පහු ගිය දාක මෙහෙ ඇවිත් ගියපු දිලා හෙවත් දිල්ෂාන්, ඒ ගැන පින්තූරයක් ෆේස්බුක් දාලා තිබුණා. ඒකට දිලා දාපු කමෙන්ට් එකක් නිසා මට අපේ තාත්තා ගැන මතක රාශියක් ආපහු හිතට නැගුනා. ඒ නිසා මේ පෝස්ට් එක දාන්න මූලික වුණු දිලා ට මගේ කුරුතඤ්ඤ බාවය මෙයින් පළ කර සිටිනවා.
අපේ තාත්තා ගැන මගේ මුල් ම පෝස්ටුවේ යම් තාක් දුරකට සඳහන් කර තිබෙනවා. නමුත් ඊට පසු ලියා තිබෙන ගජබින්නවල නම් පුරා ම තියෙන්නේ බොරු. අපේ තාත්තා ගැන මට තිබෙන මුල් මතකයක් වන්නේ, අපේ ගෙදර කබඩ් එකක ගොඩ ගහලා තිබුණු පොත් ගොඩ. මම ඒවා අදින්න යනකොට අපේ අම්මා මාව වැළැක්වූවේ, "ඒවා තාත්තගේ. ඇදලා දාන්න එපා" කියලා. ඒ මට අවුරුදු තුනක් විතර වෙද්දි.
අපේ තාත්තා රැකියාව පටන් ගත්තේ අවුරුදු දාසයේ දී විතර. (මම දන්න විදිහට.) අපේ සීයා හදිසියේ මිය ගියාට පස්සේ, අපේ තාත්තාත්, එයාගේ අක්කාත්, ඉගෙනීම නතර කරලා, රැකියා කරන්න පටන් ගත්තා.
අපේ තාත්තා, ගොවි ජනපද ඇති කිරීමේ වැඩසටහන යටතේ කන්තලේ කැළෑ කපන්න ගියා. ඒ වැඩවලට අපේ බාප්පත්, ගමේ සමකාලීන තරුණයන් ගොඩකුත් ගියා. ඒ කාලේ තමයි, අර අපේ තාත්තලා එක්ක වාඩියේ උයන පිහන වැඩවලට එක්කරන් ගිය වයි. පියදාස හෙවත් මහත්තයා මාමා (පසුකාලීනව කසිප්පු මහත්තයා ලෙස හැඳින්වුණා) එයාගේ අම්මට එවපු ලියුමක "අම්මා සියලු දෙවියන්ගේ පිටේ යයි" කියලා ලියා එව්වේ.
වරක්, ඔය ගස් කපන වාඩියේ පිරිතක් කියෙව්වා. ඒක සර්ව රාත්‍රික පිරිතක්. මහ පාන්දර ජාමේ කියනවානේ ආටානාටිය සූත්‍රය. ඒක කියද්දී "ඉසිපතනේ සුං...!"කියන කියන වාරයක් ගානේ, ලොකු සද්දයක් කරන්න ඕනෙ. සාමාන්‍යයෙන් ඒ කාලෙ චීන පටස් හෙවත් වීරාංග ගහනව. නමුත් කැලෑව මැද්දෙ තිබුණු වාඩියෙ හදිසියෙ වීරංගයක් සහ වෙඩිබේත් හොයාගන්න තිබුණු අමාරුව නිසා, කස්ටිය කළේ තඩි තහඩු බැරල් එකක් මුනිං අතට නවල තියාගෙන, "...ඉසිපතනේ සුං!" කියන කොට ම ඒකට පොල්ලකින් තඩිබාන එක.
පිරිතට වාඩිය ලෑස්ති කරලා, මහ රෑ වෙනකං ඇහැරගෙන ඉඳලා, මහන්සියට පොඩ්ඩක් ඇහැ පියාගත්තු අපේ තාත්තයි බාප්පයි, උඩ ගිහිං ඇහැරුණේ පළවෙනි පාර ඉසිපතනේ සුං වෙද්දි යි. නිදි මත වැඩි කම ට ආපහු ඇහැ පියාගත්ත ගමං දෙවෙනි පාරත් ඉසිපතනේ සුං වුණා.
මේ මගුල හරියන්නෑ කියල පැදුරෙන් නැගිටපු තාත්තයි බාප්පයි මිදුලෙ තියල තිබුණු බැරල් එක ගාවට ගිහිං, සැදැහැවතුන් පිරිස තුන් වෙනි පාර ඉසිපතනෙ සුං කරන්න කලින් බැරල් එක දෙපැත්තෙං අල්ලලා, උස්සලා හෙළ පල්ලට විසික් කළා.
ආටානාටිය පිරිත සජ්ඣායනයේ ප්‍රතිවිපාක... |
මට හිතාගන්න ඇහැකි අපේ තාත්තගෙ පෙනුම ඒ කාලෙ. රජයේ රැකියාවට යනකොටත් සරම ඇඳගෙන කෝච්චියෙ ගියපු අපේ තාත්තා, හරිම සරළ මනුස්සයෙක්. ඉතින් බොහො ම චාමෙට ඇඳගත්තු, කෙට්ටු කොලු ගැටයෙක් වෙන්න ඕනෙ ඒ කාලෙ වෙද්දි.
අපේ තාත්තා නම් තරුණ මහතා |
ඒ ගමන රාලාමි කෙනෙක් ඇහුවා, “කොහෙද? මොකද්ද ඔය වැඩපොල?“ කියලා. අපේ තාත්තා, දිග හුස්මක් අරගෙන, වචනෙන් වචනෙ නවත්තමින් සහ බර කරමින් කිව්වා මෙහෙම...
“සීමා සහිත
- හෙනරත්ගොඩ
- විවිධ සේවා
- සමුපකාර
- සමිතියේ
- ඉන්දන පිරවුම් හල“
“යනව ඕයි අපට පවු නොදී...“ කියලා රාළාමිලා දෙන්නා යන්ඩ ගියා.
අපේ තාත්තා රාජ්‍ය සේවයට එකතු වුණේ, විදේශ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ අනියම් කම්කරුවෙක් විදිහට. (විශ්‍රාම ගත්තෙ පළවෙනි පංතියෙ ලිපිකරුවෙක් විදිහට) එයාගේ අක්කා හෙවත් අපේ ලොකු නැන්දා ඒ දෙපාර්තමේන්තුවේ දුරකථන ක්‍රියාකාරිනියක් විදිහට රැකියාව කළා. මං හිතන්නේ අපේ තාත්තව රස්සාවට දා ගත්තෙ ලොකු නැන්දා වෙන්න ඕනෙ.
ටික කාලෙකට පස්සෙ අපේ තාත්තට ඒ දෙපාර්තමේන්තුවේ උත්තෝලක ක්‍රියාකරු හෙවත් ලිෆ්ට් ඔපරේටර් රාජකාරිය පැවරුණා. ඒ කාලෙ තිබුණෙ අර, යකඩ වැටවල් දෙකක් ඇදලා වහලා, ඔපරේටින් දැති රෝදයක් කරකවලා වැඩ කරන ලිෆ්ට්. ඔය විදිහෙ ලිෆ්ට් එකක් තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ භාවිත කරනවා, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැගිල්ලෙ. තවත් එකක් තියෙනවා, පිටකොටුවෙ විමලධර්ම සහෝදරයෝ තියෙන ගොඩනැගිල්ලෙ. ඒක දැන් නම් වැඩ කරන්නෙ නෑ.
මම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙ වැඩ කරන කාලෙ ඔය ලිෆිට් එකේ යන වාරයක් ගානෙ මට තාත්තව මතක් වුණා. ඒ ලිෆ්ට් එක පැය අටක් එක දිගට ඔපරේට් කරන එක හරිම වෙහෙසකාරීයි. අර යකඩ ගරාදි වැට ඇදලා වහන එක දෙතුන් පාරක් කරනකොට උරිස්සට මාර වේදනාකාරී දෙයක්.
ඉතින් ලිෆ්ට් ඔපරේටර්ට වාඩි වෙන්න පුටුවක් තියෙනවා ලිෆ්ට් එක ඇතුළෙ. නූතන බටන් ඔබන ස්වයංක්‍රීය ලිෆ්ට්වලත් ඔය විදිහෙ පුටුවක් තියාගෙන ඔපරේටර් ඉන්නවා මම දැකලා තියෙනවා.
තාත්තා ලිෆ්ට් එකේ වැඩ කරන්න පටන් ගත්ත මුල් දවස්වල දෙපාර්තමේන්තු ප්‍රධානියා තාත්තට විරුද්ධව තාත්තගෙ ළඟම ප්‍රධානියා හෙවත් ඉමීඩියට් බොස් ට පැමිණිලි කරලා තියෙනවා, දෙපාර්තමේන්තු ප්‍රධානියා සහ වෙනත් ඉහළ නිලධාරීන් ලිෆ්ට් එකට ආවහම ඔපරේටර් පුටුවෙන් නැගිටලා ගරු කරන්නේ නෑ කියලා.
ඔය ගැන තාත්තා ගෙන්නලා කරුණු විමසුවාම අපේ තාත්තා කියල,
“ලංගම සාමාන්‍යාධිකාරී ගමනක් යන්න බස් එකකට නැග්ගහම, බස් එකේ ඩ්‍රයිවර් හිටගෙන බස් එක එලවන්නෙ නෑනෙ සර්...“ කියලා.
අපේ තාත්තගෙ මම දැකපු ලස්සන ම දේ තමයි. කිසිම දේකට කළබල වෙන් නැති ගතිය. ඔය වගේ අවස්ථාවලට තාත්තා මුහුණ දෙන්නෙ මුහුණ පුරා විහිදුණු මඳ සිනාවක් එක්ක.
තාත්තගේ මඳ සිනාව (සහ සීකෝ 5 ඔරලෝසුව) |
තාත්තා ටිකක් වයස කාලෙ, දවසක් බෙහෙත් ගන්න ගියා ගණේමුල්ලේ ආණ්ඩුවේ බෙහෙත් ශාලාව හෙවත් ඩිස්පැන්සරියට. එතන දොස්තර මහත්තයා තාත්තගෙන් රෝග ලක්ෂණ එහෙම අහලා, පස්සෙ ඇහුවලු, “ඔයා බොනවද කියලා.“
තාත්තා පිළිගත්තලු. “ඔව් මහත්තයා. මම සාමාන්‍යයෙන් මහන්සිවෙලා වත්තෙ පිටියෙ වැඩ කරනවා. ඉතින් එහෙම දවසට හවසට මහන්සියට ටිකක් බොනවා“ කියලා.
එතකොට දොස්තර ඇහුවලු. “ඔයා දැකල ඇති මීහරක් එහෙමත් සෑහෙන්න මහන්සි වෙනවනෙ. ඉතිං උං බොන්නෑනෙ...?“ කියලා.
තාත්තා අර විදිහට ම හිනා වෙලා කිව්වලු. “උන්ට සල්ලි නෑනෙ“ කියලා.
අපේ තාත්තා මරණයට බය වුණු කෙනෙක් නෙවෙයි. අපේ දොස්තර මහත්තයා කියනවා, එයා ළඟට එන ගොඩක් වයසක උදවිය ලෙඩවලට ගොඩක් බයයි කියලා. ඒ අය මරණය ගැන ගොඩක් බය වෙනවා. ඒ වගේ ම කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවට වඩා, බෙහෙත්වලින් පරිස්සම් වෙන්න හදනවා.
නමුත් අපේ තාත්තා නිතර ම කිව්වෙ, “මොනවද ඉතිං. මැරුණොත් වළලයි. ඊට පස්සෙ මං කරන වගකීම් මගෙ ළමයි කරට ගනියි.“ කියලා. ඒ වගේ ම පළවෙනි හාට් ඇටෑක් එක හැදිලා අවුරුදු දහයක් බෙහෙත් අරගෙන ජීවත් වුණු අපේ තාත්තා, දවසකට සිගරැට් දෙක තුනක්වත් බීලා, යාළුවන් එක්ක සංගීත සාදවලට ගිහින්, ඩ්‍රින්ක් එකත් හොඳට ම දාලා. පුළුවන් තරම් ජීවිතය විඳලා, සාහිත්‍යයත් රස විඳලා, කිසි ම දුකක් එයා විඳින්නෙ නැතුව එක පාරින් ම මිය ගියා.
මිය යන හවස, එයා රැවුළ කපලා, ඇඟ සෝදලා, ෂර්ට් එකක් ඇඳගෙන, අපට කන්න මාලු ටිකක් ගේන්න යන්න ලෑස්ති වෙලා, තේ එකක් හදා ගෙන, බොන්න හදන කොට ම බිම ඇද වැටිලා. පැයක් යන්න කලින්, ඒ කියන්නෙ රෝහලට යන අතරමග, මගෙයි, අම්මගෙයි, අපේ නංගි (බාප්පගෙ දුව) ගෙයි උකුලෙ ම පණ ගියා.