Wednesday, December 25, 2019

නීතිය, යුක්තිය සහ ආදරය - නත්තල් කළාපය 2019

ඉෆිජියානා බිළීදීම - ‌ලෙයොනාර්ට් බ්‍රැමර් ‌ගේ චිත්‍රයක්
උපුටාගැනීම - (https://commons.wikimedia.org/wiki/
File:Bramer,_Leonaert_-_The_Sacrifice_of_Iphigenia_-_c._1623.jpg
)

ට්‍රෝයි යුද්ධයට යන ක්‍රීටයේ අගමෙන්නෝන් රජු, එහි සාර්ථකත්වය ‌වෙනුවෙන් පූජකයන්ගේ ඉගැන්වීම් අනුව තමන්ගෙ දුව බිලි දුන්නා. ඒක සමූහයක් ‌වෙනුවෙන් තමන්ගේ ‌පෞද්ගලිික බැඳීම කැප කිරීමක් වගේම, පවුලට සහ පුද්ගලයෙකුට එරෙහිව කරපු අපරාධයක්.

අපරාධයට එරෙහිව යුක්තිය ක්‍රියාත්මක වුණේ, යුද්ධය දිනා ආපිට තම ‌ගෙදරට ආ අගමෙම්නෝන් රජු, ඔහුගේ භාර්යාව ‌මෙන්ම අර බිළි‌දෙනලද දැරියගේ මව, සිය ‌පෙම්වතා ‌සමග එක්වී මරා දැමීමෙන්.

https://cdn.britannica.com/15/12115-004-DE1A8ABB/Electra-Orestes-Clytemnestra-presence-detail-Aegisthus-vase.jpg

ඒ අපරාධයට යුක්තිය ඉටු වුණේ අගමෙම්නෝන් රජු ‌ගේ ඖරස පුත්‍රයා වූ ඔරේෂස් තමන්ගේ පියා මැරූ තැනැත්තා මරා දැමීමෙන්.

ශිෂ්ඨාචාරයේ මුල් කාලයේ යුක්තිය ඉටු වුණේ පළිගැනීමේ ස්වරූපයෙන්. ඒක සමාජ සාරධර්මයක් ‌ලෙස පිළිගැණුනා.

හමුරාබි රජු "ඇසට ඇස, දත ට දත" නීතිය ‌ලේඛන ගත කරන්නෙ ඒ වගේ සමාජයක. පසුකාලීනව තව තවත් මානව සමාජය ශිෂ්ඨ සම්පන්න ‌වෙද්දී, මධ්‍යස්ථ පුද්ගලයෙක් විසින් ‌දෙපැත්තේම කරුණු විමසා ස්වාධීන තීරණයක් දීම වඩා යහපත් සහ සාධාරණ බව පිළිගැණුනා.

තව්රාත්, ‌බෛබලයේ පරණ ගිවිසුම සහ ෂාරියා හි අඩංගු වූ තද නීතිය, සමාජය විසින් තහවුරු කරගත්‌තේ සමාජය හික්මවීම මඟින් සමාජ විරෝධී ක්‍රියා තුරන් කිරීමට. "...දරුවෙක් අකීකරු වුණොත්, ඔහු නගරය මැදට ‌ගෙනැවිත්, ඔහු අකීකරු බව ප්‍රසිද්ධියේ කියා, ගල් ගසා මැරිය යුතුයි..." ඒ ප්‍රකාශය තියෙන්නෙ ‌බෛබලයේ පැරණි ගිවිසුමේ.

කාමයේ වරදවා හැසිරෙද්දීම අල්ලාගත් ගණිකාවක් ‌ජේසුතුමා ‌වෙත ‌අරගෙන ආවා. ඒ අරගෙන ආවේ ආගමික ඉගැන්වීම් අකුරටම පිළිපැද්ද අය සහ විනයධරයන් ‌ලෙස ප්‍රසිද්ධ අය. ‌

"මේ ගණිකාවක්. පවු කරද්දිම අල්ලාගත්තා. ‌මෝසෙස් උගන්වා තියෙන්නේ ගල් ගසා මරා දැමිය යුතුයි කියා. ඔබ ‌මේ ගැන කියන්නේ ‌මොකද්ද?" ඔවුන් ඇසුවා. එසේ ඇසුවේ ‌ජේසු තුමාගෙන් කොණක් අල්ලා ‌ගෙන ඔහු  වැරදි ‌දේ උගන්වන බව ‌පෙන්වා ‌දෙන්නයි.

ජේසු තුමා ඇඟිල්ලෙන් බිම ලියන්නට පටන් ගත්තා. ඒත් අර උදවියගේ කෑ ගැසීම් නැවතුණේ නෑ.

"ඔබ අතරින් පවු කර නැති තැනැත්තා ඇයට පළමු ගල ගසන්න" ‌ජේසු තුමා කීවේ ඔවුන්ගේ ‌ඉල්ලීම ‌කෙළවරක් නැති තැනට ආ පසුයි. එසේ කියා එතුමා ආපහු බිම ලියන්න ගත්තා.

වැඩිහිටියන්ගෙන් පටන් ‌ගෙන අර රැස්ව සිටි අය ‌එකා ‌දෙන්නා යන්න ගියා. අන්තිමේ එතැන ඉතිරි වුණේ අර ස්ත්‍රිය විතරයි.

අවසානයේ ‌ජේසු තුමා ඔලුව උස්සා බැලුවා.

"ඒ අය ‌කෝ? කවුරුවත් ඔබට වැරදි තැබු‌වේ නැද්ද?"

"නෑ. කවුරුවත් මට වැරදි තැබුවේ නෑ." ස්ත්‍රිය කිව්වා.

"එහෙනම් මමත් ඔබට වැරදි තියන්නේ නෑ. යන්න. ගිහින් පවු ‌නොකර ඉන්න" ‌ජේසු තුමා කිව්වා.
(ශු. ජුවාම්‌ 8: 1-11)

https://joequatronejr.files.wordpress.com/2011/07/mary-magdalene-stoned-jesus.jpg

නැතිවූ බැටළුවාගේ උපමාව, අකීකරු පුත්‍රයාගේ උපමාව ආදී ඉගැන්වීම්වලදී එතුමා පැහැදිළි කරන්නේ, ආගමික ජීවිත ගත කරන්නන් සියයකට වඩා, තමන්ගේ වරද අවංකව ‌තේරුම්ගෙන පසුතැවිලි වන එක පවුකාරයෙක් නිසා ‌දෙවියන් වහන්සේ සතුටු වන බව.

ඒක වෙනත් පැත්තකින් දැක්කොත්, අපරාධකාරයෙක් තමන් වැරදි මග යන බව ‌තේරුම් ගත්තොත්, ඒ ගැන අවංකව පසුතැවුනොත්, ඔහුට සමාජයට යහපත් මිනිහෙක් බවට පත්වෙන්න අවස්ථාව දීම හරිම වැදගත්. ඒ වගේම ඒ ගැන සමාජය සතුටු විය යුතුයි.

හොඳ මිනිසුන් වගේම, වැරදි කරමින් සිට ඒ වැරදි අවබෝධ කරගෙන ඒවා නිවැරදි කරගන්න උවමනාව දක්වන උදවියත්, ආදරය කරනු ලැබීමට සුදුසුුයි.

ඒ එක්ක බලනකොට, යුක්තිය කියන්නෙත් අශිෂ්ඨ සමාජයකට අවශ්‍ය වූ පළිගැනීමේ සංකල්පයක් මිසක්, වඩා මානුෂික සමාජයක තිබිය යුතු ‌දෙයක් ‌නොවේ.

අපරාධයක් ‌වෙනුවෙන් යුක්තිය ඉටු කරන තැනැත්තා, අර අපරාධකාරයාගෙන් ‌වෙනස් වන්නේ ඔහු පිටුපසින් සිට ඔහුට ශක්තිය ‌දෙන සමාජ සම්මතය නම් ආධාරකයෙන් විතරයි. අපරාධයකින් යම් කිසි මිනිසෙකුට ‌හෝ කණ්ඩායමකට හාණියක් පැමිණෙනවා. ඒක ‌වෙනුවෙන් ඉටු කරන යුක්තියෙන් සිදු ‌වෙන්නේ අපරාධකරුට හාණියක් සිදු කරන එකයි. ක්‍රියාව ගැන විතරක් හිතුවොත්, අපරාධකරුත්, යුක්තිය ඉටු කරන්නාත් යන ‌‌දෙන්නාම කරන්නේ එකම ක්‍රියාව. අපරාධකරු හදිසි ‌කෝපය ‌හෝ ද්වේෂය ‌හෝ අපරාධ සිතුවිල්ල නිසා කරන ක්‍රියාවම, යුක්තිය ඉටු කරන්නා, යුක්තිය නම් සංකල්පය නිසා කරනවා.

ජේසුතුමා ‌රෝම ශිෂ්ඨාචාරයේ යකඩ සපත්තුවට පෑගුණු දිළිඳු මසුන් මරන්නන් ‌හෝ සංචාරක ‌එඬේරුන් අතරින් මතුවෙලා අපට උගන්වන ‌දේ වර්තමාන සමාජයේ සාරධර්මවලටත් වඩා මට්ටම් ගණනාවකින් උසස්...

එතුමා කියන්නේ අපරාධකාරයාට දඬුවම් කිරීම කියන්නේ අපේම සහෝදර මනුෂ්‍යයෙකුට එරෙහිව සංවිධානාත්මක සමාජයක් විසින් තවත් අපරාධයක් කිරීමක්. කළ යුත්තේ එය ‌නොව, අපරාධකාරයාට ඔහුගේ වරද ‌තේරුම් ‌ගෙන ඒ ගැන පසුතැවීමට සහ නිවැරදි මගට පිවිසීමට උපකාර කිරීම සහ ඉඩ හැරීමයි. එසේ හරි මඟට හැරෙන තැනැත්තා ආදරයෙන් පිළිගැනීමයි...

ලෙයට ‌ලෙය ඉල්ලා සිටීම තිරිසන් කමක්.

එකල පේදුරු උන් වහන්සේ වෙතට අවුත්, ”ස්වාමීනි, මට විරුද්ධ ව පව් කරන මාගේ සහෝදරයාට මා කී වාරයක් කමා විය යුතු ද? සත් වාරයක් දක්වා දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ”සත් වාරයක් නොව, සත් වාර සැත්තෑවකි.
”මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය: සිය දාසයන් සමඟ ගණන් හිලව් බැලීමට තීරණය කරගත් රජෙක් විය. ඔහු එසේ කරන්න පටන්ගත් කල රුපියල් දෙකෝටියක් පමණ ණය වූ කෙනෙක් ඔහු වෙත ගෙනෙන ලද්දේ ය. ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ස්වාමියා ඔහු ද ඔහුගේ බිරිඳ හා දරුවන් ද ඔහු සන්තක සියල්ල ද විකුණා ණය ගෙවන්න අණ කෙළේ ය. එවිට ඒ දාසයා දණින් වැටී, ‘මා ගැන ඉවසන්න, මුළු ණය ගෙවන්නෙමි’යි කී ය. ඒ දාසයාගේ ස්වාමියා ඔහු ගැන අනුකම්පාවෙන් පිරී, ඔහු ණයෙන් නිදහස් කොට කමාව දුන්නේ ය.
එහෙත්, ඒ දාසයා නික්ම ගොස්, තම සහකාර දාසයන්ගෙන් තමාට රුපියල් දෙසීයක් පමණ ණය ව සිටි කෙනෙකු දැක, ඔහුගේ බෙල්ල මිරිකා ඔහු අල්ලාගෙන, ‘මගේ ණය ගෙවාපන්නැ’යි කී ය. එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටී, ‘මා ගැන ඉවසන්න, ණය ගෙවන්නෙමි’යි කන්නලව් කරමින් කී ය. එහෙත්, ඔහු නොඉවසා ණය ගෙවන තෙක් ඔහු හිර අඩස්සි කෙළේ ය.
ඔහුගේ සහකාර දාසයෝ සිදුවූ දේ දැක, අතිශයින් ශෝක වී, අවුත් සිදුවූ සියල්ල තම ස්වාමියාට දැන්වූ හ. එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට, ‘දුෂ්ට දාසය, නුඹේ ඉල්ලීම නිසා මම ඒ ණය සියල්ල නුඹට කමා කෙළෙමි. මා නුඹට අනුකම්පා කළාක් මෙන් ම, නුඹත් නුඹේ සහකාර දාසයාට අනුකම්පා කළ යුතුව තිබුණා නොවේ දැ’යි ඇසී ය. ඔහුගේ ස්වාමියා කෝප ව ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තෙක් ඔහු වධකයන්ට භාර දුන්නේ ය. ඔබත් එකිනෙකා තමාගේ සහෝදරයාට මුළු සිතින් කමා නොකරන්නහු නම්, ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ද, එසේ ම ඔබටත් කමා නොකරනු ඇත.”
(ශු. මතෙව් 18:21-35)

අපි ‌කෙනෙකුට සමාව ‌දෙන්නේ නැත්නම්, අපේ වරදට සමාව බලාපොරොත්තු ‌වෙන්න අපට බෑ. වරද කරන අයට සමාව දීමට වාර ගණනක සීමාවක් නෑ. ඔහු වරද හදාගනීවි යන අපේක්ෂාවෙන් අසීමිතව සමාව දීම අවශ්‍යයි. ඒ වගේම වරද ‌තේරුම්ගෙන ආපිට හැරෙන තැනැත්තා ආදරයෙන් පිළිගැනීම වැදගත්.

බුදුන් ළඟ පැවිිදි වී රහත් භාවයට පත්වූ අංගුලිමාල ‌තෙරුන්ගේ කතාවෙනුුුුත් අපට ‌තේරුම්ගන්න පුළුවන් සත්‍යය ඒකයි.

නහී වේරේන වේරානී, සම්මන්තීධ කුදාචනං.
අවේරේනච සම්මන්තී, ඒස ධම්මෝ සනන්තනෝ....

(වෛරයෙන් වෛරය නොසංසිඳේ, අවෛරයෙන්ම වෛරය සංසිඳේ. මෙය සනාතන ධර්මතාවයකි.)

--------------------------------------------------
කලින් ලියූ නත්තල් කළාප

දන්න කියන ‌කෙනෙක්
ජේසු කුහක සදාචාරවාදයට එරෙහිව
මෝසස්ගේ ‌දෙවියන් සහ ‌ජේසුස්ගේ ‌දෙවියන්

බෛබලය සිංහලෙන් ඔන්ලයින් කියවන්න ‌මෙතනින්...

Wednesday, December 18, 2019

විකුම්ගෙ වික්‍රම - ගජබින්න නං නෙවෙයි ම නෙවෙයි :)

මගෙ කිට්ටුවර යාළුවො දන්නවා, මට රාජ්‍ය සේවයෙදි හම්බුණු හොඳම යාළුවන් කීපදෙනාගෙන් කෙනෙක්, එහෙමත් නැත්තම් එක් කුසේ නූපන් සහෝදරයෙක් තමයි විකුම් ජයසිංහ කියන්නෙ... අද කියන්න යන්නෙ විකුම් ගෙ එක්තරා වික්‍රමයක්. ඕං එහෙනං අහගන්ඩ කියෝගන්ඩ.

විකුම් ජයසිංහ මහතා එකවර දුර ඇමතුම් තුනකට පිළිතුරු දෙමින්...

විකුම් ඉතාම ආසාවෙන් ජර්මන් ටෙක් එකේ මෝටර් මිකෑනික් ඉගෙන ගනිමින් ඉද්දි, එයාගෙ අම්මාගෙ බලපෑමට රජයේ සේවයට එකතු වුණේ. ඉතිං විකුමගෙ ලේවල දුවන්නෙ පෙට්‍රල් - ඩීසල්... හදවත වෙනුවට තියෙන්නෙ ෆියුල් පොම්පයක්, නාඩි වැටෙන්නෙ හෙඩ් එකේ වෑල්වල රිද්මයට. කොටිම්ම කිව්වොත් මෝට මිකෑනික් ලෝකයක්...

ඒ වගේම මේ මනුස්සයා මේ තාක් කාලෙකට හම්බකළේ මිනිස්සු... සල්ලි නෙවෙයි. ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් තමන්ගෙ සෞඛ්‍ය තත්ත්වය පවා කැප කරගෙන ඒක කරල දෙන්ඩ උපරිම කැපවීම කරනවා. ඒ වගේම එයාට ඉතාම හොඳ සහ ඕනෙම ක්ෂේත්‍රයකට අයිති යාලුවො සෙට් එකක් ඉන්නව.

ඉතිං ඔය කියපු යාලුවො සෙට් එකෙන් එකෙක් තමයි මාලුවා හෙවත් කුමාර. පොර කරන්නෙ ඇක්වේරියම් බිස්නස් එක. 

ඔය කුමාරගෙ එක ෂොප් එකකදි මම දැක්කා රුපියල් පහක් විතර සයිස් ඉබ්බො ජාතියක්. උන් මාලු ටැංකියක හදන්න පුළුවන්. ඔය ඉබ්බන්ගෙ පොටෝ එකක් ගහගෙන ගිහිං අපේ ඔපිස් එකේ වැඩකරපු අයිය කෙනෙකුට පෙන්නපුහාම, එයා උන්ගෙ නම "ලබි ඉබ්බා" බව අපිට කියා දුන්නා.

https://i.ytimg.com/vi/oGTg4OTZXSY/maxresdefault.jpg

ඉතිං එකපාරක් ඔය කුමාරගෙ ට්‍රින්කො පැත්තෙ තිබුණ ෂොප් එකක් වහලා බඩු ටික දාගෙන එන්න, විකුමා ලොරියක් අරං ත්‍රිකුණාමලේ ගියා... ඒ යද්දි හරියටම හබරණ කැලේ හරියෙදි ලොරියෙ පිටිපස්සෙ රෝදෙක පැච් එකක් ගියා.

ඉතිං මොකදැයි කරන්නෙ... විකුමා ලොරිය අයින් කරල නවත්තලා, වීල් බ්‍රෂ් එක අරන් රෝදෙ ඇණ බුරුල් කළා. ඒ කල්ලා හිටං ජැක්එක ගහන්ඩ බැලුවා. ගහන්ඩ බෑ... ඇයි කියලා බලනකොට, ලොරියෙ ජැක් එක ගෙනත් නෑ...


https://c8.alamy.com/comp/2A3P0RX/young-mechanic-changing-tire-character-2A3P0RX.jpg
දැං මොකදැයි කරන්නේ කියලා කල්පනා කර කර ඉන්නකොට තමයි වඳින්ඩ ගිය දේවාලෙ කුපාඩි කපුවෙක් උන්නා වගේ එයාකන්ඩිෂන් කරලා තිබුණා වගේ, තනි අලියෙක් ඒ පැත්තට කඩාගෙන බිඳගෙන එනව දැක්කෙ...

ඔන්න ඉතිං ඈත වලිගය රිටක් මෙන් කෙලින් කරගෙන පැයට හැටේ / අසූවෙ විතර වේගයෙන් දුවගෙන එන අලියා ය - මෑත තව පොඩ්ඩෙන් සුළුදිය පහවෙන සයිස් එකේ සිටිනා විකුම් ජයසිංහයන්ය. ඈත එබු එබූ පයින් මිහිකත සනහ සනහා දුවනගෙන එන අලියා ය - මෑත අත ගැසූ, ගැසූ වැඩේ කෙළවී සිටින විකුමා ය. ඈත හොඬයෙන් ගස් අතු කඩා උඩ විසිකරමින් ගුගුරවාගෙන දුවගෙන එන අලියාය - මෑත රෝදයේ නට් එකක් හණි හණික ගළවන විකුමාය... ඈත, ඈත කිව්වට දැන් ළඟ ළඟම දුවගෙන එන අලියාය - මෑත, එක නට් එකකුයි විල් බ්‍රෂ් එකයි අරං යාන්තමින් තඩි ගහකට මුවා වුණ විකුමාය...

අලියා දුවගෙන ආව වේගයට බ්‍රේක් ගහගන්ඩ බැරුව විකුමා මුවාවෙච්ච ගහේ හැප්පිලා තමයි නතර වුණේ. ඒ ආව වේගෙට උගෙ දළක් ගහ පසා කරගෙන ඇවිත් විකුමගෙ පැත්තෙන් අඩි තුනක් විතර එලියට ආව. අපේ යාලුවා බේරුනේ කෙස්ගහෙන්... පොර ඉක්මණිටම අර නට් එක දලේ තුඩට දාලා වීල් බ්‍රෂ් එකෙන් පොට දොළහක් කැරකුවා. ඒ නට් එකත් ඇත් දලේ පොට කපාගෙන ගිහිං හයි වුණා. 

විකුමගෙ සිරිතක් තමයි ඕනෙම වාහනයක් දෙවෙනි පාර පේන්ට් කරද්දි, ඇණේ දක්වා ගළවලා, ඇණ සහ නට් සියල්ල නිකල් බාත් දාන එක. ඒ නිකල් බාත් එකේ කොලිටිය නිසා තමයි ඇත් දළේ පොට කපාගෙන යන්ඩ තරම් නට් එක ශක්තිමත් වුණේ.

ඉතිං අලියත් මොකද වුණේ කියල හිතාගන්ඩ බැරිවෙලා, අඤ්ඤකොරෝෂණයට ලක්වෙලා ඉද්දි, විකුමා "දිරි...!" කිව්වා. අලියත් වැඩිදුර හිතන්නැතුව කණට ඇහුණු වොයිස් කමාන්ඩ් එකට අනුව ඉස්සරහ කකුල නවල ඉස්සුවා, ඇත්ගොව්වෙක් උන්නනං උන්දැට පිටට නගින්න. ඒ කකුල තිබුණෙ ලොරියෙ බඳට තෙරපිලා නිසා, ලොරියත් සෑහෙන තරම ඉස්සුණා.

විකුම් සුටුස් ගාල, රෝදෙ අනිත් නට් හතර ගළවල, ස්පෙයා වීල් එක දාගෙන, ඒකට ඇණ හතරක් විතරක් හයිකරගෙන, මෙහෙම බලලා මෙහෙම බලන පරක්කුවට ඔක්කොම උපකරණ ටිකයි ගළවපු රෝදෙයි ලොරියෙ පිටිපස්සට පටවගෙන, ලොරියට නැගගත්තා. 

විකුම් "පුරු...!" කිව්වා විතරයි අලියා අර උස්සගෙන හිටිය කකුල හිමිහිට බිමින් තිබ්බා. ඒත් එක්කම ලොරියත් බිමට පාත් වුණා. විකුමා දෙයියන්ට පිං දීගෙන ආපහු ගමන පටං ගත්තා.

ඔහොම පැය කාලක් යන්ඩ හම්බුණේ නෑ, ලොරියෙ පිටිපස්සෙන් සෑහෙනතරම ඈතින් කුඤ්චනාදයක් ඇහුණා. විකුම් සයිට් කණ්නාඩියෙන් බලද්දි අර අලියා... ඌ හොඬවැලත් උස්සගෙන සැළකියයුතු වේගයකින් එනව. 

ලොරිය යන්ඩ පුළුවන් හතළිහට - හැටට වගේ උපරිම වේගෙකට විතරයි. අලියා බොහොම සුවසේ අසූවට විතර දුවගෙන එනව. උගෙ දළේ ගහට තියල නට් එකක් දැම්මට ඌට කන්ඩ කේන්ති ඇති. විකුම්ව අහුවුණොත් හොඬෙන් අල්ලල පොළොවෙ ගහල ඒ උඩ ලම්බාඩා නටන්ඩ තරම් ආවේගයකින් අලියා එන බව විකුමට පෙනුනා. 

විකුමත් මොකද කළේ... බොහොම ඉස්සර දවසක් රයිනෝසිරස් කෙනෙක් අපේ අන්දිරිස් කිත්තගෙ තිරික්කලේ පස්සෙන් පන්නගෙන ආව වෙලාවක උන්දැ කරපු දේම තමයි. ඉස්සරහ හතරමං හන්දියෙන් වමට සිග්නල් දාලා දකුණට හැරෙව්වා. අලියත් අර පරණ කතාවෙ රයිනෝසිරස් වගේ සිග්නල්එක බලාගෙන වමට හැරිලා සෑහෙන දුරක් දුවලයි නතර වුණේ. ඒ තරමට වේගෙන් ඌ එළවගෙන ඇවිත්. මොකෝ, ඌට ABS බ්‍රේක් තියෙනවයැ? 

අලියා වමට දුවනවා සයිට් කණ්නාඩියෙන් දැකපු විකුම් යාන්තම් සැනසුම් සුසුමක් හෙලුවා. ඊට පස්සෙ ගමනට ලොකු බාධාවක් වුනේ නෑ. ඒත් හබරණ හන්දියට කිට්ටු වෙලා කඩමණ්ඩියෙ නතර කළාට පස්සෙ තමයි ආපහු අපේ යාලුවට දෙවෙනි කුඤ්චනාදය ඇහුනෙ. ඒ කඩමණ්ඩිය පිටිපස්සෙන්. කොහෙ ගියත් ඕනෙම වාහනයක් හබරණ හන්දියෙ කඩමණ්ඩිය හරහා යන බව දන්න අලියා ෂෝට් කට් එකකින් ඇවිත් හැංගිලා ඉඳලා.

ඌ බොහොම තේජාන්විතව කඩ පේළිය පිටිපස්සෙ ඉඳලා ඉස්සරහට ආවා. විකුම්ට කරකියාගන්න දෙයක් නෑ. පොර බිමට පාත්වෙලා වැලි අහුරක් ගත්තා. හීනි වැලි මිටකට ඉතිපිසෝ ගාතාව හත් වරක් මතුරලා ඒක හරියටම අලියගෙ ඇස් දෙකට ගැහුවහම අලියට ටික වෙලාවකට පේන් නැතුව යනව. ඒක කෙමක්...

විකුම් වෙවුලන කටහඬින් ඉතිපිසෝ ගාතාව කියද්දි අලියා ළඟටම ආවා. ඇවිත් හොඬ වැල ඉස්සුවා. උස්සලා ආපහු පාතට ගන්න ගමං ඒකෙන් අල්ලගෙන හිටපු යමක් විකුමගෙ දෙපා මුලට අතෑරියා. අතෑරලා ආපහු හැරිලා කැලේට ගියා. 

කඩේ හිටපු හැමෙ කෙනෙක්ගෙම ඇස් විකුම් දිහාට යොමුවෙලා තියෙද්දි විකුමා බැලුවෙ අර අලියා දාල ගියපු දේ මොකද්ද කියලා. එතන තිබුණෙ විකුමගෙ වීල් බ්‍රෂ් එකයි ඇත් දලේට හයි කරපු නට් එකයි. ලොරියෙ රෝදෙ මාරු කරලා, ආපහු උපකරණ ටික ලොරියට දාගද්දි වීල් බ්‍රෂ් එක අමතක වෙලා ඇවිත්. අලියා ඒකෙන් අර නට් එක ගළවගෙන ඒක ආපහු දෙන්ඩ තමයි මෙච්චර දුරක් පස්සෙන් එළවගෙන ඇවිත් තියෙන්නෙ. බලන්ඩ අලියගෙ තියෙන හැදියාව විතරක්...!


කලිං ලියපු ගජබින්න වලට පටුනක්.

වැඩිපුර බලපු ලිපි