Showing posts with label ඩ්‍රැක්‍යුලා ගැන. Show all posts
Showing posts with label ඩ්‍රැක්‍යුලා ගැන. Show all posts

Thursday, December 3, 2015

ඩ්‍රැක්‍යුලාගෙන් පසු - Dracula the Historical Figure - Final Part

මෙතෙක් කොටස්...
3 කොටස
http://2.bp.blogspot.com/-dk6_WbpqARw/
Uh-ii7e2iKI/AAAAAAAAd7c/
Kt23h6qFTr0/s1600/vladmissmeyet.jpg
ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා වටා ඇති ජනප‍්‍රවාද

ව්ලාඩ් ගේ චරිතය වටා ගෙතී ඇති සුප‍්‍රකට වෘත්තාන්ත නවක් වේ.

1. රන් කුසලානය

සිය පාලන ප‍්‍රදේශය තුළ නීතියේ පාලනය සහ අවංක කම පවත්වාගත් පාලකයෙක් ලෙස ව්ලාඩ් ප‍්‍රකටය. ඔහුගේ බල ප‍්‍රදේශය තුළ සොරුන් සිය කටයුතු කිරීමට බිය වූයේ, අල්ලාගත් පසු උලට යාමට සිදු වන නිසාය. මෙම තත්ත්වය පිළීබඳ කෙතරම් ආත්ම විශ්වාසයක් ව්ලාඩ් සතුව තිබුණේ ද යත්, ඔහු ටර්ගොවිස්ට් නගරයේ මැද රන් කුසලානයක් තබා තිබුණු බව කියැවේ. ඔහුගේ පාලන කාලය තුළ කිසිවෙකු හෝ එය සොරකම් කරන්නට එඩිතර වූයේ නැත.

2. ලෙඩුන් හා දුප්පතුන් ගේ භෝජන සංග‍්‍රහය

ව්ලාඩ් තම රටවැසියන් පොදු යහපතට දක්වන දායකත්වය ගැන ඉතා  ඕනෑ කමින් සොයා බැලීය. එක් වරක් ඔහුට නිරීක්ෂණය වූයේ දුප්පතුන්, අයාලේ යන්නන්, හිඟන්නන් සහ අබ්බගාතයන් සංඛ්‍යාත්මකව වැඩි වී ඇති බවය. තම රාජ්‍යයේ කිසිවෙකුත් සාගින්නේ නොසිටිය යුතු යැයි ප‍්‍රකාශ කළ ඔහු, වලාචියා හි සිටි සියළුම දුප්පතුන්ට සහ රෝගී වූවන් ට අගනුවර පැවැත්වෙන භෝජන සංග‍්‍රහයකට ආරාධනා කළේ ය. ඒ අනුව පැමිණි දුප්පතුන් සහ අබ්බගාතයන් නගරයේ විශාල ශාලාවක සකස් කර තිබූ භෝජන සංග‍්‍රහයකට හිඳුවන ලද අතර, ඔවුන් රෑ මැදියම වන තුරු කා බී ප‍්‍රීති වූහ. ව්ලාඞ් තමන්ම ඔවුන් අතරට අවුත් ‘‘තවත් ඔබ ආශා කරන දේ මොනවාද? ඔබ කැමතිද කරදර වලින් සහ කිසිදු හිඟකමකින් තොර ජීවිතයකට?’’ යැයි ඇසීය. ඔවුන් ඊට "ඔව්" යැයි පිළිතුරු දුන් විට ව්ලාඩ් එම ශාලාව වසා දමා, ගිණි තැබීමට අණ කළේය. එම ගින්නෙන් කිසිවෙකුත් බේරුනේ නැත. ව්ලාඩ් මෙම ක‍්‍රියාව බෝයර් වරුන්ට තේරුම් කර දෙමින්, ‘‘ඔවුන් තවදුරටත් අනෙක් මිනිසුන්ට බරක් නොවනු පිණිස සහ මාගේ රාජ්‍යයේ දුප්පතුන් නොමැති වනු පිණිස’’ මෙය කරවූ බව පැවසීය. 

3. තලප්පාවලට ඇණ ගැස්වීම

මෙම වෘත්තාන්තය ඉහතින් විස්තර කර ඇත. උරණ වූ පාලකයන් විසින් දූතයන් ගේ හිස් වැසුම් ඔවුන්ගේ හිසට තබා ඇණ ගැස්වීම, නැගෙනහිර යුරෝපයේ මෙන්ම රුසියාවේ පාලකයන් පිළිබඳ කතාන්තර අතර දක්නට ලැබේ.

4. විදේශික වෙළෙන්දා

විදේශයකින් ආ වෙළෙන්දෙක්, ටර්ගොවිස්ට් නගරයේ රාත‍්‍රියක් ගත කළේ ය. ඔහු වලාචියා හි අවංක කම හා නීතියේ පාලනය ගැන දැන සිටි හෙයින් තම කරත්තය එළියේ තබා තිබුණි. උදෑසන තම කරත්තය වෙත ගිය ඔහු ට දක්නට ලැබුණේ රන් ඩකට් 160ක් නැති වී ඇති බවය. වෙළෙන්දා වහාම ව්ලාඩ් වෙත පැමිණිලි කළේය. ඔහුගේ වස්තුව නැවත ලබාදෙන්නට පොරොන්දු වූ ඩ‍්‍රැක්‍යුලා, වහාම සොරා ඉදිරිපත් නොකළහොත් නගරය විනාශ කරන බවට ප‍්‍රකාශයක් නිකුත් කළේය. එදින රාත‍්‍රියේ තම භාණ්ඩාගාරයෙන් ඩකට් 161 ක් තම භාණ්ඩාගාරයෙන් ගෙන වෙළෙන්දාගේ කරත්තයේ තබන ලෙස ව්ලාඩ් අණ කළේය. පසුදා උදෑසන නැවත කාසි ගැන බැලූ වෙළෙන්දා නැවත ඩ‍්‍රැක්‍යුලා වෙත එළඹ තම මුදල් ආපසු ලැබුණු බවත්, ඩකට් එකක් වැඩිපුර ලැබී ඇති බවත් දැන්වීය. ඒ අතර සොරා අල්ලාගෙන සොරාගත් මුදල ද සමඟ ව්ලාඩ් ගේ මුර සෙබළුන් වෙත භාර දෙන ලදි. ඔහු එම සොරා උල තැබ්බවූ අතර, වැඩිපුර ලැබුණු ඩකට් එක ගැන වාර්තා නොකළේ නම් තමන් හට ද සොරා ගේ පසෙකින් උලක හිඳීමට සිදුවන බව වෙළෙන්දාට දැන්වීය. 

5. කුසීත ගැහැණිය

ව්ලාඩ් දිනක් ගොවිපොළක වැඩ කරන මිනිසෙක් දුටුවේය. ඒ මිනිසා ඇඳ සිටි කෆ්තානය හෙවත් කමිසය ඉතා කෙටි බව ඔහුට නිරීක්ෂණය විය. ඩ‍්‍රැක්‍යුලා නැවතී එම මිනිසාගේ බිරිඳ ගෙන්වීය. එම ගැහැණිය ගෙන ආ පසු ඔහු ඈ සිය දවස ගත කරන්නේ කෙසේදැයි ඇසීය. අසරණ බියපත් ගැහැණිය, රෙදි සේදීම, පාන් පිළිස්සීම සහ ඇඳුම් මැසීම කරන බව කීවාය. ඇගේ සැමියාගේ කෙටි කෆ්තානය ඇගේ කම්මැළි කම සහ වංකභාවය පිළිබඳ සාක්ෂියක් ලෙස දැක්වූ ව්ලාඩ්, ඇය උල තැබීමට නියෝග කළේය. එහිදී ඇගේ සැමියා තමන් ඇගේ ක‍්‍රියාකළාපය ගැන හොඳටම සෑහීමකට පත් වන බවට දැක්වූ විරෝධය ද ඔහු නොතකා හැරියේ ය. ඉන් පසු ව්ලාඩ් වෙනත් ගැහැණියකට මෙම මිනිසා සමඟ විවාහ වන ලෙස අණ කළ අතර, ඇය ද වෙහෙසී වැඩ නොකළහොත් කලින් බිරිඳගේ ඉරණම ම ඇයට ද උරුම වන බවට අවවාද කළේය.

6. සංවේදී වංශාධිපතියා

1459 ශාන්ත බර්තොලම්‍යු මුනිවරයාගේ දින (අගෝස්තු 24) ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා, ට‍්‍රාන්සිල්වේනියාවේ බ‍්‍රාසෝව් නගරයේ සිටි වෙළෙන්දන් සහ වංශාධිපතියන් තිස් දහසක් උල තැබ්බවීය. එය වඩා හොඳින් රසවිඳිනු පිණිස ඔහු උල තැබ්බවූ මිනිසුන් අතර භෝජන සංග‍්‍රහයක් පැවැත්වීය. සංග‍්‍රහය අතරතුර එයට ආරාධනා ලැබූ බෝයර් වරුන් අතරින් එක් අයෙකු, කැටිගැසුණු ලේ වලින් හමන දුගඳ ඉවසිය නොහැකිව, සිය නාසය මිරිකාගෙන සිටිනු ව්ලාඩ් ගේ නෙත ගැටින. එකෙණෙහිම ඒ සංවේදී බෝයර්වරයා උලතැබීමට අණ කළ ඩ‍්‍රැක්‍යුලා, අනෙක් මළ සිරුරු වලට ඉහළින් සිටින සේ උස් උලක හිඳුවීමට අණ කළේ, ඔහුට ඉවසිය නොහැකි වූ දුර්ගන්ධය ඔහුට නොදැනීම පිණිසය.

7. ඩ‍්‍රැක්‍යුලාගේ අනියම් බිරිඳ.

ව්ලාඩ් හට වරක් අනියම් බිරිඳක් විය. ඈ විසූයේ ටර්ගොවිස්ට් නගරයේ අප‍්‍රකට වීදියක ය. ඇය ඩ‍්‍රැක්‍යුලාට සිය සිහිය විකල් වන තුරු ආදරය කළ අතර, නිතර ඔහු සතුටින් තැබීමට ආශා කළාය. නිතර නිතර කෝපයෙන් හෝ ආතතියෙන් පසු වූ ව්ලාඩ් ගේ සිතේ පැටවුණු බර සැහැල්ලු කර සිත පහන් කිරීමට ඈ හැකි සෑම දෙයක්ම කිරීමට උත්සාහ කළාය. එවැනි එක් මොහොතක ඩ‍්‍රැක්‍යුලාගේ අවධානය වෙනස් කිරීම ට ඇය තමන් ගැබ්ගෙන ඇති බවට බොරුවක් කීවාය. ව්ලාඩ් එම කාන්තාව දියවඩන පාලිකාවන් ලවා පරීක්ෂා කරවා, එය අසත්‍යයක් බව දැනගත්තේය. එය දැනගත් වහාම ඔහු තම කිණිස්සෙන් ඇගේ උදරය ඉකිළියේ සිට පපුව දක්වා පළා, වේදනාවෙන් මියයන්නට හළේය. 

8. පෝලන්ත ජාතික වංශාධිපතියා

හංගේරියාවේ රජු යටතේ සේවය කළ බෙනඩික්ට් ද බොයිතොර් නම් පෝලන්ත වංශාධිපතියෙක් 1458 සැප්තැම්බර් මස එක් දිනක ව්ලාඩ් බැහැදැකීමට ටර්ගොවිස්ට් වෙත ආයේය. ඔහු සමඟ පැවති එක් රාත‍්‍රී භෝජනයක දී ව්ලාඩ් රන් හෙල්ලයක් ගෙන්වා, එම රාජකීය දූතයා ඉදිරිපිට සිටුවීමට අණ කළේය. ‘‘මෙය ගෙන්නුවේ කුමකටදැයි ඔබ දන්නවාදැ’’යි ඩ‍්‍රැක්‍යුලා විමසීය. ‘‘ඔබට වරදක් කළ බෝයර් වරයෙකුට ගෞරව දැක්වීමටයැ’’ යි තමා සිතූ බව බෙනඩික්ට් පිළිතුරු දුනි. ‘‘එය ගෙන්නුවේ ඔබට ගෞරව දැක්වීමට යැ’’යි ව්ලාඩ් එකෙණෙහි පිළිතුරු දුන්නේය. එවිට බෙනඩික්ට්, තමන් ඩ‍්‍රැක්‍යුලා හට වරදක් කර ඇත්නම්, ඊට සුදුසයැයි ව්ලාඩ් තීරණය කරන  ඕනෑම දඬුවමක් දෙන ලෙස දැන්වීය. එයින් මහත් සතුටට පත් ව්ලාඩ්, ඔහු හට තෑගි භෝග රාශියක් පිරිනැමූ අතර, ඊට වඩා වෙනස් උත්තරයක් දුන්නේ නම් එකෙණෙහිම ඔහු උල තැබ්බවීමට ඉඩ තිබූ බවද දැන්වීය.

9. දේවගැතිවරු දෙදෙනා

මෙම ප‍්‍රවාදය විවිධ වෙනස් කම් සහිතව කියැවෙන අතර, බොහොමයක් මූලාශ‍්‍ර එකඟ වන කතාන්තරය මේ අයුරින් වේ. විදේශයකින් පැමිණි පැවිද්දන් දෙදෙනෙක්, ඩ‍්‍රැක්‍යුලා බැහැදැකීමට ටර්ගොවිස්ට් හි ඔහුගේ මාළිගාවට ආහ. මෙම දේවගැති වරුන් ගේ ප‍්‍රතිචාරය කෙසේ දැයි බැලීමට ව්ලාඩ් ඔවුනට, තම අංගනයේ මිනිසුන් උල තබන ලද උල් සමූහයක් පෙන්වීය. ඒ ගැන ඔවුන්ගේ අදහස විමසූ විට, පළමු පැවිද්දා ‘‘ඔබ පාපී මිනිසුන්ට දඬුවම් කිරීමට දෙවියන් විසින් මිහිමතට එවා ඇතැ’’ යි පිළිතුරු දුන්නේය. අනෙක් දේවගැති තැනට ක‍්‍රෑර පාලකයා විවේචනය කිරීමට ප‍්‍රමාණවත් තරම් සදාචාරාත්මක ධෛර්යයක් තිබුණි. ජර්මානු අත්පිටපත් බොහොමයකට අනුව, ව්ලාඩ් ඇත්ත කියූ පැවිද්දා උල තැබ්බවූ අතර, තමන් චාටුකාර ලෙස වර්ණනා කළ තැනැත්තාට තෑගි දුන්නේය. එහෙත්, රුසියානු අත්පිටපත් සහ රුමේනියානු ජනශ‍්‍රැතියට අනුව, ව්ලාඩ් අවංක දේවගැති වරයා ට තෑගි දුන් අතර, චාටුකාරයා ගේ වංකකම නිසා ඔහු උල තබ්බවා ඇත. 

රුමේනියානු ඇගයීම

1481 සිට ලියැවුණු රුමේනියානු සහ බල්ගේරියානු ලියැවිලි වල ව්ලාඩ් නිරූපණය වන්නේ කර්කෂ නමුත් සාධාරණ ක‍්‍රමවේදයන් මඟින්, දූෂිත ධනවත් බෝයර් වරුන් අතින් රට බේරා ගැනීමට සටන් කළ වීරයෙකු ලෙසිනි. එසේම ඔහුගේ යුධ ප‍්‍රයාණයන් සියල්ල එල්ල වූයේ වලාචියාව ආක‍්‍රමණය කළ ඔටෝමන් අධිරාජ්‍යයට එරෙහිවය. ස්ලැවොනීය කතා (The Slavonic Tales) හි මෙසේ සඳහන් වේ:

‘‘ඔහු තම රට තුළ දුෂ්ට බව කෙතරම් පිළිකුල් කළේ ද යත්, කිසිවෙකු කිසියම් හාණියක්, සොරකමක් හෝ පැහැරගැනීමක්, බොරුවක් හෝ අසාධරණ ක‍්‍රියාවක් කළේ ද, ඒ කිසිවෙකුත් පණපිටින් ඉතිරි වූයේ නැත. ඒ තැනැත්තා උසස් බෝයර් වරයෙකු වූවද, පූජකයෙකු වූවද, සාමාන්‍ය මිනිසෙකු වූවද, ධනවතෙක් වූවද, ඔහුගේ මරණයෙන් ඔහු බේරාගැනීමට ඒ කිසිවකට හැකි වූයේ නැත.’’

රැගුසා හි විසූ ඉතාලි ජාතික ලේඛකයෙකු වූ මයිකල් බොසිඤොලි 1524 දී ව්ලාඞ් ගැන මෙසේ ලියයි: ‘‘එක් කලෙක, වලාචියා හි ඉතා නැණවත් සහ යුද්ධයේ දක්ෂ වූ ඩ‍්‍රැගූල් නම් කුමාරයෙක් විය.’’

කැන්ටකුසිනෝ වංශයේ ස්ටොයිකා ලූඩෙස්ක්‍යූ විසින් 1688 දී තරම ලියැවුණු ලෙටොපයිස්ටල් කැන්ටකුසිනෙස්ක් (Letopisetul cantacuzinesc) නම් ඓතිහාසික වංශකතාවෙහි ව්ලාඩ් ගේ පදවි ප‍්‍රාප්තිය විස්තර කරන කොටසෙහි අවසානයේ මෙසේ සඳහන් වේ. ‘‘වොයිවෝඞ් ව්ලාඩ් එම සාධාරණ මිනිසුන් අතර සිය රාජ්‍ය පාලනය පවත්වාගත් තාක් කාලය තුළ, දෙවියන් වහන්සේගේ ද ආධාරයෙන් බොහෝ යහපත් සහ ගෞරවාන්විත පාලකයෙකු බවට වර්ධනය වූයේය.’’

රුමේනියානු ලේඛකයෙකු සහ කීර්තිමත් ඉතිහාසඥයෙකු වූ යෝන් බුඩේ-ඩිලේන්‍යු (Ioan Budai-Deleanu) 1785 දී තරම ‘‘ටිගානියාඩා’’ නම් රුමේනියානු වීර කාව්‍යයක් ලිවීය. එහි, ව්ලාඩ් නිරූපණය වූයේ ඔටෝමන් වරුන් හා සටන් කළ රෞද්‍ර රණ ශූරයෙකු ලෙසිනි. රුමේනියානු ශ්‍රේෂඨ කවියන්ගෙන් කෙනෙක් වූ මිහායි එමිනෙස්ක්‍යූ අතින් ව්ලාඩ් ගේ චරිතය නූතන රුමේනියානු සමාජයේ ප‍්‍රසාදයට පත් කිරීමට මහත් මෙහෙයක් ඉටු විය. පැවති ජරාජීර්ණ සමාජයට එරෙහි භූමිකාවක් ලෙස ඔහු ව්ලාඩ් දක්වයි. ඔහුගේ කවි මඟින් ව්ලාඩ් ගේ දරුණු ක‍්‍රියා කළාපය පවා, සමාජය සුවපත් කිරීමේ යොදාගත් බවට ඔහු සාධාරණීකරණය කරයි.

මීට වෙනස් ස්වරූපයක් ඉදිරිපත් කරන ජර්මානු, සැක්සන් සහ හංගේරියානු මූලාශ‍්‍ර වල ව්ලාඩ් නිරූපණය වන්නේ ප‍්‍රජාපීඩකයෙකු සහ රාක්ෂසයෙකු ලෙසිනි. මීට හේතු වන්නට ඇත්තේ, ඩ‍්‍රැක්‍යුලා අතින් වධයට පත් වූ ට‍්‍රාන්සිල්වේනියානු සැක්සන් වරු සහ පසුකාලීනවතම පෞද්ගලික අවශ්‍යතාව මත මැතියාස් කෝවිනස් විසින් ඔහු අපකීර්තියට පත් කිරීමට පතුරුවා හළ ප‍්‍රවාද බවට, බොහෝ ඉතිහාසඥයෝ සහ ලේඛකයෝ එකඟ වෙති. කෙසේ වෙතත්, ව්ලාඩ් දස දහස් ගණන් මිනිසුන් දරුණු ආකාරයෙන් මැරවූ බවට බිඳ හෙළිය නොහැකි ලේඛන ගත සාක්ෂ්‍ය, රුමේනියානු සහ විදේශීය ලේඛන තුළින් හමු වන අතර, ව්ලාඩ් විසින්ම රචිත ලිපි ද ඒ අතර වේ.

බ‍්‍රෑම් ස්ටෝකර් සම්බන්ධය

ඩ‍්‍රැක්‍යුලා යන නම වැම්පයරයෙකු හා සම්බන්ධ කළේ බ‍්‍රෑම් ස්ටෝකර් ය. එම නාමය ඔහුට හමු වූයේ විලියම් විල්කින්සන් ගේ ‘‘වලාචියා හි සහ මෝල්දාවියා හි රාජ්‍යයන් පිළිබඳ ඒවා සම්බන්ධ විවිධ දේශපාලනික නිරීක්ෂණයන් සහිත ප‍්‍රකාශනයක්’’ (An Account of the Principalities of Wallachia and Moldavia: with various Political Observations Relating to Them) යන ග‍්‍රන්ථයෙන් යැයි සැළකේ. ඔහු එම පොත පිළිබඳ සටහන් තබාගෙන ඇති බව ප‍්‍රකටය. එසේම ස්ටෝකර්හට හඳුනාගන්නට ලැබුණු හංගේරියානු මහාචාර්යවරයෙකු වූ බුඩාපේස්ට් හි ආර්මින් වැම්බරි මඟින් ඔහු ජනප‍්‍රවාදයෙන් පතළ වූ ව්ලාඩ් ගේ කීර්තිය ගැන දැනගන්නට ඇතැයි ද ඇතැම්හු අදහස් කරති. ඩ‍්‍රැක්‍යුලා නවකතාවේ ආචාර්ය ඒබ‍්‍රහැම් වැන් හෙල්සිං, තමන් ඩ‍්‍රැක්‍යුලා ගැන දැනගත්තේ තම මිතුරෙකු වන ආර්මිනියස් නමැත්තෙකුගෙනැයි සඳහන් කිරීම, මෙම අදහසට රුකුල් දෙයි. (ඩ‍්‍රැක්‍යුලා - පරි. 18)

වැම්පයර් මිථ්‍යාවේ මුල

බ‍්‍රෑම් ස්ටෝකර් සිය සුප‍්‍රකට වැම්පයරයාගේ වාසභූමිය ලෙස බෝල්කන් ප‍්‍රදේශය තෝරාගැනීම ඉතාම සුදුසු වූ බව පෙනේ. ස්ටෝකර්ගේ කාලය වූ එක්දහස් අටසිය අනූ ගණන් වන විටත් බෝල්කන් ප‍්‍රදේශ සංස්කෘතිකමය වශයෙන් මධ්‍යතන අවධියේ පැවතුනි. ඒ වන විට ඔවුන් තුර්කියේ යටත් වැසියන් ව සිට එයින් නිදහස් වූවා පමණි. අඳුරු යුගයේ මිථ්‍යා විශ්වාසයන් තවමත් එම ප‍්‍රදේශයේ සාමාන්‍ය ව්‍යවහාරය ව පැවතියේය.

වැම්පයර් පුරාවෘත්තයන් ගේ මුල බෝල්කන් ප‍්‍රදේශයයි. බොහෝ සංස්කෘතීන් හි පුරාණෝක්ති අතර වැම්පයරයන්ට සමාන සත්ත්වයන් ගැන සඳහන් වේ. එසේ වුවත්, යුරෝපයට සහ එයින් අමෙරිකාවට පැතිරුණු වැම්පයර් කතා, නැගෙනහිර යුරෝපයේ ස්ලාව් සහ ග‍්‍රීක ප‍්‍රදේශ වල උපන් ජනප‍්‍රවාද ය. 

වැම්පයරයන් පිළිබඳ සංකල්පය නැගෙනහිර යුරෝපය පුරා පැතිරී යාම දහ හත් වන සියවසේ අග භාගයේ සිට දහ අට වන සියවස මුළුල්ලේ සිදුවිය. මේ කාලය තුළ හංගේරියාවේ සහ බෝල්කන් ප‍්‍රදේශයන්හි වැම්පයරයන් යැයි සැක කරන ලද සිදුවීම් මහත් රාශියක් වාර්තා වේ.බෝල්කන් ප‍්‍රදේශයන්හි සිට මෙය වසංගතයක් සේ බටහිර දෙසට පැතිරුණු අතර, අනුක‍්‍රමයෙන් ජර්මනිය, ඉතාලිය, ප‍්‍රංශය, එංගලන්තය සහ ස්පාඤ්ඤය දක්වා එය විහිද ගියේය. බෝල්කන් ප‍්‍රදේශයන් ට ගිය සංචාරකයෝ ආපසු සියරටට රැගෙන ආ නොමළවුන් පිළිබඳ කතා, මෙයට මුල් විය.

එයින්, බටහිර දාර්ශනිකයන්ගේ අවධානය මෙම සංකල්පයට යොමු විය. දොම්  ඕගස්ටින් කැල්මට් හංගේරියානු වැම්පයරයන් ගැන සිය සුප‍්‍රකට නිබන්ධන රචනා කළේ මේ කාලයේදී ය. එසේම මෙම අවධිය තුළ ගත් කතුවරුන් සහ නාට්‍ය රචකයන් මුලින්ම මෙම මිථ්‍යාව ගැන ගවේෂණය කරන්නට පටන් ගත්හ. ස්ටෝකර්ගේ නවකතාව හුදෙක්ම, බෝල්කන් ප‍්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීම් පිළිබඳව පැවති මෙම දීර්ඝ ගවේෂණ මාලාවේ අවසන් ප‍්‍රතිඵලය ලෙස සැළකිය හැක.

ඒ හැරෙන්නට, ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා ලේ උරා බොන අවතාරයකට හැරීමක් ගැන ජනප‍්‍රවාදමය සාක්ෂි සොයාගත නොහැක. එය හුදෙක්ම බ‍්‍රෑම් ස්ටෝකර් සිය නවකතාවේ දුෂ්ට චරිතයට මුහුණක් ලබාදීමට කරන ලද්දක් බව පෙනේ.

2011 ඔක්තෝබරයේ දී චාල්ස් කුමාරයා, තමන් ව්ලාඩ්ගෙන් වංශානුගතව පැවතෙන්නෙකු බව ප‍්‍රසිද්ධියේ පිළිගත්තේය. ඒ, ට‍්‍රාන්සිල්වේනියාවේ වනගත ප‍්‍රදේශ සංරක්ෂණ කාර්යයන්ට ආධාර දීමට ප‍්‍රතිඥා දෙමිනි.

ඩ‍්‍ර‍්‍රැක්‍යුලා සම්බන්ධ චිත‍්‍රපට
Vlad Tepes (1979) චිත්‍රපටයෙන්
http://2.bp.blogspot.com/-FTziTQvWR20/
TyzxJpYxekI/AAAAAAAACUo/LpzBybkUfh4
/s1600/Vlad-Tepes_1982_03.png
ඩ‍්‍රැක්‍යුලා චරිතය නිරූපණය වන මෙතෙක් තිරගත වූ හොඳම විත‍්‍රපට විසි අටක ලිස්ට් එකක් මෙතනින්.

මූලාශ්‍ර - 

විකිපීඩියා
වැම්පයර් සංකල්පය ගැන සවිස්තරාත්මක ලිපි මාලාවක් ළඟදීම බලාපොරොත්තු වන්න

Thursday, November 12, 2015

ඩ්‍රැක්‍යුලාගේ වැටීම Dracula's Fall - Historical Figure of Dracula Part - 3

මෙතෙක් කොටස්
1 කොටස
2 කොටස

සමහර තුර්කි මූලාශ‍්‍ර වල වෙනත් ආකාරයකින් සඳහන් වූවද, අනෙක් සමකාලීන වංශ කථා සෑම එකක්ම පාහේ පවසන්නේ, 1462 සංග‍්‍රාමයෙන් සුල්තාන් වරයා පැරදුනු බවයි. අවසානයේ තුර්කි හමුදා කෙතරම් වේගයකින් පසුබැස්සා ද කියතොත්, 1462 ජූලි 11 වන විට සුල්තාන් වරයා ඒඩි‍්‍රයානාපොලිස් වෙත අවුත් තිබිණ. බයිසැන්ටියානු ඉතිහාසඥ කැල්කොකොන්දිල් ට අනුව, ව්ලාඩ් ගේ බාල සහෝදරයා වූ රාඩු, ඔටෝමන් වරුන් විසින් ටර්ගොවිස්ට් අගනුවර රඳවා ගොස් තිබුණි. ව්ලාඩ් ට එරෙහි පිරිස් රැුස් කර ගැනීමත්, ඔවුන් මඟින් අවසානයේ දී ව්ලාඩ් බලයෙන් පහ කොට වලාචියා හි රූකඩ පාළකයා බවට පත් වීමත් රාඩු වෙතින් අපේක්ෂා කෙරුණි.

කඩවසම් රාඩු
https://upload.wikimedia.org/wikipedia/
commons/thumb/e/e2/Radu_cel_Frumos
_of_Wallachia_2.png/220px-Radu
_cel_Frumos_of_Wallachia_2.png

රාඩු සහ ඔහුගේ ජැනිසරි සේනාවෙන් දෙවන මෙහ්මඩ් සුල්තාන් වරයා අපේක්ෂා කළේ  ඕනෑම දෙයක් කැප කර ඔටෝමන් අධිරාජ්‍යය ජයග‍්‍රහණය කරා ගෙනයාමයි. රාඩු සහ ඔහුගේ දරුණු ජැනිසරි බළ ඇණි වෙත, වෙඩි බෙහෙත් සහ ඩිනාර් සැපයීම සුල්තාන් වරයා විසින් අනවරතව පවත්වාගන්නා ලදි. එහෙයින් ඔවුන් හට ව්ලාඩ් ගේ බල ප‍්‍රදේශය තුළට කාවැදීම පහසු විය. අවසානයේ, මනාව සන්නද්ධ ව සිටි තම බළඇණි සමඟින් රාඩු, ව්ලාඩ් ගේ සුප‍්‍රකට රක්ෂස්ථානයක් වූ පොයිනරි බළකොටුව වටළන්නට සමත් විය. එහිදී ඉතා දුෂ්කර ජයක් අත් කර ගත් රාඩු, මෙහ්මඩ් විසින් වලාචියා හි බේ වරයා හෙවත් ප‍්‍රාදේශීය පාලකයා බවට පත් කරන ලදි.

පොයිනරි හිදී ව්ලාඩ් පරාජය වීමට එක් හේතුවක් වූයේ, ව්ලාඩ් විසින් බලතල කප්පාදු කරන ලද බෝයර් වරු, තම මුල් ආස්ථානයන් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රාඩු සමඟ එකතු වීමය. එසේම, ඔවුන් හංගේරියානු රැකවරණයට වඩා, නැගී එන ඔටෝමන් අධිරාජ්‍යයේ රැකවරණය යටතේ සිටීම හොඳයැයි අදහස් කරන්නටද ඇත. එසේම, බෝයර් වරුන්ගේ පවුල් සැඟවී සිටි ස්ථාන (බොහෝවිට ස්නැගෝව් අවට වන රොද වල) තම ඔත්තුකාරයන් සහ පාවාදෙන්නන් මඟින් හෙළිදරව් කරගත් රාඩු, ඔවුන් මඟින් බෝයර් වරුන් තම පාර්ශ්වයට එක් කර ගැනීමට තර්ජනාත්මක බළපෑම් කරන ලද බව ද කියැවේ.

1462 සැප්තැම්බර් 8 වන විටත් ව්ලාඩ් තවත් යුධ ජයග‍්‍රහණ තුනක් අත් කරගෙන සිටියේය. එහෙත්, 1462 දී ඔටෝමන් වරු ව්ලාඩ් ට‍්‍රාන්සිල්වේනියාවට පළවා හරින්නට සමත් වූහ. එහිදී ඔහුගේ බිරිඳ ඔටෝමන් වරුන්ට අසුවනවාට වඩා මරණය උතුමැයි සළකා, ව්ලාඩ් ගේ බළකොටු මාළිගයේ කුළුණක සිටි ආර්ගස් නදියට පැන දිවි නසා ගත් බව සඳහන් වේ. ඩ‍්‍රැක්‍යුලා රහස් මඟකින් ට‍්‍රාන්සිල්වේනියානු කඳුකරයට පළා ගියේ ය.

දිගින් දිගට පැවතුණු යුද්ධ ව්‍යාපාරය විසින් ඔහු සතු අරමුදල් හින්දවා තිබුණි. එහෙයින් තවදුරටත් ඔහුගේ අගම්පඩි හමුදාවට වැටුප් ගෙවිය නොහැකි තත්ත්වයක් උදාවිය. ව්ලාඩ් සිය පැරණි යුධ සගයා වූ මැතියස් කෝවිනස් ගේ ආධාර අපේක්ෂාවෙන් හංගේරියාවට ගියේය. එහිදී ආධාර වෙනුවට ඔහුට ලැබුණේ අත්අඩංගුවට ගෙන, රාජද්‍රෝහී චෝදනා මත අන්තර් භෞම බන්ධනාගාරයට දැමීමයි. පාප් වහන්සේගෙන් තෙවන කුරුස යුද්ධය සඳහා ලැබුණු මුදල් තම පෞද්ගලික පරිහරණයට වියදම් කර සිටි කෝවිනස්, යුද්ධයකට පැටළීමට අදහස් කළේ නැත. ඔටෝමන් වරුන් සමඟ සාමයට එකඟ වන බවට ව්ලාඩ් ගෙන් ලිපියක් ලියවා ගත් ඔහු, එම ලිපිය මඟින් පාප් වහන්සේ වෙත යුද්ධය අතහැර දැමීමට හේතු දක්වා සිය අගනුවරම රැඳින.

පොඩු ද‘ම්බොවිෂේ පාළම අසළ ඔරේෂියා හි බළකොටුවෙහි ව්ලාඩ් සිර ගත කරන ලදි. ඉන් පසු බුඩා නගරය අසළ විසිග‍්‍රෑඩ් වෙත ගෙන යන ලදුව එහි වසර 10 ක් ගත කරන්නට ඔහුට සිදු විය. එයින් පසු ඔහු බුඩා හි සිර කර තබන ලදි.

ව්ලාඩ් සිරගතව සිටි කාලසීමාව විවාදාපන්නය. එය 1462 සිට 1474 දක්වා බව රුසියානු අත්පිටපත් මූලාශ‍්‍ර අනුව සළකාගත හැක. බුඩා හි රාජ්‍යතාන්ත‍්‍රික ලිපි ගනු දෙනු හැදෑරීමේදී එය ඊට වඩා කෙටි කාලයක් බව පෙනේ. මෙම කාලය තුළ කෙමෙන් කෙමෙන් ව්ලාඩ්, මැතියාස් කෝවිනස් ගේ හිතවත් බව දිනාගන්නට සමත් වූ බව පෙනී යන්නේ, අවසානයේ ව්ලාඩ්, මැතියාස් කෝවිනස් ගේ පවුලේ සාමාජිකාවක (කෝවිනස් ගේ සහෝදරියකැයි ද සමහර තැන් වල සඳහන් වේ.) ආවාහ කරගැනීමට සමත් වීමෙනි. එම යුවළට දරුවන් දෙදෙනෙකු ලැබුණි. 1476 දී ඩ‍්‍රැක්‍යුලා වලාචියාහි සිහසුනට නැවත පත් වන විට ඔවුන්ගේ වැඩුමල් දරුවාගේ වයස අවුරුදු 10 ක් විය.

ව්ලාඩ් සිය සිර ජීවිතයේදී පවා තම පැරණි පුරුදු අත් නොහළ බව රුසියානු මූලාශ‍්‍ර වල සඳහන් වේ. ඔහු බොහෝ විට කුරුල්ලන් සහ මීයන් අල්ලාගෙන ඔවුන් වධයට පත් කිරීමටත්, අඟ පසඟ සිඳීමටත් පුරුදු ව සිටියේය. සමහර සතුන් ගේ හිස් කැපූ ඔහු තවත් සමහර සතුන්ගේ ඇ‍ඟ‍ෙහි තාර ගා, පිහාටු අළවා අතහැරියේ ය. නමුත් බොහොමයක් සතුන් ට ඔහු කළේ කුඩා උල් වල උල තැබීමය.

රාඩු අනුගමනය කළ ඔටෝමන් ලැදි පාලන ප‍්‍රතිපත්තිය ව්ලාඩ් හට නැවත නැගිටීමට උපකාරී විය. එසේම, ඩැන්‍යුබ් නදියෙන් උතුරෙහි පිහිටි ප‍්‍රදේශයන් කෙරෙහි ඔටෝමන් අධිරාජ්‍යයෙන් එල්ල වූ පීඩනය වැඩි වත්ම, මෝල්දාවියාවේ වොයිවෝඩ් වරයා මෙන්ම ව්ලාඩ් ගේ ඥාතියෙකු ද වූ මහා ස්ටෙෆන්, තම පෞද්ගලික අභිප‍්‍රායන් ද මුල් කරගෙන, ව්ලාඩ් ගේ නිදහස වෙනුවෙන් මැදිහත් විය.

ඒ අතර, ව්ලාඩ් 1475 දී  ඕතඩොක්ස් නිකායෙන් රෝමානු කතෝලික දහම වෙත මාරු විය. එය ද මැතියාස් කෝවිනස් සතුටු කිරීමට කරන ලද්දක් ලෙස පෙනේ.

