Sunday, April 13, 2014

අලුත් අවුරුද්දේ - මගේ පුස්තකාලෙන්...

(අවුරුද්ද ගැන ලියන්න දේවල් හිතේ ගොඩ ගැහුණත්, බ්ලොග් කාරයින්ට සැරින් සැරේ හැදෙන මානසික කම්මැලිතාවය කියන ලෙඩේ නිසා ලියාගන්න බැරි වුනා මොකවත්. ඉතිං පරණ පොතකින් කෑල්ලක් දාලා ජාමෙ බේරගන්න හිතුනා.)

විචාරක මහත්තයගෙ පුස්තකාලෙන් කොප්ප ගහලා, ඩ්‍රැකියත් පටන් ගත්තා මගේ පුස්තකාලෙන් පොත් ගැන පොඩි හැඳින්වීමක් දෙන්න.

හා හා පුරා කියලා ඩ්‍රැකියා හඳුන්වලා දෙනවා, සුනන්ද කෝදාගොඩ කියන පරණ පුවත් පත් කලා වේදියා ගේ සරළ විනෝදාත්මක තීරු ලිපි එකතුවකින් සකස් වුණු, “විනෝද රසාංග“ කියන පොත. මේ පොතේ එන එක ලිපියක හැටියට මේ ලේඛකයා චන්ද්‍ර අනගිරත්න ගේ සමකාලීනයෙක්. මෙයාගෙ ලිපි වල කාලය වෙන්නෙ ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමාගෙ මුල් පාලන කාලය කියලා පේනවා. සරළ විනෝදය යටින් දිවෙන දේශපාලනය මෙන්ම, තරුණකමට ලියවෙන දේවලිනුත්, මේ පොත බොහොම ප්‍රාණවත්. ඒ වගේම සමහර ලිපි වලට ජනක රත්නායක ඇඳපු කාටූන් එකකුත් එකතු කරලා තියෙනවා.

මේ, ඒ පොතෙන් උපුටාගත්ත එක ලිපියක්, අලුත් අවුරුද්ද ගැන...






සුභ අලුත් අවුරුද්දක්, ඩ්‍රැකියාගෙ අඩවියට ගොඩවදින හැමෝටම වේවා!!!

- ඩ්‍රැකී, මිසිස් ඩ්‍රැකී සහ (මේවා ලියන හැම වෙලේම ඩ්‍රැකියගෙ කකුල් ගාව බිම නිදාගෙන ඉන්න) චූටි කුකූ ගෙන්...

Friday, April 4, 2014

ජිනීවා යෝජනා සහ යුධ ජයග්‍රහණ ආපසු හැරවීම

පරිකථා- 

එක් බමුණෙක් කැලයක් මැදින් යන කල කූඩුවෙක අසු ව සිටි දිවියකු දුටුවේය. දිවියා බැගෑ පත් ලෙස බමුණාට කථා කොට, “මිත්‍රය, මට මින් පිට ව යෑමට කරුණා කර මේ කූඩුවේ දොර අරින්නැ“ යි කීවේය.

“ඔබ අසත් පුරුෂයෙකි; කූඩුවේ දොර ඇරියොත් මා මරන්නට පුළුවනැ“යි බමුණා කීය.

“මිත්‍රය, බිය නො වන්න. මම කිසි විටෙක මට උපකාර කළ කෙනෙකුට අනතුරක් නොකරමි“යි දිවියා කීවේය.

දිවියාගේ වචනය විශ්වාස කළ බමුණා කූඩුවේ දොර ඇරියේය. දිවියා පිට වූ විගසම බමුණා මරා කන්නට සැරැසිණි. බමුණා පුදුමයට පත් ව, “ඔබට එළියට ඒමට උපකාර කළ මා මැරීම යුතු කමෙක් දැ“යි ඇසීය.

“මිනිසුන් හා සතුන් මරා කෑම මගේ සිරිතෙකි. ඒ නිසා ඔබ මැරීම අයුත්තෙක් නො වේ“යි දිවියා කීය.

“හොඳයි, ඔබේ කල්පනාවයි ඔය, අපි මේ ගැන වෙන කෙනෙකුගෙන් අසා බලමු. ඔහු කරන නියමයකට මම යටත් වෙමි“යි බමුණා කීවේය. මෙයට එකඟව දෙදෙන පිටත්ව ගියහ. අතර මඟ දී ඔවුනට හිවලකු මුණ ගැසිණ. බමුණා හා දිවියා ඔවුන්ගේ තොරතුරු හිවලාට කියා දුන්හ. හිවලා කථා කරමින්, “ඔබ දෙදෙනාගේ කථාවෙන් මට මෙය තේරුම් ගත නො හැක. පළමුව දිවියා කූඩුවේ උන් සැටි ද බමුණා දොර ඇරිය සැටි ද මට පෙන්වන්නට ඕනෑ“යි කීවේය. එය පෙන්වීමට දිවියා කූඩුව ඇතුළට විය. බමුණා දොර වැසුවේය. එවිට හිවලා බමුණාට කථා කොට, “මෝඩ බමුණ, අසත් පුරුෂයකුට හොඳක් කරන්නට ඔබට නුපුළුවනැ“යි කියා යන්නට ගියේය.
-------------------------------

http://24.media.tumblr.com/
tumblr_m61spub2WH1qlblyno1_500.jpg

පහුගිය මැතිවරණ වේදිකා වලදීත්, ආණ්ඩුවෙන් කරන ප්‍රකාශ වලිනුත්, ජාතික ප්‍රවෘත්ති වලිනුත් හෙළිදරව් වන භයානක සත්‍යයක් ඩ්‍රැකියා පැහැදිලි කිරීමට හිතුවෙමි.

මුළු ලෝකෙම ඉන්නේ මිනිස්සු දෙවර්ගයයි: (හරියට ලංකාවෙ ඉන්නේ මවු බිමට ආදරේ කෂ්ඨියයි, දේශද්‍රෝහී කෂ්ඨියයි වගේ) ලංකාවට සපෝට් කරන අයයි, කොටි හිතවාදීනුයි විතරකි.

ලංකාවේ හමුදා, විමුක්ති අරගලයක් කොරමින් හිටපු කොටි බර ගාණක් මරා දමා, මානුෂික මෙහෙයුමක් කර, ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ මුදවා ගත්තෝය. ඒ මානුෂික මෙහෙයුම අතර තුරේ සහ ඊට පස්සෙ උතුරෙ මිනිස්සුන්ව නොසෑහෙන්න මර්ධනය කරමින් ඉන්නෝය. සමහරු අතුරුදහන් ද වෙති. සමහරු අත්අඩංගුවට ගන්නේ කොටි හිතවාදීන් කියමිනි. දකුණේ පානීය ජල ප්‍රශ්නය, අර්ථසාධකේට කෙළවෙන්ඩ යනබව, ආදී දේශද්‍රෝහී සටන් පාට අරං පාරට බැහැපු උන්ට වෙඩිත් තිබ්බෙමු. උතුරෙ ඒ කියපු විමුක්ති අරගලය ට විසිල් ගහපු සහ උදව් කරපු ලෝකේ පුරා ඉන්නා කොටි හිතවාදී ටික මේ අවනඩුව එක්සත් ජාතීන් ගේ දොරකඩටම ගෙන ගියෝ ය.

දැන් ඔන්න එක්සත් ජාතීන් ගෙන් කෙනෙක් මේක ගැන හොයන්ඩ එන්නෝය. ඇවිදින්, අර පරණ කුමාරෝදයක තිබුණා වගේ, මේක කොහොමද උනේ, මට කරලා පෙන්නන්ඩය කියා කියන්නෝය.
කලින් කොටි හිටියෙ කොහොමද? හමුදාව හිටියෙ කොහොමද? රට තිබුණෙ කොහොමද? කියා අහලා, ඒ හැම එකක් ම කලින් තිබ්බ තත්ත්වෙට පත් කරන්නෝය. ඊට පස්සෙ ඔහොමම ඉඳපියව් කියා උන්නැහැ යන්නෝය.

ඕං ඔහොම ජාත්‍යන්තර පරීක්ෂණ කොරන්ඩ ගියොත් නං, අපි ලබාපු යුධ ජයග්‍රහණත්, මවුබිමේ සංවර්ධන කටයුතුත් ආපසු හැරෙනවාය. ඒ හින්දා එක්සත් ජාතීන්ට මේ රටට අඩිය ගහන්ට දෙන්ඩ හොඳ නැත.

මේ ක්‍රමේ ඇරුණහම, ආණ්ඩුව සහ හොරණෑ ජනමාධ්‍ය පුන පුනා කියනා මේ කතන්දරේ තේරුම්ගන්න පුළුවන් විදිහක් මට නං තේරෙන් නෑ ය.

Saturday, March 29, 2014

කුතුහලාත්මක අලි පැටියා - සයිලන්ට් සහන් ගේ ඉල්ලීමක් වෙනුවෙන්...

සයිලන්ට් සහන්ගේ පෝස්ටුවකට මං දැමූ කමෙන්ටුවක මේ කතාව ගැන සඳහන් කළා. ඒකට සහන්ගෙන් ලැබුණු උත්තරය අනුව මේ කතාව පරණ සගරාවකින් උපුටාගෙන පළ කරන්න හිතුවා. මේ කතාව ලිව්වේ රඩ්යාඩ් කිප්ලිං, (මං දැකපු හොඳම ධනාත්මක චින්තකයන්ගෙන් කෙනෙක්) පරිවර්තනය රංජිත් අමරසේකර. පළ වුනේ 1992 මැයි මුතුහර කළාපයෙ. කතාවේ ජීවගුණය නොමකා පළකරන්නත්, ඉක්මණටම පළකරන්නත් ඕනෙ නිසා ස්කෑන් කළා.







සහන් ටික කාලෙකින් ලිව්වෙ නැත්තෙ මොකද? මං හිතන්නෙ නෑ, මේ ස්ටෝරිය කිප්ලිංගෙ හොඳම ධනාත්මක ස්ටෝරිය කියලා. නමුත්, තමන් කරන දෙයින් ප්‍රතිඵලයක් නෑ කියලා හරි, ලැබෙන්නෙ නරක ප්‍රතිඵල විතරයි කියලා හරි හිතෙනවනං, හිතන්න, අලි පරම්පරාවටම ප්‍රයෝජනවත් හොඬ වැල ලැබුණෙ අලි පැංචා ගුටි කාගෙන හරි තමන්ගෙ කුතුහලය තියාගත්ත නිසා නේද කියලා.

සහන් දිගටම තමන් කරගෙන ආව කාරිය කරනවනං, ඒක තමා සමරහ අයට දෙන්න පුළුවන් ලොකුම උත්තරේ.

Thursday, March 20, 2014

විදුලි පුටුව සහ දෙබිඩි රාජ්ජේ

http://1.bp.blogspot.com/_X24iO8Ixh9k/SFdDX1aMw1I/AAAAAAAAAEs/
0WeimdU5Zjc/s400/chrc%2Belectric%2Bchair.jpg

සකල සිරින් පිරි සිරි දූපතේ නැත්තේ මොනවාද? මේ ප්‍රශ්නෙට උත්තරේ මේ පෝස්ටුව අවසානය වන විට අපිට එකතු කර ගන්න පුළුවන් වෙයි කියා හිතමු.

මුලින්ම ඕං තිස් අවුරුදු යුද්ධයක් තිබුණේය. ඒකේ අවසාන බාගයේ, මානුෂික මෙහෙයුම් හිටු කියා දියත් වුනෙමු. මානුෂික මෙහෙයුම් ය කියන්නේ මොකද්ද?

දෙමළ ඊළාම් විමුක්ති අරගළයක් කියා එකක් කරමින් - ඒ කියන්නේ:
1. තමන්ගේ සංවිධානය එක්ක එකටම ඇති වුණු අනිත් සංවිධාන වල (බහුතරය ලාංකීය දෙමළ) සාමාජිකයන් දරුණු අන්දමින් මරා දමමින්,
2. සමහරුන් ආණ්ඩුවට එකතු වෙන තැනට වැඩ සළස්සමින්,
3. ඒ අනිත් සංවිධාන අතුගා දමමින්,
4. තමන්ට අවනත නොවෙන වැසියන් මර්ධනය කරමින්,
5. ළමයින් සොල්දාදු කමට ගනිමින්,
6. මරාගෙන මැරෙන මානසිකත්වයක් තම කාඩර් එකේ වාටියේ හිටිය මිනිස්සු තුළ ඇතිකරමින්
7. දෙබිඩි රාජ්ජේ නායකයන් මරා දමමින්,
8. මහජන දේපොළ විනාශ කරමින්,
9. ජාත්‍යන්තර ජාවාරම් සහ සම්මාදම් මඟින් අරමුදල් රැස්කරමින්,

කටයුතු කරපු ත්‍රස්තවාදීන් හෝ විමුක්තිකාමීන් ලෙස හැඳින්වුනු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය,

1. තමන්ගෙ පළිහ විදිහට භාවිතා කරපු සාමාන්‍ය ජනතාව බේරමින්, (විමුක්ති කොටි බහුතරය හැසිරුණේමත් සාමාන්‍ය ජනතාව විදිහට සරං, කමිස ගහගෙන, වෙස් වළාගෙනයි)
2. රෝහල්, පාසල් වගේ තැන් බේරලා උඩින් ගුවන් ප්‍රහාර එල්ල කරමින්,
3. යුද්ධයෙ අවසාන දින කීපය වෙනතුරු බර අවි භාවිතා කරමින්, දුර සිට ෂෙල් වැනි ආයුධ වලින් පහර දෙමින්

විමුක්ති කොටි සංවිධානයෙ සන්නද්ධ අංශය විනාශ කරලා, උන් යට කරගෙන හිටිය භූමිය අත්පත් කරගැනීම මානුෂික මෙහෙයුම වශයෙන් ඩ්‍රැකියා විසින් අර්ථ දක්වනු ලැබේ.

ජයග්‍රහණයට පියවරුන් බර ගාණකි.
1. හමුදාපති සරත් ෆොන්සේකා මහතා (හමුදා අධිකරණයේ තීන්දුවට අනුව එහෙම කෙන‍ෙක් හමුදාවේ ඉඳලා නැත)
2. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා
3. අතිගරු විධායක ජනාධිපති සහ සන්නද්ධ හමුදාවල සේනාධිනායක මහින්ද රාජපක්ෂ මැතිතුමා
4. හමුදාවට බර අවි බර ගාණක් ලබා දී ඇති හිටපු ජනාධිපතිනි අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය (සරත් ෆොන්සේකා මහතා කියන විදිහට)
5. ලොකුම පාවාදීම විදිහට හංවඩු ගහපු සටන් විරාම ගිවිසුම හේතුවෙන් කොටි සංවිධානය කෑලි වලට කැඩීමට හේතු වුණු රනිල් වික්‍රමසිංහ මහතා
6. ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කරලා කොටි පරාජය කරන්නට සපෝට් කරපු කරුණා සහ පිල්ලෙයාන් ගරු මැති ඇමති වරු.
7. යුද්ධයට යුද්ධයම විසඳුමක් විදිහට යෝජනා කරමින් කෑගහපු ජෙප්පන් රැළ
8. මාවිල් ආරු සොරොව්ව බේරාගත් අතුරලියේ අතන හාමුදුරුවෝ
9. කොටි හඬ නිහඬ කළ කෙහෙළිය
10. ඉතාලියේ කොටි හඬ නිහඬ කළ මර්වින් සිල්වා
(මේ දැක්වෙන පියවරු බොහොමයක් එළි බහින්නේ ඡන්දයක් ආ විටය)

මානුෂික මෙහෙයුම ගැන සිහිමොළේ ඇති කෙනෙකුගේ හිතට නැගෙන ප්‍රශ්න බර ගාණකි:

1. කොටි හිටියේ සාමාන්‍ය මිනිස්සුත් එක්ක නම්, සාමාන්‍ය මිනිස්සු බේරලා කොටියා විතරක් මරන්නේ කොහොමද?
2. යුද්ධෙ අවසාන දවසේ හෝ දෙකේ වෙඩිබෙහෙත් ගබඩාවක් පුපුරවා ඇති බව කියමින් විශාල දුමාරයක් නිකුත් කෙරුණේ චන්ද්‍රිකා ඡායාරූප හෝ වෙනත් සන්නිවේදන මාර්ග ආවරණය කරන්නද?
3. ප්‍රභාකරන්ගේ හිස දෙපළු වෙන විදිහට තුවාල කළේ කවුද? කොටියෙක්මද? හමුදාවද? හමුදාව නම්, අල්ලගත්ත කෙනෙක් (සිරකාරයෙක්) ඒ විදිහට මරන්න පුළුවන්ද?
4. රෝහල් ලෙස යොදාගත් තැන් වලට ෂෙල් ගහපු බව කියාපු දොස්තර කෙනෙක්, කොළඹ සීඅයිඩියට ගෙනාවට පස්සේ ‘මං එහෙම කිව්වේ කොටි තර්ජනය කරපු නිසයි‘ කියලා කිව්වේය. එයා දැන් කියන්නේ ‘ඒ වෙලාවේ සීඅයිඩිය තර්ජනය කරපු නිසා එහෙම කිව්වා. දැන් මගෙ නංගිටත් පොලිසියෙන් තර්ජනය කරනවා‘ කියලාය. කෝකද ඇත්ත වෙන්න පුළුවන්?
5. ඇස් බැඳපු මිනිස්සුන්ට වෙඩි තියන දර්ශන, මැරුනු කොටි සෙබළියන්ට අතවර කරපල්ලා කියන දර්ශන, ආදිය චැනල් ෆෝ එකට ලැබෙන්න පෙර ඉඳන්, ලංකාවෙ ජනතාව අතර සංසරණය වුන බව ප්‍රසිද්ධ රහසකි. දැං ඒ ෆෝන් හිමියන් කෝ?
6. රතුපස්වල උද්ඝෝෂණය කළ සාමාන්‍ය මිනිස්සුන්ට, හලාවත උද්ඝෝෂණය කළ ෆැක්ටරි සේවකයන්ට, ධීවරයන්ට සහ බොරැල්ලෙ බන්ධනාගාරයෙ රැඳවියන්ට වෙඩි තියපු හමුදාව - උතුරේ දෙමළ මිනිස්සුන්ට වෙඩිතියන්න බැරිද? (වෙහෙර ගිල්ල එකාට අග්ගලේ...)
7. (අන්තිමට මාදුළුවාවෙ සෝභිත හිමි අහන සරළ ප්‍රශ්නෙ) අපි යුධ අපරාධ කළේ නැත්තම් පරීක්ෂණ වලට ඇයි ඔයතරම් බය?

අපේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර මට්ටමේ එකකි.

1. අපි අපේ රටේ ස්වෛරීත්වයට ඇඟිලි ගහනවාට විරුද්ධය (රුසියාව ක්‍රිමියාවට හමුදා යවා යුක්රේනයට ඇඟිලි ගහනවාට හැබැයි එකෙන්ම පක්ෂය)
2. අපේ රටට එන එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ නියෝජිතයන්ව, ස්වාධීන මානව හිමිකම් ක්‍රියාධරයන්ට හමුවෙන්නට බාධා පමුණුවනු ලැබේ.
3. චෝගම් කාලයේ උද්ඝෝෂණ කරන්නට එපා යැයි ජනතාවට කිව්වෙමු. හැබැයි එංගලන්තෙ අගමැති එක්ක ආව කැලම් මැක්රේ ට යාපනේ යන්න නොදී කෝච්චි නවත්තගෙන උද්ඝෝෂණය කරන්න බාධාවක් තිබුනේ නැත. උද්ඝෝෂණ කරන්නට බැරි, ලංකාවෙ අභ්‍යන්තර ප්‍රශ්න (පානීය ජලය, විදුලි බිල, සරසවි ශිෂ්‍ය ගැටළු, පරිසර සංරක්ෂණය වගේ දේවල්) ගැන විතරය. විජාතික බලවේග ගැන, හරක් මැරීම ගැන, හලාල් ගැන එහෙම උද්ඝෝෂණ කරන්න කිසිම බාධාවක් නැත.
4. හැම අවුරුද්දකම මාර්තු ළං වෙනකොට (එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය ළං වෙනකොට) උතුරේ යුද්ධ‍ය හෝ බලය බෙදීම හෝ සංහිඳියාව ගැන මොකක් හරි දෙයක් පටන් ගන්නෙමු. ගියපාර නොකෑ පපඩම් හා තෙල්හිඳියා කෙමිසමය. මෙදා පොටේ මෛත්‍රීපාල ඇමති තුමා දකුණු අප්‍රිකාවේ සංහිඳියාව ඉගෙන ගන්ට තකහණියක් දකුණු අප්‍රිකාවටම ගියෝය.
5. මානව හිමිකම් ක්‍රියාධරයන්ව බෙදුම්වාදී චෝදනා මත අත් අඩංගුවට ගන්නෙමු. පස්සෙ අධිකරණ නියෝග මත නිදහස් කරන්නෙමු.
6. අපිට ඇඟිල්ල දික් කරන්න කලින් ඇමරිකාව අැෆ්ඝනිස්ථානෙ කරපුවා, ආදී දේවල් ගැන හොයාපල්ලා කියා සිංහලෙන් කෑගහන්නෙමු.

මෙහෙම තියෙන සිරි දූපතට දැං මහා හෙණ ගෙඩියක් පාත් වෙන්නට යන්නේය. ඒ නවී පිල්ලේ (දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා යටතේ පත්වුණු අගවිනිසුරු වරිය) ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, මුරුසිය, ආදී රටවල් මූලිකත්වයෙන් ගේන්නට යන යෝජනාවකි. ඒ යෝජනාවෙන් ඉල්ලන්නේ මොනවද?

1. ලංකාවෙ මානව හිමිකම් සුරැකිය යුතුය, අතුරුදන් කිරීම් ගැන සෙවිය යුතුය.
2. තිස් අවුරුදු යුද්ධයේ අවසාන කාලේ දෙපාර්ශවය අතින් වුනු අකටයුතුකම් සෙවිය යුතුය,
3. ජාතීන්, ආගම් අතරෙ සංහිඳියාව ඇති කළ යුතුය,
4. පොරොන්දු වුණු අන්දමට තෙල්හිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුය,
5. 13 සංශෝධනයේ ප්‍රකාර බලය බෙදීම කළ යුතුය,
6. නීතියේ ආධිපත්‍යය නැවත ඇති කළ යුතුය
7. හිරකාරයන්ව ආයුධ පෙන්නන්න එක්කගෙන යන එක නැවැත්විය යුතුය... ආදී හෑල්ලකි.

මේ යෝජනා ක්‍රියාත්මක වුනොත්, අපේ අතිගරු (අපිට හැම අවුරුද්දකම සුභ අලුත් අවුරුද්දක් වේවා කියා එස්එම්එස් කරන, අපේ ළමයි වඩාගන්නා, අපේ වක්කඩින් වතුර බොන, පළපුරුදු සංවේදී ජනනායකයා වන, ජනතාවට හමුදාව වෙඩි තියන එක ගැන මොනවත් දන්නෙ නැති, දන්නවනං ඒ අයව දහ අට මාසෙකට විතර එල්ලුම් ගස් අරින) විධායක ජනාධිපති තුමා විදුලි පුටුවේ ඉන්දවන්නට ඇමරිකාවට සහ අනිත් ජාත්‍යන්තර බලවේග වලට හැකියාව ලැබේ. (ඔබාමට නින්ද යන්නෙත් නැත අපේ සිරි දූපතේ ජනාධිපති යහතින් ඉන්න තාක්)

මෙච්චර අප්සට් රජයක් තියෙද්දි අපේ විපක්ෂය කරන්නේ මොනවද?
1. ප්‍රධාන විරුද්ධ පක්ෂයේ නායකත්වය, බෑණා හැදිලා වැඩිලා එනතෙක් මාමා අල්ලගෙන ඉන්නෙමි. ඒ වෙනුවෙන් එක එක මගඩි කරන්නෙමි.
2. ඉඳ හිටලා පොළකට, බස් හෝල්ට් එකකට ගිහින් පත්‍රිකා බෙදලා, ජනතාව දැනුවත් කරන්නෙමු. (ජනතාව මුන්ට වඩා මේ ගැන දැනුවත් ය කියලා වෙලාවකට හිතෙන්නෙමු.)
3. තුන්වෙනි බලවේගය වෙන්නට, කලින් තුන් වෙනි බළවේගය වෙලා හිටපු එක රැකගන්නට වෙර දරන ගමන්, ‘අපිට යූඇන්පියේ ඡන්ද පදනම තිබ්බනං දෙන්නෙ දොඹෙං‘ කියා වහසි දොඩවමු.

මේ එකෙකුවත් පාරට බැහැලා වරෙව් මිනිස්සුනේ කිව්වනං, මිනිස්සු පාරට බැහැලා, උණ්ඩයට පපුව දීලා හරි මේ ආණ්ඩුව පෙරළන එක සහතික ඇත්තකි. මිනිස්සුන්ට ජාත්‍යන්තර බලවේග වල සහාය ලැබිලා යහපත් හෙට දිනක් උදාවෙන එක තවත් ආත්ම ගාණක් තිස්සේ බලාගෙන ඉන්න වෙන වැඩකි. සටන පටන් ගත යුත්තේ ඇතුළතිනි.

ඊසොප් ගේ උපමා කතාවකින් මේ පෝස්ටු හෑල්ල ඉවර කරන්නට සිතේ.

ග්‍රීසියේ කරත්ත කාරයෙක් අතර මගදී තමන්ගෙ කරත්තෙ රෝදයක් මඩේ එරී අමාරුවේ වැටුණා. එයා එතනම ඉඳන් හර්කියුලීස් දෙවියන්ට යා‍ඥා කළා. හර්කියුලීස් එතනට පහළ වෙලා මෙහෙම කිව්වා.
“මං උදව් වෙන්න තිබ්බා. ඒත් මේක තමුසෙගෙ රෝදෙ නෙ, තමුසෙ ඉස්සෙල්ලා ඔය රෝදෙ කර ගහලා උස්සන්න වෑයම් කරනවා. ඊට පස්සෙ මගෙන් උදව් ඉල්ලනවා. එතෙකොට මං උදව් කරන්නං“

http://4.bp.blogspot.com/-i9Nv1fdzWrw/
UHLOrOKmetI/AAAAAAAAD6o/
QMTXcoEEvRw/s1600/kevin-sorbo-hercules.jpg

Wednesday, March 19, 2014

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් මාර්තු මස අගදී සම්මතකරගන්නට උත්සාහ කරන යෝජනාවේ මුල් කෙටුම්පත

http://images1.fanpop.com/images/image_uploads/Human-Rights-Time-Line-human-rights-884732_1920_1291.jpg

ශී‍්‍ර ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ඉහළ නැංවීම මානව හිමිකම් මණ්ඩලය 25/1.
එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ පරමාර්ථ සහ මූලධර්ම නැවත තහවුරු කිරීම මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයත්, 
මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ සහ අනෙකුත් අදාළ ආයතනයන්හි මඟ පෙන්වීම මත 2006 මාර්තු 15 60/251 මහාමණ්ඩල යෝජනාව සිත්හි තබාගෙන,
2007 ජූනි 18 ආයතන ගොඩනැගීම පිළිබඳ 5/1 දරන මානව හිමිකම් මණ්ඩල යෝජනා සහ 5/2 දරන චර්යාවන් පිළිබඳ නීති කි‍්‍රයාවලි සඳහා බල ධාරීන්ගේ යෝජනා සිහියට නඟා ගෙන,
2012 මාර්තු 22, 19/2 දරන මානව හිමිකම් යෝජනාද 2013 මාර්තු 21, 22/1 යෝජනාද සිහිපත් කර, ශී‍්‍ර ලංකාවේ සංහිඳියාව සහ වගවීම ඉහළට නැංවීම සඳහා මෙම යෝජනාව ගෙන එනු ලැබේ.
තම මුළුමහත් ජනතාව සියලූ මානව හිමිකම් සහ මූලික නිදහස භුක්ති විඳීම සහතික කිරීම සෑම රාජ්‍යයකම වගකීම බව තරයේ ප‍්‍රකාශ කර සිටිමු. එමෙන්ම ත‍්‍රස්තවාදය මර්දනය කිරීමේදී ගන්නා ඕනෑම පියවරකදී රාජ්‍යයන් ජාත්‍යන්තර නීතියට, විශේෂයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට, ජාත්‍යන්තර අනාථයන් පිළිබඳ නීතියට සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතියට යටත්ව කටයුතු කළ යුත්තේය. ඇදහීම්, විශ්වාස හෝ වාර්ගික කිසිම භේදයකින් තොරව සියලූ ශී‍්‍ර ලාංකිකයන්ට තමන්ගේ හිමිකම් භුක්තිවිඳීමට මානව හිමිකම් කවුන්සිලය සහාය දීම පිළිගැනේ.
ශී‍්‍ර ලංකා රජය විසින් යටිතල පහසුකම් නැවත ගොඩනැගීමේදී, බිම්බෝම්බ ඉවත්කිරීමේදී අභ්‍යන්තර අවතැන්වූවන් බහුතරයක් නැවත පදිංචි කරවීමේදී දැක්වූ ප‍්‍රගතිය පිළිගෙන අගයකරන අතර අධිකරණය, සංහිඳියාව, නිර්හමුදාකරණය සහ ජීවනෝපායයන් සලසාදීම පිළිබඳ ඉදිරියේදී කිරීමට බොහෝ කටයුතු ඇති බව මතක් කරමු. විශේෂයෙන් මේ කටයුතු සඳහා සිවිල් සමාජ සහ සුළු වාර්ගික නියෝජිතයන් ඇතුළත් දේශීය ජනතාව සහභාගි කරගත යුතු බව ද අවධාරණය කරමු. 2013 සැප්තැම්බර් 21 සාර්ථක ලෙස උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම අගය කරන අතර පළාත් තුනේම විශාල ජන කොටසක් ඊට සහභාගි වන ලදි. කෙසේ වෙතත් මැතිවරණ ආශි‍්‍රත ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සහ ඡුන්දාදායකයන් සහ අපේක්ෂකයන්ට බලපෑම් කිරීම පිළිබඳව කනගාටුව පළකරමු.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියට ශී‍්‍ර ලංකාවට පැමිණීමට අවස්ථාව සැලසීම සහ 2013 අගෝස්තුහිදී ඇය පිළිගැනීම අපි අගය කරන්නෙමු. මහ කොමසාරිස්වරිය හමුවූ සිවිල් සමාජ සාමාජිකයන්ට බලපෑම් සහ හිරිහැර කිරීම පිළිබඳව අපගේ දැඩි කනගාටුව පළකර සිටිමු.
ස්තී‍්‍ර පුරුෂභාවය පදනම්ව කෙරෙන හිංසා, ලිංගික හිංසා, බලහත් කාරයෙන් අතුරුදන් කරවීම්, නීතියට පිටින් කෙරෙන ඝාතන, වධහිංසාකිරීම් සහ සාමකාමීව රැුස්වීමට ඇති අයිතීන් හා කතාකිරීමේ නිදහස ලබානොදීම, මානව හිමිකම් කි‍්‍රයාකාරීන්ට එරෙහිව කරන බලපෑම් සහ මර්දනයන්, සිවිල් සමාජ සාමාජිකයන්ට සහ මාධ්‍යවේදීන්ට කරන හිංසා ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ අධිකරණයේ ස්වා ධීනත්වයට හා නීතියේ පාලනයට තර්ජන එල්ලවීම් ශී‍්‍ර ලංකාව තුළ දිගින් දිගටම වාර්තා වීම පිළිබඳව අපගේ දැඩි කනස්සල්ල ප‍්‍රකාශ කර සිටිමු. හින්දු, මුස්ලිම්, කි‍්‍රස්තියානි ඇතුළත් ආගමික සුළුතරයට ආගම හෝ ඇදහීම පදනම්ව කරනු ලබන හිංසා සහ වෙනස්කම් විශාල ලෙස වර්ධනය වන බව පෙනේ.
සියලූ ජනයාට මානව හිමිකම් භුක්තිවිඳීමට සහ රටේ සංහිඳියාව ඇතිකිරීම සඳහා හේතුවන දේශපාලන බලය විමධ්‍යගත කිරීම ඇතුළු ජනතාවට ඉටුවිය යුතු කරුණු පිළිබඳව ශී‍්‍ර ලංකාවේ අවධානය යොමු කරමු. ශී‍්‍ර ලංකාව තුළ අර්ථවත් ජාතික සංහිඳියාවක් ඇතිකිරීම සඳහා හේතුවෙතැයි පිළිගැනෙන ශී‍්‍ර ලංකාවේ උගත් පාඩම් සහ සංහිඳියා කොමිෂන් වාර්තාව පිළිබඳව සඳහන් කරමු. නීතියට පිටස්තර ඝාතන, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳව පැතිරී ඇති චෝදනා විශ්වසනීය ලෙසින් පරීක්ෂාවට ලක්කිරීම, ශී‍්‍ර ලංකාවේ උතුර නිර්මිලිටරිකරණය කිරීම, අපක්ෂපාතී ඉඩම් ගැටලූ විසඳීමේ යාන්ත‍්‍රණයක් ඇතිකිරීම, රඳවා ගැනීමේ ප‍්‍රතිපත්ති පිළිබඳව නැවත සලකා බැලීම, පෙර පැවති ස්වාධීන සිවිල් ආයතන ස්ථාපිත කිරීම, පළාත් සඳහා බලය විමධ්‍යගත කිරීමට දේශපාලන විසඳුමකට ඒම, සියලූ ජනතාවගේ භාෂණයේ නිදහස ආරක්ෂා කිරීම සහ ඉහළ නැංවීම, නීතියේ පාලනය ඇතිකිරීමට නීති කි‍්‍රයාත්මක කිරීම යන කොමිසමේ සාධනීය යෝජනා සිහියට නගමු. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා වූ ජාතික කි‍්‍රයාකාරී සැලැස්ම අවධානයට ලක්වන අතර එහි කැපවීම සහ කොමිසමේ යෝජනා පිළිබඳ දක්වන ප‍්‍රතිචාර කෙරේ අවධානය යොමු කරමු. කොමිසමේ ධනාත්මක යෝජනා සලකා බැලීමට ජාතික කි‍්‍රයාකාරී සැලැස්ම ප‍්‍රමාණවත් නොවීම පිළිබඳ කනගාටු වන අතර කොමිෂන් වාර්තාවේ සියලූ කරුණුවලට යොමුවීම සඳහා සැලැස්මේ දැක්ම පුළුල් කරන ලෙසට ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.
ජාතික කි‍්‍රයාකාරි සැලැස්ම සහ කොමිෂන් වාර්තාව
ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනයන්, ජාත්‍යන්තර මානුෂිකවාදී නීතිය කැඞීම් පිළිබඳ ප‍්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම පිළිබඳව කනගාටුව පළකරමු. පුද්ගලිකව නඩු පැවරීම, වන්දි ගෙවීම, සත්‍යය සෙවීම, ආයතනික ප‍්‍රතිසංස්කරණ, රාජ්‍ය සේවකයන් සහ නිලධාරීන් පරීක්ෂාවට ලක්කිරීම, අන්තර් සම්බන්ධීකරණයක් ඇතිකිරීම සහ සංහිඳියාවන් ඉහළ නැංවීම, ආරක්ෂණ පද්ධතිය ස්වාධීනව ස්ථාපිත කිරීම, රාජ්‍ය ආයතන පිළිබඳ විශ්වාසයන් ඇතිකිරීම, ජාත්‍යන්තර මානව අයිති නීතියට අනුකූලව නීතියේ පාලනය ඉහළ නැංවීම ඇතුළත් සංක‍්‍රමණීය සාධාරණත්වයකට අවබෝධාත්මකව ප‍්‍රවිෂ්ට වීම අවධාරණය කෙරේ.
සත්‍යය හා සංහිඳියා කොමිසම වැනි රාජ්‍ය නොවන සංවිධාන ද ඇතුළත් සිවිල් සමාජ වින්දිතයන් ද ඇතුළත් පුළුල් ජාතික පරීක්ෂණ මණ්ඩලයක් අතීතයේ සිදුවූ ලංකාව සම්බන්ධයෙන් උල්ලංඝනයන්ගේ රටාවන්, හේතු සහ ඵලවිපාක සොයා බැලීම සඳහා පත්කිරීම මගින් අධිකරණ කි‍්‍රයාමාර්ගයට උපකාර සැලසිය හැකිය. නීතියට ඉහළින් සිටීම අවසන් කිරීම සඳහා මානව හිමිකම් උල්ලංඝනය කළ සහ ජාත්‍යන්තර මානුෂික නීතිය බරපතළ ලෙස කඩා දැමීම පිළිබඳ වගකිවයුත්තන්ට නඩු පැවරීමේ වගකීම රජය සතු බව සඳහන් කර සිටිමු.
සත්‍යය ලබාදීමටත් සාධාරණය ඉටුකිරීමටත් ජාතික යාන්ත‍්‍රණය දිගින් දිගටම අසමත් වූ බවට මහකොමසාරිස්වරිය කරන නිගමනය පිළිගනිමින් තවදුරටත් පරීක්ෂාකිරීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණ යාන්ත‍්‍රණයක් ඇති කළ යුතු යයි ඇය කරන නිර්දේශය සිිහියට නගන්නෙමු. මේ සඳහා ඇතිකරන දේශීය වගවීම් කි‍්‍රයාවලිය මෙහෙයවීමද ඇතුළත් වේ.
තාක්ෂණික සහාය ලබාගැනීමට අදාළව මහකොමසාරිස් කාර්යාලයේ සහයෝගය සහ අදහස් ලබාගැනීමට රජය උනන්දු කරන්නෙමු.
1. සංක‍්‍රමණීය සාධාරණත්වයකට පිවිසීම සඳහාත්, ශී‍්‍ර ලංකාවේ සංහිඳියාව සහ වගවීම ඉහළ නැංවීම සඳහාත් සත්‍ය සෙවීමේ යාන්ත‍්‍රණයක් සහ ජාතික වන්දි ප‍්‍රතිපත්තියක් ඇතිකිරීමද ඇතුළත්ව 2013 සැප්තැම්බර් 25 වාචික අදහස් දැක්වීම් සහ 2014 පෙබරවාරි 24 වාර්තාව පිළිගනු ලැබේ.
2. 2013 අගෝස්තු මහකොමසාරිස්වරියගේ සංචාරය පිළිගනිමින්, ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ ජාත්‍යන්තර මානුෂිකවාදී නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳව ස්වාධීන විශ්වසනීය පරීක්ෂණයක් කළ යුතු යයි ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටිනු ලැබේ.
3. උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ සාධනීය නිර්දේශ සාර්ථකව කි‍්‍රයාත්මක කරන ලෙසත් සියලූ ශී‍්‍ර ලාංකිකයන්ට සාධාරණත්වය, සමානත්වය, වගවීම සහ සංහිඳියාව ලබාදීම සහතික කිරීම සඳහා ඇති නීතිමය බැඳීම් සහ කැපවීම් ඇතිකිරීම සඳහා ගතයුතු සියලූ අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටී.
4. ආගමික ස්ථාන, කෝවිල්, පල්ලි සහ දේවස්ථානවලට පුද්ගලයන් සහ කණ්ඩායම් එල්ලකරන ප‍්‍රහාර ගැන පරීක්ෂා කරන ලෙසත්, අනාගතයේ එබඳු පහරදීම් වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් පූජනීය ස්ථාන, මාධ්‍යවේදීන් මානව හිමිකම් කි‍්‍රයාකාරීන් සුළු ආගමික කණ්ඩායම් සහ අනෙකුත් සිවිල් සමාජ සාමාජිකයන්ට එල්ල කළ ප‍්‍රහාර පිළිබඳ වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනෙන ලෙසත් ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටී.
5. 2013 අගෝස්තු 1 දින වැලිවේරියේදී නිරායුධ විරෝධතාකරුවන්ට පහරදීම ඇතුළු ආරක්ෂක හමුදා කරනු ලැබූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළිබඳව පරීක්ෂණ වාර්තා හා යුද හමුදා පරීක්ෂණ වාර්තා ප‍්‍රසිද්ධ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.
6. ව්‍යවස්ථාවේ 13 සංශෝධනයේ ප‍්‍රකාරව පාලනය කිරීම සඳහා සම්පත් සහ බලතල උතුරු පළාත් සභාවට සහ එහි මහඇමතිවරයාට ලබාදෙන ලෙසට ශී‍්‍ර ලංකා රජය උනන්දු කරවනු ලැබේ.
7. අභ්‍යන්තරව අවතැන්වූවන්ගේ මානව හිමිකම් පිළිබඳ වාර්තාකරුට සහ සංක‍්‍රමණිකයන් පිළිබඳ මානව හිමිකම් වාර්තාකරුට පහසුකම් සැලසීමට ශී‍්‍ර ලංකා රජය ගත් තීරණය අපි අගය කරමු. එමෙන්ම විශේෂ කාර්යභාර බලපත් හිමියන්ගේ ඉල්ලීම්වලට දින වෙන්කිරීම සහ පිවිසීමේ අවසර දීමෙන් සහාය වන ලෙස ඉල්ලා සිටී.
8. විශ්වසනීය සහ ප‍්‍රතිඵලදායි ජාතික කි‍්‍රයාවලියක් නොමැති බැවින් ස්වාධීන විශ්වසනීය ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමේ මහකොමසාරිස්වරියගේ නිර්දේශ සහ නිගමන පිළිගැනේ. වගවීම සහ සංහිඳියාව පිළිබඳ ප‍්‍රගතිය තක්සේරු කරන ලෙසටත් ඒ සඳහා අදාළ ජාතික කි‍්‍රයාකාරීත්වයන් පරීක්ෂා කරන ලෙසටත්, ශී‍්‍ර ලංකාවේ දෙපාර්ශ්වය විසින්ම මානව හිිමිකම් උල්ලංඝනය කිරීම් සහ අවභාවිත කිරීම් සහ ඊට සම්බන්ධිත අපරාධ පරීක්ෂා කරන ලෙසටත් මහකොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටී. මේ පිළිබඳව විශේෂ කි‍්‍රයාමාර්ග බලපත් හිමියන්ට මානව හිමිකම් මණ්ඩලයේ 27 සැසියේදී සංක්ෂිප්ත වාර්තාවක් ද 28 සැසියේ යෝජනාවට වාචිකව සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටී.
9. ඉහත සඳහන් පියවර කි‍්‍රයාත්මක කිරීම සඳහා තාක්ෂණික සහාය සහ උපදෙස් ලබාදීමට මහකොමසාරිස් කාර්යාලය සහ අදාළ විශේෂ කි‍්‍රයාමාර්ග බලපත‍්‍රධාරීන් උනන්දු කෙරේ.
10. මෙම යෝජනාව කි‍්‍රයාත්මක කිරීම සඳහා මහකොමසාරිස් කාර්යාලයට සහාය දක්වන ලෙස ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටිනු ලැබේ.
උපුටාගැනීම රාවය පුවත්පත - http://ravaya.lk/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%91%E0%B6%B1/

Saturday, March 8, 2014

නලීන් දිල්රුක්ෂ - ජනතාවට පුවත් දැන ගැනීමට ඇති අයිතියට අත නොතබනු !

පුරාණ කාල වල රජවරුන්ගේ කතා, ප්‍රේම කතා, යුද්ධ කතා, වීර කතා ආදිය ගී විරිත් වලින් (අතිශයෝක්තිය සහ අලකංකාර බහුල ශෛලියෙන්) ගොතා ජනතාව රැස්වෙන තැන්වල ගායනා කළ කවියෝ සිටියෝය. ඉලියඩ් ගොතපු හෝමර්, රාමායණය ගොතපු වාල්මිකී, මහාභාරතය ගොතපු වේදව්‍යාස ඒ අතරින් දැවැන්තයෝය. රොබින්හුඩ් ගෙ කතාව පවා මුල්ම කාලීන ජන කවි පේළියක් කියා කියන්නේය. මුල්ම කාලීන ඉතිහාසය බොහොම ආශ්චර්යමත් සිදුවීම් වලින් පුරවලා කවියට, ජන ශ්‍රැතියට එකතු කරවපු අපේ මුල්ම කාලීන කතන්දර කාරයෝ, අපේ ඉතිහාසය යම් තරමකට හරි මතු පරපුරට දායාද කරන්න දායක වුණ බව අමතක කරන්නට බැරිය. (පණ්ඩුකාභය කුමාරයාගේ කතාව, හර්කියුලීස් ගේ කතා වගේ ඒවා, ඒ විදිහෙ ආශ්චර්යමත් ඉතිහාස කතා ලෙස සළකන්න පුළුවන්.) මේ ආශ්චර්යාත්මක අතිශයෝක්තිය කරේ තියොගෙන ඒ කාලේ පරමාණු අවි තිබුණාය, ගුවන් යානා තිබුණාය කිය කියා ඇවිදින...

http://mscait.info/files/2013/03/old-comm-tech-uf8qm1.jpg

පස්සෙ කාලේ ලංකාවේ සිදු වෙන ඛේදනීය සිදුවීම් ජනතාව අතරට ගෙන ආවේ සති පොළේ කවි කොළ කාරයා ය. මිනී මැරුම්, දූෂණ, ශ්‍රී මහා බෝධියේ අතු කැපූ පිස්සා වගේ සිදුවීම් ගැන තොරතුරු ඉතා බුහුටි ලෙසට කවි කර අච්චු ගසා, පොළට ගෙන එන කවි කොළ කාරයා, එක අතක් කණේ තියාගෙන, අනිත් අතේ කවි කොළය දිග ඇරගෙන ඈතට ඇහෙන ලෙසට කවි කතාව කියවන හැටි බලන් ඉන්න ආස හිතෙනවාය. (හැබැයි ඩ්‍රැකියා නං කවි කොළ කාරයෙක් ඇහින් දැකලා නැත. කවි කොළ නං දෙක තුනක් දැක ඇත) කවි කොළ කාරයා අපේ ජනශ්‍රැතියේ එක පරිච්ඡේදයක් සනිටුහන් කරන්නෙකි. මේ කාර්යය තවත් පස්සෙ කාලෙ ඇන්ටන් ජෝන්ස් මහත්තයා බාර ගෙන...

ඒත් දැන් මිනිස්සු සති පොළට ඉස්සර වගේ උත්සවාකාරයෙන් යන්නේ නැත. ඒ වගේම සිදුවීමක් වුන ගමන් අපට ආරංචි වෙන මාධ්‍ය වැහි වැහැලාය. දැන් කඩදාසියේ මුද්‍රිත පත්තර පවා කියවන්නේ එක්තරා පරම්පරාවක් විතරය. ඒකත් අන්තර්ජාලයෙන් කියවන්න ඇහැකිය. පත්තර වලටත් වඩා, අන්තර්ජාලයේ ගොසිප් අඩවි වලින් ජනතාව අතරට නිවුස් යන්නේ උණු කැවුං වගේය.

පත්තර කාරයා පුවත් වාර්තා කරන්නා කොච්චර අසීරු කටයුත්තක් කරනවාද කියන එක උන්දැලාට දහපදුරාවේ බණින අයට තේරෙන්නේ නැත. (ඒ අය දන්නේ නණලළ විතරය) දැන් කොච්චර වේගෙන් පුවත් ජනතාව අතරට යනවාද කියතොත්, පත්තර මුදලාලිලාට පුවත් වාර්තා කරන්නන්ට තමන් වාර්තා කරන පුවත පුළුවන් තරම් රසවත්ව ඉදිරිපත් කරන්නට සිද්ධ වෙලා තිබේ.

ඒ කාරිය සඳහා ඒ අය වෙන්නේ පුදුමාකාර මහන්සියකි. ඒ අය කොච්චර තියුණු ඉවක් දියුණු කරගෙන ඉන්නවාද කියතොත්, මිනිහෙක් මොකක් හරි අපරාධයක් කරන්නට යන වග මුලින්ම දැනෙන්නේ ඒ අයටය. ඒ ගොල්ලන් නගරයේ ඉඳන් ඈත ගම්මාන වලට පවා ගිහිං, අර අපරාධය කරන්නට නියමිත තැන කාටවත් නොපෙනී හැංගිලා ඉන්නවෝය. ඒ ඉඳගෙන අර අපරාධ කරායා තමන්ගෙ ගොදුර එක්ක කරන හැම කතා බහක්ම පටිගත කරගන්නවෝය. ඊටත් අමතරව අපරාධ කාරයාට සහ ගොදුරට ඒ ඒ වෙලාවේ හිතුනේ මොනවද කියන එකත් ඒ අයට දැනෙනවාය. ඒ ඔක්කොම එක්කාසු කරලා ඒ අය ලියන පුවත් වාර්තාව හරියට චිත්‍රපටියක් වගේ කියවන්නාට රස විඳින්නට ඉඩ ලැබේ. අසූව දශකයේ ඉඳන් මේ මෑතක් දක්වා කාලේ උතුරේ යුද්ධය ගැන වාර්තා කළෙත් වැඩියක්ම මේ විදිහට තමාය 

කවුරුන් හරි මිනී මැරුමක් කළානං, ඒ මිනීමැරුම කළ හැටි පියවරෙන් පියවර අපේ වාර්තා කාරයා විස්තර කරනවාය. මැරෙද්දී මිය ගිය කෙනා වින්ද වේදනාව පවා එයා විස්තර කරයි. කවුරු හරි එල්ලිලා මළා නං එයා මැරෙන්න කලින් මතක් වෙච්ච දේවල්, හිතිච්ච දේවල් වරාතා කාරයා දන්නවාය. හරිනං නඩුකාරයා මුලින්ම උසාවියට කැඳවන්න ඕනේ ඒ වාර්තා කාරයාවය. ඒත් එහෙම කරන් නැත්තේ වාර්තා කාරයන් හරිම කාර්ය බහුල විදිහට ජනතාවට පුවත් වාර්තා කරන නිසාය. ඒ අයට උසාවි ගානේ ලගින්නට වෙලාවක් නැත.

මෙච්චර ආයාසයක් අරගෙන මුදලාලිලා මිනිස්සු ඉල්ලන දේවල් දීලා මිනිස්සුන්ව පිණවන, මිනිස්සුන්ට සේවය කරන වාර්තා කාරයන්ට බණින එක හරි නැත. ජනතාව අපරාධ වලට, සියදිවිනසා ගැනීම් වලට පෙළඹෙන්නේ පේස්බුක් හින්දාමය. ඒ අය නිසා නෙමෙයිය. ඒ නිසා නලීන් දිල්රුක්ෂ කියන එක්කෙනා මේ ලියා තියෙන දේට අපි බොක්කෙන්ම විරුද්ධ වෙමු. පත්තර වල, ගොසිප් සයිට් වල සහ සමහර ටීවී නිවුස් වල පෙන්නන දේවල් වලට විරුද්ධ වෙන්නන් සියල්ලන්ගේම පස්ස පැති වලට ඩ්‍රැකියාගේ පයින් පහර මෙන්න! ඔක්කොගෙම බියගුළු ක්‍රියාව මෙයින් තරයේ හෙළා දකිනු ලැබේ. සමහර විට මෙහෙම ඒ අයට විරුද්ධ වෙන්නේ, වාර්තා කාරයෝ පරිණාමය වෙලා තියෙන්නේ අර කවි කොළ කාරයන්ගෙන් කියා දන්නේ නැති අය වෙන්නත් පුළුවං ය.

Thursday, February 13, 2014

ලබ්බෙ කානිවල් එක - ගජබින්නාලංකාරයේ තවත් හරවත් කොටසක්...

කලකට පස්සේ වෙලකට බැස්සේ කියාගෙන, ඩ්‍රැකියා ආපහු බ්ලොග පැත්තට ආවා. ඩ්‍රැකියාගෙ සූර වීර මුතුන් මිත්තන්ගෙ කෙරුවාවල් ගැන ඩ්‍රැකියත් එක්ක ඉන්න හැමෝම දන්නවනෙ. දන් නැති කෂ්ඨිය මෙතනින් ගිහින් කියවලම ආවොත් පංකාදුයි...

මේං ලිංක් එක කලින් කතා වලට

ඩ්‍රැකියගෙ බාප්පා කන්තලේ හිටිය කාලේ, එක සැරයක් කානිවල් එකක් ආවනෙ කන්තලේ ටවුමට. කානිවල් එකක් ය කියන්නේ, ඒකෙ තිබ්බා අරුම පුදුම දේවල් පෙන්නන ප්‍රදර්ශනයක්, සර්කස් එකක් එහෙමත්. ඉතිං කන්තලේ වැසියන්ට බාප්පගෙ හේනෙ තිබ්බ බෝග ජාති එහෙම දැකලා පුදුමයක් නොවුනට, කානිවල් එකට ආව සෙනගට පුදුමයක් වෙන්න පුළුවන් ය කියලා, බාප්පත් මිරිස්, වට්ටක්කා, පතෝල වගේ එයාගෙ හේනෙ තිබ්බ බෝග වර්ග අර ප්‍රදර්ශනේට ඉදිරිපත් කළා. ඒකෙන් පළමුවෙනි තැනට ආවෙ බාප්පගෙ හේනෙ තිබ්බ දියලබු ගෙඩියක් තමා ඕං.

http://jangun.files.wordpress.com/2012/04/labukendit.jpg
මේ පින්තූරෙ නොකියා ඉස්සුවට විචාරක තුමාට
අපගේ බලවත් වෙරි සොරිය 

කානිවල් එකේ අන්තිම දවසෙ තිබ්බා සංගීත ප්‍රසංගයක්. ඒකාලෙ හිටිය නැගල ගිය හරූන් ලන්ත්‍රා, නාරද දිසාසේකර, වල්පොළ යුවළ වගේ ගායක ගායිකාවො ඔක්කොම ආව ඒ සංගීතෙට. ඒත් කරුමෙ කියන්නෙ, එදා උදේ ඉඳං මුරුගසං වරුසාව වගේ වැස්සක් ඇද හැළෙන්න ගත්තනෙ.

ඉතිං සංවිධායක කණ්ඩායම දහ අතේ කල්පනා කරද්දි තමයි, බාප්පා අර පළවෙනි තෑග්ග හම්බ වුණ ලබුගෙඩිය අරං යන්න ලෑස්ති වෙන හැටි දැක්කෙ. ඒ ලබ්බ කොච්චර ලොකුද කියනවනං, ඔතෙන්ට ගෙනාවෙත් අලි හතර දෙනෙක් බැඳපු කරත්තෙක. කරත්ත කාරයත් බර ගාණක් ඉල්ලනවලු ආපහු ලබු ගෙඩිය ගෙදර අරං යන්න.

ඒ අතරෙ සංවිධායක කට්ටිය බාප්පගෙන් බර ගාණකට අර ලබුගෙඩිය ඉල්ලුවලු. බාප්පත් ඔය කිසිම ලෝබ කමක්, කපටිකමක් නැති හරිම යහපත් මනුස්සයා හින්දා, ඒ කාලෙ වටිනාකම හැටියට රුපියල් දාහකට අර ලබු ගෙඩිය දීලා දැම්මලු. (මං කියන්නෙ එක්දාස් නමසිය හැටේදි විතර)

අන්තිමේ අර සංගීතෙ තියන ස්ටේජ් එක ගැහුවෙ ලබු ගෙඩිය ඇතුලෙ. සංගීතෙ බලන්න ආව දාහක් විතර සෙනගටත් ඒ ලබ්බ ඇතුලෙ අත පය දිග ඇරලා නටන්න ඉඩ තිබ්බා. කොච්චර තදින් වැස්සත් කිසි කරදරයක් නැතුව සංගීතෙ නැගලා ගියා.

අර වරුසාවත් අතෝරක් නැතුව වැහැලා වැහැලා අන්තිමේ කන්තලේ ටවුමට ගං වතුර දැම්මා. ලබු ගෙඩිය ගං වතුරේ පාවෙලා පාවෙලා ගිහිං, ගඟට වැටුණා. ගඟේ පාවෙලා යද්දි, ගං ඉවුරෙ ඉඳං ගොදුරු හොයන තඩි කොකෙක් ඕක දැකලා, එක පාරටම, ඒක තඩි හොටෙන් අල්ලගෙන ගුඩුස් ගාලා ගිල්ලා.

ඒ කොකා අර ලබ්බ දිරවගන්න බැරුව, (හරියට මහින්ද උන්නැහැට පළවෙනි ජනාධිපතිවරණෙදි ඡන්දෙ දීපු ඡන්ද දායකයෙක් වගේ) ගං ඉවුරෙ ලැගල ඉද්දි, දඩයමේ ගියපු සුවාතට හම්බ වුණා. සුවාතගෙ වෙඩි පාරෙන් අර කොකා මැරිලා ගඟට වැටුනා. සුවාතට ඌව අල්ල ගන්න බැරි වුනා.

අර කොකා පාවෙලා පාවෙලා ගිහිං මුහුදට වැටුණා. මුහුදෙ හිටිය පතරංග සයිස් මාළුවෙක් අර කොකාව ගිල්ලා. ඒ මාළුවා කොකා දිරවගන්න බැරුව උඩ පාවෙවී ඉද්දි මුහුදු ගිය අන්දිරිස් ආතගෙ දැලට අහුවුණා. අන්දිරිස් ආතත් අර තඩි මාලුවව ගෙදර අරං ගිහිං ආච්චිට දුන්නා ඌව කපලා අහළ පහල හැම ගෙදරකටම බෙදන්න කියලා.

ආච්චිත් බණ්ඩි කියත අරං අන්දිරිස් ආතත් එක්ක එකතු වෙලා මාලුවගෙ බඩ පැලුවා. එතකොට අර පත සයිස් කොකා මතුවුණා. ඒපාර අර දෙන්නා කොකාගෙ බඩ පැලුවා. එතකොට බාප්පගෙ ලබු ගෙඩිය එළියට පෙරලිලා ආවා. ආච්චිටයි ආතටයි මාර හැපි. මොකද දැන් බතට හරියන්න මාළුයි, මසුයි, එළවළුයි තුනම හරි. ඊළඟට දෙන්නා කළේ, අර ලබු ගෙඩිය පළපු එකයි. ඒ පළනකොටත් සංගීත ප්‍රසංගය ජයටම යනවා ලබු ගෙඩිය ඇතුලේ.

ප/ලි
මේ පට්ටපල් ඇත්තම ඇත්ත කතාව කොච්චර ප්‍රසිද්ධියට පත් වුණාද කියනවනං, අන්තිමේ කුමාරොදය වගේ පොත් වලටත් ඇතුල් වුණා. කටින් කට යද්දි ඔරිජිනල් කතාවෙ විස්තර වෙනස් වෙලා ලබු ගෙඩියේ යාගය කියලා තමයි දැන් කියන්නෙ. ඒ වුණත් කන්තලේ බාප්පගෙ හේන තිබ්බ පළාතේ තාමත් කටවහරෙ තියෙන කියමනක් තමා, ‘‘ලබ්බෙ කානිවල් එක වගෙයි‘‘ කියන කතාව

Wednesday, January 22, 2014

ඒ කාලෙත් මෙහෙම තමා - ඇන්ටික් සඟරාවකින්

ඩ්‍රැකියාගේ දෙමාපියන්ගෙන් උරුම වෙච්ච පරණ ශ්‍රී සඟරාවකින් උපුටා ගත්ත නිර්මාණයක් මෙදා පාර හුදී ජන පහන් (ඉටිපන්දම් හරි කමක් නෑ) සංවේගය උදෙසා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ 1979 අවුරුද්දේ පළ වෙච්ච ශ්‍රී සඟරාවකින්, මේක කියවද්දි ඉතින් දැනුත් මෙහෙමම තමයි නේද කියලා හිතෙනවා.




සිරාගෙ කාමරෙන් ඇන්ටික් පත්තර කෑලි, ඇඩ් වගේ දේවල් කීප වතාවක්ම එළි දැක්වෙද්දි, ඩ්‍රැකියවත් කහන්න පටන් ගත්තා, පොඩි කාලෙදි කියවපු, (ඒකාලෙත් මෙව්වා ඇන්ටික් තමා) රසවිඳපු මේ වගේ කෑලි ටිකක් බ්ලොග් එකෙන් එළියට දාන්න ඕනෙයි කියලා. 

ඒ කාලෙ සඟරා, පත්තර වල තිබ්බ අකුරු ඉෆෙක්ට්, චිත්‍ර එහෙම පත්තර කන්තෝරුවෙ වැඩ කරපු අය විසින් ම අතින් ඇඳපු දේවල්. මේ ආටිකල් එකේ මාතෘකාව දාලා තියෙන්නෙත් ඒ වගේ ඉතා දක්ෂ විදිහට කරපු භාව ප්‍රකාශන කාටූන් එකකින්. ඇත්තටම හිතෙනවා, අද අපි බොහොම ලේසියෙන් කරන දේවල් එක්ක, අපේ කලින් පරම්පරාවෙ අය මොන තරම් අමාරුවෙන්, මොන තරම් තමන්ගෙ දක්ෂතාවයන් තියුණු කරගෙන කටයුතු කරලා තියෙනවද කියලා.

Tuesday, January 14, 2014

අද ඉපදෙන නැවුම් ලොවට හිරු දෙවියනි වරම් දෙන්න

හාත්පස පරිසරය, භූමි දර්ශනය සැතපුම් ගාණක් ඈතට... ඈතට දැකගන්නට පුළුවන් වන තැනකට අපට යාගන්න පුළුවන් වුනොත්, අපේ සාමාන්‍ය ජීවන රටාවත් එක්ක, ඒක අපිට අත්දකින්න ලැබෙන දුර්ලභ සිදුවීමක්...

බතලේගල කන්ද මුදුනෙ තියෙන ගල් ගුහාවක, සපත්තු, ජර්කින් දාගෙන සීතලේ ගැහි ගැහී නිදාගෙන හිටපු අපි, ඉර නැගෙන්න කලින් අවදි වෙලා, හාත්පස මීදුම් වළාකුළින් වැහිච්ච කඳු මුඳුන දැක්කහම හිතට ආව සංකීර්ණ හැඟීම් මාළාව තාමත් මතකයි. ටිකෙන් ටික ඉර නැගෙන්නට ගනිද්දි, ගස්වල කොළ, දළු, මල්, බිම, මහපොළොව, පින්නෙන් පෙඟුණු තණකොළ, ගල් කැට... මේ හැම දෙයක්ම දීප්තිමත් වෙන්නෙ හරියට හිරුගෙ ස්පර්ෂයෙන් ප්‍රබෝධමත් වෙමින් අවදි වෙන්නා වගෙයි.

ගල් කුළ වටා රොක්වෙලා තිබුණ මීදුම ටිකෙන් ටික, තැනින් තැනින් තුනී වේගෙන එද්දි, පහළ මිටියාවත දිහාට ඇගිල්ල දික්කරපු රංග, ‘ජෙන්ට්ල්මෙන්, ප්‍රොමිස් ලෑන්ඩ්..!‘ කිව්වෙ හරියට සීනායි කන්ද මුඳුනෙදි කිරියෙන් පැණියෙන් ඉතිරෙන ඊශ්‍රායෙල් - පලස්තීන භූමි භාගය මෝසස් ට පෙන්නුව දෙවියන් වහන්සේ වගෙයි. ඇත්තටම අළුයම ඒ වගේ දීප්තිමත්, උණුසුම් හිරු එළියෙන් පිබිදීගෙන එමින් තිබුණු පරිසරයක් කොහොමත් සශ්‍රීක සෞභාග්‍යයෙන් පිරුණු බිමක් හැටියටයි පෙනුනෙ.

