Wednesday, November 5, 2025

පසළොස්වක පොහොයදා ආච්චි සමඟ සිල් ගනී

කරලැයින් ආච්චි සමග චිත්‍රපටියක් බැලීමට ගිය කතාවේ මුලින් සඳහන් කර ඇති සිල් ගැනීමේ කතාව, සුනන්ද කෝදාගොඩ ගේ විනෝද රසාංග පොතෙන් උපුටාගෙන පසළොස්වක පොහොය දින පළ කිරීම සුදුසු බව සිතුවෙමි...

"නැගිටපන්"

පසළොස්වක පොහෝදා හිමිදිරි පාන්දර කොඳු නාරටිය තුනට හතරට නමාගෙන කුම්භකර්ණ සෙයියාවෙන් නිද්‍රෝපගතව සිටි මට ආත්තම්මාගෙන් හැරමිටි පාරක් වැදුණි.

"මට බැහැ"

අනපේක්ෂිත අයුරින් ලද ඒ හැරමිටි පහරින් මුචලින්ද නාගරාජයා මෙන් කිපුණු මම අනෙක් ඇලයට හැරී නැවතත් නින්දට වැටුනෙමි.

"නැගිටපන් යකෝ... උඹ සිල් ගන්න යන්නේ නැද්ද...?"

හතර පෝයටම සිල් ගන්නා අපේ ආච්චි මාවද සිල් ගැනීමට එකතු කරගෙන යාමට නොගත් උත්සාහයක් නැත. එහෙත් මම ඒ හැම වාරයකම කට්ටි පැන ඇගෙන් බේරුනේ ගැහැණු ළමයෙකුගේ ග්‍රහණයෙන් බේරෙන තරුණ කොලු ගැටයෙකු මෙන්ය.

මෙදා සැරේ නම් ඇගෙන් ගැලවීමක් නැත. ඊයේ උදේ සිට මට කිසිම ආහාරයක් නොදී නිරාහාරව තැබූ ඇය මා මීමින්නෙකු සේ පොළොව බදාගෙන ඇඬූ පසු රාත්‍රී කෑම වේල පවා දුන්නේ මෙම පෝයදා සිල් ගැනීමට යන බවට මා පොරොන්දු කර ගැනීමෙන් පසුවය. සිල් ගැනීමට වඩා දැන් මට ඕනෑ කරන්නේ නිදා ගැනීමයි.

"මට බැහැ සිල් ගන්න යන්න..."

"නිදි කුම්භයා...! මෝඩයා...! බූරුවා... වසවර්තියා...!"

"මතක නැද්ද ඊයේ රෑ කිව්වා අද උදේ සිල් ගන්න එනව කියල" ආච්චි කනෙන් අල්ලා මා පැදුරෙන් නැගිට්ටෙව්වාය.

"ඒ වුනාට දැන් මට බැහැ..." මම උට්ඨාන වීර්යයෙන් යුක්තව නැවතත් පැදුරේ ඇලවුනෙමි. 

උපන්දා සිට අද වනතුරු මා සිල් අරගෙන නැත. නොදන්නා දෙමළෙට ගොස් වරිගේ නහගන්නවාට වඩා දන්නා සිංහලෙන් නිදා ගැනීම යහපත්ය. ගමරාළ හා හා පුරා කියා සිල් ගැනීමට ගොස් සිදුවූ අකරතැබ්බය මා ඉස්කෝලේ යන කාලයේ අසා ඇත.

ආච්චි හදන්නේ ගහ දන්නා මට කොළ කඩා පෑමටය. ඇය කොතෙක් හිරිහැර කළත් අද නම් මම සිල් ගන්නට යන්නේම නැත.

"නැගිටපන් කාළකණ්ණියා... දැන් මට පරක්කු වෙනවා. බලපන් අද කොච්චර හොඳ දවසක්ද...?"

අද පසළොස්වක පෝය. බෞද්ධයෙකුට තියෙන වැදගත්ම දවස..." ආච්චි මා සම්‍යක්දෘෂ්ටිකයෙකු කිරීමට උත්සාහ කරයි.

"මට බැහැ...! මට බැහැ...! මට බැහැ...!" දෝමනස්ස සහගත පටිඝසම්පයුක්ත චිත්තයෙන් නැගිටගත් මම පොළොවේ අඩි හප්පා කෑ ගැසුවෙමි. වසවර්ති මාරයා දුටු කලෙක මෙන් ආච්චී කිලෝ ග්‍රෑමයක් පස්සට පැන්නාය.

"හෙමින් කතා කරපන් ළමයෝ..." සෝමනස්ස සහගත ඥානසම්පයුක්ත චිත්තයෙන් ආච්චි මගේ ඔලුව අත ගෑවාය.

"බලපන් අර අල්ලපු ගෙදර සීලවතී ළමයත් අද සිල් ගන්නව. ගමේ ගැහැණු ළමයි ඔක්කොම අද පන්සලේ" අහෝ දෙවියනි; උතුම් වූ පසළොස්වක පොහොය දවසේ සිදුවන්නට යන දුර්භාගයයක මහත! ගමේ ගැහැණු ළමයින් සියලු දෙනාම අද පන්සල ආක්‍රමණය කරන්නේ නම් මා මෙසේ වකුටු වී නිදා ගැනීමෙන් කුමණ ප්‍රයෝජනයක්ද? අල්ලපු ගෙදර සීලවතී නංගී අද සිල් ගන්නේ නම්, අපායට ගියත් මමත් සිල් ගත යුතුය.

"යං ආච්චි යං..." ඇස් දෙක පිහදා කබ කඩාගත් මම සිල් රෙදි පොරවාගෙන සම්මා සංකල්පයෙන් යුක්තව ආච්චි සමග ඉස්සර වුනෙමි.

සීලවතී නංගිට පින්සිදු වන්නට මමද පන්සලට පැමිණියෙමි. අද පන්සලට නොපැමිණියේ නම් මා ජීවිතයේ කර ගන්නා ලද ලොකුම ගොන්කම එය වන්නට ඉඩ තිබුණි. තුන්සිය හැටපස් දවසේම බොරු කියා මා රවටන ආච්චි අද මෙම පොහොය දවසේ කියා ඇත්තේ පරම සත්‍යයකි. ගමේ ගැහැණු ළමයින් පන්සල ආක්‍රමණය කර ඇත.

පොලිස් කාරයෙක් හොර අරක්කු තිප්පලක් සොයාගන්නාක් මෙන් මම සෙනඟ පීරා ගෙන ගොස් සීලවතී නංගී සොයා ගත්තෙමි. ආච්චිද හැරමිටි වාරුවෙන් එන මාර දිව්‍ය පුත්‍රයෙකු මෙන් මා පසුපස පැමිණියාය.

"අපි මල් ගෙනාවෙ නැහැ නේද ආච්චියේ..." සීලවතී නංගී අත තිබුණු මල් වට්ටියට පෙරේත බැල්මක් හෙලූ මම තව ටිකක් ඈට ළංවුනෙමි.

"ඇත්තමයි; මල් ටිකක් ගේන්න අමතක උනානේ..." දැන් මාගේ සම්මා ආජීවය කෙරෙහි ආච්චි පැහැදීමකින් සිටී.

"මල් ටිකක් දෙන්නද...?" සංගීත ප්‍රසංගයකදී ඇහෙන ඉමිහිරි සංගීත රාවයක් බඳු සීලවතී නංගිගේ කටහඬ කන් දෙක පසා කරගෙන ගොස් හද පතුලටම කිඳා බැස්සේය. පාද යුග්මය 'සට - සට' යන අනුකරණයෙන් වෙව්ලා ගිය නමුදු මම උට්ඨාන වීර්යයෙන් යුක්තව අනිමිසලෝචන පූජාවෙහි යෙදුනෙමි.

"මල් නැතුවට කමක් නැහැ. යමං සිල් ගන්න..." ආච්චි මට හැරමිටියෙන් ඇන්නාය.

"කමක් නැහැ ආච්චි අම්මේ; මල් ටිකක් අරගෙන යමු. පව්නේ පසළොස්වක පෝය දවසේ මල් නැතිව බුදුන් වඳින එක" හැරමිටි පාරද කාගෙන මම ඇයට අත පෑවෙමි. ඇය මල් අහුරක් මා අතේ තැබුවාය. මම මල් ටිකක් ගන්නා ගමන් ඇගේ ඇඟිල්ලක් ද මිරිකුවෙමි. ආච්චි තරහෙන් පුපුරමින් නවගුණවැල අතට ගත්තාය.

"පරක්කු වෙලා නේද ආවේ...?" ඒබරන් සීයා ආච්චිගේ කනට කර ඇසුවේය.

"ඔව් ටිකක් පරක්කු වුණා" ආච්චි නවගුණවැලේ ඇටයක් පහතට දැම්මාය. "ඊයේ රෑ ගබං ලොක්කගේ දුව පැනල ගිහින්ලුනේ...?"

"ඒක නේන්නම්. අබුද්දස්සකාලෙට වෙන වැඩ. අර වසවර්තිය ඒ කෙලීව රවට්ට ගන්න ඇති. නොදකින් වනචර හැත්ත."

"ඒ හාදය බැඳපු එකෙක් නේද?"

"බැඳල ළමයි දෙන්නෙකුත් ඉන්නවලු."

"අනේ අනිච්චං සංසාරේ" ආච්චිත් සීයත් මෙලොව සිහියක් නොමැතිව සතර සතිපට්ඨානය කියවන අතරේ මම සීලවතී නංගී සමග බුදුන් වැඳ සම්‍යක් වචනයෙහි යෙදුනෙමි.

"ඔයා හැමදාම සිල් ගන්නවද...?" මම ඇයට ළං වී ඇසුවෙමි.

"නෑ පෝයට විතරයි... ඔයා?"

"මම ඉස්සෙල්ලාම අද තමයි සිල් ගන්න ආවේ."

"මීට පස්සේ හැමදාම සිල් ගන්න එනවද...?"

"ඔයා එනවනම් එන්නම්..."

සතිපට්ඨානය කියවීම මඳකට නැවැත්තූ කරලැයින් ආච්චි අප අතරින් හැරමිටිය තිව්වේ සිල් කවලන් වෙන නිසා වෙන්නට ඇත. එහෙත් ඒ හැරමිටියට තබා වසවර්ති මාරයාටවත් අද අපගේ සීලයට බාධා කළ නොහැක.

"අල පන්සීයක් කීයද... රුපියල් හතයි.

"රතුලූණු තිහයි."

"නොදකින් කාලකන්නි කලුකඩකාරයො තමයි රට කන්නේ... මුන්ට හෙණවත් පහත් වෙන්නේ නැහැනේ"

ආච්චි අම්මලා ටික එකතුවී ගජරාමෙට කර්මස්ථාන කියවති. සීලවතීත්, මමත්, ඊට වඩා වැදගත් නවීන පන්නයේ ආදර භාවනාවක යෙදුනෙමු.

"යමං ගෙදර..."

භාවනාව අවසන් කළ ආත්තම්මා මට හැරමිටි පාරක් ගැසුවාය. සීලවතීගේ අත අතහැර මම නවගුණවැල අතට ගත්තෙමි.

"මට බෑ... මං හෙටත් සිල් ගන්නවා..."

"ඔහොමද යකෝ සිල් ගන්නේ...?" ආච්චි සීලවතී දෙස රවා බැලුවාය.

"කෙළෙස් මාරයෝ හැම තැනම. කොල්ලෙකුට පන්සලටවත් එන්න විධියක් නෑ...

යමං ගෙදර...!" ආච්චි මගේ අතින් ඇද්දය.

මම නාහෙන් අඬන්නට පටන් ගත්තෙමි.

"ඔන්න ඔහේ හිටපුවාවේ. සිල් ගත්තත් කොල්ලො කෙල්ලොනේ... අපිත් තව ටිකක් වෙලා භාවනා කරමු..." ඒබරං සීයා ආච්චිගේ අතින් අල්ලාගෙන ධර්ම ශාලාවේ කෙළවරට ගියේය. 

අපි ආච්චිටත් හොරෙන් බෝමලුවට ගොස් අලුත් භාවනාවක් පටන් ගත්තෙමු.

"අට්ඨි... මස්මිං... කායේ... කේසා..." කරලැයින් ආච්චිත්, ඒබරං සීයත් භාවනා කරන හඩ අපට ඇසේ.

"ඔයා මට ආදරේද...?" සීලවතීගේ කරේ තිබුණු නවගුණවැල ගලවා මම ඒ වෙනුවට මගේ අත ඇගේ කරවටා දැමුවෙමි.

"ඔව්..." සීලවතී නවගුණවැල වෙනුවට මගේ අතේ ඇඟිලි, ඇටපුරුක් ගැන්නාය.

"ඇයි ඔයා සිල් ගන්න ආවේ...?"

"ඔයා එන බව දැනගත්තු හින්දා..."

"කොහොමද දන්නේ මම එන බව...?"

"ආච්චි කීවා මාත් එක්ක. ඔයත් අද සිල් ගන්නව කියලා..."

"හෙටත් එනවද සිල් ගන්න..."

"හෙට පෝයක් නැහැනේ...?"

"පෝයක් නැතිවුනාට කමක් නැහැ අපි සිල් ගමු..."

"අපෝ එතකොට හොඳ නැහැ. අනිත් අය සැක හිතයිනේ. අපි දෙන්න විතරක් සිල් අරගෙන ඉන්නකොට."

"ඇයි ඔයා බයද?"

"ම්... හු..." ඇය ඔලුව වැනුවාය.

"කෝ... කෝ... මේ වසවර්තියා..." ආච්චිත්, ඒබරං සීයාත් භාවනාව අවසන් කොට අප සොයන්නට පටන් ගෙන ඇත.

"රහත් වුනාද දන්නෙ නැහැ. නවගුණවැලත් අතේ තියාගෙන නේද හිටියේ"

ඒබරං සීයා පුදුමයෙන් වටපිට බලයි.

"රහත් වෙලා තියෙන්නෙ අරකිත් එක්ක..." ආච්චි දත්මිටි කමින් පිළිකුල් භාවනාවේ යෙදෙයි.

"අර ඉන්නේ... අර ඉන්නේ..." ඒබරං සීයා අප දුටුවේය.

"වසවර්තියා...! කාලකණ්ණියා...! දේවදත්තයා, හිටු තොට මං..."

ආච්චි හැරමිටියද උස්සාගෙන දුවගෙන එන්නේ මෛත්‍රී භාවනාවද කණපිට පෙරලාගෙනය.

එනපොට එතරම් හොඳ නැත. සීලවතී‌ගේ අත අල්ලාගත් මම උට්ඨාන වීර්යයෙන් හා සතර සම්‍යක් ප්‍රධාන චිත්තයෙන් දුවන්නට පටන් ගත්තෙමි. ආච්චිත් ඒබරං සීයාත් අප ලුහුබඳිමින් සිටී.

"මට නම් දැන් ගෙදර යන්න බෑ. ගෙදර ගියොත් ආච්චි මාව මරාවි..."

මම හති ලමින් නැවතුනෙමි.

"එහෙනං යං අපේ ගෙදර..." සීලවතී නංගී මගේ අතින් ඇදගෙන නැවතත් දුවන්නට පටන් ගත්තාතා. මම සීලවතී සමග ඇගේ ගෙදරට රිංගා ගත්තෙමි. ඉතින් නම් මට ගෙදර යාමට ලැබෙන්නේ නැත. කවදා හෝ මා ගෙදර එන බව දන්නා කරලැයිං ආච්චි හැරමිටිය ද උස්සාගෙන මඟ බලා සිටිනු ඇත. හැරමිටි පූජාවේ බරපතලකම දන්නා මම සීලවතීගේ ගෙදරම නැවතුනෙමි.

පසළොස්වක පොහොය දවසේ සිල් ගැනීමෙන් මා කර ගන්නා ලද කුසල කර්මයේ විපාක දිට්ඨධම්මවේදනීය වශයෙන් ලැබෙ අපරාපරිය වේදනීය ත්ත්ත්වයටද පැමිණ ඇත. ආච්චි තියා මහා බ්‍රහ්මයා ඇවිත් කතා කළත්, ඉතින් නම් මා සිල් ගන්නට යන්නේ නැත.

No comments:

Post a Comment

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි