Showing posts with label වේතාල කථා. Show all posts
Showing posts with label වේතාල කථා. Show all posts

Saturday, February 15, 2025

වේතාල කතා - 9 තරංගය

8 තරංගය

"වේතාලය, භවතා කී හෙතු දෙක ම පිවිතුරු චරිත ඇති අගමැතිහුගේ ලය පැළීමට හෙතු නො වී ය. හුදක්, 'මේ රජ සාමාන්‍යස්ත්‍රීන් කෙරෙහි ආලය කිරීමෙන් ම රාජ්‍ය පාලනය නො සලකා සිටියේ ය. දැන් වනාහි දෙවඟන කෙරෙහි ඇලුනු මොහු ගැණ කියනු ම කිම? එහෙයින් මා විසින් අපවාදයෙන් බේරීමට කෂ්ට (අමාරු) ක්‍රියාවක් කළ නමුදු දොෂ ම අධික වී ය'යි සිත‌ා තමන්ගේ අවස්ථාව ගැණ ම ශොකයට පැමිණීමෙන් මන්ත්‍රිහු ගේ පපුව පැළුනේ ය යි හඟිමි"යි රජ තෙමේ පිළිවදන් දින.

වේතාලතෙමේ පෙර මෙන් රජු කෙරෙන් පලා ගියේ ය.

9 තරංගය

1

නැවත ද වේතාලතෙමේ රජුගේ කර පිට යන්නේ "රජ්ජුරුවෙනි, අපූර්‍ව එක් කථාවක් කියමි. අසව" යි කියා තවත් කථාවක් ඇරඹී.

ජිමුතවාහන චරිතය

"රජතුමනි, හිමාලයපර්‍වතය ලොකයෙහි ඉතා ප්‍රකට ය. එතැන් සිට උත්තරමෙරුව (උත්තරධ්‍රැවය) තෙක් ලොකයෙහි තිබෙන සියලු දෙශගුණත් වැවෙන සියලුගස්වැල්ජාතිත් එක් තැන් කොට නිමවන ලද්දාක් වැනි වූ ඒ කන්දෙහි මුදුන නිතර ම හිමෙන් ගැවසී ගත්තේ ය. එය සාමාන්‍ය මිනිසෙකු තබා හිරු විසිනුදු මේ තාක් නො දක්නා ලද්දේ ය. සියලු රුවනුන්ට ආකරයක් වූ එහි තැනිතලාවෙක්හි කාංචන පුර නම් පුරයක් හිරු විසින් එක් තැන් කොට තැබූ රැස් පිඩක් මෙන් බබලයි. මහමෙරමුදුනෙහි සක්දෙව් රජු මෙන් ඒ නුවර ජිමුතකෙතු නම් විද්‍යාධරරාජයෙක් විසී ය. ඔහුගේ ගෙවුයනෙහි පරපුරෙන් පැවත එන කප්රුකෙක් පිහිටියේ ය. ඒ රජ තෙමේ ඒ කප්රුකෙහි බෙලෙන් පෙර උපන් කඳපිළිවෙළ (පංචස්කන්ධපරිපාටිය - මදැයි පාද සටහනෙන් තේරුම හෙව්වා...) සිහි කරණ, දානපති වූ, සියලුසතුන් කෙරෙහි පතළ කුළුණු ඇති, ගුරුන්ගේ වචනයන්ට නිතර අවනත වූ, බොධිසත්ව චරිත ඇති, ජිමුතවාහන නම් පුතෙකු ලැබී ය.

රජතෙමේ සියපුතුගේ යහපත්ගුණයන් හා ගුණවත් ඇමැතියන් ද විසින් මෙහෙයනලද්දේ සුදුසුකල්හි යොවුන් වයසට පත් ඒ කුමරා යුවරජකම්හි අභිෂික්ත කෙළේ ය. එක්දිනක්හි එතුමා යුවරජඅසුනෙහි වැඩහුන් කල්හි පියරජුගේ ඇමැතියෝ එතුමන් වෙත අවුත් "යුවරජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේගේ උයනෙහි තිබෙන, කැමැති හැම දෙය දෙන, සියලුසතුන් විසිනුදු නො මැඬිය හැකි, මේ කප්රුක ඔබවහන්සේ විසින් හැමදා පිදිය යුතු ය. මේ කප්රුක අපට අනුකූල ව සිටිකල්හි ශක්‍රතෙමේ ද අප මැඬ පවතින්ට සමත‍්ථර්‍ නො වේ. අන් කෙනෙකුන් ගැණ කවර කථා ද? එහෙවින් මේ දිව්‍යවෘක‍්ෂයට ඔබ විසින් බුහුමන් කළ යුතු ය"යි සැළ කළහ.

ජිමුතවාහන යුවරජ තෙමේ එබස් අසා "අඳෝ ම ය! (අඳෝමය! යනු 'අනේ පුදුමයි' (Alas!) යන අත්ථර්‍ ඇති නිපාතයකි.) මෙබඳු කාමදායක වූ කප්රුකක් ලැබ ගෙණත් අපගේ පූර්‍ව පුරුෂයන් විසින් කිසි ම මහත්ඵලයක් නො ලබන ලදි. හුදෙක් ඒ සමහර දිළින්දන් විසින් ස්වල්පමාත්‍ර ධනයෙක් ම ලබන ලදි. එයින් ඔවුන් විසින් තුමූ ද මේ මහත්ආනුභාව ඇති වෘක්ෂරාජයා ද යන දෙ පක්ෂය ම සැහැල්ලුබවට පමුණුවන ලදහ. එහෙත් මම මේ දිව්‍යවෘක්ෂයාගෙන් මහත් ඵල ලබන්නෙමි" යි සනිටුහන් කොට ගෙණ පියරජු වෙත ගොස් වැඳ එකත්පස් ව සිට මෙසේ සැළ කෙළේ ය:-

"පියානන් වහන්ස, මේ සසරසයුරෙහි සියලු ධන සම්පත්තිය ස්ථිර නො වෙයි. ශ්‍රී තොමෝ නො බෝ කල් සිටිනා, දුටු කෙණෙහි ම නැති වන, සැන්දෑවිදුලියක් මෙන් අස්ථිර ය. කිසි කලෙක්හි කිසිතැනෙක රඳා නො සිටියි. මේ සංසාරයෙහි එක ම පරොපකාරය නො නස්නාසුලු වූයේ යුග සියගණන් පවත්නේ පින් හා යශස් උපදවයි. පියානන් වහන්ස, එහෙයින් නැසෙනසුලු වූ මේ ධනසම්පත්තිය උදෙසා අප විසින් කවර හෙයින් කප්රුක රකිනු ලැබේ ද? 'මගේ කප්රුක ය, මගේ කප්රුක ය' යනාදීන් තෘෂ්ණා උපදවමින් මේ රුක රැකි අපේ මුතුන්මිත්තෝ කොහි ගියෝ ද? එයින් ඔහු කුමක් කළෝ ද? ඔවුනතුරෙන් කාහට මේ රුක අයිති ද? මේ රුකට ඔහු කවරහු ද? එහෙයින් ඔබ වහන්සේ අවසර දෙතොත් මේ කල්පවෘක්ෂයෙන් පරොපකාර නැමැති උතුම් ඵලය සිද්ධ කරන්ට කැමැත්තෙමි."

ඉක්බිති පියරජහු විසින් අනුදන්නා ලද්දේ (යහපතැයි පිළිගන්නා ලද්දේ) කප්රුක වෙත ගොස් "දෙවය, ඔබ විසින් අපගේ පුරාතනයන්ට සිතූ පැතූ සැපත් දෙන ලදි. මවිසින් ද පතනු ලබන එක ම කැමැත්තක් සිද්ධ කෙරේවා. යම් සේ මුලුපොළොව නො දිළිඳු වේ නම්, දෙවය, ඔබ එසේ කරණු මැනව. එහෙයින් මම දිළිඳු ලොකයාට ඔබ දෙන්නෙමි. පොහොසත් වූ අපට ඔබෙන් කම් නැත. එහෙයින් ලොව සුවපත් කරන්ට යනු මැනව. ඔබට යහපතක් වේවා" යි පැතී ය. "මම එසේ කරන්නෙමි"යි වචනයක් කප්රුකින් පහළ වී ය. එකෙණෙහි ම ඒ කප්රුක අහසට නැඟ මුලුලොවට ධනය වස්වා දෙව්ලොවට ම ගියේ ය. එයින් ජිමුතවාහනයුවරජහුගේ කීර්‍තතිය ද මුළුලොව පතළේ ය.

ඉක්බිති ඔහුගේ ගොත්‍රයෙහි වූවෝ මසුරුකමින් හා ජිමුතවාහනගේ රාජ්‍යයට ලොභ කිරීමෙන්ත ද නො ඉවසන්නාහු කප්රුක රහිත ඒ ජිමුතවාහන හා ඔහු පියරජ ද පහසුවෙන්  පැරදවිය හැකිකැයි සිතා යුද සඳහා ආහ. ජිමුතවාහන තෙමේ පියරජු වෙත ගොස් "පියානන් වහන්ස, අවි දැරූ ඔබවහන්සේ හා යුද කරන්ට කවරෙකුට ශක්තිය ඇද් ද? එහෙත් කවරෙක් මේ වැනසෙනසුලු සිරුර පිණිස නෑයන් මරා රාජයය රැකගන්ට සතුටු වේ ද? එහෙයින් අපට රාජ්‍යයෙන් කිම? අන් තැනකට ගොස් දෙලෙව්හි ම යහපත සිද්ධ කරණ පින්දහම් කරමු. රාජ්‍යලොභී වූ මේ දීන බන්ධූහු තුටු වෙත්වා"යි සැළ කෙළේ ය.

පියරජ තෙමේ ද "මම නුඹ උදෙසා ම රාජ්‍යය රැක ගන්ට කැමැති වෙමි. ඉදින් නුඹ විසින් නෑයන් කෙරෙහි කරුණාවෙන් එය අත්හරිණු ලැබේ නම්, මේ මහලු මට ද එයින් පලක් නැත. එහෙයින් නුඹේ අදහසට මම ද සතුටු වෙමි"යි කියා බිසොව හා පුත්‍ර වූ ජිමුතවාහන ද සමග වින්ධ්‍යපර්‍වතයට ගොස් එහි විසී ය. එහි දී ජිමුතවාහනයුවරජ එහි වසන සිද්ධ රාජයෙකුගේ පුත් වූ මිත්‍රාවසු නම් කුමරෙකු දැක කථා කොට මිත්‍ර වීය.

2

ලොවට මිහිරි වූ වසන්තකාලය සම්ප්‍රාප්ත වී ය. දකුණු දිගින් හෙමින් හෙමින් පවන් හමන්ට පටන් ගත. මීඅඹ, නික, රත්හෝපලු, කෑල ඈ රුක් මල්බරින් නැමීගත. බිඟූහු ගුමුගුමුනද කරමින් මලින් මලට පියාඹමින් මුවරද රොන් රැස් කළහ. කොවුලෝ පලරස විඳ මිහිරිනදින් ගයන්ට වන්හ. තරුණතරුණියෝ ලඟ දී පැමිණෙන අවුරුදුඋලෙළ සඳහා අළුත්රෙදිපිළි ආදිය පිළියෙල කළහ.

මේ මනරම් වූ වසන්තකාලයෙහි එක්දිනෙක්හි යුවරජ තෙමේ එහි වූ උමාදෙවොලකට ගියේ දෙව්පුදට වෙණ වයමින් සිටි මනරම්රූසිරින් සිරිකත දිනූ කිසියම් කාන්තාවක දැක්කේ ය. එකෙණෙහි ජිමුතවාහනතෙමේ ඇස් නැමැති දොරටුවෙන් ඇතුල් වූ ඒ කාන්තාව විසින් පැහැරගන්නාලද සිත් ඇත්තේ වී ය. ඕතොමෝ ද ඒ උයනට අබරණක් වූ, මෙහෙසුරා විසින් අනඞ්ගයා දැවීමෙන් හටගත් ශොකයෙන් තපස් රකිනු පිණිස වනයට පැමිණි අනංගමිත්‍ර වූ මධූහු (වසන්තකාලය) වැනි ලලනාවන්ගේ නෙත්‍රයන්ට මිහිරක් වූ, ඒ යුවරජු දැක කලබල සහිත වූවා.

ජිමුතවාහනතෙමේ ඇගේ යෙහෙළිය ලඟට ගොස් "භද්‍රාව, ඔබගේ යෙහෙළියගේ නමෙහි ඇතුළත් වීමෙන් කවර අක්ෂරයෝ පින්වත් වෙත් ද? මෑ විසින් කවර වංශයෙක් අලඞ්කාර කරණු ලැබේ ද? මෑගේ මුවසඳමඬලින් කවර දෙසක්හි භාග්‍යවත්තරුණයන්ගේ නෙත්‍රචකාරයෝ (නෙත් නමැති ඇටිකූලෝ) සැනසෙත් දැ"යි විචාළේ ය.

"මෝ තොමෝ වින්ධ්‍යවතී නමු. මෙතුමියගේ පියානෝ විශ්වාවසු නම් සිද්ධරාජයන් වහන්සේ ය. මිත්‍රාවසු කුමර තෙමේ මෑගේ සහෝදරයා ය"යි පිළිවදන් දී "ඔබතුමානන්ගේ භාග්‍යවත් නාමය කුමක් ද? කවර දෙසක් ඔබගේ උත්පත්තියෙන් පවිත්‍ර වූයේ ද? කවරහෙයින් මෙහි පැමිණීම වී දැ?"යි ඕ තොමෝ ද විචාළා ය. යුවරජ තමන් පිළිබඳ පුවත් සැකෙවින් දැන්වී ය.

ඉක්බිත්තෙන් ඒ යෙහෙළිතොමෝ වින්ධ්‍යවතියඅමතා "යෙහෙළිය, මේ විධ්‍යාධරරාජකුමාරයෙකි. අප විසින් අතිථි (ආගන්තුක) සත්කාරයෙන් පුදන්ට වටී. මෙතුමා මුළුලෝවැසියා විසින් ම පුදනු ලැබේ ය"යි කීවා.

වින්ධ්‍යවතිතොමෝ ද ලැජ්ජාවෙන් අවනත වූ මුඛ ඇත්තී 'මාගෙන් පූජා ගණු ලැබේවා'යි කියමින් යුවරජුහට මල්මාලාවක් පිළිගැන්වූ ය. ජිමුතවාහනතෙමේ ද ප්‍රෙමභාරයෙන් නැමුනේ මාලාව පිළිගෙණ ඇගේ ගෙලෙහි ම පැලඳවී ය. ඕතොමෝ ද සිනිඳු කටාක්ෂනිරීක්ෂණ (ඇස්කොණින් බැලීම්) නමැති නිල්මහනෙල්මල්දම් ඔහුගේ සිරුරෙහි පැලඳවූ.

මෙසේ ඔවුන් දෙදෙනා ස්වයංවරය කොට සිටි කල්හි එක්තරා වේටිකාවක් අවුත් සිද්ධරාජදුහිතෘවට "රජකුමරිය, මවුමෙහෙසිය ඔබ කැඳවයි. වහා වඩිනු මැනවැ"යි සැළකළා.

ඕතොමෝ සියගෙට ගියා, ප්‍රියවරහයෙන් පීඩිත වූවා, මවුබිසොව දැක, යහනට ගොස් සැතපුනා ය. මෙසේ ආතුර වූ ඒ රජකුමරියගේ නෙත් කැලඹුනේ ය. උණුසුමින් ගත දැවුනේ ය. කඳුලු වැගුරුණේ ය. යෙහෙළියන්ගේ චන්දන විලේපනයෙන් (ඇඟ ගානා සඳුන් කල්කයෙන්) හා පියුම්පතින් ගැසූ පවනින් ද මඳක් සැනසුම් ලද්දී කොතැනක වත් සැපතක් නො දැක්කා ය. ඉක්බිති සුදුවන්දහවල්දවස රත්වන්සැන්දෑවත් සමග කිසියම් තැනක ගියකල්හි, සඳ ද සිනාසෙන පෙරදිගඟනගේ (නැගෙනහිර දෙස නැමැති කාන්තාවගේ) මුව සිඹිනාකල්හි, ඒ කාන්තාතොමෝ ජීවිතාශාවක් නැත්තී ලජ්ජාවෙන් ස්වකීය මනොරථය සම්පූර්‍ණ කිරීමට උපා යෙදීමෙහි අසමත්ථර්‍ වූවා, ඒ රැය දුක සේ ගෙවා අලුයම ඒ උමාදෙව්මැඳුරට ම ගියා ය.

ජිමුතවාහන ද එහි ගොස් සැඟවී සිටියේ ය. ඒ අතර රාජදුහිතෘව ද එහි පැමිණ උමාදෛවිය පිදූ. පුදා මෙසේ පැතූ. "මෑනියන් වහන්ස, මේ අසරණ මට පැහැදෙනු මැනව. මේ ජාතියෙහි ම ජිමුතවාහන මාගේ ස්වාමියා වන සේ කරුණා කරණ සේක්වා! එසේ නො හැකි නම් අනතුරු (ඊලඟ) ජාතියෙහි වත් එසේ වන ලෙස අනුකම්පා කරණ සේක්වා!"

"දුව, විද්‍යාධරචක්‍රවර්‍තති වන ජිමුතවාහන මේ ජාතියෙහි ම නුඹගේ ස්වාමියා වන්නේ ය! යන ශබ්දයෙක් අහසින් ඇසින. ජිමුතවාහන තෙමේ ද එකෙණෙහි ම එහි පැමිණියේ ප්‍රියාව සැනසී ය.

එකෙණෙහි ම එක් යෙහෙළියක් කුමරිය වෙත පැමිණ මෙසේ සැළ කළා ය: "පින්වතිය, කැමැත්ත සිද්ධ වන හෙයින් භාග්‍යයෙන් වැඩෙන්නෙහි ය. අපේ මිත්‍රාවසු කුමාරයා අපේ දෙවයන් වහන්සේ වෙත ගොස්, මාත් අසා සිටිය දී "පියානන් වහන්ස, සියකප්රුක පරොපකාරය පීණිස පරිත්‍යාග කළ, තුන්ලෝවැසියා විසින් බුහුමන් කරණු ලබන, යම් ඒ ජිමුතවාහන නම් විද්‍යාධරයුවරාජයෙක් වේ නම්, හෙතෙමේ මෙහි පැමිණ සිටියි. එතුමා අප විසින් ද පිදිය යුතු ය. භාර්‍ය්‍යාවකට එතුමා වැනි හිමියෙක් ලොව කොතැනක වත් නැත. එහෙයින් එතුමාට කාන්තාරත්නයක් වූ වින්ධ්‍යවතිය පුදමු" යි සැළ කෙළේ ය. අපේ දෙවයන් වහන්සේ ද ඒ අදහස අනුමත කළ සේක. දැන් ඔබගේ සොහොයුරු ඒ මිත්‍රාවසු කුමාරතෙමේ ජිමුතවාහන යුවරජ්ජුරුවන් වහන්සේගේ නිවාසස්ථානයට ගියේ ය. ඔබගේ විවාහය වහා ම සිද්ධ වන්නේ ය යි සිතමි. එහෙයින් මෙහි නො සිට වහා රජමැඳුරට ම යනු මැනව."

යුවරජතෙමේ ද මේ කථාව අසා මිත්‍රාවසුකුමරා පිළිගැණීමට සියනිවෙසට ම ගියේ ය. මිත්‍රාවසු ද අවුත් සිය අදහස දැන්වී ය. යුවරජු හා එතුමාගේ මව්පිය දෙදෙන ද මිත්‍රාවසුගේ යොජනාව පිළිගත්හ.

සුබදවසෙක්හි ඒ තරුණයුවලගේ විවාහමඞ්ගලය මහොත්සවයෙන් සිද්ධ කරණ ලදි.

3

එක් දිනෙක්හි කෞතුකදර්‍ශනයෙහි (පුදුම දේවල් දැකීමෙහි) ලොල් වූ යුවරජ තෙමේ මිත්‍රාවසු සමග තන්හි තන්හි හැසිරෙන්නේ මුහුදු තෙරට පැමිණියේ එහි වැටී තුබුනු ඇටසැකිලි රැසක් දැක්කේ ය. "මේ ඇටසැකිලි කාගේ දැ?"යි විචාළේ ය. මිත්‍රාවසු ඒ පිළිබඳ වෘත්තාන්තය සැකෙවින් කී ය:-

"පෙර නාගමාතෘ වූ කද්‍රැ තොමෝ ගරුඬ ('ගරුඬ' යනු මහාපක්ෂිජාතියකි) මාතෘ වූ විනතාව සූදුවෙන් පරදවා සිය දැස්සක කළා ය. විනතාපුත්‍ර ගරුඬරාජ තෙමේ ඒ නිමිති කොට වෛර බැඳ, සියමව දාසභාවයෙන් මුදා, බලාත්කාරයෙන් පාතාලලොකයට වැද නයින් මරා කන්ට පටන් ගත්තේ ය. මෙසේ කල් යන අතර නාගයෝ පිරිහෙන්නට වන්හ. னாගරාජ වූ වාසුකී තෙමේ මෙය දැක ගුරුළු රජු වෙත ගොස් සියනයින් නො මරණ ලෙස අයැද සිටියේ ය.දිනපතා ගුරුළුරජුට අහර පිණිස එක් නයෙකු දකුණුදිග මුහුදුවැල්ලට එවන ලෙසට ද පොරොන්දු වූයේ ය. ගුරුළුරජ ද 'එකවිට බොහෝ නයින් මැරුණු කල්හි මගේ භොජනාගාරය වහා පිරිහෙයි. මෙසේ වූ කල මගේ කිසි වෙහෙසක් නැති ව ම මගේ ආහාරය මා වෙත ම පැමිණේ ය'යි සිතා නා රජුගේ ඉල්ලීම පිළිගත. එදා පටන් ගුරුළුරජ දින පතා එක එක නයා බැනිග් මේ වැලිතෙලෙහි දී කා දමයි. මේ පර්‍වතශිඛරයක් වැනි ඇට රැස කනලද ඒ නයින්ගේ ය."

ජිමුතවාහන මේ කථාව අසා ශොකයට පත් වූයේ "තමන්ගේ ප්‍රජාවන් සියඅතින් ම සියසතුරු වූ ගුරුළුරජුට බිලි දෙන ඒ නාරජ දීනයෙකි. ඔහුට ඇතැයි කවීන් විසින් කියනු ලබන මුව දහස අතුරෙන් එක් මුවෙකින් වත් 'එම්බල ගුරුළ, මා පළමු කොට කව'යි කියන්නට නො හැකි වූ හෙතෙමේ පිරිමියෙක් නො වේ. කෙසේ නම් ඒ නපුංසකයා සියකුලනෑයන් නසන ගුරුළාට යටත් වූයේ ද? ඒ වීර වූ ගුරුළුරජ මෙබඳු නිහීන ක්‍රියාවක් කෙසේ නම් කෙරේ ද? අහෝ! මොහයක මහතැ!"යි කියා "තමන්ගේ නිසරුසිරුස පුද කිරීමෙන් එක් නයෙකුගේවත් දිවි රැක දුන හොත් යෙහෙකැ"යි සිතී ය.

එකෙණෙහි ම පියරජුගේ පනිවුඩයක් ගෙණ දූතයෙත් මිත්‍රාවසු වෙත පැමිණියේ ය. මිත්‍රාවසු පියරජුගේ අණ අසා යන්නට සැරසින. ජිමුතවාහන ඔහු පළමු කොට යවා තෙමේ නැවැත්තේ අදහස් කළ ක්‍රියාව සිදු කරන්ට කැමැත්තෙන් ඔබ මොබ හැසුරුණේ ය. එකෙණෙහි ම මඳක් ඈත උස් ගලක් වෙත රාජපුරුෂයෙකු විසින් ගෙණවුත් නවත්වන ලද මනහරඅයුරු ඇති දුඃඛිත වූ එක් තරුණපුරුෂයෙකු හා ඔහු විසින් සියගෙට වහා යන මෙන් ඉල්ලනු ලබන, කඳුළින් තෙත් මුහුණු ඇති ව වැලපෙමින් සිටි, මැහැල්ලක ද දැක්කේ ය.

ජිමුතවාහන ඒ දෙදෙනා ගැණ දැනගන්නා අටියෙන් ලං ව සැඟවී සිටියේ ය. මැහැල්ල ද "අනේ! මගේ එක ම පුතේ, ශංඛවුඩ, උඹේ පෙම්වත් මුහුණ දැකීම අදින් ඉවරයි! අහෝ! උඹ හැදුවේ කොපමණ දුක් ගෙණ ද? ඉතින් උඹ කවදා දකින්ට ද? අය්යෝ! උඹ නැති වුනා ම උඹේ මහලු පියා කෙසේ ජීවත් වේ ද?" යනාදිය කියමින් අඬමින් සිටියා ය. තරුණයා ද "අම්මේ, දුකින් පීඩිත වූ මට උඹේ වැලපීම ඉතා දුක් දෙයි. මට ආදරය ඇත් නම්, මට තවත් දුක් නො දී ගෙදර යන්න. මේ නුඹගේ අවසාන දැක්මයි. අන්තිමප්‍රණාමය යි. (වැඳීම) ගුරුළා එන්නට ලඟයි. ඉක්මනින් ගෙදර යන්නැ"යි කී ය. මැහැලිතොමෝ ඒ අසා "අනේ මගේ රත්තරන් පුතා රැකගන්ට කවුරු වත් නැත් දෝ"යි කියමින් වටපිට බැලුවා ය.

ජිමුතවාහන මේ සියල්ල දැක ද අසා ද "අඳෝ ම ය! මේ ශංඛවුඩ නම්, වාසුකි විසින් ගුරුළාට අහර පිණිස එවන ලද්දෙකි. මේ මැහැල්ල මොහුගේ මවු ය. එක ම පුතු නැති වීමේ දුකින් වැලපෙන්නී ය. මෙසේ සොවින් පෙළුනු මැහැල්ල නො සැනසුවොත් මගේ උත්පත්තිය නිෂ්ඵල ය! එසේ නො කළොත් පරහිතකරණයෙහි නිරතුරු බද්ධපක්ෂ වූ (අනුන්ට උපකාර කිරීමෙහි නිතර ම ලෑස්ති වූ.) මට නින්දා වේවා!" යි සිතා මැහැල්ල ලඟට ගොස් "මෑනියෙනි, මම නුඹගේ පුතා රැක දෙන්නෙමි. අඬන්නට එපා. මගේ මේ නිසරුසිරුර ගුරුළාට දී සරු වූ පරොපකාරය කර ගන්නෙමි"යි කී ය.

මැහැල්ල එය අසා ඒ අමුත්තා ගුරුළා ම ය යි සිතා තැති ගෙණ "ගුරුළුරජතුමනි, මා කා මගේ මේ එක ම පුතා හරිණු මැනවැ"යි යාච්ඤා කළා ය. ශංඛවුඩතෙමේ එය දැක "මෑනියන්වහන්ස, මේ උතුමා ගුරුළා නොවේ. මෙතුමා සඳ සේ සෞම්‍ය මුඛයක් ඇත්තේ කෙසේ නම් ඒ කුරිරු ගුරුළා හා සම වේ ද? එහෙයින් තැති නො ගත මැනවැ"යි සැනසී ය.

"මම විද්‍යාධරයෙක්මි. නුඹගේ පුතා රැක දෙනු පිණිස පැමිණියෙමි. මේ සිරුර වස්ත්‍රයෙන් මුවහ කොට කෂුධිත (බඩගිනි ඇති) වූ ගුරුළාට දෙමි. නුඹ පුතා සමග ගෙදර යනු මැනව. මම පරොපකාරය උදෙසා දිවි පුදා පින් සිදු කර ගන්නෙමි"යි ජිමුතවාහනතෙමේ මැහැල්ලගෙන් ඉල්ලා සිටියේ ය.

වෘද්ධාව (මැහැල්ල) එය අසා "මගේ මෙබඳු දුකක් බලා මට පිහිට වන්ට ආ භවත්තෙමේ මගේ මේ කුසින් වැදූ පුතුට ද වඩා ආදරවන්තදරුවෙකි. ඉතින් නුඹ බඳු කරුණාවන්ත පින්වත් දරුවෙකු කුරිරුගුරුළාට කෙසේ දෙම් දැ?" යි ජිමුතවාහනගේ යාච්ඤාව ප්‍රතික්ෂෙප කළා ය.

ජිමුතවාහන ද නැවතත් බොහෝ කරුණු කියා සිය මනදොළ පුරාගන්නට අවකාශ ඉල්ලී ය. ශංඛවුඩතෙමේ ජිමුතවාහනගේ ඉල්ලීමට විරුද්ධ වූයේ ය. "උතුමානෙනි, ඔබ විසින් සැබවින් ම කරුණාව දක්වන ලදි. මම වනාහි ඔබගේ සිරුර දී මගේ පණ රැක ගන්ට කැමති නො වෙමි. රුවන් නසා කලුගල්කැබැල්ලක් රැකගන්නේ කවරෙක් ද? මුළුලෝවැසියන්ට ම අනුකම්පා කරණ ඔබ වැනි උතුමෝ විරලයහ. පින්වතානන් වහන්ස, මම අකටයුත්තක් කොට සක්පල් නාරජකුලයට කැලලක් ඇති කරන්ට සතුටු නො වෙමි"යි කියා මවට ද ගෙදර යන්ට අවවාද කොට දෙවියන් පුදනු පිණිස මුහුදුබඩ පිහිටි එක් දෙවොලකට ගියේ ය.

"මේ වේලෙහි ගුරුළා ආවොත් මාගේ මනදොළ පිරෙන්නේ ය"යි ජිමුතවාහන සිතී ය. සිතනු සමග ම ගුරුළා ද අවුත් ඔහු ඩැහැගෙණ ගොස් එක් ගල්කුළකට බැස කන්නට වන. "උපනුපන් ජාතියක් පාසා මෙ පරිද්දෙන් ම මාගේ දෙහය පරොපකාරය පිණිස වේවා!. පරොපකාරය රහිත වූ සවර්‍ගමොක්ෂයෝ පවා නො වෙත්වා!"යි ජිමුතවාහන තෙමේ ගුරුළා සියසිරුරෙහි මස් උදුර උදුරා කද්දීත්, ප්‍රාර්‍තථනා කෙළේ ය. එකෙණෙහි ඔහු මත අහසින් මල් වැසි වට. දෙවියෝ අහස පුරා සිට සාධුකාර දුන්හ.

ගුරුළා ජිමුතවාහන ඩැහැ ගෙණ යන අතර ඔහුගේ සිළුමිණ (ඔටුන්න මුදුනෙහි බැඳි මැණික) වින්ධ්‍යවතියගේ ඉදිරියෙහි වැටින. ඕ තොමෝ ලෙයින් වැකුනු එය දැක ඉතා කැලඹුනී නැඳිමයිලන්ට දැක්වූවා ය. ඔහු ද එය දැක "මේ කිමෙක්දැ?"යි භ්‍රාන්ත වූහ. ඉක්බිති ඔහු තුමූ ස්වකීයවිද්‍යාබලයෙන් සියලු තොරතුරු දැන වින්ධ්‍යවතිය ද සමග වහා එහි යන්ට පිටත් වූහ. ශංඛවුඩතෙමේ ද දෙව්පුද කොට පූර්‍වස්ථානයට ආයේ ලෙයින් වැකුනු ගල්පව්ව දැක "අහෝ! පවිටු මම නැසුනෙමි. ඒ කරුණාවන්ත උතුමා මා උදෙසා සියසිරුර ගුරුළාට පුද කළ බව පෙණේ. හතුරා විසින් ඒ උතුමා කොහි ගෙණ යන ලද දැ යි සෙවිය යුතු ය. ඉදින් එතුමා ජීවත් ව සිටියොත් අපවාද නමැති මඩෙහි නො ගිලෙන්ට හැකි වෙමි" යි සිතා වැටුනු ලේදහර අනු ව වහවහා ගියේ ය.

4

මේ අතර ඒ ජිමුතවාහන කමින් සිටි ගුරුළුතෙමේ කිසි දුකක් නො පෙන්වා හුදක් සතුටු වෙමින් සිටි ඔහු දැක "අහෝ, මෙතෙමේ කිසියම් ආශ්වය්‍ය ර්‍ මහාසත්වයෙකි. මවිසින් කනු ලබන්නේ ද සතුටු වෙයි. නො මැරෙයි. මා උපකාරිකයෙකු කොට සිතන බව පෙණේ. තව දුරටත් මොහු නො කමි. කරුණු විචාරමි"යි සිතන්නට වන.

ජිමුතවාහනතෙමේ ඔහුගේ ප්‍රමාදය බලා "පක්ෂිරාජය, කවර හෙයින් නැවැත්තෙහි ද? තව ද මාගේ දෙහයෙහි ලේමස් තිබේ. ඔබ තෘප්තියට පැමිණි බවකුදු නො පෙණේ. එහෙයින් තවත් කව"යි පක්ෂියා මෙහෙයී.

ගුරුළා ඉතා පුදුම වූ මෙබස් අසා "මහතානෙනි, මම රැවටුනෙමි. ඔබ නාගයෙකු විය නො හැකි ය. භවත්තෙමේ කවරෙක් ද? කියනු මැනැවැ"යි ප්‍රශ්න කෙළේය.

"මා னයෙකු වීමෙන් හෝ නො වීමෙන් නුඹට කම් කිම? නුඹේ මේ ප්‍රශ්නය කුමක් ද? පටන් ගත් ක්‍රියාව කරව. පටන් ගත් ක්‍රියාවට විරුද්ධ දෙය කරන්නේ කවර මෝඩයෙක් දැ?"යි ජිමුතවාහන කියන කෙණෙහි ම "ගුරුළුරජානෙනි, මහපව් නො කරව. මේ තාගේ කිනම් මොහයෙක් ද? තා විසින් කනු ලබන්නේ නාගයෙක් නො වේ. තට ආහාර පිණිස එවන ලද නාගයා නම් මම"යි කෑ ගා කියමින් ශංඛවුඩතෙමේ ද එහි පැමිණියේ ය. ගුරුළුතෙමේ ඒ දෙදෙනාගේ බස් අසා ඉතා කැලඹුනේ ය.

ශංඛවුඩ ගුරුළාගේ සැකය දුරු කරණු පිණිස තව දුරටත් කථා කෙළේ ය:- "ගුරුළානෙනි, නුඹේ මේ මෝහය කුමක් ද? මාගේ පෙණය හා දිව් දෙකත් නො දක්නෙහි ද? තා විසින් කනු ලබන උතුමාගේ සෞම්‍යාකාරය නො දක්නෙහි ද? එහෙයින් එතුමා හැර වහා මා කා දමව. දැන දැන මේ ගුණවත් උතුමා තව දුරටත් කෑවොත් තාගේ උදරය එකාන්තයෙන් ම පැළෙන්නේ ය. මට අනුකම්පා කරව. මගේ කිත්සිරුරෙහි (කීර්තිශරිරයෙහි) කළු ලප නො උපදව."

එකෙණෙහි ම ජිමුතවාහනගේ මවුපිය දෙදෙනා හා භාර්‍ය්‍යාවත් එහි පැමිණියාහු, "අහෝ! ජිමුතවාහන, කවර හෙයින් අපට නො දන්වා මෙසේ සැහැසිකමක් කෙළෙහි දැ?"යි වැළපෙන්නට වන්හ.

ගුරුළා ද තමන් විසින් කනලද්දේ ලොව පතළ යශස් ඇති ජිමුතවාහනයුවරජතුමා ය යි දැන පසුතැවෙන්නට වන. "අහෝ! මා විසින් කුමක් කරණ ලද ද? මෙතුමා මළ කල මා ජීවත් ව සිටීමෙන් පලක් නැත. ගිනි වැද මිය යෑම සුදුසු ය. අධර්‍ම නමැති විෂවෘක්ෂයෙහි මිහිරි ඵලයෙක් කෙසේ හටගණී ද?" යනාදීන් සිතමින් ගුරුළා සිතිවිලි අවුලෙන් වෙළී සිටින අතර ජිමුතවාහනතෙමේ ව්‍රණපීඩාවෙන් (තුවාලවල වේදනාවෙන්) මළේ ය.

ඒ දැක සියල්ලෝ අඬන්ට වන්හ. ශොකය නිසා 'කටයුතු කුමක් දැ'යි නිශ්චය කිරීමෙහි අසමර්‍ථ වූහ. ගුරුළා හා ශංඛවුඩ ද තමන්ට ම නින්දා කරගත්හ. වින්ධ්‍යවතීතොමෝ පෙර වර (තපස් රැකීමාදියෙන් දෙවියන් ආදීන්ගෙන් බලාපොරොත්තු වන දෙය) දුන් උමාදෙවියට දොස් කියන්ට වූවා ය:- "උමා දේවියනි, 'විද්‍යාධරචක්‍රවර්‍තති වන ජිමුතවාහන නුඹගේ ස්වාමියා වන්නේ ය'යි ඔබ විසින් කියන ලදි. එහෙයින් දැන් මාගේ අභාග්‍යයෙන් ඔබවහන්සේ මිථ්‍යාවාදී (බොරු කියන කෙනෙක්) වූ සේක."

එකෙණෙහි ම උමාව පහළ වූවා. "පුත්‍රිය, (දුව) මාගේ වචනය බොරු නො වන්නේ ය"යි කියා කෙණ්ඩියෙන් අමා පැන් ගෙණ ජිමුතවාහනගේ, ඇට පමණක් ඉතිරි වූ, සිරැරට ඉස්සේ ය. එයින් ජිමුතවාහන පෙරට ද වඩා ශොභාසම්පන්න රූපයෙන් යුක්ත ව සියල්ලන්ගේ හර්‍ෂයත් සමග නැගී සිටියේ ය.

උමාදේවිය ද, "පුත්‍රය, ජිමුතවාහන, නුඹගේ මේ පරොපකාරයෙන් මම නුඹ කෙරෙහි පැහැදුනෙමි. මම දැන් නුඹ විද්‍යාධරචක්‍රවර්‍තතිපදවියෙහි අභිෂෙක කරන්නෙමි"යි කියා ඔහු මත අමාපැන් වක්කර අතුරුදහන් වූවා ය. අහසින් මල්වැසි වැස්සේ ය. දිව්‍යභෙරීහු ගුගුළහ.

ගුරුළුරජ විද්‍යාධරචක්‍රවර්‍තතිරජු වැඳ සිටියේ "සක්විති රජතුමනි, උදාර අදහස් ඇති ඔබ විසින් මුළුතුන්ලොව ම පුදුමයට පත් කරණ විසිතුරක් කරණ ලදි. ඔබගේ මේ අධික වීර්‍ය්‍යයෙන් පැහැදුනෙමි. එහෙයින් මට අණ දෙනු මැනව. මගෙන් ද අභිමතවරයක් ගණු මැනවැ"යි වර ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය.

"තෝ මා කෙරෙහි Praසන්ன වූයෙහි නම්, මට අනික් වරයකින් කම් නැත. මම එක ම වරයක් ඉල්ලමි. මෙතැන් සි‌ට මේ නයින් නො කව. පෙර කෑ නයින් ද ජීවත් වන ලෙස සලසව"යි සක්විතිතෙමේ ගුරුළාට අණ දින. ගුරුළුතෙමේ 'එසේ කෙරෙමැ'යි ගිවිස දෙව්ලොවට ගොස් අමා පැන් ගෙණ අවුත් තමන් විසින් කන ලද නයින්ගේ ඇට රැස මතුවෙහි ඉස්සේ ය. මළා වූ සියලු නාගයෝ පෙර මෙන් ම නො බුන් (නො කැඩුනු) සිරුරු ඇති ව නැගී සිටියහ.

*    *    *    *

වේතාලතෙමේ මේ කථාව කියා, "රජතුමනි, ශංඛවුඩ, ජිමුතවාහන යන දෙදෙනා අතුරෙන් කවරෙක් වීර්‍ය්‍යයෙන් අධික තර වේ දැ?" විචාරා පෙර මෙන් ශාපය ද සිහි කරවී ය.

-------------------------------------------

මේ මට අලුතෙන් හම්බ වුණු බ්ලොග් එකක්. නම අන්ධකාරය. තියෙන්නෙ ම කෙටියෙන් ලියපු අන්ධකාර කතා. ගිහින් ධෛර්යවත් කරල එන්න...

Sunday, December 29, 2024

වේතාල කථා - 8 තරංගය

වෙතාලයා මේ කථාව කියා, "රජතුමනි, ඔවුන් දෙදෙනා අතුරෙන් කවරෙක් සමුද්‍රපතනයෙහි (මුහුදට පැනීමෙහි) දී අධිකවීර්‍ය්‍ය ඇත්තේ වී ද? නො වළහා කියව. නැත් නම් පෙර කළ ශාපය ම වන්නේ ය"යි කී ය. 

7 තරංගය

රජ තෙමේ ප්‍රශ්නය විසඳී- "වේතාලාධිපතිය, ඒ දෙදෙනා අතුරෙන් සත‍්වශීල ම වඩා අධිකවීය්‍යර්‍ ඇත්තේ යයි මාගේ හැඟීම යි. හෙතෙමේ පළමු කොට කිසි හසරක් (පාරක්) නො දැන ජීවිතයෙහි ආශා නැති ව ම මුහුදට පැන්නේ ය. චණ‍්ඩසිංහ රජ සත්වශීලගෙන් තොරතුරු දැන ගෙණ ම මතු බලාපොරොත්තු සහිත ව මුහුදට පැන්නේ ය."

ප්‍රශ්නවිසර්ජනාවසානයෙහි (ප්‍රශ්න විසඳීමේ අවසන්හි) වේතාලයා පෙර මෙන් ස්වස්ථානයට ගියේ ය.

8 තරංගය

රජතෙමේ පෙර මෙන් ම ශිංශපාවෘක‍්ෂමූලයට ගොස් ඒ වේතාලයා උසුලා ගෙණ එන්නට වන. වේතාලයා ද "රජ්ජුරුවෙනි, මෙසේ ගමනාගමනයෙන් නො කලකිරෙණ යුෂ්මතා මට වඩවඩා ප්‍රිය වෙහි ය. එහෙයින් නුමේ මහන්සිය දුරු වන පිණිස ඉතා සිත්කලු ආඛ්‍යායිකාවක් (කථාවක්) කියමි. එය අසව"යි කියා තවත් කථාවක් පටන් ගත්තේ ය.

විදුදරඟන (විද්‍යාධරකාන්තාව) ලැබූ පරිදි

පෙර අඟුරට රුවින් අනඞ‍්ගයා පැරදවූ යශොවර්‍ධන නම් රජකේ වී ය. බාහුබලයෙන් සියලු සතුරන් දිනූ ඒ රජ තුමා එක් කලෙක්හි තාරුණ්‍යමදයෙන් ('තරුණයෙක්මි'යි සිතීමෙන් වන මත් වීම) හා රූපමදයෙන් ද මත් වූයේ ස්වකීය රාජ්‍යභාරය දීර්‍ඝදර්ශි නම් මහනැණැති අහ ඇමතියාට දී තෙමේ අන්තඃපුරයට වී කම්මැළි ජීවිතයක් ගත කෙළේ ය. හෙතෙම නළඟනන්ගේ මිහිරි ගී මිස හිතෛෂීන්ගේ ඔවදන් නො ම ඇසී ය.ඇත්පුරලියන්ගේ (අන්තඃපුර ස්ත්‍රීන්ගේ) නැටුම් මිස රාජ්‍යයෙහි කටයුතු නො ම බැලී ය. පස්කම් සුව විඳුම ම ජීවිතයෙහි එක ම ඵලය යි සිතා ධර්‍මමාර්‍ගයෙන් පහ වී ය. සියතෙදමහිමෙන් ම සතුරන් පහ වෙතැයි සලකා රට රැකුම පිළිබඳ කාර්‍ය්‍යන්හි උද්‍යුක්ත (උත්සාහවත්) නො වී ය. දීර්‍ඝදර්ශිතෙමේ රාජ්‍යය පිළිබඳ කර්‍ය්‍යයන් කරමින් නිතර ප්‍රමාදරහිත ව විසී ය.

"අපගේ රජතුමා ව්‍යසනයෙහි ලා මහඇමැතිතෙමේ රාජ්‍යශ්‍රීය වළඳන්නේ ය"යි නාගරිකයන් අතර අපවාදයෙක් පැන නැංගේ ය. එය මහඇමැතියාගේ කණට ද පැමිණියේ ය. හෙතෙමේ නුවණැති ස්වගෘහණිය (ස්වකීය භාර්‍ය්‍යාව) ඒ ගැණ මන්ත්‍රණය කෙළේ ය: "සොඳුර, රජතුමා කම්සුව විඳීමෙහි ඇලී වසන කල්හි ඔහු විසින් ඉසිලිය යුතු රාජ්‍ය භාරය ඔහුගේ ම අනුදැනීමෙන් ධර්‍මනීති නො ඉක්මවා උසුලන්නා වූ මට ද 'මොහු විසින් රාජයය නසනලදැ'යි මහත් අපකීර්තියක් ඉපදී තිබේ. ලෝකාපවාදය මහතුන්ට ද දොස් එළවයි. රාමකුමාරතෙමේ ද ජනයන්ගේ අපවාදයෛන් සීතාදේවිය නො හළේ ද? හළේ ම ය. එහෙයින් දැන් මවිසින් කුමක් කට යුතු ද?"

"ස්වාමිනී, ඔබ රජතුමන් වෙත ගොස් තීර්ථයාත්‍රාව පිණිස අවසර ඉල්ලනු මැනව. ඔබ තීර්ථථයාත්‍රාවෙහි යෙදුනු කල්හි ඒ අපවාදය නවත්නේ ය. ඔබ පැමිණි කල්හි අගමැතිපදවිය නින‍්දාව ක් නැති ව ම ලැබිය හැකි ද වන්නේ ය"යි ඕතොමෝ  කීවා.

ඇමැතිතෙමේ රජු වෙත ගියේ ය. රජතුමා සිරිත් වූ ලෙස එතුමා පිළිගත්තේ ය. බොහෝ වේලා බොහෝ දේ ගැණ සාකච්ඡා කෙළේ ය. අවසන්හි ඇමැති තෙමේ "දේවයන් වහන්සැ"යි රජු ඇමතී ය. "මම දැන් මහල්ලෙමි. මම යොවුන්වියෙහි දී රාජකාය්‍යර්‍ කෙළෙමි. ශිෂ්ටධර්‍මය නො ඉක්මමවා පස්කම්සුව වින්දෙමි. මෙතෙක් කල් ඇමැතිකම්හි මිස පරලොව සුව එළවන පින්කම්හි නො යෙදුනෙමි. දෙවයිනි, මෙ සසර නිසරු ය. රොග කව දා පැමිණේදැ යි නො දනිමි. මරුවා කෙස්වැටිය ගෙණ අදින බව හැඟේ. ඔහුගේ යටතට කවර මොහොතක යන්ට වේ දැ යි කීමට කවරෙක් සමර්ථ වේ ද? මනුෂ්‍යජීවිතයෙන් ගතයුතු එක ම ඵලය නම් සසර ලුහුඬු කරණ කුසල් කිරීමයි. එහෙයින් පූජනීය ස්ථාන වඳින්නට යනු පිණිස අවසර දෙනු මැනවැ"යි අවසර ඉල්ලී ය.

රජතෙමේ එය'සා "ඇමැතිතුමනි, මෙසේ නො කළ මැනව. පින් වනුයේ පූජනීයස්ථාන වැඳීමෙන් ද? දානාදීයෙන් පින් සිදු නො වේ ද? සියගෙහි සිට ම දානාදියෙන් ස්වර්‍ගමොක‍්ෂසාධන නො කට හැකි ද? මම ධනය දෙමි. එයින් සියගෙිහි සිට ම පින් කරන්නැ"යි කී ය.

"දෙවයන් වහන්ස, දේශාටනය වනාහී මිනිකෙු ගේ දියුණුුවට ඉතා අවශ්‍ය වූවකි. ලදරු සිතෙහි දෙශාටනයට ඇල්මක් ස්වභාවයෙන් ම ඇකි වන නමුදු මවුපියන්ගේ විරුද්ධත්වය නිසා ලදරුකල්හි ඊට ඉඩ නො ලැබේ. තරුණ බවට පත් වන විට ම ජීවිකාව පිළිබඳ අදහස්වලින් මිනිසා ගේ සිත පිරෙන්නේ ය. එයින් දේශාටනය පිළිබද අදහස් නසා දමනු ලැබේ. ඊළඟට, එබඳු උතුම් අදහස් ඇති වන්නේ මහලුකල්හි ය. මහලුකලත් ගත වූවොත් මේ සිරුරෙන් සිට ගෙණ දේශාටනය කිරීමට ඉඩ නො ලැබේ. අප වැනි රාජකාර්‍ය්‍යයන්හි නියුක්තයන්ට විශේෂයෙන් ම දේශ සඤ්චාරය ඉතා ප්‍රයෝජනවත් වේ. එයින් අපේ දුර්‍වල තැන් සොයා ගත හැකි ය. නොතර තැන් තර කරන අයුරු ඉගෙණ ගත හැකි ය. පිටරැටියන්ගේ අදහස් දත හැකි ය. ඔවුන්ට අපේ රටෙන් වුව මනා දෙය දැන එය සැපයීමෙන් රටෙහි වෙළෙඳාම හා ඔබතුමන්ගේ ආදායමත් වැඩිදියුණු කළ හැකි ය. මෙසේ කරුණු පවත්නා හෙයින් මගේ මේ දේශාටනයෙන් ඔබවහන්සේට මහත් ප්‍රයෝජන වන්නේ ය. තවද, දේවයන්වහන්ස, වන්දනීයස්ථාන වනාහි නිත්‍යයෙන් ශුද්ධ ය. නුවණැතියන් විසින් ඇවිදීමෙහි ශක්තිය තිබෙන කල්හි ම ඒ ස්ථානයන්ට ‌ගොස් වැඳිය පිදිය යුතු ය. එසේ නො වූයේ නම් විශ්වාස නො කට හැකි මේ සිරුර ඒ වන්දනීයස්ථාන හා කෙසේ එක් වේ ද? එහෙයින් ද මවිසින් යා යුතු ම ය."යි අමාත්‍යතෙමේ කී ය.

එකෙණෙහි ම දියවඩනනිලමේ පැමිණියේ ය. "දෙවයිනි, සූර්‍ය්‍යයා අහස්මැදට පැමිණියේ ය. නානුමුර ද සූදානම් ය. එහෙයින් වඩිනු මැනව. නානවේලාව ඉකුත් ව යන්නේ ය"යි සැළ කෙළේ ය. රජතෙමේ ඒ අසා නාන පිණිස එතැනින් නැගිට ගියේ ය. මන්ත්‍රිතෙමේ ද රජු වැඳ ගෙට ගියේ තමා අනු ව යන්නට සැරසුනු භාර්‍ය්‍යාව නවතා සියමෙහෙකරුවන්ට ද නො දැනෙන සේ යාත්‍රාරම්භ කෙළේ ය.

2

ඇමැතිතෙමේ පිළිවෙළින් නොයෙක් දනව්හි සරමින් තීර්ථ‍ස්ථාන වැඳගෙණ කඳුහෙල් පැන ගෙණ ඔඩ්ඩිරටට පැමිණියේ මුහුදුතෙර පිහිටි එක් පටුනක මෙහෙසුරු දෙවොලකට ගොස් එහි මිදුලෙහි එක් පසෙක්හි හිඳ ගත.  දෙව්පුද සඳහා එහි පැමිණි එක්තරා වෙළෙඳෙක් හිරු රැසින් තැවුනු සිරුරු ඇති, දුරුකතර ඊමෙන් වෑරුණු, ඔහු දැක පුනනූලින් හා ශරීරලක‍්ෂණයෙන් ද දුර සිට පැමිණි ද්විජ (බ්‍රාහ්මණ) ශ්‍රෙෂ්ඨයෙකැයි සලකා සියගෙට කැඳවා ගෙණ ගොස් සත්කාර කොට තොරතුරු විචාළේ ය. ඇමැතියා තමන් පිළිබඳ තමන් පිළිබඳ තොරතුරු කීය. වෙළෙඳ තෙමේ "මම වෙළෙඳාම් පිණිස ස්වර්‍ණද්වීපයට යන්නට බලාපොරොත්තුව සිටිමි. භවත් ‌තෙමේ බොහෝ දුර ගමන් කිරීමෙන් වෙහෙසුනේ ය. එහෙයින් මා එන තෙක් මෙහි නැවතී විශ්‍රාම ගණු මැනෑව"යි නිමන්ත්‍රණය  (ආරාධනා) කෙළේ ය.

"මා මෙහි සිටීමෙන් කම් නැත. ඔබ සමග මම ද එහි යනු කැමැත්තෙමි"යි ඇමැතියා කී හෙයින් වෙළෙඳතෙමේ ඔහුත් සමග නැව් නැංගේ ය. ඔහු චණ්ඩ වූ මෝරුන් ආදි මහමසුන්ගෙන් ගහන, කුදුමහත් රළපෙළින් අතරක් නැති, රත්නයන්ට කෙසේ වෙතත් ලුනට ආකර වූ, ජලට නිධාන වූ, මහසයුර තරණය කොට ස්වර්‍ණද්වීපයට පැමිණ මඳ කලක් එහි වැස පෙරළා එන්නාහු මුහුද මැද දඹරන්මුවා කඳ ඇති ඉඳුනිල්මිණිමුවා කොළ ඇති මිණිමුවා පල ඇති මනහර මලින් හෙබුනු කප්රුකක් ද, එහි වෙළෙපෙහි (අතු බෙදී ගිය තැන) රත්නමයපර්‍ය්‍යඞ්කයෙක්හි (රුවන් පුටුවෙක්හි) හුන් මනරම් රුවින් සිරිකත පැරයූ කිසියම් කාන්තාවක ද දුටහ. ඕතොමෝ වෙණ වයමින් ගීයක් කැයූ. "පෙර කළ කම් පරිදි සත‍්වතෙමේ විපාක විඳියි. සත්වයා විසින් පෙර කළ කම් මහබඹහු විසිනුදු වෙනස් කළ නො හැක්ක. යම් කෙනෙකුන්ට යමක් විය යුතු නම්, හෙතෙමේ ඒ විය යුත්ත විසින් ම යටත් කරණු ලැබ සුදුසු ස්ථානයට පමුණුවනු ලැබේ" යනු ඒ ගීයෙහි අර්‍ථය යි.

ඒ අඞ්ගනාව ඒ ගීය ගයා එහි ම ගිලුනා. "අද මවිසින් දුටු මේ ආශ්චර්‍ය්‍යය කුමක් ද? මහමුහුද කොහි ද? දුටු පමණින් නැතු වූ දෙවඟන සහිත කල්පවෘක්ෂය කොහි ද? (මුහුද හා දෙවඟන සහිත කල්පවෘක්ෂය එකිනෙකට බොහෝ ඈත ය. මුහුදෙහි දෙවඟනන් සහිත කප්රුක් විය නො හැක්කැයි කී අයුරුයි.) ඉදින් මුහුද හැමදා මෙබඳු නම්, සිරිකත සඳ කප්රුක යනාදිය මේ සමුදුරෙන් පහළ වීමෙහි කිනම් සැකයෙක් දැ?"යි ඇමැති තෙමේ සිතමින් විස්මිත ව බලා සිටියේ ය.

ඔහුගේ විලස දුටු කර්‍ණධාරාදීහු "මහතානෙනි, අපට මෙහි පුදුමයෙක් නැත. මේ උත්තමාඞ්ගනාව හැම කල්හි මෙහි පෙණේ. දුටු කෙණෙහි ම දියෙහි ගිලේ. ඔබට වනාහි මෙය අළුත් දර්‍ශනයෙකැ"යි කීහ.

මන්ත්‍රී තෙමේ වෙළෙඳා සමග කීප දිනකින් සමුදුර තරණය කොට වෙළෙඳාගේ ගෙට ම ගොස් බොහෝ දවස් එහි ම වැස පහසු ගෙණ වෙළෙඳාට ආශිර්‍වාද කොට පිටත් ව සියදෙසට ගියේ ය.

අඟුරට රජහු විසින් සියඅගමැතියා වූ ඔහු සොයනු පිණිස යොදන ලද චරපුරුෂයෝ ඔහු දුර දී ම දැක අවුත් රජු හට සැළකළහ. රජතුමා නගරය සරසවා මහපෙරහැරින් ගොස් අගමැතිහු පිළිගෙණ රජමැඳුරට ම කැඳවා ගෙණ ආයේය. බොහෝ සත්කාර සම්මානයෙන් අගමැතිහු පිදී ය. "ඇමැතිතුමනි, අප හැර ගොස් කවර හෙයින් මේ දුක් වින්දෙහි ද? එසේ වේවා. කිසි හෙතුවක් නැති ව තීත්ර්‍ථාදීභ්‍රමණයෙහි (පූජනීයස්ථානාදියෙහි ඇවිදීමෙහි)ඔබගේ සිත හැරවූ සර්‍වබලපරාක්‍රම භවිතව්‍යයා (විය යුත්ත) ගේ විසිතුරුගතිය කවරෙක් දනී ද? දැන් කියනු මැනව:- කවර කවර දෙශයෝ ඔබ විසින් යන ලදහු ද? කිනම් අභිනව වස්තු දක්වාලද දැ?"යි විචාළේ ය.

අගමැතිතෙමේ සියගමන් පිළිබඳ සියලු වාර්‍තා සැළ කෙළේ ය. රජතෙමේ දෙවඟන ගැණ අසා ඇය නැති රාජ්‍යයත් නිෂ්ඵල ය යි සිතී ය. "අමාත්‍යශ්‍රෙෂ්ඨයානෙනි, ම විසින් ඕතොමෝ අවශ්‍යයෙන් ම දැක්ක යුත්තී ය. නො එසේ වී නම්, මාගේ දිවි තිබෙතැයි නො සලකනු මැනව. භවිතව්‍යතාවට ම ගරු කොට ඔබ කී මගින් යමි. ඔබ මා නො වළක්වනු මැනව. අනුගමනය ද නොකට යුතු ය. මා එන තෙක් මගේ මේ රාජ්‍යය රකිනු මැනව. ඔබගේ රජ වූ මාගේ මේ අණ වෙනස් නො කළ යුතු ය"යි සිය අදහස රහසින් අගමැතියාට දැන්වී ය.

ඇමැතිතෙමේ ද රජුගේ අධිෂ්ඨානය අසා මහත් උලෙළෙහි (උත්සවයෙහි) ද දොම්නස් සහිත වී ය. ස්වාමියා මහත් වූ ව්‍යසනයෙක් හි වැටුනුකල්හි සන්මන්ත්‍රීන්ට සැපයක් කොයින් ද? හේ නොයෙක් සුභාෂිතයන්ගෙන් රජුගේ අදහස වෙනස් කරන්නට යත්න කෙළේ ය. සර්‍වබලපරාක්‍රම භවිතව්‍යතාව කවදා කුමකින් පැරදේ ය?

ඉක්බිති ඒ රජතෙම රාජ්‍යය අගමැතිහට භාර කර තවුස්වෙස් ගෙණ රාත්‍රියෙහි නුවරින් පිටත් වී ය. පිළිවෙළින් ගම් නියම්ගම් දනවුමඬුලු (ජනපදසමූහ) ගෙවා යන්නේ මඟ දී දිවැස් ඇති එක් තවුසෙකු දැක්කේ ය. රජතෙමේ තවුසා වෙත ගොස් වැඳ සිටියේ ය. "දරුව, මෙනම් වෙළෙඳා සමග නැවු නැග ගොස් අභීෂ්ට (බලාපොරොත්තු වන) කාන්තාව ලබන්නෙහි ය"යි තවුසා විසින් කී තෙපුල් අසා ඉතා පිණා ගියේ වහා එයින් නික්ම ගොස් ඒ වෙළෙඳා සමග නැව් නැංගේ ය. මහමුහුද මැද දී අගමැති කී පරිදි දෙවඟන සහිත කල්පවෘක්ෂය පහළ වී ය. රජ එය දැක ඇසිල්ලක් නිශ්චල ව සිටියේ ය.


3

"පින්වත් රත්නාකරය, (සමුද්‍රය) ඔබට නමස්කාර වේවා. යම්බඳු තොප විසින් මේ දෙවඟන සඟවා ගෙණ සිරිකතගෙන් විෂ්ණුතෙමේ රවටන ලද ද, ඒ ඔබ ශරණ කොට පැමිණියෙමි. ඔබ මාගේ කැමැත්ත සිද්ධ කරණු මැනව. දෙවියන් ඔබ කලඹා ඔබගේ හස්තසාර ධන සියල්ල ම පැහැර ගතැයි අඥයෝ කියති. දෙවියන් පැහැර ගත් අමෘතය කුමක් ද? මේ කාන්තාවගේ දර්‍ශනය ම අමෘතය නො වේ ද? දෙවියන් මෙන් මම ඔබ නො කලඹමි. එබඳු බලයක් නරයෙකු වූ මට කොයින් ද? මම ඔබට මගේ දිවි පුදමි. මා කෙරෙහි පැහැදෙනු මැනව" යනාදීන් රජ තෙමේ මුහුදට ස්තූති කරන්නට පටන් ගත. එකෙණෛහි ම කප්රුක සහිත ඒ දෙවඟන මුහුදෙහි ගිලෙන්නට වන. රජ ද එය දැක ඒ අනුව මුහුදට පැන්නේ ය. මුහුදෙහි ගිලුනු රජතෙමේ හදිසියෙන් ම කිසියම් දෙව්පුරයක් දැක්කේ ය. විස්මයසහිත වූයේ මිණිමුවාටැඹින් හා රන්මුවාබිතුපෙළින් ද, ලෙලදෙන මුතුලැලින් (මුතුවැලින්) යුත් පලඟින් ද මනරම් මැඳුරු සියගණනින් බබලන, තන්හි තන්හි නන්වන් මිණිරුවනින් බැඳි පියගැටපෙළින් විසිතුරු පොකුණුවලින් හා සිතු පැතූ දෙය දෙන කප්රුක්වලින් ද සමෘද්ධ උද්‍යානයන් ගෙන් හොබනා එනුවර දැක, අනෙක සම්පත්තියෙන් පිරිපුන් වුව ද ජනයන් නැති එහි ඒ කාන්තාව සොයනු වස් ගෙයක් පාසා ගියේ ය. අවසන්හි එක් මිණිමුවාමහපහයෙක්හි අගනා ඇඳෙක්හි හිස සිට දෙපතුලට පොරවා ගෙණ හෝනා (නිදන) ඇය දැක්කේ ය. ඕතොමෝ ද මනාවිලස් ඇති රජහු දැක වහා යහනින් නැඟී සිටියා, අතිථිසත්කාර කළාය. තොරතුරු ද විචාළා ය:- "පින්වතානෙනි, භවත් තෙමේ කවරෙක් ද? කෙසේ මේ රසාතලයට (පාතාල ලෝකයට) පැමිණියේ ද? රාජලක්ෂණයෙන් පිරිපුන් ඔබගේ මේ සිරුරෙහි තවුස්පිරිකර කිම් ද?

රජතෙමේ සියල්ල විස්තර කොට ඈ පිළිබඳ තොරතුරු විචාළේ ය:- "පින්වත් යුවතිය, භවතිය කවරක් ද? කවර හෙයින් ශූන්‍ය (හිස්, පාලු) වූ මේ ස්ථානයෙහි තනි ව වසන්නී ද? මට මෙය මහත් පුදුමයකි. ප්‍රහේලිකාවකි. භවතියගේ මවුපියෝ කවුරු ද? නම කුමක් ද? ඔබට පැමිණ තිබෙන විපත කුමක් ද? කියනු මැනව. මගේ මේ අගනා ජීවිතය පුදා වත් අසරණ වූ නුඹ විපතින් ගලවා ගන්නට උත්සාහ කරමි. මම ඔබගේ දැක්මෙන් ම බැඳ දාසභාවයට පත් කරණ ලද්දෙමි. එහෙයින් මට නො වළහා කියනු මැනව."

"මහතානෙනි, මෘගාඞ්කෙස්න නම් ශ්‍රීමත් විද්‍යාධරාධිපතියෙක් ඇත. මම ඔහුගේ දූ වූ මෘගාඞ්කවතී වෙමි. මගේ ඒ පියතෙමේ මා මේ නුවර තනි කර දමා පුරවැසියන් හා කොහි කවර හෙයින් ගියේ දැ යි නො දනිමි. එහෙයින් මම මේ ශූන්‍යස්ථානයෙන් නික්ම මුහුදෙන් මතු වී කප්රුකට නැඟී ගායනා කරමි"යි ඕතොමෝ තමන් පිළිබඳ පුවත් විස්තර කළා ය.

රජතෙමේ නානාවිධමෘදුවචනයන්ගෙන් ඇය සිත් ගත්තේ ය. ඕතොමෝ ද ඔහුගේ භාර්‍ය්‍යාව වන්නට ගිවිසියා ය. "ආර්‍ය්‍යපුත්‍රය, මසක් පාසා පුර අව දෙපස්හි තුදුස්වක්හි ද අටවක්හි දැ යි යන සිවුදිනයන්හි මම ඔබට අයත් නො වෙමි. යම්කිසි තැනකට යන මම ඔබ විසින් නො වැළැක්විය යුතුද නො සෙවිය යුතු ද වෙමි. ඊට හෙතුව ද නො විචාළ යුතු ය"යි පොරොන්දුවක් ද ඉල්ලී ය. රජතෙමේ සතුටින් ම "එසේ ‌වේවා"යි ඇගේ ඉල්ලීම පිළිගෙණ ඇය විවාහ කොට ගෙණ එහි ම විසී ය.

කළුවරරැයින් සැරසුනු අවතුදුස්වක (කළුවර පක්ෂයෙහි 14 වැනි දිනය) පැමිණියේය. ඒ අංගනාතොමෝ දිව්‍යසම්පත්තියෙන් පිණමින් සිටි රජු වෙත ගියා. ගොස් ඉකි බිඳිමින් ඇඬුවා:- "අහෝ! මගේ පවක මහත! අද ඔබගෙන් වෙන් විය යුතු දවසෙකි. නො වැළැක්විය හැකි කිසියම් කටයුත්තක් සඳහා මම පිටත යමි. හෙට නො වරදවා එන්නෙමි. එතෙක් ඔබ මෙහි සැප සේ සිටිනු මැනව. තෙල (අර) පෙණෙන පළිඟුමුවා ගෙට නො යනු මැනව. එහි වූ වැවට නොබසිනු මැනව. එහි බැස්සොත් නිසැකයෙන් මිනිස්ලොවට යන්නෙහි ය! මා එන තෙක් පරිස්සමින් සිටිනු මැනවැ"යි කීවා ය. රජ ඇයගේ කඳුළින් තෙත් මුවපියුම් සියඋතුරුසළුපටින් පිසදැම්මේ ය. හද පැළී යන තරම් සොවින් ඇගේ ඉල්ලීමට අවසර දුන්නේ ය. ඕතොමෝ ද පිටත්ව ගියා ය.

රජතෙමේ ද 'විය යුත්තක් වේවා'යි සිත දැඩි කොට ගෙණ ඒ ගමන ගැණ දැනගණු පිණිස කඩුව හා දුනුහී ද රැගෙණ ඇය පසුපසින් ම ඇයට නො පෙණී ගියේ ය. ඇය නුවරින් පිට වූ කෙණෙහි ම බිහිසුණු රකුසෙක් ගොරනාද කරමින් ඉදිරියට පැන ඇය අල්ලා නරාවළක් වැනි මුවතුළ බහා ගිල්ලේ ය. රජ එය දැක අතිශයින් කිපුනේ එකෙණෙහි ම මහ අසිපත ඇද ගෙණ දිවගොස් ඒ රකුසාගේ හිස සිඳ ලී ය. කඩුසිළින් (කඩුවේ උලෙන්) රකුසාගේ උදරය පැළී ය. එකෙණෙහි ම මෘගාඞ්කවතී තොමෝ එයින් නික්ම ආවා ය. රජතෙමේ ඇය දැක පිණා ගියේ ඇය සතුටින් ආලිඞ්ගනය කෙළේ ය. "ප්‍රියාව, මේ කිම? සිහිනයක් ද? නොහොත් මායාවක් දැ?" යි විචාළේ ය.

4

ඒ විද්‍යාධරකාන්තා තොමෝ ද තමන් පිළිබඳ තතු සිහි කොට රජුට ඒ සියල්ල කීවා ය:- "උතුමානෙනි, අසනු මැනව. මෙය ස්වප්නයක් නො වේ. මායාවක් ද නො වේ. මෙය විද්‍යාධරරාජ වූ මාගේ පියා විසින් කරණ ලද ශාපයක විපාකයකි. මගේ ඒ පියානන් වහන්සේ බොහෝ දරුවන් ඇති ව මෙහි විසූ සේක. මා කෙරෙහි වැඩි ආදරයක් දැක්වූ සේක. මා නැති ව කිසිවිටෙක අහරක් නො ගත් සේක. මම ද මෙහෙසුරුපුදෙහි (පූජාවෙහි)  ඇලුනෙම් හැම තුදුස්වක්හි හා අටවක්හි මෙහෙසුරුදෙවොලට ගියෙමි. එක් දිනෙක්හි දෙව්පුද සඳහා ආ මම මුළු දවස ම දෙවොලෙහි ගත කෙළෙමි. ඒදිනෙහි ද පියතෙමේ මා එන තෙක් බලාපොරොත්තු වූයේ ආහාරපානයක් නො ගත්තේ ය. රාත්‍රියෙහි ආ සාපරාධ මා කෙරෙහි කිපුනු පියතෙමේ ශාප කෙළේ ය:-

'තී බඩසාදුකින් පෙළුනු මා මුළුදවසෙහි ම සිහි නො කෙළෙහි ය! එහෙයින් කෘතාන්ත නම් බිහිසුණු රකුසෙක් මසක් පාසා අටවක්හි හා තුදුස්වක්හි ද ඉසුරුපුදට නගරයෙන් බැහැර යන තී ගිල දමාවා! ඉක්බිති තී ඔහුගේ ලය බිඳගෙණ පිටත එව! මේ ශාපය ද රකුසා ගිලීමෙන් වූ දුක ද සිහි නැති වේවා! තනිව ම මෙහි හිඳුව!'

"ඉක්බිත්තෙන් බිය පත් වූ මා විසින් දීන (බැගෑපත්) වචනයන්ගෙන් සනහන ලද හෙතෙමේ ශාපයාගේ අවසානයක් දැක්වී ය:-

'කුරිරු තැනැත්තිය, මගේ වචන නිෂ්ඵල නො වන්නේ ය. එහෙයින් කලක් තී මේ ශාපය වින්ද යුතු ය. යම් කලෙක්හි අඟුරට රජ මෙහි පැමිණ තීගේ ස්වාමියා වී රකුසා විසින් තී ගිලිනු දැක ඒ රකුසා මරන්නේ ද, එකල්හි තිගේ ශාපය ගෙවෙන්නේ ය. එවිට ම ස්වකීය විද්‍යාවෝ නැවතත් සිහියට එන්නාහු ය.'

"මෙසේ ශාපාවසානකාලය කියා මා මෙහි තනි කර දමා පිරිවර සහිත ව හිමාලයපර්‍වතයට ගියේ ය. මම එතුමාගේ නියමයෙන් ශාපබලයෙන් කිසිවක් නො දැන මෙහි සිටියෙමි. දැන් ඔබගේ අනුග්‍රහයෙන් ශාපය ගෙවින. හැම දෙය පිළිබඳව මගේ ස්මෘතිය ද උපන්නේ ය. එහෙයින් අද පියානන් වහන්සේ වෙත යන්නෙමි. 'ශාපාවසානයෙහි සියගතියට පැමිණෙන්නේ ය' යනු නියමය යි. ඔබතුමා මෙහි ම සිටිනු මැනව. නැතහොත් සිය රටට යනු මැනව. ඒ කරුණෙහි ඔබගේ ම කැමැත්තක් වේවා."

රජ තෙමේ ඇයගේ බස් අසා දුඃඛිත වූයේ "සුන්දරිය, නුඹ තවත් සත්දවසක් මා සමග මෙහි ම සිටිය යුතුය. කිසිවක් නො කියා ... මේ උයනෙහි නුඹ සමග සත්දවස මුළුල්ලෙහි ක්‍රීඩා කරමින් ... කනගාටුව දුරු කරන්ට උත්සාහ කරමි. ඉන්පසු නුඹට නුඹගේ පියා සිටින තැනට ද, මට මගේ රටට ද යා හැකි"ය ඈහට කී ය. ඕතොමෝ ද ... පිළිගත්තා ය.

රජ සත්වැනි දවසෙහි ප්‍රයොගයෙන් ඇයත් සමග මිනිස්ලොවට පැමිණෙන දොරටුව වූ පොකුණ ඇති පළිඟුමුවා ගෙට ගියේ වහා ඇගේ අත දැඩි සේ අල්ලා ගෙන පොකුණට පැන්නේ සියපුරයෙහි උයනෙහි පොකුණින් මතු වී ය! උයන්පල්ලෝ මිනිස් ඇසට උත්සවයක් බඳු ඒ කාන්තාව සමග පැමිණි රජු දැක අගමැතිහට ඒ බව සැල කළහ. මන්ත්‍රිතෙමේ පුරවැසියන්ට දන්වා මහොත්සව කොට පෙරහරින් ගොස් ඒ කාන්තාව සහිත රජතුමා කැඳවා ගෙණ ආයේ ය.

"අහෝ! අහසෙහි විදුලියක් මෙන් ඇසිල්ලක් පමණ කල් පෙණුනු මේ දෙවඟන මේ රජතෙමේ කෙසේ ලබා ගත්තේ ද? බඹහු විසින් යමෙකුගේ ලලාටයෙහි යමක් කොටන ලද නම් එය කොතරම් දුෂ්කර වූවත් එකාන්තයෙන් ම සිද්ධ වන්නේ ය"යි අමාත්‍යතෙමේ සිතී.

මෘගාඞ්කවතිය ද රජු සියදෙසට පැමිණ සිටින බව හා සත්දවස පිරුණු බවත් දැක සිය පියා වෙත යන්ට සිතුවා, එහෙත් එවිට උත්පතනවිද්‍යාව (අහසට නැඟීමට උපකාර වන මන්ත්‍රය) සිහියට නො ආයේ ය. ඕතොමෝ එයින් අතිශයශොකයට පැමිණියා ය. "ප්‍රියාව, කවර හෙයින් මෙසේ ශොක කරන්නෙහි ද? කියව"යි රජු විසින් විචාරණ ලද්දී "රජතුමනි, මම ශාපයෙන් මිදුනු නමුත් මෙපමණ කල් ඔබගේ ස්නෙහබන්ධනයෙන් බැඳී සිටියෙමි. එයින් මගේ විද්‍යාවෝත් දිව්‍යගතිත් නටහ. ආලය, තෘෂ්ණාව, ක්‍රොධය, ඊර්‍ෂ ්‍යාව යනාදී ක්ලෙශයෝ සියල්ලන්ගේ ම ප්‍රඥාව හා මනශ්ශක්තියත් නසන්නාහ"යි පිළිතුරු දුන්නා ය.

රජතෙමේ "මේ දෙවඟන දැන් මට අයත් වූයේ ය යි සතුටට පැමිණියේ මහත් උත්සව පැවැත්වී ය. අගමැතිතෙමේ එය බලා ගෙට ගොස් ශයනගත වූයේ වහා ලය පැළීමෙන් මළේ ය. රජතෙමේ ද ඒ මෘගාඞ්කවතිය සමග යෙහෙන් රාජ්‍යපාලනය කරමින් ස්වර්‍ගසම්පත්ති වැනි සැප විමින් බොහො කල් සිටියේ ය.

වේතාලයා මේ කථාව කියා "රජතුමනි, මේ කරුණ පිළිබඳ ව මා තුළ මහත් සැකයක් තිබේ. ස්වාමි වූ රජතුමාට එතරම් අභිවෘද්ධියක් වූ කල්හි ද ඔහුගේ අගමැතිහුගේ හෘදය ස්ඵුටිත (පැළින) වී ය. ඊට හෙතුව කුමක් ද? 'මවිසින් දෙවඟන නො ලබන ලදැ'යි සිතීමෙන් වූ ශොකය ද? නැතහොත් රජු නැවත පැමිණිබව දැක්මෙන් රාජ්‍යය අයත් කර ගැන්මෙහි අපෙක්ෂාවෙන් සිටි ඔහු තුළ ඇති වූ ඊර්‍ෂ ්‍යාව ද? මේ මාගේ සැකය සිඳුව. දැන දැන මෙය මට නො කීයෙහි නම්, නුඹගේ හිස සියක් කඩකට පුපුරන්නේ ය"යි තර්ජනාන්ත ප්‍රශ්න විචාළේ ය.

මීළඟ කොටස ළඟ දී ම...

පරණ පොතේ පිටුවක් ඉරී තිබීම නිසා සමහර තැන් හිස් තැන් වශයෙන් ම තැබීමට සිදු වූ බව කරුණාවෙන් සළකන්න.

Sunday, December 31, 2023

වෙතාල කථා - 7 තරඞ්ගය

6 තරඞ්ගය

ශූරයාට ඕතොමෝ දිය යුත්තී ය. හෙතෙමේ සියසිරුරත් සියපණත් නො තකා බාබෙලෙන් (අතෙහි ශක්තියෙන්) රකුසා පරදවා කාන්තාව ලබා ගත්තේ ය. ඥානි විඥානි දෙදෙන ඔහුට උපකාරී වූහ. එපමණකින් ඒ කාන්තාව ඔවුන්ට අයත් නො වේ. නැකැත්තන් හා වඩුවෝත් අන්‍යයන්ට උපකාර නො වෙත් දැයි සලකනු මැනවැ"යි රජතෙමේ සිය පිළිතුර අවසන් කෙළේ ය. වේතාලයා අතුරුදහන් වී ය.

7. තරඞ්ගය

1

රජතෙමේ නැවත ද ඇට්ටේරියගස මුලට ගොස් වේතාලාධිෂ්ඨිතශවය (වේතාලයා වැහුනු මිනිය) කර තබා ගෙණ ගමනාරම්භ කෙළේ ය. නැවත ද වේතාලයා කථාරම්භ කෙළේ ය.

සත්‍වශීලචරිතය

නැගෙනහිරදිග වෙරලෙහි තාම්‍රලිප්ති නම් නගරයක් ඇත. එහි චණ්ඩසිංහ නම් රජෙක් රාජ්‍යය කෙළේ ය. හේ ධීර ය. වීර ය. ත්‍යාගි ය. වැසියන්හට පියෙකු වැන්න. එක් දිනෙක්හි දකුණුදෙස්වැසි සත්‍වශිල නම් එක්තරා දිළිඳු කැත් කුමරෙක් එතුමන් වෙත පැමිණ සේවයට බැඳුනේ ය. බොහෝකල් රාජසේවය ද කෙළේ ය. එසේ ද වූවත් කැත්කුමරා හිතූ තරම් වැටුප් ඒ රජුගෙන් නො ලැබින. "මමම රජකුලයෙහි උපන්මි. එහෙත් මෙතරම් නිර්‍ධන වූයේ කවර හෙයින් ද? දිළිඳු නමුදු, කවර හෙයින් මහබඹහු විසින් මම මහෙච්ඡයෙක් (බොහෝ ආශා ඇත්තෙක්) කරණ ලද්දෙම් ද? මේ රජතෙමේ බොහෝකලක පටන් මෙසේ වෙහෙස ගෙණ සේවාකම් කරණ, කිලිටි වූ ගත් ඇත්, බඩසාදුකින් පෙළෙන මා දෙස අද වත් නො බලයි. අහෝ! රජුන්ගේ ක්‍රෑරගතියක හැටි! මෙහෙකරුවන්ගේ සුවදුක් නො සොයන අධිපතීන්ට නින්‍දා වේවා! නැහැ. නැහැ. අපේ රජතුමා එබඳු අධිපතියෙක් නො වේ. එතුමා යහපත් සේවකයන්ට කප්රුකකි. එතුමා නරක ය යි සිතන මට ම නින්‍දා වේවා! මම අයහපත් සේවකයෙක් ද? නැත. ඉතින් එසේ නම් මට පමණක් මෙබන්දක් වීමට හෙතුව කිම? හෙතුව තමයි, අභාග්‍ය ය. අහෝ! ම‌ගේ අභාග්‍යයක මහතැ!"යි සිතමින් කල් ගෙවී ය.

එක් දවසෙක්හි රජ මුවදඩ යනු පිණිස මහසෙන් පිරිවරා නික්මින. භාග්‍යයට ලං ව සිටි සත්‍වශිල ද ඒ සමග ගොස් රජු වෙත ම සිට නොයෙක් වික්‍රම පෑ ය. වාතාශ්වරූඪ වූ රජ සහ සත්‍වශිල ද මුවන් ලුහුබැඳ වනයෙහි බොහෝ දුර ගියහ. රජතෙමේ, සියසෙනඟින් වෙන් වූයේ, ආ මග තෘණපර්‍ණාදියෙන් (තණකොළ ආදියෙන්) වැසුනු හෙයින් දත නො හී, තමන් පසු පස්සෙන් පයින් ම දුවමින් සිටි සත්‍වශීලයා දැක "යහපත් පුරුෂය, කිම, ආ මග දන්නෙහි දැ?"යි පිළිවිත. (ඇසී ය.) හේ බදැඳිලි ව (අත් දෙක එක් කොට ගෙණ) "එහෙයි, දේවයන් වහන්ස, එය දනිමි. ඔබ වහන්සේ බොහෝ වෙහෙසුනු සේක. එහෙයින් මෙහි මඳක් කල් නැවතී විශ්‍රාම ගන්නා සේක්වා. දෙවයන්වහන්ස, මේ මිහිකතගේ මෙවුල්දමෙහි මැදිමිණිරුවන වැනි වූ පැතිරෙණ රශ්මිමාලා ඇති පද්මබන්‍දු (සූර්‍ය්‍යා) තෙමේ අහස් මැද අතිශයින් බබලා ය"යි සැළ කෙළේ ය. රජතෙමේ ඔහුගේ බස් පිළිගෙණ පැන් ටිකක් සොයා ගෙණ එනු පිණිස ඔහු මෙහෙයී.

සත්‍වශිල ද රජු අණ මුදුනෙන් පිළිගෙණ ඉතා උස් රුකක් මුදුනට නැඟ හාත්පස බැලී. වනමැද අතුළ රිදී පටක් මෙන් ගලා බස්නා මනරම් මහගඟක් දැක, සතර මහානිධානය දුටු මහදුගියෙකු මෙන් සතුටින් ඉපිළ ගියේ, ගසින් බැස අවුත් ඒ බව රජුට සැළ කෙළේ ය. රජතෙමේ ද ඔහු සමග එහි ගොස් දිය නා වෙහෙස සන්සිඳවී ය. රජු නාන අතර සත්‍වශිල ද අසුට තණපැන් දී විඩා දුරු කෙළේ ය. රජු නා අවසන්හි සත්‍වශිල සියඔඩොක්කුවෙන් ඇඹුලු (නෙල්ලි) ගෙඩි ගෙණ සෝදා රජුට පිළිගැන්වී ය. රජ "ඒ කොයින් ලබන ලද දැ"යි විචාළේ ය. "දෙවයන් වහන්ස! ගත වූ අවුරුදු දසයෙහි මම බෙහෙවින් ඇඹුලු කමින් ඔබ වහන්සේට සේවය කරමින් හැසිරෙමි. එහෙයින් මා අතෙහි ඇඹුලුපල නිතර ම තිබේ ය"යි පිළිවදන් දුන්නේ ය.

රජ ඔහුගේ බැගෑ තෙපුල් අසා ලජ්ජිත වූයේ "සේවකයන්ගේ සුවදුක් නො දන්නා වූ රජුන්ට නින්‍දා වේවා. රජ්ජුරුවන්ට සේවකයන්ගේ අවස්ථා නො දන්වන රජ පිරිවරට ද ‌නින්‍දා වේවා!"යි සිතා සත්‍වශිලගේ බලවත් ඉල්ලීම නිසා ‌නෙල්ලිගෙඩි දෙකක් ගෙණ වළඳා දිය බී මඳක් කල් විශ්‍රාම ද ගත්තේ ය. ඉක්බිත්තෙන් සත්‍වශිල විසින් පෙන්වන ලද මගින් නුවරට ගොස් බොහෝ ධනධාන්‍යයන්ගෙන් සත්‍වශිලගේ ගෘහය පිරවී. එතෙකුදු වුවත් නෙල්ලිගෙඩි දෙකෙහි නය නො ගෙවිනැයි සිතී ය. සත්‍වශිල ද එදා පටන් රජ්ජුරුවන් සමග ම හැසිරෙන්නේ සමාන සුවදුක් ඇත්තේ සතුටින් කල් ගෙවී ය.

2

එකල්හි "ලක්දිව සිංහලනරපතීහුගේ දූකුමරියක් දෙවඟනන් පරයන රූසිරින් බබලන්නී ය"යි චණ්ඩසිංහ රජ දැනගත්තේ තමන්ගේ අගමෙහෙසුන් තනතුරට ඇය ඉල්ලා නොයෙක් පඬුරුපාක්කුඩම් ද දී සත්‍වශිලයන් ප්‍රධාන කොට ඇති දූතපිරිසක් ලක්දිවට එවී ය. ඒ පිරිස ඉටුදෙවියන් පුදා සුබමොහ‌ොතින් නැවු නැංගහ. ඔවුන් නැගි නැව අනුකූල (පක්‍ෂපාතී-තමන්ට වුවමනා දෙසට හමන) වාතයෙන් මුහුද මැද යාත්‍රා කරන්නට වන. ඔවුන් අවට ක්‍ෂිතිජය තෙක් මහදියකඳ මිස අන් කිසිවක් නො වී ය. මුහුදුගමනෙහි මුල් දින කීපය ගොඩබිම දිගේ ඈත පෙණෙන කඳුමුදුන් බලමින් වෙරල දිගට පිහිටි නොයෙක් මනහර දර්‍ශනයන් කරා නෙත් යවමින් සිත් පිණවූ පිරිසට මුහුදෙන් ම පායා බැස යන සඳ සහ තාරකාත්, තමන්ගේ මහත්කම නො සලකා නිගරු කොට තමන් මතුවෙහි යාත්‍රා කරණ නැව ගිල්වා දැමීමට තර්‍ජනය කරමින් මෙන්, මුහුද විසින් මෙහෙයන ලද්දාක් වැනි, එදෙසට පෙරළිපෙරළී එන මහරළපෙළත් මිස අන් කිසිවක් නො පෙණින. වරක් කරකැවී දියෙන් උඩ පනින මහමසෙකු හා සමහර විටෙක අසහට නැග මඳක් දුර පියාඹා මුහුදට බස්නා කුඩා මසුන් රැළක් ද පෙයාවෙන් (සුළිසුළඟින්) අහසට නඟන ලද මහකණු වැනි දියකඳන් ද දැක්ම ඔවුන්ගේ පුදුමයට කරුණු වි ය. ඔවුන්ට ඊට පෙර නුපුරුදු, නැවියන්ගේ ශපථ (දිව්රීම්) හා තර්‍ජන අධික කථාවත්, පුදුම සින්දුත් ඇසීම ප්‍රීතියට නො කරුණු නො වී ය. කරදියෙන් සෝදා මිරිදය වක්කර පිසින ලද සහලේ බත සම්බල් සමග කෑම ද අමිහිරි නො වී ය. මුල දී ඔවුන්ට මඳ මඳ අසනීප ඇති වූ නමුත් මුහුදට පුරුදු වත් වත් ම ඒ අසනීප ක්‍රමයෙන් නැති වි ය. ඔවුන්ගේ යාත්‍රාව සන්තොෂදායක විය. මෙසේ ගමන් කර කීප දිනක් ගත වූ පසු ඈත ක්‍ෂිතිජයෙහි තරුවක් වැනි යම් කිසිවක් පෙණෙන්නට වන. නියමුවා නැව් තල්ල එදෙසට ම එල්ල කොට පදවන්ට විය. ඉදිරියට ගමන් කරත් කරත් ම ඒ තරුව වැනි ද්‍රව්‍යය ටිකින් ටික මහත් වි ය. ඊට යටින් ක්‍රමයෙන් සිහින් ව උඩට නෙරාගිය හිම මෙන් සුදු වූ කොටසක් ද පෙණෙන්ට වන. මේ අන් කිසිවක් නො ව ගොඩ බිමෙහි ඈත ගස් උඩින් පෙණුනු මහ සෑයක රන්කොතින් සැරසුනු මුදුන ය. අවසන්හි, ගමනේ කෙළවර, ලක්දිව නැගෙනහිර වෙරලෙහි වූ ඉතා මනහර වරායෙක්හි දී වි ය.

ගොඩ බිමට නෙරාගිය මුහුදුබොක්කකි. මහනැව් යාත්‍රා නො කරණ නමුත්, මහගඟක් දිවයිනෙහි මැද දකුණු දෙසින් පිහිටි මහකන්දකින් පටන් ගෙණ බොහෝ ගම් නියම්ගම් පසු කර යොදුන් විස්සක් පමණ දිග මඟ ගෙවා අවුත් මේ මුහුදුබොක්කට වැදී විශ්‍රාම ගණී. ගොඩබිම සිට මුහුදෙහි බොහෝ දුරට විහිද ගිය බිම්පටි දෙකකින් හා ඒ මැද කුඩා දූපතකින් ද මේ මුහුදුබොක්කෙහි මුවදොර සෑදුනු හෙයින් මුහුදුබොක්ක බොහෝ සෙයින් රැළපතරින් වෙන් වූයේ ය. එහි සිට උතුරු දෙසට ගොඩබිම කා ගෙණ ගිය තවත් අත්තකි. එය මුහුද පසින් (පැත්තෙන්) කඳුගැටයකින් වැසුනේ වෙයි. බස්නාහිරදෙස සමතලා පොළොවෙන් සැදුනේ ය. මේ වරාය දිවයිනෙහි නැඟෙනහිර වෙරලට ස්වභාවධර්‍මය විසින් දෙනලද වටිනා තෑග්ගකි. දූතපිරිසෙහි සමුද්‍රයාත්‍රාව අවසන් වූයේ මේ වරායෙහි දී ය.

3


නැවියෝ මහහඬ නඟමින් නැංගුරම් ලූහ. රුවල් එකිනෙක ඇකිළූහ. වෙරලෙහි ගස්මතුවෙහිබලා සිටි කවුඩෝ, එබඳු හඬ නිතර අසන්ට ලැබෙන හෙයින් ඒ හඬින් බිය නො ගෙණ, නැව වෙත පියාඹා ආහ. අළුත් එලවළු පලතුරු ආදී වෙළෙඳබඩුවලින් පිරුණු ඔරුවල නැඟි වෙරලෙහි සිට ආ මිනිස්සු ගණු දෙනුව පටන් ගත්හ. නොබෝ වේලාවකින් නැවියෝ නැවෙන් ඔරුවක් මුහුදට බෑහ. දූතපිරිස ඊපිට නැගි කෙණෙහි ම එය වෙරලට ගමන් ගත. සෙසු මගීහු ද ගොඩ බටහ. රාජදූතයෝ නගරයෙහි ඉඩ පහසු ඇති මැඳුරක් කුලියට ගෙණ නැවතුනහ. ඉකිබිති ඔවුන් විසින් තමන්ගේ පැමිණීමෙහි අභිප්‍රාය නැවුතොට භාර නිලමේට දන්වන ලදි. නිලමේ ද දිවයින මැද පිහිටි අගනුවර වසන රජ්ජුරුවන්ට විදෙශරාජදූතයන්ගේ ආගමනය පැයක් ඇතුළත දී දැනගන්ට සැලැස්වී ය.

විදුලිපනිවුඩ යැවීමේ ක්‍රමයක් නො තුබුනු නමුත් පුරාතනයෝ ද ස්වදේශයේ තොරතුරු හා පණිවුඩත් ඉක්මනින් හුවමාරු කර ගත්හ. එකල්හි හැම උස් ඉඩම්වල ම සංඥාදායක (සංඥාවන් දෙන) ස්ථානයෝ වූහ. එක් එක් තැන එක් එක් කොඩිගසකි. විදෙශයකින් මිතුරුපිරිසක් පැමිණි කෙණෙහි නැව්තොට අසල පිහිටි කොඩිගසෙහි සුදු කොඩියක් ලෙලදෙන්ට පටන් ගණී. ඒ කොඩිය ගස මුදුනට පැමිණෙනු සමග ම නිතර එබන්දක් ගැණ පරීක්‍ෂාවෙන් සිටින ඊලඟ කොඩිගස භාරකාරයා ද එබඳු ම කොඩියක් ඔසොවයි. මේ ක්‍රමයෙන් පනිවුඩය නොබෝවේලාවකින් රාජධානිය කරා පැමිණෙයි. හතුරුසෙනක් ආබව දන්වන්නේ ඒ නියමිත ස්ථානයන්හි ගිනිමැළ දැල්වීමෙනි.

නැව්තොටෙහි පටන් මහත් පෙරහැරකි. ආයුධයන් ගෙන් සැරසුනු සෙබළමුළක් අසුන් පිට නැගී පළමු ව ගමන් ගත්හ. ඉක්බිති කුඩ කොඩි සේසත් අතින් ගත් සුදු ඇඳුමින් සැරසුනු මිනිස්සු ගමන් කළහ. උදාරදර්‍ශනයෙන් යුත් අධිපතිපිරිසක් විනිතහස්තීන් අරා (හික්මුනු ඇතුන් පිට නැගී) උන්හ. තූර්‍ය්‍ය වාදකයෝ ගමනට සුදුසු තාලයන් වයමින් තාලයට අඩිය තැබූහ. ඊලඟට ගායකයෝ රජ්ජුරුවන්ට හා සියදෙසටත් ආගන්තුකපිරිසටත් ආශිර්‍වාද සහිත කොට බඳනා ලද ගී ගයමින් වෘත්තයට හොබනා සේ අත්පා ආදී අඟපසඟින් රැඟුම් දක්වමින් පිළිවෙළට ගමන් කළහ. ඊලඟට චණ්ඩසිංහ රජුගේ අගනා පඬුරු ගත් අත් ඇති උදාරවෙශයෙන් සැරසුනු පිරිස ද, ඒ එක්ක ම සුදුසළු ඇඳගත් සුදු තලප්පාවෙන් හිස වෙළාගත් ශක්තිමත් මිනිසුන් විසින් උසුලාගෙණ යනුලබන රන්සිවිගෙවල්හි නැගි සත්‍වශිලයන් ප්‍රධානකොට ඇති දූතපිරිස ද වූහ. පෙරහැරෙහි පසුකොටස පාබළසෙනගින් අරක් ගන්නා ලද්දේ වි ය.

නිතර මෙ වැනි පෙරහැරවල් දැක පුරුදු වූ මඟ දෙපස පිහිටි ගම්හි වැසියන්ට මෙය එතරම් පුදුමයක් නො වූ නමුත් මහාදෙශයක සිට මහසයුර තරණය කොට කුඩා දිවයිනකට පැමිණි ඒ කුඩා පිරිසට අළුත් කුඩා රටෙහි සමෘධිය දැක්ම පුදුමයට හෙතු වි ය. පෙරහැර ගමන් ගත් මග බොහෝ සෙයින් සෘජු වි ය. තාර දමා කලු ගස්වා නො තුබුනු නමුත් වැසි කාලයේ දී මඬ විය හැකි හැම තැන් ම ගල් අතුරා සම කරණ ලද්දේ ය. දෙපස සිටුවනලද සියඹලා ගස් පෙළින් සෙවන කරණ ලද්දේ ය. පසු කළ යුතු සියලු ගඞ්ගාවන්හි ම මහගල්කණු සිටුවා, ඒ හා ගලින් ම කළ තලාන් (බල්ක) සවි කොට, ඒ මතුවෙහි ගල්ලෑලි අතුරා ශක්තිමත් ලෙස කළ පාලම් වි ය. මඟ දෙපස හිස් ඉඩමක් හෝ වල් වූ ඉඩමක් ඔවුන්ගේ දෙනෙතට හසු නො වී ය. ගව්වෙන් ගව්වෙහි දෙවෙනි මුහුදක් වැනි මහවැවකි. ඒ අතර මහ වැව් හා සම්බන්‍ධ වූ කුඩා වැව් සියගණනකි. මේ වැවුවල දියෙන් වැඩෙන ගොයමින් විසිතුරු කුඹුරු යාය ක්‍ෂිතිජය තෙක් පැතිර ගියේ ය. ගොයම්කුඹුරු අතර නිල්වන් ව පෙණෙන අඹඋයන් ය. නොහොත් පොල් වතු ය. නැතහොත් නොයෙක් පලතුරුවලින් ගැවසුනු ගෙවතු ය. අමාවක්පොහෝදිනක වලාකුළු නැති සිය දහස් ගණන් තරු ඇති පිරිසිදු අහස්තලයක් මෙන් පෙණෙන පිපුපු කපුගෙඩිවලින් යුත් කපුහේන් ආගන්තුකයන්ට ඈත දී මායාවක් වි ය. ඊට ලං ලං වත් ම තව වරක් එසේ නො රැවටෙන්නට ඉටාගත්හ. තණබිමක ලැග සිටින බැටෙළුපැටවුන් මෙන් පෙණන, පැසුණු මෙනේරි කුරක්කන් ආදී තෘණ ධාන්‍ය අතර වැතර තිබෙන, නන්පැහැයෙන් සිත්කලු, ලබු පුසුල් තියඹරා කොමඬු කැකිරි ආදී ගෙඩි ජාති දුටු කලකින් එබඳු දෙයක් නුදුටු, අමුත්තන්ගේ කටෙහි කෙළ ඉනුවේ ය. මග දෙපස සුදුහුණු ගානාලද බිත්තිවලින් හා උළු සෙවිලි කළ වහලින් ද යුත් ගෙවල් සියල්ල ම එක සේ විශාල නුවූ නමුත් පිරිසිදුකමින් එක සමාන වි ය.

සියලු ම ගෙවල් අසල ගෙයි කඩවසමට ගැළපෙන මල් වත්තක් හා පලතුරුවත්තකි. ගමින් ගමෙහි දිග පළල ඇති තණබිමකි. සියදහස්ගණන් ගවයෝ තණ කමින් නිදහසේ එහි ඇවිද්දහ. ඒ අතර ගොපලුලමයි එක් ව පන්දු ගැසූහ. ලී කෙළියහ. තවත් නොයෙක් සෙල්ලම් කළහ.

4

පිටරටින් පැමිණි දූතයෝ මඟ දෙපස විසිතුරු බලමින් ක්‍රමයෙන් බස්නාහිරදෙසට මහපෙරහරින් ගමන් කොට ඒක් පසකින් මහවැවකින් ද ඉතිරි පසින් ගොයම් කෙත්වලින් හා පලතුරුඋයන්වලිනුත් වට වූ පර්‍වතයක් වෙත පැමිණියහ. ඒ පර්‍වතය වනාහී දඹදිව සිට එහි පැමිණී උතුමෙකුගේ නමට ගෞරව කිරීමට ඒ නමින් ම හඳුන්වනු ලැබේ. පාමුල සිට මුදුන තෙක් ම ආනුභාව සම්පන්න පෙණීමෙන් යුත් මන්‍දිරාදියෙන් වැසුනේ ය. අඟල් තුදුසක් (දහහතරක්) පමණ පළලැති දික් කළුගල් ලෑලි වලින් කළ සොපාන පංක්තීන්ගෙන් හා වංගු සහිත කොට තනනලද අඩිපාරවලින් ද ගමන් පහසුව සලසන ලද්දේ ය. අතරින් පතර නිමල්සිහිල්දියෙන් පිරිපුන් පොකුණු ය. නෙළුම්, මානෙල් ආදී මල්ජාතිවලින් පොකුණු දිය ද, දෑසමන් ඉද්ද සේවන්දි (රෝස) ආදී මල්පැලෑටිවලින් පොකුණුඉවුරු ද සැදුම් ලද්දේ ය. හිස මුඩු කොට කසාවන් සිවුරු පෙරෙවි, දමනය කරණලද ඉඳුරන් ඇති මහ තෙරහු තන්හි තන්හි ධර්‍මශාලාවන්හි වැඩ හිඳ මිනිසුන්ගේ සුචරිතවර්‍ධනයට ඉවහල් වන අවවාදානුශාසනා කළහ. ඇතැම්හු ජනසඤ්චාරයෙන් තොර වූ ගල්ගුහාවලට වී අරමිණිය ගොතා වැඩහිඳ, සිරුරු කෙළින් තබාගෙණ එක් ක්‍රමයකට ආශ්‍වාසප්‍රශ්වාස කරමින්, ලෞකිකසුඛ සම්පත්තියෙහි නිසරුබව හා ජීවිතයෙහි අස්ථිරභාවයත් සලකමින්, සිත එකඟ කරගෙණ භාවනා කළහ. ඇතැම් භික්‍ෂූහු ශිෂ්‍යයන්ට භාෂාධර්‍මශාස්ත්‍ර ඉගැන්වූහ.

රජදූතපිරිස පර්‍වතයෙහි, ඇස් ඇදගන්නා ශොභාව බලමින් ඔබ මොබ ගමන් කළහ. මහතෙරුන් වහන්සේ වෙත එළඹ ධර්‍මසාකච්ඡා කළහ. පාඨශාලාවන්ට ගොස් අධ්‍යාපනක්‍රම පරීක්‍ෂා කළහ. ගුරුවරයන්ගෙන් ඒ පිළිබඳ තොරතුරු විචාළහ. එක් තැනෙක මොර, වීර ඇදී ඇටවර්‍ග රාශියක් වි ය. සත්‍වශිල ඒ දැක එහි එළඹ උගන්වමින් සිටි තරුණභික්‍ෂූණ් වහන්සේ හා කථාව පටන් ගත්තේ ය.

"ස්වාමිනි, මේ කුඩා දරුවෝ මොක ද?"

"මහතානෙනි, මේ ලමයි පැවිදි වීමට බලාපොරොත්තු වන්නො"

"මේ හැම දෙන ම?"

"නැහැ. මෙයින් වැඩි දෙනෙක්."

"අනික් අය?"

"ඔවුහු ඉගෙණීමට මෙහි පැමිණ සිටින්නො"

"මොවුන්ගේ වියදම කොහොම ද?"

"ඔවුන්ගේ මවුපියන්ගෙන්; නැත් නම් මහවාසලින්"

"කුමට ද, ස්වාමිනි, අර ඇටගොඩක්?"

"ගණන් උගන්වන්න"

සියරටෙහි දී එබඳු ඉගැන්වීමක් නුදුටු සත්‍වශිලහට භික්‍ෂූන් වහන්සේගේ පිළීතුර සතුටුදායක නො වී ය.

"ඇයි, ස්වාමිනි, ගණන් උගන්වන්ට වැලිපිලෙහි ඉලක්කම් ලිවීමෙන් බැරිදැ?"යි සත්‍වශිල තවදුරටත් ප්‍රශ්ණ කෙළේ ය. තරුණභික්‍ෂූන් වහන්සේ කරුණ පැහැදිලි කෙළේ ය. "මහතානෙනි, අපි ගණන් ඉගැන්වීමට වැලිපිලි පමණක් නො ව තල්කොළය ද පාවිච්චි කරන්නෙමු. එහෙත් ඒවා ගන්නේ ඒ ඒ අවස්ථාවට සුදුසු පරිද්දෙනි. පටන් ගැන්මෙහි දී නුවණ නො මේරූ කුඩා දරුවන්ට ඉලක්කම්වලින් ගණන් ඉගැන්වීම පහසු නො වේ. දෙකත් හතරත් කීය දැ යි කියන්ට නො හැකි දරුවා අඹගෙඩි දෙකකුත් තවත් අඹගෙඩි හතරකුත් එකට එකතු වුනා ම කීය දැයි ඇසුවොත් අඹගෙඩි හයකැයි කියන්ට දනී. එයින් පෙණෙන්නේ කුඩා දරුවන්ගේ සිත සඞ්ඛ්‍යාවන්ට වඩා සඞ්ඛෙය්‍යයන්ට (ගණන්වලින් පෙන්වනු ලබන දේවලට) ඇදෙන බවයි. ඒසේ ම ගුණ ගැණ අවබොධයක් නැති ලදරුවා ගුණවතුන් ගැණ දනී. ආදරය ගැණ හැඟීමක් ලදරුවාට නොමැති යි. එහෙත් පියා නොහොත් මවු තමාට ආදරවන්ත ය යි ඒ ලදරුවා දනියි. මෙසේ බලන කල ලදරුවන්ට ගුණයන්ට වඩා ගුණීන් (ගුණ ඇත්තන්) ගැණ අවබොධ කිරීම පහසු ය. ලදරුවන්ගේ ගතිය මෙබඳු හෙයින් අඩු කිරීම් එකතු කිරීම් ආදී ගණන් ඔවුන්ට උගන්වන්ට අපි මේ ඇට ජාති ගන්නෙමු. අකුරු උගන්වන්ට මත්තෙන් ම මෙසේ ගණන් උගන්වනබව ද කියන්ට සතුටු ඇත්තෙමු. මෙසේ ද්‍රව්‍ය පෙන්වීමෙන් සංඛ්‍යාවන් උගන්වා ඊලඟට අකුරු ලියන්ට කියන්ට උගන්වන්නෙමු. වැලිපිල ව්‍යවහාරයට ගන්නේ එකල්හි ය. තල්කොළය ගන්නේ ත්‍රෛරාශිකාදී ගණන් ඉගැන්වීමට ය."

දූතපිරිස භික්‍ෂූන්වහන්සේගේ විස්තරය අසා සන්තුෂ්ට ව, තවත් නොයෙක් තන්හි ඇවිද, ස්වභාවධර්‍මය හා මනුෂ්‍ය ඥානයෙහි බලයත් එකතු වීමෙන් ඒ කන්දෙහි පහළ ව තුබුනු විසිතුරු බැලූහ. ගෞරවාන්විත නමස්කාරයකින් පසු ඒ පුදුමකන්දෙන් නික්මුනහ. පැය කීපයක ගමනින් පසු මහපවුරකින් ආරක්‍ෂා කරණලද, වලාකුළු පැහැර සිටි මහාමන්‍දිරයන්ගෙන් හා මහාචෛත්‍යයන්ගෙන් ද ඉතා පිරි සුදු සෘජු වීථීන්ගෙන් ද ගහන වූ, නොයෙක් දෙසින් පැමිණි නොයෙක් භාෂා කථා කරණ මිනිසුන් ගැවසුනු, නැගෙනහිර දෙස හා බස්නාහිරදෙසත් එකතු කරණ මධ්‍යස්ථානය වූ, සියලු රටවල ම සාදන ලද බඩුමුට්ටුවලින් පිරුණු මහසල්පිල්වලින් සිත්කලු වූ මහානගරයකට පැමිණියහ. සිරිත් පරිදි රජමැදුරට ගොස් ඇමතිමඬුලු පිරිවරා වැඩ සිටි මහානුභාවසම්පන්න රජතුමන් දුටහ. සියරජතුමන් විසින් එවූ පඬුරු ඔප්පු කළහ. සන්‍දෙශය ද පිළිගැන්වූහ.

මෙසේ ඔහු තුමූ කීපදවසෙකින් ම තමන් ගිය කටයුතු නිමවා දිවයිනෙහි බැලිය යුතු තැන් බලා සිංහලරජහු විසින් දුන් සතුටුපඬුරු ගෙණ සිංහලරජුගේ දූතයන් ද සමග සියදෙසට එනු පිණිස නැව් නැංගහ.

5

වාතය අනුකූල වූ හෙයින් කර්‍ණධාර (කප්පිත්තා) තෙමේ ආ මගින් නො ගොස් ලං වූ මඟකින් නැව යාත්‍රා කරවී ය. සමුදුර මැදට පත් කල්හි ඒ සමුදුරෙන් ඉතා උස් වූ ද, මහත් වූ ද දඹරණින් කළ විසිතුරු පැහැ ඇති සැලෙන කොඩියක් සහිත ධ්වජයක් දුටුවන් විස්ම පත් කෙරෙමින් පහළ වී ය. එකෙණෙහි ම මහවැස්සක් වසින්ටත් තද කුණාටුවක් හමන්ටත් වන්නේ ය. ඒ සමග ම හදිසියෙන් පහළ වූ ඒ ධ්වජය නැවෙහි කුඹගසෙහි පටලැවුනේ ය. එයින් නැව පෙරළෙන්නට මෙන් පටන් ගත. ඒ දුටු බමුණෝ 'තමන් මුහුදුබත් වෙතැ'යි මරබියෙන් බෙරිසන් දෙන්ට වන්හ. වීර වූ සත්‍වශිල තෙමේ කච්චිය තර කොට ඇඳ කඩුව අතින් ගෙණ ධ්වජය දෙසට පැන්නේ ය. ධ්වජය එකෙණෙහි ම නැවෙහි කුඹගසෙන් මිදී මුහුදෙහි ගිලුනේ ය. සත්‍වශිල ද ධ්වජය අනු ව ම ගිලුනේ ය. නැව ද ධවජය හා ගැටීමෙන් වූ වේගයෙන් යම්තම් නො පෙරළී බේරුණේ ය. ධවජය අනුව ගිලුනු සත්‍වශිලතෙමේ මහත් වූ දිව්‍යනගරයකට පැමිණියේ මිණිමුවාටැඹින් බබලන රන්මුවාමැඳුරු ඇති ඒ පුරයෙහි යහපත් රුවනින් බඳිනාලද පැයගැටපෙළ ඇති පොකුණු සියගණනින් මනරම්, නොයෙක් විසිතුරු මල්පලලියතුරුපෙළින් විසිතුරු, අඹ දඹ ඈ පලරස බී මත් වූ ලිහිණිගණා විසින් නිති කුල්නාලද (නිතර හඬ නැඟූ) උයනෙක්හි කරවන ලද නන්මිණියෙන් විසිතුරු රදුබිතු (මහබිත්ති) පෙළින් යුත් උමාදෙව්රැඳුරක් දැක පිවිස උමාදේවිය වැඳ පිදී ය.

සත්‍වශිල දෙවියන් වැඳ පුදා 'මේ සිහිනයක් ද? නැතහොත් ඉන්‍ද්‍රජාලයක් දැ'යි සිතමින් සිටින අතර, ඉඳුවරන් (මහනෙල් මල්) වැනි ඇස් ඇති, සඳ වැනි මුහුණින් මනහර, සුපිපි සුදුකුසුම් බඳු සිනාවෙන් දුටුදුටුවන් සිත් ඇදගන්නා මහරිකුසුම් (මාරා මල්) සේ මොළොක් සිරුරු ඇති දෙවඟනක් තමන් වැනි ලලනාවන් දහසක් විසින් පිරිවරණ ලදු ව එහි පැමිණ දොර හැර දෙව්මැඳුරට ද සත්‍වශිලගේ සිතට ද එකවිට පිවිස දෙවියන් පුදා දෙවොලින් පිට වූ නමුත් සත්‍වශිලගේ සිතින් නම් බැහැර නො ගියා ය. සත්‍වශිල ද ඇය අනු ව ගියේ හැම සැප පුරා ලූ නිධානයක් වැනි අනික් පහයකට වනි. කාන්තාතොමෝ ද පෙරටු ව ගොස් මිණි පලඟෙක්හි හුන්නා ය. සත්‍වශිල ඇය දැක ලං වූයේ සිතියම්රුවක් මෙන් නිසල ව සිටියේ ය.

දිව්‍යකාන්තාවගේ අදහස් දත් එක් මිඩියක් (දාසියක්) එසේ හුන් සත්‍වශිලයා දැක ලං ව "මහතානෙනි, ඔබතුමා මෙහි පත් අමුත්තෙකි. එහෙයින් අපගේ ස්වාමිදුව විසින් කරණු ලබන ආගන්තුකසත්කාර විඳිනු මැනව. මා සමග එනු මැනව. පළමු කොට දිය නා වළඳනු මැනැවැ"යි කියා ඔහු කැඳවා ගෙණ එක් ගෙදිගුවිලක් (ගේ අසල කරණ ලද දික් පොකුණක්) වෙත ගොස් එහි බැස නාන්ට කීවා. සත්‍වශිල ද විමසුම් නැති ව එහි බැස්සේ ය. බට කෙණෙහි ම තාම්‍රලිප්තිනගරයෙහි චණ්ඩසිංහ රජුගේ උයනෙහි වැව මැදින් මතු වි ය! එහි හදිසියෙන් පැමිණි තමා දැක විස්ම පත් වූයේ "මේ කිමෙක් ද? මොහොතකට පළමු ව මා සිටි උයන කොහි ද? ඒ දෙවඟනගේ අමාරස වැනි දැකුම කොහි ද? ක්‍ෂණයකින් ම ඇගෙන් වෙන් වීම නමැති මේ මහාවිෂ කෙසේ වී ද? මෙය ස්වප්නයක් නො වේ. මම අවදි ව ම සිටියෙමි. එකැතින් (ඒකාන්තයෙන්) ඒ මිඩිය විසින් මම රවටන ලද්දෙමි. මූඪ වූයෙමි"යි සිතමින් ඒ දෙවඟන නැති දුකින්, උමතු වූවෙකු මෙන්, වැලපෙමින් එ උයනෙහි ඔබ මොබ ඇවිද්දේ ය.

වියෝදුක් ගිනිදැල් වැනි රන්වන්මල්රේණුයෙන් වැසුනු ගතැති ඔහු දැක උයන්පල්තෙමේ ගොස් රජුහට සැළ කෙළේය. රජ, තෙමේ ම අවුත් විචාරා සියලු තොරතුරු දැන "මෙතෙම මපින්බෙලෙන් අනඞ්ගගයා විසින් විඩම්බනය (විහිළු) කරණ ලද්දේ ය. මොහුට වූ නය ගෙවන්ට සුදුසු අවස්ථාවක් පැමිණියේ ය"යි සතුටු ව "යහළුව, ශොක නො කරව. මම නුඹ ඒ මගින් ම එහි පමුණුවා ඒ අසුරඟන ලබා දෙන්නෙමි"යි කියා ඔහු සැනසී ය.

එක් දිනෙක්හි රජතෙමේ රාජ්‍යය ඇමතියන්ට භාර කොට සත්‍වශිලත් සමග නැවු නැග ඔහු කී මගින් මුහුදෙහි යන්නේ මුහුද මැද පැන නැගි ධ්වජය දැක්කේ ය. සත්‍වශිල ද එය බලා "දෙවයන් වහන්ස, ම විසින් පෙර දක්නා ලද්දේ ද මේ ධ්වජය මැ යි. මා එය අනු ව ගිලුනුකල්හි දෙවයන් වහන්සේ ද ධ්වජය අනුව දියෙහි ගිලිය යුතු"යි කියා මුහුදට පැන්නේ ය. රජ ද ඒ සමග ම මුහුදට පැන්නේ ය.

මුහුදුදියෙහි ගිලුනු ඒ දෙදෙන දිව්‍යමය පුරයට පැමිණියහ. එය දැක විස්මයප්‍රාප්ත රජතෙමේ උමාදෙව්මැඳුරට ගොස් උමාව වැඳ සත්‍වශිල හා එක් පසෙක්හි හිඳ ‌ගත. එකෙණෙහි පෙර සත්‍වශිල විසින් දුටු කාන්තාව පිරිවර සහිත ව දෙව්පුද පිණිස එහි පැමිණියා රජ සහ සත්‍වශිල ද දුටුවා. සත්‍වශිල සතුටින් කුල්මත් වූයේ "දෙවයන් වහන්ස, අර අඟනන් මැද බබලන කාන්තාරත්නය ගැණයි සැළ කෙළේ. මගේ සිත සොරා ගත්තේ ඒ කාන්තාව විසිනුයි. ඇය නැති ව ජීවත් වීමෙහි ඵලය කුමක් දැ?"යි කියමින් ඇය රජුට පෙන්වී ය. රජ ඇය දැක 'මේ කාන්තාව කෙරෙහි ‌මොහුගේ ආලය අයුක්ත නො වේ ය'යි සිතී. ඕතොමෝ ද දිව්‍යලක්‍ෂණ සමන්විත රජහු දැක "මේ උත්තමපුරුෂයා කවරෙක් ද? කවර හෙයින් මෙහි පැමිණියේ දැ"යි සිතූ. රජතෙමේ ද ඇය ගැණ නො සැලකූවෙකු මෙන් ඈ කෙරෙහි අවඥාව (පහත් කොට සැලකීම) පෙන්වමින් සත්‍වශිල සමග උයනට ගියේ ය. ඒ කාන්තාව දෙවොලින් නිකුත් ව එක් යෙහෙළියක අමතා "අප මෙහි එද්දී සිටි මහාත්මයා කොහි ද? නුඹ විසින් එතුමා සොයා අපගේ මැදුරට පැමිණ ආගන්තුක සත්කාර විඳින්නට ආරාධනා කළ යුතුයි. එතුමා පිදිය යුතු ශ්‍රෙෂ්ඨයෙකැ"යි කියා පිටත් කළා ය.

6

ඕතොමෝ ද රජු වෙත ගියා. කාන්තාවගේ පනිවුඩය දැන්වූවා. රජ එය අසා ආරාධනය නො පිළිගත් බව පෙන්වමින් "සොඳුර, වචනයෙන් ම අතිථිසත්කාරය කරණ ලදි. අපට අන් කිසිවක් නුවුව මනා ය"යි කී ය. දූතිය ගොස් ස්වාමිදුවට රජුගේ වචන සැළ කළා. ඕතොමෝ 'අසාමාන්‍ය වූ කිසි යම් උදාර පුරුෂයෙකැ'යි සිතා, මිනිසෙකු විසින් නො ලැබිය හැකි වූ ද සත්කාර විඳීමෙහි ආසා නැති ඒ රජුගේ ධෛර්‍ය්‍යපාශයෙන් ආකර්‍ෂණය කරණු ලබන්නී තොමෝ ම උයනට අවුත්, සියමැඳුරට පැමිණ සංග්‍රහ විඳින ලෙස අවිටිලිබස් කියූ.

රජතෙමේ ඇගේ ඇරයුම නො පිළිගත් ලෙසක් දක්වමින්, "භද්‍රාව, (යහපත් ස්ත්‍රිය) මම තොපගේ අතිථිසත්කාර විඳින්නට මෙහි නො පැමිණියෙමි. මගේ මේ මිත්‍රයා විසින් කියන ලද උමාරුව දැක වඳිනු පිණිස මුහුද මැද ධ්වජමාර්‍ගයෙන් මෙහි පැමිණියෙමි. එහෙයින් නුඹ ද දිටිමි"යි කී ය.

කාන්තාතොමෝ එය අසා "එසේ නම්, මේ තාක් ඔබ නුදුටු ඉතා ආශ්චර්‍ය්‍ය වූ මාගේ පුරය බලන්නට එනු මැන වැ"යි ඇරයූ. රජ ද එය අසා සිනාසී "ඔව්! 'නහන වැව!' තිබෙන ඒ නුවර ගැණ ද මාගේ මේ යහළුවා මට කීයේ ය"යි කී ය. "දෙවයන් වහන්ස, එසේ නො කියනු මැනව. මම විහිළු කරණසුලු අඟනක් නො වෙමි. පිදිය යුත්තන්ට කවරෙක් විඩම්බනා (විහිළු) කෙරේ ද? මම වනාහි වෙසෙසින් ඔබ ගේ අධිකධෛර්‍ය්‍යය විසින් දැස්සක් කරණ ලදිමි. දැන් ඔබගේ මිඩියක වූ මාගේ පැතුම නො බිඳිනු මැනැවැ"යි ඕතොමෝ ඇවිටිලිබස් කීවා.

රජ එබස් අසා සත්‍වශිල හා ඇය ද සමග මැඳුරට ගොස් ශක්‍රපුරයට විඩම්බනා කරමින් මෙන් තුබුනු ඒ මනහර පුරයෙහි සිරි බැලී ය. ඒ අඞ්ගනා තොමෝ එහි දී රජතුමා රුවන් පලඟෙක්හි වඩා හිඳුවා දෙවොචිත (දෙවියන්ට සුදුසු) සත්කාරයෙන් රජහු පිණවා "මහපිණැත්ත, මම වනාහි කාලනෙමි නම් අසුර රජුගේ දුවකිමි. මගේ පියතෙමේ විෂ්ණුහු විසින් සුරලොවට ගන්නා ලදි. (යුද්ධයෙන් මිය යන අය සුරලොව උපදින බවට ඇති විශ්වාසය ගැන මෙතැන සඳහන් වේ. එහි තේරුම, කාලනෙමි අසුරයා විෂ්ණූ විසින් යුද්ධයක දී මරන ලද බව ය.) ම‌ගේ පියාට අයත් මේ දෙනුවර විස්සම්හු විසින් නිමවන ලදි. හැම සැපත් ඇති මෙහි ජරාවෙහි නමකුදු නැත. මරණය දුලබ ය. දැන් ඔබතුමා මාගේ පියා සේ සලකමි. එහෙයින් මෙහි යෙහෙන් වැස සැප විඳිනු මැනව. මා ද ආරක්‍ෂා කර ගණු මැනවැ"යි කියූ.


"මම ද නුඹ දුවක ලෙස පිළිගණිමි. පියාගේ අවවාදයෙහි සිටීම දරුවන්ගේ යුතුකමකි. එහෙයින් දැන් මා කියන්නක් කළ යුතු ය. මේ සත්‍වශිල මගේ සුහෘදයෙකි. (යහළුවෙකි) නෑයෙකි. අසාමාන්‍යවීරයෙකි. ඔහුට මගේ දුව වූ නුඹ භාර්‍ය්‍යාව කොට දෙමි. ඔහු සමග යෙහෙන් මෙහි වැස සැප විඳුව"යි කියා රජතෙමේ අසුරාඞ්ගනාව සත්‍වශිලහට පාවා දුන්නේ ය. කාන්තාතොමෝ ද සත්‍වශිල උමාදෙවියගේ ප්‍රසාදයෙන් ලද වල්ලභයා යි සිතා ආදරගෞරවයෙන් පිළිගත්තා ය.

රජ සත්‍වශිල අමතා "යහළුව, මවිසින් වැළඳූ නුඹගේ ඇඹුලුගෙඩි දෙකින් එකක නය දැන් ගෙවන ලදි. අනික් ගෙඩිය පිළිබඳ නය තව මත් නො ගෙවන ලදි. සුදුසු අවස්ථාවෙක්හි එය ද ගෙවන්නට උත්සාහ කරන්නෙමි"යි කියා අවිලම්බ ව (පරක්කු නො වී) සිය දෙස යායුතු බව ද දැන්වී ය. අසුර කාන්තාව මාහැඟි පුද පඬුරු රජුහට පිළීගැන්වූ. රජතෙමේ ඔවුන් දැක්වූ මගින් මිනිස්ලොවට පැමිණ බොහෝ කලක් යෙහෙන් රාජ්‍යය කෙළේ ය.

වෙතාලයා මේ කථාව කියා, "රජතුමනි, ඔවුන් දෙදෙනා අතුරෙන් කවරෙක් සමුද්‍රපතනයෙහි (මුහුදට පැනීමෙහි) දී අධිකවීර්‍ය්‍ය ඇත්තේ වී ද? නො වළහා කියව. නැත් නම් පෙර කළ ශාපය ම වන්නේ ය"යි කී ය.

Saturday, December 16, 2023

 වෙතාල කථා - 6 තරඞ්ගය

5. තරඞ්ගය

"දෙවජාති ඇත්ත, ඒ සියල්ලන් අතුරෙන් ශුද්‍රකරජ තෙමේ ම ශ්‍රෙෂ්‍ඨවීරයා ය"යි රජ පිළිවදන් දින.

"නරපතිය, ලෝකයෙහි අන් කිසිවකු විසිනුදු නො කට හැකි දුෂ්කරක්‍රියාවක් කළ ඒ වීරවරයා කෙසේ නම් වීරශ්‍රෙෂ්ඨ නො වන්නේ ද? සියදූපුතුන් බිලි දෙනු ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැක ද ධෛර්‍ය්‍යයෙන් නො ගිලිහුනු ඒ ධර්‍මවතිය කවර හෙයින් වීරශ්‍රෙෂ්ඨ නො වන්නී ද? බාලවියෙහි සිටිය ද එබඳු අධිකධෛර්‍ය්‍ය ඇති ඒ සත්‍යවරයා කවර හෙයින් වීරශ්‍රෙෂ්ඨ නො වන්නේ ද? එසේ තිබිය දී ඒ එක ම ශුද්‍රකරජ ප්‍රවර ය යි කවර හෙයින් කියයි දැ?"යි වේතාලයා නැවත ද ප්‍රශ්න කෙළේ ය.

"යක්‍ෂෙශවරය, වීරවර, ධර්‍මවතී, සත්‍යවර යන තිදෙනා වීරශ්‍රෙෂ්ඨ නො වෙතැයි මම නො කියමි. ඔහු ද වීරශ්‍රෙෂ්ඨයෝ ය. එහෙත් ශුද්‍රකරජ ඒ තිදෙනාට ම වඩා වීරශ්‍රෙෂ්ඨයා යයි කියමි. කවර හෙයින් ද යත්:- කුලපුත්‍ර වූ ඒ වීරවරයා ශුද්‍රකරජ වැනි නො වේ. ඔහුට අයත් හැම දෙය ම වියදම් කොට හිමියා රැක ගැන්ම ඔහුගේ යුතුකමකි. ඔහුගේ භාර්‍ය්‍යාව වූ ධර්‍මවතී ද හිමියා ගත් මග ගත්තී ධර්‍මය ම රැක්කා ය. ඒ දෙදෙනාගෙන් උපන් සත්‍යවර තෙමේ ද එබඳු ම ය. හූ (නූල්) යම්බඳු ද, එයින් වියූ පිළිය ද එබඳු ය. රජුවිසින් යම්බඳු මෙහෙකරුවන්ගේ දිවි පුදා සිය දිවි රකිනු ලැබේ ද, එබඳු මෙහෙකරුවන් උදෙසා දිවි පිදූ ශුද්‍රක රජ කෙසේ නම් ඒ මෙහෙකරු වූ වීරවරයන්ට වඩා ශ්‍රෙෂ්ඨවීරයෙක් නො වන්නේ ද?"

රජුගේ බස් අසා වේතාලතෙම පෙර මෙන් ම අතුරුදන් වී ය.

6. තරඞ්ගය

1

රජ තෙමේ ශිංශපා (ඇට්ටේරිය) වෘක්‍ෂමූලයට ගොස් පෙර සේ එල්බෙමින් තිබුණු මළසිරුර බා ගෙණ එන්නට වන. වේතාල තෙමේ ද අනික් කථාවක් ආරම්භ කෙළේ ය.

සොමප්‍රභාකථාව

උදේනි නුවර පුණ්‍යසේන නම් රජුගේ හරිස්වාමි නම් ඇමැතියෙක් වී ය. ඔහුට දෙවස්වාමි නම් පුතෙක් ද සොමප්‍රභා නම් දුවක් දැ යි දරු දෙදෙනෙක් වූහ. වැඩිවිය පත් දූ තොමෝ රූපශ්‍රීයෙන් ද අගතැන් පැමිණියා ය. ස්ත්‍රීන් විසින් දතයුතු සියලු ශිල්ප ශාස්ත්‍ර උගත්තා ය. සියලු ස්ත්‍රී ගුණයන්ගෙන් යුක්ත වූවා. නොයෙක්දෙසින් බොහෝ දෙන ඇය සරණ අසා මඟුල්කපුවන් එවූහ. ඕතොමෝ ඒ සියල්ල ප්‍රතික්‍ෂෙප කොට ස්වකීය නිශ්චය මවට දැන්වූ: "මෑනියෙනි, මම ශූරයෙකු හෝ ඥානියෙකු (ජ්‍යොතිශ්ශාසත්‍රඥයෙකු) නැතහොත් විඥානියෙකු (වඩුවැඩ ආදී ශිල්පයන්හි දක්‍ෂයෙකු) කැමැති වෙමි. එබන්දෙකුට මා විවාහ කොට දිය යුතුය. නො එසේ වූවෙකුට දුන හොත් මම මැරෙන්නෙමි"යි කීවා ය. මවුතොමෝ දුවගේ අභිප්‍රාය සියහිමියාට හා පුතුට ද දැන්වූවා.

එක්දිනෙක්හි හරිස්වාමීහු වෙත තරුණ බමුණෙක් එළඹ මෙසේ කී ය:- "මම ඔබ දුවගේ රූපසෞන්‍දර්‍ය්‍යය අසා ඇය ලබාගණු පිණිස පැමිණියෙමි. මම ඔබගේ කුලයට සුදුසු උතුම් බමුණුකුලයෙක්හි උපන්මි. ධනවත්මි. මට නැත්තේ ගුණවත් බිරින්දක පමණයි,"

"පින්වත් තරුණය, මාගේ දුව ඥානි. විඥානි, ශූරයන් මිස අන් කෙනෙකුන් නො පතයි. ඔවුන් අතුරෙන් පින්වතා කවරෙක් දැ?"යි හරිස්වාමි විචාළේ ය.

"මම විඥානියෙක්මි. මා සමාන විඥානියෙක් අන් තැනෙක නැත්තේ ය"යි තරුණයාගේ පිළිතුර වී ය.

"එසේ නම්, භවත්හුගේ විඥානය දක්වනු මැනවැ"යි හරිස්වාමි නියම කෙළේ ය.

තරුණතෙමේ කීප දිනකින් ගගනයාත්‍රාවක් සාදා හරිස්වාමි එහි නංවා ගෙණ අහසට නැංගේ ලෝකයෙහි නොයෙක් තැන ගොස් රමණීයස්ථාන පෙන්වී ය. එයින් තුටු වූ හරිස්වාමිතෙමේ ඔහුට එයින් සත්වැනි දිනයෙහි සියදුව දෙන්නට ගිවිස්සේ ය.

මේ ගිවිසුම කළ දිනයෙහි ම, එය දැනගන්නට මත්තෙන් එක් තරුණයෙක් තරුණියගේ සොහොයුරා වෙත ද, තව එකෙක් මව වෙත ද අවුත් තරුණිය ප්‍රාර්‍ත්‍ථනා කළහ. හරිස්වාමි මෙන් ම ඔහුගේ පුතා ද තමන් වෙත ආ තරුණයාගෙන් හෙතෙම ශූරාදීන් අතුරෙන් කවරෙක්දැ'යි විචාළේ ය. හෙතෙම "මම ශූරයෙක්මි"යි පිළිණ (ප්‍රතිඥා , පිළිගැණීම) කොට අන්කෙනෙකුන් විසින් නො දත් බොහෝ අවිසරඹ දක්වා දෙවස්වාමි සතුටු කෙළේ ය. දෙවස්වාමි ද එයින් සත්වැනි දිනයෙහි සිය සොහොයුරිය ඔහුට දෙන්නට ප්‍රතිඥා කෙළේ ය.

මව වෙත පැමිණි තරුණ තෙමේ ද, 'ශූරාදීන් අතුරෙන් කවරෙක් දැ'යි විචාරණලද්දේ 'ඥානියෙක්මි'යි කී ය. නැණැති ඒ මවු තොමෝ ද ඔහු අතින් අතීතානාගතකාලයන් පිළිබඳ බොහෝ කරුණු ගැණ ප්‍රශ්න විචාළා ය. සුදුසු පිළිතුරු ද ලැබුවා ය. ඕතොමෝ ඒ තරුණයා ශ්‍රෙෂ්ඨ වූ ඥානියෙකැ යි නිශ්චය කළා ය. එයින් සත්වැනි දිනයෙහි සිය හිමියා හා පුතාත් ගෙට ආ කල්හි සියදුව ඔහුට දෙන්නට ගිවිස්සා ය.

සත්වැනි දිනයෙහි සියල්ලෝ හරිස්වාමිහුගේ ගෙට රැස් වූහ. මවුපියපුත්හු තමන් විසින් වෙන වෙන ම කළ ගිවිසුම් ඔවුනොවුන්ට කීහ. එක ම තරුණිය සඳහා තුන්දෙනා වරයන් තිදෙනෙකුන් කැඳවීමෙන් හරිස්වාමි තෙමේ බෙහෙවින් ව්‍යාකූල වූයේ ය. 'කුමක් කට යුතු දැ?'යි නිශ්චය කළ නො හැකි වී ය.

2

අහෝ, පුදුමයකි! එකල්හි ම ඒ සොමප්‍රභාතොමෝ පෙණෙන්ට නො සිටියා ය. සියල්ලෝ ව්‍යාකූල වූහ. එහෙත් ඥානිතෙමේ ශ්‍රාස්ත්‍ර බලන්ට පටන් ගත. කාන්තාව රකුසෙකු විසින් පැහැර ගෙණ ගොස් වින්‍ධ්‍යවනයෙහි සඟවන ලද බව ඔහුගේ ශාස්ත්‍රයෙන් දත හැකි වි ය. එ තෙමේ ඒ බව අන්‍යයන්ට ද කී ය. විඥානිතෙමේ එකෙණෙහි ම ගගනයාත්‍රාවක් සාදා ඥානියා හා ශූරයාත් කැටි ව වින්‍ධ්‍යවනයෙහි කාන්තාව සඟවනලද තැනට ගියේ ය.


ගල්ලෙන දොරකඩ රකුසා එක් අතකින් මහයගදාවක් ගෙණ අනෙක් අතින් දැළිරැවුලු ඇද ඇද සියලු ම සිරුරින් විසුළු දක්වමින් රැකවල් ගෙණ සිටියේ ය. අඳුන්කුළක් වැනි උස්ගතින් හා මල බැඳුනු යකඩකෙඳි වැනි කෙසින් වැසුනු හිසින් ද, දැලි බැඳුනු මහකොරහක් පමණැති රුදුරු මුහුණ මතුයෙහි පිහිටි කප්කෙළ රිවිමඬුලු (කල්පාන්තයෙහි සූර්‍ය්‍ය මණ්ඩල) දෙකක් වැනි රතැස්යුවලින් හා දික් වුව ද මිටි වූ, මැදින් බුන් නඟුලිසක් වැනි, නැහැයෙන් ද, පුරදියවක් හි ලසඳයුවලක් (පුරපක්‍ෂයෙහි (මාසේපෝය ගිය) දෙවෙනි දින අළුත් සඳවල් දෙකක්) වැනි නැමි දළයුවලින් ද, ඌරුකරක් වැනි කරින් හා සිරුරුබර දැරිය නො හැකිව මෙන් පෙරට නැමීගිය දන යුවලින් ද බිහිසුණු රකුසා ඔවුන් දැක කිපී ඔවුන් හා සටනට පැමිණියේ ය. ශූරතෙමේ දිවි නො තකා ඔහු හා යුදට වැද ඔහු මරා තරුණිය නිදහස් කර ගෙණ ඇයත් සමග ගගන යාත්‍රාවෙන් ම තරුණියගේ ගෘහයට පැමිණියේ ය. එහි දී ඒ තිදෙනා අතර තරුණිය උදෙසා වාක්සංග්‍රාමයක් වී ය.

"මම මගේ ශාස්ත්‍රබලයෙන් මැය සිටිතැන දැන නො කීයෙම් නම්, කිසිවෙක් මෑ ලබා ගැණීමෙහි සමත්‍ථර්‍ නො වේ. එහෙයින් මට ම මේ කාන්තාව අයිතිය"යි ඥානිතෙමේ කී ය.

විඥානිතෙමේ "මම ගගනයාත්‍රාව නො නිමවූයෙම් නම්, තෙපි ඒ දුර්‍ගස්ථානයට එතරම් ශීඝ්‍ර ව කෙසේ යන්නහු ද? අහසෙහි සිට යුද කළ ඒ රකුසා සමග ශූරතෙමේ කෙසේ නම් යුද කරන්නේ ද? මගේ යාත්‍රාව නිසා ම ඒ සියල්ල පහසු වී ය. එහෙයින් කාන්තාවගේ ස්වාමිභාවයට මම ම සුදුසුසෙමි"යි කී ය.

"මම ඒ රකුසා යුද කොට නො මැරීම් නම්, තෙපි දෙදෙන කොතරම් යත්න කළත් මේ කාන්තාව නො ලබන්නහු ය. මාගේ බාහුබලය නිසා ම කාන්තාව ලදිමු. එහෙයින් කාන්තාව මට ම දිය යුතු ය"යි ශූරතෙමේ කී ය.

"රජතුමනි, ඒ තිදෙනාගෙන් කවරෙකුට ඒ කාන්තාව දිය යුතු ද? පෙර මවිසින් කළ ශාපය ද සිහි කරව"යි වේතාලතෙමේ තූෂ්ණීම්භූත ව ගමන් කළ රජුහට කී ය.

Saturday, December 2, 2023

වෙතාල කථා - 5 වන තරඞ්ගය

4 වන තරඞ්ගය   

"වේතාලය, එක් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක ක්‍රෑර වූ පමණින් හැම පුරුෂයෝ හෝ හැම ස්ත්‍රීහු ක්‍රෑර ය යි ද, පවිටු ය යි ද කියතොත් සාධාරණ නො වේ. යහපත් ගුණවත් ස්ත්‍රීහුත් පුරුෂයෝත් සිටිති. එහෙයින් පුරුෂයාට වඩා ස්ත්‍රිය හෝ ස්ත්‍රියට වඩා පුරුෂයා හෝ පාපිෂ්ඨ ය යි මම නො කියමි. එහෙත්, යක්‍ෂෙශ්වරය, ස්ත්‍රීන්ගේ සිත දුර්‍වලය. දු සිතෙහි ලොභද්වෙෂාදීක්ලෙශයෝ (ලොභය ක්‍රොධය යනාදී සිත කිලුටු කරණ දේ) වඩා බල පවත්වති. ඒ අතින් සලකා බලන විට පුරුෂයන්ට වඩා ස්ත්‍රීන් පාපිෂ්ඨ වීමට ඉඩ තිබෙන බව වැටහේ. යහපත් අය ඇසුරු කිරීමෙන් ස්ත්‍රීචිත්තයෙහි ඇති දුර්‍වලභාවය නැති කරගත හැක්කැ"යි රජතෙමේ වේතාලයාගේ ප්‍රශ්නය විසඳී. වේතාලයා සහිත මෘතකලෙවරය එකෙණෙහි ම අන්තර්‍ධාන වී ය. රජ නැවත ද එය ගෙණ එනු පිණිස පෙර මෙන් ම රුක්මුලට ගියේ ය.

5. තරඞ්ගය

1

රජතෙමේ මෘතකලෙවරය කරට ගති. එකෙණෙහි එය කොක්හඬ ලා සිනාසී බිම වැටින. රජ නැවත ද ධෛර්‍ය්‍ය කර එය කරට ගෙණ වහවහා එන්ට වන. "රජ්ජුරුවෙනි"යි වේතාලයා කථාව ඇරඹී. "මෙහි අදහස කුමක් ද? දුරාචාර (නරක පැවතුම් ඇති) වූ ඒ තවුසා පිණිස කවර හෙයින් මෙතරම් වෙහෙසෙන්නෙහි ද? නිෂ්ඵල වූ මේ ප්‍රයත්නයෙහි නුඹගේ විවේකයෙක් නො පෙණේ. හොඳයි, එසේ වේවා. නුඹේ වෙහෙස දුරු වන්නට තවත් කථාවක් කියමි."

වීරවරකථාව

රජතුමනි, ශොභාවතී නම් නගරයෙක් ඇත. ඒහි බොහෝ පැරකුම් ඇති මහතෙද ඇති ශුද්‍රක නම්ක රජෙක් වි ය. දිනනසුලු ඒ රජුගේ තෙදගින්න එතුමා විසින් බලාත්කාරයෙන් අල්ලා ගෙණෙන ලද සතුරු රජුන්ගේ බිසොවුන් විසින් සැලූසෙමෙරපවනින් (චාමරයෙන් නගනලද වාතයෙන්) නිරතුරු වැඩුනේ ය. ඔහු කරණ කොට ගෙණ ලොප් නො කළ දම්සැරුම් ඇති (නො නැසූ ධර්‍මයෙහි හැසුරුණු) සැපතින් පිරුණු මිහිකත රාමාදී රජදරුවන් මතක නැති කළා ය.

කිසියම් දිනෙක්හි ශූරයන්ට ප්‍රිය වූ ඒ රජුට සේවාකම් කරණු පිණිස වීරවර නම් වීරයෙක් පැමිණියේ ය. හෙතෙමෙ හතරරියන්හමාරක් පමණ උස් ය. උසට හොබනා සේ මහත් ය. එකල සිරිත් පරිදි කොට කර කපන ලදු ව කර දක්වා එල්ලෙමින් තිබුණු කෙස්වල්ල ඔහු සෙබළෙකු බව ප්‍රකාශ කෙළේ ය. ඔහුගේ නළල පටු ය. එහෙත් වටකුරු තියුණු දෙනෙත් තියුණුනුවණ ඇතිබවට ලකුණක් වි ය. නැහැය උස් ය. දික් ය. උඩුරැවුලින් වැසුනු දෙතොල් රත්පැහැයෙන් මනහර ය. සිහින් ය.කොඬොල්අබරණ (කණෙහි පලඳින ආභරණයක්) නො පැලඳි නමුත් එල්බෙන පෙති ඇති දෙකන් මිනිසුන් සිතූ පරිදි වීරත්වය පෙන්වන කැඩපත් වැනිය. ලම්බකර්‍ණ වූ ඔහුගේ බෙල්ල දික් ය. මහත් ය. මුහුණ සිරිමත් ය පිටතට නෙරාගිය මස්පිඬුවලින් ගැවසුනු බායුවල හා පළල් වූ පපුව ද මහත්වූ කායශක්තිය පෙන්වන කොඩි වැනි වී ය. රතුපැහැති ශුභරෙඛාවලින් ගැවසුනු දෙඅතුල් ඔහුගේ භාග්‍යවද්භාවය පෙන්වන අතර, අතුරු සිදුරු ඇති ඇඟිලි ඔහුගේ අත ත්‍යාගයෙන් පිවිතුරු වූබව ප්‍රකාශ කෙළේ ය. සෙබළකමට මිතුරෙකු බව පෙන්වන ලකුණුවලින් සැරසුනු ඔහුගේ සිහින්ඉඟෙහි බැඳි පළල්පටියෙහි එක් පසකින් සිරිය ද අනික්පසෙහි ඊතල පිරුණු හියොවුර ද වී ය. දික් වූ දුන්න වම්උරයෙහි එල්බුනේ ය. දකුණතෙහි කඩුව හා වමතෙහි පලිහ ද වි ය. ධර්‍මවතී නම් භාර්‍ය්‍යාව ද, සත්‍යවර නම් පුතා ද, වීරවතී නම් දුව ද, තවත් මෙහෙකරුවෝ කීපදෙනෙක් ද ඔහුගේ පිරිවර වූහ.

හෙතෙම රජුගෙන් වැටුප් වසයෙන් දින පතා මසුරන් පන්සියය බැගින් ඉල්ලී ය. රජතුමා ඔහු දැක්මෙන් ම 'මහා වීරවරයෙකැ'යි සලකා ඔහු ඉල්ලූ වැටුප් දෙන්නට භාණ්ඩාගාරිකයාට නියම කෙළේ ය. 'දින පතා එතරම් මහත් මුදලකින් හෙතෙම කුමක් කරාදැ'යි සොයනු පිණිස චරපුරුෂයන් ද යෙදී ය.

වීරවරතෙමේ උදෑසන්හි රජු බැහැ දැක මධ්‍යාහ්නයෙහි ප්‍රධානද්වාරයෙහි රැකවල් ගෙණ සිටී. තමාගේ වැටුප් වසයෙන් ලැබෙන මසුරන්වලින් සියයක් ගෙයි වියදම් සඳහා භාර්‍ය්‍යාවට දෙයි. අනික් සියයකින් වස්ත්‍රාභරණාදිය හා සුවඳ බුලත් ද ගණියි. තුන්වැනි සියය ආගමිකකර්‍තව්‍යය සඳහා යෙදී ය. අනික් දෙසියය මහණබමුණන්ට දන් දෙන්ටත් අනාථයන්ට පිළිසරණ වන්ටත් වියදම් කෙළේ ය. රාත්‍රී කාලයෙහි හුදෙකළාව ප්‍රධානද්වාරයෙහි රැකවල් කෙරෙමින් සිටියේ ය. දිනපතා ඔහුගේ චාරිත්‍රපරිපාටිය මෙබඳු වී ය. රජතෙමේ මෙය අසා ඔහු කෙරෙහි ඉතා Praසන්ன වි ය. 

ගිමින් පෙළෙමින් තිබූ ලොකය සනසමින් වර්‍ෂාකාලය සම්ප්‍රාප්ත විය. උතුරෙහි සිට දකුණට විහිද ගිය විසිතුරු පැහැති දෙව්දුනු සියගණනින් හා දියෙන් බර නිල්වන් වලාකුළින් ද අහස සැරසින. මොනරු පිල් විදහා ගෙණ නටන්ට පටන් ගත්හ. කොළොම්මුහුනමල් ආදි වෘක්‍ෂයෝ නිල්වන් පතින් හා නන්වන් මලින් ද සැරසුනහ. ගම්බද බාලයෝ කෙසෙල්කඳන් එකට බැඳ පසුරු තනන්ට පටන් ගත්හ. ගඞ්ගා නමැති අඞ්ගනාවෝ තඹවන් අළුත් වතුර නමැති රෙදිපිළියෙන් සැරසී මුහුද නැමැති හිමියා වෙත වහවහා ගමන් කළහ. පෙර පක්‍ෂීන්ගේ බිජුවටෙහි රස නො දත් මත්ස්‍යයෝ ගඟ අසල පඳුරු අග බැඳි කුරුලුකදල්ලට පැමිණ දුලබබොජුන් කුහුලින් අනුභව කළහ. වුව මනා තරම් අහර නො ලැබ කෙට්ටු වූ පෙටියෝ ගම්වැසියන්ගේ පැසුනු ගොයම්කුඹුරුවල වී කා තර වූහ.

එක් දිනෙක්හි මහරැයෙහි සිවුදිගින් මේඝකූට නඟා මහත්සේ වසින්නට වි ය. සියලු අහස කළුවැසිවලාවලින් පිරී ගියේ ය. පිට පිට ගසන දහස්සුවහස් විදුලියෙන් ලෝකයාගේ ඇස් අඳුරු වී ගියේ ය. ගැඹුරුසෙනහඬින් කන් බිහිරි වී ය. පොළොව අහසට ඇදගණු සඳහා දෙවියන් විසින් හෙලනු ලබන දළරැහැන් වැනි ජලධාරාවෝ පොළොව සිදුරු කරන්නට වන්හ. රාජමාර්‍ගයෝ (මහපාරවල්) මිනිසුන්ගෙන් තොර වූහ. කල්පාන්තයෙහි හටගන්නා මහවැස්ස මෙන් ලොව බියමුහුදෙහි ගලමින් ඒ මහවැස්ස වස්නා කල්හි වීරවරතෙමේ රජමැඳුරෙහි ප්‍රධානදොරටුව රැක්කේ ය. ශුද්‍රකරජ එ සේ බිහිසුණුඅඳුරෙහි පොද නො කැඩෙන වැස්සෙහි ඒ වීරවරයාගේ අදහස් දැනගණු කැමැත්තෙන් ද්වාරය වෙත එළඹ "මෙහි කවරෙක් රැකවල් ගෙණ සිටී දැ"යි උස් හඬින් ඇසී ය. "දෙවයන් වහන්ස, මම; වීරවරයා"යි පිළිතුරු ලැබින. රජ ඔහු කෙරෙහි Praසන්ன වූයේ 'මෙතෙම උතුමෙකි. මා කෙරෙහි භක්තිමත් ය. මොහු උසස් පදවියකට අවශ්‍යයෙන් ම පත් කළ යුතු ය'යි සිතී ය.

2

අන් දිනක්හි ද එබඳු මහවැස්සෙහි රජතුමා එහි ගොස් විචාරා පෙර මෙන් ම පිළිතුරු ලැබ පෙර සේ ම සිතී ය. එකෙණෙහි ම ඉතා බැගෑපත් ලෙස වැලපෙන ස්ත්‍රියකගේ හඬක් ඇසින. රජතෙමේ "මේ හඬන ස්ත්‍රී කවරෙක් ද? කවර හෙයින් ද? මගේ රටෙහි අපරාධ නැත. දිළින්දෝ හෝ දුඃඛිතයෝ නැත. එහෙයින් ‌මෝතොමෝ කවරක් දැ?"යි සිතා එය සොයනු පිණිස වීරවරයාට විධාන කෙළේ ය. "එම්බල, වීරවරය, ඈත කිසියම් ස්ත්‍රියක් වැලපෙයි. ඕතොමෝ කවරක් ද? කවර හෙයින් අඬයි ද? වහා එහි යව. පරීක්‍ෂා කරව."

අණ ලත් කෙණෙහි ම වීරවරතෙමේ අවි පමණක් සහාය කොට ගෙණ (තමන් සමග යන්නන් කර ගෙණ) මහඅඳුරෙහි මහවැස්සෙහි අඬන තැන වෙත යන්ට පිටත් වී ය. අහසින් වැටෙන මහදිය දහර හෝ හිමකැට ගැණ නො සැලකී ය. ක්‍ෂණක්‍ෂණයෙහි බබලන විදුලිය සහිත අභිනව මෙඝාන්‍ධකාරය ගණන් නො ගත. එබඳු බිහිසුණුරැයෙහි තනි ව ම පිටත් වූ ඔහු කෙරෙහි කරුණාවෙන් රජතෙමේ ද අවි ගෙණ පහයෙන් බැස වීරවරයාට නො පෙණී ඔහු අනු ව ගියේ ය. වීරවරයා වැලපුම්හඩ අනු ව ගොස් නුවරින් පිටත විලක් වෙත පැමිණියේ ය. එහි දී වීරවරතෙමේ "අහෝ, ශූරයානෙනි! අහෝ, කරුණාවන්තයානෙනි! අහෝ, දානපතියානෙනි! නුඹ නැති ව මම කෙසේ වසම් ද? ඔබගෙන් පසු කාගේ මුහුණක් බලා සැනසෙම් ද? අහෝ! ඔබ මෙන් කවර කුමරෙක් කවර රජෙක් මා රකී ද? දැහැමි හිමියෙකුගෙන් තොර ව විසුමට වඩා නිරයෙහි විසුම මැනව. අය්යෝ! මගේ දැහැමි හිමියා රැක දෙන්ට පොහොසත් වීරයෙක් නැද් ද? ඉතින්, ඔබ නැති ලොව අඳුරු ය. ඔබ නැති රට යමපුරයට ද වඩා බියකරු ය. අහෝ!" යනාදී බැගෑබස් කියමින් වැව්දියමැද සිටගෙණ වැලපෙන මනහරරූසිරින් දෙවඟනක වැනි අඟනක දැක විස්මයප්‍රාප්ත ව "තී කවරහි? හිමියා කවරේ ද? ඔහුට කුමක් වී ද? කවර හෙයින් අඬහි දැ?"යි විචාළේ.

"මම මිහිකත ය. මේ ධාර්මික ශුද්‍රකරජතෙමේ මාගේ හිමියා ය. මෙයින් තුන්වැනි දිනෙහි ඔහුගේ මරණය වන්නේ ය. එබඳු හිමියෙකු කෙසේ ලබම් දැ?යි සොවින් හඬමි"යි ඕතොමෝ කීවා.

වීරවරතෙමේ එය අසා කම්පිත වි ය. සියහිමිරජතුමා උදෙසා, අවශ්‍ය නම්, සිය දිවි දෙන්නට ද ඉටා ගත්තේය. "දේවිය, යම්බඳු පිළියමකින් ඒ ලෝහිමියාගේ ආරක්‍ෂාව වේ නම්, එබඳු පිළියමක් ඇද්දැ?"යි ඇසී ය.

"දරුව, නුඹ හැර අන් කවරෙක් මීට සමත්‍ථර්‍ ද? හිමියා කෙරෙහි ඇලුම් ඇත්තේ ද? එතුමාගේ මරණය වැළැක්වීමට උපායක් ඇත. අසව. ඒ රජ්ජුරුවන්ගේ මාලිගාව අසල එතුමන් විසින් කරවන ලද කාලි කෝවිලක් ඇත. ඒ කෝවිලට අරක් ගත් දෙවියන්ට නුඹේ පුතා බිලි දුන හොත්, රජතුමාට විපතක් නො වන්නේ ය. තවත් අවුරුදු බොහෝ ගනනක් ජීවත් වන්නේ ය. අද ම තොප විසින් එය කළොත් මිස, අනික් දිනෙක්හි කිරීමෙන් වැඩෙක් නැතැ"යි මිහිකත කීවා.



වීරවරතෙමේ "මම එය දැන් ම කරන්නෙමි"යි කියා ගෙට යන්ට නික්මින. "තොපට යහපතක් ම වේවා!"යි කියා මිහිකත ද නො ‌පෙණී ගියා. රජතෙමේ සියල්ල අසා ගති. ඉක්බිති ඒ මහඅඳුරෙහි වීරවරතෙමේ වහා සියගෙට ගොස් භාර්‍ය්‍යාව පුබුදුවා මිහිකත කී සියල්ල ඈට දැන්වී ය. ඕතොමෝ ද එය'සා විස්මයාකූල ව "අපේ රජතුමන්ට මෙයින් යහපතක් වේ නම්, ඔබ ම පුතා පුබුදුවා මේ බව කියනු මැනවැ"යි කීවා. වීරවරතෙමේ පුතු පුබුදුවා වෘත්තාන්තය කී ය. "පුත්‍රය, නුඹ කාලිදේවියට බිලි කොට දුන්නොත් අපේ රජතෙමේ ජීවත් වන්නේ ලු. නැත් නම් මෙයින් තුන්වැනිදිනයෙහි මැරෙන්නේ ලු. එහෙයින් ලොවට උපකාරී වූ එතුමාගේ ජීවිතය ආරක්‍ෂා කරන්ට නුඹේ ජීවිතය කාලිදෙවියට පුදව!"

ලදරුතෙමේ ද එය අසා වීරත්‍වය දක්වමින් "පියානන් වහන්ස, ඉදින් අපේ දෙවයන් වහන්නේ මගේ දිවි පිදීමෙන් බොහෝ කල් ජීවත් වන සේක් නම්, මම පින්වත් වෙමි.අප කෑ එතුමාගේ වැටුපට සුදුසු වැඩ ද කළා වන්නේ ය. කවරහෙයින් පමා කරණ සේක් ද? වහා මා දෙවොලට ගෙණ ගොස් කාලිදෙවියට බිලි දෙනු මැනව. මාගේ ජීවිතයෙන් රජතුමාට වන අවමඞ්‍ගල දුරු වේවා!"යි කියා දෙවොලට යනු පිණිස සැරසුනෛ් ය. වීරවරතෙමේ "පුත්‍රය, නුඹ මගේ පුතෙකු බව ඔප්පු කෙළෙහි ය"යි කියා ඔහු කර හිඳුවාගෙන නික්මුණේ ය. ඔහුගේ භාර්‍ය්‍යාව හා දුවත් ඔවුන් සමග ම දෙවොලට ගියහ. රජතෙමේ ද ඔවුන්ට නො පෙණී ඔවුන් අනුව ම ගියේ ය.

වීරතෙමේ දෙවොලට ගොස් සියපුත් සත්‍යවරයා කරින් බස්වා දේවිය ඉදිරිපිට හිඳුවී ය. ධෛර්‍ය්‍යපිණ්‍ඩයක් වූ ලදරු සත්‍යවරතෙමේ දේවිරුව වැඳ ඇඳිලි බැඳ ගෙණ "මහතෙද ඇති දේවිය, මාගේ හිස බිලි ගෙණ අපේ රජතුමා තවත් අවුරුදු සියයක් ජීවත් කරණු මැනව. සියලු උවදුරු නැති කොට රාජ්‍යය පාලනය කරන්ට සලසනු මැනවැ"යි කියමින් පියාගේ කඩුව ගෙණ සිය අතින් ම සියගෙල සිඳ ගත්තේ ය. එකෙණෙහි ම අහසින් "පින්වත් වීරවරය, අනික් කවරෙක් තොපට වඩා ස්වාමිභක්ත ද? අන් කවරෙක් තමන්ගේ එක ම වීර පුත්‍රයා බිලි දී සියහිමි රජ ගලවා ගණීදැ"යි යන හඬෙක් ඇසින.

වීරවරයන්ගේ දුව, වීරවතිය සිය සොහොයුරාගේ හිස බදාගෙණ අඬමින් සොවින් ලය පැළී මළා ය. ඉක්බිති ඔහු‌ගේ භාර්‍ය්‍යා වූ ධර්‍මවතිය හිමියාට මෙසේ කීවා:- "ස්වමිනි, අප විසින් අපගේ ස්වාමි වූ රජතුමන්ට යහපත කරණලදි. දැන් මගේ දුව, වීරවතිය ද සොහොයුරාගේ මරණය දැක සොවින් මළා ය. දරුවන් නැති මා ජීවත් ව ඉඳීමෙන් කම් කිම? පළමු කොට ම මූඪ වූ මා විසින් අපගේ දේවයන් වහන්සේට හිත පිණිස මගේ මේ, කුණුපුවක්ගෙඩියක් පමණකුදු නො අගනා, හිස කාලිදෙවියට බිලිදිය යුතු වී ය. දැන් කුමක් කරම් ද? මම වහා ගින්නට පැන නැසෙන්නෙමි. ඊට අවසර දෙනු මැනව."

"හොඳයි, එසේ කරව. දරුවන් මළ දුකින් පෙළෙමින් ජීවත් වීමෙහි කවර ප්‍රීතියක් ද? නුඹ විසින් අපගේ රජතුමාගේ ප්‍රයෝජනය සඳහා හිස නො දෙන ලදැයි ශොක නො කරව. ඉදින් අන් කෙනෙකුන්ගේ හිසබිලි දීමෙන් එය කළ හැකි වී නම්, කිම, මම මගේ හිස ඉතිරි කර ගණිම් ද? මේ දරවලින් ගිනිමැළයක් ගසන තුරු මඳක් කල් ඉවසව"යි වීරවරතෙමේ භාර්‍ය්‍යාවට කියා ගිනිමැළයක් දැල්වීය. ඕතොමෝ ඇවිළෙන ගින්න දෙස බලා හිමියා පාමුල වැටී වැඳ කමා කරවා ගෙණ දෙවරූපය දෙස බලා වැඳ "පින්වත් දේවිය, පරලොව දී මේ උතුමා ම මාගේ හිමියා වේවා! මාගේ සිරුර ද බිලි ගෙණ තුටු ව ඔබ අපේ දේවයන් වහන්සේ ශුද්‍රක රජතුමා, බොහෝ කලක් ආරක්‍ෂා කරනු මැනවැ"යි කියා ගින්නට පැන්නා ය. 

"ම විසින් රජතුමන්ට කළයුතු දෑ කොට නිම කෙළෙමි. දෙවියන්ගේ වචනයෙන් ම මම එය දනිමි. ම විසින් අනුභව කළ බතට මම දැන් නය නැතියෙක් වෙමි. එයින් දැන් තනි වූ මට ජීවත් වීමෙහි මොන කැමැත්තක් ද? ම බන්දෙකු, පොෂ්‍ය කටයුතු මුළුපවුල නැති කොට, හුදකලා ව ජීවත් වීම නො හොබී. එහෙයෙින් මගේ සිරුර ද බිලි දී කාලි දේවිය පිණවන්නෙමි."යි සිතා වීරවරතෙමේ දෙව්රුව ඉදිරියට ගොස් දෙදණ බිම ඇන හිඳ පළමු කොට කාලි දේවියට ස්තූති කෙළේය. ඉක්බිති "කාලිදේවීන් වහන්ස වැජඹෙනු මැනව! ජය ගනු මැනව! ලෝවැසියා විසින් පුදන ලද පා ඇති මෑනියන් වහන්ස, නුඹ වහන්සේට නමස්කාර වේවා! මා ද බිලි ගෙණ අපගේ ශුද්‍රක දේවයන් වහන්සේ කෙරෙහි පහදිනු මැනවැ!"යි යාච්ඤා කොට අසිපත ගෙණ සිය ගෙල සිද හෙලී ය.

3

සැඟවී සිටි භූපතිතෙමේ ඒ සියල්ල දැක ව්‍යාකූල වූයේ පුදුමයට පැමිණියේ ය. ශොක කෙළේ ය. "අහෝ! මා විසින් මෙ බඳු වීරපුරුෂයෙක් මීට පෙර නො දක්නාලදි. නො ද අසන ලදි. සියපිරිවර සහිත මේ සත්පුරුෂයා විසින් මා පිණිස දුෂ්කරකාර්‍ය්‍යයක් කරණලදි. මේ පුදුම ලොවෙහි මොහු වැනි වීරයෙක් නැත. ස්වාමියා පිණිස පුත්‍රාදීන් හා හා ස්වකීයජීවිතය ද පරිත්‍යාග කිරීමෙන් මොහු කළ උපකාරයට සුදුසු උපකාරයක් මම නො කෙළෙම් නම්, මගේ ජීවිතයෙන් කම් කිම? මම කෙළහි ගුණ නො දන්නා තිරිසනෙකු මෙන් නො වම් ද? ධෛර්‍ය්‍ය නැති වීමෙන් මට අපකීර්‍තතිය ම වන්නේ ය"යි සිතා අසිපත ඇද ගෙන දෙව්රුව ඉදිරියට පැමිණ "දේවිය, හැමදා ජීවත් වීමට අයොග්‍ය වූ මාගේ මේ විනශ්‍චර ශරීරය බිලි ගෙණ ප්‍රීතිමත් ව අනුග්‍රහ කරණු මැනව. මේ නොයෙක් ගුණරුවනින් පිරිපුන් වීරවරයා අඹුදරුවන් සහිත ව ම නැවත ජීවත් කෙරේවා!" යි කියා සියබොටුව කපන්නට සැරසින. එකෙණෙහි ම "දරුව, සැහැසිකම් නො කරව. නුඹගේ මේ ධෛර්‍ය්‍යයෙන් ප්‍රීත වීමි. අඹුදරුවන් සහිත වීරවරතෙමේ නැවත ජීවත් වේවා"යි අදෘශ්‍යමාන කිසිවෙකු විසින් කියනලද වචන ඇසින. ඒ වදන්පෙළ අවසන් වනු සමග ම අඹුදරුවන් සහිත වීරවරතෙමේ පෙර මෙන් ජීවත් ව නැඟී සිටියේ ය.

රජ එය දැක නැවත ද සැඟවී සිට සතුටුකඳුළින් පිරුණු දෙනෙතින් ඔවුන් බලා තෘප්තියට නො පැමිණියේ ය. වීරවරතෙමේ ද නිදා පිබිදියාක්හු මෙන් ඒ පුතා ද පත්නිය ද දුව ද බලමින් පුදුමයෙන් අවුල් වූ සිතැත්තේ වී ය. වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නම් කියා අඬ ගැසී ය. "මළා වූ තෙපි නැවත කෙසේ දිවි ලැබ නැඟිටියහු ද? මෙය මාගේ විභ්‍රමයක් (මුළාවක් - වැරදි හැඟීමක්, [=Delusion]) ද? නොහොත් ස්වප්නයක් ද? ඉන්‍ද්‍රජාලයක් ද? නැතහොත් කාලිදේවියගේ අනුග්‍රහයක් දැ?"යි එකිනෙකාගෙන් ප්‍රශ්න කෙළේ ය. ඔහු ද දෙවානුග්‍රහයෙන් දිවි ලත් බව සිතූහ.

වීරවරතෙමේ අඹුදරුවන් ලැබ තුටුවූයේ දේවිය වැඳ ගෙට ගොස් අඹුදරුවන් නවතා රජමැඳුරට ගොස් සිය රැකවලෙහි ම පෙර මෙන් සිටියේ ය. රජතෙමේ ද අනෙක් දොරකින් පහයට පිවිසියේ ය. මුල පටන් මේ වන තෙක් වූ සියල්ලට ගත වූයේ තුන් පැයකි. රජතුමා නිදා සිටියෙකු මෙන් අඟවමින් නැවත ද "සිංහද්‍වාරයෙහි කවරෙක් රැකවල් ගෙණ සිටී දැ?"යි විචාළේ ය.

"දෙවයන් වහන්ස, මම වීරවරයා"යි පිළිතුරු ආ ය. "තෝ එහි ගියෙහි ද? ඒ ස්ත්‍රී කවර හෙයින් අඬා දැයි පරීක්‍ෂා කෙළෙහි ද?"

"එහෙයි, දෙවයන් වහන්ස! ඒ ස්ත්‍රියක් නො වේ."

"එහෙ නම්?"

"කිසියම් රාක්‍ෂියකි. මා එහි ගොස් ඇඬූ කරුණ විචාළ කල්හි ම නො පෙණී ගියා."

"ඉතින්?"

"ඉතින් වෙන කිසිවක් නැහැ, දෙවයන් වහන්ස!"

රජතුමා වීරවරයාගේ වචන අසා පුදුමයට පැමිණියේ ය. "අහෝ, වීරභාවයක හැටි! ගැඹුරුබවක හැටි! මෙලොව ඇතැමුන් සුලු වැඩක් කොට මහත්පැසසුම් ලබන්නට සිතන අතර, මෙ තෙමෙ අන් කෙනෙකුන් විසින් නො කළ හැකි මහත් කාර්‍ය්‍යයක් කොට ද, ඒ පිළිබඳ වචනමාත්‍රයක් කියන්නට සතුටු නො වේ ය"යි සිතා රජතෙමෙ සිරියහන් ගබඩාවට ගොස් ඉතිරි රැය ගත කෙළේ ය.

උදාසන්හි නරපතිතෙම ආස්ථානශාලාවට (රැස්වීම් පවත්වන ශාලාවට) පැමිණියේ වීරවරයන් පිළිබඳ රාත්‍රීවෘත්තාන්තය ඇමැතියන්ට කී ය. වීරයාගේ ගුණවර්‍ණනාව ඇසීමෙන් සියල්ලෝ විස්මයට පැමිණියාහු ඔහුට මුව නො සෑහෙන සේ පැසසූහ. රජතෙමේ ද යුවරජපදවියෙන් වීරවරයා පිදුයේ මතු නො වේ. තමන් හා සමාන යසඉසුරෙන් සමන්විත ද කෙළේ ය.

වේතාලයා මේ කථාව කියා "රජතුමනි, මේ සියල්ලන් අතුරෙන් කවරෙක් වීරශ්‍රෙෂ්‍ඨ ද? ඉදින් දැන ගෙණ නො කීයෙහි නම්, පෙර කී ශාපය නුඹගේ හිස පිට හෙන්නේ ය"යි පැන විසඳුම්හි රජතුමන් ධෛර්‍ය්‍යවත් කෙළේ ය.


පේන විදිහට කථාතරඞ්ගිනියෙ තියෙනවට වඩා ප්‍රමාණයක් වේතාල කතා, කථාසරිත්සාගරයෙ තියෙනව. මෙතන තියෙනව ඒ ටික ඉංග්‍රීසියෙන්...

Saturday, November 18, 2023

වෙතාල කථා - 4 තරඞ්ගය - ශනිදා දහයට!

3 තරඞ්ගය

රජ ‌තෙමේ වේතාලයාගේ ප්‍රශ්නය විසඳී:- "යමෙක් බොහෝ දුක් විඳ මෘතසංජීවන මන්ත්‍රය ලැබගෙණ අවුත් ඇය ඉපිදවූයේ ද, ඔහුගේ භාර්‍ය්‍යාභාවයට ඒ කාන්තාව සුදුසු ‌නොවේ. හෙතෙමේ ඇගේ පියතනතුරට සුදුසු ය. යමෙක් ඇගේ ඇට ගංගානදියෙහි ප්‍රක්‍ෂෙප (දැමීම) කරන්ට ගියේ ද, හෙතෙමේ ද පුත්‍රයන්ට අයත් කටයුත්තක් කළ හෙයින්, ඇගේ හිමියා නො වෙයි. මළහුගේ ඇට ගංගානදියෙහි හෙලීමත් මතකදන් ආදිය දීමත් මළහුගේ දරුවන්ට අයත් වැඩක් හෙයිනි. යමෙක් ඇය දැවූ සොහොන අසල ම සිට තපස්කම් කෙළේ ද, හෙතෙමේ ආලය කරන්නෙකුගේ ක්‍රියාවක් කළ හෙයින් ඇගේ හිමියා වීමට සුදුසු යි."

වේතාලයා පෙර මෙන් ම අතුරුදන් වි ය. රජ ද ඔහු ගෙණෙනු පිණිස නැවතත් ඇට්ටේරියාගස වෙත ගියේ ය. මහාත්මයෝ, පණ ගිය නමුදු, හෙන සියදහස් ගණන් හිස හෙතුදු, පටන් ගත් කටයුත්ත නො නිමවා නො නවතිත් ම ය.

4 තරඞ්ගය

1

රජතෙමේ පෙර මෙන් ම මිනිය කර තබා ගෙණ නිශ්ශබ්ද ව ආයේ ය. "රජතුමනි, මේ අඳුරෙහි ගමනාගමනය කරමින් බෙහෙවින් පීඩිත වන්නෙහි ය. මම තොපට කථාවක් කියමි. එය සාවධාන ව අසනු"යි වේතාලයා තවත් කථාවක් කියන්ට පටන් ගත්තේ ය.

ගිරා - සැළලිහිණි වාදය


පෙර පැළලුප්නුවර වික්‍රමකෙශරි නම් රජකේ වි ය. ඒ රජතුමන්ගේ දිව්‍යඥාන ඇති සියලු ශාස්ත්‍ර දන්නා ගිරවෙක් සිටියේ ය. ඒ ගිරවා ද දෙවිකෙනෙකුන්ගේ ශාපයෙන් ගිරාබවට පැමිණියෙකි. ඒ රජුගේ පුත්කුමරා ගිරවාගේ උපදෙශයෙන් මගධරජුගේ දූකුමරිය විවාහ කර ගත්තේ ය. ඒ රජකුමරියට ද ඉතා නැණවත් සැළලිහිණියක් වූවා ය. කුමරියගේ පාණිග්‍රහණමඞ්ගලයෙන් පසු ඒ සැළලිහිණියා හා ගිරවාත් එක ම මැඳිරියෙහි ලන ලදහ.

එක් දිනෙක්හි ගිරාතෙමේ සැළලිහිණිය අමතා "සොඳුර, අපි එක ම මැඳිරියෙහි වසමු. එක බඳුනෙහි වළඳමු. එක ම තැන නිදමු. මම පුරුෂයෙක්මි. පින්වතිය ස්ත්‍රියකි. පුරුෂයෙකුට භාර්‍ය්‍යාවක ද, ස්ත්‍රියකට ස්වාමියෙකු ද වුව මනා ය. නැත් නම් වල් වැද තපස් රැක්ක යුතුය. දැන් අපට එය කළ නො හැක්ක. දැන් ගිහිගෙයි විසීම අප විසින් කට යුතු ය. එහෙයින් පින්වතිය මගේ භාර්‍ය්‍යාව වුව මැනැවැ"යි කී ය.

"පුරුෂයෝ දුෂ්ටයෝ ය. කෙළෙහි ගුණ නො දන්නෝ ය. එහෙයින් මම කිසි ම පුරුෂයෙකුට භාර්‍ය්‍යා නො වන්නෙමි"යි සැළලිහිණිය ගිරවාගේ යොජනාව ප්‍රතික්‍ෂෙප කළා ය.

"පුරුෂයෝ දුෂ්‍ට නො වෙති. දුෂ්ටයෝ ස්ත්‍රීහු ම ය. ස්ත්‍රීන්ගේ හෘදය ඉතා ක්‍රෑර ය"යි ගිරවා සැළලිහිණියගේ වචනයන්ට විරුද්‍ධ වි ය.

මෙයින් ඒ ගිරාසැළලිහිණි දෙදෙනා අතර විවාදයක් උපන. විවාදයෙහි විනිශ්චය ලබාගැණීම සඳහා රජකුමරාට එය සැළ කළහ. රජකුමරා "කවර හෙයින් පුරුෂයෝ අකෘතඥයෝ ද? ඇති සැටි කියව"යි සැළලිහිණියට නියම කෙළේ ය. සැළලිහිණිය ස්වපක්‍ෂසමර්‍ත්‍ථනය (තමන්ගේ පක්‍ෂය ඔප්පු කිරීම) පිණිස පුරුෂදොෂප්‍රකාශක මේ කථාව කීවාය.

රත්නාවතීකථාව

"කුමාරයන් වහන්ස, කාමන්‍දකී නම් නගරයෙහි මහාධන ඇති වෙළෙන්දෙක් විසී ය. ඔහුගේ පුතා ධනදත්ත නමි. පියා පරලොව සැපත් කල්හි ධනදත්තයා ද්‍යුත (සූදු) ක්‍රීඩාදියෙහි යෙදී ධනය වනසන්නට පටන් ගත. ධූර්‍තයෝ ද ඔහු හා එක් ව නොබෝ දිනකින් ම ඔහුගේ වස්තුව පැහැර ගත්හ. ධනදත්තතෙමේ දිළිඳු ව එ නුවර විසීමට ලජ්ජිත වූයේ අනික් නගරයකට ගොස් අහරටිකක් ඉල්ලා ගණු සඳහා එක්තරා වෙළෙඳෙකුගේ ගෙට ගියේ ය. වෙළෙඳතෙමේ ඔහු පිළිබඳ තොරතුරු විචාරා කුලවත්බව දැන ඔහු තමන් වෙත ම නවත්වා ගත්තේ ය. හෙතෙම ඔහුගේ දක්‍ෂභාවය දැක ඔහු කෙරෙහි අතිශයින් ප්‍රසන්ன වී ය. රත්නවතී නම් සිය දුව ද මහත් ධන සහිත ව ඔහුට විවාහ කොට දුන්නේ ය.

කළ විවාහ ඇති ධනදත්ත තෙමේ මයිලනුවන් ලඟ ම විසී ය. කල් යත් යත් අභිනවසුඛයෙන් මත් ව පෙර තමන් දිළිඳු වූ අයුරු විස්‍මෘත (අමතක) කෙළේ ය. නැවත ද සූදු කෙළීමෙහි ආශා ඇති ව සියදෙසට යනු කැමති වී ය. එහෙයින් ඒ ශඨ(කපටි)තෙමේ කෙසේ නමුත් රත්නවතියගේ මවුපියන්ගෙන් අවසර ගෙණ එක් මැහැල්ලක හා රත්නවතිය ද සමග සියදෙස් යනු පිණිස පිටත් වී ය. පිළීවෙලින් මහවනයකට පැමිණ දුර දී ම ඒ වනයෙහි සොරබිය ඇතැයි කියා රත්නවතියගේ සියලු ආභරණ මුදවා පොදියක් බැඳ තමන් අතට ගත්තේ ය. ‌මෙසේ ඇගේ අබරණ අයත් කරගත් ඒ දුෂ්ටයා ඒ ගුණවත් බිරින්ද හා මැහැල්ල ද මරණු පිණිස එක්තරා වළෙක්හි හෙලා පලාගියේ ය. යුව රජතුමනි, බලනු මැනව, සූදුආදියෙහි ඇලුනු අකෘතඥයන්ගේ හෘදය කඩුවක් මෙන් කර්‍කශ පරිදි!

මැහැල්ල එහි ම මළා ය. රත්නවතිය තවත් කල් ජීවත් වීමට පින් ඉතිරි ව තිබුනු හෙයින් ඉතා වෙහෙස විඳ  ගොඩට අවුත් බොහෝ දුක් විඳ සියපියාගේ ගෙට ම ගියා ය. මවුපියන් "කවරහෙයින් තී මෙසේ තනි ව වෙහෙසුනු සිරුරු ඇති ව පැමිණියෙහි දැ?"යි විචාළ කල්හි "මාර්‍ගයෙහි දී සොරුන් විසින් අපේ බඬු පැහැර ගන්නාලදි. මගේ ස්වාමිපුරුෂයා බැඳ ගෙණ යන ලදි. මැහැල්ල වළෙක්හි වැටී මළා ය. මම යම්තම් දෛව බලයෙන් ජීවත් වෙමින් ඒ වළෙහි ම සිටියෙමි. ඒ අතර කිසියම් කරුණාවත් මගියෙකු විසින් වළෙන් ගොඩගන්නා ලදිමි"යි ඒ පතිව්‍රතාතොමෝ අඬමින් කීවා ය. මවුපියන් විසින් ඕ තොමෝ සනසන ලද්දී එහි ම සියහිමියා ගැණ ශොක කරමින් සිටියා.

සියදෙසට ගිය ධනදත්තයා නො බෝ කලකින් ම දිළිඳු වී ය. නැවත ද මයිලනුවන් වෙත ගොස් වස්තුව ගෙණ එන්නට අදහස් ‌කෙළේ ය. ඔවුන් දුව ගැණ ඇසුවොත්, දුව තමන්ගේ ගෙයි සිටින බව හා මග සොරබිය ඇති හෙයින් කැටි ව ‌නො ආ බවත් කියන්නට සිතා ගත්තේ ය. මෙසේ නිශ්චය කර ගෙණ මග ගෙවා ඔහු නැඳි මයිලන්ගේ ගෙට ගියේ ය. රත්නවතිය දුර දී ම ඔහු දැක ඇඳින ඉදිරියට ගොස් පාමුල වැටී වැඳ, ඔහු විසින් වනයෙහි දී කළ සියල්ල සඟවා මවුපියන්ට අනික් ලෙසක් කී බව දැන්වූවා ය. ස්වාමියා දුෂ්ට වූවත් පතිව්‍රතාවන්ගේ සිත අන් තැනක නො ඇලේ ම ය. දෙවයිනි, ස්ත්‍රීන්ගේ ගුණවත්කමක මහත බලනු මැනව!

ඉත්බිති ඒ කාලකණ්ණියා නො බිය ව මයිලනුවන් වෙත ගොස් වැඳ සිටියේ ය. හෙතෙමේ ද බෑනා දැක පිණා ගියේ මහොත්සව කරවී ය. ධනදත්තයා නැවත ද පෙර මෙන් සැපතට පැමිණියේ නොබෝ දිනකින් ම සියදෙස යනු කැමැත්තෙන් නිදි ගෙණ සිටි බිරින්ද මරා ඇගේ සියලු ධනය පැහැර ගෙණ පලාගියේ ය.

"යුවරජතුමනි, මෙසේ බෙහෙවින් පුරුෂයෝ ලාමකයෝ ය. කෙළෙහි ගුණ නොදන්නෝ ය"යි සැළලිහිණිතොමෝ තමාගේ කථාව අවසන් කළා ය.

සැළලිහිණියගේ කථාව අසා යුවරජ සිනාසුනේ ය. "දැන් තෝ තාගේ මතය සමතර්‍ථනය කිරීමට කරුණු කියව"යි ගිරවාට විධාන කෙළේ ය.

ධර්මිෂ්ඨ හොරෙක්!

"දෙවයන් වහන්ස, සැළලිහිණියගේ කථාව නො පිළිගත හැක්ක. එයින් ස්ත්‍රීන්ගේ ගුණධර්‍මයට වඩා දුර්‍වලකම ප්‍රකාශ වන්නේ ය. රත්නවතියගේ දුර්‍වලකම නිසා ම ඕතොමෝ වැනසුනී ය. ධනදත්තයා දඬුවම් ලැබීමට සුදුසු අපරාධකාරයෙකි. එබඳු ඔහු රැකගත් රත්නවතිය නිර්දෝෂ ය යි ද, ගුණවත් ය යි ද කිසි ම නීතිඥයෙක් නො කියයි. සීයාගේ මුහුණ වැන්නැයි කොටියාගේ මුහුණ බදා ගත් මෝඩයාට වූදෙය ම , තමාහිමියා ය යි තමාගේ මරුවා ගෙට ගත් රත්නවතියට ද වී ය. දෙවයන් වහන්ස, එයින් පුරුෂයන්ගේ දොෂ ප්‍රකාශ නො වේ. කලාතුරකින් පුරුෂනාමය දරණ රකුසන් පාපක්‍රියාවක් කළ පමණින් සියලු පුරුෂයෝ දුෂ්ට නො වෙති. පුරුෂයන් දුෂ්ටය යි කියන්නා ම දුෂ්ටයෙකි. දෙවයන් වහන්ස, ස්ත්‍රීහු ක්‍රෑරයෝ ය, සැහැසියෝ ය. දුෂ්ටචරිත ඇත්තෝ ය. ලාමකයෝ ය. ඔබවහන්සේ මගේ මේ කථාව ද අසනු මැනවැ"යි කියා ගිරවා කථාවක් ඇරඹී.

එක්තරා නගරයෙක්හි මහත් ධන ඇති ධර්‍මදත්ත නම් වෙළෙන්දෙකුට ඉතා මනහරරූසිරින් යුත් දුවක් සිටියා. ඕතොමෝ තමන්ට සමාන වූ ධනය හා කුලය ද ඇති, නෙත් නැමැති ඇටිකුකුළන්ට පුන්සඳමඬලක් වැනි තරුණ වෙළෙන්දෙකුට දෙන ලදු. කිසියම් කලෙක්හි ඇගේ ස්වාමියා සියරට ගිය කල්හි සියපියගෙහි සිටි ඕතොමෝ මනහරරූ ඇති කිසියම් පුරුෂයෙකු දුටුවා ය. දුටුමතින් ම ඔහු කෙරෙහි ආලය කළා ය. ඔහු සියගෙට ගෙන්වා ආහාර පාන දීමෙන් සංග්‍රහ ද කළා ය.

මඳ කලෙකින් ඇගේ ස්වාමියා සියරට සිට ආයේ නැඳි මයිලන්ගේ ප්‍රීති වර්‍ධනය කෙළේ ය. උත්සවාවසානයෙහි හිමියාට ද මත්තෙන් නින්දට ගිය දුෂ්ටභාර්‍ය්‍යාව නිදි ගත් බව බොරුවට අඟවමින් සිට, ස්වාමියා මාර්‍ගක්ලාන්තියෙන් (ගමන් වෙහෙසින්) නිදි ගත් කල්හි, සොර සැමියා සිහි කොට ඔහු වෙත යනු පිණිස සැරසුනී ය.

එකෙණෙහි එක් ‌සොරෙක් ගෙය බිඳ ඔවුන්ගේ ඕවරකයට (කාමරයට) වන්නේ ය. සොරසැමියා වෙත යන්නට සැරසුනු කුලටාව (වෙසඟන) සොරු ගෙට වන්බව නො දැන ගෙයින් නිකුත් වූවා ය. සොරතෙමේ "යම් රත්නාභරණන් උදෙසා මම මෙහි පැමිණියෙම් නම්, එ අබරණ පැලඳ මෝතොමෝ යන්නී ය. වේවා! මෝතොමෝ කොයි යන්නී දැ?යි පළමු කොට සෙවිය යුතු ය. පසු ව අබරණ පැහැර ගණිමි"යි නිශ්‍චය කොට ගෙණ ඈ අනු ව ම ගියේ ය. තරුණිය ද නිකුත් ව තමන් බඳු පවිටු වූ තවත් කතක ලවා සුවඳ බුලත් ආදිය ගෙන්වා ගෙණ උයනට වැද සඞ්‍කෙතස්ථානයට (නියම කරගත් තැනට) ගියා ය. ගොස් වටපිට බැලුවා ය. ඇගේ සිතට ප්‍රිය දර්‍ශනයෙක් එහි නො වී ය. ඇගේ සොරසැමියා කරවැල් ලාගෙණ මැරී ගසක එල්ලෙමින් සිටිනු දුටුවා ය. මරණය කෙසේ වූවක් දැ යි ඕතොමෝ නො දත්තී "අයියෝ! මම නැසුනෙමි!"යි පපුවට දෑතින් පහර දී ගණීමින් වැලපුනා ය. වැලප අවසන්හි මළකඳ ගසින් බා සුවඳවිලෙවුන් තවරා මල් හා අබරණ පලඳවා සැරසුවා ය. ඉක්බිති ඒ දුෂ්ටස්ත්‍රිය මළකඳෙහි මුඛය චුම්බනය කරන්ට පටන් ගත්තා. එවිට ම යක්‍ෂයෙකු විසින් අරක් ගන්නා ලද ඒ මළකඳ භයානක ශබ්දයක් කොට මුඛය විවෘත කොට ඇගේ නැහැය කඩා ගත්තේ ය. ඕතොමෝ එයින් ව්‍යාකූල (කලබල) වූවා එතැනින් ඉවත් ව 'ඔහු ජීවත් වෙතැ'යි සැකයෙන් නැවත අවුත් මළ සිරුර පිරික්සා බැලුවා ය. නිසල කෙසෙල්කඳක් මෙන් ශීතල වූ මළකඳ දැක බිය පත් ව අඬමින් යෙහෙළියත් සමග සියගෙට ම ගියා ය.

සැඟවී සිටි සොරා ද ඒ සියල්ල දැක අබරණ පැහැර ගැන්ම මතක නැති කොට "අහෝ! මේ පවිටුගැහැණිය විසින් කෙළේ කුමක් ද? ස්ත්‍රීන්ගේ අදහස් කෙසේ නම් මෙතරම් බිහිසුණු ද? දැන් මෝතොමෝ තවත් කුමක් නම් නො කරන්නී දැ?"යි සිතා නැවත ද ඇය පසුපස්සෙන් ගියේ ය.

ඒ පවිටු ගැහැණිය ගෙට වන් කෙණෙහි මහහඬින් කෑ ගාන්නට වන්නී ය. "අයියෝ! මා මරණවෝ! ඉක්මනින් වරෝ! මා ගලවපියෝ! මේ දුෂ්ටයා, ස්වාමියෙකු මෙන් සිටින හතුරා, නිරපරාධ වූ මගේ නැහැය කඩා කෑවෝ!"

ඇගේ විලාප හඬ අසා ගෙවැසි සියල්ලෝ නින්දෙන් නැඟිට එහි දිව ආහ. ඇගේ පියතෙමේ නැහැය සුන් ඈ දැක කිපී බෑනා බැඳවී ය. තරුණ තෙමේ 'කුමක් කටයුතුදැ'යි නිශ්චයක් නැති ව ගොළුවෙකු මෙන් සිටියේ ය. ඔහු උදාසන්හි රජු වෙත ගොස් නඩුව සැළ කළහ. රජතෙමේ කරුණු විමසී ය. තරුණයා කිසිවක් නො දත්තේ තමාගේ නිරපරාධභාවය ම කියා සිටියේ ය. එහෙත් ඔහුට විරුද්ධ සාක්‍ෂ්‍ය අධික වූ හෙයින්, රජතෙමේ, එකල්හි පැවති නීතිය පරිදි, ඔහු මරාදමන්ට නියම කෙළේ ය.

එවිට සොරතෙමේ ඉදිරියට ගොස් "දෙවයන්වහන්සැ"යි රජු අමතා තරුණයාගේ නිර්දොෂභාවය කියන්ට වන: "දෙවයිනි, මම සොරෙක්මි. එහෙත් මම අපරාධ නුරුස්නෙමි. මේ නගරයෙහි පාපිෂ්ඨයන්ට මිස ධර්මිෂ්ඨයන්ට මගෙන් කිසි ම හානියක් නැත. මේ ගැහැණි පවිටු ය යි කලක පටන් මම දැන සිටියෙමි. එහෙයින් ඇයගේ අබරණ පැහැර ගන්ට ඇගේ ගෙය බිඳ ඇතුල් වුණෙමි"යි සියල්ල විස්තර කොට "දෙවයන් වහන්ස, මැගේ නැහැය තවමත් ඒ මළමිනියෙහි මුඛය තුළ ඇතැ"යි සොරා කථාව අවසන් කෙළේ ය. සභාවෙහි සිටි සියල්ලෝ පුදුමයට පත් වූහ. රජතුමා මිනිසුන් යවා සොරා කී ස්ථානයත් මළකඳත් පරීක්‍ෂා කරවී ය. සොරා විසින් කී සියල්ල සත්‍ය ය යි ඔප්පු වී ය. රජතෙමේ තරුණ වෙළෙඳා් නිදහස් කොට ඒ දුෂ්ටස්ත්‍රියගේ දෙ කන් සිඳුවා සියදෙසින් පිට කරවා ඇගේ පියසතු ධනය තරුණ වෙළෙඳාට දෙවී ය. සොරාට පුරාධ්‍යක්‍ෂ (නගරාධිපති) පදවිය දුන්නේ ය.

"යුවරජ්ජුරුවන් වහන්ස, ගැහැණු මෙසේ ස්‍වභාවයෙන් ම ක්‍රෑරයහ. දුෂ්ටයහ. ලාමකයහ"යි ගිරවා කථාව අවසන් කෙළේ ය.

එ කෙණෙහි ම ගිරවා ශාපයෙන් මිදී දෙවියෙක් වී දෙව්ලොවට ගියේ ය. ශාරිකාව ද දෙවඟනක් වී ඔහු අනු ව ගියා ය.

"මෙසේ ඒ සභාවෙහි මේ විවාදය නිර්ණීත (තීන්දු) නො වී ය. යුෂ්මතා මේ ප්‍රශ්නය විසඳීමෙහි සමතර්‍ථ ය. එහෙයින්, රජතුමනි, මට කියනු මැනැව: ස්ත්‍රීහු පුරුෂයන්ට වඩා පාපිෂ්ඨ ද? නො හොත් පුරුෂයෝ ස්ත්‍රීන්ට වඩා පාපිෂ්ඨ ද? ඉදින් දැන දැන නො කීයෙහි නම්, නුඹේ හිස සුණු විසුණු වන්නේ ය"යි වේතාලයා ප්‍රශ්න ඇසී ය.


Saturday, October 28, 2023

වේතාල කථා - 1 තරඞ්ගය (ශනිදා දහයට!)


1

සියලු සැපතට නිවෙස් වූ දඹදිව්තෙලෙහි ගෝදාවරී නම් ගඟක් වෙයි. සිහිල්දියකඳින් පිරිපුන් කවයි පාඨිනාදී (කාවයි, පෙටි ආදී) මත්ස්‍යසමූහයාට කෙළිමඬලක් වූ, හංසසාරසාදී (හංස සේරු ආදී)  ජලචර පක්ෂීන්ට ‌ක්ෂේමභූමියක් වූ, නොයෙක් සියගණන් නෞකාවන්ගේ යෑම්ඊමෙන් අවකාශරහිත වූ, නිතර දිය කෙළනා තරුණමිනිසුන් විසින් නංවනලද රළපෙළින් හා දුටුදුටුවන් කැලුම්යොතින් බැඳ තමන් වෙත අදින මිණිරුවනින් ගැවසුනු වැලිතලාවන්ගෙන් ද සිත්කලු ඒ ගඟ ඉවුරෙහි ප්‍රතිෂ්ඨාන නම් ජනපදයක් වෙයි.

ඒ ජනපදයෙහි වික්‍රමයෙන් ශක්‍රයා පැරදවූ වික්‍රමසෙන නම් නරපතියෙක් වී ය. හෙතෙම ඉතා ගුණවත් ය. ධනවත් ය. රටවැසියන්ට පියෙකු වැන්න. රාජනීති නො ඉක්මවා රට රැකියේ රටවැසියාගේ අභිවෘද්ධියට හෙතු වන සියල්ල ම නො පිරිහෙලා කෙළේ ය. මල නො තළා රොන් ගන්නා බමරා මෙන් රටවැසියන් නො පෙළා අයබදු ගත්තේ ය. එතුමා පියෙකු මෙන් සැලකූ රටවැස්සෝ ද රටෙහි දියුණුව හා ආරක්ෂාවත් සඳහා වියදම් කිරීමට අයබදු, කිසි කෙඳිරීමක් නැති ව, නො මසුරුව ම, ගෙවූහ. මෙසේ දෙ පක්ෂයෙහි සමගියෙන් ඒ රට නොයෙක් අතින් දියුණු වී ය. තමන් රැකුමෙන් තුටු වූ මිහිකත තුමානන්ට ආකරයෙන් රුවන් ද, වනයෙන් ඇතුන් ද, වෙලින් අස්වැන්න ද සතතයෙන් දුන්නා ය.

ඒ රජතුමන් දැහැමින් රාජ්‍යය කරණ කල්හි එතුමාගේ ත්‍යාගගුණය හා වීරභාවයත් අසා ප්‍රසන්ன වූ එක්තරා තවුසෙක් දින පතා එතුමා වෙත පැමිණ විසිතුරු ලෙස මැටියෙන් කළ දඹගෙඩිය බැගින් දී යන්නේ ය. රජතෙමේ දඹ ‌පිළිගෙන භාණ්ඩාගාරිකයාට දෙයි. භාණ්ඩාගාරාධ්‍යක්ෂ තෙමේ ද ඒ දඹ ගෙන ගොස් කෙළිබඩු රැස් කරණ ගබඩාවෙහි තබයි. මෙසේ දොළොස් වසක් ගත වි ය. රජතෙමේ එක් දිනෙක්හි වත් 'කවර හෙයින් මේ මැටිමුවා දඹ පිළිගන්වන්නෙහි දැ?' යි තවුසා නො විචාළේ ය.

තෙළෙස්වනවසෙහි එක්දවසෙක්හි රජතෙමේ තවුසා විසින් පරිත්‍යාග කළ මෘන්මය ඵලය, හදිසියෙන් එහි පැමිණි, කෙළිවඳුරෙකුට දුන්නේ ය. වඳුරා 'සැබෑ ගෙඩියකැ'යි සිතා එය මුව තුළ බහා සැපී ය. එකෙණෙහි තවුසාගේ නොහොත් රජහුගේ භාග්‍යයෙන් දෝ කැලුම්කඳු විහිදුවමින් බබලන මහඟුමිණිරුවනක් එයින් බිම වැටුනේ ය.

රජතෙමේ මැණික ගත්තේ ය. භාණ්ඩාගාරිකයා ගෙන්වා 'පෙර දුන් ඵල කොහි දැ?'යි විචාළේ ය. භාණ්ඩාගාරික තෙමේ සියලු ඵලයන් රජු ඉදිරියට ගෙණායේ ය. රජ ඵලයන් පැළවී ය. එක් එක් ඵලයෙක්හි මිණි රුවනක් වි ය. රජතෙමේ රුවන්රැස බලා පුදුමයට හා ප්‍රීතියටත් පැමිණියේ දෙවෙනිදින තවුසා පැමිණෙන තෙක් නො ඉවසිල්ලෙන් බලා උන්නේ ය.

එදින ද පෙර මෙන් තවුස්තෙම මැටිමුවා ඵලයක් ගෙණ රජු වෙත එළඹියේ ය. රජ ඵල පිළිගැන්වීමෙහි යුහුසුලු වූ තවුසා නැවැත්වී ය. දින පතා ඵලයන් දීමෙහි අදහස විචාළේ ය:- "වහන්ස, ඔබට මෙතරම් මිණිරුවන් කොයින් ද? කවරහෙයින් ඒ අගනාරුවන් මැටියෙන් වසා දැමූසේක් ද? මෙතරම් අගනා මිණිරුවන් කුමක් නිසා දින පතා මට දුන් සේක් ද? මගෙන් කුමක් කැමති වන සේක් ද? දැන් මම ඔබගෙන් නය ගැතියෙක් වෙමි. නයින් නිදහස් නො වී ඇසිල්ලකුදු සිටීම මට රුචි නො වේ. එහෙයින් වහා කියන්න: ඔබට මම කුමක් දෙම් ද? කුමක් කරම් ද? ඔබගේ බලාපොරොත්තුව පවසන තෙක් අද මම ඔබගේ මේ ඵලය නො ගන්නෙමි."

තවුසා අභිප්‍රෙතාර්ථය රහසින් රජුට දැන්වී ය: "මහා වීර රජතුමනි, මම මන්ත්‍රශාස්ත්‍රයෙහි කෙළවරට පැමිණියෙක් මි. මේ පොළොවෙහි සැඟවී තිබෙන නිධාන මම දනිමි. එහෙයින් මට ධනයෙන් අඩුබවක් නැත.ඊට වඩා ශ්‍රෙෂ්ඨස්ථානාන්තරයක් මම බලාපොරොත්තු වන්නෙමි. අතිශ්‍රෙෂ්ඨ වීරවරයකුගේ සහායත්වය ඊට අවශ්‍ය ය. වර්තමාන ලොකයෙහි ඔබ වැනි වීරයෙක් කොතැනක වත් නැත්තේ ය. තුටුපඬුරු නො ගෙණ ම ඔබ මට පිහිට වනබව මම දනිමි. එහෙත් අනුන්ගෙන් නිකම් උපකාර ගැන්ම මා වැනියෙකුට තරම් නො වේ. එහෙයින් දොළොස්වසක් මුළුල්ලෙහි ඔබට මේ මිණිරුවන් පරිත්‍යාග කෙළෙමි. මගේ භාග්‍යය කවදා උදා වන්නේ දැ යි මම නො දනිමි. භාග්‍යය උදා ‌නුවූ කල්හි, කොතරම් වීරයන්ගේ උපකාර ලැබුවත් මවිසින් බලපොරොත්තු වන කාර්යය සිද්ධ නො වේ. මගේ භාග්‍යය විපාක දෙන්නට ආසන්න වූ කල්හි මැටියෙන් වැසූ මිණිරුවන් ඔබට ප්‍රකට වන බව සලකා මම එසේ කෙළෙමි. මැටියෙන් වසා ඔබට දුන් මිණිරුවන් ප්‍රකට වූයේ මගේ භාගයය උදා වූ හෙයින. එහෙයින් අපෙක්ෂිතාර්ථය ආරම්භ කිරීමට දැන් සුදුසු කාලය යි. ඊට ඔබ මට සහාය විය යුතු යි."

2

රජ තවුසාගේ ඉල්ලීම පිළිගත්තේ ය.තමන්ගෙන් කවර උපකාරයක් බලාපොරොත්තු වන්නේ දැයි යි විචාළේ ය. කවරක් වුවත් නො වළහා වහා කරණබවට ගිවිස්සේ ය.

තවුසා රජ්ජුරුවන්ගේ උදාරගුණයෙන් පහන් වූයේ "උතුමානෙනි, එසේ නම් එන අමාවක් පොහෝදින රැයෙහි මෙනුවර මහසොහොනෙහි දකුණුදිග මහනුගගස යට මම සිටිමි. ඔබතුමා තනි ව ම එහි පැමිණිය යුතු යි. ඔබ පැමිණිකල්හි මට අවශ්‍ය උපකාරය කියන්නෙමි" යි කියා රජුගෙන් ගිවිසුම් ගෙණ පිටත් ව ගියේ ය.

නියම කළ දින රැයෙහි වීරක්‍රියා කිරීමෙහි අධික ආශා ඇති රජතෙම නිල්වත් හැඳ කඩුව හා දුනුහී ද ගෙණ හුදකළා ව ම මහසොහොනට ගියේ ය. නුගය සොයමින් ඔබ මොබ ඇවිද්දේ ය. මහනුගගහ දැක එවෙත පැමිණියේ මතුරු දපමින් (මන්ත්‍ර ජප කරමින්) හුන් තවුසා දුටුවේ ය. "තවුසානන් වහන්ස, මේ මම යි. ඔබ වදාළ ලෙස ආයෙමි. කුමක් කරම් ද? කියනු මැනැවැ"යි විචාළේ ය.

"ස්වාගතයි! (යහපත් පැමිණීමකි. (welcome)) රජතුමනි, මෙයින් දකුණු දෙස ඇට්ටේරිය ගසක් ඇත. මළසිරුරක් එහි එල්ලෙයි. ඒ මළසිරුර මෙහි ගෙණ එනු මැනව. මට උවමනා උපකාරය මෙ පමණ"යි යනු තවුසාගේ බස් වි ය.

රජ තවුසා කී ලෙස ගස මුලට ගියේ මලකඳ දැක්කේ එය ගසින් බාන්නට ගසට නැඟෙන්නට වන. සියගණන් බිහිසුණු අවතාරයෝ භයානක ශබ්ද කරමින් රජුගේ ක්‍රියාව වළක්වන්නට උත්සාහ කළහ. ඇතැම් අමනුෂ්‍යයෙක් සිහවෙස් ගෙණ මහත් සේ නාද කරමින් රජුගේ හිස මතට පැන්නේ ය. දෙකොපුල් පළාගෙණ නිකුත් වූ දික් දළ ඇති, ගිනිගුළි වැනි පිටතට නෙරාගිය ඇස්ගුළිවලින් රෞද්‍ර වූ මුඛයෙන් දුටුවන් උමතු කරවන තරම් විකෘත වූ, ඒ අමාවක්දිනෙහි මහරැයට ද වඩා කලු වූ ලොමින් වැසී ගිය මහකලුගතින් හා ගතට නො සරි ලන නොදික් අත් පයින් ද යුත් රකුසෝ වහසිබස් බෙණෙමින් රජු හා පොරට ආහ. ඇතැම් අමනුෂ්‍යකෙනෙක් ගිනි ගෙණ දිලියෙන අවි ලෙලවමින්, සර්‍පයන් වැනි දික් දිව් බැහැර කර සොලවමින් කුලු වැනි මහකන්පෙති දෙපිට ගසමින්, මහ කලුனයින් වැනි හිසකෙහෙයෙන් මුව වසමින්, කුළුගෙවල් වැනි හිස් වනමින් "තාගේ හදවත ඇද කම්හ. තා ගිල දමම්හ. පරසක්වළ ගසම්හ. තා ගත අපගේ කඩුවෙන් පෙති ගසම්හ. තා අපගේ හියොවුර කරම්හ. සිටුව. නො පලව" යනාදී තර්ජනවචන කියමින් රජු‌ වෙත ලං වූහ. මෙසේ නො සිතිය හැකි නො කිය හැකි තරම් වියරු වෙස් ගෙණ වියරුබස් කියකියා සියගණන් භූතයෝ රජු බිය ගන්වන්නට උත්සාහ කළහ.

රජුගේ සිත ඔවුන්ට බිය වීමට තරම් දුර්‍වල නො වී ය. රජ බිය වන සුල්ලෙක් වූයේ නම්, මන්ත්‍රවිද්‍යාවෙහි පරතෙරට පත් ඒ තවුසා දොළොස් අවුරුද්දක් ධනය දේ ද? බිය යනු කුමක් දැ යි රජ නො දත්තේ ය. බිය නැතියන්ට යකුන් රකුසන් ගෙන් උවදුරක් නොවනබව තවුසා මෙන් ම රජ ද දත්තේ ය. රජතෙමේ සියලු රකුසන් තණ පතක් පමණකුදු නො සැලකුවේ ය. සිය අසිපත වනමින් අමනුෂ්‍යයන් පැලවී ය. කලින් ම තවුසා උගන්වනලද ආරක්ෂා මන්ත්‍ර ජප කරමින් ගසට නැංගේ මළසිරුර බැඳි රැහැන කැපී ය.

මළසිරුර බිම වැටින. ඒ මළසිරුරක අයුරු නො පෙන්වීය. බිම වැටුනු කෙණෙහි ම දිවි ඇතියෙකු මෙන් කෑ ගාන්නට වන. රජ වහා ගසින් බැස්සේ ය. තමන් වෙත දිව ආ අමනුෂ්‍යයන් පලවා හැරියේ ය. කෑ ගානා මළකඳ වෙත ගොස් එය එක් අතකින් පිරිමදිමින් අනික් අතින් උතුරුසළුව ගෙණ පවන් සලමින් ගසින් වැටීමෙන් වූ වේදනාව පහ කරන්නට මෘදුවචනයන්ගෙන් කථාව පටන් ගත.

එකෙණෙහි ම මළසිරුර කොක්හඬ ලා සිනා සී අහසට පැන පෙර මෙන් ගසෙහි එල්ලෙන්නට වන. වීර වූ රජ ද පෙර මෙන් අමනුෂ්‍යයන් පලවමින් ගසට නැග රැහැන කපා එය බිම දැමී ය. මළසිරුර "මා මරණවෝ!" යි බෙරිහන් දෙමින් පොළොවෙහි වැටුනේ ය. රජ ද රැහැන අල්ලා ගෙණ ගසින් පැන සිරුර එසෙව්වේ ය. එවිට එය නැවත ද සිනාසෙන්නට පටන් ගත.

රජතෙමේ ඒ මළසිරුර වෙතාලයෙකු (මිනීකුණුවලට අරක් ගෙණ සිටිතැයි කියන භූතයා) විසින් අධිගෘහිත ය යි සලකා "කුමට සිනා සෙහි ද? මගෙන් තට අද මිදීමෙක් නැත. මා සමග එව"යි කියා එය කර තබා ගෙණ තූෂ්ණීම්භූත ව වහවහා තවුසා වෙත එන්නට වන.

2 තරඞ්ගය...

*    *    *

අපේ සහෘද බ්ලොග් රචිකාවියක් වන නිලක්ෂි බණ්ඩාර වරක්, වේතාල කතා ගැන ලියා තිබුණා. ඒක කියවද්දි මතක් වුණේ, මම පොඩි කාලේ නිතර කියවන්න පුරුදු වෙලා හිටපු පොතක් තිබුණා, වැලිවිටියේ සෝරත හිමියන්ගේ "කථාතරංගිණිය" නමින්. පසුකාලීනව තමයි දැනගන්න ලැබුණේ, ඒක කථාසරිත්සාගරය කියන මහා ග්‍රන්ථයේ කොටසක් කියන වග. 

කථාසරිත්සාගරය ලියූ හැටිත් තවත් අපූරු කතාවක්. මෙන්න මෙතන තියෙනවා ඒ කතාව. ඉතින් අදින් පටන් ගෙන, සතියකට වරක් කථාතරංගිණියේ කොටස් සියල්ල මේ බ්ලොග් එකේ පළ කරන්න හිතා ගත්තා. මීළඟ කොටස මීළඟ සතියේ බලාපොරොත්තු වන්න.

මේක වැලිවිටියේ සොර්ත හාමුදුරුවන්ගේ පරණ සිංහල භාෂාවෙන් තියෙන්නේ. පොතේ තියෙන පද බෙදීම, විරාම  සහ න ණ ල ළ භේදය ඒ විදිහට ම මෙතනත් ටයිප් කරලා තියෙන්නෙ. ඒ වගේ ම අමාරු වචන හැටියට මට හිතුණු වචනවලට, පොතේ පාද සටහන්වල යොදලා තිබුණු තේරුම් මම ඒ ඒ තැන්වල වරහන් ඇතුළෙ යොදලා තියෙනවා.

ගැළපෙන පින්තූරයක් හොයද්දි දැක්කෙ, මේ කතා ටික ටීවී සීරීස් එකක් විදිහට 1985 ප්‍රතිනිර්මාණය කර තිබෙන බව. 

වැඩිපුර බලපු ලිපි