Monday, May 16, 2016

පිටස්තරයෙකුගේ වාර්තාවක්...

"...ප්‍රධාන මෙහෙයුම් අංශය,

මා අද වාර්තාවෙන් මගේ සමීක්ෂණයට ලක්වන ග්‍රහලෝකයේ ජීවීන් ගැන වාර්තා කරමි.

මේ ග්‍රහලෝකයේ ජීවීන් වර්ග  දහස් ගණනක් වාසය කළද, ඔවුන් සියල්ල එක් ප්‍රධාන වර්ග දෙකකට බෙදීමට අදහස් කරමි. ඒ ආහාර නමැති මූලික සාධකය මුල්කරගෙන ය. ඒ අනුව, ආහාර නිපදවන්නන් සහ ආහාර නිපදවීමේ හැකියාව නොමැති ජීවීන් ලෙස මොවුන් වර්ග දෙකකට බෙදේ.

ආහාර නිපදවන්නන්...

මොවුහු සූර්යයාගේ ආ‍ලෝක ශක්තිය උපයෝගී කරගනිමින්, තම ශරීරයේ අග කොටස් වලදී ආහාර නිපදවති.

එම ආහාර තම ශරීරයේ විවිධ කොටස් වල ගබඩා කරන අතර, සිය වර්ගයා බෝ කිරීමට නිපදවන කොටස් වලද මෙම ආහාර තැන්පත් කරති.

මොවුහු ඉතාම වැඩි වශයෙන් මෙන්ම, අනෙක් ජීවී වර්ගයා සමඟ සැසඳීමේදී, සංචරණය නොකරති. උපන් තැනට සීමා වෙති. එහෙත් තම අනාගත පරපුර ඉපදීමට පෙර විවිධ ස්ථාන කරා පතුරුවා හැරීමට විවිධ උපක්‍රම යොදාගනිති.

දියුණු ක්‍රමවේදයක් මඟින් තම වර්ගයා අතර හැඟීම් සන්නිවේදනය කරති.

මෙම ග්‍රහලෝකය මත අනෙකුත් ජීවීන් හට පැවතීමට සිදුසු පාරිසරික හා දේශගුණික තත්ත්වයන් පවත්වාගැනීමට සක්‍රිය ව දායක වෙති.

අවසාන කරුණ සහ ආහාර නිපදවීමේ හැකියාව නිසාම, මෙම වර්ගය මෙම ග්‍රහලෝකය මත සිටින උසස්ම ජීවී වර්ගය ලෙස හැඳන්විය හැක.

ආහාර නිපදවීමේ හැකියාව නැත්තන්...

මොවුන් ආහාර නිපදවීමේ හැකියාව නොමැති නිසාම අනෙක් ජීවීන් මත යැපෙති. ආහාර නිපදවන්නන් ගේ ශරීර කොටස් මෙන්ම, අනෙක් ජීවීන්ගේ ශරීර කොටස්ද ආහාරයට ගැනීම මොවුන්ගේ පැවැත්මට ඉවහල් වේ.

සංචරණ හැකියාව ඇත.

ආහාර යන සාධකය සහ වෙනත් සාධක ද මත ඉහතින් කී ආහාර නිපදවන ජීවී වර්ගයා ගේ පරපුර බෝ කිරීමට දායක වෙති.

සන්නිවේදනයට ශබ්දය නම් වායු තරංගය භාවිතා කරති.

මොවුන් අතරින් ඉතා වේගයෙන් බෝවී ඇති, මුළු ග්‍රහලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් එහි සහ අනෙකුත් ජීවීන් ගේ පැවැත්මට බලපෑම් එල්ල කරමින්, සියල්ල වෙනස් කිරීමේ හැකියාව ඇති එක් ජීවී වර්ගයක් වෙති. ඔවුන්,

දෙපයින් මෙන්ම, ඔවුන් විසින් නිපදවන ලද යාන්ත්‍රික සිරුරු වලින් සංචරණය කරති.

අනෙකුත් සියළුම ජීවී වර්ගයන් බෝකරති, පාලනය කරති, ඔවුන්ගේ සිරුරු වල ව්‍යුහය පවා සිය අභිමතයට වෙනස් කරති.

එහි අතුරුඵලයක් ලෙස තම වර්ගයාට අහිතකර ජීවීන් පවා  අනතුරුදායක ලෙස විකෘති කරති.

ඔවුන්ගේ ආහාරයට ලක් නොවන ජීවී වර්ගයක් මෙම ග්‍රහලෝකයෙහි නැත.

‍මොවුන්, ආහාර නිපදවීමේ හැකියාව නැති ජීවීන් ආහාරයට ගන්නේ ඔවුන් ඝාතනය කිරීමෙන් පසුව හෙවත් ඔවුන්ගේ මළසිරුරු කොටස් වශයෙනි.

එහෙත් මොවුන් අතින් භයානකම වධයට ලක්වන්නේ ආහාර නිපදවන්නන් ය. ඔවුන් ගේ ශරීර කොටස් කපා හෝ කඩා ගන්නේ මරණයට පත් කිරීමෙන් තොරවය. මෙම ජීවීන්ගේ ග්‍රහණයට ලක් නොවන කොටසක් නැත. ආහාර නිපදවන කොටස්, ආහාර බඩා කරන කොටස් පමණක් නොව, නව පරපුරක් බිහිකිරීමට සකස් වී ඇති කොටස් පවා මොවුහු ආහාරයට ගනිති. සමහර විට මොවුන් ගේ වර්ගයා බෝකරන බීජ වර්ග යන්තම් සක්‍රිය වීමට ඉඩහැර, ඇතිවන ළපටි ජීවීන් ආහාරයට ගනිති. මෙම බොහෝ ශරීර කොටස් නටන ජලයෙහි තම්බන අතර, සමහර විට බැදීම සහ පිළීස්සීම කරති. බහුතරයක් අවස්ථාවන්හිදී මෙම ජීවී කොටස් මියයන්නේ මෙසේ සකස් කරන අවස්ථාවේ දීය. සමහර විට ජීවය සහිත කොටස් සිහින්ව ලියා, ජීවය තිබියදීම ආහාරයට ගන්නා අවස්ථා ද ඇත.

මොවුන්, අනෙක් ජීවී විශේෂයන් බහුතරයක් කෘතිමව බෝ කර සිය ආහාරයට ගනිති.

ආහාරය සඳහා පමණක් නොව වෙනත් බොහෝ උවමනාවන් සඳහා මොවුහු ජීවී විශේෂ බෝකරති.

මොවුන් මුළු ග්‍රහලෝකයම කොටස් වලට බෙදාගෙන එම බිම් කොටස් වල වෙසෙන අනෙකුත් ජීවී ‍වර්ග පාලනය කරති. ඔවුන්ට අවශ්‍ය නැති තැන් වල සිටින ජීවීන් ඉවත් කරන අතර, අවශ්‍ය අවශ්‍ය ස්ථානයන්හි ජීවීන් රෝපණය කරති.


https://s-media-cache-ak0.pinimg.com/736x/da/62/17/da621715efec807827eb9a98b340e058.jpg

ඔවුන් බෙදා වෙන්කරගෙන ඇති භූමි කොටස් වල අයිතිය වෙනුවෙන් ඔවුන් සිය ජීවී වර්ගය්ම සාමාජිකයන් සමඟද ඇණ කොටාගැනීම ද විශේෂත්වයකි..."

-------------------------

http://1.bp.blogspot.com/__6X6hqq7nro/S9CYK5K7VfI
/AAAAAAAAEaI/67gu9e7KMIQ/s1600/earth-day.gif


"ඔයා මොකද මේ දවල් තිස්සෙ ඇහැරගෙන කරන්නෙ?" ඩ්‍රැකියානිගේ හඬ නැගුනේ මා පිටුපසිනි.

"මං හැදුව රේඩියෝ රිසීවර් එකක්. බලන්නකො මේ අහුවෙච්ච එක..." මම නැවත පටිගත වූ දෙය ප්‍රතිවාදනය කළෙමි.

ඇගේ මුව ඇපල්ගෙඩියක හැඩයට විවර වීමට වැඩි වේලාවක් ගතවූයේ නැත.

"මේ කියන්නෙ... මේ කියන්නෙ... "





















ප/ලි

මා මෙතෙක් සේවය කළ සේවාස්ථානයට සමුදීම තව ඇත්තේ එක් දිනකි. 18 වන දා සිට සේවයේ ශ්‍රේණිගත උසස්වීමක් සඳහා ආරම්භ වන දෙසතියක පුහුණුවකට යාමට සිදු‍වී තිබේ. මා මීළඟට අනුයුක්ත කෙරෙන්නේ කුමන ආයතනයකටදැයි තවම නොදනිමි. එතැනට ගොස් නැවතත් ජාලගත වීමට පහසුකම් සකසා ගැනීමට තවත් ටික කලක් ගතවනු ඇත.

පසුගිය සති කීපයේ මා හට සුහද බ්ලොග් කරුවන් හමුවීමට, ඔවුන් හා සංවාද ගොඩනගා ගැනීමට තිබූ ඉඩකඩ අඩු විය. ඒ මා කාරණා කීපයක් උදෙසා කාර්ය බහුල වීම නිසා ය. (මා බ්ලොග් ලොවට එන්නේ කාර්යාලීය ජාලයෙනි.)

එසේම, ඉදිරි සති කීපයේදී බ්ලොග් ලෝකය විසිට් කිරීමට මට හිමිවනුයේ ඉතාම අල්ප අවකාශයකි.

ටිකදිනකින් මා නැවත එනතුරු, මගේ සහෘදයන්, මගේ පරමාදර්ශයන් සහ මගේ සගයන් වන ඔබ සැමට කෙටිකාලීනව සමුදෙමි. ඔබ ඇසුරින් මා පෝෂණය වූ අතර, භාව විශෝධනයටද ඔබ සමඟ කළ සංවාදය ඉවහල් විය... ඒ සියල්ලට ඔබට මාගේ ප්‍රණාමය !

https://media0.giphy.com/media/l0NwC1UnHzAHfC50c/200.gif


http://sd.keepcalm-o-matic.co.uk/i/
keep-calm-and-i-ll-see-you-later.png

Thursday, May 5, 2016

හොඳම කම්මැලියා - කැකිල්ලේ කතා...

http://static.fjcdn.com/pictures/King_8b19de_327898.jpg

ඕං දවසක්දා රාජ භෝජන වළඳලා එහෙම, විටක් හප හපා හිටපු කැකිල්ලෙ සජ්ජුරුවන්ට මරු අයිඩියා එකක් පහළ උනා. සජවරුන්ට මරු මරු අයිඩියා පහළ වෙනව තමා ඉතිං කාලෙං කාලෙට.

"රටේ ඉන්න හොඳම කම්මැළිය තෝරල ඌට සම්මානෙයක් දෙන්ඩ ඕනෙ" ඒක තමා කැකිල්ලෙ රජ්ජුරුවන්ට ආපු අදහස. ඉතිං පහුවදා ම රාජසභාවෙදි ආ‍ඥාවක් නිකුත් කළා.

ඒ අණට අනුව රාජපුරුෂයො, පස්ස කැඩිච්ච කඩි වගේ, ටාගට් කවර් කරන්ඩ බැරිවෙච්ච පොලිස් රාළහාමිල වගේ රට පුරා ඇවිදින්ඩ ගත්ත.

ඔහොම ගොඩකවෙල පැත්තට ගියපු රාජපුරුෂයො දෙන්නෙක් දැක්ක දවසක් පාර ට කිට්ටුව තිබ්බ වෙරළු ගහක් යට දෙන්නෙක් ඉඳගෙන ඉන්නව, වෙරළු ගහට පිට දීල. එකෙක්ගෙ කම්මුලේ ගහෙං වැටිච්ච වෙරළු ගෙඩියකුත් රැඳිල තිබුණ. ඌ දිව දික්කරල ඒක කටට දාගන්ඩ මාර ගේමක් දෙනව. ඒත් දිව දිග මදි.

මුං දෙන්න දැකපු රාජපුරුෂයො දෙන්න, අර බෝම්බ තුන හොයාගත්ත කොස්සො දෙන්න වගේ එතෙන්ට දුවගෙන ගියා.

(ඔහෙල දන්නවද බෝම්බ තුනේ උපකතාව?

ඕං මෙහෙමයි. 

දවසක් බෝම්බ තුනකට පොලිස් කොස්තාපල්ල දෙන්නෙක් කොස්තාපල්ල දෙන්නෙක්ට බෝම්බ තුනක් හම්බුණා කාණුවක තිබිල. උං මාර ආසාවෙං ඔන්න ඒකත් අරං යනව පොලිසියට.

යද්දි එක කොස්සෙක් ඉදළගෙං අනික් කොස්සගෙං අහනව,

"ඒ බං පත්තරෙය, මාර වැඩේ. දැං මේ බෝම්බෙයක් පිපිරුවොත් එහෙම අපි මොකද කරන්නෙ?"

"වෙන මොනව කරන්ඩද මෙන්ඩො?" අරූ කියනවලු... "අපි ඕඅයිසීට කියමු දෙකයි තිබ්බෙ කියල...")

ඉතිං අර වෙරළු කම්මැලියො දෙන්න ගාවට ගියපු රාජපුරුෂයො දෙන්නගෙං එකෙක් අහනව,

"ඒයි! බොලා‍ දෙන්න මොකද කරන්නෙ?"

"ඒකට උත්තරදෙන්ඩ නං බැරියැ..." අර කම්මුලේවෙරළු ගෙඩියක් තියෙන බුවා කිව්ව ඇස් අරින්නෙවත් නැතුව. "ඊට කලිං මෙන්න මේ වෙරළු ගෙඩිය මගෙ කටෙං තියනවකො උන්නැහැ..."

රාජපුරුෂයට මළපැනල, "තෝ වගේ කම්මැලියෙක්...!" කියල අරූට පයිං එකකුත් ඇන්න.

ඒ පයිං පාරෙ සද්දෙට අනික කියනව,

"හොඳ වැඩේ. ඕකට තව දෙකතුනක් අයින්ඩයි තියෙන්නෙ, ඔය කම්මැළීකම යන්ඩ. උන්නැහැට කියන්ඩ, පෙරේද බල්ලෙක් ඇවිත් මයෙ මූණ ලෙවකනව. ඉවසන්ඩම බැරි තැන, මං මූට කිව්ව මේ බල්ල එළවපං කියල. කොහෙද? මූ ගාණකටවත් ගත්තෙ නෑනෙ. පස්සෙ බල්ල මගෙ ඇඟට හුජ්ජත් කරල පස්ස ගාත් දෙකෙං බිම පහුරු ගාල පසුත් විසික්කරල ගියා යන්ඩ."

මේ නං රියල් බුලට් දෙකක් කියල දැනගත්ත රාජපුරුෂයො දෙන්න, මුං දෙන්නවත් කුදලගෙන සජ්ජුරුවො ගාවට අරං ගියා.

යනකොට රට වටෙම්ම අල්ලගත්ත කම්මැළීයො සීයක් විතර රජමාළිගාවෙ මිදුලෙ...

"මට ඕනෙ ලොකුම කම්මැළිය." කැකිල්ලෙ රජ්ජුරුවො කිව්ව. මේ මිනිස්සු අතරිං ලොකුම කම්මැළියව මට තෝරල දෙනවල"

ඇමතිවරු කල්පනා කරන්ඩ ගත්ත කොහොමද බොලේ කම්මැලිකම ටෙස් කරන්නෙ කියල. එ් අතරෙ රාජපුරුෂයො ටික වෙරළු කම්මැලියො දෙන්නව රජාට පෙන්නල කියනව,

"මුං දෙන්න තමා රජතුමෝ අපි දැකපු ලොකුම කම්මැලියො දෙන්න. මුං හදිසියකට අතක්කත් උස්සන්ඩ කම්මැලියි." කියල

"මට දෙන්නෙක්ගෙං වැඩක් නෑ. මුං දෙන්නගෙං ලොකුම එකා හොයල දෙනවලා..."

"රජා තමයි බොලේ බැලින්නං ලොකුම කම්මැලිය" එක රාජපුරුසයෙක් තව එකෙක්ගෙ කණට කොඳුරල කිව්ව. "දැං අපිද මූට හොයල දෙන්ඩ ඕනෙ ලොකුම එකා?"

"දෙමුද ලොක්කට මූණ බලන කණ්නාඩියක්?" තව එකා, එක රාජපුරුසයගෙ කණට ආපහු කෙඳිරුවා.

ඔය අතරෙ රජවාසල කවටය දුන්න හොඳ අයිඩියා එකක්...

ඒ අනුව ටක් ගාල රජ වාසල මිදු‍ල‍ෙ පිදුරු වලිං ඇටෙව්ව පැල්පතක්. ඒකෙ පැදුරු දෙකක් දාල, අර වෙරළු කම්මැලියො දෙන්න නිදිකෙරෙව්ව. "අපි මේ කොහෙද එක්කරං යන්නෙ, මොකද මේ අපිට කරන්ඩ යන්නෙ..." වගේ මෝඩ ප්‍රශ්න අහන්නැතුව අරුං දෙන්නත් පැදුරෙ දාපු ගමං ගොරෝ ගොරෝ නිදාගන්ඩ ගත්ත.

රාජපුරුසයො සෙට් එකක් වතුර බාල්දි, වැලිබාල්දි, විල්බැරැක්ක, යුද්ධටැංකි, බුලත් හෙප්පු වලිං සන්නද්ධ කරල ස්ටෑන්ඩ්බයි තියල, අර පැල්පතට ගිණි තිබ්බ.

ගින්න ඇවිලීගෙන එද්දි එක කම්මැලියෙක් ඇහැක් යාන්තමිං ඇරල බලල, අනිකට කියනව,

"මචං ටිකක් රස්නෙයි වගේ බං. කොහෙං හරි එළියකුත් වැටෙනව. පොඩ්ඩක් බලහංකො මොකද වෙන්නෙ කියල..."

"අනේ පළයං බං යන්ඩ." අනික කියනව. "ඔහෙ ඕනෙ එකක් වෙච්චදෙං මං නං ඇහැක් ඇරල බලන්නෑ" කියල ඌ අනික් පැත්ත හැරිල හොඳට බුදියෑව.

ආං ඌ තමයි ලොකුම කම්මැලිය කියල තෝරගත්ත කැකිල්ලෙ රජ්ජුරුවො, ඌට ගෙයක්, හැම ආවතේවයක්ම කරන්ඩ සේවකයො. සනීපෙට බුදියගන්ඩ ඇඳක්හෙපන්ඩ මහන්සි නොවී ලේසියෙං ගිළින්ඩ පුළුවං කෑම... ආදිය මැරෙනකං සප්ලයි කරන්ඩ රාජාඥාවක් පැනෙව්ව.

මේ කතාව රට පුරා ප්‍රසිද්ධ උනාට පස්සෙ රටේ කම්මැලියො සූ ගාල වැඩිවෙන්ඩ ගත්ත...

http://www.generalcomics.com/funny-directory/10/1007-funny-cartoon.jpg

---------------------------------------------

මෙතෙක් කතාව සහ පාඨකයන්ගෙං කරන විශේෂ ඉල්ලීම...

ගොඩ දවසකින් හරිහමං විදිහට බ්ලොග් අවකාශයට එන්න බැරි වුනා. අපේ කන්තෝරුවෙ ප්‍රොක්සි සර්වර් එක මැරිලලු. ඉතිං,

අනේ ඉන්ටනෙට් නෑ...
ඉන්ටනෙට් නෑ...
ඊ්මේල් නෑ...
‍බ්ලොග් නෑ...
අපිත් නෑ...

බැරිම තැන පරණ ඩොංගල් එක හොයල අරං, මකුළුදැල් කඩල, අන්ලොක් කරල, සිම් එකක් දාගෙන රිලෝඩ් එකකුත් දාගත්ත. කොම්පියුටරේට ගහල සයිට් දෙක තුනකට යනකොට ‍ඩේට ඉවරලු. හවස කම්පියුටරේ ෂට්ඩවුන් කරනකොට, මෙන්න බොලේ මැසේජ් එකක් එනව, වින්ඩෝස් අප්ඩේට් කරගත්තලු, ප්ලග් එක ඕෆ් කරන්ඩ එපාලු. (මේ යකා, මගෙ ඩේට ටිකෙං උගෙ ජනේලේ අප්ඩේට් කොරගෙන.)

කොහොම හරි ඕං, අද තමයි හරිහමං විදිහට බ්ලොග් අවකාශයට ගොඩවදින්ඩ ලැබුණෙ. ඉතිං මට හිතුණා මේ අල්ලපනල්ලෙ "ඓතිහාසික පුද්ගලයන් ගේ අභිලේඛන" කියල කැටගරියක් පටං අරං, අපි කියවල තියෙන ඉතිහාසගත පුද්ගලයන්, අපට කියවගන්න පුළුවන් වෙන්න ලියවලා තියෙන දේවල් ගැන මහා හරබර, භූගර්භ සාරගර්භ, පොඩි ළමයින්ගෙ දැනුම දියුණු වෙන, වැඩිහිටියන්ගෙ දැනුම මුවහත් වෙන ලිපි පෙලක් ලියන්න. හිතුව විතරක් නෙමෙයි, ඉන්ටනෙට් නැතුව ලකා ගහං හිටපු ටිකේ පළවෙනි ලිපිය ලියලත් ඉවර කළා.

අපි දෙබළකට නැග්ගොත් ඒකෙත් ගිරවෙක් ය කියල කතාවක් තියෙනවනෙ. මීට බොහොම කාලෙකට කලිං එක්තරා සයිට් එකක් තිබුණ, (මට මතක හැටියට රාජකීය ආසියාතික සංගමේ සයිට් එක) ඒකෙ සෙල් ලිපි වල නම්බර් එක දුන්නම, සෙල්ලිපියෙ ස්පර්ෂ පිටපතේ බොහොම පොඩි පින්තූරයක් පෙන්නව. මං උන්නෙ ඒ පින්තූරත් එක්කම බොහොම පොහොසත් ලිපි ටිකක් ලියන්න. දෙබළෙ උන්න ගිරව තමයි, ඒ පේජ් එක දැන් වැඩ කරන්නෑ.

ඉතිං මේ ලිපිය කියවන හුදී ජනයාගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටින්නෙ, මට පුළුවන්නං Inscriptions of Ceylon පොත් ටික හොයල දෙන්න සතියකට මං මොනවත්ම හාණියක් නොකර තිබුණ වගේම හොඳට පොත් ටික ආපහු භාර දෙන්න පොරොන්දු වෙනව. දෙන්න බෑම කියල හිතෙනවනං ...(අර
පුස්තකම් ඩීවීඩී රත්නම් - පරහස්ත ගතෝ ගතම්
කියල සෘෂි භාෂිතයක් තියෙන්නෙ)
එහෙම හිතෙනවනං, මං ලබාදෙන ප්ලේට් නම්බර් ටිකට අනුව, ප්ලේට් ටික ස්කෑන් කරල එවන්න පුළුවන්නං ඒකත් මට ඇති.

කවුරුන් හෝ පිං කරන නෝනා කෙනෙක් මහත්තැං කෙනෙක් ඉන්නවනං මට මේල් එකක් දාන්ඩය.
drackey@gmail.com මගෙ මේල් ඇඩ්‍රස් එක.

Thursday, April 7, 2016

කවුරු - කාටද? ඩ්‍රැකියාවෙලී විග්‍රහයකි...

දවසක් පිස්සෙක් පිහියක් අමෝරාගෙන තව පිස්සෙක් පස්සෙං එළවන්නට විය. ඒ පිස්සා ද පණ එපා කියා දුවන්නේ ය. පිහිය අතැති පිස්සා‍ එක එක දේ කියමින් කෑගහමින් ළඟ - ළඟම එළවං එයි.

"තෝ කනව යකෝ!"
"ඔහෙ හිටපිය!"
"මරණව තෝ!"
"කනව යකෝ කටු පිටිං!"

ආදී භයානක තර්ජන කරමින් අර පිස්සා මාරාවේශයෙන් ‍වගේ එළවං එද්දී, අනික් පිස්සා බල්ලට මෙන් හති ලමින් දුවන්නේය.

ඌ දුවගෙන දුවගෙන කොහොමින් හරි තාප්ප මුල්ලකට කොටු උනේය. බේරෙන්නට යන්ඩ තැනක් නැත. මිනීමරු පිස්සාට අතේ කෝට් ය.

මිනීමරු පිස්සා උගේ බෙල්ලෙන්ම අල්ලගත්තේය. අනික් අතේ තිබ්බ පිහිය අරූගේ අතේ තියා,

"දැං උඹ මයෙ පස්සෙං පන්නපං" කියා ආපසු හැරී දුවන්නට ගත්තේය.

-------------------------------------------

හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මේළඟදී "බැරිනං මට දෙන්ඩ. මං කරල පෙන්නන්නං" යැයි කීවේය. ඒ කීවේ පාර්ලිමේන්තුවේදී නෙවේය. මහජන රැළියකදීය.

එහෙම රාජ්‍ය පාලන බලය කෙනෙක් අතින් තව කෙනෙක් අතට පවරා දීමට ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ නැත. එක්කෝ මහමැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින්, පාර්ලිමේන්තුවේ බහුතරය වෙනස් කරගැනීමෙන්, හමුදාවක් යොදවා රට අල්ලාගැනීමකින් බිහි කරන ඒකාධිපති පාලන ක්‍රමයකින් වගේ ක්‍රමයකින් මිසක් වෙන ක්‍රමයක් නැත.

------------------------------------------

දේශපාලන පළිගැනීම් නතර කරන්නැයි කියා ඒකාබද්ධ විපක්ෂය පොල් ගැසුවෝය. 

ඒ පොල් ගහපු අය අවංකවම දෙවොල් දෙවියන් විශ්වාස කර, තම කන්නලව්ව අසා දෙවොල් දෙවියන් තම තෙද අණසක පතුරුවා ආණ්ඩුව ගෙදර යවනු ඇතැයි අවංකව විශ්වාස කළා යැයි, අපි විශ්වාස කළොත් අපිට වඩා සුදුසු වන්නේ බත් නොවේ ය.

--------------------------------------------

මෙකී නොකී හැම කෙළියම සිද්ධ වෙන්නේ මහජන ප්‍රදර්ශනය සඳහා ය.

ඇත්තටම මහින්දට රාජ්‍ය බලය දිනාගැනීමට උවමනාව තිබුණි. ඒ වෙනුවෙන් ඔහු පහුගිය ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් මහන්සි විය.

එහෙත් දැන් ඔහුට රාජ්‍ය බලය දිනාගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ඕක නොවේ. තවමත් ශක්තිමත් දේශපාලන සංවිධානයක් වන එක්සත් ජනතා නිදහස් සංධානයේ ඔළුගෙඩි සියල්ලක්ම තමන් වෙත නතු කරගෙන, සුළුපක්ෂ ද දිනාගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමය. පහුගිය අයවැයේදී අයවැය පරාජය කිරීමට මහන්සි විය යුතුව තිබුණි. එය රාජ්‍ය බලය ආපහු දිනාගැනීමට තිබූ හොඳම අවස්ථාව ය.

ඒ වෙනුවට ඔහු කරන්නේ ඒකාබද්ධ ත්‍රීවීල් එකක් (කොපි රයිට් - විභීෂණ) දක්කමින්, සිංහල ජාතිකත්වය ප්‍රොමෝට් කරමින්, ආණ්ඩුවට විරුද්ධ ජනබලය ආමන්ත්‍රණය කරමින්, (ඔවුන් හට ආණ්ඩුව පෙරළීමට නායකත්වය නොදෙමින්) කොටිම්ම පහුගිය මහින්ද පාලන සමයේදී (ජනවාරි අටේ සිද්ධියේදී නොවේ) චම්පිකලා විමල්ලා නටපු නාඩගම නැටීමය.

"කෙනෙක්ගේ ක්‍රියාවක පරමාර්ථය සෙවීමට නම්, ඒ ක්‍රියාවෙන් වාසි සැළසෙන්නේ කාටදැයි බලන්න" කියා අපට කියන්නට ෂර්ලොක් හෝම්ස් අවශ්‍ය නැත.

මහින්දගේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාවලියෙන් සිද්ධ වන්නේ, 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙපිළක අතරමං වීමය.
එයින් කැපුවත් නිල් ඡන්දදායකයා ද වැට උඩට යාමය.

සමහර ශ්‍රී ලංකා කාරයන් නම් මහින්දට එකෙන්ම සපෝට් කරති (මා කියන්නේ මගතොටේදී ඇහෙන කතා ආශ්‍රයෙනි.) එහෙත් මෛත්‍රීපාලටත්, ජාතික ආණ්ඩුවේ අැමතිකම් දරණ නරිහාමිලාටත් ඡන්ද පදනමක් ඇති බව අමතක කළ යුතු නැත.

මේ වගේ තත්ත්වයකදී තමංගේ ඡන්ද පදනම රැක ගන්නට රනිල් උන්නැහැට:

තමංගේ ප්‍රතිරූපය නංවාගැනීම,
පොරොන්දු ඉටු කිරීම,
ජීවන බර අඩු කිරීම,
බදු අඩු කිරීම,
ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම... ආදී දහසකුත් දේ කරන්නට තෙල් පුච්චාගන්නට අවශ්‍ය වන්නේ නැත.

අන්තිමේදි බලනකොට මහින්දත් රනිල්ගේ පැත්තේය. 

ඉතිං රනිල් ලා ඡන්ද කාලෙදි කියාපු දහසකුත් එකක් හොරකම් අල්ලන්නට දැන්නම් හදිසි නොවිය යුතු ය. මහින්දානන්දලා, මහින්දලා, නාමල්ලා, විමල්ලා, ගම්මංපිලලා, බන්ධුලලා, ගොඨාභයලා, සජින් ද වාස් ගුණවර්ධන ලා, අලි රොෂාන්ලා ආදීන් ට එරෙහිව භාරදුන්න අල්ලස් චෝදනා සහ අනිකුත් චොදනා හමස් පෙට්ටියේ පුස්කන්නට ඉඩ දිය යුතුය.

කොටිම්ම ඒකාබද්ධ විපක්ෂය යහතින් පැවතිය යුතුය. රනිල්ට පහසු හෙටක් උදාවන්නේ එතකොට ය.

රොබින් හුඩ් නාට්ටියේ සර් ගයි ඔෆ් ගිස්බන්ව ‍ෙකාච්චර වාර ගාණක් රොබින් හුඩ්ට කොටු උනත් පුකට තට්ටු කර ආපහු නොටිංහැම් එළවන්නේ ඒක ය.

http://www.ushistory.org/gov/images/00020713.gif

අන්තිමේදි බලනකලට - අන්දරේල අපි සේරම
අන්තිමේදි බලනකලට - අන්දරේල අපි සේරම
අන්දරේ ලා...

Friday, April 1, 2016

අවසානයක් නොවේ... 2 කොටස


අංගනය කෙළවර වූයේ හාත්පස පැතිරි අඳුර මැද නැඟී සිටි කළුවන් භූතයෙකු වැනි ගරා වැටෙමින් පැවති මන්දිරය කි. එහි දැවන්ත පෝටිකෝව යටට කන්‍යා සොයුරිය දිව යත්ම, මහ වැස්ස ගඩ ගඩ හඬින් ඈ ලූහුබැඳ ආයේ ය.

ඇය හතිලමින් මොහොතක් ගත කළාය. සාක්කුවකින් ගත් කුඩා අත් ලේන්සුවකින් තරුණිය සිය මුහුණත් දෑතත් පිසදාගත්තා පමණි. මන්දිරයේ ප‍්‍රධාන දොරෙහි වම්පස පියන මළකඩ හඬක් නඟමින් විවර විය.

කන්‍යා සොයුරිය තිගැස්සිණ. සිය අත්බෑගය උරහිසින් පන්නා සුරතට ගත් ඈ, පසුපස හැරී බැලූවාය.

අද එතැන් සිට...

විවට දොර පියන අතරින් එළියට ආවේ කාලවර්ණ පැරණි දිග කබායකින් සැරසි මහල්ලෙකි. සුරතේ වූ සැරයටියකින් ඔහුගේ දුබල කයට වාරු ලැබුණි. වයස අසූවක් වත් ඇතැයි කිව හැකි රැළි වලින් පිරුණු ඔහුගේ මුහුණ දෙස බැලූ තරුණිය වෙවුලුවා ය. හාත්පස පැතිරි තද කළුවර පසුබිම් කර ගත් එම සුදුමැළි මුහුණෙහි, කාරුණික මඳ සිනාවක සේයාවක් විය.

‘‘තද වැස්ස...’’ ගැඹුරු ළිඳක පතුලේ සිට නැඟී ආවක් වැනි දුබල හඬකින් මහල්ලා ඈ ඇමතීය.

වේගයෙන් ගැහෙමින් පැවති සිය පපුව මත වමත තබා ගත් කන්‍යා සොයුරිය, හිස පහත් කර ඊට එකඟතාවය පළ කළා ය.

‘‘ඇතුළට එනවද? මෙතන හිරිකඩ නෙ.’’

කෘතඥතාපූර්වක බැල්මකින් මහල්ලා දෙස බැලූ ඇය, විවට දොරෙන් ඇතුල් වත්ම, දොරපියන මළකඩ හඬ නඟමින් සෙමෙන් සෙමෙන් වැසී ගියේය.

දෙදෙනා ඇතුල් වූයේ, චිමිනි ලාම්පුවක දුබල දැල්ලෙන් යන්තම් ආලෝකවත් වූ විසාල ශාලාවකට ය. අපිළිවෙල එහි හාත්පස ලියැවී තිබුණි. දොර කෙලින්ම, ශාලාවේ අනෙක් පස වූයේ දැවයෙන් නිමැවූ දැවැන්ත කවාකාර තරප්පු පෙළකි. අඟුරු, අළු හා ඇති තරම් දුහුවිල්ලෙන් වැසී ගිය පැරණි තාලයේ ගිණි උඳුනක් ඊට වම් පසින් විය. කැඩුණු බිඳුණු ගෘහ භාණ්ඩ, විවිධ මෙවළම් ආදියෙන් ශාලාවේ බිත්ති කොන් ඇහිරී තිබිණ. 

ගිණි උඳුනට මුහුණලා තබා තිබූ වූ බරසාර ඇඳි පුටුවක් වෙත මහල්ලා සිය සැරයටිය දික් කළේය. කන්‍යා සොයුරිය එදෙසට යාමට හැරුණා ය.

මහල්ලා උදුන අසළ තබා තිබූ අඩක් දිරාපත් වෙමින් පැවති ලී පෙට්ටියක් ඇර, ඉන් ගල් අඟුරු දෝතක් ඉවතට ගත්තේ ය.

‘‘දැන් ගල් අඟුරු හොයාගන්න තැනක් නෑ. පේනවනෙ, කොච්චර කාලෙකින් මේ චිමිනිය පත්තු කරල නැද්ද කියල.’’

ඔහු ගල් අඟුරු ටික උඳුනට දමා, කනප්පුව මත වූ චිමිනි ලාම්පුවෙන් තෙල් ස්වල්පයක් වත් කර, ගිණි තැබීය. මොහොතකින් ගල් අඟුරු රතුවන් ව ඇවිලෙන්නට ගති.

http://www.saltwater.co.uk/images/wallpaper/Coal-Fire-1024x768.jpg

කන්‍යා සොයුරිය සිය උරහිසෙහි වූ අත්බෑගය උරහිස ගස්සා ඉදිරියට ගනිමින් උදුන දෙසට පිය එසවූවා ය. ඇගේ ඇඟිලි තුඩු අත්බෑගයේ පැත්තක වූ ටික් අගුලෙහි දැවටෙත්ම එම අගුල විවර වී, සහල් ඇට වැස්සක් වැගිරෙන්නට පටන් ගති. සට සට හඬින් බිම පතිත වූ සහල්, නැවත නැවතත් උඩ පනිමින් ශාලාව පුරා විසිරෙන්නට ගත වූයේ තප්පර දෙක තුනකි.

මහල්ලාගේ ඇස් රතු විය. වකුටු වූ ඝන ඇසිබැමි යටින් ඒ දෑස් විසල් ව විවර වී, යොමු වූයේ තරුණියගේ මුහුණට ය.

ඇගේ මුහුණ බියපත්ව සුදුමැළි විය.

අපැහැදිළි හඬින් යම්කිසිවක් මුමුණමින් මහල්ලා ශාලාවේ බිමට නැඹුරු විය. හාත්පස විසිරී ගිය සහල් ඇට ඔහු එකින් එක සිය සුරතේ දිගු ඇඟලි තුඩු වලින් අහුලමින්, ගොටු කරගත් වමතට එකතු කරන්නට පටන් ගත්තේ ය.

කන්‍යා සොයුරිය ඔහු වෙත යොමු වූ දෑසින් යුතුව, සෙමෙන් සෙමෙන් ප‍්‍රධාන දොර දෙසට ඇදුණා ය. ඒ අතරම, සාක්කුවෙන් ගත් ජංගම දුරකථනයෙහි ඩයල් බොත්තම දෙවරක් එබුවා ය.

තරුණිය දොර අසලට අවුත්, ඉන් වම්පසට අඩි කිහිපයක් ගියා පමණි, මහ හඬක් නගමින් දොර පියන් දෙක බිඳී ගියේ ය. කැඩුණු දොර පියන් වල ලී කැබලි ශාලාව ඇතුළට විසි වෙද්දී, එතැනින් ඇතුළට ආ වේගවත් රිදීපැහැ ලෑන්ඞ් රෝවරයක්, ගලක් ගැසුවාක් මෙන් ශාලාව මැද නතර විය.

Monday, March 28, 2016

හදවතින්ම...

-------------------------------------------------------------------
මේ ලිපියට කලිං පලවෙන්නට නියමිතව තිබූ "අවසානයක් නොවේ" කතාවේ දෙවෙනි කොටස, මගේ කරුම දෝෂයක් හේතුවෙන් පළ නොවෙන අතර, එය මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු විය හැකි බවට පාඨකයෝ කරුණාවෙන් අල කන්ඩය. (ආනයනික අර්තාපල් ගණං අඩු ය. පකිස්ථාන් අල ඒ අතරිනුත් ඉතාම හොඳය. ඒවා ගොඩක් දුරට ලංකා අර්තාපල් වගේම ය.)
-------------------------------------------------------------------

ගරු - තර සභාවෙන් අවසරයි...

මම මේ වෙලාවෙ මුලින්ම ස්තූති කරන්ඩ කැමතියි, මට ඉතිහාස කැටගරියෙ තුංවෙනි ස්ථානය ලබා දෙන්ඩ තීරණය කළ විනිශ්චය මණ්ඩලයට.

ඒ වගේම මේ නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල පවත්වාගෙන යන්ඩ උරදෙන, තිරයෙන් පිටිපස්සෙ ඉන්න මම නොදන්න ගරු මහත්වරුන්ට, අජිත් ධර්මකීර්ති අයියට, නොසෑහෙන්න මහන්සි වුන බව අපි දෑහිම්ම දැක්ක කළ්‍යාණ මිත්‍ර සුමිත් කළණසිරි ට, සංගීතයෙන් අපේ දෙසවන් පුරවලා උතුරවා දාපු මනා, සජ්ජා, ඇතුළත් වාද්‍ය වෘන්දයට, කෙටි නාට්‍ය ආදිය අපට දැකගන්ඩ සළස්වපු උදවියට, කොටිම්ම කියතොත් නෙළුම්යාය 2015 සම්මාන උළෙලෙ කුදු මහත් සෑම අංගයක්ම සාර්ථක ලෙස ඉටු කරපු හැම දෙනාටම (නැත්තං මේ කතාව කොහෙං නවතියිද දන්නෑ...) ගොඩක් ස්තූතියි.

මා ඉතිහාසය විෂයට නැඹුරු ‍වන්නට මුල් අඩිතාලම සැපයූ මගෙ (දැනට ජීවතුන් අතර නැති) තාත්තට, අපේ ඕලෙවල් ඉතිහාස ගුරුතුමිය වුනු බන්දුමතී මහත්මියට සහ අපේ බාහිර උපාධි පන්තියෙ පුරාවිද්‍යා ලොකු සර් වුණු ශාන්ත බණ්ඩාරනායක මහත්මයට මීළඟට මගෙ කෘතඥතාවය පිරිනමන්න කැමතියි.

බ්ලොග් එකක් ලියන්න මුල් අදහස් බීජය මා තුළ රෝපණය වුනේ "‍පොඩි කුමාරිහාමි", "සිරාගෙ කාමරේ", "සෑම් ගෙ කතාව" සහ "තහනම් අඩවිය" බ්ලොග් ආශ්‍රයෙන්. ඒ නිසා මං මීළඟට ස්තූති කරන්නෙ ප්‍රවීණා පලීපාන මහත්මියට, සංජීව සිරිවර්ධන මහතාට, සමින්දික ශ්‍රීමන්ත පෙරේරා මහතාට සහ  හර්ශන අධිකාරී තරුණ මහතාට.

මගෙ බ්ලොග් එකේ මුල් කාලෙදි මාව දිරිමත් කරපු සදාදරණීය කමෙන්ට් කරුවන් සහ සින්ඩිකේටර් කරුවන් සියළු දෙනාටම මාව මේ තරම් දුරක් ගෙනඒම සම්බන්ධයෙන් මගේ හද පිරි කෘතඥතාවය... මේ තාක් කාලයක් මගේ බ්ලොග් එක ආශ්‍රය කරපු සියළුම පාඨකයන් ද මේ අවස්ථාවෙදි සිහිපත් කළ යුතුයි.

සම්මාන උළෙලට පාර කියූ ගූගල් මැප් එකට සහ ඒ අටමගලෙ විශ්වාස කරලා මං බීඑම්අයිසීඑච් පැත්තට යන්න යද්දි නියම මග පෙන්වපු සුරංග ට ඊළඟට ස්තූතියි.

සම්මානයක් ගන්ඩ තරංවත් දෙයක් ලියන්ඩ පසුබිම සැපයූ, උලතියන ව්ලාඩ් හවත් ව්ලැඩිස්ලෝස් ඩ්‍රැගූලියා වොයිවෝඩ් වරයාට, උන්දැට එහෙම හැසිරෙන්න බලපෑ මැතියාස් කෝවිනස් නම් හංගේරියානු රජුට සහ මෙහ්මඩ් නම් ඔටෝමන් පාලකයාට, ඩ්‍රැක්‍යුලා ගැන මුඛපරම්පරාගත් තොරතුරු සහ ඓතිහාසික ලියවිලි පවත්වාගත් සියලු දෙනාට, උන්දැගෙ නම අරං පොත් ලියපු බ්‍රෑම් ස්ටෝකර්ට සහ ඒ පොතෙන් ගහපු බයිස්කෝප් වල ඩ්‍රැකියුලාට නැටුව ක්‍රිස්ටෝෆර් ලී මහත්තෙයට මගෙ ප්‍රමාණය ප්‍රණාමය පුදකරනවා.

