Sunday, December 29, 2024

වේතාල කථා - 8 තරංගය

වෙතාලයා මේ කථාව කියා, "රජතුමනි, ඔවුන් දෙදෙනා අතුරෙන් කවරෙක් සමුද්‍රපතනයෙහි (මුහුදට පැනීමෙහි) දී අධිකවීර්‍ය්‍ය ඇත්තේ වී ද? නො වළහා කියව. නැත් නම් පෙර කළ ශාපය ම වන්නේ ය"යි කී ය. 

7 තරංගය

රජ තෙමේ ප්‍රශ්නය විසඳී- "වේතාලාධිපතිය, ඒ දෙදෙනා අතුරෙන් සත‍්වශීල ම වඩා අධිකවීය්‍යර්‍ ඇත්තේ යයි මාගේ හැඟීම යි. හෙතෙමේ පළමු කොට කිසි හසරක් (පාරක්) නො දැන ජීවිතයෙහි ආශා නැති ව ම මුහුදට පැන්නේ ය. චණ‍්ඩසිංහ රජ සත්වශීලගෙන් තොරතුරු දැන ගෙණ ම මතු බලාපොරොත්තු සහිත ව මුහුදට පැන්නේ ය."

ප්‍රශ්නවිසර්ජනාවසානයෙහි (ප්‍රශ්න විසඳීමේ අවසන්හි) වේතාලයා පෙර මෙන් ස්වස්ථානයට ගියේ ය.

8 තරංගය

රජතෙමේ පෙර මෙන් ම ශිංශපාවෘක‍්ෂමූලයට ගොස් ඒ වේතාලයා උසුලා ගෙණ එන්නට වන. වේතාලයා ද "රජ්ජුරුවෙනි, මෙසේ ගමනාගමනයෙන් නො කලකිරෙණ යුෂ්මතා මට වඩවඩා ප්‍රිය වෙහි ය. එහෙයින් නුමේ මහන්සිය දුරු වන පිණිස ඉතා සිත්කලු ආඛ්‍යායිකාවක් (කථාවක්) කියමි. එය අසව"යි කියා තවත් කථාවක් පටන් ගත්තේ ය.

විදුදරඟන (විද්‍යාධරකාන්තාව) ලැබූ පරිදි

පෙර අඟුරට රුවින් අනඞ‍්ගයා පැරදවූ යශොවර්‍ධන නම් රජකේ වී ය. බාහුබලයෙන් සියලු සතුරන් දිනූ ඒ රජ තුමා එක් කලෙක්හි තාරුණ්‍යමදයෙන් ('තරුණයෙක්මි'යි සිතීමෙන් වන මත් වීම) හා රූපමදයෙන් ද මත් වූයේ ස්වකීය රාජ්‍යභාරය දීර්‍ඝදර්ශි නම් මහනැණැති අහ ඇමතියාට දී තෙමේ අන්තඃපුරයට වී කම්මැළි ජීවිතයක් ගත කෙළේ ය. හෙතෙම නළඟනන්ගේ මිහිරි ගී මිස හිතෛෂීන්ගේ ඔවදන් නො ම ඇසී ය.ඇත්පුරලියන්ගේ (අන්තඃපුර ස්ත්‍රීන්ගේ) නැටුම් මිස රාජ්‍යයෙහි කටයුතු නො ම බැලී ය. පස්කම් සුව විඳුම ම ජීවිතයෙහි එක ම ඵලය යි සිතා ධර්‍මමාර්‍ගයෙන් පහ වී ය. සියතෙදමහිමෙන් ම සතුරන් පහ වෙතැයි සලකා රට රැකුම පිළිබඳ කාර්‍ය්‍යන්හි උද්‍යුක්ත (උත්සාහවත්) නො වී ය. දීර්‍ඝදර්ශිතෙමේ රාජ්‍යය පිළිබඳ කර්‍ය්‍යයන් කරමින් නිතර ප්‍රමාදරහිත ව විසී ය.

"අපගේ රජතුමා ව්‍යසනයෙහි ලා මහඇමැතිතෙමේ රාජ්‍යශ්‍රීය වළඳන්නේ ය"යි නාගරිකයන් අතර අපවාදයෙක් පැන නැංගේ ය. එය මහඇමැතියාගේ කණට ද පැමිණියේ ය. හෙතෙමේ නුවණැති ස්වගෘහණිය (ස්වකීය භාර්‍ය්‍යාව) ඒ ගැණ මන්ත්‍රණය කෙළේ ය: "සොඳුර, රජතුමා කම්සුව විඳීමෙහි ඇලී වසන කල්හි ඔහු විසින් ඉසිලිය යුතු රාජ්‍ය භාරය ඔහුගේ ම අනුදැනීමෙන් ධර්‍මනීති නො ඉක්මවා උසුලන්නා වූ මට ද 'මොහු විසින් රාජයය නසනලදැ'යි මහත් අපකීර්තියක් ඉපදී තිබේ. ලෝකාපවාදය මහතුන්ට ද දොස් එළවයි. රාමකුමාරතෙමේ ද ජනයන්ගේ අපවාදයෛන් සීතාදේවිය නො හළේ ද? හළේ ම ය. එහෙයින් දැන් මවිසින් කුමක් කට යුතු ද?"

"ස්වාමිනී, ඔබ රජතුමන් වෙත ගොස් තීර්ථයාත්‍රාව පිණිස අවසර ඉල්ලනු මැනව. ඔබ තීර්ථථයාත්‍රාවෙහි යෙදුනු කල්හි ඒ අපවාදය නවත්නේ ය. ඔබ පැමිණි කල්හි අගමැතිපදවිය නින‍්දාව ක් නැති ව ම ලැබිය හැකි ද වන්නේ ය"යි ඕතොමෝ  කීවා.

ඇමැතිතෙමේ රජු වෙත ගියේ ය. රජතුමා සිරිත් වූ ලෙස එතුමා පිළිගත්තේ ය. බොහෝ වේලා බොහෝ දේ ගැණ සාකච්ඡා කෙළේ ය. අවසන්හි ඇමැති තෙමේ "දේවයන් වහන්සැ"යි රජු ඇමතී ය. "මම දැන් මහල්ලෙමි. මම යොවුන්වියෙහි දී රාජකාය්‍යර්‍ කෙළෙමි. ශිෂ්ටධර්‍මය නො ඉක්මමවා පස්කම්සුව වින්දෙමි. මෙතෙක් කල් ඇමැතිකම්හි මිස පරලොව සුව එළවන පින්කම්හි නො යෙදුනෙමි. දෙවයිනි, මෙ සසර නිසරු ය. රොග කව දා පැමිණේදැ යි නො දනිමි. මරුවා කෙස්වැටිය ගෙණ අදින බව හැඟේ. ඔහුගේ යටතට කවර මොහොතක යන්ට වේ දැ යි කීමට කවරෙක් සමර්ථ වේ ද? මනුෂ්‍යජීවිතයෙන් ගතයුතු එක ම ඵලය නම් සසර ලුහුඬු කරණ කුසල් කිරීමයි. එහෙයින් පූජනීය ස්ථාන වඳින්නට යනු පිණිස අවසර දෙනු මැනවැ"යි අවසර ඉල්ලී ය.

රජතෙමේ එය'සා "ඇමැතිතුමනි, මෙසේ නො කළ මැනව. පින් වනුයේ පූජනීයස්ථාන වැඳීමෙන් ද? දානාදීයෙන් පින් සිදු නො වේ ද? සියගෙහි සිට ම දානාදියෙන් ස්වර්‍ගමොක‍්ෂසාධන නො කට හැකි ද? මම ධනය දෙමි. එයින් සියගෙිහි සිට ම පින් කරන්නැ"යි කී ය.

"දෙවයන් වහන්ස, දේශාටනය වනාහී මිනිකෙු ගේ දියුණුුවට ඉතා අවශ්‍ය වූවකි. ලදරු සිතෙහි දෙශාටනයට ඇල්මක් ස්වභාවයෙන් ම ඇකි වන නමුදු මවුපියන්ගේ විරුද්ධත්වය නිසා ලදරුකල්හි ඊට ඉඩ නො ලැබේ. තරුණ බවට පත් වන විට ම ජීවිකාව පිළිබඳ අදහස්වලින් මිනිසා ගේ සිත පිරෙන්නේ ය. එයින් දේශාටනය පිළිබද අදහස් නසා දමනු ලැබේ. ඊළඟට, එබඳු උතුම් අදහස් ඇති වන්නේ මහලුකල්හි ය. මහලුකලත් ගත වූවොත් මේ සිරුරෙන් සිට ගෙණ දේශාටනය කිරීමට ඉඩ නො ලැබේ. අප වැනි රාජකාර්‍ය්‍යයන්හි නියුක්තයන්ට විශේෂයෙන් ම දේශ සඤ්චාරය ඉතා ප්‍රයෝජනවත් වේ. එයින් අපේ දුර්‍වල තැන් සොයා ගත හැකි ය. නොතර තැන් තර කරන අයුරු ඉගෙණ ගත හැකි ය. පිටරැටියන්ගේ අදහස් දත හැකි ය. ඔවුන්ට අපේ රටෙන් වුව මනා දෙය දැන එය සැපයීමෙන් රටෙහි වෙළෙඳාම හා ඔබතුමන්ගේ ආදායමත් වැඩිදියුණු කළ හැකි ය. මෙසේ කරුණු පවත්නා හෙයින් මගේ මේ දේශාටනයෙන් ඔබවහන්සේට මහත් ප්‍රයෝජන වන්නේ ය. තවද, දේවයන්වහන්ස, වන්දනීයස්ථාන වනාහි නිත්‍යයෙන් ශුද්ධ ය. නුවණැතියන් විසින් ඇවිදීමෙහි ශක්තිය තිබෙන කල්හි ම ඒ ස්ථානයන්ට ‌ගොස් වැඳිය පිදිය යුතු ය. එසේ නො වූයේ නම් විශ්වාස නො කට හැකි මේ සිරුර ඒ වන්දනීයස්ථාන හා කෙසේ එක් වේ ද? එහෙයින් ද මවිසින් යා යුතු ම ය."යි අමාත්‍යතෙමේ කී ය.

එකෙණෙහි ම දියවඩනනිලමේ පැමිණියේ ය. "දෙවයිනි, සූර්‍ය්‍යයා අහස්මැදට පැමිණියේ ය. නානුමුර ද සූදානම් ය. එහෙයින් වඩිනු මැනව. නානවේලාව ඉකුත් ව යන්නේ ය"යි සැළ කෙළේ ය. රජතෙමේ ඒ අසා නාන පිණිස එතැනින් නැගිට ගියේ ය. මන්ත්‍රිතෙමේ ද රජු වැඳ ගෙට ගියේ තමා අනු ව යන්නට සැරසුනු භාර්‍ය්‍යාව නවතා සියමෙහෙකරුවන්ට ද නො දැනෙන සේ යාත්‍රාරම්භ කෙළේ ය.

2

ඇමැතිතෙමේ පිළිවෙළින් නොයෙක් දනව්හි සරමින් තීර්ථ‍ස්ථාන වැඳගෙණ කඳුහෙල් පැන ගෙණ ඔඩ්ඩිරටට පැමිණියේ මුහුදුතෙර පිහිටි එක් පටුනක මෙහෙසුරු දෙවොලකට ගොස් එහි මිදුලෙහි එක් පසෙක්හි හිඳ ගත.  දෙව්පුද සඳහා එහි පැමිණි එක්තරා වෙළෙඳෙක් හිරු රැසින් තැවුනු සිරුරු ඇති, දුරුකතර ඊමෙන් වෑරුණු, ඔහු දැක පුනනූලින් හා ශරීරලක‍්ෂණයෙන් ද දුර සිට පැමිණි ද්විජ (බ්‍රාහ්මණ) ශ්‍රෙෂ්ඨයෙකැයි සලකා සියගෙට කැඳවා ගෙණ ගොස් සත්කාර කොට තොරතුරු විචාළේ ය. ඇමැතියා තමන් පිළිබඳ තමන් පිළිබඳ තොරතුරු කීය. වෙළෙඳ තෙමේ "මම වෙළෙඳාම් පිණිස ස්වර්‍ණද්වීපයට යන්නට බලාපොරොත්තුව සිටිමි. භවත් ‌තෙමේ බොහෝ දුර ගමන් කිරීමෙන් වෙහෙසුනේ ය. එහෙයින් මා එන තෙක් මෙහි නැවතී විශ්‍රාම ගණු මැනෑව"යි නිමන්ත්‍රණය  (ආරාධනා) කෙළේ ය.

"මා මෙහි සිටීමෙන් කම් නැත. ඔබ සමග මම ද එහි යනු කැමැත්තෙමි"යි ඇමැතියා කී හෙයින් වෙළෙඳතෙමේ ඔහුත් සමග නැව් නැංගේ ය. ඔහු චණ්ඩ වූ මෝරුන් ආදි මහමසුන්ගෙන් ගහන, කුදුමහත් රළපෙළින් අතරක් නැති, රත්නයන්ට කෙසේ වෙතත් ලුනට ආකර වූ, ජලට නිධාන වූ, මහසයුර තරණය කොට ස්වර්‍ණද්වීපයට පැමිණ මඳ කලක් එහි වැස පෙරළා එන්නාහු මුහුද මැද දඹරන්මුවා කඳ ඇති ඉඳුනිල්මිණිමුවා කොළ ඇති මිණිමුවා පල ඇති මනහර මලින් හෙබුනු කප්රුකක් ද, එහි වෙළෙපෙහි (අතු බෙදී ගිය තැන) රත්නමයපර්‍ය්‍යඞ්කයෙක්හි (රුවන් පුටුවෙක්හි) හුන් මනරම් රුවින් සිරිකත පැරයූ කිසියම් කාන්තාවක ද දුටහ. ඕතොමෝ වෙණ වයමින් ගීයක් කැයූ. "පෙර කළ කම් පරිදි සත‍්වතෙමේ විපාක විඳියි. සත්වයා විසින් පෙර කළ කම් මහබඹහු විසිනුදු වෙනස් කළ නො හැක්ක. යම් කෙනෙකුන්ට යමක් විය යුතු නම්, හෙතෙමේ ඒ විය යුත්ත විසින් ම යටත් කරණු ලැබ සුදුසු ස්ථානයට පමුණුවනු ලැබේ" යනු ඒ ගීයෙහි අර්‍ථය යි.

ඒ අඞ්ගනාව ඒ ගීය ගයා එහි ම ගිලුනා. "අද මවිසින් දුටු මේ ආශ්චර්‍ය්‍යය කුමක් ද? මහමුහුද කොහි ද? දුටු පමණින් නැතු වූ දෙවඟන සහිත කල්පවෘක්ෂය කොහි ද? (මුහුද හා දෙවඟන සහිත කල්පවෘක්ෂය එකිනෙකට බොහෝ ඈත ය. මුහුදෙහි දෙවඟනන් සහිත කප්රුක් විය නො හැක්කැයි කී අයුරුයි.) ඉදින් මුහුද හැමදා මෙබඳු නම්, සිරිකත සඳ කප්රුක යනාදිය මේ සමුදුරෙන් පහළ වීමෙහි කිනම් සැකයෙක් දැ?"යි ඇමැති තෙමේ සිතමින් විස්මිත ව බලා සිටියේ ය.

ඔහුගේ විලස දුටු කර්‍ණධාරාදීහු "මහතානෙනි, අපට මෙහි පුදුමයෙක් නැත. මේ උත්තමාඞ්ගනාව හැම කල්හි මෙහි පෙණේ. දුටු කෙණෙහි ම දියෙහි ගිලේ. ඔබට වනාහි මෙය අළුත් දර්‍ශනයෙකැ"යි කීහ.

මන්ත්‍රී තෙමේ වෙළෙඳා සමග කීප දිනකින් සමුදුර තරණය කොට වෙළෙඳාගේ ගෙට ම ගොස් බොහෝ දවස් එහි ම වැස පහසු ගෙණ වෙළෙඳාට ආශිර්‍වාද කොට පිටත් ව සියදෙසට ගියේ ය.

අඟුරට රජහු විසින් සියඅගමැතියා වූ ඔහු සොයනු පිණිස යොදන ලද චරපුරුෂයෝ ඔහු දුර දී ම දැක අවුත් රජු හට සැළකළහ. රජතුමා නගරය සරසවා මහපෙරහැරින් ගොස් අගමැතිහු පිළිගෙණ රජමැඳුරට ම කැඳවා ගෙණ ආයේය. බොහෝ සත්කාර සම්මානයෙන් අගමැතිහු පිදී ය. "ඇමැතිතුමනි, අප හැර ගොස් කවර හෙයින් මේ දුක් වින්දෙහි ද? එසේ වේවා. කිසි හෙතුවක් නැති ව තීත්ර්‍ථාදීභ්‍රමණයෙහි (පූජනීයස්ථානාදියෙහි ඇවිදීමෙහි)ඔබගේ සිත හැරවූ සර්‍වබලපරාක්‍රම භවිතව්‍යයා (විය යුත්ත) ගේ විසිතුරුගතිය කවරෙක් දනී ද? දැන් කියනු මැනව:- කවර කවර දෙශයෝ ඔබ විසින් යන ලදහු ද? කිනම් අභිනව වස්තු දක්වාලද දැ?"යි විචාළේ ය.

අගමැතිතෙමේ සියගමන් පිළිබඳ සියලු වාර්‍තා සැළ කෙළේ ය. රජතෙමේ දෙවඟන ගැණ අසා ඇය නැති රාජ්‍යයත් නිෂ්ඵල ය යි සිතී ය. "අමාත්‍යශ්‍රෙෂ්ඨයානෙනි, ම විසින් ඕතොමෝ අවශ්‍යයෙන් ම දැක්ක යුත්තී ය. නො එසේ වී නම්, මාගේ දිවි තිබෙතැයි නො සලකනු මැනව. භවිතව්‍යතාවට ම ගරු කොට ඔබ කී මගින් යමි. ඔබ මා නො වළක්වනු මැනව. අනුගමනය ද නොකට යුතු ය. මා එන තෙක් මගේ මේ රාජ්‍යය රකිනු මැනව. ඔබගේ රජ වූ මාගේ මේ අණ වෙනස් නො කළ යුතු ය"යි සිය අදහස රහසින් අගමැතියාට දැන්වී ය.

ඇමැතිතෙමේ ද රජුගේ අධිෂ්ඨානය අසා මහත් උලෙළෙහි (උත්සවයෙහි) ද දොම්නස් සහිත වී ය. ස්වාමියා මහත් වූ ව්‍යසනයෙක් හි වැටුනුකල්හි සන්මන්ත්‍රීන්ට සැපයක් කොයින් ද? හේ නොයෙක් සුභාෂිතයන්ගෙන් රජුගේ අදහස වෙනස් කරන්නට යත්න කෙළේ ය. සර්‍වබලපරාක්‍රම භවිතව්‍යතාව කවදා කුමකින් පැරදේ ය?

ඉක්බිති ඒ රජතෙම රාජ්‍යය අගමැතිහට භාර කර තවුස්වෙස් ගෙණ රාත්‍රියෙහි නුවරින් පිටත් වී ය. පිළිවෙළින් ගම් නියම්ගම් දනවුමඬුලු (ජනපදසමූහ) ගෙවා යන්නේ මඟ දී දිවැස් ඇති එක් තවුසෙකු දැක්කේ ය. රජතෙමේ තවුසා වෙත ගොස් වැඳ සිටියේ ය. "දරුව, මෙනම් වෙළෙඳා සමග නැවු නැග ගොස් අභීෂ්ට (බලාපොරොත්තු වන) කාන්තාව ලබන්නෙහි ය"යි තවුසා විසින් කී තෙපුල් අසා ඉතා පිණා ගියේ වහා එයින් නික්ම ගොස් ඒ වෙළෙඳා සමග නැව් නැංගේ ය. මහමුහුද මැද දී අගමැති කී පරිදි දෙවඟන සහිත කල්පවෘක්ෂය පහළ වී ය. රජ එය දැක ඇසිල්ලක් නිශ්චල ව සිටියේ ය.


3

"පින්වත් රත්නාකරය, (සමුද්‍රය) ඔබට නමස්කාර වේවා. යම්බඳු තොප විසින් මේ දෙවඟන සඟවා ගෙණ සිරිකතගෙන් විෂ්ණුතෙමේ රවටන ලද ද, ඒ ඔබ ශරණ කොට පැමිණියෙමි. ඔබ මාගේ කැමැත්ත සිද්ධ කරණු මැනව. දෙවියන් ඔබ කලඹා ඔබගේ හස්තසාර ධන සියල්ල ම පැහැර ගතැයි අඥයෝ කියති. දෙවියන් පැහැර ගත් අමෘතය කුමක් ද? මේ කාන්තාවගේ දර්‍ශනය ම අමෘතය නො වේ ද? දෙවියන් මෙන් මම ඔබ නො කලඹමි. එබඳු බලයක් නරයෙකු වූ මට කොයින් ද? මම ඔබට මගේ දිවි පුදමි. මා කෙරෙහි පැහැදෙනු මැනව" යනාදීන් රජ තෙමේ මුහුදට ස්තූති කරන්නට පටන් ගත. එකෙණෛහි ම කප්රුක සහිත ඒ දෙවඟන මුහුදෙහි ගිලෙන්නට වන. රජ ද එය දැක ඒ අනුව මුහුදට පැන්නේ ය. මුහුදෙහි ගිලුනු රජතෙමේ හදිසියෙන් ම කිසියම් දෙව්පුරයක් දැක්කේ ය. විස්මයසහිත වූයේ මිණිමුවාටැඹින් හා රන්මුවාබිතුපෙළින් ද, ලෙලදෙන මුතුලැලින් (මුතුවැලින්) යුත් පලඟින් ද මනරම් මැඳුරු සියගණනින් බබලන, තන්හි තන්හි නන්වන් මිණිරුවනින් බැඳි පියගැටපෙළින් විසිතුරු පොකුණුවලින් හා සිතු පැතූ දෙය දෙන කප්රුක්වලින් ද සමෘද්ධ උද්‍යානයන් ගෙන් හොබනා එනුවර දැක, අනෙක සම්පත්තියෙන් පිරිපුන් වුව ද ජනයන් නැති එහි ඒ කාන්තාව සොයනු වස් ගෙයක් පාසා ගියේ ය. අවසන්හි එක් මිණිමුවාමහපහයෙක්හි අගනා ඇඳෙක්හි හිස සිට දෙපතුලට පොරවා ගෙණ හෝනා (නිදන) ඇය දැක්කේ ය. ඕතොමෝ ද මනාවිලස් ඇති රජහු දැක වහා යහනින් නැඟී සිටියා, අතිථිසත්කාර කළාය. තොරතුරු ද විචාළා ය:- "පින්වතානෙනි, භවත් තෙමේ කවරෙක් ද? කෙසේ මේ රසාතලයට (පාතාල ලෝකයට) පැමිණියේ ද? රාජලක්ෂණයෙන් පිරිපුන් ඔබගේ මේ සිරුරෙහි තවුස්පිරිකර කිම් ද?

රජතෙමේ සියල්ල විස්තර කොට ඈ පිළිබඳ තොරතුරු විචාළේ ය:- "පින්වත් යුවතිය, භවතිය කවරක් ද? කවර හෙයින් ශූන්‍ය (හිස්, පාලු) වූ මේ ස්ථානයෙහි තනි ව වසන්නී ද? මට මෙය මහත් පුදුමයකි. ප්‍රහේලිකාවකි. භවතියගේ මවුපියෝ කවුරු ද? නම කුමක් ද? ඔබට පැමිණ තිබෙන විපත කුමක් ද? කියනු මැනව. මගේ මේ අගනා ජීවිතය පුදා වත් අසරණ වූ නුඹ විපතින් ගලවා ගන්නට උත්සාහ කරමි. මම ඔබගේ දැක්මෙන් ම බැඳ දාසභාවයට පත් කරණ ලද්දෙමි. එහෙයින් මට නො වළහා කියනු මැනව."

"මහතානෙනි, මෘගාඞ්කෙස්න නම් ශ්‍රීමත් විද්‍යාධරාධිපතියෙක් ඇත. මම ඔහුගේ දූ වූ මෘගාඞ්කවතී වෙමි. මගේ ඒ පියතෙමේ මා මේ නුවර තනි කර දමා පුරවැසියන් හා කොහි කවර හෙයින් ගියේ දැ යි නො දනිමි. එහෙයින් මම මේ ශූන්‍යස්ථානයෙන් නික්ම මුහුදෙන් මතු වී කප්රුකට නැඟී ගායනා කරමි"යි ඕතොමෝ තමන් පිළිබඳ පුවත් විස්තර කළා ය.

රජතෙමේ නානාවිධමෘදුවචනයන්ගෙන් ඇය සිත් ගත්තේ ය. ඕතොමෝ ද ඔහුගේ භාර්‍ය්‍යාව වන්නට ගිවිසියා ය. "ආර්‍ය්‍යපුත්‍රය, මසක් පාසා පුර අව දෙපස්හි තුදුස්වක්හි ද අටවක්හි දැ යි යන සිවුදිනයන්හි මම ඔබට අයත් නො වෙමි. යම්කිසි තැනකට යන මම ඔබ විසින් නො වැළැක්විය යුතුද නො සෙවිය යුතු ද වෙමි. ඊට හෙතුව ද නො විචාළ යුතු ය"යි පොරොන්දුවක් ද ඉල්ලී ය. රජතෙමේ සතුටින් ම "එසේ ‌වේවා"යි ඇගේ ඉල්ලීම පිළිගෙණ ඇය විවාහ කොට ගෙණ එහි ම විසී ය.

කළුවරරැයින් සැරසුනු අවතුදුස්වක (කළුවර පක්ෂයෙහි 14 වැනි දිනය) පැමිණියේය. ඒ අංගනාතොමෝ දිව්‍යසම්පත්තියෙන් පිණමින් සිටි රජු වෙත ගියා. ගොස් ඉකි බිඳිමින් ඇඬුවා:- "අහෝ! මගේ පවක මහත! අද ඔබගෙන් වෙන් විය යුතු දවසෙකි. නො වැළැක්විය හැකි කිසියම් කටයුත්තක් සඳහා මම පිටත යමි. හෙට නො වරදවා එන්නෙමි. එතෙක් ඔබ මෙහි සැප සේ සිටිනු මැනව. තෙල (අර) පෙණෙන පළිඟුමුවා ගෙට නො යනු මැනව. එහි වූ වැවට නොබසිනු මැනව. එහි බැස්සොත් නිසැකයෙන් මිනිස්ලොවට යන්නෙහි ය! මා එන තෙක් පරිස්සමින් සිටිනු මැනවැ"යි කීවා ය. රජ ඇයගේ කඳුළින් තෙත් මුවපියුම් සියඋතුරුසළුපටින් පිසදැම්මේ ය. හද පැළී යන තරම් සොවින් ඇගේ ඉල්ලීමට අවසර දුන්නේ ය. ඕතොමෝ ද පිටත්ව ගියා ය.

රජතෙමේ ද 'විය යුත්තක් වේවා'යි සිත දැඩි කොට ගෙණ ඒ ගමන ගැණ දැනගණු පිණිස කඩුව හා දුනුහී ද රැගෙණ ඇය පසුපසින් ම ඇයට නො පෙණී ගියේ ය. ඇය නුවරින් පිට වූ කෙණෙහි ම බිහිසුණු රකුසෙක් ගොරනාද කරමින් ඉදිරියට පැන ඇය අල්ලා නරාවළක් වැනි මුවතුළ බහා ගිල්ලේ ය. රජ එය දැක අතිශයින් කිපුනේ එකෙණෙහි ම මහ අසිපත ඇද ගෙණ දිවගොස් ඒ රකුසාගේ හිස සිඳ ලී ය. කඩුසිළින් (කඩුවේ උලෙන්) රකුසාගේ උදරය පැළී ය. එකෙණෙහි ම මෘගාඞ්කවතී තොමෝ එයින් නික්ම ආවා ය. රජතෙමේ ඇය දැක පිණා ගියේ ඇය සතුටින් ආලිඞ්ගනය කෙළේ ය. "ප්‍රියාව, මේ කිම? සිහිනයක් ද? නොහොත් මායාවක් දැ?" යි විචාළේ ය.

4

ඒ විද්‍යාධරකාන්තා තොමෝ ද තමන් පිළිබඳ තතු සිහි කොට රජුට ඒ සියල්ල කීවා ය:- "උතුමානෙනි, අසනු මැනව. මෙය ස්වප්නයක් නො වේ. මායාවක් ද නො වේ. මෙය විද්‍යාධරරාජ වූ මාගේ පියා විසින් කරණ ලද ශාපයක විපාකයකි. මගේ ඒ පියානන් වහන්සේ බොහෝ දරුවන් ඇති ව මෙහි විසූ සේක. මා කෙරෙහි වැඩි ආදරයක් දැක්වූ සේක. මා නැති ව කිසිවිටෙක අහරක් නො ගත් සේක. මම ද මෙහෙසුරුපුදෙහි (පූජාවෙහි)  ඇලුනෙම් හැම තුදුස්වක්හි හා අටවක්හි මෙහෙසුරුදෙවොලට ගියෙමි. එක් දිනෙක්හි දෙව්පුද සඳහා ආ මම මුළු දවස ම දෙවොලෙහි ගත කෙළෙමි. ඒදිනෙහි ද පියතෙමේ මා එන තෙක් බලාපොරොත්තු වූයේ ආහාරපානයක් නො ගත්තේ ය. රාත්‍රියෙහි ආ සාපරාධ මා කෙරෙහි කිපුනු පියතෙමේ ශාප කෙළේ ය:-

'තී බඩසාදුකින් පෙළුනු මා මුළුදවසෙහි ම සිහි නො කෙළෙහි ය! එහෙයින් කෘතාන්ත නම් බිහිසුණු රකුසෙක් මසක් පාසා අටවක්හි හා තුදුස්වක්හි ද ඉසුරුපුදට නගරයෙන් බැහැර යන තී ගිල දමාවා! ඉක්බිති තී ඔහුගේ ලය බිඳගෙණ පිටත එව! මේ ශාපය ද රකුසා ගිලීමෙන් වූ දුක ද සිහි නැති වේවා! තනිව ම මෙහි හිඳුව!'

"ඉක්බිත්තෙන් බිය පත් වූ මා විසින් දීන (බැගෑපත්) වචනයන්ගෙන් සනහන ලද හෙතෙමේ ශාපයාගේ අවසානයක් දැක්වී ය:-

'කුරිරු තැනැත්තිය, මගේ වචන නිෂ්ඵල නො වන්නේ ය. එහෙයින් කලක් තී මේ ශාපය වින්ද යුතු ය. යම් කලෙක්හි අඟුරට රජ මෙහි පැමිණ තීගේ ස්වාමියා වී රකුසා විසින් තී ගිලිනු දැක ඒ රකුසා මරන්නේ ද, එකල්හි තිගේ ශාපය ගෙවෙන්නේ ය. එවිට ම ස්වකීය විද්‍යාවෝ නැවතත් සිහියට එන්නාහු ය.'

"මෙසේ ශාපාවසානකාලය කියා මා මෙහි තනි කර දමා පිරිවර සහිත ව හිමාලයපර්‍වතයට ගියේ ය. මම එතුමාගේ නියමයෙන් ශාපබලයෙන් කිසිවක් නො දැන මෙහි සිටියෙමි. දැන් ඔබගේ අනුග්‍රහයෙන් ශාපය ගෙවින. හැම දෙය පිළිබඳව මගේ ස්මෘතිය ද උපන්නේ ය. එහෙයින් අද පියානන් වහන්සේ වෙත යන්නෙමි. 'ශාපාවසානයෙහි සියගතියට පැමිණෙන්නේ ය' යනු නියමය යි. ඔබතුමා මෙහි ම සිටිනු මැනව. නැතහොත් සිය රටට යනු මැනව. ඒ කරුණෙහි ඔබගේ ම කැමැත්තක් වේවා."

රජ තෙමේ ඇයගේ බස් අසා දුඃඛිත වූයේ "සුන්දරිය, නුඹ තවත් සත්දවසක් මා සමග මෙහි ම සිටිය යුතුය. කිසිවක් නො කියා ... මේ උයනෙහි නුඹ සමග සත්දවස මුළුල්ලෙහි ක්‍රීඩා කරමින් ... කනගාටුව දුරු කරන්ට උත්සාහ කරමි. ඉන්පසු නුඹට නුඹගේ පියා සිටින තැනට ද, මට මගේ රටට ද යා හැකි"ය ඈහට කී ය. ඕතොමෝ ද ... පිළිගත්තා ය.

රජ සත්වැනි දවසෙහි ප්‍රයොගයෙන් ඇයත් සමග මිනිස්ලොවට පැමිණෙන දොරටුව වූ පොකුණ ඇති පළිඟුමුවා ගෙට ගියේ වහා ඇගේ අත දැඩි සේ අල්ලා ගෙන පොකුණට පැන්නේ සියපුරයෙහි උයනෙහි පොකුණින් මතු වී ය! උයන්පල්ලෝ මිනිස් ඇසට උත්සවයක් බඳු ඒ කාන්තාව සමග පැමිණි රජු දැක අගමැතිහට ඒ බව සැල කළහ. මන්ත්‍රිතෙමේ පුරවැසියන්ට දන්වා මහොත්සව කොට පෙරහරින් ගොස් ඒ කාන්තාව සහිත රජතුමා කැඳවා ගෙණ ආයේ ය.

"අහෝ! අහසෙහි විදුලියක් මෙන් ඇසිල්ලක් පමණ කල් පෙණුනු මේ දෙවඟන මේ රජතෙමේ කෙසේ ලබා ගත්තේ ද? බඹහු විසින් යමෙකුගේ ලලාටයෙහි යමක් කොටන ලද නම් එය කොතරම් දුෂ්කර වූවත් එකාන්තයෙන් ම සිද්ධ වන්නේ ය"යි අමාත්‍යතෙමේ සිතී.

මෘගාඞ්කවතිය ද රජු සියදෙසට පැමිණ සිටින බව හා සත්දවස පිරුණු බවත් දැක සිය පියා වෙත යන්ට සිතුවා, එහෙත් එවිට උත්පතනවිද්‍යාව (අහසට නැඟීමට උපකාර වන මන්ත්‍රය) සිහියට නො ආයේ ය. ඕතොමෝ එයින් අතිශයශොකයට පැමිණියා ය. "ප්‍රියාව, කවර හෙයින් මෙසේ ශොක කරන්නෙහි ද? කියව"යි රජු විසින් විචාරණ ලද්දී "රජතුමනි, මම ශාපයෙන් මිදුනු නමුත් මෙපමණ කල් ඔබගේ ස්නෙහබන්ධනයෙන් බැඳී සිටියෙමි. එයින් මගේ විද්‍යාවෝත් දිව්‍යගතිත් නටහ. ආලය, තෘෂ්ණාව, ක්‍රොධය, ඊර්‍ෂ ්‍යාව යනාදී ක්ලෙශයෝ සියල්ලන්ගේ ම ප්‍රඥාව හා මනශ්ශක්තියත් නසන්නාහ"යි පිළිතුරු දුන්නා ය.

රජතෙමේ "මේ දෙවඟන දැන් මට අයත් වූයේ ය යි සතුටට පැමිණියේ මහත් උත්සව පැවැත්වී ය. අගමැතිතෙමේ එය බලා ගෙට ගොස් ශයනගත වූයේ වහා ලය පැළීමෙන් මළේ ය. රජතෙමේ ද ඒ මෘගාඞ්කවතිය සමග යෙහෙන් රාජ්‍යපාලනය කරමින් ස්වර්‍ගසම්පත්ති වැනි සැප විමින් බොහො කල් සිටියේ ය.

වේතාලයා මේ කථාව කියා "රජතුමනි, මේ කරුණ පිළිබඳ ව මා තුළ මහත් සැකයක් තිබේ. ස්වාමි වූ රජතුමාට එතරම් අභිවෘද්ධියක් වූ කල්හි ද ඔහුගේ අගමැතිහුගේ හෘදය ස්ඵුටිත (පැළින) වී ය. ඊට හෙතුව කුමක් ද? 'මවිසින් දෙවඟන නො ලබන ලදැ'යි සිතීමෙන් වූ ශොකය ද? නැතහොත් රජු නැවත පැමිණිබව දැක්මෙන් රාජ්‍යය අයත් කර ගැන්මෙහි අපෙක්ෂාවෙන් සිටි ඔහු තුළ ඇති වූ ඊර්‍ෂ ්‍යාව ද? මේ මාගේ සැකය සිඳුව. දැන දැන මෙය මට නො කීයෙහි නම්, නුඹගේ හිස සියක් කඩකට පුපුරන්නේ ය"යි තර්ජනාන්ත ප්‍රශ්න විචාළේ ය.

මීළඟ කොටස ළඟ දී ම...

පරණ පොතේ පිටුවක් ඉරී තිබීම නිසා සමහර තැන් හිස් තැන් වශයෙන් ම තැබීමට සිදු වූ බව කරුණාවෙන් සළකන්න.

34 comments:

  1. ඇවිල්ල ගියා කියන්න ලිවුවෙ.

    ReplyDelete
    Replies
    1. කොහෙද යන්නෙ? බඩ්ඩිංගක් කාල යං...

      Delete
    2. තම්බපු බිත්තරයක් නැද්ද?

      Delete
    3. බිත්තර දැං ලාබයිනෙ. කොහෙං හරි අරං කන්ඩ වවුචරයක් දෙන්නං?

      https://www.facebook.com/100057160993048/videos/1574724903472009

      Delete
  2. රෙද්ද..මේවා කියවනකොට හිතෙත් ගැට වැටෙනවා යකෝ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මොනව කරන්ඩ ද, සෙන්නා? ආයෙ වෙන එකක් ලියන්නං, තව මාස දෙහෙකිං විතර?

      Delete
  3. යකඩෝ, මේක නිකං වාර්ශික සර්ව රාත්‍රික පිරිත වගේ නෙව? ආයෙ එන්නං කියවල කමෙන්ට් දාන්න. හැක්?

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/100057160993048/videos/1574724903472009

      Delete
  4. මීළඟ කොටස ළඟ දී ම... හහ්, අපි නොදන්න නුවර එලිය?😋🤣

    ReplyDelete
    Replies
    1. ළඟ කියන්නෙ සාපේක්ෂ සංකල්පයක් බකුස්... ඒක ඔයාට මාස දෙකක් වෙන්ඩ පුළුවං, මට අවුරුදු එක හමාරක් වෙන්ඩත් පුළුවං.

      Delete
  5. හල්කිරීමට ඉංග්‍රිසියෙන් කියන වචනේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. isolate a consonant කියල මධුර කියනෙ

      Delete
    2. හල් නං හරි. කිරීම ට මොකක්ද ලතින් වචනෙ?

      Delete
    3. එහෙනං, වැටේරියා කොපලිෆෙරා ෆැසීටේ කියමු. ටිකක් දිග වැඩි උනාට මොක ද?

      Delete
    4. හල් කරන්නත් පුලුවන්, නුවර එලියෙදි අල කරන්නත් පුලුවන්.

      Delete
    5. https://en.wikipedia.org/wiki/John_Niederhauser

      Delete
  6. ඔඩ්ඩිරට වර්ථමාන ඕට්ටේලියාව!

    ReplyDelete
    Replies
    1. //ආලය, තෘෂ්ණාව, ක්‍රොධය, ඊර්‍ෂ ්‍යාව යනාදී ක්ලෙශයෝ සියල්ලන්ගේ ම ප්‍රඥාව හා මනශ්ශක්තියත් නසන්නාහ// සැටිපිකැට් ඇත්ත 💯%

      Delete
    2. මං හිතුවෙ, ගොඩක් ඉස්සර අස්සයො හිටපු නිසා, හෝස්ට්‍රේලියාව - පස්සෙ කාලෙක දි ඔ්ස්ට්‍රේලියාව වෙලා කියල.

      අරක ඇත්ත තමයි. රාගය ඊට අමතරව ශාරීරික ශක්තියත් නසනව.

      Delete
    3. එතකොට මෘගාඞ්කවතී හිටියෙ නිව්සීලන්ඩ් වලද?

      Delete
    4. ටැස්මේනියන් යකෙක් වෙන්ඩත් පුලුවං?

      Delete
    5. ඔඩ්ඩි මස්සිනා කියන්නෙ එතකොට කතන්දර කාරයට ද?

      Delete
    6. ඔ්ක කැනඩාවට පටළවන්ඩ ක්‍රමයක් නැද්ද?

      Delete
    7. මේ ඉන්නෙ ඔඩ්ඩි මස්සිනා
      https://www.facebook.com/share/14dWp5UXye/

      Delete
    8. ඔඩ්ඩි මස්සිනාගෙ දැනුම හොරකං කරල තමා පර සුද්ද ඕඩිකොලොං හැදුවෙ!

      Delete
    9. "හෙලයෙක් වීම ගැන ආඩම්බරයි නං..." කියන වගන්තියත් අන්තිමට දාන්ඩ ඔ්නෙ, ඔය වගෙ ප්‍රකාශවලට.

      Delete
  7. "රජතුමා ඉස්සරත් රටවැසියා ගැන විචාරන්නැතුව අන්තඃපුරයට වෙලා සැප විඳ විඳ හිටියා. දැන් මේ මෘගාඞ්කවතිය ගෙනාවට පස්සෙ ඉස්සර හිතුව තරම් වත් රට ගැන හිතන එකක් නෑ, මට තමා ආයෙමත් කට්ට කන්ට වෙන්නෙ" කියලා හිතිලා තමා අගමැතියා පපුව පැලිලා මැරෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔ්කයි ප්‍රශ්නෙ. මේ ලී බෝනික්කා එක්ක බෑනෙ මේක කොරන්ඩ...!

      Delete
  8. සුබ 2025ක් වේවා!

    කලින්ම කීවා ඔන්න

    ReplyDelete
    Replies
    1. එසේ ම වේවා!

      ඔන්න මාත් කිව්වා...

      Delete
  9. වේතාලයා ආයේ සම්ප්‍රාප්ත වුනා නේද ? ඊයේ ඇවිල්ල කතාව දිග නිසා අස ඔක්කොම කියෙව්වා . අම්මප රජ්ජුරුවෝ කියන්නේ කාන්තාවක් දැක්කොත් එතැන පැලවෙන ජාතියේ අයනේ . අගමැති නම් මැරුණේ 'මේ රජාව හදන්න පුළුවන් එකෙක් නෙමේ කියල ' අන්තිමටම් තේරිලා

    ReplyDelete
    Replies
    1. ආාාන්න ඒකයි ඒකෙ අවයවය.

      වේතාලයා නං ආයෙ ඊළඟ අවුරුද්දෙ කොටසින් කියවන්න ලැබෙයි කියල තමයි හිතං ඉන්නෙ.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි