19 වන සංශෝධනය - තේරෙන සිංහලෙන්... 01 කොටස

මට හිතෙන විදිහට, රාජ්‍ය පාලනයේ ඇති ගෞරවණීය බව රැක ගැනීමට හෝ, කිව යුතු දේ ඉතාම නිවැරදිව සහ වෙනත් අර්ථ නොලැබෙන ආකාරයට කීමට, පරිපාලනය ගැන තියෙන හැම ලේඛනයක්ම ලියවෙන්නෙ සාමාන්‍ය කියවන්නාට තේරුම් ගැනීමට ආයාසකර භාෂාවකින්. ඒ නිසා, මේ දවස් වල වැඩියෙන්ම කතාවෙන 19 වන සංශෝධන කෙටුම්පත, මට තේරෙන භාෂ‍ාවෙන් විස්තර කරන්නයි මේ වෑයම් කරන්නෙ.

https://i1.wp.com/www.dailymirror.lk/media
/images/Cartoon-of-the-day-17_03_2015.jpg

1 වගන්තිය:
මුලින්ම මේ සංශෝධනයේ 3 සිට 9 දක්වා,11, 17, 19 සිට 23 දක්වා, 33 සිට 38 දක්වා වගන්ති 2015.04.22 දින සිට බලාත්මක වෙන බවත්, 11 වගන්ති‍යෙන් ඇතුළත් කරන 46 (1) අනු ව්‍යවස්ථාව, මේ සංශෝධනය ක්‍රියාත්මක වන දිනෙන් පස්සෙ එළඹෙන මහ මැතිවරණයෙන් පසු බලාත්මක වෙන බවත්, අනික් වගන්ති මේ පණත සම්මත වෙන දින සිට බලාත්මක වෙන බවත් දැක්වෙනවා. (ඒකෙන් පොඩි ඉඟියක් ලැබෙනවා, අප්‍රේල් 22 න් පස්සෙ මහමැතිවරණයකට යන්න අදහස ස්ථිරවම තියෙන බව. කියවන්නන්ගේ පහසුව සඳහා මම ඉහත කියපු වගන්ති ටික විස්තර කරද්දි ඉහත පරිදි අකුරු වලට පාට යොදන්න අදහස් කරනවා.)

2 වගන්තිය:
මූලික අයිතිවාසිකම් ගැන විස්තර කරන කොටසට මෙන්න මෙහෙම වගන්තියක් ඇතුළත් කරනවා. (දැනට ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙන මූලික අයිතිවාසිකම් වලට අමතරව.)

රජයේ අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක්, මණ්ඩලයක්, පළාත් අමාත්‍යාංශයක් හෝ පළාත් දෙපාර්තමේන්තුවක්, පළා‍ත් පාලන ආයතනයක් හෝ යම් තැනැත්තෙක් සතුව තිබෙන,
පුරවැසියන්ගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම‍‍ සඳහා හෝ
අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා
අවශ්‍ය ඕනෑම තොරතුරකට ප්‍රවේශ වීමට
පුරවැසියන්ට අයිතිවාසිකමක් ඇත.

මේ අයිතිවාසිකමට බලපාන සීමා:
        ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව,මහජන ආරක්ෂාව තහවුරු කිරීම,
        විෂමාචාර හෝ අපරාධ වැළැක්වීම,
        සෞඛ්‍යය හෝ සදාචාරය ආරක්ෂා කිරීම,
        අන් අයගේ කීර්තිය හෝ අයිතිවාසිකම් හෝ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම,
        විශ්වාසය මත ලබා දුන් තොරතුරු හෙළී කිරීම වැළැක්වීම,
        අධිකරණයේ බලය සහ අපක්ෂපාතීත්වය පවත්වාගැනීම,
        ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා නීතියෙන් නියම කළ හැකි අනික් සීමා,

3. වගන්තිය:
30 ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම සංශෝධනය කිරීම.

කලින් තිබුණු 30 ව්‍යවස්ථාව:
(1) ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් සිටියි. එතුමා:
රජයේ ප්‍රධානියා,
විධායකයේ ප්‍රධානියා,
ආණ්ඩුවේ ප්‍රධානියා,
සන්නද්ධ සේවා වල සේනාධිනායකයා, වේ.

(19 ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ වගන්තිය වෙනස් කරලා නෑ)

(2) ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගැනේ. ධූරකාලය අවුරුදු හයයි.

(19 සංශෝධනයෙන් මේ කියන ධූර කාලය අවුරුදු 5 කට අඩු කරනවා. ඒ වෙනස් කම විතරයි කරන්නෙ. 83 ව්‍යවස්ථාවෙ හැටියට නම් මේ වගන්තිය වෙනස් කරන්න ජනමත විචාරණයක් ඕනෙ.)

4. වගන්තිය:
(18 වන සංශෝධනයෙන් ඉවත් කරපු කොන්දේසියක් නැවත ඇතුළත් කිරීම.)

ජනතාව දෙවරක් ජනාධිපතිවරයා ලෙස පත් කරගත් අයෙකු නැවත ජනාධිපති ධූරයට පත් කිරීමට නුසුදුස්සෙක් වන බව,

ජනාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයක් කැඳවීමට හැකි වන්නේ පළමු ධූරකාලයේ අවුරුදු 4 කට පස්සෙ බව,
(කලින් තිබුණෙ තම වත්මන් ධූර කාලයේ අවුරුදු 4ක් කියලයි.)

31. (3අැ) iii අනු ඡේදය වෙනස් කිරීම

31. (3අැ) වගන්තියෙ විධිවිධාන:
ජනාධිපතිවරණයක ඡන්දය ගැනීම සහ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම අතර කාලයේදී අපේක්ෂකයෙක් මියගියොත් ඒ්ක ගණන් නාෙගෙන ප්‍රතිඵල ප්‍රකාශ කළ යුතුයි. 
දිනා අැත්තේ මියගිය අපේක්ෂකයා නම්, අලුත් ඡන්ද විමසීමක් පැවැත්විය යුතුයි.

ඉහත වගන්ති අනුව, මියයාම නිසා ජනාධිපති ධූරය පුරප්පාඩු වී අැති කාලයට ජනාධිපති ධූරයේ වැඩ බැලිය යුත්තේ කථානායක වරයා හෝ, (කථානායකවරයාට නොහැකි විට නියෝජ්‍ය කථානායකවරයා) ය.

කලින් තිබුණෙ, අගමැතිවරයා ජනාධිපති ධූරයේ වැඩ බැලිය යුතුයි (අගමැති ට නොහැකි විට කථානායකවරයා) කියලයි.

ජනාධිපතිවරණයකින් පසුව හිටපු ජනාධිපතිවරයා අපේක්ෂකයෙක් නොවුනානම් හෝ, ඔහු/අැය ජනාධිපතිවරණයෙන් පරාදයි නම් හෝ, ජයග්‍රාහක අපේක්ෂකයා වහාම ජනාධිපතිධූරයේ වැඩ භාරගත යුතුය. ඒසේ වැඩභාරගන්නා තෙක් හිටපු ජනාධිපති වැඩ බැලිය යුතුයි. 

දෙසතියක් තුළ ජයග්‍රාහකයා වැඩභාර නොගත්තොත් ජනාධිපති ධූරයේ වැඩ බැලිය යුත්තේ කථානායක වරයා හෝ, (කථානායකවරයාට නොහැකි විට නියෝජ්‍ය කථානායකවරයා) ය.

කලින් තිබුණෙ, අගමැතිවරයා ජනාධිපති ධූරයේ වැඩ බැලිය යුතුයි (අගමැති ට නොහැකි විට කථානායකවරයා) කියලයි.

5. වගන්තිය:

ජනාධිපතිවරයාගේ කාර්යයන් සංශෝධනය කිරීම:

අලුතෙන් ඒකතු කර අැති කරුණු-
    ජනාධිපතිවරයා ජාතික සමඟියේ සංකේතය විය යුතුය. (කොහොමද ඒ්ක කෙරෙන්නෙ කියලා පැහැදිලි කරලා නෑ)
         අාණ්ඩුවෙ සියලු අංශ, අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බව හා අාරක්ෂා කරන බවට වගබලාගැනීම, අාගමික හා ජනවාර්ගික සහජීවනය සුරක්ෂිත කිරීම, තහවුරු කිරීම හා පහසු කිරීම,
         ජාතික ප්‍රතිසං‍න්ධානය හා ඒ්කාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම,... අාදී කරුණු කීපයක් (ප්‍රායෝගිකව කෙරෙන හැටි ගැන කිසි සදහනක් නැතිව) ජනාධිපතිවරයාගේ කාර්යයන් හැටියට දක්වලා තියෙනවා.

ජනාධිපතිවරයාගේ බලතල අතරට, පාර්ලිමේන්තුව කැදවීමට, වාර අවසන් කිරීමට, විසුරුවා හැරීමට බලය ඒකතු කර තියෙනවා.

රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීම ගැන ජනාධිපතිවරයාගේ බලතල ලැයිස්තුව අතරට, "අභියාචනාධිකරණ‍යේ සභාපති සහ විනිශ්චයකාරවරුන් පත් කිරීම" අැතුළත් කර තියෙනවා
(කලින් තිබුණෙ - අගමැති, අමාත්‍ය මණ්ඩලය, අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු වරු, පත් කිරීම,
ජනරජයට අයිති, පවරා දීමට ජනාධිපති ට බලතල අැති ඉඩම් හා නිශ්චල දේපළ පැවරීම කියන කාරණා...)

6. වගන්තිය: 

(අාණ්ඩුක්‍ර්‍රම ව්‍යවස්ථාව යටතේ සහ මහජන අාරක්ෂාව සම්බන්ධ නීති යටතේ) ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යයන් යථා පරිදි ඉටු කිරීම ගැන පාර්ලිමේන්තුවට වග කිව යුතු බව එකතු කරලා තියෙනවා.

7. වගන්තිය:

ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව:

ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවක කළ හෝ නොකර හැරිය කිසි ක්‍රියාවකට සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැක. (කලින් මේ සිවිල් හෝ අපරාධ කියන කොටස තිබුණෙ නෑ. තිබුණෙ කිසිම අධිකරණයක කියන වචනය. ඒ කියන්නෙ කිසිම නඩුවක් පවරන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. දැන් බැරි සිවිල් හෝ අපරාධ විතරයි. ඒ කියන්නෙ මූලික අයිතිවාසිකම් වගේ නඩු පවරන්න පුළුවන්.)

නඩු පැවරීමෙන් නිදහස් වීම ගැන තියෙන සීමා:

ඒ වගේම, ජනාධිපතිවරයා නිල තත්ත්වයෙන් කළ හෝ නොකර හැරිය කිසිවක් ගැන නීතිපතිවරයාට විරුද්ධව 126 ව්‍යවස්ථාව යටතේ (ඒ කියන්නෙ මූලික අයිතිවාසිකම් සහ භාෂා අයිතිවාසිකම් කඩවීම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කරන්න තියෙන අවස්ථාව) තියෙන හැකියාව මේ  වගන්තියෙන් සීමා වෙන්නෙ නෑ.


යුද්ධය හා සාමය ප්‍රකාශ කිරී්‍මේ බලයත් මේකට යටත් වෙන්නෙ නෑ.

කිසයම් සිද්ධීයක් ගැන නඩු පැවරීමට පුළුවන් කාලසීමාවක් තියෙන විට, ජනාධිපතිවරයා ධූරයේ හිටිය කාලය ඒ කාල සීමාවෙන් අඩු කර ගණන් බැලිය යුතුයි.

ජනාධිපතිවරණ සහ ජනමතවිචාරණ පිළිබඳ නඩු විභාග කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලයටත් මේක අදාළ වෙන්නෙ නෑ.

8 වන වගන්තිය

රෝගාතුර වීම, දිවයිනෙන් පිට සිටීම හෝ වෙනත් අවස්ථා වලදී ජනාධිපතිවරයාට ධූරයේ කටයුතු කරන්න බැරි වෙලාවට, කථානායකවරයා හෝ, කථානායකවරයා ට බැරි විට නියෝජ්‍ය කථානායකවරයා වැඩ බැලිය යුතුයි.

(කලින් තිබුණෙ, වැඩබැලීමට ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත් කළ යුතුයි, අගමැති ධූරයේ වැඩබැලීමට වෙනත් කැබිනට් ඇමතිවරයෙක් පත් කළ යුතුයි කියලයි.)

9 වන වගන්තිය

ජනාධිපතිවරණ නඩුවකදී, ජනාධිපතිවරණ ප්‍රතිඵලය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළොත්, හෝ වෙනත් තැනැත්තෙක් ජනාධිපතිවරණය දිනා ඇති බව තීන්දු කළොත්, ඒ වන විට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන තැනැත්තාගේ ධූරය වහාම අහෝසි වන අතර, නව ජනාධිපතිවරණයක් මාසයක් ඇතුළත පැවැත්වීමේන හෝ, නඩු තීන්දුව අනුව නව ජනාධිපතිවරයා වැඩභාරගන්නා තෙක් ජනාධිපතිධූ‍රයේ වැඩ බැලීම කථානායකවරයා හෝ, කථානායකට බැරි විට නියෝජ්‍ය කථානායකවරයා කළ යුතුයි.

ජනාධිපතිධූරය මොන ක්‍රමයකින් හරි හිස් වුනොත්, පාර්ලිමේන්තු මන්ත්‍රී වරු අතරින් කෙනෙක් රහස් ඡන්දයෙන් සහ ඒකාන්ත බහුතරයක ඡන්දයෙන් (ඒ කියන්නෙ නොපැමිණී මන්ත්‍රී වරුන්ද ඇතුළත්ව 50% කින්) තොරාගත යුතුයි. එතෙක් වැඩ බැලීම කථානායක හෝ නියෝජ්‍ය කථානායක කළ යුතුයි.

(කලින් තිබුණෙ වැඩ බැලීම අගමැති හෝ කථානායක කළ යුතුයි කියලයි.)

(මේ ජනාධිපති ධූරයෙ වැඩ බලන කතාවල්, මොන ක්‍රමයකින් හරි එක පුද්ගලයෙකුට බලය කේන්ද්‍ර වීමේ මොන යම් හරි ඉඩක් ඇතිනම් ඇහුරන්න කරපු සංශෝධනයක් බව පේනවා.)

10 වගන්තිය

17 වන සංශෝධනයෙන් පිහිටුවන ලද, 18 වන සංශෝධනයෙන් නැති කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම.

සංයුතිය: 

කථානායක, (සභාපති)
අගමැති,
විපක්ෂනායක,
ජනාධිපතිවරයා පත් කරන 1ක්,
අගමැති හා විපක්ෂ නායක නම් යෝජනා කර, ජනාධිපතිවරයා පත් කරන සාමාජිකයන් 5ක්,
අගමැති හා විපක්ෂනායක අයත් නොවන පාරලිමේන්තුව නියෝජනය කරන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වල පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ බහුතරයේ එකඟතාවයෙන් නම්කර, ජනාධිපතිවරයා පත් කරන 1ක්.

17 සංශෝධනයේ නොතිබුණු 19 න් එකතු කර ඇති දේ:

අගමැති හා විපක්ෂ නායක නම් කරන 5 දෙනා නම් කරදිදි, වෘත්තීය හා සාමාජීය විවිධත්වය, ලංකාවේ බහුවාර්ගිකත්වය පිළිබිඹු වීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ වල හා කණ්ඩායම් වල නායකයන්ගේ අදහස් විමසිය යුතුය.

ජනාධිපතිවරයා, අගමැති හා විපක්ෂ නායක නම්කරන තැනැත්තන්, විශිෂ්ට හා අවංක, පොදු වෘත්තීය ජීවිතයේ කීර්තිය ලැබූ, දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන අය විය යුතුය.

මේ අය නම් කිරීමෙන් දින 14 ක් ඇතුළත ජනාධිපති වරයා විසින් පත් කළ යුතුයි, එසේ නොකළා වුනත් දින 14න් පසුව ඒ අය සාමාජිකයන් ලෙස පත් කළ බවට සැළකෙනවා.

එක් වරක් පත් කරන ලද අයෙක් නැවත පත් කිරීමට නුසුදුස්සෙක් වේ.

සාමාජිකයන් පුරප්පාඩු වුනත් මේ සභාව ක්‍රියාත්මක වේ. (17 වන සංශෝධනයෙන් පස්සෙ මේ සභාවෙ ජනාධිපතිවරයා පත් කරන තැනැත්තා පත් නොකළ නිසා මේ සභාව ක්‍රියාත්මක වුනේ නෑ. ඒ කපටි වැඩේට මේ වගන්තියෙන් ඇණයක් ගහලා තියෙනවා)

කාර්යයන්:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු අය-

මැතිවරණ කොමිෂන් සභාව
රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
විගණන සේවා කොමිෂන් සභාව, (19 සංශෝධනයෙන් ඇතිකළ එකකි,)
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව,
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව,
මුදල් කොමිෂන් සභාව,
සීමා නිර්ණය කොමිෂන් සභාව,
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව, (19 සංශෝධනයෙන් ඇතිකළ එකකි,)
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, (මෙතෙක් මෙම කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කළේ ජනාධිපති අභිමතය පරිදි ය.)
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව. (19 සංශෝධනයෙන් ඇතිකළ එකකි,)

මේ අය ඉවත් කිරීම - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ලිඛිත නීතියක විධිවිධාන පරිදි හෝ, සභාවේ අනුමැතිය ඇතිව කළ යුතුය.

ජනාධිපතිවරයා නම් යෝජනා කර, සභාවේ අනුමැතිය මත පත් කළ යුතු පත්කිරීම් -

අගවිනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයන්,
අභායාචනාධිකරණයේ සභාපති හා විනිසුරුවරයන්,
අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති හැර (නිලබලයෙන් අගවිනිසුරු පත් වේ.) සාමාජිකයන්,
නීතිපති,
විගණකාධිපති,
පොලිස්පති (18 වන සංශෝධනයෙන් මෙයා පත් කිරීම ගැන විධීවිධානය ඉවත් කර තිබුණා.)
ඔම්බුඩ්ස්මන්,
පාර්ලිමේන්තු මහ ලේකම්.

මේ අය ඉවත් කිරීම - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ලිඛිත නීතියක විධිවිධාන පරිදි කළ යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්, අභියාචනාධිකරණයේ සභාපති හා විනිසුරු වරයන්, පත්කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අගවිනිසුරු ගේ ද, අධිකරණ ඇමතිවරයාගේද, හ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිගේද අදහස් ලබාගත යුතුය.

11 වන වගන්තිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මහජන ආරක්ෂාව ගැන පවතින නීති යටතේ සිය බලය හා කාර්යයන් ගැන ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියන වගන්තිය ඉවත් කර තියෙනවා.

අගමැති අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා කරලා තියෙනවා. (කලින් කැබිනට් එකේ ප්‍රධානියා වුනේ ජනාධිපති, එයා කැබිනට් එකේ සාමාජිකයෙක් ද වුණා.)

අගමැතිවරයා, ඇමතිවරු ගණන ද, අමාත්‍යාංශ හා ඒවායේ විෂයයන් ද නිශ්චය කළ යුතුයි. ජනාධිපතිවරයා අගමැතිවරයාගේ උපදෙස් මත ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, කැබිනට් නොවන ඇමතිවරු පත්කළ යුතුයි. (කළින් තිබුණෙ, අවශ්‍ය නම් අගමැතිගේ අදහස් විමසා ජනාධිපතිවරයා විසින් කළ යුතුයි කියලයි.) අගමැතිවරයාට ඕනෑම අවස්ථාවක අමාත්‍යාංශ වල විෂයයන් වෙනස් කිරීම, අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම කළ හැක.

ඇමතිවරුන් හට පවරන ලද බලතල, අගමැතිගේ ඉල්ලීම මත ගැසට් නිවේදනයකින් වෙනත් මන්ත්‍රී වරුන්ට පවරා දිය හැක.

ඇමති මණ්ඩලය උපරිම 30 ක් විය යුතුය.

කැබිනට් නොවන ඇමතිවරු හා නියෝජ්‍ය ඇමතිවරුන්ගේ එකතුව උපරිම 40 ක් විය යුතුය.

19 සංශෝධනය ක්‍රියාත්මක වූ වහාම මීළඟට පවත්වන මහමැතිවරණයෙන් පත්වන පාර්ලිමේන්තුවේ වැඩිම හා දෙවෙනියට වැඩිම මන්ත්‍රීවරුන් ගණනක් අයත් වන පක්ෂ හෝ කණ්ඩායම් දෙක ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වුණොත්, සහ
ඇමතිවරු ගණන් වැඩි කීරීමට පාර්ලිමේන්තුව එකඟ වුණොත්, (කවුද ඉතින් එකඟ නොවෙන්නෙ?)

ඇමතිවරු ගාණ 45 දක්වාත්,

කැබිනට් නොවන ඇමතිවරු හා නියෝජ්‍ය ඇමතිවරුන්ගේ එකතුව 55 දක්වාත් වැඩි කළ හැක.

(මේ ජාතික ආණ්ඩු සම්බන්ධ ව්‍යවස්ථාව මීළඟ මහ මැතිවරණයට විතරයි මේ අනුව අදාළ වෙන්නෙ.)

අමාත්‍ය මණ්ඩලයට, අගමැතිවරයාට හා අමාත්‍යාංශ වලට ලේකම් වරු පත් කරන්නේ කලින් වගේම ජනාධිපති වරයා විසිනි.

අමාත්‍ය මණ්ඩල ලේකම් හා අගමැති ලේකම් අගමැතිවරයාගේ විධානයට යටත්ව ක්‍රියාත්මක විය යුතුයි.
අමාත්‍යාංශ ලේකම් වරු අදාළ ඇමතිවරයාගේ විධානයට අනුව ක්‍රියා කළ යුතුයි.

(කලින්, අමාත්‍යාංශ ලේකම් වරු ඇමතිවරයා මඟහැරලා, ජනාධිපතිට ඕනෙ විදිහට වැඩ කිරීමේ ඉඩක් පැවතුණා. ඒක මේ වගන්තියෙන් හරිගස්සලා තියෙනවා.)

12 වන වගන්තිය

රාජ්‍ය සේවා ‍කොමිෂන් සභාවේ සාමාජිකයන් පත් කිරීම හා ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත සිදුකළ යුතුය.

ජනාධිපතිවරයාට, කොමිෂන් සභාවේ සාමාජිකයෙකු හට මාස 2 ක උපරිමයකට, නිවාඩු දිය හැක. ඒ කාලය තුළ තාවකාලිකව ඒ වෙනුවට පත් කරන සාමාජිකයා ද පත් කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මතය.

13 වන හා 14 වන වගන්ති

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලතල හා කාර්යයන්, රාසේකො නිශ්චිතව සඳහන් කරන (18 වන සංශෝධනයෙන් මේක "අමාත්‍ය මණ්ඩලය නිශ්චිතව සඳහන් කරන" කියලා වෙනස් කළා.) රජයේ නිලධර ගණ සම්බන්ධව, රාසේකො සාමාජිකයන් නොවන තිදෙනෙකු ගේ කමිටුවකට හෝ රාජ්‍ය නිලධාරියෙකුට පවරාදිය හැක.

15 වන වගන්තිය

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණ හෝ ක්‍රියා, (මූලික හෝ භාෂා අයිතිවාසිකම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති අධිකරණ බලයට යටත්ව සහ පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාර‍ය්‍ෙ අභියාචනා විනිශ්චය කිරීමේ බලයට යටත්ව) කිසිම අධීකරණයකින් විනිශ්චය කළ නොහැකි බව. (19 සංශෝධනයෙන් පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාර‍ය්‍ෙ අභියාචනා විනිශ්චය කිරීමේ බලය මේකට එකතු කරලා තියෙනවා. රාසේකො ක්‍රියා හෝ තීරණ වලින් අතෘප්තිමතත් අයෙකුට පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියට අභියාචනා කළ හැකියි.)

16 වන වගන්තිය

ජනාධිපතිවරයා විසින්,

ත්‍රිවිධ හමුදාපතිවරු ද,
අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව නීතිපතිවරයා හා පොලිස්පතිවරයා ද,
පත් කළ යුතුයි.
(18 වන සංශෝධනයෙන් පොලිස්පති වරයා හැලිලා තිබුණා. 19 වන සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශ්‍ය බව එකතු කරලා තියෙනවා.)

නීතිපතිවරයා හා පොලිස්පතිවරයා අවුරුදු 60න් ධූරය හැරයා යුතුය.

17 වන වගන්තිය

පාර්ලිමේන්තුවේ ධූර කාලය පළමුවර රැස්වීමෙන් අවුරුදු 5 ක උපරිමයකට අඩු කර තියෙනවා. (කලින් තිබුණෙ අවුරුදු 06 ක්. 83 ව්‍යවස්ථාවෙ තියෙන හැටියට නම් මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ජනමතවිචාරණයක් අවශ්‍යයි.)

18 වන වගන්තිය

පාර්ලිමේන්තු මහලේකම් වරයා පත් කිරීම හෝ ඔහු වෙනුවට වැඩ බැලීමට පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත ජනාධිපතිවරයා විසින් කළ යුතු බව.

19 වන වගන්තිය

පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළත්ව බහුතරයේ යෝජනාවක් සම්මත කිරීමෙන් මිස, පාර්ලිමේන්තුව පළමු වර රැස්වී අවුරුදු 4 මාස 6 ක් ගත වන තුරු, ජනාධිපතිවරයාට විසුරුවා හැරිය නොහැක.
(කලින් තිබුණෙ අවුරුද්දක් ගත වූ පසු කියලයි.)

20 වන වගන්තිය

සෑම පණත් කෙටුම්පතක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අවම දවස් 14 කට පෙර ගැසට් පත්‍රයේ පළ කළ යුතුය. (කලින් මේක තිබුණෙ දින 7යි. ගැසට් කිරීමෙන් ජනතාවට ඊට විරුද්ධ වීමට කාලය දීමක් සිදු වෙනවා. ඒ වගේම හදිසි පණත් විදිහට ගේන්න තියෙන ඉඩකඩත් මේ වගන්තියෙන් අයින් වෙනවා.)

21 වන වගන්තිය

ජනමතවිචාරණය ගැන 85 (2) අනු ව්‍යවස්ථාව ඉවත් කිරීම:

85 (2) තිබුණෙ -

පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප වුනු, (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන හෝ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන හෝ පණතක් නොව්‍ෙ නම්) පණත් කෙටුම්පතක්, ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයකට ඉදිරිපත් කළ හැකියි.

22 වන වගන්තිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුස්සන් - 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අගමැති, විපක්ෂ නායක, හා කථානායක හැර අනෙක් සාමාජිකයන්,

පහත කොමිෂන් සභාවල සාමාජිකයන්:
මැතිවරණ කොමිෂන් සභාව
රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
විගණන සේවා කොමිෂන් සභාව,
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව,
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව,
මුදල් කොමිෂන් සභාව,
සීමා නිර්ණය කොමිෂන් සභාව,
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව,
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව,
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව.

මැතිවරණ කොමසාරිස් ජනරාල්,
රජයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණක සේවයේ සාමාජිකයන්,
වෙනත් රටක ද පුරවැසියෙකු වන මෙරට පුරවැසියන් (ගෝඨාභය, බැසිල් සහ සරත් ෆොන්සේකාත් මේකට ඇතුළත් වෙනවා මට හිතෙන විදිහට...)

23 වන වගන්තිය

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකම් -

වයස අවුරුදු 35 සම්පූර්ණ වීම (කලින් තිබුණෙ 30 යි)
ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධූරයට පත් කරගෙන නොතිබීම (18 වන සංශෝධනයෙන් ඉවත් කරපු මේ වගන්තිය ආපහු එකතු කරලා තියෙනවා)
පහත දැක්වෙන කාරණය:

මානසික හෝ ශාරීරික දුබලතාවක් නිසා, ධූරයේ වැඩ කළ නොහැකි බව හෝ,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම,
රාජ්‍ය ද්‍රෝහී වීම,
අල්ලස්,
ධූරයේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම හෝ දූෂණය,
චරිත දූෂණය ගැන නීතිය යටතේ වැරදි,
ගැන චෝදනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ගේ ලිපියක්, පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් අත්සන් කර, (දෙකෙන් එකක් අත්සන් කර ඇත්නම්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විභාග කිරීම සුදුසු බව කථානායක අදහස් කරයි නම්,) කථානායක භාරගෙන,
පරීක්ෂා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. 
ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට වාර්තා කළ විට, ජනාධිපතිවරයාට තමන්ම හෝ නීතිඥයෙක් මඟින් කරුණු දක්වන්නට පුළුවන්.
ඒ අනුව, පාර්ලිමේන්තු‍වේ මුළු මන්ත්‍රීවරු ගණනින් 2/3ක ඡන්දයෙන් සම්මත කරන යෝජනාවකින් ජනාධිපතිවරයා ඉවත් කළ හැකියි.

මේ අයුරින් ඉවත් කළ කෙනෙක් නැවත ජනාධිපති ලෙස පත් නොකළ යුතුයි කියා කලින් තිබුණු වගන්තිය, 19 වන සංශෝධනයෙන් ඉවත් කර තියෙනවා.

24 වන වගන්තිය

දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක්, පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වන තම පක්ෂයේ සාමාජිකයෙකුට විරුද්ධව ගත් හෝ ගැනීමට යන විනය ක්‍රියාවක්, විභාග කරන්නට හෝ වැළැක්වීමට රිට් ආඥාවක් පැණවීමට කිසිම අධිකරණයකට බලයක් නැති බව.

(මේකට අදාළ නොවන්නේ:
පාර්ලිමේන්තුවට පත්වූ විට ඒ මන්ත්‍රීවරයා සිටි පක්ෂයෙන් ඔහු ඉල්ලා අස්වීම හෝ පහ කිරීම හෝ වෙනත් විදිහකින් සාමාජිකත්වය නතර වීමක් වුනොත්, එතැන් සිට මාසයකින් පසු එම මන්ත්‍රී අසුන හිස් වේ.

ඒ මාසය ඉකුත් වන්නට පෙර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් මඟින් ඉල්ලීමක් කළොත්,
‍එය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරු 3 දෙනෙක් විභාග කර, පෙත්සම ඉදිරිපත් කිරීම සිට මාස දෙකක් තුළ ඒ පහ කිරීම වලංගු බව තීරණය කළොත්, මන්ත්‍රී අසුන හිස් වේ.
එවිට මනාප ලැයිස්තුවේ ඊළඟට සිටි අපේක්ෂකයා ඒ අසුනට පත් වේ.)

25 වන වගන්තිය

මැතිවරණ කොමිෂන් සභාව

සාමාජිකයන් පත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපති විසිනි. (කලින් තිබුණෙ "ජනාධිපති විසිනි" කියලයි)

පහත වගන්තියත් එකතු කරලා තියෙනවා:

එක් සාමාජිකයෙක් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙක් හෝ ඊට ඉහළ නිලයක සිටි මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගිය අයෙක් විය යුතුයි.

කොමිෂන් සභාවේ සාමාජිකයෙකුට උපරිම මාස දෙකක් නිවාඩු දීමට ජනාධිපතිවරයාට හැක. ඒ නිවාඩු කාලයට වැඩබැලීමට පත් කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මතය.

26 වන වගන්තිය

මැතිවරණ / ජනමතවිචාරණ කාලය තුළ පොදු දේපළ එක් අපේක්ෂකයෙකුට වාසි වන සේ හෝ වෙනත් අපේක්ෂකයෙකුට අවාසි වන පරිදි පාවිච්චි කිරීම ගැන, 18 වන සංශෝධනයෙන් ඇතුළත් කර තිබුණු පහත වගන්ති ඉවත් කිරීම.

මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණයක් හෝ ජනමතවිචාරණයක් නියම කරන දිනයෙන් පටන් ගන්නා කාලය තුළ, මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන උපමාන-
මැතිවරණය හෝ ජනමතවිචාරණය ගැන සෘජුව සම්බන්ධ වූ කාරණාවලට සීමා විය යුතුයි,

රාජ්‍ය සේවයට අදාළ කාරණයකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පත් කර ඇති රාජ්‍ය සේවා ‍කොමිෂන් සභාවේ හෝ අධිකරණ සේවා කොමිෂන් සභා‍වේ සීමා වලට සෘජුව අදාළ නොවිය යුතුයි.

ඒ කියන්නෙ, මැතිවරණ ‍කොමිෂන් සභාවට ඒ ගැන තිබුණු බලතල ආපහු වැඩි කරලා තියෙනවා.

මේ ටික එකතු කරලා තියෙනවා-

නිදහස් හා සාධාරණ ලෙස මැතිවරණ හෝ ජනමතවිචාරණ පැවැතිවීමට, මැතිවරණ කොමිෂන් සභාව ගුවන් විදුලි, රූපවාහිනී, පුවත්පත් ආදියට නිකුත් කරන උපමාන වලට ප්‍රමාණවත් ප්‍රසිද්ධියක් ලබා දිය යුතුයි.

ගුවන් විහිලු සංස්ථාවේ සභාපති,
රූපවාහිනී සංස්ථාවේ සභාපති,
අයිටීඑන් එකේ සභාපති,
වෙනත් සියලු රජයට අයත් හෝ රජයේ පාලනය යටතේ ඇති ගුවන් විහිලු හෝ රූපවාහිනී නාලිකා,
සෑම පුද්ගලික ගුවන් විහිලු හා රූපවාහිනී නාලිකා පවත්වාගෙන යන ව්‍යවසායකයන්,
එම උපමාන අනුව ක්‍රියාත්මක වීම සහතික කරන සියලු පියවර ගත යුතුයි.

(මේ ගැන කලින් තිබුණ වගන්තිය මේතරම් පැහැදිලිව දක්වලා තිබුණෙ නෑ. නමුත් මේ අදහසම ඒ වගන්තියෙත් තිබුණා.)

එම උපමාන උල්ලංඝනය කළොත්,
නිසිබලධාරියෙක් පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභවට හැකියි. ඒ නිසි බලධාරියා පත් කළ අවස්ථාවේ පටන්, එම නාලිකා වල කළමනාකරණය (ඡන්ද විමසීම අවසන් වන තෙක්) නිසි බලධාරියා යටතට පවරා ගත යුතුයි.

ඒ නිසිබලධාරියාගේ බලතල හා කාර්යයන් පාර්ලිමේන්තුව නීති මඟින් පැනවිය යුතුයි.

(නීතියක් පණවනකොට, එයට අනුගත නොවුනොත් මොකද කරන්නෙ කියන එකත් තිබිය යුතුයි. මේ දක්වා එහෙම දෙයක් මේ සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙ තිබුණෙ නෑ. ඒකත් මේ සංශෝධනයෙන් එකතු කරලා තියෙනවා.)

ගුවන් විහිලු හෝ රූපවාහිනී නාලිකාවක් හෝ පුවත්පතක් ඡන්ද විමසීමකදී එක් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනයට වැඩ කරන්නට අදහස් කරන විට,
ඡන්ද විමසීම ප්‍රකාශ කළ දින සිට දින 7 ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාවට දැන්විය යුතුයි. එතකොට ඒ අයට ඉහත වගන්ති අදාළ වෙන්නෙ නෑ.

27 වගන්තිය

මැතිවරණ කොමසාරිස් ජනරාල් පත්කළ යුත්තේ:
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව,
මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරන නියමයන් හා කොන්දේසි මත, මැතිවරණ කොමිෂන් සභාව විසිනි.

(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත් ව කියන කොටස කලින් තිබුණෙ නෑ.)

28 වන වගන්තිය.

"ඡන්ද විමසීමකදී / ජනමත විචාරණයකදී කාර්යයන් ඉටු කරන සෑම රජයේ නිලධාරියෙක්ම, කොමිෂන් සභාවේ විධාන වලට යටත්ව ක්‍රියා කළ යුතුයි" කියන වගන්තියට පහත සඳහන් කොටසත් එකතු කරලා තියෙනවා:

කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නට අපොහොසත් වන හෝ, ඉහත පරිදි විධාන වලට යටත්ව කටයුතු නොකරන, රජයේ නිලධාරියෙකුට,
රු. ලක්ෂයකට නොවැඩි දඩයක් හා/හෝ අවුරුදු 3 කට වැඩි නොවන සිර දඬුවමකට යටත් කරනු ලැබේ.

මෙය විභාග කරන්නට සෑම මහාධිකරණයකටම බලය ඇත.

(කලිනුත් කිව්වා වගේ, වැරැද්ද කියලා විතරක් මදි. වැරැද්දට දෙන දඬුවමත් නිශ්චිතව කියන්න ඕනෙ.)

ඉතිරි කොටස මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු වෙන්න...

20 comments:

  1. මං හිතන්නෙ ෆීල්ඩ් මාෂල් අමෙරිකන් පුරවැසියෙක් නෙවෙයි.. ග්‍රීන් කාඩ් තිබ්බට පුරවැසිකම අරන් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක මං දැනං උන්නෙ නෑ. ඉස්තූතියි සරත්...,

      Delete
  2. වටින ලිපියක්, කොටසක් කියෙවුවා ආයේ ඉතුරුටික කියෝනව

    ReplyDelete
    Replies
    1. ටැංකිව්...! මාත් කොටසක් ලිව්වා, ඉතුරු ටිකත් ලියාගෙන යනවා... :-)

      Delete
  3. මමත් ලඟදි ලිස් කරලා වාහනයක් ගන්න ඉන්න නිසා මේ ලිපිය මට සෑහෙන්න වටිනවා....... 19 පාරක් හෝදපු කියල දාන්නේ නැතුව සංශෝධනය කියලා බර වචන වලින් දාලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. බර වචන අහක් කරලා ලියන්න තමා මටත් ඕනෙ උනේ. අන්තිමේ බලද්දි නිකං මාර්ටින් වික්‍රමසිංහගෙ බවතරණය වගේ වෙලා. ඉතින් පුරුදු බාසාවෙන් ලිව්වා.

      උඹැහැ වාහනයක් ලීස් කරන එකෙයි 19යි තියෙන සම්බන්ධෙ මොකද්ද රාළ?

      Delete
  4. මේ ක්‍රමය සාර්ථක වන්නේ අවංක දේශපාලනඥයන් ඉන්නවානම් විතරයි. හැම දෙයක්ම කොලයක ලියලා සම්මත කරගත් පමණින් එය සාර්ථකයයි කියන්නට බැහැ. ප්‍රායෝගිකව එය පාවිච්චි කරන ආකාරය තමයි වැදගත්.

    මේ පනතේ තිබෙන ස්වාධීන කොමිෂන් සභා කිසිදු බලපෑමකින් තොරව පවත්වාගෙන යා හැකිනම්. අපේ රටේ පෙරළිකාර දියුණුවක් ඇතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. අවංක දේශපාලකයන් කරළියට ගේන්න මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක්ම ඕනෙ වෙයි කියලා මට හිතෙනවා. අනික දේශපාලකයන්ගේ ආචාර ධර්ම පද්ධතිය, ඒ ආචාර ධර්ම කඩකිරීමට දඬුවම් ද එක්ක නීතිගත කරන්නත් වෙයි.

      ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන කියලා තියෙන දේවල් හැටියට නං කොමිෂන් සභා සියල්ල ස්වාධීන වෙන්න සෑහෙන ඉඩක් තියෙනවා...

      Delete
  5. ඕක කොරන්න හදන්නේ ලංකාවෙනෙ , එක තමා එකම අප්සට් එක

    ReplyDelete
    Replies
    1. අපි ඉන්නෙත් ලංකාවෙනෙ. ඒ නිසා ලංකාව වෙනස් කරගන්න වෑයම් කිරීම තමා කළ යුත්තෙ...

      Delete
  6. උඩ ඉදන් කොමෙන්ට් කොටුව ගාවට එනකන්ම ඩ්‍රැග් කරගෙන ඇවිත් මේ පැත්තෙ ආවයි කියල කියන්න මේ කොමෙන්ට් එක කෙටුව

    ReplyDelete
    Replies
    1. අවංක ප්‍රකාශයක්... :-)

      Delete
  7. මම කියෙව්වෙ නෑ ගොයියො..මම ආසා නෑ මේ වගේ ඒවා කියවන්න...අපිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ඇවිත් ගියත් ඇති සිරා...,

      මේ වගේ පෝස්ට් ගොඩක් අය කියවන් නෑ තමයි. 19 වන සංශෝධනය ගැන තිබුණු ඔන්ලයින් පත්තර වාර්තාවක කමෙන්ට් එකක් තිබුණා කෙනෙක් දාලා, "අපිට ඕක ඉතින් තේරෙන් නෑනෙ" කියලා. ඒක දැකපුවාම මට හිතුනා මෙහෙම එකක් ලියන්න ඕනෙ කියලා. මේක ලියන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි 19 වන සංශෝධනයයි දෙකම කියවන්න වුනා.

      සමහර සන්ධාන ඇමතිවරුත් 19 ගැන එක එක කතා කියන්නෙ හරියට (ඔය දෙකම) කියවලා නෙවෙයි.

      Delete
  8. මේ පෝස්ට් එක ලියන්න මහන්සි උණාට +++

    ReplyDelete
  9. මේ පෝස්ටුව දාපු දවස්වලම ෆෝන් එකෙන් කියවල දිගම දිග කමෙන්ට් එකක් දැම්ම. අවාසනාවට ඒක හැංගුනා නෙව! දැං ආයෙත් කියවන ගමන්.........

    මේකෙ පැරණි එකයි අලුත් එකයි සන්සන්දනය වන විදියට ටේබල් එකක දැම්මනං මීටත් පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත රාජ්. එ් උනාට සම්මත කරපු 19 මේකටත් වඩා වෙනස්... :-)

      Delete
    2. පබාගෙන් ඇහුවනම් කියයි ඔය ව්‍යවස්ථා සන්ස්ශෝදන ගැන

      Delete
    3. අපි තව ඒ වගේ ප්‍රාමාණික විද්වතුන් රැසක් බිහි කරන්න ඕනෙ. ඒකයි විසි වෙනි සංශෝධනේ පරක්කු කරන්නෙ...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

ලබ්බෙ මගුල

මේ වගන්තිය බාගදා මට මේ පෝස්ටුව අන්තිමට කියා දක්වන්නට බැරි වෙන්නට පුළුවන. එහෙයින්, මුලිම්ම: මේ පෝස්ටුවේ කියවෙන වෙඩිමේ බැඳපු දෙදෙනාට සුභ මගු...

ගොඩක්ම කියවපු ලිපි