Thursday, April 23, 2020

අවසානයක් ‌නොවේ - හත්වන ‌කොටස

පළවෙනි කොටස
දෙවෙනි කොටස
තුන් වෙනි කොටස
හතර වෙනි කොටස
පස් ‌වෙනි ‌කොටස
හය ‌වෙනි ‌කොටස

බියෙන්, හුදෙකලාවෙන් හා බිඳුනු සිහිකල්පනාවෙන් තමා සියුම් මෝහණයකට නතු වන බව තරුණියට දැනෙමින් පැවතිණ. වරක වනරොදෙහි සියුම් සෙළවීමක් ඈ අඩවන් දෑසින් දුටුවාය. එක්වනම, අඳුරු ගුලියක් බිම පෙරළී අවුත් තමා බැඳ සිටි ලී කණුව වෙත ආවේයැයි ඈට දැනුණි. කුමාරිහාමි ඒ දෙස හැරීමට හෝ ආයාසයක් නොගත්තී ය. ඇයට මේ සියල්ල බියකරු සිහිනයකි. අඳුරු ගුළිය දිගහැරී මානව රූපයකට හැරුණි. එහි සුරතේ වූ යමක්, වළාකුලින් මෑත් වූ තරු එළියෙන් යන්තමින් දිළිසුණේ ය. එකවරම, සිය දෑත් ගැට ගසා ඇති රැහැණ කැපී යනු තරුණියට දැණුනි.

මාරක හූ හඬකින් හාත්පස හෙල්ලුම් කෑවේ එක් වරම ය....

එක් ‌මොහොතකට තරුණියත්, ඇගේ ගැළවුම්කාරයාත් ගල් ගැසුණහ. කුමාරිහාමි සිහි එළවාගැනීමට තැත් කරද්දී ම, ඇගේ ‌දෙපා ගැටගසන ලද වර පට ද මුවහත් ආයුධයෙන් කැපී ගියේ ය.

දෙ වන හූ හඬ ඇසෙද්දී, අබිරහස් අමුත්තා තරුණියගේ බඳ වටා ‌වට කිහිපයක් ‌වෙළා තිබූූන රැහැන්පට ඉතා කඩිසරව කපමින් සිටියේ ය. ‌වෙහෙසින් සහ බියෙන් අප්‍රාණික වූ රූමතිය පසෙකට ඇල වී යද්දී, අන්තිම රැහැන් පටත් සිඳි අමුත්තා, ඈ වත්තන් කරගැනීමට යුහුසුළු විය. ඔහුගේ අත්‌ලේ ‌ගොරෝසු බවත්, දෑතේ අයෝමය ශක්තියත් කුමාරිහාමි ට දැනුණේ ය.

තෙවන හූ හඬ නැගුනේ ඉතාම ආසන්නයෙනි. ඒ සමඟම, අඩි තුනක් පමණ උසැති, වළසෙකු බඳු රුවක් වනරොදින් මෑත් ව එළිමහන් බිමෙහි ‌දෙපයින් සිටගත්තේ ය. එකෙණෙහි ම, වධක කණුව මුදුනේ වූ විළක්කුව ගිණි පුපුරු නඟමින්, නැවතත් දීප්තිමත්ව ඇවිළෙන්නට පටන් ගති.

තරුණියට ඉතා සැළකිල්ලෙන් හා ප්‍රවේසමෙන් කණුව පිටුපස බිම වැතිරෙන්නට සැළැස්වූ ආගන්තුකයා, නැඟිට සිය ආයුධය ද අමෝරාගෙන ඉදිරියට ආවේ ය. විළක්කුවේ එළියෙන් ඔහුගේ සුදුවන් උසැති සිරුරත්, පිට මතට වැටුණු රන්වන් ‌කෙස් කළඹත් දුටු තරුණිය එකෙණෙහිම ඔහු හැඳින ගත්තා ය. ‌ඇඩම් - සැබැවින්ම ඒ ඔහු විය - සැරසී සිටියේ ඉණෙහි වූ රෙදි කඩකින් පමණි. ඔහුගේ සුරතේ වූයේ සම්මානිත කඩුපතකි, අද්මිරාල් ධූරයට ලද උසස් වීම සමඟ පිරිනැමුණු සංකේතාත්මක කඩුපත... එය තමා සන්තකයේ ම තබාගැනීමට සිංහලේ රජු ගෙන් ඉල්ලූ විදේශික රැඳවියාහට, එය කිසිදු ආකාරයේ ප්‍රචණ්ඩ කටයුත්තක යොදා නොගන්නා බවට ඉතා ගාම්භීර දිවුරුමක් දීමට සිදු විය.

විදේශික රැඳවියා තමන් මුහුණ පා සිටි‌යේ මනුෂ්‍යයෙකුට නම් ‌නොවන බව දුටුවේ ය. පිරුණු රවුම් මුහුණ පුරා පැතිරුණු කුරිරු බැල්ම, ඒ පිට වැටී අවුල් වූ ‌හැඩපලු ‌ගෙතුනු කෙහෙ රැළිවලින් යන්තමින් වැසුණේ ය. ඉතා ‌කෙටි දෑත් හා ‌දෙපය ඉතා පුෂ්ටිමත් විය. දුඹුරුවන් ‌කෙටි වස්ත්‍රයකින් ඔහුගේ යටිකය වැසී තිබුණු අතර, උඩුක‌යෙහි වූයේ පුන නූලක් පමණි. ‌මේ සියල්ලටම කලින් අද්මිරාල් ඇන්ඩර්සන් දුටුවේ සතුරාගේ දෑතෙහි වූ ශ්‍රී වත්සය සහ ‌කෙටි කඩුව ය.

තත්ත්වය තමන් සිතා සිටි තරම් ලඝු ‌නොවන බව ‌නාවුකයා ට තේරුම් ගිය ද, දැන් ප්‍රමාද වැඩි ය. ඔහු සුරතින් තරයේ කඩුමිට අල්ලාගෙන කඩුපත ‌දෙතුන් විටක් කරකවමින් එහි සැහැල්ලුවත්, සුහුරුව හැසිරවිය හැකි බවත් මැන ගත්තේ ය. පිටිය මැද ට පිය නැගූ ‌හෙතෙම, සිය ‌දෙපා සෘජු කෝණිකව සුඛනම්‍ය පරතරයකින් තබාගෙන, සුරත පිටුපසට ඇද වැළමිටින් නවා, සිය හිස ට පිටුපසින් ‌පොළ‌ොවට සමාන්තරව කඩුව තබා ගනිමින්, වමත ඉදිරියට ‌යොමු කරමින් ඉදිරියට නැඹුරු වූයේ ය. එම ඉරියවුව ඔහුට ඉතා හුරු පුරුදු විය. මුහුදු කොල්ලකාරයන් සමඟ කරන ලද ගිණිය නොහැකි තරම් වූ සටන් වලදී, පැද්දෙන නැව් තට්ටුව මත සමතුළිතව සිටීමට දෙපය එකකට එකක් සෘජු කෝණිකව තබා ගැනීමට ඔහු හුරුව සිටියේ ය. රැඳවියෙකු ලෙස සිටි කාලය තුළ නොලද ත්‍රාසජනක අවස්ථාව ඉතා මැනැවින් රසවිඳීමට ඔහු ඉටා ගති.
 
http://www.route2.org/10-1/damsel-in-distress

එසැණින් ‌කෝපයෙන් වියරු වූ බව සියලු ඉරියව්වලින් මොනවට පළ කරමින් බහිරවයා ඇඩම් ‌වෙත දිව ආයේ ය. අමනුෂ්‍යයා ‌මෙන් ‌දෙගුණයක් ඔහුගේ ප්‍රතිවාදියා උස් වූව ද, එහි අමුතු වාසියක් නාවිකයා ට ‌නොවී ය. පියවර ‌දෙක තුනක් තබා අහසට පැන්න බහිරවයා, සිය සතුරා හට හට දෑතින්ම පහර එල්ල කළේ ය. සිය දකුණැළය ට පහත් වූ ඇඩම් එල්ල වූ කඩු පහර ‌ලේසියෙන් වළකා හරිමින්, ශ්‍රී වත්සය ගත් අමනුෂ්‍යයාගේ වමතට සිය කඩුවෙන් තද පහරක් දුන්නේ ය. එසැණින් පියවර මාරු කරමින් අඩ කවාකාරව හරහට පැන යමින් කරකැවී අර්ධ සමනල පා පහරක් බහිරවයාගේ මුහුණට දීමට ඔහුට හැකි විය.

ඒ ප්‍රහාරයන් ‌දෙකෙන් ස-උල් ආයුධය අමනුෂ්‍යයාගේ අතින් ගිළිහී ‌ගොස්,  ඔහු අඩි කිහිපයක් පිටුපසට වැටෙනු අද්මිරාල් දුටුවේ ය. එවිගස බහිරවයා කඩුව වනමින් ආපිට නැගිට පැන්නේ ය. එතරම් ක්ෂණික පියවරක්  අපේක්ෂා ‌නොකළ ඇඩම් ‌ගේ, වම් පාදයේ වූ අබලන් උස් සපත්තුවෙහි සම කපාගෙන සතුරාගේ කඩු පහර ඔහුගේ ‌කෙණ්ඩය ට වැදුණේ ය. සිය හිතවතාට වැදුණු පහරින් තරුණියට කෑගැසුණි. ඈ දෑත් ගුළිකර සිය පපුවට තද කර‌ ‌ගනිමින්, සිය හැඟීම් සමනය කරගන්නට තැත් කළා ය.

සිය ප්‍රතිවාදියා ‌ගේ ‌වේගය අඩාල වූ බව දුටු වාමනයා, නැවතත් කඩුපත අමෝරාගෙන අහසට පැන්නේ ය. සිහි එළවා ගත් අද්මිරාල් අහකට පැන කඩුපහර වළකාගනිමින්, සිය කඩුපත අත් ‌නොහැර දෑත මිට ‌මොළවා, නිදහසේ පහතට වැටෙන අමනුෂ්‍යයාගේ ඉළ ‌පෙදෙසට බරැති මුෂ්ටි ප්‍රහාරයක් දුන්නේ ය.

කන් බිහිරි කරවනසුළු තියුණු හඬක් යටි ගිරියෙන් පිටකරමින් බහිරවයා ආපසු ද නැගිට පැන්නේ ය. කෙතරම් පහර කෑවද අමනුෂ්‍යයා ‌වෙහෙසට පත්වූයේ ඉතා ‌සෙමිනි. ඊට සාපේක්ෂව; කඨෝර අවස්ථාවන්ට මුහුණ පා පළපුරුදු, රණශූර‌යෙකු වූ නෝවීජියානුුුුවා ඉක්මණින් ‌වෙහෙසට පත්විය. අග්‍රිප්පා, විජියානි හා තිබෝ වෙතින් උගත් මධ්‍ය යුරෝපීය විචිත්‍ර කඩු සටන් ශෛලීන් මේ දිවයිනේ දී තමන්ට උපකාර නොවන බව දැනෙද්දී ඔහු සෑහෙන තරම් විඩාවට පත්ව සිටියේ ය. බහිරවයා පහර දුන්නේ සිය සිරුරේ ශක්තිය ද කඩු පහරේ බරට මුසු කරමිනි. ඊට මුහුණ දීමට පැරණි නෝඩික් ජාතිකයන් භාවිත කළ බරැති කඩුවක් සහ ඊට අනන්‍ය ශක්තිමත් රළු ප්‍රහාර ශෛලිය අවශ්‍ය විය.

ඔහු දිගින් දිගටම අමනුෂ්‍යයාගේ පහර වළකමින් දක්ෂ ‌ලෙස පහර දුන්න ද, වම් පාදයේ තුවාලයෙන් නැගී එන ‌වේදනාවෙන් ද, සටනේ ‌වෙහෙසින් ද එන්න එන්නම දුර්වල වී යන බව තරුණිය දුටුවා ය. ඈ කණුව අල්ලාගෙන නැගිට ගත්තී, තම හිතවතා හට සහාය වීමට ‌පොටක් බැලුවා ය.

ඊළඟ වාරයේ බහිරවයා අහසට පැන කඩුපහර එල්ල කළේ ඇඩම්ගේ ‌ගෙළ ‌පෙදෙසට ය. දණින් නැවී ඒ කඩු පහරට නිදැල්ලේ යන්නට ඉඩ හළ නාවිකයා නැවත ද බර මුෂ්ටි පහරක් වාමනයාගේ මුහුණට එල්ල කරන්නට තැත් ක‌ෙළේ ය. එහෙත් අමනුෂ්‍යයා ඊට වඩා ‌වේගවත් විය. ඔහුගේ වමතට හසුවූ අද්මිරාල්ගේ දකුණත සැණෙකින් නැවී එහි වූ කඩුපතෙහි තුඩ ඇඩම්ගේ පපුව විනිවිද යැවුණේ ය. කුමාරිහාමිගේ විළාපය මැද, නාවුකයා අප්‍රාණික ‌වෙමින් බිම ඇද වැටුණේ ය. ඔහුගේ පපුවෙන් උණු ලේ දහරක් උඩට විදුණි.

තරුණිය සිටි තැනින් මෑත් වී සිය හිතවතා වැටුණු තැනට ‌වෙවුලන දෙපයින් පියනගා එද්දී, බහිරවයා ‌ගොදුර ‌වෙත සිය ‌කෙටි ‌දෙපයින් දිව ආයේ ය.

පියවී යන ඇස් පිය අතරින් ඔහු එක් මොහොතකට නීල්සන් හා රෝල්ෆ් තමන් වෙත නැඹුරු ව සිටිනු දුටු බව සිතී ය. කැරීබියානු රම් බිඳිත්තක රස උගුරට දැනෙමින් නොදැනෙමින්... සිය දෑස් අඳුරු වී යනු ස්කැන්ඩිනේවියානුවා ට හැඟුණි.  එහෙත් සැනෙකින් ඒ අඳුර පහව යමින් ඉතා දීප්තිමත් ආලෝකයක් ඔහුගේ දෑස් ‌මොහොතකට අඳ කළේ ය.

දීප්තිමත් එළිය ‌පහළ වූයේ වාමනයාත්, ඔහුගේ ‌ගොදුරත් අතර මැද ය. එය මො‌හොතකින් වියැකී යද්දී එහි ඉතිරි වූයේ සුදුවන් වස්ත්‍රයෙන් සැරසුණු පුෂ්ටිමත් තරුණ පුරුෂයෙකි. ඔහු නැවී, ඇඩම්ගේ පපු‌වේ ගිළි තිබූ අසිපත ඇද ‌ගෙන, බහිරවයා ‌වෙත පැන්නේ අතිමානුෂික ‌වේගයකිනි. ඔහු එල්ලකළ එකම පහරකින් බහිරවයා ‌ගේ හිස කැපී වැටුණේ ය.

සිදුවූ සියල්ලෙන් ව්‍යාකූල වූ තරුණිය ඇඩම්ගේ පසෙකින් විසඥව වැටුණා ය.

--------------------------------------------

දිය පහරක සිරි සිරියෙන් ද, ගතට දැණුනු ‌සෞම්‍ය මඳ උණුසුමෙන් ද, තරුණිය පිබිදුනා ය. දිය පහරේ හඬින් ඇගේ සිත තුළ ඇති වූයේ සිහිල් සුවපහසු හැඟීම කි. මඳින් මඳ ඇය පියවි සිහියට එත්ම, සිය සිරුරේ සෑම ‌කොටසකින් ම නැඟුනු ‌වේදනාව ඇයට දැනෙන්නට විය. ඇගේ හදවත ඊටත් වඩා පීඩාවට පත් වූයේ, තම ජිවිතය ‌බේරාගැනීමට විදේශිකයාගේ ජීවිතය කැප වුණු බව සිහිපත් වූ විට ය.

දෑස් හැරි ඇයට ‌සෞම්‍යව පැතිරුණු පන්දම් එළියකින් සිය වටපිටාව දැක ගත හැකි විය. ඈ වැතිර සිටියේ ගල් තලාවක් මත බව ඈ දුටුවා ය. ඒ, කුඩා ගල් ‌ලෙණක බිම ය. ඇගේ වම් පසින් ගුහාවේ ඇතුළට වන්නට ඇඩම් ‌ගේ සිරුර වැතිර තිබුණි. ඒ ‌වෙත නැඹුරුව සිටියේ, ඔවුන් බහිරවයාගෙන් ගළවා ගත් ආගන්තුකයා බව ඈ හඳුනා ගත්තා ය.

"ඔබතුමා.... කවුද?" කුමාරිහාමි පැකිළෙමින් සිහින් හඬින් ඇසුවා ය. ඈ ‌දෙස බැලූ අමුත්තා සිය ‌දෙතොල් මත සුරතෙහි දබරැඟිල්ල තබා නිහඬවන ‌ලෙස සන් කළේ ය.

ඔහුගේ දිගැති මුහුණ, කළුවන් ඇස්, රන්වන් සම, තද කළු පැහැති ‌කෙස්, හිස වටා ‌වෙළුණු ජටාව, එහි ඉදිරිපස වූ ඉතා කුඩා ධ්‍යානී බුදු රුව.... ඒ ඉතා රූමත් සහ සුඛනම්‍ය සිරුරකින් යුත් තරුණයෙක් බව ඈ එක් බැල්මකින් දුටුවා ය.

ඇඩම් ‌ගෙන් මෑත් ව නැගිට ගත් තරුණයා, ඇය ‌වෙත ආවේ ය. ඔහු තමා ළඟට එත්ම, කස්තුරි වැනි සුවඳක් තරුණිය ට දැණින. ඇය ළඟින් වීරාසනයෙන් වාඩි වූ ඔහු සිය සුරතින් ඇගේ උරහිස වාරු කරගනිමින්, ඇයට වාඩිවිමට උදව් කළේ ය. ඒ දෑ‌තෙහි සියුමැලි බවත්, ග්‍රහණයෙහි මෘදු බවත් තරුණියට දැනුණි. අමුත්තාගේ වමතේ ‌පළල් ‌කොළයකින් තැනුණු ‌ගොටුවක් විය. එය ඇගේ ‌දෙතොලට ලං කරද්දී, ඇය සිය විසල් දෑස් විහිදා තරුණයා ‌‌දෙස බැලුවා ය. ඔහු සිය හිස යන්තම් ‌පහත් කර, එය පානය කරන ‌ලෙසට සන් කළේ ය. දෑස් පියාගත් කුමාරිහාමි සිය ‌දෙතොළට ළං කළ ‌කොළ ‌ගොටුවේ වූ දියරය බීවා ය. ඈ දැන සිටි ‌ඖෂධ අතරින් ඒ දියරය සමාන වූයේ පිරිසිදු වතුරට මුසු කළ මී පැණිවල රසටය.

මඳින් මද තම සියොළඟ පැතිර තිබූ ‌වේදනාවන් පහව යනු දැනෙද්දී තරුණිය නැවතත් ගල් තලාව මත වැතිරුණා ය.

"වෙම් එර් යේයි" සිහින් කෙඳිරුමක් ඇසී නැවතත් ඇස් ඇර බැලූූ ඈ දුටුවේ අමුත්තාගේ අතෙහි වාරුවෙන් ‌කෙළින් වී ගල් තලාව මත වාඩිවී සිටි ඇඩම් ය. ඔහුගේ පපුවෙන් ගළමින් පැවති ‌ලේ දහර නතර වි, එහි වූ තුවාලය ‌සෙමෙන් ‌සෙමෙන් කුඩා ‌වෙමින් ‌ගොස්, නැත්තටම නැති වී ගියේ ය.

------------------------------------------------------

Monday, April 20, 2020

අවසානයක් ‌නොවේ - හයවන ‌කොටස

පළවෙනි කොටස
දෙවෙනි කොටස
තුන් වෙනි කොටස
හතර වෙනි කොටස

මැදින් මස අව අටවක පසුවී දින ‌දෙකක් ඉක්ම ගියේ ය. කන්ද උඩරට ට එතරම් හුරු ‌නොවූ චණ්ඩ සූර්ය තාපය.... එකතැන ගල් ගැසී රත් වූ වාතස්කන්ධය.... ගහ ‌කොළ, සතා සිවුපාවුන් කුරුල්ලන් ආදී කිසිම පණඇති ‌දෙයක ‌සෙළවිමක් ‌නොවී ය. 

රාජකාරියට කැඳවීම් ලැබ, මහවාසලට ගිය ධනසේකර ‌වෙද මුදලි තුමා ආපසු ආවේ යම්කිසි අමුත්තක ‌සේයාවක් පළ කරමිනි. නියමිත දිනවලට, නියමිත ‌වේලාවට අනුකූල ‌නොවී හදිසියේ කැඳවන ලද විට එතුමා මුලු වරුවම රජවාසලේ ගත කිරීම සාමාන්‍ය සිරිත විය. එය සමහර විට දින කීපයක් දක්වා දීර්ඝ වීම ද සුපුරුදු ‌දෙයකි. එහෙත් ප්‍රස්තූත දිනයේ එතුමා ගිය පයින්ම වාගේ ආපසු ආයේ ය.

වළව්වේ කඩුල්ලෙන් ඇතුළ‌ට පැමිණි තිරික්කලය, එතැන් සිට ‌ගෝපුර දක්වා ආවේ කිසිවෙකුගේ ‌මෙහෙයවීමකින් ‌තොරව බව ‌පෙනුණි. ‌ඈත තියා එම දසුන දුටු ස්කැන්ඩිනේවියානු රැඳවියා, මැදුරේ ‌දොරකඩට ආවේ නරක ආරංචියක් බලාපොරොත්තුවෙනි. ඒ වන විට ද, තරුණ කුමාරිහාමි සහ ළමාතැනී එළිපතට වී විමසුම් ‌නෙතින් යුතුව, ඈත සිට එන තිරික්කලය ‌දෙස බලා උන්හ.

තිරික්කලයේ ‌දෙදෙනෙකු එන බව ඈතට ‌පෙනුණි. තවත් ළං වන විට  එහි ඉදිරිපස වාඩිවී ‌තෝන් ලණුව සහ ‌කෙවිට අතින් ‌ගෙන සිටිධනසේකර මුදලිතුමා‌‌ගේ තරුණ පුත්‍රයා වූ ටිකිරි බණ්ඩාර ද, තවත් ළඟට එන විට ඇතුල් ගැබෙහි වාඩිවී සිටි මුදලිතුමා ද පැහැදිළිව දැකගත හැකි විය.

තිරික්කලය ප්‍රධාන ‌‌දොරටුව ළඟ නතර කරන විට, ඇඩම් පසුපසින් එයට ළං විය. ‌වෙදහලේ ආවතේව කරුවන් ද එතැන වටකරගත්තේ අමුත්තක් දැනුණු ‌හෙයිනි. තිරික්කලයේ බක්කියේ ‌දොර ඇරගෙන දකුණු පය බිමට තැබූ මුදලිතුමා, විදේශික රැඳවියාගේ උරහිසට වාරු ‌වෙමින් බිමට බැස ගත්තේ ය. ඔහු එතැනින් ආළින්දයට ‌ගොඩවී හාන්සි පුටුවේ ඇළවිය. 

මුදලිතුමාගේ මුහුණින් ‌‌පෙනුනේ අයහපත් ආරංචිියක් ඇති බවක් පමණක් ‌නොවේ. ඔහු ‌මේ ‌වෙලාවේ වචනයක්වත් කීමට ‌නොරිසි බව ද එහි මනාව සටහන් ව තිබුණි. 

මැළවී ගිය මුහුණින් යුතු ටිකිරි බණ්ඩාර තිරික්කලය දක්කාගෙන වළව්ව පිටුපස මඩුව ‌වෙත ගියේ ‌ගොන් නාම්බාට විවේකයක් දීමට ය. ඇඩම් නිහඬව ම ඒ පසුපසින් වැටුණේ ය. වළව්ව ඉදිරිපස ‌රොක් වී සිටි ‌සෙසු උදවිය ද පවුලේ අය හට අවසර සළසමින් තම තමන්ගේ කටයුතුවලට විසිරී ගිය හ.

මඩුවේ දී ‌ගොනා ‌ලෙහා දමා, උගේ ‌ගෙළ සහ පිට ‌තෙල් ගල්වා, පුන්නක්කු හැළිය සකස් කරදීම සිරිත් පරිදි ටිකිරි බණ්ඩාර අතින් සිදු විය. ඇඩම් ඒ ‌දෙස බලා සිටිය ද වචනයක්වත් කතා කළේ නැත. ඔහුට සමස්ත සිදුවීම අසාගන්නට හැකි වූයේ ධනසේකර තරුණයා සිය කටයුතු නිමවා මඩුවේ ‌කොට බිත්තිය මත වාඩි වූ පසුවය.

------------------------------------

මහනුවර නගරයේ පිහිටි උස ම ස්ථානයක් වූ බහිරව කන්ද, විජයබා ‌කොල්ලයෙන් රයිගම් බණ්ඩාර හෙවත් පරරාජසිංහ කුමරු ලද වස්තුව නිධන් කළ තැන විය. මුලු රටට දිග් විජය කළ සපුමල් කුමරු ‌ගේ මගුල් කඩුව ද ඒ අතර වූ බව විශ්වාස ‌කෙරේ. කන්ද උඩරට පසුකාලීන පාලකයෙකු වූ කරල්ලියද්දේ හට මරු කැට, මහනුවර අල්ලාගත් ටිකිරි බණ්ඩාර ‌හෙවත් සීතාවක රාජසිංහ රජු, සිය උපදේශක වූ ආඬි ගුරු අරිට්ඨ කී ‌වෙංඩු ‌ගේ අදහස ද අනුව ‌මෙකී නිධානය ‌ගොඩ ගන්නට තැත් කළේ ය. ඒ, සිය මීමුත්තා ‌ගේ මගුල් කඩුවෙහි අනුහසින් ‌හෝ පරංගීන් ‌මෙරටින් තුරන් ‌කොට රට නැවත එක්සත් කරවන අටියෙනි.

එහෙත් රාංජසිංහ රජුගේ අවාසනාව ආරම්භ වූයේ එතැනිනි. ආඬිගුරු ‌ගේ ‌හෝමය වැරදී ගියේ ය. සියලු නිධානවලට අරක් ගත් අමනුෂ්‍ය බලවේගය වන බහිරවයා බන්ධනය කිරිමට ගත් තැත වැරදුණි. එතැන වූ යකැදුරන් කීප ‌දෙනෙකුගේ ‌බොටුව කඩා දැමූ අමනුෂ්‍යයා, බහිරව කන්ද වටා වූ ඝන කැළෑවට වැදුණේ ය.

සෙනරත් රජුගේ රාජය කාලය ඇරඹෙනවාත් සමඟම, තද නියඟයක් කන්ද උඩරටට බලපෑවේ ය. කිසි දිනක ‌ගොහොරු මඩෙන් ‌නො-තොර ‌වූ, මහනුවර මහා ‌වෙල් යාය ඉරිතළා ගියේ ය. දළදා වහන්සේ වැඩම කළ ද, යන්තම් ‌පොළ‌ොව ‌තෙමෙන්නට මිසක ගහට ‌කොලට ප්‍රමාණවත් වැස්සක් වැටුණේ නැත.

සෙනරත් රජුගේ පූර්වගාමියා වූ විමලධර්මසූර්ය රජුහට ද පුරෝහිතකම් කළ ශ්‍රී නාරායන බ්‍රාහ්මණයා ‌පේනයක් බැලී ය. ඉන් ‌හෙළි වූයේ ‌මේ විපත ඇතිවූයේ බහිරව ‌දේවතාවාගේ බලපෑමෙන් බව ය. සීතාවක රාජසිංහයන්ගෙන් සිදු වූ ගැහැට ට පළිගැනීමක් ‌ලෙස, නියඟයෙන් මහනුවර රාජධානිය පුළුස්සා දැමීමට බහිරවයා ඉටා ‌ගෙන ඇති බව කියැවුණි. 

බහිරවයාගේ ශාපයෙන් රාජ්‍යය ගළවාගැනීමට නම් වංශවත් කන්‍යාවක් බහිරව කන්දේ දී බිළි දිය යුතු විය. වර්ෂයක් පාසා එම බිලි පූජාව සිදු කළ යුතු විය. 


ඒ අනුව මේ දක්වා ‌හෙවත් ‌දෙවන රාජසිංහ රජුගේ පාලන කාලය පුරාවට ද ‌එම චාරිත්‍රය අඛණ්ඩව පැවතීගෙන එයි.

"රජතුමා ඇත්තටම අපේ අප්පච්චිට ‌ළෙංගතුයි." ටිකිරි බණ්ඩාර ධනසේකර රැඳවියාගේ මුහුණ එක එල්ලේ බලමින් කීවේ ය. "ඒකයි අපට හදිසියෙ කැඳවලා ‌මේ පණිවිඩේ කිව්වෙ. රජතුමා ‌කොහොමත් කන්‍යාවියො බිලි ‌දෙන එකට අකමැත්තෙන් හිටියෙ. 

"‌මේ පාර කවුද බිළිදෙන්නෙ කියන එක නිශ්චය කරන්න පැවැත්වෙන ‌දේව කන්නලව්වෙදි, පුරෝහිත බ්‍රාහ්මණයො ආවේශයෙන් කියල තියෙන්නෙ අපේ නංගි ගැන...."

ඇඩම් වාඩිවී සිටි තැනින් නැගිටුණේ ඊ ගසක් ‌සේ ය. දෑත් මිට ‌මොළවාගත් ඔහු විගසක් එතැන ‌නොරැඳී සිය කුටියට වැදුණේ ය.

------------------------------------

සතියක් පුරා ධනසේකර වළව්ව සහ අවට දිස් වූයේ මළගෙයක් ‌ලෙසිනි. ටිකිරි බණ්ඩාර ඒ සතියම ගත කළේ නගර මධ්‍යයේ වූ නාථ ‌දේවාලයේ විවිධාකාර පූජාවන් පවත්වමිනි. ‌වෙද මුදළිත් ළමාතැනීත් හිස්බව පිරුණු ඇස්වලින් බලාගත් අත බලාගෙන පසු වූහ. ඔවුන් හට භාර ව සිටි රැඳවියා‌ගේ බර ද රජවාසල විසින් ඔවුන්ගෙන් මුදවන ලදි. 

ඇඩම් ඇන්ඩර්සන් ‌ගේ නව වාසස්ථානය වූයේ ඇතුල් නුවරට ආසන්නයේ මුර කුටියකි. දිවා කල නගරයේ ඇවිදීමට ඔහුට දී තිබූ අවසරය නැවත අවලංගු ‌නොකෙරුණු ‌හෙයින් ඔහුට ඒ සතිය ම ටිකිරි බණ්ඩාර සමඟ නාථ ‌දේවාලයේ ගත කළ හැකි විය. එහිදී ය ‌ලංකා දිවයින සුරකිමින් වැඩ සිටින සතර වරම් ‌දෙවිවරුන් ගැන ඇඩම් සෑහෙන යමක් දැන ගත්තේ.

වරම් ‌දෙවිවරුන් සතර ‌දෙනාගෙන් ප්‍රබලතම බලවේගය, ටිකිරි බණ්ඩාර ට අනුව නාථ ‌දෙවියන් විය. සිද්ධාර්ථ ‌බෝධිසත්ත්වයන් බුද්ධත්වයට පත් ‌වෙද්දී එතැනට ආ මාර ‌සෙනඟ දැක, සියලු ‌දෙවිවරුන් පළා යද්දී, දුනු මිට දැඩිව මිට ‌මොළවාගෙන බුදුන් පසෙක හිඳිමින් රැකවරණය සැළසුවේ ද එතුමා ය. දැඩිමුණ්ඩ යන නම එතුමා ලැබුවේ එම අවස්ථා‌වේ දී ය. ‌මෙරට මිනිස්සුත් බුද්ධාගමත් සුරකින ‌ලෙස බුදුන්ගේ ශ්‍රී මුඛයෙන්ම පවරන ලද්දේ ද එතුමා ට ය. මතු බුදු වීමට පාරමිතා පුරණ අවලෝකිතේෂ්වර නාථ බෝසතාණෝ ද, එතුමා ම විය....

ටිකිරි බණ්ඩාර යම්කිසි අස්වැසීමක් අපේක්ෂා කළේ එම ‌දෙවියන් ‌වෙතිනි.

-----------------------------------------

අමාවක දින හිරු අවර ට ගියේ මහනුවර නගරය වෙනදාටත් වඩා තද අඳුරකින් වසාගනිමිනි. තරු එළි පවා වැහි වළා ගැබෙහි සැඟවී ගොස් තිබුණි. දළදා මාළිගය සහ සතර දේවාලයේ සිට පිටත් වුණු කුඩා පෙරහැරෙහි පන්දම් එළිවලින් පවා විහිදුණේ මළාණික එළියකි.

ශ්‍රී නාරායන ව්‍යාසදේව බ්‍රාහ්මණ කපු මහතා ආවතේව කරු සමඟ කුඩා මිනිස් කණ්ඩායමෙහි පෙරමුණ ගත්තේ ය. ඔහු මෙකී අභිචාරයේ ආරම්භකයා වූ ශ්‍රී නාරායන බමුණාගේ මුණුපුරා විය. දෙවැනියට ගමන් කළේ දේව දාසියන් පිරිවැරූ ධනසේකර කුමාරිහාමි ය. සර්වාභරණයෙන් සැරසවුණු ඇගේ සුකුමාර සිරුර වැසුණේ සුදුවන් ඔසරියෙනි. හදවතෙහි වූ අඳුරු අපේක්ෂා භංගත්වයට එරෙහිව ඇගේ හිස සෘජුව එසවිණි. නොදන්නා බියකරු ඉරණමක් කරා යන ගමන ඈ පිය නැගූයේ සෘජු හා නොසැලෙන ලාලිත්‍යවත් පියවරිනි. එකිනෙකාට වත්තන් වූ ධනසේකර මුදලිතුමා, ළමාතැනිය සහ ටිකිරි බණ්ඩාර ඒ අසළින් ම ගෑටූ හ. රජවාසලේ ද, ධනසේකර වළව්වේ හා නින්දගමේ ද, හිතෛශී මිනිසුන්ගේ දහදියෙන් තෙමුණු නිරුවත් උඩුකය පෙරහැර පසුපසෙහි වූ පන්දම් එළිවලින් දිළිසුණේ ය.

තද අන්ධකාරය මැදින්, නගරය පසුකර කඳු මුදුන වෙතට පටු මාර්ගය යොමු වෙද්දී, තරුණ කුමාරිහාමියගේ සිත පතුලෙහි වූ ධෛර්යය පොදින් පොද වියැකී යනු, ඇගේ මුහුණ ඉතා සියුම්ව නිරීක්ෂණය කරගෙන සිටි තැනැත්තෙක් දුටුවේ ය. ඔහු සිටියේ කන්ද මැද හරියේ ගසකට මුවා වී ගෙන ය. දුකින් පෙඟුණු මහලු දෙමාපියන්හට සවියක් වෙමින් ඈ මවා පෑ වීරත්වය ඔහුගේ නොමඳ ඇගයුමට ලක් විය.

මුලින්ම කන්ද මුඳුනට ආ කපුමහතා හා ආවතේව කාරයා අවට කහ දියරින් සහ සුවඳ දුමින් කැප කළහ. වනරොදින් වට කෙරුණු කමතක් පමණ වූ එළිමහන් භූමියෙහි මැද දැවැන්ත ලී කණුවක් සිටුවා තිබුණි. ඒ කණුව වටා පහත් නමුත් ගැඹුරු හඬින් ස්තෝත්‍ර කියමින් පැදකුණු කළ ඔවුහු පන්දම් ගෙන දුම්මල ගසමින් අවට පරිසරය එක් නිමේෂයකට ආලෝකවත් කළහ. ගනඳුර මැදින් විහිදි දුම්මල එළි, සිදුවීමෙහි වූ භයංකර බව තව තවත් තීව්‍ර කරන්නට සමත් විය.

ස්තෝත්‍රය අවසානයේ කපුමහතාගේ නියෝගයෙන්, දේවදාසීහු  තරුණිය ලී කණුව වෙත කැඳවාගෙන ගියහ. ඇගේ දෑත් හිසට උඩින් ඔසවා, කණූවෙහි මුදුනේ වූ රැහැණකට ගැට ගසණ ලදි. දෑත් එසවෙද්දී, ඇගේ ළ‌යෙහි ගැස්ම පන්දම් එළියෙන් කැපී පෙනෙණු, මහළු බමුණාගේ දෑසට ලක් විය. දෑස් පියාගත් තරුණිය සිය ඉඟ වටා ඇදුණු හණ රැහැණින් තමන් කණුවට තබා ගැට ගැසීමට ද, දෙපා එකතු කර ගැට ගැසීමට ද, ඉඩ හැරියා ය.

කපුමහතා සිය අතෙහි වූ පන්දම දිගු කර, කණූව මුදුනේ වූ විළක්කුව දැල්වී ය, ඉන්පසු එහි වූ පිරිස හා කැටිව ආපසු යාමට හැරුණේ ය. අවසන් වතාවට සිය දියණියගේ මුහුණ බැලූ මුදලි දෙමහල්ලෝ හිස් බිමට හරවාගෙන ටිකිරි බණ්ඩාර ට වත්තන් වූ හ.

සෑහෙන වේලාවක් ඉක්ම යන තුරුත් කිසිවක් සිදු වූයේ නැත. බැද තිබූ වරපටින් තරුණියගේ දෑත් දෙපා හිරිවැටීමත්, දරාගත නොහැකි ඒකාකාරී නිහැඬියාවත් මිස.... කණුව මත වූ විළක්කුව තෙල් අවසන්ව නිවී ගියපසු වැහි බර අමාවක අඳුර මැද කණාමැදිරි එළියත් සෑහෙන ආලෝකයක් විය.

බියෙන්, හුදෙකලාවෙන් හා බිඳුනු සිහිකල්පනාවෙන් තමා සියුම් මෝහණයකට නතු වන බව තරුණියට දැනෙමින් පැවතිණ. වරක වනරොදෙහි සියුම් සෙළවීමක් ඈ අඩවන් දෑසින් දුටුවාය. එක්වනම, අඳුරු ගුලියක් බිම පෙරළී අවුත් තමා බැඳ සිටි ලී කණුව වෙත ආවේයැයි ඈට දැනුණි. කුමාරිහාමි ඒ දෙස හැරීමට හෝ ආයාසයක් නොගත්තී ය. ඇයට මේ සියල්ල බියකරු සිහිනයකි. අඳුරු ගුළිය දිගහැරී මානව රූපයකට හැරුණි. එහි සුරතේ වූ යමක්, වළාකුලින් මෑත් වූ තරු එළියෙන් යන්තමින් දිළිසුණේ ය. එකවරම, සිය දෑත් ගැට ගසා ඇති රැහැණ කැපී යනු තරුණියට දැණුනි.

මාරක හූ හඬකින් හාත්පස හෙල්ලුම් කෑවේ එක් වරම ය....

හත් ‌වෙනි ‌කොටසට

වැඩිපුර බලපු ලිපි