Tuesday, May 4, 2021

අවසානයක් නොවේ 32

රිටිගල ජයතුංග වෙදැදුරු තැන දෑස් පිස දමමින් දොරකඩින් එළියට ආවේ ය. දෙගොඩහරි ජාමයේ තමන් නින්දෙන් අවදි කෙරුණේ සුලුපටු පුද්ගලයෙකු සඳහා නම් නොවන බව ඔහු නිගමනය කර තිබුණි. 

"ඇයි?" ඔහු තමන් අත වූ පිත්තල පහන ඔසවා එළිපත සිටි උසැති මිනිසා ගේ හිස සිට දෙතුල තෙක් නිරීක්ෂණය කළේ ය. රන්වන් කෙස්, තියුණු රත්පැහැ ඇස්, ප්‍රංශ රාජකීය නාවුක හමුදා නිල ඇඳුම, කොපුවෙන් අඟලක් - දෙකක් එළියට ඇදී තිබුුුණු යුරෝපීය සම්මානිත අසිපත... ජයතුංග වෙදැදුරු දකුණු පය ට සිය සිරුරේ බර පවරා, වම් පයින් ආරක්ෂක පහරක ට සූදානම් විය. අමුත්තාට පිටුපසින් සිටි කාන්තාව ඔහු දුටුවේ පසුව ය.

"අපි ආවෙ ජයසේන මුණගැහෙන්න..." දුර්ගා කීවේ පැකිළීමකින් තොරව ය.

31 කොටස...

"හුහ්" වෙදැදුරා ගරු සරු නොමැතිව බරැති ප්‍රාශ්වාසයක් උගුරෙන් නික්මවීය.

මොහොතක් ගත කළ හෙතෙම තීරණයකට එළඹිණ. පිත්තල පහන ඔසවා, එහි වැටිය සිය මුහුණට සමාන්තර මට්ටමකට ගත් ඔහු, දිගු හුස්මක් ඉහළට ගෙන, තොල් උල් කර, ක්ෂණයකින් පිටකළේ ය. එකෙණෙහි හාත්පස තද අඳුරක් පැතිර ගියේ එතෙක් පැවති තරු එළි සහ කණාමැදිරි එළි පවා නිවා දමමින් බව අද්මිරාල් හට වැටහිණ.

නරි රංචුවකගේ කෑගැසීමක් ඇසෙන්නට වූයේ එවිටම ය. ඒත් සමඟම හාත්පස මන්දාලෝකයක් පැතිර ගියේ ය. එය නිකුත් වූයේ විළක්කු කිහිපයකින් බවත්, ඒවා තිබුණේ, තමන් වටකරගත් පුද්ගලයන් හය දෙනෙකුගේ අත් වල බවත්, ඇඩම් පසක් කරගත්තේ ය. තමන්හට මවිත වන්නට සිදු වූ කාරණය ඔහු දුටුවේ ඉන් පසුවය. එතෙක් රෙදිකඩක් උරය හරහා දමාගෙන, යටිකය ට කෙටි රෙදි කඩක් ඇඳ සිටි කෙසඟ වෙදැදුරා, උස මහත පුෂ්ටිමත් සිරුරකින් හෙබි වෙනස් ම පුද්ගලයෙකු බවට රූපාන්තරණය වී තිබුණේ ය. දෑතේ, දෙපයේ සහ පපුවේ වූ කලුවන් ඝනකම මවිල් බූටෑව... පන්දම් එළියෙන් දිළිසෙන, කලුවන් සම... අවුල් වූ දිගු කෙස්වැටිය අතරින් දිළිසෙන රතුවන් ඇස්... විවර වූ දෙතොල් අතරින් කැපීපෙනෙන සුදුවන් දත්... වමතේ වූ දිගු හෙල්ලය...

"මොකද්ද සහෝදරී උඹ මේ පාර නටන නාඩගම...?" ජයසේනගේ කටහඬෙහි වූයේ පහත් නමුත් ගැඹුරු තාරතාවකි. "එක පාරක් ගෞතම... තව පාරක් සිංහ ගෝත්‍රික විජය... ඊට පස්සෙ පණ්ඩුක අභය... මාගම ගාමණී අභය... පාණ්ඩ්‍ය ජාතික පරාක්‍රමබාහු... උඹලා දිගින් දිගටම එන්නෙ මොකෙක් හරි පිටස්තරයෙක් ඉස්සර කරගෙන. තමුං තමුං වෙනුවෙන් කිසිම දෙයක් නොකර, තමුං සුඛිත මුදිත කරවන නායකයෙක් ගැන බලාපොරොත්තු ඇති කරගත්තු කාලකන්ණි ජාතියක්... මෙතෙක් කාලයකට ඒ පිටස්තරයංගෙන් බලාපොරොත්තු වුණු දේවල් ඉෂ්ට වුනේ නැති බවත් උඹලා දන්නව. මේ ගමන මේ පරංගියෙක්..." ඔහු සිය වමත ඇඩම් දෙස දිගු කරද්දී, නෝඩිකයාගේ බාහිරින් වෙනසක් නොපෙනුණ ද, සිය සුෂුම්නාව දිගේ අමුතුම හිරියක් පහතට දිව යනු, ඩ්‍රේක් ට හැඟුණේ ය.

"නෑ උඹ වැරදියි ජයසේන..." දුර්ගාගේ කටහඬෙහි වූ නොසැලෙන ස්ථිර ස්වරයෙන් ජයසේන පවා පැකිළුණු බව මොහොතකට පෙනුණි. "අපි ආවෙ මේ ඇඩම් වෙනුවෙන් උඹේ උදව් ඉල්ලන්න නෙවෙයි. අපි ආවෙ රහස් දූරයට විරුද්ධව... ලෙව්කේ නිළමෙයි, ගංතලාවෙ දිසානායකයි, ලුණුගල උන්නාන්සෙයි දුර්දාන්ත රාජසිංහ ඉවත් කරලා නියම පාලනයක් කන්ද උඩරට ඇති කරන්ඩ යනවා. රහස් දූරය හෙවත් දේව මණ්ඩලය රාජසිංහ ආරක්ෂා කරන්ඩ තීරණය කළා. ඒකත් එක්ක හැප්පෙන්ඩ යක්ෂයන්ගෙ උපකාරය උවමනයි..."

"උඹ තවත් අවුලක් ඇති කරන්ඩයි යන්නෙ නංගී..." ජයසේන ගේ රත්පැහැ දෑස් සිහින් වූයේ සෝපහාසාත්මක බැල්මක් නැංවෙමිනි. "යක්ස අපි ඓතිහාසිකව වරද්ද ගත්තු කොටසක්. දැන් අපිට නටන්න පුළුවන් යම හෙවත් වෙසමුණි සුමනගෙ වරම් චක්‍රය ඇතුලෙ විතරයි..."

තප්පර කිහිපයක් යනතුරු කිසිවෙකුත් හඬක් පිටකළේ නැත, තණකොල පෙත්තන් දෙතුන් දෙනෙක් හැරුණු කොට...

"උඹලා ගේ අන්තිම වචනය ඒකද?" 

මහසෝනා දිගු හුස්මක් පිටකළේ ය. "අපි අමාරුවෙ දාන්ඩ එපා සහෝදරී... මට බෑ අපේ උන් උසිගන්නලා අමාරුවෙ දාන්ඩ. ඕන්නං රීරි හනුමා ගෙන් අහලා බලපං... ඌ ඔය කිසිම අනක් ගුණක් අහන එකෙක් නෙවෙයි."  

තවත් නිහඬ මොහොතකට දෙකකට පසු තාරා, හඬ අවදි කළා ය. "අඩුගානෙ අපට ඌ වත් මුණගස්සපං, ජයසේන. උඹලගෙත් කටේ නරිවාදම විතරයි. අඩුගානෙ රීරි යකාවත් වචනවලට වැඩි දෙයක් කරයිද බලන්ඩ..."

https://www.facebook.com/1179028648899783/photos/a.1179029142233067/1179029088899739
ඌ ඔය කිසිම අනක් ගුණක් අහන එකෙක් නෙවෙයි.

තමන් ළඟම සිටි අමනුෂ්‍යයා ගේ අතෙහි වූ පන්දම උදුරාගත් මහසෝනා, මහ හඬින් ඊට පිම්බේ ය. දුම්මල ගැසුවාක් මෙන් මහ ගිණි කඳක් ඇවිළුණි. මොහොතකින් පන්දම් සියල්ල එකවර නිවී ගොස් හාත්පස ගන අන්ධකාරයේ ගිළී ගියේ ය. තණකොළ පෙත්තන් සහ රැහැයියන් මෙතෙක් පසුබිමින් නඟමින් සිටි රාවය පවා නිහඬ විය.


තවත් කොටසක් ලියාගන්ඩ හැකි වේවා!

16 comments:

  1. නුවර එළියේ ඉඳන් ලංකා සීතලේ මතක්වෙන්නේ මහසෝනා විතරක් වෙන්න බැහැ . බලාගෙන ගියාම රීරි යකා ,මහා සොනා , රිටිගල ජයසේන , තව කවුද අඩු - කළු කුමාරයා , මෝහිනී නංගි , වෙසමුනිය, දැඩි මුණ්ඩ -
    අපූරුයි හා හා

    ReplyDelete
    Replies
    1. මගෙ හිතේ නං තිබුණෙ ගිරි දේවි, කඩවර, සූනියම්, කියන උදවිය විතරයි... අපි බලමු ඉස්සරහට... කවුද්දන්නෙ ලුණුගල උන්නාන්සෙත් ඔය කවුරු හරි ගුප්තාත්මයක අවතාරයක්ද කියල?

      Delete
    2. ථෙරපුත්තාභය උනත් වෙන්න පුළුවන්නේ බෑද :)

      Delete
    3. බුදු අම්මෝ!!!

      හැබැයි ඒකත් වෙන්ඩ බැරි නෑ නේද?

      දෙන්නං දොඹෙං...

      Delete
  2. https://www.jstor.org/stable/44133080?seq=1

    ReplyDelete
    Replies
    1. ඒ පිටුවෙ ඉතුරු හරියත් කියවගන්න තිබ්බනං හොඳයි ජයසේන තුමනි...

      Delete
  3. තවත් කොටසක් ලියාගන්ඩ හැකි වේවා!

    එසේම වේවා!. කොහොමද විභාග වැඩ කටයුතු? හොඳින් කෙරෙනු ඇතයි සිතනවා.

    ReplyDelete
    Replies
    1. වේවා වේවා! බකුස් නං එක දිගට ලියනව. ඒක ලොකු හයියක්...

      විභාගෙ තව ඉදිරියට. මේ ටිකේ එක පිට එක එසයින්මන්ට්. උගන්නන කරුණු අවබෝධ කරගන්ඩ වෙලාවක් නෑ, මේ එසයින්මන්ට් නිසා...

      Delete
  4. ඇපෙන් ගැලවෙන්ට වගෙ - ඇබින්දක් ලිව්වාද
    සීතලට නුවරඑළි - මොළෙත් ගල් ගැහිලාද
    තනතුරේ බර නිසා - අවකාශ මදි විණිද
    'ලියාගනු හැකි වේව'- පැතුවෙ මොන හිතකින්ද?

    පොඩිත්තක් ලිව්වට අද හිතන්ඩ නං ගොඩයි!
    // තමුං තමුං වෙනුවෙන් කිසිම දෙයක් නොකර, තමුං සුඛිත මුදිත කරවන නායකයෙක් ගැන බලාපොරොත්තු ඇති කරගත්තු කාලකන්ණි ජාතියක්...//
    // යක්ස අපි ඓතිහාසිකව වරද්ද ගත්තු කොටසක්.//

    ReplyDelete
    Replies
    1. මේ ටිකත් ලියනකොට පාන්දර එක වෙලා
      ට්‍රැක් එකට වැටෙන්නට මහ වෙලාවක් ගියා
      මෙහෙට හුරුවෙන්න අපෙ ඇඟට කාලය තියා
      මහ දිගට ලියන්නෙමි ඉදිරි කාලෙදි මෙයා

      ඒකනෙ... ලියන්ඩ තිබුණු සමහර දේවල් කම්පැක්ට් වෙලා.

      Delete
  5. දෙවිවරු අස්සට යක්කුත් එනවා
    කතාව දැන් ටික ටික කෙටි වෙනවා
    ඇයිදෝ මේ හැටි ප්‍රමාද වෙනවා
    අප හට මුල ටික අමතක වෙනවා

    සීතලට මොලේ හිරිවට්ටගන්නවා එහෙම නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. එක එසයින්මන්ට් එකක් කරන විට
      තව තව එසයින්මන්ට් එයි වැලකට
      මොනව කරන්ඩද ඒකත් කරුමෙට
      දවසක ලියනෙමි ගාමින් සට සට

      හපොයි සීතල නං...

      Delete
  6. මේ එතකොට මහසෝනාගේ ඔලුව මාරු වෙන්න කලින් ද ? මාගම ගාමණී අභය ගේ කාලේදී නේද බෙල්ල ගැලවෙන්න ෂොට් එක හම්බ වුණේ ? නැත්නම් මට පැටලිලා ද ?

    නුවර එළියේ හීතලේ කෝපි ටිකක් බිබී ලියන්න ආසාවක් ආවනේ ... හෙහ් හෙහ් ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... (නියම වෙලාවට ගමන් බිමන් යාමට බර හෙවත්) ගෝ ටයිම් බර ගෙ ද්වන්ද යුද්ධය. ඒත් මට උවමනා වුනේ මහසෝනා මූලාරම්භයේ ඉඳන් ම එන උපරි ආත්මයක් විදිහට නිරූපණය කරන්න. ඒ වගේම සාහිත්‍ය අලංකාර අයින් කරන්න. ඒකයි ඔය විදිහට ලිව්වෙ...

      වැඩේ තියෙන්නෙ පැත්තා... නුවර එළියෙ හීතලේ ලියන්ඩ බෑ නෙව, වේලාසන නින්ද යනව.

      Delete
  7. "තමන් ළඟම සිටි අමනුෂ්‍යයා ගේ අතෙහි වූ පන්දම උදුරාගත් මහසෝනා, මහ හඬින් ඊට පිම්බේ ය...."
    කෝ මන්තරේ ඇහුනෙ නෑ නොවැ ආයිබෝං, ඒකත් තිබුනනං පංකාදු පහයි.
    [පිටපතට ඕන කරන කතාවෙ අඩුම කුඩුම නං හරි වගෙයි දැං. කවද්ද චිත්‍රපටිය එන්නෙ?]රත්නත්තරේ පිහිටයි!

    ReplyDelete
    Replies
    1. මන්තර කියන්නෙ අපෙ හාමුදුරුවනේ අපේ තක්කඩි (නෑ වැරදුනා) කට්ටඬි හදාගත්ත දෙයක් නෙව. එහෙම හිතලා මන්තරයක් හරි කවියක් හරි දැම්මෙ නෑ.

      මටත් අරක නං හිතිලා තිබුණෙ අපෙ හාමුදුරුවනේ. අඩුම කුඩුම එකතු කරනවා මිසක් කතාව යන්නෑ කියල. කතාවක් ගලාගෙන යන්නෙ සිදුවීම්වලින්. ඉදිරි කොටස්වලදි කතාව අපි හිතුවටත් වඩා වේගයෙන් ගලාගෙන යාමට නියමිතයි.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි