පසුගිය පුර පසලොස්වක් පොහොය දිනයේ මා සිල් ගැනීමට කැන්දාගෙන යාමෙන් කරලැයින් ආච්චි විසින් කරන ලද ශ්‍රේෂ්ඨ කර්තව්‍යයට ප්‍රත්‍යුපකාර වශයෙන් යමක් කරන්නට මගේ සිත මට බල කරයි. එවිට එදා සිදුවූ සියලු ආනන්තරීය කර්මයන් අමතක කර දමා ඇය මට අභය දානය දෙනු නො අනුමානය.
'ආච්චියේ...' එක් රැයක් ගෙදර පැමිණීමට අමතක වූ විට නැන්දම්මා කෙනෙකු ඉදිරියේ බැගෑපත් වන සුවච කීකරු බෑනා කෙනෙකු මෙන් මම තුනට හතරට නැමී ආච්චි ලඟට පැමිණියෙමි.
'තුඃ නොදකිං කාලකණ්ණිය...' ඊශ්‍රායෙල් යුද භටයෙකු මෙන් කිපුණු ආච්චි හැරමිටිය අතට ගත්තාය. බෲස්ලි මෙන් අට ඉස්බක් උඩට පැන කරණමක් ගැසූ මම හැරමිටියද උදුරා ගෙන එකත් පසෙකට වීමි.
'මෙහෙ දියං මගේ හැරමිටිය...'
'පොඩ්ඩක් ඉවසන්නකො ආච්චියෙ... ආච්චි මෛත්‍රී භාවනාව කරනවා නේද...?'
'නොදකිං කැස්වටුව... තෝ එනවද බොල ඒ පාර මට මෛත්‍රී භාවනාව උගන්නන්න...'
'නෑ ආච්චියෙ මං ආවේ කළගුණ සලකන්න...'
'කළගුණ සලකන්න...'
'ඔව්... ආච්චි මාව සිල්ගන්න එක්ක ගියානෙ... ඒ හින්ද මං ආච්චිව එක්කං යනව අංගුලිමාල පෙන්නන්න...'
'අංගුලිමාල... කොහේද බොල දැන් අංගුලිමාලයෙක් ඉන්නේ... තෝ එනවද මාව ගොනාට අන්දන්න...' ආච්චි ඉදිරියට පැන මා අත තිබූ හැරමිටියද උදුරා ගත්තාය.
'නෑ ආච්චියේ, අංගුලිමාල චිත්‍රපටිය. ඉන්දියාවේ ෆිල්ම් කරල තියෙන්නෙ...
බුද්ධගයාව ලුම්බිණිය, ඉසිපතනෙ, ගිජුකුළු පව්ව, ඔක්කොම පෙන්නනවලු'
'අනේ පුතේ... කොහේද ඔය පිංතූරේ පෙන්නන්නේ...' ආච්චි අහිගුණ්ඨිකයෙකු දුටු නයෙකු මෙන් දැපනෙ වැටුනාය.
'මෙහේ හෝල් එකේ...'
'පුතාට සියළු දෙවි හාමුදුරුවන්ගෙ පිහිටාරක්ෂාව ලැබෙන්න ඕන... ඒකෙ අංගුලිමාල බුදුහාමුදුරුවන්ගෙ පස්සෙන් එලවනවත් පෙන්නනවද පුතේ...'
'ඔව් ආච්චියේ බුදුහාමුදුරුවෝ පණපිටින් වගේ...' මේ ගමනට ආච්චි කැන්දාගෙන යා යුතුම නිසා මම බේගලයක් ඇද බෑවෙමි.
'අනේ සාදු... බුදුරැස් විහිදෙනවත් පේනවද පුතේ...?'
'ඔව්...'
'සාදු! සාදු! කීයටද පුතේ පිංතූරෙ පටන් ගන්නෙ...?'
'හයහමාරට... ආච්චි ලෑස්ති වෙන්නකො ඉක්මනට... තව පැයයි තියෙන්නෙ...'
'ඔය හැටි ලේසිතිවෙන්නේ මොනවටද පුතේ, ඉක්මණට යං. සෙනගත් ඇතිනේ...'
'ආච්චියේ...'
'ඇයි පුතේ...'
'මේ... මේ...' වැස්සට මතු වූ ගැඩවිල්ලකු මෙන් මම ඇඹරෙන්නට උනෙමි.
'ඇයි සල්ලි එහෙම මදිද පුතේ...?'
'නෑ ආච්චියේ.'
'එහෙනං...?'
'ආච්චිට තනියි නේද, තනිමය යනකොට...?'
'ඇයි පුතා යන්නේ නැද්ද...?'
'නෑ... මමත් යනව...'
'එහෙනං...?'
'තවත් ගෑණු කෙනෙක් එක්කරං ගියානං නේද හොඳ...?'
'කවුද ඉතිං එක්කරං යන්නේ...?'
'ඇයි සී... ල... ව... තී නංගි...' ආච්චි අදත් මුචලින්ද නම් නාග රාජයා මෙන් කිපෙනු ඇතැයි මම සිතුවෙමි. එහෙත් අංගුලිමාලට පින්සිදු වන්නට එය එසේ වූවේ නැත.
'අනේ කොච්චර එකක්ද පිං අයිති වෙන වැඩක් නේ... මෙහෙම දෙයක් පෙන්නන එක...'
ඒකච්ඡන්දයෙන් පනත සම්මත කරගත් මම ආච්චිගේ පූර්ණ අනුමැතිය ඇතිව ඓරාවන හස්ති රාජයා මෙන් එක පිම්මෙන් කඩුල්ල පැනගොස් සීලවතී නංගී කැන්දාගෙන ආවෙමි.
'යමු නේද ආච්චියෙ...'
ආච්චි ඉස්සර කරගත් මා සීලවතී නංගී සමග සිනමා හල කරා ගියේ අතුරු මැතිවරණයකින් ජයගත් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව කරා යන තේජාන්විත විලාසයෙනි. පෝලිමේ සෙනඟ පොර කනු දුටු ආච්චි කෙලින්ම ගොස් මැනේජර්ගෙන් ටිකට් තුනක් ඉල්ලුවාය.
'මොනවයින්ද ඕන...?'
'බැල්කනි...' මම ඉස්සරහට පැන්නෙමි.
'රුපියල් තිහයි...'
සාක්කුවේ සතයක්වත් නැති බව හොඳාකාරව දන්නා නමුදු මම බොරුවට සාක්කු තුන හතරටම අත දැමුවෙමි. එහෙත් ඒ අවසරයෙන් අංගුලිමාලට පිං සිදු වන්නට සර්ධාවෙන් පිරීගිය ආච්චිගේ හැඹිලිය ඉස්සරහට පැන්නේය.
බැල්කනියට ගොස් සීලවතී නංගී ලඟින්ම මා වාඩිවීමට සැරසෙන විට විදුලියක් මෙන් මැද්දට පැනගත් කරලැයින් ආච්චී අප දෙදෙනා දෙපැත්තට කර මැදින් වාඩි වූවේ මට කොනිත්තා සීලවතී නංගීටද රවාගෙනය.
අතක්පිට අතක් තබාගත් ආච්චි නොයිවසිල්ලෙන් තිරය දෙස බලා නිහඬව සිටියේ අංගුලිමාල පෙන්වන තුරුය. එහෙත් ඇගේ නිහඬ බව වැඩි වේලාවක් පැවතුනේ නැත. තරුණ යුවලක් අත්වැල් බැඳගෙන පැමිණ ආච්චි ඉස්සරහින් වාඩිවිය.
'නොදකින් වනචරයෝ...' ආච්චි ඔවුන් දෙස රවා බලා කෙළ පහරක් ද ගැසුවාය.
'ඉන්නකො ආච්චියේ කෑ ගහන්නේ නැතුව...' කිසි දිනෙක බැල්කනියට පැමිණ චිත්‍රපටියක් නොබැලූ ආච්චි බැල්කනියට කැන්දාගෙන ඒමෙන් මා කරගත් ගොන්කමේ බරපතලකම මට වැටහුනෛ් දැන්ය. එහෙත් මෙය මෙතනින් කෙළවර නොවන බව මම දනිමි.
විනාඩියෙන් විනාඩිය තවත් තරුණ තරුණියෝ අත්වැල් අල්ලාගෙන පැමිණ ඔවුනොවුන් තුරුළු වී පෙම්බස් තෙපලන්නට වූහ.
'මෙව්ව පෙන්නන්නද යකෝ මාව එක්කරගෙන ආවේ. අර බලපං අරකි ඉන්න ලස්සන... අරූට තුරුල්වෙලා... මුංගෙ මහ එවුන් මොනවට මුං හැදුවද මං අහන්නේ... වනචර හැත්ත...'
'සද්ද නැතුව ඉන්නකෝ ආච්චි...'
'සද්ද නැතුව ඉන්න... මොනවටද මං කියන්නේ අර... අර බලපං අරකි අරූට තුරුල්වෙලා ඉන්න හැටි... මුන්ට විළිසංගෙ නැද්ද මං අහන්නේ...'
'ඔහොම තමයි ආච්චි බැල්කනිය...'
'තෝ මේව පෙන්නන්ද බොල මං මේකට එක්කං ආවේ... මේව බලල තමයි උඹත් නරක්වෙලා තියෙන්නෙ... මුන්ට ගෙවල් නැද්ද මං අහන්නෙ මඟුල් නටන්න මේ වගේ වැදගත් තැන්වලටම එන්නේ... යමං යන්න ඒ චිත්තර පටියෙන් කමක් නෑ...'
ආච්චි සීලවතී නංගිත් ඇදගෙන ඉස්සර වූවාය.
'අර අර... පේනවද අරුන්ගෙ අත් එහෙම තියෙන තැන්... තුඃ නොදකින්...'
ආච්චි එලියට එන ගමනුත් තරුණ යුවලක් දෙස රවා බැලුවාය. ඔවුන් තුබූ තැන්වලින් අත් ඉවතට ගත්තේ විදුලි වේගයෙනි.
'ඇයි යන්නේ චිත්‍රපටිය බලන්නෙ නැද්ද...?' මැනේජර් සීලවතී නංගීත් ඇදගෙන යන කරලැයින් ආච්චිගෙන් ඇසුවේය.
'නෑ... නෑ... මහත්තයාට පිං අයිති වෙච්චාවේ ඊට වඩා හොඳ චිත්තර පටියක් අපි බැලුව...'
කරලැයින් ආච්චී සමග බැල්කනියට යාමෙන් මා කරගත් බ්‍රහ්ම ගොන්කම නිසා සීලවතී නංගී සමග නිවී සැනසිල්ලේ චිත්‍රපටියක් බැලීමට තිබූ භාග්‍යයද අහිමි වීමෙන් මන්ත්‍රීවරයෙකුට චිට් එක දුන් ගමන්ම පාර්ලිමේන්තුවට යාමටත් කලින් චිට් එක උදුරා ගැනීමේදී ඇතිවන තරමේ දුකක් කණගාටුවක් මට ඇති විය.
ඉතින් නම් මේ සම්ම ජාතියේ චිත්‍රපටියක් බැලීමට යාමට මට ආච්චීගෙන් අවසර ලබා ගැනීමට නොහැකි වනු ඇත.
සුනන්ද කෝදාගොඩගේ විනෝද රසාංග පොතෙනි. මේ කතාවේ මුලින් ම සඳහන් වන සිල් ගැනීමේ කතාව ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.
වැඩිදුර රසවින්දනය සඳහා...
මේ දවස්වල කකුලෙ සුළැඟිල්ල ටීපෝ එකේ කකුලෙ වැදුනත් රිද්ම් ඔෆ් ගිටාර් වන බැවින්...
No comments:
Post a Comment
කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!