අවසානයට, මට මේ කාඩ් එක ගහපු මහතුවා හෙවත් දීපාල් කාන්චන කුලරත්න ට සහ ඩිකී හෙවත් සෝබන (කස්තුරි) ශ්‍රියන්ත ට ද, ඒ කාඩ් එක ප්‍රොමෝට් කරපු සාගල, ඉන්දික (ශාන්ත ෆෝකා මුනිතුමා) සහ ආසිරි (හර්කියුලීස්) මිතුරන්ට ද ඉස්තූති කරමින්,

අන්තිමටම, මාව සම්මාන උළෙලට වැදගත් විදිහට අන්දවලා එවමින්, "යන්න. ඔයාට එකක් අනිවාර්යෙන්ම ඇති." කියා දිරිගන්වපු මගේ ආදරණීය බිරිඳ මෙන්ම මගේ හොඳම යාළුවාද වන, නිලන්ති දිසානායක හෙවත් ඩ්‍රැකියානි ට සහ මට ‍සම්මාන උළෙලට එන්න පුළුවන් වෙන විදිහට, කලින් දවසෙ හවස රාගම රෝහලෙන් ටිකට් කපාගෙන ගෙදර ආව මාස පහක් වයස මගෙ පොඩි පුතා ට ආදර බර ස්තූතිය ‍ද මේ අවස්ථාවෙ පිරිණමමින්, මගේ වචන සුවල්පය (හොඳ සුවල්පය...! මාගලත් මීට වඩා කොටයි) මෙයින් අවසන් කරනවා.

http://image.slidesharecdn.com/
random-150629132542-lva1-app6891/95/-31-638.jpg?cb=1435584547


---------------------------

සම්මානයක් ගත්ත එවුං වේදිකාවෙන් බහින්ඩ කලිං මයික් එකට ළං වෙලා ස්තූති කරන සිරිතක් මං දැක තිබේ. ඒත් මේකෙ සම්මාන දුන්න විදිහට එහෙම කතා කොරන්ඩත් දුන්නනං, සම්මාන උළෙ‍ල මේ වෙනකොටත් පැවැත්වෙනවාට කිසිම සැකයක් නැත. එහෙයිං මං ලෑස්ති කරං ආව කතාව තව ටිකක් ඔපමට්ටං කර පෝස්ටුවක් විදිහට දානවා ය. සුධීහු කමත්වා ය.

---------------------------

මේ සම්මාන උළෙලට ආව එක මට ගොඩක් හොඳය. රූපෙ (ඌ නං උගෙ ප්‍රොෆයිල් කාටුන් එක වගේමය), දිනේශ් උමගුලිය, වත්සලා කෝ විජේරත්න, මාතලං, රසිකලොජිස්ට්, ටෙක් සයුරා, විභීෂණ ‍ද සෙකන්ඩ්, චෙෆාකි, රන්දිල්, බස්සියි බස්සයි, අජිත් ධර්ම, නාලක ගුණවර්ධන, මනෝ මන්දිර, රියර් ඇඩ්මිරල් සහ මාෂල් නාමධාරී සමපෝෂ රිවස් විදානෙ, ආදරණීය ඕනෙ, ඇටම්පහුර, හයේ හතරෙ දමිත් ගුණවර්ධන, ලියන් නෑ හෙවත් වෙනී අයියා, විචාරක මාමා, ඩයිනෝසරයා ගෙන් කටුස්සා පැවතෙන බවට ජීවමාන සාධකයක් ආදී (නම ලියන්ඩ බැරි උන උදවිය සමා වෙන්ඩය) ගොඩාක් දෙනා හමුවෙලා කතා කරන්ඩත්, ඉයන්, පැරා ආදී තවත් බොහොමයක් අය දැකගන්ඩත් හම්බුණ එකම ඇතිය. අහසිං කසුං එක්ක කතා කොරන්ඩ බැරිවීම මහා දුකකි. සිංදු ඇනෝගේ නම මයික් එකේ කියවෙද්දී, සම්මානය ගන්ඩ මෙන් නැගිටලා ඇවිත් වේදිකාව ගාවිං දොර ඇරගෙන එළියට ගිය උන්දෑ මට අහුවුනොත්... ඒ ඔක්කොටමත් වැඩිය මෙච්චර කාලෙයක් මට මුණ නොගැහුණු මගෙ බාල සහෝදරයා වුන සුරංග (මෙටෆොරිකලි කිව්වෙමි. සිරා ගන්ට එපාය) හමුවීම ඉහටත් උඩිං ය.

සම්මානෙත් එක්ක හම්බුණ පොත සහ ඉයන් ගෙ සීඩී එක, ගොඩක් වටිනවාය. සල්ලි ටිකකුත් ගෙනාවනං තවත් පොත් ගන්ඩත් තිබුණේ ය. අර හම්බුණ පෙන් ඩ්‍රයිව් එක ඩ්‍රැකියානිට ගොඩක් ප්‍රයෝජන වනු ඇති අතර, සම්මානෙත් එක්ක හම්බුණ සල්ලි ටික එවෙලේ මගෙ හිතේ තිබ්බ කළබොලේට (මයෙ හිතේ) ඔඩිටෝරියම් එකේ ක්ලීනිං සර්විස් එකට මා විසින් සද්භා‍වයෙන් පරිත්‍යාග කර ඇති බව වැටහේ.

Thursday, March 17, 2016

අවසානයක් නොවේ... 1 කොටස

https://s-media-cache-ak0.pinimg.com/736x/34/af/d9/34afd93436083ab8578493316f641a8b.jpg

හාත්පස පැතිරි මඳ අඳුර කෙමෙන් කෙමෙන් වර්ධනය වන්නට පටන් ගෙන තිබුණි. පටු මාවත දෙපස වැවුනු වල් පඳුරු වල මුල් අතර සිට මීදුම තෙත් බර බවින් පිරී යමින් පාර පුරා පැතිර යන්නට විය.

තරුණ කන්‍යා සොයුරිය ලේ මිදෙන තරම් සීතලෙන් බේරෙන්නට සිය දෑත් ළය මත බැඳගත්තාය. ඇගේ දෙපයට ඇය ගෙන යා හැකි උපරිම වේගයෙන් ඈ පටු පාර දිගේ පිය නඟා යමින්...

පොද වැස්ස පටන්ගත්තේ හිටිවනම ය. හාත්පස තෙත්බර කරමින් හමා ආ මඳ සුළඟ, දෙපස හෙවුණු ගස් අතු අතර කරකැවෙමින් සියුම් මූසල හැඬුම් රාවයක් නංවමින් තරුණිය තව තවත් බියපත් කරන්නට වැර ගන්නා සෙයක් පෙනුනි. සිරි සිරි පොදය කෙමෙන් කෙමෙන් උග්‍ර අතට හැරුණා මිස, දැන් දැන් නතර වෙතැයි ලකුණකුදු දක්නට නොවීය. වැස්සෙන් සහ සීතලෙන් ආවරණය පතා යා හැකි තැනක්, පටු පාරේ පෙනෙන තෙක් මානයක කන්‍යා සොයුරියට පෙනුනේ නැත.

පටු මාවත අයිනෙන් පටන් ගෙන, රූස්ස ගස් අතරින් වංගු ගැසෙමින් උඩහට දිවෙන අතුරු පාර අද්දරට ආ ඈ මොහොතකට නතර වූවාය. අක් මුල් නැති වැල් ගාලින් වැසුණු, අඩක් වියැකී ගිය පුවරුවක් එහි පසෙක විය. පැරණි වී ගිය නිල ලෝගුවේ සාක්කුවකින් ගත් කුඩා විදුලි පන්දම දල්වා ගත් ඈ, ඉන් නිකුත් වූ ආලෝක දහර දිරාගිය පුවරුවට එල්ල කළා ය.

කහ පැහැ ගැසී, ඉරි තැළී ගිය පැරණි සුදු තීන්ත තට්ටුව මත කළු තීන්තෙන් ‘‘ANDERSEN GRANGE’’ යන්න, කාලයකට කලින් ලියැවී තිබූ බවට සලකා ගත හැකි වූයේ යාන්තමිනි.

අවසන් වරට ද පාරේ දෙපස බැලූ කන්‍යා සොයුරිය අතුරු පාරට හැරුණා ය.

අඳුරින් වැසුණු අතුරු පාර කෙළවර වූයේ ඇයී විවර වූ, දිරාගිය යකඩ ගේට්ටුවකි. කාලයකින් මිනිස් පහසක් නොලද වල් වැවුණු අංගනයකට එය විවර වී තිබිණ. කලකට පෙර කලාකාමී සැලසුම් කරුවෙකු අතින් නිමැවුනක් බවට ලකුණු අංගනය හාත්පස පැතිර තිබිණ. අංගනය මැද වූ දේව දූතයෙකුගේ විසල් පිළිමයක්, ඉණක් තරම් උසට ගනව වැවුණු තණ පඳුරක් විසින් කෙමෙන් කෙමෙන් ගිළ ගැනීමට තැත් කරමින් පැවතින. අංගනය හරහා වැටනු පාරට අල්ලා තිබූ කළු ගල් කුට්ටි ගෙවී තිබුණේ කාලයකට පෙර නිතර ගැටුණු අශ්ව ලාඩම් සහ අස් රිය රෝද වල යකඩ පට්ටම් වලිනි.

අංගනය කෙළවර වූයේ හාත්පස පැතිරි අඳුර මැද නැඟී සිටි කළුවන් භූතයෙකු වැනි ගරා වැටෙමින් පැවති මන්දිරය කි. එහි දැවන්ත පෝටිකෝව යටට කන්‍යා සොයුරිය දිව යත්ම, මහ වැස්ස ගඩ ගඩ හඬින් ඈ ලූහුබැඳ ආයේ ය.

ඇය හතිලමින් මොහොතක් ගත කළාය. සාක්කුවකින් ගත් කුඩා අත් ලේන්සුවකින් තරුණිය සිය මුහුණත් දෑතත් පිසදාගත්තා පමණි. මන්දිරයේ ප්‍රධාන දොරෙහි වම්පස පියන මළකඩ හඬක් නඟමින් විවර විය.

කන්‍යා සොයුරිය තිගැස්සිණ. සිය අත්බෑගය උරහිසින් පන්නා සුරතට ගත් ඈ, පසුපස හැරී බැලූවාය.

දෙවන කොටස...

Wednesday, March 16, 2016

අජන්තා රණසිංහ සහ මරණ දැන්වීම් කීපයක් (ඇරියස් කවර් කිරීමක් සහ කම්මැලිකම...)

අජන්තා රණසිංහ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් පළවුනු ශ්‍රී සඟරාවක් මගේ මතකයේ තිබුණා. පහුගිය සති අන්තයේ තමයි ඒක හොයාගෙන ස්කෑන් කරන්නට වෙලාවක් ලැබුණේ. මේ පළවෙන්නේ ඒ සම්මුඛ සාකච්ඡාව...

පින්තූර උඩ ක්ලික් කරල ලොකු කරගන්න.




මේ දෙවෙනි පිටුව කපල තියෙන්නෙ ඉතිං මංතුමා ම තමයි පොඩි කාලෙ. අපසාදෙ...



ඒ එක්කම, මීට කලින් “සාගරයක් මැද - අමන රටක් ඇත“ පොත හඳුන්වා දුන් පෝස්ටුවේ කමෙන්ටුවක් කොටමින් කටුසු හදවත, සිරිබිරිස් සහ බුරාතිනෝ මරණ දැන්වීම් දෙකක් ගැන සඳහන් කළා. එයින් එකකට ලිංක් එකත් බුරාතිනෝ සැපයුවා.

එයින්, මගේ ළඟ තිබුණ ඒ විදිහෙ දැන්වීම් කීපයක් පළකරන්න අදහසක් ඇති වුනා. මේ පහත දැක්වෙන දැන්වීම්, Hooked on Mad කියන වෝනර් පොතේ තිබුණෙ. මේ තියෙන්නෙ ඒ පොත.


මෙන්න එහෙනං මරණ දැන්වීම් ටික. මටනං හොඳම එක තමයි තැපැල් සේවයෙ මළගම...




පොලිසියෙන් පුවක්! (බුලත්, දේවාල අසල ඇති කඩවලින් මිලදී ගත හැක)

කටුස්සා මේ වෙනකොට සීයක් ලියලලු. ඌට සුභපැතුම් එක්කරන්නේ, ඩ්‍රැකියා, ඩ්‍රැකියානි, ඩ්‍රැකි පැට්ටා, ඩ්‍රැකි කුක්කා සහ පූසො දෙන්නා ඇතුළු ඩ්‍රැකී පවුලේ සියළුම දෙනා.

නොබෝදා තම පවුලට අලුත් සාමාජිකයෙක් එකතු කරගත් කල්‍යාන මිත්‍රයා හට, උන්නැහැගේ මායියා හට සහ, මේ ආරංචිය හෝල් සේල් කර සිටි සුරංගයා හට උඩිං නම් කරපු කෂ්ටියගේ උණුසුම් සුභපැතුම්...

Tuesday, March 1, 2016

කලබලේට විසුරුවපු කෙටි සරළ ගජබින්න (-:

බහුතරය‍කගේ ඉල්ලීම සහ මරණ තර්ජන හේතුවෙන් ඉතාම සරළ ගජබින්න දෙකක් මෙහි ලියා දක්වනවා ඇත.

දවසක් මං පොල් වත්තක් මැදිං යනව... අපේ ගමේ තිබුණ ලොකු පොල් වතු දෙකක්. එකක් නිළමෙගෙ වත්ත, අනික මුර වත්ත. මුර වත්ත මැදිං තමා මං ගියෙ. අපේ වත්ත පල්ලැහැං වෙළට පැනල, වෙළෙං එගොඩ වෙලා මුරවත්ත මැදිං ගියාම පරකන්දෙණියට යාගත්තෑකි කෙටි පාරක් තිබ්බ.

ඉතිං මං දවසක් පොල් වත්තක් මැදිං යනව. යද්දිං මට ඇහෙනව බොහොම හීනි කටහඬිං මොනවද කියනව. කවුරුවත් පේන්නත් නෑ. පේළිියට වවපු පොල් ගස්, අතරිං පතර වැවුණ කුරුඳු, ගොරක, කජු වගේ ගස් කීපයක් විතරයි තිබුණෙ. මං කන්දීල බැලුව... ඇහෙනව තමා... 

“මෙන්න.“ 
“මේකත් ගනිං.“ 
“කෝ මෙහෙ දියං.“ 
“ඉඳා ගනිං“ 
“අල්ල ගනිං“ 
“දීපං ඉතිං“ 
“ඕං“
"කෝ බං ටිකක් අත ඉක්මං කරහං"
"දීපිය හු$#"
"ආ ගනිං ප#$"

වගේ වචන තමා ඇහෙන්නෙ. ඒ වුනාට කවුරුවත් නෑ පේන මානෙක. මං තවත් අවධානයෙන් කන් දීගෙන ඒ සද්දෙ එන පැත්ත හොයාගත්ත. එතන තිබ්බෙ තඩි කුරුඳු ගහක්. ඒකෙ පාත අත්තක දිමියො සෙට් එකක් කොළ එක එක වකුටු කර කර දිමි ගොට්ටක් හදනව. උං වැඩකරද්දි උං අතරෙ වෙන කතා බහ තමා මට අර ඇහිල තියෙන්නෙ....

-----------####----------

තව දවසක් මං පොඩි කාලෙ. අපේ ගමේ තිබ්බ බේකරි කඩයක්. ඕකට මං යනව රෑ හතට අටට විතර ටෝච් එකකුත් අරං. යනකොට පාර අයිනෙ රිදී පාටට බැබළි බැබලි ඉන්නව - කවුද? නයිහාමි. මේං මේ සයිස් පත නයා. මං මොකද කළේ? කෙලල ඇරිය ටෝච් එකෙං නයාට. ඌට වැදුනද කියල බලන්නවත් උන්නෙ නෑ, දුවන්ඩ ගත්ත දෙපයට වැර දීලා.

දුවගෙන දුවගෙන යද්දි, මේං බොලේ පස්සෙං ටෝච් එළියක් වැදුන. තව කවුරු හරි වැඩිහිටියෙක් බේකරිය පැත්තට යනව ඇති. මටත් උන්දැත් එක්ක යන්න පුළුවං. කියල හිතල මං පස්ස හැරිල බලද්දි...

මේං බොලේ නයා ටෝච් එක ගහ ගහ මාව හොයාගෙන එනව පාර දිගේ...

http://freedesignfile.com/upload
/2012/05/0021a7f2_medium23.jpg


කලිං ලියපු ගජබින්න වලට පටුනක්.

10 බාප්පගෙ සත්ත්ව පාලනය හෙවත් හුංගා සහ එළුවා

Thursday, February 25, 2016

සාගරයක් මැද - අමන රටක් ඇත... (සිසිර කුමාර මානික්ක ආරච්චිගේ තවත් පොතක්)

මෙන්න ආයෙමත් සිසිර කුමාර මානික්ක ආරච්චි‍ ගෙ පොතක් ඉදිරිපත් කරනවා.

මේ පොතේ නොයෙකුත් පරිච්ඡේද අතරින් මම මෙතන ඉදිරිපත් කරන්නෙ "ලෝකෙන් උතුම් රටේ කැතකම්" කියන පරිච්ඡේදයයි. මෙයිට වඩා හොඳ කියමන් අනික් පර්ච්ඡේද වල දැකගන්නට මේ පොත බාගත කරගන්නා හුදී ජනයාට පුළුවන් වනවා ඇත. විශේෂයෙන්ම දෙවි දේවතාවුන් අදහන බහුද්දයන්ට රෙද්ද පල්ලෙන් යන්නට බැට දී ඇති මුල් පරිච්ඡේදය විශේෂ ය. ඉන් පස්සේ "කැතම සතා" වන ධනේශ්වර සමාජවාදී දේශපාලුවා ගැන ලියා ඇති කොටස නොම්බර එක ය.

මේ පොත අපේ තාත්තා මිළදී ගත් රිසිට් එක මෙන්න මුලිම්ම.



මෙන්න එහෙනං ‍ලෝකෙං උතුං රටේ කැතකං...
































මේ පොත ඕනෑම කෙනෙකුට මෙතනින් බාගන්න හැකියාව ඇත.

-----------------------------

මේ කියන්නට යන්නේ එක් අතුරු කතාවකි. මේ කතාව කියන කල් කට කහන බැවින් ද,  මේ කතාව එක් පෝස්ට් එකක් වශයෙන් පළකරන්නට බැරි හෙයින්ද මෙතන ඔබා දක්වන බව සළකන්ට ය.

රැවුල් කොට සහිත හුරතල් මූණක් ඇති, මහත්තයෙක් දවසක්දා මාටිං මාමාගේ ගෙට ගොඩවිය.

“අපි සාලෙ බලමු...“ මහත්තයා මාටිං මාමාට කීවේය.

“ඒ මොකටද? කොහෙං ආපු ගොබිලෙක්ද ඕයි තමුසෙ අපේ මේ සාලෙ බලන්ට...? “

“මං අඳුනන් නැද්ද මාමෙ?“ හුරතල් මූණා මහතා ඇහුවේය. “මං අහවල් දිසාසේකර. අර ටෙලි නාට්ටිය වල එහෙම ඉන්නෙ. මං මේ පොඩි ගතමනාවක් උපයගන්ඩ ගෙවල් වලට ගිහිං ඒ ගෙවල් වල එක එක කොටස් වලට ලකුණු දෙනවා...“

“ආං එහෙම කියන්ඩ.“ මාටිං මාමා (ට) එ්කත් පස් විය. “එතකොට ඔය ලකුණු වලිං අපිට මොකද්ද ලැබෙන්නෙ?“

“ඒක මාමෙ, මේං මේ නොම්බරේට කතා කරල අහගන්ඩ“ හුරතල් මූණා වැසිකිලියක් මුද්‍රණය කර තිබූ කාඩ් එකක් දුන්නේය. “දැං බලමු සාලෙ...“

මාමා හුරතල් මූණා සාලෙට එක්කරං ගියේ ය. හුරතල් මූණා සාලෙ කනප්පුව උඩිං ලොකුවට දහයෙ ඉළක්කමක් ලියා තිබුණු කාඩ් එකක් හිටෙව්වේය.

“දැං බලමු කුස්සිය...“ මාටිං මාමා ඒකටත් අර මහත්තෙයාව එක්කරං ගියේය. කුස්සියෙ හිරමනේ උඩත් අර විදිහෙම දහයෙ කාඩ් එකක් තියවුනේ ය.

“දැං යං වැසිකිළියට...“

“මොන කිළීයට?“ මාටිං මාමා ඔළුව කසමින් අැහුවේය.

“අර කක්ක දාන තැන...“ හුරතල් මූණා හුරතලේට කීවේය.

“ආ... එහෙම කියන්ඩෙපැයි. මෙච්චර වෙලා කතා කර කර උන්නෙ. ඕක කලිම්ම කිව්වනං ඉවරයි නෙව.“ මාටිං මාමා හුරතල් මූණා මහතා පිළිකන්නට එක්කරං ගියේය.

“ආං අර පේනව නේද...“ මාටිං මාමා අත දික්කර පෙන්වීය. “ආං අර හරියෙං ලන්දට මුවාවෙලා පාත් වෙන්ඩ මහත්තයො. පොඩි ළමයෝ.... පොඩි ළමයෝ... මේ මහත්තෙයට වතුර බාල්දියක් ලන්දට ගිහිං දීපිය...“

Wednesday, February 17, 2016

කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ කතා මාලාව - අංක 1 - පුදුම සතා

කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වලදී ගෙතූ කතා වන්නට පුළුවන් ය. එහෙයින් කියවීම සහ තමංගේ ළමයින්ට කියාදීම ඉතා ප්‍රවේසමෙන් කළ යුත්තකි.

කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කතා ඇතුළත් ළමා පොතක් මට උරුම උනේ අපේ අම්මාගේ අම්මාගෙනි. එයින් මගේ හිතට තදින්ම ඇල්ලූ කතාව මුලිම්ම පළකරන්නට අදහස් කරමි.

එක්තරා කාලයක, එක්තරා රටක කැකිල්ලේ රජ නම් රජකෙනෙක් සිටියා. කැකිල්ල කියන්නේ පඹ වැල් මෙන් ගාලට හැදෙන ගණ සැර වැල් ජාතියක් යැයි ඉහත පොතේම සඳහන් වෙනවා. ඒ කැකිල්ල ගාලක පැටළුන කෙනෙකුට ලේසියෙන් ගැලවෙන්නට බැරිය. තව තවත් පැටළි පැටළී අවුල් ජාලාව මැදටම යන්නට සිද්ධ වන්නේය. ඒ නිසා, මෝඩකම් පිට මෝඩකම් කරමින් සියල්ල අවුල් කරගන්නා රජාට කැකිල්ළේ රජු කියා නම් කර ඇති බව තිබුණේ ද ඒ පොතේම ය.

හොඳයි ඔන්න එහෙනං කතාව.


දවසක්  කුණාටුවකට අහුවුන වෙළෙඳ නැවක් මේ රටට සේන්දු වුනා. ඔය නැවේ හිටපු ඔටුවෙක් කොහොමින් හරි ගොඩබිමට ඇවිත්, බල්ලන්ට, මිනිස්සුන්ට, වන සත්තුන්ට බයේ රට මැදටම ආවා. මේ ඔටුවා දැකපු මිනිස්සු මේ මොන සතෙක්දැයි පුදුම වුනා. කොහොමින් කොහොමින් හරි මේ සතා ගැන රජවාසළටත් ආරංචි වුනා. ඉතිං රජ්ජුරුවොත් දෝළාවෙන් පිටත් වුනා මේ සතා බලන්ඩ.

රජතුමා යනකොට, සතා එක තැනක උලා කකා ඉන්නව. කොහොම සතෙක්ද කියල දන්නැති නිසා මිනිස්සු ඌව අල්ලන්ඩ ළං වෙන්ඩ බයයි. රජතුමා දෝළාවෙන් බැහැල, එතුමට හදල තිබුණ ආසනයක ඉඳගත්ත. එතනට ළං වුන මහඅධිකාරම රජතුමාගෙන් බොහෝම යටහත් පහත්ව ඉල්ලා සිටිය, “මේ සතා මොකෙද්දැයි කියල මේ අසරණ නුනුවණ මිනිස්සුන්ට තෝරා දෙන්ඩ“ ය කියල.

රජතුමා අර සතා දිහා හොඳට බැලුවා. බලල එකපාරටම රජතුමාට කඳුළු ආව ඇස් දෙකට. එයිට ටික වෙලාවකට පස්සෙ රජතුමා හොඳටම හිනා වෙන්න පටං ගත්තා.

දැන් නං මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නෙ මේ සතු මොකාද කියන එක නෙවේ. රජතුමා ඇඬුවෙ ඇයි, ඊට පස්සෙ හිනා වුනේ ඇයි කියන එක තමා ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ ය. ඉතිං එක එකා කසු කුසු ගගා, පරණ සමාජයෙ ධූරාවලියෙ අනුපිළිවෙලට ප්‍රශ්නෙ ඇවිත් මහ අධිකාරම ළඟටම ආවා ය. මහාධිකාරමත් රජ්ජුරුවන්ට ළං වෙලා, රජතුමාගෙන් බොහොම යටහත් පහත්ව කිව්වා, “මේ සතා මොකෙද්දැයි අපට පසුව කියා දෙනු මැනවි. ඊට කලින් ඔබතුමා ඇඬුවේ ඇයිද, හිනාවුනේ ඇයිද කියන කාරණේ මේ අසරණ මිනිස්සුන්ට කියා දෙන්ඩ“ ය කියලා.

“බොලව්...“ රජතුමා උත්තර දෙන්ඩ පටං ගත්තා. “අනේ තොපි වගේ ගොං රැළක්. තොපි මොකෙක් හරි සතෙක් දැක්කහම ඒකත් තෝරල දෙන්ටය කිය කියා මා ගාවටමයි එන්නෙ. මං නැති කාලෙක තොපිට පිහිට වෙන්ඩ ඉන්නෙ කවුද කියලා මට තොපි ගැන බොහොම දුකයි. ඒකයි මට කඳුළු ආවෙ.“

“එතකොට හිනාවුනේ?“ මහාධිකාරම ආයෙමත් පාත් වෙලා පහත් හඬින් ඇහුවා.

“තොපිට තියා මටවත් මේ සතා අඳුරගන්ඩ බෑ බොලව්. මාත් උපන්තේකට මෙහෙම සතෙක් දැකල නෑ. ඒක මතක් වෙලා පස්සෙ මටම හිනා ගියා“ කැකිල්ලෙ රජතුමා මහ හයියෙං හිනාවෙලා, කියල දැම්මා.

ප/ලි
ඊට පස්සෙ රජා ඔටුවටයි මහ අධිකාරමටයි මඩුවලිගෙං ගහන්ඩ නියම කළා ද කියා ඒ පොතේ තිබුනෙ නැත.

මීට කලිං ලියන ලද ජන කථා මෙන්න.





Monday, February 8, 2016

ලබ්බෙ මගුල

මේ වගන්තිය බාගදා මට මේ පෝස්ටුව අන්තිමට කියා දක්වන්නට බැරි වෙන්නට පුළුවන. එහෙයින්, මුලිම්ම:

මේ පෝස්ටුවේ කියවෙන වෙඩිමේ බැඳපු දෙදෙනාට සුභ මගුලක් වේවා!
කිරි පැණි සේ එකට වාසය කරන්නට හැකි වේවා!!
සාලිය - අශෝකමාලා, රෝමියෝ - ජුලියට්, ඩ්‍රැකියා - ඩ්‍රැකියානි වාගේ ඉතිහාසගත ප්‍රේමයකින් දිවි ගෙවන්නට හැකිවේවා!!!

කියා ප්‍රාර්ථනා කරන්නේ හදවතිම්මය...

එකෝමත් එක දවසක මට නොදන්නා නම්බරේකිං කෝල් එකක් ආවේය. ඒ ආවේ මේ සම්මජ්ජාතියෙ මං අහලා නැති විදිහේ පණිවිඩයක්ය. බ්ලොග් ලෝකයේ පණ දෙන්ට ඉන්නා මිත්තරයන් කිසිම කෙනෙක් මේ දක්වා, තමුං  දැකලා අහලා නැති අන්තර්ජංජාල යාළුවන්ට වෙඩිං කියන රටක් මං අහලා තිබ්බේ නැත. ඒත් මේ ආව පණිවුඩෙං කියැවුනේ අපේ ආදරබර ගස්ලබ්බ ලියන අකලංකලංකලං කොළු ගැටයා යුවතිපතියෙක් වන්නට යන බවය.

ඒකත් හොඳ ප්‍රවණතාවයකි. මං කිව්වේ කොල්ලන් බඳින එක ගැන නෙවේය. බ්ලොග් ලියන එකෙක් බඳිනකොට අනික් බ්ලොග් ලියන උන්ට ආරාධනා කරන එකය. ගස්ලබු ගැටයා කියන හැටියත්, ඒක හරියට ගෙට්ටුගෙදර් එකක් වාගේ එකක් වන්නට ඉඩ ඇති නිසාය.

ඉතිං ලබ්බා කතා කරපු වෙලාවේ සිට තොරතෝංචියක් නැතුව මට කෝල් දිදී, තමංගෙ මුළු සේසතම මොබිටෙල් කොම්පැනියට වියදං කරපු මනෝමන්දිරයා වෙඩිමට යන උං පෙළගස්සවන්නට ඇප කැපවී උනන්දු වී වැඩ කළේය. උගේ උනන්දුව නිසාම අපේ ගමනට මාත්, මනෝමන්දිරයාත්, අටමාත්, කසුනාත් යන බරපතළ නඩය එකතු උනේය.

ගස්ලබ්බාට බදාදා දිනයක වෙඩිං කොරන්නට නැකැත් හදාදුන් ජ්‍යෝතීර්වේදියාණන් වෙත, රජයේ සේවකයන්ට බදාදා දින හෙවත් මහජන දිනයේ නිවාඩු දාන්නට බැරි බවට නිකුත් කර ඇති චක්‍රලේඛය ලැ‍බී නැතුවාට කිසි සැකයක් නැත. මා වෙනුවට වැඩ ආවරණය කරන්නට හිටි එකාටත්, එදාටම උසාවි යන්නට සිද්ධ වී තිබුණේ "බීමත්ව අන්තරායදායක ලෙස රියපැදවීම" ගැන වග උත්තර බඳින්නටය. එහෙයින් යන්ටම බැරි තත්ත්වයක් උදාවී තිබුණත්, මං බෙල්ල කඩාගෙන හරි එද් උදේ රැයින් බස්එකේ නැගගෙන ගනේමුල්ල ධූමරථපොළට ළඟාවුනෙමිය.

එතන ඉඳං සීසන් එක ගන්ට පෝළිමේ ඉන්නා විට බොහොම අහිංසක සුනීත විනීත ස්වරයකින් එනවුන්ස් කෙරුනේ ඇ‍ඟේ මයිල් ඉස්මයිල් වෙන වගවාසගමකි.

"කරුකාරුමික දෝෂයක් හේතුවෙන් අද දින සියළුම දුම්රියන් නියමිත වේලාවටම ධාවනය වන බව මඟීන් කරුණාවෙන් සළකන්න..."

ඉතිං බඩු සුවර් නිසා කෝකටත් මං නැගගත්ත ‍කෝච්චියෙන් ගොහිං රාගම ස්ටේෂමෙන් බැසගත්තෙමිය. ඉන් පසු මං මනොවාට කෝල් කළෙමිය. ආකාස කසුන් කොටුවෙං දුම්රියට නඟින බැවින් ඌට උදව් වීමට මනොවා බස් එකේ නැඟී, (සතියේ දවසක - කාර්යාල වෙලාව තුළ - කඩවත සිට කොටුවට - බස් එකෙන්) කොටුව යන ගමන් යැයි දැනගන්නට ලැබුණේය. පස්සේ ඒ ගමනේ ආදීනව දැනී, ඌ බස් එකෙන් බැස ආපහු යන බස් එහෙකට නැගී පොල්ගහවෙල බලා යන බවද ඊට පැයකට විතර පසු  මනොවා ම අප්ඩේට් කළේ ය. පරංගියා කෝට්ටේ රජවාසල ට එක්කරගෙන ගියේ ද මනොවාගේම පරම්පරාවේ කිරි අත්තෙක් ලු ය.

මං රාගම සිට අටමාට කතා කරන විට ඌ ඇ‍ඳෙං නැගිට්ටවන්නට අටමී ගහපු වතුර බාල්දියේ සද්දයද ටැලිපෝනයෙන් ඇහුනේය.

කොහොමින් හරි නැගගන්නට බැරි වෙතැයි, මනොවා අම්බානක බයෙන් සිටි ආකාස කසුවා, කෝච්චියද හොයාගෙන, නැගගෙන, උන්දෑ නැගගත් පෙට්ටිය මොකද්දැයි මට ද ටැලිපෝනයෙන් දැනුවත් කළේය. ඒ කෝච්චිය රාගමට එන්නට විනාඩි විස්සකට විතර කලිං අටමා ද රාගමට ආවේ ය.

අපි ඒ පරිදි පොල්ගහවෙල ස්ටේසමට සැටමෝල් උනෙමුය. කැමා ද එතනට ඇවිත් හිටියේය. ඊටපසු අපට තිබුණේ එතනිං මල්පිටිය හංදියට ගොහිං විචාරක මාමාට කෝල් එකක් දීම පමණිය.

මල්පිටිය හංදියට යන තුරු කැමාගෙන් බේරිමක් නැත. ඒ වෙඩිමෙං පසු උන්ගේ ගම බලාගෙන එන්නට යන්න අපට ආරාධනා කරන නිසාය. කැමා කියන විදිහට, පැය දෙකෙන් දෙකට තියෙනා තට්ටු ලොරියක හෝ බක්කි කරත්තයක නැගී හැතැම්ම බාගයක් ගිය තැන ඇති වැලක එල්ලී පැද්දී ගොහිං සංගිලි පාළමකින්ද එගොඩ වී කන්දක් නැග්ග පසු උන්ගේ ගමට ළඟා විය හැක. උන්ගේ මිදුලේ ඇති පුවක් ගහේ කරටියට නැගගත්තොත්, පුවක් වලු අස්සෙන් මුළු වයඹ පළාතම බලා ගත හැක ලු ය.

මල්පිටිය හංදියට ගිහිං විචා මාමාට කෝල් කර පැයක් යන්නට මත්තෙන්, T55 යුද්ධ ටැංකියක් පිඹගෙන ආවේය. එයිං එළීයට ඔලුව දැමු විචා මාමා "නැගපල්ලා වියකල් එක පාරෙ නතර කරං ඉන්න අමාරුයි" කිව්වේය.

රජයේ උසස් නිලතල දරණ උදවියට, පැන්ෂන් යන විට තමන් පාවිච්චි කළ වාහනය සුළු ගාණක් ගෙවා ගෙදර ගෙනයා හැකිය. විචා මාමා යුද්ධ ටැංකිය අරං ඇත්තේ එහෙමය. ඒ විදිහටම මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩකළ උන්දැගේ මස්සිනෙක් ගල් රෝලක් ගෙදර ගෙනිහිං තිබුණේය.

"අපරාදෙ ගල්රෝලක් ගෙනිච්චෙ" කතාව කියමින් විචා මාමා අපට කීවේය. "බැකෝ එකක් ගෙනිච්චනං කුළීයට දෙන්න තිබ්බ. අන්තිමේ අපේ මහගෙදර වත්තෙ තිබ්බ, උල්කාපාතයක් වැටිල හැදිච්ච වළක් වහන්න අර ගල්රෝල ඒ වලට දැම්ම..."

කතා කරමින්ම විචා මාමා මල්පිටිය හන්දියෙන් මහපාරට යුද්ධ ටැංකිය දමා ගයනුකිත්තානුසාරී හැරවුමක් කළේය. (ඒකට යූ ටර්න් එකක් යැයි කියන්නට බැරිය)

අපි වෙඩිං හෝල් එකට එන අතර මග වෙන වෙන සිද්ධී සිද්ධ වුනේ නැත. උනත් ඒ ගැන කියන්නට ගොහිං මේ පෝස්ටුව දික් කරගන්නට බැරිය.

ලබ්බා ඉතා අසරණ ආකාරයෙනුත්, අභීනව ලබුපතිනිය ජයග්‍රාහී ආකාරයෙනුත් ඉන්නා හැටි අපට සැලියුට් හෝල් එකට ආ විට දැකගන්නට හැකි විය. ඒ හෝල් එක තිබුණේ දැවැන්ත ‍ පොල් වත්තක් ඇතුලේය. ඒක කොච්චර දැවැන්තද කියතොත්, සිරිමාවෝ ගේ රජයෙන් වතු ජනසතු කරද්දී ඒ වත්ත බේරාගෙන තියෙ‍න්නේ වත්තේ අයිතිකාරයා අල්මාරිය දාලා අස්සේ හංගගෙනය. ඒ හෝල් එකේ පැත්තකින් වැවක් තිබුණේය. ඒකේ රැල්ලත් ගහනවාය. වැව පුරා නෙළුං පිපී තිබුණ අතර, ඒ නෙළුං නෙලන ගැටිස්සියන් දහ දෙනෙක් විතර ඔරු වල නැ‍ගී නෙලුං කවි කියමින් සිටියෝය. ගස්ලබ්බාට දෑවැද්දට ලැබෙන අලි දෙන්නා ඒ ගෝල් එකේ කණු දෙහෙක ගැට ගසා සිටියෝය.

අපි හත් අට දෙනා (මම, අටං, ආකාස කසුන්, මනෝ, කැමා සහ විචා) ඒ වැව අයිනේ තිබුන කොටසේ ඈඳිගත්තෙමු. එහෙයින් අපට වෙඩිං කේක් වෙනුවට දුන් දැවැන්ත චොකලට් එකත්, කරපු වල්කම් වෙනුවෙන් දෙන වෙල්කම් ඩ්‍රින්ක් එකත් මගෑරුනේය. ඒ උනාට ටිකකිං පීප්ප හතරක් පෙරලාගෙන පෙරලාගෙන ආව වේටර් ලා හතරදෙනෙක් අපිට වෙනම වෙල්කම් ඩ්‍රින්ක් එකක් දෙන්නට පටං ගත්තෝය. පීප්ප වල තිබුණේ කිතුල් රා, බ්‍රැන්ඩි, විස්කි සහ පොල් අරක්කු ය. බයිට් වලට සෙක්සි පෝක්, ගෝන මාලු, මුව මස්, කචල් ෆිෂ් ඩෙවල්, සහ බැදපු කකුළුවන් තිබුණේය.

මේ පිංතූරෙ මගෙ ෆෝන් එකෙං කැමා ගත්තට, මෙතන දැම්මෙ විචාරක මාම
 එයාගෙ බ්ලොග් එකේ පළ කරපු තැනිං උස්සලා බව කරුණාවෙන් සළකන්න ය
දෙවෙනි පාර අපි බාර් එක වෙත ගිහිං එන අතරෙ අටමාට බෝතලේක මූඩියක් පෑගුණේය. ඒ උනාට ඌ හෙන හොඳය. අටමා කසුන් ගේ සියලු වගකීම් කරට ගත් අතර, කන්නට බත්පතක් ද කොත ගසා බෙදා දී, ඉන්පසු ආපහු ගිහිං හැම ජාතියකම ඩෙසට් වලිං පීරිසියක් පුරෝගෙන විත් කසුවා ගාවින් තියා, ඊට ඇඟල්ලක් වත් ගැහුවොත් අපිට කරනා දේත් කීවේය. ඒ කියපු වචන, මේ වගේ තැනකවත් කියන්නට බැරි තරං සුනීත විනීතය. වෙන එකක් තියා අර වැවේ හිටපු ගැටිස්සියන්ට කසුනා වෙනුවට ටෝක් ද කළේ අටමා ම ය.

අන්තිමේ සියල්ල හමාර වී ලබු යුවළ පිටත් වුනු පසුව අපි හතර දෙනා (මම, කසුවා, අටං, මනෝ) පොතුහැර ඉස්ටේසම වෙත ගෙනත් දැම්මේ විචාමාමා තනියම ය. ඒ තරං උන්දැ හෙන ෆිට් ය. ගෝන මස් හා වල් ඌරු මස් හැර වෙන කිසිම දෙයක් නොකන වෙජිටේරියන් ය.

පොතුහැර හැර ඉන්නා විට රේල් බස් දෙකක් එකට ඈඳුන මොකද්දෝ එකක් ආවේය. ඒකට නැගගෙන ඉන්නා විට අටමා ෆුට්බෝඩ් එකට බැස කැමාට ගෙදරට කියන නම කියා කෑගැසුවේය.

"ඒයි මෝඩයා මෙහෙ වරෙං..."

ඉතිං කැමා ගෙත්, වෙන්ට කැමී ගෙත් රෙදි නැත. අටමගෙත් නැත. එ් උනාට ඌට වගේ වගක් නැත.

කැමාත්, වෙන්ට කැමීත් දුවගෙන ඇවිත් අපි හිටපු බස් එකටම නැග්ගෝය. වෙන්ට කැමී ට ඇහෙන්නට අටමා, මගේ බෙල්ල මිරිකා තර්ජනය කර, ලස්සන වගන්තියක් කියවා ගත්තේය.

"මේ වගේ අහිංසක, හුරතල්, සුකුමාල, සුවිනීත, සාන්ත දාන්ත, කෙල්ලෙක් - මේ වගේ ගටිකන මූණක් ඇති, මල් පොන්නයෙකුට ගැළපෙන් නෑ"

ඉතිං අපි හැමෝගෙම රෙදි නැත. කැමාට පොන්නයෙක් කිව්වත් කමක් නැත. ඒකට එකතු කරපු මල් මල් විශේෂණය තමා ය හරි නැත්තේ.

අටමාගේ අදහස නම්, නර්ස් කෙනෙක් කවදාවත් හරි හමං මිනිහෙක් බඳින්නේ නැති බවය. ඌ ඊට උදාහරණ විදිහට දක්වපු නම් ලැයිස්තුව මෙතන කිව්වොත් මට අනිවා, ගෙට්ටුවකදී බඩ කට පුරා කන්නට ලැබෙනවා සහතික ය.

පොල්ගහවෙලිං අපි හරිහමං කෝච්චියකට නැග්ගෙමු ය.  එතෙන්දී අටමා දුවගෙන ගොහිං වතුර බෝතලයක් අරං ආවේය. ඒකත් අපි හතර දෙනා උගුරු දෙක දෙක බීවාට පසු, ඉවර වුනේය. උගේ කරුමෙට ඌ ගිය කඩේ සිගරැට් තිබී නැත. ඉතිං ඌ හෙන අමාරුවෙං ඇඹරි ඇඹරී යන්තම් ගණේමුල්ලට ආවේය. ගනේමුල්ලෙං මං බහිද්දී ඌ මගේ බෙල්ල බදාගෙන තව පොඩ්ඩෙං තොත්තුවකුත් දී කඩේකට දුවගොස් සිගරැට් දෙකක් ගෙනත් දෙන ලෙස ඉල්ලුවේය.

මාත් ඉතිං ගමේ අවුරුදු උත්සවේ මීටර් සීය දුවනාකාරයෙන් දුවගෙන ගොහිං සිගරැට් දෙකක් අරං ආපහු හැරෙනකොට, කෝච්චිය අද්දලාය. එතනම ඉඳං අටමාට කෝල් කළ විට,

"දැං ඉතිං මොනව කරන්නද, උඹ ඕක ගෙදර ගෙනිහිං ඩ්‍රැකියානිගෙං ගුටි කාපන්" යැයි අටමා මට කීවේය.

මට හෙන දුකය. ඒ,

අටමා පොල්ගහවෙල ඉඳං ම සිගරැට්ටුවක් නැතුව දුකසේ ඇවිදිං, මගේ හෝම් ටවුමෙන් ඌට සිගරැට් අරං දෙන්න බැරි වීම නිසා නෙවේය.

අර සිගරැට් දෙක ගෙදර ගෙනිහිං ගුටි කන්නට වෙන නිසාත් නෙවේය.

එයිං බේරෙන්න ඒ සිගරැට් දෙක විසික්කා කරන්න වෙන නිසාත් නෙවේය.

ගනේමුල්ලෙං මං බහිද්දී අටමාගේ ලයිටරය ඉල්ලාගෙන බහින්න බැරිවීම නිසාය.

ඉතිං බස් එකේ ගෙදර යන ගමං බස් එකේ ජනේලෙං සිංගරැට් දෙක විසික් කරපු මං, ඒ විසික් කරපු තැන බස් එකේ ජනේලේ තීන්ත නියපොත්තෙං හූරා මාක් කළේ, පහුවදා වැඩට එන ගමං එතනිම්ම අහුල ගන්නට හිතාගෙන ය.

වැඩිපුර බලපු ලිපි