බතලේගල කන්ද මුදුනෙ ඩ්‍රැකියයි, රංගයි. පින්තූරෙ ගත්තෙ අශෝක හෙවත් අපේ මාළුකාරයා

ඒ හැගීම් වල දියුණු අවස්ථාවක් ගිය අලුත් අවුරුද්දට ගමේ ගියපු වෙලේ අත්දකින්න ලැබුණා. උදෑසන හිරු එළියෙන් සීතල පහව යමින් සිරුරු උණුසුම් වේගෙන එද්දි, කොත්මලේ නදිය අරුණු හිරු එළියෙන් රිදී පාට වේගෙන එද්දි, පුරාණ භාරතීයයන් දියපාරවල් හැම තිස්සෙම සර්පයන්ට සමාන කළේ ඇයි කියන එක වැටහුණා. මිටියාවත හරහා හිනි රිදී ඉරක් වගේ වංගු ගැහෙමින් කොත්මලේ ඔය ගළාගෙන ආවෙ හරියටම දැවැන්ත දිළිසෙන සර්පයෙක් වගෙයි. දෙපැත්තෙ තිබුණු කඳු මුදුන්, දැවැන්ත, ඒත් කුඩාවට දිස්වුණු ගල් පර්වත, වනාන්තර, ගහ කොළ හැම දෙයක්ම හිමිදිරියෙ උදාවෙන හිරුත් එක්ක පිබිදෙන ගතියක් දකින්න තිබුණා.
කොත්මලේ නදිය ඉහළින් නැගගෙන එන හිරු

හිත් ඇතුලේ මොන ප්‍රශ්න, ගැටළු තියාගෙන අවදි වුණත්, ඒවගේ දර්ශනයකින් අපිට අපි කොච්චර කුඩා, නොවැදගත්, නැසෙන සුළු ජීවීන්ද... මේ හාත්පස පැතිරෙන ජීවය, සොබාදහමේ බලවේග මොනතරම් දීර්ඝකාලීනද කියන එක වැටහෙනවා.

අපි මේ කළාතුරකින් අත්දකින දේවල් අපේ මුතුන්මිත්තන්ගේ කාලයෙදිත් මේ විදිහටම තිබුණා. හිරු එළියෙන් නැහැවෙමින් ගහ කොළ, පොළොව, පස් - ගල් කැට, සතුන්, මේ හැම දෙයක්ම හිමිදිරියෙන් අවදි වෙලා, හිරු එළියෙන් උණුසුම් වෙලා, ජීවය ලබාගෙන, හවසට නින්දට වැටුණා. මේ චක්‍රය මේ විදිහටම, අපේ මුතුන් මිත්තන් ගස් මතින් බිමට බැස්ස කාලෙදිත්, දියුණු මානවයන් විදිහට ගම්මාන ඇති කරගත්ත කාලෙදිත් අද දක්වාත්, අපෙන් පසු තවත් කාලාන්තරයක් යනතුරුත්, දිගටම ක්‍රියාත්මක වෙනවා.
අපේ ජීවන රටාවත් එක්ක මේ දේවල් අපිට නැවුම් වුණත්, ඉතාම සරළ ජීවිත ගෙවූ අපේ මීමුත්තන් මේක කොයි විදිහට අත් දකින්න ඇත්ද?

අපේ ඉතිහාසය, ඒකියන්නෙ මානව ඉතිහාසය ගැන තොරතුරු අපට ලැබෙන්නෙ ඉන්දු ඉරානීය ජන කොටස් ගැන තියෙන තොරතුරු ඇසුරින්. ඒ ජන කොටසින් වයඹ දිගට සංක්‍රමණය වූ අය මෙසොපොටේමියාවත්, ගිණිකොණ දෙසට සංක්‍රමණය වූ අය ඉන්දු නිම්නයත් ජනාවාස කළා. ඉන්දු සංස්කෘතියෙන් ඉතිරි වෙලා තියෙන පැරණිම සාහිත්‍යය හැටියට සැළකෙන සෘග් වේදයේ බහුලවම දකින්න තියෙන්නෙ ස්වභාව ධර්මයේ බලවේග දේවත්වයෙන් සැළකීම සහ ඒවා ප්‍රශංසා කරන ගී පැබඳුම්. සූර්ය නමස්කාරය එයින් ප්‍රමුඛයි.
ඒ පුරාණ මිනිසුන්ට තමන්ගෙ ජීවිත, වටාපිටාව ගැන ලොකු බළපෑමක් කළ නියඟ, ගංවතුර, අකුණු, වැස්ස, ආදී දේ පාරභෞතික බලවේග විදියට පෙනෙන එක සාමාන්‍යයි. හැබැයි අනිත් ශිෂ්ඨාචාර වලට වඩා, භාරතීය ශිෂ්ඨාචාරයේ ඒ දේවල් සුන්දර විදිහට දැකපු බව වේද මන්ත්‍ර, යෝග වගේ දේවල් වලින් පේනවා. ඔවුන් කොයිතරම් ස්වභාව ධර්මය වර්ණනා කරනවාද කියනවා නම්, සෘග් වේදයේ තියෙන වර්ණනා, උපමා, අලංකාර ආදිය අද තියෙන සුන්දර ගී පැබඳුම් වලට වඩා සුන්දරයි කියන්න පුළුවන්.

ගහකොළ ආහාර නිපදවන්නෙ හිරු එළියෙන් කියලා, බටහිර විද්‍යාව අපිට උගන්වනවා. වේද සහ ආශ්‍රිත සාහිත්‍යය, අභිචාර වලින් අපේ මුතුන් මිත්තන්ට හුරු කරවලා තියෙනවා, හිරු තමයි පොළොව, ගොවිතැන සරු කරන්නෙ කියලා. සෑම පුරාණ ශිෂ්ඨාචාරයකම මහීකාන්තාව සහ හිරු දේවත්වයෙන් පුදලා තියෙනවා. ඇත්තට හිරු නොවන්නට අපට අව්ව වැස්ස කොහෙන් ලැබෙන්නද? ජල චක්‍රය ක්‍රියාත්මක කරවන්නෙ හිරුයි.පෘථිවියේ කාළගුණික, දේශගුණික විපර්යාස, සෘතු, ශාක පල දැරීම, භෝගවල අස්වනු චක්‍ර... මේ හැම දෙයක්ම පාලනය වන්නේ හිරු ලබා දෙන දායකත්වයෙන්. කොටින්ම මිහිමත ජීවය හටගත්තේම හිරු ගේ ශක්තියෙන් කියලා කියන්න පුළුවන්.

ඉතින් හිරුට කෘතවේදීත්වය දැක්වීම ඕනෙම සත්වයෙකුට කොයිතරම් ගැළපෙනවද? තෛපොංගල් කියන්නෙ ඒ වගේ හිරු දෙවියන්ට කෘතගුණ දැක්වීම වෙනුවෙන් පැවැත්වෙන ඉතාම පුරාණ චාරිත්‍රයක්. ඕනෙම සංස්කෘතියක ඕනෙම අංගයක, මානවයාගේ ජිවිතය පිළිබද ගැඹුරු සත්‍යයක් ගැබ්වෙලා තියෙන බව අවසානයේ අවබෝධ වෙනවා. ඒක හරියට, තාගෝර් ගෙ ‘ගෝරා‘ වගේ විශ්වීය මානවයෙක් බවට පත්වීමක් වගෙයි.

ප/ලි

(පෘථිවියට ජීවය පිට සක්වළකින් ආව බවටත් මතයක් තියෙනවා. ඒ ගැන මෙතන කතා කරන්න අදහස් කරන්නෙ නෑ. ඒ වගේ මතයකින් වෙන්නෙ මූලික ප්‍රශ්නය තව ටිකක් ඈතට ගෙනයාමයි කියන මතය තමා ඩ්‍රැකියත් දරන්නෙ.)

Monday, January 6, 2014

දෙව්දුරු අරණේ මුනිවරයා - ඛලීල් ජිබ්රාන්


‘‘....කෙත් බිමක් මැදින් ගළා ගිය පැහැදිලි දිය සහිත දිය පාරක ඉවුරෙහි තිබුණු කූඩුවක් මම දුටුවෙමි. ඒ කූඩුවෙහි යකඩ කූරු, නිපුණ අතකින් සාදන ලද ඒවා විය. කූඩුවෙහි එක් මුල්ලක කුරුල්ලකුගේ මළ සිරුරක් වැතිර තිබිණ. තවත් මුල්ලක දිය සිඳී ගිය බඳුනක් ද, ධාන්‍ය ඇට නොමැති තැටියක් ද විය.

‘‘නිහැඬියාවෙන්  මඬිනු ලැබ නැඟී සිටි මම, කුරුලූ මළ සිරුර තුළ ද, දිය පාරේ හඬ තුළ ද හදවත සොයා යන්නා වූද, හෘද සාක්ෂ්‍යය ඉල්ලා සිටින්නා වූ ද, දේශනයක් සැඟව තිබුණාක් මෙන් යටහත් පහත් ව සවන් දී හුන්නෙමි. මම කල්පනාවෙහි ගිළී කරුණු සළකා බැලූවෙමි. ගළා යන දිය පාරක් පසෙක තිබිය දී කුරුල්ලා පිපාසයෙන් මිය ගොස් ඇති බව ද, ජීවිතයෙහි ම තොටිල්ල වූ කෙත් බිම් මැද දී ඌ සාගින්නෙන් විනාශ වී ඇති බව ද මම තේරුම් ගත්තෙමි. ඒ, තමා ගේ භාණ්ඩාගාරය තුළ සිර වූ ධනවතෙකු තමා සතු රන් ගොඩවල් අතර දී මිය යන්නාක් මෙනි.

‘‘කූඩුව මිනිසකු ගේ වියළී ගියා වූ ඇට සැකිල්ලක් බවට ද, මළ කුරුල්ලා මිනිස් හදවතක් බවට ද පෙරැළී ඇති අයුරු මඳ වේලාවකට පසුව මම දුටුවෙමි.....’’
(ඛලීල් ජිබ්රාන් - කඳුළු බිඳක් හා සිනා බිඳක්’, පරිවර්තනය - ආනන්ද අමරසිරි, 2009, පිටුව 37)

මනුෂ්‍යයා සහ ස්වභාව ධර්මය පිළිබඳ ගැඹුරු දිව්‍යමය දර්ශනයක් සුරුබුහුටි සරළ බසකින් විශද කළ දාර්ශනික කවියෙකු ලෙස ඛලීල් ජිබ්රාන් වඩා ප‍්‍රකටය. ඔහුගේ භාෂාව මානව භාෂාවට පමණක් සීමා නොවීම ම, ඔහුගේ පෘථුල දැක්ම පිළිබිඹු කරයි. කාව්‍යකරණය, චිත‍්‍ර ශිල්පය, දෘෂ්‍ය කාව්‍ය හෙවත් නාට්‍ය, ආදී මාධ්‍ය රාශියක පැතිරී ගිය සන්නිවේදනයක් සිය ආධ්‍යාත්මික නිර්වහනය උදෙසා බුහුටි ලෙස හසුරවාගැනීමෙන් හෙතෙම ශාස්තෘවර සාහිත්‍යධරයෙක් ලෙස අසමසම බවක් හිමිකර ගත්තේ ය.


ඛලීල් ජිබ්රාන්ගේ සිතුවමක්

අමෙරිකානු සෞන්දර්යවාදය අතරින් ඉස්මතු වන මැදපෙරදිග සාමයික හා පාරිසරික රිද්මය ජිබ්රාන් ගේ දර්ශනය තුළ අනන්‍යව පවතින ගුණාංගය යි. බටහිර නූතනවාදී, ක‍්‍රිස්තියානි හුරු කලාව තුළින්, ලෙබනනයේ දේවදාර ගස් අතරින් හමන කඳුකර පවනේ සුසුම හා කළවම් වූ මිනිසුන් ගේ ආධ්‍යාත්මික ගැඹුර ඔහු වහනය කරයි. මැදපෙරදිග ට ආවේණික පරිසරය සහ ස්වභාව ධර්මයේ අංගෝපාංග අතරින්, මනුෂ්‍යයාගේ පාරභෞතික අපේක්ෂාවන් හා ආශාවන්, සංස්කෘතිය විසින් සළසන පහසුව මධ්‍යයේ හටගන්නා අපේක්ෂා භංගත්වය සහ ධනයේ හා සමාජ ස්තරායනයේ භෞතිකවාදී බලපෑම ඉක්මවා යන විශ්වීයත්වයක් කරා යොමු වූ දැක්මක්, ඔහුගේ දර්ශනයට වස්තු විෂය වෙයි. අමෙරිකාවේ වෙනුවට ඔහු ඉන්දියාවේ ජීවත් වූයේ නම්ඕෂෝ වැනි ශාස්තෘවරයෙකු හැටියට මීට වඩා වැඩි යුරෝපීය අවධානයකට ලක් වීමට ත්, ආසියාතිකයන් ගේ ඇදහිල්ලට එකතු වන තවත් දිව්‍යමය ආත්මයක මානුෂික පිළිබිඹුවක් බවට පත් වීමටත් ඉඩ තිබූ බව ඇතැමෙක් පවසති.

මූලික තොරතුරු


උපත - 1883 ජනවාරි මස 06 වන දින ඔටෝමන් සිරියාවේ (වර්තමාන ලෙබනනය) ලෙබනන් මුතාසාර්රිෆාතේ කඳු ප‍්‍රදේශයේ බ්ශාර්රි හි දී ජුබ්රාන් ඛලීල් ජුබ්රාන් නමින් උපත ලැබුවේ ය.
මිය ගියේ - 1931 අපේ‍්‍රල් 10 වන දින හෙවත් වයස අවුරුදු 48 දී අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ දී ය.
ක්ෂේත‍්‍රයන් - කාව්‍ය කරණය, චිත‍්‍ර ශිල්පය, මූර්ති ශිල්පය, ලේඛන කලාව, දර්ශනය, දේවධර්මය, දෘෂ්‍ය කලා.
ජාතිකත්වය - ලෙබනනීය-අමෙරිකානු.
කලා රීතීන් - කාව්‍ය, දෘෂ්ටාන්ත, කෙටිකතා.
ශාස්ත‍්‍රීය ව්‍යාපෘතීන් - මහ්ජාර් - නිව්යෝර්ක් හි ලේඛක ලීගය.
සුප‍්‍රකට කෘතීන් - මුනි’ (The Prophet)

ඛලීල් ජිබ්රාන් (1883.01.06 - 1931.04.10), ලෙබනනීය අමෙරිකානු කලාකරුවෙක්, කවියෙක් සහ ලේඛකයෙක් විය. ගැටවර අවධියේ දී ඔහු සිය පවුලේ අය සමඟ අමෙරිකා එක්සත් ජනපදය ට සංක‍්‍රමණය වූ අතර, එහිදී කලා අධ්‍යාපනය ලැබ, සිය සාහිත්‍ය කාර්යය ඇරඹීය. හෙතෙම 1923 දී ප‍්‍රකාශයට පත් කෙරුණු මුනිනම් ග‍්‍රන්ථය මඟින් ලොව පුරා ප‍්‍රකට නමක් හිමි කර ගත්තේ ය. මෝක්ෂීය ප‍්‍රබෝධාත්මක සාහිත්‍යය ට අයත් මුල්කාලීන උදාහරණයක් වූ එහි, ඉංග‍්‍රීසි කාව්‍යමය ගද්‍යයෙන් ලියැවුණු දර්ශනාත්මක රචනා මාලාවක් අඩංගු විය. ඒ කෙරෙහි නැඟුණු සීතල දෝෂ විචාරය ද නොතකා එම ග‍්‍රන්ථය හොඳින් අලෙවි වූ අතර, 1960 ගණන් වල විරෝධාකල්පිත සංස්කෘතිය තුළ අත්‍යන්තයෙන් ජනප‍්‍රිය වූයේ ය.  ඕනෑම කාලයක වැඩිම අලෙවියක් හිමිකරගත් තෙවැනි කවියා ජිබ්රාන් වෙයි. (පළමුවැනියා ෂේක්ස්පියර් වන අතර දෙවැනියා ලා ඕ-ත්සු ය.)

ලෙබනනයේ ජීවිතය


ජිබ්රාන්, බ්ශාර්රි නගරයේ දී (වර්තමාන උතුරු ලෙබනනයේ) මැරොනයිට් පූජකයෙකුගේ දුවකගේ කුසින් මෙළොවට බිහි විය. කමිලා නම් වූ ඔහුගේ මව, එවක තිස් හැවිරිදි වියේ පසු වූ අතර, ඔහුගේ පියා වූ ඛලීල් ඇයගේ තෙ වැනි සැමියා විය. පවුලේ පැවති දුගී බව නිසා ජිබ්රාන් හට ළමා අවධියේ දී ක‍්‍රමවත් අධ්‍යාපනයක් ලැබිය හැකි නොවීය. එහෙත් නිතරම ඔහු වෙත ආ පූජකවරුන් ඔහුට බයිබලය පිළිබඳව මෙන්ම, අරාබි හා සිරියානු භාෂාවන් ද උගැන්වූහ. ජිබ්රාන් ගේ පියා මුලින් ඇපොතිකරි වරයෙක් ලෙස වැඩ කළත්, සූදුවෙන් ණයගැති වීම නිසා, පසුව ඔටෝමන් වරුන් විසින් පත් කරන ලද ප‍්‍රාදේශීය පරිපාලකයෙකූ යටතේ වැඩකරන්නට පටන් ගත්තේ ය.

1891 දී පමණ මෙම පරිපාලකයා පිළිබඳව කුපිත වූ ජනතාවගෙන් නැඟුණු පැමිණිලි රාශිය නිසා, ඔහු ඉවත් කරුණු අතර, ඔහුගේ කාර්ය මණ්ඩලය පරීක්ෂණයට ලක් කෙරුණි. ජිබ්රාන් ගේ පියා මුදල් අයථා අපහරණය පිළිබඳව චෝදනා මත සිරභාරයට පත් විය. ඒ අතර, බලාධිකාරීන් විසින් ඔහුගේ පවුලේ දේපල රාජසන්තක කරන ලදි. සිය නිවස අහිමි වූ කමිලා ජිබ්රාන් කලින් අමෙරිකා එක්සත් ජනපදය ට සංක‍්‍රමණය වූ සිය සොහොයුරා අනුගමනය කරන්නට තීරණය කළා ය.  1894 දී ජිබ්රාන් ගේ පියා නිදහස් කෙරුණ ද, කමිලා සිය තීරණයේ නොසැලී සිටි අතර, 1895 ජූනි මස 25 දින ඇය ඛලීල්, ඔහුගේ නැගණියන් වූ මරියානා හා සුල්තානා සහ ඔහුගේ වැඩිමහල් අඩ සොහොයුරා වූ පීටර් (භූත්‍රොස්) ද කැටිව නිව් යෝර්ක් බලා පිටත් වූවා ය.

අමෙරිකා එක්සත් ජනපදයේ දී


ජිබ්රාන් පවුල බොස්ටන් හි සවුත් එන්ඞ් ප‍්‍රදේශයේ පදිංචි වූහ. එම ප‍්‍රදේශය එවක අමෙරිකා එක්සත් ජනපදයේ වූ දෙවැනි විශාලතම සිරියානු/ලෙබනන සමාජය විය. පාසැලේ දී සිදු වූ අත්වැරැද්දක් හේතුවෙන් ඔහු ලියාපදිංචි කෙරුණේ කඃලීල් ජිබ්රාන් නමිනි.

ඔහුගේ මව ගෙයින් ගෙට යමින් සුළු සුළු මැහුම්, රේන්ද සහ ලිනන් විකිණීමට පටන් ගත්තා ය. ජිබ්රාන් 1895 සැප්තැම්බර් මස 30 දින සිට පාසැල් යාම ඇරඹීය. පාසැලේ නිලධාරීහු, ඉංග‍්‍රීසි උගැන්ම සඳහා ඔහු විශේෂ පංතියකට ඇතුළත් කළහ. ජිබ්රාන්, අසළ පිහිටි සමාජ සුභසාධක මධ්‍යස්ථානයක පැවති කලා ශාස්ත‍්‍රාලයකට ද ඇතූළත් වුණි. එහි ගුරුවරුන් හරහා ඔහුට බොස්ටන් හි පුරෝගාමී කලාකරුවෙකු, ඡායාරූප ශිල්පියෙකු හා ග‍්‍රන්ථ ප‍්‍රකාශකයෙකු වූ ෆ්‍රෙඞ් හොලන්ඞ් ඩේ හඳුනාගත හැකි විය. ඔහු ජිබ්රාන් ගේ නිර්මාණශීලී උත්සාහයන් දිරිමත් කරමින්, සහයෝගය දැක්වූයේ ය. එක් ප‍්‍රකාශක වරයෙක් 1898 දී ජිබ්රාන් ගේ චිත‍්‍ර කිහිපයක්, පොත් කවර සඳහා යොදා ගත්තේ ය.


ජිබ්රාන් ගේ මවට ත් අයියාට ත් උවමනා වූයේ, ඔහු ආකර්ෂණය ව සිටි බටහිර සෞන්දර්යාත්මක සංස්කෘතිය පමණක් ම නොව සිය පාරම්පරික සංස්කෘතිය ද වඩ වඩා උකහා ගැනීම කෙරෙහි යොමු කරවීමට ය. එහෙයින් පහළොස් හැවිරිදි වියේ දී ඔහු බේරූට් හි මැරොනයිට් වරුන් විසින් පවත්වාගෙන ගිය ප‍්‍රාරම්භක හා උසස් අධ්‍යාපන ආයතනයේ උගැන්ම සඳහා සිය මව්බිම කරා නැවත පැමිණියේ ය. එහි දී ඔහු සගයෙකු සමඟ සාහිත්‍ය සඟරාවක් ආරම්භ කළ අතර, පසුව විද්‍යාලයේ කවියාහැටියට ද තෝරාගනු ලැබී ය. වසර කිහිපයක් එම විද්‍යාලයේ ගත කළ හෙතෙම ආපසු 1902 මැයි දහ වන දින එළිස් අයිලන්ඩ් හරහා බොස්ටන් වෙත ආයේ ය. ඔහු ගේ පැමිණීමට සති දෙකකට පෙර දහ හතර හැවිරිදි වියේ පසු වූ ඔහුගේ නැගණිය වූ සුල්තානා ක්ෂය රෝගය නිසා මිය ගියා ය. ඊළඟ වසරේ දී ඔහුගේ සොහොයුරා වූ පීටර් එම රෝගයෙන් ම ද, ඔවුන්ගේ මව පිළිකා රෝගයෙන් ද මිය ගිය හ. මරියානා ඇඳුම් මසන්නෙකුගේ සාප්පුවක වැඩට ගොස් තමන්ගේ ත්, ජිබ්රාන් ගේ ත්, නඩත්තුව සළසා ගන්නට පටන් ගත්තා ය.

කලාව සහ කවිය


ජිබ්රාන් තම පළමුවැනි චිත‍්‍ර ප‍්‍රදර්ශනය 1904 දී බොස්ටන් හි ඩේ ගේ කලාගාරයේ දී පැවැත්වී ය. මෙම ප‍්‍රදර්ශනයේ දී ඔහු ට තමන්ට වසර දහයකින් ජ්‍යෙෂ්ඨ විද්‍යාලයාධිපතිනියක වූ මේරි එළිසබෙත් හැස්කල් හමු විය. ඉන් හටගත් මිත‍්‍රත්වය ජිබ්රාන් ගේ ජීවිත කාලය පුරාම පැවතිණ. හැස්කල්, ජිබ්රාන් ගේ පෞද්ගලික ජීවිතය මෙන්ම ඔහුගේ කලා ජීවිතය කෙරෙහි ද බලපෑමක් ඇති කළා ය. 1908 දී හෙතෙම  ඕගස්ට් රෝඩින් සමඟ වසර දෙකක් කලාව හැදෑරීම පිණිස පැරිසිය ට ගියේ ය. ඔහුට සිය යව්දිව් මිතුරා සහ හවුල්කරු බවට පත් වූ යෝසෙෆ් හොවයෙක් හමු වූයේ එහිදී ය.

ජිබ්රාන් ගේ හිතවතෙකු වූ ජුලියට් තොම්සන්, ඔහු පිළිබඳ වෘතාන්ත කිහිපයක් වාර්තා කරයි. බාබි ආගමික සංවිධානයක් වූ බාහා ඉ ෆේත් හි නායකයා වූ අබ්දුල් බාහා 1911 - 1912 දී පමණ එක්සත් ජනපදය ට පැමිණි අවස්ථාවක ජිබ්රාන් ඔහු හමු වූ බව ඉන් එක කි. ලෙබනනයෙන් පැමිණි මේ මිනිසා: ඛලීල් ජිබ්රාන්’ නම් කෘතියේ දී බාබරා යංග් පවසන පරිදි, විද්ධ චිත‍්‍රය දෙකක් සඳහා අබ්දුල් බාහා පෙනී සිටීමට පැමිණීමට කලින් දින රාත‍්‍රියෙහි ජිබ්රාන් හට නින්ද ගියේ ද නැත. ජේසු නම් මනුෂ්‍ය පුත‍්‍රයා’ (Jesus the Son of Man) ලියන ලද කාලය පුරා ජිබ්රාන් අබ්දුල් බාහා පිළිබඳව සිතමින් සිටි බව තොම්සන් වාර්තා කරයි. වසර ගණනකට පසු බාහා ගේ මරණයෙන් පසුව ඔහු පිළිබඳව නිපැයුනු චිත‍්‍රපටයක් දැකීමෙන්, ඛලීල් ජිබ්රාන් කඳුළු සහිතව ඔහු ගේ උත්කෘෂ්ට භාවය පිළිබඳව කතා කළ අතර, එම සන්ධ්‍යා කාලය හඬමින් ගත කළේ ය.

ජිබ්රාන් ගේ මුල් කාලීන රචනා අරාබි බසින් කෙරුණ ද, 1918 ට පසුව පළවූ බොහෝ කෘති ඉංග‍්‍රීසියෙන් පළකෙරුණි. 1918 දී ඇල්ෆ‍්‍රඞ් ඒ. නොෆ් ප‍්‍රකාශක ආයතනය මඟින් පළ කෙරුණු ඔහුගේ පළමු පොත උමතු මිනිසා’ (The Madman) ය. එය ආප්ත වචන සහ දෘෂ්ටාන්ත ඇතුළත් ව බයිබලීය යතියකින් ගැදි හා පැදි අතර ශෛලියකින් ලියැවුණු පොත් පිංචක් විය. එසේම ඔහු නිව් යෝර්ක් පන්හිඳ ලීගය’ (Newyork Pen League) හෙවත් සාංක‍්‍රමණික කවියෝහි සාමාජිකයෙක් ද වූයේ ය. එහි සමකාලීන සාමාජිකයන් අතර, ලෙබනනීය අමෙරිකානු රචකයන් වූ අමීන් රිහානි, එළියා අබු මාදි සහ මිඛායිල් නයිමි ද වූහ. නයිමි, ජිබ්රාන් ගේ කිට්ටු මිතුරෙකු මෙන් ම, ගෞරවයට පත් අරාබි සාහිත්‍යධරයෙක් ද විය. ඔහුගෙන් පැවතෙන්නන් ජිබ්රාන් විසින් තමන්ගේ ම දරුවන් ලෙස සැළකන ලද අතර, ඔහුගේ බෑණෙකු වූ සමීර් ගේ ඥාණ පියා වූයේ ද, ජිබ්රාන් ය. 

ඛලීල් ජිබ්රාන් ගේ බොහෝ ලියවිලි, විශේෂයෙන් ම ආධ්‍යාත්මික පේ‍්‍රමය පිළිබඳව ලියැවුණු දේ ක‍්‍රිස්තියානි සමය සමඟ බද්ධ වෙයි. ඔහු ගේ කවිවල විශේෂ ලක්ෂණ වන්නේ ආකෘතික භාෂාවක් භාවිත වීම සහ ජීවිතය පිළිබඥ තේමාවන් හි අන්තර් දෘෂ්ඨිය හෙළීමේදී ආධ්‍යාත්මික වදන් භාවිතා කිරීම යි. ජිබ්රාන් ගේ වඩාත් ප‍්‍රකට ම කෘතිය වන්නේ පද්‍යමය රචනා විසි හයක් ඇතුළත් වූ මුනිය. එය 1960 ගණන් වල අමෙරිකානු ප‍්‍රති සංස්කෘතිය සහ නව යුගය ව්‍යාපාරයන් සමඟින් විශේෂ ජනප‍්‍රියතාවකට පත් විය. මුනි’ 1923 පළමු වර ප‍්‍රකාශයට පත් කෙරුණා ට පසුව නැවත ප‍්‍රකාශයට පත් කෙරුණේ නැත. සිංහල ද ඇතුළුව භාෂා 40කට ත් වඩා ගණනකට පරිවර්තනය කරන ලද මෙය, විසි වන සියවසේ අමෙරිකාවේ හොඳම අලෙවියක් ඇති පොත් අතරට එක් විය.

ඉංග‍්‍රීසි භාෂක සමාජයේ ප‍්‍රකට වූ ඔහුගේ හොඳම කියමනක් වන්නේ, ‘වැලි සහ පෙණ බිඳු’ (Sand and Foam - 1926) හි ඇතුළත් වන මා පවසන දෙයින් අඩක් අරුත්සුන් ය. එහෙත් ඒ මා පවසන්නේ අනෙක් අඩ ඔබ වෙත සම්පේ‍්‍රෂණය වීම උදෙසා ය.යන්න යි. මෙම වැකිය 1968 දී ජෝන් ලෙනන් විසින් මඳක් වෙනස් කොට සිය ගායක කණ්ඩායමේ ගීතයක් වන ජූලියාහි යොදාගෙන තිබේ.

දේශපාලනික චින්තනය


ඛලීල් ජිබ්රාන්, අරාබි බස සිරියාවේ ජාතික භාෂාවක් කරන ලෙසත්, සියළුම පාසැල් මට්ටම් වල විෂය මාළාවන් ට ඇතුළත් කරන ලෙසත් බළ කළ බව පැවසේ. 1911 - 12 අතර කාලයේ සාම ව්‍යාපාරය සඳහා අමෙරිකා එක්සත් ජනපදය ට පැමිණි අබ්දුල් බාහා හමුවූ විට ජිබ්රාන්, සාමය පිළිබඳ ඔහු ගේ අදහස් අගය කළ නමුත්, සිය ජාතිය වැනි ළදරු ජාතිකත්වයන් ඔටෝමන් පාලනයෙන් නිදහස් විය යුතු බවට තර්ක කෙළේ ය. ඔහු සිය සුප‍්‍රකට කවියක් වූ සානුකම්ප්‍ය ජාතිය’ (Pity the Nation) ලියන ලද්දේ මෙම කාලයේ දී ය. එය ජිබ්රාන් ගේ මරණින් පසුව පළ වූ මුනිවරයා ගේ උද්‍යානය’ (Garden of the Prophet) ග‍්‍රන්ථයට ඇතුළත් විය.

පළමු වන ලෝක යුද්ධයේ දී සිරියාවෙන් ඔටෝමන් වරුන් පළවා හරිද්දී, ‘සිරියාව නිදහස් කරනු’ (Free Syria) නම්  දළ සටහන මඟින් ජිබ්රාන් පළකළ ප‍්‍රමෝදවත් අදහස් අල්-සායිහ් පුවත්පතේ විශේෂ විජයග‍්‍රහණ කළාපයේ මුල් පිටුවේ පළ වූ බව කියැවේ. ඔහුගේ ලියවිලි අතර තවමත් පවතින නාට්‍ය ලූහු පිටපතක, ජාතික නිදහස හා අභිවෘද්ධිය පිළිබඳව සිය ඉමහත් අපේක්ෂාවන් ඔහු පළ කර තිබේ. ඛලීල් හාවි ට අනුව, මෙම නාට්‍යය මඟින්, ලෙබනනීය සහ අරාබි ජාතිකත්වයන් ගෙන් වෙන් වූ සිරියානු ජාතිකත්වයක් පිළිබඳ සිය ඇදහීම ජිබ්රාන් පළ කරන අතර, එවැනි මෑත කාලයක දී පවා ඔහු ගේ මනස තුළ ජාත්‍යන්තරවාදය සහ ජාතිකවාදය සමතැන් ගෙන පැවති බව පැහැදිළි වෙයි.

මරණය සහ ඔහු ඉතිරි කොට ගිය දේ


‘‘.... සියලූ පිරිස් විසිර ගිය පසුත්, ඈ මුහුදු තීරයේ පවුර මත හුදෙකළාව සිටගෙන ඔහු ගේ මේ වදන් සිය හද තුළින් සිහි කළාය;

තව ඇසිල්ලකි, සුළඟ මත්තේ මොහොතක් තුළ ලබන විවේකයකි. වෙනත් ස්ත‍්‍රියක විසින් මා බිහි කරනු ඇති’.... ’’
(‘මුනි’, පරිවර්තනය - සුගුණපාල සමරසේකර, 1995, අවසන් පේළි දෙක)

ඛලීල් ජිබ්රාන් 1931 අපේ‍්‍රල් මස 10 වන දින නිව් යෝර්ක් හිදී මිය ගියේ ය. ඔහුගේ මරණය ට හේතු වශයෙන් නිගමනය කෙරුණේ අක්මාවේ සිරෝසිස් තත්ත්වය සහ ක්ෂය රෝගය යි. මරණය ට පොරොතුව තමා ලෙබනනයේ භූමදාන කරනු ලැබීමට ඇති අපේක්ෂාව ඔහු ප‍්‍රකාශ කර තිබුණි. මෙය 1932 දී ඉටු කරන ලදි. ඔහුගේ නැගණිය වූ මරියානා සහ මේරි හැස්කල් ලෙබනනයේ මාර් සාර්කිස් ආරාමය මිලට ගත් අතර, එතැන් සිට එය ජිබ්රාන් කෞතුකාගාරය බවට පත් කෙරුණි. ජිබ්රාන් ගේ සොහොනේ ලියා ඇත්තේ, ‘මගේ සොහොන මත මා දැකීමට කැමති වචන වන්නේ: මම ද, ඔබ සේ ම ජීවමාන ය, මම ඔබේ පසෙකින් සිටිමි. දෑස් පියාගෙන හාත්පස බලන්න, ඔබ ඉදිරියේ මා සිටිනු දැකගත හැකි වනු ඇත.යන වැකි පෙළ යි.



ලෙබනනයේ බ්ශාර්රි නගරයේ ජිබ්රාන් අවසන් නින්දේ සැතපෙන ස්ථානය හා ඛලීල් ජිබ්රාන් කෞතුකාගාරය


වොෂින්ටන් ඞී. සී. හි ඛලීල් ජිබ්රාන් ස්මාරකය

ජිබ්රාන් සිය අවසන් කැමැත්තෙන් තම කලාගාරය මේරි හැස්කල් හට පැවරී ය. එහිදී ඇය ට හමු වූයේ ඇය විසින් වසර විසි තුනක් පුරා ලියන ලද ලිපි ය. මුලින් ඇය ඒවායෙහි අඩංගු දැඩි ළෙංගතු බව නිසා පුළුස්සා දමන්නට අදහස් කළත්, එහි ඇති ඓතිහාසික අගය හේතුවෙන් පසුව එම ලිපි ආරක්ෂා කළා ය. ඇය 1964 දී මිය යන්නට පෙර, එම ලිපි තමන් හට ජිබ්රාන් ගෙන් ලැබුණු ලියුම් එකතුව ද සමඟ චැපල් හිල් හි උතුරු කැරොලයිනා විශ්ව විද්‍යාලයේ පුස්තකාලය ට පරිත්‍යාග කළා ය. ලිපි හය සියයකට ත් වැඩි එම එකතුවෙන් උකහා ගන්නා ලද කොටස්, 1972 දී ආදරණීය කවියා’ (Beloved Prohet) යන ග‍්‍රන්ථයේ පළ කෙරුණි.

මේරි හැස්කල් මිනිස් (ඇය 1923 දී ජේකබ් ෆලොරන්ස් මිනිස් හා විවාහ විය) ජිබ්රාන් ගේ මුල් කලා කෘති සියයකට ආසන්න ප‍්‍රමාණයක් ඇතුළත් වූ ඇගේ පෞද්ගලික එකතුව 1950 දී ජෝර්ජියා, සැවැන්නා හි ටෙල්ෆෙයාර් කලා කෞතුකාගාරය ට පරිත්‍යාග කළා ය. එය අමෙරිකා එක්සත් ජනපදයේ ඇති විශාලතම ජිබ්රාන් ගේ දෘෂ්‍ය කලා එකතුව යි. එහි, සංකේතනවාදයේ බලපෑම ප‍්‍රකට කරවන පරිදි, කවියාගේ පැදි වල ඇතුළත් ශෛලියම දැකිය හැකි වන තෙල් සායම් සිතුවම් පහක් ද, ගණනය කළ නොහැකි කඩදාසි සිතුවම් ද ඇතුළත් වෙයි. අමෙරිකාවේ ඔහුගේ ග‍්‍රන්ථ වල අනාගත කර්තෘභාගය, ‘යහපත් අරමුණු උදෙසා භාවිත කෙරෙනු පිණිසසිය මව් නගරය වන බ්ශාර්රි වෙත පවරා තිබේ. එහෙත්, එය බෙදාහැරීම වසර ගණනාවක් තිස්සේ මතභේදයට හා සැහැසිකම්වලට පදනම් වූ කරුණක් විය. අවසානයේ ලෙබනන රජය එහි භාරකාරත්වය පවරා ගත්තේ ය.


ඛලීල් ජිබ්රාන් ගේ විශ්වීය දර්ශනයේ එක් පැතිකඩක් පහත ගැදි කාව්‍යයෙන් පැහැදිළි වෙයි.

‘‘.... ‘අප අඳින ඇඳුම් වියා දෙන ලද්දේ උතුරු සුළඟ විසිනැයි ඔබ සමහරෙකු කියන්නට පුළුවන.

ඔව්, උතුරු සුළඟ විසිනැයි මම කියමි.

එහෙත් ඔහුගේ වියන යන්ත‍්‍රය වූයේ ලජ්ජාව ය; ඔහු නූල් කොට ගත්තේ නෙළා සිනිඳු කරන ලද කාය ශක්තිය යි.

ඔහු ගේ කාරිය නිම වූ පසු ඔහු වනාන්තරයෙහි සිට සිනාසුණේ ය.

විනීත භාවය වූ කලී කිළිටි වූ මිනිසුන්ගේ ඇස්වලට නොපෙනී සිටිනු පිණිස ඉදිරියෙන් අල්ලාගැනීමට තිබෙන පළිහක් බව අමතක නොකරන්න.

ක්ළිෂ්ටයන් නැති වී ගිය පසු විනීත භාවය යනු බන්ධනයක් හා මනස කිළිටි කිරීමක් හැර වෙන කුමක් ද?

මහ පොළොව ඔබගේ නිරාවරණ දෙපතුල් වල ස්පර්ෂය ආනන්දයෙන් විඳ ගන්නා බවත්, සුළඟ ඔබගේ ඉස කෙස් සමඟ සෙල්ලම් කරන්නට පුල පුලා සිටින බවත්, අමතක නොකරන්න.... ’’

(‘මුනි’, පරිවර්තනය - සුගුණපාල සමරසේකර, 1995, පිටු 34/35)

ඛලීල් ජිබ්රාන් ගේ සිතුවමක්

වැඩිපුර බලපු ලිපි