Monday, July 27, 2015

ලොව පුරා ජනකථා අතරින් - ලෝකෙ දිගම කතාව...


සිරා ගේ ආරාධනයෙන්, 
මෙන්ඩා ගේ මග පෙන්වීමෙන්, 
අපේ තාත්තාගේ මුල් ගල් තැබීමෙන් 
මේ කැටගරිය ආරම්භ වන්නේය...

මීට කලින් කණ්ණඩ ජනකතාවක් පෝස්ට් කළා. ඒක මේ කැටගරියේ මුල්ම කතාව විය යුතුයි. ඒත් මේ කැටගරිය ආරම්භ කරන අද, මුලින්ම කියන්නට යන්නේ ලෝකයේ තියෙන දිගම කතාවයි. 

ලෝකෙ දිගම කතාව කිව්වම, මා ළඟ තියෙන්නෙ චීන කතාවක් සහ අප්‍රිකානු කතාවක්. ඕං ඉස්සෙල්ලම චීන කතාව...

චීනෙ හිටියා අධිරාජයෙක්. එතුමා හරිම ආසයි කතන්දර අහන්න. එතුමා කලින් අහලා නැති කතාවක් කියන්නට පුළුවන් වුනු කතන්දර කාරයන්ට එතුමා බොහොම ඉහළින් සැළකුවා.

දවසක් අධිරාජයට හිතුනා ලෝකෙ තියෙන දිගම කතන්දරය අහන්නට. ඉතින් කරපු වැඩේ, චීනය පුරාම අණබෙරයක් යැවුවා, ලෝකෙ දිගම කතාව කියන්න පුළුවන් තැනැත්තාට ඇතෙක් ගෙ බරට රත්තරන් දෙනවාය කියලා.

ඉතින් කතන්දර කාරයො රජමාළිගාවෙ පිරුණා. අධිරාජයා එක එක්කෙනා බැගින් ගෙන්නුවා කතන්දර අහන්නට. එක් කෙනෙක් එදා උදේ පටන් ගත්ත කතාව ඉවර කළේ පහුවදා පාන්දර. ඒ තරමට දිගයි කතාව. නමුත් අධිරාජයාට ඒ කතාව දිග මදි.

තවත් කෙනෙක් දවස් දෙකක් තුනක් ගත්තා කතන්දරය කියන්න. ඒත් අධිරාජයාට දිග මදි වුනා. සමහරු සතියක්, සති දෙකක් විතර කතා කිව්වා.

අධිරාජයා සෑහීමකට පත් නොවෙන තැන කතන්දර කාරයන් මාළිගාවට එන එකත් ටිකෙන් ටික අඩු වුනා. ඒත් දවසක් එක කතන්දර කාරයෙක් ඇවිත්, කතාවක් කියන්න පටන් ගත්තා.

".. ඔන්න එක්තරා කාලයක චීනයේ හිටියා මහා ඉඩම් හිමි ගොවියෙක්..." එයා කතාව පටන් ගත්තා. රජතුමා ඔහු ඉදිරියේ වාඩි වෙලා ඔළුව වන වනා කතාව අහනවා. "..එ් ගොවියාට තිබුණු ඉඩම් චීන මහා ප්‍රාකාරයේ සිට කහ මුහුද දක්වාම පැතිරී තිබුණා. එක පැත්තකින් ධාන්‍ය අස්වනු නෙළාගෙන අනෙක් පැත්තට යනවිට මුලින් අස්වනු නෙළූ පැත්තේ ආයෙත් අස්වනු පැහිලා. ඒ වගේම එයාගෙ අටු කොටු ම තිබුණා අක්කර ගණානාවක. 

ඔහුට හිටියා බොහොම දක්ෂ, ශූර වීර සහ නැණවත් පුතුන් තුන් දෙනෙක්. වැඩිමල් පුතා අශ්වයන් දමනයට විශේෂයෙන් දක්ෂයි. මද්දුම පුතා ගණිත ශාස්ත්‍රයට දක්ෂයි. බාල පුතා ප්‍ර‍ායෝගික බුද්ධිමතෙක්.

ඔන්න දවසක් වී කුරුල්ලෙක් ඇවිත් අර ගොවියාගේ එක අටුවකින් වී ඇටයක් අරගෙන පියාඹලා ගියා. මුර කාරයො මේක දැක්කා. ඒත් ඉතින් මේ පොහොසත් ගොවියාගේ අටු කොටු කොයිතරම් පිරී තිබුණාද කිව්වොත්, ඔවුන් මේ එක වී ඇටයක් අඩුවීම ගැන මොනවත් ම කළේ නෑ.

https://public.dm2301.livefilestore.com
/y3pNgp52DGKzk3cDVHJDIwuahm4-
Zjsh1LVOPtuvyy1N3TAoQeOFTl7
u34zFv_8UOjmz3TPS2KdQ7IsKWhYaa_
tbaaZmr-XtKJes8qBv3OHsDU/
Gela%20Kalu%20Vikurulla%20-2.jpg?rdrts=112611686

ඔන්න ඒ වී කුරුල්ලා ඊළඟ දවසෙත් ඇවිදින් වී ඇටයක් අරගෙන පියාඹලා ගියා.

ඊළඟ දවසෙත් අර වී කුරුල්ලා තවත් වීඇටයක් අරගෙන ගියා..."

"ඉතින්?" අධිරාජයා ඇහුවා.

"...ඊ ළඟ ද‍වසෙත් අර වී කුරුල්ලාම ඇවිත් තවත් වී ඇටයක් අරගෙන පියාඹලා ගියා."

"හරි ඉතින් ඊට පස්සෙ?" අධිරාජයා නොඉවසිල්ලෙන් ඇහුවා.

"...ඊ ළඟ දවසෙත් වි කුරුල්ලා ඇවිත්..."

"හරි හරි... වී කුරුල්ලා ගියාට පස්සෙ මොකද වුනේ කියනවකො." අධිරාජයා කිව්වා.

"... එහෙම කිව්වට රජතුමනි, මේ පොහොසතාගෙ වී අටු ම තියෙනවනෙ අක්කර ගාණක්. මේ වගේ වී ඇටෙන් ඇටේ අඩුවෙලා, වී වල අඩුව පොහොසතාට දැනෙන්න සෑහෙන කාලයක් ගතවෙනවනෙ. වී කුරුල්ලගේ මී මුනුපුරන්ගේ කාලයට එනතුරු මේ විදිහට වී ඇටෙන් ඇටේ අරං යන්න වෙනවා. එයින් පස්සෙ තමයි මේ ගොවියාගේ පුත්තු තුන්දෙනාගෙ වික්‍රමාන්විත ක්‍රියා වලට ඉඩ ලැබෙන්නෙ. ඒ නිසා ඉවසා වදාරන්න හොඳා..."

‍අධිරාජයා එකඟ වුනා.

"... ඔන්න ඉතින් අනික් දවසෙත් වී කුරුල්ලා තව වී ඇටයක් අරගෙන ගියා."

"ඇති ඇති..." අධිරාජයා කතාව නැවැත්තුවා. "මට දැන් ඔය මූසල වී කුරුල්ලන්වත් පේන්න බැරුව යනවා මේ කතාව නිසා. මොහුට හොඳින් සළකා. තෑගි භෝග දී පිටත් කරනු. ඒ වගේම - මගේ අණබෙරය නැවැත්වීමට අණ කරනු..." අධිරාජයා මහ ඇමතිට කිව්වා.

---------------------------------

ඔන්න එහෙනම් අප්‍රිකානු කතාව...

කලින් කතාවෙ චීන අධිරාජයා වගේම, අප්‍රිකානු රජෙකුටත් ආසා හිතුනා ලෝකේ දිගම කතාව අහන්න. ඉතින් එයත් කරපු වැඩේ තමන්ගෙ රාජ්‍යය පුරා අණබෙරයක් යැව්වා.

කලින් වගේම එක එක දිගැති කතා අරන් කතන්දර කාරයො මාළිගාවෙ පිරුණා. එක එක දිග කතා අහන්න ලැබුණට රජාට ඒ කතා වල දිග මදි වුනා. ඉතින් අර කතන්දර කාරයන්ට සිද්ධ වුනේ තෑගි භෝග ලබන්න නෙවෙයි. දංගෙඩියට යන්න. අන්තිමේ එක කතන්දර කාරයෙක් ඇවිත් රජ්ජුරුවො කවදාවත් අහලා නැති විදිහේ කතාවක් කිව්වා.

"ඔන්න අප්‍රිකාවෙ හිටියා උබන්බාවු කියලා මිනි‍හ‍ෙක්. එයාට කවදාවත් ම බඩ පිරෙන්න කන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. මොකද, ‍කොච්චර කෑවත් එයාගෙ බඩ පිරුණෙ නැති නිසා.

http://ahfesl.free.fr/Images/
Basil_Cartoon_LNW_11.10.10.jpg

"මේ රටේ මහ රජාටවත් බෑ මගෙ බඩ පිරෙන්න කන්න දෙන්න" දවසක් උබන්බාවු කඩමණ්ඩියෙදි කිව්වා.

මේ කතාව කටින් කට ගිහින් රජමාළිගාවටත් ආරංචි උනා. රජතුමාට බොහොම කේන්ති ගියා. එයා කරපු දේ, උබන්බාවු රජ මාළිගාවට ගෙන්නුවා. 

"ඇත්තද බොල, මටවත් තොගෙ බඩ පුරවන්න බැරිය කියන්නෙ?" රජතුමා ඇහුවා. 

"එහෙමයි..." උබන්බාවු බය පක්ෂපාත කමින් උත්තර දුන්නා.

හොඳටම කේන්ති ගියපු රජතුමා, රට පුරා අණබෙරයක් යැව්වා, රටේ හැම මිනිහෙක්ම මොනවා හරි කෑමක් රජමාළිගාවට එවන්න ඕනෙය කියලා.

රජතුමාගෙ කෝපයට බයේ, රටවැසියො තමන්ට කන්න තිබුණ දේ පවා රජ මාළිගාවට එව්වා. ඒ විදිහට රජමාළිගාවෙ මිදුලෙ එකතු වුනා,

හරක් මස් කරත්ත 700
පරිප්පු කල්දේරම් පුරවපු කරත්ත 500
අල කරත්ත 600
බෝංචි කරත්ත 500
මාළු කරත්ත 800
උෟරු මස් කරත්ත 400
කුකුල් මස් කරත්ත 500
කරවල කරත්ත 500
අච්චාරු කරත්ත 200
පපඩම් කරත්ත 200
චිලි පේස්ට් කරත්ත 1 යි

රජ අණ විදිහට රජමාළිගාවෙ මිදුලෙ මේසයක් පුටුවක් තියලා උබන්බාවු ව ඉන්දෙව්වා. සේවකයන්ට කිව්වා අර කරත්ත වලින් කෑම වර්ග අරං උබන්බාවුට බෙදලා දෙන්න කියලා.

ඔන්න ඉතිං උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."

ඔහෙම කිය කියා ඉද්දි රෑ වුනා. කතන්දර කාරයා හෙටත් උදෙන්ම එන්නම් කියලා රජතුමාට වැඳලා පිටත් වුනා.

පහුවදා පාන්දරින්ම කතන්දර කාරයා ආවා. රජතුමාත් කතාවෙ ඉතුරු ටික අහන්න ඉඳගත්තා.

"ඉතින් රජතුමනි, උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."

"හරි හරි ඉතින් කියනවකො ඉතුරු ටික!" රජතුමා කිව්වා.

"ඉතින් රජතුමනි, උබන්බාවු අර එකතු වෙච්ච කෑම වලින් කරත්ත10 ක් වත් තාම කාලා ඉවර නෑනෙ. ඒ ටික ඉවර වුනාම තමා හොඳම හරිය තියෙන්නෙ." 

රජතුමා ඔළුව වැනුවා.

"ඉතින් රජතුමනි, උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."

රජතුමාත් සෑහෙන වෙලාවක් ඉවසගෙන හිටියා. මොකද එයාගෙ අණනෙ, ලෝකෙ ලොකුම කතාව කියන එක.

"... කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..." කිය කියා ඉඳලා අර කතන්දර කාරයා රෑ වෙනකල්ම කිය කියා ඉඳලා, රෑ වුනහම ගෙදර ගියා.

පහුවදා කතන්දර කාරයා මාළිගාවට ඇවිත් රජතුමා ඉස්සරහ ඉඳගෙන ආයෙම කතාව පටන් ගත්තා.

"ඉතින් රජතුමනි, උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."

රජතුමාට හොඳට හිනා ගියා. "හරි හරි..." කියලා රජතුමා කතාව නැවැත්තුවා. හිනා වෙලා හිනාවෙලා අන්තිමේ රජතුමා කතන්දර කාරයට තෑගි බෝග ගොඩක් දීලා පිටත් කළා.

ප/ලි

අටු කොටු වලින් වී ඇටේ ඇටේ හොරකම් කරන වී කුරුල්ලනුත්, උබන්බාවුත්, මහරජ වරුත්, ඇතෙක් බරට රත්තරන් පොරොන්දු වෙලා නිකං තෑගි වලින් ශේප් වෙන අධිරාජයොත්, අණබෙර කාරයනුත්, සියල්ල දැනට ජීවත් ව සිටින හෝ මියගිය, කිසිම දේශපාලනඥය‍ෙකුට, අගවිනිසොරෙකුට හෝ මාධ්‍ය කා‍රයෙකුට හෝ දක්වන කිසිම සමානත්වයක් කතා කතුවරයන් වන ජනප්‍රවාද කාරයන් අදහස් නොකරන බව තරයේ මතක් කර සිටිමි.

Thursday, July 16, 2015

ඉඳුවර දෙනෙත්... ජනකවියේ එන සුන්දර ලලනාවන්, කාලිදාසගේ මරණය, සායිබාබා සහ සිසිර කුමාර මාණික්කආරච්චි...

