මෙතෙක් කොටස්...
3 කොටස
![]() |
| http://2.bp.blogspot.com/-dk6_WbpqARw/ Uh-ii7e2iKI/AAAAAAAAd7c/ Kt23h6qFTr0/s1600/vladmissmeyet.jpg |
ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා වටා ඇති ජනප‍්‍රවාද
ව්ලාඩ් ගේ චරිතය වටා ගෙතී ඇති සුප‍්‍රකට වෘත්තාන්ත නවක් වේ.
1. රන් කුසලානය
සිය පාලන ප‍්‍රදේශය තුළ නීතියේ පාලනය සහ අවංක කම පවත්වාගත් පාලකයෙක් ලෙස ව්ලාඩ් ප‍්‍රකටය. ඔහුගේ බල ප‍්‍රදේශය තුළ සොරුන් සිය කටයුතු කිරීමට බිය වූයේ, අල්ලාගත් පසු උලට යාමට සිදු වන නිසාය. මෙම තත්ත්වය පිළීබඳ කෙතරම් ආත්ම විශ්වාසයක් ව්ලාඩ් සතුව තිබුණේ ද යත්, ඔහු ටර්ගොවිස්ට් නගරයේ මැද රන් කුසලානයක් තබා තිබුණු බව කියැවේ. ඔහුගේ පාලන කාලය තුළ කිසිවෙකු හෝ එය සොරකම් කරන්නට එඩිතර වූයේ නැත.
2. ලෙඩුන් හා දුප්පතුන් ගේ භෝජන සංග‍්‍රහය
ව්ලාඩ් තම රටවැසියන් පොදු යහපතට දක්වන දායකත්වය ගැන ඉතා ඕනෑ කමින් සොයා බැලීය. එක් වරක් ඔහුට නිරීක්ෂණය වූයේ දුප්පතුන්, අයාලේ යන්නන්, හිඟන්නන් සහ අබ්බගාතයන් සංඛ්‍යාත්මකව වැඩි වී ඇති බවය. තම රාජ්‍යයේ කිසිවෙකුත් සාගින්නේ නොසිටිය යුතු යැයි ප‍්‍රකාශ කළ ඔහු, වලාචියා හි සිටි සියළුම දුප්පතුන්ට සහ රෝගී වූවන් ට අගනුවර පැවැත්වෙන භෝජන සංග‍්‍රහයකට ආරාධනා කළේ ය. ඒ අනුව පැමිණි දුප්පතුන් සහ අබ්බගාතයන් නගරයේ විශාල ශාලාවක සකස් කර තිබූ භෝජන සංග‍්‍රහයකට හිඳුවන ලද අතර, ඔවුන් රෑ මැදියම වන තුරු කා බී ප‍්‍රීති වූහ. ව්ලාඞ් තමන්ම ඔවුන් අතරට අවුත් ‘‘තවත් ඔබ ආශා කරන දේ මොනවාද? ඔබ කැමතිද කරදර වලින් සහ කිසිදු හිඟකමකින් තොර ජීවිතයකට?’’ යැයි ඇසීය. ඔවුන් ඊට "ඔව්" යැයි පිළිතුරු දුන් විට ව්ලාඩ් එම ශාලාව වසා දමා, ගිණි තැබීමට අණ කළේය. එම ගින්නෙන් කිසිවෙකුත් බේරුනේ නැත. ව්ලාඩ් මෙම ක‍්‍රියාව බෝයර් වරුන්ට තේරුම් කර දෙමින්, ‘‘ඔවුන් තවදුරටත් අනෙක් මිනිසුන්ට බරක් නොවනු පිණිස සහ මාගේ රාජ්‍යයේ දුප්පතුන් නොමැති වනු පිණිස’’ මෙය කරවූ බව පැවසීය.
3. තලප්පාවලට ඇණ ගැස්වීම
මෙම වෘත්තාන්තය ඉහතින් විස්තර කර ඇත. උරණ වූ පාලකයන් විසින් දූතයන් ගේ හිස් වැසුම් ඔවුන්ගේ හිසට තබා ඇණ ගැස්වීම, නැගෙනහිර යුරෝපයේ මෙන්ම රුසියාවේ පාලකයන් පිළිබඳ කතාන්තර අතර දක්නට ලැබේ.
4. විදේශික වෙළෙන්දා
විදේශයකින් ආ වෙළෙන්දෙක්, ටර්ගොවිස්ට් නගරයේ රාත‍්‍රියක් ගත කළේ ය. ඔහු වලාචියා හි අවංක කම හා නීතියේ පාලනය ගැන දැන සිටි හෙයින් තම කරත්තය එළියේ තබා තිබුණි. උදෑසන තම කරත්තය වෙත ගිය ඔහු ට දක්නට ලැබුණේ රන් ඩකට් 160ක් නැති වී ඇති බවය. වෙළෙන්දා වහාම ව්ලාඩ් වෙත පැමිණිලි කළේය. ඔහුගේ වස්තුව නැවත ලබාදෙන්නට පොරොන්දු වූ ඩ‍්‍රැක්‍යුලා, වහාම සොරා ඉදිරිපත් නොකළහොත් නගරය විනාශ කරන බවට ප‍්‍රකාශයක් නිකුත් කළේය. එදින රාත‍්‍රියේ තම භාණ්ඩාගාරයෙන් ඩකට් 161 ක් තම භාණ්ඩාගාරයෙන් ගෙන වෙළෙන්දාගේ කරත්තයේ තබන ලෙස ව්ලාඩ් අණ කළේය. පසුදා උදෑසන නැවත කාසි ගැන බැලූ වෙළෙන්දා නැවත ඩ‍්‍රැක්‍යුලා වෙත එළඹ තම මුදල් ආපසු ලැබුණු බවත්, ඩකට් එකක් වැඩිපුර ලැබී ඇති බවත් දැන්වීය. ඒ අතර සොරා අල්ලාගෙන සොරාගත් මුදල ද සමඟ ව්ලාඩ් ගේ මුර සෙබළුන් වෙත භාර දෙන ලදි. ඔහු එම සොරා උල තැබ්බවූ අතර, වැඩිපුර ලැබුණු ඩකට් එක ගැන වාර්තා නොකළේ නම් තමන් හට ද සොරා ගේ පසෙකින් උලක හිඳීමට සිදුවන බව වෙළෙන්දාට දැන්වීය.
5. කුසීත ගැහැණිය
ව්ලාඩ් දිනක් ගොවිපොළක වැඩ කරන මිනිසෙක් දුටුවේය. ඒ මිනිසා ඇඳ සිටි කෆ්තානය හෙවත් කමිසය ඉතා කෙටි බව ඔහුට නිරීක්ෂණය විය. ඩ‍්‍රැක්‍යුලා නැවතී එම මිනිසාගේ බිරිඳ ගෙන්වීය. එම ගැහැණිය ගෙන ආ පසු ඔහු ඈ සිය දවස ගත කරන්නේ කෙසේදැයි ඇසීය. අසරණ බියපත් ගැහැණිය, රෙදි සේදීම, පාන් පිළිස්සීම සහ ඇඳුම් මැසීම කරන බව කීවාය. ඇගේ සැමියාගේ කෙටි කෆ්තානය ඇගේ කම්මැළි කම සහ වංකභාවය පිළිබඳ සාක්ෂියක් ලෙස දැක්වූ ව්ලාඩ්, ඇය උල තැබීමට නියෝග කළේය. එහිදී ඇගේ සැමියා තමන් ඇගේ ක‍්‍රියාකළාපය ගැන හොඳටම සෑහීමකට පත් වන බවට දැක්වූ විරෝධය ද ඔහු නොතකා හැරියේ ය. ඉන් පසු ව්ලාඩ් වෙනත් ගැහැණියකට මෙම මිනිසා සමඟ විවාහ වන ලෙස අණ කළ අතර, ඇය ද වෙහෙසී වැඩ නොකළහොත් කලින් බිරිඳගේ ඉරණම ම ඇයට ද උරුම වන බවට අවවාද කළේය.
6. සංවේදී වංශාධිපතියා
1459 ශාන්ත බර්තොලම්‍යු මුනිවරයාගේ දින (අගෝස්තු 24) ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා, ට‍්‍රාන්සිල්වේනියාවේ බ‍්‍රාසෝව් නගරයේ සිටි වෙළෙන්දන් සහ වංශාධිපතියන් තිස් දහසක් උල තැබ්බවීය. එය වඩා හොඳින් රසවිඳිනු පිණිස ඔහු උල තැබ්බවූ මිනිසුන් අතර භෝජන සංග‍්‍රහයක් පැවැත්වීය. සංග‍්‍රහය අතරතුර එයට ආරාධනා ලැබූ බෝයර් වරුන් අතරින් එක් අයෙකු, කැටිගැසුණු ලේ වලින් හමන දුගඳ ඉවසිය නොහැකිව, සිය නාසය මිරිකාගෙන සිටිනු ව්ලාඩ් ගේ නෙත ගැටින. එකෙණෙහිම ඒ සංවේදී බෝයර්වරයා උලතැබීමට අණ කළ ඩ‍්‍රැක්‍යුලා, අනෙක් මළ සිරුරු වලට ඉහළින් සිටින සේ උස් උලක හිඳුවීමට අණ කළේ, ඔහුට ඉවසිය නොහැකි වූ දුර්ගන්ධය ඔහුට නොදැනීම පිණිසය.
7. ඩ‍්‍රැක්‍යුලාගේ අනියම් බිරිඳ.
ව්ලාඩ් හට වරක් අනියම් බිරිඳක් විය. ඈ විසූයේ ටර්ගොවිස්ට් නගරයේ අප‍්‍රකට වීදියක ය. ඇය ඩ‍්‍රැක්‍යුලාට සිය සිහිය විකල් වන තුරු ආදරය කළ අතර, නිතර ඔහු සතුටින් තැබීමට ආශා කළාය. නිතර නිතර කෝපයෙන් හෝ ආතතියෙන් පසු වූ ව්ලාඩ් ගේ සිතේ පැටවුණු බර සැහැල්ලු කර සිත පහන් කිරීමට ඈ හැකි සෑම දෙයක්ම කිරීමට උත්සාහ කළාය. එවැනි එක් මොහොතක ඩ‍්‍රැක්‍යුලාගේ අවධානය වෙනස් කිරීම ට ඇය තමන් ගැබ්ගෙන ඇති බවට බොරුවක් කීවාය. ව්ලාඩ් එම කාන්තාව දියවඩන පාලිකාවන් ලවා පරීක්ෂා කරවා, එය අසත්‍යයක් බව දැනගත්තේය. එය දැනගත් වහාම ඔහු තම කිණිස්සෙන් ඇගේ උදරය ඉකිළියේ සිට පපුව දක්වා පළා, වේදනාවෙන් මියයන්නට හළේය.
8. පෝලන්ත ජාතික වංශාධිපතියා
හංගේරියාවේ රජු යටතේ සේවය කළ බෙනඩික්ට් ද බොයිතොර් නම් පෝලන්ත වංශාධිපතියෙක් 1458 සැප්තැම්බර් මස එක් දිනක ව්ලාඩ් බැහැදැකීමට ටර්ගොවිස්ට් වෙත ආයේය. ඔහු සමඟ පැවති එක් රාත‍්‍රී භෝජනයක දී ව්ලාඩ් රන් හෙල්ලයක් ගෙන්වා, එම රාජකීය දූතයා ඉදිරිපිට සිටුවීමට අණ කළේය. ‘‘මෙය ගෙන්නුවේ කුමකටදැයි ඔබ දන්නවාදැ’’යි ඩ‍්‍රැක්‍යුලා විමසීය. ‘‘ඔබට වරදක් කළ බෝයර් වරයෙකුට ගෞරව දැක්වීමටයැ’’ යි තමා සිතූ බව බෙනඩික්ට් පිළිතුරු දුනි. ‘‘එය ගෙන්නුවේ ඔබට ගෞරව දැක්වීමට යැ’’යි ව්ලාඩ් එකෙණෙහි පිළිතුරු දුන්නේය. එවිට බෙනඩික්ට්, තමන් ඩ‍්‍රැක්‍යුලා හට වරදක් කර ඇත්නම්, ඊට සුදුසයැයි ව්ලාඩ් තීරණය කරන ඕනෑම දඬුවමක් දෙන ලෙස දැන්වීය. එයින් මහත් සතුටට පත් ව්ලාඩ්, ඔහු හට තෑගි භෝග රාශියක් පිරිනැමූ අතර, ඊට වඩා වෙනස් උත්තරයක් දුන්නේ නම් එකෙණෙහිම ඔහු උල තැබ්බවීමට ඉඩ තිබූ බවද දැන්වීය.
9. දේවගැතිවරු දෙදෙනා
මෙම ප‍්‍රවාදය විවිධ වෙනස් කම් සහිතව කියැවෙන අතර, බොහොමයක් මූලාශ‍්‍ර එකඟ වන කතාන්තරය මේ අයුරින් වේ. විදේශයකින් පැමිණි පැවිද්දන් දෙදෙනෙක්, ඩ‍්‍රැක්‍යුලා බැහැදැකීමට ටර්ගොවිස්ට් හි ඔහුගේ මාළිගාවට ආහ. මෙම දේවගැති වරුන් ගේ ප‍්‍රතිචාරය කෙසේ දැයි බැලීමට ව්ලාඩ් ඔවුනට, තම අංගනයේ මිනිසුන් උල තබන ලද උල් සමූහයක් පෙන්වීය. ඒ ගැන ඔවුන්ගේ අදහස විමසූ විට, පළමු පැවිද්දා ‘‘ඔබ පාපී මිනිසුන්ට දඬුවම් කිරීමට දෙවියන් විසින් මිහිමතට එවා ඇතැ’’ යි පිළිතුරු දුන්නේය. අනෙක් දේවගැති තැනට ක‍්‍රෑර පාලකයා විවේචනය කිරීමට ප‍්‍රමාණවත් තරම් සදාචාරාත්මක ධෛර්යයක් තිබුණි. ජර්මානු අත්පිටපත් බොහොමයකට අනුව, ව්ලාඩ් ඇත්ත කියූ පැවිද්දා උල තැබ්බවූ අතර, තමන් චාටුකාර ලෙස වර්ණනා කළ තැනැත්තාට තෑගි දුන්නේය. එහෙත්, රුසියානු අත්පිටපත් සහ රුමේනියානු ජනශ‍්‍රැතියට අනුව, ව්ලාඩ් අවංක දේවගැති වරයා ට තෑගි දුන් අතර, චාටුකාරයා ගේ වංකකම නිසා ඔහු උල තබ්බවා ඇත.
රුමේනියානු ඇගයීම
1481 සිට ලියැවුණු රුමේනියානු සහ බල්ගේරියානු ලියැවිලි වල ව්ලාඩ් නිරූපණය වන්නේ කර්කෂ නමුත් සාධාරණ ක‍්‍රමවේදයන් මඟින්, දූෂිත ධනවත් බෝයර් වරුන් අතින් රට බේරා ගැනීමට සටන් කළ වීරයෙකු ලෙසිනි. එසේම ඔහුගේ යුධ ප‍්‍රයාණයන් සියල්ල එල්ල වූයේ වලාචියාව ආක‍්‍රමණය කළ ඔටෝමන් අධිරාජ්‍යයට එරෙහිවය. ස්ලැවොනීය කතා (The
Slavonic Tales) හි මෙසේ සඳහන් වේ:
‘‘ඔහු තම රට තුළ දුෂ්ට බව කෙතරම් පිළිකුල් කළේ ද යත්, කිසිවෙකු කිසියම් හාණියක්, සොරකමක් හෝ පැහැරගැනීමක්, බොරුවක් හෝ අසාධරණ ක‍්‍රියාවක් කළේ ද, ඒ කිසිවෙකුත් පණපිටින් ඉතිරි වූයේ නැත. ඒ තැනැත්තා උසස් බෝයර් වරයෙකු වූවද, පූජකයෙකු වූවද, සාමාන්‍ය මිනිසෙකු වූවද, ධනවතෙක් වූවද, ඔහුගේ මරණයෙන් ඔහු බේරාගැනීමට ඒ කිසිවකට හැකි වූයේ නැත.’’
රැගුසා හි විසූ ඉතාලි ජාතික ලේඛකයෙකු වූ මයිකල් බොසිඤොලි 1524 දී ව්ලාඞ් ගැන මෙසේ ලියයි: ‘‘එක් කලෙක, වලාචියා හි ඉතා නැණවත් සහ යුද්ධයේ දක්ෂ වූ ඩ‍්‍රැගූල් නම් කුමාරයෙක් විය.’’
කැන්ටකුසිනෝ වංශයේ ස්ටොයිකා ලූඩෙස්ක්‍යූ විසින් 1688 දී තරම ලියැවුණු ලෙටොපයිස්ටල් කැන්ටකුසිනෙස්ක් (Letopisetul
cantacuzinesc) නම් ඓතිහාසික වංශකතාවෙහි ව්ලාඩ් ගේ පදවි ප‍්‍රාප්තිය විස්තර කරන කොටසෙහි අවසානයේ මෙසේ සඳහන් වේ. ‘‘වොයිවෝඞ් ව්ලාඩ් එම සාධාරණ මිනිසුන් අතර සිය රාජ්‍ය පාලනය පවත්වාගත් තාක් කාලය තුළ, දෙවියන් වහන්සේගේ ද ආධාරයෙන් බොහෝ යහපත් සහ ගෞරවාන්විත පාලකයෙකු බවට වර්ධනය වූයේය.’’
රුමේනියානු ලේඛකයෙකු සහ කීර්තිමත් ඉතිහාසඥයෙකු වූ යෝන් බුඩේ-ඩිලේන්‍යු (Ioan
Budai-Deleanu) 1785 දී තරම ‘‘ටිගානියාඩා’’ නම් රුමේනියානු වීර කාව්‍යයක් ලිවීය. එහි, ව්ලාඩ් නිරූපණය වූයේ ඔටෝමන් වරුන් හා සටන් කළ රෞද්‍ර රණ ශූරයෙකු ලෙසිනි. රුමේනියානු ශ්‍රේෂඨ කවියන්ගෙන් කෙනෙක් වූ මිහායි එමිනෙස්ක්‍යූ අතින් ව්ලාඩ් ගේ චරිතය නූතන රුමේනියානු සමාජයේ ප‍්‍රසාදයට පත් කිරීමට මහත් මෙහෙයක් ඉටු විය. පැවති ජරාජීර්ණ සමාජයට එරෙහි භූමිකාවක් ලෙස ඔහු ව්ලාඩ් දක්වයි. ඔහුගේ කවි මඟින් ව්ලාඩ් ගේ දරුණු ක‍්‍රියා කළාපය පවා, සමාජය සුවපත් කිරීමේ යොදාගත් බවට ඔහු සාධාරණීකරණය කරයි.
මීට වෙනස් ස්වරූපයක් ඉදිරිපත් කරන ජර්මානු, සැක්සන් සහ හංගේරියානු මූලාශ‍්‍ර වල ව්ලාඩ් නිරූපණය වන්නේ ප‍්‍රජාපීඩකයෙකු සහ රාක්ෂසයෙකු ලෙසිනි. මීට හේතු වන්නට ඇත්තේ, ඩ‍්‍රැක්‍යුලා අතින් වධයට පත් වූ ට‍්‍රාන්සිල්වේනියානු සැක්සන් වරු සහ පසුකාලීනවතම පෞද්ගලික අවශ්‍යතාව මත මැතියාස් කෝවිනස් විසින් ඔහු අපකීර්තියට පත් කිරීමට පතුරුවා හළ ප‍්‍රවාද බවට, බොහෝ ඉතිහාසඥයෝ සහ ලේඛකයෝ එකඟ වෙති. කෙසේ වෙතත්, ව්ලාඩ් දස දහස් ගණන් මිනිසුන් දරුණු ආකාරයෙන් මැරවූ බවට බිඳ හෙළිය නොහැකි ලේඛන ගත සාක්ෂ්‍ය, රුමේනියානු සහ විදේශීය ලේඛන තුළින් හමු වන අතර, ව්ලාඩ් විසින්ම රචිත ලිපි ද ඒ අතර වේ.
බ‍්‍රෑම් ස්ටෝකර් සම්බන්ධය
ඩ‍්‍රැක්‍යුලා යන නම වැම්පයරයෙකු හා සම්බන්ධ කළේ බ‍්‍රෑම් ස්ටෝකර් ය. එම නාමය ඔහුට හමු වූයේ විලියම් විල්කින්සන් ගේ ‘‘වලාචියා හි සහ මෝල්දාවියා හි රාජ්‍යයන් පිළිබඳ ඒවා සම්බන්ධ විවිධ දේශපාලනික නිරීක්ෂණයන් සහිත ප‍්‍රකාශනයක්’’ (An
Account of the Principalities of Wallachia and Moldavia: with various Political
Observations Relating to Them) යන ග‍්‍රන්ථයෙන් යැයි සැළකේ. ඔහු එම පොත පිළිබඳ සටහන් තබාගෙන ඇති බව ප‍්‍රකටය. එසේම ස්ටෝකර්හට හඳුනාගන්නට ලැබුණු හංගේරියානු මහාචාර්යවරයෙකු වූ බුඩාපේස්ට් හි ආර්මින් වැම්බරි මඟින් ඔහු ජනප‍්‍රවාදයෙන් පතළ වූ ව්ලාඩ් ගේ කීර්තිය ගැන දැනගන්නට ඇතැයි ද ඇතැම්හු අදහස් කරති. ඩ‍්‍රැක්‍යුලා නවකතාවේ ආචාර්ය ඒබ‍්‍රහැම් වැන් හෙල්සිං, තමන් ඩ‍්‍රැක්‍යුලා ගැන දැනගත්තේ තම මිතුරෙකු වන ආර්මිනියස් නමැත්තෙකුගෙනැයි සඳහන් කිරීම, මෙම අදහසට රුකුල් දෙයි. (ඩ‍්‍රැක්‍යුලා - පරි. 18)
වැම්පයර් මිථ්‍යාවේ මුල
බ‍්‍රෑම් ස්ටෝකර් සිය සුප‍්‍රකට වැම්පයරයාගේ වාසභූමිය ලෙස බෝල්කන් ප‍්‍රදේශය තෝරාගැනීම ඉතාම සුදුසු වූ බව පෙනේ. ස්ටෝකර්ගේ කාලය වූ එක්දහස් අටසිය අනූ ගණන් වන විටත් බෝල්කන් ප‍්‍රදේශ සංස්කෘතිකමය වශයෙන් මධ්‍යතන අවධියේ පැවතුනි. ඒ වන විට ඔවුන් තුර්කියේ යටත් වැසියන් ව සිට එයින් නිදහස් වූවා පමණි. අඳුරු යුගයේ මිථ්‍යා විශ්වාසයන් තවමත් එම ප‍්‍රදේශයේ සාමාන්‍ය ව්‍යවහාරය ව පැවතියේය.
වැම්පයර් පුරාවෘත්තයන් ගේ මුල බෝල්කන් ප‍්‍රදේශයයි. බොහෝ සංස්කෘතීන් හි පුරාණෝක්ති අතර වැම්පයරයන්ට සමාන සත්ත්වයන් ගැන සඳහන් වේ. එසේ වුවත්, යුරෝපයට සහ එයින් අමෙරිකාවට පැතිරුණු වැම්පයර් කතා, නැගෙනහිර යුරෝපයේ ස්ලාව් සහ ග‍්‍රීක ප‍්‍රදේශ වල උපන් ජනප‍්‍රවාද ය.
වැම්පයරයන් පිළිබඳ සංකල්පය නැගෙනහිර යුරෝපය පුරා පැතිරී යාම දහ හත් වන සියවසේ අග භාගයේ සිට දහ අට වන සියවස මුළුල්ලේ සිදුවිය. මේ කාලය තුළ හංගේරියාවේ සහ බෝල්කන් ප‍්‍රදේශයන්හි වැම්පයරයන් යැයි සැක කරන ලද සිදුවීම් මහත් රාශියක් වාර්තා වේ.බෝල්කන් ප‍්‍රදේශයන්හි සිට මෙය වසංගතයක් සේ බටහිර දෙසට පැතිරුණු අතර, අනුක‍්‍රමයෙන් ජර්මනිය, ඉතාලිය, ප‍්‍රංශය, එංගලන්තය සහ ස්පාඤ්ඤය දක්වා එය විහිද ගියේය. බෝල්කන් ප‍්‍රදේශයන් ට ගිය සංචාරකයෝ ආපසු සියරටට රැගෙන ආ නොමළවුන් පිළිබඳ කතා, මෙයට මුල් විය.
එයින්, බටහිර දාර්ශනිකයන්ගේ අවධානය මෙම සංකල්පයට යොමු විය. දොම් ඕගස්ටින් කැල්මට් හංගේරියානු වැම්පයරයන් ගැන සිය සුප‍්‍රකට නිබන්ධන රචනා කළේ මේ කාලයේදී ය. එසේම මෙම අවධිය තුළ ගත් කතුවරුන් සහ නාට්‍ය රචකයන් මුලින්ම මෙම මිථ්‍යාව ගැන ගවේෂණය කරන්නට පටන් ගත්හ. ස්ටෝකර්ගේ නවකතාව හුදෙක්ම, බෝල්කන් ප‍්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීම් පිළිබඳව පැවති මෙම දීර්ඝ ගවේෂණ මාලාවේ අවසන් ප‍්‍රතිඵලය ලෙස සැළකිය හැක.
ඒ හැරෙන්නට, ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා ලේ උරා බොන අවතාරයකට හැරීමක් ගැන ජනප‍්‍රවාදමය සාක්ෂි සොයාගත නොහැක. එය හුදෙක්ම බ‍්‍රෑම් ස්ටෝකර් සිය නවකතාවේ දුෂ්ට චරිතයට මුහුණක් ලබාදීමට කරන ලද්දක් බව පෙනේ.
2011 ඔක්තෝබරයේ දී චාල්ස් කුමාරයා, තමන් ව්ලාඩ්ගෙන් වංශානුගතව පැවතෙන්නෙකු බව ප‍්‍රසිද්ධියේ පිළිගත්තේය. ඒ, ට‍්‍රාන්සිල්වේනියාවේ වනගත ප‍්‍රදේශ සංරක්ෂණ කාර්යයන්ට ආධාර දීමට ප‍්‍රතිඥා දෙමිනි.
ඩ‍්‍ර‍්‍රැක්‍යුලා සම්බන්ධ චිත‍්‍රපට
![]() |
| Vlad Tepes (1979) චිත්‍රපටයෙන් http://2.bp.blogspot.com/-FTziTQvWR20/ TyzxJpYxekI/AAAAAAAACUo/LpzBybkUfh4 /s1600/Vlad-Tepes_1982_03.png |
මූලාශ්ර -
විකිපීඩියා
වැම්පයර් සංකල්පය ගැන සවිස්තරාත්මක ලිපි මාලාවක් ළඟදීම බලාපොරොත්තු වන්න