1475 දී රාඩු හදිසියේ මිය යාමෙන් පසු 1476 නොවැම්බර් 26 දින තෙවන ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා හංගේරියානු ආධාර ඇතිව සිය තෙවන පාලන කාලය ප‍්‍රකාශ කළේය. ට‍්‍රාන්සිල්වේනියාවේ ස්ටෙෆන් බේතරි කුමාරයාගේ සහ ව්ලාඩ් ගේ ඒකාබද්ධ හමුදා වලාචියාව ආක‍්‍රමණය කළහ. ඒ වන විට රාඩුගේ ඇවෑමෙන් වලාචියාව පාලනය කළේ ඩැනෙස්ටි පරම්පරාවේ මහළු බැසරැබ් ය. ව්ලාඩ් ගේ හමුදා හමුවේ, බැසරැබ් සිය හමුදාද සමඟ පළාගියේ ය. එහෙත් ව්ලාඩ් සිය සිහසුන නැවත අල්ලාගෙන නොබෝ දිනකින්ම ස්ටෙෆන් බේතරී සමඟ ව්ලාඩ් ගේ හමුදාවෙන් බහුතරයක්ද  ආපසු ට‍්‍රාන්සිල්වේනියාවට ගියහ. ඩ‍්‍රැක්‍යුලා නැවත සිය බළ සේනා සකස් කර ගන්නට මත්තෙන් ඔටෝමන් හමුදා වලාචියාවට ඇතුල් වූහ. ඔවුනට මුහුණ දීමට ව්ලාඩ් හට සිදු වූයේ හාර දහසකට ත් අඩු සේනාවක් සමඟිනි.

ව්ලාඩ් ගේ තෙවන පාලන සමය මාස දෙකකින් අවසන් වූයේ ඔටෝමන් වරුන් සමඟ පැවති සටනකදී ඔහු ඝාතනය වීමෙනි. ඔහුගේ මරණය සිදුවූයේ කවදාදැයි නිශ්චිත නැතත්, ඒ 1476 දෙසැම්බර් මස අග දිනක යැයි සැළකේ. කෙසේ වෙතත් 1477 ජනවාරි 10 වන විට ඔහු මියගිය බව ප‍්‍රසිද්ධ වී තිබුණි. ඔහු මිය ගිය ස්ථානය ද නිශ්චිත නැත. එය බුකාරෙස්ට් සිට ග්‍යුර්ග්‍යු දක්වා වැටී ඇති මාර්ගයේ යම් තැනකදී සිදු වූ බව පිළිගැනේ. ඔහුගේ මරණය සිදුවූ ආකාරය ගැන මත කිහිපයක් වේ. සමහරුන් වාර්තා කර ඇත්තේ ඩ‍්‍රැක්‍යුලාගේ පාර්ශ්වය ජයග‍්‍රහණයට ඉතාම ආසන්නව සිටි අවස්ථාවේ ද්‍රෝහී වලාචියානු බෝයර් වරුන් ඔහු ඝාතනය කළ බවයි. තවත් මූලාශ‍්‍ර වලට අනුව, ව්ලාඩ් සිය පාක්ෂික මෝල්දාවියානු අංගාරක්ෂක භටයන් තමන් වටා සිටියදීම, පරාජය වී වැටුණු බවය. ජයග‍්‍රාහී ව්ලාඩ් තමන්ගේම සේනාවේ අය විසින් වැරදීමකින් එල්ල කළ පහරකින් මිය ගිය බව තවත් අය කියති.

ව්ලාඩ් ගේ මළසිරුරෙන් වෙන් කරන ලද හිස ජයග‍්‍රහණයේ ස්මාරකයක් ලෙස කොන්ස්තන්තිනෝපලයට ගෙන යන ලද අතර, එහිදී මෙහ්මඩ් ගේ අණ පරිදි එය උලක ගසා ප‍්‍රදර්ශනය කරවා ඇත. ව්ලාඩ් ගේ ප‍්‍රතිවාදියා වූ බැසරැබ් ලයෝටා විසින් ව්ලාඩ් ගේ සිරුර ගෞරවාචාරයෙන් තොරව මිහිදන් කරන ලදි. ඔහු මිහිදන් කරන ලද්දේ, ව්ලාඩ් විසින් 1461 දී ආරම්භ කරන ලද කොමානා තාපසාරාමයේ බව සැළකේ. මෙකී කොමානා ආශ‍්‍රමය පසුකාලීනව විනාශ කෙරුණු අතර, 1589 දී නටඹුන් මතින් නැවත ගොඩනගන ලදි.

ව්ලාඩ් භූමදාන කර ඇත්තේ බුකාරස්ට් නගරයට නුදුරු ස්නැගෝව් හි දූපතක පිහිටි ආශ‍්‍රමයක බව කියැවෙන කිසිදු ලිඛිත සාධකයකින් ඔප්පු නොවූ ජනශ‍්‍රැතියක් 19 වන සියවසේදී රුමේනියානු ඉතිහාසඥයන් හෙළිදරව් කරගත්හ. මෙම ආරාමයේ නිර්මාපකයා ද ව්ලාඩ් බව ට කැන්ටකුසිනෝ වංශකතාවේ වන සඳහන මීට සාක්ෂියක් වන බව ඔවුන්ගේ මතය විය. නමුත්, 1855 තරම් ඈතකදී ඇලෙක්සැන්ඩෘ ඔබොබෙස්ක්‍යු විසින් මෙම ආශ‍්‍රමය 1438 ට ද කලින් සිට පවතින බව පෙන්වා දී ඇත. 1933 ජූනි මාසයේදී ඞීනූ වී රොසෙට්ටි විසින් මෙම ස්ථානය කැණීම් කරන ලදි. එයින් ස්නැගෝව් ආශ‍්‍රමය 14 වන සියවසේ අගභාගයේදී ඉදි කරන ලද්දක් බව තහවුරු විය. මෙම ආශ‍්‍රමයේ පල්ලියේ ඇති ව්ලාඩ් ගේ යැයි විශ්වාස කෙරෙන නමක් කොටා නැති සොහොන් කොතට යටින් සැබැවින්ම සොහොනක් නෙමැති බව ද එහිදී අනාවරණය විය. රොසෙට්ටි 1933 දී පැවසූ අන්දමට, ‘‘ව්ලාඩ් ගේ සොහොන යැයි කියන සොහොන් කොතට යටින් සොහොන් ගැබක් තිබුණේ නැත. තිබුණේ අශ්ව ඇටකටු සහ හනු කොටස් රාශියක් පමණි.’’ ව්ලාඩ් ගේ මරණයේ වසර 500 සංවත්සරය වෙනුවෙන් ලිපි මාළාවක් ලියූ මාධ්‍යවේදියෙකු වන සිමියොන් සැවේන්‍යු, මෙම පල්ලියේ වෙනත් ස්ථානයක තිබූ නමක් රහිත සොහොන් කොතක් පිළිබඳව ප‍්‍රසිද්ධ කළේය. කෙසේ වෙතත් බහුතරයක් රුමේනියානු ඉතිහාසඥයෝ විශ්වාස කරන්නේ ව්ලාඩ් ගේ සොහොන කොමානා ආශ‍්‍රමයේ පවතින බවය.

ඔහු ඉතිරි කර ගිය දේ.

ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා ජීවත්ව සිටියදී පවා, ඔහු වධ දීමෙන් හා මැරීමෙන් පරපීඩක සතුටක් ලැබූ කුරිරු පාලකයෙකු ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටියේ ය. ජීවත්ව සිටි කාලයේදී, අඳින ලද සමහර ගුප්ත-සිතුවම් වල කෲර පාලකයන් හෝ වධකයන් ගේ රුව ලෙස ව්ලාඩ් ගේ රූපය ඇඳ ඇත. ඔහුගේ මරණින් පසු ඔහුගේ කෲර ක‍්‍රියාවන් අතිශයෝක්තියෙන් වර්ණනා කරන ලද පත‍්‍රිකා, 1480 සිට 1560 ගණන් වෙනතෙක්ම ජර්මනියේ ද, සාර් රජවරු යටතේ රුසියාවේ මඳ වශයෙන් ද, නැවත නැවත පළ කෙරී තිබේ.

https://upload.wikimedia.org/wikipedia/
commons/thumb/9/9c/Jezus_pred
_Pilatom.jpg/371px-Jezus_pred_Pilatom.jpg
ජේසුස් වහන්සේ විනිශ්චය කරන පොන්ටියස් පිලාත් ලෙස ව්ලාඩ් ගේ රුව ඇතුළත් වූ සිතුවමක්. (1463) ල්‍යුබ්ලියානා ජාතික කෞතුකාගාරයෙනි.

ව්ලාඩ් විසින් මරා දැමුණු ගණන 40,000 සිට 100,000 දක්වා වෙතැයි සැළකේ. එය, සියවස් හතරක් තිස්සේ යුරෝපයේ සිදුවූ මායාකාරියන් සංහාරය කිරීමේ ව්‍යාපාරයන් හි ඝාතනයන් මුළු එකතුවට සමාන සංඛ්‍යාවකි. ජර්මානු කතා වල සඳහන් වන පරිදි, ඔහුගේ අනින් මිය ගිය ගණන අඩුම වශයෙන් 80,000 ක් වත් වන අතර, ඒ ඔහු සහමුළින්ම ගිණිතබ්බවා විනාශ කරන ලද ගම්මාන සහ බළකොටු වල සිටියවුන් ගණනට අමතරවය.
https://upload.wikimedia.org/
wikipedia/commons/e/eb/Tepest.jpg
1470 - 1480 කාලයේ අඳින ලද ශාන්ත ඇන්ඩෘ කුරුසියේ ඇණ ගැස්වීම සිතුවමක ඒජීයස් නම් රෝමක ආණ්ඩුකාරවරයා ලෙස ව්ලාඩ් ගේ රූපය ඇඳ ඇති ආකාරය
වියානාහි බෙල්වඩියර් චිත‍්‍රාගාරයෙන්

වධ දී මරාදැමීමට ඔහු ඉතාම ප‍්‍රිය කළ ක‍්‍රමය වූයේ උල තැබීමයි. ව්ලාඩ් එළිමහනේ ආහාර ගනිමින් සිටින අතර, පසුබිමෙන් මිනිසුන් රාශියක් උලතබන ලද උල් ද, වධකයන් මිනිසුන් කපා දමන ආකාරය ද, දැක්වෙන 15 වන සියවසේ අග භාගයටත්, 16 වන සියවසේ මුල් කාලයටත් අයත් වන ජර්මානු ලී කැටයම් කිහිපයක් වේ. ආක‍්‍රමණික ඔටෝමන් හමුදාවන්, ඩැන්‍යුබ් නදී තීරයේ වූ දහස් ගණනක් උලතබන ලද මිනිසුන් දැක බියපත්ව ආපිට හැරුණු බව වාර්තා වී තිබේ. එසේම 1462 දී ව්ලාඩ්ගේ අගනුවර වූ ටර්ගොවිස්ට් හි ප‍්‍රාකාරයෙන් පිටත උල තබන ලද මළ සිරුරු 20,000 දුටු, මනෝවිද්‍යාත්මක යුධ ප‍්‍රයාණයන්හි දක්ෂයෙකු වූ දෙවන මෙහ්මඩ් සුල්තාන් වරයා රෝගග‍්‍රස්තව ආපිට කොන්ස්තන්තිනෝපලයට හැරී ගියේය.

https://upload.wikimedia.org/
wikipedia/commons/4/43/Impaled.gif
ව්ලාඩ් එළිමහනේ ආහාර ගනිමින් සිටින අතර, පසුබිමෙන් මිනිසුන් රාශියක් උලතබන ලද උල් ද, වධකයන් මිනිසුන් කපා දමන ආකාරය ද, දැක්වෙන 1499 දී කෙරුණු ජර්මානු ලී කැටයමක්

ව්ලාඩ් ගේ කෲරත්වය ගැන පැවති ප‍්‍රවාද, මැතියාස් කෝවිනස් විසින් සිය දේශපාලනික උවමනාවන් මත අතිශයෝක්තියෙන් පතුරුවාහරින ලද ඒවා බව ද සැළකේ. ඔටෝමන් වරුන්ට එරෙහිව යුද වදිනු පිණිස යුරෝපයේ පැවති බහුතරයක් කතෝලික රාජ්‍යයන් වෙතින් අරමුදල් ලැබූ කෝවිනස්, 1462 දී තුර්කියට එරෙහි ව්ලාඩ් ගේ සටනට ආධාර නොකළේය. එය සාධාරණීකරණය කිරීමේ අරමුණින් ව්ලාඩ් ගේ කෲරත්වය හා විශ්වාස කළ නොහැකි බව සනාථ කිරීමට විවිධ ප‍්‍රවාද පතුරුවා හළ බව සැළකේ. මැතියාස් අග්නිදිග ට‍්‍රාන්සිල්වේනියාවේ අයබදු සිය ප‍්‍රයෝජනයට ගත් අතර, ව්ලාඩ් ලීවාසේ පෙනෙන පරිදි 1942 නොවැම්බර් 07 දිනැති ව්‍යාජ රාජද්‍රෝහී ලිපි සකස් කළ බව ද කියැවේ.

ජර්මානු ජනතාව ඩ‍්‍රැක්‍යුලා ගැන දැනගත්තේ 15 වන සියවසේ මුල් භාගයේදී කියවන්නන් අතර සංසරණය වූ අත් පිටපත් මඟිනි. එයින් මුල්ම අත්පිටපත ලියැවී ඇත්තේ ව්ලාඩ් අත්අඩංගුවට පත්වීමටත් පෙර හෙවත් 1462 දී යැයි සැළකේ. එය පසු කාලයකදී ජර්මනියේදී මුද්‍රණය කෙරුණු අතර, සමකාලීනව හොඳ අලෙවියක් ද ඊට ලැබිණ. මුල් පිටපතට යම් යම් වෙනස් කිරීම් සහ එකතු කිරීම් ද සහිතව වරින් වර සංස්කරණය කෙරී ඇත.

අත්පිටපත් සහ පත‍්‍රිකා වලට අමතරව, ව්ලාඩ් ගේ කතාවේ ජර්මානු අනුවාදය මයිකල් බිහයිම් ගේ ‘‘වොන් අයිනෙම් වුට්රිච් ඩර් හයිස් ට‍්‍රැකල් වයිඩා වොන් ඩර් වලාචි’’ හෙවත්, වලාචියාහි ඩ‍්‍රැක්‍යුලා නම් උමතු මිනිසාගේ කතාව යන කාව්‍යයට ද ඇතුළත් විය. 1463 ශීත සෘතුවේ දී මෙම කාව්‍යය ලියා, තෙවැනි ෆෙඩි‍්‍රක් ශුද්ධවූ රෝම අධිරාජයාගේ රාජ සභාවේදී ගායනා කරන ලදි.

මෙකී මයිකල් බිහයිම් ගේ කාව්‍යයට අමතරව, ව්ලාඩ් ගේ කතා ඇතුළත් අත්පිටපත් 4 ක් ද, පත‍්‍රිකා 13 ක් ද ලියැවී ඇත. දැනට ඇති අත්පිටපත් සියල්ල 15 වන සියවසේ අග කාර්තුවේ සිට 1500 වසර දක්වා කාල පරාසයකට අයත් වන අතර, පත‍්‍රිකා 1488 සිට 1559-1568 කාලයට අයත් වේ.

මෙම පත‍්‍රිකා වලින් අටක් 1501 ට කලින් කෙරුණු ආදී කාලීන මුද්‍රිතයන් ය. ව්ලාඩ් පිළිබඳ ජර්මානු කතා 46 ක වන අතර, අත් පිටපත්වල හෝ පත‍්‍රිකාවල හෝ, බිහයිම් ගේ කාව්‍යයේ හෝ එම කතා සියල්ලම අන්තර්ගත නොවේ. ඒ සියල්ල ආරම්භ වන්නේ පැරණි පාලකයා වූ ජෝන් හුනියඩි, ව්ලාඩ් ගේ පියා මැරවීමෙන් සහ ව්ලාඩ් හා ඔහුගේ සොහොවුරා සිය පැරණි ආගම ප‍්‍රතික්ෂේප කර ක‍්‍රිස්තියානි ඇදහිල්ල ආරක්ෂා කර පෝෂණය කිරීමට දිව්රුම් දීමෙනි. ඉන් පසු එළැඹෙන සිද්ධීන්වල අනුපිළිවෙල එක් එක් අත්පිටපත් සහ පත‍්‍රිකාවන්හි වෙනස් වෙනස් අන්දමට නිරූපණය වේ.

ව්ලාඩ් ගේ කතාවේ රුසියානු හෙවත් ස්ලාව් අනුවාදය හැඳින්වෙන්නේ ස්කැසනී ඔ ඩ‍්‍රැකුලේ වෝවොඩෙ හෙවත් හමුදා නායක ඩ‍්‍රැක්‍යුලා ගේ කතාව ලෙසිනි. එය ලියැවුණ බවට සැළකෙන්නේ 1481 - 1486 අතර කාලයේදීය. දැනට මෙහි ඉතිරිව ඇත්තේ, 15 - 18 සියවස් අතර කෙරුණු අනු අත්පිටපත් අතරින් විසි දෙකක් පමණි. ඩ‍්‍රැක්‍යුලා පිළිබඳ රුසියානු කතා පුවත් කාලක‍්‍රමාණුගත හෙවත් කාල අනුපිළිවෙලට සඳහන් නොවන අතර, එම අත් පිටපත් එකක් වත් සම්පූර්ණ ද නැත. ඒවා සැකසී ඇත්තේ ව්ලාඩ් පිළිබඳ ජනප‍්‍රවාද වල එන ඓතිහාසික මෙන්ම සාහිත්‍යමය වෘතාන්ත ද එකතු කිරීමෙනි. මෙම කතා ආරම්භ වන්නේ කෙටි හැඳින්වීමක් ද සහිතව, ඔටෝමන් දූතයන් ගේ හිස් වලට තලප්පා තබා ඇණ ගැස්වීමේ සිදුවීමෙනි. අවසන් වන්නේ ව්ලාඩ් ගේ මරණයෙන් සහ ඔහුගේ පවුලේ විස්තර වලිනි.

ඩ‍්‍රැක්‍යුලා පිළිබඳ රුසියානු කතාන්තර 19 ක් වන අතර, එයින් දහයක් ජර්මානු කතා හා සමාන වෙයි. එහෙත්, ඔහු පිළිබඳව රුසියානු ජනතාව හෙළා ඇති දෘෂ්ටි කෝණය ජර්මානුවන්ට වඩා වෙනස් ය. රුසියානු කතා වල ඔහු ශ්‍රේෂ්ඨ පාලකයෙක්, නිර්භීත රණශූරයෙක් සහ සාධාරණ රජෙක් ලෙස නිරූපණය වේ. ඔහුගේ ක‍්‍රෑරකම්, අයෝමය පාලකයෙකුගේ ක‍්‍රියාවන් ලෙස සාධාරණීකරණය කර තිබේ. කතා දහ නවයෙන් ම අතිශයෝක්තියට නඟන ලද ප‍්‍රචණ්ඩත්වය නිරූපණය වන්නේ හතරක පමණි. මෙයින් සමහර ප‍්‍රවාද පසුකාලීනව බිහිසුණු ඉවාන් රජු හට ආරෝපණය කර ඇති බව ද පෙනේ.

ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා වටා ඇති ජනප‍්‍රවාද

ව්ලාඩ් ගේ චරිතය වටා ගෙතී ඇති සුප‍්‍රකට වෘත්තාන්ත නවයක් වේ.

මෙම ලිපිය දිග වැඩි වන බැවින් එම වෘත්තාන්ත මීළඟ කොටසින් බලාපොරොත්තු වන්න.

මූලාශ්‍ර - 

විකිපීඩියා

Tuesday, September 22, 2015

ඩ්‍රැක්‍යුලාගේ රාත්‍රී ප්‍රහාරය (මෙන්න ඩ්‍රැක්‍යුලා 2 කොටස) - The Night Attack (The historical figure of Dracula - Part 2)

මෙහි පළමු කොටස මෙතැනින්...

http://www.ucs.mun.ca/~emiller/Vlad9.jpg

ඔටෝමන් වරුන් 1453 දී කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමෙන් පසු, මෙහ්මඩ් අනෙකුත් ප‍්‍රදේශ වෙත සිය අවධානය යොමු කළේය. ඇනටෝලියාව ඔටෝමන් වරුන්ට එරෙහිවූ අතර, නැගෙනහිරින් උසුන් හසන් ප‍්‍රමුඛ කොටගත් අනෙකුත් කුඩා ජනපද ඔටෝමන් වරුන්හට තර්ජනකාරී ලෙස හැසිරුණහ. බටහිරින් ඇල්බේනියාවේ ස්කැන්ඩ්බර්ග්, සුල්තාන් වරයාට හිරිහැරදායී වූ අතර, බොස්නියාව ඔටෝමන්වරුන්හට ජිස්යා බද්ද (මුස්ලිම් නොවන යටත් ජාතීන් මත පැණවූ බද්ද) ගෙවීම නිරන්තරයෙන් පැහැර හැරියහ. වලාචියා රාජ්‍යය ඩැන්‍යුබ් නදී ඉවුර පාලනය කළ අතර, මෙහ්මඩ් හට ඩැන්‍යුබ් ගංගාවේ බලය තමන් අතට ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් විය. ඒ, ඒ හරහා ශුද්ධවූ රෝම අධිරාජ්‍යයේ නාවුක ප‍්‍රහාරයන් ඔටෝමන් අධිරාජ්‍යයට එල්ල විය හැකි වූ හෙයිනි.

මෙසේ තිබියදීය, දෙවන පයස් පාප් වහන්සේ 1460 මැංචුවා සමුළුවේදී වසර තුනක් පැවතීමට ඇස්තමේන්තු කරන ලද නව කුරුස යුද්ධයක් කැඳවූයේ. මෙම සැළසුම අසාර්ථක වූ අතර, ඊට උනන්දුවක් දැක්වූ එකම යුරෝපීය නායකයා වූයේ ව්ලාඩ් ය. මේ පිළිබඳ යුරෝපීයයෝ දැක්වූ මන්දෝත්සාහී බව, අවස්ථාව කොටගත් මෙහ්මඩ් තම එදිරිවාදීන් හට පහර දුන්නේය. 1460 අගභාගයේ දී ඔහු සර්බියාවට අයත් වූ අවසාන ස්වාධීන නගරය වූ ස්මෙදරේවෝ අල්ලා ගත් අතර, 1461 දී ග‍්‍රීසියේ මොරෙයා හි පාලකයා, සිය උපරාජයෙකු බවට පත් කර ගත්තේය. ඊට නොබෝ කලකින්ම, ග‍්‍රීසියේ අගනුවර ද, මිස්ට‍්‍රා සහ කොරින්ත් යන නගරයන් ද සටනකින් තොරවම යටත් වූහ.

ව්ලාඩ් හට සිටි එකම යුද්ධ සගයා වූ මිහාලි ෂිලේගි 1460 දී බල්ගේරියාව හරහා ගමන් කරද්දී තුර්කි වරුන් විසින් අල්ලා ගන්නා ලදි. ඔහුගේ හමුදාව වධදී මරණ ලද අතර, ෂිලේගි කියතින් ඉරා ඝාතනය කෙරුණි. මෙම වසරේම අග භාගයේ දී මෙහ්මඩ් ගේ දූතයන් ව්ලාඩ් හමු වී, ප‍්‍රමාද වූ ජිස්යා බද්ද පිළිබඳව විමසූ විටය, එම දූතයන් ගේ තලප්පා, හිස් වලට තබා ඇණ ගසා මරණ ලද්දේ. 1460 සැප්තැම්බර් දිනැති ලිපියකින් ව්ලාඩ්, ක්‍රොන්ස්ටැඩ්ට් හි (වර්තමාන බ‍්‍රෑෂෝව්) ට‍්‍රාන්සිල්වේනියානු සැක්සන් වරුන් හට මෙහ්මඩ් ගේ ආක‍්‍රමණ සැළසුම් ගැන අනතුරු ඇඟවූ අතර, ඊට එරෙහිව ඔවුන්ගේ සහාය ඉල්ලීය.

ව්ලාඩ් 1459 සිට ජිස්යා බද්ද නොගෙවා සිටියේය. එම අවුරුද්දේ අවසාන භාගයේ දී මෙහ්මඩ් ඊට අමතරව තම හමුදාවේ ජැනිසරි (සැහැල්ලූ පාබළ) සේනාවට ආධුනික සෙබළුන් ලෙස බඳවා ගැනීමට පිරිමි ළමයින් 1000 ක් ද ඉල්ලා එවීය. එය ව්ලාඩ් ප‍්‍රතික්ෂේප කළ පසු තුර්කි වරුන් ඩැන්‍යුබ් නදිය තරණය කොට අවුත් ආධුනික සෙබළුන් ලෙස පුහුණු කිරීම සඳහා පිරිමි ළමයින් පැහැර ගන්නට විය. ව්ලාඩ් ඊට දැක්වූ ප‍්‍රතිචාරය වූයේ එසේ ආ තුර්කි වරුන් අල්ලා උල තැබීමයි. මෙම කළහය 1461 දක්වාම ඇදී ගිය අතර, අවසානයේ මෙහ්මඩ් මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වොයිවෝඩ් වරයා කොන්ස්තන්තිනෝපලයට කැඳවීය.

ව්ලාඩ් 1461 නොවැම්බරයේ අග මෙහ්මඩ් වෙත ලිපියක් යවමින්, ට‍්‍රාන්සිල්වේනියානු සැක්සන් වරුන්ට එරෙහි තම යුධ ප‍්‍රයාණයන් නිසා තම ආදායම් මාර්ග හිස් වූ හෙයින් ජිස්යා බද්ද ගෙවිය නොහැකි බවත්, තමන් වලාචියාවෙන් පිටත්ව ආවිට හංගේරියාවේ රජු තම බලප‍්‍රදේශය අල්ලාගැනීමේ අවදානමක් ඇති නිසා කොන්ස්තන්තිනෝපලයට පැමිණිය නොහැකි බවත්, කියා සිටියේය. තමන්ට හැකියාවක් ලද වහාම සුල්තාන්වරයා වෙත රන් කාසි  ඕනෑම ප‍්‍රමාණයක් ගෙවීමටත්, තමන් වෙනුවෙන් වලාචියා ප‍්‍රදේශය පාලනය කිරීමට පාෂා වරයෙක් එවන්නේ නම් කොන්ස්තන්තිනෝපලයට පැමිණිය හැකි බවත් ඔහු වැඩිදුරටත් දැන්වීය. ඒ අතර ව්ලාඩ් සහ හංගේරියානු රජු අතර පැවති සංධානය පිළිබඳව සුල්තාන් වරයා හට රහස් ඔත්තු මූලාශ‍්‍ර මඟින් දැන්ගන්නට ලැබුණි. සුල්තාන්, ග්‍යුර්ග්‍ය හි දී ව්ලාඩ් සමඟ රාජ්‍ය තාන්ත‍්‍රික හමුවක් පැවැත්වීම සඳහා නිකොපොලිස් හි බේ වරයා වූ හම්සා පාෂා පිටත් කර එවීය. එහිදී අනපේක්ෂිත ප‍්‍රහාරයක් එල්ල කොට ව්ලාඩ් අල්ලාගෙන කොන්ස්තන්තිනෝපලයට රැගෙන එන ලෙස ඔහු හට රහසින් උපදෙස් දෙන ලදි. සතුරාට වඩා දුර දුටු ඩ‍්‍රැක්‍යුලා, අශ්වාරෝහකයන් 1,000 ක් පිරිවැරූ හම්සා ග්‍යුර්ග්‍යු ප‍්‍රදේශයට උතුරින් පිහිටි පටු දුර්ගයක් හරහා එද්දී රැකසිට පහර දුන්නේය. තුර්කිවරුන් වටළාගත් වලාචියානු සේනාව, අත් තුවක්කු වලින් පහර දී ආක‍්‍රමණිකයන් සියල්ල මරා දැමූහ. ඉතිහාසඥයන් පවසන්නේ, මාරාත්මක කලාත්මක බවකින් වෙඩිබෙහෙත් යොදාගත් මුල්ම යුරෝපීය කුරුස යුද්ධ සෙනෙවියන් අතරට ව්ලාඩ් එක් වන බවය. හංගේරියානු රජ වූ කෝවිනස් වෙත 1462 පෙබරවාරි 2 දින ලියූ ලිපියකින් ඔහු ග්‍යුර්ග්‍යු හි පැරණි වලාචියානු බළකොටුවක් ආසන්නයේදී හම්සා පාෂා අල්ලා ගත් බව දැන්වීය.

ඉන්පසු ව්ලාඩ් තුර්කි සෙනෙවියෙකු ලෙස වෙස් වළාගෙන, සිය අශ්වාරෝහක සේනාව ද රැගෙන ඔටෝමන් බළකොටුව වෙත පැමිණ, දොරටු විවෘත කරන ලෙස තුර්කි භාෂාවෙන් අණ කළේය. ඒ අනුව ඔවුන් විවර කර දුන් දොරටුවෙන් ඇතුල් වූ ඩ‍්‍රැක්‍යුලාගේ සේනාව බළකොටුවට පහර දී එය විනාශ කළහ.

ඊළඟ පියවර වශයෙන් ඔහු සතුරු සෙබළුන් ද, ඔවුන්ට පක්ෂපාතයැයි සැක කෙරුණු සාමාන්‍ය මිනිසුන්ද ඝාතණය කිරීමේ සංග‍්‍රාමයක් ඇරඹීය. මෙය පළමුව දකුණු වලාචියාවෙන් ආරම්භ කළ ව්ලාඩ්, දිය මිදුණු ඩැන්‍යුබ් නදිය හරහා ගොස් බල්ගේරියාවට ව්‍යාප්ත කළේය. බල්ගේරියාවේදී සිය සේනාව කුඩා කුඩා සමූහයන්ට බෙදූ ඔහු, දෙසතියක් ඇතුළත කිලෝ මීටර 800 ක් පමණ ආවරණය කරන්නට සමත් විය. එහිදී ඔවුන් තුර්කි වරුන් 23,000 කට වඩා මැරූහ. 1462 පෙබරවාරි දෙක දිනැති ලිපයක, ව්ලාඩ් කෝර්විනස් හට මෙසේ වාර්තා කරයි,

’‘මම වැඩිමහලූ මෙන්ම ළාබාල සාමාන්‍ය මිනිසුන් සහ ගැහැණුන් මැරවීමි. ඩැන්‍යුබ් නදිය මුහුදට වැටෙන ඔබ්ලූසිට්සා සහ නොවොසෙලෝ ප‍්‍රදේශයන්හි සිට චිලියා නගරයට නුදුරු රහෝවා දක්වා ද, පහළ ඩැන්‍යුබ් හි සිට සැමෝවිට් සහ ඝිග්හෙන් වැනි ප‍්‍රදේශ දක්වා ද වාසය කළවුන් මැරවීමි. අප විසින් මරන ලද තුර්කි වරුන්ගේ ගණන 23,884 කි. මේ ගණන අප විසින් ගිණි තබන ලද ගෙවල් තුළ සිටියවුන් ද, අපේ සෙබළුන් විසින් බෙලි කපන ලද තුර්කිවරුන් ද, ගණන් නොගෙන ය. උතුමාණනි, මෙයින් මා ඔහු (දෙවන මෙහ්මඩ් සුල්තාන්වරයා) සමඟ පැවති සාමය කඩකළ බව ඔබට දන්වා සිටිමි’’

බල්ගේරියානු ක‍්‍රිස්තියානි ආගමිකයන් හට අභය දානය දෙන ලද අතර, ඔවුන්ගෙන් බොහෝමයක් වලාචියා හි පදිංචියට ආහ. මෙම සමූල ඝාතනය ව්ලාඩ් විසින් ගණන් තබා ඇත්තේ මෙපරිද්දෙනි. ග්‍යුර්ග්‍යු හි දී 6,414 ක්, එනි සැලා හි 1,350 ක්, ඩ්‍යුරොස්ටර් හි 6,840 ක්, ඔර්සෝවා හි 343 ක්, හර්සෝවා හි 840 ක්, මැරොටින් හි 210 ක්, ටර්ටුකායා හි 630 ක්, ටර්නු, බැටින් සහ නොවොග‍්‍රාඩ් හි 384 ක්, සිස්ටෝව් හි 410 ක්, නිකොපොලිස් සහ ගිග්හෙන් හි 1,138 ක්, රාහෝවා හි 1,460 ක් වශයෙනි. මෙම විනාශකාරී ක‍්‍රියාවන් පිළිබඳව මෙහ්මඩ් හට සැළ වන විට ඔහු සිටියේ කොරින්ත් නගරය වටළමිනි. ඔහු බ්‍රේලා හි පිහිටි වලාචියානු වරාය විනාශ කිරීම පිණිස 18,000 ක හමුදාවක් සමඟ තම අගමැති වරයෙකු වහාම එවීය. ව්ලාඩ් ආපසු හැරී අවුත් මෙම හමුදාව පරාජය කළ අතර, ද ලෙසේ නම් ඉතාලියානු වංශ කතාව අනුව තුර්කි හමුදාවෙන් ඉතිරි වූයේ 8,000 ක් පමණි.

ව්ලාඩ් ගේ ජයග‍්‍රහණයන් ට‍්‍රාන්සිල්වේනියානු සැක්සන් නගර වලදී මෙන්ම, ඉතාලි ජනපද වලදී ද, පාප් තුමා විසින් ද, උත්කර්ෂවත් ලෙස සමරන ලදි. මාර්තු 4 දින කෝර්විනස් ගේ රාජසභාවේ දී මෙම ප‍්‍රවෘත්තිය ඇසූ වැනේසියානු දූතයෙක්, ‘‘සමස්ත ක‍්‍රිස්තියානි ලෝකයම ව්ලාඩ් ගේ සාර්ථක යුධ ප‍්‍රයාණය සැමරිය යුතුයැ’’ යි පැවසීය. ශුද්ධවූ දේශයේ වන්දනාවේ ගිය ඉංග‍්‍රීසි සංචාරකයෙකු වූ වේ හි විලියම් නැවත සිය රට බලා යන අතර, රෝඩ්ස් දූපත් වලදී මෙසේ ලිවීය. ‘‘රෝඩ්ස් හි හමුදා සෙබළුන් ව්ලාඩ් ගේ යුධ ප්‍රයාණයන් ගැන අසා, මෙවැනි ජයග‍්‍රහණයන් අත් කර දුන් දෙවියන් හට ස්තූති ගීතිකා ගයති. රෝඩ්ස් හි නගරාධිපති සිය සහෝදර සෙබළුන් සහ පුරවැසියන් හට පළතුරු සහ වයින් වලින් යුත් භෝජන සංග‍්‍රහයක් පවත්වයි.’’ කැෆ්ෆා හි ජිනෝවා වරුන් ව්ලාඩ් හට විශේෂයෙන් ස්තූති කළේ, නැව් 300 ක කණ්ඩායමක් යොදාගනිමින් සුල්තාන් වරයා සැළසුම් කර තිබූ කැෆ්ෆා ආක‍්‍රමණය, මෙම සිදුවීමෙන් වැළැකුණු හෙයිනි. බොහෝමයක් ඔටෝමන් වරු ව්ලාඩ් කෙරෙහි ත‍්‍රස්ත වූ අතර, සිය අධිරාජ්‍යයේ යුරෝපීය කොටස අතහැර ඇනටෝලියාව වෙත සංක‍්‍රමණය වූහ. මෙම පුවත් සැළවූ මෙහ්මඩ් කොරින්ත් නගරය වැටළීම අතහැර, තමන් ම ඩ‍්‍රැක්‍යුලාට මුහුණ දීමට තීරණය කළේය.

https://en.wikipedia.org/wiki/
File:Gentile_Bellini_003.jpg
 ජෙන්තිල් බෙලිනි විසින් අඳින ලද මෙහ්මඩ් ගේ ආලේඛ්‍යයක්

කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමට රැස් කරන ලද සේනාවට පිරිස් බලයෙන් මෙන්ම යුධෝපකරණ අතින් ද සමාන හමුදාවක් රැස් කිරීමට මෙහ්මඩ් සිය අධිරාජ්‍යයේ සෑම දිසාවකටම දූතයන් යැවීය. එසේ රැස් කරන ලද හමුදාව සුල්තාන් විසින් ම 1462 අපේ‍්‍රල් 26 හෝ මැයි 17 දින, වලාචියාව ඔටෝමන් අධිරාජ්‍යයට ඈඳාගැනීමේ අටියෙන් මෙහෙයවන ලදි. සුල්තාන් වරාය සිය අග‍්‍රාමාත්‍ය වරයෙකුට ලියූ ලිපියක, තමන් මිනිසුන් 150,000 ක් කැටිව ගිය බව සඳහන් කරයි. බොහෝ මූලාශ‍්‍රයන් හි මෙම සංඛ්‍යාව අතිශයෝක්තියෙන් සඳහන් වේ. වඩා පිළිගත හැක්කේ බූඩා හි වැනීසියානු තානාපති වරයෙකු වූ ටොම්මාසි සඳහන් කරන, 60,000 ක නිත්‍ය හමුදාවක් හා  30,000 ක අනියම් හමුදාවක් වශයෙන් 90,000 ක් මිනිසුන් ඊට ඇතුළත් වූ බව ය. මෙම හමුදාවට, ජැනිසරි හෙවත් සැහැල්ලූ භටයන්, පාබළ භටයන්, සිපාහි හෙවත් අහ්වාරෝහකයන්, සයියාලේ හෙවත් මරාගෙන මැරෙන වහළුන් (සටන අවසානයේ පණ බේරාගත් වහළුන් හට නිදහස දෙන ලදි), දුනුවායන්, සුල්තාන්වරයා ගේ ආයුධ භාරව සිටි සහ හමුදාවේ පැති ආරක්ෂා කළ සිලාඃදර් භටයන්, හෙල්ල කරුවන්, ගිනි අවි දරන්නන්, සහ සුල්තාන් ගේ අංගාරක්ෂක සේනාංකය ද ඇතුළත් වූහ. ස්වේච්ඡාවෙන්ම මෙහ්මඩ් හට සේවය කරමින් සිටි ව්ලාඩ් ගේ අඩ - සොහොයුරා වූ කඩවසම් රාඩු යටතේ අශ්වාරෝහකයන් 4,000 ක් ගමන් කළහ. ඊට අමතරව ඔටෝමන් වරු කාල තුවක්කු 120 ක් ද, මං මාවත් සහ පාළම් තනන ඉංජිනේරුවන් හා වැඩ කරුවන් ද, සෙබළුන් හට ආගමික කටයුතු උදෙසා ඉස්ලාමීය උලෙමා සහ මුවෙසින් හි පූජකවරුන් ද, මෙහ්මඩ් හට උපදෙස් දීම හා සංග‍්‍රාමික තීරණ සඳහා උපකාර වීමට තාරකා ශාස්ත‍්‍රඥයන් ද, ‘මිනිසුන් ගේ රාත‍්‍රී සතුට වෙනුවෙන් වෙන් කරන ලදගැහැණුන් ද, ගෙන ගියහ. බයිසැන්ටියානු ඉතිහාසඥයෙකු වූ කැල්කොකොන්දයිල් වාර්තා කරන පරිදි, මෙම හමුදාව ඩැන්‍යුබ් ගෙඟන් එතෙර කරවීම සඳහා නැව් හිමියන් හට රන් කාසි 300,000 ක් ගෙවා තිබේ. ඒ, ට්‍රෛරීම් (හබල් පේළි තුනක් සහිත විශාල ගැලී යාත‍්‍රා) 25 ක් හා කුඩා යාත‍්‍රා 150 ක් සහිත වූ ඔටෝමන් නැව් හමුදාවට අමතර වශයෙනි.

ව්ලාඩ් හංගේරියාවේ රජුගෙන් යුධමය ආධාර ඉල්ලා සිටියේය. ඒ වෙනුවෙන් ඔහු තම ආගම ඕතඩොක්ස් නිකායෙන් කතෝලිකාගමය වෙත මාරු කිරීමට පවා එකඟ විය. එහෙත් කෝවිනස් ගෙන් ඩ‍්‍රැක්‍යුලා හට ලැබුණේ පොරොන්දු පමණකි. ඒ වෙනුවට ව්ලාඩ් තමන්ගේ හමුදාවක් සූදානම් කළේය. ඊට, හමුදා සේවයට සුදුසු වයසේ වූ පිරිමින් පමණක් නොව, කාන්තාවන් ද, වයස 12 න් ඉහළ ළමයින් ද ඇතුළත් වූ අතර, ජිප්සි වහළුන්ගෙන් සමන්විත සේනාංකයක් ද ඇතුළත් විය. විවිධ මුලාශ‍්‍රයන්හි වලාචියානු හමුදාවේ ප‍්‍රමාණය 22,000 සිට 30,900 දක්වා වූ බවට පැවසෙතත්, වඩා ජනප‍්‍රිය සංඛ්‍යාව වන්නේ 30,000 කි. මෙම හමුදාවේ බහුතරයක් දෙනා සාමාන්‍ය ගොවීන් සහ එඬේරුන් ගෙන් සමන්විත විය. අශ්වාරෝහක බෝයර්වරුන් සිටියේ සුළු ප‍්‍රමාණයකි. මොවුන්, හෙල්ල, කඩු සහ කිණිසි වලින් සන්නද්ධ වූ අතර, සන්නාහ ලෙස යකඩ පුරුක් වලින් සැදි චේන්මේල් දැරූහ. ව්ලාඩ් ගේ පෞද්ගලික ආරක්ෂක සේනාංකයට විදේශික අගම්පඩි සෙබළුන් හා ජිප්සි වරු ඇතුළත් වූහ. මෙම හමුදාව නික්ම යාමේදී ඔවුන් ඇමතූ ව්ලාඩ්, ‘‘මරණය ගැන සිතන අය මා සමඟ නොඑනවානම් හොඳය’’ යි කී බව පැවසේ.

තුර්කි හමුදා මුලින්ම ගොඩබැසීමට තැත් කළේ විදින් ඉවුරෙනි. එහෙත් වලාචියානු දුනුවායෝ එය වැළැක්වූහ. ජූනි 4 වැනි දා රාත‍්‍රියේ ඔටෝමන් වරුන් ගේ මිත‍්‍ර ජැනිසරි සේනාංකයක් ටර්න්‍යු සෙවරින් ඉවුරට ගොඩ බටහ. එහිදී ඔවුන් ගෙන් 300 ක් දෙනා වලාචියා ප‍්‍රහාරයන්ගෙන් මැරුම් කෑහ. මේ අතර උන් කොන්ස්තන්තීන් මිහායිලොවිච් නම් සර්බියානු ජැනිසරි හේවායෙක් එම සිදුවීම මෙසේ විස්තර කරයි,

‘‘රෑ බෝවී ගෙන එද්දී අපි අපේ යාත‍්‍රා වලට නැඟ, ඩැන්‍යුබ් ගඟ දිගේ පහළට යාත‍්‍රා කොට, ව්ලාඩ් ගේ හමුදා රඳවා සිටි ප‍්‍රදේශයෙන් මයිල කිහිපයක් පහතින් අනෙක් ඉවුරට සේන්දු වීමු. එහි අපි යුද අගල් කිහිපයක් කැන්නෙමු. ඒ සතුරු අශ්වාරෝහක හමුදා වැළැක්වීම පිණිස ය. ඉන් පසු අපි ආපසු ගඟ තරණය කොට ගොස්, ඉතිරි ජැනිසරි සේනාව ද ගඟ හරහා ප‍්‍රවාහනය කළෙමු. සම්පූර්ණ පාබල හමුදාවම මෙගොඩ වූ පසු, අපි මනාව සූදානම් වී ගෙනවුත් තිබූ කාලතුවක්කු සහ වෙනත් උපකරණ ද රැගෙන, ටිකෙන් ටික ව්ලාඩ් ගේ හමුදාව දෙසට ගමන් කිරීම ඇරඹුවෙමු. සතුරන් අප නැවැත්වූ විගස, අපි කාලතුවක්කු සූදානම් කරන්නට පටන් ගත් නමුත්, අපේ ජැනිසරි භටයන් 300 ක් දෙනා මරණයට පත් වීම වැළැක්විය නොහැකි විය. අපේ පාර්ශ්වය බොහෝ සේ දුර්වල වෙද්දී, අපි ගෙනවුත් තිබූ කාලතුවක්කු 120 මඟින් ආරක්ෂාව සළසා ගැනීමට සමත් වීමු... කාලතුවක්කු ප‍්‍රහාර නොකඩවා එල්ල කිරීම නිසා කුමාරයා ගේ හමුදාව පළවා හැර, අපේ යුධ පෙරමුණ ශක්තිමත් කර ගැනීමට හැකි විය... අපගේ හමුදාවන් ගඟ තරණය කිරීම වැළැක්විය නොහැකි බව දුටු ව්ලාඩ් පසුබැස්සේය. අධිරාජයා තම සම්පූර්ණ හමුදාවම ඩැන්‍යුබ් නදියෙන් එගොඩ වූ පසු, අප අතරේ බෙදා ගැනීම පිණිස රන් කාසි 30,000 ක් දුන්නේය.’’

ඔටෝමන් හමුදා ඉදිරියට එද්දී ව්ලාඩ් දැවුණු බිම(scorched earth) නම් යුධ උපක‍්‍රමය ක‍්‍රියාත්මක කළේය. ඒ අනුව ඔහු, දිය මූලාශ‍්‍ර වලට වස යෙදීය. දිය පහරවල් හරවා, වගුරු බිම් ඇති කළේය. වළවල් සාරා, ලී කොටන් සහ කොළ වලින් වසා, උගුල් ඇටවීය. සාමාන්‍ය ජනතාව මෙන්ම සතුන් ද, කඳුකරයට පළවා හැරියේ ය. මෙහ්මඩ් ගේ හමුදාව දින හතක් තිස්සේ ඉදිරියට එද්දී කිසිම මිනිහෙක්, කෑ හැකි තරමේ සතෙක් හෝ බීමට දිය පොදක් නොමැතිව හෙම්බත් වූහ. ව්ලාඩ් ගරිල්ලා ප‍්‍රහාර ක‍්‍රම දියත් කළ අතර, ඔහුගේ අශ්වාරෝහකයෝ පහර දී පැන යාමේ උපක‍්‍රම භාවිතා කළහ. ඊට අමතරව ඔහු ලාදුරු, ක්ෂයරෝගය, සිෆිලිස් වැනි මාරාත්මක රෝග වැළඳුනු මිනිසුන් සහ විශාල ප‍්‍රමාණයක් මහාමාරිය වසංගත රෝගීන්, තුර්කි වරුන් අතරට එවා සතුරා රෝගී කොට දුර්වල කළේය. ඒ සමඟම ඔටෝමන් හමුදාව අතර මහාමාරිය පැතිර ගියේය.

ඔටෝමන් හමුදාව බ්‍රේලා සහ චිලියා නගර වලට සුළු ප‍්‍රහාර එල්ල කිරීමට සමත් වුවත්, බරපතළ හාණි සිදු කිරීමට නොහැකි වූයේ, ව්ලාඩ් තෙමේම බල්ගේරියාවේ බොහොමයක් වරායන් විනාශ කර තිබූ හෙයිනි. සුල්තාන් වරයා හට වලාචියානු සොල්දාදුවෙකු අල්ලාගැනීමට හැකි වූ පුවතක් කැල්කොකොන්දයිල් වාර්තා කරයි. මෙහ්මඩ් මුලින් ම එම සොල්දාදුවා හට අල්ලස් දී, ඔහු ගෙන් තොරතුරු ලබා ගැනීමට උත්සාය කළේය. එය ව්‍යර්ථ වූ පසු ඔහු වධයට පත් කරන බවට තර්ජනය කළේය. එයින්ද පළක් වූයේ නැත. අවසානයේ එම සොල්දාදුවා අගය කරමින්, ‘‘තොපගේ ස්වාමියාට තොප වැන්නවුන් තවත් බොහෝ දෙනෙක් වී නම්, සුළු කලකින් ම ඔහුට ලෝකය යටත් කර ගැනීමට හැකි වනු ඇතැ’’ යි පැවසූ බව සඳහන් වේ.

බුකාරෙස්ට් බළකොටුව සහ ස්නැගෝව් දූපත අල්ලාගැනීමට දැරූ අසාර්ථක ප‍්‍රයත්නයන් ගෙන් පසුව, ඔටෝමන් හමුදාව ටර්ගොවිස්ට් අගනුවර වෙත ගමන් කරන්නට වූහ. ජූනි 17 දින රාත‍්‍රියේ අගනුවරට දකුණු පසින් ඔවුන් කඳවුරු ලා සිටියදී, ව්ලාඩ් ක්ෂණික ප‍්‍රහාරයක් එල්ල කළේය. එය කෙතරම් තීරණාත්මක වීද යත්, ‘‘රාත‍්‍රී ප‍්‍රහාරය’’ යනුවෙන් එය ප‍්‍රකට විය. මෙම ප‍්‍රහාරයට ඔහු යොදාගත්තේ මිනිසුන් 24,000 ක් යැයි කියවෙතත්, වඩා සත්‍ය සංඛ්‍යාව විය හැක්කේ 10,000 - 7,000 අතර අශ්වාරෝහකයන් පිරිසකැයි සැළකේ. කැල්කොකොන්දයිල් කියන අයුරින්, ප‍්‍රහාරය දියත් කිරීමට පෙර, තුර්කි වරයෙකු සේ වෙස් වළහා ගත් ව්ලාඩ් නිදහසේ තුර්කි කඳවුරට ඇතුල් වී, සුල්තාන් වරයාගේ කූඩාරම සොයාගෙන, කඳවුරෙහි සංවිධානය අධ්‍යයනය කළේය. කතුවරයා හඳුනාගෙන නැති වෙරෝනාහි වංශ කතාවට අනුව, ප‍්‍රහාරයක් එල්ල වුවහොත්, ඇති විය හැකි කළබලය අවම කිරීම පිණිස තුර්කි සෙබළුන් හට රාත‍්‍රයේ දී සිය කූඩාරම් වලින් බැහැර වීම මෙහ්මඩ් විසින් තහනම් කර තිබිණ. එහිම වැඩිදුරටත් සඳහන් වන්නේ මෙහ්මඩ් ගේ යුධ උපක‍්‍රම ගැන දැනගැනීමෙන් පසු, ව්ලාඩ් සතුරු සෙබළුන් කූඩාරම් වලට සීමා වී සිටි රාත‍්‍රියේම පහර දීමට තීරණය කළ බවයි. මෙම ප‍්‍රහාරය හිරු බැස ගොස් තුන් පැයකින් ආරම්භ වී, පසුදා අළුයම හතර වන තෙක් පැවතුණු බව සැළකේ. ඔටෝමන් කඳවුර තුළ එය මහත් කළබැගෑනියක් විය. වලාචියානු සෙබළු හොරණෑ වලින් මහත් ශබ්ද කළ අතර, ඔවුන්ගේ පන්දම් වලින් සටන දීප්තිමත් විය. ඔවුන් එක් ප‍්‍රහාරයක් නොව ප‍්‍රහාරයන් කීපයක් එල්ල කළහ. සංහාරයේ ප‍්‍රතිඵලය ගැන එක් එක් සටහන් වල ඇත්තේ විවිධාකාර තොරතුරු ය. සමහර මූලාශ‍්‍ර වලට අනුව වලාචියානුවෝ තුර්කි සෙබළුන් විශාල ප‍්‍රමාණයක් මැරූ අතර, වෙනත් තැන් වල සඳහන් වන්නේ ඔටෝමන් වරුන්ට වූයේ අවම හාණියක් බවය. කෙසේ හෝ අශ්වයන් හා ඔටුවන් බොහෝමයක් මරණ ලදි.

දෙවන වලාචියානු සේනාංකයක් භාරව සිටිමින්, එකවිට පහර දීමට විධාන ලබා සිටි ගේල් නම් බෝයර් සෙනෙවියෙකු, අපේක්ෂිත විනාශය කිරීමට තරම් නිර්භීත නොවූ බවට, සමහර ඉතිහාස ග‍්‍රන්ථ චෝදනා කරයි. ආසියානු අශ්වාරෝහක සේනාංකය මෙහෙයවූ ව්ලාඩ්, සුල්තාන් වරයාගේ කූඩාරම ඉළක්ක කරගත් නමුත්, වැරදීමෙන් ඔහු යැවුනේ අග‍්‍රාමාත්‍ය වරුන් දෙදෙනෙකු වූ ඉෂාක් පාෂා සහ මහ්මූද් පාෂා ගේ කූඩාරම වෙතය.

මෙම සටන පිළිබඳ වලාචියා පාර්ශ්වයේ වාර්තාවක්, වසර කිහිපයකට පසුව (ව්ලාඩ් කෝවිනස් රජු ගේ සිරකරුවකු ලෙස සිටියදී) බූඩා ගේ රාජසභාවෙහි දී වලාචියානු මහල්ලෙකු විසින් පවසන ලදුව, පාප් වහන්සේ ගේ නියෝජිතයෙකු වූ නිකොලෝ මොද්රූසා විසින් වාර්තා කර ඇත. ඒ අනුව,

භූමියේ ස්වාභාවික පිහිටීමේ වාසිය වලාචියානුවන් හට අත් වූ කන්දක දී, සුල්තාන් වරයා ව්ලාඩ් ව වටළා ගත්තේය. ඩ‍්‍රැක්‍යුලා, සිය කැමැත්තෙන්ම තමන් සමඟ ආ මිනිසුන් 24,000 දෙනෙකු අතරට වැදී ආවරණය වුනේය. ඔහුට පැවතියේ විකල්ප දෙකක් පමණි. එක්කෝ හාමතයෙන් මිය යාම හෝ, නැතහොත් සතුරා ගේ කුරිරු වධ බන්ධනයන්ට පත් වීම ය. එම විකල්ප දෙකම නිර්භීත මිනිසුන් හට තරම් නොවන බව වටහා ගත් ව්ලාඩ්, තම නම සදහට පවතින ක‍්‍රියාවක් කිරීමට අදිටන් කර ගත්තේය. ඔහු තම මිනිසුන් අමතා, තත්ත්වය පැහැදිළි කළේය. තුර්කි කඳවුරට ඇතුල් වීමට ඔවුන් පහසුවෙන් පොළඹවා ගත හැකි විය. එක්කෝ තමන් යුධබිමේදී නිර්භීත මරණයක් අත් කර ගෙන, ගෞරවයට පත් වනු පිණිස හෝ, දෛවය තමන්ට පක්ෂපාතී වන්නේ නම් විශේෂාකාරයකින් සතුරාගෙන් පළිගනු පිණිස හෝ, ඉදිරියට ආ තම සෙබළුන්, ව්ලාඩ් කොටස් දෙකකට බෙදීය. අඳුර වැටීගෙන එද්දී අපරීක්ෂාකාරී ලෙස කඳවුරෙන් පිටත හැසිරුණු තුර්කි සෙබළුන් කිහිප දෙනෙක් අල්ලාගත් ව්ලාඩ්, ඔවුන්ගේ මුවාවෙන් එක් සේනාංකයක් ද කැටිව ඔටෝමන් කඳවුරට ඇතුල් විය. කඳවුරේ ආරක්ෂා සංවිධාන දක්වාම ගිය ඔහු මුළු රැය පුරාවටම විදුලියක් සේ ඒ මේ අත තම සෙබළුන් විහිදුවමින් මහා සංහාරයක් කළේය. අනෙක් වලාචියානු සේනාංකය භාර දී තිබූ ගේල් නම් බෝයර් සෙන්පතියා ද, ව්ලාඩ් තරම් නිර්භීත වූයේ නම්, සිය කූඩාරම් වලින් පිට නොවීමට ඔටෝමන් සෙබළුන් හට පිට පිට ම දී තිබූ නියෝගයන් ද හේතුවෙන් වලාචියානුවන් හට නිසැකවම තමන් මෙතෙක් ලද ඉහළම ජයග‍්‍රහනය අත් කර ගැනීමට අවස්ථාව තිබුණි. නමුත් ගේල් සෙනෙවියා, කලින් එකඟවූ ආකාරයට, තමන්ට භාර වූ පැත්තෙන් කඳවුරට පහර දුන්නේ නැත. තම මිනිසුන්ගෙන් බොහොමයක් තුවාල ලැබූවද, බහුතරයක් සෙබළු මිය යාමකින් තොරව, ඒ සා මහත් ප‍්‍රහාරයක් එල්ල කළ ව්ලාඩ්, ඇදහිය නොහැකි අන්දමේ සංහාරයක් සිදු කළේය. අලූයම වන්නට කලින් ඔහු සතුරු කඳවුරෙන් නික්මී, තමන් ආ කඳුගැටයටම පෙරළා ගියේය. ඔහු ඔටෝමන් කඳවුර අනික් පිට පෙරළා, කෙතරම් ත‍්‍රාසයක් හා කළබැගෑනියක් ඇති කර තිබුණේද යත්, එක ද තුර්කි වරයෙකු හෝ ඔහු ළුහුබැඳීමට එඩිතර වූයේ නැත. මෙම සටනට සහභාගී වූවන් පසුව කී අන්දමට, මෙයින් තම යුධ ප‍්‍රයාණය පිළිබඳව සුල්තාන් වරයා තුළ තිබූ ආත්ම විශ්වාසය සහමුලින්ම බිඳ වැටී තිබිණ. එදින රාත‍්‍රියේම සුල්තාන් වරයා තම කඳවුර අතහැර නින්දිත ලෙස පළා ගියේය. ඔහුගේ මිතුරන් විසින් තදින් අමතා, ඔහුගේ අකැමැත්තෙන්ම වාගේ නැවත කැඳවාගෙන නොඑන්නට, මෙහ්මඩ් නවතින්නේ ගඟින් ද එතෙර ය.

මිහාලොග්ලූ අලි නම් බේ වරයා යටතේ වූ ඔටෝමන් ජැනිසරි භට පිරිසක් වලාචියානුවන් පසුපස එළවා ගොස් ඔවුන්ගෙන් 1,000 - 2,000 ක් අතර ගණනක් මැරූහ. ඩොමෙනිකෝ බල්බි වංශ කතාවට අනුව, මෙම සටනේ දී මියගිය මුළු වලාචියානුවන් ගණන 5,000 ක් වන අතර, ඔටෝමන් වරු 15,000 ක් මැරුම් කෑහ. සුල්තාන් වරයාගේ සහ ඔහුගේ හමුදාවේ චිත්ත ධෛර්යය පහත බැස තිබුණ ද, මෙහ්මඩ් අගනුවර වැටළීමට තීරණය කළේය. එහෙත් ඔවුන් ඊට ළඟා වන විට, නගරය පාළුවට ගොස් තිබූ අතර, නගර දොරටු සියල්ල විවර කොට දමා තිබිණ. තුර්කි හමුදාව අගනුවරට ඇතුල් වූහ. ඔවුන් හට පැය බාගයක් තිස්සේ ගමන් කිරීමට සිදු වූ මාර්ගය දෙපස, සිටුවා තිබූ උල් 20,000 ක පමණ, තුර්කි සෙබළුන් උල තබා තිබෙනු දැකිය හැකි විය. ඒ අතර වූ උසින් වැඩිම උලෙහි ඇමිණී තිබුණේ හම්සා පාෂාගේ නරක් වූ මළ සිරුර ය. ඒ ඔහුගේ ඉහළ නිළය සංකේතවත් කිරීමට ය. වෙනත් ඇතැම් මූලාශ‍්‍රයන්ට අනුව, අගනුවර වලාචියානු සෙබළුන් විසින් ආරක්ෂා කෙරුණු අතර, නගර ප‍්‍රාකාරයේ සිට මයිල 60 ක් පමණ වූ පිටත භූමිය පුරා, උලතබන ලද මළසිරුරු පැතිරී තිබිණ. කෙසේ හෝ, පැවති දර්ශනය ගැන සුල්තාන් වරයාගේ ප‍්‍රතිචාරය කැල්කොකොන්දයිල් වාර්තා කරන්නේ මෙසේය. 
‘‘සුල්තාන් වරයා විස්මයපත්ව ගල් ගැසී, මෙසේ කීය. තම බලප‍්‍රදේශය හා එහි වැසියන් පාලනය කිරීම පිළිබඳව දරුණු අවබෝධයක් ඇති, මෙතරම් දැවැන්ත කාර්යයන් ඉටු කළ මිනිසෙක් සිය උපන් බිමෙන් පළවා හැරීම කළ නොහැක්කකි. මෙවැනි දෑ කිරීමෙහි සමත් මිනිසෙක් ඉතා වටනේයැ.යි ඔහු කීය’’.

http://vignette2.wikia.nocookie.net/
vampirediaries/images/0/08/
Vlad-The-Impaler-dracula-untold-37680708-854-347.jpg
/revision/latest?cb=20141217165742
සතුරා අනපේක්ෂිතව ඇතුල් වීම වැළැක්වීම සඳහා එදින තුර්කි කඳවුරු බිම වටා ඉතා ගැඹුරු අගළක් කැණීමට මෙහ්මඩ් අණ කළේය. පසුදින (ජූනි 22) තුර්කි හමුදාව පසුබැස්සාහ.

ඇකර්මන් සහ චිලියා නගර ආපසු තම රාජ්‍යයට ඈඳාගැනීමට කල් යල් බලමින් සිටි ව්ලාඩ් ගේ ඤාති සොහොවුරෙකු ද වූ මෝල්දාවියාවේ තෙවන ස්ටෙෆන් රජු දින කීපයකට පසුව චිලියා නුවරට ප‍්‍රහාරයක් දියත් කළේය. 7,000 කින් යුත් වලාචියානු හමුදාවක් වහා ඒ වෙත ගොස් නගරය ආරක්ෂා කර ගැනීමට සමත් වූහ. එහිදී ස්ටෙෆන් රජු ගේ පාදය කාලතුවක්කු උණ්ඩයකින් තුවාල විය.

ජූනි 29 දින සුල්තාන් වරයා බ්‍රේලා වරායට සැපත් වූ අතර, එය ගිණිබත් කොට ඔහු ඇඩි‍්‍රයානාපෝල් වෙත යාත‍්‍රා කළේය. ඔහු එහි ළඟා වූයේ ජූලි 11 දින ය. 12 වැනිදා තුර්කි වරු, ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා ට එරෙහි සිය මහා විජයග‍්‍රහණයසැමරීමට උත්සව පැවැත්වූහ. ඔවුන් ස්වදේශිකයන් මහත් රාශියක් වහළුන් මෙන් අල්ලාගෙන සිටි අතර, පැහැරගත් ගවයන් හා අශ්වයන් 20,000 ක් ද සමඟ එම වහළුන් තමන් සමඟ දකුණු දෙසට පාගමනින් රැගෙන ගියහ.


මූලාශ්‍රය - විකිපීඩියා

මී ළඟ කොටස ළඟදීම බලාපොරොත්තු වන්න...

වැඩිපුර බලපු ලිපි