අද උදේ වැඩට එද්දිං අපිට ඉස්සර කරපු ත්‍රී වීල් එකක පිටිපස්සෙ ගහලා තිබුණා "ඉඳුවර දෙනෙත්" කියලා. ඒක දැකපුවාම මගෙ හිතට ආව මතක ටිකෙන් තව බ්ලොග් පෝස්ටුවක් කොටාගන්න පුළුවං කියලා හිතුණා.

"ඉඳුවර දෙනෙත්" කියන එකේ උපමාවයි උපමේයයි දෙකම තියෙනවා නේද? මං ඇහුවා ඩ්‍රැකියානිගෙන්, අර ත්‍රීවීල් එක පෙන්නලා.
"මානෙල් මල් වගේ ඇස්..."

http://2.bp.blogspot.com/-TltTumGW7YI/
UZAjcl8WHzI/AAAAAAAABE4/
MEQ7LUO5W64/s1600/Lost-In-Her-Eyes-66813.jpg

"සමහර විට ඒ ත්‍රීවීල් කාරයගෙ දරුවට දාපු නම වෙන්නැති." ඩ්‍රැකියානි කිව්වා.

"ඒක ගෑණු ළමයෙකුට නම් ගැළපෙනවා. හැබැයි නමේ හැටියට නම් පුතෙක් වගේ." මං කිව්වා. "ඔය වගන්තිය දැක්කහම මට මතක් උනේ... ඔයා දන්නවද කාලිදාස මැරුණ විදිහ?"

"කාලිදාස මැරිලා ගොඩක් කල්නෙ. අපි පාර දිහා බලාගෙන යමු නේද පරිස්සමට?" ඩ්‍රැකියානි කොහොමත් කතන්දර අහන්න එච්චර මනාපයක් නෑ.

පරණ කතන්දර වල බහුලවම තියෙන උපමාවක් තමා ගෑල්ලමේකුගෙ ඇස්දෙක හරියට මානෙල් පොහොට්ටු වගෙයි කියන එක. ඒ කාලෙ ආකර්ෂණය තියෙන්න ඇත්තෙ නිල් පාට ඇස්වලට වෙන්නැති. ඒ වගේම ගෝමර සහිත හම ලස්සනයි කියලා සම්මතයකුත් තිබුණ නෙව. අද කාලෙ නම් ගෑල්ලමයි අළුහං දුරු කරන්න බේත් නොසෑහෙන්න හොයනව.

වෙලක මහිම බල මාවී පැසීලා
පැලක මහිම බල බටකොළ හොයාලා
මලක මහිම බල අතු අග පිපීලා
ලියක මහිම බල ගෝමර ඉසීලා

මේක රාජාධිරාජසිංහ රජ්ජුරුවො කියපු කවියක් ලු.

මං පැංචා කාළෙ ඒ කියන්නෙ තුනේ පන්තියෙදි විතර, සිංහල ටීචර් අපිට කිව්වා ජනකවි ලියාගෙන එන්න කියලා. ඒකට පරණ සඟරා පෙරළද්දි මට හම්බුනේ නැතැයි "ජනකවිය තුළින් මතුවන කාන්තාව සහ ආදරය" කියලා ලිපියක්. මාත් ඉතිං ඒකෙ තිබ්බ කවි ඔක්කොම ලියාගෙන ගියා. ඒකෙ තිබ්බ කවියක් තමා ඔය උඩින් තියෙන්නෙ. ඒ වගේ තව කවියක් මට මතකයි එදා පන්ති‍ය‍ෙදි මං පොත පෙරළගෙන සද්ද නගා එහෙම කිව්වා‍.

රාමතේ මොටද මඟපෙරලුමක්  නැතී
මාවතේ මොටද යන එන අතක් නැතී
හාමතේ මොටද මිනිහෙක් සතෙක් නැතී
ජීවිතේ මොටද නෑනා කෙනෙක් නැතී
(කියපු එකාගේ සහමුල රෙදිත් නැතී)

මදැයි මානෙල් වගේ ඇස් ගැන කියන්න අැවිත් නෑනෙක් ගාවින් නතර උනා...

මාත් ඉතිං ඩ්‍රැකියානි කියාපු කතාව ගණන් නොගෙන කාලිදාසගෙ කතාව කියාගෙන ආවා දිගටම.

කාලිදාස ලංකාවෙ කුමාරදාස කියලා රජකෙනෙක් එක්ක තදබල මිතුරුකමක් පැවැත්තුවා කියලා තමා කතාවෙ තියෙන්නෙ. හොඳ කවියෙක් වෙච්ච කුමාරදාස රජතුමා තමයි ජානකීහරණය ලිව්වයි කියන්නෙ, රාමායණය ඇසුරින්. ලංකා ඉතිහාසයෙ හැබැයි කුමාරදාස කියලා රජකෙනෙක් නෑ. උගත්තු නම් කියන්නෙ කුමාරධාතුසේන රජතුමා තමා මේ කියන කුමාරදාස රජතුමා කියලා.

සැරයක් කාලිදාස ලංකාවෙ ඇවිත් තියෙනවා තමන්ගෙ යාළුවා හම්බවෙන්න. ඒ ආ ගමන එයාගෙ අන්තිම ගමන වෙලා තියෙන්නෙ මෙහෙමයි.

කුමාරදාස රජ්ජුරුවො ජනපදකල්‍යාණියක් හම්බවෙන්න ගිහින් එයා එක්ක පුරුෂකෘත්‍යය කරලා (ඒ වචනෙ අල්ලගත්තෙ උම්මග්ග ජාතකයෙන්.) ඇළවෙලා ඉන්න ගමන් බිත්‍තියෙ කවි පද දෙකක් ලිව්වාලු.

"පුෂ්පේ පුෂ්පෝත්පත්තිහ්
ශ්‍රෑයතේ නච දෘෂ්‍යතෙ..." කියලා. ඒකෙ තේරුම තමා,

"මලකින් මලක් උපදියි
ඒ බවක් අහලවත් දැකලාවත් නැත..."
මේ කවිය රජතුමාගෙ හිතේ පහළ වෙන්න ඇත්තෙ ජනපදකල්‍යාණිගෙ සුන්දර රූපය දැකලා වෙන්න ඇති.

කවියට යටින් රජතුමා මෙහෙමත් ලිව්වලු.
"මෙහි අනිත් පද දෙක සාර්ථකව ගළපන්නාට කහවණු දහසක් දෙමි. මීට කුමාරදාස රජු."

පස්සෙ දවසක කාලිදාසත් ඔය ජනපදකල්‍යාණි ගාවට ගිය වෙලාවක, මේ කවිපද දෙක දැකලා, ඊට යටින් මෙහෙම ලිව්වලු.

"...බාලේ තව මුඛ්‍යාම්භෝජෙ
නේත්‍රෙ ඉන්දීවර ද්වයම්"

ඒකෙ තේරුම තමා,
"තරුණිය, ඔබේ මුහුණ නම් නෙළුමෙහි
නෙත් නම් මානෙල් මල් දෙකක් වේ..." ඒකෙන් අර රජතුමා අදහස් කරපු කාරණය පැහැදිලි වෙනවා.

https://sweetmfkhan.files.wordpress.com
/2014/02/devdas-dilip-kumar.jpg
ජනපදකල්‍යාණි හිතුවලු මේ යකාට මොකටද කහවණු දාහක් දිනාගන්න දෙන්නෙ, මංම ‍ඒ තෑග්ග ගන්නවා කියලා. කාලිදාස මත් වෙලා හරි මහන්සි වෙලා හරි නින්දට වැටුණට පස්සෙ උන්දැව මරලා හංගලා, රජ්ජුරුවන්ට කවිය ඉදිරිපත් කළා ලු.

රජ්ජුරුවන්ට එකපාරටම තේරුණාලු කාලිදාසගෙ තමයි මේ කවිපද දෙක කියලා. පොර ජනපදකළ්‍යාණිට දඬුවම් කරලා, කාලිදාසගෙ දේහය හොයාගෙන, රජ්‍ය ගෞරව ඇතුව ආදාහණය කළාලු. ආදාහණය කරද්දි, තමන්ගෙ ශෝකය දරාගන්න බැරුව කුමාරදාස රජ්ජුරුවොත් අර චිතකයටම පැනලා දිවිනහගත්තයි කියනවා.

මට මතක හැටියට සිසිර කුමාර මාණික්ක ආරච්චිගෙ පොතක තිබුණා, "ඉංදියාවෙ ඉඳං ලංකාවට ඇවිත් ගණිකා නිවාසෙකට රිංගලා මරලා දාපු කාලිදාස කවියා..." වගේ කියමනක්. මතක් වුනාට එකතු කළේ. උන්නැහැ මාර විදිහට නිදහස් චින්තනයකින් ලියපු කෙනෙක්. සැරයක් මතකයි, සායිබාබගෙ පතුරු ඇරලා තිබුණා. ඒ පරිච්ඡේදෙ මෙහෙමත් තිබුණා.

//"අටවක දා සායිබාබාගේ ඇඟට තදින් උණ ගැනේ. මන්ද එතුමා එදින රන් ශිවලිංගයක් වමාරන හෙයිනි." කියා අහවල් පොතේ තිබුණේය. ඒක නම් ශිවාගම්කාරයෙකුට හරිම ජොලියක් එන කතාවකි. සායි බාබා, විෂ්ණුගේ දහ වන අවතාරය හෙවත් කල්කි අවතාරය බවත් මේ පොතේම තිබේ. "එතකොට අපේ ශිව දෙයියංගේ අහවල් එක තොපේ විෂ්ණූ දෙයියංගේ කටේ නේද?" කියා ශිවාගම් කාරයෙකුට අහන්නට පුළුවං ය. එක දෙයියෙකුගේ කුණුහරුප කාරණාව තව දෙයියෙක් ගෙ කටේ තිබීම...//

තවත් පොතක උන්නැහැ වදන් කවිපොතේ කවියක් අන්තිම පදේ වෙනස් කර සඳහන් කර තිබුණා.

"සිද්ද කිහිරැලි සමන් බොක්සැල් - විභීෂණ සිව් වරම් රජ නිති
සිද්ද මහබඹු ශක්‍ර ඉසිවර - කතරගම දෙවියනුත් සිත රුති
සිද්ද පත්තිනි දොළහ දෙවියෝ - භද්‍රකාලී දේවි ගණපති
සිද්ද සිරිලක මෙහැම දෙවියෝ - කරන මඟුලක් කරනු යහපති"

මං මීට කලින් කාලිදාස ගැන කතාවක් ලිව්වා. ඒ පාර තවත් ‍ඒ වගේ කතා තියෙනවනම් දාන්න කියා කීපදෙනෙක් කියලා තිබ්බා. ඔන්න පොරොන්දු ඉටුකරන සංවර්ධන ලොතරැයිය වගේ (කොපිරයිට් - රවි) තවත් සංස්කෘත කවි කතාවක් ලිව්වා එහෙනං...



Thursday, July 9, 2015

බාප්පගෙ කතන්දර - 3 කොටස...

නරියා ලබු ඇටේ හිටෙව්වෙ ලිප් බොක්කෙ. ඌ ඒකට වතුර දැම්මෙ නෑ. චූ කළා විතරයි. ඉතිං යූරියා ගතියටයි, ලිපේ තිබ්බ අළු වලටයි, ඒ ලබු ඇටේ හොඳ සරුවට වැවිලා මහ බර සාර වැලක් හැදුනා. නරියා ඒ ලබු වැල දිගේ උඩට නැගලා යෝධයෙක්ගෙ මාළිගාවකට ගියා. 

“එතන උගෙ ආච්චි හිටියා...!” (බාප්පගෙ කතාව අහගෙන ඉඳලා ඉඳලා බැරිම තැන පුංචි මැද්දට පැන්නා.)

(ඔන්න ඔහොමයි කලින් කතාව නතර උනේ... අද එතැන් සිට. කලින් කොටස් දැකපු නැති උදවියට ලිංක් එක පහළින්.)

1. කොටස
2. කොටස

බාප්පත් නැවැත්තුවෙ නෑ කතාව. පුංචි‍ගෙ කමෙන්ට් එකෙන්ම ආයෙ පටං ගත්තා.

ඒ මාළිගාවෙ උගෙ ආච්චි හිටියා. නරියා ඒ ආච්චිව එළවලා දාලා, ආච්චිගෙ ඇඳුම් ඇඳගෙන නිදන කාමරේට වෙලා හිටියා රතු හැට්ටකාරි එනකල්. ඒ වුනාට ආවෙ යෝධයා. නරියෙක් ගෑණු ඇඳුම් ඇඳගෙන ඉන්නවා දැකලා, ඌට පිස්සු කියලා හිතලා, යෝධයා ඌට ගහල එළෙව්වා. නරියා මාළිගාවෙන් එළියට දුවද්දි නිල් සායම් බාල්දියකට වැටුණා.

http://www.styrorail.ca/images/bluefox.jpg

නරියගෙ මුළු ඇඟම නිල්පාට උනා. ඌ ඒපාර ආපහු කැළේට ගිහිං සත්තුන්ට කිව්වා මාව එව්වෙ විෂ්ණු දෙයියො කියලා. මේ කැළේ ඉන්න අහිංසක සත්තු මරාගෙන කන කොටියව එළවලා දාන්න මාව එව්වෙ කිව්වා. සත්තු ටික මේ නිල් නරියව තමන්ගෙ රජකමට පත් කර ගත්තා. නරියා කැළේ හැම වැදගත් වැඩකටම දාගත්තෙ නරි. සේනාපති කමට විතරක් වයසක පහේ කළවැද්දෙක්ව වළහෙක්ව දාගත්තා. මේ වළහා ගිහිං අර කොටියව මරළා දැම්මා. ඒ ගමන නිල් නරියයි අනිත් නරියි කියන්න ගත්තා අන්න විෂ්ණු දෙයියො එවපු අපේ මහරජතුමා ගෙ නායකත්වයෙන් කොටියව මරලා දැම්මයි කියලා.

දවසක් නිල් නරියා හොඳටම බීලා, තමන්ගෙ අතවැසි උෟරෙකුට තමන්ගෙ බල පරාක්‍රමය පෙන්නන්න හිතා ගත්තා. නරියයි ඌරයි යන පාරෙ හම්බවෙච්ච හැම එකාගෙන්ම අහන්න ගත්තා මේ කැළේ මහරජා කවුද කියලා.

ඉස්සෙල්ලම හම්බුනේ කටහැකර උරුලෑවෙක්. උගෙන් නරියා ඇහුවා, "ඈ බොල... කවුද මේ කැළේ මහරජා?"

"ඔබ තුමා, ඔබතුමා..."උරුලෑවා ‍පාරෙං ෂේප් උනා.

ඊළඟට හංසයෙකුයි අලියෙකුයි එකට හම්බුනා. නරියා උංගෙනුත් අර ප්‍රශ්නෙම ඇහුවා. "ඔබතුමා අපිට රජෙක්...!!!" කියන්න හංසයා කට අරිද්දිම, අලියා නරියව හොඬවැලෙන් උස්සලා වීසි කොළා.

හංසයා ක‍ැළේ රජ උනා. අලියා මහ ඇමති උනා. කළවැද්දට නාකි වළහට වෙල්විදානෙ කම දුන්නා. නිල් නරියා ඇරෙන්න අනිත් නරි සෙට්එකටයි උරුලෑවටයි ඇමතිකම් උප ඇමතිකම් දුන්නා.

රජකම බැරිනං මට ඇමතිකම හරි දියව්. ඒත් බැරි නං රජවාස‍ලේ සේවක කමක් හරි දියව් කිය කියා නිල් නරියා හූ කියන්න ගත්තා. කැළේ හිටිය අනිත් සත්තු ටිකට නරියන්ව කොච්චර එපා උනාද කියතොත්, උං නරි එකෙක් නොතියා කැළෙන් එළවලා දැම්මා.

ඔය අතරෙ මහඇමති  අලිය හම්බවෙන්න අන්ධයො සෙට් එකක් ආවා. උං එක එකා අලියව අතගාලා බලලා අලියා මේ වගෙයි, නෑ අලියා මේ වගෙයි කියන්න ගත්තා.

අලි කකුල් අතගාපු එකෙක් කිව්වා වංගෙඩියක් වගෙයි කියලා.
අලියගෙ කණ අතගාලා තව‍ එකෙක් කිව්වා කුල්ලක් වගෙයි කියලා.
තව එකෙක් උගෙ වලිගෙ අල්ලලා කිව්වා කොස්සක් වගෙයි කියලා.
තව ත් අන්ධයෙක් උගෙ බඩ හරිය අල්ලලා කිව්වා බැරල් එකක් වගෙයි කියලා,
අලියා හෙල්ලක් වගේනෙ, දළ දෙක අහුවෙච්ච අන්ධයෙක් කිව්වා.
නෑ මූ ලොකු වතුර බටයක් වගෙයි කිව්වා තව එකෙක්, උගෙ හොඬවැල අල්ලගෙන.

http://inquiry111westminster.wikispaces.com
/file/view/blindmenandelephant.jpg/
163983601/blindmenandelephant.jpg
ඊටපස්සෙ ඔය අන්ධයො ටික කැඳහැලියක් උයන්න පටන් ගත්තා. ලොකු වතුර මුට්ටියක් ලිපේ තියලා, ඒකට එක එකා හාල් මිට ගානෙ දාන්න පොරොන්දු වුනා. මුට්ටිය හොඳට නටාගෙන එද්දි, අන්ධයො ටික හාල් දාන්න අතපත ගගා ගිහිං, මුට්ටියෙ හැප්පිලා මුට්ටිය පෙරළිලා බිඳුනා. අන්ධයො ටික උණු වතුරට හොඳටම පිච්චුනා.

ඔය අතරෙ රයිගමයා ගම්මිරිස් කොළ වගයක් කදක පුරවාගෙන වෙළඳාමෙ ගියා ගම්පොළ දිහාවට. ගම්පොළයා කිතුල් ඇට වගයක් කදක පුරවාගෙන රයිගම දිහාට වෙළඳාමෙ ගියා.

ඉතිරි කොටස ළඟදීම...

Tuesday, June 30, 2015

සාතිශය සංවේගය...

සිනමාවේ පරමාදර්ශී පෞරුෂයන් කීපයක්ම සමඟිනි, මා ගැටවර විය පසු කළේ. ඒ අතර, මුලින්ම මාගේ මනසට ඇතුලු වූයේ El Cid හි චාල්ටන් හෙස්ටන් ය. එම චිත්‍රපටයේ ඔහු දැක්වූ රංගන කුසලතාවය සහ මහා පෞරුෂය ඉන් පසුව මාහට Ben Hur, 10 Commandments, True Lies, වැනි චිත්‍රපට වලින් හමු වූ අතර, මා අවසාන වරට නැරඹූවේ ඔහු Planet of the Apes චිත්‍රපටයේ කළ සාමාන්‍ය චරිත නිරූපණයයි. චාල්ටන් හෙස්ටන් මියගිය පුවත මා දුටු විට, ඇත්තටම දැනුනේ මාගේ පියා අහිමි වූ විට ඇති වූ හැඟීමයි.

http://www.karwansaraypublishers.com/
pw/site/assets/files/5120/el-cid.jpg

දෙවනුව මාගේ මනසට ගොඩවූ චරිතාංග නළුවා වූයේ බටහිර ගොපළු සිනමාවෙන් මතු වූ නමක් ගමක් නැති හුදෙකළා දඩයක්කාරයා ය. අති විශිෂ්ඨ නළුවෙක් සහ අධ්‍යක්ෂ වරයෙක් වූ ක්ලින්ට් ඊස්ට්වුඩ්, ඔහුගේ මානවීය ගුණාංග මැනැවින් ඉස්මතු කළේ, Unforgiven වැනි පසුකාලීන සිනමා නිර්මාණ තුළිනි.

http://www.movingimage.us/images/
calendar/media/Unforgiven_1992_5_lowres-detail-main.jpg

තෙවනුව, ගැටවර වියේ පසුවූ මාගේ සිත අරක් ගත්තේ බාබේරියානු කෝනෑන් වූ ද, කෙළවරක් කරන්නට අනාගතයෙන් පැමිණි රොබෝ වරයෙකු වූ ද ආනෝල්ඩ් ෂ්වෝට්සෙනෙගර් ය. ක්‍රියාදාම, පවුලේ කථා, විකට චරිත වැනි පුළුල් පරාසයක රංගන ප්‍රතිභාවක් ප්‍රකට කළ ඔහුගේ, මා වඩාත් ම ප්‍රිය කරන්නේ (තවමත්) True Lies සහ Last Action Hero හි දැක්වූ චරිතාංග කළවමයි.

http://images2.cinema.de/imedia/0227/
1890227,3xi6zTx_hymqGeTDzJ9JmG0fe
WbeE2OkkolngvzaAlssgy48osdIEnwqc
JFJ7RUv21bLezPOdtU5J1RRBADAdQ==.jpg

මේ සියල්ල අතර, එක් නළුවෙක් පමණක් පෙනුමෙන්, කඩවසම් සිරුරින්, කටහඬින්, සියල්ලටමත් වඩා - දුෂ්ටයෙකු වීමට දැක්වූ නිර්භීත බවින් මාගේ පෞද්ගලික තරාගත කිරීම් වල ඉහළින්ම සිටියි. ඒ වෙන කිසිවෙකුත් නොව, මාගේ බ්ලොග් අඩවියේ මුහුණුවර සැරසූ, ක්‍රිස්ටෝෆර් ලී ය. රිදී තිරයේ වීරයෙකු වීමට වඩා, දුෂ්ටයෙකු ලෙස ඉස්මතු වීමෙන් කීර්තියට පත්වීම මා ඔහුගේ දකින විශිෂ්ටතම ගුණාංගයයි. ඔහු පණහේ දශකයේ රඟපෑ ඩ්‍රැක්‍යුලා චිත්‍රපට එහි ඇති දිළිඳු බව නිසා ම දැන් දකින විට සිනහ පහළ වූවත්, එයින්ම ඔහු රිදී තිරයේ පුරාවෘත්තයක් බවට පත් වූයේය.

http://vignette3.wikia.nocookie.net/
dracula/images/3/35/Url.jpg/revision
/latest?cb=20130421135630

James Bond චිත්‍රපටයක රන් පිස්තෝලය දරන මිනිසා, Star Wars චිත්‍රපට මාළාවේ ඩූකූ සිටුවරයා, Lord of the Rings හි සරුමාන්, වැනි ප්‍රකට දුෂ්ට චරිත මෙන්ම, Charley and the Chocolate Factory හි විලී වොන්කා ගේ පියා ගේ චරිතය වැනි ජ්‍යෙෂ්ට චරිත ද නිරූපණය කිරීමෙන් මොහු තම පුළුල් පරාසයක පැතිරි හැකියාවන් පෙන්වා තිබේ.

ඩ්‍රැක්‍යුලා මිය ගිය වග මා දැනගත්තේ මධුමදාවියාගේ කවිකොලයේ කැමරාවෙන් එහා ලෝකයෙන් ආ කමෙන්ටුවකිනි. මේ තරම් කල් ගොසින් වුවද, එම ආරංචිය මා දැනගත් විට, මුලින් චාල්ටන් හෙස්ටන් ගේ අභාවය දැනගත් විට ඇති වූ හැඟීමටම ආසන්න හැඟීමක් මා තුළ ඇති විය.

කාලයකින් නොලියා සිටිය ද, ලියන්නට කොතෙකුත් දෑ තිබුණ ද, මාගේ රෝල් මොඩලය වූ ක්‍රිස් ලී ගේ අභාවය වෙනුවෙන් යමක් නොලියා සිටින්නේනම් මා මහ ගුණමකුවෙකි. එහෙයින්...,

ඩ්‍රැක්‍යුලාගේ අභාවය වෙනුවෙන් ඩ්‍රැකී ජූනියර් ගේ සාතිශය සංවේගය මෙසේ පළ කර සිටිමි...

ප/ලි

ටෝනි, වතුර (ජෝ) අබේවික්‍රම, ගාමිණී යන අය මෙම ලියවිල්ලෙන් මඟ හැරියේ කුඩා / මහත් භේදයක් නිසා නොව, ලියවිල්ලේ ආවේගය නිසා බව කරුණාවෙන් සළකන්න...

Wednesday, June 10, 2015

බාප්පගෙ හේනෙ විත්ති... ගජබින්නාලංකාරයෙන්

අපේ බාප්පා, කන්තලේ වගා කරන කාලේ වෙච්ච සිදුවීම් ගැන මීට කලින් ගජබින්නාලංකාරයෙන් කියවලා ඇතිනේ. මේ ත්, ඒ දවස් වල වෙච්ච සිදුවීමක් මයි. මට මේ කතාව මතක් උනේ මැංචෝසන් චාරිකා කියන හස්තසාර, භූගර්භ සාරගර්භ පොත් වහන්සෙ කියවං යද්දි.

බාප්පා වගා කරපු හේනට නිතර ඇවිත් ගිය කෙනෙක් තමා කටුරොද අදිරියං ආතා. කාලයකට කලින් හොඳ ගොවිරාළ කෙනෙක් වෙලා හිටිය එයා, තමන් වගේම සූර වීර ගොයියෙක් වුණ අපේ බාප්පත් එක්ක කතා බහ කරන්න නිතර නිතර එහෙ ආවා ගියා.

මේ කාලෙ බාප්පගෙ හේන අවට කැලේට මහ කරදරකාර වඳුරු සෙට් එකක් බෝ වෙලා තිබුණා. මුං හේනෙ තිබ්බ කිසිම බෝගෙකට වඩා ආසා කළේ, බාප්පා උයන කෑම වලටයි. බාප්පා ඔය තලප ටිකක්, රොටි දෙක තුනක් හදලා, හේනෙ පැලේ තියලා, පහළ දොළට ගිහිං නාගෙන එද්දි ගිණි සැරේට බඩගින්න වැඩි වෙනවා. දොළ පාරකින් නාගෙන හුළං වැදීගෙන එද්දි ඇති වෙන බඩගින්න ඉතිං අමුතුව‍ෙන් කියන්න දෙයක් යැ. (අර ජය ශ්‍රී බෑන්ඩ් එක කියන්නෙ, “මඤ්ඤොක්කා ටික ලිපේ ඉදෙන්නා - පොල් සම්බෝලෙත් සැරට කොටන්නා - දොළේ පැනල නාගෙන එනකොට මට - සිහිල් සුළං වැදි හිරිගඩු පිපුණා...“ කියලා)

ඉතිං ඔහොම ගිණි සැරේට බඩගින්නෙ “යමං පැළට - අද දෙන්නං“ කියලා හිත හිතා, එන බාප්පට යකා ආවේස වෙන්නෙ අර හදල තිබුණ කෑම ටික ට වඳුරො වැඩේ දෙනව දැක්කහමයි. බාප්පා පැළට ළං වෙනකොට අන්තිම කෑල්ලත් කටේ දාගෙන වඳුරො ටික “අහික් - හික් හික්“ ගගා ගස්වලට පැන ගනිද්දි බාප්පට ඉතිං මතක් වෙන්නෙ වඳුරු කුණුහරුප තමා. (“පලා රික“ එවැනි එක් වඳුරු කුණුහරුපයකි.)

http://www.tattoo-wallpapers.com/user-content/
uploads/wall/o/30/funny_monkeys_tattoo.jpg
දවසක් බැරිම තැන මේ ගැන බාප්පා අර අදිරියං ආතත් එක්ක කතා කළා. ඊට පස්සෙ දෙන්නම එකතු වෙලා වඳුරන්ට හොඳ උගුලක් ඇටෙව්වා.

පෙරේත වඳුරන්ට අටවන උගුල - 

මුලින්ම වඳුරන් ඉතාම වැඩියෙන් කන කෑම ජාතිය සෑහෙන පමණ සාදාගන්න. එසේ කෑම පිසිද්දී, අමු මිරිස්, ගම් මිරිස්, නයි කොච්චි, පොළොං කොච්චි, පිඹුරු කොච්චි, මාපිල් කොච්චි, කුණකටු කොච්චි ආදී සැර කාරක ඉතාම යහමින් යොදා ගන්න.

වඳුරු රැලේ ඉන්නා වඳුරන් ප්‍රමාණය ගණන් බලා, උන් එකාට එක බැගින්වත් වන සේ සවි ශක්තිය හා බර ඇති පොළු කපාගෙන පැළේ මැද ගොඩ ගසන්න.

කෑම ටික වෙනදා මෙන්ම පැළේ වසා තබා, දොළට නාන්න යන්න.

බාප්පා මේ විදිහට කුරහං රොටි සෑහෙන ප්‍රමාණයක් හැදුවා. රොටි හදද්දි පිටි අනන්න තෙලිජ්ජ ටිකකුත් ගත්තා. (රොටි මිශ්‍රණය තෙලිජ්ජෙන් ඇනුවහම, ඒ තෙලිදිය රොටිය පුච්චන වෙලාව වෙනකොට රා වෙලා.)

පස්සෙ දෙන්නම ගිහිං දොළෙන් නාගෙන හිමින් හිමින් ආවා. ඇවිත් බලනකොට, පැල මැද්දෙ වඳුරො රංචුවම වැටිලා ඉන්නවා ඔළු පළාගෙන. බාප්පට හිනාව නවත්තගන්න බැරි වුනා වෙලා තිබුණ දේ දැකලා.

වෙලා තිබුණෙ මේකයි: වඳුරො ටික රොටි ටිකට උඩ පැන පැන වැඩේ දීලා. ඒවට කළවං කරලා තිබුණු රා වල ආතල් එකට කෑවට, නයි මිරිස් සැර උන්ට දැනෙන්න ගත්තෙ ටිකක් වෙලා කනකොටයි. මිරිස් සැරට ඉහමොළ රත්වෙලා ගිය වඳුරො ටික අතට අහු වෙච්ච පොලු වලින් එකා එකාට හිතූ පදමෙ නෙලාගෙන. වඳුරො රංචුවම අන්තිමේ මැරිලා.

බාප්පටයි අදිරියං ආතටයි එදා වඳුරු මස් එක්ක රොටි කන්න පුළුවන් වුනා. (පස්සෙ උන් දෙන්නත් අර පොලු වලින් ගහගත්තද කියලා නං බාප්පා කිව්වෙ නෑ.)

තව දවසක්දා ඔය අදිරියං ආතා බාප්පගෙන් විටක් ඉල්ලගෙන කොටද්දි, එයා දන්නෙම නැතුව විට හෙප්පුවෙ තිබුණු පළතුරු ඇට වගෙයක් වැටිලා විට කොටන වංගෙඩියට.

ටික දවසකින් හේනෙ පැල අයිනෙ පොඩි පැළයක් හැදුනා. කුවුරුවත් කවදාවත් දැකලා නැති ජාතියක පැළයක්. බාප්පත් මේක ගළවලා විසි කරන්නෙ නැතුව හැදෙන්න ඇරියා. ටික කාලෙකින් කවුරුවත් දන්නෙ නැති විදිහෙ ගහක් හැදුනා. ඒ‍ක‍ෙ ගෙඩිත් හැදුනා, සෑහෙන තරමෙ හකුරු ගෙඩියක් විතර ඇති ගෙඩියක්. මේ මොකද්ද කියලා බලන්න බාප්පා එක ගෙඩියක් කඩලා දෙකට පැලුවා. ඒ ගෙඩියෙ පිට පොත්ත හරි ගණකමයි. දෙකට පැළුවහම මැටි කෝප්පයක් වගෙයි. ඒක ඇතුළෙ, එක එක ජාතියෙ පළතුරු පොඩි පොඩි කෑලි කළවම් වෙලා තිබුණෙ. අන්නාසි, කෙසෙල්, ගස් ලබු, අඹ, මුද්දරප්පළම්, රට ඉඳි, කොමඩු ආදී වශයෙන්... ඒ කියන්නෙ, ඒක කොටිම්ම ෆෘට් සැලඩ් ගෙඩියක්. ඒ ගහ හැදිල ඇත්තෙ අර එදා අදිරියං ආතා විට කාලා කෙළ ගහපු තැනක.

Thursday, May 28, 2015

අමනදීපේ කතාවක්...

ඕං එකෝමත් එක කාලෙක තිබ්බා අමනදීපේ කියලා රටක්. ඒකෙ රජකම් කළේ මහා අමනෝඥ මහ රජතුමා.

http://i.ytimg.com/vi/TmQKihNpsHk/hqdefault.jpg

දවසක්දා එතුමට අහන්න ලැබුණා, මීට කලින් හිටිය එක රජෙක් එතුමන්ගෙ බලපරාක්‍රමය ගැන කියලා තිබුණ කතාවක්.

"දැං ඉතින් මට කොරන්න බැරි රෑ දවල් කොරන එකත්, දවල් රෑ කොරන එකත් විතරයි..."

'ඒ රජා වගේද මං? මං ඕක කොහොම හරි කරනවා' කියලා හිතාගත්ත මහා අමනෝඥ මහරජතුමා, රටවැසියන්ට ආඥාවක් පැණෙව්වා.

අද පටන් අමනදීපේ සියළුම වැසියන් පස්වරුව පෙරවරු කියාද, පෙරවරුව පස්වරු කියාද වෙනස් කරගත යුතුයි. රටවැසියන්ගේ සියළුම කටයුතු ඒ අනුව වෙනස් කළ යුතුයි.

"ඒක නෙවෙයි කරනවනං..." නාකි පුරෝහිත කෙනෙක් ආඥාව ලියවන අතරෙ මහරජාගෙ කණට කරලා කිව්වා: "රටේ බඩුමිල හොඳටම වැඩිවෙලා. ඒකට පිළියමක් කරනවනං හොඳයි නේද?"

"ඇත්ත නේන්නං." මහරජා කිව්වා. "ඕකටම මේකත් ලියාපිය..."

අදපටන් අමනදීපේ තුළ විකුණන සියළුම භාණ්ඩ වල මිල රුපියලක් විය යුතුයි.

එදා පටන් අමනදීපෙ මිනිස්සු රෑට වැඩ කළා, දවල්ට නිදාගත්තා.

"අපේ රට ‍ලෝක ප්‍රසිද්ධ වෙන වැඩක් මේක. කාටද පුළුවන් වුනේ දවල් රෑ කරන්නයි, රෑ දවල් කරන්නයි. දැන් මහ රටවල එවුන් හරි තරහෙන් ඇත්තෙ අපේ මහ රජ්ජුරුවො එක්ක" මහරජා වටේ හිටපු උං ප්‍රශස්ති හදලා ගායනා කළා හන්දියක් හන්දියක් ගානෙ.

දවසක් වෙන රටක ගුරුවරයෙකුයි ගෝලයෙකුයි අමනදීපෙට ආවා. ඇවිත් කෑම කන්න තැනක් හොයාගන්න සෑහෙන්න මහන්සි වුනා. මොකද, යන යන තැන කඩ, සාප්පු, ගෙවල් දොරවල් හැම එකක්ම වහලා. සත්තු පවා ගාල් වල නිදි.

හැබැයි ඉර බැහැගෙන ගියාට පස්සෙ මිනිස්සු අවදිවෙලා, දත කට මැදලා, මූණ හෝදලා, කඩ සාප්පු අරින්නයි, කුඹුරු වැඩ ආදිය පටන් ගන්නයි වුනා. ගුරුවරයටයි ‍ගෝළයටයි හරි පුදුමයි මේක දැකලා. පුදුම වෙවී ඉන්නැතුව දෙන්නා ළඟම තිබුණු හෝටලේට ගිහිං, බඩ දිගඇරෙන්න කෑවා, මොකෝ, දවසක්ම බඩගින්නෙ නෙ හිටියෙ.

දෙන්නට තරු පෙනුනෙ බිල දැක්කහමයි. දෙන්නා කාපු කෑම බීම ඔක්කොටෝම බිල වුනේ, රුපියලයි.

"මේ රට නම් තවත් ඉන්න හොඳ තැනක් නෙවෙයි" ගුරුන්නාන්සෙ ගෝළයට කිව්වා. "මේක මෝඩයින්ගෙ රටක්. දැනට කොයි හැටි වෙතත්, අන්තිමේ මොන මොනව වෙයිද දන්නෑ. අපි ඉක්මණටම වෙන රටකට ගියොත් තමා හොඳ."

"ගුරුන්නාන්සෙ යන්න. මට නම් මේරට හොඳා." ගෝළයා කිව්වා. මොකද, රුපියලකට බඩ පිරෙන්න කෑව හැකිනම්, වෙන රස්සාවක් මොකටද?

ගුරුතුමා කොච්චර කිව්වත්, ගෝළයා කැමති වුනේ නෑ අමනදීපෙ දාල යන්න. ඉතිං ගුරුතුමා පහුවදා උදෙන්ම අමනදීපෙන් පිටවුනා.

ගෝළයා අමනදීපෙ කාලසටහනට හුරු වුනා. දවල්ට නිදාගෙන ඉඳලා, රෑට හෝටලේකට ගිහිං බඩ පිරෙන්න කනවා. දෑතෙ රස්සාවක් නොකර කකා බිබී හිටිය නිසා ගෝළයා අපේ විපක්ෂ නායක වගේ තරබාරු මිනිහෙක් උනා.

දවසක් දවාලක හොරෙක් ගෙයක් බින්දා. ගෙදරක බිත්තියට අවලංගුවෙන් පාරවල් දෙකයි ඇන්නෙ, බිත්තිය කඩාගෙන වැටුනා හොරාගෙ ඇඟට. හොරා මළා. හොරාගෙ අයියා පැමිණිලි කළා මහරජාට.

"මගෙ බාල මල්ලි හොරෙකි. එයා රස්සාව කරන්න ගමේ හිටපු පෝසත්ම මිනිහගෙ ගෙදර බිත්තියකට ඇන්න පාර, බිත්තිය කඩා වැටී මල්ලි මළා. මේ මරණෙට වගකිව යුතු ගෙදර අයිතිකාරයාට දඬුවම් පමුණුවන්න"

පැමිණිල්ල විභාග කරන්න මහරජා, විත්තිකාර පෝසත් මිනිහව කැඳෙව්වා.

"අනේ මහරජතුමා, මං නිර්දෝශයි. බිත්තිය කඩං වැටුණෙ ඒක දුර්වල විදිහට බැඳපු මේසන් බාස්ගෙ වරදින්" පෝසතා කිව්වා. මහරජා මේසන් බාස් කැ‍ඳෙව්වා.

"අනේ මහරජතුමා, බිත්තිය දුර්වල විදිහට බැඳුනෙ අනපු බදාමවල වරදින්. මගෙ ගෝළයා තමා වැරදිකාරයා." මහරජතුමා ඒකත් පිළිගත්තා. ගෙන්නුවා ගෝළයව.

"මගෙ නෙමෙයි වැරැද්ද. බදාමෙට වතුර වැඩි උනා. වතුර වක්කරපු කළේ කට ලොකුයි. කළේ හදපු කුඹලා තමයි වැරදි."

"හැබෑ නේන්නම්" මහරජතුමා කිව්වා. "ගේනවා කුඹලව...!"

"මං කළේ සකපෝරුවෙ හදද්දි, තරුණ ගැටිස්සියෙක් ඒ ළඟින් ගියා. එයා දිහා බලපු නිසයි කළේ කට ඇද වුනේ."

"හැබෑට? ගෙන්නපිය තරුණ ගැටිස්සි...!" මහරජා තොළකට ලෙවකෑවා.

ඒ කාලෙ ගැටිස්සි දැන් වයසයි. "අනේ මහරජතුමෝ. මගෙ රත්තරන් බඩු හදල දෙන්න ජුවෙලරිකාරයෙකුට දුන්නා. එයා නියම දවසට ඒක හදල දුන් නෑ. එයා තමයි ලොකුම වැරදි කාරයා. " ආච්චි අම්මා වැඳ වැටුණා.

"වෙලාවට බඩු හදල දුන්නෙ නැති ජුවෙලරිකාරයව මෙහෙට ගෙන්වනු!" මහරජා අණ කළා. "ඔහේ දැන් යනවා..." රජතුමා අහක බලං, ආච්චි අම්මට කිව්වා.

ජුවෙලරිකාරයා රාජසභාවට ඇවිත් වටපිට බැලුවා. "ආ... මේ ඉන්නෙ." එයා අර පෝසතාව පෙන්නුවා. "මේ මහත්තයගෙ මඟුල් ගෙදරට බඩු හදන්න තිබුණ නිසා තමයි අර ආච්චිගෙ රත්තරන් බඩු ‍හදල දෙන්න පරක්කු වුනේ."

"බේරෙන්න හැදුවෙ නේද?" මහරජා දත්මිටි කෑවා. "මං ඉන්නකම් වැරදිකාරයන්ට බේරිලා යන්න බෑ. උලතියනවා මෙයාව."

"අනේ රජතුමා, මං නෙවෙයි ඒ රත්තරන් බඩු ඕඩරේ මෙයාට දුන්නෙ."

"එහෙනම් කවුද?"

"අ.. අ.. අපේ තාත්තා..."

"ගෙනාපිය මුගෙ තාත්තව. අදම උලතියාපිය"

"පොඩි කේස් එකක් ඇත මහරජ..." දණ්ඩනායක මහරජතුමාට කිව්වා. "අපේ උල මොට්ට වෙලා..."

"ඉතිං හදාපිය අලුත් එකක්. ගෙනල්ල උලතියාපිය මුගෙ අප්පව. මං ඉන්නකම් කාටවත් වැරදි කරලා බේරෙන්න බෑ, අපෙ හාන්දුරුන්නේ, ප්‍රොජාචන්ච්‍රවාදය තියෙනවා..." මහරජා පපුවට ගහගත්තා.

රාජපුරුෂයො හැදුවා අලුත් උලක්. ඒත් කරුමෙ කියන්නෙ, අලුත් උළ මහත වැඩියි. පෝසතාගෙ තාත්තා උලටත් වඩා කෙට්ටුයි.

මේ කාරණේ රජතුමාට සැළ කළාම රජතුමා ඔළුවෙ අත ගහගත්තා.

"අපි මේ රටේ ඉන්න මහතම මිනිහව අල්ලලා උළ තියමු" රාජකීය පුරෝහිත අමනවංශ රජතුමාට උපදෙස් දුන්නා.

ඉතිං අන්තිමේ අර නිකම් ඉඳං රුපියලට කකා හිටිය ගෝලයව රාජපුරුෂයො අල්ලගෙන ආවා.

"අනේ මහරජතුමා, මාව උල තියපු ගමන්ම මගෙ ගුරුතුමාව උල තියන්න..." ගෝළයා මහරජතුමාට වැඳ වැටුණා.

"ඒ මොකද බොල?"

"අලුත හදපු උල හිටවපු නැකතෙ හැටියට, ඒකෙ මුලින්ම උල තියපු කෙනා මේ රටේ මහරජු වෙනවා. දෙවෙනියට උල තියපු කෙනා පුරෝහිත වෙනවා."

මහරජතුමා පුරෝහිතගෙ මූණ බැලුවා. පුරෝහිත රජතුමාගෙ මූණ බැලුවා.

"දාපිය මේකව හිරේ. මුගෙ ගුරාවත් ගෙනත් දාපිය හිරේ." මහරජතුමා අණ කළා. "අද දවල්ම මූව උල තියනවා. මං කියන පිළිවෙලට, ඉස්සෙල්ලම එන එකා පළමුවත්, දෙවෙනියට එන එකා දෙවනුවත් උල තියනු"

ගෝළයා හිරේ දැම්මා. ගුරුන්නාන්සෙවත් ජාත්‍යන්තර රාජපුරුෂයන්ට කියලා අල්ලගත්තා. මහරජයි පුරෝහිතයි හිරගෙදරට රිංගලා, අරුන් දෙන්නට තර්ජනය කරලා, උංගෙ ඇඳුම් උදුරගෙන, ඇඳගෙන, මහරජා පළමුවෙන් උලට ගියා. පුරෝහිත දෙවෙනියට උලට ගියා.

ගුරයි ගෝලයයි අමනදීපෙ රජවුනා.

ඕං ඔහොමයි තව පාරක් රජවෙන්න ගිය මහරජාට අන්තිමට වෙච්ච සන්තෑසිය...

ප/ලි
කන්නඩ ජනකතාවක් ඇසුරිනි.


Friday, May 15, 2015

ඩොක්ටර් වන් ෂොට් සහ ඉලෙක්ට්‍රොනික්ස් - ගජබින්නාලංකාරයෙන්...

ඩ්‍රැකියාට ඩොක්ටර් මාමෙක් සිටී. එයා එසේ මෙසේ ඩොක්ටර් මාමෙක් නොවන නිසා, ඩ්‍රැකියා කවදාවත් එතුමාට අංකල් කියා අමතන්නේ නැත. ඉතාම ගෞරවයෙන් "ඩොක්ටර්" යන පදයෙන් පමණක් එතුමා සමඟ කතා කරයි. එහෙත් ඩ්‍රැකියාගේ ගජබින්නාලංකාරයෙන් නම් ඔය කිසිම නෑයෙකු ලේසියෙන් ගැළවෙන්නේ නැත.

http://www.glasbergen.com/wp-content
/gallery/doctor-cartoons/med13.gif

අපේ ඩොක්ටර් දෙන බෙහෙත් වලට ලෙඩ්ඩු ඉතා ප්‍රිය කරති. එක වරක් එතුමාගෙන් බෙහෙත් ගත් විට තිබූ ලෙඩ පමණක් නොව, ඊළඟ අවුරුද්දේ හැදෙන්නට නියමිතව ඇති ලෙඩ පවා හොඳ වෙති. ඒ හින්දාම ගොඩාක් උදවිය අපේ ඩොක්ටර් හඳුන්වන්නේ "වන් ෂොට්" කියා ය.

අපේ ඩොක්ටර්, වෛද්‍ය වරයෙක් වූයේ එතුමා ගේ පියා ගේ උවමනාව මතය. නැතිනම් ඩොක්ටර් ගේ ආසාව තිබුණේ ඉලෙක්ට්‍රොනික් වැඩ වලටය. ඉතින්, ඩොක්ටර් කමේ කටයුතු කරන අතර, එතුමා එක් එක් ආකාරයේ ඉලෙක්ට්‍රොනික් වැඩද ඉතා සාර්ථක විදිහට කරති.

ඩොක්ටර් මේ මෑතකදී හිරමනයක් වාගේ දිග සහ කොට වූ ද, කන් කඩාහැලෙන්නාවූ ද බලු තඩියෙකුට පිහිට වුනෙමු. ඒ බලු තඩියා, කාලයක් තිස්සේ ඉතා නොසැළකිල්ලෙන් හැදූ එකෙක් නිසා ඩොක්ටර් ගෙන් බෙහෙත් ගැනීමට එන සෑම දෙනාම දෙස බැලුවේ සැකයෙනි. එහෙයින් සමහර ලෙඩ්ඩුන් උඩ යන පරිදි බුරන්නට බලු රාළ පැකිළුනේ නැත.

මේ මෑතක ඩ්‍රැකියා තම මෑණියන්ද සමඟ ඩොක්ටර් බලන්නට ගිය විට, සුුපුරුදු ලෙස බලු රාළ ඉදිරියට ආවත්, උන්දෑ බිරුවේ නැත. ඌ කට අරිද්දී, ඉතා තදින් වෙව්ලන්නට ගත්තේය.

"මේ බලුරාළට උණ වත් ගැනිලද?" අම්මා ඇහුවේ බල්ලා දිගින් දිගටම වෙව්ලන්නට ගත් නිසාය.

"නෑ. නෑ. ඔය බලු රාළ බුරන එක ලෙඩ්ඩුන්ට කරදරයක් නිසා, මම එයාගෙ වයිබ්‍රේට් ඔන් කළා." ඩොක්ටර් හිනා වෙමින් කිව්වේය.

ඩ්‍රැකියාගේ එච්. මාක් නමැති ඉතා දක්ෂ ඉලෙක්ට්‍රොනික් ටෙක්නිෂන් යාළුවෙක් සිටී. උන්නැහැ ඉලෙක්ට්‍රොනික් විෂයය න්‍යායිකව මෙන්ම ප්‍රායෝගිකවද ඉතා හොඳින් දන්නා අතරම, ලංකාවේ පාරම්පරික දේ ගැනද ඉතා උනන්දුවෙන් හදාරන්නෙකි. දේශීය යාග හෝම, ඉතිහාසය, ඉතිහාසය ලියවෙන්නට කලින් පැවති අතීතය, අපේ මුුතුන්මිත්තන්ගේ පැවති තාක්ෂණික දැනුම ආදී දේ ගැන ඉතා උනන්දුවෙන් සොයයි.

මෙයා කොච්චර නම් තදට මේ පාරම්පරික දේවල් හදාරන්නේද යන්න මේ මෑතක උන්දෑ හොයාගෙන ගිය මාගේ යාළුවන් දෙන්නෙකුම මට කීවෙමු:

එකෙක් ටීවී එකක් හදා ගන්නට ගිය විට, එයාගේ අත බැලූ එච්. මාක්, ටීවී එකේ රෝග ලක්ෂණ තිතටම කියා, ඒකට දාන්නට ඕනෑ කෑලි ටිකත් කියා තිබුණි.

තව එකෙක්ගෙදර තිබුණු ටීවී එකේ රෝග ලක්ෂණ කියා, හදන්නට බැරි / පුළුවන්කම අහන්නට ගිය විට, එච්. මාක් උගේ හිසට තඩි ටොක්කක් ඇන, ඌත් එක්ක ගෙදර ඇවිත් ටීවී එක හැදුවෙමුය.

දැන් පොර, ගේ ඉදිරිපිට මේ වගේ බෝඩ් එකක් සවිකරන්නට යන බව ආරංචිය:

"දේවාරූඪයෙන් ටීවී රෙපෙයාර් කරනු ලැබේ.
අත බලා සීසී ටීවී කැමරා සවි කරනු ලැබේ..."

Tuesday, May 5, 2015

නැකැත් ගැන - 2015 වෙසක් කළාපයෙ දෙවෙනි ලිපිය

ජාතක කතා පොතේ දැක්වෙන 46 වන ජාතක කතාව වන නක්ඛත්ත ජාතකය මෙවර වෙසක් කළාපයෙන් ඉදිරිපත් කරනවා.

http://www.silumina.lk/2015/04/12/af15041214.jpg

බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වාසය කරන කාලයක, එක් ආජීවකයෙක් පිළිබඳව මේ කතාව දේශනා කළා.

සැවැත්නුවර එක් ගෙදරක දියණියක්, අසළ ගමක එක් තරුණයෙකුට යෝජනා කරලා, කැන්දාගෙන යාමට දිනයකුත් නියම කර ගත්තා. මනමාලයාගේ පියා ඒ දිනයේ නැකැත් තියේද යන්න ගැන එක ආජීවකයෙකුගෙන් විමසුවා.

ඒ ආජීවකයා, 'මගෙන් අහන්නේ නැතිව තමන්ම දින නියම කරගෙන, දැන් මගෙන් නැකැත් අහනවා' යැයි සිතා කෝප වී, "ඒ දිනයේ කිසිම නැකැතක් නෑ. කිසිම සුභ කටයුත්තකට සුදුසු නැහැ. මොනවා හරි කළොත් මහා විනාශයක් තමයි වෙන්නේ" කියා අර තැනැත්තාව බයකළා.

ඉතින් මනමාලයාගේ පැත්තේ අය එදා මනමාලිය කැන්දාගෙන එන්නට ගියේ නෑ. නගරයේ, මනමාලියගේ ගෙදර උදවිය, මඟුල් ගෙදර ලෑස්ති කරලා, මනමාලයා එනතුරු බලා හිටියා. ඉතින් මනමාලයා ආවේ නැති නිසා, වෙනත් තරුණයෙක් සොයාගෙන, එයාට ඒ ලෑස්ති කරපු මඟුල් උත්සවයෙන්ම, මනමාලිය සරණපාවා දුන්නා. (මේ වගේ දේවල් අදටත් ඉන්දියාවෙ සිද්ධ වෙනවා.)

ගම්වැසි මනමාලයාගේ පිරිස වෙනත් දිනයක සැවැත් නුවර ඇවිත්, විවාහ උත්සවය කරමුයි කීවා. එවිට සැවැත් නුවර උදවිය, "නුඹලා දුෂ්ට මිනිස්සු, ලැජ්ජා නැති උදවිය, අපිට මඟුලට දින නියම කරලා, එදා ආවේ නෑ. අපිට ලැජ්ජා කළා. ඒ නිසා ආ මඟින්ම ආපසු යනු, අපේ දියණිය අපි වෙනත් තරුණයෙකුට දුන්නා" යි කීවා.

මේ කතාව භික්ෂූණ් වහන්සේ අතරටත් ආරංචි වී, දම් සභා මණ්ඩපයේදීත් කතාවට ලක් වුණා. බුදුන් වහන්සේ "මේ ආජීවකයා මීට පෙර ආත්මයකදිත්, මෙවැනිම දෙයක් කළා" යැයි කියා, නක්ඛත්ත ජාතකය දේශනා කළා.

ජාතක කතාවේදීත් සිද්ධ වුනේ ඉහතින් දක්වපු සිදුවීමට සමාන දෙයක්මයි. හැබැයි මනමාලි ගම්වැසි ගෙදරක, මනමාලයා නගරයේ ගෙදරක කෙනෙක්.

ඒ කතාවේ, අවසානයේ ගම්වැසියන් සහ නගර වැසියන් අතර අඬදබරය දුටු නුවනැති මිනිසෙක් ඔවුන්ට මෙසේ අවවාද කළා:

"නැකැත් බැලීමෙන් ඇති ප්‍රයෝජනය මොකද්ද? මනමාලිය කැන්දාගෙන යාම ම නැකැතක් වාගේ නේද?

නැකැත් බලමින් ඉන්නා බාලයාගේ කටයුතු ප්‍රමාද වෙනවා. බලාපොරෙත්තු වන දෙය ඉටුවෙනවා නම් එයම තමයි නැකැත. තාරකා කුමක් කරන්නද?"

නක්ඛත්ත පතිමානෙන්තං
අත්ථො බාල උපච්චගා
අත්ථො අත්ථස්ස නක්ඛත්තං
කිං කරිස්සන්ති තාරකා

Tuesday, April 28, 2015

ආරස්සාවට බුද්ධ දර්ශනය... 2015 වෙසක් කළාපය

https://lh3.googleusercontent.com/
-cko8ah6a_JQ/VDgb1pD3OCI/
AAAAAAAAAFw/fLk_LCrMJJI
/w426-h280/14%2B-%2B1

බෞද්ධයන්ගේ ආරක්ෂාවට යැයි කියමින් උදේ හවස රේඩියෝ චැනල් කීපයක ප්‍රචාරය කරන සූත්‍ර කීපයක් අතරින්, ධජග්ග සූත්‍රය මේ පාර වෙසක් කළාපයේ පළවෙනි ලිපියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍රය අඩංගු වෙන්නේ, සූත්‍ර පිටකයේ, සංයුක්ත නිකායේ, සගාථා වර්ගයේ, සක්ක සංයුක්තයේ, සුවීර වර්ගයේ, තුන්වෙනි සූත්‍රය හැටියටයි.

බුදුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයා පූජා කළ ජේතවනාරාමයේ වැඩ සිටින කාලයක, භික්ෂූන් වහන්සේට මෙසේ දේශනා කළ සේක:

සුරයන් සහ අසුරයන් අතර යුද්ධයක් පැවතුණු කාලයක දී, ශක්‍ර දෙවියන්, තව්තිසාවේ අනෙක් දෙවියන් අමතා, මෙසේ කීවා,

"යුද්ධයේදී ඔබ කිසිවෙකුට බියක් ඇති වුනොත්, මාගේ (රථයේ ඇති) කොඩියේ අග බලන්න. (සමහර විට එයින් අදහස් කෙරුණේ, එතකොට, ශක්‍ර දෙවියනුත් අනෙක් දෙවියන් සමඟ යුධ පිටියේ ම සිටින බව දැකලා, දෙවියන් ධෛර්යවත් වීම වෙන්න පුළුවන්.) මාගේ කොඩියේ අග දුටු විට ඔබට ඇති වන බිය, තැති ගැන්ම හෝ ලොමුදැහැ ගැන්ම පහ වෙනු ඇති.

මගේ කොඩියේ අග නෙපෙනේ නම්, ප්‍රජාපතී දෙව්රජගේ කොඩියේ අග දෙස බලන්න. එයත් නොපෙනේ නම්, වරුණ දෙව් රජගේ කොඩියේ අග බලන්න. එයත් නොපෙනේ නම් ඊසාන දෙව් රජගේ කොඩියේ අග දෙස බලන්න. එම කොඩි දකින විට ඔබගේ බිය පහ වී යනු ඇති."

නමුත්, ශක්‍ර දෙවියන්ගේ හෝ, ප්‍රජාපති දෙවියන්ගේ හෝ, වරුණ දෙවියන්ගේ හෝ ඊසාන දෙවියන්ගේ හෝ කොඩි දිහා බැලීමෙන් බියක්, තැතිගැනීමක් හෝ ලොමුදැහැගැනීමක් පහ වෙන්නටත්, නොවෙන්නටත් ඉඩ තියෙනවා. (බියපත් වූ තැනැත්තාගේ මනසේ ස්වභාවය අනුව එසේ වන්නේයැයි මගේ පුද්ගලික අදහසයි) මක්නිසාද, ඒ දෙවි රජ වරු, රාගය, ද්වේෂය හෝ ‍මෝහය පහ කළ අය නොවේ. එසේම, ඒ දෙවි රජවරු පවා, බිය වනසුළුයි, තැති ගැනෙනසුළුයි, ත්‍රස්ත වනසුළුයි, පළා යනසුළුයි.

http://1.bp.blogspot.com/-iz5W0i4LDXU/
Tyj50NF-U8I/AAAAAAAAAvU/
xywYoJcs2P8/s1600/indra.jpg

මම ඔබට කියන්නේ, ඔබ ආරණ්‍යයකට (වනගත ප්‍රදේශයකට) හෝ ගසක් මුළකට හෝ ශූන්‍යාගාරයකට (සොහොන්පිටි සහ එවැනි ජනශූන්‍ය පාළු තැන්) වලට ගිය විට, බයක් තැති ගැනීමක්, ලොමුදැහැ ගැනීමක් ඇති වුනොත්, එවිට මා සිහිකරන්න. නැත්නම් මා දෙසා ඇති ධර්මය සිහිකරන්න, එසේත් නැත්නම්, මාගේ මාර්ගය අනුගමනය කරන සංඝයා වහන්සේ සිහිකරන්න. එවිට ඔබට ඇති වන බිය, තැතිගැනීම හෝ ලොමුදැහැගැන්ම පහ වී යාවි.

මක්නිසාද, අර්හත් වූ, සම්මා සම්බුද්ධ වූ (මේ බුදු ගුණ වල තේරුම ඕනෙ නම් මෙතන තියෙනවා.) බුදුන් කියන්නේ, රාගය, ද්වේෂය, මෝහය පහ කළ තැනැත්තෙක් වගේම, බිය නොවන, තැති නොගන්නා, කිසි දෙයකින් ත්‍රස්ත නොවන, පළා නොයන තැනැත්තෙක් වන නිසා.

මේ සූත්‍රයෙන් අපිට වටහා ගන්න පුළුවන් මොනවද:

1. අපට ඇතිවන බියට ස්ථිරසාර පිළියම වන්නේ බුදුන්, දහම්, සඟුන් සිහිපත් කිරීම පමණක් බව. 

ධර්මය සිහිපත් කිරීමෙන් මිසක්, ධර්මය ඇතුළත් පාලි පාඨ (තේරුම නොදැන) උච්ඡාරණය කිරීමෙන් හෝ අසා සිටීමෙන් හෝ, ඇහුනොත් ඇහුනාවේ කියා ඔහේ රේඩියෝ එක දාගෙන සිටීමෙන් හෝ බෞද්ධයන්ට බිය දුරු කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නෑ.

2. අපට ඇතිවන බිය ට පිහිටක්, කිසි දෙවිකෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බැරි බව. 

ගොඩක් දෙවි වරු, ආභරණ පොරවාගෙන, අඹුවන් දරුවන් පිරිවරාගෙන, රාගයෙන් පිරුණු අය විදිහටයි නිරූපණය වෙන්නෙ. ඒ වගේම යුද්ධයට, නපුරු වැඩ වලට දක්ෂ නිසා ද්වේෂයෙනුත් අඩුවක් නෑ. ඒ වගේම මිනිස්සු පිහිට පතාගෙන යද්දි ඉල්ලන දේවලට ගාස්තු විදිහට අපි එක එක  දේවල් දෙන්න භාර වෙනවා. ඒ කියන්නෙ ඒ දෙවියන්ට තෘෂ්ණාවත් තියෙනවා. අපි භාර වෙන දේවල් ඔප්පු කරද්දි, දෙවියන්ව බොහොම පහත් විදිහට රවට්ටනවා. ඒ කියන්නෙ ‍ඒ දෙවි වරුන්ට මෝහයත් අඩු නැතිව තියෙනවා.

ඒ වගේ දෙවියන්ගෙන් අපිට ලැබෙන පිහිට ... ?

Thursday, April 23, 2015

බාප්පගෙ කතන්දර - අංක 2

බාප්පා තමන්ගෙ දුවයි පුතයි නින්දට යනකන් කියපු කතන්දරයක් මීට කලින් පෝස්ටුවකින් කියෙව්වා මතක ඇති. අද ඒ කතන්දරයේ ඉතිරි කොටස...

http://www.sundaytimes.lk
/030810/images/fun7.jpg

කොක්කු දෙන්නට ටැංකිව් කියන්න ගිහිං ඉබ්බා කෝට්ට අත ඇරිලා බිමට වැටුණා. බිමට වැටිච්ච පාරට උගෙ කකුලක් ඇමැට්ටි උනා. ඒකට බෙහෙත් ගන්න ඌ වෙදමහත්තයා ගාවට ගියා. වෙදමහත්තයා එයාගෙ ගෝලයො වෙච්ච ගිරව් දෙන්නෙකුට කිව්වා ඉබි කකුලට බෙහෙත් කරන්න කෝඳුරු තෙල් හොයාගෙන එන්න කියලා.

ඉබ්බට බෙහෙත් හොයන්න ගිරව් දෙන්නා දෙපැත්තකට පියාඹලා ගියා. එක ගිරවෙක් තාපසයො වගයක් ඉන්න හරියකට ගිහිං බොහොම ධාර්මික විදිහට හැදුනා. අනිත් ගිරවා ගියෙ කැලේ හොරු හතර දෙනෙක් ගාවට. ඒ ගිරවා මහ දාමරික විදිහට හැදුනා.

ඒ හොරු රැළ දවසක් හොරකමේ යද්දි වෙල් යායක් මැද්දෙන්, ඒ වෙලේ ගොයම් කකා හිටපු අලියෙක් දැක්කා. හොරු හතර දෙනා ඒ අලියගෙ වලිගෙ එල්ලුනා දිවිය ලෝකෙ යන්න හිතාගෙන. ඒ වුනාට අලියා උන්ට පයිං ගහලා කැලේට දිව්වා.

අලියා දුවනකොට, හම්බවුනා අර ඉබ්බට පැරදිච්ච හාවා. ඒ හාවට හම්බවුනා ලබු ඇට දෙකක්. ඌ ඒ ලබු ඇට දෙක අරං යද්දි අත් වල කොහොල්ලෑ ගාගත්ත නරියෙක් මුණ ගැහුණා. හාවා ඌට හමුබවුනු ලබු ඇට දෙකෙන් එකක් නරියට දුන්නා.

දෙන්නම ඒ ලබු ඇට ගෙනෙහිං හිටෙව්වා. හාවා ලබු ඇටේ හිටෙව්වෙ පාත්තියක. ඒකට ඌ උදේ හවස වතුර දැම්මා. අන්තිමේ වතුර වැඩි වෙලා ඒ ලබු ඇටේ පැළවේගෙන එද්දි මුල් කුණු වෙලා මැරුණා.


නරියා ලබු ඇටේ හිටෙව්වෙ ලිප් බොක්කෙ. ඌ ඒකට වතුර දැම්මෙ නෑ. චූ කළා විතරයි. ඉතිං යූරියා ගතියටයි, ලිපේ තිබ්බ අළු වලටයි, ඒ ලබු ඇටේ හොඳ සරුවට වැවිලා මහ බර සාර වැලක් හැදුනා. නරියා ඒ ලබු වැල දිගේ උඩට නැගලා යෝධයෙක්ගෙ මාළිගාවකට ගියා. 

“එතන උගෙ ආච්චි හිටියා...!” (බාප්පගෙ කතාව අහගෙන ඉඳලා ඉඳලා බැරිම තැන පුංචි මැද්දට පැන්නා.)

ඉතිරි කොටස ළඟදීම... (ඒ කියන්නෙ කතාව එතන ඉඳං ‍අමුණගන්න තාම බැරි උනා)

Friday, April 10, 2015

19 වන සංශෝධනය - තේරෙන සිංහලෙන්... ඉතිරි කොටස

http://www.dailynews.lk/sites/
default/files/styles/original_
watermarked/public/news/2015/02/09/
z_fea800.jpg?itok=oJdRQOqN

මුල් කොටස මෙන්න මෙතන පළ වුනා. මේ දෙවන කොටස...

29 වන වගන්තිය

අධිකරණයේ ස්වාධීනත්වය යටතේ, අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරු වරුන් පත්කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතයට යටත්ව, ජනාධිපතිවරයා තම අත්සන යටතේ වූ අධිකාර පත්‍රයකින් බව
(කලින් මේකියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය අවශ්‍ය බවක් තිබුණෙ නෑ.)

30 වන වගන්තිය

අගවිනිසුරු හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් හෝ අභියාචනාධිකරණයේ සභාපති හෝ විනිසුරු වරයන්, රෝගාතුර වීම, විදේශගත වීම හෝ වෙනත් හේතුවක් නිසා ධූරයේ කටයුතු කිරීමට තාවකාලිකව නොහැකි විට වැඩබැලීමට පත් කළ හැක්කේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය යටතේ බව.
(කලින් මේකියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය අවශ්‍ය බවක් තිබුණෙ නෑ.)

31 වන වගන්තිය

අධිකරණ සේවා කොමිෂන් සභා‍ව ගැන තියෙන විධිවිධාන වෙනස් කර තියෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සංයුතිය - අගවිනිසුරු සහ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපති පත් කරන ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු වරයන් දෙදෙනා වන බව

(කලින් මේකියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය අවශ්‍ය බවක් තිබුණෙත් නෑ, ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු වරයන් දෙදෙනා කියන වචන තිබුණෙත් නෑ.)

මෙයින්, ජනාධිපතිවරයාටවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටවත්, තමන්ට ඕනෙ විනිසුරු වරුන් පත් කරන්න හැකියාවක් නැතිව යනවා.

ඉහතින් කියලා තියෙන ජ්‍යේෂ්ඨතම විනිසුරු වරයන් දෙදෙනා මුල් අවස්ථා අධිකරණයක (ප්‍රාථමික අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ සහ මහාධිකරණ) පළපුරුද්ද නැති අය වන විට ශ්‍රේෂ්ඨාධිකරණ‍‍යේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු වරයන් දෙදෙනාගෙන් කෙනෙක් සහ මුල් අවස්ථා අධිකරණ‍යක විනිසුරුවරයෙක් වශයෙන් පළපුරුද්ද ‍ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊළඟ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයෙක් පත් කළ යුතුයි.

32 වන වගන්තිය

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන්ට ජනාධිපති වරයා නිවාඩු දුන් විට, වැඩබැලීමට පත් කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්වය.

එම සාමාජිකයන් ඉවත් කළ හැක්කේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව, ජනාධිපතිවරයා විසින් හේතු ද දැක්වීමෙනි.

(කලින් මේකියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය අවශ්‍ය බවක් තිබුණෙ නෑ.)

33 වන වගන්තිය

122 ව්‍යවස්ථාව (හදිසි පණත් කෙටුම්පත් සම්මත කිරීම) ඉවත් කිරීම

122 ව්‍යවස්ථාවේ තියෙන්නේ, 120 හා 121 ව්‍යවස්ථා වල සඳහන් වෙන කාරණයක් සම්බන්ධවයි. ඒ, සාමාන්‍යයෙන් පණතක් සම්මත කරන ආකාරය ගැනයි:

121 යම්කිසි පණත් කෙටුම්පතක් හරි ඒකක එක් විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න ගැන තීරණය කිරීමේ තනි බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙන බව.

නමුත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන හෝ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන පණතක් නම්, ඒක 2/3 බලයෙන් සහ ජනමතවිචාරණයකින් සම්මත කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත් නම්, ශ්‍රේෂ්ඨාධිකරණය ඒ බලය ක්‍රියාත්මක නොකළ යුතුයි. එහෙම නැතුව, සරළ බ‍හුතරයෙන් සම්මත කරන්නට කැබිනට් මණ්ඩලය තීරණය කරනවා නම්, ඒකට 2/3 ක් / ජනමත විචාරණයක් අවශ්‍යද යන්න පමණක් ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කළ හැකියි.

121 මේ බලය ක්‍රියාත්මක කරවන්නට නම්, අගවිනිසුරු වෙත ජනාධිපති වරයා විසින් හෝ, ශ්‍රේෂ්ඨාධිකරණයට පුරවැසියෙකු විසින් ලිඛිතව ඉල්ලීමක් කළ යුතුයි. ඒකත්, පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අදාළ පණත ඇතුළත් කර සතියක් ඇතුළත කළ යුතුයි. ඒ ඉල්ලීමේ පිටපතක් කථානායකට භාර දිය යුතුයි.

ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සති තුනක් ඇතුළත ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට ඉදිරිපත් කළ යුතුයි.

එහෙම ඉල්ලීමක් කළ විට, ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙන තුරු හෝ, සති තුනක් ගෙවෙන තුරු පාර්ලිමේන්තුවේදී ඒ ගැන කිසිම පියවරක් නොගත යුතුයි.

122 ව්‍යවස්ථාවෙ තියෙන්නෙ:

ජාතියේ හිත පිණිස වහා අවශ්‍ය වන බවට කැබිනට් මණ්ඩලය තීරණය කරන සහ, ඒ බවට කැබිනට් මණ්ඩල ලේකම් අත්සන් කරන සහතිකයක් ඇති විට, ඉහත විධිවිධාන අදාළ නොවන බවයි.

එවිට, ඒ පණත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න ජනාධිපතිවරයා ලිඛිතව (කථානායකට පිටපතක් සහිතව) ශ්‍රේෂ්ඨාධිකරණය විමසිය යුතුයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඒ කාරණය පැය විසි හතරක් ඇතුළත හෝ ජනාධිපති නියම කරනවානම්, දින තුනක උපරිම කාලයක් තුළ තම තීරණය ජනාධිපතිවරයාට හා කථානායකට පමණක් දැනුම් දිය යුතුයි.

(18 වන සංශෝධනයත් සම්මත කරගත්තේ මේ විදිහෙ හදිසි පණතක් විදිහටයි. එතකොට, මහජන හිතසුව පිණිස ඉදිරිපත් කරන පණතක් සම්බන්ධයෙන් මහජනතාවට විරෝධය පළකරන්න අවස්ථාව අහිමි වෙනවා. මෙයින් පස්සෙ ඒ තක්කඩි වැ‍ඩේ කරන්න බැරි වෙනවා.)

34 වන වගන්තිය

හදිසි පණත් කෙටුම්පත් ගැන සඳහන් වන තවත් තැනක් වන, 123 (3) අනු ව්‍යවස්ථාව ඉවත් කිරීම.

35 වන වගන්තිය

124 වන ව්‍යවස්ථා‍වේ, 122 වගන්තිය කියන සඳහන ඉවත් කිරීම. (හදිසි පණත් සම්මත කිරීම ගැන කියවෙන හැම තැනක්ම ඉවත් කළ යුතු නිසා.)

36 වන වගන්තිය

ජනාධිපතිවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට අදහස් කරන චෝදනා ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් කථානායක වරයාට දැන්වීමක් කළ විට, 38 ව්‍යවස්ථාව (මේ පෝස්ටුවේ මුල් කොටසේ තියෙනවා) අනුව, කථානායක වරයා ඒ ගැන ශ්‍ර්ෂ්ඨාධිකරණය විමසූ විට, ශ්‍රේෂ්ඨාධිකරණය තම තීරණය මාස දෙකක් තුළ වාර්තා කළ යුතු බව දැක්වෙන වගන්තිය ඉවත් කරලා තියෙනවා.

ඒ වගේම, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කරන්නේ, තමන්ගේ "මතය හා වාර්තාව"  පමණයි කියා වෙනස් කර තියෙනවා, "තීරණය" කියන වචනය ඉවත් කිරීම මඟින්.

37 වන වගන්තිය

134 වන ව්‍යවස්ථා‍වේ, 122 වගන්තිය කියන සඳහන ඉවත් කිරීම. (හදිසි පණත් සම්මත කිරීම ගැන කියවෙන හැම තැනක්ම ඉවත් කළ යුතු නිසා.)

38 වන වගන්තිය

අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන් මුදල් නිදහස් කිරීමට බලය ලත් නිලධාරියා වෙනස් කිරීම.

අයවැයෙන් මුදල් වෙන් කර නැති හෝ, එසේ වෙන් කර ඇති මුදල් ප්‍රමාණවත් නැති, අනපේක්ෂිත හදිසි වියදමක් ඇති විට, මේ අරමුදලෙන් මුදල් අත්තිකාරමක් හැටියට නිදහස් කරගෙන, අදාළ වියදම දරන අතර, පසුව පරිපූරක ඇස්තමේන්තුවක් (ඒ කියන්නෙ අයවැයට කරන සංශෝධනයක් වගේ දෙයක් - අවුරුද්දකට ‍මේ වගේ යෝජනා 60 කට වඩා පහුගිය රජයෙන් සම්මත කරගෙන තියෙනවා.) පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන, එයින් අර අත්තිකාරම පියවිය යුතුයි.

කලින් විධිවිධාන තිබුණෙ, මුදල් ඇමතිවරයා ජනාධිපති ගේ කැමැත්ත ඇතිව අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන් මුදල් නිදහස් කරගත යුතු බවයි.

19 වන සංශෝධනයෙන් මේ බලය, "මුදල් ඇමතිවරයා අගමැති වරයාගේ කැමැත්ත ඇතිව" කියා වෙනස් කර තියෙනවා.

(කලින්, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මුදල් ඇමතිකමත් දැරූ නිසා, මේ වගේ අවස්ථාවකදී කණ්ණාඩිට ඉස්සරහට ගිහින් කැමැත්ත ලබා ගෙන අවිනිශ්චිත අවස්ථා අරමුදලින් මුදල් නිදහස් කරගන්න ඇති. යම් මුදල් බලයක් සම්බන්ධව පාලනයක් පැවතිය යුතු නිසා දෙන්නෙකුට බලය ලබා දෙනවා. සේප්පුවක් අරින්න වුණත් යතුරු දෙකක් තියෙනවා. රජයේ චෙක් එකක වුනත් අත්සන් දෙකක් ගහනවා.)

39 වන වගන්තිය

විගණකාධිපති පත් කරන්නේ ත්, වැඩබලන විගණකාධිපතිවරයෙක් පත් කරන්නේත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපති විසින් බව, (කලින් තිබුණේ නිකම්ම ජනාධිපති විසින් බවයි.)

40 වන වගන්තිය

විගණන සේවා කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම

සංයුතිය
- විගණකාධිපති (සභාපති)
- නියෝජ්‍ය විගණකාධිපති තනතුරට වඩා ඉහළ තනතුරක සිට විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගිය නිලධාරීන් දෙදෙනෙක්
- ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ හො මහාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරු වරයෙක්,
- ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 පන්තියේ සේවය කර විශ්‍රාම ගිය නිලධාරියෙක්
(සභාපති ඇර අනෙක් සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති විසින් පත් කළ යුතුයි.)

ආයු කාලය අවුරුදු 3යි. වරක් පත්කළ අයෙක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත නැවත පත් කළ හැකියි. සාමාජිකයන් ඉවත් කිරීමේදී, ජනාධිපතිවරයා, හේතු දක්වමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ඉවත් කිරීම කළ යුතුයි.

ඔවුන්ට ගෙවන දීමනාව, පාර්ලිමේන්තුව නිශ්චය කරයි.

කොමිෂන් සභාවේ ලේකම් වරයා කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබේ.

රාජ්‍ය විගණන සේවාවක් ස්ථාපනය කිරීම හා මේ කොමිෂන් සභාවේ රැස්වීම් ගැන විධිවිධාන පාර්ලිමේන්තුව විසින් සැලැස්විය යුතුයි.

කොමිෂන් සභාවේ කාර්යයන්-
රාජ්‍ය විගණන සේවයේ නිලධාරීන් ගැන පත්කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය හා සේවයෙන් 5 කිරීම්
රාජ්‍ය විගණන සේවයේ නිලධාරීන්ගේ බඳවා ගැනීමේ පටිපාටි, පත්කිරීම්, මාරු කිරීම්, විනය පාලනය හා 5 කිරීම් ගැන රීති අනුමත කිරීම,
ජාතික විගණන සේවයේ වාර්ෂික ඇස්තමේන්තුව (අයවැය) සකස් කිරීම,
නීතියෙන් පවරන වෙනත් කාර්යයන්.

කොමිෂන් සභාවේ තීරණයකට, කොමිෂන් සභාවේ සාමාජිකයෙකුට හෝ විගණන සේවයේ නිලධාරියෙකුට බලපෑම් කිරීම හෝ ඊට තැත්කිරීම ට දඬුවම උපරිම රු. ලක්ෂයක දඩයක් සහ / හෝ අවුරුදු 7 ක නොවැඩි සිර දඬුවමක්. (මහාධිකරණ වලින් පැණවිය හැකියි.)

ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති මූලික හා භාෂා අයිතිවාසිකම් ගැන අධිකරණ බලයත්, පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියට ඇති බලයත් ඇර, වෙනත් කිසිම ආකාරයකින්, කොමිෂන් සභාවේ කටයුතු කිසිම අධිකරණයකින් ප්‍රශ්න කළ නොහැකියි.

කොමිෂන් සභාවේ කටයුතු වලින් අතෘප්තියට පත් රාජ්‍ය විගණන සේවයේ නිලධාරියෙකුට ඊට විරුද්ධව පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියට පැමිණිලි කළ හැකියි.

කොමිෂන් සභාව තම කටයුතු ගැන පාර්ලිමේන්තුවට වගකිව යුතුයි, උත්තර දිය යුතුයි. වාර්ෂිකව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.

41 වගන්තිය

විගණකාධිපතිවරයාගේ කාර්ය ක්ෂේත්‍රය (ෆීල්ඩ් එක) පුළුල් කිරීම

කලින් තිබුණු ප්‍රමාණය:
ආණ්ඩුවේ සියලු දෙපාර්තමේන්තු
අමාත්‍ය මණ්ඩලය,
අධිකරණ සේවා කොමිෂන් සභාව,
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
පරිපාලනය පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්)
මැතිවරණ කොමසාරිස් කාර්යාලය (19 සංශෝධනයෙන් ඉවත් කර ඇත.)
පාර්ලිමේන්තු මහ ලේකම්
පළාත් පාලන ආයතන
රාජ්‍ය සංස්ථා
නීතියකින් රජයට පැවරී ඇති ව්‍යාපාර හා වෙනත් ව්‍යාපාර ආයතන
   වල ගිණුම් විගණනය කිරීම

19 සංශෝධනයෙන් පහත දැක්වෙන ඒවා එකතු කරලා තියෙනවා:
ජනාධිපති ලේකම් කාර්යාලය
අමාත්‍යවරුන්ගේ කාර්යාල
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
ස්වාධීන කොමිෂන් සභා සියල්ල
කොටස් වලින් 40%කට වඩා රජයට හෝ පළාත් පාලන ආයතන වලට අයිති සමාගම්
    වල ගිණුම් විගණනය කිරීම
(මේ සමාගම් ගැන, විගණන පරාසය ගැන කියවෙන හැම තැනකම වෙනස් කිරීම් කරලා තියෙනවා.)

42 වන වගන්තිය

මුදල් කොමිෂන් සභාව (පළාත් වලට ආණ්ඩුවෙන් දෙන ප්‍රදාන ගැන තීරණය කිරීමට පත් කර ඇති) පත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති විසින් බව.

43 වන වගන්තිය

ජාතික පොලිස් කොමිෂන් සභා‍ව පත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති විසින් බව. මෙම නිර්දේශ ඉදිරිපත් කරද්දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විමසිය හැකි බව,

එහි සාමාජිකයන් අතරින් එක් අයෙක් වත් නියෝජ්‍ය පොලිස්පත් වරයෙක් වශයෙන් සේවය කළ අයෙක් විය යුතු බව.

එහි සාමාජිකයන් ඉවත් කළ හැක්කේ ජනාධිපති විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත බව.

44 වන වගන්තිය

ජාතික පොලිස් කොමිෂන් සභාවේ රැස්වීම් වලට (පොලිස්පති සම්බන්ධ කරුණකදී හැර) පොලිස්පති ට සහභාගී වීමට හිමිකම ඇති බව.

45 වන වගන්තිය

ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති මූලික හා භාෂා අයිතිවාසිකම් ගැන අධිකරණ බලයත්, පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියට ඇති බලයත් ඇර, වෙනත් කිසිම ආකාරයකින්, ජාතික පොලිස් කොමිෂන් සභාවේ කටයුතු කිසිම අධිකරණයකින් ප්‍රශ්න කළ නොහැකියි.

46 වන වගන්තිය

පොලිස් කොමිසමේ බලතල කමිටුවකට හෝ පොලිස් නිලධාරියෙකුට පවරනු ලැබිය හැකි බව.

47 වන වගන්තිය

පොලිසියට එරෙහිව ජනතාව කරන පැමිණිලි භාරගැනීමට, විමර්ශනය කිරීමට හා ඒ සඳහා කාර්ය පටිපාටි සකස් කිරීමට පොලිස් කොමිසමට බලය ලබා දී තිබූ 155 (ඊඊ) වගන්තිය ඉවත් කරලා 48 වන වගන්තියෙන් නැවත එකතු කරලා තියෙනවා.

48 වන වගන්තිය

ජාතික ‍පොලිස් කොමිසමේ බලතල:

පොලිස්පති හැර අනෙක් පොලිසි නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පාලනය සහ සේවයෙන් 5 කිරීම. මේ බලතල පොලිස්පති වරයා විමසා ක්‍රියාත්මක කළ යුතුයි.

පළාත් පොලිස් කොමිෂන් සභා පිහිටුවන විට (13 වන ස‍ංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළත්, තවම පිහිටුවා නැති.) ඒ පළාත් කොමිෂන් වල බලය, මධ්‍යම කොමිසම විසින් අඩු නොකළ යුතුයි.

පොලිසියට එරෙහිව ජනතාව කරන පැමිණිලි භාරගැනීම හා විමර්ශනය කිරීම සඳහා කාර්ය පටිපාටි සකස් කිරීමට පොලිස් කොමිසමට බලය දී තිබෙනවා. ඒ අනුව කොමිසම යම් යම් සහන සැළසීමේදී පොලිස්පති වරයා දැනුවත් කළ යුතුයි.

කොමිසම, පොලිස්පති වරයා විමසා:

- පොලිස් නිලධාරීන් බඳවා ගැනීම, උසස් කිරීම, මාරු කිරීම ගැන පටිපාටි සකස් කිරීම,
- පුහුණුව හා පොලිස් සේවයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම,
- ජාතික හා පළාත් පොලිස් සේවා වල භාවිතය සඳහා අවිආයුධ, වෙඩි ද්‍රව්‍ය හා වෙනත් උපකරණ වල ස්වභාවය හා වර්ගය,
- චර්යා සංග්‍රහ හා විනය පටිපාටි
ඇතුළු සියලු කාරණා සැලසීම නිශ්චය කළ යුතුයි.

පොලිස් කොමිසම නිශ්චය කරන යම් පොලිස් නිලධාරී ගණ සම්බන්ධයෙන් පත් කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය හා 5 කිරීම් ගැන බලය කොමිසමේ සාමාජිකයන් නොවන කමිටුවකට හෝ පොලිස්පතිවරයා ට හෝ පොලිස්පති වරයා විමසා වෙනත් පොලිස් නිලධාරියෙකුට පැවරිය හැකියි.

ඉහත කියූ පොලිස් නිලධාරියෙක් කළ ක්‍රියාවකින් සෑහීමකට පත් නොවන අයෙකුට, පොලිස්පති වරයා වෙතත්, ඉන් පසු පොලිස් කොමිසමටත් ඉන්පසු පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියටත් අභියාචනා කළ හැකියි.

49 වන වගන්තිය

පොලිස් කොමිසම විධිවිධාන පණවන තෙක් දැනට පවතින විධිවිධාන බලාත්මක බව.

50 වන වගන්තිය

ඔම්බුඩ්ස්මන් වරයා පත් කරන්නේ සහ, එම ධූරයේ වැඩබැලීමට තැනැත්තන් පත් කරන්නේ
ජනාධිපති විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව බව.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂනය කිරීම සඳහා වූ කොමිෂන් සභාව

පාර්ලිමේන්තුවේ සම්මත වන නීතියකින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීම සඳහා කොමිසමක් පත් කළ යුතුය. ඊට සාමාජිකයන් පත් කිරීම, බලතල හා කාර්යයන් පාර්ලිමේන්තුවේ සම්මත කරන නීතියෙන් දැක්විය යුතුය. එය පත් කරන තෙක් පවතින කොමිසම බලාත්මක වේ.

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව

සංයුතිය:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති පත් කරන 5 දෙනෙකුගෙන් සමන්විත වේ.
එයින් 3 දෙනෙක් වත් ප්‍රසම්පාදනය, ගණකාධිකරණය, නීතිය හෝ රාජ්‍ය පරිපාලනය ගැන පිළිගත් අත්දැකීම් ඇති අය විය යුතුය.

ධූර කාලය අවුරුදු 3 යි.

ඔවුන්ට පාර්ලිමේන්තුව අනුමත කරන දීමනාවක්, ‍ඒකාබද්ධ අරමුදලින් ගෙවිය හැක. එය ධූර කාලය තුල අඩු කළ නොහැක.

කොමිෂන් සභාවේ කාර්යයන්:

- රජයේ ආයතන වලින් කරන භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය (මිළදී ගැනීම්) අනුමත සැළසුම් වලට හා ක්‍රම වලට අනුකූලද යන්න විමසා වාර්තා කිරීම,
- රජයේ ආයතන වල ප්‍රසම්පාදන කටයුතු වලදී සුදුසුකම් ලත් සැපයුම් කරුවන්ට සමාන අවස්ථා ලබාදී ඇත්ද යන්න විමසා වාර්තා කිරීම,
- රජයේ ආයතන වල ප්‍රසම්පාදන කටයුතු වලදී කොන්ත්‍රාත් කරුවන්කරුවන් තෝරාගැනීමේ හා කොන්ත්‍රාත් පිරිනැමී‍මේ පටිපාටියේ සාධාරණ බව හා විනිවිද පෙනෙන සුළු බව විමසා වාර්තා කිරීම,
- රජයේ ආයතන වලින් කරන ඉහළ වටිනාකම් වලින් යුක්ත ප්‍රසම්පාදන වලදී තාක්ෂණික අගැයීම් කමිටු වලට පත් කරන සාමාජිකයන් සුදුසුකම් ලබා ඇත්ද යන්න විමසා වාර්තා කිරීම,
- රජයේ ආයතන පිළිගත් පටිපාටිවලින් බැහැරව කරන ප්‍රසම්පාදන ගැන විමසීම හා වගකිව යුතු නිලධාරීන් ගැනත්, අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනත් වාර්තා කිරීම.

කොමිෂන් සභාවට ඕනෑම තැනැත්තෙක් ගෙන්වා ප්‍රශ්න කිරීමට හා, ඕනෑම ලේඛනයක් හෝ දෙයක් පරීක්ෂා කිරීමට බලය ඇත. මෙය ප්‍රතික්ෂේප කරන ඕනෑම අයෙකුට රු. ලක්ෂයක උපරිම දඩයක් හා / හෝ අවුරුදු 7 ක උපරිම සිරදඬුවමක් පැණවිය හැක. මෙය ඕනෑම මහාධිකරණයකින් නියම කළ හැක.

කොමිෂන් සභාවේ පුරප්පාඩු තිබුණත් එය නොතකා කටයුතු කළ හැක. (මේක වැදගත් - මොකද, මෙහෙම වගන්තියක් නැත්නම්, කාට හරි කොමිෂන් සභාව අක්‍රිය කරන්න ඕනෙ නම් සාමාජිකයන් කීප දෙනෙක් පත් නොකර ඉන්න හෝ ඉවත් කරන්න හෝ පුළුවන්)

කොමිෂන් සභාවේ කටයුතු ගැන සිවිල් හෝ අපරාධ නඩු පැවරීමට නොහැක.

කොමිෂන් සභාවේ කාර්ය පරාසයට යටත් වන ආයතන:

- රජයේ දෙපාර්තමේන්තු,
- රාජ්‍ය සංස්ථා,
- පළාත් පාලන ආයතන,
- රජයට පවරා ගත් ව්‍යාපාර හෝ ආයතන,
- රජය, රාජ්‍ය සංස්ථාවක් හෝ පළාත් පාලන ආයතනයකට 40% කට වඩා කොටස් හිමි සමාගම්,

රජයේ නිලධාරියෙක් යනු කවුද යන්න වෙනස් කිරීම:

රජයේ නිලධාරියෙක් යනු අධිකරණ නිලධාරියෙක් හැර ජනරජය යටතේ වැටුප් ලබන ධූරයක් දරණ ඕනෑම අයෙකි. නමුත් ඊට පහත අය ඇතුළත් වන්නේ නැත.

- ජනාධිපති
- අගමැති
- කථානායක
- ඇමතිවරු
- නියෝජ්‍ය ඇමතිවරු
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්
- ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන්
- පාර්ලිමේන්තු මහලේකම්
- ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය
- පාර්ලිමේන්තු මහලේකම් ගේ කාර්ය මණ්ඩලය
- විගණකාධිපති

-----------------------------------------------------
අවසන් කාරණා:

53 වන වගන්තිය

මේ පණතේ සිංහල හා දෙමළ පාඨ වල නොගැළපීමක් තිබ්බොත්, සිංහල පාඨය නිවැරදි සේ පිළිගත යුතුයි.

54 වන වගන්තිය

සැක දුරු කිරීම පිණිස:

දැනට තියෙන පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැරියේ නැත්නම් 2016 අප්‍රේල් 21 දින තෙක් ක්‍රියාත්මක විය යුතුයි.

අප්‍රේල් 22 ට පෙර පහත ධූර දැරූ අය, පණත සම්මත වීමෙන් පසුවත් එම ධූර දැරිය යුතුයි, සංශෝධිත විධිවිධාන වලට යටත්ව එම ධූර වල බලතල, කාර්යයන් ක්‍රියාත්මක කළ යුතුයි:

- ජනාධිපති,
- අගමැති,
- අගවිනිසුරු,
- ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරු,
- අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන්,
- අභියාචනාධිකරණ විනිසුරු වරු,
- නීතිපති,
- විගණකාධිපති,
- පොලිස්පති,
- පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මහකොමසාරිස් (ඔම්බුඩ්ස්මන්),
- පාර්ලිමේන්තු මහ ලේකම්.

මෙම පණත සම්මත වූ පසු පහත තනතුරු දැරූ අ‍යගේ තනතුරු අහෝසි වේ:

- පාර්ලිමේන්තු සභාව, (මේ වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථිපිත කෙරේ)
- රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
- ජතික පොලිස් කොමිෂන් සභාව,
- ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, (ඒ කියන්නෙ, ආපහු පාර්ලිමේන්තු පණතකින් කොමිෂන් සභාවක් පිහිටුවන තුරු රටට අල්ලස් කොමිසමක් නැති වෙනවා.)
- මුදල් කොමිෂන් සභාව.

මෙම පණත සම්මත වීමට පෙර සිටි මැතිවරණ කොමසාරිස් වරයා දිගටම ධූරය දරණ අතර, මැතිවරණ කොමිෂන් සභාව පිහිටවීමෙන් පසු ඔහුගේ තනතුර දැරීම අවසන් වේ.

ඊට පෙර මැතිවරණ කොමසාරිස් පැවරූ හෝ, ඔහුට විරුද්ධව පැවරූ නඩු, ඉන් පසු මැතිවරණ කොමිසමට අදාළ නඩු ලෙස සැළකේ.

මැතිවරණ කොමසාරිස් විසින් දුන් තීරණ, නියමයන් ආදිය ඉන් පසුවත් බල රහිත නොවේ.

කලින් කොතනක හෝ සඳවන් වන "මැතිවරණ කොමසාරිස්" හෝ "මැතිවරණ දෙපාර්තමේන්තුව" යන වචන වෙනුවට "මැතිවරණ කොමිෂන් සභාව" යන වචනය අදාළ විය යුතුයි.

මේ පණත සම්මත වීමට පෙර රාජ්‍ය සේවා කොමිසමට ඉදිරිපත් වුනු පොලිස් නිලධාරීන් සම්බන්ධ:
- පත්වීම්, උසස් කිරීම්, මාරුකිරීම්, විනය පාලනය හෝ 5 කිරීම් සම්බන්ධ කරුණු සහ
- අභියාචනා,
පොලිස් කොමිසමට පවරන අතර, පොලිස් කොමිසම ඒවා විභාග කර තීරණ ගත යුතුයි.

මේ පණත සම්මත වීමට පෙර රාජ්‍ය සේවා කොමිසමට ඉදිරිපත් වී තිබූ විගණන සේවයේ නිලධාරීන් සම්බන්ධව:
පත්වීම්, උසස් කිරීම්, මාරුකිරීම්, විනය පාලනය හෝ 5 කිරීම් සම්බන්ධ කරුණු
විගණන සේවා කොමිසමට පවරන අතර, විගණන සේවා කොමිසම ඒවා විභාග කර තීරණ ගත යුතුයි.

55 වන වගන්තිය

3 සිට 9 දක්වා, 11, (11 වගන්තියෙන් ඇතුළත් කරන 46(1) අනු ව්‍යවස්ථාව හැර) 17, 19 සිට 23 දක්වා, 33 සිට 38 දක්වා වගන්ති (2015.04.22 දින සිට බලාත්මක බව කලින් සඳහන් වුනා.) බලාත්මක වන දින සිට මහ මැතිවරණය අවසන් වන දින දක්වා කාලයට:

- ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීම් වල මූලාසනය දැරිය යුතුයි.
- ජනාධිපතිවරයාට අගමැතිගේ එකඟතාවය ඇතිව තමන් වෙත පවරා ගත යුතු අමාත්‍යාංශ තීරණය කළ හැකියි.

56 වන වගන්තිය

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ධූරය දරන තාක් කල් පහත විධීවිධාන අදාළ වේ:

- රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය හා පරිසරය යන විෂයයන් සඳහා තමන් නිශ්චය කරන වන අමාත්‍යාංශ තමන් භාරයේ තබාගැනීම,
- තමන් පවරාගත් විෂයයන් ගැන තීරණ ගැනීමට හෝ ප්‍රතිපත්ති නිශ්චය කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවිය හැකියි. එහි මූලාසනය දැරිය යුතුයි.

වැඩිපුර බලපු ලිපි