Saturday, June 15, 2024

වර තුනක් සහ කෙටි යෙදුම්

වර තුනක් ලබා දීම ගැන විවිධ ආකාර කතා මේ ලෝකය පුරා ම තියෙනවා. එයින් මේ කතාව මම ගොඩක් පොඩි කාලෙ කියවපු කතාවක්.

දුප්පත් මහළු යුවළක් හිටියා. ඒ දෙන්නා බොහොම දුකින් වාසය කළේ, සමහර වෙලාවට බඩගින්න නිවාගන්නවත් හැටියක් නැතුව. ඒ වගේ ගෙවුණු එක දවසක, සීයා හාමත් වෙමින් ඉන්න අතරෙ, එතනට ආවා සුරංගනාවියක්. ඇය මහලු යුවල අමතලා කිව්වා, "මම ඔයාලට වර තුනක් දෙනවා. දැන් ඔයාලා ඉල්ලන, ප්‍රාර්ථනා කරන පළමු ආශාවල් තුන එවෙලෙම ඉෂ්ට වෙනවා." කියලා.

ඉතින් ඒ දෙන්නා සාකච්ඡා කරන්න පටන් ගත්තා. වර තුනයි ලැබෙන්නෙ. එයින් ලබා ගන්න පුළුවන් හොඳ ම සහ උපරිම අවස්ථාව ලබා ගන්න ඕනෙ.

කල්පනා කරලා, සාකච්ඡා කරලා, වාද කරලා අන්තිමේ බැරිම තැන සීයා ට කියවුණා, "මට බොහොම බඩගිනියි. සොසේජ් එකක්වත් තියෙනවනම් මම කැමතියි." කියලා.

එහෙම කියලා මොහොතක්වත් ගත වෙන්න කලින් ඔහුගෙ ඉදිරිපිට සොසේජ් එකක් මැවුණා.


ආච්චිට බොහො ම කේන්තියි. ඇයි, වර තුනෙන් එකක් නිකම් ම සොසේජ් එකකට නාස්ති වුණා නෙ. එයා කේන්තියෙන් සීයට බණින්ඩ ගත්තා, කරපු මෝඩ වැඩේ ට. සීයා අහගෙන ඉඳලා ඉඳලා බැරිම තැන කිව්වා, "ඔය කෙහෙම්මල් සොසේජ් එක තමුසෙගෙ නහයෙ ඇලෙන්ඩ ඕනෙ". කියලා.

ඒ ආශාවත් ඔන්න එවෙලෙ ම ඉෂ්ට වුණා. සොසේජ් එක උඩ පැනලා ආච්චිගෙ නහය අගිස්සෙ ඇලුණා.

ඒ ගමන ආච්චියි සීයයි ඔක්කොම වැඩ පැත්තක තියලා, ‌අර සො‌සේජ් එක ආච්චිගෙ නහයෙන් ගළවගන්න මහන්සි ගත්තා. ඒ දෙන්නා කොයිතරම් තදින් සොසේජ් එකෙන් අල්ලලා ඇද්දත්, ඒක නම් ආච්චිගෙ නහයෙන් ගැළවුණේ ම නෑ.

අන්තිමේ හති අරිමින් සීය‌ා කිව්වා, "ඔය සොසේජ් එක තමුසෙගෙ නහයෙන් ගැළවෙන්නයි ඕනෙ, කොහොම හරි." කියලා.

ආන්න ඒ වෙලාවෙ සීයගෙ තුන්වෙනි වරයත් ඉෂ්ට වුණා.

*    *    *

වර තුනක් ගැන නූතන කතාවක් මේ...

එක කාන්තාවකට, මුහුදු වෙරළේ තිබිලා බෝතලයක් හම්බවුණා. ඇය ඒක ඇරලා බැලුව ම, බෝතලය තුලින් නිල් පාට දුමාරයක් ගළාගෙන ඇවිත්, බූතයෙක් මැවුණා. එයා කිව්වා, "බොහොම ස්තූතියි මගෙන් ප්‍රයෝජනයක් ගන්නවට. මම ඔයාට වර තුනක් දෙනවා. ඔයා කැමති ඕනෙම දෙයක් ඉල්ලන්න. හැබැයි, ඔයාට ලැබෙනවා වගේ දහ ගුණයක් ඔයාගෙ හස්බන්ඩ් ට ලැබෙනවා."

"හොඳයි." කාන්තාව කල්පනාවට වැටුණා. "මාව මේ ලෝකෙ ඉන්න ධනවත්ම තැනැත්තා කරන්න"

"මට ඔයා ධනවත් කරන්න පුළුවන්. නමුත්..." බූතයා කිව්වා. "...ඔයා ධනවත්ම තැනැත්තා වෙන්නෙ නෑ, මොක ද, ඔයාගෙ හස්බන්ඩ් ඔයා වගේ දහ ගුණයක් ධනවත් වෙනවා."

"ඒකට කමක් නෑ..." කාන්තාව හිනාවෙලා කිව්වා.

"ඔන්න ඒ ඉල්ලීම ඉෂ්ට කළා..." බූතයා කිව්වා. මොකද්ද ඊළඟ වරය?"

"මාව මේ ලෝකෙ ඉන්න ආකර්ෂණීය ම තැනැත්තා කරන්න."

"හරි. ඒකත් ඉෂ්ට කළා." බූතයා කිව්වා. ඒ වෙනකොට අර කාන්තාව බොහො ම ලස්සන, සුන්දර ගැහැණියක් බවට පත් වෙලා. "ඊළඟට ?"

"ඊ ළඟට" සොඳුරු සඳවතිය පොඩි හිනාවක් නැඟුනු මහුණින් යුක්ත ව කිව්වා, "මට දෙන්න ලාාාවට හාට් ඇටෑක් එකක්."

*    *    *

වර තුනක් ගැන තවත් අවර කතාවක් තිබුණා, ඒක පොඩි වෙනස්  කමක් කරමින් සිඩ්නි, ගජමෑන් සමග සමයං පත්තරේ පළ කළා. මේ ඒක.




ඔරිජිනල් කතාවෙ ඔය පුද්ගලයා ඉල්ලන්නෙ, "ඕනෙ රෙද්දක්" නෙවෙයි, "ඕනෙ පුකක්...!"

*    *    *

"ඕ පු" කිව්ව ම මතක් වුණේ අතුරු කතාවක්.

රජයේ සේවයේ, ඕනෙ ම වැඩක් වාර්තා වෙන්න ඕනෙ නිසා, ගොනුවකින් තමයි පවත්වාගෙන යන්නෙ. වැඩ හැම එකක් ම අදාළ ගොනුවල වාර්තා වෙනව. නුවෙ දකුණු පැත්තෙ ලිපි අමුණලා, වම් පැත්තෙ සටහන් පත්‍ර කියන, හිස් කඩදාසි අමුණනවා. ලිපි අංක කරලා, ඒ අදාළ ලිපියෙ අංකය ගැන සඳහන් කරමින්, සටහන් පත්‍රයෙ ඒ ගැන සටහනක් යොදලා ඉහළ නිලධාරියාගෙ මේසය මතට දැම්ම ම, එයා එයාගෙ නිරීක්ෂණ, නිර්දේශ, නියෝග ආදිය, සටහන් පත්‍රයේ ම සටහන් කරනවා. ඉතින් ගොනුවක සටහන් පත්‍ර බැලීමෙන්, වැඩේ වෙලා තියෙන්නෙ කොහොම ද, මොන දවස්වල ද ඒක වෙලා තියෙන්නෙ, කියන විස්තර හොයාගන්න පුළුවන්. ඔය සටහන් පත්‍රවල, සහ ලිපිවල සටහන් තබනකොට කෙටි යෙදුම් භාවිත වෙනව. "දැ. ගැ. ස." කියන්නෙ දැනගැනීම සඳහා. "කරු" කියන්නෙ කරුණාකර...

ඒක කිව්ව ම මතක් වුණේ. මං වැඩට ගිය මුල් ම කන්තෝරුවෙ, ගබඩා භාර කරු හිටියෙ "කරුණාරත්න" කියල අයිය කෙනෙක්. (ගබඩා භාර-කරු-කරු) ඒ දවස්වල, ගබඩාවෙන් මොනව හරි නිකුත් කරන්න සටහන් තබන්නෙ, "කරු. නිකුත් කරන්න." කියලා, හරියට කරුණාරත්න ට ආමන්ත්‍රණය කරලා වගේ...

ඔය වගේ දවසක් අලුතෙන් පත්වෙලා ආව ලොක්කෙකුට ෆයිල් එකක් දාලා, ඒකෙ සටහන් පත්‍රයෙ ලියල තිබුණ ලු, "කරු. අත්. ඉ. කරමි" කියල. උන්දැ ඒ කෙටි යෙදුම අඳුනගන්න බැරුව, යටින් සටහනක් දැම්මලු, "ඕ. පු." කියල.

ඒක දැකපු, සීසී හෙවත් ප්‍රධාන ලිපිකරු, ගොනුවත් අරගෙන අර ලොක්ක ගාවට ගිහිං ඇහුවලු, "මොකද්ද සර්, මේ සටහන?"  කියල.

ලොක්ක ඇහුවලු, "ඊට කලින් කියනවකො, "කරු. අත්. ඉ." කියන්නෙ මොකද්ද කියල..." 

"ඒ කියන්නෙ, "කරුණාකර, අත්සනට ඉදිරිපත් කරමි" කියන එකනෙ සර්..." කියල සීසී කිව්වලු.

"ආ... ඒක ද? "ලොක්ක හිනාවෙලා කිව්වලු, "ඔය "ඕ. පු." කියන්නෙ එහෙනං ඕනෙ පුකක් කියන එකයි" කියල.

*    *    *

ඒ වගේ කෙටි යෙදුම් ගැන තව කතාවක් කියල ම වර තුනට ආපහු සම්බන්ධ වෙමු.

සෑහෙන ඉස්සර කාලෙ, ලොකු ප්‍රොජෙක්ට් එකක් තිබුණා පිටිසර ගමක් ආශ්‍රිතව. ඔය ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන උදවිය නිතර ම ගමේ තේ කඩේට ගොඩ වෙලා, උදේට දවල් ට කන්නත්, තේ බොන්නත්ත් පුරුදු වෙලා උන්නා. 

ඔය දවස්වල, ප්‍රොජෙක්ට් එකේ ගේට්ටුවෙ දැන්වීමක් ගහල තිබුණා, "කම්කරු ඇබෑර්තු ඇත - ප්‍ර.වැ.දෙ. ප්‍ර. ඉ." කියලා.

ඔය කඩේට ආව ප්‍රොජෙක්ට් එකේ ලියන මහත්තයෙකුගෙන්, දවසක් කඩේ මුදලාලි ඇහුවා, "මොකද්ද අර බෝඩ් එකේ තියෙන කෙටි යෙදුම?" කියලා.

ලියන මහත්තයා ඉතිං මුදලාලිට කියා දුන්නා, ඒ තියෙන්නෙ, "ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව, ප්‍රධාන ඉංජිනේරු" කියන එකයි කියලා.

පහුවදා කඩෙත් බෝඩ් එකක් ගහලා තිබුණා.

"මෙහි නිකරුණේ රස්තියාදු ගැසීම තහනම් - පු. සි. මු." කියලා.

මේක අර ප්‍රොජෙක්ට් එකේ හැමෝට ම ගැටළුවක් උනා. අර ලියන මහත්තය ම ඊළඟ දවසෙ මුදලාලිගෙන් ඇහුවා, ඒ බෝඩ් එකේ තියෙන කෙටි යෙදුම මොකද්ද කියලා.

"ඇයි මහත්තයො හිතා ගන්න බැරිද?" මුදලාලිත් හිනාවෙලා ඇහුවා. "ඒ තියෙන්නෙ මගෙ නම. පුංචි සිඤ්ඤො ‌මුදලාලි කියන එකනෙ..."

ඒක කිව්වම පච්ච කතාවක් මතක් වුණ උදවිය මේ කොණට...

*    *    *

ඔය වගේ ප්‍රොජෙක්ට් එකක වැඩ කරපු උපදේශක වරයෙක් උන්නා,  පාෂාණ පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන. හැමෝ ම එයාට ඩොක්ටර් කියල තමයි කතා කළේ. ටික දවසක් යන්න කලින්, ගමේ උදවිය එක එක ලෙඩවලට බෙහෙත් ගන්න එයා ළඟට එන්න ගත්ත. 

බැරිම තැන එයා ගමේ උදවියට කියා දුන්නා, තමුං ‌වෛද්‍ය වරයෙක් නෙවෙයි, ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක් කියලා. ඒත් ඒක ගමේ උදවියට තේරුණේ නෑ. අන්තිමේ එයා කිව්වා...

"මං මිනිස් ඩොක්ටර් කෙනෙක් නෙවෙයි, ගල් ඩොක්ටර් කෙනෙක්" කියලා.

ඊට පස්සෙත් අසංගයි ප්‍රසන්නයි කියල දෙන්නෙක් ඩොක්ටර් පස්සෙන් කැරකුණාලු, ඒ ඇයි දන්නෑ?

*    *    *

ඔය වගේ වර තුනක් දුන්න නෙ, වලහෙකුටයි හාවෙකුටයි... මේ ඒක.

Tuesday, June 4, 2024

විපතක දී මුලින් ම පළා යන්නේ...

https://qph.cf2.quoracdn.net/main-qimg-b6079f9fdff8f57e2c36bb9c61241ff9-lq

පවතින දැඩි අයහපත් කාලගුණය ගැන මුහුණුපොතේ පළවෙන විස්තර, පින්තූර සහ විවිධ පෝස්ට් දැක්ක ම මතක් වුණේ බුදුගුණාලංකාරයෙ තිබුණු කවි පෙළක්. මේකත් පරණ පාසල් පෙළ පොතකින් තමයි මම ඉස්සෙල්ල ම කියෙව්වෙ.


ඊට කලින් මාතෘකාවෙ හිස්තැන පුරවන්න තියෙනව. මේ කියමනත් මම දැක්කෙ මුහුණුපොතෙන් ම තමයි.

"විපතක දී මුලින් ම පළා යන්නේ දෙවියන් ය. විද්‍යාව සහ තාක්ෂණය පැමිණ මිනිසා බේරා ගත් පසු, පෙරලා ‌ පැමිණෙන දෙවියන් සහ කපුවන් නැවත මිනිසා සූරා කෑමට පටන් ගනිති."

එහෙනම් මෙන්න උඩ කී කවි පෙළ...

146. 
බරණැසැ පෙර කලෙක 
බමුණු මහසල් කුලයෙක 
ගුණ නැණ යුත් නිසැක 
උපන් පින් සර බමුණූ උතුමෙක


147. 

සව් සතර සමුදුර 
දැකැ නැණ නැවින් පර තෙර 
පසිදු වැ ලොවැ පතර 
තමා බිහි වන දිනෙහි ගුරුවර


148. 

නො නිවා තබා රැක 
දුන් ගිනි රැගෙනැ වනයෙක 
වැසැ අවුරුදු නොයෙක 
පුදත ගිනි දෙවියාට දවසෙක


149. 

සිඟා ගිය තැනැ ලද 
ගොනකු ගෙන‘වුත් ගසැ බැඳ 
කෙරෙමි මසින් පුද 
සිතා ගිනි දෙවිය හට මහ පුද


150. 

‘ලුණු නැති මස් පුදට 
නපුරැ” යි සිතා ගමකට 
යා දී ඔහු ලුණට 
අවුත් වලැ වැදි දනන් එ තැනට


151. 

එ ගොන‍ා මරා මස් 
පලහා කමින් නොසරස් 
උන් ගිය සඳැ ඒ ගොස් 
බලා ගොන් නඟුට කුර ඇට රැස්


152. 

‘‘අප රකිනා ත බා 
තොප සතු ගොන‍ා නො ත බා 
කන තෙක් වෙතැ ත බා 
බලා උන් කෙනෙකි තෙපි අත බා


153. 

‘‘ එයින් ගිනි දෙවි නැත 
උන් නැත පුදෙන් පල නැත 
බොරු බස් ලොව පැවැත කරන 
පුදයෙකැ නුවණ නැති සත


154. 

‘‘ගොන් මස් නොලදිනී 
මෙ පමණ කව යි ඉතිනී” 
කියමින් වල‘ගිනී 
ගසා දියවර නිවි යැ එ ගිනී


මේ බුදු ගුණාලංකාරයෙ ශිව දෙවියන් ගැන තියෙන වර්ණනාව... (බෝනස්)

https://blogger.googleusercontent.com/

159. 

තිසුලවි ගත් කරින් 
කළු පැහැ රැගත් උගුරින් 
හන් සළු ගත‘ඹරින් 
අඩක් උමයඟන ගත් සිරුරින්


160. 

දළැ අඩ සඳ බඳින 
ගොර සප් හරක් පලඳින 
රඟ කරන දිනැ දින 
මහලු ගොන් වාහනෙන් ඇවිදින


161. 

ලත් මහ පදවියා 
සිර සුර ගගින් දෙවියා 
අනඟ රුව දැවියා 
යෙහෙකැ පුද කරන මහ දෙවියා


162. 

එ මැ මහ දෙවිඳු හෝ 
නොහොත් සිව ලිංගය හෝ 
වැඳැ පිදුවොත් බොහෝ 
එතී කී ‘ලොවට සෙත ඇම හෝ


163. 

එ මැතිඳු බස් අසා 
මැති‍ඳෙක් කියයි මෙ ලෙසා 
ඇති දුක් මඳ නිසා 
තවත් දුක් ගෙනැ ලයි ද එ වසා


164. 

දෙවියෝ නම් සඟය 
පැලැඹෙන අයෙකි ස සඟය 
උන් රූ මනරඟය 
විසුළු වෙස් ඇති නො වෙයි මේ රඟය


165. 

උතුමෝ ලියන් වෙත 
නො ඉඳිති විළින් දැකැ සත 
මෙහෙසුරු උමා කත 
තබා රකිතී කියයි සිය ගත


166. 

පවතින මෙ ලොව රැක 
නැති කලැ හිරි ඔතප් දෙක 
ඔහු වැඳැ පුද නොයෙක 
කළෙ යි වැඩ සිදු වේ ද කිකලෙක


167. 

අවි අන් වැනැසුමට 
නැත වෙයි තමා රැකුමට 
එයින් තිසුලවි හට 
ඇතැ යි රා දොස් දැනෙයි මොනොවට


168. 

රා දොස් පව් මිදී 
නිසි උතුමනට නොබැඳී 
සිටි බවයෙන් බැඳී 
ඔහුට පුද කොටැ කිම් ද පැහැදී


169. 

සසරෙහි සබව දත් 
සිල්වත් දනෝ නැණවත් 
තුමූ රඟ නො කෙරෙත් 
අනුන් රඟන රඟකුත් නො බලත්


170. 

නළු වෙස් ගෙනැ එ සේ 
නටන කලැ හැම දවසේ 
උන් පිදුව යි කෙසේ 
වැඩක් සිදු වෙද ලොවට සිත සේ


171. 

දද දන බස් අසා 
කරන පුද ඔහු උදෙසා 
දිඹුලෙහි මල් නිසා 
දියැදැ දුක් විඳින වැනි නොලසා


172. 

අයකු පිළිකුල් වන 
අයකු සිත රා වඩවන 
ලිඟු සටහන් රැගෙන 
කළැ යි පුද පල කිම් ද ඉන් වන


173. 

සිත දුසිරී කිලුට 
පින් කෙත් නොවන මෙ ලොවට 
පුද කරනු ඉසුරුට 
ගලෙක වපුරන වැන්නැ බිජුවට


Saturday, June 1, 2024

ශනිදා දහයට කලින්... පොලිස් කතා සහ තවත් කතා

පහුගිය මාර්තු අප්‍රේල් මාසවල ලියන්න කියවන්න විවේකයක් නැතුව ඉද්දි, කතා කරලා දුක සැප අහපු තට්ටයියා වෙනුවෙන් මේ ලියමන ලියන්ඩ පටන් ගත්තෙ. නමුත් ඒක මාතෘකාවට සහ පළවෙනි වාක්‍යයට සීමා වෙලා ඩ්‍රාෆ්ට් අතරෙ රැඳිලා තිබුණා. 

පොලීසිය ගැන අපේ සමාජයේ තියෙන්නෙ ඒ තරම් හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. ඒ නිසා ම උන්දැලට පහර දෙන්න විහිලු කතා ගණනාවක් ගෙතිලා තියෙනව. මං ගැටවර කාලෙ මළගෙවල්වල දි අහපු කතාවකින් පටන් ගන්නම්.


සුජාතභාවයේ ගැටළුව

දවසක් පොලිස් කාරයෙකුයි, ආමි කාරයෙකුයි බස් හෝල්ට් එකක ඉන්නව. ඔය කියන්නෙ උතුරෙ යුද්ධයේ අවසාන කාලෙ. ඒ දවස්වල ආමි එකේ මොරාල් හොඳටම අප් කරලා තිබුණෙ. කොටින් ම හිටියෙ හමුදා භටයො නෙමෙයි, රණවිරුවො. ඒ උනාට පොලිසියට ඒ තරම් සැළකිල්ලක් නෑ. ඉතින් පොලිස් කාරයට ආමි කාරයව මඩවන්න ආස හිතුණා. පොර නිකං ම අරූ එක්ක කතාවක් පටන් ගත්තා.

"නිවාඩුවට ආව නේ?"

"ඔව්" ආමි කාරයත් හිනාවෙලා කිව්ව.

"දැන් නිවාඩු එහෙමත් ඔයාලට අඩු ඇති නේ?"

"ඔව්. අවුරුද්දකටවත් සැරයක් එන්න නෑනෙ."

"ඒකනෙ..." පොලිස් කාරය දුක්මුසු මුහුණින් කිව්ව. "ඔය අතරෙ ඔයාලගෙ පවුල්වල දරුවොත් ඉපදෙනව නේ...?"

ආමිකාරය ඔලුව ඉහළ පහළ අතරට වැනුවා, "ඔව්" කියන්න.

"ඉතිං ඒ අවජාතකයන්ට මොක ද කරන්නෙ?" පොලිස් කාරයා තැනේට ඇණේ ගැහුවා, මහ කාළකන්ණි අවලං හිනාවකුත් එක්ක.

"ආ... උන් ද?" ආමිකාරයා ඇහුවා. "ඒ අවජාතකයො ලොකු වෙලා පොලිසියට බැඳෙනව."



බෝම්බ තුනේ කතාව

(මේක නම් මම මීට කලින් කොතනක හරි කියලා තියෙනවා කියලා මතකයි)

දවසක් පොලිස් කාරයො දෙන්නෙකුට බෝම්බ තුනක් හම්බුණා, පාරක් අයිනෙ හංගලා තිබිලා. දැන් ඒ බෝම්බ තුන මේ දෙන්නා අරගෙන යනව, පොලිසියට.

එහෙම යන ගමං කොස්තාපල් ට ගැටලුවක් මතුවුණා. 

"මේ සාජන් මහත්තෙය... දැං මේ බෝම්බ තුනෙන් එකක් පිපිරුවොත් ‌එහෙම අපි මොක ද කරන්නෙ?"

"වෙන මොනව කරන්ඩ ද?" සාජන් ඇහුවා. "අපි කියමු දෙකයි හම්බුණේ කියල..."



බීමතින් රිය පැදවීම

දඩයක් බා ගන්ඩ බලං හිටපු පොලිස් කාරයෙක් මහ රෑ බාර් එකක් ළඟ රැකලා හිටියා. ටික වෙලාවකිං නකතං වෙන්ඩ ගහපු මනුස්සයෙක් බාර් එකෙන් එළියට ආව. පොර ට හිටගෙන ඉන්ඩ පණ නෑ. ‌උන්දැ ඇද වෙවී වැනි වැනී කාර් පාක් එකට ඇවිත් කාර් එකක දොරට යතුර දැම්ම. ඇරුනෙ නෑ. ඊට පස්සෙ ඌ තව කාර් එකකට ගියා. ඒකත් ඇරුණෙ නෑ.

දැන් පොලිස් කරයට බඩු ෂුවර්, මේ වතාවෙදි නං දඩකොලයක් හරි නඩුවක් හරි ලැබෙනව ම තමයි. 

ඔය විදිහට කාර් හතරක් විතර පහු කරපු ඉවානයා, අන්තිමේ තමන්ගෙ කාර් එක හොයාගෙන නැග්ගා. ඊට පස්සෙ ලයිට් දැම්මා, ඩිම් කළා... ෂටර්ස් පාත් කළා, ඉස්සුවා... වයිපර්ස් ඔන් කළා, අන්තිමේ යන්තම් ස්ටාට් කරගත්තා. ස්ටාට් කරපු ගමං ඉස්සරහට ගිහිං තණකොල තීරුව උඩට ආවා.

ඔය අතරෙ පාක් එකේ තිබුණු කාර් ඔක්කොම ගියා. බාර් එකත් වැහුවා.

අන්තිමේ ඉවානයා කාර් එක පස්සට රිවස් කරලා, පාරට දාගත්තා. දාගෙන ටිකක් ඉස්සරහට යද්දි ම, පොලිස් කාරයා මූව නතර කළා. නතර කරලා, බැලුම දුන්න පුම්බන්ඩ.

හරි වැඩේ කියන්නෙ, බැලුමෙ ප්‍රතිඵලය බින්දුවයි. ඉවානයා බීලා කියල ඒකෙන් ඔප්පු වෙන් නෑ.

"මේක කැඩිලවත් ද?" පොලිස් කාරයා ට කියවුණා.

ඉවානයා හිනාවෙලා කිව්වා. "නෑ නෑ... බීපු උන් ටික ඔක්කොම ගියා. මං උන්ට බේරිලා යන්ඩ සපෝට් එකට පොඩ්ඩක් රඟපෑවා"



හිටගන්ඩ පණ නෑ

පොරක් බාර් එකට වෙලා මුළු හවස්වරුවම බිව්වා. අන්තිමේ දැන් ඇති කියලා හිතලා යන්ඩ නැගිට්ටා විතරයි, මූ මුණිං අතට වැටුණා. 

"සැහ්... මෙච්චර බොන්ඩ නරකයි ආයෙ" කියල තමන්ට කියාගෙන නමියා ආපහු නැගිට්ටා. ඒ පාරත් දඩීං ගාල වැටුණා.

ඒ ගමන මොනව කරන්ඩ ද, පොර බඩගාගෙන දොර ගාවට ගියා. ගිහිං දොර අල්ලගෙන නැගිට්ටා. ඊට පස්සෙ දොරං එළියට අඩියක් තිබ්බ විතරයි, පතෑං ගාල ආපහු වැටුණා මුණිං අතට.

ඒ ගමන නමියා හිත හදාගෙන පාර දිගේ පේමන්ට් දිගේ බඩගාගෙන ගිහිං කොහොම හරි ගෙදර ළඟට ආවා. ඇවිත් යාන්තං දොර් එල්ලිලා හිට ගත්තා. හිටගෙන, දොර බදාගෙන දොරේ අගුල ඇරගත්තා. දොර ඇරුණා විතරයි මූ ආපහු මුණිං වැටුණා. ඒ ගමන දොර අල්ලගෙන ආපහු නැගිටලා දොර වැහුවා. වහල දොර අත ඇරියා විතරයි, ආයෙ මෙකට ද මං කියන්නෙ? රවි අයියා තට්ටයගෙ කෑම්ප් එකේ දි වැටුණා වගේ උජාරුවට අරූ ආපහු වැටුණා.

ඒ ගමන බඩගාගෙන ඇඳට ගියා. ගිහිං අවසාන වතාවට කෙළිං හිටගත්තා. ඒ ගමන උගෙ වාසනාවට උන්දැ වැටුණෙ ඇඳ උඩට. එහෙම්ම නින්ද ගියා.

පහුවදා ඇහැරුණා ම වෛෆ් මුගෙන් අහපු පළවෙනි ප්‍රශ්නෙ තමයි, "තමුසෙ ඊයෙ සිහි නැතිවෙන්ඩ බිව්ව නේද?"

මිනිහත් වෙන උදවිය දෙන උත්තරේම තමයි දුන්නෙ. 

"පිස්සු ද, ඩාලිං? මං බිව්වෙ නෑ..."

"එහෙනං අර බාර් එකෙං අද උදේ ම කෝල් කළේ..." වෛෆ් කිව්වා. "තමුසෙ ඊයෙත් රෝද පුටුව එහෙ දාල ඇවිල්ලා"


ප්‍රොක්ටර්

මගෙ සුපුරුදු පෙරකොදෝරු කතාවක් නැති වුණොත් පෝස්ට් එකෙන් වැඩක් නෑ. ඒ් නිසා මේකත් කියවන්න. හැබැයි ඔයාල කියවලා හිනා වුණාට අපේ ප්‍රාජේ ට එහෙම මේක ගැන කියන්ඩ එපා.

ටවුමක තිබුණා පුණ්‍යාධාර සමිතියක්. ඒකට ටවුමෙ උන්න හැම පෝසතා ම ආධාර කළා. ඉතින් දවසක් මේ සමිතියෙ ගරු භාණ්ඩාගාරික ආධාර පොත අරගෙන කියවලා බලද්දි දැක්කා, ටවුමෙ ඉන්න ප්‍රසිද්ධම නීතිඥවරයා විතරයි මේ සමිතියට ආධාර කරලා නැත්තෙ කියලා.

ඔය භාණ්ඩාගාරිකකමට පත් කරන්නෙත් නීතීඥයො වගේ ම සූරගන්ඩ දක්ෂ මිනිස්සු. ඉතිං නිමල් අයියත් හිතාගත්තා, මං කොහොම හරි ප්‍රාජේගෙන් දතක් ගළවනවා සමිතියෙ අරමුදල වෙනුවෙන් කියලා. එහෙම හිතාගෙන ගියා අර නීතිඥවරයා හම්බවෙන්න.

ගිහින් කිව්වා "මේ බලන්න මහත්තයා. අර කඩේ මුදලාලිත් අපට ආධාර කළා. අර ෆිල්ම් ඩිරෙක්ටරුත් අපට මාස්පතා ගාණක් එවනවා. මෙහෙම බැලුවම ඔබතුමා විතරයි අපට ආධාර වශයෙන් සතයක්වත් දීලා නැත්තෙ..."

කියාගෙනනකොට ම නීතිඥ මහත්තයා අතක් උස්සලා නිමල් අයියව නැවැත්තුවා.

"දැන් ඔයා දන්නව ද, මගෙ අම්මා කාලෙයක් තිස්සෙ ලෙඩ වෙලා මැරෙන්න වැටිලා ඉන්නවා කියලා? එයාගෙ පෙන්ෂන් එක වගේ කීප ගුණයක් සල්ලි වියදම් වෙනව එයාගෙ බෙහෙත්වලට... ඔයා දන්නවද ඒක?"

ගරු භාණ්ඩාගාරිකට කටේ කෙලත් හිඳුණා. "න්න්න් නෑනෙ..." එයා යාන්තමින් කියාගත්තා.

"... ඊළඟ ට... මගෙ මල්ලි හමුදාවෙ ඉඳලා, බට්ටෙක් පෑගිලා කකුලක් කපලා රෝදපුටුවට ම සීමා වෙලා ඉන්නව කියල ඔයා දන්නව ද? ඒ මදිවට එයාගෙ ඇහැකුත් අන්ධයි..."

භාණ්ඩාගාරිකට කට උත්තර නෑ...

"තුන්වෙනුව..." ලෝයර් කියාගෙන යනවා... "මගෙ නංගිගෙ හස්බන්ඩ් මැරුණා ඇක්සිඩන්ට් එකකින්. එයාගෙ දරුවො තුන්දෙනාට උගන්නගන්ඩ එයාට සතයක්වත් ඉතුරු කරලා තිබුණෙ නෑ මස්සිනා..."

"මං ඔය කිසිම දයෙක් දැනගෙන උන්නෙ නෑ..." අන්තිමේ නිමල් අයියා කෙඳිරි ගෑවා.

"අන්න ඒකනෙ..." ප්‍රා ජේ අවසාන වචනයත් කිව්වා. "ඔය එකෙකුටවත් සතයක්වත් වියදම් කරන්නෙ නැති මං, තමුසෙලට ආධාර කරයි කියල හිතනවද මනුස්සයො?"


------------

හුටංබරස් මහතා, ඊයෙයි අදයි උදේ ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන අතරෙ හදපු "බස්සා මාමා" පහතින්...



"පොටෝ දෙකක් ගම්මු. එතකොට, මේකෙ කට අරින්නයි වහන්නයි පුළුවන් කියල පේනව. ඊට පස්සෙ බස්ස මාමට යවමු. බ්ලොග් එකෙත් දාමු" කියල උන්දැ ම තමයි කිව්වෙ...

Saturday, May 25, 2024

විජය පත්තර මතක

මා ළඟ තිබුණා, විජය පත්තර ටිකක්, 1983 විතර ඉඳලා ඉදිරියට. මේ ළඟ දි ඒ එකක තිබුණු කැලේ කතාවක කතාවක් මතක් වෙලා මං හුටංබරස් ට කිව්වා. ඊට පස්සෙ මට ඒ ටික හොයන්න ඕනෙ වුණා. මේ පෝස්ට් එක ඒ සෙවීමේ ප්‍රතිඵලය.

පරහකට තියෙන්නෙ, 2010 දි විතර මගෙ පොත් අල්මාරියට වේයො ගිහිං සෑහෙන ප්‍රමාණයක් රස විඳලා තිබුණු එක. ඉතිං පත්තර කොටස් ටිකක් අපට රස විඳින්න අමාරුයි.

මෙන්න මුලින් ම සිබිල් නැන්දා කරපු කවරයක්. මං ආස ම ඒකෙ කවියෙ තියෙන සරල බවට යි, පින්තූරවල තියෙන ජීවමාන ඉරියව් වලටයි.


මේ කවරය තිබුණු පත්තරේ ම තමයි "මකාගෙ යලක්" පළවෙනි කොටස තිබුණෙ. මේ ඒක...


මී ළඟට සූත්තර පුංචා කොටස් කීපයක්...





ගෝවින්ද ලියපු "මට මතකයි" ආටිකල් එකත්, අතීත රස වෑහෙන ලියමනක්. මේ එයින් එකක්...


අන්තිමට... අපේ බකමූන්ස් අමතක කරන්ඩ පුළුවනෑ...? මේ උන්දැගෙ ලියමන් දෙකක්, විජය පත්තරෙන්.



මේ ටික ලියලා ඉවර වෙද්දි, කැලේ කතාව පීඩීඑෆ් වෙලා ඉවරයි. ඒක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

Sunday, May 19, 2024

හිත නිවන ගී - මෙවර, වට ම ගිහිං ගෙට ම...

වැසි දැරිය ලියලා තියෙන මේ ලිපිය කියවද්දි මට හිතුණා, මේ අවුරුද්දෙ වෙසක් කළාපය පටන් ගෙන, යමක් ලියන්න ඕනෙ කියලා. එහෙම හිතාගෙන ඉන්න අතරෙ, වෙන වැඩක් කරමින් හීනියට අහන්න සිංදුවක් හොයද්දි තමයි මේක හම්බ වුණේ. අපි පොඩි කාලෙ ඇහුණු ගිතයක්.

සුනිල් ශාන්ත දේශීය සංගීත ක්‍රමයක් වැඩි දියුණු කරන අදහසින් හදපු ගීතයක් හැටියට, මේකෙ ගායන ශෛලිය ඇහෙණකොට මතක් වෙන්නෙ ම රෑ පානේ ඈත හේනක පැලකින් නැගෙන සීපද රාවය. අයිවෝ ඩෙනිස් ඒක පුදුමාකාර විදිහට සුමටව හඬ පාලනය කරමින් ගයනවා. 

ඊළඟ මට දැනුණු අංගය, මේකෙ සිනිඳු සුමිහිරි සංගීතය...

හඬ පාලනයට සහ මියුරු ගැයීමට නම් දරා සිටි නෙවිල් ප්‍රනාන්දු ගේ මම ආසම ගීතය මී ළඟට. මම එහි ආස ම පද මාලාවට.

මෙහි පැරණි පටිගත කිරීම කඨෝර බවක් දැනෙනවානම්, මෙන්න එය ම ආත්මා ලියනගේ විසින්...

මී ළඟට අයිවෝ ඩෙනිස්‌ගේ ම තවත් ගැයුමක්. මට මතක හැටියට අසූ ගණංවල මුල මහවැලි ව්‍යාපාරය ප්‍රවර්ධනයට හෝ, නව ජනපද බිහිකිරීම උත්කර්ෂයට නැඟෙන්නට තැනුනු උදා ගී රාශියක් තිබුණා. මෙයත් එයින් එකක්. මෙහි වයලින් නාද රටා මට සිහිපත් කරවන්නේ මිනිසුන් සමූහයක් උද්වේගයෙන් කරන පාගමනක් හෝ පෙළපාලියක්.



ඒ ප්‍රවණතාවයෙන් ම නිමැවුණු තවත් ගීයක් මේ. අබේපාල මහතා සහ තේ කෝප්පයේ කතාව වගේ ම මෙයත් මිනිස් ශ්‍රමය උත්කර්ෂයට නංවනවා. 


මේකත් අසූ ගණංවල ඇහුණු ගීතයක්. මුවන්පැළැස්සෙ මුල් කාලෙ අලලා හැදුණු චිත්‍රපටියක් වුණු බිනරි සහ සුදුබණ්ඩා මුල් කරගත් එකක්. ඒකෙ පුරාවට ම සංගීතය සහ පද තනිකර ම කැලෑ ගමක යටි පෙළින් නැගෙන සුන්දරත්වය සහ සරළත්වය පෙන්නුම් කරනවා. ගායකයාගේ හඬත් ඊට ම ගැළපෙනවා.

මේ ඒ වාගේ ම තවත් ගායනයක්. මම දන්න විදිහට මේ ගීතය හැදුණේ, මේ පද ම අඩංගු කවි පෙළකින්...


මී ළඟට අපි ‌නව යොවුන් කාලේ පට්ට ගහපු රොමැන්ටික් ගීතයක්. මට මතකයි අනූ ගණංවල අග ඩෝලැක් එකක් අරගෙන කෝච්චියට නගින කොල්ලෙක් මේ ගීතය ලස්සනට ගායනා කරනවා. මේකෙ තියෙන නැළවිල්ලක් වගේ තනුව වගේ ම පදත් පට්ට! අනික, මේ ගීතය තුළ තියෙනවා, අපේ ගෙවල් ළඟින් වැලිපිල්ලෑව පැත්තට දිවෙන පාරක නමක්...


අනූ ගණංවල අපට ඇසුණු, තවත් ප්‍රේමණීය ගායනයක් මේ. මේ කාලෙ අසංග ප්‍රියමන්ත පීරිස් කට උල් කරගෙන ගායනා කළේ නෑ. මේ ඔහුගේ නැචුරල් හඬ...


ප්‍රේමය ගැන කියනකොට මට මතක් වුණේ. මේ පහල දාල තියෙන ගායනය, සැමියා සහ බිරිඳ  සංවාදයකට ඉතා ම කදිම උදාහරණයක් බව මට මේක ඇහෙන හැම වතාවක ම හිතෙනවා.

හොඳට බලන්න, මේකෙ ආරම්භයේ දී කපුගේ ට කියන්න ලැබෙන්නේ, "බිරිඳ මගේ ඔබ..." කියන වචන තුන විතරයි. එතන ඉඳං දිගට ම කියාගෙන කියාගෙන යන්නේ නන්දා මාලනී...

මොකක් රත්තරනින් ලියාගෙන ආවත් අන්තිමට කොමිටල් කරන එක මට ලැබිලා තියෙන්නෙ ජානවලින් කියලා හිතෙනවා. ඒ ජාන අපේ අපේ සීයාගෙන් ලැබුණක් බව තමයි මට පේන්න තියෙන්නෙ. ඉතිං අවසාන වරට... ඩාත් වේඩාර් හාදයත් හිඟමනට වැටුණ එකේ, අපි නං මොක ද නේ?

මොනව උනත් පොර ලස්සනට ගිටාර් ගහනවා. අර දැන්වීම තමයි හොඳ ම... අලුත් ඩෙත්ස්ටාර් එකක් හදන්න පොර හිඟා කන්නෙ...

Saturday, May 11, 2024

නීලකළපුව

 


වික්ටෝරියානු යුගයේ දී...

 දකුණු පැසිෆික් සාගරයේ යාත්‍රා කරමින් තිබුණු රුවල් නැවක හදිසියේ ම ගින්නක් හට ගත්තා. කළබල වූ යාත්‍රිකයන් පැනගනිද්දී, පැඩී බටන් නම් වැඩිහිටියා, අවූදු හතක් පමණ වයසැති ළමයින් දෙදෙනෙකු වූ රිචර්ඩ් සහ එමලින් බෝට්ටුවකට නංවාගෙන යාත්‍රාවෙන් පැන ගත්තා. ඔවුන්ට සුන්දර ඝර්ම කළාපීය දිවයිනකට ගොඩ බසින්නට හැකි වුණා. එහි දී පැඩී දරුවන් දෙදෙනා රැක බලා ගනිමින් තමන් බේරා ගන්නට නැවක් පැමිණෙන තෙක් බලා සිටියා. පරිසරයට හුරු වෙමින් සහ නොනැසී ආරක්ෂා වෙමින්...


එහෙත් වැඩි කාලයක් යන්නට පෙර පැඩී මිය ගියා. ඉන් පසු දරුවන් දෙදෙනා මුහුදු වෙරළේ, කළපුවේ කර දියේ සහ වනයේ ජීවත් වන්නටත්, සොබා දහම රස විඳින්නටත් ඉගෙන ගත්තේ තනිවම. එය නැවුම් අත්දැකීමක්. 

එහෙත් නොදන්නා දේ සිදුවෙමින් තිබුණා. දිවයිනේ අනෙක් පැත්තේ ප්‍රචණ්ඩ ප්‍රාථමික මිනිසුන් නිතර ගැවසුනා. ඔවුන් ආගමික චාරිත්‍ර ඉටුකළ ස්ථානයක් එහි තිබුණා.

අනෙක් නොදන්නා දේ තිබුණේ දරුවන් තුළ ම යි. ඔවුන් වැඩිවිය පැමිණෙමින් තිබුණා. ඔවුන් තුළ හටගත් වෙනස්වීම් ඔවුන් තේරුම් ගන්නට වෑයම් කළා. ඒ වගේ ම, ඔවුන් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය වීම ඔවුන්ට වටහා ගන්නට අසීරු වුණා. නමුත් ක්‍රම ක්‍රමයෙන් ඔවුන් ඒ තුළ වූ සුන්දරත්වය විඳගන්නටත් සහජයෙන් ඇති වන ආකර්ෂණයට නතු වන්නටත් පටන් ගත්තා.

මම මීට වඩා කිසිවක් කියන්නේ නෑ.

1908 දී පළ කෙරුණු හෙන්රි ඩි වියේර් ස්ටැක්පූල් විසින් ලියා පළ කෙරුණු නවකතාවක් ඇසුරින් 1981 දී තිර ගත කෙරුණු The Blue Lagoon චිත්‍රපටය මම මුල්වරට නැරඹුවේ ටීඑන්එල් නාලිකාවෙන් බව මතක, 1998 දී. ඉතා ම චමත්කාරජනක මතකයක් ඉතිරි කළ සිනමා නිමැවුමක් එය.

එය සැළකියයුතු බලපෑමක් ඇති කළ බව පැහැදිලි වෙන්නේ, 1991 දී එහි ඉතිරි කොටසක් ලෙසට The Return to the Blue Lagoon නමිනුත්, 2012 දී The Blue Lagoon Awakening නමින් නවතම චිත්‍රපටයකුත් බිහි වීම මගින්. මේ චිත්‍රපටියේ කතාව යම්තාක් දුරකින් මම මීට පෙර සඳහන් කළ Top Secret චිත්‍රපටිය තුළත් සඳහන් කරනවා. 


බෲක් ෂීල්ඩ්ස් සහ ක්‍රිස්ටෝෆර් ඇට්කින්ස් ප්‍රධාන චරිත නිරූපණය කළ මෙම සුන්දර චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ රැන්ඩෝල් ක්ලේසර්. මෙහි ප්‍රචාරක පටය පහතින්...


බාගන්නට ටොරන්ට් සබැඳිය මෙතනින්...

Sunday, May 5, 2024

පැන්ඩිස් මී වදය බේරා ගත් හැටි


*    *    *


*    *    *

බඹර කැලේකියලා ලස්සන කැලෑවක් තිබුණා. ඒ කැලෑවේ තිබුණු ගල් ගුහාවක පුංචි වලස් පැටියෙක් ජීවත් වුණා. එයාගේ මූණයි, බඩ පැත්තයි රෝස පාට බූල්වලිනුත්, අනික් කොටස් රතු පාට බූල්වලිනුත් වැහිලා තිබුණා. එයාට හැමෝම කිව්වේ පැන්ඩිස් කියලයි.

දවසක් උදෑසන පැන්ඩිස් කම්මැළිකමට කැලේ මැදින් ඇවිදගෙන ගියා. එහෙම යනකොට එයා දැක්කා ගහක උස අත්තක තිබුණ මී වදයක්.

පැන්ඩිස්ට මී පැණි කන්න ආසා හිතුණා. එයා මී වදය කඩාගන්න උඩ පැන්නා. එයා කොයි තරම් උඩ පැන්නත් මී වදය කඩා ගන්න බැරි වුණා. අන්තිමේදී එයා දුවගෙන දුවගෙන ඇවිත් එයාට පුළුවන් තරම් වේගයෙන් උඩ පැන්නා. ඒ වාරයේ එයා ඔළුව පහතට හිටින්න බිම වැටුණා.

ඒක දැකපු මී මැස්සො කිවුවා, "අන්න බලන්න රතු පාට පුංචි ගහක්" කියලා.

එතකොටම ඉහළ අහසේ ඉඳන් වේගයෙන් පාත් වුණු උකුස්සෙක් මී වදය කඩාගෙන ඉගිල්ලුණා.


"අපේ මී වදය බේරගන්නෝ...!" මී මැස්සො ටික කෑ ගැහුවා.

ඒක ඇහුණ පුංචි වලස් පැටියට දුක හිතුණා. "ඔයාල භය වෙන්න එපා. මම මී වදය බේරගන්නම්." කියලා එයා උකුස්සගේ පස්සෙන් දුවන්න පටන් ගත්තා.

අතරමඟ දි එයාට හම්බවුණා, තවත් පුංචි වලස් පැටියෙක්. එයා සුදුම සුදුයි. එයාගේ නම පෝලාරිස්.

පැන්ඩිස් එයාට සිද්ධ වෙච්ච දේ කීවා. "මමත් එන්නම් මී වදය බේරගන්න" පෝලාරිස් එහෙම කියලා එයාගේ බයිසිකලයට නැග්ගා.

පැන්ඩිස්වත් පිටිපස්සෙන් නග්ගවගෙන, එයා වේගයෙන් බයිසිකලය පැද්දා.

ඒ වලස් පැටවු යන පාරේ, ගලක් උඩ ගහක් වැටිලා පල්ලමක් වගේ හැදිලා තිබුණා.

උකුස්සා දිහා බලාගෙන බයිසිකලය පැදපු පෝලාරිස් ඒක දැක්කේ නෑ. බයිසිකලය ගහ දිගේ වේගයෙන් ගිහින් උඩට විසි වුණා. 

පෝලාරිස්ගේ ඔළුවට උඩින් ගිය පැන්ඩිස්, උකුස්සාගේ කකුළක එල්ලුණා.

ඒකට උකුස්සා භය වෙලා මී වදය අත ඇරලා උඩ ඉගිල්ලුණා. පැන්ඩිස් මී වදය අල්ලාගෙන බිමට වැටුණා.

බිම වැටෙන විට පැන්ඩිස්ට රිදුණා. ඒත් මී වදය බේරගත්ත සතුට ඊට වැඩියි.

පෝලාරිස් එතනට දුවගෙන ආවා.

"අපිට දැන් බඩ පිරෙන්න මී පැණි කන්න පුළුවන්" එයා කිව්වා.

ඒත් පැන්ඩිස් ඒකට කැමති වුණේ නෑ. "මම මී වදය බේරගන්නම් කියලා මී මැස්සන්ට කීවනේ. ඒ නිසා අපි මේ මී වදය ආපහු මී මැස්සන්ට ම ගිහින් දෙන්න ඕන."

ඊට පස්සේ පෝලාරිස් එක්ක පැන්ඩිස් මී වදය අරගෙන, මී මැස්සො හිටිය තැනට ආවා. වලස් පැටවු දෙන්නා මී වදය, ගහේ අතු දෙබළක පරිස්සමට තිබ්බා.

ඒ දෙන්නා කරපු උදවුවට, මී මැස්සන්ගේ රැජින ඒ දෙන්නට බඩ පිරෙන්න මී පැණි දුන්නා.

"ඔයාලා හරිම වීරයෝ. අපි හැමදාටම ඔයාලත් එක්ක යාළුයි" මී මැසි රැජින කීවා.


*    *    *

වීර පැන්ඩිස් සහ සූර පෝලාරිස්

Sunday, April 28, 2024

ශතයක අගය!


අද සමාජය දෙස බලන විට, කට්ට කමක් නොමැතිව දිවි ගෙවීම අසීරු කරුණෙකි. මා මේ කට්ට කම යැයි හඳුන්වනුයේ අනිකෙකු තලා-පෙලා නැතහොත් අනුන් අමාරුවේ දමා තමන් පමණක් යහතින් සිටීම වැනි ආත්මාත‍ර්‍ථකාමී වැඩක් නොවේ. මින් මා අදහස් කරනුයේ තැනට සුදුසුලෙස නුවණින් ක්‍රියා කිරීමයි. නැතහොත් ස්ථානෝචිත ප්‍රඥාවයි. අපේ ව්‍යවහාර භාෂාවෙන් කියන්නේ නම් "තැනේ හැටියට ඇනේ ගැසීමයි"

බුදු රජුන් පවා බෝධිසත‍්ව කාලයේදී මෙවැනි කට්ට කම් කර ඇති බව ‌බෞද්ධ කථා වස්තූන් සමහරෙක සඳහන්ව තිබේ. උමංදා කථාව එයට කදිම නිදසුනෙකි. ඉතිහාසය මෙන්ම නූතන ලොකය දෙස බලන කලද, එවැනි කට්ට කම් කර ඇති කිහිප දෙනෙකුම හමුවේ. රෝමයේ වතිකානු මාලිගයේ, සිතුවම් කරමින් සිටි මයිකල් ඇන්ජිලෝ නම් ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියාගේ අගනා ජීවිතය බේරූ ඔහුගේ ශිෂ්‍යයාද එවැන්නෙන් අතුරෙන් කෙනෙකි.

මේ අනුව බලන විට අපේ මේ කතාවේ එන විජේදාස ද එවැන්නෙක් ලෙස මම හඳුන්වමි.

විජේදාස ජ්‍යෙෂ්ඨය සමත් කළේ මීට සිව් වසරකට පමණ උඩදීය. එහෙත් ඔහුට රැකියාවකට යෑමේ වාසනාවක් නොවීය. සිය මහළු මව එළවළු විකුනා ඉන් ලැබගන්නා සුළු ආදායමෙන් ඔහුද යාන්තම් කල් ගෙවන්නේය.

රැකියාවක් සඳහා කීප පොළකටම ඔහු අයැදුම් පත් ඉදිරිපත් කළද, ඒ එකකින් වත් සතුටුදායක පිළිතුරක් ඔහු වෙත ලැබුණේ නැති. බැරිම තැන ඔහු ගියේ, කොළඹ රැකී රක‍ෂා කාර්‍ය්‍යාලය වෙතය. ඔහු ඒ ගියේ කුමන වර්ගයේ හෝ රැකියාවක් සඳහා ලියා පදිංචි වීමටය. එහිදී ඔහු, ලිපිකරු තනතුරක් සඳහා ලියා පදිංචි කරන ලෙස, කාර්‍ය්‍යාලිය ලිපිකරුවෙකුට කීය.

"යාලුවා! ක්ලාක්ල වෙන්න දැන් දහස් ගණනක් රෙජිස්ටර් වෙලා ඉන්නවා-ඒ නිසා, මම හිතන්නෑ තමුසෙට දැන්ම ක්ලාක් ජොබ් එකක් හම්බ වෙයි කියල"

කාර්‍ය්‍යාලීය ලිපිකරුවා කීය.

"ඉතින් මම මොනවා කරන්නද සර්! දැන් බලන්න මම සීනියර් පාස් කරල ඉන්න කෙනෙක්නෙ." විජේදාස කීයේ සුන්වුනු බලාපොරොත්තුවෙන් යුතුවය.

"කොහොම වුනත් මම තමුසෙට කියන්නෙ හොඳටයි තමුසෙගෙ දුප්පත් කම මටත් පේනවා.

ඉතින් තමුසෙට වෙන්නෙ, ක්ලාක් ජොබ් එකක් බලාපොරොත්තුවෙන් තව අවුරුදු ගානක් ඉන්නයි."

"එහෙනම් සර් මට මොනවද කරන්න කියන්නෙ?"

"මම කියන්නෙ ක්ලාක් කෙනෙක් වශයෙන් නෙමෙයි, වෙනින් රස්සාවකට රෙජිස්ටර් වෙන්නයි."

"එහෙනම් සර්! පියුන් කෙනෙක් වශයෙන් වත් මාව ලියා පදිංචි කරන්න."

"පියුන් ජොබ් එකත් එහෙමම තමයි යාලුවා! ඒ රස්සාවෙටත් ඉන්නවා බර ගණනක් රෙජිස්ටර් වෙලා."

"එහෙනම් කම්කරුවෙක් වශයෙන් වත්?"

"හා-ඒක හොඳයි! එහෙනම් මම රෙජිස්ටර් කරන්නම්."

ඒ වතාවේ විජේදාස රැකියාවකට ලියාපදිංචි වුනේය. ඒ වුනේද, කම්කරුවෙකු වශයෙනි. ජ්‍යෙෂ්ඨය සමත් කොට තිබිය දීත්, කම්කරුවෙකු වශයෙන් ලියාපදිංචි වීම ගැන ඔහු දුක් වුනේය. එහෙත් ඔහුගේ ඒ දුකට වැඩි ආයුෂක් තිබුනේ නැති.

තම මව උපයන දෙයින්, ජීවත් වෙනවාට වඩා, කුළී වැඩක් හෝ කර දිවි ගෙවීමට හැකි ‌වූවොත් එයද සැපයෙකැයි ඔහු සිතුවේය. එයටත් වඩා ඔහු නිතර සිතන්නට වූයේ, අහළ-පහළ උදවියගේ කයිකතන්දර වලින් බේරීමට වත් මගක් පෑදෙනු ඇතැයි යනුවෙනි.

තමාට රැකියාවක් නැතිව සිටියද, මයව නම් ඔහුට ඒ ගැන දොසක් කියන්නේ නැත.

"මොනව කරන්නද පුතේ! ඔය අපල කාලෙ ගෙවිල ගියාම, බොට ‌මොකක් හරි රස්සාවක් ලැබෙයි" කියමින් ඇය නිතර පුතුගේ සිත සනසන්නට වෙර දරන්නීය. එසේ වුව, අහළ-පහළ ගැහැණුන්ගෙන් තමා වෙත ඉලක්කවන පිංගොනා-නිකමා යන නම් ඔහුට සිත් දෙන්නේ නැති. ඔවුන් පමණක් නොව; තමා හා පෙම් බැඳ සිටි තරුණියක්ද කියා ඇත්තේ;

"රස්සාවක් නැතිව මා ගැන බලාපොරොත්තු වන්න එපා!" යනුවෙනුයි.

තමාට තරම වත් අධ්‍යාපනයක් නැති, ගමේ අනෙක් තරුණයින් රැකියාවල් සඳහා උදෙන්ම පිටත්ව යන සැටිත්, සවසට යලි නිවෙස් කරා ඇදෙන සැටිත්, විජේදාස බලා සිටින්නේ සුසුම් ලමිනි. මේ ආදී දුක්-කරදර මධ්‍යයේය, ඔහු කම්කරුවෙකු වශයෙන් ලියා පදිංචි වූයේ.

කාලය ගෙවුණි. දැන් ඔහුගේ "ලියා පදිංචි පත" මත වැදී ඇති ලකුණු (සීල්) ගණන දහයද ඉක්මවා තිබේ. එහෙත් ඔහුට රැකියාවකට කැඳවුමක් නම් තාමත් නොලැබුනේය. තෙමසකට වරක් නියම දිනයට ලියා පදිංචි පතද රැගෙන රැකී රක‍‍්ෂා කාර්‍ය්‍යාලයට ගොස්, එහි දිනය ලකුණු කරගෙන එනු විනා, ඔහුට ඉන් පලක් නම් නොවන්නේය.

මේ නිසාම ඔහු දිනක් රැකී රක්ෂා කාර්‍ය්‍යාලයට ගියේය.

"මොකද සර්! දැන් සීල් දහතුනක් වැදිලත් රස්සාවක් නෑ නෙව?" ඔහු එහිදී ලිපිකරුවෙකු හමුව කීවේය.

"එහෙම තමයි යාළුවා! තමුසෙට ඔය සීල් දහතුනයි. නමුත් මෙතනට එන සමහර උදවියට සීල් පහළොවත් පැනලා මොනව කරන්නද ඉතින් රස්සාවල් නැති කරුමෙ තමයි!" යනු ලිපිකරුවාගේ පිළිතුර විය.

ලිපිකරුවාගේ පිළිතුරෙන් රජයේ කම්කරු සේවය පිළිබඳව ඔහු සිත තුළ පැවති ආශාව තුරන් වී ගියේය. මේ රැකියාව සඳහා තවත් කොපමන කලක් මෙසේ බලාසිටින්නට  සිදුවේදැයි සිතූ ඔහු ලිපිකරුවා ඉදිරිපිටදීම, ලියා පදිංචි පත තූ-තූ කොට ඉරා දැම්මේය.

"ඇයි ඕ ජ්‍යෙෂ්ඨ පාස්කරලත්, ආංඩුවෙ කුලී වැඩක් ගන්න අවුරුදු දහයක් විතර පෙරුම් පුරන්ඩ එපායැ හරියට කොකෙක් දිය හිඳෙන තුරු බලා ඉන්නවා වගේ."ය කියමින් ඉරා දැමූ කඩදාසි කැබලි බිම දමා, පයින් පාගා කෙළපහරක්ද ගැසුවේය. ආපසු හැරුනේය. පයින්ම ගෙදර ඒමට මගට බැස්සේය.

"මිනිස්සු හිතාගෙන ඇති, අපි මෙහේ රස්සාවල් ගබඩා කොරගෙන ඇති කියලා. ඇයි දෙයියනේ! රස්සාවල් වල පුරප්පාඩු තියෙන්න එපැයි, අපි මිනිස්සුන්ට රස්සාවල් දෙන්ඩ." යනුවෙන් ඈත යන විජේදාස නොපෙනී යන තුරුම බලා සිටි ලිපිකරුවා කීයේ, අමුතු තාලේ ඔලොක්කු සිනාවක් පා, එතැන රැස්ව සිටි අනෙක් මිනිසුන් දෙස බලා, පපුවද ඉදිරියට යවමිනි.

මෙසේ පැමිණි විජේදාස, අසල කඩයක්තුළට රිංගා ගත්තේ තම කුස ගිනි නිවා ගැනීමට, වතුර වීදුරුවක් වත් බීම සඳහාය. කඩය තුළට ගිය ඔහු වතුර වීදුරු කීපයක්ම බී සුසුමක් හෙළා ලය සැහැල්ලු කර ගෙන මිදුලට බැස්සේය. ඒ අතර ඔහු දුටුවේ කඩය ඉදිරිපිට එදා පුවත් පත බලන මිනිසෙකි. විජේදාසද නිකමට මෙන් පුවත් පතට එබිකම් කර බැලුවේය. එහිදී ඔහුගේ මුහුණ ප්‍රීතියෙන් බබලන්නට විය. ඔහු තව-තවත් එබිකම් කර පුවත් පතේ තිබී එක්තරා දැන්වීමක් හොඳහැටි කියවා සිහියේ තබාගෙන නිවෙසට ආවේය. ආ ඒ ඔහු පළමුව කළේ තත් දැන්වීම අනුව ලිපියක් ලිවීමය.

හිඟුරක්ගොඩ එක්තරා වෙළෙඳ සැලකට සේවකයෙක් අවශ්‍ය බැව් දන්වා පළකොට තිබි දැන්වීම අනුව ලිපිය ලිවූ ඔහු, සවස් යාමයේ පැමිණි මවගෙන් ශත දහයක් ඉල්ලාගෙන ලිපිය තැපැල් කෙළේය.

දින දෙකකට පසු ඊට පිළිතුරක් ලැබුණි. වෙළෙඳ සැලේ රැකියාව සඳහා තමා තෝරා පත්කරගන්නට තීරණය කරගත් බව සඳහන්, ඒ පිළිතුරු ලිපියේ පසුවදාම පැමිණ තත් රැකියාව භාරගන්නා ලෙසද වැඩිදුරටත් සඳහන්ව තිබිණ.

ලිපිය කියැවූ විජේදාස වහා දුම්රිය පොල බලා දිව්වේය. "හිඟුරක්ගොඩට යාමට දුම්රියක් ඇත්තේ කීයටදැ"යි ඔහු එහි සේවකයෙකුගෙන් විචාලේය. සවස අටට කොටුවෙන් දුම්රියක් පිටත්වන බව එහිදී දැනගත් ඔහු වහා නිවෙසට පැමිණ තමා සතු කිලිටි කලිසම් දෙකත්-කමිස තුනත් හෝදා, අව්වේ වනා, තෙමේද නාගත්තේය.

වෙළෙඳාමේ ගිය මව ඇඳිරි වැටෙද්දීගෙදර ආවාය.

"අම්මේ මම අද යන්න!" ඔහු ගත් කටටම කීවේය.

"කොහෙද පුතේ?"

හිස පිට තිබි හිස් වට්ටිය බිම තබමින් අම්මා ඇසුවාය.

"රස්සාවකට!"

"කොහෙද?"

"හිඟුරක්ගොඩ"

"ඉතින් මේ දැන්?"

"ඔව් අම්මේ! මට දවල් ලියුමක් ලැබුනා, හෙට ඇවිත් රස්සාව භාරගන්නෙයි කියල-ඒ නිසා දැන් රෑ අටේ කෝච්චියෙ යන්ඩ ඕනෙ."

ඔහුගේ ඒ කීමෙන් මව  ශෝකවූවාය. තම පුතා රැකියාවකට ගිය විට, තමාගේ තනි-නොතනියටවත් කවුරුත් නැතැයි සිතමින් ඇය හැඬුවාය. එයටත් වඩා ඇගේ ශෝකය වූයේ, ඔහුගේ ගමන් ගාස්තුවට වත් සරිලන මුදලක් ඇය අත නොමැති හෙයිනි.

"අනේ පුතේ! මා ළඟ සල්ලිත්නෑ බං මොනව කොරන්නද-ඔහොම හිටින් කැටේවත් කඩලා බලන්නැ"යි කියමින් ගෙයි මුල්ලක වලලා තිබි කැටයක් ගොඩ ගෙන එය කඩා බැලූ ඇය, මුහුණ ඇඹුල් කරගත්තාය.

"අනේ රත්තරන් පුතේ මේකෙ තියෙන්නෙ රුපියල් දෙහෙකුත් ශත දහයයි නෙවැ!"

අනතුරුව-ඒ ඇඹුල් කරගත් මුහුණින්ම එසේ කීවාය.

"ඉතින් අම්මේ! ඒකෙන් පුළුවනෑ මට යන්න?"

ඔහු ඇසුවේ දුක්බරවය.

"මොනව කොරන්නද බාං? ඔහොම හිටින්, මේ හෙට එලවළු ගන්න තිබෙන සල්ලි වලින් වත් මොකුත් දෙන්නැ"යි කියමින්; ඇය තවත් රුපියල් පහක් පුතා අත තැබුවාය.

දැන් වෙලාව හතට කිට්ටුය. විජේදාස යාමට හැඳ ගත්තේය. ගෙයි බිත්තියේ ගසා තිබී බුදු රුවට පානක්ද පත්තුකර, තෙරුවන් වැඳ දෙවියන්ටද පින් දුන්නේය. මවද රිදී කාසියක් ගෙන සුදුරෙදි කැබැල්ලක දවටා කතරගම දෙවියන්ට බාරයක් වුනාය.

හරියට හයකුත් විනාඩි හයට, පුතා මිදුලට බසින විට, මව දිය පිරවූ කළයක්ද අතැතිව මිදුලේ සිට ගෙට ඇතුළු වූවාය. අනතුරුව ඈත යන පුතා දෙස බැලූ ඇය "උඹට තුණුරුවන්ගෙ සරණයි!" කියමින් දෑසින් ගලා ආ කඳුළු පිසදැම්මාය.

හන්දියට පැමිණි ඔහු බසයකින් බොරැල්ලට ගියේය. එහිදී ඉන‍්දියානු "සයිවර් හෝටලයකට" ඇතුළු වී බඩ-කට පුරා තෝසේ කෑවේය. සිගරැට් දෙකක් ද ගත්තේය. දවාලටත් කෑමක් නැතිව සිටි නිසා ඔහුට වැඩිපුර ආහාර ගතහැකි විය. කෑම අවසන් වූ විට වේටර දෙමළ කොළුවා බිල ගෙනැවිත් දුන්නේය. බිලට ගෙවිය යුතු ශත හැත්තෑ එක ගෙවූ ඔහු සිගරැට්ටුවක්ද දල්වාගෙන මිදුලට බැස්සේය. කොටුව බලා දිවෙ යන ට්‍රොලි බස් නැවතුම් පොළ කරා ගියේය. එහි ගිය විජේදාසට දෙලෝ රත්විය! ඔහුගේ ඇඟ ගැහෙන්නට පටන් ගත්තේය. ට්‍රොලියෙන් යෑමට තරම් මුදලක් ඔහු ලඟ නැති. කොටුවේ සිට හිඟුරක්ගොඩට යාමට ගත යුතු ටිකිත්තට පමණක් මුදල් ඔහු ලඟ තිබේ. ඒ හැර ඔහුට ඉතිරිව අත්තේ ශත දහහතරකි.

බොරැල්ලේ සිට කොටුවට යාමට ශත 15 ක ටිකිත්තක් ගත යුතුය. එහෙත් ඒ මුදල පියවීමට තව ශතයක් අඩුය. අම්මා ඔහුට දුන්නේ රුපියල් හතකුත් ශත දහයකි. ඉන් ඔහු බොරැල්ලට බසයෙන් ඒමට ශත දහයක් වියදම් කෙලේය. ඉතිරිවායින් ශත හැත්තෑ එකක කෑවේය. දැන් තවත් ඔහු අත ඉතිරිව ඇත්තේ රුපියල් හයකුත් ශත විසි නවයකි. එයිනුත් දුම්රිය ගාස්තුව වශයෙන් රුපියල් හයකුත් ශත පහළොවක් ගෙවිය යුතුය. ඒ හැර දැන් ඔහු අත ශත දහ හතරක් තිබේ.

කිසිම වටිනාකමක් නැතැයි සිතා සිටින "ශතයක අගය" ඔහුට වැටහුනේ මෙවිටය. කුඩාවට ඇති කොයිදේත් විශාල අගයක් ඇති බැව් ඔහුට ඉන් මනාව පැහැදිලි වුනේය.

දැන්නම් ඔහුට කරන්නට කිසිවක් නැති. වේලාවද හත හමාර වී තිබිණ. දුම්රිය පිටත් වන්නේ අටටය. යම් ලෙසකින් මේ දුම්රිය වැරදුනහොත් ඔහුට යාගන්නට වෙන ක්‍රමයක් නැති; එසේ වූකල හෙට භාරගත යුතු රැකියාවටද පහර වදින්නේය. එවිට වන්නේ ගෙදර සිට තව තවත් දුක් විඳීමටය.

මෙසේ දහසක් සිතුවිලි මධ්‍යයේ කරනම් ගසමින්සිටි ඔහු-අසල කඩයකින් ‌වේලාව බලා ගත්තේය. වේලාව හතයි තිස් පහයි! දැන් ඔහුගේ අදහස කොටුවට පයින්ම යාමටය. එහෙත් එයටද කලක් නොමැති බව ඔහුට සිතුණි. බොරැල්ලේ සිට කොටුවට පයින්ම යාමට, අඩුම ගණනේ පැය භාගයක් වත් ගතවන බව ඔහු දනී.

කළයුතු දෙයක් නොමැති නිසා ඔහු බලා ගත්වනම සිටියේය. ඒ අතර ඔහු දුටුවේ බස් පෝලිමේ හුන් තරුණයෙකි. පෙනුමෙන් නිහතමානී ගති ඇත්තෙකු බව දැනගත් ඔහු තවත් තරුණයා දෙසම බලාගෙන සිටියේය. තමා ලඟ එක සිගරැට්ටුවක් ඉතිරිවී ඇති බව, හදිසියේම ඔහුට සිහිවිය. ඔහු වහා කමිස සාක්කුවේ බහා තිබි සිගරැට්ටුව අතට ගත්තේය. එය තරමක් තැලී-පොඩිවී තිබිණ.

"යුද්දෙට නැති කඩුව කොස්කොටන්ටද කිව්වලු-ඒ වගේ මෙහෙම තැනකදී නැති කට්ටකම් මොකටදැ?"යි සිතූ ඔහු-යළි සිගරැට්ටුව කමිස සාක්කුවේ බහා ගෙන බස් පෝලිමට ගියේය.

දැන් ඔහු තරුණයාට පිටුපසටය. තරුණයාද වරක් ඔහු දෙස හැරී බැළුවේය. ඒ හාම ඔහු මුව පුරා සිනාවක් යැව්වේය. තරුණයාගෙන්ද එයට පිළිතුරක් ලැබුණි. දැන් ඔහුට ඕනෑ කරණයේ, තරුණයා; හා කථාවට බැසීමටය. ඔහු එයට මගක් සෙව්වේය.

"කීයද මහත්තය වෙලාව?"

තරුණයා හා කථාවට මුල පුරමින්, ඔහු ඇසුවේය.

"අටට විස්සයි!" යනු තරුණයාගේ පිලිතුර විය.

"හප්පො-මට අට වෙනකොට කොටුවට යන්නට තියෙනවා!"

ඔහු කීවේය.

"අපොයි පුළුවන්! අර බස් එකක් එන්නෙ!"

තරුණයාද ඛීය.

දැන් දෙදෙනම කථාවට වැටී ඇත. මේ අතර ඔහු සාක්කුවට අත යටා, සිගරැට්ටුව ගත්තේය. එය ගෙන තරුණාට පිළිගත්වා සිටියේය.

"ආ-බොන්න මහත්තයා! ඕකමට අර කඩේදි යාලුවෙක් දුන්නා......... මම ඕව බොන්නෙත් නෑ! ඒ උනත් බැහැයි කියන්න බැරි හින්දයි ගත්තෙ!"

තරුණයාට සිගරැට්ටුව දෙන ගමන්ම ඔහු කීවේය. තරුණයාද එය ගෙන අසල සිටි අයෙකුගේ සිගරැට් කොටයකින් දල්වා ගත්තේ ඔහුට සිතූති කරමිනි.

බසයක් ආවේය. දැන් ඔහුගේ සිත නැටැවෙන්නේය. ඇඟ ගැහෙන්නේය. තමාගේ කට්ට කම හරි නොගිය හොත් තමාට වන්නේ මහ අකරතැබ්බයකැයි ඔහු සිතන්නට විය.

"ඒත් කමක් නෑ! වැඩේ හරි නොගියොත් ශත දහයක් දිල මරදානෙන් බැහැල පයින්වත් දුවනවා!"යි අවසන ඔහු සිතසනසා ගත්තේය.


තරුණයා බසයට ගොඩවිය: ඔහුද ඒ හාම ගොඩවුනේය. දැන් ඔහුගේ ගතේ වෙව්ලුම පෙරට වඩා සිය ගුණෙයෙකින් පමණ වැඩිය. කොන්දොස්තර තැන අසලට ගිය තරුණයා මුදල් පසුම්බිය අදිනු ඔහු බලා සිටියේද; ඒ වෙව්ලන ගතින් යුතුවය.

"කොටුවට දෙකක්!" යනුවෙන් තරුණයාගේ මුවින් පිට විය. ඔහුගේ දෙනෙත් ලොකුවී, කට කොනකට සිනාවක්ද නැගුණි. ඔහුගේ ගතට ලේ ඉනුවේද එවිටය. මෙතෙක් වෙව්ලමින් අඩපණව තිබි ගතද ප්‍රාණවත් වී ගියේය.

"ආ-මම ගන්නම්!" ඒ අතර බොරුවටම ඔහු ඉදිරියට පැන්නේය. එහෙත් එයට පෙර තරුණයා ඔහුටත් සමගම ටිකිති දෙකක් ගෙන තිබුණි.

කොටුවෙන් බට ඔහු-තරුණයාටද ආචාර කොට වහා දුම්රිය පොළට ගියේය. හිඟුරක්ගොඩට ටිකිත්තක් ලබාගත්තේය දුම්රිය දෙසට දිව්වේය. ඔහු දුම්රිය පාපුවරුවට පය තබනවාත් සමගම දුම්රිය ඇදෙන්නට විය.

රියට ගොඩවුනු ඔහු-සුවපහසු ලෙස අසුනක දිග ඇදී කල්පනාකරන්නටවූයේ ශතයක අඩුව නිසා තමා සිතින් විඳි දුකත්, සිගරැට්ටුවේ බලේට තමා කළ කට්ට කමත් ගැනය.

එදා ඔහු අතර සිගරැට්ටුව නොතිබෙන්නට ඔහුට හා-හා පුරා යැයි කියා ලැබුණු රැකියාවද නැතව යන්නට තිබුණේය. සිගරැට්ටුව තිබුණද ඒ අහිංසක කට්ට කම නොකරන්නට, ඔහුට මේ ගමන යාමට නොලැබෙන්නේය.

කෙසේ වෙතත්-එදා සිට විජේදාස අමුතු මිනිහෙක් වුනේය. ලොකු වටිනාකමක් ඇති මුදල් වලට වඩා දැඩි උනන‍‍‍්දුවෙකින් ඔහු ශතයේ කාසි එකතු කරන්නට පටන් ගත්තේය.

"ශතයක අගය" ඔහුට ඒ තරමට වැටහිලාය.

--------------------

අංගොනෝනගෙ දේශනාව තිබුණු පොතේ ම තිබුණු තවත් කතාවකි.

වැඩිපුර බලපු ලිපි