Wednesday, October 25, 2017

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කළ යුතු දේවල් - ඩ්‍රැකියාවෙලී විග්‍රහයක්

http://res.cloudinary.com/www-virgin-com/virgin-com-prod
/sites/virgin.com/files/Articles/Getty/getty_darwin_evolution.jpg

ලංකාවෙ දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැනට දහනම පාරක් සංශෝධනය කරල තියෙන්නෙ, ඒකෙ ඔරිජිනල් ෆෝම් එක රටේ පාලකයන්ට හරි යන්නැති හින්දනෙ. ඉස්සෙල්ලම බලමු මොකද්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නෙ කියල...

රටක් පාලනය වෙන මූලික නීතිය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒකෙන් තමයි කියන්නෙ:

01.  නීති හදන්නෙ කොහොමද?
02. නීති ක්‍රියාත්මක කරන්නෙ කවුද / කොහොමද?
03. නීති කඩන අය ගැන යුක්තිය පසිඳලන්නෙ කොහොමද?
04. රට පාලනය කරන්නෙ කවුද / කොහොමද?
05. රට ගැන තීරණ ගන්නෙ කවුද / කොහොමද?

වගේ රටක පාලනයට පදනම් වෙන සියලු කාරණා.

ලංකාවෙ දැං තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ මේ දේවල් ගැන තියෙන්නෙ මොනවද කියල බැලුවොත්, අපිට තව මොනවද ඕනෙ කියල හිතාගන්ඩ පුලුවන් වෙයි. මං පහළ කියන දේවල් කියන්නෙ බොහොම මතුපිටිං. මොකද, විස්තරාත්මකව කියන්ඩ ගියොත් එක එක කාරණා ගැන වෙන වෙනම පෝස්ට්  වැලක් ලියන්ඩ වෙන නිසා. උදාහරණයක් විදිහට, අපිට 78 ව්‍යවස්ථාවෙන් සහතික කරල තියෙන මූලික අයිතිවාසිකම් ගැන කිව්වොත් එක එකක් විස්තර කරන්ඩ පුළුවන් වෙන වෙනම පෝස්ට් එක බැගින් ලියල. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ගැන විතරක් පෝස්ට් දහයක් විතර ලියන්ඩ වෙනව.

හරි... ඕං පටං ගත්ත. (ඇති යාන්තං)

ශ්‍රී ලංකාව පාලනය කරන්නෙ ඡන්ද බලය හිමි මහජනතාව. ඕකට කියන්නෙ පරමාධිපත්‍යය. (නූතන ජාතික රාජ්‍යයක අංග තමයි, 1. භූමිය 2. ජනතාව 3. පරමාධිපත්‍යය) ජනතාව මේ රට පාලනය කරන්නෙ ඔවුන්ගෙ නියෝජිතයන් මගින්. මහජන නියෝජිතයන් කලින් කලට මහජනතාව විසින් පත් කෙරෙනව. (ඕක බහුතරයක් මහජනතාව හරියට දන්නෑ. දන්නවනං තමුංගෙ රාජකාරිය කරන්ඩ පත්කරල යවන, අපේ බදු මුදල් වලිං පඩි ගෙවන උංට දෙයියන්ඩ වගේ සළකන්ඩ ඕන් නෑනෙ.)

ඒ මහජන නියෝජිතයො රැළට කියනව පාර්ලිමේන්තුව කියල. ඒකට කියනව ව්‍යවස්ථාදායකය කියල. ඒ කියන්නෙ ඒ අය තමා නීති හදන්නෙ. එතන බෙදිම් තියෙනවනෙ, පක්ෂ විදිහට. ඒ පක්ෂ  වලින් සරළ බහුතරය හෙවත් 50% ට වැඩි එකතුවකට ආණ්ඩුවක් පිහිටුවන්ඩ පුළුවං. ඒ කියන්නෙ පාර්ලිමේන්තුවෙ තීරණ ගන්නෙ ඒ අය. ඒ වගේම හදන නීති ක්‍රියාත්මක කරන්නෙ ඒ අය. (ඒ ගැන මතුවට...)

පාර්ලිමේන්තුවට තියෙන බලතල...

1. රටේ මුදල් පාලනය
වෙන වැඩකට නිතියෙන් වෙන් නොකළ මුදල් වලට කියනව ඒකාබද්ධ අරමුදල කියල. ඒකට එන ආදායම් නියම කරන්නෙ, ඒකෙන් වියදම් කරන්ඩ මුල් අනුමැතිය දෙන්නෙ පාර්ලිමේන්තුව. (අයවැය සම්මත කිරිමෙන්, අතුරු සම්මත ගිණුම් සහ පරිපූරක යෝජනා අනුමත කිරීමෙන්, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ කෝප් කමිටුවෙන්, විගණකාධිපති මඟින් ආදී වශයෙන්)

2. නීති සම්පාදනය

3. ඊට අමතරව විශ්වාසභංග නැත්තං දොෂාභියෝග ආදිය ගෙනත් විධායකයෙ සහ අධිකරණයෙ සාමාජිකයො අයිං කරන්ඩ පුලුවං.

4. පාර්ලිමේන්තුවෙ එක එක කාරකසභා මගින් කරන එක එක කාර්යයන් තියෙනව. (උදාහරණයක් විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් තමයි එක එක ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කරන්ඩ ජනාධිපතිට නම් නිර්දේශ කරන්නෙ)

පාරිලිමේන්තු සාමාජිකයෙක්ට අවුරුදු පහක් උන්නහම පෙන්ෂන් එක හම්බෙනව.

සමහර රටවල ව්‍යවස්ථාදයකය මණ්ඩල දෙකයි. එංගලන්තෙ, ඉන්දියාවෙ එහෙම ඒ වගේ දෙකක් තියෙනව. එකක් ජනතාවගෙ ඡන්දෙං පත්වෙන අතරෙ, සමාජයෙ ඉන්න සම්භාවණීය පුද්ගලයන්ගෙං හෝ රදළයන්ගෙන් සැදුනු තව මණ්ඩලයක් තියෙනව. (මට පේන විදිහට ලංකාවටත් එහෙම ක්‍රමයක් හඳුන්වාදෙන්ඩ රනිල්ගෙ අදහසක් තියෙන බවට බළලෙක් මල්ලෙං එබිකං කරනව. කලිනුත් තිබුණ එහෙම එකක් සෙනෙට් සභාව කියල. 47 සෝල්බරි ව්‍යවස්ථාවෙ එහ‍ෙම...)

ලංකාවෙ තියෙන්නෙ ජනාධිපති සහ කැබිනට් ක්‍රමයක් නෙ. ඕකට කියනව විධායකය කියල. විධායකයෙන් කරන්නෙ අර පාර්ලිමේන්තුවෙන් හදන නීති ක්‍රියාත්මක කරන එක. ඒක ජනාධිපති කරනව. ඒ වගේම අගමැති සහ කැබිනට් මණ්ඩලය කරනව. ගොඩක් අවස්ථා වල කැබිනට් මණ්ඩලයට ඇතුළත් නැති ඇමති වරුත් ඉන්නව. (දැං ඉන්නෙ රාජ්‍ය ඇමති වරු... ඒ වගේ) කැබිනට් මණ්ඩලයට සීමාවක් නෑ. ඒ වගේම ස්ථාවර විධායකය විදිහට වැඩකරන රාජ්‍ය සේවයත් නීති ක්‍රියාත්මක කරනව. රට පාලනය කරන්නෙ ඔය උදවිය.

ලංකාවෙ ජනාධිපති තනතුර හැදුවෙ ස්ත්‍රීපුරුෂ භේදය වෙනස් කරන්ඩ විතරක් බැරි - අනික් හැමදේම පුළුවං විදිහෙ බලවත් කමක් දීල. ඒ ජනාධිපති පත්කරන්නෙත් ජනතාව සෘජු ඡන්දෙං. (සමහර රටවල එහෙම සෘජු ඡන්දෙන් පත්වෙන්නෑ. වෙන ක්‍රමයක් තියෙනව) එතකොට, එතනත් ජනතාවගේ පාලන බලය තමයි ජනාධිපතිට අවුරුදු පහකට (19 වෙනි සංශෝධනයෙන් පහක් කළා) උන්දැට දෙන්නෙ.

ජනාධිපතිට තියෙන බලතල...

එයා කැබිනට් මණ්ඩලයෙ ප්‍රධානියා.

එයා තමයි අගමැති පත් කරන්නෙ (පාර්ලිමේන්තුවෙ බහුතරයකගෙ විශ්වාසය දිනාගන්න කෙනාව තමයි එහෙම පත්කරන්නෙ)

එයා ආණ්ඩුවෙ ප්‍රධානියා

එයා ත්‍රිවිධ හමුදාවෙ සේනාධිනායකය

එයා ඇමතිවරු පත් කරන්නෙ (අගමැතිගෙ උපදෙස් විමසා)

එයා අමාත්‍යාංශ ලේකම් වරු පත් කරන්නෙ

එයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කරන්නෙ. (නිලබලයෙන් තුන්දෙනයි, ඒ තුන්දෙනා, ජනාධිපති සහ පාර්ලිමේන්තුවෙ අනික් පක්ෂ නම්කරන හත් දෙනයි)

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙ නිර්දේශ මත ස්වාධින කොමිෂන් සභා වලට සාමාජිකයන් පත්කරන්නෙත් එයාමයි.

පාර්ලිමේන්තුවක් පත් වෙලා අවුරුදු හතරකට පස්සෙ එයාට ඕනෙ වෙලාවක ඒක විසුරුවාහැරල මහමැතිවරණෙයක් තියන්ඩ පුළුවං

පාරිලිමේන්තුව විසුරුවා තියෙන විට ක්‍රම දෙකකට රටේ ඒකාබද්ධ අරමුදලෙ සල්ලි වියදම් කරන්ඩ පුළුවං

යුද්ධය - සාමය ප්‍රකාශයට පත් කරන්ඩ, හිරකාරයන්ට සමාව දෙන්ඩ පුළුවං

ජනාධිපති තනතුරේ ඉන්නකල් කරන ඕනෙම අලුගුත්තේරු වැඩකට නඩු දාන්ඩ බෑ.
ගෙදර ගියාම පෙන්ෂන් එක, නිල නිවාසයක්, සහ අනික් වරප්‍රසාද (ස්කොඩ් එක වගේ) හම්බෙනව මැරෙනකං ඒ වගේම මළාට පස්සෙ කලත්‍රයට පෙන්ෂන් එක ලැබෙනව එයා මැරෙනකං.

රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද ලැබෙනව (පිටරට වලදි එහෙම මේක හරි ආෂික්)

තව තියෙනව...

කැබිනට් මණ්ඩලයට තියෙන බලතල...

හැම නීතියක්ම අලුතින් පිහිටුවද්දි හරි, තියෙන නිතියක් සංශෝධනය කරද්දි හරි, පාර්ලිමේන්තුවට කෙලිම්ම ඉදිරිපත් කරන්ඩ බෑ. කලිං කැබිනට් මණ්ඩලේ අනුමැතිය ඕනෙ.

මේ අය තමයි අමාත්‍යාංශ වල විෂයපථය පාලනය කරන්නෙ.

රාජ්‍ය සේවය ගැන ප්‍රතිපත්තිමය තිරණ ගන්නෙ මේ අය. (17 වන සංශෝධනයෙන් මේ බලය රාජ්‍ය සේවා කොමිසමට දිල තිබුණ. 18 න් ආපහු කැබිනට් මණ්ඩලේට ගත්ත. 19න් ආපහු දුන්නෑ.) මේකෙ එක සරළ තේරුමක් තමයි, රාජ්‍ය සේවයෙ තිරණාත්මක පුටු වලට යන්ඩ නං දේශපාලන හයියක් ඕනෙ කියන එක. අනික තමයි, රාජ්‍ය සේවයෙ හැම කෙනෙක්ම කන්ඩ ඕනෙ මොන වෙලාවටද, වැඩට එන්ඩ යන්ඩ ඕනෙ මොනවෙලාවටද වගේ දේවල් වල ඉඳල, රාජ්‍ය සේවය මෙහෙයවන හැම නීති රීති රෙගුළාසියක්ම ගැන තීරණ ගන්නෙ මේ අය.

රජයෙ විශාල පරිමාණයෙ වැඩ, සැපයීම්, සේවා සපයාගැනීම් ගැන තීරණගන්නෙ කැබිනට් එක පත්කරන ප්‍රසම්පාදන මණ්ඩලය

රාජ්‍ය සේවයට තියෙන බලතල?

එකයි තියෙන්නෙ. තමන්ට පැවරිල තියෙන තනතුරේ ස්වභාවය අනුව තමංගෙ පරාසයෙ පාලනය සහ කටයුතු ඉටු කිරීම.

මේ අයට පෙන්ෂන් එක හම්බෙන්නෙ වයස 55 හෝ 60 සම්පූර්ණ කළහමයි.

රාජ්‍ය සේවයෙ පත්කිරීම්, මාරු කිරීම්, උසස්කිරීම්, අස්කිරීම්, විනය පාලනය කරන්නෙ රාජ්‍ය සේවා කොමිසම. ඒක පත් කරන්නෙ ජනාධිපති - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙ නිර්දේශ අරගෙන.

තව අංශයක් තමයි, නීති කඩවෙනවද කියල බලල දඬුවම් නියම කිරීම සහ චර්යාවන් නිවැරදි කරන්ඩ තියෙන ආයතන. ඒකට කියනව අධිකරණය කියල.

ලංකාවෙ ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය. 

ඒක අභියාචනා ගැන තීරණ දෙන්ඩ තියෙන ඉහළම එක

මූලික අයිතිවාසිකම් කඩවිම ගැන නඩු ගොනු කරන්ඩ පුළුවං එතන

ඊට අමතරව ලංකාවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සැක සහිත තැන් තියෙනව නං ඒක ගැන තේරුම් සපයන එකත් එක රාජකාරියක්

අනික තමයි ඡන්ද පෙස්සම් විභාග කරල, අවුරුදු දහයකට විතර පස්සෙ ඒ ඡන්දෙ වැරදියට තියල තියෙන්නෙ කියල තීන්දුව දෙන එක.

ඊට පහලිං තියෙනව අභියාචනාධිකරණය

ඒකෙ අනික් අධිකරණ කටයුතු වලට වඩා විශේෂයකට තියෙන්නෙ රිට් ආඥා නිකුත් කරන එකයි

රජයෙ නිලධාරියෙක් රාජකාරිය පැහැර හරිනවනං
ඉහළ තනතුරකට සුදුසුකම් නැතුව කෙනෙක් පත් වෙලා ඉන්නවනං
කාව හරි නීතියට පිටිං හංගගෙන ඉන්නවනං
මොකක් හරි අහිතකර ක්‍රියාවක් තහනම් කරවගන්ඩ ඕන්නං
කවුරු හරි දෙන නීති විරෝධී තීන්දුවක් අහෝසි කරගන්ඩ ඕන්නං
       මේ වගේ කාරණා වලදි අභියාචනාධිකරණයට පැමිණිලි කරල රිට් ආඥාවක් ගන්ඩ පුළුවං

ඊට පහලිං පළාත්බද මහාධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණ ආදිය තියෙනව.

ඔය ටික තමා ලංකාවෙ පාලන ව්‍යුහය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවං සළසල තියෙන.

ලංකාවෙ තව තියෙනව පළාත් සභා

13 වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේක ඇති කළේ. ඒ අනුව කාර්යයන් ලැයිස්තු තුනක් තියෙනව. එක ලැයිස්තුවක් (සංවෘත ලැයිස්තුව) රජයට අයිතියි. අනික පළාත් සභා වලට අයිතියි. අන්තිම එක (සමගාමී ලැයිස්තුව) දෙකටම අයිතියි. ඒ අන්තිම එකේ කාර්යයක් ගැන රජය නීතියක් හදනවනං පළාත් සභා ඔක්කොටම ඉදිරිපත් කරල අනුමත කරව ගන්ඩ ඕනෙ. පළාත් සභාවක් නීතියක් හදනවනං රජයට ඉදිරිපත් කරල අනුමැතිය ගන්ඩ ඕනෙ.

පළාතෙ ප්‍රධානිය ආණ්ඩුකාරය. එයා පත් කරන්නෙ ජනාධිපති. එතනිං පළාතෙ පාලනය ජනාධිපති අතේ රඳව ගන්නව. ඒකෙ ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වන පළාත් මහලේකම් පත් කරන්නෙත් ජනාධිපති. පළාතෙ රාජ්‍ය සේවය පාලනය වෙන්නෙ පළාත් රාජ්‍ය සේවා කොමිසමෙං. ඒක පත් කරන්නෙ ආණ්ඩුකාරය. පළාත් සභාව විසුරුවන්ඩ ආණ්ඩුකාරයට බලය තියෙනව. ඔය විදිහට පළාත් සභාවල ඉහළ කොටස තනිකර දේශපාලනයට යටත්.

පළාත් සභාවෙ අැමතිවරු (මහ ඇමතිත් එක්ක) පහයි. (ලොකු හයියක්)

ඔයිට අමතරව තියෙනව පළාත් පාලන ආයතන. එව්වයෙ ඉන්නෙ පළාත් රාජ්‍ය සේවයෙ උදවිය, මහජන නියෝජිතයො සහ මහජන නියෝජිතයන් අතිරං තෝරගත්ත සභාපතිවරු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙනව මූලික අයිතිවාසිකම්:

1. සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස
2. වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත්  නොවී සිටිමේ නිදහස
3. නීතිය පසිඳලීම සහ ක‍්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ වීම සහ ජනවර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවීම
4. අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඬුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම
5. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය
6. සාමකාමීව රැස්වීමේ නිදහස
7. තමන් කැමති සමාගමකට, සමිතියකට, දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට බැඳීමේ සහ එහි කටයුතු කිරීමේ නිදහස
8. වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහස
9. ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ, වැඩි දියුණු කිරීමේ සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහස
10. නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහස
11. ශ‍්‍රී ලංකාව තුළ යාම් ඊම් නිදහස, අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස සහ ශ‍්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහස
12. තොරතුරු වෙත ප‍්‍රවේශ වීමේ අයිතිවාසිකම

මූලික අයිතිවාසිකම් වලට සීමා තියෙනව. 1, 2, 3, 4, 12 හැර අනික් එව්ව භුක්ති විඳිද්දි, ජනවාර්ගික සහජීවනයට සහ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට හාණි නොවන විදිහට, අධිකරණයට අපහාස නොවන විදිහට භුක්ති විඳිය යුතුයි.

අනික මේ අයිතිවාසිකම් ලැබෙන්නෙ ලංකාවෙ පුරවැසියන්ට විතරයි.

මූලික අයිතිවාසිකම් කඩ වෙද්දි හෝ වෙන්ඩ ආසන්න මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණයෙ නඩුවක් දාන්ඩ හරි මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරන්ඩ හරි පුලුවං. (එච්චරයි ඉතිං... ඒ පැමිණිලි වලට වෙන දේවල් කියල නෑ. ඒක ශක්තිමත් කරන්ඩ ඕනෙ අලුත් සංශෝධනයකදි.)

විගණකාධිපති ගැන, ස්වාධීන කොමිෂන් සභා ගැන කියනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තව පරිච්ඡේද කිපයකිං.

අපේ අයියල ලොකුවටම අල්ලගෙන ඉන්න දේවල් කිපයකුත් මේකෙ තියෙනව.

1. ඒකීය බව

ඒකීයයි කියන්නෙ පාලන බලය බෙදා හැරල නෑ. රජය යටතෙ තියෙන්නෙ කියන එකයි. ලංකාව ප්‍රායෝගිකව බැලුවොත් දැනටමත් යම් පමණකට ඒකීය නෑ. මොකද සමහර බලතල දැනටමත් පළාත් සභා වලින් ක්‍රියාත්මක කෙරෙනව.

ඕකෙ විරුද්ධාර්ථය තමයි සන්ධිය බව (ඉංග්‍රීසි වචනෙ ෆෙඩරල්. මේ වචනෙ ඇහෙන්ඩ කියන්ඩවත් හොඳ නෑ - රට කෑලි වලට කැඩෙනව.) සන්ධීය කියන්නෙ ප්‍රාදේශීය පාලන ඒකක තියෙනව. මධ්‍යම රජයකුත් තියෙනව. ඒ දෙකෙම්ම රටේ පාලනය කෙරෙනව. උදාහරණ තමයි ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටවල් (ඉන්දියාව 1947 ඉඳං සන්ධීයයි. මේ කියන විදිහට ඒක 1950 විතර වෙද්දි කැලි කෑලි වලට කැඩිල තියෙන්ඩ ඕනෙ.)

2. බුද්ධාගමට ප්‍රමුඛත්වය දිල සුරක්ෂිත කරල පෝෂණය කරන බව

ඕක නං මයෙ හිතේ 1818 ගිවිසුමට දාපු වගන්තියක්. මගෙ පෞද්ගලික මතය නං රාජ්‍යයක් එක ආගමකට ප්‍රමුඛතාවය දීම වැරදියි. රජය එක්කෝ රටේ පවතින හැම ආගමක්ම ආරක්ෂා කළ යුතුයි. නැත්තං එකක්වත් පෝෂණය නොකළ යුතුයි. මොකද කිසිම ආගමකට පවතින්ඩ රාජ්‍ය අනුග්‍රහය ඕන් නෑ. ඕනෙ භක්තිමත් අනුගාමිකයොයි, සිල්වත් පූජකයොයි විතරයි.

ඊට අමතරව ජාතික කොඩියයි, ජාතික ගීයයි, දිස්ත්‍රික්ක විසිපහයි, රටේ පුරවැසියංගෙ ප්‍රමුඛතා ලැයිස්තුවයි එහෙමත් මේකෙ සඳහන් වෙනව.

------------------------------------

හරි... දැං අපි බලමු මොනවද මේකෙ සංශෝධනය වෙනවනං හොඳ - ඒ කියන්නෙ රටේ යහපැවැත්මට සහ හොඳ රාජ්‍ය කළමනාකරණයක් ඇති කරගන්ඩ ඕනෙ මොනවද?

1. මැතිවරණ ක්‍රමය

දැං තියෙන්නෙ අපේක්ෂකයො රැළක් එකිනෙකා විශාල ප්‍රදේශයක් ආවරණය කරන ක්‍රමයක්. (මහමැතිවරණෙකදි දිස්ත්‍රික්කයක් ආවරණය කරන්ඩ වෙනව එක්කෙනෙකුට.) එතකොට ඡන්දෙට ඉදිරිපත් වෙන්ඩ පුළුවං ඔය විශාල ප්‍රදේශයටම වියදම් කරන්ඩ පුළුවං අයට විතරයි. එතකොට සමාජයෙ සම්මානනීය පුරවැසියො නෙමෙයි ඉදිරිපත් වෙන්නෙ, හොඳටම සල්ලි හම්බකරගත්තු මනුස්සයෙක්. ඒ කියන්නෙ එයා පත් උනාටපස්සෙ බලන්නෙ සමාජයෙ සම්භාවනීය විදිහට ඉන්ඩ නෙමෙයි, වියදං කරපු සල්ලි වගේ කීප ගුණයක් උපය ගන්න මාර්ගය.

ඒ නිසා මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්ඩ ඕනෙ.

ඒක ආපහු තිබුණු කේවල ක්‍රමයට යනවනං හොඳයි. එතකොට එක ආසනේකට එකයි පත්වෙන්නෙ. ඒකෙං සුළු පක්ෂවලට හම්බ කරගන්ඩ රස්සාවක් නැතුව යනව. (මුං බහුතරයක් නං පාර්ලිමේන්තුවට ආවත් වැඩක් නෑ. කරන වැඩක් නැති නිසා.) අනික සුලු ජනවර්ග නියෝජනයට ඉඩක් නැතුව යයි කියලත් පේනව.

2. ජනාධිපති ක්‍රමය

අපි හරිම බයයි නෙ ජනාධිපති නැති කරනවට. හැබැයි 94 ඉඳං ජනාධිපති තනතුරට ඉල්ලපු හැම එක්කෙනාම කිව්වෙ මං බලයට ඇවිත් ඕක නැති කරනවය කියලයි. අනික 78 වෙනකං තිබ්බෙ කැබිනට් ක්‍රමය. ඒ කාලෙ තමයි පළවෙනි ජවිපෙ කැරැල්ල ආවෙ. කැබිනට් කියල ඒකට මූණ දෙන්ඩ බැරි උනාද? අනික ජනාධිපති ක්‍රමය තිබ්බ කියල සිවිල් යුද්ධය මගඇරගන්ඩ අපිට පුළුවං උනාද? නෑනෙ. ඒක අවුරුදු 30ක් ඇදුණනෙ. අනික, ඉන්දියාවෙ තියෙන්නෙ කැබිනට් ක්‍රමය. එංගලන්තෙ තියෙන්නෙත් කැබිනට් ක්‍රමය. එව්වට මොකද වෙලා තියෙන්නෙ? ඔය යහතිං තියෙන්නෙ.

කොහොමත් බලතල මහ රාසියක් එක පුද්ගලයෙකුට දෙන්ඩ හොඳ නෑ. ප්ලේටෝ කියල තියෙන්නෙ මට මතක විදිහට “බලය දූෂණය කරයි“ කියල. උඩ මං පෙන්නල තියෙනව, හමුදාවට අණ දෙන්ඩ, මුදල් පාලනය කරන්ඩ, නිති හදන ආයතනය විසුරුවන්ඩ, හැමතැනම ඉන්න ප්‍රධානීන් පත් කරන්ඩ ආදී වශයෙන් ජනාධිපතිට ලැබිල තියෙන බලතල වැඩියි.

අනික තමයි එයා කාටවත් වගකියන්නෑ. අගමැති පාර්ලිමේන්තුවට වගකියනව. කැබිනට් මණ්ඩලයත් එහෙමයි. කොමිෂන් සභාත් පාර්ලිමේන්තුවට වගකියන්ඩ ඕනෙ. ජනාධිපති කාටවත් වගකියන්නෑ. (දුවටයි ආර්යාවටයි ඇරෙන්ඩ)

වැඩිය හොඳයි පාර්ලිමේන්තුවට වගකියන විධායක ක්‍රමයක්. කැබිනට් ක්‍රමය හොඳා.

3. රාජ්‍ය සේවය

රාජ්‍ය සේවයෙ ප්‍රතිපත්තිමය තීරණ ගන්න බලය කැබිනට් මන්ඩලයට දෙන්ඩ ඕනෙ නෑ.

දැං ඉන්න ඇමති වරු අතරෙ ඒ ලෙවල්වත් නැති අය පවා ඉන්නව. පැහැදිලිවම ඒ අයට රට දියුණු කරන පරමාර්ථයට වඩා තියෙන්නෙ දේපළ අත්පත් කරගැනීම, හම්බ කරගැනීම වගේ පරමාර්ථ.

ඒත් රාජ්‍ය සේවයෙ ඉහළ නිලධාරීන් එන්නෙ එක්කො අවුරුදු දහයක පළපුරුද්දෙන්, නැත්නං උපාධියෙන්, නැත්තං දෙකම ඕනෙ. ඒ අය කටයුතු කළයුතු විදිහ ගැන තීරණ ගන්ඩ ඒ අය අතරින්ම කිර්තියක් අත්කරගන්න අයගෙන් සැදුණු කොමිෂන් සභාවකට පුළුවන්.

අනික තමයි අමාත්‍යාංශ ලේකම් වරු.

ඒ අය ජනාධිපති පත්කරන්නෙ. අනික ඇමති මාරු වෙනකොට ලේකමුත් මාරු වෙනව. එහෙම උනාම, ඇමතිට ජනාධිපතිට ගැති අය තමයි ඒ තනතුරු වලට පත්වෙන්නෙ. එහෙම ඕන් නෑ. 78 ට කලිං හිටිය වගේ ස්ථිර ලේකම් වරු පත් කළ යුතුයි. එතකොට කෙලිං වැඩ කරන්ඩ පුළුවන් නිලධාරින්ට ඒ තැන්වලට එන්ඩ පුළුවන් වෙනව.

තව ලියන්ඩ තියෙනව. ඒ ටික අනික් කොටසින් ලියන්නම්...

Saturday, October 21, 2017

මෞයි ගැන කතා - පොලිනීසියානු / මඕරි ජනකතා

මෞයි කියන්නෙ, පොලිනීසියානු ආදීතම ගවේෂකයෙක් හෝ ගවේෂකයන් කණ්ඩායමක් හෝ එහෙමත් නැත්නම් කලින් කලට බිහිවුණු ගවේෂකයන් ගැන පුරාවෘත්ත එකතු වෙලා හැදුණු චරිතයක් කියල හිතන්න පුළුවන්. මෙයා මොආනා චිත්‍රපටියෙ ඩ්වේන් (ද රොක්) ජොන්සන් ගෙ හඬකැවීම සමඟින් පෙනීහිටිනව. ඒකෙ පින්තූරයක් තමයි පහළ තියෙන්නෙ.

https://jonnegroni.com/wp-content/uploads/2017/02/772619.jpg?w=798
අද මං කියන්න යන්නෙ මෙන්න මෙතනිං මෞයි ගැන කියවන්න ලැබුණු කතා ටිකක්.

මෞයි ගෙ උපත

මෞයි එයාගෙ දෙමාපියන් වුනු මකෙයටුටාරා සහ ටරන්ගා ට ලැබුණු පස්වෙනි දරුවා. එයා උපදිනකොට ගොඩක්ම අවවර්ධිත දරුවෙක්. ඒකියන්නෙ අඩු මාසෙන් උපන් දරුවෙක්. එයා ජීවත් කරවන්න පුළුවන් වෙයි කියල කවුරුවත් හිතුවෙ නෑ. ඒ නිසා එයාගෙ අම්මා, ටරන්ගා තමන්ගෙ කෙස්ගස් කීපයකින් මේ දරුවව ගැටගහල, මුහුදට දැම්ම.

https://img00.deviantart.net/1cb0/i/2017/100/a/9/
tattoo_maui_adobe_animate_moana_cosplay_by_
pikkolapungu-db5b5pl.jpg

මේ සිදුවීම නිසා තමයි මෞයි ගෙ සම්පූර්ණ නම වන මෞයි-ටිකිටිකි-අ-ටරන්ගා (මෞයි-ටරන්ගාගෙ මුදුනෙ ගැටය) කියන නම එයාට ලැබුණෙ. මැරන්න තිබුණා උනත්, මෞයි මැරුණෙ නෑ. මුහුදේ දෙවිවරු එයාව මුහුදු පැළෑටි වලින් එතුවා. රංගි හෙවත් අහසේ දෙවියන් මෞයි ගෙ ළදරුවිය ගතවනතුරු බලා හදා ගත්ත. ඒ විදිහට මෞයි අර්ධ දෙවියෙක් වුනා.

වැඩුණු ළමයෙක් විදිහට මෞයි ආපහු එයාගෙ පවුල වෙත ආව. එයා දැකපු අම්මා හොඳටම කලබල වුනා. මෞයි ගෙ මායාකාරී දක්ෂකම්, ඒ කියන්නෙ එයාට පුළුවන් කම තිබුණා එක එක වෙනස් ස්වරූප වලට හැරෙන්න, ඒවා දැකපු පවුලෙ අය පුදුම වුනා. 

සහෝදරයො ටික මෞයි පිළිගන්න කැමති උනේ නෑ. ඒත් එතන හිටපු වැඩිමල්ම කෙනා කිව්වා, “මිත්‍රශීලී වාතාවරණයකදි අපේ ආරවුල් මිත්‍රශීලීව විසඳගත යුතුයි. සටනකදි අපේ තුවාල වලට පිළියම් යොදන්න වෙන්නෙ භීෂණයෙන්ම තමයි. මේක අපේ යහපතට හේතු වෙනව. අපි කෑම හොයන්න ඕනෙ අනික් අයටත් කවන්නයි. අපි දේපළ රැස්කරන්න ඕනෙ අනික් අයටත් දෙන්නයි. ඒ විදිහට කිරීමෙන් අපි අනික් අයගෙ යහපත සළසනවා.“

හිරු ඇල්ලීම

මෞයි ට දෙමාපියන්ගෙන් ලැබුණු සැළකිලි නිසා එයාගෙ අනික් සහෝදරයන් හතර දෙනා එච්චර හිත හොඳකින් නෙවෙයි හිටියෙ. ඒත් මෞයි ඒ අය පොළඹවාගත්ත තමුන් ට උදව් කරන්න එක වීරකමක් කරන්න. ඒ වීරකම තමයි, ටමනුයිටෙරා හෙවත් හිරු, අහස හරහා යන වේගය අඩු කරල, දිවාකාලය දික් කරගන්න එක. එතකොට සහෝදරයන්ට තමංගෙ දිනපතා කෑම හොයාගන්න ප්‍රමාණවත් කාලයක් ලැබෙනව.

මෞයි ඉස්සෙල්ලම එයාට දෙවිවරු කියාදීපු ශිල්පයක් වන, හණ ලණු ඇඹරීම අයියලට කියා දුන්න. ඒ අය දවස් පහක් තිස්සෙ දැවැන්ත ලණු තොගයක් ගෙතුවා.

ඊට පස්සෙ සහෝදරයො පස්දෙනා ගියා හිරු නැගෙන තැන හොයාගෙන. පොළොවෙ කෙළවරක තිබුණු වළකින් තමයි හිරු උදෙම්ම එළියට එන්නෙ.(පොලිනීසියානු විශ්වාසය)  එතන වලෙ වටේ කූඩාරම් හදාගත්ත සහෝදරයො පස්දෙනා, වතුර ඉහළ මැටි අනල පොඩි තාප්පයකුත් හදාගත්ත කූඩාරම් හිරු රස්නෙන් බේරගන්න. ඊට පස්සෙ ගෙනියපු හණ ලනු වලිං තොන්ඩුවක් හදල වල කට මැදට වෙන්න අටවලා තිබ්බ. ඉරගෙ ඔලුවයි උරිස් දෙකයි තොණ්ඩුවෙන් උඩට ආව ගමං මෞයි සංඥා කළා අයියලට, ලණුව අදින්න කියල. වළ ගාව රැකල හිටපු මෞයිගෙ සහෝදරයො හතර දෙනා හිරුට යන්න නොදී රඳවගත්ත. මෞයි අතේ තිබුණ, එයාගෙ ආච්චිගෙ හණු ඇටය. ඒක තමයි එයා ආයුධයක් විදිහට පාවිච්ච කළේ. ඒකෙන් එයා හිරු ට හොඳටම පහර දුන්න. මෞයිගෙ කෙළවරක් නැති බැට දීම් වලින් හොඳටම දුර්වල වුණු හිරු මෞයිට පොරොන්දු වුනා එතැන් පටන් අහස දිගේ කලින්ට වඩා හෙමින් යන්න. කොහොමත්, ඒ කාපු පාරවල් වල හැටියට එයාට යන්න පුළුවන් වුනේ බඩගාගෙන තමයි කියලයි කියන්නෙ.

https://img00.deviantart.net/1cb0/i/2017/100/a/9/
tattoo_maui_adobe_animate_moana_cosplay_by_
pikkolapungu-db5b5pl.jpg

මෞයි ගෙ මාලු ඇල්ලීම

මෞයි හරිම දක්ෂයි මාලු අල්ලන්න. එයා හැමදාම ඔරුව පිරෙන්න මාලු අල්ලනව. ඒත් එයාගෙ සහෝදරයන්ට ඒ අයගෙ පවුල් වල කෑමට ඇතිවෙන්න වත් මාලු අල්ලන්න පුළුවන් වුනේ නෑ. ඒනිසා ඒ අය මෞයිව මගහැරල මාලු බාන්න යන්න පිටත් වෙන්න උත්සාහ කළා.

ඒත් නෑනල ටික මෞයිට කිව්වා ඒ අයට ඇති වෙන්න මාලු ලැබෙන් නැති බව. ඉතිං දවසක් මෞයි පොරොන්දු වුනා “ඔයාලට නරක් වෙනකල්වත් කාල ඉවර කරන්න බැරි තරම් ලොකු මාලු තොගයක් මං අල්ලල දෙන්නං“ කියල. එහෙම කියල එයා අර කියපු හණූ ඇටයෙ පතුරක් තුඩට හිටින්න බිලී කොක්කක් හදාගත්ත. ඒකත් අර එයා සහෝදරයන්ගෙ ඔරුවෙ පතුලෙ දාල තියෙන පැදුරු යට හැංගුනා.

ඉතිං වෙනද වගේම සහෝදරයව මගඇරල අයියල ටික ඔරුව දියත් කළා. දියඹට ගියාට පස්සෙ තමයි දන්නෙ මල්ලිත් ඔරුවෙම ඉන්නව කියල.  ඒත් දැං කරන්න දෙයක් නෑනෙ හිස් අතිං ආපහු වෙරළට යන්න බෑ. අයියල ටික ගොඩක් මහන්සි වෙලා මාලු ටිකක් අල්ලගත්තට පස්සෙ මෞයි යෝජනා කළා ගොඩබිම පේන්නැති තරම් ඈතට යමු කියල. එහෙම ගිහිං එයා ඔරුවෙ දාගෙන එන්න පුළුවන් තරමට මාලු තොගයක් අල්ලල දෙන්නං කියල කිව්ව.

එහෙම ගිහිං මෞයි ඔරුව පිරිල ඉතිරිල යන්න මාලු ඇල්ලුව. ඊටපස්සෙ එයා එයාගෙ නහයට ගහගෙන, නහයෙන් ආපු ලේ බිලීකොක්කෙ තවරලා මුහුදට දැම්ම. ඒ පාර බිලී යොත බොහොම තදින් ඇදුන. ඒ යොත කොච්චර තදින් ඇද්දද කියනවනං, ඔරුව පෙරළෙන්නම වගේ ගියා. කොහොමහරි මෞයි ඇදල ඇදල උඩට ඇදල ගත්ත මහා විසාල මාලුවෙක්. ඒකා පූජනීය මාලුවෙක් බව සළකපු මෞයි, ආපහු ගොඩබිමට ගියා පූජකයෙක් එක්කරන් එන්න. කරන්න ඕනෙ යාග හෝම ටික කරලම මාලුව කපමු කියල සහෝදරයින්ට කිව්ව, මං එනකං මාලුව කපන්න එපා කියල.

ඒත් මෞයි එනකල් හිටියෙ නෑ අයියල ටික. තම තමංගෙ කොටස් වෙන්කරගන්න ඒ අය මාලුවව කැපුව. ඒකෙන් මාලුවා වේදනාවෙන් ඇඹරිලා ගියා.

නවසීලන්ත දූපත් වලින් උතුරු දූපතට මඕරි වරු කියන්නෙ ටෙ ඉකා අ මෞයි හෙවත් මෞයි ගෙ මාලුවා කියල. අයියලා මාලුවා කපද්දි ඇඹරුනු නිසා යි කියනව ඒ දූපතේ කඳු නිම්න ඇති උනේ. මල්ලි කියපු දේ අයියල ඇහුවනම් උතුරු දූපත තැනිතලාවක් විදිහට මිනිස්සුන්ට ගමනාගමනයට පහසු තැනක් වෙන්න තිබුණ කියල කියනව.

http://donnadowney.typepad.com/.a/6a00d83451929069e2019101c3320b970c-800wi
අකුරු පැහැදිලි නෑ. පින්තූරය මත ක්ලික්
කරලා විශාල කරගත්තනම් හරි

මඕරි වරු කියන විදිහට දකුණු දූපත තමයි මෞයි ගෙ ඔරුව. ඒනිසා ඒ දූපතට කියන සාමාන්‍ය මඕරි නම වුනු ටෙ වයිපෞනමු ට අමතරව, ටෙ වක-අ-මෞයි හෙවත් මෞයි ගෙ ඔරුව කියන නම භාවිත වෙනව. පහළ තියෙන ස්ටුවර්ට් දූපත, ඔරුවෙ නැංගුරම් ගල. මැද හරියෙ දකුණු අත පැත්තෙ තියෙන බෑන්ක්ස් අර්ධද්වීපය තමයි මාලුවව අදිද්දි මෞයි පය ගහපු තැන. උතුරු දූපතේ මැද හරියෙ දකුණු වෙරළෙ තියෙන හෝකී බොක්ක සැළකෙන්නෙ ටෙ මටාවු අ මෞයි හෙවත් මෞයිගෙ බිලීකොක්ක කියලයි.

https://img00.deviantart.net/1cb0/i/2017/100/a/9/
tattoo_maui_adobe_animate_moana_cosplay_by_
pikkolapungu-db5b5pl.jpg

මෞයි ගින්දර හොයාගත්ත හැටි සහ මරණය පරාද කරන්න ගිය හැටි ගැන මීළඟ කොටසකින් ලියන්නම්...

මූලාශ්‍ර:
https://en.wikipedia.org/wiki/M%C4%81ui_(M%C4%81ori_mythology)
http://www.maori.info/maori_history.htm
http://eng.mataurangamaori.tki.org.nz/Support-materials/Te-Reo-Maori/Maori-Myths-Legends-and-Contemporary-Stories/How-Maui-slowed-the-sun

Saturday, October 14, 2017

අන්දිරිස් කිත්තා, පරංගි සහ ගමට නමක්

https://ewedit.files.wordpress.com/2015/01/hobbit-the-desolation-of-smaug.jpg?w=612

අපේ කිත්තා අන්දිරිස් අප්පු ය. උන්දැගෙ වික්‍රම ගැන මෙයිට කලිං පෝස්ටු දෙකක ලියා ඇත.


අද මං කියන්ට යන්නේ අන්දිරිස් කිත්තා උපං ගම වූ බෙන්තර යාත්‍රාමුල්ලේ සිට ගම්පහ ගණේමුල්ලේ කටුවාලමුල්ලට ආ හැටි ය. (මේක මං වැඩ්ඩ වගේ ලියන්ඩ ඉඳගත්තට, ඉවර වෙනකං මොනව ලියවෙයිද මොන විදිහට ඉවර වෙයිද කියා හිතාගන්ට බැරි ය.)

අනද කිත්ත, වඩු පරම්පරාවකිං පැවතෙන්නෙක් කියල තමා මං හිතං ඉන්නෙ. මොකද, මේ ගමේ පරණ මිනිස්සු අන්දිරිස් කිත්තයි එයාගෙ පුතා වුන සුවාතයි දෙන්නම වඩු වැඩ කරපු බව කියන නිසා. ඒ වගේම සුදික ස්ථිර කළා යාත්‍රාමුල්ලෙ තාම ඉන්නව කියල අර ශ්‍රී මහ බෝධිය එක්ක ලංකාවට ආව වඩු පරම්පරාවක්.

කොහොමිං හරි අන්දිරිස් කිත්ත කොල්ල කාලෙ පරංගි හමුදාවෙ සිවිල් අංශෙ වැඩ කළා නෙව. මයෙ හිතේ ඒකෙත් වඩු වැඩ තමා කරන්ඩ ඇත්තෙ. ඔය ලස්කිරිඤ්ඤ හමුදාවෙ හෙල්ල වල මිට ගහන්ඩ, අත් පොරෝ වල මිට හදන්ඩ, ඒ වගේ වැඩ වෙන්ඩැති. ඉතිං එක සැරෙයක් ඔය පරංගි හමුදාවක් උඩරට අල්ලන්ඩ යද්දි අන්දිරිස් කිත්තත් ඒ එක්ක ඇවිත් තියෙනව. 

අන්දිරිස් කිත්ත ආවට මොකද යටි හිතිං පරංගිංගෙ ක්‍රියා කළාපය ගැන එච්චර හොඳිං නෙමේ හිටියෙ. යන යන තැන, දකින දකින දේ කොල්ලකන්ඩයි, දකින දකින ගෑණු දැරිවියන්ට හදි කරන්ඩයි, හවස කඳවුරු ගහගෙන බීල නටන්ඩයි පුරුදු වෙච්ච පරංගි, ස්වදේශිකයන්ට සැළකුවෙ තමංගෙ අතපල්ලෙං වැටිච්ච ගානට.

ඉතිං කොළඹ කොටුවෙ ඉඳං ඇවිදින්, කැළණි ගඟෙං එගොඩ වෙන්න ආව පරංගි හමුදාව, ගඟෙං එගොඩ වෙන්න නං ගඟ නිදාගන්ඩ ඕනෙ නිසා රෑ වෙනකං ගං ඉවුරෙ වාඩි ලාගත්ත. මොකද, ගඟක් උනත් නිදාගන්නෙ රෑටනෙ.

ඔය අතරෙ අන්දිරිස් කිත්තට පුළුවං උනා චීස් කෑල්ලකුයි කේජු කෑල්ලකුයි හයි කරපු උගුලක් මාර්ගෙන් තඩි මීයෙක් අල්ලගන්ඩ.

https://thumb9.shutterstock.com/display_pic_with_logo/
1058333/178340966/stock-vector-vector-illustration-of-a-rat-is-trying-to-
steal-a-piece-of-cheese-178340966.jpg
අන්දිරිස් කිත්ත ඔය මීයගෙ නැට්ටෙ ගිණිකූරක් ගැටගැහුව. ගැටගහල, තඩි චීස් කුට්ටියක් විසික් කළා පරංගි වෙඩිබෙහෙත් තියල තිබ්බ කූඩාරම ඇතුළට. මීයව අතෑරපු ගමං ඌ දිව්වෙ වෙඩි බෙහෙත් කූඩාරමට. ඌ දුවද්දි ගිණිකූර බිම ඇතිල්ලිල ගිණි ගත්ත. තප්පර ගාණකිං වෙඩිබෙහෙත් කූඩාරමයි ඒ ළඟ හිටපු පරංගි හෙණ සෙට්එකකුයි කෑලි කෑලි...

කිත්ත ඒ වෙනකොට හිමිං සැරේ ගඟ හරහ පීනල ගිහිං එගොඩ උනා. එගොඩ වෙලා බැලින්නං,පරංගි හමුදාවෙ කපිතානුයි අනික් නිලකාරයො ටිකයි එගොඩ. අර කූඩාරම පුපුරද්දි ඒකෙ පීඩනේට එගොඩට විසික් වෙලා. ඒ එකෙක් දැකල තිබ්බ අන්දිරිස් කිත්ත චීස් කුට්ටියක් වෙඩිබේත් කූඩාරම දිහාට විසිකරනව. ඌ ඒක කිව්ව විතරයි, පරංගි රැළම අන්දිරිස් කිත්ත පස්සෙං පන්නන්ඩ ගත්ත බල්ලො රැළ වගේ.

අන්දිරිස් ආතත් ලේ පිපාසෙං වියරු වැටිච්ච පරංගි හමුදාවම පසු නොබලා දුවන්ඩ සැළැස්සුව, හරිම ලේසියෙන් - ඉස්සෙල්ල එයා දිව්ව. පරංගි හමුදාව එයා පස්සෙං දිව්ව.

ඔහොම දුවගෙන දුවගෙන යද්දි පංසලක චෛත්‍යයකට හුනු ගාන්ඩ හුණු වැරටි වගෙයක් ගෙනියන කට්ටියක් හම්බුනා. අන්දිරිස් කිත්ත දුවගෙන ආව වේගෙට අර මිනිස්සුංගෙ ඇඟේ හැප්පුනා හරියට කාලතුවක්කු උණ්ඩෙයක් වගේ. හැප්පිල අන්දිරිස් කිත්ත වැටුණ. අර උදවියගෙ හුණු වැරටි ගෝණි ටිකත් සීසීකඩ.

කිත්තගෙ අතේ තිබ්බ දුන්නක්. ඒත් එයා ගාව තිබුණෙ එක ඊතලෙයයි. එයා කල්පනා කරල බැලුව මොකද කරන්නෙ කියල. අර පරංගි ටික එකා පස්සෙ එකා වත් ආවනං, එක ඊතලෙං මුලු හමුදාවම බණ්ඩක්ක කරල් ඉරට්ටෙ ඇමුණුව වගේ අමුණගන්ඩ තිබුණ. ඒත් එහෙම නෙමෙයිනෙ ලේ පිපාසිත හමුදාව ආවෙ. ඉතිං කිත්ත ඊතලේ මෑනුව එයාට යන්ඩ ඕනෙ පැත්තට. මානල විද්ද. විද්ද ගමං උඩ පැනල ඊතලේ එල්ලුනා.

ඔන්න ඊතලේ එල්ලිල අන්දිරිස් කිත්ත උඩිං යනව. ඒ දිහා බලාගෙන උඩ බලාගෙන ආව පරංගි හමුදාව අර බිම වැටිල තිබ්බ හුණු වැරටි ටික පාගගෙන දිව්ව. ඒ ගොල්ලංගෙ දිවිල්ලෙ සැරට අර පෑගුණු හුණු ඔක්කොම පිටි වගේ වෙනකං කුඩු උනා. එහෙම හුණු පිටි වෙච්ච තැන තමයි මේ දක්වාම හැඳින්වෙන්නෙ, හුණුපිටිය කියල.

අන්දිරිස් කිත්තගෙ විදමනේ සැර කොච්චර ද කියනවනං, එයා සෑහෙන දුරක් උඩිං ගියා. එයාගෙ පස්සෙං උඩ බලාගෙන එලෝගෙන ආව හමුදාවත් ඒ එක්කම දුවනව. අතරමගදි හරක් බලාගත්ත එඬේරෙක් බයවෙලා මුල්ලක හැංගුනා. එතනට තවමත් කියන්නෙ එඬේරමුල්ල කියල. තව තැනකදි අර පරංගි රැළ දැකපු සීය කෙනෙක් කිව්ව එයාගෙ මුණුපුරාට, “යකෝ! ඒරොප්පෙවත් නැතුව ඇති මෙහෙම යක්කු වගේ හැසිරෙන පරංගි“ කියල. ඒ කියපු තැන “ඒරොප්පෙ“ කියල නම වැටිල, පස්සෙ භාවිතාවෙන් හොරපෙ බවට පත් වෙලා තියෙනව.ඔහොම ගිහිං රාගම ත් පහුවෙලා තමයි කිත්ත විදපු ඊතලේ කිත්තත් එක්කම බිම වැටුණෙ. ඒ වැටුනෙත් මනුස්සයෙක් රාගම පොලට වෙළඳං කරන්ඩ අරං ගියපු කදක් උඩට. ඒ කදේ පුරෝල තිබුණෙ නාරං. අර මනුස්සයට එක පාරම කියවුනා, “අයියෝ! මගෙ නාරං ගොඩම පාලුයි!“ කියල. එදා ඉඳං ඒ හරියට කියන්නෙ නාරංගොඩපාළුව කියල.

කිත්ත කිව්ව නාරං වෙළන්දට, “මයෙ පස්සෙං එනව ටුවරිස්ල වගෙයක්. මං ඒගොල්ලංගෙ ගයිඩ්. ඒගොල්ලො තමුසෙගෙ අලාබෙ ගෙවයි“ කියල. ඒහෙම කියල කිත්ත ළඟම තිබ්බ හෙණ උස පුවක් ගහකට නැග්ග.

පරංගි ටික එතෙන්ට එන්ඩ වැඩි වෙලාවක් ගියෙ නෑ. අර වෙළ‍ෙන්ද පරංගි හමුදාවෙං ගේම ඉල්ලුව. “ගෙවනවල මගෙ නාරංගොඩේ පාඩුව. තමුසෙලගෙ ගයිඩ් තමා මේ නාරංගොඩ පාලු කළේ“ කියල.

පරංගි ටික එකා එක ගානෙ ටොකු ඇනල අර වෙළ‍ෙන්දව උස්සල වීසි කළා. වෙළෙන්ද කැරකි කැරකි ගිහිං වැටුන හාඩ්වෙයා එහෙකට. ඒ හාඩ්වෙයා එකෙත් එයා වැටුනෙ එස්ලෝන් බට ගොඩක් උඩට. බට ඔක්කොම කීතු කීතු උනා අර  වැටිච්ච වැටිල්ලට. එදා ඉඳං ඒ හරියට කියන්නෙ බටවල පාළුව කියල.

ඊටපස්සෙ පරංගි එකා එකා නගින්ඩ ගත් අර පුවක්ගහට අන්දිරිස් ආතව අල්ලගන්ඩ. ඔහෙම දෙසීයක් විතර නැගගෙන නැගගෙන එද්දි පුවක් ගහ බිමට ඇලවෙන්ඩ ගත්ත. ඒ ගමන බිම ඉඳං මූව අල්ලගන්ඩ ලේසියි කියල හිතපු පරංගි ටික එකපාරටම බිමට පැන්න. උන්ටික බිමට පැන්න විතරයි අර පුවක්ගහ එකපාරටම කෙලිං උනා. ඒ වේගෙට අන්දිරිස් කිත්ත ට අත-අතෑරිල ටොයිංංංංංං ගාගෙන උඩිං ගිහිං වැටුන ලියද්දකට. ඒ ලියද්දෙ අයිනෙ තිබුණ විසාල කැන්ද ගහක්.

අනද කිත්තට කලන්තෙ වගේ ආව වේගෙට උන්දැ එහෙම්ම ටික වෙලාවක් වැටිල උන්න. ඉඳල යන්තං නැගිටල ලියද්දෙං නියරට ගොඩ වෙලා, වක්කඩෙං මඩ ටික හෝදගත්ත. එතෙන්ට ආව ඇතෙක් අන්දිරිස් කිත්තට දණ ගහල වැන්ද. කිත්ත ඇහුව “ඇයි?“ කියල. ඇතා කියනව, එහෙමලු රොබට් නොක්ස් ලියල තියෙන්නෙ. ඕනෙම ගොයියෙක් මඩ හෝදගත්තහම රජකමට හොඳයිලු මේ රටේ.

“මේ... පිස්සු නැතුව පුලුවන්නං මාව අර පරංගි රැළගෙං බේරගනිං“ කිව්වහම ඇතා කිත්තවත් පිටේ තියාගෙන දුවන්ඩ ගත්ත. (සමහරු නං කියනව කිත්ත ඇතාගෙ නැට්ටෙ එල්ලුනා, ඇතා ඉගිල්ලුනා කියලත්.) ඇතයි කිත්තයි පස්සෙං දුවං ආව පරංගි හමුදාව නිසා ලියද්දෙ තිබ්බ සරුසාර ගොයං වගාව එහ‍ෙම පිටිම්ම පාලු උනා. එදා ඉඳං තමයි ඒ ගමට කැන්දලියද්දපාලුව කියල කියන්නෙ.

ඇතා අනද කිත්තව අරං දුවගෙන දුවගෙන ගිහිං මහවිසාල ගඟක් ගාව නතර උනා.පරංගි හමුදාවත් හති ඇර ඇර දුවගෙන දුවගෙන ඇවිත් අනද කිත්තට කිට්ටු උනා විතරයි, හතර වටින් පැන්න සිංහල හමුදාවට කොටු උනා. ඔන්න ඔය “කොටු වුන මුල්ල“ කියන නම තමයි දැන් “කටුවාලමුල්ල“ කියල ව්‍යවහාරයත් එක්ක වෙනස් වෙලා තියෙන්නෙ. (ඒක නං ඇත්තම කියමනක්. විදේශික හමුදාවක් ස්වදේශික හමුදාවකට කොටුවුන නිසා මේ ගමට ඔය නම ව්‍යවහාර වෙන බව තමයි පැරැන්නො කියන්නෙ)

ඉතිං විසාල හමුදාවක් කොටුකරල අල්ලගන්ඩ අවස්ථාව සැලැස්සුවට රජතුමා අනද කිත්තට ඒ භූමිය නීන්දෙ පවරල දුන්න. රජතුමා පවරල දුන්නට, ඒ ඉඩමෙ අරක්ගෙන හිටපු ගොරක යකා ඒකට කැමති උනේ නෑ.

- ඒත් ඒක වෙනම ලියන්ඩ ඕනෙ කතාවක්...

බයි ද වේ, පරංගි හමුදාව අල්ලගෙන යන අතරමග, කඩවතට කිට්ටුව, සූරියමල් විකුණ විකුණ ආව සමසමාජ තරුණයො කණ්ඩායමක් පරංගින්ටත් සූරියමල් විකුණන්ඩ කතා කළා. රජ්ජුරුවන්ගෙ අතට අහුවෙලා හිරකාරෙයො වෙච්ච එකටයි, අනද කිත්තගෙ මාලු කන්ඩ බැරි වෙච්ච එකටයි කේන්තියෙ හිටපු පරංගි ටික අර සූරියමල් ටික උදුරගෙන පොළොවෙ ගැහුව. පොළොවෙ ගහල ඒක උඩ නටල, සුන්නද්දූලි කරල දැම්ම.

ආං එතන තමයි දැං සූරියපාලුව කියල කියන්නෙ.

කාට හරි මේ නම් ගම් ගැන සැකයක් තියේ නං ගූගල් මැප් එකෙං බලන්ඩ පුළුවං කැළණියෙ ඉඳං රාගමටත්, රාගම ඉඳං කැන්දලියද්දපාලුවටත් තියෙන ග්‍රාම නාම ටික. එතකොට අනද කිත්ත මොනවගේ දිවිල්ලක් දුවල ඇද්ද කියලත් හිතාගන්ඩ පුළුවං වෙයි.

කලිං ලියපු ගජබින්න වලට පටුනක්.

Saturday, September 23, 2017

ඔපිස් පුරාවෘත්ත - Legends in Govt. Service

http://worldclassbenchmarking.com/wp-content/uploads/2016/02/Screen-Shot-2016-02-11-at-6.49.13-AM.png

ඔපිස් කතා කියල එකක් ලිව්වනෙව... මේ ඒකෙ දෙවෙනි කොටස වගේ එකක්. මෙතන මං කියන්න යන්නෙ ගහපු කාඩ් වගේ කතා සහ මං අහල තියෙන රජයේ සේවයෙ පුරාවෘත්ත ටිකක්.

කලිං කතාවෙදි අර ප්‍රසිඩන්ට් මහින්ද රාජපක්ෂ කෙලිම්ම කතා කරපු තීෆ් එකවුන්ටන් විමලසේන ඉන්නවනෙ... පොර අපේ අමාත්‍යාංශෙට ඇවිත් අවුරුදු දෙකක් යනකල්ම, වර්ෂාවසාන ගිණුම් පියවීමට හිටියෙ නෑ. මං හිතුවෙ පොර ඒකෙ වගකීමට බයේ කියල. ඉතිං අනික් එකවුන්ටන්ල දෙන්නත් එක්ක අපි (මං එතකොට රජයේ සේවයට නවක... පොඩි කොල්ලෙක්) එළකිරි වගේ එකවුන්ට් ක්ලෝස් කරල, මහා භාණ්ඩාගාරෙට යැව්ව ඉතුරු අග්‍රිම ටික. (රජයෙ සේවයෙ නොවෙන උදවිය ඔය මං උඩ ලියල තියෙන ග්‍රීක් වචන වල තේරුං එච්චර හිතන්ඩ එපාල)

ඉතිං අර අපේ තීෆ් එකවුන්ටන් වර්ෂාවසාන ගිණුම් පියවීමට නොහිටියෙ පොර ඒ දවස් වල ගියා ඕස්ට්‍රේලියාවෙ සංචාරෙකට. ඒ සංචාරෙ ගැන ඔපිස්සෙකේ පැතිරිච්ච කතා ටික තමයි පහළ තියෙන්නෙ. (මෙයිං ගොඩක් එව්ව ඔයගොල්ල අහලත් ඇති... මේ කතා ටික විමලෙට පටබඳිංන්ඩ හේතු උනේ, පොර නිතරම මට කියන්ඩ පුරුදු වෙලා හිටිය, “ඔය ඉංග්‍රීසි ටිකක් කට ගාගත්තට, කොම්පියුටර් අතගෑවට ඕක මහලොකු දෙයක් නෙමෙයි... කියල.)

අපේ ලොක්ක, ෆ්ලයිට් එක ඕස්ට්‍රේලියාවෙ කටුනායකට ඇවිත් නවත්තපු ගමං සීට් එකෙං නැගිටල ගියාලු දොර ගාවට. (බස්සෙහෙක උනත් නවත්තපු ගමං බැහැගත්තෙ නැත්තං ඒකෙ ඉන්න ඉබ්බො, ගොලුබෙල්ලො, කැස්බෑවො ඔක්කොම බහිනකං බලං ඉන්ඩ වෙනවනෙ...) ඒකෙ හිටපු සෝබමාන ගුවන් ඇටෙංඩොං කෙනෙක් කෑගැහුවලු, “සර්... ප්ලීස්ස්ස්... වේට්...“ කියල. ලොක්කත්, “සික්ස්ටි ටූ කිලෝස්“ කියාගෙන දොර අැරගෙන එලියට වැටුණලු. 

වැටිල කකුලක් ඇමැට්ටි වෙලා පොර ගෙනිච්චලු ඕස්ට්‍රේලියාවෙ මහ රෝහලට.. ගෙනිහිං ට්‍රොලියක ඉන්නවලු ඉමර්ජන්සි ට්‍රීට්මන්ට් කෑල්ලෙ. ඉද්දි අල්ලපු ට්‍රොලියෙ ඉන්නවලු පොරක් කැහැකැහැ. ඉතිං අපෙ ලොක්කත් මනුස්සකමට අරූ දිහා බලල හිනාඋනාලු.

ඒ ගමන අර කැහි ලෙඩා කියනවලු, “අයිම් සෆරිං ෆ්‍රොම් නිව්මෝනියා“ කියල.

ඉතිං ලොක්කත් කිව්වලු මනුස්සකමට, “අයිම් විමලසේන ෆ්‍රොම් ශ්‍රී ලංකා“ කියල.

සෆරිං කාරයට තේරුණාලු මූට මං කියපු එක තේරුන්නෑ කියල. ඒගමන පොර කිව්වලු, “නෝ මෑන්... නිව්මෝනියා... කේම් ෆ්‍රොම් කැටා...“ කියල.

ඒගමන අපේ විමලෙත් කිව්වලු, “ඕ යේස්... අයි කේම් ෆ්‍රොම් පෙටා“ කියල.

කොහොමිං කොහොමිං හරි යන්තං පය බිමගහගන්ඩ පුුළුවං වෙච්ච ගමං විමලෙ ගියාලු ඉස්පිරිතාලෙ කැන්ටිමට. යනකොට සුද්දෙක් ෆැන්ට බෝතලයක් බොනවලු. ඌ ඒක බීල ඉවර වෙලා, කිව්වලු “ෆැන්ටෑස්ටික්“ කියල. ඉතිං විමලෙත් ගත්තලු කෝක් එකක්. ඒක බීල විමලෙ කිව්වලු “කොකෑස්ටික්“ කියල.

ප්‍රා ලේ කාර්යාලෙක, ලේඛනාගාරෙ භාර හාදයයි, එකවුන්ටනුයි පුරුදු වෙලා හිටියලු හැම සිකුරාදම හවස සෙට් වෙලා බඹර පදම හොයං යන්ඩ. ඔය වැඩේට ඉතිං සල්ලිත් එපැයි. ඒකට අර එකවුන්ටන්ගෙ උපදෙස් පරිදි ලේඛනාගාර භාරකරු දැම්මලු ලියුමක් ප්‍රා ලේ ට. ලේඛනාගාරෙ මීයො ඉන්නව, බළලෙක් ඇති කරන්ඩ සහ ඒ බළලට රජයේ වියදමිං කෑම දෙන්ඩ අනුමැතිය ඉල්ලල. දාල අනුමත කරගත්තලු. ඉතිං හැමදාම සිකුරාද උදෙම්ම ලොඛනාගාර භාරකරු දානවලු වවුචරයක්, “බළලාගේ සතිපතා කෑම වියදම අතින් වියදම් කළ මුදල ප්‍රතිපූර්ණය කරගැනීම සඳහා...“ එකවුන්ටනුත්, මෙහෙම බලල - මෙහෙම බලනකොට ඒක වෝට් ලෙජර් දාල සහතික කරල, මුදල් පොතේ දාල, කෑෂ් චෙක්එකට දාල, සරප් (=රජයේ කාර්යාල වල ඉන්න කැෂියර්) බැංකුවට යවල මාරු කරවගෙන, හවස තුන වෙන්ඩ කලිං ලේඛනාගාර කාරෙයට ගෙවලත් ඉවරයි.

දවසක් ඔඩිට් කරද්දි ඔය වවුචර ටික අහුවෙලා, ඔඩිට් එකෙං ඇහුවලු, කෝ ඔය බළල? කියල. ඉතිං ලේඛනාගාර භාරකරුට පණිවිඩේ යවල, පැය බාගෙකිං විතර අරූ එනවලු, කොහෙංදෝ හොයාගත්ත කැහැටු ගැහිච්ච බළල් දණ්ඩෙක් උස්සගෙන...බළලත් එනවලු හරි සුවිනීත විදිහට වලිගෙ පුම්බගෙන, ඇඟිලි නියපොතු විහිද ගෙන, ඇස් ලොකු කරගෙන, යටිගිරියෙං මරහඬ දීගෙන...

ඔඩිට් කෂ්ටිය ඇහුවලු, “ඈ යකඩො? මෙච්චර වියදං කරල කන්ඩ දෙන බළල ද මේ කැහැටු ගැහිල ඉන්නෙ?“ කියල.

ලේඛනාගාර භාරකරු කිව්වලු ගත් කටටම, “නෑ සර්. ඒ බළල අද නිවාඩු. මේ උගෙ  ඇක්ටිං බළල...“ කියල.

රජයේ සේවයෙ දේශීය නිවාඩු (මෙරට ගතකරන නිවාඩු) ඉල්ලුම්පත්‍රයක් තියෙනව. පොදු 125 කියල ආකෘතියක්. ඕකෙ තියෙනව පුරවන්ඩ, නිවාඩු ඉල්ලුම්කිරීමට හේතුව. ඕකට ගොඩක්ම දෙනා ලියන්නෙ “පෞද්ගලික“ කියලයි. එක ඔපිස්සෙහෙක ලොක්කෙක් සැරෙයක් නීතියක් දාල තිබ්බ, ඔය වචනෙ ලියන්ඩ එපා, ඇත්තම හේතුව ලියන්ඩ ඕනෙ කියල. 

ඉතිං එකසැරෙයක් පොරට අනුමත කරන්ඩ දාපු නිවාඩු ඉල්ලුම්පත්‍රයක හේතුව ලියල තිබ්බලු, “අනියම් භාර්යාව සමඟ සංසර්ගයේ යෙදීම සඳහා මහනුවර යාමට“ කියල

මං ප්‍රෙස් එකේ ඉන්න කාලෙ...

ඒ කිව්වහම මතක් උනේ, ඕකෙ තිබුණ වැද්දුම් අංශය කියල බ්‍රාන්ච් එකක්. ප්‍රෙස් එක ස්වයංපෝෂිත කාර්යාලයක්. ඒකට ඕනෙ කරන ගොඩක්ම දේවල් ඒක තුලිම්ම තමයි කරගන්නෙ. ඔය වැද්දුම් අංශයෙන් තමයි ගොඩනැගිලි නවීකරණය සහ අලුත්වැඩියාව, මාකට් එකේ නැති යන්ත්‍ර කොටස් හදල සවිකිරීම, මැෂින් අලුත්වැඩියාව... ආදී නොයෙක් යාන්ත්‍රික වැඩ කළේ. ඔය අංශෙ හිටිය ප්‍රධානියා, වැඩබලන සුපරින්ටැන්ඩන්ට්. (ඒ දවස් වල ප්‍රෙස් එකේ හිටපු තරමක් ලොක්කො හිටියෙ - රජයේ මුද්‍රණාලයාධිපතිගෙ ඉඳං පහලට - වැඩබලන පදනමිං...) අර කියපු සුපරින්ටැන්ඩන්ට්ගෙ නම මෙන්ඩිස්... එයාගෙ අංශෙ හිටපු තරමක් උන්නෙ පෘතුගීසි කාරෙයො... කොස්තා, රුබේරු, ලිවේරා, සිල්වා, පේදුරු... ආදී වශයෙන්.

තව ඔය ප්‍රෙස් එකේ උන්න G. A. ලෙස්ලි පෙරේරා කියල ඒඕ කෙනෙක්. හරිම හොඳ මනුස්සයා. ඒ උනාට කවුරුත් එයාට කිව්වෙ ගල් පෙරේරා කියල (නමේ මුල් අකුරු ටික අගට තියෙන තිත් ටිකයි ස්පේස් ටිකයි අහක් කරල. ඇයි තව හිටිය W. A. L. කරුණාරත්න කියල කෙනෙකුත්...

ප්‍රෙස් එකේ හිටිය ගොඩක් අය රෑට උන්නෙත් ඔපිස්සෙකේමයි. ඒක පැය විසිහතර වැඩකරන කාර්යාලයක්. සතියකට නයිට් තුනක් කරල ඕටී පාරක් දාගන්ඩ පුළුවං. ඒ කාලෙ ඕක අයත් වුනේ ජඩමාධ්‍ය අමාත්‍යාංශෙට. ගරු ජඩමාධ්‍ය ඇමති හිටියෙ කෙහෙළිය රඹුක්වැල්ල කියල කෙනෙක්. ඉතිං හිටපු නවක පියන්ලා ඔක්කොම ගම්පොළ සහ නුවර අවට. උං ගෙදර යන්නෙ සිකුරාද හවස. ආපහු එන්නෙ සඳුද උදේ. ඉතිං උං කියනව, ගෙදර ගිහිං ඇඳේ නින්ද යන්නෑලු, ඔපිස්සෙකේ මේස උඩ නිදාගෙන පුරුදු වෙලා.

අර ඉහළිං කියපු කොස්තා දවසක් රාජකාරි වැඩකට වාහනයක් අරං ගියා. එයත් එක්ක ගිය ඩ්‍රයිවර් ගිහිං ආවට පස්සෙ ගිය ගමනයි, මීටරෙයි ලියද්දි රනිං චාට් එකේ, (එහෙම එකක් තියෙනව. සිංහලෙං කියන්නෙ ධාවන සටහන් පොත. හැම වාහනයක්ම ආ ගිය ගමං සහ මීටර් රීඩිං ඒකෙ ලියන්ඩ ඕනෙ.) ගියපු නිලධාරියගෙ නම අමතක වෙලා. ලිව්වලු “වඩිග පටුන මහතා සමඟ ජිනසේන ආයතනයට ගොස් අාපසු ආමි.“ කියල. කොස්තගෙ පොටෝ එක ඕං පහල තියෙනව. හිතාගන්න එකයි ඇත්තෙ ඇයි එහෙම ලිව්වෙ කියල.

ලොකු කරල බලන්ඩ ඕන්නං ක්ලික් කරන්ඩ කොස්තගෙ නහය
දවසක් ප්‍රෙස් එකේ තැපැල් අංශෙට ලියුමක් ආව. ඒකෙ ඇඩ්‍රස්කරල තිබ්බෙ “ලෝකෙ ලොකුම පොල් බූරුවට“ කියල. ඉතිං තැපැල් කාරය හිතල තියෙනව, එයා ඉන්නෙ ප්‍රෙස් එකේම තමයි කියල. මං ගියා තැපැල් අංශෙට ලියුං වගෙයක් රෙජිස්ටර් කරන්ඩ බාර දෙන්ඩ. එතකොට තමයි ඔය ලියුම දැක්කෙ. 

මං ඇහුව ඉතිං තැපෑල කරපු සීසී නෝනගෙං “මොකද කරන්නෙ ඔය ලියුමට? “ කියල.

“වෙන මොනව කරන්ඩද?“ එයා ඇහුව. “මේක අපි කඩන්නැතුව යවනව රජයේ මුද්‍රණාලාධිපතිට. නමට එවන ලියුං කඩන් නෑනෙ...“ කියල.

ප්‍රෙස් එකේ කාර්යාල නවීකරණය කරන්ඩ පටංගත්ත ඕං සැරයක්. පටංගත්තෙ ලක්ෂ ගාණක් වියදං කරල පිරිමි ටොයිලට් එක හදල. ඒක හදල විවෘත කරන කාලෙ තමයි, අර ජනාධිපති සිරිසේනගෙ මල්ලි, වැලිරාජු පොරෝපාරක් කාල මැරුණෙ. ඉතිං අපි එයාට කරන ගෞරවයක් විදිහට ටොයිලට් එකේ දොරට උඩිං එයාගෙ පොටෝ එකක් ගැහුව... ඒකෙ පොටෝ එකක් මං අරගෙන තිබුණ. දැං ඒක හොයාගන්ඩ නෑ. ඒක මේ වගේ එකක්... 

දවසක් ජේපී කෙනෙක් ගාවට ගිහිං කොල්ලෙක් දිවුරුම් පෙස්සමක් ලියාගන්ඩ, ඒ ජේපී ඔය දේශපාලනේ පදනමට ජේපී කම ලැබුණ කෙනෙක්... ලියල දුන්නලු දිවුරුම් ප්‍රකාශය මේං මෙහෙම:

“දෙය්යම්පා... බුදුම්පා... අම්මාපල්ල... මේ සුන‍ෙත් කුමාර කියන ළමයා හරිම හොඳයි. මං ඒක ඕනෙම දේවාලෙක දිවුරල කියන්ඩ ලෑස්තියි...!“

මයෙ හිතේ දැනට ඔය ඇති කියල. දැංවත් පාඩං කරන්ඩ නැගිට්න්න ඕනෙ ඒ හිංදා නවත්තන්නං. ආයෙ මතක් උනොත් තව කොටසක් ලියන්නං...

මේ ඉන්නෙ මං ප්‍රෙස් එකට ගිය මුල්ම දවස්වල දැකගන්ඩ ලැබුණ, ඒකෙ හිටපු පිළිගැනීමේ නිලධාරී වගේ හාදය.


පාඩං වැඩ හංද කාගෙවත් බ්ලොග්වලට යන්ඩ බැරි උනා... ඒ ගැන සමාවෙන්ඩල. විභාගෙ ඊළඟ මාසෙ අනිවා තියනව කියල විභාග කොමසාරිස් ජනරාල් දහ අතේ දිවුරල කියල තියෙනව. ඒ හංද ඔක්තෝබර් මැද ඉඳං ආයෙම මට පියාපත් දිගාරින්ඩ පුළුවං වෙයි...

Tuesday, September 12, 2017

රොසෙට්ටා පාෂාණය - 01

http://www.britishmuseum.org/collectionimages/AN00016/AN00016456_004_l.jpg

රොසෙට්ටා පාෂාණය, ඊජිප්තුවේ පාලකයා ව සිටි පස්වැනි ටොලමි රජුගේ නමින්, ක‍්‍රි. පූ. 196 දී මෙම්ෆිස් හිදී නිකුත් කරන ලද රාජකීය නියෝගයක් සටහන් කරන ලද රළු ආගනේය පාෂාණ පුවරුව කි. මෙම නියෝගය පිටපත් තුනකින් සටහන් කර තිබේ. ඒ, සෙල් පුවරුවේ ඉහළ කොටස පෞරාණික ඊජිප්තු රූපාක්ෂර හෙවත් හයිරෝරේඛනයෙන් (හයිරොග්ලිපික් / hieroglyphic) ද, මැද කොටස ඊජිප්තු ව්‍යවහාර අක්ෂර මාලාවෙන් (demotic) ද, පහළ කොටස පුරාණ ග‍්‍රීක භාෂාවෙන් ද, වශයෙනි. මෙම පිටපත් තුනෙහි ම අඩංගු වන්නේ එකම පෙළ වූ බැවින් (යම් සුළු වෙනස්කම් සහිතව), ඊජිප්තු හයිරෝරේඛනය පිළිබඳ නව ලෝකය දැනුවත් වීමට මූලික සාධකය වූයේ රොසෙට්ටා පාෂාණය යි.

මෙම පුවරු ලිපිය මුලින් දේවස්ථානයක් තුළ ප‍්‍රදර්ශනය කෙරෙන්නට ඇතත්, මුල් ක‍්‍රිස්තියානි අවධියේ හෝ මධ්‍යකාලීන යුගයේ දී එතැනින් ඉවත් කරන ලදුව, පසුකාලීනව නයිල් ඩෙල්ටාවේ පිහිටි රෂීඞ් (රොසෙට්ටා) නම් නගරය ආසන්නයේ ජූලියන් බළකොටුව ඉදිකිරීමේ දී යොදාගෙන තිබේ. නැපෝලියන් බොනපාර්ට් යටතේ දියත් කෙරුනු ඊජිප්තු යුධ ප‍්‍රයාණයේ දී, එක් ප‍්‍රංශ සොල්දාදුවෙකු විසින් 1799 දී මෙය නැවත සොයාගන්නා ලදි. මෑතකාලීනව සොයාගන්නා ලද මුල්ම පෞරාණික ද්විභාෂක ලියවිල්ල වීම නිසා ත්, එතෙක් පරිවර්තනය කිරීමට අපොහොසත් ව පැවති පුරාණ ඊජිප්තු භාෂාව කියවීමට එයින් ලැබිය හැකි අත්වැල නිසා ත්, රොසෙට්ටා පාෂාණය ලොව පුරා ජනයා ගේ මහත් සැළකිල්ල ඇද ගත්තේ ය. නොබෝ කලකින්, එහි ස්පර්ෂ සටහන් සහ හුණු බදාමයෙන් ගන්නා ලද අච්චු පිටපත් යුරෝපයේ කෞතුකාගාර සහ අධ්‍යයනය කරන්නන් අතර පැතිරෙන්නට විය. මේ අතර, 1801 දී බි‍්‍රතාන්‍ය හමුදා විසින් ප‍්‍රංශ වරුන් ඊජිප්තුවේ දී පරාජය කරන ලද අතර, ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ දී ප‍්‍රංශ හමුදා යටත් වීම අනුව මෙම පාෂාණය බි‍්‍රතාන්‍ය අයිතියට පත් විය. එය ලන්ඩනයට ප‍්‍රවාහනය කරන ලදුව, 1802 සිට බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ මහජන ප‍්‍රදර්ශනයට තබා තිබේ. මෙය එම කෞතුකාගාරයේ ඇති වැඩිම පිරිසක් විසින් නරඹන ලද අයිතමය යි.

මෙම පාෂාණය, නැවත සොයාගත් දින සිට ම විවිධාකාර දේශාභිමානීන්ගේ විරෝධතාවන් ට කේන්ද්‍ර වී තිබේ. මේ අතර, නැපෝලියානු යුධ ප‍්‍රයාණ කාලයේ දී ප‍්‍රංශයේ සිට බි‍්‍රතාන්‍යය ට හිමිකාරීත්වය මාරු වීම, අභිලේඛනය කියවීමේ දී යංග් සහ ෂැම්පෝලියන් ඉටුකළ මෙහෙවරේ සාපේක්ෂ වටිනාකම, සහ 2003 සිට පාෂාණය නැවත ඊජිප්තුවට ලබාදෙන ලෙස කෙරෙන ඉල්ලීම්, ප‍්‍රධාන වෙයි.

1803 දී මෙහි ග‍්‍රීක පෙළ මුලින් ම සම්පූර්ණ වශයෙන් පරිවර්තනය කරන ලදුව, එහි සඳහන් වන රාජකීය නියෝගය පිළිබඳ අධ්‍යයනයන් ඇරඹිය හැකි විය. ඊජිප්තු පෙළෙහි පරිවර්තනය, ශෝං-ෆ‍්‍රාංස්වා ෂැම්පෝලියන් (Jean-François Champollion) විසින් පැරිසියේ දී ප‍්‍රකාශයට පත් කෙරුණේ ඉන් වසර 20 කට පසු හෙවත් 1822 දී ය. විද්වතුන් හට අනෙකුත් පැරණි ඊජිප්තු අභිලේඛන සහ සාහිත්‍යය නිසැක වශයෙන් කියවීමට ඊටත් වඩා වැඩි කාලයක් ගත විය. මෙහි පරිවර්තන කාර්යයේ ප‍්‍රධාන පියවරයන් වූයේ,

1. පාෂාණයේ සඳහන් වන්නේ එකම පෙළෙහි වෙනස් අනුවාදයන් තුනක් බව හඳුනා ගැනීම (1799),
2. ඊජිප්තු ව්‍යවහාර බසින් සටහන් ලිපියෙහි විදේශීය නම් ලිවීම සඳහා ශබ්ද විද්‍යාත්මක සංකේත (Phonetic Characters) භාවිතා කර ඇති බව සොයාගැනීම (1802),
3. හයිරෝරේඛිත පෙළෙහි ද එවැනි ම භාවිතයක් ඇති බව සහ එහි ඊජිප්තු ව්‍යවහාර බසින් වූ පෙළ සමඟ පැතිර පවත්නා සමානකම් ඇති බව සොයාගැනීම (තෝමස් යංග් (Thomas Young) 1814),
4. විදේශීය නම් වලට අමතරව ස්වදේශික ඊජිප්තු වචන සඳහා ද ශබ්ද විද්‍යාත්මක සංකේත භාවිතා කර ඇති බව සොයාගැනීම (ෂැම්පෝලියන් 1822-1824) ආදිය යි.

මෙකී රාජකීය නියෝගය ම සටහන් වූ කැඞී ගිය අසම්පූර්ණ පිටපත් දෙකක් ද පසුව සොයාගෙන ඇති අතර, ඊට සමාන ඊජිප්තු ද්විභාෂික සහ ත්‍රෛභාෂික අභිලේඛන කිහිපයක් ද මේ වන විට ප‍්‍රසිද්ධ කර තිබේ. ඒ අතර, තරමක් පැරණි ටොලමියානු රාජකීය නියෝගයන් දෙකක් ද (ක‍්‍රි. පූ. 238 දී නිකුත් කෙරුණු කැනෝපස් හි රාජකීය නියෝගය සහ ක‍්‍රි. පූ 218 දී පමණ සිවුවන ටොලමි රජු විසින් නිකුත් කරන ලද මෙම්ෆිස් හි රාජකීය නියෝගය) වේ. එහෙයින් රොසෙට්ටා පාෂාණය අසමසම පුරාවස්තුවක් නොවූව ද, පුරාණ ඊජිප්තු සාහිත්‍යය සහ ශිෂ්ඨාචාරය තේරුම් ගැනීමේ යතුර වීමෙන් හිමිකරගත් වැදගත්කම අහෝසි නොවේ.  ඕනෑම තාක්ෂණයක නව දැනුම සොයා යාමේදී අත්‍යවශ්‍ය වන සාධකයන් හැඳින්වීමේදී ‘රොසෙට්ටා පාෂාණය’ යන පදය පර්යාය පදයක් ලෙස ඉංග‍්‍රීසියේ දී භාවිතා කෙරෙන තාක් දුරට මෙම පුරාකෘතිය ප‍්‍රචලිත වී තිබේ.

මූලික තොරතුරු

ප‍්‍රංශ ගවේෂණයේ දී සොයාගන්නා ලදුව, 1801 දී බි‍්‍රතාන්‍ය හමුදා යටතට පත් කෙරුණු මානවකෘති (artifacts) ඇතුළත් සමකාලීන නාමාවලියක රොසෙට්ටා පාෂාණය ලැයිස්තුගත කර ඇත්තේ ‘‘රොසෙට්ටා හි හමු වූ ... අභිලේඛන තුනක් අඩංගු කළු ග‍්‍රැනයිට් පාෂාණයක්’’ යනුවෙනි. එය ලන්ඩනයට ගෙන ඒමෙන් ටික කලකට පසුව, පාෂාණය මත වූ ලේඛනය කියවීමට පැහැදිලි වන සේ සුදු හුණු වලින් වර්ණ ගන්වන ලද අතර, නරඹන්නන්ගේ ඇඟිලි තුඩු වලින් ආරක්ෂා වීම සඳහා මුහුණත කානෝබා ඉටි ස්තරයකින් ආවරණය කරන ලදි. එයින් පාෂාණයට කළු පැහැයක් ලැබුණු හෙයින්, එය කළු බැසෝල්ට් පාෂාණයක් යැයි සමහරුන් තුළ වැරදි වැටහීමක් ද ඇති විය. 1999 දී පාෂාණය ශුද්ධ කිරීමේදී මෙකී නවාංග ඉවත් කරන ලදින්, එහි මුල් පැහැය වූ අඳුරු අළු පැහැය ද, එහි ස්ඵටිකායික ව්‍යූහයේ දිස්නය ද, ඉහළ වම් කොණ හරහා දිවුන රෝස පැහැ වයිරම ද නැවත මතු විය. මෙය ක්ලෙම් ඊජිප්තු පාෂාණ නියැදි එකතුව (Klemm collection of Egyptian rock samples) හා සැසඳීමේ දී අස්වාන් ප‍්‍රදේශයේ එලිෆන්ටයින් (Elephantine) හි බටහිර කොටසේ, නයිල් නදියේ බටහිර ඉවුරේ ජෙබෙල් ටින්ගාර් (Gebel Tingar) නම් කුඩා ආගනේය පාෂාණ නිධියෙන් ලද පාෂාණයකට ඉතා කිට්ටු සාම්‍යත්වයක් දක්වන බව සොයාගන්නා ලදි. රෝස පැහැති වයිරම එම ප‍්‍රදේශයේ හමුවන ආගනේය පාෂාණයන්ට ආවේණික ලක්ෂණය කි.

රොසෙට්ටා පාෂාණය දැන් සෙ. මී. 114.4 (අඟල් 45) ක උපරිම උසකින් ද, සෙ. මී. 72.3 (අඟල් 28.5) ක පළලකින් ද, සෙ. මී. 27.9 (අඟල් 11) ක ගණකමින් ද යුක්ත වේ. එහි බර ආසන්න වශයෙන් කි. ග‍්‍රෑ. 760 (රා. 1,700) කි. ඉදිරිපස මුහුණත ඔප දමා ඇති අතර, අභිලේඛනය එහි මතුපිට නොගැඹුරුව කොටා තිබේ. පාෂාණයේ පැති සුමට කර ඇති නමුත්, පසුපස පෘෂ්ඨය නිමවා ඇත්තේ රළු ලෙසිනි. ඒ අනුව, අනුමාන කළ හැක්කේ එහි පසුපස දැකගත නොහැකි වන පරිදි මෙම පුවරු ලිපිය පිහිටුවා තිබෙන්නට ඇති බව ය.

මූලාකෘතිය
මුල් පුවරු ලිපිය මෙවැන්නක් වන්නට ඇත
https://en.wikipedia.org/wiki/
File:RosettaStoneAsPartOfOriginalStele.svg

රොසෙට්ටා පාෂාණය, වඩා විශාල සෙල් පුවරුවක කොටසකි. පසුකාලීනව රොසෙට්ටා ප‍්‍රදේශයේ සිදු කෙරුණු විමර්ශන වලින් එහි අනෙකුත් කොටස් සොයාගත හැකි වී නැත. සිදු වී ඇති හාණිය නිසා මෙම අභිලේඛනයේ අඩංගු පිටපත් තුනෙන් එකක් වත් උදක් ම සම්පූර්ණ තත්ත්වයේ නොමැත. වඩාත් ම හාණි වී ඇත්තේ ඉහළ කොටසේ සටහන් කර ඇති ඊජිප්තු හයිරෝරේඛිත පිටපත යි. එයින් ඉතිරිව ඇත්තේ අවසන් පේළි 14 පමණක් වන අතර, ඒ පේළි සියල්ලම දකුණු පසින් ද, පේළි 12 ක් වම් පසින් ද කැඞීගොස් ඇත. මැද කොටසේ ඇති ඊජිප්තු ව්‍යවහාර බසින් ලිඛිත පිටපත හොඳින් ම ආරක්ෂා වී ඇති කොටස යි. එහි ඇති පේළි 32 න් 14 ක් දකුණු පසින් මඳ වශයෙන් හාණියට පත් ව ඇත. අවසානයට ඇති ග‍්‍රීක පිටපතෙහි පේළි 54 ක් ඇති අතර, ඉන් පේළි 27ක් සම්පූර්ණ ලෙස ආරක්ෂා වී ඇත. පාෂාණයේ පහළ කෙළවර කෝණාකාරව කැඞී ඇති බැවින්, ග‍්‍රීක පෙළෙහි ඉතිරි කොටස හාණියට පත්ව ඇත. 

මෙහි සඳහන් වන රාජකීය නියෝගය ම ඇතුළත් වන වෙනත් අභිලේඛන ද ඇතුළු ව අනෙකුත් පුවරු ලිපි සැසඳීමෙන්, හයිරෝරේඛිත පිටපතෙහි සම්පූර්ණ දිග සහ මුල් පුවරු ලිපියෙහි විශාලත්වය ඇස්තමේන්තු කළ හැක. මීට මඳ කාලයකට පෙර හෙවත්, තුන්වන ටොලමි රජු ගේ පාලන කාලයේ ක‍්‍රි. පූ. 238 දී පිහිටුවන ලද කැනෝපස් රාජකීය නියෝගය සෙ. මී. 219 (අඟල් 86) ක් උසින් ද, සෙ. මී. 82 (අඟල් 32) ක් පළලින් ද, යුතු වන අතර, එහි හයිරෝරේඛිත පිටපතෙහි පේළි 36 ක් ද, ඊජිප්තු ව්‍යවහාර බසින් යුත් පිටපතෙහි පේළි 73 ක් ද, ග‍්‍රීක පිටපතෙහි පේළි 74 ක් ද අඩංගු වේ. පිටපත් තුනම දිගින් සමාන ය. මෙවැනි සැසඳීම් වලින්, නිගමනය කළ හැක්කේ රොසෙට්ටා පාෂාණයෙහි හාණියට පත් ඉහළ කොටසේ තවත් හයිරෝරේඛිත පේළි 14 ක් හෝ 15 ක් හෙවත් සෙ. මී. 30 (අඟල් 12) ක් උස කොටසක් පැවති බව යි. කැනෝපස් පුවරු ලිපියේ ඇති පරිදි මෙහි ද, අභිලේඛනයට ඉහළින්, රජතුමා දෙවියන් හමුවනු දැක්වෙන කැටයමක් සහ ඊටත් ඉහළින් පියාපත් සහිත මණ්ඩලයක කැටයමක් තිබෙන්නට ඇත. මෙවැනි සමකිරීම් ද, පාෂාණයේ ම හයිරෝරේඛනයෙන් සඳහන් වන ‘‘ස්ථූණය’’ (Stela) යන වචනයද නිසා මුල් පුවරුවේ මුදුන වක‍්‍රාකාර වන්නට ඇති බව සිතිය හැක. ඒ අනුව, මුල් පුවරුව සෙ. මී. 149 (අඟල් 59) ක් උස් වන්නට ඇති බව අනුමාන කෙරේ.

මෙම්ෆිස් රාජකීය නියෝගය සහ එහි අන්තර්ගතය

මෙම පුවරු ලිපිය, පස්වන ටොලමි රජු ගේ අභිෂේකයෙන් පසු පිහිටුවා ඇති අතර, නව පාලකයාගේ දිව්‍යමය ආගමික සමාජය පිහිටුවීමේ නියෝගය එහි සටහන් කර තිබේ. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මෙම්ෆිස් හි රැස්වූ පූජකවරුන් ගේ සම්මේලනයක් මඟිනි. එහි දිනය, මැසිඩෝනියානු දින දර්ශනයෙන් ‘‘4 සැන්ඩිකස්’’ (4 Xandicus) යනුවෙන් සහ ඊජිප්තු දින දර්ශනයෙන් ‘‘18 මෙෂිර්’’ (18 Meshir) යනුවෙන් දක්වා ඇත. එය ක‍්‍රි. පූ. 196 මාර්තු මස 27 වන දිනයට අනුරූප වෙයි. වර්ෂය හඳුන්වා ඇත්තේ පස්වන ටොලමි රජු ගේ නව වන රාජ්‍ය වර්ෂය (ක‍්‍රි. පූ. 197/196 ට සමපාත වන) ලෙස ය. මෙය, එම වර්ෂයේ දේව පූජා පැවැත්වූ පූජකවරුන් හතර දෙනෙකුගේ නම් වලින් ද තහවුරු කර ඇත. ඔවුන් වන්නේ, මහා ඇලෙක්සැන්ඩර් ගේ ත්, ඔහුගෙන් පසු ඊජිප්තුවේ රජ ප‍්‍රාප්ත ටොලමිවරුන් පස් දෙනා ගේ ත් දිව්‍යමය ආගමික සමාජයන් හි පූජකවරයා වූ ද, ඒටස් ගේ පුත‍්‍රයා වූ ද, ඒටස් (Aëtus), සහ ඔහුගේ වෘත්තීය සගයන් තිදෙනා ය. පසුව කී තිදෙනා, බෙරනීස් යුඑර්ජෙටිස් (Berenice Euergetis) (තෙවන ටොලමි රජු ගේ බිරිඳ), ආර්සිනෝ ෆිලඩෙල්ෆා (Arsinoe Philadelpha) (දෙ වන ටොලමි රජු ගේ බිරිඳ මෙන්ම සොහොයුරිය) සහ ආර්සිනෝ ෆිලෝපාටර් (Arsinoe Philopator) (පස්වන ටොලමි රජුගේ මව) යන අය හට වන්දනා කිරීම් මෙහෙයවූ පූජකයෝ ය. ග‍්‍රීක සහ හයිරෝරේඛිත පිටපත් වල තවත් දිනයක් සඳහන් වේ. එය සමරූපී වන්නේ පස්වන ටොලමි රජුගේ අභිෂේකයෙහි නිල සංවත්සර වන ක‍්‍රි. පූ. 197 නොවැම්බර් මස 27 වැනි දිනයට ය. මෙයට පටහැණි අයුරින්, අභිලේඛනය පිහිටුවන ලද දිනය සහ අභිෂේකයේ සංවත්සර දිනය ලෙස ඊජිප්තු ව්‍යවහාර බසින් යුත් පිටපතෙහි සඳහන් වන්නේ මාර්තු මාසයේ අනුගාමී දින දෙක කි. මෙවැනි පරස්පරතාවයක් පැවතීමට හේතුව අපැහැදිළි වුවත්, මෙම නියෝගය ක‍්‍රි. පූ. 196 දී නිකුත් කර ඇති බවත්, ටොලමිවරුන් ගේ පාලනය ඊජිප්තුව පුරා නැවත ස්ථාපිත කිරීම එහි අරමුණ වූ බවත් පැහැදිළි ය. 

මෙම රාජකීය නියෝගය නිකුත් කරන ලද්දේ ඊජිප්තු ඉතිහාසයේ කැළඹීම් බහුල අවධියකදී ය. සිවුවන ටොලමි ෆිලොපාටර් (Ptolemy IV Philopator) සහ ආර්සිනෝ බිසව ගේ පුත‍්‍රයා වූ පස්වන ටොලමි එපිෆානිස් (Ptolemy V Epiphanes) (ක‍්‍රි. පූ. 204 - 181) පස් හැවිරිදි වියේ දී රජකමට පත්වූයේ ඔහුගේ දෙමාපියන් හදිසියේ ම ඝාතනය කෙරුනු හෙයිනි. සමකාලීන මූලාශ‍්‍ර අනුව මෙම ඝාතනය, සිවුවන ටොලමිගේ උප භාර්යාවක් වූ ඇගතෝක්ලියා (Agathoclea) ගේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලය කි. මෙම කුමන්ත‍්‍රණකාරීහූ පස්වන ටොලමි රජු ගේ භාරකාරයන් හැටියට වසර දෙකක් පුරා රට පාලනය කළහ.  වසර දෙකකට පසු ට්ලෙපොලිමස් (Tlepolemus) නම් සේනාධිපති වරයා යටතේ කැරැල්ළක් ඇති වූ අතර, ඇගතෝක්ලියා සහ ඇගේ පවුලේ අය ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ දී චණ්ඩ ජන සමූහයක් විසින් දණ්ඩනයට පත් කරන ලදි. ඉන් පසුව ක‍්‍රි. පූ. 201 දී එවක සිටි මහ ඇමති වරයා වූ ඇලිසියාවේ ඇරිස්ටොමේනිස් (Aristomenes of Alyzia) විසින් ට්ලෙපොලෙමස් ළමා රජු ගේ භාරකාරත්වයට පත්කරන ලදි. 

ඊජිප්තුවේ සීමා වලින් බැහැර දේශපාලනික බලවේග විසින් ටොලමි රජුගේ පාලන ප‍්‍රදේශයේ අභ්‍යන්තර ආරවුල් තව තවත් කූප්පන ලදි. මැසිඩෝනයේ පස්වන ෆිලිප් රජු (Philip V) සහ තෙවන මහා ඇන්ටියෝකස් රජු (Antiochus III the Great), ඊජිප්තුවේ යටත් විජිත තමන් අතර බෙදාගැනීමේ ගිවිසුමකට ද එළඹුණ හ. ක‍්‍රි. පූ. 198 පැනියම් (Panium) හි යුද්ධය අතරතුර, ෆිලිප් රජ කෙරියා (Caria) සහ ත්‍රේස් (Thrace) හි දිවයින් සහ නගර කිහිපයක් අල්ලා ගත්තේ ය. එම යුද්ධයේ ප‍්‍රතිඵල වශයෙන් ජුදයාවද ඇතුළත්ව ලෙබනන්-සිරියානු තැනිතලාවේ බලය ටොලමිවරුන්ගෙන් සෙල්‍යුසිඞ් වරුන් (Seleucids) අතට පත් විය. ඒ අතර, දකුණු මිසරයේ සිවුවන ටොලමි රජ දවස ආරම්භ වී දිග්ගැස්සෙමින් පැවති කැරැල්ලක් විය. එයට නායකත්වය ලැබුනේ හෝර්වෙන්නෙෆර් (Horwennefer) සහ ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වූ අන්ක්හ්වෙන්නෙෆර් (Ankhwennefer) විසිනි. පස්වන ටොලමි දොළොසැවිරිදි වියේ දී මෙම්ෆිස් හි දී නිලවශයෙන් අභිෂේක ලබන විට (තම රාජ්‍ය කාලයෙන් සත් වසරකට පසු) යුද්ධය සහ අභ්‍යන්තර කැරැල්ල යන ගැටළු දෙකම ඔහු ඉදිරියේ විය. රොසෙට්ටා පාෂාණයේ ඇතුළත් මෙම්ෆිස් හි රාජකීය නියෝගය නිකුත් කරන ලද්දේ මෙම අවස්ථාවේ දී ය. 

මෙම පුවරු ලිපිය, ප‍්‍රදාන පුවරු ලිපි සඳහා වඩා පසුකාලීන උදාහරණයකි. ප‍්‍රදාන ලිපිවල සාමාන්‍යයෙන් රාජ්‍ය පාලකයා විසින් රටේ සිටින පූජක වර්ගයා හට බදු නිදහසක් ලබා දීමක් ගැන සඳහන් වේ. ඊට වසර 2,000 කට පෙර සිට ම, පාරාවෝ රජවරුන් විසින් මෙවැනි ප‍්‍රදාන පුවරු ලිපි පිහිටුවා තිබේ. එවැන්නකට ඇති මුල්ම උදාහරණය හමුවන්නේ ඊජිප්තුවේ පුරාණ රාජධානියෙනි (Old Kingdom). පැරණි කාලවල මේවා නිකුත් කරන ලද්දේ රජතුමා ම විසින් වන නමුත්, මෙම්ෆිස් හි නියෝගය නිකුත් කර ඇත්තේ, සාම්ප‍්‍රදායික මිසර සංස්කෘතිය පවත්වාගෙන යන්නන් වශයෙන් පූජකවරුන් විසිනි. මෙම නියෝගයේ, පස්වන ටොලමි රජු දේවස්ථාන වලට රිදී සහ ධාන්‍ය වලින් යුක්ත ප‍්‍රදානයක් කළ බව වාර්තා කර තිබේ. එසේ ම, ඔහුගේ පාලන කාලයෙන් අට වන අවුරුද්දේ දී, නයිල් නදියේ සුවිශේෂී අධික ජලගැල්මක් ඇතිවූ අවස්ථාවක, රජු විසින් වේලි බඳවා, අමතර ජලය ගොවියන්ගේ අභිවෘද්ධිය උදෙසා යොමු කරවන ලද බව ද එහි සඳහන් වේ. මෙකී අනුග‍්‍රහයන් ට පිළිගෙවුම් ලෙස, රජතුමාගේ උපන්දිනය සහ අභිෂේක වූ දිනය වාර්ෂිකව සැමරීමට ත්, මිසරයේ සියළුම පූජකවරුන් රජතුමා හට ද, අනෙකුත් දෙවියන් හා එක්කොට මෙහෙ කිරීමට ත්, පූජක ප‍්‍රජාව පොරොන්දු වෙති. පුවරු ලිපිය අවසන් කෙරෙන්නේ, එහි ‘දෙවියන්ගේ භාෂාවෙන්‘ (හයිරෝරේඛනයෙන්) ද, ‘ලේඛන භාෂාවෙන්’ (ඊජිප්තු ව්‍යවහාර භාෂාවෙන්* ද, ‘ග‍්‍රීකයන්ගේ භාෂාවෙන්’ ද සකස් කරන ලද පිටපත් සෑම දේවස්ථානයක ම පිහිටුවිය යුතු බව සඳහන් කරමිනි. මෙකී භාෂාත‍්‍රය එකල ටොලමියානු රාජ්‍යයේ නිල භාෂාවන් විය. 

මහජනතාව මත සාධනීය පාලනයක් පවත්වාගැනීමේ දී පූජක වර්ගයාගේ ප‍්‍රසාදය හා අනුග‍්‍රහය ආරක්ෂා කර ගැනීම ටොලමිවරුන් හට අත්‍යවශ්‍ය සාධකයක් විය. රජු අභිෂේකය ලැබූ මෙම්ෆිස් හි ප‍්‍රධාන පූජක වරුන් විශේෂයෙන් ම වැදගත් විය. ඒ, ඔවුන් එවක වූ ඉහළම ආගමික අධිකාරිය වූ බැවිනු ත්, ඔවුන් රජධානිය පුරා සිය බලපෑම පතුරවාගෙන සිටි බැවිනුත් ය.  ටොලමිවරුන්ගේ පාලන කේන්ද්‍රය පැවති ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ දී නොව, පුරාණ ඊජිප්තුවේ අගනුවර වූ මෙම්ෆිස් හි දී මෙම නියෝගය නිකුත් කරවීමෙන්, පූජකවරුන් ගේ ක‍්‍රියාකාරී සහයෝගය දිනා ගැනීමට ළාබාල රජු කෙතරම් උත්සුක වීද යන්න පැහැදිළි වේ. එහෙයින්, මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් යටත් කරගත්තාට පසු ඊජිප්තු රජය ග‍්‍රීක භාෂාවෙන් නිල කටයුතු කරන්නට වූ නමුත්, මෙම්ෆිස් පුවරු ලිපිය ත්, ඊට කලින් නිකුත් කරන ලද නියෝග දෙකත් ඊජිප්තු භාෂා වලින් යුත් පිටපත් ද ඇතුළත් කර සකස් කර ඇත. එමඟින්, උගත් පූජක ප‍්‍රජාව හරහා මහජනතාව ගේ අනුකූලතාවය අපේක්ෂා කර තිබේ. 

රොසෙට්ටා පාෂාණයේ සටහන් ව ඇති පිටපත් තුනෙහි සුළු සුළු වෙනස්කම් පවතින හෙයිනුත්, පුරාණ භාෂාවන් පිළිබඳ නූතන අවබෝධය තවමත් දියුණු වෙමින් පවතින නිසාත්, මෙහි නියත පරිවර්තනයක් තවමත් ඉදිරිපත් වී නැත. ආර්. එස්. සිම්සන් විසින් ඉදිරිපත් කරන ලද, ඊජිප්තු ව්‍යවහාර බසින් යුතු පිටපතෙහි යාවත්කාලීන ඉංග‍්‍රීසි පරිවර්තනයක් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ වෙබ් අඩවියේ දක්වා තිබේ. එඞ්වින් ආර්. බෙවන් (Edwyn R. Bevan) විසින් සිය ‘ටොලමි පෙළපත’ (The House of Ptolemy)  (1927) නම් පොතෙහි ඇතුළත් කරන ලද සම්පූර්ණ පරිවර්තනය සමඟ සැසැඳිය හැක. එය ග‍්‍රීක පිටපත මත පදනම් ව ඇති අතර, ඊජිප්තියානු පිටපත් දෙක සමඟ එහි දැක්වන වෙනස්කම් පාද සටහන් මඟින් දක්වා ඇත. බෙවන් මහතාගේ පරිවර්තනය ආරම්භ කෙරෙන්නේ (සංක්ෂිප්තව) මෙසේ ය. 

‘සිය පියාණන්ගෙන් රාජකීයත්වය උරුම කරගත්, කිරීටවල ස්වාමියා වන, කීර්තිමත්, මිසර රාජ්‍යය තහවුරු ලෙස පිහිටවූ, දෙවියන් වෙත සැදැහැවත්, තම සතුරන් ට වඩා ශ්‍රේෂ්ඨ, මනුෂ්‍යයන්ගේ ශිෂ්ඨ දිවිපෙවෙත නැවත ගොඩනැංවූ, වසර තිහක් පුරා පවත්වන ලද භෝජන සංග‍්‍රයන් ගේ ස්වාමියා වූ ද, මහා හෙෆයිස්ටස් හට සම, සූර්යයා වැනි රජෙකු වන, ඉහළ සහ පහළ ප‍්‍රදේශයන් හි රජු වන, ෆිලොපාටර් දෙවිවරුන් ගේ සුජාත පුතණුවන් වන, හෙෆයිස්ටස් විසින් අනුමත කරන ලද, සූර්යයා විසින් විජයග‍්‍රහණය ට පමුණුවන ලද, සීයස් ගේ ජීවමාන පිළිරුව වන, සූර්යයා ගේ පුත‍්‍රයා වන, ප්ටාහ් ගේ ආදරයට ලක් වන, සදාකාලික ටොලමි නමැති, ළාබාල තැනැත්තාගේ රාජ්‍ය කාලයෙන් නව වන වර්ෂයේ දී, ඇලෙක්සැන්ඩර් ගේ පූජකයා වූ, ඒටස්ගේ පුත් ඒටස් ....

‘නම් නායක පූජකවරයා ද, දිවැසිවරුන් ද, දෙවියන්ගේ වස්ත‍්‍ර සැකසීම සඳහා ඇතුළු දේවාලයන් ට පිවිසෙන්නන් ද, පියාපත් දරන්නන් ද, පූජනීය ලේකම් වරුන් ද, අනෙකුත් සියළුම පූජකවරුන් ද ... මෙම්ෆිස් හි දේවස්ථානයේ රැස් වී මෙම දින, මෙසේ ප‍්‍රකාශයට පත් කරන ලදි,
ප්ටාහ් ගේ ආදරයට පත්, එපිෆානිස් යුකාරිස්ටස් (Epiphanes Eucharistos) දෙවියන් වන, ටොලමි රජ සහ ආර්සිනෝ බිසව හෙවත් ෆිලොපාටර් දෙවිවරුන්ගේ පුත‍්‍රයා වන, සදාකාලික ටොලමි රජු, සිය රාජ්‍ය පාලන කාලය තුළ මිනිසුන් සහ සෙසු සියල්ලන් සමෘද්ධිමත් වන සේ, දේවස්ථානයන් සහ ඒවායේ වසන්නන් හට ද, සිය යටත් වැසියන් හට ද, මහත් අර්ථලාභ සළස්වා, දෙවියෙකු සහ දෙවඟනකගෙන් සුජාත දෙවියෙකු වන හෙයින් ද (අයිසිස් ගේ සහ ඔසයිරිස් ගේ පුත‍්‍රයා වන, සිය පියා වන ඔසයිරිස් ගේ පළිය ගත් හෝරස් මෙන්), දයාභරිත ලෙස දෙවිවරුන් වෙත හැරෙමින්, දේවස්ථානයන් හට මුදලින් සහ ධාන්‍යයෙන් ආදායම් පිළිගන්වා, මිසරය සමෘද්ධිමත් කරනු වස් බොහෝ වියදම් දරා, දේවස්ථාන පිහිටුවා, ස්වකීය සියළුම ක‍්‍රියාමාර්ගයන් අතින් ත්‍යාගශීලී වෙමින්, ඊජිප්තුවෙන් තමන් හට ලැබෙන අයබදු ආදායම් සමහරක් මුළුමණින්ම කපා හැර, අනෙක් බදු සැහැල්ලූ කරන ලදින්, ...

‘ප්ටාහ් ගේ ආදරයට පාත‍්‍ර වූ, ... සදාකාලික ටොලමි රජු හට හිමි ගෞරවණීයත්වය වඩා ඉහළ නැංවීම ද,    මනා යැයි රාජ්‍යයේ සියළුම දේවස්ථානයන් හි පූජකවරුන් හට පෙනීගියේය. ප්ටාහ් ගේ ආදරයට පාත‍්‍ර වූ, එපිෆානිස් යුකාරිස්ටස් දෙවියන් වන සදාකාළික ටොලමි රජු වෙනුවෙන් රාජ්‍යයේ සෑම දේවස්ථානයක ම තොත් ගේ පළමු දිනයේ සිට සිවු දිනක් පුරා භෝජන සංග‍්‍රහයක් වාර්ෂිකව පැවැත්වීමත්, ඒවායේ දී ඔවුන් මල්දම් පැළඳීම ත්, බිළි පූජා පැවැත්වීම ත්, අනෙකුත් සුපුරුදු ගෞරවාචාරයන් පැවැත්වීම ත්, සිදුකෙරෙනු ඇත. පූජකවරුන් ඔවුන් විසින් මෙහෙ කරනු ලබන දෙවි වරුන් ගේ නාමයන් ට අමතරව එපිෆානිස් යුකාරිස්ටස් දෙවියන් ගේ ද පූජකවරුන් ලෙස හැඳින්වෙනු ඇත. එසේම, ඔහුගේ (ටොලමි රජුගේ) පූජක වරය සියළුම චාරිත‍්‍රානුකූල ලියවිලි වලට ඇතුළත් කෙරෙන අතර, පෞද්ගලික තැනැත්තන් හටද, සාම්ප‍්‍රදායික ගෞරවාචාරයන් පවත්වාගනිමින්, ඉහත කී දේවස්ථානයේ දී ත්, ඔවුන්ගේ නිවෙස් තුළ ත්, මාසිකව සහ වාර්ෂිකව භෝජන සංග‍්‍රහය පැවැත්වීමට අවසර ලැබේ. එයින් මිසරයේ මිනිස්සු නීතියට අනුකූලව, රජු වන එපිෆානිස් යුකාරිස්ටස් දෙවියන් ගේ ගෞරවනීයත්වය ඉහළ නැංවූ බව සියල්ලන්ටම දැනගත හැකි වනු ඇත...’’ 

මෙම පුවරු ලිපිය, එය හමුවූ රාෂිඞ් (රොසෙට්ටා) හි ප‍්‍රභවය නොවූ බව ඉතා පැහැදිළි ය. එය නිමවන ලද්දේ වඩා ත් රට ඇතුළට වන්නට පිහිටි දේවස්ථානයක (බොහෝදුරට සායිස් (Sais) නම් රාජකීය නගරයේ) දී බව පිළිගැනේ. පළමු වන තියඩෝසියස් (Theodosius I) නම් නැගෙනහිර රෝමක අධිරාජ්‍යයා විසින් ක‍්‍රිස්තියානි නොවන සියළුම වන්දනීය දේවස්ථාන වසා දමන ලෙසට කරන ලද නියෝගය මත, මෙම පුවරුව අයත් ව තිබූ දේවස්ථානය ද ක‍්‍රි. ව. 392 දී පමණ වසා දැමෙන්නට ඇත. එක්තරා අවස්ථාවක මුල් පුවරු ලිපිය බිඳී ගිය අතර, එහි විශාලතම කොටස දැනට අප දන්නා රොසෙට්ටා පාෂාණය බවට පත්වී ඉතිරි වී තිබේ. පසුකාලීනව පුරාණ මිසර දේවස්ථාන, නව ඉදිකිරීම් සඳහා පාෂාණ ආකර ලෙස භාවිතා වූ අතර, රොසෙට්ටා පාෂාණය ද මේ ආකාරයට ම නැවත යොදාගැනෙන්න ට ඇත. පසුව එය මාම්ලූක් සුල්තාන් වරයෙකු වූ කයිට්බායි (1416/18 - 1496) (Qaitbay) විසින් නයිල් නදියේ බොල්බිටයින් ශාඛාව ආරක්ෂා කිරීම සඳහා රාෂිඞ් හි ගොඩනැංවුනුු බළකොටුවේ අඩිතාලම ඉදිකිරීමේදී යොදාගන්නා ලදි. එම පුවරුව නැවත සොයාගන්නා තෙක්, අඩුම තරමින් තවත් සියවස් තුනක් වත් එහි පවතින්නට ඇත. 

මෙම මෙම්ෆිස් නියෝගය ම ඇතුළත් තවත් අභිලේඛන දෙකක්, රොසෙට්ටා පාෂාණය සොයාගැනීමෙන් පසුව හමු වී තිබේ. නුබයිරා (Nubayrah) පුවරුව සහ ෆිලේ (Philae) හි දේවස්ථානයෙන් හමුවූ ලිපිය යනු ඒ දෙක යි. රොසෙට්ටා පාෂාණය මෙන් නොව, මේවායේ හයිරෝරේඛිත පිටපත සාපේක්ෂව හොඳින් සුරැකී තිබේ. එහෙයින්, ඒවා සොයාගැනීමට බොහෝ කලකට පෙර රොසෙට්ටා ලිපිය පරිවර්තනය කර තිබුණ ද, වෝලිස් බජ් (Wallis Budge) වැනි පසුකාලීන ඊජිප්තුවේදීහු රොසෙට්ටා පාෂාණයේ හයිරෝරේඛිත කොටසෙහි හාණි වූ කොටස නැවත ගොඩනැංවීමට මෙකී අනෙක් අභිලේඛණ භාවිතා කළ හ. 

Thursday, August 10, 2017

ඩ්‍රැකියා ගේ ඔපිස් කතා...

පාලුවටත් එක්ක වැඩිය හිතන් නැතුව ලියන්ඩ පුළුවං දෙයක් ගැන  ලියන්ඩ හිතුවා.

කලිං බොහොම උද්යෝගිමත්ව ලියපු කීප දෙනෙක් දැං ලියන් නැතුව ඉන්න බව දකින්ඩ ලැබුණා. අැත්තටම බොහොම කණගාටුදායක දෙයක් ඒ්ක නං... මොකද මාත් අැතුළුව බොහොම දෙනෙක් අඩු ගාන‍ෙ අකුරක් හරි උකහා ගත්තෙ ඔයගොල්ලං ලියපු බ්ලොග් වලිං...

https://s3.amazonaws.com/lowres.cartoonstock.com/
social-issues-social_service-budget_cut-government_
spending-unrealistic-targets-forn2560_low.jpg

ගොඩක් දෙනා දන්න හැටියට මං රජයේ සේවකය‍ෙක්... ඒ්ක සුද්දා අැති කරපු සේවයක් නිසා මං කැමතියි ඒ්කෙ ඉංගිරිස් නම ට. මොකද, ඉංගිරිසි නමේ හැටියට නං මං රජයේ සේවකයෙක් නෙමෙයි, "මහජන  සේවකයෙක්" (පබ්ලික් සර්වන්ට් කියන්නෙ මහජන සේවකයට)

මං අාණ්ඩුවෙ රස්සාවට ගියපු පළවෙනිම කන්තෝරුවට ටික කාලෙකිං මාරු වෙලා අාව ආරක්ෂක අමාත්‍යාංශෙ ඉඳං, තීෆ් චීෆ් එකවුන්ටන්ට් කෙනෙක්. උන්දැ ගැන නං කියන්ඩ කතා එමටයි. එකක් කියන්නං අෑ...

දවසක් ලිවුමක් අාව ජරාධිපති ජනාධිපති (මහින්ද රාජපක්ෂ හිටියෙ ඒ කාලෙ) එක්ක රැස්වීමකට එන්ඩය කියල අමාත්‍යාංශ ලේකම්ට... උන්නැහැ තනියම යන්ඩ අදි මදි කරල, තීෆ් චීෆ් එකවුන්ටන්ට් ටත් යං කිව්ව. ඉතිං උන්දැ ආපහු බ්‍රාන්ච් එකට ඇවිත්, ඩෙඟා නටන්ඩ ගත්ත, “ප්‍රසිඩන්ට් එක්ක මීටිං එකක්“ කියල... තියෙන තරං ෆයිල් ගෙන්නගෙන එව්ව ගැන ක්ලාක්ල ගෙං ප්‍රශ්න අහන්ඩයි... එව්වයෙ පිටු කොඩි කරන්ඩයි... පරණ වෙච්ච කැත ෆයිල් ආපහු හදන්ඩයි... කොහොම හරි සතියක් යනකං අපිට සාමාන්‍ය රාජකාරි කරන්ඩ හම්බුනේ නෑ...

ඉතිං කොහොම හරි ගිහිං ආවයි කියමුකො අර මීටිමට... ඊට පස්සෙ දවස් දෙකක් විතර යනකං අර මීටිමේ උජාරුව අහං ඉන්ඩ සිද්ධ උනා අපේ ඉහළ නිලධාරින්ට.

ඒ අතරෙ මෙහෙම කතාවක් පැතිරුණා...

තීෆ් එකවුන්ටන්ට් කිව්වලු අනික් එකවුන්ටන්ට්ල එක්ක දවල් කන ගමං...,

“මං ගියානෙ ප්‍රසිඩන්ට් එක්ක මීටින්ට එකකට... එතන හැම අමාත්‍යාංශෙකම ලේකම් වරු ඇවිත් හිටිය... සීයකට වැඩියි සෙනඟ. ඒ ඔක්කොම අතරිං මාව අඳුරගත්ත ප්‍රසිඩන්ට්... මං ඉඳගන්ඩත් කලිම්ම ප්‍රසිඩන්ට් මට අතදික්කරල, කෙලිම්ම මට කතා කළා...“

“අනේ ඇත්තද? ප්‍රසිඩන්ට් ඔයාට කතා කළා...? මොකද්ද කිව්වෙ ඉතිං...?“ එකවුන්ටන්ට් මැඩම් කෙනෙක් අහනව ඉතිං...

“කිව්වෙ ද? එතුමා කිව්ව... “විමලසේන, තෝ මෙතෙන්ටත් ආවද? ඩිෆෙන්ස් එකේ ඉද්දිත් මට කිසිම වැඩක් කරගන්ඩ දුන් නෑ තෝ... පලයන්ඩ මයෙ දෑහැට නොපෙනි...! පල ඉතිං කිව්වහම...!! පල යන්ඩ යකෝ...!!!“ කියල එතන තිබ්බ පේපර් වේට් එකෙං මට දමල ගැහුව...“

මං ඊළඟට ගියපු කන්තෝරුවෙ උන්න සිරාම බුලට් එකක්... ලක්ෂ්මන් අයිය... එයා පියන් කෙනෙක්... ඕනෙම කෙනෙක්ට හරියන නම පටබඳින්ඩ දක්ෂය... අපි ගිය අලුතම එතන හිටපු පරිපාලන නිලධාරිය, බ්‍රාන්ච් එකට එනකොටම අරූ ටිකක් හයියෙං කියනව,

“අං පිල්ලෙයාන් එනව...“ කියල.

තව කාලෙකදි සහකාර ලේකම් පාලන සර් කෙනෙක් ආව, ටිකක් මහතයි, ටිකක් තට්ටෙ තියෙන, ගිරා හොට වගේ නහයක් තියෙන ඩයල් එකක්. ඇවිත් සතියක් යන්ඩ කලිං “ලබු ගිරව“ කියල කාඩ් එකක් ගැහුව.

ඊට පස්සෙ ආව දැං ඉන්න පරිපාලන නිලධාරිය. උන්දැ ආව ගමං වෙනස්කං ගොඩක් කළා. ඒකෙං කණ්ෂ්ඨ කාර්යමණ්ඩලයෙ ද්වේෂයට ලක්උනා. ඉතිං කිසිම කණගාටුවක් නැතුව උන්දැට දැම්ම “ජෝන් සීනා“ කියල. ඒ නම කොච්චර දිරෙව්වද කියනව නං, මං පරිපාලන නිලධාරී විභාගෙ පාස් උනාම කීප දෙනෙක් මගෙං ඇහුව, “ඔයත් ජෝන් සීනා විභාගෙ පාස්ලු නේද?“ කියල...

සැරෙයක් අපිට එස්පහ පෙන්නන්ඩ ජෝන් සීනා අපිව එක්කං ගියා දොම්පෙ ප්‍රාදේශීය සභාව බලන්ඩ. ඔපිස්සෙකේ වෑන් එකේ ගියෙ. යන කං සැරිං සැරේ ජෝන කියනව,

“සිංදුවක්වත් කියමු නේද? නිකං මළගෙදරක යනව වගේනෙ නැත්තං...“

ඒ කියල කට ගන්ඩ කලිං කෂ්ටිය පටං ගන්නව,

“...ජෝ...න් සීනා... අපෙ පොඩිඑකාට ගහලා....“ සිංදුව.

ඔයකාලෙ හිටපු අතිරේක ලේකම් පාලන පොඩියි, කෙට්ටුයි, අඟුර වගේ කළුයි. උන්දැට දාපු කාඩ් එක තමා “ග්‍රීස් යකා“

පස්සෙ ග්‍රීස් යකයි ජෝනයි එක්කහුවෙලා බොහොම පොඩි චෝදනාවකට නිදහසට කරුණු අහල, ලක්ෂ්මන් අයියව අමාත්‍යාංශෙකට මාරු කළා...

ඔය ලක්ෂ්මන් අයියට පොඩි ලෙඩක් තිබ්බ... කවුරු හරි ප්‍රශ්නයක් අහන ගමං උන්දැගෙ ඉළේකට ඇඟිල්ලෙං ඇන්නොත් උන්දැ ඇත්තම කියනව...

ගොඩක්ම වෙලාවට එහෙම අහන ප්‍රශ්න තමයි,

“ගෙදර ඉන්නකොට මොකද කරන්නෙ?“

“උදේට කෑවෙ මොනවද?“

“වයිෆ් මොනවද දෑවැද්දට ගෙනාවෙ?“

“අද බතට මොනවද එළවළු?“

“හවස ගෙදර යද්දි මාකට් එකෙං මොනවද ගෙනියන්නෙ?“

ලක්ෂ්මන් අයියත් ජොලි පොර කියන්නෙ, ඔය ප්‍රශ්න වලට හයියෙම්ම උත්තර දෙන්නෙ ගෑණු උදවිය ගොඩක් මැද්දෙ ඇහුවොත්...

දැනට ඇති වගේ... තව ලියන්ඩ කතා මතක් උනොත් තව කොටසක් ලියන්නං ඈ...

Sunday, July 16, 2017

කාලිදාස ගෙ කතාවක්

පින්තූරෙ යාහූ සර්ච් එකකිං ගත්තෙ...

අපේ ආදරණීය හිස්ටෝරියන් මිථිල ප්‍රනාන්දු ලියපු පෝස්ටුවක් දැකල මට කතාවක් ලියන්න හිතුන. බොහොම කෙටියෙන් තමා මේක ලියන්න වෙන්නෙ. මං කාලෙකට කලින් මේ කතාව අහල තිබුණට, හරියටම මතක තිබුන් නෑ. ඉතිං මේක ටිකක් පමා වුනා, මොකද හරියටම ශ්ලෝක දෙක හොයාගන්න සිද්ධ වුන නිසා.

කාලිදාස භෝජ රජ්ජුරුවන්ගෙ රාජසභාවෙ හිටපු කවියෙක් නෙව... එයාගෙ කතා කීපයක් මං ලියල තියෙනව කියල මතකයි. මේ එව්ව.

1. “භ“ යන්න
2. කාලිදාසගෙ මරණය සහ ඉඳුවර දෙනෙත්

භෝජ රජු ගැන හොයද්දි විකියෙ එතුමා ගැන තිබුණ ලිපියක් කියවන්න ලැබුණා. ඒ අනුව එයා රජකළේ, ව්‍යවහාර වර්ෂ ක්‍රමයෙන් හෙවත් ක්‍රිස්තු වර්ෂයෙන් 1010 ත් 1055 ත් අතරෙ, මධ්‍ය ඉන්දියාවෙ මාල්ව රාජධානියෙ. එතුමාගේ අගනුවර “ධාරා“ නමින් හැඳින්වුනා. භෝජ රජුගෙ මරණින් පස්සෙ එතුමා වටා බැඳුනු ප්‍රවාද අනුව එයා ජනප්‍රවාදයේ එන වික්‍රමාදිත්‍ය රජුට සමාන වෙනව.

භෝජ රාජසභාවෙ හිටියා නවරත්නයක්... ඒ කියන්නෙ වටිනා මිනිස්සු නව දෙනෙක්. ඒ අය තමයි:

අමරසිම්හ (සංස්කෘත ව්‍යාකරණ වේදියෙක් සහ කවියෙක්)
ධනවන්තරී (ආයුර්වේද වෛද්‍යවරයෙක්)
ඝටකාරපර
කාලිදාස
ක්ෂපනක
ශන්කු
වරාහමිහිර (තාරකා ශාස්ත්‍රඥයෙක්)
වරරුචි (වාග්වේදියෙක් සහ ව්‍යාකරණ වේදියෙක්)
වේතාල-භට්ට (නීති විශාරදයෙක් සහ දේශපාලන වේදියෙක්)

කියන අය. (ඔය වගේ නවරත්නයක් මහා අක්බර් අධිරාජයාගෙ රාජසභාවෙත් හිටිය කියනව.)

ඔයිං කාලිදාස තමයි ලොවෙත් කවියා.

දවසක් භෝජ රජ්ජුරුවන්ට හිතුණ මෙච්චර කවි කියන කාලිදාස මං මළහම මොන වගේ කවියක් කියයිද කියල. එහෙම හිතිල, එක සැරයක් කාලිදාසට අණ කළා,

“දැං කියහං මං මළහම කියන කවිය“ කියල.

කාලිදාස කිව්ව,

“ඒක එහෙම කියන්ඩ බෑ, රජතුමා. නියම හැඟීම පහළ වෙන්නැතුව ඒ වගේ කවියක් කියන්ඩ බෑ“ කියල.

ඒ කිව්වට මොකද කාලිදාසගෙ හිතට හරි මදි. මොකද, රජතුමා කියපු දෙයක් බෑ කියන්ඩ වෙච්ච නිසා. ඒ හින්දා එයා එදාම තමන්ගෙ ගෙදරින් පිටවෙලා, නගරය අතඇරල යන්ඩ ගියා.

දැං ඔන්න දවස් ගාණක් වෙනව, රාජ සභාවට කාලිදාස එන් නැතුව. රජතුමාටත් බොහොම කණගාටුයි. අන්තිමේ රජතුමා වෙස්වළාගෙන ගියා කාලිදාස හොයාගෙන. ඔහොම ගිහිං දවසක් දා රජතුමාට කාලිදාස හම්බුණා අම්බලමක ඉන්නව. රජතුමා වෙස්වළාගෙන ගියාට කාලිදාස වෙස්වළාගෙන ගියෙ නෑනෙ. ඉතිං භෝජ රජතුමා එකෙම්ම අඳුනගත්ත තමංගෙ ප්‍රියතම කවියව. අඳුනගෙන ආගිය කතා එහෙම කතා කරන්න ගත්ත.

කාලිදාස ඇහුව එයාගෙං, ඔයා කොහෙ කෙනෙක්ද කියල.

රජතුමා කිව්ව “මං ධාරා නගරෙං එන්නෙ“ කියල.

“ඇත්තට?“ කාලිදාස බොහොම සතුටු උනා. “දැං කොහොමද අපේ භෝජ රජතුමා එහෙම? හොඳිං ඉන්නවද?“

“අනේ බොහොම කණගාටුයි.“ කපටි රජා උත්තර දුන්න. “රජතුමා මැරුණනෙ...“

කිව්ව විතරයි කාලිදාස ගෙ මූණ මැළවෙලා ගියා.

“අධ්‍ය ධාරා නිරාධාරා - නිරාලම්බා සරස්වතී
පණ්ඩිතා ඛණ්ඩිතා සර්වේ - භෝජ රාජා දිවංගතේ...“

හිටිවනම කාලිදාසට කියවුනා.

ඒකෙ තේරුම තමයි:

ධාරාව (ධාරා නගරය) වියළී ගියා - සරස්වතීට එල්ලෙන්න වැල් නැති උනා - සියළුම පණ්ඩිතයන් කැඩී විසිරී ගියා - භෝජ රජතුමා මියගිය නිසා...

රජතුමා ට උන්හිටි තැන් මතක නැති උනා මේ කවිය අහල. ඇයි? එයා අහගන්න ආසාවෙන් හිටපු කවිය නෙ. ඉතිං එතුමා පැනපු ගමං කාලිදාස බදාගෙන කිව්ව,

“කාලිදාස, උඹ නං දෙයියෙක්. මම තමයි භෝජ රජු. මං අහගන්න ආසාවෙන් හිටපු කවිය තමයි දැං උඹ කිව්වෙ...“

කාලිදාස ගත් කටටම මෙහෙම කිව්ව.

“අධ්‍ය ධාරා සදාධාරා - සදාධාරා සරස්වතී
පණ්ඩිතා මණ්ඩිතා සර්වේ - භෝජ රාජා භුවංගතේ...“

ඒකෙ තේරුම මෙහෙමයි :

“... ධාරාව සදහට ගළයි - සරස්වතිය සසරණ ව සිටියි
පණ්ඩිතයන් සියල්ලම මඩවන - භෝජ රජු තාම පණපිටිං...“

පහළ තියෙන්නෙ භෝජ රජුගෙ ප්‍රතිමාව - ඒක තියෙන්නෙ භෝපාල් නගරයෙ.

පින්තූරෙ විකිපීඩියාවෙන් ගත්තෙ

Sunday, June 25, 2017

ලෝකෙට ලොක්කා

ලෝකෙ ලොකුම බලවතා කවුද කියන එක ගැන ගම කතා කීපයක් තියෙනව. ලංකාවෙත් එකක් තියෙනව, ඒක මට හරියටම නිවැරදිව ලියන්ඩ මතක නෑ. ඒකට ගොඩක් සමානයි බුරුම ජනකතාව. ඒක තමයි ඔය පහලිං තියෙන්නෙ.

මී පවුලක හරිම හැඩ වැඩ මී කෙල්ලෙක් උන්න. ඈට කල වයස හරි ගිය තැන, ඇගෙ දෙමව්පියො කල්පනා කළා ලේකෙ ඉන්න බලවත්ම කෙනාට ඈ කසාද බන්දල දෙන්ඩ. කල්පනා කරල ගියා ඉර හම්බෙන්ඩ.

ඉර කැමති උනා මී පැටික්කි කසාද බඳින්ඩ.

“ඔහේ නේද ලෝකෙ ලොකුම බලවතා?“ මී අම්ම ඇහුව.

ඉර ඔළුව දෙපැත්තට වැනුව.

“වැහි වළාකුළ මටත් වඩා බලවත්. එයා ඉන්නකොට අහසෙ, මාව වැහිල යනව“ ඉර කිව්ව.

ඒ ගමන මී දෙමව්පියො ගියා වැහි වළාකුළ හොයාගෙන

“මාත් නෙමෙයි බලවත්ම“ වැහි වළාකුළත් කිව්ව. “හුළඟ ආවම මාව ගහගෙන යනව“

ඒගමන මී පවුල හුළඟ ගාවට ගියා.

“කණ්ඩිය මගෙ ගමන වළක්වනව.“ හුළඟ කිව්ව “මං කොච්චර සැරට හැමුවත් කණ්ඩිය පෙරළන්ඩ බෑ. ඉතිං කණ්ඩිය තමා බලවත්ම“

කණ්ඩියත් කිව්වනෙ එයා නෙමෙයි බලවත් කියල.

“හරක අඟ අතුල්ලනකොට මාව කැඩෙනවනෙ. පේන විදිහට හරක තමා ලෝකෙ බලවත්ම“

http://www.washingtonindependentreviewofbooks.com
/assets/uploads/trump_1.jpg

ඉතිං මී ජෝඩුව දුවත් ඉස්සර කොරං ගියා හරක හොයාගෙන. 

හරකත් කියන විදිහට එයා නෙමෙයි බලවතා. නාස්ලණුවලු. ඒකට ඕනෙ විදිහටලු හරක වැඩ කරන්නෙ.

ඉතිං මී දෙමාල්ලො නාස් ලණුවෙං ඇහුව දුව බඳින්ඩ කැමතිද කියල.

“මාත් නෙමෙයි බලවතා“ නාස්ලණුවත් කිව්ව. “මී තඩියෙක් ඉන්නව මාව කපල දාන්ඩ බලාගෙන.“

ඒ ගමන මී දෙමාල්ලො අර නාස්ලණුව කපල දාන්ඩ එන මී තඩිය ලෝකෙ ලොකුම බලවතා කියල තේරුං අරං, තමුංගෙ මී පැටික්කි ඌට බන්දල දුන්න.

ලොකෙ බලවතා ගැන බෙලරුස් කතාවක් තියෙනව. මට මතකයි එකපාරක් අපි පොඩි කාලෙ ටීවී එකේ ගියා මේ කතාව.

https://images-na.ssl-images-amazon.com
/images/I/61D6Ai34y6L.jpg

දවසක් ගල් කඩන්නෙක් ගලක් කඩ කඩ ඉන්නකොට (ගල් කඩන්න වෙන මොනව කඩන්ඩද ගලක් මිසක්) මිනිස්සු වගෙයක් වැඩ අතඅැරල දුවනව දැක්ක. ගල්කඩන්නත් ගියා මොකද්ද බලන්ඩ. බැලින්නං, රටේ රජතුමා යනව ඇතෙක් පිටේ. පාර අයිනෙ ඉන්න මිනිස්සු ඇතාට ඉඩ දීල කාණුවට බහිනව. පාත් වෙලා වඳිනව, පාවඩ එළන්ඩත් ලෑස්තිය...

ගල් කඩන්නටත් හිතුණ “මං අර ඇතා උනානං... මාත් මිනිස්සුංගෙං ගරු සත්කාර ලබනවනෙ“ කියල.

ඒ හිතනවත් එක්කම ගල් කඩන්න රජුගෙ ඇතා උනා. මිනිස්සු එයාට ගරු කළා. ඒත් එකපාරටම, රජා ඇතා පිටේ ඉඳං තේ එකක් බොන්ඩ ගිහිං උණු තේ හැළුන ඇතා පිටේ.

“ඇතෙක් උනාට වැඩක් ඇතෑ...“ ගල් කඩන්නට හිතුණ. “ඊට හොඳයි ඇතා පිටේ යන රජා උනානං.“

එතකොටම ගල්කඩන්නා රජ්ජුරුවො උනා. ගල් රජ්ජුරුවො ඉතිං ඔහොම ඇතා පිටේ දිගටම ගියා. යනකොට ඉර තදිං පායන්ඩ ගත්තා. රජ්ජුරුවන්ට ඉහිං කණිං දාඩිය වැක්කෙරෙන්ඩ ගත්තා.

“ඉර රජාට වඩා බලවත්නෙ“ ගල්කඩන්නට හිතුණා “මීට හොඳයි මං ඉර උනානං“

ඉතිං ගල් කඩන්නා ඉර උනා. ගල් ඉර තදේට පායන්ඩ ගත්ත, තමුංගෙ බලය පෙන්නන්ඩ. අන්තිමේ තද කළු වැහි වළාකුළක් එනකංම ගල් ඉර දන් නෑ මොකද වෙන්නෙ කියල.

වැහි වළාකුළෙං ඉර වහගත්ත. “ඉර වෙලා වැඩක් නෑ නෙ“ ගල් කඩන්නට තේරුණා. “වැහි වළාකුළ ඊට වඩා බලවත්නෙ. වෙනවනං වැහිවළාකුළ තමයි වෙන්ඩ ඕනෙ“

එහෙම හිතෙනවත් එක්කම ගල් කඩන්නා වැහිවළාකුළක් උනා. එයා වැහැල වැහැල වැහැල, ගංවතුරක් එන්ඩම වැස්සා.

එතකොටම කොහෙද ඉඳං ආපු තද හුළඟකට වළාකුළ ගහගෙන යන්ඩ ගත්ත.

“හුළඟ තමයි බලවත්ම. හුළඟ වෙන්ඩ ඇත්තං මට...“ ගල් කඩන්න එහෙම හිතුව. ඒත් එක්කම ගල් කඩන්නා හුළඟක් වෙලා ශිහාන් මිහිරංග වගේ තදේට හමන්ඩ ගත්තා.

ඒ හුළඟට අහුවෙච්ච හැම එකක්ම උඩ ගිහිං කැරකිලා, ඈතට විසි උනා. එකක් ඇරෙන්ඩ. 

ඒ තමයි ගල් කන්ද.

හුළඟ කොච්චර සැර දැම්මත් ගල් කන්ද නෙමෙයි එක අඟලක් හෙල්ලුනේ.

“යකෝ... හුළඟ වෙලා වැඩක් නෑනෙ. ගල්කන්දනෙ වැඩ්ඩා... මාත් ගල් කන්ද වෙන්ඩ ඕනෙ.“ ගල් කඩන්නා එහෙම හිතුව විතරයි එයා මහ ගල් පරුවතයක් උනා.

උනා විතරයි මිනිහෙක් ඇවිත් ගල කඩන්ඩ ගත්ත.

“මේක මාර වැඩක්නෙ. එතකොට ගල්කඩන්නද ලෝකෙ ඉන්න බලවත්ම මිනිහ? මාත් ගල් කඩන්නෙක් වෙන්ඩ ඕනෙ“

ඉතිං ගල් කඩන්නා අයෙම ගල් කඩන්නා බවට පත් වුනා. එයා තේරුං ගත්ත, ලෝකෙ ඉන්න බලවත්ම කෙනා තමයි, වෙහෙසිලා වැඩකරන මනුස්සයා කියල.

ඒ ඔක්කොමත් හරි. යථාර්ථවාදීම කතාව තියෙන්නෙ අප්‍රිකානු ජනකතා අතරෙ.

බළලා කොහොමද ගෙදරට හීලෑ උනේ කියන එක තමයි ඒකෙං පැහැදිලි කරන්නෙ.

කැලේ හිටපු බළලා දවසක් තීරණය කළා, බලවත්ම සතා එක්ක යාළු වෙන්ඩ. එහෙම හිතල සිංහයා ගාවට ගිහිං, එයත් එක්ක යාළු උනා. දැං ඉතිං දඩයමේ එහෙම යන්නෙ බළලා, සිංහයත් එක්කමයි.

දවසක් සිංහයා ඇතෙක්ගෙ පිටට පැන්නා. ඇතා සිංහය පනිනවත් එක්කම දළ දෙක දික් කළා. සිංහය ඒ දළදෙකේ ඇනිලා මළා.

දැං ඉතිං බළලා ඇතා එක්කමයි ගමන බිමන. ඇයි ඉතිං ඇතා සිංහයටත් වඩා බලවත් නෙ.

අනේ ඉතිං වැඩි දවසක් යන්ඩ උනේ නෑ, දඩයක්කාරයෙක් ඇවිත් වෙඩිතියල ඇතා මැරුවා.

ඉතිං මිනිහා තමයි ලෝකෙ බලවතා කියල හිතල බළලා දඩයක්කාරයත් එක්ක ගෙදර ආව. 

ඒ එනකොට දඩයක්කාරයගෙ මායිය හොඳටම ආවේස වෙලා. දඩයක්කාරයට බැණල බැණල, උන්දැව එළියට දාල දොර වැහුව.

“අඩේ බැලින්නං මිනිහ නෙමෙයිනෙ ලෝකෙ බලවතා, ගෑණිනෙ“ කියල තේරුං ගත්ත බළලා, එදා ඉඳං ගෙදර ගෑණු මනුස්සය පස්සෙංම වැටුණ...

http://pet.nifty.com/cms_image/pet/column
/140105000054/139019546915558_1s.jpg

Friday, June 9, 2017

ඉස්කෝලෙ මහත්තුරු සහ බටගම

ඉස්කෝලෙ මහත්තුරුංගෙ සමාජ පසුබිම සහ රසකතා ටිකකුත් ඒ ලිපිය ලියද්දි මතුවෙච්ච කයිකතන්දර ගැනත් මුල් ලිපි දෙකක සඳහන්. එව්ව ලියල හිටං සෑහෙන කාලෙයක් යනකං මොකවත් ලියන්ඩ බැරි උනා. ඒකට හේතු කීපයක්: මයෙ බ්ලොග් එක ඕපන් කරල තප්පර ගානකිං පස්සෙ වෙන කොහෙද මංද පිටුවකට රීඩිරෙක්ට් වෙන්ඩ පටං අරං තිබ්බ. ඒක හදාගන්ඩ මං විදේශාධාරත් පැතුව. හරි ගියෙ නෑ. මේ ඊයෙ පෙරේද හදිස්සියෙ අපේ ගෙදර කඩා වැදුන සිරිබිරිස් එක්ක අටම. අටං මට කියපු ක්‍රමයක් අත්හදා බලන්ඩ ගිහිං ඕං කොහොම හරි දැනට නං බ්ලොග් එක ස්ථාවර මට්ටමක තියෙනව.

අටමව ඇදං අපේ ගේ හොයාගෙන ආව සිරිබිරිස් මට මසුරං කෝටියකටත් වඩා වටින පොත් දෙකක් තෑගි කරල, “දිගටම ලියපං...!“ කියල කිව්ව. ඉතිං ඒකෙං බ්ලොග් එක ලියන්ඩ මගඇරිච්ච තවත් හේතුවක් නැති වෙලා ගියා.

නොලියන්ඩ තව හේතුවක් උනේ, අපේ කන්තෝරු කාමර ටික කඩල අලුතිං පාටිෂන් කරන එක. ඒ වැඩේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙ ඉබ්බන්ට බාර දීල නිසා, මාස ගාණක් තිස්සෙ කම්පියුටරයක් නැති පාලු කාමරේක, බෝනික්කෙක් වගේ මැඩම් කෙනෙක් එක්ක රාජකාරි කරන්ඩ වෙලා තිබීම. අනික් හේතුව තමයි, මගෙ රාජකාරි ජීවිතේ ලොකුම ටාගට් එක වුන එක්තරා විභාගෙකට ලෑස්ති වීම. ඉතිං තියෙන එක තප්පරේ උනත් ඒ විභාගෙට පාඩං කරන්ඩ වැය කරන තත්ත්වයක් තමා මේ දවස් වල තියෙන්නෙ.

කොහොම හරි, ඕං ආපහු ඉස්කෝලෙ මහත්තුරුංගෙ කතා...

දවසක් ඉස්කෝලෙ මහත්තේක්, පොල් ගෙඩ්ඩක් කඩාගන්ඩ කියල, වත්ත පහලට ගියා. ගිහිං පොල් ගහ යටට ගිහාමයි මතක් උනේ ගහට නගින්ඩ වලල්ලක් ඕනෙ නේද කියල. ඉතිං ආපහු ගෙදර යන්ඩයැ? වටපිට බලද්දි, ළග ගහක දිගේලි කරල ඉන්නව එළදෙන. ඉස්කෝලෙ මහත්තැන්ට ආව මරු අයිඩියා එකක්. උන්දැ ටක් ගාල එළදෙනගෙ කඹේ ලෙහා ගත්ත. ඒකෙන් හදාගත්ත වළල්ලක්. අනික් කොනේ එළදෙන ඉද්දිම උන්දැ වළල්ල දෙපයෙ දාගෙන නැග්ග ගහට. 

ගහට නැගල කඩන්ඩ උනේ එක පොල් ගෙඩියයි. ඒ ගෙඩිය වැටිච්ච සද්දෙට එළදෙන බය උනා.

එක පොල් ගෙඩියක් වැටෙන සද්දෙ නං කුස්සියෙ හිටිය හාමිනේට ඇහුන. ඊට පස්සෙ පොල් වල්ලම වැටෙන සද්දෙ තමා ඇහුනෙ. උන්දැ පොල් ටික දාගෙන එන්ඩ ගෝණියකුත් අරං යනකොට, පොල් ගහ ගාව තිබ්බෙ එක පොල් ගෙඩියයි. තව ටිකක් විපරං කරනකොට දැක්කෙ, වත්තෙ කෙරෝලෙ වැතිරිල ඉන්නව ඉස්කෝලෙ මහත්තෙය පිටයි බඩයි බරු ගහගෙන, එළදෙනගෙ ලණුවෙ කෙරෝල තාමත් උන්දැගෙ දෙපයෙ වෙළාගෙන...

තව දවසක් ඉස්කෝලෙ මහත්තේක්ගෙ කුඹුරෙ ගොයං පෑගිල්ල තිබ්බ. ඒ කාලෙ ඉතිං උදේ වරුවෙ ගොයං කපනව, හවස් වරුවෙ ගොයං ටික එක් - එක්කෙනා ඔළුව උඩ තියාගෙන කමතට අදිනව, ඒකට කියන්නෙ උප්පිඩි අදිනව කියල. රෑ තිස්සෙ හරකුන්ගෙන් කොළ මඩවනව. ඔය වැඩේට හොඳ පාළොස්වක කිට්ටු කරල. මොකද හඳපානෙ කරන්ඩ ඇහැකි. ඒත් මෙදා පොටේ අමාවක කිට්ටු කරල තිබ්බෙ.

ඉස්කෝල මහත්තෙය ගෙනාව හරිකේන් ලන්තෑරුමක්. ඒක කමත අයිනෙ තිබ්බ උණ ගහක (fever tree) මුදුනෙ ගැට ගහන්ඩයි උන්නැහැගෙ අදහස. එතකොට මුළු කමතම එළිය වෙයි...

http://2.bp.blogspot.com/_2vTmvABMLcY/
TJtuAvbSE_I/AAAAAAAAAYU/JwHkPN42zDU/
s1600/Lantern_Part3_22X15_100dpi.jpg
ඉතිං එයාගෙ උපදෙස් පරිදි, ඉළංදාරි ටික ගල් මාට්ටුවක් දැම්ම උසම උණගහේ මුදුනට. දාල, කට්ටියම එකතු වෙලා ගල් මාට්ටුවෙ ලණුවෙං ඇදල ඇදල, උණ ගහ පාත් කරගත්ත. ඉස්කෝලෙ මහත්තය, තමුංම එල්ලුව ලන්තෑරුම උණ ගහේ කරටියෙ. 

“හා දැං අතෑරපල්ල ළමයිනේ...“ කිව්ව විතරයි,

උණ ගහ එක පාරටම කෙළිං උනා, සීංංංංංංංං ගාගෙන ලන්තෑරුම උඩිං ගියා...

“මළ කෙළියයි...“ ඉස්කෝලෙ මහත්තෙයට කියවුනා. දැං කොහොමද කළුවරේ ලන්තෑරුම වැටිච්ච තැන හොයාගන්නෙ?

කල්පනා කරනකොට ඉස්කෝලෙ මහත්තෙයට තව මසුරං අයිඩියා එකක් ආව.

“ඔය උණ ගහ ආපහු පාත් කරපල්ල...“

ඉළංදාරි ටික ආපහු අර ළණුවෙ කොණෙං අල්ලල ඇදල උණ ගහ පාත් කළා. ඉස්කෝලෙ මහත්තෙය ගියා උණ ගහේ කරටිය ගාවට. ගිහිං කිව්ව,

“මං දැං මයෙ ගිරේ, මේ උණ කරටියෙං තියනව. මං අතැරපල්ල කියනකොට, අර ඉස්සෙල්ල වගේම එකපාරට උණ ගහ අතෑරපල්ල, එතකොට, මේ ගිරේ ගිහිං වැටෙන්නෙ අර ලන්තෑරුම වැටිච්ච තැනටමයි. ගිරේ ළන්තෑරුමේ වැදෙන සද්දෙං අපිට දෙකම හොයාගන්ඩැහැකි....“

කලිං වගේම, ගිරෙත් සීංංංංංංංං ගාගෙන උඩිං ගියා විතරයි කවුරුත් දැක්කෙ.

“ඊට පස්සෙ ගුරාවත් උණගහේ නග්ගල ඇරියද දන්නෑ, ගිහිං ලන්තෑරුමයි ගිරෙයි දෙකම හොයාගෙන වරෙං කියල...“ කියල, ඔය කතාව අපිට කියපු එකාට සෝබනෙය (මයෙ අතිජාත යාළුවෙකි - අර සිරිමහත්තෙයට පහක් දැම්මෙ, ආං ඌ...) කිව්ව.

මේ ලන්තෑරුමේ කතාව සිද්ද උනේ බටගමයි කියල, මගෙ බටගම යාළුවෙක් කිව්ව. ඌ මතක් උන වෙලේ බටගම ගැනත් කතා ටිකක් ඔළුවට ආව.

දවසක් බටගම පවුලක්, කකුළුවො ටිකක් ගෙනත් උයන්ඩ. උං ටික උයන්ඩ ගන්නකොටම, අල්ලපු ගෙදර වලියක් ගිහිං. ඉතිං මුං ටික, කකුළුවො ටික පෙට්ටියකට දාල, වලිය නරඹන්ඩ ගිහිං. ආපහු ඇවිත් බලනකොට කකුළුවො ටික නෑ. උං ටික පෙට්ටියෙං බැහැල යන්ඩ ගිහිං.

ඉතිං ගෙදර මනුස්සයයි, පුතයි ගිහිං ඉන්නවලු බටගම හංදියෙ. 

“කොහෙං ගියත්, ආපහු මීගමුවට යන්ඩ, හංදිය හරහ යන්ඩ එපැයි. ආදෙංකො ඔය කකුලුවො ටික...!“ කිය කියා ඉන්නවලු දෙන්නත් එක්ක.

තව දවසක් බටගම පල්ලියෙ කොඩි ගහ ඉස්සුවලු කට්ටිය එකතු වෙලා, හතර අතිං ලනු දාල නෙ ඔය කොඩි ගහ උස්සන්නෙ...

කොහොම හරි මිනිස්සු ටික සෑහෙන්ඩ මහන්සි වෙලා අන්තිමේ කොඩි ගහ කෙළිං වෙච්ච ගමංම, සන්තෝසෙ වැඩි කමට කෂ්ඨිය ලණු ටික අතෑරල අප්පුඩි ගහන්ඩයි විසිල් ගහන්ඩයි ගත්තලු.

බටගම උදවිය පොල් කඩන්නෙ කෙක්කෙං. හැබැයි බිම ඉඳල පැහිච්ච පොල් වල්ල තෝරගන්ඩ දන් නෑ. ඉතිං කරන්නෙ, එකෙක් ලොකු රෙදි පටියක් අරං ගහට නගිනව. නැගල, පොල් ගෙඩි හොල්ලල බලල, පැහිච්ච වල්ල තොරගන්නව. පැහිච්ච වල්ලෙ බූ නැට්ටෙ රෙදි පටිය ගැටගහනව, පහළට පේන්ඩ. ඊට පස්සෙ ගහෙං බහිනව. දැං බිම ඉඳං නියම පොල් වල්ල කෙක්කෙං කැඩුවහැකි.

පුවක් කඩන්නෙ නං එහෙම නෙමෙයි. එකෙක් දිග ලණුවක් අරං ගහට නගිනව. ලණුව ගහේ කරටියට ආසන්නයෙ ගැට ගහනව. පස්සෙ බිමට බැහැල, කට්ටිය එකතු වෙලා ඇදල ඇදල, පුවක් ගහ බිමට නමා ගන්නව. ඊට පස්සෙ බිම ඉඳං අතිං පුවක් ටික කඩා ගන්නව. ඊට පස්සෙ ලණුව ලෙහා ගන්නව. එතකොට සිරිංංං ගාල කෙළිං වෙන පුවක් ගහේ තියෙන ලපටි පුවක් වලු ඔක්කොම සීසීකඩ...

තව දවසක් ගහක් කපද්දි, ගහ කපල කරත්තෙට පටෝ ගන්ඩ කම්මැළිකමට, ගහ මුලට කරත්තෙ රිවස් කරල, කරත්තෙ උඩට ගහ කැපුවයි කියලත් කියනව. 

ඕනෙම ගමක මෝඩ කං කරන මිනිස්සු ඉන්නව. මේ කතා ලිව්වෙ ව්‍යවහාරෙ තියෙන විදිහටයි. නැතුව මගෙ තුං හිතකවත් නෑ මේ ගම විශේෂ කරල අපහාස කරන්වඩත් උපහාසයට ලක්කරන්ඩවත් අදහසක්. එහෙනං ඉස්කෝල මහත්තුරු ගැන මයෙ මුල්ම කතාවෙ මං ලියල තියෙන්නෙ අපේ ගමේ උන්න කීප දෙනෙක් ගැන?

මේ අර මං පළවෙනි කොටසෙ කිව්වෙ,
මං ඇඳපු බෝඩ් එක.
මේක තමයි අර එවරස්ට් කන්ද මුදුනෙ
වැටක ගහන්ඩ හොඳයි කියල
ජිනදාස මහත්තෙය කවියෙං ලියල දුන්න එක. 
පහුගිය පෝස්ට් දෙකට ලිංක් මෙන්න:

ඉස්කෝල‍ෙ මහත්තුරු සහ තවත් කතා
ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර

මේකෙං පස්සෙ ආයෙම ලියන්ඩ වෙන්නෙ ගොඩක් වෙලාවට අර විභාගෙං පස්සෙය. ඒනිසා එතෙක් මට සමු දෙන්ඩ ය. තව මාස දෙක තුනයි ය. වැඩිම උනොත් සැත්තැම්බර් වෙයි... ඊට පස්සෙ මං ආයෙම ෆුලි ලෝඩඩ් ය. කොහෙම හරි ඒ අතරෙ කමෙන්ට් වලට උත්තර දෙඤ්ඤං ය...

වැඩිපුර බලපු ලිපි