Saturday, November 11, 2017

රොසෙට්ටා පාෂාණය - 2 වන කොටස

මුල් කොටස...

නැවත සොයාගැනීම

1798 නැපෝලියන් ගේ ඊජිප්තු යුධ ප‍්‍රයාණයේ දී යොදාගන්නා ලද කාර්ය සාධක හමුදාව සමඟ, ‘විද්‍යාව සහ කලාව පිළිබඳ කොමිසම’ (Commission des Sciences et des Arts) ලෙස නම් කෙරුණු තාක්ෂණික විශේෂඥයන් 167 දෙනෙක් ද නැපෝලියන් බොනපාට් විසින් හවුල් කරගන්නා ලදි. 1799 ජූලි මස මැද හරියේ ක’නල් ඩි හෝපෝල් (Colonel d'Hautpoul) යටතේ සේවය කළ ප‍්‍රංශ සෙබළුන්, ඊජිප්තුවේ රාෂිඩ් නම් තොටමුණ බද නගරයට සැතපුම් කිහිපයක් ඊසාන දිගින් පිහිටි ජූලියන් බළකොටුවේ ආරක්ෂා සංවිධාන ශක්තිමත් කරමින් සිටියදී, ලූතිනන් පියේර් ෆ‍්‍රාංස්වා බූශාර්ද් (Lieutenant Pierre-François Bouchard) සෙබළුන් විසින් නිරාවරණය කරන ලද, එක් මුහුණතක අක්ෂර කෙටූ ගල් පුවරුවක් දුටුවේ ය. ඔහු සහ ඩි හෝපෝල් එහි වැදගත්කම එක් වනම දැක, එවෙලෙහි රාෂිඩ් හි සිටි ජෙනරල් ෂාක්-ෆ‍්‍රාංස්වා මෙනෝ (general Jacques-François Menou) හට ඒ පිළිබඳව දැන්වූහ. මෙම සොයාගැනීම, නැපෝලියන් විසින් කයිරෝ හි අලූතින් පිහිටුවන ලද ‘ඊජිප්තු ආයතනය’ (Institut d'Égypte) නම් විද්‍යාත්මක සංගමයට, ඉහත කී කොමිසමේ සාමාජිකයෙකු වූ මිෂෙල් ඇංග් ලැන්කේ‍්‍ර (Michel Ange Lancret) විසින් 1979 ජූලි මස 19 දාතමින් යුත් වාර්තාවකින් දන්වන ලදි. එම පුවරුවේ අභිලේඛන තුනක් ඇති බව ත්, පළමුවැන්න හයිරෝරේඛනයෙන් සහ තෙ වැන්න ග‍්‍රීක් බසින් වන බවත්, එම අභිලේඛන තුන එක ම ලියවිල්ලක පිටපත් විය හැකි බවත් එකී වාර්තාවේ සඳහන් විය. ජූලි 25 වනදාට ආසන්න දිනක එම වාර්තාව ඊජිප්තු ආයතනයේ රැස්වීමක දී කියවන ලදි. ඒ අතර, බූශාර්ද් මෙම පාෂාණය විද්වතුන්ගේ පර්යේෂණයන් සඳහා කයිරෝවට ප‍්‍රවාහනය කෙළේ ය. නැපෝලියන් ප‍්‍රංශයට හැරී යාමට මඳ කලකට පෙර හෙවත් 1979 අගෝස්තුවේ දී, ඒ වන විටත් රොසෙට්ටා පාෂාණය (la Pierre de Rosette / the Rosetta Stone) නමින් හැඳින්වෙන්නට පටන් ගෙන තිබූ මෙම පුවරුව තමන් විසින් ම පරීක්ෂා කෙළේ ය.

මෙම සොයාගැනීම පිළිබඳ ලිපියක් ප‍්‍රංශ යුධ ප‍්‍රයාණයේ නිල පුවත්පත වූ ‘කූරියර් ඩි ඊජිප්ට්’ (Courrier de l'Égypte) හි සැප්තැම්බර් මස කළාපයක නිර්නාමික වාර්තා කරුවෙකු විසින් පළ කරන ලදි. මෙම පාෂාණය යම් දිනක හයිරෝරේඛනය කියවීමෙහි යතුර වනු ඇතැයි යන අපේක්ෂාව එහි දැක්වින. 1800 දී විද්‍යාව හා කලාව පිළිබඳ කොමිසමේ තාක්ෂණික විශේෂඥයන් තිදෙනෙක් මෙම පාෂාණයේ ඇති අභිලේඛනයේ පිටපත් සකස් කිරීමේ මාර්ගයක් සොයාගත්හ. ඉන් එක් ප‍්‍රයත්නයකදී මුද්‍රණකරු ලෙස කටයුතු කළ වාග්වේදයේ සහජ දක්ෂයෙකු වූ ශෝං-ශෝසෙෆ් මර්සේ (Jean-Joseph Marcel), ඒ දක්වා සිරියානු බසින් යුක්ත යැයි සැළකුණු මැද කොටස සත්‍ය වශයෙන් ම ඊජිප්තු ව්‍යවහාර බසින් යුක්ත බව මුල් වරට හඳුනාගත්තේ ය. ඊජිප්තු ව්‍යවහාර බස සෙල් ලිපි සඳහා යොදාගෙන ඇත්තේ ඉතා දුර්ලභ වශයෙන් වූ නිසා එවැන්නක් එවක විද්වතුන් හට දකින්නට ලැබුණේ ඉතා කළාතුරකිනි. පාෂාණයේ පිටපත් සැකසීමට අච්චුවක් ලෙස පාෂාණයම යොදාගැනීමට මාර්ගයක් සොයාගන්නා ලද්දේ කලාකරුවෙකු සහ නව නිපැයුම්කරුවෙකු වූ නිකොලස්-ෂාක් කොන්ටේ (Nicolas-Jacques Conté) විසිනි. ඊට මඳක් වෙනස් ප‍්‍රතිනිර්මාණ ක‍්‍රමයක් අන්තුවාං ගැලන්ද් (Antoine Galland) වැඩිදියුණු කෙළේ ය. එහි ප‍්‍රතිඵල ලෙස මුද්‍රණය කෙරුණු පිටපත් ජෙනරල් ෂාර්ල් දියුගුවා (General Charles Dugua) විසින් පැරිසියට ගෙන යන ලදි. එයින් යුරෝපීය විද්වතුන් හට මෙම අභිලේඛනය දැකීමට ත්, කියවීමට උත්සාහ කිරීමට ත්, අවස්ථාව උදා විය.

නැපෝලියන් ප‍්‍රංශය බලා පිටත්වීමෙන් පසුව ද, තවත් මාස 18ක් යන තුරු මිසරයේ ප‍්‍රංශ හමුදා බි‍්‍රතාන්‍ය හා ඔටෝමන් ප‍්‍රහාරයන්ට මුහුණ දෙමින් තම පාලන බලය රඳවාගෙන සිටියහ. 1801 මාර්තු මාසයේ දී බි‍්‍රතාන්‍ය හමුදා අබුකීර් බොක්කට (Aboukir Bay) ගොඩ බට හ. 1799 දී රොසෙට්ටා පාෂාණය පළමුවෙන් ම දුටු අයගෙන් කෙනෙකු වූ ජෙනරාල් ෂාක්-ෆ‍්‍රාංස්වා මෙනෝ එවක මිසරයේ ප‍්‍රංශ යුධ හමුදාවේ ආඥාපති ලෙස කටයුතු කෙළේ ය. කොමිසම ද සමඟින් ඔහුගේ හමුදාව සතුරා මුණගැසීම සඳහා මධ්‍යධරණි වෙරළ තීරය වෙත ගමන් කළහ. ඔවුහු සෙසු සෑම වර්ගයකම පුරාවස්තු ද සමඟ මෙම පාෂාණය ද රැගෙන ගිය හ. එහි දී ඇතිවූ යුද්ධයෙන් පරාජය ලැබූ මැනෝ, ඉතිරි භට පිරිස් ද සමග පාෂාණය ද රැගෙන ඇලෙක්සැන්ඩි‍්‍රයාව බලා පසුබැස්ස අතර, එතැනදී බි‍්‍රතාන්‍ය හමුදා විසින් වටළන ලදි. අගෝස්තු 30 වන දින ඔහු පරාජය භාරගෙන යටත් විය.

ප‍්‍රංශයෙන් බි‍්‍රතාන්‍ය අයිතියට පත්වීම

ප‍්‍රංශ හමුදා යටත් වීමෙන් පසුව, ‘විද්‍යාව හා කලාව පිළිබඳ කොමිසමේ’ සාමාජිකයන් විසින් රැස් කරන ලද පුරාකෘති, ජෛව විද්‍යාත්මක ආදර්ශ, සටහන්, සැළසුම් සහ සිත්තම් ඇතුළත් වූ ඊජිප්තුවේ ප‍්‍රංශ පුරාවිද්‍යාත්මක හා විද්‍යාත්මක සොයාගැනීම් වල ඉරණම පිළිබඳව මතභේදයක් පැන නැංගේ ය. ඒවා ‘ඊජිප්තු ආයතනයට’ අයත් බව පවසමින් මෙනෝ ඒවා බි‍්‍රතාන්‍යයට භාර දීම ප‍්‍රතික්ෂේප කෙළේ ය. මෙනෝ ඒවා භාර දෙන තුරු නගරය මුදා හැරීම, බි‍්‍රතාන්‍ය හමුදාවේ ජෙනරල් ජෝන් හෙලී-හචින්සන් (General John Hely-Hutchinson) ප‍්‍රතික්ෂේප කෙළේ ය. එංගලන්තයේ සිට අලූතින් ගොඩබට විද්වත්හු වූ එඩ්වර්ඩ් ඩැනියෙල් ක්ලාර්ක් (Edward Daniel Clarke) සහ විලියම් රිචර්ඩ් හැමිල්ටන් (William Richard Hamilton), ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ තිබූ එකතුව පරීක්ෂා කිරීමට එකඟතාවයක් ඇති කර ගත් අතර, පසුව ප‍්‍රංශ ජාතිකයන් හට සොයාගත නොහැකි වූ පුරාකෘති රැසක් අනාවරණය කරගත් බවට හිමිකම් පෑහ. ‘‘ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද හෝ සිතා ගත හැකි වූ දෙයටත් වඩා බොහෝ දේ ඔවුන් සතුව තිබී හමු වූයේයැ’’ යි එංගලන්තයට ලියන ලද ලිපියක ක්ලාර්ක් පවසයි.

සියලූම ද්‍රව්‍ය කිරීටය සතු දේපළ බවට හචින්සන් විසින් ප‍්‍රකාශයට පත් කෙරුණු විට, ප‍්‍රංශ විද්වතෙකු වූ එතියෙන් ශොෆ්රොයි සේන්ට්-හිලෙයාර් (Étienne Geoffroy Saint-Hilaire) ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ පුස්තකාලය ට රෝමකයන් විසින් ගිණිතැබීම සිහිපත් කරමින්, සියලූම සොයාගැනීම් බි‍්‍රතාන්‍යයට පාවානොදී, පුළුස්සා විනාශ කර දමන බවට තර්ජනය කෙළේ ය. ප‍්‍රංශ විද්වතුන්ගේ ස්ථාවරය පිළිබඳව ක්ලාර්ක් සහ හැමිල්ටන් විසින් කරුණූ දක්වන ලදුව, ස්වාභාව ඉතිහාස ආදර්ශ විද්වතුන්ගේ පෞද්ගලික දේපළ බව පිළිගැනීමට හචින්සන් අවසානයේ දී එකඟ විය. මැනෝ ඉතා ඉක්මණින්ම පාෂාණය ද සිය පෞද්ගලික දේපළ බව කියා සිටියේ ය. එහෙත් එහි අද්විතීය වටිනාකම ගැන අවබෝධයක් තිබූ ජෙනරල් හචින්සන් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කෙළේ ය. අවසානයේ දී සම්මුතියක් ඇති කර ගන්නා ලදුව, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ සහ ඔටෝමන් හමුදාවන්ගේ නියෝජිතයන් විසින් අත්සන් කෙරුණු ‘ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ දී යටත් වීමේ ගිවිසුම’ ට මෙම ද්‍රව්‍ය භාරදීමේ කොන්දේසි ද ඇතුළත් කරන ලදි.

පාෂාණය බි‍්‍රතාන්‍ය හස්තයට මාරුවූයේ කෙසේදැයි හරියටම පැහැදිළි නැත. ඒ, සමකාලීන වාර්තා එකකට එකක් නොගැළපෙන විස්තර සපයන හෙයිනි. එය එංගලන්තය වෙත ගෙන යද්දී ආරක්ෂාව සැපයූ ක’නල් ටොම්කින්ස් හිල්ග්‍රෝ ටර්නර් (Colonel Tomkyns Hilgrove Turner) පසුව පවසන අන්දම ට, ඔහු පෞද්ගලිකව ම එය මෙනෝ ගෙන් අත්කර ගෙන කාලතුවක්කු ගැළකින් රැගෙන ගොස් ඇත. වඩා විස්තරාත්මක වාර්තාවක එඩ්වර්ඩ් ඩැනියෙල් ක්ලාර්ක් පවසන්නේ, ‘ඊජිප්තු ආයතනයේ’ සාමාජිකයෙකු සහ නිලධාරියෙකු වන අයෙකු තමාත්, තම ශිෂ්‍යයෙකු වූ ජෝන් ක‍්‍රිප්ස් (John Cripps) සහ හැමිල්ටනුත් රහසිගත ව මෙනෝ ගේ නවාතැනේ පිටුපස ට කැටිව ගොස්, මෙනෝගේ මාර්ගෝපකරණ අතර ආරක්ෂක පළස් වලට යටින් සඟවා තිබූ පාෂාණය අනාවරණය කර දැක්වූ බවය. ක්ලාර්ක් ට අනුව, ඔවුන්ගේ තොරතුරු සපයන්නා, මෙම පාෂාණය ප‍්‍රංශ සොල්දාදුවන් දුටුව හොත් සොරකම් කරති’යි සැක කෙළේ ය. මේ පිළිබඳව හචින්සන් එකෙණහි ම දැනුවත් කරනු ලදුව, පාෂාණය (බොහෝ විට ටර්නර් විසින් ඔහුගේ කාළතුවක්කු ගැළෙහි පටවාගෙන) රැගෙන යන ලදි.

1802 පෙබරවාරියේ දී පෝර්ට්ස්මත් වෙත සේන්දු වූ, අල්ලාගත් ප‍්‍රංශ ෆ‍්‍රිගේට් නෞකාවක් වූ එච්එම්එස් ඊජිප්තියෙන් (HMS Egyptienne) නැවෙන්, ටර්නර් රොසෙට්ටා පාෂාණය එංගලන්තයට ගෙන ආවේ ය. ඔහුට ලැබී තිබුණු නියෝග වූයේ එය අනෙකුත් පුරාකෘති සමඟ තෙ වන ජෝර්ජ් රජු හට ඉදිරිපත් කිරීමට ය. රජු ගේ නියෝජිතයා වූ යුධ ලේකම් හොබාර්ට් සාමිවරයා (Lord Hobart) මඟින් රජු, එය බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ ස්ථාපිත කිරීමට නියම කෙළේ ය. ටර්නර් ගේ ආඛ්‍යානය අනුව, එය කෞතුකාගාරයේ අවසන් වරට තැන්පත් කිරීමට පෙර තමන් ද සාමාජිකත්වය ඉසුළුෑ ලන්ඩන් පුරාවිද්‍යා ගවේෂකයන් ගේ සමාජයේ (Society of Antiquaries of London) විද්වතුන් හට ඉදිරිපත් කිරීම සුදුසු බවට, ඔහු කළ බලකිරීමට හොබාර්ට් සාමිවරයා එකඟ විය. එහි 1802 මාර්තු මස 11 වන දා පැවති රැස්වීමක දී පාෂාණය මුල්වරට ප‍්‍රදර්ශනය කර සාකච්ඡුාවට බඳුන් කරන ලදි.


1874 දෙවන ජාත්‍යන්තර ප‍්‍රාචීණ ශාස්ත‍්‍රඥයන්ගේ කොන්ග‍්‍රසයේ දී (Second International Congress of Orientalists)විශේෂඥයෝ රොසෙට්ටා පාෂාණය පරීක්ෂා කරති. 

1802 කාල සීමාවේ දී ලන්ඩන් පුරාවිද්‍යා ගවේෂක සමාජය, මෙම අභිලේඛනයේ හුණු බදාම අච්චු හතරක් නිර්මාණය කර ඔක්ස්ෆර්ඩ්, කේම්බි‍්‍රජ් සහ එඩින්බර්ග් යන විශ්වවිද්‍යාලයන් ට සහ ඩබ්ලින් හි ත‍්‍රිත්ව විද්‍යාලයට ලබා දුන්නේ ය. ටික කලකින් ම අභිලේඛනයේ මුද්‍රිත පිටපත් සකස් කෙරුණු අතර, යුරෝපීය විද්වතුන් අතර ඒවා සංසරණය වන්නට විය. 1802 වසර අවසන් වන්නට පෙර පාෂාණය, එය අදටත් පවතින බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයට මාරු කර යවන ලදි. එම පුවරුවේ දකුණු සහ වම් මුහුණත් වල එය ‘‘1801 දී ඊජිප්තුවේ දී බි‍්‍රතාන්‍ය හමුදා විසින් අල්ලාගන්නා ලද’’ බව හා ‘‘තෙ වන ජෝර්ජ් රජු විසින් ඉදිරිපත් කරන ලද’’ බව දැක්වෙන නූතන අභිලේඛන, තීන්තෙන් සටහන් කර ඇත.

1802 ජූනි මාසයේ සිට මේ දක්වා බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ දී රොසෙට්ටා පාෂාණය බොහෝ දුරට නොකඩවා ම මහජනයා ට ප‍්‍රදර්ශනය කර තිබේ. දහ නව වන සියවසේ මැද භාගයේ එය ට ‘ඊඒ 24’ ("EA 24") යන භාණ්ඩ වට්ටෝරු අංකය ලබා දී ඇත. ඊඒ යනු, ඊජිප්තු පුරාවස්තු යන අරුත ඇති "Egyptian Antiquities" යන පදය යි. මෙය, ප‍්‍රංශ යුධ ප‍්‍රයාණයෙන් අල්ලා ගන්නා ලද පුරාණ මිසර පුරා ස්මාරක එකතුවක කොටසකි. එම එකතුවේ අනෙකුත් අංග අතර, දෙ වන නෙක්ටනෙබෝ ගේ මමි මංජුසාව (sarcophagus of Nectanebo II) - ඊඒ 10, අමුන් ගේ ප‍්‍රධාන පූජකයෙකු ගේ ප‍්‍රතිමාවක් - ඊඒ 81 සහ දැවැන්ත ග‍්‍රැනයිට් මුෂ්ටියක් - ඊඒ 9 - වේ. නොබෝ කලකින් ම මෙම වස්තූන් ගේ බර, බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ මුල් ගොඩනැගිල්ල වූ මොන්ටේගු මන්දිරයේ බිමට ඔරොත්තු නොදෙන බව වැටහී, එම මන්දිරයේ ම අලූතින් ඉදිකරන ලද කොටසකට ඒවා ගෙන යන ලදි. 1834 දී මොන්ටේගු මැදුර කඩා දමා කෞතුකාගාරයේ දැනට පවතින ගොඩනැගිලි ඉදි කළාට ඉතා ටික කලකට පසුව, රොසෙට්ටා පාෂාණය මූර්ති ප‍්‍රදර්ශන ශාලාවට මාරු කෙරුනි. කෞතුකාගාරයේ වාර්තා අනුව, වැඩිම පිරිසක් නරඹන ලද කේවල ප‍්‍රදර්ශකය රොසෙට්ටා පාෂාණය වන අතර, දශක කිහිපයක් යන තුරු වැඩියෙන් ම අලෙවි වූ පින්තූර තැපැල්පත වූයේ, පාෂාණයේ සරළ පින්තූරයක් සහිත එකකි.

රොසෙට්ටා පාෂාණය මුල්කාලයේ දී ප‍්‍රදර්ශනය කෙරුණේ තිරස් පිහිටීමෙන් මඳ කෝණයක් සිටින සේ ඇළ කර, ඒ සඳහා ම නිමවන ලද ලෝහමය තොටිල්ලක රඳවා තබා ය. මෙම තොටිල්ල ට හොඳින් සවිවන සේ පාෂාණයේ පැති වලින් ඉතා ම සුළු ප‍්‍රමාණයක් සැස දමා තිබේ. මුලදී එයට ආරක්ෂිත වැස්මක් යොදා තිබුණේ නැත. 1847 වන විට, නරඹන්නන්ගේ ඇඟිලි තුඩින් පාෂාණයට හාණි වීම වැළැක්වීම සඳහා ආරක්ෂිත රාමුවක් සවිකිරීමේ අවශ්‍යතාවය පෙනී ගියේ ය. 2004 සිට, සංරක්ෂණය කෙරුණු පාෂාණය, විශේෂයෙන් නිමවන ලද ආවරණයක් තුළ තබා ඊජිප්තු මූර්ති ප‍්‍රදර්ශනාගාරයේ මැද ප‍්‍රදර්ශනයට තබා තිබේ. රොසෙට්ටා පාෂාණයේ අනුරුවක්, බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ රජුගේ පුස්තකාලයේ (King's Library), මුල් 19 වන සියවසේ නරඹන්නන්ට දැකගත හැකිව තිබූ ආකාරයට ම ආවරණයකින් ද තොරව ස්පර්ෂ කළ හැකි අයුරින් තබා ඇත.


රජුගේ පුස්තකාලයේ ඇති අනුරුව

පළමු ලෝක යුද්ධයේ අවසාන කාලයේ දී හෙවත් 1917 දී ලන්ඩන් නුවර පැවති ගුවන් බෝම්බ ඉළක්කයක් ලෙස කෞතුකාගාරය සැළකුණු හෙයින්, සෙසු වටිනාකමින් ඉහළ චංචල වස්තූන් සමඟ රොසෙට්ටා පාෂාණයද ඉවතට ගෙන යන ලදි. ඊළඟ වසර දෙක පුරා පාෂාණය තබා තිබුණේ, හොල්බෝර්න් නගරයට ආසන්න මවුන්ට් ප්ලෙසන්ට් හි පොළෝ මට්ටම ට වඩා මීටර 12.24 ක් (අඩි 50 ක්) පහළින් පිහිටි තැපැල් උමං දුම්රිය ස්ථානයක ය. යුධ සමයේ දී හැරුණු කොට රොසෙට්ටා පාෂාණය කෞතුකාගාරයෙන් පිටතට ගෙන යන ලද්දේ එක් වතාවක දී පමණි. ෂැම්පෝලියන් පත‍්‍රිකාව ප‍්‍රකාශයට පත් කර වසර 150 සංවත්සරය නිමිත්තෙන්, ලූව්ර කෞතුකාගාරයේ දී එම පත‍්‍රිකාව ද සමඟ ප‍්‍රදර්ශනය කිරීම සඳහා 1972 ඔක්තෝබර් මාසයේ දී, මසකට මෙම පාෂාණය පැරීසියට ගෙන යන ලදි. මහජන ප‍්‍රදර්ශනයට බාධා නොවන අයුරින්, 1999 දී කෙරුණු රොසෙට්ටා පාෂාණයේ සංරක්ෂණ මිනුම් කටයුතු පවා සිදුකෙරුණේ ප‍්‍රදර්ශනාගාරය තුළ දී ම ය.

රොසෙට්ටා පාෂාණය කියවීම

රෝම අධිරාජ්‍යය බිඳවැටීම ට මඳ කාලයකට පෙර පටන්, රොසෙට්ටා පාෂාණය සොයාගැනීම සහ කියවීම දක්වා කාල සීමාව පුරා, පුරාතන මිසර භාෂාව සහ ලේඛන ශාස්ත‍්‍රය පිළිබඳ දැනීම ලෝකයාට ගිළිහී වියැකී ගිය දැනුමක් ව තිබුනි. පසු පාරාවෝ යුග වලදී පවා හයිරෝරේඛනය ලේඛනයේ දී භාවිතය එන්න එන්නම සීමිත පිරිසක් අතර විශේෂීකරණය වෙමින් පැවතුණේ ය. ක‍්‍රි. ව. 4 වන සියවස වන විට, හයිරෝරේඛනය කියවීමේ හැකියාව පැවතුණේ ඉතා සුළු ඊජිප්තුවන් පිරිසක් අතර පමණි. පළමු තියඩෝසියස් නම් රෝමක අධිරාජ්‍යයා විසින් ක‍්‍රි. ව. 391 දී ක‍්‍රිස්තියානි නොවන සියළුම දේවස්ථාන වසා දැමීමට නියෝග කිරීමෙන් පසු ස්මාරක සඳහා හයිරෝරේඛනය භාවිතා කිරීම වාරණය වි ගියේ ය. දැනට සොයාගෙන ඇති අවසාන හයිරෝරේඛිත අභිලේඛනය වන, ෆිලේ හිදී සොයාගන්නා ලද එස්මෙට්-අක්හොම් ගේ පුවරු ලිපිය (The Graffito of Esmet-Akhom ක‍්‍රි. ව. 396 අගෝස්තු මස 24 වන දිනයට කාලනිර්ණය කර ඇත.

හයිරෝරේඛනය, වෙනත් ග‍්‍රීක සහ රෝමක වැනි පුරාණ භාෂා මෙන් නොව තම රූපමය මුහුණුවර දිගටම පවත්වාගත් අතර ආචීර්ණ කාල්පික ලේඛකයෝ ද මෙම ගුප්ත බව බර කොට දැක්වූහ. උදාහරණයක් ලෙස, පස් වන සියවසේ දී හෝරැපොල්ලෝ (Horapollo) නම් පූජකවරයා ලියූ හයිරොග්ලිපිකා (Hieroglyphica) නම් ග‍්‍රන්ථයෙහි රූපාක්ෂර 200 ක් පමණ පැහැදිළි කර තිබේ. එහෙත් එම නිරුක්ති නොමඟ යවන සුළු බව විශ්වාස කිරීමට සාක්ෂි ඇත. මෙවැනි කටයුතු, ඊජිප්තු ලේඛන තේරුම් ගැනීමේදී දිගුකාලීන වශයෙන් බලපෑ අවහිරතාවයන් විය. හයිරෝරේඛනය කියවීමේ පසුකාලීන උත්සාහයන් දරණ ලද්දේ ක‍්‍රි. ව. 9 සහ 10 සියවස් වල මධ්‍යතන මිසරයේ විසූ අරාබි ඉතිහාසඥයන් විසිනි. ද්හුල්-නුන් අල්-මිස්රි (Dhul-Nun al-Misri) සහ ඉබ්න් වහ්ශිය්යා (Ibn Wahshiyya) මෙම පුරාණ පිටපත් අධ්‍යයනයට යොමු වූ පළමු ඉතිහාසඥයෝ වූහ. ඔවුන් මෙය ඉටුකර ගැනීමට උත්සාහ කෙළේ සමකාලීන කොප්ටික් පූජක වරුන් අතර භාවිත කෙරුණු නූතන කොප්ටික්  භාෂාව (පුරාණ මිසර භාෂාවෙන් සෘජුව පරිණාමයට පත් නූතන ස්වරූපය) මෙම ලේඛන හා සැසඳීමෙනි. හයිරෝරේඛනය අධ්‍යයනය කිරීම යුරෝපීය විද්වත්හු, ප‍්‍රතිඵල රහිතව වුවද අඛණ්ඩව කරගෙන ගියහ. මොවුන් අතර, 16 වන සියවසේ යොහාන්නස් ගොරොපියස් බෙකනස් (Johannes Goropius Becanus), 17 වන සියවසේ ඇතනේසියස් කර්චර් (Athanasius Kircher) සහ 18 වන සියවසේ ජෝර්ජ් සෝගා (Georg Zoëga) ප‍්‍රධාන වෙති. 1799 දී රොසෙට්ටා පාෂාණය සොයාගැනීමෙන් සළසාදෙන ලද, ඒ තාක් සැඟවී පැවති ඉතා වැදගත් තොරතුරු නිසා විද්වතුන් ගේ කටයුතු සාර්ථක වීමේ මාර්ගය පෑදුණි. එහි අවසානය ලෙස ශෝං-ෆ‍්‍රාංස්වා ෂැම්පෝලියන් මෙම ගුප්ත ලියවිල්ලේ ස්වභාවය අවබෝධ කරගැනීමේ මඟ හෙළි කර ගත්තේ ය.

ග‍්‍රීක පෙළ

රොසෙට්ටා පාෂාණයේ වූ ග‍්‍රීක පෙළ, එම අභිලේඛනය කියවීමේ ආරම්භක පියවර විය. පුරාණ ග‍්‍රීක බස විද්වතුන් අතර ඉතා ප‍්‍රචලිත වූවත්, ටොලමියානු ඊජිප්තුවේ, හෙලෙනික යුගයේ දී රාජ්‍ය භාෂාවක් ලෙස එහි භාවිතය පිළිබඳ විස්තර ප‍්‍රකට ව නොතිබුණි. ග‍්‍රීක පැපිරස් ලියවිලි බොහෝ ගණනක් සොයාගන්නා ලද්දේ ඊට බොහෝ මෑත කාලවල දී ය. එහෙයින්, රොසෙට්ටා පාෂාණයේ ග‍්‍රීක පෙළ ට සපයන ලද මුල්ම කාලීන පරිවර්තනයන් වලින්, එම පරිවර්තකයන් මිසරයේ ඓතිහාසික සන්දර්භයත්, ආගමික හා පරිපාලනමය ව්‍යුහයේ ව්‍යාකූල සංකීර්ණත්වයත් තේරුම් ගැනීමට දරා ඇති ඉමහත් ආයාසය මනාව පිළිබිඹු වේ. ස්ටෙෆන් වෙස්ටන් (Stephen Weston) 1802 අපේ‍්‍රල් මස පුරාවිද්‍යා ගවේෂකයන්ගේ සමාජයේ දී මෙම ග‍්‍රීක පිටපතෙහි ඉංග‍්‍රීසි පරිවර්තනයක් වාචිකව ඉදිරිපත් කෙළේ ය. මේ අතර, ඊජිප්තුවේ දී සකස් කරන ලද පාෂාණයේ ලිතෝග‍්‍රාෆ් පිටපත් දෙකක් 1801 දී පැරිසියේ ප‍්‍රංශ ආයතනය (Institut de France) වෙත ලැබී තිබුණි. එහි පුස්තකාලාධිපති මෙන්ම, පුරාවිද්‍යා ගවේෂකයෙකු ද වූ ගබි‍්‍රයෙල් ද ලා පෝර්තෙ ද්‍යු තේල් (Gabriel de La Porte du Theil) එහි ග‍්‍රීක පිටපත පරිවර්තනය කිරීමේ කාර්යය ආරම්භ කෙළේ ය. ඊට ඉතාමත් සුළු කාලයකට පසු හෙතෙම නැපෝලියන් අධිරාජ්‍යයාගේ නියෝගයක් මත වෙනත් ස්ථානයකට මැරු කරන ලදි. ඔහු තම නිමා නොවූ කාර්යය වෘත්තීය සගයෙකු වූ හියුබෙයා-පැස්කල් අමේල්හොන් (Hubert-Pascal Ameilhon) අත පත් කරන ලදුව, ඔහු 1803 දී ප‍්‍රථම වරට ග‍්‍රීක පිටපතේ පරිවර්තනයක් ලතින් සහ ප‍්‍රංශ භාෂා දෙකෙන් ම (ලොව පුරා ප‍්‍රචලිත කිරීමේ අරමුණින්) ප‍්‍රකාශයට පත් කෙළේ ය. කේම්බි‍්‍රිජ් සරසවියේ දී රිචර්ඩ් පෝසන් (Richard Porson) ග‍්‍රීක පිටපතේ පහළ දකුණු පස හාණියට පත් වූ කොටස ගැන අධ්‍යයනයක් ආරම්භ කළ අතර, ඔහු විසින් චතුර ලෙස ප‍්‍රතිනිර්මාණය කරන ලද යෝජිත පෙළ, පුරාවිද්‍යා ගවේෂකයන් ගේ සමාජය විසින්, අභිලේඛනයේ පිටපත් ද සමඟ ප‍්‍රසිද්ධියට පත් කරන ලදි. එම කාලයේ දී ම ගෝටින්ගන් (Göttingen) හි සම්භාව්‍ය ඉතිහාසඥ ක‍්‍රිස්ටියන් ගොට්ලීබ් හේන් (Christian Gottlob Heyne) මෙම පිටපත් අධ්‍යයනය කරමින්, අමේල්හොන් ගේ පරිවර්තනයට වඩා විශ්වසනීය නව ලතින් පරිවර්තනයක් ඉදිරිපත් කෙළේ ය. 1803 දී ප‍්‍රකාශයට පත් කරන ලද මෙය, පුරාවිද්‍යා ගවේෂකයන් ගේ සමාජය 1811 දී, වෙස්ටන් ගේ කලින් ප‍්‍රකාශයට පත් නොවූ පරිවර්තනය ත්, ක’නල් ටර්නර් ගේ වෘත්තාන්තය ත්, වෙනත් ලේඛන ත් සමඟින්, ඔවුන්ගේ ආර්කියොලොජියා (Archaeologia) නම් සඟරාවේ විශේෂ කළාපයක නැවත ප‍්‍රකාශයට පත් කෙළේ ය.

රොසෙට්ටා පාෂාණයේ හාණියට පත්ව ඇති 
ග‍්‍රීක පෙළෙහි රිචර්ඩ් පෝර්සන් විසින් යෝජිත ඌණ පූරණය

ඊජිප්තු ව්‍යවහාරික භාෂාවෙන් යුක්ත පිටපත

යොහාන් දාවිද් අකර්බ්ලඩ් විසින් සකසන ලද,
ඊජිප්තු ව්‍යවහාරික ශබ්ද විද්‍යාත්මක සංකේත සහ ඒවාට සම
කොප්ටික් සංකේත සැසඳීමේ වගුව (1802)
පාෂාණය සොයාගන්නා කාලයේ දී සවීඩන් ජාතික රාජ්‍යතාන්ත‍්‍රිකයෙකු සහ විද්වතෙකු වූ යොහාන් දාවිද් අකර්බ්ලඩ් (Johan David Åkerblad) සමකාලීනව ඊජිප්තුවෙන් ලැබුණු ආදර්ශ කිහිපයක සටහන් වුණු, පසුව ‘ව්‍යවහාරික’ (Demotic) යැයි හැඳින්වෙන්නට වුණු, නොදන්නා ලේඛන ක‍්‍රමයක් පිළිබඳ පර්යේෂණ කරමින් සිටියේ ය. එය පසුකාලීන කොප්ටික් භාෂාව සමඟ ඉතා සුළු සමානකම් ප‍්‍රමාණයක් දැක්වුව ද, කොප්ටික් භාෂාවේ එක්තරා ස්වරූපයක් සඳහා භාවිත වූ ලේඛන ක‍්‍රමයක් බව එ්ත්තුගෙන සිටි හෙයින්, ඔහු එය ‘වැල් කොප්ටික්’ ("cursive Coptic") ලෙස හැඳින්වූයේ ය. අකර්බ්ලඩ් සමඟ මෙම කටයුත්ත පිළිබඳ අදහස් හුවමාරු කරගනිමින් සිටි ප‍්‍රංශ ජාතික ප‍්‍රාචීණ ශාස්ත‍්‍රඥයෙකු වූ අන්තුවාං-ඊසාක් සිල්වෙස්ත‍්‍ර ද සැසි (Antoine-Isaac Silvestre de Sacy) හට 1801 දී ප‍්‍රංශයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය ශෝං-අන්තුවාං ශප්තාල් (Jean-Antoine Chaptal) වෙතින් රොසෙට්ටා පාෂාණයේ මුල්ම ලිතෝග‍්‍රැෆික් පිටපතක් ලැබී තිබුණි. එහි මධ්‍ය කොටසේ ඇති පිටපත ඉහත ලේඛන ක‍්‍රමයට ම අයත් බව ඔහු තේරුම් ගත්තේ ය. ඔහු සහ අකර්බ්ලඩ් රොසෙට්ටා පාෂාණයේ මැද කොටසේ පිටපත අකාරාදික ස්වරූපයේ ලේඛන ක‍්‍රමයක් (ශබ්ද විද්‍යාත්මක නොව) බවට අනුමාන කරමින්, එය අධ්‍යයනය කිරීමට යොමු වූ අතර, ඔවුන් පටන් ගත්තේ ග‍්‍රීක පිටපතේ හඳුනාගත් නාම පද වලින් පටන් ගෙන ග‍්‍රීක පෙළ සහ මෙම නාඳුනන ලේඛනය එකට සැසඳීමෙනි. 1802 දී සිල්වෙස්ත‍්‍ර ද සැසි, තමන් සාර්ථක ලෙස නාමපද පහක් (‘ඇලෙක්සැන්ඩ්‍රොස්’, ("Alexandros") ‘ඇලෙක්සැන්ඩි‍්‍රයා’ ("Alexandreia"), ‘ටොලමයියොස්’ ("Ptolemaios")", ‘ආර්සිනෝ’ ("Arsinoe"), සහ පස් වන ටොලමිගේ ගරු නාමය වූ ‘එපිෆානිස්’("Epiphanes")) හඳුනාගත් බව ශප්තාල් හට වාර්තා කෙළේ ය. ඒ වන විට අකර්බ්ලඩ් ව්‍යවහාරික භාෂාවෙන් වූ පිටපතේ තිබූ ග‍්‍රීක නම් ඇසුරින් හඳුනාගත් අකුරු 29 ක් ප‍්‍රකාශයට පත් කර තිබුණි. (ඉන් බාගයකට වැඩි ගණනක් නිවැරදි බව පසුව තහවුරු විය. එනමුත්, ඔවුනට ව්‍යවහාරික භාෂාවෙන් ඇති ලේඛනයේ අඩංගු සෙසු සංකේත හඳුනාගත නොහැකි විය. දැන් සොයාගෙන ඇති පරිදි එහි, ශබ්ද විද්‍යාත්මක අක්ෂර මෙන්ම චිත‍්‍ර ලේඛිත අක්ෂර (Ideographic Characters) සහ වෙනත් සංකේතද ඇතුළත් වේ.

හයිරෝරේඛිත පිටපත

අවසානයේ සිල්වෙස්ත‍්‍ර ද සැසි රොසෙට්ටා පාෂාණය සම්බන්ධව කටයුතු කිරීම අත්හැර දැමූ නමුත්, පසුකාලීනව ඒ පිළිබඳ තවත් දායකත්වයක් සැපයී ය. 1811 දී හෙතෙම චීන සිසුවෙකු සමඟ චීන අත්පිටපත් පිළිබඳව කරන ලද සාකච්ඡුාවකින් පොළඹවන ලදුව, ඊජිප්තු හයිරෝරේඛිත පිටපතේ එන විදේශීය නම් ශබ්ද විද්‍යාත්මක සංකේත මඟින් සටහන් කර තිබෙන්නට හැකි බවට 1797 දී ජෝර්ජ් සෝගා විසින් ඉදිරිපත් කරන ලද අදහස පිළිබඳ අවධානය යොමු කෙළේය. තවදුරටත් ඔහු, හයිරෝරේඛිත කාර්ටූෂ් (පාරාවෝ රජවරුන්ගේ නම සහ තනතුර සටහන් කරන ලද මුදු) වල ඇතුළත් වන සංකේත, සංඥා නාම වන්නට හැකි බවට 1761 තරම් ඈතදී ශෝං-ශාක් බාර්තෙලමි (Jean-Jacques Barthélemy) විසින් නඟන ලද අදහස ද සිහිපත් කෙළේ ය. එසේ, ලන්ඩන් හි රාජකීය සංගමයේ විදේශ ලේකම් වූ තෝමස් යංග් (Thomas Young) 1814 දී රෙසෙට්ටා පාෂාණය පිළිබඳව සිල්වෙස්ත‍්‍ර ද සැසි සමඟ කරන ලද ලිපි හුවමාරුවේදී, හයිරෝරේඛිත පිටපත කියවීමට තැත් කරන්නේ නම්, ග‍්‍රීක නම් ඇතුළත් විය යුතු කාර්ටූෂ් සොයාගෙන, ඒවායේ ඇති ශබ්ද විද්‍යාත්මක සංකේත හඳුනාගැනීමට තැත්කිරීම සුදුසු යැයි, ද සැසි දැන්වීය.

යංග් එය අනුගමනය කර, අවසාන පරිවර්තනයට මඟ පෑදූ ප‍්‍රතිඵල දෙකක් අත්කරගත්තේ ය. ඔහු හයිරෝරේඛිත පිටපතේ ‘ටොලමයියොස්’ යන ග‍්‍රීක නම ලිවීම සඳහා යොදාගෙන තිබූ ‘‘ප් ට් ඔ ල් ම් එ ස්’’ ("p t o l m e s")  (නූතන අක්ෂර පරිවර්තනය ට අනුව ‘‘ප් ට් ව් ල් ම් යි ස්’’ ("p t w l m y s")) යන ශබ්ද විද්‍යාත්මක සංකේත සොයාගති. එසේ ම, ඔහු එම සංකේත, ව්‍යවහාරික භාෂාවෙන් ලියවුණු පිටපතේ පැවති සමාන සංකේත සමඟ සමපාත වන බව ද ඔහු හඳුනාගෙන, ඒ ඔස්සේ එවැනි සමානකම් 80 ක් තරම සොයාගත්තේ ය. මෙය ඉතා වැදගත් සොයාගැනීමක් වූයේ, හයිරෝරේඛිත පිටපත සහ ඊජිප්තු ව්‍යවහාරික බසින් යුත් පිටපත එකිනෙකින් ඉඳුරාම වෙනස් ඒවා යැයි කළින් විශ්වාස කරන ලද හෙයිනි. මෙයින් යංග් හට, ව්‍යවහාරික පිටපත ශබ්ද විද්‍යාත්මක සංකේත වලින් පමණක් සමන්විත නොවන බවත්, හයිරෝරේඛනය අනුකරණය කළ චිත‍්‍ර ලේඛිත සංකේත ද එහි ඇතුළත් වන බවත්, නිවැරදි ලෙස නිගමනය කළ හැකි විය. 1819 දී බි‍්‍රටැනිකා විශ්වකෝෂය සඳහා යංග් විසින් සපයන ලද ‘ඊජිප්තුව’ නම් දීර්ඝ ලිපියෙන් ඔහුගේ දෘෂ්ඨිය මනාව ප‍්‍රකට වේ. එසේ වුවත්, ඔහු ට ඊට වඩා දුරක් යාමට හැකි වූයේ නැත.

තෝමස් යංග්

ශෝං ෆ‍්‍රාංස්වා ෂැම්පෝලියන්

1814 දී යංග් පළමු වරට, පුරාතන මිසරය පිළිබඳ විදුහුරු මෙහෙයක් ඉටු කළ ග්‍රෙනෝබල් හි ආචාර්යවරයෙකු වූ ශෝං-ෆ‍්‍රාංස්වා ෂැම්පෝලියන් සමඟ ලිපි හුවමාරු කරගත්තේ ය. විලියම් ජෝන් බෑන්ක්ස් විසින් ‘ටොලමයියොස්’ සහ ‘ක්ලියෝපැට්රා’ යන නම් හයිරෝරේඛනයෙන් සහ ග‍්‍රීක බසින් කියවාගන්නා ලද, ෆිලේ හි ඔබෙලිස්ක ස්තම්භයේ (obelisk of Philae) සංක්ෂිප්ත පිටපතක් 1822 දී ෂැම්පෝලියන් හට දැකගන්නට ලැබුණි. එයින් ඔහු ‘ක් ල් එ  ඕ ප් අ ට් ර් ආ’ (k l e o p a t r a) (නූතන අක්ෂර පරිවර්තනයට අනුව ‘ක්ව් ල් ඉ ... ව් ප් ට් ඩ් ර් ... ට් (q l i... w p t d r t)යන ශබ්ද විද්‍යාත්මක සංකේත හඳුනාගත්තේ ය. මෙය සහ රොසට්ටා පාෂාණයේ සටහන් වූ විදේශීය නම් පදනම් කරගෙන හෙතෙම ඉතා ඉක්මණින් ශබ්ද විද්‍යාත්මක හයිරෝරේඛන අක්ෂර හෝඩියක් ගොඩනැංවීය. තම අතින් ම සකසන ලද එම වගුවෙහි මුද්‍රිත පිටපතක් 1822 අගභාගයේ දී ෂැම්පෝලියන් විසින් පැරිසියේ අභිලේඛන සහ පුරාණ ලියවිලි පිළිබඳ විද්‍යායතනයේ (Paris Académie des Inscriptions et Belles-Lettres) ලේකම් බොන්-ශොසේෆ් ඩාසියේ (Bon-Joseph Dacier) වෙත යවන ලද ලිපියකට ("Lettre à M. Dacier") ඇතුළත් කරන ලදුව, එම විද්‍යායතනය විසින් ඉක්මණින්ම ප‍්‍රකාශයට පත් කරන ලදි. මෙම ලිපිය ඊජිප්තු හයිරෝරේඛනය කියවීමේ සැබෑ සන්ධිස්ථානය සටහන් කරන්නේ, හෝඩිය සහ ප‍්‍රධාන ලියවිල්ල නිසා පමණක් නොව, සමාන ශබ්ද විද්‍යාත්මක අක්ෂර ග‍්‍රීක නම් සඳහා පමණක් නොව මිසර ස්වදේශීය නම් සඳහා ද භාවිතා වී ඇති බව සඳහන් කෙරුණු ෂැම්පෝලියන් ගේ පසු සටහන ද හේතුවෙනි. බෑන්ක්ස් විසින් අබු සිම්බල් (Abu Simbel) හි දී වඩා පැරණි කාර්ටූෂ් වලින් පිටපත් කරගෙන, ශෝං-නිකොලස් හූයෝ (Jean-Nicolas Huyot) අත ෂැම්පෝලියන් වෙත එවන ලද බොහෝ පැරණි හයිරෝරේඛිත සටහන් අතර වූ, රැමසීස් (Ramesses) සහ තුට්මෝස් (Thutmose) යන පාරාවෝ වරුන්ගේ නම් හඳුනාගැනීමෙන්, 1823 දී ෂැම්පෝලියන් ඉහත අදහස තහවුරු කෙළේ ය. මෙයින් පසුව රොසෙට්ටා පාෂාණයේ කතාව සහ ඊජිප්තු හයිරෝරේඛනය කියවීම එකිනෙකින් වෙන් වූ මඟක් ගනී. ඉන් පසු, මුල්වරට පැරණි මිසර ව්‍යාකරණය සහ හයිරෝරේඛනය පිළිබඳ ශබ්ද කෝෂයක් ගොඩනැංවීම කෙරෙහි ෂැම්පෝලියන් ඇදී ගියේ ය. එම කටයුතු දෙක ම ඔහුගේ මරණයෙන් පසුව ප‍්‍රකාශයට පත් කරන ලදි.

තවත් කොටසක් බලාපොරොත්තුවන්න...

මූලාශ්‍ර:
https://en.wikipedia.org/wiki/Rosetta_Stone

34 comments:

  1. උඹ මාර කට්ටක් කන්න ඇතිනේ බං මේ විස්තර හොයල මෙච්චර දිග පෝස්ට් එකක් ලියන්න...
    ඇතිකරගත් උනන්දුවෙන් යුතුව සම්පුර්ණ පෝස්ට් එකම කියෙව්වා...
    ඉස්කෝතුයි ඔබට...

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි ලොක්ක... උඹේ කමෙන්ට් එක ගොඩක්ම හිතට වැදුණ.

      ඇත්තටම එච්චර මහන්සියක් උනා කියල මතක නෑ. මේක මං විකිපීඩියා එකෙන් පරිවර්තනය කරපු එකයි කළේ. 2012 දි විතර. මාස දෙකක් විතර ගියා වැඩේට. රන්බිම කියල පත්තරයෙක් තිබුණ. ඒකට ලිව්වෙ. මේ පාර කළේ, අභය ෆොන්ට් එකෙන් යුනිකෝඩ් වලට කන්වර්ට් කරපු එක.

      Delete
    2. පරිවර්තනය කරල වැඩක් නෑ පුතා උඹ හරය අල්ලගත්ත තැන අනිත් අයට දෙන්නෙ නැත්නං

      Delete
    3. හරය? තේරුන්නෑ මොකද්ද කිව්වෙ කියල...

      Delete
    4. උසස් පරිවර්ථනයක්. සමහර පරිවර්ථනවල තියන awkward ගතිය මේකෙ නෑ

      Delete
    5. ගොඩක් ස්තූතියි ප්‍රා ජේ. ගොඩක් පරිවර්තන ඔය වගේ වෙන්නෙ, පරිවර්තනය උවමනාවකින් කරන් නැති හින්දනෙ. නැත්තං, අපිට තේරෙන්නැති වාක්‍යාංශ, අවර වචන එහෙම ආවහම ඔන්ලයින් ඩික්ෂනරියකිං බැලුවනං ඒකෙ නියම තේරුම හොයාගන්න පුළුවං. අනික උච්චඡාරණය පවා ඔන්ලයින් හොයාගන්න පුළුවන්නෙ. ලොකු මහන්සියක් වෙන්න ඕනෙ නෑ. ඕනෙ උනන්දුවයි, ඕනෙකමයි විතරයි.

      Delete
    6. මම නං කියන්නේ මේ පරිවර්තනයෙහි හරයක් නෑ කියලයි. මොකද ධාරණය විය යුතු දේ හරිම දුර්වල විදියට දෙන්නේ.. දැං මේ රොසෙට්ටා ගලේ ඇති වැදගත්කම මොකක්ද මොන වගේ එකකද් කියල ඇහුවොත් උත්තර දෙන්න මේ කියවපු අයට පුළුවන්ද?

      Delete
    7. දේශකයා කියන දේ හරි. රොසෙට්ටා පාෂාණය ගැන දන්න කෙනෙකුට මිසක් මේ ලිපිය වෙන කෙනෙකුට එච්චර ක්ලික් වෙන එකක් නෑ.

      යමක් හඳුන්වාදෙමින් විස්තර ඉදිරිපත් කරන ලිපියක් වුනානම් මේ ලිපිය වඩාත් සාර්ථකයි. මේකෙන් කරන්නෙ නිකම්ම විස්තර ඉදිරිපත් කිරීමක් විතරයි.

      මං මින් ඉදිරියට ලියද්දි ඔය අඩුපාඩුව මගඇරගන්න උත්සාහ කරනව. ඒකට ගොඩක් ස්තූතියි දේශකයට...

      Delete
    8. නෑ බං මම කිව්වේ මේ වගේ ශ්‍රාස්ත්‍රිය විකිපීඩියා ලිපි පරිවර්තනය කිරීම හුදී ජනයාට තේරුම් ගැනීමට අපහසු කාර්යයක් කියලයි. ඒකයි මුලින් කිව්වේ මේ විෂය හදාරන්නෙකුට මේ ලිපිය ඉතා වැදගත් එකක් කියල. නමුත් උඹ කරල තියෙන්නේ විකිලිපියක් පරිවර්තනය කිරීම නිසා ප්‍රා කිව්වට awkward ගතිය තියෙනවා. (රහසින් - මිනිහට මේ වගේ ලිපි කෝමත් අති ඉන්රෙස්ටින්.. හැක්)

      අන්න උඹ ලිපි කිහිපයක් පදනම් කරගෙන මේ විදියට ලිපිය ලිව්ව නං තමා මඩු වල්ගෙන් තලන්නේ.. චියර්ස්

      Delete
    9. ඒක හරි දේශා, මගෙ ගුරු තනතුරේ මම සළකන පර්යේෂකයා මට කියපු දෙයක් තමා, ඔය වගේ පරිවර්තන කරන්නැතුව තමන් කියවපු මූලාශ්‍ර රාශියක් ඇසුරින් ලිපි ලියන එක වැදගත් කියල. මං ලියපු පරණ ලිපි තියෙනව ඒ විදිහට. අර “සක්වල චක්‍රය“, “මිහින්තලා පුවරු ලිපි“, “තෝනිගල ගිරිලිපිය“ එහෙම ඒ වගේ. එව්ව සාර්ථකයි කියන එක මටත් දැනෙනව.

      ඇහැට ඇනල පෙන්නල දුන්නට ස්තූතියි. ආයි ලියද්දි ඒ විදයට ලියන එක වැඩිය හොඳයි...

      Delete
  2. පළවෙනි පෝස්ට් එක කියවලාම එන්නම් ඩ්‍රැකී

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතිං ලබන සතියෙවත් ආපහු එයිද කියල ශුවර් නෑ... හැක්

      Delete
  3. හම්බේ බං ඒකෙ දිග..
    කම්මැලි වෙලාවක බං ඒක දැක්කෙ.. ආයෙ එන්නම් !

    ReplyDelete
    Replies
    1. හුකෑස්...!උඹ ආව එකවත් මදැයි සෑම. හෙණ කාලෙකින් නෙ දැක්කෙ.

      Delete
  4. ඔබ මේ ලිපිය ලියන්න හුඟක් මහන්සි වෙලා තියන බව පේනවා . ඉතා වටිනා ලිපියක්
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අගය කිරීමට...

      /ඉතා වටිනා ලිපියක් /
      ඒකනෙ කියන්නෙ. සූරසේන උන්නනං විකුණගන්ඩ තිබ්බ හොඳ ගාණකට... (විහිළුවට කිව්වෙ)

      Delete
  5. යස්ස වැඩක් බං. ඒ උනාට විෂය ඉගෙන ගන්න කෙනෙකුට හරියට වටිනවා. මතක ඇතිව ඔය ගල නිසා වෙච්චි සංහදිය පැහැදිලිව ලියහං. නං කියවල හක්ක ඇල ගහල ඉන්නේ මං.. හැක්

    ReplyDelete
    Replies
    1. හක්ක ඇල වෙන් නෑ කේ. ජී. කරුණාතිලකගෙ ප්‍රංශ පරිවර්තන කියෝල පුරුදු වෙලා උන්න නං. හැක්!

      අර කිව්ව වගේ පුරාවිද්‍යාව ගැනයි ඊජිප්තු ලියවිලි ගැනයි කුතුහලයක් තියෙන කෙනෙකුට මේක වටියි.

      ඉස්තූතියි...!

      Delete
  6. අම්මෝ හරි මහන්සියි , වඩයක් කාලා ප්ලේන්ටියක් බොමු ද ?

    ReplyDelete
    Replies
    1. පුස්ලෝඩං එකක් කමු?

      https://drackey.blogspot.com/2015/09/1.html

      Delete
  7. ලිපිය නම් හොඳයි. දැන් මේකෙන් දෙන පණිවිඩය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. පණිවිඩ දෙන්ඩ බ්ලොග් පෝස්ට් ලියන්නෑ ජගත්, ටෙලිග්‍රෑම් එකක් ගහනව මිසක්.

      Delete
  8. Replies
    1. දනිමි මම් දනිමි මම් - ගොදුරට මෑනෙන ඊතලය නුඹේ ඇස්...

      Delete
  9. https://motherboard.vice.com/en_us/article/d7338a/understanding-alien-messages-may-be-no-different-than-decoding-the-rosetta-stone

    ReplyDelete
    Replies
    1. ඒ ලිංක් එක ඔෆිස් එකේ ෆයර්වෝල් එකෙන් පිටට යන් නෑ. ඒත් ඒ කතාව ඇත්ත. ඕන්නං, ඒ වගේම ජීිත කාලය කැපකරනවනං, ඩිසයිපර් කිරීම බැරි දෙයක් නෙවෙයි. එක මට්ටමකට ඕක IQ වලත් කොටසක්නෙ.

      Delete
  10. නියමයි බන්! සෑහෙන්න මහන්සි වෙලා තියෙන බව පෙනෙනවා මේක ලියන්න. දිගටම ලියමු!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි උදය. මේ ලිපි මාලාව නං ඊළඟ එකෙන් ඉවර වෙයි.

      Delete
  11. මෝයි ඉතුරු කොටස් එන තෙක් බලා සිටිමි.....

    ReplyDelete
    Replies
    1. එහෙනං මීළඟ එකට ඒක ලියන්නං...

      Delete
  12. මේක තාම කියවන්න බැරි උනා බං.
    ඉතිං.. මට පාන්ද. හැක්..

    ඔවු උඹ අර චෝට් එකෙන් ගහපු එකා තමයි.

    ReplyDelete
    Replies
    1. පාං? න‍ෛ ක‍ෛද රෝස්පාං?

      Delete
  13. මේ විෂය මමත් හරිම ප්‍රිය කරන එකක් ඩ්‍රැකී

    ReplyDelete
    Replies
    1. මට තේරුණා... මං ගොඩාක් කලිං ලියපු ලිපි දෙක තුනක් තියෙනව. වෙලාවක කියවන්න එන්න.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි