Sunday, December 31, 2023

වෙතාල කථා - 7 තරඞ්ගය

6 තරඞ්ගය

ශූරයාට ඕතොමෝ දිය යුත්තී ය. හෙතෙමේ සියසිරුරත් සියපණත් නො තකා බාබෙලෙන් (අතෙහි ශක්තියෙන්) රකුසා පරදවා කාන්තාව ලබා ගත්තේ ය. ඥානි විඥානි දෙදෙන ඔහුට උපකාරී වූහ. එපමණකින් ඒ කාන්තාව ඔවුන්ට අයත් නො වේ. නැකැත්තන් හා වඩුවෝත් අන්‍යයන්ට උපකාර නො වෙත් දැයි සලකනු මැනවැ"යි රජතෙමේ සිය පිළිතුර අවසන් කෙළේ ය. වේතාලයා අතුරුදහන් වී ය.

7. තරඞ්ගය

1

රජතෙමේ නැවත ද ඇට්ටේරියගස මුලට ගොස් වේතාලාධිෂ්ඨිතශවය (වේතාලයා වැහුනු මිනිය) කර තබා ගෙණ ගමනාරම්භ කෙළේ ය. නැවත ද වේතාලයා කථාරම්භ කෙළේ ය.

සත්‍වශීලචරිතය

නැගෙනහිරදිග වෙරලෙහි තාම්‍රලිප්ති නම් නගරයක් ඇත. එහි චණ්ඩසිංහ නම් රජෙක් රාජ්‍යය කෙළේ ය. හේ ධීර ය. වීර ය. ත්‍යාගි ය. වැසියන්හට පියෙකු වැන්න. එක් දිනෙක්හි දකුණුදෙස්වැසි සත්‍වශිල නම් එක්තරා දිළිඳු කැත් කුමරෙක් එතුමන් වෙත පැමිණ සේවයට බැඳුනේ ය. බොහෝකල් රාජසේවය ද කෙළේ ය. එසේ ද වූවත් කැත්කුමරා හිතූ තරම් වැටුප් ඒ රජුගෙන් නො ලැබින. "මමම රජකුලයෙහි උපන්මි. එහෙත් මෙතරම් නිර්‍ධන වූයේ කවර හෙයින් ද? දිළිඳු නමුදු, කවර හෙයින් මහබඹහු විසින් මම මහෙච්ඡයෙක් (බොහෝ ආශා ඇත්තෙක්) කරණ ලද්දෙම් ද? මේ රජතෙමේ බොහෝකලක පටන් මෙසේ වෙහෙස ගෙණ සේවාකම් කරණ, කිලිටි වූ ගත් ඇත්, බඩසාදුකින් පෙළෙන මා දෙස අද වත් නො බලයි. අහෝ! රජුන්ගේ ක්‍රෑරගතියක හැටි! මෙහෙකරුවන්ගේ සුවදුක් නො සොයන අධිපතීන්ට නින්‍දා වේවා! නැහැ. නැහැ. අපේ රජතුමා එබඳු අධිපතියෙක් නො වේ. එතුමා යහපත් සේවකයන්ට කප්රුකකි. එතුමා නරක ය යි සිතන මට ම නින්‍දා වේවා! මම අයහපත් සේවකයෙක් ද? නැත. ඉතින් එසේ නම් මට පමණක් මෙබන්දක් වීමට හෙතුව කිම? හෙතුව තමයි, අභාග්‍ය ය. අහෝ! ම‌ගේ අභාග්‍යයක මහතැ!"යි සිතමින් කල් ගෙවී ය.

එක් දවසෙක්හි රජ මුවදඩ යනු පිණිස මහසෙන් පිරිවරා නික්මින. භාග්‍යයට ලං ව සිටි සත්‍වශිල ද ඒ සමග ගොස් රජු වෙත ම සිට නොයෙක් වික්‍රම පෑ ය. වාතාශ්වරූඪ වූ රජ සහ සත්‍වශිල ද මුවන් ලුහුබැඳ වනයෙහි බොහෝ දුර ගියහ. රජතෙමේ, සියසෙනඟින් වෙන් වූයේ, ආ මග තෘණපර්‍ණාදියෙන් (තණකොළ ආදියෙන්) වැසුනු හෙයින් දත නො හී, තමන් පසු පස්සෙන් පයින් ම දුවමින් සිටි සත්‍වශීලයා දැක "යහපත් පුරුෂය, කිම, ආ මග දන්නෙහි දැ?"යි පිළිවිත. (ඇසී ය.) හේ බදැඳිලි ව (අත් දෙක එක් කොට ගෙණ) "එහෙයි, දේවයන් වහන්ස, එය දනිමි. ඔබ වහන්සේ බොහෝ වෙහෙසුනු සේක. එහෙයින් මෙහි මඳක් කල් නැවතී විශ්‍රාම ගන්නා සේක්වා. දෙවයන්වහන්ස, මේ මිහිකතගේ මෙවුල්දමෙහි මැදිමිණිරුවන වැනි වූ පැතිරෙණ රශ්මිමාලා ඇති පද්මබන්‍දු (සූර්‍ය්‍යා) තෙමේ අහස් මැද අතිශයින් බබලා ය"යි සැළ කෙළේ ය. රජතෙමේ ඔහුගේ බස් පිළිගෙණ පැන් ටිකක් සොයා ගෙණ එනු පිණිස ඔහු මෙහෙයී.

සත්‍වශිල ද රජු අණ මුදුනෙන් පිළිගෙණ ඉතා උස් රුකක් මුදුනට නැඟ හාත්පස බැලී. වනමැද අතුළ රිදී පටක් මෙන් ගලා බස්නා මනරම් මහගඟක් දැක, සතර මහානිධානය දුටු මහදුගියෙකු මෙන් සතුටින් ඉපිළ ගියේ, ගසින් බැස අවුත් ඒ බව රජුට සැළ කෙළේ ය. රජතෙමේ ද ඔහු සමග එහි ගොස් දිය නා වෙහෙස සන්සිඳවී ය. රජු නාන අතර සත්‍වශිල ද අසුට තණපැන් දී විඩා දුරු කෙළේ ය. රජු නා අවසන්හි සත්‍වශිල සියඔඩොක්කුවෙන් ඇඹුලු (නෙල්ලි) ගෙඩි ගෙණ සෝදා රජුට පිළිගැන්වී ය. රජ "ඒ කොයින් ලබන ලද දැ"යි විචාළේ ය. "දෙවයන් වහන්ස! ගත වූ අවුරුදු දසයෙහි මම බෙහෙවින් ඇඹුලු කමින් ඔබ වහන්සේට සේවය කරමින් හැසිරෙමි. එහෙයින් මා අතෙහි ඇඹුලුපල නිතර ම තිබේ ය"යි පිළිවදන් දුන්නේ ය.

රජ ඔහුගේ බැගෑ තෙපුල් අසා ලජ්ජිත වූයේ "සේවකයන්ගේ සුවදුක් නො දන්නා වූ රජුන්ට නින්‍දා වේවා. රජ්ජුරුවන්ට සේවකයන්ගේ අවස්ථා නො දන්වන රජ පිරිවරට ද ‌නින්‍දා වේවා!"යි සිතා සත්‍වශිලගේ බලවත් ඉල්ලීම නිසා ‌නෙල්ලිගෙඩි දෙකක් ගෙණ වළඳා දිය බී මඳක් කල් විශ්‍රාම ද ගත්තේ ය. ඉක්බිත්තෙන් සත්‍වශිල විසින් පෙන්වන ලද මගින් නුවරට ගොස් බොහෝ ධනධාන්‍යයන්ගෙන් සත්‍වශිලගේ ගෘහය පිරවී. එතෙකුදු වුවත් නෙල්ලිගෙඩි දෙකෙහි නය නො ගෙවිනැයි සිතී ය. සත්‍වශිල ද එදා පටන් රජ්ජුරුවන් සමග ම හැසිරෙන්නේ සමාන සුවදුක් ඇත්තේ සතුටින් කල් ගෙවී ය.

2

එකල්හි "ලක්දිව සිංහලනරපතීහුගේ දූකුමරියක් දෙවඟනන් පරයන රූසිරින් බබලන්නී ය"යි චණ්ඩසිංහ රජ දැනගත්තේ තමන්ගේ අගමෙහෙසුන් තනතුරට ඇය ඉල්ලා නොයෙක් පඬුරුපාක්කුඩම් ද දී සත්‍වශිලයන් ප්‍රධාන කොට ඇති දූතපිරිසක් ලක්දිවට එවී ය. ඒ පිරිස ඉටුදෙවියන් පුදා සුබමොහ‌ොතින් නැවු නැංගහ. ඔවුන් නැගි නැව අනුකූල (පක්‍ෂපාතී-තමන්ට වුවමනා දෙසට හමන) වාතයෙන් මුහුද මැද යාත්‍රා කරන්නට වන. ඔවුන් අවට ක්‍ෂිතිජය තෙක් මහදියකඳ මිස අන් කිසිවක් නො වී ය. මුහුදුගමනෙහි මුල් දින කීපය ගොඩබිම දිගේ ඈත පෙණෙන කඳුමුදුන් බලමින් වෙරල දිගට පිහිටි නොයෙක් මනහර දර්‍ශනයන් කරා නෙත් යවමින් සිත් පිණවූ පිරිසට මුහුදෙන් ම පායා බැස යන සඳ සහ තාරකාත්, තමන්ගේ මහත්කම නො සලකා නිගරු කොට තමන් මතුවෙහි යාත්‍රා කරණ නැව ගිල්වා දැමීමට තර්‍ජනය කරමින් මෙන්, මුහුද විසින් මෙහෙයන ලද්දාක් වැනි, එදෙසට පෙරළිපෙරළී එන මහරළපෙළත් මිස අන් කිසිවක් නො පෙණින. වරක් කරකැවී දියෙන් උඩ පනින මහමසෙකු හා සමහර විටෙක අසහට නැග මඳක් දුර පියාඹා මුහුදට බස්නා කුඩා මසුන් රැළක් ද පෙයාවෙන් (සුළිසුළඟින්) අහසට නඟන ලද මහකණු වැනි දියකඳන් ද දැක්ම ඔවුන්ගේ පුදුමයට කරුණු වි ය. ඔවුන්ට ඊට පෙර නුපුරුදු, නැවියන්ගේ ශපථ (දිව්රීම්) හා තර්‍ජන අධික කථාවත්, පුදුම සින්දුත් ඇසීම ප්‍රීතියට නො කරුණු නො වී ය. කරදියෙන් සෝදා මිරිදය වක්කර පිසින ලද සහලේ බත සම්බල් සමග කෑම ද අමිහිරි නො වී ය. මුල දී ඔවුන්ට මඳ මඳ අසනීප ඇති වූ නමුත් මුහුදට පුරුදු වත් වත් ම ඒ අසනීප ක්‍රමයෙන් නැති වි ය. ඔවුන්ගේ යාත්‍රාව සන්තොෂදායක විය. මෙසේ ගමන් කර කීප දිනක් ගත වූ පසු ඈත ක්‍ෂිතිජයෙහි තරුවක් වැනි යම් කිසිවක් පෙණෙන්නට වන. නියමුවා නැව් තල්ල එදෙසට ම එල්ල කොට පදවන්ට විය. ඉදිරියට ගමන් කරත් කරත් ම ඒ තරුව වැනි ද්‍රව්‍යය ටිකින් ටික මහත් වි ය. ඊට යටින් ක්‍රමයෙන් සිහින් ව උඩට නෙරාගිය හිම මෙන් සුදු වූ කොටසක් ද පෙණෙන්ට වන. මේ අන් කිසිවක් නො ව ගොඩ බිමෙහි ඈත ගස් උඩින් පෙණුනු මහ සෑයක රන්කොතින් සැරසුනු මුදුන ය. අවසන්හි, ගමනේ කෙළවර, ලක්දිව නැගෙනහිර වෙරලෙහි වූ ඉතා මනහර වරායෙක්හි දී වි ය.

ගොඩ බිමට නෙරාගිය මුහුදුබොක්කකි. මහනැව් යාත්‍රා නො කරණ නමුත්, මහගඟක් දිවයිනෙහි මැද දකුණු දෙසින් පිහිටි මහකන්දකින් පටන් ගෙණ බොහෝ ගම් නියම්ගම් පසු කර යොදුන් විස්සක් පමණ දිග මඟ ගෙවා අවුත් මේ මුහුදුබොක්කට වැදී විශ්‍රාම ගණී. ගොඩබිම සිට මුහුදෙහි බොහෝ දුරට විහිද ගිය බිම්පටි දෙකකින් හා ඒ මැද කුඩා දූපතකින් ද මේ මුහුදුබොක්කෙහි මුවදොර සෑදුනු හෙයින් මුහුදුබොක්ක බොහෝ සෙයින් රැළපතරින් වෙන් වූයේ ය. එහි සිට උතුරු දෙසට ගොඩබිම කා ගෙණ ගිය තවත් අත්තකි. එය මුහුද පසින් (පැත්තෙන්) කඳුගැටයකින් වැසුනේ වෙයි. බස්නාහිරදෙස සමතලා පොළොවෙන් සැදුනේ ය. මේ වරාය දිවයිනෙහි නැඟෙනහිර වෙරලට ස්වභාවධර්‍මය විසින් දෙනලද වටිනා තෑග්ගකි. දූතපිරිසෙහි සමුද්‍රයාත්‍රාව අවසන් වූයේ මේ වරායෙහි දී ය.

3


නැවියෝ මහහඬ නඟමින් නැංගුරම් ලූහ. රුවල් එකිනෙක ඇකිළූහ. වෙරලෙහි ගස්මතුවෙහිබලා සිටි කවුඩෝ, එබඳු හඬ නිතර අසන්ට ලැබෙන හෙයින් ඒ හඬින් බිය නො ගෙණ, නැව වෙත පියාඹා ආහ. අළුත් එලවළු පලතුරු ආදී වෙළෙඳබඩුවලින් පිරුණු ඔරුවල නැඟි වෙරලෙහි සිට ආ මිනිස්සු ගණු දෙනුව පටන් ගත්හ. නොබෝ වේලාවකින් නැවියෝ නැවෙන් ඔරුවක් මුහුදට බෑහ. දූතපිරිස ඊපිට නැගි කෙණෙහි ම එය වෙරලට ගමන් ගත. සෙසු මගීහු ද ගොඩ බටහ. රාජදූතයෝ නගරයෙහි ඉඩ පහසු ඇති මැඳුරක් කුලියට ගෙණ නැවතුනහ. ඉකිබිති ඔවුන් විසින් තමන්ගේ පැමිණීමෙහි අභිප්‍රාය නැවුතොට භාර නිලමේට දන්වන ලදි. නිලමේ ද දිවයින මැද පිහිටි අගනුවර වසන රජ්ජුරුවන්ට විදෙශරාජදූතයන්ගේ ආගමනය පැයක් ඇතුළත දී දැනගන්ට සැලැස්වී ය.

විදුලිපනිවුඩ යැවීමේ ක්‍රමයක් නො තුබුනු නමුත් පුරාතනයෝ ද ස්වදේශයේ තොරතුරු හා පණිවුඩත් ඉක්මනින් හුවමාරු කර ගත්හ. එකල්හි හැම උස් ඉඩම්වල ම සංඥාදායක (සංඥාවන් දෙන) ස්ථානයෝ වූහ. එක් එක් තැන එක් එක් කොඩිගසකි. විදෙශයකින් මිතුරුපිරිසක් පැමිණි කෙණෙහි නැව්තොට අසල පිහිටි කොඩිගසෙහි සුදු කොඩියක් ලෙලදෙන්ට පටන් ගණී. ඒ කොඩිය ගස මුදුනට පැමිණෙනු සමග ම නිතර එබන්දක් ගැණ පරීක්‍ෂාවෙන් සිටින ඊලඟ කොඩිගස භාරකාරයා ද එබඳු ම කොඩියක් ඔසොවයි. මේ ක්‍රමයෙන් පනිවුඩය නොබෝවේලාවකින් රාජධානිය කරා පැමිණෙයි. හතුරුසෙනක් ආබව දන්වන්නේ ඒ නියමිත ස්ථානයන්හි ගිනිමැළ දැල්වීමෙනි.

නැව්තොටෙහි පටන් මහත් පෙරහැරකි. ආයුධයන් ගෙන් සැරසුනු සෙබළමුළක් අසුන් පිට නැගී පළමු ව ගමන් ගත්හ. ඉක්බිති කුඩ කොඩි සේසත් අතින් ගත් සුදු ඇඳුමින් සැරසුනු මිනිස්සු ගමන් කළහ. උදාරදර්‍ශනයෙන් යුත් අධිපතිපිරිසක් විනිතහස්තීන් අරා (හික්මුනු ඇතුන් පිට නැගී) උන්හ. තූර්‍ය්‍ය වාදකයෝ ගමනට සුදුසු තාලයන් වයමින් තාලයට අඩිය තැබූහ. ඊලඟට ගායකයෝ රජ්ජුරුවන්ට හා සියදෙසටත් ආගන්තුකපිරිසටත් ආශිර්‍වාද සහිත කොට බඳනා ලද ගී ගයමින් වෘත්තයට හොබනා සේ අත්පා ආදී අඟපසඟින් රැඟුම් දක්වමින් පිළිවෙළට ගමන් කළහ. ඊලඟට චණ්ඩසිංහ රජුගේ අගනා පඬුරු ගත් අත් ඇති උදාරවෙශයෙන් සැරසුනු පිරිස ද, ඒ එක්ක ම සුදුසළු ඇඳගත් සුදු තලප්පාවෙන් හිස වෙළාගත් ශක්තිමත් මිනිසුන් විසින් උසුලාගෙණ යනුලබන රන්සිවිගෙවල්හි නැගි සත්‍වශිලයන් ප්‍රධානකොට ඇති දූතපිරිස ද වූහ. පෙරහැරෙහි පසුකොටස පාබළසෙනගින් අරක් ගන්නා ලද්දේ වි ය.

නිතර මෙ වැනි පෙරහැරවල් දැක පුරුදු වූ මඟ දෙපස පිහිටි ගම්හි වැසියන්ට මෙය එතරම් පුදුමයක් නො වූ නමුත් මහාදෙශයක සිට මහසයුර තරණය කොට කුඩා දිවයිනකට පැමිණි ඒ කුඩා පිරිසට අළුත් කුඩා රටෙහි සමෘධිය දැක්ම පුදුමයට හෙතු වි ය. පෙරහැර ගමන් ගත් මග බොහෝ සෙයින් සෘජු වි ය. තාර දමා කලු ගස්වා නො තුබුනු නමුත් වැසි කාලයේ දී මඬ විය හැකි හැම තැන් ම ගල් අතුරා සම කරණ ලද්දේ ය. දෙපස සිටුවනලද සියඹලා ගස් පෙළින් සෙවන කරණ ලද්දේ ය. පසු කළ යුතු සියලු ගඞ්ගාවන්හි ම මහගල්කණු සිටුවා, ඒ හා ගලින් ම කළ තලාන් (බල්ක) සවි කොට, ඒ මතුවෙහි ගල්ලෑලි අතුරා ශක්තිමත් ලෙස කළ පාලම් වි ය. මඟ දෙපස හිස් ඉඩමක් හෝ වල් වූ ඉඩමක් ඔවුන්ගේ දෙනෙතට හසු නො වී ය. ගව්වෙන් ගව්වෙහි දෙවෙනි මුහුදක් වැනි මහවැවකි. ඒ අතර මහ වැව් හා සම්බන්‍ධ වූ කුඩා වැව් සියගණනකි. මේ වැවුවල දියෙන් වැඩෙන ගොයමින් විසිතුරු කුඹුරු යාය ක්‍ෂිතිජය තෙක් පැතිර ගියේ ය. ගොයම්කුඹුරු අතර නිල්වන් ව පෙණෙන අඹඋයන් ය. නොහොත් පොල් වතු ය. නැතහොත් නොයෙක් පලතුරුවලින් ගැවසුනු ගෙවතු ය. අමාවක්පොහෝදිනක වලාකුළු නැති සිය දහස් ගණන් තරු ඇති පිරිසිදු අහස්තලයක් මෙන් පෙණෙන පිපුපු කපුගෙඩිවලින් යුත් කපුහේන් ආගන්තුකයන්ට ඈත දී මායාවක් වි ය. ඊට ලං ලං වත් ම තව වරක් එසේ නො රැවටෙන්නට ඉටාගත්හ. තණබිමක ලැග සිටින බැටෙළුපැටවුන් මෙන් පෙණන, පැසුණු මෙනේරි කුරක්කන් ආදී තෘණ ධාන්‍ය අතර වැතර තිබෙන, නන්පැහැයෙන් සිත්කලු, ලබු පුසුල් තියඹරා කොමඬු කැකිරි ආදී ගෙඩි ජාති දුටු කලකින් එබඳු දෙයක් නුදුටු, අමුත්තන්ගේ කටෙහි කෙළ ඉනුවේ ය. මග දෙපස සුදුහුණු ගානාලද බිත්තිවලින් හා උළු සෙවිලි කළ වහලින් ද යුත් ගෙවල් සියල්ල ම එක සේ විශාල නුවූ නමුත් පිරිසිදුකමින් එක සමාන වි ය.

සියලු ම ගෙවල් අසල ගෙයි කඩවසමට ගැළපෙන මල් වත්තක් හා පලතුරුවත්තකි. ගමින් ගමෙහි දිග පළල ඇති තණබිමකි. සියදහස්ගණන් ගවයෝ තණ කමින් නිදහසේ එහි ඇවිද්දහ. ඒ අතර ගොපලුලමයි එක් ව පන්දු ගැසූහ. ලී කෙළියහ. තවත් නොයෙක් සෙල්ලම් කළහ.

4

පිටරටින් පැමිණි දූතයෝ මඟ දෙපස විසිතුරු බලමින් ක්‍රමයෙන් බස්නාහිරදෙසට මහපෙරහරින් ගමන් කොට ඒක් පසකින් මහවැවකින් ද ඉතිරි පසින් ගොයම් කෙත්වලින් හා පලතුරුඋයන්වලිනුත් වට වූ පර්‍වතයක් වෙත පැමිණියහ. ඒ පර්‍වතය වනාහී දඹදිව සිට එහි පැමිණී උතුමෙකුගේ නමට ගෞරව කිරීමට ඒ නමින් ම හඳුන්වනු ලැබේ. පාමුල සිට මුදුන තෙක් ම ආනුභාව සම්පන්න පෙණීමෙන් යුත් මන්‍දිරාදියෙන් වැසුනේ ය. අඟල් තුදුසක් (දහහතරක්) පමණ පළලැති දික් කළුගල් ලෑලි වලින් කළ සොපාන පංක්තීන්ගෙන් හා වංගු සහිත කොට තනනලද අඩිපාරවලින් ද ගමන් පහසුව සලසන ලද්දේ ය. අතරින් පතර නිමල්සිහිල්දියෙන් පිරිපුන් පොකුණු ය. නෙළුම්, මානෙල් ආදී මල්ජාතිවලින් පොකුණු දිය ද, දෑසමන් ඉද්ද සේවන්දි (රෝස) ආදී මල්පැලෑටිවලින් පොකුණුඉවුරු ද සැදුම් ලද්දේ ය. හිස මුඩු කොට කසාවන් සිවුරු පෙරෙවි, දමනය කරණලද ඉඳුරන් ඇති මහ තෙරහු තන්හි තන්හි ධර්‍මශාලාවන්හි වැඩ හිඳ මිනිසුන්ගේ සුචරිතවර්‍ධනයට ඉවහල් වන අවවාදානුශාසනා කළහ. ඇතැම්හු ජනසඤ්චාරයෙන් තොර වූ ගල්ගුහාවලට වී අරමිණිය ගොතා වැඩහිඳ, සිරුරු කෙළින් තබාගෙණ එක් ක්‍රමයකට ආශ්‍වාසප්‍රශ්වාස කරමින්, ලෞකිකසුඛ සම්පත්තියෙහි නිසරුබව හා ජීවිතයෙහි අස්ථිරභාවයත් සලකමින්, සිත එකඟ කරගෙණ භාවනා කළහ. ඇතැම් භික්‍ෂූහු ශිෂ්‍යයන්ට භාෂාධර්‍මශාස්ත්‍ර ඉගැන්වූහ.

රජදූතපිරිස පර්‍වතයෙහි, ඇස් ඇදගන්නා ශොභාව බලමින් ඔබ මොබ ගමන් කළහ. මහතෙරුන් වහන්සේ වෙත එළඹ ධර්‍මසාකච්ඡා කළහ. පාඨශාලාවන්ට ගොස් අධ්‍යාපනක්‍රම පරීක්‍ෂා කළහ. ගුරුවරයන්ගෙන් ඒ පිළිබඳ තොරතුරු විචාළහ. එක් තැනෙක මොර, වීර ඇදී ඇටවර්‍ග රාශියක් වි ය. සත්‍වශිල ඒ දැක එහි එළඹ උගන්වමින් සිටි තරුණභික්‍ෂූණ් වහන්සේ හා කථාව පටන් ගත්තේ ය.

"ස්වාමිනි, මේ කුඩා දරුවෝ මොක ද?"

"මහතානෙනි, මේ ලමයි පැවිදි වීමට බලාපොරොත්තු වන්නො"

"මේ හැම දෙන ම?"

"නැහැ. මෙයින් වැඩි දෙනෙක්."

"අනික් අය?"

"ඔවුහු ඉගෙණීමට මෙහි පැමිණ සිටින්නො"

"මොවුන්ගේ වියදම කොහොම ද?"

"ඔවුන්ගේ මවුපියන්ගෙන්; නැත් නම් මහවාසලින්"

"කුමට ද, ස්වාමිනි, අර ඇටගොඩක්?"

"ගණන් උගන්වන්න"

සියරටෙහි දී එබඳු ඉගැන්වීමක් නුදුටු සත්‍වශිලහට භික්‍ෂූන් වහන්සේගේ පිළීතුර සතුටුදායක නො වී ය.

"ඇයි, ස්වාමිනි, ගණන් උගන්වන්ට වැලිපිලෙහි ඉලක්කම් ලිවීමෙන් බැරිදැ?"යි සත්‍වශිල තවදුරටත් ප්‍රශ්ණ කෙළේ ය. තරුණභික්‍ෂූන් වහන්සේ කරුණ පැහැදිලි කෙළේ ය. "මහතානෙනි, අපි ගණන් ඉගැන්වීමට වැලිපිලි පමණක් නො ව තල්කොළය ද පාවිච්චි කරන්නෙමු. එහෙත් ඒවා ගන්නේ ඒ ඒ අවස්ථාවට සුදුසු පරිද්දෙනි. පටන් ගැන්මෙහි දී නුවණ නො මේරූ කුඩා දරුවන්ට ඉලක්කම්වලින් ගණන් ඉගැන්වීම පහසු නො වේ. දෙකත් හතරත් කීය දැ යි කියන්ට නො හැකි දරුවා අඹගෙඩි දෙකකුත් තවත් අඹගෙඩි හතරකුත් එකට එකතු වුනා ම කීය දැයි ඇසුවොත් අඹගෙඩි හයකැයි කියන්ට දනී. එයින් පෙණෙන්නේ කුඩා දරුවන්ගේ සිත සඞ්ඛ්‍යාවන්ට වඩා සඞ්ඛෙය්‍යයන්ට (ගණන්වලින් පෙන්වනු ලබන දේවලට) ඇදෙන බවයි. ඒසේ ම ගුණ ගැණ අවබොධයක් නැති ලදරුවා ගුණවතුන් ගැණ දනී. ආදරය ගැණ හැඟීමක් ලදරුවාට නොමැති යි. එහෙත් පියා නොහොත් මවු තමාට ආදරවන්ත ය යි ඒ ලදරුවා දනියි. මෙසේ බලන කල ලදරුවන්ට ගුණයන්ට වඩා ගුණීන් (ගුණ ඇත්තන්) ගැණ අවබොධ කිරීම පහසු ය. ලදරුවන්ගේ ගතිය මෙබඳු හෙයින් අඩු කිරීම් එකතු කිරීම් ආදී ගණන් ඔවුන්ට උගන්වන්ට අපි මේ ඇට ජාති ගන්නෙමු. අකුරු උගන්වන්ට මත්තෙන් ම මෙසේ ගණන් උගන්වනබව ද කියන්ට සතුටු ඇත්තෙමු. මෙසේ ද්‍රව්‍ය පෙන්වීමෙන් සංඛ්‍යාවන් උගන්වා ඊලඟට අකුරු ලියන්ට කියන්ට උගන්වන්නෙමු. වැලිපිල ව්‍යවහාරයට ගන්නේ එකල්හි ය. තල්කොළය ගන්නේ ත්‍රෛරාශිකාදී ගණන් ඉගැන්වීමට ය."

දූතපිරිස භික්‍ෂූන්වහන්සේගේ විස්තරය අසා සන්තුෂ්ට ව, තවත් නොයෙක් තන්හි ඇවිද, ස්වභාවධර්‍මය හා මනුෂ්‍ය ඥානයෙහි බලයත් එකතු වීමෙන් ඒ කන්දෙහි පහළ ව තුබුනු විසිතුරු බැලූහ. ගෞරවාන්විත නමස්කාරයකින් පසු ඒ පුදුමකන්දෙන් නික්මුනහ. පැය කීපයක ගමනින් පසු මහපවුරකින් ආරක්‍ෂා කරණලද, වලාකුළු පැහැර සිටි මහාමන්‍දිරයන්ගෙන් හා මහාචෛත්‍යයන්ගෙන් ද ඉතා පිරි සුදු සෘජු වීථීන්ගෙන් ද ගහන වූ, නොයෙක් දෙසින් පැමිණි නොයෙක් භාෂා කථා කරණ මිනිසුන් ගැවසුනු, නැගෙනහිර දෙස හා බස්නාහිරදෙසත් එකතු කරණ මධ්‍යස්ථානය වූ, සියලු රටවල ම සාදන ලද බඩුමුට්ටුවලින් පිරුණු මහසල්පිල්වලින් සිත්කලු වූ මහානගරයකට පැමිණියහ. සිරිත් පරිදි රජමැදුරට ගොස් ඇමතිමඬුලු පිරිවරා වැඩ සිටි මහානුභාවසම්පන්න රජතුමන් දුටහ. සියරජතුමන් විසින් එවූ පඬුරු ඔප්පු කළහ. සන්‍දෙශය ද පිළිගැන්වූහ.

මෙසේ ඔහු තුමූ කීපදවසෙකින් ම තමන් ගිය කටයුතු නිමවා දිවයිනෙහි බැලිය යුතු තැන් බලා සිංහලරජහු විසින් දුන් සතුටුපඬුරු ගෙණ සිංහලරජුගේ දූතයන් ද සමග සියදෙසට එනු පිණිස නැව් නැංගහ.

5

වාතය අනුකූල වූ හෙයින් කර්‍ණධාර (කප්පිත්තා) තෙමේ ආ මගින් නො ගොස් ලං වූ මඟකින් නැව යාත්‍රා කරවී ය. සමුදුර මැදට පත් කල්හි ඒ සමුදුරෙන් ඉතා උස් වූ ද, මහත් වූ ද දඹරණින් කළ විසිතුරු පැහැ ඇති සැලෙන කොඩියක් සහිත ධ්වජයක් දුටුවන් විස්ම පත් කෙරෙමින් පහළ වී ය. එකෙණෙහි ම මහවැස්සක් වසින්ටත් තද කුණාටුවක් හමන්ටත් වන්නේ ය. ඒ සමග ම හදිසියෙන් පහළ වූ ඒ ධ්වජය නැවෙහි කුඹගසෙහි පටලැවුනේ ය. එයින් නැව පෙරළෙන්නට මෙන් පටන් ගත. ඒ දුටු බමුණෝ 'තමන් මුහුදුබත් වෙතැ'යි මරබියෙන් බෙරිසන් දෙන්ට වන්හ. වීර වූ සත්‍වශිල තෙමේ කච්චිය තර කොට ඇඳ කඩුව අතින් ගෙණ ධ්වජය දෙසට පැන්නේ ය. ධ්වජය එකෙණෙහි ම නැවෙහි කුඹගසෙන් මිදී මුහුදෙහි ගිලුනේ ය. සත්‍වශිල ද ධ්වජය අනු ව ම ගිලුනේ ය. නැව ද ධවජය හා ගැටීමෙන් වූ වේගයෙන් යම්තම් නො පෙරළී බේරුණේ ය. ධවජය අනුව ගිලුනු සත්‍වශිලතෙමේ මහත් වූ දිව්‍යනගරයකට පැමිණියේ මිණිමුවාටැඹින් බබලන රන්මුවාමැඳුරු ඇති ඒ පුරයෙහි යහපත් රුවනින් බඳිනාලද පැයගැටපෙළ ඇති පොකුණු සියගණනින් මනරම්, නොයෙක් විසිතුරු මල්පලලියතුරුපෙළින් විසිතුරු, අඹ දඹ ඈ පලරස බී මත් වූ ලිහිණිගණා විසින් නිති කුල්නාලද (නිතර හඬ නැඟූ) උයනෙක්හි කරවන ලද නන්මිණියෙන් විසිතුරු රදුබිතු (මහබිත්ති) පෙළින් යුත් උමාදෙව්රැඳුරක් දැක පිවිස උමාදේවිය වැඳ පිදී ය.

සත්‍වශිල දෙවියන් වැඳ පුදා 'මේ සිහිනයක් ද? නැතහොත් ඉන්‍ද්‍රජාලයක් දැ'යි සිතමින් සිටින අතර, ඉඳුවරන් (මහනෙල් මල්) වැනි ඇස් ඇති, සඳ වැනි මුහුණින් මනහර, සුපිපි සුදුකුසුම් බඳු සිනාවෙන් දුටුදුටුවන් සිත් ඇදගන්නා මහරිකුසුම් (මාරා මල්) සේ මොළොක් සිරුරු ඇති දෙවඟනක් තමන් වැනි ලලනාවන් දහසක් විසින් පිරිවරණ ලදු ව එහි පැමිණ දොර හැර දෙව්මැඳුරට ද සත්‍වශිලගේ සිතට ද එකවිට පිවිස දෙවියන් පුදා දෙවොලින් පිට වූ නමුත් සත්‍වශිලගේ සිතින් නම් බැහැර නො ගියා ය. සත්‍වශිල ද ඇය අනු ව ගියේ හැම සැප පුරා ලූ නිධානයක් වැනි අනික් පහයකට වනි. කාන්තාතොමෝ ද පෙරටු ව ගොස් මිණි පලඟෙක්හි හුන්නා ය. සත්‍වශිල ඇය දැක ලං වූයේ සිතියම්රුවක් මෙන් නිසල ව සිටියේ ය.

දිව්‍යකාන්තාවගේ අදහස් දත් එක් මිඩියක් (දාසියක්) එසේ හුන් සත්‍වශිලයා දැක ලං ව "මහතානෙනි, ඔබතුමා මෙහි පත් අමුත්තෙකි. එහෙයින් අපගේ ස්වාමිදුව විසින් කරණු ලබන ආගන්තුකසත්කාර විඳිනු මැනව. මා සමග එනු මැනව. පළමු කොට දිය නා වළඳනු මැනැවැ"යි කියා ඔහු කැඳවා ගෙණ එක් ගෙදිගුවිලක් (ගේ අසල කරණ ලද දික් පොකුණක්) වෙත ගොස් එහි බැස නාන්ට කීවා. සත්‍වශිල ද විමසුම් නැති ව එහි බැස්සේ ය. බට කෙණෙහි ම තාම්‍රලිප්තිනගරයෙහි චණ්ඩසිංහ රජුගේ උයනෙහි වැව මැදින් මතු වි ය! එහි හදිසියෙන් පැමිණි තමා දැක විස්ම පත් වූයේ "මේ කිමෙක් ද? මොහොතකට පළමු ව මා සිටි උයන කොහි ද? ඒ දෙවඟනගේ අමාරස වැනි දැකුම කොහි ද? ක්‍ෂණයකින් ම ඇගෙන් වෙන් වීම නමැති මේ මහාවිෂ කෙසේ වී ද? මෙය ස්වප්නයක් නො වේ. මම අවදි ව ම සිටියෙමි. එකැතින් (ඒකාන්තයෙන්) ඒ මිඩිය විසින් මම රවටන ලද්දෙමි. මූඪ වූයෙමි"යි සිතමින් ඒ දෙවඟන නැති දුකින්, උමතු වූවෙකු මෙන්, වැලපෙමින් එ උයනෙහි ඔබ මොබ ඇවිද්දේ ය.

වියෝදුක් ගිනිදැල් වැනි රන්වන්මල්රේණුයෙන් වැසුනු ගතැති ඔහු දැක උයන්පල්තෙමේ ගොස් රජුහට සැළ කෙළේය. රජ, තෙමේ ම අවුත් විචාරා සියලු තොරතුරු දැන "මෙතෙම මපින්බෙලෙන් අනඞ්ගගයා විසින් විඩම්බනය (විහිළු) කරණ ලද්දේ ය. මොහුට වූ නය ගෙවන්ට සුදුසු අවස්ථාවක් පැමිණියේ ය"යි සතුටු ව "යහළුව, ශොක නො කරව. මම නුඹ ඒ මගින් ම එහි පමුණුවා ඒ අසුරඟන ලබා දෙන්නෙමි"යි කියා ඔහු සැනසී ය.

එක් දිනෙක්හි රජතෙමේ රාජ්‍යය ඇමතියන්ට භාර කොට සත්‍වශිලත් සමග නැවු නැග ඔහු කී මගින් මුහුදෙහි යන්නේ මුහුද මැද පැන නැගි ධ්වජය දැක්කේ ය. සත්‍වශිල ද එය බලා "දෙවයන් වහන්ස, ම විසින් පෙර දක්නා ලද්දේ ද මේ ධ්වජය මැ යි. මා එය අනු ව ගිලුනුකල්හි දෙවයන් වහන්සේ ද ධ්වජය අනුව දියෙහි ගිලිය යුතු"යි කියා මුහුදට පැන්නේ ය. රජ ද ඒ සමග ම මුහුදට පැන්නේ ය.

මුහුදුදියෙහි ගිලුනු ඒ දෙදෙන දිව්‍යමය පුරයට පැමිණියහ. එය දැක විස්මයප්‍රාප්ත රජතෙමේ උමාදෙව්මැඳුරට ගොස් උමාව වැඳ සත්‍වශිල හා එක් පසෙක්හි හිඳ ‌ගත. එකෙණෙහි පෙර සත්‍වශිල විසින් දුටු කාන්තාව පිරිවර සහිත ව දෙව්පුද පිණිස එහි පැමිණියා රජ සහ සත්‍වශිල ද දුටුවා. සත්‍වශිල සතුටින් කුල්මත් වූයේ "දෙවයන් වහන්ස, අර අඟනන් මැද බබලන කාන්තාරත්නය ගැණයි සැළ කෙළේ. මගේ සිත සොරා ගත්තේ ඒ කාන්තාව විසිනුයි. ඇය නැති ව ජීවත් වීමෙහි ඵලය කුමක් දැ?"යි කියමින් ඇය රජුට පෙන්වී ය. රජ ඇය දැක 'මේ කාන්තාව කෙරෙහි ‌මොහුගේ ආලය අයුක්ත නො වේ ය'යි සිතී. ඕතොමෝ ද දිව්‍යලක්‍ෂණ සමන්විත රජහු දැක "මේ උත්තමපුරුෂයා කවරෙක් ද? කවර හෙයින් මෙහි පැමිණියේ දැ"යි සිතූ. රජතෙමේ ද ඇය ගැණ නො සැලකූවෙකු මෙන් ඈ කෙරෙහි අවඥාව (පහත් කොට සැලකීම) පෙන්වමින් සත්‍වශිල සමග උයනට ගියේ ය. ඒ කාන්තාව දෙවොලින් නිකුත් ව එක් යෙහෙළියක අමතා "අප මෙහි එද්දී සිටි මහාත්මයා කොහි ද? නුඹ විසින් එතුමා සොයා අපගේ මැදුරට පැමිණ ආගන්තුක සත්කාර විඳින්නට ආරාධනා කළ යුතුයි. එතුමා පිදිය යුතු ශ්‍රෙෂ්ඨයෙකැ"යි කියා පිටත් කළා ය.

6

ඕතොමෝ ද රජු වෙත ගියා. කාන්තාවගේ පනිවුඩය දැන්වූවා. රජ එය අසා ආරාධනය නො පිළිගත් බව පෙන්වමින් "සොඳුර, වචනයෙන් ම අතිථිසත්කාරය කරණ ලදි. අපට අන් කිසිවක් නුවුව මනා ය"යි කී ය. දූතිය ගොස් ස්වාමිදුවට රජුගේ වචන සැළ කළා. ඕතොමෝ 'අසාමාන්‍ය වූ කිසි යම් උදාර පුරුෂයෙකැ'යි සිතා, මිනිසෙකු විසින් නො ලැබිය හැකි වූ ද සත්කාර විඳීමෙහි ආසා නැති ඒ රජුගේ ධෛර්‍ය්‍යපාශයෙන් ආකර්‍ෂණය කරණු ලබන්නී තොමෝ ම උයනට අවුත්, සියමැඳුරට පැමිණ සංග්‍රහ විඳින ලෙස අවිටිලිබස් කියූ.

රජතෙමේ ඇගේ ඇරයුම නො පිළිගත් ලෙසක් දක්වමින්, "භද්‍රාව, (යහපත් ස්ත්‍රිය) මම තොපගේ අතිථිසත්කාර විඳින්නට මෙහි නො පැමිණියෙමි. මගේ මේ මිත්‍රයා විසින් කියන ලද උමාරුව දැක වඳිනු පිණිස මුහුද මැද ධ්වජමාර්‍ගයෙන් මෙහි පැමිණියෙමි. එහෙයින් නුඹ ද දිටිමි"යි කී ය.

කාන්තාතොමෝ එය අසා "එසේ නම්, මේ තාක් ඔබ නුදුටු ඉතා ආශ්චර්‍ය්‍ය වූ මාගේ පුරය බලන්නට එනු මැන වැ"යි ඇරයූ. රජ ද එය අසා සිනාසී "ඔව්! 'නහන වැව!' තිබෙන ඒ නුවර ගැණ ද මාගේ මේ යහළුවා මට කීයේ ය"යි කී ය. "දෙවයන් වහන්ස, එසේ නො කියනු මැනව. මම විහිළු කරණසුලු අඟනක් නො වෙමි. පිදිය යුත්තන්ට කවරෙක් විඩම්බනා (විහිළු) කෙරේ ද? මම වනාහි වෙසෙසින් ඔබ ගේ අධිකධෛර්‍ය්‍යය විසින් දැස්සක් කරණ ලදිමි. දැන් ඔබගේ මිඩියක වූ මාගේ පැතුම නො බිඳිනු මැනැවැ"යි ඕතොමෝ ඇවිටිලිබස් කීවා.

රජ එබස් අසා සත්‍වශිල හා ඇය ද සමග මැඳුරට ගොස් ශක්‍රපුරයට විඩම්බනා කරමින් මෙන් තුබුනු ඒ මනහර පුරයෙහි සිරි බැලී ය. ඒ අඞ්ගනා තොමෝ එහි දී රජතුමා රුවන් පලඟෙක්හි වඩා හිඳුවා දෙවොචිත (දෙවියන්ට සුදුසු) සත්කාරයෙන් රජහු පිණවා "මහපිණැත්ත, මම වනාහි කාලනෙමි නම් අසුර රජුගේ දුවකිමි. මගේ පියතෙමේ විෂ්ණුහු විසින් සුරලොවට ගන්නා ලදි. (යුද්ධයෙන් මිය යන අය සුරලොව උපදින බවට ඇති විශ්වාසය ගැන මෙතැන සඳහන් වේ. එහි තේරුම, කාලනෙමි අසුරයා විෂ්ණූ විසින් යුද්ධයක දී මරන ලද බව ය.) ම‌ගේ පියාට අයත් මේ දෙනුවර විස්සම්හු විසින් නිමවන ලදි. හැම සැපත් ඇති මෙහි ජරාවෙහි නමකුදු නැත. මරණය දුලබ ය. දැන් ඔබතුමා මාගේ පියා සේ සලකමි. එහෙයින් මෙහි යෙහෙන් වැස සැප විඳිනු මැනව. මා ද ආරක්‍ෂා කර ගණු මැනවැ"යි කියූ.


"මම ද නුඹ දුවක ලෙස පිළිගණිමි. පියාගේ අවවාදයෙහි සිටීම දරුවන්ගේ යුතුකමකි. එහෙයින් දැන් මා කියන්නක් කළ යුතු ය. මේ සත්‍වශිල මගේ සුහෘදයෙකි. (යහළුවෙකි) නෑයෙකි. අසාමාන්‍යවීරයෙකි. ඔහුට මගේ දුව වූ නුඹ භාර්‍ය්‍යාව කොට දෙමි. ඔහු සමග යෙහෙන් මෙහි වැස සැප විඳුව"යි කියා රජතෙමේ අසුරාඞ්ගනාව සත්‍වශිලහට පාවා දුන්නේ ය. කාන්තාතොමෝ ද සත්‍වශිල උමාදෙවියගේ ප්‍රසාදයෙන් ලද වල්ලභයා යි සිතා ආදරගෞරවයෙන් පිළිගත්තා ය.

රජ සත්‍වශිල අමතා "යහළුව, මවිසින් වැළඳූ නුඹගේ ඇඹුලුගෙඩි දෙකින් එකක නය දැන් ගෙවන ලදි. අනික් ගෙඩිය පිළිබඳ නය තව මත් නො ගෙවන ලදි. සුදුසු අවස්ථාවෙක්හි එය ද ගෙවන්නට උත්සාහ කරන්නෙමි"යි කියා අවිලම්බ ව (පරක්කු නො වී) සිය දෙස යායුතු බව ද දැන්වී ය. අසුර කාන්තාව මාහැඟි පුද පඬුරු රජුහට පිළීගැන්වූ. රජතෙමේ ඔවුන් දැක්වූ මගින් මිනිස්ලොවට පැමිණ බොහෝ කලක් යෙහෙන් රාජ්‍යය කෙළේ ය.

වෙතාලයා මේ කථාව කියා, "රජතුමනි, ඔවුන් දෙදෙනා අතුරෙන් කවරෙක් සමුද්‍රපතනයෙහි (මුහුදට පැනීමෙහි) දී අධිකවීර්‍ය්‍ය ඇත්තේ වී ද? නො වළහා කියව. නැත් නම් පෙර කළ ශාපය ම වන්නේ ය"යි කී ය.

26 comments:

  1. රජු තමා ඉතින්. කලින් වෙථලයාඅ ගේ පිලිතුරට එකඟ නැහැ, හේ හේ - අර දුත පිරිස මාලිගාවට යන අතරමග හැම මගුලම දකලානේ. ලෙන් වල භාවනා කරන හාමුදුරුවරු ඇතුළුව

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...

      සාම්ප්‍රදායික අදහස් නේ වේතාලයා කියන්නෙ.

      අර වර්ණනා ගොඩ නං "ලංකාව" කියපු ගමං ෆෝම්වෙලා එකතු කරපු විස්තර. නමුත්, ඉමැජින්, ඒ කාලෙ අනුරාධපුරය තියෙන්ඩ ඇති ඔය විදිහට ම...

      Delete
    2. විස්තර ටික නං අපූරුයි, ඒත් දෙබස් වලදී එතෙක් ආ රටාව බිඳුනා වගේ දැණුනා.

      Delete
  2. //හේ සූරය. වීර ය. චව්‍ රය. වැසියන්හට පියෙකු වැන්න//
    අප්පච්......................චීඊඊඊඊඊඊ.

    ReplyDelete
    Replies
    1. නෝ වර්ඩ්ස්... නොට සිංගල් වන්.

      Delete
  3. සත්වසීල ගැන රජ්ජුරුවො විශ්වාසෙ තිබ්බ වැඩියි කියලයි හිතෙන්නෙ, බැරි වෙලාවත් සත්වසීල බොරුකරයෙක් උනානම් අලුතින් රජකෙනෙක් තෝර ගන්නයි සිද්ද වෙන්නෙ.එහෙනම් උනා නම් තාම්‍රලිප්ති රාජ්‍යයටත් සිරි ලන්කාවට වෙච්ච් වැඩේ තමයි වෙන්නෙ.අද එහෙනම් 18% වැට් බ්ද්ද කනව.

    ReplyDelete
  4. රජ සිටු කුමර කොයි කවුරුත් වීරවරු
    එක ගතියකින් නං ඇත්තට මරේ මරු
    අඟනුන් රුවැති දුටු මනතින් පෙනී තරු
    බැත හිඳිලා හිඳිති පණ නල තියෙන තුරු!

    ReplyDelete
  5. මහෙච්ඡයෙක්?
    රත්නායක?

    ReplyDelete
    Replies
    1. මිනිහ මේ දවස්වල අගය එකතු කරනවලු.

      Delete
  6. ඇට වලින් ගණං උගන්නන්නෙ මොට්ටසෝරිවල බං.

    ReplyDelete
  7. //විදුලිපනිවුඩ යැවීමේ ක්‍රමයක් නො තුබුනු නමුත් පුරාතනයෝ ද ස්වදේශයේ තොරතුරු හා පණිවුඩත් ඉක්මනින් හුවමාරු කර ගත්හ.//-ඊතලයක අමුණලා ඈතට විදපු පණිවිඩි තමයි මේ කාලේදි ඊ මේල් ලෙස වෙනස් උනේ....
    Mayya

    ReplyDelete
    Replies
    1. //ගූගල්
      ====
      1995 වසරේදී ලැරී පේජ් ලන්ඩන් කෞතුකාගාරයේ තිබී හමුවූ හෙළ පුස්කොළපොත් බොහොම අමාරුවෙන් පරිවර්තනය කරවාගෙන කියවද්දී ඔහුට තේරුම් ගියේ සීගිරියේ තිබූ මළපහ බැහැර කිරීමේ තාක්ෂණය ඉතාමත් දියුණු තත්ත්වයක තිබුණ බවයි. එනම් ඔබත් සමහර විට දන්නා පරිදි සීගිරිය ගල මුදුනේ ඇති රාජ වැසිකිළි වලට මළපහ කළ පසු ඒවා ප්‍රතිචක්‍රීකරණයකට ලක් වී අසල ඇති කුඹුරු වලට පොහොර ලෙස බැහැර වෙයි.

      නමුත් එකී පුස්කොළපොත් වල ඊට වඩා විශාල රහසක් ගැබ් වී තිබුණි. එනම් වැසිකිළි වලින් ඇතුළු වන මළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මධ්‍යස්ථානයකට යැවෙන අතර එහිදී ඒවායින් කොටසක් කාබනික පාෂාණ (ගල්) බවට පත් වෙයි, ඉතිරිය ප්‍රතිචක්‍රීකරණය වී කුඹුරු වෙත පොහොර ලෙස නල මගින් ගමන් කරයි.

      ඉතින් පාෂාණ බවට පත් වූ මළ වල ඇති ප්‍රධාන ගුණයක්නම් ඒවා මත සටහන් කරන දෑ ලෙහෙසියෙන් නොමැකීමයි. එම ගල් ප්‍රධාන සම්ප්‍රේෂණාගාරයක් වෙත යැවෙන අතර එහිදී ඒවා ආරක්ෂිතව තැන්පත් වෙයි. පසුව සීගිරියේ කුරු‍ටු ගී යන්ත්‍රාණුසාරයෙන් ඒවා මත සටහන් වෙයි. කිසියම් පාථකයෙකුට සීගිරියේ චිත්‍ර මෙන්ම කුරු‍ටු ගී සෙවීමට අවශ්‍ය වූ විට සිගිරිය ගල තුළ ඇති යන්ත්‍ර මගින් අදාල ගල් උපයෝගී කරගෙන ලෙහෙසියෙන් ඒවා සොයා දීමට පුළුවන.

      මා ඉහත සඳහන් කළ මළපහ හෙවත් ගූ මගින් නිෂ්පාදිත ගල් වර්ගය හඳුන්වා ඇත්තේ "ගූ-ගල්" නමිනි. මේ බව අවබෝධ කරගත් ලැරී පේජ් මහතාත් තම සෙවුම් යන්ත්‍රයට අර කිව් ගල් වල නමම යොදන ලදී. අද මුළු ලෝකයම උජාරුවෙන් භාවිතා කරන ගූගල් වල ආරම්භය ඇත්තේ හෙළයින්ගේ ගූ-ගල් වලය.//

      http://vargapurnikava.blogspot.com/2012/07/blog-google.html

      Delete
    2. මේව දකින කොට සතුට මුසු දුකක් දැනෙනෙවා බොලං. හ්ම්......💔

      Delete
  8. රජතුමා මුහුදට පනින්නේ සත්වශීලගෙ කතාව අහලා කෙල්ලගෙ විස්තරේ අහලා දකින්න ආසාවෙන් නෙව. සත්වශීල මුලින්ම මුහුදට පනින්නෙ ඔය මුකුත් නොදැන නැව බේරගන්ට හිතාගෙන. ඒ නිසා සත්වශීල තමා අධික වීර්ය ඇත්තා.

    තවම කතාතරංගණිය ගෙදර තියෙනෝ ඩ්‍රැකී. ඒ නැතත් පොඩි කාලෙ ඒක කියෝපු හැටියට කතා සේරම මතකයි.

    හැමෝටම සුබ 2024ක් වේවා! ආයෙ වංගියක එඤ්ඤා ගොඩවෙලා කහට එකක් බීලා යන්ට.

    ReplyDelete
    Replies
    1. සුබ 2024ක් වේවා! සුරුට්ටුද බොන්නෙ, බුලත්මද කන්නෙ? මෙහෙත් හරි වැස්ස. එහෙනං 2025 ජනේරුවෙ ආවම කහට එක බොමු නේද? 🤭

      Delete
    2. හෙනං ගෙන එන්න
      සුරුට්ටුව කන්න...

      බෝ දැන් පූර්ණ කාලීන කමෙන්ට්කරුවෙක් ය?

      Delete
    3. ඇයි ෂෙකද? බොට වාර්ශික බ්ලොග් වන්දනාකරුවෙක් වෙන්ට හොඳා නං, අපටත් යන කලදසාවක් තියෙන්නෙ එපැයි. හරි, දසාවට හෙනහුරා ලබපු එක ඇත්ත නං තමයි.🤭

      Delete
  9. ඩ්‍රැකියා, ඩ්‍රැකියානි, පොඩි ඩ්‍රැකී ඇතුලු පවුලේ සැමට සුබ 2024ක් වේවා!

    ReplyDelete
  10. එන්න පමා උනා නොවැ මේ පැත්තෙ.

    ReplyDelete
  11. Witch Doctor 妖医 [2016] උපසිරැසියක් මොන භාෂාවකින් හරි හොයලා දෙන්න

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි