Friday, November 27, 2020

අවසානයක් නොවේ - 20

පළමුවෙනි කොටස

තුන්වෙනි කොටස

දහ නව වන කොටස

"ඩේන්වරු තන්ජෝරයේ බළකොටුව ආපහු පිළිසකර කෙරුවා." රුද්‍ර කී ය. "ඔවුන්ගේ නිරීක්ෂක දූතයන් නිතරම එහෙමෙහ යනවා. ඔවුන් උනන්දුයි ස්වදේශික ඇදහිලි සහ බෙහෙත් ක්‍රම ගැන. ඒ වගේම හිමාලය ට ආසන්න ප්‍රදේශවල තියෙන ඖෂධීය ගුණයක් තියෙන උල්පත් ගැනත් ඔවුන් සොයන බව පේනවා...

"මට කතා කරන්න තියෙන තවත් කාරණයක් තමයි... තන්ජෝරයේ බළකොටුව මේ තාක් කල් බොහොම දුෂ්කරතා මැද පවත්වාගෙන ආවා, ඒකෙ අණදෙන නිලධාරියා. මෑතක ඩේන් රටේ සිට ආධාර එක්ක අලුත් පාලකයෙක් ආවා. හිටපු පාලකයා ආපිට මවු රටට යනවා වෙනුවට, භාරතයේ කඳුකර ඉසව් සහ දාර්ශනිකයන් ගැන ගවේෂණය කරන්න පටන් ගත්තා. 

"ඒ ගැන අපට සෙවිල්ලෙන් ඉන්න පුළුවන්. ඔබේ සහාය උවමනා වෙන්නේ..." රුද්‍ර සිය කොන්ද සෘජුව තබාගනිමින් ගෙළ හරවා තම සංග්‍රාහකයින් තිදෙනාගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලි ය.

"මේ හිටපු පාළකයා කුරුල්ලන් යොදාගෙන පණිවුඩ හුවමාරු කරගන්න බව අපට පෙනුණා. සාමාන්‍යයෙන් යුරෝපා මිනිස්සු ඒ වැඩේට පරවියන් යොදාගත්තත්, මේ මනුෂ්‍යයා ළඟ ඉන්නේ තරමක ලොකු බස්සන් වගේ කුරුල්ලන් ජාතියක්."

"ඔබ පශුපති නේ..." මිත්‍ර කීවේ ය. "සතුන් ගැන අපටත් අහගන්න වෙන්නේ ඔබෙන් නේ..."

"ඔව්. මම දන්නවා ඒ කුරුල්ලන් මොකුන්ද කියා. ඒ ගැන නොවෙයි මට ගැටළුව තියෙන්නේ. ඒ කුරුල්ලෙක් ලංකාවට ඇවිත් ගියා දැන් වාර කීපයක්..."

"මෙහේ ඉන්න නෝඩික් ජාතිකයන්, තන්ජෝරයේ නෝඩික් වැසියන් එක්ක සබඳතා පැවැත්වීම පුදුමයක් නෙවෙයි." සුමන කීවේ ය. "ඒත්, ඒකට නිශාචර කුරුල්ලන් යොදාගැනීමේ යම් රහසක් තියෙනවා."

"මතකනේ..." රුද්‍ර සිය ඇස් සිහින් කළේ ය. "සින්දිබදු, ඇලෙක්සැන්ඩර්, ෆාහියන්, ඉබ්න් බතුතා, මාර්කෝ පෝලෝ... ඒ හැමෝම භාරතයේ යම් කිසිවක් හොයලා, ඔබේ රටටත් ආවා."

"ඒකම තමයි මේ හමුවීම යොදාගත්තේ..." ඉන්ද්‍ර පැවසී ය. "මේ මනුෂ්‍යයන්ට උවමනා මොකක් වෙන්න පුළුවන් ද?" 

රුද්‍ර වට්ටියේ තිබූ අවසාන මසන් අහුරත් කටේ ලා ගෙන සෙමෙන් සපන්නට විය. ඔහුගේ දෑස සෙමෙන් පියවී ගියේ නිතැතිණි.

නිහඬව ගෙවුණු මිනිත්තු කිහිපයකට පසු රුද්‍ර දෑස් පියාගත් වන ම සෙමෙන් කතා කරන්නට පටන් ගති. 

"ඔබත්, අපිත් දෙගොල්ලන්ගේ ම ඖෂධීය දැනුම කැටි කරලා, දිය උල්පතක් මත ගෑවා මීට බොහෝම කාලයකට කලින්... ඒක තිබුණේ ලක්දිව ප්‍රධානම කඳුවැටියක් මුදුනේ. එය නියම පදමට මත ගෑවෙන්නට කලින් විවිධාකාර දේ නිර්මාණය වුණා..."

"ඔව්. එයින් සැදුණු විෂ සහිත ඖෂධය ඔබ බීවා නේ..." මිත්‍ර සිහිපත් කළේ ය.

රුද්‍ර දෑස් විවර කරත්ම, සුමන මිත්‍රගේ හිසට අවවාදාත්මකව තට්ටු කරනු දුටුවේ ය.

"මම අදහස් කළේ... අපේ මහා ඖෂධය බේරගන්න ඔබ තමන්ම කැප කරලා ඒ විෂ බීවා. ඒක අහකට විසි කළා නම් එය වැටුණු තැන පවා විනාශ වෙන්න තරම් දැඩි විෂක්..." මිත්‍ර තම ප්‍රකාශය නිවැරදි කළේ ය.

"ඔව්.  ඒ හළාහල විෂ මගේ සිරුරට සහ මනසට සදාකාලික බලපෑමක් කළා. දැනටත් සමහර වෙලාවට ම‌ගේ ගෙළ වටේ නාගයෙක් දරණ ගසාගෙන තදකරනවා වගේ දැනෙනවා. මා බේරුණේ අග්නි ගේ වෙදකමින්. කෝ, ඇය වෙනත් රාජකාරියක ගිහින් ද?"


https://i.pinimg.com/736x/ec/d0/aa/ecd0aad7ffdda4cc45dfadcdf27e1c16.jpg

"ඔව්. ඇත්තටම රාජ-කාරියක් ඉටු කරන්න පහත රටට ගියා"

"මට කියන්න උවමනා කළේ..." රුද්‍ර පළතුරු වට්ටිය බිමින් තැබී ය. "අපි එදා, ඒ මුල්ම කාලේ උන්නා වගේ එකට කටයුතු කරන්න සිදු වෙනවා. මේ අභියෝගය දැනට ඉතාම සුළු දෙයක් වුණා ට, අපේ රටවල සිදුකෙරෙන මේ රහස් ගවේෂණය ගැන හැකි තරම් තොරතුරු අපි රැස් කරන්නත්, ඒ තොරතුරු හුවමාරු කරගන්නත් පටන් ගත යුතුයි."

"ඒක තමයි..." ඉන්ද්‍ර කීවේ ය. "අග්නි ගියෙත් ඒ වගේ කටයුත්තකට. මේ රටට ආව නෝඩික් ජාතිකයන් තුන් දෙනාගෙන් නායකයා එක්ක යම් කිසි රාජකාරියක් කරන අතර, ඔහු ගැන හැකි තරම් තොරතුරු දැනගැනීමට යි. ඈ ගියේ."

"කවුද ඔවුන්ගේ නායකයා?"

"ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්. අද්මිරාල් කෙනෙක්, ඒ වගේම රණ ශූරයෙක්..."

"ඇත්තද? මම අර කලින් කිව්ව තන්ජෝරයේ හිටපු පාලකයා, දැන් අර පාමීර් කඳුකර ප්‍රදේශයේ ගවේෂණ කරන්නේ... ඔහුගේ නම එස්කිල්ඩ් ඇන්ඩර්සන්"

*    *    *

අන්ධකාරය ගනකම ඇති කළුවන් පොරවණයක් සේ හාත්පස වෙළාගෙන තිබුණේ ය. එලිමහනේ ගැවසි කණාමැදිරියන් ටිකෙන් ටික ඉහළට ඇදී ගොස් පුළුල් අහසේ පැතිර තිබූ තරු සමඟ එක් වන්නා සේ ඇඩම් ට දැනුණි. පිළිස්සූූ දඩමසින් සහ සෝම පානයෙන් ඔහුුුුගේ කුස පිරී තිබූණි. දහවල වික්‍රමාන්විත ක්‍රියාවලින් ලද තෘප්තියෙන් ද, වනචාරින්ගේ ගායනා සහ නැටුම්වලින් ද, හාත්පස පැතිරි සාමදානයෙන් ද ඔහුගේ සිත තෘප්තිමත්විය. 

ඝන වනාන්තරය මැද රියන් සීයක පමණ වටා ප්‍රමාණය එළි පෙහෙලි වි තිබුණේ, පැතිර තිබූ ගල් තළාව හේතුවෙනි. පසුපස ගල් කන්දෙහි, කාලය සහ සැඩ සුළඟ විසින් සාරා සකස් කර තිබූ දැවැන්ත ගල් ලෙණක් විය. එහි සිට පහතට බෑවුම් වී ආ ගල් තලයේ අනෙක් කෙළවර ගිණි මැළයක් දැල්වෙමින් පැවතිණ. ඉන් ගිණිපුපුරු ඉහළට නැඟෙමින් අඳුරේ ඉගිළෙන කණාමැදිරින් සමඟ මුසුවිය.

ගිණිමැළය අසළ ගලක් මත වාඩි වී සිටි කුරුම්බර, සිය උදරය දෙපසට තාලයකට දෑතින් තට්ටු කරමින් ඇද පැද ගීයක් ගායනා කරමින් සිටියේ ය. ඒ ගීයේ පද, ඉතා පුරාණ භාෂාවකින් සැදුණකි. සිංහලේ පූර්වජ භාෂාවක් වූ එහි වක්‍රොක්ති බහුල වූ බැවින්, එම ගීයෙන් කියවෙන කතාව තේරුම් ගැනීමට උත්සාහ කිරීම නාවිකයා අත්හැර දැම්මේ ය. ගීයට අත්වැල් ඇල්ලූ අනෙක් මිනිසුන් තිදෙනා, ගිණිමැළය වටා තාලයකට පාද බිම ගසමින් නැටූ හ.

ඇඩම්, සිටියේ ගිණිමැළයට මඳක් ඈතිනි. ගල් තලාව මත ඇළවි, සිය වැළමිටි දෙක බිම ගසා පිට කොන්දෙන් අඩ වශ‌යෙන් එසවී ගෙන සිටි ඔහුගේ දණහිස් මඳක් නැවී තිබිණ. ඔහු ගිණිමැළය වටා පැවති ආදිකාල්පික දර්ශනය රසවින්දේ ය. තම ලේ නහර දිගේ මොළයට ගමන් කරමින් තිබූ සෝම පානය ඒ රසවින්දනයට උපකාරී වූ බව ඔහුට දැනෙමින් පැවතිණ. 

යුරෝපීයයා, හිස හරවා තමාගේ වම්පසින්, මඳක් ඈතින් ගල් තලාව මත වැතිර සිටි දුර්ගා දෙස බැලී ය. 

ඈ උඩුකුරුව වැතිරී, සිය දෑත් මත හිස තබාගෙන ඉහළ අහස දෙස නෙත් යොමාගෙන සිටියා ය. "මොකද හිතන්නෙ ඩ්‍රේක්?" ඈ අහස දෙස බලාගත් වනම ඇසුවාය. "අපි මේ මොහොතේ විඳින මේ සාමදානය, කන්ද උඩරට දී හරි, යුරෝපයේ දී හරි ඔයාට විඳින්නට ලබිලා තියෙනවද?"

"මාත් කල්පනා කළේ ඒක තමයි..." ඩ්‍රේක් එකඟ විය. "ඊටත් වඩා මම කල්පනා කළේ මොකද්ද දන්නවද?"

"මොකද්ද?" ඈ නෙත් කොණින් ඔහු දෙස බලද්දී. ඇගේ දෙතොළ සමච්ඡලයට මෙන් වක් වෙනු ඔහු ගිණි මැළයේ එළියෙන් දුටුවේ ය.

"දිය යට කෙනෙකුට සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් උපරිම විනාඩි දෙකක් හෝ තුනක්. ඒත් ඔයා ඊට වඩා කාලයක් හිටියා. ඊටත් වඩා, මගෙ හුස්ම හිර වෙන්න එද්දි ඔයා මට හුස්ම පිරෙව්වා..."

ඇගේ සිහින් මුණු මුණු සිනහවෙන් ඇඩම් ගේ කතාව මඳකට නැවතිණ. ඈ සිනාසෙද්දී, ඇගේ ළය ගැහෙමින් උස් පහත් වන ආකාරය අඩ අඳුරේ ඔහුගේ නෙතට චමත්කාරී දසුනක් විය.

"ඔයාම නේද මට කිව්වෙ, අර ඊශ්වර දෙවියන් බේරාගත්තතා වගේ ඔයාවත් තාරා දෙවඟන බේරාගනියි කියලා..." ඇගේ සරදම්කාරී සුරතල් හඬ...

දුර්ගා, නැවියා දෙසට හෙවත් දකුණැලයට හැරී, සිය සුරත, වැළමිටෙන් නවා එහි අත්ල මත හිස රඳවා ගත්තා ය. 

"කතන්දරවල තියෙන හැම දෙයක්ම සම්පූර්ණ ඇත්ත නෙවෙයි ඩ්‍රේක්. ඒත් මට ඉතාම සුළු දේවලින් ජිවිතය පවත්වාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා." 

මිනිත්තු කිහිපයක් තිස්සේ ඇගේ මුහුණ දෙස ඇඩම් බලා සිටියේ ය. ඇගේ සුපුරුදු සරදම්කාරී විලාසය එවේලේ දකින්නට නොවී ය.

"ඒ්ත, මට කියන්න," දුර්ගා නිහැඬියාව බින්දා ය. " ඔයා මොකද අර වගේ අනතුරුදායක දෙයක් කළේ?" 

"ඇත්තටම ඔයා නොහිටින්න මම මැරෙන්න තිබුණා තමයි." ඩ්‍රේක් කීය. "ඒත් ඇත්තටම, මගෙ තත්ත්වයට ඔයා පත් වෙලා හිටියනම්, ඔයාට තේරේවි.

"හිතන්න, ඔයාට තුවාල වෙනව. වේදනාව දැනෙනව. ඒත් ඉක්මණටම සුවපත් වෙනව. මාරාන්තික තුවාලයක් වුණහම මැරෙන්න තරම් වේදනාව ඇති වෙනව. එහෙම වුණහම මැරෙන එක සැනසිමක්. ඒත් ඔයා ආපහු තරමක වෙලාවක් ගිහින් සුවපත් වෙනව. අවුරුදු හාරසීයක් තිස්සෙ නිරන්තරයෙන් ඔහොම වෙනව කියන්නෙ, තනිකර වේදනාවෙන් පිරුණු ජීවිතයක්...

"ඒක කායික වේදනා ගැන. අනික් අතට හිතන්න ඔයා කාට හරි ආදරය කරනව. තමන්ගෙ ජීවිතය කැපකරන්න තරම් ආදරය කරනව. ඒත් එයා අන්තිමේ මිය යනව. ඔයා ට මැරෙන්න හිතෙනව. ඒත් මැරෙන්නෙ නෑ...

"ඉතින් ඒ විදිහට දිගට ජීවත් වෙන්න සිද්ධ වුණහම..."

දුර්ගා සිය වමත දිගු කර ඇඩම් ගේ සුරත අල්ලා ගත්තා ය. ඇගේ අත්ලේ සහ සිහින් ඇඟිළිවල සුමුදු බව සහ උණුසම ඔහු‌ගේ අත්ලෙහි ගොරෝසු සමට දැනිණ. 

"මට තේරෙනව." මොහොතකට පසු ඈ සිහින් හඬින් කීවා ය. "සම්පූර්ණයෙන් ම නොවුනත්, මට ඒ හැඟීම තේරෙනව... ඉතින් ඔයා මොකද කරන්න හිතන්නෙ? මට උදව් කරන්න පුළුවන් දෙයක් ඇති...?"

සිතේ ඇතිි දෙය ඈ හා කීමට තමන් පැකිළෙන්නේ ඇයි දැයි යුරෝපියයාට තේරුම් ගත නොහැකි විය. කීප මොහොතක් උත්සාහ කර සිතෙහි පෙළ ගස්වා ගත් වචන, අවසානයේ ඔහු මුවින් පිට කරගත්තේ ය.

"ඔයා වතුර යට දි දැක්කම... මම කිව්වෙ, අර කලින් කියපු දේ. ඒ කියන්නෙ... ඔයා හුස්ම අල්ලගෙන ගොඩක් වෙලා හිටපු එක, ඒ වගේම මට හුස්ම දුන්න එක... 

"ඒක දැක්කම මට හිතුණා, ඔයා මට වඩා සම්පූර්ණයි කියලා..."

"මට තේරෙනවා ඔයා අහන දේ ඇඩම්..." දුර්ගා මෘදුව තෙපළා ය. "මේ අනික් අය වගේ නෙවෙයි මම... ඔයා දැකල තියෙන හැම දේකටම වඩා මම වෙනස්. ඒ මම හැදිලා තියෙන හැටි. මට සෑහෙන කාලයක් තිස්සෙ ඔයාට ඔය තියෙන ගැටළුව වගේ දෙයක් තිබුණා. 

"නියම ම ප්‍රශ්නය තමයි... අපි මොන හේතුවකට ද, මෙහෙම හැදිලා තියෙන්නෙ කියන එක. මට ඒක තේරුම්ගන්න සෑහෙන කාලයක් ගතවුණා. ඒ වෙනතුරු මාත් ඔයා වගේම අවිනිශ්චිත... දෙගිඩියාවක පාවෙමින් හිටියෙ...

"පස්සෙ මට මේ හැම දේකම හැබෑ තේරුමක් නැති බවත්, අපි තේරුමක්, අරමුණක් ඇති කරගන්න උවමනා බවත්, තේරුම් ගියා. ඇත්තටම වුණේ, මට ඒක තේරුම් ගන්න උදව් කළා එක තැනැත්තෙක්. එයා අමරණීය කෙනෙක් නෙවෙයි. එයා සියල්ල අතහැරලා, කිසිම දෙයක් ගැන අරමුණක් නැතිව අවසානයෙ මරණයට මුහුණ දුන්නා. නමුත් මට එයා අරමුණක් දුන්නා.

"තේරුම් ගන්න තියෙන්නෙ ඩ්‍රේක්..." ඈ සිය සිහින් ඇඟිලි වලින් ඔහුගේ ඇඟිළි මිරිකා ගත්තී ය. "...යම් කිසි වෙනස් දෙයක් අපට ලැබෙන්නෙ, අනික් කාටවත් නොලැබී අපට ලැබෙන්නෙ, මේ ලෝකය වෙනුවෙන් යමක් ඉටු කරන්න... ඔයා හිතන්න - ඔයා දන්න දේවල් අනුව ඔයා හිතන්න ඒ මොකද්ද කියලා..."

ආදිකාල්පික වටපිටාව හා සෝම පානය ඔහුගේ සිතුවිලි ලිහිල් ස්වභාවයකට පත් කර තිබුණි. ඔහු අසළ ගල් තළාව මත වැතිර සිටි සුන්දර තරුණිය සිය මිත්‍රත්වය පිරිනමා තිබුණි... සිය සිතෙහි මෙතෙක් කල් තෙරපෙමින් තිබූ මහා ගැටළුව ට පිළිතුරු ඇගෙන් අපේක්ෂා කළ හැකි බව ඩ්‍රේක් හට වැටහුණි...


මීළඟ කොටස 


Saturday, November 21, 2020

අවසානයක් නොවේ - 19 කොටස...

...කෙඳි වළාකුළු ස්තරය පසා කරගෙන ඉහළට නැඟුනු ළිහිණියා, ආපිට හැරී හිස පහතට ලාගෙන පියාපත් අකුළා ගත්තෙන්, ඉහළ සිට පහතට වැටෙන කාලතුවක්කු උණ්ඩයක් සේ වේගයෙන් පහළට එන්නට ගත්තේ ය. 

පළමුවෙනි කොටස

තුන්වෙනි කොටස

දහ අට වන කොටස

නාවිකයා කරගන්නට යන අනතුරේ තරම මැන ගැනීමට දුර්ගා විල ආසන්නයේ වූ උසැති ගල් කුළක ට නැග ගත්තා ය. කුරුල්ලා පහතට එන වේගය අනුව තවත් තත්පර කිහිපයකින් පොළොවට ආසන්න වනු ඇත. කුරුඳු ළිහිණියාගේ සූක්ෂ්ම සංවේදනයන් සහ බුද්ධිය ගැන කොතෙක් පැහැදිළි කළ ද, ඒ සියල්ල නොතකා හුදෙක් වීරත්වය පසුපස යාම නෝර්ඩික් ජාතියට ආවේණික ලක්ෂණයක් වන්නට ඇත.

සුළඟ හා පොර බදන දැවැන්ත පිහාටු අස්සෙන් නැඟෙන සට සට හඬ... හිස කෙස් අතරින් වේගයෙන් හමා යන සුළං රැල්ලෙන් නැඟෙන සියුම් හූ හඬ... පොළොවට ලම්බක වූ කුරුල්ලාගේ බඳ මතින්, පහතට විසි නොවී සිටීමට නාවිකයාහට සෑහෙන වෙහෙසක් දැරීමට සිදු විය. ඇඩම් සිය දෙපය ළිහිණියාගේ උරහිස් වටා ඔතාගන්නට තැත් කරද්දී එක් වරම ළිහිණියා පියාපත් දිග හැර, ඇසිල්ලකින් නැවත අකුලාගත්තේ ය. එයින් එක් මොහොතකට ඔවුන් දෙදෙනා වේගයෙන් ගැස්සුණි. නාවුකයාගේ දෙපයේ ග්‍රහණය ලිහිල් වී, ඔහු දැවැන්ත කුරුල්ලාගේ හිසට උඩින් පහතට වැටුණේ ඒ ගැස්මේ බලපෑමෙනි. යුරෝපීයයාගේ මුහුණ තත්පර කිහිපයකට කුරුඳු ළිහිණියාගේ හොට ට අඟල් කීපයක් ආසන්නයෙන් පහළට යද්දී, උගේ ලොකු ඇස්වල සටහන් වූ මාරාත්මක නපුරුකම ඔහු ට මනාව දැක ගත හැකි විය.

එහෙත් ඩ්‍රේක් සිය දෑතේ ග්‍රහණය අත් හළේ නැත. තම හිස වටා තදවුණු වැල් පොටේ එල්ලී සිටින මිනිසා හට තියුණු හොටයෙන් අනින්නට කුරුඳු ළිහිණියා කිහිප විටක් ම තැත් කළේ ය. කොයි මොහොතේ හෝ ඌ ගේ වෑයම සාර්ථක වනු ඇති බව ඇඩම් පසක් කළේ ය.

"අතෑරලා පනින්ටෝ...!" දෑත් විහිදා සිය මුව දෙපසින් තබාගත් දුර්ගා කෑ ගෑවා ය. ඒ කෑගැසීම වඩාත් ම හොඳින් ඇසුණේ කුරුඳු ළිහිණියාට බව පෙනුනේය. ඌ සිය පියාපත් විහිදුවාගනිමින් හිස ඔසවා, මුහුණ පහතට යොමාගති. එයින් උගේ සිරුර පොළොවට සමාන්තර පිහිටුමකට පැමිණ, උගේ දෙපය ඉදිරියට යොමු විය. දෙපයේ ඇඟිලි විහිදුවාගත් විට කිණිසි මෙන් උල් වූ නියපොතු තුඩු අවර දිගට යොමු වූ හිරුගේ රැසින් දිළිසෙනු දුර්ගා දුටුවා ය. දැවැන්ත පක්ෂියා, එතෙක් නිදැල්ලේ පහතට වැටෙමින් තිබූ පොළොවට ලම්බක ගමන් මඟ මඳක් වෙනස් කර ඈ සිටි ගල් කුළ වෙත ට අත්තටු ගසමින් පහත් වන්නට වූූයේ සිය ගමන් වේගය අඩාල කර නොගනිමිනි.

කුරුඳු ළිහිණියාගේ හොටයෙන් ගැළවුණ ද, නිය පහුරට හසු වීම නියත බව දුටු ඇඩම්, වැල්පට පද්දා අතහැර, පසුපසට පැන්නේ ය. ඒ පිනුමේ ඉළක්කයක් නොවී ය. ඔහු වැටුණේ දුර්ගා නැග සිටි ගල් කුළත්, විලත් අතර පැතිරි වටකුරු ගල් ගොඩ ට ය. ළය පිරෙන සේ හුස්මක් ගත් තරුණිය, වැටෙමින් සිටි නාවිකයා ඉළක්ක කරගෙන ඉදිරියට පැන්නා ය. ඇගේ දෙ අත ඇඩම් ගේ සිරුර වටා වෙළී යත්ම, දෙ දෙනා ම විලෙහි ජල කඳ මතට වැටී, සැණෙකින් පතුළට ම කිඳී ගිය හ. 

දෙපා වකුටු කරගත් දුර්ගා, සිය දෑතින් ඇඩම් තරයේ සිය සිරුරට තද කරගෙන, ජලයේ උඩුකුරු තෙරපුම විසින් සිය සිරුරු විල් දිය මතුපිට ට ඉල්පීම වළක්වා ගත්තා ය. උඩ බැලූ යුරෝපීයයා දුටුවේ පක්ෂියාගේ පියාපත් සැළීම මගින් සිය හිස ට ඉහළින් වූ විල් දිය තළය රැළි නැඟෙන ආකාරය යි. 

නාවිකයෙකු ලෙස ලද හුරුව නිසා ඇඩම් හට හුස්ම අල්ලා දිය යට විනාඩි දෙකක් - තුනක් පමණ සිටිය හැකි විය. සිතෙහි වූ කළබලය පහව යද්දී, තමා වැළඳගෙන සිටි ස්ත්‍රියගේ සුමුදු, සුනම්‍ය හා පිරිපුන් ස්පර්ෂය විසින් ඔහු තුළ සුරක්ෂිත හැඟීමක් ඇති කළේ ය. තමන් ද ඇගේ බඳ වටා දෑත් යවා ඈ තුරුළු කරගෙන සිටි බව නාවුකයා හට පසක්වූයේ දුර්ගා තම දෑත් ලිහිල් කර, ඔහුගේ සිරුරෙන් ඈත්වන්නට තැත් කරද්දී ය.

විලෙහි ජල තළය මතුපිට වට කිහිපයක් පියාසර කළ කුරුඳු ළිහිණියා විල ඉවුරේ වූ ගලක් මත ලැගගත්තේ ය. පෙනහළු තුළ වූ අවසන් ඔක්සිජන් ස්වල්පය වැය වී ගිය පසු, වීරයන් දෙදෙනා හට දිය මතුපිටට එන්නට සිදු වනු ඇත.

උඩ බලාගත්වන ම අවසන් හුස්ම පොද ද පිට කළ ඇඩම් දුර්ගා දෙස බැලී ය. ඇගේ කළු පැහැ කෙස් කළඹ ඈ පිටුපසින් වළාකුළක් මෙන් විහිදී ගොස් තිබුණි. ඇඳ සිටි දිවි සම ද දියෙහි පාවෙමින් තිබුණෙන්, දිය තලයෙන් පහළට පෙරී ආ හිරු රැසින් ඇගේ සිරුරේ ලාලිත්‍යවත් සුන්දරත්වය ඔහු දුටුවේ ය. ඒ සමඟ ම නාවුකයාගේ හුස්ම හිර වන බව තරුණිය ට පෙනුණි. උඩ බැලූ ඇඩම්, විල ඉවුරෙහි වූ දැවැන්ත ගලක් යට වූ පටු ඉඩකඩ ඉළක්ක කරගනිමින් ඉහළට ඇදී යන්නට පටන් ගත්තේ ය. වහා ඔහු වෙත පිහිණූ දුර්ගා, සිය දෑත් ඔහුගේ උරහිස වටා යවා, ඔහු අල්ලාගත්තා ය. ඈ දෙස බැලූ ඇඩම්, ඇගේ මුව තම තොල් මත තෙරපෙනු හැඟීය. ඈ දෙතොල් සහ දිවග මඟින් ඔහුගේ තොල් යාන්තමින් විවර කරගනිත්ම, ඇගේ මුවෙහි සිට සිහිල් පිරිසිදු වාතය සිය මුව හරහා ඇදී ගොස් පෙනහළු පිරී යනු නාවුකයාට දැනිණ. තප්පර කිහිපයක් ඇතුළත ඔහුගේ පපු කුහරය සම්පූර්ණයෙන් පිරවූ තරුණිය නැවත ද ඔහුගේ තුරුළින් මිදී ඈත් වූවා ය. ඈ පසුපසට යද්දී ඇගේ දිගු හිස‌කෙස් ඇගේ මුහුණ දෙපසින් ඉදිරියට පාවී ආයේ ය. කෙස් කළඹ අතරින් ඔහුගේ විස්මයපත් දෑස් දුටු ඇගේ මුව සහ දෑස් මඳ සිනහවකින් රැළි වැටිණ...

https://t4.ftcdn.net/jpg/00/03/70/45/360_F_3704520_Kb6CjkW2hyaEsuCFLBwUNJ79zdW35bdF.jpg

ගෙළ සිර කරන ලද බළලෙකුගෙන් නැඟෙන අන්දමේ මරහඬළෑමක් ඈතින් ඇසුණේ ය. ශබ්දය ආ දිශාව වටහාගන්නට මෙන් හිස ඒ මේ අත හැරවූ කුරුඳු ළිහිණියා, ලැග සිටි තැනින් ඉවතට පියාඹා ගියේ එක් වරම ය. 

ඉහළට යමු යැයි අතින් සංඥා කරමින් දුර්ගා දෙපා වනමින් බුහුටි ලෙස විල් දිය  මතුපිටට ආවාය. ඈ පසුපසින් ඉහළට ආ ඇඩම්, සිය හිස දියෙන් මතු වෙත්ම දිගු ප්‍රාශ්වාසයක් කළේ සැහෙන තරම් හඩක් නඟමිනි. විල් ඉවුර වෙත පිහිනා ගිය දෙදෙන දියෙන් ගොඩට එද්දී, කුරුම්බර වන සීමාවේ සිට ඔවුන් වෙත දිව ආයේ ය.

දුර්ගා දකුණැලයට නැවී, සිය තෙත්බර කෙස් වැටිය මිරිකා හරිමින් ඇඩම් දෙස බැලුවා ය. "ඔයා ට අමාරුද?" 

"ඒ තරම් ගැටළුවක් නෑ" සිය පාදයේ වේදනාව සඟවාගැනීමට තැත් කරමින් යුරෝපියයා ඈ වෙත සෙමෙන් පිය නැඟීය.

කුරුම්බර හති අරිමින් ඔවුන් සිටි තැනට ළඟා විය. "ඔන්න තාරා උත්තමාවි අපේ වැඩේ හරි. ගැල් දෙකකට ඇතිවෙන්න කුරුඳු පොලු හම්බවුණා. එයිට වැඩියත් හොයාගන්න තිබුණා... කොහෙද? අපේ කොල්ලො ටික වශී වෙලා වගේ මේ ඇත්තො කුරුල්ල පිටේ යන හැටි බලාගෙන උන්නනෙ..."

"කුරුල්ල පිටේ තමා... තව ඩිංගෙන් කෑලි ටිකවත් අපට ආපහු කන්ද උඩරටට ගෙනියන්න වෙන්නෙ නෑ..." දුර්ගා මඳසිනහවක් පාමින් නෙත් කොණින් ඇඩම් දෙස බැලුවා ය. "වෙලාවට තව කුරුඳු ළිහිණියෙක් කෑ ගැහුවා. නැත්නම් අපි අද රෑ වෙනතුරු මේ විල පතුළෙ."

"ඒ කෑගැහුවෙ මම." කුරුම්බර සිනාසුනේ ය. "පිරිමි කුරුඳු ළිහිණියො, බල්ලො වගේ තමන්ගෙ සීමාව රැකගන්න මහන්සි වෙනවා. හොඳවෙලාවට ඌ රැවටුණා මගෙ සද්දෙට..."

   *    *    *

ශෛලමය බිත්ති වලින් සැදුණු ශාලාව මැද, එළන ලද පළස මත මිත්‍ර, සුමන සහ ඉන්ද්‍ර වීරාසනයෙන් වාඩි වී සිටියහ. ඔවුන් ඉදිරියේ වූ සුමට ගල් බිත්තිය කළු පැහැයට ඉතාම ආසන්න කොළ පැහැයක් ගත්තේ ය. බිත්තිය සහ පළස අතර විශාල ගල් පාත්‍රයක පිරවුණු අඟුරු රත් පැහැයෙන් දිළියෙමින් තිබිණ. ඉන් නැඟෙමින් පැවති දුමෙහි වූ ඖෂධීය සුවඳ ශාලාව පුරා පැතිරුණි. පාත්‍රය අසළ කොළොම්බක් මත තැබූ බටපොතු වට්ටියක අත්තන මල් පුරවා තිබුණි.

ඉදිරියේ වූ ගල් බිත්තියෙහි මැද පිහිටි උසැති ලී දොර හඬක් නොනගා විවර විය. ඉන් ශාලාවට ඇතුල් වූයේ යෝගී වරයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කළ තරුණයෙකි. දිය රැළි මෙන් පහලට කඩා හැලුණු දිගු කෙස් වැටිය... නළලෙහි සටහන් කෙරුණු ඇසක හැඩය ගත් තිලකය... අඳුරුවන් සම... දකුණු උරහිසේ සිට පහතට ඇඳගෙන සිටි අඳුන් දිවි සම... යනාදියෙන් ඔහු කිසිසේත් ම ශාලාවෙහි වාඩි වී සිටි ති දෙනාට සමාන නොවී ය.


https://www.askideas.com/wp-content/uploads/2017/02/May-Lord-Shiva
-Shower-His-Benign-Blessings-Happy-Maha-Shivratri.jpg


ඔහුගේ සුරතෙහි කුඩා උඩැක්කියක් වැනි ඩමරුවක් විය. හිස නවා ශාලාව මැද වාඩි වී සිටි ති දෙනාට ආචාර කළ ඔහු, ඔවුන් ඉදිරියේ වීරාසනයෙන් වාඩි වී, ඩමරු බෙරය බිම තැබී ය. ඉන්ද්‍ර, තමන් ඉදිරියේ තබාගෙන සිටි පළතුරු වට්ටියක් දෑතින් ම ගෙන අමුත්තා වෙත දිගු කළේ ය. එහි පිරී තිබුණේ මසන් සහ බෙලි ගෙඩි ය.

නිහඬව ම පළතුරු වට්ටිය පිළිගත් ආගන්තුකයා, එය ඔඩොක්කුව මත තබාගෙන, මසන් අහුරක් සුරතට ගෙන කටෙහි ලා ගත්තේ ය.

"කරුණු කීපයක් තිබෙනවා මට කතාකරන්න." ඔහු කතා කළේ සංස්කෘතෙනි. "ඊට කළින් ඔබේ උවමනාව කතා කරමු. ඔබලා නේ මා කැඳෙව්වේ..."

"රුද්‍ර, ඔබ අපේ සභා ශාලාවට සාදරයෙන් පිළිගන්නවා." ඉන්ද්‍ර අනුව අනෙක් දෙ දෙනා ද දෑත් එකතු කොට ආගන්තුකයාට ආචාර කළහ. "කාලයක් තිස්සේ යුරෝපාකරයේ ආක්‍රමණිකයෝ සහ වෙළෙන්දෝ අපේ රටවල් ආකූල කරමින් ඉන්නවා. නමුත් අපි ඒ ගැන වැඩිමනත් මැදිහත්වීමක් කරන්නේ නෑ. අපි එකඟතාවකට ආ විදිහටත්, ඒ වගේම රට වැසියන් තවදුරටත්, රටේ ස්වාධිනත්වය සහ සුභ සිද්ධිය අපෙන් අපේක්ෂා කරන්නේ නැති නිසාත්. රටවැසියන්ටත් රජුටත් සැබෑ උවමනාවක් තියෙනවා නම්, අපට පුළුවන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. නමුත් ඒ සියල්ලන්ට ම තියෙන්නේ වෙන වෙන තාවකාලික අපේක්ෂාවන්..."

රුද්‍ර හිස නවා එකඟතාව පළ කළේ ය.

"පෘතුගීසීන්, ප්‍රංශ ජාතිකයන් සහ ලන්දේසින් සෘජුවම ඉළක්ක කළේ කුළුබඩු වෙළෙඳාම. ඒත් ඔබ දන්නවාද නෝර්වේ ජාතිකයන් අපේ රටවල සොයන්නේ මොකක්ද කියලා?"

මසන් ගෙඩි සූප්පු කොට ඉතුරු වුනු ඇට ටික සපමින් සිටි රුද්‍ර සිය හඬ අවදි කළේ ය. "මගෙත් ප්‍රධානම ගැටළුව ඒක තමයි. ලංකාවටත් ආවද නෝඩික් ජාතිකයන්?"

"ඔව්." සුමන කී ය. "ගෝකර්ණයෙන් ඇතුළු වුනු කීප දෙනෙක් වන වැදිලා. ඉන් තුන් දෙනෙක් අල්ලාගෙන. එකෙකුට සිහි කල්පනාව නැහැ. අනෙක් දෙන්නා රජු භාරයේ. ඔවුන් කුමක් හෝ සොයමින් සිටි බව තහවුරුයි."

"ඩේන්වරු තන්ජෝරයේ බළකොටුව ආපහු පිළිසකර කෙරුවා." රුද්‍ර කී ය. "ඔවුන්ගේ නිරීක්ෂක දූතයන් නිතරම එහෙමෙහ යනවා. ඔවුන් උනන්දුයි ස්වදේශික ඇදහිලි සහ බෙහෙත් ක්‍රම ගැන. ඒ වගේම හිමාලය ට ආසන්න ප්‍රදේශවල තියෙන..." 


ඊළඟ කොටස...

Saturday, November 14, 2020

අවසානයක් නොවේ - 18

"ඔයා කියන දෙයක් තමයි ඉතින්..."

ඔහු වෙත ඇස් කොණින් බැලූ තරුණිය මඳ සිනහවක් නැඟුනු මුහුණින් යුතුව අත ඔසවා, අන්තරාලයේ බාල්කයක එල්ලා තිබූ සීනුව හතර වරක් නාද කළා ය. 

ගත වූයේ තප්පර කිහිපයකි. අවට හෙවුණු ඝන වනය මැදින් පුෂ්ටිමත් පුරුෂයෝ හතර දෙනක් දුවගෙන ආවෝ ය. ඉණෙන් පහතට දිවි සම් ඇඳ සිටි ඔවුන් ගේ අත්වල දුනු හී ද, උරහිසෙහි අත් පොරව බැගින් ද විය.

පළමුවෙනි කොටස

තුන්වෙනි කොටස

දා හත් වන කොටස

දුර්ගා අන්තරාලය දිගේ ඉදිරියට ගියා ය, පසුපසින් එන නාවිකයා ද සමඟ... දේවාලයේ සිට පහළට බැසීමට පඩි හතරකින් යුත් පියගැට පෙළක් විය. ඔවුන් දෙදෙනා ඒ පියගැට පෙළ බසිද්දී, වන ගත පුරුෂයෝ ඒ අසළට ආහ. ඔවුහු ආචාර කළේ දනින් වැටීමෙනි. දුර්ගා ඔවුන් වෙත සිය සුරත දිගුකර නැගී සිටින ලෙස සංඥා කළා ය. සතර දෙනාගෙන් තිදෙනෙකුම තරුණයන් බව ද, අනෙකා මැදිවිය ඉක්මවා සිටි බව ද ඇඩම් ගේ නිරීක්ෂණයට හසු විය.

*    *    *

නිවර්තන වැසි වනාන්තරයක නිරන්තර සිසිලස හේතුවෙන් කුරුඳු සොයා යන්නන් හට විඩාවක් දැනුණේ ම නැති තරම් ය. රෑහි හඬ හා අතරින් පතර නැඟුනු කොට්ටෝරුවවෙකු ගේ කඨෝර නාදය හැරුණු විට හාත්පස නිසල ආලසළ්‍යයක ගැළී තිබුණි. දහවල කිසිදු සිවුපාවෙකු එළි බසින්නේ නැත. විළෝපිකයන්ගෙන් ගැළවී අහර සොයා යන්නන් ද, ඔවුන් අහරට ගන්නන් ද තිප්පලවලින් මැත් වන්නේ අඳුර ද සමඟිනි. එහෙයින් ම දුර්ගා ගේ පිරිස ට පරණලා පතක් හෝ නොසැලෙන තරම් ප්‍රවේසමකින් කැලෑව මැදින් ගමන් කරන්නට සිදු විය.

ඉදිරියෙන් ම ගියේ වැඩිහිටි පුරුෂයා ය. දුර්ගා ඔහු ඇමතුවේ කුරුම්බර යන නමිනි. ඈ කතා කළේ ඔහුටත්, යුරෝපීයයා ටත් පමණකි. සත්ත්ව සම්වලින් සැරසී සිටි සය දෙනා වනාන්තරයේ ආදී කාල්පික පෙනුමට මනාව ගැළපුණු බව පෙනුණේ ය.

"මේ කාලය කොහොමත් ම කුරුඳු ළිහිණි එක්ක හැප්පෙන්ඩ හොඳ කාලයක් නෙවෙයි" කුරුම්බර ඉදිරියෙන් මඟ පෙන්වමින් යන ගමන් මැසිවිලි කිව්වේ ය. "මේ උන් ජෝඩු ගැහෙන කාලෙ. මේ කාලෙට කිරිල්ලියන්ගෙ උදව්වට කුරුල්ලො රංචුවක් උනත් එන්ඩ බැරි නෑ. ඒ වගේම පිරිමි කුරුල්ලො ලේසියෙන් කුපිත වෙනව මේ කාලෙ..."

"තමුං මාත් එක්ක එයිට වඩා අවදානං වැඩවලට ආව නෙ මීට කලින්..." තරුණිය උත්තර දුන්නේ සැහැල්ලුවෙනි.

"ඔය කුරුල්ලන්ගෙන් බේරෙන්න පුළුවන් මොන විදිහට ද?" ඇඩම් කුරුම්බර ඇමතුවේ පළමු වතාවට ය. 

වැඩිහිටි පුරුෂයා පිළිතුරු දුන්නේ ඔහුට නොව දුර්ගා වෙත ය. "තාරා උත්තමාවි දන්නවනෙ... කුරුඳු ළිහිණියා තැනිතලා පොළොවෙදි අස්සයෙකුට වඩා වේගවත්. අහසෙදි උකුස්සෙකුට වඩා වේගයෙන්, හරියටම ඉළක්කයට කොටනවා. උගෙ නියපොතු වානේ වගේ. උල් හොටට අහුවුණොත් කෑල්ලක් කඩාගෙන මිසක් ආපහු යන් නෑ..." ඉදිරියේ ඇති අභියෝගයේ බරපතළ කම සිහි වී ඔහුගේ රැළි වැටුණු මුහුණ මයිනහමක් මෙන් ඇදී ගියේ ය. "වාසියක් තිබුණොත් තියෙන්නෙ පඳුරු අස්සට රිංග ගන්න එක, එහෙම නැත්තං උගේ හොටට ඇතුල් වෙන්න බැරි තරම් ගැඹුරට තියෙන ගුළකට රිංගන එක."

කුරුම්බර සහ අනෙක් තිදෙනා ට ඉදිරියට යාමට ඉඩ හළ තරුණිය, ගමන් වේගය බාල කොට, නාවුකයා වෙත හැරී බැලුවේ සිනා මුසු මුහුණිනි. "ඩ්‍රේක්, අතක් පයක් වෙන්වුණොත් ආපහු ඒක ලියලනවද?" ඈ ඇසුවේ පහත් හඬිනි.

යුරෝපීයයා ගේ මුහුණේ ප්‍රශ්නකාරී බැල්මක් නැඟුනි. 

"මම දන්නව ඔයාගෙ තුවාල ඉතාම ඉක්මණට සුවපත් වෙනව කියල. මම ඇහුවෙ ළිහිණයා ඔයාගෙ කොතනකින් හරි කෑල්ලක් කඩා ගත්තොත්..."

"ඒක දැනගන්න, මෙච්චර කාලෙකට එහෙම දෙයක් වෙලා නෑ. සමහරවිට අද අපට ඒක හරියටම දැනගන්න පුළුවන් වෙයි." 

දුර්ගා ද ඔහු අනුව සිනාසුණා ය. "එහෙම උනොත් ඔයා මැරෙන්නත් පුළුවන්?"

"ගොඩක් වෙලාවට." ඇඩම් සැහැල්ලුවෙන් කීවේ ය. "මාව මේ තත්ත්වයට පත්කරපු, මට මේ වගේ ඉරණමක් අත්කර දිපු අපේ දෙවිවරුන්ට නම් මේ දූපතේ බලයක් නැතුව ඇති. ඒත් මං හිතනව, කලින් බහිරව කන්දෙදි වගේ මෙතනදිත් රහස් දූරය මාව බේරගනියි කියල." ඔහු ඇගේ දෑස් දෙස කෙලින් බැලුවේ ය.

"ඇයි එහෙම හිතෙන්නෙ?"

"මේ රටේ ඇදහිළි ගැන මම දන්න තරමින් නම්, හලාහළ විෂ බීලා මරණාසන්න වුණු ඊශ්වර දෙවියො බේරගත්තෙත් තාරා දෙවඟන..." ඇඩම් සිනාමුසු මුහුණින් යුතුව, තරුණිය වෙත හිස නැවී ය. 

"ඔයාට තාම තේරෙන්නෑ නේද, කතන්දර යි - ඇත්ත යි කියන්නෙ දෙකක් කියලා?"

"ඒ වුණත්, කතන්දර හැදෙන්නෙ ඇත්ත සිදුවීමක මුුලකින්..."

"ඒ කොයි හැටි වුණත්, පරිස්සම් වෙන්න." දුර්ගා කතා කළේ හිතුවක්කාර දරුවෙකුට තරවටු කරන මවක මෙනි. "ඇම ට යන්නෙ මම. ඔයාට තියෙන්නෙ, රැකගෙන ඉඳලා, මට අනතුරක් වෙන්න ආවොත් බේරගන්න."

"ඒක නෝර්ඩික් ජාතියෙත් තියෙන උපක්‍රමයක්." ඇඩම් කීය. "අපි ඒකට කියන්නෙ jomfru i nød කියලා. සිංහලෙන් කිව්වොත් 'අනතුරේ වැටුණු කෙල්ල' "

"අපි බලමුකො ඔය හිනාව අද හවස් වෙද්දිත් තියෙයි ද කියලා" 

ලොව කොතැන වුවත් කාන්තාවකට ආවේණික වූ ගස්සාගෙන යාම ඇගෙන් ද දුටු ඇඩම් ගේ මුවෙහි වූ මඳ සිනහව තවත් අලුත් විය.

*    *    *

සිය කැදැල්ල තැනිමට උවමනා අවසාන කුරුඳු දඬු කීපය ද හොටින් ගෙන එමින් සිටි දැවැන්ත කුරුල්ලා, කුරුඳු සහ ලේ මිශ්‍ර සුවඳ නැඟුනේ කොතැනින් දැයි බැලුවේ පියාසර කරන ගමන් ම ය. දුටු දේ තහවුරු කරගැනීමට මෙන් ඉහළ අහසේ වටයක් ගැසූ ඌ, පියාපත් අඩ වශයෙන් විදහාගෙන, විහිදාගත් නිය‌ පහුරු ඇති දෙපා දිගු කරගෙන, ගළක් ගහන්නා සේ කෙලින්ම පහතට බැස්සේ ය.

දිවිසම එක් උරයකින් පහතට ලා ඇඟලාගෙන, ඉඟ වටා සම් පටියකින් ගැට ගසා ගෙන සිටි දුර්ගා සිටියේ, උසැති ගස් කිහිපයකින් වට වූ එලිමහනක විල් තෙරක ය. විලෙහි වූ කළුපැහැ දිය මත ජලජ මල් පිපී තිබුණි. විවිධ හැඩයේ සහ තරමේ වටකුරු ගල්වලින් විල වට වී පැවති අතර, එයින් වඩා විශාල වූ උසැති ගළක් මත දුර්ගා සිටගෙන සිටියා ය. ඇඟ පුරා තවරාගත් සත්ත්ව රුධිරයෙන් රතුපැහැගැන්වී සිටි ඈ දෙස විමර්ශනාත්මකව බලා සිටි ඇඩම් ගේ සිතෙහි එක් වරම විදුලියක් සේ යම් මතකයක් දිව ගියේ ය. සිය දෑසේ විමසිලිමත් බව සහ ක්ෂණිකව ක්‍රියාත්මක වීමට ගතෙහි වූ සූදානම ට බාධා නොවන සේ ඔහු සිය මතකය නැවත ආවර්ජනය කිරීමට අත්සාහ ගත්තේ ය.

නෝර්ඩික් ගම්මානයේ දී හමු වූ ක්‍යුනිං ගායනා කරන්නිය...?

නැත.

සුභපැතීමේ තුඩුව ට දිනක ගමනක් තිබිය දී නැව් කණ්ඩායම හසු වූ කුණාටුව අතරේ හදිසියේ ම අකුණකින් ආලෝකවත් වූ ගල්පරයක් මත සිටිනු දුටු කිඳුරිය...?

https://cache.desktopnexus.com/thumbseg/2432/2432860-bigthumbnail.jpg

නැත.

රොල්ෆ් සහ නීල්සන් ගින්නෙන් දැවුණු ගසෙහි, අතු පතරට වෙඩි තියන්නට යද්දී, එක් නිමේෂයකට දුටු රතුවන් ගැහැණිය...?

ජීවිතාරක්ෂක බෝට්ටුවක් තරම් විශාල වූ පක්ෂියා වේගයෙන් පහලට ආයේ ය. උගේ උල් නිය පහුරු සිය සමෙහි ගෑවෙන්නට ඔන්න මෙන්න තිබිය දී දුර්ගා පොකුණට පැන්නා ය. ඈ දියට පනින්නට පමා වෙතැයි බියවූ ඇඩම් සැඟවී සිටි ගස් මුවාවෙන් එළියට පය තැබුවේ ද එවිටම ය. තමා ඉළක්ක කරගත් ගොදුර විලෙහි ගිලී නොපෙනි යද්දී අසළ ගස් මුවාවෙන් ඇසුණු සියුම් ශබ්දය සිය දෙවැනි විකල්පය කරගත් ළිහිණියා, දැවැන්ත පියාපත් සළමින් තප්පර කිහිපයක් විල මතුපිට ගුවනේ රැඳී සිටියේ ය. උගේ පියාපත්, වෙළෙඳ නැවක ප්‍රධාන රුවල තරම් විශාල යැයි ඇඩම් ට සිතුණි. ඊළඟ නිමේෂයේ ඒ යෝධ කුරුල්ලාගේ ඇස් තම ඇස් වෙත එක එල්ලේ යොමු වෙනු දුටු ඔහු ගේ සර්වාංගයම වෙවුුුුලා ගියේ ය.

විලට ඉහළින් පියාසර කරමින් සිටි කුරුල්ලා ආපසු ඉහළට නොනැඟී, ඇඩම් සැඟවී සිටි ගස දෙසට ඉගිළෙනු දුර්ගා ගැඹුරු දිය කඳ අතරින් දුටුවා ය. ඈ දෙපා ගසමින් දිය මතුපිටට එද්දී, නාවිකයා මෙතෙක් ඔහුට ලැබුණු සියලු උපදෙස් අමතක කර, දැවැන්ත ගසට නඟිමින් සිටියේ ය. ඔහු එය ඉතා බුහුටි අන්දමින් සිදු කළේ, වඳුරු ආත්මයක් ලැබුණාක් මෙනි.

ගසෙහි අතු තුනක් එකම මට්ටමෙන් විහිදී ගොස් තිබුණි. ලොකු කුඩා අතුවලින් ගැවසී ගත් එතැන, යුරෝපීයයාගේ ඉළක්කය විය. වේගයෙන් පියාඹා ආ කුරුල්ලාගේ උල් හොට ද ඔහු‌ පසු පසින්ම විය. ඩ්‍රේක් අතුපරතට වැදී සිය දෙපය උඩට ඔසවාගනිද්දී කුරුඳු ළිහිණියාගේ කෝපාවිෂ්ට දෑස සහ ඔහුගේ දෙපතුල් අතර පැවතියේ අඩි බාගයකටත් වඩා අඩු දුරකි.

වැලක් බඳු යමක් ගෙළෙහි දැවටෙනු දැනී නාවිකයා කිළිපොළා ගියේ ය. කෙණ්ඩෙහි බැඳ තිබූ කිණිස්ස ඇද ගත් ඔහු ගෙළෙහි දැවටුණු වැලෙහි එක් කොණක් කපා දැමී ය. එය තමන් සිතූ පරිදි පිඹුරෙකු නොව, දැවැන්ත මාලුවා වැලක් බව පසක් කරගත් ඇඩම්, ප්‍රවේසමින් වැලෙහි පහළ කොටස ඉහළට ඇද ගත්තේ ය.

ගස වටා කැරකෙමින් පහර දිමට මාන බලන කුරුඳු ළිහිණියාගේ පියා සැලීමෙන් ගසෙහි අතු ඒ මේ අත වැනෙමින් පැවතුණි. තියුණු ස්ත්‍රී කටහඬකින් නැඟුනු හූ හඬ විසින් යෝධ පක්ෂියාගේ අවධානය නැවතත් විල දෙසට යොමු විය. විල අසබඩ ගල්තලාව මත සිටි දියබත් වූ තරුණිය, දෑත් ඉහළට ඔසවා වනමින් නැවත නැවතත් හූ හඬ නැඟුවා ය.

වැල ඉහළට ඇදගත් ඩ්‍රේක් එහි මැද කොටසෙහි තරමක මන්දක් සිටින සේ ගැට කිහිපයක් ලෑවේ ය. මන්ද දෙපස වැල්පොටවල් දෑතින් ම තදින් අල්ලාගත් ඔහු, කුරුඳු ළිහිණියා විල දෙසට හැරෙනවාත් සමඟම, ඌට ඉහළින් විහිදුනු අත්ත දිගේ වේගයෙන් දිවයන්නට පටන් ගත්තේ ය. 

තබන එක් පියවරක් හෝ ලිස්සා ගියහොත් සිය ජීවිතය කුරුඳු ළිහිණියාගේ කූඩුවෙහි දී, වානේ බඳු සවිමත් උල් නිය හා තියුණු යෝධ කුරුළු හොටකින් අවසන් වනු ඇති බව සහතික කරුණක් වුව ද, තමන් යෙදී සිටි වික්‍රමයෙහි ත්‍රාසය ඊට වඩා වින්දනාත්මක බවක් ඔහුට හැඟුණි.

තබන අඩියක් අඩියක් පාසා වේගය වැඩි කරගත් ඇඩම්, දෑත් ඉහළට ඔසවා වැල් මන්ද පසුපස සිට ඉදිරියට පද්දා, දෙපා පළල් කරගනිමින්, යෝධ පක්ෂියාගේ පිටට පැන්නේ ය. ඔහුු ඉළක්ක කළ අයුරින් ම ළිහිණියාගේ උරහිස් මතට පැනගත හැකි වූ අතර, වැලෙහි ගැටළා සකස් කළ මන්ද ද කුරුල්ලාගේ හිස වටා ගොස් තිබිණ. වැල්පොටවල් දෙක දෙපසට ඇදීමෙන් එම ගැටය තද කරගන්නට ඊළඟ තප්පර කිහිපයේ දී නාවිකයා හට හැකිවිය.

සිය දෙපය පක්ෂියාගේ ගෙළ වටා තද කරගෙන වැල දෑතින් ම තදින් අල්ලාගත් ඇඩම් එක් මොහ‌ොතකට බිම බැලී ය. දුර්ගා ගේ දෑසේ වූ වික්ෂිප්ත බව දැකගත් ඔහු ට සෑහෙන තරම් තෘප්තියක් දැනුණි.

සිය හිස වටා ගැට ගැසුණු වැල්පොටවල් මඟින් තමන් මෙහෙයවීමට ඉඩ හැරීමට අකමැතිවූ කුරුඳු ළිහිණියා, විද හළ ඊතළයක් මෙන් කරකැවෙමින් වේගයෙන් ඉහළට පියාසර කළේ, සිය පිට මත සිටි ආගන්තුකයා හළා දැමීම ට ය. කෙඳි වළාකුළු ස්තරය පසා කරගෙන ඉහළට නැඟුනු ළිහිණියා, ආපිට හැරී හිස පහතට ලාගෙන පියාපත් අකුළා ගත්තෙන්, ඉහළ සිට පහතට වැටෙන කාලතුවක්කු උණ්ඩයක් සේ වේගයෙන් පහළට එන්නට ගත්තේ ය. 


ඉතිරි කොටස සතියකින්...

Wednesday, November 11, 2020

පුනරාගමනික රාවණ...

වවුල් දොර පියන් දෑතින් තල්ලු කරමින් ජයලංකාර ඇතුල් වූයේ ය. නිදහස් මාවතේ පිහිටි පුරාවිද්‍යාඥයන්ගේ සමාජ ශාලාව මඳ අඳුරින් සහ දුමින් පිරුණු හුදෙකලාබව රජැයූ තැනක් විය. වසර ගණනාවක් තිස්සසේ සමාජ ශාලාව පවත්වාගෙන යන නිලධාරි මඬුල්ල, එහි පැවති පෞරාණික පෙනුම සහ අංගෝපාංග කිසිදු වෙනසක් නොකොට පවත්වාගෙන යාමට වගබලා ගත් හෙයින්: දුහුවිලි සහ සිගරැට් අලු වලින් පිරුණු අඳුරු මුලු, ඇදුම රෝගය ගැන බියෙන් තොරව ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුත් එඩිතර නොවූ පැරණි විදුලි පංකා, වාර්නිෂ් මැකී යමින් පැවති රවුම් මේස, මැද හරියට වන්නට තිබූ බාර් මේසය හා ස්ටූල්, ආදිය ඉතා කෞතුක චිත්‍රයක් මැවී ය.

ජයලංකාර කෙළින්ම ගියේ බාර් එක වෙතට ය. ඔහු දොරින් ඇතුලු වන විට ම බාර් කරු සීත කළ කොළ පැහැ බියර් බෝතලයක් සහ උසැති ජෝගුවක් ද, පෝක් ඩෙවල් පීරිසියක් ද, රන්වන් පැහැ සිගරැට් පැකට්ටුවක් ද බාර් මේසය මතින් තැබී ය.

සිගරැට්ටුවක් ගෙන මුවෙහි රඳවාගත් ජයා, කළිසම් සාක්කුවෙන් ගත් ඊයම් පැහැ ලයිටරයෙන් එය දල්වා ගනිමින් හාත්පස විමසිලිමත් බැල්මක් හෙළී ය. එක් මඳ අඳුරු මුල්ලක වූ මේසයක තනිවම හිඳගෙන සිටි උසැති කෙට්ටු මිනිසා ඔහුගේ නෙත ගැටුණේ එක් වරම ය. දිග කමිස අත් අගින් දෙතුන් විටක් නවන ලද, පොඩිවුණු දුඹුරුවන් කමිසයත්, මුහුණ පුරා වැවුණු අලුපැහැති රැවුළත්, මේසය මත තබා තිබූ පැරණි තොප්පියත් කෙට්ටු මිනිසා ට ලබා දුන්නේ පරිණත පෙනුමකි.

සිගරැට් පැකට්ටුව ගෙන කමිස සාක්කුවෙහි රුවාගත් ජයලංකාර, බාර් කරු වෙත නියමිත මුදල ගෙවී ය. බියර් බෝතලය වම් කිහිල්ලේ ගසා ගෙන, ජෝගුවත් කටගැස්ම පීරිසියත් දෑතින් ගෙන ඔහු අවට පිහිටි මේස අතරින් කෙලින්ම ගියේ කෙට්ටු මිනිසා වෙත ය.

"මම මෙතන වාඩිවුණාට ඔබතුමාගෙ විරුද්ධත්වයක් නෑ නේ?"

හිස ඔසවා එක් නෙත් බැල්මක් අමුත්තා දෙස හෙලූ කෙට්ටු මිනිසා හිස දෙපසට වැනී ය. 

ජයා හට සිය අඩුම කුඩුම මේසය මත තබාගෙන වාඩිවෙන්නට කාලය ලබා දුන් හෙතෙම, හඬ අවදි කළේ ය.

"මට හිතාගන්න පුළුවන් ඔහේ මේ මේසෙටම ආවෙ ඇයි කියලා... ජයලංකාර ඔබේසූරිය..."

ජයා මවිත විය. "ඔබතුමා මාව අඳුනගත්තා?"

"ඔව්. පහුගිය කාලෙ සිද්ධ වෙච්ච දේවල් එක්ක මට තමුසෙගෙ විස්තර හොඳට මතකයි."

"මම ඔබතුමා සම්බන්ධ මොනවත් පත්තරේට ලිව්වෙ නෑනෙ."

"නෑ නෑ... ඔහේ ලියන්නෙ අපි ගැනවත්, අපේ ප්‍රායෝගික පර්යේෂණ ගැනවත් නෙවෙයි නෙ. හිතට එන එන විගඩං හැම එකම ලියනවනෙ රාවණ ගැන. තමුසෙ වගේ උදවිය නිසා දැං ලංකාවෙන් බාගෙකට වැඩිය දන්නව රාවණ රජතුමා කුරුම්බ මද කන්ඩ කැමතියි වගේ චූටි චූටි විස්තර පවා..." කෙට්ටු මිනිසාගේ ඇදී ගිය මූණේ වූයේ උපහාසාත්මක සිනාරැළ්ලකි.

"මහාචාර්යතුමා, මම කරන්නෙ ඉල්ලුමක් ඇති නිෂ්පාදනයක්. පත්තරවලින් සමාජ මාධ්‍යවලින්, දේශපාලන වේදිකාවලින් පවා ඉල්ලුමක් තියෙන්නෙ අපේ රටේ පෞරාණික ශ්‍රී විභූතිය ගැන දේශානුරාගය ඇති කරවීම... ඉතින් මම පුරවන්නෙ ඒ අඩුව."

"බම්බුව..!" මහාචාර්ය ඔක්කාක පාෂාණිභූත සෙමෙන් සිය වීදුරුව ඔසවා ඒතුලින් ජයලංකාර දෙස බැලී ය. තප්පර කිහිපයක් බලා සිටි ඔහු තීරණයක් ගත්තේ ය. "හොඳයි. මං දෙන්නං තමුසෙට පත්තරේට ලියන්න හොඳ කාරණා කිපයක්...

"අපි මාස ගාණකට කලින් පටන් ගත්තා ලකේගල කන්දෙ මූල ඓතිහාසික කැණීමක්. ඒ වෙනුවෙන් අපි අවුරුදු පහක විතර ඉඳන් ලේඛන, සහ ක්ෂේත්‍ර ගවේෂණ කීපයක් කළා. කණිංහැම් ජූනියර් පවා මාත් එක්ක ඔන්ලයින් සම්බන්ධ වුණා මේ වැඩේ ට. ඒකෙන් පේනව ඇති මේ වැඩේ කොයිතරම් පුළුල් එකක්ද කියලා.

“මොකද, රටේ ආව රැල්ලත් එක්ක, ආණ්ඩුවෙ සමහර ආයතන පවා රාවණ කාලෙ ගැන හොයන්න පටං ගෙන තිබුණා. අපිට උවමනා වුනේ ඒ ගැන තියෙන ලිඛිත සාධක අනුව සාක්ෂි පුළුවන් තරම් හොයාගෙන මේක ඇත්ත නැත්ත එළිදරව් කරගෙන, තමුසෙලා අපට පටවලා තියෙන මේ හිස රදේ ඉවරයක් කරන්න.

“ලේඛන ගත සාක්ෂි සේරම පෙන්නුම් කළේ රාම රාවණ සටනෙ අවසන් අදියර ක්‍රියාත්මක වුණු ස්ථානය ගැන තියෙන ස්ථානීය ලක්ෂණ වලට සමපාත වෙන්නෙ දුම්බර මිටියාවත තමයි කියලා.

සිය ජංගම දුරකථනය ඇදගත් ජයා, එහි වොයිස් රෙකෝඩරය පනගන්වන ආකාරය මහාචාර්ය පාෂාණිභූත බලා සිටියේ ය.

“ඔව්ව රෙකෝඩ් කරගන්න එක හොඳයි. තමුසෙලාගෙ වැඩ වල ප්‍රතිඵල තමුසෙලාට ම දැනගන්න...”

“ඉතිං මහාචාර්ය තුමා, කැණීමෙන් මොනවද හොයාගන්න පුළුවන් වුනේ?”

“එක මොහොතකට තමුසෙලා කියවපු විකාරයක් හරි ගියා අයිසේ... අපට හම්බ වුණා රාවණ ගෙ දේහය...!”

ජයා ගේ මුහුණ අසල කරකැවෙමින් සිටි මැස්සෙක්, රවුමට ඇරුණු කට තුලින් ඇතුලට ගියේ පුවත්පත් ලේඛකයාට කැස්සක් ඇතිකරමිනි.

“ඇත්තට!”

“පේනව නේද තමුසෙලා ලියන දේවල් තමුසෙලාටවත් විශ්වාස නැති හැටි?” පාෂාණිභූත සමච්ඡල් කළේ ය.

“ඉතින් මොකද වුනේ? කොහොමද ඒ රාවණ මයි කියලා තහවුරු කරගත්තෙ?”

“මම මුල ඉඳං කියන්නං... ලකේගල කන්දෙ තිබුණු ගල් ලෙණක අපි කැණීම් කළේ. ඒකෙන් අපට මුලිම්ම හම්බුණේ බෙලි කටු, ඊතළ වගේ දේවල්. ඒත් පහළට කැණිම් වලක් බැස්සට පස්සෙ, අපට හම්බුනා මෙන්න මේ සළකුණ.”

https://www.tlc.lk/wp-content/uploads/2018/09/43657067_m-800x600.jpg


මහාචාර්ය වරයා තම ජංගම දුරකථනයෙන් ගත් ඡායාරූපයක් පෙන්වී ය. එහි වූයේ, කැණීම් වළක බිත්තියක් බවට පත් ව තිබූ ගල් බිත්තියකි. එහි අඩි හතක් පමණ උසැති සෘජුකෝණාස්‍රයක් ඉතාම නිවැරදි සෘජු රේඛාවලින් ගලෙහි කොටා තිබූ අතර, එහි ඇස් මට්ටමේ බ්‍රාහ්මී අක්ෂරවලින් ලියූ වගන්තියක් විය.

“ඔය ලියල තියෙන්නෙ ‘මහ රඣ රවන මල සයන’ කියලා. ඊට යටින් මන්තරයක් තියෙනව. ඒක මම මෙතන කියලා මොන මොන විජ්ජුම්බර වෙයිද දන්නෑ. මම එතනදි වැඩිය හිතන් නැතුව ඒක කියෙව්වා. කියෙව්වා විතරයි මගෙ දකුණු පැත්තෙ උන්න කම්කරුවා මැරිලා වැටුණා. ඔය සෘජුකෝණාස්‍රය අඟලක් විතර ඇතුලට ගිහිං, දොරක් වගේ ඇරුණා.

“අපි ටික වෙලාවක් ගත්තා පොඩ්ඩක් සිහි කල්පනාව හරි යන කං. මොකද එහෙම දොරවල් ඇරෙන තාක්ෂණයක් අපි දැනගෙන උන්නෙ නෑ. පස්සෙ මායි තව දෙන්නෙකුයි ගියා ඇතුලට. යනකොට ඒ වෙනකොටත් පහන් දෙකක් ඇවිලෙනව ඇතුලෙ. ඒ පහන් දෙක මැද්දෙන් ගල් ඔරුවක් තිබුණා. ඒ ඔරුවෙ, කොළ පාට තෙල් වගේ දියරයක ගිල්ලලා තිබුණා අඩි පහක් විතර උස මනුස්සයෙක් ගෙ සිරුරක්.

“ඒ මනුස්සයා හරියටම, ගෝරිල්ලෙකුත්, මනුස්සයෙකුත් අතර මැද අවස්ථාව තමයි මට සිහිපත් කළේ. මට පස්සෙයි තේරුණේ. රාවණ ඒ තරම් පරණ කාලෙකට අයිති කෙනෙක් නම්, ඒ කාලෙ මානව පරිණාමය අනුව, ඒ රූපය හරියටම හරි.

https://media.istockphoto.com/photos/homo-erectus-picture-id466243352?k=6&m=466243352&s=170667a&w=0&h=CMu4xdAZOk4Kkp_GQ_gxcaU1LJirG0PvJOd9E6I6nBk=

“ඒ ගල් ඔරුවෙ පාමුළ කොටල තිබුණා බ්‍රාහ්මී අක්ෂර වලින් තවත් වගන්තියක්. මම ෆෝන් එකේ ටෝච් එළියෙන් ලැජ්ජාවක් නැතුව ඒකත් කියෙව්වා.

“කියෙව්වා විතරයි, මගෙ දෙපැත්තෙ උන්න මගෙ පර්යේෂණ සහකාරයො දෙන්නා මැරිලා වැටුණා. මම උන් දෙන්නා දිහා බලලා ආපහු ඉස්සරහ බලනකොට අර ඔරුව ඇතුලෙ උන්න මානවයා නැගිට්ටා.”

“ඔන්න ඔහොමයි රාවණ රජ්ජුරුවන්ගෙ දේහය අපට හම්බුණේ. එයා ඇත්තටම ඉතාම දක්ෂ, වේගයෙන් ඉගෙන ගන්න කෙනෙක්. දවසක් දෙකක් මාත් එක්ක ලකේගල කූඩාරමේ ඉඳං, එයා නූතන සිංහල භාෂාව ඉගෙන ගත්තා. පොරට අමාරු උනේ, සිංහල භාෂාවට මැදට යෙදෙන ඉංග්‍රීසි දෙමල වචන තමා. ඒවා අල්ලගන්න සතියක් දෙකක් ගියා. මාසයක් විතර යද්දි එයා පත්තරේ බලන්න පුළුවන් මට්ටමට ආවා. ෆේස්බුක්, ඉන්ස්ටා එහෙමත් අතපත ගාන්න පටං ගත්තා.

“එයා ගෙ අදහස තිබුණෙ ම ලංකාව ආපහු දියුණු කරන්න. එයාගෙ තිබුණා රාජ්‍ය කළමනාකරණය ගැන මාර සරළ, දියුණු අදහස්. එව්වා ටික ක්‍රියාත්මක කළා නං අපි මේ ලෝකෙ වෙන කිසිම රටකට වඩා සංවර්ධනය වෙන්න තිබුණා.

“වෙන්න තිබුණා කිව්වෙ? මොකද වුණේ?”

“මොකද වුණේ?... වුණේ තමා! වුණේ උන්දැ ලකේගල පහලට පැනලා දිවි නහ ගත්ත එක.” 

“ඒ මොකද?”

“ඒ මොකද කියන්නෙ අයිසෙ... මිනිහා මාර උවමනාවෙන් කියෙව්වා තමුසෙලා රංචුව උන්දැ ගැන පත්තරේට ලියපු ලිපි. අන්තිමේ හැම දෙයක්ම එපා වෙච්ච මිනිහෙක් විදිහට මට කියපු අවසාන වචන තමයි... 

ඈ යකෝ!... මං වත් දන්නැති මේ වැල්වටාරං අටෝරාසියක් කොහොමද අයිසෙ මිනිහෙක් ලියන්නෙ? මුං නං එසේ මෙසේ මිනිස්සු වෙන්න බෑ. මේ වගේ පට්ට කෙබර විශ්වාස කරන, ඒ වෙනුවෙන් කුණුහරුපෙං බැණගන්න ඔළමොට්ටලයො රැළක් ඉන්න රටක් මං තියා සැක්කරය ආවත් හදන්ඩ බෑ..

-----------------------------------------

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රැයක් වෙනුවට මාසයක් ගත කළ කොළඹ ගමයා හෙවත් අජිත් ධර්මකීර්ති සහෘදයාගේ ලිපියකින් ආ උද්යෝගය අනුව ය...

කට්ටකාඩුවෙ ලොකු මල්ලි අජිත් අයියාගේ කතාවේ ඉතුරු ටික ලියා තිබුණා. ඒක මෙතනින් ගොස් කියවා ගන්න හැක...

පැතුම් හේරත් බිත්තියේ ලියල තිබුණු, අජිත් අයියට වෙච්ච ඇත්තම සිදුවීම මෙතනින් ගොස් කියවාගන්න ඇහක...

පුරාවිද්‍යාඥ ඔක්කාක පාෂාණිභූත සහ රාවණ රජුගේ දේහය සොයාගැනීමේ වස්තුබීජයේ මුල් අයිතිය මා හිත මිතුරු අශෝක රත්නායක කුමාර හෙවත් H’MARK සතුය.


Sunday, November 8, 2020

අවසානයක් නොවේ - දා හත් වන කොටස

"ඔබේ ආගන්තුක සත්කාරය නම් ඇත්තටම විශිෂ්ටයි..." මහනුවරදී හාමුදුරුවරුන්ගෙන් උගත් සිංහල භාෂාවේ උසස්ම වචන භාවිත කිරීමට නාවිකයා පරිස්සම් විය.

"හොඳා..." තරුණිය සිනාමුසුව කීවා ය. "තමුන්නාන්සෙ සතුටු වුණා නම් ඒ කියන්නෙ, මගෙ අදහස ඉටු වුණා. දැං ඉතින් ආපු කාරණාව කතා කරගෙන ඉඳිමු."

ඇඩම් හිස සලා එකඟත්වය පළ කළේ ය.

පළමුවෙනි කොටස

තුන්වෙනි කොටස

දා සය වන කොටස

"පළමුවෙන්..." තරුණිය දිග කතාවක් පටන් ගන්නට යන බව පෙනුණේ ය. "...රහස් දූරයේ අලුත්ම සාමාජිකයා හැටියට තමුන්නාන්සෙ, මම බොහොම උවමනාවෙන් පිළිගන්නවා." ඇය දෑත් එකතු කර ආචාර කළා ය. ඇඩම් ද වීරාසනයෙන් හිඳිමින් ම, තමන්ට දැන් ඉතා හුරු පුරුදු වූ එම ආචාර ක්‍රමය අනුකරණය කළේ ය. 

"මේ රාජකාරියෙ දි මට කියන්නෙ දුර්ගා කියලා. අපට පැවරිලා තියෙන්නෙ පාත රටේ තෙත් වනාන්තරයක තියෙන ඉතාම උසස් මට්ටමේ කුරුඳු හැකි තරං නෙලාගෙන කන්ද උඩරටට ගෙනෙන්ට. ඒකට රහස් දූරයක්වත්, තමුන්නාන්සෙ වගේ රණ ශූරයෙක්වත් මොකටද කියලා හිතෙන්න පුළුවන්..."

ඇඩම් කතාවට බාධා කළේ අකමැත්තෙනි. "තමුන්නාන්සෙ කියලා කියනකොට මට හරිම දුරස් බවක් දැනෙනවා. මේ රටේ මිනිස්සු එකිනෙකා ට ගෞරව කරන හැටි මම දන්නවා. ඒත් ඔබට පුළුවන් ද වරුණ කතා කරනවා වගේ, මට ඩ්‍රේක් කියලා කතා කරන්න?"

තරුණිය හිස වම් පසට මඳක් ඇළ කොට එකඟත්වය පළ කළා ය.

"ඔබ කිය කියා හිටියෙ..." ඇඩම් ඇගේ කතාව ට නැවත ආරාධනා කළේ ය.

"ඔව්. ඇයි මේ රාජකාරියට රහස් දූරය යොදා ගන්නෙ කියන එක... කාරණා කීපයක් නිසා... උසස්ම කුරුඳු හැදෙන තැන් ගැන රහස් දූරයේ ඉන්න අපිවත් හරියට ම දන්නෙ නෑ. ඒක දන්නෙ කුරුඳු ළිහිණියො විතරයි. මේ වෙනකොට මේ දූපතේ උන් ඉන්නෙ බොහොම ටික දෙනයි. ලන්දේසි කුරුඳු ගැන දක්වන උනන්දුවත් එක්ක මේ කුරුල්ලො ඉක්මණටම වඳ වෙලා යන්න පුළුවන්. ඒ නිසා උන් නිදහසේ සැරි සරන වනාන්තර ප්‍රදේශ අපි බොහොම කැපවීමෙන් ආරක්ෂා කරනව. 

"හොඳින් වැඩුනු කුරුඳු ළිහිණියෙකුට පුළුවන් අශ්වයෙක් වුණත් ඩැහැගෙන යන්න. ඩ්‍රේක් දන්නවද කුරුඳු ළිහිණියො ගැන?" 

නාවිකයා මද සිනාවක් නඟමින් පිළිතුරු දුන්නේ ය. "ප්‍රංසුවා රබලේ ලියපු පොතකින් මට ඒ ගැන යමක් කියවන්න ලැබුණා. හෙරඩෝටස්, ඇරිස්ටෝටල් සහ ප්ලිනි ඒ ගැන ලියලා තියෙනවා. ප්ලිනි කියන විදිහට මම හිතාගෙන හිටියෙ අරාබි වෙළෙන්දන් තමන්ගෙ කුළුබඩුවල පාරට්ටුව වැඩි කරගන්න ගොතපු කතාවක් කියලා."

"මට තේරුම් ගන්න පුළුවන් ඩ්‍රේක් ගොඩක් කියවලා තියෙනව කියලා." දුර්ගා මඳ සිනාවක් පෑවා ය. 

තත්පර කිහිපයක් ඇය නිහඬව තමා දෙස බලා සිටියේ තමන්ට කතා කිරීමට ඉඩ සැළසීමට බව ඇඩම් තේරුම් ගත්තේ ය. 

"හොඳම කුරුඳු සැන්සිබාරයට ලැබෙන්නෙ ලංකාවෙන් බව මම දැනගෙන හිටියා. ඒත් කුරුඳු ළිහිණි ඉන්නව කියලා කියන්නෙ අරාබියෙ." ඔහු මාතෘකාව ගැන සිය උද්යෝගය නොසඟවා පළ කළේ ය. "මං එක එක වැල්වටාරම් කියලා ඔයාගෙ කතාව දික් ගස්සනවා..."

"නෑ. එහෙම දෙයක් නෑ. මේ ගැන ඔයා දන්නා ප්‍රමාණය මම තේරුම් ගත්තොත් අපි දෙන්නට මේ රාජකාරිය කරන්න ලේසි වෙයි."

"මං දන්නෙ බොහොම පොඩ්ඩයි. කුරුඳු ළිහිණි ඉතාම උස ගස්වල මුදුනේ, කුරුඳු ලී වලින් කූඩු හදනව. අරාබි කාරයො ඒවා ගන්න, හරක් වගේ සත්තු ලොකු කුට්ටිවලට කපලා ඒ ගස් අවට බිම විසුරුවනවා. ඒ ලොකු මස් කුට්ටි කුරුඳු ළිහිණි ඩැහැගෙන ගිහින් කූඩුවෙන් තියාගත්තම, මස් කුට්ටියෙ බරට කූඩුව කැඩිලා, කුරුඳු කෝටු බිම වැටෙනවා..."

දුර්ගා සිය සිනහව නවත්වාගන්නට අසාර්ථක වෑයමක් දැරුවා ය. දෑතින්ම මුව වසා ගත් ඇය බිමට නැඹුරු වූවා ය. ඇගේ දෙඋර වෙවුලන හැටි දුටු යුරෝපීයයා දුර්මුඛ විය.

මිනිත්තු කිහිපයක් තිස්සේ හුස්ම අල්ලාගන්නට තැත් කළ තරුණිය, අන්තිමේ හිස ඔසවා තමන් ඉදිරියේ සිටි මිනිසාගේ වික්ෂිප්ත මුහුණ දෙස බැලුවා ය. සිනාවෙන් ආලෝකමත් වූ ඇගේ මුහුණෙහි වූ සුරූපී බව හා දෑසේ තියුණු බව ඇඩම් දුටුවේ පළමු වතාවට ය. 

"ඔය විස්තර ඔක්කොම අමතක කරන්න වෙනව..." ඇය කියද්දී, සිනහවෙන් ඇදී ගිය රතුවන් දෙතොළතරින් සිහින් සුදුවන් සුන්දර දත් යන්තම් පෙනුනි. "පළවෙනිම දේ තමා, අපි හරක් මරන්නෙ නෑ. ඒ වගේම කුරුඳු වගේ වටිනා වෙළෙඳ බඩුවක් වෙනුවෙන්වත් මහා පරිමාණයෙන් සත්තු මරන්නෙ නෑ. අපේ නෑ නෙ වෙළෙඳ සංස්කෘතියක්... දෙවෙනි දේ තමා, කුරුඳු ළිහිණි මැරුණු සත්තුන්ගෙ මස් කන්නෙ නෑ. උන් කන්නෙ පණපිටින්..."

"ඉතින් ඔයතරම් හිනාවෙන්නෙ මොනවටද?"

"හිනාවෙන්නෙ... ඔය කතා ලියපු උදවිය කුරුඳු ළිහිණි කොයිතරම් මෝඩ සත්තු ද කියලා හිතපු එක ගැන. උන් කුරුළු ලෝකයෙ ඉන්න බුද්ධිමත් ම, ඒ වගේම සූක්ෂ්ම ඉවක් තියෙන සත්තු..."

"හරි. යුරෝපයෙ කතා කාරයො ඔය විස්තර අහගන්නෙ වෙළෙන්දන්ගෙන් නෙ. ඒවා වරදින්න පුළුවන්. ලියනකොට අතිනුත් දාල තමයි ලියන්නෙ. එතකොට ඇත්තටම කොහොමද, කුරුඳු ළිහිණින්ගෙන් කුරුඳු පැහැර ගන්නෙ?"

"පණ ඇති ඇමක් දෙනවා..." ඇගේ මුහුණට නැවතත් බැරෑරුම් බව ආරෝපණය විය. "දැන් අපි ගමන පිටත් වෙමු. මම සැළැස්මෙ විස්තර පස්සෙ කියන්නම්. ඔයා ඒක ඔයාගෙ අත්දැකීමුත් එක්ක දියුණු කරන්න."

දුර්ගා තමන් ඉදිරිපිට වූ පොල්තෙල් පහන සුරතට ගෙන නැගිට්ටා ය. ඈ අනුව නැගී සිටි යුරෝපීයයා, ආපසු හැරී දොරකඩට ගියේ තම පාවහන් ගැනීමට ය. තරුණිය ද ආපසු හැරී දේවාලයේ අඳුරු ඇතුල් ගැබ දෙසට යන ගමන් ඇඩම් දෙස බලා, හිස සළා, තමන් අනුව එන ලෙස සංඥා කළා ය. ඔහු පාවහන් අතට ගෙන ඈ පසුපස ගොස් දේවාලයේ ඇතුල් ගැබ ට වැදුණේ ය. එහි වූ දිරාපත් වෙමින් පැවති තිරය ට ඔබ්බෙන්, ජීවමාන ප්‍රමාණයේ වූ කාන්තා පිළිරුවක් විය. එහි හිසේ වූ කිරුළ, ඇඳ පෙරව සිටි රතුපැහැ සාරිය, ඔසවාගෙන සිටි දකුණතෙහි වූ සළඹ හා වමතෙහි වූ කොළ සහිත රිකිල්ල නාවුකයා දැකගත්තේ දුර්ගා ගේ අතෙහි වූ පොල්තෙල් පහනෙහි මඳ ආලෝකයෙනි. දේව පිළිමයේ පසුපස වූ බිත්තියේ ගින්නෙන් වෙළී ගිය නගරයක් සිතුවම් කර තිබුණි. එහි දුර්වර්ණ වෙමින් පැවති සායම සහිත කපරාරුව තැනින් තැන හාණි වී ඇති බව පෙනුණි. 

පොල්තෙල් පහන දේව ප්‍රතිමාවේ පාමුළ වූ පුදසුන මතින් තැබූ දුර්ගා, පිළිමයේ දකුණු පසින් ගොස් එහි පිටුපස ට ආවා ය. ඈ අනුව ගිය ඩ්‍රේක් දුටුවේ පිළිමය පිටුපස වූ ඉතා පටු දොරකි. එය වැසී තිබුණේ බිත්තියේ වූ සිතුවමේ ම අනුරූපී කොටස ඇඳ තිබූ රෙදි තිරයකිනි. එය අතින් මෑත් කරමින් තරුණිය දොරෙන් ඇතුල් වූවා ය. යුරෝපීයයා ද ඈ අනුව ගියේ ය. 

දොරෙන් ඔබ්බෙහි වූයේ අඳුරෙන් වැසුනු පටු කොරිඩෝවකි. එහි වන් සැණින් නාවිකයාගේ සියුම් ඉඳුරන්ට තෙත් බර වාතස්කන්ධයෙහි වූ පාංශුමය සුවඳ දැනුණේ ය. තත්පර දෙක තුනකින් ම එහි වූ අඳුරට ඇඩම් ගේ දෑස හුරු විය. තමන් ගමන් කරමින් සිටියේ කබොක් ගලින් උසැති බිත්ති සහ ගෝළාකාර වහළ සැදුණු උමගක බව ඔහු දුටුවේ ය. තරුණිය ද නොනැවතී ඉදිරියට ගියේ, ඔහු තමා පසුපසින් එන්නේ දැ'යි විටින් විට හැරී බලමිනි. ඒ උමග වංකගිරියක් සේ අතු බෙදෙමින් ගොස් තිබුණුු හෙයින්, මඟ නොවරදින සේ සිය මාර්ගෝපදේශිකාව අසළින්ම ගමන් කිරීමට ඇඩම් ප්‍රවේසම් විය.

මිනිත්තු කිහිපයක ගමනකින් පසුව ඔවුන් ඉදිරියෙහි වූ තවත් තිරයක් මෑත් කරගෙන තරුණිය මඳ අඳුරු කුටියකට ඇතුල් වූවා ය. එහි ද කාන්තා පිළිරුවක් වූ බව ඇඩම් දුටුවේ ය. වැතිරී සිටි පුරුෂයෙකු ගේ සිරුර මත සිටගෙන සිටි දේවතාවියගේ දෙපසින් අත් හතරක් අඹා තිබුණි. ඒ අත්වල වූයේ කඩුවක්, කතුරක්, නිල් නෙළුමක් සහ ලේ බඳුනකි. ඇගේ ගෙළ වටා වූ හිස් කබල් මාලයත්,රත් පැහැ ඇසුත් මවා පෑවේ බිහිසුණු ස්වරූපයකි. එහෙත් සියවස් කිහිපයක් තිස්සේ ගත කළ රළු ජිවිතය නිසා දෝ, නාවිකයාගේ ස්නායු එයින් සසළ වූ බවක් නොපෙනිණ.

 https://qph.fs.quoracdn.net/main-qimg-9d8ee2e8c7e5a82c83a56abe9ada1763

ඒ කුටියේ ඉදිරිපස තිරය පසු කළ මඟියෝ දෙදෙනා ආවේ තවත් දේවාලයක අන්තරාලයකට ය. එය සම පරතර සහිතව ලී කණු සිටුවා වහළය ගැසූ විවෘත ආළින්දයක් විය. වටේ හෙවුණු ගස් වැල් වලින් ද, අතරක් නොමැතිව නැඟුනු රැහැයියන්ගේ හඬින් ද දැනවූයේ ගුප්ත - පාළු හැඟීමකි.

"මෙතනදි අපට උදව්වට තවත් කීප දෙනෙක් එකතු කරගන්නවා." දුර්ගා කීවා ය. "ඇමක් දීලා, කුරුඳු ළිහිණියා ගේ අවධානය වෙන පැත්තකට හරවන අතරේ කුරුඳු එකතු කරගන්න ඒ අය අපට උවමනා වෙනවා. මේ අය මට කියන්නෙ 'තාරා' කියලා. ඒක ගණන් ගන්න එපා."

සිය උඩුකය දකුණු ඇළයට ඉදිරියට මඳක් නැවූ ඇඩම්, දකුණත දිගු කර මඳ සිනහවකින් යුතුව ඇය දෙස බැලුවේ ය. "ඔයා කියන දෙයක් තමයි ඉතින්..."

ඔහු වෙත ඇස් කොණින් බැලූ තරුණිය මඳ සිනහවක් නැඟුනු මුහුණින් යුතුව අත ඔසවා, අන්තරාලයේ බාල්කයක එල්ලා තිබූ සීනුව හතර වරක් නාද කළා ය. 

ගත වූයේ තප්පර කිහිපයකි. අවට හෙවුණු ඝන වනය මැදින් පුෂ්ටිමත් පුරුෂයන් හතර දෙනක් දුවගෙන ආවෝ ය. ඉණෙන් පහතට දිවි සම් ඇඳ සිටි ඔවුන් ගේ අත්වල දුනු හී ද, උරහිසෙහි අත් පොරව බැගින් ද විය.


ඉතිරි කොටස...

Wednesday, November 4, 2020

මරණය ලුසී සහ ඔසිමැන්ඩියස් ගැන...

කෙනෙක් මැරෙනව කියන එක ශිෂ්ඨාචාරය පුරාවට මනුෂ්‍යයන්ගෙ කුතුහලයට සහ බයට හේතුවුණු කාරණයක්. පුද්ගලයෙක් කියන්නෙ ආකල්ප, මතවාද සහ යම් යම් දේ ගැන දරණ ස්ථාවරයන්, මතකයන් සහ දැනුම සහිත තැනැත්තෙක්. ජීවිත කාලය පුරා රැස්කරපු දැනුම, අත්දැකීම් මහා සම්භාරයක්. ඒත් එක්තරා අවස්ථාවකදි එයා මැරෙනව. ඒ මරණයත් එක්ක, එයා දරපු මතවාද, ආකල්ප, මතකයන් ආදී සියල්ලේ පැවැත්ම අහෝසි වෙනව. නිකම්ම නිකං හිස් ප්‍රෝටීන් සහ කාබන් පමණක් අඩංගු, ඉතාම ඉක්මණින් නරක්වෙලා යන්න පටන් ගන්නා දේහයක් බවට පත් වෙනව. කිසිම වැඩක් ප්‍රයෝජනයක් නැති, අඩුගානෙ මේ අපේ තාත්තා, අම්මා, සහෝදරයා කියමින් ගෙදර තියාගන්න බැරි, තියාගත්තොත් කාටවත් ඒ ගෙදර  ඉන්න බැරි බරක් බවට පත් වෙනව.

එතකොට එයා දරපු ආකල්ප, මතවාද, ස්ථාවරයන්, ඇලීම් සහ මතකයන් ට මොකද වෙන්නෙ? ඒ දේ අපි තම තමන්ටත් කවදා හරි සිදුවෙන්න නියමිතයි. එතකොට අපි මෙතෙක් ආදරයෙන් රැස්කරපු දැනුම, අත්දැකීම් සහ වෙනත් භෞතික සහ ආධ්‍යාත්මික දේවලට මොකද වෙන්නෙ? පුද්ගලයෙක් විදිහට අවුරුදු ගණනාවක් සමාජයේ සාමාජිකයෙක් වෙලා හිටපු සංකල්ප ලෝකයට මොකද වෙන්නෙ?

ඒ පුද්ගලයා එක්ක කිට්ටුවෙන් ගනුදෙනු කරපු උදවිය එයාගෙන් යම් රැකවරණයක්, ජීවිතයට සහායක් ලැබුවා. ඒ අය එයා මිය ගියාට පස්සෙත් එයාගෙන් ඒ දේවල් ලැබීම අපේක්ෂා කරනව. එහෙමත් නැත්නම් ඒ දේවල් නොලැබී යාවි කියන බයට පත් වෙනව. ඒ විදිහට මට පේන්නෙ ආදි කාල්පික සමාජයේ විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා, මියගිය මුතුන් මිත්තන්, බලවත් ආත්මයන් බවට පත් වෙලා දිගටම තමන්ගෙගෙන් පැවතෙන්නන්ට රැකවරණය සහ උපකාර කරනව කියලා. ලංකාවෙ ආදිවාසීන් අතර තියෙන නෑ යකුන් ඇදහීම වගේම, කතෝලික ප්‍රජාවෙ තියෙන සාන්තුවරයන් ඇදහීමත්, බෞද්ධයන් විශ්වාස කරන දෙවිවරුනුත් මේ විශ්වාසය ට තියෙන සාක්ෂි.

ඒකෙම තවත් මුහුණුවරක් තමයි, මරණයත් එක්ක ම ඇති වෙන බය. තම තමනුත් මැරෙන බව සිහිපත් වීම. ඒ වගේම, ජීවත් වෙද්දි තමන් කුමන හෝ ආකාරයකට බය ගන්වපු මිනිස්සු මරණයෙන් පස්සෙ තමන්ට අහිතකර ආත්මයන් බවට පත්වෙන බව විශ්වාස කිරීම. හොල්මන්, අවතාර, ප්‍රේතාත්ම, රිටිගල ජයසේන මහසෝණා බවට පත් වෙන්නෙ ගෝ්‍ඨයිම්බර හෝ ඔහුගේ අනුගාමිකයන් බලවත් සතුරාගේ මළ ආත්මයට බය විම නිසා.

ආගම් බිහිවීමත් එක්ක ඔය විශ්වාසය මිනිසුන් සමාජයට අහිතකර පුද්ගලයන් බවට පත්වීමෙන් වළක්වාගන්න සියුම් ලෙස යොදාගැනෙනවා. ඒ ඒ සමාජයන් විශ්වාස කරපු හර පද්ධතින්ට දැඩි ලෙස අනුගත වී ජීවත් වුණුු පුද්ගලයන් මරණයෙන් පසු සුගතියක ඉපදී, මනුෂ්‍ය ලෝකයේ පැවති දුෂ්කරතා රහිත සැපවත් ජීවිතයක් ගත කරන බවත්, ඒ හර පද්ධතීන් උල්ලංඝනය කළ අය මරණයෙන් පසු ඊට දඬුවම් විඳින බවත් ආගම් හැම එකක ම දේශනා කෙරෙනවා. හින්දු, බෞද්ධ, කතෝලික, ඉස්ලාම් ආදී සෑම ආගමකම නිරය සහ ස්වර්ගය ගැන දේශනා කෙරෙනවා. බැතිමතුනුත්, තම තමන්ගේ චර්යාව අනුව ඒ දෙකෙන් වඩා හොඳ එකට යන්න හිතා ජීවිත කාලයක් කටයුතු කරනවා.

සමීපතමයෙකුගේ මරණය එක්කම, පුද්ගලයන් බියපත් වෙන තවත් සංකල්පයක් තමයි, ඒ මරණය තම තමන්ටත් එළඹීම. එතකොට තමන්ගෙ පැවැත්ම එක ක්ෂණයකින් අහෝසි වෙලා යනවා. එතකොට තමන් ගේ ආශාවන්, ඇලීම්, ආදරය කරපු පුද්ගලයන්, ගොඩනගාපු දේ, ඒ සියල්ලටම තමන්ගේ ඇති අල්ලා ගැනීම අත්හරින්න වෙනවා. ඊටත් වඩා, තමන් යැයි අදහාගත්තු පුද්ගලයා එතනින් එහාට පවතින්නේ නෑ.

ඒකත් එක්ක ඇතිවෙන විශ්වාසය තමයි මරණයෙන් මතු පැවැත්ම. මම නැවතත් උපදිනවා කියන එක විශ්වාස කිරීම ලේසියි, මම මෙයින් එහාට පවතින්නේ නෑ කියා දැනගැනීම ට වඩා. නැවතත් මනුෂ්‍යාත්ම භාවයක් ලබා ඉපදීම, නෑ යකුන් හෝ දෙවියන් බවට පත්වී ඉතා දීර්ඝ කාලීන ජීවිතයක් ලැබීම, මනුෂ්‍ය ලෝකයේ පවතින දුෂ්කරතාවන් රහිත ස්වර්ගයකට එළඹීම වශයෙන් අප අපම සනසා ගනිමින්, කෙදිනක හෝ එළඹෙන මරණයේ බයෙන් තාවකාලික සැනසීමක් ලැබීම ශිෂ්ඨාචාරයක පැවැත්මට උවමනයි.

https://www.verywellmind.com/thmb/StV9BrVOFXRlmzLqIeNmqItjOiw=/
768x0/filters:no_upscale():max_bytes(150000):strip_icc():format(webp)/Preocupation-With-Death-56a09d095f9b58eba4b2110f.jpg

ඇත්තටම මරණයෙන් මතු පැවැත්මක් නැත්නම්, ශිෂ්ඨාචාරයක් පවතින්නේ නෑ. මනුෂ්‍යයන් තහවුරු වශයෙන්ම දන්නවානම්, තමන් මරණයෙන් පස්සෙ එතනින් ඉවරයි කියලා, ඔවුන්ගේ චර්යාව පාලනය කිරීම හෝ, තමා ඇසුරු කරන සමීපතමයන් කෙරෙහි දක්වන ඇල්ම යුතුකම් වගකීම් පද්ධතියේ පැවැත්මත් එතනින් ම ඉවරයි. කොටින්ම මිනිස් සමාජය කියා හර පද්ධතියක් නැති වෙනවා.

ඉතින් ඇත්තටම මනුෂ්‍යයා හෝ පුළුල්ව කියතොත්, සත්ත්ව ප්‍රජාව මරණයෙන් පසු නැවත පැවැත්මක් නැත්නම්, මේ ජීවිතයේ ඇති තේරුම මොකක්ද? මී ළඟ ප්‍රශ්නය ඒක. 

ජීවත් වීම කියන්නේ "ආහාර ගැනීම, පැවතීම, වර්ගයා පවත්වාගැනීම හෙවත් ප්‍රජනනය" කියලා සත්ත්ව ලෝකය නිරීක්ෂණය කිරීමෙන් සිතා ගන්න පුළුවන්. නමුත් මනුෂ්‍යයාට ඊට එහා ගිය දෙයක් උවමනා කරනවා. ලුසී චිත්‍රපටයේ, එක තැනක කියනවා, ලුසී ලබාගත් අවබෝධයෙන් කළ හැකි හොඳ ම දේ "එය අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරිම" කියලා. එතකොට ජීවිතයේ උත්තරීතර අරමුණ වෙන්නෙ ඒක ද?

අපි ජයගත් දේවල් අපට අනාගත පරපුරට දායාද කර දී මැරෙන්න පුළුවන් ද? පර්සි ෂෙලී ගේ ඔසිමැන්ඩියස් කවි පෙලේ මෙහෙම කියනවා. 

සංචාරකයෙක් වරක් දුටු දෙයක් ගැන කවියාට කියයි... දැවැන්ත ප්‍රතිමාවක ඉතිරි වී තිබුණේ ඉතාම දැවැන්ත දෙපයක් සහ එය දැරූ පාදස්තලයත්, ඒ ඉදිරිපිට බිම වැටී බාගෙට පසින් වැසුනු හිසක්... ඒ හිසේ දෙතොළ තමා ගේ උසස්කමින් මමත්වයෙන් රැළි වැටී ගොස්... 

ඒ පාදස්තලයේ කොටා තිබුණා, "මගේ නම ඔසිමැන්ඩියස්. රජුන්ගේ ත් රජ. මා කර ඇති වැඩ දෙස බලනු, තොපේ අපේක්ෂා හීන කරනු ඇත..."

ඒත්, ප්‍රතිමා පාදම අවට බැලූ බැලූ අත පැතිර තිබුණේ කාන්තාරය පමණයි.

අපි ඉතිරි කරන යන දේ වුණත් කාලයක් යද්දී මිනිසාගේ දැනුමේ දියුණුව විසින් වැඩකට නැති දේ බවට පත් කරනවා. නොඑසේ නම් අමතක වීම් හෝ ස්වාභාව ධර්මය විසින් ඒවා විනාශ කර දානවා.

මට හිතෙන්නෙ මේ ගැන ගැඹුරින් හිතද්දි පහුගිය පෝස්ට් එකේ පැතුම් හේරත් කියා තිබුණා වගේ. කිසි දෙයක් ගැන ඇලීමකින් තොරව පහන් දැල්ලක් නිවෙනවා වගේ නිවිලා යන්න හිත හදාගන්න උත්සාහ කිරීම තමයි කළ යුත්තේ කියලා. සමහර විට ඒකම වෙන්න ඇති බුදුන්ගේ දර්ශනයෙත්: ජීවිතයේ අවසානය වන නිර්වාණය ගැන කියා ඇත්තේ.

https://www.sciencealert.com/images/2020-08/processed/brain_death_def_candle_1024.jpg



"මරණය ගැන හිතට ආව දේ ලියපං..." කියා ආරාධනා කළ රංග වික්‍රමසිංහ සිහිපත් කරමි...

වැඩිපුර බලපු ලිපි