Tuesday, August 26, 2014

මොළයට ආහාර දන්සැලක් - හැමෝටම ආරාධනා...!!!!

සරු බීජ ලියන අපේ පර්යේෂක මහත්තයා හෙවත්, ප්‍රවීණ ලේඛක සුනිල් කුමාරසිංහ අතුකෝරළ කාලාන්තරයක් තිස්සේ දිවයින බදාදා අතිරේකයට ලියපු ලිපි වලින් තෝරාගත් ලිපි එකතු කරලා ප්‍රකාශයට පත් කරපු පොතක්, දොරට වඩිනවා.

පොතේ නම, "ශ්‍රී ලංකාවේ ජනාවාසකරණය, සංස්කෘතිය සහ සන්නිවේදනය"


ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදී
2014-09-13 සෙනසුරාදා  උදේ 9.30 ට තමයි දොරට වඩින උත්සවය...

එදාට එහෙ යන එකේ වැදගත්කම:

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ගේ ප්‍රමුඛ දේශනය
මාතෘකාව - "සිංහල සංස්කෘතියේ විශේෂ ලක්ෂණ"

ඊළඟට - කෘතිය ගැන හැඳින්වීම
ශ්‍රී ලංකා සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා,
සමාජ ‍සේවා විද්‍යාලයේ කථිකාචාරිනී,
ශාමිණි අත්තනායක

මෙහෙයවීම සහ කථනය:
ප්‍රවීණ කිවි,
දෙ. වි. ගාල්ලගේ සහ
රන්බිම ප්‍රධාන කතෘ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කථක,
රන්ජිත් ප්‍රේමතිලක

පොතේ පිදුම:
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේද අධයයන අංශයේ අංශාධිපති
ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර

පුළුවන් අය එන්න... ඔළුවට හරවත් යමක් දාගෙන යන්න...

Sunday, August 3, 2014

පරණ රසකතා

අද මා ඔබට ගෙන එන්නේ පරණ ශ්‍රී සඟර‍ා දෙකකින් උපුටා ගත් රස කතා සහ කාටුන් ටිකක්...

මෙහි කාටුන්, අපේ ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙක් වන ජනක රත්නායක ගේ. ඔහුගේ අත්සන දැකපු විට මටත් පුදුම හිතුණ‍ේ, මෙයා මෙච්චර පරණ කෙනෙක්ද කියන හැඟීමෙන්...



ඊට පස්සෙ තව ශ්‍රී සඟරාවකින් උපුටා ගත්ත විහිළු කතා දෙකක්... මුල්ම කතාවෙ නං, හිනා යන්නෙ කතාවටත් වඩා ඔසීගෙ කාටුන් චිත්‍රයට...






Wednesday, July 16, 2014

බාප්පගේ සත්ත්ව පාලනය - ඉවරයක් නැති ගජබින්නාලංකාරයෙන්

බ්ලොගර් මුත්තා මට එවලා තිබ්බා කවියක්...

අනේ ඩ්‍රැකි මල්ලේ
උඹටත් බ්ලොගක් ඇත්තේ
මොකදැයි කරන්නේ
පොස්ට් නැතිවී වේලියන්නේ...

කියලා.

ඒක දැකපු ගමං මටත් බ්ලොගක් තියෙන බව මතක් වු‍නා.

ඕං ඉතිං කාලෙකිං බාප්පගෙ තවත් කතාවක් ‍අරගෙන මේං මං ආවා.

මේ කියන්නෙ බාප්පලා කන්තලේ ගස් කැපිල්ලට පස්සෙ, කන්තලේ වගා කිරීමටත් පස්සෙ, ආපහු ගමට ඇවිත් ගෙදර වත්ත පිටියෙ වගා කරගෙන දැහැමෙන් සෙමෙන් අඩියක් පුඩියක් ගහගෙන හිටිය කාලෙ. ඩ්‍රැකියගෙ බාප්පගෙ හොඳම යාලුවෙක් තමා මහත්තයා මාමා. මහත්තයා මාමාට තිබුණෙ පර්චස් දහයයි ඉඩම. හැබැයි එයා ඒකෙ හැදුවා හරක්, එළුවො, කුකුළො, ගිණි කුකුල්ලු, තාරාවො... ආදී සත්තු වර්ග ගණනාවක්. බාප්පටත් එකසැරයක් දුන්නා එළු පැටියෙක්.

http://bzupages.net/attachments/
12217d1262042203-goat-funny-animal-picture-4-.jpg

බාප්පා ඉතිං හරි ආදරෙන් මේ එළු පැටියව හදාගත්තා. ඒ කාලෙ බාප්පා ධනාත්මක චින්තනය ගැන මාර උනන්දුවකින් හිටියෙ. ධනාත්මක චින්තනය අඩංගු වුණු දේශන පටිගත කරපු කැසට් එහෙම ගෙනත් බාප්පා අහනවා. ඉතිං එළු පැටියටත් පොඩි කාලෙ ඉඳන්ම උදේ හවස අහන්න ලැබුණෙ එව්වා. අන්තිමේ බාප්පා ධනාත්මක චින්තනය අත්ඇරියා. එළුවා අත්ඇරියෙ නෑ. ඌ අනිත් එලුවො වගේ "බෑ... බෑ..." කියන්නෙ නැතුව "හා... හා..." කියන්න පටන් ගත්තා.

මේක දැකපු බාප්පට මාර අදහසක් ආවා. එලුවගෙ උපන්ගෙයි පුරුද්ද අත් අරින්න පුළුවන් වුනා නං, වෙන සත්තුත් එහෙම පුරුදු කරන්න පුළුවන් වෙයි නේද කියලා. එයාගෙ ඊළඟ ඉළක්කය උනේ මාලුවෙක් ගොඩබිමට පුරුදු කරන එක.

ඉතිං බාප්පා දැළක් දාලා අල්ලගත්තා හුංග පැටියෙක්. (මාදු ග‍ඟෙන් නෙමෙයි, වත්ත පහළ ඇළෙන්) ඇති කරනවත් වෙලා, ටිකක් සැර වැර තියෙන සතෙක් ඇති කරන්න එපැයි? මුලින්ම බාප්පා, හුංගව දවසකට තප්පර දෙකක් වතුරෙන් පිට තිබ්බා. සතියක් විතර යනකොට හුංගා ඒකට හොඳටම පුරුදු වුනා. ඊට පස්සෙ ඒක තප්පර හතර, තප්පර හය, තප්පර අට... ඔය විදියට ටිකෙන් ටික වැඩි කරලා, මාසයක් විතර යනකොට හුංගා ගොඩබිමට හොඳටම හුරු වුනා. මාස දෙකක් විතර යද්දි ඌට පැයක් දෙකක් ගොඩබිම ඉන්න පුළුවන්. ඒ එක්කම බාප්පා හුංගව දම්වැලට පුරුදු කළා. මාස හයක් විතර යද්දි බාප්පා හුංගව දම්වැලෙන් ගැටගහගෙන කඩමණ්ඩිය පැත්තෙ එහෙම යන එන එක කාටත් පුරුදු දර්ශනයක් වුනා.

ශෝකදායක සිද්ධියක් වුනේ ඔය අතරෙදියි. දවසක් බාප්පා අඩියකුත් ගහලා වෙලෙන් පැනලා එනවා, පුරුදු පරිදි හුංගවත් දම්වැලෙන් ගැටගහගෙන. දෙන්නම වැනි වැනී ඒදණ්ඩෙන් එගොඩ වෙනකොටම, මාලුවා ලිස්සලා වැටුනා වතුරට. අනේ ඌට හොඳටම වතුර පෙවිලා, හුස්ම හිරවෙලා, බාප්පා දම්වැලෙන් ඇදලා ගොඩ ගනිද්දිත්, හුංගා මැරිලා.

Tuesday, June 17, 2014

බෞද්ධයිනි අවදිවව්! - (2014 පොසොන් කළාපය 2 කොටස)

http://dhammamedicine.net/wp-content/uploads/2011/04/malak-vee.jpg

මේ පෝස්ටුව සාකච්ඡා කරන්නේ කාලීන ප්‍රශ්නයක් ගැනයි.

බුදුන් වහන්සේ සමඟ වාද කිරීමට, නිඝණ්ඨනාථ පුත්‍ර හෙවත් මහාවීරගේ ප්‍රධාන දායකයෙක් වූ උපාලි ගෘහපති පැමිණීම ගැන,  සූත්‍ර පිටකයේ, මඣ්ඣිම නිකායේ, මඣ්ඣිම පන්නාසකයේ, උපාලි සූත්‍රයේ සඳහන් වෙනවා. අවසානයේ බුදුන් දේශනා කළ ධර්මය තේරුම් ගෙන උපාලි ගෘහපති තෙරුවන් සරණ යාමට තීරණය කරනවා. ඒ බව බුදුන්ට දැන්වූ විට එතුමා ඔහුට කියන්නේ, "සිතා බලා කටයුතු කරන්න. ඒක ඔබ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන්ට මැනවි" යන්නයි.

ඒ ප්‍රකාශයෙන් උපාලි ගෘහපති තව තවත් බුදුන් ගැන පැහැදීමක් ඇති කර ගන්නවා. ඔහු කියනවා, "වෙනත් ශාස්තෘවරයෙක් නම්, මාවැනි ප්‍රසිද්ධ පුද්ගලයෙක් තමන්ගේ දායකයෙක් වූවා නම්, ඒ ගැන නගරය පුරා ප්‍රචාරය කරවනවා. එහෙත් බුදුන් වහන්සේ කීවේ සිතා බලා කටයුතු කරන්න කියායි. එනිසා මම වඩාත්ම උන් වහන්සේ ගැන පැහැදුනා" කියා.

එවිට බුදුන් වහන්සේ ඔහුට මෙසේ කියනවා, "ඔබගේ ගෙදර මෙතෙක් කල් නිඝණ්ඨ ශ්‍රාවකයන්ට නිරන්ත‍රයෙන් දන් දුන් තැනක්. එය දිගටම එසේම කරගෙන යාම වඩා සුදුසු බව මගේ හැඟීමයි."

-----------------------------------

සංඝයා වහන්සේ ගේ ගුණ:

සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,

උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,
යදිදං චත්තාරි පුරිසයුගානි
අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ,
ආහුණෙය්‍යෝ,පාහුණෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ,
අංජලිකරණීයෝ ,අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති.


මේ ගාථාවෙ තේරුම හොයාගෙන යද්දි මට හම්බ වුණා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ ‍පොතක් මෙන්න මේ සයිට් එකෙන්. (මෙතනින් බාගත කරගන්න පුළුවන්)  උන්වහන්සේ පැහැදිලි කර දෙන ආකාරයට තේරුම මෙන්න මේකයි:

නිවණට පමුණුවන යහපත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සංඝයා,
කෙළින්ම නිවණට යොමු වූ සෘජු මාර්ගයට පිළිපන් භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සංඝයා,
අධි ශීල, අධි චිත්ත, අධි ප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපත්තිය පුරන ශ්‍රාවක සංඝයා,
සියළු සත්ත්වයන් කෙරේ මෛත්‍රියෙන් කටයුතු කරන නිසා ගුණවතුන්ට මෙන් සැළකීමට සුදුසු ශ්‍රාවක සංඝයා,
සරණ යා යුතු යුග පුරුෂයන් වෙති,
අට විධ පුරුෂයන් වෙති (සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ගඵල වලට පිළිපන් සහ මාර්ගඵල ලබා ඇති වශයෙන්)
එසේවූ භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සංඝයා:
දන් සකස් කර කොතරම් දුරකට හෝ ගෙන ගොස් පිළිගැන්වීමට සුදුසුය, වෙනත් ආගන්තුකයෙක් වෙනුවෙන් වෙන් කළ දෙයක් වුවත් දානයක් ලෙස පිළිගැන්වීම සුදුසුය, පරලොව අරමුණු කරගෙන දන් දීමට සුදුසුය,
දෝත් නඟා වැඳීමට සුදුසුය, මේ ලෝකයේ ඇති උත්තම වූ පින් කෙතකි, (පින් වර්ධනය කරවා ගැනීම පිණිස කුසල් ක්‍රියා වැපිරීමට සුදුසුය)

බෞද්ධයන්ගේ වැඳුම් ලැබීමට සුදුසු වූ සංඝයා වහන්සේ ඉහත ගාථාවේ සඳහන් ලක්ෂණ වලින් යුක්තයි.

අන් ආගම් ගැන බුදුන් දැරූ සහනශීලී සහ සුහද ශීලී පිළිවෙත ගැන මුලින් කියූ කතාව උදාහරණයක් ලෙස ගොඩක් තැන් වල දැක්වෙනවා.

ඒ වගේම, සංඝයා යැයි කියාගන්නා ප්‍රචණ්ඩකාරීන් පහුගියදා අලුත්ගමදී කරපු ආවේගශීලී ප්‍රචණ්ඩකාරී කතා, සහ හැසිරීම් බොහෝ අන්තර්ජාල පුවත් අඩවි වලින් දැකගන්න පුළුවන්.

සැබෑ බෞද්ධයින් මොකද්ද කරන්න ඕනෙ?

1. බුදුන් අනුගමනය කරනවාද?
2. නැත්නම් (ගෝඨාභයගේ කොන්ත්‍රාත් මත ජනතාව භේද කරන) බොදුබලුසේනාව අනුගමනය කරනවාද?

Wednesday, June 4, 2014

නව අරහාදී බුදුගුණ මෙනවාද? - 2014 පොසොන් කළාපය ඇරඹේ

පසුගිය මාසයේ වෙසක් කළාපය කරන්න හිටියත්, විවිධාකාර දේවල් නිසා ලියන්න බැරි වුණා. ඒ අඩුව මැකෙන්නත් එක්ක පොසොන් කළාපය කොහොම හරි කරනවා කියන අධිෂ්ඨානයෙන්, අකුරු කරන්න වාඩි වුණා.

පොසොන් කළාපයෙන් මේ පාර නව අරහාදී බුදුගුණ ගැන මේ දවස් ටිකේම හිතේ එකතු වුණ අදහස්, ගවේෂණයක් විදිහට එළියට දාන්න හිතුනා.

ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසධම්මසාරථී සත්තා දේවමනුස්සානං බුද්ධෝ භගවා තී

මේ පාලි පාඨයෙන් දැක්වෙන බුදුගුණ මේ මේ යැයි පැහැදිලි කරගැනීම තමා මේ ලිපියෙන් අරමුණු කරගන්නෙ.

මේ පාලි පාඨයේ තියෙන බුදුගුණ මොනවද?
  1. අරහං
  2. සම්මා සම්බුද්ධ
  3. විජ්ජාචරණ සම්පන්න
  4. සුගත
  5. ලෝකවිදු
  6. අනුත්තර පුරිසධම්මසාරථි
  7. සත්තා දේවමනුස්සානං
  8. බුද්ධ
  9. භගවා

බුදුන් වහන්සේ පසිඳුරන්ගෙන් ලැබෙන රූප, ශබ්ද, ගඳ/සුවඳ, රස, ස්පර්ෂ ආදී දෙය කෙරෙහි ඇලීමකින් තොරවූ තත්ත්වයට පත්වුණ තැනැත්තෙකි. මනසින් ඇතිවන අරමුණු කෙරෙහි ඇලීමකින් තොර තත්ත්වයට පත් වුණු තැනැත්තෙකි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොර වූ තැනැත්තෙකි. මේ ගුණය අරහං යනුවෙන් හැඳින්වේ.

සසර ගමන නැවැත්වීමට මාර්ගය තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් බව, සම්මා සම්බුද්ධ යන වචනයෙන් හැඳින්වේ.

ලෝකය පිළිබඳ සියලු විද්‍යාවන් අවබෝධ කරගෙන, ඒ අනුව හැසිරුණු බව විජ්ජාචරණ සම්පන්න යන පදයෙන් හැඳින්වේ. (මේක හරියට මෙට්රික්ස් එකේ කෝඩ් එක නියෝ විසින් අවබෝධ කරගැනීම වගේ දෙයක්ය යන්න මගේ හැඟීමයි. ලෝකයේ නියම තත්ත්වය සහ ස්වරූපය අවබෝධ කරගත් අයෙකුට, ගුරුත්වාකර්ෂණය, ආලෝකයේ වේගය වගේ භෞතික ලෝකය මෙහෙයවෙන නීතීන් තමන්ට අවශ්‍ය පරිදි නැවීමට හැකි වේ. ඒ අනුව පෘතග්ජනයන්ට ප්‍රාතිහාර්ය හෝ මැජික් ලෙස දැනෙන දේවල් පවා කරන්නට හැකියාව ලැබෙනු ඇත.)

චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට මධ්‍යම ප්‍රතිපදාවට එළඹුණු බුදුන් වහන්සේ, මූලික මාර්ගයන් අටක් (ආර්ය අෂ්ටාංගික මාර්ගය) ඔස්සේ කටයුතු කළ සේක. එසේ නියම මගට පිවිසී, ඒ මාර්ගයේ ගමන් කළ නිසා සුගත යන නමින් හැඳින්වේ.

අපට පියවි ඇසට පෙනෙන ලෝකයත්, එසේ නොපෙනෙන අනෙක් ලෝකත් යන සියලු ලෝකයන් පිළිබඳව දැනසිටි නිසා ලෝකවිදු යන පදයෙන් බුදුන් වහන්සේ හැඳින්වේ. මෙතැනදී බොහෝ දෙනා සතර අපාය, සදෙව් ලෝක, බ්‍රහ්ම ලෝක, ප්‍රේත ලෝක ආදිය අදහස් කරති. ඒ ලෝක සියල්ල මිහිපිටම පවතින දේවල්ය යනු මාගේ අදහසයි.  (සරත් ලංකාප්‍රිය වරක් කියා තිබුණා වගේ, අපට ඇසට නොපෙනෙන කොතරම් ජීවීන් මේ මිහිපිට සිටිනවාද? අපගේ ක්‍රියාවක් ක්‍රියාවක් පාසා ඒ ජීවීන් හිරිහැර විඳිති.)

කිසිවෙකුටත් මෙල්ල කළ නොහැකි, පරාජය කළ නොහැකි බොහෝ දෙනාගේ දළදඬු බව - තම මෛත්‍රී, කරුණා, උපේක්ඛා ගති ගුණ වලින් සහ දර්ශනය මඟින් මොලොක් කර, තමන් වෙත මිතුරු කර ගැනීමටත්, තම අරමුණ සහ තම දර්ශනය වෙත යොමු කරවා ගැනීමටත් බුදුන් වහන්සේ සතු වූ හැකියාව අනුත්තර පුරිසධම්මසාරථි නම් පදයෙන් හැඳින්වේ.

බුදුන් වහන්සේ සියලු දේව මනුෂ්‍යයන්ගේ ශාස්තෘන් ලෙස හැඳින්වෙන බව සත්තා දේවමනුස්සානං යන පදයෙන් දැක්වේ.

තමන් වහන්සේ අවබෝධ කරගත් දර්ශනය පැහැදිළි ලෙස, තේරුම් සහිතව, විස්තරාත්මකව දේශනා කර ඇති බව, බුද්ධ යන වචනයෙන් අදහස් වේ. ඇත්තටම සූත්‍ර පිටකය සහ අභිධර්මය යන කොටස් වලින් බුදුන් තම මාර්ගය කොයිතරම් සවිස්තරාත්මකව සහ ගැඹුරින් පැහැදිළි කර තියෙනවාද යන්න ගැන හොඳ අදහසක් ලබා ගන්නට හැක.

බුදුන් වහන්සේගේ ජීවිතය දෙස බලන විට එතුමා මෙතෙක් බිඳ හෙළන්නට නොහැකි දර්ශනයක් බිහිකළ දාර්ශනිකයෙක් සහ ශාස්තෘ වරයෙක් බවට පත්වන්නට හැකිවූ මහා භාග්‍යවන්තයෙක් බව පෙනේ. මෙය භගවා යන පදයෙන් හැඳින්වේ.

http://www.travel-pictures-gallery.com/images/sri-lanka/polonnaruwa/polonnaruwa-0013.jpg


බුදුන් වඳින්නට යොදාගන්නා මේ සරළ පාලි පාඨයෙන් පවා බුදුන් ගැන සහ උන්වහන්සේගේ දර්ශනය ගැන හොඳ අවබෝධයක් ගන්න හැකියාව ඇත.

ප/ලි

මට තේරුම්ගන්නට නොහැකි එකම දෙය වන්නේ, මෙම පාඨය පුනරුච්ඡාරණය කරමින් බුදුන්ගේ මේ මේ ගතිගුණ වල බලයෙන් මට යහපතක් වේවා, මගේ ග්‍රහ අපල දුරුවේවා කියමින් කවි හදාගෙන ගායනා කරන තක්කඩියන්ගේ අරමුණ මොකද්ද යන්නයි. සෑම දවසකම රේඩියෝ චැනල් වලින් මේ දේවල් ප්‍රචාරය කරන්නේ ඇයි?

ඉහත ප්‍රශ්නය නැඟූ විට මට ලැබෙන සුලභම උත්තරය වන්නේ මම බෞද්ධයෙක් නෙවේය යන්නයි. බෞද්ධයෙක් කියන්නේ කාටද? මෙයින් වන්නේ ප්‍රශ්නය තව තවත් දිග්ගැස්සෙන එක පමණකි.

බුදුන් වහන්සේ “කිං කරිස්සන්ති තාරකා“ (තාරකා මොනවා කරන්නද?) කියා එක් තැනක දේශනා කර ඇති බව මා දැක තිබේ. උන්වහන්සේ ගේ දේශනා අනුව මා අවබෝධ කර ඇත්තේ:
  1. මනස සියලු ධර්මයන්ට මූලික වන්නේය, පෙරටු කොට යන්නේය,
  2. අප්‍රමාදව ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් සසර දුක කෙටි කරගැනීම බෞද්ධයාගේ අරමුණයි, 
          ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන්නේ:

                                I.            යහපත් වචන,
                              II.            යහපත් කර්මාන්ත,
                            III.            යහපත් ජීවන ක්‍රමය,
                            IV.            යහපත් වෑයම,
                              V.            යහපත් සිහිය,
                            VI.            යහපත් සමාධිය (සිතේ එකඟ බව)
                          VII.            යහපත් දැකීම,
                        VIII.            යහපත් සංකල්ප,

ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන මෙතැන දීර්ඝ ලෙස විස්තර කළ යුතු වුනත්, මේ ඊට වේලාව හෝ තැන හෝ නොවේ. එසේ කර ඇති පැහැදිලි විස්තරයක් මෙතැනින් කියවන්න පුළුවන්.

ඉතින් බෞද්ධයන් කළ යුත්තේ මගඩිකාර රේඩියෝ මුදලාලිලාගේ තක්කඩිකම් පස්සේ යාමද / බුදුන්ගේ සරණ හෙවත් බුදුන් ගේ මාර්ගයේ (ටෙලිෆෝන් එකෙන් කතා කරලා අන්තිමට කියන බුස්සරණ නෙමෙයි) යාමද?

Wednesday, May 28, 2014

සුරංචියා වීරවංශ ගේ මහා මගඩි නාටකය

http://sunandadeshapriya.files
.wordpress.com/2013/06/wimal.jpg

කෙටියෙන් කියන්නට මහා දිග කතාවක් ඇත.

ලංකාවේ ජනතාව ගෙවන බලු බළල් ජීවිත වලට වග කිව යුතු මූලික ප්‍රශ්නය, රට පාලනය කරන ජඩ දේශපාලනික සම්ප්‍රදාය බව අමුතුවෙන් කීමට ඕනෑ කර ඇත. මොකද, මඩ වලේ ඉන්නා ඌරන්ට මඩ ගඳ දැනෙන්නේ නැතුවා ව‍ාගේම, ලංකාවේ මහජනතාවගෙන් බහුතරයකට තමන් භුක්ති විඳන ජන ජීවිතයේ ඇති ප්‍රශ්න පේන්නේ නැත. ඒ ප්‍රශ්න වලින් බොහොමයක් පහතින් සටහන් කරන්නට වෑයම් කරන්නෙමි.

1. විදුලි බිලේ ඉඳ පොඩි එකාගේ කිරිපිටි දක්වා පාරිභ‍ෝගික භාණ්ඩ වලින් ආණ්ඩුව අපිව සූරාකෑම,
2. ජනතාවට, පරිසරයට, වෘත්තියට, අධ්‍යාපනයට කෙළවන්ඩ යන විට ඊට විරුද්ධව නැගී හිටින උන්ට වෙඩි තියා, ඔළු පැලෙන්නට පහර දීමට පීඩිත පන්තියේම කොටසක් වෙන හමුදාව හෙවත් හිටපු රණවිරුවන් උසිගැන්නීම,
3. පාරක තොටක යන්නට බැරි තරමට නීතියේ පාලනය බල්ලට යවා තිබීම,
4. චීනය වගේ බලවතුන්ට ඕනෑ විදිහේ සංවර්ධන ව්‍යාපෘති කරමින් රටේ ණය බර වැඩිකරමින්, කොමිස් ගැහීම,
5. බලු සේනා වලින් අන්තවාදී අදහස් අවුස්සා, පෑගෙන පංතිය භේද කිරීම,
...

මතක් කරමින් ලියන්නට ගියොත්, "මහින්ද හිංසන ඉදිරිදැක්මේ" ඇත්තටම ක්‍රියාත්මක වෙන කරුණු ලියලාම මට පෝස්ටු දහයක් විතර ලියන්න පුළු‍වන් වෙතැයි හිතේ. පීඩනය කොතෙක්ද කියතොත්, හරියට කල්පනා කරන විට අද හෙටම ලිබියාවේ, ඊජිප්තුවේ වගේ ජනතා නැගීටීමක් ඇති වෙන්නටත් පුළුවන් තරමේ ජනතා පීඩනයක් දකින්නට තිබේ.

එහෙව් රටක විපක්ෂය බම්බු ගහමින් ඉන්නා අතරේ පොඩි පොඩි සංවිධාන මට්ටමින් හරි ජනතාව පාරට බහින්න පටන් ගන්නා විටම ආණ්ඩුවේ කොන්ත්‍රාත් කාරයන් මොකක් හරි නාඩගමක් පටන් ගනිති.

එක වංගියක් හලාල් ප්‍රශ්නයක් උඩ නැටුවෝය. ලයිට් බිලට එරෙහි සටන වෙලාවේ හරක් මැරිල්ලට විරුද්ධව පෙළපාලි යාම පටන් ගත්තේය. දැන් විමල් ගොයියා රටට කිසි පළක් නැති යෝජනා 12 ක් ලැයිස්තුගත කරගෙන ආර්ථික ඝාතකයෙකුට එරෙහිව නටන්නට පටන් ගෙන තිබේ.

මඩොල් දූවේ මගඩි නාටකය රටේ බහුතරයක් දෙනාට මතක ඇත.

මගඩි නාටකය කියා පෝස්ටර් ගසා, ටිකට් විකුණා, ස්ටේජ් ගසා, නිළියක් ගෙනැවිත් පෙන්නා, සුරංචියා සෑහෙන සල්ලියක් හම්බ කරගත්තේය. මිනිස්සු ටික නාටකය බලන්නට ඇවිත් නාටකය පරක්කු වෙනකොට "අපේ සල්ලිවත් දියව්" කියා කෑගහන්නට පටන් ගත්තෝය. එතකොට සුරංචියාගේ කොළර් එකෙන් අල්ලාගත් පොලිස් කාරයෝ දෙන්නෙක් එළියට ඇවිත්, මූ හොරෙක්ය කියා එළියට ඇදගෙන ගියායින්, මිනිස්සුන්ගේ කෝපය තරමක් සංසිඳුනේය.

පස්සේ එළි වුන විදිහට ඒ හොරා පොලිස් කාරයොත් සුරංචියාගේම ගෝළයන් දෙන්නෙකි.

විමල් උන්නැහැ දැන් යටිගිරියෙන් කෑගහමින් ආර්ථික බිල්ලන් පෙන්නන්නේ අර සුරංචියාගේ මගඩි නාටකය වගේම, මිනිස්සුන්ගේ කෝපය වෙන පැත්තකට එල්ල කරවා, මිනිස්සු වෙනුවෙන් ඉදිරි‍පත් වෙනවා කියා පෙන්නාගෙන, ජනතාවගේ කෝපය සංසිඳුවා, මහරජාගේ කලදවස යහපත් කරලා දීමට බව හොඳින් ඇස් ඇර බැලූ කෙනෙකුට පෙනේ.

http://bandaragama.files.wordpress.com/2008/10/c1.jpg

Thursday, May 8, 2014

කන්තලේ මහ වන මැද - ගජබින්නාලංකාරයෙන්...

ගජබින්නාලංකාරයේ පාඨකයන් හට ඩ්‍රැකියාගේ හත්මුතුපරම්පරාවේ වීරක්‍රියා ගැන අමුතුවෙන් කියා දෙන්නට අවශ්‍ය නැතැයි සිතෙන්නේය. බාප්පාගේ මිරිස් වගාව, වට්ටක්කා, පතෝල සහ දියලබු පළදාව, අලිමාලය, සුවාතාගේ දඩයම්, ඉර හඳ ඇතිවුණ හැටි, අන්දිරිස් ආතාගේ මුහුදු වික්‍රම, බාප්පයි තාත්තයි ළිඳක් කැපූ හැටි ආදී ඇත්ත කතා මීට කලින් පෝස්ටු වලින් කියවා ගත හැකිය. මුල සිට සරළව කියවීම සඳහා ලිංකුව මෙතැනඇත.

අද ඩ්‍රැකියාගේ අඩවියට පිවිසෙන ඔබට කියා හිටින්නේ, ඩ්‍රැකියාගේ තාත්තයි බාප්පයි දෙන්නා කන්තලේ මහ කැළේ ගස් කපන්නට ගිහින් වෙච්ච ඇත්තම ඇත්ත සිද්ධියක්.

http://deehymn.homestead.com/files/thetreetop.jpg


සති ගාණක් තිස්සේ සාමාන්‍ය තරමේ ගස් කපලා කපලා එපා වෙලා හිටපු තාත්තයි බාප්පයි දෙන්නා, අතේ පයේ හිරි අරින්නත් එක්ක තමන්ගේ තරමට හරියන ගහක් හොයාගෙන එක දවසක් කැළේ මැදටම යන්න පිටත් වුණා. වාඩියෙ හිටපු අය අතරින්, අපේ ගමෙන් ගියපු ලප සාන්ති මාමයි, රජා හෙවත් විල්බටුයි, සාන්තිගෙ අයියා වුණ මහත්තයා මාමයි විතරයි මේ දෙන්නා එක්ක මේ ගමනට එකතු වුණේ. සෑහෙන දුරක් ගියාට පස්සේ, කන්තලේ ඔය අසබඩ තිබ්බ කන්දක් ගාවට ඒ කට්ටිය ළං වුණා. ළං වුණහම තමයි දැනගත්තේ ඒ කන්දක් නොවෙයි, සරුවට හැදුණු අවුරුදු දෙතුන් දාහක් වත් පරණ විශාල කුඹුක් ගහක් බව. ඒක නම් තමන්ගෙ තරමටම ගැලපෙන අභියෝගයක් බව සහෝදරයො දෙන්නට තේරුණා.

මේ ගහ කපන එකේ, ප්‍රයෝජනවත් දෙයකුත් වෙන්න කියලා, කට්ටිය කල්පනා කළේ, ගහ ගඟ හරහට කපලා දාලා, විශාල ඒදණ්ඩක් විදිහට භාවිතා කරන්නයි. අඩි දාහක් විතර උස ගහකට කඹයක් දාන්නත් පුළුවන් කමක් තිබ්බෙ නෑ. ඒ නිසා තාත්තා යෝජනා කළා, ගඟ පැත්තෙ කැපුම් කට්ටය පහතට හිටින විදිහටත්, ගොඩ පැත්තෙ කැපුම් කට්ටය ඊට වඩා ඉහළින් හිටින්නත් කපලා, ගුරුත්වාකර්ෂණයෙ උදව්වෙන් ගහ තමන්ට ඕනෙ පැත්තට පෙරළගන්න.

ඔන්න ඉතින් ලෝකෙ දිගම කතාව වගේ, මේ කට්ටිය මාරුවෙන් මාරුවට ගහ කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා,...

තාත්තා මුලින්ම පොරොවෙන් කොටන්න ගත්තා. පැයක් විතර කොටලා, කොටලා, බාප්පට දුන්නා. බාප්පා කොටලා ලප සාන්තිට, එයා රජාට ආදී වශයෙන් ගහට කෙටිල්ල මාරුවෙන් මාරුවට කෙරීගෙන ගියා. බාප්පගෙ මිරිස් වගාවෙදි කිව්වා වගේ, මේ කට්ටියම තමන්ගෙ පොරෝ වලට මිටවල් ගහලා තිබ්බෙ ගංජා ගස් වලින්. ඉතින් පටන් ගත්ත වැඩේ එක දිගටම නවත්තන්නෙ නැතුව කරගෙන යන්න පුළුවන් වුනා.

දවල් කෑමට වුනත් කෂ්ටිය වැඩේ නැවැත්තුවෙ නෑ. පාන්දරින් ඔතාගෙන ආව බත්මුල් දිග ඇරගෙන කෑවෙත් මාරුවෙන් මාරුවට.එක්කෙනක් ගහට කොටන අතරෙ, අනිත් අය තමන්ගෙ පොරෝ මුවහත් තියාගත්තා. කොච්චර වාර ගාණක් මුවහත් කළාද කිව්වොත්, පීරි ටික කන් හැඳි තරමටම ගෙවිලා ගියා.

ගහට කෙටිල්ල කොච්චර සූර වීර විදිහට කෙරුණත්, එදා රැ වෙනතුරුත් කපන්න පුළුවන් වුනේ ගඟ පැත්තෙ කැපුම් කට්ටෙ විතරයි. රෑ බෝවේගෙන එද්දි, ගහට කොටද්දි විසි වෙන පතුරු එකතු කරලා මහ ගිණි මැළයක් ගහගෙන, රෑ තිස්සෙත් ගහ කපන්න තමයි කට්ටිය හිතාගෙන උන්නෙ. ඒත් රෑ දහය විතර වෙද්දි අකුණු ගහගෙන මහා ධාරානිපාතයක් වහින්න ගත්තා. ගිණිමැලේ චූස් ගාලා නිමිලා ගියා. ඉතින් කට්ටිය බොහොම අකමැත්තෙන් වුනත් තීරණය කළා වැඩ නවත්තලා, එදා රෑ ගහේ කැපුම් කට්ටෙ ඇතුලෙම ගත කරන්න. ඒ කැපුම් කට්ටෙ ඇතුලෙ පස් දෙනාට හොඳට අතපය දිග ඇරලා නිදාගන්න වුණත් ඉඩ තිබුණා.

ඒත්, ගිණිමැළයක් ගහගන්න විදිහක් තිබ්බෙ නෑ. ඉතින් තාත්තා මොකද කළේ, මොකක් හරි අරිෂ්ඨ වාගෙයක් දාගෙන ගිය බෝතලයක් අරගෙන, ඇබේ ගළවලා, එළියෙන් හිටෙව්වා. අකුණක් ගහන කොටම දුවල ගිහින් බෝතලේ ඇබේ ගැහුවා. අර ගහපු අකුණෙන් කොටහක් අර බෝතලේ ඇතුලෙ. ඇබේ වහපු නිසා පිට වෙන්න බෑ. වොට් දාහෙ ෆ්ලෑෂ් ලයිට් දහයක විතර එළියක් ඒ බෝතලෙන් ලැබුණා.

ඒ එළියට තමයි දැක්කෙ, වැස්සට ගඟේ හිටිය අලි කූඬැල්ලො රංචු පිටින් ගහ වට කරගෙන උඩට ඇදෙන බව. අපි අහල දැකලා තියෙන මීහරක් කූඬැල්ලන්ටත් වඩා ලොකු, මේ අලි කූඬැල්ලො, එකෙක් අඩි දෙකක් විතර දිගයි. ඉතින් බාප්පා කරපු දේ, තමන්ගෙ ජටාව බැඳගෙන හිටපු ලේන්සුව ගළවලා, ගහ වටේටම මිරිකුවා. ඩ්‍රැකියට වගේම බාප්පටත් ගොඩක් දාඩිය දානවා. ඉතින් බාප්පගෙ ජටාවෙ තිබ්බ දාඩිය කොච්චරද කියනවනං, ඒ ලුණු ගතියට අර කූඬැල්ලන්ට ගහට කිට්ටු වෙන්නවත් බැරි වුනා. ළඟින්ම හිටිය සමහර කූඬැල්ලො මැරුණා.

ඒ අතරෙ ලප සාන්ති මාමා කෑගහන්න ගත්තා, මොකක්දෝ දිළිසෙන ඇස් දෙකක් දැකලා, “මේක දෙයියන්නෙ අඩවිය ද දන්නෑ. අපි මේ ගහ කපපු එක නරකයි. අන්න දෙයියො බිමට වැඩලා...“ කියලා. බාප්පා කරපු දේ, අර මැරිලා හිටිය කූඬැල්ලෙක් අරගෙන, එක කොණකින් අල්ලලා, අනිත් කොණට පුවක් කෑල්ලක් තියලා ඇදලා අත ඇරියා - පොඩි ළමයි රබර් පටි වලින් සෙල්ලම් කරනවා වගේ - අර දිළිසෙන ඇස් දෙක මැද්දට. ඒක වැදුණා විතරයි “බෑඈඈ“ ගාගෙන අර ඇස්දෙක බිම වැටුණා. මොකද්ද ඒ කියලා බලන්න තාත්තා අකුණු බෝතලේ උස්සලා ඒ පැත්තට ඇල්ලුවා. එතකොටයි දැක්කෙ ඒ තඩි ගෝණෙක් බව. ඌ එකපාරින්ම මැරිලා වැටිලා, අර පුවක් කෑල්ල වැදිලා.

ඉතින් කොහොමින් කොහොමින් හරි එදා රෑ ගහේ කැපුම් කට්ටෙ ඇතුළෙ ගත කරලා, පහුවදාට එළි වුණා. එදා උදේට මහත්තයා මාමා බොහොම රසට පුළුස්සලා දීපු ගෝනමස් කාලා, කට්ටිය ආයෙත් පටන් ගත්තා ගහ කැපිල්ල. හැන්දෑ වෙද්දි ගහ කපලා බිම දාන්න පුළුවන් වුනා. පළාතම දෙදරවාගෙන දැවැන්ත කුඹුක් ගහ ගඟ හරහට ඇදන් වැටුනා. කට්ටියම උඩ ගිහින් බිම වැටුනා ඒ ගහ වැටෙද්දි. ඉතින් හැමෝටම හරිම ජොලියි. ඔක්කොමල්ලා ගහ දිගේ ගඟෙන් එගොඩට දිව්වා. ඒ දුවද්දි ගහේ මැද හරියෙ තිබ්බා බෙණයක් බාප්පගෙ කකුළක් ඒ බෙණේට වැටුණෙ අහම්බෙන්. බාප්පා කකුල ඇදල ගනිද්දි, කකුලෙ පැටලිලා මොනවදෝ පොට්ටණියක් එලියට ආවා. ඒක දිග ඇරලා බලද්දි ඒකෙ තිබ්බෙ, එක එක වර්ග වල එළවළු ඇට සහ අංකුර. වට්ටක්කා, පතෝල, දිය ලබු, මිරිස් වගේ ඇට වර්ගයි, හබරල, කිරිඅල වගේ අංකුරයි.

ගහේ මුදුන, ගඟේ එගොඩටත් වඩා තව හැතැම්මක් විතර දුර තමයි තිබුනෙ. ඒ තරම් ඒ ගහ උසයි. තාත්තා තමයි ගහේ මුදුනට ඉස්සෙල්ලම ළං වුනේ. ගහේ මුදුනෙ තිබ්බ දේ දැකලා තාත්තා පුදුම වුනා වගේම, ගස් කැපිල්ල අත් අරින්නත් තීරණය කළා.


ගහේ මුදුනෙ තිබ්බා තවත් බෙණයක්. ඒ බෙණේ ඇතුලෙ මුවො තරම් ලොකු හා පැටව් තුන් දෙනෙක් හිටියා ඇස් ඇරලවත් නැති. ලප සාන්තියි, බාප්පයි උන් තුන් දෙනා මස් කරලා කදක් බැඳගෙන වාඩියට ගෙනාවා. ආපහු වාඩියට එන අතරේ, තාත්තා දිගින් දිගටම කල්පනා කරද්දි තමයි තේරිලා තියෙන්නෙ, ඒ පැටවු තුන්දෙනා හඳේ හාවගෙ පැටවු කියලා.

Sunday, April 13, 2014

අලුත් අවුරුද්දේ - මගේ පුස්තකාලෙන්...

(අවුරුද්ද ගැන ලියන්න දේවල් හිතේ ගොඩ ගැහුණත්, බ්ලොග් කාරයින්ට සැරින් සැරේ හැදෙන මානසික කම්මැලිතාවය කියන ලෙඩේ නිසා ලියාගන්න බැරි වුනා මොකවත්. ඉතිං පරණ පොතකින් කෑල්ලක් දාලා ජාමෙ බේරගන්න හිතුනා.)

විචාරක මහත්තයගෙ පුස්තකාලෙන් කොප්ප ගහලා, ඩ්‍රැකියත් පටන් ගත්තා මගේ පුස්තකාලෙන් පොත් ගැන පොඩි හැඳින්වීමක් දෙන්න.

හා හා පුරා කියලා ඩ්‍රැකියා හඳුන්වලා දෙනවා, සුනන්ද කෝදාගොඩ කියන පරණ පුවත් පත් කලා වේදියා ගේ සරළ විනෝදාත්මක තීරු ලිපි එකතුවකින් සකස් වුණු, “විනෝද රසාංග“ කියන පොත. මේ පොතේ එන එක ලිපියක හැටියට මේ ලේඛකයා චන්ද්‍ර අනගිරත්න ගේ සමකාලීනයෙක්. මෙයාගෙ ලිපි වල කාලය වෙන්නෙ ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමාගෙ මුල් පාලන කාලය කියලා පේනවා. සරළ විනෝදය යටින් දිවෙන දේශපාලනය මෙන්ම, තරුණකමට ලියවෙන දේවලිනුත්, මේ පොත බොහොම ප්‍රාණවත්. ඒ වගේම සමහර ලිපි වලට ජනක රත්නායක ඇඳපු කාටූන් එකකුත් එකතු කරලා තියෙනවා.

මේ, ඒ පොතෙන් උපුටාගත්ත එක ලිපියක්, අලුත් අවුරුද්ද ගැන...






සුභ අලුත් අවුරුද්දක්, ඩ්‍රැකියාගෙ අඩවියට ගොඩවදින හැමෝටම වේවා!!!

- ඩ්‍රැකී, මිසිස් ඩ්‍රැකී සහ (මේවා ලියන හැම වෙලේම ඩ්‍රැකියගෙ කකුල් ගාව බිම නිදාගෙන ඉන්න) චූටි කුකූ ගෙන්...

Friday, April 4, 2014

ජිනීවා යෝජනා සහ යුධ ජයග්‍රහණ ආපසු හැරවීම

පරිකථා- 

එක් බමුණෙක් කැලයක් මැදින් යන කල කූඩුවෙක අසු ව සිටි දිවියකු දුටුවේය. දිවියා බැගෑ පත් ලෙස බමුණාට කථා කොට, “මිත්‍රය, මට මින් පිට ව යෑමට කරුණා කර මේ කූඩුවේ දොර අරින්නැ“ යි කීවේය.

“ඔබ අසත් පුරුෂයෙකි; කූඩුවේ දොර ඇරියොත් මා මරන්නට පුළුවනැ“යි බමුණා කීය.

“මිත්‍රය, බිය නො වන්න. මම කිසි විටෙක මට උපකාර කළ කෙනෙකුට අනතුරක් නොකරමි“යි දිවියා කීවේය.

දිවියාගේ වචනය විශ්වාස කළ බමුණා කූඩුවේ දොර ඇරියේය. දිවියා පිට වූ විගසම බමුණා මරා කන්නට සැරැසිණි. බමුණා පුදුමයට පත් ව, “ඔබට එළියට ඒමට උපකාර කළ මා මැරීම යුතු කමෙක් දැ“යි ඇසීය.

“මිනිසුන් හා සතුන් මරා කෑම මගේ සිරිතෙකි. ඒ නිසා ඔබ මැරීම අයුත්තෙක් නො වේ“යි දිවියා කීය.

“හොඳයි, ඔබේ කල්පනාවයි ඔය, අපි මේ ගැන වෙන කෙනෙකුගෙන් අසා බලමු. ඔහු කරන නියමයකට මම යටත් වෙමි“යි බමුණා කීවේය. මෙයට එකඟව දෙදෙන පිටත්ව ගියහ. අතර මඟ දී ඔවුනට හිවලකු මුණ ගැසිණ. බමුණා හා දිවියා ඔවුන්ගේ තොරතුරු හිවලාට කියා දුන්හ. හිවලා කථා කරමින්, “ඔබ දෙදෙනාගේ කථාවෙන් මට මෙය තේරුම් ගත නො හැක. පළමුව දිවියා කූඩුවේ උන් සැටි ද බමුණා දොර ඇරිය සැටි ද මට පෙන්වන්නට ඕනෑ“යි කීවේය. එය පෙන්වීමට දිවියා කූඩුව ඇතුළට විය. බමුණා දොර වැසුවේය. එවිට හිවලා බමුණාට කථා කොට, “මෝඩ බමුණ, අසත් පුරුෂයකුට හොඳක් කරන්නට ඔබට නුපුළුවනැ“යි කියා යන්නට ගියේය.
-------------------------------

http://24.media.tumblr.com/
tumblr_m61spub2WH1qlblyno1_500.jpg

පහුගිය මැතිවරණ වේදිකා වලදීත්, ආණ්ඩුවෙන් කරන ප්‍රකාශ වලිනුත්, ජාතික ප්‍රවෘත්ති වලිනුත් හෙළිදරව් වන භයානක සත්‍යයක් ඩ්‍රැකියා පැහැදිලි කිරීමට හිතුවෙමි.

මුළු ලෝකෙම ඉන්නේ මිනිස්සු දෙවර්ගයයි: (හරියට ලංකාවෙ ඉන්නේ මවු බිමට ආදරේ කෂ්ඨියයි, දේශද්‍රෝහී කෂ්ඨියයි වගේ) ලංකාවට සපෝට් කරන අයයි, කොටි හිතවාදීනුයි විතරකි.

ලංකාවේ හමුදා, විමුක්ති අරගලයක් කොරමින් හිටපු කොටි බර ගාණක් මරා දමා, මානුෂික මෙහෙයුමක් කර, ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ මුදවා ගත්තෝය. ඒ මානුෂික මෙහෙයුම අතර තුරේ සහ ඊට පස්සෙ උතුරෙ මිනිස්සුන්ව නොසෑහෙන්න මර්ධනය කරමින් ඉන්නෝය. සමහරු අතුරුදහන් ද වෙති. සමහරු අත්අඩංගුවට ගන්නේ කොටි හිතවාදීන් කියමිනි. දකුණේ පානීය ජල ප්‍රශ්නය, අර්ථසාධකේට කෙළවෙන්ඩ යනබව, ආදී දේශද්‍රෝහී සටන් පාට අරං පාරට බැහැපු උන්ට වෙඩිත් තිබ්බෙමු. උතුරෙ ඒ කියපු විමුක්ති අරගලය ට විසිල් ගහපු සහ උදව් කරපු ලෝකේ පුරා ඉන්නා කොටි හිතවාදී ටික මේ අවනඩුව එක්සත් ජාතීන් ගේ දොරකඩටම ගෙන ගියෝ ය.

දැන් ඔන්න එක්සත් ජාතීන් ගෙන් කෙනෙක් මේක ගැන හොයන්ඩ එන්නෝය. ඇවිදින්, අර පරණ කුමාරෝදයක තිබුණා වගේ, මේක කොහොමද උනේ, මට කරලා පෙන්නන්ඩය කියා කියන්නෝය.
කලින් කොටි හිටියෙ කොහොමද? හමුදාව හිටියෙ කොහොමද? රට තිබුණෙ කොහොමද? කියා අහලා, ඒ හැම එකක් ම කලින් තිබ්බ තත්ත්වෙට පත් කරන්නෝය. ඊට පස්සෙ ඔහොමම ඉඳපියව් කියා උන්නැහැ යන්නෝය.

ඕං ඔහොම ජාත්‍යන්තර පරීක්ෂණ කොරන්ඩ ගියොත් නං, අපි ලබාපු යුධ ජයග්‍රහණත්, මවුබිමේ සංවර්ධන කටයුතුත් ආපසු හැරෙනවාය. ඒ හින්දා එක්සත් ජාතීන්ට මේ රටට අඩිය ගහන්ට දෙන්ඩ හොඳ නැත.

මේ ක්‍රමේ ඇරුණහම, ආණ්ඩුව සහ හොරණෑ ජනමාධ්‍ය පුන පුනා කියනා මේ කතන්දරේ තේරුම්ගන්න පුළුවන් විදිහක් මට නං තේරෙන් නෑ ය.

Saturday, March 29, 2014

කුතුහලාත්මක අලි පැටියා - සයිලන්ට් සහන් ගේ ඉල්ලීමක් වෙනුවෙන්...

සයිලන්ට් සහන්ගේ පෝස්ටුවකට මං දැමූ කමෙන්ටුවක මේ කතාව ගැන සඳහන් කළා. ඒකට සහන්ගෙන් ලැබුණු උත්තරය අනුව මේ කතාව පරණ සගරාවකින් උපුටාගෙන පළ කරන්න හිතුවා. මේ කතාව ලිව්වේ රඩ්යාඩ් කිප්ලිං, (මං දැකපු හොඳම ධනාත්මක චින්තකයන්ගෙන් කෙනෙක්) පරිවර්තනය රංජිත් අමරසේකර. පළ වුනේ 1992 මැයි මුතුහර කළාපයෙ. කතාවේ ජීවගුණය නොමකා පළකරන්නත්, ඉක්මණටම පළකරන්නත් ඕනෙ නිසා ස්කෑන් කළා.







සහන් ටික කාලෙකින් ලිව්වෙ නැත්තෙ මොකද? මං හිතන්නෙ නෑ, මේ ස්ටෝරිය කිප්ලිංගෙ හොඳම ධනාත්මක ස්ටෝරිය කියලා. නමුත්, තමන් කරන දෙයින් ප්‍රතිඵලයක් නෑ කියලා හරි, ලැබෙන්නෙ නරක ප්‍රතිඵල විතරයි කියලා හරි හිතෙනවනං, හිතන්න, අලි පරම්පරාවටම ප්‍රයෝජනවත් හොඬ වැල ලැබුණෙ අලි පැංචා ගුටි කාගෙන හරි තමන්ගෙ කුතුහලය තියාගත්ත නිසා නේද කියලා.

සහන් දිගටම තමන් කරගෙන ආව කාරිය කරනවනං, ඒක තමා සමරහ අයට දෙන්න පුළුවන් ලොකුම උත්තරේ.

Thursday, March 20, 2014

විදුලි පුටුව සහ දෙබිඩි රාජ්ජේ

http://1.bp.blogspot.com/_X24iO8Ixh9k/SFdDX1aMw1I/AAAAAAAAAEs/
0WeimdU5Zjc/s400/chrc%2Belectric%2Bchair.jpg

සකල සිරින් පිරි සිරි දූපතේ නැත්තේ මොනවාද? මේ ප්‍රශ්නෙට උත්තරේ මේ පෝස්ටුව අවසානය වන විට අපිට එකතු කර ගන්න පුළුවන් වෙයි කියා හිතමු.

මුලින්ම ඕං තිස් අවුරුදු යුද්ධයක් තිබුණේය. ඒකේ අවසාන බාගයේ, මානුෂික මෙහෙයුම් හිටු කියා දියත් වුනෙමු. මානුෂික මෙහෙයුම් ය කියන්නේ මොකද්ද?

දෙමළ ඊළාම් විමුක්ති අරගළයක් කියා එකක් කරමින් - ඒ කියන්නේ:
1. තමන්ගේ සංවිධානය එක්ක එකටම ඇති වුණු අනිත් සංවිධාන වල (බහුතරය ලාංකීය දෙමළ) සාමාජිකයන් දරුණු අන්දමින් මරා දමමින්,
2. සමහරුන් ආණ්ඩුවට එකතු වෙන තැනට වැඩ සළස්සමින්,
3. ඒ අනිත් සංවිධාන අතුගා දමමින්,
4. තමන්ට අවනත නොවෙන වැසියන් මර්ධනය කරමින්,
5. ළමයින් සොල්දාදු කමට ගනිමින්,
6. මරාගෙන මැරෙන මානසිකත්වයක් තම කාඩර් එකේ වාටියේ හිටිය මිනිස්සු තුළ ඇතිකරමින්
7. දෙබිඩි රාජ්ජේ නායකයන් මරා දමමින්,
8. මහජන දේපොළ විනාශ කරමින්,
9. ජාත්‍යන්තර ජාවාරම් සහ සම්මාදම් මඟින් අරමුදල් රැස්කරමින්,

කටයුතු කරපු ත්‍රස්තවාදීන් හෝ විමුක්තිකාමීන් ලෙස හැඳින්වුනු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය,

1. තමන්ගෙ පළිහ විදිහට භාවිතා කරපු සාමාන්‍ය ජනතාව බේරමින්, (විමුක්ති කොටි බහුතරය හැසිරුණේමත් සාමාන්‍ය ජනතාව විදිහට සරං, කමිස ගහගෙන, වෙස් වළාගෙනයි)
2. රෝහල්, පාසල් වගේ තැන් බේරලා උඩින් ගුවන් ප්‍රහාර එල්ල කරමින්,
3. යුද්ධයෙ අවසාන දින කීපය වෙනතුරු බර අවි භාවිතා කරමින්, දුර සිට ෂෙල් වැනි ආයුධ වලින් පහර දෙමින්

විමුක්ති කොටි සංවිධානයෙ සන්නද්ධ අංශය විනාශ කරලා, උන් යට කරගෙන හිටිය භූමිය අත්පත් කරගැනීම මානුෂික මෙහෙයුම වශයෙන් ඩ්‍රැකියා විසින් අර්ථ දක්වනු ලැබේ.

ජයග්‍රහණයට පියවරුන් බර ගාණකි.
1. හමුදාපති සරත් ෆොන්සේකා මහතා (හමුදා අධිකරණයේ තීන්දුවට අනුව එහෙම කෙන‍ෙක් හමුදාවේ ඉඳලා නැත)
2. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා
3. අතිගරු විධායක ජනාධිපති සහ සන්නද්ධ හමුදාවල සේනාධිනායක මහින්ද රාජපක්ෂ මැතිතුමා
4. හමුදාවට බර අවි බර ගාණක් ලබා දී ඇති හිටපු ජනාධිපතිනි අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය (සරත් ෆොන්සේකා මහතා කියන විදිහට)
5. ලොකුම පාවාදීම විදිහට හංවඩු ගහපු සටන් විරාම ගිවිසුම හේතුවෙන් කොටි සංවිධානය කෑලි වලට කැඩීමට හේතු වුණු රනිල් වික්‍රමසිංහ මහතා
6. ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කරලා කොටි පරාජය කරන්නට සපෝට් කරපු කරුණා සහ පිල්ලෙයාන් ගරු මැති ඇමති වරු.
7. යුද්ධයට යුද්ධයම විසඳුමක් විදිහට යෝජනා කරමින් කෑගහපු ජෙප්පන් රැළ
8. මාවිල් ආරු සොරොව්ව බේරාගත් අතුරලියේ අතන හාමුදුරුවෝ
9. කොටි හඬ නිහඬ කළ කෙහෙළිය
10. ඉතාලියේ කොටි හඬ නිහඬ කළ මර්වින් සිල්වා
(මේ දැක්වෙන පියවරු බොහොමයක් එළි බහින්නේ ඡන්දයක් ආ විටය)

මානුෂික මෙහෙයුම ගැන සිහිමොළේ ඇති කෙනෙකුගේ හිතට නැගෙන ප්‍රශ්න බර ගාණකි:

1. කොටි හිටියේ සාමාන්‍ය මිනිස්සුත් එක්ක නම්, සාමාන්‍ය මිනිස්සු බේරලා කොටියා විතරක් මරන්නේ කොහොමද?
2. යුද්ධෙ අවසාන දවසේ හෝ දෙකේ වෙඩිබෙහෙත් ගබඩාවක් පුපුරවා ඇති බව කියමින් විශාල දුමාරයක් නිකුත් කෙරුණේ චන්ද්‍රිකා ඡායාරූප හෝ වෙනත් සන්නිවේදන මාර්ග ආවරණය කරන්නද?
3. ප්‍රභාකරන්ගේ හිස දෙපළු වෙන විදිහට තුවාල කළේ කවුද? කොටියෙක්මද? හමුදාවද? හමුදාව නම්, අල්ලගත්ත කෙනෙක් (සිරකාරයෙක්) ඒ විදිහට මරන්න පුළුවන්ද?
4. රෝහල් ලෙස යොදාගත් තැන් වලට ෂෙල් ගහපු බව කියාපු දොස්තර කෙනෙක්, කොළඹ සීඅයිඩියට ගෙනාවට පස්සේ ‘මං එහෙම කිව්වේ කොටි තර්ජනය කරපු නිසයි‘ කියලා කිව්වේය. එයා දැන් කියන්නේ ‘ඒ වෙලාවේ සීඅයිඩිය තර්ජනය කරපු නිසා එහෙම කිව්වා. දැන් මගෙ නංගිටත් පොලිසියෙන් තර්ජනය කරනවා‘ කියලාය. කෝකද ඇත්ත වෙන්න පුළුවන්?
5. ඇස් බැඳපු මිනිස්සුන්ට වෙඩි තියන දර්ශන, මැරුනු කොටි සෙබළියන්ට අතවර කරපල්ලා කියන දර්ශන, ආදිය චැනල් ෆෝ එකට ලැබෙන්න පෙර ඉඳන්, ලංකාවෙ ජනතාව අතර සංසරණය වුන බව ප්‍රසිද්ධ රහසකි. දැං ඒ ෆෝන් හිමියන් කෝ?
6. රතුපස්වල උද්ඝෝෂණය කළ සාමාන්‍ය මිනිස්සුන්ට, හලාවත උද්ඝෝෂණය කළ ෆැක්ටරි සේවකයන්ට, ධීවරයන්ට සහ බොරැල්ලෙ බන්ධනාගාරයෙ රැඳවියන්ට වෙඩි තියපු හමුදාව - උතුරේ දෙමළ මිනිස්සුන්ට වෙඩිතියන්න බැරිද? (වෙහෙර ගිල්ල එකාට අග්ගලේ...)
7. (අන්තිමට මාදුළුවාවෙ සෝභිත හිමි අහන සරළ ප්‍රශ්නෙ) අපි යුධ අපරාධ කළේ නැත්තම් පරීක්ෂණ වලට ඇයි ඔයතරම් බය?

අපේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර මට්ටමේ එකකි.

1. අපි අපේ රටේ ස්වෛරීත්වයට ඇඟිලි ගහනවාට විරුද්ධය (රුසියාව ක්‍රිමියාවට හමුදා යවා යුක්රේනයට ඇඟිලි ගහනවාට හැබැයි එකෙන්ම පක්ෂය)
2. අපේ රටට එන එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ නියෝජිතයන්ව, ස්වාධීන මානව හිමිකම් ක්‍රියාධරයන්ට හමුවෙන්නට බාධා පමුණුවනු ලැබේ.
3. චෝගම් කාලයේ උද්ඝෝෂණ කරන්නට එපා යැයි ජනතාවට කිව්වෙමු. හැබැයි එංගලන්තෙ අගමැති එක්ක ආව කැලම් මැක්රේ ට යාපනේ යන්න නොදී කෝච්චි නවත්තගෙන උද්ඝෝෂණය කරන්න බාධාවක් තිබුනේ නැත. උද්ඝෝෂණ කරන්නට බැරි, ලංකාවෙ අභ්‍යන්තර ප්‍රශ්න (පානීය ජලය, විදුලි බිල, සරසවි ශිෂ්‍ය ගැටළු, පරිසර සංරක්ෂණය වගේ දේවල්) ගැන විතරය. විජාතික බලවේග ගැන, හරක් මැරීම ගැන, හලාල් ගැන එහෙම උද්ඝෝෂණ කරන්න කිසිම බාධාවක් නැත.
4. හැම අවුරුද්දකම මාර්තු ළං වෙනකොට (එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය ළං වෙනකොට) උතුරේ යුද්ධ‍ය හෝ බලය බෙදීම හෝ සංහිඳියාව ගැන මොකක් හරි දෙයක් පටන් ගන්නෙමු. ගියපාර නොකෑ පපඩම් හා තෙල්හිඳියා කෙමිසමය. මෙදා පොටේ මෛත්‍රීපාල ඇමති තුමා දකුණු අප්‍රිකාවේ සංහිඳියාව ඉගෙන ගන්ට තකහණියක් දකුණු අප්‍රිකාවටම ගියෝය.
5. මානව හිමිකම් ක්‍රියාධරයන්ව බෙදුම්වාදී චෝදනා මත අත් අඩංගුවට ගන්නෙමු. පස්සෙ අධිකරණ නියෝග මත නිදහස් කරන්නෙමු.
6. අපිට ඇඟිල්ල දික් කරන්න කලින් ඇමරිකාව අැෆ්ඝනිස්ථානෙ කරපුවා, ආදී දේවල් ගැන හොයාපල්ලා කියා සිංහලෙන් කෑගහන්නෙමු.

මෙහෙම තියෙන සිරි දූපතට දැං මහා හෙණ ගෙඩියක් පාත් වෙන්නට යන්නේය. ඒ නවී පිල්ලේ (දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා යටතේ පත්වුණු අගවිනිසුරු වරිය) ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, මුරුසිය, ආදී රටවල් මූලිකත්වයෙන් ගේන්නට යන යෝජනාවකි. ඒ යෝජනාවෙන් ඉල්ලන්නේ මොනවද?

1. ලංකාවෙ මානව හිමිකම් සුරැකිය යුතුය, අතුරුදන් කිරීම් ගැන සෙවිය යුතුය.
2. තිස් අවුරුදු යුද්ධයේ අවසාන කාලේ දෙපාර්ශවය අතින් වුනු අකටයුතුකම් සෙවිය යුතුය,
3. ජාතීන්, ආගම් අතරෙ සංහිඳියාව ඇති කළ යුතුය,
4. පොරොන්දු වුණු අන්දමට තෙල්හිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුය,
5. 13 සංශෝධනයේ ප්‍රකාර බලය බෙදීම කළ යුතුය,
6. නීතියේ ආධිපත්‍යය නැවත ඇති කළ යුතුය
7. හිරකාරයන්ව ආයුධ පෙන්නන්න එක්කගෙන යන එක නැවැත්විය යුතුය... ආදී හෑල්ලකි.

මේ යෝජනා ක්‍රියාත්මක වුනොත්, අපේ අතිගරු (අපිට හැම අවුරුද්දකම සුභ අලුත් අවුරුද්දක් වේවා කියා එස්එම්එස් කරන, අපේ ළමයි වඩාගන්නා, අපේ වක්කඩින් වතුර බොන, පළපුරුදු සංවේදී ජනනායකයා වන, ජනතාවට හමුදාව වෙඩි තියන එක ගැන මොනවත් දන්නෙ නැති, දන්නවනං ඒ අයව දහ අට මාසෙකට විතර එල්ලුම් ගස් අරින) විධායක ජනාධිපති තුමා විදුලි පුටුවේ ඉන්දවන්නට ඇමරිකාවට සහ අනිත් ජාත්‍යන්තර බලවේග වලට හැකියාව ලැබේ. (ඔබාමට නින්ද යන්නෙත් නැත අපේ සිරි දූපතේ ජනාධිපති යහතින් ඉන්න තාක්)

මෙච්චර අප්සට් රජයක් තියෙද්දි අපේ විපක්ෂය කරන්නේ මොනවද?
1. ප්‍රධාන විරුද්ධ පක්ෂයේ නායකත්වය, බෑණා හැදිලා වැඩිලා එනතෙක් මාමා අල්ලගෙන ඉන්නෙමි. ඒ වෙනුවෙන් එක එක මගඩි කරන්නෙමි.
2. ඉඳ හිටලා පොළකට, බස් හෝල්ට් එකකට ගිහින් පත්‍රිකා බෙදලා, ජනතාව දැනුවත් කරන්නෙමු. (ජනතාව මුන්ට වඩා මේ ගැන දැනුවත් ය කියලා වෙලාවකට හිතෙන්නෙමු.)
3. තුන්වෙනි බලවේගය වෙන්නට, කලින් තුන් වෙනි බළවේගය වෙලා හිටපු එක රැකගන්නට වෙර දරන ගමන්, ‘අපිට යූඇන්පියේ ඡන්ද පදනම තිබ්බනං දෙන්නෙ දොඹෙං‘ කියා වහසි දොඩවමු.

මේ එකෙකුවත් පාරට බැහැලා වරෙව් මිනිස්සුනේ කිව්වනං, මිනිස්සු පාරට බැහැලා, උණ්ඩයට පපුව දීලා හරි මේ ආණ්ඩුව පෙරළන එක සහතික ඇත්තකි. මිනිස්සුන්ට ජාත්‍යන්තර බලවේග වල සහාය ලැබිලා යහපත් හෙට දිනක් උදාවෙන එක තවත් ආත්ම ගාණක් තිස්සේ බලාගෙන ඉන්න වෙන වැඩකි. සටන පටන් ගත යුත්තේ ඇතුළතිනි.

ඊසොප් ගේ උපමා කතාවකින් මේ පෝස්ටු හෑල්ල ඉවර කරන්නට සිතේ.

ග්‍රීසියේ කරත්ත කාරයෙක් අතර මගදී තමන්ගෙ කරත්තෙ රෝදයක් මඩේ එරී අමාරුවේ වැටුණා. එයා එතනම ඉඳන් හර්කියුලීස් දෙවියන්ට යා‍ඥා කළා. හර්කියුලීස් එතනට පහළ වෙලා මෙහෙම කිව්වා.
“මං උදව් වෙන්න තිබ්බා. ඒත් මේක තමුසෙගෙ රෝදෙ නෙ, තමුසෙ ඉස්සෙල්ලා ඔය රෝදෙ කර ගහලා උස්සන්න වෑයම් කරනවා. ඊට පස්සෙ මගෙන් උදව් ඉල්ලනවා. එතෙකොට මං උදව් කරන්නං“

http://4.bp.blogspot.com/-i9Nv1fdzWrw/
UHLOrOKmetI/AAAAAAAAD6o/
QMTXcoEEvRw/s1600/kevin-sorbo-hercules.jpg

වැඩිපුර බලපු ලිපි