Saturday, December 2, 2023

වෙතාල කථා - 5 වන තරඞ්ගය

4 වන තරඞ්ගය   

"වේතාලය, එක් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක ක්‍රෑර වූ පමණින් හැම පුරුෂයෝ හෝ හැම ස්ත්‍රීහු ක්‍රෑර ය යි ද, පවිටු ය යි ද කියතොත් සාධාරණ නො වේ. යහපත් ගුණවත් ස්ත්‍රීහුත් පුරුෂයෝත් සිටිති. එහෙයින් පුරුෂයාට වඩා ස්ත්‍රිය හෝ ස්ත්‍රියට වඩා පුරුෂයා හෝ පාපිෂ්ඨ ය යි මම නො කියමි. එහෙත්, යක්‍ෂෙශ්වරය, ස්ත්‍රීන්ගේ සිත දුර්‍වලය. දු සිතෙහි ලොභද්වෙෂාදීක්ලෙශයෝ (ලොභය ක්‍රොධය යනාදී සිත කිලුටු කරණ දේ) වඩා බල පවත්වති. ඒ අතින් සලකා බලන විට පුරුෂයන්ට වඩා ස්ත්‍රීන් පාපිෂ්ඨ වීමට ඉඩ තිබෙන බව වැටහේ. යහපත් අය ඇසුරු කිරීමෙන් ස්ත්‍රීචිත්තයෙහි ඇති දුර්‍වලභාවය නැති කරගත හැක්කැ"යි රජතෙමේ වේතාලයාගේ ප්‍රශ්නය විසඳී. වේතාලයා සහිත මෘතකලෙවරය එකෙණෙහි ම අන්තර්‍ධාන වී ය. රජ නැවත ද එය ගෙණ එනු පිණිස පෙර මෙන් ම රුක්මුලට ගියේ ය.

5. තරඞ්ගය

1

රජතෙමේ මෘතකලෙවරය කරට ගති. එකෙණෙහි එය කොක්හඬ ලා සිනාසී බිම වැටින. රජ නැවත ද ධෛර්‍ය්‍ය කර එය කරට ගෙණ වහවහා එන්ට වන. "රජ්ජුරුවෙනි"යි වේතාලයා කථාව ඇරඹී. "මෙහි අදහස කුමක් ද? දුරාචාර (නරක පැවතුම් ඇති) වූ ඒ තවුසා පිණිස කවර හෙයින් මෙතරම් වෙහෙසෙන්නෙහි ද? නිෂ්ඵල වූ මේ ප්‍රයත්නයෙහි නුඹගේ විවේකයෙක් නො පෙණේ. හොඳයි, එසේ වේවා. නුඹේ වෙහෙස දුරු වන්නට තවත් කථාවක් කියමි."

වීරවරකථාව

රජතුමනි, ශොභාවතී නම් නගරයෙක් ඇත. ඒහි බොහෝ පැරකුම් ඇති මහතෙද ඇති ශුද්‍රක නම්ක රජෙක් වි ය. දිනනසුලු ඒ රජුගේ තෙදගින්න එතුමා විසින් බලාත්කාරයෙන් අල්ලා ගෙණෙන ලද සතුරු රජුන්ගේ බිසොවුන් විසින් සැලූසෙමෙරපවනින් (චාමරයෙන් නගනලද වාතයෙන්) නිරතුරු වැඩුනේ ය. ඔහු කරණ කොට ගෙණ ලොප් නො කළ දම්සැරුම් ඇති (නො නැසූ ධර්‍මයෙහි හැසුරුණු) සැපතින් පිරුණු මිහිකත රාමාදී රජදරුවන් මතක නැති කළා ය.

කිසියම් දිනෙක්හි ශූරයන්ට ප්‍රිය වූ ඒ රජුට සේවාකම් කරණු පිණිස වීරවර නම් වීරයෙක් පැමිණියේ ය. හෙතෙමෙ හතරරියන්හමාරක් පමණ උස් ය. උසට හොබනා සේ මහත් ය. එකල සිරිත් පරිදි කොට කර කපන ලදු ව කර දක්වා එල්ලෙමින් තිබුණු කෙස්වල්ල ඔහු සෙබළෙකු බව ප්‍රකාශ කෙළේ ය. ඔහුගේ නළල පටු ය. එහෙත් වටකුරු තියුණු දෙනෙත් තියුණුනුවණ ඇතිබවට ලකුණක් වි ය. නැහැය උස් ය. දික් ය. උඩුරැවුලින් වැසුනු දෙතොල් රත්පැහැයෙන් මනහර ය. සිහින් ය.කොඬොල්අබරණ (කණෙහි පලඳින ආභරණයක්) නො පැලඳි නමුත් එල්බෙන පෙති ඇති දෙකන් මිනිසුන් සිතූ පරිදි වීරත්වය පෙන්වන කැඩපත් වැනිය. ලම්බකර්‍ණ වූ ඔහුගේ බෙල්ල දික් ය. මහත් ය. මුහුණ සිරිමත් ය පිටතට නෙරාගිය මස්පිඬුවලින් ගැවසුනු බායුවල හා පළල් වූ පපුව ද මහත්වූ කායශක්තිය පෙන්වන කොඩි වැනි වී ය. රතුපැහැති ශුභරෙඛාවලින් ගැවසුනු දෙඅතුල් ඔහුගේ භාග්‍යවද්භාවය පෙන්වන අතර, අතුරු සිදුරු ඇති ඇඟිලි ඔහුගේ අත ත්‍යාගයෙන් පිවිතුරු වූබව ප්‍රකාශ කෙළේ ය. සෙබළකමට මිතුරෙකු බව පෙන්වන ලකුණුවලින් සැරසුනු ඔහුගේ සිහින්ඉඟෙහි බැඳි පළල්පටියෙහි එක් පසකින් සිරිය ද අනික්පසෙහි ඊතල පිරුණු හියොවුර ද වී ය. දික් වූ දුන්න වම්උරයෙහි එල්බුනේ ය. දකුණතෙහි කඩුව හා වමතෙහි පලිහ ද වි ය. ධර්‍මවතී නම් භාර්‍ය්‍යාව ද, සත්‍යවර නම් පුතා ද, වීරවතී නම් දුව ද, තවත් මෙහෙකරුවෝ කීපදෙනෙක් ද ඔහුගේ පිරිවර වූහ.

හෙතෙම රජුගෙන් වැටුප් වසයෙන් දින පතා මසුරන් පන්සියය බැගින් ඉල්ලී ය. රජතුමා ඔහු දැක්මෙන් ම 'මහා වීරවරයෙකැ'යි සලකා ඔහු ඉල්ලූ වැටුප් දෙන්නට භාණ්ඩාගාරිකයාට නියම කෙළේ ය. 'දින පතා එතරම් මහත් මුදලකින් හෙතෙම කුමක් කරාදැ'යි සොයනු පිණිස චරපුරුෂයන් ද යෙදී ය.

වීරවරතෙමේ උදෑසන්හි රජු බැහැ දැක මධ්‍යාහ්නයෙහි ප්‍රධානද්වාරයෙහි රැකවල් ගෙණ සිටී. තමාගේ වැටුප් වසයෙන් ලැබෙන මසුරන්වලින් සියයක් ගෙයි වියදම් සඳහා භාර්‍ය්‍යාවට දෙයි. අනික් සියයකින් වස්ත්‍රාභරණාදිය හා සුවඳ බුලත් ද ගණියි. තුන්වැනි සියය ආගමිකකර්‍තව්‍යය සඳහා යෙදී ය. අනික් දෙසියය මහණබමුණන්ට දන් දෙන්ටත් අනාථයන්ට පිළිසරණ වන්ටත් වියදම් කෙළේ ය. රාත්‍රී කාලයෙහි හුදෙකළාව ප්‍රධානද්වාරයෙහි රැකවල් කෙරෙමින් සිටියේ ය. දිනපතා ඔහුගේ චාරිත්‍රපරිපාටිය මෙබඳු වී ය. රජතෙමේ මෙය අසා ඔහු කෙරෙහි ඉතා Praසන්ன වි ය. 

ගිමින් පෙළෙමින් තිබූ ලොකය සනසමින් වර්‍ෂාකාලය සම්ප්‍රාප්ත විය. උතුරෙහි සිට දකුණට විහිද ගිය විසිතුරු පැහැති දෙව්දුනු සියගණනින් හා දියෙන් බර නිල්වන් වලාකුළින් ද අහස සැරසින. මොනරු පිල් විදහා ගෙණ නටන්ට පටන් ගත්හ. කොළොම්මුහුනමල් ආදි වෘක්‍ෂයෝ නිල්වන් පතින් හා නන්වන් මලින් ද සැරසුනහ. ගම්බද බාලයෝ කෙසෙල්කඳන් එකට බැඳ පසුරු තනන්ට පටන් ගත්හ. ගඞ්ගා නමැති අඞ්ගනාවෝ තඹවන් අළුත් වතුර නමැති රෙදිපිළියෙන් සැරසී මුහුද නැමැති හිමියා වෙත වහවහා ගමන් කළහ. පෙර පක්‍ෂීන්ගේ බිජුවටෙහි රස නො දත් මත්ස්‍යයෝ ගඟ අසල පඳුරු අග බැඳි කුරුලුකදල්ලට පැමිණ දුලබබොජුන් කුහුලින් අනුභව කළහ. වුව මනා තරම් අහර නො ලැබ කෙට්ටු වූ පෙටියෝ ගම්වැසියන්ගේ පැසුනු ගොයම්කුඹුරුවල වී කා තර වූහ.

