තම ඉඟ වටා අතක් වෙළෙනු දැනී යුවතිය කිළිපොලා ගියා ය. ඇගේ මුවින් පිටවන්නට ගිය විළාපය ලත් තැනම නැවතුණි. ඒ, ඈ ඔහු හඳුනාගත් හෙයිනි.
Monday, April 22, 2019
රුහිරෙන් පුදමි - 2 කොටස
තම ඉඟ වටා අතක් වෙළෙනු දැනී යුවතිය කිළිපොලා ගියා ය. ඇගේ මුවින් පිටවන්නට ගිය විළාපය ලත් තැනම නැවතුණි. ඒ, ඈ ඔහු හඳුනාගත් හෙයිනි.
Friday, April 19, 2019
අවසානයක් නොවේ - තුන්වෙනි කොටස
දෙවෙනි කොටස
1672 අවුුරුද්ද...
ලුවී රජු යටතේ ප්‍රංශය ආණ්ඩු කළ අගමැති කෝල්බෙයා ගේ අදහස පරිදි ඉන්දීය සාගරයේ කුළුබඩු
වෙළෙඳාම අල්ලාගැනීමේ සැළැස්මේ කොටසක් ලෙස 1670 දී ෂැකොබ් බ්ලැකේ ද ලා හේ අද්මිරාල්
වරයා යටතේ නැව් කණ්ඩායමක් ප්‍රංශයේ රොශ්ෆෝ වරායෙන් දියත් වුණි. ඔවුන්ගේ ඉළක්කය වූයේ
ත්‍රිකණාමලයේ පිහිටි ඉතා වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයට පහර දී අල්ලා ගැනීම යි. සෙබළුන්
2250 කින් සහ කාලතුවක්කු 251 කින් සන්නද්ධ වූ ප්‍රංශ යාත්‍රා 9 ක් 1672 මාර්තු මස ත්‍රිකුණාමලයට
ළඟා වූ හ. ඔවුන් එල්ල කළ ඉමහත් යුධ ප්‍රහාරයන්ට මුහුණ දිය නොහැකි වූ ලන්දේසි හමුදා
ඛණ්ඩය කොට්ටියාරමේ පිහිටි තම බළකොටුව ගිණි තබා, පළා ගියේ කාල තුවක්කු 21 ක් ද අත හැර
දමමිනි.
ත්‍රිකුණාමලයේ කොට්ටියාරම් බොක්කේ පිහිටි ස්වභාවික වරායේ සුන්දරත්වයෙන් මත් වූ ප්‍රංශ නාවුකයෝ තම ඉන්දීය
සාගරයේ අනාගත මධ්‍යස්ථානය එහි පිහිටුවා ගැනීමට අදහස් කළහ. කොට්ටියාරම බළකොටුව පිළිසකර
කරගත් ඔවුහු එහි ලැගුම් ගනිමින්, කන්ද උඩරට රජු සමඟ ගිවිසුමකට එළඹීම සඳහා සිය තානාපති
වරුන් පිටත් කර හැරිය හ.
ටිරෙල් සෙසු සියල්ල අමතක කර දමා ඇසිල්ලකින් කුරුල්ලා ඉගිළුනු දිශාවට දිව ගියේය. මොහොතින් ඔහු වන ලැහැබ විසින් ගිළ ගැණුනි.
"අද්මිරාල්ගෙ දුරදක්නය..." නැවෙහි පළමු නිලධාරී රොල්ෆ් කෑගැසීය. ඒ කෑගැසීම අනුව වෙරළ දෙස බැලූ ද ලාහේ දුටුවේ ඇන්ඩර්සන් සිය ස්කැන්ඩිනේවියානු සහචරයන් තිදෙනෙකු ද සමඟ වන රොද දෙසට දිව යන අන්දම ය. වෙරළේ ඇණතබාගෙන විට හපමින් සිටි ස්වදේශික රාජපුරුෂයෝ ඉතා අලස ලෙස ඒ දෙස බලා සිටියහ.
"නාඳුනන රටක හිතුවක්කාරකම් කරන නාවිකයන්ට සමාවක් නැහැ. ඔවුන් ආපසු ආවිට දොරටුව විවෘත කළ හැකියි. එතෙක් අගුලු ලනු!" ද ලාහේ ගේ නියෝගය, දෙවන නිලධාරියා ප්‍රතිරාවය කළේය.
ඇන්ඩර්සන් සිය සහචරයන් ද සමඟ එක හුස්මට දිවූ දිවිල්ල නතර වූයේ යාර පන්සීයක් පමණ වන ලැහැබ තුළට ආ පසුවය. "දැන් ටිකක් වෙහෙස නිවාගන්න අතරෙ... නැවතිල්ලේ යමු ඉස්සරහට..." අද්මිරාල් කීය.
"අපි යන දිසාව..." දෙකකුලින් එල්ලාගෙන සිටි වලිකුකුළා බිම තැබූ ටිරෙල්, සිය කබායේ ඇතුල් පැත්තේ රහස් සාක්කුවෙන් තුනීවට රෝල් කරන ලද පාච්මන්ට් කැබැල්ලක් එළියට ඇද්දේ ය. එය ප්‍රවේසමෙන් දිගහැරිය විට, යම් යම් මඟ සළකුණු ද සහිත රළු සිතියමක් වැනි සටහනක් බව දැකිය හැකි විය. ටිරෙල් එය අසළ වූ ගල් තලාව මත ඇතිරීය. ඇන්ඩර්සන් සිය කබා සාක්කුවෙන් ගත්තේ සම් බැම්මෙන් බඳින ලද සටහන් පොතකි. එය දිගහැර, එහි සටහන් ද සිතියමේ සළකුණු ද සසඳමින් මඳ වේලාවක් ගත කළ ඔහු සිතියම නැවත අකුළා ටිරෙල් වෙත දික් කළේ ය. පොත නැවත සාක්කුවට රුවාගෙන, කළිසමේ සාක්කුවෙන් ගත් මාලිමාවක් ද රිදී කැටයම් සහිත ෆ්ලින්ට්ලොක් පිස්තෝලයද දෑතට ගෙන ඉස්සර වුණේ ය.
"මයිල එකසිය හැත්තෑවක් විතර දකුණු - නිරිත දිසාවට යන්න තියෙන්නෙ... පුළුවන් තරම් ජනාවාස මඟ හරින්න වෙනව. ඒ වගේම මේ කැළෑවල වනචාරී මිනිස්සුත් ඉන්නව. කිසිම විදිහකින් අපි ගැන කිසිම ඔත්තුවක්, කිසිම පැත්තකට යන්න දෙන්න එපා. කාව හරි දැක්කොත් මරන්න වෙනවා." ඇන්ඩර්සන් කිසිම හැඟීමකින් තොරව සහචරයන්ට කීවේය. ඉදිරියෙන් ගිය ටිරෙල් ද, කුඩා ලී පීප්ප තුනක් කර තබාගෙන පසු පසින් ගිය අනික් තුන් දෙනාද නිහඬවම අද්මිරාල්ගේ නියෝගය භාර ගත්හ.
යුරෝපීයයෝ පස් දෙනා වැඩි කළබලයක් හෝ ශබ්දයක් නොමැතිව වැටුණු ගස් කඳන්, ගල්ගෙඩි, දියපාරවල් පසුකරමින් ගමන් ගත්හ. තබන පියවරක් පියවරක් පාසා දැඩි අවධානයෙන් හාත්පස නිරීක්ෂණය කරමින් වුවද ඔවුහු ප්‍රමාණවත් වේගයක් පවත්වාගත්හ.
තරමක දියපහරක හඬ ඇසෙන මානයේ දැවැන්ත ගසක් මුල, නාවුකයෝ පස්දෙනා මේ නාඳුනන දූපතේ වියළි කළාපීය වනාන්තරය තුළ ගත කරන සිය පළමු රැය ගත කරන්නට වාඩි ලා ගත්හ. කුසගින්න නිවාගන්නට තිබුණේ ගිනිමැළයෙන් පළහාගත් වලිකුකුළා ද රත්පැහැ රම් ද පමණකි. අද්මිරාල් සිය පිරිසට රාත්‍රී මුරය බෙදා දුන්නේය. ඒ අනුව සිවුදෙනෙක් නිදන අතර එකෙක් පැය දෙකක් නිදිවරාගෙන වාඩිය ආරක්ෂා කළ යුතුව තිබුණි. අවසාන ජාමය වන අළුයම අද්මිරාල් තමන් වෙත පවරා ගත්තේ ය.
ඉඳහිට ඈතින් ඇසෙන්නට වූ හූ හඬ, දියපහරේ හඬ යටපත් කරන්නට තරම් වූ රෑහි හඬ අතරින්, ජීවිතය උදෙසා විළාප දෙන මුවෙකු හෝ ගෝණෙකුගේ හඬ වරක් හෝ දෙකක් නැඟී ආවේ ය. දියපාර වෙත යන විවිධ සතුන්ගේ විවිධ අඩි ශබ්දවල නිරන්තර සර සරය... ළඟින්ම වගේ එක්වරක් ඇසී යළිත් කෙතරම් සියුම්ව කන්දීගෙන සිටියත් නෑසෙන සියුම් අඩි ශබ්ද...
| http://www.unclesamgear.com/wp-content/uploads/2017/10/ Hands-tree-spooky-e1508254437225.jpg |
--------------------------------------------
අද්මිරාල් අවදි වූයේ එකවරම ය. කණ ළඟින්ම වාගේ යමෙකුගේ සිහින් කෙඳිරියක් ඇසෙනු ඔහුට සිහිනයකින් වාගේ මතක තිබුණි. අවට පඳුරු වල පින්නෙන් පෙඟුණු මල් මත ද, තණපත් මත ද හිරු එළිය යන්තමින් තැවරෙමින් පැවතුණි.
"රෝ...ල්...ෆ්...!" ඇන්ඩර්සන් ගේ බැරෑඬි කටහඬින් එතෙක් හාත්පසින් ඇසෙමින් තිබූ රෑහි හඬ මොහොතකට නිහඬ විය. නිදාසිටි තුන් දෙනා තිගැස්සී අවදි වූහ.
"කොහෙද මේ බල්ලා ගියේ? හොයපල්ලා..." තමන් ළඟම සිටි තරබාරු රොස්කෝ ගේ උරහිසින් අල්ලා ඉදිරියට තල්ලු කරමින් ඇන්ඩර්සන් කෑ ගැසීය. "මම කිව්ව ඌට පාන්දර මාව ඇහැරවන්න කියලා..."
"මම රොල්ෆ් ඇහැරවලා, මුරය බාර දීලා නිදාගනිද්දි," නීල්සන් සිය නායකයාට අත දිගු කර පෙන්වමින් කීය. "රෝල්ෆ් මස්කිට් තුවක්කුවත් ඔඩොක්කුවෙ තියාගෙන අර ගල උඩ වාඩි වුනා..."
සිව් දෙනාම නීල්සන් පෙන්වූ ගල හා ඒ අවට සියුම්ව පරීක්ෂා කළද, කිසිදු හෝඩුවාවක් සොයාගන්නට ලැබුණේ නැත. රොල්ෆ් පුරුදු වී සිටි පරිදි සපා ඉවත දමන ලද දුම්කොළ හප කීපයක්, ඒ අවට වූ අතර ඔහු ගේ පයට පෑගුණු තණපත් හා පඳුරු පොඩි වී තිබිණ.
විලෝපිකයෙකු විසින් ඇදගෙන ගිය පාරක් හෝ, ලේ සළකුණක් හෝ, අඩුම ගානේ ගලෙහි සිට රොල්ෆ් නැගිට ගිය අඩි සළකුණක් හෝ දක්නට නොවීය.
සෑහෙන කාලයකට කලින් පුරුදුව සිටි නමුත් මේ වන විට අවඥාවෙන් අත්හැර දමා සිටින පුරුද්දක් වූ කුරුසිය සළකුණු කිරීමට රොස්කෝ ගේ දකුණත යොමු වූයේ නිතැතිනි. "ඉන් නොමෙනි පාට්රි එ' ෆිලි ස්පිරිටුස් සෑන්ක්ටි..." කොඳුරමින් ඔහුගේ දෑස් ඉහළට එසවුණේ ළමා වියේදී පුරුදු වී තිබූ ආකාරයට ය. එසැණින් ඔහුගේ සිරුර එක් මොහොතකට ගල් ගැසුණි.
"අද්මිරාල්..." කොඳුරමින් රොස්කෝ සිය වෙවුලන සුරත, පිරිසට පිටුපසින් වූ දැවැන්ත ගසේ ඉහළ අතු පරතට දික් කර පෙන්වීය. ඔහු අනුව ඉහළ බැලූ නාවුකයන් හට දැකගත හැකිවූයේ ලොමු දැහැගැන්වෙන දසුනකි.
අතුරුදන් වූ සගයා සිටියේයැයි නීල්සන් පෙන්වූ ගලට කෙලින්ම අඩි පහළොවක් පමණ ඉහළින් ගසෙහි එල්ලෙමින් තිබුණේ රොල්ෆ්ගේ සිරුර ය. එය ගෙළට දැමූ වරපටකින් ගසෙහි අත්තක එල්ලා තිබුණි. ඔහුගේ කමිසය සහ පිට කබාය ඉදිරිපසින් ඉරා දමා තිබූ අතර, පපුව හරහා තියුණු තුඩකින් සූරා, අකුරු පහක් සටහන් කර තිබුණි.
මිනිත්තුවක් දෙකක් නිසොල්මනේ යන්තම් පැද්දෙමින් තිබූ රොල්ෆ්ගේ දේහය එක්වරම, වරපටේ සිට පහළට ගිණි ඇවිලී ගියේය. මුළු සිරුරම එකම ගිනිමැළයක් වන්නට ගත වූයේ තප්පර කීපයකි... එසැණින් දැවී ගිය වරපට සිඳී, ගිණිගත් මළසිරුර නාවුකයන් සිවුදෙනා මැදට වැටුණි.
හතරවන කොටසට...
Friday, March 22, 2019
තක්කඩියන් ගැන ජනකතා...
ගම්වල ගොඩක් ගම්මු ඔය තවලම්වලට ණයයි. ඒ වගේම අර ලොකු අප්පුත් ඒ ගමට එන තවලමකට ණය වෙලා උන්නා.
දවසක් එයට ආරංචි උනා අල්ලපු ගමට අර තවලම ඇවිත් කියලා. ඉතින් හොඳටම විශ්වාසයි පහුවදා තමන්ගෙ ගමටත් එන වග.
ලොකු අප්පු කරපු දේ, පහුවදා උදේ එයාගෙ අක්ක කෙනෙකුට කිව්වා වී බිස්සට වෙලා හැංගිලා ඉන්න කියලා. ඒ කරලා අර වෙළෙන්දො එනකොට තරමක පොල්ලක් තියාගෙන පිහියකින් සුද්ද කරමින් හිටියා.
වෙළෙන්දො ටික ලොකු අප්පුගෙ ගෙදරටම ඇවිත් ලොකු අප්පුගෙ අතින් අල්ලගත්තා.
"අපිට ගනුදෙනුවක් තියෙනව නේද ඉළන්දාරියා...?" එක වෙළෙන්දෙක් කිව්වා.
"පොඩ්ඩක් අතාරින්ඩ මුදලාලි, මේ පොඩි වැඩක් කරන්න යන්නෙ" ලොකු අප්පු කියලා, අරයගෙ අත ගසල දැම්මා. ඒ කරලා, පිලේ වාඩිවෙලා විටක් කකා හිටපු ආච්චි අම්මව අල්ලගෙන, අර පොල්ලෙන් තට්ටුකරලා වී බිස්සට දැම්මා.
ඊටපස්සෙ ලොකු අප්පු අර මුදලාලිල දිහාවට හැරුණා.
"විටක් හෙම කාල ඉමු නේද?" කියලා බුලත් තට්ටුවත් දික් කළා. පොඩි වෙලාවක් ආගිය කතා කතා කරලා එහෙම,
"දැන් එළියට එන්ඩ" කියලා ලොකු අප්පු වී බිස්ස දිහාවට කෑගැහුවා. එතකොට අර උදෙම්ම වී බිස්සට රිංග ගත්ත අක්කා හිනා වෙවී එළියට ආවා.
| http://www.rhythmworld.lk/sites/5767b275470afbedb00002c8/ content_entry5768fe40470afbbc39000021/5863726d470afb462806d821 /files/27.12.2016.jpg?1482912365 |
ඒක දැකපු මුදලාලිලට ණය අමතක උනා. ඒ ගොල්ලන්ට ඕනෙ උනා ලොකු අප්පුගෙන් අර තිරිහන් පොල්ල ඉල්ල ගන්න. ලොකු අප්පු කැමති උනේම නෑ ඒක දෙන්න. පස්සෙ පස්සෙ ඒ මුදලාලිලගෙ පෙරැත්තෙ නිසා බේරෙන්නම බැරි තැන, මුදලාලිලා ගාව තිබුණු ඔක්කොම සල්ලි ටික අරගෙන පොල්ල දෙන්න ලොකු අප්පු කැමති වුනා.
බොහොම සතුටින් තමන්ගෙ ගමට ගියපු වෙළෙන්දො අතට අහුවුණ තරම් වයසක ගෑණු පිරිමි හැම එකාටම පොල්ලෙන් තඩිබාලා වී බිහි වලට ඇදලා දැම්මා. සමහරු අර පොල්ලෙ මැජික් එකේ සැරට වී බිස්ස ඇතුළෙම මළා. ඒත් එක්කෙනෙක් වත් තරුණ උනේ නෑ.
මුදලාලිලට හරිම තරහයි ලොකු අප්පු කරපු කැත වැඩේ ගැන. ඒ ගොල්ල කරපු දේ, චණ්ඩියෙකුත් එක්කරගෙන ගිහින් ලොකු අප්පු අල්ලලා, හොඳටම ගහලා, අතපය බැඳලා, ලොකු ගෝණියකට දාලා, කට බැඳලා උස්සගෙන ගියා ගඟට දාන්න. ඒ යන අතරෙ චණ්ඩියට රා බොන්න ඕනෙ උනා. ඒ ගමන ගෝණිය පාර අයිනෙ ගහක් යට තියලා, ඒ ගොල්ල ගියා රා බොන්න.
ඔය අතරෙ රෙදි මුදලාලි කෙනෙක් රෙදි පොට්ටනි දෙකකුත් අරං ඔය පාරෙන් යන්න ආවා. එයාගෙ අඩි සද්දෙ ඇහිලා ලොකු අප්පු කෑ ගහන්න ගත්තා.
"මට යන්ඩ දීපියව්...! මාව ලෙහපියව්...!! මට බෑ රජ වෙන්න...!!!"
රෙදි මුදලාලිට පුදුම හිතුණා මේ කෑ ගැහිල්ලට. එයා හණි හණිකට ලොකු අප්පු ගාවට ඇවිත් "මොකද කෑගහන්නෙ?" කියලා ඇහුවා.
"මේ බලනවකො. රජතුමාට පිස්සු හැදිලා. එයාගෙ දුව ගොවියෙකුට බන්දලා දීලා රජකම දෙන්ඩ හදනව. මම බෑ කිව්වා. ඒක අහන්නැතුව මාව ගෝණියකට දාගෙන යනව රාජ පුරුසයො..."
ඉතිං සුළු දෙයක්නෙ. මේ මෝඩයට රජ වෙන්න බැරිනම් මම රජ වෙන්නම් කියල හිතපු රෙදි වෙළෙන්දා, ගෝණියෙ කට ලෙහලා ලොකු අප්පුව එළියට ගත්තා. ඊට පස්සෙ එයා ගෝණියට බැහැලා ලොකු අප්පුට කිව්වා කට ගැට ගහන්න කියලා. ලොකු අප්පුත් අඬ අඬා ගෝණියෙ කට ගැට ගැහුවා. ඒ කරලා රෙදි පොට්ටනිත් අරං ගඟ පහලට ගියා.
ගඟ පහලට ගියපු ලොකු අප්පු, එක රෙදි පොට්ටනියක් ගඟ අයිනෙ තිබුණු ගහක අත්තක එල්ලුවා. ඔය අතරෙ රාබීල ආපහු ඇවිත්, අර ගෝණිය ගඟට විසි කරපු මුදලාලිල ටික ගඟ දිගේ පහළට ආවා. ඒ එනකොට ලොකු අප්පුව දැක්කා. කට්ටිය එකතු වෙලා ගඟට දාපු මිනිහා, පොඩ්ඩක්වත් තෙමිලත් නැතුව, පොට්ටනියකුත් අතේ තියං ඉන්නව දැක්කම මුදලාලිලට හරි පුදුමයි.
"උඹ කොහොමද බේරුණේ?" මුදලාලිල ඇහුවා.
"මම බේරුණේ නෑ. මේ ගඟේ පතුලෙන් නාගලෝකෙට පාරක් තියෙනව. ගෝණියකට බැහැලා ගඟට වැටුණම කෙලින්ම යන්නෙ නාගලෝකෙ. තමුසෙල මාව ගඟට දාපුහාම මමත් නාගලෝකෙට ගියා. එහෙ රෙදි ඕසෙට... මම රෙදි පොට්ටනි දෙකක් ගැට ගහගත්තා. ඒත් එහෙ උදවිය මට එක පොට්ටනියයි ගේන්න දුන්නෙ. බොරු නං අර බලන්ඩකො අනික් රෙදි පොට්ටනිය ගං පතුලෙ තියෙන හැටි..." කියල ලොකු අප්පු අත දික් කරල පෙන්නුවා.
ගහේ එල්ලපු රෙදි පොට්ටනියෙ ඡායාව ගඟේ වතුරට වැටිලා. ඒක දැකපු මුදලාලිලා ටික පොරේ ලොකු අප්පුට ඒ අයවත් ගඟට දාන්න කියලා. ගෝණි දෙක තුනකුත් ගෙනත් දුන්නා.
ලොකු අප්පු බෑ කිව්වා. "තමුසෙලා මාව මරන්නනෙ හැදුවෙ. මට බෑ තමුසෙලා පෝසත් කරන්න..."
ඊට පස්සෙ මුදලාලිලා ඒ වැඩේට සල්ලි දෙන්න ඇහුවා. පැයක් විතර පෙරැත්ත කරල කරලා අන්තිමේ ලොකු අප්පු එකඟ වුනා. අර මුදලාලිලාගෙන් සල්ලි අරගෙන එකා එකාව ගෝණිවලට දාලා ගඟට තල්ලු කළා.
--------------------------------------------------------
පොඩි මෙන්ඩා සහ ලොකු මෙන්ඩා වෙනුවෙනි...
කලින් ලියපු කතා
---------------------
අමනදීපේ කතාවක්...
ලෝකෙ දිගම කතාව...
ගමයගෙ මන්තරේ...
පුදුම සතා
හොඳම කම්මැලියා
හතර බීරි කතා
ලෝකෙට ලොක්කා
මෞඉගෙ කතා පළවෙනි කොටස
මෞඉගෙ කතා දෙවෙනි කොටස
මෞඉගෙ සරුංගලේ
මෞඉගෙ කතා අවසාන කොටස
Sunday, March 10, 2019
බඩු පෙට්ටියක කොළඹට ගිය ගමනක්
බ්‍රහ්ම මූර්තියෙන් හෙවත් මහා බ්‍රහ්මයා අවදි වෙන වෙලාවෙන් හෙවත් පාන්දර හතරට පමණ මම අවදි උනෙමි. ගෙදර කරුවලය. භූමිතෙල් කඳුලක් ගේ හරියේ නැත.ඉරානයේ සිදුවී ඇති තෙල් අර්බුදයෙන් අහිංසක මට සිදුවී ඇති මේ හිරිහැරය ඇමෙරිකාවටත් නොපෙනෙන්නේ අපේ ගෙදරට ටෙලිවිෂන් සවිකර නොමැති නිසාය. කරුවලේම අවදි වූ මා කරුවලේම මුහුණ කට සෝදාගෙන කරුවලේම ඇද පැළඳ ගත්තේ කන්තෝරු යෑම සඳහා පහයි විස්සේ පුංචි කෝච්චිය ඇල්ලීමටය.
මා නිවසින් පිටත් වන්නට සූදානම් වන විටම අවදි වූ මගේ බිරිඳ කුණු කෙළ පිටින්ම මට තොත්තුවක් දුන්නාය. කවදාවත් නැතුව අද සිදු වූ ඒ අප්‍රසන්න ජනක සිදුවීම මොකක්දෝ මහා අකරතැබ්බයකට මුල පුරන්නක් බව මට ඉවෙන් මෙන් දැනුණි.
ඈත තියාම මා එනු දුටු ස්ටේෂන් මාස්ටර් නලාව පිම්බේය. ගාඩ් කොඩිය වැනුවේය. කිසිම දවසක වෙලාවට පිටත් නොවන පුංචි කෝච්චිය වෙලාවටත් කලින් පිටත් කර ඔවුන් පරණ කෝන්තර පිරිමහන්නට සූදානම් උවත් මම දුවගෙන ගොස් දුම්රිය මැදිරියක එල්ලුනෙමි.
"හා! හා! මේක බඩු පෙට්ටියක්" ස්ටේෂන් මාස්ටර් ඉදිරියට පැන ඊර්ෂ්‍යා සහගතව මා පසෙකට ඇද දැමූ නමුදු නැවතත් දුවගෙන ගිය මා එම මැදිරියට ගොඩ වෙද්දී එක් කාන්තාවක් උපේක්ෂා සහගතව මා දෙස බලා සිටියාය. එය කාන්තා මැදිරියකි.
"දැන් මෙහෙම ඉඳල අනිත් ස්ටේෂන් එකේදී වෙන එකකට යන්නං" අපේ ගෙදර උන්දෑගෙ හැටි දන්නා මම ඇය ඉදිරියේ දෙකට තුනට නැමී අහිංසක බැගෑපත් විලාශයෙන් කිව්වෙමි.
"මෙහාට ඇතුලට වෙන්න කාටවත් පෙනෙයි. දැන් කාන්තා පෙට්ටිවල ගියහම රුපියල් දෙසීයක් දඩ ගහනවලු. අනිත් එක ගෑනුන්ගෙන් ඔයාට බේරෙන්න බැරිවෙයි."
මගේ හොඳ වෙලාවට එම මැදිරියටම හිටියේ ඇය පමණි. ඊළඟ දුම්රිය පලේදී ගොඩවන ගෑණු අම්මණ්ඩිලාට මා අසු වුවහොත් ඉරානයේ විප්ලවීය ශිෂ්‍යන්ට 'ෂා' අසුවූවාටත් වඩා දරුණු තත්ත්වයකට මට මුහුණ දෙන්නට සිදුවනු ඇත.
"දැන් මම මොකද කරන්නේ?"
ඇමරිකාවේ සිටින 'ෂා' බය නැති උනත් බඩු පෙට්ටියේ සිටින අහිංසක මට කිසිවෙකුගේ රැකවරණයක් නොමැති නිසා දැනට මගේ එකම ගැලවුම්කාරිය වන ඇගෙන් විමසුවෙමි.
"අනේ මම දන්නේ නෑ..." ජිමී කාටර් මෙන් ඇය සුසුමක් හෙලුවාය.
"මම මේ සීට් එක යට හැංගෙන්නද?"
"එපා. එහෙම හිටියම පේනවා."
"එහෙනං කක්කුස්සිය ඇතුලට යන්නද?"
"චී. ඒක ඇතුලෙ ගඳේ බෑ..."
"අනේ ඉක්මන් කරල මට බේරෙන්න විදියක් කියන්නකො. අනිත් ස්ටේෂන් එකේ කෝච්චිය නවත්වනව..." අයවැය ලේඛනය කියන්න ඔන්න මෙන්න කියා තිබියදී ඇතිවූ පපුවේ ගැස්ම නැවතත් ඇතිවිය.
"මම කියන්නම් වැඩක්. ඔයාගේ බෙල් එකයි, කමිසෙයයි මම ඇඳ ගන්නම්. මගේ සාරිය ඔයා ඇඳගන්න."
"නියම වැඩේ. ඔය වගේ මොලේ තියෙන අයට මම හරි ආසයි. "
"ඔයා බැඳලද...?" ඇය මගෙන් ඇසුවාය.
"නෑ" මම සුපුරුදු බොරුව කීවේ කිසිම පැටලීමක් නැතුවය.
ඇය ආදර බැල්මක් මා වෙත හෙලුවාය. මම ද එයට ප්‍රතිචාර දැක්වූවේ එහෙම නැතුව හොඳනැති නිසාය.
මම ඉක්මන්කර මගේ ඇඳුම් ගලවා ඇයට දුන්නෙමි. ඇය ඒවා ඇඳගෙන මට සාරිය ඇන්දුවාය. මා කොණ්ඩය දිගට වවා තිබුණු නිසා ඇය කරදරයක් නැතුව අලුත් මාදිලියේ කොණ්ඩා මෝස්තරයක් දැම්මාය. දැන් අපේ අම්මාටවත් මා හඳුනා ගත නොහැකි බව මට විශ්වාසය. "ඔයා සාරියට හරි හැඩයි අනේ." තොලට තොල තියා ඇගේ දෙතොලේ තිබූ 'ලිප්ස්ටික්' මගේ දෙතොලේ තවරන ගමන් ඇය කීවාය.
"ඔයත් බෙල් එකට හරි හැඩයි අනේ." වෙන කියන්න දෙයක් නැති නිසා මම කිව්වෙමි.
"දැන් ඔයා කෙල්ලෙක් වගේමයි. කාටවත් හොයන්න බෑ."
"ඒ වුනාට මේව නෑනේ" මම තවත් අඩුවත් පෙන්නුම් කළෙමි.
"අපෝ! ඒවා නැති ගෑණු ළමයි ඕන තරම් ඉන්නේ. ඒක ගණං ගන්න එපා. පපුව ටිකක් ඉස්සරහට දාල ඉන්නකො"
හදිසියේම දුම්රිය නතර විය. ගෑණු රොත්තක්ම අප සිටි මැදිරියට ගොඩවන විට මම ප්‍රාණ ඇපකරුවෙකු මෙන් ගැහෙන්නට උනෙමි.
"හලෝ ඩල්සි අද අළුත් යාළුවෙක් හොයාගෙන වගේ." කාන්තාවක් මා දෙස බලා සිනාසී මගේ ළඟින්ම වාඩි විය.
"ඔව්. මේ අපේ ගෙවල් කිට්ටුව කෙනෙක්." ඩල්සි මා ළඟට කර ගත්තාය.
"ඔයා අද නිවුස් ඇහුවද? බෙංගාල බොක්කේ සුළි සුළඟක් කියන්නේ." කාන්තාවක් කතා පෙට්ටිය ඇරියාය.
"ඔයා ඔහොම කියනව. අපේ එක්කෙනා ඇමෙරිකාවේ ගිහින් ඉන්න දවස්වල එහෙත් තිබුණලු සුළි සුළඟක්. අනූනමයෙන් එයා බේරිලා තියෙන්නෙ. කාටර් අඳුනන හින්ද." සූවස් ඇලේ සොරොව්වක් ඇරුණේය.
"ඊයෙ පොල් ගෙඩියක් රුපියල් හයයිලුනේ...?"
"ඔව් අනේ. අපේ එක්කෙනා පොල් බෑයක් ගෙනල්ල රෑට උයල තියෙන්නේ."
"මුන්ට හෙණ ගහන්න ඕනෙ මේ කරන අපරාද වලට."
දැන් දුම්රියේ සද්දය ඇහෙන්නේ නැත. ගෑණුන්ගේ කටවල් එකකට එකක් නොපරදින ආකාරයෙන් ක්‍රියා කරයි. ඊළඟ දුම්රිය පලේදී දුම්රිය නැවතුනි. තවත් ගෑණු රොත්තක්ම එම මැදිරියට ගොඩවිය. දැන් මගේ බිය ක්‍රමයෙන් තුනි වී ගොස්ය. එහෙත් මා තවම ඔවුන් හා කතාවට ගියේ නැත. සිංහ හම පොරවා ගත් කොටලුවා කෑ ගැසීමෙන් කොටලුවෙකු බව දැනගත් කතාවක් මා අසා තිබේ. කතා කරන්නට ගොස් මා පිරිමියෙකු බව ඔවුන් දැනගත්තොත් මටද ප්‍රාණ ඇපකරුවෙකු වෙන්නට වැඩි වෙලාවක් ගත වන්නේ නැත.
"ඔයා දන්නවාද අනේ වැඩක්? මිස් බුරියානි ඊයෙ රෑ කොල්ලෙක් එක්ක පැනල ගිහිල්ලනේ."
මිස් ලිප්ස්ටික් හයයි තිහටත් කලින් අලුත්ම ප්‍රවෘත්තිය ප්‍රචාරය කළාය.
"කවුද අනේ බුරියානි කියන්නේ?"
"අර බුරිය පේන්න සාරිය අදින එක්කෙනා ඔයාට මතක නැද්ද? අපේ කෝච්චියේ ගිය කොල්ලෙක් එක්කමයි පැනල ගිහින් තියෙන්නේ"
"ඒ දවස්වල මේකේ පිරිමින්ට යන්න තහනම් කරල තිබුණෙ නෑනෙ."
"ඒක නේන්නං අනේ. බුරියානිගේ වාසනාවට ඒකි ඉස්සර උනා."
"අපිට තාමත් මොකුත් කර ගන්න බැරි උනානේ."
"බලන්ඩකො අනේ; මේකෙ පිරිමි ගියහම ආණ්ඩුවේ එවුන්ටයි අමාරු."
"බැඳපු එවුන් තමයි අනේ ඔය නීති ඔක්කොම ගේන්නේ."
"හෙට ඉඳල පිරිමි යන පෙට්ටියක යං අනේ."
"නෑ අපි මේ කාන්තාවන්ට පමණයි" කියන එක මකමු."
"නෑ අනේ හිස්ව තියෙන විට පිරිමින්ටත් යා හැකිය කියල යටින් ලියමු."
ගෑණුන්ගේ ගම්මැදි හැලි, කන්දොස්කිරියාවල්, දුක් අඳෝනා, දහසකුත් එකක් ප්‍රාර්ථනා සෝ සුසුම් මැද්දේ පුංචි කෝච්චිය මරදානට ළඟා විය.
මගේ බෙල් කළිසමයි, කමිසයයි ඇඳගත් ඩල්සි මරදානෙන් බැස 'චෙරියෝ' කියයාගෙන යන්නට ගියාය. අනිත් ගැහැණුන් සියළු දෙනාම පිටකොටුවෙන් බැස ගියේ මා තුට්ටුවකටවත් ගණන් නොගෙනය.
----------------
උපුටා ගැනීම - සුනන්ද කෝදාගොඩ ගේ 'විනෝද රසාංග' නම් පොතෙනි.
මුද්‍රණය ලස්සන මුද්‍රණ ශිල්පියෝ සහ ප්‍රකාශකයෝ,
183 ඒ, අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය,
දුරකථන 572297
ප්‍රථම මුද්‍රණය 1984 දෙසැම්බර්
(කොහොමද ජනක රත්නායකගෙ සෙක්සි කාටුන් එක විතරක්)
Friday, December 14, 2018
දන්න කියන කෙනෙක්...
දෙමාපියන් මියගියාට පස්සේ නිකොලස් පූජකවරයා තමන්ට උරුම වුණු ධනය දුප්පතුන් උදෙසා වැය කරන්න ගත්තා.
දවසක් එතුමාට දැනගන්න ලැබුණා, කලින් පොහොසත් වෙලා හිටියත් පසුකාලීනව අන්ත දිළින්දෙක් බවට පත් වුණු මනුස්සයෙක් ගැන. එයාට දූවරු තුන් දෙනෙක් හිටියා. ඒ අයට සුදුසු දායාදයක් දෙන්න බැරි වූ නිසා නිසි වයසෙදි විවාහ කර දෙන්න බැරිවෙන තත්ත්වයක් තිබුණා. ඒ කාලෙ හැටියට, විවාහ වෙන්න බැරි වුණු, ගැහැණු කෙනෙකුට කරන්න රස්සාවක් තිබුණෙත් නැති සමාජයක ඒ ගෑණු දරුවන්ගෙ ඉරණම වුනේ ගණිකාවන් බවට පත් වීම.
නිකොලස් තුමා මේ පවුලට පිහිට වෙන්න හිතා ගත්තා. නමුත් ප්‍රසිද්ධියේ කෙනෙකුට උදව් කිරීමට එයා අකමැති වුනා, එක්කෝ නිහතමානිකම නිසා, නැතිනම් ආධාර පිළිගැනීම නිසා ඒ පවුල සමාජයෙන් ගැරහීමට ලක්වෙයි කියලා.
ඉතින් එතුමා දවසක් රෑ මේ පවුල ජීවත් වුණූ ගෙදර ඇරල තිබුණු ජනේලයකින් රන්කාසි පිරුණු පසුම්බියක් ගේ ඇතුලට විසි කළා. ඒ විදිහට ඊළඟ දවස් දෙකෙත් කළා. ඒ මුදල් පසුම්බි තුන අර දුප්පත් තාත්තට තමන්ගෙ දුවලා තුන් දෙනා සඳහා දෑවැද්ද විදිහට දෙන්න පුළුවන් වුනා.
9වන සියවසේ නායක පූජකවරයෙකු වූ මයිකල් පියතුමා කියන විදිහට, තුන්වෙනි දවසෙදි දුප්පත් තාත්තට තම පවුලට උපකාර කරන්නේ කවුද කියන එක දැනගන්න ලැබුණා. රෑ අවදියෙන් රැක ඉඳලා. එයා නිකොලස් පූජකතුමා ඉදිරියේ දණින් වැටිලා ස්තූති කළා. නිකොලස් තුමා "මේ ගැන කාටවත් කියන්න එපා" යැයි අර දුප්පතා පොරොන්දු කර ගත්තා.
නිකොලස් තුමා වරක් ශුද්ධවූ දේශය (ඊශ්‍රායෙලයට සහ පලස්තිනයට අයිති ප්‍රදේශය) ට ගියා. එතුමා ගමන් කළ නැව දරුණු කුණාටුවකට අසුවෙලා විනාශ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි, එතුමා සැඩ රළ ට තරවටු කරලා කුණාටුව සංසිඳෙව්වාලු. මේ සිද්ධිය නිසා එතුමා නාවුකයන්ගේ ශාන්තුවරයා ලෙස සැළකෙන්න පටන්ගත්තා.
එතුමා ශුද්ධවූ දේශයේ සිට ආපිට එනවිට, එතුමාගේ මාමා ගෙන් පසු මෛරාහි බිෂොප් තනතුරට පත් වුණු පුජකතුමා මියගිහින් තිබුණා. නගරයේ පූජකවරුන් තීරණය කර තිිබුණා නගරයේ පල්ලියට එදා උදේ මුලින්ම ඇතුල්වන පූජකවරයා බිෂොප් තනතුරට පත් කළ යුතු බව. නිකොලස්තුමා එදා යාඥා කිරීමට පල්ලියට යද්දි කවුරුවත් ඇවිත් තිබුණේ නෑ. ඒ අනුව එතුමා මෛරා නගරයේ බිෂොප් තනතුරට පත්වුණා.
රෝමානු අධිරාජ්‍යයෙක් වුණු ඩයොක්ලේෂියන් (284 - 305) යටතේ ක්‍රියාත්මක වුණු මහා වධ සංහාරය යටතේ මෙතුමාත් සිරගත වුණු බවත්, වධ හිංසාවලට ලක් වුණු බවත් සමහරු කියනවා. නමුත් පසුව මහා කොන්ස්ටැන්ටීන් (306 - 337) අධිරාජ්‍යයාගේ නියෝග මත නිදහස් කෙරුණු බවයි කියවෙන්නේ.
යුස්ටේතියස් නම් ආණ්ඩුකාරයාගේ නියෝගයක් අනුව එක් අවස්ථාවක නිවැරදිකාර මිනිසුන් තුන් දෙනෙක් මරණ දඬුවමට යටත් කෙරුණා. ඔවුන් මරණයට පත්කරන අවස්ථාවේ නිකොලස් තුමා එතැනට ඇවිත්, වධකයාගේ කඩුව ඉවතට තල්ලු කරලා, අර අහිංසකයන් තුන් දෙනා දම්වැල්වලින් මුදවලා ඔවුන් බේරා හැරියා. එම නඩුවේදී අල්ලස් ගෙන වැරදි තීන්දුව දුන් ජූරි සභිකයෙකුට එතුමා කෝපයෙන් දඬුවම් කළා.
![]() |
| https://en.wikipedia.org/wiki/Saint_Nicholas#/media/File:Ilja_Jefimowitsch_Repin_- _Saint_Nicholas_of_Myra_saves_three_innocents_from_death.jpg |
එක අවදියක, දරුණු දුර්භික්ෂයක් ඇතිවුණා. එක් මස්කඩකාරයෙක් දරුවන් තුන්දෙනෙකු රවටාගෙන තමන්ගෙ ගෙදරට කැඳවා, මරණයට පත් කළා. ඒ දරුවන් කොටස්වලට කපලා ලුණුවතුර දැමූ බැරල් එකකට පිරවූ ඒ දරුණු මිනිසා පසුව ඒ මස් හැම් විදිහට සකස් කර විකුණන්නට කල්පනා කළා.
නිකොලස් තුමා ඒ ප්‍රදේශයට ගියා සාගතයට පත් උදවියට උදව් කිරීමට. මේ මස්කඩකරුගේ නපුරු ක්‍රියාව දැනගත් එතුමා, කුරුසය සළකුණු කර ඒ දරුවන්හට නැවත පණ දුන්නා. (මේ කතාව පසුකාලිනව නිර්මාණය කළ එකක් ලෙස සැළකෙනවා)
මේ කතාව නිසා ළමයින්ගේ ශාන්තුවරයා ලෙස නිකොලස් තුමා සැළකෙන්නට පටන්ගත්තා.
වඩාම හාස්‍යාත්මක දේ තමයි; මේ කතාව නිරූපණය කෙරුණු චිත්‍ර වල තියෙනවා, සාන්තුවරයා, ළමයින් තුන්දෙනා සහ බැරල් එක නිරූපණය කරලා. ඒ අනුව මුල් කතාවට එතරම් අවධානයක් නොදක්වපු පසුකාලින මිනිසුන් පින්තූරයේ සඳහන් බැරල් එක නිසා නිකොලස්තුමා මත්පැන් පෙරන්නන්ගේ ශාන්තුවරයා විදිහටත් සළකන්න පටන් ගෙන තියෙනවා.
![]() |
| https://en.wikipedia.org/wiki/Saint_Nicholas#/media/ File:Saint_Nicolas_Heures_d%27Anne_de_Bretagne.jpg |
නැව පසුව කොන්ස්තන්තිනෝපලයට ළඟා වූ විට පුදුමයකට වගේ නැවට මුලින්ම පටවපු තිරිඟු තොගයේ බර වෙනස් වෙලා තිබුණේ නෑ. ඒත් ඔවුන් මෛරාවල දී අවුරුදු දෙකක් පරිභෝජනය කර, පසුව වගා කරගන්නත් ප්‍රමාණවත් වන තරමේ තිරිඟු තොගයක් නැවෙන් ගොඩබාලා තිබුණා.
නිකොලස්තුමා වසර 73ක් ජීවත් වී 343 අවුරුද්දේ දෙසැම්බර් 6 වනදා මෛරාවලදී මියගිය බව විශ්වාස කරනවා. එතුමාට නම් කෙරුණු ප්‍රධාන දේවස්ථානය ඉතාලියේ බාරි හි පිහිටුවා ඇති අතර, එතුමා මුලින්ම භූමදාන කරන ලද මෛරාහි දේවස්ථානයෙන් අරගත් ප්‍රධාන අස්ථි කොටස් බාරි දේවස්ථානයේ තැන්පත් කර තිබෙනවා.
රෝමානු කතෝලික පල්ලිය විසින් ශාන්තුවරයින් නම්කිරීම පටන්ගන්නට පෙර සිටන්ම මෙතුමා ශාන්තුවරයෙක් ලෙස සැළකුනා.
ලංකාවේදී ශාන්ත නිකුලා තුමා ලෙස හැදින්වෙන මෙතුමා වෙනුවෙන් නම් කෙරුණු දේවස්ථානයක් බෝපිටියේ තිබෙනවා. දහස් ගණනින් කතෝලික මෙන්ම වෙනත් ආගමිකයන්ද දරුඵල සඳහා, දරුවන්ගේ යහ පැවැත්ම සඳහා භාර වීමට සහ පූජාවන් පැවැත්වීමට මෙතැනට ඇදී එනවා.
මෙතුමාගේ ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණ වුණු දරුවන් වෙනුවෙන් කටයුතු කිරීම, ත්‍යාගිවන්තකම සහ පරාර්ථකාමීබව නත්තල් සීයා හෙවත් සැන්ටක්ලෝස් සංකල්පය බිහිකිරිමට මුල්වුණා.
![]() |
| https://en.wikipedia.org/wiki/Saint_Nicholas# /media/File:Jaroslav_%C4%8Cerm%C3%A1k_ (1831_-_1878)_-_Sv._Mikul%C3%A1%C5%A1.jpg |
Sunday, November 18, 2018
අන්දිරිස් අප්පු සහ ගොරක යකා - ගජබින්නාලංකාරයෙන්...
අන්දිරිස් අප්පු බෙන්තර යාත්‍රාමුල්ලෙ ඉඳල ගම්පහ කටුවාලමුල්ල ගමට ආ හැටි අපි එක තැනකදි කියෙව්වනෙ. මේ ඒකෙ ඉතිරි ටික හැටියට කියවන්ඩ පුළුවන් තව කතාවක්...
අන්දිරිස් කිත්තා පස්සෙන් පන්නගෙන ආව පරංගි ටික රජ්ජුරුවන්ගෙ හමුදාවට කොටු වුණ භූමි භාගය රජ්ජුරුවො අන්දිරිස් කිත්තට නීන්දෙ පවරල දුන්නා. ඒ ලොකු ඉඩමෙ අන්දිරිස් කිත්තා පදිංචි වෙන්න ගෙපැළක් අටෝගන්න තොරගත්තෙ, ගොරක ගස් සීයක් විතර සරුවට හැදිල තිබුනු කොටස. (අපේ විලියොං ආත - ඒ කියන්නෙ අන්දිරිස් කිත්තගෙ මුණුපුරා - පදිංචි වෙලා උන්නෙ ඔය කියන කොටසෙ. අක්කර දෙකහමාරක් වෙච්ච ඒ ඉඩමට දැනටත් කියන්නෙ ගොරකගහවත්ත.) ඒ කොටසෙ පසත් හරිම සරුසාරයි කියල එයාට පෙනුනා. කොයිතරම් සරුසාරද කියතොත්; ඒ ඉඩමෙ ගත කරපු පළමුවෙනි රෑ කිත්තා ගතකළේ ගහක් උඩ. ඒකට හොඳ උස ශක්තිමත් අතු බෙදුනු ගහක් තෝරගත්තා. ඒ ගහේ, බිම ඉඳන් අඩි පණහක් විතර උඩින් ලොකු අතු තුනක් තුන්පැත්තට බෙදිලා තිබුණා. එතනට නැගලා බලපුවම තමයි කිත්තා දැක්කෙ ඒ වම්බටු ගහක් කියල. ළඟ ළඟ තිබුණු අතු අගිස් වල ලොකු වම්බටු ගෙඩි හැදිල තිබ්බ නිසා.
අන්දිරිස් කිත්තා ඒ ගහට ගිහිං තිබුණු කරවිල වැල් දෙකක් කපාගෙන, ඒකෙන් වැල් ඉණිමගක් හදාගත්තා. හවස් වේගෙන එද්දි කිරිඅල පඳුරක් ගළවලා, කිරිඅල පිති එකට ගොඩගහල ගිණි තියලා, (කොහොමද ගිණි තිබ්බෙ? අර පරංගි වෙඩිබේත් කූඩාරම ගිණිතියපු ගිණිකූරු වලින්ම තමා) ගිණිගොඩක් ගහලා, ඒකෙ අලු පල්ලෙ දාලා කිරි අල තම්බගෙන බඩ පුරා කාලා, අර වැල් ඉණිමග දිගේ වම්බටු ගහට නැගලා, වැල් ඉණිමග උඩට ඇදගෙන, හොඳ හැටි නිදා ගත්තා.
අන්දිරිස් කිත්තා කරන දේවල් දිහා බොහොම කේන්තියෙන් බලාගෙන උන්නා එක්කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි, ඒ භූමියට අරක්ගත්තු ගොරක යකා.
| http://decibel.lk/assets/2015/ 02/yaka-500x500_c.png |
පහුවදා උදෙම්ම නැගිට්ට කිත්තා, ගෙයක් හදාගන්න පටන්ගත්තා. දැනට වැටිලා නොතෙමී ඉන්න, සතා සීපාවගෙන් බේරිලා ඉන්න පොඩි ගෙපැළක් අටවගන්න තමයි එයා මුලින්ම හිතාගත්තෙ.
ගේ හදන්න තෝරගත්ත හරිය සමතල කරද්දි ඒකෙ අඩි එකහමාරක් විතර යටට හාරද්දි බොහොම තද කබොකක් මතු වුනා. ඉතිං එයා හතරැස් අඩි සීයක් විතර ඉතුරු කළා පස්සෙ එක එක හැඩේ කබොක් ගල් කපන්න.
මුලිම්ම කිත්තා අදහස් කළේ කණු හයක් හිටවලා, වහළයක් හදාගන්න. ඒකට එයා වත්තෙ වැටිච්ච පොල් අතු එකතු කරලා, ගාණට කපලා, වැල්පටවල් අඹරලා හදාගත්ත තේඩා වලින් ගැටගහලා. වත්ත පල්ලෙහා ගඟේ ඔබලා, බර තිබ්බා. ඉන්පස්සෙ එයා ගියා කැලේ වැවිල තිබ්බ හරියට, වැරණිය ගස් කපං එන්න. ඇද කුද නැති වැරණිය ගස් දෙකක් කපල බිම දාන්න අන්දිරිස් කිත්තට ගියේ වරුවයි. ගස් දෙක කපලා, බිම දාලා. අතු පෑහැලා දාපු එයා, දිය බහින්න ගස් දෙක එතනම දාලා ආපහු අර කලින්දා රෑ නැවතුනු වම්බටු ගහ ගාවට ආවා.
ඒ එනකොට කිත්තට ඇහුනා, “අන්දිරිසා එනෝ...” කියල බොහොම ගොරෝසු කටහඬකින් කෑගහනව.
වටපිට බලනකොට, ඒ කිඹුලෙක්. ගොරකයකා කිඹුලෙක් තියලා ඔත්තු බලන්න.
කිත්තා එකපාරම වම් අතින් කිඹුලගෙ බෙල්ල මුලින් අල්ලගත්තා. කිඹුලා ආයෙම කැගහන්න කට අරිනකොටම, එයා දකුණු අත කිඹුලගෙ කට ඇතුලට දැම්මා. අත පුළුවන්තරම් කිඹුලගෙ ඇතුලටම යවපු කිත්තට උගෙ වලිගෙ අග හරියෙන් අල්ලගන්න පුලුවන් උනා. හයියෙන් අල්ලගෙන ආපහු අත කටින් එලියට ඇදල ගත්ත පාර කිඹුලා කණපිට හැරවුණා.
කිඹුලා අන්දිරිස් කිත්තට කැරකි කැරකි වඳින්න ගත්තා. පරාණ බය ඉතිං කිඹුලටත් පොදුයි. ඒ ගමන කිත්තා කිව්වා,
“මං උඹ මරන්නෑ. උඹ ඇයි මං එනව කියල කෑ ගැහුවෙ? කාට ඇහෙන්ඩද? කවුද උඹට ඔත්තු බලන්ඩ කිව්වෙ?” කියල ඇහුවා.
“යරක ගොකා... යරක ගොකා...” කිඹුලා කිව්වා.
“ඒ මොකාද බොල?” කිත්තා ඇහුවා.
“මමුසෙ තාව හැණපිට කරෙව්වනෙ. කිම මයන ඉව්වත් එතිං හැණපිට කරෙනව...”
කිත්තට තේරුණා. කණපිට හැරුණ කිඹුලා, කියන කියන වචනත් කණපිට හැරෙනව...
ඒ ගැන හිත හිතා කිත්තා ඔලුව කහන්න ගත්තා. යන්තං කිත්තගෙ අතිං අතෑරුණ ගමං කණපිට කිඹුලා පැනලා දිව්වා...
Monday, October 22, 2018
ඒ කාලෙ ගැන කියවෙන කවි ටිකක්...
![]() |
| https://adaderanaenglish.s3.amazonaws.com/1447658294mom2.jpg |
මං මේ කතාව පටං ගන්න හිතුවා හෙණ ගහන්නා වගේ එක පාරටම... එහෙනං ඔන්න.
ඒ කාලෙ ගෙල්වල ගෑණු උදවිය තරමක් වැඩිමහල් වෙච්ච දරුවොත් ඇන්න දවාලට කාල පැයකින් දෙකකින් විතර ඇදෙනව බඩවැටියට. නැත්තං ගම වටේ තිබ්බ ළඳු කැළෑවට. නැත්තං පසුකාලීනව ගමේම පෝසත් මිනිහෙකුට හෝ ඉස්කෝලෙ මහත්තේකුට අයිති පාලුවට ගියපු ඉඩමකට. ඔය යන උදවියගෙ ඉළක්ක කීපයක් තිබුණ. දර ටිකක් කඩාගෙන මිටියක් බැඳගන්න, ළමා ළපටින්ට ගඩා ගෙඩියක් දෙකක් කඩාගන්න, පහුවදට හරි එදා හවසට හරි උයාගන්න පලා ටිකක්, අල ගෙඩියක්, දෙල්, කොස් වගේ දෙයක් හොයාගන්න, පොල් අහුලගන්න, ඇලේ හරි පොල්අතු වලේ හරි දාල පොඟවගෙන වියාගන්න පොල් අතු අහුලගන්න...
බලන්න ඔය අත්දැකීම මේ පද හතරෙ කොයිතරම් සාරාංශගත වෙලා තියෙනවද, හැබැයි සාරාංශ කළා කියල අත්දැකීමෙන් බිඳක්වත් අඩු වෙලා තියෙනවද කියල...
"...අතට වෙරළු - ඇහිඳ ගෙනේ
ඉණට පළා - නෙළා ගෙනේ
බරටම දර - කඩා ගෙනේ
එයි අම්මා - විගසකිනේ..."
අපි පොඩි අවදියෙ අපේ අම්මලත් යන්න පුරුදු වෙලා හිටියා, වැලිවිට මහත්තෙයගෙ මුරවත්තට, එහෙම නැත්තං නිළමෙගෙ වත්තට, මුරවත්තට යන උදවියට ඒක මුර කරපු මුරකාරයගෙ උදව්වත් ලැබුණ. මට මතකයි ඒ මුරකාරයගෙ පැළේ ඉස්තෝප්පුවෙ එල්ලල තිබුණ කූඩුවක කතා කරන ගිරවෙක් හරි මයිනෙක් හරි සැළලිහිණියෙක් හරි හිටියා, කාලෙන් කාලෙට. මුරකාරයත් ඔය විදිහට කාලෙන් කාලෙට වෙනස් වුනා. අම්මල, ළමයි විතරක් නෙවෙයි, අපේ තාත්තල බාප්පලත් ඔය වතුවලට යන්න පුරුදු වෙලා හිටිය. ඒ උදලු මිටක් - පොරෝ මිටක් කපාගන්න, අපේ බාප්පනං මුරකාරයත් එක්ක හීං අඩියක් ගහන්න, හාවෙක් මීමින්නෙක් දඩයම් කරගන්න, තාත්ත ගෙවත්තෙ හිටෝගන්න පැළයක් විදිහට හරි බේතකට ගන්න හරි මූනමල්, රසකිඳ, හීරැස්ස පලු... ආදී පැළෑටි හොයාගන්න...
ඔය අවදියෙ කොළඹ යනව කියන්නෙ රට යනව වගේ වැඩක්නෙ. ගොඩක් ළමයි ලොකු මහත් වුනාම කුඹුරු කොටන්න තමා බර. අපේ බාප්පත් සූර ගොවියෙක්. අපි පොඩි කාලෙ මුලු වත්ත පුරාම එයාගෙ එළවලු කොටු, බුලත්පාත්ති ආදිය පිරිල තිබුණ. ඒවගේම හරක්, එළුවොත් හැදුව. ඉගෙනගත්ත අය කොළඹ රස්සාවලට ගියා. හැමෝම නෙවෙයි. සිංහල පාඨශාලාවල ඉගෙනගෙන අට පාස් කරපු අය ඉස්කෝලෙ මහත්තුරු වුනානෙ, ඊට පස්සෙ ආව මධ්‍ය මහා විද්‍යාල. එව්වයෙ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්ත, නායකත්වයක් ඇති , රටේ තොටේ කාරණා වැඩිය දැනගත්ත ගමේ සාමාන්‍ය පවුල්වල දරුවො කොළඹ ගිහිං එක්කො ලියන මහත්තුරු වුනා, එක්කො පියුං රස්සාව, නැත්තං කඩවල, හෝටල්වල වැඩ කළා.
කොළඹ යනව කියන්නෙ ගමේ උදවියට ලොකු හපං කමක්... මේ දරු නැළවිල්ලෙ තියෙන්නෙ ඒක...
"...මගේ පුතා - හරි හපනා
දවසක කොළ - ඹට යනවා
පණං තුනක් - උපයනවා
එයින් එකක් - මට දෙනවා..."
(ඔතන පණං තුනක් වෙනුවට පවුං පහක් කියලත් සමහර පැතිවල කියනව)
ඔය කවියෙන් හදපු ලස්සන ගීතයක් නිතරම ඇහුණා අපි පුංචි සන්දියෙ - රූපා ඉන්දුමතී කියන්නෙ...
(MP3 සිංදුව මෙතනින් අහන්න පුළුවන්)
දරු නැළවිලි වල තියෙන තනුව හරියටම අල්ලගත්ත ගීතයක් තියෙනව වික්ටර් රත්නායක හදපු,
"ආදරයේ උල්පත වූ අම්මා - මා ඔබගේ පුතු වූ..."
මට ඕනෙ වුනේ දරු නැළවිලි වලින් පවා දැනෙන අපේ පැරණි සමාජයෙ සුවඳ ගැන ලියන්න. මේක ගොඩ කාලෙක ඉඳන් ලියන්න හිටියත්, එකපාරටම තිලිනි ෂැල්වින්ගෙ ෆේස්බුක් පෝස්ටුවකින් උනන්දුව අලුත් වුනා. (ඒ ටීචර් නෝනට ස්තූතියි)
නැළවිලි ගී කියමින් නිදි කරවන දරුවන්ගෙ පුංචි හිත් සෞන්දර්යයට යොමු වෙයි කියල මට හිතෙනව. සොඳුරු සිත් ඇති, කුතුහලයෙන් පිරුණු දරුවන් විදිහට ඒ අය ලොකු මහත් වේවි...
මෙන්න දරු නැලවිලි වලට ආස, අලුත උපන් දරුවන්ගෙ තාත්තලට, අම්මලට... මං හොයාගත්ත දරු නැළවිලි ටිකක්, ඔයගොල්ලත් දන්න දන්න නැලවිලි කමෙන්ට් විදිහට දැම්මොත් මේ ලිපිය පෝෂණය වෙයි කියල හිතෙනව...
![]() |
| https://cdn-images-1.medium.com/max/1600/1*bELod_P3sm1bkWr-Wgf61Q.jpeg |
කුජිරි බජිරියේ බජිරි
බජිරි කුජිරි යේ කුජිරි
කුජිරි කුජිරි යේ බජිරි
බජිරි බජිරි යේ කුජිරි
(මේ කවියෙ තියෙන්නෙ තාල රසය විතරයි...)
දොයි දොයි දොයි දොයි දෙය්යෝ
බයි බයි බයි බයි දෙය්යෝ
දොයි දොයි බයි බයි දෙය්යෝ
නින්දක් නිදි ගන් දෙය්යෝ
මගේ පුතා නැලවෙන්නේ
නැලවි නැලවි නිදියන්නේ
තොටිල්ල තාලෙට යන්නේ
සැම දෙවියනි රැකදෙන්නේ
මගේ පුතා රුවට රුවයි
දැක දැක ඉන්නට පිරියයි
මට ඇති එක මැණික නුඹයි
මගෙ පුතු එය දැන නැළවෙයි
ගිරා මලිති කොවුලන්නේ
සුමිහිරි හඬ අසමින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නැළවෙන්නේ
කපුටු කාක් කාක් කාක්
ගොරක දේන් දේන් දේන්
අමුතු වාව් වාව් වාව්
කොට කිඹුලා වැට බිඳලා
ගෑ පොල් කුඩු ඌ කාලා
පිලට ගියා පිල ඇඳිරී
උච්ච කාක්කෝ
ඔ න් න බබෝ හොරු එන වා
අ ඬ න ලමයි අල්ලන වා
ක රේ තියා ගෙණ යන වා
උ න් විකුණා රා බොන වා
උත්තම ගුණ ඇති වේවා
ලත් තැන වැඩ සෑදේවා
උවදුරු බයකුත් නේවා
රෑ සඳ නුඹ රැකදේවා
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා
ඔන්න බබෝ ඇතින්නියා
ගල් පොත්තේ සිටින්නියා
රණ උණබට තලන්නියා
අත පිඹ පිඹ දුවන්නියා
පුතා මගේ හරි හපනා
දවසට කොළඹට යනවා
පවුම් තිහක් පඩි කනවා
ඉන් පවුමක් මට දෙනවා
උඹෙ අම්මත් ඉතා කළුයි
නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹ නලවන මාත් කළුයි
නුඹ විතරයි තල එළළුයි
බාලොලි ලොලි බාලොලියේ
බාල පුංචි ළමයින්නේ
අම්මා කොයිදෝ ඉන්නේ
නිම්මාවක් නැත උන්නේ
දෑතේ වළළුත් නැතිකෝ
දෙපයේ ගිගිරිත් නැතිකෝ
අප්පා එයි දැන් හනිකෝ
නාඩන් සුරතල් මැණිකෝ
නුඹෙ අම්මා කොතැන ගියා
කොහිල විලේ පතට ගියා
පත් උදුරා එන්ට ගියා
එන්ට නැතිව පමා ගියා
අඹර කුරක්කන් කළුවේ
ගලකට පිටි කොයි කළුවේ
රොටී එකක් උය කළුවේ
අම්මට දීපන් කළුවේ
තවත් එකක් උය කළුවේ
අප්පට දීපන් කළුවේ
මටත් එකක් දිය කළුවේ
උඹත් එකක් කා කළුවේ
සුරතල් දරු බිය වෙති
කුරුළු පැටවු නො හඩති
නැළවිල්ලෙන් කම් නැති
කිරිල්ලෝද සැතැ පෙති
තොටිල්ල සැම සුව පිරි
පැද්දෙයි තාලෙට සරි
අසමින් ගී සුමි හිරි
නිදන්නෑ පුත රන් කිරී
(ඉහළ කවි දෙකේ කුමරතුඟු මුනිදස් ගේ ලකුණ තියෙනව...)
අත්තක පිපි මලක් ලෙසේ
මුද්දක බැඳි රුවක් ලෙසේ
සත්තක මගෙ පුතුගෙ ඇසේ
නෙත් දෙක මගෙ පුතුගෙ දෙසේ
ලොවේ පුතුන් බොහොම ඇතා
වඩා නැලෙව්වත් හඬතා
මගේ පුතා එහෙම නැතා
නඬා නිදියන්න පුතා
ලොවේ ළමයි නඩු කියතී
ගුටි අනිමින් සිර කරතී
කැට කැබලිති දඩ ගෙවතී
මගේ පුතා එහෙම නැතී
ආඩම්බර නොකර ඉතා
පාඩම් වුණු බිළිඳු කතා
මේ දැන් කී කවින් ඉතා
නාඩන් මගෙ බිළිඳු පුතා
කන්දක් ගිනි ඇවිලෙන්නේ
හැන්දක් කිරි බීපන්නේ
නැන්දත් නුඹ නලවන්නේ
නින්දක් නිදියා ගන්නේ
පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
නැතේ සෙනේ එහි නිම්මා
නිදන්න පුත දොයියම්මා..
අත්තනගලු ගල මුදුනේ
සිරිසඟබෝ රජ එමිනේ
හිස දන් දුන් එදැන ගෙනේ
සාදු කියාපන් පුතුනේ
සී මට දැන් සිතුනි පුතේ
කෑමට පොල් හකුරු ඇතේ
දීමට රුපියල් දෑතේ
මාමාට වැඳපන්න පුතේ
මේ තව අම්ම කෙනෙක්ගෙ කවි... (උපුටා ගැනීම - අරුණ ශාන්ත උඩුගත කරන ලද යූටියුබ් වීඩියෝවකින්)
Tuesday, September 11, 2018
ළමා කවි තුනක් පිටුපස සැඟවුනු ඉතිහාසය...
එක...
මධ්‍යකාලීන එංගලන්තයේ තිබුණු විශාලතම ව්‍යාපාරයක් වුනේ ලොම් කර්මාන්තය. ලොකු ඉල්ලුමක් ලොම් වලට තිබුණු නිසා පොඩි හරි ඉඩමක් තිබුණු හැමදෙනෙක්ම බැටළුවො ඇති කළා. ඒ කියන්නෙ පිටිසර ගොවියන්ගේ සිට සාමිවරු සහ නායක පූජකයන්, බිශොප්වරු දක්වා සියලු දෙනාම... ඒ කාලෙ ධනවත්කම මැන්න එක ඒකකයක් වුනේ යමෙක්ට අයිති වුණු බැටළුවන් ගාණ. ඔය බැටළුවන් බළාගත්තෙ අතළොස්සක් වුණු එඬේරු...
1272දි කුරුස යුද්ධයට ගොහිං බංකොළොත් වෙලා ආපහු ආව පළමුවන එඩ්වර්ඩ් හෙවත් ලෝංශෑන්ක්ස් රජු ලොම් ව්‍යාපාරය මත බද්දක් පැනෙව්වා. ඒකෙන් එයා තමන්ගෙ යුධ හමුදාවෙ වියදම් පියවා ගන්න උත්සාහ කළා. විකුණන සෑම ලොම් ගෝණියකින්ම තුනෙක් එකක් රජුටත්, තවත් තුනෙන් එකක් පල්ලියට හෝ පූජක ආශ්‍රමවලටත් අය කෙරුණා. ඒ විදිහට අධික බද්දක් ගෙවපුවාම බැටළුවන් බලාගත්ත දුප්පත් එඬේරුන්ට ලැබුණෙ සොච්චමක් යාන්තම් ජිවිතය පවත්වාගෙන යන්න...
ඒ ගැන විරෝධය පළකරන්න ජනතාව අතරින් පබැඳුනු ගියක් තමයි "බා බා බ්ලැක් ෂීප්..."
![]() |
| https://www.haunted-yorkshire.co.uk/BaaBlackSheep.jpg |
මේ ජනගියෙ අන්තිම පේළි දෙක 16 වන සියවස වනතුරුම ගැයුණෙ “And none for the little boy who cries down the lane.” කියලයි. එතන "පුංචි කොලුවා" කියල අදහස් වුණේ ලොම් ව්‍යාපාරයෙන් සැළකිය යුතු යමක් නොලැබුණු බැටළු එඬේරුන්...
දෙක...
කෲර මේරි (Bloody Mary) ලෙස හැඳින්වුනු පළමුවන මේරි රැජිණ රජකමින් නෙරපන්න කුමන්ත්‍රණය කළා ප්‍රොතෙස්තන්ත වංශාධිපතින් තුන් දෙනෙක්. ඒ අය තමයි, හියු ලැටිමර් සහ නිකලස් රිඩ්ලි කියන ඇංග්ලිකන් බිෂොප් වරු දෙන්නා සහ කැන්ටබරියේ ආච්බිෂොප් තෝමස් ක්‍රැන්මර්...
මේරි රැජිණ මිනිසුන් වධහිංසාවට පත්කිරීමෙන් සහ මරණයට පත්කිරීමෙන් කුරිරු වින්දනයක් ලැබූ බව පේනව. අර තුන්දෙනාගෙ කුමන්ත්‍රණය අවසන් වුනේ ඔවුන් තුන්දෙනා කිරීටයට එරෙහි අපරාධ කිරීම යන චෝදනාවට වැරදිකරුවන් බව ප්‍රකාශයට පත් කරලා, රැජිණගේ අණින් ඔක්ස්ෆර්ඩ් හිදී ගිණිතබා මරා දැමීමෙන්. ඒ ගැන හැදුණු ජනගීය තමයි අන්ධ මීයො තුන්දෙනා...
![]() |
| https://d2pu2bk1b66iw6.cloudfront.net/photos/ 2015/03/26/6-97511-three-blind-mice-1427402665.jpg |
තුන...
15 වන සියවසේ උතුරු සමර්සෙට්වල කිලිමර්ස්ඩන් නම් කුඩා ගම්මානයෙ හිටියා පෙම්වතුන් දෙදෙනෙක්. ඒ දෙදෙනා විවාහ වෙලා උන්නෙ නෑ. ඔවුන් නිතර ගම්මානය අසළ කඳුගැටයකට නගින්න පුරුදු වෙලා හිටියා, අනික් අයගෙන් වසං වෙලා පෙම් සුව විඳින්න...
ගෑණු ළමයා ගැබ්ගත්තා. ඇය දරුවා බිහිකරන්න ආසන්න කාලයේ දවසක් කන්දෙදි ගලක් ඔලුවට වැටිලා, ඇගේ පෙම්වතා මියගියා. ඊට දින කිපයකට පස්සෙ ගෑණූ ළමයා දරුවා බිහිකළා. ඒ දරු උපතේදි තරුණ මව මියගියා. ඒ දෙදෙනාගෙ ශෝකාත්මක කතාව තමයි, ජැක් සහ ජිල්...
| https://upload.wikimedia.org/wikipedia/commons /thumb/a/a8/Jack_and_Jill.jpg/384px-Jack_and_Jill.jpg |
| http://4.bp.blogspot.com/-gVE7HQ5-Hnw/U2vxeEktSTI /AAAAAAAAFQo/_EKJ3-4u-qo/s1600/jack+and+jill+hill.JPG |
![]() |
| https://usercontent1.hubstatic.com/8702072.jpg |
Thursday, August 16, 2018
පිටස්තරයාගේ වාර්තාව අංක 02 - රැකී රක්ෂා
![]() |
| http://2.bp.blogspot.com/-Z-jCBqHeaR0/TrVtBam2zoI/AAAAAAAAAAc/ BOK3Z7FluRw/s1600/1844152drawn2.jpg |
මේ ග්‍රහ ලෝකයේ බුද්ධිමත් සත්ත්වයින් කොටසක් ද සිටිති.
ඔවුහු අනෙකුත් සත්ත්වයින් වගේම ආහාර ගනිති, ආශ්වාස ප්‍රශ්වාස කරති, තම වර්ගයා බෝකරති, උපදිති, මියයති... ඒත් ඔවුන්ගේ චර්යාවෙන් වැඩි හරිය අනිකුත් සත්ත්වයින්ට වඩා විහිළු උපදවන තරම් වෙනස් ය. "රැකී රක්ෂා" යනු එයින් එක් චර්යාවකි.
මොවුහු දිනපතා "රස්සාව" යැයි හඳුන්වන දේකට යති.
වෙනත් සත්ත්වයින් සේම ආහාර සොයා යාම එක් කොටසකගේ රස්සාවය. සොයා යාමටත් වඩා ඔවුන් කරන්නේ ආහාර නිපදවීම යැයි කියනු ලැබේ. වෙනත් ජීවී විශේෂ අමුතුවෙන් රෝපණය කරන ඔවුහු, තවත් ජීවී විශේෂ අල්ලාගෙන මරති. තමුන්ට දිනපතා උවමනා ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් වැඩි ප්‍රමාණ වලින් ඔවුහු මේ වැඩය කරති.
තවත් කොටසක් අනික් උදවියගේ චර්යාව පාලනය කරති. ඔවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණය නම් නිල ඇඳුමක් ඇඳීමය. එය එක්කෝ කාකි පාටැති කළිසමක්, කමිසයක් හා තොප්පියකි. නැතිනම් කහ හෝ තැඹිලි හෝ ගුරු පාට රෙද්දක් ගෙන ඇඟ වටා දවටා ගැනීමකි. මොවුන්ගේ උපදෙස් හෝ නියෝග අනික් උදවිය පිළිපදින්නේ ද හරිම විකට අන්දමකට ය. මේ අය ඇති තැන ඔවුන්ගේ උපදෙස් පිළිපදින බව ඉතාම මැනවින් පෙන්වන සහ ඊට ඉතා කැමැත්තෙන් කීකරු වන බව පෙන්වන උදවියම, ඉහත කී පාලනය කරන්නෝ නැති තැන එම උපදෙස් පසෙක ලා තමන්ට උවමනා පරිදි හැසිරෙති. හැබැයි එසේ නිදහසේ හැසිරෙන යමෙක්ගෙන් තමන්ට හිරිහැරයක් වූ තැන හිරිහැරයට ලක් වූ තැනැත්තාට, අර උඩින් කී උදවියගේ උපදෙස් හා නියෝග නිතැතින් මතක් වේ.
ඉහත කී කහ, තැඹිලි හෝ ගුරු පාට රෙදි පෙරවන්නන්ගේ රක්ෂාව ඉතා පහසුය. සෙසු සත්ත්වයින්ට තේරුම් ගත නොහැකි පටළැවිල්ලක් කියාපෑමට ඔවුන් කුඩා කළ සිටම පුහුණු කර තිබේ. ඒ පටළැවිලි සහගත දේට දෝත් මුදුන් තියා වඳින සෙසු සත්ත්වයා, තම තමන් සතු ඕනෑම දෙයක් මේ රක්ෂාව කරන උදවියට නිකම්ම දෙති. ඒ වෙනුවට ඔවුන්ට යමක් ලැබෙන අතර, එය ලැබෙන්නේ ඔවුන්ගේ ජීවිත කාලයෙන් පසුව වන්නේය.
මෙම රැකියාවම කරන තවත් අය සිටින අතර, එයින් සමහරෙක් උඩුකය නිරුවත්ව රත්තරන් නම් ලෝහය පොරවාගෙන සිටින අතර, තවත් උදවිය සුදු ලෝගු හෝ වස්ත්‍ර හඳිති.
"මුදල්" යැයි සම්මත යමක් වේ. එය මේ ලෝකයේ බුද්ධිමත් සත්ත්ව වර්ගයාගේ ඉහළම ආශාව, සංතුෂ්ටිය සහ වන්දනීය දෙය වේ. මේ කියන මුදල් සකස් කරන්නේ "ආණ්ඩුව" යැයි කියන සමූහයක් මඟිනි. ආණ්ඩුව කියන්නේ මෙම සත්ත්ව වර්ගයේ බහුතරයකගේ කැමැත්ත අනුව පත් කරගන්නා, එම වර්ගයේම එක් කොටසකි. සත්ත්වයින් කෝටි දෙකකගේ කැමැත්තෙන් දෙසීය විසි පස් දෙනෙක් තෝරා ගනිති. උන් හැඳින්වෙන්නේ "පාර්ලිමේන්තුව" යන නමිනි.
ඒ දෙසීය විසි පහට අර කෝටි දෙකේම ගෞරවය ලැබේ. ඒ වගේම උන් හට අර උඩ කී පාලනය කරන්නන්ගේ උපදෙස් හෝ නියෝග අදාළ වන්නේම නැත. උන්ට රිසි රිසි සේ සම්පත් භුක්ති විඳිමින් ජීවත් වන්නට ඉඩ සැළසී තිබේ. ඒ වෙනුවට ඔවුන් රට "පාලනය" කිරීම, "ප්‍රතිපත්ති" සකස් කිරීම සහ "සංවර්ධනය" කිරීම යන කාර්යයන් කරති. ඒ නම් වලින් හැඳින්වෙන්නේ රටේ මුදල් සහ රටට ලැබෙන මුදල් මහාපරිමාණයෙන් යොදවා යම් යම් දේවල් කරවමින් ඉන් වැඩි හරියක් මුදල් තමන්ගේ සහ පවුලේ උදවියගේ සන්තකයේ තබා ගැනීම ය.
මෙකී දෙසීය විසිපහෙන් කොටසක් "ඇමති" හා තවත් එකෙක් "අගමැති" ලෙස හැඳින්වෙන අතර, අර කී දෙකෝටියෙන්ම තෝරාගන්නා තවත් එකෙක් "ජනාධිපති"ලෙස හැඳින්වේ. උන් ඉතාම වාසනාවන්ත කොටස ය. මොවුන් හට තම පෞද්ගලික කටයුතු කරගැනීමට අවශ්‍ය සියලු දේ නොමිලේ ලැබේ. වාසයට නිවසක්, පරිහරණයට වාහන, ඒවාට ඉන්දන, විවිධාකාර පරිහරණයට අතවැසියන්, යම් යම් දේ එතීමට, අත පිසදමා විසිකිරීමට සහ රටේ සිදුවෙන දේවල් දැනගැනීමට පත්තර, "බැංකු ගිණුම්" යන දේට තැන්පත් කිරීමට "වැටුප්", යම් යම් කටයුතු කරදීම වෙනුවෙන් සෙසු උදවියගෙන් ලැබෙන "අල්ලස්" සහ "කොමිස්", ඇමති විදිහට ඉන්නා කාලසීමාව අවසානයේ බැංකුවල තැන්පත් කිරීමට විශ්‍රාම වැටුප්, දරුවන්ගේ රැකී රක්ෂා සඳහා අනාගත ඇමතිකම්, හිත මිතුරන්ගේ ජීවිකාව සඳහා "රජයේ රක්ෂා" හෝ "කොන්ත්‍රාත්" ආදී දේ මොවුන් හට සැපයේ.
තවත් කොටසක් රක්ෂා වශයෙන් විවිධාකාර දේ කරති. ඔවුන් එම රක්ෂා වලින් මුදල් ද උපයාගනිති. ඒ මුදල් වලින් කොටසක් අර උඩින් කී ආණ්ඩුවට විවිධ අවස්ථාවලදී ගෙවිය යුතු වන්නේය. ඒ ගෙවන මුදල් වෙනුවෙන් ආණ්ඩුවෙන් ඔවුන්ට මොනම දෙයක්වත් සෘජුව ලැබෙන්නේ නැත. මෙම රක්ෂා කරන අය තමන්ගේ ආහාරය පිණිස යම් කිසි දෙයක් මුදලට ගන්නා විවිධ අවස්ථා වලදී, ඒ භාණ්ඩයේ වටිනාකමට අමතරව යම් මුදලක් ආණ්ඩුවට ගෙවිය යුතු වන්නේය. ඒත් ඒ භාණ්ඩය තැනීමටවත්, එය මිලදීගන්නා තැනැත්තා වෙත ගෙනත් දීමටවත් ආණ්ඩුව කිසිදු වියදමක් කර නැත. යමෙක් තමන්ගේ භාවිතයට වාහනයක් ගන්නා විට එම වාහනයේ වටිනාකම මෙන් කීප ගුණයක මුදලක් ආණ්ඩුව මොවුන්ගෙන් අයකර ගනිති. ඒ ද, ඒ වාහනය වෙනුවෙන් ආණ්ඩුව කිසිම මුදලක් වැය කිරීමෙන් තොරවය.
එසේ ආණ්ඩුව එකතු කරගන්නා මුදල් වලින් "පාර්ලිමේන්තුව", "ඇමති" ආදීන් සහ "රජයේ සේවක"යන් ගේ වැටුප්, වරප්‍රසාද ආදිය සළසා දනෙු ලැබේ. ඉහත කී වාහන ගැනීමේදී ද පාර්ලිමේන්තුවට සහ ඉහළ යැයි සම්මත රජයේ සේවයේ උදවියට ඉහත කී පරිදි ආණ්ඩුවට විශාල මුදලක් ගෙවීමට සිදු වන්නේ නැත.
මා මෙතක් කාලයකට තේරුම් ගත් දේ මේ විදිහය. මේ ලෝකයේ බුද්ධිමත් සත්ත්වයින්ගේ රැකී රක්ෂා හරිම සංකීර්ණ බවින් යුක්තය. දැනටමත් මට පිස්සු වගේය. ඔබහටත් එසේම වේවා!
| http://www.sangam.org/2008/07/images/Collettecartooncirca1956.JPG |
වැඩිපුර බලපු ලිපි
-
පහුගිය දාක (ඒ කියන්නෙ අවුරුදු පහ හයකටත් කලින් දාක) අපි (අශෝක හෙවත් අර දේවාරූඪයෙන් ටීවී හදන පොර සහ රංග වික්‍රමසිංහ සමඟ මම) දොම්පෙ ගියා. අපි ...
-
මේ ලිපිය ලියන්නේ අපේ ආදරණීය තට්ටයා අයියා ගේ යෝජනාව අනුව... තමන්ට ම කියා බ්ලොග් අඩවියක් හෝ විවිධ විෂයයන් සඳහා බ්ලොග් කිහිපයක් තිබීම වැදගත්. ...
-
එකෝමත් එක ගමක උන්නා ගැමියෙක්. (එහෙම නැතුව ගමක නාගරිකයෙක් ඉන්නයැ? නේද?) එයා ජීවිකාව කරගත්තෙ හේනක් කොටාගෙන. කැළෑවෙ අයිනෙ කොටාගත්ත හේනෙ, ගහක් ...
-
කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වල...
-
පිදුම අතීත කාමයෙන් ලියන්ඩ, ලියන්ඩ කියලා දිරිමත් කරන නමුණුකුළින් ඒහා ඉන්න බාගි නගාට... එක්තරා කාලෙයක් තිබුණ , මගෙ හිතේ ඒ ලංකාවෙ සමාජය ය...
-
රෝෂන් ගේ දෑස්, බස් රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හි...
-
මෙතෙක් ලියා ඇති ගජබින්න වලට පටුනක් මුලින්ම... 1. බාප්පගෙ මිරිස් වගාව 2. ඉඩෝරෙට වෙලේ ළිඳක් 3. අලිමාලය 4. සුවාරිස් මුත්තගෙ දඩයම් 5. ඉර ...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක , අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය...
-
මෙන්න ආයෙමත් සිසිර කුමාර මානික්ක ආරච්චි ගෙ පොතක් ඉදිරිපත් කරනවා. මේ පොතේ නොයෙකුත් පරිච්ඡේද අතරින් මම මෙතන ඉදිරිපත් කරන්නෙ "ලෝකෙන් උත...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්... ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර ඉස්කෝලෙ මහත්තුරු සහ බටග...
.jpg)










