පෙරවදන:
අපේ බාප්පා, එයාගෙ දුවයි
පුතයි පොඩි කාලේ ඒ අයට නින්ද යනතුරු කතා කියන්නට පුරුදු වෙලා හිටියා කියා කිව්වේ,
අපේ පුංචිඅම්මා මේ ළඟදි අපේ ගෙදර ආව වෙලාවකදියි. බාප්පා කතා කියපු ශෛලිය එයාටම
ආවේණික එකක්. ඇට්ටර පොඩිඋං සෑහෙන වෙලාවක් ඇහැරගෙන හිටපු නිසා බාප්පා කියන කතා හරිම
දිග වුනා කියලා පුංචිඅම්මා කියනවා. ඒ කතා හරියටම මෙන්න මේ වගෙයි ලු:
ඔන්න එකෝමත් එක රටක
හිටියා නරියෙකුයි, කොකෙකුයි. ඒ දෙන්නා හරි යාළුයි ලු ඉතිං. දවසක් නරියා කොකාට රෑ
කෑමට ආරාධනා කළා. කොකා නරියගෙ ගෙදර ගියාම, නරියා සුප් හදලා තැටි පිඟන් වලට දාලා
මේසෙට තියලා තිබුණ. කොකාට තැටි පිඟානෙන් බොන්න බෑනෙ, ඌට තියෙන්නෙ දිග හොටයක් නිසා.
ඉතිං නරියා කොකාට විහිළු කර කර සුප් එක බිව්වා. කොකා බඩගින්නෙ ආපහු ගෙදර ගියා.
තව දවසක් කොකා නරියට
ආරාධනා කළා දවල් කෑමට. නරියත් දවසම බඩගින්නෙ ඉඳලා කොකාගෙ පාටියට ගියා. එදා කොකා තව
කොක්කු ගොඩකටත් ආරාධනා කරලා තිබුණ. එදා කොකා සුප් දුන්නෙ උස ජෝගු වලට. නරියා
සෑහෙන්න උත්සාහ කළා ජෝගුවට හොම්බ ඔබාගන්න. ඒත් බැරි උනා. ඌ ට්‍රයි කරන හැටි බලාගෙන
හිටිය කොක්කු උඩ පැන පැන හිනා වුනා. නරියා හොඳටම ලැජ්ජා වෙලා කොකාගෙ මූණවත් බලන්
නැතුව යන්න ගියා.
http://s1.hubimg.com/u/1159708_f248.jpg |
ඔහොම කේන්තියෙන්
බඩගින්නෙන් යන නරියා දැක්කා මිදි පොකුරක්. හැබැයි ඒක තිබුණෙ උස ගහක. නරියා ඒක
කඩාගන්න කියලා උඩපැන්නා. කීපවතාවක්ම උඩපැනලත් ඒක කඩාගන්න බැරිවුනා. ඒ ගමන නරියා
ගමරාලගෙ ගෙදර ගිහිං ඉණිමගක් ගෙනත් ගහට හේත්තු කරලා, ඒක දිගේ ගිහිං මිදි පොකුර කඩාගත්තා.
ඒ වුනාට කාලා බලපුවාම ඒක තිත්තම තිත්තයි. ඒ ගමන නරියා මිදි වලට බැණ බැණ, ඉණිමඟ
උස්සලා විසිකළා. ඉණිමඟ විසිකරද්දි, ඒකෙ දැවටිලා තිබුණු ලොකු කොහොල්ලෑ ගුළියක්
නරියගේ අතේ ඇලවුනා.
http://fc02.deviantart.net/fs70/f/2012/076/7/5/ the_fox_and_the_grapes_by_bicapop-d4t1fkn.jpg |
නරියා ඒ කොහොල්ලෑ
ගුළියෙන් කොහොල්ලෑ බබෙක් හදලා පාර අයිනේ තිබ්බා. තියලා, නරියා හැංගුනා. ඒ පාර දිගේ
ආපු හාවෙක්, මේ කොහොල්ලෑ බබා දැකලා, ඒකට රැවටුනා. හාවා කොහොල්ලෑ බබා ට කතා කරලා,
“ඔයාගෙ නම මොකද්ද ?” කියලා ඇහුවා. කොහොල්ලෑ බබා ට කතා කරන්න බෑනෙ. ඉතිං හාවට
කේන්ති ගියා. හාවා කොහොල්ලැ බබාට පාරක් ගැහුවා. ඒ අත කොහොල්ලෑ බබාගෙ ඇලවුනා.
ඊටපස්සෙ හාවා අනිත් අතින් ගැහුවා. ඒකත් ඇලවුනා. ඊටපස්සෙ හාවා පයින් ගැහුවා. ඒ
කකුලත් ඇලවුනා. අනිත් කකුලෙනුත් ගැහුවා, ඒකත් ඇලවුනා.
ඒ ගමන නරියා හැංගුනු තැන
ඉඳන් එළියට පැන්නා. හාවා බය වෙච්ච ගමන, පැනලා දිව්වා, ඌ දාගෙන හිටපු සපත්තු දෙකයි
අත්මේස් දෙකයි කොහොල්ලෑ බබාගෙ ඇඟේ ඉතුරු වුනා.
http://www.donmangan.com/wp-content/ uploads/2010/09/RabbitFox001.jpg |
නරියට කේන්තියි කොහොල්ලෑ
බබාව කටු පිටින්ම කන්න තරම්. ඒ ගමන ඌ වතුර ටිකක්වත් බොන්න කියලා හිතාගෙන ගඟට ගියා.
ගං ඉවුරෙ හිටියා ඉබ්බෙක්. නරියා පැනපු ගමං ඌව අල්ල ගත්තා. ඉබ්බත් කටුව ඇතුලට
ඔළුවයි අත පය හතරයි ඇදල ගත්තා. නරියා ඉබ්බගෙ කටුව කඩා ගන්න සෑහෙන්න මහන්සි වුනා. ඒ
වුනාට හරි ගියෙ නෑ. ඉබ්බා කටුව ඇතුලෙ ඉඳං නරියට කිව්වා,
“මගෙ කටුව හයිය වෙලා
තියෙන්නෙ මං ගොඩ ඉන්න නිසා වේලිලා. මාව වතුරට දැම්මොත් නං පෙඟෙයි...” කියලා.
නරියත් ඉබ්බව අරං ගිහිං
ගංඉවුරෙ වතුරෙ ඔබලා, එක කකුලක් ඉබ්බගෙ පිට උඩින් තියාගත්තා. ඒ ගමන ඉබ්බා කියනවා,
“ඔය කකුල තියං ඉන්න තැන
පෙඟෙන් නෑනෙ, ටිකක් බුරුල් කළානං...” කියලා.
නරියා කකුල ටිකක් බුරුල්
කළා විතරයි, ඉබ්බා රුයිං... ගාලා දිය යටිං පීනලා ගිහිං ගඟේ එහා ගොඩට පැනගත්තා.
මේ අතරෙ කොහොල්ලෑ බබාගෙ
සිද්ධියෙන් බය වෙච්ච හාවා දුවගෙන දුවගෙන ගිහිං නතර වුනේ ගං ඉවුරෙ. ගඟේ හිටිය
කිඹුල් පතයා කට ඇරගෙන කඩං පැන්නහම තමා හාවට හරි හමං සිහියක් ආවෙ.
“ගඟේ ඉන්න කිඹුල්ලු
ගාණට වඩා කැලේ හාවො ගාන වැඩියි. ඒ නිසා තමුසෙට මාව කන්න ටිකක් අමාරු වෙයි...” හාවා
කිව්වා. (“එහෙම එකක් කියන්න මොළේ තිබ්බ හාවා ඇයි තාත්තෙ කොහොල්ලෑ බබාට රැවටුනේ?” ඒ
අතරෙ පුතාගෙන් බාප්පට අතුරු ප්‍රශ්නයක්... “කෑ නොගහ කතාව අහගෙන ඉන්නවකො.”
බාප්පාගෙන් පිළිතුරු ප්‍රහාරයක්, නොමිලේ ලැබෙන ටොක්කක්ද සමඟ...)
කිඹුලට කේන්ති ගියා. “නෑ
මං පෙන්නන්නං කොච්චර කිඹුල්ලු මේ ගඟේ ඉන්නවද කියලා” කිඹුලා රුස් ගාලා පීනලා
ගිහිං, ගඟේ හිටපු ඔක්කොම කිඹුල්ලු ටික එකතු කරගෙන ආවා. ගඟේ එහා ඉවුරෙ ඉඳං මෙහා
ඉවුර වෙනකල් කිඹුල්ලු පිරිලා.
“අපි ගණං කරලා බලමු”
කියලා හාවා එකයි... දෙකයි... කිය කියා ගණං
කරන ගමං කිඹුල්ලුන්ගෙ පිටවල් උඩින් පැන පැන ගිහිං එගොඩටම පැන ගත්තා.
“කිඹුලන් වැඩි වුනත්
එකයි - හාවන් වැඩි වුනත් එකයි
මට ඕනෑ වුනේ එකයි -
එගොඩට පැන ගන්න එකයි...” කියලා කවියකුත් කියලා හාවා යන්න යනකොට, නරියගෙන් බේරිලා
එගොඩට පැනගත්ත ඉබ්බා හම්බවුනා.
හාවා දාපු පොර ටෝක් එකට
කේන්ති ගියපු කිඹුල්ලු ටික හාවව කන්න කියලා හිතාගෙන පස්සෙන් එළවගෙන එනවා දැන්...
හාවා මේක දැක්කා. දැකලා
ඉබ්බට කියනවා. “අපි දුවමුද රේස් එකක්?” කියලා. ඉබ්බත් කැමති වුනා.
“එකයි, දෙකයි, තුනයි”
කියලා හාවා දුවගෙන දුවගෙන ගියා. ඉබ්බා පුරුදු වේගෙන් ගාටන්න පටන් ගත්තා.
කිඹුල්ලුන්ට ළං වෙන්නවත් බැරි තරම් දුර දුවපු හාවා ගහක් යට නැවතිලා හති අරින්න
පටන් ගත්තා. හාවට එහෙම්මම නින්ද ගියා.
ඒ ගහ යටම අනිත් පැත්තෙ
හිටියා තොප්පි වෙළෙන්දෙකුත් නිදාගෙන. ගහ උඩ හිටිය වඳුරො රැළක් ගහෙන් බැහැලා ඇවිත්
ඒ තොප්පි වෙළෙන්දගෙ තොප්පි ඔක්කොම දාගෙන ආපහු ගහට නැග්ගා. තොප්පි වෙළන්දා ඇහැරලා
බලනකොට තමන්ගෙ තොප්පි ටික දාගෙන ගහ උඩ ඉන්න වඳුරො ටික දැක්කා. එයා එක එක දේවල් කළා
අර තොප්පි ටික ගන්න. ඒත් වඳුරො එයා කරන කරන දේවල් ම කර කර ගහ උඩටම වෙලා හිටියා.
බැරිම තැන තොප්පි වෙළෙන්දා තමන් දාගෙන හිටිය තොප්පිය ගළවලා එයාගෙ තොප්පි පෙට්ටියට
විසික් කළා. ඒ ගමන වඳුරොත් උන් දාගෙන හිටිය තොප්පි ගළවලා තොප්පි පෙට්ටියට දැම්මා.
වෙළෙන්දා ඒ පෙට්ටියත් අරං ආපහු යන්න පිටත් උනහම, වඳුරොත් ඇවිත් එයාගෙන් තොප්පි
පෙට්ටිය උදුරලා ඇරං ඒක ඔළුව උඩ තියාගෙන යන්න පටන් ගත්තා.
මේ කළබලේට හාවට ඇහැරිලා
බලන කොට, ඉබ්බා හිමින් හිමින් ගිහිං දිණුම් කනුවටම ළං වෙලා.
දිනුම් කණුව ගාව හිටිය
කොක්කු දෙන්නෙක් කෝට්ටක් ඉබ්බට දික් කරලා, ඒකෙ මැදින් හපාගන්න කිව්වා. ඊට පස්සෙ
උන් දෙන්නා කෝට්ට දෙපැත්තෙන් හොටෙන් අල්ලගෙන පියාඹන්න පටන් ගත්තා. ඔහොම ටික දුරක්
යද්දි, වෙල් යායක සෙල්ලං කර කර හිටිය කොල්ලො රංචුවක් ඔය සිද්ධිය දැකලා, හූ කියන්න
පටන් ගත්තා. ඉබ්බට හරි කේන්තියි. ඒත් ඌ වැටෙයි කියලා බයේ සද්ද නැතුව හිටියා.
http://i.ytimg.com/vi/nd4BXnLaIgM/hqdefault.jpg |
කොක්කුන්ට හරි සතුටුයි
ඉබ්බා කට ඇරියෙ නැති එකට. ඉතින් එක කොකෙක් “උඹ නං මාර ඉබ්බෙක් තමා” කිව්වා. ඒ ගමන
උගෙ කටින් කෝටුව අත ඇරුනා. “ඕක අල්ලගනිං යකෝ...!” අනිත් කොකා කිව්වා. ඒගමන උගෙ
කටිනුත් කෝට්ට අත ඇරුනා.
ඉබ්බා කෝට්ටත් කටින්
හපාගෙනම පහළට වැටෙද්දි, කොක්කු දෙන්නා වේගෙන් පහළට පියාඹලා ඇවිත් ආපහු කෝට්ට
අල්ලගත්තා. “ටැංකිව් මචං...” ඉබ්බා කිව්වෙ එච්චරයි, උගෙ කටින් කෝට්ට අත ඇරිලා බිමට
වැටුනා.