පහුගිය පෝස්ට් එකට කමෙන්ට් කරපු රුසියානු ලී බෝණික්කා මරාල කොන්ත්‍රාත්තුවක් පංගනාර්තු කරපු අතර, ඒ කොන්ත්‍රාත්තුව මේ වන තුරුත් ඉවර කරගන්න බැරි උනේ ය. ඒ උනත් බ්ලොග් එක පාලුවට අරින්න බැරි කැසීමක් තිබෙන නිසා, සුනන්ද කෝදාගොඩ මහතාගේ විනෝද රසාංග පොතෙන් උපුටා ගත්ත කතාවක්, හුදී ජන රසවින්දනය උදෙසා මෙහි පල කර සිටිනවා ඇත. මීට පෙරත් ඒ පොතෙන් ම කතා දෙකක් මං පල කර ඇති අතර, ඒවාට ලිංක් පහළින් දක්වා ඇත.
1. පවු(ල්)කාරයින්ගේ සංගමය මෙහෙයවන අවුරුදු සැණකෙලිය
2. බඩුපෙට්ටියක කොළඹට ගිය ගමනක්
* * *
"දඩාස්..."
"බුදු අම්මෝ..."
ආච්චිගේ ලතෝනියෙන් මම මුසපත් උනෙමි. අහළ පහළ සියලු දෙනාම ඒ දෙසට දුවගෙන එන්නට විය. ආච්චි කෙඳිරි ගාමින් සිටී.
"ඇයි...? ඇයි...?"
අල්ලපු ගෙදර පොඩි එකා ආච්චිට ළංවිය.
"කොස්... මස්... වැටුණා" උන්දෑට කියා ගන්නට ලැබුනේ එපමණකි. සිහිසන් නොමැතිව ගිය ඇය ළඟට කිට්ටු වන්නට කිසිවෙක් ඉදිරිපත් නොවීය.
"එක්කෙනක්වත් අල්ලන්න එපා..." "අයින් වෙන්න. අයින් වෙන්න." "කෝ කෑලි එහෙමත් තියෙනවද?" ගත වූයේ තත්පර කීපයකි. දහසකට අධික සංඛ්‍යාවක් අපේ ගෙවත්තට එකතු වී සිටිති. ඒ සියලු දෙනාම කොස්මස් යානය ලංකාවට කඩා වැටෙන තුරු බලාගෙන සිටි අයය.
"ඕකුන්ට ඕක උන්ගෙ රට වටේ කරකවන්න තිබුනනේ... අහවල් මගුලකට ලංකාවට එව්වද? ඕක අපේ වත්තට වැටිල මගේ පොඩි එකෙකුට තුවාලයක් උනානං එහෙම ඕකුන්ගෙ..." ඇමෙරිකාවට එදා සිටම විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමින් සිටින ඒබරංමාමා ද අඩියක් ගසා ගෙන එතැනට පැමිණ දත්මිටි කෑවේය.
සෙනඟ හැසිරවීම සඳහා පොලීසියෙන් පැමිණි මහත්තැන්ලා බයිනෙත්තු, රයිපල් මානාගෙන අවට විපරම් කරන අයුරු මම දුටුවෙමි. රස පරීක්ෂකයන් යැයි සිතිය හැකි පිරිසක් ඒ අවට ගල්, වැලි බොරළු, අළු දූලි ආදිය එකතු කරන්නට විය. පුවත්පත් නියෝජිතයෝ හතර වටින්ම කැමරා මානාගෙන ප්‍රදේශය දෙවනත් කරමින් තොරතුරු සෙවූහ.
"කවුද මේක ඉස්සෙල්ලම දැක්කෙ...?"
"මම... මම දැක්කෙ" පුංචි කොළු ගැටයෙක් ඉදිරිපත් විය. ඌ දැක්ක කෙංගෙඩියක් නැත. සිදු වූ සියල්ල දුටුවේ මමය. එහෙත් මට ඔවුන් ඉදිරියට යා ගත නොහැකිය.
"කියන්න බලන්න මොකද්ද උනේ කියල..." කැමරා එකින් එක ළමයා වෙත උළුක් වන්නට විය. විදුලි වරුසාවක් ලෙසින් පොටෝ ගණනාවක්ම වැදුණි.
"දඩාස් ගාලා සද්දයක් ඇහිල මං කක්කුස්සියෙ ඉඳල දුවගෙන ඇවිත් බැලුව."
වාර්තා කාරයෝ නාස් තද කර ගන්නට වූහ. ළමයාට මේ වෙනස දැනුණි.
"නෑ මං හෝදගෙන ආවෙ..." එකෙනෙහිම ඇඟිලි තුඩුවලින් නාස් පොලු නිදහස් විය.
"ඉතිං ඉතිං..." පුවත් පත් වාර්තා කරුවෝ සියලු දෙනාම තවත් ළංවී කරුණු විපරම් කරන්නට වූහ.
"ඊට පස්සේ මේ ආච්චි මෙතන වැටිල ඉන්නව මම දැක්ක..."
"ඉතිං ඔය ළමට ළඟට ආව...?"
"ඔව්"
"ආච්චි ඇල්ලුවද?"
"නෑ..."
"කතා කළාද?"
"ඔව්"
"මොනවද කිව්වෙ...?"
"හරියට කතා කරගන්නවත් බෑ!" ඔව්හු සියලු දෙනාම එකම නිගමනයකට එළඹුනහ.
"කාගෙද ඔය සරම?"
"ඒකත් මේ ආච්චිගෙ ඇඟට වැටිල තිබුණෙ."
"ඉතිං මොකටද ඕක අතට ගත්තෙ. බිම දාන්න. බිම දාන්න."
කීප දෙනෙක්ම කෑගසන්නට විය. ළමයා සරම විසි කරනවාත් සමගම පොටෝ කීපයක්ම වැදුණි. රසපරීක්ෂකයින් එක්වී කිසියම් උපකරණයකින් සරම ගෙන රස පරීක්ෂණාගාරයට ගෙන යෑම සඳහා වීදුරු පෙට්ටියකට දමා ගත්තේ ය.
කිසි දිනක පිජාමා සරමක් නොදුටු එවුන් සේ හැමදෙනාම ඒ සරම නරඹන්නට විය. වෙනදා මා දෙස හොරැහින්වත් නොබලන අහළ පහළ තරුණියන් සියලුදෙනාම ඇස් කරකව කවා ඒ සරම දෙස ඉතා ආසාවෙන් බැලීම මාගේ අධිකතර චිත්ත ප්‍රීතියට හේතු විය.
"තව කවුද මේ සිද්ධිය ඇහින් දැක්කෙ...?" පොලෝසියේ මහත්තැන් කෙනෙක් මහ හඬින් මුරගාන්නට විය. එහෙත් වෙනත් කිසිවෙකු ඉදිරිපත් වෙන පාටක් නොවීය.
"බය වෙන්න එපා... තව කවුරුහරි මේ සිද්ධිය දැක්ක කෙනෙක් ඉන්නව නම් කියන්න..."
පත්තා වාර්තාකරුවෙක් පිරිසගෙන් විමසන්නට විය.
"මමත් දැක්ක..." රූමත් තරුණියක් ඉදිරියට පැමිණියාය. මගේ ඇස් මටම අදහා ගැනීමට නොහැකි විය. මම විළි ලැජ්ජාවෙන් හතර අතට ඇඹරුනෙමි. මේ සියලු විනාශයට මුල ඇය බව ඇයවත් නො දන්නවා විය හැකිය. ඒ මැගිලින් නැන්දාගේ දුවය.
"ඉතිං...? ඉතිං... මොනවද දැක්කෙ නංගී...? කියන්න බලන්න..." පුවත්පත් වාර්තාකරුවෙක් ඇගේ ඔළුව අතගාන්නට විය. මට යකා නැග්ගේය. මහසෝනා මෙන් ගහ උඩින් බිමට පැන බෙල්ල අනිත් පැත්තට කරකැවීමට සිතුනද, මා පත්ව ඇති අසරණ තත්ත්වය නිසා එම අදහස අකැමැත්තෙන් නමුත් යටකර දැමීමට සිදුවිය.
"උදේ නාන්න යන කොට මම දැක්ක... මේ ගෙදර මහත්තයයි මේ ආච්චියි මෙතන ඉන්නව."
"මොනව කර කරද හිටියෙ...?"
"උඩ බලාගෙන හිටියෙ. ඒත් එයා මං දැකලා හිනාවෙලා ආච්චිට හොරෙන් මට ඇහැකුත් ගැහුව."
"කවුද ඒ...?"
"මේ ගෙදර ඉන්න මහත්තය..."
"කවුද මේ ගෙදර ඉන්නෙ...?"
"අර නරනාටක එහෙම ලියන එක්කෙනා..."
"නෑ...! ඒ හාදයත් මෙතන හිටියද...? කෝ... ඉතිං?"
ඉන්පසුව සියලු දෙනාම මා ගැන සොයන්නට වූහ.
මා අතුරුදහන් වී ඇතැයි සමහරෙක් සැක කළහ.
"මේ තියෙන්නෙ... මේ තියෙන්නෙ..."
කවුදෝ කෙනෙක් අළු ගොඩක් පෙන්නුවේය. ඒ ඊයේ රාත්‍රී මා විසින් මරා පුච්චා දමන ලද කුණකටුවාගේ අළු ගොඩය. සියලු දෙනාම එතැනට එකතු විය. "මිනිහත් ඉවරයි එහෙනං" හිතවත් පත්‍ර කලාවේදීහූත්, රැස්ව සිටි සියලුදෙනාත් සංවේගාත්මක සුසුම් රැල්ලක් පිටකරන අයුරු මම අසා සිටියෙමි.
පරීක්ෂණය සඳහා එතැන තිබූ අළු ගොඩ එකතු කර ගන්නා විට මා පිළිබඳව දන්නා නොදන්නා හැම දෙනම මහ හඬින් හඬා වැළපෙන්නට විය.
"අයියෝ අහිංසකය..." සෙලෝ ආච්චි කම්මුලේ අත ගසා ගත්තාය.
"කාටවත් හිරිහැරයක් නැති මනුස්සය..." මැගිලින් නැන්දා කිඹුල් කඳුලු හෙලන්නට වූවාය.
"කොහේ හරි හොඳ තැනක උපදින්න ඇති." මා දුටු තැන "තුඃ!" ගා කෙළ ගසා අහක බලාගන්නා ජුසේ සීයා කොඳුරා කුරුසය ලකුණු කළේය.
දැන් ඔවුන් සිතා සිටින්නේ "කොස්මස්" යානය හිස මත පතිත වී මා අළුදූලි වන්නට ඇතැයි කියාය.
එහෙත් මම සුවසේ හිඳිමි. එනමුදු වෙනස්කම් කීපයක් සිදුවී තිබේ. මා ඉස්සර සිටියේ බිමය. දැන් උඩය. එනම් කොස් ගහ මුදුනේය. ඉස්සර සියලු සම්පත් තිබුණේය. දැන් ඇඳි වතත් අහිමි වී ඇත.
ඔබ සැමගේ දැන ගැනීම පිණිස කොස්ගස මුදුනේ අසරණව සිටගෙන වුවද ඇත්ත හෙළිකිරීම මගේ යුතුකම යැයි සිතමි.
දිවා ආහාරය සඳහා තම්බා ගෙන කෑමට කොස් ගෙඩියක් කඩා ගැනීමට අපේ වත්ත පහළ කොස් ගස ළඟට ආච්චි සමග ගිය මම ආච්චි ගහ යට තබා කොස්ගහට නැග්ගෙමි.
කොස් ගහ මුදුනේ සිට අවට සිරිනැරඹූ මට මැගිලින් නැන්දාගේ රූබර දියණිය දිය නාමින් සිටින මනස්කාන්ත විලාසය අපූරුවට දර්ශනය විය. ඒ චමත්කාර ජනක දර්ශනයෙන් මන්මත් වූ මම ගහ මුදුනේ සිටම කරණමක් ගසා ඇයට අත්පුඩියක් ගැසුවෙමි.
උඩබිම නොබලා ගැසූ කරණම නිසා කොස් අත්තක තිබූ දිමි ගොටුවක් මා හිස මතට වැටී දිමියන් මට වද දෙන්නට විය. දැවැන්ත කොස් අත්තක් අල්ලා ගත් මා බිම නොවැටී බේරී සිටියද ඇසිල්ලකින් මා හැඳ සිටි සරම ආච්චිගේ ඔළුවට වැටුණි.
සිදුවූ අකරතැබ්බයෙන් හතර විලි ලැජ්ජාවෙන් ඇඹරෙමින්, ඒ කුරිරු දිමියන්ගෙන් බේරීම සඳහා අත්තෙන් අත්තට පැන යද්දී මාගේ වම් පාදය වැදී කඩා වැටුණු කොස් ගෙඩියක් ආච්චිගේ පිට කොන්දට වැටී විසිවී ගොස් පහළ ළඳට වැටෙනවා මා බලාගෙනය.
මෙම සිද්ධියේ ආරම්භය එතැනය. එහෙත් ආච්චි සිතන්නට ඇත්තේ ද හිටිහැටියේ "කොස්මස්" යානය කඩා වැටුනා කියා විය යුතුය. සිද්ධිය පිළිබඳ සැලවූ රෝහල් නිලධාරීහු ඇම්බියුලන්ස් එකක දමාගෙන ප්‍රතිකාර සඳහා ආච්චි රෝහලට ගෙන ගියාය.
පරීක්ෂණ කටයුතු අවසන් වී පත්තර වාර්තා කරුවෙන්, රසපරීක්ෂකයන්, විද්‍යාඥයන් හා අසල්වැසියන් බොහෝ දෙනෙක් විසිර ගියද, ඒ දූෂමාන ආරංචිය ඇසූ හැම දෙනාම "කොස්මස්" යානය වැටුණු ස්ථානය හා මා මියගිය ස්ථානය නැරඹීමට වැල නොකැඩී පැමිණෙන්නට විය. ඒ අතර මා ළඟින් ඇසුරු කළ කාන්තාවෝ සහ තරුණියෝ මා මියගිය බව අසා මහ හඬින් වැළපෙන්නට වූහ.
දැවැන්ත කොස් අත්තකට මුවා වී රාහු අසුරේන්ද්‍රයා සේ දිවැසින් මෙන් මේ සියල්ල බලාගෙන සිටිය ද, සරමක් නෙමැති කමින් ගසින් බිමට බැස මට ඔවුන් සනසාලිය නොහැකි ය. ඒ නිසාම හතර වටින්ම ඝණාන්ධකාරය ගලා එනතුරු හතර විළි ලැජ්ජාවෙන් ඇඹරෙමින් මා කොස්ගහ මුදුනට වී සිටිමි.
වසර ගණනාවකට පසුව බ්ලොග් ලිපියක් කියවීමි. කොස්මස් ට ස්තූතියි.අනිත් දවසෙ වත් ඩ්‍රැකියෝ ගස් නගින කොට ශෝටක් ඇදගනු.
ReplyDeleteමේ උපදෙස ඔබ වෙත ගෙන ආවේ පරණ බ්ලොග් මිතුරියකි
උපදෙස් නං මොනවද අනේ... ආපහු බ්ලොග් අතරට එන්ඩ.
Deleteඇත්ත කියාපං ආච්චිට සිහිනැතිවුනේ කොස් ගෙඩියෙන්ද නැත්නම් බොගේ ඇටුවම් බැහැපු සුවිශාල ගජමුතු යුගලය දැකලාද????
ReplyDeleteසරම ඔලුවට වැටුණ කිව්වම ආයෙ මගුලක් අහනව... 😚
Deleteමේක කියවන කොට ඒ කාලේ රිවිරැස පත්තරේ මතක් උනා.
ReplyDeleteඒක හරි. මේ පොතේ පෙරවදනේ තියෙන විදිහට මේ ලිපි රිවිරැසේ පල වෙලා තියෙනව.
Delete