ලිපිවල මූලායතන ලෙස දක්වා ඇත්තේ අභයගිරිය හා මහා විහාරයයි.
මහියංගන ප‍්‍රදේශයට අදාළව මෙය ආරණ්‍යවාසී හා ග‍්‍රාමවාසී ආරාම ලෙස අර්ථ දැක්වීමක් පවතී.
දෙවැනි කරුණ වන්නේ,
වනයෙහි ගස් කැපීම තහනම් කළත්, දඩයම තහනම් නොකිරීමයි. එහෙත් අල්ලස් පිළිබඳ කීමේදී මස් ගැන
සඳහන් වේ. මහියංගනය අවට වනාශ‍්‍රිතව එවකට ද වැදි ජනතාව වාසය කරන්නට ඇත. ඔවුන් මිස, බහුතර බෞද්ධ ජනයා සත්ත්ව ඝාතනය නොකරන්නට ඇති බව මෙයින් අදහස්
කළ හැක.
ලහසු හෙවත් ලාඤ්චනයක් සටහන් කළ සෝළු ලීය නම් සැරයටියක භාවිතය ගැන බදුලූ ටැම්
ලිපියේ සඳහන් වේ. මෙය යම් ගමක වැසියෙකු ගමින් බැහැරට යන විට රැුගෙන යා යුතු උපකරණයක්
විය. එය ඔහු කිනම් ගමක වැසියෙකු දැයි තහවුරු කර ගැනීමට උපකාරී වූ, වර්තමාන ගමන් බලපත‍්‍රයක් වැනි නීතිමය සාක්ෂිය කි. එය නොමැතිව
ගමකට වන් පිටස්තරයෙකු හට නවාතැන්, කෑම් පීම් වැනි අවශ්‍යතා සපුරාගැනීමටත්, ගම් ප‍්‍රධානීන්ගේ නිවෙස්, විහාර ආදී පොදු ස්ථාන වලට ප‍්‍රවේශ වීමටත් අසීරු විය.
සමකාලීන සමාජයේ පරිභෝජනය පිළිබඳ යමක් මෙම ටැම් ලිපියෙන් උකහා ගත හැක. එවක ප‍්‍රධානීන්ගේ
සේවකයන් හට අල්ලස් වශයෙන් දී ඇත්තේ රා, මස්,
දී කිරි සහ ගිතෙල් ය. එහෙයින් එවක සමාජයේ උසස් මට්ටමේ පරිභෝජන
ද්‍රව්‍ය ලෙස ඒවා හඳුනාගත හැක. ඊට අමතරව, වෙළෙඳ පොළේ අලෙවි වූ දේ අතර, ලාස් වලින් මනින ලද ධාන්‍ය ද, බුලත් හා පුවක් ද වේ. වෙළෙඳ බඩු මණින ලද ඒකක වූයේ ධාන්‍ය
වැනි දේ සඳහා ලාස් ද, දියර සඳහා
පත හෙවත් නැළිය ද,
බර කිරීම සඳහා මදඩ ලෙස සඳහන් වන තරාදි පඩි ද වේ.
දෙමළුනට රට නායකයන් ගේ දියණියන් ආවාහ නොදීම රාජ නීතියක් ලෙස නියම කර තිබීමෙන්, එවක එය සමාජ ගැටළුවක් වූ බව තේරුම් ගත හැක. මෙයින් අදහස්
වන්නේ රටනායකයන් පිය පාර්ශ්වය අතින් පිරිසිදු බව අපේක්ෂා කළ බවය. මෙය අද්‍යතන ජනවාර්ගික
ගැටුම සමඟ සැසඳිය නොහැක. එවැනි ජාතික ප‍්‍රශ්නයක් එකල පැවතියේ නම්, මෙම නීතිය ආවාහ මෙන්ම විවාහ සම්බන්ධයෙනුත් නියම කරන්නට ඉඩ
තිබූ අතර,
එය රටනායකයන් හට පමණක් සීමා නොවනු ද ඇත.
වෙනත් ඓතිහාසික තොරතුරු
බදුලූ ටැම් ලිපියට පෙර මෙම නීති අලිඛිත තත්ත්වයෙන් පනවා ඇති, සතළොස පිරිණිවියන් වහන්සෙ ලෙස මෙහි සඳහන් වන්නේ සිය රාජ්‍ය
කාලයෙන් දහ හත් වන අවුරුද්දේ දී අභාවයට පත් රජතුමෙකි. දෙ වන උදය රජුට පූර්වයෙන් රජකම්
කළ සිවු වන කාශ්‍යප රජ හැර මෙයට ආසන්න කාලයේ වසර දහ හතක පාලන කාලයක් ඇති වෙනත් රජෙකු
සොයාගත නොහැක.
මෙම අභිලේඛනයෙහි උදය රජතුමා සිය පියා ගැන කිසිත් නොකියා සමිදිගොන් නම් උතුම්
බිසොවගෙන් ජන්මය ලත් බව පවසයි. සමිදිගොන් යනු, සමුද්‍රා නම් අප‍්‍රධාන බිසොව යන අර්ථය දෙන්නකි ය යන මතය
වඩා පිළිගැනී තිබේ. රාජාභිෂේකයේ දී රජු දෙපසින් සිටුවන බිසෝවරුන් දෙදෙනාගෙන් අප‍්‍රධාන
බිසොව හැඳින්වෙන්නේ ගෞන හෙවත් ගොන් යන පදයෙ නි. ඉතිහාසයේ එතරම් නොකියවෙන රජකෙනෙකු ගැන
සියුම් කරුණක් හෝ දෙකක් මෙසේ සපයා ගත හැකි වීම අභිලේඛන වල එක් උපයෝගීතාවයකි.
මනා සේ සංවිධිත සමාජ ක‍්‍රමයක්, අභ්‍යන්තර වෙළෙඳාමක්, නීති පද්ධතියක් සහ පාලනයක් ක‍්‍රි. ව. දහ වන සියවසේ මෙරට පැවති බව මෙන්ම, සමාජ සම්ප‍්‍රදාය ඉක්මවන ව්‍යතිරේක පැවති බවද, සිය රටවැසියාගේ යහ පැවැත්ම රජුගේ පාලනයෙහි අපේක්ෂාව වූ බව
ද මෙම ටැම් ලිපියෙන් අපට උගත හැකි මූලික හරය යි.
Subscribe to:
Posts (Atom)
වැඩිපුර බලපු ලිපි
-
පහුගිය දාක (ඒ කියන්නෙ අවුරුදු පහ හයකටත් කලින් දාක) අපි (අශෝක හෙවත් අර දේවාරූඪයෙන් ටීවී හදන පොර සහ රංග වික්‍රමසිංහ සමඟ මම) දොම්පෙ ගියා. අපි ...
-
මේ ලිපිය ලියන්නේ අපේ ආදරණීය තට්ටයා අයියා ගේ යෝජනාව අනුව... තමන්ට ම කියා බ්ලොග් අඩවියක් හෝ විවිධ විෂයයන් සඳහා බ්ලොග් කිහිපයක් තිබීම වැදගත්. ...
-
එකෝමත් එක ගමක උන්නා ගැමියෙක්. (එහෙම නැතුව ගමක නාගරිකයෙක් ඉන්නයැ? නේද?) එයා ජීවිකාව කරගත්තෙ හේනක් කොටාගෙන. කැළෑවෙ අයිනෙ කොටාගත්ත හේනෙ, ගහක් ...
-
කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වල...
-
පිදුම අතීත කාමයෙන් ලියන්ඩ, ලියන්ඩ කියලා දිරිමත් කරන නමුණුකුළින් ඒහා ඉන්න බාගි නගාට... එක්තරා කාලෙයක් තිබුණ , මගෙ හිතේ ඒ ලංකාවෙ සමාජය ය...
-
රෝෂන් ගේ දෑස්, බස් රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හි...
-
මෙතෙක් ලියා ඇති ගජබින්න වලට පටුනක් මුලින්ම... 1. බාප්පගෙ මිරිස් වගාව 2. ඉඩෝරෙට වෙලේ ළිඳක් 3. අලිමාලය 4. සුවාරිස් මුත්තගෙ දඩයම් 5. ඉර ...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක , අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය...
-
මෙන්න ආයෙමත් සිසිර කුමාර මානික්ක ආරච්චි ගෙ පොතක් ඉදිරිපත් කරනවා. මේ පොතේ නොයෙකුත් පරිච්ඡේද අතරින් මම මෙතන ඉදිරිපත් කරන්නෙ "ලෝකෙන් උත...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්... ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර ඉස්කෝලෙ මහත්තුරු සහ බටග...

