"...'හෙලවෙන්න, ඇස් අරින්න එපා දැන්ම...' ඒ වචන තමයි මම සෑහෙන කාලයකින් අහපු මිහිරිම ශබ්දය විදිහට මට මතක තියෙන්නෙ. ඒ වචන කිව්වෙ සැක්සන් තරුණියක් බව මට ඒ කටහඬේ උච්ඡාරණ විලාසයෙන් තේරුණා. එහෙම කියද්දි එයාගෙ හුස්ම මගෙ කන් පෙත්තට දැණුනා. ඒ එක්කම සියුමැළි අතකින් දිග කෙට්ටු ඇඟිලිවලින් මගෙ දකුණු අතේ ඇඟිලි අල්ලගන්නවා මට දැණුනා. ඒ අතේ මෘදු බවත්, උණුසුම් බවත් එක්ක මට පුදුමාකාර සැනසිලිමත් බවක් දැණුනා. ඒ එක්කම මට නින්ද ගියා.
"මම ඇහැරුණේ ඉතාම තියුණු ශබ්දයකින්. 'ස්කාඩී...!" කියන චවනය තප්පර කීපයක් දිගට ඇදලා, කෑගහන හඬ තමයි මට ඇහුණෙ. ඒ, මට කලින් වතාවෙ හෙලවෙන්න එපා කියපු තරුණියගෙ ම කටහඬ... මම හෙමින් පියවි සිහියට එද්දි ඉතාම තද පැණි රස සහ තිත්ත රස මිශ්‍ර වුණු දියරයක් මගෙ උගුර හරහා පහළට ගිය බව මට දැණුනා. ඒ වගේම මා ළඟ එතෙක් නැඹුරු වෙලා හිටපු ගැහැණු රුවක් වේගයෙන් එතනින් දුවපු බව ත් මට යන්තම් පෙනුණා.
"ඒ ගැහැණිය තව කීප දෙනෙක් එක්ක පොර බදන හඬත්, දිවියන් දෙන්නෙක් ගොරවන හඬත් ඊට පස්සෙ ඇහුණා. ඒ අතරෙ අර මුලින් මම කියපු සැක්සන් තරුණිය මා ළඟට ඇවිත් පහත් වෙලා මාව පරීක්ෂා කරන්න වුණා. එයා හිම වගේ සුදුයි... ලා නිල් ඇස් දෙකත් රෝස පාට තොල් දෙකත් ඇරුණහම. දිග සුදු පැහැති කැරලි ගැසුණු හිස කෙස් ඇගේ මුහුණ දෙපැත්තෙන් පහලට එල්ලුණා. නළල දෙපැත්තෙන් ගොතපු කෙස් රොදවල් දෙකක් ඇගේ හිස පිටුපසට ඇදලා පටළවලා තිබුණා. එයාගෙ සුසුම්වල උණුසුම සහ ලා තෙත් බව පවා මගෙ මුහුණ මතට දැනෙන තරම්, ඈ මා වෙතට පහත් වුණා. එයා මගෙ තොල් අතරෙ ඇගේ ඇඟිලි එහෙ මෙහෙ යවලා, මගෙ තොල්වල තැවරිලා තිබුණු දියරය ඇගේ ඇඟිලි තුඩුවල තවරා ගත්තා. ඊට පස්සෙ ඒ ඇඟිලි නහයට ළං කරලා බැලුවා.
"ඒ අතරෙ ගැහැණුන් තුන් දෙනෙක් තවත් ගැහැණියක් අල්ලගෙන එතනට ආවා. ඒ අය 'ෆ්‍රේයියා' කියලා අර සැක්සන් තරුණියට කතා කරද්දි, මට ඇතිවුණු හැඟීම විස්තර කරන්න අමාරුයි. මට මතක් වුණේ..."
"වානහයිම් හි ප්‍රධාන දෙවඟන?" මිත්‍ර ඇසීය.
https://cdnb.artstation.com/p/assets/images/images/007/883/193/large/francesca-resta-freyja-nijiart.jpg?1509124926 |
"හරියටම හරි..." ඇඩම් විමතියට පත් වූව ද, ක්ෂණිකව පිළිතුරු දුනි.
"...ප්‍රේමය, ලිංගිකත්වය, සශ්‍රීකත්වය, සේ-ඩර්, යුද්ධය සහ මරණය ඇගේ පරාසය... " මිත්‍ර ඇඩම් දෙස එක එල්ලේ බලමින් කීය. "නමුත් මොකද්ද 'සේ-ඩර්' කියන්නෙ?"
"ඒක ස්කැන්ඩිනේවියානු මායා අභිචාරයක්..." ඇඩම් කීය. "...එයින් අනාගතය දැනගන්න වගේම අනාගතය වෙනස් කරවන්නත් පුළුවන් කියල විශ්වාස කරනවා... ඒත්, ඔබ කොහොමද ඔය තොරතුරු දන්නෙ? නෝර්ඩික් ඇදහිලි සම්පූර්ණයෙන්ම වගේ යටපත් වෙලා ගියා මීට අවුරුදු හාරසීයකට විතර ඉස්සර."
"අපි හැම ආකාරයකම දැනුම රැස් කරනවා ඩ්‍රේක්..." මිත්‍ර පිළිතුරු දුන්නේ ය. "අපට තොරතුරු ලැබෙන මාර්ග බොහොමයක් තියෙනවා. සංචාරකයන් සහ වෙළෙන්දන් එයින් එක ප්‍රධාන කොටසක්..."
"හරි... ඉතින් ඒ ඇය ම ද?" සුමන නැවත ඔවුන්ගේ කතා බහ ඇඩම් ගේ කතාව වෙත යොමු කළේ ය.
"ඔව්. මට ඒ බව තහවුරු වුණා ඊට පස්සෙ සිද්ධ වුණු දේවලින්." ඇඩම් නැවත කතාව පටන් ගත්තේ ය. "මම මේ වෙනකොට සෑහෙන තරම් ඉක්මණකින් ප්‍රකෘතිමත් වෙමින් ඉන්න බව මගෙ ඇඟට දැනෙමින් තිබුණා. කලින් ඇස් අරින්නවත්, සෙලවෙන්නවත් බැරුව හිටියට, මේ වෙද්දි මට ඔලුව උස්සලා අවට හොඳින් දැක බලාගන්න පුළුවන් කම තිබුණා. ඒ වගේම ඇලපතේ තිබුණු වෙඩි වැදුණු සිදුර, අර බහිරවයා මගේ පපුවෙ ඇතිකරපු තුවාලය ට වුණා වගේම, මාංශ පටක වලින් පිරෙමින් තිබුණු බව පෙනුණා. ඒත් මට ඒ ගැන පුදුම වෙමින් ගත කරන්න කාලයක් තිබුණෙ නෑ, ඒ අවට සිදු වෙමින් තිබුණු දේවල් අනුව.
"මම හිටියෙ අඩ අඳුරින් පිරුණු මහා ශාලාවක මැද හරියට වෙන්න ඇඳක් වගේ දෙයක. පිදුරු වගේ ඇඟට දැණුනු දෙයක් ඒක මත අතුරලා තිබුණා. මගේ ඇඳුම් මොනවත් ඇඟේ තිබුණේ නෑ. ඉණෙන් පහල සියුම් සුදු රෙද්දක් පොරවලා තිබුණා. මම වගේම තවත් සිය ගණනක් ඒ අවට වැතිරවලා තියෙන හැටි මම දැක්කා. ඒ ශාලාවට එළිය ලැබුණේ, ඉතාම උසින් තනා තිබුණු පියස්සේ, තැන තැන තිබුණු රවුම් කවුලු වලින්. ශාලාවෙ සම දුරින් සිටුවපු, දැවැන්ත උස් කණු සිය ගණනක් ඒ පියස්ස දරාගෙන තිබුණා.
"ෆ්‍රේයියා අර ගැහැණුන් දෙසට හැරුණා. එතන කාන්තාවන් තුන් දෙනෙක් තවත් ස්ත්‍රියක් අල්ලාගෙන හිටියා. ඒ ස්ත්‍රිය බිම බලාගෙන හිටියෙ වරදක් කළ තැනැත්තියක් විදිහට. 'ස්කාඩි, නුඹ මොනවද මේ මනුෂ්‍යයට පෙව්වෙ? කවුද නුඹට එහෙම කරන්න කිව්වෙ?' ෆ්‍රේයියා ඉතාම පැහැදිලිව සහ කෙටියෙන් ඇහුවා.
"ස්කාඩි හිස ඔසවන්නේ නැතුව උත්තර දුන්නා. 'ලෝකි මට දුන්නෙ, ඇම්බ්‍රෝෂා...'
"ෆ්‍රේයියා ආයෙත් අර බෙහෙත දැවටුණු ඇඟිලි නහයට ළං කරලා බැලුවා. ඊටපස්සෙ ඇගිලිතුඩු දිවේ අග යන්තම් ගාවලා, ඉතාම ඉක්මණින් අහකට කෙළ ගැහුවා. 'මේ ඇම්බ්‍රෝෂා නෙවෙයි.' ඇය කිව්වෙ තරමක වේගයෙන්. 'ඇත්ත කියනු!' ඇය ස්කාඩි දිහාවට අත දික්කරලා නියෝග කළා.
" 'ලෝකි මට කිව්වෙ එහෙමයි.' ස්කාඩි හීන් හඬකින් කිව්වා.
" 'ලෝකි කිව්වෙ නැද්ද ඇයි මේවා මේ මනුෂ්‍යයට දෙන්නෙ කියලා?'
" 'මට ඔහු කිව්වෙ මෙච්චරයි. 'අපේ පැවැත්ම සෑහෙන කාලයක ඉඳන් අභියෝගයට ලක් වෙලා තියෙන්නෙ. මනුෂ්‍යයන් ලවා ඊට පිළියමක් සොයාගන්න පුළුවන්. ඒ සඳහා මේ අමරණීය බෙහෙත, ෆ්‍රේයියා එකතු කරගත් මරණයට ඉතාම ආසන්න මිනිහෙකුට දෙන්න'
"ෆ්‍රේයියා ට කේන්ති ගිය බව පෙනුණේ, ඇය එක වරම අඩිය පොළොවෙ ගැහුව විදිහෙන්. 'ඇයි නුඹ මට ඒක කලින් නොකිව්වෙ? මම යුධ පිටියෙන් එකතු කරගන්න මිනිස්සු ගැන ඕඩින්වත් ප්‍රශ්න කරන්නෙ නෑ. ලෝකිට ඕනෙ නම් කපටි උපක්‍රම යොදන්න, ඒක ඇස්ගාඩියානුවන් එක්ක කරගන්න තිබුණා. මෙහෙට ඇඟිලි ගහන්නැතුව...' ඇය කියාගෙන කියාගෙන ගියා. ඇගේ ඇස්වලින් රතු පාටැති දියරයක්... සිහින් ඉරි දෙකක් වගේ කම්මුල් දිගේ පහළට ගළාගෙන ඇවිත්, නිකටෙන් පහළට වැටුණා. ඇය අර ගැහැණුන් තිදෙනාට සංඥා කළා ස්කාඩි එතනින් ඉවත් කරගෙන යන්න...
https://www.youtube.com/watch?v=qnkuBUAwfe0&list=PL13535B9A1EBA7856 |
"ෆ්‍රේයියා ඇගේ වමතින්, දකුනු අතේ මැද ඇඟිල්ලෙ තිබුණු මුද්දේ තිබුණු ලොකු මැණික් ගල ස්පර්ෂ කළා. එතකොට, ඒ මැණික් ගලේ මතුපිට, හරියටම පියනක් වගේ ගැළවිලා, වම් අතේ දබරැඟිල්ලේ රැඳුනා. එතනට ආ ගැහැණියක් මොනවා හරි දියරයක් තිබුණු කුසලානයක් ගෙනාවා. ෆ්‍රේයියා ඇගේ මුද්දේ මැණික් ගල ඒ කුසලානයට හරවලා වමතින් හෙමින් තට්ටු කළා. ඊ්ට පස්සෙ ඈ කුසලානය අතට අරගෙන මා ළඟට නැඹුරු වුණා.
" 'දැන් ඔබට ගොඩක් සුවයි.' ඇය හෙමින් කියන විට මට මීට කලින් දැනුණු සැනසිලිදායක බව දැනුණා. 'මේ බෙහෙත බොන්න. ලෝකී ඔබට දුන්න දියරයේ අයහපත් බලපෑම් මෙයින් වළකිනවා.' ඈ අර කුසලානය මගෙ තොල් මතට පහත් කළා. ඒකෙ අඩියේ දියර ටිකක් තිබුණා. මම ඒ දියරය බිව්වා. ඒවා උගුරින් පහළට යනවත් එක්කම මට සෑහෙන සැහැල්ලුවක් සහ ප්‍රබෝධමත් ගතියක් දැනුණා. ඒත් එක්කම මම ආපහු නින්දට වැටුණා.
" 'මේ මනුෂ්‍යයාට දීලා තියෙන්නෙ මොනවද, ඒකෙන් ඇතිවන ප්‍රතිඵල මොනවද, කියලා දැනගන්න තුරු මොහු වෙන් කර තබමු.' මට නින්ද යන්න කලින් ඇහුණු අන්තිම වචන ටික ඒ..."
ඇඩම් නිමේෂයක් හෝ දෙකක් නිහඬ ව යමක් මතක් කළේ ය.
"ෆ්‍රේයියා සටන් බිමේදී මියයන සෙබළුන් ඕඩින් සමඟ බෙදා ගන්නවා කියා අසා තිබුණා." මිත්‍ර තවමත් ඇඩම් ගේ වමත තම ඇඟිලි තුඩින් අල්ලාගත් වන ම... "නමුත් ඈ ඔවුන් සුවපත් කරන බව මම දැන හිටියෙ නෑ."
"එහෙම විශ්වාසයක්, දැනීමක් අපෙත් තිබුණේ නෑ." ඇඩම් එකඟ විය. "මට හිතෙන්නෙ මම වේගයෙන් සුවපත් වුණේ ලෝකී ගේ බෙහෙතින්... මට සෙලවෙන්න, ඇස් අරින්න එපා කියලා ෆ්‍රේයියා මා මැරෙන තුරු... ඇගේ කාර්යය අවසාන කරගන්න බලා සිටියා කියලා මට දැනුණෙ. මගෙ ඉරණම හැටියට මම මැරෙන්න තිබුණෙ එතනදි වෙන්න ඇති.
"මම ආයෙත් අවදි වෙනකොට හිටියෙ හාත්පසින්ම වෙනස් තැනක... ගල් ගුහාවක. මම කලින් හිටපු ශාලාවෙදි මඳ උණුසුමක් දැණුනත්, මෙතනදි මට දැනුණෙ ලේ පවා කැටි ගැහෙන සීතලක්. මම වැතිරිලා හිටියෙ මැරුණු හිම වළහෙකුගෙ හමක් මත. මම යුද බිමේදි ඇඳගෙන හිටපු ඇඳුම මට අන්දවලා තිබුණා. ඒකෙ තැවරිලා තිබුණු ලේ, මඩ, වෙඩි බෙහෙත්, දූවිල්ල වගේ දේවල් සෝදලා, ඇඳුම පිරිසිදුවට තිබුණා. මගෙ කිණිස්ස, කඩුව, පිස්තෝලය පවා මා ළඟිින්ම බිම තියලා තිබුණා.
"මං පොඩ්ඩක් ඔලුව උස්සලා වට පිට බැලුවා. ලා රතු පාට හිරු රැස් ගල් ගුහාවෙ දොරකඩ ඉඳන් ඇතුළට ගළාගෙන එමින් තිබුණා. මට කිසිම කායික අපහසු ගතියක් දැනුණෙ නෑ. ඉතින් මං නැගිට්ටා.
"එතකොටම මට ඉතාම උස් ගැහැණු කටහඬකින් ගායනා කෙරුණු ක්‍යූනිං ගායනයක් ඇහෙන්න පටන් ගත්තා. ඒක මම එතෙක් අහල තිබුණු කිසිම ක්‍යුනිං එකකට වඩා සුන්දරයි. පොඩ්ඩක් හිතාගන්න..." ඇඩම් තෙත්ව දිළිසෙන දෑස්වලින් සුමන සහ මිත්‍ර ගේ දෑස් දෙස බැලීය. "...උදෙන්ම අවදි වුණු කුරුල්ලන්ගෙ නාදය... මඳ සුළඟට උස තණගස් සෙලවෙන හඬ... ඈත තැනිතලාවක් දිගේ ගස් අතරින් හමන සීතල සුළඟෙ නාදය... ඒ ශබ්ද එක්ක ලස්සනට මුසු වුණු තරුණියකගෙ තොල්වලින් පිට කෙරෙන, වචන නැති, විවිධ ලතාවන්ට හැරෙමින් නැගෙන හඬ...
"මම ඇස් පියාගෙන අහගෙන හිටියා. එක මොහොතකට මම පොඩි දරුවෙක් වෙලා උන්න අතීතයට ගියා. අපේ අම්මා, හරකුන් පාලනය කරන්න ඔය ක්‍යුනිං ගායනා කරන්න පුරුදු වෙලා හිටියා. මම අවදි වෙන්නෙ ඒ හඬට... හවස ගොවිපොලේ ඉඳලා තාත්තත්, සහෝදරයොත් එක්ක ගෙදර එන්න පිටත් වෙන්නෙත් අම්මා හවස ගායනා කරන ක්‍යුනිංවල හඬට...
"මම ගල් ගුහාවෙන් එළියට ආවා. මට තද ආසාවක් තිබුණා මේ ගායනය කරන කාන්තාව දැකගන්න. කටහඬේ හැටියටනම් ඇයට වයස අවුරුදු විස්සක්වත් නැති බව මට හිතුණා.
"මම ගුහා දොරෙන් එළියට එනවත් එක්කම සෑහෙන ඉහලින් තටු ගහන ශබ්දයක් ඇහුණා. මම ඔලුව උස්සලා බලනකොට... ගල් ගුහාව තිබුණෙ කඳුයායක කොටසක් වුණු, ලොකු කන්දක් පාමුළ. ඒ කන්ද මුදුනේ ඉඳන් දැවැන්ත ෆැල්කන් කුරුල්ලෙක් ඈතට පියාඹා යනවා මම දැක්කා. ඒත් එක්කම මම දැක්කා, ඒ දිහාවටම... කන්දෙ ගස් අතරින් කළු දිවියන් දෙන්නෙකුත් දුවමින් හිටියා... ගොඩක් ඈත.
"ෆ්‍රේයියා ඔබ ගැන විමසිල්ලෙන් ඉඳලා...?" සුමන ඇසීය. "එයාගෙ ෆැල්කන් පිහාටුවලින් හැදුණු ලෝගුව යි, ඇගේ රථය අදින්න යෙදාගන්න දිවියන් දෙන්නයි වෙන්න ඇති ඒ දැක්කෙ?"
"...ඔව් මටත් හිතෙනවා එහෙම." ඇඩම් එකඟ විය. "ඊට පස්සෙ සෑහෙන කාලයක් යනතුරුත්... ඈ මා ගැන විමසිල්ලෙන් හිටපු බවට ලකුණු තිබුණා
"මම අර ක්‍යුනිං ගායනා කරපු තරුණිය ගෙ හඬ ඇහුණු දිහාවට යන්න පටන් ගත්තා. ගල් ගුහාව ඉදිරිපිට ලොකු තණ බිමක් තිබුණෙ. වටේටම කඳු වැටියකින් වට වෙලා. මම තව තවත් ඉදිරියට යනකොට, ඈත... සෑහෙන්න ඈත... දැවැන්ත විලක් තිබුණා. ඒ විල අයිනේ ගැමියන්ගෙ පැල්පත් ටිකකුත්, ගොවිපොලවලුුුුත්, දකින්න ලැබුණා. ඒ හැම දේකටම කලින් මම දැක්කෙ, මිටියාවතේ මැද්ද හරියෙ ගොඩැල්ලකට නැගගෙන ක්‍යුනිං ගායනා කරමින් හිටපු කෙට්ටු තරුණියක්..."