එක් දිනෙක්හි මහරැයෙහි සිවුදිගින් මේඝකූට නඟා මහත්සේ වසින්නට වි ය. සියලු අහස කළුවැසිවලාවලින් පිරී ගියේ ය. පිට පිට ගසන දහස්සුවහස් විදුලියෙන් ලෝකයාගේ ඇස් අඳුරු වී ගියේ ය. ගැඹුරුසෙනහඬින් කන් බිහිරි වී ය. පොළොව අහසට ඇදගණු සඳහා දෙවියන් විසින් හෙලනු ලබන දළරැහැන් වැනි ජලධාරාවෝ පොළොව සිදුරු කරන්නට වන්හ. රාජමාර්‍ගයෝ (මහපාරවල්) මිනිසුන්ගෙන් තොර වූහ. කල්පාන්තයෙහි හටගන්නා මහවැස්ස මෙන් ලොව බියමුහුදෙහි ගලමින් ඒ මහවැස්ස වස්නා කල්හි වීරවරතෙමේ රජමැඳුරෙහි ප්‍රධානදොරටුව රැක්කේ ය. ශුද්‍රකරජ එ සේ බිහිසුණුඅඳුරෙහි පොද නො කැඩෙන වැස්සෙහි ඒ වීරවරයාගේ අදහස් දැනගණු කැමැත්තෙන් ද්වාරය වෙත එළඹ "මෙහි කවරෙක් රැකවල් ගෙණ සිටී දැ"යි උස් හඬින් ඇසී ය. "දෙවයන් වහන්ස, මම; වීරවරයා"යි පිළිතුරු ලැබින. රජ ඔහු කෙරෙහි Praසන්ன වූයේ 'මෙතෙම උතුමෙකි. මා කෙරෙහි භක්තිමත් ය. මොහු උසස් පදවියකට අවශ්‍යයෙන් ම පත් කළ යුතු ය'යි සිතී ය.

2

අන් දිනක්හි ද එබඳු මහවැස්සෙහි රජතුමා එහි ගොස් විචාරා පෙර මෙන් ම පිළිතුරු ලැබ පෙර සේ ම සිතී ය. එකෙණෙහි ම ඉතා බැගෑපත් ලෙස වැලපෙන ස්ත්‍රියකගේ හඬක් ඇසින. රජතෙමේ "මේ හඬන ස්ත්‍රී කවරෙක් ද? කවර හෙයින් ද? මගේ රටෙහි අපරාධ නැත. දිළින්දෝ හෝ දුඃඛිතයෝ නැත. එහෙයින් ‌මෝතොමෝ කවරක් දැ?"යි සිතා එය සොයනු පිණිස වීරවරයාට විධාන කෙළේ ය. "එම්බල, වීරවරය, ඈත කිසියම් ස්ත්‍රියක් වැලපෙයි. ඕතොමෝ කවරක් ද? කවර හෙයින් අඬයි ද? වහා එහි යව. පරීක්‍ෂා කරව."

අණ ලත් කෙණෙහි ම වීරවරතෙමේ අවි පමණක් සහාය කොට ගෙණ (තමන් සමග යන්නන් කර ගෙණ) මහඅඳුරෙහි මහවැස්සෙහි අඬන තැන වෙත යන්ට පිටත් වී ය. අහසින් වැටෙන මහදිය දහර හෝ හිමකැට ගැණ නො සැලකී ය. ක්‍ෂණක්‍ෂණයෙහි බබලන විදුලිය සහිත අභිනව මෙඝාන්‍ධකාරය ගණන් නො ගත. එබඳු බිහිසුණුරැයෙහි තනි ව ම පිටත් වූ ඔහු කෙරෙහි කරුණාවෙන් රජතෙමේ ද අවි ගෙණ පහයෙන් බැස වීරවරයාට නො පෙණී ඔහු අනු ව ගියේ ය. වීරවරයා වැලපුම්හඩ අනු ව ගොස් නුවරින් පිටත විලක් වෙත පැමිණියේ ය. එහි දී වීරවරතෙමේ "අහෝ, ශූරයානෙනි! අහෝ, කරුණාවන්තයානෙනි! අහෝ, දානපතියානෙනි! නුඹ නැති ව මම කෙසේ වසම් ද? ඔබගෙන් පසු කාගේ මුහුණක් බලා සැනසෙම් ද? අහෝ! ඔබ මෙන් කවර කුමරෙක් කවර රජෙක් මා රකී ද? දැහැමි හිමියෙකුගෙන් තොර ව විසුමට වඩා නිරයෙහි විසුම මැනව. අය්යෝ! මගේ දැහැමි හිමියා රැක දෙන්ට පොහොසත් වීරයෙක් නැද් ද? ඉතින්, ඔබ නැති ලොව අඳුරු ය. ඔබ නැති රට යමපුරයට ද වඩා බියකරු ය. අහෝ!" යනාදී බැගෑබස් කියමින් වැව්දියමැද සිටගෙණ වැලපෙන මනහරරූසිරින් දෙවඟනක වැනි අඟනක දැක විස්මයප්‍රාප්ත ව "තී කවරහි? හිමියා කවරේ ද? ඔහුට කුමක් වී ද? කවර හෙයින් අඬහි දැ?"යි විචාළේ.

"මම මිහිකත ය. මේ ධාර්මික ශුද්‍රකරජතෙමේ මාගේ හිමියා ය. මෙයින් තුන්වැනි දිනෙහි ඔහුගේ මරණය වන්නේ ය. එබඳු හිමියෙකු කෙසේ ලබම් දැ?යි සොවින් හඬමි"යි ඕතොමෝ කීවා.

වීරවරතෙමේ එය අසා කම්පිත වි ය. සියහිමිරජතුමා උදෙසා, අවශ්‍ය නම්, සිය දිවි දෙන්නට ද ඉටා ගත්තේය. "දේවිය, යම්බඳු පිළියමකින් ඒ ලෝහිමියාගේ ආරක්‍ෂාව වේ නම්, එබඳු පිළියමක් ඇද්දැ?"යි ඇසී ය.

"දරුව, නුඹ හැර අන් කවරෙක් මීට සමත්‍ථර්‍ ද? හිමියා කෙරෙහි ඇලුම් ඇත්තේ ද? එතුමාගේ මරණය වැළැක්වීමට උපායක් ඇත. අසව. ඒ රජ්ජුරුවන්ගේ මාලිගාව අසල එතුමන් විසින් කරවන ලද කාලි කෝවිලක් ඇත. ඒ කෝවිලට අරක් ගත් දෙවියන්ට නුඹේ පුතා බිලි දුන හොත්, රජතුමාට විපතක් නො වන්නේ ය. තවත් අවුරුදු බොහෝ ගනනක් ජීවත් වන්නේ ය. අද ම තොප විසින් එය කළොත් මිස, අනික් දිනෙක්හි කිරීමෙන් වැඩෙක් නැතැ"යි මිහිකත කීවා.



වීරවරතෙමේ "මම එය දැන් ම කරන්නෙමි"යි කියා ගෙට යන්ට නික්මින. "තොපට යහපතක් ම වේවා!"යි කියා මිහිකත ද නො ‌පෙණී ගියා. රජතෙමේ සියල්ල අසා ගති. ඉක්බිති ඒ මහඅඳුරෙහි වීරවරතෙමේ වහා සියගෙට ගොස් භාර්‍ය්‍යාව පුබුදුවා මිහිකත කී සියල්ල ඈට දැන්වී ය. ඕතොමෝ ද එය'සා විස්මයාකූල ව "අපේ රජතුමන්ට මෙයින් යහපතක් වේ නම්, ඔබ ම පුතා පුබුදුවා මේ බව කියනු මැනවැ"යි කීවා. වීරවරතෙමේ පුතු පුබුදුවා වෘත්තාන්තය කී ය. "පුත්‍රය, නුඹ කාලිදේවියට බිලි කොට දුන්නොත් අපේ රජතෙමේ ජීවත් වන්නේ ලු. නැත් නම් මෙයින් තුන්වැනිදිනයෙහි මැරෙන්නේ ලු. එහෙයින් ලොවට උපකාරී වූ එතුමාගේ ජීවිතය ආරක්‍ෂා කරන්ට නුඹේ ජීවිතය කාලිදෙවියට පුදව!"

ලදරුතෙමේ ද එය අසා වීරත්‍වය දක්වමින් "පියානන් වහන්ස, ඉදින් අපේ දෙවයන් වහන්නේ මගේ දිවි පිදීමෙන් බොහෝ කල් ජීවත් වන සේක් නම්, මම පින්වත් වෙමි.අප කෑ එතුමාගේ වැටුපට සුදුසු වැඩ ද කළා වන්නේ ය. කවරහෙයින් පමා කරණ සේක් ද? වහා මා දෙවොලට ගෙණ ගොස් කාලිදෙවියට බිලි දෙනු මැනව. මාගේ ජීවිතයෙන් රජතුමාට වන අවමඞ්‍ගල දුරු වේවා!"යි කියා දෙවොලට යනු පිණිස සැරසුනෛ් ය. වීරවරතෙමේ "පුත්‍රය, නුඹ මගේ පුතෙකු බව ඔප්පු කෙළෙහි ය"යි කියා ඔහු කර හිඳුවාගෙන නික්මුණේ ය. ඔහුගේ භාර්‍ය්‍යාව හා දුවත් ඔවුන් සමග ම දෙවොලට ගියහ. රජතෙමේ ද ඔවුන්ට නො පෙණී ඔවුන් අනුව ම ගියේ ය.

වීරතෙමේ දෙවොලට ගොස් සියපුත් සත්‍යවරයා කරින් බස්වා දේවිය ඉදිරිපිට හිඳුවී ය. ධෛර්‍ය්‍යපිණ්‍ඩයක් වූ ලදරු සත්‍යවරතෙමේ දේවිරුව වැඳ ඇඳිලි බැඳ ගෙණ "මහතෙද ඇති දේවිය, මාගේ හිස බිලි ගෙණ අපේ රජතුමා තවත් අවුරුදු සියයක් ජීවත් කරණු මැනව. සියලු උවදුරු නැති කොට රාජ්‍යය පාලනය කරන්ට සලසනු මැනවැ"යි කියමින් පියාගේ කඩුව ගෙණ සිය අතින් ම සියගෙල සිඳ ගත්තේ ය. එකෙණෙහි ම අහසින් "පින්වත් වීරවරය, අනික් කවරෙක් තොපට වඩා ස්වාමිභක්ත ද? අන් කවරෙක් තමන්ගේ එක ම වීර පුත්‍රයා බිලි දී සියහිමි රජ ගලවා ගණීදැ"යි යන හඬෙක් ඇසින.

වීරවරයන්ගේ දුව, වීරවතිය සිය සොහොයුරාගේ හිස බදාගෙණ අඬමින් සොවින් ලය පැළී මළා ය. ඉක්බිති ඔහු‌ගේ භාර්‍ය්‍යා වූ ධර්‍මවතිය හිමියාට මෙසේ කීවා:- "ස්වමිනි, අප විසින් අපගේ ස්වාමි වූ රජතුමන්ට යහපත කරණලදි. දැන් මගේ දුව, වීරවතිය ද සොහොයුරාගේ මරණය දැක සොවින් මළා ය. දරුවන් නැති මා ජීවත් ව ඉඳීමෙන් කම් කිම? පළමු කොට ම මූඪ වූ මා විසින් අපගේ දේවයන් වහන්සේට හිත පිණිස මගේ මේ, කුණුපුවක්ගෙඩියක් පමණකුදු නො අගනා, හිස කාලිදෙවියට බිලිදිය යුතු වී ය. දැන් කුමක් කරම් ද? මම වහා ගින්නට පැන නැසෙන්නෙමි. ඊට අවසර දෙනු මැනව."

"හොඳයි, එසේ කරව. දරුවන් මළ දුකින් පෙළෙමින් ජීවත් වීමෙහි කවර ප්‍රීතියක් ද? නුඹ විසින් අපගේ රජතුමාගේ ප්‍රයෝජනය සඳහා හිස නො දෙන ලදැයි ශොක නො කරව. ඉදින් අන් කෙනෙකුන්ගේ හිසබිලි දීමෙන් එය කළ හැකි වී නම්, කිම, මම මගේ හිස ඉතිරි කර ගණිම් ද? මේ දරවලින් ගිනිමැළයක් ගසන තුරු මඳක් කල් ඉවසව"යි වීරවරතෙමේ භාර්‍ය්‍යාවට කියා ගිනිමැළයක් දැල්වීය. ඕතොමෝ ඇවිළෙන ගින්න දෙස බලා හිමියා පාමුල වැටී වැඳ කමා කරවා ගෙණ දෙවරූපය දෙස බලා වැඳ "පින්වත් දේවිය, පරලොව දී මේ උතුමා ම මාගේ හිමියා වේවා! මාගේ සිරුර ද බිලි ගෙණ තුටු ව ඔබ අපේ දේවයන් වහන්සේ ශුද්‍රක රජතුමා, බොහෝ කලක් ආරක්‍ෂා කරනු මැනවැ"යි කියා ගින්නට පැන්නා ය. 

"ම විසින් රජතුමන්ට කළයුතු දෑ කොට නිම කෙළෙමි. දෙවියන්ගේ වචනයෙන් ම මම එය දනිමි. ම විසින් අනුභව කළ බතට මම දැන් නය නැතියෙක් වෙමි. එයින් දැන් තනි වූ මට ජීවත් වීමෙහි මොන කැමැත්තක් ද? ම බන්දෙකු, පොෂ්‍ය කටයුතු මුළුපවුල නැති කොට, හුදකලා ව ජීවත් වීම නො හොබී. එහෙයෙින් මගේ සිරුර ද බිලි දී කාලි දේවිය පිණවන්නෙමි."යි සිතා වීරවරතෙමේ දෙව්රුව ඉදිරියට ගොස් දෙදණ බිම ඇන හිඳ පළමු කොට කාලි දේවියට ස්තූති කෙළේය. ඉක්බිති "කාලිදේවීන් වහන්ස වැජඹෙනු මැනව! ජය ගනු මැනව! ලෝවැසියා විසින් පුදන ලද පා ඇති මෑනියන් වහන්ස, නුඹ වහන්සේට නමස්කාර වේවා! මා ද බිලි ගෙණ අපගේ ශුද්‍රක දේවයන් වහන්සේ කෙරෙහි පහදිනු මැනවැ!"යි යාච්ඤා කොට අසිපත ගෙණ සිය ගෙල සිද හෙලී ය.

3

සැඟවී සිටි භූපතිතෙමේ ඒ සියල්ල දැක ව්‍යාකූල වූයේ පුදුමයට පැමිණියේ ය. ශොක කෙළේ ය. "අහෝ! මා විසින් මෙ බඳු වීරපුරුෂයෙක් මීට පෙර නො දක්නාලදි. නො ද අසන ලදි. සියපිරිවර සහිත මේ සත්පුරුෂයා විසින් මා පිණිස දුෂ්කරකාර්‍ය්‍යයක් කරණලදි. මේ පුදුම ලොවෙහි මොහු වැනි වීරයෙක් නැත. ස්වාමියා පිණිස පුත්‍රාදීන් හා හා ස්වකීයජීවිතය ද පරිත්‍යාග කිරීමෙන් මොහු කළ උපකාරයට සුදුසු උපකාරයක් මම නො කෙළෙම් නම්, මගේ ජීවිතයෙන් කම් කිම? මම කෙළහි ගුණ නො දන්නා තිරිසනෙකු මෙන් නො වම් ද? ධෛර්‍ය්‍ය නැති වීමෙන් මට අපකීර්‍තතිය ම වන්නේ ය"යි සිතා අසිපත ඇද ගෙන දෙව්රුව ඉදිරියට පැමිණ "දේවිය, හැමදා ජීවත් වීමට අයොග්‍ය වූ මාගේ මේ විනශ්‍චර ශරීරය බිලි ගෙණ ප්‍රීතිමත් ව අනුග්‍රහ කරණු මැනව. මේ නොයෙක් ගුණරුවනින් පිරිපුන් වීරවරයා අඹුදරුවන් සහිත ව ම නැවත ජීවත් කෙරේවා!" යි කියා සියබොටුව කපන්නට සැරසින. එකෙණෙහි ම "දරුව, සැහැසිකම් නො කරව. නුඹගේ මේ ධෛර්‍ය්‍යයෙන් ප්‍රීත වීමි. අඹුදරුවන් සහිත වීරවරතෙමේ නැවත ජීවත් වේවා"යි අදෘශ්‍යමාන කිසිවෙකු විසින් කියනලද වචන ඇසින. ඒ වදන්පෙළ අවසන් වනු සමග ම අඹුදරුවන් සහිත වීරවරතෙමේ පෙර මෙන් ජීවත් ව නැඟී සිටියේ ය.

රජ එය දැක නැවත ද සැඟවී සිට සතුටුකඳුළින් පිරුණු දෙනෙතින් ඔවුන් බලා තෘප්තියට නො පැමිණියේ ය. වීරවරතෙමේ ද නිදා පිබිදියාක්හු මෙන් ඒ පුතා ද පත්නිය ද දුව ද බලමින් පුදුමයෙන් අවුල් වූ සිතැත්තේ වී ය. වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නම් කියා අඬ ගැසී ය. "මළා වූ තෙපි නැවත කෙසේ දිවි ලැබ නැඟිටියහු ද? මෙය මාගේ විභ්‍රමයක් (මුළාවක් - වැරදි හැඟීමක්, [=Delusion]) ද? නොහොත් ස්වප්නයක් ද? ඉන්‍ද්‍රජාලයක් ද? නැතහොත් කාලිදේවියගේ අනුග්‍රහයක් දැ?"යි එකිනෙකාගෙන් ප්‍රශ්න කෙළේ ය. ඔහු ද දෙවානුග්‍රහයෙන් දිවි ලත් බව සිතූහ.

වීරවරතෙමේ අඹුදරුවන් ලැබ තුටුවූයේ දේවිය වැඳ ගෙට ගොස් අඹුදරුවන් නවතා රජමැඳුරට ගොස් සිය රැකවලෙහි ම පෙර මෙන් සිටියේ ය. රජතෙමේ ද අනෙක් දොරකින් පහයට පිවිසියේ ය. මුල පටන් මේ වන තෙක් වූ සියල්ලට ගත වූයේ තුන් පැයකි. රජතුමා නිදා සිටියෙකු මෙන් අඟවමින් නැවත ද "සිංහද්‍වාරයෙහි කවරෙක් රැකවල් ගෙණ සිටී දැ?"යි විචාළේ ය.

"දෙවයන් වහන්ස, මම වීරවරයා"යි පිළිතුරු ආ ය. "තෝ එහි ගියෙහි ද? ඒ ස්ත්‍රී කවර හෙයින් අඬා දැයි පරීක්‍ෂා කෙළෙහි ද?"

"එහෙයි, දෙවයන් වහන්ස! ඒ ස්ත්‍රියක් නො වේ."

"එහෙ නම්?"

"කිසියම් රාක්‍ෂියකි. මා එහි ගොස් ඇඬූ කරුණ විචාළ කල්හි ම නො පෙණී ගියා."

"ඉතින්?"

"ඉතින් වෙන කිසිවක් නැහැ, දෙවයන් වහන්ස!"

රජතුමා වීරවරයාගේ වචන අසා පුදුමයට පැමිණියේ ය. "අහෝ, වීරභාවයක හැටි! ගැඹුරුබවක හැටි! මෙලොව ඇතැමුන් සුලු වැඩක් කොට මහත්පැසසුම් ලබන්නට සිතන අතර, මෙ තෙමෙ අන් කෙනෙකුන් විසින් නො කළ හැකි මහත් කාර්‍ය්‍යයක් කොට ද, ඒ පිළිබඳ වචනමාත්‍රයක් කියන්නට සතුටු නො වේ ය"යි සිතා රජතෙමෙ සිරියහන් ගබඩාවට ගොස් ඉතිරි රැය ගත කෙළේ ය.

උදාසන්හි නරපතිතෙම ආස්ථානශාලාවට (රැස්වීම් පවත්වන ශාලාවට) පැමිණියේ වීරවරයන් පිළිබඳ රාත්‍රීවෘත්තාන්තය ඇමැතියන්ට කී ය. වීරයාගේ ගුණවර්‍ණනාව ඇසීමෙන් සියල්ලෝ විස්මයට පැමිණියාහු ඔහුට මුව නො සෑහෙන සේ පැසසූහ. රජතෙමේ ද යුවරජපදවියෙන් වීරවරයා පිදුයේ මතු නො වේ. තමන් හා සමාන යසඉසුරෙන් සමන්විත ද කෙළේ ය.

වේතාලයා මේ කථාව කියා "රජතුමනි, මේ සියල්ලන් අතුරෙන් කවරෙක් වීරශ්‍රෙෂ්‍ඨ ද? ඉදින් දැන ගෙණ නො කීයෙහි නම්, පෙර කී ශාපය නුඹගේ හිස පිට හෙන්නේ ය"යි පැන විසඳුම්හි රජතුමන් ධෛර්‍ය්‍යවත් කෙළේ ය.


පේන විදිහට කථාතරඞ්ගිනියෙ තියෙනවට වඩා ප්‍රමාණයක් වේතාල කතා, කථාසරිත්සාගරයෙ තියෙනව. මෙතන තියෙනව ඒ ටික ඉංග්‍රීසියෙන්...

23 comments:

  1. Tales from Kathasarithsagara by Somadeva කියලා තියනවා penguin edition එකක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්... "කථාසරිත්සාගරයේ කතා" කියලත් සිංහල පොතක් තියෙනව. ඔරිජිනල් මහ පොත කියවන්න හොයමින් ඉන්නෙ. එක්කො සංස්කෘත ඉගෙන ගන්නව ද කියල බැලුවෙ...

      Delete
    2. මේ තියෙන්නේ- https://www.google.co.uk/books/edition/The_Kath%C3%A1_Sarit_S%C3%A1gara_Or_Ocean_of_the/nqn5DUMY6O8C?hl=en&gbpv=1&printsec=frontcover

      Delete
    3. ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්. https://www.forgottenbooks.com/en/download/The_Ocean_of_Story_Being_C_H_Tawneys_Translation_of_Somadevas_Katha_v1_1000078011.pdf

      Delete
  2. මොලේට සමනල් ගැටේ වැටුනා බං මේක කියවන්න ගිහිල්ලා - Mayya

    ReplyDelete
    Replies
    1. හොඳ කන්ඩිෂනර් එකක් දාහං නාද්දි. ගැට අවුල් ඔක්කොම ලෙහෙනව.

      Delete
  3. හිටාං දෙන්නං ගේම දැං

    ReplyDelete
    Replies
    1. දෙනවනං මේ වගෙ ගේමක් දීහං...

      https://www.youtube.com/watch?v=KQ-vdIJbBJU&pp=ygUSZHVrZSBudWtlbSBmb3JldmVy

      Delete
  4. පට, පට ගාලා පෝස්ට් වැටෙනව බාං. එඤ්ඤං.

    ReplyDelete
  5. මේවා පබැදූ එවුනුත් මනුස්සයෝය! (හැබෑටම මනුස්සයෝද?)

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ සමාජ මාධ්‍ය වෙන්ඩැත්තෙ මේ වගෙ කතන්දර නේද?

      Delete
  6. ඉංග්‍රීසි එකට ලින්ක් එක දුන්නවගේ මේකෙ සිංහල එකකුත් දැම්මොත් කියවන්න පුලුවන්

    ReplyDelete
  7. මේක කියවලා මං හැමදාම හිතන්නෙ මොන හිතකින් මෙව්ව ටයිප් කරන්න හිතහදාගන්නවද කියල..🤗 මමනම් ලකුණු දෙන්නෙ ඒකට

    ReplyDelete
    Replies
    1. ආාා... මං මේ භාෂාවට ඇත්තට ම කැමතියි. පොඩ්ඩක් කියවල බලන්නකො තියෙන උපමා අලංකාර ආදියෙ ලස්සන.

      Delete
  8. ඩ්‍රැකී මහත්තයෝ,
    සයුරකි 'කථා සරිත් සාගරය'ම රසවත්
    ආනන්දයෙන් අරඹා කරවන නැණවත්
    පෙර ගැදි සිරිතෙ රස- ගුණ-- වාගෙම බලයත්
    පෙන්වයි පෝස්ටුව, ඔබ දරනා වෙහෙසත්

    ReplyDelete
    Replies
    1. මම දරනා වෙහෙස මම දරනා වෙහෙස
      මොනවට කියනවද සොහොයුර ඒ කොටස
      හිතලා ලියන්නට නැති විට ඉඩ හරස
      කොපි ටයිපින් කරමි නොබලා පසු පස්ස

      Delete
  9. අම්මපා මේව කියවල අපේ මොලේ පොට යනවා. රජා එහෙට මෙහෙට ගිහින් කුර ගෙවෙනවා. මේ ඉන්නෙ "ඇමරිකන් වුඩ්කොක්". ඌ කිවුවෙ " ගමන මිස ගමනාන්තය වැදගත් නොවේ" කියලයි.
    https://www.youtube.com/watch?v=YF3-LvmHM4E

    ReplyDelete
    Replies
    1. ඒක දැක්කම මතක් උනේ මේක

      https://www.youtube.com/watch?v=qBUwKBrNgm8

      Delete
    2. අමුක ඩුමුක අමල් දුමල්

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි