Friday, March 24, 2023

අපේ තාත්තා

පහු ගිය දාක මෙහෙ ඇවිත් ගියපු දිලා හෙවත් දිල්ෂාන්, ඒ ගැන පින්තූරයක් ෆේස්බුක් දාලා තිබුණා. ඒකට දිලා දාපු කමෙන්ට් එකක් නිසා මට අපේ තාත්තා ගැන මතක රාශියක් ආපහු හිතට නැගුනා. ඒ නිසා මේ පෝස්ට් එක දාන්න මූලික වුණු දිලා ට මගේ කුරුතඤ්ඤ බාවය මෙයින් පළ කර සිටිනවා.

අපේ තාත්තා ගැන මගේ මුල් ම පෝස්ටුවේ යම් තාක් දුරකට සඳහන් කර තිබෙනවා. නමුත් ඊට පසු ලියා තිබෙන ගජබින්නවල නම් පුරා ම තියෙන්නේ බොරු. අපේ තාත්තා ගැන මට තිබෙන මුල් මතකයක් වන්නේ, අපේ ගෙදර කබඩ් එකක ගොඩ ගහලා තිබුණු පොත් ගොඩ. මම ඒවා අදින්න යනකොට අපේ අම්මා  මාව වැළැක්වූවේ, "ඒවා තාත්තගේ. ඇදලා දාන්න එපා" කියලා. ඒ මට අවුරුදු තුනක් විතර වෙද්දි. 

අපේ තාත්තා රැකියාව පටන් ගත්තේ අවුරුදු දාසයේ දී විතර. (මම දන්න විදිහට.) අපේ සීයා හදිසියේ මිය ගියාට පස්සේ, අපේ තාත්තාත්, එයාගේ අක්කාත්, ඉගෙනීම නතර කරලා, රැකියා කරන්න පටන් ගත්තා.

අපේ තාත්තා, ගොවි ජනපද ඇති කිරීමේ වැඩසටහන යටතේ කන්තලේ කැළෑ කපන්න ගියා. ඒ වැඩවලට අපේ බාප්පත්, ගමේ සමකාලීන තරුණයන් ගොඩකුත් ගියා. ඒ කාලේ තමයි, අර අපේ තාත්තලා එක්ක වාඩියේ උයන පිහන වැඩවලට එක්කරන් ගිය වයි. පියදාස හෙවත් මහත්තයා මාමා (පසුකාලීනව කසිප්පු මහත්තයා ලෙස හැඳින්වුණා) එයාගේ අම්මට එවපු ලියුමක "අම්මා සියලු දෙවියන්ගේ පිටේ යයි" කියලා ලියා එව්වේ.

වරක්, ඔය ගස් කපන වාඩියේ පිරිතක් කියෙව්වා. ඒක සර්ව රාත්‍රික පිරිතක්. මහ පාන්දර ජාමේ කියනවානේ ආටානාටිය සූත්‍රය. ඒක කියද්දී "ඉසිපතනේ සුං...!"කියන කියන වාරයක් ගානේ, ලොකු සද්දයක් කරන්න ඕනෙ. සාමාන්‍යයෙන් ඒ කාලෙ චීන පටස් හෙවත් වීරාංග ගහනව. නමුත් කැලෑව මැද්දෙ තිබුණු වාඩියෙ හදිසියෙ වීරංගයක් සහ වෙඩිබේත් හොයාගන්න තිබුණු අමාරුව නිසා, කස්ටිය කළේ තඩි තහඩු බැරල් එකක් මුනිං අතට නවල තියාගෙන, "...ඉසිපතනේ සුං!" කියන කොට ම ඒකට පොල්ලකින් තඩිබාන එක.

පිරිතට වාඩිය ලෑස්ති කරලා, මහ රෑ වෙනකං ඇහැරගෙන ඉඳලා, මහන්සියට පොඩ්ඩක් ඇහැ පියාගත්තු අපේ තාත්තයි බාප්පයි, උඩ ගිහිං ඇහැරුණේ පළවෙනි පාර ඉසිපතනේ සුං වෙද්දි යි. නිදි මත වැඩි කම ට ආපහු ඇහැ පියාගත්ත ගමං දෙවෙනි පාරත් ඉසිපතනේ සුං වුණා.

මේ මගුල හරියන්නෑ කියල පැදුරෙන් නැගිටපු තාත්තයි බාප්පයි මිදුලෙ තියල තිබුණු බැරල් එක ගාවට ගිහිං, සැදැහැවතුන් පිරිස තුන් වෙනි පාර ඉසිපතනෙ සුං කරන්න කලින් බැරල් එක දෙපැත්තෙං අල්ලලා, උස්සලා හෙළ පල්ලට විසික් කළා. 

ආටානාටිය පිරිත සජ්ඣායනයේ ප්‍රතිවිපාක...

අපේ තාත්තා කරපු තවත් රස්සාවක් තමයි, ගම්පහ ටවුමෙ තියෙන සමුපකාර ෂෙඩ් එක හෙවත් ඉන්දන පිරවුම්හලේ රාත්‍රී මුරකරු රාජකාරිය. දවසක්දා මේ රස්සාවට යද්දි, හවස (මං මේ කියන්නෙ හැටේ දශකයෙ මුල හරියෙ. විදුලි ආලෝකයත් ප්‍රචලිත නැති, ගොම්මං වෙලාවෙ මනුස්යෙක් සතෙක් පාරට බහින්නෙ නැති කාලයක්.) අපේ තාත්තව පොලිස් මුර සංචාරයෙ යන රාළහාමිලා දෙන්නෙක් නවත්තලා.

මට හිතාගන්න ඇහැකි අපේ තාත්තගෙ පෙනුම ඒ කාලෙ. රජයේ රැකියාවට යනකොටත් සරම ඇඳගෙන කෝච්චියෙ ගියපු අපේ තාත්තා, හරිම සරළ මනුස්සයෙක්. ඉතින් බොහො ම චාමෙට ඇඳගත්තු, කෙට්ටු කොලු ගැටයෙක් වෙන්න ඕනෙ ඒ කාලෙ වෙද්දි.

අපේ තාත්ත‌ා නම් තරුණ මහතා
ඉතින් අර පොලිස් රාළාමිලා අපේ තාත්තගෙන් ඇහුවා, “තමුසෙ කොහෙද යන්නෙ මේ අවේලාවෙ?“ කියලා. අපේ තාත්තා කිව්වා, “මං වැඩ කරන තැන මේ ඉස්සරහ තියෙනව. එතනට යන්නෙ.“ කියලා.

ඒ ගමන රාලාමි කෙනෙක් ඇහුවා, “කොහෙද? මොකද්ද ඔය වැඩපොල?“ කියලා. අපේ තාත්තා, දිග හුස්මක් අරගෙන, වචනෙන් වචනෙ නවත්තමින් සහ බර කරමින් කිව්වා මෙහෙම...

“සීමා සහිත 

- හෙනරත්ගොඩ 

- විවිධ සේවා 

- සමුපකාර 

- සමිතියේ 

- ඉන්දන පිරවුම් හල“

“යනව ඕයි අපට පවු නොදී...“ කියලා රාළාමිලා දෙන්නා යන්ඩ ගියා.

අපේ තාත්තා රාජ්‍ය සේවයට එකතු වුණේ, විදේශ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ අනියම් කම්කරුවෙක් විදිහට. (විශ්‍රාම ගත්තෙ පළවෙනි පංතියෙ ලිපිකරුවෙක් විදිහට) එයාගේ අක්කා හෙවත් අපේ ලොකු නැන්දා ඒ දෙපාර්තමේන්තුවේ දුරකථන ක්‍රියාකාරිනියක් විදිහට රැකියාව කළා. මං හිතන්නේ අපේ තාත්තව රස්සාවට දා ගත්තෙ ලොකු නැන්දා වෙන්න ඕනෙ.

ටික කාලෙකට පස්සෙ අපේ තාත්තට ඒ දෙපාර්තමේන්තුවේ උත්තෝලක ක්‍රියාකරු හෙවත් ලිෆ්ට් ඔපරේටර් රාජකාරිය පැවරුණා. ඒ කාලෙ තිබුණෙ අර, යකඩ වැටවල් දෙකක් ඇදලා වහලා, ඔපරේටින් දැති රෝදයක් කරකවලා වැඩ කරන ලිෆ්ට්. ඔය විදිහෙ ලිෆ්ට් එකක් තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ භාවිත කරනවා, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැගිල්ලෙ. තවත් එකක් තියෙනවා, පිටකොටුවෙ විමලධර්ම සහෝදරයෝ තියෙන ගොඩනැගිල්ලෙ. ඒක දැන් නම් වැඩ කරන්නෙ නෑ.

මම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙ වැඩ කරන කාලෙ ඔය ලිෆිට් එකේ යන වාරයක් ගානෙ මට තාත්තව මතක් වුණා. ඒ ලිෆ්ට් එක පැය අටක් එක දිගට ඔපරේට් කරන එක හරිම වෙහෙසකාරීයි. අර යකඩ ගරාදි වැට ඇදලා වහන එක දෙතුන් පාරක් කරනකොට උරිස්සට මාර වේදනාකාරී දෙයක්.



ඉතින් ලිෆ්ට් ඔපරේටර්ට වාඩි වෙන්න පුටුවක් තියෙනවා ලිෆ්ට් එක ඇතුළෙ. නූතන බටන් ඔබන ස්වයංක්‍රීය ලිෆ්ට්වලත් ඔය විදිහෙ පුටුවක් තියාගෙන ඔපරේටර් ඉන්නවා මම දැකලා තියෙනවා.

තාත්තා ලිෆ්ට් එකේ වැඩ කරන්න පටන් ගත්ත මුල් දවස්වල දෙපාර්තමේන්තු ප්‍රධානියා තාත්තට විරුද්ධව තාත්තගෙ ළඟම ප්‍රධානියා හෙවත් ඉමීඩියට් බොස් ට පැමිණිලි කරලා තියෙනවා, දෙපාර්තමේන්තු ප්‍රධානියා සහ වෙනත් ඉහළ නිලධාරීන් ලිෆ්ට් එකට ආවහම ඔපරේටර් පුටුවෙන් නැගිටලා ගරු කරන්නේ නෑ කියලා.

ඔය ගැන තාත්තා ගෙන්නලා කරුණු විමසුවාම අපේ තාත්තා කියල,

“ලංගම සාමාන්‍යාධිකාරී ගමනක් යන්න බස් එකකට නැග්ගහම, බස් එකේ ඩ්‍රයිවර් හිටගෙන බස් එක එලවන්නෙ නෑනෙ සර්...“ කියලා.

අපේ තාත්තගෙ මම දැකපු ලස්සන ම දේ තමයි. කිසිම දේකට කළබල වෙන් නැති ගතිය. ඔය වගේ අවස්ථාවලට තාත්තා මුහුණ දෙන්නෙ මුහුණ පුරා විහිදුණු මඳ සිනාවක් එක්ක.

තාත්තගේ මඳ සිනාව (සහ සීකෝ 5 ඔරලෝසුව)

තාත්තා ටිකක් වයස කාලෙ, දවසක් බෙහෙත් ගන්න ගියා ගණේමුල්ලේ ආණ්ඩුවේ බෙහෙත් ශාලාව හෙවත් ඩිස්පැන්සරියට. එතන දොස්තර මහත්තයා තාත්තගෙන් රෝග ලක්ෂණ එහෙම අහලා, පස්සෙ ඇහුවලු, “ඔයා බොනවද කියලා.“

තාත්තා පිළිගත්තලු. “ඔව් මහත්තයා. මම සාමාන්‍යයෙන් මහන්සිවෙලා වත්තෙ පිටියෙ වැඩ කරනවා. ඉතින් එහෙම දවසට හවසට මහන්සියට ටිකක් බොනවා“ කියලා.

එතකොට දොස්තර ඇහුවලු. “ඔයා දැකල ඇති මීහරක් එහෙමත් සෑහෙන්න මහන්සි වෙනවනෙ. ඉතිං උං බොන්නෑනෙ...?“ කියලා.

තාත්තා අර විදිහට ම හිනා වෙලා කිව්වලු. “උන්ට සල්ලි නෑනෙ“ කියලා.

අපේ තාත්තා මරණයට බය වුණු කෙනෙක් නෙවෙයි. අපේ දොස්තර මහත්තයා කියනවා, එයා ළඟට එන ගොඩක් වයසක උදවිය ලෙඩවලට ගොඩක් බයයි කියලා. ඒ අය මරණය ගැන ගොඩක් බය වෙනවා. ඒ වගේ ම කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවට වඩා, බෙහෙත්වලින් පරිස්සම් වෙන්න හදනවා.

නමුත් අපේ තාත්තා නිතර ම කිව්වෙ, “මොනවද ඉතිං. මැරුණොත් වළලයි. ඊට පස්සෙ මං කරන වගකීම් මගෙ ළමයි කරට ගනියි.“ කියලා. ඒ වගේ ම පළවෙනි හාට් ඇටෑක් එක හැදිලා අවුරුදු දහයක් බෙහෙත් අරගෙන ජීවත් වුණු අපේ තාත්තා, දවසකට සිගරැට් දෙක තුනක්වත් බීලා, යාළුවන් එක්ක සංගීත සාදවලට ගිහින්, ඩ්‍රින්ක් එකත් හොඳට ම දාලා. පුළුවන් තරම් ජීවිතය විඳලා, සාහිත්‍යයත් රස විඳලා, කිසි ම දුකක් එයා විඳින්නෙ නැතුව එක පාරින් ම මිය ගියා. 

මිය යන හවස, එයා රැවුළ කපලා, ඇඟ සෝදලා, ෂර්ට් එකක් ඇඳගෙන, අපට කන්න මාලු ටිකක් ගේන්න යන්න ලෑස්ති වෙලා, තේ එකක් හදා ගෙන, බොන්න හදන කොට ම බිම ඇද වැටිලා. පැයක් යන්න කලින්, ඒ කියන්නෙ රෝහලට යන අතරමග, මගෙයි, අම්මගෙයි, අපේ නංගි (බාප්පගෙ දුව) ගෙයි උකුලෙ ම පණ ගියා. 

Thursday, March 9, 2023

අයින්ස්ටයින් ප්‍රහෙලිකාව විසඳපු හැටි

ඒ ගැන කියන්න කලින්, විසේසෙන් ම කියන්ට උවමනයි, මේ වගේ තර්ක රාමු විසඳන ක්‍රම හතරක් මේ වෙනකොට මට හම්බ වෙලා තියෙනව. 

1. සමහර සරළ තර්ක රාමු තියෙනව, ඉඟි දෙක තුනක් දීලා සරළ ප්‍රශ්නයක් අහන. ඒ ‌වගෙ එව්ව මනෝමයෙන් ම විසඳන්න පුළුවන්.

2. තව ගැටළු තියෙනව, නෙගෙටිව් ඉඟි තියෙන. ඒ කියන්නෙ, "අහවලා, අහවලෙක් නොවේ..." වගේ ඉඟි. ඒ වගේ එව්වට අර කතිර ගහන ටේබල් එකකින් විසඳන්න පුළුවන්. ඒ කියන්නෙ, වෙන්න පුළුවන් විකල්ප ඔක්කොම දෙපැත්තට දාගෙන, කොටු ගහගෙන, ඉඟි අනුව කතිර ගහමින් හරියන තැන්වලට හරි දමමින් පුරවන තර්ක වගු.

3. තවත් ගැටළු තියෙනව, අර උඩ කියපු විදිහට නැතුව පොසිටිව් ඉඟි තියෙන. ඒ වගෙ ඒවා විසඳන්න පුළුවන් මාතෘකා ටික වගුවෙ දෙපැත්තට දාලා, ඉඟි අනුව, කොටු ඇතුලට උත්තර ලියමින්.

4. හතර වෙනි වර්ගය තමයි අයින්ස්ටයින් ගැටළුව වගේ එව්ව. ඒ කියන්නෙ, ඒව විසඳන්න පොඩ්ඩක් සංකීර්ණ විදිහට වගුව පුරවන්න වෙනව.

මං අර කිව්ව තර්ක වගු ගැටළුවලට උදාහරණ පස්සෙ දවසක තවත් ලිපියකින් ඉදිරිපත් කරන්න අපේක්ෂා කරනව. ඒ අතරෙ, කලින් පෝස්ටුවෙ ගැටළුව විසඳපු හැටි පහතින් දානව.

ඔන්න ඉතින් කලින් පෝස්ට් එකේ මම කියපු විදිහට, මම හදාගත්ත වගුව...


දැන් ඉඟි එකින් එක කියවන ගමන්, වගුව පාට කරනව.

1. බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට ගෙදර,

එතන තියෙන්නෙ වර්ග දෙකක විකල්ප දෙකක් ඒකාබද්ධ කරලා. ඒ නිසා, බ්‍රිතාන්‍ය ජාතිකයයි, රතු පාටයි, රතු පාටින් පාට කළා.


2. ස්වීඩන් ජාතිකයා බල්ලො ඇති කරනවා,

උඩ එක වගේ ම ස්වීඩන් ජාතිකයයි, බල්ලයි ලා දුඹුරු පාට කළා.


3. ඩෙන්මාර්ක් ජාතිකයා තේ බොන්නෙ,

අර වගේම ඩෙන්මාර්ක් ජාතියයි, තේයි මෙරූන් පාට කළා.


4. කොල පාට ගෙදර සුදු පාට ගෙදරට වම් පැත්තෙන් පිහිටා ඇත,

මේ නිසා පළවෙනි ගෙදර සුදුපාට වෙන්නෙ නෑ. මොක ද ඊට වම් පැත්තෙන් ගෙදරක් නැති නිසා.

ඒ වගේ ම, දකුණු පැත්තෙ අවසාන ගෙදර කොළ පාට වෙන්නෙත් නෑ. 



5. පෝල්මෝල් සිගරැට් උරන කෙනා කුරුල්ලො ඇතිකරනවා,

කලින් වගේම පෝල්මෝල් සහ කුරුල්ලා ලා කොළ පාට කළා.



6. කහ පාට ගෙදර ඉන්න තැනැත්තා ඩන්හිල් උරනවා,

කහපාට සහ ඩන්හිල් කහපාට කළා.



7. කොල පාට ගෙදර අයිති කරු කෝපි බොන්නෙ,

කොළපාට සහ කෝපි තද කොළ පාට කළා. මේ අනුව දකුණු පැත්තෙ කොනේ ගෙදර කෝපි බොන්නෙත් නෑ.



8. මැද ගෙදර ඉන්නා තැනැත්තා කිරි බොනවා,

මේ ඉඟියෙ දි, අපට පුළුවන් කෙලින් ම මැද ගෙදර හැර අනික් ගෙවල්වලින් කිරි අයින් කරන්න. 

ඒ වගේ ම, කොළ පාට සහ කෝපි සම්බන්ධ නිසා, කොළ පාටත් මැද ගෙදරින් අයින් කළා.

ඩෙන්මාර්ක් සහ තේ සම්බන්ධ නිසා, ඩෙන්මාර්ක් ජාතිකයත් මැද ගෙදරින් අයින් කළා.

ඒ වගේ ම බියර් සහ වතුරත් මැද ගෙදරින් අයින් කළා.



9. නෝවීජියානුවා ජීවත් වෙන්නේ වම් පැත්තේ පළමුවැනි ගෙදර,

මේකත් අර අට වන ඉඟිය වගේ ම සහ ඊටත් වඩා ප්‍රබල සෘජු ඉඟියක්. කෙලින් ම, පළවෙනි ගෙදර නෝවීජියානුවා ඉතිරි කරලා අනික් ජාතීන් මකල දැම්මා. 

ඒ වගේ ම, බ්‍රිතාන්‍ය සහ රතුපාට සම්බන්ධ නිසා, පළවෙනි ගෙදර රතුපාට වෙන්නෙත් නෑ.

ස්වීඩන් සහ බල්ලන් සම්බන්ධ නිසා, පළවෙනි ගෙදර බල්ලෙකුත් නෑ.

ඩෙන්මාර්ක් සහ තේ සම්බන්ධ නිසා පළවෙනි ගෙදර මනුස්සයා තේ බොන්නෙත් නෑ.



10. බ්ලෙන්ඩ්ස් දුම්වැටි උරන්නා, පූසන් ඇති කරන්නාගේ ගෙදරට ළඟ ම ගෙදර ඉන්නෙ,

11. අශ්වයන් ඇති කරන්නා, ඩන්හිල් උරන්නාගේ අසල්වැසියා,

මේ අසල්වැසි ඉඟි අපට ප්‍ර‌යෝජනයට ගන්න වෙන්නෙ දෙවන වටයේ දී.

12. බ්ලූමාස්ටර් දුම්වැටි උරන්නා බියර් පානය කරයි,

අර වගේ ම, බ්ලූමාස්ටර් සහ බියර් නිල් පාට කළා. මැද ගෙදර මනුස්සයා බියර් බොන් නැති නිසා බ්ලූ මාස්ටරුත් අයින් කළා.



13. ජර්මානුවා ප්‍රින්සස් දුම්වැටි උරනවා,

උඩ විදිහට ම ජර්මන් සහ ප්‍රින්සස් රෝසපාට කළා. ඒ වගෙ ම පළවෙනි ගෙදරින් ප්‍රින්සස් අයින් කළා, ඒකෙ ඉන්නෙ ජර්මානුවා නෙවෙයි, නෝවිජියානුවා නිසා.



14. නෝවීජියානුවා පදිංචි නිල් පාට ගෙදරට යාබද ගෙදර,

මේ අනුව දෙවෙනි ගෙදර නිල් පාටයි.

ඒ වගෙ ම පළවෙනි ගෙදර කොළ පාට නෑ. මොක ද, සුදුපාට ගෙදරට වමෙන් කොළ පාට ගෙදර තිබිය යුතු නිසා.

කොළ  පාට ගෙදර කෝපි බොන නිසා එතකොට පළවෙනි සහ දෙවෙනි ගෙවල්වල කෝපි බොන්නෙ නෑ.

රතු පාට ගෙදර බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්න නිසා, ඔහු දෙවෙනි ගෙදර නෙවෙයි ඉන්නෙ.

කහ පාට ගෙදර ඩන්හිල් උරන නිසා, ඒකත් දෙවෙනි ගෙදර නෙවෙයි.

වගුවේ කොළපාට සහ සුදුපාට යාබදව ඉතුරු වෙලා තියෙන්නෙ හතර වෙනි සහ පස් වෙනි ගෙවල්වල විතරයි. ඒ නිසා හතර වෙනි ගෙදර කොළ පාටයි, පස් වෙනි ගෙදර ‌සුදු පාටයි.

ඒ අනුව, හතරවෙනි සහ පස්වෙනි ගෙවල් රතු සහ බ්‍රිතාන්‍ය ජාතිකයා ගේ ගෙදර නෙවෙයි, කහපාට සහ ඩන්හිල් උරන ගෙදරත් නෙවෙයි.

එතකොට බ්‍රිතාන්‍ය ජාතිකයා සහ රතු පාට ඉතුරු වෙන්නෙ මැද ගෙදර විතරයි.

ඒ අනුව, මැද ගෙදර ජර්මානුවා සහ ප්‍රින්සස් දුම්වැටි උරන ගෙදරත් නෙවෙයි, ස්වීඩන් සහ බල්ලො හදන ගෙදරත් නෙවෙයි, කහපාට සහ ඩන්හිල් උරන ගෙදරත් නෙවෙයි.

එතකොට කහපාට සහ ඩන්හිල් ඉතුරු වෙන්නෙ පළවෙනි ගෙදර විතරයි.

ඒ අනුව, පෝල්මෝල් සහ කුරුල්ලොත්, බ්ලෙන්ඩ්ස්සුත්, බ්ලූ මාස්ටර් සහ බියරුත් පළවෙනි ගෙදරින් ඉවත් කළා.

එතකොට පළවෙනි ගෙදර බොන්න ඉතුරු වෙන්නෙ වතුර විතරයි.

හතර වෙනි ගෙදර කොළ පාට නිසා ඒ ගෙදර බොන්නෙ කෝපි. ඒ අනුව බියර් සහ බ්ලූ මාස්ටරුත්, තේ සහ ඩෙන්මාර්ක් ජාතිකයත් හතර වෙනි ගෙදරින් ඉවත් කළා.

11 ඉඟිය අනුව, අශ්වයන් ඇති කරන්නා ඩන්හිල් උරන්නාගේ අසල්වැසියා වන නිසා, අශ්වයන් ඇති කරන්නේ දෙවෙනි ගෙදරයි. ඒ අනුව, කුරුල්ලන් සහ පෝල් මෝලුත්, බල්ලන් සහ ස්වීඩන් ජාතිකයාත් දෙවෙනි ගෙදරින් අයින් කළා.



15. බ්ලෙන්ඩ්ස් දුම්වැටි උරන්නාගේ අසල්වැසියා වතුර ‌බොන්නෙ.

වතුර බොන්නා ඉන්නෙ පළවෙනි ගෙදර නිසා, බ්ලෙන්ඩ්ස් උරන්නෙ දෙවෙනි ගෙදර විය යුතුයි. ඒ අනුව ප්‍රින්සස් සහ ජර්මානුවාත්, පෝල් මෝල් සහ කුරුල්ලනුත්, බ්ලූ මාස්ටර් සහ බියරුත් දෙවෙනි ගෙදරින් ඉවත් කළා. එතකොට දෙවෙනි ගෙදර ඉතුරු වුණේ ඩෙන්මාර්ක් ජාතිකයාත් තේ පානයත් විතරයි. ඒ අනුව පස් වෙනි ගෙදරින් තේ සහ ඩේන් ජාතිකයා ඉවත් කළා. බ්ලෙන්ඩ්ස් උරන්නාගේ අසල්වැසියා පූසන් ඇති කරන බව 10 වෙනි ඉඟියෙ කියන නිසා, පූසන් ඉන්නේ පළවෙනි හෝ තුන්වෙනි ගෙවල්වලින් එකක. ඒ අනුව අනික් ගෙවල්වලින් පූසන් ඉවත් කළා.

බියර් සහ බ්ලූ මාස්ටර් ඉතුරු වුණේ පස්වෙනි ගෙදර විතරයි. ඒ අනුව ප්‍රින්සස් සහ ජර්මානුවාත්, පෝල් මෝල් සමඟ කුරුල්ලනුත්, පස් වෙනි ගෙදරින් ඉවත් කළා. එතකොට ප්‍රින්සස් උරන ජර්මානුවා ඉතුරු වුණේ හතර වෙනි ගෙදර විතරයි. ඒ අනුව පෝල් මෝල් සහ කුරුල්ලනුත්, ස්වීඩන් ජාතිකයා සහ බල්ලත් හතර වෙනි ගෙදරින් ඉවත් කළා.

ඒ අනුව දෙවෙනි ගෙදර පූසන් ඇති කරන නිසා අශ්වයන්, මාළු සහ බල්ලන් එතනින් ඉවත් කළා. බල්ලනුත් එක්ක ස්වීඩන් කාරයත් දෙවෙනි ගෙදරින් අයින් වුණා. එතකොට දෙවෙනි ගෙදර ඉතුරු ඩේන් ජාතිකයා සහ තේ විතරක් නිසා, තේ සහ ඩේන්වරයා පස්වෙනි ගෙදරිනුත් ඉවත් වුණා.   ඒ අනුව  ස්වීඩන් ජාතිකයා සහ බල්ලාත් හතර වෙනි ගෙදරින් ඉවත් කළා.

එතකොට ස්වීඩන් කාරයා සහ බල්ලා ඉතුරු වුණේ පස්වෙනි ගෙදර. ඒ අනුව, මාලුවන් පස්වෙනි ගෙදරින් ඉවත් කළා. පෝල් මෝල් සහ කුරුල්ලන් ඉතුරු වුණේ තුන්වෙනි ගෙදර නිසා, මාලු සහ බළලුන් තුන් වෙනි ගෙදරින් ඉවත් කළා. එවිට බළලුන් ඉතුරු වුනේ පළවෙනි ගෙදර වන අතර, මාලු ඉතුරු වුනේ හතර වෙනි ගෙදර

ඔරලෝසු කණුව හදපු එක නෙවෙයි පුදුමෙ, ඒක කෙළින් කරලා හිටවපු එකයි කිව්වා වගේ. මේ වගේ ගැටලුවක් විසඳන එක නෙවෙයි වැඩේ, ඒ විදිහෙ ගැටළු නිර්මාණය කරන එකයි.

Monday, March 6, 2023

අයින්ස්ටයින් ප්‍රහේලිකාව

ළඟක දී මට කියවන්න ලැබුණා ෆේස්බුක් එකේ උඩ තියෙන මාතෘකාවෙන් පළ කරලා තිබුණු තර්ක ගැටළුවක්. බුද්ධි පරීක්ෂණවල තර්ක රාමු කියලා පොදුවේ හැඳින්වෙන ගැටලුවක් මේක.

මේකට ගොඩක් තැන්වල අයින්ස්ටයින් ගේ ප්‍රහෙලිකාව කියා හැඳින්වෙනවා. බහුතරයක් දෙනා විශ්වාස කරනවා, මේ ගැටළුව හදලා තියෙන්නේ, අයින්ස්ටයින් තරුණ කාලයේ දී විනෝදයට කියලා. සමහරුන් කියනවා, තමන්ගෙ ගෝළයන් තෝරාගන්න අයින්ස්ටයින් භාවිත කරපු ගැටළුවක් බව.

තවත් තැන්වල සඳහන් වෙන්නේ, මේ ගැටළුව නිර්මාණය කළේ ඇලිස් සහ විස්මලන්තය ලියපු, ලුවිස් කැරොල් කියලා.

මෙන්න ගැටළුව...

එක පෙළ ට ගෙවල් පහක් තිබෙනවා. මේ ගෙවල් වර්ණ ගන්වලා තියෙන්නෙ වෙනස් වර්ණ පහකින්. මේ ගෙවල අයිතිකාරයො වෙනස් ජාතිකත්ව පහකට අයිති අතර, ඔවුන් වෙනස් බීම වර්ග පහක් බොන, වෙනස් දුම්වැටි වර්ග පහක් උරන සහ වෙනස් වර්ගවල සුරතලුන් ඇතිකරන උදවිය. ඒ ගැන අපට ලබා දී තිබෙන තොරතුරු පහතින් දැක්වෙනවා.

  • බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට ගෙදර,
  • ස්වීඩන් ජාතිකයා බල්ලො ඇති කරනවා,
  • ඩෙන්මාර්ක් ජාතිකයා තේ බොන්නෙ,
  • කොල පාට ගෙදර සුදු පාට ගෙදරට වම් පැත්තෙන් පිහිටා ඇත,
  • පෝල්මෝල් සිගරැට් උරන කෙනා කුරුල්ලො ඇතිකරනවා,
  • කහ පාට ගෙදර ඉන්න තැනැත්තා ඩන්හිල් උරනවා,
  • කොල පාට ගෙදර අයිති කරු කෝපි බොන්නෙ,
  • මැද ගෙදර ඉන්නා තැනැත්තා කිරි බොනවා,
  • නෝවීජියානුවා ජීවත් වෙන්නේ වම් පැත්තේ පළමුවැනි ගෙදර,
  • බ්ලෙන්ඩ්ස් දුම්වැටි උරන්නා, පූසන් ඇති කරන්නාගේ ගෙදරට ළඟ ම ගෙදර ඉන්නෙ,
  • අශ්වයන් ඇති කරන්නා, ඩන්හිල් උරන්නාගේ අසල්වැසියා,
  • බ්ලූමාස්ටර් දුම්වැටි උරන්නා බියර් පානය කරයි,
  • ජර්මානුවා ප්‍රින්සස් දුම්වැටි උරනවා,
  • නෝවීජියානුවා පදිංචි නිල් පාට ගෙදරට යාබද ගෙදර,
  • බ්ලෙන්ඩ්ස් දුම්වැටි උරන්නාගේ අසල්වැසියා වතුර ‌බොන්නෙ.

මේ ඉඟි අනුව, මාලු හදන ගෙදර කුමක්දැ යි තෝරා කියන්න ඕනෑ.


මේ විදිහෙ තර්ක රාමුවක් යොදා ගන්නත් පුළුවන්.


නමුත් මම භාවිත කළේ එක්සෙල් ශීට් එකක්, මෙන්න මේ විදිහෙ...


ඊට පස්සෙ, ඉඟි එකින් එක කියවමින්, අදාළ කොටස්වලට වෙනස් වෙනස් වර්ණ දැම්මා. දෙ තුන් වරක් ඉඟි කියවද්දී, ගැටළුව නිරාකරණය කරගන්න හැකි වුණා.

ගැටළුව විසඳපු විදිහ මී ළඟ පෝස්ටුවෙන්...

Sunday, February 19, 2023

ප්‍රේමය සහ කයිකතන්දර

බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරාගේ කයිකතන්දර පොතෙන් මෙවර අපි අරගෙන එන්නේ, ස්ත්‍රිය, සහ ප්‍රේමය ඇසුරු කරගත් කයිකතන්දර කීපයක්. 

ගමක පෙම්වතුන් දෙන්නෙක් උන්නා.  කාලෙකදි කොල්ලා වෙන ගමක තරුණියක් කැන්දගෙන ආවා. හදවත බිඳුණු ගෑණු ළමයත් ටික කාලයක් දුකින් ගත කරලා, වෙන ගමකට දීග ගියා.

ටික කාලෙකට පස්සෙ අර තරුණයා දුර ගමනක් ගියා. ඒ යද්දි, අතරමග දි රෑ වුණ නිසා නවාතැන් ගන්න ගෙදරකට ගොඩ වුණා. එතකොට තමයි දැක්කෙ, කලින් යාළු වෙලා හිටිය ගෑණු ළමය දීග ගියපු ගෙදර කියලා.

ඒ ගෙදර පිරිමියා උන්නෙ නෑ. ඉතින් අර ගෑණු ළමයත් වෙනස් කමක් පෙන්නන්නෙ නැතුව, කන්න බොන්නත් දීලා, ඉස්සර ගෙවල්වල තිබුණ නෙව උස් පිල, අන්න ඒ පිල පිටට පැදුරක් එලලා කොට්ටෙකුත් දීලා, ‌ගේ ඇතුළට ගිහිං දොර වහගත්තා.

මේ වැඩේට හිත රිදුණ අර තරුණයා සෑහෙන වෙලාවක් කල්පනා කර කර උන්නා. අන්තිමේ ගේ ඇතුළට ඇහෙන්න මෙන්න මෙහෙම කවියක් කීවා:

ආදි අපි දෙන්න දිය පිට මලක් වගේ
දැන්දි අපි දෙන්න දිවි දුටු මුවන් වගේ
ගොඩ නුපුරුදු - දිය නුපුරුදු සතුන් වගේ
උඹලගෙ සෙනේ හුණු නැති බුලත් විට වගේ

ඒක ඇහුණ ගෑණු ළමයා කීවා:

ආදි අපි දෙන්න දෙන්න ම තමුන්නේ
දැන්දි අපි දෙන්න දෙන්න ම අනුන්නේ
නොදැන නොවෙයි පිළ පිට පැදුර දුන්නේ
යතුර දෙන්ට මේ ගෙයි දොර අනුන්නේ


*    *    *

එක මනුස්සයෙක් බිරිඳක් කැන්දගෙන ආවා. ටික දවසක් යද්දි මේ කාන්තාවට බොහොම අමාරු ලෙඩක් හැදුණා. ටික දවසක් බෙහෙත් කරලා, යකැදුරුකනුත් කරලා, හොඳක් වෙන්නෙ ම නැති තැන, බිරිඳගෙ සරීරයත් වැහැරිලා ගිය තැන, අර මනුස්සයා, තමන්‌ගෙ බිරිඳ ආපහු ගෙදර ගිහින් ඇරලුවා.

තමංගෙ ගෙදර, අම්ම තාත්තගෙ සාත්තුවටයි, වෙද හෙද කමටයි ටික කාලෙකින් ම අර කාන්තාව සනීප වෙලා, හිටියා වගේ ම ලස්සන උනා. ඊට පස්සෙ වෙන දීගෙක ගියා.

දවසක් ඒ කාන්තාව තමුංගෙ අලුත් සැමියත් එක්ක නෑ ගමනක් යන ගමං, වෙලක් මැදින් ගියා. ඒ කුඹුරේ සී සාමින් හිටියා, ඇගේ පරණ සැමියා. එයා මේ කාන්තාව දැකලා මෙහෙම කිව්වා:


උදක් උදාරම් ගන රන් ලිය ගෙ හැටී
කදක් අරන් මේ වෙල දිගෙ යනෙන හැටී
ඇදක් නැතුව ඇගෙ වරලස කෙළින් සිටී
එදත් මෙහෙම වුණි නම් එක් වෙන්ට සිටී

ඒක ඇහුණු කාන්තාව කීවා:

පුන් සඳ ගැබ තුලේ රිවි නැද්ද එළි වෙලා
බිම් තැනි තලාවේ දිය නැද්ද බොර වෙලා
මන් ඇර වෙන ගෑණු ලොව නැද්ද ලෙඩ වෙලා
පුන් සඳටත් කැළලක් නැද්ද සිදු වෙලා

තමන්ගෙ ආත්මාර්ථකාමී කම නිසා ‌කෙළවීම ගැන තරහෙන් හිටි පිරිමියා ට හිතුණා, තමන් සී සාමින් හිටිය පාරත් වැරදුණාමේ ගැහැණිය දැක්ක නිසා කියලා. එයා තවත් කවියක් කීවා තරහෙන්:

ඕවිට හරහ යන්නේ මඟ පෙනීලා
පෑවිට සෙනේ විය දස අත මුදාලා
කීමට තරහ වුනේ ද මෙ නුඹ පාලා
හීවිට වැරදුනේ හැතිරිය පෙනීලා

ඒකට පිළිතුරු විදිහට කාන්තාව කීවා මෙහෙම:

එදා ඉසලු තලපත තද වැස්සේයා
එදා කළ කතා අවුරුදු ලස්සේයො
නෙතින් එන කඳුළු දඩ මඩ අස්සේයා
ඉතින් හිමි නොඑමි නුඹ පිටිපස්සේයා

*    *    *

තවත් වරක්, මනමාලියක් කැන්දාගෙන එනව තරුණයෙක්. මනමාලිත්, මඟුලට අන්දවපු තැලි පිළි පිටින්. ඒ අතරමඟදි නොගැඹුරු ගඟකින් එගොඩ වෙන්න තිබුණා. 

ඉතින් කට්ටිය ගඟට බැහැලා මඟක් දුර එද්දි, මනමාලි දැක්කා මනමාලයගෙ කකුල් දෙකේ ම වණවෙලා තිබුණු තුවාල. ඒක දැකලා පිළිකුල් හිතුණු ඒ තරුණිය ආපහු හැරිලා යන්න ගියා.

එයා ව නවත්ත ගන්න ගොඩක් මහන්සි වුණු තරුණයා අන්තිමේ ගඟ මැද ඉඳං මෙහෙ ම කිව්වා:

සද්ද මිණි ගිගිරි කොඩි බැඳ ආ එතනා
සිද්ද වුණු දෙයක් නැත ඇවිදින් මෙතනා
බැද්ද තනි මගයි බැසලා නොය එතනා
රෙද්ද මගේ දීලා පලයන් එතනා

ඒක ඇහුණු එතනා, මඟුල් පෝරුව මත මනමාලයා තමන්ට අන්දවපු රෙද්ද ගළවලා මේ කවිය කියමින් ගඟ මැද උන්න මනමාලයා දිහාවට විසි කළා.

සුද්ද දෙමවුපිය දෙන්නා තැනු සන්දා
ඉද්ද අත ගගා වෑයම් කළ සන්දා
බැද්ද කොළ කඩා අඳිතත් නැති සන්දා
රෙද්ද උඹේ ඕනෑ නම් ඕන් ඉඳා

*    *    *

ලෝක යුද්ධ කාලේ, රටේ තැන් තැන්වල වැඩ පොළවල් තිබුණා. ඒවයෙ වැඩ කරන්න පිට පළාත්වලින් තරුණයො ඇවිදින් නතර වෙලා උන්නා.

අරනෝලිස් හෙවත් අරා, එහෙම එක ගමක තිබුණු වැඩ පොළක වැඩ කළා. ඔය වැඩපොළ ගාව තිබුණා කෝපි කඩයක්. ඒ කෝපි කඩේ උන්නා ලස්සන තරුණියක්.

ඔය කියන කඩේට හවස් අතේ ගිහින් බුලත් විටක් හපලා, කෝපි එකක් බොන්න වැඩපොළේ තරුණයො පුරුදු වෙලා උන්නා. අර තරුණියගෙ හිත ගියේ ඔය කොල්ලො අතරින් අරා ට.

ඒත් ඉතින් ගෑණු ළමයි තමන්ගෙ කැමැත්ත කෙලින් ප්‍රකාශ කරන්නෙ නෑනෙ. ඉතින් අරාට ඒක තේරුණේ නෑ. මිනිහා ටික කාලෙකින් ඔය වැඩපොළෙන් අස්වෙලා ගමට ගියා.

ඉතින් අර ගෑණු ළමයට හරි ම දුකයි. ඒත් අරා හොයාගෙන යන්න පුළුවනෑ. ටික කාලයක් දුකෙන් ගත කරලා, දුක දරාගන්න ම බැරි තැන එයා කවියක් ලියලා, අරා ට ලියුමක් යැවුවා. මේ තියෙන්නෙ ඒ කවිය:

බුලත් විටක් කන්න පහුගිය දවස්වල ඉඳ හිටලා මෙහෙ ආව ගිය අරෝ
මට නම් උඹ නොදැක ඉන්ට බැරෝ
නිවාඩුවක් නැත්නම් නිවාඩුවක් අරගෙනවත් මෙහෙ ඇවිත් යන්ට වරෝ
නැත්නම් මා මැරෝ

ඒ ලියුමෙ පාතින් ලියලා තිබුණා, පද දෙකක් කොට උනේ, අනික් පද දෙක දිග වුණ නිසා ය කියලා.

*    *    *

රංචාගොඩ පුංචි මහත්තයා ඉහළ යැයි සම්මත කුළයක තරුණයෙක්. එයා රදා පවුලක තරුණියකට ආදරය කළා.  එයාගෙ වැඩිහිටියෝ මොන විදිහට උත්සාහ කළත් මේ සම්බන්ධය කඩා දමන්න බැරි උනා. අන්තිමේ වැඩිහිටියො ටික එකතු වෙලා, බලි යාගයක් කරන්න ලෑස්ති කළා.

බලිය පටන් ගන්න ලෑස්ති වෙලා ආතුරයා හොයන කොට, එයා අර පෙම්වතියගෙ ගෙදර බව දැනගන්න ලැබුණා. ඉතින් පණිවිඩ කාරයෙක් යැව්වා එයාව එක්කරගෙන එන්න. 

රංචාගොඩ පුංචි මහත්තයා කවියක් ලියලා අර පණිවිඩ කාරයා අතේ මහගෙදරට එව්වා.

නුසුපුදිලී ළතඹුරුවන් පැහැය දිලී
පැ කොඳදලී ඇගෙ ගහනත දෙමට මලී
ලු කළහෙළී අඳුරටවන් සඳසෙ දිලී
මෙ සළු කෙලී ඇරලා මට කුමන බලී

මේ කවිය කියවලා බලපු එයාගෙ වැඩිහිටියො, අහල එව්වා, "අම්මප උඹට කිළුටු නැද්ද ඔය රදා ගෙදර ලගින එක?" කියලා. ඒකටත් පුංචි මහත්තයා තව කවියක් ලියල එව්වා...

උවනත් සපිරි සඳ වරලස හේම කුළ
කොඳ දත් කැකුළු තුඟු පියයුරු හේම කළ
ලොබ සිත් වඩන දුටු සළු ලිය නාඳු ගළ‍
සිඹිතත් කිළුටු නැත සුසිලිටු නබී මුළ


Monday, February 6, 2023

මාටින් රැට්ලර්


මා මීට කලින් පාසල් පෙළ පොතකින් උපුටාගෙන පළ කළ, "මාටින් රැට්ලර් සහ බානි" පෝස්ටුව කියැවූ නිදි, ඔහු සතුව පැවති මාටින් රැට්ලර් පොත, කොරැල් දූපත සහ උඩරට විත්ති පොත් සමඟ මා වෙත තැපෑලෙන් එවුවේ ය. ඊට උපකාර කළ නමියාටත් ස්තූතියි.

එසේ එවුවේ, මම ඒ පොත් ස්කෑන් කර, පීඩීඑෆ් අනුවර්තනයක් කර, බෙදා හරිනු ඇතැයි අපේක්ෂාවෙනි. ඊට පෙරත් නිදි මා හට පොත් කීපයක් දුන්නේ මේ පරමාර්ථයෙනි.

ඉතින් ඒ යහපත් අදහසට ආලෝකයක් ලෙස, මාටින් රැට්ලර් පොත මෙතැනින් බාගත කරගත හැකි වන පරිදි, උඩුගත කළ බව සතුටින් දන්වමි.

පොතක් ස්කෑන් කිරීම වෙහෙසකර වැඩකි.

බොහෝ අය ජංගම දුරකථනයේ කැමරාව සහ කැම්ස්කෑන් වැනි ඇප් මඟින් මේ කටයුත්ත කළත්, මා යොදාගන්නේ, (මෙතෙක් කල් යොදාගත්තේ) මගේ පරණ ස්කෑනරයයි. ඒ, පාඨකයන්ට හොඳ තත්ත්වයේ පිටපතක් ලබා දීමේ අදහසින්.

එච්පී ස්කෑනරයට ලැබෙන ස්කෑන් මෘදුකාංගයෙන්, ස්කෑන් කරන අවස්ථාවේ ම, අදාළ පරිදි පිටු වෙන වෙන ම කපා, කෙළින් අතට හරවා ගත හැකියි. නමුත් පොඩි පොඩි කෝණයන්ගෙන් හැරවී තිබෙන පිටු ආපසු ඒසීඩීසී මෘදුකාංගයෙන් එකින් එකට අංශක දෙක තුන හරවා සකස් කරගත යුතු වෙනවා.

පිටු සියල්ල ස්කෑන් කර අවසානයේ, අර විදිහට කෙළින් කර, ලස්සනට කපා ගැනීමෙන් පසු, පිටු මඟ හැරී ඇත්දැයි නැවත පරීක්ෂා කරනවා, එකින් එකට. ඊට පසු ඒසීඩීසී මෘදුකාංගයෙන් අදාළ පිටු සියල්ල තෝරාගෙන එක් පීඩීඑෆ් ගොනුවක් සකස් කරනවා. ඒ සඳහා, පිටු නිවැරදි පිළිවෙලට, එකකට පසු එකක් වශයෙන් තිබෙන්නට, පිටු සියල්ල 000 සිට අවසාන පිටුව දක්වා අංක කරමින් රිනේම් කර ගත යුතු වෙනවා.

ඉතින්, මේ විදිහට පොතක් ස්කෑන් කර සකස් කරන්නට මට රැයවල් තුනක් හෝ හතරක් නිදි වරා ගත කරන්නට සිදු වෙන්නේ, කුටුම්භයේ සියළු කටයුතුත් ඉටු කරන ගමන්.

ඒ නිසා, ප්‍රමාදය ගැන නිදහසට කරුණු කියමින් සමාව ඉල්ලා සිටින්නට සිදු වෙනවා.

ඒ අතරේ, කොරැල් දූපත ස්කෑන් කරමින් සිටින අතරවාරයේ ස්කෑනරය රෝගාතුර වූ බව ද, කණගාටුවෙන් දන්වමි. ඒ වෙනුවට කාර්යාලයේ ස්කෑනරයෙන් ඉතිරි කොටස ස්කෑන් කළත්, පරණ එච්පී ස්කෑනරයේ සෙටිංස් අලුත් එකට ගැළපුණේ නැති බැවින්, ඊයේ රෑ තිස්සේ ස්කෑන් කළ පිටු සියල්ල, කුඩා පරිමාණයෙන් ස්කෑන් විය. දැන් ඉතින් ඊළඟ දින දෙක තුන තුළ ඒවා නැවත ස්කෑන් කිරීමට සිදු වී තිබේ. 

එහෙයින් කොරැල් දූපත පළ කරන්නට වන්නේ තවත් සතියකින් හෝ දෙකකිනි.

ඔබ සමඟ බෙදා ගැනීමට ඉහත කී පොත් ලබා දුන් නිදි ට මාගේ කෘතඤතාව පළ කරමි.

Saturday, January 28, 2023

සිරිබිරිසාගමනය

එක් සමයෙක්හි අලගෙඩියට අධිපතියාණ වූ ද, සකල පුරාණ පුස්තකයනට බහිරවයෙක් වූ ද, මිතිකලයට කාන්දමක් වූ ද, වීර අලකේෂ්වර වූ මහා ඩ්‍රැකියාණන් සිය මහා කරුණා නම් වර්ෂායෙන් නුවරඑළිය පුර ප්‍රවරය තෙමා නහවමින් ද, ස්ට්‍රැටජික නම් යුද්ධායුධයෙන් සභාවන් හා රදොළුන් ද ටැකලයට නතු කරවමින් ද, දැහැමෙන් සෙමෙන් දිස්තිරික්කය භොජනය කෙරෙමින් වැඩ වාසය කරන සමයේ, මහා සිරිබිරිසාගමනය නම් කුණ්ඩාවාඩයක් කඩා පාත් වී වදාළ ආකාරය කෙසේ වී ද යත්...

සිරිබිරිසානෝ වනාහි, මහා රසිකයාන කෙනෙක. ඕසයක් ට්‍රේලයන් ඇති සප්ත මහා සාගරයෙන් වට මහා දේශයක වාසය කරන්නේ, අන්තරජාලයෙන් සකල මහා බ්ලෝග නම් ක්ෂීර සාගරය කළතමින් පඨනය කරන්නෝ ය. මූ ඊටත් වඩා මහා පර්සනල් වැලියුවන් සහිතව හිතවතුන් වෙත අමුතු අබුතු තිළිණයන් පිරිනැමීමෙහි ලොල් බවින් ලෝකයේ පරසිදුවැ වෙසෙන්නෝය.

එක් දවසෙක මහා ඩ්‍රැකියානෝ අළුයම දහයේ කණිසම හා සමග අවදිවැ, මහා කරුණා සමාපත්තියට සම වදින්නට යන්නා හාම නිදියා නම් කෙළෙඹි පුත්‍රයාගෙන් ටැලිපෝන කෝලයක් සම්ප්‍රාප්තවැ වදාළේ ය. නිදිකෝලයෙන් ඩ්‍රැකියාණන්ට වදාළේ, සිරිබිරිසාණන් දිවයිනට සම්ප්‍රාප්තවැ බ්ලොගයෝ සොයා ඇවිදින්නේ, තට්ටවර්ධන නම් ඇඩ්වෙන්චරාධිපතියාගේ ටීපී කෑම්ප සයිටයේ මහා ගෙට්ටුවක් කැඳවාපී බවයැ.

සිරිබිරිස යන හුදු වචන මාත්‍රය කණ වැකීමෙන් සියොළඟ රෝමෝද්ගමනයවැ තක්කු මුක්කු භාවයට පත්වූ ඩ්‍රැකියාණන්ට නිදියා කියාපී නිවුසය වනාහී, රවි නම් වූ වීර සිංහයාණන් ද, සකල දැනුමට ආකරයක් බඳු වූ ප්‍රා ජේයාණන් ද, සකල සියොළඟ ම නාඹ තල් කඳින් උපුටා ගත් ටූත්පිකයක් බඳු වූ නමියාණන් ද, අරුණශ්‍රීයෙන් පොබයනා නෙවිලාණන් ද, ඉවෝන් ප්‍රේම බිළාලයාණන් ද, නාවුක අසංග නම් පිහිපහරධාරියාණන් ද, මෙකී නොකී තවත් අක්ෂෞහිණියක් ‌බ්ලොගරයන් ද  ඒ මහා ගෙට්ටුවට කැඳවනා ලද බවයැ.

ඉදින් මේ මහා ගෙට්ටුව හට පළමුයෙන් තට්ටවර්ධනයෝ මහා ඩ්‍රැකියාණන්ට කෝලයක් දුන්නේ, රවියාණන් ද, ඩ්‍රැකියාණන් ද සමඟින් හුදෙකලා අඩියක් ගැසීමේ පරම පිවිතුරු චේතනායෙන්, ගෙට්ටුවට පූර්ව රාත්‍රියේ සිය කයෑක් ජොයින්ටයට සෙටමෝල් වන පරිද්දෙන් ආරාධනා කර සිටියෝයැ.

ඊට මහා මනාපයෙන් උන්න ද, මහා පළාත් පාලන ඡන්දයේ රාජකාරිය ද, රාජකාරිමය ඩබල්කැබයට රෙපෙයාරයක් උද්ගත වීම ද, ඩ්‍රැකි ජූනියරයා වෛරසීය හුණ වැළඳීමෙන් දැයි යන මාර පුත්‍රයෝ තිදෙන උන්දෑට හරස් කපාපීය.

ඉදින් ගෙට්ටු දවසේ සූර්ය දිවිය රාජයන් පරදවමින් මහා පාන්දරින් අවදිවූ ඩ්‍රැකියාණෝ සිය කළ්‍යාණ මිත්‍රයෙකු වූ සමීරයන්ගේ ත්‍රී වීලරයෙන් නුවරේළි මහා බස් රථ නැවතුමට වැඩ වදාළ හ. එතෙකුදු උන්දෑ චෛතසික වැට උඩ වැඩ වදාළේ, ඩ්‍රැකි ජූනියරයා ගේ හුණ රෝග පීඩායෙන් දෙගිඩියාවෙහි උන් බව සිහි කට යුතු යැ.

එකී දෙගිඩි දෙවාරණයේ බලපෑමෙන් ද, ඊට පෙර දාක නානුඔය නම් ෂෝට්කටයේ උද්ගත වැ තිබුණාවූ මහා ඇක්සිඩන්ටයේ නාමයෙන් එකී ෂෝට්කටය මහා යානයන් ට වසා පී හෙයින් ද, ඩ්‍රැකියානුවන් හැටන් නම් මහා පුරයට සම්ප්‍රාප්ත වූ කලී ප්‍රමාදයක් හට ගත්තේයැ. ඉදින් නුවරේළි බසයේ සාරථී තෙම මඟින් තම බසය නවතා, කොළොම්පුර බසයකට ඩ්‍රැකියාණන් නැංගවූ හෙයින්, තලවාකැලයේ සිට උන් පෙළමින් ආ පම්ප් ටයිඩයෙන් මිදීමේ මඟ මහා හක්බෙල්ලාවක දක්වා කල් දමන්නට වීර අලකේශ්වරයන්ට සිදු වූ බව මෙයින් දත යුතුයැ.

මහා ගූගල් නැන්දණිය විමසා හක්බෙල්ලාවකට යන මං හසර විමසූ මහා ඩ්‍රැකි තෙම, ගූගලාවිය කියූ පරිද්දෙන් මැ තමන් අළුයම නවයේ කණිසම පසු කොටැ තත් ක්ෂේත්‍රයට එළැඹෙනු ඇති බව සිරිබිරිසාණන්ට දන්වාපීය.

එතෙක් මහා කොළොම්පුරයේ සිට දුරු කතර ගෙවා ගෙන පැමිණැ උන් සහ - බ්ලොග් කාරයෝ තමන් ගේ පැමිණීම වන තෙක් උන් උන් කරැ කොක් කරෙක් මෙන් උස් වන තෙක් මඟ බලාගෙන ඉදිනා වග සිහි වී ඩ්‍රැකියානෝ මහත් චිත්ත පීඩාවට පත්වීමෝ යැ.

තට්ටවර්ධන කෙළෙඹි පුත් මඟින් මඟට කෝලයන් දෙමින්, විසි හයේ කිලෝ මීටර කණුව අසබඩ දියෙස් නම් වූ මහා ලැවරියා කඩය ළඟ දී බසයෙන් බසිනා ලෙද අනුශාසනා කළෙන්, බසයේ උන් රථාචාරී ද, කොන් හතරටම වෙදැදුරු ද, ඩ්‍රැකියාණන් අදාළ තැනින් ම බස්සවාලීමට උදක් මැ වෙහසුුුණු බව කෘතඥතාවෙන් සිහිපත් කළ යුත්තේම යැ.

බසයෙන් බැසැ දිව ගොස් දුටු දුටුවන් මුව පියුම් මුකුළිත කරවමින් ගුඩ් මෝනිමයකැ යි දෙසා වදාළ ඩ්‍රැකියාණන් ලැවරියා කඩය පිටුපසැ පිහිටි මහා වච්ඡකුටියේ නතර වූයේ සිය පම්ප් ටයිඩයෙන් මිදීම පිණිස යැ. 

එතැන් පටන් තට්ටවර්ධනයන්ගේ ඕෆ්රෝඩයේ නැගී අයෝමය කඳින් තැනූ කොළොම්බුවේ හිඳගෙන, වාරි මාර්ගයක් බඳු වූ මඟෙක යොදුන් හතක් ගිය තැන ටීපී නම් වූ කෑම්ප සයිටයට ගොඩ බට හැකි වූයේ යැ. ඒ කෙබඳු සයිටයක්ද යත්, ලේ බොන මිනුම්දෝරුවන් හෙවත් කූඬැල්ලන් දෙතුන් දෙනෙකු හැරුණු කල, එකදු වන සත්ත්වයෙක් පය තබන්නට පැකිළෙන, වනගත එළිමහනෙක තැනුණු අට්ටාලයෙකැ, වච්ඡකුටියෙකැ යි දෙකෙකි. අට්ටාලෙහි පහළින් මුණු මුණුවෙකින් ගළා බසිනා, වට ගලින් හා අඩියේ වාලුකායෙන් ද, දණ්ඩීන් බඳු කුඩමසුන්ගෙන් ද පරික්ෂිත දොළ පහරෙකැ. හුදෙකලායෙන් ආතලයක් ගන්නන්ට ස්වර්ගයෙකැ.

එනික්බිත්තෙන් උදයට අර්ථාපලයන් දැමූ උළුහාල් හොද්දක් ද, පොල්, මිරිස් හා ලුණු දැමූ දෙහි සම්බෝලෙයක්ද ද සමඟින් ඉඳියාප්පයෙන් සප්පායම් වූ අප මහා කෂ්ඨිය, අට්ටාලය මත්තේ මහත් වූ කථා බහෙක් ඇති කළෝ ය. ඒ අන්තරයේ, රවියාණන් සුද්දාගේ සයිසය පෙන්වූ සැටි ද, පෝල් බටය පහත් කරවීමට චන්ද්‍රිකාවුන් නොපැමිණි ආකාරය ද, මහත් සෙයින් රසවින්දමෝ යැ.

උළුහාල් හොද්ද රත් වෙමින් පවතින අතර පිඟන් සෝදන නිදි ගේ පින්තූරයට කඤ්ජිපානි ඉම්රාන් යැයි කැප්ෂන් යෙදූ අය සොයා රහස් පොලිසියෙන් පුළුල් පරීක්ෂණ...

රවි අයියා: "මෙන්න සයිස් සුද්දා..."
මම: "මුන්දැ ඒ පාර මගෙ ගජබින්නාලංකාරෙටත් තර්ජනයක් වේගෙන එන්නෙ"

ඉක්බිති උදා වූයේ සංගීතවේදියන් අනුභවයේ අවස්ථාවයැ. විකටරයෝ ද, සනත් නන්දසිරියෝ ද පළමුවෙන් භක්ෂණයට පාත්‍ර වූ ගායකයෝ වූහ. ඩ්‍රැකියාණන්ගේ උදක් ම ඉල්ලීම ප්‍රකාරවැ අමරදේවයන්ගේ මින්දද හීසර නම් වූ මියුරු ගායනය රවියාණන් විසින් භක්ෂණය කරන ලද්දේ අවසාන භාගය වන විට යැ.

අපරභාග හතර වන විට ඩ්‍රැකියාණන් සමු දීමට ඉටා ගෙන උන්නේ හැටනයෙන් නුවරේලි නම් ‌මහා පුරවරයට නික්මෙන අවසාන බසය වූයේ අපරභාග හයේ කණිසමට වූ බැවිනි. හේ සිය සිත තුළ ශෛලතලායෙක කොටන ලද ලේඛනයක් සෙයින් රඳවාගෙන උන් නිදියාණෝ, කල් වේලා ඇතිවැ දොළට බැස ස්නානය නම් වූ ඇඟ සේදීමට ද, සංගීත වේදියන් අනුභවයෙන් නොපිරුණු කුස නැවත බතින් මාළුවෙන් පුරවාගැනීමට ද වේලාවන් යොදා ගැනීමේ තත්පර වූහ.

ඉදින් ඩ්‍රැකියාණන්හට මහත් චිත්ත පීඩාවෙක් වූයේ, අනෙකුන් සියල්ලන්ගේ මැ ආතලයට තමන්ගේ වේලා සටහන බාධකයක්වැ සිටි හෙයිනි.

කෙසේ වතුදු, සහෘදයන්ගේ කතිකාවෙන් ද, මියුරු ගායනයෙන් ද, දොළ පහරේ ගිළී නෑමෙන් ද, ගත්තා වූ ආස්වාදය මියයන තුරුමැ අමතක නොවන අත්දැකීමක් වූයේ යැ.

වන්නාටය, අපරබාග තුනයි හතළිහ පමණ වන විටැ දහවල් බත ද කා පී ඩ්‍රැකියාණෝ, පෙරළා යෑමට බසයක් එන තුරු සිරිබිරිසාණන් දුන් මහා ‌පුස්තක එකොළොස බදාගත් බහිරවයෙක් සෙයින් උන්නමෝ ය. එකී පුස්තකයන් වටිනාකම අතින් කෙළ ලක්ෂයකට ද වඩා පුස්නේ, අති දුර්ලභ ලිහිණි පොත් දසයෙක් ද සමඟැ, රාජ්‍ය සේවකයාගේ මනා ආකල්ප වර්ධනයේ සමර්ථ ගුණසේකරයාණන්ගේ ඩීආරෝ පුස්තකය ඩ්‍රැකියාණන්ට ම අමතා ගුණසේකරයාණන් යෙදූ අත්සන ද සහිතවැ ගෙනැවුත් දුන් හෙයිනි.

මහා ඔළ මොට්ටල වූ ඩ්‍රැකියාණන් ඒ තිලිණ පිළිබඳවැ සිරිබිරිසාණන්ට පිදිය යුතු වූ කෘතඥතාව ද පිදූයේ නොවේ. උන්ගේ හිතේ මුවවිට දක්වාමැ පිරී තිබුණේ හැටන් බසයත්, ඩ්‍රැකී ජූනියරාගේ හුණ රෝගයත්, පමණෙකැ.

පල්ලමෙක බසයක් පහළට යද්දී වේගයෙන් ගිය මුත්, නැවත මුඳුනතට යද්දී ධාවනය වන්නේ සෙමෙන් බව අමතක කිරීම ද, ඩ්‍රැකියානුවන්ගේ තවත් ඔළමොට්ටල කමෙක් වූයෙන්, කල් වේලා ඇතිවැ බසය ග්‍රහණය කරගත්ත ද, හැටන් සිට නුවරේළි බලා දිවෙන බසය අල්ලා ගත නුහුණු වූවෝ ය. මස්කෙළිය බසයෙන් ගිනිගත් සේණට ද, ඉන් හැටනයට ද ගිය මුත් නුවරේළි බසයක් අල්ලාගත නුහුණුවෝ, මොබයිලයේ අන්තරජාලයෙන් හැටනයෙන් පිටත්වන්නට නියමිතව තුබූ ධූමරථයක් බැලූ මුත්, ඒ ද නොමැත්තෙන් හැටනයේ සිට තලවාකැලය බලා යන බසයක නැගී තලවා කැලයට ළඟා වී නමුත්, තලවාකැලයෙන් නුවරේළිය හරහා පුත්තලම කරා යන අන්තිම බසයද පිටත්ව ගිය බව දැනගත්තෙන් අනාථ - නාථ බිම්බිසාර වී තලවාකැලයේ විනාඩියෙන් හතළිස්පහක් මැ තපින්නට වූයෙම්මෝ යැ. 

එකල්හි රෙපෙයාරය කර ගත්තාවූ මහා කණිෂ්කයෝ, නිල ඩබල්කැබය ද රැගෙන නුවරේලි සැපත් වූ වග ඩ්‍රැකියාණන්ට සැළ කරා පීහ. උන් තලවාකැලයට ගෙන්වාගන්නාලද ඩ්‍රැකියානුවෝ සිය ක්වාටසයට සැපත් වූ කල අපරභාග නවය හමාරේ කණිසම වූය. මහා කණිෂ්ක නම් සාරථී තෙම තලවාකැලයට එන තෙක් වූ විනාඩි හතළිස්පහ කෙවුලන් හැරපියා ගොස් මනුෂ්‍ය වාසයෙන් තෙර වූව තොටමුණක් බඳු වූ තලවාකැලයේ පීපලයන්ගේ බැංකුවේ ඒ ටී එමයට වැදී සිරිබිරිසාණන් දුන්නාවූ පොතක් කියවමින් ගත කළෙම්මෝ ය.

එකල්හි සිරිබිරිසාණන් මෙ කල අමිල නාමධාරී සහෘදයාණන් වන අතර, තට්ටාධිපතියන් මෙකල මඤ්ජුල නාම ධාරී ඇඩ්වෙන්චරයාණන් බව ද, පිහිපහරධාරී අසංග වූ කලී මෙකල කොළොම්පුරයා වන බව ද, නිදියා වූ කලී නිමල දිසාවන්ට නායකයා වූ පඤ්ච තන්ත්‍රයෙකැයි චීත්ත වාහිනියක් ලියනා කෙළෙඹි පුත්‍රයා වන බව ද, වීර සිංහයෙකු බඳු වූ රවියාණන්, නිදහස් සිතුවිලි බ්ලොගයේ ඉස්තෝප්පු කාමරයට වැදී සකල බ්ලොගයම තමන් සතු කරගත්තා වූ කටාරයේ අධිපතියාණන් වූ බව ද, නමියා වූ කලී, නමියාගේ වීදියේ අවේලාවේ වීදි සඤ්චාරය කරන ඉඳිකටු පැංචා වූ බවද, ප්‍රා ජේ වූ කලී, මෙකල ප්‍රසන්னයා ගේ වෑනයේ දොරට ඝට්ඨනය වූ ‌පූර්වයේ-කදෝරු මහතැන් වූ බව ද, මහා ඩ්‍රැකියාණන් වූ කලී මෙකල සර්වඥ පණ්ඩිත වූ මම් ම වේ දැයි පූර්වාපර සන්ධි ගළපා දැනගත යුතු වන්නේ යැ.

Thursday, January 12, 2023

උගත්කම



1. එළු සකු මගද පොත් කට පාඩමින් දනී
මිනිහා පණපිටින් යන පොත් ගුලක් වැනී
වැගිරෙන විලස සාහිත රස අමර පැනී
පොතක් ලියන්නට සිතිවිලි පහළ වුනී

2. පොළොවට ගැට ගසන්නා වාගේ අහස
වද විඳ පොතක් ලිවුවා නො බලා වෙහෙස
කියවන අතර ඒ පොත අහගනු පිණිස
කැඳවා ගති ළඟට සිය පෙම්බර දිගැස

3. හැම වචනය ම පදමට ගෙන පියකරුව
පොත කියවයි හෙතෙම සාහිත රස ඉරුව
පුදුමේ මහත අහගෙන ඉන්නට බැරුව
ඇය පැන ගියා පසු දින ඔහුගෙන් දුරුව

4. මේ පොත නිසා ඉත බිරියත් නැති වූයේ
ඉන්පසු ඈ නො වෙයි එම ගෙදරට ආයේ
මිතුරන් ගෙදර කැඳවා යළී පොත කීයේ
ඔවුනුත් එකිනෙකා ඔහුගෙන් දුරු වූයේ

5. පොත කියවතැයි යන සැකයේ නපුරු බයින්
කිසිවකු ගෙදර අසලින් වත් නොයන හෙයින්
පිරිසක් ලබම් දෝ මේ ගැන කොහොම කොයින්
ළතැවෙයි අපේ උගතා සිත පිරුණු සොයින්

6. ජනයා බහුල හෝටලයක් අසල ඇත
මිනිහා ගියා කියවන්නට ඔහුගෙ පොත
දවසින් දෙකින් පසු මේ හෝටලය වෙත
කිසිවකු බැරි වෙලාවත් යනු දුටුවෙ නැත

7. නේනා නිසා මිනිසුන් මේ පළාතට
නඩුවක් දැමී හෝටල්කරු අලාබෙට
උගතා බැරි ම තැන පොත ගෙන බලා සිට
ගියා හන්දියට හැන්දෑ වෙලාවට

8. යන එන අයට අමතා නවතින්න කියා
හතර මං හන්දියේ පොත කියයි එයා
දවසින් දෙකින් පසු මිනිසුන් එමඟ පියා
අරහෙන් මෙහෙන් යන්තම් යන ගමන ගියා

9. පාළුයි හතර මං හන්දිය එතැන් සිට
කතිකා කළෝ කිසිවකු එහි නො යන්නට
යෑමට ගිය නමුත් පොත ගෙන ගෙයින් ගෙට
යන කොට පටන් ගති දොරවල් වහන්නට

10. කිසිවකු නොරිසි මුත් පොත කියවනවාට
නො කියා ඉන්ට නම් ලීවද මොනවාට
අම්බලමට හිඟන්නෝ රැස් වෙති රෑට
නරකද එතන තෝරාගත්තම ‌මීට

11. මෙහෙම සිතා ලා දුරු කර හිසින් බර
පොල් තෙල් පහනෙ ලා අලුතෙන් පහන් තිර
පහනත් පොතත් ගෙන දෙ පයින් ගමන් කර
ළං විය හිඟන්නන්ගේ පැමුණුමෙන් පෙර

12. ගත කළ මුළු දවල් කල හිඟමන පිණිස
ආවෝ හිඟන්නෝ අම්බලමට සවස
වෙන දවසට වඩා අද මෙහි දුටු වෙනස
ඇති එක පඬිතුමා උන්ටත් පෙර පිවිස

13. පොල් තෙල් පහන දැල්වෙයි දුරු කර අඳුර
උගතා පොත කියයි පහදා ගෙන උගුර
කළ හැකි දෙයක් නැති තැන කන මෙන් පහර
හිඟන්නෝ නිදති එහි තැන තැන වැතිර

14. මැදියම් රැයෙහි හිස ඔසවා බලන කල
නැත එක හිඟන්නෙක් වත් අම්බලම තුළ
අසමින් මෙන් තිබේ දැයි තව උගුරෙ කෙළ
කම්මැළී වී වැනෙයි පොල් තෙල් පහනෛ සිල

15. පඬුවා තනි වුනා රෑ අම්බලමෙ පිලේ
හිඟන්නෝ නිදති ගස් යට අසල කැලේ
අහගෙන සිටින්නෙකු නැති මුත් කියන වෙලේ
මේ පොත තුළ තිබේ මහ උගතෙකුගෙ මොළේ

16. බිරිය නඩු දමා ඇති දික්කකසාදෙට
හෝටල්කරු කියයි නඩුවක් අලාබෙට
හිරිහැර කළැයි මහජනයගෙ විවේකෙට
මිනිහට විරුද්ද ව පැමිණිලි හැබෑවට

17. දිනකට සිතාසී හත අට ගණනෙ ලැබේ
මිනිහට විරුද්ද ව පැමිණිලි බොහොම තිබේ
නඩුකාරයා පහදා දී කරපු හබේ
ඇසුවා කරුණු මොනවද නිදහසට ඔබේ

18. හාමුදුරුවනේ පින් අත් වෙයි ඔබට
මේ මුළු රට විරුද්දයි මා කළ පොතට
එහි වරදක් තිබේ නම් බැලුමට දැනට
පොත කියවන්ට එහෙ නම් අවසර ද මට

19. මේ මහ පුදුම පොත කොහොම ද දැනගන්ට
නඩුකාරයා කිවුවා එය කියවන්ට
කියවා ගන්ට ලැබුණොත් අවසන් වෙන්ට
මිනිහා කැමති එල්ලුම් ගස් වත් යන්ට

20. ගත විය දෙතුන් දවසක් නෑ ඉවර පොත
පෙරකොදෝරුවෙක් එහි බේතකට නැත
නඩුකාරයා පමණක් බැංචියෙහි මත
ළ තැවෙයි තබා ගෙන අයියෝ නිකට අත

21. උසාවියේ නීතියෙ ඇති අවසරයෙන්
මිනිහා කියාගෙන යයි පොත ඇති වැරයෙන්
නඩුකාරයා බේරීමට කරදරයෙන්
ඉල්ලා අස් වීය බැරි තැන සිය දුරයෙන්

(කේයස්)






9 පන්තියේ සිංහල කියවීම් පොතෙනි.

Tuesday, January 3, 2023

වැම්පයර් විහිළු කතා (ඔව්... එහෙම එව්වත් තියෙනව)


වැම්පයර්ලා තුන් දෙනෙක් දවසක් රෑ කතා වුණා, තමන් අතරින් දක්ෂම කෙනා තෝරන්න. 

ඔන්න ඉතින් පළවෙනියා ඉතා ම වේගයෙන් පියාඹලා ගියා, පැයට කිලෝමීටර් සීයක විතර වේගයෙන්. ගිහින් විනාඩි කීපයකින් ආපහු ආවා. කටේ හැම තැන ම ලේ...

"අර පේනව නේද, කන්ද උඩ සංචාරක බංගලාවක් තියෙනව..." එයා ඇහුවා, අනික් අයගෙන්.

"ඔව්?"

"මං ඒකට පියාඹලා, ඒකෙ හිටියා පස් දෙනෙක්. උන් ඔක්කොම වේළෙනකං ලේ බීලා, මරලා දාලා ආවා..."

දෙවෙනියට හිනා. එයා පියාඹලා ගියා කලින් කෙනාටත් වඩා වේගයෙන්. ගිහින් මිනිත්තු දහයකින් විතර ආවා, කටෙයි, නිකටෙයි, බෙල්ලෙයි ලේ තවරගෙන.

එයා අත දික් කරලා පෙන්නුවා ඈත තියෙන ගම්මානය...

"අර පේනව නේද, ඈත තියෙන ගම?"

"ඔව්?" අනික් දෙන්නා කිව්වා.

"ඒ ගමේ පවුල් පණස් දෙකක් උන්නා. මං ඒ ඔක්කොම දෙනාගෙ ලේ බීලා ආවෙ..."

තුන්වෙනියා මොකවත් කියන්නෙ නැතුව, අර දෙන්නට ම වඩා වේගයෙන් පියාඹලා ගියා. පැයට කිලෝ මීටර් තුන්සීයක විතර වේගයෙන්. ඒ ගිහින් විනාඩියකින් විතර ආපහු ආවා, නහයෙයි කටෙයි, නළලෙයි... හැම තැන ම ලේ තවරගෙන.

හොඳට ම මහන්සි වෙලා ආපු තුන්වෙනියා, අනික් දෙන්නට අත දික් කරලා පෙන්නුවා ගහක්...

"තමුසෙලට පේනව ද, අර ඈත තියෙනව, තඩි පයින් ගහක්?"

"ඔව් ඔව්...?" අනික් අය ඇහුවෙ, ඒ මොන විදිහෙ වික්‍රමයක් ද කියල දැනගන්න.

"මට පෙනුන් නෑනෙ අයිසෙ, කලින් සැරේ යද්දි..."


*    *    *

වැම්පයර් කෙනෙක් බැංකුවකට ආවා, තුවක්කුවක් අරගෙන. උඩට වෙඩිල්ලක් තියපු එයා, කෑ ගැහුවා...

"එකෙක්වත් හෙල්ලෙන්ඩ එපා, කුඩු වෙන්ඩ වෙඩි තියනව."

ඊට පස්සෙ ටෙලර් කවුන්ටරේකට මල්ලක් විසි කරලා, ඒක සල්ලිවලින් පුරවන්න කියලා කිව්වා.

"මේ... අයියෙ..." ඔය අතරෙ බැංකුවෙ උන්න එකෙක් බයෙන් බයෙන් ඇහුවා... "ඔයා යන්ඩ ඕනෙ ලේ බැංකුවකට නෙමෙයි ද?"

"නෑ මල්ලි... මට ශාපයක් වැදිලා තියෙනව..."

"ශාපයක්?"

"ඔව්. මට හැම කෙනාගෙන් ම ලේ බොන්ඩ බෑ. මට ලේ බොන්ඩ පුළුවං, ගොබ්බ පණ්ඩිතයන් ගෙන් විතරයි. ඒකයි මම මෙහෙම වැඩක් කරන්නෙ. මේ ස්ටන්ට් එක කරපු හැම තැනක ම, එක ගොබ්බ පණ්ඩිතයෙක් හරි උන්නා..."

*    *    *

දවසක්, මනුස්සයෙක්, වැම්පයර් කෙනෙක් ගෙ පපුවට උලක් ගැහුවා. සොම්බියෙක් ට මැරිලා වැටෙන්ඩ ගැහුවා, ඊට පස්සෙ යකෙක්ගෙ ඔළුව පැලෙන්ඩ ගැහුවා. උන් තුන් දෙනා වැටිලා ඉද්දි, අර මනුස්සයගෙ බිරිඳ එතෙන්ට කඩං පැන්නා විළාප දීගෙන.

"ඇයි මනුස්සයෝ... තමුසෙට පිස්සු ද? මේ ළමයි ට රස කැවිලි නෙ ‌දෙන්ඩ තියෙන්නෙ, මේ හැලොවින් දවස නෙ..."

*    *    *

අන්තිම කතාව ටිකක් අවර යි. ඒ නිසා ගෑණුළමයි සහ සියුමැලි පාඨකයො මේක ප්‍රසිද්ධියෙ කියවන්ඩ එපා. කියෙව්වෙ නෑ වගේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකට යන්න...

දවසක් මනුස්සයෙක් කැළේ අතරමං වුණා. එයා පාරක් හොයාගෙන එහෙ මෙහෙ යද්දි, එක පාරට ම ගහක් අස්සෙන් කඩං පැන්නා, සුදුමැළි මහා භයාණක පෙනුමක් තියෙන කෙනෙක්.

"ඔහොම හිටූ! මං තොගේ ලේ බීලා මරළා දානවා...!

"අනේ... අනේ... එපා" ප්‍රසන්න පින්සෙණ්ඩු වුණා. "අනේ මාව මරන්ඩ එපා. මං ගෙදර එනකං බලාගෙන ඉන්නව මගෙ වයිෆ්... මට පොඩි ළමයි ඉන්නව..."

"ඒ කතාවලින් වැඩක් නෑ. මං තොගෙ ලේ බොනවා...!

"අනේ... මං ඕනෙ දෙයක් දෙන්නං, මාව මරන්ඩ එපා..."

අර ලේ බොන්නා පොඩ්ඩක් කල්පනා කළා.

"හරි... මං උඹේ වයිෆුයි ළමයිනුයි ගැන හිතලා, උඹට එක චාන්ස් එකක් දෙන්නං."

අනේ ඉතිං අර මනුස්සයා වැඳ වැටුණා.

"මොක ද කියන්නෙ? මං එක්කො උඹේ ලේ බොනවා, එහෙම නැත්තං පු* අරිනව. කැමති ඔප්ෂන් එකක් තෝර ගනිං"

අනේ ඉතිං, මැරෙනවට වඩා ඕනෙ එකක් හොඳයි කියලා හිතපු අර මනුස්සයා, දෙවෙනි ඔප්ෂන් එක තෝර ගත්තා.

ඉතිං ගනුදෙනුව ඉවර උණාට පස්සෙ අර මනුස්සයා හොඳටෝ ම අඬන්න ගත්තා. වැම්පයර් ටත් හෙණ දුකයි ඒක දැක්කම.

"මොකද මිනිහො? දැං ඉතිං ඒක ඉවරයි නෙ. දැං කළිසම ඇඳගෙන පලයං ගෙදර..."

"ඔයා නං කියයි. ඒ උනාට මේක මිනිස්සු දැනගත්තොත් එහෙම... මං කොහොම ද ගමට සමාජයට මුහුණ දෙන්නෙ...?"

"මොන සමාජයක් ද අයිසෙ?" වැම්පයර් අරූගෙ හිත හදනව... "ඔය සමාජය තමුසෙ ගැන හිතන දේවල්, කියන දේවල් ගණං ගන්ඩ එපා. දැං බලනව මං දිහා... මගෙ මේ සුදුමැළි පෙනුම නිසා, මිනිස්සු මං වැම්පයර් කෙනෙක් කියල හිතාගෙන ඉන්නව. ඉතිං කෝ? මං අඬනව ද?" 

අත හිත - බස්සගෙන්

Thursday, December 29, 2022

උපාසකයෝ

"ඒයි ගොයියො, මොකද උඹ මං පිටි පස්සෙ ම එන්නෙ? හා, හා පලයන්, පලයන්, උඹ කන බොන දේ මගෙ පැලේ නෑ. හා, හා ආපහු පලයන්."

උපාසක උන්නැහේ තමා පිටුපසින් එන බලු කුක්කාට කීප වරක් ම මෙසේ කීවේය. ඊට අවනත නොවූවාක් මෙන් ඌ දිගට ම ඔහු පිටුපසින් දිව එයි. උපාසක උන්නැහේ නැවතී බලු කුක්කා කකුලෙන් තල්ලු කර ආපසු යවන්නට සැරසෙන විට ඌ උඩුබැල්ලෙන් පෙරළී දුක්මුසු බැල්මක් හෙළයි.

"එහෙනම් උඹ ආපහු යන්ඩ කැමති නෑ නේද? හා, එහෙනම් වරෙන්. හැබැයි, මං ඉන්න තැනට මෙහෙ ඉඳලා හුඟක් දුරයි. උඹට එච්චර දුර පයින් යන්ඩ පුළුවන් ද? පුළුවන් නම් වරෙන්. හැබැයි, එහෙ මස්, මාළු හෙම නෑ. ඇහුණ ද?"

ගම්මානයෙන් සැතපුම් හතරක් පමණ දුරින් පිහිටි මහගිරි කන්දේ නැගෙනහිර බෑවුමේ වරිච්චි බැඳ කටු මැටි ගැසූ බිත්ති හතරකින් හා බට කොළ හෙවිල්ලූ පියස්සකින් යුත් කුඩා පැල්පතක ජීවත් වන උපාසක උන්නැහේ දෙපෝයකට වරක් බිං කොහොඹ, ගම්මාලු කිරි, මීපැණි ආදී දුර්ලභ වනෞෂධ අත්බරක් රැගෙන ගම්මානයට යයි. ඒ ගමනේ දී ඔහු තමාට අවශ්‍ය පොල්, පුවක්, ලුණු, හුණු ආදිය වනෞෂධවලට හුවමාරු කරගෙන යයි. ඉබාගාතේ යමින් සිටි බලු පැටියා ඔහු පසු පසින් ආවේ ද එවැනි දිනකදීය. 

"උඹ තවම පොඩි එකානේ. දැන් කකුලුත් රිදෙනව ඇති. වරෙන් මං ටිකක් දුර උඹ වඩාගෙන යන්නම්."

තමා පසුපස "බාල දක්ෂ ගමනින්" එන බලු පැටියා වරින් වර උසුලාගෙන ගිය උපාසක උන්නැහේ පැය දෙකක පමණ ගමනින් පසු ස්වකීය පැල්පතට ළඟා විය.

ඒ පැල්පතට ඇතුළු වන දොරටුව අවුරා තිබුණේ බටකොළ පැළැල්ලකිනි. දොරකඩ එක එල්ලේ ම ආහාර පිසින තැනය. ළිපට උඩින් තනා තිබෙන දුම්මැස්සේ වළං කබල් කීපයකි. දුම්මැස්සේ තවත් පැත්තක පුවක් ගෙඩි කීපයක් හා වනෞෂධ කීප වර්ගයක් ද වේ. වියළී ගිය වැටකොලු, මෑ, බණ්ඩක්කා, සහ බඩඉරිඟු කරල් කීපයක් අටු කණුවේ එල්ලෙයි. මිරිස් ගල ළිපට දකුණු පසෙහිය. මන්නා පිහිය හා හිරමනය ළිප අසල මය. වම් පස වැලි කොස්ඇට මුල්ලකි.

ළිපට දකුණු පස බිත්තියේ ගෑවෙන්නට, ගෙබිම සිට අඩි තුනක් පමණ උස්වන සේ තනා, බට කොළ අතුරා ඊමත වැටකේ පැදුරක් එළා ඇති ලී මැස්ස වරෙක ඇඳකි, වරෙක මේසයකි. වෙසක් කළාපයකින් කපාගෙන කොහොල්ලෑවලින් අලවන ලද බුද්ධ පින්තූරයක් මැස්ස අසල බිත්තියේ වෙයි. උදැල්ලක්, වල් කැත්තක් හා යකඩ ඉන්නක් ද මැස්ස පාමුල බිත්තියට හේත්තු කර ඇත..

"මේක තමයි මගෙ මාළිගාව. හොඳයි නේද? දැන් ඉතින් උඹට නමකුත් ඕනෑ නේ. මොකක් ද හොඳ? කඩිය, කඩිය කියන නම හොඳයි නේද? ඔව්, ඒක හොඳයි, කඩියො මෙන්න මෙතන තමයි, උඹ නිදා ගන්නෙ."

තමා නිදා ගන්නා මැස්ස යටට ගෝනි කැබැල්ලක් එළමින් කී උපාසක උන්නැහේ තමා ගෙනා දෑ ඒ ඒ තැන්වල අඩුක්කළේය.  

"කඩියො, උඹට හුඟක් බඩගිනි ඇති නේද? උඹට මේව නම් කාල පුරුදු නැතුව ඇති. ඒත් මේවට පුරුදු වෙන්ඩ ඕනෑ. හිටපංකො මං පොල් ටිකක් වැඩියෙන් දාල අනල දෙන්නම්."

උපාසක උන්නැහේ බතලත්, පොලුත් එකට අනා, කොළපත් කෑල්ලක දමා කඩියාට දී, ඔහු ද බඩ පුරා කා බුලත් විටක් ද ඒදා ගත්තේය. කඩියා ද මහත් කෑදරකමින් බඩ පුරා ම කා, ළිප ළඟට ගොස් වක ගසාගෙන නින්දට සැරසුණේය.

"ඒයි ගොයියො. ඔය වැඩේ හරිනෑ. කෑම කාපු ගමන් නිදා ගන්නෙ කවුද? වරෙන් වරෙන් මගෙ වත්ත දිහා ටිකක් ඇවිදින්ඩ යන්ඩ වරෙන්. අප්පා! බඩ කොට්ටෙ වාගෙ පුරවගෙන."

උපාසක උන්නැහේ පැලෙන් පිටතට ආවේය. ඔහුගේ පැල්පත වටා මැනවින් සකස් කරන ලද කුඩා ගොවිපළකි. එහි වැවී තිබෙන මඤ්ඤොක්කා, බතල, මිරිස්, ලූනු, කෙසෙල් ආදිය ඔහුගේ ආහාරයට ප්‍රමාණවත්ය. මිදුලේ සරුවට වැවී ඇති "නාගවල්ලි කොවුලෙන්" වුවමනා තරමටත් වඩා බුලත් ලැබේ. ගොවිපළ වටා ඇති දඬුවැටෙන් ඔබ්බෙහි සීතල දිය ගලා බසින දොළ පාරකි. වැසි සමයේ දෙගොඩ තලා යන වතුර ගොවිපළේ දඬු වැටට ද කිට්ටු කරයි. මෙතරම් නියඟයකදී වුව ද, නොසිඳෙන මහා වක්කලමක් මේ දොළ පාරෙහි තිබීම නිසා, ඔහුට කිසි කලෙක නියඟය කරදරයක් නොවීය. කඩියා නිසා දැන් ඔහුට තනිකමක් ද නැත. කඩියා මේ පරිසරයට අනුකූල වන්නට වැඩි කලක් නොගත්තේය.

උපාසක උන්නැහේ ගොවිපළේ වැඩ කරන විට කඩියා ඒ සමීපයට වී බලා සිටියි.

"ඉරත් හැරිල වගෙයි. දැන් වැඩ නවත්තමු. නේද කංකානම?" උපාසක උන්නැහේ දවසේ වැඩ නතර කර දිය නා ගැනීමට දොළට යෑමට සැරසෙයි. කඩියා කලින් ම දොළ ළඟට ගොස් "ලක් දෙලක් ලක් දෙලක්" යි හඩ නංවමින් වතුර උගුරක් දෙකක් බී තොල කට ලෙවකමින් සිටියි.

"හා, එහෙනම් වතුර ටිකක් නා ගනිමු නේද?"

උපාසක උන්නැහේ පළමුවෙන් කඩියා නාවා ගල් පොත්ත උඩ තබා, දොළට බැස දියබුං ගසමින් නාන්නට පටන් ගනියි. සීතලෙන් වෙවුලන කඩියා තෙත සිඳුවා ගන්නට ඇඟපත සල සලා ගල් පොත්ත මත එතැන ම කැරකෙමින් කෙඳිරි ගායි. දිය නා ගැනීමෙන් පසු දෙදෙනා ම පැළට එති.

කඩියාට කෑම දීමෙන් පසුව මිස උපාසක උන්නැහේ කිසි දිනෙක කෑම නොකයි. තැම්බූ අල බතල හා කොස් දෙල් ආදිය කඩියාට දැන් හොඳට ම හුරුය. උපාසක උන්නැහේ කිසි දිනෙක බත් නොකයි. කුඩා කාලයේ වත් බත් කෑ බවක් ඔහුට මතක නැත. බත් පමණක් නොව, මස්, මාළු ආදිය ද ඔහුගේ කෑම වට්ටෝරුවට ඇතුළත් නොවේ. කඩියා ද, ටික කලෙකින් උපාසක උන්නැහේ මෙන් ම උපාසකයෙක් විය. මුල දී කුරුල්ලන්, ලෙහෙනුන් ආදී කුඩා සතුන්ට කුරුමානම් අල්ලන්නට සූදානම් වූ නමුත් එවැනි අවස්ථාවල උපාසක උන්නැහේ, "කඩියා, සත්තු එහෙම මරන්නෙ නෑ... මා ළඟ ඉන්නව නම් ඒ සෙල්ලම් බෑ." යි තර්ජනාත්මක ව කියන්නට වූ නිසා දෝ සතෙකු දෙස ඇස් ඇර බලන්නට වත් කඩියා උනන්දු නොවීය.


මේ අන්දමින් ඉතා ම ප්‍රීතියෙන් කල දවස ගත කළ මේ අඹ යාළුවන් දෙදෙනාගේ සිතින් ප්‍රීතිමත් භාවය ටිකින් ටික ඉවත් වන්නට වූයේ උපාසක උන්නැහේට කැලෑ උණ සෑදෙන්නට පටන් ගත් පසුවය. ඒ නිසා ඔවුන්ගේ දින චරියාව ද වෙනස් වන්නට විය. දවස් ගණනක් ම එක දිගට උණෙන් පෙළෙන්නට වූ උපාසක උන්නැහේට තමාගේ අසනීපයටත් වඩා වේදනාවට කාරණා වූයේ කඩියා නිරාහාරව සිටීමය. කඩියා මැස්ස යට වක ගසාගෙ කෙඳිරි ගායි. වරින් වර මැස්ස යටින් ඇදී ඉතා ම අමාරුවෙන් දෑත් උස්සා මැස්ස මත තබා දෙකකුලෙන් සිටගෙන උපාසක උන්නැහේගේ ඇඟ ලෙවකයි.

"අනේ කඩියො, උඹට නම් හුඟක් බඩගිනි ඇති තමයි. ඒත් මං මොනව කරන්ඩ ද? මේ කෙහෙල්මල් උණේ මෙදා පාර නම් බහින එකක් නෑ.මට උඹට කන්ඩ මොකුත් තම්බල දෙන්ඩ හැටියකුත් නෑ. උඹට බැරි ද ගම්මානෙට යන්ඩ, උඹ හෙමින් හෙමින් ගම්මානෙට ගිහින් මොකුත් අහුලගෙන කාපන්. මට සනීප වුණොත් උඹ එක්කගෙන එන්ඩ මං ආයෙත් එන්නම්." උපාසක උන්නැහේ දැරිය නොහැකි ශෝකයෙන් ස්වකීය දුබල අතින් කඩියාගේ හිස පිරිමදිමින් කියයි. කඩියා ඔහුගේ අත ද ලෙවකා යළි මැස්ස යටට ඇදී කෙඳිරි ගාන්නට පටන් ගනියි.

"මොනවා කරන්ඩ ද දෙයියනේ, මේ අසරණ සීපාවා නොහිටියා නම් මට එක හිත් හිතාගෙන මැරෙන්ඩ උණත් තිබුණා. ඌට දඩයමක් කරගෙන කන හැටි ‌ඉගෙන ගන්ඩ වත් ඉඩ නුදුන්නෙ මමයි. මට හිතුණා මා ළඟ ඉන්නා සතා උණත් මං වගේ ම උපාසකයෙක් වෙන්ඩ ඕනෑ කියල. කඩිය පුංචි කාලෙ දඩයම් කරන්ඩ හදනකොට වළක්කා ගත්තෙ ඒකයි. දැන් අපරාදේ මට ඉස්සර වෙලා ඌ බඩගින්නෙ ම මැරෙයි. දැන් උගෙ ඉළ ඇට ගණන් කරන්ඩ පුළුවනි. ඇඟේ මස් කලඳක් නෑ. මං හිතන්නෙ මෙදා පාර නම් මට සනීප වෙන එකක් නෑ. මං මැරෙන්ඩ බය නෑ. ඒ උණත් මේ අසරණ සීපාවා දුක් විඳින හැටි බලාගෙන ඉන්ඩ මට නම් බෑ. තම්බපු වැලි කොස් ඇට ටිකක් ඌ කෑවෙ දැන් දවස් තුනකට ඉස්සර වෙලා. මම නම් ඊයෙත් කොත්තමල්ලියි, පත්පාඩගනුයි ටිකක් තම්බගෙන බිව්වා. ඒත් කඩියා බිව්වෙ නෑ. ඒක දිහා බලලා තොල පිට ලෙවකාල ආයෙ මං දිහා බැලුවේ 'අනේ මට බඩගින්න උහුලන්න බෑ. ඒත් මෙව්ව නම් බොන්න බෑ' කියන්නා වගෙයි. මේ වද විඳිනවට වැඩියෙන් මැරෙන එක කොච්චර හොඳ ද? කඩියටත් එහෙම හිතෙනවා ඇති. ගිය පෝයට ගම්මානෙට යන්ඩ හම්බ උණෙත් නෑ. වෙනදා නම් මං නොගියා ම බේත් අවුසද හිඟ පාඩු වෙලා මුදලාලි මාව හොයාගෙන එනවා. මුදලාලි වත් ආවොත් මට කඩියා ගමට පිටත් කරන්ඩ පුළුවනි. ඌට කොච්චර කීවත් ඌ යන්නෙත් නෑ. මම කී සැරයක් මහන්සි ගත්ත ද ඌ ගමට පිටත් කරන්ඩ. බාගදාට ඌට දොළෙන් පීනල එගොඩ වෙන්ඩත් බැරුව ඇති. හරි! ඒක තමයි, ඌට ඒ දණ්ඩෙන් යන්නත් බෑ. මං අමාරුවෙන් වත් ගිහින් ඌ දොළේ එහා පැත්තෙන් තියන්ඩ ඕනෑ. හරි, ඒක හොඳයි."

උපාසක උන්නැහේ අමාරුවෙන් මැස්සෙන් බැස්සේය. බිත්තියට හේත්තු කර තිබුණු හැරමිටිය අතට ගත්තේය.

"කඩියො, මං උඹ එගොඩහින් ගෙනිහින් තියන්නම්; උඹ ගම්මානෙට පලයන්; වරෙන් වරෙන්."

උපාසක උන්නැහේ මිදුලට බැස්සේය. කඩියා ද දෙපසට වැනි වැනී ඔහු පිටි පසින් ඇදුණේය. දොළ හරහා දමා ඇති ඒදණ්ඩ ළඟට පැමිණි උපාසක උන්නැහේ හැරමිටිය ඒදණ්ඩ සමීපයෙන් තබා අමාරුවෙන්ගේ කඩියා වඩා ගත්තේය. දකුණතින් අත්වැල අල්ලාගෙන හෙමින් හෙමින් ඒ දණ්ඩ දිගේ දෙපා මාරු කළේය. වාරුව නැති ඔහු ගේ අත් පා වෙවුලන්නට විය. "මේ මොනවා කරන්ඩ හදනවදැ"යි අසන්නාක් මෙන් කඩියා කෙඳිරි ගාමින් උපාසක උන්නැහේගේ කණ ලෙව කෑවේය. එයින් ඔහුගේ මුළු ශරීරය ම කිළිපොළා ගියේය.

"ජබුස්"

වක්කලමට ඇද වැටුණු උපාසක උන්නැහේ දිය යට ගිළී, උඩ මතු වී යළිත් ගිළුණේය. දෙවන වර ඔහු මතු වන විට කඩියා යුහුසුලු ව උපාසක උන්නැහේගේ කෙස් වැටියෙන් ඩැහැගෙන වැහැරී ගිය අත් පා ගසමින් නව පණක් ලද්දාක් මෙන් ඉවුර දෙසට පීනන්නට විය. සිහි එළවා ගත් උපාසක තැන ඉවුරේ ගල් පරයක් බදාගත්තේය. කඩියා ඉවුර පහුරු ගාමින් ගොඩට නගින්නට තැත් කළ ද, උගේ ශක්තියය මුළුමනින් ම පිරිහී ගොස් තිබුණි. එක් අතකින් ගල බදාගත් උපාසක උන්නැහේ, අනික් අතින් කඩියා ගල උඩට තල්ලු කරන්නට පටන් ගත්තේය. බොහෝ අමාරුවෙන් ගල උඩට ඇදුණු කඩියා දුබල හඬින් බුරන්නට විය. උපාසක උන්නැහේගේ වෙවුලන දෑත් මඳින් මඳ බුරුල් වන්නට විය. එහෙත් දුබල හඩින් බිරීම හැර කඩියාට අන් කිසිවක් කළ හැකි නොවීය.

"රන්මලෝ, රන්මලෝ, අර බලපන්, ඉක්මන් කරපන්, අර පැත්තෙන් ඉක්මනට යං."

ඒ උපාසක උන්නැහේ බෙහෙත් බඩු සපයන මුදලාලිගේ කටහඬය. ඒ කටහඬ උපාසක උන්නැහේට හෝ කඩියාට හෝ නෑසුණා විය හැකිය. මොහොතකින් ඒ සමීපයට පැමිණි මුදලාලි, රන්මලාගේ උදව්වෙන් උපාසක උන්නැහේත් කඩියාත් දොළෙන් ගොඩට ගත්හ.

මව්බස කියවීම් පොතකින් උපුටා ගන්නා ලදි...

Saturday, December 24, 2022

උපමා කතා තුනක් - නත්තල් කළාපය 2022

අද උදේ (මේක ලීවේ 18 වෙනිදා සෙනසුරාදා) මමත්, බිරිඳත්, පුතාත් අවදි වුණේ එක ම වෙලාවක. නිවාඩු දවසත් නිසා, අපි ටිකක් කතා කරමින් හිටියා ඇඳට වෙලා. අපි පොඩි කාලෙ දි වගේ ම, පුතාට හරිම ආසයි ළඟ ළඟ ම එන නත්තල ගැන. ඉතින් එතනදි අපි අතර කතා බහට ලක් වුණේ නත්තල් දිනය හෙවත් දෙසැම්බර් 25 ජේසු ගේ උපන් දිනය නොවන බව. 

එතන දී මම කිව්වේ බයිබලයේ සුභාරංචිවල සඳහන් වන විදිහට ජේසු තුමාගේ උපත ගැන දේව දූතයෝ ගිහින් එළිමහනේ බැටළුවන් බලාගනිමින් හිටපු එඬේරුන්ට කියුවා කියා තිබෙන සඳහන. එහෙම එළිමහනේ ඉන්න බෑ දෙසැම්බර් මැද හරියේ තිබෙන අති දුෂ්කර සීතලත් එක්ක.

එතකොට පුතා මට තවත් කරුණක් පෙන්නුවා. ඒ තමයි ඒ දුෂ්කර සීතල නිසා ජේසු බබා නිකම්ම රෙදි කඩක ඔතලා ගව ඔරුවක තිබ්බා නම්, සීතලේ මියයන්නට ‌ඉඩ තිබුණු බව.

දිගින් දිගට ම කතා කරද්දී මම පුතාට ජේසු තුමා දේශනා කළ උපමා කතා කීපයක් කීවා. පහතින් ලියා තියෙන්නේ ඒවා.

නැතිවූ බැටළුවා:

ඔබට බැටළුවන් සීයක් සිටියා යැයි හිතන්න. එයින් එක බැටළුවෙක් නැති වුණා නම්, ඔබ අනික් බැටළුවන් අනූ නම දෙනා ම පිට්ටනියේ ඉදිද්දී, අත හැර දමා, නැතිවූ බැටළුවා සොයනවා නේද? ඌ හමු වූ විට ඔබ අතිශයින් ම සතුටට පත් වෙනවා නේද? 

අන්න ඒ වගේ, යහපත් මිනිසුන් අනූ නම දෙනෙකුට වඩා, නොමග ගිහින් සිට, ආපසු යහ මඟට හැරුණු එක් මිනිසෙක් උතුම්.


ණය කාරයෝ:

එක් අධිපතියෙක් ට කාසි දහසක් ණය වී සිටි සේවකයෙක් සිටියා. අධිපතියා ඔහුට ණය ගෙවන ලෙස කී වෙලාවේ, ඔහු අත මුදල් තිබුණේ නැහැ. ඉතින් ඔහු බැගෑපත් වෙලා, ණය ගෙවන්නට තවත් කාලය ඉල්ලා සිටියා. එවිට අධිපතියා ඔහු ගැන අනුකම්පා කර, ණය මුදලෙන් ඔහු නිදහස් කළා.

ඒ සේවකයා ට කාසි සීයක් ණය වූ තවත් සේවකයෙක් සිටියා. පළමුවැන්නා අනෙකාට ඒ ණය ගෙවන්නට බල කළා. ඒ වෙලාවේ දෙවැන්නා අතත් මුදල් තිබුණේ නැහැ. ඉතින් ඔහුත් සමාව ඉල්ලා, ණය ගෙවන්නට තවත් කාලය ඉල්ලා සිටියා.

නමුත් පළමුවැනි සේවකයා දෙවැන්නා ගැන අනුකම්පා කළේ නැහැ. ඔහු ණය ගෙවන තුරු සිර කළා.

මේ සිදුවීම අනෙක් අය විසින් අධිපතියාට සැළ වුණා. ඒ අධිපතියා පළමුවැනි සේවකයා ගෙන්වා මෙසේ කීවා.

"මම නුඹට අනුකම්පා කළා වගේ ම, නුඹත් අනෙකාට අනුකම්පා කරන්නට තිබුණා නේද? දැන් නුඹ මා හට ගෙවන්නට ඇති කාසි දහස ගෙවන තුරු මමත් නුඹ සිර භාරයට ගනිමි"

අපි වරදකට පසුතැවෙමින් සමාව අපේක්ෂා කරනවා නම්, අපට අනෙක් අය කරන වැරදි ගැනත් අපි සමාව දිය යුතුයි.


මේක විශේෂයෙන් ලීවේ මගේ ඉතා හිතවත් මිත්‍රයෙක් සහ සහෘදයෙක් වන අසංග රණසිංහ ආරච්චිට ම‌ගේ කලින් පෝස්ට් එකෙන් කරපු විහිලුවට යම්කිසි සිත් රිදීමක් වුණා නම්, මට සමාව දීමට ආදර්ශයක් වශයෙන්...

ටැලන්ට්:

හාම්පුතෙක් තමන්ගේ වෙළෙඳාම් කටයුතුවලට විදේශයකට ගියා. ඒ යන්න කලින් ඔහු තමන්ගේ සේවකයන් තුන්දෙනාට කතා කොට, ඔවුන්ට ටැලන්ට් (රන්කාසි විශේෂයක්) එක බැගින් දුන්නා.

කාලයකට පසු ආපිට ආ හාම්පුතා, සේවකයන් තුන්දෙනා කැඳවා, තමන් දුන් ටැලන්ට්වලට කළේ කුමක්දැයි ඇසුවා.

පළමුවෙනි සේවකයා, තමන් ඒ ටැලන්ට් කාසියෙන් කා බී විනෝද වුණු බව කීවා.

දෙවෙනි සේවකයා හනික මිදුලට දුව ගොස්, ගළක් යට ප්‍රවේසමෙන් තබා තිබූ ටැලන්ට් කාසිය රැගෙන ඇවිත් හාම්පුතා ට පෙන්නුවා.

තුන්වෙනි සේවකයා, තමන්ට දුන් ටැලන්ට් එකෙන් වෙළඳාමක් පටන් ගෙන දියුණු කර, එයින් උපයාගත් ටැලන්ට් මල්ලක් හාම්පුතාට දුන්නා.

මේ ලෝකයේ මිනිස්සුත් ඔය තුන් විදිහට අයත්. තමන්ට සහජයෙන් ලැබෙන කුසලතා නාස්ති කර විනාශ කරගන්නා අයත්, ඒ කුසලතාවන් හංගාගෙන තබාගෙන ඉන්නා අයත්, කුසලතාවන් ක්‍රියාවේ යොදවා දියුණු කරගන්නා අයත් වශයෙන්.


උපමා කතා තුනක් ලියන්නට ඉඳගත්තත්, බෝනස් හැටියට පහත කතාවත් කියවන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ, මේ උපමා කතා ලියද්දී මතක් වුණු විහිලු කතාවකුත් ලියා තියන්නට හිතුණු නිසා.

අකීකරු පුත්‍රයා:

එක් පොහොසත් මිනිසෙකුට අකීකරු පුතෙක් උන්නා. ඔහු තමන්ගේ පියාගේ ගොවිපළේ වැඩ කරනවා වෙනුවට, සල්ලි ටිකකුත් අරන් වෙනත් ප්‍රදේශයකට පැන ගියා.

තමන් ගෙනා සල්ලි ඉවර වෙන තුරු කා බී විනෝද වුණු ඔහු, මුදල් ඉවර වුණු පසු වෙනත් මිනිසෙකු ගේ ගොවිපොළක වැඩට ගියා.

ඔය අතර දුර්භික්ෂයක් ඇති වුණා. අර පුත්‍රයාට කන්නට සුදුසු දෙයක් ලබා ගන්න බැරි වුණා. ඔහුට කන්නට ලැබුණේ ඔහු වැඩ කළ ගොවිපොලේ ඌරන්ට කන්නට දමන ආහාර. 

ටික දවසක් ගත වෙද්දී ඔහු කල්පනා කළා, තමන්ගේ පියා ළඟ සිටිය කාලයේ හොඳින් කන්න බොන්න ලැබුණා. නමුත් පියාට අකීකරු වී පැනලා ඇවිත් සේවකයෙක් හැටියට සත්ත්ව ආහාර කමින් දුක් විඳිනවා. ඊට වඩා හොඳයි ආපසු පියා ළඟට ගිහින් සමාව ඉල්ලන එක.

එහෙම හිතා ඔහු ආපහු පියා ළඟට ගියා. ගිහින් කීවා, "තාත්තේ, මට සේවකයෙක් හැටියට සළකන්න. මම ඔබට විරුද්ධ වුණු නිසා..." කියා.

නමුත් තාත්තා ඔහු දැකලා ඉතා ම සතුටට පත් වුණා. ඔහු අනික් මිනිස්සුන්ට කෑ ගසා කීවා, "මෙන්න, මම මැරුණා කියා හිතාගෙන හිටි පුතා ආපිට ඇවිත්. මෙයා පිළිගන්න උත්සවයක් පවත්වමු. මම භෝජන සංග්‍රහයකට කියා තර කළ වස්සා දැන් මරන්න." 

ඒ ඇසුණු ඔහුගේ වැඩිමල් පුතා අමනාපයෙන් තාත්තා ගෙන් මෙහෙ ම ඇහුවා. "තාත්තේ, මම ඔබට අකීකරු නොවී, ඉතා ම කීකරු විදිහට වැඩ කරනවා. නමුත් මේ අකීකරු වෙලා පැනලා ගිය මල්ලි ආපසු ආවම ඔබ ඔහු පිළිගන්න හරකෙකුත් මරලා උත්සව පවත්වනවා..."

තාත්තා කීවා, "ඔව් පුතේ. හොඳ මිනිසුන් දාහකට වඩා, නරකට හැරී සිට, වැරදි තේරුම් ගෙන පසුතැවිලි වී ආපිට හොඳ අතට හැරෙන එක පවුකාරයෙක් උතුම්..."


ඔය කතාව ඉස්කෝලෙ දී කියා දුන්නු ටීචර් කෙනෙක් ඇහුවා "අකීකරු පුතා ආපහු ගෙදර ආ එක ගැන අමනාප වෙන්නේ කවුද?" කියලා.

එක ගෑණු ළමයෙක් අත උස්සගෙන නැඟිටලා කීවා...

"ටීච ටීච... තරකළ වස්සා" කියලා.


ඔබ සැමට සාමය සහ සමාදානය උදාවන සුභ නත්තලක් වේවා!

Sunday, December 18, 2022

හද පියුමේ කරුණා සුවඳ තවරාලූ ගුණෙ අයියා ට...


අපි පොඩි කාලේ, සංගීත වේදිකාවේ උන් වීරයා නිහාල් නෙල්සන් ය. කුඩා සිරුරක් තිබුණ ද, තමන්ගේ ගීතය ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීමෙහි දී ඔහු පෑවේ අපූර්ව දක්ෂතාවකි. ඔහු එය කළේ ආයාසයෙන් නොවේ. ඒ ඔහු තම ගීතය රසවිඳි ආකාරය ම ය. විශේෂයෙන් ඔහුගේ මයික්‍රෆෝනය අතින් අතට මාරු කිරීම, අත වටා කරකැවීම ආදී ඇක්ෂන් අපි කුඩා උන් ලෙසට බලා සිටියේ මවිතයකිනි.

අපි ගැටවර වියට එළඹෙන කල, නිහාල් නෙල්සන් තුළ පැවති අව්‍යාජ කතිකත්වය සහ සියලු දෙයෙහි සුභවාදී පැත්ත හුවා දැක්වීම මා හට නිරීක්ෂණය විය. ඔහු වේදිකාවට නැඟ, ඔහු හඳුන්වාදුන් නිවේදකයා, සංගීත කණ්ඩායම, අනුග්‍රාහක ආයතන, සංගීත සංදර්ශනය පවත්වන ප්‍රදේශයේ ජනතාව මෙන් ම විකාශය කෙරෙන රූපවාහිනී නාළිකාව ද නොමද අගැයීමකට ලක් කරයි. 

මේ ඊට උදාහරණයකි...


බයිලා යනු උසස් රසවින්දනය නොවේ යැයි බෙදීමක් පැවති කාලයක මතු වී, "ඇරපං කරාමේ - මේක අපේ පයිප්පේ" "මම දැම්මෙ පොල් එකයි - පොල් එකයි" වැනි ගීත ගයන්නට ඔහු තුළ තිබූ එඩිතරබව හෝ, ප්‍රබුද්ධ / පීචං බෙදීම ගණන් නොගැනීම ද අයෝමය ගතියක් ලෙස පෙනේ.

"එයාලා කියන ගීත ප්‍රබුද්ධයි - අපි කියන ගීත පීචං" යැයි ජෝතිපාල කියද්දී, "එයාලා ගයන ගීත ප්‍රබුද්ධයි නං අපේ ගීත සුප්‍රබුද්ධයි" යැයි කියන්නට ආත්ම විශ්වාසයක් මේ කුඩා මිනිසා තුළ පැවතුණේ ය.

ඔහුගේ ගීතවලින් වැඩිහරිය සමාජයේ පැවති යම් යම් කොටස් ස්පර්ෂ කරවන නිර්මාණ වීම ද තවත් විශේෂත්වයකි. "මේ කුඩු අත් ඇරියේ නැත්නම් මගෙ රට කුඩේ කුඩු" / "එපා එපා මස් කන්නට කිරි අම්මාගේ" / "මවු මහිමය මතු කොට" (දරුවන් විදේශයට විකිණීම ගැන) ආදී නිර්මාණවලින් සමාජ ප්‍රශ්න ගැන ද සඳහන් කරමින් ඔහු විශ්වාස කළ හැටියට සමාජයේ ගමන වෙනස් කිරීමට වෑයම් කළ බව ද පෙනේ. 

එසේම, ඔහු ගීත වැඩිහරියක් මඟින් සමාජයේ මතුපිටට ඉස්මතු නොවන පහළ සමාජ ස්තර පිළිබඳව ද කතා කරයි. විශේෂයෙන් ඔහුගේ "ගුණෙ අයියගෙ කාමරේ" යනු විචිත්‍ර නිරූපණයකි. 


සොමියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ
අහපන් රියල් කථා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනවා මගෙ කාමරේ

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ //

පච්ච සිරාලා එතකොට කොච්චි එලාලා
ගුස්පි රොබාලා එයි මෙහෙ සොමිය සොයාලා
සැප විදලා මෂා වෙලා පීචං වීලා
කැපිලා යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා
නළුමන්ලා නිලිමන්ලා කැමරා කටාලා
අලිවංශෙන් වැඩ පෙන්වන සුපර් මෑන්ලා
බර පොරවල් ෆොරින්ස් කකුල් එකට වැටීලා
Two Thousand Three Thousand යයි විසිකරලා

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ //

ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
ෆේස් ටු ෆේස් එනවා නම් වැඩ අතින් පයින්
සෙවල කිරල වැක්කෙරුවොත් තෙල් වීදාගමින්
වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්
කොත නම් කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
ඔය කාගෙත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මම නැත බොරු ගොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත

සොමියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ.......

ගුණේ අයියගේ කාමරය සියලු දෙනා ට නිර්බාධව වවෘත ස්ථානයකි. විනෝදාස්වාදය පතා එයට ඇතුල් වන උදවියට අවශ්‍ය විය හැකි සියල්ල එහි ඇත. "මස්කට්, පැණි බූන්දි" ආදිය ප්‍රිය වන්නේ මත්ලෝලීන්ට ය. (නිදි ඒ ගැන යම් සඳහනක් කර තිබුණා)

ගුණේ අයියගේ කාමරයට විවිධාකාර චරිත ඇතුල් වෙති. සමහරුන් කැපී යන අතර, දළ කාරයෝ නිර්ලෝභීව මුදල් වියදම් කරති. 

අවසාන අන්තරා කොටසින් කියවෙන්නේ ගුණෙ අයියගේ ඇති සෘජු ගති ගුණ සහ හොඳ හිත ගැනය.

මෙකී සියලු නිර්මාණ අතර, මා කුඩා කල සිට ම හදවතට පිහි පාරක් මෙන් ඇණී ඇති එක් ගීතයක් වෙයි. ඒ "කරුණා සුවඳ තවරාලූ..." ගීතයයි.


මෙහි පදමාලාව නිහාල් නෙල්සන් සමඟ වර්නන් පෙරේරා විසින් ලියැවී ඇති අතර, තනුව නිහාල් නෙල්සන් ගේ ම ය. බයිලාවක් කිව නොහැකි තරම් ලයාන්විත සංගීතය ලාල් තේනබදු විසිනි.

ගායනය පමණක් ගත්ත ද, මේ ගීතයේ සමහර වචන, නිහාල් නෙල්සන් ආදරය කවමින් ඇද සුරතල් කරමින් ගායනා කරයි. එමතු ද නොව, මේ ගීතයේ දී නිහාල් නෙල්සන්ගේ වචන භාවිතය ද ඉතා උසස් වේ. ගුණෙ අයියාගේ කාමරේ ගැන කියද්දී ඊට සුදුසු වචන භාවිත කරන ඔහු මෙතැන දී, "හද පියුමේ" "උල්පත සැනසීමේ" "ඔබ මතු බුදු වී දහම් දෙසන විට මමත් නිවන් දකිනෙමි අම්මේ" වැනි ඉතා සුමුදු සහ අරුත් බර යෙදුම් භාවිත කරයි.

අම්මා ළඟ යම් යම් අවස්ථා වලදී අපි කවුරුත් පොඩි ළමයින් වෙමු. නමුත් අම්මා නැති කල...? අපේ ජීවිතවල දුෂ්කර අවස්ථාවල දී පෙර ලෙස දුවගෙන ඇවිත් අම්මා කියන්නේ කාට ද?

ජීවිතය කෙළවර වීම අනපේක්ෂිත වන්නා සේ ම, මේ ගීතයත් අවසාන පදයේ මැදක් හරියට එනතුරු ම සුපුරුදු රිද්මයෙන් ගැයී, එක වර ම අවසන් වෙයි.

ඒ වගේ අව්‍යාජ, සොඳුරු සංගීත ශිල්පියෙක් හැටියට අපි අද පෙන්වන්නේ කාව ද?

විශාල පෙරළියක් කළ, ගීත කැසට් සහ ගීත එකතු සියයකට වැඩි ගණනක් දායාද කළ, පුංචි යෝධයාහට සුව නින්දක් ප්‍රාර්ථනා කරමු.

වැඩිපුර බලපු ලිපි