Showing posts with label ‍ඒ කාලෙ කතා. Show all posts
Showing posts with label ‍ඒ කාලෙ කතා. Show all posts

Thursday, March 19, 2026

පාර අයිනෙන් ගත්ත ටයරය - අපේ බාප්පා ගැන කතාවකි

ඒ කාලෙ අපේ ගමේ පාරවල් දැන් කාලෙ වගේ නෙවෙයි. මම කියන්නෙ හැත්තෑවේ දශකයෙ මුල. ගුරු පාරවල් තිබුණෙ. පළල් පාරවලට කිව්වෙ කරත්ත පාර කියලයි. ගමේ ප්‍රධාන ම පාර තිබුණෙ කරත්ත පාරක්.

අපේ තාත්තා ස්ථිර රස්සාවකට ගියෙ හැත්තෑ දෙකේ. මම හිතන්නෙ එයා මුලින් ම රැලේ බයිසිකලයක් ගත්තෙ ඒ කාලෙ, මාස කීපයක පඩියෙන් ඉතුරු කරගත්ත මුදලින්. ඒ බයිසිකලේ පවුලෙ හැමෝට ම වටින එකක් වුණා. හොඳට තෙල් දාලා, රැකගෙන, වටින දෙයක් වගේ තමයි තාත්තා පාවිච්චි කළේ.

දවසක් අපේ බාප්පා මේ බයිසිකලේ ඉල්ලුවා එහා ගමට ගිහිං එන්න. තාත්තා තමන්ගෙ මල්ලිගෙ පරිස්සම ගැන හොඳට දන්න නිසා, බයිසිකලේ දුන්නෙ එච්චර කැමැත්තකින් නෙවෙයි.

මේ බයිසිකල් ගමන තමයි හැම දෙයක් ම වෙනස් කළේ.

බාප්පා ගමන පිටත් වුණේ හවස හතරට විතර. ගියෙ අපේ ගමේ වෙල් යායට එහා පැත්තෙ තිබුණු පරකන්දෙණියට. ගුරු පාර දිගේ ජැන්ඩි පහට බයිසිකලේ පැදගෙන, බෙල් එකත් ඉද හිට නාද කරගෙන යද්දි, ලාවට ඇඳිරි වැටෙමින් තිබුණා. ලා ඇඳිරියට බාප්පා දැක්කෙ නෑ, පාර අයිනෙ නයෙක්  මුවහත් ගල් කෑල්ලක් තිබුණා පාරෙ. ඒක ඇනිලා එක පාරට ම බයිසිකලේ ඉස්සරහ රෝදෙ ටයර් එක පිපුරුවා...

දැන් මොක ද කරන්නෙ? අපේ ගම අවට පරිසරය දන්න අය දන්නවත් ඇති, සුනිල් මාමගෙ කඩේ ගාවින් පහලට තියෙනව නාගහදෙණිය පාර, ඔන්න ඔය පාරෙ අතරමැද හරියෙ තමයි මේක සිද්ධ වුණේ. ඒ කාලෙ ඔය හරිය හද්ද කැලේ. ගෙවල් තිබුණෙත් පාර අයිනෙ නෙවයි, ඒ වගේ ම ගෙවල් අතරත් සෑහෙන පරතරයක් තබුණා, ඉඩම් විශාල වීම නිසා.

ටයර් එක නැතුව රිම් එකෙන් විතරක් බයිසිකලේ තල්ලු කරගෙන ආපහු ගෙදර යන්න තමයි සිද්ධ වෙන්නෙ. ඔය අතරෙ තමයි, බාප්පට පාර අයිනෙ සර සරයක් ඇහුණෙ. හොඳට බලපුවා ම මෙන්න සයිස් නයා. අඩියක් විතර ඇති පෙනේ විතරක්. පෙනේ කොච්චර ලොකු ද කියනව නං ඒකෙ "ප"යන්න විතරක් නෙවෙයි අනික් අකුරු දෙකත් තිබුණා.

බාප්පා එක පාරට ම අත දිග ඇරලා අල්ල ගත්තා අර නයාගෙ ඔලුවෙන්. ඒ කරලා හිටං, ඌව එතුවා බයිසිකලේ රිම් එක දිගට. ඔලුව දෙපැත්තෙන් මාපටඇඟිල්ලෙනුයි දබරැඟිල්ලෙනුයි තද කරපුවාම උගෙ කට ඇරුණා. ඒ කටේ ගැහුවා උගෙ ම නැට්ට.

ඒ කරලා හිටං බාප්පා ආපහු බයිසිකලේ නැගලා පදින්ඩ ගත්තා. ටික වෙලාවක් යනකොට තමයි බාප්පට තේරුණේ, අලුත් ටයර් එක රබර් ටයර්වලට වඩා හොඳයි කියලා. සාමාන්‍යයෙන් ගුරු පාරක බයිසිකලේ යද්දි, ඉස්සරහ රෝදෙ හුළං අඩු කරන්ඩ වෙනව, මොක ද, වලවල්වල වැටෙන කොට හුළං හොඳට ම පිරුණු ටයර්වලින් ටෙන්ෂන් එක බයිසිකල් හැඬල් එකට ම දැනෙනව. එතකොට අත් දෙදරනව වගේ දැනෙනව. නමුත් මේ ප්‍රසන්න ටයර් එක එහෙම නෑ. ඒක වලවල්වල වැටෙනකොට පොඩ්ඩක් බුරුල් වෙලා සාමාන්‍ය පාරෙදි ආපහු තද වෙනව.

බාප්ප ඉතිං ගමනත් ගිහිං, වෙන්ඩ පුංචිත් බලාගෙන, ආපහු ඇවිත්, ගමේ ඒ කාලෙ තිබුණු කඩ කීපයෙන් එකක් වුණු ඇල්බොට් ආතගෙ කඩේ ගාවට ආව. ඇවිත් බයිසිකලේ නවත්තනකොට ම, මුදලාලි දැක්කා ඉස්සරහ ටයර් එක පොඩ්ඩක් දඟලනව. 

"මේ මොකද්ද මේ අමුතු ජාතියෙ ටයර් එක?" කඩේ මුදලාලි ඇහුව.


"මේක නයා ලකුණ ටයර් එකක්." බාප්ප කිව්ව. "මං මේ පාර අයිනෙන් ගත්තෙ. නැද්ද හොඳ ඩන්ලොප් වගේ ටයර් එකක් ගන්ඩ? මේක මාරු කරගන්ඩ ඕනෙ."

ඔය විදිහට අලුත් ටයර් එකකුත් අරගෙන බාප්ප ගෙදර ඇවිත්, අපේ තාත්තට බයිසිකලෙයි ටයර් එකයි දුන්නා. 

පහුවදා තාත්තා විංකල් පියදාස හොයාගෙන ගියා ටයර් එක මාරු කරගන්ඩ. වැඩේ තියෙන්නෙ, පියදාස මාමා, ටයර් එක පන්නන්ඩ හදනකොට නයා තව ටිකක් තද කරගන්නව. මාරු කරන්ඩ දෙන්නෙ ම නෑ. ඒ ගමන තාත්තට තේරුණා, නයා අලුත් ජොබ් එකට ආසයි කියලා. 

ඉතින් තාත්තත් අවුරුදු ගාණක් ම නයා ලකුණ ටයර් එක දාගෙන බයිසිකලේ පැද්දා.

මේ විදිහෙ පරණ කතාවලට පටුනක්...

 1. බාප්පගෙ මිරිස් වගාව












Saturday, February 14, 2026

පතුලක් නොපෙණෙන ආවාට...?

එකෝමත් එක කාලෙක...

ගම්බද පාරක යමින් සිටි බෙරවායෙකුට දකින්න ලැබුණේ කවදාවත් අහලවත් නැති දර්ශනයක්. 

රත්තරන් කොතක්... පළාත ම දිළිසවමින් එකපාරට ම පොළොවෙන් මතු වුණා. කීප මොහොතකින් ආපසු පොළොවට ම ගිළුණා. ආපහු තවත් තැනකින් මතුවුණා. ආපසු ගිළුණා. මේ විදියට කීප විටක් ම මතුවුණු රන් කොත, පොළොව දිගේ පහතට ඇදී ගෙන ගිහින්, පහතින් තිබුණු ඔයට වැටුණා. 

මේ ආශ්චර්යය දැකපු බෙරවායා, මේ සිදුවීම නම් දේව හාස්කමක් බව හිතලා, ඊට කරන ආචාරයක් වගේ ම ඒ ගැන අවට සිටි ගම්වැසියන් ට දැන ගැනීමට හේවිසි ගහන්න පටන් ගත්තා.

මේ සිදුවීම කටින් කට ගියා. මේ කොත මතුවුණු විවර හැටියට හඳුනාගන්න පුළුවන් - පතුලක් නොපෙනෙන විවර තුනක් මේ කියන ප්‍රදේශයේ තියෙන ආකාරය පසුව සොයාගන්න පුළුවන් වුණා. බෙරවායාගේ කතාවේ කොත පහළට ඇදී ගිය මාර්ගය විදිහට සළකාගන්න පුළුවන් පුළුල් සහ ගැඹුරු ඇලක් වගේ ගල්වලින් හැදුණු මාර්ගයක් ඒ කියන ආවාට තුන අසළින් පටන් ගෙන ඔය දිහාවට පහළට සකස් වෙලා තිබුණා.

කටින් කට ගිය ජනප්‍රවාදය අනුව මේ ප්‍රදේශය කොත්තුනුගොඩ හැටියට හැඳින්වුණා. ඒ සමස්ත ප්‍රදේශය ම කොතක් මතුවුණු මලය (හෙවත් කඳුකරය) යන අර්ථයෙන් පසුකාලීනව කොත්මලේ නමින් හැඳින්වුණා.

*    *    *

ඇත්තට ම කොත්තුනුගොඩ මේ දක්වාත් ඔය කියන පත්ළක් නොපෙණෙන ආවාට තුන තිබෙණවා. ඒ අතරින් විශාල ම ආවාටය අසළින් පහළට ඇදෙන ගල් බිත්ති සහිත ඇළ මාර්ගය දැනටත් ගම්වැසියන් හඳුන්වන්නේ දෝව කියලා. දෝවේ ගල් බිත්තිවල සටහන් වෙලා තියෙනවා, උණු ලාවා පහතට ගළාගිය ආකාරය. ආවාටවල ස්වභාවය වගේ ම ඉහතින් තිබුණු ජනප්‍රවාදයෙන් ඇඟවෙන ආකාරයට, මේ කියන්නේ සක්‍රිය වුණු කුඩා ගිණිකන්දක් ගැන...

සමහරවිට අර කියන බෙරවායා ඇත්තට ම ගිණිකන්දක් දැක්කා ද? එහෙමත් නැත්නම්, මේ ආවාට සහ දෝව දැකපු පසුකාලීන ජනාවාස ඇතිකරගත් ගැමියන් මේ සියල්ල එකතු කරලා ජන කතාවක් නිර්මාණය කළා ද? 

ඔය ඕනෑම දෙයක් වෙන්න පුළුවන්.

අපට පසුගිය දෙසැම්බර් 13 වැනිදා මේ ස්ථාන ඇස් දෙකෙන් ම දැකගන්න හැකි වුණා. පහතින් තියෙන්නේ ඒ ගැන සවිදු සත්සර විජේවර්ධන උන්නැහැ කළ යූටියුබ් විඩියෝව. ඔබත් දැකගන්න... 


අපි තවත් කුතුහලාත්මක වීඩියෝ මේ චැනල් එකට එකතු කරලා තියෙනවා. ඉදිරියටත් තවත් වැඩිය දකින්න නොලැබෙන දේවල් ගැන, එහෙමත් නැත්නම් අපි හොඳට දන්න දේවල නොදන්න විස්තර ඇතුළත් විඩියෝ එකතු කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අනික් අයටත් මේ ගැන කියන්න. ඔබ ලබා දෙන නොමිලේ ප්‍රචාරණය අපට ලොකු තල්ලුවක් සහ උනන්දු කිරීමක්. (මොනටයිස් කරලා, තවදුරටත් ගුණාත්මක විඩියෝ කිරීම සඳහා අවශ්‍ය වියදම් ආවරණය කරගන්න පොඩි පහේ ආදායමක් ලබා ගන්නත්...)

විඩියෝව පටිගත කරගැනීමට සහ ප්‍රදේශය ගවේෂණය කිරීමට උපකාර කළා:

නුවරඑළියේ එච්. ඒ. කණිශ්ක අභිෂේක මහතා

කොත්තුනුගොඩ

කේ. ඩබ්ලිව්. ප්‍රියන්ත මහතා (ආවාට පිහිටා තියෙන්නේ මෙතුමාගේ තේ වත්තේ)
කේ. ඩබ්ලිව්. සුරවීර වෙද මහතා
කේ. එම්. නිවන්ක මහතා සහ ඔහුගේ පුතා වන,
කේ. එම්. හංස හේෂාන් පුතා

Monday, February 2, 2026

අඹන්පොළ රාළගෙ අපූරු සාක්කිය - උපුටාගැනීමකි

පින්තූරය ඇන්දෙ - ChatGPT

අදට අවුරුදු දෙසීයකට තරමේ එපිට කාලයක, ගමක වූ  රණ්ඩුවක් ගැන, ඒ කාලයේ ජීවත්වුණ අඹන්පොළ රාළ (අඹන්විට රාළ බවත් කියනව.) ලියූ  කවි පංතියක් මේ. 

මේ රණ්ඩුවට සහභාගි වුණ අයගෙ නම් ගම් එහෙමත් තිබෙන නිසා, ඒ කාලයේ  භාවිත වුණ නම් මොනවද කියාත් මෙයින් දැනගැනීමට  පුලුවන්. එහි  වැඩිපුර සිට  ඇත්තේ  කාන්තාවන් ය. සමහර කාන්තාවන් රණ්ඩු කෙකි නෙව! 

කාන්තාවන්ගේ නම්:

කළූ, සපූ, සවුන්දරී, ළමී, කුමී, සමිත්තරී, කිරී, ගිරී, පවුත්තරී තමා ඒ අය.  දිඹුල් මලී යනුවෙනුත් නමක් සඳහන් ව තිබුණද, එය  මේ කවියේ එළිසමය  ගැලපීමට  යෙදූ  නමක් බවයි හැඟෙනුයේ (දිඹුල් ගස්වල මල් තිබෙන බවක්  ගැමියෝ විශ්වාස නොකරත්.).

පිරිමි නම්:

රණ්ඩුවට  සහභාගි වී, එතන සිටි කාන්තාවන්ගෙන් ගුටි කෑවේ දියෝගු නමැත්තා පමණි.  දියෝගු යනු පහතරට වැසියන් පාවිච්චි කළ පෘතුගීසි නමකි.

නල්ලුරුවෙ සෙල්ලා, ඇඹුල්දෙණියේ කිරා, වත්තල කළුවා, යන අයගේ බිරින්දෑවරුන් පමණක් කලහයට  එක් වී තිබේ.  බඩ බක්කා යන අයගේ දුව ද එතනට ආවද, ගැටුමට සහභාගි වී නැත.

කළුත් සපුත් සවුන්දරිත් 
ලමිත් කුමිත් සමිත්තරිත්
කිරිත් ගිරිත් පවුත්තරිත්  
ඇවිත් කළ රොසේ 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

පසුත් පෙරත් දෙයත් වරත් 
රකිත්  සිටිත්  අනිත්  බනිත් 
ගසත්  ඉසිත්  ගලුත් වැලුත් 
මමත් දුටු ලෙසේ 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

ඇඹුල්දෙනියෙ කිරාගෙ අඹු
දිඹුල්මලිට ඇන්න ටොක්ක
බුබුල් නැඟුනි හිස හැම තැන 
ඇඹුල් දෙසි ලෙසේ 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

නැඹුල් යකුට නිති පුදකොට
එකල් දියගු දිවගෙන ගොස් 
දිඹුල් දියට කඩන් පැනපි 
කිඹුල් මොටෙකු සේ 
ඔහොයියා 

අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

නල්ලුරුවේ සෙල්ලගෙ අඹු
එතැනම සිට ගුල්ලො නොවිදි
ඉන්නක් ගෙන බල්ල කියා 
ගසන කල සිටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

ඉල්ල කකා ආඬින් වෙත 
කොල්ල සේම ගොස් දියෝගු
බල්ල සේම පැනපිය ගොස් 
වල්ල කැලයටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

ටොක්ක නොහැර ඉන්නා බඩ
බක්ක කියන හකු‍රගෙ දුව
අක්කෙ නුඹත් එන්නෙද 
අන්නක්ක නෙලුමටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

කෙක්ක අගින් ඇන්න කලට
හක්ක දෙපිට දත් එළියට 
ටොක්ක නොකා පැනපිය ලිප්
- බොක්ක ඇතුළටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

වත්තල කළුවාගෙ අඹුව
තිත්ත කථාවෙන් බැණ බැණ
වත්ත පහළ  තිබුණු කිතුල්
- පිත්ත ‍ගනිමිනා

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

පැත්ත පිටට දුන් කල සම්
පොත්ත ඉගිලි හඩක් ගසා
අත්තන කැලයට දුවපිය 
චිත්ත බියගෙනා 

(අඹන්පොළ රාළ කවියාගේ පබැඳුමකි.)

අන්නක්කා = අන්නාසි

Channa Withana

2025.01.14



Saturday, November 15, 2025

ශනිදා 10ට - විනතා සහ කද්‍රැ ගේ කතාව - னாගයන් සහ ගුරුළා 01

මීට කලින් වේතාල කතාවේ කමෙන්ට් කරපු රුසියානු ලී බෝණික්කා විනතා සහ කද්‍රැගේ ඔට්ටුව ගැන ලියන්න යෝජනා කළා. ඒ කතාව මහාභාරතයේ තිබුණු තැනින් (මේක තියෙන්නෙ අස්ථික පර්ව කියන කොටසෙ) හොයාගෙන, මගෙ ක්‍රමයට පරිවර්තනය කරලා පහතින් පළ කරනු ලැබේ. විශේෂ ස්තූතිය බුරතීනෝ ට...

ස්වර්ණමය යුගයේ දී දක්ෂ ප්‍රජාපතීන් හට දියණියන් දෙ‌ දෙනෙක් වූහ. මේ සොහොයුරියන් ‌දෙ දෙනා විස්මය දනවන සුන්දරත්වයෙන් යුක්ත වූවෝ ය. විනතා සහ කද්‍රැ නම් වූ ඔවුන් දෙ දෙනා ම කාශ්‍යප සෘෂි විසින් විවාහ කර ගන්නා ලදහ. තම භාර්යාවන් නිසා ඉමහත් සතුටට පත් වූ කාශ්‍යපයෝ, ඔවුන් එකිනෙකාට වරයක් බැගින් ප්‍රදානය කළෝ ය. එය  ඇසූ කාන්තාවෝ දෙ දෙනා ද මහත් සතුටට පත් වූහ. කද්‍රැ ප්‍රාර්ථනා කළේ පුතුන් ලෙස, සමාන ශ්‍රේෂ්ඨත්වයෙන් යුත් දහසක් සර්පයන් ලැබීමට ය. විනතා, ශක්තියෙන්, බලයෙන්, ශරීර ප්‍රමාණයෙන් සහ පරාක්‍රමයෙන් ඔවුන් දහස ඉක්මවා යන, පුතුන් දෙ දෙනෙකු ලැබීමට පැතුවා ය. කද්‍රැ වෙත ඔවුන්ගේ ස්වාමියා බහු පුත්‍ර වරය ප්‍රදානය කළ අතර, විනතාවට ද, "පැතුම ඉටු වේවා!"යි කීවේ ය. "බීජයන් (දරුවන්) ප්‍රවේසමෙන් දැරිය යුතු ය"යි කාශ්‍යප වරයන් ලැබීමෙන් ප්‍රීතියට පත් සිය භාර්යාවන්ට කියා, වන ගත විය.

කාලය ගත වී යද්දී, කද්‍රැ බිජු දහසක් බිහි කළ අතර, විනතා බිජු දෙකක් බිහි කළා ය. ඔවුන්ගේ පරිවාර ස්ත්‍රීන් එම බිජුවටයන් වෙන වෙන ම උණුසුම් කුටීර තුළ තැන්පත් කර තැබූ හ. අවුරුදු පන්සියයක් ගත වූ ගිය පසු කද්‍රැ බිහි කළ බිත්තර පුපුරා දරුවන් පිටතට ආහ. එහෙත් විනතා ගේ නිඹුලුන් බිහි වූයේ නැත. ඊර්ෂ්‍යා සහගත වූ විනතා එක් බිජුවටයක් බිඳ බැලුවා ය. එතුළ වූ දරුවා ගේ උඩුකය වර්ධනය වී තිබුණ ද, යට කොටස වැඩී තිබුණේ නැත. මෙයින්, බිජුව තුළ සිටි දරුවා කෝපයට පත් වී, සිය මවට ශාප කළේ ය. "නුඹ මෙම බිජුවටය නිසි කලට පෙර බිඳි හෙයින්, නුඹ වහලියක් වේවා! තවත් අවුරුදු පන්සියයක් යනතුරු, සම්පූර්ණයෙන් වැඩී නොමැති අනෙක් බිජුව විනාශ කිරීමට හෝ නොඉවසිල්ලෙන් බිඳීමට තැත් නොකළහොත්, එහි වැඩෙන කීර්තිමත් දරුවා නුඹ වහල්බවින් මුදවනවා ඇත! ඒ දරුවා ශක්තිමත් වීමට නම්, මේ සියලු කාලය තුළ නුඹ එම බිජුව ඉතා සැළකිල්ලෙන් රැක බලා ගත යුතු ය." මෙසේ ශාප කළ දරුවා අහසට නැංගේ ය. ඔහු සූර්යයාගේ රථාචාර්ය බවට පත් වූ අතර, උදෑසණ අහසේ දැක ගත හැකි අරුණ නම් වූයේ ඔහු ය.

අවුරුදු පන්සියයක් ගිය තැන අනෙක් බිජුව ද පුපුරා විවර වී නාගයන් බුදින්නා වූ ගුරුළා පිටතට ආයේ ය. ඔහු ආලෝකය දුටු මොහොතේ ම, සිය මව හැර ගියේ ය. සියලු පක්ෂීන්ට නායකයා වන හෙතෙම, සාගිනි දැනී, තමන්ට නියම කර ඇති ආහාරය සොයා පියාසර කළේ ය.

මේ කාලයේ එක් දිනක, සොහොයුරියන් දෙ දෙනා මනස්කාන්ත, දෙවියන් විසින් ද වන්දනය කෙරුණු, අශ්වයින් අතර අග්‍ර මාණික්‍යය වූ, අමෘතය පිණිස කලඹන ලද සමුද්‍රයෙන් මතු වූ උච්ඡායිඃශ්‍රවා නම් අශ්වයා දුටහ.

මහා සුන්දරත්වයෙන් සහ බල පරාක්‍රමයෙන් හෙබි උච්ඡායිඃශ්‍රවා ගැන කද්‍රැ, විනතාවගෙන් මෙසේ ඇසුවා ය: "කියන්න ප්‍රිය සොයුරිය, උච්ඡායිඃශ්‍රවා කුමන පැහැයකින් යුක්ත ද?" ඊට විනතා පිළිතුරු දුන්නී: "ඒ අශ්වයින්ගේ අග්‍ර කුමාර තෙමේ නිසැකව ම ශ්වේත වර්ණ වෙයි. නුඹ කුමක් සිතයි ද? උහු කුමන වර්ණ ද? ඒ ගැන පරදුවක් තබමු."  කද්‍රැ පිළිතුරු දෙමින්: "ප්‍රසන්න සිනාවෙන් යුක්ත තැනැත්තිය, මට සිතෙන්නේ මේ අසුගේ වලගය කළු පැහැ බවයි. සුන්දරිය, මා සමග ඔට්ටු තබන්න, පරදින්නී අනෙකාගේ වහලිය වේ වා!.

මෙසේ තම තමන් අතර, වහලියක මෙන් දාසකම් කිරීමට පරදු තබා සොහොයුරියෝ නිවස වෙත ගියේ, ඊ ළඟ දිනයේ දී අශ්වයා පරීක්ෂා කර බලා නිගමනයකට එළඹීමට තීරණය කර ගෙන ය. කද්‍රැ වඤ්චාවක් කිරීමට අදිටන් කර ගත්තී, ඇගේ පුත්‍රයින් දහසට, කාල වර්ණ කෙස් ගස් බවට පරිවර්තනය වී අශ්වයාගේ වලිගය වසා ගන්නට නියෝග කළා ය. එහෙත් ඇගේ පුත්‍රයින් වූ සර්පයන් ඇගේ අණ පිළිපැදීම ප්‍රතික්ෂෙප කළෙන්, ඈ ඔවුනට ශාප කළා ය. ඒ, "පාණ්ඩව පරපුරේ ප්‍රඥාවන්ත ජනමෙජය රජුගේ සර්ප යාගයේ දී තොප සියලු දෙන අග්නි ට බිලි වේවා!"යි යනුවෙනි. මෙම අතිශය ක්‍රෑර සහ ඉරණම විසින් පොළඹවන ලද ශාපය මහාත්මයන් හෙවත් බ්‍රහ්ම  වෙත ශ්‍රවණය විය. සර්පයන් ශීඝ්‍ර ලෙස බෝවී ඇති බව දුටු බ්‍රහ්මයෝ, තම මැවිල්ල ගැන කරුණාවෙන් යුක්ත ව, සියලු දෙවියන් සමඟ මෙකී ශාපය ගැන සාකච්ඡා කළෝ ය. ඇත්තෙන් ම, සර්පයෝ උග්‍ර විෂ සහිත ද, මහා පරාක්‍රමවත් ද, අතිශය ශක්තිමත් ද වූවෝ සේ ම, අනෙක් සත්ත්වයන් දෂ්ඨණය කිරීමෙහි ද යෙදුනෝ වෙති. සියලු සත්ත්වයන්ගේ වධකයෝ වූ උන්ගේ, මවු ඔවුන් කෙරෙහි පැවතුණු විධිය සියලු සත්ත්වයන්ගේ යහපතට හේතු වන්නේ ය. අනෙක් සතුන්ගේ මරණය අපේක්ෂා කරන්නවුන්ට, දෛවය හැම කල්හි ම මරණ දඬුවම පනවයි. එසේ තම මතය එකිනෙකා අතර හුවමාරු කරගත් දෙවියෝ කද්‍රැගේ ක්‍රියාව අනුමත කර නික්මුණෝ ය. එකල බ්‍රහ්ම තෙමේ කාශ්‍යපයන් තමන් වෙත කැඳවා මෙසේ කීවේ ය: "සියළු සතුරන් පිටුදැක සිටි ශුද්ධවූ තැනැත්ත, මේ උග්‍ර විෂ සහ විශාල සිරුරු ඇති, අනෙක් සතුන් දෂ්ඨ කිරීමෙහි අරමුණු ඇති, දැන් සිය මවු විසින් ශාප කරන ලද්දා වූ මේ සර්පයෝ තොප විසින් උපදවන ලද්දහු ය. පුත්‍රය, මේ ගැන ස්වල්පයකුදු කණගාටු නො වෙව. බිලි යාගයේ දී සර්පයෙන් වැනසීම දීර්ඝ කාලයකට පෙර ම නියම වූවකි." මෙසේ කියා විශ්වයේ නිර්මාතෘ වූ දිව්‍යමය ආත්මයෝ, කාශ්‍යපයන් සැනසූ අතර, විෂහරණය (සර්පයන් වැනසීම) පිළිබඳ දැනුම ඒ සිරිමතුන් සමග බෙදාගත්තෝ ය. 


ඉන්පසු, රාත්‍රිය පහව ගොස් උදෑසන හිරු නැග ආ විට, පරදු තැබූ දෙ සොහොයුරියෝ, විනතා සහ කද්‍රැ, උච්ඡායිඃශ්‍රවා නම් අශ්වයා ආසන්නයට ගොස් පිරික්සීමට නො ඉවසිල්ලෙන් ගියෝ ය. ඔවුන් යන මාර්ගයේ, සාගර නම් ජල නිධාන වූ, පුළුල් හා ගැඹුරැති, බොහෝ සේ රෞද්‍ර හඬ නගන, තල්මසෙකු වුවත් ගිලීමට තරම් විශාල මසුන් ගෙන් පිරුණු, මකරුන් සහ  තවත් බොහෝ ස්වරූප ඇති සත්ත්වයන් දහස් ගණනින් වෙසෙන, තවත් භයංකර රාක්ෂසයන් වැනි දරුණු ජලජ සතුන් හේතුවෙන් තරණය කිරිම උගහට, ඉදිබුවන් සහ කිඹුලන්ගෙන් සැදි, සෑම ආකාරයක ම රත්නයට ආකර වූ, වරුණ හෙවත් සමුද්‍ර දේවයාට නිවාස වූ, නාගයන්ගේ විශිෂ්ඨ හා දැකුම්කලු නිවහන වූ, සියලු ගංගාවන්ගේ හිමියා වූ, අන්තර්භෞම අග්නියේ විමාන වූ, අසුරයන්ගේ අභයස්ථාන වූ, සියලු සත්ත්වයන්ට බිය උපදවන, කිසිදා වෙනස් නො වන, මහා ජලස්කන්ධය වූයේ ය. එය ශුද්ධ ද, දෙවියන්ට කාම දායී ද, අමෘතයේ උත්පත්ති ස්ථානය ද, අසීමිත ද, අචින්ත්‍ය ද, පූජ්‍ය ද, අතිශය විස්මයාවහ ද වූයේ ය. එය අන්ධකාර ද, සමුද්‍ර ජීවීන්ගේ කෝලහාලයෙන් භයංකර ද, අතිශයින් ම රෞද්‍ර ශබ්දයෙන් පිරුණේ ද, ගැඹුරු දිය සුලියෙන් ගහන ද, විය. එය සියලු සතුන්ට ත්‍රාසය උපදවන්නකි. වෙරළ සිට හමන සුළඟින් මෙහෙයවී, රළ උස්ව නැඟුනු, වික්ෂෝභයට පත් වූ, කැළඹුණු, එහි දියවැල් නමැති අත් ඉහළට ඔසවමින් නටන්නාක් මෙන් විය. චන්ද්‍රයාගේ පුර පස හා අව පස හැරීම් මඟින් ඇති කළ, රළ පංති නැඟීමෙන් පිරුණු එය, වාසුදේවයන්ගේ පංචජන්‍ය නම් වූ මහා ශංඛය බිහි කළාහු ද, සියලු රත්නයන්ට නිධිය ද, වූයේ, මිනිය නොහැකි පරික්‍රමයෙන් යුත් ගෝවින්ද වල් ඌරු ස්වරූප ගෙන පෘථිවිය සමුදුරු පතුලෙන් ඉහළට ඔසවාලන විට මුලින් ම කැළඹුණේ විය...

(ඔය විදිහට පත හෑල්ලක් තියෙනව මේ ඡේදයෙ සහ ඊළඟ ඡේදයෙ..)

 නාගයෝ සමූහ සාකච්ඡාවකින් පසු අවසන් තීරණයකට එළඹුණෝ, සිය මාතාවගේ නියෝගය ඉටු කළ යුතු බවත්, එසේ නො කළ හොත්, ඇය තම මාතෘ ප්‍රේමය ඉවත ලා සියලු දෙනා ම දවනු ඇති බවත් සිතූ හ. අනෙක් අතට, ඇය කාරුණික වුවහොත් ඈ ඔවුන් ශාපයෙන් මුදවනු ඇත. ඔවුහු "අපි නිසැකව ම අශ්වයාගේ වලිගය කළු පැහැ ගන්වමු" යි කියා, එහි ගොස් අශ්වයාගේ වලිගයේ කෙඳි බවට හැරුණා හ.

දක්ෂගේ දියණියන් වූ විනතා සහ කද්‍රැ නම් සොහොයුරියන් දෙ දෙනා ආකාශය දිගේ අතිශය සොම්නසින් යුතුව සාගරයේ එහා කෙළවරට යන සේ ගමන් ගත්හ. එසේ යන අතර ඔවුහු සාගරය දුටහ. (එතන ඉඳං ආපහු අර උඩ වගේ පත හෑල්ලක් තියෙනව, සාගරය ගැන...)

විනතා සමඟ සමුද්‍රය තරණය කළ, ශීඝ්‍ර වේග ඇති කද්‍රැ, නොබෝ වේලාවකින් ම අශ්වයා සමීපයෙන් අහසින් බටහ. ඔවුහු දෙදෙනා ම, මහා වේග ඇති අශ්වයන් අතරින් ශ්‍රේෂ්ඨතමයා චන්ද්‍ර රශ්මිය සේ සුදුපැහැ ශරීරයක් ඇත්තේතෙක් වුව ද, (වලගයේ) කළු පැහැ රෝම ඇත්තෙක් වූ බව දුටුවෝය. වලගයේ බොහෝ කළු පැහැ ලෝම දුටු කද්‍රැ, දුර්මුඛ වූ විනතාව වහල් භාවයට පත් කළා ය. පරදුව පැරදුණු විනතාව ද, වහල් බවට පැමිණියේ, මහත් සේ ශෝක වූවා ය. මේ අතරවාරයේ සිය කාලය එළඹි විට, විශ්වයේ බලය පිළිබඳ වූ සියලු ම අංශවලින් හෙබි, සිතූ විට කැමති ස්වරූප ගත හැකි පක්ෂියා වූ, සිතූ ඇසිල්ලෙකින් කැමති ස්ථානයකට යා හැකි වූ,  අවැසි විට තම සහායට සෑම ආකාරයක ම ශක්තීන් කැඳවා ගත හැකි වූ, තෙදින් පිරුණු ගුරුළා සිය මව (ගේ උපකාර) නොමැතිව බිජුව පුපුරා බිහි වූයේ ය. ගිණි කඳක් මෙන් උද්දීප්ත ව ඔහු භයංකර ලෙස දිළිසුණේ ය. යුගාන්ත අග්නිය ට සම දීප්තියකින් හෙබි ඔහුගේ දෑස් අකුණු මෙන් දිප්තිමත් විය. ඉපදී නොබෝ වේලාවකින් ම ඒ පක්ෂියා වැඩී වර්ධනය වී, අහසට පැන නැංගේ ය. බිහිසුණු ද, ප්‍රචණ්ඩ ලෙස ගුගුරමින් ද, ඔහු දෙ වන සමුද්‍රාග්නියක් තරම් භයංකර ලෙස පෙනුණේ ය. ඔහු දුටු සෑම දෙවිවරයෙක් ම, විභවාසු (අග්නි) ගේ රැකවරණය පැතුවෝ ය. ඔවුහු ඒ බහුවිධ ස්වරූප ඇතිව සිය ආසනයේ වැඩ හුන් දේවයා වෙත නමස්කාර කරමින් මෙසේ කීහ. "අහෝ අග්නි, ඔබේ ශරීරය අප වෙත දිගු නොකරනු මැනව. ඔබ අප ගිල ගන්නට සැරසෙන්නෙහි ද? බලන්න, ඔබේ මේ දැවැන්ත ගිනි දලු පුළුල්ව පැතිරී යමින් ඇත." අග්නි පිළිතුරු දුන්නේ ය. "අසුර නාශකයනි, එය නුඹ සිතාගත් දෙය නොවේ. මේ මහා ශක්තිමත් වූ ද, විභූතියෙන් මා හට  සම වූ ද, මහා බලයක් පැවරුණාවූ ද, විනතාවගේ ප්‍රීතිය වර්ධනය කරන්නට උපන්නා වූ ද, ගරුඩයා වෙයි. ඔහුගේ කාන්ති ප්‍රවාහය දැකීමෙන් පමණක් ම නුඹ තුල මේ මුළාව ඇති විය. ඔහු කාශ්‍යපගේ බලැති පුත්‍රයා ය, නාගයන් වනසන්නා ය, දෙවියන්ගේ සුභ සිද්ධියට කැප වූයේ ය, දෛත්‍යයන්ගේ හා රාක්ෂසයන්ගේ සතුරා ය. දැං බුරා කියයි ද දන්නෑ දිති හා අදිති ගේ පළහිලව්වත් ලියන්ඩ කියලා... උහු ගැන අල්පයකට ද තෙපි බිය නොවවු. මා සමග අවුත් බලනු." මෙසේ ඈත සිටි දෙවියන් වෙත කීවේ ය.

------------------------------------------------

සමුද්‍රාග්නියක් = a bioluminescent glow produced by phosphorescent marine organisms. (https://www.collinsdictionary.com/dictionary/english/sea-fire#:~:text=a%20bioluminescent%20glow%20produced%20by%20phosphorescent%20marine%20organisms)

------------------------------------------------

දෙවියෝ මෙසේ කීහ. "ඔබ සෘෂිවරයෙකි. යාගවල දී විශාලම කොටස ඔබට පුදනු ලැබේ, ඔබ සදා උජ්වලිත වූයේ ය." සෘෂිවරයා සමග ගරුඩයා වෙත ගිය ඔවුහු, සජීවී සහ අජීවී විශ්වයෙහි මුල්තැන ගත් ඒ පක්ෂියාට පූජා කළහ. "තොප සියල්ල විනාශ කරන්නා ද වන්නාහු ය, සියල්ලේ මැවුම්කාරයා ද වන්නෙහි ය; තොප හිරණ්‍යගර්භයෝ ම වන්නාහු ය; තොප දක්ෂ සහ අනෙක් ප්‍රජාපතීන්ගේ වේශයෙන් පැමිණි ආදීතමයන්ගෙන් කෙනෙකි; තොප ඉන්ද්‍ර ය; තොප විෂ්ණුහුගේ පුනරාවතාරයට ගෙළ දුන් හයග්‍රිව නම් උතුම් අශ්වයාහු ය; තොප ඊශර ය. (ත්‍රිපුර ගිනි තැබීමේ දී මහදෙවියන් අත ඊ තළ බවට පත් වූ විෂ්ණු තෙමේ ම ය.) තොප විශ්වයේ හිමියාහු ය; තොප විෂ්ණු ගේ මුඛය ය; තොප මුහුණු සතරකින් යුත් පද්මජ ය; තොප බ්‍රාහ්මණයෙකි; තොප අග්නි ය, පවන ය; (මෙසේ විශ්වයේ ඇති සියලු ම වස්තූන්ට අධිපති දේවාත්මයන්ගේ නම් කියමින් පුද කරති.) තොප ශාස්ත්‍රය ය. තොප අප සියලු දෙනා ම මෝහණය කරන මායාව ය; සෑම තැන ම පැතිරි ආත්මය තොප ය; 

// මෙහෙ ම ගරුඩාව මුරුංග අත්තෙ තියලා කතා කරන දෙවියෝ සහ සෘෂිවරු, ඒ අතරෙ ම ගරුඩාගෙ තේජස සහ කාන්තිය නිසා උන්දැලට වෙලා තියෙන පීඩාව අඩු කරලා දෙන්ඩ කියලා ඉල්ලනවා. - ඒ හෑල්ල ලස්සන නිසා පහළින් දාලා තියෙනවා. කම්මැලි අය ඒක මගෑරලා යන්න...//

තොප දෙවියන්ගේ අධිපති ය; තොප මහා සත්‍යය ද වන්නාහු ය; තොප අභීත ය; තොප සදා නො වෙනස් ය; තොප උපලක්ෂණයන්ගෙන් තොර බ්‍රහ්ම ය; තොප සූර්යයා ගේ ශක්තිය ය; තොප බුද්ධිමත් කර්ත්‍රව්‍යයන් ය; තොප අපගේ මහා ආරක්ෂකයාහු ය; තොප ශුද්ධාත්මයේ සාගරය ය; තොප පවිත්‍ර ය; තොප අන්ධකාරයේ ලක්ෂණයන් තුරන් කරන්නෙහි ය; තොප සය මහා ලක්ෂණයන්ගෙන් හෙබියාහු ය; තොප හා තරග කර සම විය හැක්කෙක් නැත; සියල්ල උපන්නේ තොපගෙනි; තොප විශිෂ්ට කාර්යයන්ගෙන් යුක්ත ය; පැවති හා නොපැවති සියල්ල තොප ය; තොප පිරිසිදු දැනුම ය; තොප අපට දර්ශනය වන්නේ සජීවී හා අජීවී විශ්වය පුරා පැතිරි සූර්යයාගේ රශ්මිය සේ ය; සෑම මොහොතක ම තොප සූර්යයාගේ කාන්තිය අඳුරු කරවන්නෙහි ය; තොප සියල්ල විනාශ කරන්නා ය; තොප විනාශ වන හා විනාශ නො වන සියල්ල ය; අහෝ තොප අග්නි මෙන් කාන්තිමත් ය; සූර්යයා කුපිතව සියලු මැවීම දවන්නා මෙන් තොප ද දවන්නෙහි ය; භයංකරයාණනි, තොප ලෝකාවසානයෙහි සියල්ල වනසා දමන ගින්න මෙන් විරෝධය පාන්නෙහි ය; ආකාශචාරී ගරුඩය, අපි තොපගේ ආරක්ෂාව පතමු. පක්ෂීන්ගේ අධිපතිය, තොපගේ ශක්තිය අසාමාන්‍ය ය; තොපගේ කාන්තිය ගින්නට සමානය; තොපගේ දීප්තිය කිසි අන්ධකාරයකට ළං විය නොහැකි විදුලිය බඳු ය; තොප වළාකුළු කරා ළඟා වන්නාහු ය; එසේ ම හේතුව ද ඵලය ද තොප ම වන්නෙහි ය; ප්‍රසාද දායකයා ද, පරාක්‍රමයෙන් අපරාජිත ද වන්නෙහි ය; ස්වාමීනි, තොපගේ කාන්තියෙන් මුළු විශ්වය ම උණු වී ද, උණු කළ රනෙහි දිස්නය මෙන් ප්‍රභාමත් වී ද, ඇත්තේ ය. තොප විසින් අතික්‍රමණය කරන ලද්දා වූ ද, බියපත් කරන ලද්දාවූ ද, තම දිව්‍යමය වාහනයන්හි නැගී ඒ මේ අත දිවෙන, මේ මහාත්ම ඇති දෙවියන් ආරක්ෂා කළ මැනව. උත්තම පක්ෂියාණනි, සියල්ලේ ම අධිපතියාණනි, තොප කාශ්‍යප නම් මෛත්‍රි සහගත, මහෝත්තම සෘෂිවරයාගේ පුත්‍රයා ය. එහෙයින් කුපිත නොව, සක්වල කෙරෙහි සානුකම්ප්‍ය වෙ ව. තොප උත්තරීතර ය. අහෝ, තොපගේ කෝපය සංසිඳුවා, අප රැකගනු ව. හෙණ ගුගුරන්නාක් මෙන් මහ හඬ ඇති තොපගේ නාදය දශ දිගෙහි, අහසෙහි, ස්වර්ගයෙහි, පොළොවෙහි සහ අපගේ හදවත්හි පැතිරෙයි. පක්ෂියාණනි, තොප අතොරක් නො මැති ව කම්පිත ය. අහෝ, අග්නිය සම වූ තොපගේ ශරීරය හීන කර ගනු මැනව. කුපිත වූ යම ට සම වූ තොපගේ කාන්තියෙන් අපගේ හදවත් තුලින් ශාන්තබව සහ කම්පිත බව දුරු ව ගියේ ය. පක්ෂීන්ගේ අධිපතිය, තොපගේ අනුකම්පාව අයැද සිටින අප කෙරෙහි කාරුණික වෙ ව. අප වෙත වාසනාව සහ ප්‍රීතිය උදා කර දෙනු මැනව."

මෙසේ දෙවියන් සහ විවිධාකාර වූ සෘෂිවරුන් විසින් පුදනු ලැබූ පැහැපත් පියාපතින් සැදි පක්ෂියා තම බලය සහ කාන්තිය මඳක් අඩු කර ගත්තේ ය. තම ශරීරය ගැන ඇසීමෙන් සහ දැකීමෙන්, සුන්දර පියාපතින් හෙබි පක්ෂියා තම ශරීරය ද කුඩා කර ගත්තේ ය.

ඉන්පසු ගුරුළා මෙසේ කීය, "කිසිදු සත්ත්වයෙක් භය පත් නො වේවා! තොප මාගේ භයංකර ස්වරූප දැකීමෙන් භීත වූ හෙයින් මම මාගේ ශක්තිය හීන කර ගන්නෙමි." 

සිතූ සිතූ තැනට ඇසිල්ලකින් යාමට හැකි, තම උපකාරයට ඕනෑම ආකාරයක බලවේගයන් කැඳවීමෙහි සමත්, පක්ෂි තෙම, අරුණ සිය පිටෙහි හිඳුවාගෙන සිය පියාගේ නිවෙසින් පිටත් ව, මහා සාගරයෙන් ඔබ්බෙහි පිහිටි, තම මවගේ පාර්ශ්වයට ගියේ ය. සූර්යයා සිය සැඩ රැසින් ලෝකය දවන්නට තීරණය කළ වේලාවේ ම, ඔහු මහා කාන්තියෙන් යුත් අරුණ, නැඟෙනහිර පෙදෙසේ තැබී ය. 

ක්ෂීර සාගරය කළඹා ලබාගත් අමෘතය, දෙවියන් අතරට වී හිඳ රාහු විසින් පානය කරන ලද විට, සූර්ය සහ සෝම දෙවිවරුන් විසින් ඒ බව පෙන්වා දෙන ලදි. ඒ අවස්ථාවේ සිට ඔහු එම දෙවිවරුන් සමඟ ක්‍රොධය ඇති කර ගත්තේ ය. මෙයින්, රාහු තම හිංසකයා (සූර්ය) ගිළ දැමීමට ඉටා ගත්තෙන්, කුපිත වූ සූර්ය, "මා කෙරහි මේ රාහු ක්‍රොධ උපදවා ගත්තේ දෙවියන්ට යහපත කිරීමට මා තුළ වූ ආශාව හේතුවෙනි. මේ ඝෝර ප්‍රතිවිපාකය මා හුදෙකලාව දැරිය යුතු ය. ඒකාන්තයෙන් ම, මේ ගැන මා හට උපකාර නොලැබේ. සුරලොව වැසියන්ගේ දෑස් ඉදිරිපට ම මා ගිළ දැමෙන අතර, ඔවුහු නිහඬව ම එයට ඉඩ හරිති. එහෙයින් ලෝක විනාශයට මා කටයුතු කළ යුතු යැ" යි සිතී ය. මේ තීරණයත් සමග ඔහු අපර දිග පර්වතයට ගියේ ය. 

එම තැනෙහි සිට ඔහු ලෝකය විනාශ කරනු වස්, තම තාප තරංගයන් විහිදුවන්නට විය. මහා සෘෂිවරු සුරයන් කරා එළඹ, ඔවුනට කතා කරන්නට වූහ, "බලන්න, රෑ මැද සියලු හදවත් බියපත් කරමින් තුන් ‌ලෝකය ම වනසා දමමින් මහා තාපයක් හට ගෙන ඇත." සෘෂින් ද කැටිව සුරයෝ සිය පූර්වතමයා (බ්‍රහ්ම) වෙත ගොස් මෙසේ කීහ. "මේ සා කළබලයක් ඇති කළ මහත් තාපය කුමක් ද? සූර්ය තෙමේ තවමත් උදා වී නැත. එහෙත් (ලෝක) විනාශය නියත ය. ස්වාමීනි, හිරු උදා වූ විට කුමක් නම් සිදු වේ ද?" පූර්වතමයා පිළිතුර දුන්නේ ය: "ඇත්තෙන් ම සූර්යයා අද ලෝකය විනාශ කරමින් උදාවන්නට සූදානම් ය. ඔහු දෘෂ්‍යමාන වූ විගස ඔහු සියල්ල අළු කන්දක් වන සේ දවාලන්නේ ය. එහෙත් මා විසින් කල් තබා ප්‍රතිකර්මය සළසා ඇත්තේ ය. කාශ්‍යපයන්ගේ නුවණැති පුත්‍රයා සියල්ලන් විසින් අරුණ නමින් දන්නා ලද්දේ ය. ඔහු ශරීරයෙන් අති මහත් ද, මහා කාන්තියෙන් යුක්ත ද වේ. ඔහු සූර්යයා ට ඉදිරියෙන් සිටිමින් රථාචාර්ය රාජකාරිය ඉටු කරමින් හිරුගේ ශක්තිය වළකාලනු ඇත. මෙය ලෝකයන්ගේ ද, සෘෂිවරුන්ගේ ද, සුර ලොව වැසියන්ගේ ද, යහපත තහවුරු කරනු ඇත.

අරුණ පූර්වතමයාගේ ආඥාව අනුව ඔහුට අණ කරන ලද දේ මුළුමනින් ම ඉටු කෙළේ ය. සූර්යයා අරුණගෙන් මුවා ව, උදා වන්නට විය.

ඉක්බිති ඒ මහා බල සම්පන්න, සිතූ ක්ෂණයකින් සෑම තැනකට ම යා හැකි පක්ෂියා, මහා සමුද්‍රයේ අනෙක් කෙළවරේ දී සිය මව හා එක් විය. එහි විනතා විසූයේ, පරදුවෙන් පරාජයට පත් කොට, වහල් භාවයට පත් කිරීමෙන් පීඩිත ව ය. වරක් කද්‍රැ, තමන් ඉදිරියේ දුර්වලව බිම බෑවී හුන් විනතාව, ඇගේ පුත්‍රයා ඉදිරිපිට ම අමතා මෙසේ කීවා ය: "සියුමැලි විනතාව, සමුද්‍රය මධ්‍යයේ ඈත දුර කොණක, නාගයන් වාසය කරන, අහ්ලාදජනක සහ සුන්දර ප්‍රදේශයක් වෙයි. මා එහි උසුලාගෙන යනු." මෙයින්, ඒ පැහැපත් පියාපත් ඇති පක්ෂියාගේ මව, (සිය උරහිසින්) සර්පයන්ගේ මව උසුලාගත්තා ය. ගරුඬයා ද ඔහුගේ මවගේ මෙහෙයවීමෙන්, සර්පයන් සිය පිටෙහි තබාගෙන රැගෙන ගියේ ය. විනතා පුත්‍ර ආකාශ පාලක තෙමේ සූර්යයා දෙසට නැඟුනේ ය. ඔහු පිට හුන් සර්පයෝ සූර්ය රශ්මියෙන් තැවුුුණෝ, ක්ලාන්තවූ හ. සිය පුතුන් හට වූ ගැහැට දුටු කද්‍රැ තොමෝ ඉන්ද්‍ර වෙත යාඥා කළා; "සියලු සුරයන්ට අධිපතිය, තොපට නමස්කාර කරමි! වෘත්‍ර නාශකය, තොපට නමස්කාර කරමි, නමුචි නාශක වූ තොපට නමස්කාර කරමි, සහසැසිය, සචියගේ සහකරුව, තොපගේ වර්ෂාව වගුරා, සූර්ය තාපයට හසු වූ සර්පයන්ගේ ආරක්ෂකයා වුව මැනව. සියලු දිව්‍යාත්මයන් අතරින් යහපත් ම තැනැත්තවු වූ පුරන්දරය, ජලස්කන්ධයන් සේ වර්ෂණයට තොප සමත් ය. වායුව ද, වළාව ද, අග්නිය ද, ආකාශයේ විදුලිය ද, තොපය. වළාවන් බමවන්නෙන්, යුගන්ධර මහා වළාව නම් ලද්දේ තොප ය. බිහිසුණු, අසම සම අකුණ ද, මේඝ ගිගුරුම ද තොප ය. ලෝකය නිමැවූවේ ද, එය විනාශ කරන්නේ ද තොපය. තොප යටත් කළ නොහැක්කේ ය. සියලු සතුන්ගේ ද, ආදිත්‍යගේ ද, විභවාසුගේ ද, අපූර්ව මූලද්‍රව්‍යයන්ගේ ද, ආලෝකය තොප ය. සියලු සුරයන්ගේ පාලකයා තොප ය. තොප විෂ්ණු ය. තොපට දහසක් නෙත් ඇත. සුරයෙකු වූ තොප පරම අපේක්ෂාව ය. තොප අහෝ දෙවියනි, සකල අමෘතය ද, උතුම් සෝමය ද වන්නහු ය. තොප තත්පරය ද, චන්ද්‍ර දිනය ද, බලය (මිනිත්තුව) ද, ක්ෂණය (මිනිත්තු 4) ද, වන්නෙහි ය. තොප පුර පක්ෂය ද, අව පක්ෂය ද වන්නෙහි ය. තොප කලාව ද, කෂ්තය ද, (විෂ්ණු පුරාණය අනුව: ඇසිපිය 16 (10) = කෂ්ත 1, කෂ්ත 30 (35) = කලා 1, කලා 30 (20) = මුහුර්ත 1) තෘතිය ද, වර්ෂය ද, සෘතුව ද, මාසය ද, රැය ද, දහවල ද වන්නෙහි. තොප සෞම්‍ය පෘථිවිය ය - එහි ඇති කඳුවැටි හා වනාන්තර ද සමඟ, තොප අන්තරීක්ෂය ය - සූර්යයාගෙන් උජ්වලිත, තොප නඟින බසින මහ රැළි ඇති, තල්මසුන්ගෙන්, තල්මසුන් බුදින්නන්ගෙන්, මකරුන් හා අනේක විඳ මත්ස්‍ය ගණයෙන් පිරුණු මහ සාගරය ය. තොප, ධ්‍යානයෙන් නිග්මිත සිත් ඇති සෘෂිවරුන්ගේ සහ ප්‍රඥාවන්තයන්ගේ වන්දනයට පත් මහා කීර්තිය ය. තොප සියලු සත්ත්වයන්ගේ යහපත උදෙසා පූජා කරන ලද සෝම පානය ද, ශුද්ධවූ යාතිකාවන් සමඟ පුදන පිරිසිදු වෙඬරු ද, බුදින්නෙහි ය. ඵලය අපේක්ෂාවෙන් බ්‍රාහ්මණයෝ තොප පූජා කරමින් වන්දනා කෙරෙති. තොප අසම සම බලයෙන් යුක්තය හ, තොප වේදයෙහි සහ වේදාන්තයෙහි ගැයුම ය. ශික්ෂිත බ්‍රාහ්මණයන් ප්‍රවේසමින් වේදය උගනිමින්, තොප වෙත පූජා කරමින් නමස්කාර කරන්නේ එහෙයිනි. 

------------------------------

මේ පරිවර්තනය මේ තරමක් හරි කරගන්න මෙච්චර කාලයක් ගියේ ඇයි කියා ඔබට හිතා ගන්න හැකි වෙනු ඇත. දිගට ම මේ විදිහට ගියොත්, තව කොටස් දෙකකින් විතර කතාව කියා ඉවර කරන්ඩ පුළුවං වනු ඇති. නමුත් එහෙම නැතුව මේකේ සාරාංශය දානවට කවු ද කැමති? ඔබේ අදහස කියන්න...

Monday, November 10, 2025

ශනිදා දහයට චුට්ටක් පසුවී... තවත් හෙදියක් අතුරුදන් වෙයි

මෙන්න සුවහසක් පාඨක දෙතුන් දෙනාගේ ඉල්ලීම පරිදි සුනන්ද කෝදාගොඩගේ විනෝද රසාංග පොතේ තවත් එක් කොටසක්...

*    *    *

හෙදියන් තුන්සිය ගණනක් හිටි හැටියේ අතුරුදහන් වීම පිළිබඳ පුවත දැනගන්නට ලැබුණු මොහොතේ මගේ පපුවේ ඇවිලුණු ගින්දර මූදගොඩ ගැලුවත් නිවා දැමිය නොහැකි තරම් විය.

ඉතා ඉක්මණින් මේ පිළිබඳව සොයා බලා වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වා නර දූපතේ සමස්ථ රෝගීන්ගේ සංගමය ගිය ඉරිදා එවන ලද විදුලි පුවත මට ලැබුනේ අද අලුයම කුකුළා හඬලන්නටත් පෙරදීය.

මේ සිද්ධිය ගැන සොයා බැලීමට පත් කරන ලද ඒක පුද්ගල කොමිටියේ සර්ව බලධාරී එකම පුද්ගලයා වශයෙන් හෙදියන් කෙරෙහි කරුණාවෙන් උපන් හදවතක් ඇති මාවම පත් කරගනු ලැබුවේ සදාකාලික රෝගියෙකු වූ රෝහල බදා ගත් හැලිවලංගොඩ මහතාය.

මහ පාරේ තිබී අහුලාගත් පනාවකින් රෝහල් හෙදි විදුහල් පීරමින් හෙදියන් විශාල පිරිසක් මෙම පරීක්ෂණය සඳහා තෝරා ගැනීමට මට හැකි විය.

හෙදියෝ සියලු දෙනාම මා වටකර සිට ගත්හ. හංසයන් මැද්දට වන් උරුලෑවෙක් මෙන් මා වෙව්ලන්නට විය. එකෙණෙහිම හෙදියන් දෙදෙනෙක් පැමිණ මගේ අත් දෙකින් අල්ලා ගත්හ. 

'මොකටද තමුසෙ මෙහාට මකබෑවුනේ,...?'

'මං ආවේ ඔයාල ගැන පරීක්ෂණයක් කරන්න.'

'ඇයි තමුසෙට පරීක්ෂණ කරන්න වෙන දේවල් නැද්ද?'

'නෑ... නෑ... අර හෙදියන් තුන්සිය ගානක් අතරුදහන් වෙලා කියල පත්තරේ පළවුනාට පස්සේ අපේ සංගමයෙන් මාව පත්කළා ඒ ගැන පරීක්ෂා කරන්න.'

එය සිහි කළ විටම හෙදියන් කීප දෙනෙක්ම අඬන්නට පටන් ගත්හ.

එක් හෙදියක් දෑතට ගෙන සිප සැනසූ පසු අනෙක් සියලු දෙනාම සන්සුන් වූහ.

'මේ අතුරුදහන් වුන හෙදියන් රට ගිහිල්ල කියලනෙ පත්තරේ තිබුනේ'

'ඒක අමූලික බොරුවක්'

'වෙන්න බෑ... පත්තර වල බොරු දාන්නේ නැහැනේ'

'ඒක ඇත්තද බොරුද කියලා තමුසෙට වඩා හොඳට අපි දන්නවා.'

එක් හෙදියක් ඉන්ජෙක්සන් කටුවක් ද රැගෙන මා ඉදිරියට පැන්නාය. ක්ෂණයකින් ඇය වෙත හෙලන ලද ප්‍රේමාන්විත බැල්මකින් ඇය වසඟ කරගත් මම මේ පිළිබඳව තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කළෙමි.

'හොඳයි මේ අතරුදහන් වීමට හේතුව මොකක්ද කියල කියන්න පුළුවන්ද?'

'පුළුවන්... පුළුවන්... පුළුවන්...' හෙදියන් සියලු දෙනාම එක හඬින් කෑගසන්නට වූහ.

'ඉතින් කියන්නකො අනේ... මට යන්න පරක්කු වෙනව.'

'කිව්වොත් මට මොනවද දෙන්නේ...' මෙතෙක් වෙලා මගේ ඇකයෙහි උන් හෙදිය මගේ නිකටෙන් අල්ලා සොලවමින් ඇසුවාය.

'ඔයා ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නම්.' දෙන්න තරම් දෙයක් මා ළඟ නැති නිසා මම නිර්භයවම කීවෙමි.

"අපිට අවුරුදු පහක් යනකම් බඳින්න තහනම්." මගේ ඇකයෙහි සිටි හෙදිය කඳුළු සලන්නට වූවාය.

'නෑ...! මම විමතිය පළ කළෙමි.'

'ඔව් අනේ'

"බරපතල අසාධාරණයක් නේ. මේ නීතිය නැතිකරන්න ඕනෑ... මං ඒක නැති කරනවා කරනවාමයි."

ප්‍රීතිය දරාගත නොහැකිව එක් හෙදියක් මගේ කරට පැන ගත්තාය.

'මට පත්වීම ලැබෙන කොට අවුරුදු තිස් පහයි. තව අවුරුදු පහක් යනකොට මං නාකි වෙනවා. ඔයාට බැරිද අනේ මේ දුකින් මාව බොර ගන්න.'

'ඔයා විතරක් නෙවෙයි. මං ඔයාලා ඔක්කොම මේ කරදරෙන් නිදහස් කරනවා.'

හෙදියන් සියලු දෙනාම මා බිම පෙරළා ගෙන ජය ඝෝෂා කරන්නට පටන් ගත්හ.

'ඉතින් ඔයාලගෙන් තුන්සිය ගාණක් නැති වෙන්න හේතුව ඕකද?'

'ඔව් අනේ, ලෙ‌ඩෙක් සනීප වෙලා යනකොට අපේ එක්කෙනක් එක්ක යනවා.'

'ඒකත් නැති කරන්න ඕනෑ.' මම කීවෙමි.

'එපා අනේ.' කරුණාවෙන් උතුරන සිතක් ඇත්තියක් මට ටොක්කක් ඇන්නාය.

'හොඳයි කසාද බැඳපු නැති පිරිමි රෝහල් වල නතර කිරීම තහනම් කෙරුවාම ඔයාලගෙන් කවුරුවත් අතුරුදහන් වෙන්නේ නැහැනේ.'

'තෝ හදන්නේ අපේ කටේ පස් දාන්නද යකෝ.' හෙදියන් සියලු දෙනාම මා වට කරගෙන තඩි බාන්නට පටන් ගත්හ. මම පණ බේරාගෙන දිව්වෙමි. ආපසු හැරී බැලුවේ එක හුස්මට කිලෝ මීටර් පහක් දුවගෙන ඇවිත්ය.

'දෙවියන්ට ස්තූති වේවා.' හෙදියන් එක්කෙනෙක්වත් පෙනෙන්නට නැත. මට පියවි සිහිය ආවේ දැන්ය.

'ඔයාට මහන්සිද ඩාලිං...?'

'දෙයියෝ සාක්කි.' මා මෙපමණ දුරක් දුවගෙන ඇවිත් තියෙන්නේ මගේ කර උඩ සිටි හෙදියත් සමගය. ඉතා අමාරුවෙන් ඈ බිමට බස්සවා ගත් මම කරගත් ගොන්කම ගැන ළතැවෙමින් ඈ සමග ගෙදර ආවෙමි. අත් වැරැද්දකින් සිදු වූවත් තවත් හෙදියක් අතුරුදහන් වීමේ පුවත හෙට පත්තර වල පළවනු ඇත. එනිසා මා කෙරෙහි අනුකම්පාවෙන් හෙට පත්තර ගැනීමෙන් වලකින මෙන් මෙය කියවන සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිමි.



මීට පෙර පළ කළ කොටස්...

1. පවුල්කාරයන්ගේ අවුරුදු උත්සවය

2. බඩු පෙට්ටියක කොළඹට ගමනක්

3. කොස් මස් යානය ආච්චිගෙ කොන්දට

4. කරලැයින් ආච්චි සමග බැල්කනියේ

5. පොහොය දා ආච්චි සමග සිල් ගනී.

Wednesday, November 5, 2025

පසළොස්වක පොහොයදා ආච්චි සමඟ සිල් ගනී

කරලැයින් ආච්චි සමග චිත්‍රපටියක් බැලීමට ගිය කතාවේ මුලින් සඳහන් කර ඇති සිල් ගැනීමේ කතාව, සුනන්ද කෝදාගොඩ ගේ විනෝද රසාංග පොතෙන් උපුටාගෙන පසළොස්වක පොහොය දින පළ කිරීම සුදුසු බව සිතුවෙමි...

"නැගිටපන්"

පසළොස්වක පොහෝදා හිමිදිරි පාන්දර කොඳු නාරටිය තුනට හතරට නමාගෙන කුම්භකර්ණ සෙයියාවෙන් නිද්‍රෝපගතව සිටි මට ආත්තම්මාගෙන් හැරමිටි පාරක් වැදුණි.

"මට බැහැ"

අනපේක්ෂිත අයුරින් ලද ඒ හැරමිටි පහරින් මුචලින්ද නාගරාජයා මෙන් කිපුණු මම අනෙක් ඇලයට හැරී නැවතත් නින්දට වැටුනෙමි.

"නැගිටපන් යකෝ... උඹ සිල් ගන්න යන්නේ නැද්ද...?"

හතර පෝයටම සිල් ගන්නා අපේ ආච්චි මාවද සිල් ගැනීමට එකතු කරගෙන යාමට නොගත් උත්සාහයක් නැත. එහෙත් මම ඒ හැම වාරයකම කට්ටි පැන ඇගෙන් බේරුනේ ගැහැණු ළමයෙකුගේ ග්‍රහණයෙන් බේරෙන තරුණ කොලු ගැටයෙකු මෙන්ය.

මෙදා සැරේ නම් ඇගෙන් ගැලවීමක් නැත. ඊයේ උදේ සිට මට කිසිම ආහාරයක් නොදී නිරාහාරව තැබූ ඇය මා මීමින්නෙකු සේ පොළොව බදාගෙන ඇඬූ පසු රාත්‍රී කෑම වේල පවා දුන්නේ මෙම පෝයදා සිල් ගැනීමට යන බවට මා පොරොන්දු කර ගැනීමෙන් පසුවය. සිල් ගැනීමට වඩා දැන් මට ඕනෑ කරන්නේ නිදා ගැනීමයි.

"මට බැහැ සිල් ගන්න යන්න..."

"නිදි කුම්භයා...! මෝඩයා...! බූරුවා... වසවර්තියා...!"

"මතක නැද්ද ඊයේ රෑ කිව්වා අද උදේ සිල් ගන්න එනව කියල" ආච්චි කනෙන් අල්ලා මා පැදුරෙන් නැගිට්ටෙව්වාය.

"ඒ වුනාට දැන් මට බැහැ..." මම උට්ඨාන වීර්යයෙන් යුක්තව නැවතත් පැදුරේ ඇලවුනෙමි. 

උපන්දා සිට අද වනතුරු මා සිල් අරගෙන නැත. නොදන්නා දෙමළෙට ගොස් වරිගේ නහගන්නවාට වඩා දන්නා සිංහලෙන් නිදා ගැනීම යහපත්ය. ගමරාළ හා හා පුරා කියා සිල් ගැනීමට ගොස් සිදුවූ අකරතැබ්බය මා ඉස්කෝලේ යන කාලයේ අසා ඇත.

ආච්චි හදන්නේ ගහ දන්නා මට කොළ කඩා පෑමටය. ඇය කොතෙක් හිරිහැර කළත් අද නම් මම සිල් ගන්නට යන්නේම නැත.

"නැගිටපන් කාළකණ්ණියා... දැන් මට පරක්කු වෙනවා. බලපන් අද කොච්චර හොඳ දවසක්ද...?"

අද පසළොස්වක පෝය. බෞද්ධයෙකුට තියෙන වැදගත්ම දවස..." ආච්චි මා සම්‍යක්දෘෂ්ටිකයෙකු කිරීමට උත්සාහ කරයි.

"මට බැහැ...! මට බැහැ...! මට බැහැ...!" දෝමනස්ස සහගත පටිඝසම්පයුක්ත චිත්තයෙන් නැගිටගත් මම පොළොවේ අඩි හප්පා කෑ ගැසුවෙමි. වසවර්ති මාරයා දුටු කලෙක මෙන් ආච්චී කිලෝ ග්‍රෑමයක් පස්සට පැන්නාය.

"හෙමින් කතා කරපන් ළමයෝ..." සෝමනස්ස සහගත ඥානසම්පයුක්ත චිත්තයෙන් ආච්චි මගේ ඔලුව අත ගෑවාය.

"බලපන් අර අල්ලපු ගෙදර සීලවතී ළමයත් අද සිල් ගන්නව. ගමේ ගැහැණු ළමයි ඔක්කොම අද පන්සලේ" අහෝ දෙවියනි; උතුම් වූ පසළොස්වක පොහොය දවසේ සිදුවන්නට යන දුර්භාගයයක මහත! ගමේ ගැහැණු ළමයින් සියලු දෙනාම අද පන්සල ආක්‍රමණය කරන්නේ නම් මා මෙසේ වකුටු වී නිදා ගැනීමෙන් කුමණ ප්‍රයෝජනයක්ද? අල්ලපු ගෙදර සීලවතී නංගී අද සිල් ගන්නේ නම්, අපායට ගියත් මමත් සිල් ගත යුතුය.

"යං ආච්චි යං..." ඇස් දෙක පිහදා කබ කඩාගත් මම සිල් රෙදි පොරවාගෙන සම්මා සංකල්පයෙන් යුක්තව ආච්චි සමග ඉස්සර වුනෙමි.

සීලවතී නංගිට පින්සිදු වන්නට මමද පන්සලට පැමිණියෙමි. අද පන්සලට නොපැමිණියේ නම් මා ජීවිතයේ කර ගන්නා ලද ලොකුම ගොන්කම එය වන්නට ඉඩ තිබුණි. තුන්සිය හැටපස් දවසේම බොරු කියා මා රවටන ආච්චි අද මෙම පොහොය දවසේ කියා ඇත්තේ පරම සත්‍යයකි. ගමේ ගැහැණු ළමයින් පන්සල ආක්‍රමණය කර ඇත.

පොලිස් කාරයෙක් හොර අරක්කු තිප්පලක් සොයාගන්නාක් මෙන් මම සෙනඟ පීරා ගෙන ගොස් සීලවතී නංගී සොයා ගත්තෙමි. ආච්චිද හැරමිටි වාරුවෙන් එන මාර දිව්‍ය පුත්‍රයෙකු මෙන් මා පසුපස පැමිණියාය.

"අපි මල් ගෙනාවෙ නැහැ නේද ආච්චියේ..." සීලවතී නංගී අත තිබුණු මල් වට්ටියට පෙරේත බැල්මක් හෙලූ මම තව ටිකක් ඈට ළංවුනෙමි.

"ඇත්තමයි; මල් ටිකක් ගේන්න අමතක උනානේ..." දැන් මාගේ සම්මා ආජීවය කෙරෙහි ආච්චි පැහැදීමකින් සිටී.

"මල් ටිකක් දෙන්නද...?" සංගීත ප්‍රසංගයකදී ඇහෙන ඉමිහිරි සංගීත රාවයක් බඳු සීලවතී නංගිගේ කටහඬ කන් දෙක පසා කරගෙන ගොස් හද පතුලටම කිඳා බැස්සේය. පාද යුග්මය 'සට - සට' යන අනුකරණයෙන් වෙව්ලා ගිය නමුදු මම උට්ඨාන වීර්යයෙන් යුක්තව අනිමිසලෝචන පූජාවෙහි යෙදුනෙමි.

"මල් නැතුවට කමක් නැහැ. යමං සිල් ගන්න..." ආච්චි මට හැරමිටියෙන් ඇන්නාය.

"කමක් නැහැ ආච්චි අම්මේ; මල් ටිකක් අරගෙන යමු. පව්නේ පසළොස්වක පෝය දවසේ මල් නැතිව බුදුන් වඳින එක" හැරමිටි පාරද කාගෙන මම ඇයට අත පෑවෙමි. ඇය මල් අහුරක් මා අතේ තැබුවාය. මම මල් ටිකක් ගන්නා ගමන් ඇගේ ඇඟිල්ලක් ද මිරිකුවෙමි. ආච්චි තරහෙන් පුපුරමින් නවගුණවැල අතට ගත්තාය.

"පරක්කු වෙලා නේද ආවේ...?" ඒබරන් සීයා ආච්චිගේ කනට කර ඇසුවේය.

"ඔව් ටිකක් පරක්කු වුණා" ආච්චි නවගුණවැලේ ඇටයක් පහතට දැම්මාය. "ඊයේ රෑ ගබං ලොක්කගේ දුව පැනල ගිහින්ලුනේ...?"

"ඒක නේන්නම්. අබුද්දස්සකාලෙට වෙන වැඩ. අර වසවර්තිය ඒ කෙලීව රවට්ට ගන්න ඇති. නොදකින් වනචර හැත්ත."

"ඒ හාදය බැඳපු එකෙක් නේද?"

"බැඳල ළමයි දෙන්නෙකුත් ඉන්නවලු."

"අනේ අනිච්චං සංසාරේ" ආච්චිත් සීයත් මෙලොව සිහියක් නොමැතිව සතර සතිපට්ඨානය කියවන අතරේ මම සීලවතී නංගී සමග බුදුන් වැඳ සම්‍යක් වචනයෙහි යෙදුනෙමි.

"ඔයා හැමදාම සිල් ගන්නවද...?" මම ඇයට ළං වී ඇසුවෙමි.

"නෑ පෝයට විතරයි... ඔයා?"

"මම ඉස්සෙල්ලාම අද තමයි සිල් ගන්න ආවේ."

"මීට පස්සේ හැමදාම සිල් ගන්න එනවද...?"

"ඔයා එනවනම් එන්නම්..."

සතිපට්ඨානය කියවීම මඳකට නැවැත්තූ කරලැයින් ආච්චි අප අතරින් හැරමිටිය තිව්වේ සිල් කවලන් වෙන නිසා වෙන්නට ඇත. එහෙත් ඒ හැරමිටියට තබා වසවර්ති මාරයාටවත් අද අපගේ සීලයට බාධා කළ නොහැක.

"අල පන්සීයක් කීයද... රුපියල් හතයි.

"රතුලූණු තිහයි."

"නොදකින් කාලකන්නි කලුකඩකාරයො තමයි රට කන්නේ... මුන්ට හෙණවත් පහත් වෙන්නේ නැහැනේ"

ආච්චි අම්මලා ටික එකතුවී ගජරාමෙට කර්මස්ථාන කියවති. සීලවතීත්, මමත්, ඊට වඩා වැදගත් නවීන පන්නයේ ආදර භාවනාවක යෙදුනෙමු.

"යමං ගෙදර..."

භාවනාව අවසන් කළ ආත්තම්මා මට හැරමිටි පාරක් ගැසුවාය. සීලවතීගේ අත අතහැර මම නවගුණවැල අතට ගත්තෙමි.

"මට බෑ... මං හෙටත් සිල් ගන්නවා..."

"ඔහොමද යකෝ සිල් ගන්නේ...?" ආච්චි සීලවතී දෙස රවා බැලුවාය.

"කෙළෙස් මාරයෝ හැම තැනම. කොල්ලෙකුට පන්සලටවත් එන්න විධියක් නෑ...

යමං ගෙදර...!" ආච්චි මගේ අතින් ඇද්දය.

මම නාහෙන් අඬන්නට පටන් ගත්තෙමි.

"ඔන්න ඔහේ හිටපුවාවේ. සිල් ගත්තත් කොල්ලො කෙල්ලොනේ... අපිත් තව ටිකක් වෙලා භාවනා කරමු..." ඒබරං සීයා ආච්චිගේ අතින් අල්ලාගෙන ධර්ම ශාලාවේ කෙළවරට ගියේය. 

අපි ආච්චිටත් හොරෙන් බෝමලුවට ගොස් අලුත් භාවනාවක් පටන් ගත්තෙමු.

"අට්ඨි... මස්මිං... කායේ... කේසා..." කරලැයින් ආච්චිත්, ඒබරං සීයත් භාවනා කරන හඩ අපට ඇසේ.

"ඔයා මට ආදරේද...?" සීලවතීගේ කරේ තිබුණු නවගුණවැල ගලවා මම ඒ වෙනුවට මගේ අත ඇගේ කරවටා දැමුවෙමි.

"ඔව්..." සීලවතී නවගුණවැල වෙනුවට මගේ අතේ ඇඟිලි, ඇටපුරුක් ගැන්නාය.

"ඇයි ඔයා සිල් ගන්න ආවේ...?"

"ඔයා එන බව දැනගත්තු හින්දා..."

"කොහොමද දන්නේ මම එන බව...?"

"ආච්චි කීවා මාත් එක්ක. ඔයත් අද සිල් ගන්නව කියලා..."

"හෙටත් එනවද සිල් ගන්න..."

"හෙට පෝයක් නැහැනේ...?"

"පෝයක් නැතිවුනාට කමක් නැහැ අපි සිල් ගමු..."

"අපෝ එතකොට හොඳ නැහැ. අනිත් අය සැක හිතයිනේ. අපි දෙන්න විතරක් සිල් අරගෙන ඉන්නකොට."

"ඇයි ඔයා බයද?"

"ම්... හු..." ඇය ඔලුව වැනුවාය.

"කෝ... කෝ... මේ වසවර්තියා..." ආච්චිත්, ඒබරං සීයාත් භාවනාව අවසන් කොට අප සොයන්නට පටන් ගෙන ඇත.

"රහත් වුනාද දන්නෙ නැහැ. නවගුණවැලත් අතේ තියාගෙන නේද හිටියේ"

ඒබරං සීයා පුදුමයෙන් වටපිට බලයි.

"රහත් වෙලා තියෙන්නෙ අරකිත් එක්ක..." ආච්චි දත්මිටි කමින් පිළිකුල් භාවනාවේ යෙදෙයි.

"අර ඉන්නේ... අර ඉන්නේ..." ඒබරං සීයා අප දුටුවේය.

"වසවර්තියා...! කාලකණ්ණියා...! දේවදත්තයා, හිටු තොට මං..."

ආච්චි හැරමිටියද උස්සාගෙන දුවගෙන එන්නේ මෛත්‍රී භාවනාවද කණපිට පෙරලාගෙනය.

එනපොට එතරම් හොඳ නැත. සීලවතී‌ගේ අත අල්ලාගත් මම උට්ඨාන වීර්යයෙන් හා සතර සම්‍යක් ප්‍රධාන චිත්තයෙන් දුවන්නට පටන් ගත්තෙමි. ආච්චිත් ඒබරං සීයාත් අප ලුහුබඳිමින් සිටී.

"මට නම් දැන් ගෙදර යන්න බෑ. ගෙදර ගියොත් ආච්චි මාව මරාවි..."

මම හති ලමින් නැවතුනෙමි.

"එහෙනං යං අපේ ගෙදර..." සීලවතී නංගී මගේ අතින් ඇදගෙන නැවතත් දුවන්නට පටන් ගත්තාතා. මම සීලවතී සමග ඇගේ ගෙදරට රිංගා ගත්තෙමි. ඉතින් නම් මට ගෙදර යාමට ලැබෙන්නේ නැත. කවදා හෝ මා ගෙදර එන බව දන්නා කරලැයිං ආච්චි හැරමිටිය ද උස්සාගෙන මඟ බලා සිටිනු ඇත. හැරමිටි පූජාවේ බරපතලකම දන්නා මම සීලවතීගේ ගෙදරම නැවතුනෙමි.

පසළොස්වක පොහොය දවසේ සිල් ගැනීමෙන් මා කර ගන්නා ලද කුසල කර්මයේ විපාක දිට්ඨධම්මවේදනීය වශයෙන් ලැබෙ අපරාපරිය වේදනීය ත්ත්ත්වයටද පැමිණ ඇත. ආච්චි තියා මහා බ්‍රහ්මයා ඇවිත් කතා කළත්, ඉතින් නම් මා සිල් ගන්නට යන්නේ නැත.

Saturday, November 1, 2025

ශනිදා දහය වෙනුවෙන් - රා සහ තවත් කතා


පහුගිය සතියේ අපේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට මහනුවර ගිහිං එන අතරේ, මගෙ විමර්ශන නිලධාරි ජනක කියපු කතා ටිකක් මේ.

ජනකගෙ ගමේ උන්නා එක්තරා මාමෙක්. එයා දවසක් නිකං කට්ටිය එක්ක කතා කර කර ඉන්න කොට කියනවා, 

"අපේ වත්තෙ කැපුව නෙව මලක්. (ඒ කියන්නෙ කිතුල් මලක්) ඒකෙ දවසක් දෙකක් තමයි හැර දිගේ නැගල මල කැපුවෙ. ඊට පස්සෙ එක සීරුවට ටැප් එක ඇරියා වගේ ගලන්න ගත්ත නෙව තෙලිදිය.

"ඉතිං මං මොකද කළේ, පුනීලෙයයි රබර් හෝස් එකයි අරං නැග්ගා හැර දිගේ. නැගල හිටං මල එබුවා පුනීලෙට. ඒකෙ අගට හෝස් එක ගහලා, පහළට බැහැලා, අර හෝස් එකේ අනික් අග කෙලිම්ම ගත්තා ලිප උඩ තියෙන තාච්චියට.

"ඇස්වහක් නෑ, ආයෙ සති ගාණක් යනකං එක දිගට පැණි උණුකරන්ට සිද්ධ උනා අපෙ ගෙදර උන්දැට."

තව දවසක් උන්දැට ම වෙච්ච වැඩක් මේ.

උන්දැගෙ ගෙදර කිරි හරක් ඇති කළා. දවස ගානෙ උදෙම් ම මුන්දැ කිරි බෝතල් ගෙනිහිං විකුණනව ගෙවල්වලට. දවසක් මේ එක කිරි බෝතලේක ඉස් ගෙඩියෙක් ඉඳලා. ඊ ළඟ දවසෙ අර ගෙදර උදවිය මෙයාගෙන් ඇහුව ඒ ගැන.

"ඈ...! ඉස්ගෙඩියෙක් හිටියා? ආ ඒක තමයි. අපේ වැස්සි පහළ ඇලෙං වතුර බීල නෙ ඔය. ඒ ඇලේ ඉස්ගෙඩියො වකාරෙ." කිව්ව මුන්දැත් ඇඟට නොදැනී.

ඔය කතා ගැන මායි මගෙ මාතලියයි කිව්ව, මගෙ හිටපු සීසී ඩයස් මහත්තෙයට. මාතලියා කියන විදිහට සීසී කියන කෙටි යෙදුමේ තේරුම, කපටි ක්ලාක් කියන එකයි. ඒ ගමන ඩයස් මහත්තෙය කියනව, උන්දැත් උපදෙස් දුන්නලු දවසක් මල් කපන මාමෙකුට, කිතුල් මලට කෙලිම්ම බට ලයින් එකක් ගහල ලිප ළඟට ඇදල ගන්ඩ කියලා. එතකොට හැම දාම ගස් නගින්න වෙන්නෙ නෑ කියලා.

"ඒක හරි කියමුකො. හැම දාම උදේට මල හෝදන්ඩ එපැයි. ඒකට ගහට නගින්ට වෙනවනෙ." කියල අර මාම කිව්ව ම, ඩයස් කිව්වලු, 

"ඒකට තව බට ලයින් එකක් ගහමු" කියල.

අපේ තාත්තා ඉන්න කාලෙ, අපේ වත්තෙ පොල් රා මදින්න අතුරක් බැන්දා. ගම්පොළ පැත්තෙන් ආව කට්ටියක් අපේ ගස් විස්සක් බද්දට අරගෙන තමයි මේ අතුර බැන්දෙ.

පස්සෙ අතුරු තහනම් නියෝගයක් ඇවිත් ඒක අයින් කරගන්ඩ සිද්ධ වුණා.

ඔය අතුර ට පොල් ගස් විස්සක් අපේ එක ඉඩමක තිබුණෙ නෑ. ඉතින් තාත්ලගෙ මහගෙදර වත්ත පුරා ම මේ අතුර දිගට බඳින්න වුණා. ඔය පොල් මල් තලන රා මාමා, අතුරට නගින්නෙ අපේ ගේ ගාව ගහකිං. ඊට පස්සෙ අතුර දිගේ ගිහිං ගිහිං අන්තිමේ විසි වෙනි ගහෙන් බහින්නෙ අපේ බාප්පගෙ ගේ ළඟින්. (ඔව් ඔව් අර ගජබිං බාප්ප තමා.)

ඔය රා මාමා හැමදා ම උදේ තමයි රා බාන්නෙ. හැමදාම හවසටත් අතුරට නැගලා හැම මලක් ම තලාගෙන තලාගෙන යනවා. ඒ ගමං ඔය හැම මලක ම එකතු වෙච්ච රා මුට්ටියකට අරගෙන, අන්තිම ගහේ එල්ලලා බහිනවා, රෑ තිස්සෙ පැහෙන්ඩ.

දවසක් රා මාමා එන්ඩ කලිං අන්තිම ගහේ නැගපු අපේ බාප්පා, අර රා මුට්ටියට ෂොට් එක දීලා, රා මාමා එනකොට කියනවලු, "ඊයෙ රෑ උගුඩුවො ඇවිත් මේ ගහේ දඟලනවා දඟලනවා ඉවරයක් නෑ. මයෙ හිතේ රා මුට්ටිය ම බීල වගේ."

 

මේ අපේ සුරංග මල්ලි සා ගැන ලියපු පෝස්ටුව.

Saturday, September 20, 2025

කරලැයින් ආච්චි සමග බැල්කනියේ

පසුගිය පුර පසලොස්වක් පොහොය දිනයේ මා සිල් ගැනීමට කැන්දාගෙන යාමෙන් කරලැයින් ආච්චි විසින් කරන ලද ශ්‍රේෂ්ඨ කර්තව්‍යයට ප්‍රත්‍යුපකාර වශයෙන් යමක් කරන්නට මගේ සිත මට බල කරයි. එවිට එදා සිදුවූ සියලු ආනන්තරීය කර්මයන් අමතක කර දමා ඇය මට අභය දානය දෙනු නො අනුමානය.

'ආච්චියේ...' එක් රැයක් ගෙදර පැමිණීමට අමතක වූ විට නැන්දම්මා කෙනෙකු ඉදිරියේ බැගෑපත් වන සුවච කීකරු බෑනා කෙනෙකු මෙන් මම තුනට හතරට නැමී ආච්චි ලඟට පැමිණියෙමි.

'තුඃ නොදකිං කාලකණ්ණිය...' ඊශ්‍රායෙල් යුද භටයෙකු මෙන් කිපුණු ආච්චි හැරමිටිය අතට ගත්තාය. බෲස්ලි මෙන් අට ඉස්බක් උඩට පැන කරණමක් ගැසූ මම හැරමිටියද උදුරා ගෙන එකත් පසෙකට වීමි.

'මෙහෙ දියං මගේ හැරමිටිය...'

'පොඩ්ඩක් ඉවසන්නකො ආච්චියෙ... ආච්චි මෛත්‍රී භාවනාව කරනවා නේද...?'

'නොදකිං කැස්වටුව... තෝ එනවද බොල ඒ පාර මට මෛත්‍රී භාවනාව උගන්නන්න...'

'නෑ ආච්චියෙ මං ආවේ කළගුණ සලකන්න...'

'කළගුණ සලකන්න...'

'ඔව්... ආච්චි මාව සිල්ගන්න එක්ක ගියානෙ... ඒ හින්ද මං ආච්චිව එක්කං යනව අංගුලිමාල පෙන්නන්න...'

'අංගුලිමාල... කොහේද බොල දැන් අංගුලිමාලයෙක් ඉන්නේ... තෝ එනවද මාව ගොනාට අන්දන්න...' ආච්චි ඉදිරියට පැන මා අත තිබූ හැරමිටියද උදුරා ගත්තාය.

'නෑ ආච්චියේ, අංගුලිමාල චිත්‍රපටිය. ඉන්දියාවේ ෆිල්ම් කරල තියෙන්නෙ...

බුද්ධගයාව ලුම්බිණිය, ඉසිපතනෙ, ගිජුකුළු පව්ව, ඔක්කොම පෙන්නනවලු'

'අනේ පුත‌ේ... කොහේද ඔය පිංතූරේ පෙන්නන්නේ...' ආච්චි අහිගුණ්ඨිකයෙකු දුටු නයෙකු මෙන් දැපනෙ වැටුනාය.

'මෙහේ හෝල් එකේ...'

'පුතාට සියළු දෙවි හාමුදුරුවන්ගෙ පිහිටාරක්ෂාව ලැබෙන්න ඕන... ඒකෙ අංගුලිමාල බුදුහාමුදුරුවන්ගෙ පස්සෙන් එලවනවත් පෙන්නනවද පුතේ...'

'ඔව් ආච්චියේ බුදුහාමුදුරුවෝ පණපිටින් වගේ...' මේ ගමනට ආච්චි කැන්දාගෙන යා යුතුම නිසා මම බේගලයක් ඇද බෑවෙමි.

'අනේ සාදු... බුදුරැස් විහිදෙනවත් පේනවද පුතේ...?'

'ඔව්...'

'සාදු! සාදු! කීයටද පුතේ පිංතූරෙ පටන් ගන්නෙ...?'

'හයහමාරට... ආච්චි ලෑස්ති වෙන්නකො ඉක්මනට... තව පැයයි තියෙන්නෙ...'

'ඔය හැටි ලේසිතිවෙන්නේ මොනවටද පුතේ, ඉක්මණට යං. සෙනගත් ඇතිනේ...'

'ආච්චියේ...'

'ඇයි පුතේ...'

'මේ... මේ...' වැස්සට මතු වූ ගැඩවිල්ලකු මෙන් මම ඇඹරෙන්නට උනෙමි.

'ඇයි සල්ලි එහෙම මදිද පුතේ...?'

'නෑ ආච්චියේ.'

'එහෙනං...?'

'ආච්චිට තනියි නේද, තනිමය යනකොට...?'

'ඇයි පුතා යන්නේ නැද්ද...?'

'නෑ... මමත් යනව...'

'එහෙනං...?'

'තවත් ගෑණු කෙනෙක් එක්කරං ගියානං නේද හොඳ...?'

'කවුද ඉතිං එක්කරං යන්නේ...?'

'ඇයි සී... ල... ව... තී නංගි...' ආච්චි අදත් මුචලින්ද නම් නාග රාජයා මෙන් කිපෙනු ඇතැයි මම සිතුවෙමි. එහෙත් අංගුලිමාලට පින්සිදු වන්නට එය එසේ වූවේ නැත.

'අනේ කොච්චර එකක්ද පිං අයිති වෙන වැඩක් නේ... මෙහෙම දෙයක් පෙන්නන එක...'

ඒකච්ඡන්දයෙන් පනත සම්මත කරගත් මම ආච්චිගේ පූර්ණ අනුමැතිය ඇතිව ඓරාවන හස්ති රාජයා මෙන් එක පිම්මෙන් කඩුල්ල පැනගොස් සීලවතී නංගී කැන්දාගෙන ආවෙමි.

'යමු නේද ආච්චියෙ...'

ආච්චි ඉස්සර කරගත් මා සීලවතී නංගී සමග සිනමා හල කරා ගියේ අතුරු මැතිවරණයකින් ජයගත් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව කරා යන තේජාන්විත විලාසයෙනි. පෝලිමේ සෙනඟ පොර කනු දුටු ආච්චි කෙලින්ම ගොස් මැනේජර්ගෙන් ටිකට් තුනක් ඉල්ලුවාය.

'මොනවයින්ද ඕන...?'

'බැල්කනි...' මම ඉස්සරහට පැන්නෙමි.

'රුපියල් තිහයි...'

සාක්කුවේ සතයක්වත් නැති බව හොඳාකාරව දන්නා නමුදු මම බොරුවට සාක්කු තුන හතරටම අත දැමුවෙමි. එහෙත් ඒ අවසරයෙන් අංගුලිමාලට පිං සිදු වන්නට සර්ධාවෙන් පිරීගිය ආච්චිගේ හැඹිලිය ඉස්සරහට පැන්නේය.

බැල්කනියට ගොස් සීලවතී නංගී ලඟින්ම මා වාඩිවීමට සැරසෙන විට විදුලියක් මෙන් මැද්දට පැනගත් කරලැයින් ආච්චී අප දෙදෙනා දෙපැත්තට කර මැදින් වාඩි වූවේ මට කොනිත්තා සීලවතී නංගීටද රවාගෙනය.

අතක්පි‌ට අතක් තබාගත් ආච්චි නොයිවසිල්ලෙන් තිරය දෙස බලා නිහඬව සිටියේ අංගුලිමාල පෙන්වන තුරුය. එහෙත් ඇගේ නිහඬ බව වැඩි වේලාවක් පැවතුනේ නැත. තරුණ යුවලක් අත්වැල් බැඳගෙන පැමිණ ආච්චි ඉස්සරහින් වාඩිවිය.

'නොදකින් වනචරයෝ...' ආච්චි ඔවුන් දෙස රවා බලා කෙළ පහරක් ද ගැසුවාය.

'ඉන්නකො ආච්චියේ කෑ ගහන්නේ නැතුව...' කිසි දිනෙක බැල්කනියට පැමිණ චිත්‍රපටියක් නොබැලූ ආච්චි බැල්කනියට කැන්දාගෙන ඒමෙන් මා කරගත් ගොන්කමේ බරපතලකම මට වැටහුනෛ් දැන්ය. එහෙත් මෙය මෙතනින් කෙළවර නොවන බව මම දනිමි.



විනාඩියෙන් විනාඩිය තවත් තරුණ තරුණියෝ අත්වැල් අල්ලාගෙන පැමිණ ඔවුනොවුන් තුරුළු වී පෙම්බස් තෙපලන්නට වූහ.

'මෙව්ව පෙන්නන්නද යකෝ මාව එක්කරගෙන ආවේ. අර බලපං අරකි ඉන්න ලස්සන... අරූට තුරුල්වෙලා... මුංගෙ මහ එවුන් මොනවට මුං හැදුවද මං අහන්නේ... වනචර හැත්ත...'

'සද්ද නැතුව ඉන්නකෝ ආච්චි...'

'සද්ද නැතුව ඉන්න... මොනවටද මං කියන්නේ අර... අර බලපං අරකි අරූට තුරුල්වෙලා ඉන්න හැටි... මුන්ට විළිසංගෙ නැද්ද මං අහන්නේ...'

'ඔහොම තමයි ආච්චි බැල්කනිය...'

'තෝ මේව පෙන්නන්ද බොල මං මේකට එක්කං ආවේ... මේව බලල තමයි උඹත් නරක්වෙලා තියෙන්නෙ... මුන්ට ගෙවල් නැද්ද මං අහන්නෙ මඟුල් නටන්න මේ වගේ වැදගත් තැන්වලටම එන්නේ... යමං යන්න ඒ චිත්තර පටියෙන් කමක් නෑ...'

ආච්චි සීලවතී නංගිත් ඇදගෙන ඉස්සර වූවාය.

'අර අර... පේනවද අරුන්ගෙ අත් එහෙම තියෙන තැන්... තුඃ නොදකින්...'

ආච්චි එලියට එන ගමනුත් තරුණ යුවලක් දෙස රවා බැලුවාය. ඔවුන් තුබූ තැන්වලින් අත් ඉවතට ගත්තේ විදුලි වේගයෙනි.

'ඇයි යන්නේ චිත්‍රපටිය බලන්නෙ නැද්ද...?' මැනේජර් සීලවතී නංගීත් ඇදගෙන යන කරලැයින් ආච්චිගෙන් ඇසුවේය.

'නෑ... නෑ... මහත්තයාට පිං අයිති වෙච්චාවේ ඊට වඩා හොඳ චිත්තර පටියක් අපි බැලුව...'

කරලැයින් ආච්චී සමග බැල්කනියට යාමෙන් මා කරගත් බ්‍රහ්ම ගොන්කම නිසා සීලවතී නංගී සමග නිවී සැනසිල්ලේ චිත්‍රපටියක් බැලීමට තිබූ භාග්‍යයද අහිමි වීමෙන් මන්ත්‍රීවරයෙකුට චිට් එක දුන් ගමන්ම පාර්ලිමේන්තුවට යාමටත් කලින් චිට් එක උදුරා ගැනීමේදී ඇතිවන තරමේ දුකක් කණගාටුවක් මට ඇති විය.

ඉතින් නම් මේ සම්ම ජාතියේ චිත්‍රපටියක් බැලීමට යාමට මට ආච්චීගෙන් අවසර ලබා ගැනීමට නොහැකි වනු ඇත.

සුනන්ද කෝදාගොඩගේ විනෝද රසාංග පොතෙනි. මේ කතාවේ මුලින් ම සඳහන් වන සිල් ගැනීමේ කතාව ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

වැඩිදුර රසවින්දනය සඳහා... මේ විඩියෝ එක නැරඹීමෙන් ඔබට "පිංගුත්තර විස්ථාපන කැකිරි වල් පෙරේතයෙකු" යනු කවරෙක්දැයි තේරුම් ගත හැකි වනු ඇත.

මේ දවස්වල කකුලෙ සුළැඟිල්ල ටීපෝ එකේ කකුලෙ වැදුනත් රිද්ම් ඔෆ් ගිටාර් වන බැවින්...


Wednesday, July 23, 2025

ක්ලැරන්ස් - ගිටාරයේ රිද්මය 03 - දිලීප පොඩිපුතු

මේ මම ෆේස්බුක් හි අමිරු ජයමහ මහතාගෙන් උපුටාගන්නා තෙ වන ලිපිය...


දිලීප පොඩි පුතු - නොඇසූ කොටස්???

ක්ලැරන්ස් විජේවර්ධන සහ කරුණාරත්න අබේසේකර කියන්නේ ශ්රී ලාංකේය සංගීතය හැඩගස්වන්න දායක වුණ core personalities දෙකක්. බෙත්ලෙහෙම්පුරේ, නංගී, කියන්න සුළඟේ වැනි ගීත මෙම සුසංයෝගයෙන් බිහි වූ නිර්මාණ කීපයක්.
මෙම නිර්මාණ අතරින් "දිලීප පොඩි පුතු" කියන්නේ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සදාකාලික ජනප්රියතම ගීතයක්. මෙය මම මීට ඉහතදී ලියූ ලිපියක කී දෙයක්.
මෙම ගීතයේ origin story එක ගත්තොත්, මෙය කරුණාරත්න අබේසේකර විසින් ඔහුගේ පුතා පිළිබඳව ලියූ පද්ය පන්තියක්.
මෙය පුවත්පතක පළවී තිබූ, පසුව ක්ලැරන්ස් විජේවර්ධන විසින් තනු නිර්මාණය කර ගායනා කළ අතර පසු කලෙක ඔහුගේ signature song එකක් බවට පත්වූවක්. ගීතයේ ජනප්රියත්වය නිසාත් ඔහුගේම තනුව හා ගායනය නිසාත් මෙම ගීතයේ අයිතිය ක්ලැරන්ස් විජේවර්ධනයන් හට තියෙනවා.
නමුත්, මෙහි මුල් පද රචනය ගත්තොත්, verses 5ක් තියෙනවා, මොකද මේක පද්ය පන්තියක් නිසා. ක්ලැරන්ස් විජේවර්ධනයන් මෙහි ගායනා කරන්නේ මුල් verses 3 විතරයි. එනම්,
දිලීප පොඩි පුතු - සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි - මගේ කිරුල හිමි
ජීවන රජ දහනේ
පරෙවි දෙපා වැනි - සුලලිත කෝමල
සුමුදු ටිකිරි දෑතේ
පුතු මිට මොලවන් - සඟවා ගෙන ඇත
මා නොලියුව ගීතේ
මහද විමානයේ - තැන්පත් කළ ලේ
බිඳුවක් අඩුව ඇතේ
එය සඟවා ගෙන - බිළිඳු වෙසින් ආ
වස්තුව ඔබ ය පුතේ
එහෙත් මුල් පද්ය පන්තියේ තවත් verses 2ක් තියෙනවා. ඵනම්,
පිපෙන්න පොපියන - සමන් පොහොට්ටුවේ
විලසට සුවඳ ගතේ
සඳුන් ගහෙන් ගත් - ප්රසන්න අරටුවේ
සියුමැලි ගතිය ඇතේ
අඩක් නොපැයුව - සඳෙහි විලාසය
සොරා රැගත් නලළයි
අතක් නොගෑවුන - නාදළු පැහැබර
දිගැති සවන් යුවලයි

නමුත් මෙම verses දෙක ගීතයේ කිසිම recorded version එකක නෑ. ඒ වගේම මට හිතෙන විදිහට මේ verses දෙක, original scrap recording එකේවත්, කිසිම recorded live performance එකකවත් නෑ. මේ verses දෙකට මොකද වුණේ? මම කලින් ලිපියක සඳහන් කළා ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ die hard fans ලා මේ verses 5ම දන්නවා කියලා. නමුත්, ඒවා කොතැනකවත් ලිඛිතව සඳහන් වෙලා නෑ. එතකොට ඔවුන් (ක්ලැරන්ස් එය සොයාගත් පුවත්පත හැරුණු කොට,) ඒවා සොයාගත්තේ කොහොමද කියන ප්රශ්නය පැන නැගෙනවා. මොකද මේ ගැන දන්නේ ක්ලැරන්ස් විජේවර්ධන සහ කරුණාරත්න අබේසේකර විතරයි. (මම හරියටම දන්නේ නෑ කරුණාරත්න අබේසේකරයන්ගේ පුතා වන දිලීප අබේසේකර මේ පිළිබඳව වැඩිදුර දන්නවාද කියලා...)
ඒ සමඟම, ගීතයේ එම verses දෙකේ අයිතිය පිළිබඳව මට පොඩි ප්රශ්නයක් නැගෙනවා. මේ පද්ය පන්තියේ මුල් හිමිකරු වන කරුණාරත්න අබේසේකරයන් ට ද, නැත්නම් ගීතයේ අයිතිය සතු ක්ලැරන්ස් විජේවර්ධනයන් ට ද මෙම verses දෙකේ ownership එක තියෙන්නේ? නැත්නම් මේකට අයිතිය කාටවත් නැතිද?
ඒ සමඟම තවත් මතක් කල යුතු යමක් තියෙනවා. මම ඉහතදී සඳහන් කළා මේ verses දෙක කිසිදු recording එකක නෑ කියලා. දැනට කවුරුත් මේ original පද්ය පන්තියම recording එකකටවත් performance එකකටවත් ගායනා කරලා නෑ. ඒ නිසා මම හිතන්නේ නෑ ක්ලැරන්ස්ගේ රසිකයන්ගෙන් majority එක මේ verses දෙක හා එහි යටගියාව දන්නවා ඇති කියලා. මොකද මට මේ verses දෙක මුල්ම වතාවට අහන්න ලැබෙන්නේ දැනට අවුරුදු 7කට හෝ 8කට කලින් මගේ සීයා කෙනෙක්ගේ නත්තල් සම්භාෂණයකදී. ඒ දවස්වල මටත් මේක අමුතුයි. පෙලක් අවස්ථා තිබුණා මේ ගැන දවස් ගණන් හොයපු, ඒත් හම්බවුණේ නැති. නමුත් අතරින් පතර කලාතුරකින් මේ verses දෙක වෙන වෙන අය හරහා අහන්න ලැබුනු අවස්ථා ත් තිබුණා. ඒ නිසා මම තාමත් මේක ගැන හොයනවා.
ඉතින් මම මේ ලිපිය ලියන්නේ මේ ගැන community එකත් එක්ක පොඩ්ඩක් discuss කරන්න. මේ verses දෙකට වෙන origin එකක් තියෙනවද? නැත්නම් මේ verses දෙක originally කරුණාරත්න අබේසේකරයන්ගේ පද්ය පන්තියේ තිබුණේ නැද්ද? මොකද, හුඟක් අය කියන්නේ නෑ කියලා. නැත්නම් මේක "චූඩා මාණිකේ" ගිතය වගේ පසු කාලීනව ඒ ඒ verses ජනවහරෙන් create වුණ ඒවාද?
මේ verses ඇත්තටම තියෙනවා නම් කවුරුත් මේ full version එක recording එකකට ගන්නේ නැත්තේ ඇයි? මෙම ගීතයේ ක්ලැරන්ස් විජේවර්ධන විසින් ගායනා කරපු original version එක වගේම "සිහිවටන" cassette පට සඳහා ගායනා කරපු reimagined version එකත්, පසු කාලීනව විවිධ artist ලා ඒ ගීතයේ ගායනා කරපු versions ද තියෙනවා. ඒවායින් ඇනස්ලි මාලේවනගේ, නලින් පෙරේරාගේ, රජීව් සෙබස්තියන්ගේ versions මගේ සිත්ගත් කීපයක්. නමුත් කවුරුත් දැනට full version එක ගායනා කරලා නෑ. මේ ගීතයේ මේ වගේ කොටස් තියෙනවා නම් ඒ full version එක fans ලා අහන්න, දැනගන්න වගේම රස විඳින්න ඕන කියලා මට හිතෙනවා. එනිසා මෙම යටගියාව හා පද්ය පන්තිය ඇත්තක් නම්, මෙම ගිතයත් සමඟ හෝ ක්ලැරන්ස් විජේවර්ධන හෝ කරුණාරත්න අබේසේකර සමඟ සම්බන්ධ කුමන හෝ artist කෙනෙක් මේ full version එක record කරනවා නම් fans ලා ට මේ ගීතය තවත් appreciate කරන්න හැකි වෙනවා කියලා මට හිතෙනවා.
නමුත් මේක මගේ personal opinion එකක්. මං දන්නේ නෑ community එකේ අනිත් අය මේකට එකඟ වෙයිද නැද්ද කියලා. ඒත් මේක ගැන discuss කරන එක හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඒක හින්දාම මේක ලියන්න ඕන කියලා මට හිතුනා. මේකේ සමහර තැන් වැරදි වෙන්න පුලුවන් මොකද මට මේ පිළිබඳව දැනගන්න ලැබෙන්නේ පරණ fans ලා ගෙන්. එසේ වැරදි තැන් තියෙනවා නම් ඒවා පෙන්වා දෙන මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා.
සටහන:- අමිරු ජයමහ
2023.06.01 දීය.




Wednesday, July 16, 2025

ක්ලැරන්ස් - ගිටාරයේ රිද්මය 02 - ක්ලැරන්ස් සහ මූන්ස්ටෝන්

මේත් ෆේස්බුක් හි අමිරු ජයමහ මහතාගෙන් උපුටා ගත් ලිපියක්...

ක්ලැරන්ස් විජේවර්ධන සහ මූන්ස්ටෝන්ස්


ශ්රී ලංකාවේ සිංහල පොප් සංගීතයේ වඩාත්ම බලගතු සංගීත කණ්ඩායම් අතරින් එකක් ලෙස Moonstones කණ්ඩායම හඳුන්වන්න පුලුවන්. කණ්ඩායමේ ගීත රචකයෙකු, තනු නිර්මාපකයෙකු හා ගායකයා ලෙස ක්ලැරන්ස් විජේවර්ධනගේ, සහ ප්රධාන ගායකයා ලෙස ඇනස්ලි මාලේවන ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායම සංගීත ක්ෂේත්රය කුණාටුවක් වගේ ප්රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගත්තා වගේම 60 දශකයේ අගභාගයේදී සහ 70 දශකයේ මුල් භාගය පුරාවටම ශ්රී ලංකාවේ ජනප්රියම සංගීත කණ්ඩායමක් බවට පත්වුණා.
නමුත්, මෙම කණ්ඩායමේ ආරම්භය 1964 දක්වා දිව යනවා. රත්නපුරේදී Los Harmonicos නමින් පටන් ගන්න මේ කණ්ඩායමේ ආරම්භක සාමාජිකයන් වුනේ චාර්ල්ස් සෙනෙවිරත්න, ප්රේම් අත්තනායක හා ක්ලැරන්ස් විජේවර්ධන යි. ඒ ක්ලැරන්ස් විජේවර්ධනයන්, කිංස්ලි පෙරේරාගෙන් ගිටාර් ඉගෙන ගන්න කාලේ. මම අහලා තියෙන විදියට, කිංස්ලි පෙරේරා කියන්නේ ක්ලැරන්ස්ගේ මුල්ම හා එකම සංගීත ගුරුවරයා. 1964-1966 කාලය තුල Los Harmonicos රත්නපුරය හා ඒ අවට පැතිවල විවිධ අවස්ථා හා උත්සව වල වාදනය කරමින් සිටි අතර එක් දිනක, උපන්දින සාදයක වාදනයට ආරාධනා ලැබෙනවා. ඒ ශ්රී සඟබෝ කොරෙයා මහතාගේ දියණියගේ උපන්දින සාදයට. මොවුන්ගේ වාදන හැකියාව ගැන කැමති හා උනන්දු වෙන මෙතුමා, කොළඹ යාමට අවස්ථාවක් මොවුන්ට ලබා දෙනවා. ක්ලැරන්ස් මේ අදහසට කැමති වන නමුත් ප්රේම් සහ චාර්ල්ස්, ඔවුන්ගේ රැකියා කටයුතු නිසාත්, ඔවුන්ගේ ගායන විලාශය සඟබෝ කොරෙයා මහතා බලාපොරොත්තු වූ මට්ටමක නොවූ නිසාත්, ප්රතික්ෂේප කරනවා. ඒ නිසා ක්ලැරන්ස් විජේවර්ධනයන් හට මේ දෙදෙනාට සමු දෙන්න සිදුවෙනවා.
1966 දී ශ්රී සඟබෝ කොරෙයා, ක්ලැරන්ස් විජේවර්ධන සමඟ සුදුසු ප්රධාන ගායන ශිල්පියෙක් විදිහට ඇනස්ලි මාලේවන සොයා ගැනීමත් එක්ක සංගීත කණ්ඩායම සම්පූර්ණ කරනවා. ක්ලැරන්ස් (rhythm guitar) සහ ඇනස්ලි (vocals) මොන්ටි වත්තලදෙණිය (වටලාදෙණිය?) (Congo & Cuban drums) සහ ධම්මික විජේසිරි (Maracas) කණ්ඩායමේ සාමාජිකයන් වුණා. ශ්රී සඟබෝ කොරෙයා මෙම දක්ෂ කලාකරුවන් කොළඹට ගෙන්වා ගත්තා පමණක් නොව කණ්ඩායමට "The Moonstones" යන නම ලබා දුන්නේ ඔවුන් රත්නපුරයෙන්, එනම් මැණික් නගරයෙන් ආරම්භ වූ නිසා. ගුවන්විදුලියෙන් බොහෝ තරු ප්රවර්ධනය කළ පුද්ගලයා පිළිබඳ හැඳින්වීමක් සඟබෝ කොරෙයා ඔවුන්ට ලබා දුන්නා; ඒ සඟබෝ කොරෙයාගේ ඥාති සහෝදරයෙක් වූ විජය කොරෙයා. The Moonstones ප්රථම වරට විජය කොරෙයා විසින් ඔවුන්ගේ "මංගෝ නැන්දා" record තැටිය ප්රචාරණය කරන ලද්දේ 1967 වසරේ සෙනසුරාදා රාත්රී 9.00 ට Radio Ceylon හි "Saturday - Stars" වැඩසටහන සඳහා. එය කණ්ඩායම ක්ෂණික කීර්තියට පත් කරනවා. ඒ නිසාම මංගල රොද්රිගු (lead guitar), සුනිල් මාලවන (lead guitar), උපාලි උබේසේකර (sitar) සහ ෆෙරෝස් අස්මන් (base guitar) 1967 දී සංගීත කණ්ඩායමට එක් වෙනවා. එම වසරේදීම "Beacons" සංගීත කණ්ඩායම සමඟ මංගල උත්සවයකදී වාදනයකින් ආශ්වාදයක් ලැබූ ක්ලැරන්ස් සංගීත කණ්ඩායමට විද්යුත් ගිටාරය හඳුන්වා දෙනවා. අවසානයේ බීකන්ස් හි චානක පෙරේරා (base guitar) සහ විජිත් පීරිස් (drums) සංගීත කණ්ඩායමට එකතු වෙන අතරම ඔවුන් පසුපස ගොස් අජිත සිවානන්දන් (piano) ද එකතු වෙනවා.


Moonstones ඔවුන්ගේ පළමු වාර්තාගත album එක Philips ලේබලය මත Gowri Corporation සමඟ අත්සන් කරනවා, නාමාවලිය JVPC අංක 007 දරන EP තැටිය "මංගෝ නැන්දා", "සුදු මැණිකේ", "සීත උදේ" සහ "රුවන්පුරය" යන ගීත ඇතුළත් වෙනවා. ඔවුන්ගේ සංගීතය ප්රථම වරට Radio Ceylon ඉංග්රීසි සේවාවන්හි සහ පසුව ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්රචාරණය වෙනවා. The Moonstones සංගීත කණ්ඩායම ඔවුන්ගේ "මංගෝ නැන්දා" ගීතයෙන් සිංහල සේවයේ record charts වල අංක 1 බවට පත් වූ පළමු සංගීත කණ්ඩායම වෙනවා. ඇත්තටම මේ ගීතය සිංහල සහ ඉංග්රීසි popularity charts දෙකේම ඉහළින්ම තිබුණා. Moonstones ලා ගෙන් "King" Elvis Presley පවා අංක 2 ස්ථානයට තල්ලු වෙනවා. ඉන්පසු ඔවුන් ජනප්රියත්වයෙන් ඉහළම තත්ත්වයට පත්වන්නේ 1968 දී Children's book shop හි ජෙරල්ඩ් වික්රමසූරිය ඔහුගේ අලුතින් පිහිටුවන ලද සූරිය ලේබලය සඳහා සංගීත කණ්ඩායමට අත්සන් කිරීමත් සමඟ, (ඔවුන් ජෙරල්ඩ් වෙත හඳුන්වා දුන්නේ ඔහුගේ පුත් නේතාජි විසිනි. ඒ, සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වූ මංගල රොද්රිගු නෙතාජිගේ මිතුරෙකු වූ නිසා.) The Moonstones හි පළමු EP තැටිය "More Hits by The Moonstones" සූරිය ලේබලයේ පළමු album එක බවට පත් වෙනවා. එහි "කලු මාමා", "රෝස මලේ", "ගොයම් කපනවා", "රමණී" යන ගීත ඇතුළත් වෙනවා.
කණ්ඩායම එම වසරේම සූරිය ලේබලය සමඟ ඇතිකරගත් දෙවන ගිවිසුම වූයේ "දිල්හානි", "ගොන් වස්සා", "සුමුදු මල්" සහ "කුසුමලතා" යන ගීත සඳහා වන අතර ඒවා "දිල්හානි" ගීතය සඳහා සුදුසු කාන්තා කටහඬක් සොයමින් සිටි නිසා පටිගත කිරීම හරියට සිදුවුණේ නෑ. ඒ සඳහා ඇනස්ලි, ඉන්ද්රානි පෙරේරාව කණ්ඩායමට හඳුන්වා දෙන තෙක් බලා සිටීමට සිදු වෙන්න වුණා. මේ අනුව ඔවුන්ගේ දෙවන නිකුතුව 1969 මැයි 11: ගිවිසුම අත්සන් කිරීමෙන් හරියටම වසරකට පසුව නිකුත් වුණා. ඒ album එක, EP තැටි ඉතිහාසයේ එදා මෙදා තුර ලැබූ ඉහළම ආදායම් වාර්තාව සනිටුහන් කලා. මේ වන විට ඇන්ටන් ගුණතිලක album එක සඳහා lead guitarist කෙනෙක් විදිහට පෙළගැස්මට එකතු වුණා. සමූහයේ ඊළඟ album එක "Moonstones with Indrani Perera" නමින් නැවතත් සූරිය විසින් නිෂ්පාදනය කරන්නේ Decca ලේබලය මත. ඉන්ද්රානිගේ "වන දෙව්ලිය තුරුලේ" ලෙසින් ප්රකට "සීගිරිය", ඇනස්ලි සහ ඉන්ද්රානිගේ යුග ගීතයක් වූ "පෙම් කතාව" (මම එදා ගොසින්), ඇනස්ලිගේ "රාළහාමි" සහ "සුමුදු සමන් මල්" යන ගීත EP තැටියෙහි ඇතුළත් වුණා.
1972 දී ක්ලැරන්ස් විජේවර්ධන Moonstones හැර ගිය අතර ඇනස්ලිට සංගීත කණ්ඩායමට නායකත්වය දීමට සිදු වුණා. එබැවින් සාමාජිකයන් මයික් ගුණසේකර (rhythm guitar & harmony), සුනිල් මාලවන (base guitar), මංගල රුද්රිගෝ (lead guitar), Lorenz Mauricks (keyboard), Stanmore de Jonk (drums) සහ ලලිත් ප්රනාන්දු (vocals) ගෙන් සමන්විත විය. මෙම සංගීත කණ්ඩායමේ "දුන්හිඳ මනමාලි" සහ "තොටියා" වැනි බොහෝ ගීත ජනප්රිය වූ අතර සිංහල සහ බටහිර පොප් සංගීතය යන දෙකම ගායනා කරන dance band එකක් ලෙස ඉතා ඉක්මනින් කීර්තියක් ගොඩනඟා ගත්තා. The Mendis Foursome විසින් රචිත සූරිය ඇල්බමය CHB 027 “මම බොහොම බයවුනා” සහ පෝල් ප්රනාන්දුගේ CHB 031 “එගොඩ ගොඩේ” සඳහාද Moonstones පසුබිම් සංගීත කණ්ඩායමක් ලෙස ද ඉදිරිපත් වුණා. එය ජනප්රිය "සූරිය Show" සංදර්ශනවල දිගටම ප්රදර්ශනය වුණා. Moonstones, Radio Ceylon හි සිංහල පොප් ගීත විකාශනය කළ පළමු කිහිප දෙනාගෙන් එකක් වූ අතර සංගීත කණ්ඩායම විද්යුත් ගිටාර් සහ සිතාර් සංගීතය පිළිබඳ අත්හදා බැලීම් සමඟින් සිංහල පොප් හි පරිවර්තනයක් සනිටුහන් කළා. සංගීත කණ්ඩායම අවසානයේ විසිරී ගිය නමුත් ඇනස්ලි සහ ක්ලැරන්ස් පසුව 'The Super Golden Chimes' පිහිටුවීමට නැවත එක් වෙනවා.
Moonstones ලා ගේ සංගීතය ගත්තොත්, ඒකේ පැහැදිලිව පෙනෙන ලක්ෂණ කීපයක්ම තියෙනවා.
• මුල් කාලයේදී acoustic ගිටාරය හා electronic නොවන acoustic instruments භාවිත කිරීම.
• ගීතවල සරල narrative pattern එකක් තිබීම.
• ලාංකේය කණ්ඩායම් ගීතවල වැඩිපුර භාවිත වූ parallel multiple chord techniques වලට ටිකක් වෙනස් single parallel chord technique එකක් භාවිත කිරීම.
• තම ගීත සඳහා semi-classical song format එක භාවිත කිරීම.
(intro -> chorus -> interlude -> verse 1 -> interlude -> verse 2 -> chorus)
• තම ගීතවල key එක සඳහා Dominant හෝ Sub Dominant key එකක් යොදාගැනීම.
• Intro හා interlude කොටස් වාදනයට ගිටාරය නොවන වෙනත් instrument එකක් භාවිත කිරීම. (Keyboard, sitar වැනි)
සාමාන්යයෙන් අපි හිතන්නේ "ක්ලැරන්ස්ගේ මුල් ගීතවල ඉඳන්ම prime instrument එක වුනේ guitar එක" කියලා. නමුත් මේ කාරණාව යම්තාක් දුරට ඇත්ත වන්නේ Moonstones මැද භාගයේ. හරියටම කිව්වොත්, මංගල රොද්රිගු band එකට ආවට පස්සේ. මෙයාලගේ "මංගෝ නැන්දා" album එකේ ගිටාරය භාවිත වෙන්නේ අඩුවෙන්. සිතාරය හා keyboard එක තමයි ටිකක් වැඩිපුර ඒ ගීතවල highlight වෙන්නේ. ඒ වුණත් ගීතවල තැනින් තැන noticeable වෙන guitar parts ද තිබුණේ නැත්තෙත් නෑ. ඒ වගේම මේ කාලේ ක්ලැරන්ස් එයාගේ ගීත බොහොමයක්ම නිර්මාණය කරන්නේ Major keys වලින්. Minor key එකකින් නිර්මාණය කළ ගීතයක් හමු වන්නේ නැති තරම්, මං හිතන්නේ. Minor keys වලින් ගීත නිර්මාණය කරන්න පටන් ගන්නේ ක්ලැරන්ස් Golden Chimes ඉන්න කාලේදී.
අනෙකුත් සංගීත කණ්ඩායම් වගේ Moonstones කණ්ඩායමත් (ක්ලැරන්ස්) ඔවුන්ගේ ගීතවලට වස්තු බීජ කරගත්තේ පරිසරය, චරිත හා පුද්ගලයින්,සමාජ සිදුවීම් වැනි මාතෘකා යි. පද රචනයේදී පවා නිදහස්ව බස හසුරවලා සරල භාෂාමය ආකෘතීන් වලින් පද පේලි ගැලපීමට ක්ලැරන්ස්ට හැකිවෙලා තියෙනවා. අපි ඉස්කෝලෙදී සිංහල වලට ඉගෙන ගන්න එළිවැට, එළිසමය ගැලපීම වගේ කාව්යෝපක්රම, ක්ලැරන්ස් මුල් කාලයේ භාවිත කලේ අඩුවෙන්. "මංගෝ නැන්දා" ගීතය මෙයට හොඳම උදාහරණයක්. නමුත් කාලය ගතවෙනවාත් සමගම Moonstones, ඔවුන්ගේ මුල් සංගීත විලාශය දැන් අපි දන්න Moonstones විලාශය දක්වා වෙනස් කරගෙන තියෙනවා.
Moonstones සංගීත කණ්ඩායම මුල් කාලයේදී acoustic instruments භාවිත කල බව මෙහි මම කලින් සඳහන් කලා. Acoustic (box) ගිටාරය, සැක්සෆෝනය, බටනලාව, සිතාරය, acoustic keyboard හෝ පියානෝව, කොංගෝ බෙරය, Maracas එවැනි සංගීත භාණ්ඩ යි. මුල් අවධියේ Moonstones මඳක් කැලිප්සෝ ප්රවේශයක් ගත් නිසා acoustic සංගීත භාණ්ඩ භාවිතය සාධාරණ බව පෙනී යනවා. නමුත් ක්ලැරන්ස් විවිධ සංගීත භාණ්ඩ සමග විවිධ අත්හදා බැලීම් කල බවට මම මගේ කලින් ලිපියේ ලියා තිබුණා. එය, ක්ලැරන්ස් Moonstones කාලේ ඉඳන්ම කල දෙයක්. ඉන්දියානු සිතාරය භාවිත කොට නිර්මාණය කරපු "මමයි මගේ ගිටාරයයි" ගීතය මෙයට හොඳම උදාහරණයක්. තවද "සීත උදේ පිපී මල්" ගීතයේ interlude part එකටද සිතාරය වාදනය වනවා.
මම කලින් සඳහන් කලා Moonstones ගීතවල ගිටාරය highlight වෙන්නේ මංගල රොද්රිගු කණ්ඩායමට සම්බන්ධ වුනාට පස්සේ කියලා. ඒ නිසා "දිල්හානි" ගීතය Moonstones ගීත අතරින් විශේෂ තැනක් ගන්නවා. ඒ, intro, interlude parts සියල්ල lead ගිටාරයෙන් වාදනය වූ පළමු Moonstones ගීතය වන නිසා. මෙම ගීතය ඉන්ද්රානි පෙරේරා මහත්මියව ප්රේක්ෂකයන්ට හඳුන්වලා දෙනවා. ඒකත් එක්තරා ආකාරයක රසවත් සිදුවීමක්. ඇනස්ලි මාලේවන, ඇයව Moonstones වෙත සහභාගි කරගන්නේ ඇයගේ ඉමිහිරි ගායනය නිසා. "දිල්හානි" ගීතය ජනප්රිය වීමත් සමඟ සජීවී ප්රසංග සඳහා සහභාගි වන ඉන්ද්රානි පෙරේරා වෙතට ප්රේක්ෂකයන් මුලින්ම දක්වන්නේ අකමැත්තක්. ඒ ඇයට "ගායිකාවක ගේ පෙනුමක් නැති" යැයි සමච්චල් කරමින්. නමුත් ඒ විනිශ්චයකාර ප්රේක්ෂකයන්ගේ කටවල් වසමින් ඇගේ ගායනය සිත් පැහැරගැනීමට තරම් ලයාන්විත වෙනවා. ගීතය අවසාන වනතෙක්ම නිහඬව සිටි එම ප්රේක්ෂකයන් ගීතය අවසන් වූ පසු "one more! One more!" යනුවෙන් ඔල්වරසන් දෙනවා. කෙනෙක්ව රූපයෙන් මනින්න බැරි බව මුලින්ම මම දැනගන්නේ මේ කතාවෙන්.
මේ වගේ හුඟක් කරුණු තියෙනවා Moonstones ලා කණ්ඩායම් සංගීතයේ පෙරළිකාරයන් බවට පත්කරන. රසවත් කතාන්දර වගේම ඔවුන්ගේ සංගීතයේ ගැඹුරින් සොයා බැලිය හැකි ලක්ෂණ, එකල සමාජ මතයන්ට හා කණ්ඩායම් සංගීතයට වෛර කල "ප්රබුද්ධ විචාරකයන්" ට එරෙහිව ලංකාවේ එකල තාරුණ්යයේ නව ආරක සංගීත රැල්ලක් ඇතිකල අයුරු, ඔවුන්ගේ කණ්ඩායමේ විකාශය වගේ නොයෙක් දේවල් තියෙනවා හොයන්න පටන් ගත්තොත් කවමදාකවත් එපා වෙන්නේ නැති. එහෙම ගත්තොත් Moonstones ලා කියන්නේ එක්තරා විදියක trendmakers ලා set එකක්. මොකද, එදා ඒගොල්ලන් ජනප්රිය කරපු "මංගෝ නැන්දා" වගේ ගීත අදටත් trips යද්දී, big match වල papare music වලට අපි කියනවා. කණ්ඩායම තාවකාලික වුණත් ඔවුන් බිහිකරපු සංගීතය සදාකාලිකයි.
පසුගිය ජූනි මාසයේ ඇනස්ලි මාලේවනගේ 75 වෙනි උපන්දිනය හා මේ අගෝස්තුවේ ක්ලැරන්ස් විජේවර්ධනගේ 79 වෙනි උපන්දිනය යෙදී තියෙනවා. ඉතින් මේ අගෝස්තුවට කලින් මේ දෙවන ලිපිය ලියන්න ඕන කියල මට හිතුනා. මේ වගේ හුඟක් කතන්දර ගැන මට දැනගන්න ලැබෙන්නේ මගේ තාත්තාගෙන් වගේම මගේ සීයාගෙන් හා වැඩිහිටියන් කීපදෙනෙක්ගෙන්. මොකද මේ වගේ හුඟක් සිදුවීම් වෙනකොට ප්රේක්ෂකාගාරයේ සංගීත ලෝලීන් සමඟ ඒගොල්ලොත් හිටපු නිසා. ඒත් මට මේවා සුරංගනා කතා වගේ. හැම කතාවක්ම රසවත්. ඒත් අනෙක් මනඃකල්පිත සුරංගනා කතන්දර වගේ නෙවෙයි. මේවා ඇත්තටම අතීතයේ සිදු වූ ඒවා. මේවා ඇත්ත කියලා පෙන්වන සාක්ෂි තමයි ඔවුන් එදා නිර්මාණය කල අදටත් ඉතුරු වී තිබෙන ගීත.
ඉතින්, මෙතැනින් මම ශ්රී ලාංකේය කණ්ඩායම් සංගීතය නවමු මාවතකට යොමුකල සංගීත කණ්ඩායම ගැන මගේ හිතට ආපු අදහස් කිහිපය ලියා නිම කරනවා. මගේ සමහර කරුණු නිවැරදි නොවෙන්න පුලුවන්. එසේ නම් ඒවා පෙන්වා දෙන මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා.
සටහන:- අමිරු ජයමහ
2022.07.28 දීය.




වැඩිපුර බලපු ලිපි