Saturday, November 11, 2023

වෙතාල කථා - 3 තරඞ්ගය (ශනිදා දහයට (විතර) !)

1 තරඞ්ගය

2 තරඞ්ගය

"යක්‍ෂාධිපතිය, ඔබ විසින් නො දත්තේ කිමෙක් ද? එසේ ද වුවත් කියන්නෙමි"යි රජතෙමේ පැන විසඳන්ට පටන් ගත්තේය. "පින්වත් වෙතාලරාජය, පව්පින් දෙක ම වන්නේ සිත ප්‍රධාන ‌කර ගෙණ ය යන බව ධර්‍මයෙහි ප්‍රකාශ වෙයි. ඔවුන් දෙදෙනා මැරීමට කිසිවෙකු තුළ සිතක් නො වී ය. එහෙයින් කිසිවෙකුට වත් ඔවුන්ගේ මරණයෙන් පවක් විය නො හැකිය. ඔවුන්ගේ මරණයෙන් යම් දොසක් වේ නම්, එය ද යට කී තිදෙනා කෙරෙහි ආරෝපණය කළ නො හැක්ක. කර්ණෝත්පල රජතෙමේ ම දොෂාරොපණය කරණු ලැබීමට සුදුසු වෙයි."

"ඒ රජුගේ කවර දොසක් ද? රාජපුත්‍රාදී තුන්දෙන ම ඒ වැරැද්ද කිරීමට සම්බන්‍ධ වූහ. එසේ ඇති කල්හි කවර හෙයින් ඔහු නිරපරාධ වෙත් ද? හංසයන් කෙතෙහි හැල් වී කෑ කල කවුඩෝ වැරදිකරුවෝ වෙත් ද? තොපගේ විනිශ්චය කිනම් යුක්‍තියක් මත රඳා තිබේදැ?"යි වේතාල තෙමේ ප්‍රශ්න කෙළේ ය.

"යක්‍ෂෙශ්‍වරය, මන්ත්‍රිපුත්‍රයා නිරපරාධ ය. හෙතෙම ඔහුගේ ස්වාමියාට හිත වූ කටයුත්තෙහි යෙදුනේ ය. එය ඔහුගේ උතුම් ගුණයකි. එසේ ම රාජපුත්‍ර පද්මාවතී යන දෙදෙන ද ඔවුනොවුන් කෙරෙහි ආලය කරමින් සිටි හෙයින් කටයුතු නොකටයුතු විමසීමෙහි අඥ වූහ. සිය අදහස ම සම්පාදනය කිරීමෙහි වෙහෙස ගත්හ. එහෙයින් ඔහු ද දොෂාරොපණය ලැබිය යුත්තෝ නො වෙති. රජ නීතිශාස්ත්‍රයෙහි දක්‍ෂ විය යුතු ය. චරපුරුෂයන් මඟින් ප්‍රජාවන්ගේ තත්ත්‍වය දත යුතුය. ධූර්‍තචරිත පිරික්සිය යුතු ය. කර්ණොත්පල රජතෙමේ නීතියෙහි දක්‍ෂ වූයේ නමුදු, චාරයන් (ඔත්තුකාරයන්) මගින් රටවැසියාගේ තතු නො දැන, ධූර්‍තචරිත නො දැන, කරුණු නො විමසා, පද්මාවතිය නුවරින් බැහැර කරවී ය. ඇගේ මවුපියන්ගේ මරණයට හෙතුව මෙය ම ය. එහෙයින් ඒ රජතෙමේ ම දොෂාරොපණ කරණු ලැබීමට එක ම සුදුස්සා ය"යි වික්‍රමසේනරජ තමන්ගේ විනිශ්චයට හෙතු දැක්වී ය.

වෙතාලයා රජුගේ දැඩි සිත පිරික්සන්නට මායාබලයෙන් එකෙණෙහි ම ඒ ඇට්ටේරියගසට ම ගියේ ය. වික්‍රමසේන රජ ද ඔහු ගෙණ න්නට නැවත ද එහි ගමන් කෙළේ ය.

3. තරඞ්ගය

1

වික්‍රමසේනරජ ඇට්ටේරියගස ලඟට ගොස් මිනිය කොතැන්හි දැ යි බැලී ය. පෙර මෙන් ම ගසෙහි ල්ලෙමින් තුබූ මිනිය දැක ගසට නැඟ රැහැන කපා එය බිම හෙලී ය. බිහිසුණු හඬක් කොට එය බිම වැටින. රජ නැවත ද එය කර තබාගෙණ නිශ්ශබ්ද ව එන්නට වන. මිනියෙහි වැහුනු වෙතාලයා රජු සමග කථාව ආරම්භ කෙළේ ය. "රජ්ජුරුවෙනි, නුඹට නුසුදුසු මහත් පීඩාවෙක්හි වැටුනෙහි ය. නුඹේ මේ ධෛර්‍ය්‍යගුණයෙන් මම සතුටුවෙමි. එහෙයින් වෙහෙස සන්සිඳෙනු පිණිස කථාවක් කියමි. අසව."

මළවුන්ට පණ දීම!


"මහරජ්ජුරුවෙනි, මේ ලොකය උන්මත්තකාගාරයක නොහොත් නාඩගම්මඩුවක් වැන්න. නාඩගම්මඩුවෙහි නළුවෝ තමන් තමන්ට නියමිත රැඟුම් දක්වා බැහැර යන්නාහ. එමෙන් ම මේ ලොකයෙහි මිනිස්සු ද ටික කලක් තමන් තමන් විසින් දැක්විය යුතු නාඩගම් දක්වා මැරී යති"යි කථාවෙහි මුල පිරී ය.

යුෂ්මතා යමුනානදිය ගැණ දන්නෙහි ය. එය හඳුන්වන්ට මම වැඩි වර්‍ණනාවක් නො කරමි. ඒ ගංඉවුරෙහි එක් බමුණුගමක් ඇත. එහි ත්‍රිවෙදපාරප්‍රප්ත එක් බමුණෙකුට දුවක් සිටියා. ඕතොමෝ රන්වන් ය. කිතුල්මල් රැහැන් මෙන් දික් වූ ඇගේ කෙශකලාපය මොනරකරක් මෙන් නිල් ය. පුන්සඳ සේ පැහැපත් මුහුණ නෙලුම් මලක් සේ මනහර ය. දික් වූ දෙඇස අහිංසකභාවය පෙන්වන ලකුණක් වි ය. දෙමටමලක් වැනි නැහැය නැණවත්බව ප්‍රකාශ කෙළේ ය. ඇගේ මනාකඩවසම් සහිත සියලු ම අවයව එක් ව ඇ‌ගේ රූපශොභාව දියුණු තියුණු කෙළේ ය. ඕතොමෝ රූසිරින් පමණක් නො ව ගුණවත්බැවින් ද අනික් කතුන් පැරදවූ. මේ පින්වත් යුවතියගේ ගුණකථාව රට හැමතැන පතළ වි ය. ධනයෙන් නො අඩු, ගුණයෙන් පිරිපුන්, නැණින් පොහොසත්, බමුණු තරුණයෝ තිදෙනෙක් ඇය ගැණ අසා ඇගේ මවුපියන් වෙත පැමිණියහ. එකල්හි රටෙහි පැවති සිරිත පරිදි, තමන්හට වෙන් වෙන් වශයෙන් ඇය විවාහ කොට දෙන මෙන් තුමූ ම යොජනා කළහ.

විවාහයොජනාව කොට වැඩි දවසක් නො ගියේ ය. කාන්තාතොමෝ හදිසිලෙඩකින් මළා. ඇගේ නැදෑයෝ මළකඳ ආදාහන කළහ. තරුණයෝ තිදෙන සුන් වූ බලාපොරොත්තු ඇත්තාහු අතිශයශොකයට පැමිණියහ. ඔවුන්ගෙන් එකෙක් ඒ සොහොනෙහි ම පැලක් සාදාගෙණ හිඟාකමින් එහි ම නැවතී සිටියේ ය. එකෙක් බමුණුසිරිත් පරිදි ඇගේ ඇට ගඞ්ගානදියෙහි දමනු පිණිස ගියේ ය. අනෙකා තවුස්වෙස් ගෙණ තන්හි තන්හි ඇවිදින්ට වන. මළවුන් ඉපිදවිය හැකි බෙහෙතක් හෝ මන්ත්‍රයක් දන්නෙකු සොයා නොයෙක් තන්හි හැසුරුණේ ය. පළමු කොට මහවනය මැද පිහිටි තාපසාරාමයන් කරා එළඹියේ ය. දික්රැවුළින් වැසුනු මුව ඇති, සැඩපලු ගෙතුනු කෙසින් හා දැලිකුණු වැකුනු ගතින් ද නොදැකුම්කලු, වැහැරි (ගස්වල පට්ටා) ඇඳ හෝ නො ඇඳ, එක් අතක් නොහොත් එක් පයක් ඔසවා ගෙණ නැතහොත් මහඅව්වෙහි ගිනිමැළ සතරක් සත‌රදෙසින් මොළවා ඒ මැදට වී ඉන්නා වූ ද, තියුණුඋල් ඇති කටු උඩුකුරු කොට අතුරා ඒ මත ශයනය කරන්නා වූ ද, දෘෂ්ටියෙන් උමතු වූ, ඇතැම් තවුසන්ගේ දුෂ්කරක්‍රියා පරීක්ෂා කෙළේ ය. ශරීරයට වැඩි සුව හෝ වැඩි දුක් හෝ නො දී මධ්‍යස්ථ පිළිවෙත් පුරණ දෘෂ්ටියෙන් අන්‍ධ නුවූ, ගුණයෙන් උතුම් වූ, නැණින් වැඩි හිටි, තවුසන්ගේ ධර්‍මකථා ශ්‍රවණය කෙළේ ය.

2

ඉක්බිති හෙතෙමේ පිළිවෙලින් නොයෙක් දනුවුුු හැසිරෙමින් ස්‍වභාවයෙන් ම රම්‍ය වූ ගම්හි ගම්හි පිහිටි, මිහිකත වැඳුමට මෙන් හිස නමාගත් රන්වන් කරලින් යුත් ගොයමින් වැසුනු කෙත් බැලී ය. බටු මිරිස් ලබු පුසුල් ආදී නොයෙක් ලවළුපැලෑටිවලින් නිල්වන්, අලබතලවලින් සාර වූ ඕවිටි හා දෙල් කොස් අඹ දඹ ආදී බොහෝ පල මල්තුරු පෙළින් විසිතුරු වතු ද පසු කෙළේ ය. ගොයම් ඉපනැල්ලෙහි තණ කමින් සිටින කිරිබරනෑඹිදෙනුන් අවට පෙම් කෙළනා බොළඳවසුපැටියන්ගේ සුරතල් බලමින් අංඅගින් නියරවල් බිඳිමින් ඉදිරියෙහි දකුණු පයින් පොළොව පළන්නට මෙන් බිම ඉරි අඳිමින් මහ හඬින් තැස් ලමින් (ගොනුන් ඇන ගන්ට මත්තෙන් කරණ ශබ්දය කරමින්) පොරට සැලසී සිටි, බිම වදිනා තරමට බෙල්ලෙහි එල්ලෙන තැල්ලෙන් ද උඩට නෙරා ගිය වටකුරු මහමොල්ලියෙන් හා දික් වූ හවරියෙන් ද සැරසුනු මහත් ගොන්පෙළ නැරඹී ය.

දෙපිලට බෙදී මැද පොල්කෝම්බ දෙකක් මුණින් නමා ඒ උඩ කෝටුකැබැල්ලක් තබා සාදනලද මට්ටය බිඳීමට එදෙසෙට නාරංගැටයක් නොහොත් කදුරුගෙඩියක් එල්ල ‌බලා දමාගසන ලමාපෙළ ද, ගෙදර ඇති වැඩපල නො කොට ගෙහිමියන්ට හොරෙන් පැන අවුත් සෙල්ලම්පිටිවලට වී සෙල්ලම් කරමින් සෙල්ලම් බලමින් පොර බදමින් කාලය ගෙවාදමන මෙහෙකරුලමයින් ද, එදිනට නියමිත පාඩම් සූදානම් කරගෙණ පිරිසිදුඇඳුම් ඇඳ පාසල් කරා කඩියන් මෙන් කඩිසර ව ගමන් කරණ හික්මුනු සිසුන් ද, ඉර පායන තෙක් ඇඳෙන් නො නැගිට ඉඳ මවුපියන්ගේ බැණුම්දෙඩුම් මැද අවදි ව බඩ පුරා කා බී කැඩී ඉරී ගිය පොත් කුණුමාලු මෙන් අතින් එල්ලා ගෙණ වටපිට බලමින් මඟ දෙපස තිබෙන එක ම දම්පඳුරක් වත් හිඹුටු වැලක් වත් අනික් පලතුරු ගසක් වත් නෑර හැම ගසක් යටට ම යමින්, මඟදිගෙහි පොර බදමින්, මඟ දෙපස ඇති හැම කුරුලුකූඩවලට ම එබී බලමින්, ගොළුබෙල්ලන් මෙන් හෙමින් හෙමින් පාසල් කරා ඇදෙන කම්මැලි ලමයින් ද, දක්‍ෂ ලමයින්ට තෑගිබෝග දී ඔවුන්ගේ ගණන් පිටපත් කර ගණිමින් පාරේ තැනින් තැන වාඩි වී ඉඳ ගෙණ හොර කම්හි මුල්පාඩම පුහුණු කරණ හොර ලමයින් ද, පාසැලට වී දක්‍ෂ ලමයින් සතුටින් වැඩ කරණ අතර, මැදිදවාලෙහි අතුඅග වාඩි වී සිටින රිලවුන් මෙන් නිදි කිරණ අලස සිසුන් ද දැක අවවාද කෙළේ ය.

මලින් බර පලින් සරු තුරුලියපෙළින් හා, මිනිසුන් දැක ද බියපත් නො ව බලාසිටිනා මුවන්ගෙන් හා රුකින් රුකට පියාඹමින් මිහිරිපලරස විඳිමින් මිහිරිනදින් ගායනා කරණ ලිහිණිසමූහයාගෙන් ද මුළු මුළු ව ගොදුරු සොයා හැසිරෙණ වැලිකුකුළු ඇටිකුළු ඈ විහඟුන්ගෙන් ද යුත් මනහර උයන් වැනි වනපෙත් ද බලා සිත් පිණවී ය.

රකුසන්ගේ ශරීරයට ද වඩා කලු වූ ගතින් හා ප්‍රෙතයන්ගේ හඬට ද වඩා අමිහිරි වූ නදින් ද යුත් සෙනසුරු වාහනය වූ කපටිකවුඩන්ගෙන් පිරුණු, මැලවී ගිය එහෙයින් ම රසයෙන් අඩු ඒලවළුපලවැල ආදිය තබා ගෙන විකුණන කඩපිල්වලින් දෙපස සැදුනු වීථීන්හි ධූලියෙන් තොරක් නැති, නොයෙක් දුශ්‍චරිතයන්ට නොයෙක් දුර්‍වවනයන්ට උල්පත් වැනි නානාවිධරොගයන්ට නිධාන වැනි, දක්‍ෂ මිනිසුන් විසින් අමුතුවෙන් ඇති කළ දෙයින් මිස ස්වභාවයෙන් රම්‍ය නුවූ, පණුවන් කෑ මසන් ගෙඩි මෙන් පිටතින් පෙණෙන ඔපය ඇතුළතින් නැත්තා වූ නගරයන් ද බැලී ය.

ඔහු ‌මෙසේ සොවින් බර සිතින් හා කඳුලින් පිරුණු නෙතින් ද ඩහදියෙන් තෙත් වූ ගතින් ද යුතු ව ගමින් ගම නුවරින් නුවර සැරිසරණ කල්හි ග්‍රීෂ්මකාලය පැමිණියේ ය. තවුසාගේ සිතෙහි ශොකාන්‍ධකාරයට නසන්නට මෙන් දහවල්දවස ක්‍රමයෙන් දික් වි ය. සූර්‍ය්‍යයා තමන්ගේ මුළු බලය යොදා වහවහා පොළොවෙහි දිය බොන්නට පටන් ගත්තේ ය. ගං ඇළදොළ සිඳී ගියේ ය. කුඩා ජලාශයයන්හි සිටි මත්ස්‍යයෝ මරබියෙන් ගැහෙන්නට වන්හ. කලු කවුඩන් හා සුදු කොක්කුත් එකතු ව මඩමතුපිට හිඳ ගෙණ මගුල් කෑහ. සීරුන්ගේ දික් වූ නාදය මිනිසුන්ගේ කන් විනිවිද ගෙණ ගියේ ය. පිට්ටනිවල තණ සියල්ල ම පිදුරු වී ය. තුරුලියවල කොළ වියලී ගියේ ය. වනපෙදෙස්හි ලැව්ගිනි නිතර පෙණෙන්නට පටන් ගත. දිය නො ලබා මිරිකුනු මුවපෙළ ඈත පෙණෙන මිරිඟුව දැක ජලය යි සිතා එවෙත දිව ගොස් අවසනක් නො දුටුහ. ගිමින් මිරිකුනු තරුණජනයෝ ජලක්‍රීඩාවෙන් දවස ගෙවූහ.

3

තවුස්වෙස් ගත් බමුණා ද ග්‍රීෂ්මයෙන් පීඩිත වූයේ එක් බමුණුගෙයකට ගොස් නවාතැන් ගත. ගෘහස්වාමීහු ඔහුට මැනවින් සංග්‍රහ කළහ. එක් දිනෙක්හි ඔහු වළඳින් සිටින අතර ලදරුවෙක් බත් ඉල්ලා අඬන්නට වන. ගෘහිණි තොමෝ ලදරුවා නළවන්ට උත්සාහ කළ නමුතු නො හැකි වූවා. ඕතොමෝ කිපුනී ය. ලදරුවා ගෙණ දැල්වෙමින් තිබුනු ලිපෙහි දැම්මා. අශරණබාලයා ගින්නට අසු ව අළු වී ගියේ ය. බත් වළඳමින් සිටි තවුසා එය දැක ඉතා කලකිරුණේ බත් නො කා නැගිට්ටේ ය. ඊට කරුණු කිම් දැ යි ගෘහිණිය විචාළා. "මෙබඳු රාක්‍ෂසගෘහයකට පැමිණීම මගේ අභාග්‍යයෙන් වී ය. සියදරුවා සුලුවරදක් නිසා මරන්නට තරම් ක්‍රෑර වූ තොපගෙන් මොන දන් ද? තොපගේ සමීපයෙහි සිටීම ද පව් පිරීමට කරුණකි. එහෙයින් වහා ම මම තොප වසන මේ  රටෙහි වත් නො සිට යන්නෙමි"යි පිළිවදන් දී තවුසා ගමනට සැරසින. ගෘහිණි තොමෝ "ස්වාමීනි, ඉක්මන් නුවුව මැනව. ඉක්මන්කම වනාහි අනර්‍ත්‍ථයට මුලක් බව නො දන්නා සේක් ද? සියදරුවන්ට තබා තිරිසනෙකුට වත් හිංසා කිරීම ක්‍රෑරතර පාපක්‍රියාවක් බව අපි දු නො දන්නමෝ නො වෙමු. අපගේ බලය පෙන්වනු පිණිස මම එය කෙළෙමි. අපබලය දක්නට කැමැතිසේක් නම්, මොහොතක් කල් රඳා සිටිනු මැනැවැ"යි කියා පැරණි පුස්කොලපොතක් ගෙණ බලා මන්‍ත්‍රයක් ජප කොට ඒ ලදරුවා දා ඉතිරි වූ අළු ගොඩට දියඇඳිල්ලක් (දෝතක්) ඉස්සාය. එකෙණෙහි ලදරුතෙමේ සිනාසෙමින් නැඟිට ආයේ ය.

තවුසා එය දැක සන්තුෂ්ට ව ආහාර අනුභව කෙළේ ය. මන්ත්‍රය පිළිබඳ තවත් තොරතුරු විචාරා දැනගත්තේ ය. නොයෙක් ඇවිටිලිබස් කියා උපචාරවිධි සහිත මන්ත්‍රය ලබාගත්තේ වහවහා යථොක්ත සොහොන කරා එළ්‍ඹියේ ය. ගඞ්ගානදියට ගිය තරුණයා ද එවේලාවෙහි ම එහි පැමිණියේ ය. "යහළුවෙනි, ශොකය දුරු කරවු. ඔය පැල කඩා දමවු. දැන් මට මළ ප්‍රියාව ඊපදවීමට ශක්තිය තිබේ ය"යි තවුසා කී ය. අනිත් දෙ‌දෙන තවුසා ශොකයෙන් උමතුබවට පැමිණ සිටිතැයි සිතූහ. තවුසාට විහිළු ද කළහ.

ඉක්බිත්තෙන් තවුසා කොළගොටුවක් තනා ඊට පැන් පෙරා ගෙණ මතුරා සොහොනට ඉස්සේ ය. අනිත් දෙදෙනාගේ පුදුමයත් සමග මළතරුණිය සොහොනින් නැංගා, ගිනිදෙවියන් වැඳ පිටතය නික්මුනා, පෙරට ද වඩා කාන්තිමත් දෙහයක් දැරුවා ය.

මෙසේ නැවත දිවි ලද ඇය දැක තිදෙන ම ඇය ලබන අටියෙන් කලහ කරන්ට පටන් ගත්හ. "මෝ තොමෝ මගේ මන්ත්‍රබලයෙන් දිවි ලැබුවා ය. එහෙයින් මෝ මට ම භාර්‍ය්‍යා වන්නී ය"යි එකෙක් කී ය. ගංගානදියට ගිය තරුණයා ඔහු නවතා "මා පුණ්‍යක්‍ෂෙත්‍රයන්හි ඇවිදීමෙන් වූ පිණින් මෝ තොමෝ දිවි ලද්දී ය. නුඹේ මන්ත්‍රබලයෙන් ම නො වේ. එහෙයින් මෝ තොමෝ මට ම අයිති ය"යි කී ය . අනෙකා "මා විසින් මැගේ අළු නො නැසිය දී රක්නා ලදි. ඒ අළු නො වූයේ නම්, කිසිවෙක් මැය නැවත ඉපදවිය හැකි නො වේ. එහෙයින් මැයගේ හිමියා මම් ම ය"යි කී ය.

වේතාලතෙමේ මේ කථාව කියා "පිින්වත් නරපතිය, ඔවුන්ගේ නඩුව විසඳීමෙහි යුෂ්මතා ම සමර්‍ත්‍ථය. අනෙකෙක් සමත්‍ථර්‍ නො වේ. එහෙයින් කියනු මැනව: ඒ කාන්තාව ඒ තිදෙනා අතුරෙන් කවරෙකුගේ භාර්‍ය්‍යාව වන්ට සුදුසු දැ?"යි පිළිවිස "ඉදින් දැන ගෙණ බොරු කීවොත් නුඹගේ හිස සියක් කඩකට පැළෙන්නේ ය"යි තරවටු ද කෙළේ ය.

*    *    *

කලින් වගේ ම තමයි. පිළිතුර ලබන සතියේ කියන තෙක් අනුමාන පිළිතුරු පහතින් දක්වන්න.

තට්ටයියාත්, නිදි අයියාත් කුඩා කල, (ඒ් කියන්නෙ කෝපි වසංගතේ එන්නත් කලින්) කියවාපු අම්බිලිමාමා සඟරාවෙ පළ වුණු වේතාල කතාවක් නිදි විසින් මා වෙත එවා තියෙනවා. ඒක මම ඊළඟ බදාදා දවසක පළ කරන්නම්...

4 තරඞ්ගය

47 comments:

  1. හරිනේද මලේ මම කිව්වා!
    අනේ බුදු මල්ලියේ ඒ පොතේ පිට කවරේ පිංතූරයක් ඊළඟ පෝස්ටුවත් එක්ක දාපං!

    ඔය මළ වුන්ට පන දෙන සීන් එකක් ගැන ලියවෙලා තියෙනවා ලෙනාඩ් වුල්ෆ් ගැන ලියැවුනු පොතක. (මට මතකයි ඒ වගේ!)

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්...

      මළ කෙනෙක් නැගිටවන සීන් එක තිබුණෙ ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක් පොතේ කියල මතක... ඒකෙ ගුරුන්නාන්සෙ කළුතර පැත්තෙ. මළ සිරුර නැගිට්ටුවට ඒක මළ මිනිහාට නැවත පණ දීමක් වුණේ නෑ.

      Delete
  2. හපොයි මේකනම් නිදිමරගාතේ කියවන්න බෑ ආයෙ හෙට උදේට එන්නම් 👻

    ReplyDelete
    Replies
    1. කෝ ඉතිං? තාම ඇහැරියෙ නැද්ද?

      Delete
    2. ආවා ආවා කමෙන්ට් එකක් නොදා ශේප් වෙලා හිටියෙ ඊළඟ සතියෙ ඇවිත් උත්තරේ බලන්න.මේවා අනුමාන කොරන්න ගිහින් මොලේට ගැට,දාගන්නෙ මොකටද නිකං

      Delete
    3. ඉහික්! එකෙක්වත් අනුමාන උත්තර දාන් නෑ නෙව...

      Delete
  3. තුරුණු වයසෙ දිවිගෙවනා තිදෙනෙකි එන්නේ
    බමුණු පවුල් පසුබිමකයි උරුමය ඇති වන්නේ
    පිරුණු හැඩය ලලනාවගෙ සිත් ඇද බැඳ ගන්නේ
    මැරුණු පසුව ඒ පැතුමන් කොහොමද යළි යන්නේ..

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. මැරණත් පණ දෙන්ට හැකි මේ කතාවල
      හංගා ඇත්තෙ අධ්‍යාපන අරමුණකි
      පේනා ලෙසට මේ ටික සකසා ඇත්තේ
      නොපෙනෙන පැත්ත විමසා දෙන්නට හුරුව

      Delete
  4. පැමිණීම සටහන් කර යමි, පසුව ඇවිත් සටහනක් තියන බලාපොරොත්තුවෙන්.

    ReplyDelete
  5. මේක නම් කොටස් වශයෙන් කියවන්න ඕනේ කතාවක්. ආයේ එන්නනම් කෝ ඉතිරි ටික කියවන්න. සතියටම තියෙනවා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම... සෙනසුරාදා දහයට මාර මාර්ග තදබදයක් තියෙන්නෙ.

      Delete
  6. වඩවයි රසික හදවත්වල කුතුහලය
    නිර්මාණාත්මක ගුණයත් ඒ වගෙය
    වැල්මී රහ දැනෙයි විකනා විට වැඩිය
    පැරැණි සාහිත්‍ය දෙනවා ඒ ගුණය!

    ReplyDelete
    Replies
    1. පරණ සාහිතයෙ ගැබ්වී ඇති අගය
      අලංකාර උපමා'දියෙ ඇති රසය
      එමතුද නොවෙයි මනසට දෙන පෝෂණය
      ළපටි පෙලට දෙන්නට හැකි නම් මරු ය

      Delete
  7. මේ සෝමදේවගේ කතාසරිත් සාගරයේ එන කතා නේද? කියවා ඇතත් පිළිතුරු හෙලි කිරීමේ සතුට ඔබටම තබා යමි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි. කතාසරිත්සාගරේ තමයි.

      Delete
  8. අර මන්තරේ මාත් හොයාගන්න ඕන. මටත් ඉන්නව වවුලෙක් දවා හළු කරන්න.

    ReplyDelete
    Replies
    1. දැන්ම එපා. මේ කතා ටික ලියල ඉවර වෙනකං හිටිං.😁

      Delete
    2. දවා හලු කරන්නෙ ගින්දරින්. මන්තරෙන් නෙමෙයි.

      Delete
  9. තාම උදේ වැඩියි. පස්සෙ එඥ්ඥං.

    ReplyDelete
    Replies
    1. දැන්නං දෙගොඩහරිය... කෝ මුන්දැ?

      Delete
    2. ආවා. ආයෙ පරක්කු වුනා කියල අවුලක් තියනවයෑ? ඔහෙ ඉන්නෙ නැතෑ ඇට්ටෙරිය ගහේ එල්ලිලා.😁

      Delete
    3. චීන ගැජට් සේල් එක මේ ටිකේ. තාම කියෙව්වෙ මුල් කොටස විතරයි.

      Delete
    4. චීන ග ැජට් අතරෙ නැද්ද ඩුප්ලිකේට් ඇට්ටේරිය ගහක්?

      Delete
    5. //මිරිකුනු තරුණජනයෝ ජලක්‍රීඩාවෙන් දවස ගෙවූහ.//
      අඹතලේ

      Delete
    6. ඇට්ටේරියා නෑ වෙන පැක්ටේරියා තියනවා. වැඩකට ඇති දේකට ගත්තෙ, ෆින්ගර් ප්‍රින්ට් රීඩර් එකක් විතරයි.
      ප්‍රාජේ, අඹතලේ හිටි තරුණජනයෝ වොලිබෝල ක්‍රීඩාවෙන් දවස ගෙවූහ.😁

      Delete
    7. මිරිකුණ තරුණ ජනයෝ?

      තව ඩිංගෙන් බස්සවත් මිරිකලා ගන්නෙ අඹතලේ ලලනාව...

      Delete
  10. හරිම ලස්සන කතාව!එයට බොහොම ස්තුතියි.හැබැයි ,හොදට මතක තියගන්න ඕනෙ ගිය සතියෙ කලා වගේ, උත්තරේ මගෙන් අහනව වගේ බෙල්ල ගහල යන වැඩ පවරනව එහෙම නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒ උනාට මේකටවත් උත්තර දෙන්න.

      Delete
  11. https://sithuviliralabinduma.blogspot.com/2023/11/blog-post.html?m=1

    ReplyDelete
    Replies
    1. දැක්කා. කියවන්ඩ බැරි උනා තාම

      Delete
  12. අලුත් බ්ලොග් අඩවියක්. https://miniminipode.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ගියා. ෆලෝ කළා. ස්තූතියි ආරංචියට

      Delete
  13. අගෙයි. මේ කතා ලියපු උන්දලාට මාගෙ හදපිරි මෙව්ව එක වේව ❤🙏

    ReplyDelete
  14. ඩ්‍රැකී මේ වෙලාවේ එක්තරා අදිසි හස්තයක් ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනය හිතා මතාම පුරවැසියාට එපා කරවීමේ කුමන්ත්‍රණයක යෙදිලා ඉන්නවා නේද? ජනාධිපතිවරයා විපක්ෂ බලවේග සේරම එකම කරුණකට කැටි කොට රාජ්‍ය අංශයේ අධ්‍යාපනය ජනතාවට සියුම්ව එපා කරවමින් අධ්‍යාපන පද්ධතියම පෞද්ගලික අංශයට සියල්ල බාර දෙන්නට යටින් දෙන ගේමට මාලිමාවට මුවාව සිටින ජවිපෙ සහ පෙරටුගාමීන් පවා ඉතා විශ්මයජනක ලෙස නිහඬව සිටීම ගැන මොකද හිතන්නේ? අප සැම එක්ව මීට එරෙහිව දැඩි හඬක් නැගීමට අධ්‍යාපන පද්ධතියෙම ආරකෂාව වෙනුවෙන් එකතුවෙලා සටනක් කරමු නේද?

    #ඉතින්අපිටමොකද 😌
    #වෙනකංදන්නෑ 😌
    #මේදවස්වලකන්නෙත්Cricket 😌

    ReplyDelete
    Replies
    1. කිසිවක් කීමට බැරි, මට දේශපාලන අයිතිවාසිකම් අහිමි නිසා. නමුත් මේක විතරක් කියන්නම්.
      යකඩ මල්ලට ගුල්ලො ගහපු ගෙදර, හාල් මල්ල ගැන මොන කතා ද?

      Delete
  15. මම හිතුවෙ අර මන්තරේ හොයගත්තු මනුස්සය ජිවීතාවබෝධය කරගනීවි කියලා, ගොඩක් දේවල් දැකපු නිසා😅

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මට පේන්නෙ ඒක ඔරිජිනල් කතාවෙ තියෙන විස්තරයක් නෙමෙයි, සෝරත හාමුදුරුවො එකතු කරපු පරිසර වර්ණනාවක් වගේ.

      Delete
  16. මේ අකුරු හරබයට, කැපවීමට මගේ සැලූට එක. ජය!

    ReplyDelete
    Replies
    1. සැලූට් එකට ස්තූතියි. කොහොමත්, වෙලා තියෙන්නෙ, මේ දවස්වල කල්පනා කරලා ලියන්න ඉස්පාසුව අඩුයි. පොතක් බලාගෙන ටයිප් කරන එක ලේසියි.

      Delete
  17. අම්මපා මේක නං ඉන්දියන් අරාබි නිසොල්ලාසයම තමයි. හා, ඔහොම යං.😊👌

    ReplyDelete
    Replies
    1. මේ කථාසරිත්සාගරයෙ එක කොටසක් විතරයි. ශිව දෙවියො පාර්වතියට ගොතලා කියපු කතා සෙට් එකක එක අංශයක්.

      Delete
  18. මරුනම පන ගන්න එක කෙසේ වෙතත් ඉන්න අයගෙ නම් පණ යනවා ලංකාවේ

    ReplyDelete
    Replies
    1. මේ යන විදියට මැරෙන්න වෙන්නෙත් කොටස් වශයෙන්. ජනවාරි ඉඳං මැරෙන්න ප්ලෑන් කරලා, අප්‍රේල්වල වහ බොනව. ජනවාරි ඉඳං ප්ලෑන් කරපු ටික ඔක්තෝබර් ඉඳලා වාරික හයකිං මැරෙනව. මයියට තේරුණා ද?

      Delete
  19. ඔය මන්තරේ ඒ පොතේ නැද්ද? මට අර ස්කෘලොක් කාරයට පන ගන්ඩ විදියක් නැතුව මේ ඉන්නේ ..

    කියවන එක අතැරලා දාන්නත් හදල අමාරුවෙන් කියෙව්වා .. පාඩු නැහැ .. ඉතිරි ටික දාපන් .. මං හිතන්නේ මන්තරේ හොයා ගත්ත බුවාට තමා අයිතිය

    ReplyDelete
    Replies
    1. ස්කෘලොක් ට පන දෙන්ඩ කලිං උන්දැව හාරල උඩට ගන්ඩෙපැයි... හික්!

      ඉතිරි කොටස අද දානව. ඔන්න පැතුම් විතරයි, මම ඉල්ලපු විදිහට අනුමාන උත්තරයක් දුන්නෙ. ඒකට ස්තූතියි. අපි බලමු අද රෑට උත්තරේ හරිද කියලා.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි